date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-01-14T22:53:36.000Z
ද. අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කීරීම්හි දෙවන ස්ථානයට
ද. අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කීරීම්හි දෙවැනි තැනට
COLOMBO (News 1st) : නවතම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළේ ය. දකුණු අප්‍රිකා - පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමග අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සංශෝධනය වී තිබේ. ඒ අනුව පාකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය සත්කාරක දකුණු අප්‍රිකාව නවතම ශ්‍රේණිගත කීරීම්හි දෙවන ස්ථානය හිමිකර ගෙන සිටී. ඒ ප්‍රසාද ලකුණු 110 ක් හිමිකර ගනිමිනි. මීට පෙර දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටියේ සිව්වන ස්ථානයේයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තය තෙවන ස්ථානයටත්, නවසීලන්තය සිව්වන ස්ථානයටත් පසු බැස තිබේ. එංගලන්තයට ප්‍රසාද ලකුණු 108ක් හිමිකරගෙන ඇති අතර නවසීලන්තයට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 107කි. ශ්‍රේණිගත කිරීම්හි පස් වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව හය වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 91කි. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ලැබූ පරාජය නිසා පාකිස්තානය ශ්‍රේණිගත කීරීම්හි 7 වන ස්ථානය දක්වා පහතට ඇද වැටීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාවට 6වන ස්ථානය හිමිව තිබේ. කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 116 ක් හිමිකරගනිමින් තවමත් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කීරීම්හි පෙරමුණේ, රැඳී සිටින්නේ ඉන්දියාවයි.
2019-01-14T22:27:22.000Z
ලොස් ඇන්ජලීස් ගුරුවරුන් විරෝධතාවල
ලොස් ඇන්ජලීස් ගුරුවරුන් විරෝධතාවල
COLOMBO (News 1st) : වැටුප් වර්ධකයක් ඉල්ලා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ගුරුවරු රැසක් විරෝධතාවල නිරතව සිටිති. ලොස් ඇන්ජලීස් නුවර සැලකෙන්නේ අමෙරිකාවේ දෙවන විශාලතම පාසල් පද්ධතිය සහිත නගරය ලෙසයි . මේ හමුවේ ලොස් ඇන්ජලීස් නුවර විශ්වවිද්‍යාල 900 ක සිසුන් 640 000 කගේ පමණ අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ. එම ගුරුවරුන්ගේ වෘත්තීය සමිති පවසන්නේ 6 .5 %ක වැටුප් වර්ධකයක් අවැසි බවයි. විශ්වවිද්‍යාල වෙත තවත් පුස්තකාලයාධිපතිවරුන්, උපදේශකයින් සහ හෙදියන් බඳවාගන්නා ලෙසත් , විභාග පැවැත්වීම සීමා කරන ලෙසත් , පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව සීමා කරන ලෙසත් ඔවුන්ගේ සෙසු ඉල්ලීම් අතරට අයත් ය . ලොස් ඇන්ජලීස් නුවර ගුරුවරුන් මෙවැනි විරෝධතාවක නිරතවන්නේ 30 වසරකට පසුවයි. සති ගණනක් පුරා පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් පසු තමන් විරෝධතාවක නිරතවීමට තීරණය කළ බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති.
2019-01-14T20:57:09.000Z
ජනපතිගෙන් සහ අගමැතිගෙන් හින්දු ජනතාවට සුබ පැතුම්
ජනපතිගෙන් සහ අගමැතිගෙන් හින්දු ජනතාවට සුබ පැතුම්
COLOMBO (News 1st) : බහුවිධ ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව රැකීම සඳහා තෛ පොංගල් වැනි සංස්කෘතික උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇතැයි, සිය අදහස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තෛ පොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මිනිස් වර්ගයාගේ ජීවනාලිය බදු ගොවිතැනට අවශ්‍ය ජලය, ආලෝකය, උෂ්ණත්වය සහ සුළඟ යන සාධක වලට අධිගෘහිත වු සුර්ය දිව්‍ය රාජයාණන්ට කෘතඥතාව පුදකිරීම සඳහා ලෝකාවාසී දෙමළ ජනයා විසින් සමරනු ලබන මෙම උත්සවයට සුබ පැතුම් එක්කිරිමට ලැබීම සතුටට කරුණක් බවයි. ස්වභාව ධර්මය සහ මිනිස් වර්ගයා අතර වු ශක්තිමත් බැඳීම ඔප්නංවමින්, දෙමළ සංස්කෘතින් සහ කලාවේ සාරගර්භ හරයන් කළඑළි දක්වමින්, තෛපොංගල් උත්සවය සමරන ලක්වාසී දෙමළ ජනතාවට සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවට සිය ශූභාශිංසන පිරිනමන බව ද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර තිබේ. මේ අතර තෛ පොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, තෛ පොංගල් උත්සවයේ සියලු චාරිත්‍ර වාරිත්‍ර මිනිසා සහ සොබාදහම අතර, සහජීවනය අර්ථවත් කරන අතරම මානව සමාජයේ සාමය, සතුට සහ සෞභාග්‍ය අරමුණු කරගනිමින්, ඉටුවන බැවින් එය දෙමළ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියාපාන අවස්ථාවක් බවයි. වාර්ගික, ආගමික අන්තවාදී බලවේග පරදවා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කළ වටපිටාවක මෙවර තෛ පොංගල් උත්සවය සමරන්නට ලැබීම සතුටට කරුණක් බව ද අග්‍රමාත්‍යවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර තිබේ. විවිධ ජනවර්ගවල ආගමික, සංස්කෘතික උරුමයන්ට ගරු කරමින් එක්සත්ව දිවි ගෙවීමේ අගය අවධාරණය කරමින් තෛපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට සිය සුභාශිංසන එක් කරන බවද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පණිවුඩයේ සඳහන් ය.
2019-01-14T20:39:33.000Z
කැලණිතිස්ස වටරවුම දක්වා මාර්ගය තාවකාලිකව වැසේ
කැලණිතිස්ස වටරවුම දක්වා මාර්ගය තාවකාලිකව වැසේ
COLOMBO (News 1st) : නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිත කරන මාර්ගය අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා වසා තබන බව පොලීසිය පවසයි. ඒ , නව කැලණි පාලමේ ඉදිකිරිම් හේතුවෙනි. එම කාලසීමාව තුළදී විකල්ප මාර්ග භාවිත කකරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දී සිටී. අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලුම බර වාහන එම කාල සීමාව තුළ පිටවීම සඳහා ,පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිත කළ යුතු බව ද පොලීසිය පැවසී ය.
2019-01-14T20:11:26.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : දේශීය පුවත් 1. මාධ්‍යට එරෙහි අයට එජාප සම්බන්ධ නැහැ කියයි.. : ඇත්ත කුමක්දැයි රටේ ජනතාවට නම් පැහැදිලියි..! : මාධ්‍ය ආයතනවලට එරෙහි විරෝධතාවලට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැතැයි එම පක්ෂය පවසන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ. 2. අගමැති නිර්දේශයෙන් අත්හිටවූ ගිවිසුමක් නිසා මසකට රුපියල් මිලියන100 ක් ගිල දමන ගුවන් යානය : රටේ ණය බර වැඩි වෙද්දී මාසයකට රුපියල් මිලියන 100 කට අධික මුදලක් වැය කරමින් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා ගුවන් යානයක් මාස ගණනාවක සිට කටුනායක ගුවන් තොටුපොළේ ගාල් කර තිබේ. 3. සේනා දළඹු වසංගතය හෙක්ටයාර් 33,000 ක් වනසයි – කන්න ගණනක් අහිමි වූ ගොවීන් කබලෙන් ළිපට : විවිධ හේතු නිසා කන්න කිහිපයක් වගා කිරීමට නොහැකිව පීඩාවට පත් ව සිටි ගොවීන් දැඩි වෙහෙසක් දරා සිදු කළ වගාවන්ට මේ වනවිට දළඹු වසංගගතයකින් දැඩි හානි සිදුවෙමින් පවති. 4. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය : ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ලෝක බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ. 5.හේකිත්තේ වෙඩි තැබීම, සැකකරුවෙක් පොලිස් දැලේ : වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි. විදෙස් පුවත්... 1. ජනපති ට්‍රම්ප්ගෙන් තුර්කියට අනතුරු ඇඟවීමක් : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියට අනතුරු අඟවා තිබේ. ඒ, සිරියාවෙන් සෙබලුන් ඉවත් කරගන්නා අතරතුර තුර්කිය සිරියානු කුර්දි ජාතිකයන්ට ප්‍රහාර එල්ල කළ හොත් තුර්කි ආර්ථිකය බිඳහෙළන බව පවසමිනි.
2019-01-14T19:56:41.000Z
දමිළ සිරකරුවන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව
දමිළ සිරකරුවන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව
COLOMBO (News 1st) : තෛ පොංගල් දිනය වෙනුවෙන්, දමිළ සිරකරුවන් බැලීමට අද ඥාතීන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, උදෑසන 9සිට පස්වරු 4 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවයි. ඥාතීන් විසින් ගෙන එන ආහාර ලබා ගැනීමට ද, එහිදී දමිළ සිරකරුවන්ට අවස්ථාව හිමිවනු ඇති. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දරුණු ගනයේ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට විශේෂ ආරක්ෂාව යටතේ, ඥාතීන් හමුවීමට අවස්ථාව ලබා දෙන බවයි. සියලු බන්ධනාගාර ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය.
2019-01-14T19:25:39.000Z
ලොවපුරා හින්දු බැතිමත්හු මහත් බැතියෙන් තෛ පොංගල් දිනය සමරති
හින්දු බැතිමත්හු අද තෛපොංගල් දිනය සමරති
COLOMBO (News 1st) : ලොවපුරා හින්දු බැතිමත්හු අද මහත් බැතියෙන් තෛ පොංගල් දිනය සමරති. ඒ කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම අරමුණු කර ගනිමිනි. හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය, තෛ යනුවෙන් හැඳින්වෙන අතර, පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්නයි. ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ. නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම තෛ පොංගල් දිනයේ සිදුවන සුවිශේෂී කාර්යයකි. ස්වභාවධර්මය සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතුරින් මේ උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකියි. වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛ පොංගල් උත්සවයේ මුලික චාරිත්‍ර කිහිපයකි.
2019-01-14T09:07:47.000Z
ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන Platinum සම්මාන උළෙලට අයැදුම්පත් භාරගැනීම ඇරඹෙයි
Platinum සම්මාන උළෙලට අයැදුම්පත් භාර ගැනීම ඇරඹෙයි
COLOMBO (News 1st) - ප්ලැටිනම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි. ප්ලැටිනම් සම්මාන 2018 උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද පස්වරුවේ පැවැත්විණි. ප්ලැටිනම් සම්මාන උළෙල පළමු වරට 2014 වසරේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය පියවර ගත්තේ ය. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල එළඹෙන මාර්තු 29 වැනි දා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත වේ. ඒ, 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා ඇගයීම උදෙසායි. ප්‍රධාන සම්මාන 20 ක්, ඇගයීම් පදක්කම් 10 ක් මෙවර පිරිනැමීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ සේවාව වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි ප්ලැටිනම් සම්මානය මෙවර ද පිරිනැමෙනු ඇති. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සඳහා ස්පෝට්ස්ෆස්ට් සමග අත්වැල් බැඳගන්නේ ලෝ ප්‍රකට අලියාන්ස් සමාගමයි. ප්ලැටිනම් සම්මාන 2018 උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද පැවැත් වූයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී ය.
2019-01-14T08:53:58.000Z
මාධ්‍යට එරෙහි අයට එජාප සම්බන්ධ නැහැ කියයි.. ඇත්ත කුමක්දැයි රටේ ජනතාවට නම් පැහැදිලියි..!
මාධ්‍යට එරෙහි අයට එජාප සම්බන්ධ නැහැ කියයි...
COLOMBO (News 1st) - මාධ්‍ය ආයතනවලට එරෙහි විරෝධතාවලට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැතැයි එම පක්ෂය පවසන බව ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කර තිබේ. ඩේලි මිරර් වාර්තාවේ සඳහන් වූයේ, අදාළ විරෝධතා සංවිධානය කර තිබුනේ සමාජ ක්‍රියාකාරීන් විසින් යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ බවයි. ඔක්තෝබර් 26 වෙනි දායින් පසු ඇති වූ තත්ත්වය හේතුවෙන් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා එම විරෝධතා ක්‍රියාත්මක වූ බව එක්සත් ජාතික පක්ෂය එම නිවේදනයේ සඳහන් කර තිබුණි. මේ අතර සති අන්තදී අයිලන්ඩ් පුවත්පත ද ඊයේ වාර්තා කළේ, මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට ඉකුත් බ්‍රහස්පතින්දා පැවති විරෝධතාවලට එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවයි. එහෙත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ මෙම ප්‍රකාශය ඔබට මතක ද? (2018-12-21) අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මං හිතන්නෙ අපේ විජිතමුණි සොයිසා මන්ත්‍රීතුමා හරි වාසනාවන්තයෙක් මොකද හැම මාධ්‍යයටම නඩු දැම්මම කොච්චර හම්බෙයිද මිලියන සීයක් එකතු කරයිද. ඕගොල්ලො එක්කෙනෙක්ගෙන් මිලියන 10 ගත්තත් කොහොමද. ඉතිං තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒකයි කියන්නෙ කළු මාධ්‍යයි කියලා. අද මම හිතන්නේ අපි යෝජනා‍ කරලා තියෙන කළු මාධ්‍ය ගැන ජනවාරි මාසයේ අපි හොඳ විවාදයක් මෙහි තියලා නම් කරන්න ඕන, ඔක්කොමලා නම් කරලා උඩ ඉදන් පල්ලෙහාට ඉකුත් බ්‍රහස්පතින්දා මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණ NGO ඩොලර් කාක්කන් ද පැවසුවේ කළු මාධ්‍ය හෙළා දැකිය යුතු බවයි. තමන් සම්බන්ධ නැතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදන නිකුත් කළ ද ඇත්ත කුමක්දැයි රටේ ජනතාවට නම් පැහැදිලියි. NGO ඩොලර් කාක්කන් දැන් සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ අපහාස කරමින් සිටි. මඩ ප්‍රචාර ගෙනයන මේ NGO ඩොලර් කාක්කන්ට එරෙහිව රටේ නීතිය ඉදිරියට යාමට අප දෙවරක් නොසිතන බව ද සිහිපත් කරන්නෙමු. සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට
2019-01-14T08:36:04.000Z
අගමැති නිර්දේශයෙන් අත්හිටවූ ගිවිසුමක් නිසා මසකට රුපියල් මිලියන100 ක් ගිල දමන ගුවන් යානය
මසකට රුපියල් මිලියන 100 ක් ගිල දමන ගුවන් යානය
COLOMBO (News 1st) - රටේ ණය බර වැඩි වෙද්දී මාසයකට රුපියල් මිලියන 100 කට අධික මුදලක් වැය කරමින් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා ගුවන් යානයක් මාස ගණනාවක සිට කටුනායක ගුවන් තොටුපොළේ ගාල් කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති පැවසූවේ, සමාගමට නවීණ ගුවන් යානා මිලදී ගැනීමේදී අනුගමනය කළ වැරදි තීරණ හේතුවෙන් මෙම පාඩුව විදීමට සිදු ව ඇති බවයි. ශ්‍රීලංකන් ගුවන් සමාගමට ඒ 350 - 900 වර්ගයේ ගුවන් යානා හතරක් මිලදී ගැනීමටත් තව ත් යානා තුනක් කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහාත් 2013 වසරේදී එයාර් කැප් නමැති සමාගම සමග එකඟතාවකට එළඹිය. එම යානා නිෂ්පාදනය කිරීමට ඇණවුම් ලබාදී තිබූ අතරවාරයේ ආණ්ඩු වෙනස සිදු වූ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගනුදෙනුවට අදාළ ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කළේ ය. අමෙරිකානු ඩොලර් මිලියන 98 ක වන්දි මුදලකට යටත්ව එයාර් කැප් සමාගම සමග ඇණවුම් අවලංගු කිරීමේ ගිවිසුමට එළැඹුනේ තව ත් කොන්දේසි කිහිපයකට යටත්වයි. එවක ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ සුරේන් රත්වත්තේ මහතා ඇතිකරගත් මෙම එකඟතාවට අනුව ඒ 330 - 200 වර්ගයේ යානයක් ලබාගත යුතු විය. අතිවිශාල මුදලක් වන්දි ලෙස ගෙවා දමා තව ත් රුපියල් මිලියන 100 බැගින් මාසයකට නිකරුණේ වැය කරන මේ ගිවිසුමට එළැඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති ආකාරය ද පුදුම සහගතයි. 2016 ඔක්තෝබර් 3 වන දා අගමැති උපදේශක චරිත රත්වත්තේ මහතා සමාගමේ සභාපතිවරයාට යැවූ බව කියන මේ ඊමේල් පණිඩිඩයේ දැක්වෙන්නේ, අගමැතිවරයා මෙම ගනුදෙනුව ක්‍රියාත්මක කරන ලෙස සභාපතිවරයාට උපදෙස් දෙන්නැයි තමන්ට නිර්දේශ කළ බවයි. රටට විශාල පාඩුවක් අත්කරදුන් මෙම ගනුදෙනුව අගමැතිවරයාගේ නිර්දේශ මත සිදුකළ බව ඔහුගේම උපදේශක චරිත රත්වත්තේ මහතා යැවූ ඊමේල් පණිවිඩයෙන් අනාවරණය වේ. මේ අයුරින්ම මහ බැංකු බැඳුම්කර වංචාවට මුල් වූ 2015 පෙබරවාරි මාසයේ සිදු වූ ගනුදෙනුවේදී එතෙක් පැවති ක්‍රමය වෙනුවට වෙන්දේසි ක්‍රමයට බැඳුම්කර නිකුත් කරන්නැයි අගමැතිවරයා උපදෙස්දී තිබූ බව අනාවරණය විණි. හිත මිතුරන් තනතුරුවලට පත්කර ගනිමින් ක්‍රමවේදයන් වෙනස් කර සිදුකළ මෙවැනි ගනුදෙනු නිසා අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ ජනතාව නොවේ ද?
2019-01-14T08:11:40.000Z
සේනා දළඹු වසංගතය හෙක්ටයාර් 33,000 ක් වනසයි - කන්න ගණනක් අහිමි වූ ගොවීන් කබලෙන් ලිපට
සේනා දළඹු වසංගතය හෙක්ටයාර් 33,000 ක් වනසයි
COLOMBO (News 1st) - විවිධ හේතු නිසා කන්න කිහිපයක් වගා කිරීමට නොහැකිව පීඩාවට පත් ව සිටි ගොවීන් දැඩි වෙහෙසක් දරා සිදු කළ වගාවන්ට මේ වනවිට දළඹු වසංගගතයකින් දැඩි හානි සිදුවෙමින් පවති. බෝග වර්ග 100 අධික ප්‍රමාණයකට දැනටමත් මේ සේනා දළඹුවා ලෙස හඳුන්වන මෙම දළඹු වසංගතය ව්‍යප්තවී අවසන් ය. 2018 වසරේ ඔක්තෝබර් මාසයේ මුල්වරට මෙම දළඹු වි‍ශේෂය වාර්තා වුනේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. බඩඉරිඟු වගාව ආශ්‍රිතව මෙම දළඹු විශේෂය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අයුරු ඉකුත් මාස කිහිපයක තුළ දක්නට ලැබුණි. මෙම දළඹුවන්ගෙන් හානි වූ වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 33,000 කට අධිකයි. ගොවීන් පත් ව ඇති මෙම ඉරණම නිව්ස්ෆස්ට් ගත වූ සති කිහිපයේ අවස්ථා ගණනාවකදීම අනාවරණය කළේ ය. තවමත් විසඳුමක් නැති දළඹු වසංගතය නිසා ගොවීන් පත් ව ඇත්තේ දැඩි අසීරු තත්ත්වයකටයි. පී. හැරිසන් කෘෂිකර්ම ඇමතිතුමණි මේ ඔබගේ අවධානයට...!
2019-01-14T07:12:39.000Z
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) - ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ලෝක බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවයි. මේ අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීම පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. ඒ, ජනාධිපති කාර්යාලයේදී යි. වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසි ජනතාවටත් අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වා ගෙන යෑමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මග පෙන්වීම මත ථෙරවාදි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය පසුගිය 05 වැනි දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
2019-01-14T06:59:39.000Z
මෑත කාලීන විශාලතම ණය වාරිකය අද ගෙවා දැමේ
මෑත කාලීන විශාලතම ණය වාරිකය අද ගෙවා දැමේ
COLOMBO (News 1st) - මෑත කාලීනව රජය ගෙවිය යුතු විශාලතම ණය වාරිකය අද ගෙවා දැමීමට සිදුවිය. 2014 ආණ්ඩුව ලබාගත් ස්වෛරීත්ව යුරෝ බැඳුම්කරයක් සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් අද ආපසු ගෙවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේ ය. මේ වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක ණය වාරික ගෙවීමට සිදු ව ඇති අතර ඒ අතරින් එකවර ගෙවිය යුතු වූ විශාලතම ණය වාරිකය මෙයයි. රොයිටර් පුවත් සේවයට අනුව මෙම මුදලින් ඩොලර් බිලියන 2.6 ක් මේ වසරේ මුදල් මාස 3 ඇතුළත ආපසු ගෙවීමට සිදු වේ. අද ගෙවිය යුතුව තිබූ අමෙරිකානු ඩොලර් බිලියනය රාජ්‍ය බැංකු 3 හරහා ලබා ගැනීමට උත්සාහ කළත් සම්පූර්ණ මුදල ලබා ගැනීම සාර්ථකවී නැතැයි මහබැංකුව හා මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය. මේ අනුව විදෙස් සංචිතවලින් එම ඉතිරි මුදල් ප්‍රමාණය ලබාගෙන ණය වාරිකය ගෙවා ඇතැයි රොයිටර් වාර්තාවේ සඳහන් විය. සම්පූර්ණ ණය වාරිකය විදේශීය සංචිතවලින් ගෙවා දැමීමට සැළසුම්කර තිබුනත් දින 52 ක කාලයේ ඇති වූ තත්ත්වය නිසා විදේශීය ආයෝජකයින් විශාල වශයෙන් සංචිත ඉවත් කරගැනීම නිසා එම ඉලක්කයට ළගා කර ගැනීමට නොහැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවක් සඳහා මේ වනවිට වොෂින්ටන් නුවරට ගොස් සිටි. හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුනේ, වොෂින්ටන් නුවර පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය සමග සාකච්ඡාව සැලසුම්කළ වේලාවට නොපැවැත්වෙන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ අවසන් කොටස ලබාගැනීම සඳහා මෙහිදී සාකච්ඡා කරන බව මුදල් අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කර තිබුණි.
2019-01-14T06:30:13.000Z
දිවයින හරහා සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට
දිවයින හරහා සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට
COLOMBO (News 1st) - දිවයින හරහා සහ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය හෙට රාත්‍රියේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල හා හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල මිලිමීටර් 75 පමණ තද වැසි ඇතිවිය හැකියි. හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එවිට එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකියි. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශ සහ හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් ලබා දෙයි.
2019-01-14T06:04:41.000Z
කැස්බෑවන් මස් කෙරූ මව හා දියණියට වසර 2 ක සිරදඬුවම්
කැස්බෑවන් මස් කෙරූ මව හා දියණිය වසර 2 ක් රිමාන්ඩ්
COLOMBO (News 1st) - ආණවිලුන්දාව - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේදී කැස්බෑ මස් සහ බිත්තර සමග අත්අඩංගුවට ගත් මව සහ දියණියට වසර 2 ක සිරදඬුවම් ලබාදී තිබේ. ඒ, අද සැකකාරියන් හලාවත මහේස්ත්‍රාත් දිසාවිනිසුරු රකිත අබේසිංහ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, රුපියල් 5000 බැගින් දඩ මුදල් ගෙවන ලෙසයි. දඩ මුදල් ගෙවීමට සැකකාරියන් අපොහොසත් වන්නේ නම් මාස 06 ක් දක්වා සිරදඬුවම් දීර්ඝ කිරීමට ද රකිත අබේසිංහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. කැස්බෑ මස් කිලෝග්‍රෑම් 25 ක් සහ බිත්තර 211 ක් සමග ඔවුන් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
2019-01-14T05:39:23.000Z
කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට වසා දැමේ
කැලණි පාලමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා වසා දැමේ
COLOMBO (News 1st) - නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිතා කරන මාර්ගය හෙට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා වසා තබන බව පොලීසිය පවසයි. ඒ, නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙනි. එම කාලසීමාව තුළදී විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලුම බර වාහන එම කාලසීමාව තුළ පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කළ යුතු බව ද පොලීසිය පැවසුවේ ය.
2019-01-14T03:25:05.000Z
හේකිත්තේ වෙඩි තැබීම : සැකකරුවෙක් පොලිස් දැලේ
හේකිත්තේ වෙඩි තැබීම : සැකකරුවෙක් පොලිස් දැලේ
COLOMBO (News 1st) : වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබූ වාහනය ද සිය භාරයට ගත් බවයි. වත්තල හෙකිත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පොලීසිය පැවසුවේ, මෝටර් රථයක යමින් සිටි පිරිසකට තවත් මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් මියගියේ, 28 හා 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් 4ක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන සිදුකරන බවයි. දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත පාතාල කණ්ඩායම් දෙකක් අතර, පවතින ගැටුමක් මත සිදුව ඇති බවයි.
2019-01-14T02:33:47.000Z
සේනා පාලනයට දින 14ක්...
සේනා පාලනයට දින 14ක්...
COLOMBO (News 1st) : පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යළි දින 14 ක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන 16 වන දා සිට 31 වන දා තෙක් එම කාල සීමාව නම් කර ඇති බවයි. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අධීකාරිය ඇතුළු ආයතන මට්ටමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද, ඔහු පැවසී ය. මේ අතර බඩ ඉරිඟු වගාව ආශ්‍රීතව පැතිර යන සේනා දළඹු මර්දනය සඳහා පෙරමෝන් භාවිත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
2019-01-14T02:25:52.000Z
ළඟ ම පාසලේ ඉඩ ඉල්ලා වීරකැටියේ මව්පියෝ වීථි බසිති
ළඟ ම පාසලේ ඉඩ ඉල්ලා වීරකැටියේ මව්පියෝ වීථි බසිති
COLOMBO (News 1st) : තංගල්ල, වීරකැටිය ප්‍රධාන මාර්ගය වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටින් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිරත වූහ. ඒ විද්‍යාලට ආසන්න ප්‍රදේශවල දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කර නොගෙන ඇති බව පවසමිනි. වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යලයට ඒ ආසන්නයේ පදිංචිකරුවන්ගේ දරුවන් කිහිපදෙනෙකු මෙවර පළ ශ්‍රේණියට ඇතුළත් කර ගෙන නොමැති බව විරෝධතාකරුවෝ පවසති. මේ විරෝධතාව හේතුවෙන් තංගල්ල් වීර කැටිය ප්‍රධාන මාර්ගය වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටන් සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බව අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළහ. මේ හේතුවෙන් ගමනාගමනයට එල්ල වී බාධාව පාලනය කිරීම සඳහා විකල්ප මාර්ග ඔස්සෙ රථ වාහන ධාවනය කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු පැමිණ මෙ ගැටලුවට විසඳුම් දෙන තෙක් විරෝධතාවයේ නිරත වන බවයි විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ. https://www.youtube.com/watch?v=-M8CQkzHz-U
2019-01-14T00:58:00.000Z
මුහුදු කූඩැල්ලන් කිලෝ 302ක් නාවික හමුදා භාරයට
මුහුදු කූඩැල්ලන් කිලෝ 302ක් නාවික හමුදා භාරයට
COLOMBO (News 1st) : මන්නාරම ප්‍රදේශයේදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදී නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. ඒ, නාවික හමුදාව අද පෙරවරුවේ මන්නාරම මුහුදු තීළ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදීයි. නාවික හමුදාව පැවසුවේ, මෙම මුහුදු කූඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රාවේ මලු 12 ක සඟවා තිබියදී සොයා ගත් අතර ඒවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි.
2019-01-14T00:34:19.000Z
හිටපු ඇමති විමල්ට එරෙහි නඩුව කල්යයි
හිටපු ඇමති විමල්ට එරෙහි නඩුව කල්යයි
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව අල්ලස් හො දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවර ඇති නඩුව ලබන මාර්තු 27 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙටිටිආරච්චි මහතා අද නියොග කළේ ය. විත්තකිරුට එරහිව පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කොට ඇති ඔහුගේ බැංකු ගිණුම් වාර්තා උත්පාදන කල පරිගණක පද්ධතියට ප්‍රවේශ වීමට විත්තකරුගේ නියොජිතයින්ට සහ විත්තිකරුගේ නීතිඥරුන්ට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ද විනිසුරුවරයා එහිදි එක්කතර පෞද්ගලික බැංකුවකට නියොග කළේ ය. ඇමතිවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හො දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබේ.
2019-01-13T22:03:30.000Z
දියේ ගිලීම්වලින් විදේශිකයින් ඇතුළු 5 දෙනෙකුට දිවි අහිමි‍වෙයි
දියේ ගිලීම්වලින් 5 දෙනෙකුට ජීවිත අහිමි‍වෙයි
COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළදී දියේ ගිලීම්වලින් විදේශීකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ. පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලීමෙන් තුඩුව බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ අතර පමුණුගම දැලතුර ඇළේ තිබී ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනිණ. වෙන්නප්පුව වේලක්කන්නි පල්ලිය අසල මුහුදේ දිය නාමින් සිටියදී 28 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ මාතර මඩිහේ මුහුදු තීරයේදී රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටි 36 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු ද ඊයේ මියගිය බවයි. ඊයේ දහවල් නාවලපිටිය ප්‍රදේශයේදී මහවැලි ගඟේ මිතුරන් පිරිසක් සමග දිය නාමින් සිටි 18 හැවිරිදි සිසුවෙකු දියේ ගිලීමෙන් මියගිය අතර ඔහු හල්ගොල්ල හපුගස්තලාවේ පදිංචිකරුවෙකි.
2019-01-13T21:57:54.000Z
කටාර් පාපන්දු කණ්ඩායම සුපිරි 16යේ වටයට
කටාර් පාපන්දු කණ්ඩායම සුපිරි 16යේ වටයට
COLOMBO (News 1st) : කටාර් කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. කටාර් කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී ඊ කාණ්ඩයෙන් තරග කරයි. කටාර් සහ උතුරු කොරියාව අතර තරගය ඊයේ පැවැත්වුණේ, අල් අයින්හි කලීෆා ක්‍රීඩාංගණයේදීයි. තරගයේ 9 වැනි මිනිත්තුවේදී කටාර් කණ්ඩායම ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය. අල්මොඑස් අලී එම ගෝලය වාර්තා කළේ ය. නැවතත් ක්‍රියාත්මක වු ඔහු සිය දෙවැනි ගෝලය වාර්තා කළේ, ඉන් මිනිත්තු 2කට පසුවයි. ඉන් අනතුරුව දෙපිළෙලෙන්ම තියුණු තරගයක් දක්නට ලැබිණ, කෙසේ නමුත් කටාර් කණ්ඩායම සිය තුන්වැනි ගෝලය ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළේ තරගයේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තුවකට පෙරදීයි. ඒ අනුව ගෝල 3ට 0ක් ලෙස කටාර් කණ්ඩායම පළමු අර්ධයෙ පෙරමුණ ගත්තේ ය. දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පසුව කටාර් කණ්ඩායම තම සිව්වැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය. එම කණ්ඩායම වෙනුවෙන් පස්වැනි ගෝලය රැස් කළේ 60 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අල්මොඑස් අලී ය. දෙවැනි අර්ධයේදීද උතුරු කොරියාවට කිසිදු ගෝලක් වාර්තා කිරීමට නොහැකි වූ අතර කටාර් කණ්ඩායම තම 6 වැනි ගෝලය වාර්තා කළේ තරගයේ 68 වැනි මිනිත්තුවේදීයි. මෙම තරගයෙදී අල්මොඑස් අලී ගෝල 4ක් වාර්තා කළේ ය. ඒ සමග එක් වසරක් තුළ ආසියානු කණ්ඩායමක ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ගෝල සංඛ්‍යාව සදහා වන වාර්තාව සම කිරීමට අලී සමත් වුණා. ඒ අනුව කටාර් කණ්ඩායම තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ගෝල 6ට 0ක් ලෙස තරගය ජය ගනිමිනි.
2019-01-13T21:23:47.000Z
ජනපති ට්‍රම්ප්ගෙන් තුර්කියට අනතුරු ඇඟවීමක්
ජනපති ට්‍රම්ප්ගෙන් තුර්කියට අනතුරු ඇඟවීමක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියට අනතුරු අඟවා තිබේ. ඒ, සිරියාවෙන් සෙබලුන් ඉවත් කරගන්නා අතරතුර තුර්කිය සිරියානු කුර්දි ජාතිකයන්ට ප්‍රහාර එල්ල කළ හොත් තුර්කි ආර්ථිකය බිඳහෙළන බව පවසමිනි. ජනාදිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අමෙරිකාවට රටකට එරෙහිව පැනවිය හැකි ආර්ථිකමය පීඩනය පිළිබඳ තුර්කිය දැනුවත් විය යුතු බවයි. සිය සෙබළුන් සිරියාවෙන් ඉවත් කරගැනීම , සිරියානු කුර්දි ජාතිකයන්ට එරෙහි හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් බව තුර්කිය සිතීම වළක්වමින් , අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම කළේ ය.
2019-01-13T20:10:44.000Z
පොලිස්පතිට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්
පොලිස්පතිට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්
COLOMBO (News 1st) : පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ආරියනන්ද වැලිඅංග මහතා සඳහන් කළේ, කටහඬ සාම්පලයක් ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයා එලෙස කැඳවා ඇති බවයි. අද උදෑසන 9.30ත් 10.00 ත් අතර කාලසීමාවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි, ඔහුට දැනුම් දී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ප්‍රථම අවස්ථාව මෙය බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි අධ්‍යක්ෂ ජනරාල් ආරියනන් ද වැලිඅංග මහතා පැවසුවේ, ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල ලබා ගැනීමට අධිකරණය පසුගිය දා ලබා දුන් අවසරය අනුව අද මෙම කැඳවීම කර ඇති බවයි. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මෙම චෝදනාවට අදාළ රක්ෂිත බන්ධනගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. https://www.youtube.com/watch?v=TKgbwUfKz9o
2019-01-13T20:04:10.000Z
මාස 10ක් තුළ අලි මරණ 311ක්
මාස 10ක් තුළ අලි මරණ 311ක්
COLOMBO (News 1st) : අලි - මිනිස් ගැටුම හේතුවෙන් පසුගිය වසරේ පළමු මාස 10 තුළ වන අලි 311 කු මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කාල සීමාව තුළ පමණක් වන අලි පහර දීමෙන් පුද්ගල ජීවිත 95ක් ද මෙරටට අහිමි වී ඇති බවයි. පසුගිය වසරේ වාර්තා වූ වනඅලි මරණවලින් වැඩි ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් මත සිදුව ඇති බව අනාවරණය වී තිබේ. වාර්තා වූ වන අලි මරණවලින් 48ක් වෙඩි තැබීමෙන් සිදුව ඇතැයි, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. විදුලි රැහැන් ඇදීමෙන්, මියගොස් ඇති වන අලි සංඛ්‍යාව 37කි. දුම්රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේ මෙරටට අහිමි වී ඇති වන අලි සංඛ්‍යාව 16ක් බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වෙනත් අනතුරුවලට භාජනය වීමෙන් වන අලින් 29 දෙනෙකු මිය ගොස් ඇති අතර විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති වන අලි සංඛ්‍යාව 55කි. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පැවසුවේ, ඳුනා නොගත් හේතු මත වන අලි 30 දෙනෙකු පසුගිය වසරේ මියගොස් ඇති බවට හෙළි වන බවයි. මේ අතර,‍ 2013 වසරේ සිට 2018 ඔක්තෝබර් දක්වා වාර්තා වූ වන අලි මරණ සංඛ්‍යාව 1445කි. 2017 සමීක්ෂණ වාර්තා අනුව එම වසරේ වන අලි 256 දෙනෙක් විවිධ හේතු නිසා මිය ගොස් තිබේ.
2019-01-13T19:55:31.000Z
හේකිත්තේ වෙඩික්කරුවන් සෙවීමට පොලිස් කණ්ඩායම් 4ක්..
හේකිත්තේ වෙඩික්කරුවන් සෙවීමට පොලිස් කණ්ඩායම් 4ක්..
COLOMBO (News 1st) : වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් 4ක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන සිදුකරන බවයි. දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක් මත සිදුව ඇති බවයි. වත්තල හෙකිත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන්, පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පොලීසිය පැවසුවේ, මෝටර් රථයක යමින් සිටි පිරිසකට තවත් මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් මියගියේ, 28 හා 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. මියගොස් ඇත්තේ, කොටහේන ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. කැලණිය ගුම්මා, නමැති කල්ලියේ සාමාජිකයින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන බව පොලීසිය පැවසී ය. https://www.youtube.com/watch?v=o0ftOnMmrLE
2019-01-13T19:39:24.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : දේශීය පුවත් 1. මාධ්‍ය ඉදිරිපිට රැඟුම් රඟන NGO ඩොලර් කාක්කන්ගේ යටගියාව : මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට ඉකුත් බ්‍රහස්පතින්දා සමාජ ක්‍රියාකාරි කණ්ඩායම් විරෝධතාවල නියැලීමට එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් නොමැති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. 2. මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් : වත්මන් ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය අතර කිසිදු එකඟතාවක් නොමැති බවට දෙපාර්ශවයම අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේ ය. 3. ජනපතිවරණයට සූදානම් බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක් : මෙම වසරේ ජනාධිපතිවරණයකට තමා සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. 4. වත්තල, හේකිත්තේදී දෙදෙනෙක් මරා දමා වෙඩික්කරුවෝ පළා යති : වත්තල, හෙකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 5. වෛද්‍ය සංගමයට ජනපතිගෙන් පොරොන්දුවක්...! : ගත වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදු වූවාවැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 6. ගෑස් හා කිරිපිටි මිල ගණන් ඉහළ නගින ලකුණු : ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. විදෙස් පුවත්... 1. ට්‍රම්ප්ට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රබල අභියෝගයක් : පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්කරන බව ඩිමොක්‍රටික් පක්ෂය පවසයි.
2019-01-13T11:01:59.000Z
මාධ්‍ය ඉදිරිපිට රැඟුම් රඟන NGO ඩොලර් කාක්කන්ගේ යටගියාව
NGO ඩොලර් කාක්කන්ගේ යටගියාව
COLOMBO (News 1st) : මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට ඉකුත් බ්‍රහස්පතින්දා සමාජ ක්‍රියාකාරි කණ්ඩායම් විරෝධතාවල නියැලීමට එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් නොමැති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අදාළ නිවේදනය උපුටා දක්වමින් දි අයිලන්ඩ් පුවත් පත අද වාර්තා කළේ, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරිමට හා ප්‍රවර්ධන කිරීමට එම පක්ෂය කැපවන බව නිවේදනයේ සඳහන් බවයි. අදාළ මාධ්‍ය ආයතන විසින් ප්‍රශ්නගත සාමකාමී හා ශිෂ්ඨ සම්පන්න විරෝධතාවලට සහභාගිවූවන් රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් හා කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීම කණගාටුවට කරුණක් බව ද, එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත. විරෝධතාවල නිරත වූ කණ්ඩායම් විසින් භාරදුන් සංදේශ භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් තම අධිපතිවාදී ස්වරූපය පිළිබිඹු කළ කළු මාධ්‍ය හෙළා දකින බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් බව දි අයිලන්ඩ් වාර්තාවේ දැක්වේ. මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට තර්ජන එල්ල වූ අවස්ථාවලදී, මාධ්‍ය නිදහස් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනී සිටියේ කෙසේ ද යන්න නැවත සිහිපත් කළ යුතු බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කර ඇති අදාළ නිවේදනයේ සඳහන් බව දි අයිලන්ඩ් වාර්තාවේ දැක්වේ. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බවට නිවේදන නිකුත් කරන එක්සත් ජාතික පක්ෂ නායකත්වය පසුගිය 21 වන දා පාර්ලිමේන්තුවේදි හැසිරීමෙන් එය පෙන්වූයේ මෙලෙසින්. "මං හිතන්නෙ අපේ විජිතමුණි සොයිසා මන්ත්‍රීතුමා හරි වාසනාවන්තයෙක් මොකද හැම මාධ්‍යයටම නඩු දැම්මම කොච්චර හම්බෙයිද මිලියන සීයක් එකතු කරයිද.ඕගොල්ලො එක්කෙනෙක්ගෙන් මිලියන 10 ගත්තත් කොහොමද.ඉතිං තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒකයි කියන්නෙ කලු මාධ්‍යයි කියලා.අද, මම හිතන්නේ අපි යෝජනා‍ කරලා තියෙන කළු මාධ්‍ය ගැන ජනවාරි මාසයේ අපි හොද විවාදයක් මෙහි තියලා නම් කරන්න ඕන, ඔක්කොමලා නම් කරලා, උඩ ඉදන් පල්ලෙහාට" පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය ආයතන ඉදිරිපිට මෙලෙස හැසිරුණු එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධයක් නැතැයි පක්ෂය නිවේදන නිකුත් කළද, සැබෑව ඊට වෙනස් බව තතු දත් සියල්ල දන්නා බව කරුණකි. මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස් දීමට පැමිණි මේ කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇතිකරන්නැයි ඉල්ලා විවිධ ස්ථානවල මේ අයුරින්ම විරෝධතා පැවැත්වූවන් ය. පසුගිය නොවැම්බර් 28 වන දා මහ වැස්සේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධය දැක්වූයේ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ලෙස හඳුන්වාගත් කණ්ඩායමයි. අනතුරුව නොවැම්බර් 29 වැනිදා දිදුලන හදවත යැයි කියු පිරිසක් වෙස් මුහුණු පැළැඳ නැවත ජනාධිපති කාර්යාලය ඉදිපිට විරෝධතාවක නිරත විය. පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධය පල කළ බොහෝ දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වූ සත්‍යග්‍රහයේ ද දැකගත හැකිවිය. වික්‍රමසිංහ මහතා නැවත පත් කළ වහාම ඔවුන් එම සත්‍යග්‍රහය අත්හැරියේ ය. එන්.ජී.ඕ.ඩොලර් කාක්කන් මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණියේ කළු මාධ්‍ය යැයි කියමින් කිහිප දෙනෙකුම මාධ්‍යයට අනතුරු ඇඟවීම් කර ඇති පසුබිමකයි. මේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් බැදුම්කර වංවාච සිදුකර වංචනිකයින් රටින් පැන යද්දී සැඟව සිටියේ කොහේද.? රට දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ තිබියදී, අධිවේගී මාර්ග සදහා අධික පොලියට වාණිජ ණය ලබා ගනිද්දී මේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් සැඟව සිටියේ කොහේ ද.? නිසි ක්‍රමවේදයෙන් බැහැරව ටයිසේ වැනි ආයතනයවලට මේ කොන්ත්‍රාත් ලබා දෙද්දී, මේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් වීදි නොබැස්සේ ඇයි.? මේ චෝදනා එල්ල වන්නේ සමස්ත එක්සත් ජාතික පක්ෂයට නොවේ. පක්ෂ නියෝජ්‍ය නායකත්වය ඇතුළු රටට හිතැති බොහෝ දෙනා නායකත්වයේ මෙහෙයවීමෙන් එන්.ජී.ඕ.ඩොලර් කාක්කන් සිදුකරන මේ ක්‍රියාවන් හොලා දැක තිබේ. එවන් පසුබිමකදි අයිලන්ඩ් පුවත්පත අද කරුණු සහිතව පෙන්වා දී තිබුණේ මාධ්‍යයට එරෙහි ප්‍රහාර එක්සත් ජාතික පක්ෂය නැවත නව ස්වරූපයකින් ආරම්භ කර ඇති බවයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ ඉදිරිපත් වූ විශ්වාසභංගය ඔහු ජයගත් මොහොතේ ඔහුගේ ආධාරකරුවන් එම්.ටී.වී./ එම්.බී.සී. ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට කළහාකාරිව හැසිරුණු ආකාරයටද පුවත්පත් වාර්තාවේ සිහිපත් කර තිබේ. ද අයිලන්ඩ් මාධ්‍යවේදියා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ සිදුවීම පෙර සිදුවීමට වඩා බරපතළ සිදුවීමක් සේ සැලකිය යුතු බවයි. ඒ, එය සංවිධානාත්මකව සිදුකර ක්‍රියාවක් බව මනාව ප්‍රකට වීම හේතුවෙනි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වූ මැතිවරණය වැළැක්වීම සඳහා ද විදේශ රටවලින් මුදල් ගෙන කටයුතු කළේ මේ පුද්ගලයන්ම බව අයිලන්ඩ් මාධ්‍යවේදියා සිහිපත් කර තිබේ. ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරන්නේ, බටහිර රටවල මුදල් ලබාගෙන මාධ්‍ය ආයතන ඉදිරිපිට මෙලෙස සිදු කෙරෙන උද්ඝෝෂණ පිළිබඳව අප තේරුම් ගත යුත්තේ කුමක් ද යන්නයි. https://www.youtube.com/watch?v=f4pFnM8ZqzU
2019-01-13T09:22:14.000Z
ජනපතිවරණයට සූදානම් බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
ජනපතිවරණයට සූදානම් බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
COLOMBO (News 1st) : මෙම වසරේ ජනාධිපතිවරණයකට තමා සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරණයට ජනතාව සූදානම් නම් තමා ද ඒ සඳහා සූදානම් බවයි. "අද තවමත් මං හිතන්නේ සියයට 60කට ආසන්න ප්‍රමාණයක් අපි දුප්පත් කියන සමාජයේ ඉන්නවා. නමුත් අපි සමාජයක් හැටියට ඇයි අපි ඒ සමාජයේ වඩාත්ම ප්‍රශ්ණය වෙලා තියෙන දුප්පත්කම ගැන කතා කරන්නේ නැත්තේ. අපි ආසියාව බැලුවොත් ආසියාවේ දියුණු වුණ හැම රටකම හැම නායකයකුම රට ගැන ජාතිකත්වය ගැන ජනතාව අතරට ගෙනිහින් තමයි. මං හිත්නේ වඩාත්ම වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණය තේරුම් අරගෙන වෘත්තිකයින් හැටියට අපි ජනතාවගේ ප්‍රශ්න ඒ විදිහට හදුනාගේන රට තුළ තිබෙන ප්‍රශ්න හඳුනාගේ ඒවට අපි ජනතාව තුළ දැනුවත් කිරිමේන් තමයි මම හිතන්නේ අපිට බලාපොරොත්තු වෙන තැනට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වසර මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වසරක්. මේ අවුරුද්දේ අපි දන්නවා. ජනාධිපතිවරණයක් තියන්නට ඕනි. මමනමි එකට ලැස්තියි. ඔබත් ලැස්තිනමි" ඒ, හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ, ඊයේ කොළඹදී පැවති නව වසරේ වියත්මග වාර්ෂික සුහද හමුව අමතමිනි. https://www.youtube.com/watch?v=yRHNqpji9SA
2019-01-13T07:57:42.000Z
"ජනපතිවරණයට පෙර පළාත් සභා ඡන්දයට සූදානම් වන්න" - ජනපති
"ජනපතිවරණයට පෙර පළාත් සභා ඡන්දයට සූදානම් වන්න"
COLOMBO (News 1st): ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයට සූදනම් වන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ. ඒ, ජනාධිපති කාර්යාලයේ පැවති ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුවයි.
2019-01-13T09:58:39.000Z
මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
COLOMBO (News 1st) : වත්මන් ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය අතර කිසිදු එකඟතාවක් නොමැති බවට දෙපාර්ශවයම අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේ ය. නමුත්, එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර එකඟතාවක් පවතින බවට මේ වනවිට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයෝ ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පැමිණි අවස්ථාවේදී සිය සන්ධානය හා අග්‍රාමාත්‍යවරයා අතර බොහෝ සාකච්ඡා සිදු වූ බවයි. පෙරේදා පර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත සහ උතුරු සංවර්ධනය අග්‍රාමාත්‍යවරයා යටතට පත් කිරීම එම සාකච්ඡාවල ප්‍ර‍ථිඵල බව සුමන්තිරන් මහතා පෙනවා දෙයි. "අමැතිට එරෙහි විශ්වාසභංගය ආපු වෙලාවේ අපි සහය දීපු එක ගැන විවේචන තියනවා.ඒත් ඒ වෙලාවේ අපි ගොඩක් දේවල් සාකච්ඡා කලා.ඊයේ පාර්ලිමේන්තුවට ආව කෙටුම්පතත් ඒකේ ප්‍රථිඵලයක්.අපේ ප්‍රදේශ සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දෙන්න ඕනේ කියලා අපි කිව්වා. අගමැති යටතට උතුරු නැගෙනහිර සංවර්ධය දීලා තියන හේතුව තමයි ඔහුගේ නායකත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ ද නියෝජිතයින් සහභාගී වෙලා ඉක්මනින් මේ සංවර්ධන කටයුතු කිරීම.ඒ සමහර එකඟතාවයන්ට අපි ඇවිල්ලා තියනවා" මේ අතර ඉලංගෙයි තමිල් අරුසු කච්චි නායක මාවේ සේනාධිරාජා මහතා ද ඊයේ ප්‍රකාශ කළේ, දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කර කැබිනට් තීරණ ගැනීමේ යාන්ත්‍ර‍නයක් නිර්මාණය කර ඇති බවයි. "කැබිනට් එක තීරණයක් ගන්නවනම් දෙමළ ජාතික සන්ධානයත් එක්ක කතා කලාට පස්සේ තමයි ඒක ගන්න ඕනේ කියන දේ යාන්ත්‍ර‍ණයක් විදිහට ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියනවා. ඒ යාන්ත්‍ර‍‍ණය දැනටත් ක්‍රියාත්මකයි.අපිත් එක්ක කතා කරලා තමයි ආණ්ඩුව වැඩ කරන්න ඕනේ.ඒකට කණ්ඩායමකුත් පත් කරලයි තියෙන්නේ" මේ අතර ඊයේ සවස යාපනයේ පැවති තවත් උත්සවයකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ, රට බෙදී යාමට ද ඉඩ කඩ ඇති බවයි. "සිංහල ජනතාවගේ හදවත් දිනා ගත යුතුයි. ඒකට අවස්ථාවක් උදා වෙයිද කියලා ප්‍රශ්නයක් නැගුණා. සැකයක් තියෙනවා. ඔවුන්ගේ ඒවා අපි අත්පත් කරගන්න යන්නේ නැහැ. අපිට අයිති දේවල් ඔබලා රඳවාගන්න එපා කියලයි අපි ඉල්ලන්නේ. එච්චරයි. රට බෙදෙයි කියලා ඔවුන් තුළ විශාල බියක් තියෙනවා. ඒකට හේතුව මම දන්නේ නැහැ. බෙදෙන්නත් පුළුවන්.මේ වගේ වාර්තාවක් එන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් කිව්වේ. නමුත් දැන් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව තුළම ඒකට අවස්ථාවත් තියෙනවා. අද ආණ්ඩුව තීරණය කරන බලවේගය වෙලා තියෙන්නේ අපි"
2019-01-13T07:17:47.000Z
මහවැලි ගං දියට බිලිවූ නාවලපිටිය සිසුවාගේ Tution ගමන
මහවැලි ගං දියට බිලිවූ සිසුවාගේ Tution ගමන
COLOMBO (News 1st) : මහවැලි ගඟේ නාවලපිටිය ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබේ. අද දහවල් එලෙස මියගොස් ඇත්තේ, හල්ගොල්ල හපුගස්තලාවේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙකි. නාවලපිටිය නගරයේ උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් නිවසෙන් පැමිණ ඇති අදාළ සිසුවා තවත් සිසුන් දෙදෙනෙකු සමග මහවැලි ගඟේ දිය නෑමට ගොස් තිබේ. එහිදී සිසුන් තිදෙනා දියේ ගිලී ඇති අතර මහවැලි ගඟ අසල පෞද්ගලික ඉඩමක ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටි සේවකයන් පිරිසක් ඔවුන් ගොඩට ගෙන රෝහල්ගත කර ඇති අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රෝහල්ගත කළ සිසුවෙකු නාවලපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අනෙක් සිසුවා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.
2019-01-13T05:31:54.000Z
වත්තල, හේකිත්තේදී දෙදෙනෙක් මරා දමා වෙඩික්කරුවෝ පළා යති
හේකිත්තේදී දෙදෙනෙක් මරා දමා වෙඩික්කරුවෝ පළායති
COLOMBO (News 1st) : වත්තල, හෙකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මෝටර් රථයක යමින් සිටි පිරිසකට තවත් මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, 28 හා 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තරුණියක් ද එම මෝටර් රථයේ සිට ඇති අතර ඇයට අනතුරක් සිදුව නැතැයි, පොලිසිය සඳහන් කළේ ය. මියගොස් ඇත්තේ, කොටහේන ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේ ය. කැලණිය ගුම්මා, නමැති කල්ලියේ සාමාජිකයින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැක පළ කරයි. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි මෝටර් රථය මීගමුව දෙසට පලාගොස් තිබේ. https://www.youtube.com/watch?v=o0ftOnMmrLE
2019-01-13T05:11:24.000Z
අනතුරට පත් ඉන්දීය ධීවරයින් සොයා නාවික හමුදා මෙහෙයුමක්
ඉන්දීය ධීවරයින් සොයා නාවික හමුදා මෙහෙයුමක්
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී අනතුරට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. නාවික හමුදාව පැවසුවේ, මේ වන විට ඉන්දීය ජාතික ධීවරයින් 8 දෙනෙකු මුදා ගෙන ඇති අතර තවදුරටත් නාවික හමුදාව මගින් ප්‍රදේශයේ සෝදිසි කටයුතු සිදුකරමින් සිටින බවයි. මුදා ගත් ධීවරයන් මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කළේ ය. ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝණය කරමින් ඉන්දියනු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටිනු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරීක්‍ෂණය කර තිබේ. නාවික හමුදාව පැවසුවේ, එහිදි ධීවර යාත්‍රා 2ක් සහ ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවයි. මෙහිදී සෙසු ධීවර යාත්‍රා නැවතත් ඉන්දියානු මුහුදු සීමාව දෙසට පලා ගොස් ඇති අතර ඒ අවස්ථාවේ මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් ඉන්දීය ධීවර යාත්‍රා 2ක් එකිනෙක ගැටීමෙන් ‍මෙම අනතුර සිදු වී ඇතැයි, නාවික හමුදාව පවසයි.
2019-01-13T03:57:50.000Z
රජයේ සියලු ම දමිළ මාධ්‍ය පාසල් හෙට වැසේ
රජයේ සියලු ම දමිළ මාධ්‍ය පාසල් හෙට වැසේ
COLOMBO (News 1st) රජයේ සියලුම දමිළ මාධ්‍ය පාසල් හෙට දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, අනිද්දාට යෙදී ඇති තෛපොංගල් උත්සවය වෙනුවෙන් එලෙස පාසල් වසා තැබෙනු ඇති බවයි. තෛයිපොංගල් උත්සවය අනිද්දාට යෙදී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, හෙට දිනය වෙනුවට වෙනත් අමතර දිනයකදී පාසල් පැවැත්වෙන බවයි.
2019-01-13T02:57:57.000Z
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදේ ගිය 15 දෙනෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදේ ගිය 15 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුව ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ දවස පුරා සිදු කරන ලද පරීක්ෂා කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 20 - 30 වයස් ඛාණ්ඩවල පසුවන කොළඹ, ගාල්ල හා මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
2019-01-13T02:33:54.000Z
කැස්බෑවන් මස් කෙරූ කාන්තාවන් දෙදෙනා මාට්ටු
කැස්බෑවන් මස් කෙරූ කාන්තාවන් දෙදෙනා මාට්ටු
COLOMBO (News 1st) - ආනවිලුන්දාව - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේදී මස් සඳහා කැස්බෑවන් මරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරියන් සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 25 ක් සහ බිත්තර 211 ක් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය. සැකකාරියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ආනවිලුන්දාව වනජීවී කාර්යාලය වෙත භාරදීමට නියමිත වේ. පසුගිය 10 වන දා ද වංකාලේයිපාඩු ප්‍රදේශයේදී නාවික හමුදාව කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 185 ක් සමග පුද්ගලයෙකු සිය භාරයට ගනු ලැබුවේ ය.
2019-01-13T02:17:44.000Z
ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට
ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට
COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, මන්නාරම මුහුදේදී අද අලුයම ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු සමග යාත්‍රාවක් සිය භාරයට ගත් බවයි. යාපනය ඩෙල්ෆ් දුපත ආසන්නයේදී ද ඊයේ පස්වරුවේ ධීවරයින් 09 දෙනෙකු සමග තව ත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
2019-01-13T01:24:41.000Z
සයිබර් ආරක්ෂණයට නීති මාලාවක්
සයිබර් ආරක්ෂණයට නීති මාලාවක්
COLOMBO (News 1st) - සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් නව නීති මාලාවක් මෙරටට හඳුන්වාදීමට පියවර ගන්නා බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි. අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා සඳහන් කළේ, ‍සයිබර් අපරාධවල‍ට එරෙහිව ක්‍රියාත්මකවීම සඳහා නීති ප්‍රතිපාදන මෙරට තුළ නොමැති බවය.
2019-01-13T00:39:06.000Z
මධුරි ඩික්සිත් සහ සංජේ දත් යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති
මධුරි සහ සංජේ දත් යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පීන් යුවළක් වන මධුරි ඩික්සිත් සහ සංජේ දත් යළි රිදී තිරයේ පෙම්වතුන්වීමට සූදානම් වේ. ඒ, අභිෂේක් වර්මන්ගේ කාලන්ක් සිනමා පටයෙනි. මධුරි ඩික්සිත් සහ සංජේ දත්ට අමතරව සොනක්ෂි සිංහා, ආලියා බාත්, වරුන් ධවාන්, ආදිත්‍ය රෝයි කපූර් යන රංගන ශිල්පීන් ඊට රංගන දායකත්වය ලබාදෙනු ඇති. කාලන්ක් සිනමා පටය ලබන අප්‍රේල් මස 19 වැනි දා සිට ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇත.
2019-01-13T00:08:05.000Z
ජාතික වනෝද්‍යාන නැරඹීමට දැන් E ප්‍රවේශ පත්‍ර
ජාතික වනෝද්‍යාන නැරඹීමට දැන් E ප්‍රවේශ පත්‍ර
COLOMBO (News 1st) - මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා හෙට සිට E ප්‍රවේශ පත්‍ර හඳුන්වාදී තිබේ. එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය සඳහායි. මෙරට පාරිසරික සංචාරක කර්මාන්තයේ තව ත් පියවරක් සනිටුහන් කෙරෙන මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී අනෙක් ජාතික උද්‍යාන සඳහා ද හඳුන්වා දෙනු ඇති.
2019-01-12T23:32:11.000Z
පොතුවිල් සිට මඩකලපුව තෙක් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට: ධීවරයින්ටත් අවවාදයක්
නැගෙනහිර පළාතේ ධීවර ජනතාවට අවවාදයක්..!
COLOMBO (News 1st) - පොතුවිල් සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 ක් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි. තද වැසි සහ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පස්වරු 6.00 දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බවයි. මේ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට උපදෙස් ලබා දෙයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
2019-01-12T23:08:23.000Z
ට්‍රම්ප්ට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රබල අභියෝගයක්...!
ට්‍රම්ප්ට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රබල අභියෝගයක් !
COLOMBO (News 1st) - 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්කරන බව ඩිමොක්‍රටික් පක්ෂය පවසයි. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ජුලියන් කැස්ත්‍රෝ මේ බව සඳහන් කළේ, සිය මැතිවරණ ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරමිනි. එහිදී අදහස් දක්වමින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා තුල්සි ගාබර්ඩ් සඳහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තම පක්ෂය සූදානම් බවයි. ජුලියන් කැස්ත්‍රෝ මෙවර අමෙරිකානු ජනපතිවරණ සටනට ඉදිරිපත් වන එකම ලතින් ජාතිකයා වන අතර තුල්සි ගාබර්ඩ් අමෙරිකානු ජනපතිවරණ සටන නියෝජනය කරන ප්‍රථම හින්දු ජාතිකයා වේ.
2019-01-12T20:59:46.000Z
"ප්‍රමිතියෙන් තොර පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පියවරක් ගෙන නැහැ" - වෘත්තිය සමිතිවලින් චෝදනා
ප්‍රමිතියෙන් තොර පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් පියවර
COLOMBO (News 1st) - මෙරට පාසල් ආශ්‍රිතව ඇති ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් පියවරක් ගෙන නොමැති බවට වෘත්තිය සමිති චෝදනා කරති. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, මීට පෙරද අමාත්‍යංශය අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූ බවයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අදාළ කාරණය සම්බන්යෙන් ගොඩනැගිලි අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ජා කරන බවයි. මීට අමතරව ප්‍රමිතියෙන් තොර පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් සොයා බලන ලෙස සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. පසුගිය දා අනුරාධපුර පලාගල ප්‍රදේශයේ පාසලක ඉදිකරමින් තිබු ගොඩනැගිල්ලක තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසට වැටීමෙන් 16 හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට පත් විය.
2019-01-12T20:28:30.000Z
වෛද්‍ය සංගමයට ජනපතිගෙන් පොරොන්දුවක්...!
වෛද්‍ය සංගමයට ජනපතිගෙන් පොරොන්දුවක්...!
COLOMBO (News 1st) - ගත වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදු වූවාවැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ රාත්‍රි ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනපති හමුව පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදී ය.
2019-01-12T20:11:47.000Z
අගමැති රනිල්ට හිමි තනතුර ගැන රංජිත් සොයිසා කියයි...
"නැවත රනිල් විපක්ෂ නායක පුටුවට ගේනවාමයි.."
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම නියෝජිත සම්මේලනය ඊයේ පස්වරුවේ පැවැත්විය. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ටී.ඒන්.ඒ ජේ.වී.පි ඡන්ද නැත්නම් මේ ආණ්ඩුව අනාතයි. ඒකිනෙකාට ගරු කරන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. සමාජයේ ජනතාව ශක්තිමත් කරන ආණ්ඩුවක් අපි පිහිටුවනවා. පුළුල් බලවේගයක් එක්කහු කරනවා. මේ ආණ්ඩුව ජනතාව රවට්ටමින් ඉදිරියට යන්නේ. රනිල් මංගලා බොරු කියනවා. දවස් 51 දැන් බොරු කියනවා. රත්තරං අශ්වයෝ හොනවා. බිලියන 18 ඒනකම් මං බලන් ඉන්නවා. මෙගේ ඩොලර් බිලියන 18 අරගෙන රට පාලනය කරන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උන්ට ඒකත් බැහැ. මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා, අපි භය නැතිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ අපි. අපි ඒ වගකීමෙන් බැහැර වෙන්නේ නැහැ. අපි පොදුජන පෙරමුණ හැදුවේ රනිල් ශ්‍රී.ලං.නි.ප. දීගය නිසා. ජනපති ගැන අපි ඒදා කිව්ව ඒවා අදටත් වලංගුයි. විපක්ෂයේ අපිට ඉන්න බැහැ. විපක්ෂ පුටුව අයිති රනිල්ට. ඒක අපි ළඟදීම දෙනවා.
2019-01-12T19:55:49.000Z
පළාත් 4 ක ශ්‍රී.ල.නි.ප සංවිධායකවරුන් අද කොළඹට
පළාත් 4 ක ශ්‍රී.ල.නි.ප සංවිධායකවරුන් අද කොළඹට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වේ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 4.00 ට ජනාධිපති කර්යාලයේදීයි. නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මේ සඳහා පළාත් 4 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙත කැඳවීම් කර ඇති බවයි. ඒ අනුව දකුණ, උතුරු මැද , ඌව සහ මධ්‍යම යන පළාත්වල ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ආරාධනා කර ඇති බව මහලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවළ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි. මේ අතර වයඹ සබරගමුව හා බස්නාහිර පළාත් නියෝජනය කරන නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පැවැත්විය.
2019-01-12T19:39:29.000Z
ගෑස් හා කිරිපිටි මිල ගණන් ඉහළ නගින ලකුණු...
ගෑස් හා කිරිපිටි මිල ගණන් ඉහළ නගින ලකුණු...
COLOMBO (News 1st) - ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම් ෆවුසර් මහතා සඳහන් කළේ, ගෑස් සමාගම් දෙකක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති බවයි. ඒ අනුව ඔවුන් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 - 400 ත් අතර අගයකින් ඉහළ නැංවීමට ඉල්ලිම් කර ඇති බව ඔහු පැවසුවේ ය. මේ අතර කිරිපිටි සමාගම් කිහිපයක් මිල ඉහළ නංවන්නැයි කළ ඉල්ලම් ද මේ වනවිට මිල පාලන කමිටුවේ අධීක්ෂණයට යොමු කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. ඔවුන් ඉල්ලිම් ඉදිරිපත් කර ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 - 175 ත් අතර අගයකින් ඉහළ නංවන ලෙසයි.
2019-01-12T19:28:59.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මෙම මොහොතේ රටේ අවශ්‍යතාව නව ව්‍යවස්ථාවක් නොව, මැතිවරණයක් – ආණමඩුවේ ධම්මදස්සි හිමි: මෙම මොහොතේ රටේ අවශ්‍යතාව නව ව්‍යවස්ථාවක් නොව, මැතිවරණයක් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ පවසයි. 2. ගිනිදැල්වලින් සිය පවුල බේරා ගත් මහනුවර රාමරාජ් නිව්ස්ෆස්ට් ප්‍රධාන කාර්යාලයට...: පසුගිය 8 වන දා මහනුවර, යටිනුවර විදීයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් දිවි බේරා ගත් රාමරාජ් ඇතුළු පවුල නිව්ස්ෆස්ට් ප්‍රධාන කාර්යාලයට අද පැමිණියේ ය. 3. මොවුන් සැබවින්ම ජනතා ක්‍රියාකාරිකයින් ද? නැත්නම් බළල් අත් ද?: ජනතා ක්‍රියාකාරී සංවිධාන නමින් පෙනී සිටින විවිධාකාර වූ පාර්ශවයන් විශාල පිරිසක් හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇති ආකාරයත්, ඒවා විශේෂයෙන් කොළඹ නගරය අවට ක්‍රියාත්මකව ඇති ආකාරයත් මේ දිනවල දැකිය හැකි ය. 4. මේ වසර නිමවීමට පෙර තව ත් අධිවේගී මාර්ග 3ක් ජනතා අයිතියට: මේ වසර අවසන් වන විට මෙරට අධිවේගී මාර්ග පද්ධතියට තව ත් කිලෝමීටර් 145ක් එක්වීමට නියමිත ය. 5. බටකැත්තරදී ජීප් රථයක් වාහන 4 ක ගැටෙයි: පිළියන්දල, මඩපාත මාර්ගයේ බටකැත්තර ප්‍රදේශයේදී ජීප් රථයක් තව ත් වාහන 4 ක ගැටීමෙන් අනතුරක් සිදුවිය. විදෙස් පුවත් 6. මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය: මැසනියාවේ නම උතුරු මැසඩෝනියා ජනරජය ලෙස වෙනස් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලැබී තිබේ.
2019-01-12T11:00:18.000Z
මෙම මොහොතේ රටේ අවශ්‍යතාව නව ව්‍යවස්ථාවක් නොව, මැතිවරණයක් - ආනමඩුවේ ධම්මදස්සි හිමි
"රටට අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොව, මැතිවරණයක්"
COLOMBO (News 1st) - මෙම මොහොතේ රටේ අවශ්‍යතාව නව ව්‍යවස්ථාවක් නොව, මැතිවරණයක් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ පවසයි. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේදී ය.
2019-01-12T10:05:19.000Z
ගිනිදැල්වලින් සිය පවුල බේරා ගත් මහනුවර රාමරාජ් නිව්ස්ෆස්ට් ප්‍රධාන කාර්යාලයට...
ගිනිදැල්වලින් සිය පවුල බේරා ගත් මහනුවර රාමරාජ්...
COLOMBO (News 1st) - පසුගිය 8 වන දා මහනුවර, යටිනුවර විදීයේ සිව් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් දිවි බේරා ගත් රාමරාජ් ඇතුළු පවුල නිව්ස්ෆස්ට් ප්‍රධාන කාර්යාලයට අද පැමිණියේ ය. එස්.රාමරාජ්, සිය දරුවන් තිදෙනාත් බිරිඳත් නිව්ස්ෆස්ට් ප්‍රධාන කාර්යාලයට පැමිණි මොහොතේ නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලය ඔවුන් ආදරයෙන් පිළිගත්තේ ය. ඔවුන් සමග සුහදත්වය බෙදා හදාගත් නිව්ස්ෆස්ට් කණ්ඩායම හා කැපිටල් මහරාජා සංවිධානය මේ පුංචි මල් කැකුළුවල අනාගතය වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට ද අමතක නොකළේ ය.
2019-01-12T09:47:35.000Z
මොවුන් සැබවින්ම ජනතා ක්‍රියාකාරිකයින් ද? නැත්නම් බළල් අත් ද?
මොවුන් සැබවින්ම ජනතා ක්‍රියාකාරිකයින් ද?
COLOMBO (News 1st) - ජනතා ක්‍රියාකාරී සංවිධාන නමින් පෙනී සිටින විවිධාකාර වූ පාර්ශවයන් විශාල පිරිසක් හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇති ආකාරයත්, ඒවා විශේෂයෙන් කොළඹ නගරය අවට ක්‍රියාත්මකව ඇති ආකාරයත් මේ දිනවල දැක ගත හැකි ය. යහපත් චේතනාවෙන් බිහි වුණ, කටයුතු කරන, රජයේ ලියාපදිංචි වුණ සැබවින්ම ජනතා හිතවාදී සංවිධාන පවතී. නමුත් ඇතැම් සංවිධාන පසුපසින් සිටින්නේ කවුරුන් ද යන්න ජනතාව විමසයි. පසුගිය දේශපාලන අර්බුදය සමයේ රනිල් වික්‍රමසිංහට ආවඩන්නට පෙළ ගැසුණු මින් පෙර කිසිදා අසා නොමැති විවිධ පාර්ශවවලින් මූල්‍ය ප්‍රතිපාදන ලත් සංවිධාන ඉන් අනතුරුව වෙනත් පටු පරමාර්ථ හා දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් හඬන අයුරු පසුගියදා දැක ගන්නට ලැබිණි. ඔවුන් සැබවින්ම ජනතා ක්‍රියාකාරකයින් ද? නොඑසේ නම් බළල් අත් ද? මෙරට ඉතිහාසයේ දූෂිතම සහ විශාලතම වංචාව ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව මේ කවර හෝ ජනතා සංවිධානයක් වැස්සේ තෙමෙමින් උද්ඝෝෂණය කළා ද? තම හිතවතුන් තනතුරුවලට පත් කර මෙරට අභිමානය වන ජාතික ගුවන් සේවයට වසර 3ක් තුළ රුපියල් බිලියන 57 ක අලාභයක් සිදු කරන විට මේ ජනතා සංවිධාන විරෝධතා පැවැත්වුවා ද? රජයන් අතර ගනුදෙනුවක් ලෙස ඉතා සහන අනුපාතයකට ලබා ගත හැකි ණය වෙනුවට බිලියන ගණන් රටට පාඩු කරමින් අධික පොළියට වාණිජ ණය ලබා ගන්නා විට මේ ක්‍රියාකාරීන් අක්‍රීය වූයේ මන්ද? ඔබ විරැකියාවෙන්, ජීවන බරෙන්, දේශගුණ විපර්යාසවලින්, බීමට පිරිසිදු ජල බිඳක් නොමැති කමින්, නිසි අධ්‍යාපන අවස්ථාවක් නොමැති කමින්, දරිද්‍රතාවයෙන් පීඩා විඳිද්දී ඒ දුක මේ ක්‍රියාකාරිකයින් යැයි කියා ගන්නා පිරිසට නොදැනුණේ මන්ද? මේ සියල්ලේ අරමුණ කුමක් ද? තමන්ට පහසු වපසරියක හිඳිමින් වංක අරමුණුවලට කත් අදිමින් විදෙස් රටවලින් පහසුවෙන් වීසා ලබා ගැනීමට හෝ තමන්ට හෝ තම සංවිධානවල ඩොලර් යූරෝ අරමුණු ඉටු කර ගැනීමේ පරමාර්ථය නොවේ ද? ඔවුන් වටහා ගන්නට අසමත් වුණ පරම සත්‍යය නම්, බහුතර ශ්‍රී ලාංකිකයා මේ කපටි උපායෙන් රැවටිය නොහැකි බව ය. අප රටේ දේශපාලනඥයින් ජනතාවගෙන් සොරා කෑ මුදල් යොදවා ගෙන ලන්ඩන් වැනි නගරවල ජීවත් වන තම සහචරයින් හරහා වෙබ් අඩවිවලින් සාවද්‍ය පුවත් මෙන්ම අවලාද හා මඩ ප්‍රචාර ජනතාව වෙත ගෙන යාමට උත්සහ කරයි. මේ අවලාද සඳහා මෙරට සිට ලන්ඩනයට මුදල් යවන්නේ කවුරුන් ද? ඒවා ලබා ගන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ජනතාව නොදන්නවා නොවේ. ජනතාව සිතන තරම් පහසුවෙන් මුළා කළ නොහැක.
2019-01-12T09:33:37.000Z
මේ වසර නිම වීමට පෙර තවත් අධිවේගී මාර්ග 3ක් ජනතා අයිතියට
මේ වසරේදී තවත් අධිවේගී මාර්ග 3ක් ජනතා අයිතියට
COLOMBO (News 1st) - මේ වසර අවසන් වන විට මෙරට අධිවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝමීටර් 145ක් එක්වීමට නියමිත ය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ලෙස සැලකෙන මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 96කින් යුක්ත කොටස මේ වසරේ අගෝස්තු මාසයේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. 2015 ජුලි මාසයේ ආරමිභ කළ මෙම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කිලෝමීටර් 30කින් යුක්ත මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස ලබන ජුලි මාසයේ ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ. චීන සමාගම් තුනක් විසින් ඉදිකිරීම් සිදු කරන මෙම අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා ප්‍රධාන පිවිසුම් 8කින් සමන්විත ය. එහි ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් බිලියන 250කට අධික ය. එමෙන් ම අධිවේගී මාර්ග පද්ධතියේ කොළඹ පිටත වටරවුම් මාර්ග පද්ධතිය ද මේ වසරේ ඉදිකර අවසන් කිරීමට නියමිත ය. එහි අවසන් අධියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.63ක කොටස එළැඹෙන ජුනි මාසයේ අවසන් කිරීමට නියමිත අතර එහි වැඩ ආරම්භ කෙරුණේ, 2016 ජනවාරි මාසයේදී ය. මෙම පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමෙන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ග පද්ධතිය එකට යා වෙනු ඇති. එමෙන් ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම ද ඒ අනුව ඉදිකර අවසන් කිරීමට නියමිත ය. එහි ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් බිලියන 66.7කි. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40ක කොටසේ ඉදිකිරීම් ද මේ වසරේ දෙසැම්බර් අවසන් කිරීමට නියමිත ය. දේශීය සමාගම් 15ක් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් බිලියන 140කි. 2016 නොවැම්බර් මාසයේ ආරමිභ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස මෙලෙස මේ වසර අවසානයේ නිම කළ ද එහි පළමු අදියරේ නිමාවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. මේ අතර මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු කරන ඉදිකිරීම් හේතුවෙන් හම්බන්තොට සූරියවැව 550 යාය ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව ඇති බව අපි ඊයේ අනාවරණය කළෙමු. එම ජනතාවට පෙබරවාරි මස 28 වන දාට පෙර වන්දි ලබා දෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේ ය.
2019-01-12T05:18:52.000Z
අත් ගැට ගසා ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් ආඩිගම ප්‍රදේශයෙන් සොයා ගැනේ
කාන්තාවකගේ මළ සිරුරක් ආඩිගම ප්‍රදේශයෙන් සොයා ගැනේ
COLOMBO (News 1st) - ආණමඩුව, සීදුව, පිළියන්දල හා අම්බලන්තොට ප්‍රදේශවලදී කාන්තාවක ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු ඝාතනය කර තිබේ. ආනමඩුව පූනවිටිය, ආඩිගම ප්‍රදේශයේ නිවසක් අසළ ඝාතනය කළ කාන්තාවගේ සිරුරක් සොයා ගැනුණේ අද අලුයමයි. මළ සිරුරේ ගෙල වයරයකින් සිර කර අත් දෙක ගැට ගසා තිබූ බව පොලීසිය සඳහන් කළේ ය. ඝාතනයට ලක්ව ඇත්තේ, 66 හැවිරිදි ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. මේ අතර සීදූව ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මුදල් ආරවුලක් මත සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් කාන්තාවක් විසින් පුද්ගලයෙකු තල්ලු කර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය. ඝාතනයට ලක්ව ඇත්තේ, 48 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් ආදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර පිළියන්දල, හැඩිගම අලුත් පාරේ තිබියදී සොයා ගත් බෙල්ලේ සහ පපු ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන ආරම්භ කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ, 22 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. මේ අතර අම්බලන්තොට අරවනමුල්ල, පහළ බැරගම ප්‍රදේශයේදී මල් පෝච්චියකින් පහර දී පුතෙකු විසින් සිය 56 හැවිරිදි පියා ඝාතනය කර තිබේ. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම ඝාතනයට හේතු වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසුවේ ය.
2019-01-12T01:11:46.000Z
බටකැත්තරදී ජීප් රථයක් වාහන 4 ක ගැටෙයි
බටකැත්තරදී ජීප් රථයක් වාහන 4 ක ගැටෙයි
COLOMBO (News 1st) - පිළියන්දල, මඩපාත මාර්ගයේ බටකැත්තර ප්‍රදේශයේදී ජීප් රථයක් තව ත් වාහන කිහිපයක ගැටීමෙන් අද අනතුරක් සිදුවිය. අප වාර්තාකරු පැවසුවේ, ජීප් රථය ත්‍රිරෝද රථයක් යතුරුපැදියක් ඇතුළු වාහන 4 ක ගැටී ඇති බවයි. ජීප් රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය ජීප් රථයේ දැවටී මීටර් 200 ක පමණ දුරක් ධාවනයවී තිබේ. අනතුරින් ජීප් රථයේ රියැදුරු තුවාල ලබා සිටින අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනු ඇත. අනතුරත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක් ද ඇති විණි.
2019-01-12T00:42:35.000Z
බස් ගාස්තු වැඩියෙන් අය කරන්නන් සොයා වැටලීම්
බස් ගාස්තු වැඩියෙන් අය කරන්නන් සොයා වැටලීම්
COLOMBO (News 1st) - සංශෝධිත මිල ගණන් යටතේ බස් ගාස්තු අය නොකරන බස් රථ සොයා සතියක් වැටලීම් ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. එහි සභාපති තුසිත කුලරත්න මහතා සඳහන් කළේ, බස් ගාස්තු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් අනිද්දා සිට මෙය ක්‍රියාත්මක වන බවයි. මීට අමතරව මෙම සතිය තුළ බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පනවා ඇති කොන්දේසි කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. බස්නාහිර පළාතට අයත් මාර්ග 475 ක පමණ බස් රථ 5500 පමණ ධාවනය වන අතර මගීන්ට යම් අපහසුතාවක් සිදු වන්නේනම් ඒ පිළිබඳව 011 2 860 860 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
2019-01-12T00:19:35.000Z
කොළඹදී හෙරෝයින් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
කොළඹදී හෙරෝයින් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකදී හෙරෝයින් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ කොම්පඤ්ඤවීදිය වොක්ෂෝල් වීදිය ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 460 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර 38 හැවිරිදි අදාළ සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි. ඊයේ පස්වරුවේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 375ක් සමග තව ත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31 වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බොරැල්ල ටී විස්සවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 750 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බොරැල්ල සීවලිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මේ අතර ඊයේ දහවල් ග්‍රෑන්පාස් ප්‍රදේශයේදී ද හෙරෝයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේ ය.
2019-01-11T22:18:15.000Z
අම්බලන්තොට පුතෙක් තම පියා ඝාතනය කරයි
අම්බලන්තොට පුතෙක් තම පියා ඝාතනය කරයි
COLOMBO (News 1st) - අම්බලන්තොට හා පිළියන්දල යන ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.45 ට පමණ අම්බලන්තොට අරවනමුල්ල, පහළ බැරගම ප්‍රදේශයේදී මල් බඳුනකින් ගසා පුතෙකු විසින් සිය 56 හැවිරිදි පියාව ඝාතනය කර ඇති බවයි. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම ඝාතනයට හේතුවී ඇති අතර ඊට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අතර පිළියන්දල, හැඩිගම අලුත් පාරේ තිබී බෙල්ලේ සහ පපු ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත මළ සිරුරක් සොයා ගෙන ඇත. පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක් ව සිටියදී සොයා ගෙන ඇති බවයි.
2019-01-11T22:09:06.000Z
මන්නාරම සමූහ මිනී වළේ නියැදි ලබන 23 වැනි දා අමෙරිකාවට
සමූහ මිනී වළේ නියැදි ලබන 23 වැනි දා අමෙරිකාවට
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළෙහි නියැදි ලබන 23 වැනි දා අමෙරිකාව වෙත යැවීමට නියමිතව තිබේ. එම සමූහ මිනී වළෙහි වෝහාරික කටයුතු භාර මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, එහි කාල නිර්ණය සඳහා එම නියැදි අමෙරිකාවේ විද්‍යාගාරය වෙත යොමු කරන බවයි. මේ දක්වා මන්නාරම සමූහ මිනී වළේ කළ කැනීම්වලින් මිනිස් ඇටසැකිලි 300 ක් සොයා ගෙන ඇතැයි ද මහාචාර්යවරයා පැවසුවේ ය.
2019-01-11T21:09:50.000Z
බොලිවුඩයේ නවතම සිනමාපටය රූගත කිරීමට සූදානමක්
බොලිවුඩයේ නවතම සිනමාපටය රූගත කිරීමට සූදානමක්
ABCD චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය නිර්මාණය කිරීමට එහි අධ්‍යක්ෂ රෙමෝ ඩි සූසා සුදානම් වෙයි. නර්තනය පදනම් කරගත් චිත්‍රපට මාලාවක් වන මෙහි ප්‍රධාන චරිතවලට ශ්‍රද්ධා කපූර් සහ වරුන් ධාවන් පන පොවනු ඇති. ABCD තෙවැනි චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂණය සුපිරි දකුණු ඉන්දීය නළු ප්‍රභූදේවා සිදු කිරීමට නියමිත අතර එහි රූගත කිරීම් ලබන 22 දින ඇරඹීමට නියමිත වේ.
2019-01-11T20:50:54.000Z
මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය
මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය
මැසනියාවේ නම උතුරු මැසඩෝනියා ජනරජය ලෙස වෙනස් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලැබී තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනාගෙන් 81 දෙනෙකු මෙම නම අනුමත කර ඇති බවයි. කෙසේවෙතත් මෙය බලාත්මක කිරීමට නම් ග්‍රීක පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ඊට හිමිවිය යුතු වනු ඇත.
2019-01-11T20:36:11.000Z
ඉන්ධන මිල පහළ ගියද බස් ගාස්තු පහළ දාන්නේ නැහැ... බස් සංගම්වලින් ප්‍රකාශයක්
බස් ගාස්තුත් පහළ යයි ද?
COLOMBO (News 1st) - ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු පහළ නොදමන බව පෞද්ගලික බස් සංගම් පවසයි. කෙසේ වෙතත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ ලේකම් ජී. පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන මිල පහළ දැමීමේ සහනය ජනතාවට ලබාදීමට බස් සංගම් පියවරගත යුතු ව ඇති බවයි. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රුපියල් 2.00 කින් පහත දැමීමට රජය පියවර ගනු ලැබුවේ ය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-GEMUNU.wav"][/audio] [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-SARATH-VIJITHA.wav"][/audio] [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-CHANDANA-SOIZA.wav"][/audio]
2019-01-11T20:25:21.000Z
අධිවේගි මාර්ගය හේතුවෙන් දේපොළ හානි වූවන්ට ලබන මස අවසානයට පෙර වන්දි
අධිවේගි මාර්ගය හේතුවෙන් දේපොළ හානි වූවන්ට වන්දි
COLOMBO (News 1st) - මාතර - කතරගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් දේපොළ හානි වූ ජනතාවට ලබන මස 28 වැනි දාට පෙර වන්දි ලබාදෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. සභාපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි. මේ අතර මාතර - කතරගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා තම නිවාසවලට හානි සිදු ව ඇති නමුත් කිසිදු සාධාරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි චෝදනා කරමින් හම්බන්තොට සූරියවැව 550 යාය ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක නිරත විය.
2019-01-11T20:10:29.000Z
සුනඛයින්ගේ අක්ෂි රෝග ගැන අවධානයෙන් සිටින්න... - සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
සුනඛයින්ගේ අක්ෂි රෝග ගැන ඔබ අවධානයෙන් ද?
COLOMBO (News 1st) - සුනඛයින්ගේ අක්ෂි රෝග තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දන්ගල්ල මහතා දැනුම් දෙයි. ඔහු පැවසුවේ, අලස බැවින් යුක්ත සහ ඇස්වල රෝගී ලක්ෂණ සහිත සුනඛයින් වහාම පශු වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් පරීක්ෂාකරගන්නා ලෙසයි. ට්‍රිපනසොමා නැමැති රෝගී තත්ත්වයෙන් සුනඛයින් ආරක්ෂා කර ගැනීම සඳහා එම පරීක්ෂාව කරගත යුතුව ඇති බව ඔහු සඳහන් කළේ ය. බලංගොඩ හා මුලතිව් ප්‍රදේශවල සුනඛයින් දෙදෙනෙකු ට්‍රිපනසොමා නැමැති එම රෝගයට ගොදුරුවී සිටියදී සොයා ගත් බව ඔහු සඳහන් කළේ ය. ට්‍රිපනසොමා නැමැති එම රෝගය මිනිසුන්ට වැළදීමේ අවදානමක් ඇති බව පැවසු මහාචාර්යවරයා සඳහන් කළේ, එහෙත් මෙරටින් එම රෝගය වැළදුණු පුද්ගලයන් පිළිබදව වාර්තාවී නැති බවයි. අප්‍රිකාව වැනි රටවල මේ රෝගය බහුලවශයෙන් පවතින බව ද මහාචාර්යවරයා පැවසුවේ ය.
2019-01-11T19:50:54.000Z
'සේනා' වසංගතය මාතරට ව්‍යාප්ත වෙයි
'සේනා' මාතරට ව්‍යාප්ත වෙයි
COLOMBO (News 1st) - වසංගතයක් ලෙස ව්‍යාප්ත වන සේනා දළඹු විශේෂය මාතර දිස්ත්‍රික්කයෙන් ද හමුවී තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පැවසුවේ, තිහගොඩ හා මාලිම්බඩ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවන් තුළින් සේනා දළඹු විශේෂය හමු වූ බවයි. තව ද අනෙකුත් වගාවන්ට මෙම වසංගතය පැතිරීමට පෙර එයට ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රදීප් රත්නායක මහතා පැවසුවේ ය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-PRADEEP-RATHNAYAKE.wav"][/audio]
2019-01-11T19:41:59.000Z
අගමැතිට එරෙහිව වරප්‍රසාද කමිටුවට යන බව වාසුදේව පාර්ලිමේන්තුවේදී කියයි...
අගමැතිට එරෙහිව වාසුදේව වරප්‍රසාද කමිටුවට යයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නොමග යැවීමේ චෝදනා මත අගමැතිවරයාට එරෙහිව වරප්‍රසාද කමිටුව හමුවට යන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. ඔහු ඒ බව පැවසුවේ, ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-PARLIMANT-NEW.wav"][/audio]
2019-01-11T19:28:34.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවළියට අදාළව අන්තර්වාර වාර්තාවක් පාර්ලිමේන්තුවට: නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවළියට අදාළව අන්තර්වාර වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2. මුහුණු ආවරණය කළ පුද්ගලයන් සැබෑවටම කවු ද?: මුහුණු ආවරණය කර ගනිමින් පැමිණි සිවිල් සංවිධාන ලෙස හඳුන්වාගන්නා පිරිසක් ඉකුත්දින මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවල නිරත විය. 3. මධ්‍යම අධිවේගී මාර්ගය ගැන ජපානයේ ශ්‍රී ලංකා තානාපති කී දේ: ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියමා මහතා මහ නා හිමියන් බැහැදැකීමෙන් පසු මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව මාධ්‍යට අදහස් දැක්විය. 4. මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරු: දැනට එම ප්‍රාදේශිය සභාව තුළ හවුලේ බලය පිහිටුවා ඇති එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බවට මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කිරීමෙන් මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය. 5. තව ත් අමාත්‍යවරුන් 3 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති: කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. විදෙස් පුවත් 6. චීනය සමග සාකච්ඡා සාර්ථකයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්: චීනය සමග පැවති වෙළෙඳ සාකච්ඡා අති සාර්ථක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත් 7. නවසීලන්තය ඉදිරියේ 20 යි 20 ලංකාව පරදි: ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය නවසීලන්තය ලකුණු 35 කින් ජය ගත්තේ ය.
2019-01-11T10:52:05.000Z
මධ්‍යම අධිවේගී මාර්ගය ගැන ජපානයේ ශ්‍රී ලංකා තානාපති කී දේ
"මේක ඇත්තටම ආධාරයක් නෙවෙයි" - අකිරා සුගියමා
COLOMBO (News 1st) - ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියමා මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය. මහ නා හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ තානාපතිවරයා මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව අදහස් පළ කළේ ය. ජපානයේ ශ්‍රී ලංකා තානාපති, අකිරා සුගියමා මේක ඇත්තටම ආධාරයක් නොවෙයි. මේක පෞද්ගලික අංශය මූලික කරගත් ව්‍යාපෘතියක්. ජපාන පෞද්ගලික සමාගමක් ටෙන්ඩර් පටිපාටි යටතේ ලබාගත් ව්‍යාපෘතියක්. මේ තුළ ජපාන රජයේ මුදල් නැහැ. මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය සතුයි. නමුත් ජපාන රජය මෙම ව්‍යාපෘතිය පිළිබඳව පූර්ණ අවධානය සහ අධික්ෂණය යොමු කරනවා මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර සම්බන්ධයෙන් නියමිත ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු සිදු ව ඇති ආකාරය පිළිබඳව නිව්ස්ෆස්ට් දිගින් දිගටම අනාවරණ කළේ ය. අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ණයක් ජපානයේ වාණිජ බැංකුවකින් ලබාගෙන ඇති බව ද අප පෙන්වා දුන්නේ ය. අප වාර්තා කළේ, මෙය ආණ්ඩු දෙකක් මුල් වූ ව්‍යාපෘතියක් නොවන බවයි. ඒ අනුව එය ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේදවලට මෙම ව්‍යාපෘතිය යටත් විය යුතු බවද අප පෙන්වා දුන්නෙමු. එවක විෂය භාර අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලැබෙන ආකාරය පිළිබඳව නිසි ලෙස කරුණු අනාවරණය නොකර මෙය ආණ්ඩු දෙකක් අතර සිදුවන්නක් බවට හුවා දැක්වීමට කටයුතු කළේ ය. අග්‍රාමාත්‍යවරයා සිටියේ ද එම ස්ථාවරයේයි. දැන් ජපාන රජයේ නිල නියෝජිතයා වන තානාපතිවරයා ද තහවුරු කර සිටින්නේ මෙය වාණිජ ණයක් බවටයි. එමෙන්ම ආණ්ඩු දෙකක් අතර නොව පෞද්ගලික අංශය විසින් සිදු කරන ව්‍යාපෘතියක් බවයි.
2019-01-11T10:38:09.000Z
මෙන්න සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්..!
මෙන්න සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්..!
COLOMBO (News 1st) - සිද්ධාලේප සමුහයේ විශිෂ්ට නිෂ්පාදනයක් වන සුපිරිවිකි දන්තාලේපය, පසුගිය දා චීනයේ පැවැති නවෝත්පාදන සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මානයත් සිද්ධාලේප 85 වැනි සංවත්සරයත් නිමිති කරගනිමින් පසුගිය දා කොළඹදී උත්සවයක් පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. අමාත්‍යවරයා සමග සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති දේශබන්දු වෛද්‍යාචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා ඇතුළු නිලධාරීන් කාර්ය මණ්ඩලය සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය. සුපිරිවිකි දන්තාලේපයට මේ විශේෂ සම්මානය හිමිවුයේ, ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන ව්‍යවසායකත්ව ආයතනයක් වන එන්ටර්ප්‍රයිස් ඒෂියා ආයතනය පැවැත්වූ 2018 ජාත්‍යන්තර න‍වෝත්පාදන සම්මාන උළෙලේදීයි.
2019-01-11T10:29:35.000Z
මුහුණු ආවරණය කළ පුද්ගලයන් සැබෑවටම කවු ද?
මුහුණු ආවරණය කළ පුද්ගලයන් සැබෑවටම කවු ද?
COLOMBO (News 1st) - මුහුණු ආවරණය කර ගනිමින් පැමිණි සිවිල් සංවිධාන ලෙස හඳුන්වාගන්නා පිරිසක් ඊයේ මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවල නිරත විය. ඔවුන් පෙනී සිටියේ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, දිදුලන හදවත ඇතුළු විවිධ නම්වලින් හඳුන්වාගත් සංවිධාන ලෙසයි. මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස්දීමට පැමිණි මේ කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කළ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇතිකරන්නැයි ඉල්ලා විවිධ ස්ථානවල මේ අයුරින්ම විරෝධතා පැවැත් වූහ. පසුගිය නොවැම්බර් 28 වැනි දා මහ වැස්සේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධය දැක්වූයේ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ලෙස හඳුන්වාගත් කණ්ඩායමයි. අනතුරුව නොවැම්බර් 29 වැනි දා දිදුලන හදවත යැයි කියු පිරිසක් වෙස් මුහුණු පැළැඳ නැවත ජනාධිපති කාර්යාලය ඉදිපිට විරෝධතාවක නිරත විය. ඊයේ මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධය පළ කළ බොහෝ දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වූ සත්‍යග්‍රහයේ ද දැකගත හැකිවිණි. වික්‍රමසිංහ මහතා නැවත පත් කළ වහාම ඔවුන් එම සත්‍යග්‍රහය අත්හැරියහ. මේ පිරිස මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණියේ කලු මාධ්‍ය යැයි කියමින් කිහිප දෙනෙකුම මාධ්‍යයට අනතුරු ඇඟවීම් කර ඇති පසුබිමකයි. ඔවුන් පිටුපස සිටින්නේ කවු ද? ඔවුන් ඉටුකරන්නේ කාගේ වූවමනාවක් ද? මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ. ශ්‍රී රංගා මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මුහුණු ආවරණය කරගනිමින් සිවිල් සංවිධාන ලෙස හඳුන්වාගෙන මෙලෙස හැසිරීම තරයේ හෙළා දකින බවයි. අභියෝග රැසකට මුහුණදෙමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් මාධ්‍ය නොබියට කටයුතු කළ කාලයේ මේ පිරිස සිටියේ කොහේ සිටියේදැයි ඔහු ප්‍රශ්න කරයි. ඔහු විමසා සිටින්නේ ලසන්ත වික්‍රමතුංග, ටී. ශිවරාම්, එම්. නිමලරාජන්, අයි. නඩේසන් වැනි මාධ්‍යවේදීන් මරා දැමීමට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට මෙම ඊනියා සිවිල් සංවිධාන මෙතරම් කාලයක් හඬ නගන්නට අසමත්වූයේ ඇයි ද යන්නයි.
2019-01-11T10:20:51.000Z
නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවළියට අදාළව අන්තර්වාර වාර්තාවක් පාර්ලිමේන්තුවට
අන්තර්වාර වාර්තාවක් පාර්ලිමේන්තුවට...
COLOMBO (News 1st) - නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවළියට අදාළව අන්තර්වාර වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස යළි ත් රැස්විණි. ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සඳහා මේ වනවිට මෙහෙයුම් කමිටුවක් සහ අනුකමිටු 6 ක් පත් කර තිබේ. අද ඉදිරිපත් කළේ, එම අනුකමිටු ලබාදුන් වාර්තා සහ මෙහෙයුම් කමිටුව පත්කළ තත්කාර්යය කමිටුවේ අනුකමිටුවේ වාර්තාව ද පදනම් කරගනිමින් මෙහෙයුම් කමිටුව වෙනුවෙන් විද්වත් මණ්ඩලය විසින් සම්පාදනය කළ වාර්තාවයි. සූරි රත්නපාල, ඔස්ටින් පුල්ලේ, ඒ. එම්. නවරත්න බණ්ඩාර, සෙල්වකුමාරන්, කුමිතා ගුණරත්න, කපිල පෙරේරා, සුරේන් ප්‍රනාන්දු, හිරාන් අන්කටෙල්, අශෝක ගුණවර්ධන සහ චමින්ද්‍රි සපරමාදු යන මහත්ම මහත්මීන් මෙම විද්වත් කමිටුවට පත් කර තිබුණි. අද ඉදිරිපත් කළ ලියවිල්ලට අනුව ව්‍යවස්ථාදායකයක පාර්ලිමේන්තුව සහ දෙවන මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. වසර 5 ක නිල කාලයක් සඳහා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 233 ක් පත්වන අතර දෙවන මන්ත්‍රී මණ්ඩලයට පත්වන සංඛ්‍යාව 55 කි. මැතිවරණ කොට්ඨාසවලින් සෘජුවම මන්ත්‍රී ධූර 140 ක් තෝරාපත්කර ගැනෙන අතර තව ත් 76 දෙනෙකු තෝරා පත්කර ගැනීමේ බලය පළාත් සභාවලට හිමිවනු ඇත. විධායක ජනාධිපති බලතළ අහෝසිවන වන අතර රජයේ සහ සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුවේ. ජනාධිපතිවරයා පත්කිරීමේ බලය පාර්ලිමේන්තුවට හිමිවන අතර පාර්ලිමේන්තුවේ සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ හරි අඩකට අඩු නොවන ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැණෙනු ඇත. ධූරය භාරගැනීමෙන් පසුව ජනාධිපතිවරයාට පක්ෂ දේශපාලනයේ නිරතවිය නොහැකි අතර ස්වාධීනවිය යුතුයි. මූලික අයිතිවාසිකම් සහ රිට් ආඥා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය හමුවට යාමට හැකි බව අද ඉදිරිපත් වූ ලියවිල්ලේ සඳහන් විය. පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක්. සාමූහිකව පාර්ලිමේන්තුවට වගකිව යුතු කැබිනට් මණ්ඩලයක් පත්කරගත යුතු අතර ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නා තැනැත්තා අගමැතිවරයා ලෙස පත්කළ යුතුයි. යම් පක්ෂයක් පාර්ලිමේන්තුවේ අඩකට වඩා ආසන හිමිකර ගැනීම, මැතිවරණය ඉදිරිපත්වන අවස්ථාවේදීම අගමැති අපේක්ෂකයා නම් කිරීම සහ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අවස්ථාවේ නැවත පාර්ලිමේන්තුවේ බහුතරය විමසීමට අවශ්‍ය වන්නේ නැත. ඊළඟ මැතිවරණය පවත්වා නව අගමැතිවරයෙකු පත්වන තෙක් එලෙස පත්වන අගමැතිවරයාට ධූරය දැරිය හැකියි. කැබිනට් මණ්ඩලය තිහ නොඉක්මවිය යුතු අතර අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකළ යුතු වනු ඇති. කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව, අමාත්‍යාංශ ප්‍රමාණය, විෂයයන් සහ කාර්යය නියම කිරීමේ බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයාටයි. පළාත් සභා සම්බන්ධයෙන් සඳහන් වන කොටසේ දැක්වෙන්නේ පළාත් තුළ පවත්වන ජනමත විචාරණයකින් පසුව පාර්ලිමේන්තුවේ අනුමත වන නීතියකින් පළාත් දෙකකට හෝ තුනකට එක් පරිපාලන ඒකකයක් බවට පත්විය හැකි බවයි. මීට අමතරව තව ත් කරුණු ගණනාවක් මෙම ලියවිල්ලට ඇතුළත්ව ඇති අතර දේශපාලන පක්ෂ සහ විද්වත් කමිටුවේ ලියවිලි රැසක් ද එහි ඇතුළත් වේ.
2019-01-11T05:57:19.000Z
මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරු
මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරු
COLOMBO (News 1st) - මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව තුළ අද උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ, දැනට එම ප්‍රාදේශිය සභාව තුළ හවුලේ බලය පිහිටුවා ඇති එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බවට මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කිරීම හේතුවෙනි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැදිරිගිරිය ප්‍රාදේශ සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 09 දෙනෙකු හා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පත් විය. ඒ අනුව මෙහි සභාව පිහිටවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්වයි. නමුත් අද රැස් වූ සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සභාපතිවරයාගෙන් විමසා සිටියේ, ජාතික දේශපාලනය තුළ සිදු ව ඇති පරිවර්ථනයත් සමග තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන්නේ ද යන්නයි. එහිදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව සභාපතිවරයා සභායෙන් ඉවත්ව ගියේ ය. අනතුරුව නැවත සභාවට පැමිණි සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට බැන වදිමින් සභාවෙන් පිටව ගියේ ය. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අතර ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය විණි.
2019-01-11T05:21:11.000Z
නවසීලන්තය ඉදිරියේ 20 යි 20 ලංකාව පරදි
20 යි 20 තරගයත් ශ්‍රී ලංකාව පරදි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය නවසීලන්තය අද ලකුණු 35 කින් ජය ගත්තේ ය. ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 144 ක් පමණි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 179 ක්. නවසීලන්ත මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 55 කදීයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩග් බ්‍රේස්වෙල් ලකුණු 44 යි. ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සමගින් සධීර සමරවික්‍රම. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 11 ක්. සදීර ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 23 කට දැවී ගියේ ය. තිසර පෙරේරා ලකුණු 43 ක් රැස් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්තයේදී සහභාගී වූ ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පරාජව වූ අතර එක්දින තරගාවලිය තරග 3ට 0ක් ලෙස පරාජය විය. ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට තරගවදිනු ලබන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. ඒ, ඔස්ට්‍රේලියාවේදී ය. ඊට ටෙස්ට් තරග 2 ක් ඇතුළත්. ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ජනවාරි මස 17 වන දා සිට 19 වන දා දක්වා පුහුණු තරගයකට සහභාගී වන අතර ජනවාරි 24 වන දා බ්‍රිස්බේන්හිදී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිත ය. දෙවන ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, එළැඹෙන පෙබරවාරි මස පළමු වන දා ය.
2019-01-11T03:13:49.000Z
දෙහිවලදී සොයා ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගය: බංග්ලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට
බංග්ලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට
COLOMBO (News 1st) - දෙහිවලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා බංග්ලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇති බව ය. අදාළ කණ්ඩායම දිවයිනට පැමිණෙන්නේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීම හේතුවෙනි. එලෙස පැමිණෙන කණ්ඩායම අතරට සාක් රටවල මත්ද්‍රව්‍ය වැරදි නිරීක්ෂණයට පත් කළ කමිටු සාමාජිකයන් ද අයත් ය. හෙරොයින් කිලෝග්‍රෑම් 278ක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගැනුණේ පසුගිය 31 වන දා ය. රුපියල් මිලියන 3000කට අධික වටිනාකමකින් යුත් එම හෙරොයින් තොගය පසුගිය වසරේ මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය වේ. සිද්ධියට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය මේ වන විට බංග්ලාදේශයේ සැඟව සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. අදාළ සැකකාරියගේ මෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනාගේ නිවෙස් එරට පොලීසිය පරීක්ෂා කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.
2019-01-11T01:32:18.000Z
ව්‍යවස්ථා යෝජනාව පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
ව්‍යවස්ථා යෝජනාව පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ විශේෂඥ කමිටු වාර්තාව අද පෙරවරුවේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේ ය.
2019-01-10T23:38:37.000Z
තවත් අමාත්‍යවරුන් 3 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
තවත් අමාත්‍යවරුන් 3 දෙනෙක් දිවුරුම් දෙති
COLOMBO (News 1st) - නව අමාත්‍යවරුන් 3 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්හ. ඒ අනුව රවීන්ද්‍ර සමරවීර මහතා දිවුරුම් දුන්නේ, කම්කරු හා වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ය. විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස වී. රාධක්‍රිෂ්ණන් මහතා දිවුරුම් දුන්නේ ය. අබ්දුල්ලා මහරුෆ් මහතා දිවුරුම් දුන්නේ, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ය. මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුව තිබේ. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.
2019-01-10T20:31:37.000Z
මන්ත්‍රී ආරක්ෂාව වැඩි කිරීමේ සූදානමක්
මන්ත්‍රී ආරක්ෂාව වැඩි කිරීමේ සූදානමක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බව ය. මෙතෙක් ඒ සඳහා අවසන් අනුමැතියක් හිමිව නැතැයි ද පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු බැගින් යෙදවීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති බව ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා මේ වන විට සිටින පොලිස් නිලධාරීන් ගණන දෙදෙනෙකි. මේ අතර හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විට යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන 1500 ඉක්මවයි.
2019-01-10T20:20:59.000Z
IOC ඉන්ධන මිලත් පහළට
IOC ඉන්ධන මිලත් පහළට
COLOMBO (News 1st) - ඉන්දීය තෙල් සමාගමත් පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහළ දමා තිබේ. එම සමාගම සඳහන් කළේ, ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා ඇති බව ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල 131ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150ක් වනු ඇති. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 2කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3කින් පහළ දමා ඇතැයි ද ඉන්දීය තෙල් සමාගම සඳහන් කළේ ය. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 99කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 118කට අලෙවි කෙරෙනු ඇති. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහළ දැමීමට රජය තීරණය කළේ ය. ඒ අනුව රුපියල් 125ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 123කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක් වන අතර මීට පෙර එම වර්ගයේ ප්‍රෙටල් ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 149ක් ලෙස ය. ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 2කින් පහළ දමා තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 99කි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් පහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 118ක් වේ.
2019-01-10T20:13:19.000Z
චීනය සමග සාකච්ඡා සාර්ථකයි - ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
චීනය සමග සාකච්ඡා සාර්ථකයි-ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
(News 1st) - චීනය සමග පැවති වෙළෙඳ සාකච්ඡා අති සාර්ථක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, අමෙරිකානු හා චීන නියෝජිතයින් අතර බීජිං නුවර පැවති තුන්දින වෙළෙඳ සාකච්ඡාවලින් අනතුරුව ය. ලොව විශාලතම ආර්ථිකයන් සහිත රටවල් දෙක වන චීනය සහ අමෙරිකාව අතර වෙළෙඳ කොන්දේසි ඇතුළත් ඉල්ලීම් මාලාවක් එහිදී ඉදිරිපත් කෙරිණි.
2019-01-10T20:07:08.000Z
ගාල්ලේ වෙළෙඳ සලක ගින්නක්
ගාල්ලේ වෙළෙඳ සලක ගින්නක්
COLOMBO (News 1st) - ගාල්ල, පෙට්ටිගලවත්ත මාර්ගයේ පිහිටි ටයර් අලෙවි සලක ඊයේ රාත්‍රියේ ගින්නක් ඇති විය. ගින්න නිවීම සඳහා ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ භටයින්, ගාල්ල පොලීසිය සහ ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කළේ ය. ගින්න ඇති වන අවස්ථාවේ වෙළෙඳ සලේ කිසිවෙකුත් සිට නොමැත. මේ අතර ගින්න නිවීමට කටයුතු කළ නිලධාරියෙක් අධික දුම හේතුවෙන් අදාළ ගොඩනැගිල්ලේ වහළෙන් වැටී තුවාල ලැබීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් අද අලුයම 3.00ට පමණ ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2019-01-10T19:54:18.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. කළු ඇඳගෙන කළු පටිවලින් මුහුණ ආවරණය කර ගත් විරෝධතාකරුවන් පිරිසක් ඊයේ පෙරවරුවේ සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණියහ. 2. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි පහත දමා තිබේ. 3. රුපියල් 5000ක අල්ලසක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ වසර 4ක සිර දඬුවමක් නියම කළේ ය. 4. දරුවන් ඉලක්ක කර ගනිමින් පාසල් අවට සිදු කෙරෙන විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මුලිනුපුටා දැමීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු අංශවලට උපදෙස් දී තිබේ. 5. දුෂ්කරතා මධ්‍යයේ වූවත් ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරන බව අගමැති පවසයි. විදෙස් පුවත් 6. ඔස්ට්‍රේලියාවේ කැන්බරා, මෙල්බන් සහ සිඩ්නි නගරවල පිහිටි කොන්සල් කාර්යාල සහ තානාපති කාර්යාල වෙත සැක කටයුතු පාර්සල් යැවීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත් විය.
2019-01-10T19:44:33.000Z
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ
COLOMBO (News 1st) - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වේ. ඒ, ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවකට අනුව ය. පෙරවරු 10.00 සිට දහවල් 12.30 දක්වා අදාළ රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය. මේ අතර නව ව්‍යවස්ථාව සකස් කිරීමේ මෙහෙයුම් කමිටුවට උපදෙස් දීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තා කිහිපයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
2019-01-10T10:54:39.000Z
ඉන්ධන මිල ගණන් යළි ත් පහළට...
තෙල් මිල යළි පහළ බසී
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි පහත දමා තිබේ. මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කෙළ් ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් පහළ දමා ඇති බවයි. ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 2 කින් පහත දමා තිබේ. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් තුනකින් ද පහත දමා ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. රුපියල් 125 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 123කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147 ක් වන අතර එහි මීට පෙර පැවති මිල වන්නේ රුපියල් 149 කි. ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 101 ක් වන අතර එහි නව මිල රුපියල් 99 ක් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. රුපියල් 3 කින් පහත දැමූ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක් වන අතර එය පැවතියේ රුපියල් 121 මිලකටයි.
2019-01-10T07:44:32.000Z
පන්දහසේ අල්ලසට සැරයන් වසර හතරක් සිපිරි ගෙට
පන්දහසේ අල්ලසට සැරයන් වසර හතරක් සිපිරි ගෙට
COLOMBO (News 1st) : රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් පොලිස් සැරයන්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද වසර 4 ක සිර දඬුවමක් නියම කළේ ය. ගොකරැල්ල පොලීසියට අනියුක්තව සේවය කළ එම සැරයන්වරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා තිබුණේ 2011 වසරේ ජුනි මස 26 වැනිදායි. අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට නඩු නොපැවරීම සඳහා අදාළ සැරයන්වරයා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබිණ. අප වාර්තාකරු පැවසුවේ, සිර දඬුවමට අමතරව සැකකාර සැරයන්වරයාට රුපියල් 12,000 ක දඩයක් ද නියම කෙරුණු බවයි.
2019-01-10T06:30:45.000Z
ජනපතිගෙන් පොලීසියට උපදෙසක්
ජනපතිගෙන් පොලීසියට උපදෙසක්
COLOMBO (News 1st) : දරුවන් ඉලක්ක කර ගනිමින් පාසල් අවට සිදු කෙරෙන විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මුලිනුපුටා දැමීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු අංශවලට උපදෙස් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ සඳහා වන නීති සංශෝධනය කර ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාලනය උදෙසා, රජය මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බවයි. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අමාත්‍යංශ ලේකම්වරු සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු ද එක්ව සිටියහ.
2019-01-10T05:38:13.000Z
Update : සිරසට අත තියන්න එපා.. අත තියලා පසු තැවෙන්න එපා...!
සිරසට අත තියන්න එපා.. අත තියලා පසු තැවෙන්න එපා...!
COLOMBO (News 1st) : Update : කළු හැඳගෙන කළු පටිවලින් මුහුණ ආවරණය කරගත් විරෝධතාකරුවන් පිරිසක් අද පෙරවරුවේ සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණියහ. අග්‍රාමාත්‍යවරයාගේත් බිමල් රත්නායක මහතාගේත් ප්‍රකාශයෙන් දින 20 කට පසු ඔවුන් මෙලෙස පැමිණියේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට විරෝධය දක්වමිනි. විරෝධතාකරුවන් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ අද දහවල් 12 ට පමණ ය. විරෝධතාවට එක්ව සිටින බව කියවෙන පිරිස පිළිබඳව ඔවුන් ප්‍රදර්ශනය කළ බැනරයේ සටහන්ව තිබිණ. එම පිරිස තමන් හඳුන්වා ගත්තේ, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ අලුත් පියාපත් අලුත් පරපුර මාරුතයේ හඬ දිදුලන හදවත ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සාධු ජනරාව නැගී සිටිමු ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයින් සම බිම යන සංවිධානවලට අයත් සාමාජිකයින් ලෙසයි. මෙලෙස පැමිණි පිරිස ඔවුන් රැගෙන ආ ලිපියක් භාර ගන්නා ලෙසට බලපෑම් කරන්නට විය. එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ විදර්ශන කන්නන්ගර නමැති අයෙක් අප මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ ය. මේ පිරිස පසුව මව්බිම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටට ද පැමිණියේ ය. එහිදී කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් මේ පිරිස මව්බිම කාර්යය මණ්ඩලය පිළිගත්තේ ප්‍රතිවිරෝධයකිනි. පැමිණි පිරිස එක් පසෙක සංවිරෝධය දක්වද්දි මව්බිම සේවක පිරිස තවත් පසෙක ප්‍රතිවිරෝධය දක්වන්නට විය. මාධ්‍ය නිදහස් පිළිබඳව කථා කරමින් පැමිණි මේ කණ්ඩායම අතර සිටි මනෝහාරී හේවාවසම් මහත්මිය සිද්ධිය වාර්තාකරමින් සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනාත්මක ලෙසින් ප්‍රතිචාර දැක්වූවා ය. මව්බිම කාර්ය මණ්ඩලයේ හූ හඬ මධ්‍යයේ විරෝධතාකරුවෝ විසිර ගියහ. මෙම විරෝධතාකරුවන් අද දවස පුරා විවිධ මාධ්‍ය ආයතන ඉදිරිපිට මෙලෙස හැසිරෙනු දක්නට ලැබිණ. https://www.youtube.com/watch?v=NLBOn9MaeKw ___________________________________________________________________________ COLOMBO (News 1st) : සිවිල් සංවිධාන නියෝජිතයින් යැයි කියා ගන්නා පිරිසක් මුහුණු ආවරණය කර ගනිමින් පැමිණ News 1st මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිටදී අද අදහවල් විරෝධතාවක නිරත වූහ. එහිදී අදාළ විරෝධතාකරුවන් අප මාධ්‍ය ආයතනයට කිසියම් ලිපියක් භාරදීමට උත්සාහ කළ අතර එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ, මුහුණු ආවරණය කරගනිමින් පැමිණ සිටි අය අතරින් පිරිසක් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් වෙත තර්ජණය කරන්නට වූහ. මේ අතර අදාළ කණ්ඩායම සඳහන් කළේ, මේ අයුරින් තමන් සියලු මාධ්‍ය ආයතන වෙත භාරදීම සඳහා අදාළ ලිපිය රැගෙන යන බවයි. මේ අතර එම අදාළ විරෝධතාව සඳහා අප මූලස්ථාන පරිශ්‍රයට පැමිණි සිටි පිරිස අතර ඊනියා වෙබ් ක්‍රියාකාරීහු ද ඇතුළුව මෙරට මාධ්‍ය විසින් ම ජනතාව ඉදිරියේ ඔසවා තැබූ නළු නිළියෝ, කලාකරුවෝ ද වූහ. මේ අතර මාධ්‍යට එරෙහි මෙම විරෝධතාව සහ ඔවුන්ගේ හැසිරීම මෙරට සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයින් විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ. ඒ අතර විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, ජනාතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ ද වූහ. නිව්ස් ෆස්ට් අප ඉදිරියේදී මාධ්‍යට එරෙහිව මෙලෙස විරෝධතාවේ නිරතවූවන් සහ ඔවුන් පිටුපස සිටින අදිසි හස්තයන් කවුරුන් ද යන්න රටට හමුවේ හෙළිදරව් කරන බව සඳහන් කළ යුතු ය. කෙසේ වෙතත් සියලු දෙනා තරයේ අවධාරණය කර ගත් යුතු කරුණ වන්නේ, අනන්‍යතාව සඟවා ගැනීමට මුහුණු ආවරණය කරගනිමින් මෙලෙස මාධ්‍ය ආයතන හෝ සංවිධාන ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වීම කෙතරම් බරපතළ තර්ජනයක් ද යන්නයි. මෙම කාණ්ඩායම තවත් මාධ්‍ය ආයතන කිහිපයක් වෙත මෙලෙසින් ම පිටත්ව ගොස් ඇති අතර මව්බිම මාධ්‍යවේදීන් අදාළ පිරිසට විරෝධය පෑම හමුවේ ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. https://www.youtube.com/watch?v=T2MM2BgIAjM https://www.youtube.com/watch?v=VtMGMHeq1Dw https://www.youtube.com/watch?v=zWm9YH2fvrg
2019-01-08T21:00:08.000Z
දිවි පරදුවට තබා දරු පවුල රැක ගත් අභීත පියා තමාට සහය වූ මිනිසුන් ගැන කී කතාව...
මහනුවර පියා දරු පවුලට දිවි දුන් සැමට ස්තූති කරයි
COLOMBO (News 1st) - මහනුවර යටිනුවර විදීයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ හටගත් ගින්නට හේතුව පිළිබඳ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, පිළිස්සුණු දේපොළ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකළ බවයි. එස්. රාමරාජ් සිය පවුලේ සාමාජියන් සමග පදිංචිව සිටි මහනුවර යටිනුවර විදීයේ සිව්මහල් ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගත්තේ ය. නගරයේ රැස්ව සිටි විශාල පිරිසක් ඔහුට සහයවීමට එක් වූ අතර සිව්වන මහලේ සිට සිය දරුවන් තිදෙනා පිටතට විසිකිරීමට ඔහුට සිදුවිණි. ඒ අනුව වයස අවුරුදු තුන හමාරක්වන බාලම පුතුත් අනතුරුව 7 හැවිරිදි පුත්‍රයාත් ඊට පසුව 8 හැවිරිදි වැඩිමහල් දරුවාත් පහළ රැදී සිටි පිරිස දෙසට විසිර අතර රාමරාජ් තම බිරිඳ ඉවතට ගැනීමට යාමේදී අතින් ගිලි ගිය ද පහළ රැස්ව සිටි ජනතාව ඇයව ආරක්ෂිතව අල්ලාගෙන ඇත. අදත් ගිනන් ඇති වූ ස්ථානයට ගිය නිව්ස්ෆස්ට් වාර්තාකරුට මේ ජීවිත ගලවා ගැනීමට එක් වූ මිනිසුන් පිරිසක් හමුවිණි.
2019-01-10T01:34:14.000Z
දුෂ්කරතා මධ්‍යයේ වූවත් ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරනවා - අගමැතිගෙන් ප්‍රකාශයක්
ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරනවා - අගමැති
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහු පැවසුවේ, කෙතරම් දුෂ්කරතා පැවතිය ද ජනතාවාදී අයවැයක් මෙවර ඉදිරිපත් කරන බවයි. රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහ ගෙවීමට ඇති ණය වාරික සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා එහිදී සභාව දැනුවත් කළේ ය. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, රුපියල ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරමින් සිටින බවයි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවයි. ඉන්දියාව ලබාදුන් රුපියල් මිලියන 500 මූල්‍යාධාරය ලබාගත්තේ කුමන කොන්දේසි මතදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම සම්බන්ධයෙන් දැනුම්දීම පිළිබඳව ද අමාත්‍ය විමල් වීරවංශ මහතා නියෝජ්‍ය කථානායක ආනන්ද කුලරත්න මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට අග්‍රමාත්‍යවරයා ද මැදිහත් විය.
2019-01-10T01:16:15.000Z
දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම් ධූරයේ වැඩ අරඹයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහ ලේකම් වැඩ අරඹයි
COLOMBO (News 1st) - දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස වැඩ භාර ගත්තේ ය. වැඩ භාර ගැනීම සිදු වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී යි. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
2019-01-10T00:45:17.000Z
රෙජිනොල්ඩ් කුරේට හා නිලූකා ඒකනායකට රාජ්‍ය ආයනතවල සභාපති ධූරයට
රෙජිනෝල්ඩ්ට හා නිලූකාට රාජ්‍ය ආයනතවල සභාපති ධූර
COLOMBO (News 1st) - උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාට හා සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය රාජ්‍ය ආයතන දෙකක සභාපති තනතුරුවලට පත්කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. ඒ අනුව ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ රෙජිනෝල්ඩ් කුරේ මහතායි. නිලූකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධූරයට පත් කර ඇත.
2019-01-09T23:28:09.000Z
මේ වසරට අදාළ දහම් පාසල් පෙළ පොත් මෙතෙක් ලැබී නොමැති බවට ගුරුවරුන්ගෙන් චෝදනා...
දහම් පාසල් පෙළ පොත් මෙතෙක් ලැබී නොමැති බවට චෝදනා
COLOMBO (news 1st) - මේ වසරේ දහම් පාසල් දරුවන් සඳහා මෙතෙක් නිසි පරිදි පෙළ පොත් නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත් ව සිටි. දහම් පාසල් ගුරුවරුන් ප්‍රකාශ කළේ, මේ වසරේ 10 වැනි ශ්‍රේණියට නව විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති බවයි. එම පෙළ පොත් කිසිවක් ලැබී නොමැති බව ද දහම් පාසල් ගුරුවරුන් පෙන්වා දෙති. මේ පිළිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, දහම් පාසල් පෙළ පොත් මුද්‍රණය මෙතෙක් අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි. ඒවා කඩිනමින් මුද්‍රණය කර සිසුන් අතට පත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
2019-01-09T22:37:41.000Z
2018 වසරේ මෙරට කාන්තාවන් විදෙස්ගතවීම 31.7% කින් පහළට
මෙරට කාන්තාවන් විදෙස්ගතවීම 31.7% කින් පහළට
COLOMBO (News 1st) - මෙරට කාන්තාවන් විදේශගතවීම පසුගිය වසරේ 31.7% ක් දක්වා අඩු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශගතවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. 2018 වර්ෂයේ විදේශගත වූ සමස්ත ශ්‍රමිකයින් සංඛ්‍යාව 211,502 ක් වන අතර ඉන් 144,531 ක් පිරිමි ශ්‍රමිකයින් වේ. එම සංඛ්‍යාව විදේශගත වූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් 68.3% කි. 2017 වර්ෂයේ විදේශගත වූ මුළු පිරිමි ශ්‍රමිකයින්ගේ ප්‍රතිශතය දැක්වෙන්නේ 68%ක් ලෙසයි. ඒ අනුව 2017 වසරට සාපේක්ෂව 0.3% කින් පිරිමි ශ්‍රමිකයින් විදේශගතවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත. 2018 වසරේදී කාන්තා ශ්‍රමිකයින් 66971 දෙනෙකු විදෙස්ගත වී ඇති අතර එය විදෙස්ගත වූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් 31.7% ක ප්‍රතිශතයකි. 2017 වසරේ කාන්තා ශ්‍රමිකයින් 68319 දෙනෙකු විදෙස්ගත වී ඇති අතර එය මුළු ශ්‍රමිකයින් සංඛාවෙන් 32% ක් ලෙස දැක්විය. ඒ අනුව 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී කාන්තා ශ්‍රමිකයින් විදෙස්ගතවීම 0.3% කින් පහළ ගොස් තිබේ. මේ අතර ගෘහ සේවිකාවන් වශයෙන් විදෙස්ගත වන ප්‍රමාණය 13% කින් පහළ ගොස් ඇති අතර කටාර් සහ සෞදියේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 2017 වසර සාපේක්ෂව පසුගිය වසරේ අඩු වී ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එම කාර්යාංශයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍රිය මහතා පැවසුවේ, සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලට වඩා යුරෝපීය සහ අනෙකුත් රටවල් සඳහා ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ද පසුගිය වසරේ පෙන්නුම් කරන බවයි.
2019-01-09T21:50:33.000Z
දිවයිනේ ප්‍රදේශ රැසක අද හා හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්
ප්‍රදේශ රැසක අද හා හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්
COLOMBO (News 1st) - තෝරාගත් අවදානම් කලාප කිහිපයක අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ. බස්නාහිර පළාත, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති. එම ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිරී යාමේ වැඩි අවදානමක් සහිත වෛද්‍ය නිලධාරී කොට්ඨාස 40 ක මදුරු මර්දන වැඩසටහන් අද හා හෙට ක්‍රියාත්මක කරන බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය. වැඩපිළිවෙළ යටතේ පාසල්, වැඩබිම්, කර්මාන්තශාලා, ආගමික ස්ථාන ඇතුළු පරිශ්‍ර රැසක මෙහෙයුම් සිදුකර මදුරුවන් බෝවිය හැකි පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා ය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වසරේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 600 ක් වාර්තා වී ඇති බවයි.
2019-01-09T20:58:21.000Z
ඔස්ට්‍රේලියාවේ කොන්සල් සහ තානාපති කාර්යාල වෙත සැකකටයුතු පාර්සල් යැවූ පුද්ගලයා පොලිස් භාරයට
තානාපති කාර්යාලවලට පාර්සල් යැවූ පුද්ගලයාට වැඩවරදී
ඔස්ට්‍රේලියාවේ කැන්බරා, මෙල්බන් සහ සිඩ්නි නගරවල පිහිටි කොන්සල් කාර්යාල සහ තානාපති කාර්යාල වෙත සැකකටයුතු පාර්සල් යැවීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත් විය. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා පාර්සල් 38 ක් යවා ඇති අතර ඒවායේ අන්තර්ගතය මෙතෙක් හඳුනාගෙන නැති බවයි. මෙලෙස ඔහු සැකසහිත පාර්සල් යැවූ ස්ථාන අතරට බ්‍රිතාන්‍ය, අමෙරිකාව, පකිස්ථාන, ඉන්දීය, ග්‍රීක, ස්විට්සර්ලන්ත, ඉතාලි, ප්‍රංශ, දකුණු කොරියානු සහ නවසීලන්ත කොන්සල් කාර්යාල ද අයත් වනු ඇත.
2019-01-09T20:42:38.000Z
අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වීමට නියමතයි. මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පරීක්ෂණ පිළිඳව ද ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට වෙළෙඳ දැන්වීම් ලබාදීම සීමා කිරීම පිළිබඳව ද අමාත්‍ය මංගල සමරවීර අදහස් පළ කළේ ය.
2019-01-09T20:13:36.000Z
හලාවත සේවක වැඩ වර්ජනයක් අතරතුර බැටළුවන් 31 දෙනෙක් මියයති
බැටළුවන් 31 දෙනෙක් ආහාර විෂවීමකින් මියයති
COLOMBO (News 1st) - හලාවත වැවිලි සමාගමට අයත් කිනියම වත්තේ ජීවත් වූ බැටළුවන් 31 දෙනෙකු ආහාර විෂවීමකින් මියගොස් තිබේ. ඒ, වැවිලි සමාගමේ සේවකයින් වැටුප් හා ප්‍රසාද දීමනා ලබා දෙන්නැයි ඉල්ලා වැඩ වර්ජනයක හා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටින අතරතුරයි. පසුගිය දින 03 තුළ මෙම සතුන් මියගොස් ඇති අතර තව ත් සතුන් කිහිප දෙනෙකුම මරණාසන්න තත්ත්වයේ සිටින බව වාර්තා වේ. පසුගිය 31 වැනි දා ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ දසවන දිනටත් ක්‍රියාත්මක විය. තමන් නොමැති අවස්ථාවක පාලනාධිකාරිය අක්‍රමවත්ලෙස සත්ත්වයින්ට ආහාර ලබාදීම හේතුවෙන් බැටළුවන් මෙලෙස මියගොස් ඇති බව සේවකයින් පවසති.
2019-01-09T19:48:52.000Z
වසරකට පමණ පෙර වල දැමූ පුංචි දිලානීගේ සිරුර ගොඩ ගැනේ
වසරකට පෙර වල දැමූ පුංචි දිලානීගේ සිරුර ගොඩ ගැනේ
COLOMBO (News 1st) - මීට වසරකට පමණ පෙර අතුරුදන් වූ දැරියකගේ මළ සිරුරක් හාලිඇල කන්දෙගෙදර සර්න්‍යා වතුයායේ වල දමා තිබියදී සොයා ගැණිනි. මහේන්ද්‍රන් දිලානී, වයස අවුරුදු 09 කුඩා දැරියකි. හාලිඇල කන්දෙගෙදර පදිංචි පුංචි දිලානී පසුගිය වසරේ ජනවාරි 12 සිට අතුරුදන් බවට ඇගේ මවගේ නැගනිය විසින් බදුල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. නමුත් වසරකට ආසන්න කාලයක් පුංචි දිලානීගේ අතුරුදන්වීම අභිරහක් ලෙස පැවතුනත් ඇගේ මව සහ සුළු පියා විසින් කළ පාපොච්චාරාණයකට අනුව ඊයේ කන්දෙගෙදර සර්න්‍යා වතුයායේ වල දමා තිබියදී ඇයේ සිරුර සොයා ගැණිනි. බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහාතා ඉදිරිපිට ගොඩ ගැණුනු පුංචි දිලානිගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර බදුල්ල අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනු ඇති. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව සහ සුළු පියා මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.
2019-01-09T19:23:44.000Z
ආනයනික උඳු මත පනවා තිබූ බදු ඉහළට
ආනයනික උඳු බද්ද ඉහළට
COLOMBO (News 1st) - ආනයනික උඳු සඳහා පනවා ඇති බදු ඉහළ දමා තිබේ. ඒ අනුව ආනයනික උඳු කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 125.00 ක්ව තිබූ බද්ද රුපියල් 200.00 ක් දක්වා ඉහළ නංවා ඇති බව රජය පවසයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා මෙම බදු ඉහළ නැංවූ බවයි.
2019-01-09T19:11:23.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රට තුන්බියකට ගොදුරුව ඇතැයි විපක්ෂ නායක කියයි: රට මේ වන විට තුන්බියකට ගොදුරුවී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කළේ ය. 2. ඌවට පත්කළ කීර්ති තෙන්නකෝන්ට දකුණට මාරුවක්: පසුගිය දා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් කීර්ති තෙන්කෝන් මහතා ඊයේ රාත්‍රියේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස යළි දිවුරුම් දුන්නේ ය. 3. කොන්ක්‍රීට් කණුවක් කඩා වටී පාසල් සිසුවෙක් මියයයි: හිස මතට කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් ගලේවෙල ප්‍රදේශයේ පාසලක සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය. 4. රථ වාහන සඳහා අලුත් බද්දක්: මෙම වසරේ ජනවාරි පළමු වන දා සිට රථවාහන සඳහා වන නව කාබන් බද්ද ක්‍රියාත්මක වේ. 5. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට: ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන මාණ්ඩලික ප්‍රධානීයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරිණි. විදෙස් පුවත් 6. අමෙරිකානු ආණ්ඩුවේ අර්බුද මැද ජනපති ට්‍රම්ප් අද ජාතිය අමතයි: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරට වේලාවෙන් ඊයේ පෙරවරු 7.30ට ජාතිය අමතා ඇත.