date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-08-26T10:49:05.000Z
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනාගෙන් අධිකරණයට මෝසම් 5ක්
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනාගෙන් මෝසම් 5ක්
COLOMBO (News 1st) : අභියාචනාධිකරණය ඊයේ දුන් අතුරු නියෝගයට අනුව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනා අද උදෑසන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට මෝසම් 5 ක් ඉදිරිපත් කරමින් පෙනී සිටියේ ය. කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා හරහා මේ බව අභියාචනාධිකරණයට දැනුම් දීමට කටයුතු කරන බවයි. කුරුණෑගල ඉපැරණි රාජ සභා මණ්ඩපයට හානි කිරීම සම්බන්ධ නඩුව කලින් දින ලබා දී තිබු සැප්තැම්බර් 4 වන දින යළි කැඳවීමට නියමිතයි. නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම සලකා බලමින් නඩු විභාගය අවසන්වන තෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය නිකුත්කිරීම වලක්වමින් ඊයෙ අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණ.
2020-08-26T10:42:39.000Z
''කෑලි කෑලි එපා... සම්පූර්ණ වෙනසක් කරන්න'' - ඇල්ලේ ගුණවංශ හිමි
''කෑලි කෑලි එපා... සම්පූර්ණ වෙනසක් කරන්න''
COLOMBO (News 1st) : කෑලි කෑලි සංශෝධනය නොකර සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අද අවධාරණය කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරණතුංග සහ අනුප පැස්කුවල් යන මහත්වරුන් අද කොළඹ ධර්මායතනයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි https://business.facebook.com/NewsfirstSL/videos/1262422544112036/
2020-08-26T10:30:05.000Z
පැය 9ක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ජනපති කොමිසමේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි
ජනපති කොමිසමේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසට
COLOMBO (News 1st) : පැය 9ක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ජනපති කොමිසමේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි පැය 9ක කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අප්‍රේල් 21 ප්‍රහාරය ගැන විමර්ශන කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන්,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබේ. අප්‍රේල් 21 ප්‍රහාරය ගැන විමර්ශන කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ කොළඹ නිවසට පැමිණියහ. හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දී තිබිණ.
2020-08-26T06:58:47.000Z
ත්‍රිත්ව ශතකයක් රැස් කළ දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක්
දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක්
COLOMBO (News 1st): දිනේෂ් චන්දිමාල් මෙරට දේශීය ක්‍රිකට් තරගයක පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට අද සමත් විය. ඒ, අන්තර් සමාජ තුන් දින ක්‍රිකට් තරගාවලියේ, සැරසන්ස් ක්‍රීඩා සමාජය සමග පැවැත්වෙන තරගයේදී නොදැවී ලකුණු 354 ක් රැස් කරමිනි. තරගය කටුනායකදී පැවැත්වේ. තරගය අද දෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි යුද හමුදා ක්‍රීඩකයින් කඩුලු 5 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 344කි. යුද හමුදා ඉනිම ශක්තිමත් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 354 රැස් කළේය. ඊට හතරේ පහර 33 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත්ය. තරගයෙන් පසු අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල් ''මම ගොඩක් මහන්සි වුණා. මේ ලකුණු ලබා ගන්න. සියලු දෙයක්ම මහන්සියේ ප්‍රතිඵලයක් හින්දා හම්බවුණ දෙයක් ඉතින් ගොඩක් සන්තෝසයි. ඊළඟ සීසන් එක එනවා තම මාස 2 ක් වගේ කාලයකින් ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නවා හම්බවෙන ක්‍රීඩා තරග පුළුවන් තරම් උපරිමයෙන් දායකත්වය යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන්න'' පළමු පෙළ ක්‍රිකට් තරගයකදී හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ලබා ගත් ලකුණු 374 වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ. කිත්රුවන් විතානගේ ද මීට පෙර දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගකදී ටැමිල් යූනියින් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 351 ක් ලබා ගෙන තිබුණි.
2020-08-26T05:43:43.000Z
සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
COLOMBO (News 1st): අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2020-08-26T03:32:33.000Z
අංගොඩ ලොක්කාගේ තවත් සහයකයෙකු දැලේ
අංගොඩ ලොක්කාගේ තවත් සහයකයෙකු දැලේ
COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් 42ක්, T56 ගිනිඅවි 03ක් , උණ්ඩ 170ක් හා 9mm පිස්තොලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු අංගොඩ ලොක්කාගේ සහයකයෙකු බව ද පොලීසිය සඳහන් කළේය. කොළඹ අපරාධ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
2020-08-26T03:08:20.000Z
මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනමින් අරඹන්න අත්තිකාරම් ගෙවයි
මධ්‍යම අධිවේගයේ වැඩ අරඹන්න අත්තිකාරම් ගෙවයි
COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කඩිනමින් ආරම්භ කිරීම සඳහා අත්තිකාරම් මුදල් ගෙවූ බව අමාත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
2020-08-26T00:30:19.000Z
හෙරොයින් පැකට් කරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දලදී අත්අඩංගුවට
හෙරොයින් ජාවාරම් කළ අඹු සැමි යුවලකට වැඩ වරදී
COLOMBO (News 1st) -හෙරොයින් පැකට්වලට අසුරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සිය නිවස තුළ ඔවුන් එලෙස හෙරොයින් පැකට් කර ඇති බවයි. සැකකරු හා සැකකාරිය සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 75ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. 39 හා 43 හැවිරිදි සැකකරු හා සැකකාරිය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2020-08-25T23:56:47.000Z
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70ක් නිල නිවාස ඉල්ලුම් කරයි
ඇමතිවරු 70ක් නිල නිවාස ඉල්ලුම් කරයි
COLOMBO (News 1st) - නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70 දෙනෙකු රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, ඔවුන්ට ලබා දීම සඳහා අමාත්‍යාංශය සතුව ඇත්තේ නිල නිවාස 30 ක් පමණක් බවයි. ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාව, දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාව පදනම් කරගනිමින්, ඒවා ලබා දීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 70 දෙනෙකුට නිල නිවාස ලබා දීමේදී පවතින තත්ත්වය යටතේ, අමාත්‍යාංශය දැඩි දුෂ්කරතාවයකට පත්වන බවද, ලේකම්වරයා සඳහන් කළේය.
2020-08-25T23:27:40.000Z
පොල්, කිතුල් ,තල් හා රබර් ආශ්‍රීත කර්මාන්ත ප්‍රවර්ධනට අවධානය
පොල්,කිතුල්,තල්,රබර් ආශ්‍රීතකර්මාන්ත කෙරෙහි අවධානය
COLOMBO (News 1st) -කිතුල් හා තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක්කර, විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කිරිමේ හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. පොල්, කිතුල් ,තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රීත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ, තල් හා කිතුල් වගා ප්‍රවර්ධනයට ඇති බාධා ඉවත් කර, නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගන්වන බවයි. කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද, ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ. කෙටි කාලයකදී ලගා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන්නැයි ද, ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, උතුරු නැගෙනහිර ඇතුළුව හඳුනා ගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ආරම්භ කරන ලෙසයි. රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 2000ක් දක්වා වර්ධනය කිරීමටත්, බෑවුම් ප්‍රදේශ වල ෆයිනස් වගාව වෙනුවට රබර් වගා කිරීමටත්, ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ. මීට අමතරව නායයෑමට ලක් වූ ප්‍රදේශ වල කිතුල් වගාව ප්‍රවර්ධනයට ද නියමිතය. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබූ පුරන් කුඹුරු වගාවට යොදා ගන්නා ලෙස ද, මෙහිදී උපදෙස් දී තිබේ. පොල් සඳහා ස්ථාවර මිලක් නියම කිරිම කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාද්‍ය අංශය සඳහන් කළේය.
2020-08-25T22:40:28.000Z
අප්‍රේල් 21 ප්‍රහාරයේ විමර්ශන කොමිසම හිටපු ජනපති මෛත්‍රීපාලගේ නිවසට
අප්‍රේල් 21ප්‍රහාරය:විමර්ශන කොමිසම මෛත්‍රීගේ නිවසට
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිවසට අද උදෑසන පැමිණියේය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවීමක් කර තිබුණි. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බවයි. මීට පෙර හිටපු අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබේ.
2020-08-25T22:16:07.000Z
6 වැනි ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය මාර්ගෝපදේශනය අනිවාර්යයි
6 ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය මාර්ගෝපදේශනය අනිවාර්යයි
COLOMBO (News 1st) - පාසල්වල 6 වැනි ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය මාර්ගෝපදේශනය අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පියවර ගන්නා බවයි. මේ තුළින් පාසල් අධ්‍යාපනය ලබන අවධියේම රැකියා අභිමුඛ පුහුණුවකට සිසුන් යොමු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය. මීට අමතරව පාසල්වල උපදේශන ක්‍රියාවලිය අනිවාර්ය කිරිමට ද නියමිතය. දරුවන් අතර පවතින විවිධ මානසික හා සමාජ ගැටලුවලට මේ තුළින් විසඳුම් ලබා දීමට නියමිතය. මේ අතර 9 වැනි ශ්‍රේණිය සමත්වන සෑම දරුවෙකුටම අනිවාර්ය අධ්‍යාපන කාලය අවසන් කළ බවට සහතිකයක් ද නිකුත් කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.
2020-08-25T22:02:17.000Z
මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් හඳුනා ගැනීම: ප්‍රාදේශීය ලේකම් කාර්යාල පුනරුත්ථාපන නිලධාරීන්ට පුහුණුවක්
පුනරුත්ථාපන නිලධාරීන්ට පුහුණුවක්
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් හඳුනා ගැනීම හා පුනරුත්ථාපන පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා සඳහන් කළේ, මේ යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරීන් දෙදෙනෙකු තෝරාගෙන ඊට අදාළ පුහුණුවක් ලබා දුන් බවයි. තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිටී නම් ඒ පිළිබඳ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය දැනුවත් කිරිමට පියවර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
2020-08-25T21:53:22.000Z
අලි - මිනිස් ගැටුම පාලනයට සැලසුම් සකස් කිරීමට පත් කළ කමිටුව ගල්ගමුවට
අලි - මිනිස් ගැටුම: සැලසුම් කමිටුව ගල්ගමුවට
COLOMBO (News 1st) - අලි මිනිස් ගැටුම පාලනය සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීමට පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජිකයින් ගල්ගමුව ප්‍රදේශ‍යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ ප්‍රදේශයේ වන අලි ගම් වැදීම වැළැක්වීම සඳහා ඉදිකළ අලි වැටවල ක්‍රියාකාරිත්වය හා ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගේ අදහස් විමසීම සඳහායි. ගල්ගමුව ප්‍රදේශය සැළකෙන්නේ මෙරට අලි මිනිස් ගැටුම දැඩි ලෙස පවතින ප්‍රදේශයක් ලෙසයි. එම ප්‍රදේශයේ ප්‍රජා සහභාගිත්වයෙන් ඉදි කළ අලි වැට රැසක් වන බව අලි මිනිස් ගැටුම පාලනය සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීමට පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා සඳහන් ක‍ළේය. ඔහු පැවසුවේ ප්‍රදේශයේ ජනතාවගේ අදහස් ලබා ගැනීමෙන් පසු අලි වැටවල තත්ත්වය ද ඊයේ තම කමිටුවේ සාමාජිකයින් විමසා බැලූ බවයි. මෙරට අලි මිනිස් ගැටුමට ස්ථිර පිළියම් ඇතුළත් වාර්තාවක් ඉදිරි මාස දෙක ඇතුළත ජනාධිපතිවරයාට භාර දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. මීට සති කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. ඒ අතරට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ද ඇතුළත් වේ.
2020-08-25T20:31:59.000Z
රටපුරා විදුලිය බිඳවැටීමට හේතුව සේවක අත්වැරදීමක් - කමිටු වාර්තාව
කමිටු වාර්තාව:විදුලිය බිඳවැටීමට හේතුව හෙළිවෙයි..
COLOMBO (News 1st) - දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමට හේතුව කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ සේවකයෙකුගේ අත්වැරදීමක් බව තහවුරු වී තිබේ. ඒ බව තහවුරු වී තිබෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව කළ විමර්ශනවලදීය. විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, ග්‍රීඩ් උප පොළේ ඇතිවූ බිඳ වැටීම නොරොච්චොලේ බලාගාරයට බලපා ඇති බවයි. ඒ හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටීම හමුවේ, මෙම තත්ත්වය ඇතිවූ බව විමර්ශන කමිටුව හෙළි කරගෙන ඇතැයි, එම නිලධාරියා අනාවරණ කළේය. කෙසේ වෙතත් යළි එවැනි සිද්ධියක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ද, අදාළ වාර්තාවේ සඳහන් බව, අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියා පෙන්වා දෙයි. මේ අතර, දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය. විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එම වාර්තාව පෙරේදා විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට භාර දුන් බවයි. පසුගිය 17 වැනිදා සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධියට බලපා ඇති හේතු සාධක සම්බන්ධයෙන් සියලු කරුණු විමසා බැලීමෙන් පසු මෙම වාර්තාව සකස් කර තිබේ. එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතායි. කමිටුවට නියෝජිතයින් 9 දෙනෙකු ඇතුළත් වේ. මෙම කමිටුව පත් කෙරුණේ, විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට සහ නැවත එවැනි තත්ත්වයක් ඇති වීමේ ප්‍රවණතාවය අවම කිරීම අරමුණු කර ගනිමිනි.
2020-08-25T19:18:15.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් : කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 07 වැනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරිම වළක්වමින් අභියාචණාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 2. මුස්ලිම් කොංග්‍රසය ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි : ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊයේ පස්වරුවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවී තිබේ. 3. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් තීරණයකින් තොරව අවසන් : එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ දිනයේත් නායකත්වය හා මන්ත්‍රී අසුන පිළිබඳව අවසන් තීරණයකින් තොරව අවසන් විය. 4. අගමැතිගෙන් නවක මන්ත්‍රීන්ට අවවාදයක් : ජනතාව අපේක්ෂා කරන ව්‍යවස්ථා වෙනසට පෞද්ගලික න්‍යායපත්‍ර පසෙකලා එක්වන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කළේ ය. 5. අංක වෙනසකින් තොරව සේවා සපයන්නා වෙනස් කරගැනීමේ පහසුකම දුරකතන පාරිභෝගිකයින්ට... : ජංගම දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකතන සේවා සපයන්නා වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ. විදෙස් පුවත් 1. සෝනියාගේ තීරණයේ වෙනසක්: තවදුරටත් කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයේ.. : ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි තවදුරටත් පක්ෂ සභාපතිත්වයේ රැඳී සිටිනු ඇතැයි කොංග්‍රස් පක්ෂ මධ්‍යම කාරක සභාව නිවේදනය කළේ ය.
2020-08-25T08:04:17.000Z
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් තීරණයකින් තොරව අවසන්
සිරිකොතේ අදත් අවසන් තීරණයක් නැහැ
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදත් නායකත්වය හා මන්ත්‍රී අසුන පිළිබඳව අවසන් තීරණයකින් තොරව අවසන් විය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ, අද පස්වරුවේයි. පැය තුනක පමණ කාලයක් පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් විය.
2020-08-25T08:00:04.000Z
මුස්ලිම් කොංග්‍රසය ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි
මුස්ලිම් කොංග්‍රසය ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද පස්වරුවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවී තිබේ. කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පැවති මේ හමුවේදී 13 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා පැවසී ය. ඔහු පැවසුවේ, මෙම සංශෝධන සිදුකිරීමේදී සුළුතර ජනතාවට ඇතිවිය හැකි හානි පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි. එවැනි හානි සිදුනොවීමට ඉන්දියාවේ දායකත්වය අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන්දීය මහකොමසාරිස්වරයාට දන්වා තිබේ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තමන්ට ගතහැකි ක්‍රියාමාර්ගය ගන්නා බව එහිදී මහකොමසාරිස්වරයා කියා සිටි බව නසීර් අහමඩ් මහතා පැවසී ය. මේ අතර ඉන්දියාවේ සිට මඩකලපුවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා මඩකලපුව ගුවන් තොටුපොළ පුළුල් කිරීමට සහය වන්නැයි, මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ. මීට අමතරව ඔවුන් ඉල්ලා ඇත්තේ මඩකලපුවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි. මෙම සාකච්ඡාව පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැවසුවේ, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව අවධානය යොමුකළ බවයි. අසල්වැසියාට මුල් තැන යන සංකල්පය මත සාමය හා සංවර්ධන කටයුතුවලට ඉන්දියාව දායකත්වය ලබාදෙන බව ඔහු සඳහන් කර තිබේ.
2020-08-25T07:47:16.000Z
අගමැතිගෙන් නවක මන්ත්‍රීන්ට අවවාදයක්
අගමැතිගෙන් නවක මන්ත්‍රීන්ට අවවාදයක්
COLOMBO (News 1st) : ජනතාව අපේක්ෂා කරන ව්‍යවස්ථා වෙනසට පෞද්ගලික න්‍යායපත්‍ර පසෙකලා එක්වන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කළේ ය. අග්‍රාමාත්‍යවරයා මේ ඇරයුම් කළේ, අද පාර්ලිමේන්තුවේදී ආරම්භවූ වැඩ මුලුවක් අමතමිනි. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙම වැඩ මුළුව පැවැත්වේ. පාර්ලිමේන්තුව තුළ අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් සම්බන්ධයෙන් එහිදී පිරිස දැනුවත් කරන අතර වැඩමුළුවට එක්වූ නවක මන්ත්‍රීවරුන් ගනන 81 කි. මහ මැතිවරණයේදී ජනතා ඡන්දයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන් ගනන 65 ක් වන අතර ජාතික ලැයිස්තුවෙන් 16 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට පත්විය. අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවක මන්ත්‍රීවරුන්ට අවවාදයක් කළේ ය. ව්‍යවස්ථා වෙනසක් පිළිඳව ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට කැපවීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ ය. වැඩමුළුව හෙටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.
2020-08-25T06:37:34.000Z
වේලේවත්තේ සම්පත් වැල්ලම්පිටියේදී STF අත්අඩංගුවට
වේලේවත්තේ සම්පත් STF අත්අඩංගුවට
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වේලේවත්තේ සම්පත් වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන කුඩු රෝෂාන් නමැත්තාගේ සමීපතමයෙකු බවයි. සැකකරු සතුව තිබි හෙරොයින් ගෑම් 5 යි මිලිගෑම් 600 ක් සැකකරු සන්තකයේ තිබි සොයා ගත් බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ය. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
2020-08-25T06:28:35.000Z
හෙරොයින් සමග ඇල්ලූ මහ නගර සභා වැඩ පරීක්ෂක රිමාන්ඩ්
හෙරොයින් සමග ඇල්ලූ මහ නගර සභා සේවකයා රිමාන්ඩ්
COLOMBO (News 1st) : හෙරොයින් සමග අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභාවට අනියුක්තව සේවය කළ කොළඹ මහ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු වන ජගත් ජයලාල්, ලබන 8 දා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු පසුගිය දා පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, හෙරොයින් කිලෝග්රෑම් 1කට අධික ප්‍රමාණයක් සමගයි. සැකකරු, අද දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කර විමර්ශන කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 18 දා පාදුක්ක පොලීසියට අවසර ලබා දී තිබිණ.
2020-08-25T03:24:20.000Z
රංජන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන්
රංජන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අවසන්
COLOMBO ( News 1st ) : අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන් කර තිබේ.
2020-08-25T02:52:12.000Z
අංක වෙනසකින් තොරව සේවා සපයන්නා වෙනස් කරගැනීමේ පහසුකම දුරකතන පාරිභෝගිකයින්ට...
දුරකතන පාරිභෝගිකයින්ට නව පහසුකමක්..
COLOMBO ( News 1st ) : ජංගම දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකතන සේවා සපයන්නා වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා පැවසුවේ පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තම ජංගම දුරකතන සඳහා භාවිත කරන සිම් කාඩ්පත වෙනස් කිරීමකින් තොරව සිය සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත වන බවයි. ඊට අදාළ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවලදී දුරකතන සමාගම් මීට සහයෝගය පල කළ බව ද ඔහු පැවසුවේ ය.
2020-08-25T01:20:17.000Z
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අද පස්වරුවේ..
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අද පස්වරුවේ..
COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලය අද පස්වරු 3.30ට රැස්වීමට නියමිතය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡාවට ගැනෙණු ඇති බවයි. පක්ෂ නායකත්වය පිළිබඳව ද අවදානය යොමු කිරීමට මෙහිදී අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතය. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.
2020-08-25T00:15:21.000Z
පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
COLOMBO ( News 1st ) : මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්, සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සඹරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි
2020-08-24T23:46:43.000Z
තණමල්විල - වැල්ලවාය පාරේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට
සෙවනගල තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර
COLOMBO ( News 1st ) : තණමල්විල - වැල්ලවාය මාර්ගයේ නෙළුවාය හන්දියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මිය ගියේ සෙවනගල ප්‍රදේශයේ පදිංචි 17 සහ 19 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.
2020-08-24T23:19:22.000Z
කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
නගරාධිපති අත්අඩංගුවට ගැනීම වළකා තහනම් නියෝගයක්
COLOMBO ( News 1st ) : කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 07 වැනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරිම වළක්වමින් අභියාචණාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් හා සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම්කරුවන් ගොනු කර ඇති පෙත්සම් පහ විභාගයට ගෙන අවසන් තීන්දුවක් දෙන තුරු එම අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන බවයි. කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනා ඉදිරිපත් කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ඇතුළු පිරිසට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා නොතීසි නිකුත් කරනු ලැබිණි. තම නියෝගය කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමීමේ, සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා බාධාවක් නොවන බවත් පෙත්සම්කාර සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා සහය ලබාදිය යුතු බවත් සිය නියෝගය මඟින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල අද හෝ හෙට සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ද නියෝග කළේය. විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම එදින සිදුනොකරන ලෙසය. මෙම නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට දැනුම් දුන් අතර, ඉදිරි නඩු දිනයේ දී එම විරෝධතා ගොනු කරන ලෙසට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.
2020-08-24T23:10:41.000Z
සෝනියාගේ තීරණයේ වෙනසක්: තවදුරටත් කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයේ..
සෝනියා තවදුරටත් කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයේ..
COLOMBO ( News 1st ) : ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි තවදුරටත් පක්ෂ සභාපතිත්වයේ රැඳී සිටිනු ඇතැයි කොංග්‍රස් පක්ෂ මධ්‍යම කාරක සභාව නිවේදනය කළේ ය. ඒ. ඊයේ පැය 7 ක් පුරාවට පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව ය. මෙවැනි මොහොතකදී කිසිවකුට පක්ෂය දුර්වල කිරීමට හෝ එහි නායකත්වය සුළුකොට තැකීමට අවසර නොදෙන බව ද කොංග්‍රස් පක්ෂය අවධාරණය කළේ ය. කමිටු රැස්වීම අවසානයේ සෝනියා ගාන්ධි නායකත්වය අභියෝගයට ලක්කරමින් ලිපියක් එවූ කිසිවකු සමග අමනාපයක් නොමැති බවත්, ඉන් සිය සිත රිඳුන ද ඔවුන් තම සමකාලීනයන් බැවින් සියලු දේ අමතක කර එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ප්‍රකාශ කළ බව සඳහන් ය. කොංග්‍රස් පක්ෂයේ නායකයන් 23 දෙනෙකුගේ අත්සන සහිතව ඇයගේ නායකත්වය අභියෝගයට ලක්කරමින් එවන ලද ලිපිය ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව තමන් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත්වන බවත් ඒ සඳහා ගාන්ධි පවුලට අයත් නොවන වෙනත් අයකු තෝරා පත් කරගන්නා ලෙසත් සෝනියා ගාන්ධි ඉල්ලා සිටියා ය. කෙසේ වෙතත් මෙම ලිපිය සහ එය එවීමට මුල්වූ සියලු දෙනා හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහන් සිං ඇතුළු ගාන්ධි පවුලට පක්ෂපාතී සියලු කොංග්‍රස් පාක්ෂිකයන්ගේ දැඩි විවේචනයට ලක්විය. මංමෝහන් සිං සෝනියා ගාන්ධිගෙන් ඉල්ලා සිටියේ, මාස හයකින් සමස්ත ඉන්දීය කොංග්‍රස් කමිටුව කැඳවා නව සභාපතිවරයකු තෝරාපත් කරන තෙක් පක්ෂ සභාපති ධූරය හොබවන ලෙසය. සෝනියා ගාන්ධි සභාපති ධුරයෙන් ඉවත්වන්නේ නම් ඒ වෙනුවට රාහුල් ගාන්ධි පත්විය යුතු බව ඇතැම් කොංග්‍රස් පක්ෂ නායකයන් ප්‍රකාශ කළේ ය.
2020-08-24T23:16:47.000Z
ගාල්ලේදී බස් රථයක ගැටීමෙන් 27 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මරුට
ගාල්ලේ රිය අනතුරකින් තරුණයෙකු මරුට
COLOMBO ( News 1st ) : ගාල්ල, මාපලගම, ලබුදූව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගියේ ය. පොලීසිය පැවසුවේ යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබූ බවයි . ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ අක්මීමන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
2020-08-24T22:42:04.000Z
විදේශයන්හි සිටි තවත් ලාංකිකයින් 296 දෙනෙකු මෙරටට
විදේශයන්හි සිටි තවත් පිරිසක් මෙරටට
COLOMBO ( News 1st ) : විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 296 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියේ ය. ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු එලෙස මෙරටට පැමිණි බවයි. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධානය සඳහා යොමු කර තිබේ.
2020-08-24T22:32:06.000Z
දේවාලයක මුවාවෙන් තිබූ ගම්පහ නිවසක වැසිකිළි වලක පවත්වාගෙන ගිය උණ්ඩ ගබඩාවක්
ගම්පහ වැසිකිළි වලකින් මතු වූ උණ්ඩ ගබඩාවක්
COLOMBO ( News 1st ) : ගම්පහ, මොරගොඩ ප්‍රදේශයෙන් ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ 500 ක් සොයා ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය කළ වැටලීමකින් ය. පොලීසිය පැවසුවේ දැනට අත්අඩංගුවේ පසුවන සැකකාරියකගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු සඟවා තිබූ මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි. දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් තිබූ නිවසක වැසිකිළි වලේ සඟවා තිබියදී මෙම උණ්ඩ තොගය සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගියදා හෝකන්දර ප්‍රදේශයෙන් සොයා ගත් ගිනි අවි ජාවාරමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් කරන ලද විමර්ශනවලින් පසු මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2020-08-24T21:55:40.000Z
රාජ්‍ය අමාත්‍යාංශ 35කට ලේකම්වරු පත් කෙරේ
රාජ්‍ය අමාත්‍යාංශ 35කට ලේකම්වරු පත් කෙරේ
COLOMBO ( News 1st ) : රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා ලේකම්වරු පත් කර තිබේ. ඒ අනුව එම ලේකම්වරුන්ගේ නම් මෙසේය. 01. මුදල් හා ප්‍රාග්ධන වෙළදපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය - ආර් එම් රත්නායක මහතා 02. සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - නීල් බණ්ඩාර හපුහින්න මහතා 03. ජාතික උරුම ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය - එස් ටී කොඩිකාර මහතා 04. ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා. 05. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය - ඩී පී ජී කුමාරසිරි මහතා 06. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරත්තාපන රාජ්‍ය අමාත්‍යාංශය - පී සී කරුණාරත්න මහත්මිය 07. කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය - කේ එම් එස් ඩී ජයසේකර මහත්මිය 08. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ආචාර්ය එම් උපාලි සේදර මහතා 09. නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය - එන් එච් එම් චිත්‍රානන්ද මහතා. 10. දහම්පාසල් භික්ෂූ අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය - එස් එච් හරිස්චන්ද්‍ර මහතා 11. ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය - කේ ආර් උඩුවාවල මහතා 12. දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍යාංශය - ඒ කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් එන් කේ වීරසේකර මහත්මිය. 13. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය - එස් අරමෛනායගම් මහතා 14. වනජිවී රැකවරණය අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරිම හා වන සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය - ඩබ්ලිව් පී පී ප්‍රනාන්දු මහතා. 15. වී හා ධාන්‍ය කාබනික ආහාර එළවළු පළතුරු මිරිස් ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය - එල් එල් ඒ විජේසිරි මහතා 16. පොහොර නිෂ්පාදන සැපයුම් රාසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය - එම් එන් රණසිංහ මහතා 17. පශූ සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය - එස් සේනනායක මහතා. 18. මහවැලි කලාප ආශ්‍රීත ඇළවෙළී හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ඩබ්ලිව් පී පලුගස්වැව මහතා 19. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රීත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ඩී වී ආරියරත්න මහතා 20. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - එස් ඩී ඒ බී බොරලැස්ස මහතා 21. විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍යය හා ඉස්සන් ඇති කිරිම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයනය රාජ්‍ය අමාත්‍යාංශය - ජයන්ත සෝමචන්ද්‍ර මහතා 22. සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ජේ එම් තිලකරත්න බණ්ඩා මහතා 23. පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය - තිස්ස හේවාවිතාන මහතා 24. උක් බඩඉරිඟු කජු ගම්මිරිස් කුරුදු කරාබුනැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ඩී එල් පී ආර් අබේරත්න මහතා 25. ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - එස් ජී විජේබන්දු මහතා 26. සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධණ රාජ්‍ය අමාත්‍යාංශය - කේඑච් ඩී කේ සමරකෝන් මහතා 27. ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ඩී ඩී මාතරආරච්චි මහතා 28. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය - මහාචාර්ය රංජිත් දිසානායක මහතා 29. වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මොටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය - එස් එම් ඩී එල් කේ ද අල්විස් මහතා 30. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධණ රාජ්‍ය අමාත්‍යාංශය - කේඑච් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා 31. ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - එන් දේවසුරේන්ද්‍ර මහතා 32. සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය - කේ ඩි එස් රුවන්චන්ද්‍ර මහතා 33. බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය - ආර් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය 34. වේවැල්, පිත්තල , මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - බී වී බණ්ඩාරනායක මහතා 35. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධණ රාජ්‍ය අමාත්‍යාංශය - ඒ සේනනායක මහතා රාජ්‍ය අමාත්‍යාංශ 35කට පත්කළ ලේකම්වරුන්ගේ ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය
2020-08-24T21:18:17.000Z
අලෙවියට ඇති කහවලින් 80% කම පාන් පිටි
අලෙවියට ඇති කහවලින් 80% කම පාන් පිටි
COLOMBO ( News 1st ) : අලෙවිය සඳහා වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පමණ පාන් පිටි කවලම් කර ඇති බවට අනාවරණ වී තිබේ. ඒ, දිවයිනපුරා කළ වැටලිම්වලින් ය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ලබාගත් සාම්පල් ප්‍රමිති කාර්යාංශය මගින් පරීක්ෂාවට ලක් කළ බවයි. කහවල 80% ක් පිටි කවලම් කර ඇති බව එහිදි තහවුරු වී තිබේ. එහි කහ ඇත්තේ 20% ක් පමණක් බව සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, වැරදිකරුවන් වන ව්‍යාපාරිකයින්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි. මේ වනවිට දිවයිනට කහ ආනයන කිරීම තහනම් කර තිබේ. එසේ තිබියදී මෙරටට ගෙන්වා ඇති කහ කන්ටේනර් 62 ක් රාජ සන්තක කිරීමට ශ්‍රී ලංකා රේගුව පසුගියදා පියවර ගත්තේ ය.
2020-08-24T19:00:49.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මිග් ගනුදෙනුව ගැන උදයංග වීරතුංග ජනපති ක‌ොමිසමට කළ ප්‍රකාශය : ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙනීසිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මිග් ගනුදෙනුව පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් මත පසුගිය ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග දේශපාලන පළිගැනීමේ අරමුණින් සිදුකර ඇතැයි කියා සිටියේය. 2. විදුලිය බිඳ වැටීම: කමිටු වාර්තාව ඇමති ඩලස්ට භාර දෙයි : දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට භාර දී තිබේ. 3. ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා 20න් අහෝසිවන ලකුණු.. : 19 වෙනස් කරන ආකාරය ගැන ආණ්ඩුව දැන් සාකච්ඡා කරමින් සිටී. 4. එජාපයට නායකත්වය දෙන්න කරූ සූදානම්: එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වෙත දැනුම් දුන් බව කරූ ජයසූරිය මහතා පවසයි. 5. උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ – ජී.එල්.පීරිස් : උප අග්‍රාමාත්‍ය ධුරයක් ගැන දැනට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් වී නැතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. විදෙස් පුවත් 1. ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ධුරය අත්හරින්න සෝනියා ගාන්ධි සැරසෙයි: ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත්වන බව සෝනියා ගාන්ධි පවසයි.
2020-08-24T21:00:06.000Z
'පොඩි ලැසී'ගේ මව අත්අඩංගුවට
'පොඩි ලැසී'ගේ මව අත්අඩංගුවට
COLOMBO ( News 1st ) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් 'පොඩි ලැසී'ගේ මව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කොට්ටාව මායා මාවත ප්‍රදේශයේ කළ වැටලීමකින් ය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් පරිහරණය කිරීමේ චෝදනාව යටතේ ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය සඳහන් කළේ, සැකකාරිය සතුව තිබී මුදලින් රුපියල් 51,000 ක්, ජංගම දුරකථන 05 ක්, සහ බැංකු ගිණුම් පාස් පොතක් සිය භාරයට ගත් බවයි. සැකකාර කාන්තාව 50 හැවිරිදි ආණ්ඩුවත්ත, තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ය.
2020-08-24T20:50:22.000Z
ශක්තිමත් දේශීය ආර්ථිකයක් වෙනුවෙන් කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි ජනපති කියයි..
කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹිලා
COLOMBO ( News 1st ) : ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවයි. COVID-19 වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළ බව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ, ගබඩාකරණය සහ ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවදානය යොමුකරමින් ඉදිරි දෙවසරේදී අභියෝගගත ඉලක්ක සපුරාගත යුතු බව ජනාධිපතිවරයා පවසයි. වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ ය. මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000කි. පාරිභෝගික අවශ්‍යතාව ටොන් 2,50,000ක් ය. අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතාව සපුරා ගැනීමට ගොවීන් දිරිමත් කළයුතු බව ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දී ඉලක්කය ජය ගැනීමටත්, වෙනත් ආදේශක අල වර්ග පාරිභෝජනයට දිරි ගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. ගබඩාකරණයේදී සහ ප්‍රවාහනයේදී වන හානිය මගහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට එහිදී ලක් කෙරුණි.
2020-08-24T20:21:15.000Z
පාසල් සාමාන්‍ය පරිදි පැවැත්විය හැකිදැයි සොයාබලන විශේෂ සාකච්ඡාවක් අද..
පාසල් දරුවන් ගැන අද විශේෂ සාකච්ඡාවක්..
COLOMBO ( News 1st ) : සිසුන් සාමාන්‍ය ලෙස පාසල් වෙත ගෙන්වා ගැනිමට ඇති හැකියාව පිළිබඳ විමසා බැලීම සඳහා වන සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍යය බලධාරීන් අතරයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ළමුන් 200 ට වඩා අධ්‍යාපනය ලබන පාසල්වල සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි. ලබන මස පළමු වැනිදා සිට පාසල් කාලය උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. කොරෝනා වංසගතයත් සමග වසා දැමුණු පාසල් යළි විවෘත කෙරුණ ද ඇතැම් පාසල්වල සිසුන් මේ දිනවල ගෙන්වා ගනු ලබන්නේ සතියට දින කිහිපයක් පමණි.
2020-08-24T19:40:57.000Z
ලංගම දෛනික ආදායම රුපියල් මිලියන 2කින් පහතට
ලංගම දෛනික ආදායම රුපියල් මිලියන 2කින් පහතට
COLOMBO ( News 1st ) : දෛනික ආදායම රුපියල් මිලියන දෙකකින් පමණ පහත වැටී ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයත් සමග මගී ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිතයෙන් ඉවත් වීම හමුවේ මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. රුපියල් මිලියන 50 ඉක්මවූ මණ්ඩලයේ ආදායම යළි රුපියල් මිලියන 69 ක් දක්වා ඉහළ නැංවීමට හැකි වු බව සභාපතිවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතියෙන් පසු ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 20 කින් පමණ පහත වැටුණ බවයි. ඇඳිරි නීතිය පැනවීමට පෙර සාමාන්‍ය දිනක මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 75 ත් 85 ත් අතර අගයක පැවතිණි. ඔහු පැවසුවේ, පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන කඩිනමින් විකල්ප ආදායම් මාර්ග වෙත යොමු වීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර ඇති බවයි. ඒ අනුව බස් රථ එංජින් අලුත්වැඩියාව වැනි විකල්ප ආදායම් මාර්ග වෙත මණ්ඩලය යොමු වී ඇති බව ද ඔහු පැවසුවේ ය.
2020-08-24T11:57:11.000Z
මිග් ගනුදෙනුව ගැන උදයංග වීරතුංග ජනපති ක‌ොමිසමට කළ ප්‍රකාශය
උදයංග වීරතුංග ජනාධිපති කොමිසම හමුවට
COLOMBO (News 1st) - ජනාධිපති කොමිසම හමුවේ අද පෙනීසිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මිග් ගනුදෙනුව පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් මත පසුගිය ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග දේශපාලන පළිගැනීමේ අරමුණින් සිදුකර ඇතැයි කියා සිටියේය. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සිතාසි නොලැබුණු බවත්, එවැනි තත්වයක් තුළ තමාට එරෙහිව වරෙන්තු නිකුත් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය. එහිදී සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ වරෙන්තු නිකුත් වී තිබූ කාලයේ කුමන රටක රැදී සිටියේද යන්නයි. වීරතුංග මහතා සඳහන් කළේ තමන්ට වරෙන්තු නොලැබුණු නිසා යුක්‍රේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි බවයි. සාක්ෂිකරුගේ ලිපි ලේඛනවල ගැටලු ඇති බැවින් වැඩිදුර කරුණු විමසීම සැප්තැම්බර් 04 වැනිදා දක්වා කල් දැමීමට ජනාධිපති කොමිසම තීරණය කළේය.
2020-08-24T11:35:27.000Z
තවත් මාස කිහිපයකින් කොළඹ වෙනස් වෙන හැටි...
තවත් මාස කිහිපයකින් කොළඹ වෙනස් වෙන හැටි...
COLOMBO (News 1st) - තවත් මාස කිහිපයකින් කොළඹ නගරය වෙනස්කම් රැසකට ලක්වේ. ඒ නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් හේතුවෙනි. මෙම වැඩසටහන යටතේ කොළඹ, කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ නවීකරණ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරිණි. කොළඹ, කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ නවීකරණය සඳහා අද පෙරවරුවේ මෙලෙස පියවර තැබුණේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම නවීකරණ ව්‍යාපෘතියට යාත්‍රා නවතා තැබීමේ ස්ථානයක්, නව පාලමක්, ආහාර සහ සෙසු ද්‍රව්‍ය මිලදී ගැනීමේ ස්ථාන ඇතුලු අංග රැසක් එක්කර තිබේ. දෙස් විදෙස් සංචාරකයින් මෙම ස්ථානයට ආකර්ශනය කරගැනීම ව්‍යාපෘතියේ මූලික අදහසයි. නාගරික සංවර්ධන අධිකාරියේ තාක්ෂණික දායකත්වයෙන් සියලු නවීකරණ කටයුතු සිදුවන්නේ යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ශ්‍රම දායක්තවය ඇතිවයි. එළැඹෙන නොවැම්බර් 17 වැනිදාට පෙර මෙම නවීකරණ කටයුතු අවසන් කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස මරදාන දුම්රියපොළ හා කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය යාකිරීම සිදුවනු ඇති.
2020-08-24T10:12:52.000Z
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,959 දක්වා ඉහළට
අද දින කොරෝනා ආසාදිතයින් 6ක්
COLOMBO (News 1st) - අද දින මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 06 කි. ඒ සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,959 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
2020-08-24T10:05:51.000Z
විදුලිය බිඳ වැටීම: කමිටු වාර්තාව ඇමති ඩලස්ට භාර දෙයි
විදුලිය බිඳ වැටීම:කමිටු වාර්තාව ඇමතිට
COLOMBO (News 1st) -දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට භාර දී තිබේ. අදාළ වාර්තාව හෙට විෂයභාර අමාත්‍යවරයාගේ විමර්ශනයට ලක්කිරීමට නියමිත අතර, අනිද්දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 17 වැනිදා සිදුවූ විදුලිය බිඳ වැටීමේ සිද්ධියට අදාළව පරික්ෂණයක් සඳහා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කමිටුවක් පත් කළේය. ඒ, මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. 09 දෙනෙකුගෙන් සමන්විත වූ අදාල කමිටුවේ වාර්තාව මෙලෙස විෂය භාර අමාත්‍යවරයාට භාර දී තිබුණේ අද පස්වරුවේදීය.
2020-08-24T09:33:33.000Z
ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා 20න් අහෝසිවන ලකුණු..
20න් අහෝසිවන 19 කරුණු..
COLOMBO (News 1st) - 19 වෙනස් කරන ආකාරය ගැන ආණ්ඩුව දැන් සාකච්ඡා කරමින් සිටී. අද මහාචාර්ය ජී.එල් පීරිස් අමාත්‍යවරයා අනාවරණය කළ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා මේ වෙනස්කම්වලින් අහෝසි කිරීමට නියමිතය. මේ ව්‍යවස්ථා වෙනස ගැන කතා කරද්දී 17, 18 සහ 19 යන ව්‍යවස්ථා වෙනස්කම් තුනම එක්කර සාකච්ඡා කළ යුතුයි. ව්‍යවස්ථාවේ සිදුකළ 17 වන සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ ජනාධිපතිවරයාට විවිධ ආයතන හා තනතුරු සදහා පත්කිරීමට තිබූ අසීමිත බලය සීමා කිරීමටයි. එහෙත් මේ සංශෝධනය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ අහෝසි වුණේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. 18 න් ජනාධිපතිවරයාගේ ධුරය දැරිය හැකි වාර ගණන පවා වෙනස් කළේය. 18 න් දුර්වල වුණු ව්‍යවස්ථා සභාව සහ කොමිෂන් සභා නැවත ඇති කරමින් යහපාලන ආණ්ඩුව 19 වන සංශෝධනය සම්මත කර ගැනිණි. 19 න් මේ වෙනස්කම් වගේම ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5 කට සීමාකළ අතර වාර ගණන 2 ක් දක්වා අඩු කළේය. එමෙන්ම ජනාධිපතිවරයාට ඇමති තනතුරු දැරීම සීමාවූ අතර තොරතුරු දැනගැනීම ඇතුළු මූලික අයිතිවාසිකම් ශක්තිමත් කළේය. විධායක ජනාධිපතිවරයාට නඩු පැවරීමට නොහැකි බවට වූ මුක්තිය මූලික අයිතිවාසිකම් සම්බන්ධ කරුණුවලදී අහිමි කිරීමටත් 19න් වගබලාගෙන තිබුණි. 19 තවත් විශේෂ කරුණක් වූයේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි කිරීමයි. දැන් වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමට සූදානම් වන්නේ මේ සංශෝධනවලින් කිහිපයකි. අද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අනාවරණය කළ ආකාරයට ජනාධිපතිවරයාගේ ධුර කාලය හා වාර ගණන වෙනසක් නොවේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළ යුතු යැයි ඔවුන් තීරණය කර තිබේ. කතානායකවරයා සභාපතිත්වය දරණ ව්‍යවස්ථා සභාවට අගමැතිවරයා, විපක්ෂ නායකවරයා නිල බලයෙන් ඇතුළත්ය. ජනාධිපතිවරයා නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා යන දෙදෙනාම යෝජනා කර ජනාධිපතිවරයා පත් කරන 5 දෙනෙක්ද ව්‍යවස්ථා සභාවෙ නියෝජනය කරනු ලැබේ. ඉන් තුන්දෙනෙක් පත්වන්නේ සිවිල් සමාජයෙනි. අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන අනෙක් පක්ෂවලින් පත් කරන නියෝජිතයෙක්ද 19 වන සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාවට ඇතුළත්ය. ස්වාධීන කොමිෂන් සභා 9 කට සමාජිකයින් පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අවශ්‍යයි. අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස් යන තනතුරු සදහා පත්කිරීම්වලට ජනාධිපතිවරයා මේ සභාවේ අනුමැතිය ලැබාගත යුතු වේ. https://www.facebook.com/NewsfirstSL/videos/226472795418934/
2020-08-24T09:28:10.000Z
TNA සහ ඉන්දීය මහකොමසාරිස් අතර සාකච්ඡාවට ආණ්ඩුවෙන් විවේචන..
TNA සාකච්ඡාවට ආණ්ඩුවෙන් විවේචන..
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් ගැන යළිත් සංවාදයක් ඇතිවී තිබේ. ආණ්ඩුව පවසන පරිදි 19 වන සංශෝධනයේ වෙනස්කම් සිදුකිරීම සේම අලුත් ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුව සූදානම්. පසුගිය සිකුරාදා දෙමළ ජාතික සන්ධානය මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති හමුවෙන් අනතුරුව ඉන්දියාවේ උන්නදුව නැවතත් ප්‍රකාශ වුණේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සිදුකළේ ඉන්දු - ලංකා ගිවිසුමේ ඇතිකරගත් එකගතාවලින් පසුවයි. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළ පළාත් සභා සියල්ල මේ වනවිට පවතින්නේ අකර්මණ්‍ය තත්ත්වයේය. යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡන්ද විමසීම ගැන කළ නීති වෙනස්කම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරගත නොහැකිවීම නිසා ඡන්දය පැවැත්වීමට තවමත් නොහැකිවී තිබේ. පසුගිය සිකුරාදා කොළඹදී ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පිරිස මේ පිළිබඳව සාකච්ඡා කර තිබුණි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ හමුවෙන් පසුව නිකුත්කළ ට්විටර් පණිවිඩයකින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ සිය දිගුකාලීන ස්ථාවරය නැවත අවධාරණය කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/646273929637355/
2020-08-24T07:23:21.000Z
විදේශ රැකියා ප්‍රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක්
විදේශ රැකියා ප්‍රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක්
COLOMBO (News 1st) - විදේශ රැකියා ප්‍රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක් සකස් කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කළේ, එම සැලැස්ම සකස් කර ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලික පසුබෑමකට ලක්වී ඇති විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ, 2021 වසර ආරම්භය වන විට නව පිබිදීමක් ඇති කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දේශීය ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පත් කරන බවයි. විදේශ රැකියාලාභීන්ගේ විධිමත් තොරතුරු පද්ධතියක් ඇති කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2020-08-24T06:09:49.000Z
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් වළ දමා තිබූ ජංගම දුරකතන 19 ක් සොයා ගනී
ජංගම දුරකතන 19ක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන්
COLOMBO (News 1st) : කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භූමියේ වළ දමා තිබූ ජංගම දුරකතන 19 ක් අද සොයාගෙන තිබේ. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම ජංගම දුරකතන සොයා ගත් බවයි. මෙලෙස සොයා ගැනුණු ජංගම දුරකතන අතර ස්මාර්ට් ජංගම දුරකතන 03 ක් ද වන බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉටි බෑගයක බහා සුරක්ෂිතව ඇසුරුම් කර මෙම ජංගම දුරකතන වළා දමා තිබූ බවයි.
2020-08-24T04:52:21.000Z
ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් බියගමින්
ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්
COLOMBO (News 1st) - ගෙල ප්‍රදේශය ආශ්‍රිත කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් බියගම, පේරගස්වත්ත - මල්වත්ත පාරේ නිවසක් තුළ තිබී අද පස්වරුවේ සොයා ගැනිණි. පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 39 ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි. අදාළ කාන්තාව ගෙල කපා ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, අද පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබද විමර්ශන ආරම්භ කළ බවයි.
2020-08-24T03:26:54.000Z
පැය 24 ක් තුළ දියේ ගිලීමෙන් තිදෙනෙකු මරුට
පැය 24 ක් තුළ දියේ ගිලීමෙන් තිදෙනෙකු මරුට
COLOMBO ( News 1st ) : ගත වූ පැය 24 තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කොච්චිකඩේ, පේරුතොට ඉස්සන් වාඩිය අසළදී හා කම්මල්ගොඩ, මෝය සමීපයේදී දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ දඹදෙණියේ හා කඳවල පදිංචි 18 හැවිරිදි හා විසිතුන් හැවිරිදි තරුණයන් දෙදෙනෙක් ය. මේ අතර ඊයේ පස්වරුවේ ගල්ලකිස්ස මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් දෙහිවල වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගෙන තිබේ. අතුරුදන්ව ඇති සෙසු තරුණයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. නුවරඑළිය, පූඬළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම දෙදෙනා ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබුණි. ඊට අමතරව කිතුල්ගල, තුන්කිද ප්‍රදේශයෙන් කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටිය දී සැඩ පහරට හසුව මාකොල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් අතුරුදන් වී තිබේ.
2020-08-24T03:13:32.000Z
ත්‍රිවිධ හමුදා සහයෙන් පුරන් වූ ඉඩම් වගා කිරීමට අවදානය
පුරන් වූ ඉඩම් වගා කිරීමට අවදානය
COLOMBO ( News 1st ) : ත්‍රිවිධ හමුදාවේ සහය ලබා හෝ පුරන් වූ ඉඩම් වගා කිරීමට අවදානය යොමුවී ඇතැයි වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ හරහා අදාළ ඉඩම් ජාතික නිෂ්පාදනයට හවුල් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
2020-08-24T03:10:36.000Z
හෙරොයින් ජාවාරම් කළ දෙදරු පියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
හෙරොයින් ජාවාරම : ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
COLOMBO ( News 1st ) : හෙරොයින් ග්‍රෑම් 18 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකකට වරදකරු කරනු ලැබු 33 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. ගයාන් ඉන්ද්‍රජිත් නැමැති එම විත්තකිරුව පොලිස් විශේෂ කාර්ය බලකාය ( STF ) විසින් 2013 ඔක්තෝබර් 30 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ග්‍රැන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ය.
2020-08-24T02:47:29.000Z
එජාපයට නායකත්වය දෙන්න කරූ සූදානම්
එජාපයට නායකත්වය දෙන්න කරූ සූදානම්
COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වෙත දැනුම් දුන් බව කරූ ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සළකා බොහෝ පාර්ශව වෙතින් කෙරුණු ඉල්ලීම් සළකා බලා පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් මේ තීරණය ගත් බවයි. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය පත්ව ඇති තත්ත්වය සමස්ත පාක්ෂිකයාගේ සහ මෙරට ප්‍රගතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ බලවත් කණගාටුවට හේතු වී ඇති බවද කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි. ජයසූරිය මහතා පවසන්නේ පක්ෂය රැකගැනීමට සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගම් නියෝජනය කරන පුජ්‍ය පක්ෂය, එජාපය නියෝජනය කළ හිටපු මැති ඇමතිවරු, පක්ෂයට සහ රටට හිතැති බුද්ධිමතුන්, එජාපය සමග සහයෝගයෙන් ක්‍රියා කරන ඇතැම් පක්ෂ නායකයන්, පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිතයන්, පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති, තරුණ සංවිධාන, මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිවිල් සංවිධාන තමන්ගෙන් ඉල්ලීම් කළ බවයි. ඉදිරි මැතිවරණවලදී පක්ෂය ශූන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම පිණිස වන අවසන් අවස්ථාව මේ මොහොතේ එළැඹ ඇති බව එකී සියලු පාර්ශව විසින් පෙන්වා දෙන ලැබූ බවද කරූ ජයසූරිය මහතා පවසයි.
2020-08-24T01:43:52.000Z
කොළඹ බන්ධනාගාරවලට අද සිට STF ආරක්ෂාව
කොළඹ බන්ධනාගාරවලට අද සිට STF ආරක්ෂාව
COLOMBO ( News 1st ) : කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ( STF ) යොදවා තිබේ. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, වැලිකඩ කාන්තා අංශය හා බන්ධනාගාර රෝහලේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිට යොදවන බවයි. වැලිකඩ, රිමාන්ඩ්, මැගසින් බන්ධානාගාර වගේම වැලිකඩ කාන්තා අංශයේ පරීක්ෂාවන් සඳහා එස් ටී එෆ් යොදවනවා. ආරක්ෂාව හා බන්ධනාගාරයන් තුළට නීති විරෝධී ද්‍රව්‍යය රැගෙන යාම වැළැක්වීම මෙහි අරමුණ බව චන්දන ඒකනායක මහතා පවසයි.
2020-08-24T03:28:12.000Z
ජොබ් ලිස්ට් එකේ නම නැති උපාධිධාරීන් අදත් විරෝධතා පාගමනක
ලිස්ට් එකේ නම නැති උපාධිධාරීන් අදත් විරෝධතා පාගමනක
COLOMBO (News 1st) : රැකියාලාභී උපාධිධාරි ලේඛනයේ නම ඇතුළත් නොවූ උපාධිධාරීන් පිරිසක් අදත් කොළඹදී විරෝධතා පාගමනක් ආරම්භ කළහ. පිරිස විරෝධතාවයේ නිරත වන්නේ, රැකියාලාභී උපාධිධාරී ලේඛනයෙන් තම නම ඉවත් කර ඇති බව පවසමිනි. විරෝධතාවයේ නිරත උපාධිධාරීන් පිරිස කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති කාර්යාලය අසළට පැමිණියහ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, උපාධිධාරී නියෝජිතයින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය තුළට යෑමට අවසර ලැබුණු බවය. සෙසු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඇති විරෝධතා සදහා වෙන් කර ඇති ස්ථානයේ රැදී සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/928877277594917/
2020-08-24T00:52:12.000Z
උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ - ජී.එල්.පීරිස්
උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ
COLOMBO ( News 1st ) : උප අග්‍රාමාත්‍ය ධුරයක් ගැන දැනට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් වී නැතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2020-08-24T00:44:32.000Z
කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරිම වළක්වනවාද? නැද්ද? අභියාචනාධිකරණ තීන්දුව හෙට..
කුරුණෑගල නගරාධිපති: වරෙන්තු නියෝගය කුමක් වේවිද
COLOMBO ( News 1st ) : තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 7 වෙනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන ලෙස ඉල්ලා නගරාධිපතිවරයා පසුගියදා අභියාචනාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කළේ ය. මේ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් නිකුත් කළ නියෝගය ද හෙට දිනය දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද පියවර ගත්තේ ය.
2020-08-23T23:36:07.000Z
මහනුවර - කුරණෑගල පාරේදී කන්ටේනර් රියැදුරෙක් පියෙකුට සහ දියණියකට මරු කැඳවයි
පියෙකු හා දියණියකට මරු කැඳවූ මඩවල රිය අනතුර
COLOMBO ( News 1st ) : මහනුවර - කුරණෑගල මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ කන්ටේනර් රථයක්, රියැදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක ගැටී තවත් කාර් රථයක් මතට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. එලෙස මියගොස් ඇත්තේ අනතුරට ලක්වූ මෝටර් රථයක සිටි 36 හැවිරිදි පියෙකු දෙහැවිරිදි දියණියකි. ඔවුන් නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේ ය.
2020-08-23T22:26:29.000Z
කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු දැලේ
කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු දැලේ
COLOMBO ( News 1st ) : බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් 33 හැවිරිදි එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 780 ක් සිය භාරයට ගත් බවයි. ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2020-08-23T22:19:20.000Z
යාපනය, මහරගම හා වැල්ලම්පිටියෙන් මත්කුඩු සමග 7ක් අත්අඩංගුවට
ප්‍රදේශ 3කින් මත්කුඩු සමග 7ක් අත්අඩංගුවට
COLOMBO ( News 1st ) : වැල්ලම්පිටිය, මහරගම හා යාපනය යන ප්‍රදේශවලදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ වැල්ලම්පිටිය, මහබුත්ගමුව ප්‍රදේශයේදී මාවා සහ කේරල ගංජා කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග 44 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. මහරගම, පතිරගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 27 ක් සමග 40 හැවිරිදි පුද්ගලයෙකු ද යාපනය කොකුවිල් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 67 ක් සමග සැකකරුවන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-08-23T21:36:04.000Z
බස්නාහිර පළාතේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුළු සැකකරුවන් 1141ක් අත්අඩංගුවට
බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 1141ක් දැලේ
COLOMBO ( News 1st ) : පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 477 ක් ඇතුළු සැකකරුවන් 1,141ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
2020-08-23T21:10:09.000Z
ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ධුරය අත්හරින්න සෝනියා ගාන්ධි සැරසෙයි
කොංග්‍රස් සභාපති ධුරය අත්හරින්න සෝනියා සැරසෙයි
COLOMBO ( News 1st ) : ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත්වන බව සෝනියා ගාන්ධි පවසයි. ඒ , කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන තීරණ ගැනීමේ මණ්ඩලය වන මධ්‍යම කාරක සභාව කමිටුවේ සාමාජිකයන් ජන්දයකින් තෝරාපත් කරගන්නා ලෙස සඳහන් කළ ලිපියක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ය. එම ලිපියට මුල්වී ඇත්තේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන නායකයන් 20 කට අධික පිරිසක් ය. පූර්ණකාලීන , සක්‍රීය , ප්‍රතිඵලදායක මෙන්ම සාමූහික නායකත්වයක් බලය විමධ්‍යගත කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීම , ප්‍රාන්ත ඒකක බලගැන්වීම සහ සෑම මට්ටමකදීම සංවිධානාත්මක මැතිවරණ පැවැත්වීම යන ඉල්ලීම් මෙමඟින් ඉල්ලා ඇතැයි සඳහන් ය. එම ලිපිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පක්ෂ නායකත්වය පිළිබඳ පවතින අස්ථිරභාවය පක්ෂයේ සේවකයන් අධෛර්යයට පත් කර පක්ෂය දුර්වල කළ බවයි. කොංග්‍රස් පක්ෂයේ 134 වසරක ඉතිහාසය තුළ වැඩි කාලයක් පක්ෂය මෙහෙයවූ ගාන්ධි පවුලේ සාමාජිකයන්ට මෙම සාමූහික නායකත්වයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස රැඳී සිටිය හැකි බවද එම ලිපියෙන් පෙන්වා දෙයි. මෙම ලිපියෙන් පසු තවදුරටත් පක්ෂයේ අන්තර්වාර සභාපතිවරයා ලෙස රැඳී සිටීමට අවශ්‍ය නැතැයි සෝනියා ගාන්ධි ප්‍රකාශ කළේ ය. 73 හැවිරිදි ඇය අද පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හමුවේදී මේ පිළිබඳ සාකච්ජා කිරීමට නියමිත ය. මේ අතර සෝනියා ගාන්ධි ගේ දරුවන් වන රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි සඳහන් කළේ, පක්ෂයේ නායකත්වය ගැනීමට තමන් සූදානම් නැති බවයි . කොංග්‍රස් පක්ෂයේ බිඳවැටීමට මීට පෙර පැවති පක්ෂ නායකත්වය වගකිව යුතු බව මීට පෙර පක්ෂයේ තරුණ නායකයන් චෝදනා කර තිබුණි. ඇතැමුන් පවසන්නේ නායකත්වය නොදැරුවද , වක්‍රාකාරයෙන් පක්ෂයේ ප්‍රධාන තීරණ සියල්ලටම රාහුල් ගාන්ධි බලපෑම් කරන බවයි . කොංග්‍රස් පක්ෂය ඉකුත් වසරේ මහ මැතිවරණයෙන් ලද දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉවත් විය. මෙම ලිපිය හේතුවෙන් ගාන්ධි පවුලට පක්ෂපාතී සහ විපක්ෂ කණ්ඩායම් ලෙස කොංග්‍රස් පක්ෂ නායකයන් පිල් බෙදී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2020-08-23T20:58:22.000Z
බහරේන්හි සිටි ලාංකිකයන් 180 දෙනෙකු දිවයිනට
බහරේන්හි සිටි ලාංකිකයන් 180 දෙනෙකු දිවයිනට
COLOMBO ( News 1st ) : කොරෝනා හේතුවෙන් බහරේන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු දිවයිනට රැගෙන එනු ලැබුවේ ය. ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ ඊයේ රාත්‍රී 8.45 ට පමණ අදාළ පිරිස දිවයිනට රැගෙන ආ බවයි. ඔවුන් පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
2020-08-23T20:41:17.000Z
වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 4554ක්
වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාව රත්නපුරෙන්
COLOMBO ( News 1st ) : වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 4554 දෙනෙකු වාර්තා වී වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ අදාළ කාලය තුළ මී උණ හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බවයි. වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1146 ක් වේ. ගතවූ කාලය තුළ මොණරාගල දිස්ත්‍රික්කයෙන් කිසිදු මී උණ රෝගියෙකු වාර්තා වී නැහැ.
2020-08-23T19:30:34.000Z
විදුලි බිඳවැටීම ගැන විමර්ශනය කළ කමිටුවේ වාර්තාව අද ඇමති ඩලස්ට
විදුලි බිඳවැටීම: කමිටු වාර්තාව අද ඇමතිට
COLOMBO ( News 1st ) : හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුවේ වාර්තාව අද විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදීමට නියමිතව තිබේ. දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ය.
2020-08-23T20:28:02.000Z
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 6ක්..
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 6ක්..
COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණි. ඔවුන් මැලේසියාව, කෙන්යාව, ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධානය වෙමින් සිටි පුද්ගලයින් ය. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2953 ක් දක්වා ඉහළ ගියේ ය. සුවය ලැබූ සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 2805 කි. මේ අතර කොරෝනා ආසාදිතව මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණි. ඒ, කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ය. ඇය පසුගිය 20 වැනිදා ඉන්දියාවේ සිට පැමිණ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ය. ඒ අනුව කොරෝනා හේතුවෙන් මෙරට මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 12 ක් වේ.
2020-08-23T19:00:39.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි :කොරෝනා ආසාදනය වීමෙන් ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 2. ඩුබායි පනින්න ගිය ‘වැල්ලේ සාරංග’ ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට: පාතාල තුවක්කුකරුවෙකු වන ‘වැල්ලේ සාරංග’ සහ කොළඹට ගංජා බෙදා හැරීමේ ජාලයේ ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු ඩුබායි රාජ්‍ය වෙත පලායාමට තැත් කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 3. ප්‍රවීණතා විභාගවල ප්‍රතිඵල ලැබුණු විගස සරසවි කඩයිම් ලකුණු නිකුත් කෙරේ : විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිමේ ප්‍රවීණතා විභාගවල ප්‍රතිඵල ලැබුණු විගස සරසවි කඩයිම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. 4. ආනයනික අර්තාපල් බද්ද ඉහළට: ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 5 කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. 5. ගම්පොළදී කොටියෙකු මද්දකට බිලිවෙයි: ගම්පොළ, දොළුව, අඹගස්තැන්න ප්‍රදේශයේ වල් බිහිවී ඇති පුද්ගලික ඉඩමක් තුළ ඇටවූ මද්දකට හසු වීමෙන් කොටියෙකු මියගොස් තිබේ. විදෙස් පුවත් 1. මෙක්සිකෝවේ කොරෝනා මරණ ගණන 60,000 ඉක්මවයි: මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබේ .
2020-08-23T10:28:31.000Z
'යකා සම්පත්' කොටු
'යකා සම්පත්' කොටු
COLOMBO ( News 1st ) : සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා රට පුරා ආරක්‍ෂක අංශ දියත් කර ඇති මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස පොලීසියට හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන ඊරිගම රාජපක්ෂ ගෙදර ආනන්ද සිල්වා නොහොත් 'යකා සම්පත්' නමැති සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ, බත්තරමුල්ල, සුභුතිපුර ප‍්‍රදේශයේ දී ය.
2020-08-23T08:40:31.000Z
ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් අතුරුදන්..
ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් අතුරුදන්..
COLOMBO ( News 1st ) : ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතුරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. දියේ ගිලුණු 05දෙනෙකු බේරා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
2020-08-23T10:16:10.000Z
'කැවුමා'ගේ කල්ලියේ සාමාජිකයෙකු දැලේ
'කැවුමා'ගේ කල්ලියේ සාමාජිකයෙකු දැලේ
COLOMBO ( News 1st ) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කැවුමා'ගේ කල්ලියේ සාමාජිකයෙකු ද ඊයේ කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දියගම මංජු නැමැත්තෙකි. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 9 ක් සොයාගත් බවයි. ත්‍රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී ලැබුණු තොරතුරකට අනුව කළුතර උතුර පොලිස් වසමේ ඇලමෝදර පාලම අසළදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරුවෙකු වන මොහු අධිකරණයෙන් ඇප ලබා පැමිණි අයෙකු බව පොලීසිය පැවසුවේ ය. මෙම සැකකරු සමග එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ සිටි තවත් ජාවාරම්කරුවෙකු අත්ඩංගුවට ගැනුණු අතර ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් එකකි.
2020-08-23T07:20:45.000Z
නාස්තිය, දූෂණය වළකා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍යයයි - බැසිල් රාජපක්ෂ
බැසිල් ජනපති කාර්ය සාධක බලකාය රැස් කරයි
COLOMBO (News 1st) : නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක අවශ්‍යතාවක් ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය සහ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ අතර සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදි පැවැත්විය. රට ගොඩනගන වැඩපිළිවෙළ හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙනයන වැඩපිළිවෙළ සඳහා දායක වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගණකාධිකාරි සේවා සංගමයේ නියෝජිතයින්ට ආරාධනා කර තිබේ. ආයතනයක නායකත්වය වෙනස් වූවත් වැඩපිළිවෙළ තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමවේද වෙනසක් ගැන අවධානය යොමු කළ යුතු බව ද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන් බව සඳහන් ය. ගණකාධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
2020-08-23T05:16:28.000Z
දෙහිවලදී ගංජා මිශ්‍ර මාවා කිලෝග්‍රැම් 06 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
දෙහිවලදී මාවා සමග සැකකරුවෙකු දැලේ
COLOMBO (News 1st) : දෙහිවල, ඕබන් ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මාවා කිලෝග්‍රෑම් 06 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ දෙහිවල පොලිස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවයි. සැකකරු 23 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2020-08-23T04:45:27.000Z
ඔලුවිල්හිදී ගිනි අවි සමග දෙදෙනෙකු STF දැලේ
ගිනි අවි සමග දෙදෙනෙකු STF දැලේ
COLOMBO ( News 1st ) : අක්කරෙයිපත්තුව, ඔලුවිල් ප්‍රදේශයේදී ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ, විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 , මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, පතරොම් 20 , සහ හිස් පතරොම් කොපු 32 ක් ඔවුන් සතුව තිබී සොයාගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 සහ 55 වයස්වල පසුව ඔලුවිල් පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් අක්කරයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
2020-08-23T04:16:28.000Z
නීතිපති හා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ මෙරට ප්‍රධාන නියෝජිතවරයා අතර හමුවක්
නීතිපති හමු වූ විශේෂිත නියෝජිතයා
COLOMBO ( News 1st ) : නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ මෙරට ප්‍රධාන නියෝජිතවරයා අතර සාකච්ඡාවක් ඊයේ(23) පැවැත්විය. ඒ, නීතිපති නිල මැදිරියේදී ය. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය කටයුතු පිළිබඳ හා සංවිධානාත්මක අපරාධ ත්‍රස්තවාදය පිළිබඳ සමුද්‍ර විශේෂඥයෙකු ද එම සාකච්ඡාවට එක්ව සිටි බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා ය.
2020-08-23T03:52:28.000Z
රටවල් 4 ක සිටි ලාංකිකයින් 412ක් දිවයිනට
ලාංකිකයින් 412ක් දිවයිනට
COLOMBO (News 1st) : රටවල් 4 ක රැදී සිටි ලාංකිකයින් 412 දෙනෙකු අද අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවලින් මෙරටට පැමිණි තිබේ. ඒ, ඔස්ට්‍රේලියාව, ඩුබායි, දෝහා කටාර් , ඉන්දියාවේ සහ ඔස්ට්‍රේලියාවේ සිට ය. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට කටයුතු කළ බව යුද හමුදාව සඳහන් කළේ ය. නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 161 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව සඳහන් කළේ ය. නිරෝධායනය අවසන් කර ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 31, 173 කි. යුද හමුදාව සඳහන් කළේ, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන 52 ක පුද්ගලයින් 7,304 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි. ඊයේ දිනය තුළ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1710 කි. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 202,907 ක් බව යුද හමුදාව පැවසුවේ ය.
2020-08-23T02:55:43.000Z
මෙක්සිකෝවේ කොරෝනා මරණ ගණන 60,000 ඉක්මවයි
මෙක්සිකෝවේ කොරෝනා මරණ 60,000 ඉක්මවයි
COLOMBO (News 1st) - මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබේ . ඒ ගත වූ පැය 24 තුළත් කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු මියයාමත් සමගිනි . මේ වනවිට මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,56,216 කි . ගත වූ පැය 24 තුළදී පමණක් සොයාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 6,482 කි. මේ අතර ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,33 59,690 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලොව පුරා ඊයේ දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ පනස් දහස් හාරසිය දෙදෙනෙකු හඳුනාගෙන තිබේ . වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,07,689කි.
2020-08-23T02:43:46.000Z
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම මේ වසරේ සිට
මොරටුව වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම මේ වසරේ සිට
COLOMBO (News 1st) - මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මේ වසරේ සිට සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, කළුතර, නාගොඩ මහ රෝහල ආසන්නයේ නව පීඨය පිහිටුවන බවයි. ඒ සඳහා ඉඩමක් ද හඳුනා ගෙන ඇති අතර එහි ස්ථීර ගොඩනැගිලි ඉදි කෙරෙන තෙක් රජයේ පරිශ්‍ර කිහිපයක වෛද්‍ය පීඨ සිසුන්ගේ දේශන පැවැත්වෙන බව ද ඔහු කියා සිටියේය. පළමු කණ්ඩායමට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 70කි. 2019 වසරේ උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රතිඵල මත එම පිරිස තෝරා ගැනෙනු ඇති. මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය පීඨයේ සිසුන්ගේ සායනික පුහුණුව කළුතර මහ රෝහලේදී සිදු කෙරෙන බවයි. ඒ සඳහා එහි පහසුකම් සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධව සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.
2020-08-23T01:14:28.000Z
ගම්පොළදී කොටියෙකු මද්දකට බිලිවෙයි
ගම්පොළදී කොටියෙකු මද්දකට බිලිවෙයි
COLOMBO (News 1st): ගම්පොළ, දොළුව, අඹගස්තැන්න ප්‍රදේශයේ වල් බිහිවී ඇති පුද්ගලික ඉඩමක් තුළ ඇටවූ මද්දකට හසු වීමෙන් කොටියෙකු මියගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ සිද්ධිය පිළිබඳ දැනුම් දී නුවරඑළිය වනජීවි නිලධාරීන් පැමිණෙන විටත් කොටියා මියගොස් සිටි බවය. කොටියාගේ වසය අවුරුදු එක හමාරක් පමණ වන බව අප වාර්තාකරු සඳහන් කළේය. කොටියා මියයාම පිළබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2020-08-23T00:07:34.000Z
ප්‍රවීණතා විභාගවල ප්‍රතිඵල ලැබුණු විගස සරසවි කඩයිම් ලකුණු නිකුත් කෙරේ
සරසවි කඩයිම් ලකුණු ගැන දැනුම්දීමක්
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිමේ ප්‍රවීණතා විභාගවල ප්‍රතිඵල ලැබුණු විගස සරසවි කඩයිම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා 36ක් සඳහා ප්‍රවීණතා විභාග පැවැත්වෙන බවයි. ඉන් බහුතරයක් පැවැත්වීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය. කඩයිම් ලකුණු නිකුත් කිරීමට එම විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීම අනිවාර්ය වේ. මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, එම ප්‍රතිඵල ලැබුණු පසු කඩිනමින් කඩයිම් ලකුණු නිකුත් කිරිමට පියවර ගන්නා බවයි.
2020-08-23T00:00:15.000Z
ආනයනික අර්තාපල් බද්ද ඉහළට
ආනයනික අර්තාපල් බද්ද ඉහළට
COLOMBO (News 1st) - ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 5 කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එහි ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයකට අය කෙරෙන බද්ද රුපියල් 55 දක්වා ඉහළ යනු ඇති බවයි. දේශීය අර්තාපල් අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් එලෙස ආනයනික බදු වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය.
2020-08-22T22:43:00.000Z
ඩුබායි පනින්න ගිය 'වැල්ලේ සාරංග' ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට
ඩුබායි පනින්න ගිය 'වැල්ලේ සාරංග' ඇතුළු 4ක් කොටු
COLOMBO (News 1st) - පාතාල තුවක්කුකරුවෙකු වන 'වැල්ලේ සාරංග' සහ කොළඹට ගංජා බෙදා හැරීමේ ජාලයේ ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු ඩුබායි රාජ්‍ය වෙත පලායාමට තැත් කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදීයි. පොලීසිය පැවසුවේ ගමගේ සාරාංග ප්‍රදීප් නොහොත් 'වැල්ලේ සාරංග' නැමති සැකකරු මෙරටට කේරල ගංජා සැපයීමේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවයි. 'වැල්ලේ සාරංග' නැමති සැකකරු මොහු මෝදර පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ එම සැකකරු වෙඩි තැබීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ අයෙකු බවයි. අනෙක් සැකකරුවන් තුන්දෙනා රුපියල් මිලියන ගණනක වටිනාකමින් යුත් ගංජා කොළඹ ප්‍රදේශයේ බෙදා හැර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉන් එක් අයෙකු රණසිංහ ආරච්චිගේ ඉෂාර ලක්මාල් වන අතර ඔහු වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම සැකකරු මෙරටට කේරල ගංජා සැපයීමේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු ලෙස සැළකේ. කතළුව ලියනගේ බුද්ධික සංජීව ඒ අතර සිටින තවත් සැකකරුවෙකි. ඔහු වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ වනවිට අධිකරණයේ විභාගවන නඩු ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය. අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ද වන ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 29 කට අධික මුදල් ද පොලීසිය භාර ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් 3 දෙනා අතරින් තාබ්දීන් මොහොමඩ් සුබීර් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හංවැල්ල, මහජන බැංකු කොල්ලයේ ප්‍රධාන සැකකරුවෙකු වන අතර අංගොඩ ලොක්කාගේ ගෝලයකු ද වන බව පොලීසිය සදහන් කළේය.
2020-08-22T21:52:58.000Z
අධි ආරක්ෂිතයේ ඩ්‍රෝන කැමරාවක් යැවූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
අධිආරක්ෂිතයේ ඩ්‍රෝනකැමරාවක් යැවූ චීනජාතිකයෙකු කොටු
COLOMBO (News 1st) - කොල්ලුපිටියේදී චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපය තුළ පියාසර කරවීම හේතුවෙන් බව පොලීසිය සඳහන් කළේය. 40 හැවිරිදි මෙම සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය පොලීසිය සඳහන් කළේ සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
2020-08-22T21:48:32.000Z
සිරගත මව්වරුන්ගේ දරුවන් සම්බන්ධයෙන් අගමැතිගේ අවධානය
සිරගතමව්වරුන්ගේ දරුවන් සම්බන්ධයෙන් අගමැතිගේ අවධානය
සිරගත මව්වරුන්ගේ දරුවන් සම්බන්ධයෙන් අගමැතිගේ අවධානය සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ බව සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරවල සිටින බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයාබලන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට උපදෙස් ලබා දී තිබේ. එම නිවේදනයේ දක්වා ඇත්තේ වයස අවුරුදු 5ට අඩු මෙම දරුවන් 46 දෙනා දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මව්වරුන් භාරයේ අධිකරණ නියෝග මත රඳවා ඇති බවයි. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉදිරි පියවර පිළිබඳ විෂයභාර අමාත්‍යවරිය ද අදහස් පල කරමින් පැවසුවේ මේ වන විට අදාළ තොරතුරු රැස් කරමින් සිටින බවයි. දරුවන්ට නිදහස ලබාදීමට අවශ්‍ය නෛතික පසුබිම හා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.
2020-08-22T19:05:43.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1.TNA මන්ත්‍රීවරු ඉන්දීය තානාපති නිලධාරීන් මුණගැසුනේ ඇයි ? :පළාත් සභාවලට අදාළ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ. 2. 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ : කෝවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදෙන 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ. 3. යක්කලදී කාන්තාවක් ඇතුළු කොල්ලකරුවන් තිදෙනෙකුට වැඩ වරදී.. : යක්කල නගරයේ ව්‍යාපාරිකයෙකු බිය වද්දා මුදල් කොල්ලකෑමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙක් හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 4. ලබන මස අගදී ගුවන් තොටුපොළ විවෘත කිරීමට අවධානය.. : ලබන මස අවසානයේදී ගුවන් තොටුපොළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 5.මෙරට සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි.. :කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 200,148 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. විදෙස් පුවත් 6.ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි : ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව අට ලක්ෂ දෙදහස් තුන්සිය විසි තුනකි. 7.චීන මුහුදේ හයිනාන්හි භූගත කඳවුරකට ඇතුළු වන චීන සබ්මැරීනයක්: දකුණු චීන මුහුදේ හයිනාන් දූපතේ භූගත කදවුරකට ඇතුළු වන චීන සබ්මැරීනයක් දිස්වන චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් දුර්ලභ ඡායාරූපයක් මේ වන විට විදෙස් මාධ්‍ය තුළ සංසරණය වේ.
2020-08-22T20:46:29.000Z
අංගොඩ ලොක්කාගේ තවත් වෙඩික්කරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට
පොලිස් වෙඩි පහරින් 'චමියා' මරුට
COLOMBO (News 1st) - අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් 'චමියා' පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මගින් ඔහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ පොලිස් ස්ථානය වෙත රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය. එම අවස්ථාවේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ 41 හැවිරිදි සැකකරුගේ සිරුර ගම්පහ මහරෝහලේ තැන්පත් කර ඇති බවයි. මෙම සැකකරු මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු බව පොලීසිය පැවසුවේය. පොලීසිය පැවසුවේ කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිදුකළ වෙඩි තැබීම යනාදිය ඔහු විසින් කර ඇති බවයි.
2020-08-22T20:14:23.000Z
මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි..
මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි..
ÇOLOMBO (News 1st) - කොරෝනා ආසාදනය වීමෙන් ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය IDH රෝහලේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
2020-08-22T11:37:54.000Z
TNA මන්ත්‍රීවරු ඉන්දීය තානාපති නිලධාරීන් මුණගැසුනේ ඇයි ?
13 ගැන යළි අවධානය..
COLOMBO (News 1st) : පළාත් සබා වලට අදාළ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ. රැස්වීමෙන් අනතුරුව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “සාමය , සංහිඳියාව සහ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඉන්දියාවේ දීර්ගකාලීන ස්ථාවරය මහ කොමසාරිස්වරයා නැවත අවධාරණය කළ බවයි. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා එක්ව සිටියේ ය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩික්කලනාදන් සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් සෙවීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික වී තිබේ. https://business.facebook.com/NewsfirstSL/videos/1590648777780619/
2020-08-22T11:27:00.000Z
4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
COLOMBO (News 1st) : කෝවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදෙන 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, පසුගිය 19 වන දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි. ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට "සෞභාග්‍යා කොවිඩ් -19 පුනරුද සහන ණය පහසුකම්" යටතේ මෙම අයදුම්පත් සැප්තැම්බර් මස 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකියාව පවතී. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට ව්‍යාපාර සඳහා වාර්ෂිකව 4%ක සහන පොළී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා මෙම ණය වැඩසටහන පසුගියදා හඳුන්වා දුන්නේ ය.
2020-08-22T11:15:15.000Z
චීන මුහුදේ හයිනාන්හි භූගත කඳවුරකට ඇතුළු වන චීන සබ්මැරීනයක්...
භූගත කඳවුරකට ඇතුළු වන චීන සබ්මැරීනයක්...
COLOMBO (News 1st) : දකුණු චීන මුහුදේ හයිනාන් දූපතේ භූගත කදවුරකට ඇතුළු වන චීන සබ්මැරීනයක් දිස්වන චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් දුර්ලභ ඡායාරූපයක් මේ වන විට විදෙස් මාධ්‍ය තුළ සංසරණය වේ. අමෙරිකානු පසුබිමක් ඇති ප්ලැනට් ලැබ් නමැති සමාගමේ, රේඩියෝ ෆ්‍රී ඒෂියාහි සමාජ මාධ්‍ය ගිණුමක මුල් වරට මෙම ඡායාරූපය පළ කර තිබිණ. 093 වර්ගයේ න්‍යෂ්ටික සබ්මැරීනයක් යුලින් නාවික කඳවුරේ භූගත උමගකට ඇතුළු වන අයුරු අදාළ ඡායාරූපයේ දිස්වන බව සඳහන් ය. හොංකොං සිට නිරිත දෙසට සැතපුම් 300 ක් පමණ දුරින් පිහිටා ඇති හයිනාන් දූපතේ දකුණු කෙළවරේ යුලින් කඳවුර පිහිටා තිබේ. චීනයේ නාවික වත්කම් ආරක්ෂා කිරීම සඳහා ඇති ප්‍රධාන පහසුකම්වලින් මෙම කඳවුර සමන්විත බව විදෙස් වාර්තාවල සඳහන් ය.
2020-08-22T07:29:35.000Z
'දියගම මංජු' කළුතරදී අත්අඩංගුවට
'දියගම මංජු' කළුතරදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැවුමාගේ කල්ලියේ සාමාජිකයෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 'දියගම මංජු' නමැත්තෙකි. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 9 ක් සොයාගත් බවයි. ත්‍රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී ලැබුණු තොරතුරකට අනුව කළුතර උතුර පොලිස් වසමේ ඇලමෝදර පාලම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරුවෙකු වන මොහු අධිකරණයෙන් ඇප ලබා පැමිණි අයෙකු බව පොලීසිය පැවසී ය. මෙම සැකකරු සමග එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සිටි තවත් ජාවාරම්කරුවෙකු අත්ඩංගුවට ගැනුණු අතර ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් එකකි.
2020-08-22T10:38:13.000Z
වයඹඇළ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි, අගමැතිගෙන් උපදෙස්
වයඹඇළ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි, උපදෙස්
COLOMBO (News 1st): මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මෙම ඇළ මාර්ගයේ ඉදිකිරීමත් සමග වයඹ පළාතේ යළ - මහ දෙකන්නයේම ගොවි බිම් හෙක්ටයාර් 12,500 ක් පෝෂණය කළ හැකි බවයි. කුරුණෑගල, මොරගොල්ලාගම , සියඹලන්ගමුව වැව් තාවුල්ලේදී අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා හමුවක් පැවැත්විණ. එහිදී ව්‍යාපෘතියේ වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාකච්ඡාවක ද නිරත වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ඔස්සේ කුඩා වැව් 350 ක් , මහ වැව් 08 ක් පෝෂණය වන අතර මේ යටතේ ඉදිවන හක්වටුනා ජලාශය යටතේ හෙක්ටයාර් 2500 ක් අස්වැද්දීමට නියමිතයි. උග්‍ර පානීය ජල ගැටලුවකට විසඳුම් ලබාදෙමින් වකුගඩු රෝග ගැටලුවට පිළියම් සෙවීම සහ නව රැකියා උත්පාදනය මෙන්ම අලි මිනිස් ගැටුම අවම කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ද මෙම ව්‍යාපෘතිය හරහා ජනතාවට ලැබෙනු ඇති. https://business.facebook.com/NewsfirstSL/videos/1847121738774083/
2020-08-22T05:17:37.000Z
යක්කලදී කාන්තාවක් ඇතුළු කොල්ලකරුවන් තිදෙනෙකුට වැඩ වරදී..
කොල්ලකරුවන් තිදෙනෙකුට වැඩ වරදී..
COLOMBO (News 1st): යක්කල නගරයේ ව්‍යාපාරිකයෙකු බිය වද්දා මුදල් කොල්ලකෑමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙක් හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. යක්කල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගනයන මෙම පුද්ගලයාම මීට පෙරද බිය වද්දා මුදල් කොල්ලකා ඇති බව පොලීසිය සඳහන් කළේය. අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අනුව ව්‍යාපාරිකයා පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ ද සැකකරුවන් ව්‍යාපාරිකයා බිය වද්දා මුදල් ඉල්ලා තිබේ. ඒ පිළිබඳව ව්‍යාපාරිකයා යක්කල පොලීසිය දැනුවත් කර තිබුණේ, ඊයේ පස්වරුවේදීය. වහාම ක්‍රියාත්මක වූ යක්කල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය අද අලුයම සිද්ධියට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් හා එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ගැනීමට කටයුතු කළේය. සැකකරුවන් වයස අවුරුදු 23, 26 හා 46 යන වයස්වල පසුවන යක්කල, බුත්තිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. https://www.facebook.com/NewsfirstSL/videos/1002424776873626/
2020-08-22T03:49:54.000Z
ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි
ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි
COLOMBO (News 1st) - ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව අට ලක්ෂ දෙදහස් තුන්සිය විසි තුනකි. ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද දෙකෝටි තිස් ලක්ෂ අනූ හත් දහස් එකසිය පනස් අටදක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා අනාවරණය කළේ කොරෝනා වැළඳුණු පුද්ගලයින් එක් කෝටි පනස් හය ලක්ෂ අසූ අට දහස් නවසිය විසි තුන් දෙනෙකු සුවය ලබා ඇති බවයි. මේ අතර කොරෝනා වසංගතය අවසන් වීමට තවත් වසර දෙකක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් පැවසුවේ ලොව තාක්ෂණික අතින් විශාල දියුණුවක් ලබා ඇතත් කෙටි කාලයකදී මෙම වසංගතය පාලනයට අපොහොසත් වී ඇති බවයි. රටවල් වශයෙන් හා සමස්ත ලෝකයාම කොරෝනා වෛරසය පාලනය සඳහා එකමුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කරයි.
2020-08-22T03:38:59.000Z
මෙරට සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි..
මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි..
COLOMBO (News 1st) - කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 200,148 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරික්‍ෂණ 1,590 ක් සිදුකර ඇති බවයි. ඒ අනුව අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 629 කි. ඒ අතරට පුනරුත්ථාපනය වන රැඳවියන් 508 දෙනෙකු, කාර්ය මණ්ඩලයේ 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු , පවුල් හා සමීපතමයින් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් අයත් වේ. එසේම අද දිනයේදී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 15 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතය. මේ වන වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 31,173 කි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 48 ක් තුළ පුද්ගලයින් 6,855 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. අද උදෑසන වනවිට පුද්ගලයින් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 6 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර සෙසු පුද්ගලයින් දේශීයව හඳුනාගත් පුද්ගලයින් වේ. ඒ අනුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාලව පුද්ගලයින් 589 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 40 කි. මේ අතර කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 25,000කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයිනට රැගෙන විත් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ රටවල් 93 ක ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බවයි. තවත් ශ්‍රී ලාංකිකයින් පනස් දහසකට ආසන්න පිරිසකගෙන් දිවයිනට පැමිණීම සඳහා ඉල්ලීම් ලැබී ඇතැයි අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.
2020-08-22T03:29:50.000Z
ලබන මස අගදී ගුවන් තොටුපොළ විවෘත කිරීමට අවධානය..
ලබන මස අගදී ගුවන් තොටුපොළ විවෘත කිරීමට අවධානය..
COLOMBO (News 1st) - ලබන මස අවසානයේදී ගුවන් තොටුපොළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ කෙසේ වෙතත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි පමණක් එම පියවර ගන්නා බවයි. මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව පිළිබඳව සැළකිලිමත් වෙමින් සංචාරකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2020-08-22T01:46:46.000Z
රැකියා දීමේ වැඩසටහනේ නම නැති අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව
රැකියා: නම නැති අයදුම්කරුවන්ට දැනුම්දීමක්
COLOMBO (News 1st) - උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන්ට ලබන 15 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව දැනුම් දෙන්නේ, එම අභියාචනා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ‍යොමු කරන ලෙසය. ප්‍රතික්ෂේප වීමට හේතුව ලෙස සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය ලබා තිබීම සහ රැකියාවක නිරත වීම ලෙස, සඳහන්ව ඇති අයැදුම්කරුවන්ට මෙලස අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දි තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ වෙබ් අඩවිට පිවිසීමෙන් ලබා ගත හැකිය
2020-08-22T01:28:49.000Z
තඹුත්තේගමදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් 7 දෙනෙකුට තුවාලයි
කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් 7කට තුවාලයි
COLOMBO (News 1st) - තඹුත්තේගම, පයින්ඩිකුලම ප්‍රදේශයේ, අද අලුයම සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 1.10ට පමණ කැබ් රථයක් ඒරියාගම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී මන්නාරම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරට ලක්වූ පුද්ගලයින්ගෙන් දෙදෙනකු තඹුත්තේගම රෝහලේත් අනෙක් පුද්ගලයින් පස්දෙනා අනුරාධපුර රෝහලේත් ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි. සිද්ධියෙන් දුම්රිය ගමනාගමනයට කිසිදු බාධාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
2020-08-22T00:39:48.000Z
අම්බලන්ගොඩදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
අම්බලන්ගොඩදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - ගාලු පාරේ, අම්බලන්ගොඩ, පැරට් හන්දියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ . පොලීසිය පැවසුවේ පෙරවරු 8.55 ට පමණ අදාල පුද්ගලයා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 48 ක කුලීගොඩ පදිංචි පුද්ගලයෙකි. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
2020-08-21T22:12:09.000Z
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු මරුට
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) - ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. එම අනතුරින් තවත් 04 දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
2020-08-21T21:10:58.000Z
අලව්ව - කුරුණෑගල පාරේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5දෙනෙකු මරුට
මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5ක් මරුට
COLOMBO (News 1st) - අලව්ව, කුරුණෑගල මාර්ගයේ ඉහලවලකුඹුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අලුයම 4.05 ට පමණ මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, පොතුහැර ප්‍රදේශයේ ව්‍යාපෘතියක සේවයේ නියුතු පුද්ගලයින් පිරිසකි.
2020-08-21T21:03:03.000Z
රජයේ යතුරුපැදි තම නමට ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව
රජයේ යතුරුපැදි තම නමට ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව
COLOMBO (News 1st) - රජයේ යතුරුපැදි හිමි රාජ්‍ය සේවකයින්ට එම යතුරු පැදි තම නමට ලියාපදිංචි කර ගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ 2015 ට පෙර රජයේ යතුරු පැදි ලබාගත් රාජ්‍ය සේවකයින්ට එම අවස්ථාව හිමිවන බවයි.
2020-08-21T20:50:27.000Z
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 23ක්
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 23ක්
COLOMBO (News 1st) - කොරෝනා අසාදිතයින් 23 දෙනෙකු ඊයේ දිනයේ දී හඳුනා ගැනුණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කුවේට්, තුර්කි, චෙන්නායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනට ලක්කළ පුද්ගලයින් 23 දෙනෙකු එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2941 කි. අසාදිතයින් 141 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කොරෝනා අසාදිතවූ 2789 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ වන විට සමාජය තුළින් අසාදිතයින් වාර්තා නොවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.