date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-02-28T02:33:20.000Z
ගමයි, පන්සලයි, පාසලයි, පොලීසියයි යා කෙරෙන News 1st වෑයම නයිවල මාරපොළ මහා විද්‍යාලයේදී එළිදකී
යහපත් සමාජයක් බිහි කිරීම උදෙසා News 1st වෑයම
COLOMBO (News 1st) - ගමයි, පාසලයි, පන්සලයි, පොලීසියයි ඒකාබද්ධ කරමින් යහපත් සමාජයක් බිහි කිරීමේ නිව්ස්ෆස්ට් නවතම මහජන සේවා ක්‍රියාන්විතය අද ආරම්භ කෙරිණි. ඒ, නයිවල මාරපොළ මහා විද්‍යාලයෙනි. එකමුතුකමින් පිරිපුන්, විනය ගරුක, ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පෝෂණය වූ දරු පරපුරක් රටට දායාද කිරීමේ අරමුණින් නිව්ස්ෆස්ට් මෙම වැඩසටහන අද සිට ආරම්භ කරයි. සමාරම්භක වැඩසටහන අද නයිවල මාරපොළ මහා විද්‍යාලයෙදී ආරම්භ කෙරුණේ, සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතාගේ ප්‍ර‍ධානත්වයෙනි. මෙම වැඩසටහනට පාසලේ දරුවන්, ආදි ශිෂ්‍යයින් දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී ගුණ දහම් පිළිබඳව දැනුවත් කරන්නට ක්‍රියාකරකම් රැසක් සංවිධාන කර තිබිණි. මෙහිදී අධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳව දැනුවත් කළේ, ශාස්ත්‍ර‍පති පූජ්‍ය වෙන්නවත්තේ රතනජෝති හිමියන් විසිනි. මෙම වැඩසටහනේදී විනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා එක්ව සිටියේ ය. එකමුතුකම පිළිබඳව දැනුවත් කිරීමට එක්වුණේ, ප්‍ර‍වීණ කලාකරු සතිස්චන්ද්‍ර‍ එදිරිසිංහ මහතායි. https://www.youtube.com/watch?v=z_Nq3zwGrpU
2019-02-28T01:07:48.000Z
ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්
COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ගුරු සේවා සංගමය අද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාව ආරම්භ වුණේ, බුද්ධදාස ක්‍රීඩාංගණය අසළිනි. විරෝධතාකරුවෝ පාගමනින් අධ්‍යාපන අමාත්‍යංශය අසළට පැමිණියහ. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය.
2019-02-27T23:51:54.000Z
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට
මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට
COLOMBO (News 1st) - දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා අද පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ, නීතිඥවරයෙකු සමග පැමිණ අධිකරණයට භාර වීමෙන් අනතුරුව ය. 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට අක්මීමන පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.
2019-02-27T21:15:23.000Z
දුම්රිය පීළි පැනීමක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසයි. එලෙස පීළි පැනීමට ලක්ව ඇත්තේ, ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 320 දරණ දුම්රියයි. මේ හේතුවෙන් කළුතර උතුර හා කළුතර දකුණ අතර කිසිදු දුම්රියක් ධාවනය නොවේ. දුම්රිය පීළිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය.
2019-02-27T21:06:46.000Z
කුලියාපිටියේදී රු. මිලියන 120ක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මිලියන 120ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කුලියාපිටිය කුඹුරාපොළ ප්‍රදේශයේදී රුපියල් මිලියන 120ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග ඊයේ රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් මත යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව ය. පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව නිවස පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 9ක් සොයා ගැනිණි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2019-02-27T20:38:28.000Z
රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවල මූල්‍ය අක්‍රමිකතාවක්
රුහුණ විශ්වවිද්‍යාලයේ මූල්‍ය අක්‍රමිකතාවක්
COLOMBO (News 1st) - රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සඳහා ලියාපදිංචි වන සිසුන්ගෙන් අය කර ගන්නා මුදල්වල ලාභාංශ එහි උපකුලපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අතරේ බෙදා ගැනීමේ සූදානමක් පවතින බවට ‍රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා, කළමනාකරණ හා මූල්‍ය පීඨ ආචාර්ය සංගමය චෝදනා කරයි. එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දර්ශන බණ්ඩාර මහතා පැවසුවේ 2014, 2015, 2016 යන වසරවල ලාභාංශවල මුදල් එලෙස ඔවුන් අතරේ බෙදා ගැනීමට ලේඛන සකස් කරමින් පවතින බව ය. අදාළ චෝදනා සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව බාහිර උපාධි පාඨමාලා වැඩසටහන්වලට සම්බන්ධ වන නිලධාරීන්ට සුළු දීමනාවක් හිමි වන බව ය. අදාළ සුළු දීමනාව උපකුලපතිවරයාට ද හිමි වන නමුත් ප්‍රතිපත්තියක් ලෙස තමන් කිසිදු මුදලක් ලබා නොගත් බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක මහතා පැවසුවේ ය. තමන් කිසිදු මුදලක් ලබා නොගත් බැවින් තම නිලධාරීන් ද එලෙස දීමනාව ලබා නොගත් බව මෙහිදී උපකුලපතිවරයා අවධාරණය කළේ ය. කෙසේ වෙතත් මෙලෙස එකතු වී ඇති දීමනා මුදල් අදාළ නිලධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් රජයේ විගණන අංශ තමන්ගෙන් විමසූ බවත්, එබැවින් එම දීමනාව අදාළ නිලධාරීන්ට බෙදී යන පරිදි වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් උපකුලපතිවරයා සඳහන් කළේ ය. මෙම ලාභාංශ ලබා ගැනීමට එරෙහිව ඊයේ දහවල් රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිසුන්ගේ හා මානව ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් නිහඬ විරෝධතාවක් ද පැවැත්විණි.
2019-02-27T20:13:23.000Z
අලුගෝසු තනතුරට අයැදුම්පත් 45ක්
අලුගෝසු තනතුරට අයැදුම්පත් 45ක්
COLOMBO (News 1st) - අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් 45ක් පමණ ලැබී ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ අයැදුම්පත් පරීක්ෂාව අද සිට ආරම්භ කරන බව ය. අනතුරුව සම්මුඛ පරීක්ෂණ කඩිනමින් ආරම්භ කෙරෙනු ඇති. අමාත්‍යංශය සඳහන් කළේ, අයැදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ය. මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අලුගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ ය. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ය. මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ජනවාරි 25 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්නේ ය. ඒ, නීතිපතිවරයාගේ නිර්දේශ ද සහිතව ය. ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියමව ඇති රැඳවියන් සංඛ්‍යාව 17කි. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ, 1976 වසරේ ය. ඒ, වැලිකඩ බන්ධනාගාරයේදී ය. එහිදී චන්ද්‍රදාස නමැත්තෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
2019-02-27T20:03:57.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වැරදිකරුවන්ට පවතින රජය වෙනස් වන තුරු දඬුවම් දීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2. අද දිනයේ ලාහෝර් සහ කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබේ. 3. රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම මගහැර සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 5 දෙනාට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. 4. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා ඊයේ එම චෝදනාවෙන් නිදහස් කෙරිණි. 5. ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. 6. මෙරට සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාවට ඊයේ දිනට සිව් වසරක් සපිරේ. විදෙස් පුවත් 7. කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2කට ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව පකිස්ථානය පවසයි. ක්‍රීඩා පුවත් 8. සිය ප්‍රියතම ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරියට තරග තහනමක් පැනවීම පිළිබඳව තමන් කණගාටු වන බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු වන මහේල ජයවර්ධන පවසයි.
2019-02-27T19:48:13.000Z
බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන පරීක්ෂණයට ඉදිරි සතියේ ජාත්‍යන්තර විගණකයින් පත් කෙරේ
බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන පරීක්ෂණය
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත වෝහාරික විගණන පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර විගණකයින් පත් කිරීම ඉදිරි සති කිහිපය ඇතුළත සිදු කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කළ කැබිනට් ටෙන්ඩර් කමිටුවේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ය. මේ සඳහා විගණන කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර විගණන සංගම් රැසක් ඉදිරිපත්ව තිබේ. ඉන් මුල් අදියරේ තෝරා ගත් ආයතන අතුරින් අවසන් තෝරා ගැනීම මේ වන විට සිදු වෙමින් ඇතැයි ද මහ බැංකුව ප්‍රකාශ කළේ ය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විගණන 6ක් සඳහා මෙලෙස ජාත්‍යන්තර විගණකයින් පත් කිරීමට නියමිත ය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට 2017 වසරේ ජනවාරි 27 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබී ය. එම කොමිසම ලබා දුන් වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළ සියලු ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් පැවැත්විය යුතුය යන්න සඳහන් ය.
2019-02-27T07:58:38.000Z
ජයසූරියට නියම වූ තරග තහනම ගැන මහේල තැබූ සටහන
ජයසූරියට නියම වූ තරග තහනම ගැන මහේල තැබූ සටහන
COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට නියම කළ වසර 2 ක තරග තහනම පිළිබඳ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු වන මහේල ජයවර්ධන ට්විටර් ඔස්සේ අදහස් දක්වා තිබේ. ට්විටර් ඔස්සේ, පණිවුඩයක් නිකුත් කරමින් මහේල ජයවර්ධන පවසා ඇත්තේ, සිය ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මෙලෙස තරග තහනමක් පැනවීම පිළිබඳ තමන් කණගාටු වන බවයි. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ දූෂණ වංචා ඇත්නම් ඒවා හෙළිදරව් නොකරන්නේ ඇයි දැයි තමන්ට ප්‍රශ්නයක් බව ත් , එලෙස දූෂණ වංචා ඇත්නම් ඒවා හෙළි කොට අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට උපකාර කරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. පසුගිය කාලවකවානුව තුළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර මෙරට දූෂිතම රට ලෙස හුවා දැක්වීමට ගත් උත්සහය බොහෝ දෙනාගේ අවධානය යොමුවු කරුණකි. විටින් විට කණ්ඩායම් වශ‍යෙන් මෙන්ම නිලධාරීන් වශයෙන් මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නිලධාරීන් මෙරට ක්‍රීඩකයින් මෙන්ම නිලධාරීන් ද ප්‍රශ්න කිරීම්වලට ලක්කළ බවට තොරතුරු වාර්තා විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වකවානුව මුළුල්ලේම ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට ද ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් දූෂිතම රට වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම බවයි. නමුත් පසුගිය වකවානුව මුළුල්ලේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නියෝජිතයින් මෙරටට පැමිණ සිදුකළ විමර්ශන අතුරින් අනාවරණය කරගත් කිසිදු කරුණක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය නොකිරීම විමතියට කරුණකි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තොරතුරු දැන ගැනීමට සහන කාලයක් ලබාදී තොරුතුරු ද එක්රැස් කරනු ලැබීය. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ ඇලේක්ස් මාෂල් ඇතුළු නිලධාරී මණ්ඩලය සිදුකළ පරීක්ෂණවලදී මෙරට කිසිදු ක්‍රීඩකයෙකු තරග පාවාදීම් හෝ වෙනත් විනය විරෝධි ක්‍රියාවකට සම්බන්ධ බවට සහතික කිරීමට මෙතෙක් ක්‍රියා කර නොමැත. පසුගිය එංගලන්ත සංචාරය තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දුෂණ මර්දන නිලධාරීන් සිදුකළ ඇතැම් ප්‍රකාශ සහා ප්‍රවෘත්ති තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කිර්තී නාමයට සහා ක්‍රීඩකයින්ට සිදුවූ අගතිය සුළුපටු නොවෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන නිලධාරීන් සිදුකළ චෝදනා සනාථ කර ගැනීමට නොහැකි වූ පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කිර්ති නාමයට සිදුවු හානිය වෙනුවෙන් සහා අපහසුතාවය වෙනුවෙන් වගකීම් දරන්නේ කවු ද ? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තර තලය තුළ මෙලෙස චෝදනා එල්ල කරමින් කටයුතු කළ පුද්ගලයින්ගේ සැබෑ අවශ්‍යතාව කුමක් ද? ශ්‍රී ලාංකිකයින් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ලොව ජයගත් මුරලිදරන් , ක්‍රිකට් ක්‍රීඩාවෙන් අතුගා දැමීමට ගත් උත්සහයේ පටන් මේ වන තෙක් ලෝක ක්‍රිකට් කිරුළු දෙකකට හිමිකම් කියන අප ක්‍රිකට් අභිමානය විනාශ කර ගැනීමට පිටුපස සිටින්නේ කවු ද? ලෝක කුසලානයට දින 93 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කිර්ති නාමය ආරක්ෂා කිරීම උදෙසා වගකීම් දරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැබෑ වගකීම දැන්වත් ඉටුකළ යුතු නොවන්නේ ද?
2019-02-27T07:37:13.000Z
බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට ඇති බාධකය ජනපති හෙළි කරයි
"බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට ඇති බාධකය ආණ්ඩුවයි"
COLOMBO (News 1st) : මහබැංකු බැඳුම්කර කොල්ලයේ වැරදිකරුවන්ට පවතින රජය වෙනස්වන තුරු දඩුවම් දීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි. වංචාව, දූෂණ සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමක් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය. මෙම අවස්ථාවට කරු ජයසූරිය, ලසන්ත අලගියවන්න, විගණකාධිපති ගාමිණි විජේසිංහ සහ ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති කේ. එන්. එම්. කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2019-02-27T06:27:48.000Z
ලාහෝර් සහ කරච්චි ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අවලංගුයි
ලාහෝර් සහ කරච්චි ගුවන් ගමන් අවලංගුයි
COLOMBO (News 1st) : හෙට දිනයේ ලාහෝර් සහ කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, පාකිස්ථාන බලධාරීන් සිය ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් එම පියවර ගත් බවයි. කොළඹ සිට කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබු U L 183 සහ කොළඹ සිට ලාහෝර් බලා පියාසර කිරීමට නියමිතව තිබු U L 185 ගුවන් යානය මෙලෙස අත්හිටවූ බව දීපාල් පෙරේරා මහතා කියා සිටියේ ය. පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ, සිය ගුවන් අවකාශය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බවයි.
2019-02-27T05:41:04.000Z
දකුණු පළාත් SIU නිලධාරීන් 5 දෙනාට විදෙස්ගතවීම තහනම්
දකුණු පළාත් SIU නිලධාරීන් 5 ට විදෙස්ගතවීම තහනම්
COLOMBO (News 1st) : රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම මගහැර සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 5 දෙනාට විදෙස්ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. මෙහිදී අධිකරණය නියෝග කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමටයි. මීට අමතරව මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා රැගෙන ගොස් ඝාතනය කළ බව කියන අක්මීමන ප්‍රදේශයේ නිවසෙන් සොයාගත් ලේ සාම්පල් ඇතුළු නඩු භාණ්ඩ 7 ක් රජයේ රස පරීක්ෂණවරයා වෙත යවා වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දෙවන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ සැකකරුවන්ගේ ඡායාරූප ඇතුළු සියලු විස්තර මේ වනවිට මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම අනවශ්‍ය බවයි. කෙසේ වෙතත් දෙවන සැකකරු වෙනුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ය. මිනිත්තු 15 කට අධිකරණය කටයුතු කල් තබා දෙවන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ ද සාක්ෂිකරුවන්ට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය. ඒ අනුව යළි නඩුව කැඳවූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන 13 වනදාට කල් තැබී ය. පොලිස් පරීක්ෂකවරයා බූස්ස බන්ධනාගාරයට සහ උප පොලිස් පරීක්ෂකවරයා කළුතර බන්ධනාගාරය වෙත යැවීමටත් අධිකරණය නියම කළේ ය. ඔවුන් බන්ධනාගාර බස් රථවලට නංවන අවස්ථාවේදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් විරෝධය දැක්වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
2019-02-27T05:07:51.000Z
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්නැයි, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්නැයි ඉල්ලා විරෝධතාවක්
COLOMBO (News 1st) : බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් දූෂණ විරෝධී හඬ මේ වනවිට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඔවුන් ඉල්ලා සිටින්නේ ජනාධිපති කොමිසන් සභා වාර්තාවෙන් අනාවරණය කළ කරුණු රටට හෙළි කර වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. https://www.youtube.com/watch?v=dm5fkodEkPQ
2019-02-27T04:47:13.000Z
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව:ඉන්දියානුවා නිදහස්
COLOMBO (News 1st): ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා අද එම චෝදනාවෙන් නිදහස් කෙරිණ. කෙසේ වෙතත් පසුගිය වසරේ සැප්තැම්බර් 21 වන දා සිට මේ දක්වා වීසා නොමැතිව රැඳී සිටීම හේතුවෙන් ඔහු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය. ඒ ඔහු කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 06 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.
2019-02-27T04:22:38.000Z
බිබිලේ සිසුන් 11 කට ආසාත්මිකතාවක්
බිබිලේ සිසුන් 11 කට ආසාත්මිකතාවක්
COLOMBO (News 1st) : බිබිල ප්‍රදේශයේ පාසලක සිසුන් 11 දෙනෙකු ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. ඉන් 8 දෙනෙකු සිසුවියන් ය. අප වාර්තාකරු සඳහන් කළේ, 7 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් එලෙස රෝහල්ගත කර ඇති බවයි. ඊයේ දිනයේදී ද එලෙස රෝගී වූ දරුවන් 12 දෙනෙකු බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. එවැනි ආසත්මිකතාවක් ඇතිවීමට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.
2019-02-27T02:09:20.000Z
ඉන්දීය ජෙට් යානා 2කට පකිස්ථානයෙන් ප්‍රහාර
ඉන්දීය ජෙට් යානා 2කට පකිස්ථානයෙන් ප්‍රහාර
(News 1st) - කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2කට ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව පකිස්ථානය පවසයි. පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ, එක් යානයක් පකිස්ථාන දේශසීමාවට කඩා වැටුණු බවත් එහි සිටි නියමුවා අත්අඩංගුවට ගත් බවත් ය. කෙසේ වෙතත් තම ගුවන් යානා දෙකකට පකිස්ථානය එල්ල කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
2019-02-27T01:22:17.000Z
මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණය හමුවට
මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණය හමුවට
COLOMBO (News 1st) - ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එම පිරිස අතර සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා මේ බව සඳහන් කළේ ය. නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා ප්‍ර‍කාශ කළේ, අදාළ සැකකරුවන් තවත් මාසයක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බව ය. එරට ප්‍රධාන විශෝධක විසින් කරන ලද ඉල්ලීමක් අනුව එය සිදු වීමට නියමිත බව ද ඔහු ප්‍ර‍කාශ කළේ ය. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි තහවුරු කර ගැනීම සඳහා එරට පොලීසිය කැඳවූ අවසන් වාර්තාව මෙතෙක් ලැබී නැතැයි ද ඔහු පැවසුවේ ය. එහිදී ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි තහවුරු වුවහොත් එරට නීතිය අනුව වසර 3ක සිර දඬුවමක් සහ ඩිරාම් 10000ක දඩ නියම වනු ඇති.
2019-02-27T00:41:46.000Z
සංයමයෙන් කටයුතු කරන්න - එ.ජා. මහ ලේකම් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලයි
සංයමයෙන් කටයුතු කරන්න - එ.ජා. මහ ලේකම් ඉල්ලයි
(News 1st) - සංයමයෙන් යුතුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි. ඒ, ඉන්දියාව සිය දේශසීමාව ආසන්නයේ පිහිටි පකිස්ථානයේ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඊයේ ගුවනින් බෝම්බ හෙළීමෙන් පසු දෙරට අතර උත්සන්න වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ ය. ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කියා සිටියේ ය. ඉන්දීය ගුවන් හමුදාව පකිස්ථානයේ අභ්‍යන්තර ඉලක්කයකට එලෙස ප්‍රහාර එල්ල කළේ, 1971 වසරෙන් පසුවයි. උරි ප්‍රදේශයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය සෙබළුන් රැසක් මිය යාමෙන් පසු ඉන්දියාව, පකිස්ථාන දේශසීමාවේ පිහිටි ත්‍රස්ත ඉලක්ක 7ක් වෙත උපායමාර්ගික ප්‍රහාර එල්ල කළේ 2016 වසරේදී ය. ඉකුත් පෙබරවාරි 14 වන දා පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමක් ඉන්දීය සෙබළුන්ට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මිය යාම, ඉන්දියාව එලෙස ප්‍රහාර එල්ල කිරීමට හේතු විය. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පකිස්ථානයට ඉන්දියාව ලබා දුන් වඩාත්ම ප්‍රිය කරන රාජ්‍යය නමැති නාමය ඉවත් කර ගත් අතර පකිස්ථානයෙන් ආනයනය කරන භාණ්ඩවලට පැනවූ තීරු බදු 200%කින් ඉහළ දැමිණි. මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු එරට න්‍යෂ්ටික අවි පාලනය කරන ජාතික විධාන අධිකාරියේ හමුවක් ද කැඳවනු ලැබුවේ ය. පකිස්ථානය කියා සිටියේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඇතුළු සෙසු ලෝක ප්‍රජාව දැනුවත් කරන අතර තමන් තෝරා ගත් වේලාවක, තෝරා ගත් ස්ථානයකට, ඉන්දියාව පුදුමයට පත් කරමින් ප්‍රහාර එල්ල කරන බව ය. කෙසේ වෙතත් ඉන්දීය විශේෂඥයින් පවසන්නේ, පකිස්ථානය එරට න්‍යෂ්ටික අවි පාලනය කරන අධිකාරිය කැඳවීම හුදෙක් සංකේතාත්මක පියවරක් පමණක් බව ය. මේ අතර ඉන්දියාව, පකිස්ථාන ත්‍රස්ත කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පකිස්ථාන හමුදාව ඉන්දු - පකිස්ථාන දේශසීමාව හරහා ජම්මු කාශ්මීරයේ ස්ථාන කිහිපයකට ශෙල් ප්‍රහාර එල්ල කිරීමෙන් ඉන්දීය සෙබළුන් 5 දෙනෙක් තුවාල ලැබූහ. ඉන්දීය හමුදාව සඳහන් කළේ, තමන් ඊට ප්‍රතිචාර දක්වමින් පකිස්ථාන ඉලක්ක 5ක් විනාශ කළ බව ය. ඉන්දීය ප්‍රහාරයෙන් විනාශ වූ ත්‍රස්ත කඳවුර අක්කර 6ක භූමි භාගයක සමන්විත අතර වරකට ත්‍රස්තවාදීන් 600 දෙනෙකු පුහුණු කිරීමට හැකි ස්ථානයකි. හිස්බුල් මුජහිඩීන් ත්‍රස්ත සංවිධානය ද භාවිත කළ මෙම කඳවුරේ ත්‍රස්තවාදීන් පුහුණු කළේ, පකිස්ථාන හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඉන්දියාව මෙම ප්‍රහාරය එල්ල කර පැය කිහිපයකට පසු ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ඇතුළු ලොව රටවල් රැසක් සාමය සහ ආරක්ෂාව අනතුරට පත් වන ක්‍රියාවලින් වැළකී සංයමයෙන් කටයුතු කරන ලෙස ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලා සිටියේ ය.
2019-02-27T00:09:05.000Z
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්වලින් භාණ්ඩ මිලදී ගත් 3 දෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්වලින් භාණ්ඩ ගත් 3ක් කොටුවෙති
COLOMBO (News 1st) - ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කර ගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙඳ සල්වලින් භාණ්ඩ මිලදී ගත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, දඹුල්ල ප්‍රදේශයේදී ය. එහිදී සැකකරුවන් සන්තකයේ තිබී විවිධ බැංකුවල වීසා කාඩ්පත් 13ක් හමු වී තිබේ. ඔවුන්ට එරෙහිව මාරවිල, මහනුවර, මාතර, ගාල්ල, මතුගම, දඹුල්ල හා කුලියාපිටිය යන අධිකරණවල නඩු රැසක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් 3 දෙනෙකි. ඔවුන් අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-02-26T20:49:27.000Z
උපාලි මාරසිංහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ධූරයට
උපාලි මාරසිංහ SLTB සභාපති ධූරයට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උපාලි මාරසිංහ මහතා පත් කර තිබේ. ඔහු අද සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත ය. උපාලි මාරසිංහ මහතා මීට පෙර අධ්‍යාපන, සෞඛ්‍ය හා ඛණිජ තෙල් ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම් ධූරය හෙබවූ අතර ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂවරයා ද වේ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් රමාල් සිරිවර්ධන මහතා ඉවත් වීමත් සමග එම ධූරය පුරප්පාඩු විය.
2019-02-26T20:37:24.000Z
බැඳුම්කර වංචාවට අදට වසර 4ක්: මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ
බැඳුම්කර වංචාවට අදට වසර 4ක්
COLOMBO (News 1st) - මෙරට සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාවට අදට සිව් වසරක් සපිරේ. මීට සිව් වසරකට පෙර, වසර 30ක කාලයකට රුපියල් බිලියන 1ක බැඳුම්කර නිකුත් කිරීමට අදාළව මහ බැංකුවෙන් දැන්වීමක් පළ විය. ගනුදෙනුව අතරතුර එහි මුළු වටිනාකම බිලියන 20 තෙක් ඉහළ දමන්නට එවක මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උපදෙස් ලබා දී තිබිණි. පසුව මහා බැංකු නිලධාරීන්ගෙන් එල්ල වූ විරෝධය මධ්‍යයේ එම අගය බිලියන 10 දක්වා අඩු කෙරිණි. අදාළ බැඳුම්කරවලින් විශාල ප්‍රමාණයක් ඉහළ පොළියකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබා ගත්තේ ය. ප්‍රාථමික ගැනුම්කරුවෙකු වන ලංකා බැංකුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් ලංසු තැබුවේ ය. මාධ්‍ය ඔස්සේ සියල්ල අනාවරණය වන විට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළේ ය. වංචාව පිළිබඳව සොයා බැලීමට අගමැති පිටිපන කමිටුව පත් කළ අතර එම කමිටු වාර්තාවට අනුව එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිර්දෝෂී බවට ප්‍රකාශ කෙරිණි. මෙම වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණයක් අරඹන ලෙස එවක කථානායක චමල් රාජපක්ෂ මහතා කෝප් කමිටු සභාපති ඩීව් ගුණසේකරට උපදෙස් ලබා දුන්නේ ය. අදාළ කෝප් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින එනම්, 2015 ජුනි 26 වන දා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. "තමන් කළේ අගමැතිවරයා ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණක් බවට" දිවුරුමකට යටත්ව හිටපු මහ බැංකු අධිපතිවරයා කළ ප්‍රකාශයක් අදාළ වාර්තාවේ තිබූ බව පසුව හෙළි විය. මැතිවරණයෙන් පසු පත් වූ නව පාර්ලිමේන්තුව යටතේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුව යළි විමර්ශන අරඹයි. 2016 මාර්තු 29 හා 30 තවත් මත භේදාත්මක බැඳුම්කර ගනුදෙනු දෙකක් අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදු වෙයි. 2016 ඔක්තෝබර් එ.ජා.ප. මන්ත්‍රීන්ගේ පාද සටහන්වලින් සැර බාල කළ කෝප් වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙරේ. 2017 ජනවාරි 27 සමාජ බලපෑම් මත අදාළ ගනුදෙනුව පිළිබඳව සෙවීමට ජනපතිගෙන් ජනාධිපති කොමිසමක්... 2017 දෙසැම්බර් 30 මාස 11ක් පුරා සිදු කළ දීර්ඝ පරීක්ෂණයකින් පසු කොමිසම් වාර්තාව ජනපති අතට පත් වූ අතර, ජනපතිගෙන් එය නීතිපති අතට පත් විය. කොමිසම හමුවේ අනාවරණය වූ ප්‍රධාන කරුණු... 1) අර්ජුන මහේන්ද්‍රන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත වංචනික චේතනාවෙන් යුතුව සංවේදී තොරතුරු සපයා ඇත. 2) මහේන්ද්‍රන්ගේ බැණා වන අර්ජුන් ඇලෝසියස් තම මාමණ්ඩිය සමග ඇති සබඳතාව භාවිත කරමින් අදාළ තොරතුරු ලබා ගැනීම හරහා රාජ්‍ය ආයතනවලට පාඩු සිදු කර ඇති අතර, පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත අධික ලාභයක් ලැබීම. 3) රවි කරුණානායකට අල්ලස් චෝදනා - මුදල් ඇමති ධූරයත් අහිමි වෙයි. 4) මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි සහ අර්ජුන මහේන්ද්‍රන්, අගමැති රනිල් වික්‍රමසිංහට වැරදි කරුණු වාර්තා කර ඇත. කොමිසම ලබා දුන් ප්‍රධාන නිර්දේශ... 1) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළ සියලු ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් පැවැත්විය යුතුයි. 2) වගකිව යුතු සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත්, අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි නිකුත් කර ඇතත්, සිංගප්පූරුවේ සිටින බව කියන ඔහු සොයා ගැනීමට රජය අපොහොසත් වී ඇත. මාස 10ක් බන්ධනාගාරගතව සිටි අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේනටත් මේ වසර ආරම්භයේදී ඇප හිමි විය. රනිල් වික්‍රමසිංහ තවමත් අගමැති ධූරයේ යෙහෙන් වැජඹෙද්දී, මෙරට දැවැන්තම මූල්‍ය වංචාවට සිව් වසරක් සපිරෙන අතර වගකිව යුත්තන්ට දඬුවම් දීමට බලධාරීන් අපොහොසත් වී තිබේ.
2019-02-26T20:06:19.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. පෑලියගොඩ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයක තිබී හමු වූ මිනිස් හිස DNA පරීක්ෂණයකින් හඳුනාගත් බව පොලීසිය පවසයි. 2. රජයේ වෛද්‍ය පීඨවලින් හා කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධි ලැබූ පිරිසකට සීමාවාසික පුහුණු පත්වීම් ලබා දීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේ ය. 3. අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ, ලෝටස් වටරවුමේදී පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ඊයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය. 4. බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා, අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් ඇප නියමව කොන්දේසි සපුරාලීමට නොහැකිව සිටි සැකකරුවන් 5 දෙනා ඇප කොන්දේසි සැපිරීම හේතුවෙන් ඊයේ මුදා හැර තිබේ. 5. කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 6. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 7. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනිඅවි සේප්පුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබේ. විදෙස් පුවත් 8. පකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට ඊයේ අලුයම ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඉන්දියාව පවසයි. ක්‍රීඩා පුවත් 9. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර 2ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතු වළක්වාලමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පනවා තිබේ.
2019-02-26T19:48:41.000Z
රජයේ විධායක නිලධාරීන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
රජයේ විධායක නිලධාරීන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
COLOMBO (News 1st) - රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව අද දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරත වේ. ඒ, වැටුප් විෂමතාවන් ඉවත් නොකිරීමට විරෝධය පළ කරමිනි. රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති 15ක සාමාජිකයින් 15000කට අධික පිරිසක් එම වැඩ වර්ජනය සඳහා එක්වන බව ය. ඒ පිළිබඳව ඊයේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව ද ඔහු සඳහන් කළේ ය. මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකුගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසඳුමකට මෙතෙක් නොඑළඹුණු බව ය.
2019-02-26T09:51:08.000Z
පෑලියගොඩින් හමු වූ මිනිස් හිස කාගේ ද?
පෑලියගොඩින් හමු වූ මිනිස් හිස කාගේ ද?
COLOMBO (News 1st) - පෑලියගොඩ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයක තිබී හමු වූ මිනිස් හිස DNA පරීක්ෂණයකින් හඳුනාගත් බව පොලීසිය පවසයි. මේ අතර එම පුද්ගලයාගේ බවට සැකකෙරෙන තව ත් අස්ථි කොටස් කිහිපයක් පෑලියගොඩ ඇළ මාර්ගයක තිබී හමුවී ඇත. පෑලියගොඩ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයක තිබී මෙම මිනිස් හිස හමුවුණේ පසුගිය වසරේ දෙසැම්බර් 12 වෙනි දායි. එදින 11.30 ට පමණ සුනඛයෙකු මෙම මිනිස් හිස රැගෙන එන අයුරු එම කර්මාන්ත ශලාවේ සී.සී.ටී.වී කැමරාවල සටහන්ව තිබුණි. මිනිස් අස්ථි කොටස් හමුව ඇත්තේ ද ඊට ආසන්නව පිහිටි ඇළ මාර්ගයකිනි. පසුගිය මස 20 වන දා කොල්ලුපිටිය, ගාලුමුවදොර කෝට් පටුමගේ පිහිටි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ නිවසක තිබී අත පා බැද පුළුස්සන ලද මළ සිරුරක් හමුවිය. එංගලන්ත ජාතිකයෙක් හා ඔහුගේ බිරිඳවන තායිලන්ත කාන්තාවක් විසූ අදාළ නිවසේ තිබූ එම පුළුස්සා දැමූ මළ සිරුර එම නිවසේ සේවය කළ අරක්කැමියාගේ බවට තහවුරු විය. එම අවස්ථාවේ අදාළ එංගලන්ත ජාතිකයාගේ රියැදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊට දින කිහිපයක සිට අතුරුදන්ව සිටින බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. පෑලියගොඩින් හමු වූ මිනිස් හිස මෙම රියැදුරාගේ බව තහවුරුවී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, අසෝක ක්‍රිෂාන්ත සිරිවර්ධන නැමති වයස 48 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු පසුගිය දෙසැම්බර් 4 වෙනි දා එංගලන්ත ජාතිකයාගේ යහළුවන් පිරිසක් සමග චාරිකාවක් ගොස් නැවත තම නිවසට පැමිණ ඇත. පසුදින 9.40 ට පමණ ඔහු සිය පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඊට පැයකට පසු ඔහුගේ දුරකතනයෙන් ද ප්‍රතිචාරයක් නොමැතිව ගොස් තිබිණි. මෙම සිදුවීම පිළිබඳව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කරනු ලබයි.
2019-02-26T08:08:09.000Z
සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට වසර 2 ක තහනමක්
සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට වසර 2 ක තහනමක්
COLOMBO (News 1st) - හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර 2 ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතු වලක්වාලමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පනවා තිබේ. එම ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, තම දූෂණ මර්දන රීති කඩ කිරීමේ වරදට ඔහුට මෙම තහනම පැන වූ බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය කරුණු දෙකක් යටතේ හිටපු තේරීම් කමිටු සභාපතිවරයාට එරෙහි චෝදනා ගොනු කර තිබුණි. සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත්වීම හෝ ප්‍රතික්ෂේප කිරීම හා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය විසින් කරනු ලබන පරීක්‍ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන කරුණු යටතේයි. ඉහත චෝදනාවලට වරදකරුවීම හේතුවෙන් සනත් ජයසූරියට වසර 2 ක ක්‍රිකට් තහනමක් පැන වූ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. මේ අතර මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ ය. එහි දැක්වෙන්නේ, අන්තර් ජාතික ක්‍රිකට් දූෂණ මර්දන ඒකකය නියම කළ දිනට තම දුරකතන සිම්පත සහ දුරකතනය ලබා නොදීමේ වරදට මෙම දඬුවම නියම කර බවයි. ඒ අනුව තමා දූෂකයෙකු නොවන බවත්, අදාළ දිනට එම උපකරණ ලබාදීමට අපොහොසත්වීමේ වරදට මෙම දඬුවම පනවා ඇති බවත් ජයසූරිය පවසයි. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, පරීක්ෂණ කටයුතු සඳහා අධික කාලයක් ගතවීම හේතුවෙන් තමා එම චෝදනාව පිළිගැනීමට තීරණය කළ බවය. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකය පසුගිය වසරේ ඔක්තෝබර් 15 වැනි දා සිට වසර දෙකක කාලයක් තමන්ට තහනමක් පනවා ඇතැයි සනත් ජයසූරිය පවසයි. මෙම චෝදනා එල්ල වූ දින සිට තමන් ස්වේච්ඡාවෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතුවලින් ඉවත් වූ බවත්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපමණ සේවයක් ඉටු කළ තමාට දූෂණ කටයුතුවලට සම්බන්ධවීමේ උවමනාවක් නොමැති බවත් ඔහු සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ. ඇලෙක්ස් මාෂල් ඇතුලු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පසුගිය දිනවල මෙරට ක්‍රීඩකයින් හා නිලධාරීන් විවිධාකාරයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කරමින් සිදු කළ රංගනයන් මෙරට ක්‍රීඩා ලෝලීන්ට නොරහසක්. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයේ දූෂිතම රට ලෙස ලොවට හුවා දක්වමින් මෙරට ක්‍රීඩාව මෙලෙස අපකීර්තියට පත් කිරීමට විටින් විට ඔවුන් ක්‍රියාත්මක කළ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මතු වන්නේ සැකයකි. එංගලන්ත තරග සංචාරයේ සිටම මෙරට සිය ක්‍රියාවලිය විවිධාකාරයෙන් ක්‍රියාත්මක කළ ඇලෙක්ස් මාෂල් ඇතුළු අයි.සි.සී දූෂණ මර්දන කණ්ඩායමට මෙරට ක්‍රීඩකයින් හෝ නිලධාරීන් කිසිදු අයුරක තරග පාවාදීම් ඇතුලු ක්‍රියාවකට සම්බන්ධ බවට ඔප්පු කිරීමට මෙතෙක් නොහැකිවී තිබේ. මෙවැනි චෝදනා ඉදිරියට දමමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නිලධාරීන් මේ උත්සාහ කරන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට පමණක් නොව ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ සිය දක්ෂතා ඉහළින්ම ප්‍රකට කළ සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයින්ගේ ද ගෞරවය ජාත්‍යන්තර ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීමට නොවන්නේ ද ?
2019-02-26T08:49:01.000Z
සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ලබාදීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
සීමාවාසික පත්වීම් ලබාදීම වලක්වමින් අතුරු තහනමක්
COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය පීඨවලින් හා කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධි ලැබූ පිරිසකට සීමාවාසික පුහුණු පත්වීම් ලබාදීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබේ. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලැබූ සිසුන් තිදෙනෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ප්‍රසන්න ජයවර්ධන, පී. පද්මන් සූරසේන හා එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබන මස 27 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ ය. සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ පෙත්සම්කාර සිසුන් තිදෙනා ඇතුළු 85 දෙනෙකුට සීමාවාසික පුහුණු පත්වීම් ලැබීමට සුදුසුකම් ලබා තිබියදී ඔවුන්ට පත්වීම් ලබා නොදී වෙනත් පිරිසකට ලබාදීමට පියවර ගෙන ඇතැයි පෙත්සමෙන් පෙන්වාදී තිබුණි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවී ඇති සැමට සමානාත්මතාවෙන් සැලකීමේ ඇති අයිතිවාසිකම අහිමි කිරීමක් බව පෙන්වාදෙමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, නීතිපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ඇතුළු 06 දෙනෙකු නම් කර ඇත. සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලැබූ පිරිසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලද වෛද්‍ය වෘත්තියේ නියැලීමට අයිතියක් ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුවක් අනුව තහවුරු කර ඇති බව ද පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්හ. මේ අතර සීමාවාසික පත්වීම් ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයි කළ දැනුම්දීම මත අද විශාල පිරිසක් අරලිය ගහ මන්දිරයට රැස් ව සිටි බව ද වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පත්වීම් ලිපි ලබාදීමට සැලසුම්කර තිබුනත් අධිකරණ නියෝගයත් සමග එය අත්හිටුවීමට සිදුවිය.
2019-02-26T06:50:12.000Z
ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි
ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි
COLOMBO (News 1st) - දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය 24 තුළ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව තද වැසි සහ අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක ඉතා තද වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතේ සහ කෑගල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2019-02-26T06:25:23.000Z
JUST IN : HND සිසුන්ට කොළඹදී පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර
HND සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර
COLOMBO (News 1st) - අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ, ලෝටස් වටරවුමේදී පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය සඳහන් කළේ, විරෝධතාකරුවන් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවලින් පසු එහි සිටි කිසියම් පිරිසක් කළහාකාරි හැසිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, එම ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/384382719028654/
2019-02-26T06:09:20.000Z
බොරැල්ලේ රිය අනතුර සම්බන්ධයෙන් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ සැකකරුවන් 5 දෙනා මුදා හැරේ
ඇප කොන්දේසි සැපිරු 05 දෙනා මුදා හැරේ
COLOMBO (News 1st) - බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා, අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් ඇප නියමව කොන්දේසි සපුරාලීමට නොහැකිව සිටි සැකකරුවන් 5 දෙනා ඇප කොන්දේසි සැපිරීම හේතුවෙන් අද මුදා හැර තිබේ. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය. ඒ සැකකරුවන් ඊයේ පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීමෙන්, 05 දෙනෙකු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නැමැත්තා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. අත්අඩංගුවට පත් වූ එක් සැකකරුවෙක් සහ තව ත් තරුණියක් ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඊයේ සවස මුදා හැරුණි. අත්අඩංගුවට පත්වූවන් අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා සහ පොලිස් අධිකාරිවරයෙකුගේ පුත්‍රයෙකු ද වනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අනතුර සිදු කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සැකකරුවන් 05 දෙනෙකු සහ ප්‍රාඩෝ රථයේ ගමන් ගත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියෙන් යමින් සිටියදී පෙරේදා අලුයම 4.30 ට පමණ කොළඹ - ගාල්ල මාර්ගයේ බම්බලපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක් විය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති.
2019-02-26T05:52:35.000Z
එල්.එන්.ජී සහ ටැබ් පරිගණක ව්‍යපෘති ගැන සොයා බැලීමට ජනපතිගෙන් කමිටුවක්
කෙරවලපිටියේ ටෙන්ඩර් පටිපාටිය ගැන සෙවීමට කමිටුවක්
COLOMBO (News 1st) - කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම කමිටුව පත් කෙරුණි. කමිටු වාර්තාව සතියකින් ලබාදෙන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කමිටුවට දැනුම් දී ඇත. පාඨලි චම්පික රණවක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක සහ හර්ෂ ද සිල්වා අමාත්‍යවරුන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර තිබේ. මේ අතර පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර ඇත. අද පැවති කැබිනට් හමුවේදී තීරණය වී ඇත්තේ, ඒ ශ්‍රේණියේ පාසල් සඳහා පමණක් ටැබ් පරිගණක ලබාදීමටයි. එහි ක්‍රමවේදය සම්බන්ධයෙන් අද පත්කළ කමිටුව සතියක් තුළ වාර්තාවක් ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා දැනුම්දී ඇත. එම කමිටුව එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතවේ.
2019-02-26T05:37:05.000Z
කොළඹ, ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ
ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ
COLOMBO (News 1st) - විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, උසස් තාක්ෂණික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශය අවහිර වී ඇති බවයි. රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙනු ඇත.
2019-02-26T04:23:00.000Z
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ලංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදී ඇති බවයි. විෂය භාර අමාත්‍යවරයා කළ දැනුම්දීමක් මත සහ පෞද්ගලික හේතු මත සභාපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේ ය.
2019-02-26T01:51:02.000Z
දකුණේ SIU ගිනිඅවි සේප්පුවට මුද්‍රා
දකුණේ SIU ගිනිඅවි සේප්පුවට මුද්‍රා
COLOMBO (News 1st) : රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනිඅවි සේප්පුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබේ. ඒ ඊට අදාළ මූලික පරීක්ෂණවලට අදාළවයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ,දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකක කාර්යාලයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි. මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා ,පැහැරගැනීමෙන් පසු අක්මීමන ප්‍රදේශයේ නිවසත් තුළදී ඝාතනය කර වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතය තුළදී සිරුරු ගිනි තබා විනාශකර ඇති බවට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළේ ය. පසුව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකු ස්ථාන මාරු කිරීමට ද පියවර ගත්තේ ය. කෙසේ වෙතත් ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් 15 දෙනාගෙන් 03 දෙනෙකු මෙතෙක් සිය සේවා ස්ථාන වෙත වාර්තා කර නොමැති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් 10 දෙනාට ද ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි. අවශ්‍ය වුවහොත් එම ඒකකය විසුරුවා හැරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසී ය. මෙම ඒකකයට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 25කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාල නිලධාරීන් තවදුරටත් සේවයට වාර්තා නොකළ හොත් ඔවුන් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි. අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා හා උප පොලිස් පරීක්ෂක විරාජ් මධුෂංක යන අය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එමෙන්ම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ වනවිට පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත මාරුකර යවා ඇත.
2019-02-26T01:04:45.000Z
හෙරොයින් ජාවාරම : මරණ දඬුවම් ලැයිස්තුවට තවත් අයෙක්....
හෙරොයින් ජාවාරම: මරණ දඬුවම් ලැයිස්තුවට තවත් අයෙක්
COLOMBO (News 1st) : හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අදාළ වරදකරුට මෙලෙස මරණ දඬුවම නියම කළේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, 2017 වසරේ දෙසැම්බර් 11 වන දා කොළඹ 14 එච්.ආර් ජොතිපාල මාවතේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, හෙරොයින් ග්‍රෑම් 105ක් සමගයි. ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 29.43ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණ.
2019-02-25T23:05:38.000Z
පකිස්ථාන - ඉන්දීය දේශසීමාවේ ත්‍රස්ත කඳවුරකට ගුවන් ප්‍රහාරයක්
ඉන්දීය - පකිස්ථාන යුද ගිනි යළි ඇවිළෙන ලකුණු....
COLOMBO (News 1st) : පකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට අද අලුයම ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඉන්දියාව පවසයි. ඉන්දීය හමුදාව සඳහන් කළේ, අද අලුයම 3.30 ට පමණ මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය ඒල්ල කළ බවයි . කිලෝග්‍රෑම් දහසක් බර බෝම්බ හෙළීමෙන් පකිස්ථාන දේශසීමාවේ පිහිටි ත්‍රස්ත කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒම වාර්තා සඳහන් කළේ, අදාළ ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණුකිරීමේ කඳවුරක් බවයි . මේ අතර ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට පකිස්ථාන හමුදාව චෝදනා කළේ ය. පකිස්ථාන හමුදාවේ මේජර් ජෙනරාල් අසීෆ් ඝාෆූර් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියාසිටියේ ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමාව උල්ලංඝනය කිරීම හමුවේ තම ගුවන් හමුදාව ද කඩිනමින් සිය ප්‍රහාරක ජෙට් යානා පිටත්කර යැවූ බවයි. කෙසේවෙතත් ඉන්දීය ගුවන් යානා ඒ වනවිටත් ආපසු පිටත්ව ගොස් ඇති බව පකිස්ථානය ප්‍රකාශ කළේ ය.
2019-02-25T21:40:30.000Z
නයිජීරියා ජනපති සටන: වත්මන් ජනපති පෙරමුණේ
නයිජීරියා ජනපති සටන: වත්මන් ජනපති පෙරමුණේ
COLOMBO (News 1st) : නයිජීරියානු ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහමුදු බුහාරි පෙරමුණේ පසුවන බව ඒරට මාධ්‍ය වාර්තා කළේ ය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහුට නයිජීරියාවේ ප්‍රාන්ත 36 න් 7ක ජය හිමිව ඇති බවයි. මහමුදු බුහාරි ගේ ප්‍රතිවාදියා වන අටිකු අබුබකර් ජයගෙන ඇත්තේ අබූජා අගනුවර සහ තවත් ප්‍රාන්ත දෙකක් පමණි. කෙසේ වෙතත් ප්‍රතිඵල ප්‍රකාශය ඇරඹීමත් සමග මැතිවරණ අක්‍රමිකතා සිදුව ඇතැයි අබුබකර්ගේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය චෝදනා කළේ ය. ඔවුන් පවසන්නේ රජය සහ සෙසු ඒජන්සි ප්‍රතිඵල ගණනයට බාධා කර ප්‍රතිඵල වෙනස් කිරීමට පියවර ගන්නා බවයි. නයිජීරියා මැතිවරණයේ ප්‍රතිඵල විකාශය ප්‍රමාද වීම කෙරෙහි අමෙරිකාව ,අප්‍රිකානු සංගමය සහ යුරෝපා සංගමය සිය අවධානය යොමුකර තිබිණ.
2019-02-25T21:02:22.000Z
සිසුවියක අපයෝජනය කිරීමට තැත් කළ විදුහල්පති අත්අඩංගුවට
සිසුවියක අපයෝජනයට තැත් කළ විදුහල්පති අත්අඩංගුවට
COLOMBO (News 1st) : කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක අපයෝජනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ විදුහල්පතිවරයා 17 හැවිරිදි සිසුවිය අපයෝජනය කිරීමට තැත් කර ඇති බවයි. විදුහල්පතිවරයාගෙන් අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට විවිධ බලපෑම් සිදුවූ බව සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත. සැකකාර විදුහල්පතිවරයා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2019-02-25T20:17:50.000Z
කොල්ලුපිටියෙන් ඇල්ලූ කුඩු තොගය එවූ ජාවාරම්කරු කවු ද?
කොල්ලුපිටියෙන් ඇල්ලූ කුඩු රටට එවූ ජාවාරම්කරු කවුද?
COLOMBO (News 1st): මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකතන වාර්තා ලබා ගැනීමට පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ අනුව ඔවුන් භාවිත කළ සිම්පත් හිමි සමාගම් හරහා සැකකරුවන් විසින් ලබා ගෙන ඇති දුරකථන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් හෙළි කරන තොරතුරු මෙරට සහ විදේශිය වශයෙන් ක්‍රියාක්මක බුද්ධි අංශ සමග හුවමාරු කර ගනිමින් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. ජවාරම ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තවත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ නිදැල්ලේ සිටින අයෙකු බව සඳහන් ය. මෙයට ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ සම්බන්ධයක් නොමැති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී පසුගිය 23 වනදා අත්අඩංගුවට ගත් හොරොයින් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රැම් 490කි. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන තුන්දහස් පන්සිය තිස් තුනකි.
2019-02-25T20:03:44.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැලකෙන තව ත් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි: අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ සිරුරු පිළිස්සු බව කියන වලස්මුල්ල, මැදගංගොඩ, උඩදෙණිය රක්ෂිතයේ තිබි තව ත් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබේ. 2. බොරැල්ලේ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 08 දෙනාගෙන් 07 දෙනෙකුට ඇප : බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 3. මාකඳුරේ මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ නිවසක් වටලයි... පියා අත්අඩංගුවට: ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සිය අපරාධ සඳහා වෙඩික්කරුවෙකු ලෙස යොදා ගත් යුද හමුදා සෙබළෙකුගේ නිවසක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශ ඒකකයේ නිලධාරීන් විසින් වටලනු ලැබීය. 4. විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එවා ඇති බවට හෙළිවෙයි : මෙරටින් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තව ත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 5.අලුගෝසු තනතුරට විදේශිකයෙක්...? : මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අලුගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. විදේශීය පුවත්.... 1. බංග්ලාදේශ යානය පැහැර ගැනීමට තැත්කළ පුද්ගලයා ඝාතනය කෙරේ : බංග්ලාදේශ ගුවන් යානයක් පැහැරගැනීමට තැත්කළ පුද්ගලයා එරට කොමාන්ඩෝ භට පිරිස් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබේ. ක්‍රීඩා පුවත්... 1. ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට :දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අද උදෑසන යළි දිවයිනට පැමිණියහ.
2019-02-25T19:26:47.000Z
කඩුවෙල-බියගම මාර්ගය තාවකාලිකව වසා දැමේ
කඩුවෙල-බියගම මාර්ගය තාවකාලිකව වසා දැමේ
COLOMBO (News 1st) : කඩුවෙල සිට බියගම දක්වා මාර්ගයේ ගමනාගමනය අද සිට දින 4ක් සීමා කිරීමට සිදුවනු ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, කඩුවෙල පාලමේ හදිසි අලුත්වැඩියාවක් ඊට හේතුව බවයි. ඒ අනුව අද සිට ලබන මස දෙ වැනිදා දක්වා දිනපතා රාත්‍රී 10. 00 සිට අලුයම 05. 00 දක්වා එම මාර්ගය වසා තැබෙනු ඇති. එම කාල සීමාව තුළ විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ පාලම භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.
2019-02-25T10:17:01.000Z
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැලකෙන තව ත් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි
රත්ගම ඝාතනය: තව ත් අස්ථි කොටස් හමුවෙයි
COLOMBO (News 1st) - අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ සිරුරු පිළිස්සු බව කියන වලස්මුල්ල, මැදගංගොඩ, උඩදෙණිය රක්ෂිතයේ තිබි අද පස්වරුවේ තව ත් අස්ථි කොටස් කිහිපයක් හමුවිය. මේ අතර ඔවුන් ඝාතනය කිරීමෙන් පසු දේහයන් රැගෙන යාමට භාවිතා කළ බව කියන කැබ් රථයක් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා, පැහැරගැනීමෙන් පසු අක්මීමන ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතය තුළ ගිනිතබා ඇතැයි අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළේ ය. ඒ අනුව ඉකුත් 22 දා උඩදෙණිය රක්ෂිතය පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහි ගිනි තැබීමක් සිදු කළ ස්ථානයක තිබී මිනිස් අස්ථි බවට සැකකෙරන කොටස් කිහිපයක් හමුවිණි. අද තව ත් අස්ථි කොටස් හමුව ඇත්තේ ඊට ආසන්නව මදක් පහළින් පිහිටි ඇළ මාර්ගයක් සමීපයෙන්. අප වාර්තාකරු පැවසුවේ, පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇදැහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම අස්ථි කොටස් ඇළ මාර්ග අසළට ගසාගෙන විත් ඇතැයි සැක කරන බවයි. මේ අතර දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් දස දෙනාට ද ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට කටයුතු කරමින් සිටි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ට මාතර ප්‍රදේශයෙන් බැහැර පොලිස් ස්ථානයකට මාරුවීම් ලබා දෙන්නැයි ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යැවූ බවයි. මෙම ඒකකයට අනුයුක්තව පොලිස් නිලධාරීන් 25 දෙනෙකු රාජකාරියේ යොදවා සිටි අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුට පසුගිය දා පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත වෙත ස්ථානමාරුවීම් ලබා දුන්නේ ය. එලෙස ස්ථාන මාරුවිම් ලබාදුන් පොලිස් නිලධාරීන්ගෙන් 4 දෙනෙකු මෙතෙක් සේවා ස්ථානයට වාර්තා කර නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔවුන් තවදුරටත් සේවයට වාර්තා නොකළ හොත් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි. මේ අතර සේවයට වාර්තා නොකළ එම පොලිස් නිලධාරීන්ගේ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ද අදාළ නිලධාරීන් පදිංචි ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානවලට දන්වා ඇතැයි පොලීසිය පවසයි. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා හා උපපොලිස් පරීක්ෂක විරාජ් මධුෂංක යන මහත්වරුන් මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ වනවිට පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත මාරු කර යවා තිබේ.
2019-02-25T08:19:11.000Z
රන්ජන්ගේ ප්‍රකාශය විමර්ශනය කළ කිරිඇල්ල කමිටු වාර්තාව අගමැතිට
කිරිඇල්ල කමිටු වාර්තාව අගමැතිට
COLOMBO (News 1st) - මැති ඇමතිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කළ චෝදනාවට අදාළව පරීක්ෂා කළ කමිටු වාර්තාව අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පිළිබඳව සොයා බැලීමට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට ඉරාන් වික්‍රමරත්න, ආශු මාරසිංහ සහ නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන් නම් කර තිබුණි. නමුත් කමිටු රැස්වීම්වලට සහභාගිවී තිබුනේ එක්සත් ජාතික පක්ෂයෙන් නීතිඥවරයෙකු වන මහේෂ් කලුගම්පිටිය මහතායි. බැඳුම්කර වංචාව පිළිබඳව රනිල් වික්‍රසිංහ මහතා පත්කළ පිටිපන කමිටුවේ ද සමාජිකයෙකු ලෙස මහේෂ් කලුගම්පිටිය මහතා කටයුතු කළේ ය. මේ අතර රන්ජන් රාමනායක මහතාගේ අනාවරණය පිළිබඳව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද දුම්කොළ හා මධ්‍යසාර ජාතික අධිකාරිය පැවැත් වූ සාකච්ඡාවකදී අදහස් පළකර තිබේ.
2019-02-25T07:10:49.000Z
බොරැල්ලේ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 08 දෙනාගෙන් 07 දෙනෙකුට ඇප
අත්අඩංගුවට ගත් 08 දෙනාගෙන් 07 දෙනෙකුට ඇප
COLOMBO (News 1st) - බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. ඒ, සැකකරුවන් අද පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නැමැත්තා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. අත්අඩංගුවට පත්වුවන් අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා සහ පොලිස් අධිකාරිවරයෙකුගේ පුත්‍රයෙකු ද වේ. අද පස්වරුවේ එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥවරුන් සහ පොලිස් නිලධාරීන් හැර මාධ්‍යවේදීන් ඇතුළු සෙසු පුද්ගලයින් අධිකරණයෙන් පිටතට යවා එම නඩු කටයුත්ත විමසීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා පියවර ගැනීම විශේෂත්වයකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අනතුර සිදුකර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සැකකරුවන් 05 දෙනෙකු සහ ප්‍රාඩෝ රථයේ ගමන් ගත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියෙන් යමින් සිටියදී ඊයේ අලුයම 4.30 ට පමණ කොළඹ - ගාල්ල මාර්ගයේ බම්බලපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක්විය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති.
2019-02-25T06:42:40.000Z
මාකඳුරේ මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ නිවසක් වටලයි... පියා අත්අඩංගුවට
මාකඳුරේ මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ නිවසක් වටලයි
COLOMBO (News 1st) - ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සිය අපරාධ සඳහා වෙඩික්කරුවෙකු ලෙස යොදා ගත් යුද හමුදා සෙබළෙකුගේ නිවසක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශ ඒකකයේ නිලධාරීන් විසින් අද වැටලූහ. ඒ, හක්මණ ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ලොකු හකුරුගේ ශාන්ත මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි පිළිබඳ විමර්ශනවලට අදාළවයි. වැටලීම කරන අවස්ථාවේ සැකකරු නිවසේ සිට නැත. සමන්ත පුෂ්පකුමාර නැමැති සැකකරු සපුගස්කන්ද යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකි. පොලීසිය කළ වැටලීමේදී අදාළ නිවසේ තිබි යුද හමුදා ඇඳුම් කට්ටල කිහිපයක්, ටී 56 උණ්ඩ 21 ක් අත්විලංගු යුවළක් පොලීසිය භාරයට ගෙන තිබේ. එම මොහොතේ නිවසේ රැඳි සිටි සමන්ත පුෂ්පකුමාර නැමැත්තාගේ පියා අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරු 51 හැවිරිදි අයෙකි. පොලීසිය පවසන්නේ, මෙම හමුදා සාමාජිකයාට විදෙස් ගතවීම තහනම් කරමින් මේ වන විට අධිකරණය නියෝගයක් ද ලබා ගෙන ඇති බවයි. මාකඳුරේ මධුෂ්ගේ සහයෙකු වන ඔහු පන්නිපිටියේ රුපියල් කෝටි 700 ක මැණික් කොල්ලය සඳහා ද පැමිණ ඇති බවට පොලීසිය සැක කරයි. පොලීසිය සඳහන් කළේ, ඔහුගේ නිවසේ තිබි සොයා ගත් අත්විලංගු යුවළ පන්නිපිටියේ ව්‍යාපාරිකයා පැහැර ගැනීම සදහා භාවිතා කරන්නට ඇති බවට සැක කරන බවය.
2019-02-25T06:11:07.000Z
විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එවා ඇති බවට හෙළිවෙයි
විශාලම හෙරොයින් තොගය ඩුබායි සිට එවූ බවට හෙළිවෙයි
COLOMBO (News 1st) - මෙරටින් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තව ත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ නිදැල්ලේ සිටින අයෙකු බව සඳහන් ය. ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ සම්බන්ධයක් මීට නොමැති බවට ද තොරතුරු අනාවරණවී ඇතැයි පොලීසිය පවසයි. ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ජාවාරම්කරුවෙකු ලබා දුන් තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පෙරේදා සවස අත්අඩංගුවට ගනු ලැබුවේ ය. ඒ, කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකදී ය. කුඩා වෑන් රථ දෙකක ගමන් මලුවල බහා තිබූ එම හෙරොයින් තොගවල බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක්. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3533කි.
2019-02-25T04:30:58.000Z
බොරැල්ලේ අනතුර සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුත් අත්අඩංගුවට
කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුත් අත්අඩංගුවට
COLOMBO (News 1st) - බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා සහ පොලිස් අධිකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ද අයත් වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අනතුර සිදු කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සැකකරුවන් 05 දෙනෙකු සහ ප්‍රාඩෝ රථයේ ගමන් ගත් සැකකරුවන් 03 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම 4.30 ට පමණ කොළඹ - ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදී මෙම අනතුර සිදු විය.
2019-02-25T02:34:06.000Z
අල්ලස් ගන්න හැදූ හමුදා නිලධාරියෙකු ඇතුළු 2ක් අත්අඩංගුවට
අල්ලස් ගන්න හැදූ හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) : තණමල්විල ඌව කුඩා ඔය ප්‍රදේශයේ දී ලක්ෂ 5 අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ වීරවිල යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, හම්බන්තොට ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගෙන් මෙම නිලධාරීන් දෙදෙනා අල්ලස් ඉල්ලා ඇති අතර ඉන් එක් පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබා ගැනීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. අදාළ නිලධාරීන් දෙදෙනා වීරවීල යුද හමුදා කඳවුරේ සේවය කරන කපිතාන්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක් වන අතර ඔවුන් මෙ වන විට කුඩාඔය පොලීසිය භාරයේ පසුවේ. මේ අතර අත්අඩංගුවට ගත් කෝප්‍රල්වරාගේ නිවසේ තිබියදී පතොරම් තුවක්කුවක්, ටී 56 උණ්ඩ 16 ක්, අත්බෝමයක් සහ යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් ද සොයාගෙන තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාෂක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, අත්අඩංගුවේ පසුවන දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත් වන බවයි.
2019-02-25T01:46:04.000Z
ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට
ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට
COLOMBO (News 1st) :දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අද උදෑසන යළි දිවයිනට පැමිණියහ. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණි. මෙහි විශේෂත්වය වූයේ, දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජයගත් ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වීමයි. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පැවැත්විය. ඒ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. අනතුරව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත් විණි.
2019-02-24T23:52:03.000Z
බොරැල්ලේ අනතුර: මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට
මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයා ත් අත්අඩංගුවට
COLOMBO (News 1st) : බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම අනතුර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබී ය. අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් අධිකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ද මෙන්ම එම ජීප් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අයත් ය. එසේම මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම රථය සමග පැමිණි තවත් ජීප් රථයක හිමිකරු හා එහි ගමන් කළ 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම 4 30 ට පමණ කොළඹ - ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදී අනතුර සිදුවිය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. https://www.youtube.com/watch?v=rMRhEX1iSBs
2019-02-24T22:54:34.000Z
අතිඋත්කර්ෂවත් 91 වන ඔස්කාර් සම්මාන උළෙල
අතිඋත්කර්ෂවත් 91 වන ඔස්කාර් සම්මාන උළෙල
91 වන ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි තියටර්හිදී උත්කර්ෂවත්ව පැවැත්විණ. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය ග්‍රීන් බුක් චිත්‍රපටයට හිමිවූයේ සිනමාලෝලීන් මෙන්ම ඔස්කා ප්‍රේක්ෂකයින් විමතියට පත්කරමිනි. හොඳම සහය නළුවා ,හොඳම තිරපිටපත ඇතුළුව ග්‍රීන් බුක් චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හිමිකරගත් සම්මාන සංඛ්‍යාව තුනකි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගැනීමට රෝමා චිත්‍රපටය වෙනුවෙන් අල්ෆොන්සෝ කුරෝන් සමත්විය. රෝමා චිත්‍රපටය හොඳ ම විදේශීය භාෂා චිත්‍රපටය, හොඳම සිනමාකරණය ඇතුළුව ඔස්කාර් සම්මාන 3 ක් හිමිකරගත්තේ ය. හොඳ ම සහය නළුවාට හිමි සම්මානය දිනාගත් මහේර්ෂලා අලි, මීට පෙරද මූන්ලයිට් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳ ම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගෙන තිබිණ. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රථම සම්මානය හෙවත් හොඳ ම සහය නිළියට හිමි සම්මානය හිමිවූයේ, ඉෆ් බේල් ස්ට්‍රීට් කුඩ් ටෝක් චිත්‍රපටයේ රඟපෑ රෙජිනා කින්ග්ටයි. ඔස්කාර් සම්මාන උළෙලේ, හොඳ ම නළුවා, හොඳම සංස්කරණය , හොඳ ම ශ්‍රව්‍ය සංකලනය , හොඳ ම ශබ්ද සංස්කරණයට හිමි සම්මාන 4 ක් දිනාගත්තේ බොහීමියන් රැප්සොඩි චිත්‍රපටයයි . ඒ උළෙලේ වැඩි ම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්වෙමිනි. හොඳම නිළියට හිමි සම්මානය ද ෆේවරිට් චිත්‍රපටය වෙනුවෙන් ඔලීවියා කෝල්මන් දිනාගත් අතර හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ රැමී මලෙක් ය. ද ෆේවරිට් චිත්‍රපටය සම්මාන උළෙලේ සම්මාන 11ක් සඳහා නිර්දේශ වුවත් ඒය දිනාගත්තේ ඒක් සම්මානයක් පමණයි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම නිෂ්පාදන නිර්මාණය, හොඳම ඇඳුම් නිර්මාණය ඇතුළු සම්මාන තුනක් දිනාගැනීමට බ්ලැක් පැන්තර් චිත්‍රපටය සමත්විය. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම උපුටාගත් තිරපිටපතට හිමි සම්මානය දිනාගැනීමට බ්ලැක්ක්ලෑන්ස්මන් චිත්‍රපටය වෙනුවෙන් ස්පයික් ලී සමත්විය. සම්මාන උළෙලේ හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි සම්මානය ෆ්‍රී සෝලෝ චිත්‍රපටය හිමිකරගත්තේ ය. ඊට පාදක වූයේ ඇලෙක්ස් හොනල්ඩ් නැමති කඳු නගින්නකු ලොව වඩාත් ජනප්‍රිය අඩි 3200 ක උසින් යුත් ගල් පර්වතයක් කඹයක හෝ කිසිවක ආධාරයෙන් තොරව තරණය කිරීමේ කථා පුවතකි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය දිනාගැනීමට අ ස්ටාර් ඉස් බෝර්න් චිත්‍රපටයේ ශැලෝ ගීතය සමත්විය. එම සම්මානය හිමිකරගත්තතේ ලේඩි ගාගා ,මාර්ක් රොන්සන් , ඇන්තනි රොසොමොන්ඩෝ සහ ඇන්ඩෘ ව්යැට් යන අය විසිනි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට ස්පයිඩර් මෑන් - ඉන් ටු ද ස්පයිඩර්වර්ස් චිත්‍රපටය සමත්විය. සම්මාන උළෙලේ සුදු ජාතිකයන් මෙන්ම කළු ජාතිකයන්ගේ ද කැපී පෙනෙන සහභාගීත්වයක් තිබීම බොහෝ දෙනාගේ ඇගයුමට පාත්‍ර වූහ. සුපිරි හොලිවුඩ් නිළි ජූලියා රොබර්ට්ස් සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත සියලු දෙනා අගයමින් සමාප්ති කථාව පැවැත්වීය.
2019-02-24T22:23:43.000Z
හංවැල්ලේ මාරක රිය අනතුරක්
හංවැල්ලේ මාරක රිය අනතුරක්
COLOMBO (News 1st) : හංවැල්ල - ඌරාපොල මාර්ගයේ තිත්තපත්තර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, හංවැල්ල සිට ඌරාපොල දෙසට ධාවනයවූ ත්‍රිරෝද රථයක, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු හා පැදිකාරිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, මණ්ඩවල ලුණුගම පදිංචි 29 හැවිරිදි අයෙකු සහ පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවකි. ත්‍රිරෝද රථයේ රියැදුරු ද තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.
2019-02-24T20:31:22.000Z
බංග්ලාදේශ යානය පැහැර ගැනීමට තැත්කළ පුද්ගලයා ඝාතනය කෙරේ
යානය පැහැර ගැනීමට තැත්කළ පුද්ගලයා ඝාතනය කෙරේ
COLOMBO (News 1st) : බංග්ලාදේශ ගුවන් යානයක් පැහැරගැනීමට තැත්කළ පුද්ගලයා එරට කොමාන්ඩෝ භට පිරිස් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබේ. ඩකා නුවර සිට ඩුබායි බලා පියාසර කරමින් සිටි බිමාන් බංග්ලාදේශ් ගුවන් සේවයට අයත් මෙම යානයේ සිටි එම පුද්ගලයා පිස්තෝලයක් රැගෙන නියමු කුටිය වෙත ඇතුළුවීමට තැත්කර තිබුණේ යානය පුපුරුවා හරින බවට තර්ජනය කරමිනි. ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ, සිය බිරිඳ සමග පෞද්ගලික ගැටලුවක් ඇතැයි පැවසූ ඔහු , බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාට කථා කිරීමට අවශ්‍ය බව යානයේ නියමුවාට පවසා ඇති බවයි. පසුව යානය චිතගොංහි ශා අමානාත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්වා එහි සිටි මගීන් 148 දෙනා සහ කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනාම පාහේ ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. ඉන් පසු යානයට කඩාවැදුණු කොමාන්ඩෝ සෙබළුන්ට යටත්වීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ ඇතිවූ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බව බංග්ලාදේශ හමුදාවේ මේජර් ජෙනරාල් එස් එම් මෝටියර් රහ්මන් ප්‍රකාශ කළේ ය. එම පුද්ගලයා යානයේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයකු පමණක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි අතර සිය සිරුරට පුපුරණ ද්‍රව්‍ය සවිකරගෙන සිටින බව ඔහු පැවසු බව ද ගුවන්තොටුපොළ බලධාරීහු සඳහන් කළහ. කෙසේ වෙතත් ඔහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී පිස්තෝලයක් හැරුණු කොට වෙනත් කිසිඳු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගැනීමට හැකිවී නැත. 25 වියැති බංග්ලාදේශ ජාතිකයකු බවට සැලකෙන මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නැති අතර ඔහු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව මීට පෙර වාර්තා කර තිබිණ.
2019-02-24T20:14:51.000Z
අලුගෝසු තනතුරට විදේශිකයෙක්...?
අලුගෝසු තනතුරට විදේශිකයෙක්...?
COLOMBO (News 1st) : මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අලුගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එම තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇති මුත්, ලැබී ඇති අයදුම්පත් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. එම තත්ත්වය තුළ අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, අද දහවල් 12 වනතුරු ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබී ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව එම ලැයිස්තුව භාරදුන් බවයි. ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් සංඛ්‍යාව 17කි. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට 1976 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්ත.
2019-02-24T19:46:53.000Z
බොරැල්ලේ අනතුරට සම්බන්ධ තවත් තිදෙනෙක් අත්අඩංගුවට
බොරැල්ලේ අනතුරට සම්බන්ධ තවත් තිදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථයේ ගමන් කළ බොරලැස්ගමුව, හෝමාගම හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 4 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන්, ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කල බවට සැකපිට පොලිස් අධීකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ. මාළඹේ පදිංචිකරුවෙකු වන සැකකරු උපන්දින සාදයක් සඳහා සහභාගී වී යළි එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පදවා ඇත්තේ, අත්අඩංගුවට ගත් පුද්ගලයාම ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවයි. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම 4 30 ට පමණ අනතුර සිදුවිය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරික්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. https://www.youtube.com/watch?v=rMRhEX1iSBs
2019-02-24T19:16:01.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. බොරැල්ලේ අනතුර සිදුකර පලා ගිය සැකකරු පොලීසියට භාරවෙයි : බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේදී අනතුරකට ලක්කර පලා ගිය ඩිෆෙන්ඩර් රථයේ රියැදුරා පොලීසියට භාර වී තිබේ. 2. මත් උවදුරින් රට බේරා ගැනීමට යුද හමුදාවත් සීරුවෙන් : මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරා ගැනීම සඳහා යුද හමුදාවෙන් ලබා දිය යුතු සෑම සහයෝගයක්ම නොමදව ලබා දීමට සුදානම් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. 3. කොල්ලුපිටියේදී වැටලූ විශාලතම හොරොයින් තොගය රටට ආ හැටි හෙළිවෙයි : කොල්ලුපිටියේදී සොයා ගැණුනු මෙරටින් හමුවු විශාලතම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. 4.දෙහිඕවිට ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් STF අත්අඩංගුවට : පොලිස් විශේෂ කාර්ය බලකාය අවිස්සාවේල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක අත්අඩංගුවට ගෙන තිබේ. 5.ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික පන්ති වැලැක්වීමේ යෝජනාවට නීතිපති උපදෙස් : ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම වැලැක්වීමේ යෝජනාවට නීතිපති උපදෙස් ලබා ගන්නා බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. විදෙස් පුවත්... 1. ඩකා සිට ඩුබායි බලා පියාසර කළ යානයක් පැහැර ගැනීමේ උත්සාහයක් : සන්නද්ධ තුවක්කුකරුවකු බංග්ලාදේශයේ ඩකා සිට ඩුබායි බලා පියාසර කරමින් තිබූ බිමාන් බංග්ලාදේශ් ගුවන් සේවයට අයත් යානයක් පැහැර ගැනීමට ප්‍රයත්න දරා තිබේ.
2019-02-24T09:08:46.000Z
ඩකා සිට ඩුබායි බලා පියාසර කළ යානයක් පැහැර ගැනීමේ උත්සාහයක්
ඩුබායි බලා පියාසර කළ යානයක් පැහැර ගැනීමේ උත්සාහයක්
සන්නද්ධ තුවක්කුකරුවකු බංග්ලාදේශයේ ඩකා සිට ඩුබායි බලා පියාසර කරමින් තිබූ බිමාන් බංග්ලාදේශ් ගුවන් සේවයට අයත් යානයක් පැහැර ගැනීමට ප්‍රයත්න දරා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය පියාසර කරමින් තිබියදී , පිස්තෝලයක් අතින් ගත් පුද්ගලයකු තමාට බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාට කථා කිරීමට අවශ්‍ය බව පවසමින් යානයේ නියමුකුටිය වෙත ඇතුළුවීමට ප්‍රයත්න දරා ඇති බවයි. මේ හමුවේ එම යානය යළි බංග්ලාදේශයේ චිතගොං හි හදිසියේ ගොඩබැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, මේ වනවිට යානයේ සිටි මගීන් 142 ට ඉන් ආරක්ෂිතව පිටවීමට ඉඩ සලසා ඇති අතර පොලීසිය සහ හමුදාව යානයේ ආරක්ෂාවට යොදවා ඇති බවයි . එම ගුවන් යානය චිතගොං හරහා ඩකා නුවර සිට ඩුබායි බලා යාමට නියමිතව තිබූ බව සඳහන් ය . යානය පැහැරගැනීමට තැත්කළ පුද්ගලයා සහ බංග්ලාදේශ ආරක්ෂක අංශ අතර මේ වනවිට සන්නිවේදන කටයුතු සිදුකෙරෙන අතර එම ප්‍රයත්නයට හේතුව මෙතෙක් හෙළිවී නොමැත. බලධාරීන් තත්ත්වය පාලනය කිරීමට ප්‍රයත්න දැරීම හේතුවෙන් චිතගොංහි ශා අමානාත් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව නතරකර තිබේ.
2019-02-24T10:02:20.000Z
බොරැල්ලේ අනතුර සිදුකර පලා ගිය සැකකරු පොලීසියට භාරවෙයි
බොරැල්ලේ අනතුර කර පලා ගිය සැකකරු භාරවෙයි
COLOMBO (News 1st) : බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේදී අනතුරකට ලක්කර පලා ගිය ඩිෆෙන්ඩර් රථයේ රියැදුරා පොලීසියට භාර වී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරු 25 හැවිරිදි ඔහුගේ පියා විසින් පොලීසියට භාර දී ඇති බවයි. සැකකරු උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතව සිට සතියක නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ ඇතැයි, පොලීසිය පැවසී ය. උපන්දින සාදයක් සඳහා සහභාගී වී යළි එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මේ අතර අනතුරට සම්බන්ධ ජීප් රථය බත්තරමුල්ල පැලවත්ත පැගොඩා ගාර්ඩ්න් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ නවතා තිබියදී අද පස්වරුවේ සොයා ගැනිණ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී අද අලුයම 4 30 ට පමණ අනතුර සිදුවිය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. https://www.youtube.com/watch?v=rMRhEX1iSBs
2019-02-24T06:42:46.000Z
මත් උවදුරින් රට බේරා ගැනීමට යුද හමුදාවත් සීරුවෙන්....
මත් උවදුරින් රට බේරා ගැනීමට යුද හමුදාවත් සීරුවෙන්
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරා ගැනීම සඳහා යුද හමුදාවෙන් ලබා දිය යුතු සෑම සහයෝගයක්ම නොමදව ලබා දීමට සුදානම් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. නිව්ස් ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්, යුද හමුදාපතිවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය වැටලීම සඳහා හමුදා සමාජිකයින් පුහුණු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. අවශ්‍ය ඕනෑ ම මොහොතක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම්වලට හමුදා සමාජිකයින් අනුයුත්ත කිරීමට සුදානම් බව ද මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විටත් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය ඒකාබද්ධව සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම්වලට අවශ්‍ය බුද්ධි තොරතුරු යුද හමුදාව වෙතින් ලබා දෙන බවයි.
2019-02-24T06:31:31.000Z
කොල්ලුපිටියේදී වැටලූ විශාලතම හොරොයින් තොගය රටට ආ හැටි හෙළිවෙයි
විශාලතම හොරොයින් තොගය රටට ආ හැටි හෙළිවෙයි
COLOMBO (News 1st) : කොල්ලුපිටියේදී සොයා ගැණුනු මෙරටින් හමුවු විශාලතම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, පාකිස්ථානයෙන් සහ ඉරානයෙන් මෙරටට රැගෙන එන්නට ඇතැයි, තොරතුරු ලැබී ඇති බවයි. මෙය දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ජාවාරම්කරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය දිවයිනට ගෙන්වා ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ජාවාරම සඳහා එම මත්ද්‍රව්‍ය ජවාරම්කරුට විදේශිකයින්ගේ සහය ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙම හෙරොයින් තොගය සමග කොල්ලුපිටිය සුපිරි වෙළද සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස පළමු වනදා තෙක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණය අද අවසර ලබා දුන්නේ ය. ඒ සැකකරුවන් කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. පොලීසිය සඳහන් කළේ, සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාමක රුපියල් මිලියන තුන්දහස් පන්සිය තිස් තුනක් වන බවයි. කොල්ලුපිටිය, සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලකින් සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490කි.
2019-02-24T05:55:45.000Z
විශාලතම හෙරොයින් තොගය ජනපතිගේ නිරීක්ෂණයට
විශාලතම හෙරොයින් තොගය ජනපතිගේ නිරීක්ෂණයට
COLOMBO (News 1st) : මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වැටලූ නිලධාරීන්ට සුබ පැතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද පෙරවරුවේ පැමිණියේ ය. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එය අනාගතය භාර ගන්නා දූ දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවයි. මෙවැනි, වැටලීම් සඳහා තමාගේ පූර්ණ සහයෝගය හැමවිට ම ලබා දෙන බව ද ජනාධිපති සඳහන් කළේ ය. කොල්ලුපිටිය, සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලකින් රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයා ගැනුණේ ඊයේ පස්වරුවේයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයාගත් එම හෙරෙයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 කි. එය මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=T0R1r6nxfI4
2019-02-24T05:08:22.000Z
දෙහිඕවිට ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් STF අත්අඩංගුවට
දෙහිඕවිට මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් STF අත්අඩංගුවට
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය අවිස්සාවේල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම දෙහිඕවිට ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවිස්සාවේල්ල උවුඩිල ප්‍රදේශයේ පදිංචි ධම්මිකා රත්නායක නමැති 44 හැවිරිදි කාන්තාවකි. නිවස පරීක්ෂා කරන අවස්ථාවේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා එහි සිට නොමැත. නිවසේ තිබී ෂොට් ගන් 1ක්, උණ්ඩ 9ක්, කඩුවක්, තහනම් පිහි 2ක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ භාණ්ඩ අවිස්සාවේල්ල පොලිසියට භාරදීමට නියමිතයි.
2019-02-24T02:14:46.000Z
සැකකටයුතු තව ත් ඩිෆෙන්ඩර් රථයක් කටුබැද්දේදී පොලිස් භාරයට
කටුබැද්දෙන් සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් හමුවෙයි
COLOMBO (News 1st) - මොරටුව, කටුබැද්ද ප්‍රදේශයෙන් සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර එය සොයාගත් බවයි. එම ඩිෆෙන්ඩර් රථයේ බලපත්‍ර ව්‍යාජ ඒවා බව දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි පොලීසිය පැවසුවේ ය. ඊට අමතරව එහි තිබි තව ත් අංක තහඩුවක් සොයාගෙන තිබේ. ඩිෆෙන්ඩර් රථයේ සිටි පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අදාළ අංක තහඩුව තමන්ට හිමි මෝටර් රථයේ අංක තහඩුවක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
2019-02-24T01:30:26.000Z
වෙනිසුවෙලානු විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස්
වෙනිසුවෙලානු විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්
කොලොම්බියා දේශසීමාවේ විරෝධතාවල නිරත පිරිස් විසුරුවා හැරීමට වෙනිසුවෙලානු පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. විරෝධතා ක්‍රියාත්මක වන්නේ මානුෂීය ආධාර රැගත් කණ්ඩායම්වලට, රටට ඇතුළුවීමට අවසර දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලමිනි. එහිදී පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. මානුෂීය ආධාර රැගත් කණ්ඩායම් රටට ඇතුළුවීම වැලැක්වීමේ අරමුණින් ජනපති නිකලොස් මාධූරෝ කොලොම්බියා සහ බ්‍රසීල දේශසීමා වසා දැමුවේ ය. එරට අන්තර්වාර ජනපති තමා යැයි ප්‍රකාශ කළ විපක්ෂ නායක ජුආන් ගුවයිඩෝ සිය රටට ආධාර ලබා දෙන්නැයි කළ ඉල්ලීමට අනූව ආධාර රැගත් කණ්ඩායම් මේ වන විට එරට දේශසීමා ආසන්නට පැමිණ තිබේ. පළමුව අමෙරිකානු ආධාර රැගත් කණ්ඩායමක් පැමිණි අතර බ්‍රසීල ආධාර රැගත් කණ්ඩායමක් ද මේ වන විට දේශසීමා ආසන්නේ රැඳී සිටින්නේ වෙනිසුවෙලාවට ඇතුළුවීමේ අපේක්ෂාවෙනි. එහෙත් ජනපති නිකලොස් මාධූරෝ සඳහන් කරන්නේ, ආධාර රැගත් කණ්ඩායම් බලහත්කාරයෙන් රටට ඇතුළුවීමට උත්සහා කළහොත් දෙරට අතර සබඳතා පළුදු විය හැකි බවයි. ආධාර රැගත් කණ්ඩායම් රටට ඇතුළු කර ගැනීම සඳහා සහාය දෙන්නැයි වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුආන් ගුවයිඩෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබුණි. මේ අතර විරෝධතාකරුවන් ඉලක්ක කර එරට හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියහ.
2019-02-24T01:04:38.000Z
විශාලතම හෙරොයින් තොගය වැටලු පොලිස් නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්
හෙරොයින් වැටලු පොලිස් නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්
COLOMBO (News 1st) - මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය වැටලු පොලිස් විශේෂ කාර්ය බලකායට හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ගෞරවය පුද කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ, ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමිනි. මෙය අනාගතය භාර ගන්නා දු දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. මෙවැනි වැටලීම් සඳහා තමාගේ පූර්ණ සහයෝගය හැමවිටම ලබා දෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ටුවිටර් පණිවුඩය මගින් අවධාරණය කර සිටි.
2019-02-24T00:51:46.000Z
නොරොච්චෝලේ කලපුවේදී කේරල ගංජා තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
නොරොච්චෝලේ කේරල ගංජා සමග අයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - නොරොච්චෝල කලපු තීරයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කරන බවට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවයි. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි නොරොච්චෝලේ පදිංචිකරුවෙකි. ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2019-02-24T00:36:12.000Z
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වැලි කැනීම් බලපත්‍ර නැවත නිකුත් කෙරේ
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට යළි වැලි කැනීම් බලපත්‍ර
COLOMBO (News 1st) - වැලි කැනීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් 1500 ක් පමණ මේ වන විට ලැබී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එම කාර්යාංශය සඳහන් කළේ, බලපත්‍ර නිකුත් කිරීමට පෙර ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බවයි. මේ අතර තාවකාලිකව අත්හිට වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ ආශ්‍රිත වැලි කැනීම් බලපත්‍ර යළි නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන 28 වැනි දා අවසන් තීරණයක් ගන්නා බව එම කාර්යාංශය සඳහන් කළේ ය. එම කාර්යාංශය පැවසුවේ, එම දිස්ත්‍රික්කය සඳහා වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම ලබන මාර්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
2019-02-24T00:04:41.000Z
Update: බොරැල්ල රථවාහන අංශයේ OIC හප්පා පළා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා විමර්ශන
බොරැල්ල රථවාහන අංශයේ OIC අනතුරකට
COLOMBO (News 1st) - Update: බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබේ සොයා ගෙන තිබේ. -------------------------------------------------------------------------------------------------------------------- රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයකින් හප්පා පළා ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම 4.30 ට පමණ අනතුර සිදු ව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති. අනතුර සිදු කර ඩිෆෙන්ඩර් රථය පළාගොස් ඇති අතර ඩිෆෙන්ඩර් රථය හා එහි රියැදුරා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, CCTV දර්ශන උපයෝගී කරගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
2019-02-23T20:45:33.000Z
ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික පන්ති වැලැක්වීමේ යෝජනාවට නීතිපති උපදෙස්
පෝයට උපකාරක පන්ති වැලැක්වීට නීතිපති උපදෙස්
COLOMBO (News 1st) - ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම වැලැක්වීමේ යෝජනාවට නීතිපති උපදෙස් ලබා ගන්නා බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අදාළ යෝජනාවට කතෝලික ප්‍රජාව නියෝජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග, ඉස්ලාම් දහම නියෝජනය කරමින් අමාත්‍ය ඒ. එච්. එම් හලීම්, හින්දු ආගමික කටයුතු වෙනුවෙන් අමාත්‍ය මනෝ ගනේෂන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් අත්සන් තබා ඇති බවයි. ඒ පිළිබඳව කථානායක කරූ ජයසූරිය මහතා ද දැනුවත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
2019-02-23T19:44:01.000Z
Update : මෙරට විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටියෙන් අල්ලයි
මෙරට විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටියෙන් අල්ලයි
COLOMBO (News 1st) - කොල්ලුපිටිය, සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකින් රුපියල් මිලියන 2945 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයාගත් එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක්. එය මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 43 සහ 32 හැවිරිදි පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවන්ය. මෙම වැටලීම පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී පැවැත් විය. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
2019-02-23T19:29:11.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. පාර්ලිමේන්තු ගැටුම් පිළිබඳ කමිටු වාර්තාවේ යටි අරමුණ ගැන මන්ත්‍රී ෂේහාන් සේමසිංහ කියයි: නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේදී සිදු වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳව දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ විය. 2. පැය 7කට ආසන්න කාලයක් පැවති රත්ගම විරෝධතාව අවසන්: රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් රත්ගම ප්‍රදේශවාසීන් පිරිසක් ගාලු පාර සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාව ඊයේ සවස අවසන් කළහ. 3. ‘කුඩු චූටි’ට වෙඩි තැබූ කංචිපානිගේ ගෝලයා STF අත්අඩංගුවට: කොලොන්නාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් නව්ෆර් මොහොමඩ් අලි නැමැති සැකකරු මාලිගාවත්ත මැල්වත්තේදී ‘කුඩු චූටි’ නැමැති කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට අනාවරණ වී තිබේ. 4. වල් බිහි වූ මහපළුගස් වැවට V-Force බලකායෙන් නව ජීවයක්: රට වෙනුවෙන් ගමට මෙහෙවරක් කරන්නට කැපව සිටින V-Force තරුණ නායකයෝ තව ත් පියවරක් සනිටුහන් කළහ. විදෙස් පුවත් 5. ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක්: ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක් උදාවී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත් 6. දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්: ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
2019-02-23T11:46:28.000Z
පාර්ලිමේන්තු ගැටුම් පිළිබඳ කමිටු වාර්තාවේ යටි අරමුණ ගැන මන්ත්‍රී ෂේහාන් සේමසිංහ කියයි
පාර්ලිමේන්තු ගැටුම් පිළිබඳ වාර්තාවේ යටි අරමුණ
COLOMBO (News 1st) - නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේදී සිදු වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳව අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ විය. නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ චමල් රාජපක්ෂ , රංජිත් මද්දුමබණ්ඩර, මාවෙයි සේනාධිරාජා , චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක යන මහත්වරුන් ය. ඉන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනා වන චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරු මෙම කමිටුවට සහභාගී වීම ආරම්භයේ සිටම වර්ජනය කළහ. සෙසු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ, මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇති බව ය. ඉන් මන්ත්‍රීවරුන් 55 දෙනෙකුම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර සෙසු 5 දෙනාගෙන් සිව් දෙනෙකු එක්සත් ජාතික පක්ෂයත් එක් මන්ත්‍රීවරයෙකු ජනතා විමුක්ති පෙරමුණත් නියෝජනය කරයි. ඔවුන්ට එරෙහිව ස්ථාවර නියෝග 77 අනුව පියවර ගත යුතු බව කමිටු නිර්දේශයන්හි සඳහන් ය. සති දෙකත් සති හතරත් අතර කාලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම ස්ථාවර නියෝගයේ ඇතුළත් ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ පිළිබඳව අදහස් පළ කළේ ය. ඔහු පැවසුවේ, මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවා ජාතික ආණ්ඩු යෝජනාවලිය ඇතුළු තවත් අණ පනත් කිහිපයක් සම්මත කර ගැනීමේ උත්සහයක් මේ හරහා ඇති බව ය.
2019-02-23T10:09:18.000Z
වල් බිහි වූ මහපළුගස් වැවට V-Force බලකායෙන් නව ජීවයක්...
මහපළුගස් වැවට V-Force බලකායෙන් නව ජීවයක්...
COLOMBO (News 1st) - රට වෙනුවෙන් ගමට මෙහෙවරක් කරන්නට කැපව සිටින V-Force තරුණ නායකයෝ අද තවත් පියවරක් සනිටුහන් කළහ. ඒ, ලෝක උරුමයක් වන එල්ලංගා පද්ධතියට අයත් මහපළුගස් වැව පිරිසිදු කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතය අරඹමිනි. ගම්මැද්ද V-Force කණ්ඩායම අද උදෑසනින්ම සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථානයේ සිට මහව ප්‍රදේශය වෙත පිටත්ව ගියේ ය. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අක්කර 25ක් පුරා විහිදුණු මහපළුගස් වැව ජලජ ශාකවලින් පිරී පැවතියේ ය. මාකඩුවාව, ඉහළකෝන්වැව, තුඹුල්ලේගම, හිතෝකඩවල, මොරගොල්ල , මැඩියාව ඇතුළු ගම්මානවල ජනතාව දෛනික ජල අවශ්‍යතාවලට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයා ගන්නේ මේ වැවෙනි. මෙහි ජල තලය පාසි, සැල්වීනියා, විලකටු සහ තණකොළ ආදියෙන් වැසී ඇති අතර දැනට වල්බිහිව නොවී ඉතිරිව ඇති ප්‍රමාණය අක්කර 5කි. වසර ගණනකින් ප්‍රතිසංස්කරණය නෙකෙරුණු මහපළුගස් වැව පිරිසිදු කිරීමට අද V-Force තරුණ නායකයෝ යුහුසුළු වූහ. මේ කාර්යය ඉටු කෙරුණේ, වයඹ නාවික ආඥාපති රියර් අද්මිරල් සුජීව පෙරේරා මහතාගේ මග පෙන්වීම ලැබූ නාවික හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව ය. ක්‍රවුන් හෝල්ඩිංස් පුද්ලික සමාගම මේ වටිනා කාර්යය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන්නේ ය. මේ කාර්යයට මොරටුව, වයඹ, රුහුණ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථයින් මෙන්ම ජාත්‍යන්තර යොවුන් සංවිධානයක් වන අයිසෙක් සංවිධානයේ සාමාජිකයෝ ද දායකත්වය ලබා දුන්හ. ගම්මැද්ද කණ්ඩායම, නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලය, එම්.අයි.එම්. හෙවත් මහරාජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ ඩිප්ලෝමා සිසු සිසුවියන් ඊට එක්වුණේ දැඩි උද්යෝගයෙනි. මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය හා ගොවිජන සේවා දොපාර්තමේන්තුවේ කුරුණෑගල නිලධාරීන් හා ගම්වැසියන්ගෙන් ලැබුණේ මාහැඟි දායකත්වයකි. අනතුරුව ස්වෙච්ඡා බලකායේ සාමාජිකයින් ඇගයීම සිදු කෙරුණේ, ඔවුන් ඉටු කළ කාර්යයන් අනුව පදක්කම් පිරිනමමිනි. ගම්මැද්ද V-Force පළමු අදියර සීගිරියේ පැවැත්වුණු අතර එහි දෙවැනි අදියර මීගමුව මුහන්දිරම්පිටිය කළපු තොටුපොළදී පැවැත්විණි. රත්නපුරයේ ගංවතුර අවදානම අවම කිරීමේ දිගු කාලීන අරමුණ ඇතිව කළු ගඟ දෙපස පැළ 4000ක් රෝපණය කෙරුණේ 3 වන අදියර යටතේ ය. 4 වන අදියර ක්‍රියාත්මක කෙරුණේ, දැදිගම මහපල්ලේගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමිනි.
2019-02-23T05:36:14.000Z
පැය 7කට ආසන්න කාලයක් පැවති රත්ගම විරෝධතාව අවසන්
පැය 7කට ආසන්න කාලයක් පැවති රත්ගම විරෝධතාව අවසන්
COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් රත්ගම ප්‍රදේශවාසීන් පිරිසක් ගාලු පාර සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාව අද සවස අවසන් කළහ. ඒ, මෙම ඝාතනවලට සම්බන්ධ සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය ලබා දුන් පොරොන්දුවක් මත ය. ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරත වූයේ, ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමිනි. මොවුහු පැය 6කට අධික කාලයක් දුම්රිය මාර්ගය සහ ගාලු පාර අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ. මේ හේතුවෙන් රජරට රැජිණ දුම්රිය රත්ගම දුම්රිය ස්ථානයේත්, මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය කහව දුම්රිය ස්ථානයේත් පැය භාගයකට අධික කාලයක් නතර කර තිබූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.
2019-02-23T05:26:17.000Z
කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු ජම්පටා වීදියේදී අත්අඩංගුවට
කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කොළඹ අපරාධ කොට්ඨාසය ජම්පටා වීදිය ප්‍රදේශයේ අද අලුයම ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් වෙඩි තැබීම් රැසකට සම්බන්ධ තුවක්කු කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොහු කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරු ක්‍රියාත්මක කළ අපරාධ රැසකට වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බව ය. අබ්දුල් ගෆුර් මොහොමඩ් රිස්වාන් නමැති සැකකරු 39 හැවිරිදි අයෙකි. දැනට ක්‍රියාත්මක කර ඇති විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකරු 2018 වසරේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධි 4කට සම්බන්ධ බව ය.
2019-02-23T04:51:53.000Z
පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 3711ක් අත්අඩංගුවට
පොලිස් විශේෂ මෙහෙයුමකින් 3711ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 938ක් ඇතුළු සැකකරුවන් 3711 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රී 11.00 සිට අද අලුයම දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ය. එහිදී බීමත් රියැදුරන් 768 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. රථ වාහන නීති උල්ලංඝනය කළ රියැදුරන් 5818 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17213කි.
2019-02-23T04:42:57.000Z
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
COLOMBO (News 1st) - ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. ඒ, වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම අසමසම වාර්තාව තමන් සතු කර ගැනීමට හැකි වුණේ, දකුණු අප්‍රිකාව සමග පෝර්ට් එලිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමත් සමග ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 84 ක් රැස් කළ අතර සිය ටෙස්ට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75ක් රැස් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගත්තේ ය.
2019-02-23T02:05:24.000Z
සප්ත කන්‍යා කඳුවැටිය දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි
සප්ත කන්‍යා කඳුවැටිය සංචාරකයින්ට විවෘත වෙයි
COLOMBO (News 1st) - මස්කෙළියේ පිහිටි සප්ත කන්‍ය කඳුවැටිය තරණය කිරීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ. හැටන් - මස්කෙළිය හරහා ශ්‍රී පාද මාර්ගයේ ගමන් කරන විට හමුවන මෙම කඳුවැටිය ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූවකි. කන්‍යාවියන් සත්දෙනෙකුන් නැගී සිටින ලෙස දර්ශනය වන ශිකර හතක් හේතුවෙන් මෙම කඳු වැටිය සප්ත කන්‍යා යන නමින් හඳුන්වනු ලබයි. සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණින් දෙස් විදෙස් සංචාරකයින්ට මෙම සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසුවේය.
2019-02-23T01:42:53.000Z
රන්ජන්ගේ කොකේන් හෙළිදරව්ව පිළිබඳ කමිටු වාර්තාව අනිද්දා අගමැති වෙතට
කොකේන් හෙළිදරව්වේ වාර්තාව අනිද්දා අගමැතිට
COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව අනිද්දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට සැලසුම් කර තිබේ. එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශූ මාරසිංහ මහතා සඳහන් කළේ, රන්ජන් රාමානායක අමාත්‍යවරයා තමන් කළ ප්‍රකාශයේදී හෙළි කළ කරුණු කමිටුව හමුවේ ප්‍රකාශ කළ බවයි. එහි සිටින ඇමතිවරුන් පිළිබඳව ද ඔහු කරුණු දැක් වූ බව මහාචාර්ය ආශූ මාරසිංහ මහතා පැවසුවේ ය. වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාර දුන් පසු ඔහු විසින් ඉදිරි පියවර ගනු ඇති බව ද ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි. එහි සෙසු සාමාජිකයින් ලෙස රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ හා නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන් කටයුතු කරයි. කමිටුව ඊයේ පාර්ලිමේන්තු සංකීරණයේදී රැස්වී අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඔහු කළ ප්‍රකාශය පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.
2019-02-23T01:14:57.000Z
'කුඩු චූටි'ට වෙඩි තැබූ කංචිපානිගේ ගෝලයා STF අත්අඩංගුවට
'කුඩු චූටි'ට වෙඩි තැබූ කංචිපානිගේ ගෝලයා STF භාරයට
COLOMBO (News 1st) - කොලොන්නාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් නව්ෆර් මොහොමඩ් අලි නැමැති සැකකරු මාලිගාවත්ත මැල්වත්තේදී 'කුඩු චූටි' නැමැති කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට අනාවරණ වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපානි ඉම්රාන්ගේ ප්‍රධාන සහයකයෙකු බවයි.