text
stringlengths
4
969
ගරු රවී කරුණානායක මහතා,
පාසල් ළමුන් සඳහා නිදහස් වාර ගමන් ප්‍රවේශ පත්‍ර ලබා දීම,
පාසල් ළමුන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස් රථවල ගමන් කිරීම සඳහා නිදහස් වාර ප්‍රවේශ පත් ක්‍රමයක් හඳුන්වාදීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ක්‍රීඩා පාසල් ඉදිකිරීම හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීම,
දිගු කාලීන ඉලක්කයක් සහිත ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හා වැඩ පිළිවෙළක් සකස් කිරීම උදෙසා මූලික වශයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩාගාර, පිට්ටනි, උපකරණ හා ක්‍රීඩා උප්‍රදේශකයන්ගෙන් සමන්විත උසස් ගණයේ ක්‍රීඩා පාසල් ඉදි කිරීමටත් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් පිහිටුවීම,
ගුරුවරුන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සඳහා ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් ස්ථාපිත කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීම සඳහා නීති සම්පාදනය කිරීම,
රජයේ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා ද, මහජනතාවට සියලු රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීමේ අයිතිය උදෙසා ද පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ශ්‍රී ලාංකිකයින්ට වඩා යහපත් සෞඛ්‍ය අවස්ථාවන් සලසා දීම,
ජනතාවගෙන් විශාල පිරිසකට හදවත් සැත්කම් කිරීම අවශ්‍යව ඇති හෙයින්, ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳ සෞඛ්‍ය අවස්ථාවන් සලසා දිය යුතු යැයි ද, ඒ සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදල හරහා නොමිලයේ පහසුකම් සලසා දිය යුතුයැයි ද, රජයේ සේවකයන් හෝ සේවා වියුක්තිකයන් සඳහා සම්පූර්ණ වියදම රජය විසින් ජනාධිපති අරමුදල හරහා සැපයිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ලෝක පරිසරය ආරක්ෂා කිරීම,
ශ්‍රී ලංකාව, ලෝක පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු අතරම ගෝලීය උණුසුම වැළැක්වීමට විශේෂයෙන් පියවර ගතයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
පාර්ලිමේන්තුවේ වැඩකටයුතු විකාශනය කිරීම,
රූපවාහිනිය හෝ අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සජීවීව හෝ පරීක්ෂිතව විකාශනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
එතෙර ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දීම,
එතෙර ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විද්‍යූත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම,
යල් පැන ගිය වර්තමාන ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වෙනුවට විද්‍යූත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු අජිත් කුමාර මහතා,
ගාලු කොටුව හා ඒ ආශ්‍රිත ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම,
සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වූ ද, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු වූ ද, ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුපවුර, ගාලු කොටුව ඇතුළත හා ගාලු කොටුව ආශ්‍රිතව ඇති ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන හා ජන සහභාගීත්වය ඇතිව විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරමින් අප රටට මෙම ඓතිහාසික උරුමයේ නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ඡන්ද හිමි නාම ලේඛනය නිරතුරුව යාවත්කාලීන කිරීම,
ඡන්ද හිමි නාම ලේඛනය මුළු වර්ෂයෙන්ම දින තිහක කාලයක් සඳහා පමණක් යාවත්කාලීන වන ලයිස්තුවක් නොව නිරතුරුවම යාවත් කාලීන වන විවෘත ලැයිස්තුවක් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විදේශ රැකියාවල නියුතු අය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදීම,
විදේශ ගතවී ඉතා අපහසුවෙන් උපයාගත් ධනය ශ්‍රී ලංකාවේ ධන සම්පත්තිය වැඩිකිරීම සඳහා එවන විදේශ රැකියාවල නියුතු අය ඇගයීම පිණිස විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීම සඳහා පියවර ගත යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
2009 මැයි 19 දිනට පෙර සේවයේ සිටි සන්නද්ධ සේනාවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහක සේවා කාලය සම්පූර්ණවු පසු විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබන බැවින් සන්නද්ධ සේනාවන්වල අවුරුදු 22 ක කාලය සම්පූර්ණ නොකළද 2009 වර්ෂයේ මැයි 19 වන දිනට පෙර ක්‍රියාකාරී සේවයේ යෙදී සිටි යුධ සෙබළුන්ට ද විශ්‍රාම වැටුප් ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන් සඳහා විශේෂ සැලසුම් හදුන්වාදීම,
නීතියේ සඳහන් වන පරිදි දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන්ගේ පහසුව තහවුරු කිරීමට හා ඔවුන් සතු ඵලදායීතාව වර්ධනය කිරීම සඳහාත් ඔවුන් අනවශ්‍ය ලෙස අනුන් මත යැපීම අවම කිරීම සඳහාත් සියලු නව රජයේ ගොඩනැගිලිවල විශේෂිත සැලසුම් ක්‍රමයක් ඇතිකළ යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම,
ලියාපදිංචිවූවද ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව නොලැබුනු ඡන්දදායකයන් බොහෝ සංඛ්‍යාවක් සිටින බැවින් වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බව සහ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්වූ නමුත් ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ගෙන් දඩ මුදලක් අයකළ යුතුබව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දුෂණයෙන් තොර ලෝකයක් තහවුරු කිරීම,
දූෂණය මුලින් උපුටා දැමීම සඳහා ලෝකයේ පාර්ලිමේන්තු සංවිධාන සමඟ එක්වී ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
මුළාවට ලක්වු තැන්පත්කරුවන්ට තම මුදල් නැවත ගෙවීම,
ව්‍යාජ මූල්‍ය ආයතනවල තම මුදල් තැන්පත්කර එමඟින් මුළාවට ලක්වූ බොහෝ දෙනෙක් සිටින බැවින් හා පසුගිය 2009/2010 මැතිවරණ ව්‍යපාරයේදී මෙම රජය විසින් තැන්පත්කරුවන් සහ මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ හිඟ මුදල් නැවත ගෙවීමට පොරොන්දුවී ඇති බැවින්, මහ බැංකුව මෙම ආයතනවල භාරකරු හෙයින් වඩා කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතු බවත්, තැන්පත්කරුවන්ට තම හිඟ මුදල ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු බවත්, මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සාමවිනිසුරු තනතුරු ලබා දීමේ දී විධිමත් ක්‍රම වේදයක් සකස් කිරීම,
මුළු මහත් සමාජයම පොදුවේ පිළිගනු ලබන සහ සමාජයට විශාල සේවාවක් සපයනු ලබන තනතුරක් වන සාම විනිසුරු තනතුරු ලබා දීමේදී ඒ සඳහා සුදුසු නිර්නායක පදනම් කොට ගෙන එම තනතුරු ලබා නොදීම නිසා එම තනතුරෙහි ගෞරවය හා පොදු පිළිගැනීම ක්‍රමයෙන් හීන වන බැවින් ඒ සඳහා පොදුවේ පිළිගත හැකි නිර්නායක පදනම් කර ගන්නා වූ ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සුනාමි ඛේදවාචකයෙන් ඇතිවූ ගැටලු විසඳීම,
සුනාමි ඛේදවාචකය හේතුවෙන් කුමන හෝ ආකාරයේ ගැටලුවකට මුහුණ දී මේ වන තෙක් නොවිසඳී පවතින ගැටලු තිබේ නම්, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස මට්ටමින් සොයා බලා ඔවුන් මුහුණ දී ඇති හා දැනටත් මුහුණ දෙනු ලබන ගැටලු අවම කිරීම සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම,
ශ්‍රී ලංකාවේ විවිධ රැකියා උත්පාදන ක්ෂේත්‍ර තුළ විවිධ නිෂ්පාදන කටයුතු කරන දස ලක්ෂයකට ආසන්න ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා දේශපාලන බල අධිකාරිය ඒ සඳහා සබැඳි සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි ද සහාය ලබා ගනිමින් විධිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීම,
කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ නීතිය උල්ලංඝනය නොවන පරිදි, විධිමත් අධ්‍යයනයකින් හඳුනා ගැනීමෙන් පසු කිසිසේත්ම වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල ඵලදායී කෘෂි නිෂ්පාදන පමණක් වගා කිරීමටත් ,ඉදිකිරීම් කටයුතු සඳහා කිසිසේත්ම ඉඩ ප්‍රස්ථා නොලැබෙන ආකාරයේ වැඩසටහන් සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
රාජ්‍ය සේවයේ විශ්‍රාමකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම,
වැටුප් ප්‍රතිශෝධන චක්‍ර ලේඛයට අනුව 2006.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිවර්තනය කිරීම නිසා 2006.06.01 දිනට පෙර විශ්‍රාම ගිය සහ ඉන්පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතර දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින් එය ඉවත් කිරීමට ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීම,
භූගෝලීය පිහිටීම, ඓතිහාසික පසුබිම, වගාකරන භෝග වර්ග, මාර්ග පද්ධතිය, රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් පොළවල් ආදි සියලුම තොරතුරු පරිගණක ගත කරන ලද හා ලේඛන ගත කරන ලද තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීමටත්, එහි පළමු පියවරේදී පළාත් මට්ටමින්, දෙවැනි පියවර ලෙස දිස්ත්‍රික් මට්ටමින් සහ තෙවැනි පියවර ලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් මෙම මධ්‍යස්ථාන ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය විධිමත් කිරීම,
ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය වඩාත් විධිමත් කිරීමට සහ බෞද්ධ දහම් පාසල් තුළ පවත්නා දහම් අවසාන හා ධර්මාචාර්ය විභාග මෙන්ම සියලුම ආගම්වල දහම් පාසල් තුළ පැවැත්වෙන ඒ හා සමාන විභාග සහතික පත්‍ර සඳහා නිසි පිළිගැනීමක් ලබා දීමට, දහම් පාසල් සඳහා අඛණ්ඩව මානව සම්පත් හා භෞතික සම්පත් ලබා දීමෙන් දහම් පාසල් සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් ඇති කිරීම සම්බන්ධ නීති සම්පාදනය,
නිවෙස්වල හෝ අලෙවි කිරීම සඳහා ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු අතර, එම සතුන්ගේ පැටවුන් අලෙවි කිරීම නීත්‍යානුකූලව අවසර ලත් මධ්‍යස්ථානවලදී පමණක් සිදු කළ යුතු බවත්, එසේ නොවන ස්ථානවල ඇති කරන ගැහැණු සතුන් අනිවාර්යයෙන්ම වන්ද්‍යාකරණයට ලක් කිරීමටත්, අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
රැකියා වෙළඳපොළට අවශ්‍ය ශමිකයින් පුහුණු කිරීම ,
අනාගත ශ්‍රී ලංකා වේ බිහිවන නව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ක්‍රමවේදයකට මුල පිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම ලෙස රට තුළ පවත්නා සියලුම තෘතීක අධ්‍යාපන ආයතන මගින් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
රාජ්‍ය පරිපාලන ව්‍යූහය ප්‍රතිසංවිධානයකිරීම,
දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ග්‍රාම නිලධාරී වසම් යළි සීමා නිර්ණය කිරීම සඳහා කටයුතු කරගෙන යමින් සිටින බැවින් එසේ සීමා නිර්ණය කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් තුළින් නව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සීමා සහ නව දිස්ත්‍රික් සීමා නිර්ණය කළ යුතු බවත්, මෙසේ නිර්ණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පළාත් පාලන ආයතන බල ප්‍රදේශය බවට පත්කළ යුතු අතර එකී බල ප්‍රදේශයට කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශය, පොලිස් බල ප්‍රදේශය, ගොවිජන සේවා බල ප්‍රදේශය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී බල ප්‍රදේශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි බල ප්‍රදේශ සීමා සංයුක්ත වන පරිදි සමස්ත රාජ්‍ය ව්‍යූහයම ප්‍රතිසංවිධානය විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම,
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ව්‍යාපාරයේ සංවර්ධන කටයුතු අතර මග ඇන හිටීමෙන් එම මිටියාවතේ පෝෂක ප්‍රදේශයන්හි භව භෝග වගා කරන ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බවත්, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයිනගේ නිල කාලයට පසුද සාමවිනිසුරු පදවිය ලබාදීම,
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට දෙනු ලබන සාම විනිසුරු තනතුරු ඔවුන්ගේ නිල කාලයට පමණක් සීමාවන බැවින්, නිල කාලයෙන් පසුවත් ඔවුන්ගෙන් එම සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බැවින්, එම මහජන නියෝජිතයන්ට තම නිල කාලයෙන් පසුවත්, සාම විනිසුරු තනතුරු ලබා දීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
පළාත් සභා ජනතා නියෝජිතයන්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබදව නැවත සලකා බැලීම,
දිවයිනේ දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හා ඉදිරියේදී විධිමත්ව ක්‍රියාත්මකවීමට නියමිත උතුරු පළාත් සභාවේ ගරු අමාත්‍යවරුන්, සභාපතිවරුන්, උප සභාපතිවරුන්, ආණ්ඩු පාර්ශ්වයේ සංවිධායකවරුන්, සභා නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකවරුන්, විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරුන් සහ ගරු මන්ත්‍රීවරුන්ගේ දීමනා, වරප්‍රසාද හා පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබදව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
පළාත් පාලන ආයතන වල සියලුම මහජන නියෝජිතයින්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම,
දිවයිනේ ක්‍රියාත්මක වන හා ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත සියලුම මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි පුරපතිවරයන්, නගරාධිපතිවරයන්, සහාපතිවරයන්, නියෝජ්‍ය පුරපතිවරයන්, නියෝජ්‍ය නගරාධිපතිවරයන්, උප සභාපතිවරුන්, විපක්ෂනායකවරයන් හා මන්ත්‍රීවරයන්ගේ දීමනා, වරප්‍රසාද සහ අනෙකුත් පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබා දීම,
උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවති පසුගිය දශක තුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වන විට ජීවතුන් අතර සීටී ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැති නම් ඔවුන් සදහා මරණ සහතික ලබා දිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම,
සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත්කර ශ්‍රී ලංකාවට යෝග්‍යවූ ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ යුතුයැයි ද, ඒ සඳහා ඒ හා සබැඳි සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි ප්‍රවීණයන්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සහාය ලබා ගත යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,