date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-01-31T04:58:32.000Z
මාන්නප්පෙරුම පරිසර හා මහවැලි රාජ්‍ය ඇමති ධුරයට
මාන්නප්පෙරුම පරිසර හා මහවැලි රාජ්‍ය ඇමති ධුරයට
COLOMBO (News 1st) : පරිසර නියෝජ්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පරිසර හා මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දීම සිදු කෙරිණ.
2019-01-31T04:16:51.000Z
වැලිකඩට හෙරොයින් ගෙන යාමට තැත් කළ සැරයන් දැලේ
වැලිකඩට හෙරොයින් ගෙන යාමට තැත් කළ සැරයන් දැලේ
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරෝයින් රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, සැකකාර බන්ධනාගාර නිලධාරීවරයා බන්ධනාගාරයට ඇතුළු වීමට යාමේදී ඔහු පිළිබඳව මතු වූ සැකයක් මත මෙම පරික්ෂාව සිදුකර ඇති බවයි. එහිදී සැකකරු සන්තකයේ තිබී හමුවී ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 20ක් පමණ වන බව ද, එම අමාත්‍යාංශය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකාර බන්ධනාගාර සැරයන්වරයා භාවිත කළ බහාලුම පරීක්ෂා කිරිමේදී එහි තිබී රුපියල් අසූ පන්දහසක මුදලක් හා ජංගම දුරකතන දෙකක් ද සොයා ගෙන තිබේ. සැකකරු ඉදිරි විමර්ශන සඳහා පොලීසිය වෙත භාර දුන් බව ද, අමාත්‍යාංශය පැවසී ය.
2019-01-31T02:51:11.000Z
රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරියක් ඉවත් වෙයි
රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරියක් ඉවතට
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපානි විජේසුන්දර මහත්මිය ඉවත් ව තිබේ. ඒ, පෞද්ගලික හේතුවක් මතයි. කොළඹ නාගරික මන්ත්‍රි ශර්මිලා ගෝනවල මහත්මිය වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කළේ, රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමාසහිත ලේක්හවුස් ප්‍රින්ටින් ඇන්ඩ් පබ්ලිෂස් පුද්ගලික සමාගම වික්‍රමසිංහ මහතා ප්‍රධාන කොටස්කරුවෙකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බව පෙන්වා දෙමිනි. එම පෙත්සම අද දීපානි විජේසුන්දර මහත්මිය හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. අද තීරණය කෙරුනේ, පෙත්සම දීපානි විජේසුන්දර මහත්මිය නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට යළි සලකා බැලීමටයි.
2019-01-31T00:51:06.000Z
'තාල' අද සිට දිවයින පුරා සිනමා ශාලාවල...
'තාල' අද සිට දිවයින පුරා සිනමා ශාලාවල...
COLOMBO (News 1st) - M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය 'තාල' අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට තේමාව වී ඇත්තේ, වනඅලි තර්ජනවලින් පීඩා විඳින දුෂ්කර ගම්මානයක පාසලක දරු පිරිසක් හා එම පාසලට පැමිණෙන තරුණ ගුරුවරයෙකු වටා ගෙතුණු අපූරු කතා පුවතකි. පවතින අධ්‍යාපන ක්‍රමයට අභියෝග කරන මෙම තරුණ ගුරුවරුයා වඩාත් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් තුළින් දරුවන්ට ඉගැන්වීමට උත්සාහ දරණ ඔහුට එල්ල වන අභියෝගයන් මැනවින් චිත්‍රණය කිරීමට තාල සිනමා සිත්තමට හැකිව තිබේ. පාලිත පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන තාල නිලාන් වීරසිංහගේ නිෂ්පාදනයකි. හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, ගිරිරාජ් කෞශල්‍ය, චාන්දනී සෙනවිරත්න ඇතුළු රංගන ශිල්පින් රැසක් ඊට රංගන දායකත්වය ලබා දෙනු ඇත.
2019-01-31T00:58:18.000Z
පරිසර සංරක්ෂණය පිළිබඳ අභියෝගය සුළු කොට තැකිය නොහැකි - ජනපති
පරිසර සංරක්ෂණ අභියෝගය සුළු කොට තැකිය නොහැකි
COLOMBO (News 1st) - පරිසර සංරක්ෂණය පිළිබඳ අභියෝගය සුළු කොට තැකිය නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, ජනාධිපති මන්දිරයේ පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රධානෝත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමිනි. පරිසර විනාශය මිනිස් පැවැත්ම ඉදිරියේ ඇති අභියෝගාත්මක මෙන් ම තීරණාත්මක ගැටලුවක් වී ඇති බව ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ ය.
2019-01-31T00:08:10.000Z
ගංජා සමග ඉරාන කතක් කටුනායකදී කොටුවෙයි
ගංජා සමග ඉරාන කතක් කටුනායකදී කොටුවෙයි
COLOMBO (News 1st) - ගංජා විශේෂයක් මෙරටට රැගෙන ඒමට තැත්කළ ඉරාන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකිනි. දෝහා සිට පැමිණි සැකකාර කාන්තාවගේ ගමන් මල්ලේ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර එහි බර ග්‍රෑම් 400 ක්. සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
2019-01-30T23:50:05.000Z
සීගිරිය පොලිතින්වලින් තොර කලාපයක් වෙයි
සීගිරිය පොලිතින්වලින් තොර කලාපයක් වෙයි
COLOMBO (News 1st) - ලෝක උරුම සීගිරිය හෙට සිට පොලිතින් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරීමට රජය තීරණය කර තිබේ. නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව පොලිතින් සහ ප්ලාස්ටික් සීගිරියට රැගෙන යාම හෙට සිට තහනම් වන බවයි. පොලිතින් සහ ප්ලාස්ටික් ඇසුරුම් සහිත ද්‍රව්‍ය රැගෙනයාමට අවසර ලබා දෙන්නේ පිටතින් ඇති පොලිතින් ආවරණය ඉවත් කිරීමෙන් පසුව බව ද ඔහු සඳහන් කළේ ය.
2019-01-30T22:50:14.000Z
අධික ශීත කාලගුණයෙන් අමෙරිකාවට දැඩි බලපෑම්...
අධික ශීත කාලගුණයෙන් අමෙරිකාවට දැඩි බලපෑම්...
කලාතුරකින් අත්විඳීමට සිදුවන දරුණු ශීත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් අමෙරිකාවේ මධ්‍යම බටහිර දිග ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෝලර් වෝටෙක්ස් ලෙස හැඳින්වෙන මෙම ආක්ටික් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැනටමත් එරට ප්‍රාන්ත කිහිපයක පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි. මේ වනවිට අමෙරිකාවේ චිකාගෝ නුවර උෂ්ණත්වය සෙලිසියස් අංශක සෘණ 30 ක් දක්වා ද උතුරු ඩකෝටාහි උෂ්ණත්වය සෙලිසියස් අංශක සෘණ 37 ක් දක්වා ද පහතවැටී ඇති අතර එය ඇන්ටාටිකාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන උෂ්ණත්වයට ද වඩා අඩු උෂ්ණත්වයකි. මෙම අධික ශීත කාලගුණ තත්ත්වය අමෙරිකානුවන් මිලියන 250 කට බලපෑම් කරනු ඇති අතර ඉන් මිලියන 90 ක් සෙලිසියස් අංශක සෘණ 17 ට අඩු උෂ්ණත්වයක් අත්විඳනු ඇත. ග්‍රේට් ලේක්ස් සහ නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශවලට මෙන්ම විස්කොන්සින් සහ ඉලිනොයී ප්‍රාන්ත වෙත අද දින පුරා හිම පතිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින තත්ත්වය හමුවේ විස්කොන්සින්, මිචිගන්, ඉලිනොයී මෙන්ම ඇලබාමා සහ මිසිසිපි ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. මෙය ඓතිහාසික සිදුවීමක් බව අමෙරිකානු කාලගුණ විද්‍යාඥයකු වන රිකී කැස්ත්‍රෝ පවසයි. මේ හමුවේ මධ්‍යම බටහිර ප්‍රදේශයේ ගොවීන් සිය කුකුළන් සහ ගවයන් ඇතුලු සතුන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර පීටා සංවිධානය සුරතල් සතුන් නිවෙස් තුළ තබා ගන්නා ලෙස ජනතාව දැනුවත් කර ඇත. සුළි කුණාටුව හමුවේ චිකාගෝහි ගුවන් ගමන් 1500 ක් පමණ අවලංගු කර ඇති අතර දුම්රිය ධාවනය ද අඩාල වී ඇතැයි සඳහන් වේ.
2019-01-30T20:57:49.000Z
වැලි ජාවාරම්කරුවන් අතර වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් නාවික හමුදා සමාජිකයින් 7 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ
නාවික හමුදා සමාජිකයින් 7 කගෙන් ප්‍රකාශ ලබාගනී
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, කින්නියා, කන්ඩල්කාඩු පාලම අසළදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් නාවික හමුදා සමාජිකයින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් සහ පොලිස් නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීම අද සිදු කරන බවයි. වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ නොසන්සුන්තාවය පිළිබඳ ජංගම දුරකතන මගින් පටිගත කරන ලද විඩියෝ දර්ශන ඉදිරි විමර්ශන සඳහා උපයෝගී කරගන්නා බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් දෙකක් අනියුක්ත කර ඇති බවයි. මේ අතර ඇතිවූ නොසන්සුතාව අතරතුර විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවන නාවික හමුදා සමාජිකයෙකු කොළඹ නාවික හමුදා ජාතික රෝහලට මාරුකර එවා තිබේ.
2019-01-30T20:29:54.000Z
වැලි බලපත්‍රවල කොන්දේසී කඩ කරන්නන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම්
වැලි බලපත්‍ර නීති කඩ කරන්නන් සොයා මෙහෙයුම්
COLOMBO (News 1st) - වැලි කැණීම් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරන බලපත්‍රලාභීන් සොයා අද සිට මෙහෙයුම් ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ, මෙහි පළමු අදියර පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක කළ බවයි. ඒ අනුව ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි උල්ලංඝණය කර ඇති බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, වැලි කැණීම් සඳහා අවසර නොදෙන ගංඟා ආශ්‍රීතව අවිධිමත් වැලි ගොඩදැමීම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් විධිමත් කරන බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. මේ වන විට කළු, කැලණි යන ගංඟාවල සහ දැදුරු සහ මා ඔයේ වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබේ. මේ අතර බලපත්‍ර සීමා උල්ලංඝණය කරමින් වැලී කැණීම් කළ ස්ථාන 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව පසුගිය වසරේ නීතිමය ක්‍රියාමාර්ග ගත් බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එම කාර්යාංශය සඳහන් කළේ, නීති විරෝධි වැලි කැණීම් සම්බන්ධයෙන් 500 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පසුගිය වසරේ හැකි වූ බවයි.
2019-01-30T19:53:19.000Z
ගාලුමුවදොර ආශ්‍රිත මාර්ග රැසක විශේෂ රථවාහන සැලැස්මක්
ගාලුමුවදොර ආශ්‍රිත විශේෂ රථවාහන සැලැස්මක්
COLOMBO (News 1st) - අද සිට ලබන 04 වන දා තෙක් ගාලුමුවදොර අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ, 71 වන ජාතික දින පෙරහුරු හේතුවෙනි. මෙම රථවාහන සැලැස්ම අද සිට 4 වන දා දක්වා පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා ක්‍රියාත්මක වේ.
2019-01-30T19:39:51.000Z
රේගු වැඩ වර්ජනය තවදුරටත්...
රේගු වැඩ වර්ජනය තවදුරටත්...
COLOMBO (News 1st) - රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව මාණ්ඩලික රේගු නිලධාරී සංගමය පවසයි. රේගු නිලධාරීන් සංගමයෙහි ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළ, ගුවන් බඩු අංශය හා අපනයන අංශයේ සේවාවන් හැර සෙසු සියලු සේවාවන්ගෙන් මේ වනවිට සේවකයන් ඉවත් වී ඇති බවයි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීම සඳහා පෙරේ දා (29) කැබිනට් අනුමැතිය හිමිවිය. පවතින ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
2019-01-30T19:28:56.000Z
බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් කණ්ඩායමක් එරටට
මත්ද්‍රව්‍ය ජාවාරම: බංග්ලාදේශයට පොලිස් කණ්ඩායමක්
COLOMBO (News 1st) - බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයින්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙරට නිලධාරී කණ්ඩායමක් යොමු කිරීමට තීරණය කරයි. පොලීසිය සඳහන් කළේ, අනුමැතිය ලද විගස එම කණ්ඩායම බංග්ලාදේශය වෙත පිටත් කර යවන බවයි. ඉදිරි සතිය ඇතුළත එම කටයුතු සිදු කෙරෙනු ඇති. මේ අතර පෙරේදා ඩකාහිදී අත්අඩංගුවට පත් පස්දෙනා අතුරින් එක් කාන්තාවක් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බවට තොරතුරු අනාවරණ වී තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගිය දා රත්මලාන ප්‍රදේශයෙන් හෙළි වූ මෙරට විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන යෑම සඳහා මෙම කාන්තාව මැදිහත්වී ඇති බවයි. මත්ද්‍රව්‍ය සඟවා තබා ගැනීමට භාවිත කළ කුලී නිවස ද ඇය මුදල් ලබා දී ඇති බව මේ වන විට කළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ. සැකකාර කාන්තාව සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට ද පියවර ගන්නා බව පොලීසිය ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශ ඩකා අගනුවරදී අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හතරදෙනා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. පෙරේදා පස්වරුවේ සැකකාර බංග්ලාදේශ ජාතිකයින් පස්දෙනෙකු එරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
2019-01-30T18:59:57.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. MTV/MBC ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම වෙයි: සිරස මාධ්‍ය ජාලයට තර්ජනය කිරීම හා මාධ්‍ය නිදහසට බාධා කිරීමට එරෙහිව එම්. ටී. වී. චැනල් පුද්ගලික සමාගම සහ එම්. බී. සී. නෙට් වර්ක්ස් පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ නඩු විභාගය ලබන ඔක්තෝබර් 24 වන දා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. 2. රේගු නිලධාරීහු සේවාවලින් ඉවත් වෙති: රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහ රේගු නිලධාරීන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ. 3. නාවික හමුදා වැටලීමේදී ගඟට පැන අතුරුදන් වූ අනෙක් පුද්ගලයාගේ සිරුරත් හමුවෙයි: නීතිවිරෝධීව වැලි ගොඩ දමන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කළ වැටලීමක් අතරතුර ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී මහවැලි ගඟට පැනීමෙන් අතුරුදන්ව සිටි දෙවන පුද්ගලයාගේ මළ සිරුරු ඊයේ පස්වරුවේ සොයා ගැනිණි. 4. නි. පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්: දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවල හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. විදෙස් පුවත් 5. වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට රටින් පිටවීම තහනම් කෙරේ: වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට ඔහුගේ බැංකු ගිණුම්වලට මුද්‍රා තබමින් රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.
2019-01-30T08:12:04.000Z
දේශපාලනඥයින්ට තහනම් වූ මාවතගම පාසල් උත්සවය....
දේශපාලනඥයින්ට තහනම් වූ මාවතගම පාසල් උත්සවය....
COLOMBO (News 1st) : යටිවල ගුණානන්ද විදුහලේ විදුහල්පති හිමියන්ගේ උත්සහයට බලධාරින් කන් නොදුන් නිසා පීඩා විඳින දරුවන්ට ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරන්නට දෙමාපියන් දැරූ වෙහෙසක් පිළිබඳ පුවතක් කුරුණෑගල, මාවතගමින් වාර්තා වේ. ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් 380කට ණැනස පාදන විදුපියසකි. ගස් යට අකුරු කරන දරුවන්ට සෙවණක් ඉල්ලා දෙමාපියන්, විදුහල්පති හිමියන් කොපමණ බලධාරින්ට කන්නලව් කලත් ඒ සියල්ල වසර 05ක් පුරා ගඟට කැපූ ඉනි මෙන් විය. අවසානයේ දෙමාපියන් දැඩි අධිෂ්ඨානයෙන් සිය දරුවන් වෙනුවෙන් පංති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරිමට මුල පිරුවේ ය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස මාස 2ක් තුළ ඉදිවූ පංති කාමර ගොඩනැගිල්ල අද විවෘත කෙරුනේ, 2018 ශිෂ්‍යත්වය සමත්වූ විද්‍යාලයීය දරුවන් සිව්දෙනෙකු අතිනි.
2019-01-30T10:54:04.000Z
MTV/MBC ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම වෙයි
මාධ්‍ය නිදහසට බාධා කිරීමට එරෙහි නඩු විභාගය ඔක්.24
News 1st : සිරස මාධ්‍ය ජාලයට තර්ජනය කිරීම හා මාධ්‍ය නිදහසට බාධා කිරීමට එරෙහිව එම්. ටී. වී. චැනල් පුද්ගලික සමාගම සහ එම්. බී. සී. නෙට් වර්ක්ස් පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ නඩු විභාගය ලබන ඔක්තෝබර් 24 වන දා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය. එම මූලික අයිතිවාසිකම් පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබී ය. පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස නම් කර තිබූ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා හෝ ඔහුගේ නීතිඥවරයා අද අධිකරණය හමුවේ පෙනී නොසිටියහ. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් පසුගිය සැප්තැම්බර් 03 වැනිදා වන විට එම මුලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ගොනු කිරීමට පළමුවන වගඋත්තරකරුට අධිකරණය දින ලබා දී තිබු නමුත් අදාළ විරෝධතා ගොනු කර ඇත්තේ නියම කළ කාලය ඉකුත් වී මාස 4 කට පමණ පසුව බව අධිකරණයට පෙන්වා දුන්නේ ය. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් පසුගිය වසරේ අප්‍රේල් 04 වන දා රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රතිඤ්ඤා පුපුරවා හරිමින් අදාළ තර්ජනය සහ බාධා කිරීම් සිදුකර තිබිණ. ඒ සඳහා පැමිණි පිරිස් කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැමිණි බවට ද අනාවරණය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලූ පූර්වගාමී අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් එම්. ටි. වී. චැනල් පුද්ගලික සමාගම සහ එම්. බී. සී. නෙට් වර්ක්ස් පුද්ගලික සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විවාදයට ගැනීමට පසුගිය වසරේ ජුනි 29 වන දා තීරණය කළේ ය.
2019-01-30T06:30:38.000Z
JUST IN : රේගු නිලධාරීහු සේවාවලින් ඉවත් වෙති
JUST IN : රේගු නිලධාරීහු සේවාවලින් ඉවත් වෙති
COLOMBO (News 1st) : රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහ රේගු නිලධාරින් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ. මාණ්ඩලික රේගු නිලධාරි සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, කටුනායක ගුවන් තොටුපළ, ගුවන් බඩු අංශය හා අපනයන අංශයේ සේවාවන් හැර සෙසු සියලු සේවාවන්ගෙන් මේ වනවිට සේවකයන් ඉවත් වී ඇති බවයි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීම සඳහා ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2019-01-30T05:05:10.000Z
නාවික හමුදා වැටලීමේදී ගඟට පැන අතුරුදන් වූ අනෙක් පුද්ගලයාගේ සිරුරත් හමුවෙයි
වැටලීමේදී අතුරුදන් වූ තවත් අයෙකුගේ සිරුර හමුවෙයි
COLOMBO (News 1st) : නීතිවිරෝධීව වැලි ගොඩ දමන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කළ වැටලීමක් අතරතුර ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී මහවැලි ගඟට පැනීමෙන් අතුරුදන්ව සිටි දෙවන පුද්ගලයාගේ මළ සිරුරු අද පස්වරුවේ සොයා ගැනිණ. මහවැලි ගඟට පැනීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටි, එක් පුද්ගලයෙකුගේ මළ සිරුර සොයා ගැනුණේ, ඊයේ රාත්‍රියේදීයි. 22 හැවිරිදි එම පුද්ගලයාගේ දේශය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරිණ. ඒ, ත්‍රිකුණාමලය රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුවයි. ඔහුගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. ත්‍රිකුණාමලය, කින්නියා, කන්ඩල්කාඩු පාලම අසලදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර ඊයේ උදෑසන නොසන්සුන් තත්ත්යක් ඇති විය. එහිදී අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් නාවික හමුදාවට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර ඉන් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙක් තුවාල ලැබූහ. මෙම සිද්ධියෙන් අනතුරුව කින්නියා ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරිණ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මේ වනවිට ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බවයි. ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.
2019-01-30T04:19:42.000Z
අලුත්ගම අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මරුට
අලුත්ගම අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මරුට
COLOMBO (News 1st): ගාලු පාරේ අලුත්ගම, කලුවාමෝදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ලොරියක් රියැදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදියක හා පාපැදියක ගැටී අද අලුයම අනතුර සිදුවී ඇති බවයි. මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි 60 හැවිරිදි කළුවාමෝදර සීලානන්ද පාර ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
2019-01-30T01:07:07.000Z
නි. පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවල හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ, ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන මහත්වරුන් ලබන මස 13 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මේ අතර මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ හා ශෂී වීරවංශ යන මහත්ම මහත්මීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට වෙන් වෙන්ව කැඳවා ප්‍රකාශ තුනක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ, මෙම ඉන්දීය ජාතිකයා තමා හමු වී ඇද්දැයි යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බවයි. විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ සිය නිවසට පැමිණ ඇති බවයි. එම ඉන්දීය ජාතිකයා තම නිවසට පැමිණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට තර්ජනයක් ඇති බවට දැනුම් දී තිබේ. එම අවස්ථාවේ ශෂී වීරවංශ මහත්මිය පවසා ඇත්තේ, විමල් වීරවංශ මහතා නිවසේ නොමැති බවත් ඔහු කාර්යාලයට ගොස් ඇති බවයි. ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයට ද ගොස් ඇති බවත් එහිදී මොහොමඩ් මුසාම්මිල් මහතා හමුවී ඇති බවත් ශෂී වීරවංශ මහත්මිය හා විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව අද අධිකරණයේදී අනාවරණ විය.
2019-01-30T00:45:06.000Z
මාලි රටේදී මියගිය හමුදා සාමාජිකයින්ගේ සිරුරු ලබන 2 වැනි දා දිවයිනට
මියගිය හමුදා සාමාජිකයින්ගේ සිරුරු දෙවන දා දිවයිනට
COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු ලබන 02 වැනි දා දිවයිනට රැගෙන ඒමට නියමිත වේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එදින පස්වරු 3.10 ට දේහයන් යුද හමුදාපතිවරයා වෙත භාර දෙන බවයි. ඒ, එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ අණදෙන නිලධාරියෙකු විසිනි. මීට අමතරව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් තිදෙනෙකු ද මෙරටට පැමිණීමට නියමිත බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඉකුත් 25 වැනි දා උදෑසන එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත මෙරට හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්විය. එම පිපිරීමෙන් මියගියේ කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී ජයවික්‍රම සහ ක්‍රෝපල් එස්. එස්. විජයකුමාර යන මහත්වරුන්ය. පිපිරීමෙන් තව ත් මෙරට හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලැබුහ. මේ අතර බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ නිලයන් උසස් කර තිබේ. ඒ අනුව කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී. ජයවික්‍රම මහතා මේජර් නිලයට උසස් කර ඇතැයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩයර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. කෝප්‍රල් එස්. එස්. විජයකුමාර මහතා සැරයන් නිලයට උසස් කර තිබේ.
2019-01-29T23:50:34.000Z
මන්නාරම සමූහ මිනී වළේ කැනීම් යළි ඇරඹේ
මන්නාරම සමූහ මිනී වළේ කැනීම් යළි ඇරඹේ
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැනීම් අද යළි ආරම්භ කෙරෙනු ඇත. කැනීම් භාර මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, මිනී වළෙන් ලබා ගත් සාම්පල කාල නිර්ණය සඳහා අමෙරිකාවට යැවීමේ කටයුතු හේතුවෙන් එහි කැනීම් පසුගිය 21 වැනි දා සිට තාවකාලිකව නතර කර තිබූ බවයි. මේ වනවිට සමූහ මිනී වළෙන් සොයා ගෙන ඇති මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 300 ක්. ඉන් 27 ක් ළමයින්ගේ ඇට සැකිලි බව වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් සාම්පලවල කාල නිර්ණ වාර්තාව අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය ඉදිරි දෙසතිය ඇතුළත තමන් වෙත ලබා දෙනු ඇති බව වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, අදාළ සාම්පල පසුගිය 25 වැනි දා එම ආයතන වෙත ලබාදුන් බවයි.
2019-01-29T20:44:08.000Z
වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට රටින් පිටවීම තහනම් කෙරේ
ජුවාන් ගුවයිඩෝට රටින් පිටවීම තහනම්..!
වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ, ජුවාන් ගුවයිඩෝගේ බැංකු ගිණුම්වලට ද මුද්‍රා තබමිනි. වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධූරෝ සහ ජුවාන් ගුවයිඩෝ අතර බල අරගලය උත්සන්න වන පසුබිමකදී එරට නීතිපතිවරයා මෙම පියවර ගත්තේ ය. විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ඉකුත් බදාදා තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග අමෙරිකාව, ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව රටවල් රැසක් ඔහුට සහය පළ කිරීම වෙනිසුවෙලාවේ නව දේශපාලන අර්බුදයට හේතු විණි. කෙසේ වෙතත් චීනය සහ රුසියාව සහය පළකර ඇත්තේ වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධූරෝටයි. මේ අතර ඉකුත් 21 වන දා සිට මේ දක්වා කාලය තුළ වෙනිසුවෙලාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් තව ත් සියගණනක් අත්අඩංගුවට ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ ය.
2019-01-29T19:37:09.000Z
කින්නියාවල ආරක්ෂාව තර කෙරේ...
කින්නියාවල ආරක්ෂාව තර කෙරේ...
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පැවති උණුසුම් තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි. කින්නියා, කන්දකාඩු පාලම අසළදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකින් පසු පිරිසක් ඊයේ පස්වරුවේ නාවික හමුදාවට ගල් මුල් ප්‍රහාර එල්ල කළේ ය. නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පහරදීමෙන් තුවාල ලැබූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. ඉන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී වැලි ජාවාරම්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දියට පැන අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සෙයා ගැණුනි. අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සෙයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
2019-01-29T19:17:23.000Z
'සේනා' මඩින්න අමෙරිකානු වෛරසයක් දිවයිනට
'සේනා' මඩින්න අමෙරිකානු වෛරසයක් දිවයිනට
COLOMBO (News 1st) - සේනා දළඹූවන් මර්දනය කළ හැකි විශේෂ වෛරස් ඛාණ්ඩයක් අමෙරිකාවෙන් මෙරටට ආනයනය කර තිබේ. උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානි එස්. එස්. වැලිගමගේ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ මෙරටට ලැබුණු එම වෛරස් ඛාණ්ඩය ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ පර්යේෂණ අද සිට ආරම්භ කරන බවයි. මීට අමතරව බැසිලස් කුරෙන්ජයිටිස් නැමති මෙරටින් සොයා ගත් බැක්ටීරියාවක් ද සේනා දළඹුවන් මර්දනය සඳහා යොදා ගැනීමේ පර්යේෂණ මේ වනවිට ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය. වැලිගමගේ මහතා සඳහන් කළේ, ජෛව විද්‍යාත්මක ක්‍රමයක් ලෙස සේනා දළඹුවන්ට හානි කරන කෘමීන් 04 දෙනෙකු ද හඳුනා ගෙන ඇති බවයි. එම කෘමීන් ක්ෂේත්‍රයට හඳුන්වාදීම සඳහා පර්යේෂණ ක්‍රියාත්මක බව එස්. එස්. වැලිගමගේ මහතා ප්‍රකාශ කළේ ය.
2019-01-29T19:42:20.000Z
දෙමටගොඩ ගැටුමෙන් දෙදෙනෙකුට තුවල: ප්‍රදේශයේ ආරක්ෂව තර කෙරේ
දෙමටගොඩදී දෙපිරිසක් අතර ගැටුමක්...
COLOMBO (News 1st) - දෙමටගොඩ, කාලිපුල්ලේවත්තේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ රාත්‍රියේ දෙමටගොඩ, කාලිතුන්ඩවත්ත ප්‍රදේශයේ මෙම ගැටුම ඇති විය. පොලීසිය පැවසුවේ, දෙපිරිස අතර කලක් තිස්සේ පැවත එන ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි. සිද්ධියෙන් වයස අවුරුදු 17 - 18 අතර පසුවන තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති. පොලීසිය මැදිහත්ව ප්‍රදේශයේ ආරක්ෂාව ද මේ වනවිට තර කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
2019-01-29T18:57:18.000Z
මාර්තු 15 වැනි දා සිට පුත්තලමේ කුණු අරුවක්කාඩු කසළ රඳවනයට
මාර්තු සිට පුත්තලමේ කුණු අරුවක්කාඩුවලට
COLOMBO (News 1st) - පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල කැලි කසළ මාර්තු 15 වැනි දා සිට අරුවක්කාඩු කසළ රඳවනයට බැහැර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, කසළ රඳවනයේ පළමු අදියරේ ඉදිකිරීමේ මේ වනවිට අවසන් කර ඇති බවයි. මේ අතර කොළඹ මහ නගර සීමාවේ කැලි කසළ අරුවක්කාඩු කසළ රඳවනයට බැහැර කිරීම මේ වසර අගදී ආරම්භ කරන බව ද ඔහු පැවසුවේ ය.
2019-01-29T18:45:25.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. සේනා නිසා පීඩාවට පත් ගොවීන් සොයා කෘෂිකර්ම අමාත්‍යංශය සමග නිව්ස්ෆස්ට් තව ත් ක්‍රියාන්විතයක් අරඹයි: සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව සොයා කෘෂිකර්ම අමාත්‍යංශයේ ද සහය ඇතිව නිව්ස්ෆස්ට් තව ත් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. 2. Grand Hyatt හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙයි: රාජ්‍ය ආයතන 3ක පූර්ණ කොටස් හිමිකාරිත්වය ඇති කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙමින් තිබේ. 3. සොයා ගැනීමට නැතැයි කියන අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතු වෙයි: බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දකුණු අප්‍රිකානු මාධ්‍යයකට මුදල් විශුද්ධිකරණය පිළිබඳව විග්‍රහයක් කර තිබේ. 4. ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්: ඇල්ල දෙමෝදර ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් විදේශිකයින් ඇතුලු 20 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් පුවත් 5. අමෙරිකාවෙන් වෙනිසුවෙලා තෙල් සමාගමට සම්බාධක පැනවෙයි: අමෙරිකාව, වෙනිසුවෙලා රජයට අයත් ඛනිජ තෙල් සමාගමට එරෙහිව සම්බාධක පනවා තිබේ.
2019-01-29T11:05:29.000Z
සේනා නිසා පීඩාවට පත් ගොවීන් සොයා කෘෂිකර්ම අමාත්‍යංශය සමග නිව්ස්ෆස්ට් තවත් ක්‍රියාන්විතයක් අරඹයි
සේනාගෙන් පීඩාවට පත් ගොවීන් සොයා ක්‍රියාන්විතයක්
COLOMBO (News 1st) - සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව සොයා කෘෂිකර්ම අමාත්‍යංශයේ ද සහය ඇතිව නිව්ස්ෆස්ට් තවත් වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේ ය. මෙවර නිව්ස්ෆස්ට් - කෘෂිකර්ම අමාත්‍යංශය සමග ඒකාබද්ධව දෙවැනි ක්‍රියාන්විතය ආරම්භ කළේ ගොවීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමේ අරමුණින්. ඒ අනුව අද අනුරාධපුර, මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලින් වැඩසටහන ආරම්භ කෙරිණි. මොණරාගල මඩුල්ල, මුල්ලේගම, බිබිල, කරාඩුගල ආදී ප්‍රදේශ රැසක ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත වූ කණ්ඩායම හමුවීමට පැමිණි ගොවියෙකු කෙසෙල් වගාවට හානි කරන දළඹුවෙකු හඳුනා ගැනීම සඳහා රැගෙන විත් තිබිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි බ්ම්වල සංචාරය කරන අප කණ්ඩායම ඇලයාපත්තුව ප්‍රදේශයේ බඩ ඉරිඟු ගොවීන් හමු විය. තවත් කණ්ඩායමක් අම්පාර නාමල් ඔය ව්‍යාපාරය ඇතුළු ගොවි බිම් රැසක අද සංචාරය කළේ ය. මේ අතර ගොවීන් පවසන්නේ, පසුගියදා රුපියල් 80ට අලෙවි කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමය මේ වන විට රුපියල් 40කට අලෙවි කිරීමට සිදුව ඇති බව ය.
2019-01-29T10:12:27.000Z
Grand Hyatt හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙයි
Grand Hyatt හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙයි
COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන 3ක පූර්ණ කොටස් හිමිකාරිත්වය ඇති කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙමින් තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදලේ කොටස් ආයෝජනයෙන් කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය ඉදිකෙරිණි. එය පරිපාලනය කරන්නේ, සිනෝ ලංකා හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමයි. සිනෝ ලංකා සමාගමේ සියලු කොටස් අලෙවි කිරීම සඳහා ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවන් හරහා එම්.ටී.අයි. කන්සල්ටින් නමැති උපදේශන සමාගමක් පූර්ව ප්‍රචාරක පත්‍රිකාවක් බෙදා හැර තිබේ. අප වෙත ලැබුණු වාර්තාවලට අනුව ලොව වටා සිටින ආයෝජක තැරැව්කරුවන් කිහිප දෙනෙකුට පමණක් මෙම ලිපි යවා තිබීම විශේෂත්වයකි. මීට මාස කිහිපයකට පෙර මෙම උපදේශන සමාගම පුවත්පත් දැන්වීමක් පළ කරමින් ජාත්‍යන්තර ආයෝජකයින්ට හයට් හෝටලයේ ආයෝජන සඳහා ඇරයුම් කළේ ය. එහිදී අප පෙන්වා දුන්නේ, කෙටි කාල සීමාවක් තුළ ජාත්‍යන්තර ආයෝජන කැඳවීම පිටුපස වංචාවක් තිබිය හැකි බව ය. ආණ්ඩු මාරුවත් සමග මේ සම්බන්ධ කථාබහ යටපත් වූ අතර දැන් යළිත් එය කරළියට පැමිණ තිබේ. සීමිත පිරිසක් අතරේ පත්‍රිකාවක් බෙදා හැර ආයෝජකයින් සෙවීමේ ක්‍රියාවලිය ප්‍රශ්න සහගත ය. මීට අමතරව මෙම හෝටල් ව්‍යාපෘතියට අදාළව සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු පිරිසකට එරෙහිව දැනටමත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ. තෝරා ගත් පාර්ශවයකට වාසි සහගත අයුරින් ග්‍රෑන්ඩ් හයට් හෝටලය විකුණා දැමීමේ සැලසුමක් යළිත් ක්‍රියාත්මක වනවා ද? මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කර ඇත්තේ රටේ ජනතාවගේ මුදල්. එම නිසා ඒවාට සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමේ අයිතිය රටේ ජනතාව සතු වේ.
2019-01-29T09:58:44.000Z
සොයා ගැනීමට නැතැයි කියන අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතු වෙයි
මහේන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතු වෙයි
COLOMBO (News 1st) - බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දකුණු අප්‍රිකානු මාධ්‍යයකට මුදල් විශුද්ධිකරණය පිළිබඳව විග්‍රහයක් කර තිබේ. ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳව මෙම විග්‍රහය අර්ජුන මහේන්ද්‍රන් මහතා සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට ප්‍රසිද්ධ කරන බිස්නස් ලයිව් වෙබ් අඩවියටයි. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සහ මැද පෙරදිග රටවල පවුල් ව්‍යාපාරවලට උපදෙස් සපයන අයෙකු ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබයි. මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට නැතැයි පවසා මේ වන විට වසරක පමණ කාලයක් ගත වේ. අධිකරණය මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නැයි නියෝග කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට අදාළව අධිකරණයේ ගොනු කර ඇති කරුණු මත පදනම්ව ය. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකිව ඇති අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකාවේ මාධ්‍යයකට සොයා ගැනීමට හැකි වී තිබේ. මින් පෙනී යන්නේ නොහැකියාව ද? වුවමනාවක් නොමැති කමද?
2019-01-29T09:49:19.000Z
පාර්ලිමේන්තුව තුළදී සුමන්දිරන්ට වෙනම නීතියක් ද?
පාර්ලිමේන්තුව තුළදී සුමන්දිරන්ට වෙනම නීතියක් ද?
COLOMBO (News 1st) - පසුගිය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් පිළිබඳව සකස් කළ කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කථානායකවරයා ඉදිරි පියවර ගනු ඇතැයි එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. මෙම වාර්තාව කථානායකවරයාට භාර දුන්නේ, පසුගිය 22 වන දා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙම ගැටුම් පිළිබඳව වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු බී.බී.සී. සිංහල සේවය පසුගියදා අනාවරණය කළේ ය. එම අනාවරණයට අනුව පසුගිය වසරේ නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්වලදී මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර තිබේ. ඉන් 54 දෙනකුම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර සිව් දෙනෙක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරති. ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්ති උල්ලංඝනය කර ඇතැයි කමිටු නිර්දේශයේ සඳහන් ය. විජිත හේරත් - පා.ම ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව සේවීමට පත් කළ කමිටු වාර්තාවේ මගේ නම තියෙනවා. මගේ නම තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරලා බෙදීමක් අපි ඉල්ලා සිටියා. කථානායකවරයා යෝජනාවට පක්ෂ ද? විපක්ෂද? කියලා ඇහුවා. නමුත් අපි ඉල්ලා සිටියේ එක් එක් මන්ත්‍රීවරයාගේ නමින් ඒ යෝජනාවට පක්ෂ ද? විපක්ෂ ද? කියලා අහන්න කියලා. ඒක කථානායකතුමාට හරියට ඇසුනේ නැහැ ඒ ඝෝෂාව නිසා. ඊට පස්සේ මම කථානායකවරයා ළඟට ගිහින් නමින් බෙදීමක් ඉල්ලා සිටිනවා කියලා කිව්වා. ඉතින් කථානායකවරයා ළඟට ගිහින් නමින් බෙදීමක් ඉල්ලීම සම්බන්ධයෙන් තමයි මගේ නම කමිටු වාර්තාවේ තියෙන්නේ. විජිත හේරත් මන්ත්‍රීවරයා පවසන ආකාරයට ඔහුට චෝදනා නගා ඇත්තේ නොවැම්බර් 14 වන දා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීම සඳහා මැදිහත් වූ අවස්ථාවකදී ය. නමුත් මේ ගැටුම් ඇතිවූයේ කෙසේ ද? එම්.ඒ.සුමන්දිරන් - පා.ම. දෙමළ ජාතික සන්ධානය (14/11/2018) "ගරු කථානායකතුමනි අංක 135 ස්ථාවර නියෝගය කෙරෙහි මම ඔබේ අවධානය යොමු කරනවා. මම යෝජනා කරනවා අද සභාවාරයේ ස්ථාවර නියෝග අත්හිටුවිය යුතුයි කියලා. ඔබට දකින්න ලැබෙන ආකාරයට මේ යෝජනාව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරයෙකු හැර වෙනත් අයෙක් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව තීරණය කළ යුත්තේ සභාවේ ඡන්දයක් මගිනුයි. ඒ අනුව මම ස්ථාවර නියෝග අද දිනය සඳහා අත්හිටුවන්න යෝජනා කරනවා." පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 135 අනුව, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් ගෙන ඒමට මන්ත්‍රීවරයෙකුට ඇති අයිතියට අපි අභියෝග නොකරන්නෙමු. නමුත් කැබිනට් ඇමතිවරයෙකු නොවෙන අයෙකු එවැනි යෝජනාවක් ඉදිරිපත් කළහොත් මන්ත්‍රීවරුන් 20කට වැඩි ප්‍රමාණයක් එය සභාව තුළ අනුමත කළ යුතු බව 135 වන ස්ථාවර නියෝගයේම සඳහන් වේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන ආකාරයෙන් නොවැම්බර් 14 වන දා මේ යෝජනාව සම්මත වුණා ද? ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කිරීමට යෝජනා කරද්දී එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊට මැදිහත් විය. මේ අතර එක්සත් ජාතික පක්ෂ රජය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි අවසානයේ තමන් විපක්ෂ නායක ධූරය ද අහිමි කර ගත් බව දෙමළ ජාතික සන්ධානයේම හවුල්කාර පාර්ශ්ව දැන් චෝදනා කරයි. පක්ෂයත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් අභියෝගයට ලක්වන අයුරින් එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ක්‍රියා කළ ආකාරය විමර්ශනයකට ලක් විය යුතු නොවේ ද? විජිත හේරත් මන්ත්‍රීවරයා නමින් ඡන්දයක් ඉල්ලා කථානායක අසුන වෙත ගමන් කිරීම විමර්ශනයකට තුඩු දෙන කරුණක් නම් සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ හැසිරීම විමර්ශනයකට නිමිත්තක් නොවේ ද?
2019-01-29T05:37:05.000Z
මලල ක්‍රීඩක කාලිංග තහනම් උත්තේජක "බී" පරීක්ෂණයෙනුත් අසමත්
මලල ක්‍රීඩක කාලිංග තහනම් උත්තේජක දැලට
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් සිදු කළ බී සාම්පල පරීක්ෂාවෙන් ද අසමත්ව ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ දී මීටර් 400 ඉසව්වෙන් උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ පසුගිය දෙසැම්බර් මාසයේ දී තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඒ ඔක්තෝබර් මස පැවැති අන්තර් රෙජීමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සිදුකළ මුත්‍රා සාම්පල පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙනි ඉන්දියාවේ නව දිල්ලියේ පර්යේෂණාගාරයක දී සිදුකළ මෙම පරීක්ෂණ වාර්තාවට එකඟ නොවන බව පවසමින් බී සාම්පල පරීක්ෂාවට යොමුවූ කාලිංගගේ බී සාම්පලයේ දී අදාල තහනම් උත්තේජක සංඝඨක අඩංගුව ඇති බවයි. ඒ අනුව ඔහුගේ මුත්‍රා සාම්පල ලබා ගත් දින සිට බල පැවැත්වෙන පරිදි වසර 4 ක තාවකාලික තරඟ තහනමක් පැණවෙනු ඇත. ඒ අනුව කාලිංගට ක්‍රීඩාව සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ නැත. ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන නියෝජිත ආයතනයේ විනය කමිටුව මගින් කාලිංග පිලිබද ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන අතර, ඔහුට පණවන තහනම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නියමිතවේ. එසේම, තහනම් උත්තේජක ලබා දීමට අනුබල දුන් හෝ ලබා දුන් පිරිස්වලට එරෙහිව ද නීත්‍යානකූලව දඬුවම් පැණවීමට තහනම් උත්තේජක නිවාරණ පණතට අනුව සිදුකළ හැකිය. යුද හමුදාව නියෝජනය කරන කාලිංගගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ විමුක්ති සොයිසා මහතායි. පසුගිය වසරේ දී, සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණ සාම්පල 275 ක් අතරින් කාලිංග කුමාරට අමතරව වෙනත් ක්‍රීඩා සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුගේ සාම්පලවල තහනම් උත්තේජක සංඝඨක තිබූ බවට තහවුරුව ඇත.
2019-01-29T03:51:24.000Z
ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්
ආරුක්කු නවය පාලම නැරඹීමට ගියපිරිසකට බඹර ප්‍රහාරයක්
COLOMBO (News 1st) : ඇල්ල දෙමෝදර ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් විදේශිකයින් ඇතුලු 20 දෙනෙකු තුවාල ලබා තිබේ. ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය අවස්ථාවේ මොවුන් එලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලීසිය පවසයි. තුවාලකරුවන් අතරට විදේශිකයින් 10 දෙනෙකු ද ඇතුළත් වන අතර, ඔවුන් දෙමෝදර රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.
2019-01-29T03:40:33.000Z
අනවසර ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි
අනවසර ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි
COLOMBO (News 1st) : ඇල්පිටිය මණ්ඩකන්ද කරන්දෙණිය ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත කළ වැටලීමකදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයෙකු සතුව ටී 56 අවි සඳහා යොදාගන්නා පතොරම් 17 ක් ද භාරයට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය. සැකකරුවන් 34 සහ 32 හැවිරිදි කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
2019-01-29T03:36:34.000Z
උගුලක් ඇටවූ අයෙකු විදුලි සැරෙන් මරු මුවට පත්වෙයි
උගුලක් ඇටවූ අයෙකු විදුලි සැරෙන් මරු මුවට පත්වෙයි
COLOMBO (News 1st) : ඇල්පිටිය ඌරගහස්මන් හන්දිය කළුවලගොඩ පාලම අසල ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මරු මුවට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා විසින් සතුන් දඩයම් කිරීම සඳහා උගුල් ඇටවීමට මාර්ගයේ විදුලි රැහනකින් විදුලිය ලබාගැනීමට උත්සාහ කිරීමේ දී විදුලිසැර වැදී ඇති බවයි. මියගොස් ඇත්තේ දියපිටගල්ලන ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක් දරු පියෙක්. මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධීය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
2019-01-29T03:31:46.000Z
බගවන්තලාවේ ගින්නකින් වතු නිවාස 14ක් විනාශයි
බගවන්තලාවේ ගින්නකින් වතු නිවාස 14ක් විනාශයි
COLOMBO (News 1st) : හැටන්, බගවන්තලාව රොබ්ගිල් වතු නිවාස පෙළක ඇතිවූ ගින්නකින් නිවාස 14 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බවයි. ගින්නෙන් පවුල් 14 කට අයත් පුද්ගලයින් 42 දෙදෙනෙකු අවතැන්ව ඇතැයි අප වාර්තාකරු සදහන් කළේ ය. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.
2019-01-29T02:21:27.000Z
වැලි ජාවාරම්කරුවන් වැටලූ මෙහෙයුමකදී නොසන්සුන් තත්ත්වයක්
නාවික හමුදාවෙන් අහසට වෙඩි
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය, කින්නියා, කන්ඩල්කාඩු පාලම අසලදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර අද උදෑසන නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ, මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහායි. පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්ධව මෙම වැටලීම් ක්‍රියාත්මක කර තිබේ. ඒ, ජනාධිපතිවරයා සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. නාවික හමුදා ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසුවේ, අද අලුයම වැලි පුරවාගත් ටිපර් රථ දෙකක් තම භාරයට ගත් බවයි. අනතුරුව එම ස්ථානයේ අද උදෑසන ද වැලිගොඩ දමන බවට ලද තොරතුරක් මත නාවික හමුදා වැටලීම් කණ්ඩායම එම ස්ථානයට ගොස් තිබේ. එම අවස්ථාවේදී වැලි ජාවාරම්කරුවන්, අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් නාවික හමුදා කණ්ඩායම් වෙත පහරදීමට තැත්කර ඇතැයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ ඒ අවස්ථාවේදී නාවික හමුදා සාමාජිකයින් අහසට වෙඩි තබා ඇති බවයි. නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී වැලි ජාවාරම්කරුවන් 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු දියට පැන පලා ගොස් තිබේ. නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, වැලි ගොඩදමන්නන් අත්අඩංගුට ගැනීමේ මෙහෙයුම් නතර කිරීම සඳහා ජාවාරම්කරුවන් සංවිධානාමත්මක මෙම විරෝධතාව දක්වා ඇති බවයි. මේවන විට පොලීසිය හා පළාත් ආණ්ඩුකාරවරයා එම ස්ථානයට පැමිණ තත්තවය සාමාන්‍ය අතට පත්කර තිබේ. නාවික හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ නීති විරෝධී වැලි ජාවරම මැඩපැවැත්වීම උදෙසා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. ඊයේ දිනයේදීද වැලි ජාවාරම්කරුවන්ට අයත් බෝට්ටු 6 ක් තම භාරයට ගත් බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, පලා ගිය ජවාරම්කරවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.
2019-01-29T02:06:20.000Z
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 14 වන දිනටත්
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 14 වන දිනටත්
COLOMBO (News 1st) : මෙරට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමට ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය එක්ව සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 14 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 2018 ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උලෙල ප්‍රවර්ධන වැඩසටහන අද මොනරාගල මහානාම ජාතික පාසලේදී ආරම්භ විය. මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් බන්දු ගුණසේකර, මොනරාගල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ක්‍රීඩා ඩබ්ලිව් එම්. එන්. බණ්ඩාර , මොනරාගල මහානාම ජාතික පාසලේ විදුහල්පති පුංචි බණ්ඩාර යන මහත්වරුන් සමග සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලියාන්ස් ආයතනයේ නිලධාරීහු සහභාගී වුහ. මොනරාගල මහානාම ජාතික පාසලේ සිසුන් ඉදිරිපත් කළ විශේෂාංග කිහිපයකින් ද මෙම උත්සවය වර්ණවත් විය. මේ අතර මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බේස් බෝල්, පාපන්දු සහ රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන්නේ ය. මොනරාගල ජාතික පාසලේ ක්‍රිකට් ක්‍රීඩක විහාන් කලිඳු අද දිනයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්ලැටිනම් රන් සම්මානය දිනා ගත්තේ ය. කතරගම ජනාධිපති මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩික දීලුප ප්‍රභාත් සහ එම පාසලේම මලල ක්‍රීඩකා චමෝද්‍යා ඉන්දීවරි පිළිවෙළින් එහි රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ. උත්සවයෙන් පසුව අපේක්ෂාවේ ගිනි සිළුව රැගත් චාරිකාව අම්පාර සිට මොනරාගල බලා ගමන් ආරම්භ කළේ ය. https://www.youtube.com/watch?v=2IMaT-woUC4
2019-01-29T01:38:11.000Z
මොහොමඩ් මුසම්මිල් CIDය හමුවට
මොහොමඩ් මුසම්මිල් CIDය හමුවට
COLOMBO (News 1st) : ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මොහොමඩ් මුසම්මිල් මහතා එලෙස කැඳවා ඇත්තේ, ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මේ අතර ඊයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදුන්නේ ය.
2019-01-29T00:10:13.000Z
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්
COLOMBO (News 1st) : 2010 වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද නිදොස් කොට නිදහස් කෙරිණ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරමින් කියා සිටියේ පැමිණිල්ල චෝදනා ඔප්පු කිරිමට අසමත් වී ඇති බවයි. 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු 5ක් ගොනු කර තිබේ. ඉන් පළමු නඩුව ලෙස 2010 වසරේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමට අදාළ නඩුවෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කෙරිණ.
2019-01-28T23:56:18.000Z
මත්ද්‍රව්‍ය නිවාරණයට හමුදාව යෙදවීමේ හැකියාව සොයා බැලේ
මත්ද්‍රව්‍ය නිවාරණයට ත්‍රිවිධ හමුදාව ත්..?
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ත්‍රිවිද හමුදාව අනියුක්ත කිරිමට අදාළ නීතිමය කටයුතු පිළිබඳ විශේෂ අධ්‍යයනයක් ආරම්භ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. නීතිපති ජයන්ත ජයසුරිය මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීමට විශේෂ අධීක්ෂණ කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි. ත්‍රිවිද හමුදාව යෙදවීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් පිළිබඳ එම කණ්ඩායම මගින් අධ්‍යනය කර ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බව ද නීතිපතිවරයා පැවසී ය. ඔහු සඳහන් කළේ, මෙම කටයුතු විධිමත් කිරීම සඳහා අවශය නීතිපති උපදෙස් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි. ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම්, සිදුකරන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය.
2019-01-28T23:11:03.000Z
අපාරධකරුවෙකු ඇතුළු 6ක් ඉඳුරුවේදී අත්අඩංගුවට
අපාරධකරුවෙකු ඇතුළු 6ක් ඉඳුරුවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ඇතුළු 6 දෙනෙකු රත්නපුර ඉඳුරුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ අනියම් බිරිඳ ඇතුළු පිරිසක් ද ඒ අතර වන බවයි. සැකකරුට එරෙහිව අධිකරණයේ විවෘත වරෙන්තුවක් හා තවත් වරෙන්තු 7ක් පමණ පවතින බව ද, පොලීසිය ප්‍රකාශ කළේ ය. ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනියම් බිරිඳ රත්නපුර හා ඒ ආශ්‍රීත ප්‍රදේශවලට අයිස් නමැති මත්ද්‍රව්‍ය බෙදා හරින ජවාරම්කාරියක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අය සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තීබී ඇති අතර සැකකාරියගේ පළමු විවාහයේ දියණිය ද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකාරියක වී රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි. අත්අඩංගුවට ගත් 29 හැවිරිදි ප්‍රධාන පෙළේ අපරාධකරු සහ 39 හැවිරිදි ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු පිරිස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ පස්වරුවේ ඉදිරිපත් කෙරිණ. එහිදී ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ඔහුගේ අනියම් බිරිඳට රුපියල් දහඅටදහසක දඩයක් නියම කර මුදා හැර තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.
2019-01-28T21:51:24.000Z
ළහිරු කුමාර වෙනුවට චාමික කැඳවයි
ළහිරු කුමාර වෙනුවට චාමික කැඳවයි
COLOMBO (News 1st) : සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ළහිරු කුමාර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තරගය එළඹෙන මස පළමු වනදා පැවැත්වීමට නියමිතයි. ඒ කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී ළහිරු කුමාර පාදයේ කලව පිටුපස මස්පිඬු ආබාධයකට ලක්විය. වැඩිදුරටත් වාර්තා වන්නේ ඔහුට මාස එක හමාරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි. ඒ අනුව ඔහුට එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය ද අහිමි වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා ළහිරු කුමාර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කැඳවීමටයි. මීට අමතරව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්ව ඇති දුෂ්මන්ත චමීරට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමිව තිබේ.
2019-01-28T20:31:26.000Z
පෙබරවාරි 1 සිට ජාතික ධජය ඔසවා තබන්නැයි, ඉල්ලීමක්
පෙබරවාරි 1 සිට ජාතික ධජය ඔසවා තබන්නැයි, ඉල්ලීමක්
COLOMBO (News 1st) : ලබන පළමු වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි, රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 71 වන ජාතික දිනය වෙනුවෙන් සියලුම නිවෙස්වල, වෙළඳ ව්‍යාපාරික ස්ථානවල රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථවාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. 71 වන ජාතික දින උළෙල ලබන 4 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර ජාතික දිනය වෙනුවෙන් වු පෙරහුරු හේතුවෙන් අනිද්දා සිට ගාලු මුවදොර අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
2019-01-28T20:18:24.000Z
'සේනා' ආවේ සුළඟින් බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි
'සේනා' ආවේ සුළඟින් - කෘෂිකර්ම අමාත්‍යාංශය
COLOMBO (News 1st) : සේනා දළඹුවා මෙරටට සුළඟ මගින් පැමිණ ඇති බව, සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ, කෘෂි විශේෂඥයින් ඒ බව තහවුරු කර ඇති බවයි. සේනා දළඹුවාගේ සළඹ අවස්ථාවේ සුළඟ සමග කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගසාගෙන යෑමට හැකි නිසා සේනා දළඹුවා ඉන්දියාවේ සිට පැමිණෙන්නට ඇතැයි සැකකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර සේනා දළඹු හානියෙන් වගා හානි වු ගොවීන් සඳහා වන්දි ලබා දීම කඩිනමින් ආරම්භ කරන බව ද අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේ ය. සේනා දළඹුවන්ගෙන් හානියට පත් වගා බිම් පිළිබඳ නිව්ස්ෆස්ට් ආරම්භ කළ අධ්‍යනයේ දෙවන ක්‍රියාන්විතයේ කණ්ඩායම් අද දිස්ත්‍රික් මට්ටමින් ගොවී ජනතාව හමුවීමට නියමිතයි. පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී විශේෂ වැඩමුළුවකට ඊයේ සහභාගී වූ නිවුස්ෆස්ට් කණ්ඩායම කෘෂිකර්ම නිලධාරීන් ද සමග අද දිනයේ ගොවීන් දැනුම්වත් කරනු ලබයි.
2019-01-28T20:09:54.000Z
කුඩු ජාවාරම් ගැන දිනකට ඇමතුම් 60ක්..?
කුඩු ජාවාරම් ගැන දිනකට ඇමතුම් 60ක්..?
News 1st : රට තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය අධිතාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, එම වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ආරක්ෂක ලේකම්වරයාට යොමු කරන බවයි. මේ අතර මත්ද්‍රව්‍ය ජවාරම් සම්බන්ධයෙන් දැනුම්දීමට පසුගිය 21 වනදා හඳුන්වා දුන් 1984 විශේෂ දුරකථන අංකයට දෛනිකව ඇමතුම් 50ත් 60ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඉන් බහුතරය හෙරොයින් ජවාරම සම්බන්ධයෙන් ලැබෙන බවයි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ජනවාරි 20 වනදා තෙක් මෙරටින් සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 800කට අධිකයි. එම කාල සීමාවේ මත්ද්‍රව්‍ය ජවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 5000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 10 දෙනෙකු පමණ විදෙස් ජාතිකයින් බව ද, පොලීසිය සඳහන් කළේ ය.
2019-01-28T19:46:06.000Z
කොල්ලුපිටියේ කුඩු ජාවාරම මෙහෙයවූ ඇෆ්ගන් ජාතිකයා ගැන තවත් තතු හෙළිවෙයි
ඇෆ්ගන් ජාතික කුඩු ජාවාරම්කරු ගැන තතු හෙළිවෙයි
COLOMBO (News 1st) : කොල්ලුපිටිය නිවාස සංකීර්ණයක් තුළ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් ඇතුළු පිරිස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් පසු එලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන බවයි. මෙම මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇෆ්ගන් ජාතිකයා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු බවට මේ වන විට තහවුරු වී තිබේ. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, සැකකරු සන්තකයේ තවත් විශාල මත්ද්‍රව්‍ය තොග පැවතිය හැකි බවට සැකකරන බවයි. මීට පෙර අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය සමග මෙරටින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙත මත්ද්‍රව්‍ය ලබා දී ඇත්තේ ද, සැකකාර ඇෆ්ගන් ජාතිකයා බවට හෙළි වී තිබේ. මත්ද්‍රව්‍ය ගැණුම්කරුවන් වෙත ප්‍රවාහනය සඳහා ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනා සම්බන්ධ වී ඇති අතර ඔවුන්ට ඒ සඳහා ලක්ෂයකට අධික මුදලක් ගෙවා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේ ය.ජ
2019-01-28T19:32:14.000Z
අමෙරිකාවෙන් වෙනිසුවෙලා තෙල් සමාගමට සම්බාධක පැනවෙයි
අමෙරිකාවෙන් වෙනිසුවෙලා තෙල් සමාගමට සම්බාධක
COLOMBO (News 1st) : අමෙරිකාව, වෙනිසුවෙලා රජයට අයත් ඛනිජ තෙල් සමාගමට එරෙහිව සම්බාධක පනවා තිබේ. අමෙරිකාව මෙම පියවර ගත්තේ, අමෙරිකාව සහ ලොව සෙසු රටවල් , මධූරෝ පාලනයෙන් ඉවත්කර වෙනිසුවෙලාවේ පාලන බලය විපක්ෂයට ලබාදීමට ප්‍රයත්න දරන පසුබිමකදීයි. අමෙරිකාව වෙනිසුවෙලා ඛනිජ තෙල් සමාගමට එරෙහිව පැනවූ මෙම සම්බාධක , නිකලස් මධූරෝ ට එරෙහිව අමෙරිකාව ක්‍රියාත්මක කළ දැඩිම මූල්‍යමය ක්‍රියාමාර්ගය ලෙස සඳහන් ය . අමෙරිකාවේ මෙම නව සම්බාධක හමුවේ මධූරෝ රජයට වෙනිසුවෙලාවේ වඩාත් වැදගත්ම ආදායම් මාර්ගයක් සහ විදේශ මුදල් මෙන්ම වෙනිසුවෙලා ඛනිජ තෙල් සමාගමට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක වත්කම් වෙත ළඟාවීමට නොහැකිවනු ඇති. අමෙරිකාව , ඕස්ට්‍රේලියාව සහ ලතින් අමෙරිකානු රටවල් රැසක් ඉකුත් සතියේ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක ජුවාම් ගුවයිඩෝ පිළිගැනීමත් සමඟ වෙනිසුවෙලාවේ දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍ර විය. කෙසේ වෙතත් රුසියාව , චීනය සහ තුර්කිය සහය පළ කළේ මධූරෝ රජයටයි . තමන් බලයෙන් පහකිරීමට අමෙරිකාව සහ ලොව සෙසු රටවල් ආර්ථික යුද්ධයක් අරඹා ඇතැයි නිකලස් මධූරෝ චෝදනා කළේ ය. කෙසේ වෙතත් මෙම නව සම්බාධක වෙනිසුවෙලා ජනතාවට හෝ එරටට ලබාදෙන මානුෂවාදී ආධාර වලට බලපෑම් නොකරන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අවධාරණය කළේ ය.
2019-01-28T19:25:59.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. අගමැතිට ගම්මන්පිලගෙන් අභියෝගයක් : නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කළුතර පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කර තිබේ. 2. මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට කැපවූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ : මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවි හිමියෙන් කැපවූ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඊයේ ඇගයීමට ලක් කෙරුණි. 3. ගර්භණී ගුරුවරියන්ගේ නිර්දේශිත ඇඳුමට බාධා එපා... : ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන් සිටීනම් ඒ පිළිබඳ සිය අමාත්‍යංශයට දැනුම් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දෙයි. 4. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තව ත් විකෘති කරන ලද හඬ පටයක් අද අධිකරණයට : මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තව ත් විකෘති කරන ලද හඬ පටයක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 5. විමල් වීරවංශ CIDයට : ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. 6. කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට පියවර : කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට පියවර ගෙන තිබේ. විදේශීය පුවත්... 1. අමෙරිකාවෙන් වෙනිසුවෙලාවට අනතුරු ඇඟවීමක් : අමෙරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් , වෙනිසුවෙලාවට අනතුරු අඟවමින් කියා සිටියේ වෙනිසුවෙලාවේ සිටින අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට හෝ වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට එරෙහි ඕනෑම ආකාරයේ තර්ජනයකට එරෙහිව ප්‍රතිචාර දක්වන බවයි.
2019-01-28T11:39:13.000Z
තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්
තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානි ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් යොමු කර තිබේ. මෙහි සඳහන් වන්නේ, පසුගිය නවසීලන්ත සංචාරය තුළ සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවූ සටහනක් සම්බන්ධයෙන් ඇතිවූ කතිකාවතයි. තම ලිපියේ තිසර පෙරේරා සඳහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍ය තුළ ඇතිවූ මෙම කතාබහ හේතුවෙන් තමා දැඩි මානසික පීඩනයකට ලක් වූ බවය. එසේම කිසිවිටෙක තමා ඉහළ නිලධාරීන්ගෙන් හෝ තේරීම් කමිටු සමාජිකයින්ගේ විශේෂිකරණය යටතේ කණ්ඩායමට එක් නොවු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. තමා පිළිබඳව සඳහන් කරමින් වගකිය යුතු පුද්ගලයින් සිදු කරන චෝදනා හමුවේ ජනතාව තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටීම වැළැක්විය නොහැකි බව ද එම ලිපියේ සඳහන් විය. අදාළ සටහන මාධ්‍ය තුළ කතාබහට ලක්වීමත් සමග ක්‍රීඩා විවේකාගාරය තුළදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනකු අතර ඇතිවූ මෙම තත්ත්වය යොවුන් ක්‍රීඩකයින්ට ද අයහපත් පූර්වාදර්ශයක් වූ බව ඔහු තම ලිපියෙන් සඳහන් කර තිබේ. තමාගේ එකම අභිප්‍රාය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම බව ද තිසර යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අභිමුව සිටින අවස්ථාවකදී කණ්ඩායමේ අභිප්‍රාය විය යුත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම මිස සමාජ මාධ්‍ය තුළ පළවන මෙවැනි දෑ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම නොවන බව ද තිසර පෙරේරා තම ලිපයෙන් පෙන්වා දෙයි. තිසර වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර නායකත්වයක් යටතේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යාම මිස කොටස් වශයෙන් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් ඵලක් නොවන බවයි. මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබඳ විභාගයක් සිදු කිරීමට අවශ්‍ය නම් තමා ඒ වෙනුවෙන් පෙනි සිටීමට සූදනාම් බව ද තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානියාට දැනුම්දී තිබේ.
2019-01-28T10:36:42.000Z
අගමැතිට ගම්මන්පිලගෙන් අභියෝගයක්...
අගමැතිට ගම්මන්පිලගෙන් අභියෝගයක්...
COLOMBO (News 1st) - නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කළුතර පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කර තිබේ. අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ, දැන් මොකද්ද කියන්නේ අපි රට බෙදනවාලු, රට බෙදන්නෙත් නෑ, අලුත් ව්‍යවස්ථාවක් ගේනවලු, අලුත් ව්‍යවස්ථාවකුත් ගේන්නේ නෑ. ව්‍යවස්ථාදායක සභාව ඔක්කොම එකතු වෙලා හැදුවා. එතන කොමිටියක් දැම්මා. එතනතමයි ඔක්කොම එක්ක සාකච්ඡා කරේ අපි‍ට පුළුවන් එකඟත්වයකට එන්න කියලා. එක එක අය දෙන වාර්තා ඇවිල්ලා ව්‍යවස්ථාදායක සභාවට දෙනවා. දැනුත් සාකච්ඡා කරලා විශේෂයන්ගෙන් දේශපාලන පක්ෂවල වාර්තා ටික දාල තියෙන්නේ. ව්‍යවස්ථා හදන එක මගේ අතේ නෙවෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක එකඟ වෙන්න ඕන ව්‍යවස්ථාව හදන්න. අපේ මල්වත්තේ මහනායක ස්වාමීන් වහන්සේ සඳහන් කරපු හැටියට එහෙම තත්ත්වයක් තියෙනවද කියලාත් ප්‍රශ්නයක්. ඒක ඇත්ත. මෙතන ව්‍යවස්ථා හදන එකක් නෑ. ව්‍යවස්ථාව කෙටුම් පතක් නෙවෙයි දීලා තියෙන්නේ. තුනෙන් දෙකක් තියෙනවා නම් විතරයි ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස ප්‍රතිචාර පළවිය. පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, අපි දැක්කා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ උත්සවයක් අමතමින් ප්‍රකාශයක් කරනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කරලා නැහැ දැන් දෙමළ ජාතික සංවිධානය ඒකීය රාජ්‍ය පිළිඅරන් තියෙන්නේ මේක අපේ ලොකු ජයග්‍රහණයක් කියලා. අනේ අගමැතිතුමනි දැන්වත් මේ බොරු කියන නතර කරනු මැනවි. අපි පැහැදිලිවම පෙන්නුවා අගමැතිතුමා විසින් සකස් කරපු වාර්තාවේ පළවෙනි පිටුවෙම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනුවෙන් සඳහන් වෙනවා කියලා පෙන්වලා දුන්නා. එම් ඒ ඒ සුමන්දිරන් මන්ත්‍රීතුමා මොකද කිව්වේ? මේ යුනිටරි නමින් ලෝකයේම හඳුන්වන ශ්‍රී ලංකාවට යොදාගත් ඒකීය රාජ්‍ය අපි පිළිගන්නේ නැහැ කියලා ඉතාම පැහැදිලිවම සඳහන් කළා. මාධ්‍යවේදී ප්‍රශ්නය, අගමැති කිව්වා මේක සම්මත කරගන්න පුළුවන් වෙන්නේ තුනෙන් දෙකේ බලයෙන් පමණයි, ඒ වගේම මේකට සම්බන්ධයක් නැහැ කියලා. පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, මං ඇස් 4 න් බලන හින්දා වැඩි වැඩියෙන් පේනවා පසුගියා 11 වැනි දා මමත් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ සිටියදී තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එතුමාගේ කිසිම සම්බන්ධයක් නැත්තන් එතුමා ඉදිරිපත් කළේ මොකට ද? ඔන්න ඕක තමයි කියන්නේ අනුන්ගේ දරුවන්ගේ උප්පැන්නයට තමන්ගේ නම දෙන්න යන්න එපා කියලා. අගමැතිතුමා මේක හැදුවේ නැති වෙන්න පුළුවන් නමුත් මේක පිටිපස්සේ ඉන්නේ එම් ඒ සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න සහ සුරේන් ප්‍රනාන්දු නීතිඥවරයා වෙන්න පුළුවන්. මේක ඉදිරිපත් කෙරුවා නම් එයා තමයි අයිතිකරු, ඒ නිසා අගමැතිතුමනි පැනලා යන්න බැහැ. ඔබතුමාට එක දෙයක් කරන්න පුළුවන් ඔබතුමා මේ ලේඛනය පිළිගන්නේ නැතිනම් තමන් විසින් ඉදිරිපත් කරපු මේ ලේඛනය මම නොවෙයි අයිතිකරු ඒ නිසා මේක ඉවත් කරගෙන අයිතිකරුවට ඉදිරිපත් කරන්න දෙනවා කියලා ලේඛනය ඉවත් කරගන්න කියලා අපි අගමැතිතුමාට අභියෝග කරනවා. සමාජවාදි ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, රාජා කොල්ලුරේ, අන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා අපේ අගමැතිතුමා. අපේ රටේ දේශපාලන පක්ෂ අතර ඒකීය ව්‍යවස්ථාවක් පිළිබඳ සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා කියලා. ඒකීය කියන වචනයත් එක්ක දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරනවා ඔරුමිත්තනාඩු වචනය. ඔරුමිත්තනාඩු කියන්නේ ඒකීය නෙවෙයි. ඒකීය ස්ථාවරේ දෙමළ ජාතික සන්ධානයේ සිටිනවා නම් ඔරුමිත්තනාඩු කියන වචනය ඉවත් කර ගන්න ඕන. සම්බන්ධන් හිටපු විපක්ෂ නායකතුමා තමන්ගේ ‍මන්ත්‍රී කණ්ඩායම අමතා ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ව්‍යවස්ථාවේ ෆෙඩරල් ලක්ෂණ තියෙනවායි කියලා දැන් මේ කාරණා දෙක ගත්තාහම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රකාශය අපිට පිළිගන්න පුළුවන්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගන්නවානම් මල්වත්තේ නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස ඔහු කළ යුත්තේ මේ ක්‍රියාදාමය අත්හිටුවා මැතිවරණ පැවැත්වීම සඳහා පියවර ගැනීමයි. මාධ්‍යවේදී ප්‍රශ්නය, අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරනවා ව්‍යවස්ථාව හැදීම සම්බන්ධයෙන් එතුමාගේ කිසිම මැදිහක්වීමක් නෑ කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය කුමක් ද? පිළිතුර, පා.ම. වාසුදේව නානායක්කාර, එතුමා තමයි සභාපති මෙහෙයුම් කමිටුවේ. එතුමා තමයි ව්‍යවස්ථා සම්පාදක සභාවේ යෝජනාව ගෙනාවේ. එතුමා තමයි කැඳවීම් ඔක්කොම කරන්නේ. ඉතින් එහෙම ඉඳගෙන එයාගේ මේකට සම්බන්ධයක් නෑ වගකීමක් නෑ කියනව නම් මම හිතන්නේ එතුමා තවදුරටත් සුදුසුකමක් නෑ මේ රටේ අගමැති වෙන්න.
2019-01-28T10:38:45.000Z
'සේනා' මර්දනයට දීපව්‍යාප්ත වැඩසටහනක් හෙට සිට ඇරඹේ
'සේනා' උවදුරෙන් වාසි ලබා ගත්තේ කවු ද?
COLOMBO (News 1st) - සේනා දළඹු උවදුර මර්දනයට ජනතාව සමග දීපව්‍යාප්ත ජාතික වැඩසටහනක් හෙට සිට ආරම්භ කිරීමට නිව්ස්ෆස්ට් හා කෘෂිකර්ම අමාත්‍යංශය එක් ව පියවර ගෙන තිබේ. එහි පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන අද පැවැත්වුනේ, පේරාදෙණිය ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදීයි. මෙම වැඩසටහන යටතේ සේනා දළඹු ගැටලුවට මුහුණදී සිටින ජනතාව දැනුවත් කිරීමට නියමිත වනු ඇති. එය සිදු කළ යුතු ආකාරය පිළිබඳව නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙලෙස අද දැනුවත් කෙරුනේ, කෘෂිකර්ම අමාත්‍යංශයයේ නිලධාරීන් විසිනි. මොණරාගල, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල මෙම දැනුවත් කිරීමේ වැඩසටහන හෙට පෙරවරුවේ සිට ක්‍රියාත්මක වනු ඇති. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්යේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොඹවලගම ප්‍රදේශයේ වී වගාවෙන් සේනා දළඹුවන් හමු ව තිබේ. ගොවීන් මේ වන විට අක්කර 2000 ක පමණ වී වපුරා ඇති අතර ඉන් හරි අඩකටත් වඩා මෙම දළඹු විශේෂය ආක්‍රමණය කර අවසන් වේ. අද පැවැති මාධ්‍ය හමුවකදී ද සේනා දළඹුවාගේ තර්ඡනයට ලක්වුණු බඩ ඉරිඟු වගාවන් පිළිබඳ කතා බහට ලක් විය.
2019-01-28T08:12:28.000Z
මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට කැපවූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලු පොලිස් නිලධාරීන් ඇගයීමට
COLOMBO (News 1st) - මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවි හිමියෙන් කැපවූ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් අද ඇගයීමට ලක් කෙරුණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයේදී යි. 2015 ජනවාරි 01 වැනි දා සිට 2019 ජනවාරි 14 වැනි දා දක්වා කාලය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායකවී ඇති නිලධාරීන් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සක්‍රියව දායක වූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1034 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණි. ඛාණ්ඩ 3 ක් යටතේ මෙම ඇගයීම් සම්මාන පිරිනැමුණු අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමීම මෙහිදී සිදු විය.
2019-01-28T06:49:02.000Z
ගම්මිරිස් ආනයනය කිරීම නතර කෙරේ
ගම්මිරිස් ආනයනය කිරීම නතර කෙරේ
COLOMBO (News 1st) - ගම්මිරිස් මෙරටට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ. අමාත්‍ය පී. හැරිසන් මහතා මේ බව කියා සිටියේ, අද දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි. අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ගම්මිරිස් වගාවේ නිරත ගොවීන්ට සහනයක් ලබාදීම උදෙසා ගම්මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගත් බවයි. උඳු නිෂ්පාදනය කරන ගොවීන්ට සහනයක් වශයෙන් ආනයනික උඳු කිලෝග්‍රෑම් 1 ක් සඳහා රුපියල් 200 ක බද්දක් පැනවීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.
2019-01-28T06:33:22.000Z
ගර්භණී ගුරුවරියන්ගේ නිර්දේශිත ඇඳුමට බාධා එපා...
ගර්භණී ගුරුවරියන්ගේ නිර්දේශිත ඇඳුමට බාධා එපා...
COLOMBO (News 1st) - ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන් සිටීනම් ඒ පිළිබඳ සිය අමාත්‍යංශයට දැනුම් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දෙයි. ගර්භණී ගුරුවරියන්ට වඩාත් පහසු සහ උචිත ඇඳුමක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය වසරේදී උපදෙස් ලබා දුන්නේ ය. ඒ අනුව 2018 වසරේ මැයි මස 23 වන දිනැති 2018/21 චක‍්‍රලේඛය මගින් ඒ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ ය. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඇතැම් විදුහල්පතිවරුන්, ගර්භණී ගුරුවරියන්ට එම නිර්දේශිත ඇඳුම ඇඳ පාසලට පැමිණීම තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. ඒ පිළිබඳ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 ඔස්සේ ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
2019-01-28T06:10:20.000Z
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තව ත් විකෘති කරන ලද හඬ පටයක් අද අධිකරණයට
තව ත් විකෘති කරන ලද හඬ පටයක් අධිකරණයට
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තව ත් විකෘති කරන ලද හඬ පටයක් අද අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, එම හඬ පටය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන ඇලෝෂියස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, නුවන් සල්ගාදු හා සචිත්‍ර දේවතන්ත්‍රි යන සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටියහ. මෙහිදී කසුන් පලිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ, අධිකරණ නියෝගයට අනුව පලිසේන මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටීමට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ බව කියන නිලධාරියෙකුගෙන් තම සේවාදායකයාට බාධා එල්ල වුණ බවයි. එවැනි බාධාවක් සිදු ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙස ද අධිකරණය එම සැකකරුට නියෝග කළේ ය.
2019-01-28T05:46:52.000Z
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ නංවමින් ඒකාබද්ධ ගිවිසුමට අත්සන් තැබේ
මූලික වැටුප ඉහළ නංවමින් ඒකාබද්ධ ගිවිසුමක්
COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් දක්වා ඉහළ නංවමින් ඒකාබද්ධ ගිවිසුමට අද අත්සන් තබා තිබේ. ඒ, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික වතු කම්කරු සංගමය සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතරයි. කෙසේ නමුත් වතු වෘත්තිය සමිති සන්ධානය ගිවිසුමට අත්සන් තබා නැත. අදාළ ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් ලෙස තීරණය කර ඇති අතර වතු කම්කරුවෙකු විසින් අමතරව නෙලන ලද තේ දළු කිලෝග්‍රෑම් 01 ක් සඳහා රුපියල් 50 බැගින් හිමිවනු ඇති. වතු කම්කරුවන් වැඩ කරන දිනයකට රුපියල් 105 ක් බැගින් සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවීය යුතු බවට ද අදාළ ගිවිසුමේ සඳහන් වේ. මේ අතර දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන්නැයි බල කරමින් හැටන් - කොළඹ ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර කරමින් වතු කම්කරුවන් අද දිනයේ ද විරෝධතාවයේ නිරත විය.
2019-01-28T05:25:43.000Z
විමල් වීරවංශ අද CID යට
විමල් වීරවංශ අද CID යට
COLOMBO (News 1st) - ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට ආදළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය. ඒ අනුව උදෑසන 9.30 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 2 හමාරකට ආසන්න කාලයක් සිය ප්‍රකාශය ලබාදීමෙන් පසු දහවල් 12.00 ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
2019-01-28T00:22:00.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින්ට ජනපතිගෙන් සම්මාන
ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙල....
COLOMBO (News 1st) : මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවි හිමියෙන් කැපවූ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරෙන ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙල මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතාගේ ප්‍රධානත්වයෙනි. 2015 ජනවාරි 01 වන දා සිට 2019 ජනවාරි 14 වන දා දක්වා කාල පරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායකවී ඇති නිලධාරීන් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සක්‍රීයව දායකවූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1034 දෙනෙකුට මෙහිදී ජනාධිපතිවරයා, පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමීමට නියමිතයි. කාණ්ඩ 3 ක් යටතේ මෙම ඇගැයීම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමීමට නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. සෙසු පිරිසට ප්‍රශංසා සහතිකපත් පිළිගැන්වෙනු ඇති. සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක් යන්න තේමා කර ගනිමින්, මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජනවාරි 21 වැනිදා සිට 28 වැනිදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප්‍රකාශයට පත්කරමින් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කෙරිණ.
2019-01-27T23:15:49.000Z
ගිනිඅවියක් සමග කුඩාවැල්ලේදී තරුණයෙක් අත්අඩංගුවට
ගිනිඅවියක් සමග කුඩාවැල්ලේදී තරුණයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී එම උණ්ඩ 12 ක් හා මිලිමීටර් 09 උණ්ඩ 5 ක් ද සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2019-01-27T23:07:10.000Z
රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් රිය අනතුරකට ලක්වෙයි
රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් රිය අනතුරකට ලක්වෙයි
COLOMBO (News 1st) : බණ්ඩාරගම, ගම්මන්පිල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් මහතා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අද අලුයම අනතුර සිදුව ඇත්තේ, ඔහු ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනි. අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නෙවන බවට වාර්තා වේ. රංගන කටයුත්තක් සඳහා ගොස් යළි එමින් සිටියදී නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2019-01-27T23:00:40.000Z
හබරණ, ඊරිගේවත්තේ නාඳුනන මළ සිරුරක්
හබරණ, ඊරිගේවත්තේ නාඳුනන මළ සිරුරක්
COLOMBO (News 1st) : හබරණ, ඊරිගේවත්ත ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අවුරුදු 45 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි. ඔහුගේ මළ සිරුර හබරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2019-01-27T21:35:38.000Z
අමෙරිකාවෙන් වෙනිසුවෙලාවට අනතුරු ඇඟවීමක්
අමෙරිකාවෙන් වෙනිසුවෙලාවට අනතුරු ඇඟවීමක්
අමෙරිකාව වෙනිසුවෙලාවට අනතුරු අඟවා තිබේ. අමෙරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් , වෙනිසුවෙලාවට අනතුරු අඟවමින් කියා සිටියේ වෙනිසුවෙලාවේ සිටින අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට හෝ වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට එරෙහි ඕනෑම ආකාරයේ තර්ජනයකට එරෙහිව ප්‍රතිචාර දක්වන බවයි. එවැනි ඕනෑම ආකාරයේ බලපෑමක් , නීතියට එල්ල කල ප්‍රභල පහරක් ලෙස සලකන බවද ජෝන් බෝල්ටන් වැඩිදුරටත් කියා සිටියේ ය. ජෝන් බෝල්ටන් මේ බව කියා සිටියේ අමෙරිකාව සහ ලොව තවත් රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක් ජුවාන් ගුවයිඩෝ වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසුවයි. ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණය දූෂිත බව පවසමින් , වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ , ඉකුත් බදාදා තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා බවට ප්‍රකාශ කිරීමෙන් පසු වෙනිසුවෙලාවේ මෙම දේශපාලන අර්බුදකාරී තත්ත්වය හටගත්තේ ය. කෙසේ වුවත් තමන්ට එරෙහි ජාත්‍යන්තර විරෝධය දිනෙන් දින උත්සන්න වන පසුබිමකදී වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධූරෝ එරට හමුදා ශක්තිය පෙන්වමින් පෙලපාලියක නිරතවුණා . ඒ ,යලි ජනාධිපතිවරණයක් පවත්වන ලෙසට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවත් වෙනිසුවෙලා හමුදාවේ පක්ෂපාතීත්තවය තවමත් තමන් සමග බවත් වෙනිසුවෙලාව විදේශික බලපෑමෙන් මුදාගැනීමට සටන්කිරීමට හමුදාව සුදානම් බවත් පෙන්නුම්කරමිනි. මේ අතර ජුවාන් ගුවයිඩෝ ගේ ආධාරකරුවකු වන කාලෝස් ඇල්ෆ්‍රෙඩෝ ,වෙනිසුවෙලාවේ අමෙරිකානු නියෝජිතයා ලෙස පිලිගන්නා බව ට්‍රම්ප් පරිපාලනය කියා සිටියේ ය. නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ කියා සිටියේ මින් පසු වෙනිසුවෙලාව වෙනුවෙන් සිදුකෙරෙන සියලුම අමෙරිකානු රාජ්‍යතාන්ත්‍ර සබඳතා , කාලෝස් ඇල්ෆ්‍රඩෝ ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙනු ඇති බවයි . වෙනිසුවෙලාව සම්බන්ධයෙන් එක් පාර්ශවයක් තෝරාගැනීමට දැන් ජාත්‍යන්තර ප්‍රජාවට කාලය එලැඹ ඇතැයි ද මයික් පොම්පේයෝ වැඩිදුරටත් සඳහන් කළේ ය.
2019-01-27T21:30:35.000Z
ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ මෙවරත් ජොකොවිච්ට
ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ මෙවරත් ජොකොවිච්ට
COLOMBO (News 1st) : සිය වාර්තාගත සත්වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළටත්, අඛණ්ඩව තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළටත් හිමිකම් කීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත්විය. ඒ මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව හිමිකර ගනිමිනි. මෙල්බර්න් නුවර රොඩ් ලේවර් අරිනා පිටියේදී පැවති මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් සමග ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරග කළේ ය. ජොකොවිච් තරගයේ පළමු වටය ජය ගත්තේ ලකුණු 6 ට 3 ක් ලෙසයි. නැවතත් ක්‍රියාත්මක වූ ජොකොවිච් ලකුණු 6 ට 2 ක් ලෙස තරගයේ දෙවන වටයද ජය ගත්තේ ය. ඔහු තරගයේ තුන්වන වටය ජය ගත්තේ ලකුණූ 6 ට 3 ක් ලෙසයි. ජොකොවිච්, රෆායල් නඩාල්ට එරෙහිව ප්‍රධාන මට්ටමේ තරගාවලියක ලැබූ විශාලතම ජයග්‍රහනය මෙය විම විශේෂත්වයකි. පැය දෙකකුත්, මිනිත්තු 4 කින් තරගය නිමා කළ 31 හැවිරිදි ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ සත්වැනි වතාවටත් දිනාගත් අතර ඊට පෙර මේ කිරුළ 6 වතාවක් දිනා සිටි රෝයි එමර්සන්ගේ සහ රොජර් ෆෙඩරර්ගේ වාර්තාව බිඳ හෙළීමට ද සමත් විය. මීට පෙර විම්බල්ඩන් සහ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතා දිනාගත් ජොකොවිච් මේ ජයගත්තේ සිය අඛණ්ඩ තුන්වැනි ග්‍රැන්ඩ් ස්ලෑම් ශුරතාවයයි. එය ඔහු විසින් දිනා ගන්නා ලද 15 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ ද වන අතර ඒ අනුව අමෙරිකාවේ පීට් සම්ප්‍රාස් දිනා සිටි ග්‍රැන්ඩ් ස්ලෑම් කිරුළු 14 පසුකළ ජොකොවිච් වැඩිම ග්‍රැන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලාන දිනාගත් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට විශේෂත්වයකි. ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන 20ක් ද, නඩාල් ග්‍රැන්ඩ් ස්ලෑම් කුසලාන 17ක් ද දිනාගනිමින් පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවේ.
2019-01-27T20:42:11.000Z
කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට පියවර
කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට පියවර
COLOMBO (News 1st) : කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, ඊට අවශ්‍ය ස්ථාවර නියෝග සකස් කිරිම මේ වන විට සිදුවෙමින් ඇති බවයි. එම කටයුතු කඩිනම් කර ඉතා ඉක්මණින් කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ සියලු කමිටු රැස්වීම් මාධ්‍යට විවෘත කිරීම කෙරෙහි ද, අවධානය මේ වන විට යොමුව ඇති බවයි. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කථානාකවරයාගෙන් ඉල්ලා සිටියේ කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරිමට කටයුතු කරන ලෙසයි. මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු ද මාධ්‍යට විවෘත කිරීමට පියවර ගන්නා බව ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා යළි එම ධුරයට පත් වීමෙන් පසු නිවුස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.
2019-01-27T19:38:46.000Z
පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ග 3ක හිඟයක්
පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ග 3ක හිඟයක්
COLOMBO (News 1st) : මහරගම අපේක්ෂා රෝහලේ පවතින ඖෂධ හිඟය ඉදිරි සති දෙක ඇතුළත යථා තත්ත්වයට පත්කරන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, පිළිකා සඳහා ලබා දෙන ඖෂධ වර්ග තුනක හිඟයක් මේ වන විට වාර්තා වන බවයි. ඉන් ඖෂධ දෙකක් ඉදිරි සතිය තුළ මෙරටට ලැබීමට නියමිත බව ද, ඔහු සඳහන් කළේ ය. අධ්‍යක්ෂවරයා පැවසුවේ, අනෙක් ඖෂධය සති දෙකක් ඇතුළතෙ මෙරටට ලබා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි. ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පැවති ගැටලුවක් හේතුවෙන්, මේ තත්ත්වය නිර්මාණය වී ඇති බව ද වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ ය. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ හිඟ වී ඇති එම ඖෂධ රෝහල මගින් මිලදී ගෙන රෝගීන්ට ලබා දෙන්නැයි, රෝහල් පාලනාධිකාරියට උපදෙස් දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් රෝහල වෙත නිකුත් කර ඇති බවයි. රෝගීන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි ඖෂධ නිකුත් කරන්නැයි ද, අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. පසුගිය සමයේ රට තුළ පැවති දේශපාලන අර්බුදය හමුවේ ඖෂධ ගෙන්වීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු වලට බාධා එල්ල විය. ඒ හේතුවෙන්, මේ වන විට ඇතැම් ඖෂධ වල හිඟ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමාත්‍යාංශය සඳහන් කළේ, රට තුළ හිඟ වී ඇති ඖෂධ කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
2019-01-27T19:29:18.000Z
ශ්‍රීලංකන් ගැන සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද ජනපතිට
ශ්‍රීලංකන් ගැන සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනපතිට
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිත් කිරීමට පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව අද ජනාධිපතිවරයාට භාරදෙන බව එම කමිටු සාමාජික අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව විමර්ශන සිදුකළ බවයි. දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන පාඩුව අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය නිර්දේශ කිහිපයක් එම කමිටු වාර්තාව මගින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව ද අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙම වාර්තාව හරහා ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ගතහැකි විකල්ප තුනක් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
2019-01-27T10:51:00.000Z
අමෙරිකානු යුද නැවක් නැගෙනහිර මුහුදු කලාපයේ
අමෙරිකානු යුද නැවක් නැගෙනහිර මුහුදු කලාපයේ
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට සමීපව යාත්‍රා කරන ඇමරිකානු නාවික හමුදාවේ යූඑස්එස් ජෝන් සී ස්ටෙනිස් යුද නෞකාවට සැපයුම් ලබාදීමේ වැඩ සටහනක් කටුනායක ගුවන් තොටුපොල ආශ්‍රිතව මේ දිනවල ක්‍රියාත්මකවීම පිළිබඳව පුළුල් සංවාදයක් ඇතිවී තිබේ. ලොව අති නවීන යුද තාක්ෂණයෙන් සමන්විත ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. ජෝන් සි ස්ටෙනිස් නෞකාව මේ වනවිට ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ය. එකවර ප්‍රහාරක ගුවන් යානා අනූවකට අධික ප්‍රමාණයක් ගාල් කර තැබිය හැකි, ප්‍රහාරක මිසයිල ඇතුළු යුදෝපකරණ රැසකින් සමන්විත මෙම නෞකාව විශේෂිත පුහුණුව ලැබු ඇමරිකානු නාවික හමුදා සෙබලුන් 6500 ක පමණ බලඝනයකින් ද සමන්විතයි. ලොව ප්‍රමුඛතම යුද යානා ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට යූ.එස්.එස්. ජෝන් සි ස්ටෙනිස් නෞකාව ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ 15 වැනිදා සිට සිංගප්පුරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ජෙබල් අලී වරාය අතර යාත්‍රාකරමින් සිය කටයුතු මෙහෙයවමින් සිටී. නෞකා බලඇණියේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් ජෝ කෙලී මහතා නිකුත් කළ නිවේදනයක දැක්වුනේ ලබන 29 වැනිදා දක්වා මෙම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ලැනීමට කටුනායක ගුවන්තොටුපොළ භාවිත කරන බවයි. බහරේනයේ සිට ගුවන් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රැගෙන එන භාණ්ඩ, පසුව ගුවන් තොටුපලේ සිට ගුවනින් නෞකාව වෙත ප්‍රවාහනය කෙරෙයි. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ නෞකාවටම අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානායි. අදාළ භාණ්ඩ හුවමාරුව අවසානයේ කිසිදු භාණ්ඩයක්, නිලධාරියෙකු හෝ යුද උපාංග කිසිවක් ශ්‍රී ලංකාව තුළ ඉතිරි නොකරන බව ලුතිනන් ජෝ කෙලී මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 25 ක පමණ මුදලක් උපයා ගත හැකි බව ද ඔහුගේ නිවේදනයේ සඳහන් ය. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් සිලොන් ටුඩේ පුවත්පත අද වාර්තාකර තිබුණේ අදාළ පහසුකම් සැපයීම හරහා දැනටමත් ශ්‍රී ලංකාවට මිලියන 31ක මුදලක් ලබා දී ඇති බවයි. ලොව ප්‍රබල යුද උපකරණ සේවා නෞකාවකට ශ්‍රී ලංකාව හරහා මේ ආකාර පහසුකම් සැපයීම පිළිබඳව අප ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අදාළ කටයුත්ත වාණිජමය ගිවිසුමක් යටතේ සිදුකෙරෙන බැවින් ඊට ආරක්ෂක අමාත්‍යංශයේ හෝ විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යටතේ සිදුකෙරෙන වාණිජමය ගණුදෙනුවක් බවත්, මෙවැනි හුවමාරු අවස්ථා ලොව ඕනෑම රටකට ලබා දීමේ ගැටලුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
2019-01-27T08:06:08.000Z
පැහැර ගැනුණු ගාල්ලේ ව්‍යාපාරිකයින් සොයා විමර්ශන...
පැහැර ගැනුණු ගාල්ලේ ව්‍යාපාරිකයින් සොයා විමර්ශන..
COLOMBO (News 1st) : කිසියම් පිරිසක් පැහැරගෙන ගිය බව කියන ගාල්ල බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ‍සොයා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබේ. බූස්ස, රත්නඋදාගම පදිංචි මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ, පසුගිය 23 වනදා යි. පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් ගිහි අවි අතැතිව පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන ගිය බව පවුලේ ඥාතීහු පවසති. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ මංජුල අසේල නමැත්තාගේ නිවසේදීයි. මෙම සිදුවීම සිදුවීමට පෙර රෂීන් චින්තක සිය නිවසේ සිට සිය මිතුරාවූ මංජුල අසේලයේ නිවසට පිටව ගොස් තිබිණ. පැහැරගැනීමට ලක්වූ බව කියන මංජුල අසේල කුකුළු මස් ව්‍යාපාරයක් පවත්වාගෙන යන තිදරු පියෙකි. මීට වසර 12 කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වන ඔහු සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින අයෙකි. පැහැර ගැනීමට ලක්වූ බව කියන රෂීන් චින්තක නමැත්තා එක් දරු පියෙකු වන අතර ඔහු තොග මාළු වෙළඳාමේ නිරතවූ අයෙක් බව පොලීසිය පැවසී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ රත්ගම පොලීසිය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
2019-01-27T07:47:12.000Z
ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මඩකළපුවේදී....
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මඩකළපුවේදී....
COLOMBO (News 1st) : ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මඩකලපුවේදී අද අතිසාර්ථකව පැවැත්විණ. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙනි. අධ්‍යාපන බලධාරීන්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලියාන්ස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් 2018 ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද පෙරවරුවේ පැවැත්වුණේ මඩකලපුව ශිවානන්ද විද්‍යාලයේදී පැවැතිවිණ. එම වැඩසටහන විචිත්‍රාංග කිහිපයකින් ද අලංකාරවත් වු අතර බේස්බෝල්, රග්බි සහ පාපන්දු යන ක්‍රීඩා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හඳුන්වාදෙනු ලැබී ය. මඩකළපුව දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි ප්ලැටිනම් රන් සම්මානය හිමිකර ගනු ලැබුවේ, මඩකලපුව හින්දු විද්‍යාලයේ ක්‍රිශ්නකුමාර් විදුලාශන් විසිනි. ප්ලැටිනම් සම්මාන උළෙල සංවිධානය කෙරෙන්නේ 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහායි. ලබන මාර්තු 29 වන දා රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණයේදී එම උළෙල අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අතර එහිදි ප්‍රධාන සම්මාන 20ක් සහ ඇගයීම් සම්මාන 10ක් පිරිනැමෙයි. 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ අපේක්ෂාවේ ගිනිසිළුව රැගත් චාරිකාව මඩකළපුවෙන් ගමන් ආරම්භ කරමින් අම්පාරට පැමිණියේ කාත්තන්කුඩි සහා කල්මුනේ පසුකරමිනි.
2019-01-27T06:09:38.000Z
ත්‍රිරෝද රථ හිමියන් හා විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්
විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්
COLOMBO (News 1st) : ත්‍රිරෝද රථ හිමියන් හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය සඳහන් කළේ, මේ යටතේ විදෙස්ගත ශ්‍රමිකයින්ට රුපියල් මිලියන 10 ක නිවාස ණයක් ලබාදෙන බවයි. වසර 2 ක සහන කාලයකට යටත්ව වසර 15 කින් ගෙවිය හැකි පරිදි එම සහන ණය මුදල ප්‍රදානය කිරීමට නියමිත වේ. මුදල් අමාත්‍යංශය පවසන්නේ, තමන්ගේම නිවසක් ඉදිකර ගැනීම බොහෝ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ සිහිනයක් වී ඇති බවයි. නව යෝජනා ක්‍රමය යටතේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව සිටින සැලකිය යුතු විදෙස් ඉපැයුම් මෙරට බැංකුවල තැන්පත් කර ඇති ශ්‍රමිකයින්ට මේ සඳහා අයදුම්කළ හැකියි. මේ යටතේ ණය පොළියෙන් 75% ක් රජය විසින් දරනු ඇති. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ත්‍රිරෝද රථ හිමිකරුවන් සඳහා ද මෝටර් රථ භාවිත කරමින් කුලී මෝටර් රථ සේවාවක් ආරම්භ කිරීම සඳහා රුපියල් විසි ලක්ෂයක සහන ණයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි. වයස අවුරුදු 35 ට වැඩි තමන්ගෙම ත්‍රිරෝද රථයක් පදවන පුද්ගලයින්ට මෙම සහනදායි ණය සඳහා අයදුම්කළ හැකි වේ. එම ණය යෝජනා ක්‍රම හඳුන්වාදීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
2019-01-27T04:47:29.000Z
රත්නපුරයට උපරිම උෂ්ණත්වයක්..
රත්නපුරයට උපරිම උෂ්ණත්වයක්..
COLOMBO (News 1st) : ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2-4 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අද උදෑසන 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දහවල් කාලය තුළ උපරිම උෂ්ණත්වය වාර්තා වන්නේ රත්නපුරයෙනි. එය සෙල්සියස් අංශක 35.6 කි. දහවල් කාලය තුළ උපරිම උෂ්ණත්වය කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ද ,බදුල්ල ,කටුගස්තොට ,ත්‍රිකුණාමලය සහ වව්නියාව ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03 කින් ද ඉහළ ගොස් තිබේ. මඩකළපුව, හම්බන්තොට, යාපනය, මහඉලුප්පල්ලම සහ මන්නාරම ප්‍රදේශවල ද දහවල් කාලය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රාත්‍රි කාලය තුළ අවම උෂ්ණත්වය අනුරාධපුරය ,මඩකළපුව, හම්බන්තොට සහ වව්නියාව ප්‍රදේශවල සෙල්සියස් අංශක 03 කින් ඉහළ ගොස් ඇති බවයි. කොලඹ ,ගාල්ල, කටුගස්තොට , මහඉලුප්පල්ලම ,නුවරඑළිය සහ රත්නපුර ප්‍රදේශවලද රාත්‍රි කාලය තුළ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සේලසියස් අංශක 2 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2019-01-27T04:39:18.000Z
වැලි ජාවාරම මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි
වැලි ජාවාරම මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි
COLOMBO (News 1st) : වැලි ජාවාරම මැඩලීමේ මෙහෙයුම් දැඩි කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. නාවික හමුදා ප්‍රකා‍ශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, එම මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ මැරින් බලකායේ නිලධාරීන් අනියුක්ත කිරීමට පියවර ගෙන ඇති බවයි. පසුගිය දා ජනා‍ධිපතිවරගේ ප්‍රධානත්වයෙන් ,පතල් හා භූ විද්‍යා සමික්ෂණ දෙපාර්තමෙන්තු නිළධාරීන් සහ නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, මහවැලි ගඟ ආශ්‍රිතව වැලි ජාවාරම් ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ්‍රිතව වැඩි අවධානයක් යොමු කරන බවයි. මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් 0112 21 22 30 හෝ 0112 21 22 31 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බව නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කළේ ය. මේ අතර වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් අනවසර වැලි ජාවාරම්කරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.
2019-01-26T22:20:24.000Z
බණ්ඩාරගමදී කේරළ ගංජා සමග 3 දෙනෙකු අත්අඩංගුවට
බණ්ඩාරගමදී කේරළ ගංජා සමග 3 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - බණ්ඩාරගම, ගල්තුඩේ පාලම අසළදී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සහ හෙරොයින් ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බව ය. එම ජාවාරමට යොදා ගත් මෝටර් රථය පසුගිය ජනවාරි පළමු වන දා කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සඳහා පැමිණි මෝටර් රථය බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත කළුතර පළාතොට ප්‍රදේශයේදී නිවසක තිබී රිවෝල් වර්ගයේ ගිනිඅවියක්, සජීව පතොරම් 5ක්, ජංගම දුරකතන හා සටහන් පොත් 02 ක් ද සොයා ගත් බව ය. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධකරුවෙකු සමග මොවුන් සමීප සබඳතා පවත්වා ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉන් අයෙක් පසුගිය 15 වන දා පයාගලදී පුද්ගලයෙකුට කඩුවකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි සැකකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර දී තිබේ.
2019-01-26T22:09:55.000Z
හලාවත මුහුදේ ගසා ගෙන යාමෙන් අයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්
හලාවත මුහුදේ ගසා ගෙන යාමෙන් අයෙක් මරුට
COLOMBO (News 1st) - හලාවත මුහුදු වෙරළේ රළ පාගමින් සිටි පිරිසක් අතරින් 3 දෙනෙකු දියේ ගසා ගෙන යාමෙන් එක් අයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඉන් දෙදෙනෙකු බේරා ගෙන හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු මිය ගිය බව ය. අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය හා නාවික හමුදාව එක්ව මෙහෙයුම් කටයුතුවල නිරත වේ. මිය ගොස් ඇත්තේ, 46 හැවිරිදි මාතලේ පදිංචිකරුවෙකි.
2019-01-26T20:14:05.000Z
බ්‍රසීලයේ වේල්ලක් කැඩී යාමෙන් මිය ගිය සංඛ්‍යාව 34 දක්වා ඉහළට
බ්‍රසීලයේ වේල්ලක් කැඩී යාමෙන් 34ක් මරුට
(News 1st) - බ්‍රසීලයේ බර්මර්ඩින්හෝ ප්‍රදේශයේ වේල්ලක් කැඩී යාමෙන් මිය ගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් අතුරුදන් වූ 300කට අධික පිරිසක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය. යපස් ආකරයක් ආසන්නයේ පැවති වේල්ලක් ඊයේ උදෑසන එලෙස කැඩී ගියේ ය.
2019-01-26T20:04:20.000Z
සේනා මර්දනයට නව උගුලක්
සේනා මර්දනයට නව උගුලක්
COLOMBO (News 1st) - සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා යොදා ගන්නා පෙරමෝන උගුල් 20000ක් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, එය මෙරට තුළ පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව ය. මේ අතර ‍යළ කන්න සඳහා නැවත දැනුම් දෙන තුරු බඩ ඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
2019-01-26T19:56:35.000Z
නව බලවේග කට්ටලයක් සහිත උත්තරදේවි කන්කසන්තුරය බලා ගමන් අරඹයි
උත්තරදේවි කන්කසන්තුරය බලා ගමන් අරඹයි
COLOMBO (News 1st) - නව බලවේග කට්ටලය සහිත උත්තරදේවි දුම්රියේ සමාරම්භක චාරිකාව අද උදෑසන කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ගමන් ආරම්භ කෙරේ. ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ නව බලවේග කට්ටලය මැදිරි 6කින් සමන්විත ය. වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවන පන්තියේ මැදිරියක් ද ඊට ඇතුළත් ය. සුඛෝපභෝගී ආසනවලින් සමන්විත එම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ජී.පී.එස්. තාක්‍ෂණය ඔස්සේ සිය ගමනාන්තය පිළිබඳ සියලු විස්තර ලබා ගත හැකි ය. මෙහි ගමන් කළ හැකි මගීන්ගේ සංඛ්‍යාව 724කි. නව දුම්රියේ සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිති.
2019-01-26T19:39:01.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ආබාධිත රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට සහ යැපෙන්නන්ට වයස අවුරුදු 55 දක්වා ගෙවන වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. 2. කේරළ ගංජා කිලෝග්‍රෑම් 110ක් සමග සැකකරුවන් 3 දෙනෙකු ඊයේ වැල්වැටිතුරේදී අත්අඩංගුවට ගෙන තිබේ. 3. නුවර සිට ගම්පොළ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ පස්වරුවේ ගොඩපොළ ප්‍රදේශයේදී ගිනි ගෙන තිබේ. 4. මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී ලබා ගත් අස්ථි කොටස් 06 අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඇති බීටා ඇනලිටික්ස් ආයතනයට පසුගිය සිකුරාදා (25) භාර දුන්නේ ය. 5. පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව ඒ සඳහා පත් කළ විමර්ශන කමිටුව කථානායකවරයාට ලබා දුන් වාර්තාවේ සඳහන් වන බව බී.බී.සි. ලෝක සේවය වාර්තා කරයි. විදෙස් පුවත් 6. අර්ධ වශයෙන් අක්‍රීයව පැවති අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය කිරීම සඳහා අරමුදල් සැපයීමේ ගිවිසුමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40 ක ජයක් හිමි කර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
2019-01-26T11:13:55.000Z
කේරළ ගංජා කිලෝග්‍රෑම් 110ක් සමග 3 දෙනෙකු වැල්වැටිතුරේදී අත්අඩංගුවට
කේරළ ගංජා කිලෝග්‍රෑම් 110ක් සමග 3ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - කේරළ ගංජා කිලෝග්‍රෑම් 110ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අද වැල්වැටිතුරේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබීයදී වෑන් රථයක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. ඒ අතර 19 හැවිරිදි තරුණයෙකු ද වේ. සැකකරුවන් වැල්වැටිතුරේ සහ චුන්නාක්කම් ප්‍රදේශවල පදිංචිකරුවන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර වසරේ ගත වූ කාලය තුළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි. නාවික හමුදාව පැවසුවේ, මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කරමින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ය. උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම පොලීසිය එක්ව ඊයේ කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි. නීතිමය කටයුතු සඳහා සැකකරුවන් සහ භාණ්ඩ මන්නාරම පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.
2019-01-26T10:22:00.000Z
පෞද්ගලික බස් රථයක් ගොඩපොළදී ගිනි ගත් අයුරු...
පෞද්ගලික බස් රථයක් ගොඩපොළදී ගිනි ගත් අයුරු...
COLOMBO (News 1st) - නුවර සිට ගම්පොළ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද පස්වරුවේ ගොඩපොළ ප්‍රදේශයේදී ගිනි ගෙන තිබේ. බස් රථයේ රියැදුරු සහ සහයක පවසන්නේ, මෙම ගින්න කාර්මික දෝෂයක් නිසා සිදු වූ බව ය. බස් රථයට මගීන් නංවා ගන්නා අවස්ථාවේදී මෙම ගින්න හටගෙන ඇති අතර මගීන් ඒ අවස්ථාවේම බසයෙන් බැස තිබෙන අතර කිසිවෙකුටත් ගින්නෙන් හානියක් සිදුව නොමැත. ගින්නෙන් බස් රථයට දැඩි ලෙස හානි සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පේරාදෙණිය පොලීසිය විසින් සිදු කරන බව ය.
2019-01-26T10:13:51.000Z
ළඟදීම Facebook, Instagram සහ WhatsApp සියල්ලටම එකවර පණිවුඩ යැවිය හැකි පහසුකමක්
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප්වල වෙනසක්
(News 1st) - ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප්, ‍‍ෆේස්බුක් භාවිතා කරන සියලු දෙනාට මුහුණ දීමට සිදු වූ පොදු ගැටලුවක් වූයේ මේ සේවාවන් අතරේ පොදුවේ පණිවුඩ යැවීමේ හැකියාවක් නොතිබීමයි. නමුත් දැන් ඊට විසඳුම් ලැබෙන ලකුණු පෙනෙන්නට තිබේ. මින් පෙර වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් පණිවුඩයක් යැවිය හැකි වූයේ එම සමාජ ජාලය තුළ පමණි. නමුත් ඉදිරියේදී එම පණිවුඩයක් ඕනෑම සමාජ ජාලයකට යැවීමේ හැකියාව ලැබෙනු ඇතැයි ෆේස්බූක් නිර්මාතෘ මාක් සකර්බර්ග් නිව්යෝක් ටයිම්ස් පුවත් පතට ප්‍රකාශ කර තිබේ. ලබන වසර ආරම්භය වන විට මෙම සේවාව දියත් කිරීමට හැකි වනු ඇතැයි එම පුවත් පත වාර්තා කර තිබේ.
2019-01-26T09:33:08.000Z
මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් අමෙරිකාවේ බීටා ඇනලිටික්ස් ආයතනයට භාර දෙයි
මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් අමෙරිකාවට
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී ලබා ගත් අස්ථි කොටස් 06 අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඇති බීටා ඇනලිටික්ස් ආයතනයට ඊයේ භාර දුන්නේ ය. ඒ, කාබන් නීර්ණය පරීක්ෂණය සඳහායි. මෙහිදී ලබා ගත් අස්ථි කොටස් කිනම් කාල සීමාවකට අයත් ද යන්න පරීක්ෂණ කිරීමට නියමිත ය. මෙලෙස රැගෙන ගිය අස්ථි කොටස් අතර පාදයේ කළවා කොටසේ අස්ථි හා දත් ද ඇතුළත් ය. කාබන් නීර්ණය පරීක්ෂණයේ වාර්තාව සති තුනකින් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ , අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස් මිරාක් රහීම් ඇතුළු කණ්ඩායම අමෙරිකාවට ගොස් මෙම අස්ථි කොටස් බීටා ඇනලිටික්ස් ආයතනය වෙත භාර දී තිබේ. අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් වන වී. නිරංජන්, රනීතා මයුරන් යන පිරිස ද එම කණ්ඩායමට ඇතුළත් ය.
2019-01-26T07:01:58.000Z
සේනා කළ හානියට වඩා හානියක් වී අලෙවි මණ්ඩලයට සිදු වෙයි
සේනා කළ හානියට වඩා හානියක්, වී අලෙවි මණ්ඩලයට
COLOMBO (News 1st) - අද වන විට රට පුරා කෘෂිකාර්මික බෝග වගාවන්නට සේනා දළඹුවා විශාල හානියක් සිදු කරමින් සිටියි. එම දළඹුවාගෙන් සිදු වූ හානියටත් වඩා හානියක් රටටම බත සපයන වී අලෙවි මණ්ඩලයේ සිදු වී ඇති බව පාර්ලිමේන්තුව රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සේවීමට පත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කොප් කමිටුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් අනාවරණය වී තිබේ. 2014/2015 වර්ෂවල යළ හා මහ කන්නවලදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය නාඩු කිලෝවකට රුපියල් 45 බැගින් ගෙවා තිබිණි. එහෙත් එම වී තොග ලබා ගත් මිලටම අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලයට හැකියාව තිබියදී එම වී කිලෝවක් සත්ත්ව ආහාර සඳහා අලෙවි කර ඇත්තේ රුපියල් 24 බැගිනි. එමගින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 2487.7ක පඩුවක් සිදුව තිබේ. එම අලෙවිය සම්බන්ධව කොප් කමිටුව විසින් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් සහ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගෙන් කරුණු විමසා ඇති අතර එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ, වී ගබඩා හිස් කර ගැනීමේ අරමුණින් මෙම වී තොග අලෙවි කර ඇති බව ය. මේ අතර 2013 වර්ෂයේ වී අලෙවි මණ්ඩලය විසින් සහල් බවට පත් කිරීමට මොල් හිමියන් 32 දෙනෙකු සඳහා ලබා දුන් වී තොගවලින් සහල් බවට පත් කර සතොස වෙත සහල් ලබා දී ඇත්තේ, ඉන් කොටසක් බවට ද කරුණු අනාවරණය කර ගෙන තිබේ. ඊට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පවත්වන අතර අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ. මෙම වාර්තාවට අනුව එකම පුද්ගලයාට අවස්ථාවන් කිහිපයකදී වී තොග නිකුත් කර ඇති බව තහවුරු වේ. මේ අතර මේ වසරේ සිට කොප් කමිටුවේ පරීක්ෂණ සිදු කරන ආකාරය මාධ්‍යයට අනාවරණය කිරීමට කටයුතු කරන බව එහි සාමාජික කැබිනටි නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ය.
2019-01-26T06:16:12.000Z
ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය හෙට වල්සපුගල අන්දර වැව් ඉස්මත්තේදී
ගම්මැද්ද 41 වන ප්‍රාදේශීය මණ්ඩපය හෙට වල්සපුගලදී
COLOMBO (News 1st) - ගම්මැද්ද 41 වන ප්‍රාදේශීය මණ්ඩපය හෙට හම්බන්තොට, වල්සපුගල, අන්දර වැව ආසන්නයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. වල්සපුගල ඇතුළු ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව සිටින වන අලි ගැටලුව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.
2019-01-26T05:09:53.000Z
ආබාධිත රණවිරුන්ට හා මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවීමට පියවර
ආබාධිත රණවිරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප්
COLOMBO (News 1st) - ආබාධිත රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට සහ යැපෙන්නන්ට වයස අවුරුදු 55 දක්වා ගෙවන වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. මෙහෙයුම් රාජකාරී කටයුතුවලදී ත්‍රස්තවාදී ක්‍රියා හේතු කොට ගෙන හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනත් කටයුතු නිසා හෝ ආබාධිත තත්ත්වයට පත්ව සිටින ත්‍රිවිධ හමුදා රණවිරුන්ට මෙලෙස ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවීමට නියමිත ය. ඉදිරි මාස 2ක ඇතුළත ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශය ගෙන ඇති පියවර පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී මේ බව අනාවරණය කෙරිණි. ආබාධිත හා මිය ගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ත්‍රික් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් එම හමුවට කැඳවා තිබිණි. ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 8ක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබූ අතර එම සියලු ගැටලුවලට විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් මේ වන විට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2019-01-26T04:42:29.000Z
රු. ලක්ෂ 14ක හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රු. ලක්ෂ 14ක හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු පොතුහැර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 122ක් සොයා ගත් බව ය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 14කට අධික ය. මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යතුරු පැදියක් සහ රුපියල් 50000ක මුදලක් ද සොයා ගත් බව පොලීසිය පැවසුවේ ය.
2019-01-26T03:11:25.000Z
පාර්ලිමේන්තු ගැටුම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි නිර්දේශ
මන්ත්‍රීවරු 59 කට ක්‍රියාමාර්ග ගන්නැයි නිර්දේශ
COLOMBO (News 1st) - පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ගගත යුතු බව ඒ සඳහා පත්කළ විමර්ශන කමිටුව කථානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වන බව බීබීසි ලෝක සේවය වාර්තා කරයි. නොවැම්බර් මස 14, 15 සහ 16 දිනවල පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කථානායක කරූ ජයසුරිය විසින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ ය. එහි සමාජිකයින් වූයේ රංජිත් මද්දුමබණ්ඩාර, චමල් රාජපක්ෂ,චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වේ. කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ කටයුතුවලට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කළ බව බීබීසී වාර්තාවේ දැක්විය. මෙම කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, අදාළ දින 3 තුළ සිදු වූ සිදුවීම් පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇති කැමරාවලින් සහ සිදුවීම් වීඩියෝගත කළ විද්‍යුත් මාධ්‍යවලින් ලබාගත් සංස්කරණය නොකළ දර්ශන නැරඹීමෙන් අනතුරුවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු (බලතළ හා වරප්‍රසාද) පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර ඇති බවට වාර්තාවෙන් චෝදනා කර තිබේ. වාර්තාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 කගේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගේ නම් එම වාර්තාවේ සඳහන් බව බීබීසී ලෝක සේවය සඳහන් කළේ ය. බීබීසී වාර්තාවේ දැක්වෙන්නේ, මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ ය. චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී ඇති අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාට බව බීබීසී වාර්තාවේ සඳහන් විය. ඒ අනුව කථානායකවරයාගේ මයික්‍රෆෝනය කඩා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සහ ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ටත් කථානායකවරයාට ජලය ගැසීම, කුණු බාල්දියකින් දමා ගැසීම, පොතකින් දමා ගැසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාටත් කමිටුව මගින් චෝදනා එල්ල කර තිබේ. මීට අමතරව කථානායකවරයාට වතුර බෝතලයකින් දමා ගැසීම සමබන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාටත් කථානායකවරයාගේ අසුනට ජලය වත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාටත් පිහියක් වැනි යමක් අත දැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක මහත්වරුන්ටත් මෙම කමිටුව මගින් චෝදනා එල්ල කර අවශ්‍ය නිර්දේශ ලබාදී ඇති බව බීබීසි ය වාර්තා කළේ ය. මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000 ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති බව ද අදාළ කමිටුව කථානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. විමර්ශන කමිටුව පසුගිය අඟහරුවාදා කථානායක කරූ ජයසූරිය වෙත ලබාදුන් එම වාර්තාව ඉදිරි කටයුතු සඳහා එය නීතිපතිවරයාට යොමු කිරීමට නියමිතය.
2019-01-26T02:23:01.000Z
ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්...
ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ඉනිමක පරාජයෙන් බේරිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් රැස් කරගෙන සිටියේ ය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අද දිනයේදී සිය දෙවෙනි ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 139 ක් පමණි. තරගයේ තුන්වන දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකා ප්‍රධාන ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක්වීමට මත්තෙන් නායක දිනේෂ් චන්දිමාල්ව ලකුණු රැස් කරගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට පැට් කමින්ස් සමත් විය. කුසල් මෙන්ඩිස්ට රැස් කර ගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. රොශේන් සිල්වා ලකුණු 3 කට දැවී ගියේ ය. ධනංජය ද සිල්වා ලකුණු 14 කට දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න රැස් කළ ලකුණූ සංඛ්‍යාව 32 ක්. නිරෝෂන් දික්වැල්ල සහා සුරංග ලක්මාල් ලකුණූ 24 බැගින් රැස් කළේ ය. පන්දු යැවීමේදී පැට් කමින්ස් ලකුණු 22 ට කඩුලු 6 ක් දවා ගත් අතර ජායි රිචඩ්සන් කඩුලු 2 ක් දවා ගත්තේ ය. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 144 ක්. ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 323 ක් රැස් කළේ ය.
2019-01-26T02:06:17.000Z
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් වාර්තාව අනිද්දා ජනපතිට
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වාර්තාව අනිද්දා ජනපතිට
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිත් කිරීමට පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපතිතුමාට භාරදෙන බව එම කමිටු සාමාජික අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව විමර්ශන සිදු කළ බවයි. දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන පාඩුව අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය නිර්දේශ කිහිපයක් එම කමිටු වාර්තාව මගින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන බව ද අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
2019-01-26T01:53:31.000Z
මාලි රාජ්‍යයේදී හමුදා සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් හෙළා දකී
මාලි ප්‍රහාරය එක්සත් ජාතින්ගේ මහලේකම් හෙළා දකී
COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුරියරස් මහතා හෙළා දැක තිබේ. එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා හමුදා කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී ජයවික්‍රම සහ ක්‍රෝපල් එස්. එස්. විජයකුමාර යන මහත්වරුන් මිය ගියහ. ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ, ඉන් තව ත් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. අදාළ හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථය, මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක් ව තිබුණි. ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ WMZ සංග්‍රාමික රථයට සහ ඊට පිටුපසින් පැමිණි අනෙකුත් සංග්‍රාමික රථයකට ද හානි සිදු විය. එක්සත් ජාතින්ගේ මහලේකම් ගුටියරස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල් වෙත සහ ශ්‍රී ලංකා රජය වෙත තම කණස්සල්ල පළ කරන බවයි. එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතියට අනුව යුද අපරාධයක් බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රහාරයට වගකිවයුතු අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට පැමිණවීම සඳහා වහාක්‍රියා කරන්නැයි මාලි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය. මේ අතර එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය ද මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මාලි රාජ්‍යයෙන් ඉල්ලා තිබේ. ප්‍රහාරයෙන් මියගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින්ගේ සිරුරු කඩිනමින් දිවයිනට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය.
2019-01-26T00:58:14.000Z
මත්පෙති 15000 ක් සමග තරුණයෙකු සමන්තුරේදී අත්අඩංගුවට
මත්පෙති 15000 ක් සමග තරුණයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්පෙති තොගයක් සමග තරුණයෙකු සමන්තුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී මත්පෙති 15000 ක් සොයාගත් ගත් බවයි. සැකකරු අත්අඩංගුවට ගැණුනේ කොළඹ සිට සමන්තුරේ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක සිටියදීයි. විවිධ රෝග සඳහා ලබාදෙන වේදනා නාශක පෙති තොගයක් මෙලෙස මත්පෙති වශයෙන් අළෙවි කිරීමට සැලසුම් කර ඇති බව පරීක්ෂණවලදී හෙළිවිය. අත්අඩංගුවට ගත් සැකකරු 19 හැවිරිදි සමන්තුරේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සමන්තුරේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.
2019-01-26T00:11:46.000Z
ගලකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
ගලකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - මොරටුව, කොරලවැල්ලේදී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගලකින් පහරදීමකින් මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබු ඇය පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ 48 හැවිරිදි කොරළවැල්ල කාන්තාවකි. ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
2019-01-25T23:25:49.000Z
කොම්පඤ්ඤවීදිය, ශ්‍රී ජිනරතන මාවතේ ගොඩනැගිල්ලක ගින්නක්
කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලක ගින්නක්
COLOMBO (News 1st) - කොම්පඤ්ඤවීදිය, ශ්‍රී ජිනරතන මාවතේ ගොඩනැගිල්ලක මීට ටික වේලාවලට පෙර ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න පාලනය කර ඇති බවයි. ඒ සඳහා ගිනි නිවීම් රථ දෙකක් යොදා ගැණුනු අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තාවී නොමැත.
2019-01-25T21:22:05.000Z
දින 35 කට පසු අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය වෙයි
අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය වෙයි
අර්ධ වශයෙන් අක්‍රීයව පැවති අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය කිරීම සඳහා අරමුදල් සැපයීමේ ගිවිසුමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. ඒ, අමෙරිකානු ආණ්ඩුව බිඳ වැටී දින 35 කට පසුවයි. ඒ අනුව පෙබරවාරී 15 වැනි දා දක්වා ආණ්ඩුව පවත්වාගෙන යාමට අරමුදල් සැපයීමේ ගිවිසුමට ජනාධිපතිවරයා අත්සන් තබා ඇත. ධවල මන්දිරයේ රෝස උද්‍යානයේදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, මෙය අමෙරිකානු ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් බවයි. මේ යටතේ වැටුප් අහිමිව සිටි ෆෙඩරල් සේවකයින් ලක්ෂ 8 කට යළි වැටුප් හිමිවනු ඇති. ලබන 15 වැනි දා දක්වා ආණ්ඩුව පවත්වාගෙන යාමට අරමුදල් සැපයීමේ ගිවිසුමට ජනපති ට්‍රම්ප් අත්සන් තැබුව ද මෙක්සිකෝ දේශසීමාව වටා පවුරක් ඉදිකිරීමේ යෝජනාව මෙතෙක් ඔහු බැහැර කර නොමැත. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසූවේ, ලබන 15 වැනි දා වන විට කොංග්‍රසය ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් නොගතහොත් යළි ආණ්ඩුව අක්‍රීය තත්ත්වයට පත්වනු ඇති බවයි. මෙක්සිකෝ පවුර ඉදිකිරීමට වෙන් කළ යුතු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක්. එම මුදල ලබානොදෙන්නේ නම් නිශේධ බලය භාවිත කර ඊට අවශ්‍ය අරමුදල් සපයා ගන්නා බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
2019-01-25T20:55:02.000Z
වත්තල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලකින් ගින්නක්
වත්තල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලකින් ගින්නක්
COLOMBO (News 1st) - වත්තල, හැදල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලක ගින්නක් හටගෙන තිබේ. කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළේ, අද අලුයම 2 ට පමණ ගින්න හටගෙන ඇති බවයි. ගින්න නිවා දැමීම සඳහා සේවා රථ දෙකක් යොදවා තිබේ. ගින්නට හේතුව මෙතක් වාර්තාවී නොමැත. මේ අතර මාවනැල්ල නගරයේ පිහිටි තාවකාලික වෙළෙඳසැල් කිහිපයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකයේ හා ප්‍රදේශවාසීන් සහාය ඇතිව ගින්න නිවා දැමු බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත.
2019-01-25T20:41:45.000Z
'සේනා' නිසා බඩ ඉරිඟු හෙක්ටයාර් 1000 කට හානී
'සේනා' නිසා බඩ ඉරිඟු හෙක්ටයාර් 1000 කට හානී
COLOMBO (News 1st) - සේනා දළඹුවාගේ බලපෑමෙන් බඩ ඉරිඟු හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රමාණයක අස්වැන්නට හානිවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සේනා මර්දන අංශයේ ප්‍රධානි අනුර විජේතුංග මහතා පැවසුවේ, ඇතැම් දිස්ත්‍රික්කවල වගා හානියට ජලය හිඟය ද බලපා ඇති බවයි. සේනා දළඹු ව්‍යාප්තියෙන් අස්වනුවලට සිදුවූ හානිය පිළිබඳ සමීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
2019-01-25T20:34:32.000Z
තව ත් ලක්ෂ 8 කට සමෘද්ධි සහනාධාරය
තව ත් ලක්ෂ 8 කට සමෘද්ධි සහනාධාරය
COLOMBO (News 1st) - තව ත් පුද්ගලයින් ලක්ෂ අට හමාරකට සමෘද්ධි සහනාධාර ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සමෘද්ධි සහනාධාරය ලබන තව ත් පවුල් ලක්ෂ 5 ක් ආර්ථික අතින් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බවයි.
2019-01-25T20:23:26.000Z
මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවෙන බවයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.