text
stringlengths
5.78k
8k
කුස්සි කෑල්ලට යනාතරේ ලෑලි ජනේල කෑල්ල කිට්ටුවෙන්ම "හුම් හුම්.." ගාන සද්දෙ ඇහෙන්ට ගත්තම නෙව මතක් වුනේ පාන්කළුවෙන්ම මයෙ ගමනට බාද කරපු බකුසු පැටිය ගැන. ඌට මයෙ ඉව වැටිල වගේ. "උඹ මයෙ දෑස මායිමේම හිටින් පුතේ. උඹට මෙහෙ ආරස්සාවයි. කෑම්බීම් ,ඉඳුම් හිටුම් ඔක්කොම හම්බවෙන එකේ ආයි කොහෙ යන්ට... ? මටත් හරි පාළුයි... " මං කීවම ඌ දොරහුව අස්සෙන්, බුම්මාන මං දිහා බලාන හිටිය. අප්පුච්චට විගහින් රොටියක් පුච්චල දීල මං ඇඳට වැටුන ..අදනං අත් කකුල් කකියනව. කී පාරක් නං බත් කඩේ එහාට මෙහාට හක්මන් කරාද.. හෙටනං උදේ රැයින්ම පිටත් වෙලා වේලපහින් එනවා. අද ඩිංගිත්තක් හවස් ජාමෙ පෑයුව එකේ හෙටත් මේ වගේ තිබ්බනං..? * * * මින් මත්තට මට ගුණසිරියව මුලිච්චි නූන නං කියල හිත හිතා එනකොට මේන් මිනිහ උදැහැනැක්කෙම කඩේ ලෑලි ටික අරිනව..? මාත් ඉතින් නොදැක්ක හේ හිටිය. පිරිමින්ට ලේසියෙන්ම කරපු කියපු දේවලින් ගැලවිජ්ජාවට කාරණාව මං එවෙලෙ රහමෙර ඩිංගක් කටේ ගාගෙන උන්නු හන්ද මොකුත් මතක නෑ කියන එකනෙව...? ගෑනු අපිට මායං හැට හතරක් තියෙනව කිව්ව එකාට හිතුනෙම නැද්ද කවුද්දා .. උන්ට තියෙන මායං ඊට එහා කියල. "උඹ මා එක්ක තරහද..? මෙව්ව කාටවත් කියන්නෙ හෙම නෑනෙ ? " මං මොකුත් නොකිය උන්නේ මෙතන මට විසුමක් වෙන් නෑ ඊගාවට. අපිට ඔය එක එකාගෙ ගායට නටන්ට වෙලාවකුත් නෑ.ඕන කමකුත් නෑ. අපට එව්ව පුරුදුත් නෑ. මං එහෙම එකියක් නෙවෙන වග හාමිනේ උනත් නොදන්නව නෙවෙයි නෙව ..? හාමිනේ කඩේට එනකොට මං රතු කැකුළු ඉඳි ආප්ප දෙවංගියකට බාලත් ඉවරයි. "උඹ ඒ ටිකට ඉඳිආප්ප දෙවංගියකුත් බාලා. ආයි ඉතින් මල් වගේ තියෙන්නෙ... හැබැයි ජිනෝ.. ඩ්ංගිත්තක් දුරස්වෙන්ට රැළ් ටික මිරිකුවනං පිරිමහගන්ට ලේසි. මේකෙ එකාලට ආයෙ දීල පිරිමහන්ඩ පුළුවනෑ..." හාමිනේ කියන විදිහකට කරනව මිසක්කා නැත්තන් ඔය මනුස්සයො කන බත්පතට අඩුවක් කරන්ට මට හිත් දෙන්නෙ නෑ. පොල් මැලවුමට වුනත් හාමිනේ පේමක්කට කියල තියෙන්නේ වතාවක් මිරිකපු පොල් කුඩු කළවමේ ගන්ට කියල...පොල්කිරි හොද්ද ලිප තියල පේමක්ක වෙන වැඩ කරන කොට හාමිනේට තරහ යනවා. "පේමා..ආනම ලිප උඩ තියල උඹ එහෙ මෙහෙ ඇවිදින්නේ..?ඊගාවට හුජ්ජ වතුර වගේ මේසෙට තියාපන්.. කාල් ගාන් නැති හන්ද නෙව දිය රහ වෙන්නේ..? උඹට මං හැමදාම කියනව" හාමිනේ කියන එව්වට හිනාත් යනව .. පේමක්කත් ඉතින් හිමීට කුටු කුටු ගානව. මේ ගුණසිරිගෙ මේච්චල් නැති වැඩ හින්ද හාමිනේගෙ විස්වාසෙත් නැති වෙයි කියලයි මට බය. අන්තිමේදී නොරොක් වෙන්නෙ ගෑනු අපිනෙ.. ජිප් එකක සද්දෙ ඇහිච්චි ගමන් මටත් ඉබේටම පාර දිහා බැලෙනව. සුදු මහත්තයා අද නේන වග දැන දැනත්... බැලින්නං පොලෝසියෙන් .. සට පට ගාල රාළහාමිලා කීපදෙනෙක් ජිප් එකෙන් බැස්සෙ තව මහත්තුරු දෙතුන් දෙනෙක් එක්කල මහ කලබලේකින් . එකත් එකටම එක්කො ගස් කපන ඔත්තුවකට.. නැත්තන් ඉතින් ඔය කැළෑ අස්සෙ හොරාට ගිනි වතුර පෙරල..?මේ වෙද්දී ඕව කරන උන්ට පයිණ්ඩ ගිහින් අහකයි කියල බලා ඉන්න උන් කිව්වෙ.. ඒ කතාව නං සත්ත. ඔව්ව කරන උන්ට ගණදෙවි නුවණ පහළ වෙනව හොර මගෝඩි වැඩ කරද්දී. මං හන්දියෙ බත් කඩේ උදව්වට එනවට හඳුනයියා ඒ තරං මනාපයක් නෑ.කුස්සි අම්ම වැඩේ කරන්ඩ එන්නෙ අහවල් එකකටද කියල දෙතුන් විඩක් කියල තියෙනව. ඒත් ඉතින් අපි ආයෙ වෙන අහවල් වැඩක් කරන්ටද? හඳුනයියටත් විකාර..? සහෝදරයෙක් කියලවත් කියන්ට...මයෙ කියල එකෙක් නැති එකේ සාංකාවත් මට තියෙනව. මට බාල උං දෙන්නම කැළෑ උණෙන් මියැදුනාලු. අපෙ අම්ම උනත් පලිච්චියට කියන වෙලාවල් තිබුන මයෙ කොල්ලො දෙන්න උන්නනං උඹට ඕන ඕන කෙරුවාවල් කරන්ට බෑය කියල. කවුරු කොහොම කිව්වත් මං වැරැද්දක් කරන් නෑ කියල මයෙ හිත දන්නව. "ජිනා.. මෙහෙ වරෙන් උඹට කාරණයක් කියන්න .." හාමිනේ ඔසරිපොට ඉණේ ගහගන්න ගමන් මං දිහා බලද්දී මයෙ පපුව පිච්චිල ගියා. මේ අවු අස්සෙ මොකක් කියන්ටද ..? "උඹ මෙහෙ ඉස්තිරේටම වැඩට වරෙන්. මං උඹට කීයක් හරි වැඩිපුරත් අතට දෙන්නං. හෙට අනිද්දට ලේලිට දරුව ලැබෙන්ඩ ඉන්න එකේ උඹ ඉන්න එක මට හයියක්. මේකෙ ඉන්න එකියෙක් වත් මට විස්වාස නෑ උඹ තරං. ඊටත් උඹේ තියෙන සාරසුබාව ඔය එකෙකුටවත් නෑ. ඔය යසා පස්සෙන් වැටිල බෙලිමල් කෝප්පයක් දෙකක් විකුණල අහවල් ආදායමක් හොයන්ඩද උඹලා...? " අම්මේ...යාන්තං ඇඟට ලේ ඩිංගක් ඉනුවෙ දැනුයි. ආයිත් නං ගුණසිරියා මයෙ පස්සෙන් ආවොත් මූණටම කියනවා. මට හාමිනේගෙ මූණ බලන්ට බැරිවෙන කතාවක් පට බැ‍ඳුනොත් මොන අපරාදයක්ද...? හීනියට වහින වැස්ස ආයිත් ඩිංගිත්තක් සැරවෙන පාටයි. හාමිනේ කියන්නා වගේ මේ මුරුගසන් වරුසාව තව මාසයක් දෙකක්වත් අල්ලා හිටියි. දිය සෙවෙල් බැඳිච්චි ගල් උඩින් ලිස්ස ලිස්ස මොකා ඇල්ල බලන්ට යනව කියන්ටද..? කූඬැල්ලො කැටිය ඊට එහා. අවුරුද්දකට වතාවක් මහ ඇල්ල මිනිස් බිල්ලක් ගන්නව කියන එක ඔය සිදාදියේ උන්ට පවා කටින් කට ගෙහුං මේ වැහි කාලෙට එන නඩේ අඩුයි දැන්... "ආං දෙතුන් දෙනෙක් කුදලං යනවා.. උං හඳුන් ගස් හොරෙන් කපලලු.. මේ පැත්තෙ එවුන් නං නෙවෙයි. ඔය සුද්දන්ට ගිනි ගනං වලට විකුණන්ඩනේ... දැන් ඉතින් කැළෑ ටික ඉවරයි බේත් පැළෑටියක් වත් ඉතුරු කරන්නෑ ඔය කාළකන්නි කැළෑ හොරු.." හාමිනේ කියද්දි මාත් ඉස පොවල බැලුවා.මට කියන්ටත් හිතුනා උන්දැගෙ පුතණ්ඩියත් ඒ රැළේම එකෙක් වග. උං මහ මරුමුස්සො ටිකක්. උන්ට වගේ වගක් නැතුවා වගේ. මෙහෙව් උං තමයි රෑට කැලෑ සත්තුන්ට ගිනි පිඹින්නෙයි මර උගුල් අටවන්නෙයි.. හඳුනයියට අහුවුනානං උන් කම්මුතුයි . හඳුනයියා ගහකොළ ,සතාසීපාවට හදි කරන එවුන්ට පුදුම තරං වයිරයි. "අනේ ජිනෝ...!! ඒ කාලෙ ඔය ගුණසිරිලයෙ අප්පුච්චා මාව කැන්දන් එනකොට මේ අහ මහ මූකලාන. ඔය එක කඩ කෑල්ලක් වත් තිවුනෙ නෑ. පාරක් තොටක් හරියකට නෑ. මයෙ මහගෙවල් ගම්පොළටත් එහා. මේ පළාතට පය තිබ්බමයි... මේ මිනිහ මාව අහවල් එහෙකට මේ මහ මූකලානෙකට එක්කං ආවද කියල ඒ කාලෙ මං තිස්සෙම අඬා වැටෙනව. ඔය පරණ එවුන් කියල උන්නෙ උඹලයෙ මහ එවුනුයි, යසාහාමිලයි, තව දෙතුං ගොල්ලයි.. දැන් නෙව එක එකා මේවට සේන්දු වෙලා උරුමකම් කියාන එන්නේ..." හාමිනේ ඔය කියන්නේ අළුතින් වෙළඳාමෙ එන එවුන්ට. සුද්ද රට පාලනේ කරන කාලේ නීති හරි තදයි නෙව. දැන් දැන් මොකා හරි ඇවිත් සාදාරණ කරුමාන්තයක් කරල දියුණු වෙනවනං මක් වෙනවද? "ලිලීහාමිත් ඒ කාලෙ හරි හැඩ එකී.. ඔය මරක්කල වෙළෙන්දෙක් දක්කං ආව බඩු කරත්තයක් පස්සෙ ආපු එකෙක් නෙ උඹෙ අප්පුච්චා ...ඌ ඉතින් අහුවුනා මේකිට.." හාමිනේ අපෙ අම්ම, අප්පුච්චා ගැන මෙහෙව් කතා කී වතාවක් නං කියල ඇද්ද ? හාමිනේ මිනිස්සුන්ට පාච්චලේට කතා කරන හින්ද නෙව මොකෙක් වත් උන්දැට බැල මෙහෙ කරන්ඩ කාසිවලටවත් එන්ට මනාප නැත්තෙ.. මං ඉතින් ඔහෙ ගවරි වගේ කට වහං ඉන්නවා.. ඇඟේ වදිනවයැ. හවහට වේලපහින්ම වැඩටික අහවර කර ගත්තේ සුනංගු නොවී ගෙදර යන්‍ට හිතාන. එතකොට හාමිනේ තව වැඩක් පවරනවා. අප්පුච්චට රස්නෙං තේ වතුර ඩිංගක් පෙරල දෙන්ට වුනත් මං ඉන්ට එපැයි. ඔය කටුමැටි බිත්ති කෑල්ලේ හිරවෙලා ඉන්ට ගත්තම උන්දැටත් පිස්සුව වාගෙ නැතෑ.. ඒකයි ඔය ගිය හැටියෙම මයෙ ඇඟට කඩං පනින්නේ.. "හාමිනේ... මං අද වේලපහින් යන්ට කියලා.. හෙට ඩිංගිත්තක් පාන්දරින් එන්නං හාමිනේ බිමට යන්තං එළියක් වැටුනු ගමන්..." "හ්ම්.. පේමනං ඔය සේරම අකුළං ගියේ. මං ඔය මලු ලෙහල බැලුවනං ..? නැතිබැරිකමට හින්ද කටපියං උන්නට හොරකම හොඳ නෑ" ඉන්තේරුවෙන්ම රාසු කොල්ල කේළමක් කියන්ඩ ඇති .පේමක්ක එක්ක කොහොමත් ඌ තරහින් ඉන්නෙ. "ආ කෙල්ලෙ.. ඊයෙ ගානත් එක්ක තියෙනවා. උඹට ඉතින් හිතේ කහටක් නැතුව දෙන්ට හිතෙන්නේ මේ ගන්න කාසිපනං වලට උඹේ හොර බොරුවක් නැති හින්දා..ආ...මං අහන්ට කියල උන්නේ. කෝ බං කිරා...? ආං ඒකගෙ අම්ම හොයාගෙන ආව මෙහාට. උඹල ඌ ලවා කුලිප්පාරං කරවගන්නව කියල ඒ ගෑනි දොස් පරොස් කියනවා උඹලට .." "ඌ යන දිහාවක් අපිට මොකෝ හාමිනේ ..? ඔය හඳුනයියට අත් උදව් දෙන්ට යන්ටැති. ඌ බලෙන් ආවට අපි මක් කරන්ටද.. ? මං කියන්නංකෝ උංගෙ අම්මට" "හා..හා උඹ මොනා කියන්ඩ.. ? ඒ ගෑනි ගිනි රත්වෙලා කොල්ලව හොයනවා .ඌ සෝමාරි කොමට හිටියට අර ගෑනිගෙ පණ වගේ. උණ හපුළුවටත් උගෙ පැටිය මැණිකක් නෙව ජිනෝ..." මට හඳුනයියගෙ කාසි ඩිංග දීල දැම්මනං හිතේ නිදහසින් උන්නැහැකි. එයත් ඔය කීයක් හරි හොයාගන්ට කොයිතරම් වෙහෙස මහන්සියක් ගන්නවද? ළඟකදි ඉඳන් හුණු කොටුවෙ වැඩට යන්නෙත් කීයක් හරි වැඩිපුර හොයාගන්ට හිතලා. මට හඳුනයිය මුලිච්චි වුනේ පීල්ල ගාවදි. මේ දවස්වල කවුරුත් ඔය දිහා යන්නෙ නෑ .. පීල්ලට තමා එන්නෙ. මං කාසි දුන්නහම හඳුනයියගෙ මූණ නිකං අඳුරු පාට ගැහුනා. හරියට මං නොහොබිනා දෙයක් කරා වගේ. "උඹට දෙයක් ගෙනත් දෙන්නේ සල්ලි ගන්ඩ බලාගෙන නෙවෙයි . ඒක මයෙ සතුට. ඇයි උඹට ඒක තේරුම් ගන්ඩ බැරි ? මං පිටස්තර එකෙක් ගානයිද උඹට.. " "අනේ හඳුනයියා.. මං එච්චර දුරක් හිතුවෙ නෑ . අයියා දුක් මහන්සියෙන් හරි හම්බ කරන දේ නෙව ..මට වාවන්නෙ නැතුව ගියා. මේක නොගත්තොත් මයෙ හිතට හරි නැතුවා.." මයේ පෙරැත්තයට කාසි ටික අතට ගත්තට හඳුනයියා උන්නේ මා එක්ක අමනාපෙන්... "උඹට මං වංගියක් කිව්වා කීයක් හරි ඉතුරු කරල තියාගනිං කියල හදිසියකට ගන්ඩ . මං දුර බැහැරක ගිහින් උන්නු වෙලාවක වුවමනාවක් උනොත් මොකෝ උඹ කාගෙන් ඉල්ලගන්ඩ කියලද... ? " හඳුනයියා කියන එකෙත් ඇත්තක් තියෙන වග මටත් හිතුනා .ඊළඟ දවසේ හඳුනයිය ලොකු මැටි කැටේකට කාසි වගයක් දාල මයෙ අතින් තිබ්බා. "හ්ම්.. මේක කොහෙ හරි ගන්නා තියාගෙන කීය කීය හරි දාපන් නගා.කොහෙදෑ ඉතින් මයෙ කෙල්ලට ලිප් බොක්ක අස්සේ කුරහන් රොටී පුච්ච පුච්ච ඉන්න තිබුනහම මදෑ.. මෝඩි..." හඳුනයියා මං දිහා බැලුවෙ මහා ලෙංගතු කමකින් .ඒත් මයෙ හිත කුළු හරකෙක් වාගෙ ඉබාගාතෙ දුවලා කිට්ටුවෙන්ටවත් බැරි මානෙක නතර වෙනවා ..හඳුනයියගෙ දෑහෙ බැල්මෙන් වහංගු වෙන්ට මං ඈත අරමට එහා කඳු පේළිය දිහාව බලාන උන්නා. ඉරගල වැටෙන වෙලේ යාන්තමට ඇතිරිලා තියෙන අව් රැල්ලත් ගඟුලැල්ලෙන් එහාට වහංගු වෙලා .. නොපෙනිලාම ගියේ මය
ෙ හිතටත් හීනියට පාළුව, කාංසිය ගෙනත් තියලා වගේ. මතු සම්බන්ධයි. (සේයාරුව අන්තර්ජාලයෙනි)ස්කෝලේ පන්තියේ උගන්වන වෙලාවක පොඩිම පොඩි චිට් එකක,ලොකුම ලොකු අත් අකුරු ඔන්න ඔහෙ වැඩක් නැති, වෙලාවක කියවන්න අඹරලා, ගුලිකරලා, විසිකළා පොත යටට පහුවදා පාන්දර, ගේට්ටුව දොර ගාව සුදු කොඩියකින් සුදෝ, සුදු පාට කොඩි පාර දන්නැද්ද අර දහයෙ, පංතියේ කටකාර සුදු කෙල්ල ඊයෙ රෑ, බෙල්ලෙ වැල ගෙලලාන ඔව් ඊයෙ පන්තියේ, හරි හොදට කසුකුසුව දුන්නා මම අත පුරා, වේවැලෙන් නිල් පාර තිබ්බෙ නෑ නූලකින්, වෙනසකුත් මුව ගාව හරිම පුදුමයි කෙල්ල, උන්න හැටි මං ගාව කොහෙන් හරි ඇති කොනක, පෙම් හිලව්වක් ගෑව කෙල්ල හරි හැඩ නිසා, කොල්ලො නිතරම ගාව මළගමට යන්න මම, ඇදන් නෑ සුදු පාට රතු පාට යන්නේම, මගුල් ගෙදරට යාව උදේ දහයට යන්න, ස්කෝලේ කසුකුසුව තිබ්බ නිදහස නිසා, ගත්තා පොත විසිකෙරුව බස් ටිකට් අස්සෙ ඇති, කටුකොලය පොඩිවෙච්ච පිළිකුළෙන් දිග ඇරියා, වැඩක් නැති හින්දාම ___________________________________________ "දැක්ක දා පටන් මට, මගෙම අප්පච්චි නුඹ මම දැක්ක හීනයේ, නිහඩ ආදරය නුඹ ළග තියෙන සුවද හැම, දාම මට දුන්න නුඹ නූතනයේ මට ලැබුණු,මගෙම දුයිෂෙන් ය නුඹ අල්තිනා හැමදාම, ගෙදර කළුවර රෑට අප්පච්චි වල්මතින්, විකයි මා හැම දාම අම්මා ගිය දා පටන්, කුඩම්මා හැම රෑම අප්ප ළග මම තියලා, තළු මරන- වා රාග ඊයේ මහ පාන්දර, වමනෙ ඕසෙට ආව කුස අස්සෙ පොඩි එකෙක්, හැදෙනවා වගෙ ලාව මට ඉන්න එකම එක, අප්පච්චි නුඹ ගාව ලිව්වෙ මම ඒ නිසයි, එකම සරණක් පෑව අද දවස ගතවෙන්න, කලින් මට මගෙ නමට එකම එක වචනයක්, ඕන සහතික ඇතුව අනේ බුදු සර් මම, කොහොම ඉවසන්~නේ කළල ගැළවෙන්න එකම මග, මට නුඹේ ඇස් පාර මට තියෙන, මම දන්න, එකම එක උත්තරය යන්න යනවා බෙල්ලේ, ලණු පොටක් ගෙලලාන හැකියි නම් මට දෙන්න, මම හොයන උත්තරය අනේ සිංහල සර්, මට ඕන ඒ වචන " ____________________________________________ ජීවිතේ මා දැක්ක, පණ තියෙන අකුරු ටික දැන් හුස්ම අතහැරලා, දෙතුන් හෝ රාවකට මළ ගෙදර යන්න බෑ, වාවන්නෙ නෑ පපුව නුඹ මරාගත් එකම, මිනී මරුවා මමය... . ~අශ්~ අධිමාත්‍රා# **සොඳුරු රුවැත්තිය** ***Poet Lord Byron විසින් ලියූ 1815 දී මුලින්ම පළවූ 'She Walks in Beauty' නම් කවියේ සිංහල අදහස*** She walks in beauty, like the night Of cloudless climes and starry skies; And all that’s best of dark and bright Meet in her aspect and her eyes; Thus mellowed to that tender light Which heaven to gaudy day denies. මේ කවියෙදි Lord Byron ඔහු ඉදිරියට ඇවිදගෙන එන සොඳුරු යුවතියකගේ සුන්දරත්වය වළාකුළු නැති තරු පිරුණු අහසකට උපමා කරනව. මේ කවිය මගේ ප්‍රියතම නිළියක් වෙන සායි පල්ලවී ව මගේ හිතේ අඳිද්දි, මේක කියවන ඔබේ හිතෙත් ඇය හෝ වෙනත් සොඳුරු කාන්තාවක් අඳෙනව ඇති කියල මට හිතෙනව.ඇත්තටම අපිට තරුවල කාන්තිය හරියටම දකින්න පුළුවන් වෙන්නෙ සඳ නැති ගණ අඳුරු රෑ අහසක. මේ සොඳුරු යුවතියගේ ඇස්වල සහ ඇයගේ පෙනුමේ කවියා දකිනව අඳුරේ තියෙන හොඳම සහ කාන්තිමත්ම දේ. අලෝකවත් දවල් කාලයේ නැති අමුතුම සුන්දරත්වයක් ආලෝකයක් සෞමය රාත්‍රියක තියෙනව. කවියා ඇයගේ වචනවලින් විස්තර කරන්න බැරි සුන්දරත්වය සෞම්‍ය රාත්‍රියේ සුන්දරත්වයට සමානකරනව. The Great Gatsby ලියපු F Scot Fitzgerald ගෙ එක නවකතාවක title එක ‘Tender is the Night’. මේකෙ සිංහල අදහස ගත්තොත් ‘රාත්‍රිය සෞම්‍යයි’ වගේ. Pablo Neruda ඔහුගේ Sonnet 16 කියන කවියෙදි ලියනව “I love you as certain dark things are to be loved,/ in secret, between the shadow and the soul.” ඒක වෙනස්ම අදහසක්. One shade the more, one ray the less, Had half impaired the nameless grace Which waves in every raven tress, Or softly lightens o’er her face; Where thoughts serenely sweet express, How pure, how dear their dwelling-place. Lord Byron ඊළඟට ලියනව ඒ අඳුර තව එක shade එකකින් වැඩි වුණා නම් හෝ ඒ කාන්තිය තව එක ආලෝක කිරණයකින් අඩුවුණා නම් හෝ ඇයගේ මේ වචනවලින් කියන්න බැරි ඇයගේ හිස කෙස් රොදින් රොදට, ඇයගේ සොඳුරු වත පුරාම ඇඳුණු සුන්දරත්වය ගොඩක් අඩුවෙන්න තිබුණ කියල. මේ delicate balance එකත් එක්ක ඔහු දකින ඇයගේ සුන්දරත්වය පරිපූර්ණයි. හැබැයි ඔහු ඒක එහෙම ලියන්නෙ නෑ. ඔහු ඒ පරිපූර්ණ සුන්දරත්වය අපිට පෙන්වනව. මේ තමයි කවියේ තියෙන වෙනස. කවියේ තියෙන සුන්දරත්වය. අපි ඒක අපි සුන්දරත්වය මනිණ දර්ශක වලින්, මිනුම් දඬු වලින් අපේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව මැන ගන්නව. දකිනව. විඳිනව. වෙනත් විදිහකට කිව්වොත් ඔහුගේ කවිය අපි අපේ කරගන්නව. කවියා ලියන විදිහට ඇය හරිම සුන්දර වගේම සන්සුන් කෙනෙක්. And on that cheek, and o’er that brow, So soft, so calm, yet eloquent, The smiles that win, the tints that glow, But tell of days in goodness spent, A mind at peace with all below, A heart whose love is innocent! ඊළඟට ඔහු තවදුරටත් ඇයගේ වත පුරා ඇඳුණු සුන්දරත්වය විස්තර කරනව. ඔහු ලියන විදිහට ඇයගේ මුහුණ වගේම හදවතත් සුන්දරයි. මේ ඔක්කොම දේවල් එක්ක අවසාන වශයෙන් ඔහු අපිට කියන්නේ ඇයගේ බාහිර සුන්දරත්වය ඇයගේ අභ්‍යන්තර සුන්දරත්වයේ ප්‍රතිබිම්බයක් බව. හැබෑ ජීවිතයෙදි මේ දේවල් මේ විදිහට වෙන්න පුළුවන්ද කියන සැකය ඔබට වගේම මටත් තියෙනව. ඒත් අද වෙද්දි අපි හැමෝම වගේ අපේ අභ්‍යන්තර සුන්දරත්වය අමතක කරල බාහිර සුන්දරත්වය ඉස්මතු කරන එකට මුල් තැන දීලා තියෙනව. එහෙම කරන එක ඇතුළෙ අපි ඒක පිළිගත්තත් නැතත් අපිට විශාල අන්තර් පුද්ගල සහ සමාජ පිරිවැයක් අපිට දරන්න වෙලා තියෙනව. ඒ වගේම මේ තත්වය එන්න එන්න නරක අතර හැරෙනව.සංගීත චාරිකාව 02 අපේ අම්මාගේ ජීවිතය අවුරුදු 56ක් වැනි ඉතා කෙටි කාලයකට සීමා උනා.. අම්ම නැති වෙනකොට මට වයස 21යි. නංගිට 16යි. ජීවත් උනේ කෙටි කාලයක් උනත් තමන්ගේ දරුවන්ගෙ විතරක් නෙවෙයි දරුවන්ගෙ දරුවන්ගෙ පවා ජීවිත වලට ඉතාමත් ධනාත්මක බල්පෑමක් කරන්න තරම් ශක්තිමත් චරිත කතාවක් ඇය සතු උනා. අපෙ පවුලෙ අය ගණිත අංශයට යොමු උනේ අම්මගේ බලපෑම මතයි. ලංකාවේ කාන්තා අධ්‍යාපනය ඉතාම දුර්වල අවධියක ඇය හදාරා තිබුනේ උසස් ගණිතය පිලිබඳ, බ්‍රිතාන්‍යය කේම්බ්‍රිජ් සරසවියේ බාහිර උපාධියයි. අනතුරුව ඇය ඉංග්‍රීසි සහ ගණිත ගුරුවරියක් ලෙස ගාල්ල දිව්‍ය හෘදයේ කන්‍යාරාමයේ සහ කලුතර සිරි කුරුස විදුහලේ සේවය කළා.. මමත් නංගිත් කුඩා කාලයේදී ඇය විසින් අපව ගණිතය, ඉංග්‍රීසි සහ සංගීතය යන අංශ කෙරෙහි යොමු කරනු ලැබුවා.. අපගේ නිවසේ සවස් කාලයන්හි ගීත ගායනය සාමාන්‍ය දෙයක් උනා. ඒ කාලයේ ලංකාවෙ ජනප්‍රිය වෙලා තිබුනෙ කණ්ඩායම් සංගීත යයි. මේ සංගීතය තුල ස්පැනිශ් සංගීතයේ ගති ලක්ෂණ ගොඩක්ම තිබුනා. ගෙදර වැඩිපුර ගායනා කරේ සිංහල සිංදු උනත් අම්මා අපිට ජෝන් ඩෙන්වර්ගේ Country Roads, ඇබා කණ්ඩායමේ I Have a Dream, බොනිඑම් කණ්ඩායම් By tha Rivers of Babilone වැනි ගීත නිසි උච්චාරණයෙන් ගායනයට ඉගැන්වූවා.. ඒ කාලෙ ගීතයක් අහන්න අපිට තිබ්බෙ රේඩියෝව විතරයි. දැන් වගෙ නැවත නැවත අහල අපේ ගායනයේ හෝ වාදනයේ වැරදි තැන් හදා ගන්න අවස්ථාව තිබුනෙ නැහැ. මේ හේතුව නිසා ඒ යුගයේ නොටේශන් කියවීමට ඉගෙන ගැනීම සහ ඒවා අභ්‍යාස කිරීම සංගීත අධ්‍යනය තුල ඉතා වැදගත් උනා. නංගි පොඩි කාලෙම අම්ම එයාව ලන්ඩන් ට්‍රිනිටි කොලෙජ් (Trinity Collage of Music) සංගීත විභාග සඳහා සූදානම් කෙරෙව්වා. නංගී ලෙවල් පහක් දක්වා විභාග සාර්ථකව අවසන් කරා. අම්මා ලන්ඩන් විභාග සඳහා ඉගෙනගෙන තිබුනේ ඇක්වයිනස් විද්‍යයාලයේ. එවකට එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබුනේ කතෝලික සභාව තුල ඉතාමත් දැඩි රැඩිකල් චරිතයක් වූ තිස්ස බාලසූරිය පියතුමා. එතුමන්ගේ බලපෑම මත අම්මා එවක පැවති සාම්ප්‍රදායික කතෝලික පැවැත්මෙන් මිදී සමාජ සාධාරනත්වයක පෙරටු කරගත් කතෝලික යහ පැවැත්ම තුල ජීවත් වන චරිතයක් බවට හැරී තිබුනා..වෙනසක අරුමය (කෙටි කතාවකි) —----------- සාලයේ ඇති ටෙලිපෝනය නාද වුනේ දවස් ගානකට පස්සේ.මේ ලෑන්ඩ් පෝන් එකට දැන් කතා කරන්නේ අම්මාත් තාත්තාත් ටෙලිකොම් එකත් විතරයි.අනෙක් හැම දෙනාම කතා කරන්නේ හෑන්ඩ් පෝන් එකට.අම්මාත් තාත්තාත් හෑන්ඩ් පෝන් පාවිච්චි කරන්නේ නැති නිසා ඒ අය පරණ පුරුදු විදිහටම කතා කරන්නේ ලෑන්ඩ් පෝන් එකට. ‘අන්න ඔයාට කෝල් එකක්…ගන්න ගෙදරින් වෙන්න ඇති’ බිරිඳ කිව්වා. ‘කොහොමද එහෙම කියන්නේ ..අරන් බලන්න ‘ රුවන් අනෝමාට කිව්වේ ඒ විදිහට. ‘මගෙ කටහඬ ඇහුණොත් ඒ ගොල්ලෝ කතා කරන්නැහැනේ…එතකොට පෝන් එක තියෙනවා’ මීට පෙර සිය දහස් වතාවක් එහෙම වුන නිසයි අනෝමා එහෙම කිව්වේ.රුවන් මව්පියන්ගේ අකමැත්ත මත විවාහ වී මේ වන විට වසර දාසයක් වුනත් අම්මලා තාත්තලා ලේලිය සමඟ කිසිම සබඳතාවක් නැහැ.රුවන් ටෙලිපෝනය ඉස්සුවාම කතා කළේ අනෝමා සිතපු විදිහටම තාත්තා. ‘පුතා ගෙදරද ඉන්නේ’ ‘ඔව් තාත්තේ’ තාත්තාගේ කටහඬ වෙනස් වෙලා වගෙයි රුවන්ට හැඟුනේ. වෙනදාට හැඬුම්බර කටහඬක්. ‘ඇයි තාත්තේ ඇයි’ ඒ නිසාමයි නැවතත් කතා කළේ. ‘පුතේ පොඩි කරදරයක්’ ‘ඇයි තාත්තේ ඇයි මොකක්ද’ ‘අපි තව ටිකකින් එනවා පුතාලගෙ ගෙදර’ රුවන්ට අදහා ගන්නත් බැහැ ඒ කතාව.අවුරුදු දාසයක් තමන් ඉන්නා තැනකට කවදාවත් නොපැමිණි තාත්තා ඇයි මෙහෙම වෙනස් වුනේ. ‘අපේ ගෙදර’ ‘ඔව්’ ‘ආ ඒකද මම හිතුවා කරදරයක් කියලා’ දුරකථනය විසන්ධි වුනා.රුවන් කතා කළේ බිරිඳ අනෝමාට. ‘අද අම්මලා එනවයි කිව්වා’ ‘ අම්ම එනකොට වෙනදා කියන්නෙ මටනේ…අද මොකද ඔයාට කියලා තියෙන්නෙ’ අනෝමා කතා කළේ පුදුමයෙන් වගේ ‘ඔයාලගෙ අම්මා නෙවෙයි අපේ අම්මලා’ ‘ඔයාගේ අම්මලා එනවයි කිව්වා මෙහෙ …හරි පුදුමයිනෙ ….බැඳලා දැන් අවුරුදු දාසයක්…ලොකු දුව ලොකු ළමයෙක් වෙච්ච දවසෙත් ආවෙ නෑ’ ‘ඔව් ඒක තමයි මමත් කල්පනා කළේ’ රුවන්ට සැණෙකින් මතක් වුනේ දියණිය ලොකු ළමෙක් වුනදා තාත්තා නංගී අතේ රුපියල් පන්දාහක් එවා ත
ිබුන අයුරුයි.ඒ මීට වසර දෙකකට ඉස්සර වෙලා. ‘මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වගේ …බොහොම දුකින් වගේ තාත්තා කතා කළේ’ ‘එහෙනං නංගිත් එක්ක ප්‍රශ්නයක් වෙලාද…මෙහෙ නවතින්න නෙවෙයිනෙ එන්නෙ ‘ අනෝමා පැවසුවේ සැකයෙන් වගේ. ‘අම්මලා කොහෙද අනෝමා මෙහෙ නවතින්නෙ …වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති’ රුවන් කිව්වේ සිනාසෙමින්. ‘ ඒ වුනාට මටනං හිතෙන්නෙ මොකක් හරි ලොකුම ලොකු ප්‍රශ්නයක්…දවසක් දෙකක් හරි නවතීවි ...නැත්නං ඔය විදිහට ඒවිද’ ‘මොන ප්‍රස්නේ වුනත් අම්මලා මෙහෙ නවතින්නෙ නෑ ..ඒක මට ෂුවර්…මමනෙ අම්මලාගෙ හැටි දන්නෙ ‘ ‘අනේ ඔන්න මටනං බෑ නවතින්න ආවොත්….මටත් මේ ගෙදරින් යන්න වෙයි ..අවුරුදු දාසයකටම මට කතා කරලා තියෙන්නෙ එක දවසයි’ ‘අම්මලා ඔයාට කතා කරලා තියෙනවා….ඔයා මට කිව්වෙ නෑනෙ මෙච්චර දවසකට’ රුවන් ඇසුවේ පුදුමයෙන්. ‘ඇයි මතක නැද්ද මම හිටපු බෝඩිම ළඟට ඇවිත් මටත් බැනලා ඒ ගෙදර අයටත් තර්ජනය කරලා ගිය හැටි..එදා තමයි මම ඒ දෙන්නා දැක්කෙත්…අපෝ එදානං’ ‘එහෙම දෙයක් වෙන්නෙ නෑ ..මොකක් හරි ගෙදර විස්තරයක් කියන්න වෙන්න ඇති ‘ ‘විස්තර ඉතින් වෙනදා වගේම ඇයි පෝන් එකෙන් කතා කරන්න බැරි …ඔය අම්මලාගෙ බෑණා හින්දා ගරාජ් එකෙත් ප්‍රශ්න ඇති වුනා කියල ඔයා කිව්වෙ’ ‘ඔව් එහෙම ගෙදර ප්‍රශ්න තිබිල නම් තියෙනවා’ ‘ඒක තමයි …මම ගේ ටිකක් අස්පස් කරලා අතු ගාලා දාන්නං ….නැත්නං ඒ ගොල්ලො දැකපු ගමන් මට හිතෙන් හරි බනීවි…තව එකක්.. තේ බොන්න මොනවත් ගෙදර නෑ ….කඩේට ගිහිං බිස්කට් එකක්වත් අරගෙන එන්න …ඒ ගොල්ලො මේ ගෙදරට එන පළමුවෙනි දවසනේ’ ‘මේ ගෙදර ලස්සනට තියෙන්නෙ …අපේ මහගෙදර මේ වගේ නෙවෙයි හරිම අවුල්…අම්මට තාත්තට නංගිට…හැමෝටම ඕනි සල්ලි විතරයි’ රුවන් ඇඳුමක් දාගෙන කඩේ පැත්තට යන අතරේ කල්පනා කළේ අම්මලාගේ මේ වෙනස් වීම ගැන.ඒ එක්කම මතක් වුනේ ඔවුන්ගේ ආදර කතාව. රුවන් දැන් පදිංචිය කළුතර.රුවන්ගේ මහගෙදර තිබුණේ පානදුර කර්මාන්ත පුරය කිට්ටුව අතුරු පාරක .තාත්තා වැඩකලේ ලංගම කාර්මික ශිල්පියෙක් විදිහට.ඒ දැනුමෙන් ඔහු ගෙදර වත්තෙම ආරම්භ කළා ගරාජ් එකක් වාහන රෙපයාර් කරන්න.අම්මා කළේ අවට අයට පොලියට සල්ලි දෙන එක. මේ නිසා හොඳ ආධායමක් තිබුනා වගේම ගමේම හයිකාරයන් විදිහටයි හැසුරුනේ.රුවන්ට රැකියාව ලැබුනේ අවුරුදු 22 දී දුම්රිය දෙපාර්තමේන්තුවේ.ඔහු වැඩට යන්නෙ එන්නෙ මෝටර් සයිකලයෙන්.රැකියාව ලැබිලා හරියටම අවුරුද්දක් විතර වෙන්න ඇති.එදා වැහි දවසක්.පාරේ සමහර තැන්වල වතුර වලවල්.ඔහු බයිසිකලයේ යන විට ඉදිරියෙන් යනවා ගැහැණු ළමයෙක්.ඔහු සයිකලය ස්ලෝ කරගෙන ගියේ ඇගේ සිරුරට පාරේ ඇති මඩ වතුර නොවදින්න.මේ නිසාම මෝටර් බයිසිකලය නොදැනුවත්වම වැටුණේ වලකට. රුවනුත් විසිවුනේ බැලන්ස් නැතිව.රුවන්ගේ ඇඟ පුරා මඩ සහ වතුර. මේ විදිහට වැඩට යාමට නොහැකි නිසා ඔහු නැගිට්ටා ආපසු ගෙදර යාමට.එතකොටයි ඒ ගෑණු ළමයා කතා කළේ. ‘මොකද වුනේ ‘ ඔහුට ඇති වුනේ ලැජ්ජාවක්.ඔහු බැලුවා ඇය දෙස.හරිම අහිංසක මූණක් තියෙන ළමයෙක්. ‘මම ඔයාගේ ඇඟට මඩ වතුර වදින නිසා අයින් කරගෙන ගියා හෙමින්.. මම දන්නෑ එතන වලක් …කමන්නෑ ආපහු ගෙදර ගිහිං එනවා’ ‘අපරාදේ මම නිසා’ ඇය කතා කළේ ලොකු වරදක් කළ අයුරින්. ‘නෑ කමක් නෑ ..මම ඉන්නෙ කිට්ටුව’ රුවන් එදා ආපහු ගෙදර යන ගමන් හිතුවේ ඇය ගැන.ලස්සනම නෙවෙයි ඇය හරිම ආකර්ෂණීයයි අහිංසකයි කියලයි ඔහුට හැඟුනේ.මේ හැඟුම දෙගුණ තෙගුණ වුනේ ඊට පසුවදාත් ඇය එතනදීම හමුවීමෙන්.ඔහු ඇය ළඟ මෝටර්සයිකලය නතර කළා. ‘අද නම් වැස්ස නෑ’ ඔහු කීවේ සිනාසෙමින්.කතාවක් ආරම්භ කරන්න හොඳම මාතෘකාව වැස්ස. ‘ඒක තමයි නැත්නං නාන්න තිබුනා’ ඇය කිව්වේද සිනාසෙමින්.ඒ හිනාවත් හරිම ලස්සනයි.අහිංසකයි හරිම ආකර්ෂණීය බවකුයි නැවතත් රුවන්ට හැඟුනේ. ‘කොහෙද වැඩ කරන්නෙ’ ‘මම …..ගාමන්ට් එකේ’ ඇය සුප්‍රසිද්ධ ගාමන්ට් එකක නමක් කිව්වා. ඊට පසු දිනේ සිටම රුවන් ගෙදරින් පිටත් වුනේ ඒ වෙලාවටමයි .ඒ අනෝමා ඒ වෙලාවට හමුවන නිසා.නම් ගම් අසා හඳුනාගැනීම දින කීපයකින්ම සිද්ධ වුනා. ‘ඔයාගෙ හෑන්ඩ් පෝන් නම්බරේ මොකක්ද’ ඇයගෙ මුහුණට ආවේ අසරණ බවක්. ‘මට හෑන්ඩ් පෝන් එකක් නෑ …මේ මාසෙවත් පඩි ගත්තාම ගන්න හිතාගෙන ඉන්නෙ’ ඔවුන්ගේ කතාව ආදර කතාවක් වෙන්න වැඩි දවස් ගියේ නැහැ. ‘හෑන්ඩ් පෝන් එකක් ගත්තද..අපිට ගෙදර ගියාමත් කතා කරන්න පුළුවන්’ යළිත් අනෝමාගේ මුහුණට ආවේ අසරණ බවක්. ‘මල්ලි බයෝ සයන්ස් වලින් ඒ ලෙවල් කරනවා …එයාගේ ටියුෂන්…. පොත්පත් වලට මේ මාසෙ පඩිය ගියා ..එයා හරිම දක්ෂයි’ ඇය කීවේ ලොකු දුකකින් වගේ..ආදර කතාව ඇරඹුණත් මේ වනතුරු ඇගෙ ගෙදර තොරතුරු ඇහුවේ නැති එක ලොකු අඩුවක් බව රුවන්ට තේරුණේ එතකොට. ‘ඇයි තාත්තා වියදන් කරන්නැද්ද’ ‘අපේ තාත්තා නැතිවෙනකොට මට අවුරුදු හතයි…මල්ලිට අවුරුදු පහයි…අපි පදිංචි වෙලා හිටියේ තාත්තගේ මහ ගෙදර…ඉඩම අක්කරයක් විතර තිබුන හින්දා ආදායමක් තිබුනා..තාත්තා පොලේ බිස්නස් කරපු හින්දා සල්ලිත් තිබුනා …තාත්තා නැතිවුනාට පස්සේ දැන් අවුරුද්දකට විතර ඉස්සර වෙලා බාප්පලා දෙන්නා මහගෙදර ඉඩමට නඩු කියලා දැන් තියෙන්නේ ගෙදරයි ඒ වටේ ටිකයි විතරයි…අම්මා පළතුරු එළවලු එකතු කරලා ගොඩකවෙල පොලේ අඟහරුවාදයි සෙනසුරාදයි විකුණනවා …ඒක ජීවත් වෙන්න මදි..මාත් ඒ ලෙවල් ඉවර වෙලා ජොබ් වලට ඇප්ලයි කළා ..ලැබුනේ නැති හින්දයි මේකට ආවේ’ ඇය ජීවිත කතාවක් කෙටියෙන් කීවේ වේදනාව සඟවාගෙන සිනාවෙමින්.ඊට දින දෙකකට පස්සේ රුවන් අනෝමට දුන්නා පොඩි තෑග්ගක්.ඒ නොකියා හෑන්ඩ්පෝන් එකක්. ‘එපා රුවන් ..ඇයි මේ සල්ලි නාස්ති කළේ ‘ ‘අපි දෙන්නට කතා කරන්න පුළුවන් මේක ගන්න’ ඇය ඒක අතට ගත්තේ හරිම අකමැත්තකින්.ඊට පස්සේ ඔවුන් දිනපතාම රාත්‍රී කතා කරන්නට පටන් ගත් පසුවයි අම්මාගේ සැකය ඇති වුනේ.ඒ විතරක් නෙවෙයි අම්මා නංගී මගින් කතා කරන්නේ කවුදැයි හොයාගෙන තියෙන්නේ හෑන්ඩ් පෝන් එකෙන්. ඒ අතරේ ගමේ කෙනෙක් මේ සම්බන්දය ගෙදරට කියපු දවසේ මුලින්ම ආවේ අම්මාගේ විරෝධය. ‘අපි ඔක්කොම හොයා ගත්තා …ඔය කෙල්ල ගාමන්ට් කෙල්ලක් …ඕක දැම්මම නවත්තලා දාන්න ..මට හිතුනා රෑට රෑට දොර වහගෙන මුමුණනකොට මොකක් හරි පටලැවිල්ලක් කියලා’ ‘ගාමන්ට් ෆීල්ඩ් එකේ මොකක්ද තියෙන වැරැද්ද’ ‘වැරැද්ද… කවුද ගණන් ගන්නේ හිඟන රස්සා’ රුවන්ට අම්මත් එක්කත් ඇති වුනේ කේන්තියක්. ‘මම එකක් කියන්නං එහෙනං ඔය අම්මා කරනදේත් හොඳද’ ‘මොකක්ද මම කරන්නේ ‘ ‘ඔය සල්ලි ගිනි පොලියට දෙන එක…තාත්තා වුනත් සල්ලි හම්බ කරන්නේ සාධාරණවද වාහනවල මේ පාට්ස් ගෙවිලා මේවා දැන් පාවිච්චි කරන්න බෑ කියලා හොඳ පාට්ස් ගලවලා වෙන වාහන වලට දාලා සල්ලි ගන්නවා’ ‘දැන් එහෙනං උඹට පේන්නෙ අපේ වැරදි…හොඳයි මම තාත්තට කියන්නංකො පුතණ්ඩියාගේ තරම’ අම්ම කතා කළේ කඳුළු සළමින් .ඒත් ඔවුන්ගේ සම්බන්දතාව නැවතුනේ නැහැ.තාත්තා කෙලින්ම මොනවත් කීවේ නැහැ. ‘මම ඔය පලහිලව්ව නවත්තන්නේ වෙන විදිහකින්..මම ඔය කෙල්ලට මෙහෙ රස්සාව කරන්න ඉඩ තියන්නැහැ’ තාත්තා අම්මාට හිමිහිට කියනව රුවන්ට ඇහුනා.ඒක කියලා දවස් දෙකයි ගියේ.හවස වැඩ ඇරිලා ගෙදර එනකොට මගදීම ඔහුගේ මිතුරෙක්වූ සුනන්දයි කිව්වේ ඒ විස්තරය. ‘රුවන්ගේ තාත්තා අනෝමගේ බෝඩින් එකට ගිහින් ඒ ගෙදර අයට තර්ජනය කරලා අනෝමව යවන්න කියලා’ ‘ඒ ගොල්ල මොකද කියල තියෙන්නෙ .. ඒ මිනිස්සු බය වෙලා..එයාලා මේ ගමේ නෙවෙයි ..පිටින් ආපු අය’ ‘අනෝමා ගෙදර ඉඳල නැද්ද’ ‘අනෝමත් මගදී මීට් වෙලා එයාටත් බැනලා ….පව්’ එදා ගෙදර ගියත් අම්මාවත් තාත්තාවත් මේ ගැන වචනයක්වත් කතා කළේ නැහැ.රුවන් රාත්‍රී අනෝමාටහෑන්ඩ් පෝන් එකෙන් කතා කළත් පෝන් එක සයිලන්ට් කරලයි තිබුනේ.දිගින් දිගටම කතා කළත් ඇගෙන් පිළිතුරක් නැහැ.පසුවදා එළිවනතුරුයි රුවන් බලාගෙන හිටියේ.ඒ රාත්‍රිය රුවන්ට දිගු රාත්‍රියක් වුනා.ඔහු ගෙදරින් පිටත් වෙනකොට අම්මාත් තාත්තත් සතරකන් මන්ත්‍රණයක්ඒත් .එදා ඇය හමු වුනේ නැහැ.ඔෆිස් එකට ගියත් රුවන් හරිම අවුලෙන් හිටියේ.දිගටම අනෝමාගේ පෝන් එක සයිලන්ට්.ඔහු එදින රාත්‍රියේ ආහාර ගත්තෙත් නැහැ. ‘මොකද උඹට වෙලා තියෙන්නෙ’ අම්මා ඇහුවා. ‘අම්මලා දන්නවනෙ වෙලා තියෙන්නෙ මොකක්ද කියලා’ ‘ආ ඒකද …ඔය කෙල්ල බඳින්න නං මම උඹට ඉඩ තියන්නැහැ පුතේ…උන්ට මෙලෝ දෙයක් නැති දුප්පත් එවුන් ..ඒකයි ඔය කෙල්ල ගාමන්ට් එකේ වැඩට ඇවිත් තියෙන්නෙත්…තාත්තා ඔක්කොම හොයල බලල තියෙනවා’ ‘අම්මලා ඉස්සරත් සල්ලිකාරයොද…පෝසත් වෙන්න ඕනි සල්ලිවලින් නෙවෙයි ගතිගුණ වලින්.එයාගේ ඒ ලෙවල් මටත් වැඩියෙන් හොඳට පාස්…ජොබ් නැති නිසයි මෙහෙ ඇවිත් තියෙන්නේ…මල්ලිත් බයෝ සයන්ස් වලින් ඒ ලෙවල් කරන්නෙ’ ‘බයෝ සයන්ස් කරන හැම කෙනාම උඹ හිතුවද දොස්තරලා වෙනවයි කියලා ..උඹට තාම විසි දෙකයි ඔය මගුල අත ඇර දාපං..හිඟන්නියක් කසාද බැඳගෙන පව් ගෙවන්න එපා’ ‘දුප්පත් කියලා අපහාස කරන්න එපා අම්මේ..මගෙ තීරණේ වෙනස් කරන්නැහැ’ ‘එහෙනං ඉතින් මේ අම්මයි තාත්තයි නෑ කියලා හිතා ගනින්’ රුවන් කාමරේ දොර වහගෙන දස අතේ කල්පනා කළා.අනෝමාගෙන් කෝල් එකක් ලැබුනේ ඊට දවස් දෙකකට පස්සේ. ‘මට සමාවෙන්න රුවන්..මේ පෝන් එක ඔයාට දීලා යන්න බැරි වුනාට… මම ගෙදර ආවා …මෙහෙ ඉඳලා මොනවා හරි කරනවා…අපි මේක අත්අරිමු..ඔයා ව‍ගේ නෙවෙයි තාත්තලා හරිම නපුරුයි..අපි එහෙම දෙයක් වුනේ නැහැ කියල හිතමු’ ඇය කීවේ හැඬුම්බර කටහඬකින් . ‘මට ඔයාට කතා කරන්න ඕනි අනෝමා …මට ගෙදරට එන්න පාර කියන්න’ රුවන් අනෝමාගේ ගෙදරට යන්න පාර හොයා ගත්තෙ හරිම අපහසුවෙන්.ඊළඟ සතියේ සෙනසුරාදාම රුවන් අනෝමා හොයාගෙන ගියා.උදේ හතයි දහයට පානදුරෙන් පිටත්වන සූරියවැව බසයෙන් ගොඩකවෙලින් බහිනකොට දහයට කිට්ටුයි.එතන ඉඳලා ත්‍රීරෝද රථයකින් අනෝමාගේ මග පෙන්වීම මත ඇගේ ගෙදරට යනකොට දහයයි හතලිස් පහයි.ඔහු යනකොට ඇය වත්තේ ගේට්ටුව ළඟ.ඒ අහිංසක මුහුණ දකින විට රුවන්ට ඇති වුනේ හිතා ගන්න බැරි වේදනාවක් වගේම ආදරයක්. ‘හොයා ගන්න අමාරු වුනාද’ ඇය අහිංසක ලෙස සිනාසෙමින්. ‘නෑ තාත්තගේ නම කීවාම ත්‍රී වීල් එකේ ආපු අය දන්නවා කිව්වා’ ඇගේ නිවාස ටිකක් විශාල නිවසක්.ඒත් සුදු හුණු බිත්ති අව පැහැ ගැන්විලා තිබුණේ කාලයකින් රෙපයාර් එකක් කර නොතිබූ නිසා විය හැකියි. ‘මේ අපේ
දුප්පත් ගෙදර’ ‘දුප්පත් පෝසත්කම තියෙන්නෙ ගෙවල්වල නෙවෙයි මිනිස්සුන්ගෙ හිත්වල…අපි පොඩි කාලෙ හිටියේ හරිම පුංචි ගෙදරක…ඒ කාලේ තාත්තට තිබුනේ රස්සාව විතරයි..ඊට පස්සේ සල්ලි හම්බ කළා ..එතකොට සල්ලි තිබුණත් සතුට නෑ’ ‘වාඩිවෙන්න අම්මත් තාම ආවෙ නෑ පොළට ගිහිල්ලා’ ‘එතකොට මල්ලි’ ‘මල්ලි ක්ලාස් ගිහින්’ එදා රුවන් ඒ නිවසින් පිටත් වුනේ දැඩි තීරණයක් අරගෙන.ඒ අම්මා තාත්තා විරුද්ධ වුවද අනෝමා සමඟ ආදරය නතර නොකරන බව ස්ථීර වශයෙන්ම තීරණය කරමින්.ඒත් රුවන්ට ගෙදරින් තිබුනේ දැඩි විරෝධයක්. ‘උඹ ඔය සම්බන්දය නවත්වන්න ඕනි’ මේ සැරේ කතා කළේ තාත්තා.රුවන් නිහඬව හිටියා. ‘මම බඳිනවානං බඳින්නේ ඒ ළමයාම තමයි’ අන්තිමේදී රුවන් කිව්වේ නිහඬව සිටීමෙන්ද කිසිම ප්‍රතිපලයක් නොවන නිසා. ‘එහෙමද එහෙනං ඒ මේ ගෙදර නෙවෙයි ..මේ ගෙදරවත් මේ අම්මා තාත්තාත් නෑ කියල හිතා ගනිං’ අන්තිමට සිද්දවුනේ ඒකමයි.රුවන්ට ගෙදරින් යන්න වුනේ ඒ විදිහට.ඔහු ඇනෙක්සියක් අරගෙන කිසිදු උත්සවයක් නැතිව කසාදය රෙජිස්ටර් කරලා අනෝමාව එක්කගෙන ආවා.සතියකට පස්සේ තාත්තා පණිවිඩයක් එවලා තිබුනා ගේයි ඉඩමයි නංගී නමට ලියනවා කියලා. ‘ඒකට කමන්නෑ ..මම අම්මලා බලලා යන්න එන්නම්’ ඔහු ගෙදරට කීවේ දුරකතනයෙන්. ‘ඔය පිට ගෑනුන්ට මෙහෙ ඉඩක් නෑ එන දවසට උඹ විතරයි…මේක මගේ නෙවෙයි තාත්තගේ තීරණය’ ඊට ඊට පස්සේ මාසෙකට වරක් පමණ රුවන් ගෙදර ගියේ තනිවම.නංගීගේ විවාහය සිද්ධ වුනේ ඒ අතරෙදියි.ඇය විවාහ වුනේ වාහන සේල් කරන අයෙක් සමඟ. ඔහු නිමේෂ් . නිතර නිතර වාහන රෙපයාර්වලට ගරාජ් එකට ආගිය අයෙක්.ඒකත් ආදර සම්බන්දතාවක්.ඔහු රථ ගාල වාහන වෙන්දේසි පොලේ අයිතිකරු කියලයි කිව්වේ. ‘නංගි අර රථගාල සේල් පොලේ ළමයත් එක්ක යාළුයි ..අපි හිතාගෙන ඉන්නෙ මේ කසාදෙ කරලා දාන්න’ ‘රථගාල ඒ ගොල්ලන්ටද අයිති’ රුවන් ඇහුවේ නිහඬව සිටීම හොඳ නැති නිසා. ‘ඔව් හොඳ සල්ලිකාරයෝ….හිඟන්නෝ නෙවෙයි’ ඒ කතාවට රුවන්ගේ හිත කීරි ගැහිලා ගියා.නංගිගේ විවාහය සිද්ධ වුනේ තරු පහේ හෝටලයක.එයටත් සහභාගී වුනේ රුවන් විතරයි.මංගල්ලේ ඉවර වෙලා මාස දෙකකින් තමයි මනමාලයාගේ ඇත්ත තොරතුරු හොයා ගත්තේ.රථ ගාල එයාගේ නෙවෙයි.එයාගේ දුරින් නෑදෑයෙක් වන අයෙක්ගේ.මුදල් වංචාවක් නිසා ඔහුට එතනින් අයින් වෙන්න වුනේ මාස දෙකක් රක්ෂිත බන්ධනාගාරෙත් ඉඳලා.ඊට පස්සේ රුවන්ගේ තාත්තාට සිද්ධ වුනේ ගරාජ් එක බෑනාට බාර දෙන්න.රුවන්ගේ තාත්තා ගරාජ් වැඩ වලිනුත් අයින් වුනා. ‘මම ගරාජ් එකත් නිමේෂ්ට භාර දුන්නා’ ‘ඒක හොඳයි..තාත්තලා දැන් වැඩ කරන්න ඕනි කාලෙ නෙවෙයි..විවේකෙන් ඉන්න ඕනි කාලේ’ ‘නෑ ඒකමත් නෙවෙයි නිමේෂ්ට අල්ලන්නෙ නෑ මගේ වැඩ…දැන් මටත් ආදායමක් නෑ …අම්මටත් එහෙමයි..පුළුවන් නං ගෙදර ආවාම අම්මට කීයක් හරි දීලා යන්න බෙහෙත් ගන්නවත්’ තාත්තා ඒ කීවදේ ගැන හිතාගන්නත් බැහැ .රුවන් ගෙදරින් ගියාට පස්සෙ ඉඩකඩම්වලින් ගරාජ එකෙන් දෙමව්පියන්ගෙන් කියල රුපියලක්වත් ලැබුනේ නැහැ.ඉඩම් අරගෙන ගෙවල් දොරවල් හැදුවේ ගොඩාක් අපහසුවෙන් එකතු කරගත් සල්ලි වලින්.අනෝමා ඒ ගෙදරින් ආවාට මල්ලි වෙනුවෙන් යුතුකම් ඉටුකළ නිසාම එයා අද වෛද්‍යවරයෙක්.ඒත් තමන්ගේ ගෙදරට වඩා ප්‍රශ්න තාත්තලාට ඇති බව රුවන් ට හිතුනා. ‘ඇයි නංගිලා බලන්නෙ නැද්ද’ ‘එදා හිටපු නංගි නෙවෙයි ඉන්නෙ දැන් ඉන්නෙ පුතේ..උන් දෙන්නටම ඕනි සල්ලි හම්බ කරන්න විතරයි’ රුවන් වෙන මොනවා කියන්නද.අනෝමාට විරුද්ධ වුනු දෙමව්පියන් අන්තිමට අහු වෙලා තියෙන්නේ වංචාකාරයෙකුට.තාත්තා අම්මලත් ඒ දවස්වල හිතුවේ සල්ලි ගැන විතරයි රුවන්ට මතක් වුනා.ඒ වුනත් ඊට පස්සෙ ගෙදර යන හැම වෙලාවේම අම්මගෙ අතට කීයක් හරි දීලයි එන්නේ. රුවන් කඩේ ගිහින් ගෙදර එනකොට ගෙවල් මිදුල් අතු ගාලා වෙනදාටත් වඩා පිළිවෙලයි. ‘රුවන් ඔයාගෙන් මම එකක් අහන්නද’ ගෙදර ආපු ගමන් අනෝමා ඇහුවා. ‘මොකක්ද’ ‘මං අම්මලා ආපුවාම එලියට එන්නෙ නැතුව ඉන්නද’ ‘ඇයි’ ‘ඇයිද කියලා අහන්නෙ අම්මලාට පෙන්නන්න බැරි මමනෙ’ ‘එහෙම කරන්න එපා දැන් ඔය ගෙදරට එන්නෙ ඒ තරහ ඇරිලා හින්දා වෙන්න ඇතිනේ’ ‘ඔයා හිතන්නේ ඒ නිසා කියලද…මටනං හිතෙන්නේ වෙන හේතුවක් ඇති..මට මතකයි ඔයා කිව්වා ගෙදර නංගිත් එක්ක ප්‍රශ්න තියෙනවයි කියලා’ ‘මොනවා වුනත් අම්මලාට ඔය ගෙදර වගේ වෙන කොහෙවත් හරියන්නෙ නෑ’ ‘ඒ වුනාට මට මහ අමුත්තක් දැනෙනවා…කොච්චර අඩුපාඩුකම් තිබුනත් අපි හරි සතුටින් හිටියා’ ‘ඒ සතුට ඒ විදිහටම තියේවි …ඔයා බයවෙන්න එපා..කතා කරපු විදිහට දැන් ඒ ගොල්ලො එන්නත් කිට්ටු ඇති..වාහනේකින්නෙ එනව ඇත්තෙ..මට මහගෙදර ඉඳල බයිසිකලෙන් එන්න යන්නේ විනාඩි විසි පහක් විතර’ ‘මටනං බයයි වගේ’ රුවන් ඒ වෙලාවේ ආයෙත් දැක්කෙ මීට අවුරුදු විසිපහකට ඉස්සර වෙලා ඇගේ ගෙදරදී දැක්ක අහිංසක මුහුණ.ඒ මොහොතෙමයි ගෙදර ඉස්සරහ පාරේ ත්‍රී වීල් එකක් නැවැත්තුවේ. ‘තාත්තලා ඇවිත් වගේ’ රුවන් එලියට බහින විට අනෝමාත් පිටිපස්සෙන්. ලොකු ට්‍රැවලින් බෑග් තුනක් ත්‍රීවීල් එකෙන් බාන විට රුවන් බැලුවේ අනෝමාගේ මූන දිහා.ඇය බලාගෙන හිටියේ ඔහු දිහා නෙවෙයි.අනෝමා ඔහුට ඉස්සර වෙලා ඉක්මනින් ගියේ අම්මලා ළඟට.අනෝමා හිතුවා හරි. ‘කෝ දෙන්න ‘ ඇය අම්මා අතින් බෑග් එක ගත්තා.රුවන් අතට ගත්තා අනිත් බෑග් දෙක. ‘ගෙදර හොයා ගන්න අමාරු වුනාද’ රුවන් කතා කළා.අනිවාර්යෙන්ම අම්මලා ඇවිත් තියෙන්නෙ නවතින්නමයි රුවන්ගේ හිත කිව්වා.අනෝමා දැන් මොනවා කරාවිද කියල රුවන්ට හිතා ගන්නත් බැහැ.එක් පැත්තකින් අම්මයි තාත්තයි.අනෙක් පැත්තෙන් අනෝමා.රුවන්ට ඇතිවුනේ පුදුම අසරණකමක්. ‘නෑ මම ඉස්සර මේ කිට්ටුව ඉඳලා තියෙනවා’ තාත්තා කිව්වේ ලජ්ජාවෙන් වගේ. ‘අපි දවස් දෙක තුනක් මෙහෙ ඉන්න ආවේ…පිළිවෙලක් කරගන්නකන්’ අම්මා කතා කළේ හැඬුම්බරව.රුවන් ඒකට උත්තරයක් දුන්නේ නැහැ.කතා කළේ අනෝමා. ‘රුවන් ඔය බෑග් ඉස්සරහ කාමරෙන් තියන්න’ ‘ඉස්සරහ කාමරෙන්’ ‘ඔව් ..මම අම්මටයි තාත්තටයි ඒ කාමරේ ලේස්ති කළා…පුතාට ඇතුලේ කාමරේක ඉන්න පුළුවන්නෙ …අම්මලාට ටික දවසක් නෙවෙයි හැමදාම වුනත් ඉන්න පුළුවන් අපිත් එක්ක නේද රුවන්’ රුවන්ට අදහා ගන්නත් බැරි වුනා ඒ කතාවට. ‘අපිට වැරදුනා දුවේ අපි හෙව්වේ සල්ලි විතරයි’ අනෝමා අම්මාට වඳින්න දන ගසන විට අම්මා කීවේ හඬමින් ඇයව වැළඳගෙන. ‘හැමදේම තියෙන්නෙ සල්ලිවල නෙවෙයි කියල තේරුම් ගන්නකොට අපි පරක්කු වැඩියි පුතේ…ලෝන් එකක් ගන්න කියලා මම නංගි නමට ගරාජ් එකත් ලිව්වා..නිමේෂ් කිව්වා මේ ඔක්කොම දැන් අයිති අපිට කැමති තැනකට යන්න පුළුවන් කියලා..උඹට මම ශත පහක දෙයක් දීලා නෑ’ ‘ඒ ගැන හිතන්න ඕන නෑ තාත්තලා මෙහෙ ඉන්න..සල්ලිම නෙවෙයිනෙ ජීවිතේ කියන්නෙ..සතුටින් ඉන්න පුළුවන්නං තව වෙන මොනවද’ රුවන් කීවේ අනෝමාගේ මුහුණ බලමින්.අනෝමා සිනහ වුණේ සුපුරුදු අහිංසක විදිහට. —--------------------- ශාන්ත විදාන පතිරණආ..මුව කොහොමද මගේ මිත්‍රයන්ට අදත් ආයුබොවන් කියල පිලිගන්නව ආ..මුව බුද්ධිමය සංවාදයට. අද අපි කතා කරන්න යන්නෙ චතුස්තලවාදී පාරිභාෂික උත්කෘෂ්ඨය අපේ ජීවිත වලට බලපාන හැටි. වචනෙ ටිකක් බරපතල වුනාට බයවෙන්න එපා ඒක ඉතාම සරලව මගේ මිත්‍රයන්ට පැහැදිලි කරන්න හැමදාම වගේ අදත් මං උත්සහකරනව. එහෙනං. වැඩිවෙලා ගන්නැතුව.. මේ මොකක්ද කියල අපි බලමු පට් පට් ගාලා ආ..මුවෙන්.. Intro ඔව්. වැඩේ පටන්ගන්න කලින් මං පොඩ්ඩක් මතක් කරන්නං මං මගේ මිත්‍රයන්ට කරන නවතම විද්‍යුත් විච්ඡේදන පාඨමාලාව ගැන. හැමෝගෙම ඉල්ලීම නිසාම ඒ විද්‍යුත් විච්ඡේදන පාඨමාලාවේ මීළඟ පියවර විදියට විලම්භීත ආක්‍රමණ පාඨමාලාව ලඟදීම ආරම්භවෙනව කැමති කෙනෙකුට ඒකට සම්බන්ද වෙන්න පුලුවන්. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නං. හරි.. කොහෙවත් යන්න එපා දැං අපි එමු අපේ මාතෘකාවට. චතුස්තලවාදී පාරිභාෂික උත්කෘෂ්ඨය. මොකක්ද මේ. චතුස්තලවාදී කිව්වම මගේ මිත්‍රයන්ට මතක් වෙන්නෝන මං කරපු "අම්මට සිරිවෙන පද්ධතියට හාච්චියක්" කියන සීරීස් එකේ හතලිස් එක ආ කියන කොටස. එතනදි මං මේ ගැන ඉතාම ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කලා. හෝව් හෝව්. දැං කිව්ව ගමන් ඒක බලන්න යන්නෙපා. බලල නැත්තං මේක බලල ගිහිං ඒකත් පස්සෙ බලන්න. පාරිභාෂික කිව්වාම අපිට නිකං හිතෙන්නෙ මොකක්ද. මං ඒකට පොඩි උදාහරණයක් කියන්නං. දැං නිකං හිතන්න අපි ලඟ යකඩ ඇණ තුනක් තියෙනව. එක නට් එකක් තියෙනව. බත් පිඟන් තුනයි. මල් වට්ටියයි. හඳුන් කූරු පහයි. අපි දැන් යනව අභය ගිරියට. ඔහොම යද්දි අපිට හම්බවෙනව මල් කඩ. ඒ මල් කඩ වල තියෙනව පොල්තෙල්. අපි එතනින් ඉල්ල ගන්නව පොල් තෙල් නැති වීදුරු බෝතලයක්. දැන් අපිට අර ඇණ තුන ඒ වීදුරු බෝතලේට දාගෙන කතරගම කිරි වෙහෙර වෙනකල් යන්න පුලුවන්. හරිද. පැහැදිලියිනෙ. ඉතාම සරලව මං මේ කිව්වෙ. දැන් මේ වෙලාවෙ රුවන්වැලිමහා සෑය ලඟ භාවනා කරන 8 වසරෙ සමන්ට දැනෙන දේ තමයි පාරිභාෂිකයක් කියන්නෙ. හරි සරළයි. උත්කෘෂ්ඨය ගැන කියද්දි මගේ මිත්‍රයන්ට ආයිත් මතක් කරන්නෝන මගෙ "තෝර කොල වල පිරමීඩ තාක්ෂණය" කියන කොටස බැලුවනං කුෂ්ඨ ගැන ඉතාම ප්‍රබුද්ධ දැනුමක් ලබාගන්න පුලුවන්. බැලුවෙ නැත්තං ඒකත් බලන්න. හරි අපි දැන් ආයිත් මාතෘකාවට එමු. ආ තව දෙයක්. "කුණ්ඩලීනී ශක්තියෙන් බාබකිව් එකක්" කියන කොටසෙදි මගේ මිත්‍රයන්ට මතක ඇති මං විශ්වගෙ අනිත් ජාන ගැන පොඩි මතක් කිරීමක් කලා. ඇත්තටම විශ්ව කියන්නෙ අපේ පුංචි අම්මගෙ පුතා. ඒකත් කිව්වෙ නැත්තං අඩුවක් කියල හිතුන. මගේ මිත්‍රයො දන්නවනෙ මං කිසිම දෙයක් මගේ හිතේ තියාගෙන බාගෙට දැනුම ලබාදෙන්න කැමති නැති බව. මං හැමවෙලේම උත්සහ කරන්නෙ දැනුමෙන් සන්නද්ධ පිරිසක් එක්ක අත්වැල් බැඳගෙන එක පවුලක් විදියට මේ ගමන යන්න. හරි දැං ආයිත් අපි හැරෙමු අපේ මාතෘකාවට. දැන් තමයි අපි මේ මාතෘකාවෙ ටිකක් බරපතල දේවල් අතපත ගාන්න හදන්නෙ. මගේ මිත්‍රයො දන්නවනෙ මං ඒ වගේ දේවල් රසවත්ව පොඩ්ඩක් ජොලි විදියට ඉදිරිපත් කරන්න කැමතියි කියල. අපි එහෙම පොඩි රසවත් විදියකට මේක පැහැදිලි කරගම්මු. දැන් හිතන්න අපේ ජිල්ලබකට හංදියෙ වික්‍රම හෝටලේ තියෙනව සීනි බනිස් හයක්. බලන්න හරිම රසවත් නේ. කියද්දිත් කටට කෙල උනනවනෙ. ඒ බනිස් හය උඩ තියෙනව සීනි කැට අට ගාණෙ. මේක උදාහරණයක් විදියට ගන්න. මං දන්නව වගේ බුද්ධ
ිමත් මිත්‍රවරු දැං පෑන් පැන්සල් කොල අරගෙන මේක මාත් එක්ක කරනව ඇති. කවුරුහරි ඉන්නවනං මගේ විලම්භීත ආක්‍රමණ පාඨමාලාවට සම්බන්ද වෙන්න කැමති මං පහළින් දාලා තියෙනව ලින්ක් එක ඒක හරහා එන්න. ආයිත් අපි එනව මාතෘකාවට. කොහෙද එක දෙයක් කියාගෙන යන්න බෑනෙ. මට මගෙ මිත්‍රයන්ගෙ දැනුම ගැන පුදුම කැක්කුමක් තියෙන නිසා එවෙලෙට මතක් වෙන දේ කිව්වෙ නැත්තං මට මං ගැන පශ්චාත් නූතනවාදී පරිකල්පනීය ක්ලාන්තයක් වගේ එනව. මං කිව්ව දේ මොකක්ද කියල දැනගන්න ඕනනං මගේ "පශ්චාත් ජුන්ඩාව - සුවඳ නොබලා මැරෙන්නට එපා" සීරීස් එකේ විසි දෙවනි කොටස බලන්න. ජීවිතේට වැදගත් වෙයි. අපි එමු බනිස් වලට. දැං මේ බනිස් කන්න හිතෙන ත්‍රිකුණාමලේ වික්‍රම හාඩ්වෙයා එක ගාව ඉන්න කමල්ට ඒ හාඩ්වෙයා එකෙන් බනිස් තුනක් ගන්න ගියාම හම්බවෙන්නෙ පොල්තෙල් බෝතලේක දාපු ඇණ තුනක්. බලන්න ඒ සහසම්බන්ධය. අන්න ඒකතමයි මිත්‍රවරුනි සංසාරීය පුනරුත්ථාපනය කියන්නෙ. මං හිතනව මගේ මිත්‍රයො අද එපිසෝඩ් එක ගැන සෑහීමකට පත්වුනා කියල. යන්න කලින් ආයිත් මතක් කරන්නං මගෙ විද්‍යුත් විච්ජේදන පාඨමාලාව ගැන. එන්න අපි අපේ දැනුම නමැති සාගරයේ යූටියුබ් නමැති බිලී කොක්කක ඇමුනුනු මාලුවෙක් වගේ පිලුණු ගඳගහන වට්ටියකට වැටිල පණ යනකල් දඟලමු. ගිහිං එන්නං.. ජය ⚠️සීරියස් ගැනීමෙන් වලකින්නපළතුරු හා ඒ කාලේ ඉස්සර පොඩි පන්ති වලදි පළතුරු වල නම් ලියන්න දුන්නම වැඩිම පළතුරු ගානක නම් ලිව්වේ මම​. 'ගෑනු පිරිමි මල් පළතුරු' සෙල්ලම කරන කොට මට හැම අකුරකින්ම ලියන්න පළතුරක් තිබුනා! මම ලියුව හුඟක් පලතුරු වර්ග බණ්ඩාරවෙල පැත්තෙ සමහර ළමයි පින්තූරෙකින්වත් දැකලා තිබුනෙත් නෑ. බණ්ඩාරවෙලදි මගේ පන්තියේ හුඟක් ලමයි ඇඹරැල්ලා කාලා තියා දැකලාවත් තිබුණේ නෑ. අපි බණ්ඩාරවෙල ගියේ කැළණියේ ඉඳලා. කැළණියේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර මහා විසාල ඇඹරැල්ලා ගහක් තිබුණා.ඇඹරැල්ලා ගෙඩිය දොරට අහු කරලා පලාගෙන කාලා තියනවද? කපාගෙන කනවට වඩා එහෙම රසයි! ඒ වගේම බණ්ඩාරවෙල ළමයි ලොවි, උගුරැස්ස​, අනෝදා, කජු පුහුලන්, ලාවුලු, රට නෙල්ලි දැකලා නෑ. දැන් තියනවාද දන්නේ නෑ. ඒ කාලෙ ඒවා එහේ වෙළඳ පොලට ආවේ නෑ. ආ!එහේ වෙරලු තිබුණා. ඒ වෙරලු වර්ගය බොහොම විසාලයි. අනෝදා වෙනුවට චෙරිමොයා තිබුණා. බෙලි මට මතක නෑ, දිවුල් නං වෙළඳ පොලේ තිබුණා. ලොවි, උගුරැස්ස​, අනෝදා, කජු පුහුලන්, ලාවුලු, ඇඹරැල්ලා නොතිබුනත් එහෙත් අටෝ රාසියක් පළතුරු වර්ග තිබුණා. මැද සුදු පේර​,මැද රතු පේර​, ඇපල්, පෙයාස්, ලොකට්ස්, පීචස්, දම් පාට පැෂන් පෲට්, ජෑම් පේර​, ඇඹුල් පේර​.... බණ්ඩාරවෙල ට්‍රේනින් කොලේජ් එක පුරාවට දෙලුම් වවලා තිබ්බා. අපි හිටියේ බිඳුණුවැව ග්‍රාම සංවර්ධන මධ‍්‍යස්ථානේ. වත්ත පුරා පෙයාස් හා චෙරිමොයා ගස් තිබුනා. ගෙඩි වැක්කෙරෙන පීචස් ගස් දෙකකුත් තිබුනා. ආ! ඇපල් ගහකුත් තිබුණා.අම්මයි, අප්පච්චියි ගමේ නෑයන්ට පීචස් තැපෑලෙන් එව්වා. ඒත් ඒ අයට යනකොට ඒවා නරක් වෙලා තිබුනලු! අපි බණ්ඩාරවෙලින් නුගේගොඩට ආවම ඒ ඉස්කෝලෙ ළමයි ඇපල්, පෙයාස් දැකලා තිබුණට ලොකට්ස්, පීචස්, දම් පාට පැෂන් පෲට්, ජෑම් පේර එහෙම දැකලා තිබුණේ නෑ. හරි හරි දැං නං කොළඹ නැති දෙයක් නැතුව ඇති! මං මේ කියන්නේ අවුරුදු බර ගානකට ඉස්සරලා. මේ ඔක්කෝටම අමතරව මම ඔය පලාත් දෙකේම ළමයි රස බලලා නැති පළතුරු ගානක රස බලලා තිබුණා. කෝන්, හිඹුටු, මොර..... අප්පච්චි අපි ඉපදෙන්න කලින් මීගස්වැව වැඩ කරලා තිබුණා.ඉතිං ඒ වැයික්කියේ අය සැරින් සැරේට ඔය පළතුරු කද මලු බැඳගෙන අප්පච්චිව බලන්න ආවා. පස්සෙ කාලෙක මොර නං නුගේගොඩටත් ආවා. තව ගාල්ලෙ පැත්තේ ඩොංගා! ඒවත් කාලා තිබුණා. මේ සැරේ ගාල්ලෙ ගිහින් ඩොංගා හෙව්වට හම්බ වුනේ නෑ. එතකොට කොහොල්ලා ලාවුලු කාලා තියනවද? ගල් අන්නාසි? ජෑම් ගෙඩි?කරඹ?මම ඒවත් කාලා තියනවා!කරඹ වලට අපි කීවෙ ජැම්සන්! ඔය මොන කතා කීවත් මම ලංකාවෙ පළතුරු වර්ග කීපයක්ම රස බැලුවේ මෙහෙ ආවටත් පස්සෙ. බොහෝම මෑත කාලෙදි. එක පලතුරු වර්ගයක් මසං. ජුජුබි කිය කියා කෑවට මම දැනගෙන හිටියේ නෑ ඒ මසං කියලා. තව එක පළතුරු වර්ගයක් නිල් වෙරලු! නිල් වෙරලු පින්තූර දකිනකොට මම හිතුවේ ඒ බොරු කියලා. මෙච්චර නිල්පාට වෙරලු තියෙන්න පුලුවන් ද​​?ඒත් මෙහේදි නිල් වෙරලු පිරුන ගහක් දැක්කා නොවැ. පුදුමාකාර ලස්සන පාටක් නේද​? අපි ගිය කාලෙම ඒ පලාතට ගිය මගේ දුවත් අමුතු පළතුරක් කාලා තිබුණා. "මම නෝනි කෑවා!"ඈ කීවා. "රසද​?"නෝනි කාලා නැති මම ඇහුවා. "යැක්! වමනෙ රසයි!" නොකාපු එකමයි කාරිය! මොනවද මේ වමනෙ රසයි කී නෝනි? අහු! ඊළඟ පළතුර​.....ගස් තක්කලි! පහු ගිය දිනවල ගස් තක්කලි ගැන කතා කීපයක්ම දැක්කා.මට ගස් තක්කලි කන්නම ඕනෙ වුනා. ලංකාවට කතා කරලත් විස්තර හෙව්වා. කොහොමහරි කොලොම්බියාවෙදි ගස් තක්කලි හොයා ගත්තා. දැං ඒකත් හරි. ආ! මෙහෙ ගස් තක්කලි වලට කියන්නෙ ටැමරිලෝ! තව මම නලල් බටු(කැලෑ ගූස්බෙරි) රස බැලුවෙත් කොලොම්බියාවෙදි! දැං මං මේ මෙච්චර හෑල්ලක් ලියුවේ ඇයි? යමක් දැනගන්න​! ඒත් මගෙ වැඩේ කර ගන්න ගමන් ඔබලාගේ පළතුරු මතකයත් අලුත් කරන්න හිතුනා. අද මම අලුත්ම පළතුරක රස බැලුවා. නම ටෙහොකොටි. පෙනුම පොඩි ඇපල් ගෙඩියක් වගේ. සයිස් එක මසං ගෙඩියක් වගේ. රස ඉදුණු වෙරලු වල හුරුයි. බාගෙට ඉදුණු දිවුල් කාලා තියනවද​? ඒ රසත් තියනවා. සීනි සියඹලා රසකුත් තියනවා. මට හිතෙන හැටියට මම මේක ලංකාවෙදි කාලා තියනවා. මේ පින්තූරවල තියන පලතුර කවුරු හරි දන්නවද​? -ශ්‍රීපාලිලංකාවෙ කෑම ඇමරිකාවේ ජීවත්වෙන බොහෝමයක් ලංකාවේ උදවියගේ ගෙවතුවල කරපිංචා පැලයක්, මුරුංගා පැලයක් නැත්තෙ බොහෝම කලාතුරකින්. කරපිංචා පැල කීපයක්ම හදා ගත්තත් මුරුංගා පැලයක් හදාගන්න මටනං සෑහෙන කාලයක් ගියා. ඒත් ඉතිං මගේ සමහර යාලුවන්ට මුරුංගා ගස් තිබුණ නිසා මුරුංගා වාරයට අපිටත් මුරුංගා ලැබුණා. මමනං මුරුංගා හොද්දට බොහෝම මනාපයි.මුරුංගා හොද්ද කිරට හදාගත්තම මට බත් කන්න වෙන කිසිම දෙයක් ඕනෙ නෑ. ඒත් ඉතිං අපේ යාලුවෙකුගේ ගහක මුරුංගා හැදුනත් අපේ සිතූගේ හොස්ස දික්වෙනවා.මුරුංගා හොද්දට සිතූ කැමති නෑ. "මුරුංගා සීසන් අගේන්?"සිතූ නහයෙන් අඬනවා. කාලෙකට ඉස්සර අපේ මල්ලි සිය පවුල සමඟ අපිව බලන්න ඇමරිකාවට එන්න ලක ලෑස්ති වුනා. ඔන්න ඔය කාලෙම මට යාලුවෙකුගෙන් යස මුරුංගා මිටියක් ලැබුනා. මං ඉතිං ඒක මගේ ෆේස් බුක් එකේ දැම්මා. මොකද මගේ ෆේස් බුක් එකේ මට ඕනෙ පෝස්ට් දාන්න තහනමක් තියනවද​?ඇයි වදේ! 'මයි කා මයි පෙට‍්‍රල්!' හරි හරි ඉතිං මම අර 'කැප්‍ෂන්' එකේ මල්ලිවයි නෑනවයි මතක් කලා තමයි! මෙන්න මේ විදිහට​! 'ඔබලා එනතුරු බලා ඉන්නවා.මුරුංගා කිරට​, මිරිසට​, තෙලට​....තව තව මුරුංගා රෙසිපි හොයනවා!' කොහොම හරි ඔය කාලෙම මල්ලි ඇමරිකාවට එන්න ඉස්සර මට ලංකාවට යන්න වුනා. කෙටියෙන් කීවොත් මට උන් දැව ලංකාවෙදි මුණ ගැහුනා. මාව දැක්ක හැටියේ මෙ උන් දෑ මගේ ඇඟට කඩා පැන්නා. "මේ පාලි අක්කේ, අපි ඇමරිකාවට එන්නේ මුරුංගා කන්න නං නෙමේ. අපි එන්නේ ඇමරිකන් කෑම කන්න​!වෙස්ටර්න් කෑම කන්න​!" "අපි නං හැමදාම වගේ කන්නෙ ලංකාවෙ විදිහට!"මම කීවා. "දවල්ට නං බත්ම තමයි!" "ලංකාවේ විදිහට කන්න ඇමරිකාවට එන්න ඕනෙයැ!"ඔන්න උන්දැගෙ තර්කෙ! හරි හරි ඉතිං! මොකද අපි ඇමරිකන් කෑම දෙන්න බෑයි කීවයැ! ආපහු ඇමරිකාවට ඇවිත් මම මල්ලිවයි , නෑනාවයි, දරුවෝ දෙන්නාවයි පිලිගන්න සූජානං වුනා. උදේ, දවල්, රෑ කෑම වේල් වලට මෙනු හැදුවා. ඒ වෙනකොට අපිට ඉස්කෝලෙ පටන් අරං. තිස්සෙම කඩේ දුවන්න වෙලා නැති හින් දා නිවාඩු පාඩු වෙලාවල නානා ප්‍රකාර කෑම ගෙනත් තියා ගත්තා. මෙතනදි එක දෙයක් කියන්න ඕනෙ. මොනවා ගනන් වුනත් ඇමරිකාවේ කෑම වර්ග බොහෝම ලාබයි! චීස් වර්ග​, චොකොලට් වර්ග​, ලංකාවේ මිල අධික පලතුරු වර්ග ඇතුලු බොහෝමයක් ආහාර වර්ග මෙහේ ලංකාවට වඩා ලාබයි! ඔන්න ඉතිං මල්ලිලා ආවා. දැං ඉතිං අපිත් 'ෆුල් ඇමරිකන්!' උදේට ඇමරිකන් බ්‍රෙක්ෆස්ට්! දවල්ට​, රෑට නානා ප්කාර බටහිර කෑම වර්ග​. පීසා, පස්ටා,බර්ගර්ස්..... වේලක් දෙකක් තායි, වියට්නාම් කෑම එහෙමත් දුන්නා මගෙ හිතේ. කට්ටියත් බොහෝම සතුටෙන් කෑවා! ඔව්! වැඩිම වුනොත් දවස් තුන හතරක්! හතරවෙන දවසේ මල්ලි අහනවා​, "පාලි අක්කේ අපි ලංකාවේ විදිහට කමුද​?" -ශ්‍රීපාලි පින්තූරය- මං හදපු බත් මුලක්!!පේරාදෙනියේ මල් වත්තේ (උද්භිද උද්‍යානය) ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එක අරගෙන සිකියුරිටි ඉන්න අයට ඒක පෙන්නලා ඇතුල් උනාම තියෙන මැද පාරෙන් ගියපුවාම හම්බෙන පිට්ටනියට මැදින් ගිහින්, එතනිනුත් පස්සේ හම්බෙන; හුඟක් අය පොටෝ එහෙම ගන්න දෙපැත්තේ තල් ගස් පේලිය තියෙන පාර හම්බෙනවා. ප්‍රධාන පිවිසුමේ සිට ඒ පාරෙන් දකුනු පැත්තේ තියෙන බෙන වලින් හෙබි විශාල ගස් සහිත, අඳුරු භූමිය දක්වා මම සඳහන් කරපු මාර්ගයේ අඩි තුනක පමණ පළල වූ ප්‍රමාණයක් මද වශයෙන් භූමිය ගිලා බැස තිබෙනවා. ඉහත විස්තරය මම සඳහන් කලේ භූ විද්‍යා සහ පතල් සමීක්ෂණ කාර්යංශයේ විද්‍යාඥයෙකු වශයෙන් කරන ලද පර්යේෂනයක් ආශ්‍රයෙන් නොවේ. සංසලා සමඟ මා පෙමින් බැඳී සිටි කාලය තුල අප දෙදෙනා සතියකට දින හතක් හෝ ඊට ආසන්න කාලයක් පුරුද්දක් ලෙස එම මාර්ගයේම ගමන් කල බැවින් එම භූමි ප්‍රදේශයට අප දෙදෙනාගෙන් සිදු වූ හානිය තේරුම් කරදීම සඳහාය. තවත් සුළු කාලයක් අප එම මාර්ගයේ ගමන් කලේ නම් භූමිය අධික තෙරපීමකට ලක් වී පෘථිවියේ ගෝලාකාර හැඩය වෙනස් වීමට පවා එය ප්‍රභල හේතුවක් විය හැකිව තිබූ බැවින් මා සංසලා සමඟ තිබූ ප්‍රේමය නැවැත්වූ බව අපගේ ප්‍රේමය නතර වූ හේතුව විමසූ මිතුරකුට මා පැවසූ බව මට සිහිපත් වේ. ප්‍රේම කල මා සහ සංසලා පවා අප වෙන්වූ හේතුව නොදන්නා බැවින් ඒ පිළිබඳ විමසන අයකුට ඊට වඩා දීමට සුදුසු පිළිතුරක් මා සතුව නැත. සංසලා සමඟ ජොනී සින්ස් ගේ හිසේ කෙස් ගණනට මා මල් වත්තට ගොස් ඇතත් එම මාර්ගයෙන් බැහැරව පියවරක් හෝ මා තබා ඇත්නම් ඒ ශරීර කෘත්‍යයක් සඳහා වැසිකිළි යාමට පමණි. සංසලාගෙත් මගෙත් ප්‍රේම පාරාදීසය වූයේ ඒ තල් ගස් පේලිය සහිත මාර්ගයේ දකුණු පස ඇති අඳුරු භූමියයි. තතු දන්නා තවත් බොහෝ පෙම්වතුන් ද සැඟවී ප්‍රේම කිරීම සඳහා තෝරාගන්නා භූමිය එයයි. බංකුවක
වාඩි වීමට අවශ්‍ය නම් බංකු කිහිපයක් ද, ගසක හෙවනේ සිටීමට අවශ්‍ය නම් එය පහසුකරවන ලෙස වාඩි විය හැකි විශාල මුල් සහිත ගස් ද, හේත්තු වී සිටීමට අවශ්‍ය නම් පිට දුන් සැනින් ගැලවී නොවැටෙන විශාල රූස්ස ගස් සේම අවශ්‍ය නම් දෙදෙනෙකුට එකවර අතුරුදන් විය හැකි ප්‍රමාණයේ ගස් බෙන ද එහි ඇත. ඉතින් තුන් වන ලෝකයේ රටක පෙම්වතුන්ට ප්‍රේම කිරීම සඳහා ඊට වඩා සුදුසු භූමියක් තවත් ඇත් ද. කෙසේ වෙතත් එහි සිට ප්‍රේමයේ උපරිමයට ළඟා වීමට බොහෝ පෙම්වතුන් උත්සහ දරන බැවින් එය වැළැක්වීමට විසිල් බෙල්ලේ එල්ලාගත් “සිකියුරිටි බාප්පලා” සැරින් සැරේ එහි සංචාරය කරයි. කාමයේ වරදවා හැසිරෙන්නන් පලවා හැරීමට ඔවුන් පැමිනියත් එම භූමියට ඇතුල් වූ සැනින් ඇතැම් සිකියුරිටි බාප්පලා විසිල් එක, එක පිට නාද කරන්නේ එහි සිටින සියළු දෙනාම ඒ වරද කරනවා යැයි කලින්ම උපකල්පනය කර විය යුතුය. එසේම ගස් බෙන සහ සැඟවිය හැකි තරම් විසාල මුල් අතර සිට ශරීරයේ විවිධ අංගෝපාංග සඟවා ගනිමින් කඩිමුඩියේ දුවන අනඟ පෙම්වතුන් සේම, කිසි වරදක් නොකර පාඩුවේ සිටි පෙම්වතුන් ද විසිල් හඬට දුවන්නේ එම භූමියේ රැඳී සිටින්නේ නම් විසිල් හඬට දිවීම අනිවාර්යය දෙයක් යැයි සිතා විය යුතුය. දිනක් සංසලා ගෙනා බත්පත ගසක මුලක් මත හිඳ කෑමට සූදානම් වූවා පමණි. විසිල් බාප්පලා දෙදෙනෙක් ඈත සිට විසිල් ගසමින් එතනින් ඉත්ව යන්නැයි අපට අත් දික් කරමින් පවසයි. බත් පතද රැගෙන එතනින් ඉවත්ව මඳක් සංචාරය කර කෑම එක දිගහැර ගත හැකි කන්ඩියක් මත එය තබාගෙන අප බත කටවල් කීපයක් කෑවා පමණි. ඈත සිට නැවතත් විසිල් ගසමින් ඉවත් වන්නැයි බාප්පලා පවසයි.බාගෙට කා අවසන් වූ බත් පත ඔතාගෙන නැවතත් සංසලාත්, මාත් වාඩි වීමට තැනක් හොයමින් සංචාරයේ නිරත විය. බංකුවක හිඳගෙන සිටි යුවලක් එතනින් ඉවත්ව යෑමත් සමඟ මම සංසලා සමඟ එහි වාඩි වී කෑම එක කෑවෙමි. එය අවසන් කර මම ඇය සමඟ සතුටු සාමිචියේ යෙදී සිටියේ මද වේලාවක් පමණි. නැවතත් බාප්පලා ඈත සිට විසිල් ගසමින් අප දෙසට පැමිණෙයි. මගේ වම් අත සංසලාගේ කර වටා ගොස් තිබුනා පමණි. “දැන් මොකද කරන්නේ ?” සංසලා අසයි. “මොකුත් නෑ, ඔහොම්ම ඉන්න” මම සංසලාට කීවෙමි. “ඔතනින් යනවා, ඔතනින් යනවා” කියමින් වයසක සිකියුරිටි බාප්පෙක් ඈත සිට කඩිමුඩියේ පැමිණෙයි. එතරම් උනන්දුවක් නැති තරුණ බාප්පෙක් ඔහුට පිටුපසින් පැමිණෙයි. මමත් හුන් තැනම හිඳ ශබ්ධ නගා “ඇයි ඇයි” කීවෙමි. වයසක බාප්පා විසිල් ගසමින් කෑ ගසමින් අප දෙසට පැයට කිලෝ මීටර් හැටක පමණ වේගයෙන් පැමිණෙයි. මම සංසලාට “ඔයා ඔහොම්ම ඉන්න” යැයි පවසා රට බේරා ගැනීමට වන්නි මානුෂීය මෙහෙයුමට යන විරුවකු මෙන් මා දෙසට එන සිකියුරිටි බාප්පා දෙසට ගමන් කිරීම ඇරඹීය. මාද පැයට කිලෝ මීටර් හැටක පමණ වේගයක් ගත් නිසා අප දෙදෙනා එකතු වන මධ්‍ය ලක්ෂ්‍යය වෙත බාප්පත් මමත් පැ.කි එකසිය විස්සක පමණ වේගයකින් ළඟා වෙයි. එසේ ළං ඌ අප දෙනොගෙන් මම පළමුව සංවාදය ඇරඹීය. “මොකක්ද දැන් ඔයා කියන්නේ ?” “ඔහොම කපල් වලට මෙතන ඉන්න බෑනේ මල්ලී” “ඇයි මොකක්ද මම කරපු වරද” “ඔහොම කරට අත දාගෙන මෙතන ඉන්න බෑනේ, එහා පැත්තෙන් මිනිස්සු යනවනේ” “ඉතිං බංකුවක වාඩි වෙලා කරට අත දාන් ඉන්න එක වැරැද්දක් ද. මම මෙතන කිස් කරන්නවත් වෙන මොකවත් වත් කරන්න ගියේ නෑනේ” “නෑ මහත්තයා මෙහෙමයි, කිස් එකක් අරහෙ මෙහෙ දුන්නට කමක් නෑ, කරට අත දාන් ඉන්න එක හරි නෑනේ” බාප්පට මුලින් මල්ලී වූ මා, පසුව මහත්තයා විය. කරට අත දාගෙන සිටීම අවුල් වූ බාප්පාට කිස් එකක් දීම අවුලක් නැත. අපේ සංවාදය අවසාන හරියේදී බාප්පාට කරකියාගත දෙයක් නොමැතිව වචන වෙව්ලන්නට විය. ඉවසීමේ සීමාව පැන සිටි මා තරහට වෙව්ලන්නට විය. සංසලාව බංකුවේ වාඩි නොකර ඇයත් කැඳවාගෙන ආවා නම් මට ඇයට හාදුවක් දී මෙහෙම අවුලක් නැති දැයි අසන්නට තිබුනි. වැදගත් පෙනුමක් තිබු අනෙක් ආරක්ෂක නිලධාරියා, වයසක බාප්පාද කැටුව අපෙන් සමාව ඉල්ලා වෙනතකට ගියාය. “ආය නම් ඕකුන් බොරුවට මිනිස්සුන්ට සද්ද දාන එකක් නෑ” මම ආඩම්බරයෙන් සංසලාට කී විට ඇය අවුල් වූ මුහුණින් යුතුව මා වෙත මදහසක් පෑවා ය. ==================================== අම්මා සමඟ පේරාදෙනිය රෝහලට පැමිණ ඇයගේ පරීක්ෂන සඳහා පැය කිහිපයක් ගත වන බැවින්, ඇයව රෝහලේ තබා මම කාලය කා දැමීමට රුපියල් හැටේ ටිකට් එකක් ගෙන මල් වත්තට ඇතුල් වූයෙමි. සංසලා සමඟ ගෙවූ අතීතය සිහිපත් කරමින් අප ගිය පුරුදු මාර්ගයේ ඇවිද මම තල් ගස් පිහිටි මාර්ගය වෙත ළඟා වන විටම එහි දකුණු පස ඇති අඳුරු පෙදෙසේ කෙලවරින් විසිල් හඬක් ඇසෙයි. අතීතයේ දිනපතා දැක පුරුදු ඒ සුපුරුදු හැඩතල වලින් ඒ මට කිස් කිරීම අවුලක් නෑ කියූ සිකියුරිටි බාප්පා බව හඳුනා ගැනීම අපහසු නොවීය. ඔහු⁣ගේ විසිල් හඬට බිය වී තරුණ ජෝඩු සී සීකඩ දුවයි. තරුණ ජෝඩු දෙක තුනක් මා සිටි පෙදෙසටද ඉක්මන් ගමනින් පැමි⁣⁣ණෙයි.අතීතයේ හුරු පුරුදු දෑසක් මගේ දෑස සමඟ ගැටුනු විගස, ඈත් සමඟ දුවමින් සිටි පෙම්වතාගේ අතින් ඇද දුවන දිශාව අංශක අනූවකින් වෙනස් කර යලින් ධාවනයේ යෙදුනු කාන්තා රුව මට හුරුය. උපන් දිනය⁣ට මා අරන් දුන් දම් පාට මල් වැටුනු කුඩය යට හිඳ අනඟ රැඟුම් පා බාප්පාගේ විසිල් හඬට බිය වී දුවන විට හරි හැටි අකුලා ගැනීමට පවා බැරි වූ එම කුඩය මා ඇය වෙනුවෙන් මිලදී ගත් එකක් බව මා හඳුනා ගතිමි. ඒ මතකය ආවර්ජනය කර යලිත් පියවි ලොවට එන විට සංසලා, මා අරන් දුන් කුඩයත්, ඈ සොයා ගත් පෙම්වතතාත් සමඟ බොහෝ දුරක් දිව ගොස් සිටියාය. ඒ මොහොතෙත් දුවනවාය. Sherlock Holmsලංගම ආච්චි .. පස්වරු 4:15 පසුවී විනාඩී විසිපහක් ගතවෙද්දී අමනෙත්ට බස්නැවතුම වෙතට ලඟාවීමට හැකිවුණේ වෙනදා මෙන් අද කාර්‍යබහුල දවසක් නොවීමත්;සතියේ අග දවසක් වන සිකුරාදා දවසක් වීමත් නිසාවෙනි.මහවැලි නදිය පිට උඩින් දිවෙන පේරාදෙණිය නුවර යා කරන පාලමට එපිටින් මොනවදෝ කොඳුර කොඳුරා මැහැල්ලක සේ ඉදිරියට ගාටන ලංගම බස් රථය දුටු අමනෙත් "ඕං ආච්චි අම්මා එනවැයි " සිතින් තමාටම කොඳුරා ටික දුරක් ඉදිරියට ඇවිද බස් රථයට ගොඩවුනේය.සරදමට මෙන් එසේ සිතුන ද අමනෙත් ඒකාන්තයෙන්ම දැන සිටී, හදිසි රාජකාරි සඳහා තමා රාත්‍රී සේවයේ යෙදුන දාට විස්වාසයෙන්ම තමාට පිහිටට ඉන්නේ ලංගම බස් රථ සේවාව පමණක් බව;එනමුත් බස් රථයේ අවසාන අසුනේ සිට අසුන් කිහිපයක් ඉදිරියෙන් කවුළුව ආසන්නයේම අසුන ලැබීම ගැන පරවු සිතින් සිටි අමනෙත්ගේ යටි සිත පුබුදන්නට තරම් සතුටක් විය. එතැන් සිට හෝරා කාලක් පමණ දුර යන විට පිලිමතලාව හමුවේ.ඉන් ඉදිරියට ඇත්තේ කඩුගන්නාව නගරයයි.නගරය පසුවෙත්ම අලංකාර නීල කඳු වලල්ල දිස් වෙන කඩුගන්නාව බිංගය සහිත මදක් හිස ඉහලට ඔසවා දරඬු ගැසූ නාගයකු මෙන් පහලට දිවෙන මහා පල්ලමයි."කොළඹ.! කියා රුපියල් සියයේ නෝට්ටුවක් සමඟ විස්සේ නෝට්ටුවක් කොන්දොස්තරවරයා වෙත දිගු කල අමනෙත්; ටිකට්පත ලැබුණු විගස ඉතිරි සුළු මුදල අමතක කර යලි කවුළුව දෙසට හැරුනද කොන්දොස්තරවරයා උරහිසට ඇන ඉතිරි රුපියල් තුන අමනෙත් අතට දිගු කළේය.සිලිසිලි හඬ නොඇසෙන ලෙස කලිසම් සාක්කුවට අත ඔබාගත් අමනෙත් යලිත් ගත සැහැල්ලු වෙනු පිණිස දිගු හුස්මක් ගෙන ඈත කඳු පන්තිය වෙත දෑස් යොමා විඩාබර මනස අතීත කරුණු එක්කර සරසන්නට වෑයම් කළේය.උඩරට සිරියට දේදුනු පායන බිනර මහේ පිනිදියෙන් පෝෂණය වී දිදුලමින් පෑහෙන වනපෙත හා කඳු වටා දිවෙන කළුවන් තාර පලස, එකඳු ආරක්ෂා කරන නාගයෙකු සේ කඳු වටා එතෙමින් පහලට ඇදීයයි. ......................................................................................... එක් එක් අතීත කරුණු තෝරාගෙන එකම සිතිවිල්ලක් මනෝභාවයකට පෙරලා ගැනීමට වෑයම් කරමින් සිටි අමනෙත්ට ටිකෙන් ටික තම නාස්පුඬු මතට හුරුපුරුදු දහඩිය මුසු ලැවෙන්ඩර් සුවඳක් කැලතෙමින් දැනෙන්නට විය.තමාටත් නොදැනිම එකවරම.! බසය අවට බැලුණූ අමනෙත් දෑතින් නිමකල දළු කොළපාට ඔසරියකින් හැඩවූ තරුණියක් තම අසුනේ හිඳගැනීමට සැරසී අනෙක් පස බලා ටිකට් පත ගන්නා සැටි දුටුවේය.ඇගේ මුහුණ හරියාකාරව දැකීමට නොහැකි වූයෙන් එය සැබෑවෙන්ම මීට පහළොස් වසකට පෙර තම හිතේ නොමැකෙන ලෙස සිතුවම් වුණු "අංජුලා දිසානායක" වීම,කිසිසේත්ම නොවිය යුත්තක් විය යුතුයි; තම හිතේ සටහන් කරමින් උරහිස් හකුළුවාගෙන ඇයට හිඳගැනීමට ඉඩ සලසා නැවතත් කවුළුවෙන් එතරට සිත පා කළේය. .......................................................................................... අතීතය සොයමින් ගමනාන්තය තෙක් මොනයම් හෝ මනෝභාවක් යදිමින් සිටි අමනෙත්ට හිටිහැටියේ හමු වූ ලැවෙන්ඩර් සුවඳ සමඟ; ඕනෑම වේලාවක අනවසරයෙන් තම සිතට ඇතුල්වීමට අවසර ඇති අංජුලාගේ මතකය අද ද ඔහුට වැලැක්වීමට නුවමනා විය.මීට පහළොස් වසරකට පෙර අතීතයට සිත දුවන ඉක්මන ගැන සිතමින් සිතේ ඇති වේගය ගැන හා මිනිස් සිතේ ගැබ්ව ඇති විශ්ම ශක්තිය;මිනිස් ඉරියව් හා ඉන්ද්‍රියන් සමඟ කොතෙක් දුරට බැඳෙනවද යන්න, ඔහුටම සිතුනේ සුපුරුදු ලෙසම ඔහුගේ පිට පොත්ත හිරිගඩු පුම්බා රෝම කූප ඉස්සී තමා දෙසම බලන්නට වූ විටය.එය සීත සුලඟින් වූවක් නොව. එය අංජුලාගේ මතකය සිතට ඇතුල්වෙන ඕනෑම වේලාවක අමනෙත් විඳින අද්දැකීමකි.ඇය හා බැඳුණු සියලු සිදුවීම් තම සිතේ පෙල ගැසෙන්නට වූවත් එය මැඩපවත්වා ගනිමින් අංජුලා සමඟ ගතකල අවසාන සිදුවීම් පෙළ ගැන ඔහු මහත් කුහිලයකින් සිතන්නට පෙලබුණේය. ........................................................................................... සරසවි පීඨයේ අවසන් වසර අග භාගයේ අඩුලුහුඬු කමින් පිරි තමාගෙන් මිදීමට ස්ථීර කරුණක් සොයමින් සිටි අංජු, දිනක් තමා ඉදිරියට විත් තම පියාගේ උවමනාව මත තමාට කැනඩාවට යාමට සිදුවීම ගැන පැවසූ විට දැණුනු හැඟීම එක් අංශුවකු ද නොඅඩුව අදටත් අමනෙත් අත්විඳියි.අමනෙත් හා අංජුට දැන් වයසින් අවුරුදු තිස් අටකි.නමුත් අදටත් අමනෙත් හට ඇය සිහිවෙන වි
ට කුරා කුහුඹුවෙකු මෙන් කූඩාවට සිත හැකිලී, ලා බොලඳ දරුවෙකු සේ තම අවට පරිසරය ගැන අවදානය බිඳී යන්නේය.මේ අතර වේගයෙන් ඇදෙන බස් රථයේ ආධාරයෙන් සුලඟේ වේගය වැඩිවීම හේතු කොටගෙන කල්පනාවෙන් මඳක් මිදී ඔහු පියවි සිහියට ආවේය.ඕනෑම මහළු අයෙකු වුවද තරුණ සිතුවිලි වලින් පුබුදන කඳුරට මනමාල සුලඟ, තව දුරටත් නොවදින ලෙස අඩක් වැසූ බස් රියෙහි කවුළුව තවත් අඩකින් වැසුවේ;මන්දාරමින් පෙරා පැමිණෙන පිනි බිංදු තම උපැස් යුවල මත ඉසෙන නිසාවෙනි. .......................................................................................... මෙතෙක් වේලා වේගයෙන් තමා පසුකර දිවූ ඈත කඳු මත හිරිපොදෙන් සැලෙනා නේක තුරු වැල්, එකවරම නැවතී ඇති බැව් වැටෙහෙත්ම අමනෙත්; තම උපැස් යුවලෙහි රැඳි පිනි බිංදු අතරින් දුටු දසුනට කලබල වී හිටි අසුනෙන්ම නැගිටුනේය. නැගිට වේගෙන්ම නැවතත් ඔහු හිඳවුනේ බසයේ ගමන් මළු රඳවනයේ හිස වැදීමේ ප්‍රතිඵලයක් ලෙසය.එවිට ඔහු උපැස අතරින් දුටු සිතුවම තවදුරටත් සිතුවමක් නොව; තමා ලඟ මෙතෙක් වේලා වාඩිගෙන පැමිණ බසයෙන් බැසගිය යුවතිය කුඩා දරුවෙකු හා මැදි වියෙහි පසුවෙන කාන්තාවක් එක්ව බස් නැවතුම අසල සිටිනයුරු තම පියවි දෑසින්ම දුටුවේය.ඒ වෙන කිසිවෙකු නොව දාඩිය මුසු වූ ලැවෙන්ඩර් සුවඳමය.ඒ අංජුලා දිසානායක.! ඔව් මීට අවුරුදු පහළොවකට පෙර සිට මේ වන තෙක්ම තමාව තනිකඩයෙකු වශයෙන් තැන්පත් කිරීමට වහල් වූ ඇයමය.ඇගේ නම කියා කෑ ගැසීමට සිත් වුනිද? එය නිශ්ඵල හා අණුවන ක්‍රියාවක් ලෙස සිතා බස් රථය නොපෙනනෙ ඉම දක්වාම ඔහු කවුළුවෙන් එබී බලා සිටියේ ඇය ඔහුව දකී යන බලාපොරොත්තුවෙනි.නමුත් ඇයව නොපෙනී යාමට අවසාන තත්පර කීහිපයෙහි සිදුවූයේ අරුමයෙකි.! ඇය ඔහු දෙස බලා මඳ සිනහවකින් දකුණත ඔසවනවාත් සමඟම සියලු දසුන් බොඳවී බස් රථය ඉදිරියට ගමන් කළේය.එතැන් සිට ගමනාන්තය දක්වාත් ඉන් ඉදිරියටත් ඔහුගේ මනසට නොහික්මෙන එකම කරුණක් වූයේ.. "ඇය මා හැඳින මා ලඟ නිහඬව වාඩිගෙන සිටියේ කුමන හේතුවක් නිසාද? යන්නය" ඒ හේතුව පාඨක හිතේ සඟවන මා ................dnb💕 ලංගම "ආච්චි අම්මා" මන්දාරමින් පෙරා එක දෙක විසිකරන මනමාල හිරිපොද, උපැසේ යුවලේ කාච මත සැදූ බිඳුනු ප්‍රේමයේ බිංදු අතරින් ඈත කඳු මුදුන් මත සුවෙන් සැලෙනා.. නේක තුරු වැල් සිනහා සලමින් මා පසුකර දිව ගියද? නෑ හිත හැරුනේ තුරුණු සමයේ නුඹේ සිනහවෙන් නොමැකෙනා ලෙස කැටයම් වුන; "නුමුසු ප්‍රේමයෙන්" පිට. මෙම කථාව ඔබ කියවූ පසු යලි කෙදිනක හෝ මතකයට නැඟුනොත්.එය සටහන් කරනා ලෙස කාරුණිකව ඉල්ලා මා සිටිමි.🙏(ව්‍යාකරණ දෝෂ හා වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නන් ඉතා ගෞරවයෙන් අගයමි🙏) පුංචි උත්සහයක්.! 💚 ❤️‍🔥...................dnb✍️කඩල ගොට්ට •••••○○○○○○•••••••• භෞතික දේවල්වලින් නම් අපි හරිම දුප්පත්. මගෙ තාත්තා කළේ කුලීවැඩ. අපිට අඟ හිඟකම් ඉහටත් උඩින්. ඒත් තාත්තට කන් කෙඳිරිගාන්න බෑ. මට ඒකට හිත දුන්නේ නෑ. අම්මත් ඒකට කැමති වුණේ නෑ. "වැඩිය හිතන්න එපා. අපි කොහොමහරි පිරිමහගමු." අම්ම තාත්තට හැමවෙලේම ඔය කතාව කියනවා මගෙ කන්දෙකට ඇහිල තියෙනවා. මොනතරම් අඩුපාඩු තිබ්බත් තාත්තා ගෙදර එනකොට මට හැමදාම කඩල ගොට්ටක් අරගෙන එනවා. "කෙල්ලේ.. ඉඳා මේන් උඹේ කඩල ගොට්ට." එයා පුදුම ආදරේකින් ඒක මට දෙන්නේ. "ආදරෙයි.." එහෙම කියාගෙන ම මම තාත්තව හයියෙන් තුරුල් කරගන්නවා. "මට ද? කඩල ගොට්ටට ද?" මටත් වඩා හයියෙන් තාත්තා මාව තුරුල් කරගෙන එවෙලෙට අහනවා. "තාත්තට.." මං බිම බලාගෙන එහෙම කියල කඩල ගොට්ටත් අරගෙන දුවනවා. තාත්තා දෙවැට පාරෙන් මතුවෙනකල් මායි අම්මයි හැමදාම දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා. ඒත් එක දවසක් තාත්තා එන වෙලාව වෙනදට වඩා පරක්කු වුණා. "උඹ ගිහින් නිදාගනින්.. මං තාත්තා ආවම කතා කරන්නම්." මං නිදිකිරාවැටෙනකොට අම්ම කිව්වා . "මට බෑ. මං ඉන්නවා තාත්ත එනකල්." "බයවෙන්න එපා උඹේ කඩල ගොට්ට මං කන්නේ නෑ. තාත්තා ආව ගමන් මං කතා කරන්නම්. ගිහින් නිදාගනින්." අම්මා හිනාවෙලා කිව්වා. "මට ඕන නැති කඩල ගොට්ටක් නෑ. මං බලන් ඉන්නේ තාත්ත එනකල්." මම මූණත් නාලු කරගෙන අහක බලාගත්තා. "අනේ නිකන් ඉඳින්. මං දන්නෙ නැද්ද උඹේ ගැන. උඹ වැඩියෙන් ආදරේ කඩල ගොට්ටට.." අම්ම එහෙම කියල මහ හයියෙන් හිනාවුණා. "මං යනවා. තාත්තා ආවම මට කතා කරන්න." මං ගස්සගෙන ගේ ඇතුළට ගියා. 'යකෝ මේකිගෙ ගැස්සිල්ල. මේ මනුස්සයා ඇයි අද මෙච්චර පරක්කු." අම්මා මුමුණනවා මට ඇහුණා. 'මං වැඩියෙන් ආදරේ තාත්තට. කඩල ගොට්ටකට නෙවෙයි. අම්මට පිස්සු.' එහෙම හිතන ගමන් මං ගිහින් ඇඳේ ඇලවුණා. නින්ද කොයිවෙලාවෙ මාව හොයන් ආවද දන්නෙ නෑ. මං ගැස්සිලා ඇහැරුණේ අම්මා කෑ ගහන සද්දෙන්. කලබලෙන් ඇඳෙන් බැහැල මම මිදුලට දිව්වා. හොඳටම කළුවර වෙලා. අම්මා විලාප තිය තිය අඬනවා. අපේ ගෙට එහාපැත්තේ ගෙදර සියාතු සීයා මිදුලේ හිටගෙන බලාගෙන ඉන්නවා. මට කවදාවත් දැනිල නැති විදිහෙ අමුතු බයක් දැනුණා. කකුල් දෙකට ගැහුව විදිද්ලක් වගේ එකක් මොළේ හරහා උඩුදුවනවා වගේ හැඟීමක් මට ආවේ. අඩියට දෙකට මං අම්ම ළඟට දිව්වා. "ඇයි අම්මේ මේ අඬන්නේ? මොකද වෙලා තියෙන්නේ. කෝ තාත්තා ආවද?" මං හිතේ තිබුණු ප්‍රශ්න ඔක්කොම එකදිගට අහගෙන ගියා. "අනේ පුතේ උඹලගෙ තාත්තා හන්දියෙදි හැප්පිලාලු. අනේ මං ඉඳල මොකටද... අනේ මගෙ මනුස්සයා බේරලා දීපල්ලා.." අම්මගෙ අඳෝනාව මගෙ කකුල් දෙකත් එක්ක පණ නැති කරල දැම්ම. "අනේ තාත්තේ..." නැගිටගන්න පණ ආව හැටියෙම මම හන්දිය දිහාට පිස්සුවෙන් වගේ දුවන්න ගත්තා. අම්මත් කෑ ගහගෙන මගෙ පස්සෙන් දුවගෙන එනවා වගේ මට ඇහුණා. ඒත් පිටිපස්ස හැරිල බලන්න තරම් වෙලාවක්වත් වුවමනාවක්වත් මට තිබුණේ නෑ. මට ඕන වුණේ තාත්තව දකින්න. අම්ම කියපු කතාව පිළිගන්න මං කීයටවත් ලෑස්ති වුණේ නෑ. මං පිස්සු වැටිල වගේ දුවගෙන ඇවිත් නතර වුණේ හන්දියේ බස් හෝල්ට් එක ළඟ. කහ ඉර ගාව ලේ විලයි. තාත්තා පාර පනිනකොට ම වේගෙන් ආව වාහනයක් එයාව යටකරගෙන ගියාලු. වටේ හිටපු අය තාත්තව මහ ඉස්පිරිතාලෙට අරගෙන ගියාලු. මිනිස්සු කිව්වේ එහෙම. අම්ම එතනම සිහි නැතුව ඇදගෙන වැටුණා. මං දැක්කේ ලේ ගොඩේම වැටිල චප්පවෙලා තිබුණු කඩල ගොට්ට. තවත් සිහි කල්පනාවෙන් ඉන්න හයියක් මට තිබුණෙත් නෑ. "අනේ මගෙ බුදු තාත්තේ.....! " මං විලාප තියාගෙනම ලේ ගොඩේම ඇදගෙන වැටිල කඩල ගොට්ට තුරුල් කරගත්තා. ඇස්දෙක වහගන්නකොට ම මට මැවිල පෙනුණෙ තාත්තව. "පුතේ ..." මට කොහේදෝ ලෝකෙක ඉඳන් ඇහුණේ අම්මගේ කටහඬ. ඒත් ඇස් ඇරගන්න බෑ මට. "අනේ තාත්තේ... තාත්තේ.. මාව දාල යන්න එපා... තාත්තේ..." මං යටිගිරියෙන් විලාප තිබ්බා. මගෙ මූණ දිගේ මොනවහරි ගලාගෙන යනවා. මං දන්නවා ඒ කඳුළු .. තාත්තා වෙනුවෙන් මෙච්චර කාලෙකට මට උනපු නැති කඳුළු... "පුතේ... ඇයි මගෙ දරුවො මේ.." ඒ තාත්තගෙ කටහඬ.. 'දෙයියනේ! තාත්ත ඉන්නවා. එයාට මොනවත් වෙලා නෑ. මගෙ තාත්තා හොඳින් ඉන්නවා. 'මෙච්චර වෙලා උත්සාහ කරලත් ඇරුණෙ නැති ඇස් දෙක ඇරුණේ ඉබේටම. "තාත්තේ... මගෙ රත්තරන් තාත්තේ...." මගෙ මූණට නැමිල හිටපු තාත්තව මං හයියෙන් තුරුල් කරගත්තා. එච්චර හයියෙන් මට තාත්තව තුරුල් කරගන්න පුළුවන් කියල මං දැනගත්තේ එවෙලේ. "මොකෝ මේ... මේ හීන්දෑරි මගෙ ඇටකටු ටික කැඩිල යයි දරුවෝ.. හැබැයි අද නම් මාව බදාගත්තේ ඇත්තටම මට තියන ආදරේට නේ..." තාත්තා ඇහුවේ හිනාවෙලා මාව හැමදාම වගේ හයියෙන් තුරුල් කරගෙන. "මගෙ කෙල්ල හීනයක් දැක්කද..." තාත්තා මට කෙල්ලේ කියන්නේ හුඟාක් ආදරේ දැනුණම. නැත්තම් එයා මට කතා කරන්නේ පුතේ කියල. "එතකොට ඒක හීනයක් ද..?" "මොකක්ද.. ඔයා මොනවද දැක්කේ.." අම්මා ඇහුවේ මං දිහාම බලාගෙන.. "නෑ.. නිකම් හීනයක්..." මං කිව්වේ විගහට. ඒක හීනයක් වුණත් ආයෙමත් ඒ ගැන මතක් කරන්න මට කොහෙත්ම ඕන වුණේ නෑ.. කඩල ගොටු දාහක් දෙන්නම් කිව්වත් ආයෙමත් ඒ හීනෙ මතක් කරන්න මට බෑ. කොහෙත්ම බෑ. "නිකම් හීනයක් නම් වෙන්න බෑ. මගෙ කෙල්ල දැක්ක හීනේ මං ඉඳල තියනවා. ඒකනෙ තාත්තේ කියල බෙරිහන් දුන්නේ. මුළු ගමම දැන් දුවගෙන එයිද දන්නෑ. මර නින්දේ හිටපු මාවත් උඩ ගිහින් ඇහැරුණේ." තාත්තා කිව්වේ මං දිහාම බලාගෙන. "තාත්තා කොයිවෙලාවෙ ද ආවෙ?" "අටත් පහුවෙලා. අද වැඩ කරපු තැනින් සල්ලි ගන්න ටිකක් පරක්කු වුණා. ඒ එනකොට බස් එක ගිහින්. ඉතින් මට පයින්ම එන්න වුණා. මං එනකොට පුතා හොඳටම නිදි. අම්ම ඇහැරවන්න හැදුවම මමමයි එපා කිව්වේ. හෙට උදේට පුතා ඉස්කෝලෙ යන්න ඕනනෙ. " "අනේ.. තාත්තා හුඟක් දුර පයින් ඇවිත්නේ.." මගෙ ඇස්වලට කඳුළු ඉනුවා. "මොකෝ මේ මගෙ කෙල්ල කවදාවත් නැතුව අඬන්නේ.. මට අමාරු නෑ පයින් ආව කියලා.. ඒ එනකොට හන්දියේ ලොකු වින්නැහියක්.. පව් අහිංසක දරු පවුල් කාරයෙක්ව බීගත්ත මිනිහෙක් කාරෙකකින් යට කරගෙන ගිහින්. ලස්සන කෙලි පැටික්කියක් ඒ මනුස්සයට ඉන්නවා කියලයි මිනිස්සු නම් කතාවුණේ. මිනිහ නම් එතනමයි. බලන්නවත් හයියක් තිබ්බේ නෑ මට.." "මොකක්..." මට කියවුණේ ඉබේටම.. 'අනේ දෙයියනේ... මට හීනෙන් දැනුණ වේදනාව තව දරුවෙක්ට හැබැහින් විඳින්න වෙලා නේද...' මගෙ ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන ගියෙ මටවත් පාලනය කරගන්න බැරුව. "අනේ ඇයි පුතේ මේ අඬන්නේ කවදාවත් නැතුව..." "මං තාත්තට හුඟාක් ආදරෙයි." මං අඬාගෙන ම ආයෙමත් තාත්තව තුරුල් කරගත්තා. "මගෙ කෙල්ලට මං හැමදාම ආදරෙයිනේ.. හීනෙන් බයවුණා නේද මගෙ පුතා.. දැන් නාඬා ඉන්න.. තාත්තා ළඟ ඉන්නවනෙ.." "මළ කෝලම් මෙව්වා..." අම්මා ගස්සගෙන ගියා.. තාත්තා හිනාවුණා.. "අම්මට ඊරිසියාවේ.." මං කිව්වා.. "අම්මා මගෙ පුතාට හුඟක් ආදරෙ යි.. පුතා හීනෙන් බයවෙලා කෑ ගහනකොට අම්මා තමයි මුලින්ම දුවලා ආවේ... ඔය විහිලුවට කියන් ගියේ..." "මං දන්නවා තාත්තේ.. අම්මා මට හුඟක් ආදරෙයි කියලා.. ඒත් මං වැඩියෙන් ආදරේ තාත්තට..." "අම්මට ඇහෙන්න නම් ඕක කියන්න එපා විනාසයි.." අපි දෙන්නම මූණට මූණ බලාගෙන හිනාවුණා.. "අන්න මගෙ කෙල්ලගෙ කඩල ගොට්ට කුස්සියේ ඇති.. ගිහින් අම්මගෙන් ඉල්ලග
න්න.." දෙයියනේ.. මගෙ පපුව පිච්චිලා ගියා වගේ දැනුණෙ මට.. "තාත්තා කඩලත් අරගෙන ආවද.." "ඔව්.. මගෙ කෙල්ල බලාගෙන ඉන්නවා කියල මං දන්නවනෙ.. ටිකක් පරක්කු වුණ හන්ද කඩල වෙළෙන්දා ළඟ සෑහෙනට සෙනඟ.. මමත් පොරකාල අස්සෙන් රිංගගෙන ගිහින් කොහොමහරි කඩල ගොට්ටක් ගත්තා.." තාත්තා කිව්වේ ජයග්‍රාහී ලීලාවෙන්... තාත්තාගෙ මූණ දිහා බලාගෙන හිටපු මට එතනින් එහා කතා කරගන්න වචන ආවෙ නෑ.. හැබැයි මං එකක් හොඳටම දැනගත්තා.. මට තාත්තා නැතුව හුස්ම ගන්න බෑ කියල මම හරියටම දැනගත්තේ අද... 'අනේ මං දැක්කා වගේ දෙයක් නම් හීනෙන්වත් කිසිම දරුවෙකුට උදාවෙන්න එපා...' හිනාවෙන තාත්තගෙ ඇස් දිහා බලාගෙන ම මම මට ම කියාගත්තා... "තාත්තා තමයි මගෙ හුස්ම.. මං එදා දැනගත්තා..." තාත්තා නැති හෙට දවසක් මට උදාවෙන්න නම් එපා... ✍️මිතුනි යසාරා (මිතූ)අපේ ගම තියෙන්නෙ හතර වටින්ම කඳු වලින් වට වෙච්ච පරිසරයක. ඔය තියෙන කන්දක් උඩ ඉඳලා අපේ ගම දිහා බැලුවහම පේන්නේ වලක් ඇතුලේ අපි ඉන්නවා වගේ. හරියට අපේ ගම හැදිලා තියෙන්නෙ බෑවුමකට කන්දක් නාය ගිහින් ගොඩ වුන තැනිතලාවක් වගේ. ඒක පොඩි ඉඩක් නෙවෙයි ගෙවල් විස්සක් තිහක් තියෙන හුදෙකලා ගමක්. ඒ කඳුත් එක්කම පැත්තකින් තියෙනවා මහ විසාල ගල් පර්වතයක්. ඒක බැලූ බැල්මට පේන්නෙ නම් ඒ පර්වතයෙන් බාගයක් තියෙනවා වගේ ඒකේ තිබිලා තියෙන ස්වාභාවික ගතියේ අඩුවක් පේන නිසා අසම්පූර්ණ පර්වතයක් වගේ හරියට දකින කෙනෙක්ට පේන්නෙ. අපේ ගමේ පැවතගෙන එන නීතියක් තමයි තමන්ගෙ ඉඩමකවත් ලැට් වලක් හැර ඒකත් ගොඩක් ගැඹුරට නැතුව ළිඳක්වත් කපන්න තහනම් කරපු එක. ඔය නීතිය පවතින්නෙ දැං අවුරුදු ගාණක් තිස්සෙ. නීතිය දාලා තියෙන්නෙ වලව්වෙන්. ඒකට හේතුව වෙලා තියෙන්නෙ පොළව යට තියෙන වස්තුව. අපිත් ගමේ පොළව යට එහෙම මැණික් වස්තුව තියෙනවා කියලා අහලා තිබුණට අපේ ගමෙන් මැණික් ගලක් අහු වෙච්ච කිසිම මනුස්සයෙක්ව දන්නෙ නැහැ. ඒත් ඒක වලව්වෙන් පැවතුන කතාවක් නිසා වලව්වට කරන ගෞරවයක් විදියට ගමේ මිනිස්සු ඒ කතාව විශ්වාස කරා. තමන්ට ඉන්න නිකං ඉඩමක් දීලා ඒවැයි වගා කරගෙන ජිවත් වෙන්න තත්ත්වයක් හදලා දුන්න නිසා මිනිස්සුන්ට වලව්ව ගැන තිබුණේ ලොකු ගෞරවයක්. අපේ ගමේ තියෙන කිසිම ගෙදරක තමන්ට කියලා ඔප්පුවක් නැහැ. හැම ඉඩමකම අයිතිය තියෙන්නෙ වලව්වට. වලව්වෙන් තමයි ගමේ මිනිස්සුන්ට මේ ඉඩම් දීලා තියෙන්නෙ. තමන්ට දීපු ඉඩමේ ලොකු වලක් එහෙමත් නැත්තම් ළිඳක් වගේ දෙයක් හාරන්න අවසර නොදුන්න එක හැර වෙන කිසිම නීතියක් වලව්වෙන් දාලා තිබුණේ නැහැ. ඒ වගේම ඒ දුන්න ඉඩම් වලට ආයෙත් වලව්වෙන් ඇඟිලි ගහන්න ආවෙත් නැහැ මිනිස්සු නීතිය අකුරටම පිළිපදින නිසා. ගමේ මිනිස්සුන්ට තමන්ගෙ ගෙදර ළිඳක් නැති නිසා වලව්වෙන් ගමේ මිනිස්සුන්ට තැන් දෙක තුනක විතරක් පොදු ළිං හදලා දීලා තිබුණේ. ඒ ළිං වල වතුර තමයි මිනිස්සු බොන්න නාන්න එදිනෙදා දේවල් වලට ගත්තේ. කොටින්ම වලව්වටත් වතුර අරගෙන ගියේ ඔය පොදු ළිං තියෙන තැනක තියෙන ලිඳකින්. ඒ ළිඳේ වතුර ගමේ මිනිස්සු ගත්තේ නැහැ ඒ ලිඳ සම්පූර්ණයෙන්ම වලව්වට අයිති නිසා. වලව්වෙ නීතියට අවනත නොවී ගමේ සමහර මිනිස්සු හිටියා වලව්වට හොරෙන් ලැට් වලවල් කපනවා කියලා හිතාගෙන ලිඳවල් කපන්න උත්සාහ කරපු ඒත් ඒ හැම උත්සහයක්ම අසාර්ථක වෙලා ගියා පොළව යටින් මහ කලු ගල් මතු වුන නිසා. එහෙම ගල් මතුවෙනවා කියලා දැනගත්තට පස්සෙ කවුරුත් තමන් ඉන්න ඉඩම් වල ළිං කපන්න හිතුවේ නැහැ මොකද තේරුමක් නැති වැඩක් නිසා. ______________________ අපේ ගමෙන් මුලින්ම විශ්ව විද්‍යාලයට ගියේ වලව්වෙ ලොකු පුතා වුන සුමනසිරි මහත්තයා. දයානන්ද හාමුට හිටියේ පුතාලා තුන් දෙනෙක්. එක්කෙන් තමයි ඔය සුමන සිරි. අනිත් දෙන්නම ලොකුවට ඉඟන ගත්තේ නැහැ වලව්වෙ තාත්තගෙ හයියෙන් ගම්වල රස්තියාදු ගැහුවා ඇරෙන්න. සුමනසිරි මහත්තයා විශ්ව විද්‍යාලයට ගිහින් අවුරුදු දෙකකට විතර පස්සෙ ගමේ සාමාන්‍ය පවුලකින් මුලින්ම විශ්ව විද්‍යාලයකට යන්න පුළුවන් වුනේ මට. ඒක ගමට ලොකු ආඩම්බරයක් වුනා දයානන්ද හාමුත් දවසක් මුණගැහිලා මට සුභ පැතුවා. දයානන්ද හාමු ගාව ලොකු මාන්නයක් තිබුණේ නැහැ හරි සරල මනුස්සයෙක් නිසා තමයි ගමේ මිනිස්සුන්ගෙන් වුනත් හාමුට ගොඩක් ගෞරවය තියෙන්නෙ. ඒකේ අනිත් පැත්ත වලව්වෙ හාමිනේ පුදුම ලොකු කමකින් තමයි හිටියේ ගමේ මිනිස්සුන්ව දූවිල්ලක් තරමටවත් ගණන් ගත්තෙ නැහැ. සුමනසිරි මහත්තයා ඉස්සර ඉඳලම නිහඬ කොල්ලෙක් නිසා ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ ගමත් එක්ක. පොඩි කොල්ලො දෙන්නා ගමේ කොල්ලො එක්ක රස්තියාදු ගහන නිසා ගමත් එක්ක හිටියා. විශ්වවිද්‍යාලය ඇතුලෙදි මුලින්ම සුමනසිරි මහත්තයව මං දැක්කහම මං කතා කරන්න නොගියේ සුමනසිරි මහත්තයා මාත් එක්ක කතා නොකරයි කියන බයක් තිබුණ නිසයි. ඒත් මං කතා කරන්න නොගියට සුමනසිරි මහත්තයා මාව දැකපු ගමන් තව යාලුවො දෙන්නෙක් එක්ක මං ලඟට ඇවිත් මාව ඒ යාලුවන්ටත් හඳුවලා දුන්නා දුන්නා "මේ තමයි අපේ ගමෙන් දෙවනියට විශ්වවිද්‍යාලයට තේරුන ප්‍රේමරත්න" කියලා. මට ඒ වෙලාවේ පුදුම සතුටක් දැනුනේ ගමේ ලොකු කතා බහක් තිබුණේ නැති සුමනසිරි මහත්තයා ඒ විදියට කතා කරපු එක ගැන. ඒ හඳුන්වලා දීලා සුමනසිරි මහත්තයා මාව පැත්තකට අරගෙන ගිහින් මට කිව්වා සුමනසිරි මහත්තයා කියලා කියන්න එපා අයියේ කියලා කතා කරන්න කියලා. මට ඒ වෙලාවෙත් හරි පුදුමයක් දැනුනේ මේ මනුස්සයා ගැන. _____________________ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අරුද්දක් විතර ගෙවිලා යනකොට සුමනසිරි අයියට ටෙලිග්‍රෑම් එකක් ආවා දයානන්ද හාමු මැරිලා කියලා. ඒ වෙනකොටත් අසනීප තත්වයෙන් හිටියා කියලා අපි දැනගෙන හිටියා වුනත් අපි එච්චර හිතුවේ නැහැ මැරෙන්න තරම් අසනීපය වැඩි වෙයි කියලා. කොහමහරි මායි සුමනසිරි අයියයි එදාම ගමට ගියේ තව සුමනසිරි අයියගේ යාලුවො දෙන්නෙකුත් එක්ක. දයා හාමුගේ මරණය ගමටම ශෝක දිනයක් වගේ මොකද හාමුට ගමේ මිනිස්සු සෑහෙන්න ආදරෙකින් සහ ගෞරවයකින් හිටියේ. ගමේ හැමෝම දන්නවා ඉන්න හිටින්න තැනක් නැතුව අතන මෙතන ඉන්නකොට තමන්ට දැං ජිවත් වෙන්නෙ හාමුලාගේ පරම්පරාවෙන් දුන්න මේ ඉඩම් කඩම් නිසා කියලා. ආයෙත් දයා හාමු වගේ මනුස්සයෙක්ව වලව්වෙන් බිහි වෙන්නෙ නැහැ කියන විශ්වාසය ගමේ මිනිස්සුන්ට තේරුනා. මොකද වලව්වෙ බාල පුත්තු දෙන්නාගෙ කෙරුවාව ගමේ මිනිස්සු දකින නිසා. ඒත් මම දයා හාමුව දැක්කා සුමනසිරි අයියගෙන්. මට විශ්වාසයක් තිබුණා සුමනසිරි අයියා දයා හාමු වගේම ගමට ආදරේ කරයි කියලා. වලව්වට මං මුලින්ම ගියෙත් හාමුගේ මරණය වෙලාවේ. ඒ දවස් හතේම අපි වලව්වෙ හිටියේ. ගමේ අනිත් මිනිස්සුන්ට නැති අවස්ථාක් මට හම්බෙලා තිබුණේ මමත් සුමනසිරි එක්ක විශ්වවිද්‍යාලයේ ඉන්න නිසයි. හාමිනෙගෙ ඇස් වුනත් මං දිහා බැලුවේ ගමේ අනිත් මිනිස්සු දිහා බලනවට වඩා වෙනස් විදියට ඒක මට ගෞරවයක් දැනුනා. මරණෙන් පස්සෙ සුමනසිරි අයියා ටික දවසක් ගමේ නැවතුනත් සුමනසිරි අයියගේ යාලුවො දෙන්නයි මායි ආයෙත් විශ්වවිද්‍යාලයට ආවා. මරණය වෙලා සති දෙකකට පස්සෙ තමයි සුමනසිරි අයියා ආයෙත් විශ්වවිද්‍යාලයට ආවේ. ඒ ආපු දවසෙ මට සුමනසිරි දෙයක් කිව්වා. ඒ මං සුමනසිරි අයියගෙන් දැකපු දයා හාමුව. සුමනසිරි අයියා කිව්වේ "ප්‍රේමේ තාත්තා නැති එකේ ගම ගැන බලන්න වෙන්නෙ මට තමයි මොකද මල්ලිලා දෙන්නා මුරණ්ඩුයි හිතුවක්කාරයි උං දෙන්නා දන්නෙ නැහැ උං යන පාර මොකක්ද කියලවත්" කියලා. මං ඒක බලාපොරොත්තු වුන දෙයක් සුමනසිරි වගේ මනුස්සයෙක් ගමකට ඉන්න ඕන ගමක සමඟිය පවතින්න නම්. ________________ වලව්වෙ හිටිය දවස් ටිකේ ඔය බඩු මුට්ටු එහාට මෙහාට කරද්දි හාමුගේ කාමරේ තිබිලා මට පොතක් හම්බුනා. ඒක හද්ද පරන පොතක් අකුරුත් සමහර තැන් බොඳ වෙලා තිබුණේ. මං ඒ පොත හාමිනේගෙන් අහලා අවසර අරගෙන කියවන්න කියලා හිතාගෙන විශ්වවිද්‍යාලයට අරගෙන ආවා. සුමනසිරි අයියවත් ඒ පොත කියවලා නැහැ කියලා තමයි කිව්වේ සුමනසිරි අයියගෙන් ඇහුවහම. ඒ පොතේ නම "ගිලන් ගම" ලිව්වෙ කවුද කියලා පොතේ නම එක තැනක තිබුණත් ඒක කියවගන්න බැරි තරමට බොඳ වෙලා තිබුණේ. පොතේ තියෙන කතාව කෙටියෙන් ගත්තොත් තියෙන්නෙ අභිරහස් රෝගයක් ගැන. ඔය රෝගය කොහෙන් ආවද කොහම හැදුනද කියලා පොතේ සදහන් වෙලා නැහැ ඒක තමයි අභිරහස. රෝග ලක්ශන විදියට ලියලා තියෙන්නෙ තද උනක්, ඇඟ පුරා සැරොව ගෙඩි, ලේ වමනය, හුස්ම ගන්න අපහසුව ඔය ටික තමයි රෝග ලක්ශන විදියට තිබිලා තියෙන්නෙ. ඔය රෝග ලක්ශන එක්ක දවස් තුනයි හයිය හක්තිය තියෙන මනුස්සයෙක් වුනත් ජිවත් වෙලා තියෙන්නෙ. වයසක අය එහෙම තද උනත් එක්ක වමනය ඇවිල්ලා හුස්ම ගන්න බැරුව දවසින් දෙකෙන් මැරිලා තියෙනවා. හුදෙකලා වෙච්ච පොඩි ගමක් නිසා ගම පුරා සතියක් දෙකක් වගේ කාලයක් ඇතුලත පැතිරිලා මිනිස්සු මැරිලා තියෙනවා. ඔය ලෙඩෙන් බේරිලා තියෙන්නෙ මේ පොත ලියපු රචකයගේ පරම්පරාවේ හිටිය මිනිස්සුයි තව පවුල් හත අටකුයි. ඒ මේ පොත ලියපු මනුස්සයගෙ පරම්පරාවේ කෙනෙක් ඒ කාලේ වෙද මහත්තයෙක් නිසා. ලෙඩේට බෙහෙතක් විදියට අරගෙන තියෙන්නෙ අලි හක්ක උරච්චි කරලා කොහොඹ කොල ඉස්ම එක්ක මුළු ඇඟ පුරාම තවරලා සහ තම මොනවද කසායක් බීලා. වෙද පවුලට ඕන කරන අලි හක්ක ප්‍රමාණවත් වුනත් අනිත් මිනිස්සුන්ව බේර ගන්න ඒ අලි හක්ක ප්‍රමාණවත් මදි නිසා ඒ පැත්තටම හිටිය තනි අලියවත් මරලා තියෙනවා අලි හක්ක ගන්න. වෙද මහත්තයගෙ පවුලයි සනීප වුන පවුල් හත අටයි හැරෙන්න මුළු ගමම සති තුනක් හතරක් විතර කාලයක් යනකොට සොහොන් පිට්ටනියක් වෙලා තියෙනවා. ගමක් සොහොනක් වුණාට පස්සෙ ඒ ගමේ මේ පවුල් ටික නැවතිලා නැහැ ගමෙන් පිට වෙලා. ඒ ගම අතහැරලා එන්න කලින් මුළු ගමම ගමක් තිබුණා කියලා හිතාගන්නවත් බැරි විදියට ගම පස් කන්දකින් යට කරලා තියෙනවා. එහෙම යට කරලා තියෙන්නෙ ගම වට වෙලා තිබුණු කඳු වලින් එක ගල් පර්වතයක් බෝර දාලා කඩලා ඒ මහ ගල් පර්වතයෙන් බාගයක්ම අර පුංචි ගමක් ව තිබිලා සොහොන් පිට්ටනියක් වුන තැන සම්පූර්ණයෙන් ම ගල් වලින් පිරිලා ඒ ගල් උඩින් පස් කන්දතුක් කඩාගෙන වැටෙන්න සලස්වලා. ඕක තමයි "ගිලන් ගම" කියන පොතේ තිබුණු කතාව කෙටියෙන්. ____________________ පොතේ ලියලා තියෙන පරිසරය ගැන කියවනකොට මට මැවි
ලා පෙනුනෙම අපේ ගම. මොකද කඳු වලින් වට වෙලා තියෙන ගම, බාගයක් නැති මහ ගල් පර්වතය, පොළව ටිකක් වැඩිපුර හාරනකොට මතු වෙන කලු ගල්. ඔය දේවල් සම්පූර්ණයෙන්ම අපේ ගම. මේ පොතේ තියෙන්නෙ ඇත්ත කතාවක්ද බොරුවක්ද කියලා මට දැනගන්න ඕන වුනේ නැහැ. ඒත් මේ පොත පොත් කියවන මනුස්සයෙක්ට කුතුහලයෙන් පිරුන පොතක් නිසා කම්මැලි නොවී කියවගෙන යන්න පුළුවන් පොතක්. සුමනසිරි අයියත් පොත් කියවන්න කැමති නිසා මං සුමනසිරි අයියට පොත දෙනවා කියලා හිතාගෙන සුමනසිරි අයියාව හොයාගෙන යද්දි සුමනසිරි අයියව හම්බුන වෙලාවේ සුමනසිරි අයියා කලබලෙන් හිටියේ. අයියා කිව්වා "ගෙදර යන්න වෙනවා ප්‍රේමේ අරුං දෙන්නා අන්න මැණික් ගන්න ගමේ පතල් හාරන්න පටන් අරගෙන තියෙනවා ඒ අස්සෙ අම්මටත් ඇඟ පුරා මොනවද ගෙඩි දාලා අසනීපයි" කියලා ටෙලිග්‍රෑම් එකක් එවලා තියෙනවා. Pubudu Udatiyawala 2024/01/05දුංහිඳ හීන - (තුන) "ජිනෝ.. උඹ අද කුස්සියේ මඟුලකට උයනව වත්ද..? " අප්පුච්චා අහන්නේ මං දනිපනියේ වැඩ කරන සද්දෙට වෙන්ට ඇති. කොල්ලු ඇට ටික බැදෙන සුවඳට උන්දැට දැන්මම බඩගිනි වෙලා වගේ.. උදේ පාන්දරට මලිත්තෝ...කෑදැත්තෝ .. අළු කොබෙයියෝ තොර තෝංචියක් නැතුව කෑ ගහන සද්දෙ අහං ඉන්න ආසයි. වළි කුකුළො පහුරු ගගා ඒ මේ අත හක්කලං කරාට වැහි කාලෙට සතා සීපාවත් ගැන්නිලා.ඒ තරමට සද්ද බද්ද නෑ. ඇල්ලේ තොර තෝංචියක් නැති වතුර සද්දෙ විතරයි. රෑ ජාමෙට නං අතරමං විච්ච වැලි මුවෝ මහ සද්දෙට කෑ ගහනවා. කැකුළු බත ඉදෙන පුසුඹෙට මයෙත් බඩගින්න ඇවිස්සෙනවා. කාලෙකින් කරෝල කෑල්ලක් තෙලේ දාල, කොල්ලු හොද්දක් එක්ක අප්පුච්චට බත් ඩිංගක් දෙන්නේ. මිරිස් ගලේ තලල සම්බෝලෙකුත් හැදුවා කට සැරට. උන්දැල කන්ට ආස දේවල් එවෙලෙට හදා දෙන්ට ඕන... පහු නොකර . අම්ම නැතිවෙන්ට දෙතුන් දොහකට කලින් කිව්වෙ කුරහන් තලප කන්ට ආසයි කියල. උන්දැත් ආස වෙල් මාළුයි ,කොල්ලු , මෑ හොද්දයි එක්ක තලප ගිලින්ට. ඒත් අම්මට කන්ට බැරිවුන එකේ පහුනූ දානෙට තලප ටිකක් දානෙට පූජා කරන වැඩේ මට අතපහු වුනා... ඒකට අදටත් මයෙ හිත අඬා වැටෙනව. හඳුනයියා මයියංගනෙන් ගෙනාව අඩුම කුඩුම වලට පිං සිද්ද වෙන්ට රහට බතක් මාලුවක් උයන්නේ . ඒත් ඉතින් කොච්චර උනත් පිටස්තරයෙක්නෙ...? එයාට ණය කාරියක් වෙන්ට බෑ මට. ඒක හිතට මහ බරක්. ඉක්මනින් ඒ කාසි දීල දාන්ට ඕන, බත් කඩේ අත් උදව්වටවත් ගෙහුං හරි . මේ කාලෙ ඔය බෙලිමල් විකිණිල්ල හරියන්නෙ නෑ. හෙට යසා නැන්දට කියනවා.. මේ ටිකේම වරුවෙන් අහස කළු කරල බීරුම පටන් ගන්නවා. මහන්සිය තේරුමක් නෑ.ඊගාවට ගොරව ගොරවා වැස්ස. ඔය කූඬලු කැටියෙ එහාට මෙහාට ගාටන එකේ තේරුමක් තියේද? මං ගවුමට උඩින් චීත්ත කෑල්ලකුත් පටලව ගත්තා. බත් කඩේ සුබරත්න හාමිනෙත් එක විදිහක්නේ ...?උන්දැ ඔය ගවුම් කොට ඇඳන් එන එකීලට ඇනුම්පද කියනවා.අද කෝම හරි බත් කඩේ වැඩක් හොයා ගන්ට ඕන. කොහොමත් හාමිනේ මට මනාප මං අනිත් එවුන් වගේ නෙවෙයි ..කම්මැලි නෑ කියල.. "රහයිද අප්පුච්චා කෑම ටික ..? " මං රස්නෙං බෙලෙක් කෝප්පෙට වතුර ටිකක් වක් කරල ළඟින් තිවුවම උන්දැ කාලෙකින් මට පිං දුන්නා. "මයෙ කෙල්ලට කිරි උතුරන්න වගේ හරියන්න ඕන....අද පිරියෙන් බත් ඩිංගක් කෑව මං...." මගෙ දැහැට කඳුළු ඉනුවෙ සංතෝසෙට... දොර වහල දාල මං උදැහැනැක්කෙම පිටත් වුනා. චුරු චුරු වැස්ස ඉවරයක් නෑ තාම. වැහි දෙයියෝ මේ තරං නපුරු උනේ කෝමද? බකමූණු පැටියෙක්.. ඌට එළිවුන ජාමේ යාගන්ඩ විදිහක් නැතුව පාතින් තියෙන අත්තක් උඩ. කපුටො දැක්කොත් විනාසයි. මං පරිස්සමට ඌ අල්ලල චීත්තෙන් වහං කරගෙන අපේ මිදුලෙ අඳුරු ගස් බෙණයක් අහ තිබ්බා. ඌට එතන ආරස්සාවයි. අඳුරු නිසා එතන හොඳයි කියල හිතුනා. පව්.. ඌ උගෙ අම්මගෙන් මගෑරෙන්න ඇති . මං කඩේට යනකොට සුනංගු වෙලා. හාමිනේ කිව්වේ එහෙම හිතෙන හිතෙන වෙලාවට රස්සාවල් දෙන්න මේක මොකක් කියල හිතුවද කියල. මං මොකුත් නොකිය කුස්සි කෑල්ලට රිංගල ගොඩ ගැහිල තිබ්බ ඉඳුල් වළං පිඟන් ටික හෝදන්න ගත්තා. "කමක් නෑ හාමිනේ. මං මේ ටික හෝදල දාල යන්නං. හෙට එන්නංකො උදැහැනැක්කෙන්. කොහෙද අතරමං විච්ච බකමූණු පැටෙක් ගෙදෙට්ට ගාල් කරල ආවයින් හුනංගු වුනේ" "අනේ උඹේ සත්ත කරුණාව ..." එහෙම කියාගෙනම හාමිනේ මට බතුයි පොල් සම්බෝලයි දාපු පිඟානක් ළඟ තිබ්බා. එහෙම කරන්නේ ඔය මාව,අද දවසම තියා ගන්න තමයි .මං හිටියට උන්දැ එක්ක වැඩ කරන්න මනාප නෑ පෙළක් ගෑනු.... තිස්සෙම හෑල්ලුවට කතා කරන හින්දා . මං ඉඳුල් ඔක්කොම හෝදල, බොයිලේරුව රත්වෙන්න තිබ්බා. මේස ටිකත් පිහල දාල අත් උදව්වට ඉන්න රාසු කොලූවට රැව්වේ ඌ බොරුවට එහෙට මෙහෙට දිව්වට කරන මඟුලක් නැති හන්දා. "කෙල්ලෙ...මං ඉස්සරහ පැත්තෙ වැඩ ටික බලාගන්නං . හොඳ එකී වගේ කුස්සියෙ උයන එකට උදව් කරාපන්. උඹට රහට උයන්න පුළුවන් එකේ පේමා එක්ක හවුල් වෙයන්. අද පාරෙ වැඩකරන දහයකට විතර බත් දෙන්ඩ ඕන . උන් වෙලාවට කන්ඩ එනවා. ලොකු හොද්දක් හදාපන් මිරිසට. ඔය දෙමළ මිනිස්සුන්ට හොදි ඕන යහමින් .." ආයි ඉතින් හාමිනේ නං කප්පරක් වැඩ කියයි.ඔය අව් අස්සෙ තවලං කාරයොත් ආවොත් හුස්මක් කටක් ගන්ට බැරිවෙනවා. කුස්සියෙ ඉද්දි ආයි ඉස්සරහට ටිකකට වරෙන් කියයි. ඒ හාමිනේගෙ හැටි. ඒ කොයි හැටි වුනත් හාමිනේගෙන් මට නං අරියාදු වෙලා නෑ කවදාවත් . මොනා හරි කරල හඳුනයියගෙ ණයෙන් නිදහස් වෙන්ඩ ඕන .. පේමක්කා කැමතියි මං අත් උදව් දෙනවට. ඇයි ඉතින් මට හීනියට මැල්ලුම් ලියන්ට පුළුවන්. රැළි ගැහෙන් නැතුව පොල් ටික ගාගන්ට පුළුවන්. ගල් වැටෙන් නැතුව හාල් ගරාගන්ට පුළුවන්.. උන්දැගෙ වරුණාව ඕක තමයි . මගෙන් ගන්ට ඕසෙට වැඩ තියෙනවා උන්දැට... අන්තිමේදී පහේ ටික අතගාල වැංජන ටික උයන්ට වෙන්නෙත් මටම තමා. "උඹ ඊයෙ වට්ටක්කා වැංජනේ බෙරි කලාට පේමා...මේ තියෙන්නේ අද යස අගේට.. ජිනා ට අමුතුවෙන් කියාදෙන්න දෙයක් නෑ ඒකි දන්නව සීරුවට වැඩ කරන්ඩ.." හාමිනේ වැංජනවල ලුණු ඇ‍ඹුල් බලන ගමන් කිව්වා. බොකු බෙලෙක් පිඟන් දහයක් හාමිනේ මේසෙ උඩින් තියල කඩේ ඉස්සරහට යන ගමන් කාටදෝ හරි ගරු සරු ඇතුව කතා කරනව ඇහුනා. අර මිනිස්සුන්ට බෙදන්ඩ ගත්තු හොද්දත් ඉහිරෙනව තව ඩිංගෙන්. මට අඳුරන්ට බැරුවයැ සුදු මහත්තයගෙ කටහඬ....ඒක ඉතින් බාවනාවක් වගේ නිවී හැනහිල්ලේ අහං ඉන්න පුළුවන් කතා විලාසයක්. පුදුම සංවර කමක් තියෙන්නේ . මං බත් පිඟන් ටික මේසෙන් තියල අහකලා පේමක්කට ඉතුරු අඩුපාඩු බලන්ට කියල කඩේ ඉස්සරහට ඔළුව දැම්මා. මේකට අල්ලපු කඩේ , හාමිනේලාගෙම සිල්ලර බඩු කඩේ.ඒක කරන්නෙ උන්දැගෙ පුතා ගුණසිරි. සුදු මහත්තය ජයටම ගුණසිරි එක්කල කතාව. මට පුදුම සන්තෝසයක් දැනුන හිතට. ආදරේ කරන්නේ ආයෙ අයිති කරගන්ටමයැ.ඒක හරි අපූරු දෙයක් නෙව? මයෙ හිතට දැනෙන සන්තෝසෙම මදෑ. මේකිට පිස්සු කියල මිනිස්සු කියයි. හිත යන්නේ කොයි අතට කියල කාටවත් මේච්චල් කරන්න පුළුවන් දෙයක්‍ යැ.. ආදරේ කියන්නෙ හිත ගිහින් ගිහින් නතරවෙන තැනටම තමා. "අනේ ජිනා ... විගහට මහත්තයට කෑම ඩිංග ලෑස්ති කරපන්. උඹ දන්නවනේ.. අර ලෑලි පෙට්ටියේ මං අරන් තියාපු මාළු ජාඩි හට්ටිය ගනිං . සිංහල අච්චාරු මුට්ටිය පේමගෙන් ඉල්ල ගනිං...හැඳි කවලං කරන්නෙ හෙම නෑ ඔන්න ...වැඩිය සැරට කන්නෙත් නෑ නෙව සුදු මහත්තයා " හාමිනේ කියන්ටත් කලියෙන් මං කුස්සියට දිව්වා.මයෙ අත්දෙක වෙව්ලන්න වගේ. මං අද ආපු නැකත හොඳා .. මයෙ ලෝකෙට ඉර පායව්ව හෙනං අද..? ",ම්... රසයි ...කරී...ස්.... ඔයා..ද ඉව්වේ..? " මහත්තයා බත් කන ගමන් මගෙන් ඇහුවා. එයා කැඩිච්ච සිංහලෙන් කතා කරන තාලෙ අහං ඉන්ට ආසයි. කොච්චර පෙරුම් පුරාගෙන උන්නත් එක වචනයක් කියන්න මයෙ කටට එන්නෙ නැති හැටි...?උගුර මැද්දෙන් හිරවෙලා වගේ. ඒ හින්ද මං " ඔව්" කියන්න වගේ ඔළුව වැනුවා. සුදු මහත්තය අහංකාරකං ගෑවිලවත් නැති කෙනෙක් කියල කොයි කවුරුත් දන්න එකේ,හොඳ විනා නුගුණක් අහල නැති එකේ මයෙ දුප්පත් හිත ඒ ඇත්තො ළඟ නතර වෙච්ච එක අරුමයක් නෙවෙයි.. ඒ රූපෙට කතා විලාසෙට ඇල්මක් ඇති වෙන්නෙ නෑ කියන්නෙ ඒ..ඇස් කන් නැති එකියක් වෙන්ට ඕන. මහත්තයා "යන්නං"කියන්න වගේ ජිප් එකට නැගල මං දිහා බැලුවා..මයෙ මූණට එවෙලෙ හිනාවක් ගන්න නං අමාරුවුනේ ආයෙ ඉතින් කවද මුලිච්චි වෙන්ටද කියල හිතුනම.." මං කුස්සියට ගියෙ තෝංතුවෙන් වගේ. මොන යකෙක් වැහිලද මට.. නැත්තන් මට දෙගුණෙද..? මේ නොලැබෙන එකක් මත්තෙ මේ හැටි නැහෙන්ට...? පේමක්කා අස් පරස් කරන ගමන් විගහට වැංජන,ඉතුරු බිතුරු ඒව ඔතාන මල්ලට ඔබා ගන්නවා. මං කවදාවත් ඔය නැති බැරි එකෙක් අහක දාන එකක් ගන්නා ගත්තට එව්ව හාමිනේගෙ කණේ තියන්නෑ.. මුලින් කිව්වා...ඉල්ලුවනං හාමිනේ දේවිනෙ කියලා. ඒත් හාමිනේ අහක දැම්මත් එව්ව දෙන්න ඒ හැටි මනාපයක් නෑ කියල මං දැනගත්තෙ පස්සෙයි. පේමක්කට පොඩි උන් මතක් වෙනව ඇති . උදෙන්ම උයන පිහන ඒව හැන්දැ වෙද්දී පිළුණු ගඳ ගහනව. මාලු,මස් වැංජන ඉතුරු වුනොත් එව්ව හාමිනේ අරන් තියෙනව මොනා කරල හරි පහුන්දාට ගන්ට කියල . සීනි සම්බෝල , අච්චාරු එහෙම එයා ගානට බෙදල ඉතුරුව අරන් තියෙනව. ගත්තොත් ගන්ට තියෙන්නේ ඔය එළවළු , හොදි මාළු වැංජනයක් තමයි. පේමක්කා ඒක දන්න හින්ද වේළපහම මාළු කෑල්ලක් දෙකක් ඔතාගන්නව. "උඹ කටේ කෙළ පොදක් හලන්නෙ නෑ කියල මං දන්නව.. උඹ හොඳ එකී. මේව කරන්ට මටත් හිත් දෙන්නෙ නෑ බං. ඒත් අපේ දුප්පත් කොමට මක් කරන්ඩද..? මේ ගන්න තුට්ටු දෙක පොඩි උන්ට ගල්ලෑල්ලක්,පොතක් පතක් ගන්ඩයි අර මිනිහගෙ බේත් හේත් වලටයි ගියාම කොයි ඉතුරුවක්..? මේ ගෑනි මහ කුණී.. පිළුණු ගැහිල කුණු බාල්දියට දැම්මත් දෙන එකක් ය...නැත්තන් මෙහෙම හොරා ගන්ට ඕනය ජිනෝ... උඹත් විගහට මොකුත් ඔතා ගනින්. හාමිනේ එහා කඩේට ගියා.. ගුණසිරියත් කොහෙද ගියා නෙව.. දෙකක් නෑ සුදු මහත්තයගෙ වැඩකට වෙන්ට ඇති ..." "අනේ මට ඕන් නෑ අක්කෙ...මායි අප්පුච්චයි විතරනෙ.. උන්දැට රෑට මනාප දෙයක් හදල දෙනවා..." පේමක්කගෙ දියවෙච්ච හැට්ටෙ නූල් ඇදිල ඉරෙන්ට ඔන්න මෙන්න. මට හීල්ලුනේ අපි හැමෝම එක බෝට්ටුවේ නෙවද කියල . පේමක්කා මෙහෙමවත් හිනාවෙලා ඉන්නව මදෑ... එයාගෙ මනුස්සය ගහකින් වැටිල එක්තැන් වෙනකොට හතරවෙනි කොලුව බඩේ.
එදා ඉඳන් මේ ගෑනි අල්ලන දහිරිය.. එක අතකට හාමිනේට පිං සිද්දවෙන්ඩ ඕන. ඒ ඇත්තො නිසා අපිත් මේ අවාරෙට ජීවිතේ ගැට ගහගන්නේ. මං වළං පිඟන් සේරම හෝදල කුස්සිය අස් පරස් කරල කඩෙන් එළියට බහිද්දී බිං කරුවල වැටෙන්ටත් ඔන්න මෙන්න. ඈතින් පංසලේ පිරිත් සද්දෙට හිත නිවෙනවා. ඒත් ඉතින් සුනංගු නොවී දුවන්ට ඕන. අප්පුච්චා තනියෙං..උන්දැ ආයි කුප්පි ලාම්පුවක්වත් පත්තු කරගන්න එකක් යැ..බසමන්ද කලුවරේ ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නව වෙන්ටැති...කිරාවත් උන්න නං ඌ අප්පුච්චගෙ නොතනියට මිදුලෙ ගිනි මැලයක් ගහන් ඔහෙ ඇන තියාගෙන ඉන්නවා. හඳුනයිය ඌව කුඹුරු වැඩටත් එක්ක අඬගහං යන්ට ඇත්තේ. යසයි මට නං දාහෙන් සම්පතක් ඔය මල කරදරේ නැති එක. "ජිනා...." මං පල්ලං බැහැගෙන ලහි ලහියෙ දුවද්දී පිටිපස්සෙන් කවුදෝ කතා කරා. පුරුදු හඬක් නං නෙවෙයි . මතු සම්බන්ධයි . (සේයාරුව අන්තර්ජාලයෙනි)මගේ ආදර කථාව..!!! .................................... එයා ඇඬුවෙ අත් දෙකෙන්ම මූණ වහගෙන. මං හිටියෙ ගල් බීත වෙලා. මට ඉතින් වෙන මොනව කියල වෙන්නද..? ඔව්, ඔයාල හිතනව හරි. මට ගල්බීත වෙන්න හේතුවක් තිබුණ වගේම එයාට අඩන්නත් හේතුවක් තියෙන්න ඇති. ඒත් මං අදටත් දන්නෙ මට ගල්බීත වෙන්න තිබුණු හේතුව විතරයි. එතකොට මම උසස් පෙළ ලියනවා. එයා හිටියෙ දහයෙ පන්තියෙ. මගේ හිතේ එයා ගැන හැගීමක් ඇති වෙලා ඒ වෙනකොට අවුරුද්දක් විතර වෙන්න ඇති. හැම පෝයකටම පන්සල් යද්දි, ඇස් එකිනෙකා බැඳිල මගේ හිතේ ඇතිවුණු හැගීමක් ඒක. අදටත් මම දන්නෙ නැහැ එයාගෙ හිතේ එහෙම හැගීමක් තිබුණද නැද්ද කියන එකවත්. ඒ නිසයි මම කියන්නෙ මේක එක පලුවක විතරක් ආදර කථාවක් කියල. එයාගෙ යාළුවො ගොඩ දෙනෙක් හිටියා මගෙත් හොඳ යාළුවො ඉන්න. ඉතින් මම සැරින් සැරේ ඒ ගොල්ල අත එයාට පණිවිඩ යවනවා. ආදර පණිවිඩ. සමහර ඒව සැලලිහිණි සදෙසටත් වඩා දිග සන්දේශ කාව්‍ය. ඒත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එයා දහම් පාසලේ ඉගෙන ගන්නවා. මම ඒ දහම් පාසලේම උගන්නනවා. අපි දෙන්නම එදා උදේ හිටියෙ වතුර බොන ලිඳ ගාව. මට තාම මතකයි ඒ ලිඳ වටේට මකුලත කෝටු වලින් වැටක් බැඳල තිබුණා. වැට මගේ දණහිසට විතර උස ඇති. වතුර ගන්න බාල්දිය ලිඳ ගාව තිබුණු කණුවක මුණින් අතර නමලා ලන්න ගහකට ගැට ගහලයි තිබුණෙ. මම ලිඳෙන් වතුර එකක් අරගෙන මං ගාව බොකුටු කරගෙන හිටපු එයාගෙ අත් දෙකට දැම්මා. එයා වතුර බීල ඉවර උනාට පස්සෙ තමයි මං කථා කලේ. “ඇයි නංගි ඔයා මට අකමැති..? මගේ තියන වැරැද්ද මොකද්ද..?” ඒ වෙලාවෙ තමයි එයා අත් දෙකෙන්ම මූණ වහගෙන අඩන්න පටන් ගත්තේ. මම ගල්බීත වුනේ. අවුරුද්දක ආදරය ලිදේ බාල්දියෙ තිබුණු සිදුරෙන් එලියට කාන්දු වෙන්න පටන් ගත්තේ. මට තිබුණෙ ආයෙත් ලිඳට පණිට්ටුව දාල ආදරය පුරවල ගන්න. ඒත් මම හිටියෙ ගල්බීත වෙලා. අවුරුද්දක ආදරය බොල් පිලිමයක් වගේ වෙද්දි, මගේ ඉස්සරහ අඩා වැටෙද්දි ගල් බීත නොවී මං මොනව කියල කරන්නද..? “ඇයි සිතාරා අඩන්නනෙ..” එයාගෙ හොඳම යාළුවා ළඟට එනකම්ම අපි දෙන්නම දැක්කෙ නැහැ. “නෑ නිකං..” “නිකං..? නිකං වෙන්න බෑ” “මම යන්නම් අයියේ…” එයා කඳුළු පිහදාගෙන මම ආසම හිනාවෙන් ආයෙත් මූණ සරසගෙන ආවාස ගේ දිහාවට යන්න ගියා. එයාගෙ යාළුව මං ගාව. “මොකෝ අයියෙ ගල් වෙලා…සිතාරාට ආදරේ ප්‍රකාශ කරන්න ගියාද..? “ පන්සල කියන්නෙ ඉස්සර අපිටම වෙන්වුණු ප්‍රේම කලාපයක්. හඳ අහසෙ වෙනිවැල් ගැට පාටට පිරිල ඉන්න කොට බෝමළුව කියන්නෙ වෙනමම ලෝකයක්. පිච්චෙන පහන් තිර පෙගවුණු පොල් තෙල් සුවඳ, හඳුන්කූරු සුවඳ එක්ක එකතු වුණු මල් සුවඳ කියන්නෙම අපිව පිරිල යන දැනීම් සමුදායක්. ඉතින් ඒ වගේ තැනක ඇති වන ආදරයක් කියන්නෙ ඇස් ඉස් මස් ලේ ඉල්ලන ආදරයක් නෙමෙයි. හිත පිරිල යන වෙනත් අමුතුම හැඟීමක්. පන්සලේ බෝමළුවෙදි එයාව දැකපු දවසෙ ඉඳල මගේ හිත පිරිල තිබුණෙ ඒ වගේ හැගීම් ගොඩකින්. රෑ නිදි යහනෙදි මං ගාවට ඇවිත් ඇඳුම් ගලවන කාන්තාවන් අතරෙත් එයා කවදාවත්ම හිටියෙ නැහැ. මං ආයෙත් ඔය ගොල්ලන්ට කියන්න ඔින මේක එක පලුවක ආදරයක්. ඒ කියන්නෙ මගේ හිතේ විතරක් ඇතිවුනු ආදරයක් කියලයි අදටත් මම හිතන්නේ. ඒක පලු දෙකේ ආදරයක් උනානම් මෙ වෙද්දි අපි දෙන්නා රාධා ක්‍රිෂ්ණා දෙන්නටත් එහා ගිහිල්ල. ඒ නිසා එයා දිහා අමුතු විදියට බලන්න එපා. අපේ ගේ ඉස්සරහින් ඇදුනු ගුරු පාරෙන් තමයි එයා පන්ති යන්නෙ. මම ගෙදර ඉන්න මුළු දහවලම පාඩම් කරන්න තෝර ගත්තෙ ගේ ඉස්සරහ තියන අඹ ගහ. ඒ අඹ ගහ යට තියන ලී බංකුව. ඇස් පොතට වඩා ඇලිල තිබුණෙ පාරෙ. එයා දැන් මේ පාරෙන් යාවි, දැන් යාවි කියල මම දවස් ගණන් බලන් ඉඳල තියනව. එහෙම දවස් ගාණක් තිස්සෙ බලාගෙන ඉඳලත් එයා නොදැක්කම කාගෙ හරි බයිසිකලයක් ඉල්ලගෙන එයාගෙ ගේ ගාවින් එහාට මෙහාට පදිනවා. ඒත් දකින්න නොලැබුණු දවස් තියනවා. ඉතින් මම ගල්බීත නොවී ඉඳීවිද..? පන්ති ගියත් ටියුට් වල ඉඩ තියන හැම තැනකම ලියවුණු කවි පද වල හිටියෙ එයා. ඇඳුණු කුරුටු චිත්‍ර හැම එකකම හිටියෙ කරල් දෙකකට කොන්ඩෙ බැඳගෙන මාත් එක්ක හිනා වෙන ඒ මූණ. රතු මල් වැටුණු ගවුම. ඉතින් මම ගල්බීත නොවී ඉඳීවිද..? ගල්බීත වෙලා හිටපු මම දියවෙන්නම පටන් ගත්තෙ ඒ මාසෙ අන්තිම ඉරිදා. එදා දහම් පාසලේ සමිතිය තිබුණු දවස. එයා කෙටි ආරාධනාවක් වේදිකාවට නැග්ගෙ සිංදුවක් කියන්න . අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ… දරුවන්ගේ දුක් කඳළු දකින දා සුර ලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා… ඒ කටහඬ ඇතුලෙ ගල්බීත වෙලා හිටපු මම දියවෙලාම ගියා. දිය වෙලා ඉවර උනාට පස්සෙ මම දන්නෙ නැහැ මගේ මොනවද ඉතිරි උනේ කියලවත්. ……………………………. කාලය ගෙවිල ගිහින්. එක, දෙක වගේ ඉල්ලක්කම් වලින් නෙමේ . දහයෙ ගුණාකාර වලින්. ඒත් තාමත් ඒ සිංදුව ඇහෙද්දි මම දියවෙන්න පටන් ගන්නව. කාලය ගලා ගෙන ගියත් ඒ සිංදුව කොතනකදෝ අවකාශයක නතර වෙලා. ඔය ගොල්ලන්නට ඔින කරන්නෙ ඊට පස්සෙ උනේ මොකද්ද කියල දැන ගන්න නේද..?ඔව් මම කියන්නම්. එයා හෙවුවෙ ජීවිතය. මට ජීවිතය තිබුණා. ඒ් නිසා මම හෙවුවෙ ආදරය. දියවෙන එක නතර කරගන්න නම් ආදරය හොයා ගන්න ඔින. මම ආදරය හෙවුවා. ඉතින් අපි දෙන්නට යන්න සිද්ධ උනේ පාරවල් දෙකක. හරියටම කේතු ආකාර කේක් කෑල්ලක කෝණාකාර දාර දෙක දිගේ ඉහලට ඇවිදිනව වගේ ගමනක් ඒක. ඒ ගමනේ හැම නිමේෂයකම අපි තව තවත් ඈත් වුනා. එයා ජීවිතය හොයා ගත්තා. ඒ එක්කම ආදරයත්. මම ආදරය හොයා ගත්තා. කොහොමත් මට ජීවිතය තිබුණා. ආදරය හොයා ගෙන ගිය ගමනෙදි කොයි තරම් නම් හිත් බිඳීම්, රිදවීම් වෙන්න ඇත්ද..? හමුවීම්, එක්වීම්, වෙන්වීම්. මට ඒවයෙ ගාණක් තිබුණෙ නැහැ. ඒ මම ගල්බීත වෙලා හිටපු නිසා වෙන්න ඇති. මට ආපහු හැරිල මට පහුවෙලා යන දේවල් දිහා බලන්න තරම් හිතක් තිබුණෙ නැහැ. ඒ කොහොම වුනත් එක්තරා දේදුණු පට උදයක මට මම හොයපු ආදරය ලැබුණා. ඒ වෙලාවෙ තමයි ගල් ගැහිල හිටපු මම ඇහැරුණේ. දිය වෙමින් හිටපු මම ආයෙත් එයාගෙ හැඩය ගන්න පටන් ගත්තෙ. . අපි දැන් වෙන වෙනම ඉදිවුනු අපේ කුටුම්බ වල ආදරණිය ජිවිත ගත කරන වියපත් මිනිසුන්. අපේ පාරවල් කේතුවෙ දාර දිගේ එකිනෙකාගෙන් ඈතට ගියත් අපි චාපයක් දිගේ ඇවිත් එකිනෙකා හමුවෙන වෙලාවල් තියනව. ඒ ජීවිතේ අහඹු මුන ගැසිම්. එහෙමත් නැත්තම් මුහුණු පොතේ පල කරන අපේම පිංතූරයකට, මේ වගේ කථාවකට වැටෙන like එකක්, comment එකක් වෙන්නත් පුලුවන්. ඔව්..! ඒ ඔයා වෙන්නත් පුළුවන්.අම්මලා දරුවන්ට කොයි තරම් නම් ආදරෙ කරනවද කියලා අහල තිබුනත් මන් දැකල නැ අපේ අම්මා මට ආදරෙ කරනවා. එක දවසක්දා හන්දියේ කඩමණ්ඩිය ලගදි ගුණවතීලා සුමනාවතීලා අම්මා ගැන කියපු කතාවෙන් මන් අම්මලා ආදරෙ කරනවා තමයි, හැබැයි පෙන්නන්නෙ නැ කියල තේරුම් ගත්තා.. තාත්තගෙ මරණෙන් පස්සෙ මල්ලි ගෙදර මිදුලේ සෙල්ලම් කර කර ඉද්දි ආණ්ඩුවෙන් කපල දිපු වගා ලිඳට වැටිලා අත කඩාගෙන ගේ ඇතුලේ තිබ්බ එකම කාමර කෑල්ලේ මුල්ලකට වෙලා ඉන්න කාලෙ තමයි ඒ. එක තැන් වෙලා මුල් දවස් දෙක තුනේ බෙහෙත් සැරට මල්ලි බත් කන්නෙ නැති හන්දා අම්මා හැමදාම කඩෙන් කොල වන්ඩු දෙකක් ගෙනල්ල මල්ලිට කන්න දුන්නා මට මතක් වෙනවා. නිවාඩු දවසේ පාන්දරම රබර් කට්ටියට අම්මා එක්ක ගිහින් ඔට්ටපාලු ගලවන්න උදව් කරලා ඒ ටික ගෙනල්ලා ඉරිදට පොලට ගෙනිහින් විකුණද්දි සාරිගප්පි ජෝඩුවක් අම්මගෙන් මට හැම සතියම තැගි ලැබුණා. ඒත් ඒ හොරකම් හැමදාම කරන්න උන්නැ. වත්තෙ මහත්තයා රට ඉදන් ආයෙ ලංකාවට පදිංචියට ආවම සිකුරුටි මහත්තයෙක් වත්තෙ ගස් කට්ටියට දාල තිබ්බා. එදයින් පස්සෙ දලු කඩල හම්බෙන සොච්චමෙන් අපි අවුරුදු ගානක් බඩට නොකා හැදුනා. ඒ කාලේ අම්මා එක්ක ප්‍රශ්නයක් හින්දා කෝච්චියට තාත්තා පැන්නද නැත්නම් හැප්පුනද කියල ගම්මුන්ගෙ කතා අහල දවසක් මන් අම්මගෙන් ඒ ගැන ඇහුවා. "තාත්තට මැරෙන්න පිස්සුද බන්.. ඒ මනුස්සයව හප්පගෙන ගිහින්. එක කනක් ඇහෙන්නැති එකාට ගෙදර පස්න ඔලුවෙ තියන් හැන්දැවට රේල් පාර දිගෙ එද්දි ඒකෙ සද්දෙ නෑහුණ එකට මන් නම් පුදුම වෙන්නෑ. ඔය ගම්මු මොනවද අපේ වත්ත හතර මායිමෙන් ඇතුලේ දේවල් දන්නෙ. ඒ හින්ද උබ ඕවා ඔලුවෙ තියාගන්නෙපා.." කියලඅ අම්මා කිව්වට මන් නම් තාමත් හිතන්නෙ තාත්තා කෝච්චියට පැන්න මිසක් හැප්පුනා කියල නම් නෙමෙයි. " අම්මා තනියම මේ ගෙවන දුක විඳින්න, තාත්තට සම්මාදම් වෙන්න පුලුවන් කාලයක් එයා එක්ක ඉදල කොච්චියට පැන්නට නම් මන් උනත් තාත්තා එක තරහ නැ. ඒත් ඉතිම් ගෑනියෙක් මෙහෙම දුක් විඳිනවා බල බලා මට ගෙදරට තව ගෑනියෙක් ගේන්න බැ.." කියපු අයියත් දැන් තිස් පස් ඇඳිරියටම ඇවිත් ඉන්නෙ. එක පැත්තකින් දීග දෙන වයසේ නන්ගියෙක් ඉද්දි අයියල හැට පැන්නත් කසාද බඳින එක ගම්වල තහනම් තමා. කොහොමින් හරි අදින් ඒ මගුලත් ඉවරයි. කපුවා හොයපු මනාලයා එක්ක නන්ගිත් නුවරට පන්ගාත්තු කරල යැව්වා. ඒත් ඉතිම් අයියගෙ හිතනම් තාම බයෙන් කියල තමයි පේන්නෙ. එක අතකින් අයියා හරි. නොදන්න මනුස්සයෙක් එක්ක අවුරුදු විසි හතරක් ගෙදර ඉදපු නන්ගි දීලා සතුටුවෙන්න පුලුවන් මිනිස්සුයැ මේ රටේ ඉන්නෙ.. දැන් අයියත් ඉක්මනට මොනාහරි කරගත්තනම් හරි කියල අම්මා හවසම කියනවා ඇහුනා. පපුව අමාරුවෙන් දෙපැත්තට අඩිය තියාගෙන ජීවත්වෙන අම්මගෙත් ජිවිතේ ඇඳිරි
ය ගෙවෙන හින්ද ඒ බර බිමින් තියලම ඇස් පියාගන්න අම්මා එහෙම කියන්න ඇති කියල මට හිතෙනවා. ඒත් අම්මට මාව අමතක උනාද මන්දා..කමක් නැ. අහස ටිකක් බර වෙලා. හඳහාමිත් හැ|මි|නෙන්න ගිහින් ද දන්නැ පේන්න නැ. මමත් කල්පනා කර කර ඉදලා මේ ගල උඩ නින්ද යයි.. ඒ කොහොම උනත් හෙටින් පස්සෙ අලුත් ඉරක් පායනවා කියල දන්න හින්දා අද කොහොමහරි නිදාගන්නවා. - සසියාහංසන කොරිඩෝව දිගේ යනවා දුටු ශ්‍යාමලී කලබලයෙන් ඔහුගේ පිටුපසින් දිව ගියේ ෆයිල් එකකුත් අතේ අරගෙන. “ සර්…..., …සර්..,” “ ඇයි?... ශ්‍යාමලී ” “සර්.., චෙක් ටිකක් තියෙනවා. දැන් අත්සන් කරන්න පුලුවන්ද? “ “ළමයෝ …..දැන් නම් පරක්කුයිlecture එකට. ඉවර වෙලා තමා අත්සන් කරන්න වෙන්නෙ හොඳේ.” ශ්‍යාමලී ගෙන් මිදී හංසන බිම් මහල වෙත පා නැගුවේ සමාජයට හොර රහසේ පවත්වාගෙන යන තමාගේ යාචක පුහුණු මද්‍යස්ථානයේ අලුත් කණ්ඩායමක් සඳහා පවත්වන දේශනයකට සහභාගී වීමේ අරමුනින්. මේ වන විටත් පනහකට අධික පිරිසක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ හංසනගේ පැමිණීම බලාපොරොත්තුවෙන්. පුහුණුව සඳහා අධික මුදලක් ආයතනය වෙත ගෙවා සිටි මෙම පිරිස විවිධ වයස් මට්ටම්වල වූ වන්. “සර් , අද අලුත් කණ්ඩායම…” හන්සනගේ වයසේම වූ තරුනයෙකු හන්සනව පිලිගත්තේ සිනහ මුසු මුහුනින්. “Ok.. රාජීව” “හරි.. හැමෝටම සුභ දවසක්.. මම හංසන මේ ආයතනයේ ප්‍රධානියා. ” පිරිස අතර සිහින් මුණු මුණුවක් පැතිර ගියේ කිසිවෙකු මෙවන් තරුණයෙකු ආයතනයේ ප්‍රධානියා ලෙස බලාපොරොත්තු නොවුණු නිසයි. .… ඔයගොල්ලන්ට මේ ගේම් එකේ බේසික් මිස්ට රාජීව කියලා දෙන්න ඇති. මේ ගේම් එකේ දී ගොඩාක් වැදගත්වෙනවා ඔයගොල්ලන්ගේ රංගනය කුසලතාවය. අත්දැකීම් එක්ක තමා ඒක වැඩි දියුණු වෙන්නේ. ඒ අතර අනිත් වැදගත් කාරණා ගැන අපි කතා කරමු. ඉස්සරලාම බලන්න ඕන අපිට සල්ලි නොදෙන්න මිනිසුන්ගේ හිතට නැගෙන කාරණා. අතපය හතර හොඳට තියාගෙන ඉන්නවා කියන කාරණය තමා ප්‍රධානම වෙන්නෙ. මේ වෙලාවට අපේ පැත්තෙන් ශක්තිමත් ප්‍රති තර්කයක් ඉදිරිපත් වෙන්න ඕනෙ. මිනිස්සුන්ට හිතෙන දේ අපේ කටින්ම කියලා තාත්ත්වික හේතු ටිකක් හරි ලස්සනට ඉදිරිපත් කළොත් තමා මේ වැඩේ සාර්ථක වෙන්නෙ. ……………... “ ඔබතුමාලට හිතෙනවා ඇති මේ මිනිහා අතපය හතර හොඳට තියාගෙන මොකද මේ කියලා. “……………… ඔන්න ඔහොම පටන් අරගෙන තරුණයෙක් නම් කියන්න පුළුවන් පාඨමාලාවකට සල්ලි හොයා ගන්න කියලා. උදාහරණයක් විදියට ගත්තොත් බර යන්ත්රෝපකරණ පුහුණුවකට වගේ. බොරුව තවත් තාත්වික සහ ශක්තිමත් වෙනවා සති අන්තයේ පුහුණුවකට යනවා. ඉතිරි දවස්වල සල්ලි හොයනවා කියලා කිව්වොත් . මොකද අපි උලුප්පලා පෙන්නන්න ඕන මේක කරන්නෙ කරන්නම දෙයක් නැති නිසා කියන කාරණාව. “ ඔය රතු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න ළමයා මට කියන්න බලන්න මැදි වයසේ පුද්ගලයෙකුට කොහොමද මේ වෙලාවෙ කටයුතු කරන්න පුලුවන් ? “ “ සර්, අපට කියන්න පුළුවන් නේද රස්සාවක් කරා. කොරෝනා නිසා ඒ රස්සාව නැතිවුණා. පවුල නඩත්තු කරන්න බැරි නිසා හිඟා කනවා කියලා. “ ඔව්. හැබැයි මෙහෙම කිව්වා කියලා අපිට මිනිස්සු සල්ලි දෙයිද?.... නැහැ… ” “ පුතා,… සල්ලි ගන්න නම් අනුකම්පාවෙන් හිත කඩා වැටෙන තත්වයට පත් කරගන්න වෙනවා. රස්සාව අපිට කියන්න පුළුවන් ඉදිකිරීම් ක්ෂේත්රයේ මේසන් වැඩ වගේ රස්සාවක් කියලා. මොකද බස් වල යන්නේ සාමාන්ය මිනිස්සු. ඒ ගොල්ලන්ගේ සල්ලි ගන්න නම් එයාලට දැනෙන්න අපි කතා කරන්න ඕනෙ. ඒ සමාජයට දැනෙන සංකල්පවලින් ගේම් එක ප්ලේ කරන්න ඕනෙ. මොකද ගමේ මනුස්සයා දන්නවා මේ කාලය මේසන් බාස්ලට වැඩ අඩු කාලයක් බව. ඉතින් ඉස්කෝලේ යන ළමයි තුන් දෙනෙකුයි එක්තැන් වෙලා ඉන්න අම්මයි තාත්තයි නඩත්තු කරන්නේ මේ හම්බවෙන සල්ලිවලින් කීවාම හදවත උණු වෙනවා. මේකෙදී අපි තේරුම් ගන්න ඕන ප්රධානම කාරණය තමයි කට හොලවන තරමට ඇඟ හොල්ලන්නේ නැතුව සල්ලි හොයන්න පුළුවන්. තමන් පිළිබඳ හඳුන්වාදීමට තමන්ට ආවේණිකයි. හැමෝම හොඳට පුරුදු වෙලා ජීවිත කතාවක් හදාගන්න ඕනේ. ඒක තිතට කිසි අඩුපාඩුවක් නැතිව තියෙන්න ඕන. අදහස් දැක්වීම මදකට නතර කර හංසන හැරුණේ රාජීව පැත්තට. “ රාජීව, මේ ග්රූප් එක ෆීල්ඩ් එකට ගියා නේද? ” “ඔව්. සර් සතියක් ට්රේනින් දැම්මා. “ අපේ අය මෙයාලව evaluate කරාද?” “ඔව් සර් , මෙන්න රිපෝට්ස්. “ “ අඩුපාඩු ටික බලමු…” “ කෝ බලමූ….... මුලින්ම …….නාමල් සූරිය තිලක……. ……….එකම රූට් එක. නමුත් දිනපතා කතන්දරය වෙනස්වේ . ” “ මොකක්ද අයිසේ මේකේ තේරුම ? මෙහෙම ගියොත් තමුසේ ගුටිකනවා අනිවාර්යයෙන්.” “ රාජීව,මොකක්ද මේ? කොහොමද මේ කතාව වෙනස් වෙන්නේ.” “ සර් , මෙයා එක දවසක කිව්වා ටෙක් කෝස් එකක් කරනවා ඒකට සල්ලි මදි. දෙමව්පියන් පොඩි කාලේ මැරුණා. එක්තැන් උන ආච්චිත් එක්ක ගෙදර ඉන්නේ කියලා. ඊළඟ දවසේ කිව්වා ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා බලා ගන්නේ මෙයා කියලා. “ “ මේ අහගන්න. හැමෝම මේක හොඳට හිතට ගන්න ඕන කාරණයක්. එකම පාරේ බස්වල යනවා නම් කතාව අකුරක්වත් වෙනස් වෙන්න බෑ. මොකද එකම බස් වල යන්නේ ඒ ප්රදේශයේ මිනිස්සු නේ. ඉතිං කතාව වෙනස් වුණොත් තමුසෙලාගේ බොරු මාට්ටු වෙනවා. අනික් කාරණේ එකම පාරේ සති දෙකකට වඩා ගේම් එක ප්ලේ කරන්න එපා. මොකටද අයිසේ නිකන් රිස්ක් එකක් ගන්නෙ. “ “ හැබැයි සර් , මෙයා කඳුළු එන්නම ටෝක් කරා . පුංචි කාලෙදිම අම්මයි තාත්තයි මැරුණා.. දෙමව්පිය සෙනෙහස නොලැබුණු නිසා ඉගෙන ගන්නත් බැරිවුණා. මටත් ඔයාලට වගේ දෙමව්පියො හිටියානම් මෙහෙම වෙන්නේ නැතිය කියල. වයසක අය රුපියල් සීයේ කොළ එහෙමත් දුන්නා. “ “ඒත් ඉතින් රාජීව, දවසක් ගේම් එක සුපිරි උනාට මාට්ටු උනොත් කේස් නේ.” සාමාන්‍ය මට්ටමෙන් කතාන්දරය හදාගෙන කිව්වත් එක බස් එකකින් අඩුම තරමේ රුපියල් විස්සෙ කොළ විස්සක් හම්බුනත් රුපියල් හාරසීයයි නේ. උපරිම විනාඩි 5 යි යන්නේ. පැයකට බස් දහයක් රන් කරොත් පැයට හාරදාහයි. දවසට පැය පහක් වැඩ කර ගත්තොත් විසි දාහයි. දවස් පහෙන් ලක්ෂ යක්. මාසෙට ලක්ෂ පහක් නතින්. මේක හොඳට තේරුම් අරන් ගේම් එක ප්ලේ කරන්න ඕනේ. හරි ඊළඟ බලමු. ....ප්‍රියන්ත කොඩිතුවක්කු… උදෑසනම වැඩ අරඹයි. මුදල් දුන් පසු පින් නො දෙයි. “ ප්‍රියන්ත , තමුසේ මහ තකතීරු විදිහටනෙ වැඩ කරලා තියෙන්නේ. මේ ගේම් එක උදෙන්ම පටන් අරගෙන බැහැ. උදේ බස් වල යන්නේ රස්සාවට යන මිනිස්සු ,පාන්දර ඉඳල අටයි තිහ වෙනකල්ම පස්සර යන්නෙ පන්ති යන ඉස්කෝලෙ යන ළමයිනුයි ගුරුවරු ඔෆිස්වල වැඩකරන මිනිස්සු. ඒ මිනිස්සු තමුසෙලාට සල්ලි පුදන්නෙ නෑ . ඔහේලා දිහා බලන්නෙම සැකයෙන්. තමුසෙල ඒ වෙලාවට බස්වලට නැගලා සල්ලි නොදුන්නම බනින්නයි හින්ට් පාස් කරන්නයි ලෑස්ති වෙන්න එපා. බොරුවට ඒ බස්වල කට රිදව ගන්න ඕන නැහැ. උදේ 8.30 – දවල් 1.30 , හවස 3-4 මේ පැය 6 විතරක් ටාගට් කරාම ඇති. මේ වෙලාවට බස් වල බොහෝ විට යන්නේ නෑදෑ ගමන් යන ලෙඩ්ඩු බලන්න බෙහෙත් ගන්න යන සාමාන්‍ය වැඩවලට යන සාමාන්‍ය මිනිස්සු. කිසිම අවදානමක් නැහැ. බොරුව ඇත්ත වගේ කියවෙන තරමට රුපියල් සීයේ නෝට්ටුත් ප'ර්ස් වලින් ඇදිලා එනවා. පින් දෙන සීන් එකත් හැමෝම හොඳ අවධානයෙන් අහගන්න. තරුණ අයට පිං දෙන්න ඕනේ හැදූ වැඩූ දෙමව්පියන්ටත් එක්ක. හොඳට ඒක හයිලයිට් කරන්න ඕනෙ. ………………මේ වගේ රත්තරන් දරුවෙක් හැදුවට දෙමාපියන්ට දිව්ය මාලිගා පහළ වෙන්නයි සැප සම්පත් ලැබෙන්නයි ඕනේ……….. ඔන්න ඔහොම ටෝක් කරන්න වෙනවා. වයසක අයට නම් දිව්ය විමන් කතාව විතරක් කිව්වත් ඇති. අනිත් එක අයිසේ වයස මොකක් වුණත් කොහේ ගේම් එක ප්ලේ කරත්, …………. අපි වේලක් හැර වේලක් කන බත් ඇටයක් ඇටයක් ගානෙ මේ රත්තරන් නෝනලා මහත්තුරුන්ට පින් සිද්ද වෙනවා…………… කියන කාරණය අනිවාර්යෙන්ම කියවෙන්න ඕනෙ. ගේම් එකේ ඉන්න තාක්කල් ඒ වාක්‍ය කටපාඩමේ තියෙන්න ඕනෙ. අනිත් අයට පින් දෙන මේ මොහොතෙදී තමා අපිට පුළුවන් වෙන්නෙ සල්ලි දෙනවද නැද්ද කියල හිතමින් දෙගිඩියාවෙන් ඉන්න මිනිස්සුන්ගේ සල්ලි ඇදලා ගන්න. අනෙත් එක සල්ලි ලැබෙන වෙලාවට හොඳට කොන්ද නවලා ගෞරවයෙන් අත් දෙකෙන්ම සල්ලි ගන්න ඕනෙ. බස් එකෙන් බහින වෙලාවට රියදුරු කොන්දොස්තර ටත් අමතක නොකර ආශිර්වාද කරලම බැහැ ගත්තම ඊළඟ දවසේ කිසිම ප්රශ්නයක් නැතුව ආයේ ඒ බස් එකේම ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. හංසන review සම්බන්දව කතාව මදකට නතර කරලා රාජීවට කතා කළා. “ රාජීව, හෙට මේ ගොල්ලන්ට ප්රැක්ටිකල් සෙශන් එකක් ලෑස්ති කරන්න. අපේ හොඳම ඉන්කම් එකක් ගන්න කීප දෙනෙක් ගේම් ප්ලේ කරන හැටි මේ ගොල්ලන්ට පෙන්වන්න ඕනේ. දැන්මම ඇරේන්ජ් කරන්න. “ඕකේ ..සර්. ” හංසන ගේ දේශනය ඉවර වෙලා පැයකට පස්සේ අවන්හලකදී තුෂ්ණිම්භූතව මුහුණට මුහුණ බලන් හිටියේ අවුරුදු විස්සත් විසි පහත් අතර තරුණයින් දෙදෙනෙක්. පරණ වී ගිය ඇඳුම් හැඳ අපිරිසිදු පාටින් සිටියත් මොවුන් ප්‍රකට විශ්වවිද්යාල සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු ගේ ගෝල දෙපළක්. ඔවුන් දෙදෙනා හංසනගේ යාචක ට්‍රේනින්ග් සෙන්ටර් එකේ පුහුණුවට බැඳුණේ ඔවුන්ගේ මහාචාර්යතුමාගේ සම්බන්ධතාවලින්. ඒත් ඒකෙදි නම් භාවිතා කලේ වෙනස් අනන්‍යතාවයක්. “මචං අවිශ්ක, මට හිතෙනවා බං අරූට අපි දෙන්නා මාට්ටු වුණොත් අපිට මැරුම් කන්න වෙයි කියලා. හංසනයා ඩීසන්ට් පිට හිටියට පොර අමනුස්සයෙක්. ” “ ඒකනෙ බං සර් මුලින්ම කිව්වේ පර්යේෂණයක් වෙනුවෙන් අපේ ජීවිත අවදානමකට ලක් කරගන්න එපාය කියලා. “ “අපිත් ඉතිං පණ්ඩිතයි නේ බං.” “ මේ මචං.. ඌ අර හවස දේශනයේදී කිව්ව හඳුන්කූරු විකුණන සීන් එකයි, අසනීප ගැන කියලා සල්ලි එකතු කරන එකයි ගැන මොකද හිතෙන්නේ ? එතකොට ඇත්තටම බස්වල ටවුන් වල ඉන්න මිනිස්සු කරන්නෙ බොරුද බන්? ඇත්ත මොකක්ද කියලා කොහොමද බං අපි හොයා ගන්නේ.? අපි මොකද දැන් කරන්නෙ? ” “ අවිශ්ක මචං, අපිට පුළුවන් දේ අපේ මට්ටමින් කරමු. හදවතින් නෙවෙයි බං මොලෙන් තමා දැන් සිද්ධීන් ගැන බලන්න ඕන. ඇත්තම අසනීපවලට සල්ලි එකතු කරන අයත් සමහර විට ඉන්න පුළුවන්. හැබැයි අසල්වැසියන්ගේ නෑදෑයින්ගේ දරුවන්ගේ අසනීප ගැන කියලා සල්ලි එකතු කරන මිනිස්සු ඉන්නවා නේද? හිතෙනවද ඒ ඇත්ත කියලා. අද කාල
ේ අනුන් වෙනුවෙන් දවස් ගානක් තමන්ගේ රස්සා පාඩු කරගෙන හිඟා කන මිනිස්සු ඉඳීද ? මොලෙන් බලන්න ඕන මේවා. හන්සන බොසා කිව්ව විදිහට පැයකට එන ආදායම දවසකට බලලා මාසෙකට එන ආදායම ගණන් හදලා බැලුවම පුදුම හිතෙනව නේ බං. එච්චර ආදායමක් මාසෙකට ලැබිලත් සදහටම දුප්පත් නේ සමහරු. අනිත් එක ආදායම් බදු ගෙවනවා කියලා එකකුත් නැහැනේ. දැන් නිකමට හිතපංකෝ ටවුන් එකේම ඉන්න සපත්තු මහන ස්වීප් ටිකට් විකුණන බස්වලවන වඩේ වතුර බෝතල් විකුණන මිනිස්සු ගැන. ඒ මිනිස්සුත් කරන්නෙ බිස්නස්. ඒ විතරක්ද ඇයි බන් පාපිසි මහන ගාමන්ට් යන ටවුන් එක පිරිසිදු කරන එකී මෙකී නොකී පුංචි පුංචි රස්සා කරන ගැහැනු පිරිමි මිනිස්සු ගැන. ඒ මිනිස්සුන්ටන්ට ප්රශ්න නැද්ද බං ඉස්කෝලේ යන ළමයි නැද්ද? ගෙදර අසනීප දෙමව්පියෝ නැද්ද? ඉන්නවා…. බං. වෙනස තියෙන්නේ ආකල්පවල. මේ මිනිස්සු දුක් විඳලා සාධාරණ විදිහට ආදායමක් හොයා ගනිද්දී තවත් කොටසක් සමාජයේ ඉන්න අතිශය සංවේදී දුකට උණුවෙන හදවත් තියෙන අහිංසක මිනිස්සු කොට්ඨාශයක් රවට්ටලා ඉතාම ලේසියෙන් ම විශාල ආදායමක් උපයා ගන්නවා. ඒක ශුද්ධ ලාභයක්. කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ . ඇයි ඉතිං මාකට් කරන්න දුක නෙ. උඹ දැකලා තියෙනවද ඒ සල්ලි දෙන බහුතරයක් මිනිස්සු එදා වේල පිරිමහ ගන්නෙත් හරිම අමාරුවෙන්. ඉතින් බන් වංචාව තේරුම් ගත්ත මිනිස්සු විදිහට මං හිතන්නෙ අපිට වගකීමක් තියෙනවා අපේ මට්ටමින් යමක් කරන්න. “සල්ලි තමන්ගෙ නම් රැවටෙන්නේ තමන් නම් එක අතකට අපිට මොකෝ බං.” “අවිශ්ක , රැවටෙන මිනිස්සු රැවටීමෙන් මුදවා ගැනීම මම හිතන විදියට නොරැවටෙන මිනිස්සුන්ගේ සමාජ වගකීමක් බං. “ “ එතකොට අපි මොකද කරන්නෙ? ” “ නීතිය පැත්තෙන් ගියොත් කාලය ගොඩක් ගත වෙයි. අනෙත් එක හංසනයා පට්ට මීටරයක්. නැත්තං කොහොමද හිගා ගන්න ලෙක්චර්ස් කරන්නෙ හිඟා කෑම ගැන. අනිත් එක මේ ටවුන් එක මැද. පොරගේ දේශනයක ගාස්තු කොහොමද…? අපි දෙන්නට සර් නිසා හොඳට ගියා. නැත්තන් අද දවසට පනස් දාහක් ඉවරයි. දැනට අපිට පුළුවන් මිනිස්සු දැනුවත් කරන්න සෝෂල් මීඩියා වලින්. මම මට පුලුවන් තරමක් ලියනවා. ඊට පස්සේ ලියන ඒවා කියවන මිනිස්සු පුළුවන් විදියට පුළුවන් දෙයක් කරයි. මොකද රැවටුණු මිනිස්සු රැවටීමෙන් මුදව ගන්න එක නොරැවටෙන මිනිස්සුන්ගේ සමාජමය වගකීමක්. ..................NI RO Sha............................සංගීත චාරිකාව 01 අපේ ගෙදරට මුලින්ම ප්‍රතිවාදන යන්ත්‍රයක් ගෙනත් තියෙන්නෙ අපේ මාමා, නිහාල් ප්‍රනාන්දු කියන ඉංජිනේරුවා.. එයා චෙකෝස්ලොවේකියාවෙ ඉංජිනේරු උපාධිය කරල ජර්මනියේ අවුරුදු දෙකක් ජොබ් එකකුත් කරල එනකොට ගෘන්ඩික් කියන ජර්මන් බ්‍රෑන්ඩ් එකේ පටි වාදන යන්ත්‍රයක් සහ රේඩියෝවක් ලංකාවට අරන් ඇවිත් තියෙනවා.. මේ කියන්න් 1974 තරම් දුර අතීතයක. ඔය පටි වාදන යන්ත්‍රයටම තිබ්බෙ පටි රීල් හතරයි. ඕකෙන් කරපු එකම වැදගත් වැඩේ බීපු උන්ගෙ කතා රෙකෝඩ් කරල පස්සෙ චාටර් කරල දාන එකයි, පොඩි එව්වො අවුස්සල උන්ගෙ කතා රෙකෝඩ් කරල දාල ආතල් ගත්තු එකයි විතරමයි.. හැබැයි ඒ ගෙනාපු රේඩියෝ එක නම් නිවස පුරාම සංගීත රාවය පැතිරුවා.. සීයට අනූ නමයක්ම ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය තමා නද දුන්නෙ. පොඩි කාලෙ නම් ඒ දාපු සිංදු වල මෙලෝ දෙයක් තේරුනෙත් නැහැ කිසිම රසක් දැනුනෙත් නැහැ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ ඉංග්‍රීසි බැරිකම. අපේ අම්ම කේම්බ්‍රිජ් විභාග පාස් කරපු ඉංග්‍රීසි සහ ගණිත ගුරුවරියක් උනත් ගෙදර පාවිච්චි උනේ අමුම අමු සිංහල විතරයි. අම්මයි තාත්තයි කොයි තරම් උගන්නන්න හැදුවත් මටයි නංගිටයි ඉංග්‍රීසි ඉගෙන ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැහැ. අපි ජීවත් වෙන පයියාගල ධීවර ගම්මානය තුල පල්ලියේ බලපෑම නිසා බහුතරයකට හොඳ සංගීත රසාඥතාවක් තිබ්බා.. පල්ලියේ ඒ කාලෙ ගැයුනෙ ලතින් ගීතිකා වල තනු වලට සිංහල වචන ඔබ්බපු ගීතිකා.. ඒ නිසා බටහිර සංගීතය මේ ධීවර ප්‍රජාවේ රස වින්දනය තුල අමුතු දෙයක් උනේ නැහැ.. ඊට උඩින් බටහිර ජනප්‍රිය සංගීතය නිරතුරුව කන වැකෙන කොට සංගීතයට ලොකු ආසාවක් ඇති උනා.. ඒ ආසාව නිසා තමා පවුලක්ම ලොකු සංගීත චාරිකාවක ගියේ.. (චාරිකාව පටන් ගත්තා විතරයි තව ගොඩක් දුර යන්න තියෙනවා)හීන කතන්දර... මම කුක්කා කාලේ, ඒ කියන්නේ චුටි කාලේ හීන දැක්කේ බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න. ඒ කාලේ මම හිතන් හිටියේ බස් එකේ කොන්දොස්තර අතේ ඇගිලි කරු අස්සේ ගහගෙන ඉන්න රුපියල් දහයේ විස්සේ කොළ ඔක්කොම උන්දැගේ කියලා. ඉතින් මම හීන දැක්කේ ඒ වගේ ඇගිලි කරු අස්සේ ගහපු සල්ලි පිරුන අතක අයිතිකාරයෙක් වෙන්න. මොන්ටිසෝරි යද්දී මගේ ලොකුම හීනෙ වුනේ ලොකු තාත්තා මාව ගන්න එන එක. එයා හැමදාම යමහා මෙට් බයික් එකේ එනව රුපියල් පහකුත් සාක්කුවේ දාගෙන. මොන්ටිසොරිය ලග තියන දර්මසිරි මාමගේ කඩේ එල්ලලා තියන "අයේෂා මුදු බයිට්" තමයි මගේ රසම හීනේ. ඒ නිසා තමයි ලොකු තාත්තා රුපියල් පහක් කමිසේ උඩ සාක්කුවේ දාගෙන එන්නේ. මුරුක්කු පැකට් එකේ අඩියෙම තියන ලුණු ,මිරිස් ටික ඇගිල්ලෙන් අරගෙන සුප්පද්දී එන රස දැන් තියන අජිනමොටෝ මුරුක්කු පැකට් වලනම් ලොවෙත් එන්නේ නෑ. ඒ රසත් හීනයක්ම විතරයි. ගමේ ඉස්කෝලේ යද්දී මගේ හොදම යාලුවා නිමේෂ්. ඌ ගියා ටවුමේ ඉස්කෝලෙට දෙක වසරෙදි. හවසට ඉංග්‍රීසි පන්ති ගියාම මට මාර ලස්සන හීන ලෝකයක් පෙන්නුවා නිමේෂ් අලුත් ඉස්කෝලේ ගැන. ඊට පස්සේ මගේ හීන වල දැක්කේ ටවුමේ ඉස්කෝලේ තමයි. ඒ හිනේනම් අම්මයි තාත්තයි ඇත්තක් කරා. පොඩි කාලේ නිදාගන්න යද්දී කකුල් හේදුවේ නැත්තං අම්මා කියනවා "ගිහින් කකුල් හොදන් නිදාගන්නවා, නැත්තං නපුරු හීන පෙනෙයි " කියලා. ඒකනම් සහතික ඇත්ත, හීනෙන් බය වෙලා කෑ ගහපු හැමදාම මම කකුල් හෝදලා නෑ. නිදාගෙන ඉද්දි දකින හීන වලින් මම දකින්න අකමැතිම දොරෙන් එළියට බැහැල ගහක් යටට ගිහින් හිමීට කලිසම පාත් කරලා චූ කරන එක. ටික වෙලාවකින් ඉනෙන් පහල තෙත් වෙලා ඇහැරුණාම එන තරහට චූ පෙගිච්ච කලිසම කන්න පුළුවන්. තරම් ජරා, කුජීත හීනයක් මම අද වෙනකන් දැකලා නෑ. පොඩි ඉස්කෝලේ ඉද්දි නම් තිබුන ලොකුම හීනේ ශිෂ්‍යත්වේ පාස් වෙන එක. අම්මා වැඩිය බල කෙරුවේ නැතත් ඒ හීනේ දිනන්න අම්මා ගොඩක් කැප වුන විදිය හීනයක් වගේ මට තාම මතකයි. ලොකු ඉස්කෝලෙට ගියාමනම් හැම ලමෙක්ටම වගේ මගේ ලොකුම හීනේ වුනේ ඉස්කෝලේ ගිනිගන්න එක දකින්න. ඒකත් මුළු ඉස්කෝලේ ජිවිතේ පුරාම දකින්න නොලැබිච්ච හීනයක්. අවුරුදු දොළහ දහතුන කාලේ මම හීන දැක්කේ ලෝයර් කෙනෙක් වෙන්න. එත් ඒ හීනේ මටත් නොදැනිම අමතක වෙලා ගියා. මේ කාලේ අපිට කරන්ට් එක තිබුනෙත්නෑ,. කූල් වතුර ටිකක් බොන්න, කලර් ටීවි එකෙන් කාටුන් බලන්න පට්ට අසාවෙන් හීන දැකපු කාලයක් මටයි අයියටයි නංගිටයි තිබුනා. කොහොම හරි හීනෙන් ඇත්තටම ඇහැරුනේ ඕ ලෙවල් රිසාල්ට් ආවට පස්සේ. හතළිහක් හිටපු පන්තියේ විභාගේ පාස් වෙලා තිබුනේ හයදෙනෙක් විතරයි. මමත් ඒ හය දෙනාගෙන් එකෙක්. ඒ ලෙවල් වලට මැත්ස් කරන්න හීන දැක්කේ හැකියාවට වඩා ආසාවට. මාත් එක්ක එකටම හිටපු මගේ ඇගේ කෑල්ලක් වගේ හිටපු එකාට ඒ ලෙවල් පෙනී පෙනී ඉස්කෝලේ ගමන නවත්තන වුන එකත් මම ඇස් දෙකෙන් දැකපු නපුරු හීනයක්. හැබැයි ඌ අද වෙද්දී හීන ඔක්කම දිනලා නියම තැනක ඉන්නවා... ඒ ගැන නම් මට පට්ට සතුටුයි. ඒ ලෙවල් පන්තියේ ඉද්දි ගොඩක්ම ආස වුන හීනේ තමයි කොමස් එකේ උන්වයි ආට් එකේ උන්වයි ඕමි ගහල පරද්දන එක. ඒ ලෙවල් රිසාල්ට් එද්දිනම් ඉගෙන ගන්න තිබුන හීන ඔක්මකොම ටික සුන්නත්දූලි වෙලා ගියා... ඊට පස්සේ මගේ ලොකුම හීනේ වුනේ සල්ලි හොයන එක. මේ කාලෙම තමයි මගේ සිහින කුමාරිවත් මට හම්බවුනේ. අපි ගොඩක් හීන දැක්කා. ඒ අතරතුර නානාප්‍රකාර ජොබ් කරා. නයි විතරයි නැටෙව්වේ නැත්තේ. ඔහොම යද්දී තමයි ලංකාවේ අංක එකේ කොම්පැනියක ස්ථීර රස්සාවක් හම්බෙන්නේ. ටාගට් ගහන එක හීනයක් වගේ වුනාට ගොඩක් සතුටින් ඒ වැඩේ කරා. සිකුරාදා හවසට තමයි අපිට හීන දකින්න ආස වුනේ. රවුන් ටින් එකක දාලා තිබුන රත්තරන් පාට බෝතලේ පතුල ඉක්මනට දකින එක තමයි පුංචි අපේ ලොකුම හීනේ වුනේ. හීනෙන් වගේ සිකුරාදාට ගෙදර ගිය මිසක් සිහියක් පතක් ඇතුව ගෙදර ගිය සිකුරාදාවක් මට මතක නෑ. අපි ආදරේ කරන කාලේ ලොකුම හීනේ වුනේ එයාලගේ ගෙදරින් කැමැත්ත ගන්න එක. ඒ හීනේනම් ඇත්තක් වුනා කොහොමහරි. තව අපි හීන දැක්කා කසාද බැදලා ළමයි පහක් විතර හදන්න. කොල්ලෝ දෙන්නා හම්බුනාට පස්සේ අපි හිතුවා ඒ හීනේ අමතක කරලා දාන්න. බදින්න කලින් අපි හිතන් හිටියේ මාසෙකට සැරයක් හරි ට්‍රැවල් කරන්න. අන්න පුතේ හීන. තව අපි හීන දැක්කා සතියකට සැරයක් විතරවත් කඩෙන් කන්න. එත් අපිට වුනේ මාසේ අන්තිම සතිය ගෙවාගන්න රත්තරන් බඩුවක් උකස් තියන්න. දැන්නම් ඉතින් එහෙම මහා ලොකු හීන නැහැ. දෙයියනේ කියලා දවස ගෙවාගන්න එකත් දැන් හීනයක් වගේ තමයි. ඊයෙත් මම ශෝක් හීනයක් දැක්කා. අපේ ගෙදර කරන්ට් බිල රුපියල් අටසීයක් වෙලා. අනේ දෙයියනේ ඒ හීනෙවත් හැබෑ වෙනවනම්..... ✍️ කුෂාන්. 05.01.2024දෝණිගෙ කතා 06 දෝණිගෙ කතා පහක්ම කියවපු ඔයාලා දෝණිට දැන් හරිම ආදරෙයිනෙ . ඒවා එයාට කියද්දි ගොඩාක් සතුටින් ඉන්නෙ. ඒවා කියවලා මේ දරුවා නම් හරිම ශාන්ත දාන්ත කීකරු දඟ නැති පැංචියෙක් කියල හිතෙනවා නම් අදත් කියවලම බලන්නකෝ. පැංචිගෙ තාත්තගෙ අම්මා තමයි ඇටමුරේ ආච්චි. පැංචි ඉතින් ආච්චිට හරිම ආදරෙයි. ආච්චි ආව දවසට ආච්චිට අපේ ඇඳට කතා කරනවා. පැංචිට නින්ද ගියාම තමයි අම්මා ඇඳෙන් යන්නෙ . මං ඉතින් රෑට ඇඳට ආවම තමයි පැංචිගෙ වචනෙන්ම කියනවා නම් පෝන් එක ඔබන්නෙ. අම්මා ආවා දවසට පෝන් එක ඔබන්නෙ නෑ . දවසක් අම්මා ඇවිත් අම්මයි මායි දුවයි ඇඳට වෙලා ඉන්නවා . ආච්චි එක්ක කියව කියව ඉඳලා දුව ආච්චි ළඟට පෙරලිලා ගියා. " අම්මෙ මං ආච්චි ළඟනෙ ඉන්නෙ. ඉතින් ඔයා පෝන් එක ඔබන්න . " කිව්වා . මං හරියට දන්නෙ නෑ. ඒත් දවසක් රේඩියෝ වැඩසටහනක කිව්වලු පෝන් එක රෑට ළඟ තියා ගන්න හොඳ නෑ කියල. අම්මා මට එපා කියල කියනවා දරුවටත් හොඳ නෑ කියල .. තව දවසක් අපේ අම්මගෙන් කෝල් එකක් ආවා. "හෙලෝ ආච්චි" " ආ චූටික්කි. ඔයා මේ ගත්තෙ නේද." " ඕ ආච්චි මේ පුතා" "මොකද අනේ
ඔයා ආච්චිට කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ ." " අපිට හරියට වැඩනෙ ආච්චි." " මොනවද අනේ ඔයාට තියන වැඩ ඔච්චර. " " නෑ ආච්චි පුතාට වැඩ නෑ. මේ අම්මා පෝන් එක ඔබනවා හොඳේ කෝල් එකක් ගන්නවත් විදියක් නෑ." " ඒක තමයි නේ.මේ අම්මට නම් කියල වැඩක් නෑ නේ. " " ඔව් ආච්චි .මං නම් හොඳයි. මං පෝන් අල්ලන්නෙ නෑ. මේ අම්මා තමයි අරං ඔබන්නෙ." ඔන්න ඔහොම තමයි අම්මලා දෙන්නට මගේ වැරදි කියන්නෙ . මහත්තයගෙ නැන්දා කෙනෙක් ඉන්නවා දුර. ඉතින් ඒ නැන්දා දුර නිසයි ඉන්නෙ තනියම නිසයි කෝල් එකක් ගත්තම ගොඩාක් වෙලා කතා කරනවා .විස්තර අහනවා එකම දේ කීප වතාවක් කියනවා. පැයක් විතර කතා කරනවා. කෝල් එක කට් කරන්න කලින් විනාඩි දහයක් විතර ආශිර්වාද කරනවා . ඔන්න දවසක් ඒ නැන්දගෙන් කෝල් එකක් ආවා. මහත්තයා මැච් එක බලනවා. පැයක් කතා කරල කොහොමද ඉතින්..එයා පොඩ්ඩක් කතා කරලා බොරු කැස්සක් එහෙම අරන් ලෙඩ වෙලා කතා කරන්නත් අමාරුයි කිව්වා. එහෙම කියල දෝණිට දුන්නා කතා කරන්න. දුව එතකොට චූටියි හොඳටම කතා කරන්න බෑ.දුව එක්ක ටිකක් කතා කරලා නැන්දා ඇහුවා "අනේ පුතේ තාත්තා ලෙඩ වෙලා නේද " කියල. දුව කිව්වා " නෑ නෑ මේ අපේ තත්තා නම් ලෙඩ වෙලා නෑ. මේ මැච් එක බලනවා ." කියල. හැබැයි නැන්දට තේරුනේ නෑ .මෙයාට හොඳට කතා කරන්න බැරි නිසා .දැන් වගේ උනා නම් ඒ ටිකත් කියලා " අපේ අම්මා කියල තියෙන්නෙ බොරු කියන්න එපා කියලනෙ. " කියලත් කියයි. දවසක් මං මොකක් හරි වැඩක් කරද්දි මට ඇහෙනවා කා එක්කද කතා කරනවා. " පැටියෝ කොච්චර එපා කියනවද මං. මොකද කියන දේ අහන්නැත්තෙ . දැන් බලන්නකො ඉතින් .ආයි කොහේවත් ගියොත් නම් දෙන්නෙ මං ඔයාට ගුටියක්. දඟලන්නෙපා චුටි දුවේ. ඔහොම ඉන්නකෝ .මං අරන් දානවනේ එයාව .නැත්තන් ලේ ටික බීලා දායි . ඔයාගෙ ලේ ඉවර වෙලා මැරුනොත් එහෙම මට චූටි දූ කෙනෙක් කොහෙන්ද." මං ඉක්මනින් බැලුවා. දුඹුරු ලතේ එළියෙ ගිහින් කූඩැල්ලෙක් එල්ලගෙන ඇවිත්. කූඩැල්ලව අරන් දාන්න හදන ගමන් තමයි මේ කතාව. මං දැක්ක ගමන් " අනේ අම්මෙ මෙන්න මේ දුඹුරුට නම් හොඳේ කියල වැඩක් නෑ.කූඩැල්ලො එල්ලන් මං මේ යන්නෙපා කිව්වෙ. අනේ අම්මෙ අරන් දාන්නකෝ ." මං ඉතින් දුඹුරුගෙ කූඩැල්ලා අරන් දැන්මා. පූසාව අල්ලන එක තුරුල් කර ගන්න එක කොච්චර එපා කිව්වත් කරනවා හොරෙන් හරි මේ කෙල්ල. ලෝම ඇඟ පුරා දවසකට. පොඩි ළමයිව චූටිම කාලෙ වඩා ගන්නවා වගේ වඩාගන්නවා.නැත්තන් උඩට වඩන් අත් දෙක පිටිපස්සට දාගන්නවා. දඟ මල්ලගෙ ඒ වැඩේ නම් නවත්තන්න හරිම අමාරුයි. අද මං නාද්දි " ටං ටිං ටං ටිං . කෝ ඉතින් අප්පුඩි ගහමු. ම්ම්ම් ම්ම්ම්ම්. කෝ උඩ බලන්න පැටියෝ මං දිහා බලන්න " කිය කිය පූසා ව අත් දෙකෙන් අල්ලන් අත්පුඩි ගස්සනවා. ආයි ඔලුවෙන් අල්ලලා මූන දුවගෙ පැත්තට හරවන්න හදනවා මං එයා දිහා බැලුවම " අනේ අම්මෙ චුට්ටක් නටවන්නං හොඳේ." කිව්වා. ඕවා ඇති වෙලා පූසා ගහකටවත් නැග්ගොත් එතන බිමට වෙලා " අනේ එන්නකෝ පැටියෝ මං ආදරෙයිනෙ .ආයි නටන්න ඕනෙත් නෑ. මං කරදර දෙන්නෙ නෑ එන්නකෝ " කිය කිය ඉන්නවා. ආවෙ නැති වෙලාවක් උනොත් සමහර වෙලාවට තරහ වෙනවා අපි එක්කත්. " ඕන්නෑ.. මං තරහයි හ්ම්ම් " කියල අත් දෙකත් බැඳගෙන යටි තොලත් පිටට පෙරලලා අහක බලන් ඉන්නවා. මං ඉතිම් එහෙම වෙලාවට එක්කො එයාගෙ ළමයි තුන් දෙනා ගැන අහනවා.නැත්තම් " ළමයි හරිම ලස්සනයි හිනා වෙන කොට සුරංගනා ලෝකෙ සුරංගනාවියෝ වගේ " කියනවා. ඔන්න එතකොට හිනා වෙල එනවා. " අම්මෙ මට පාලුයි" " ම්ම්ම් අපි සෙල්ලමක් කරමුද .. නැත්තන් කතාවක් කියන්නද." " නෑ අම්මෙ මට අදහසක් ආවා." "මොකද්ද පුතේ." " අපි තෙනුත් අයියලයි ගෙදර යමුකෝ . අනේ අම්මෙ .." ඔහොම කියල මුරණ්ඩු වෙන වෙලාවල් නැතුවම නෙවෙයි ඉතින්. අදහසක් ආවා කියන එක කාටුන් එකකින් ඉගෙන ගෙන තියෙන්නෙ. තෙනුත් අයියලයි ගෙදර ගියාම ගෙදර එක්ක එන්නත් අමාරුයි. සමහර දවසට තෙනුත් අයියව එකක්න් තමයි එන්නෙ. කෝම්පිට්ටු හදන්න මැටි අනන්න මැටි කේක් හදන්න කිරිබත් හදන්න ඔය වගේ වැඩ හොඩාක් තියෙනවා එයාට. හැබැයි ඕවා කරන්නෙ මගෙන් අහලා. ඒත් එයා අහන්නෙ මට එපා කියන්න බැරිම විදියට. ඒ අහන විදියට මට එපා කියන්න හිතෙන්නෙ නෑ. දවසක් මගේ උපන් දිනේ කියල මැටි වලින් කේක් එකක් හදලා මට කේක් කපන්න කතා කලා.මං කිව්ව ඕක පුතේ තාන හරි ගිහින් නෑ නේද කියල. මං මොකක් හරි වැඩක් නිසා එහෙම කිව්වෙ. එහෙම කිව්වම එයා කේක් එක තව ලස්සන කරන නිසා .බලද්දි අයිස් කප් එකට එයාගෙ මැටි කේක් එක පුරවලා ඒක ෆ්‍රිජ් එකට දාලා. එයා තාම චූටි නිසා ඔහොම වැඩ කරනවා. මට උදව් කරන්න ඇවිත් වැඩ වැඩි කරන වෙලාවල් තියෙනවා .හැබැයි ඉතින් අම්මෙක් උනාම ඉවසීම ගොඩාක් ඕනෙ. අපිට වැඩ වැඩි වෙලාවට හිතේ ප්‍රශ්න කරදර වෙලාවට තරහා යන්න පුලුවන් .මටත් එහෙම තරහා යන වෙලාවල් තියෙනවා .මම නම් කරන්නේ එහෙම වෙලාවට පොඩි වෙලාවක් පැත්තකට වෙලා ඉන්නවා . ✍️ නිරෝෂා මදුශානි.දුංහිඳ හීන - (දෙක) "යන්තං ..වැස්ස ටිකක් තුරල් වෙච්ච හින්ද දෙයියනේ කියල අතට කීයක් හරි හොයාගතෑකි ජිනෝ.. පාතරට පැත්තෙන් ආපු නඩයක් වෙන්ටැති ඔය ඇවිත් ඉන්නේ. බාසාව නං ඒ වාගෙ ? ඔන්න ඔය කිතුල් පිටි කැඳ ටික බෙලෙක් කෝප්ප ටිකට වක්කරපන්කො ජිනෝ.. ඒ ඇත්තො මනාප රස්නෙං කිතුල් කැඳ බොන්ඩ වාගෙ.." යසා නැන්දා දුම් දාන කුරහන් රොටී ටික වට්ටියට අහුරන ගමන් කිව්වා. වන්දනා නඩේ පහළොවක් විතර ඇවිත් ඉඩ තියෙන තියෙන තැන් වල ඈඳි ගත්තේ මේ ගං තුලාන ගැන වශීවෙලා වගේ වටපිටාව බලන ගමන්. අපිට අගේ නැති උනාට පිටින් එන ඇත්තො කොහොමත් මේ සීතල පරිසරේට මනාපයි. පිට පළාත් වලින් එන වන්දනා නඩ මුතියංගනේ සෑය වැඳ පුදාගෙන ඊගාවට යන්නේ මයියංගනේට. ඒ යන ගමන් ඒ කොයි කවුරුත් දුංහිඳ ඇල්ල බලන්ටත් එනවා. දැන්නං වන්දනා නඩ එන එක වැඩිවෙන්න පටන් අරං... සුද්දන්ගෙන් රට බාරගෙන ආපු අළුත් ආණ්ඩු මාරුවත් එක්ක ලැබිච්චි නිදහස මිනිස්සුන්නෙ හිත් වලට කා වැද්දිල තිවුන හින්ද වෙන්න ඇති. සිදාදි වලින් එන ඇත්තන්ටයි සුදු ඇත්තන්ටයි හකුරු මුල්, කිතුල් පිටි, හඳුන් කැට, ඉරමුසු, බෙලි මල් විකුණල කීයක් හරි හොයාගන්ට ගමේ උනුන් ඉබේටම හුරුපුරුදු උනා. යසා නැන්ද ඇල්ලට යන පාර කිට්ටුවෙන් මඩුවක් අටවගත්තේ බෙලිමල් ,කිතුල් කැඳ විකුණගන්න ලේසියට... ඉතින් මමත් උදව්වට එකතු වුනා. * * * "මොකෝ...උඹ අද දුංහිඳ යන්නෙ නැතැයි... ?" ඊගාව දවසේ යසා නැන්ද වෙනදටත් වඩා වේළපහින් ආවා. මට කුස්සියෙ වැඩ ටිකවත් අහවර කර ගන්ට උනේ නෑ.. ඊටත් සුනංගු වෙලා ඇහැරුනාම එක වැඩක්වත් හරියට ඉවර කර ගන්ට බෑ. මං විගහට වක් කරපු තේ කහට එක අප්පුච්චගෙ ඇඳ ගාවින් තියල උන්දැව කීද්දුවා. "අප්පුච්චා..හෙනං මං යන්ට කියලා. හීල්බත් තියෙනවා.බෙදං කන්ට. ඇල්ල පැත්තෙ හෙම යන්ට එපා .වතුර පාර සැරයි මෙදා..." "මට බත් ඩිංගිත්තක් බෙදල දීලම පලයං මයෙ දුවේ " යසා නැන්ද පිල් කණ්ඩිය පැත්තකින් වාඩි වුනේ අප්පුච්චගෙ සැප දුක් ගැනත් අහන ගමන් .මොනා වුනත් යසා නැන්ද , අම්ම නැති වෙච්චි දා ඉඳන් හෙවණැල්ල වගේ ඉන්න එක මට ලොකු හයියක් ඉතින් ... "ඩිංගිත්තක් නින්ද ගියා නැන්දෙ.. කොයි ඉතින් ආයිත් වරුසාව පටන් ගත්තනෙ..? වතුරෙ සද්දෙට කොහෙ නින්ද යන්නේ...? ගිය වතාවෙ වෙච්ච වින්නැහියට දැන් හීං වැස්සක් ආවත් ඇඟේ හීගඩු පිපෙනවා... " "ඒක හැබැයි.. හප්පොච්චියේ.. ලිලී හාමි..? මට තිස්සෙම මතක් වෙන්නෙ ඒකි ළමිස්සි වාගෙ ඔයේ ඉස්මත්තේ එහෙට මෙහෙට යන හැටි.මක් කරන්ඩද දුවේ..හිත හදාගන්නව මිසක් .." උදේ ඉඳන් රෑ ජාමෙ වෙනකල් ඔය ඉස්මත්ත ගාවයි ඉන් එහා කැළෑ රොදෙයි දර කඩන්ට ගැවසුන මයෙ අම්මට බේරෙන්න බැරිවුන හැටි මතක් වෙනකොට අදටත් හිත වාවන්නෙ නෑ ... මං , යසා නැන්දටත් තේ වතුර ටිකක් වක් කරලා දීල අප්පුච්චට බත් ඩිංගක් බෙදුවා. කීරමින් හොද්ද දියයි කියල අදත් නෝක්කඩු කියයි.. අම්මනං ඉතින් කටට රහට උයා පිහා දුන්නනේ එක වෑංජනේ උනත්. ඊයෙ රෑ එළිවෙනකල්ම මයෙ ඇහැ පියවුනේ නෑ.ඔයේ වතුර සද්දෙට. හිත ගින්දරේ බැරුව උන්නේ ගිය වංගියේ අම්මව ඇදගෙන ගිය වතුර කඳ ..මේ වතාවේ මොන වින්නැහියක් කරාවිද කියල ..? අප්පුච්චත් ඉන්නෙ ලෙඩ ගානේ. ආයිත් ඉතින් ඔය වතුර කඳ ගොඩට ගැහුවොත් මොන දෙයියන්ට කියන්ටද..? හෝ හෝ ගාල මහ සද්දන්ත ගල්පර හිටන් ගහගෙන යන තරමට වතුර සද්දෙ....මං පැල්කොටේ අස්සෙන් හීං සීරුවේ එළියට අඩියක් තිබ්බෙත් හිරිකිතෙන් වාගෙ. හතර වටේ කිරිමැටි වාගේ මඩ වෙලා. වැහි කාලෙදි දිය ඇල්ල බලන්ට එන ඇත්තෝ හිඟයි. එක්කො ගෙවල්වලට වහංගු වෙලා එන සිදාදියේ තරුණ ජෝඩුවක්..නැත්තන් ඔය කොහොම කොහොමෙන් හරි ගිනි වතුරත් අරන් සාජ්ජ දාන්ඩ එන කොළු නඩයක් ඇරෙන්ට මේ කාලෙට එන්නෙ නෑ මෙලෝ යකෙක්.මේ වාගෙ වැහි කාළවල්වල ඇල්ලේ නාන්ට එන කී දෙනෙක් නං බිලි ගත්තද..? වැඩිපුරම ඉතින් තරුණ කොලු ගැටව් තමයි. උන් කවුරුත් කියන දෙයක් අහන එවුන් ය. දුරවල් වල ඉඳන් එන එවුන් විනක්කා මේ පැත්තෙ උන් දර කෑල්ලක් කඩන්ටවත් මේ කාලෙට ඇල්ලෙන් එගොඩ වෙන්නෙ නෑ. "යමං මට සුනංගු වෙනවා ..." මං අඩුම කුඩුම පටවපු පං මල්ලත් එල්ලාන යසා නැන්ද පස්සෙන් වැටුනා . හකුරු කෑළි දාපු බෙලෙක් ටින් ටිකයි තම්බන්න තියෙන අමු ඉරමුසු හාතවාරිය ටිකයි වේළපු බෙළි මල් මල්ලයි තමයි.... බඩ ඉරිඟු යහමින් තියෙන කාළෙට ඒකත් අතට කීයක් හරි ලැබෙන වෙළඳාමක් . ඒත් මේ අනෝරා වැහි කාලෙ බඩ ඉරිඟු කරලක් හොයාගන්ටවත් නෑ... "මේ තෙත දර වලින් කොහෙ ඔසු තම්බන්ඩද නැන්දා ? මෙව්ව සේරම ඊයෙ තෙමිල..සුළුපටු වැස්සක් ය වැස්සේ එළි වෙනකල්...?" කිරා ..ගෝනි පඩංගුවක ගැටගහගත්තු දර කෑළි ටික බිමින් තියෙන ගමන් බැලුවෙ යසා නැන්ද දිහා නෙවෙයි මං දිහා. ඌ හරියට කොහැල්ලෑ ගුලිය වගේ. කොයි වෙලාවත් පටලැවි ලැවී පස්සෙන්මයි. "මොනා කරන්ඩද ...? ආව නැතා මේකෙ ඔය තියෙන එකක් අටවගෙන ඉන්ඩ වෙනවනෙ බං. පෙළක් ඇත්තෝ එන්නෙම උණුවෙන් කුරක්කන් රොටියක්
කාල බෙලිමල් කෝප්පයක් බොන්ඩ නේ...? " ආකාසෙ පුරාවට පැතිරිච්ච වැහිවළාකුල්... මතුවෙන්ට තතනන ඉරට ඉඩක් දෙන්නෙ නැතුව වාගෙයි. තාමත් රූස්ස ගස් අස්සේ රැඳිල තියෙන වතුර බිංදු, හුළං අතට බිමට වැටෙද්දි ලිපේ ඇවිලිච්චි ගින්දර එක මොහොතට නිවිල යනව. ඊළඟට හති දාගෙන ලිපට පිඹින්ට ඕන. දුං රහ ගැහුවොත් ඔසු පැන් වක්කරල ගොඩයි. මං ඉතුරු කිතුල් හකුරු කැට ටිකත් කපල බෙලෙක්කෙට දාල...යසා නැන්දට රොටි පිටි වඩන්ට උදව් වුනා .හිතේ හයිය මිසක්කා උන්දැටත් දැන් හරිහැටි සනීපයක් නෑ. දූරු දෙන්නෙක් උන්නට එකියෙක් ඉස්කෝලෙ කාලෙම එකෙක් එක්ක පැනල ගියා. සිරිමතී විතරයි ඉතුරු. ඒකි තව ඩිංගකින් පුයර තලියක් උලාගෙන මෙතන්ට එයි. අතක් පයක් හොල්ලල වැඩක් කරන එකෙක් නෙවි ඒකි. "උඹට පිං කෙල්ලේ...මට අත තද කොරන් පිටි අනාගන්ඩවත් හයියක් නෑ හිරි වාතෙ. දැන් දකුණු අතේ ඇඟිලි සේරෝම හිරි වැටෙනව. තව ටික දොහකින් උඹට තනියෙන් තමා දුංහිඳ එන්ඩ වෙන්නේ.. " "යසා නැන්දා කොයි ඉතින් බදුලු ගිහින් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් බෙහෙත් ටිකක් ගන්නැතුං ලෙඩ සනීප වෙයි...?යමු වෙලාවක මා එක්ක. ඕක මහලොකු දෙයක් යැ.." මහ ඇල්ලෙන් වේගෙන් පහළට වතුර කඳ ඇද වැටෙන සද්දේ දැන් කණට හොඳහැටි හුරු පුරුදුයි අපිට . ආයි මහ ඒජන්තල ටික වගේ ගාම්බීරෙට බලා ඉන්න කඳුපෙලවල් ඇඟ හීගඩු පුප්පන්නේ එදා කැළෑ මහත්තුරු කියාපු කතා අහලමයි. "උඹලා මේ කැළෑ ගස් කපල අහුවුනොත් ආයි උසාවි දානවා දෙකක් නෑ. මේ සුද්දො ගෙනාව කෙහෙල්මල නැත්තන් උඹලට දෙන්න හොඳ රජකාලෙ දඬුවම්.. " " අනේ මහත්තයෝ..එව්ව මොකට කියන්නේ කැලෑ හොරු බුරුතු පිටින් අල්ලන්ඩ ඇහැකි මේ දැන් ගියත්. ඔව්ව කරන්නෙ කවුද කියල නොදන්න එකෙක් ඉන්නවැයි මේ අහක. කෝ පොලෝසියෙන් එනවා...? මේ ගමේ එකෙක් දිරච්චි අත්තක් දෙකක් කපාගන්නව විනා.. ඔය පත ගස් බිම දාන්ඩ පුළුවන් මොකාට..? ඔය කියන සුදු මහත්තුරු කොයි තරං නං කැළෑ විනාස කොරාද? කොයිතරං නං කැළෑ සත්තු දඩයං කළාද? යස කළුගල් වාගෙ ඇත්තු කී දෙනෙක් වෙඩි තියල මරා දැම්මද උන්නෙ දළ ගන්ට කියලා....? " හඳුනයියා කිව්වේ කටේ පුරවං හිටිය විටේ රොඩු ටිකත් අහකට විසි කරන ගමන් . ඔය එකෙක් වත් මායිං කරන්නෙ නෑ හඳුනයියා.. ඇත්ත ඇති හැටියෙන් කතා කරන්ට උන්දැ බය නෑ. ඊයෙ පෙරෙයිදත් වටේ පාරෙන් මහ අලි ටැක්ටරේකට පටවාගෙන කොට කඳන් ඇන්න ගියේ හොරාට වෙන්ට බෑ. ගිනිකූරු වාගෙ සාක්කුවෙ දාගෙන යන්න ඇහැකි දෙයක් නෙවෙයිනේ ඔය කළුවර,බුරුත කඳන්..? යාන්තං දෙයියො බලල වගේ අව් රැල්ලක් වැටෙනවා. උදේට පැහැදිලි අහසක් තිවුනොත් දෙයියන්නෙ පිහිටෙන් දුංහිඳ බලන්ට එන සෙනඟ නැත්තෙම නෑ.එදා වේල යාන්තමට පිරිමහගන්ට තිවුනොත් මදෑ. මතක් කරනකොටම හඳුනයියා පල්ලං බැහැගෙන එන්නේ. ආයි ඉතින් පළාතම අන්දකාර වෙනව වගේ හෙවණැල්ලටම. බුලත යෝධයගෙන් පැවත එන පරම්පරාවෙ කිව්වම ඒක හැබෑවක් නොවී තියේද හඳුනයියගෙ සරීරෙ දැක්කම. "යසා නැන්ද අදනං උඹලයෙ වෙළඳාම ඕං විවුර්ත කරන්නෙ මං තමා. අද මයියංගනේ යන්න කියලා. ඉළව් ගේක. ඉක්මනින් ඔය මොනාහරි රත්කරල දීපන් නගා...කිරෝ උඹත් වරෙන් ඔසුපැන් බොන්ට..." හඳුනයියා හාස් හූස් ගගා කට්ට සම්බෝලෙ එක්ක කුරක්කන් රොටී කද්දි හිනාත් යනවා. හරියට හෙම්බිරිස්සාව හැදිල වගේ නාහෙත් රතු වෙලා.මං උණු උණුවෙන්ම හකුරු කෑල්ලක් එක්ක දෝතින්ම දුන්නු බෙලිමල් කෝප්පේ ගන්න ගමන් මං දිහා බැලුවේ උතුරන් යන සෙනේවන්ත කමකින් කියල මට තේරුනා. කිරානං උගෙ පාඩුවේ ගල් පොත්තක් උඩට වෙලා සප්පායම් වෙනවා . "මං ගොං කරත්තයක් ඇන්න යන්න හදන්නේ මයියංගනෙන් හාල් ටිකක් පටවං එන්ටත් එක්ක. උඹලටත් එක්ක හාල්, පහේ ටිකක් ගේන්නම් නගා...කිරා උඹ ලෑස්ති වෙයං මා එක්ක ගම යන්ට.." "එපා අයියා.. ආයි කරදර වෙන්නෙ මොකට..? අපි හින්දා ඔයහැටි විය හියදං කරන්ට එපා.." මං කිව්වේ ඇත්තටම..හඳුනයියා ගැන ඒ හැටි අකමැත්තක් නැතත් අමුතු මනාපෙකුත් මයෙ හිතේ නැති හන්දා.. අනේ ඒත් ...කවුරුත් දන්නෙ නැතුවට ...මයෙ හිත ගෙහුං තියෙන තැනනං ඉතින් ආයි ආත්මෙට කිට්ටු වෙන්ට ඇහැකි තැනක් නෙවෙයි නෙව .දුර ඈතක තියෙන තේ ගස් මංඩි අස්සෙන් ගෙහුං නාරංගල වත්තෙ මහ විසාල බංගලාවක් ඇතුලෙ ඉන්න රත්තරන් පාට රූපයක් ගාව නැවතිච්ච හිත ...අහකට ගන්ට බැරුව ලතවෙනවා මම. එක අතකට ඒක මයෙ කරුමෙ. නොලැබෙන දේකට හිත දුවන එක කරුමයක් තමා...හඳ මෝදු වෙන ජාමෙටත් මතක් වෙනවා. රණේ රුවට ඉර පායං එන උදැහැනැක්කෙත් මතක් වෙනවා. ඇහැළ ගස් වල මල් පීදෙනකොටත් මතක් වෙනවා. ඒත් ඉතින් ඒ එකක්වත් මට අත පොවන්න බැරි මානෙක කියල හිතෙද්දි..මට ලොකු හුස්මක් හෙලුනා. "මොකෝ උඹ හූල්ලන්න ගත්තේ. ගමනක් යද්දි හූල්ලන්න නාකයි. මොකෝ මේ වැහි බීරුමේ ඔය පාරේ යන්න ලේසි පාසු නෑ. මග දිගට මහ පත ගල් වේළි කඩා වැටිලලු. ඒත් නොයා කොහොම..? " යසා නැන්ද නෝක්කඩු කිව්වම හඳුනයියට හිනහ ගියා. එයා හිතන්නැති එයා යන සෝකෙට හීල්ලුනා කියල .අනේ මන් දන්නෙ නෑ... "අනේ ...මං එහෙම අහිතකින් හීල්ලුවා නෙවෙයි නැන්දා . අයියට ඉන්ද්‍රක දිව්‍ය රාජෝත්තමයා ගේ පිහිටාරක්සාව ලැබෙන්ට ඕන..සෑයට පඬුරකුත් පූජකරලා එන්ට අයියා ..." මං සතේ කාසි දෙකතුනක් කහ වතුරින් හෝදලා හඳුනයියට දුන්නේ උන්දැගෙ හිත හදන්ටත් එක්ක.මයෙ හිත දන්නෙම නැතුව මහ දුරක ගියා නෙව ඒ ඩිංගිත්තට...? "ඒකා උඹ ගැන බලාපොරොත්තු තියාන ඉන්නේ.. ඔය හන්දියෙ කඩපළෙන් උණු ආප්පයක් කාලා කහට ඩිංගක් බොන්ට බැරුව වෙද..? මේ පල්ලමක් බැහැලා ආයෙ උඩට යන ඩිංගට කාපු ටිකත් දිරවලා තියෙයි...." යසා නැන්දා අමුතු හිනාවකින් මා දිහා බලල කිව්වට සිරිමතී හඳුනයියට මනාපයි කියල උන්දැත් දන්නවා. මොනා වුනත් මේ ටිකේ හරිහැටි වෙළහෙළඳාමක් නැති එකේ ගෙයි ලිග්ගල් තුනත් තෝන්තුවෙන් වගෙයි. අපෙ අප්පුච්චට කටට රහට හොද්දක්වත් නැත්තන් ආඬපාලි කියන්න ගන්නවා. උන්දැගෙ අතපයත් වාරු නැතුව ගියායින් පස්සෙ කේන්ති ගන්නවත් වැඩියි.එක්තැන් වෙලා ඉඳල පුරුදු නැති එකේ එව්වත් යවන්නෙ මයෙ පිටිං. මයියංගනේ කැකුළු හාල රස එකේ අයියා ඔය කවුපි, කොල්ලු, දුං කරවල ඩිංගිත්තක් එක්ක ඇන්න ඒවි. ඒවට කාසි දෙනකල් මට නින්ද යන්නෙත් නෑ. "අදත් කල් තියාම ආකාසෙ කළු කරාන එනව ජිනෝ... !! අද ආයි එන එකෙක් නෑ. ඉතුරු බිතුරු ටික උඹ තේ කඩේට දීල සුනංගු නොවී වරෙන්. මං මේ ටික අස්කරල අකුල ගන්නකං..කොහෙද කිරත් ගියා නෙව හඳුනත් එක්ක .." වෙනදට වෙළඳාමෙ එන අනිත් ගෑනුත් අකුලං ගෙහුං .එකෙක් දෙන්නෙක් ඉන්නවා .ඒව ඉතින් ටකරං හෙවිල්ලලා හදාපු එව්වා. අව්ව වැස්ස දෙකටම ඔරොත්තු දෙනවා.අපි ඉතින් කොයිකාලෙ ටකරං මඩු ගහන්ටද? ළ‍ඟක ඉඳන් හඳුනයිය කිය කියා තමයි ඉන්නේ මට අපූරු කඩ කෑල්ලක් අටවල දෙනව කියල. ඒත් එයාගෙන් උදව් ගන්ට තරං මට හිත් දෙන්නෙ නෑ. මං උඩ පාර දිහාට එනකොට මන්දාරම හොඳටෝම වැඩියි. පාරත් මහා මුස්පේන්තු පාටයි. නාරංගල කන්ද මීදුමටම වැහිල ගිහින්.....සුදු මහත්තයට අද එළියටවත් බහින්න බැරුව ඇති. මං ඉතින් මොකට ඒ ඇත්තො එන නේන ඒව හිතල හිත කරදර කරගන්නේ..? හඳ අයිති අහසට මිසක්කා මහ පොළොවට නෙවෙයි කොට..? මතු සම්බන්ධයි . (සේයාරුව අන්තර්ජාලයෙනි )කතරගම කිරි වෙහෙර වදින්න යද්දි දකින්න ලැබෙන මල් කෙල්ලො ගැන "දෝතින් අරන් මල් කෙල්ලන්" සින්දුව ලීව කෙනා නුවර පැත්තේ යද්දි බටලීය, කජුගම හරියෙදි කජු විකුණන කජු කෙල්ලො දැකලා එයාලටත් සින්දුවක් ලීව නම්, ඒ සින්දුව මේම ලියන්නත් තිබුනා.... 😁🥴 දෑතින් අරන් කජු කෙල්ලන් කජු, අපෙන් ගන්න කජු, කියයි නැලවෙමින්.... කජු කෙල්ලේ මං ඔබෙ වෙහෙස නිවන්නම්, කජු ගෝනියක් අරන් ඔබ එක්කම කන්නම්.... ගහේ හැදුන කජු හරි ලස්සනයි නගේ... ඔබ අතේ ඉතුරු කජු කව්දෝ මිල කෙරුවේ... මා, කිරි වව්ලන් පියඹා ගස් අතරේ පැණි බීවද උන් පුහුලෙන් හොර රහසේ... දෑතින් අරන්, සදා රකින්නම් ලස්සන රතු කෙල්ලේ කජු පුහුලමක් වෙලා බැඳුනොත් හද අරණේ... වව්ලෙක් වී මා රෑකට හොර රහසේ ඇවිත් වහන්නම් කජු පුහුලම අතරේ... දෑතින් අරන්... -සචිත් පවින්ද නාකන්දල- * ඡායාරූපය අන්තර්ජාලයෙනිපාං **** " ඕයි රාජා....ඉක්මනට පරාටා ටික හදනවා. ඕවා උදේට කන්ඩ මිසක් රෑට කන්නඩ හදන එව්වා නෙවෙයි." උදෑසනම කෑම කඩයේ මුදලාලි සිය පැමිණීම සටහන් කළේ එලෙසිනි. රාජා යනු හැටන් ප්‍රදේශයේ උපන් දමිළ තරුණයෙකි. වසර කීපයක සිටම දාස මුදලාගේ කෑම කඩයේ කොත්තු බාස් තනතුරේ සේවය කරන්නට යෙදුනේ රාජාය. කොත්තු ගැසීමේ රාජකාරිය කිරීමට තිබුණේ රාත්‍රී කාලයේදි වුනද උදෑසන කාලයේ පරාටා, එළවළු රොටි, බිත්තර රොටි වැනි කෑම වර්ග සෑදීමේ වගකීම රාජා සතුවිය. කාල වර්ණ සම, ඇට වලට ඇලී කේඩෑරි පෙනුමක් ගෙනදුන්නද රාජා හොඳ මෝස්තරකාර පෙනුමකින් යුක්තය. ඔහු ඇඳගෙන සිටි අත් නැති ටී ශර්ට් එක මැද ලොකුවට බොබ් මාලීගේ රුව සටහන්ව තිබුනේ ඔහුගේ අතේ, කරේ තිබූ නොවටිනා ආභරණ වල තිබූ කොල, කහ සහ රතු පැහැයට ගැලපෙන පරිදිමය. ඔහුගේ පෙනුමෙන් ඔහු බොබ් මාලීගේ අනුගාමිකයෙකු යයි ‍යමෙකුට සිතුනද ඔහු බොබ් මාලි යනු කවුරුදැයි වත් නොදත්තේය. " අයිසේ රාජා...ඔය සෝකේස් එකේ තියෙන පාං ගෙඩි දිහා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නවා. නැත්තං මොකෙක් හරි ඇවිත් අදත් පාං හොරකං කරගෙන යයි. මතකනෙ ඊයේ..." මුදලාලි ලාච්චුව ඇරගෙන සල්ලි ගනින අතරේ උස් හඬින් පැවසූවේ රජාට පමණක් නොව, එහි සේවය කළ කුසුමාටද ඇසෙන්නටය. මසුරු දාස මුදලාගේ වදන් තුළ අමුත්තක් නොදැනුන කුසුමා පරිප්පු හොදි පුරවාගත් බේසමක් අතැතිව කොත්තු ලෑල්ල අසලට පැමිණියේ ඔලොක්කුවට මෙන් කට ඇද කරගෙනය. කුසුමාගේ ඇදකිරීම දුටු රාජාගේ මුවට සිහින් සිනාවක් ඇදුනේ නිරායාසයෙනි. " පාං බාගයක් නැතිවුනාය කියලා මේ මිනිහා පාරට වැටෙයිද රාජො...?" කුසුමා රජාගේ කණට කර ඇසුවේ ඇඳ සිටි සායෙන්ම සිය දෑත පිසදාගන්නා අතරය. කෙස්ස පැහී ඇති තරබාරු කුසුමා වෙත මසුරු දාස මුදලාලි යනු එක්තරා විහිලුවකි. දාස මුදලාලි යටතේ සේවය කළ සුමනාට මෙන්ම රාජාටද ඔවුන්ගේ ස්වාමියා වුන දාස මුදලාලි විහිලුවක් වන අවස්ථා එමටය. එම විහිලු රාජා සහ කුසුමාට පමණක් සීමාවුන නිසාවෙන් ඔවුන්ගේ රැකියා වලට තර්ජනයක් නොවීය. පෙර දින කඩේ වික
ිණීමට තිබුණු පාං බාගයක් සොරකම් කරගෙන දිවූ රස්තියාදු කාරයෙකු ගැන මුදලාලී රෑ වන තුරුම දෙඩවීය. එය රාජාට මෙන්ම කුසුමාටද මහත් හිසරදයක් විය. එහි වරද රාජා පිට පැටවීමට මුදලාලි දෝෂාරෝපණය කළ අවස්ථාවේ " ඒනම් මුදලාලිම එට ඉදං බිත්තර රොටි වලට බිත්තර ගේන්ඩෙ යෙන්ඩ. මම කෙඩේට වෙලා ඉන්නං." යයි දමිල ඌරුවෙන් පැවසීය. එවිට මූණ නරක් කරගෙන මුදලාලි මදකට නිහඬ වුනද නැවතත් දවස පුරාම නැතිවුන පාං බාගය පිළිබඳ විස්සෝප වන්නට වූයේ තමා සතු සියලු ධනය අහිමි වුන එකෙකු මෙනි. රාජා සුපුරුදු පරිදි අනා තිබූ පිටි මෝලියෙන් කුඩා බෝල සාදමින් සිටියේය. " අන්න අරූ තමයි..අල්ලපං රාජෝ අල්ලපං." එක වරම මුදලාලි බෙරිහන් දෙන්නට වූයෙන් රාජාගේ අත තිබුණු පිටි ගුලිය බිම වැටුනේය. " මොනවද බූරුවෝ බලාගෙන ඉන්නේ. අරූ තමයි ඊයේ පාං හොරකම් කළේ..." මුදලාලි නැවතත් බෙරිහන් දුන්නේ මුදල් අයකැමි කවුන්ටරයේ තිබූ උස අසුනෙන් බිමට පනිමිනි. රාජා කළබලයෙන් යුතුව පාං අසුරා ඇති තැන දෙස බැලුවේ හොරා අල්ලාගැනීමට ඉදිරිපත් වෙනවාද නැතිද යන්න තීරණය කරගැනීමට මෙනි. ශරීර ප්‍රමාණයෙන් විශාල එකෙකු සමඟ ඔට්ටු වීමට රාජා ඉදිරිපත් නොවන්නට තීරණය කරන්නට ඇත. පාං සහිත කබඩ් එක අසල සිටගෙන සිටියේ කෙස් අවුල්ව ගිය, කිළිටි සහ තැන තැන ඉරුණු ඇඳුමක් ඇඳගත් දිරා ගිය සිරුරකින් යුතු එකෙකි. තවමත් ගැටවර වියේ පෙනුමක් සහිත ඔහු ඔලුව කසමින් මුදලාලි දෙසත් පාං දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. " අන්න අන්න ඌ අදත් හොරකං කළා...රාජෝ...අල්ලපං ඕකව, අල්ලපාං.." දාස මුදලාලී වලිප්පුව හැදුන එකෙකු මෙන් දඟලමින් බෙරිහන් දෙන්නට වූයේ අවට කඩ වල සිටි අයගේද ඇස් කෑම කඩයට හැරෙන තැනට වැඩ සලසමිනි. රාජා අත තිබුණු පිටි ගුලිය මේසයට විසිකර සොරා ලුහුබැඳීමට ඉදිරියට පැන්නේය. නමුත් ඒ මොහොතවන විටත් සොරා එතැනින් පැනගොස් වීදිය දිගේ දුවන්නට පටන්ගෙන තිබිණ. රාජාද එසැනින් සොරකම් කළ කොලුගැටයා පසුපස ලුහුබඳින්නට විය. කඩය අසල හුන් හැඩි දැඩි තරුණයින් දෙදෙනෙකුද සොරා ලුහුබැඳීමට ස්වේච්ඡාවෙන්ම ඉදිපත්වී තිබුනි. නමුත් ඒ සියල්ලන්ටම වඩා දිරාගිය සිරුරකින් යුත් සොරා වේගත් විය. ප්‍රධාන වීදියෙන් අතුරු පාරවල් දෙක තුනකට හැරී දුවන්නට වුන සොරා මීලඟ අතුරු පාරෙන් හැරී නොපෙනී ගියේ රාජා සහ ලුහුබැඳීමට ඉදිපත්වුන තරුණයින් දෙදෙනාට පරාජය අත්කර දෙමිනි. " ඒකා විදිල්ල වගේ යකෝ. ඌව අල්ලන්ඩ නං අලි බිත්තර කාලා එන්ඩ ඕන." ලුහුබැඳි තරුණයෙකු ඉනට දෑත් තබාගෙන පරාජය බාරගත්තේ එලෙසිනි. ලඟ ලඟ ලෑලි ගෙවල් සහිත මුඩුක්කුවක රාජා තනි විය. සොරා අල්ලා නොගෙන කඩයට යෑම මුදලාලිගේ කෝපයට හේතුවන බව රාජා දන්නේය. සොරු ඇල්ලීම රාජාගේ රාජකාරියක් නොවූවද එය දාස මුදලාලිගේ බුද්ධි සීමාවෙන් එහා කරුණකි. "ආඬවනේ.. දෙන් අර යෙකා මගෙ ඔලුව කයි." කැඩුන සිංහලෙන් කීවේ සිය සුරතින් හිස පිටුපස කසා ගන්නා අතරය. ඔහු එතැනින් පිටව ඒමට හැරුනේය. මුඩුක්කු නිවාස පෙළින් පටු මාවතකට ඇවිද ගිය රාජා නිකමට මෙන් ආපසු හැරී බැලුවේය. " අඩෙහ්...." රාජාට කෑගැස්සින.වීදිය කොණක පාං සොරාගෙන ගිය හාදයා තමාට පිටුපා ඇණබාගෙන් සිටිනු දුටු රාජාගේ මුව බාගෙට ඇරුනි. දිවීමෙන් ඇතිවුන වෙහෙසත්, එයින් අත්වුන පාරාජිත හැඟුමත්, හිස් අතින් කඩයට යෑමෙන් අසීමට සිදුවන දෝශාරෝපණයත් නිසා රාජා සිටියේ කෝපයෙන් දැවෙමිනි. රාජාගේ වචනය නෑසුනාක් මෙන් සොරා වීදිය අයිනේ ඇණබාගෙන සිටියෙන් රාජා තවත් කෝප විය. නැවතත් දෙපයට ජවය දුන් රාජා දිව යන්නට වූයේ සොරා දෙසටය. " නෙගිටපිය පරයා..." ඇණබාගෙන සිටි සොරාගේ කමිස කොලරයෙන් අල්ලා අදිමින් රජා ගෝරනාඩු කරන්නට විය. දිරාගිය කමිස කොලරය ඉරී රාජාගේ අත රැඳෙද්දී සොරා නැගිට රාජාවෙතට හැරුනේ දුන්නකින් ක්‍රියාත්මක කළාක් මෙන්ය. සොරාගේ මුහුණේ සටනකට අභියෝග කිරීමක් නැත. කිසිදු බියක සේයාවක්ද නොවින. එතැනින් පලායාමට අවස්ථාවක් සොයන්නේද නැත. සොරාගේ මුහුණේ ඉරියව් රාජාගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක් දැල්වීමට හේතු විය. ඔහු දෑත් දෙපය විහිදාගෙන රාජගෙන් යමක් සැඟවීමට උත්සහ කරන වග රාජාට දැනින. රාජා අඩියක් පසෙකට තබා සොරා පිටුපස ඇත්තේ කුමක් දැයි එබී බැලුවේය. රාජා මොහොතකට ගල් ගැසින. ඔහු අත තිබුණු සොරාගේ කමිස කොලරය ඔහුට නොදැනීම බිම වැටුනි. " මේ කොල්ලට පිස්සු. ගහන්ඩ එහෙම එපා.... පව් මේ කොල්ලා." එතැනට පැමිණි අයෙකු පැවසූ වග රාජාට යාන්තමට මෙන් ඇසුනේය. ඔහු නැවත හැරුනි. ඒ කඩයට යාමටය. මේ අවස්ථාවේ ඔහුගේ සිතෙහි කෝපය මුසු හැඟුමක් නොවින. රාජා බිම බලාගෙන කඩයට ගොඩ විය. ඔහු සොරා අල්ලාගෙන නැතැයි මුදලාලී දුටුවේය. එතැන් සිට රාජාගේ අම්මා අප්පා පවා මතක් කරමින් මුදලාලි බැන වදින්නට වූයේ සොරකම් කළේ රාජා යයි සිතුවාක් මෙනි. " මුදලාලි...හොරකං කෙරපු පාං වල ගාන මගෙ පෙඩියෙන් කපා ගෙන්ඩ." රාජා තරමක උස් ස්වරයෙන් පැවසීය. එම වදනින් දාස මුදලාගේ ඇස්ගෙඩි නළලට නැග්ගේය. " මොකද්ද බොල උඹ කියන්නේ.. උඹ එනවද මට........" මුදලාලි වාක්‍ය අවසන් නොකර නිහඬ කරවීමට රාජා එවෙලේ හෙලූ බැල්ම පමණක් ප්‍රමාණවත් විය. ගෝරනාඩුව අසාගෙන සිටි කුසුමා හනික රාජා වෙත කිට්ටු වූයේ ඔහුගේ මුහුණේ දිස්වුන කෝපය පුපුරා යාවිදැයි සැකයෙනි. " මොකද රාජෝ...." කුසුමා හීන් හඬකින් රාජාගෙන් විමසන්නට විය. " මොනාත් නේ...." රාජා දමිළ ඌරුවෙන් කුසුමාගේ පැනය මගහැරියේය. " මොනවත් නැත්තං අහවල් එකටද බං හොරකං කරපු පාං වල සල්ලි උඹේ පඩියෙන් කපාගන්න කියුවෙ ?" කෙටි පිළිතුරෙන් සෑහීමකට පත්වීමට කුසුමා සූදානම් නැත. රාජා සුසුමක් හෙලීය. මොහොතක් හිස් අවකාශයේ නෙත් රඳවාගෙන සිටි රාජා කුසුමා දෙසට හැරුනේය. " යේකා පිස්සෙක් කුසුමම්මා. යේකා පාං හොරකං කොලේ යේකට කන්ඩ නෙවී. පැටවු ගහපු බලු කික්කියෙකුට දෙන්ඩ. යේක මේ පිස්සට කියන්ඩ බෙරි නිසයි මගෙ පඩියෙන් කපන්ඩ කීවේ." පැවසූ රාජා නැවතත් පිටි ගුලි සෑදීමේ කාරියට අත ගැහුවේය. ---නිමි--- ✍️ උදාර නිශ්ශංක🌹ආදරයක කතාවක්🌹 "අපි මෙතන චුට්ටක් ඉඳල යමුද?" "හ්ම්ම්..ඒත් ඇයි..මේක පොඩි පන්සලක්නෙ." "හේතුවක් නෑ..මම ඉස්සර මෙතනට ඇවිත් හුඟක් වෙලා ඉඳල යනව" මතක අහුරක සොඳුරු නගරය..බියගම..සියඹලාපෙ හන්දියේ පන්සල.කලකට පෙර මගේ හිත නිවාගත් තැන.දුක කඳුල කප්පරක් සුසුම් වලට සිසිල දුන් බෝධිය.අහම්බෙන් හෝ නුඹ දකින්නට බලා හුන් මට සෙවණ දුන්නේය. "පන්සලට යන්නවත් කවුරුත් නෑ හලෝ.." මම දිනක ඔබට කෙටි පණිවිඩයක කීයෙමි. " පන්සල් යනව නම් එනව."ඒ වචන දුටුවේ දෑස් නොවේ..මගේ පපුවය.කිසිදාක එවන් වදන් ඔබෙන් බලාපොරොත්තු නොවූ හිත සදෙව් ලොවටත් එහාට පිනුම් ගැසුවේය. එහෙත් දෛවය එහෙමවත් අපව මොහොතකට හෝ ළං නොකලේ මගේ අවාසනාවට වන්නට ඇත. "අනේ..දැන් 6 පහුවෙලානෙ.⁣6න් පස්සෙ හොස්ටල් එකෙන් එළියට යන්න බැහැනෙ" හිතේ දුක පුරවාගෙන මම කීයෙමි. " ඇයි මම එක්ක යන්න බයද?බැරි නම් කමක් නෑ." ඔබ එසේ කියා සංවාදය එතනින් නිමා කළද අදටත් මම ඒ ගැන මහා දුකින් පෙ⁣ළෙමි.එඒ අවස්ථාවේ මා විඳවූ හැටි ඔබ දන්නේ නම්..ඒ දවසේ පටන් මම මේ පන්සලට එන සැමදාකම අහම්බෙන් හෝ ඔබ එතැයි බලා උන්නෙමි.මේ බිමේදී නුඹත් සමඟ පහන් සිලක් දල්වන්නට පැතුම් පැතුවෙමි. සංජු.. බියගම එක් ආයතනයක සේවයට ගිය මට ඔහු හමු විය.පළමු හමුවේදීම මගේ හිත පැහැරගත්තේ ඇයිදැයි මම නොදනිමි.එහෙත් මා උන්නේ කාටවත් ළං වෙන්නට හෝ ආදරය කරන්නට හෝ නොහැකි ⁣තත්වයකයි.ආදරයෙන් බැඳීම් වලින් හා නොයෙකුත් මානසික තාඩන පීඩන වලට ලක්වී මගේ හදවත තුවාල වී තිබුණි.මා නම් පුද්ගලයා ජීවත් වීමට පමණක් හුස්ම ගනිමින් ඇතුළතින් බිඳී උන්නෙමි.ජීවිතය නම් වූ කටු අකුළෙන් කිසිදු පිළිසරණක් නොමැතිව තනිව ගොඩනැගෙන්නට වෙර දරමින් උන්නෙමි.කුඩා කළ පටන් දෙමාපිය සොයුරු සෙනෙහසින් දුරස්ව හුදෙකලාවෙන් බැටකා උන්නෙමි. එලෙසම ඔහු⁣ මට වඩා වයසින්ද අඩු විය.එවන් පසුබිමක ඔහුට ළං වෙන්නට තබා සිතන්නවත් බැරි මම සිත පතුලේ ඔහුව තැන්පත් කර ගතිමි. නමුදු ඔහුගෙන් දුරස් වෙන්නටත් මට නොහැකි විය.කල් යත්ම මම ඒකපාර්ශ්වික ප්‍රේමයෙන් උන්මන්තිකාවක වීමි. "මම සංජුට ආදරෙයි.මට තවත් ඒක දරාගෙන ඉන්න බෑ මධු"මම මගේ මිතුරාට කීවෙමි. "පිස්සුද බං.ඒ කොල්ල උඹට වඩා බාලයි.අනික කෙල්ලෙක් කොල්ලෙක් පස්සෙ යන්න චාටර්නෙ.ඕක කිව්වොත් ඌ උඹ ගැන මොනව හිතයිද?උගෙ යාලුවො එක්කත් කියල උඹව නෝන්ඩි කරයි" " අනික මොකටද බං උඹ ඌ ගැනම හිතන්නෙ?මොකක්ද උගෙ විශේෂත්වෙ?" සැබෑය.මට ඔහු වෙනුවෙන් උමතු වන්නට කිසිම හේතුවක් නොවුනි.ඔහු කඩවසම් නොවීය.සරාගී පෙනුමක්ද නොවීය.කෙල්ලන් පිස්සු වට්ටන කිසිවක් ඔහු සතු නොවීය. නමුත් මම ඒ දෑස් වලට පෙම් කළෙමි.ඒ අව්‍යාජ සුන්දර සිනාවට උමතු වූයෙමි.ඒ නිවුනු තැන්පත්කමට හැදියාවට පෙම් බැන්දෙමි.ඔහුගේ සෘජු වදන් වලට සිත් බැන්දෙමි.ඒ සියල්ලට ඇබ්බැහි වීමි. මගේ සිත ඉල්ලූයේ ඔහුගේ ඒ දෑස් දකින්නටය.රැකියා කාලය සතුටින් ගත කළේ ඒ දෑස් දුටු දවසටය.සිත සැනසුනේ ඉඳහිට හෝ පැමිණ කතා කළ වචන දෙක තුනටය.කුස පිරුණේද ඔහු හා බෙදාගෙන කෑ කුඩා දේකින්ය. සත්තකින්ම අවැසි වූයේ මිතුරියක ලෙස හෝ පෙනෙන දැනෙන මානයක ඉන්නට පමණක්මය.එකදු ස්පර්ශයක් හෝ මට අවැසි නොවූයේ එලෙසවත් ඒ නැවුම් පිරිසිදු ආත්මය මගේ බිඳුනු ආත්මය නිසා කිළිටි නොවන්නටය.එලෙසම ඔහු කෙල්ලකට කැමැත්තෙන් සිටිනවිට මම හදවතින්ම ඔහුට සුබපැතුවෙමි.නමුදු ඔහුට ළං වීමෙන් බොහෝ වැළකුනේ මට ඔහු කෙරෙහි ලෝභකමක් ඇතිනොවෙන්නටය.මම මට කළ හැකි දේ කළෙමි.බුදුන් දෙවියන් නමදිද්දී ඔහුට සෙත් පැතුවෙමි.ඒ නම මගේ සියල්ලටම භාවිතා කලෙමි. එහෙත් ඔහුට මගේ ආදරය දැනෙන තරමටම ඔහු මාව ප්‍රතික්ෂේප කළේය.ඒ තරමටම මගේ ආත්මය ඔහුට ආදරයද කළේය.මම හදවතට පැලැස්තර අලවමින් සුවපත් කරගන්නට බොහෝ වෙර දරද්දී ඔහු මගෙන් බොහෝ දුරස් විය.ඔහුගෙන් සිත ගලවා ගන්නට මා නොකළ දෙයක්ද නැත.මම මගෙන්ම පලි ගත්තෙමි.අවසන මා මේ පුරවරයෙන් සමුගත්තේ තවත් රිදවාගනු බැරි නිසාමය.ඒ වන විට මම මනසින් බොහෝ බිඳ වැටී ජීවිතයේ සැනසුම ගැන අල්ප මාත්‍රයක හෝ බලාපොරොත්තු අත් හරිමින් උන
්නෙමි. ඔහු හා සම්බන්ධ වෙන්නට කිසිම ක්‍රමයක් නොවීය.මුහුණුපොත මට ඔහුගේ තතු දැන්වූයේය.ඔහුගේ සුබ සිද්ධිය දැක මම අප්‍රමාණව සතුටු වෙමි.තව තවත් සතුට ජයග්‍රහණය ඔහුට ප්‍රාර්ථනා කරමි. එසේම මම සකර්බර්ග්ට පින් දෙමි.මා මෙන්ම තවත් දහස් ගණනක් සිත් සනසන්නට ඔහු කළ මෙහෙය අගනේය. අද වන විට මා මෙන්ම ඔහුද ආදරණීය හදවතක හිමිකමක් දරනවා ඇත.කිසිම දුකක් නොවී ඒ සිත් ආදරණීයව එක්වෙන්නට පතමි.පතන පැතුමන් සියල්ල ඉටුවන්නට සැනසුම ලැබෙන්නට ප්‍රාර්ථනා කරමි. අවසන මා මෙසේ පවසමි.ළබැඳියාණෙනි..ඔබ මට කිසි දිනක යන්තමටවත් ආදරය නොකළ බව මා නොපිළිගනිමි.නමුදු ඔබ මාව ඉතා ගෞරවනීය ලෙස ප්‍රතික්ෂේප කළාට මම ස්තුතිවන්ත වෙමි.කොන්දක් නැති අවස්ථාවාදී බහුතරයක් පිරිමි අතර මා අදටත් දුටු එකම සුජාත චරිතවත් ගෞරවනීය පිරිමියා ඔබය.එදා ඔබ නින්දිත ලෙස මාව ප්‍රතික්ෂේප කළේනම් මා සමහරවිට ජීවිතයෙන්ද සමුගෙන ඇත.කිමදයත් එවන් දෙයක් ඔබෙන් විඳින්නට තරම් මා ශක්තිමත්ව නොසිටියෙමි. මම බලා හිඳිමි.යලි දිනෙක ඔබ අර සුන්දර සිනාවෙන් හමුවන තුරු..මා මෙන්ම ඔබ සමඟින් ඒ මෙහොතේ කවුරුන් උන්නද නුඹේ ඒ අව්‍යාජ සුන්දර සිනාව සහ ආදරණීය වදන් වෙනුවෙන් මම බලා හිඳිමි. එමෙන්ම එදා මෙන්ම අදත් මතුවටත් මම ඔබට ගෞරවනීය ලෙස ආදරය කරමි.මගේ හදවතෙහි පූජනීය තැනක ඔබ හිඳිනු ඇත.මම ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.යලිදු මේ සංසාරයේ මතු ආත්මවල මගේම ලෙයට බැ⁣ඳෙනු මිස පිටස්තරයකු ලෙස කිසිම දිනක කිසිම ලෙසක මට හමු නොවේවා..මන්ද,මේ භවයේ මෙන් මිය යන තෙක් මගේ හදවත දෙකඩ කරගෙන ජීවත් වීමට නොහැකි නිසා..එසේම සියලු බැඳීම් අත්හැර සංසාර ගමන කෙටි කරගන්නට මම වෙර දරන නිසා..☘️☘️☘☘️"ලාකඩ" පාවඩ එල එලා නුඹ කැන්දං ආවේ ආවඩ ආයු බෝ කිය කිය සෙත් පෑවේ රූකඩ ලෙසට ඇන්දී නුඹටම පේවේ ලාකඩ වැටුනු හේමයි රත් හිත් කෝවේ ගැබ්බර වැහි වලා පිරුණයි ආකාසේ පෙම්බර ගති මැකී හිත් බර විය බෝ සේ ගින්දර ගැහි ගැහී ඇවිලෙන දහ මාසේ පින්බර හිමියනේ දුක් නොම දෙන් ඕසේ කඩදහි ලියා දුන් මුත් වෙන් වෙන අස්සන් ඉඩ කඩ තියේ නුඹ ගැන තව හිත අස්සෙන් මඩ කළ නමුදු සුදු පිරුවට බොර වැස්සෙන් දඩ කොළ ලියමි මම තව ඇස් අග්ගිස්සෙන් - නදීජරා පෝස්ට් එකක්. ******************** පුරුශ ලිංගය, පුරුශ ලිංගය ප්‍රාණවත් වීම, ස්ත්‍රී ලිංගය, කලවා, තට්ටම්, ගුදය, ගුද මාර්ගය, කන්‍යාභාවය, කන්‍යාපටලය, යෝනිය, යෝනි තොල්, යෝනි ස්‍රාවය. ගර්භාශය, ලිංගික සංසර්ගය, මාස් ශුද්ධිය, වෘශණ කෝශ, පෙරසම, පියයුරු, ශුක්‍රානු, ශුක්‍ර මෝචනය, සුරතාන්තය, අසූචි, මුත්‍රා, යන වචන හා යෝනි මාර්ගය හා මුත්‍රා මාර්ගය දෙකක් බව, ලංකාවෙ දරුවන් හා වැඩිහිටියන් දැන්වත් ඉගෙන ගත යුතුයි. මේවා ලිව්වම එක්කෝ අපිව දකින්නෙ අසහනකාරයො විදියට නැත්‍තං, හිනා වෙලා ශේප් වෙලා යනවා. අඩුම ගානෙ ලිංගිකත්වය යනු විහිලුවක් නොවන බවත්, ලිංගික අපරාධ වලට සාධාරණයක් උදෙසා ලිංගික අධ්‍යාපනය අත්‍යාවශ්‍ය බවත් සුචරිතවාදී මිනිස්සු තේරුම් ගන්නෙ නෑ. මේ වගේ පෝස්ට් ශෙයාර් කරන්නත් බයයි බහුතරයක්. කාන්තාවක් මේ පෝස්ට් එකක් ශෙයාර් කලොත්, කමෙන්‍ට් කලොත් හැරෙන තැපෑලෙන් friend request යවනව කියන්නෙම අපි ඉන්නෙ ලිංගික ආකර්ශනය දිනා ගන්නා අවධියට වඩා ප්‍රාථමික තත්වයක බවයි. හා හා දාන උන්ට අනිවාර්‍යෙන්ම අසහනේ. උන් හින්ද තමයි ලිංගික අධ්‍යාපනයක් ගැන කතා කරන්නම බැරි. ඒක විහිලුවට අරන් ශේප් වෙන්නෙ තියෙන තක්කඩි කුපාඩි කමට. මිනිස්සුන්ව නොකල ලිංගික අපරාධ වලට පටලන්නෙත් ලිංගික සාක්ශරතාවයෙ හීන කම හා නොදියුණු කමේ ප්‍රතිපලයක් විදියට කියලයි මම දකින්නෙ. ලිංගිකත්වය ගැන කතා නොකරන තාක් ලිංගික අසහනය, ලිංගික පීඩනය, ලිංගික අපරාධ, බහුල සමාජයක් නිහඩව නිර්මාණය කරමින් සිටිමු. ලිංගික පීඩනය රටක සංවර්ධනයට ඇති ප්‍රධාන බාධාවන්ගෙන් එකක් කියල මම විශ්වාස කරනවා. ලිංගික අධ්‍යාපනය ආගමික ස්ථාන වලින් පටන් ගන්න ඕනෙ. මොකද ආගමික දේශකවරුන් වැඩිපුරම කරන්නෙ පවුල් කන හැටි ගැන උපදෙස් දීම නිසා ඔය වැඩේ කරන්න එයාලට හරිම ලේසියි. ශරිරෙ අවයව ටික හරියට කියා ගන්න අපි විදින දුකක්. © නීතීඥ අරවින්ද හබක්කලගැහි ගැහී සීතලට ගන්න විට තියටරයට යන්නමයි හිතුනෙ නැවත සත්තමයි හිතේ බයට පිට මැදට විද්දත් බෙහෙත් හිරි වැටෙන්නට හිරි වැටුනෙ නෑ මැණික පපුවෙ ඉඳන් පහලට පටන්ගෙන ස'ජරිය ටික වෙලාවක් යද්දි දැනුනා මහ වේදනාවක් බඩේ හම දෙකඩ වෙද්දි තට්ටුවෙන් තට්ටුව හම ඉරාගෙන යද්දි කෑ ගැහුන මැණික මහ වේදනාවක් දෙද්දි හැරෙන්න බෑ වේදනයි කියල ආපස්සට දරාගන්නට වෙනව ඔය මූණ දකින්නට පටන් ගත්තා පපුව මැද හිර කරන්නට කෑ ගැහුව දරන්නම බෑ කියල දොස්තරට අල්ලගත්තා උඹේ තාත්තගෙ අත තදට කෑ ගැහුව රිදුමන් දරන්නට බැරි ටිකට පන ඇදල පන ඇදල සිහිය නැති උනා මට හුස්ම පොද නැවතුනා එවෙලෙ මගෙ පොඩ්ඩකට කොහේදෝ ලෝකයක ඔහේ පා උනා මම දැක්ක මිනිසුන්ගේ දිවිය ඇරැඹුණ ස්වරය මාත් ඔහෙ පා උනා ඒ ස්වරය මතින් ම ම සිහි උනේ දැක්කදෝ උඹ මේ ලොව එළිය කොහොමනම් දරන්නද තාත්තගේ පපුව අම්ම ගිය විටදි තනි කරලා ඔයාලව දුක තිබුනේ දකින්නට බැරි නිසාමයි උඹව කමක් නෑ රත්තරන් යනව දාලා උඹව යන්නට හදද්දිම ශරීරෙන් මිදිලා කවුරු හෝ ගත්ත මගෙ ආත්මෙන් ඇදලා පුදුම සහනයක් දැනුන පපුව යළි ගැහිලා මතක් උනෙ තාත්තගෙ නම හිතේ මැවිලා ඇරැඹුණා මගෙ හුස්ම යළිත් ඉහළට ගද්දි එකවරම ඇස් දෙකම ඇරුන හදවත ගැහෙද්දි උඹත් එවෙලෙම ඇඬුව කන් දෙකටම ඇහෙද්දි උනු උනුවෙ කඳුලු බිඳු වැටුණා මං හිනා වෙද්දි උපත දුන් විට අම්ම උබට මහ රිදුම් මැද පන ගියා මොහොතකට උඹ ඒක දන්නවද ගද්දි උඹ මෙලොව එළි දකින්නට කපල බඩ හුස්ම තිබුනෙ නෑ උඹෙත් ඔය චූටි පපුව මැද දොස්තරල ගහල උඹෙ පිටට පපුවට තදට ඔක්සිජන් දීල ඔය පුංචි පෙනහළු දෙකට බය උනිලු ඔක්කොමල අපි දෙන්න ගිය ටිකට ඇහුන මට කියනවා සිහි එද්දි කන් දෙකට යන්නට හදද්දි අම්ම මේ ලොව දාල ඒක උඹෙ ඔය පුංචි ආත්මයටම දැනිල ආව අම්මව ආයෙ එක්ක යන්නට ඇදල සිහි ආවෙ අපේ එක තප්පරයටම මැනල උඹයි මට පන දුන්නෙ මං ඒක දන්නවා මගේ පන අරගන්න උඹෙ හුස්ම මිදෙනවා අම්මගේ පණ අරන් නුඹ එනවා පස්සෙ උඹ උඹේ සිරුරටම යනවා ආදරෙයි මැණික මං මුළු ලෝකෙටත් වැඩිය රකිනවා අක්කවයි උඹයි පනටත් වැඩිය උබල තුන් දෙනා මගෙ හුස්ම බිඳටත් වැඩිය වටිනවා රකිනවා මං තියෙනකන් දිවිය ***පද - ඩිලිනි මෙත්මිණි මගේම සත්‍ය අත්දැකීමක් ඇසුරෙන්***දුංහිඳ හීන - (එක) "ඕන්... දැන්නං බංගලාවෙ ඇත්තො ආව වගේ... ජිනාදරී උඹ එහාට වෙලා හිටහන්.." එහෙම කියාගෙන අම්මා කුස්සි කෑල්ලේ හිට මිදුල දිහාට දුවගෙන ගියා. තිරික්කලේ සද්දෙට මාත් හෙමිහිට කරපොවල බැලුවේ චින්තා බේබිව දකින්ට ඉස්පාසුවක් නැතුව . ඒරොප්පෙදි දොස්තර විබාගෙ අහවර කරල බේබි ගම එනවය කිව්ව හින්ද මිස නැත්තන් අප්පුච්චා මට බංගලාවෙ පස්පාගන්ට දෙන්නෙ නැතුවා..අප්පුච්චා කොයිතරම් එදිරිවාදිකං පෑවත් අපෙ අම්මා බංගලාවෙ අත් උදව්වට එන එක නවත්තන්නෙත් නෑ. චින්තා බේබි නං පේන්ට නෑ.. තිරික්කලෙන් බැස්සේ වත්තෙ සුදු මහත්තයයි රාමනායක මහත්තයයි හීං අප්පුවයි විතරයි. මහ විසාල ට්‍රන්ක් පෙට්ටි දෙකක් බිමට බාගත්තු හීං අප්පු ..ඒව හිමීට ඉහ තියාන බංගලාව අස්සට ගියා. "කෝ..චින්ත බේබි ආවෙ නෑ හීං අප්පු..? " "බේබිට කොළඹින් වැඩ වගයක් කරගන්ට තියෙනව කියල ටික දවසකට නතර වුනා. ලිලියෝ.. මහත්තැන්ලට බොන්ට මොකුත් හදාපන්කො කතාව තියලා..." චින්තා බේබියි මායි හීං සංදියෙ සෙල්ලං කරේ එකට. ඒත් බේබිට මාව දැන් මතකෙ නැතුවත් ඇති. සුදු මහත්තය නං මා දිහා යාන්තං බලල හිනාවුනා. මාන්නයක් ගෑවිලවත් නෑ. රාමනායක පවුලෙ අනිත් ඇත්තො වගේ නෙවෙයි. ඔය චින්ත බේබිගෙ තාත්ත ඒ කියන්නෙ රාමනායක මහත්තය හිංගල වුනාට අම්ම එංගලන්ත රටේ සුද්දියක්. එතකොට සුදු මහත්තයයි චින්ත බේබියි ඇවැස්ස නෑන මස්සිනාල වෙච්චි. සුද්දන්ට අපේ උං දෙස් දෙවොල් තිබ්බට මට නං සුදු මහත්තය පේන්නෙ බෝදිසත්තයෙක් වාගෙ. කෝපි කෝප්පෙ සුදු මහත්තය අතට දෙන ගමන් මට "ටැන්කූ ජිනා.." කියල කිව්වේ අමුතු තාලෙකට. මයෙ දෑහත් කොච්චරවත් මග බලං උන්නේ සුදු මහත්තයව දැකගන්ට තමයි.අප්පුච්චා මනාප නැති හින්ද ලේසිය කට බංගලාවට එන්ට විදිහක් නැති එකේ.. සුදු මහත්තය යාන්තමට වත් දැකගන්ට මෙවෙලෙවත් ඇහැක් උනොත් කියලමයි මයෙ හිත කොච්චරවත් කිව්වේ. "වත්තෙ දෙමළු දෙතුන් දෙනෙක් ගෙනල්ල මේ පාර ටිකක් ලොකු කරානම් හොඳයි අංකල් . දැන් දැන් තිරික්කලෙන් යන එන කාලෙ ඉවරයි. මගෙ ජිප් එක මිදුලට ගන්න හදාගන්න ඕන " සුදු මහත්තය,රාමනායක මහත්තය එක්කල කතා කොලාට දෑහ තිබ්බෙ මයෙ ළඟ. අනේ සුදු මහත්තය නාරංගල වත්තට නොගිගින් මේම උන්නනං කොයිතරම් අපූරුද කියල මට හිතුනා. පහුන්දාට එළිවෙද්දි ...එක දිගට වැහැපු වරුසාව නැවතිලා එක විදිහක් වෙලයි තිවුනේ. ඇල්ල එපිටින් තියෙන කඳු ගැට්ට උඩට ගියානං දර කෑල්ලකුත් කඩාගෙන බංගලාව පැත්තත් විපරම් කරන් එන්ට තිබුනා. මහත්තය ආපහු වත්තට ගියාද කියල දැනගන්ට හැටියක් නැති එකේ.. මං හීං සීරුවේ කඳු ගැට්ට දිහාට සේන්දු වුනා . මයෙ අම්මෝ.. යාන්තං වැහි නිල්ලේ අව්වක් වැටෙනකොට ගම්මානෙ තියෙන ලස්සන..? වැස්සට තෙමිල තෙමිල..හේදිල තියෙන ගහකොළ උඩට අව් රැල්ලක් වැටුනහම තියෙන්නේ අපූරු කල එළියක් නෙව . මං ඇල්ල පේනතෙක් මානේ තියෙන උස ගල් තලාවක් උඩට නැංගේ නමුණුකුල කන්දෙන් කාලෙකින් පායන ඉර ඇල්ල දිහා බලන්ට. පාතින් තියෙන අඳුරු පාට රූස්ස කැළේට උඩින් අහසට නැගල තියෙන කඳුපෙළ අදනං මීදුම අහක් වෙලා නිල්ම නිල් පාටයි. සුද්දො රට බාරදීල ආපහු ඒරොප්පෙටම ගිහින් කියල අළුත් ආණ්ඩුවෙන් මිනිස්සුන්ට පංසල් වලට රැස්වෙන්ට කියන්නේ...? හත් දොහක් එක දිගට බෝධිපූජාවකුත් තීනව කියල අඬබෙර ගහං ගියා පාන්කළුවෙම . එකත් එකටම අම්මල යසා නැන්දල කට්ටිය අද පංසල් යාවි. මං හීතල යන්ටත් එක්ක හිරිවැටිල තිවුන අත්ල ඉර අව්වට අල්ලං උන්නේ පාන්දර හීතල උහුලන්ටම බැරි හින්ද.අන්දර ගස්වල පිපිල තියෙන මල
් නිලට නිලේ අහස් නිලත් එක්ක එකතු වුනාම තියෙන අපූරුව.. "ජිනා... " මං හැරිල බලද්දියි හඳුනයිය ගල් පොත්ත නැගගෙන මා දිහාට එන වග දැක්කේ. හෙනං හඳුනයිය අදත් ගම ගිහින් නෑ..? "හඳුනයිය ගම ගියෙ නෑ..? " "නෑ නගා.. හෙට දිහාට යන්ට කියලා. අද හැන්දෑවට ටීටර් පෙන්නනව කියන්නේ ..? වේළපහින්ම බදුලු ගොහින් ටීටර් බලල මුතියංගනෙත් වැඳ පුදාගෙන එන්ට ඇහැකි නෙව..." මයෙ ඉහේ මලක් පිපුන වගේ. මං ජීවිතේට ටීටර් බලල නෑ. අපේ ගෙයි කිට්ටුව ඉන්න මියුරි අක්ක නං ඔය ටීටර් ගැන මා එක්කල කියල තියෙනවා. වෙස්සන්තර ජාතකේ, රාම රාවණා යුද්දෙ ගැන හදාපු ටීටර් බලල මා එක්ක ඒ කතා රහ කර කර කියනව මියුරි අක්ක නං. "අනේ හඳුනයිය ...මාව එක්කාසු කරං යනව නේද අපෙ අම්මට කියල.?හඳුනයිය යනවනං අම්ම අවසර දෙයි..ඔයි තරං කිට්ටුවට ඇවිදිල්ලත් බලන්ට බැරිවුනොත් මට ආයි කවදාවත් ටීටර් බලන්ට වෙන්නෙ නෑ ඕං" හඳුනයිය කොහොමත් මං නැතුං ඔය ටීටර් බලන්ට යන්නෙ නැතුවා. කොච්චර හරි මට සන්තෝසෙට උන්හිටි තැනුත් අමතක උනා වාගෙ. පෙළක් වෙලාවට සුදු මහත්තයත් ටීටර් බලන්ට ඒවි.. ආ... ඒත් එන්නෙ නැති වෙයි. මොකද මෙදාසැරේ ටීටර් පෙන්නන්නෙ ඔය ජාතික අබිමානෙ ගැන තියෙන එව්වලු ..නේ..? මට ඈතින් පේන නාරංගල කන්ද මානෙ බැලුනෙ ඉබේටම වගේ. මට හීල්ලුනේ දැන් රටේ ඉන්න තරමක් සුදු ඇත්තෝ ආපහු එංගලන්ත රටට යනවලු.සුදු මහත්තයත් එහෙම යන්ට ගියොත් කියල මහා දුකක් මයෙ පපුව අස්සෙ තිස්සෙම කැකෑරෙනවා. කොහොමත් ඉතින් මං දන්නවා ඒ ඇත්තට හිත ගිහිල්ලා මං කරගන්නේ මටම ලොකු වින්නැහියක් විත්තිය . "නඟා...මොනා කල්පනා කරන්නේ..? ඇයි මනාප නෑ ටීටර් බලන්ට යන්න ..? මයෙ හිත ඒ ඩිංගට ගිය දුර.. හඳුනයිය මා දිහා බිරන්ත වෙලා වගේ බලං උන්නෙ මං කඳුපෙත දිහා බලාගෙන මොනා කල්පනා කරනවද කියල හිතන්ට ඇති . පඳුරු අස්සෙන් සර සර ගාන සද්දෙට හැරිල බැලුවමයි දැක්කෙ....සතෙක් වගේ පඳුරු අස්සෙන් මතු උන එකා... කිරා..? ඌ මේ ඉසව්වේ මක් කරනවද.? කැළැ සතා වගේ.. මට පේන්ට බෑ. මයෙ හෙවණැල්ලට වහංගු වෙන්ට ඇහැකි. ඒත් මුගෙන් වහංගු වෙන්ට බැරි හැටි... හොටබරිය වගේ. "ආ.. කිරෝ.. අපි මේ කතාබහ කළේ ටීටර් බලන්ට යන්ට.. හෙනං හවස් කරේ ලක ලෑස්ති වෙලා වරෙන්.. " මට හඳුනයිය එක්ක තරහත් ආව..මේකට කිව්වෙ මොකට කියල ? ඌ බැලුවෙ මා දිහා. මං ගස්සල අහකට වුනේ ඌ දිහාව බලන්ටත් මට අපුල හින්ද . "හඳුනයිය අපි ගෙයි දිහාට යමු. අම්මා දවල් බත පිහිනව ඇති . අයියට රස්නෙං බත් ඩිංගක් කාල ඔය හැන්දෑ කරේ ටීටර් බලන්ට යන්ට ඇහැකියි නෙව..." "මයෙ අම්මා..මට තියෙන සෙනේවන්තකම? මං දන්නැතුවයි...ටීටර් බලන්ට තියෙන ආසාවට නෙව ඔයහැටි ආලවන්තකං පාන්නේ...? " * * * අපේ ගං තුලානේ ඒ හැටි පිරිසක් පදිංචි වෙලා උන්නෙ නෑ.ඇල්ල වටේටම තියෙන්නෙ මහ මූකලානෙ. අපේ පැල් කොටේ කිට්ටුව තිබුනෙ යසා නැන්දලගෙයි මියුරි අක්කල ගෙයි ගෙවල් විතරයි. ඉරගල වැටෙන වෙලේ මං ගෙයින් එළියට බැස්සේ අම්ම කොයි කියල විපරම් කරන ගමන් . "අපෙ අම්මා...ඕං මං ටීටර් බලන්ට යනෝ..." මං කෑ ගහපු සද්දෙට දුංහිඳ ඇල්ල වට කරන් තියෙන මහ කළු ගල් පවා දෙදුරුං කන්ට ඇති. මට ටීටර් බලන්ඩ යනවටත් වඩා... මේ හිරවිච්ච, කොටුවිච්ච මායිමෙන් එහා තියෙන සිදාදියට යන්ට තියෙන ආසාව තමයි වැඩි. හැන්දෑකරේ ඉර අවරට යන්ට සුනංගු වෙනකොට මං හිතුවේ වරුසාවත් අදින් පස්සෙ අහවරක් වෙයි කියලා. අද පාන්දරක් වෙනකල් එකදිගට ඇද හැලිච්ච වැස්ස එක පාරටම නතරවුනේ හීනියට මහ පොළොවට ඉර එළියක් වැටෙන්න ගන්නවත් එක්කමයි. දිය සෙවෙල් බැඳිච්චි ගල් තලාව උඩින් පැනගෙන මං හීං සීරුවේ යසා නැන්දලයෙ ගෙදරට යන්ට හදද්දී අම්ම කෑ ගැහුවත් මං නෙවෙයි ආපස්සට හැරුනේ . "උඹ සුනංගු නොවී එනවනං විතරක් ඔය මලදානෙ බලන්න පලයන් . මයෙනං මනාපයක් නෑ ජිනෝ.. මහ එකා සෝළි තියන්නෙ මට නෙව ..." මං ගල්පොත්ත උඩට නැගල හීං සීරුවේ යසා,නැන්දලයෙ දිහාට යනකොට මා එක්ක හරි හරියට මොකාගෙ හරි හෙවණැල්ලක් වැටෙනව.. මට යකා නැග්ගෙ , කිරා මා පස්සෙ වැටිල එනව දැක්කම. මං කෝට්ටක් කඩා ගත්තම කිරා බයාදු ඇස් ගෙඩි දෙකෙන් මා දිහා බලල හෙමින් පහු බැස්සා. ටීටර් එක බලන්ට කියල පාර දිගේ වැළ නොකැඩී සෙනඟ යන්නෙ... මයෙ අප්පෝ මයියංගනේ පෙරහැරට යන්නා වගේනෙ..? සුද්දගෙන් රට බාරගෙන හා හා පුරා එන හිංගල අවුරුද්දට මෙදාපාර අමුතු අමුතු ජාති ටිකක් බලන්ට ඇහැකි වෙයි. පහුනු පෝයට පංසලේ ලොකු පහන් පිංකමක් තිවුනෙත් රට වෙනුවෙන් ජීවිතේ පූජකරපු ජාතික වීරයින්ට පිං අනුමෝදනා කරන්ට.ඒ ඇත්තන් දෙවිවරු වෙලා මේ රට ආරස්සා කරයි කියල ලොකු හාමුදුරුවො කිව්වම මටත් හිතුනේ ඒක සත්තයි කියලා. හඳුනයියනං කිව්වේ මෙදා ටීටර් නටන්නෙත් සුද්දො එළවන්ට අපේ හිංගල ඇත්තො එදා හිට සටන් කරපු එව්ව ගැන තමයි කියලා. මං.. යසා නැන්දලයෙ ගෙදෙට්ට යනකොටත් සිරිමතී පුයර තලියක් හෙම ගාගෙන ලක ලෑස්ති වෙලා හිටියෙ. ගමේ ගැටිස්සියො තුන් හතර දෙනා බයක් හැකක් නැතුව රෑ ජාමෙක උනත් යවන්නේ හඳුනයිය හින්ද . ඒ තරං හඳුනයිය ගැන විස්වාසයක් පැහැදීමක් ගමේ උන්නෙ තියෙන්නේ . ගොං කරත්තෙට වැඩිහිටියො දෙතුන් දෙනා ගොඩ වුනාම අපි කීප දෙනෙක් කරත්තෙ පස්සෙන් ගෑටුවා .මයිල ගානක් පයිං ගාටන එකත් ලේසි නෑ . ඒත් ඉතින් ටීටර් බලන්න තීන ඕනකම ඊට වඩා වැඩියි නෙව. "ජිනා... අම්ම මක්ක කිව්ව මා එක්ක ටීටර් බලන්ට යනව කිව්වහම... ? " හඳුනයියා මා දිහා යටැහින් බලල අහද්දි මට හිනහ ගියේ ඉබේටම .හඳුනයියගෙ කපටිකම.. අම්ම හඳුනයියට මනාප හින්ද ඒ හැටි තහංචි දාන්නැති වග දැන දැනත් මයෙ කටින් ඒ වග කියෝගන්න හදන හැටි දැක්කම හිනහ නොවී පුළුවනැයි.. ? "අපෙ අම්ම කිව්ව ඔය හඳුන යනවනං උඹ පරිස්සම් වෙයන් කියල ..." "ඇත්තට...? " අපි දෙන්නයෙ කතාවල් කාටවත් ඒ හැටි ඇහෙන් නැත්තෙ පාරෙ යන එකාලගෙ ගෝසාව හින්ද . තියෙන හොඳම සරමෙන් කම්බායෙන් සැරසිලා සිදාදියට යන ගෑනු, පිරිමි මේ හැටියට මං දැක්කෙ වෙසක් පෙරහැර දාට විතරමයි. "ඕං කතාවෙන් බදුල්ලටම සේන්දු උනා. ටීටර් පෙන්නන්නෙ පහළ වෙල්‍ යායෙ. මේ හැටි සෙනඟක් කොහෙ ගාල් කරන්ටද? මයෙ පස්සෙන්ම වරෙල්ලා. නැත්තන් සෙනඟ අස්සෙ මගෑරෙයි..." අපි කට්ටිය හඳුනයිය පිටිපස්සෙන්ම එයා යන අත ඔහේ ගියා...සෙනඟ පීරගෙන යාන්තං මඩුව පේන තැනක නතර වුනා . ඒ අස්සෙ මයෙ පස්සෙන්ම ගාටන්නෙ මොකාද බලන්ට හැරුනමයි දැක්කෙ අර බොල්ලෑවා.. කිරා කොහොමෙන් කොහොමෙන් හරි මයෙ පිටි පස්සෙන් ඇවිත් හිටගත්තම මට ආව කේන්තියක්? මං හඳුනයිය දිහා බැලුවේ මේකව මක්කට එක්කං ආවද කියල අහන්ට වගේ. ඒත් හඳුනයියට ඒකෙ වගක් නෑ. ටීටර් තියෙන පැත්තට කර පොව පොවා ඉන්නව. අම්මෝ ඒකෙ ලස්සන. පීකර් එකේ යන සිංදුත් ඒකටම හරි ගිහින්. අහං ඉන්ට ආසයි. " ඉදිරියටම යවු හෙළයිනි...ඉදිරියටම යවු.. ඉදිරියටම යවු හෙළයිනි...ඉදිරියටම යවු.. පෙර කළ අපගේ මුත්තෝ දිවි දී දැය රැක ගත්තෝ.. වෙමුද ඉතින් අපි ගැත්තෝ.... ඉදිරියටම යවු... හෙලයිනි ඉදිරියටම යවු.." රතුපාට ලොකු තිරේකින් වහල තිබ්බ ඒ මඩුව එකපාරටම විවුර්ත උනේ අපූරු නැටුමකුත් එක්ක . වෙලාව ගතවෙනව දැනුන් නෑ. ගෝසාව මීයට පිම්බ වගේ නතර උනේ. ඇහැළේපොල කුමාරිහාමිට ඇඳල හිටිය ඇත්තිගෙ ලස්සන....? හරියට දේවතාවියක් වගේ. හඳුනයියත් කට ඇරං බලා ඉන්නෙ.. උන්දැට මාව එපා වෙයිද කවුද්දා .එහෙනම් යසයි කියල මට හිතුනා. හෝරා කීපෙකට පස්සෙ ආපහු ගමට,එද්දී සේරමගෙ කතාව ටීටර් එක ගැන. ඒක බලල අඬාපු නැති එකෙක් නෑ. අඬන්ටනං මේ වගේ කතා මොකට වෙහෙස මහන්සි වෙලා හදනවද? ආපහු යන්ට වෙන්නෙත් දුකෙන් හිත් පුරෝ ගෙන. මද්දුම බණ්ඩාර කුමාරය මරන හැටි දැක්කම නං රජා එක්ක පුදුම කේන්තියක් ආවේ මට නං . "නගා... මං ඊළඟ හිංගල අවුරුද්ද වෙනකල් නං බලන් නෑ ඕං. මං උඹ බිංතැන්නට කැන්දන් යනවා. අම්මගෙ කරදරේ පෙළවහක් කරගන්ට කියල . උන්දැටත් දැන් වාරු නෑ ඉස්සර වාගෙ... " මං මොකුත් කිව්වෙ නෑ. කියන්ට දිව නැමෙන් නැත්තෙ ඇයි කියල මට තේරෙන්නෙත් නෑ. හඳුනයිය තමන්නෙ අයියා වගේ කියලමයි මට හිතෙන්නෙ. ඒත් එයාගෙ හිත ගන්ට ගමේ එකීල කී දෙනෙක් දත කනවද? මෙවෙලෙත් සිරිමතී හඳුනයියගෙ ඇඟේමයි. ඒකිටනං විළියක් ගෑවිලවත් නෑ නෙව . මේ තුලානෙ ගවුං කොටයක් අඳින එකම එකී ඔය සිරිමතී විතරයි . ගමට සේන්දු වෙනකොට කුරුල්ලොත් කෑ ගහනව. යාන්තමට එළිය වැටීගෙන එනව උනත් මුළු අහසම වැහිබර වෙලා මහ මුස්පේන්තු පාටයි. හරියට වැහිකෝඩෙ මහ පොළොවට පාත් වෙන්ට බලා ඉන්නව වගේ. ඇල්ලෙ සද්දෙත් එක්ක මහ බයංකාරකමක් දැනෙනවා . මං අඩිය ඉක්මන් කරේ බදුලු ඔය පිටාර ගැලුවොත් වෙන වින්නැහිය දන්න නිසා . කිව්වත් වගේම මහ ගාල ගෝට්ටියක් පහළ බෑවුම පැත්තෙන් ඇහෙනවා . මහ හයියෙන් විළාප දෙන්නේ යසා නැන්ද වගේ... හඳුනයියා අඩියට දෙකට පහළ පැත්තට දුවගෙන ගියේ මොකක් උනත් ලොකු විනාස යක් ඉවෙන් වගේ දැනිච්ච හින්ද. රෙද්දකින් වහපු සරීරෙන් පිටට පේන්ට තිවුනු කකුල් දෙක කාගෙද කියල අඳුන ගන්ට මට ඒ හැටි වෙලාවක් ගියේ නෑ. බදුලු ඔය පිටාර ගලල තියෙන්නේ අපේ ගෙයි මිදුලෙනුත් මැද්දක් කඩාගෙන.උඩ පැත්තෙන් ගහගෙන ආපු මහ වතුර කඳ දුංහිඳ ඇල්ලෙන් පහතට කඩා වැටිල තියෙන්නේ ගම් බිම් යට කරගෙන. දෙපැත්තෙන් තියෙන වනාන්තරේ හින්ද කාටවත් ඒ හැටි නිච්චියක් වෙලා නෑ. වැහිකාලෙට ඇල්ල කොහොමත් මේච්චල් නැති හින්දා. මට කෑ ගහන්න තරම් වත් හයියක් තිබුන් නෑ.මුළු ඇඟම පණනැති වෙනව වගේ දැනිල කාගෙදෝ ඇඟකට වාරු වුනා කියල විතරයි මට මතක. * * * අපෙ අම්මගෙ මරණෙ ගෙයි තිබ්බ තුන් දොහේ ලිපේ ගින්දර මෙලවුනේ නෑ. මලගේක මිනිය,ගෙයි තියෙනකල් මළබත ඉදෙන්නේ වටේ පිටේ ගෙවල්වල.... මාරුවෙන් මාරුවට යසා නැන්දලගෙ,මියුරින් අක්කලගෙ, සුබරත්න හාමිනේලගෙ ගෙවල් වලින් මළබත සැපයුනා. මට නං ඉතින් මොකුත් කරකියාගන්න දැනුම් තේරුං තිබ්බෙත් නෑ... හිතේ හයියක් තිබ්බෙත් නෑ. අප්පුච්චා ඔහේ බලාගත්තු අත බලාගෙන .... එදා උන්දැ පුරුදු විදිහට හුණු කොටුවෙ මුරවැඩේට ගිහින් උන්නෙ. ඒත් උ
න්දැට හිතෙනව ඇති මේ සංගදිය වෙලාවෙ අම්මත් එක්කම තමනුත් උන්නනං කියල. ඒ තරං හිතේ වේදනාවක් අප්පුච්චගෙ හිතේ කැකෑරෙන විත්තිය පේනවා. හඳුනයියට කොහොම පින්දෙන්ටද කියල මට හිතාගන්ට බෑ. ඉළව් ගෙයි සේරම වැඩ කටයුතු,විය පැහැදං බලාගත්තෙ හඳුනයිය. "මාමණ්ඩි.. උඹ මා අතින් දෙන මේ තේ කහට ඩිංග බීවෙ නැත්තන් ඕං මාත් යන්ට යනවා. උඹල දෙන්න ඕන එකක් කරගනිල්ලා..." හඳුනයියා කීවේ මටත් ඇහෙන්ට එක්කල. අප්පුච්චා කහට කෝප්පෙ දෝතින්ම ගත්තෙ ඉන්තේරුවෙන්ම හඳුනයිය යාවි කියල බයටම වෙන්ට ඇති . යසා නැන්ද හකුරු කැටයක් එක්ක ගෙනැත් දුන්නු කහට කෝප්පෙ මං අතට ගත්තෙ හීංසැරේ හඳුනයියා දිහත් බලන ගමන්. "දැං හූල්ලලා මුනා කරන්ඩ..? උඹ හිත හදගන්ට ඕන .. අම්මා වගේ දහිරියවන්ත ගෑනියෙක් වෙන්ට බලාපන්..නැද්ද හඳුනෝ.." යසා නැන්ද එහෙම කිව්වට හොරු අරං ගියා වගේ අම්ම නැතුං කොහේ හිත හදාගන්ට ද? හැම එකාගෙම කරදරේකදි ලෙඩකදි දුකකදි දුවල පැනල පිහිට වුනේ මයෙ අම්මා. අප්පුච්චට වඩා අම්ම වයසින් හුඟක් ලාබාලයි. නිතර දෙවේලෙ ලෙඩවෙන අප්පුච්චට වාරුවක් උනෙත් අම්ම විච්ච කොට.. මයෙ හිත මහා ගින්දරකින් ඇවිළෙන්න වගේ. දුක වැඩිකමට කඳුළුත් ගල්වෙලා. හත්දොහේ දානෙ , පිරිසිදුවට පුළුවන් උපරිමයෙන් සූදානම් කරල ගමේ පංසලට පූජ කරායින් පස්සෙ යාන්තං මයෙ හිතට සැනසිල්ලක් දැනුනා . ඒත් මඩ ගොහොරෙ හින්ද හාමුදුරුවරු ගෙට වඩම්මවල දාන දෙන්ට බැරිවුන එක ගැන අප්පුච්ච නං උන්නෙ තෝන්තුවෙන් . කොහොමත් අපෙ අම්මගෙ මරණෙන් පස්සෙ අප්පුච්චා කා එක්ක වත් වැඩි කතා බහක් නෑ. එළිපත්තෙ ගිනි මැලයක් ගහගෙන තුවායත් ඉහ ඉඳන් පොරෝගෙන ගිනි තපිනව ඇරෙන්ට උන්දැ කාවවත් මුලිච්චි වෙන්ටවත් මනාප වුනේ නෑ. වචනයක් දෙකක් හරි කතා කරොත් ඒ හඳුනයිය එක්කලයි කිරා එක්කලයි විතරයි . අම්මගෙ මරණෙත් එක්කල විඩින් විඩේ පොලෝසි මහත්තුරු ...තව කළුපාට බාච්චුවක් ඇඳගත්තු මහත්තයෙක් එක්ක ඇල්ල දිහාවෙ ඇවිත් සුද්දගෙ බාසාවෙන් මොන මොනවදෝ කතා කරකර ලියාගත්තා. අප්පුච්චට නං යක්සාවේස වෙලා උන්නෙ. තුවාලේ ඇදුංකන වේදනාව තියෙන්නේ තුවාලකාරයට මිසක්කා වෙන කාටවත් නෙවෙයිනේ ... ? ඒත් ඒ තුවාලේ ආයි ආයිත් පාරනකොට දැනෙන වේදනාව කොච්චරක්ද? ඔය පොලෝසි මහත්තුරු එකම පුරස්නෙ කී වතාවක් නං අහනවද? මරනෙ ගැන හැකයිද හැකයිද කියල අපෙන් අහනවා..උත්තර බැඳල අපිටත් ඇති වෙලා .අන්තිමේදී මොකක්දෝ ලියමනකට මගෙයි අප්පුච්ච ගෙයි ඇඟිලි අස්සන ගත්තා තීන්ත පෙට්ටියකට මාපටැඟිල්ල තියල තද කරල... ඒකෙන් වත් අහවරක් වුනොත් හොඳයි මයෙ අම්මට මැරිලවත් නිදහසක් නැතිවෙයි නැත්තන් ... ඔහොම ටික දොහක් ගතවුනා. හඳුනයියත් ගම ගිහින්.මං කර උස්සල පාර දිහා බැලුවෙ හඳුනයිය ගම ගොහිං කලක් ගතවෙලත් තාමත් නාවෙ මොකද කියල . මොනාවුනත් අම්ම නැති වුනයින් පස්සෙ මොනා කරන්ටද කියල මට තාමත් ඒ හැටි නිනව්වක් නෑ. හයියට ඉන්නෙ හඳුනයිය විතරයි හින්ද ටික දොහක් පේන්ට නැති කොට මයෙ හිතට හරි නෑ.ඒත් ඒක සහෝදර බැඳීමක් විනක්කා වෙන දෙයක් ගැන හිතන්ට මට බොහොම අමාරු වුනා . "හප්පා... හරි මහන්සියි. සේරම විපත් ටික කොරලා අහකලා දැන් ඔන්න පිච්චෙන්ඩම පායනවා..." හඳුනයියා ගෙනාපු ගෝනිය කරෙන් අහක් කරල සුම්බරේ ගලවල පවන් ගහගත්තා. අප්පුච්චා හෙවණෙ බූරු ඇඳ එළාගෙන බුදියං හිටියේ. හඳුනයිය ඇවිත් වග දැනගෙන විගහින් මිදුලට ඇවිත් .උන්දැගෙ මූණේ හීං හිනාවක් ඇඳෙන්නේ හඳුනයිය එනදාට. සුරුට්ටු මිටියයි බුලත් දුංකොළ මල්ලයි නොවරද්දාම ගේන වග දන්න හින්දා . මං හදාපු හැලප ටික උණුවෙන් වට්ටියක දාල තුන් දෙනාටම කහට වතුර වක්කරා. හැලප හැදුවේම අද හඳුනයියා එන වග මට ඉන්තේරුවෙන්ම දැනිච්ච හන්දා . "උඹල අර සුද්දගෙ පිටි වලින් මක්කවත් කරේ නෑ...? " "අනේ අයියා . එව්ව කිරිමැටි වාගෙ අතේ ඇලෙනවා නෙව.තෙල් උලාගෙනත් රොටියක් හදාගන්ට බෑ . එව්වා සමාගං කඩේටත් ගෙනල්ල විකුණනවලු. ඔය සුද්දයෙ කෑම හදන්ට ගෙනාව එව්ව නෙව අයියා . " "අපෙ අම්මත් ඕං පැත්තකට කරල තීනවා. ඒත් නඟා සිදාදියේ ඇත්තන්ට දැන් ඔය සුද්දගෙ පිටි නැතුං බැරිලු. යුද්ධ කාලෙ නැව් පිටින්ලු මෙහාට ගොඩබෑව කියන්නේ..." "ඒත් අයියා අප්පුච්චට නං ඒවයින් පුච්චපු රොටී කන්ට මනාපයක් නෑ. බඩ විරේක වෙන්නැහේ කියල . දූවිල්ල වාගෙනෙ. ඒත් විස්කෝතු නං හරි රහයිලු. රාමනායක බංගලාවෙ ඇත්තො ටින් වල දාල කනව කියන්නෙ..." "අනේ උන්නෙ විත්තියක් අපිට මොකෑ බං. උඹලෑ අම්ම ඉන්නකාලෙ කඹුරාපු තරමක්. කෝ... මෙච්චර විපත්තියක් වුනා .එකෙක් ආවද... මං නං යන් නෑ.ඕකුන්ගෙ මොන එහෙකටවත්..මනුස්සකමක් නැති එවුවෝ." අප්පුච්චා කියන කතාව ඇත්ත කියල මටත් හිතුනේ රාමනායක බංගලාවෙන් කියල එක්කෙනෙක් වත් මළගෙයි පැත්තෙ අඩිය ගැහැව්වෙ නැති නිසා. ඒත් ඉතින් දියයට හැංගිච්ච රබර් බෝලෙ වගේ සුදු ඇත්තො තිස්සෙම හිතේ හොල්මන් කරන විත්තිය හංගාන උන්නට මං ඒ හිතිවිල්ලෙන් මැරි මැරී උපදිනව. ආකාසෙ බැලුවත් හඳ පායපු දාට මහ විසාලෙට රිදී පාටින් දිලිහෙන හඳ දකිද්දී ඒ ඇත්තොමයි මතක් වෙන්නෙ.ඒ හඳ ගාවින් ටිකක් ඈතට වෙන්ට බලා ඉන්න පහන් තරුව මං වගේ කියල හිතෙනවා . වැහැල වැහැල ඉර පායද්දි මට හිතෙන්නෙත් ඒකමයි. ඉරු දෙයියන්නෙ අගේ දැනෙන්නෙ අව් රැල්ලක් ඇහැට දකින්ට නැතිවෙන කොට නෙව. ඒ වගේ අගේ කර කර තමයි ඒ ඇත්තොත් පේන්ට එන්නේ. මට ඒ රුව ආයිත් වතාවක් දකින්න ඇතිවුනේ පුදුම ආසාවක් . ඒත් ඉතින් එව්ව ඉටුවෙන හීන නෙවෙයිනේ කියල මට හිතුනා රාමනායක බංගලාවෙ අමතක කරන්ට බැරි එකම එක්කෙනා ඉතින් සුදු මහත්තයාම තමයි ...! මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි )මං අයියව අන්තිමට දැක්කෙ මීට අවුරුදු අටකට කලින් .. හරියටම මන් ඒලෙවල් ලියලා ගෙදර එනකොට අයියා ගෙදරින් පිට වෙලා ගියා..මට තාම මතකයි කලු පාට ඩෙනිමට එයා ලග තිබුන මන් ආසම නැති කොලපාට ශර්ට් එක ඇදලා තිබුනේ. මන් ඒකට කොච්චර අකමැතිද කියනවනම් ඒක අඳින්න එපා කියලා මන් අනන්තවත් කියලා ඇති එයාට .. එයා ගෙදරින් යනකොට කොහෙද යන්නෙ කියලා අහන පුරුද්දක් මටවත්, අම්මටවත් තිබ්බෙ නැ.. අවුරුදු විසි පහක කොල්ලෙක්ගෙන් කොහෙද යන්නෙ කියලා අහන එකම හරි විකාරයි වගේනෙ. එයා කොහේ ගියත් රැ දහය පහු වෙන්න කලින් ගෙදර ආවා. මොන වැඩේ තිබුනත් මනුස්සයා නැති ගෑනියෙකුයි, තාත්තා නැති කෙල්ලෙකුයි ගෙදර නේද කියන එක එයාට මතක තිබුනා.. අයියා නැති වෙන්න අවුරුදු දෙකකට කලින්, තාත්තා නැති උනේ මහ ගෙදර පොල් ගහෙන් වැටිලා.. ________ කන්න බොන්න ඉන්න එහෙම අඩුපාඩුවක් නොතිබ්බට, මහ ගෙදර ගිය වෙලාවට ඉස්සරහ ගහේ පොල් ටික කඩලා විකුනන පුරුද්දක් තාත්තට තිබුනා.. ඒ ගහ අපිටමයි කියලා ආත්තාම්මාම වෙන් කරලමයි තිබුනෙ. අපි නොකැඩුවොත් වේලිලා ගඟට වැටෙනකම් කවුරුත් පොල් කඩන්නෙ නැ ඒ ගහේ.. ඉතින් මාස තුනකට සැරයක් විතර තාත්තා ඔය ගඟට බර වෙච්ච පොල් ගහට නැගලා පොල් කැඩුවා.. කොල්ලා කාලෙ ගස් බඩගාලා හොඳ පුරුද්දක් තිබ්බ තාත්තා ගහට තප්පර පහට නැගල ඉවරයි..වලල්ලක් දානවා මන් දැකලම නැ .. මීට අවුරුදු දෙකකට කලින් දෙසැම්බර් විසි පහත් තාත්තා පොල් ගහට නැග්ගා. ඒ මාස පහකට පස්සෙ .. වලු හතරක් විතර කරකුට්ටන් වෙන්න වේලිලා , ගඟටත් පහ, හයක්ම වැටිලා පාවෙලා ගියාම තමයි තාත්තට පොල් කඩන්න මතක් උනේ.. පොල් ගහ තියෙන්නෙ පහල.. මහ ගේ තිබුනෙ කන්ඩිය උඩට වෙන්න. පොල් ගහේ මැදක් හරිය ගෙදර මිදුලට සමාන්තරවයි තිබුනේ.. මම හිටියෙ මිදුලෙ.. පොල් අහුලන්න පහලට එන්නය කියලා අම්මා දෙතුන් පාරක් කතා කරත් මට කම්මැලි හිතුනා.. මන් ලොවි ගහ යට තියෙන ලෑලි බංකුවට වෙලා හිටියේ.. තාත්තා සමරට යටින් අම්මා ගෙනත් දීපු කලිසමත් ඇදගෙන සරමත් කැහිපොටේ ගහගන්නවා මන් බලාගෙන. ඒ හීන්දෑරි දිග කකුල් වලට පොල් ගස් නෙවෙයි හැර නැතුව තල් , කිතුල් පවා හුරුයි. පුරුදු විදියට තාත්තා පොල් ගහේ යට හරියෙන් බදාගෙන ඒ පිම්මෙන්ම මැදක් වෙනකම් නැග ගත්තා තප්පර පහක් හති අරින්න ඇති ආයෙම නැවතුනේ පොල් වල්ල ඔලුවෙ ගෑවෙන නොගෑවෙන ගානෙන්.. වෙනදට ගහට නැග්ග දඩි බිඩියෙ පොල් ටික බිම දාන්නෙ අම්මාවත් කෑ ගස්සන ගමන්.. ඒ පොල් කඩන කැඩිල්ලට ගෙඩි පහක් හයක් නම් ගඟටම තමයි .තප්පර දහයක් විතර තාත්තා එහෙමම හිටියා. ඊට පස්සෙ ටික ටික රූටන්න පටන් ගත්ත පහලට.. තාත්තා වැටෙනවා නේද ගහෙන් කියන එක මගෙ පියවි සිහියට ආවෙ ආච්චිඅම්මාගෙ කෑ ගැහිල්ලෙන්.. මම බංකුව උඩින් පිම්මක් පැනලා ගහ ගාවට යන්න කොච්චර වෙලාවක් යන්න ඇතිද කියන්න වත් මට මතක නැ.. ඒ යද්දිත් තාත්තා ගහ මුලටම රූටලා ඇවිත් තිබුනා.. එදා ඉදන් මේ ලෝකෙ හැල හොල්මනක් නැතුව කරාපිටියෙ දැඩිසත්කාරෙ ඇඳකට වෙලා හිටපු තාත්තා හරියටම තිස් එක් වෙනිදා නමයයි ගානකට යන්නම ගියා... එදා ඉදන් අයියා තාත්තා උනා . මාව ස්කෝලෙ යැව්වා.. ඉඩමෙ දලු ටික කැඩෙව්වා ගමේ දේවල් හොයලා බැලුවා ගෙදර වියදම් බැලුවා.. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ අයියට ඇටෙන්ඩන් කමක් දුන්නෙ රෑට රෑට පෝස්ටර් අල්වන්නයි වෙන අපේක්ශකයන්ගෙ කටවුට් කපන්නයි ගිහින් තිබ්බ නිසා .. ඉස්සර තාත්තා ගෙදර වැඩිපුරම රන්ඩු උනෙත් ඔන්න ඔය කාරනේ නිසාමයි.. අයියා තුන් වේලට බත් කනවට වඩා විටකෑවා කහට වලින් වැහිච්ච නැති දතක් හොයාගන්න තිබ්බෙ නැ .. නිවාඩු දවසට දලු කඩලා ඇගිලි පැලිලා ඒවගෙ කහට බැදිලා තිබුනේ.. එයාට ගෑණු ළමයෙක් හිටිය.. "මහ සංකර කෙල්ලෙක්.." අපෙ අම්මා නම් ඒ ළමයව මතක් කරන පාරක් ඇත්තම් කිව්වෙ එහෙම . ____________ ඒ අවුරුදු අටක් වෙනතුරුත් අයියා ගෙදර ආවෙ නැ. ලංකාවෙ පොලිස් ස්තාන 456ක් තියෙනවා. අපිට යන්න බැරි උනේ සීයකට වගේ.. දේවාල නම් සීයකටවත් යන්න ඇති.. පොල් ගහපු ගාන මතකවත් නෑ.. සොයා දෙන්න කියලා ෆොටෝ එකත් එක්ක කොල විසි දාහක් ප්‍රින්ට් කරා.. අන්ජනන් එලිම පනහකට වඩා බැලුවා. තිස්තුන් කෝටියක් දෙය්යන්ගෙන් උදේ හවා අයියව ඉල්ලුවා . ____________ දැන් මට විසි හතයි අද තමයි මන් තනියම පෙනී ඉන්න මගෙ පලවෙනි නඩුවේ අවසාන දවස. විනිසුරු : යුශ්මතිය.. ඔබට මිනී මැරීමට තැත් කිරිමක් හා මිනී මැරීමක්
පිළිබදව චෝදනා එල්ල වෙනවා ඔබ එය පිලි ගන්නවද.. විත්තිකරු : පිලි ගන්නවා ස්වාමීනි (අඬමින්) විනිසුරු : පැමිනිල්ලෙ නීතිඥ සිද්දිය විස්තර කරන්න.. : මියගිය පුද්ගලයා නිවසින් පිට වෙන්නෙ හවස හතරට . මුදල් පසුම්බිය , හැදුනුම්පත , ATM කාඩ් පත පවා ගෙදර තියලා එන්නෙ දුරකට යන්නෙ නැති නිසා . විත්තිකරු විසින් හවස හතරයි අටට දුරකථන ඇමතුමක් අරන් තියෙනව ස්වාමීනි... ඒ ඇමතුම මිනිත්තු දෙකකින් ඉවර වෙලා තියෙනවා. "මියගිය පුද්ගලයා ගියා විත්තිකාර පාර්ශවය හමු වීමට බව මගදී හමු වු යහලුවෙකුට කිව් බවත් ඒ පුද්ගලයා පසුගිය නඩුවාරයේ සාක්ශිකරුවකු ලෙස පැමිණි බවත් සදහන් කල යුතුයි. මියගිය පුද්ගලයා හවස හතරයි හතලිස් පහත් - පහත් අතර වේලාවක මැදගම බස් නැවතුම වෙත ගිහින් තියෙනවා.. ඒ බවට අසල තිබුනු cctv කැමරාවක සාක්ශි මා සතුයි ... විනාඩි පහලවකට පසු නැවත ඔහු පිටව ගොස් තියෙනවා සහ නැවත ඔහුට විත්තිකාරිනියගේ නමින් ගනු ලැබූ තවත් සිම් පතකින් ඇමතුමක් ලැබී තියෙනවා. මගෙ නිගමනය ඇය ඇමතුමක් දී නිවසට එන ලෙස ඇරයුම් කල බව..එය සත්‍යක් බය මැයගේම පරස්පර කටෞත්තරයේදි ඔප්පු උනා..එම කට උත්තරයේද පිටපතක් මා සතුයි.. මියගිය පුද්ගලයා අවසන වරට පැලද සිටි මුදුවක් ඇයගේ වැඩිමහල් සහෝදරයා නමින් උගස් බැන්කුවක තියා ඇති අතර ඒ සාක්ශිද මා සතුයි.. විත්තිකරු එතැන් සිට කතාව සම්පූර්ණ කරාවි ස්වාමීණී. විත්තිකරු : ( අඬමින් ) මට සමාවෙන්න ස්වාමීණි. එයාව මට ගැලපෙන්නෙ නැ මන් කොච්චර නවත්තන්න හැදුවත් එයා තේරුම් ගත්තෙත් නැ. ඉතින් මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. හඃ හඃ (මද වේලාවකට පසු) මන් එයාට ගෙදරට එන්න කිව්වා.. අපෙ ගෙදර තියෙන්නෙ රබර් වත්තක් මැද්දක..පේන මානයක කවුරුත් නැ . කවුරු ඇවිත් ගියත් දකින්නෙ නැ.. මං හිතුවෙ එයාව අතෑරියොත් එයා මට නිදහසෙ ඉන්න දෙන එකක් නැ කියලා .. මම නිදිපෙති දාලා තේ එකක් හැදුවා.. ඒ නිදි පෙති මට එයාටම කියලා ඉස්පිරිතාලයෙන් ගෙන්න ගත්තුවා..මට නින්ද යන්නෙ නැ කිව්වම එයාමයි මට ගෙනත් දුන්නෙ.. එයාට නින්ද ගියාමයි මන් එයාගෙ බෙල්ල කැපුවේ. ඒ පිහිය මං රබර් ගහක්‍ යට වැලලුවා.. ඊට පස්සෙ තමයි මිනිය වැලලුවේ. මැරිලා පැය තුනකට විතර පස්සෙ.. මන් විල්බැරෝවෙ දාලා ඊට උඩින් ඉටි කොලයක් දාලයි අරගෙන ගියේ... ඇය උමතුවෙන් වගේ කියවාගෙන යනවා ටිකක් අඩනවා හයියෙන් හූල්ලනවා ආයෙත් කියනවා ___________ උසවියෙන් එලියට එන විටම දුරකථනය නාදවුනා. හඩ අනුව එය එසැණ පනිවිඩයක්.... එසැණ : පසුගිය සෙනසුරාදා මැදගම රබර් වත්තක වල දමා තිබී ගොඩ ගත් වසර අටකට පෙර ගෙල කපා ඝාතනය කොට තිබූ, එවකට විසි පස් හැවරිදි තරුණයාගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්විය. වරදකරු වූ විසි නම හැවිරිදි තරුණියට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය.. පුතා හම්බ නොවුනට , දැන් අම්මට පුතා කවදහරි එනවනෙ කියලා පිච්චි පිච්චි ඇස් කෙවෙනි ගෙවෙනකන් බලන් ඉන්න ඕනි නැ....මං පොඩි කාලෙ කොල්ලන් සහ කෙල්ලන් අතර තියෙන වෙනස්කම් ගැන කල්පනා කරනවා. කෙල්ලො අපි වගේ ගස් ගල් වල බඩගාන්න කැමති නැහැ. රස්තියාදු ගහන්නෙත් නැහැ. කොණ්ඩෙ වේළෙන්න වෙලා යන නිසා හැමදාම නාන්නෙත් නැහැ. පුටුවක ඉඳගත්තත් පස්ස අතගාලා ඉඳගන්නේ. ඒ විතරක්යැ කටේ සැර. පණ්ඩිතකම ඉහටත් උඩින්. අපිට වඩා ඉගෙන ගන්නත් පුළුවන්. අපිට නම් ටීචර් කෙනෙක් දෙයක් එපා කිව්වාම ඒක කරන්නමයි හිතෙන්නේ. කෙල්ලන්ගෙ වැඩේම ටීචර්ලට කේලම් කියන එක. අපිත් එක්කම කොළු වැඩ කරපු කෙල්ලොත් හිටියෙ නැතුවාම නෙමේ. කෙල්ලො කොච්චර අපිට වඩා වෙනස් වුණත් කෙල්ලෙක් එක්ක කතා කර කර ඉද්දි, පන්තියෙ කෙල්ලෙක් ළඟ වාඩි වෙලා ඉද්දි විශේෂ හැඟීමක් දැනුණා. පහ වසරෙන් පස්සෙ මං පිරිමි පාසලකට ගියාට පස්සේ කෙල්ලො ගැන තිබ්බ ඒ විශේෂ හැඟීම වැඩි වුණා. ගැහැණු ළමයෙක් වැඩිවියට පැමිණුනාට පස්සෙ මුහුණ දෙන්න වෙන මාසික චක්‍රයක් ගැන අට වසරෙ සෞඛ්‍ය පාඩමක තිබුණා. විද්‍යාව උගන්නපු සර් තමයි කිව්වේ දරුවෙක්ව බිහි කරද්දි අම්මා කෙනෙක්ට දැනෙන වේදනාව කොච්චරද කියලා. මං කල්පනා කළේ කොල්ලෙක් වෙලා ඉපදුණු නිසා ඒ වගේ දුක් ගැහැට උරුම නැහැ නේද කියලයි. ඉස්කෝලෙ යන කාලෙ මං අඩුවෙන්ම කළේ ඉගෙන ගන්න එක. අන්තිම පේළියට වෙලා ඉසුරුවත් එක්ක කයියක් ගහනවා තරම්, බිම බඩගාගෙන ගිහින් අචින්තයගෙ සපත්තු දෙකේ ලේස් එකට ගැටගහනවා තරම්, සමහර විට ලේස් එක ගලවද්දි ඌට වැඩේ මාට්ටු වෙලා ඌ අස්සයෙක් වගේ මට පයින් ගැහුවට පස්සෙ රබර් පටියක් අරන් උගෙ ප්‍රශ්චාත් බාගෙට විදිනවා තරම්, ගණන් උගන්නපු උස මහත ගයනි මිස්ගෙ ඇස් වලට වැලි ගහලා පොඩි ඇලට් එකක් දානවා තරම්, සිතියම් පොත අරගෙන ඒකෙ තියෙන රටවල් බලලා මැගලන් වගේ ඒවට යන්න තියේ නම් කොච්චර හොඳද කියලා කල්පනා කරනවා තරම් ඉගෙනීම මට සෙට් වෙලා නැහැ. සමාධි එකේ ෆිසික්ස් උගන්නපු පුස්සැල්ල සර්ට හොඳට දුර පේනවා. ළමයින්ට ඈනුම් අරින්න තහනම්. පන්තියෙ ඈත කෙළවරේ ඉන්න ළමයෙක් මොකක් හරි කළොත් ඒකත් හොඳට පේනවා. සර් තාමත් දන්නෙ නැතුව ඇති ඉන්ටවල් එකට පස්සෙ බඩ පැලෙන්න කාලා බංකුව යට පත්තර කෑල්ලක් එලාගෙන මං පැයක දෙකක පොඩි නින්ඳක් දැම්මා කියලා. ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ මගෙ යාළුවො විශ්ව විද්‍යාල වලට ගියා. සෙකන්ඩ් ශයි එකෙන් පස්සෙ මං ඉගෙනීම අත් ඇරලා රස්සාවක් කරන්න පටන් ගත්තා. කැම්පස් ගිය මගෙ යාළුවන්ටත් තිබුණු සල්ලි හොයන බලාපොරොත්තුවම තමයි මටත් තිබුණේ. සල්ලි හම්බකරලා ස්ථාවරයකට ඇවිල්ලා ලොකු ගෙයක් දොරක් හදාගෙන හොඳ පෙළවහක් කරගෙන දරු මල්ලො හදාගෙන ජීවිතේ අන්තිම කාලෙ සතුටින් ඉන්න ඕනෙ කියලා තමයි ගුරුවරු අපිට ඉගැන්නුවේ. අසනීප වුණාට පස්සෙ තාත්තා අම්මට කිව්වෙ නම් " මැරෙන්න කලින් මට මුණුබුරෙක්ගෙ මූණ දැක ගන්න තිබ්බොත් ඇති " කියලයි. ශුක්‍ර තරලය නිදහස් කරන එක ඒ තරම් ලොකු වැඩක් නොවුණත් නර්ස් ළමයව අතට දුන්නාම හිතට ලොකු වගකීමක් දැනෙනවා. රස්සාවට ගියාම පොඩි එකාගෙ මූණ මතක් වෙද්දි වෙලාව යන්නේ නැහැ. ආපහු ගෙදර ආවම පොඩ්ඩගෙ මූණ දැක්කාම වෙහෙස නිවෙන එක ඇත්ත. ඒත් උදේට වැඩට යන්න හිත දෙන්නේ නැහැ. වියදම එන්න එන්න වැඩි වුණාට ඒකට සමානුපාතිකව පඩිය වැඩි වෙන්නේ නැති නිසා සමහර විට පරණ ඇඳුම් අවුරුදු කීපයක් අඳින්න වෙනවා. පුතාට සෙල්ලම් කරන්න නංඟි කෙනෙක්, අක්කගෙ හයියට මල්ලි කෙනෙක් එහෙම හිටියා නම් හොඳයි නේද කියලා නෝනා ඇහුවාම ඒකට බෑ කියන්න පුළුවනෑ. දරුවො වැඩි වෙන්න වෙන්න කැපකිරීම් වැඩි වෙනවා. කන්න ආස කෑම ජාති කොච්චර තිබුණත්, ඉස්සර වගේ හවසට යාළුවො එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න ආස හිතුණත්, ඒ ආසාවල් යටපත් කර ගන්න සිද්ධ වෙනවා. ළමයි කාලා බීලද, ඉස්කෝලෙ ගිහින් පරිස්සමට ගෙදර ඇවිල්ලද, ගෙදරට හොරෙක් හතුරෙක් පැනලද කියලා කල්පනා කරද්දි රස්සාවෙ තියෙන පීඩනය තව තවත් වැඩි වෙනවා. තමන් ඉගෙන ගත්තේ නැති වුණත් ළමයින්ව ලොකු ඉස්කෝලෙකට යවලා උගන්නන්න හිතෙනවා. වියදම් කරලා උගන්නලා උන් ඉගෙන ගත්තේ නැති වුණාම හුඟක් කේන්ති යනවා. හවසට වැඩ ඇරිලා ගෙදර ආවාම ළමයින්ගෙ අම්මා උන් කරපු වැරදි කිව්වාම බොහොම රළු විදියට බැනලා කෝටුවක් කඩාගෙන පළු යනකම් ගහන්න හිතෙනවා. උන්ට කෝටු පාර වැදිලා හොඳටම රිදිලා අඬලා අඬලා නිඳාගත්තාම හොරෙන් ගිහින් උන්ගෙ ඔළු අතගාලා අඬන්න හිතෙනවා. කරදඬු උස් මහත් වෙලා සල්ලි ටිකක් අතගාද්දි තමන්ගෙ වචනෙ තුට්ටුවකට මායිම් නොකළාම පොඩි කාලෙ විදියට ගහලා හදන්න හිතෙනවා. ඒ වෙලාවට උන් තමන්ට ගහන්න අත ඉස්සුවොත් හොඳටම හිත රිදෙනවා. සමාජෙ ආශ්‍රය කරලා හොඳ නරක ඉගෙන ගෙන හොඳ තැනක ඉද්දි උගුලෙන් නැත්නම් හබකෙන් හරි වැඩේ වුණා නේද කියලා පොඩි ආඩම්බරයකුත් නොදැනෙනවාම නෙමෙයි. ළමයින්ට ගැහුවට උන්ගෙ ළමයින්ට ගහන්න හිතෙන්නෙ නැති නිසා " සීයා තමයි මෙයාලව නරක් කරන්නේ " කියලා අහගන්නත් වෙනවා. එක බඩවැල කඩන් ආපු එවුන් බිම් අඟලට මරාගද්දි, අනිත් එවුන් හොඳ තැන්වල ඉන්නකොට එකෙක් විතරක් අයාලෙ ගිහින් විනාස වෙද්දි, " මහ ගේ ලිව්වෙ අරයටනෙ, ඒ නිසා එයාටම කියලා බලාගන්න " කියලා අහද්දි දුක හිතෙනවා. සැඳෑ සමය විවේකීව ගත කරන්න කියලා රස්සාවෙන් විශ්‍රාම යැව්වත් ඒ කාලය දරුවන්ගෙ දරුවන්ට කැප කරන්න හිතෙනවා. විශ්‍රාම වැටුප හම්බෙන දවසෙ අනිවාර්යයෙන්ම තමන්ව බලන්න ආවත් අනිත් දවස් වලට නෑවිත් ඉන්න නිසා ලොකු තනිකමක් දැනෙනවා. කම්බයින්ඩ් මැත්ස් උගන්නපු සඳගම සර් නම් කිව්වෙ ඒ තනිකම වටේ කොච්චර කට්ටිය හිටියත් විභාග ශාලාවෙ දැනෙන තනිකමට සමාන වෙනවා කියලයි. හොඳට ඉගෙන ගත්තත්, හොඳ රටක පදිංචියට ගියත්, වියදමට ඇති තරම් සල්ලි එව්වත් ළඟ නැත්නම් දුක හිතෙනවා. හොඳටම වයසට ගිහින් යන්න ඔන්න මෙන්න කියලා ලෙඩ ඇඳේ වැතිරිලා ඉන්නකොට අනිත් හැම එකාම හිටියත් සෑහෙන කාලෙකින් බලන්න ආපු නැති එකාගෙ මූණ දකිනකම්ම හුස්ම ඇද ඇද ඉන්න හිතෙනවා. මේ වෙද්දි නැව මලක්කා මුහුදේ යන ගමන්. මං උඩම ඩෙක් එකට නැඟලා මුහුද දිහා බලාගෙන ඉන්නවා. පිටතින් පේනවට වඩා මුහුද හුඟක් ගැඹුරුයි. තමන්ගෙ තරම කොච්චරද, තමන් මොනවා හංඟගෙන ඉන්නවද කියලා දන්නෙ මුහුද විතරමයි. හරියට තාත්තගෙ ආදරේ වගේ. අපේ තාත්තට මුණුබුරෙක්ගෙ මූණ බලන්න බැරි වුණා. එච්චර කැපකිරීමක් කරන්න මගෙ හිත හයිය නැහැ. මේ නිදහස් තනිකඩ ජීවිතය මට සැපක්.තනියට හිටි සුද්දි .... මා අසූ ගනන් වල මුල පළමු ගුරු පත්වීම අරනි වැඩ බාර ගත්තෙ මොණරාගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසලක. ඒක පිහිටල තිබුනෙ සුන්දර මරගල කඳු වනාන්තරයේ නැගෙණහිර බෑවුමට වෙන්න . වටේටම කැලේ. පාසල තිබුනෙ ගමෙන් තනිවුන ලස්සන නිදහස් තැනක. පාසලට යාබද ගුරු නිවාසයේ පිහිටි චමරියේ දකුණු පළාතෙන් ආපු සර්ල කණ්ඩායමක් එක්ක මාත් නතර වුනා. අපි උයාගෙන කාල බොහොම කටුසර විදියට ජීවත්වුනා. ඒ වගේම මුළු කාලයම ගතවුනේ පාසලට. නිවාඩුවක් එනතුරු කවුරුත් ගමේ යන්නෙ නෑ. ගමේ යන එක අද වගේ ලේසිත් නෑ. හවස් වෙන කොට පාසලම පාළුයි. අපිට පාළු කපන්න ගමේ බල්ලො රංචුවක්ම එනව. ඉස්සරහ කැලේට වෙල හැංගිල ඉන්න බලු නඩය පාසලේ අවසාන බෙල් එක ගහන විටම එන්න පටන් ගන්නවා. ළමයි ගල් මුල් වලින් ගහන නිසා ඔවුන් යනකන් හැංගිල ඉන්
නවා. අපේ චමරියෙ මැනේජර් සර් බල්ලන්ට පුදුම ලවක් තිබුනෙ. ලවක් දෙවක් නැතුව බල්ලන්ටත් එක්ක තමයි ඔහු බත් උයන්නෙ. කාල ඉතිරි වන කෑම බල්ලන්ට සමසේ බෙදල දෙනවා. ඒ කාලෙ පාසල් වල ඇදිහැස බිස්කට් තිබුනා. කල් ඉකුත්වෙල විනාශ කරන්න නියමිත බිස්කට් පෙට්ටි තිබුනොත් ඒව ලොකු සර්ගෙන් ඉල්ලගන්නවා. හවස තේ වෙලාවට බල්ලන්ට අතුරු පසට ඒ බිස්කට් දෙනවා. උන් ඒවා පොර කකා කන්නෙ. බල්ලො රංචුව හවස සිටම පාසල මුර කරනවා. රෑට වන සිවුපාවන්ගෙන් අපව ආරක්ෂා කරනව. දවසක් ක්‍රීඩා පිට්ටනිය මැද්දෙ බල්ලො රංචුව එක්ක වෙනස් සතෙක් ඉන්නව දැක්ක. බල්ලො ටික මැදි කරන් හිටියෙ මුවෙක්ව. ඌ කැලෙන් පාසල් වත්තට ඇවිත්. අපේ සාමකාමී බලු හමුදාව ආපදාවක් නොකර ඌව ආදරෙන් පිලිඅරගෙන. අපිත් සද්ද නොකර මේ බලු මුව ලව් එක බලන් හිටියා. දැන් මුවා හැමදාම පිට්ටනියට එනවා. නුහුරු සද්දයක් ඇහුන ගමන් ඉස්සරහ කැලේට දුවල හැංගෙනවා. ටික දිනකට පස්සෙ බල්ලො ටික මේ මුවාව තේ ටයිම් එකට අපේ චමරියට කැන්දන් ආව. අපි බල්ලන්ට බිස්කට් දෙන ගමන් මේ මුවාටත් දුන්න. ඌට ඒව කන්න බැහැ හිර වෙනවා. ඒ පාර සර් කෙනෙක් වතුර භාජනේකට බිස්කට් දාල පොඟවල දුන්නම කන්න පටන් ගත්තා. කන්න දුන්නට පස්සෙ දැන් උගේ කෝඩුකාර කම ගිහින් අපිට බය නැතිවම ලං වෙන්න පටන් ගත්තා. ලඟට ආවම තමයි දැක්කේ මෙයා මුවෙක් නෙමේ මුව නෑම්බියක් කියලා. ඉතාම යොවුන් වියේ ලස්සන මුවැත්තියක්. අපිත් මෙයාව යාළු කරගන්න ලුනු, සීනි, උක් හකුරු වගේ ජාතිත් පලතුරුත් දුන්නා. චොකලට් විතරයි දෙන්න බැරිවුනේ. දැන් මේ වනන්තරේ පාළු මකන්න අපිට රුවැති මුවැත්තියක් ඉන්නවා. අපි ඇයට සුද්දි කියල නමකුත් දැම්මා. කාලයක්‍ යද්දි ඒ නම කිව්වම අපි ලඟට එන්න තරම් ඇය හීලෑ වුනා. පාසල පටන් ගන්න වෙලාව හා වසන වෙලාව ඇය හොඳට දැනන් හිටියා. පාසල පටන් ගන්න පෙර අපි දෙන කෑම කාල බල්ලො රංචුවත් එක්කම වනගත වෙනවා. ආයි පාසල වසන වෙලාවට බල්ලො එක්කම වනයෙන් මතු වෙනවා. මේ සත්තු පාසල් ළමයිට මාර බයයි. පාසල් කාලය තුළ කැලේට වෙල හැංගිල ඉන්නවා. හවසට සුද්දි අපේ පස්සෙන් වැටෙනවා. අපි දෙන ඕන දෙයක් කනවා. බත් කන්නත් පුරුදු වුනා. අපේ චමරියටත් ගොඩවෙනවා. සිමෙන්ති පොලොවෙ ඇවිදින්නෙ හයි හීල්ස් දාපු නෝනෙක් වගේ කැට් වෝක් එකෙන්. බලන්න ලස්සනයි ටික් ටොක් ගාන සද්දෙන් පද්දල ගස්සල යන අපූරුව. දැන් සුද්දිට අපිවත් අපිට සුද්දිවත් නැතුවම බැහැ. හවසට තේවෙලාවට ඇවිත් ඇස් බෝල ලොකු කරන් අපේ ඇස් දිහාම බලන් ඉන්නෙ ගිනි කණා වැටුන ගානට. හරියට අපි උගන්වන පන්තිවල සමහර නාඹර කෙල්ලො එක එල්ලෙ අපේ ඇස් දිහා බලනව වගේ. ඒක හරි අපහසුතාවයට පත් කරන බැල්මක්. මුවෙක් ඇස් දෙනව කියන්නෙ ඒකට වෙන්න ඇති. ඒ ඉතින් අපෙන් කෑම ඉල්ලනවා. අපිත් බිස්කට් පොඟවලා ඒකිගෙ කෑම පිපාසෙ සංසිඳවනවා. සුද්දි අප සමඟ පස්සෙන් වැටිල ගම පුරා ඇවිදින්න හුරු වුනා. ගමේ මිනිස්සුත් මෙයාට අරියාදුවක් නැහැ. පාසලේ ඉන්න සර්ලගෙ මුවැත්ති කියලා කවුරුත් දන්නවා. කෝකටත් ගමේ ඉන්න අයල දඩයක්කාරයන්ගෙන් සුද්දි බේර ගන්න ඇගෙ බෙල්ල වටේ රතු පාට පටියක් ගැට ගැහුවා. අපි නාන්න ගංගොඩ ඔයට යනකොට මෙයත් පස්සෙන් එනවා. කැලෑ ගඳ යන්න සුද්දිවත් සුවඳ සබන් ගාල නාවනවා. දැන් මුවැත්ති චමරියෙ සාමාජිකාවක් වෙලා වගේ. අපිට හවස නින්ද ගිහින් නම් මෙයා ඇවිත් සීතල හොම්බ ඇඟේ ගාවල අපිව කූද්දනවා. ඒ වෙලාවට උඩ ගිහින් ඇහැරෙන්නෙ සර්පයෙක් ගෑවුන ගානට බයවෙලා. පාසල් නිවාඩුව ආවම අපි හැමෝම ගම් වල යනවනෙ. එතකොට සුද්දි ආපසු කැලේටම යාවි කියල අපි හිටියෙ කාංසාවෙන්. ඒ වුනාට මාසෙකට පස්සෙ අපි ආපසු එන දිනයේ සුද්දි හිටිය පෙර මඟ බලාගෙන. අපිටත් හරි පුදුමයි. ඒ වගේම සතුටුයි. එයා හවස රස්නෙන් බේරෙන්න අඹ සෙවන යට නිදාගන්නවා. රෑට බයටද කොහේද නිදාගන්නෙ පාසල් හෝල් එකේ ඩෙස් අස්සෙ. පාසල පටන් ගන්න වෙලාවට ඉස්සරහ වන ලැහැබට පැනගන්නවා. අපේ රස මසවුළු කාලම සුද්දි දැන් ආරලා ඇවිත්. මේ ගමේ කිරි ඉරිඟු කාලෙට ස්ත්‍රියාවන්ගෙ අංගපුලාවන් නෙරල එනව වගේ ඒකි තවත් ලස්සන වෙලා. දැඟලිල්ලත් වැඩියි. සමහර වෙලාවට අපිට අනින්න හදනවා තරහ ගිහින්. කැලේ දිහා බලන් ඉන්න වැඩි කාලයක් ගත කරනවා. රෑට රෑට කැලේ මණ්ඩියෙ කොටියන්ගෙ ගෙරවිලි අස්සෙන් පිරිමි මුවෙක්ගෙ කෑ ගැසීම්ද ඇහෙනවා. අපි නම් රෑට එලියකට බසින්නෙ නෑ බයට. ඒ තරම් නපුරු සත්තු ඉන්නවා. දවසක් බලනවිට සුද්දි යන්න ගිහින්. දැඟලිල්ලෙ තරමට අපි හිතුව මේකිව පෙම්වතෙක් ඇවිත් කැලෑවට එක්ක යන්න ඇති කියලා. ඒක එයාගෙ කැමැත්ත හා අයිතියනෙ. ආපසු නොඑන විට අපි සුද්දිට තිබුන ආසාව අත් හැරියා. අපිත් ඉස්සර ආරණ්‍යය ගත හාමුදුරුවරුන් වගේ සුන්දර වනයට හා වනසීපාවන්ට පෙම් කරලා. බුදු හාමුදුරුවොත් කියල තිබුනනෙ ඒ අනවශ්‍ය ඇලීම් බැඳීම් තියා ගන්න එපා කියලා. හොඳ වැඩේ අපිට. දවස් කීපයක්ම අපි සුද්දි එනතුරු බලා හිටියා. අපි හැමෝම අර පෙම්වතිය දාල ගිය අය වගේ විස්සෝපයට පත්වුනා. සතියකට විතර පස්සෙ හවසක මෙන්න සුද්දි ඇවිත්. උළුවස්ස ලඟටම එනකන් අපි දැක්කෙ නැහැ. ආයිත් අර තාරකා ඇස් වලින් ඒකි අපේ ඇස් දිහාම බලන් ඉන්නවා. කරේ තිබුන රතු පටියත් නැහැ. මුළු ඇඟම කිළුටු වෙලා. කැලෑ ගඳේ බෑ. කෙට්ටු වෙලා. පණ ගිය එකියක් වගේ තෙහෙට්ටු පාටට. ඒත් ඇය හිටියෙ සතුටින් වගේ. ඇගේ ඇස් වලින් ලොකු කතාවක් කියනව වගෙයි පෙනුනේ. සුද්දිව දැක්කට පස්සෙ පෘතක්ජන අපිට මුලින් තරහකුත් පස්සෙ අනුකම්පාවකුත් ඇති වුනා. " මේ කාම ලෝකය ඔන්න ඔහොමයි මරතේලිස් " කියල අපේ යටි හිත අපව සැනසුවා. එයා දැන් මිනිස්සුන්ට තිබුන බය ගිහින්. පාසල ළඟ මිනිස්සු එක්කත් පා ගමන් යන්න පුරුදු වෙලා. සඳුදට දොඹගහවෙල පොලේ යන අය එක්ක මෙයා අම්පාර පාරෙ හන්දියටත් යනවලු. ගමේ මිනිස්සු බව බෝග විකුණ ගන්නත් ඒ මුදල් වලින් අඩුම කුඩම ගේන්නත් පොලට යන්නෙ පා ගමනින්. මෙහේ සිට පොලට යනකම් සැතපුම් ගනනාවක් මඟ දෙපස රූස්ස ගස් තිබුනා. හීල් හෙවනෙ පයින් ගමන සුවදායකයි. සුද්දිත් සමහරු එක්ක සඳුදට මේ ගමන යන්න පුරුදු වුනා. සඳුද දවසක සුද්දි ආයි අතුරුදහන් වුනා. ඊට පස්සෙ ආවෙම නෑ. අපි සොයා බැලුවා. පාසල ලඟම ඉන්න අපේ හිතවතෙක් කිව්ව එදා පොලේ යනවිට මේ මුවැත්ති එයාගෙ ගමන් සගයා ලෙස හන්දියට වෙනකම් පස්සෙන් ආවලු. එච්චරයි අපි දන්නේ. ආයි එයා ආවෙම නැහැ. රෑක ගිය ගමනක් නම් කොටි හපුවෙකුට බිළි වුනා කියන්න හැකියි. නමුත් දවල් ගිය නිසා සුද්දි ගැන නොදන්න අල්ලපු ගමක දඩයක්කාරයෙකුගේ පහසු ගොදුරක් වෙන්න ඇති. කැලෑ ගමක ගුරු නිවාසෙක තනිවූ තනිකඩ ගුරුවරු පස් දෙනෙකුට පාළුව කාංසිය මකන්න ලෙන්ගතුකම් පෑ ඒ රූබර මුවැත්තිය සදහටම යන්න ගියා. ඒ දුකත් අපිටමයි සාන්තෝ. ..................................නිමි.........................................# ***Toy microscope එකේ ඉඳන් 2013 නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය දක්වා*** 2013 අවුරුද්දෙ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබෙල් සම්මානය දිනපු විද්‍යාඥයන් තුන් දෙනාගෙන් එක විද්‍යාඥයෙක් තමයි Randy Wayne Schekman. 1948 අවුරුද්දෙ ඉපදුණු ඔහු මේ වෙද්දි කැලිෆෝනියා සරසවියේ (Berkeley) cell biologist කෙනෙක් විදිහට පර්යේෂණ කරනව. ඔහුට අවුරුදු 11-12 දි විතර ඔහු ගෙදර පොකුණෙන් මඩ ටිකක් අරගෙන ඒව ඔහුගේ toy microscope එකෙන් නිරීක්ෂණය කරනව. ඒකෙන් ඔහුට අමුතුම ජීවීන් ගහණයක් එක්ක වෙනම ලෝකයක් දකින්න අවස්ථාව ලැබෙනව. ඔහු ඒකෙන් අසීමිත ලෙස විශ්මයට පත්වෙනව. ඒත් ඔබට තවම තියෙන්නෙ toy microscope එකක් නෙ කියල ඔහුගේ තාත්ත ඔහුට එක අවස්ථාවකදි කියනව. ඒක ඇහුවට පස්සෙ ඔහුට professional microscope එකක් ගන්න ඕනෙ වෙනව. ඒකට ඕනෙ කරන ඩොලර් 100 හොයාගන්න ඔහු එක එක කුලී වැඩ කරනව. ළමයි බලාගන්නව. තණකොළ කපනව. පත්තර විකුණනව. හැබැයි ඔහුගෙ අම්මයි තාත්තයි දෙන්න සැරෙන් සැරේ ඔහුගෙ piggy bank එකෙන් දිගටම ණයට ගන්න හින්ද ඔහුට මේ ඩොලර් 100 ඉතුරු කරගන්න බැරි වෙනව. Piggy bank කියන්නෙ ඌරෙක්ගේ හැඩය ගත්ත පොඩි ළමයි සල්ලි දාන කැටයකට. එක සෙනසුරාදා දවසක ඔහු මේ ගැන කොච්චර frustrate වෙනවද කියනව නම් ඔහුගේ අසල්වැසියගේ මිදුලෙ තණකොළ කපල ඉවර වෙලා ඔහු තමන්ගේ බයිසිකලේ පැදගෙන ඔවුන්ගේ පොලිස් ස්ථානයට ගිහින් ඒකෙ ඉන්න desk officer ට කියනව “මම ගෙදරින් පැනල යනව මොකද මට microscope එකක් ගන්න විදිහක් නෑ මගෙ අම්මයි තාත්තයි මම ඉතුරුකරගන්න සල්ලි සැරෙන් සැරේ ණයට ගන්න හින්ද.” ඔහුගේ මේ desperate measure එක වැඩකරනව. ඔහුගේ තාත්ත පොලිස් ස්ථානයට ඇවිල්ල නිළධාරීන් එක්ක කතාබහ කරල ඔහුව ගෙදර එක්කගෙන එන ගමන් ඔහුට professional microscope එකක් අරන්දෙනව. මේ වෙද්දි ඔහුගේ ඒ පරණ microscope එක නොබෙල් ත්‍යාග කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියල තියෙනව. ලෝක ප්‍රකට ඇපල් සමාගමේ සම-නිර්මාතෘ Steve Jobs ඔහුගේ 2005 අවුරුද්දෙ කරපු Stanford Commencement Address එකේදි මෙහෙම කියනව: Have the courage to follow your heart and intuition. They somehow already know what you truly want to become. Everything else is secondary. Randy Wayne Schekman ගෙ කතාවත් එක්ක බැලුවම Job කියන දේ හරියටම හරි නේද? ඔබේ හදවතේ ආශාවට එකට ඔබව අරන් යන්න පුළුවන් දුර ඔබව ඔසවලා තියන්න පුළුවන් උස අපරිමිතයි නේද?රන් කෙන්දෙන් බැද දිවා භෝජනය අවසන් කල වේලේ පටන් තිලකසිරි පසුවූයේ වත්තට ඇතුළු වන ඈත ගේට්ටුව දෙස නෙත් යොමා ගෙනමය.පසුගිය දින කිහිපය මුලුල්ලේම තිලකසිරි ඉතා කාර්‍ය බහුල විය. වත්ත ශුද්ධ කරවීම,නිවස අලුත්වැඩියා කරවීම ආදී නොයෙකුත් වැඩ රාජකාරි ඔහු කරවා ගත්තේ වසර ගනනාවකට පසු විදේශගතව සිට පැමිණෙන එකම පුතා පිළිගැනීමටය.තිලකසිරි වැන්දඹුය. සිය බිරිඳ මෙලොව හැර ගොස් වසර කීපයකි.බිරිඳ දුවලාට වඩා ආදරය කලේ පුතාට බව තිලකසිරිට සිහියට නැගේ.ඇය සිටියා නම් අද කොච්චර සතුටු වේවිද? “ඔයා නැති වෙලා දැන් අවුරුදු කීයක්ද ශ්‍රියා. දුවලා විවාහ වෙලා ගෙදරින් පිට වෙන කොට තිබුණු පාලුවට වඩා ඉහලයි මට ඔයා නැති පාලුව .මං කුඹුරුවල වතුවල වැඩ කරවන්නේ ඉදලා හිටල.මොකටද ඕව බදා
ගෙන ඉදලා . අවුරුදු ගානකට පස්සේ පුතා එනකොට හිටිය නං ඔයා තමයි මටත් වැඩිය සතුටු වෙන්නෙ. මතකද ඉස්සර දුවල ඔයත් එක්ක රංඩු අල්ලනවා පුතාට වැඩියෙන් සලකනවා කියල . මං ගේ නං අස්පස් කෙරෙව්ව.කෑම ටික නම් පියවතී නැන්දට කියල ලෑස්ති කර ගත්ත. අග්ගලාවලට එහෙම පුතා ආසයිනෙ. ශ්‍රියා ඔයා හිටවපු දෑසමන් මල්වැල ශුද්ධ කෙරෙව්වා ඔයා කරපු විදියටම මුල අස්පස් කරවල වේලිච්ච ගොම දැම්මා .එතකොට මතකද ඔයාට අර අශෝක ගහ යට තිබුණු සිමෙන්ති බංකුව.ඒකත් ශුද්ධ කෙරෙව්වා .අපි දෙන්නා වාඩි වෙලා හිටපු බංකුව. ඒ උනාට මං ඒකෙ තාම වාඩි වෙලා නෑ ඔයා නැතිව. ඒත් ඒක මට මෙදා පාර මොකට ශුද්ධ කරන්න හිතුනද දන්නෑ ශ්‍රියා . ආ ඒක නෙමේ ශ්‍රියා .අපේ පුතංඩියගෙ කල දවසත් හරි නේද ? අපි හොඳ තැනකින් හොයමු.මට මේව තනියම කර ගන්න තේරුමක් නෑ.ඔයා හිටිය නං….” තිලකසිරගේ පාර දෙස බලා සිටීම දහවලේ සිට හවස් කාලය දක්වාම සිදු විය .ගෙදරට එන පාර දිගේ හෙමින් ඇදී එන කාරයකි. තිලකසිරිට වාහනය දොරකඩට පැම්ණෙන තුරු ඉවසිල්ලක් නැත .රියදුරු අසුනට යාබද අසුනේ වාඩි වී සිටි පුතා වාහනයෙන් එලියට බැස පියා අසලට විත් ඔහුව වැළඳ ගත්තේය . “මං තව යාලුවෙක් එක්ක ආවෙ තාත්තෙ “ “ඒක හොඳයි පුතා ඔයාගෙ තනියටත් එක්ක . දුර ගමනක් එද්දි” පුදුමයකි. රියදුරු අසුනෙන් බැස්සේ තරුණියකි. පුතාව එක්කර ගෙන කාරයත් එලවා ගෙන? “මෙයත් එහෙ ඉන්නෙ තාත්තෙ.මං වැඩ කරන තැනමයි” තරුණිය පියා සමග සිනා සෙයි.තිලකසිරි තම සිතේ ඇති පුදුමය සගවා ගෙනම ඔවුන් දෙදෙනාව ගෙතුළට කැදවා ගෙන ගියේය . කුඩා මලු දෙකකි.වැඩි දවසක් නොඉන්නා බවට ඉගියකි. “වැඩි දවසක් ඉන්නෙ නැද්ද පුතා “ “නෑ තාත්ත මෙයාලගෙ ගෙදරත් යන්න තියෙනවා “ දෙදෙනාම එකම කාමරයට ඇතුළු වෙද්දි තිලකසිරිට අලුතින් පුදුම වීමට දෙයක් තිබුණේ නැත .දෙදෙනාම ඉන්න යන්නෙ එක කාමරයේය. “ශ්‍රියා පුතා ආව. පුතා බැදල.එයාල ආපු වාහනෙත් එලවා ගෙන ආවෙ ඒ ගෑනු ලමයමයි.අනේ කොච්චර ලකේට රටට තොටට කියල ගන්න හිටපු මගුලක්ද?ඔයාට මතකද මං කොහොමද ඔයාව මේ ගෙද්‍රරට එක්ක ගෙන ආවෙ කියල .ජෝන් ඩ්‍රයිවර් මාමට ඇහෙයි කියල අපි කතා කළේ රහසින් මතකද” “කමක් නෑ ශ්‍රියා දැන් ඉතින් කොහොම කොහොම හරි අපේ පුතා බැන්දනෙ.හෙට අනිද්දාට ඌත් තාත්තා කෙනෙක් වේවි.උන්ගෙ පොඩි උන්ට ඔයාගෙ මගේ මූණවල් පිහිටන්න බැරි නෑ” අලුත් ලේලි කාමරේ ඇතුළට ගියා ගියාමයි. ඒකෙ ඇතුලටම වෙලා සිටින්නේ තමන්ට ඇති භිය නිසා විය යුතු යයි තිලකසිරි ට සිතේ. “පුතා අර ලමයා තාම කාමරේ ඇතුළෙ ද?” “ඔව් තාත්ත එයාට එහෙන් නිවාඩු හම්බ උනේ නෑ .එයා මෙහෙ ඉදලා ඔන් ලයින් වැඩ කරනවා.” “රෑට කෑම ලෑස්ති කලෙත් ඔයාට විතරයි .” “ කමක් නෑ තාත්තෙ අපි කෑම ඕඩර් කරන්න ඉන්නෙ. තාත්තටත්…..” “නෑ ඕන් නෑ මට මේව හොඳයි “ තිලකසිරි රාත්‍රී කෑම මේසයේදී යළිත් තනි වූයේය.පුතා එන නිසා පිලියෙල කර වූ විශේෂ කෑම ජාති කීපයක්ම තනි රැක්කේ ඔහු ඒ දෙස බැලීමට වත් අකමැති වූ නිසාය.වෙනදා කන විදියට කෑම බෙදා ගත් ඔහු උඩින් පල්ලෙන් ගිල දැමුවේ ඉක්මනින් ඇදට යාමටය. ඒ නිදා ගැනීමට නොවේ .නින්ද අහලකවත් නැත.තනිවීම ඔහුට බෙහෙවින් අවශ්‍යව තිබිණි. “ශ්‍රියා එයාල කෑම පිටින් ඕඩර් කරල කෑවෙ.ඒ කොල්ල කෑම ටික ගෙනත් භාර දුන්නෙ හරියට ඕඩර් කරන කං බලන් හිටිය වගේනෙ. එච්චර ඉක්මනට.ඔයා ඉස්සර කෑම කන ගමන්ම කුස්සියට දුවල ගිහින් කොච්චි ටිකක් තලල මගෙ පිගානට දානව වගේ ඉක්මනට . ඒ කොච්චි කොච්චර සැර උනත් මගෙ ඇස්වලට එදා කදුලු ඉනුවේ නැත්තෙ ඒ ඔයා හදපු හින්දද ? ඔයා ලග හිටිය හින්දා වෙන්නැති. අර දෙන්නම කෑම කෑවෙ කාමරේට වෙලා.අර ළමයා වැඩ කර කර කතා කරන ගමන් තමයි කෑවෙ.වතුර දීම්,කෑම අස්කිරීම් ඔක්කොම කළේ අපේ එකා තමයි.” පසුදින උදෑසනම තිලකසිරි කුස්සියට ගොස් වතුර උණු කලේ පෙර පුරුද්දටමය.එහෙත් අලුත් ජෝඩුවට තේ දීම සදහා ඔහු වීදුරු කබඩයෙන් පීරිසි කෝප්ප දෙකක් එළියට ගත්තේය.කළකින් පාවිච්චි නොකළ බැවින්දෝ බැදී තිබුණු සිහින් දූවිළි තට්ටුව හොඳට සෝදා පිරිසිදු කරද්දි පුතා අවදි වී කුස්සියට පැමිණියේය. “තාත්ත තේත් හදනවද ? මං හදන්නං” “ මං කවදත් හදන විදියට මට හදා ගත්තා සීනි ටිකක් දාල” “අර ළමය තාම බුදිද?” “ එයා පාන්දර වෙනකම්ම වැඩ කලා.මං තේ හදන්නම්” තිලකසිරි තම තේ කෝප්පය රැගෙන සුපුරුදු පුටුවේ වාඩි ගත්තේ වෙනදා මෙන්ම ඔහු අසල ගැවසෙන කිටියාද සමගය. “දැන් ඔයාල කසාද බැදල කොච්චර කල් වෙනවද “ තිලකසිරිට අවශ්‍ය වූයේ තමන්ගේ හදවතේ විටින් විට නැග එන සැක සංකා එක තැනකට එකතු කර ගෙන මේ ප්‍රශ්නයෙන් යම් සහනයක් ලැබිය හැකි යයි විශ්වාසයකිනි. “අම්මෝ අපි මැරි කරලා නෑ තාත්තෙ.තව එග්සෑම් වගයක් තියෙනවා .ඒව ඉවර කර ගන්න ඕනෙ” පුතා අත් දෙකින්ම තේ කෝප්ප උස්සමින් පිළිතුරු දුන්නේ දෙදෙනාටම ඒ අභියෝගය තිබුණු නිසා විය යුතුය . තිලකසිරිට තමා වාඩි වී සිටින්නේ හාන්සි පුටුවක නොවන බව අමතක වී දෝ පුටුවේ පිටුපසට බර වූයේ තේ කෝප්පයද අතැතිවය. තිලකසිරි තේ එක තොල ගෑවේ පුරුද්දට මෙනි.අවසාන උගුරු කීපය සිරිත් පරිදි කිටියාට දමද්දී එය වෙනදා තරම් උණුසුම් නොවන්නේ මන්දැයි කිටියාටද තේරුම් ගත නොහැකිව තිලකසිරි දෙස බලා සිටියේය . “ශ්‍රියා අපේ එකා බැදල නෑලුනෙ.හතර විළිලැජ්ජාවයිනෙ.අර මොකක්ද ලිවින් ටුගෙද කියන්නෙ.මදෑ නේද අපිත් දරු මුණුබුරෝ බලන්න හිටිය .මතකද අපේ කාලෙ ඔයාව බදින කන් මට ඔයාගෙ අතින් වත් අල්ලන්න බැරි උනානෙ.ඒකත් අර ඉස්සිස්සෙල්ලම පෝරුවෙදි අතැගිලි බදින කොට තමයි . මතකද ඔයාව බලන්න මං ආපු දවස්වල ඔයාලගෙ අම්මගෙ සෝදිසිය .ඒවනෙ පවුරු වළලු.ඔයා මට මහල දුන්නු කොට්ට උර දෙක දෙන කොට නං පොඩ්ඩක් ඇගිලි ගෑවුනාම ඔයා ලැජ්ජාවෙන් අත අහකට ගත්‍තනෙ. එදා මට ඔයා ගැන අණුකම්පාවක් ඇති උනාට පස්සේ ඊටත් වඩා ආදරයක් ඇති වුනා.” පුතාගේ යෙහෙළිය නැගිට්ටේ ඊටත් ගොඩක් වේලාවකට පසුවය.උදේ කෑම අවශ්‍ය නැත. උදේට කෑම ගැනීමක් නැති බව දන්වා තිබේ. අග්ගලා ටික ඔතා ගත්තේ පස්සේ කන්නම් කියාය.කාවිද නොකාවිද දන්නෙ නැත.මුහුන සෝදා ගැනීමට එළියට පැමිණි විට නම් යෙහෙළිය ඉතා සුහදව තිලකසිරි සමග සිනා සුනාය. එහෙත් නැවත ගමන පමා වී ඇත්තාක් මෙන් හදිසියේ කාමරයට රිංගා ගත්තාය .දෙදෙනාම ගමනට සූදානම් වනවා තිලකසිරිට ඇසේ. එකතු කර ගැනීමට තරම් දෙයක් ඊයේ රැගෙන ආවේද නැත. “යන්නං තාත්තෙ” “යනව අංකල් “ තිලකසිරි මද සිනා පා හිස පමණක් වැනුවේය. මෙවර වාහනය එලවන්නේ පුතාය.යෙහෙළිය අනික් අසුනේය. “පරිස්සමින් යන්න” ඔහු අමාරුවෙන් තොල් මැතුරුවේය. “ඒ ගොල්ලො යන්න ගියා ශ්‍රියා .අපි ලමයි හැදුවේ උන් කැන්දන් එන එවුන්ගෙන් අංකල් කියල කියා ගන්නද.ඒත් දැන් බැලුවම ඒකෙත් වරදක් නෑනෙ.උන් බැදල නෑනෙ. මට පුදුම ශ්‍රියා ඉස්සර අපේ එකා මට කොච්චර බයද.මටත් වරදක් දැකපු තැන කොච්චර කේන්ති යනවාද? මට ඒ කෙල්ලගෙ නමවත් අහන්න හයියක් තිබුණේ නෑ කිව්වොත් ඔයා පිළිගන්නවද ශ්‍රියා මට දැන් ඒ එඩිතරකම නැත්තෙ ඔයා ලග නැති නිසාද? නැත්නම් ඔයා අහිමි වීමෙන් මා අත්විඳින ජීවිතයේ ඇති අනියත භාවය මට පසක් වී ඇති නිසාද? එය බණට දේශනා කරන අත් හැරීමද නැති නම් මා සිතේ පිරී ඇති පාලුව නිසා ඇති වන උකටලී බවද? එය තේරුම් කර දිය හැක්කේ පංසලේ ලොකු හාමුදුරුවන්ට පමණි .දැන් ඒකට ඔයත් මං ලග නැති නිසා . මිදුලේ ඒ සිමෙන්ති බංකුව හරියට ටජ්මහලක් වගේ.අපි දෙන්නගෙ පවුල් ජීවිතයේ සංකේතය.වෙනසකට තිබුණේ ඒක ඔයා ජීවතුන් අතර ඉන්න කොට හදපු එක. මේ ලමයි දෙන්නට ඒකෙ එක පාරක්වත් වාඩි උනාද.නෑනෙ.අපි දෙන්න ඉස්සර රෑට ඒ බංකුවේ වාඩි වෙලා කොච්චර දේවල් කතා කරල තියෙනවාද ? අපි හිතුවෙ අපේ ලමයින්ටත් ඒක ප්‍රයෝජනවත් වේවි කියල . කිසි දෙයක් ස්ථිර නෑ ශ්‍රියා .කිසිම දෙයක් නෑ. මේ බංකුවත් හෙට අනිද්දාට මෙතනින් අයින් වේවි.අර ළමයා යන්න එලියට බැහැල කාමරේ අමතක වෙච්ච චාජර් එක ගේන්න කිව්වෙත් එතකොටත් ගේ ඇතුළෙ හිටිය අපේ එකාට ෆෝන් කරල. දැන් ලමයින්ට සදාකාළිකආදරයක් ගැන ඒතරම් විශ්වාසයක් නෑ .දවසක් ඒවි ටජ්මහල් මේ බංකු ඔක්කොම අරුත් සුන් වෙන දවසක් . ඒ තරමටම සියල්ල අනිත්‍යයි. මේ අයට සිහිවටනයක් කර ගන්න තරම්වත් ආදරය ස්ථිර නෑ .බැදීම් කොහොම ඇති වෙනවද හිතා ගන්න බෑ. ඒනිසාම එයාල අතර අපේ කාලයේ තිබුණු ගෞරවය නම් දැන් නෑ.ඔයා කොච්චර නං මගේ කකුල් දෙක අල්ලල වැදල ඇතිද? ඒ වෙලාවට මගේ හිතේ ඇති වූණු ආදරය සෙනෙහස. අද ලමයෙක්වත් වදින්නෙ නැති තරමට මං අඩු ලංසුවකට වැටිල.ඒ උනාට අපේ ලමයි අපිට තාම ආදරේ ඇති නේද ශ්‍රියා ? බන්දුල පෙරේරාතනියට හිටි සුද්දි .... මා අසූ ගනන් වල මුල පළමු ගුරු පත්වීම අරනි වැඩ බාර ගත්තෙ මොණරාගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසලක. ඒක පිහිටල තිබුනෙ සුන්දර මරගල කඳු වනාන්තරයේ නැගෙණහිර බෑවුමට වෙන්න . වටේටම කැලේ. පාසල තිබුනෙ ගමෙන් තනිවුන ලස්සන නිදහස් තැනක. පාසලට යාබද ගුරු නිවාසයේ පිහිටි චමරියේ දකුණු පළාතෙන් ආපු සර්ල කණ්ඩායමක් එක්ක මාත් නතර වුනා. අපි උයාගෙන කාල බොහොම කටුසර විදියට ජීවත්වුනා. ඒ වගේම මුළු කාලයම ගතවුනේ පාසලට. නිවාඩුවක් එනතුරු කවුරුත් ගමේ යන්නෙ නෑ. ගමේ යන එක අද වගේ ලේසිත් නෑ. හවස් වෙන කොට පාසලම පාළුයි. අපිට පාළු කපන්න ගමේ බල්ලො රංචුවක්ම එනව. ඉස්සරහ කැලේට වෙල හැංගිල ඉන්න බලු නඩය පාසලේ අවසාන බෙල් එක ගහන විටම එන්න පටන් ගන්නවා. ළමයි ගල් මුල් වලින් ගහන නිසා ඔවුන් යනකන් හැංගිල ඉන්නවා. අපේ චමරියෙ මැනේජර් සර් බල්ලන්ට පුදුම ලවක් තිබුනෙ. ලවක් දෙවක් නැතුව බල්ලන්ටත් එක්ක තමයි ඔහු බත් උයන්නෙ. කාල ඉතිරි වන කෑම බල්ලන්ට සමසේ බෙදල දෙනවා. ඒ කාලෙ පාසල් වල ඇදිහැස බිස්කට් තිබුනා. කල් ඉකුත්වෙල විනාශ කරන්න නියමිත බිස්කට් පෙට්ටි තිබුනොත් ඒව ලොකු සර්ගෙන් ඉල්ලගන්නවා. හවස තේ වෙලාවට බල්ලන්ට අතුරු පසට ඒ බිස්කට් දෙනවා. උන් ඒවා පොර කකා කන්නෙ. බල්ලො රංචුව හවස සිටම පාසල මුර කරනවා. රෑට වන සිවුපාවන්ගෙන් අපව ආරක්ෂා කරනව. දවසක් ක්‍රීඩා පිට්ටනිය මැද්දෙ බල්ලො රංචුව එක්ක වෙනස් සතෙක් ඉන්නව දැක්ක. බල්ලො ටික මැදි කරන් හිටියෙ මුවෙක්ව. ඌ කැලෙන් පාසල් වත්තට ඇවිත්. අපේ සාමකාමී බලු හමුදාව ආපදාවක් නොකර ඌව ආ
දරෙන් පිලිඅරගෙන. අපිත් සද්ද නොකර මේ බලු මුව ලව් එක බලන් හිටියා. දැන් මුවා හැමදාම පිට්ටනියට එනවා. නුහුරු සද්දයක් ඇහුන ගමන් ඉස්සරහ කැලේට දුවල හැංගෙනවා. ටික දිනකට පස්සෙ බල්ලො ටික මේ මුවාව තේ ටයිම් එකට අපේ චමරියට කැන්දන් ආව. අපි බල්ලන්ට බිස්කට් දෙන ගමන් මේ මුවාටත් දුන්න. ඌට ඒව කන්න බැහැ හිර වෙනවා. ඒ පාර සර් කෙනෙක් වතුර භාජනේකට බිස්කට් දාල පොඟවල දුන්නම කන්න පටන් ගත්තා. කන්න දුන්නට පස්සෙ දැන් උගේ කෝඩුකාර කම ගිහින් අපිට බය නැතිවම ලං වෙන්න පටන් ගත්තා. ලඟට ආවම තමයි දැක්කේ මෙයා මුවෙක් නෙමේ මුව නෑම්බියක් කියලා. ඉතාම යොවුන් වියේ ලස්සන මුවැත්තියක්. අපිත් මෙයාව යාළු කරගන්න ලුනු, සීනි, උක් හකුරු වගේ ජාතිත් පලතුරුත් දුන්නා. චොකලට් විතරයි දෙන්න බැරිවුනේ. දැන් මේ වනන්තරේ පාළු මකන්න අපිට රුවැති මුවැත්තියක් ඉන්නවා. අපි ඇයට සුද්දි කියල නමකුත් දැම්මා. කාලයක්‍ යද්දි ඒ නම කිව්වම අපි ලඟට එන්න තරම් ඇය හීලෑ වුනා. පාසල පටන් ගන්න වෙලාව හා වසන වෙලාව ඇය හොඳට දැනන් හිටියා. පාසල පටන් ගන්න පෙර අපි දෙන කෑම කාල බල්ලො රංචුවත් එක්කම වනගත වෙනවා. ආයි පාසල වසන වෙලාවට බල්ලො එක්කම වනයෙන් මතු වෙනවා. මේ සත්තු පාසල් ළමයිට මාර බයයි. පාසල් කාලය තුළ කැලේට වෙල හැංගිල ඉන්නවා. හවසට සුද්දි අපේ පස්සෙන් වැටෙනවා. අපි දෙන ඕන දෙයක් කනවා. බත් කන්නත් පුරුදු වුනා. අපේ චමරියටත් ගොඩවෙනවා. සිමෙන්ති පොලොවෙ ඇවිදින්නෙ හයි හීල්ස් දාපු නෝනෙක් වගේ කැට් වෝක් එකෙන්. බලන්න ලස්සනයි ටික් ටොක් ගාන සද්දෙන් පද්දල ගස්සල යන අපූරුව. දැන් සුද්දිට අපිවත් අපිට සුද්දිවත් නැතුවම බැහැ. හවසට තේවෙලාවට ඇවිත් ඇස් බෝල ලොකු කරන් අපේ ඇස් දිහාම බලන් ඉන්නෙ ගිනි කණා වැටුන ගානට. හරියට අපි උගන්වන පන්තිවල සමහර නාඹර කෙල්ලො එක එල්ලෙ අපේ ඇස් දිහා බලනව වගේ. ඒක හරි අපහසුතාවයට පත් කරන බැල්මක්. මුවෙක් ඇස් දෙනව කියන්නෙ ඒකට වෙන්න ඇති. ඒ ඉතින් අපෙන් කෑම ඉල්ලනවා. අපිත් බිස්කට් පොඟවලා ඒකිගෙ කෑම පිපාසෙ සංසිඳවනවා. සුද්දි අප සමඟ පස්සෙන් වැටිල ගම පුරා ඇවිදින්න හුරු වුනා. ගමේ මිනිස්සුත් මෙයාට අරියාදුවක් නැහැ. පාසලේ ඉන්න සර්ලගෙ මුවැත්ති කියලා කවුරුත් දන්නවා. කෝකටත් ගමේ ඉන්න අයල දඩයක්කාරයන්ගෙන් සුද්දි බේර ගන්න ඇගෙ බෙල්ල වටේ රතු පාට පටියක් ගැට ගැහුවා. අපි නාන්න ගංගොඩ ඔයට යනකොට මෙයත් පස්සෙන් එනවා. කැලෑ ගඳ යන්න සුද්දිවත් සුවඳ සබන් ගාල නාවනවා. දැන් මුවැත්ති චමරියෙ සාමාජිකාවක් වෙලා වගේ. අපිට හවස නින්ද ගිහින් නම් මෙයා ඇවිත් සීතල හොම්බ ඇඟේ ගාවල අපිව කූද්දනවා. ඒ වෙලාවට උඩ ගිහින් ඇහැරෙන්නෙ සර්පයෙක් ගෑවුන ගානට බයවෙලා. පාසල් නිවාඩුව ආවම අපි හැමෝම ගම් වල යනවනෙ. එතකොට සුද්දි ආපසු කැලේටම යාවි කියල අපි හිටියෙ කාංසාවෙන්. ඒ වුනාට මාසෙකට පස්සෙ අපි ආපසු එන දිනයේ සුද්දි හිටිය පෙර මඟ බලාගෙන. අපිටත් හරි පුදුමයි. ඒ වගේම සතුටුයි. එයා හවස රස්නෙන් බේරෙන්න අඹ සෙවන යට නිදාගන්නවා. රෑට බයටද කොහේද නිදාගන්නෙ පාසල් හෝල් එකේ ඩෙස් අස්සෙ. පාසල පටන් ගන්න වෙලාවට ඉස්සරහ වන ලැහැබට පැනගන්නවා. අපේ රස මසවුළු කාලම සුද්දි දැන් ආරලා ඇවිත්. මේ ගමේ කිරි ඉරිඟු කාලෙට ස්ත්‍රියාවන්ගෙ අංගපුලාවන් නෙරල එනව වගේ ඒකි තවත් ලස්සන වෙලා. දැඟලිල්ලත් වැඩියි. සමහර වෙලාවට අපිට අනින්න හදනවා තරහ ගිහින්. කැලේ දිහා බලන් ඉන්න වැඩි කාලයක් ගත කරනවා. රෑට රෑට කැලේ මණ්ඩියෙ කොටියන්ගෙ ගෙරවිලි අස්සෙන් පිරිමි මුවෙක්ගෙ කෑ ගැසීම්ද ඇහෙනවා. අපි නම් රෑට එලියකට බසින්නෙ නෑ බයට. ඒ තරම් නපුරු සත්තු ඉන්නවා. දවසක් බලනවිට සුද්දි යන්න ගිහින්. දැඟලිල්ලෙ තරමට අපි හිතුව මේකිව පෙම්වතෙක් ඇවිත් කැලෑවට එක්ක යන්න ඇති කියලා. ඒක එයාගෙ කැමැත්ත හා අයිතියනෙ. ආපසු නොඑන විට අපි සුද්දිට තිබුන ආසාව අත් හැරියා. අපිත් ඉස්සර ආරණ්‍යය ගත හාමුදුරුවරුන් වගේ සුන්දර වනයට හා වනසීපාවන්ට පෙම් කරලා. බුදු හාමුදුරුවොත් කියල තිබුනනෙ ඒ අනවශ්‍ය ඇලීම් බැඳීම් තියා ගන්න එපා කියලා. හොඳ වැඩේ අපිට. දවස් කීපයක්ම අපි සුද්දි එනතුරු බලා හිටියා. අපි හැමෝම අර පෙම්වතිය දාල ගිය අය වගේ විස්සෝපයට පත්වුනා. සතියකට විතර පස්සෙ හවසක මෙන්න සුද්දි ඇවිත්. උළුවස්ස ලඟටම එනකන් අපි දැක්කෙ නැහැ. ආයිත් අර තාරකා ඇස් වලින් ඒකි අපේ ඇස් දිහාම බලන් ඉන්නවා. කරේ තිබුන රතු පටියත් නැහැ. මුළු ඇඟම කිළුටු වෙලා. කැලෑ ගඳේ බෑ. කෙට්ටු වෙලා. පණ ගිය එකියක් වගේ තෙහෙට්ටු පාටට. ඒත් ඇය හිටියෙ සතුටින් වගේ. ඇගේ ඇස් වලින් ලොකු කතාවක් කියනව වගෙයි පෙනුනේ. සුද්දිව දැක්කට පස්සෙ පෘතක්ජන අපිට මුලින් තරහකුත් පස්සෙ අනුකම්පාවකුත් ඇති වුනා. " මේ කාම ලෝකය ඔන්න ඔහොමයි මරතේලිස් " කියල අපේ යටි හිත අපව සැනසුවා. එයා දැන් මිනිස්සුන්ට තිබුන බය ගිහින්. පාසල ළඟ මිනිස්සු එක්කත් පා ගමන් යන්න පුරුදු වෙලා. සඳුදට දොඹගහවෙල පොලේ යන අය එක්ක මෙයා අම්පාර පාරෙ හන්දියටත් යනවලු. ගමේ මිනිස්සු බව බෝග විකුණ ගන්නත් ඒ මුදල් වලින් අඩුම කුඩම ගේන්නත් පොලට යන්නෙ පා ගමනින්. මෙහේ සිට පොලට යනකම් සැතපුම් ගනනාවක් මඟ දෙපස රූස්ස ගස් තිබුනා. හීල් හෙවනෙ පයින් ගමන සුවදායකයි. සුද්දිත් සමහරු එක්ක සඳුදට මේ ගමන යන්න පුරුදු වුනා. සඳුද දවසක සුද්දි ආයි අතුරුදහන් වුනා. ඊට පස්සෙ ආවෙම නෑ. අපි සොයා බැලුවා. පාසල ලඟම ඉන්න අපේ හිතවතෙක් කිව්ව එදා පොලේ යනවිට මේ මුවැත්ති එයාගෙ ගමන් සගයා ලෙස හන්දියට වෙනකම් පස්සෙන් ආවලු. එච්චරයි අපි දන්නේ. ආයි එයා ආවෙම නැහැ. රෑක ගිය ගමනක් නම් කොටි හපුවෙකුට බිළි වුනා කියන්න හැකියි. නමුත් දවල් ගිය නිසා සුද්දි ගැන නොදන්න අල්ලපු ගමක දඩයක්කාරයෙකුගේ පහසු ගොදුරක් වෙන්න ඇති. කැලෑ ගමක ගුරු නිවාසෙක තනිවූ තනිකඩ ගුරුවරු පස් දෙනෙකුට පාළුව කාංසිය මකන්න ලෙන්ගතුකම් පෑ ඒ රූබර මුවැත්තිය සදහටම යන්න ගියා. ඒ දුකත් අපිටමයි සාන්තෝ. ..................................නිමි.........................................මදන මෝහිනී "ලොකු හාමිනේ දන්නවද වැඩක්."පිල අසල බිම වාඩිවී පැදුරක් වියමින් සිටි ආච්චි හට තේමිස් මාමා කීවේය. "මොකද්ද බං?"ආච්චි විමසුවේ පැදුරෙන් නෙත් ඉවතට නොගනිමින්ය. තේමිස් මාමා අපේ ගමේ සිටි තරමක කෙබරකාරයෙකි.ඔහු පවසන දෙයින් ලුනු ගොරකා ඉවත් කර ඔලුවට ගත යුතු බව තාත්තා නිතරම පවසන දෙයකි.අක්කානම් කියන්නෙ තේමිස් මාමා මල් චීත්තයක් බවය. "පිං වේල්ල ළඟ වංගුවේ අවතාරයක් ඉන්නවලු.කාටවත් එතන තියෙන ඇල ළඟින් තනියම යන්න බැරිලු.දෙමළ ලමිස්සියෙක් වගේ සේලෙකුයි තන පටේකුයි ඇද ගෙන ඇවිත් ඇල වේල්ලෙ නටනවලු.බාගවෙලාවට ළමයෙකුත් අරන් ඇවිත් වඩා ගන්න කියනවලු."තේමිස් මාමා විස්තර කරන්න වූවේය. "අනේ තේමිස් මාමේ කෙබර නොගහ ඉන්න."ගෙතුළ සිට පිලට පැමිණි අක්කා කීවාය."අම්මේ මෙන්න තේමිස් මාමට මෝහිනී හම්බුවෙලාලු." "ඇත්තද තේමිස් අයියේ?"අම්මාද ගෙතුළ සිට නිවස ඉදිරිපසට එමින් විමසුවාය.දොරට හේත්තු වී ආච්චි දෙස බැලූ අම්මා සිනහව නතර කර සිටියේ මහත් ආයාසයකින් බව මට වැටහුණි. "බොරු නෙවෙයි හාමිනේ.පෙරේදා බංඩි ගුරා රෑ පානෙ ගෙදරට එද්දි පිං වේල්ල ළඟ වංගුව හරියෙදි සේලයක් ඇදගත්ත දෙමළ ලමිස්සියෙක් ඉස්සරහට පැනල නිරුවස්තරෙන් නැටුවලු.මොකද බංඩි ගුරා බොරු කියන මිනිහෙක්ද?" "බංඩි ගුරා විතර බොරු කියන මිනිහෙක් අහල ගම් හතකවත් නැතුව ඇති."පැදුර විවීම මදකට නතර කළ ආච්චි, අම්මා දෙස බලමින් කීවාය. "කළුවර වැටුන ජාමෙට හාමිනේලත් ගිහිල්ලා බලන්නකෝ ඔය හරියෙන්."යනුවෙන් තරමක නොමනාපයෙන් පැවසූ තේමිස් මාමා මිදුලට බැස්සේය. "ඔය කොහෙද යන්නෙ තේමිස් අයියෙ.ඉදිං තේ කහට ඩිංගක් බීලා යන්න."අම්මා පැවසුවාය. "නෑ.මම පුවක් ගහ යටට ගිහින් ගෙඩි දෙක තුනක් අහුලං එන්නං." තේමිස් මාමා අප නිවසින් පියව යනවිට ගොම්මන් කළුවර පොළොවට වැටෙමින් තිබුණි.ඔහු පැවසූ ඇතැම් දේට අක්කාටත් මටත් සිනහ ගියත් අම්මාගෙ රැවීම හමුවේ අප ඉතා අපහසුවෙන් සිනහ නොවී සිටීමට උත්සාහ කළෙමු. තාත්තා නිවසට පැමිණි පසු අක්කාත් මමත් ඔහුට තේමිස් මාමා පවසන ලද කතන්දරය සිනාසෙමින් විස්තර කළෙමු. මුවගට නගා ගත් සිනහවකින් යුතුව සම්පූර්ණ සිද්ධිය අසා සිටි තාත්තා මහ හඩින් සිනාසනේන වූවේය. "තේමිස් ගොයියා හොදයි ඉලව් ගෙදරක නිදිමරන්න එක්ක යන්න.කට ඇරියොත් ⁣දෙසාබාන්නේ ඔය වගේ බේගලයක් තමයි". රාත්‍රි බත් කිසෙන් පසු මම පිල මත වාඩි වී මිදුල දෙස හිස් බැල්මෙන් යුතුව බලා සිටයෙමි. මොහොතකින් කඩුල්ල පැන යමෙකු නිවස දෙසට එන අන්දම මම දුටුවෙමි. ඒ පැමිණියේ අපගේ නිවසට ගෙවල් කිහිපයක් නුදුරින් සිටින රත්නපාලය.විසිවන වියේ පසු වූ ඔහු මට වඩා වසර පහකින් වැඩිමහලුය. " වසන්ත, වරෙන ගමනක් යන්න " ඔහු පැවසුවේ නිවස දෙසට ඉක්මන් ගමනින් එමිනි. "මොකද රත්නපාල අයියේ ?" මම පුදුමයෙන් යුතුව විමසුවේ ඔහුගේ කෝපාවිෂ්ඨ මුහුණ දෙස බලමිනි. "බලපන් ඇලේ වතුර කදුලක් නෑ.උඩහ වක්කඩවල් ඔක්කොම ටික කඩල ඇති. මම ගෙදරට ගොස් අම්මාට සහ තාත්තා⁣ට මෙ බව පවසා උදැල්ල රැගෙන නිවසින් පිටතට පැමිණියේය. "ඉක්මනට යමු" මාගෙන් උදැල්ල ඉල්ලා ගෙන උරහිසට තබා ගනිමින් රත්නපාල කීවේය. "වතුර කැඩුව එකා අහුවුණොතින් මම දන්නවා කරන දේ". "ගියාට කමක් නෑ මිනිස්සු එක්ක රණ්ඩු සරුවල් කරගන්නව⁣ එහෙම නෙවෙයි". තාත්තා පිල ඉදිරියට පැමිණෙමින් කීවේය. කඩා දමා තිබූ වක්කඩ යලි පිළිසකර කිරීමෙන් පසු මමත් රත්නපාලත් යලි නිවස බලා ඒමට පටන් ගත්තෙමු. අපි මේ වන විට ගමන් කරමින් සිටියේමදන මෝහිනී සිටින්නේ යැයි තේමිස් මාමා පවසන ලද ප්‍රදේශයෙනි. "රත්නපාල අයියේමේ හරියෙ තමයි මදන මෝහනි ඉන්නවා කියලා තේමිස් මාමා කිව්වේ." මම අප දෙන්නා අතර මෙතෙක් වෙලා පැවති නිහඬතාව බිඳ දමමින් කීවෙමි . "පට්ට කෙබර, මොන මදන මෝහිනියක්ද?" යනුවෙන් විමසමින් රත්නපාල වෙනත් කල්පනාවකින් ගමන් කළේය . අප දෙදෙනා මෙලෙස ගමනේ නිරතවන අතරතුර රත්නපාල කුඹුරක් මැදින් නිවසකට යාමට ඇති අඩි පාරක් අසල නතර වූවේය. "වසන්ත උඹ චුට්ටක් මෙතන හිටපන්.මම පොඩි උවමනාවකට පහළට ගිහිල්ලා එන්නම්.
" "මෙතන තනියම ඉන්න ?"මම පුදුමයෙන් සහ තැතිගැන්මෙන් යුතුව විමසුවෙමි. "ඔව්.උඹට බයද?" "නෑ.ඒ වුණාට මම එන්නම් උඹත් එක්ක." "උඹ එන්න එපා.මෙතනම ඉදපං.මම යන්නෙ පොඩි උවමනාවකට යනුවෙන් පැවසූ රත්නපාල අඩි පාර ඔස්සේ ගමන් කරන්න වූවේය. මදන මෝහිනියක් ගැවසෙන ඉසව්වක තනියම රාත්‍රියේ සිටගෙන සිටීමට මට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණි.එබැවින් රත්නපාලට නොදැනෙන්නට ඔහු පසු පසින් ගමන් කිරීමට අවසානයේ මම තීරණය කළෙමි. රත්නපාල ගස්වල⁣ට මුවාවෙමින් ගමන් කර පිදුරු සෙවිලි කරන ලද ගෙයක් අසල නතර වූවේය.ඔහු උදැල්ල ගෙයි ඉදිරිපස වූ දම් ගහට හේත්තු කර දොරකඩ අසලට සෙමින් සීරුවේ ඇවිද ගියේය. "ටක් ටක් ටක්"රත්නපාල තෙවරක් දොරට තට්ටු කළේය. මෙම නිවස ගමේ සිටිනා වනචර ගැහැනියක් ලෙස හංවඩු ගැසී සිටින මැගීගේ නිවස බව මට තේරුම් ගොස් තිබුණි.එම නිසා මම වඩාත් උනන්දුවෙන් එහි සිදු වන දෙයට අවධානය යොමු කළෙමි. "ටක් ටක් ටක්"රත්නපාල යළිත් දොරට තට්ටු කළේය. එවිටම ගෙතුළින් ආලෝකයක් මත් වුණි. "ටක් ටක් ටක්" "කවුද?"මියුරු කටහඬක් නිවස තුළින් ඇසුණි. "මම." "මම කිව්වේ කවුද ?" "රත්නපාල.ඇයි කටහඬ අදුන ගන්න බැරිද?" මොහොතකට පසු නිවසේ ඉදිරිපස දොර විවෘත විය.රත්නපාල ගෙට ඇතුළු වූ පසු දොර යළිත් වරක් වැසී ගියේය. මම සෙමින් නිවස ඉදිරිපස දොර අසලට ගමන් කර යතුරු සිදුරට එක් ඇසක් තබා ගත්තෙමි.සාලය මධ්‍යයේ දල්වා තිබූ ලාම්පු එළියෙන් මට පෙම්වතුන් යුවලක් දැක ගත හැකි විය.මැගී රත්නපාලගේ මුහුණ සිඹිමින් ඔහු ඇද සිටි කලිසමේ සාක්කුවලට අත යවමින් සිටි අතර මොහොතකින් ඇය ඇද සිටි තණ පටයද ගැලවී ගියේ ලාම්පුවද නිවා දමමිනි. පැය භාගයක පමන වේලාවකට පසු යළිත් ලාම්පුව දැල් වුණි.රතනපාල දැන් නිවසින් එළියට බසින බැවින් මම වහා අඩිපාර ඔස්සේ ප්‍රධාන පාර දෙසට ඇවිද ගියෙමි. "උඹට බය හිතුනද වසන්ත?" අඩි පාර ඔස්සේ මා සිටි ස්ථානයට එමින් රත්නපාල විමසුවේය "මොන බයක්ද.මොකෝ මෙහේ යක්කු ඉන්නවද?"යනුවෙන් පැවසූ මම ගමන් ආරම්භ කළෙමි. ++++++++++++++++++++++++++++++ පසු දින රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු මම මිදුලට බැස මොහොතක් අහසෙහි පායා ඇති අඩ සඳ දෙස බලා සිටියෙමි.ඉන් පසු මාගේ සිතට පැමිණි යම් අදහසක් ක්‍රියාත්මක කිරීම සදහා මම සෙමින් කඩුල්ල දෙසට පියමං කරන්න වූවෙමි. "කොහෙද වසන්ත උඹ මේ රෑ බෝ වෙලා යන්නෙ ?"ඉදිරිපස පිල වෙත පැමිණි අම්මා විමසුවාය. "මම මද්දු අම්මලයි ගෙදර ගිහින් එන්නම්." "මේ රෑ වෙලා තියෙද්දි එහෙ මෙහෙ යන්න එපා.සත්තු සර්පයො හැමතැනම." "මම ඉක්මනට එන්නම්."යනුවෙන් පැවසූ මම කඩුල්ල පැන මාර්ගයට පිවිසුණෙමි. මිනිත්තු පහළොවකට පමණ පසු මා මදන මෝහිනිය සිටින අඩවියද පසු කර මැගීගේ මිදුල වෙත පැමිණියෙමි.සැලෙන හදින් යුතුව වටපිට බැලූ මම අවට කිසිවකු පෙනෙන්නට නොමැති බව සැක හැර දැන මැගීගේ නිවසේ ඉදිරිපස දොර අසලට ගමන් කළෙමි. "ටක් ටක් ටක්." මම රත්නපාල කළ ආකාරයටම තෙවරක් දොරට තට්ටු කළෙමි.කිසිදු ප්‍රතිචාරයක් එය⁣ට නොලැබුණි. "ටක් ටක් ටක්." මම යළිත් දොරට තට්ටු කළෙමි. මොහොතකින් නිවස තුළ පහනක් දැල්වුණි.මෙතෙක් වේලා මා තුළ පැවති ධෛර්යය ඒ සමගම ඈතට පලා ගියේ දියෙන් ගොඩ දැමූ මතස්‍යයකු මෙන් මා වෙව්ලවමිනි. "කවුද?" "මම ?" "කවුද මම?" "රත්නපාල." ඒ සමගම දොර විවෘත වූ අතර මා බියෙන් වෙව්ලමින් නිවස තුළට ගමන් කළෙමි." "හත්දෙයියනේ මේ වසන්ත නේද?"මා හදුනාගත් විගස මැගී විස්සෝපයෙන් යුතුව කීවාය. මම පිළිතුරක් නොදී ඇය දෙස සැලෙන හදින් යුතුව බලා සිටියාය. "කවුද දෙයියනේ මෙහාට එන්න කිව්වේ?අම්මල එහෙම දැනගත්තොත් මාව කාවි."මැගී මාගේ උරහිස් මත දෑක තබා පැවසුවේ මනමාල හිනාවකින් මුව සරසා ගන්නා අතරමය. මම පිළිතුරක් නොදී ගල් පිළිමයක් සේ නිහඩව නිසලව බලා සිටියෙමි. "කවුද මෙහෙට එන්න කිව්වෙ ?කොහොමද දොරට තට්ටු කරන හැටි දන්නෙ ?"ඇය යලිත් විමසුවේ මාගේ කම්බුල් මිරිකමිනි. "කවුරුත් එන්න කිව්වෙ නෑ.මට එන්න හිතුණා."මම අපහසුවෙන් වචන ගලපා ගතිමි. "මෙහෙ ආවයි කියල කවුරුවත් දන්නවද?" "කවුරුවත් දන්නෙ නෑ.' "කවුරුවත්ම දන්නෙ නැද්ද ?" "නෑ."යනුවෙන් පැවසූ මම මේ වන විට මගේ බදවටා ගොස් තිබූ මැගීගේ දෑත් මුදවාගැනීමට තැත් කළෙමි."මට යන්න ඕන ." "වසන්ත මෙහේ ආපු බව කවුරුවත් දන්නෙත් නැත්නම්,මගේ දොරට තුන්පාරක් තට්ටුත් කලානම් එහෙම නිකං යන්න දෙන්න බැහැනේ."යනුවෙන් පැවසූ මැගී මාව ඇයගේ ඇගට තද කරගනිමින් මුහුණ සිබින්න වූවාය. "මට යන්න ඕන."මැගීගේ ග්‍රහනයෙන් මිදීමට තැත් කරමින් මම යළිත් කීවෙමි. "එහෙම යන්න දෙන්න බෑ.යන්න දෙන්නෙත් නෑ."මැගී මා තවත් තද කර බදාගත්තාය. "මාව අතෑරපං මැගී අක්කෙ.මට යන්න දීපං." "මම සැරයක් බෑ කිව්වනේ."යනුවෙන් පැවසූ මැගී තම ඇදිවත ගලවා දමා නග්න වූවාය.ඒ අවසරයෙන් දොර විවෘත කර එළියට පැනගත් මා අඩි පාර ඔස්සේ පිං වේල්ල දෙසට දිවයන්න වූවෙමි. "වසන්ත!වසන්ත!අනේ යන්න එපා."යනුවෙන් පවසමින් මැගීද මදන මෝහිනියක් විලසින් මා පසු පස දිව එන්න වූවාය. මම අඩි පාරෙන් කුඹුරට පැන නියරෙන් නියරට පනිමින් දුවන්න වූවෙමි. "ඔහොම නැවතියං.නැත්නම් මම ඔක්කම අම්මලට කියනවා."මැගීද මට ආසන්නයෙන් ලුහුබදිමින් සිටියාය. නියරෙන් පාර⁣ට ගොඩ වූ මම හැකි උපරිම වේගයෙන් නිවස දෙසට දිව යන්න වූවෙමි.නමුත් මැගීගේ ධාවනය මට වඩා වේගවත් විය.මොහොතකින් ඇය මා අල්ලා ගත්තාය.ඒ මොහොතේදීම හුළු අත්තක් දල්වාගත් අයෙකු මාර්ගය ඉදිරියේ ඇති වංගුවෙන් මතු වනු මම යන්තමින් මෙන් දුටුවෙමි. බිම වැටී සිටි මගේ සිරුර මතට පෙරළී සිටි මැගී හුළු එළිය දුටු විගස අසල වූ බඩ වැටියක් තුළට රිංගා ගත්තාය. "කවුද මේ? වසන්තද?"හුළු එළිය අතින් ගත් තැනැත්තා ප්‍රශ්න කළේය. "ඔව්."මම සැලෙන හඬින් යුතුව පවසා ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි.එහි සිටියේ තේමිස් මාමාය. "කොල්ලො,උඹ හොදටම බය වුණා නේද?උඹ මං කියපු දේත් නාහා මේ ඉසව්වෙන් තනියම ආවෙ මොකද?"ඔහු මගේ හිස අතගාමින් විමසුවේය."අර යකින්න නේද උඹව බදාගෙන හිටියේ?" "ඔව්." "බයවෙන්න එපා.මම ආරක්ෂා මන්තරයක් මතුරන්නම්."යනුවෙන් පැවසූ තේමිස් මාමා මගේ හිස අතගා යමක් මතුරන්න විය. "උඹ මේ පැත්තෙ ආව කියල ආරංචි වෙල අම්ම මට කිව්වා ඇවිත් බලන්න කියල."ආපසු යන අතරතුර ඔහු පැවසුවේය. "ඔන්න කොලුවගෙන්ම අහගන්න මදන මෝහිනී ගැන මම කියපු දේ ඇත්ත නැත්ත." නිවසට ගොඩවෙමින් තේමිස් මාමා පැවසුවේ එපමණකි.අවසානයේදී තේමිස් මාමාගේ මදන මෝහිනී කතාව මා නිසා සත්‍යයක් බවට පත් වුණි. ..සමාප්තයි..අහිංසාවාදියෙකුගේ පාපොච්චාරණය " මායි මගේ දරු පැටව් ටිකයිත් ඔය වලටම දාල වහ පල්ලා. මගේ දෙයියෝ අනේ අපි දාලා යන්න එපා " මැණිකා ගේ විලාපය සොහොන් බිම සිසාරා ඇදී යයි. බාල ඇල්බීසියා පෙට්ටිය මතට බොල් හඩින් වැටෙන පස් , ටිකෙන් ටික සුමනේව අපේ ලෝකෙන් ඈත් කරවන බව මට දැනුනා. මැණිකා මේ දෙදොහ ඇතුලත විසි තිස් වතාවටත් ක්ලාන්ත උනා. වතුර නාවන වයසටවත් කිට්ටු නොකල ලොකු කෙල්ලයි පොඩි උන් හතර දෙනයි තරගෙට විලාප තියන්නෙ වෙලා තියන සංගදිය තේරිලා නිසා නෙවෙයි. අම්ම අඩන නිසා .. "මළ බතයි හත් දොහේ දානෙයි නම් සමිතියෙන් එක්කහු වෙලා කොරයි. ඉන් මත්තෙන් පහු මේ ගෑනි මේ දරු රොත්තක් එක්ක කොහොම දිවි ගැට ගහ ගනීද කියන එක තමයි හැමෝගෙම මූනු වල තිබ්බෙ. අහල පහල ගෑනු මැණිකා වත්තන් කරන් ළමයින්වත් පරක් කර කර වැව් බැම්ම දිගේ ආය ගමට එනවා . මළ ඉර මූසල විදියට ඈතින් බැහැල යනව ... ජීවිතේ අනිත්‍යයි කියලා හාමුදුරුවෝ මතක බණේ කිව්වට මේ දරු බුරුත්ත මලේ නෑ කියලා හාමුදුරුවන්ට ඒ වෙලාවෙ මතක් උන්නෑ මං හිතන්නෙ. .. ටික ටික සුමනෙලගෙ ගෙදරට සේන්දු උනත් මැටි වරිච්චි බිත්ති බැදපු මාන හෙවිල්ලපු ගේ දැකල පපුව ගිනි ඇවිලිලා ගියා.. මට ඕනි පුළුවන් ඉක්මනට මෙතනින් ගැලවෙන්න . මට තනි වෙන්න ඕනි උනත් ඊයෙ රෑ ‍ඉදල යන්තමින් ඇස් පිය වෙද්දී සුමනේ දත් විලිස්සන් මාව මරන්න එනවා .. ගමේම සෙනග මැද උනත් සුමනෙ ඇව්ල්ල මගේ බෙල්ල මිරිකයි කියලා මට හිතුනා. ඒත් මැනිකගෙයි දරුවොන්ගෙයි අදෝනා පිහි පාරවල් වගේ පපුවට ඇනෙද්දි මට ඕන උනේ පුළුවන් ඉක්මනට මෙතනින් අයින් වෙන්න .. තැන් තැන්වල වැටිලා හති අරින මිනිස්සු, කහට කෝප්ප උස්සන් එහා මෙහා යන ගෑනු අස්සෙ මං පද්මව හෙව්වා . නොකියා ගෙදර ගියොත් පද්මා කලබල වෙයි. ඒත් කියන්න ගියොත් අනිවාර්තෙන්ම යන්නෙ මොකද කියලා හේතු කියන්න වෙනව .මං ආයෙමත් කවුරුත් නැති අහකට සමිතියේ පුටුවක් උස්සන් ගිහින් වාඩි උනා..සිහින් අදුර පැතිරෙන්න පටං ගත්තා . පද්මා විතරක් නෙවෙයි ගමේ කීප දෙනෙකුට ම මට අයින් ගහලා ඉන්නෙ ඇයි කියල හේතු කියන්න උනා.. ඔව් වෙනදට ගමේ ඉලව් ගෙයක් උනාම ඔක්කොම බර කරට අරං දුවලා පැනල කටයුතු කරන ඉස්කෝලෙ මහත්තයා සුමනෙගෙ මලගමේදි විතරක් තුස්නිම්භූත වෙලා පැත්තට වෙලා ඉද්දි මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් තමයි .අසනීප ගතියක් තියෙනවා මට වැඩ කරන්න අමාරුයි කිව නිසා ඊයෙ පද්මා රෑ කසාය මුට්ටියකුත් උණු කරා. හිතේ අමාරුවට බොන කසායක් ඕනි උනත් ගමටම පස් පවින් වලකින්න දේසනා කරන ගමේ ස්කෝලෙ ගුරුතුමා වෙච්ච මට ඒක කරන්න අවසර නෑ නේද කියලා මට මතක් උනා.. ඒ එක්කම ඒ එක්කම සුමනෙ ඈත ඉදලා ඔලොක්කුවට හිනා වෙනව වගේ මට දැනුනා.. "ගමේ අනික් උන් උබත් වගේ ඔවා පන්සලේදි විතරක් කිව්ව නම් සුමනෙ අදත් ජීවත් වෙනව නේද " කියලා මගේ යටි හිත කෑ ගහන්න ගත්තා . ඔව් පස් පව් නොකරන මං නිසා සුමනෙ මැරුණා. උගෙ දරු පවුල අනාත උනා.. මට වෙච්ච හැමදේම මැවිලා පේන්න ගත්තා .. එදා දෙණිකඩ යායෙ නියර දාන දවස .මං උදේ ඉදලා ගිහින් නියර කොට කොටා හිටියා .ඒ අස්සේ මගේ ලගින්ම ඇදිල ගිය පොලොං තඩියා මගේ දෑහටම දැක්ක . උගේ බඩ හරියෙ තිබ්බ වෛරම පවා මට හොදටම පෙනුනා. නියර කොටන්න මං නෑවිත් කුලියට ගමේ එකෙක් දැක්ක නම් අනිවාර්යයෙන් " විසගෝර සර්පයා දැක නෑර මෝඩයා" කියලා පොලගගේ ඔලුවට ම උදලි පාර දෙනව ස්තිරයි. මං වන්නා ඉස්කෝලෙ මහත්තයා නිසා මුලු කවියම දන්නවා . දෙරණ තුල තුඹසයා තුඹස තුළ නාගයා විසගෝර සර්ප
යා දැක නෑර මෝඩයා ඉතින් ගමේ උන් මේක සර්පයො මරන්න කියන කවියක් කියලා, අවසන් පදේ විතරක් කිව්වට මං ඔක්කොම දන්නවා . අනික සර්පයො අපේ සොබාදහම් චක්කරේ පවත්වාගෙන යන්න දායක වෙන හැටි සර්පයො අපි රැකිය යුත්තෙ ඇයි මං ඔය ඔක්කොම දන්නවා . .. මං ඉතින් " බංඩව එවන්නෙ නැතුව මං නියර කොටන්න ආව නිසා ඕන් උබ බේරුනා " කියලා හිතං පොළගට යන්න ඇරියා.. තවත් ටිකක් වැඩ කරලා ගෙනාව තේ ටික බොන්න යද්දි තමයි එහා පංගුවට එහා පංගුවෙ කොට කොටා හිටි සුමනෙ මරලතෝනි තිබ්බෙ. මට කලින් එතනට දුවපු එවුන් සුමනෙව පැන පැන කාපු පොලගට උදලු පාර දීල තිබ්බ . නාහෙන් කටෙන් ලේ මිශ්‍ර පෙන දාගෙන ඇස් වලින් ලේ එලියට එද්දි හැමෝම සුමනෙ උස්සන් පාරට දුවන්න පටං ගත්තා . අපේ යායෙ ඉදලා පාරට හැතැප්ම බාගයයි වාහනයක් හොයාගන්න යන වෙලාවයි එක්ක පොලොං විස හොද සටනක් දීල තිබ්බ . ලියද්දෙ ඔලුවට උදලු පාර වැදිලා හිටි පොලගගෙ බඩ හරියෙ හොද පුරුදු වයිරං රටා වලට පණ ඇවිල්ල වගේ මට පේන්න ගත්තා . ඒ ඔක්කොම මැද මැණිකා ගෙයි දරු පැටවුන්ගෙයි විලාපෙ මැද සුමනෙගෙ පෙට්ටියට පස් වැටෙන සද්දෙ ආයෙමත් කන ලගින්ම ඇහෙනව වගේ දැනුනා.. රුවන්තිකා මධුශානිමේ වසරේ ශ්‍රි පාද වන්දනා සමය දෙසැම්බර් මස 26 වෙනිද සිට ආරම්භ වීය. එය මැයි මාසෙ වෙසක් පෝය දිනයෙන් අවසන් වීමට නියමිතය. මුහුදු මට්ටමේ සිට අඩි හත්දහසකට මඳක් වැඩි උසකින් පිහිටා ඇති ශ්‍රී පාද කදුමුදුනේ බෞද්ධ ජනතාවට අනුව පිහිටා ඇත්තේ සම්බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී පතුලයි. හින්දු භක්තිකයන්ට අනුව ඒ ශිව දෙවියන්ගේ පා සටහනයි. සමහර ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසය නම් ඒ ආදම් ගේ පා සටහන බවයි. ඒ මොනව උනත් ශ්‍රි පාද කන්ද කියන්නෙ ආගම් භේදයකින් තොරව බහුතර ශ්‍රී ලාංකික ජනතාවකගේ ගෞරවාදරට පත් වූ ස්ථානයක් යැයි කිවහොත් එය නිවැරදි යැයි මම සිතමි. වසරේ ශ්‍රී පාද වන්දනා සමය යෙදෙන උදුවප් පොහොය දින සිට ඊලඟ වසරේ වෙසක් මස දක්වා වූ මාස කිහිපය හැරෙන්නට ඉතිරි මාස අවාරය ලෙස හැදින්වේ. අවාරයේ සිරිපා කරුණා කරන අයවලුන් සිටියත් එය අතිශය දුෂ්කර සහ අවදානම් සහගත දෙයක් බව කිවමනාය. ජීවිතයේ එකවරක් හෝ ශ්‍රි පාදෙ නොගිය කෙනාත්, එක වතාවකට වඩා ගිය කෙනාත් යන දෙදෙනාම මෝඩයින් යැයි කියමනක් කුඩා කල මා අසා ඇත. ඒ, එතරම් එය තරණය කිරීමට ඇති දුෂ්කර බව නිසාම වන්නට ඇත. එක වතාවක් පමණක් ශ්‍රී පාද කන්ද තරණය කර ඇති මා මෝඩයෙකු ගණයට නොවැටී සිටීම ගැන සතුටු වෙමි. එනමුත් කෙමෙන් කෙමෙන් වියපත් වෙමින් ගතේ ශක්තියද හීන වීගෙන යන මා, ශක්තිය ඇති කළ තව එක වතාවක් හෝ ශ්‍රි පාදය තරණය කර මෝඩයෙකු නොවීම පිළිබඳව ඇත්තේද කණගාටුවකි. මගේ පලමු සහ එකම ශ්‍රී පාද තරණය ගැන මතක් වී ඒ ගැන ලියන්නට සිත් වූයේ මේ සැරේ සිරීපාදෙ යන්න එනවාදැයි මාගේ මිතුරෙකු විසින් පහුගිය දිනක මට කළ ආරාධනයක් සමගිනි. මගේ මතකය නිවැරදි නම් ඒ 1989 වර්ෂයේ මුල් භාගය විය යුතුයි. ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට එවකට කටුනායක පැමිණි අපි එහි පලමු වසර ගෙවමින් සිටියෙමු. අද මෙන් එකල සිසුන්ට ආයතනයෙන් සංවිධානය කරනු ලබන ෆීල්ඩ් විසිට් සංචාරය නොමැති වූ නිසාවෙන් බොහෝ දෙනාගේ අදහස වූයේ "බැච් ෆිට්" එක වැඩිකර ගැනීමට කොහේහරි යා යුතු බවයි. බොහෝ ශිෂ්‍යයින් නොයෙකුත් තැන් යෝජනා කළද, දසයා, ජනක, හිලරි, මල්ලිකාරච්චි, නේවි කොටා සහ මා හට දැනට නම් අමතක තව බහුතරයකගේ ඒකමතික තීරණය පරිදි අපි සිරිපා කරුණා කිරීමට තීරණය කලෙමු. ඒ තීරණයට අපේ බැචියන් නම් දැඩි සේ විරුද්ධ වූයේ දවස් දෙකක එවැනි ගමනකට එකල කිසි ලෙසකින්වත් තම දෙමාපියන්ගේ අවසරය ඔවුනට නොලැබෙන බව හොඳින්ම දන්නා නිසාවෙනි. ඒත් තීරණයේ වෙනසක් නැත. බැචියන්ගේ දැඩි විරෝධය නොතකා ගමනට සියල්ල සූදානම් කෙරිණි. ( බැචියන්ගේ සැනසීම උදෙසා පසුකාලීනව හන්තාන බැච් ට්‍රිප් එක සහ තව වරෙක බොහෝ විවේචන වලට ලක්වූ සහ නොගිය සමහරක් විසින් ඊනියා "පැනි ට්‍රිප් එක" ලෙස හදුන්වන්නට යෙදුන මහනුවර - කොළඹ නගරාන්තර දුම්රියේ ගියාවූ මහනුවර සංචාරයද සංවිධානය කෙරිණි.). කෙසේ හෝ ගමනට ආයතන බලධාරීන් විසින් අපට නිවාඩු අනුමත නොකර සිටීම හේතුවෙන් සිකුරාදා දින දේශන සහ අපරභාගයේ තිබූ ප්‍රායෝගික පුහුණුවද හමාර කර සවස් කාලයේ ගමන පිටත්වීමට කටයුතු කෙරිණි. බස් රථය කටුනායකින් පිටත්වන විටම සවස පහ පසුවී තිබිණි. ඒ හරියට වෙලාවට වැඩ කිරීමේ නිසි පුහුණුවක් අප එදා ලබා නොතිබීම හේතුවෙන් සහ මහ රෑ සමයමේ සිරිපා කරුණා කිරීමට ඇති අපහසුව ගැන කිසි අයෙක් දැනුවත් නොවී සිටීම හේතුවෙන් බව අද මට සිතෙයි. කෙසේ හෝ සවස බස් රථයට සැවොම පටවාගෙන ගමන යන්න පිටත් විය. සෑමදාම කොළඹ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුමෙන් පටන්ගන්නා මාර්ග අංක 240 කොළඹ-මීගමුව ලංගම බස්රථයට කොළඹන් ගොඩවී කටුනායක 18 කනුව නොහොත් එයාර්පෝට් හංදියෙන් බහිනතෙක් බස් රථයේ කරන ලෙසම සුපුරුදු පරිදි මේ ගමනේදීත් ගමනාන්තය දක්වාම නන්ස්ටොප් සිංදු මැෂිම මම වීමි. අනෙක් අයගේ සහයද නොමදවම ලැබීම සමහර සිංදු වල මට අමතක පදවැල් පූර්ණ කරගැන්මට ඉවහල් වූ බව කිවයුතුමය. බසයේ පසුපස ආසනවල යට එබීගෙන මොනවාද සොයමින් සිටි සමහරු, මැදදී තොවිලයක ගරායකා මැදට පනින්නාක් මෙන් මැදින් පැන අපිට අමතක උන පදවැල් හරි අපූරුවට මතක්කර ගීත ගායනයට එක්වූ හැටි නං කිසිදා අමතක නොවේ. එවැනි අමතක දෑ මතක් කිරීමට තරම් පුදුම බලයක් පසුපස ආසන අස්සේ තිබීම මෙවන් ගමනකදී අතිශය වැදගත් වනු ඇතැයි විශ්වාස කරමි. ඇහැලියගොඩින් රෑට සප්පායම් වී බස්රථය සිරිපා කන්ද පාමුලට යනවිට රාත්‍රී 10ට පමණ ඇතිබවයි මගේ මතකය. ගමනට එක්වූ බහුතරයක් සිරිපා කරුණා කිරීමේ කෝඩුකාරයන් වූ නිසාත් "වෙනත් කාරණා" හේතුවෙන් තව සමහරකටත් අප මේ ගෙනත් දැම්මේ කොතනටද කියා නිනව්වක් නොමැති උවත් එතන සිට පටන්ගෙන සිරිපා කරුණා කිරීමට පටන් ගතිමු. (පසු කලෙක දැනගත් පරිදි බස් රියදුරු විසින් ඔහුගේ ගමන කෙටි කරගැන්ම උදෙසා අපව ගෙනත් දමා ඇත්තේ සිරිපා කරුණා කරන්නට දුෂ්කරම වූ මාර්ගයක් වන කුරුවිට පිවිසුමට බව අවබෝධ විය.) මේ බවක් නොදන්නා යන්තම් වයස විසිගණනක් වූ අප තරුණ කමට සහ හිතේ හයියට ඉදිරියට ගමන්කළා කිවහොත් එය නිවැරදියි. මෙකල මෙන් නොව මෙයින් වසර තිස්පහකට පමණ පෙර කුරුවිට මාර්ගය දෙපස ඝන වනාන්තරයකින් සමන්විත වී තිබූ අතර වන සතුන්ගේ ගැවසීම් සහ කෑගැසීම්ද නොඅඩුව තිබීම හේතුවෙන් මෙවන් මහා රාත්‍රියක තබා දහවල වත් එවන් මාර්ගයක ගමන් කරන්නට යෝග්‍ය නොවූ බවයි අද මා කල්පනා කරන්නේ. අපේ ගමන බාල කරන්නට මඟදී පටන්ගත් මොර සූරන වැස්ස හේතුඋන බව ලිවිය යුතුය. වැස්සට ගල්ගුහාවල සෙවන ලබමින් තවත් වරෙක හෙවනක් නොමැතිව මහ වැස්සේම කරුණාකරපු අප බොහෝ දෙනා කියන්නට ගත්තේ බැච් ට්‍රිප් එකක් ලෙස මෙහෙම ගමනක් මොකට ආවාදැයි කියාය. සමහරුන් සංවිධායකවරුන්ගේ ගුණ වර්ණනා කරපු අතර සමහරක් බස් ඩ්‍රයිවර් ගේ මව්පියන්ට පින් දෙමින් කරුණාකරනු ඇසිනි. එකල ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් එහි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට තෝරාගත් සමහර නිලධාරීන් න්‍යායාත්මක පුහුණුව සදහා රාජ්‍ය විශ්ව විද්‍යාල ඇතුළු ලංකාවේ එවකට තිබූ වෙනත් රජයට අයත් ඉංජිනේරු විද්‍යා උසස් අධ්‍යයන ආයතනවලට අනුයුක්ත කරන ලදී. එසේ අනුයුක්ත කරන ලද නිලධාරීන් අතරින් අද මට මතකයේ ඇත්තේ නේවි කොටා, සුබසිංහ සහ නේවි කුරුප්පු පමණි. මේ ගමනට එකතු වී සිටි එසේ අනුයුක්ත කර සිටි නාවික කැඩේට් නිලධාරී "නේවි කුරුප්පු" එකපාරටම බෙරිහන්දීගෙන කෑගසන්නට උනේ හරියට කොටියෙක් ඩැහැගෙන යන ආකාරයට. මා සමඟම කරුණා කළ නේවි කුරුප්පු මගේ ඇගේ එල්ලුනි. "මචං මගේ දකුණු ඇහැට සර්පයෙක් ගැහුව වගේ. මචං බලපං" දකුණු ඇස අතින් වසාගෙන කෑගහන කුරුප්පුගේ අත ඔහුගේ ඇසින් අහකට ගත හැකි උනේ තව දෙන්නෙක්ගේත් උදව් ඇතිවයි. ඔහුගේ ඇසට අපේ කව්දෝ ගෙනා විදුලි පන්දම එල්ල කර බැලූවිට පෙනුනේ ඇහැක් නොව එකම එක ලේ ගුලියකි. නේවි කුරුප්පුගේ කෑගැහිල්ල ඉවරයක් නැත. කවදාවත් කුණුහරුපයක් නොකී ඔහු අද කූණුහරපද කියයි. ගමනේ තිබූ දුෂ්කර බව නිසාම දෙතුන්දෙනා ලෙස වෙන් වෙන් කණ්ඩායම් සෑදී වෙන්උන අපේ අනෙක් ශිෂ්‍ය කණ්ඩායම් මේ බැව් නොදනී. පණිවුඩ දීමට අද මෙන් ජංගම දුරකථන නැත. කරන්නටද කිසිම දෙයක් නැත. තිබුණත් අප එහෙම දෙයක් කරන හැටිවත් දැන සිටියේ නැත. මට දැන් හරියටම කව්දැයි කියා මතක නැති අපේ රැලේ එකෙක් නේවි කුරුප්පුවාගේ විරෝධය නොතකා ඔහුගේ ඇසි පිය උස්සා බලන ලදී. අද මෙන් රීචාර්ජ් කළහැකි අධිබල LED විදුලි පන්දම් නොතිබූ එකල එවරෙඩි බැටරි කෑලි දෙකක් දාන විදුලි පන්දම් එළියෙන් ඔහු දැක්කේ කුරුප්පුවාගේ දකුණු ඇසේ සුදු ඉංගිරියාවේ එල්ලී ලේ බොන කූඩැල්ලෙකි. අනුමාන කළේ මඟදිගට පාර අයින්වල මුහුණු වල වැදෙන්න තිබූ අත්තක සිටි කූඩැල්ලෙක් ඔහුගේ ඇසට කෙසේ හෝ ගොස් ඇති බවයි. දැන් කූඩැල්ලා ඇසට ගිය විදිය වැඩක් නැත. කල්පනා කළයුත්තේ ඌ නේවි කුරුප්පුගේ ඇහෙන් ගලවා එලියට ගන්න ක්‍රමයක් ගැනයි. එයට ඉඩ දෙන්නේ කුරුප්පුවා නොවේ.ඔහු මර ලතෝනි තියයි. උඩට නොයා නැවත බැස ගෙදර යන්න ඕනෑයයි කෑ ගසයි. එකම කාලගෝට්ටියකි. දෙන්නෙක් ඔහු අල්ලන් ඉන්න අතරේ තවකෙක් කූඩැල්ලා ඇද දැමීමට උත්සාහ කරත් නොහැකි වන්නේ ඌ ඇඟිලි තුඩු වලට අහුනොවී ලිස්සා යාම හේතුවෙනි. කරන්නට දෙයක් නැත. තවෙකෙක් යෝජනා කරේ කූඩැල්ලාට තව ලේ බීමට දී ඌ ලොකු උන පසු අල්ලා ඇද දැමීමටයි. වෙන කිරීමට දෙයක් නොමැති කළ ඒ විසදුම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. හිතූ ලෙසම යහමින් ලේ බිව් කූඩැල්ලා දැන් ලොකු ළමයෙකි. යන්තම් ඇද ඌව ගලවා දමන්නට හැකි විය.. ඒත් කුරුප්පුගේ ඇස ලේ වලින් වැසී ඇත. වහාම වෛද්‍යාධාර අවැසිය. කෙසේ හෝ පාන්දර හය වනවිට ඔහුවත් ගෙන කදු මුදුනටම නැගීමට අපට හැකිවිය. අනෙක් අය එනතෙක් සිටිය යුතුය. සමහරුන්ගේ සපත්තුවල ඉදිරිපස කොටස් පඩිවල වැදී ගුල් හෑරී ඇත. සමහරු තෙත ඇදුම් ගලවා තමුන් ගෙනා වෙනත් ඇදුම් ඇඳගත්හ. සමහරු තම ගමන් මලු බස්රථයේ දමා පැමිණ තිබූ නිසා ඔවුන්ට එසේ මාරුකර ගැන්මට ඇදුම් නැත. ඔවුන් තෙත ඇදුම් පිටින්ම
සිටී. සියල්ලෝම කදු මුදුනට පැමිණ උතුම්වූ සිරිපතුල වන්දනා කිරීමෙන් පසු ඊලඟට කරනදේ කතිකා කරගති. තම ගමන් මලු රැගෙන කන්ද නැඟි නේවි කුරුප්පු ප්‍රමුඛ පිරිසක් නැවත තමන් පැමිණි දුෂ්කර මාර්ගයේ පල්ලම් බැසීම දැඩි සේ ප්‍රතික්ෂේප කරන ලදී. මාද එයින් කෙනෙකි. මගේ මිතුරා වූ කුරුප්පු දමා මට නැවත ආපු මඟේ යා නොහැක. ඒ නිසා කැමති අය නැවත ආ මඟේ නොබැස පහසු වූ හැටන් මාර්ගයෙන් පල්ලම් බැස හැටන් නගරයට ගොස් පොදු මගී බස් වල නැගී ගෙවල් වලට යාමට තීරණය කෙරිණි. බස් රථයේ ගමන් මලු දමා පැමිණි සමහරක් ද ඒවා පසුදිනක ගෙනෙනා ලෙස මිතුරන්ට පවසා අපත් සමඟ හැටන් පාරෙන් බසින්න තීරණය කලෝය. මම, නේවි කුරුප්පු, මමී , ප්‍රසාද් සහ තවත් මට නම් මතකනැති පහලොවක පමණ පිරිසක් ඒ අතර සිටියෝය. පසුව නැවත කටුනායක ගියවිට ටිකදිනක් යනකල් කදු බහින්න පනනැතුව හැටන්වලින් බැහැපු සෙට් එක ලෙස නම්බුනාමයක් ලැබුණත් අනෙක් අයට කෙසේ වෙතත් මහපාරෙ කිලෝමීටර දහයක් පහලොවක් ඇවිද්දත් කඳු සහ පඩිපේලි නගින්න කොහොමටත් කම්මැලි මා හට නම් එහි යම්කිසි අදාල තාවයක් ඇති බව නං පිලිගන්න සිද්ධ වෙන බවත් ලිවිය යුතුය. . හැටන් පාරෙන් බැස කදු පාමුලට පැමිණෙන විට සවස තුන පමණ වී තිබුණි. . ලෙඩාගේ ඇසේ ලේ පාට සෑහෙන ලෙස අඩුවී තිබූණ නිසාත් ඔහුගේ කැමැත්ත වූයේ හැටන් වල දොස්තර මහතෙකුට නොපෙන්වා පරක්කු නොවී (මට මතක හැටියට) එකල රදාවානේ පිහිටි ඔහුගේ නිවසට ගොස් කොළඹ ඇස් රෝහලෙන්ම ප්‍රතිකාර ගන්නයි. එතැනින් බස්රථයක නැගී හැටන් නගරයට පැමිණ එතැනින් අවිස්සාවේල්ලට පැමිණ අවිස්සවේල්ල බස් නැවතුමේ වාසනාවකට නවතා තිබුණු එවකට තලංගම ඩිපෝවෙන් පවත්වාගෙන ගිය හැටන්-කොළඹ සීඝ්‍රගාමී බස්සේවයේ එදින වාරය නිමකර පෙරලා ඩිපෝව බලා යාමට සුදානම්ව සිටි තලංගම ඩිපෝවට අයත් බස් රථයකින් බත්තරමුල්ලේ අපේ ගෙදර එන විට රාත්‍රි 12 ද පසුවී තිබිණි. මාගේ පලමු සහ (මා සිතන ලෙස) අන්තිම සිරිපා කරුණාව එතෙකින් නිමවිය. ඡායාරූපයේ සිටින්නේ හැටන්වලින් බසිනලද පිරිසහැටන් ශ්‍රී පාද පිවිසුමට නුදුරු ස්ථානයක. එහි දකුණු පස ඈතින්ම සිටින්නේ ප්‍රසාද්. ඔහු දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ස්වය කරයි. වම් පස හතරවෙනියට ඊතලයෙන් ලකුණු කොට ඇත්තේ "මමී" වන අතර ඔහු සීමාසහිත මැලිබන් බිස්කට් සමාගමේ යාන්ත්‍රික ඉංජිනේරු වරයෙක් ලෙස සේවය කරන බව දනිමි. ඔහුගේ උප්පැන්නයේ තිබූ නම අමතක වීම පිළිබඳව කණගාටු වෙමි. මැද ඇති ඊ හිසින් ලකුණු කොට ඇත්තේ නේවි කුරුප්පු වන අතර ඔහු පසුකලක නාවික හමුදාවෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගෙන මැදපෙරදිග දිගු කාලයක් සේවයකොට පෙරලා මව්රටට පැමිණ ජීවත්වෙයි. පසුකලෙක රාජකාරිමය වශයෙන් කාර්ය බහුල වීම නිසා පින්තූරයේ සිටින අනෙක් බොහෝ දෙනා සමඟ තිබූ සමීප සබඳතා ඇනහිටීම හේතුවෙන් ඔවුන්ගේ නම් ගම් සහ විස්තර අමතක වීම පිළිබඳව කණගාටුවෙමි. ස්තූතියි 🙏 මොහාන් දිසානායක ✍️හොරු පැනලා ------------ දඩං...දඩාං ... ඉස්සරහා ගේට්ටුව මහා හයියෙන් ඇරෙන හඬින් මාව ගැස්සිලා ඇහැරුනේ. හොඳට ඇහුන්කන් දීගෙන හිටියා මම ඇඳේ ඉන්න විදිහටම. සලාං .... ඒ පාර නම් කවුරු හරි ගේට්ටුවට පයින් ගැහුවා. ඒ එක්කම අඩි ශබ්දත් ඇහෙන්න ගත්තා. අද නම් වත්තට කවුරු හරි ආවා. එක්කෙනෙක් වෙන්නත් බෑ අඩි ශබ්ද අනුව නම් අඩුම තුන්දෙනෙක්වත් වෙන්න ඕන. මම හිමීට ඇඳ උඩ වාඩි උනා. පුතා හොඳටම නිදි. මොන ශබ්දෙ ආවත් එයාට නම් ඇහැරෙන්නෙ ආපහු උදේට බව දන්නවා උනත් මං " අනේ දෙවියනේ පුතාට නම් ඇහැරෙන්න එපා" කියලා හිතින් හිතුවා. මගේ ඔලුවට තියන් හිටිය කොට්ටෙ හිමීට පුතාගෙ ඇඟට හේත්තු කරලා, මම ඇඳෙන් කකුල් දෙක බිමට තිබ්බා ව්තරයි පල්ලෙහා ගෙදර දොරට මහා හයියෙන් තඩිබාන ශබ්දයත් එක්කම "අපි හදිසි අපරාද වැටලීම් අංශයෙන් අරිනවා දොර" කිව්වා. "ඕගොල්ලො එහෙම කිව්වට අපි විශ්වාස කරන්නෙ කොහොමද? දොර අරින්න බැහැ" පල්ලෙහා ගෙදර ඇන්ටි කිව්වා. " අපි ලඟ අයිඩී තියනවා, වොරන්ට් තියනවා දොර අරිනවා නැත්නම් දොර කඩනවා" මම හිමිහට ගිහින් කළුවරේම ජනෙල් රෙද්ද යාන්තමට අල්ලන් එළිය බැලුවා. දෙයියනේ... තුවක්කු එල්ලකරගෙන තුන් හතර දෙනෙක් ගේ වටේම. ඇන්ටි දොර අරිනවත් එක්කම මර ලතෝනියක් ඇහුනා. මගේ කකුල් දෙකේ ඉඳන් පණ නැති උනා. මේ වෙලාවෙ හිත කලබල කරගන්න එපා කියලා ඒ එක්කම අණක් ලැබුනා මොළෙන්. ටක්ගාලා මම phone එක සයිලන්ස් දා ගත්තා. ඒක සද්ද උනොත් උන් මෙහාටත් එයි කියලා හිතුන නිසා. ඊට පස්සෙ රෑ ඇඳුම ගලවලා සාමාන්‍ය ඇඳුමක් ඇඳගත්තා. මගේ මහත්තයා මිලින්ද එයා පිටරට රැකියාවකට යන්න උත්සහ කරන්න පටන් ගත්තෙ මේ රටේ සාමාන්‍ය වැටුපක් අරන් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න ම්නිහෙක්ට බැරි නිසා. අපිට කොහොම වෙතත් පුතාට අනාගතයක් අවශ්‍ය නිසා. එහෙම යන්න අපි දෙන්නා හොඳ ආරක්ෂා සහිත තැනක තියන්න ඕන නිසයි මිලින්ද බලපු ගෙවල් ගොන්නකින් මෙතන තෝරගත්තෙ. පල්ලෙහා ගෙදර ඇන්ටියි එයාගෙ පුතයි පුතා බැඳපු නෝනයි විතරයි හිට්යෙ. එයාලගෙන් අපිටවත් අපෙන් එයාලටවත් කරදරයක් තිබුනෙ නැහැ. අවශ්‍ය වෙලාවට උදව්වක් කරගෙන පාඩුවෙ හිටියා. අපි මේ ගෙදරට ඇවිත් වසර දෙකකට ආසන්න වෙද්දි තමයි මිලින්දට රට යන්න අවස්ථාව ලැබුනෙ. "මිලින්ද, පුතා බය වෙන්න එපා මම ඉන්නවනෙ. ඔයා ගිහින් පිලිවෙලක් වෙන්න" මිලින්ද යන බව දැන ගත්තම ඇන්ටි කිව්වා. "ලිහිණි මම ඔය දෙන්නවත් ඉක්මනින්ම මං ලඟට ගන්නවා" මිලින්ද බොඳවෙන දෙනෙතින් කිව්වා. හ්.. උඩට කවුරු හරි එනවා වගේ. පඩි නගින සද්දෙ ලඟ ලඟම ඇහෙනවා. ජනෙල් වලින් ගේ අතුල නොපෙනුනත් එයාලා ලොකු එළියක් ඇතුලට එව්වා. මොන පැත්තෙන් බැලුවත් නොපෙනෙන තැනකට මුවා වෙලා මම හුස්ම ගත්තද කියලත් අමතක තරමට කටත් තද කරලා වහගෙන හිටියා. දැන් කට්ටිය දොර ලඟ. "අනේ මගේ දරුවා බේරලා දෙන්න දෙවියනේ" ටක් ටක් මේ "දොර අරින්න. අපිට කට උත්තරයක් ගන්න ඕන. අපි හදිසි අපරාද වැටලීම් අංශයෙන්" මම දොර ලඟට ගියත් අරිනවද නැද්ද කියලා හිතාගන්න බැරිව ටික වෙලාවක් හිටියා. මගේ සිතිවිලි හරියට යකාගෙ කම්මල වගේ. " ලිහිණි දොර අරින්න දුව මම ඉන්නවා" ඇන්ටි කිව්වා. මම දොර ඇරියද ඇරුණද කියලා දන්නෙ නැහැ. තුන් දෙනෙක් ආවා ඇතුලට. "බය වෙන්න එපා මිස්, අපිට ප්‍රශ්න ටිකක් අහන්න තියනවා. හැබැයි ඇත්ත කියන්න ඕන නැත්නම් වැඩේ දුර දිග යනවා. එක්කෙනෙක් කිව්වා. "ම්..ම්.. ගිය මාසෙ 29 මිස් මොකද කලේ? ඒ කියන්නෙ ගිය සතියෙ". "29 මට මතක නැහැ නෙ" " අර දිග නිවාඩුවක් තිබුනෙ මිස්, දවස් හතරක." " ආ... එදා මම ගෙදර හිටියෙ නැහැ. දිග නිවාඩුවක් නිසා මගේ අක්කලගෙ ගෙදර ගියා" "ඒ කොහෙද ?" " මොරටුවෙ" "සාජන් මේ ගේත් හොඳට සෝදිසි කරන්න. .අර අතන තියන බෑග් එක අරලා බලන්න. " මුළු ගෙදර, මමවත් වැඩිය ගිහින් නැති තැන්වල පවා යමින් ඒ අය ඇදලා ඇදලා මොනවදෝ හොයලා හොයලා බැලුවා. " හරි මිස් ස්තූතියි සහයෝගයට. අපි ආපහු එනවා. ආ... කෝ මිස්ගෙ මහත්තයා? "එයා රට" තවත් ප්‍රශ්න කීපයක්ම අහලා එයාලා ගියා. සේරම අය ගියාද කියලත් මට සැකයි. ඇඳයටට පවා එබිල බැලුවා මම. අක්කලාගෙ ගෙදර ගියා කිව්වට මම පවුලෙ එකම දරුවා. හරිම සාමාන්‍ය පවුලක ඉපදුනත් එකම දරුවා නිසා කිසිම දේකින් අඩුවක් කලේ නැහැ මට මගේ අම්මයි තාත්තයි. තාත්තගෙ පැත්තෙන් මට අක්කා කෙනෙක් වෙන්නෙ කුමාරි අක්කා, ඇත්තටම මට මගේම අක්කා වගේ. ඉඳලා හිටලා එයාගෙ ගෙදර යනවා මම පුතා එක්ක. ජීවිතේ කියන්නෙ මහා පුදුම දෙයක්. මගේ ජීවිතේ කිසිම අඩුවක් නැතුව ගෙවපු කාලය මට යන්තම් අවුරුදු විස්ස වෙද්දිම නැති වෙලා ගියා. ඉස්සෙල්ලාම තාත්තා සදහටම මාව දාලා ගියා. අකමැත්තෙන් හරි අම්මත් ඊලඟ වස⁣⁣රෙදිම මාව දාලා ගියා. අම්මගෙ පැත්තෙවත් තාත්තගෙ පැත්තෙවත් නෑදෑයො කියලා කිසිවෙක් මම ඇසුරු නොකල නිසා ජීවිතේ තනි වෙනවා කියන්නෙ මොකක්ද කියලා හරියටම මට දැනගන්න ලැබුනා. ඒක මට ජීවිතේට පන්නරයක් වෙන්න ඇති අද ගෙවන ජීවිතයට මුහුණ දෙන්න. තාත්තා නැති උනාට පස්සෙ අම්මා හැකි ඉක්මනින් මගේ කැමැත්තට ඉඩදීලා මගේ විවාහය ලියාපදිංචි කරලා තිබුනෙ. ඊට පස්සෙ කුමාරි අක්කගෙ ගෙදර ඉඳලා තමයි මම මනමාළියක් වෙලා මිලින්ද එක්ක ගියේ. ටක්... ටක්... මිස් දොර අරින්න ආපහු අපි. ඕඅයිසී මහත්තයා ඇවිත්. "අනේ දෙවියනේ ආයිත්...." ඕඅයිසී මහත්තයා අර කලින් අහපු ප්‍රශ්නම වෙනස් විදිහට ආපහු අහනවා. මම බොරු කිව්වද බලන්න වෙන්න ඇති. 29 වෙනිදා රෑ මිස්ට පෙරේරලගෙ ගෙදරට හොරු පැනලා. අපි සීසීටීවී බැලුවා. ඒකෙ ඉන්නෙ පහල ගෙදර ඉන්න කොල්ලා. රත්තරං බඩු, මුදල් වගේ වටින දේවල් නැති වෙලා තියනවා. හරි මිස් අපි දැන් යනවා. අවශ්‍ය උනොත් හෙට කට උත්තරයක් දෙන්න පොලීසියට කැඳවනවා. ඇන්ටිගෙ පුතාව මාංචු දාලා පොලීසියට අරගෙන යනවා ඈත් කරපු ජනෙල් රෙද්දෙන් පෙනුනා. මේ මොනවද වෙන්නෙ කියලා මට හිතාගන්නවත් බැහැ. මේවා චිත්‍රපටිවල විතරයි වෙන්නෙ කියලා මම හිතන් හිටියෙ. හිමීට ඇඳට ගිහින් කවදාවත් නැති තරම් තදින් පුතාව තුරුල් කරගත්තා. වක්කඩේ ඇරියා වගේ මෙච්චර වෙලා හිරකරන් තිබුන කඳුළු ගලාගෙන ගිහින්. කඳුළුවල සීතලට පුතත් ඇහැරිලා බැලුවා. "අම්මී..... ඇයි අඬන්නෙ? අඬන්න එපා.... තාත්ති ඉක්මනට එයිනෙ, අම්මිට පුතා ඉන්නවනෙ" "ඔව් මගෙ සුදු පුතේ මට ඔයා ඉන්නවනෙ, මම බය නැහැ" පුතාව පපුවට තුරුල් කරන් දෑස පියාගත්තා මම. - ප්‍රියංගා තුෂාරි -කෙටි කතාව දහවල් දවස පුරාම ගිනියම් වූ හිරුගේ පීඩාව දරාගත නොහී ඉරිතලා ගිය මහ පොළොවට මද ඉසිඹුවක් ලබා දෙමින් හිරු හෙමින් හෙමින් සැඟවී ගියා. බැලූ බැලූ අත දිස් වූ කේඩෑරි වී ගිය තල්ගස් අතර සාර සුභාවට වැඩුණ දැවැන්ත කොහොඹ ගස පෙනුණෙ යෝධයෙක් වගේ. ගස පාමුල හිඳ සිටි සෙල්ලම්මගේ මුහුණේ හැඟීම් නොපෙනෙන තරමට ගස යට අඳුරු වී තිබුණා. ඒත් ඒ අන්ධකාරය ගැන සෙල්ලම්මට කිසිම හැඟීමක් නැති ගානයි. තම පුත්‍රයා නොදැක මේ ගෙවෙන්නේ සිව්වෙනි දවස. දින ගනන් නිවසට නොපැමිනීම ඔහුට සාමාන්‍යය දෙයක් වෙලා. ඒත් අම්ම කෙනෙකුට ඒක මොන තරං දුකක්ද...? මොකක්දෝ අසුභ ජනක හැඟීමකින් සෙල්ලම්මාගේ හ
දවත රිදුම් දුන්නා. වෙඩි හඬ කියන්නේ මේ ගමේ මිනිස්සුන්ට අමුතු දෙයක් නොවුණත් පැය කිහිපයකට කලින් නොකඩවා ඇසුණු වෙඩි වරුසාව සෙල්ලම්මගෙ හිතට එක් කලේ බියක්. මේ වයසට තනිකම කියන්නේ දරාගන්න බැරි වේදනාවක්. තමන්ට කියල ලෝකෙන්ම ඉතුරු වෙලා ඉන්න එකම ප්‍රාණියා වෙච්ච තමන්ගේ පුතා ගැන මොහොතක් පාසා ම ඇගේ හිත ඇවිලුනා. ආදරෙන් අත ගාලා හැදුව කොලුවගෙ හිතේ මේ තරම් වෛරයක් කොහොම පිරුණද කියලා සෙල්ලම්ම දැනගෙන හිටියේ නෑ. අවුරුදු විසි ගනනකට එහා ගත කරපු ඒ ජීවිතේ දැන් දැනෙන්නේ හරියට වෙනත් කෙනෙකුගේ මතකයක් වගේ. කරුපන් මුදලාලිගේ ගෙදර වැඩ කරපු කාලෙ මතක් වෙලා සෙල්ලම්මට මොහොතකට බියකරු වර්තමානය අමතක වුණා. හිතකට මොනවද කරන්න බැරි කියන්න වගේ මොහොතකින් සෙල්ලම්ම හිටියේ කොළඹ සුඛෝපභෝගී පෙදෙසක පිහිටා තිබූ සුවිසල් නිවසේ. "සෙල්ලි... මේක මුදලාලිට ගිහින් දීපන්..." කුස්සියේ වැඩට හිටිය සීලම්මා ලකේට ලෑස්ති කරපු තේ බන්දේසිය සෙල්ලම්ම අතට දුන්නා. "දඟලන්නෙ නැතුව ඕක පරිස්සමට අරගෙන පලයන්..." සීලම්ම කිව්වේ තරවටුවක හඬින් වුණත් සීලම්ම කවදත් සෙල්ලිට ආදරේ බව සෙල්ලි දන්නවා. අම්ම කෙනෙක් නැති තමන්ට මේ ගෙදරට ආපු දා පටන් අම්ම වුණේ සීලම්ම. කොටින්ම තමන් කොටහලු වුණ වෙලාවෙ පවා අම්ම කරන්න ඕන හැම දෙයක්ම කරේ සීලම්ම. සීලම්ම හරියට මේ ගෙදරම කෙනෙක් වගේ. මුදලාලි හාමිනේ පවා ගොඩක් දේවල් කරේ සීලම්මගෙන් අහලා. සෙල්ලි පරිස්සමට තේ බන්දේසිය අතට ගත්තා. පිළිවෙලට තසිමක අහුරපු කුරක්කන් හැලප එක්ක මුදලාලිගේ ප්‍රියතම කිරි කෝපි එකක් තමයි බන්දේසියේ තිබුණෙ. කරුපන් මුදලාලි සිංහල කෑම ජාති කන්න හරිම මනාපයි කියල සීලම්ම නිතරම මේ වගේ විච්චූරණ කෑම ජාති හැදුවා. එහෙමෙයි කියල සිංහල කෑම ජාති විතරක්ම නෙවෙයි මේ ගෙදර හැදුණේ. සීලම්ම ඔය ඕනම කෑම ජාතියක් හදන්න හරිම දස්සයි. හාන්සි පුටුවෙ දිගෑදිලා හිටපු කරුපන් මුදලාලි හිටියේ බර කල්පනාවක. එක අතකට සෙල්ලිට මුදලාලි ගැනයි හාමිනේ ගැනයි තිබුණේ දුකක්. දරුවො දෙන්නම පිටරටවල්වල ඉගෙන ගන්න ගිහින් නිසා ඒ දෙන්නා ඇත්තේ පාළුවෙන් කියලයි සෙල්ලිට හිතුණෙ. සෙල්ලි තේ බන්දේසිය ටීපෝව උඩින් තියන හඬින් තමයි මුදලාලි පියවි සිහියට ආවෙ. මුදලාලි මොනතරම් කරුණාවන්ත වුණත් සෙල්ලි මුදලාලිට බයයි. දෙකොනෙන් උඩට කරකවපු රැවුලයි, උස මහත තේජවන්ත පෙනුමයි මුදලාලිට එක් කළේ සැරපරුෂ බවක්. විශාල රෙදි පිළි ව්‍යාපාරයක හිමිකරු වෙච්ච කරුපන් මුදලාලි යටතේ සේවකයන් විශාල පිරිසක් වැඩ කළා. මුදලාලි දෙමළ වුණත් මුදලාලි ළඟ වැඩ කරපු ගොඩ දෙනෙක් සිංහල. මුදලාලි තමන්ගේ සේවකයන්ට සලකන කරුණාවන්ත විදිය ගැන සෙල්ලිට තිබුණෙ පුදුමයක්. ඔහු තමන්ගේ සේවකයන්ට හොඳින් ගෙව්වා. ඒ වගේම හරිම සැලකිල්ලෙන් හොයල බැලුවා. මේ වගේ ස්වාමියෙක් යටතේ වැඩ කරන්න ලැබුන එක ගැනනං සෙල්ලි හිටියෙ සතුටෙන්. සෙල්ලි මේ නිවසේ මේ වෙද්දි අවුරුදු අටක් වැඩ කරල තිබුණා. අවුරුද්දකට විතර පාරක් තමන්ව බලල යන්න එන අප්පා ඇරුනම සෙල්ලිට වෙන කවුරුවත් හිටියේ නෑ. අප්පත් අම්ම මැරුණට පස්සේ වෙන කසාදයක් කරගත්ත. අප්ප සින්නම්මව කැන්දගෙන ආපු දවසේ සෙල්ලිට දැනුණේ පපුව පැලිලා යන තරම් වේදනාවක්. අම්මත් නැති තමන්ට අප්පත් නැති වුණා වගෙයි සෙල්ලිට දැනුණේ. කරුපන් මුදලාලිගේ ගෙදර වැඩට යන්න කැමතිද ඇහුවම සෙල්ලි දෙපාරක් නොහිතම කැමති වුණේ මේ හැම දෙයකින්ම ඈත් වෙන්න තිබුන ඕන කම නිසාමයි. මුදලාලි තමන්ගේ පඩියෙන් කොටසක් හැම මාසෙකම අප්පට යවන බව සෙල්ලි දැනං හිටිය. ඉස්සර අප්පා එක්ක තරහින් හිටියට, පස්සෙන් පහු වයසට ගිහිල්ල වැහැරිලා හිටපු අප්පා දැක්කම සෙල්ලිට දැනුණේ දුකක්. අවුරුද්දකට වතාවක් අප්ප ආවම මුදලාලිගෙ කඩෙන් මල්ලිල දෙන්නටයි සින්නම්මටයි අප්පටයි ඇඳුම් අරන් යැව්වේ හිතේ කිසිම කහටක් නැතුව. ඇඳුම් බෑග් අතට දුන්නම අප්පගේ වෙහෙසට පත්වෙච්ච මහලු මුහුණෙ ඇඳෙන හිනාව සෙල්ලිට ගෙනාවෙ රටක් රාජ්‍යයක් ලැබුණ වගේ සතුටක්. "මුදලාලි..." කුස්සිය පැත්තට යන්න ගිහිපු සෙල්ලි ආපහු හැරිල බැලුවේ ඇහුන ආගන්තුක ගැඹුරු කටහඬ නිසා. මුදලාලි ඉස්සරහ හිටගෙන හිටපු සරමක් කමිසයක් ඇඳගත්ත කඩවසම් තරුණයා දැකපු සෙල්ලි තිගැස්සිලා ගියා. සෙල්ලිට මතක් උනේ සීලම්මත් එක්ක ටීවි එකේ බලපු සිනමාවක හිටපු කමලහසන්. වටපිට බලපු සෙල්ලි දොර පිටුපස මුවා වෙලා බලන් හිටියේ හිතට දැනුණු කුතුහලය නිසා. "ආ... බාසුන්නෑ... එන්ඩ එන්ඩ..." මුදලාලි කතා කළේ බොහොම සුහදව. "වාඩි වුණානං බාසුන්නෑ.... කමු ඇලපයක්... සෙල්ලි... තව තේ එකක් ගෙනෙං..." මුදලාලි හඬ නගා ගෙතුළට කියද්දි සෙල්ලි වහාම හැංගිලා හිටපු තැනින් මුළුතැන් ගෙට දිව ගියා. "කවුද ඇවිල්ල සීලම්මෙ... තේ එකක් ගේන්න කිව්ව..." "ඉතින් මට කියන්නෙ... කුමාරිහාමිට තේකක් හදන්න තේරෙන්නැද්ද...?" සීලම්ම කිව්වේ තරහින්. "නෑ ඉතින්... කුස්සියේ අධිපතිනියගෙන් අවසර ගන්න එපැයි..." සෙල්ලි හිනාවෙවී කීවේ සීලම්මගෙන් ටිකක් ඈතට යමින්. කේන්ති ගිය වෙලාවට අතේ තියෙන දේකින් දමල ගහන එක සීලම්මගේ පුරුද්ද. ඒත් ඒ කේන්තියකින් තරහකින් නෙවෙයි කියලා සෙල්ලි දැනගෙන හිටිය. "උඹ මගෙන් අහගන්න එපා..." සීලම්ම කීවේ අතේ තිබුණු හැන්ද උරුක් කරමින්. පුංචි කාලෙ ඉඳලම සීලම්මත් එක්ක හැදිච්ච වැඩිච්ච නිසා වෙන්න ඇති සෙල්ලිගෙ සිංහල උච්චාරණේනං කිසිම අඩු පාඩුවක් තිබුණෙ නෑ. සිනාසමින් තේ කෝපයක් සකස් කරගත් සෙල්ලි ඉස්සරහට ගියේ ගැහෙන හදවතින්. "ඒනං බාසුන්නෑ, එට ඉඳලම වෙඩ පටන් ගන්න පුළුවන් නේද...?" සෙල්ලි දෙසටත් විනිවිද යන බැල්මක් හෙලන ගමන්ම තේ කෝප්පය අතට ගත්ත සුමනසිරි මුදලාලිට පිළිතුරු දුන්න. "පුළුවන් මුදලාලි... හෙටම වැඩ පටන් ගත්තොත් සතියකින් වගේ ඉවර කරන්න පුළුවන් වෙයි..." පහුගිය දිනවල නිවසේ කතා කරමින් සිටි තාප්පය පිලිසකර කිරීමේ කටයුත්ත ඔහුට පවරන්නට ඇති බව සෙල්ලි වටහා ගත්තා. සෙල්ලිගෙ හදවත පිනුමක් ගැහුවා. එය පෙර කිසිදා නොදැනුන ආගන්තුක හැඟීමක්. ඇගේ හදවත පෙරුම් පුරමින් බලා සිටියේ යළිත් ඒ කඩවසම් මුහුණ දැක ගන්නට. පසුදින සෙල්ලි උදෑසනම අවදිව කුදු මහත් සියලු කටයුතු කළේ මහත් ජවයකින්. දෙතුන් වරක් ම කැඩපතෙන් මුහුණ බලා පියර ටිකකුත් දාගත්තේ වෙන කිසි දවසක තිබුණේ නැති උනන්දුවකින්. හිමිදිරි පාන්දරම පැමිණි සුමනසිරි නිවස වටා තිබූ දැවැන්ත ප්‍රාකාරය පිළිසකර කරන්න පටන් ගත්තේ සෙල්ලි පිළිබඳ කිසිදු උනන්දුවක් නැති අයුරින්. සෙල්ලි වරින් වර එබිකම් කළත් සුමනසිරි ඇය පිළිබඳ ව කිසිදු තැකීමක් කළේ නැහැ. තමාව නොසලකා හැරීම පිළිබඳව සෙල්ලි හිටියේ කෝපයෙන්. ඔහු හිතා මතාම තමා නොසලකා හරින බව දුටු සෙල්ලිගේ ගැහැණු හිත තරහින් පිපුරුණා. සෙල්ලි විසින්ම සකස් කරන ලද ලැවරියා සමග තේ බඳුන රැගෙන සුමනසිරි වෙත ගිය සෙල්ලි සුමනරිසුමනසිරි දෙස බැලුවේ නොරිස්සුමෙන්. "ඉක්මනට මේක ගන්න... අපිට තව වැඩ තියෙනවා..." සුමනසිරිගේ මුවගට නැගුණේ සිනාවක්. හිනාව සඟවා ගන්නට ඉවත බලා ගත් ඔහු පිළිතුරු දුන්නා. "වැඩ තියෙනව නං ඉතින් ගිහින් කරගන්න එකයි ඇත්තේ... අපි අල්ලගත්තැයි..." කෝපයෙන් ඔහු දෙස රවා බලපු සෙල්ලි බන්දේසිය පසෙකින් තබා හැරුණේ ගස්සගෙන. "මේ... නංගි..." සුමනසිරිගේ හඬට ඉබේම දෙපා නැවතුනත් හැරිල බලන්න තරං සෙල්ලිගේ අහංකාර හිත ඉඩ දුන්නේ නෑ. "මට පොඩ්ඩක් ගිනිපෙට්ටියක් ගෙනත් දෙන්න පුළුවන්ද...?" වචනයක්වත් නොකියපු සෙල්ලි ගිනිපෙට්ටියක් අරන් ඇවිත් සුමනසිරිට දික් කළා. සුමනසිරි හිටියේ ලැවරියක් කමින්. "මේව හැදුවේ ඔයාද..?" මේ වචනත් එක්කම සෙල්ලිගෙ තරහ ඇයටම අමතක වෙලා ගියා. "ඔව්..." "මට හිතුණා... පුදුම රහක්..." ඔහු කීවම සෙල්ලිගේ මූණ එළිය වුණේ තොරණක් වගේ. කොහොමින් කොහොම හරි තාප්පෙ පිළිසකර කරලා තීන්ත ගාන්න සුමනසිරිට සුමාන දෙකක්ම ගතවුණා. ඒ සුමාන දෙක නිමවෙද්දි දවසක්වත් නොදැක ඉන්න බැරි තරමට මේ තරුණ හිත් දෙක එකිනෙකා කෙරෙහි බැඳිලයි තිබුණෙ. තාප්පෙ වැඩ ඉවරවුණදාට පහුවෙනිදා සුමනසිරි ආවේ කරුපන් මුදලාලි දවල් කෑමට ගෙදර එන වෙලාව බලළා. මුදලාලි කෑම කාලා හාන්සි පුටුවේ වාඩි වෙනකම් බලාන හිටපු සුමනසිරි මුදලාලි හමුවට ගියා. "බාසුන්නෑ... මොකෝ අදත්... මං ගනුදෙනු ඔක්කොම පියෙව්වනේ... මුකුත් අඩුපාඩුවක් වෙලාද...?" "අනේ නෑ මුදලාලි... එහෙම දෙයක් නෑ... මං ආවේ මුදලාලි එක්ක වැදගත් දෙයක් කතා කරන්න..." "කියමුකො බලන්න කාරණාව..." "මුදලාලි... මං සෙල්ලිව කසාද බඳින්න කැමතියි..." සුමනසිරි කිව්වම මුදලාලි සුමනසිරි දිහාවෙ බැලුවේ පුදුමයෙන්. "මොකක්... මේ අපේ සෙල්ලිව..." "ඔව් මුදලාලි..." සුමනසිරි කීවේ කිසිම පැකිලීමක් නැතුව. "බාසුන්නෑ මේ ගැන ඔඳට ඉතලද මේ වගේ තීරණයක් ගත්තෙ...? දන්නවනේ... ඒකි කාත් කවුරුත් නැති දෙමළ කෙල්ලක්..." "මං දන්නව මුදලාලි... " "ඒ උනාට තමුසෙලයි ගෙවල් වලින් කැමති වේය...?" "ඒක මට ප්‍රශ්ණයක් නෙවෙයි මුදලාලි... ඒ ගැන මට බලාගන්න පුලුවන්..." මුදලාලි මදක් සිතා බැලුවා. අවුරුදු දොළහක කුඩා දැරියක ලෙස තම නිවසට පැමිණි සෙල්ලි තරුණියක ලෙස උස්මහත් ව ඇති බවත් ඇගේ අනාගතය වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය බවත් පළවෙනි වතාවට මුදලාලිට වැටහුනා. එක් අතකින් තම දියණියත් පුතණුවනුත් නැති පාලුව බොහෝ දුරට තුනී වූයේ සෙල්ලි නිසා බව මුදලාලිත් හාමිනේත් දැනගෙන සිටියා. මුදලාලි සුමනසිරි ගැන දැනගෙන හිටියා. ඔහු ගුණ යහපත් අවංක තරුණයෙක්. ඔහුට විරුද්ධවීමට කිසිදු හේතුවක් මුදලාලිට පෙනුනේ නැහැ. "ඔඳයි... මං මේ ගැන ආමිනේ එක්කත් කතාබා කරලා... කෙල්ලගේ අප්පගෙනුත් ආල බලල තමුසෙට උත්තරයක් දෙන්නං...". මුදලාලි කියද්දී ඇතුල්ගෙයි මුදලාලිට නොපෙනෙන ලෙස සැඟව සිටි සෙල්ලි දෙස බැලූ සුමනසිරි සිනාවක් පෑවේ දෙනෙතින්. "හොඳයි මුදලාලි... මං එහෙනං යන්නං..." මඳක් හඬ උස්කර කීවේ තම සෙනේවන්තිය දෙස නෙතඟින් පමණක් බලමින්. එයින් පසු ගත වූ වසර හතර සෙල්ලිගේ ජීවිතයේ සොඳුරුතම වසර හතර බවට පත්වුණා. විවාහයෙන් පසු සුමනසිරිගේ නිවසේ ජීවත් වූ දෙදෙනා ම ගත කළේ
ඉතා ම අපූරු කාලයක්. වසරකට පසු උපත ලද පුත්‍රයා ඔවුන්ගේ ලෝකය සම්පූර්ණ කළා. සෙල්ලම්මාගේ හිත සතුටින් පුරවමින් අරුණ බාලන් යනුවෙන් සිංහල හා දෙමළ නම් දෙකක් එකට එකතු කර පුතුට නම දැම්මේ සුමනසිරි විසින්. අරුණ පුතුට වසර තුනක් සම්පූර්ණ වෙද්දි සෙල්ලි නැවතත් මව් පදවියට සූදානම් වුණා. මේ වෙද්දි සිය ගම්පළාතේ සිට අගනුවරට පැමිණීම බෙහෙවින් අසීරු දෙයක්ව තිබුණා. ඒ නිසාම සෙල්ලිට තම පියාව විවාහයෙන් පසුවම දැක ගන්නට නොහැකි වුණා. එදා හවස වේලාසනම නිවසට පැමිණි සුමනසිරිගේ මුහුණේ වූයේ මඳක් තැතිගත් පෙනුමක්. "ඇයි සුමනේ..." "කරුපන් මුදලාලි ඔයාට එන්න කියල පණිවිඩයක් එවල තිබුණා..." "ඇයිද දන්නෑ හදිස්සියේ... ඇයි ඔයා බයවෙලා වගේ..." "නෑ එහෙම දෙයක් නෑ... ඔයා ලෑස්ති වෙන්නකෝ... බස්වල යන්න ඕන නෑ... මං විජේ මල්ලිගෙ වීල් එක අරං එන්නං... ඉක්මනට ගිහින් එන එකනෙ..." මුදලාලිත් හාමිනේත් හමුවට ගිය සෙල්ලි දෑත් එක්කර ඔවුන්ට වැද වැටුණේ අප්‍රමාණ භක්තියෙන්. අට මස් ගැබිනියක වූ සෙල්ලි දෙස ඔවුන්ගේ කුළුණුබර දෙනෙක් සෙනෙහසින් යොමුව තිබුණා. "සෙල්ලි... උඹට කොහොමද...?" "හොඳින් ඉන්නවා හාමිනේ.... මුදලාලිටයි හාමිනේටයි පින් සිද්ධ වෙන්න..." "සෙල්ලි... උඹට එන්න කියලා කිව්වේ වැදගත් කාරණයක් කියන්න..." සෙල්ලිත් සුමනසිරිත් ඉඳගත් පසු මුදලාලි කතාව ආරම්භ කළා. සීලම්මා පැමිණ අරුණ මුළුතැන්ගේ දෙසට කැඳවාගෙන ගියේ ඔවුන්ගේ කතිකාවට බාධාවක් නොවන පරිදි. "උඹල දන්නව ඇතිනේ දැන් දැන් රටේ තත්වෙ ඒ තරම් ඔඳ නෑ.... යාපනේදී අමුදාවෙ කොල්ලෝ දාතුන් දෙනෙක් මරල දාලා... මේ මිනිස්සු කුපිත වෙලයි ඉන්නේ... තැන් තැන්වල ටික ටික කලබල පටන් අරන්... කොයි වෙලේ පත්තු වෙයිද කියන්න බැරි තරමට තත්වෙ නරක් වෙලයි තියෙන්නේ..." කෙමෙන් තම සියොළඟ වෙලා ගන්නා බිය පාලනය කර ගැනීමට වෙර දරමින් සෙල්ලි බලා සිටියා. "සෙල්ලි... අපි එට රෑට එංගලන්තේ යන්න පිටත් වෙනවා..." මුදලාලි කියද්දී සෙල්ලිට දැනුණේ ඇගේ හදවත කඩා වැටුණ වගේ. "ලොකු පුතා අපිට ඒට එන්න කියන්නේ කාලෙක ඉඳන්... ඒත් අපි කල්දදා ඉටියෙ ඔය රට රාජ්‍යවලට ගීල්ල අපිට පුරුදුවෙන්න බැරිවෙයි කියල ඉතලයි... ඒත් දැන් නං අකමැත්තෙන් උණත් අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපේ රට අතෑරලා යන්න... ඇමදේටම වඩා ජීවිතේ බේරගන්න එපැයි... සෙල්ලි... මට ඉතෙන්නේ... උඹත් ටික කාලෙකට අරි යාපනේ ගීන් ඉටියනං ඔඳයි... මේ කරදරකාර කාළෙ ඉවර වෙනකංවත්..." "අනේ සාමි... සුමනෙ නැතුව...? ඊට හොඳයි මෙහෙම මැරිලා යන එක..." කඳුලු පිරිච්ච ඇස්වලින් සෙල්ලි කියද්දි සුමනෙට දැනුණේ තමන්ගෙ හදවත නතර වෙනවා වගේ. "මේ ඕව ගැන ඉතන වෙලාවක් නෙවෙයි සෙල්ලි... ඉස්සෙල්ලම ජීවිත බේරගෙන ඉන්න ඕන... උඹ ඉතුවක්කාර වුණොත් සුමනෙගේ විතරක් නෙවෙයි... මේ කිරිසපයන්ගෙ ජීවිතත් අනතුරේ..." මුදලාලි කෙලෙස කීවත් අමාරුවෙන් ගොඩනගා ගත් සියලු දේ එක් මොහොතකින් හැර දමා යාමට හිත හදාගන්න නං සෙල්ලිට ලේසි දෙයක් නොවන බව සෙල්ලි දැනං සිටියා. "බලමුකෝ මුදලාලි..." "ඔඳයි ඒනං... ඔඳට ඉතල මතල ඉක්මනටම තීරණයක් ගනිල්ලා... දැන් ඉතින් පරිස්සමින් පලයල්ලා..." මුදලාලි කියද්දී බොහෝ ව්‍යාකූලව සිටි සෙල්ලම්මා සහ සුමනසිරි නැගී සිටියා. "සෙල්ලි... අපි දැන් මොකද කරන්නේ...?" නිවසට පැමිණි සුමනසිරි සෙල්ලම්මාගෙන් ඇහුවේ අසරණ අයුරින්. කවදත් සෘජු තීරණ ගන්න, කිසිවෙකුට හෝ නොනැමෙන තම සැමියාගේ මේ ස්වරූපය සෙල්ලම්මාගේ සිත තුළ ඇති කරේ කනස්සල්ලක්. "ඒ ගැන ඔය තරං හිතන්න ඕන නෑ සුමනේ... අපි එන විදියට බලමු..." සෙල්ලම්මා කීවේ වෙනත් පිළිතුරක් සිතාගත නොහැකි වූ බැවින්. "ඒ වුනත්... අල්ලපු ගෙදර සිරිල් මලයත් වෙනස් වෙලා..." සුමනෙ කිව්වම සෙල්ලි සුමනෙ දිහා බැලුවේ පුදුමයෙන්. "මොකක්ද ඒ කතාවේ තේරුම..." සෙල්ලි ඇහුවේ පුදුමයෙන්. සිරිල් කියන්නෙ තමන්ට සහෝදරයෙක් හා සමාන හැම දුකකදිම කරදරයකදිම තමන් එක්ක එකටම හිටපු මනුස්සය. එහෙව් මනුස්සය ගැන සුමනෙ කියන කතාව කොහොමනං විශ්වාස කරන්නද...? "දැන් දවස් ගානක ඉඳලම මිනිහ මාව මගාරිනවා... ඊයේ හන්දියේ කඩේ ළඟදි එකෙක් මාව දැකලා "ඉස්සෙල්ලම මරන්න ඕන මෙන්න මුං... නෙද්දකිං... රටේ සිංහල ගෑනු ඉඳලම නෑ වගේ...." කියල කාරල කෙළ ගැහුවා... සිරිලුත් හිටියේ එතන... ඌත් අනිත් උන් එක්ක එකතු වෙලා හිනා වුනා... මං මග ඇරලා ආවා... දැං තියෙන්නේ ඉස්සර තිබුණ රට නෙවෙයි සෙල්ලි... උඹ ගෙදරටම වෙලා ඉන්න නිසා මේවා තේරෙන්නෑ... මුදලාලි කිව්වේ ඇත්ත... අපේ දරු පැටව් වෙනුවෙන් අපි පණ බේරගන්න ඕනේ... මේ එකෙකුටවත් රට ගැනවත් ජාතිය ගැනවත් කැක්කුමක් නෑ... උන් ඔක්කොම ලේ පිපාසෙන් ඉන්න මහ එවුන්ගේ ගැටවලට අහුවෙලා විතරයි... නැත්තං උඹයි මමයි මේ කිරි සප්පයනුයි.... උන්ටවත් මේ රටටවත් මොන වරදක් කරලද..." පළවෙනි වතාවට තමන් පත් වී සිටින අවදානම් තත්ත්වය වටහාගත් සෙල්ලි සුමනගේ ළයට තුරුල් වී ඉකි ගසමින් වැළපුනා. පිපිරීමට ආසන්නව තිබුණු ගිනි කන්දක් එක් වරම පුපුරා ගියා සේ පසුදා රැයේ මිනිසුන්ගේ ලයේ පැසි පැසී තිබූ වෛරය පිටාර ගලන්නට පටන් ගත්තේ දහස් ගණනක් සුමනසිරිලාත් සෙල්ලම්මලාත් අන්ත අසරණ කරමින්. තැනින් තැන බුර බුරා නැගි ගිනි ජාලා මධ්‍යයේ මිනිසුන් ජීවිත කාලයක් වෙහෙසි උපයා ගත් සියල්ල දැවී යද්දී ජීවිතය හෝ ගලවාගන්නට දැරුවේ මහත් වෙහෙසක්. වැරදිකරුවන් පසෙක සිටියදී තමන් වැනිම අසරණයන්ට එරෙහිව අවි අමෝරාගත් පුංචි අසරණයන් පිරිසකගේ වෛරයෙන්, දහසක් බලාපොරොත්තු දැවී හලුවී යන අයුරු බලා සිටින්නට සියල්ලන්ටම සිදුව තිබුණා. බියෙන් ගැහෙමින් වෙව්ලමින් තම දරුවා ළයට තුරුලු කරගත් සුමනසිරි තම ගැබ්බර බිරිඳ සනසන්නට වෙර දරමින් හිටියා. එක්වරම දොරට තට්ටු කරන හඬින් තිගැස්සී ගිය ඔහු තම බිරිඳත් දරුවාත් තව තවත් තම ළයට තුරුළු කරගත්තා. තම කුසට තෙරපී ඇති බිරිඳගේ කුස තුළ සිටින දරුවාගේ චලනය සුමනසිරිගේ සම විනිවිදගොස් හදවතටම දැනුණා. "සෙල්ලි බයවෙන්න එපා..." ඔහු තම බිරිඳගේ හිස සිප ගනිමින් කීවේ අසීමිත දයාවකින්. "සෙල්ලි... දොර ඇරපං... මම සීලම්ම..." රහස් හඬින් කළ සීලම්මාගේ හඬ ඇසුණු සුමනසිරි අප්‍රමාණ සැනසීමකින් දොර විවර කළා. විවර කළ දොරෙන් වහා ඇතුළට පැමිණි සීලම්මා දොර වසා දමා හුස්මක් ගත්තේ සැනසුමට පත් අයුරින්. "සී... සීලම්මෙ..." "ඉක්මන් කරපං සෙල්ලියෙ... ගන්න පුළුවන් බඩු ටිකත් අරගෙන මාත් එක්ක යන්න වරෙන්..." "යන්න... කොහෙද...?" "මුදලාලිව එයාපෝට්ටෙකට එක්ක යන්න අර විජේතුංග මුදලාලි වාහනේකින් එනව කිව්ව තව පැයකින් විතර... මුදලාලි දන්නව උඹට මේ වෙලාවෙ කොහොමත් බේරෙන්න විදියක් නැති බව... යමින් ගමන් උඹව කොහොම හරි යාපනේට යවන්න මුදලාලි විදියක් ලෑස්ති කරයි... මට කිව්ව උඹව පරිස්සමින් මුදලාලිලයි ගෙදරට එක්කගෙන එන්න කියල... එළියේ ආට එකක් තියෙනවා... කවුරු මොනව ඇහුවත් උඹ කතා නොකර ඉඳපන්... බඩදරු අම්මෙක් නිසා කවුරුත් කරදරයක් කරන එකක් නැහැ...." සෙල්ලි සුමනසිරි දෙස බැලුවේ අසරණව ගිය දෑසින්. "සෙල්ලි... හොඳ එකී වගේ පලයන් මගෙ අම්මා... ඔය බඩේ ඉන්න දරුව ගැන හිතපන්..." සුමනසිරි හදවතේ සැබෑ හැඟීම් සඟවා ගනිමින් කීවා. "යනවනං හැමෝම යමු... මං කොහොමද සුමනේ උඹල නැතුව ජීවත් වෙන්නේ..." සෙල්ලි කීවේ හඬමින්. "උඹට මෙහේ ඉන්න එක භයානක තරමටම මට එහෙ ඉන්න එකත් භයානකයි... මං එහේ ට ආවොත් අපි හැමෝගෙම ජීවිත අනතුරේ... දැනට මේ කරදර අහවරක් වෙනකන් මේ දුක උහුලගමු සෙල්ලියේ... අපේ දරු පැටව් දෙන්න වෙනුවෙන්..." කොතෙක් හිත දැඩි කරගත්තද සුමනසිරිගේ දෙනෙතින් ගලන කඳුළු වළකා ගන්නට ඔහුට හැකි වූයේ නැහැ. "අපි මොකක්ද කරපු වැරැද්ද සුමනේ..." සෙල්ලිගේ වැලපීම හමුවේ සුමනසිරි මෙන්ම සීලම්මාද පසු වූයේ නිරුත්වරවයි. අවසානයේ දෛවයට එරෙහි නොවන්නට හිත හදාගත් සෙල්ලම්මා මාස අටක කුසකුත් දරාගෙන කරුපන් මුදලාලිගේ නිවසටත්, මුදලාලිගේත් සිංහල මිනිසකු වූ විජේතුංග මුදලාලිගේත් කරුණාවන්තකම නිසාවෙන් නිරුපද්‍රිතව යාපනයේ තම පියාගේ නිවසට පැමිණියා. කාලය දිනෙන් දින ගතවී ගියා. දෑස් රිදෙනතුරු සැමියා එනතුරු බලා සිටියද එය කිසිදා ඉටු නොවද්දී සෙල්ලම්මා හදවතින් සිය දහස් වාරයක් මැරි මැරී ඉපදුණා. එහෙත් පුංචි පුතා වරුණ වෙනුවෙන් නොහඩා තව දුරටත් දරා සිටීමට ඇය පුරුදු වුණා. දකුණේ හිරිහැර ඉවසාගත නොහී උතුරට පලා ආ බොහෝ අය උතුරේ හිරිහැර දරා ගත නොහැකිව රටද හැර දමා පලා ගියත් සෙල්ලිට තවත් යන්නට තැනක් තිබුණේ නැහැ. සියලු දුක් දරා ගනිමින් ගම්පියසේම තනිවන්නට සෙල්ලි වන් අසරණයන්ට සිදුව තිබුණා. මල්ලිලා දෙන්නා ආගිය අතක් නැති වූයේ බොහෝ කලකට පෙර. අප්පාත් සින්නම්මාත් අකලටම මියැදුනේ දුෂ්කර ජීවිතයේ බලපෑමටත් වඩා දරුවන් අහිමි වූ දුකට බව සෙල්ලම්මා සිතුවා. එහෙත් ඒ කිසිවක් සෙල්ලම්මාගේ හිතට තදින් දැනුණේ නැහැ. දිනෙන් දින උස්මහත් වෙන තම දරුවා දෙස බලමින් ඇය සැනසුනා. කුඩා කල තම පියාත් සොයුරාත් පිළිබඳ හාරහාරා තොරතුරු ඇසූ වරුණ ටිකෙන් ටික උස්මහත් වෙද්දී ඔවුන් පිළිබඳ සිහි කරනවාටත් අකමැති වීම සෙල්ලම්මාගේ හදවත රිදවන්නට වුණා. වයස පහලොව වෙද්දීම ඔහුගේ සිත වෛරයෙන් පිරෙන්නට හේතුවල සෙල්ලම්මා වටහා ගත්තේ ඔහු අසල තිබී හමු වූ ගිනි අවිය දුටු දා. "වරුණ... මට ඇත්ත කියපන්... මොකක්ද මේ..." "පේන්නෙ නැද්ද...?" ඔහු කීවේ කිසිදු ගරු සරුවක් නැතුව. "පුතේ... ඇයි පුතේ උඹ මෙහෙම කරන්නෙ... ඇයි උඹ මට මේ තරං ගින්දර දෙන්නෙ..." "අම්ම මොනවද දන්නෙ.... උන් අපිට කරල තියන දේ පේන්නේ නැද්ද...? හැමදේම උන්ට ලැබෙද්දී ඇයි අපි විතරක් මේ තරං දුක් විඳින්නේ..." "පුතේ... අනේ පුතේ... උඹ හිතන හැටි වැරදියි... උඹ දන්නව නේද උඹේ අප්පා..." සෙල්ලි නොසිතූ ලෙසින් ඔහු උස් හඬින් පුපුරා හැලුනා. "අප්පා... මතක් කරන්න එපා මට... අපිව අනාථ කරල පැනල ගිය බය ගුල්ලා... ඕකුන් එකෙක්ටවත් මගෙන් සමාවක් නෑ.... මට නැතිවෙන්න දෙයක් නෑ.... අන්තිම ලේ බින්දුව වෙනකන් මං සටන් කරනවා... උඹටත් කැමතිනම් ඉන්න පුළුවන්... නැත්
තං උන් එක්කම යන්න පුළුවන්..." තමං ආදරෙන් අතගාල හදපු දරු පැටියගෙ වචන පිහි පාරවල් වගේ සෙල්ලම්මගෙ හදවත තුවාල කළා. දරුවෝ හරිම ලේසියෙන් තමන්ගෙ දෙමාපියන් අත ඇරලා දැම්මට කොයි අම්මටද පුළුවන් තමන්ගේ දරු පැටව් අතෑරලා දාන්න. හැමදාම හැන්දෑවෙන කොට පපුවෙ ඇවිලෙන ගින්දරත් එක්ක සෙල්ලම්ම මග බලන් හිටියේ තමන්ගෙ පුංචි පුතා ගෙදර එනකං. අවට නොපෙනෙන තරම් කරුවල වැටෙනකං බලාගෙන හිටපු සෙල්ලම්ම අන්තිමේදී ගේ දිහාට හැරුනේ ලාම්පුවක් පත්තු කරන්න හිතාන. කුප්පි ලාම්පුව පත්තු කරපු සෙල්ලම්ම යළිත් පිල් කඩ උඩින් ඉඳගත්තා. කුසගින්නක් දැනුණත් ඇයට නැගිටින්න හිතක් තිබුණෙ නැහැ. එක්වරම ඇසුණු නුහුරු ශබ්දයකින් සෙල්ලම්මා පියවි සිහියට ආවා. කිසිවෙකු සෙමෙන් සෙමෙන් ගමන් කරන අඩි හඬක්. ඇය හොඳින් සවන් දුන්නා. මොහොතක් නැවතී තිබුණු හඬ නැවතත් ඇසෙන්නට වුණේ සෙල්ලම්මා තැති ගන්වමින්. "ක.... කවුද...?" ඇය ඇසුවේ තැතිගත් හඬින්. "ව...ව.. වතුර ටිකක්..." ඇයට ඇසුණේ දුර්වලව ගිය කටහඬකින්. හඬ ඇසුණු දෙසට ගිය සෙල්ලම්මා දුටුවේ ගෙයි පිළිගන්නට මායිම් වන කැලයේ අද්දර දුර්වලව ගසකට වාරු වී සිටින තරුණයකුගේ ඡායාවක්. "ක...කවුද ඔය..." ඇය නැවතත් ඇසුවා. එක් වරම සිදුවූයේ නොසිතූ දෙයක්. දුර්වලව සිටි තරුණයා තවදුරටත් ශක්තියක් නැති වූයෙන් කපා හෙලූ ගසක් මෙන් බිම ඇදගෙන වැටුණා. "ආණ්ඩවනේ.... " කියමින් දුව ගිය සෙල්ලම්මා තරුණයා පිරික්සා බැලුවා. අන්ධකාරය නිසා කිසිවක් නොපෙනුනද තරුණයා සිටින්නේ සිහිසුන්ව බව සෙල්ලම්මා වටහා ගත්තා. වහා නිවසට දිව ගිය ඇය ජල බදුනක් ගෙන ආවේ ඔහුගේ මුහුණට ඉසෙමින් ඔහුව ප්‍රාණවත් කරන්නට වෙර දරුවා. ඇගේ වෑයම සාර්ථක කරමින් මොහොතක් ගත වෙද්දී තරුණයා යළිත් පියවි සිහිය ලැබුවා. තරුණයා ඇඳ සිටින නිල ඇඳුම දුටු සෙල්ලම්මා පත් වූයේ ගැටලුවකට. තම පුත්‍රයාගේ පරම සතුරෙකු නිවසට ගැනීම නොකළ යුත්තක් වුවත් මේ අසරණ තරුණයා මෙසේ අතහැර දමන්නේ කෙලෙසකද...? සෙල්ලම්මා තරුණයාට වාරු දෙමින් ඉතා අපහසුවෙන් ඔහුව නිවස තුළට කැඳවාගෙන ගියා. නිවසේ තිබුන එකම ඇඳ මතින් තරුණයා හාන්සිකර වූ ඇය ඔහුගේ තුවාල පිරික්සා බැලුවා. පාදයක් පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයකින් නොකඩවා රුධිරය වහනය වෙමින් තිබුණා. මේ වන විටත් රුධිරය ගලා යාමෙන් තරුණයා බොහෝ දුර්වලව ඇති බව ඇය වටහා ගත්තා. තමා දන්නා අත්බෙහෙතක් තබා තුවාලය හොඳින් වෙලා දැමූ ඇය ඔහුට ජලය මදක් පෙව්වා. එම සත්කාරයෙන් පසු තරුණයාගේ සුදු මැළිව තිබූ මුහුණ මදක් පැහැපත් වන අයුරු දුටු ඇගේ සිතට දැනුනේ සැනසීමක්. ඇය ඉක්මනින් සහල් ස්වල්පයක් ලිප තැබුවේ ඔහුගේ සිරුරේ ශක්තිය නැවත ලබාගැනීමට නම් කුමක් හෝ ආහාරයක් ඔහුට ලබාදිය යුතු බව සිතුන නිසා. ඉක්මනින් ඔහුව සුවපත් කර මෙතනින් පිට කිරීමට ඇයට අවශ්‍ය වුණා. කැඳ ටිකත් රැගෙන තරුණයා අසලට ගිය අය දුටුවේ තරුණයා නැවතත් නින්දට වැටී ඇති අයුරු. බඳුන පසෙකින් තැබූ ඇය ඔහුව පිරික්සා බැලුවා. රුධිරය ගලායාම නැවතී ඇති අයුරු දුටු ඇයට දැනුණේ සහනයක්. ඇය සෙමෙන් තරුණයා පිරික්සන්න පටන් ගත්තා. එතරම් අසීරුවෙන් වුවද අත් නොහැරි ගිනි අවිය ඔහු පසෙක තිබුණා. නිල ඇඳුමේ එක් සාක්කුව තිබූ පසුම්බිය පිටතට ගත් ඇය එය පිරික්සා බැලුවා. තරුණයාගේ හැඳින්වීමේ පත දුටු ඇයට ඇගේ ඇස් අදහා ගත නොහැකි වුණා. "බෙල්ලන විතානගේ අරුණ බාලන්..." දෙපා අවසඟව ගියෙන් ඇය එහෙමම බිම හිඳගත්තේ ඉකිගසමින් හඬන්නට පටන් ගත්තා. දරාගත නොහැකි වියෝ දුකින් ගත කළ වසර දහ අටකට පසු තම පුතු තම දෙපා මුලට ගෙනවිත් දුන් දෙවියන්ට තුති පුදමින් ඇය ශෝකයෙනුත් ප්‍රීතියෙනුත් හඬන්නට වුණා. "අ... අම්මා..." අවදි වූ තරුණයා බිම වැතිරී හඬන කාන්තාව දුටුවේ තැතිගත් හඬින් මිමිනුවා. තරුණයාගේ හඬින් පියවි සිහියට පත් සෙල්ලම්මා වහා කඳුළු පිසදා ගනිමින් නැගී සිටියා. "පුතේ... මගෙ පුතේ..." ඇය ඔහුව තුරුළු කරගත්තේ දරාගත නොහැකි ආවේගයෙන්. "අ... අම්මේ ඇයි මේ... මම කොහෙද ඉන්නේ...? මට වෙඩි වැදුනා... මං බොහොම අමාරුවෙන් හැංගිලා උන්ගෙන් බේරිලා කැලේට රිංගුවා...ඊට පස්සෙ මොනවද වුණේ කියලා මට අපැහැදිලියි... අම්මේ මං මේ කොහෙද ඉන්නේ..." "උඹ ආවෙ හරිම තැනට මගේ පුතේ... උඹට මාව අඳුරන්න බැරිද රත්තරනේ...මං... මං උඹේ අම්මා... කොහේ අඳුරන්නද...? මට උඹව දාළ එන්න වෙනකොට උඹට යන්තම් අවුරුදු හතරයි... අනේ මගේ පුතේ... ආයිත් නම් මාව දාලා යන්න එපා මගේ පුතේ..." "මගේ අම්ම..." අරුණ දෙනෙත් අයා බැලුවේ තම දෙසවනට ඇසුන දේ විශ්වාස කළ නොහැකි අයුරින්. "ඔව්... මගෙ පුතේ... මං උඹේ අම්මා... සෙල්ලම්මා... කෝ මයෙ පුතේ සුමනේ... උඹේ තාත්ත කෝ... මං කොයි තරමක් බලාන හිටියද උඹලයි තාත්තා මාවයි මල්ලිවයි එක්කන් යන්න එනකං..." හඬමින් කී සෙල්ලම්මාගේ වදන්වලින් අරුණගේ මුහුණ ශෝකයෙන් මුකුලික වුණා. ඔහුගේ දෙනෙත කඳුළින් බොඳව ගියා. "ඇයි මයෙ පුතේ... අප්පට මොකද උනේ..." "තාත්ත නැති වුණා..." අරුණ කිව්වේ සිහින් හඬින්. "ආණ්ඩවනේ... මයෙ දෙයිය..." සෙල්ලම්මගෙ දෙනෙතේ කඳුළු ආයෙත් අලුත් වුනා. "එහේ කලබල ටිකක් අඩු වුණාම තාත්ත ආවා අම්මව හොයන්න... ඒත් තාත්තල ආපු බස් එකට කොටි ගහලා... තාත්තා ආපහු ආවෙ නෑ..." අරුණ කීවේ ඉවත බලාගෙන. තම පියාගේ මිනී මරුවන් කෙරේ ඇති වු වෛරය නිසාම හමුදාවට එක් වූ අරුණගේ මුහුණ අතීතය සිහිපත් වූ නිසාදෝ ආවේගයෙන් පිරී අඳුරු වී ගියා. "එතකොට කව්ද උඹව බලා ගත්තෙ මයෙ පුතේ..." ඈ කීවේ දරාගත නොහැකි වේදනාවක් හදවත රිදවද්දි. "සිරිල් මාමා..." "මොනවා... සිරිල්..." දෙදෙනාම මොහොතකට තම තමන්ගේ කල්පනා ලෝකවල තනිවුනා. එක්වරම සෙල්ලම්මාට සිහි වුණේ කැඳ බඳුන. "පුතේ... මේ කැඳ එක බීපං... ගොඩක් ලේ ගිහිල්ල... මොනවා හරි ඇඟට වැටෙන්න ඕන..." අරුණ කෙළින් කර ඉන්දවූ සෙල්ලම්මා බිදෙන් බිඳ කැඳ බඳුන අරුණට පොවන්නට වුණා. කුඩා කළ පටන් රැකබලා ගැනීමට නොහැකිවූ තම වැඩිමහල් පුතුගේ කුස පුරවද්දී සෙල්ලම්මාගේ හදවත සෙනෙහසින් පිරී ගියා. මතකයත් බොඳව තිබූ තම මවගේ සෙනෙහසෙන් අරුණ සිටියේ හැඟීම්බර වෙලා. අරුණ ගේ මෙන්ම සෙල්ලම්මාගේත් දෑස් කඳුළෙන් බොඳව තිබුණා. එක්වරම දොර දෙසින් ඇසුන හඬින් සෙල්ලම්මා පිටුපස හැරුණා. කෝපයෙන් විරූපී වී ගිය මුහුණෙන් යුතුව තමා දෙස බලා සිටින වරුණ දුටු සෙල්ලම්මාට කෑ ගැසුණා. "පුතේ..." "වහපං කට... මොකටද මූව ගේ අස්සට දාගත්තේ... මුන් තමයි අපේ පරම හතුරො..." වරුණ ගිනි අවිය මානා ගනිද්දීම ඔහු දෙමළ භාෂාවෙන් කී කිසිවක් වටහා නොගත් අරුණද වහා ක්‍රියාත්මක වූයේ පසෙකින් වූ ගිනි අවිය මානාගත්තා. "අනේ රත්තරනේ එපා..." කියමින් දිව ගොස් වරුණ අතේ එල්ලුන සෙල්ලම්මාව ඔහු ඉවතට තල්ලු කර දැමුවේ වියරුවෙන් මෙන්. ගිනි අවි දෙකක් එකිනෙකාට අමෝරාගෙන සිටි සොහොයුරන් දෙස සෙල්ලම්මා බලා සිටියේ උමතුවෙන්. "පුතේ... මේ උඹේ අයිය පුතේ... උඹල දෙන්නම මගේ බඩෙන් ඉපදුන මගේ දරුවො... පුතේ විසි කරපන් ඔය තුවක්කු..." උමතුවෙන් මෙන් කෑ ගැසූ සෙල්ලම්මාගේ මුවින් පිටවූ වදන් අසන්නට බැරි තරමට ඔවුන් වෛරයෙන් බිහිරි වී සිටියා. ඔවුන් දෙදෙනා අතරට පැමිණි සෙල්ලම්මා හැරුනේ අරුණ දෙසට. "අනේ මගේ ලොකු පුතේ... උඹේ මල්ලිට වෙඩි තියන්න එපා..." කීවේ අසරණ හඬින්. අරුණගේ මුහුණේ ඇඳුනේ විමතියක්. තමා හැර යද්දී මවගේ කුසේ සිටි දරුවා සිහි වූ ඔහු දෙගිඩියාවෙන් මෙන් වරුණ දෙස බැලුවා. වසර දහ අටකට පසු හමු වුවත් තම මෑණියන්ගේ කඳුලු පිරි දෑස් දුටු අරුණගේ හදවත සංවේදී වුණා. තමා කුඩා දරුවෙකුව සිටියද තමා අතහැර යා නොහැකි බව කියමින් ඇය හඬා වැළපුණ හැටි අරුණගේ සිතේ මේ වෙද්දිත් සනිටුහන්ව තිබුණා. ඔහු නොදැනුවත්වම ඔහුගේ ගිනි අවිය පහත් වුණා. සෙල්ලම්මා නැවත හැරුනේ වරුණ දෙසට. "පුතේ... උඹ ඔය වෙඩි තියන්න හදන්නේ උඹේම අයියට... උඹේ අයියා උඹට කරපු වැරැද්ද මොකද්ද...? උඹේ අප්පා අපිව හොයාගෙන එද්දි කොටි ගහලා මැරිලා... උඹේ අප්පව මරපු විදියට උඹ හදන්නේ උඹේ අයියවත් මරල දාන්නද...?" වරුණ තම මවගේ මුහුණ දෙස බලා සිටියේ ජීවිතයේ පළමුවරට දුටු අයුරින්. "මොකක්... අප්පව කොටි ගාල මරල...?" ඔහු ඇසුවේ අවිශ්වාසයෙන්. "ඔව් පුතේ... උඹලයි අප්ප කුරා කූඹියෙකුටවත් වරදක් නැති අහිංසක මනුස්සයෙක්... ඒ අහිංසක මනුස්සයව විතරක් නෙවෙයි ඒ බෝම්බෙන් බස් එකේ හිටපු අහිංසක මිනිස්සු ඔක්කොම මැරිලා... උඹට මම හරි හිටිය.. ඒත් උඹේ අයියට තවත් කවුරුවත් නැතුව උස් මහත් වෙන්න සිද්ද වුණා... දැන් උඹ හදන්නේ ඒ අහිංසකයවත් මරල දාන්නද...?" වරුණගේ දෙනෙත් තුනී කඳුලු පටලයකින් වැසී තිබුණා. ගිනි අවිය පහතට දැමූ ඔහු නැගී සිටින්නට වාරු නැති වූවාක් මෙන් බිම දන ඔබා ගත්තා. "මල්ලී..." අසීරුවෙන් ඇවිදගෙන ආ අරුණ තම සොයුරා ළඟින් දන ගසා ගත්තා. කුඩා කල මවගේ කුස සිඹිමින් තමා නූපන් මල්ලී සමඟ කතාබහ කළ අයුරු අරුණට සිහිවුණා. "අන්නා..." කියමින් තම සොයුරාගේ දෑත් අතරට මැදිවූ වරුණ තම දෑසේ වූ කඳුලු ගලා යන්නට ඉඩ හැරියා. ඔවුන් දෙදෙනා දෙස කඳුලු පිරි නෙතින් බලා සිටි සෙල්ලම්මා සිතුවේ එක් දෙයක් පමණයි. සුමනසිරිගේවත් තමාගේවත් කිසිදු වරදක් නොමැතිව, මේ තරම් කල් වෙන්ව දුක් විඳින්නට සිදුවූ මේ අහිංසකයන් දෙදෙනා රැක ගැනීමට නම් මෙවර තමා කොහේ පලා යා යුතු ද යන්නයි. -නිමි- 2023 වසරේ ඔබ වෙනුවෙන් ලියූ අවසන් කතාව... මේ වසර පුරාවටම මා එක්ක ඉඳපු ඔයාට ගොඩක් ස්තුතියි... ඔයා ලියපු හැම කමෙන්ට් එකකටම... ඔයා දාපු හැම ලයික් එකකටම... මගේ කතා ෂෙයා කරල මාව දිරිමත් කරපු ඔයාට ගොඩක් ගොඩක් ගොඩාක් ස්තූතියි... අලුත් අවුරුද්දෙ අලුත්ම කතාවකින් හමුවෙමු....ජය කණු කලකට පෙර රාජ්‍ය නොවන සංවිධානයක පිරිසක් මගින් ගෘහණියන් සවි බල ගැන්වීම උදෙසා තෝරාගත් අර්ධ නාගරික ප්‍රදේශයක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.ඉතා හොඳ ප්‍රචාරයක් කලින් ම දුන් නිසා බොහෝ කාන්තා පිරිසක් එයට සහභාගි වූහ.එහිදී ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය මෙන් ම විවිධ හස්ත කර්මාන්ත ඉගැන්වීම මගින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි දිය
ුණු කිරීම ප්‍රධාන වශයෙන් සිදු කරන ලදී. ඒ වැඩසටහනෙන් ආකල්ප සංවර්ධනය වූ සුමනා පවුලේ ආර්ථිකය යහපත් කරනු වස් මැදපෙරදිග රැකියාවකට ගියාය.අවුරුදු විස්සක් පුරා එහි නියැලුණු ඈ මෙරට ඇවිත් ගත වූයේ දෙසතියක් පමණය.ඇය තාමත් අවුරුදු ගණනක් නොදුටු ගමේ හැඩ නිල බලයි.ඉරිදා පොළට ගිය ඇය සුවිසල් සාප්පු සංකීර්ණයක් දැක දෑස් නළලට යවා ගත්තාය. "එවුරිතින්ග් සුපර් මාර්ට්........ ශහ්... කවුද අප්පා මේ අළුත් පෝසතා."සුමනස් තමාගෙන් ම අහමින් ඊට ඇතුල් වූවාය. ඇතුළත පෙනුම ඇගේ විස්මය තවත් වැඩි කළේය.ඇත්තටම තට්ටු ගණන පුරා හැම විදියකම සාප්පු, සැලෝන්, ස්ටුඩියෝ,රෙස්ටුරන්ට් හැම දෙයක්ම ඇත.එහි හැඩ නිල බලමින් එහෙ මෙහෙ යද්දී පහළම තට්ටුවේ ග්‍රොසරි රාක්ක අතර සැරිසරන දැක පුරුදු මුහුණක් ඇස ගැටුණේය. "මල්ලිකා.........මේ ඔයා නේද?" කාන්තාව ගැස්සී හැරී බැලුවාය. "ඇයි අනේ මාව අඳුරන්න බැරි තරම් වෙනස් වෙලාද?මං සුමනා.අර සමිතියෙදි හම්බ වුණේ......." "ආ........ඔව්ම නේන්නං........මට අඳුනන්න බැරි වුණානේ" අව් කණ්නාඩි යුගල පාට පාට කළ කොණ්ඩයේ රඳවාගෙන ඇහි බැමි,තොල්, කම්මුල් පාට කර රනින් සැරසී තමන් අසල සිටින තැනැත්තිය සැබවින් ම මීට වසර විසි ගණනකට පෙර දැන සිටි සුමනාමදැයි සැකයෙන් මල්ලිකා විමසිල්ලෙන් බැලුවාය. "අවුරුදු විස්සක් රට ඉඳල සති දෙකයි මං ලංකාවට ගොඩ බැහැලා.ඉතිං ඉතිං කොහොමද විස්තර.......මේ ඒක නෙවේ අපි එක්ක හිටිය රමණි නේද හොටෙල් රාවෝ එක කරන්නෙ.......මං පෙරේදා ඒකට ගිය වෙලාවෙ අහම්බෙන් දැකල කතා කළේ" "අනේ ඇත්තද සුමනා මම ඒක දන්නෙ නෑ.මං ළඟක් වෙනකල් ම වැඩිය ටවුමට ආවෙ ගියේ නෑනේ." මල්ලිකා තරමක ලැජ්ජාවෙන් කීවේය. "අපොයි අපොයි එක ටවුමෙ ඉඳලත් ඒක දන්නෙ නැද්ද.........ඔයා බඩු අරන් ඉවරද?" "නෑ ........මං මේ පුතාලා එනකල් බලා හිටියෙ......" සුමනා වටපිට බැලුවාය. "එයාලා දැන් ම එයිද?" "දැන් ම නම් එන එකක් නෑ" "එහෙනම් යමුද ටක් ගාලා රමණිව බලල එන්න.වැඩි දුරක් නෑනේ අපි වීල් එකක් අරන් යමු" විසි අවුරුද්දක් විදේශ රටක වැඩ කළ බුහුටිකමින් ඇය හදිසියේ හමු වූ මිතුරිය ද අතින් අල්ලාගෙන පාරට ආවාය.රාවෝ හෝටලයේ ඒ වෙද්දී වැඩි සෙනගක් නොවූයෙන් අයකැමි අසුනේ සිටි රමණි ඉතා කැමැත්තෙන් ඔවුන් දෙදෙනා සමග සතුටු සාමීචියට එක් වූවාය. "අනේ අනේ එක්කෙනෙක් හෝටලේට හිර වෙලා අනිත් එක්කෙනා ගෙදරට කොටු වෙලා, මං ම ඇවිල්ලනෙ ඔයාලා දෙන්නා මුණ ගස්සලා තියෙන්නෙ" සුමනා මහ හඬින් හිනැහෙමින් කීවාය. "ආ......අපිත් වැඩි කාලයක් නෑ හෝටලේ ටවුමට ගෙනත්......ඒකයි මල්ලිකාව වුණත් මුණ නොගැහෙන්න ඇත්තෙ.අර සමිතියෙන් මගදි අයින් වෙන්න වුණාට පස්සෙ මට ඔයාලා දෙන්නා හම්බ වුණාමයි නේද?" රමණි කීවාය. "ඇත්තටම ඇයි ඒ මගදි අයින් වුණේ?ඔයා එහෙදි මැහුම් හෙමත් හොඳටම කළානෙ" "වෙන මොකක්ද අපේ මිනිහගෙ බොරු සැකේ.කොළඹින් හොඳ හැඩවැඩ ඉලන්දාරි මහත්තයෙක් ඇවිත් කතා කළානේ දවසක් දෙකක්.ඕක ව.හ වුණා උන්දැට. හැමදාම හවසට මගෙත් එක්ක ජල්ලි අල්ලන්න තියා ගත්තා.ගෙදර සාමෙත් විනාසයි.ඒකයි මං නැවතුනේ" "අපරාදෙනෙ ඒ වුණාට" "ඒ නෝනලා මහත්තුරු කිව්වෙ එක්කො රස්සාවකට යන්න නැත්නම් ගෙදර ඉඳන්ම ස්වයං රැකියාවක් කරල ගෙදර ආර්ථිකේට හයියක් වෙන්න, මගෙත් එක්ක දන්න අඳුනන නෑදෑ පිරිමියෙක් හිනා වුණත් අපේ මිනිහා දවස් ගාණක් පුප්පන එකේ මොන රස්සා කිරිල්ලක්ද? මං කර කර හිටිය රස්සාවෙනුත් අයින් කරගෙනනෙ කසාද බැඳගත්තෙ.අපිත් ඒ කාලෙ ප්‍රේමයෙන් අන්ධ වෙලා කියන ඕන එකකට හා...... ඒකෙ රඟ තේරුණේ පහු පහු වෙලා කොන්ඩ කට්ටක් ගන්නත් මිනිහාට නව වැඳුම් වඳින්න වුණාම.මං සමිතියෙ කියල දුන්න විදියට විකුණන්න බලාගෙන ජාති හතර පහක් මැහුවා. හරි ගියෙ නෑ වැඩියක් ම සැම්පලයක් දාන්න කඩවල් වලට යන්නවත් හැටියක් නැති එකෙන්. කඩවල් වල ඉන්නෙ පිරිමි මුදලාලිලානෙ. ඒ පාර ගෙවල් ගාව තේ කඩේට ආප්ප, ඉඳි ආප්ප,ලැවරියා,වන්ඩු, අලුවා හෙම හදලා මනුස්සයා අතේම යැව්වා. මුලදි මුලදි ඒකටත් බෙරිහන් දුන්නට ඒ සල්ලි වලින් ගෙදර වියදම් ම දරද්දි ඕන් ටික ටික කට පියා ගත්තා.ඒ කඩේ කළේ ගෙවල් ගාව වයසක නැන්දා කෙනෙක්. උන්දෑ කාලයක් යද්දි ඔත්පොළ වෙලා නෑදෑ වෙන ලේලියෙක් බාර ගත්තා කඩේ.ඒ ගෑණි කිව්වෙ නැතැයි නැන්දාට බැරි කාලේ පිටින් කෑම ගත්තාට දැන් එයාට ඒවා තනියම හදා ගන්න පුළුවන්ය කියල.අපි අසරණයි.ඒ පාර ඉතුරු කර ගත්ත සල්ලි ටිකකුත් දාලා පරණ පුට් බයිසිකලයක් අරන් මනුස්සයා අතේ ගෙවල් ගානෙ, කඩවල් ගානෙ කෑම හද හද යැව්වා. පස්සෙන් පහු අර නැන්දා ආන්තරා වෙලා ලේලි පොඩ්ඩත් ආපු දිහාට ම ගිහින් කඩෙත් වැහිච්චි.ඒකෙ ගණුදෙනුකාරයො ටික විසිරෙන්න නොදී මං කඩ කෑල්ලක් ගෙයි පැත්තකම අටෝ ගත්තා.රැයක් දවාලක් නැතුව හැමදාම වැඩ කරලා ඒ මහන්සිය තමා මේ ඉතිං" රමණි එක දිගටම කියාගෙන ගොස් ඉතා තෘප්තිමත් ලෙස හෝටලය හාත්පස බැලුවාය. "මොනව කරල හරි ඒ නෝනලා කිව්ව දේවල් වලින් ඔයා නම් ප්‍රයෝජනයක් අරන්.දැන් මහත්තයා මුකුත් කියන්නෙ නැද්ද මෙහෙම කඩේට ඇවිත් පිරිමි එක්ක බිස්නස් කරනවට?" මල්ලිකා ඇසුවාය. "දැන් නම් එයාට එහෙම එකක් නෑ.අපි දැන් එක්ස්පයර්නෙ.කවුරු බලන්නද හිතනවා ඇති"යෙහෙළියෝ තිදෙනා මහ හඬින් හිනා වූහ. "මගේ මනුස්සයාට නම් මං රස්සා එකක් නෙවේ දහ පහළොවක් කරලා හරි සල්ලි ගෙනත් දෙනවා නම් ඇති, නිකමා වෙලා ඉඳන් ක.ණ.ම.දයා වගේ බි.බී රෝන්දෙ යන්න.කලින් මං ගාමන්ට් ගියා. කොහොම හරි පඩියෙන් ලොකු ගානක් කොටා ගන්නවා.ගෙදරදි දෙන්නෙ නැතිකොට එතනට ඇවිත් කෑ ගහනවා. ලැජ්ජා නිසා මං දෙනවා ඉතිං.ඕක හැමදාම කරන්නයැ. බැරි තැන මං ගෙදර නැවතුනා.ඔය සමිතියට ගියාට පස්සෙ මමත් ගෙදර ඉඳන් ඒ කියා දුන්න කීප දෙයක් හදල විකුණන්න බැලුවා. ඒත් සල්ලි කීයක්වත් ඉතුරු කර ගන්න බෑ. මං සල්ලි නොදෙන කොට මේ මිනිහා ගිහින් මට සල්ලි එන්න තියෙන කඩවලින් මං ඉල්ලුවා කියල ඒ සල්ලිත් අරන් බො.නවා.බැරිම තැන තමා මහ ගෙදර ඉඩම උගස් කරලා යන්තම් රට ගියේ......... අනේ මන්දා සමහරු කියන තරම් සුන්දර සැප සම්පත් පිරුණු ජීවිතයක් නම් ලැබුණෙ නෑ මුල් අවුරුදු වල.දවසට පැය තුනයි හතරයි නිදා ගන්නෙ. ඇහැරිලා ඉන්න මුළු කාලෙම එකක් ඉවර වෙන්න කලින් තව තුන හතරක් වැඩ පවරනවා. දවසම වගේ හිටගෙන. ඒත් ඉතිං මං හිත හදා ගත්තා ගෙදර හිටියත් සත පහක් නොලැබී මේ වැඩ මෙහෙම ම කරලා අර මිනිහාගෙන් ගු.ටි.ත් කන්න එපැයි බෝනස් එකට.ඒ නිසා කටු කාගෙන හිටියා......පස්සෙ පස්සෙ නම් මට හොඳ තැන් හම්බ වුණා...... හම්බ කරපු ඔක්කෝම අම්මගෙ නමට එව්වෙ. ඉඩම බේර ගත්තා.මල්ලිටත් ත්‍රීවීල් එකක් ගන්න සල්ලි ටිකක් දීලා එයා ලව්වාම ගේ හැදෙව්වා. එන්න කලින් තේ ඉඩමකුත් ගත්තා ඒකෙ ආදායමෙන් දැන්වත් මගේ රටේ සැනසිල්ලේ ජීවත් වෙන්න" "එතකොට මනුස්සයා බොන එක නවත්තලාද දැන්?" "අනේ මොන......බොන්න ගිය තැනින්ම ගෑණියෙකුත් කූට්ටාලි කරන් ගමෙනුත් ගිහින්.........මං නම් හෙව්වෙවත් නෑ....... මොකටද ඔහොම මිනිස්සු" සුමනා කීවේ අනෙක් දෙදෙනා ද එකඟ වී හිස වනද්දීය. "ඉතිං මල්ලිකා කොහොමද ඔයාගෙ විස්තර?ටවුමට නිතර එන්නෙත් නෑ කිව්වෙ ගමේ ඉඳන් ගජරාමෙට බිස්නස් එකක්වත් කරනවද? නැත්නම් හොඳ ජොබ් එකක් සෙට් වුණාද?" එවර රමණි මල්ලිකා වෙත හැරුණාය. "කාටවත් නොකිව්වට මං ඔය පන්තියට ආවෙත් ලෝක යුද්.ධ.යක් මැදින්.මං බැඳලා ගියේ මහත්තයාගෙ මහ ගෙදරටනෙ.මහත්තයා විතරක් නෙවේ එයාගෙ අම්මත් එක හෙලා කිව්වෙ ගෑණු රස්සා කරන්නවත් සල්ලි හම්බ කරන්නවත් ඕන නෑ කියල.කොටින් ම මං ගෙදරින් එලියට බහිනවටවත් ඒ අම්මා කැමති වුණේම නෑ.මං කීප සැරයක් දන්න ඉවුම් පිහුම් මැහුම් ගෙතුම් අත්කම් චිත්‍ර වැඩකින් කීයක් හරි හොයා ගන්න හැදුවත් නැන්දම්මයි නෑනලයි එක්ක ඒක කරන්න බැරි වුණා. කොහොම හරි කඩාකප්පල් කළා. ගෙවල් ගාව පොඩි දරුවො කීප දෙනෙක්ට පන්ති කරන්න හැදුවා ඒකටත් වුණේ ඒකමයි. වත්තෙ පිටියෙ හැදෙන දෙයක් හරි, දෙයක් වගා කරල හරි ගානක් හොයන්න බැලුවා.ඒකත් වැඩක් වුණේ නෑ. ගෑණු ඉන්නෙ දරුවො බලන් ගෙදර වැඩපළ කරන්න පිරිමියායි පවුලට හම්බ කරන්නෙ කියල තමා ඒ මුළු පවුලම විශ්වාස කළේ.පුත්තු දෙන්නත් අවුරුද්දේ පරතරේ නිසා මං ඉබේම ඒ කතා වලට එකඟ වෙලා ගෙනත් දෙන කීයෙන් හරි ගෙදර වැඩ කොහොම හරි කර ගත්තා.මටම සල්ලි හොයන්න විදියක් තිබුණෙ නෑ........" මල්ලිකා කියාගෙන යද්දී අනෙක් දෙන්නා අනේ අපොයි යන බැල්මෙන් බලා සිටියහ.මේ අසරණිය ගැන ඔවුන්ට මහා අනුකම්පාවක් දැනුනේය. "අනේ මල්ලිකා,අප.රා.දෙ ඔයාගෙ ජීවිතේ.......පොඩි කාලයක්ද?........මට අපි එක්ක හිටි ගොඩක් අය හම්බ වෙලා තියෙනවා. ඒ හැමෝම මොකක් හරි විදියට සාර්ථක වෙලා........ඔයා ගේ ඇතුළට විහින් හිර වෙලා." "ඔයාට තිබුණෙ ළමයි ටිකක් ලොකු වෙද්දි රටකට පැන ගන්න.එහෙ කවුරුත් නෑ කිසි දේකට බාධා කරන්න. ගෑණියෙක් වුණා ම තමන්ටත් මොනව හරි දෙයක් තියෙන්න එපැයි" ඔවුන් දෙදෙනා තරඟයට අදහස් දැක්වූහ. දුරකථන නාදයක් ඇසුණේය. මල්ලිකා බෑගය ඇර දුරකථනය ගත්තේය. "ආ.......වැඩ ටික ඉවර කර ගත්තද පුතේ........මං යාළුවෙක් හම්බ වෙලා රාවෝ හෝටලේට ආවා ඒක අයිති මං ඉස්සර ඉඳන් දන්න යාළුවෙක්ටනෙ........ නෑ නෑ හදිසියක් නෑ" මල්ලිකා කතා කරන අතරේ අනෙක් දෙදෙනා බලා සිටියේ ඇගේ දුරකථනය දෙසය.නවීනම මෝස්තරයක් වූ එහි වටිනාකම ගැන නිතර සමාජය හා ගැටෙන ඔවුන් දෙදෙනාට ම අවබෝධයක් ඇත. "ආ.........මල්ලිකාට සල්ලි හම්බ කරන්න දුක් විඳින්න ඕනකමක් තිබිල නෑනෙ.මේ වගේ ෆෝන් පාවිච්චි කරන්න තරම් සල්ලි තියෙද්දි ආය මොකට හම්බ කරනවද" රමණි කියද්දී ඒ හඬේ ඊර්ෂ්‍යාවක් ද රැඳී තිබුණේය. "මේක මට පුතාලා දෙන්නායි එයාලා බඳින්න ඉන්න දූලා දෙන්නයි මගෙ උපන්දිනේට අරන් දුන්නෙ.මං ඉතිං මේකෙන් කෝල් ගන්නයි වෙලාව බලන්නයි විතරයි දන්නෙ" මල්ලිකා නිහතමානීව කියා සිනාසුණාය. "හැබෑට මල්ලිකා පුතාලා එනකල් බඩු ගන්න ඉඳිද්දි නේ මං එක්කගෙන ආවෙ. ගියා නම් හරි නේද එතනට ආයෙ. එයාලා හොයනවා ඇති. පරක්කුත් වෙනවනෙ" මෙතෙක් තමන්ගේ ශ්‍රී විභූතිය ගැන කියමින් සිටි සුමනාට ද රිදී තිබුණේය. එවිටම මෝටර් රථයක් හෝටලය ඉදිරියේ නැවතුණේය.රමණි පාරිභෝගිකයා දෙස කුතුහලයෙන් බැලුවාය.ඇයට ඉබේම නැගිටුණේය. "එවුරිතින්ග් එක අය
ිති මහත්තයා නේද" ඇය විස්මයෙන් කීවාය. ඔහු හා රථයෙන් බැස්ස තරුණිය දුටු රමණි තවත් පුදුම වූවාය. "මේ පාර ඒශියන් ගේම්ස් මෙඩල් ගත්ත ගෑණු ළමයෙක් නේ මේ එන්නෙ?මේ පැත්තෙ පදිංචි කිව්වට අදනෙ ඇත්තට දැක්කෙ" රථයෙන් ආ තරුණයා සිනා සී මල්ලිකාට කතා කළේය. "මල්ලි කිව්වා සැලුන් එකෙන් එළියට ඇවිත් බලද්දි අම්මා නෑලු හොයා ගන්න. මං ඒ දෙන්නට එයාලගෙ වැඩ ටික කර ගන්න කියල මෙයාව දාන්න කොහොමත් යන නිසා අම්මා එක්ක එන්නම් කිව්වා"ඔහු එක වර සියළු දෙනා දෙස බලා කීවේය. මල්ලිකා ඔවුන් එකිනෙකා හඳුන්වා දුන්නාය. "අම්මා එහෙනම් කතා බහ කරල ඉවර වෙලා මට කෝල් එකක් දෙන්නකෝ ........මං සචීව ප්‍රැක්ටිස් දාලා එන්නම්" ඔවුන් නැවත පිටව ගියේ මල්ලිකාගේ පතුල් අල්ලා වැඳීමෙන් පසුය. "පුතාලා දෙන්නා ඉස්කෝලෙ කාලෙදිම හොයා ගත්ත ප්‍රේම සම්බන්ධකම් වලට මං අකුල් හෙළුවෙ නෑ.මේ දුව ඔලිම්පික් ගිහින් එනකල් ඒ දෙන්නා කසාද බඳින්නෙ නෑ කිව්වා.පොඩි පුතාගෙ දුවට වැඩිදුර ඉගෙනීමට පිටරට යන්න ශිෂ්‍යත්වයක් ලැබිලා.දුවගෙ පැත්තෙන් කියනවා යන්න කලින් කසාදේ රෙජිස්ටර් කරමු කියල.මේ දවස් වල ඒකෙ වැඩ.......මටයි කියල රුපියලක් හම්බ කර ගන්න බැරි වුණාට තමන්ගෙ නෝනගෙ දක්ෂකම්,හීනවලට උපරිම උදව් දෙන පුත්තු දෙන්නෙක් මං හැදුවා. ඒ වස්තුව මට හොඳටමත් ඇති" මල්ලිකා සැනසීමෙන් කීවාය. -----------Shanika Tennakoon------------හාල් මැස්සො ඔළු ................................ " හාල් මැස්සො ඔළු කන්න පුලුවන්ද අනේ. හැමදාම රෑට බැදපු ඔළු.හොඳ ඒව ඉවරද?." ඉස්සර නිතරම වගේ ලොකු අයිය අම්මත් එක්ක එහෙම කියල රණ්ඩු කරනව මට තාම මතකයි. ලොකු අයිය කීවට ඒ මට හිටපු එකම අයිය.එයා මට වඩා අවුරුදු අටක් වැඩිමල් නිසා අපි අතරෙ ගොඩක්ම ළඟ සම්බන්ධයකට වඩා ඒ කාලෙ තිබුනෙ පරතරයක්.ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට ලොකු සර් කීව වගේ අයියටත් ලොකු අයිය කීවෙ ඒ ගෞරවයයි බයයි වගේ දෙයක් හිතේ තියාගෙන.කොහොමත් අම්ම හාල්මැස්සො ඔළු බැදපු දාට අයියට ටිකක් තරහ ගිහින් මෙහෙම කෑ ගැහුවට අයිය අපේ අම්මට හැබෑම ලොකු පුතෙක්. " මම නම් ආසයි ඒවට" මං කීවෙ හාල් මැස්සන්ට වඩා උන්ගෙ ඔලු බැදපුවට ආස නිසාම නෙවෙයි. කලින් දවසෙ අම්මට හාල්මැස්සො ඔලු කඩන්න උදව් වෙද්දි අම්ම කිව් කතා ටික මතක් උන නිසා. "උඹ ඉතින් කිරිමැටි දුන්නත් ගිලින එකානෙ.රහ කියන එක ‍අඳුරන එකෙක් එක්ක එපෑ රහ ගැන කතා කරන්න" අයිය කුස්සියෙන් එලියට ගියේ මට ටොක්කකුත් ඇනගෙන. ඇස් දෙක හීන් දැවිල්ලක් එක්ක තෙත් උනේ අයියගෙ ටොක්කෙ සැරට ද ඒත් නැත්නම් අම්ම ගැන මතක් වෙලාද කියල මං කල්පනා කලා. සමහරවිට ඒ දෙකම නිසා වෙන්න ඇති. උඹ ඕව ගනන් ගන්න එපා පොඩි පුතේ කියන්න වගේ අම්ම අසරණ ඇස් දෙකෙන් මා දිහාවෙ බලල හෙමින් මගෙ ඔලුව අතගෑවා. " කෑමක රහ විතරක් බලල ඇතෑ.ගුණෙත් බලන්න ඕන නේද?" අම්ම මගෙ ඔලුව අතගාන ගමන් කිව්වා. "උඹල පොඩි කාලෙත් මං මේව කුඩු කරල කෑම එකට දාල කවල තියනව. හාල් මැස්සො ඔළු වල පෝලික් අම්ලෙ එහෙම ගොඩක් තියනවලුනෙ. ඒවයින් තමා උඹලගෙ මේ හිතන්න කල්පනා කරන්න පුලුවන් විදියට මොළේ හැදිල තියෙන්නෙ. "අරූගෙ මොළේ වැඩිවෙලානෙ දැන් විස්ස විද්‍යාලෙ යන්න උනාට පස්සෙ." "ඒ උනාට මං දන්නව මයෙ පුතා ලොකු එකාට වැඩිය තැනකට දවසක යනව කියල." අම්ම මගෙ ඔලුව අතගගා කීවෙ මගෙ හිත සනසවන්නද නැත්නම් අම්මට අනාගතේ පෙනුන නිසාද කියන එක මට තාමත් පුදුමයක්. අම්ම එහෙම කීවට මොකද ඒ දවස් වල ගමේ ඉස්කෝලෙ හතේ පන්තියෙ හිටපු මට අයියට වගේ එහෙම මහ ලොකු දස්සකමක් තිබ්බෙ නෑ. අයිය ගණිතයට හැබෑ දස්සයි. එයා උසස් පෙළටත් කලේ ඒවමයි.ඉතින් ගණන් අහගන්න ගිහින් හැමදාම එයාගෙ ටොකු පාරවල් කන මට ඒ ටොක්ක අමුතු දේකුත් නෙවෙයි. මං ඉස්කෝලෙ උගන්වපු පාඩම් වලටවත් ඒ ගුරුවරුන්ටවත් එච්චර ආස උනෙත් නෑ.එයාලත් මං ගැන එහෙම උනන්දුවක් දැක්කුවෙ නෑ.මට තිබ්බ එකම දුක ඇයි අපි මෙච්චර දුප්පත් වෙලා ඉපදුනෙ කියන එක විතරයි.තාත්තත් නැතිව අම්ම අපිව හදන්න ඉස්කෝලෙ යවන්න වින්ඳෙ ලේසි දුකක් නෙවේ.ඒකත් කාටවත් නොදැනෙන්න කරපු එක තමයි මට තාමත් පුදුම. මොකද අම්ම කවදාකවත් අපේ නැතිබැරිකම් කාටවත්ම පේන්න තිබ්බෙ නෑ. හැමදාම වගේ රෑට හාල්මැස්සො ඔළු බැදල කෑවට කිසිම දවසක ඉස්කෝලෙ ගෙනියන කෑම එකේ හාල්මැස්සො ඔළු තිබිල නෑ.ඒ නිසාම පිට කිසිම කෙනෙක් අපි හාල්මැස්සො ඔළු බැදල කනවයි කියන එක දැන ගත්තෙත් නෑ.දැන ගන්න අම්ම ඉඩක් තිබ්බෙ නෑ කියන එක තමයි ඇත්ත. කොහොම උනත් අපිට අටේ පන්තියෙ සෞඛ්‍ය පාඩම කරපු ටීචර් දවසක් හාල්මැස්සො ඔළු වල තියන ගුණ ගැන කියපු දවස වෙනකන්ම මං හිතන් හිටියෙ අම්ම අපිට කීවෙ බොරු කියලයි. ඒත් එදා ඒ පාඩමෙන් පස්සෙ මට සෞඛ්‍ය ටීචර් ව පෙනුනෙ අපේ අම්ම වගේ.එදා ඉඳන් මං චීචර්ට වගේම සෞඛ්‍ය පාඩමටත් ආස උනා.සෞඛ්‍යයට ලකුණු ගොඩක් වැඩි වෙද්දි අනිත් ටීචර්ලත් මං ගැන ටිකක් උනන්දු උන නිසා වෙන්න ඇති මට වාර විභාග වලදි හැම විෂයටම වගේ හොඳට ලකුණු ලැබුනා.එතනින් පටන් ගත්තු ගමන මං නතර උනේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා. හැබැයි අයිය විශ්ව විද්‍යාලෙන් පිට වෙලා පළවෙනි රැකියාවට යන්න පටන් ගත්තට පස්සෙ ඉඳන් අපේ ගෙදර හාල්මැස්සො ඔළු බදින එක නැවතුනා.අයිය කොහොමත් බිත්තරවත් චිකන්වත් පොඩි කාලෙ ඉඳන් කෑවෙ නෑ.එයා ආස උනේ හාල්මැස්සන්ට විතරයි.ඒ නිසා අම්මා ගෙදරට ගෙනාවෙත් හාල්මැස්සො විතරයි. අයිය ජොබ් එකට ගිය දවසෙ ඉඳන් ගෙදර කෑමට ඕන හැම බඩුවක්ම ගෙනාවෙ අයිය. හාල්මැස්සො ඔළු කන්න එයාගෙ තිබ්බ අකමැත්ත නිසාමද මන්ද අයිය හාල්මැස්සො ගොඩක් එක පාර ගේනවා. "දැන් අපිට අඩුපාඩුවක් නෑනෙ. අපෙ අම්මා ඔන්න ඔළු එහෙම බදින්න මහන්සි වෙන්න ඕන නෑ." අයිය එදාට හිනා වෙවී කියනව. "උඹලගෙ ඉතින් උගත්කම අපිට වඩා වැඩියිනෙ. නැත්නම් මේව අහක දාන සිරිතක් තියනවද.. " හාල්මැස්සො දෙසිය පනහක් ගෙනාවම සීයක්ම ඔළු.මේව විසිකරල කොහොමද කියල ඒ කාලෙ කීව එක වෙනුවට " මෙතන ඔළු ටිකම කිලෝ එකකට කිට්ටුකරල තියනව" කියල අම්ම අයිය ගෙනාව ලොකු හාල්මැස්සො කවරෙ අතගගා කුටු කුටු ගාල කියෝනව මං පාඩම් කරන ගමන් අහගෙන ඉන්නව. මම වෛද්‍ය පීඨෙට තේරිලා අවුරුද්දකින් විතර අයිය රට ගියා.එයා අම්මගෙයි මගෙයි වියදම සම්පූර්ණයෙන්ම බලා ගත්ත.මම වෛද්‍යවරයෙක් විදියට රැකියාව පටන් ගත්තට පස්සෙ උනත් අයිය හිතුවෙ අම්මවයි මාවයි බලා ගන්න එක එයා කරන්න ඕන දෙයක් විදියට. මට හිතුනෙ පොඩි කාලෙ අපි අතරෙ තිබ්බ බැඳීම තවත් වැඩි උනේ අයිය අපෙන් දුරස් උනාට පස්සෙ කියල. අයිය අයියෙක්ට වඩා වගකීමක් හිතට අරන් තාත්තෙක් වගේ තමයි මං ගැන බැලුවෙ. මම විශේෂ උපාධියට රට යන්න කිට්ටුවම තමයි අයිය ලංකාවට ඇවිත් විවාහ උනේ.එයා බැන්දෙ දුප්පත්කම මොකක්ද කියන්නවත් දන්නෙ නැති අක්ක කෙනෙක් උනත් ඒ අක්ක අම්මට ආදරෙන් සැලකුව. ඒත් අක්කගෙ කෑම බීම ගැන නම් අම්මගෙ එහෙමට පැහැදීමක් තිබ්බෙ නැති බව නම් මට අම්මගෙ කතා බහෙන් තේරිලා තිබුන. " නාස්තිකාර පාටයි.ලොකු එකා හම්බු කලා කියක ඔහොම නාස්ති කරන්න ඕනද.?" අම්ම වෙලාවකට මගෙත් එක්ක කියල අක්කට දොස් කීවට එලි පිට නම් කවදාවත් එහෙම කීවෙ නෑ. කොහොමත් අයියගෙ මනමාලිට අම්ම විශේෂයෙන් කැමති උනේවත් අකමැති උනේවත් නෑ.සමහරවිට එයාව හොයා ගත්තෙ අයිය නිසා වෙන්න ඇති කියල මට නිකමට හිතුනා. මං ආපහු ලංකාවට ආ දවසෙ ඉඳන් අම්ම උනන්දු උනේ මට මනමාලියක්ව හොයන්න. අයියට කරදර කරල පත්තරේටත් දාල අම්ම උනන්දුවෙන් මට මනමාලියො හොයන හැටි ඒ දවස් වල මං බලන් හිටියෙ හරිම උදාසීන විදියට. ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ හිටිය අහිංසකම ගෑනු ළමය වුන නිපුණිට මං දුරින් ඉඳන් ආදරේ කලා කියන එක කවුරුත් දැනන් හිටියෙ නෑ. පස්සෙ අපි ගෙවල් මාරු කලාම එයාල ගැන ආරංචියක් නැතුවම ගියා.කොහොමත් මටත් දැන් තිස් පහක්.නිපුණි බැඳල ලොකු දරුවොත් ඇති දැන්.. මගේ අප්‍රකාශිත එකම ආදරය ගැන මං කොහොමත් එහෙම හිතල හිත හදාගෙනයි හිටියෙ.ඒත් නිපුණි වගේ ගෑනු ළමයෙක්වත් අම්මට හම්බෙනව වත් නම් කියලත් අම්මගෙ මනමාලියො හෙවිල්ලෙදි මං ප්‍රාර්ථනා නොකල නෙවෙයි. පෙනුම කෙසේ වෙතත් ඒ අහිංසක කමවත් තියෙන කෙල්ලෙක් හම්බෙනව නම්.. කොහොමින් හරි අම්මම හොයපු ලේලියෙක් ගෙදරට එක්ක එන්න මං කැමති උනේ කවද බැන්දත් බඳින්න වෙනවනෙ කියල හිත හදාගෙන අම්මගෙ කැමැත්තට ඉඩදෙමින්. ඒත් ඒ මංගල්ලෙ කතා කරල කැමැත්ත දන්වල යැව්ව දවස් වලම අම්ම හදිසියේ අන්ත්‍රා උනා. මං අම්මගෙ දොස්තර පුතා වුනත් අම්මගෙ මරණය වලක්වන බෙහෙතක් මම දැනන් හිටියෙ නෑ. මගෙ හිතට ඇතිවුනේ පුදුම දුකක්.කොච්චර හිතවතුන් යාලුවන් හිටියත් පුදුම පාලුවකින් මගෙ ලෝකෙම වෙලා ගන්නව මට දැනුන. අම්මට අලුත් ලේලිත් එක්ක හරියට කතාවක් කරගන්නවත් දෛවය ඉඩ තිබ්බේ නෑනෙ. අම්මගෙ අවමගුල ඉවර උන ගමන් ආයෙ මගුලක් ගන්න තරම් හිත හදාගන්න මට කොහොමටවත් බැරි උනා.ගෑනු ළමයට අකමැති වෙලා මගාරින්න මේක හොඳ අවස්ථාවක් උනත් ඒක එහෙම නොකරන්න තිබුන එකම හේතුව අයියයි අක්කයි උදේ තේ බොද්දි කියපු කතාව මගෙ හිතට තදින් කාවැදුන නිසයි. "මල්ලි .. මොනව උනත් අම්මගෙ අන්තිමටම තිබ්බ කැමැත්තනෙ ඔයාට ඒ ගෑනු ළමයව බන්දල දෙන එක. අම්ම නැති උනත් ඒ කැමැත්ත වෙනුවෙන්වත් අපි මේක කරල දාමුද?." අයිය මගෙන් එහෙම අහද්දි අක්කත් ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා. "මල්ලි අකමැතිනම් මගුල් ගෙවල් ඕන නෑ.අපි මේක චාමෙට කරමු.මල්ලිම හිතල බලන්නකො." අයිය කිව්වා. අයියට ඕන වෙන්න ඇත්තෙ එයා ආයෙ රට යන්න කලින් මාත් පිළිවෙලක් වෙනව දකින්න.මං ඇඳ උඩට වෙලා කල්පනා කරද්දි මට හිතුනා. බලන්න ගිය දවසෙ අහිංසක කමට වගේ හිටියට මොන නැට්ටිච්චියෙක්ද කවුද දන්නෙ. මට ආයෙමත් හිතුනා. කමක් නෑ.හැමෝම ඔය බඳින්නෙ.අයියත් බැන්දෙ.අපිට හරිගියේ නැතුවට ඔය දෙන්න යස අපූරුවට ඉන්නෙ.ආයෙමත් මට හිතුනා. මොනව උනත් අයියලත් ගෙදරින් ගියොත් අම්මත් නැති පාලුව නිසා මට මෙහෙ ඉන්නත් එපා වෙයි. ඒත් ඔය ගෑනියෙක් ගෙනාව කියල අම්ම නැති පාලුව යයිද.. මං මටම කියා ගත්තා. කමක් නෑ. ඔන්න ඔහෙ බැඳල දානව.මං පාන්දර වෙනකොට අන්තිම තීරණේකට ආවා. ඒත් අම්ම නැති අපට මොන මගුල් උත්සවද? කැමති නම් එහෙමයි අකමැතිනම් ඒත් එහෙමයි
.මං හිතුවා. වැඩිය කතාබහක් කරල නැති උනත් ලාවන්‍යා ලොකු උත්සවයක් නැතිව කසාද බඳින්න කැමති උනේ ගෙදර අයගෙ පොඩි අකමැත්තකුත් පිට කියල නම් මං දැනන් හිටිය. මට මොකද ඉතින්.ඒ ගෙදර ප්‍රශ්න එයාල විසඳගෙන අන්තිම තීරණේ මට කියන්නැතැයි.මං හිතුවක්කාරකමට හිතුවෙ එහෙම. ඊට මාසෙකට විතර පස්සෙ ඉක්මනින් උනත් අපේ විවාහය සිද්ද වුනාට අපි අතරෙ වැඩි කතා බහක් සම්බන්ධයක් ඇති කරගන්න තරම් මට වුවමනාවක් තිබ්බෙ නෑ.අක්කයි අයියයි ගෙදර හිටි නිසා මට ඒක ලොකුවට දැනුනෙත් නෑ.ලාවන්‍යට ඒක දැනුනද කියල බලන්න මට නිදහසක් තිබ්බෙ නෑ කියන එකට වඩා මට වුවමනාවක් තිබ්බෙ නෑ කියන එක තමයි හරි. ඊට පස්සෙ සතියෙම අයියයි අක්කයි සතියකට ගෙදරින් පිට උනේ ට්‍රින්කො වල තිබ්බ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටිකක් අවසන් කරන්න හදිස්සියි කියලයි .ඒ දවස් ටිකේම මමත් තවත් වැඩ ගොඩකට හිරවුනා උනත් ඒ ගැන ලාවන්‍යගේ කිසිම මැසිවිල්ලක් තිබ්බෙ නෑ.මම කෑම එක අමතක කරපු එක දවසක විතරයි ඇය මට කෝල් කරල දුක් උනෙත්. මං ඒක ඒ තරමට හිතුවෙ නැති උනත් එදා දවල් කඩෙන් කද්දි නම් අම්මව මතක් වෙලා ඇගේ කෑම එක දාල ආව මෝඩකම මට හොඳටම වැටහුනා. ඒ සතියෙම සෙනසුරාද අයිය මට කතා කරල කිව්වෙ එයාල සඳුදට හදිසියෙන් රට යනවයි කියල.රෑ කෑම අයියලටත් එක්ක සූදානම් කරන්න කියන පණිවිඩේ ලාවන්‍යට දෙන්න තරම් සුහද කමක් අයියල නැති සතියට අපි අතරෙ ගොඩනැගිල තිබුන. අයියල එදා ගෙදර ආවෙ පරක්කු වෙලා.. අයියල එනකම් සාලෙට වෙලා ලාවන්‍යට මම අයියගෙයි මගෙයි පුංචි කාලෙ මතක ගැන කිය කිය හිටියා.මතක විදියට එදා තමයි මම බැන්දට පස්සෙ එයා එක්ක එච්චර වෙලා කතා කලේ.මතක ගොඩක් වචන වලට පෙරලෙන්න බලාගෙන හිතේ පොරකෑවත් පැලපොල් ගහට නැගල කුරුම්බා කඩල අම්මගෙන් ගුටි කාපු සිද්ධිය ගැන විස්තර කියන්න විතරයි එදා අපිට වෙලාව තිබුනෙ.ඇගෙත් ඒව අහන්න ලොකු උනන්දුවක් තිබුන එක මට තවත් උද්‍යෝගයක් උනා. පරක්කු උන නිසා අයියල ඇවිත් කෙලින්ම කෑම මේසෙන්ම වාඩි උනා. ලාවන්‍යා එක එක්කෙනාගෙ පිඟන් වලට කෑම බෙදන්න ගත්තා. "ඔන්න අද මම රස කෑමක් හැදුව." අයිය වැඩිපුරම කැමති පරිප්පුයි නෙලුම් අල මාලුවයි ගොටුකොල සම්බෝලෙයි බෙදන ගමන් ලාවන්‍යා කිව්වා. කොහොමත් අපේ අයිය මස් කන්න අකමැති බව මුල දවස් වලම දැන ගත් නිසා ලාවන්‍ය මස් උයන්නෙ නෑ කියල අපි දැනන් හිටිය. අපු තුන් දෙනාම පුදුමෙන් කෑම දීසි දිහාවෙ බැලුවා.පපඩම් දීසිය ළඟ තිබ්බ අනිත් දීසිය අතට අරන් බෙදන ගමන් ලාවන්‍යා ඇගේ සිහින් කටහඬ ආයෙමත් අවදි කලා. "මේ හාල්මැස්සො ඔළු.හිනා වෙන්න එපා ඔන්න.බාගෙට බැදල තියෙන්නෙ. කාලම රස බලන්නකො.මේවයෙ රසට වඩා ගුණ තමයි වැඩි." හාල් මැස්සොන්ගෙ ඔළු කනවද කියල අහලවත් නැති නිසාද මන්ද අක්ක පුදුමෙන් වගේ ලාවන්‍ය දිහාවෙ බලන් ඉන්නවත්, පුංචි කාලෙ හාල්මැස්සො ඔළු කන්න බෑ කියල අම්මයි මායි එක්ක රණ්ඩු උනු අයිය හොරෙන් ඇස් දෙක පිහගන්නවත් මං ඇස් කොනින් යාන්තමට දැක්කා. හීන් දැවිල්ලකුත් එක්ක බොඳවෙන දෑසින් මං පුදුමෙන් බලන් හිටියෙ පුටුවෙන් නැගිටල කෑම බෙදන්නෙ ලාවන්‍යාද නැති නම් අපේ අම්මද කියලා. නිමි.❤ දෙවියන් විසින් ගැහැණිය නිර්මාණය කිරීමේ,සයවන දින මධ්‍යම රාත්‍රියත් එළැඹිණ... දේවදුතයෙක් ඔහු වෙත පැමිණ... "ඇයි මෙතරම් කාලයක් මේ වෙනුවෙන් ගත කරන්නේ..?" දෙවියන් එයට පිළිතුරු දෙමින්... "ඔබට අනුමාන කළ හැකිද මැයව කෙතරම් සංකීර්ණ පිරිවිතර ප්‍රමාණයක් අඩංගු කරමින් එකලස් කරාද කියලා..?" "මැය ඕනෑම දුෂ්කර තත්වයක්, අවස්ථාවක් මැද්දේ වුවත් ක්‍රියාත්මකයි..." "මැයට එකවර දරුවන් කිහිප දෙනෙකු වුණත් වැළඳ ගත හැකියි..." "මැයගේ එක් වැළඳ ගැනීමකින් තැළුණු දණහිසේ සිට බිඳුණු හදවත දක්වා සියල්ල සුවපත් කළ හැකියි..." "මේ සියලු දේ කළ හැක්කේ ඇයගේ අත් දෙකෙන් පමණයි..." "ලෙඩවූ විට ඇයම පිළියම් කර ගනිමින් දිනකට පැය 18ක් වැඩ කරයි..." පැහැදීමට පත් දේවදූතයා... "මේ සියල්ල මැයගේ අත් දෙකෙන් පමණක්...? හිතාගන්නවත් බෑ....!! එතකොට මේ සම්මත ආකෘතියක්ද...?" දේවදූතයා මදක් ලංවී ඇයව ස්පර්ශ කළේය... "දෙවියනි..! මැයව මෙතරම් මෘදු ස්වභාවයෙන් නිර්මාණය කළේ ඇයිද..?" "ඔව්... ඇය මෘදුයි... ඒත්, මම ඇයව ශක්තිමත් කර තිබෙනවා... ඇයට මුහුණ දී ජයගත හැකි දේ ඔබට හිතාගන්නවත් බෑ..." "ඇයට සිතන්න පුළුවන්ද..?" දේවදුතයා විමසීය.... "ඇයට සිතන්න පමණක් නොව, ඇයට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන්නත් පුළුවන්..." දේවදුතයා ඇයගේ කම්මුල් ස්පර්ශ කළේය... "ස්වාමීනි, මේ නිර්මාණයෙන් යමක් කාන්දු වෙනවා පේනවා..! ඔබ මැය මත බොහෝ බර තබා ඇති නිසා විය හැකියි..." දෙවියන් එය නිවැරදි කරමින්... "ඒ... කදුළු.." "ඒ කුමක් වෙනුවෙන් ද...?" "කඳුළු යනු ඇගේ ශෝකය, ඇයගේ සැක සංකා, ඇගේ ප්‍රේමය, ඇගේ තනිකම, ඇගේ දුක් වේදනා සහ ඇගේ අභිමානය ප්‍රකාශ කිරිමක් වේ..." දේවදුතයා තව තවත් පැහැදීමට පත්වී... "දෙවියනි... ඔබේ බුද්ධී ප්‍රභාව ශ්‍රේෂ්ඨයි... ඔබ සියල්ල කල්පනා කළා.... කාන්තාවක් නියත වශයෙන්ම 'විශිෂ්ඨයි'..!" දෙවියන් පිළිතුරු දෙමින්... "ඇත්ත වශයෙන්ම ඇයට පිරිමියෙකු පුදුමයට පත් කළ හැක... ඇයට දුක් කරදර කන්දරාවක බර රැගෙන යාමේ හැකියාව ඇත... ඇයට ආදරය, සතුට සහ අදහස් සිරකරගෙන සිටීමේ හැකියාව ඇත..." "කෑමොරදීමට සිතෙන විට සිනාසීමේ හැකියාව ඇත... හඬන්නට සිතෙන විට ගීතයක් මුමුණයි... සතුටක් ඇතිවු විට හඬයි... බියක් ඇතිවු විට සිනාසෙයි..." "ඇය විශ්වාස කරන දේ සඳහා සටන් වදියි... ඇගේ ආදරය කොන්දේසි විරහිත වේ... සමීපතමයෙකු මිය ගිය විට සිත බිඳී යන මුත්, ඇය ජීවිතය ඉදිරියට ගෙන යෑමට ශක්තිය ලබා ගනියි..." "එසේ නම් මැය පරීපුර්ණ කෙනෙක්..!" දේවදූතයා ඇසීය... දෙවියන් පිළිතුරු දෙමින්... "නැත... මෙහි එක් දුර්වලතාවයක් ඇත..." "ඒ තමයි, ඇයට නිතරම අමතක වෙනවා... තමන් කෙතරම් වටිනා කෙනෙක්ද කියා..!"🙏❤️ ❤ In God's creation of woman, Midnight came on the sixth day... An angel came to him... "Why spend so much time for this..?" God answered it... "Can you guess how many complex specifications "Maya" was assembled..?" "May work even in the middle of any difficult situation, opportunity..." "Maya can hug several children at once..." "One hug from May can heal everything from a bruised knee to a broken heart..." "All these things can only be done with her two hands..." "She works 18 hours a day treating herself when even sick..." Impressed angel... "All this with only two hands of Maya...? Can't even imagine...!! So is this a standard model...?" The angel came closer and touched her… "God..! "Maya" is so soft Why was it created by nature..?" “Yeah… she's soft… But, I have strengthened her… You can't even imagine what she can overcome..." "Can she think..?" The angel asked... "Not only does she have to think, She can also present arguments logically..." The angel touched her cheeks... "God!..something is leaking from this creation..! May be because you put too much weight on it…” God is fixing it… "Those... tears.." "What was that for…?" "Tears are an expression of her sorrow, her doubts, her love, her loneliness, her suffering and her pride..." The angel was even more impressed... "God... Your wisdom is great... You thought of everything…. A woman is definitely 'excellent'..!" God answering... “She can really surprise a man… She has the ability to carry a load of sorrows... She has the ability to hold love, happiness and ideas…” "You can laugh when you think about it... When I feel like crying, I hum a song... Crying when happy... Smiles when scared..." "She fights for what she believes in... Her love is unconditional… Although the heart breaks when a loved one dies, She finds the strength to carry on with life..." "Then 'Maya' is perfect..!" The angel asked... God answering... "No... There is one weakness here…” "That's it, She always forgets... How valuable she is..!" 🙏❤️ Kel Mendis UAE - Dubai"දෙයියනේ 10.30 ත් පහුවෙලා මේ සිරී තාම නෑනෙ.." නිර්මලා විසි එක්වෙනි වතාවටත් සිරීගෙ අංකෙට ඩයල් කරා. ෆෝන්නෙක වැඩ කරන්නෙත් නෑ මොකක් වත් කරදරයක්ද .. දළදා හාමුදුරුවන්ගෙ පිහිටින් මයෙ මහත්තය පරිස්සමින් එයි මොකක්වත් වැඩක් වැටෙන්න ඇති මාත් මේ විකාර හිතනව.. සමහර විට මට මොනා හරි තෑග්ගක් ගන්න යන්න ඇති. නිර්මලා එහෙම හිතද්දි කට කොනින් හිනාවක් පැන්නෙ හිතේ පිරිච්ච ලෙංගතුකමට. අද නිර්මලාගෙයි සිරිල්ගෙයි 15 වෙනි විවාහ සංවස්තරේ.. ඔපිස් එකෙන් ශෝට් ලීව් එකකුත් දාලා නිර්මලා දණිපනියෙම ගෙදර ආවෙ සිරිල්ට තෑගි දෙන්න තෝරගත්තු අලුත් කමිසෙකුයි රෑ කෑම වේලට විශේෂයක් කරන්න හිතාන ගත්තු අඩුම කුඩුම ටිකකුත් අරගෙන. "කෑම ටිකත් සීතල වෙලා...මෙයා තාම නෑනේ.." නිර්මලාට ආයෙමත් හීල්ලුනා. අප්පච්චි එනකන් බලාන ඉදලා බැරි තැන කෑම කාලා ඇදට ගියපු දෝණිට නම් නින්දත් ගිහිල්ල. "පව් පොඩි එකී .."නිදාන උන්නු දෝණිගෙන් නිර්මලාට පෙනුනෙ සිරිල්ව මගේ කුසෙන් වැදුවට මොකද මූන කට මහත්තයගෙ වගේමයි නිර්මලාට හිතුනෙ එහෙම. කෙල්ලටත් දැන් එකොලහක් තව අවුරුදු කීපෙකින් ළමිස්සියෙක්.. තරුණ ජෝඩු වාගෙ සංවස්තරේ සමරන්න ගියාට මොකද අපි දැන් නාකිත් වෙච්චි නිර්මලාට හීනි ලැජ්ජාවකුත් හිතුනා.. කල්පනාවෙ ගිලිල ඉන්නකොට නිර්මලා ගැස්සිලා ගියේ ගේට්ටුව දිහාවෙන් ඇහිච්ච මෝටර් සයිකල් සද්දෙට. නිර්මලා විගහට දුවගෙන ඉස්සරහට ගියේ දොර අරින්න බලාගෙන. "අනේ සිරී හොදටම රෑ උනානෙ අද ඒ මොකද ...බලන්නකො 12 ටත් කිට්ටුයි." නිර්මලා බොරු නෝක්කාඩු මූනක් මවාගෙන එහෙම කිව්වෙ ස
ිරිල් ජැකට් එකත් ගලෝගෙන ගේ ඇතුලට එද්දි. "මට වැඩක් තිබ්බා ඕයි! ඔපිස් එකට ගියාම ඒකෙ උංගෙ ඤුරු ඤුරුව ගෙට පය තිබ්බම මේ ගෑනිගෙ ඇඩියාව මේක නම් මහ කරුමයක් ...ශික් විතරක් !" සිරිල් ගෝරණාඩු කරේ දාන් ආපු සපත්තු දෙක දොර මුල්ලට විසික් කරන ගමන්. "අනේ කේන්ති ගන්නෙපා මහත්තයෝ.. මන් නිකමටනෙ ඇහැව්වෙ ඔයාට හුගක් මහන්සි ඇති ඉන්න මන් උණු වතුර එකක් රත් කරා බාත් රූම් එකෙන් තියන්නම් ඉක්මන්ට... ඔයා ගිහින් කිලිටි ඇදුම් ගලවන්නකො, ටවල් එක ඇඳ උඩින් තියල ඇති හොදේ.." සිරීට හුගක් මහන්සි ඇති ඒකනෙ ඔයහැටි කේන්ති යන්නෙ නිර්මලා එහෙම හිතල හිත සන්සුන් කරගත්තා. "සිරී... වතුර ලෑස්තියි ඉක්මන්ට වොශ් දාගෙන එන්නකෝ.. අද ඔයාට ස්පෙශල් ඩිනර් එකක් මන් ගානෙ ඉක්මන්ට නාගෙන එන්න.." නිර්මලා කිව්වෙ හිනා පිරිච්ච ඇස් නටව නටව. "මං එද්දි එලියෙන් කාල ආවෙ නිර්මලා.. " සිරිල් කිව්වෙ කිසිම හිතක් පපුවක් නැතුව. "අනේ සිරී මන් මෙච්චර වෙලා බලන් උන්නෙ අදවගේ දවසකවත් ඔයා එක්ක එකට කෑම ටිකක් කන්නනේ.. එලියෙන් කෑවට මොකද මන් රසට එළවලු බතකුත් හැදුවා චුට්ටක් කමු මන් බෙදන්නම්කො." "අනේ ගෑනියෙ උබෙ මල බත කන්න බැරිනම් ඒකත් එක්ක මකබෑවියං මොන හු#$ක් ද එක සැරයක් කිව්වනෙ මන් කෑව කියල" සිරිල්ගෙ ඇස් ගොබලු ගෙඩි දෙකක් වාගෙ දිලිසුනා. මොකක් උනාද කියල හිතාගන්න බැරුව ගල් ගැහිච්ච නිර්මලාගෙ ඇස් වලින් සට සට ගාල කදුලු බේරුනා. නිර්මලා පණ දාගෙන උයපු එලෝලු බතත් මගුල් මුද්ද උකස් කරපු සල්ලි වලින් ගෙනාපු අලුත්ම රෙසිපියකට හදාපු මාළු මස් වෑංජන ටිකත් කුනු කූඩෙට හැලුවෙ කිසිම හැඟීමක් නැතුව. සිරිල්ට දෙන්න ගෙනාපු කමිසෙ එහෙමම ගෙනාපු කවරෙ පිටින්ම මේසෙ උඩ තනි රැක්කා. සිරී දැන් ටික දවසක ඉදල හරි වෙනස් හරියට කේන්ති ගන්නව. පෙරේදා දෝණිගෙ ඇගටත් ගොඩ උනා. මගෙ අතින් නොදැනි හරි වැරැද්දක් උනාද දෙයියනේ නිර්මලාට හීල්ලුනා. 'මොක උනත් මහන්සි ඇති දැන් එයාට ප්‍රමෝශන් එකෙන් පස්සෙ ඔපිස්සෙකේ වැඩත් වැඩියිනෙ' නිර්මලා හැමදෑම වගේ දිග හුස්මකින් හිත චුට්ටක් හෑල්ලු කරගත්තා. කව්ද අනේ මේ රෑ ආයෙ කෝල් ගහන්නෙ ගෙදර ආවාම වත් මේ මනුස්සයට වැඩ වලින් නිදහසක් නෑනෙ... නිර්මලා හිතින් මුමුණ මුමුණ කාමරේට ඇඳුනෙ සිරීගෙ ෆෝන් එක වදින සද්දෙට... "ට්‍රිං ටිං ටිං.." කව්ද මේ මිස්කෝල් ගහන්නෙ නිර්මලා ෆෝන් එක අතට අරන් බැලුව. එකම නම්බර් එක්කින් මිස් කෝල් පහක් ඇවිල්ල තිබුන. ' පරිස්සමින් ගෙදර ගියාද බබෝ' ඒපාර ආවෙ නම් කෙටි පණිවිඩයක්! මගෙ දෙයියනේ මේ මොකක්ද වෙන්නෙ නිර්මලා ඔලුවට අකුණු සැරක් වැදුන වගේ ලොකු වෙච්ච ඇස් වලින් සිරිල්ගෙ කෙටිපනිවිඩ එකින් එක බැලුව... කව්ද දෙයියනේ මේ ගෑනි මගෙයි දෝණිගෙයි සිරීව උදුරගත්ත මේ ගෑනි කව්ද නිර්මලාගෙ හිත අස්සෙන් හෙණ පුපුරනව වගේ විලාප තිබුනත් කටින් පිටවෙන්න ආපු ඉකියත් නිර්මලා අතින් තද කරල නවත්තගත්තා. කැම්පස් එකේ එක ලග පුටුවෙ ඉදන් හුරතල් වෙච්ච සිරී... ආදරේට නිර්මලාට නිම්මු කියපු සිරී... දෝනි ටිකක් ලොකු උනාම පුතෙකුත් හදමු කීව සිරී... අනේ මේ ඔයාමද ? මුලු ලෝකෙම කඩාවැටිච්ච නිර්මලාගෙ පපුව හිරකරනව වගෙයි දැනුනෙ. එතකොට එදා ශ්‍යාමා කිව්වෙ ඇත්තක්ද "අන්න අද සිරිල් ගෑනු කෙනෙක් බයිසිකල් එකෙ පිටිපස්සෙ තියාගෙන ගියා මං ඒත් බැලුව ඔයාද කියල... කොන්ඩෙ කොටට කපපු ටිකක් පොශ් පාට එක්කෙනෙක් ..." දවසක් ඔෆිස් එකේදි ශ්‍යාම කට කොනෙන් හිනාවෙන ගමන් කියපු හැටි නිර්මලාට මතක් උනා. "ඔය ඉදිච්ච කොන්ඩෙ ටිකක් ඩයි කරල සැලෝන් එක්කට එහෙම ගිහිල්ල ඔය බොඩි එක ටිකක් මේන්ටේන් කරන්නකො අනේ... බලන්නකො මිනිස්සුන්ට එපා වෙන්නෙ නැතුවෑ ගොඩේ තාලෙට ඉන්නකොට" " අනේ මේ විදිහ මට හොදයි සැලෝන් ගානෙ ගිහින් තිරිහං වෙන්න මන් ළමිස්සියෙක් නෙවෙයිනෙ ශ්‍යාමා..අනික සිරී ඔය සංකර ගෑනුන්ට කැමති නෑ" එදා ශ්‍යාම කියපු එකට හරහට එකක් කියල තේ බොන කාමරෙන් නැගිටල ආපු විදිය නිර්මලාට මතක් උනා. "...එක අතකට ඇත්ත සිරීට මාව එපා වෙලා ඇති මන් ලස්සන ගෑනියෙක් නෙවෙයිනෙ" කණ්නාඩියෙන් තමං දිහා බලාන උන්නු නිර්මලාට හිතුනෙ එහෙම. නිර්මලා තමන් දිහාව කණ්නාඩියෙන් මෙහම උවමනාවෙන් බැලුවෙ හුගාක් කාලෙකින්.. ඉස්සර ඇගේ හැඩ ඉස්සිලා පේන්න තිබ්බ උකුළ හැඩ නැතුව ගිහින් තිබුනා. ඒකාලෙ හැඩට ඉස්සිලා ඇවිදිද්දි තාලෙට පැද්දිච්ච නිර්මලාගෙ ලැම දෝණි ලැබුනට පස්සෙ එල්ලිලා වැටිල තිබ්බ. හිගන්නියෙක්ගෙ වගේ දැලි ඉදුල් ගෑවිච්ච රාත්‍රී ඇදුම උනත් කියාපෑවෙ පුදුම අසරණකමක්. එකදිගට බිදිච්ච ඉකි හිරකරගෙන නිර්මලා ඇදේ ගුලි උනා... ඇග සෝදන් ආපු සිරිල්ට නිර්මලා දිහා නොබලම ටෙලිෆෝන් එකේ සිහියෙන්ම නින්ද ගිහින් තිබුනා. උදේ නිර්මලා ඇහැරුනේ ඔලුව පුපුරන්න තරම් ඔලුවෙ කැක්කුමක් එක්කමයි. නිර්මලා දනිපනි ගාල උයල දෝනි ස්කූල් වෑන් එකටත් නග්ගල ගෙට ගොඩවෙද්දි නිර්මලා දිහා නොබලම "මං යනව" කියාගෙන බයිසිකලේට නැග්ග සිරිල් ගේට්ටුවෙන් නොපෙනී ගියා. නිර්මලා ඔපිස්සෙකට යනකොට රතු ඉරත් වැදිල " අම්මේ මේන් මනමාලි ඇවිල්ලා.. මන් හිතුවෙ අද නිවාඩු දාවි කියල. ම්ම්ම් ඊයෙ පාටිය සරුයි වගේ ඇසුත් රතුවෙලා මොකො ප්‍රේම කුමාරය රෑ නිදියගන්න දුන්නෙත් නැද්ද?" දීපිකා ඇහැව්වෙ නිර්මලාගෙ මූන මිරිකනගමන්. "පිස්සුද අනේ මට ටිකක් සනීප මදි ඒකයි.." නිර්මලා කීවෙ බොරු හිනාවක් මූනෙ මවාගෙන. "මොකෝ අනේ මූන එල්ලන් හිනා වෙලා ඉන්න කෙල්ලේ..." දීපිකා ආපහු ගියේ නිර්මලාට ඇහැකුත් ගහනගමන්. ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිල තිබ්බත් නිර්මලාගෙ හිත හිස්වෙලා මොකක් කරන්නද කියල හිතාගන්න බැරි මහ මූසල හැඟීමකින් හිත පිරිල තිබුනා. ෆයිල් ගොඩ උඩම මූන ඔබාගෙන හිටපු නිර්මලාට ඇහැරුනේ ටෙලිෆෝන් එක වදින සද්දෙට... "හෙලෝ මේ සිරිල් නිමලසූරියගෙ වයිෆ්ද. ඔයාගෙ හස්බන්ඩ් ඇක්සිඩන්ට් එකක් වෙලා ජාතික රෝහලට ගෙනල්ල තියෙනවා කරුනාකරලා මෙහෙට එන්න පුලුවන් ද?" නිර්මලාට කෝල් එකේ ඉතුරු හරිය ඇහුනේ නෑ වැලහින්නක් වගේ විලාප තියපු නිර්මලා පුටුවෙන් නැගිටල එලියට බැස්සා. සිරිල් හරියටම ඇස් ඇරියෙ දවස් හතරකට පස්සෙයි. කෝච්චිය සිරිල්ගෙ බයිසිකලෙයි කකුල් දෙකයි යට කරගෙන හූ හඩ තියාගෙන ගිහිල්ලා තිබ්බා. පිස්සියෙක් වගේ ගෙවිච්ච දවස් කීපෙට දෙවිවරු තිස්තුන්කෝටියකටත් වඩා සිරිල් වෙනුවෙන් පඬුරු ගැටගහපු නිර්මලා කකුල් කොට දෙකක් එක්ක මුලු ඇගම බැන්ඩේජ් වලින් වෙලාගෙන උන්නු සිරිල් දිහා බලාගෙන උන්නා. "..මං දැන් කකුල් දෙකම නැති අබ්බගාතයෙක් නේද නිම්මු" " ශ්ශ්ශ්... මට ඔයාගෙ කකුල් නැතිඋනාට ඔයා ඉතිරි උනානෙ සිරී.... දළදා හාමුදුරුවන්ගෙ පිහිටින් මගෙ මහත්තයට මොකුත් වෙන්නෙ නෑ" නිර්මලා සිරිල්ගෙ ඔලුව අතගෑවා. "...අනේ මට සමාවෙන්න නිම්මු..මට සමාවෙන්න " නිමි.අපේ අප්පච්චි ඉස්කෝලේ ගුරුවරයෙක් වුණාට අප්පච්චිගේ ලොකුම ආසාව තමයි පතල් හාරන එක. ඔය ආසාව නිසාම අප්පච්චි ඉස්කෝලේ නිවාඩු කාලෙට තව අප්පච්චිගේ යාලුවො දෙන්න තුන්දෙනෙක් එක්ක පතල් හාරන පැති වලට යනවා. ඒ ගිහින් ආයෙත් එන්නේ ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන්න ළඟ වුනහම තමයි. මීට ගොඩක් කාලෙකට කලින් ඉස්කෝලේ නිවාඩුවකට අප්පච්චි එහෙම අලුතින් කපන පතලකට ගියා තව අපේ ගමට එහා ගම් වලින් අප්පච්චිගේ යාලුවො තුන් දෙනෙකුත් එක්ක. ඒ ගියේ කොහෙද කියලා අපිට අප්පච්චි කිව්වේ නැහැ අප්පච්චිත් ඒ වෙනකොට ඒ පතල තියෙන්නෙ කොහෙද කියලා හරියටම දන්නෙ නැති නිසා. ඒ ගිය පතල තමයි අප්පච්චි ගිය පතල් වලින් ඉක්මනින්ම ගෙදර ආපු පතල සහ අන්තිමට ගිය පතල වුනේ. එදැයින් පස්සෙ අප්පච්චිට පතලකට යන්න බැරි වුනා මොකද ඒ ගිහින් ආවේ අප්පච්චි හොඳටම අසනීප වෙලා නිසා. අප්පච්චි විතරක් නෙවෙයි අප්පච්චි එක්ක ගිය අනිත් තුන් දෙනත් අසනීප වුනා. අප්පච්චිලා ගෙදර එනකොට කතා කරන්න බැරුව ගොළු වෙලා ආවේ. අනිත් තුන් දෙනාටත් ඒ වෙනකොට කතා කරන්න බැරුව් ගොළු වෙලා තිබුණා. ඒ තුන් දෙනාම මාස දෙක තුනක් ඇතුලත ඇස් පේන්නෙ නැතුවත් ගිහින් අතපය පණ නැතුව ඇඳට වැටුණේ ආයෙත් නැගිටින්න බැරි වෙන විදියට. ඒ තුන්දෙනා මාස තුනක් විතර ඇතුලත මැරුනා. ඒ මරණ තුනෙන් පස්සෙ ගම් වල කටකාතා පැතිරුණා අප්පච්චිලා නිධානයක් ගන්න ගිහින් සාපයක් වැදිලා කියලත්. ඔය මුල් මාස තුන ගෙවිලා ඉවර වෙනවත් එක්කම අප්පච්චිගෙත් ඇස් පෙනීම නැත්තටම නැති වෙලා අප්පච්චිවත් ටිකෙන් ටික ඇඳට වැටුණා. කරන්න පුළුවන් හැම වෙද කමක්ම කරා දේවාල අරගෙන ගියා තොවිල් කරා ඒ හැමතැනින්ම කිව්වෙම මහසෝනා ගහලා කියලා මේ හතර දෙනාටම. අන්තිමට අප්පච්චි ජිවිතයත් මරණයත් අතර සටනේ මාස නවයක් දහයක් විතර ඉඳලා ජිවිතෙන් සමු ගත්තා. අපේ ගෙදර අයට ඒ කාලේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි අප්පච්චිලට මොකද වුනේ කියන දේ. ඔය ගැන ගෙදරට එන යන හැමෝම කතා කරනවා මට ඇහෙනවා. ඒත් ඒ දේවල් කතා කරන කිසිම කෙනෙක් ගැන උත්තරයක් තිබුණේ නැහැ හතර දෙනෙක් එකම විදියට මැරුනේ කොහමද කියලා. __________________ අප්පච්චි ගොළු වෙලා තරමක් සිහියෙන් හිටපු මුල් මාස දෙක තුනේ මම තමයි අප්පච්චි ලඟ වැඩිපුරම හිටියේ. මොකද ඒ වෙනකොට අම්මා බෙහෙත් හොයන්නයි බෝධි පූජා තියන්නයි ඒවට මේවට යන නිසා. ඔය ඉන්න කාලේ අප්පච්චි මිදුලේ ඇවිදිනකොට මාත් අප්පච්චි පිටිපස්සෙන් එහා මෙහා යනවා. ඔය අතරතුර අප්පච්චි කෝටු කෑල්ලකින් තැනින් තැන පුංචි පුංචි මිනිස්සු වගේ රූප අඳිනවා. අප්පච්චි ආයෙත් ගේ ඇතුලට යන්නෙ අප්පච්චි කෝටු කෑල්ලෙන් මිදුල පුරාම පුංචි පුංචි මිනිස්සු වගේ රූප ගොඩාරියක් ඇඳලා ඒ දිහා පැත්තකට ගිහින් බලාගෙන ඉඳලා ඒ ඇඳපු මිනිස්සු වගේ රූප වලට අප්පච්චි බය වෙලා අප්පච්චි ගෙට ගිහින් ඇඳට වැටිලා රෙද්ද පොරව ගන්නවා. අප්පච්චි මාත් එක්ක හිටිය අන්තිම කාලේ මට අප්පච්චි ගැන ලොකුම මතකය විදියට තියෙන්නෙ ඒ සිදුවීම. අප්පච්චි ඇඳපු ඒ මිනිස්සු වගේ රූප වලට අප්පච්චි බය වෙන නිසා අප්පච්චි ගේ ඇතුලට ගියපු ගමන් මං ඒ හැම රූපයක්ම කකුලෙන් මකලා දානවා අප්පච්චි ආයෙත් දැක්කොත් බය වෙන නිසා. අප්පච්චි මිදුලේ අඳින රූප වගේ රූප අපේ ගෙදර ලැට් එක තියෙන පැත්තේ පිලිකන්නේ බිත්තියෙත් අඟුරු කෑලි වලිනුත් ඇඳලා තියෙනවා කියලා මං දැක්කට පස්සෙ මං ඒවත් ඒ දවස්වල මකලා දැම්ම
ා අප්පච්චි ඒවට බය වෙන නිසා. ඔය කාලේ අප්පච්චි පොතකත් මොනවද සැරින් සැරේ කුරුටු ගෑවා කියලා මට මතකයක් තිබුනට ඒ පොතේ කුරුටු ගෑවේ මොනවද කියලා මං දැක්කෙ නැහැ. ඊටත් අප්පච්චි ඒ පොත අප්පච්චි ලඟම තියාගෙන හිටියේ. මට නම් හිතුනෙම ඒ පොතෙත් අර අප්පච්චි අඳින රූප ඇති කියලා. අප්පච්චිට මුකුත්ම කර කියා ගන්න බැරිව ඇඳට වැටිලා ඉන්න කාලේ ඒ පොත අප්පච්චි ළඟ තිබුණේ නැහැ අම්මා කොහේ හරි අරං තියලා වෙන්න ඇති නිසා ඒක එහෙමම අමතක වෙලා ගියා. අප්පච්චි ඒ ජිවත් වුන අන්තිම කාලය පුරාවටම අප්පච්චි හිටියේ ගොඩාරියක් බයකින් කියලා මං පුංචි වුනත් මටත් තේරුනා. ඒ නිසාම වෙන්න ඇති ගමේ මින්ස්සු පවා ඒ කාලේ විශ්වාස කරේ අප්පච්චිලට මහසෝනා ගහලා කියලා. _________________ අප්පච්චිගේ මරණයෙන් පස්සෙ අපේ ගෙදරට කිසිම සරුවක් තිබුණේ නැහැ. අපේ අම්මත් ගුරුවරියක් නිසා සාමාන්‍ය තරමට අපිට සල්ලි තිබුණට ඒත් ඒ අම්මට හම්බෙන පඩිය මොනවා වෙනවද කියලා හිතාගන්න බැරි වෙන විදියට වියදම් අධික වුනේ මායි අම්මයි සැරින් සැරේ අසනීප වෙන්න ගත්ත නිසා. ඔය දේවල් එක්ක මායි අම්මයි කොහම හරි අප්පච්චි නැතුව අවුරුදු දොළහක් විතර ජිවිතේ ඉස්සරහට අරගෙන ආවා. අම්මා මෑතකදී අපේ හඳහන බලපු තැනකින් කියලා තිබුණා අපිට සරුවක් නැත්තේ මහසෝනගේ බැල්ම වැටුන ගෙයක් නිසා කියලා. ඊට පස්සෙ අම්මා තීරණයක් ගත්තා අපි ඉන්න ගේ විකුණලා වෙන ගෙදරකට යන්න. අපි මාස දෙකක් විතර ඇතුලත අපේ ගේ විකුණලා අලුත් ගෙයක් ගත්තා අපේ ගේ විකුණපු ගානටම වගේ. අපි අලුත් ගෙදරට යන්න හිටපු ගෙදර බඩු මුට්ටු අස් කරනකොට මට හම්බුනා අප්පච්චිගේ පොත් ගොඩකුත්. ඔය පොත් ටික දැක්ක වෙලාවේ මට එකපාරටම මතක් වුනේ අප්පච්චි අන්තිමට කුරුටු ගාපු පොත. කොහමහරි ඒ පොත් ගොඩේ තිබිලා මට ඒ පොත ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වුනා මොකද අප්පච්චි අර මිදුලේ ඇඳපු රූප දෙක තුනක් ඒ පොතේ මුල්ම පිටුවේ තිබුණු නිසා. ඒ වෙලාවෙ ගෙදර අස්පස් කරන වැඩත් එක්ක පොත බලන්න බැරි නිසා ඒක මම වෙනම අරගෙන තියාගත්තා. අපි අලුත් ගෙදරට ගිගිහින් සතියකින් විතර පස්සෙ තමයි මට ආයෙත් මතක් වෙලා ඒ පොත බලන්න කියලා අතට ගත්තේ. ඒ පොතේ මුල්ම පිටුවේ තියෙන්නෙ මිනිස් රූප වලට සමාන රූප කිහිපයක්. ඊට පස්සෙ තමයි ඒ ගිය ගමන ගැන විස්තරය. _______________________ අප්පච්චිලා ගෙදරින් ගියපු දවසේ හතර දෙනා කොහෙද ගමකින් ගිහින් බැහැලා එහේ අප්පච්චිලව අඳුරන කෙනාගේ ගෙදර එදා රෑ නැවතිලා තියෙනවා. ඊට පහුවදා අප්පච්චිලත් එක්ක තව පස් දෙනෙක් එකතු වෙලා තියෙනවා අලුතින්ම හොයාගත්ත පතලට යන්න. පොතේ ලියලා තියෙන විදියට අප්පච්චිලට ඒ අලුත් පතලට යන්න දවස් දෙකක් මහා කැලෑවක් මැද්දෙන් යන්න වෙලා තියෙනවා. ඊට පස්සෙ තමයි ඒ පතල තියෙනවා කියන තැන හම්බෙලා තියෙන්නෙ. පතලට ගිහින් දවස් දෙකක් විතර යනකම් ඉන්න වාඩියයි වටපිටාව එහෙම අප්පච්චිලා හදාගෙන තියෙනවා. පතල කපන්න කලින් දවසේ රෑ අප්පච්චිලට වටපිටාවෙන් අමුත්තක් දැනිලා තියෙනවා. ඒක හරියට මහ පිරිසක් අප්පච්චිලා ඉන්න වාඩිය දිහා බලාගෙන ඉන්නවා වගේ දෙයක් කියලා තමයි පොතේ අප්පච්චි ලියලා තියෙන්නෙ. ඒ එක්කම කවදාවත් ඇහිලා නැති අමුතු සද්ද වගයක් ඇහෙන්න පටන් අරගෙන තියෙනවා ඒ සද්ද මොන වගේද කියලා හරියටම කියන්න බැරි වුනත් ඒවා අලුත ඉපදුන ළමයි අඬන ඔවෑක් ඔවෑක් වගේ සද්දෙට ළඟින් යන සද්දයක් වගේලු. ඒ එක්කම අප්පච්චිලා එක්ක හිටිය දහ දෙනාගෙන් දෙන්නෙක් ඇදගෙන වැටිලා තියෙනවා එකපාරටම. ඒ වෙනකොට අප්පච්චිත් ඇතුළුව අට දෙනාම හොඳටම බය වෙලා තියෙනවා. අර සිහිය නැතුව ඇදගෙන වැටුණ දෙන්නට වතුර ගහලා මොනවා කරත් සිහිය ඇවිල්ලා නැහැ. අප්පච්චිලා කුණුහර්ප කියලා කෑ ගහලා තියෙනවා ඒ වෙලාවේ දිශ්ඨියක් වෙන්න ඇති කියලා හිතාගෙන. අප්පච්චිලා අරගෙන ගිය පිරිත් වතුර එහෙමත් තිබිලා ඒවත් වාඩිය වටේ ඉහලා එතන හිටිය සිරි කියන කෙනෙක් පස් අහුරක් අරගෙන මතුරලා වටේ විසිකරලා තියෙනවා. ඒත් ඒ කිසිම දේකින් අර තියෙන භයානක ගතියවත් සිහිනැති වෙච්ච දෙන්නට සිහියවත් ඇවිත් නැහැ. ඔහම පැය දෙකක් විතර යනකොට අප්පච්චිලාගේ කකුල් වලට යමක් දැනිලා තියෙනවා හරියට සතෙක් කකුලේ ඉන්නවා වගේ. කොහම හරි තිබුණු ලන්තෑරුම් අරගෙන පොළව දිහා බලනකොට වාඩියේ පුරාවටම තැනින් තැන කල්ලි විදියට එකතු වෙලා ඉන්න වියතක් විතර උස මිනිස් රූපෙකටයි ශරීරයකටයි සමාන අමුතු සත්තු වගේ ජාතියක් දැකලා තියෙනවා. ඒ සත්තු තමයි අප්පච්චි ඔය අන්තිම කාලේ මිඳුලේ පුරාවටයි මේ අප්පච්චි ලියලා තියෙන පොතේ මුල් පිටුවෙයි ඉන්නේ. අප්පච්චිලට ඒ වෙලාවේ මුකුත්ම කරකියා ගන්න බැරි තරමට ඒ අමුතු සත්තු ජාතිය අප්පච්චිලා ඉන්න වාඩිය පුරාවටම වට කරගෙන ඒ එක්කම අර සිහිය නැතුව වැටුණ මනුස්සයා වගේම අනිත් අයත් සැරින් සැරේ බිම ඇදගෙන වැටිලා තියෙනවා. කොහම හරි අප්පච්චිට සිහිය නැතුව වැටෙන්න කලින් ඉඳලා තියෙන්නෙ අප්පච්චියි තව දෙන්නෙකුයි විතරයි අනිත් ඔක්කොම ඒ වෙනකොට බිම වැටිලා ඉවරයි. ඊට පස්සෙ රෑ වෙච්ච කිසිම දෙයක් කවුරුත් දන්නෙ නැහැ. පහුවදා උදේ සිහිය එනකොට හිටපු දහ දෙනාගෙන් කිසිම කෙනෙක්ට කතා කරගන්න බෑලූ. අර මුලින්ම සිහිය නැතුව වැටුණ දෙන්නගෙන් එක්කෙනෙක් ඒ වෙනකොටත් ඇස් පේන්නෙ නැතුව ගිහින් අනිත් එක්කෙනාගේ එක අතක් වැඩ කරන්නෙ නැතුව තිබිලා. කොහම හරි අප්පච්චිලා සිහිය ආපු වෙලාවේම අමාරු පිට වාඩියෙන් ආයෙත් ගමට එන්න පිටත් වෙලා තියෙනවා. අප්පච්චිලා ගමට ආවහම ඒ ගමේ මිනිස්සු වුනත් හොල්මන් වෙලා අප්පච්චිලාට වුන දේ දැකලා. ඒත් මොක්ද වුනේ කියලා කාටවත් කියාගන්න බැරි වෙලා හැමෝම ගොළු වුන නිසා. මොකක්ද වුන දේ කියලා කොලේක ලියලා දෙන්න හැදුවත් අප්පච්චිගෙ අතපය වෙව්ලන්න අරගෙන තියෙන නිසා අප්පච්චි ඒ ගැන මුකුත්ම කාටවත් ලියලා දෙන්නවත් ගිහින් නැහැ. කොහමහරි අප්පච්චි එක්ක ගිය අනිත් තුන්දෙනයි අප්පච්චියි පහුවදා ඒ ගමෙන් එන්න පිටත් වෙලා තියෙනවා. ඒ වෙනකොටත් අප්පච්චිලත් එක්ක ගිය අර පස් අහුරක් අරගෙන මතුරපු සිරි කියන කෙනා මැරිලා. වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව අප්පච්චිලට ගමට ඇවිත් තියෙනවා. අප්පච්චි ඒ පොතේ ලියලා තියෙන්නෙ ඔච්චරයි. අප්පච්චි ලියලා තියෙන කිසිම තැනක ගමක නමක් නගරෙක නමක් පළාතක නමක් කිසිම දෙයක් ලියලා නෑ. එකම එක නමයි තිබුණේ ඒ සිරි කියන නම විතරයි. සමහරවිට අප්පච්චි ගමක, පළාතක නමක්වත් නොලියා හිටිය ඇත්තේ මේ පොත අහම්බෙන් හරි කියවපු කෙනෙක් හොයාගෙන ගියොත් වෙන්න තියෙන භයානක සිදුවීම් ඇස් දෙකෙන් දැකපු නිසා වෙන්න ඇති. Pubudu Udatiyawala 2023/11/ 12මනුෂ්‍යත්වයේ ඩොලොස් කැට ෴ උසසි ඔබ කොළඹ වරාය නගරයේ හෝ හම්බන්තොට නව වරායේ හෝ සැරිසරන්නට අවස්ථාවක් ලැබුනහොත් එහි වෙරළ ආශ්‍රිතව පිටසක්වල නිර්මාණයක් වන් වූ ඉහත රෑපයේ ඇති අමුතු ජ්‍යාමිතික හැඩැති කොන්ක්‍රිට් ගල් දක්නට ලැබෙන්නට ඇත . මෙය කුමක්දැයි විමසීමට ඔබට නිකමටවත් සිතුනාද? ඩොලෝස් නමැති ටෙට්‍රාපොඩාවක් හෙවත් සිවුපාදැති මෙම කොන්ක්‍රිට් අරැම යෝධයා යොදාගෙන කල රටේ ආර්ථිකයට දරා ගත නොහැකි ව්‍යාපෘති හෝ චීන ආර්ථික උගුල් ගැන වෙන දවසක කතා කරමු .අද ඩොලෝස් නිර්මාණයේ මානුෂින පැතිකඩ කතා කරමු. මෙම චතුර්පාදිත කොන්ක්‍රීට් පාෂාණ , දියකඩන නිර්මාණය සදහා සාර්ථකව ලෝකය පුරා යොදාගනු ලබයි. ජලය ඛාදන , මුහුදු ඛාදනයේ වෙරළ තීරයන් ආරක්ෂා කිරීම මහත් දායකත්වයක් සමයනු ලබයි. මුහුදු තීරයේ නිසි පරිදි ඩොලෝස් ඇතිරැ කල එහි ජ්‍යාමතික පිහිටුම මත ඒවා අතරින් ජලය ගලා යාමට ඉඩ සලසා මුහුදු රලේ ඛාදන බලය අඩාල කරයි. අන්තර් අගුලු හෙවත් ඉනටර් ලොකින් ස්වරෑපය නිසා එකිනෙක අතර විස්ථාපනය අඩු කර ස්ථාවර පිහිටුමත රදවයි. ඉතිං මෙවැන්නක් භාවිතා කිරීමට කෙතරම් බර පැනයක් දැරීමට සිදුවේද? චීනා කොයි තරම් මිලක් ඒ සඳහන් කලාදැයි අප හරියට නොදනිමු .හරි විදිහට බැලුවොත් එහි වටිනාකම නිෂ්පාදන පිරිවැය පමනක්ම විය යුතුය. ඒ රත්තරන් හදවත් ඇති මානව දයාව පිරැනු ඉංජිනේරැවන් දෙපලකට පිං සිදුවන්නටය.1963 දී ආර්බි කෘගර් විසින් නිර්මාණය කරන ලද අතර පසුව ඉංජිනේරු එරික් මැරිෆීල්ඩ් විසින් නිෂ්පානය කරන ලදි. මෙම උතුම් මිනිසුන් දෙදෙනා ඩොලෝස් කැට නිර්මාණය කල වහාම එය මගින් මිහිතලයේ පරිසර සුරක්ෂිතතාවට ඇති ඉමහත් දායකත්ව අවබෝධ කරගත්හ.ඔවුන්ගේ නිර්මාණය කිසිදු ආකාරයක පේටන්ට් බලපත්‍රයකින් ආරක්ෂා නොකිරීමට කතිකා කරගත්හ. මෙම නව නිපැයුම මනුෂ්‍ය වර්ගයාට ප්‍රතිලාභයක් ලෙස සලකන බැවින් එයට පෞද්ගලික අයිතිවාසිකම් අනවශ්‍ය සඵත කලහ. ඒ උතුම් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඩලෝස් ලොව පුරා වෙරළ දරාගත හැකි මිලකට සංරක්ෂණය කරමින් පවතී . කෘගර්, මැරීෆීල්ඩ් නාමය තවදුරටත් අපට ආගන්තුක විය යුතු නොවේඅවුරුද්දේ අන්තිම කාලේ.අනික් හැම දවස්වලටම වඩා කොළඹ මේ කාලේ වැඩියෙන් ලස්සන වෙලා.නත්තල,අළුත් අවුරුද්ද කියන්නේ කොළඹ එක එක පාටින් හැඩ වෙන කාලයක්.වෙසක් කාලෙට වගේම තමයි.පාට පාට විදුලි බුබුළු වලින් කොළඹ දිව්‍යලෝකයක් කරනවා. ඉතින් ඔය දිව්‍යලෝකයම ඊළඟ දවසේ උදේ වෙනකොට අපායක් තරමට සංකීර්ණ නොවුනත් යකාගේ කම්මලක් වගේවත් වෙනවා.කිසිම සිහියක් නැතිව ස්වයංක්‍රීයව දවස් ගෙවන මිනිස්සුන්ගෙන් කොළඹ පිරෙනවා.ජීවිතේ ගෙනියන්නේ ,හීන බලාපොරොත්තු කියලා කිව්වට ළං වෙන්නවත් බැරි දේවල් කවදාහරි ලැබෙයි කියලා හිතාගෙන දවස කොහොමහරි ගෙවනවා.ගෙවුනු අතීතෙත් එක්ක වර්තමානය කිසිම ගැලපීමක් නැති උනත්, දැන්නම් අනාගතය කෙසේ වෙතත් අතීතයේ ජීවත් වෙන තරම් සනීපයක් දැනෙන හැඟීමක් නැහැ.ඒ තරමට සමහර සිද්ධ වෙන දේවල් දවසේ මොහොතක් හරි නීරස කරවනවා. හැමෝගෙම හිත්,ජීවිතේ කොහේහරි නැවතිච්ච තැනක් ඇති. මට නම් අතීතය කියන්නේ ,නුවර. නුවර ටවුන් එකට ආවම තේරෙන එකම දේ තමයි අපි වයසට ගිහින් කියන එක.කොළඹ හිටියම නොදැනෙන ගොඩක් දේවල් නුවර කියලා දෙනවා.මොකද ,කොළඹ හිතන්නවත් නිදහසක් පහසුවක් නොදෙන නිසා. මාස තුන හතරකට පාරක් නිවාඩුවකට නුවර ආවම ටවුන් එකේ වීදි වල රස්තියාදුවේ යන එක පුරුද්දක් වෙලා.පොඩි කාලේ ඊට වඩා වෙනස්. ඉස්කෝලේ තිබ්බේ ටවුන් එකෙන් පිට නිසා හා ගෙදරත් ඒ පැත්තටම වෙන්න තිබ්බ නිසා ඒ කාලේ ටවුන්
එකට ආවත් එන්නේ නිවාඩු දවසක.ඒ ආවත් අප්පච්චි එක්ක තමයි.වීදි දිගේ තැනින් තැනට යද්දී ඒ පාරවල් මතක තියාගන්න වෙච්ච මහන්සිය දන්නේ ඒ පොඩි හිත විතරයි. ඒලෙවල් කරන කාලෙත් එක්ක හැමදේම වෙනස් උනා.තනියම ටවුන් එකට එන්න ගත්තා.ඒ පරිසරයට නිකම්ම පුරුදු උනා. ටවුන් එක එහෙම්මමයි.ඒ තිබ්බ කඩවල් දැනටත් එහෙම්මමයි.කිසි වෙනසක් වෙලා නැහැ.වෙනසකට තියෙන්නේ වීදි දිගේ තියන පදික වේදිකා කොනට වෙන්න අවුරුදු තුන හතරකට කලින් හිටවලා තිබුණු පැළ දැන් එයාලගේ යෞවන කාලෙට ඇවිත් තියන එක විතරයි.එයාලට කියලා වෙනසකුත් නැහැ.ලොකු වෙලා අත්තකින් දෙකකින්, මිනිස්සුන්ට ගොඩනැගිලි වලට කරදර වෙනකොට එයාලත් එදාට පරණ කරදරකාර ගස් බවට පත්වෙන එක අහන්න දෙයක් නෙවෙයි.හැමදේම වෙනස් වෙන ලෝකේ ඒ දේවල් වලට විතරක් හැමදාම පවතින්න බැහැනේ. පොඩි කාලේ ඉඳන් අර කලින් කිව්වා වගේ ටවුන් එකට ආවම වීදි දිගේ යන්න තිබ්බ ලොකුම හේතුව තමයි කෑම කඩ.දැන් උනත් නුවරට ඕන කෙනෙක් ආවොත් තමන්ගේ අතේ තියන ගානට කෑම කන්න ඕනෑ තරම් තැන් මේ වීදි පුරාවට තියනවා.ඩෙවෝන් රෙස්ටුරන්ට්,බේක් හවුස් ,පස්ගෝරස,බාලාජි වෙජිටේරියන්,අලිමුඩුක්කුවේ යුසුෆියා,දළදා වීදියේ සිංහල හෝටලය,මුස්ලිම් හෝටලය,සෝයා සෙන්ටර් වගේ තැන් අප්‍රමාණව නුවර පුරාවට තියනවා.ඕවා ඉතින් අපි රහ බලපු එක එක ආකාරයේ තැන්.ඔය හැම තැනටම ආවේණික වෙච්ච රසක් තියනවා.ඔය කියපු තැන් වලින් නොකාපු නොබීපු කෙනෙක් නුවර ඇති කියලා හිතන්න අමාරුයි.ඔය ගමන් මග දැන් ඉතින් කේසීසී එකේ රෙස්ටුරන්ට් දක්වා දික් වෙලා තියනවා. ඒ දවස් වල වැඩ ඉවර වෙලා ගෙදර යද්දි මාලිගාව ළඟ බස් හෝල්ට් එකෙන් බැහැලා ක්වීන්ස් කොරිඩෝව හරහා ඩෙවෝන් එකට ගිහින් මොනවාහරි කඩචෝරු ටිකක් ගෙදර අරන් යන්න පුරුදු වෙලා හිටියේ.රස්සාවක් කරත් ගෙදරින් පිනට කකා හිටපු කාලේ අපි ගෙදරට කරපු ලොකුම දේ ඒක විතරයි.හවස හයට විතර ඒ පාරේ යන එක තරම් නිදහසක් ,සැනසිල්ලක් ඒ කාලේ නොතිබ්බ තරම්.දළදා වීදියේ හවස් වරුවේ පහන් කණු එළිය යට යන්න තියනවනම් දැනටත් ආසයි. ඔය දළදා වීදියට පස්සේ ඇවිදින්න ආසම කරේ කොළඹ වීදියේ.පූජා භාණ්ඩ වලින් පටන් අරන් ,රත්තරන් බඩු කඩ,තොග සිල්ලර කඩ ඉඳන් සුරා සැල් වෙනකම් දික් වෙච්ච අපූරු වීදියක්.නුවර තියන වැඩිම වෙළඳාම් ප්‍රමාණයක් වෙන වීදිය කියලා තමයි අප්පච්චි ඒ දවස් වල කිව්වේ.භාණ්ඩ ඇසුරුම් කරලා තියන ලණු ගෝනි එක්ක ඔට්ටු වෙන ,කරවල හාල්මැස්සෝ ගඳින් නැහැවිච්ච දාඩිය,වීදි කොනේ තියන සුරාසැල් අස්සේ හවසට අරක්කු වල දිය කරලා හරින , දවසේ කුලියෙන් ජීවත් වෙන නාට්ටාම්මිලා රජ කරන වීදියක් තමයි මේ කොළඹ වීදිය. ඔය මොන වීදි ගැන කතා කරත් මං නම් ආදරේ කරන කාලේ වැඩියෙන්ම ආස කලේ ටොරිංටන් එක ළඟ තිබුණු පේරාදෙණිය බස් හෝල්ට් එකට. ආදරේ කරන කාලෙට නුවර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රේමයේ නගරයක්.නගරයේ හැම අස්සක් මුල්ලක් නෑරම, අඟලක් අඟලක් ගානේ ආදර කතා ඕනෑ තරම් ලියවිලා ඇති.හැබෑ වෙච්ච ආදර කතා,බිඳිලා ගිය ආදර කතා,හිමිවෙනකම් බලන් ඉන්න ආදර කතා ඒ අතර ඕනෑ තරම් ඇති. ඇය එනතුරු උදේට කල් මරපු හෝල්ට් එක.සතියේ වැඩ කරන දවස් වල ,දවසකට විනාඩි පහකට දහයකට සීමා වෙච්ච අපේ හමුවීම් පොල.බස් වල දුම් කකා රස්තියාදු වෙච්ච තැන.එක්කෙනෙක් පරක්කු උනාම අනිත් කෙනා රස්තියාදු වුනු විදිහ ඒ නැවතුම හොඳින්ම දන්නවා ඇති.ඇය පරක්කු වෙච්ච දවසට ඇය සරසවියට යන බස් එක යනකම් ඉඳලා ඉතින් අටට කලින් වැඩට යනවා කියන්නෙත් සෑහෙන ජයග්‍රහණයක්.මොකද යන්න තිබ්බේ කටුගස්තොට පාරේ නිසා.දැන් නම් ටිකක් හොඳයි.අවුරුදු දහයකට දොළහකට කලින් ඒ පාරේ ඇවිදන් යන එක සැපයි බස් එකක යනවට වැඩියෙන්. ඉතින් නුවර කියන්නේ ඇත්තටම ආදරණීය නගරයක්.විනාඩි කීපයක දුරින් දළදා මාළිගාව,හිත නිවන වැව රවුම,එකිනෙකට බද්ධ වෙච්ච වීදි, පේරාදෙණිය මල් වත්ත,උඩවත්ත කැලේ ,ගලහ පාර වගේ එකී නොකී විවිධ තැන් එකතු වෙච්ච පැකේජ් එකක්.නුවර ගැන මෙහෙම කියෙව්වට මීට වඩා මතක එකතු කරගත්ත ,වැඩි වෙච්ච මතක තැන් තැන් වල දාලා ගිය අය ඕනෑ තරම් ඇති.හැබැයි දෛවය ඒ කාට උනත් ආයේ අවස්ථාවක් දුන්නොත් නුවර එන්න දෙපාරක් නොහිතාවි. හැබැයි නුවර කියන්නේ හොඳ බෙහෙතක් උනාට කොළඹ කියන්නේ ඇබ්බැහියක්.මිනිස්සු ලෙඩ වලට බෙහෙත් ගන්න ආස උනත් ඇබ්බැහිවීම් අතාරින්නත් කැමති නැහැනේ. දයාබර නුවර,තමුන් අපිට හොඳ වැඩියි.මං මැරුණෙ ඊයෙ උදේ. පපුවෙ අමාරුවක් හැදිල. කුලී ගෙදරම සාලෙ මැද්දෑවෙ මිණිය තියල තිබුණා. මගේ බිරිඳ දරුවො, මූණවල් බුකවගෙන හනේ හපොයි කියාගෙන නිකටෙ අත තියාගෙන මිණිය දිහා බලන් ඉන්නවා. උන් අඳුරණ කෙනෙක් ආවම බඳාගෙන අඩන්න ගන්නව. මං මුන්ට තේරෙන සිංහලෙන් කිවුවා මං මැරුණම මිළ අඩු බාල ලී පෙට්ටියක තියලා පැය විසි හතරක් ඇතුලත අවසන් කටයුතු කරන්න කියලා. කොහෙද ඉතින් ඉන්දැද්දි කියන එකක් කනකට අහපු නැති උන් මැරුණම මං කියපු දේවල් කරයිද..? අපරාදෙ ණය වෙලා කරන සෝබන වියදම්. මං ඒ වෙනකොටත් මගේ ශරීරයට ආයුබෝවන් කියල ශරීරයෙන් පිටවෙලා ගිහිල්ල හිටියෙ. සාලෙ මැද්දෙ තිබුණෙ නිකම්ම නිකම් කුණු ශරීරයක් විතරයි. ඉස්සර වෙලාම මාව කැඳෙවුවෙ දේව සභාව ඉදිරියට. දේව සභාවෙ ප්‍රධානියා තමන් ඉස්සරහ අහසෙ වළාකුළක ඇඳෙන සිතුවම් වගයක් දිහා බලාගෙන කථා කළා. “තමන් නරයන්ගෙන් පෘතුවිය ආරක්ෂා කරන්න විශාල වැඩ කොටසක් කරල තියනවා. ශාක, සතුන්, ස්වාභාවික පරිසරය ආරක්ෂා කරන්න උත්සාහ කිරීම ප්‍රසංසනීයයි. මිනිස්සු මූදු වෙරළේ, ගං ඉවුරු, ඇල ඉවුරුවල දාන කුණු එකතු කරන්න ශ්‍රමදාන සංවිධානය කරල තියනවා. සිරිපා අඩවිය, ඇළ දොළ වල තියන පොලිතින් ප්ලාස්ටික් ෂොපින් එකතු කරල තියනවා. මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න දේශන, වැඩමුළු පවත්වලා තියනවා. ඒ වගේම මිනිස්සුන්ට කොන්ක්‍රීට් බීන් අරන් දෙන්න රජයන් වලට බලපෑම් කරල තියනවා…” නිශ්ශබ්දතාවයක්. “ඉතින් දේව සභාව තීරණය කළා තමුන්ව දෙවි කෙනෙක් කරන්න..” ඒ කියන්නේ මම අද ඉඳල දෙවි කෙනෙක්. කුණු වලින් ලෝකය බේරගන්න කටයුතු කරන කුණු දෙවියෙක්. මගේ මූණ ඇකිළිලා ගියා. “ඇයි තමුන්ගෙ මූණ දුකින් බරවුනේ..!” “තරහ අවසර, දෙවි කෙනෙක් වෙලානම් කුණු ප්‍රශ්ණය විසඳන්න අමාරුයි. ඔබ වහන්සේට බැරිද මාව යකෙක් කරන්න..?” ඒ ක්ෂණයෙන් මාව දේව සභාවෙන්, යක්ෂ සභාවට ට්‍රාන්සර් කළා. “දෙවියෙක් කරන්න හදද්දි යකෙක් වෙන්න ඔින කරපු එකෙක් දැක්කමයි..” යක්ෂාදිපති හිනාවෙන්න ගත්තා. බඩ හොල්ල හොල්ල නාස් පුඩු වලින් ගිණි දැල් පිට කර කර හිනාවුනා. “දෙවියෙක් වෙලා කුණු ප්‍රශ්ණෙ විසඳන්න බෑ ස්වාමීණි. ඒකට යකෙක් වෙන්න ඔින..” ඔන්න ඔහොමයි මම යකෙක් උනේ. මගේ යක්ෂ යාළුවො මට කිවුවෙ කුණු යකා කියල. අනිත් යක්කුන්ට තිබුණ වගේ තඩි උල් දත්, යෝධ දිවක්, රතු ඇස් දෙකක්, කලයක් වගේ බඩක් මටත් තිබුණා. ඉස්සරලෝම මමත් නමක් හදාගන්න ඔින. මිනිස්සුන්ට යක්කු පේන්නෙ කළුවර වැටුණම විතරයි. නැත්තම් ගොම්මන තියන වෙලාවට. මම ගනේගොඩ ඇල දිගේ පහලට පාවෙලා ගියා. ඇල හරහා ඇණිකට් එක දාල තියන තැන පාළුයි. ඇල ඉවුරෙ දෙපැත්තෙම උණ පඳුරු. දවල්ටත් ගස් ගොම්මන. ඇලයි පාරයි අතරෙ ඉස්සර තිබිල තියෙන්නෙ නෙළුම් පොකුණක්. ඇනිකට් එක ළඟ ඇල නාන තටාකයක්. දැන් ඒ පොකුණ කුණු දාලම ගොඩ කරලා. මිනිස්සුන්ගෙ ගෙවල් වල කුණු කාණු ඇලට හරවලා ඇලත් කුණු කාණුවක්ම වෙලා. ඇනිකට් එක ගාව කුණු ගඳේ ඉන්න බැහැ. තාම අන්ධකාරෙ. අඳුර දෙබෑ කරගෙන ගම්සභා පාරෙන් යතුරු පැදියක් මතුවුනා. කිට් බිට් ගහලා ඇවිදින්න යන එකෙක්. අතේ කුණු මල්ලක්. මූ ඇවිදින්න යන ගමන්ම කුණු මල්ල විසිකරල දාල යන්න ඇවිත් තියෙන්නෙ. කුණු මල්ල විසි කරන්න හදනවත් එක්කම මං ඇලෙන් උඩට මතුවුණේ දත් ඇන්ද විලිස්ස ගෙන, දිව එලියට දාගෙන. “බුදු අම්මෝ යකෙක්…” මූ කෑ ගහගෙනම ඇනිකට් එකෙන් පහලට වැටුණා. බයිසිකලෙත් ඇලේ. පිළුණු කෑම ඇඟ පුරාම. ගමේ උන් මූව ඇලෙන් ගොඩගනිද්දිත් කථාවක් නැහැ. ඊට පස්සෙ ඉස්පිරිතාලෙ ගෙනිච්චා, තොවිල් පවිල් කළා කිසිම කථාවක් නැහැ. මූ ගොළුවෙලා. මට මං ගැන පණීවිඩය උගෙන් එහාට ගෙනියන්න බැරි වුනා. ගෙදරින් වීසි කරන දේවල් විල්බැරෝවකට දාල තල්ලු කරගෙන ඇවිත් ඇල ගාව අතෑරල දාල යන වයසක මනුස්සයෙක් ඉන්නවා. මිනිහ එන්නෙ එළිය වැටුණට පස්සෙ නිසා මට කිසිම බලපෑමක් කරන්න බැහැ. ඒත් මට රෑට මිනිහගෙ හීන වලට ඇතුල් වෙන්න පුලුවන්. මිනිහගෙ විතරක් නෙමේ මිනිහගෙ මායියගෙ හීන ඇතුලටත් මං රිංගුවා. “තෝ ඇල අයිනෙ කුණු ගෙනිහින් දානව නේද…” මං ගිගිරුවා. “නෑ..නෑ..” “මොකද තෝ බොරු කියන්නෙ..” මං උල් නිය එක්ක තිබුණු අත් දෙක උගේ බෙල්ලට ලං කළා. ඌම බෙල්ල මිරිකගෙන කෑ ගහනව. බෙල්ල හූර ගන්නව. “ඔව්…දානව දානව…” මිනිහ ඇඳේ ඇඹරි ඇඹරි කෑ ගහනව. “තොට කුණු වලක් කපා ගන්න බැරි තොගේ අත්වලට හෙන ගහලද බොල…” මං ඒ එක්කම මිනිහගෙ මායියගෙ හින ඇතුලටත් රිංගුවා. “තෝ කඩේට ගිහින් දකින දකින ප්ලාස්ටික් ගොඩවල් උස්සගෙන එනවා. බඩුවක් ගේන්න යද්දි බෑග් එකක් ගෙනියන්නෙ නෑ. ෂොපින් බෑග් ගොඩ ගොඩවල් උස්සගෙන එනවා. ඒව වීසි කරන්නද ඇල ඉවුර තියෙන්නේ..” මං දත් විලිස්සල ගෑණි බය කරල හිනෙන් එලියට ආවා. උන් දෙන්නම බය බීරාන්ත වෙලා නැගිටල ඉද්ද ගැහුව වගේ අදේ වාඩිවෙලා අඳුර දිහා බලාගෙන හිටියා. දාඩිය වෑක්කෙරෙනව. ඇග ගැහෙනව. මිනිහගෙ බෙල්ලෙ මිනිහගෙම නියපොතු පාරවල්. උන් දෙන්න කටින් කට මේ සිද්දිය පැතිරෙවුවා. දැන් ගමේ මිනිස්සු කුණු දාන්න බයයි. ඒත් එකෙක් ඉන්නවා වාහනේක ඇවිත් ඇල අයිනට කුණු මලුපිටින් අතඇරල දාල යන. ඌ සමහර දවසට ඒවට ගිනි තියනවත් එක්ක. විෂ දුම හැම තැනම. ඌ දවල්ට එන නිසා බය කරන්නත් බෑ. උගේ හිත හයියයි. ඒ නිසා උගෙ හීන ඇතුලට රිංගන්නත් බෑ. මං බලාගෙන ඉඳල බැරිම තැන උගෙ ගෑණිගෙ හීනයක් ඇතුලට රිංගන්න බැලුවා. ඒ ගෑණි තමා මාව ප්‍රසිද්ධ යකෙක් කලේ. රටේ විතරක් නෙමේ දේශදිපංකරෙත් මාව ප්‍රසිද්ධ කළා. මං ඒකිගෙ හීනයක් ඇතුලට රිංගුවා. රිංගල බය කළා. බය කරල මගේ උල් දත් ඒකිගෙ අත් වල උරහිසට, කකුල් වල කලවට, පියයුරු වලට කිට්ටු කළා. මේකිම ඒකිගෙ දත් වලින් ඒ තැන් විකාගත්තා. සුදු ශරිරෙ රතු ලප ගොඩයි. ඉතින් අන්තිමට හැම රෑකම මං හින ඇතලට නාවත් මේකිම ඇගේ
කොටස් විකා ගන්නවා. ඉතින් මිනිහ කලේ තොවිලයක් නටන්න සූදානම් කරපු එක. ඒ තොවිලෙ ගැන වාර්තා ලියන්න පත්තර කාරයො ඇවිත් හිටියා. මේ රටේ විතරක් නෙමේ පිටරට වලත් රූපවාහිනී නාලිකා වලින් ඇවිත් හිටියා. මේකි ආරූඩ වෙලා දගලන්න ගත්තා. “මේ යක්කුන්ගෙන් මට වැඩක් නෑ. මට ඔින කුණු යකා. මට ඔින කුණු යකා. රෑට මගේ ඇග හපන කුණු යකා…” මේකි ආරූඩ වෙලා කෑ ගහන්න ගත්තා. මට ලැජ්ජාවෙ බෑ. ඉතින් ගුරුන්නාන්සෙට කොරන්නම දෙයක් නැතිව මට ආරාධනා කළා. එතන තිබුණු මහ ගහේ හිටපු මම තොවිල් පලට පැන්නෙ මහ හයියෙන් කෑ ගහගෙන. දිව, දත් එලියට ඇදගෙන. “ආ..උඹද කුණු යකා…” ගුරුන්නාන්සෙ බෙරේ නවත්තල මට කථා කලා. “යකෙකුට උනත් ගරු නම්බු දීල කථා කරපිය බොල..” මං ගිගිරුවා. “ආ..ගරු කුණු යක් මහතානනි..කුණු යක් සර්..එහෙමද කථා කරන්න ඔින…” “සර් කියපිය..මගෙ නෝන ආවොත් මැඩම් කියපිය…” යකෙක් වෙන්න කලින් එහෙම තමා මමයි මගේ නෝනයි ඔෆිස් එකේ හිටියේ. ගුරුන්නාන්සෙ මගේ අතට පන්දමක් දුන්නා. දැන් මූ මගේ අනිත් අතට දුම්මල අහුරක් දෙන බව මං දන්නවා. මං ආවතේව කාරයගෙ අතේ තිබුනු අනිත් පන්දමත් ගත්තා. දැන් පන්දම් දෙකයි. පන්දම් දෙකම බිම ගහල පයින් පාගල නිවල දැම්මා. “මොකද්ද කුණු යක් සර් ඒ කලේ..?” “ග්ලැසියර් දිය වෙනව බොල..” “ග්ලැසියර් ඒ මොන හරුපයක්ද..” “ත‌ොපි මේව ගිනි තියන්න ගිනි තියන්න පිට වෙන වායුවලට ඉර එලිය උරා ගන්නව බොල. එතකොට රස්නෙ වැඩි වෙනවා. ලෝක ගෝලෙ උඩ යට තියන අයිස් කදු දියවෙනවා..” “විද්‍යාවත් දන්න කුණු යක් සර් කෙනෙක්…හරි ඒවයින් වැඩක් නෑ.. තමුන් ආතුරයගෙ ශරීරයෙන් පිටවෙලා යන්න ඔින. ඒකට තමුන් ඉල්ලන දෙයක් දෙන්න අපි සූදානම්…” එහෙම කියල ගුරා යක් බෙරේට තඩි බානව. මං නටනව. බෙරේ නවත්තල ආයෙක් මුගේ ප්‍රශ්න පත්තරේ.. “මේ ආතුරයගෙ ශරීරයෙන් පිට වෙන්න නම් මොනවද තමුන්ට ඔින..?” “මේකිගෙ මිනිහට කියපන් පාරෙ, ඇල ඉවුරු වල කුණු දාන එක නවත්තන්න…ඒ මිනිහට විතරක් නෙමේ මේ පණිවිඩය දෙන්නෙ හැමෝටම…නැත්තම් මං ගාව ඇතුලට දාන්නත් බඩු තියනවා..” “ඇතුලට දාන බඩු තියන විත්තිය නම් පේනව..” “මුන් ‌ගෙ මිනිස්සු පාරවල් වල කුනු දැම්මොත් දත් පාරවල්, නිය පාරවල් විතරක් ගහල නවත්තන්නෙ නැහැ, ඉස්සරහටත් දානවා පස්සටත් දානවා..” “මූ නම් මහ වල් යකෙක්…” “මං කිවුවෙ කුණු බොල, කුණු…” එදා ඉඳල තමයි දහඅට පාලියෙ යක්කු අතරට කුණු යකත් ආවෙ. මං ප්‍රසිද්ධ උනේ. ප්‍රසිද්ධ යකෙක් උනේ. ඒ හැමදේටම වඩා වැදගත් දේ මේ රටේ මිනිස්සු පාරවල් වල, ගංගා ඇල දොල අයිනට පාලු තැන් වලට කුණු දාන එක නතර කලේ.හීන සුසන්ති නාලා, රෑ ඇඳුමට බැහැලා සාලෙට එනකොට බ්‍රයන් සාලෙ සෝපාවෙ දිගාවෙලා ටීවී බලනවා. සෝපාව වටේට බිම පුරා පොටේටෝ චිප්ස්(බැදපු අල පෙති) හැලිලා.බ්‍රයන් කටුස් කුටුස් ගගා තව මොනවද හපනවා. "අයියෝ මේ මම ටිකකට ඉස්සරලා අතු ගෑව පොලව නේද​? සුසන්ති ගෝරනාඩුව පටන් ගත්තා. "සුසෑන්...ඒක අපි පස්සෙ අස්කරමු!එන්න මෙතනින් ඉඳ ගන්න​!" කටපුරා හිනාවෙලා සුසන්ති දිගා බැලුව බ්‍රයන් කකුල් දෙක එහාට කරලා සුසන්තිටත් ඉඩක් හැදුවා.බ්‍රයන් කිසි දෙයක් ලොකුවට හිතට ගන්න කෙනෙක් නෙවේ. බ්‍රයන්ගෙ මේ සැහැල්ලු ගතිය නොවුනා නං කුකුල් කේන්තිකාර සුසන්ති දීග කනව බොරු. "මොකක්ද ඔයා බලන්නෙ."සුසන්ති ඇහුවේ බ්‍රයන්ට තුරුලු වෙලා වාඩි වෙන ගමන්. "එහෙමට කියලා දෙයක් නෑ. ටීවී එක දැම්මා. යන එක බලනවා. බ්‍රයන් සුසන්තිගෙ කරට අත දාලා තව ටිකක් ලං කර ගත්තා. ටීවී එකේ ගියේ කාටුන් චිත්‍රපටියක්. පුංචි ළමයි කට්ටියක් මුහුදු වෙරළක සෙල්ලං කරනවා. එකපාරටම ලොකු රැල්ලක් එනවා. ළමයි කට්ටිය හිනා වෙවී ඈතට දුවනවා. හිනා වෙවී..... හිනා වෙවී? අඬ අඬා? හිනා වෙවී? නෑ නෑ අපි දිව්වේ අඬ අඬා....විලාප තිය තියා..... ඔව්! අපි දිව්වේ අඬ අඬා....විලාප තිය තියා..... සුසන්ති එක පාරටම ඇස් දෙක පියාගෙන, අත් දෙකෙන් කණ් වහ ගත්තා. ​"සුසෑන්! සුසෑන්! මොකද ඔයාට මේ එකපාරටම වුනේ?"බ්‍රයන් බයවෙලා වගේ කෑ ගහන හඬ සුසන්තිට ඇහුනා. සුසන්ති ඇස් දෙක ලොකු කරලා බ්‍රයන් දිහා බැලුවා. සුසන්තිගෙ මුලු ඇඟම දාදියෙන් තෙත් වෙලා. "ඕ මයි ගෝෂ්! ඔයාට ඒක ආයෙ මතක් වුනාද​? ඕ අයෑම් සොරි! අයෑම් සොරි!"බ්‍රයන් සුසන්තිගෙ මූණ පපුවට තුරුලු කරගෙන අස්වසන්නට උත්සාහ කලා. ආයෙ මතක් වුනා නෙමේ බ්‍රයන් මතක් වෙනවා. සිය දහස් වාරයක් මතක් වෙනවා. දිය යට දාපු රබර් බෝලයක් වගේ උඩට මතු වෙනවා. ඔඩු දුවපු තුවාලයක් වගේ සැරින් සැරේට ඇදුං කනවා.....සුසන්ති මුවින් නොදොඩා බ්‍රයන්ගෙ පපුවට තුරුල් වෙලා මහ හයියෙන් ඉකි බිඳින්න පටන් ගත්තා. අවුරුදු දා හතකට ඉස්සරලා අතීතය​! අනේ ඒක භයානක හීනයක් විතරක් වුනා නං කොච්චර දෙයක්ද​? එතකොට සුසන්තිට වැඩිම වුනොත් අවුරුදු දා හතරක් ඇති. කෑලි හතරකින් සමන්විත ඒ පුංචි ගෙදර හිටියෙ සුසන්තියි ආච්චියි විතරයි. සුසන්තියි ආච්චියි!ආච්චියි සුසන්තියි ! "සුසන්ති අක්කේ මාලු වෙරළට ගොඩ ගහලෝ!" නාදන් කෑ ගැහුවෙ සුසන්ති කොට බංකුවේ වාඩිවෙලා පිට්ටුයි ලුනුමිරිසුයි කකා ඉන්නකොට​.නාදන් සුසන්තිගෙ හොඳම යාලුවා. සුසන්තිට වඩා මාස කීපෙකට බාලයි. සුසන්ති කකා හිටිය පිට්ටු පිඟාන කොට බංකුව උඩින්ම තියලා එළියට පැන්නෙ එක පිම්ම්මට​. "කොහෙදෑ උඹ ඔය යන්න හදන්නෙ. වෙරළට එහෙම යනවා නෙමෙයි. අද මුහුද මහා අමුතුයි කියලා ගේබ්‍රියල් උන්නැහේත් කිව්වා!" ආච්චි දොරෙන් එළියට ඔලුව දාලා බෙරිහන් දුන්නා. "නෑ නෑ ආච්චියේ වෙරලට යන්නෙ නෑ."සුසන්ති උත්තර දුන්නේ නාදන් පස්සේ වැටිලා දුවන ගමන්. මගෙ සන්තෝ! නාදන් කීවෙ ඇත්ත නේන්නං! වෙරලෙ මාලු සූ ගාලා.ඒ මදිවට මූදෙ වතුරත් කිලෝ මීටරයක් විතර ආපස්සට ගිහින්. මිනිස්සු බාල්දිවලට මාලු එකතු කරනවා. "හෝටලේ හරියෙන් මහා රැල්ලක් ආවලු. ඒ එක්කම මූදෙ වතුරත් පස්සට ගිහින්. "නාදන් පැහැදිලි කලා. එහෙම කියාලා නාදන්ට කට ගන්න ලැබුනේ නෑ. තවත් මහා රැල්ලක්!බිත්ති, ගස්,ගොඩනැගිලි සමතලා කරන්න පුලුවන් තරං රැල්ලක්! "දුවමු අක්කේ දුවමු!"කකුල් දෙකට සරීරේ ඔක්කෝම සත්තිය දීලා සුසන්ති දුවන්න පටන් ගත්තෙ නාදන් ගෙ කෑ ගැහිල්ලත් එක්ක​. රළ පාර තමන්ට පහර දුන්නේ කොයි වෙලේද කියන්න මතක නැතත්, ඒක කෙලින්ම සුසන්තිව ගල්පරයකට ඇද දැම්ම හැටි නං සුසන්තිට මතකයි. වතුරෙන් මතුවෙවී ගසාගෙන යන මිනිස්සු හැමතැනම! වටපිට බලනකොට නාදනුත් එතන ගල් පරේක එල්ලිලා. සුසන්ති වගේම ජීවතුන් අතර! සුසන්තිගෙ හිතට දැනුනෙ පුදුමාකාර සතුටක්! ඒත් ඉතිං ඒ මිනිත්තු කීපෙකට විතරයි. අවාසනාවන්ත විදිහට ඊලඟට ආව රැල්ල ආයෙමත් සුසන්තිව ගල් පරයෙන් ඇඳලා ගත්තා. කෝ නාදන්? සුසන්ති ආය මතු වෙනකොට නාදන් ගිහින්. ගස්, වහල,වෙනත් බඩු ගහගෙන යනවා. ගහගෙන යන මිනිස්සු මොකක් හරි අල්ලා ගන්න දඟලනවා.සුසන්තිත් බැලුවේ මොකක හරි එල්ලෙන්න.ඒත් අල්ලා ගන්න දේ අතින් ගිලිහෙනවා. ඒ වෙනකොට මුහුදේ චණ්ඩ ගතිය නැවතිලා. සුසන්තිට අන්තිමේදී උදුරා ගිය ගසක් අල්ලා ගන්න පුලුවන් වුනේ මොකක්දෝ වාසනාවකට​. විනාඩි විස්සක් විතර ගහේ එල්ලිලා ඉන්නකොට දැක්කෙ ඒ ගහේම එල්ලෙන්න දඟලන සුදු ජෝඩුව.සුදු මහත්තයා නං ගහේ එල්ලිලා. නෝනට එල්ලෙන්න බැරිව දඟලනවා. සුසන්තිත් නෝනට ගහේ එල්ලෙන්න උදව් කරන්න මහත්තයාට එකතු වුනා. තුන් දෙනාම එකතුවෙලා එල්ලිලා හිටියා මිසක් ඊට පස්සෙ වුණ දේවල් නං සුසන්තිට මතක නෑ. කොහොම හරි ගහ වෙරළකට ගහගෙන ගිහිල්ලා.ඔව්! තුන් දෙනාම බේරිලා!සුසන්තියි සුදු ජෝඩුවයි! නෝනගේ බෙල්ලේ තුවාලයක්! ඒත් අනිත් දෙන්නාගේ උදව්වෙන් නෝනත් නැගිට ගත්තා. තුන් දෙනාම උස් බිමකට පලා ගියා. කාලයක් තුන් දෙනාම ඉස්පිරිතාලෙ හිටියා.සුදු ජෝඩුව ආපහු ඇමරිකාවට ගියේ සුසන්තිත් එක්ක​. සුනාමියත් එක්ක ලංකාවේ 30,000 කට වඩා මැරිලා, 900,000 කට නිවාස අහිමි වෙලා කියලා සුසන්ති දැනගත්තෙ ඇමරිකාවෙ ප්‍රවෘත්ති වලින්. හාරදාස් පන්සීයකට වැඩිය අතුරුදහන් වෙලාලු! ඒ කියන්නෙ සුසන්ති ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික ව්‍යසනයෙන් අමාරුවෙන් දිවි ගලවා ගත් කෙනෙක්! ඊට පස්සෙත් අවුරුදු ගානක් සුදු ජෝඩුවත් එක්ක සුසන්තිට ලංකාවට යන්න වුණා.වීසා වැඩ වලට! ආච්චි ගැන සුසන්ති බලාපොරොත්තු නැති කර ගත්තේ තමාව වතුරේ ගහගෙන යනකොටමයි. ඇවිදින්නවත් හරියට බැරි ආච්චි වතුරේ මේ තරං හටනක් කරන්නේ කොහොමද? ඒත් නාදන්! ලංකාවට ගිය හැම සැරේම සුසන්ති නාදන්ව හෙව්වා. රෝහල් වලට ගෙනාව මළ සිරුරු දාස් ගානක් අඳුන ගන්න බැරි වුනාලු.නාදන් ඒ ගොඩක හිටියද, එහෙමත් නැත්තං සුසන්ති වගේම කොහෙ හරි ජීවත් වෙනවද​? වතුරෙන් ජීවිතය බේරාගත් සමහරුන්ගෙ ජිවිත මිනිස්සුන්ගෙනුත් විනාස වුණා කියලා සුසන්ති දැනගත්තේ කාලයක් ගියාට පස්සෙ.සමහර මිනිස්සු තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිතා අනික් අයගෙ ජීවිත බේරගත්තට, ඒ අතරෙත් හොරකම් කරපු, බේරුන අයගෙ ආත්මය විනාස කරපු අයත් ඉඳලා තියනවා. මේ ඔක්කෝමත් එක්ක නාදන්, අනිත් යාලුවෝ, සුනාමියෙන් අතුරුදහන් වුන පිරිස හොයා ගන්න එක හීනයක් කියලත් සුසන්ති දන්නවා.ඒත් ඉතින් හැබෑ වෙන හීනත් තියනවා නොවැ. -ශ්‍රීපාලි පින්තූරය අන්තර්ජාලයෙනි!මියගිය ප්‍රේමය —----------------- සිරිගුප්තට දැන් අවුරුදු අසූවක්.ඔහු සිටියේ පොතක් කියවමින්.] ‘තාත්තේ මොකක්ද බලන පොත’ එහෙම ඇහුවේ පුතා රහල්. ‘ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක්’ ‘ඔය 1960 දී ලෙනාඩ් වුල්ෆ් ලංකාවට ඇවිත් හම්බන්තොට ගිය විස්තරේනේ’ ‘ඔව්’ ‘තාත්තාට මොකක්ද හිතෙන්නේ ඒ ගැන’ ‘වයසට යනකොට හැමෝම අතීතයට…හිත් ගත් තැන්වලට යන්න ආසයි..මම හිතන්නේ ලෙනාඩ් වුල්ෆ් කළෙත් ඒක…ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොටට ඇවිත් තියෙන්නේ කාලෙකින් ගමේ යනවා වාගේ’ ‘ඒ කියන්නේ තාත්තත් ඔය වාගේ ගමේ යන්න ආසා ඇති ‘ මේ දෙදෙනාගේ කතාව අසා සිටිමින් එලෙස කීවේ සිරිගුප්තගේ බිරිඳ ස්වර්ණා. ‘ඔව් කවුද ඉතිං අකැමැති …ඔයත් එහෙමනේ…මටත් වඩා …ගම කිව්වොත් ඉතිං වෙන මොනවද’ සිරිගුප්ත කීවේ සිනාසෙමින්.වුල්ෆ්ගේ පොත කියවන විට ඇත්තටම සිරිගුප්තත් දන්නෙම නැතිව හිටියේ ගමේ. ‘මේ සිකුරාදා ඔෆිස් එකේ වැඩකට මම රත්නපුරේ යනවා …එදාට තාත්තත් යං …වැඩේ ඉවර වෙලා ගෙදරත් ගිහිං එමු…ඒ
වුනාට ගමේ කවුරුත් නෑ නේද’ ‘ඔව් අය්යා විතරනේ ගෙදර හිටියේ..එයත් එයත් දැන් ගමේ නෑ පුතාලගේ ගෙදර ගිහිං…මහගෙදර පාලුවට ගිහිල්ලලු ’ ‘අපි ඉතිං ඉන්න නෙවෙයිනෙ යන්නෙ ගිහිං බලල එමු….අඳුරන දන්නා අය ඇතිනෙ ‘ එහෙම කිව්වේ රහල් පුතා .සිරිගුප්තට දැනුණේ පුදුම සතුටක්. ‘මම හිතන්නෙ එහෙමත් නැතිව ඇති..මම දැන් අවුරුදු දහයකින් විතර ගමේ ගියේ නෑ …ඔයත් එනවද යන්න’ සිරිගුප්ත ඇහුවේ ස්වර්ණාගෙන්. ‘ඔව් අම්මත් යමු…කාලෙකින් කොහෙවත් ගියෙත් නෑනෙ’ එහෙම කිව්වේ රහල්. ‘බලමු…හැබැයි තාත්තා කැමති ගමේ යනකොට තනියම යන්න’ ඒකනම් ඇත්ත කියලා සිරිගුප්තටත් සිතුණා.බිරිඳ තොරතෝංචියක් නැතිව කතා කරන විට ඒ සුන්දර අතීතයට සිතින් සක්මන් කරන්න සිරිගුප්තට අපහසුයි.ඒ සිකුරාදා ඒ ගමන සිදු වුනේ ඒ වගේ අහඹු කතාබහකින්.මේ ගැන හිත හිතා සිටි සිරිගුප්තට බ්‍රහස්පතින්දා රාත්‍රියේ හරියට නින්ද ගියෙත් නැහැ.යාන්තම් නින්ද යනකොට ඔහු හිටියේ ගමේ.ඒ හීනවල අම්මයි තාත්තයි අය්යලා අක්කලා ඔක්කොමත් හිටියා.ස්වර්ණා මදක් අසනීප සිටි නිසා ගමනට සහභාගී වුනේ නැහැ.ඔවුන් රත්නපුරේට යනවිට උදේ දහයට වෙලා.රහල්ගේ වැඩ කටයුතු කර ගන්න පැයක් විතර යන්න ඇති.සිරිගුප්ත කාර් එකෙන් බැහැලා අවට පරීක්ෂා කර බලන පෙනුණේ විට රත්නපුර ටවුන් එකේ නම් වැඩි වෙනසක් නැති බවයි.පැයකින් පමණ පසුව රහල්ගේ කාර්ය නිමවීමෙන් පසු පිටත් වුනේ ගමට යන්න. ‘කොයි.පාරෙන්ද යන්නෙ …ගොඩකවෙල පැත්තෙන්ද …පැල්මඩුල්ල පැත්තෙන්ද’ රහල් ඇසුවා. ගොඩකවෙල පැත්තෙන් යමු’ ගොඩකවෙලින් හැරී ගම පැත්තට වාහනය යන විට සිරිගුප්තගේ මතකයට නැගුනේ පාසැල් කාලයයි. ‘තාත්තාට මතක ඇති ගොඩාක් දේවල් …මේ ගහකොළ කඳු පල්ලම් දැක්කම’ රහල්ගේ කතාව ඇත්ත කියලයි සිරිගුප්තටත් සිතුණේ. ‘ඒත් දැන් ගොඩාක් වෙනස් වෙලා…දැන් මෙහෙ ඉඩකඩම් පොඩි වෙලා ..ඒ දවස්වල මිනිස්සුන්ට තිබුණේ අක්කර ගණන් ඉඩං…දැන් පර්චස් විස්සෙ තිහේ ඉඩං තියෙන්නෙ …ඔය කන්ද නැගපුවාම හැතැප්ම දෙකක් විතර තිබුනේ මහ වනන්තරේ ..දැන් ඒවයෙත් තේ හිටවලා…අර මහ ගස්කොළන් නෑ ..එදා පයින් ගියත් අව්වක් නෑ හෙවනේ යන්න පුළුවන්…ඒ වුනාට මේ පාරවල්වල එදාට වඩා වැඩි වෙනසක් නෑ ‘ සිරිගුප්තගේ සිතට ආවේ එදා තිබූ ගහකොළවලින් ගමේ තිබුණ ප්‍රාණවත්භාවය අද නැති බවයි.ඒ සියල්ලම අද විනාශ වෙලා . ‘ඔතන ඉස්සරහ තියෙන්නේ අපේ අම්මයි තාත්තයි වැළලු සොහොන් පිට්ටණිය …ඒක පවුලේ සොහොන් පිට්ටණිය ..අම්මලාගේ පරම්පරාවම ඉන්නෙ එතන..මේ පාරෙන් ආපුවාම තමයි ඒකත් දකින්න හම්බ වෙන්නේ..ඒකයි මම මේ පාරෙන් යමු කීවේ’ ‘ඒ සොහොන් තාම තියෙනවද’ ‘නෑ වළලලා එතන ගහක් හිටෙව්වා…ඒවත් දැන් මැරිලා..හැමතැනම තියෙන්නේ දැන් තේ….මම කිව්වේ ඔතන තමයි සොහොන් පිට්ටණිය’ ‘ඒත් දැන්නං ටිකක් අලුත් සොහොනක් තියෙනවා වගේ’ තේ ගස් අතර මැලවෙමින් ඇති ගොක්කොළ තොරණක් දැක එලෙස කීවේ රහල්.ගසා තිබූ බැනරයද අඩක් ගැලවී ගොස් එල්ලෙමිනුයි පැවතුනේ . ‘....රන්තිලකා උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා’ ඒ ගැලවුණු තොරණේ එල්ලුණු බැනරයේ තිබුණේ එහෙමයි.සැණෙකින් සිරිගුප්තගේ ඇස් දෙක නිලංකාරවී හෘද ස්පන්දනය වැඩි වෙන බවක් දැනුණා.ඔව් එතකොට මේ ඇයත් දැන් මැරිලා. ‘පොඩ්ඩක් නවත්තන්න පුතේ කාර් එක..ඇස් දෙක බොඳ වුනා වගේ’ ‘ඇයි තාත්තා උදේ ප්‍රෙෂර් ටැබ්ලට් ගත්තේ නැද්ද’ ‘බිව්වා’ ‘මේ තාත්තගේ නෑදෑයෙක්ද …අර ගැලවිලා එල්ලිලා තියෙන කෑල්ලේ තියෙන්නේ අත්තම්මගේ වාසගම’ ‘අපේ මාමගේ දුවෙක් හිටියා මේ නමින්….මේ එයා වෙන්න ඇති’ සිරිගුප්තගේ කටහඬ එලියට ආවේ යාන්තමින්.ඒත් එක්කම ලොකු සුසුමක් පිටවුනා.රහල්ට ඒ හඬ ඇහුණේ නැහැ.සිරිගුප්ත කාරයෙන් බැස සොහොන ළඟට ගොස් ආපසු ආවා. ‘අපි යමු’ මේ තාත්තාගේ පරණ යාලුවෙක් වෙන්න ඇති.රහල්ට සිතුණේ ඒ විදිහට.එතෙක් දිගටම කතා කරමින් ආ සිරිගුප්ත එතැන් සිට සිටියේ කල්පනා ලෝකෙක.රහල් පියාට සිතන්නට ඉඩදී නිහඬව වාහනය පැදවූයේ ඉතාමත් සෙමින්.මෙතන සිට ගෙදරට තියෙන්නේ කිලෝමීටර් භාගයක් විතර.ඒ කාලය තුළ සිරිගුප්ත වචනයක්වත් කතා කළේ නැහැ.ඔහුට මතක් වුනේ ඒ අතීතය. රන්තිලකා සිරිගුප්තට වඩා අවුරුද්දක් බාලයි.මාමලා පදිංචි වෙලා හිටියේ ටවුන් එක කිට්ටුව.සිරිගුප්ත හිටියේ ගමේ මහගෙදර.මාමාට දූලා හතරක් පුත්තු හතරක් ලොකු පවුලක්.සිරිගුප්තට හිටියේ අය්යලා දෙන්නයි අක්කයි විතරයි.ලොකු අය්යා චන්ද්‍රගුප්ත,දෙවැන්නා රාමගුප්ත අක්කා අයෝධ්‍යා.සිරිගුප්තගේ තාත්තා කාලයක් ඉන්දියාවේ හිටියාලු.ඒ නිසා මේ වගේ නම් දැම්මා කියලයි අම්මා කියන්නේ.මාමලාගේ ගෙදර අයගේ නම් දැන් සිරිගුප්තගේ මතකයට එන්නෙත් නැහැ.ගෑනු හතර දෙනාම මැණිකෙලා.ලොකු මැණිකේ මද්දුම මැණිකේ චූටි මැණිකේ ඒ වගේ නම්වලින් කතා කළේ .රන් තිලකා රන් කෙල්ල රන් මැණිකේ වගේ නික් නේම් ඒ අයට තිබුණේ .සිරිගුප්ත පොඩි කාලේ හරි ලැජ්ජාකාරයා.සිරිගුප්තගේ ජීවිතය වසාගෙන තිබුනේ මේ අසීමිත ලැජ්ජාව.රන්තිලකා දකිනකොටත් සිරිගුප්තට ඇතිවෙන්නේ පුදුම ලැජ්ජාවක්.මේක ඇති කළේ ගමේ හිටපු වයසක තනිකඩ මනුස්සයෙක්වූ අප්පුහාමි.ඔහු නාකි මනමාලයෙක්.එතකොට සිරිගුප්තට අවුරුදු දහයක් විතර වෙන්න ඇති. මේ එක සිද්ධියක්.එදා සිරිගුප්ත ඉස්කෝලේ ඇරිලා එනකොට රන්තිලකා නැන්දම්මත් එක්ක ඇවිත්.ඒ අය කුස්සියේ ඉන්න වෙලාවේ ආවේ අප්පුහාමි. ‘ආව් ආව් අද නෑනා ඇවිල්ලා…කොහොමද මූණේ තියන ලස්සන විතරක්’ අප්පුහාමි කියනකොට සිරිගුප්තට හරිම ලැජ්ජයි.අප්පුහාමි වයසක අයෙක් වුනත් සිරිගුප්ත අතට අහුවුණු එකෙන් අප්පුහාමිට ගහනවා.අප්පුහාමි දුවනවා.සිරිගුප්ත පිටිපස්සෙන් එළවනවා. ‘අප්පුහාමිගෙ හෙප්පු කබල වක්කඩ මැද දොහ්’ සිරිගුප්ත කියනකොට අප්පුහාමි ආයෙත් මොනවා හරි කියනවා. ‘ඔය කිව්වට නෑනා අයිති මස්සිනාටනේ’ ‘අප්පුහාමි පිට්ටු හොරා හඳපානේ ගෑනු හොරා’ සිරිගුප්ත කියන්නේ ලැජ්ජාව වහගන්න.සිරිගුප්තට දැන් රන්තිලකා නංගිට මුහුණ දෙන්නත් ලැජ්ජයි. මිනිස්සු ගෑණු කසාද බඳින්නේ ඇයි.සිරිගුප්තට පුංචි කාලේ තිබුන ලොකුම ලොකු ගැටළුවක්.ඔහුගේ අම්මා තාත්තා අතරේ දිනපතාම රණ්ඩු.තාත්තා නිහඬව සිටියත් අම්මා කොහෙන් හෝ කොනක් අල්ලාගෙන තාත්තා සමඟ පැටලෙනවා.බැරිම තැන තාත්තා ගෙදරින් යන්නේ ‘මම මේ ගෙදරට ආයෙත් අඩියක් තියන්නෑ’ කියමින්.අම්මාගේ සිත පසුවදා වෙනකොට වෙනස් වෙලා. ‘අන්න අර උඹේ තාත්තා ඔය පාරෙ යනකොට ගෙදර එක්කරගෙන වරෙන්’ අම්මා කියන්නේ සිරිගුප්තටයි .මේ විවාහ ගනුදෙනුව මේ නිසා ඔහුගේ සිතේ ඇතිවුනේ සටනක් විදිහට. ‘මොකටද චන්ද්‍රවංශ ගෑනු පිරිමි කසාද බඳින්නේ’ සිරිගුප්ත දිනක් ඇසුවේ චන්ද්‍රවංශගෙන් එතකොට ඔහු අටේ පංතියේ .ඔහුගේ හොඳම යාලුවා එයා..එක පන්තියේ හිටියට චන්ද්‍රවංශ සිරිගුප්තට වඩා අවුරුදු තුනක් වැඩිමල්. ‘උඹ ඒකත් දන්නැද්ද…උඹ දන්නවද ළමයි හම්බ වෙන්නෙ කොහොමද කියලා’ ඔහු ඇසුවේ සිනාසෙමින්. ‘බඩ පලලා වෙන්න ඇති’ ‘අනේ උඹ දන්නදේ …බඩ පලලා නෙවෙයි’ චන්ද්‍රවංශ ළමයි හැදෙන හැටි විස්තරේ කියනවිට සිරිගුප්ත අසාගෙන හිටියෙත් ලජ්ජාවෙන්.සිරිගුප්ත දහයේ පන්තියේ ඉන්නකොට දිගටම වාගේ අසනීප වුනා.අම්මා කයිතන් ගුරුන්නාන්සේට කියලා කේන්දරේ බැලුවේ ඒ නිසා. ‘මේ ළමයට සෙනසුරු ඒරාෂ්ටකේ ..ඒකයි මේ තරං කෙට්ටු’ ඊට පස්සේ ඔහු කිව්වේ ඒකට කළ යුතු පිළිවෙත්. ‘මේ ළමයා හත නැකතෙන් ඉපදිලා තියෙන්නෙ ගෑනු හත්දෙනෙක් ගන්නවා’ කයිතන් ගුරුන්නාසේ ආපහු යන්න නැගිටින ගමන් කිව්වේ හොහ් හොහ් ගා සිනාසෙමින්.සිරිගුප්තට ඇති වුනේ කියන්න බැරි තරම් ලැජ්ජාවක්.සිරිගුප්තගේ ඇඟ මේ වෙනකොට හොඳටම කෙට්ටුයි. ඒ නිසා ඔහු හිටියේ හරිම කළකිරීමෙන්.පන්තියේ ගමේ හිටපු අනිත් ළමයින්ට වඩා තමන් අවලස්සනයි කියලා ඔහුගේ සිතේ තිබුණා.ඒ නිසා ගෑනු ළමයි තමා ඇසුරු කරන්න අකමැති බවයි ඔහු සිතුවේ.ඉස්කෝලෙදිත් චන්ද්‍රවංශ එහෙම කෙල්ලෝ ගැන කතා කරන විට සිරිගුප්ත එතනින් අයින් වෙනවා.චන්ද්‍රවංශ ඒ දවස්වලත් සුමනත් එක්ක යාලුයි.රන්තිලකා ලොකු ළමෙක් උනේ ඒ දවස්වල. ‘දුවේ අර රන්කෙල්ල ලොකු ළමෙක් වෙලා ‘ අම්මා කිව්වේ අක්කට. සිරිගුප්ත හිටියේ කාමරේ. ‘කවදද නාවන්න තියෙන්නේ’ ‘සතියක් තියෙනවලු නැකතට ..ලබන සෙනසුරාදා’ ‘එහෙනං අම්මට යන්න වෙයි’ ‘ඔව් සිකුරාදා හවස් වෙලා යනවා…ඔය අනිත් කෙල්ලො තුන් දෙනාත් නෑව්වේ මමනෙ’ සිරිගුප්ත මේ කතාව අහගෙන හිටියේ කාමරේට වෙලා.ඒ කතාව ඇහෙනකොටත් සිරිගුප්තට ඇති වෙන්නෙ අමුතුම ලැජ්ජාවක්.කරුමෙට වගේ මේ වෙලාවෙත් ගෙදරට ආවේ අප්පුහාමි.අප්පුහාමිටත් ඒ කතාව අම්මා කියනවා සිරිගුප්තට ඇහුණා.අප්පුහාමි ඉන්න හින්දා සිරිගුප්ත එලියට බැස්සෙවත් නැහැ.අම්මා මොනවාටද මේ මනුස්සයට ඒක කිව්වේ සිරිගුප්තට හිතුණේ ඒ විදිහට.ඒ වුනාට පසුවදා උදේ ඉස්කෝලේ යනකොට සිරිගුප්තට හමු වුනා අප්පුහාමි. ‘ඔන්න ළමයෝ නෑනා දැන් ලොකු ළමයෙක් වෙලාලු’ අප්පුහාමි කිව්වේ සිනාසෙමින්. ‘ඉතින් මට මොකද’ සිරිගුප්ත කිව්වේ ඔහු පසු කරමින් වේගයෙන් යමින්. ‘නෑ ඉතින් නෑනාගේ මගුල් ගෙදරත් යන්න වෙනවනේ.. නොගොහින් කොහොමද නේද’ අම්මලා සිකුරාදා ගිහින් ආපහු ආවේ සෙනසුරාදා හවස.රන්තිලකා ඉස්කෝලේ ආවේ ඊළඟ සඳුදා.මොකක් හරි හේතුවක් හින්දා සිරිගුප්තට රන්තිලකා දකින්නත් ආසයි.ඇය ඉන්න පන්තිය ළඟින් කීප වරක් ගියේ ඒ නිසා.ඒත් කෙලින්ම බලන්න ලැජ්ජයි.ඇය හිටියේ අනිත් කෙල්ලෝ වටකරගෙන.හරියටම දැක්කේ ඉන්ටවල් එකේදී.ඇය හරියට අද පිපුණ රෝස මලක් වගේ කියලයි සිරිගුප්තට හිතුණේ.මේ දවස් කීපයට මේ කෙල්ල මේ තරම් වෙනස් වුනේ කොහොමද කියලා සිරිගුප්තට හිතා ගන්නත් අමාරුයි.රන්තිලකා ඔහු සමඟ යාන්තමින් සිනාසුණත් සිරිගුප්ත හිටියේ එය නොදැක්කා වගේ.දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් ඔහුගේ යාලුවා චන්ද්‍රවංශ කිව්වේ අමුතුම කතාවක්.ඒක අහලා ඔහුට ඇති වුනේ පොළව පලාගෙන යන තරමේ ලැජ්ජාවක්. ‘සිරි උඹ දන්නවා නේද රන් ගස්’ ‘ඔව් ඇයි අර අපේ වත්ත පහලත් තියෙන්නේ.ලොකු ගෙඩි …ඒකෙ මදේ අයින් කරලා හේන් වලට එහෙම වතුර ගෙනියන්නේ’ ‘ඒ රන්ගෙඩිනේ …මම අහන්නේ ඒක නෙවෙයි…ඔය රන්ගහක් කොළ මුල් අතු අයින් කරපුවාම ඉතිරි වෙන්නෙ මොකක්ද’ සිරිගුප්තට හිනා ගියා .චන්ද්‍රවංශ මොකක්ද මේ අහන්නේ. ‘ඇයි කොළ මුල් අතු ඔක්කොම කපපුවාම ඉතිරි වෙන්නේ කඳනේ’ ‘කඳ …නිකම්ම කන්ද නෙවෙයි රන් කඳ’ ‘ඉතින්’ ‘ඉත
ින් ..රන් කඳ රන් තිලකා…දැක්කද ඒකි ඔන්න අළු ගහල දාලා ඇවිත්.දැන් ඒකි රන් කඳක්’ චන්ද්‍රවංශ කීවේ හඬ නගා සිනාසෙමින්. ‘පලයන් බං යන්න’ ‘පලයන් නෙවෙයි…රන් නෑනා අයිති මස්සිනාට’ ඔහුට දැනුණ අසීමිත ලැජ්ජාව ඇතුලේ හීන් සතුටකුත් තිබුණා.එදායින් පස්සේ රන්තිලකා දකින්නට සිරිගුප්තට තියෙන්නේ හරිම ආසාවක්.ඒත් කවදාවත් කෙලින් බැලුවේ නැහැ.හොරෙන් තමයි බැලුවේ.කොහොමටත් සිරිගුප්ත ගෑනු ළමයි ආශ්‍රය කළේම නැහැ.ඒකටත් හරිම ලැජ්ජයි.ඕ ලෙවල් විභාගේ ඉවර වුනාට පස්සේ සිරිගුප්තට රන්තිලකා දකින්න ලැබුණේ දහම් පාසැලේදී විතරයි.ඒ සිද්ධියත් සිරිගුප්තට අද වගේ මතකයි.ඕ ලෙවල් ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න දවස්වල ඔහු දහම් පාසැලේ උගන්නන්න ගියේ ධීරානන්ද පොඩි හාමුදුරුවන් එක්ක තියෙන හිතවත් කමට.පොඩි හාමුදුරුවෝ සිරිගුප්තට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.රන්තිලකා ගියෙත් ඒ දහම් පාසැලට.දහම් පාසැල ඉවර වෙලා ධීරානන්ද පොඩි හාමුදුරුවොත් එක්ක කතා කර ඉන්න විට රන් තිලකාත් ඒ ඉදිරියෙන් ගියා.රන්තිලකා ගියේ ඔවුන් දෙස බලා යාන්තමින් සිනාසෙමින්.නොදැනීම සිරිගුප්තගේ මුහුණටත් සිනාවක් නැගුණා.ඒ කාලෙකින් ඇය මුහුණට මුහුණ බැලූ දවස.ඇය ගියාට පස්සේ ධීරානන්ද පොඩි හාමුදුරුවෝ කතා කළා. ‘ඔය රන්තිලකා සිරිගුප්තගේ නෑදෑයෝ නේද’ ‘ඔව් අපේ මාමගේ දුව’ සිරිගුප්ත කිව්වේ සුපුරුදු ලජ්ජාවෙන්. ‘එතකොට නෑනා …නෑනා අයිති මස්සිනාට…රන්තිලකා හරිම හැඩයි ආදරේ හිතෙනවා …සිරිගුප්තගේ වාසනාව’ ‘අනේ නිකං ඉන්න හාමුදුරුවනේ….මම යනවා යන්න’ සිරිගුප්ත ඕන වුනේ එතනින් ගැලවෙන්න. ‘ලස්සන කෙල්ල…ඔහොම ලජ්ජා වෙලා බෑ සිරිගුප්ත …බලන්නකෝ යන ලස්සන…මම සිරිගුප්ත නං ඔහොම බලාගෙන ඉන්නැහැ’ ධීරානන්ද හාමුදුරුවන්ට නම් කිසිම ලැජ්ජාවක් නැති බවකුයි සිරිගුප්තට පෙනුණේ.මාමලාගේ ගෙදර තියෙන්නේ සිරිගුප්ත යන පාර අයිනේ.ඒක අක්කරයක විතර ලොකු වත්තක්.ගේ තිබුණේ වත්ත මැද.කවදාවත් සිරිගුප්ත අම්මත් එක්ක ආවොත් මිසක් තනියම ඇවිත් නැහැ. ඈතදීම පෙනුණා රන්තිලකා ගේට්ටුව ළඟ සිටින බව.ඇය තාමත් ගෙදරට ගිහින් නැහැ.සිරිගුප්තට හිතා ගන්න බැහැ දැන් මොකද කරන්නේ කියලා.මග හරින්න විදිහකුත් නැහැ.රන්තිලකා මෙතන ඉන්නේ ඇයි.ළඟට එනකොට රන්තිලකා බලාගෙන ඉන්නවා සිනාසීගෙන. ‘මම හිටියේ චූටි අය්යා එනකන්’ ‘ඇයි’ සිරිගුප්ත උත්තර දුන්නේ තනි වචනයෙන්. ‘පොඩි හාමුදුරුවෝ මොනවද කිව්වේ’ ‘ඇයි …එහෙම විශේෂ දෙයක් කිව්වේ නෑ’ ‘එහෙනං කමක් නෑ …ඒ වුනාට…. නෑ කමක් නෑ …චූටි අය්යලාගේ විභාග ප්‍රතිඵල ළඟදී ඒවිද’ ‘දන්නැහැ’ ‘චූටි අය්යා පාස් ඇති’ ඇයට ඕන කතා කරන්න.සිරිගුප්තගේ කතා කරන්න වචන තෙරපි තෙරපී ආවත් කටින් පිටවෙන්නේ නැහැ.ඔහු හරිම ආසයි ඇයත් සමඟ කතා කරන්න.ඒත් කියා ගන්න වචන නැහැ. ‘කවුද කිව්වේ’ ‘කවුරුවත් කියන්න ඕන නෑ …මුළු ඉස්කෝලෙම දන්නවා….චූටි අය්යා ගණන් වලටත් හරිම දක්ෂලු….මටනං ගණන් තමයි අමාරුම…අම්මත් කිව්වා චූටි අය්යගෙන්වත් ගණන් ටිකක් අහගන්න කියලා’ ‘මම එහෙම දක්ෂ නෑ ..ඔය කියන්නෙ බොරු’ ‘බොරු නෙවෙයි ඇත්ත…මම ගණන් ටිකක් අහගන්න එන්නද’ සිරිගුප්තට දෙන්න උත්තරයක් නැහැ.මම කොහොමද ඇය ළඟ ඉඳන් ගණන් උගන්නන්නේ.අප්පුහාමි එහෙම හොඳ කතා හදයි. ‘මං දන්නැහැ’ ‘දන්නැත්තේ ගණන්ද’ ඇය කිව්වේ සිනාසෙමින්.සිරිගුප්ත නිහඬ වුනා. ‘අය්යට සිරිගුප්ත නෙවෙයි හරි ගුප්ත කියල නම දැම්මනං හරි….මාමා නියම නම අය්යට දාලා තියෙන්නේ ’ යළිත් ඇය එහෙම කියන්නේ සිනාසෙමින්.හරිම ලස්සනයි ඇය සිනාසෙන විට.කම්මුල දෙපැත්තේ වල ගැහෙනවා. ‘ඇයි’ ‘නෑ චූටි අය්යා හරිම ගුප්තයි’ ඔහුට ඇති වුනේ හරිම ලැජ්ජාවක්. ‘මං යනවා අය්යේ’ ඇය කතා කළේ සතුටින් නෙවෙයි කියලයි සිරිගුප්තට හිතුණේ. ‘හා’ සිරිගුප්ත උත්තර දුන්නේ මස් ලේ නැති මිනිසෙක් මෙන්.ඊට පස්සේ ගෙදර ගිහිනුත් සිරිගුප්ත සිතුවේ රන්තිලකා ගැන.රන්තිලකා මටකැමතියි .ඒකයි මග නැවතිලා මට කතා කළේ..ඊළඟ දවසේදී නම් මේ වාගේ නිහඬව ඉන්න හොඳ නැහැ.ලැජ්ජාව පැත්තකට දාලා ගොළු නොවී කතා කරන්න ඕනි.සිරිගුප්ත තරයේ සිතා ගත්තා.ඊළඟ ඉරිදා දහම් පාසලේදී රන්තිලකා හම්බ වෙයි කියල හිතාගෙන හිටියත් ඇය එදා ආවෙත් නැහැ. ‘අද සිරිගුප්තගේ මූණ මැළවිලා’ එහම කිව්වේ ධීරානන්ද හාමුදුරුවෝ. ‘නෑ ‘ සිරිගුප්ත කිව්වේ මවාගත් සිනාවකින්. ‘නැත්තේ මොකද මට තේරුණා ..අද රන්තිලකා ඇවිත් නෑ …ඒකයි’ ධීරානන්ද හාමුදුරුවන් සිරිගුප්තගේ හිත කියපු ආකාරය ඔහුට සිතා ගන්නත් බැහැ . කොහොම හරි ඊට පස්සේ සිරිගුප්තට රන්තිලකා හරියටම මුණගැසුනේ ඕලෙවල් ප්‍රතිඵල ආ දිනයේ.ඇය ඉස්සර දවසක වගේ ඔහු එනතුරු මග රැකගෙන හිටියා.සිරිගුප්ත ආවේ චන්ද්‍රවංශ සමඟයි. ‘අන්න රන් තිලකා නංගී මග ඉන්නවා උඹ එනකං වෙන්න ඇති’ කතා කරන්නම ඕනි කියලා සිතාගෙන සිටි චිත්ත ධෛර්ය ඒ කතාවෙන් කොහේ ගියාද දන්නැහැ. ‘චූටි අය්යා තමයි හොඳටම පාස් ..මම කිව්වේ පාස් වෙනවයි කියලා’ ඇය කිව්වේ හරිම සතුටකින් වගේ. ‘එහෙනං නෑනා වේලාසනින්ම කියලා තියෙනවා මස්සිනා පාස් වෙනවා කියලා…අපිට නෑනේ නෑනෙක් ඔහොම කියන්න’ එහෙම කිව්වේ චන්ද්‍රවංශ. ‘අනේ නිකා ඉන්න’ රන්තිලකාත් ඒ කතාවට උත්තර දුන්නේ හරිම ලැජ්ජාවෙන්.සිරිගුප්තට හිතාගෙන හිටි ඔක්කොම අමතක වුනා. ‘ඔන්න මම යනවා නෑනලාට මස්සිනාලාට ඕන දෙයක් කතා කරගන්න කියලා’ ඔහු අඩි කීපයක් ඉස්සරහට ගියාට පස්සේ රන්තිලකා ආයෙත් කතා කළා. ‘දැන් ඉතින් චූටි අය්යා ඔහොමවත් කතා කරන එකක් නෑ ආඩම්බරේට’ ‘මගෙ ඇති ආඩම්බරයක් නෑ..ඒ හැටි’ සිරිගුප්තට කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් වෙලාවේ කිසිම දෙයක් හිතට එන්නෙ නැහැ. ‘ඒවුනාට අපිට පේන්නේ ඒ විදිහයි’ ‘අපිට කිව්වේ’ ‘මගේ යාලුවොත් කියන්නෙ එහෙමයි’ එහෙනම් මෙයා යාළුවොත් එක්කත් කතා කරලා.සිරිගුප්ත කෙලින්ම ඇගේ මුහුණ දිහා `කෙලින්ම බැලුවා ප්‍රථම වතාවට.ඇත්තටම ඇය හරිම ලස්සනයි. ‘එහෙම නෑ නංගී…ඕන කෙනෙකුට ඕන විදිහට හිතන්න පුළුවන්..චන්ද්‍රවංශ බලාගෙන ඉන්නවා මම යන්නං’ සිරිගුප්ත ඒ ටික කියාගත්තේ බොහොම අමාරුවෙන්.ලොකු ජයග්‍රහණයක් කළා කියලා ඔහුට හිතුණා. ‘ඇති යාන්තන් ..එහෙමවත් කිව්වා ..සිරිගුප්ත නෙවෙයි හරි ගුප්ත’ ඇය ආයෙත් කිව්වේ සිනාවෙමින්.ඇය වගේම සිනාවත් හරිම ලස්සනයි කියලයි සිරිගුප්තට හිතුනේ. ඉස්කෝලේදී විටින් විට සිරිගුප්තට රන්තිලකා හම්බවුනත් කතා කරන්න ලැබුනෙම නැහැ.කතා කරන්න ගියොත් දකින අය එක එක දේවල් කියාවි කියලා ඔහුට සිතුණා.රන්තිලකා ඕලෙවල් හරියට පාස් වුනේ නැහැ.ඇය ගණන් ෆේල්.එදා අතරමගදී ඔහුට ඇය හමු වුණා. ‘චූටි අය්යා මම ඉස්කෝලේ එන අවසාන දවස අද’ ‘ඇයි’ ‘මම ගණන් ෆේල්නේ ..මට කොහොමටවත් ගණන් බෑ …කවුරුවත් කියාදෙන්න කෙනෙකුත් නෑනෙ’ ඇය කිව්වේ නෝක්කාඩුවක ස්වරූපයෙන්.එහෙත් අර ලස්සන හිනාවෙන්. ‘ආයෙත් විභාගෙ කරන්න’ ‘අය්යා උගන්නනවද’ ඒකට උත්තරයක් නැහැ. ,මම මැහුම් පන්තියකටවත් යන්න ඉන්නෙ .. ආයෙත් කළත් මට ගණන් බෑම තමයි’ ‘අපරාදේ’ ‘අපරාදේ නෙවෙයි ඉගනගන්න බැරි අයටත් රස්සාවක් තියෙන්න ඕනනෙ’ ඇය ඒ ටික කියන්නේ හරිම සැහැල්ලුවෙන්. ධීරානන්ද හාමුදුරුවෝ සිව්රු ඇරියේ සිරිගුප්ත ඒ ලෙවල් කරන අන්තිම කාලෙදී.සිරිගුප්ත ඒ ලෙවල් එක සැරෙන්ම පාස් වුනා.ඒ කාලෙදිමයි නැවත ධීරානන්ද ගමට ආවේ සෙනරත් නමින්.ඔහු දක්ෂ ටියුෂන් ගුරුවරයෙක් වෙලා සල්ලි හම්බ කරලා අවුරුද්දක් ඇතුළත ගමේම පාර අයිනේ ඉඩමක් අරගෙන පදිංචියටත් ආවා.ඔහු එතනම කඩ කාමරයක් අරගෙන ගමේ මුල්ම ලොකුම කඩයේ හිමිකරුත් වුණා.සිරිගුප්ත කැම්පස් ඉන්න කාලේ නැවතිලා හිටියේ කැලණිය පැත්තේ බෝඩිමක.මාසෙකට වතාවක් විතර රන්තිලකා සිරිගුප්තට ලියුම් එව්වත් ඔහු ඒවාට උත්තර යැවුවේ ටිකක් පහු වෙලා.රන්තිලකා එව්වේ ගමේ විස්තර.සිරිගුප්ත යැව්වේ කැම්පස් එකේ විස්තර.සිරිගුප්තගේ හිතේ අපමණ සෙනෙහසක් රන්තිලකා කෙරෙහි තිබුණත් ඒ එක ලියුමකවත් ඒ ගැන සඳහන් කරන්න ඔහුට චිත්ත ධෛර්යක් තිබුණේ නැහැ.රන්තිලකාගේ ලියුම් වල ඒ ගැන යාම්තමින් සටහන් වුනත් ඔහුට එය කියාගන්න හැකියාවක් නොතිබුණේ කැම්පස් ගියත් ඔහුගේ ලැජ්ජාව අඩු නොවූ නිසාමයි.ඊළඟ නිවාඩු කාලේ ගෙදර ගිය ගමන් රන්තිලකාට මේ ගැන කියන්න හිතාගෙන ඉන්න අතරේ දවසක් ඔහු හමුවන්න සෙනරත් ආවේ කඩේට බඩු ගන්න කොළඹට ආ ගමන්. ‘සිරි මම ලබන මාසේ බඳින්න හිතාගෙන ඉන්නෙ’ ‘බඳින්න’ ‘ඔව්…මේ’ ඔහු මොහොතක් නිහඬ වුනා. ‘කවුද එතකොට මේ මනමාලි’ සිරිගුප්ත ඇසුවේ සිනාසෙමින්. ‘සිරිත් දන්නා කෙනෙක්..අර රන්තිලකා’ සිරිගුප්තගේ සර්වාංගයම ගිනි ගන්නවා වාගේ වුණා.ගෙදර ගිහින් කතා කරගන්න සිතාගෙන සිටි සිහින ලෝකෙම බිඳ වැටුණේ එක මොහොතින්.ඔහු පුටුවක් මත වාඩිවී සිටි නිසා නොවෙන්න එතනම ඇද වැටෙනවා. ‘ඔව් සිරීගේ නැන්දම්මාගේ දුව ..අපි හෙට අනිද්දා නෑදෑයෝ ‘ ඔහු කිව්වේ සිනාසෙමින්. ‘කවදද බඳින්නේ’ සිරිගුප්ත කතා කළේ හරිම ආයාසයෙන්.හරියට වේල් කීපයක් නොගත් රෝගියෙක් මෙන්. ‘ලබන මාසේ විස්ස ..සිරිත් අනිවාර්යෙන්ම එන්න ඕනි’ ‘බලමු’ ‘බලමු කියලා බෑ ..අනිවාර්යයෙන්ම එන්න ඕනි…ඇයි සිරී..එක පාරට කඩා වැටුණා වගේ’ ඔහුට යමක් හිතෙන්න ඇති.ඔහු සමුගෙන ගියාට පසු එදා රෑ පහන් වන තුරු සිරිගුප්ත කල්පනා කළේ ඒ ගැන.ඊට සතියකට විතර පසුව ඔහුට ලැබුනා රන්තිලකාගෙන් කෙටි ලිපියක්.එහි මේ විදිහටත් සඳහන් වුණා….මට සෙනරත් කිව්වා චූටි අය්යා හමුවුණු බව.මට අය්යාව අවබෝධ කර ගන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ.අය්යා හරිම ගුප්තයි.මට සමාවෙන්න.දැන් ඒ ගැන කතා කළ යුතු නැහැ.හැකියාවක් ඇත්නම් වෙඩින් එකට එන්න. මම බල කරන්නේ නැහැ.චූටි අය්යාට සම්බුදු සරණයි….සිරිගුප්ත ලියුම පැත්තකින් තියලා කල්පනා කළේ ඇය ගැන.ඒත් එක්කම ඇති වුනේ දරාගත නොහැකි දුකක්.මගුල් ගෙදරට ඒමට නොහැකි බවත් ඒ දිනවල එක්සෑම් ඇති බවත් කියා සිරිගුප්ත සෙනරත්ට දන්වා යැවුවා.අම්මාත් තාත්තාත් අක්කත් මගුල් ගෙදරට සහභාගී වුන බව දන්වලා ලිපියක් එවලා තිබුණේ අක්කා.රන්තිලකා නංගී ඔහුවත් මතක් කළ බවත් දන්වලා තිබුණා.කැම්පස් එකෙන් අවුට් වුනත් ඊට පස්සේ රැකියාවකට ගියත් සිරිගුප්තට රන්තිලකා අමතක කරන්න හැකි වුනේ නැහැ.ඒ නිසාමයි ඔහු ගමේ යාමත් සීමා කලේ.ඒ ගියත් හවසට ගෙදර ගිහින් උදේම ගෙදරින් පිටත් වෙනවා. මේ වෙනකොට සෙනරත් ලොකුම ව්‍යාපාර
ිකයෙක්.අතරමගදී සෙනරත් ස්ටෝර්ස් සෙනරත් බේකරිය රන් ගාමන්ට් දකින්නට ලැබුනත් කවදාවත් එතනට ගියේ නැහැ.සිරිගුප්ත ඔහුන්ගෙන් දුරස් වුණා නොදැනීම. අම්මා සිරිගුප්තට ගෑනු ළමෙක් බලන්න එන්න කියලා තිබුන දවසේ රාත්‍රී මේ ආරංචිය ලැබුණේ ඔහු ගෙදරට ආ මොහොතෙමයි. ‘හරි කරදරයක් වුනානේ අර රන්තිලකා දුවට’ ඉස්සර රන් කෙල්ල කිව්වත් දැන් ගොඩක් සරු නිසා අම්මත් කියන්නේ රන්තිලකා දුව කියලා. ‘ඇයි මොකක්ද වුනේ’ ‘ඒකි බැන්දේ උඹේ යාලුවෙක්නේ අර සෙනරත් මහත්තයා’ ‘ඔව්’ ‘සෙනරත් මහත්තයා පසුගිය සතියේ මළා’ ‘සෙනරත් මළා ..මොනවා වෙලාද..ඇයි මට කිව්වේ නැත්තේ..සිවුරේ ඉන්න කාලේ ඉඳලම මගේ හොඳ යාලුවා’ සෙනරත්ට දැනුණේ හරිම සංවේගයක්. ‘’එයා බඩු ගේන්න ගත්ත ලොරිය අර ගල්කන්දෙදී නැවතිලා ඒකට අඩයක් තියන්න ගිහින් ලොරියට යට වෙලා මැරුණේ’....පොඩි එකාට යාන්තම් අවුරුද්දක් වුනා විතරයි’ ‘පව් …ඔය වාගේ දෙයක් ඇයි මට නොකීවේ’ අම්මා නිහඬව හිටියා.එතකොට රන්තිලකා දැන් තනිවෙලා.ඔහුගේ හිත කිව්වෙම එහෙ යන්න කියලා.ඔව් මම යන්න ඕනි කියල ක්ෂණිකව තීරණය කළ සිරිගුප්ත එලියට බැස්සා. ‘කොහෙද යන්නෙ ආ ගමන්ම’ ‘මම සෙනරත්ලගේ ගෙදරට ගිහින් එන්නං’ ඔහු යන විට රන්තිලකා සිටියේ කඩය පිටුපස සුවිසල් නිවසේ දියණිය වඩාගෙන.මවක් වුවද ඇය එදා සිටි රන්තිලකාමයි.ඒ ලස්සන පෙනුම ඒ විදිහමයි. ‘ආ චූටි අය්යා’ ඇය කතා කළේ අදහාගත නොහැකි දෙයක් ලෙසට. ‘ඔව් නංගී..මම අද ගෙදර ආපු ගමන් දැනගත්තේ මේ ගැන…දන්නවා නං මම එනවා..මට හරි හිතට අමාරුයි…මට අවුරුදු දෙකකින් විතර සෙනරත්ට කතා කරන්න බැරි වුනා’ ‘සෙනරත් කීවේ අය්යා තරහා වෙලා කියලා’ ‘එහෙම දෙයක් නෑ නංගී…ඒත් ඒක දැන් කියලා වැඩක් නෑ’ එහෙම කියලා සිරිගුප්ත නිහඬ වුනා.රන්තිලකාත් නිහඬයි.ඇය නිවස තුළට ගියේ තේ රැගෙන එන්න.ඊට පස්සේ ඇය අහපු මුල්ම ප්‍රශ්නය. ‘ඇයි අය්යා බැන්දෙ නැත්තෙ’ ඔහුට ඒකට උත්තරයක් නැහැ. ‘ඒක නංගිට තේරෙන එකක් නෑ …දැන් ඔන්න අම්මලා කතා කරලා තියෙනවා මම අද ආවේ හෙට ඒ ගමන යන්න’ ඔහු කීවේ ඉවත බලාගෙන.ඇයත් එයට නිහඬ වුනා. ‘නංගී කිව්වා නේද මම හරි ගුප්තයි කියලා…ඒක ඇත්ත නංගී…ඒක තමයි ඇත්ත..මට කවදාවත් හිතේ තියෙන දෙයක් කියා ගන්න බැරිවුනා ..ඒක මගේ දුර්වලකමක්’ ‘අය්යා විතරක් නෙවෙයි ගුප්ත ..අය්යා හරි..අය්යාගේ ගුප්තකම පේන්න තිබුණා …සෙනරත් ඊට වෙනස්..පිරිමි ඔක්කොම ගුප්තයි…සෙනරත්ගේ ජීවිතේ වුනේම සල්ලි…එයාට ක්ලාස් වලින් හොඳට ජීවත් වෙන්න සල්ලි තිබුණා …මේ බිස්නස් නිසාමයි එයා නැති වුනේ’ රන්තිලකා කීවේ කඳුළු සලමින්. ‘අය්යාගේ වෙඩින් එක මටත් කියන්න’ නැවත ඇය කීවෙත් කඳුළු අතරින්. සිරිගුප්ත විවාහ වුනේ ඊට වසරකට විතර පස්සේ. විවාහ වුණත් රන්තිලකා හැමදාමත් ඔහුගේ මතකයේ තිබුණා.අක්කාගෙන් දැනගන්නට ලැබුණේ රන්තිලකා සිය සහෝදරයාත් සමග එකතුව වෙළඳ ව්‍යාපාරය දිගටම ගෙන ගිය බවක්.ඒ වුනත් කිසිම දවසක ඔහු ඇයගේ නිවසට යළිත් ගියේ නැහැ. ‘තාත්තේ ගෙදර ළඟට නං ආවා’ සිරිගුප්ත මනෝ ලෝකයෙන් මිදුනේ රහල්ගේ කටහඬින්. ‘මම හිතුවේ තාත්තට නින්ද ගිහින් කියලා…ගෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ දැන් පාලු ගෙයක්’ සිරිගුප්ත වාහනයෙන් බිමට බැස්සා.තැනින් තැන කැඩුණු බිඳුණු නිවසත් දැන් මියයාමට ආසන්නයි වගේ.කුඩා කළ ඉමිහිරි මතක සඟවා ගත් නිවස තුළින් වුවද ඔහු දුටුයේ ඉඳහිට ගෙදරට පැමිණි රන්තිලකායි.ඇය මුලින්ම ආදරය කළේ ඔහුට.ඔහුත් මුලින්ම ආදරය කළේ ඇයට.එය කියාගන්න බැරිවුණු ආදර කතාවක්.වත්තටවත් ඇතුල්වීමට ඔහුට ආශාවක් නැහැ. ‘ගේත් දැන් ඉවරයි….හැමදේම ඉවරයි…අපි ආපහු යමු..මෙහෙ දැන් කවුරුවත් දන්නා අය නෑ’ සිරිගුප්ත වාහනයට නැග්ගා.අවසාන වතාවට නිවස දෙස බැලූ ඔහු සුසුමක් හෙළමින් රහල්ට යලිත් කතා කළා. ‘අපි ආපු පාරේ නෙවෙයි අනික් පාරෙන් යමු’ ‘ඇයි ඒ පාර දුරයි නේද’ ‘ඒ වුනාට ඒ පාරෙන් කාලෙකින් ගියේ නෑනෙ’ රහල්ට නම් තේරුණේ තාත්තා ඒ සොහොන් පිට්ටනිය යළිත් දැකීමට අකමැති නිසා ගමන් ගන්නා මාර්ගය වෙනස් කළ බවයි.මීටර් කීපයක් ගමන් කළ පසු සිරිගුප්ත කතා කළා. ‘පුතා පොඩ්ඩක් නවත්තන්න’ රහල් වාහනය නැවතූ පසු සිරිගුප්ත අසල ගසක ගසා තිබුණු මරණ දැන්වීමක් ගලවාගෙන වාහනයට නැග්ගා.ඒ රන්තිලකාගේ මරණ දැන්වීමේ කොලයක්.කුසල් අකුසල් කෙටි කතාව "ලොකූ..ඔන්න අද ඔයා ආස කෑම ජාති ඔක්කොම තියෙන්නේ අනේ කන්න පුතේ හොදද නැත්නම් මගේ මහන්සිය අපරාදේ.." "කන්නම් අම්මා..අනේ ඊයේ උනේ ධනුකයා ආවේ නැති නිසා එයාගේ වැඩත් කලා වෙලා ගියා දැනුණේ නැහැ... හවසට බයික් එක ගන්න යන්නත් ඕනී..යන්නම් අම්මා බුදු සරණයි.." බුදු සරණයි මගේ පුතේ!! අම්මාගේ දෙපා නමැදි වහා ඇගේ හාදුවෙන් කුඩා දරුවෙකු මෙන් සැනසෙන මා විසිපස් හැවිරිදි බානුල රාජමන්ත්‍රී.. පියා නොමැති මගේ ලොවේ මට කිසිදා අඩුවක් නම් දැනී නැත.. ඒ..අම්මාගේ දක්ෂතාවයම බව මා එක හෙළා පිළිගනිමි. පිලියන්දල නගරයෙන් කොලඹ බසයකට නැගීමට ධනුක එනතුරු මුහුණු පොතේ රවුමක් ගිය මා පියවි සිහියට පැමිණියේ අසරණ හඩකිනි.. කන්නට යමක් ඉල්ලමින් පැමිණෙන යාචක සීයා මා මීට පෙර දැක නැත්තෙමි. සියල්ලන් අහක බලා ගත්තේ ඔවුන්ගේ අද දවසේ සුභ අසුභ ඔවුන්ගේ කර්මය අනුව නොව සීයාගේ දැකුම අනුව සිදුවන බවට පිලිගත් නිසාදෝ යැයි සිතෙන තරම් පිලිකුල් බැල්මන් ඔහු වෙත හෙලමිනි. ඔහු මා අසලට විත්.. "බඩගිනියි රත්තරන් පුංචි මහත්තයා මට අන්න අර කඩෙන් එක බනිස් ගෙඩියක් අරන් දෙන්න.. මහත්තයාගේ හැදූ වැඩූ මව්පියන්ටත් බුදු බව ලැබේවී.." බෑගයට අත දමා බත් මුල අතට ගද්දී අම්මාගේ වදන් සිහි වුණි. එහෙත් සත්‍යය දැන ගත් පසු මටත් වඩා සංවේදි අම්මා හෙට සිට මේ සීයාටත් හාල් හුණ්ඩුවක් වෙන් කරන බව මා දන්නා හෙයින් මේ දානමය පිංකමට මම සිතින් අම්මාවද එකතු කර ගතිමි. "එන්න ඔයාට කෑම එකක් දෙන්න..ම්.. කොහේ ඉදන් ද කන්නේ..එන්නකෝ.." මා ඔහු අසල වූ තේ කඩයට රැගෙන ගොස් එහි සිටි අය්යාට විස්තරය පවසා ඔහූට වාඩි වීමට අවස්ථාව සලසා දී මම ද ඔහු අසලින් හිද ගතිමි. "සීයා කොහේ ඉදන් ද මේ එන්නේ මෙහේ පිලියන්දල මද.." කතා කිරීමට හෝ ඉස්පාසුවක් නොමැතිව ඔහු කෑම කන අයුරු මගේ සිත සංවේදි කලේය. "හරි..හරි කන්නකෝ හිමිහිට.." "බුදු බව ලැබෙයි පුංචි මහත්තයා මේ කල පිනට..අනේ මහත්තයාගේ දෙමව්පියන්ටත් පින්.." කෑම එකක් දුන්නම බුදුබව ලැබෙනවා නම් මම දැන් කිහිප වතාවක්ම බුදු වෙලා..මා මටම පවසා ගතිමි. "මහත්තයා මම ඉස්සර අලුත්කඩේ පැත්තේ පොඩි තේ කඩයක් කලේ...මගේ ගම නම් කහපොල මගේ නෝනා මහත්තයා නැති වෙලා දැන් අවුරුදු පහක්..මට ඉන්නේ පුත්තුම දෙන්නෙක්..එක්කෙනෙක් මීට අවුරුදු දහයකට කලින් නැව් නැග්ගා..තාම බැස්සේ නැහැ.. ලොකු පුතා හොදට ඉගෙනගෙන දැන් ලොකු කොම්පියුටර් කොම්පැනියක් දාලා හරි සරුයි.. මගේ අල්ලපු ගෙදර ඉන්නේ.." "ඉතින් එයා සීයට සලකන්නේ නැද්ද එයා දන්නවද සීයා අද මෙහෙම ආවා කියලා.." "කොල්ලට වෙලාවක් නැහැ මහත්තයා මං ගැන බලන්න.. එයා හිතාගෙන ඇති එයාගේ නෝනා මට සලකනවා ඇති කියලා" "සීයට එයාගේ නෝනා සලකන්නේ නැද්ද ඉතින් ? "කෙල්ලට ඉස්පාසුවක් නැහැ මහත්තයා ලමයි තුන්දෙනාගේ වැඩයි අපේ එක්කෙනාගේ වැඩයි..අමතක වෙනවා ඇති.. පව්.." තමාට නොසලකන දරුවන් පවා රැකීම මොවුන්ගේ දුරවලතාවයක් මිස එය සතර බඹ විහරණ ලෙස සැලකීමට මට මගේ සිත ඉඩ නොදේ.. "මම යන්නම් සීයේ පරක්කුයි මට.. අහන්නකෝ ඔයා හෙටත් එනවද..?" "එන්න වෙයි මහත්තයා කෙලී කිව්වා ටික දවසක් උයන්න වෙන්නේ නැති කතාවක්..අර ගෙදර වැඩට හිටපු ගෑනු කෙනා ගමේ ගිහින් ලූ..පව්..තනියම කරගන්න එපැයි.." "හරි මම හෙටත් ඔයාට කෑම ටිකක් ගෙනත් දෙන්නම්..ඔයා මෙතනටම එන්නකෝ" "අනේ..හ්..මහත්තයා පින් කදක්.. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී.. මේ කල පිනෙන් මතු..." මා හෙමිහිට නැගිට අවුත් එහි වූ පිටකොටුව බසයට ගොඩ වූවෙමි. ඒ සීයාගේ දරුවන්ගේ ක්‍රියාකාරකම් මා කෝපයටත් ශෝකයටත් පත් කලේය "කොහෙද බං ගියේ මම ආවා උබව බලන් ඉදලා...ඒ මගේ ගජයාගේ දුක් ගැනවිල්ලයි.." මා ඔහුට විස්තරය පවසද්දී සියල්ලන් එයට එකතු විය. "මහ ජරා යක්කූ නේද ඔහොම දරුවෝ නම් ඇත්තමයි.." "ඒ සීයා ඒත් ඒවා සාධාරණකරණීය කරනවා මට නම් හිතෙන්නේ බං මෙයාලා සංවේදි දරුවෝ හදලා නැහැ මොකද දරුවන්ට පුංචි කාලේ දෙන දේවල් තමයි ලොකු වෙද්දී වර්ධනය කර ගන්නේ..." "හ්ම්ම් ඇත්ත..ඇත්ත..." "මේ ඔය සීයා අපි අර දානේ දෙන වැඩිහිටි නිවාසෙට භාර දෙමූද බොසා කිව්වොත් එහෙට ගනියි.." "හ්ම්..ඒක හොද අදහසක්.. සැවොම එකහෙලා එය අනුමත කලෝය. "බලපන්කෝ අපේ ලොක්කා නේද මැරිලා අවුරුදු ගානක් උනත් අම්ම්ගේ දානේ දෙනවා තාත්තාට සලකනවා..ඔන්න බං දරුවෝ.." එතැන් සිට සෑම දිනකම බානුල සිය මව සකසා දුන් කෑම පාර්සලය සීයාට ලබා දුන්නේ එය දේව කාරියක් ලෙස සලකාය. ඔවුන් දෙදෙනා බොහෝ කුළුපග විය. "පුතාට කියන්න මම හැම සෙනසුරාදා රෑට බුරියානි අරන් යනවා හතරදෙනාටම ඇන්ටි නොකා ෆ්‍රිජ් එකේ දාලා උදේටත් එයාලටම දෙනවා පව් කොල්ලෝ දෙන්නා.." "ඔන්න ඔතන තමයි සීයේ ඔයාලා දෙන්නා වරද්දලා තියෙන්නේ ඔහොම කලාම දරුවෝ සංවේදි වෙන්නේ නැහැ දෙමව්පියන්ගේ කිසි දෙයක් ගැන.ඔයාලා දෙන්නා තමයි එයාලව ආත්මාර්ථකාමී විදිහට දෙමව්පියන්ටවත් නොසලකන ගානට හදලා තියෙන්නේ..අම්මෝ මට පරක්කු උනා මම යන්නම් සීයේ හෙට එන්නම්.." ඉන්පසු දින දෙකක් තුනක් ගත වුවද ඔහු එහි නොවීය. දෙවියනේ මම එදා කියපු දේ වැරදියට අරන් වගේ..ශිට්..ශිට්.. "අම්මා..අර සීයා නැහැ අම්මා පේන්න.." "වෙන පැත්තකට යන්න ඇති පුතේ තව දවස් ටිකකින් එයි.." අම්මා ඇල්මැරුණු ස්වභාවයක් පෙන්වීය. අපගේ කාර්‍ය්ලයේ හිමිකරු විසින් සංවිධානය කල වැඩිහිටි නිවාසය සදහා වූ දානයට සැමදා මෙන් සියල්ලන් සහභාගී විය. "බොසා නම් පින් කදක් බං..ඇත්තටම බලපන් ජෝඩුවගේ පින් පාට ලමයි උනත් මාරයි බං නේද? "මොනා උනත් ඒ දෙන්නා හොදට මැචිං නේද එකම සිතුවිලි දෙන්නට තියෙන්නේ" "ඒයී බානුල අද බොසාට කියලා අර සීයා ගැන කතා කරගනින්.." "ඔව් බං අද කරන්න ඕනී..ඒත් සීයා ආගිය අතක් නැහැ නේ.." "අඩේ..හ් මැරිලා වත් ද" "මොනාද යකෝ දීමන්ත කියන්නේ පිස්සුද.." මගේ කෝපය ඉහවහා ගියේය "මේහ්..අද වටයක් දාමූ න
ේද සීයා හොයන්න.." ධනුකගේ යෝජනාව සියල්ලන් එක හෙළා පිලිගත්තේය පිලියන්දල නගරය පුරා සෙව්වද එහෙත් ඔහු ගැන කිසීදු තොරතුරක් නොවීය. "ශිට් මට නිකමට හරි එඩ්‍රස් එක ඉල්ලගන්න තිබ්බා...අපරාදේ.." මට ශෝකයක් හට ගැනුණි. පසුදින ආයතන හිමිකරුගේ පියාගේ අභාවය පිලිබදව සැල වූ අතර එය කළුතර ප්‍රදේශයේ වීම හේතුවෙන් එදින නිවාඩූ දිනයක් කෙරීය. බානුල හා ධනුක මලගෙදරට සහභාගී වීමට ප්‍රථම කහපොල ගොස් එහි අවට සීයා සොයා මෙහෙයුමක් දියත් කලද ඔහු පිලිබදව කිසිදු තොරතුරක් නොවීය. "බානූ..මචං මගේ හිත කියන්නෙම ඔය හොල්මනක්.. නැත්නම් බං ඒ බස්ටෑන්ඩ් එකේ අය දන්නේ නැහැ ගමේ අය දන්නේ නැහැ අනේ මන්දා උබට සෙට් වෙන ඒවා..වරෙන් මලගෙදරට යමු ලකුණු දාගන්න." මලගෙදරට ගොස් කතා බහට වැටී සිටියදී තාප්පයෙහි වූ චායාරුපය දැක බානුල වහා මෙතෙක් නොදුටු දේහය බැලීමට ගියේය ඔව්..එහි වූයේ ඔහුය...බානුලගේ දෙනෙත් කදුලින් පිරී ගියේය "තාත්තී කන්නේ මම ඉව්වොත් විතරයි ඒ නිසා සර්වන්ට් හිටියට උයන්නේ මම..මේ දවස් ටිකේම හරියට කෑවේ නැහැ ඒත් මම සුප් හදලා දුන්නා..අනේ ආසාවෙන් බිව්වා.... ඒ සත්ගුණවත් දානපතිනි ලේලිගේ වරුනාවයි.." "තාත්තී මට වඩා එකතු වයිෆ්ට.. මම නැතත් කමක් නැහැ එයා ඉන්නවා නම්..අනේ ලෙඩක් හැදිලා ඇදක හරි හිටියා නම් මට බලාගන්න තිබ්බා..මට මේ බය සීයා තාත්තී නැතුව මෙයාලා ලෙඩ වෙයි කියලා..මල්ලි මේ දවස් වල ෆ්‍රාන්ස් එන්න විදිහක් නැහැ මිනිහා සැරෙන් සැරේ කෝල් ගන්නවා තාත්තී බලනවා අඩනවා..ඉදලා හිටලා කාර් එකේ රවුමක් ගිහින් පරණ යාලුවෝ හම්බ වෙලා එනවා එදත් ඔය ගියා.." බානුල මිදුලට ගොස් බැනරය අසල හිට ගනිද්දී ධනුක ඔහු වෙත ආවේය. "කොහේ හම්බ වෙන්නද ධනුක සීයා කහපොල නෙවෙයි කළුතර පදිංචි කාරයෙක් වෙච්චී කොට.." "උඹ..හ්..උබ කියන්නේ එතකොට මේ.මේ..ඒත් බං සර්..සර්..නැහැ බානු උබට වැරදිලා.. යකෝ.. හ්.. මේ මිනිස්සූ බෝසත් වගේ මිනිස්සු ලක්ෂ ගණන් මිනිස්සුන්ට පිනට දෙන්නේ..." "හ්ම්...ඔව්..මචං මම යන්න ඕනී.. ශිට්..ශිට්..මට මේ මනුස්සයා කොහොමද මැරුණේ කියලා දැනගන්න ඕනී" ඔහු වහා බැනරයේ වු රුව දුරකථනයේ සටහන් කර ගමින් පිටව ගියේය පිලියන්දල තේ කඩයට ගොස් මුදලාලිට එය පෙන් වූ වහා බානුල දෙස බලා "ආහ්..මහත්තයා මේ යකාවද ඊයේ ඇහුවේ..මෙයා මේ හිගාකන්න එන්නේ කාර් එකෙන්ලූ..කාර් එක බොරලැස්ගමුවේ හංගලා වැරහැලි ඇදන් මෙහෙට ඇවිත් හිගා කාලා යනවා.. මිනිහගේ කාර් එක දවස තුන හතරකට කලින් හැප්පිලා බොරලැස්ගමුව හංදියෙදී..පස්සේ අයිසීයූ දාලා ඉදලා පෙරේදා රෑ නැති වෙලා..පොලිසියේ මහත්තයෙක් විස්තරය කිව්වේ.. කී දෙනෙක් ඔය යකාට රැවටුණාද? ගෙවල් දෙකක් තියෙනවා එක පුතෙක් ප්‍රංශේ. අනිත් එක්කෙනා ලොකූ කම්පැණි එකක අයිති කාරයෙක්ලූ..." මට මැවී පෙනුනේ මගේ අම්මාගේ අහිංසක මුහුණයි.. රෑ වනතුරු අතිකාල සදහා ජීවිතයම දිය කරන අම්මාගේ බත් හැලියේ සීයා සදහාද බත් ඉදෙන්නේ සැබෑ කරුණාවෙනි. ඉතින්... කිසිවෙකු සදහා හෝ හිගමන් දිය යුතුද කියා මට සිතෙන්නට විය. කුසල් අකුසල් මිනිසාගේ ක්‍රියාකාරකම් මත තීරණය වේ.. නිමි.. ✒️ මිහිදුම් ද්වාරබෝනස්... "මේ නුවා... හැමදාම ගෑනි වගේ 5.30ට ගෙදර රිංගන්න ලෑස්තිවෙන්න එපා, අද බෝනස් දාලා... 2000ක් අරන් හවස සෙට් වෙන්න"... සමන් එහෙම කියව්වම තමයි මගේ ඉහේ මල්ක් පිපුනේ. ඒ බොන්න යන්න නෙවෙයි. මගේ කෙලි පොඩිත්‍තිට බයිසිකලයක් නත්තලට අරන් දෙන්න. ගිය ඉරිදා පල්ලි ගිහින් ආපුගමන් නත්තල් සීයට ලියුමක් ලිව්වා. ඒක ලියපු වෙලේ ඉදන් මට හිතට මේ කාරණාව වදයක් උනේ සපත්තුව අතුලට වැටුන ගල් කැටයක් වගේ. ලංකාවටම අමාරු නිසා අපි හැමෝම බෝනස් ගැන අදහස අතඇරලයි හිටියේ. හාම්පුතාට පින් සිද්දවෙන්න දෙයියො අපේ මූණ බැලුවා. මං නුවන්. මගේ ගම බදුල්ලේ. අපේ තත්තලා ගොවිතැන් කරේ. පුංචිකාලේ ඉදන් මං නහයට අහන්නේ නැති එකා. ගොවිතැන මට රිස්සුවේ නෑ. පුංචි සන්ධියේ ඉදන් ගුරුවරු මට ඉගෙන ගන්න බෑ කියපු නිසා මං මූසිලයෙක් උනා. ආණ්ඩූවේ බෝඩිමේ බත් එක නොකා බේරුනේ අම්මගෙ ඇඩියාවට NAITA ගිය නිසා. එතනින් පස්සේ තමයි මං යකඩ කෑලී එක්ක ඔට්ටු වෙන්න පටන් ගත්තේ. Mechanic වැඩ මට පුරුදු කරපු සිප්හල තමයි මං මුලින් කිව්වේ. ආපු ගමන ලේසි නෑ. Training කාලේ මං වැඩකරේ මිනුවන්ගොඩ garage එකක. නිහාල් බාස් තමයි ඒකේ අයිතීකාර උන්නාන්සේ. Training ළමයින්ගෙ බොටුකඩාන ලේ උරාන බීපු නැතිටික විතරයි. ගෙවන්න ඕනේ 3,000ත් හැම මාසෙම මොනාහරි කියලා කපාගන්නවා. එතනදි තමයි මට තිවංකාව මුණ්ගැහුනේ. හැම ඉරිදාම garage එක ලගට එනවා. ඒ මාව බලන්න නේවෙයි, නිහාල් බාස් බලන්න පංති ඉවරවෙලා. තිවංකා වෙන කවුරුත් නෙවයි නිහාල් බාස්ගේ දුව. හිමින් හිමින් පෙමින් බැදුණු අපි ආවේ හදපානේ. ඒ අපේ සම්බන්දෙට පවුල් දෙකෙන්ම යුද්ද ප්‍රකාශ කරපු නිසා. දැනට අපි බැදලා අවුරුදු 6යි. කෙල්ල ස්නේහංසට අවුරුදු 5යි. හැබැයි තාමත් අපේ පවුල් සාම ගිවිසුම් ඉදිරිපත් කරලා නෑ. මං මේ companyයට වැටුනේ පෙර පිනකට. හාම්පුතා මිනිස්සුන්ව හොදට බලාගන්නවා. මට තියෙන්නේ බර මගේ පුංචි පවුල රජ කරවන්න තමයි. අද දෙසැම්බර් 23 වෙලාව සවස 5.30යි. කෙලි පැටික්කිට බයිසිකලයක් ගන්න පිටකොටුවට ඉක්මනින් යන්න ඕනේ. හනිහනිකෙට මන් locker room පැත්තට ගියා. හුටා... සමන් එතන. "අප්පෝ නුවනා උඹ අදත් පාන්දරම මාරුවෙන්නද හදන්නේ? උඹෙන් අපිට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ. අප්පෝ පලයන් පලයන්, කුහක හැත්ත." හැමෝම මට නක්කලේට හිනා වෙන්න පටන් ගත්තා. ඒ වචන පෝලිමට මගේ ඇගේ මාලු නැටන්න ගත්තා. හැබැයි මගේ අරමුණ වෙනස් හින්දා මන් තාවකාලික පරාජය බාර ගත්තා. බිම බලාගෙන ගිහින් ඇදුම් මාරුකරගෙන මල්ලත් අරන් මන් බස් එකට නැග්ගා. හැමෝටම නත්තලට කලින් හම්බුන කාසි නිසා මුලු කොළඹම ඇවිස්සුනු කඩි ගුලක් වගේ. හැමෝම ටිකි ටිකියේ වීදිවල. වාහන හෙලවෙන පාටක් නෑ. පිටකොටුව කිට්ටුවෙනකොට මට ඉවසුම් නැතිඋනා. බස් එකේන් බැහැලා ඇවිදින්න පටන් ගත්තා. වීදි පහු කරගෙන වේල්ල වීදියට ආවා. සුකුරුට්ටන් බයිසිකල් සුරපුරයකට ආවා වගේ. මට කෙලි පැටික්කිව ගෙනල්ලා පෙන්නලා කැමති එකක් ගන්න කියලා කියන්න තියනවනම්. ඒත් එච්චර කාසියක් මන් ලග නෑ. හැබැයි කවදහරි එහෙම දවසක් මන් උදා කරගන්නවා. "ආ බොසා මොනාද ඕනේ?" මන් පියවි සිහියට ආව. "මේ බයිසිකලේ කීයද?" රෝසපාට ලස්සන බයිසිකලයක්. "මේක බොසා original chinese බයිසිකලයක්. හොද branded. Balance wheel ඔක්කොම තියනවා. බොසාට නිසා මන් 45,000කට දෙන්නම්." මගේ ඇස් උඩ ගියා. මන් දන්නවා මෙතන කේවල් කරේ නැත්තම් මට වැඩි ගානට ගන්න වෙන්නේ. මත් අතඇරියේ නෑ. "අප්පෝ මුදලාලී ගාන වැඩී නේ. මේක තමයි මන් හොය හොය හිටියේ. මන් කෙලින්ම ඔයා ලගටනේ ආවේ. නත්තලට කලින් business එකක් කරගන්න මේක 15,000 කට කරමු. මගේ දුවට." මන් දන්නවා ඒගානට කරන්න බෑ කියල. හැබැයි කේවල් කිරිල්ල පටන්ගන්න ඕනෙනේ. "අප්පෝ බොසා අපිටවත් ඔය ගානට වැටෙන්නේ නෑ. මේක දෙන්න පුලුවන් ඒ price එකට" ටිකක් බාල පෙනුම තියන එකක් පෙන්නුවා. දැන් මගේ වාරේ. හොද තුරුම්පුවක් ගැහවෙ නැත්තම් මේක miss වෙනවා. "මුදලාලී මට මේ කඩේ ගැන කිව්වේ අපේ වැඩපොලේ කෙනෙක්. ඒකයි මන් වෙන මුකුත් නොබලා මේ කඩේටම ආවේ. මේක තමයි හරිම යන්නේ. මගේ අතේම තියෙන්නේ 17,000යි. වීල් එකක් ගන්නත් ඕනේ. ඒක නිසා 15,000කට කරමූ." "අප්පෝ බෑ බොසා..." කියද්දිම මන් "අන්තිම කීයද" යන්න අතඇරලා යන්න යන ස්වභාවයෙන් ඇහුවා. "ම්... අන්තිම 25ක් වත් දෙන්න. "මෙතන 20ක් තියනව. ඔන්න ඕක දෙන්න. නත්තල් නේ" මුදලාලී එකග උනා. ජයග්‍රාහී ආකල්පයෙන් මන් බයිසිකලයත් අරන් වීල් එකක් අරගෙන ගෙදර එන්න පටන් ගත්තා. මග දිගට කෙලි පොඩික්කිගේ හිනාව බලන්න. හීන බල බල ආවෙ. ගෙදරට ලං වෙනවාත් එක්කම කෙලි පොඩිත්ති එලියට දුවගෙන ආවා. අම්මෝ හිනාව. මට වෙන මුකුත් ඕනේ නෑ. "අම්මේ මෙන්න...." කෙල්ල දුවගෙන ආවා බයිසිකලේ ගන්න. බයිසිකල් බදාගෙන කෑගගහා උඩ පැන්න. තිවංකාත් දැලි ඇදුම පිටින්ම එලියට ආවා. මන් ආඩම්බරේට හිනා උනා. තිවංකා නිකටට අත තියාගේන මගේ අඩම්බරේට කොමල පෑවා. මට ලෝකෙම දින්නා වගේ. තාත්තා කෙනෙක්ට මේ වගේ සැපතක් වෙන කොහේද. නිමි KGකෙටි කතාවක් - දුඹුරු කෝපි - " ආසම පාට මොකක්ද.." මා ඇය දෙස බැලුවේ විමතියෙන් විය යුතුය. මන්ද යත් මා විමතියට පත් ව ඇය දෙස බලන හැම වරෙකම මා දකින ඇහිපිල්ලමක් හෝ නොහෙළෙන ඇගේ විසල් වුණු දෑස් මා දැනුදු දැක ගත් නිසාවෙනි. ඇගේ පැනයෙන් මා විමතියට පත් වූවාටත් වඩා මෙවන් මොහොතක මා එවැන්නක් බලාපොරොත්තු නොවූවා යැයි කීම වඩාත් සුදුසුය. " ඉතින්..කියන්නකෝ.." ඇය යළිත් වරක් පවසනා විට, මා මද සිනාවක් මුවඟට නගා ගෙන, ඇය හා ඇවිද යන අතරේම ඇගේ දෑස් දෙස බැලීමි. " දුඹුරු පාට..!" මෙවර මා දැකගත්තේ ඇගේ දෑස් තව තවත් විසල් වනවා සේම තත්පරයක් හෝ දෙකක කාලයක් ඇගේ මුව පවා විවෘතව තිබෙන අන්දමයි. ඉදින් ඇයව කියවීමෙහිලා නිපුණත්වයෙන් හෙබි මා ඇගේ එම ඉරියව්ව අවබෝධ කරගතිමි..ඒ ඇය විමතියට පත් වූ වග නොවෙද..! " ඇයි..ෂුවර් නැද්ද.." ඇගේ මුහුණ දෙස බලා සිටිය දී නැගෙන්නට ආ සිනහව දෙතොලතරේ ම රුවාගෙන මා විමසූයේ ඇවිද යන මාවතේ ඉදිරිය ද පිරික්සමිනි. " නෑ ඉතින්..මම හිතුවේ නිල් පාට කියලා.." මා හැඳ සිටි අහස් නිල් පැහැති කමිස අතෙන් යාන්තමට අදිමින් එසේ පවසා ඇය තම දෑස යළි මා වෙතට එල්ල කළාය. මා හා ඇවිද යද්දී ඈ ඔය ලෙසම ය.. ඉදිරියෙන් බාධක ඒදැයි කියා හෝ නිනව්වක් නැත. මන්ද යත් මා ඉතා අරපරිස්සමින් ඇයව ගමනාන්තයට ම ගෙන යන බැව් ඇය දන්නා නිසාවෙනි. " හිතුවෙ හැම කොල්ලම ආස නිල් පාටටමයි කියලද..!" මා ඉදිරිය බලාගෙනම සිනාසෙමින් එසේ විමසද්දී ඇය ද සිනාවක් මුවඟේ ඇඳගත් බැව් මා ඉවෙන් මෙන් දනිමි. මන්ද යත් මා ඔවැනි දෙයක් කියා සිනාසෙද්දී ඇය නිහඬ සිනාවක් සමඟම මගේ සුරතේ වැලමිටට ඉහළින් තදින් අල්ලාගන්නා බැව් මා අත්දැකීමෙන්ම දන්නා නිසාවෙනි. " ඇත්තටම කොල්ලෙක් නම් නිල් පාට..කෙල්ලෙක් නම් රෝස පාට කියලා මතයක් කවුරු හැදුවද මන්දා..මේ ලෝකේ තව ලස්සන පා
ට මෙච්චර ගොඩක් තියෙද්දී.." මා එසේ පවසද්දී ඇය නිහඬවම අසාගෙන උන්නාය. ඇවිද යන අතරේ මෙවන් පැනයක් ඇය අසන්නට ඇත්තේ නිකමටම වන්නට බැරිය. ඉදින් මා එය දැනගනු අටියෙන් ඇය දෙසට නෙත් හෙලීමි. " පාට කියන්නේ නිකන්ම නිකන් ඇහැට පේන දෙයක්ම නෙවෙයි..ඒ පාට ඇතුලේ ඉන්නවා චරිතයක්..ඒ චරිතයට ආස නිසා තමයි අපිට ඉබේටම පාටවලට හිත යන්නේ.. දැන් ඔයා බලන්නකො..ඔයාම කියනවා ලෝකෙ ලස්සන පාට ගොඩක් තියෙනවලු..ඒත් අයියේ.. ඔයා ආසම පාට ඇහුවාමත් කිව්වෙ එකයිනේ.." ඉදින් ඇය හැමදාම ඔවැනිය.. තත්පරයක් හෝ නිහඬව සිටී නම් ඊළඟ තත්පරය කුමක් හෝ ගැඹුරු සාකච්ඡාවකට අර අදින්නට තරම් දඟකාරියකි. හදිසියේම පැන නගින එවැනි සුන්දර මොහොතකට මා ද තදින්ම පෙම් බඳින නිසාවෙන් තත්පර කිහිපයක් ගෙන ඇගේ කියුම මා මනසින් ආයෙ ආයෙම ස්මරණය කළෙමි. " ම්ම්..මම ඒ පාටට ආස වෙන්න හේතුවත් මම ආස චරිතයක් නිසා තමයි..!" මාවතේ දකුණු පස වූ පහන් කණුව පසු කර යද්දීම මා එසේ පිළිතුරු බැන්ඳේ ඇගේ විසල් දෑස යළිත් වාරයක් මගේ දෑසට හසු වද්දීමය. " හ්ම්ම්..එක චරිතයක්..ඒ දුඹුරු පාට කෙල්ලෙක්.. දූවිල්ලෙන් වැහුණු ගරා වැටුණු ගොඩනැගිලි එක්කම..ඉදහිට ඇහැ ගැහෙන ගස් වලින් වේලිච්ච දුඹුරු පාට කොළ හැලෙන..පරණ පාරවල් වල ඇවිදින්න ආස පුංචි කෙල්ලෙක්.. ඒ වෙන මොකකටවත් නෙවෙයි..පාර අයිනේ පුංචි පොත් සාප්පු වලින් දුඹුරු පාටට ගැහිච්ච.. දූවිල්ලෙන් වැහුණු පරණ පොත් ගන්න ආසාවෙන් ඇවිදගෙන යන කෙල්ලෙක්.. කොහොමින් කොහොම හරි එකතු කරගත්ත සල්ලි වලින් ගත්ත පොත් මල්ලත් අතේ තියාගෙනම..ඒ දුඹුරු පාට පරණ පාර කෙළවරට එනකන් තොරතෝංචියක් නැතුව කියවන කෙල්ලෙක්..ඒ එන්නෙ මොකකටද දන්නවද..." දෙතොලතරේ සිනා රැල්ලක් රන්ඳාගෙනම මා වඩාත් ප්‍රිය කරන වර්ණයට හේතුවුණු චරිතය විස්තර කරන්නට වූයේ කාලාන්තරයක් තිස්සේ මනසේ එක්කාසු වී ඇති මතකයන් එකින් එක සිහි කරමිනි. එසේම මා මගේ විස්තරයට ප්‍රශ්නාර්ථයක් වෙනුවට තිත් පෙළක් යොදා ඇය දෙස බැලීමි..ඉදින් ඒ දුඹුරු පැහැ දෑසේ කඳුළු බෝල සමඟින් මුවඟේ රැඳුණු හසරැල්ල මා ආසම විදියේ එකකි. එසේම ඇගේ යන්තමින් සෙලවුණු හිස මට කියා පෑවේ ඇය ද ඒ සියල්ලටම එකඟ වන බැව් නොවෙද.. " Brown coffee බොන්න..!!" දෙදෙනාම එක හඬින් පවසද්දී අප දෙදෙනාටම සිනා නැගුණේ දෑත් තදින් අල්ලාගෙනය. ඉදින් ඒ වන විටත් අප පරණ පාර කෙළවරේ වූ ඒ කුඩා කෝපි අවන්හල ඉදිරියේ නිසාවෙන් කතාවේ ඉතිරිය උණුසුම් දුඹුරු කෝපි කෝප්පයක් තොල ගාමින් කතා කරන්නට ව්‍යංගයෙන්ම එකඟත්වයක් සහිතව දොරටුවෙන් ඇතුළු වූයෙමු. වචනයෙන් විස්තර කළ නොහැකි දේ බොහෝය. ඉදින් දුඹුරු පැහැයට මා තුළ වූ කැමැත්ත ඉතා අල්පව විස්තර වන්නට ඇතැයි මා සිතන්නේ මතකයන්ගේ හා හැඟීම් වල පිරී ඉතිරෙන දුඹුරු වර්ණයේ රසය මට මීටත් වඩා තදින් දැනෙන හැඟෙන නිසාවෙනි.. ප්‍රේමයට උරුම රතු වර්ණයමයි කියා නැත. හිත නිවෙන්නේ යම් චරිතයක් ඉදිරියේ ද.. එම චරිතයට හිමි වර්ණය ප්‍රේමයේ වර්ණයම වනු මිස.. . . . පසුවට ලියමි.. කොළ හැලෙන දුඹුරු පැහැති පෙබරවාරියේ දෙවන දින මගේ විසි හයවැනි උපන්දින ත්‍යාගය ලෙස මා හට දුඹුරු පැහැති මුදල් පසුම්බියක් හිමි වූයේ මා වඩාත් ප්‍රිය කරන වර්ණය මගෙන්ම අසා දැනගත් ඒ දුඹුරු හැඩකාරියගෙන්මය..! - අවසානයි - ✍️ Kaushalya D.ඔබ මෙය කෙසේ පිළිගනීදැයි මා නොදනිමි .හැබැයි ඔබ වෙනුවෙන් මා ලියමි. කොහොම කොයි විදිහට මෙය ආරම්භ කරම්දැයි දැයි මා හට නොහැඟෙ. ටික කලක් නිහඬව සිටි නිසාද මන්දා ලියන්න හිත් දෙන්නෙත් නෑ .ඒත් ඔබ වෙනුවෙන් ඔබට ශක්තියක් වෙන්න ලියන්නම හිතුනා. මෙයින් ජීවිතයට ගත යුතු දෙයක් තිබේ නම් ගන්න. හැබැයි මං ආරාධනා කරනවා ඔබට ඔබේ ජීවිතය ජය ගත හැක්කේ ඔබටමයි කියලා ඔබ ඔබවම විශ්වාස කරන්න.. කතාව මෙහෙම පටන් ගන්නම්. එවකට මම මගේ උපාධිය හදාරමින් සිටින කාලේ. මා කළ රැකියාව අහිමිවීම හේතුවෙන් වෙනත් රැකියාවක් සොයමින් සිටිය අවධිය. රැකියා රාශියකට ඉල්ලුම්පත් දැම්මත්.ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන්න කවුරුත් රැකියාවක් දීමට කැමති නැති වූ නිසාත්. මම මට ගැලපෙන රැකියාවක් කරමින් සිටියා. එයින් මගේ ඉගෙනීමේ කටයුතු කරන්න. මට වුවමනා දේවල් සපය ගන්න මුදල් හොයාගන්න පුළුවන් වුණා .ඒ වගේම ලොකු ඉතුරුවකුත් කරන්න පුළුවන් වුණා. හැමෝම වපර ඇහින් බලන රස්සාවක් මහත්මයෙක් වගේ කරන්න පුළුවන්ද ඒක වෙනම එකක්. ඔව් එහෙම රස්සාවක් මං මහත්මයෙක් වගේ කරා කිව්වොත් ඔබ විශ්වාස කරයිද. ඔව් මට පුළුවන් වෙනවා එහෙම මහත්මයෙක් වගේ ත්‍රිරෝද රථ රැකියාව කරන්න. ඇයි මං ඒක තෝරා ගත්තේ මේ එයට බලපෑ ආසන්නම හේතුන් දෙකක්. මිනිස්සු අපිට නිර්ණායක දෙන්නේ අපි කරන රැකියාව අපි ජීවත් වෙන විදිහ අනුව .හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ ඔවුන් ඒ බලන කෝණය වැරදියි කියලා ඔප්පු කරන්න. කාලයක් රාජ්‍ය මාධ්‍යයට සම්බන්ධ ආයතනයක වැඩ කරපු සහෝදර අයියා කෙනෙක්ගේන් මම රැකියාවක් ඉල්ලනවා. ටික දවසක් යනවා මේ අයියට වැඩේ අමතකයි. ආයි මම මේ අයියට කතා කරලා කියනවා අයියා මාව freelance රිපෝර්ටර් (නිදහස් මාධ්‍යවේදී) කෙනෙක් හැටියට හරි දාලා දෙන්න මං වැඩේ අල්ල ගන්නම් කියලා . හරි අපි බලමු ඒ තමයි ඔහුගෙ පිළිතුර. ටික දවසකට පස්සේ මා ඉතා දන්නා හොඳින් අඳුනන සහෝදරයෙකුට මේ අයියා මාධ්‍ය ආයතනයක දොරගුළු විවර කර දෙනවා.ඉන් පසුවත් මම මගේ වැඩේ ගැන අහනවා.මේ එදා මට ලැබුණු පිළිතුර. ඉන්දුක උඹට පුළුවන් නම් අපේ ආයතනය ඉස්සරහ පොඩි ඉඩක් තියෙනවා. එතන පුංචි තේ කඩයක් දාපන්. මේ අපේ ආයතනයේ වැඩ කරන උන් ප්ලේන්ටියක් බොන්න තැනක් නැතුව හැමතැනම හොයනවා. උඔට හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ලංකාවේ අනිත් තරුණයන්ට වගේ මට කේන්ති යනවා. තේ කඩයක් දාන්න නම් උපාධියක් කරන්නේ මොන මගුලටද. මම මටම කියාගන්නවා. ඉන්දුක මොකා බැහැ කිවත් උඹට පුළුවන් උඹ උඩට යනවා. උඹ උඹේ ගමන පලයන් උඹ හොඳට ඉගෙන ගනින් දවසක ඉගෙනීමෙන් උඹ ඒ අයට උඹේ ප්‍රතිඵල පෙන්නපන් මේ මම මටම කියා ගත්ත දේවල්. ඒ කතාවත් එක්කම දූවමින් සිටි තිරෝද රථය තවත් හොඳට අලුත් වැඩියා කරගෙන තවත් ලස්සනට ඇඳලා මහත්මයෙක් වගේ දුවන්න පුරුදු වුණා. වෙනදට වඩා යහමින් අතේ මුදල් ගැවසුනා .වෙනදටත් වඩා ලස්සනට ඇන්ඳා වෙනදටත් වඩා හොඳට කෑවා. කොහොම හරි උපාධිය සමත් කරන එක ජීවිතයේ අරමුණ කරගත්තා. ඔය කාලේ මගේ තව මිතුරෙක් මෙරට සිටි සුප්‍රසිද්ධ ඇමතිවරයෙකුගෙ ( එතුමා අවාසනාවන්ත ලෙස බෝම්බ ප්‍රහාරයකින් මියගියා) මාධ්‍ය ලේකම්වරයා වෙනවා. මම ඔහු මුණගැහිලා කියනවා මචං. මට කරන්න මොකක් හරි රස්සාවක් හොයලා දීපන් බං. මං කොහොමහරි මගේ උපාධිය ඉවර කරගන්නවා රස්සාවක් හොයලා දියන් මන් රස්සාව අනිවාර්යයෙන්ම අවංකවම කරනවා. ඉන්දුක උඹ දක්ෂයා අනිවාර්යයෙන්ම උඹට හොඳ ජොබ් එකක් මම බලන්නම් .මට පුළුවන් .උඹව රජයේ හොඳ තැනකට දාන්න.ඔහු එහෙම කියනවා. අන්න නියම සහෝදරයෝ අන්න නියම යාළුවෝ .මම එහෙම හිතනවා. දින සති ගෙවිලා මසකට විතර පසු මගෙ අතිජාත මිතුරාගෙන් මා රැකියාව ගැන විමසනවා. මචං මොකද මගෙ වැඩෙ. මොන වැඩෙද,බං. ඇයි බං රක්ෂාවක් හොයලා දෙන්න කිවුව වැඩෙ. ඕවිනෙ මචං මට අමතක වුනානේ. ආ මට මතකයි දැන් මතකයි මම ඔබට රස්සාවක් බැලුවා උඹ කැමතිනම් කරන්න පුළුවන්. කැමති නෙමේ අනිවාර්යෙන්ම කැමතියි. හොඳ රස්සාවක් නම් මං අනිවාර්යෙන් කරනවා. උඹ කැමතිනම් හෙට ඉඳලා අපේ ආයතනයේ සිකුරුටි රැකියාව උඹට කරන්න පුළුවන්. යකෝ උඹ මාර යාලුවෙක්නෙ එතකොට උඹ මට මේ කියන්නේ සිකුරුටි කරන්න කියලාද මෙච්චර ඉගෙන ගත්තේ ඒකටද ඊට වඩා හොඳයි මං ත්‍රීවිල් එක දුවන එක. එදායින් පසුව කිසිම යාළුවෙක් ලඟට රැකියා ඉල්ලන් ගියේ නැහැ . එදා මට සිකුරුටි රැකියාව ලබාදෙන්නම් කියු මිතුරා පසුව මිතුරියකට පවසා ඇත්තෙ. ඉන්දුකයා දක්ෂයි ඌව මොකකටහරි දාන්න පුළුවන් .ඒත් ඕකා කඩාගෙන උඩට යනවා මිනිස්සු උඩට යන්න ඕනේ අපිට වඩා තැනකට ආවොත් අපෙ job එකත් නැතිවෙනවා ඒක නිසා ඌව job එකකට දාලා risk එකක් ගන්න මම කැමති නැහැ . මෙවැනි මිතුරන් අතර. මං වෙනුවෙන් රැකියා හොයලා වරෙන් වරෙන් කියලා කතා කරල ආයතන වලට දාපු මිතුරොත් මගේ හිටියා. මිනිස්සු අපිට කැමතියි. එයාලා අපි උඩට එනවට කැමතියි.එයාලා අපිට ආදරෙයි. එයාලා අපිට උදව් කරනවා.එයාලා අපිට ගරු කරනවා. හැබැයි ඒ අපි එයාල යටින් ඉන්න තාක්කල්. අපි එයාලා අභිබවා උඩට යන්න ගත්තොත්.එදා ඉඳන් එයාලා අපේ ගමනට අකුල් හෙලනවා. සමාජයේ කට්ටක් කාලා උඩට ආපු හැම මනුස්සයෙකුටම අපේ සමාජය කියන දෙයක් තමයි. අද ඔහෝම හිටියට උන් හිටිය හැටි අපිනෙ දන්නෙ මා ඔබට ආරාධනා කරනවා. අනේ පව් ඌ අහිංසකයි. ඌට උදව් කරන්න ඕනේ. කියන තැනට වැටෙන්නැතුව ඕක හිටපු හැටි අපිනේ දන්නේ කියන තැනට වැටෙන්න. මිනිසුන්ගේ අනුකම්පාව ලබන්න ජීවත් වෙන්න එපා.මිනිසුන්ගේ ඉරිසියාවට ලක්වෙන්න. මොකද හැමෝම වල කපන්න බලන්නේ ඊර්ෂ්‍යා කරන්නෙ සාර්ථක මිනිස්සුන්ට.ඔබ ඔබවම සාර්ථක කරගන්න ඒ සාර්ථකත්වය ඔබව දවසක ඔබට වුවමනා තැනට ගෙන යාවි. එදා මට තේ කඩ දාන්න කියද්දි මම තෝරා ගත්තේ ඉගෙනීම. එදා මට සිකුරිටි කරන්න කියද්දි මම තෝරා ගත්තේ ඉගෙනීම.ඒ ඉගෙනීම නිසාම ජීවිතයේ ලැබෙන්න ඕනෙ හැම දෙයක්ම මට ලැබෙමින් පවතිනවා. අද වන විට ගුරුවරයෙක්, විදුහල්පති ශ්‍රේණිධාරියෙක්, බස්නාහිර පළාත සඳහා වූ සම්පත් දායකයෙක් . දරුවන්ගේ ජීවිත වෙනස් කරන දේශකයෙක්. ලේඛකයෙක්. මුළු දිවයිනටම සාමාදාන විනිශ්චයකාවරයෙක් ගුරුවරුන්ට දෙමව්පියන්ට අලුතින් දරුවෝ දිහා බලන්න කියලා දෙන ගමන්, ගුරුවරුන්ට දරුවන්ට බලාපාන නිති රීති අන පනත් ආදරනීයව කියාදෙන ගුරුවරයෙක් . ඉහත සියල්ලම මට කළ හැකි වන්නේ මා ලැබූ අධ්‍යාපනය නිසාමයි. මෙය බලන ආදරණීය දරුවනි මම ඔබෙන් ඉල්ලන්නේ. ඔබ අධ්‍යාපනය ලබන්න කවුරු මොනවා කිව්වත් අධ්‍යාපනයෙන් තොරව ජයක් නෑ. ඔබ ඔබටම පහනක් වන්න ඔබ ඔබගේ අභිප්‍රේරකයා වන්න. මම ඉන්දුක ප්‍රනාන්දුවිමෝති.. උඩහ පැත්තෙ උල්පතකින් එන වතුර පාරට හරහට පලපු උණ බට කෑල්ලක් දාලා හදා තියෙන උදේ දවල් රෑ නැතුව කොයිවෙලෙත් වතුර වැක්කෙරෙන පීල්ලට කකුල හරව
හරව අල්ලපු විමෝති වීරිය දාලා යටි පතුල් බිම ඇතිල්ලුවෙ චිරිස්ගාලා පෑගිච්ච ගොම ගොඩවල් හින්දා ඇඟිලි කරු අතර රැඳිල තිබ්බ බාගෙට වේලුණු ගොම දිහා හොර බැල්මක් දාමින්. පොල් මුඩ්ඩක් හොයාන ඕව අතුල්ල අතුල්ල ඉන්න කම්මැලි උන විමෝති පීල්ලෙන් බිමට වැටිල යන වතුර ගිහින් ගිහින් නතර වෙන කොහිල ගාල දිහා බැලුවෙ කොහිල දලු ඇතිද බලන්ඩ. ඒ බැලුවට ඉලුක්පිටිය හාමිනේගේ බලකිරිල්ලට එහෙන් මෙහෙන් කෑවොත් මිසක්කා විමෝතියා කන කොහිලයක් නැත. ඒකා කියන හැටියට ඒවා කන්ඩ ඕනෑ කොයිවෙලෙත් දුම්මලවරම ගත්තු ගමන් ඉන්න ඉලුක්පිටිය හාමිනේය. ඊයෙ හැන්දෑවෙ හරක්බාන දක්කාන යනගමන් පහළ දෙණියෙදි මුණ ගැහිච්ච සොපිනා නැන්දා මද්දුමී ඇවිත් ඉන්නවය,ඒකී බඩින් ය,කොහිල දලු ඇඹුලක් කන්ඩ ආසය,අනේ පුතේ තියේනම් ටිකක් ඇන්න වරෙං කියූ හින්දාය මේ විපරම. ඔය වාගෙ ඉල්ලීම් විමෝතිට ලැබෙන්නේ ඉලුක්පිටිය හාමිනේගේ වග ගම්මු දන්න හින්දාය. නිකන් හැදෙන කොළයක් ගෙඩියක් තියා ගොම්බෙට්ටක්වත් ගම්මුන්ට දෙන්ඩ ඈ අකැමැතිය. "ඕවට ඉඩ දුන්නොත් ඕකල කොයි වෙලෙත් බෑඟිරි ගාගෙන එන්ඩ ගනී" කීවාය. ඉලුක්පිටිය රාළහාමි ඉන්න කාලෙ නම් එහෙම නැතිය. ඒත් දැන් උන්දැ නැත. මිය පරලොව ගිහිනුත් හත් අවුරුද්දක් වෙලාය. ඉතිං මව්තුමියගේ තරම දන්නා විමෝති ඈට හොරෙන් හැකි විදියට ගම්මුන් ඉල්ලන දෙයක් ගෙනිහින් දුන්නත් ඉඳහිටක ඉලුක්පිටිය හාමිනේගේ අතටම හසුවූ අවස්ථාවල අහගත්තේ නැත්තේ කුණුහරුප විතරය. බාගෙට බාගෙට කකුල් හෝද ගත්ත විමෝති කුස්සිය පැත්තෙන්ම ගෙට ගොඩ උනේ බඩගිනි වැඩිකමට බඩ බුරු බුරු ගාද්දිය. මව පෙනෙන්නට නැත. "අම්මේ..." "ඕ...ඕ...හිටාන් හිටාන්. මේ ඩිංග අතුගාලම එන්නා..ං" අම්මා එනකන් ඉවසා වදාරන්ඩ බැරි උන විමෝතියා භාජනවල වැහුම් ඇර බලන සද්දෙ ඇහුණ ඉලුක්පිටිය හාමිනේ "රොටී පිච්චුවා ඕං..ලුණු මිරිස ගල උඩම ඇති. බෙදාගෙන කාහං.." කීවාය. හාමිනේ කියල කටගන්ඩත් කලින් මැටි අඩක්කුව අතට ගත්තු විමෝති රොටී තුනක්ම දමාගෙන කුස්සියෙ කොනක වහලයේ එල්ලා තිබ්බ හොඳටම ඉඳුණු ඇඹුල් කැනෙන් සුරුස් ගාලා ගෙඩි පහ හයකුත් කඩාගෙන කුස්සියෙ දොරකඩම වාඩි උනා. ඒත් එක්කම මෙච්චර වෙලා ලිප් බොක්කෙ ලැගල හිටිය බළල් නාම්බා බිමට පැනල විමෝති ලගට ඇවිත් දැවටෙන්ඩ පටන් ගත්තා. "ආ..ආවද හාමු මහත්තෙයා? ඉඳා ඉඳා කාපං" කියල බළලාට රොටී කෑල්ලක් වීසි කරපු විමෝති කෙසෙල් ගෙඩියක් ලෙලි ගහන් රොටිය කන්න ගත්තෙ අන්තිමට ලුණුමිරිස එක්ක කනවය කියල හිතාගෙන.පලවෙනි රොටිය කාලා ඉවරකරද්දිම වාගෙ කුස්සියට ආපු ඉලුක්පිටිය හාමිනේ හමෙ..අම්මෝ කියාගෙන කුස්සියෙ තිබ්බ ලී බංකුවට බර උනා. කුස්සියෙ දොරකඩට හොඳහැටි පෙනෙනෙ කුඹුරු යාය දිහා බලාගෙන කෙසෙල් ගෙඩියෙ තැලිලා බෙරිවෙලා ගියපු තැන් ඇගිල්ලෙන් හූරා විසිකර දාපු විමෝති ඒත් එක්කම තව රොටී කෑල්ලක් අතට අරගත්තා. දිමී..දිමී..ඉජො: ඉජො: දුවගෙන ඇවිත් ළගට ඒගන්න ටික ඉවසගන්ඩ බැරුව පස්ස ගාතෙන් බඩ යට මැක්කො කසාදාපු කට්ටයා විමෝති දිහා බැලුවෙ හරියට දිමිය විතරද මේ ගෙදර බල්ලෙක්ට ඉන්නෙ? මන් මොකාද කියන්නා වාගෙයි. හැබෑටම ඒකාට බල්ලෙක් කියන්න බැරි තරම්. ඒ තරම් කට්ට කෛරාටික වැඩ කරන හපුයියෙක්. ඒකනෙ ඔය කඩිය කියල ගෙදරට ලියාපදිංචි කොරපු නම තියෙද්දි කට්ටය කියල චිරප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. කොහොමින් කොහොම හරි "උබ දුන්න කමට ගන්නව ඕං කියන්නා වාගේ ඕනවට එපාවට විමෝති දුන්න රොටී කෑල්ල කට අගිස්සෙන් එල්ල ගත්තු කට්ටා ස්ත්‍රී පරාණයක් වාගේ තාලෙට හෙමීට ඉස්තෝප්පුව දිහාටම ගියා. "කොයි අම්මේ දිමියා?" "ඇයි උබ එක්ක උදේ පස්සෙං වැටුනෙ බං" "ආ..ආවෙ නැතෙයි? ජාමෙල් මාමලගෙ හල්ගහ යටින් නැවතුනා. මන් හිතුවා ඇවිත්ය කියල" "ඔහෙ ආපු ඇති එකක් නෑ. රැලට වැටිල ඇති එහෙනං ඔන්න" වැටිච්ච රැලේ ඉන්න බලු තඩියො දහය පහළොව අතරෙ පේළියෙ අන්තිම හරියට වෙලා ඉන්න සිද්ධ වෙන දිමියට කිසි ඵල ප්‍රයෝජනයක් වෙන්නෑ කියල මතක් උන විමෝතිට බකස් ගාලා හිනාගියා. "මහ සෝමෑලියා නෙව,ඔලුව පාත් කරාන ඇති වලිගෙත් දෙපා අස්සෙ ගහන්. කට්ටයා උනානම් ඕන් කොහොමින් කොහොම හරි ගිය රාජකාරිය ඉෂ්ට කරාන එයි" කියල හිතින් හිතුවත් කටින් නොකියපු විමෝති "දැන් ඉතින් එයි බරු ගහගෙන.."කියන ගමන් ලුණු මිරිස් තලියක් තවරපු රොටී කෑල්ලක් කටේ ඔබා ගත්තා. "අප්පෝ..අම්මෙ නයි මිරිස් දැම්මෙ නැද්ද?" "ඉවරයි බං,ගස්වලත් නෑ පැහිච්ච.ගැට තියෙන්නෙ" "උම්බලකඩයක්වත් දාලා නෑ" "ඉවරවෙලා බන්. හෙටනෙ පොළ" "කරෝලයෙක් හරි පුච්චල දාන්න එපැයි අප්පා. මෙහෙම කෑ හැකි යැ?" "උබලට පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්ඩ බෑ. මෙහෙ පරසුමේ කරල කරලම තුනටිය කොන්ද ගන්ඩ දෙයක් නෑ කැක්කුම මට. එව්වයෙ ගානක් නෑ උබලට" "ඉතිං උදව්වට කවුරුත් අඬගහගන්නවත් අම්ම කැමතියැ. ඕනිතරමට ගෑනු ඉන්නෙ ඔය ගංගොඩේ" "අනේ..ඕන් නෑ. ඕකුන් මේකෙ දාගත්තම ඔලුවෙ නගින්ඩත් එයි" "අම්මගෙත් බොරු මනස්ගාත. මේ ගේත් ගරාවැටීගෙන එනවා. මුකුත් පිලිසකර කරන්ඩවත් දෙනවයැ" "උබල ඕනි මඟුලක් කරගනිං මං මළායින් පස්සෙ. එතකන් මේ ගේ මෙහෙම තිබුනාවෙ. වලව්ව කියල නොකියන එක විතරයි. ඔය සමයං කරන්ඩ තියාගත්තම මේකෙ තියෙන ගරු ගාම්භීරෙත් නැතිවෙලා යනවා. "අම්මට ඕනෑ එකක් කරගන්ඩ" කියල ටිකක් සද්දෙන් කියපු විමෝති හිටිතැනින් නැගිට ගත්තා. "මට ඕනෑ හැටියට තමා ඔක්කොම කෙරෙන්ඩ ඕනෑ කොහිමත්. යසට හිටියි උබලෑ පදේට නැටුවොත්" "කහට ඩිංගක් දෙන්ඩ.." ඉලුක්පිටිය හාමිනේ තේ කහට පිළියෙල කරන්ඩ බංකුවෙන් නැගිටිද්දිම බළල් තඩිය විමෝති ළගින් දුවගෙන ගිහින් හාමිනේ ළග දැවටෙන්ඩ උනා. "දැන් ඉතින් උබටත් තිස්පහටත් කිට්ටු වෙච්චි. මේවා තනියම කරන් නැහෙන්ඩ මට බෑ තව. ගෙදර වැඩපළත් කරාන මේවත් බලා කියාන ඉන්ඩ... "අනේ අනේ මේ මට ගෑණු හොයන්ඩ නම් මහන්සි වෙන්න එපා ඕං" "අමුතුවෙන් මහන්සි වෙන්ඩ දෙයක් නෑ. හොයාන තියෙන්නෙ මං. අර මීවනපලානෙ ලොකු ස්කෝලෙ මහත්තෙයගෙ අක්කගෙ දුව. බාල එකී. ඒකිගෙත් තාත්තා නෑ නෙව. නොතාරිස් කන්තෝරුවෙනෙ රාජකාරි කරේ ඉස්සර." "කවුද අර කකුල නොන්ඩි ගහන එකී?" "එහෙම නොන්ඩියක් නෑ බං. ඕක මහ දෙයක් යැ. කොණ්ඩෙ බලහන්කො ඒකිගෙ. විදාහැරියම පොළවෙ ගෑවෙනව බං. මාගලක් එලාගෙන නෙව පීරනවය කියන්නෙත්. "හප්පේ..පංච කල්‍යාණි. දෙන්ඩ බැරියැ එහෙනම් මහ මාන්නක්කාරයෙක්ට." "උබේ හැටියට ඒකි ඕනිවටත් වඩා ගැලපෙනවා" "මගෙ හැටි?මොකක්ද මගෙ හැටි" "කලුවෙන් කලුවට උසට උසේ, විටහපේ ගහගෙන,අර මීහරක් බාන පස්සෙ වැටිලා ඉන්න උඹට රූප රාජිනියො හොයන්ඩයැ මං. ඒකීට ඇඳේ කීවට දත් වහල්ලත් යන්තන් බොල්ලෑවයි නේද උබගෙත්" "ඔව්වොව් මම කාලගෝලය. අරූ ගාමිණී ෆොන්සේකා. හරක් පස්සෙ යන්ඩ ඇරල බලාන ඉන්නැතුව අම්මාලට තිබ්බනෙ මටත් උගන්නන්ඩ." "උගන්නන්ඩ? හ්ම්..මොකද මං උබට කොටල පොවන්ඩ යැ? සේපාලයා ඔච්චර දුරකට ඉගෙන ගන්නෙ උගෙ හැකියාවෙං.." "අනේ අම්මේ මේ උබල මගෙන් අහගන්ඩ තියාගන්ඩ එපා ඒ හරිය. මෙතන මං මාගල දිගාරින්ඩ කලින් කට පියාන ඉන්ඩ" "උබ ඕන කුණුහරුපයක් නටාගනිං. හැබැයි මේක තීන්දුයි. එච්චරයි " "තීන්දු කරගන්ඩ අම්මට හරි සේපාලයට හරි. මං මේ ඇද කුද ඇති එකාය,එගෙන ගත්තෙ නැති එකාය කියල මෝඩයා ගානට දාලනෙ ඔය ගෑණු හෙවිල්ල කරල තියෙන්නෙ. එපා මගෙ බල්ලටවත් එපා.." "ඇයි උබ රූප සුන්දරියක් ගේන්ඩද? පුහ්.. උබත් එක්ක එන ගෑණු. හැබැයි විමෝතියො මොන ජනපද කල්‍යාණි උනත් මේ මායිමට අපිට නොපෑහෙන උන් එනු බෑ ඒක හොදට මතක තියාගං" "ගෙනාපු දාට බලාගන්ඩ ඔය ඇස්ගෙඩි දෙක ලොකු කරාන. මට ඕන්නැති කහටක් නෑ උබම බීහං අම්මේ.. කියාගෙන වතුර උගුරක්වත් නොබී එලි බැස්සෙ හදිසියෙම හිතට පැනපු හිතිවිල්ලක් එක්කමයී කුලප්පු වෙච්ච අශ්වයා වාගෙ ගෙදරින් පිටවෙලා ආපු විමෝති ඒ පිම්මටම තේ කඩේට ගොඩවෙලා සුරුට්ටුවක් පත්තුකරගෙන එළිබැස්සෙ එතන තාවර වෙවී ඉන්න හිතක් නැති හින්දා. එතැනින් හැරිල පාරට වැටෙන් නැතුව ලන්ද පැත්තට හැරුණෙත් කවුරුත් මුලිච්චි වෙනවට අකමැත්තෙන්. විමෝති හරක් බාන හොයන්ඩ එහෙන් මෙහෙන් හදාගත්ත අඩිපාරක්ම තමා ඉතින් ඒකත්. ආයෙ ඉතින් ලන්දද,මහ කැලේද කියල නෑ ඔය ඕනෑ එකක දනිපනි ගාලා යන්න හැකියාවක් විමෝතිට තිබ්බෙ හරක් පස්සෙ ගිහින්මයි. අඩියක් තියල අඩියක් ගන්ඩ බැරි කටුගාල් අස්සෙ ඒකා ඔහේ යනවා. ගමේ උන්නම් කියන්නෙ ඒකගෙ කකුල් ඇවිදලම හොඳට පදම් වෙලාය කියල. දැන්.සුරුට්ටුවක් ඇද්දට මොකද විමෝති එහෙම පුරුද්දට බොන එකෙක් නෙමෙයි..මේ වගේ හිතට මොකක් හරි බරක් දැනිච්ච වෙලාවකට තමයි. මීවන පලානෙ කෙල්ලගෙ නොන්ඩිය ගැන ඇදේට ඇහුවට මොකද විමෝති එහෙම කාගෙවත් නැති අඩුපාඩුකම්වලට කෝචොක් කරන එකෙක් නෙවේ. ඒකට ඩෝං ගියේ අම්ම තමන්ව දාලා තියෙන මට්ටම ගැන හිතලනෙ. අම්මෙක්ට පුලුවන්ද එහෙම තමන්ගෙ දරුවෙක්ට කුල කියවන්ඩ. එයැයිට ඉතින් සේපාලයට වැඩි එකෙක් නෑනෙ. මොකක්ද ඌ ටිකක් රතුවට උස මහතට හිටිය කියල ඒජන්ත යැ. අම්ම හිතාන ඉන්නෙ මන් මේ ගෑනියෙක් ගන්ඩ හැකියාවක් නැති එකෙක් ගානටනෙ. හ්ම්..කට වැහෙන්ඩම කියල එන්ඩ තිබ්බෙ. දැල්වෙන සුරුට්ටුවත් එක්කම විමෝතිගෙ සිතුවිලිත් ඇවිලෙන්ඩ උනා. විමෝතිට දීග ගන්ඩ ගෑනියෙක් හිටියෙ නෑ ඒක හැබෑව. ඒත් ඌට ගෑණු හිටියා. තුන් දෙනෙක්ම හිටියා. එයින් එකියකගෙ මිනිහාට අච්චු කරල මහ උළු ගෙදර. තව එකියක්ගෙ මිනිහා කොස් ගහකින් පත බෑවිල එලොව ගිහින්. අනිත් එකීගෙ පුරුෂය ඇළහර පැත්තෙ පතල් කර්මාන්තෙට ගිහින්. වැඩේ කියන්නෙ එවුන් තුන්දෙනාම හොඳහැටි පෙනුමයි. එයිනුත් මිනිහා ඇළහැර ගිය එකී නෙව වැඩේ. ළමයි දෙන්නෙක් ඉන්න අම්මණ්ඩියෙක් කියන්ඩවත් බැරි තරමට පෙනුමයි දැඟලිල්ලයි දෙකම. රතට රතේ ජම්බු ගෙඩිය වගේ ඉන්න ඒකී මොකට තමන්ට වහ වැටිලද කියල විමෝතිට හිතාගන්ඩත් බෑ. ඒකා එහෙම හිතුවට ඒකී වහ වැටිල ඉන්නෙ විමෝතිට විතරක් නෙමේය කියල විමෝතිය අදටත් දන්නෙ නෑ. ඔය හපන්කම් අම්මට කිව්වැකියැ. කොහොමින් කොහොම හරි සුරුට්ටුව ඇදල ඉවර වෙද්දි විමෝතිගේ කේන්තියත් ඒත් එක්කම දුම් වලාවක් වගේ හෙමීට ඈතට ගියා. අල්ලපු ගමේ පන්සලක ඉලුක්පිටිය රාළහමිගෙ බාලම මල්ලි ඒ කිව්වෙ විමෝති ගෙ බාප්පා පැවිද්ද අරන් ඉන්නවා නායක තැනත් උන් වහන්සේම තමා. විමෝතියට මොකක් හරි හිතට
කොස්සක් ආවොත් හුඹහට ඇදෙන තලගොයා වගේ ඒකා යන්නෙ එහෙට. සමහරක්විට දවස දෙක නැවතී එයි. අදත් එළි බැස්සේ එහෙම හිතාගෙන උනත් මේ වෙද්දි දියාරු වෙච්ච කේන්තිය ඒ තීරණය වෙනස් කරා. හරක් ටික ගාල් කරන්නෙවත් කවුද? උන් නන්නත්තාර වෙයි. ගියපාරත් මංමුළා වෙලා තිබ්බනෙ දෙතුන් දෙනෙක්. පව්..මොනා දන්නවටයැ තිරිසන්නු. රබර් කෑල්ලෙ ගල් තලාවක් උඩට වෙලා ටිකක් විවේක ගත්තු විමෝති ආයෙත් ඔහේ ඉස්සරහට ගියේ එහෙමට යන්ඩ දිහාක් හිතාගෙන නෙමෙයි. රබර් කෑල්ලත් එක්ක තියෙන දෙණිය පහුවෙලා ඩිංගක් දුර ගියාම මහ විශාල ඉඹුල් ගහක් හම්බෙනවා. එතනින් වම් පැත්තට ගියොත් දියේනිස් මාමලගෙ ගෙවල් දිහාව. අනිත් අතට ගියොත් හේනේ මාමලගෙ ගෙවල් දිහාව. හේතුකවද අහේතුකවද මන්ද විමෝති හේනෙ මාමලගෙ ගෙවල් දිහාවට හැරුණා. ගෙවල් දිහාවට කිට්ටු වෙද්දි කැහැපොට ගහන් හිටි සරම කඩා දාගත්ත විමෝති තමන් එනව දැකපු බලු කුක්ක බුරා හැලෙන්ඩ ගත්තම ඔක්කොම පැත්තක තියල ඌව හුරතල් කරන්ඩ ගත්තා. විමෝතිය කොහෙ ගියත් සත්තුන්ට කරුණාවයි. තාත්තා ඉන්න කාලෙ තෙපානිස් මාම ලව්ව බලවපු මී බාන ඒ දෙන්නම මිය පරලොව ගියාම ඒකෙ වගකීමත් තමන්ගෙ පිට පටවගත්තෙ ඒකයි. උන්ව කොහේ කාටහරි දීල දාන්ඩ හිත දුන්නෙම නෑ. එදායින් පස්සෙනෙ ඉස්කෝල ගමනයි ඔක්කොම නැවතිල හරක්බාන පස්සෙ වැටුණෙ. කොහොම හරි විමෝතිගෙ හිත අඳුරගෙන වගේ බලු කුක්කත් හීලෑ වෙලා ඇඟෑලුම් පාන්ඩ උනා. "හප්පේ..පොඩි රාළහාමි, සෑහෙන කාලෙකින් ඇවිත් ඕං" "එළිවෙනව රෑ වෙනව නෑ මාමා. හරක් ටිහ පස්සෙ වැටිල ඉන්නවා. කුඹුරු කාලෙටඔලුව උස්සගන්ඩ බෑ. දැන් නම් ටිකක් නිදහසයි. ආයෙ යලට බැස්සම තමා. කුඹුරු හාන කාලෙට විමෝතිටයි මී බානටයි ඕසෙට වැඩ. එහෙ මෙහෙ අරහෙ හැම තැනින්ම එන්ඩ කියාගත්ත ගමන්. වෙලාවකට දුර ගම් පළාත් වලටත් යන්ඩ වෙනවා. එතනින් ගියාම ඉලුක්පිටිය රාළහාමි ගෙ කුඹුරු ටික බලන්ඩ කරන්ඩත් එපැයි. එහෙන් මෙහෙන් කෑල්ල දෙක අඳේට දීලත් තියෙන්නෙ විමෝති ට තනියම ඔය ඔක්කොම බදාන කරන්ඩ බැරි හින්දා. මොකෝ සේපාලය කරනව කියලයැ. නිවාඩුවකට ආවත් ඌ පොත අස්සෙ ඔලුව ගහන්. ඒ විතරයැ ගොයම දලු දා ගෙන එන දා ඉඳන් පැහිල නෙලනක්න්ම මී බානෙන් පරිස්සම් කරගන්ඩත් එපැයෑ. නැත්නම් ගම්මුන්ගෙ නඩු අහන්ඩත් සිද්ධ වෙනවා. "ඒකනෙව, පොඩි සන්දියෙ නම් නිතර වගේ ආවනෙ පොඩි රාළහාමි" ඇත්තය. ඉලුක්පිටිය රාළහාමිගේ ඇඳුම් අරන් සේදර ආච්චි එක්ක නිතර ආවා මතකය. රාළහාමි මගුලට,මරණෙට ,දානෙට ගමන බිමනට ඔය මොකේට ඇන්දෙත් ජාතික ඇඳුමය. ඒක ඇද කුද නැතුව සීරුවට පිරිසිදුවට තියෙන්ඩ ඕනෑ හින්දා හේනෙ මාමට ඒ රාජකාරිය භාරවිය. ඒත් ඉතින් ඉලුක්පිටිය රාළහාමිගේ මරණෙත් එක්ක ඒ රාජකාරියත් යෑම ඒමත් එහෙම්ම අහවර උනානෙ. "පොඩි රාළහාමි මේ කොහෙන්වත් කමක් නැත්නම්.. කියාගෙන ඔලුව කසන හේනෙ මාම කියල ඉවර කරන්ඩත් කලින් මේං මෙතන හොඳා මාමා කියාගෙන පිලේ බිමින්ම ඉඳගත්තා. "ඒඋනාට.. "කෝ හේනේ නැන්ද නැතෙයි?" "ඕං කෙල්ලො තුන්දෙනත් එක්ක දොළ පිට්ටනියට ගියා රෙදි වේලෙන්ඩ දාන්ඩ. කොල්ල නම් මද්දුමීලගෙ අහ ගිහින් එන්ඩ ගියා" හේනෙ මාමට කෙල්ලො හතරකුයි කොල්ලෙකුයි ඉන්නෙ. මද්දුමී දීග ගිහින්. දෙවෙනියත් දීග දෙන්ඩ තීන්දු කරන්. ලොකු කෙල්ලට නම් එහෙම වගක් නැතුව වාගෙ ඉන්නවා. ගමේ කෙළවරට වෙන්න ගහකොළ පිරිච්ච නිස්කාසුවෙ ඉන්ඩ කියාපු තැනක් පිහිටල තියෙන හේනෙ මාමගෙ ගෙදර ගැන විමෝතිටත් ආසා හිතුනා. ඒ ඉඩමෙ නැති දෙයක් නෑය කියල වටපිට බලපු විමෝතිට හිතුනා.ඔහොම හිතන් ඉන්න අතරෙ රෙදි දාන්ඩ ගියපු අම්මල දුවල ආවා. විමෝතිගෙ ඇස් උඩගියෙ හේනෙ මාමගෙ ලොකු කෙලී දැකල. අර නාවර පෙරාන හිටිය හඩ්ඩ හපුට්ටිද යකෝ මේ? රතටත් නැති කලුවටත් නැති ඒත් තළෙලුත් නොවන පාටක් ඒකිට තිබ්බේ. පිරුණු ඇඟපත නාඹර ළමිස්සියකගෙ වගේ දිස්නෙ දුන්නා. ඒකිට තිහට වැඩි මිසක් අඩු වෙන්න බෑ. වැඩිමලානෙව. විමෝති දැකපු හේනේ නැන්දත් ඔලුව ඇල කරල හිනා උනා. ගෙදෙට්ට ආපු අමුත්තෙක්ට ඇති හැටියට සංග්‍රහ කරන එක හේනේ නැන්ද අඩුවක් නැතුවම කරාට අද ඇය මඳක් විපිලිසර උනේ ගමේ සමහරක් ඈයො තමන්ගෙ ගෙවල්වලින් කන්න බොන්න පස්ස ගහන හින්දා. විමෝතිත් එහෙම මාන්නක්කාර පවුලකින් ආ කෙනෙක් හින්ද මොකක් කරන්ඩද හිතාගන්න බැරි හේනෙ නැන්ද, හේනෙ මාම දිහා බැලුවා. තේ ටිකක් බොමුද කියල අහන්ඩ යැ? කොහොමින් හරි මේ දෙන්නගෙ හිත කියෙව්වා වගේ විමෝතිම ඉදිරිපත් වෙලා පිළිතුරක් දුන්නෙ මේ වෙද්දි තේ කහට ඩිංගක උවමනාව තදින්ම දැනිච්ච හින්ද. අම්ම එක්ක ආරෝවෙන් නොබී ආවට මොකද විමෝතියට ඔය උදේ කහට එක නැත්නම් මොකක්දෝ වාගෙ. අනික් අතට විමෝතියගෙ නෑ ඔය කුල මල බෙදිල්ලක් කොහොමටත්. උගෙ හිතට ඇල්ලුව නම් ආස්සරේ කරා. "නැන්දෙ තේ ඩිංගක් බොමුකො" සෑහෙන සැනසීමකින් හුස්මක් උඩට ඇදල එලියට දාපු හේනේ නැන්ද කේතලේ ලිප තියන්ඩ කුස්සියට යද්දි කෙල්ලො ටිකත් පස්සෙන් ඇදුනා. ආයෙ එකෙක්වත් ආවෙ නෑ. විමෝති හේනෙ මාමත් එක්ක යටගිය තැන් අවුස්සන්න ගත්තා. වැඩිහරිය ඉලුක්පිටිය රාළහාමි ගැන තමා ඉතින්. ටිකක් වේලා ගිය තැන හේනේ නැන්දා තේ අරන් එද්දි විමෝති විමසිල්ලෙන් බැලුවෙ ලොකු එකීත් ඒ එක්කවත් එනවද කියල. ඔහෙ නෑ. "අනේ නැන්දෙ වතුර ටිකකුත් දෙනවද කට ඩිංගක් හෝදගන්ඩ.විට කහට" "අනේයි මට අමතක උනානෙ. හිටින්ඩ පොඩි රාළහාමි. සෙදෝ..ඔය වතුර ටිකක් අරන් වරෙන් මයෙඅම්මා.." අන්න හරි දැන් ටක්කෙටම මතක් උනා. සෙදෝනා ඒකී සෙදෝනා. අපරාදෙ මෙච්චර හතර දික්බාගෙ කරක් ගහන එකේ මේ හරියට හරක්බානවත් දක්කන්ඩ ගානක් උනේ නැති හැටි මට. ෂැක්..විමෝතිගෙ කල්පනා ලෝකෙ බිඳුනෙ සෙදෝ ඇවිත් ඒකා ලගින් වතුර ජෝගුවයි වීදුරුවකුයි තියද්දි. තප්පරේකින් ඇසිල්ලකට ඉදිරියට නැමුණු සෙදෝගෙ හැට්ට කර අතරින් පිපිරෙන්න ඔන්න මෙන්න වායෙ තියෙන ළැම පෙනී නොපෙනී ගියෙ විමෝති පැත්තට හැරෙද්දිමයි. "කෙල්ලෙ වතුර ටික වීදුරුවට දා ගිය" ඒ වතාවෙ නම් මතක හිටින තරමට සෙදෝගෙ අඩනිරුවත් පියොවුරු දැකබලාගන්ඩ විමෝතිට හැකිඋනා.වතුර එක වක්කරල ඒකී ආපිට හැරිල යද්දි දිගට දිගේ පස්සෙන් පල්ලෙහාට කඩා හැලෙන ගොතා තිබ්බ කොණ්ඩෙත් තාලෙට එහෙට මෙහෙට උනා. එවෙලෙ හිටන් විමෝතිගෙ හිතට මොකක්දෝ උනා. ගෙදරින් පිටවෙද්දි තිබ්බ නොරිස්සුම හේනෙ ගෙදරින් පිටවෙද්දි හොඳටම දියාරුවෙලා තිබුණා.කොහොමින් හරි එදායින් පස්සෙ විමෝති සෙදෝගෙ දිහෑවෙ යන එක දිගටම උනා. මෙහෙම පටන් ගත්ත ගමන පෝය හය හතක් ගිහුං පැමිණිය එක්තරා දවසක හේනේ මාමලගෙන්වත් ඉලුක්පිටිය හාමිනේගෙවත් අවසරයක් තියා ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම විමෝතියා සෙදෝව ඉලුක්පිටිය රාළහාමිගේ ගෙදරටම කැන්දාන ආවා. ඔව් ඕන ඉලව්වක් උනාවෙ කියල කැන්දාන ආවා. උන් එද්දි ඉලුක්පිටිය හාමිනෙ හිටියෙ හුණුඩුවෙන් හාල් ගන්න ගමන්. හාල් හුණ්ඩුව ටාං ගාල බිමට අතෑරිලා ගියා උනත් වචනයක් නොකිව්ව ඉලුක්පිටිය හාමිනේ වේගෙන් වේගෙන් ගිහින් කාමරේට රිංගාගත්තා. එදායින් මනතට ඉලුක්පිටිය හාමිනේගෙ අත්දෙකෙන් හැදිච්ච කෑමක් විමෝතිලට නම් කන්ඩ උනේ නෑ. ගෙයින් එලියෙ තිබ්බ වසා දාපු පරණ කුස්සිය තිබ්බ හින්දා විමෝතිට ගැටලුවක් උනෙත් නෑ. කොහොමින් හරි අම්මට පාඩමක් උගන්නන්ඩ ගෙනාපු රූප සුන්දරී එක්ක වැඩි දවසක් තියා එක දවසක් හොඳින් ඉන්ඩ බැරි උනේ විමෝතිගෙ හීන මාළිගවම සුන්නත්දූලි දූලි වෙලා යද්දි. කොටින්ම මේ මොකක්ද මේකීට උනේ කියල හිතාගන්ඩ බැරි තරමට විමෝති අසරණ උනා. කැන්දාන ආපු දවසෙ රාත්‍රියෙ සෙදෝට කිට්ටු කරගන්ඩ විමෝතිට බැරි උනා. "අන්න අරහෙට යනවා, මී ගොං ගන්දස්සාරෙ බෑ. විට හක්කත් පුරෝන.. කියල මහ සැරෙන් කියපු සෙදෝ අනිත් ඇලේට හැරිල නිදන්ඩ උනා. යකඩෝ අර ආලවට්ටම් කතා කිය කිය ලාමක තාලෙට කතා කරන් හිටපු එකී නේද මේ?මේකිට මොන යකෙක් වැහිලද කියල හිතාගන්ඩ බැරිව ගිය විමෝති ආයෙත් හෙමීට කිට්ටු කරා. එයින් කේන්තියෙන් කඩා හැලුණු සෙදෝ දීල ඇදපු කකුල් පහර කෙලින්ම ගිහින් විමෝතිගෙ පුරුෂ නිමිත්තෙ වැදුණයින් වේදනාවෙන් බෑඟිරි ගාගෙන දොර ළගට විසික්ක වෙලා ගියා. එදායින් පහුවදා ඉදන් කන්ඩ බොන්ඩ ටික ගෙදර දොර වැඩ නූල් පොටක තරමේ අඩුවක් නැතුව සෙදෝනා අතින් සිද්ධ උනත් අහවල් කාරිය කරගන්න එකනම් උනේම නෑ. ඒ තියා වැඩි පයුරු පාසනමක්වත් දෙන්න අතර තිබ්බෙ නෑ. කොටින්ම සෙදොයි ඉලුක්පිටිය හාමිනෙයි ඉන්න හැටියටම වැඩි හා හූවක් නැතුව තමා විමෝතිටත් සෙදෝ එක්ක ඉන්ඩ උනේ. ස්වාමි පුරුෂය වශයෙන් ඒකිත් එක්ක අහවල් කාරිය කරගන්ඩ බැරි උනාටත් වඩා විමෝතිට වේදනාව ඒකි තමන් එක්ක වැඩි කතා බහක් නැතිකම. රූපෙට හිතගිය එක හරි ඒ උනත් කල් යද්දි යද්දි ඒකි ගැන කැක්කුමක් උපදින්ඩ උනානෙ හිතේ. ඒකනෙ ඔන එකෙක්ට ඕන කුදයක් කියල කැන්දාන ආවෙත්. නැත්නම් බැරියැ අර මිනිහ මල එකී බැරිනම් අනිත් එකියක් හරි කැන්දාන එන්න. ඒත් ඉතින් ඕවා විමෝති හිතින් හිතුවාට වැඩක්‍ යැ. වැඩිය කතාවෙන් හරි වද වෙන්න ගියොත් ඕකි මොකෙන් දමල අරීද කියල කවුද දන්නෙ. අනේ හැබෑට හතර රියන් පුරුෂ පරාණත් ඇඹේණිට බය හැටියක්. හිත එහෙන් මෙහෙන් කැකෑරෙන්ඩ උනත් කසාද ගෑනිනෙව ඕක ටික දොහකින් හරියාවිය කියල විමෝති ඉවසා වදාරන්ඩ උනා. අනිත් අතට ලැජ්ජාව, අම්ම පශ්චාත් භාගෙනුත් හිනාවෙයි. කොහොමින් හරි ඔහොම කාලය යද්දි අලුත මනමාලි ආවට පස්සෙ දාක සේපාල නිවාඩුවට ගමරට බලා ආවා. ඒකා එනවාය කියල දන්නල එවා තිබ්බ හින්දා විමෝති වෙනද වාගෙම සේපාලය කන්ඩ බොන්ඩ කැමති ජාති ගෙනෙන්ඩ උනා. ඔව් ඌ මොනා උනත් එකම මල්ලි කියල සහෝදර කැක්කුමට හිටියා. විමෝති ව්‍යාපාරයක් විදියට නොකරට මීකිරි හදන්ඩත් දන්නව. ඌ නොකරන්නෙ ඕකත් බදාගත්තොත් නිවනක් නැති හන්ද. හැබැයි ඉතින් මෙන්න මේ වගේ සේපාලය එන්න කිට්ටු කරාම විමෝති මීකිරි මුදෝනවමයි. ඒ විතරක් යැ ගමෙන් බැරි උනොත් අහල ගම් පීරල හරි කිතුල් පැණි බෝතල් දෙක තුනකුත් උස්ස එනව. කොටින්ම කියනව නං සේපාල ඉන්න ටික දවසට විමෝතිට හරි ප්‍රීතියක් දැනෙනවා. අපරාදෙ කියන්ඩ බෑ සේපාල ආවයින් පස්සෙ සෙදෝනත් තමන්ගෙ සහෝදරයෙක්ට වගේ ඌට සැලකුවා. ඉලුක්පිටිය හාමිනේගෙ නම් රැවිලි ගෙවිලි විතරක් ආවෙ සේපාලයවත් දපනෙ දාගන්ඩ හදනව වේසාවි කියල. අම්ම එහෙම කියන්නෙ
එයැයි කොහොමත් සෙදෝ එක්ක තරහින් ඉන්න හින්ද බව විමෝති මුලින් හිතුවත් ඇත්තටම ඒක එහෙමද කියල විමෝතිටත් හිතෙන්ඩ ගත්තා. තමන් එක්ක වැඩි කතාවක්ව්ත් නැති සෙදෝ සේපාලයත් එක්ක කතාවට කැකිරිපලද්දි, තමන් සේපාලත් එක්ක ගමපුරා කරක් ගහල එද්දි ගිරිස්මෙට ඉහින් කනින් දාඩිය වැක්කෙරෙද්දි "අයියට අව්වෙ ගිහින් තිබහත් ඇති නෙව කියාගෙන දොඩම් මිරිකල දෙද්දි, ඉලුක්පිටිය හාමිනේටවත් ඉඩක් නොතිය බලහත්කාරයෙන් ම සේපාලගෙ කෑම බීම ගැන බලද්දි විමෝතිට අම්ම කිව් කාරාණෙත් සත්‍යයක් තියෙන බව හිතුනා. ගමනට අඳින චීත්ත හිටන් නා ඉවරවෙලා ඇඳන් කොණ්ඩෙත් කඩා විදාගෙන සේපාල ඉන්න දිහාවෙන්ම එහෙට මෙහෙට කැරකෙද්දිත් එහෙම හිතුනා. උසට මහතට ඉන්න සේපාලයා පිච්චර් එහෙක ඉන්න නලුවෙක් වගේ ලස්සන බව හැබෑව එහෙමය කියල මන් කසාඳ මිනිහ වෙච්චි ඌ මගෙ මල්ලි වෙච්චි මේකිට වටිනවද එහෙම හිතන්ඩවත්. විමෝති සේපාලගෙ ප්‍රතිචාරෙ ගැන ඇහැ ගහන් හිටියත් එහෙම වැරදි දෙයක් අල්ලාගන්ඩ උනේ නෑ. ඌ සහෝදර කමට ඉන්නවා. කොහොමින් හරි විමෝතිගෙ කේන්තිය පුපුරාගියේ මෙච්චර කල් චීත්ත හැට්ට ඇන්ද එකී ගවුම් අදින්ඩ පටන් ගන්ඩ යද්දීය. පිච්චර්වල ඉන්න ගෑණු වායෙ කලවත් උඩින් වෙන්න ගවුම් අදින්ඩ ඒකිට ඕනි විය. තනියම ඔය වැඩේ කරගන්ඩ බැරුව මිසක් සෙදෝ ඕක විමෝතිට කියන්නේද නැත. මේකිට නම් අමුතු රුදාවක් හැදින් එනවාමය කියල යක්සාවේශ උන විමෝති අන්දන්නං උබට ගවුම් කියල හිත යටින් හිතා ගත්තා. මේකි මේ මගෙ ඔලුව පාගන් ඉන්න හින්දනෙ මේ මාන්නෙ. ඕකි හිතාන ඉන්නෙ මං ඒකිට බයේ ඉන්නවාය කියල. කැන්දාන ආපු දා රෑ වෙච්ච දෙයින් තමාය මේ සේරම. එදා පීචං වෙලා කට වහන් නොඉඳ ඕනෑ දේ කරගත්ත නම් මේ මුකුත් නැතිය. අද මේ දෙකෙන් එකක් බේරාගන්ඩ ඕනිය කිය කියා හිතින් හිතුවත් මෙහෙම පියවි සිහියෙන් නම් ඕවා කරන්ඩ බැරිවෙයි කියාලා කවදාවත් නැතුව හවස දිහාට තේගිසාගෙ රා තිප්පොළ දිහාවෙ යන්ඩ හිතා ගත්තා. විමෝති ගෙයින් පිටවෙලා යද්දිම වාගෙ සෙදෝගෙ මලය පණිවිඩයක් අරන් ආවෙ මද්දුමී ගෙදර ඇවිත් ඉන්නවය, උබ බලන්ඩ ආසය යමන් ගිහින් එන්ඩ කියලය. ඒක ඇහුණු ගමන් කුස්සියෙ තිබ්බ අතට අහුවෙච්ච කන බොන ජාති ටිකක් ඔතාන සෙදෝ මහගෙවල් පැත්තෙ ගියා. කාලෙකින් මුණගැහුනු අක්ක නගාලා කට්ටිය කිචි බිචි ගගා ඉද්දි දන්නෙම නැතිව බිම් කරුවල වැටිල තිබ්බා. සෙදෝගෙ මල්ලි හදිසියෙ භාර දෙන්ඩ තිබ්බ රෙදි වගයක් අරන් පිටගම් ගිහින් තිබ්බ හින්දා හේනෙ මාමට කරදර කරන්න නොගිය සෙදෝ, අම්ම බාල නංගිත් එක්ක ඇරලවන්ඩ එන්ඩම හදද්දි එපා කියල අඩිය ඉක්මන් කරල ආවේ හුලු අත්තකුත් පත්තු කරගෙන. විමෝතිටවත් කියල එන්ඩ විදියක් උනේ නෑනෙ කොහෙද ඉතින් ගෙදර ආව කියල අර අම්මන්ඩිවත් පයින්ඩයක් දෙයි යැ මන් මහ ගෙවල් දිහා ආවය කියල. හැබැයි ඉතින් කීවා නොකීවා මන් ගෙදර නැති වෙද්දි හොයාන එනව උන්දැ. මොකෝ දන්නෑ කියල හිත හිතා යද්දි එකපාරට හුළඟෙ සැරට හුලු අත්ත නිවීගියා. ලග පාතක පේන්ඩ ගෙයක් නොතිබ්බත් තව අඩි කීපෙකට එහායින් තියෙන මහ උළු ගෙදර ගියපු සීටිංගෙ ගෙවල් තියෙන තැනට දුවගෙන වගේ ගියෙ උනැදැගෙ මායියගෙන් ගින්දර ටිකක් අරන් හුලු අත්ත අවුලුවාගෙන යන්ඩ. සෙදෝ මිදුලෙන් එහෙන් මෙහෙන් පැනල කුස්සිය පැත්තෙන්ම ඒකිට අඬගාන්න ගියේ එතනින්ම පත්තු කරාන යන්ඩ හිතන්. ඒත් කවුදෝ කතා කරන හඬ ඇහිච්ච සෙදෝ උන් තැනම නතර වෙලා ආපහු හැරෙන්ඩත් හදල ආයෙ ඉස්සරහටම ගියෙ ඉන්න එකෙක් ඉන්නැතැයි මොකෝ මං කරුවලේ යන්ඩ යැ කියල හිතන ගමන්. "මොකදෑ අප්ප හදිසිය. පොඩි එව්වො දෙන්න බුදියගන්නකන් ඉන්ඩකො " "හදිසි නෙවෙන්නම්, හෙටින් නිවාඩුත් ඉවරයි. වේලෙන්ඩ එපැයි ඊට පස්සෙ" "අපොයි ඔව්. ඔය විස්ස විද්දාලෙන්ම නෝන කෙනෙකුත් හොයාන ඇති දැන්. කැන්දන් ආ දාට අපිටයි වේලෙන්ඩ වෙන්නෙ" "ඒව එදාට බලමුකො." දෙයියනේ සේපාල..පිටිපස්සෙන් හිටන් දරු දෙන්නෙක්ගෙ අම්ම බදාන ආලවට්ටම් පාමින් හිටි සේපාල දැකල සෙදෝ ගලගැහුණා. මූ මේ ජාතියෙ එකෙක්ද එහෙනම් කියල සේපාල ගැන ආපු අපුලෙන්ම ආපහු හැරුනෙ හුලු අත්ත එතැනම අතෑරල. හුළු අත්ත පත්තු කරන්ඩ ආවාට පත්තු උනේ තමන්ගෙ හිත නෙමෙයි ද කියල සෙදෝට හිතුනා. ඒ ආවේගෙන්ම කලුවරේ වැටි වටි හැල්මෙ දුවන් ආපු සෙදො හති ඇරියෙ විමෝතිගෙ ගෙයි මිදුලෙ ඉඳන්. ඒ පස්සෙන්ම වාගෙ මේ මුකුත් ගැන හාංකවිසියක් නොදන්න විමෝති ටිකක් සප්පායම් වෙලා හෙමීට ආවෙ උදේ හිතා ගත්ත විදියට දෙකෙන් එකක් විසඳගන්ඩ බලාන. රා මතේ හින්ද හිතට හයිය තිබ්බා. ඒ උනත් විමෝතිට හිතන්ඩවත් වෙලාවක් නොතියා ඒකගෙ අතින් ඇදගත්ත සෙදෝ යමන් නාන්ඩ කියල පිටිපස්සෙ පීල්ලට ගියා. සීතල වතුරින් නාගනිද්දි සෙදෝගෙ තැවිල්ලත් මහන්සියත් දියවෙලා යද්දි මොනා වෙනවද හිතාගන්ඩ බැරි විමෝතිගෙ රා මතෙත් ටික ටික හේදිලා ගියා. මේ රෑ නටන නාඩගම මොකක්ද බලන්ඩ ඉලුක්පිටිය හාමිනෙත් කාමරේ ජනේලෙ ඇරල ලාම්පු කුප්පිය එහෙක් මෙහෙක් කර කර විපරම් කරා. "වරෙන් නැන්දම්මෙ නාගන්ඩ.." කියල සෙදෝ මහ හයියෙන් කියද්දිම දඩාස් ගාල ජනෙල් පියන් වැහිල ගියා. ඊටත් පස්සෙ නා හමාරවෙල කාමරේට ගියපු සෙදෝ විමෝතිට පාඩුවෙ ඉන්ඩ ඇරල කොන්ඩෙ තෙත මාත්තු කරන් හැඩ වැඩ වෙන්ඩ උනා. විමෝතියා ඇඳ විට්ටමට හේත්තු වෙලා ඔහේ උඩ බලාන ඉද්දි කාමරේ ජනෙල් හායි ගාලා ඇර දාපු සෙදෝ එයින් එන හුළගට ලාම්පු දැල්ල නිවී යන්න ඉඩ දීලා හෙමීට විමෝති ළගින් ඇලවුණා. රඹුටන් ගහට වහපු වවුල්ලු සද්දෙට තටු ගහල නිහඬ උනා. ඈතින් ඇහෙන බල්ලෙකුගේ බිරුමත් හුළගේ ශබ්දයත් ඇරෙන්නට වා තලයට මුසු උනේ සෙදොගෙත් විමෝතිගෙත් කෙමෙන් වැඩෙන සුසුම් සද්දෙ විතරයි. කාමරේට රිංගන්ඩ හදන කණාමැදිරියන්ටත් වැටෙන්ඩ හදන තරු එළියටත් ඉඩක් නොතියාම හුළගෙ සැරට ජනෙල් පියන් වැහිලා ගියා. ඊටත් සෑහෙන වෙලාවකට පස්සෙ අඩුවේගන යන සුසුමෙ වේගයත් එක්ක නිස්කාන්සුවෙ සෙදෝගෙ පියොවුරු අතර මුහුණ හංඟාගත්ත විමෝති ඇස් පියාගෙන මහා සැනසිල්ලක් වින්දා. "මයෙ මැණිකෙ ළග සමන් පිච්ච පුසුඹයි.."# **--- බැරැස්සි බොණ්ඩි ---** දශකයකට පසු ගමට වක්කලම් මානය වුණු ගුණේ අයියා, කෙළින්ම ගාල් වුණේ උන්දැගේම බාප්පලෑ ගෙදර. බාප්පගේ නම සමරතුංඟ. බාප්පා කිව්වට ඒ හැටි වයසක් නැහැ, යාන්තම් හතලිස් පහ මලක්කම ගැහුවා විතරයි. බාප්පගේ යාවාරම වුණේ ගව පට්ටි පාළනය නොවයි, උන්දැ වඩු කරුමාන්තයේ දක්ශයෙක්, තමන්ටම කියලා වඩු මඩුවක් ගම් වාටියේ අටවාගෙන තිබුණා, අතමිටත් යහමින් තිබුණා. සල්ලි වාකරේට තිබුණත්, උන්දැටත් ගම්මැද පිළිගැනීමක් නැහැ, ගෙරි පැටිකිරිය උන්දැ පසු පසිනුත් සංසාරෙ වාගේ ලුහුබඳිනවා. කොයි කාගෙත් කෝචොක් තෝංචි කරලා, තමන්ගේ තරාතිරම කඳු නග්ගන්න මාන බලාගෙන වුණ්නු ගුණේ අයියලෑ බාප්පට, දෑවැද්දට ගොඩ මඩ, කණ කර, කාසි පනම්, ඕසෙටම තියන කුල පතිණියකගේ මංගල දැන්වීමක් ඇස ගැටුණා; **උඩරට බොදු රදළ, උස 5'.6" දායාද හිමි රූමත් දියණියට, සුරාව සූදුවෙන් තොර, වරදට සමාව දෙන ගුණ යහපත් සහකරුවෙකු, මව සොයායි. (පාසැල් සමයේ නොදැණුවත්ව සිදු වූණු සුළු වරදක් නිසාවෙන්, දරුවෙකු සිටිනා බව සලකන්න)** ගුණේ අයියලෑ බාප්පා දෙපාරක් හිතුවේ නෑ, වරදට සමාවත් දීලා, චාමෙට මගුලකුත් කාලා, කුමාරිහාමිව ගමට කැන්දාගෙන ආවා. පැණි හඳ මෝරාපු මංගල රාත්‍රියේ, ගුණේ අයියලෑ බාප්පා කුමාරිහාමි ගේ කණට කිට්ටු කරලා, කං හැන්ද බාසාවෙන්ම දාලා, යට ගියාවේ කලාඳුරු හාරා අවුස්සා බැලුවා. ඔය කියන තරමේ අහස පොළව නුහුලනා වරදක් ඒ අවිහින්සක කුමාරිහාමි අතින් සිදු වෙලා නැහැ. කුමාරිහාමි උංගි සන්දියේ බයිසිකල් පැදලා, එක පාරම බලංසෙ නැතිව ගිය බයිසිකල් කටුව, අනේ බටු පාත්තියක් උඩටම පෙරළිලා. එතකොට දරුවා? දරුවා රෝස කැලෙන් ඇහින්දෝ දඩිං බිඩිං ඩෝං කියාපු කුමාරිහාමි, එකපාරම කුප්පි ලාම්පුව නිමුවා.... අලුත කැන්දාගෙන ආ මනාලිය ගැන, ගුණේ අයියලෑ බාප්පගේ පූච්චානම ගම්මැද දෝරෙ ගලනවා. කරමලේ මැර බැහැපු ගං කුකුළෙක් වාගේ, වේලි වේලි හිටපු ගුණේ අයියලෑ බාප්පා, කැන්දාගෙන ආ තුනුවඟ මහිලාවගේ නම, රම්‍යා කාන්ති බණ්ඩාර. අපේ ගම්මණ්ඩියේ මුළු ඉතිහාසයම සල්ලඩේ දාලා හෙව්වත්, එහෙව් කාමාතුර රුසිරු සෝබාවක් පිහිටපු ස්ත්‍රියාවක්, ගමේ පිරිමි උපන්තේකට දැකලා නැතුව ඇති. ඒකි බරණිය පද්ද පද්ද ගම්මැද කරක් ගහනකොට, හැට පැණපු නාකි හොටෙකුට වුණත්, තටු සලා නැගිටින පාට පාට සමනල් සිහිනයක්, කොටු කොටු සරම ඇතුලේ කෝලාහල කරනවා. ඒකි කැවුතු කන යකිණ්නියක්, පන්න පන්න කොටනා හැපින්නියක්, බීරළු ගොතනා කුවේණියක්. මේ බැරැස්සි බොණ්ඩිව ආම්බං කොරන්ඩ නම්, හීල් බත බල්ලට දාලා, වැල් පෙනල වැලක එතිලාම ජීවත් වෙන්ඩ වෙනවා. මේකි සුප්පා දේවියට ඇන්දොත්, සිංහයා මැරෙන්නේ සැරය ළපැත්තේ ඇණිලා නොවයෙි, ස්වයං වින්දනයේ යෙදිලා. මේකි මනමේට ඇන්දොත්, චුල්ල දණුද්ධර මැරෙන්නේ කඩුව ඇණිලා නොවෙයි, අහවල් එකේ පොට ගිහිල්ලා. මේකිව කුදලාගෙන ගියොත්, කුජ බල වැද්දත් කවදා හරි උළව් වෙන්නේ, වාජීකරණ මෝදක ගිලලා. ඒකි ඇස් කොණින් බැළුවොත්, හයේ හතරේ පිරිමි කඳන් විතරක් නොවෙයි, අමු දර කොටත් පිළිස්සිලා ඇවිළෙනවා, අම්මපා ඒකි කාම ධේණුවක්. කණට කණ කෙඳිරූ ගමේ පිරිමි, කුමාරිහාමි ගේ ඇඟ පසුඟ ගැන, අහුමුළු වල දොඩාපු ආලෝචන එහෙමයි..... මේ අතර; බහුතරේ වට වෙලා ගුණේ අයියව තෝංචි කළාට, නායකත්වය ගෙන කටයුතු කරන්න එකෙක් වත් ඉදිරිපත් වුණේ නැත. කටපාඩම් කරගත්තු වචන කුට්ටමක් කටමැද දෙඩෙව්වාට, විප්ලව ගැන, අරගල ගැන, උන්ට දැණුම් තේරුම් ඇත්තේම නැති තරම්. සහෝ සහෝ කියාගෙන, ඇඟේ උරච්චි වෙමින් හිටියත්, දිය රෙද්දෙන් බෙල්ල කපන්න උපන් හපන් කමක් උන්ට තියන්නේ. ඒ විතරක් ද, කකුලෙන් ඇදීම කලාවක් නම්, උන් එහි කෙළ පැමිණි වැංගෝලා. තමන්ගේම නැට්ට විකාගෙන මැරෙන සර්පයෝ වාගේ, අදින්ඩ කකුලක් හසු වුණේම නැතිනම්, තමන්ගේම කකුල හරි ඇදගෙන බිම වැටිලා, මුහුණ තැරි ගහගෙන, ඒකෙණුත් ආශ්වාදයක් බලන තරමේ සව් කොළ වීරයෝ. උන්ගේ ප්‍රබෝධය සහ පැවැත්ම තියන්නේ, අනෙකාගේ හෝ තමාගේම දුක ඇතුලේ මිස, යතාර්ථයේ නොව. අත දරුවෙක් වුණත් කාරි නැහැ, කොණිත්තලා අඬවනවා, ඊට පස්සේ මොකුත්ම නොවුණ ගානට, තොටිල්ලත් පද්දනවා. ඒවා උන්ගේ ව්නෝදාංශ... අන්තිමට; කූට රැස්වීම් වල
ට විස්කිරිඤයි කහටයි ගන්න සල්ලි දීපු ගුණේ අයියලෑ බාප්පගේ නම, නායකත්වයට යෝජනා වෙලා, ස්ථීර වුණා. හොම්බ ඔබ ඔබා පදවි තානාන්තරම හොය හොයා හිටපු ගුණේ අයියලෑ බාප්පට, කප්රුක පහළ වුණා වාගේ. විප්ලව ගැන, අරගල ගැන, අටමගලයක් නොදන්නා බාප්පා, බයක් හැකක් නැතිව පදවිය බාර ගත්තේ, උපස්ථාන කරන්ට ගුණේ අයියා ඉන්නවාය කියන හයිය, හිතේ තියාගෙනමයි. මේවා ඉබේටම සිද්ධ වුණා ද, නැතිනම් ගුණේ අයියාගේම නූල් සූත්තර ද, හිතාගන්න අමාරු තරම්. බාප්පා කට ඇරියොත් කවටකම, නිවටකම, අමනකම, මෝඩකම, වක්කඩේ කැඩුවා වාගේ, හතර අතේ පිටාර ගලනවා. ඉතින්, ගුණේ අයියා පෞද්ගලික පන්තියක් පවත්වලා, රෑට රෑට බාප්පට දේශපාළනය උගන්වන්න තීරණය කළා. සමූහය මැද සායම යන බව තේරුම් අරන් තිබුණු බාප්පාට, අකැමැත්තෙන් වුණුත් පන්තියට එකඟ වෙන්න සිද්ධ වුණා. කුමාරිහාමි ගේ වළලු අතින් පිසින ලද රෑ කෑම අහවර කළ ගුණේ අයියයි බාප්පයි, හරියටම රාත්‍රී අටේ කණිසමට පන්තියට හිඳගත්තා. පැයක් තටම තටමා, මාක්ස්ගේ මතවාදයන්ට කණ දීගෙන වුණ්නු බාප්ප ගේ කණට, කුමාරිහාමි ගේ නිදන කාරමරේ පැත්තෙන් වියලි කැස්සක ශබ්ධයක් ඇහෙනවා. ඒක කැස්සක්ද, කැඳවීමක් ද, සැකයි! "පොඩ්ඩක් හිටින්නට ගුණේ පුතේ, මම ඉක්මනට එන්නම්......" බාප්පා නිදන කාමරේ පැත්තට, බළල් අඩි තිය තියා මායිම් වුණා. දොර පළුව අඩවල් වුණා, ඇඳ කකුල් කිරි කිරි හඬින් කෙඳිරි ගානා ශබ්ධයක්, ගුණේ අයියාගේ කණ වැටුණා. විණාඩියයි දෙකයි, බාප්පා හැරෙන තැපෑලෙන් ආපසු ඇවිත්, පන්තියට හිඳගත්තා. හැබැයි, බාප්පා සරම නොපිට හැඳගෙන ඉන්නා බව, ගුණේ අයියාට ඒත්තු ගියා. ගුණේ අයියා නැවතත් පන්තිය පටන් ගත්තා; ධනේශ්වරයට එරෙහිව කැරළිගැසීම සහ නිෂ්පාදන මාද්‍යය කම්කරු අයිතිය යටතට පත්කිරීම තුළින්, නිර්ධන පන්ති ආඥාදායකත්වය ගොඩනැගෙනා අතර, ඒ හරහා සමාජයට අත්‍යවයශ්‍ය භාණ්ඩ හා සේවා සහන මිලට නිෂ්පාදනය කිරීම මගින්, මුල් බැසගත් දරිද්‍රතාවය තුරන් කළ හැක. නිෂ්පාදන සබඳතා නිෂ්පාදන බලවේගයන් මගින් බිඳ දැමිය හැකි අතර, බිඳ වැටුණු නිශ්පාද බලවේගයන් වෙණුවට විකල්ප සබඳතා ගොඩ නැගීම, නොවැලැක්විය හැකි සාධකයකි. අවසානයේ සාමාජ විප්ලවයක් වශයෙන් ප්‍රකාශයට පත්වන්නේ, මෙම නව සබඳතාවයන් ය. සමාජ සංවර්ධනයේ දයලෙක්තිකය වන්නේ, පංති අරගලයයි. ගුණේ අයියා ඉදිරිපත් කරන ක්‍රමෝපාය, සංඛ්‍යා ලේඛන හා දත්ත, ණය සහ පොළී, මුල්‍යය සහ වත්කම්, ආයෝජන, අපයෝජන, අවභාවිතා, වාර්ථා ගැන පුදුමයෙන් අහගෙන වුණ්නු බාප්පාගේ ඇස් දෙක, දොඹ ගෙඩි වාගේ තුමුල වෙලා, නලල් තලයේ චිරස්ථායීවම හිට්ටා. විශ්මයෙන් විවර වුණු මුඛයේ යටි හණුව, බෙල්ලේ වදිනා තරමටම බූව වුණා. ගුණේ අයියා හැබෑම උගතා, ඒකේ පළුද්දක්, පරහක්, නැති තරම්. ඒත් තමන්ගේ උගත්කම කාටද, කොතැනද පෙන්වන්ඩ ඕනි කියන ඒ ක්ෂුද්‍ර කාරණාව, ගුණේ අයියලා තවම ඉගෙන ගෙන නැති හැඩයි. රට වටේම විසිරිලා තිබෙන ඔළුගෙඩි ටික, එක තැනකට සම්මාදම් කොරාගෙන, උගුරු දණ්ඩ ඉරාගෙන දේශනා පවත්වනවා, අන්තිමට ඒ දෙශනා අහපු කේප්ප වස්සො, බැලට් පෙට්ටියේ උදෙකලාව ගාල් වුණගමන්, අත පය භෙලෙත්තාඩු වෙලා, කතිරයේ කුරුමාණම වැරදිලා, කෙළින්ම බැද්දෙ සතාට වදිනවා. මෙවා උන් හිතාමතාම කරනවා ද, නැතිනම් ජාන වලින්ම එන දේශපාළන වහල්භාවය කියන්නේ මේකට ද? අම්මපා මේවා ගැන හිතලාම, මට කොරළ මාන්දම හැදෙනවා. නැවතත්; කුමාරිහාමි ගේ කාමරේ පැත්තෙන් හීණි කැස්සක් ඇහෙනවා, බාප්පගේ ඇස් හොර ගල් ඇහිඳිනවා. "පොඩිත්තක් හිටින්ට ගුණේ පුතේ, මම ඉක්මනට එන්නම්...." ගුණේ අයියලෑ බාප්පා, අඩියට දෙකට නිදන කමරේ ඇතුලට මායිම් වෙලා, දොර පළුව අඩවල් කළා.... විදුලි වේගයෙන් බාප්පා නැවත පන්තියට ආවේ, අමාවාතය වැළඳිලා, දණහිස් පූට්ටු වුණු ලෙඩෙක් ගානට, කොර ඇද ඇද. ඒ පාර ඝන්ඨාර කුළුනට සරම පෙරෙව්වා වාගේ, බාප්පාගේ කිරිපල්ල වම දකුණ වැණෙනවා, කඩි මුඩියේ කාරිය අහවර කරපු බාප්පාට, අනේ යට කළිසම අඳින්ට අමතක වෙලා විත්තිය, ගුනේ අයියාට ඒත්තු ගියා. යලිත් පාඩම පටන් ගත්තා ; ගුණේ අයියා කට උල් කරගෙන, ඇස් ලොකු කරගෙන, සකු බුකු සකු බුකු ගාගෙන, කෝච්චිය වාගේ, සාර් ගේ රජ පෙළපත පෙරළපු කාල් මාක්ස් ගේ රීති ගැන, මත් වුණු වචන දොඩනවා. කාන්ති කුමරිහාමි ගේ තෙත් වුණු බිංගේ අස්සෙන්, කොළඹ රේල්ලුව රජ ගෙදරටම දක්කන වාජීකරණයක් ගැන හිත හිතා, බාප්පා ගේ සිත ලතැවෙනවා. නැවතත් කුමාරිහාමි ගේ නිදන කාමරේ පැත්තෙන්, කෙඳිරියක් වාගේ කේඩෑරි කැස්සක් ඇහෙනවා, එළොව පොල් පෙණුනු බප්පා, කළබල වෙනවා. කළු ගල් එක්කත් ඔට්ටු වෙන අලවංගුවක් වාගේ, අහවල් එකත් සීරුවට හිටින්නට නම්, මේකට දෙන හීල් බත බල්ලට දාලා, මූට තුන් වේලම වැල් පෙනළ කැඳ පොවන්ඩ ඕනි. එහෙම නැතිනම්, මුගේ අඹුව ගේ ඇම්ම නිවන්න, අළු කෙසෙල් පොත්ත සූරලා, වංගෙඩියේ කොටලා, ඉස්ම මිරිකලා, ඒකිට පොඩන්ඩ ඕනි. මූ වාගේ සනික මෝචන කාරයෝ එක්ක මොන විප්ලව ද, කියලා හිතා ගත්තු ගුණේ අයියා, පීලි මාරු කරලා, පල්ලම් බැහැලා; "අදට ඇති සමරෙ බාප්පේ, මම හෙට එන්නම්......" කියා ගෙනම දොට්ට බැහැලා මාරු වුණා. බාප්පා කාමරේට ගෑටුවේ දංගෙඩියට දක්කන සත්තුක වාගේ ගාම්භීරව නොවෙයි, මස් කඩේට දක්කන සතෙක් වාගේ පරළ වෙලා..... **A short story by: Epic Writer Duo**=උගේ ලෝකය සහ මගේ ලෝකය= මම ඇහැරුණා. වෙලාව කීයද? කියනෙක නම් හිතාගන්න අමාරුයි.ඇහැරුනාට මොකද නැගිටගන්න හිතෙන්නෙම නෑ.මම එහෙට මෙහෙට කැරකිලා ඇඹරිලා ,අත්දෙකයි කකුල් දෙකයි අංශක 160ට විතර දිගෑරලා ඇඟමැලි කඩා ගත්තා.අද නිවාඩු දවසක් වෙන්න ඕනි.අයියගෙ කාමරේ රේඩියෝව දාලා තියෙන්නෙ ඒකයි.එයා අහන්නෙ ෂා එෆ් එම්.තාත්තගෙන් හැමදාම බැණුම් අහ අහ එයා දිගටම ෂා අහනවා. මම උනත් කැමතියි ඒකෙ මාෂිගෙ කටහඬට. එයා කට උරුක් කරලා "ගඩ් මෝනිං.." කියලා කියනව ඇහෙද්දි ඇඟේ මයිල් කෙලිං වෙලා කොඳු ඇට පේලිය දිගට චූටි කරන්ට් එකක් යන්න පටන් ගන්නවා. තාත්තලා වයසක නිසා බාග වෙලාවට ඒවගේ කටහඬවල් ඇහෙද්දි අහගෙන ඉන්න අමාරු ඇති. එයාලට ඉතිං පුරුදු "වේලාව සවස හයයි.මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.මෙන්න ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සුජීව හරිස්චන්ද්‍ර.." වගේ එව්වා අහලනෙ. මම හෙමින් සීරුවේ කාමරෙන් එළියට ආවා.තාත්තා ටීවි බලනවා.අයිටීඑන් එකේ මොකක්දෝ දේශපාලන සාකච්ඡාව්ක්.ඉස්සර නම් තාත්තා අයිටීඑන්, ජාතිකේ දෙකම බලන්න කැමති නෑ.ඒ නාලිකා දෙක බලද්දි ටීවි එකට රිමෝට් එකෙන් ගහන්න හිතෙනවා කියලා තාත්තා කීප සැරයක්ම කියල තියෙනවා.ඒ වුනාට දැන් නම් අපේ ගෙදර වැඩිපුරම දාල තියෙන්නෙ ඒ චැනල් දෙක.රාජ්‍ය මාධ්‍ය ඒකාධිකාරිය, මාධ්‍ය මාෆියාව, ඒක පාක්ෂික වාර්තාකරණය වගේ බර මාතෘකා ගැන එයා දැන් කතා කරන්නෙම නැති තරම්. මොනා කරන්නත් අපිට රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනි කියලා දවසක් අයියා එක්ක පැටලුනු දේශපාලන විවාදයක් අන්තිමේදි තාත්තා කියනව මමත් අහගෙන. කුස්සිය පැත්තෙන් උහුලගන්න බැරි සුවඳක් එනවා.ඒකත් එකටම අම්මා කට්ට කරවල තෙල් දානවා ඇති.මම දුවගෙන කුස්සිය පැත්තට ගියා..ඒත් දොර ගාවදි පොඩ්ඩක් වේගෙ අඩු කළා. වැඩේ ඇත්ත.අම්මා කරවල බදිනවා.එයා ලඟට ගියොත් කෑල්ලක් ඉල්ලගන්න බැරි වෙන එකක් නෑ කියල හිත කිව්වා. "මොකද මොකද හොරගල් අහුලන්නෙ. හදලා ඉවර වුනාම දෙන්නම් පැටියෝ" අම්මා හරි ආදරෙන් කිව්වම මට හිතුනෙ පෙරේතකම අමාරුවෙන් හරි පැත්තකින් තියලා එයාගෙ මූණ දිහා බලාගෙන ඉන්න.අම්ම දැන් කැත වෙලා.වයසට ගිහින්.සාලෙ මැද තියෙන මඟුල් පින්තූරෙ ඉන්නෙ අම්මමද කියලා වෙලාවකට මට සැක හිතෙනවා.ඒ පින්තූරෙ ඉන්න ගෑණු කෙනාගෙ නං මූණ හරි ප්‍රියමනාපයි.ලස්සන හිනාවකුත් තියෙනවා.ඒත් මගෙ උපන්තෙකට මේ අම්මගෙ මූණෙ ඒ හිනාව නං දැකලා නෑ.සමහර විට ප්‍රශ්න වලට මූණ දීලම අම්මට හිනාවෙන එක අමතක වෙලා වෙන්න ඇති. කුස්සියෙන් එළියට බැහැපු මම පිළිකන්න පැත්තට ගියේ ශරීර අවශ්‍යතාවයක් සඳහා.ගෙදර මිදුලෙ චූ දානවට අම්මා කැමතිම නෑ.අහු වුණොත් ඉතින් ඉඳලා හමාරයි. ඒත් මට මගේ වැඩේ කරන්න වුණේ නැහැ.දූරියං ගහේ අත්තක වහලා හිටපු ඇටිකුකුළෙක් මගෙ දිහා කන්න වගේ බලං ඉන්නවා.උගෙ මූණ කොහොමත් ටිකක් වල් පාටයි.මම හැරිලා ඉස්සරහ පැත්තෙන් ආපහු සාලෙට සේන්දු වුණා.එතන පොඩි වලියක්.අයියා තාත්තගෙන් ආයෙත් සල්ලි ඉල්ලලා වගෙයි. " අනික රුපියල් පන්සීයකින් මොනාද කරන්න පුළුවන් කියලා ඔයාම කියන්නකො බලන්න.අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ.ඒත් පුතාට ට්‍රිප් එකක් යන්න දෙන්නෙ පන්සීයයි.මොනා කරන්නද ඉතින්..යාළුවෝ හිනාවෙන්නෙ මටනෙ" අයියා කියවනවා. "උඹට රට වටේ රස්තියාදු ගහන්න සල්ලි මගෙ ලඟ නෑ.උඹ හම්බ කරන්න පටන් ගත්ත කාලෙක තේරෙයි මේකෙ රඟේ.දැන් අන්න ඕටීත් කපන්නලු යන්නෙ..එතකොට ඉතිං .. උඹට ඔය පන්සීය මදි නං දියං මෙන්න මෙහාට.දීලා ඕන තූත්තුකුඩියක පලයං..මට කමන්නෑ" තාත්තා ගිගිරුවා. මට එයාගෙ මූණ බලන්න බය හිතුනා.තරහ ගියාම එයා යකෙක් වගේ. අයියා බෑග් එකත් එල්ලං කාමරෙන් එළියට ආවෙ කාමරේ දොර දඩාස් ගාල වහගෙන. එයා තාත්ත දිහා බැලුවෙවත් නෑ.අඩු තරමෙ වෙනද වගේ අම්මට වැන්දෙත් නැහැ. මේ මොන විකාරයක්ද, එයැයිගෙ ට්‍රිප් වලට අම්මා තාත්තා පළි නෑනෙ.එහෙම හිතාගෙනම මම ඉස්තෝප්පු කනුවෙන් පොඩ්ඩක් මෑත් වුණා විතරයි. "තෝ පළ අහකට....'" වේගයෙන් මිදුල දිහාට එමින් හිටිය අයියා දැවැන්ත පා පහරක් මගෙ යටි බඩට එල්ල කළා. උඩීන් වීසි වෙලා ගියපු මම ගේට්ටුව ගාව තිබුණු වතුසුද්ද ගහේ වැදිලා බිමට පතබෑ වුණා. "ඔය තිරිසනාට ගහන්න එපා..ගහනව නං මට ගහපන්.." තාත්තා මොරදෙනවා යාන්තමින් වගේ ඇහුණා.. | ප්‍රභාත් කුමාර දේශප්‍රියකෝපි පාට කෙල්ලො, කෝපි පාට ඇස්, කෝපි කෝප්පයයි පොතයි, වැස්සයි කෝපි කෝප්පයයි පොතයි, කෝපි කෝප්පයයි ඩන්හිල් කැහි කූරයි පොතයි මේවා සාමාන්‍යයෙන් සාහිත්‍ය මාසෙන් පස්සෙ නිතර අහන්න දකින්න ලැබෙන වචන. කෝපි කිව්වම පොඩි හයි ස්ටේටස් මෙව්ව එකක් තියෙනව. සංස්කෘතික හෙජමොනික සාහිත්‍යානුසාරී සාරගර්භ විදග්ධ පොඩි මෙව්ව එකකුත් තියෙනව ඉතිං. ශරීරයට උත්තේජනයක් ගෙනදෙන පාන වර්ග හැටියට ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ තේ සහ කෝපි කියන දෙක. තේ මුලින්ම හොයා ගැනෙන්නෙ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේදි, ලෝකෙ පැරණි
ම ලිඛිත ඉතිහාසයක් තියෙන රට වෙන චීනෙන් ( අවුරුදු පන්දාහක්). ඒ බව ඉපැරණි ලේඛන වල සඳහන් වෙනවා. කෝපි බීම ලෝකයේ ආරම්භ වෙන්නේ ඉතියෝපියාවෙන්. ඒ ක්‍රිස්තු වර්ෂ නමවෙනි සියවසේදි කියල තමයි ඉතියෝපියානු පුරාවෘත්ත වල සඳහන් වෙන්නේ. වර්තමානය වෙනකොට, ඇමෙරිකාව හා ඒ ආශ්‍රිත රටවල් වෙන බ්‍රසීලය, කොලොම්බියාව, මෙක්සිකෝව, චිලී වගෙ රටවලුත්, යුරෝපෙ පැත්තෙන් ගත්තාම ෆින්ලන්තය, ඩෙන්මාර්ක්, අයිස්ලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය වගෙ රටවලුත්, අප්‍රිකානු මහාද්වීපයේ ඉතියෝපියා, උගන්ඩා, රුවන්ඩා, කෙන්‍යා වගෙ රටවලුත්, ඕෂනියා කලාපයේ රටවල් වෙච්චි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වගේ රටවල් ලෝකයේ වැඩිම කෝපි පරිභෝජනය කරන රටවල් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ අතරෙම චීනය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, වගේ ආසියාතික රටවල් බොහොමයකුත්, බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, රුසියාව, පෝලන්තය, ජෝර්ජියාව වගෙ රටවලුත්, ඇල්ජීරියාව, ටියුනීසියාව, මොරොක්කෝ වගේ රටවල් වැඩිම තේ පරිභෝජනයක් සහිත රටවල් හැටියට දක්වන්න පුලුවන්. මේ රටවල් ටික දිහා පොඩ්ඩක් බැලුවාම අපිට පොඩි රටාවක් හඳුනගන්න පුලුවන්. ඒ කියන්නෙ ඇමෙරිකාවේ බලපෑමට නතු රටවල් බොහොමයක කෝපිත්, බ්‍රිතාන්‍ය බලපෑමට නතු රටවල් බොහොමයක තේ ත් ප්‍රසිද්ධයි කියලා. හැබැයි ඉතිහාසෙ දිහා බැලුවාම ඇමෙරිකාවට කලින් බ්‍රිතාන්‍යයට මේ කෝපි කියන භෝගය සංක්‍රමණය වෙනව. එතකොට ඇයි එංගලන්තෙට වඩා ඇමෙරිකාවෙ කෝපි ප්‍රසිද්ධ වෙන්නෙ? මේකෙ ඉතිහාස කතාව 17 වෙනි ශතවර්ෂෙ දක්වා අතීතෙට යනවා. ඇමෙරිකාව ඒ කාලෙ තිබුණේ යටත් විජිත හැටියට. විශාල ප්‍රමාණයක් අයිති වෙලා තිබුණෙ බ්‍රිතාන්‍ය කිරීටයට. ඇමෙරිකාවට තේ ගෙනාවෙ බ්‍රිතාන්‍යයෙන්. ඉතින් මේ ගෙනාපු තේ වලට තරමක් විශාල බද්දක් අය කරපු නිසා ඒකට ක්‍රම ක්‍රමයෙන් විරෝධයක් ගොඩනැගෙනවා ඇමෙරිකාවෙ ජීවත් වෙච්ච යටත් විජිතවාදීන් ගෙන්. මේක පාදක කරගෙන 1773 දි තේ වර්ජනය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා. ඇමෙරිකානු නිදහස් සටන ඇතිවෙන්න අඩිතාලම වැටෙන්නෙ මෙන්න මේ කාලෙදි. මේ හා සම්බන්ධ දේශපාලන හමුවීම් ඇතිවෙන්නෙ කෝපි හල්, එහෙමත් නැත්නම් Coffee shops වල. තේ කියන දේ බ්‍රිතාන්‍ය කිරීටය හා බැඳිච්ච ලක්ෂණයක් විදියට සැලකීමත්, කෝපි ගෙන්වන්නේ බ්‍රිතාන්‍යය හරහා නොවීම නිසාත් නිදහස් සටනට පොඩි iconic ගතියක් එකතු කරනවා මේ කෝපි පානය. තේ වලට සාපේක්ෂව වැඩි කැෆේන් ප්‍රමාණයක් අඩංගු වීම නිසා වැඩි උද්‍යෝගීමත් බවක් ලැබීම වගේම එක එක විදියට හදාගෙන බොන්න පුලුවන් වීම ( Americano, Cortado, Cappuccino, Flat White, Macchiato, Ristretto, Doppio, Affogato, Latte වගේ රස්නෙ වගේම සීතල කරපු එක එක විදි සෑහෙන්න තියෙනවනෙ) වගේ කරුණු කාරණා නිසා කෝපි ප්‍රචලිත වෙනවා අමෙරිකාවෙ. අදටත් ඒ කෝපි සංස්කෘතිය ඇමෙරිකාවෙ එහෙම්මම තියෙනව විතරක් නෙවෙයි ඊටපස්සෙ තුන්වෙනි ලෝකයේ රටවල් වලටත් පැතිරිලා යනව. ඒ විතරක් නෙවෙයි සිවෙට් කියන මුගටියොන්ට කෝපි ගෙඩි ගිල්ලලා උන් මළපහත් එක්ක පිට කරන කෝපි ඇට වලින් හදන Coffee Luwak ලෝකයේ මිල අධිකම පානයකුත් වෙනව. ඉතිං මම් කලින් කිව්ව වගේ කෝපි හල් වල නිදහස් සටන සම්බන්ධව සාකච්ඡා කරන්න පුරුදු වෙච්ච එක තමයි "කෝපි එකක් බොන ගමන් කතා කරන" පුරුද්ද බවට ප්‍රචලිත වෙලා තියෙන්නෙ. බ්‍රිතාන්‍ය ජාතිකයින් තමන් යටත් කරගෙන හිටි රටවල් හැම එකකම පාහේ සංස්කෘතීන්ට ඉතාමත් විශාල බලපෑමක් එල්ල කළා කිව්වොත් නිවැරදියි. ලංකාවට ඒගොල්ලො එන්න කලින් මෙහේ අය බොන්න පුරුදු වෙලා හිටිය බෙලිමල්, රණවරා, ඉරමුසු වගේ ඖෂධීය පාන වර්ග වලට ටිකක් සමාන වීමත් ලාංකිකයො අතරෙ තේ බීම ප්‍රචලිත වෙන්න හේතුවක් වෙන්න පුලුවන්. (ලෝකයේ හොඳම තේ අතරට ලංකාවෙ වැවෙන තේ අඩංගු වීමත් ඇත්තටම ආඩම්බර විය යුතු කාරණාවක්.) කෝපි සංස්කෘතිය ලංකාවෙ ප්‍රචලිත වෙන්න ගත්තෙ මෑත කාලෙකදි. ඒ උනත් තාමත් තේ වලට තියෙන තැන අත් පත් කරගන්න කෝපි වලට බැරිවෙලා තියෙනව. ඒකට ප්‍රධානම හේතුව මම අර කලින් කිව්ව සංස්කෘතික ගැලපීම් ටික. ලංකාවෙ වැඩිමනත්ම ඉහළ සහ ඉහළ මැද පන්තියේ අය තමයි මේක වැළඳගෙන තියෙන්නෙ. "Shall we go for a coffee" කිව්වම පොඩි පොෂ් ගතියකුත් තියෙනවනේ. වැස්සයි කැහි කූරයි, කෝපි කෝප්පයයි එක්ක පොතක් කියෙව්වාම ඒකෙ වෙනම ආතල් එකක් තියෙනවලු.(මම නං දන්නෑ ඒක ඉතිං ඔය අනුන්ට පේන්ඩ පොත් කියවන අය තමා දන්නෙ.) කෝපි බිබී පොත් කියවන එක පුද්ගලිකව මට සෙට් වෙන්නෙ නෑ. සෙට් වෙන අය ඕනතරං ඉන්නව. ඒක ඉතිං ඒ ඒ අයගේ රුචිකත්වය. හානියක් නෑ; ලස්සනයි; සන්තෝසයි! සතුටින් ඉන්න නේ ඕනෙ. මේක ලියන්න හිතුණේ පහුගිය දාක දැක්ක මීම් එකක් නිසා. ඒකෙ තියෙන්නෙ " ඇත්තටම මං හිතාගෙන හිටියේ කෝපි බොන්නෙ බඩේ අමාරුවට කියලා: පස්සෙ මං රට ගියා" වගෙ කතාවක්. ලංකාවෙ වැඩි දෙනෙක් කෝපි බොන්නෙ බඩේ අමාරුවටයි සීතලටයි කියන කතාව ඇත්තක්. හැබැයි ඉතිං වෙන රටවල මිනිස්සුත් ඔය කාරණා දෙක සංතෘප්ත කරගන්න කෝපි පාවිච්චි කරනවා. අර මීම් එක හදපු කෙනා ඉතිං ඒ ගන නොදන්නව වෙන්න පුලුවන්. එකම වෙනස කෝපි සංස්කෘතිය ලංකාවෙ ප්‍රචලිත නොවීමයි. කෝපි බොන්න ආස අයට කෝපි බොන්න පුලුවන්, තේ බොන්න ආස අයට තේ බොන්න පුලුවන් ඉතිං. බිව්ව නොබිව්ව ඔය දෙකටම සම්බන්ධ වෙච්ච වෙනමම සංස්කෘතීන් තියෙනව. ෆේස්බුක් එකෙන් පොඩ්ඩක් එළියට අඩියක් තියලා ඕනනම් ඒව ගැන පොඩ්ඩක් හොයාබලන්නත් පුලුවන්. ඒව හරිම රසවත් දේවල් වගේ ම ඒ හා බැඳිච්ච තවත් රසවත් අතුරු ඉතිහාස කතා ඕනෑතරම් දැනගන්නත් පුලුවන්. - මාලිත චතුරංගකැලේ රජා කියලා හඳුන්වන්නේ සිංහයාව. බොහොම බලසම්පන්නයි, තේජසයි! වනාන්තරයක ආහාර ජාලයේ උඩින් ම ඉන්න කෙනෙක් තමයි එයා. ඒත් මොනතරම් කාලයක් ජීවත් උනත් සිංහයා මියැදෙන්නෙත් බොහොම දුක්ඛදායක විදියට. ලෝකෙ හැටි එහෙම තමයි. තරුණ, ජව සම්පන්න කාලෙ එයා වනාන්තරේ රජ කරනවා. තමන්ට වඩා ප්‍රමාණයෙන් විශාල සත්තු හඹාගෙන ගිහිල්ලා, අල්ලගෙන, ආහාරයට ගන්නවා. අවශ්‍ය ප්‍රමාණය කාලා, ඉතුරු බිතුරු ටික, අනුන්ගෙ දඩයම් වල රොඩු බොඩු ගිලින; කැලේ ඉන්න නිවටම සත්තු ජාතියක් වෙන හයිනාවන් වගෙ සත්තුන්ට ඉතුරුත් කරනවා. වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කිව්වට ඇත්තටම ඒක එහෙම නෙවෙයි. වයස් ගතවෙත්දි තමන්ගෙ ශක්තිය හීන වෙන නිසා සිංහයාට දඩයම් කරන්න තියා තමන්ගේ ආරක්ෂාව සලසාගන්න වත් බැරිවෙනවා. තරුණ කාලෙ සිංහයෝ දඩයම් කරලා ඉතුරු වෙන ඒවා කන හයිනාවන් පවා වයස්ගත සිංහයින්ට පහරදීලා පණපිටින් ආහාරයට ගන්නා අවස්ථා තියෙනවා. ජීවිතේ කෙටියි. බලය කියන දේ තාවකාලිකයි. රූප කාය කියන දේ තාවකාලිකයි. ඒක අපි හැමෝම දැකලා තියෙනවා, අත් විඳලා තියෙනවා. ජීවත් වෙන කාලය වැඩි වෙන්න වෙන්න අපි දුර්වල වෙනවා. අද තමන්ට තියෙන බලයෙන් රටට ලෝකෙට හයිරම් පාලා, අනිත් මිනිස්සු තලා පෙලාගෙන, අනුන්ගෙ දේවල් බලෙන් කඩා වඩාගෙන ජීවත් වෙන පුද්ගලයාට, බලය ගිලිහුණු හෙට දවසේ බොහොම දුක්ඛිත විදියට අවසාන පිටුව ලියාගන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න මොන මොන ජවනිකා රඟපෑවත්, දවසක ස්ටේජ් එකෙන් බහින්න වෙනව. සමහරවිට කවුරුහරි පයින් ගහලා ස්ටේජ් එකෙන් එළියට අපිව විසික් කරනවා. ජීවත් වෙලා ඉන්න ටික කාලයේ තව කෙනෙක්ට වෛර නොකර ජීවත් වෙනවා නම්, අනිත් මිනිස්සුන්ට උපකාර කරනවා නම්, දුර්වලයින් ආරක්ෂා කරනවා නම් ; ඒ කෙනා ඇත්තටම මනුස්සයෙක් වගේ ජීවත් වෙලා තියෙනව. වෛරය වෙනුවට ආදරය, කරුණාව පතුරවන්න, අද යන්න වෙයිද; හෙට යන්න වෙයිද අපි දන්නෙ නෑ! ඔබ සැමට පින්බර පොහෝ දිනක් වේවා....# **--- අප්පච්චි ---** අම්ම මුත්ත කාලේ පටන්, ගමේ එළ හරක්, මී හරක් ආම්බං කළ ගොපළු පැළැන්තියෙන් පැවත එන ගුණපාළ අයියගේ ආදිපුරුස පරම්පරා ඈයින්ගේ බඩ රස්සාව වුණේ, ගව පට්ටි පාලනයයි. අක්කර තුනයි පරිචස් හතලිහක තැණිතලා ඉඩම් කට්ටියක් ගුණපාල අයියලෑ අප්පට පරම්මපරා උරුමයෙන් සින්නක්කරවම දායාද වෙලා තිබුණා. කැටකෑල, මයිල , කොහොඹ, පලු, වීර, මාර, සියඹලා, මිල්ල, පිහිඹිය වාගේ සරුව වැඩුණු රූස්ස ගස්, ඉඩම පුරා ඕසෙට වැවිලා තිබුණා. පොළව තෙමන්ඩ ආඬියා ලිඳයි, උලා කන්ඩ තණ පොදයි, ගෙපැල් කොටෙයි, ගුණේ අයිගේ අප්පා ධර්මදාමසයි, උන්දැ ගේ ප්‍රජාපතිය එතන නැන්දත් එක්කම, පූදින්ඩ මාන බලාගෙන ඉන්න රෝස පොහොට්ටුවක් වාගේ ඔපය වැටුණු ගුණපාල අයියාගේ සිරියාවන්ත නංගි පොඩිත්තයි, පට්ටියේ බිම්බරක් දෙනුන් රොත්තයි, ගම්මණ්ඩියම හැඩ කළා. කිරි, දීකිරි, ගිතෙල්, වෙඬරු, මෝරු යන පස්ගෝ රසයෙන් ඇරඹිලා, අමු ගොම, වියලි ගොම, පොහෙර ගොමේ ඉඳන්, නඟුලට, කමතට, කරත්තෙට, කේප්පෙට, ඔසබයෝ වයිවාරන්න මහතට ගුණේ අයියලෑ පට්ටියෙන් අහල ගම් හතටම සලසෑය වුණා. ඉතින්, පට්ටියේ ගෙදර කිව්වම වැයික්කියේ ගස් ගල් පවා ගුණේ අයියලෑ පවුලේ නමට කුලුපගුයි. වඳ ගැබයි, මිණී වලයි, කිසිදා තෘප්තිමත් කළ නොහැක්කා වාගේම, ඉඩම් තන්හාවත් සම්මජාතියේ ගුණ කළ නොහැකි සදාකාලික වියාදියකි. ගමේ අතමිට සරු අතලොස්සක් උදවිය, ගුණේ අයියලාගේ සාර ඉඩම් කට්ටියට පෙරේත බැල්ම හෙළාගෙනමයි උන්නේ. ඒ අතර ගමේ සිල්ලර කඩේ ඔස්ටින් මුදලාලි, මූලිකයා. ගුණේ අයියලෑ අප්පව මුළාවේ දාගන්ඩ ඔස්ටින් මුදලාලි තිරිකිස් වැඩ අපරිමේයක් කළත්, ගුණේ අයියලෑ අප්පා එහෙම ලේසියකට ඇම ගිලින මඩ කනයෙක් නොවෙයි, බටකොළ තෙලියෙක්. මත, මස, කාමය, යන ත්‍රී ලක්ෂණයන්ට තිත තියලා තිබුණු ගුණේ අයියලෑ අප්පා, අන්තිමට ඔස්ටින් මුදලාලිට කොටු වුණේ, කුඹුරු හිලව්වකට. ගුණේ අයියලෑ අප්පගේ ඔළු ගෙඩිය පරිදෝවනය කරපු ඔස්ටින් මුදලාලි, උන්දැට සින්න වෙලා තිබුණු පුරං කුඹුරු අක්කර දෙකක්, ගුණේ අයියලෑ අප්පට කුණුකොල්ලෙටම විකිණුවා. ගොපළු කුලයෙන්, ගොවි කුලයටත්, අමුඩය සෝදාගෙන රජ කමටත් සවප්න දැකපු ගුණේ අයියලෑ අප්පා, ගොම විකුණලාම ඉතරු කරගත්තු සොච්චමෙන් කුඹුරු කට්ටිය මිලයට ගත්තා. හරියටම මැදින් මහේ මුල් සතියේ, නිරිතදිග මෝසම හින්නි හුලඟකුත් එක්කම, කළුවා මේඝ දිය කරලා හලාපු වැහි පොදයට කුලප්පු වුණු ගුණේ අයියලෑ අප්පා, නඟුල අටවලා, කුඹුර පෙරළලා, ලියැදි හැඩ කරලා, වක්කඩේ බැඳලා, මහා උජාරුවෙන් ගොවි කමට මුලපිරුවත්, බිත්තර වී, පොහොර, මැහිතෙල් මිලයට ගත්තේ
, පරම්පරාවෙන් තමන්ට උරුම වෙලා තිබුණු සාර ඉඩමේ ඔප්පුව, ඔස්ටින් මුදලාලිට උකසට තියලා ගත්තු සල්ලි වලින් විත්තිය දන්නේ, ගමේ අතලොස්සයි. යල කන්නයේ බිත්තර වීත් එක්කම, ගුණේ අයියලෑ අප්පා බයක් හැකක් නැතිවම වැල් පොළියත් වැපිරුවා. පොහොර මැහිතෙල් පදමට මුහුං වෙලා, වෙලාවට කලාවට ලියද්දට වැටුණා. ගොයමේ මල් පීදිලා, හීන් බන්ඩියෙන් මහ බන්ඩියට ගිනිමරේටම සෙන්දු වුණා. ඉඟටියේ බැඳණු බොර පැහැය හංකඩ සරම් කොටයයි, ලැපැත්තේ වංහතාරාවට පැළඳි ගොමස්කඩ වූ බැනියමයි, කුප්පි ලාම්පුවේ පාංකඩ තිරයට, ලිප්බොක්කේ දැලි රෙද්දට දන් දීපු ගුණේ අයියලෑ අප්පා, ස්වේත පැහැය පටනූල් සරම කමිසයට මාරු වෙලා හැඩවෙනකොට, ගම්මුන්ගේ දෑස් පුඩුවේ පතොක් කටු ඇණුනා. ඔස්ටින් මුදලාලිගේ ළැපැත්තේ ගැස්ම ආරෝහණයට උච්ච වුණා, ගම්මුන්ගේ ඇස්වහත් දවසින් දවසම කඳු නැග්ගා. කටුස්ස ගේ කරේ රත්තරණ් බැන්දා වාගේ කසු කුසු කතන්දරත්, ගම් මැද පැතිරුණා. ඒත් බිම් කළුවර කපෝති කරලා, පිණි බින්ඳු තූ තූ කරලා, උජාරුවෙන් නැගිටින ඉරගල වාගෙම, ගුණේ අයියලෑ අප්පත් ගම්මුන්ගේ කටවහ කපෝති කරලා, ඇස්වහට තුන්පාර කෙළ ගහලා, මහපාරේ අඩිය හප්පලා හක්මන් කළේ උජාරුවෙන්මයි. ගොයමේ පුසුඹයි මඩ ගඳයි කද බැඳන් කුඹුර සිසාරා එන හීල් පවන, ගුණේ අයියලෑ අප්පා නාස් පුඩු හරහා පෙනහැල්ලේ මණ්ඩියටම ඇදලා, ඉලඇට කූඩුව පුප්පලාම හුස්ම ගත්තේ, තණ්හාවකට නොවෙයි, ආසාවට. උරැච්චි වෙමින් පෙම් කෙළි වැහි ලිහිණි ජෝඩුවක්, කෙළවරක් නැති අහස අමතක වී පෙළවට ළංව පහතින්ම සැරියා. සුළඟේ බස රූස්ස ගසකට වත්, රූස්ස ගසක බස සුළඟට වත් නොතේරෙනා මුත්, ඈත ඉස්සවකින් හමා ආ මඳ සුලඟක් කොහොඹ ගසක මුඳුන් අත්තේ සිලි දළුවේ දැවටි දැවටී ඇරඹි යුග සම්භාෂණය, කුරු පෙම් කතාවකින් කෙළවර වී, සිලි සිලි හඬින් සිනහසී, මහා මාරුතයක් වී සමුගත්තා. හිටිවනම නීල වණ්න අම්බරේ සුදුවා මේකුළ පටලය බිඳී, කළු වලාවක්ව ගැබ්බර වී, ඇඹිණිය කැඩී වැහි බිඳු ප්‍රසූතවන වේදනාව දරාගත නොහී, ගගනතලයම ගිගුම් දී හඬා වැලපුණා. ගම්මණ්ඩිය වාටියේ කාගෙදෝ කිරි ගහක අරටුවකට පාත් වුණු හෙණ ගෙඩියක අඬේ දෝංකාරයෙන් තිගැස්සුණු ගුණේ අයියලෑ අප්පා, අහස දිහා පස් මහා බැලුම් හෙළුවා. පංච මහා භූතයන් උමතු වී, සෘතු විකාර වී, අකාලයේ ඇදහැළුණු අනෝරා වැස්ස, මුරුගසන් වරුසාවක් වී, කඩු, කිණිසි, තෝමර, හෙල්ල, බඳු වූ රෞද්‍ර වැහි බිඳු පොළවට පාතය කර, කරල් බර වූ ගොයම කාබාසිනියා කළා. දෙසතියක් එක ගැම්මට කඩා හැළුණු ගජ වැහිවලාවෙන්, මහ වැව බඩ වුණා, රළපනාව අබලි වුණා, වැව් බැම්ම බය වුණා. ලැජ්ජාව පසෙක ලූ බිසෝ කොටුව, මොහොල උපරිමය පළල් කළා. පිටවාන, ගොඩ සොරොව්ව, මඩ සොරොව්ව, කට ඇරියා. අමුණු කඩාගෙන ආපු අම්බු ජලය කුඹුරු යායේ මහ වැව් තැණුවා, අනේ ගුණේ අයියලෑ කුඹුරු කට්ටියේ ශූර වී කරල්, කුණු වෙලාම උළව් වුණා. මඩ සෝදාගෙන රජ වෙන්න මාන බලාපු ගුණේ අයියලෑ අප්පගේ සවප්නයත්, උපන්ගෙයිම දිවංගත වුණා. ගම්මුන්ගේ අධෝ තුඩාවේ සිනහව හංදිය හැඩ කළා, ඔස්ටින් මුදලාලිගේ කැවුත්තට ලේ ඩිංග ඩිංග ඉණුවා, තත් බිඳුණු වීණාවක් වී ගුණේ අයියලෑ අප්පගේ සන්තාන කුහර පතුලෙන් නැගෙනා ගොළු අඳෝනාවට, මහ මූකලානේ බකමූණොත්, මහ වැවේ බට කොක්කුත්, ගම්මණ්ඩියේ මහ එවුණුත්, කිඹුල් කඳුළු සැලුවා. පැහැය හතයි කුදයයි නැතිනම් දේදුණ්නකට ශෝභාවක් කොයින් ද, වෙරළේ හැපී බිඳුනේ නැතිනම් රළකට නිමාවක් කොයින් ද, ජරමර නැතිනම් ජීවිතයට ජවයක් කොයින් ද. ලැජ්ජාව, රුජාව, පරාජය, පසෙක ලූ ගුණේ අයියලෑ අප්පා, කපෝතිය වැදුණු යල කන්නයේ පරාජය දරාගෙනම, මහ කන්නය මහ ඉහළින් අස්වද්දා ගොවිකම කොහොමින් හෝ ජය ගෙන, ගම්මුන්ගේ මුහුණේ දැලි උලන්ඩ දැඩිව තීරණය කළා. උදුවප් මහේ මැද; ඊසාන දිගින් හමා ආ හීල් හුලඟ කළුවා මේඝ වලාකුළු පොදි ගැසුවා. වලාහක අකුණු බිඳී, අහස හඬා වැලපී, වැහි බිඳු එක දෙක පෙළවට පාතය වෙනකොට, ගුණේ අයියලෑ අප්පා උකුලේ අමුඩෙ බැඳලා, නඟුලේ දෙණුන් බැඳලා, කුඹුර පෙරළලා, සීසාලා, පදම් කළා. බිත්තර වී, පොහොර, මැහි තෙල් මිලයට ගන්නට; ගව රොත්ත ගෙරි මසට දක්කන්න ද, කෝඩු කුඹරේ ඔප්පුව උකසට දෙන්න ද, උභතෝකෝටික සිතයි, කුලුපග දෙපයයි, පුරුද්දටම වාගේ ඔස්ටින් මුදලාලිගේ දොරකොඩම නතර වී, වැල් පොලී වරපට ගැටයක බැඳුණා. ගොපළු කුලයේ ද, ගොවි කුලයේ ද, පලහිලව් ගොබිලෝ හොව්වාට, ගොයමට ඒ ගැන වගේ වගක් නෑ. ගුණේ අයියලෑ අප්පගේ අත්ගුණයයි, සාර පසයි, පොහොරයි, මැහි තෙලුයි කැලැත්තිලා නැගිටපු ගොයම, සිරිබරව පූදින්න පටන් ගත්තා. ඇස්වහ කටවහ දූරිම්භුත වෙලා, ගොයම සරුසාර වන්නටැයි පතා, නාත දේවාලයට නා අතුයි, පුවක් මලුයි එල්ලපු ගුණේ අයියලෑ අප්පා, බුසලට බුසල් සීයයක් ගොඩ ගන්නා ගණිතයක පැටලී, ඇඟිලි ගනිමින් උන්නා. පලු, වීර, සියඹලා ගස්, මල් බර වුණා. අච්චියෝ දිය කඩිති අද්දර හඬ තැලුවා. ගෙවත්තක පීදුණු අරුම තල මලකට, බඹරු බුරුතුපිටින් ඇදුනා. දිවුල්, කටු කෑලිය, එරමිණිය, මොර ගස් පළ බර වී, අතු ඉති බිමටම පාත් වුණා. මහා ඉඩෝරයක පෙරනිමිති, යමර පෙළහර පාමිණ් දස අත මතු වුණා. මංගල ගමන ඈවර කළ බැමිණිතියා සාය, දෙවැනි ගමන පිටත් වූ බවට තල් අත්තට බොරළුත් වැටුණා. මහ වැව සිඳී, මණ්ඩියේ රොණ් මඩ ඉරිතැලී මතුවුණු මඩ කනයින්, තපස් රකිමින් බලා හුන් මහ සුදු කොක්කුන්ට, ඇලි කොක්කුන්ට, රෑ කොක්කුන්ට, කරවල් කොක්කුන්ට, රාජ පිණ්ඩයක් වී උළව් වුණා. කන කොකා හැඬූ ගුණේ අයියලෑ බන්ඩි ගොයමත්, පර වී, කර වී, පරඬැල් වී, අනේ කම්මුතුම වුණා. වානරයෙකු විකසනය වී, මානවයෙකු ව වෙනස් වූණා. ඉස් ගෙඩියෙකු, ගෙම්බෙකු වී වෙනස් වුණා. දැලඹුවෙකු සමනලයෙකු වී, වෙනස් වුණා. ගොපල්ලෙකු වූ ගුණේ අයියලෑ අප්පට පමණක්, ගොවියෙකු වී වෙනස් වන්නට, තුන් ලෝකයම හරස් වුණා. එකදු වී බිජුවක් බිස්සටවත්, වෙළඳාමටවත්, බඩටවත් නොවැටී, කුඹුරු කට්ටිය පුරං වී, දින සති මාස ගෙවී, අවුරුද්ද ඉකුත් වූ තැන, තුඹසින් එළි බහිණ තලගොයි තඩියෙක් වාගේ, ඔස්ටින් මුදලාලිත් එළි බැස්සා. කුරු කඳයි, සූකර කටයි, තඩි බඩයි, තට්ටෙයි, ඔස්ටින් මුදලාලි අනේක ජාති සංසාරයෙන් ගෙන ආ දායාදයක්. කුම්භකරණ්යෙක් ද, බහිරවයෙක් ද, භස්ම අසුරයෙක් ද, අණුමාන කරන්න අමාරු තරමේ නරිප්පඩ අසත්පුරිසයෙකු වුණු ඔස්ටින් මුදලාලිගේ වැල් පොළියට, අහස හිල් කොරාගෙන ලියලපු මායා බෝංචි වැලත් පරාදයි. ගුණේ අයියලෑ අම්මගේ ජාතරූප කරාඹු කුට්ටම පොළියට පෙරළිලා, කණ පාළු වුණා. නංගිගේ කසුන් කරපට මාලය සින්න වෙලා, කර පාළු වුණා. එළදෙන්නු එකා දෙන්න හිලව් වෙලා, පට්ටිය පාළු වුණා. සීදේවියයි, ලක්ෂ්මියයි පෑල දොරින් පලා ගොහින්, පට්ටියේ ගෙදර සිරියාව දවසින් දවසම පුස් වුණා. නොදන්නා කරුමාන්තයකට අත පොවාපු ගුණේ අයියලෑ අප්පා අන්තිමට, පොළිය ගෙවලාම කම්බස් වුණා. මුදලයි, පොළියයි, මතක් කර කර මුදලාලිගේ දූතයෝ ගුණේ අයියලෑ අප්පට පහිණ ගෙන ආවා. මග තොටක මුලිච්චි වුණු වන්දිබට්ටයෝ වපර ඇහින් බැළුවා, බත් බැලයෝ බැනවැදුනා, සට්ටැඹියෝ සැරවැර පෑවා. බෝධිසත්ව ගුණෝපේත ගුණේ අයියලෑ අප්පා, කොළේ වහලා ගැහුවා නොවෙයි, නැති බැරි කමට ගෙටම ගාල් වෙලා, වහං වෙලාම උන්නා. වැටෙන්න ද නොවැටෙන්න දැයි නොදැන, දෙගිඩියාවෙන් අන්දබුත වූ ඉර තැටිය, ආකාසෙ වාටියේ එල්ලී අඩ අඳුර විහිදූ හැන්දෑවක, අල්ලපු ගමෙන් ආපු ගොම ඇණවුමක් බාර දෙන්න, ගෝණිය කර තියාගත්තු ළපටි ගුණේ අයියා පිටත් වුණා. පුරං කුඹුර උලා කන්න බැඳපු වැස්සිවයි, වහු පැටියවයි ලිහා ගෙන, වේලිච්ච දර කෝටුවක් දෙකක් මටි බැඳලා ඔළුවේ තියාගෙන, ආපහු ගෙදර ගාටන ගමන් උන්ණු ගුණේ අයියගේ අප්පයි නංගි පොඩිත්තයි හංදිය පහු කරනකොටම, ඔස්ටින් මුදලාලියි උන්දැගේ උදව්වට උන්ණු අතවැසි බැලයො දෙන්නෙකුයි, පාර හරස් කැපුවා. **"උඹ මුදලයි, පොළියයි පියවන්නේ කවද්ද ධර්මදාස.....?"** ඔස්ටින් මුදලාලි කෙළින්ම කාරවනාවට බැස්සේ, ගම්මණ්ඩිය දෙදරවන තරමේ තුංඟ ස්වරයෙන්මයි. මුදලාලිගේ සූකර කටේ සද්දෙට, පාරතොටේ කරක්ගහපු උදවිය නැවතිලා බැලුවා. අගුපිල්වල ලැගපු උදවිය හැරි හැරී බැලුවා, හන්දි පාළුවෝ කට ඇරගෙන බැලුවා. ගුණේ අයියලෑ අප්පා විතරක් ඔළුව පාහත් කරගෙන, ලැජ්ජාවෙන් බිම බැලුවා. තිගැස්සිලා වෙවුලපු ගුණේ අයියගේ නංගි පොඩ්ඩ, සැඩකිරණ දැක මුලුගැන්වෙන කුමුදු මලක් වාගේ හැකිළිලා, අප්පගේ උරිස්සක් පටිපස්සේ ගුලි ගැහිලා, වහං වුණා. **"තියාගෙන නොදී ඉන්නවා නොවයෙි මුදලාලි, කන්න දෙකම පාළු වුණා. ඊලඟ කන්නෙ වපුරලා, මුදලාලිගේ ණයයි පොළියය පියවලා, ඔප්පු තිරප්පු ටික බේරුමක් කරගෙන මිසක්, මම එක වී ඇටයක් ගෙට ගන්නේ නෑ........."** ගුණේ අයියලෑ අප්පා යටහත් පහත්ව කීවත්, තව කණ්නයක් වපුරන කතාව කණ වැටුනු ඔස්ටින් මුදලාලිගේ මුහුණ විපරීත වුණා, සිහිය විකල් වුණා. ඊලඟ කන්නෙ සරු වුණොත් ඔස්ටින් මුදලාලිගේ තිරිකිස්, ගඟට කැපූ ඉණි වෙනවා. **"තෝ තව කන්නයක් වපුරන්නේ ගෑණිව උකස් කරලා ද?, ඕනිනම් මේ කෙල්ලව එවාපං, තියාගෙන සල්ලි දෙන්නම්......."** කට කළිය සිරියාවක් නැති ඔස්ටින් කාරයා, දුව ඉස්සරහා පිටම කියාපු ඒ අවලං කතාවට, ගුණේ අයියලෑ අප්පගේ සරුවාංගෙම පණ නැති වුණා, කං අඩිය අගුල් වැටුණා, ඇස් ගෙඩි අඳුරු වුණා. ඔළුව උඩ තිබුණු දර මිටිය වාරු නැතිව, ඔස්ටින් කාරයාගේ කකුලේ මහපට ඇඟිල්ල උඩටම බෑවුණා, වේදනාව ගිණිසැරේට මුදලාලිගේ හිස මුදුනටම දිව්වා. මිට මෙලවුණු ඔස්ටින් මුදලාලිගේ අකීකරු දකුණු අත, ගුණේ ඇයියලෑ අප්පගේ මුහුණේ පදම බැලුවා. අඩව්වක් කස්තිරමක් අල්ලන්ඩ හිතත් ගතත් වාරු නැති ගුණේ අයියලෑ අප්පා, මූහුණ පුරවලා වැදුණු ඔස්ටින්ගේ ගුස්තියේ වීරියට, සිහිය මුරුජ්ජා වෙලා බිමටම පතබෑ වුණා. එකත්පස උන්ණු වැස්සි කුලප්පු වුණු වේගෙට, ඔස්ටින් මුදලාලිගේ අතවැසි බැලයො දෙන්නවත් පෙරළගෙනම, කැලෑ පැන්නා. හංදියේ එකම ජරමරයයි, ඔස්ටින් කාරයයි බැළයො දෙන්නයි, ගුණේ අයියාලෑ අහින්සක අප්පව බිම පෙරළ ගෙන, වට වී පයින් ගසමින් අපුල්ලන ගැම්මට, කැහැටු ගැහුණු මහළු කඳේ ඉල ඇට කූඩුවෙන් දොක් දොක් යන බොල් හඬින් නැගෙනා වේදනාවේ ගොළු රාවය දරා ගන්නම බැරිතැන, නිංගි පොඩ්ඩ ඔස්ටින් මුදලාලිගේ කකුල් දෙකම බදාගෙන, අප්පච්චිට ගහන්ඩ එපා කිය කි
යා, අනේ පිණ් සේණ්ඩු වුණා. නංගි ගේ අඳෝනාව අධෝ වාතයකට මායිං නොකළ ඔස්ටින් කාරයා, ගුටි කාලා, තැලිලා, පොඩි වෙලා, බිම වැතිරා උන්ණු ගුණේ අයියලෑ අප්පගේ සරම් කොටෙන් ඇද්දා. ගැලවිලා අතටම ආපු ඒ හංකඩ පට නූල් සරම, ඔස්ටින් මුදලාලි කීතු කීතු වලටම ඉරුවා. අවාසනාවකට එදා අමුඩ කෙටිය අමතක වෙලා, සිවිල් පිටම උන්ණු ගුණේ අයියලෑ අප්පගේ අංගජාතය අගිස්සේ, වැලි කැටත් තැවරුණා. ගුණේ අයියලෑ අප්පට කෙළ වෙනකල්ම මාන බලාගෙන උන්නු ගමේ ගූ හැත්ත, තම තමන්ගේ සිත් තුළ ගුලි ගැහිලා තිබුණු ඒ පජාත ආසාව, ඔස්ටින් මුදලාලි හංදිය මැද ටක්කටෙම රඟපාලා පෙන්වනකොට, ගම්මු බයිස්කෝප් බැලුවා මිසක්, අරෝව සමතයකට ගෙන එන්නට මැදිහත් වුණේම නැති තරම්. ගුණේ අයියලෑ අප්පාට නැගිට ගන්ඩ සිහියක් කටක් නෑ, වැදුණු පා පහරවල් ඒ තරමටම ඇට්ටරයි. හංදිය මැද අමු හෙළුවෙන්ම කුදුගැහිලා ඉඳගත්තු ගුණේ අයියලෑ අප්පා, දණිස් පොල් කටු දෙක මැද්දේ ඔළුව සඟවා ගත්තා. වගේ වගක් නොදන්නා, හුරතලේටම වැඩුණු වහු පැටියා, අෂ්ට දිසාවම මගේ කියා ගෙන පැන පැන ඉබාගාතේ දුවනවා. ගිය පෝයට ගෙට වුණු නංගි පොඩ්ඩ, අප්පගේ හෙළුව වහන්න ද, වහු පැටියගේ කඹේ අල්ලන්න දැයි නොදැන, දෙගිඩියාවෙන් අසරණ වී ගැහෙනවා. එතෙක් අරියාදුවටම බලපු ගම්මුණ්ගේ හිත්, උණු තාච්චියට වැටුණු වෙඬරු වාගේ එකපාරම දිය වුණා. ගම්මු එකා දෙන්නා වට වෙනකොට, ඔස්ටින් කාරයයි බැළෙයො දෙන්නයි හෙමිහිට පල්ලම් බැහැලා මාරු වුණා. හිත තෙත් වුණු කවුදෝ ගැමියෙක්, රෙදි වැලක වනලා තිබුණු තෙත සරමකින් ගුණේ අයියලෑ අප්පව පොරවලා, හෙළුව වහාලා, වත්තම් කරලා, කෙළින් කටින් හිටුවා තැබුවා. රෑ හඬ තැලූ රැහැයියන් ගේ ගෝරණාඩු මැදින්, නංඟි පොඩ්ඩ ගේ උරිස්සකට බර දී, නොණ්ඩිය ඇද ඇද ගම්මණ්ඩිය මැදින් ගෙපැළට ගාටපු ගුණේ අයියලෑ අප්පා, පිල්කඩ උඩ ඈඳි ගෙන, ගෙමිදුල් කොණ හැඩ කළ බුදු කුටියේ දැල්වුණු මැටි පහන් දැල්ලේ පඬු පාට ආලෝකයෙන් බැබලි බැබලී, මෛත්‍රියම වැපිරූ මහා ගුණ කඳේ නිහඬ මැටි පිළිමය දෙසම බලා හුණ්නේ, ශ්‍රද්ධාවට ද, නෝක්කාඩුවට ද, නොදණිමි..... ජංජාලය මැද මග හැරුණු දර මිටියයි, වහු පැටියයි, වැස්සිවයි දක්කා ගෙන ආ කවුදෝ හාදයෙක්, ගුණේ අයියලෑ වත්තේ ගාල් කොරලා ගොහින් තිබුණා. මේක තමයි සමයම කියලා වැටහුණු වහු පැටියා, වැස්සිගේ බුරුල්ලේ පුඩු ගැල විලා එන තරමටම වීරියෙන්, කිරි ඩිංග උරා බොනවා. නිවන් යන්න ද, නොයන්න දැයි නොදැන, වැණි වැණී දැල් වුණු තනිකඩ චිමිණි ලාම්පුවේ දැල්ල, ගුණේ අයියලෑ ගෙපැලේ අඳුර ආයාසයෙන් මකනවා. හාංකවිසියක් නොදන්නා ගුණේ අයියා, අඳුරත් එක්කම ගෙට ගොඩ වෙලා, හිලව් වුණු ගොම ගෝණියේ ගණුදෙණුව, අම්මගේ අතට සතේටම බේරුවා. හරි හතරැස් අඩ අඳුරු සාලයේ, ඊසානදිග කට්ට කළුවර මූලයේ බිත්තියට පිට දී; තලා පෙලා, අපුල්ලා, මිරිකා දැමු සරීර කූඩුවේ තැරිගැසුණු සීරීම් පිරිමැද, නාහල්ලේ තෛල කුප්පිය උලමින්, ගම්මැද සීතාම්බර විවට වුණු අවනම්බුවේ මතකය සන්තාපයක් වී, ආත්මය තුලටම කිඳා බසිනා වේදනාව දරාගත නොහී, දෙකම්මුලෙන් රූටා වැටෙනා අප්පච්චිගේ කඳුලු කැට, හින්නි ගුණේ අයියාගේ නෙත ගැටුනේ නැත. ප්‍රාණ සමානව පරම් පරාවෙන් පරම්පරාවට රැක ගෙන ආ අකුටිල නම්බු කටුව, වකුටු වූණු වේදනාව සිහි කරමින්, කරුවල නිරිතදිග මූලයේ ලැතැවෙනා අම්මාගේ බොඳ වුණු දෑස, පෙම්බර ගුණේ අයියාට පෙණුනේ නැත. අන්ධකාර ගිණිකොණ මූලයේ ගැහෙනා නංගි පොඩ්ඩිගේ මීන දළුවේ අමුණු බැඳි කඳුළු තෝය, නුරාබර ගුණේ අයියාගේ නුවණ ගැටුනේ නැත. මක් නිසාද; අඳුර යනු විශ්වයේම රහස් වසනා සළුවයි, ආලෝකය සළු උණාදමනා සල්ලාලයයි. ආඬියා ලිඳ පතුලෙන් වතුර පණිට්ටුවක් ගොඩ ගත්තු ගුණේ අයියා, ගොම ගඳ තොලාන්චි වෙන්නම අතපය දොවාගෙන, ගෙට ගාල් වුණා. රතු හීනටි හාලේ බත් මුට්ටිය හරි හතරට පංගු බෙදලා, පරිප්පු හොද්දයි, බොම්බිලි කරවළ බැදුමයි, රතු ළූණු ගෙඩියයි, අමු මිරිස් කරළයි පුරවපු පිඟන් තටු හතරත් එක්කම, සාලය මැද එලාපු තුන්හිරියා පන් පැදුරේ එරමිණියා ගොතාගත්තු අම්මයි, අප්පච්චියි, නංගි පොඩ්ඩයි, ගුණේ අයියා එනකල් මග බලාගෙන උන්නා. බඩ පිණුම් ගැසූ ජටරාගින්නට, ගෑවෙච්ච තැනුත් වළඳන්නට හිතාගෙන ඉඳගත්තු ගුණේ අයියා, බත් තටුව අතට ගත්තා..... **"මෙන්න වැස්සි කඹේ කඩාගෙන දුවනවෝ........"** කාගෙදෝ ගොරහැඬි කටහඬක් ඈතින් දෝංකාර දුන්නා. ගුණේ අයියා ගිනිමරේට නැගිටලා, දොට්ට පැණලා, කඩුල්ලත් පැණලා, පස්ස නොබලාම දුවනා වැස්සි පසු පස ගිනිසැරේට එලෙව්වා. කුලප්පු වුණු කුලප්පු විල්ලට, ගම්මණ්ඩියෙන් දෙකෙන් පංගුවක්ම පහුකරලා දුවපු වැස්සිගේ කඹේ පාගපු ගුණේ අයියා, යාන්තමට වැස්සිව ආම්බං කරලා, නවත්ත ගත්තා. කඹේ කෙටි කරලා ඔතා ගත්තු ගණේ අයියා; වැස්සිව පිරි මැදලා, අස්වසලා, ඇල් මරලා, මඩුවට දක්කාගෙන විත්, කණුවක ගැට ගැසුවා. වැස්සිගේ තණ බුරුල්ලෙන් ඈත මාණයක පැටියවත් ගැට ගහපු ගුණේ යියා, ගෙට ගොඩ වුණේ බත් ඩිංග ගිලින්න හිතාගෙනමයි. බිත්තියට පිට දී , බිමි ඈඳිගෙන වුණ්නු අප්පච්චිගේ බෙල්ල පාත්වෙලා, නූල කුඩුණු රෑකඩයක් වාගේ උරුස්සෙන් පහළ එල්ළෙනවා. බූරු ඇඳ උඩ මුණින් අතට දිග ඇදී නිදා වුණ්නු අම්මාගේ අප්ප්‍රාණික අත් දෙක, ඇඳේ දෙපැත්තෙන් පහළට වැටිලා, පතවල කරල් දෙකක් වාගේ පොළවේ වදින නොවදිනා ගානට එල්ළෙනවා. රෝස පෙහොට්ටුවක් වාගේ රූසපුව, ගැට පිච්ච මලක් වාගේ පුසුඹ, හා පැටියෙක් වාගේ අහින්සක, පියුම් පෙත්ත වාගේ සුකොමල නංගි පොඩිත්ත, අනේ බූරු ඇඳ පහළ සෙම පෙරාගෙන, හුස්මක් කටක් නැතිව වැටිලා, යමායා ලඟටම ගොහිල්ලා. ලැජ්ජාව දරාගන්නම බැරිතැන, දෙවියනේ ගුණේ අයියලෑ පවුලම හලාහල වසක් ගිලලා, උළව්වෙලා.... මිණී තුනක් ඔඩොක්කුවේ හොවාගෙන, ගුණේ අයියා එදා රාත්‍රියේ නගපු නලංගුවේ අඳෝනාවට, අතු අග ගාල් වී නිදි කිරා වැටුණු විහඟුන්, තිගැස්සී අවදි වී, සට සට හඬින් තටු සලා අහසට පියාඹා ගියා. ගම්මණ්ඩිය පසුකර යන සුලං පොද පවා, රූස්ස ගස් පිටුපස සැඟවිලා, කඳුළු සලා දුක් අනුමෝදන් වී නික්ම ගියා. වියෝ වුණු පවුලම වළදාලා, වළහම අහවර කරපු ගුණේ අයියත්, ගම්මණ්ඩිය කළකිරිලා, කාත් කවුරුත් නොදන්නා ඈතකට තොලොන්චි වෙලාම ගොහින්, ආපහු ගමට මායිම් වුණේ අවුරුදු දහයකටත් පස්සෙයි..... **(A Short Story By: Epic Writer Duo)**තාත්තා... නැහැ දැක සිනහවක් මුවකමලෙහි කවර... ගොරහැඩි කට හඬම වේ ඇසුනේ නිතර... විඩාව නොම දුටුව හැඩි දැඩි සිරුර... වෙහෙසෙනවා දුටිමි දිවරෑ මග නෑර... උදයෙම නැගිට ඔහු හේනට පිටවේ... අවු වැසි නොම බලා හේනෙහි වැඩ කෙරුවේ... නොදැනිම හිරුගෙ සැඩ රැස් මාලා දුරුවේ... ගෙදරට ඇදෙනවිට සෙවනැල්ලද නොමවේ... පහනෙහි එලිය වැටෙනාවිට එලිපත්තේ... සඳ තරු පිරිවරාගෙන දුර අහසෙහි ඇත්තේ... මූසල නිහඬ බව පරිසරයම ගත්තේ... හෙට ගැන හිතනවිට නිවනක් නම් නැත්තේ... දරු පැටවුනගේ සුරතල් බැලීමට... උන් හා එක්ව කතිකාවක් කිරීමට... ප්‍රිය අඹු සමග දොඩමලු වී සිටීමට... නොහැකිය ඔහුට දහවල රැඳුමට එමට... ගත සවි තිබෙන තුරු රැකුමට දිවිපෙවත... ගොවි කම වේය ඔහු පන මෙන් රකින වෘත... මහමෙර සමයි සෙනෙහස සිය පවුල වෙත... සිහිවෙන විටදි වෙහෙසක් හෙම දැනුනෙ නැත... දහඩිය කදුලු බීවේ වෙහෙසෙමින් සදා... රැක්මට පුතුන් හැර දැමුවේ සැපත එදා... සෙනෙහස ඔහුගෙ ඇති පපු කූහරයෙහි කිඳා... නොදුටුව කෙනෙක් වේනම් ඔහු වේය නිදා... කැපකර ඔහුගෙ දිවියේ සවි බල සමය... ඔහු දැන් සිටී යහනත වැතිරී සුවය... කාලය ඔහු සතුය කිසිදාටත් වැඩිය... එනමුත් දරුවො නැත උන් ගම දා ගොස්ය... තනිකම හුරුයි වෙන කිසිදේකටත් වඩා... වෙහෙසුනෙ තනිවමයි නොම තැකුවේය විඩා... සතුටෙන් සිටින්නට කිසිදා නොවී හඬා... පින් කර ඇති සෙයකි වෙන කිසිවෙකුට වඩා... රූසෙන් 22/12/2023...🔖 "ස්පර්ශය" 🌿🍂 බොහෝ දින වල හිරු පායයි. නමුදු හිරුද රෝගී වන දින තිබේ. එවන් දින වල හිරුගේ කාර්යයභාර්ය සම්පූර්ණ කල හැක්කෙක් නොමැති නිසාවෙන් මඳ අඳුරු ස්වාභාවයක් ගනියි. කෙසේ හෝ හිරු පැමිණියද නොපැමිණියද දිනය ගෙවී යයි. මෙකී දිනයද එසේ හිරු අසනීප වූ දිනයකි. නමුත් රෝහලේ මෙම වාට්ටු සංකීර්ණය අලුතින් ඉදි කල එකක් බැවින් හිරු පැමිණියද නොපැමිණියද එහි තුල සිටිනා කිසිදු අයෙකුට එහි ගැටළුවක් ⁣නැත. විදුලි ආලෝකය මඟින් අවශ්‍ය ඕනෑම වේලාවක වාට්ටුව ආලෝකමත් කල හැකිය. (මෙහි එන නම් මනඃකල්පිත බව සලකන්න.) ගුඩ් මෝනින් මිස්. මම Dr. සමින්සා විමලරත්න. ගුඩ් මෝනින් ඩොක්ටර්. ඩොක්ටර් විදාරන් ලංකාවේ නැති සති දෙකේ ඩොක්ටර්ගෙ වෝඩ් එක බලන්න Dr. සමින්සාව එවනවා කියලා Dr.විදාරන් අපිට කලින්ම කියලයි තිබ්බෙ. අහ්. එහෙමද Dr. ⁣විදාරන් තව මොනවද මං ගැන කිව්වෙ මිස්. අප්පේ සෑහෙන වර්ණනාවක් කලා . එකම ෆැකල්ටියෙ එකම කැටගරි එකක් ගැන එකම කාලේ ඉගෙන ගෙන Dr. විදාරන් මේ තරම් වර්ණනා කරනවා කියන්නෙම මදැයි. ඒ නැතත් දැන් ටීවි එකේ යන වෛද්‍ය වැඩසටහන් වලින් වැඩි හරියක ඉන්නෙත් Dr. සමින්සා නෙ. කොහොම වෙතත් මලක් වගේ ⁣ඩොක්ටර් කෙනෙක් ටික කාලෙකට හරි අපේ වෝඩ් එකට ආපු එක කොච්චර ලොකු දෙයක්ද ? ඒ තවත් හෙදියකගෙ හඩයි. ෂා. හොඳයි හොඳයි. මිස්ලා ටික මාව වැඩිපුරත් එක්ක වර්ණනා කරනවද කොහෙද ? හරි දෙන්නකො බලන්න දැනට වෝඩ් එකේ ඉන්න ⁣පේෂන්ලගෙ ෆයිල්ස් ටික. ටික වේලාවක් රෝග වාර්තා දෙස බැලූ වෛද්‍ය සමින්සා හඬ අවදි කලේය. මේ 13 බෙඩ් එකේ ඉන්න පේෂන් මාස දෙකකටත් වැඩියි නේද ? අනිත් අයනම් දවස් දෙක තුනයිනෙ. Dr. විදාරන් මට විශේෂයෙන්ම කිව්වා එක පේෂන් කෙනෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොම අය සාමාන්‍ය තත්වයේ අය. ඒත් එක්කෙනෙක් ගැන විතරයි විශ්වාස නැත්තෙ ඔයාට පුළුවන් දෙයක් කරන්න ට්‍රයි කරන්න කියලා. ඒ මෙයාද ? ඔව් මිස් මේ පේෂන් ඇක්සිඩන්ට් එකකින් මෙහෙට ආවේ. ද
ෙවනි තට්ටුවකින් කකුල පැටලිලා බිමට වැටිලා. එලියෙ තුවාල නම් ඔක්කොම දැනට සනීපයි. ඒත් අභ්‍යන්තරව තියෙන ගැටළුව තමයි පේෂන්ගෙ හදවතට හානි වෙලා තියෙනවා. පුදුමෙ කියන්නෙ ඩොක්ටර් මාස දෙකක් තිස්සෙත් පේෂන් ජීවත් වෙනවා. ඒත් පේෂන්ට කිසිම දෙයක් කිසිම කෙනෙක්ව මතක නැහැ. එහෙමද ? අපි යමුද මිස් මේ කියන පේෂන්ව බලන්න. සේලයින්, රුධිර පෙරන උපකරණ ආදී උපා⁣ංග ගණනාවකින් සරසා සුදු පැහැති ඇඳක් මත ඈතට ප්‍රාණය නැතැයි පෙනෙන මුත් ආසන්නයට ගොස් මඳ වේලාවක් බලා සිටි විට ප්‍රාණය ඇතැයි සිතිය හැකි කෙසඟ මිනිසෙක් වැතිර ඇත. තමා රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කර ඇති මුත් මෙකී රෝගියා දකින්නට යන ගමනේ අමුත්තක් දැනේ. තමා දරු දෙදෙනෙකුගේ මවක් වන ශක්තිමත් ගැහැණියක් බවත් දක්ෂ වෛද්‍යවරියක් බවත් හිත දන්නා නමුදු අමුත්තක් දැනේ. ⁣මෙම කල්පනාවත් සමඟම වෛද්‍ය සමින්සා සහ හෙද පිරිස අංක 13 ඇඳ අසලට පැමිණ ඇත. මෙවන් රෝගියෙකුගේ ස්පන්දන වෙද නලාවෙන් පරීක්ෂා කිරීමට වඩා සුදුසු අතෙහි රුධිර ගමනාමනය පරීක්ෂා කිරීම බව හුරුවෙන්ම දන්නා වෛද්‍ය සමින්සා කල්පනාව කෙලවර වන්නටත් පෙර එම ක්‍රියාව සිදු කලාය. ඇය එම රිද්මයට සවන් දෙන අතරම ඇයට "සමින්සා" ⁣යන අපහසුවෙන් මුමුණන හඩක් ඇසුණි. සැබැවින්ම එය හඬක් නොවේ. විදුලියකි. වසර පහලවකට ඉහතදී තමාගේ ලෝකය වූ හඬය. තමාගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් අත්හල අපූරු මිනිසාගේ හඬය. වෛද්‍යවරියකට කාත් කවුරුත් නැති පත්තරකාරයෙකු නොගැලපෙන්නේ යැයි සිතුනු නිසා වෙද නලාව අතට ගැනීමට ඉගෙන ගැනීමට පටන් ගත් කාලයේම අත් හල වසර හතරක ප්‍රේමයේ හඬය. හෙදියන්ගේ දෑස් ද විස්මයෙන් පිබිදී ඇත. පුරා දින හැට හතරක් තිස්සේ එකඳු වචනයක් හෝ කතා නොකල මේ රෝගියාගේ කටහඬ ඔවුන්ද ඇසූ මුල්ම වතාව මෙයයි. වෛද්‍ය වරුන් සිව් දෙනෙකුගේ මතය අනුව පූර්ණ මතකය අමතකව ගියා සේ සැලකූ මෙකී රෝගියා වෛද්‍ය සමින්සාව කෙසේ නම් හඳුනා ගත්තාද ? වෛද්‍ය සමින්සා සෙමෙන් දෑස් ඔසවා බැලීය. තමා නිවැරදිය. ඒ ඔහුමය. ඒ ප්‍රේමණීය දෑස්මය. කීමට වචන නොපැමිණේ. කඳුළු, වචන වලට ඉඩක් සොයා ගැනීමටද අවස්ථාවක් නොදේ. නමුත් වචන ගැටගැසිය යුතුමය. කොහොමද මාව අඳුන ගත්තේ ? ⁣ඔයාගෙ හුලඟක් වැඳුනත් මට දැනෙනවා සමින්සා. "අඬන්න එපා සමින්සා. මං දැනන් හිටියා මැරෙන්න කලින් ඔයා මාව බලන්න එනවා කියලා. අපි මුණගැහුණ මුල්ම දවසෙ මං පොරොන්දු වුණා මතකද කවදහරි දවසක මැරෙන්නෙ ඔයාගෙ අතින් අල්ලන් කියලා. හැබැයි මං එදා ⁣එහෙම කිව්වෙ මුහුදු වෙරලක් හිතේ තියාගෙන. තැන වෙනස් වුනාට මං පොරොන්දුව ඉෂ්ට කලා සමින්.සා.. එහෙනම් මං ගිහින් එන්නම්. ඔහුට සම්බන්ධ කර තිබූ යන්ත්‍රවල වෙනස් වූ නාදයන් සහ වර්ණයන්යන් ඔහු යන්නට ගිය බවට සංඥා නිකුත් කිරීම අරඹා තිබුණි. ⁣හෙදියන්ද වෛද්‍යවරියගේ කඳුළු ගංගාවේ ඉමක් නොදන්නා මුත් ඔවුන් කිහිප දෙනෙක්ම එම කඳුළු ගංගාවට සහය වෙමින් සිටියේ මේ මොහොතේ ඇසුණු වචන කිහිපය නිසාය. මිනිත්තු කිහිපයකින් සියල්ල සංසුන් විය. හෙදියන්ගේ කඳුළු වියලී ගොස් තිබුණු අතර වෛද්‍ය සමින්සාද තමන්ගේ කඳුළු හිර කර ගැනීමට සමත්ව තිබුණි. ඩොක්ටර් නැතිවුණ ප්‍රේෂන්ව මෝචරි එකට යවන්න ෆෝම් එක ෆිල් කරන්න ඕනෙ. හ්ම්. මං ඒක පුරවලා ෆයිල් එකට දැම්මා මිස්. ඒත්... ඩොක්ටර් කොහොමද පේෂන්ගෙ විස්තර දන්නෙ ? ඒක දිග කතාවක් මිස්. හෙට ඉදන් dr. වදාරන් එනකල් වෙන ඩොක්ටර් කෙනෙක් ඒවි වෝඩ් එකට. මං තීරණය කරා ටික කාලෙකට විවේකයක් ගන්න. ඒ කිව්වෙ ඩොක්ටර් සතියකට දෙකකටද ? සමහරවිට ජිවිත කාලෙටම වෙන්නත් පුළුවන් මිස්. ඊට දින කිහිපයකට පසුව සති අන්ත පුවත්පතක මෙසේ පල විය. "හදීසී අනතුරකින් බරපතල තුවාල ලබා මාස දෙකකට අධික කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීන පුවත්පත්වේදියෙකු හා ලේඛකයෙකු වූ රෙහාන් වාසලමුදලි මැතිතුමා පසුගිය 23 වෙනිදා සන්ද්‍යාවේ සදහටම අප අතරින් සමුගත් අතර එතුමාගේ අවසන් කටයුතු සිදු කිරීමට ඥාතීන් කිසිවෙකුත් ඉදිරිපත් නොවූ නිසාවෙන් වෛද්‍ය සමින්සා විමලරත්න මහත්මිය හා රෝහල් කාර්යය මණ්ඩලය එක්ව අදාල සිරිත් ඉටුකර අවසන් කටයුතු සිදු කරන ලදී. අභාවප්‍රාප්ත වූ රෙහාන් වාසලමුදලි මැතිතුමා රචිත එලඹෙන මස 13 වනදා එලිදැක්වීමට නියමිතව තිබූ එතුමාගේ ප්‍රථම නවකතාවේ නමද " සමින්සා" වීම දෛවෝපගත සිදුවීමකි. පුවත්පත් කලාවේදී අප සැම අප සහෘදයාට අජරාමර නිවන් සුව පතන්නෙමු." එක් ස්පර්ශයකින් පවා ප්‍රේමය හඳුනා ගත හැකි බව වෛද්‍ය විද්‍යාවේ සඳහන්ව නැති මුත් එය සදාකාලික සත්‍යයක් බව මා හට පැවසුවේ මාගේ ආදරණීය ජීවන සහකාරිය වූ වෛද්‍ය සමින්සා විමලරත්නය. (මෙහි එන නම් මනඃකල්පිත බව සලකන්න.) යොහාන් විමුක්තිචොකලට් ---------------- පැහැබර දිනයක ඇරඹුම සනිටුහන් කරමින් ඉර ගගනට නැගෙමින් පවතියි. නිල් වන් අහසේ රැස් විහිදන හිරුට පාලු මැකීමට කැටි වළාවන් කීපයක් තිබුණ ද ඒවා තේජ වන්ත හිරුට බොහොමත් ඈතින් රැඳුනේ යම් ගෞරවපූරක බවක් පෙන්වමිනි. එවන් වුන අහසක් යට කිචි බිචි ගානා කුරුළු නාද වෙනුවට තෙල් කඳ නංවා කළු දුම් වළාවන් නංවන බස් රථ වල ඝෝෂාවෙන් ගිගුම් දෙන්නට වූයේ තව දුරටත් ස්වභාව ධර්මයා වෙත පොළෝ තලයේ ඉඩක් නොමැති වන තැනටම මිනිස් ක්‍රියාකාරකම් සිදුවන බව නැවත නැවතත් පසක් කරමිනි. " බ්‍රාං....බ්‍රාං..........බ්‍රාං..................." මෙතෙක් වේලාවක් ගාටමින් පැමිණ, මාර්ග තදබදයක් ඇති කරමින් සෙනඟ පටවා ගත් ඉන්දියානු ලේලන්ඩ් යකඩ දර මැස්ස එකවරම පියඹා යන්නට වූයේ එහි රියදුරා වෙත දෙවන ගියරයෙන් එහා යාමට දේව වරමක් ලැබුන ලෙසකිනි. ලේලන්ඩ් බසයෙන් නැගුන කළු දුම් වළාවන් අතරින් මතු වූයේ තවත් ඉන්දියානු නිශ්පාදනයකි. එය යතුරු පැදියකි. යතුරු පැදිය පදවන්නා කළු දුම කපාගෙන සෙමෙන් ඉදිරියට ඇදුනේ විනෝදාස්වාදය සඳහා කෙරෙන මල්ලව පොර සටන් කරුවෙකු තරඟ වළල්ලට එන්නාක් මෙන් වීරත්වයක් මුහුණට ආරූඩ කරගෙනය. ඔහු ගතින් සිටියේ මහ පාරේ වුනද සිතින් සිටියේ ඇමෙරිකාවේ මල්ලවපොර වළල්ලක් අභියසය. " දි අන්ඩර්ටේකර්.....අන්ඩර්ටේකර් " ඔහුගේ මුවින් කියවුනේ ව්‍යාජ බරක් කට හඬට ඈඳා ගනිමිනි. පහළට බේරෙන දිගු රැවුල සහ බාග හෙල්මට්ටුවේ දාරයෙන් පිටට පැනගත් කැරලි කොන්ඩය සුළඟට ලෙලදෙන විට ඔහුට එවන් විකාර හැඟුමක් ඇති වීම සාමාන්‍ය දෙයකි. "කැහ්.....කැහ්...." කළු දුම හේතුවෙන් ඇතිවුන කැස්ස ඔහු සිතින් මවාගත් ලෝකයෙන් පියවි ලෝකයට ඇද දැමීමට සමත් විය. ඒ අතර ඔහුගේ යතුරුපැදියේ එන්ජිමද දෙතුන් වරක් ගැහුනේ එයටද කැස්සක් වැලඳුන ලෙසකිනි. " ඕක අහකට ගන්නවා ඕයි." " තමුසෙ යන්නෙ නැත්තං අහකට යනවකො අපිටවත් යන්න." " පිස්සෙක්ද මන්දා" පිටුපස තිබුණු වාහන වල රියදුරන් වෙතින් ඔහුට උණුසුම් ප්‍රථිචාර ලැබෙන්නට විය. කහිමින් පාරේ කිරිබත් කැපූ අබලන් යතුරු පැදිය පාර අයිනට වූයේ එම ප්‍රථිචාර හේතුවෙනි. "රුං...රූං....." කළු පැහැය අලු පැහැය දක්වා අවපැහැ ගැන්වුන කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරතනය දෙදරා ගියේය. ජංගම දුරකතනය තමුන්ට දැනුම් දෙන්නේ පණිවිඩයක් ලැබුන බවද? එසේත් නැතිනම් මුහුණු පොතේ දැනුම් දීමක් ද? ඒ ගැන විපරම් කිරීමට නොසිතූ ඔහු දෙතුන් වරක් ඇක්සලේටරය කරකවා යතුරුපැදිය ජව ගන්වා නැවතත් ඉදිරියට ඇදෙන්නට වූයේ බලාපොරොත්තුවක් මත මැවුන මද සිනාවක් මුවට නගා ගනිමිනි. මලකඩ පිරුන ඔහුගේ ඉන්දියන් යකඩ මනමාලිය බොහොසෙයින් වියපත්ව හුන්නාය. වරක් දෙවරක් සීට් එක මත තබගෙන ගිය පස්සා පෙදෙස උස්සා ඒ මත එලා තිබූ ඉටි කොළය සකසා ගැනීමට ඔහුට සිදු වූයේ සීට් කවරයේ නෂ්ඨාවශේෂ පමණක් ඉතිරිව තිබුණු නිසාය. එහි වැඩි හරියක් තිබුනේ කවරය ඉරී පන්චි කොටස් මතුවුන තැන් පමණි. පෙර දින හවස ඇදහැලුන වැස්සෙන් උරාගත් වතුර ඇඳ සිටි කලිසමට කාන්දු වීම වැලැක්වීමට ඉටි කොළයක සේවය පැතීමට ඔහුට සිදුව ඇත. සීට් එකට අමතරව කැටලොයි තට්ටු වලින් වැසුන ඉනධන ටැංකිය, කැන්වස් මතුවුන ටයර් යුගලය, හතර වටින්ම කළුතෙල් බේරෙන එන්ජිම, බිඳී ගිය පැති කණ්නාඩි, වයර් කොන් පමණක් එළියට පෙනෙන සංඥා පහන්, අඩියටම ගිලුන පෝක් බට මලකඩ පිරුන චැසිය සහ "ටක ටක" හඬ දෙන චේන් ස්පොකට් යකඩ මනමාලියගේ මරණාසන්න බව මොනවට විදහා පාන්නට විය. ඉදිරියෙන් හතරමං වුන හංදියෙන් වමට හැරුන මලකඩ යතුරුපැදිය ඉන් මීටර් කීපයක් ඉදිරියට ගොස් පාර අයිනේ නැවැත්වූ යතුරුපැදි කරු එයින් බැස ගියේ ඉරී ගිය සීට් කවරය මත එලා තිබූ ඉටිකොළය මත හෙල්මට්ටුව තබමිනි. එසේ කිරීමෙන් ඉටිකොළය සුළඟේ නොයනු ඇතැයි ඔහු අපේක්ෂා කරන්නට ඇත. එතැන ඇති තෙමහල් ගොඩනැගිල්ල ඔහුගේ රැකියා ස්ථානයයි. ඒ වෙත වේගයෙන් දිව ගිය ඔහු ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සිය පැමිණීම සටහන් කළේ එතැන සිටි කෙල්ලකද තල්ලුකරගෙන යන අතරය. " අනේ ගයාන් අයියේ. තව පොඩ්ඩෙන් මාව ඇදගෙන වැටෙනවා.....මෝඩයෙක් වගේ දුවන්න තියාගන්නෙ නැතුව පොඩ්ඩක් වේලාසන එනවකෝ..." පසෙකට විසිවී ගිය කෙල්ල මැසිවිලි නගන්නට වූයේ ගයාන්ගේ උරයට අතින් පහරක් එල්ල කරන අතරය. එය රිද්දවීමේ අරමුණකින් තොර පහරකි. " අනේ නිසංසලෝ...උඹ කියන්නෙ මට පාන්දර පහට විතර ළමයි ඉස්කෝලෙට ගිහින් දාලා වැඩට එන්න කියලද ? බොල මගෙ පොඩිම එකා මම මේ වෙලාවට ඇවිල්ලත් පැය එකහමාරක් විතර මොන්ටිසෝරියෙ තනියම වාඩිවෙලා ඉන්නවා උන්ගේ ටීච එනකල්." පහරක් වැදුන වගවත් නොදැනුන ගයාන් කට ඇද කරමින් නිසංසලා වෙත ප්‍රථිචාර දැක්වීය. " ස්කූල් වෑන් එකකට දැම්ම නම් හරිනෙ ඉතිං. පව් අර පොඩි එකා. පැය එකහමාරක් තනියම ඉන්න බය ඇති එයා." නිසංසලාගේ මහා ප්‍රඥාවෙන් ගයාන් වෙත ඔහුගේ ගැටලුවට විසඳුම සොයා දෙන්නට වෙහෙස වන සෙයකි. " අඩේ...මට ඕක කල්පනා වුනේ නෑනෙ. උඹේ මොළේ තමයි මොළේ..." ගයාන් ඔලොක්කුවට සිනහසෙන්නට විය. " ඇයි...මොකද හිනා වෙන්නෙ?" " ස්කූල් වෑන් එකකට ගෙවන්න උඹ හිතුවද මට හැට හැත්තෑ දාහක පඩියක් උඹලගෙ බොසා දෙනව කියලා. බොල මාසෙ කෑම වියදමටත් මදි මගෙ පඩිය. ඒ සොච්චමෙන් මාසයක් කනව නෙවෙයි අපි..... ලෙවකනවා." එසේ කියාගෙන ඔහු කාර්‍යාලය තුළට ඇවිද ගියේ යතාර්ථය එය නමුත් එයට එරෙහිව සටන් කිරීමට නොහැකි වීම පිළිඹඳ කනගාටුවක සේයාවක් ව
ත් නොපෙන්වමිනි. කාර්‍යාල සංකීර්ණයේ කෙලවර වුන කුඩා කුටියක තිබුණු ඉදලක් රැගෙන ගයාන් සුපුරුදු රාජකාරි අරඹන්නට විය. කාර්‍යාල ගොඩනැගිල්ල ඉදිරියේ වුන රථගාල ඇමදීම ඔහුගේ දෛනික රාජකාරියේ පළමු අංගයයි. රථගාලට පළමු රථය ඇතුලු වූයේ එවිටය. එයද ඉන්දියානු නිෂ්පාදනයක් වුන මිළෙන් අඩුම මෝටර් රථයකි. " ආ...අරුන්දික සර්...ගුඩ් මෝනින්." මෝටර් රථයෙන් බැස එන පුද්ගලයා අමතා ගයාන් පැවසූවේ තරමක යටහත් පහත් බවක් පෙන්වමිනි. "ආ...ගයියා...ගුඩ් මෝනින් මචං." නිලධාරින් මාන්නයෙන් හිස උදුම්මවා නොගත් අරුන්දික ප්‍රථිචාර දැක්වීය. " ලොක්කා තවම ඇවිත් නෑ නේද?" ගයාන් පසු කර යන අතර අරුන්දික නම් කළමනාකරු විමසීය. අතුගෑම නැවැත්වූ ගයාන් උගුරූ රැල් බුරුල් කළේ ඉදල තම ඇඟට හේත්තු කරගනිමිනි. " සර්...මේකයි සීන් එක. මේ ගෙවෙන්නේ මේ ඔෆිස් එකට මරුටි, ඇල්ටො සම්ප්‍රාප්ත වන නැකත. එතකොට අවුඩි, බෙන්ස් වගේ ඒවා සම්ප්‍රාප්ත වන නැකත උදාවෙන්න තව පැය බාගයක් වත් යනවා." දාර්ශනික රංගනයකින් ගයාන් පිළිතුරු දුන්නේ සිය සුරත ද උපයෝගි කර වදනට රසය කවමිනි. " අප්පට සිරි. හැබෑව නේන්නම්." ඔහු ව්‍යංගයෙන් පැවසූ දෙය අරුන්දික හොඳින් වටහා ගත්තේය. ගයාන්ගේ විහිලුවෙන් නැගුන සිනහව අතරින් පැවසූ කළමනාකරු එතැනින් පිටව යාමට හැරුනි. එසේ හැරී පියවර කීපයක් ගමන් කළ ඔහු නැවත හැරුනේ අමතකව ගිය යමක් මතක් වුන සෙයකිනි. " ගයියා...උඹේ අර නොමැරෙන කවියා කියන ප්‍රොෆයිල් එක තවම තියනවද?" කළමනාකරු විසින් ගයාන්ගෙන් විමසන්නට වූයේ ගයාන් විසින් කවි ලිවීමට ආරූඩ නාමයකින් පෙනී සිටින මුහුණු පොතේ ගිණුමක් පිළිබඳවය. "ඔව් සර්. මොකෝ සීන් එක?" ගයාන්ගේ නළල රැලි විය. කළමනාකරු ඔහුගේ ජංගම දුරකතනයේ අගුලු හැර එහි යමක් සොයන්නට විය. තප්පර කීපයකින් ඔහු සෙවූ දෙය හමුවුන ලෙසකින් " මේ සීන් එක මොකද්ද බං" යයි පවසමින් ජංගම දුරකතනය ගයාන් වෙත පෑවේය. " නොමැරෙන කවියා විදෙස්ගත කිවිඳියකගෙන් චොකලට් සිඟයි." ජංගම දුරකතන තිරයේ රතු පැහැති පොල්ගෙඩි අකුරින් සටහන්ව තිබින. එය මුහුණු පොතේ පල කළ පෝස්ටුවකි. එය පලකර තිබුණේ මුහුණු පොතේ මහත් ජනප්‍රියතාවයට පත්වුන මුහුණු පොත් පිටුවකිනි. මාතෘකාව සත්‍යක් බව ඒත්තු ගැන්වීමට ඊට පහළින් කමෙන්ටුවක රූපයක්ද ඇමිනීමට ඔවුන් වගබලාගෙන තිබුණි. එහි සඳහන්ව තිබුනේ " මිස්, පුලුවන් නම් මටත් චොක්ලට් තුනක් එවනවද?" යනුවෙනි. එය සැබැවින්ම පෙර දින රාත්‍රියේ ගයාන් විසින් එක් කළ කමෙන්ටුවක රූපයකි. තප්පරයක් ගතවිය. දෙකක් ගතවිය. තප්පර තුනක් ගතවිය. ගයාන් නොසෙල්වී කළමනාකරුගේ ජංගම දුරකතනයේ තිරයට දෑස බර කරගෙන ගල් ගැසී සිටියි. " ගයියා...මොකද සීන් එක?" ගයාන් පිළිමයක් සේ නිසලව සිටීම කළමනාකරු වෙත තව දුරටත් දරාගෙන සිටීමට නොහැකි තැන විමසීය. තිරයට යොමුව තිබුණු දෑස එක් ක්ෂණයකට කළමනාකරු දෙසට හැරී නැවතත් වෙනතකට යොමු වූයේ ගයාන් වෙත ඒවා කළමනාකරුගෙන් සඟවා ගැනීමට අවැසි වුන බැවිනි. නමුත් ඒ එක් ක්ෂණය තුළ ඇහි දාර තෙත්ව ගිය දෑස කියවා ගැනීමට අරුන්දික නමැති මානුශීය හැඟුමෙන් පෝෂිත කළමනාකරුට හැකි විය. " ගයාන්.....මොකද බං මේ?" " මොනවත් නෑ සර්." ගයාන් තවමත් අහක බලාගෙනම පිළිතුරු දුන්නේය. " මේ බලපං ගයියා.... මම මැනේජර් කෙනෙක් වුනාට, උඹ තමයි මේ ඔෆිස් එකේ මට ඉන්න හොඳම යාලුවා. උඹට කවුරු හරි ගහන්න අත ඉස්සුවත්, ඒකටත් හිනාවෙලා ඉන්න උඹේ ඇස් වලට කඳුලු ආවේ හේතුවක් නැතුවයි කියල උඹ කියනව නම්; ඒක පිළිගන්න තරම් මෝඩයෙක් නෙවෙයි මම." ගයාන් තවමත් කළමනාකරුට පිටුපා සිය දෑස සඟවන්නේ කළ යුත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි බැවිනි. " සමහරවිට මම උඹව හොඳ යාලුවෙක් කියල හිතුවට උඹට මාව හොඳ යාලුවෙක් නොවෙන්න ඇති....කමක් නෑ ගයියා. මම යන්නම්. උදව්වක් ඕන වුනොත් කියහන්." කළමනාකරු හැරුනේ එතැනින් පිටව යාමටය. යම් කලකිරීමක සේයාවක් ඔහුගේ මුහුණේ තිබුනද ඔහුගේ ප්‍රබල වාග් හරඹය හමුවේ ගයාන්ගේ නිහැඬියාව බිඳෙතැයි විශ්වාසයක්ද විය. " අ..අරුන්දික සර්....පොඩ්ඩක් ඉන්න." අවසානයේ ගයාන් සිත තුළ ඇති වේදනාව වචන වලට පෙරලීමට සිතූ සෙයකි. කළමනාකරු ද නැවතත් ගයාන් වෙත පැමිණි ඔහුගේ කරට අතක් දමා ගත්තේ ගයාන් වෙත දිරියක් ලබා දීමේ අරමුණෙනි. " සර් දන්නවනෙ අපේ අල්ලපු ගෙදර උදවිය හොඳ සල්ලිකාරයො වග." ගයාන් සිය කතාව ඔහුට සුදුසු යැයි සිතුන තැනින් ඇරඹීය. " ඒ ගෙදර පොඩි එකා උඩ තට්ටුවෙ ඉඳන් අපේ වත්තට චොක්ලට් කාලා, හිස් පෙට්ටි විසික් කරලා තිබුණා. ඒවා ඔක්කොම රට චොකලට් පෙට්ටි......." ඇහි දාරයේ තෙත සිඳි ගොස් තිබුනු ගයාන් අතෙහි තිබුණු ඉදල තුරුල් කරගන්නා අතර වචන ගලපා ගන්නට විය. "ඉතිං." ඒ තමා තවමත් ගයාන් වෙත සවන් දෙන බව කළමනාකරුගෙන් මතක් කිරීමකි. " ඔන්න ඔය කියන පෙට්ටියක් අහුලගෙන මගේ දෙවනි එකා ඒ ජාතියේ චොක්ලට් එකක් ඉල්ලලා අඬන්න ගත්තා. ඊට පස්සෙ අනික් එවුන් දෙන්නත් ඌට එකතුවෙලා එක සීරූවම චොක්ලට් ඉල්ලන්න ගත්තා. උන්ට ඒ ජාතියෙම චොක්ලට් කන්න ඕනලු. අල්ලපු ගෙදර අංකල්ට ඒවා ගන්න පුලුවන් නම් ඔයාට ඇයි ඒ ජාතියෙ චොක්ලට් ගේන්න බැරි කියල උන් මගෙන් අහනවා." ගයාන්ගේ ඇහි දාර නැවතත් තෙත් විය. " මට රට චොක්ලට් ගන්න තියා වේල් තුන පිරිමහගන්නවත් වත්කමක් නෑ. ඒක මම හොඳාකාරවම දන්න නිසා ඒ ගැන මම වැඩිය හිතන්න ගියේ නෑ. ඒත් රෑ හීනෙනුත් දෙවනි එකා රට චොක්ලට් ගැන කියවනකොට නම් මට මොනවම හරි කරන්න හිතුනා." නැති බැරි කම හමුවේ පිතෘත්වය කෙතරම් අසරණ වන්නේද. එය හීන් ඉඳිකටුවක් ළය විනිවිද යන්නාක් මෙන් චිත්ත වේදනාවකි. නමුත් එය කළමනාකරු හමුවේ විග්‍රහ කිරීමට ගයාන් මැලිවිය. " එතනින් පස්සෙ මට නින්ද ගියෙත් නැති නිසා ෆෙස්බුක් එකේ උඩටයි පහළටයි යනකොට මම දන්න කෙනෙක් චොක්ලට් වගයක් ගැන පෝස්ට් එකක් දාලා තියෙනව දැක්කා. එයා ඉන්නෙ ඇමරිකාවේ. එයා බොහොම දක්ශ කිවිඳියක්. එයා චොක්ලට් වගයක් අරගෙන ලංකාවට එවන්න. ඒවයෙ ෆොටෝ පවා දාලා තිබුණා." " ඉතිං ගයාන් හිතුවා අර විදියෙ කමෙන්ට් එකක් දාන්න ?" කළමනාකරු නළල රැලි කර විමසීය. "හ්ම්ම්.............මට සමාජයක් ඉස්සරහා හිඟන්නෙක් වෙන්න ලැජ්ජාවක් නෑ සර්. ඒක තමයි යතාර්ථය. ඒත් මගෙ ළමයි ඉස්සරහා නෝංජලයෙක් වෙන්න බෑ. ඒකයි මම එහෙම කළේ." " මම දන්නවා බං. උඹ ඕක ගැන හිතන්න එපා. මම හෙට වෙද්දි ඔය චොක්ලට් ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්." කළමනාකරු ගයාන්ගේ උරහිසට දමා තිබූ අතින්ම ඔහුට තට්ටුවක් දමා අස්වසාලීමට උත්සහ කළේය. " සර් කරදර වෙන්න එපා. මේක මගේ ලැබීම. මට ගොඩක්ම දුක හිතුනේ අර පේජ් කාරයා මට හිඟන්නා කියපු එකට." ගයාන් තරමක සැහැල්ලු ස්වරයකින් කියා දැමුවේය. නමුත් එම සැහැල්ලුව ඔහුගේ සිතෙහි නැගුනු වේදනාව සැඟවීමට ව්‍යාජව මැවූ එකක් බව කළමනාකරු හොඳින්ම දැන සිටියේය. " ලැබීම කියන්නෙ චොක්ලට් විතරක්ම නෙවෙයි. හොඳ යාලුවො කියන්නෙත් ඔය ලැබීමෙම කොටසක් තමයි. අනෙක් කාරණාව තමයි; අනුන්ගෙ දේවල් දාලා රීච් එක වැඩි කරගන්න හදන පේජ් කාරයා තමයි හිඟන්නා. උඹ නෙවෙයි." එසේ පැවසූ කළමනාකරු එතැනින් පිටව යාමට හැරුනේය. තවමත් ඉදල තුරුල් කරගෙන සිටි ගයාන්ගේ ජංගම දුරකතනය දවසේ දෙවන වතාවට දෙදරා ගියේ "රුං...රූං....." හඬ නංවමිනි. සාක්කුවට අත දමා ජංගම දුරකතනය පිටට ගත් ඔහු එහි තිරයේ සටහන්ව තිබූ ලඝු සටහන් කියවා බැලුවේ උඩින්පල්ලෙනි. එහි විශේෂ යමකට තිබුණේ මින් පෙර කිසිදු පණිවිඩ ගනුදෙනුවක් නොකළ අයෙකුගෙන් පණිවිඩයක් ලැබී ඇති බවට තිබුණු දැනුම් දීම පමණි. පණිවිඩය එවා ඇත්තේ මුහුණුපොතේ කිවිඳියක විසිනි. ඇයද ව්‍යාජ ගිණුමකින් කවි කරන්නියකි. නමුත් මේ පෙර දින චොක්ලට් පිළිබඳ හුටපටයට සම්බන්ධ තැනැත්තිය නොවීය. " මේකිත් මට කින්ඩිය දාන්න වෙන්න ඇති මැසේජ් කරන්නේ. ජීවිතේට මැසේජ් එකක් එවල නැති මේකි මේ වෙලාවෙ මැසේජ් එවන්නේ ඒකට තමා." තමාටම මුමුණා ගත් ගයාන් නොහොත් නොමැරෙන කවියා එම පණිවිඩය විවර කළේය. ඔහු තවත් වතාවක් දුරකතන තිරයක් අභියස ගල් ගැසින. මෙවර ඔහුගේ දෑසට නැගි කඳුලු නවතා ගැනීමට ඇහි දාර අපොහොසත් විය. එවා නිදහසේ ඔහුගේ කම්මුල් හරහා ගලා ගොස් රැවුල් ගස් අතර සැඟවින. " අයියේ, උඹේ ඇඩ්‍රස් එක අදම එවහන්. මම උඹට චොක්ලට් එවන්නම්. මම ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ." පණිවිඩය එපමණකි. ----නිමි----ගින්දරේ සැගවුන රහසක් 3. බුලත් විට සැරටයි හිතේ සතුටටයි අචිනි අඩ නින්දකට වැටුනා. අචිනි හිතෙන් තවමත් ඉන්නේ ගිනිමැලය ගාව. හරියටම පැහැදිලි නෑ ඒ අචිනි හවස අවුලපු ගින්නද එහෙමත් නැත්නම් පොල් මුදලාලිගේ මිනිය ගිනි ගියපු චිතකයද කියලා. කොහොම වුණත් ඒ ගිනි රස්නේ නම් තවමත් දැනෙනවා දැනෙනවා වගේ. ඒ රස්නෙ ටික ටික වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. හරියටම ගිනිමැලය ළඟ හිටගෙන ඉන්නවා වගේමයි. වෙන එකක් තියා පොඩි පොඩි ගිනි පුලිගු ඇගට දැනෙන හැටි පවා දැනෙනවා දැනෙනවා වගේ. අචිනි හිමින් ඇස් ඇරියා. හීනෙන් දැකපු ගිනි මැලය තාමත් ඇස් ඉස්සරහ මැවිලා පේනවා. ටික ටික නිදිමත පහ වෙලා යනකොට තමයි තේරුනේ මේ තමන්ට පෙනෙන හීනයක් නොවන බව. ඒ ගිනිගන්නේ අචිනිගේ ගෙදර පොල් අතු වහල. ඒ ගින්න හරියටම තියෙන්නේ අචිනිගේ ඔලුවට උඩින්. කෑගැස්සෙන්නත් කලින්ම අඩියට දෙකට අචිනි මිදුලට පැන ගත්තා. උනේ මොකක්ද කියලා හරියටම හිතා ගන්න බැරි උනත් අචනෙට හිතුනා තමන්ට නින්ද ගියපු ටිකට ගෙදර කිට්ටුවෙන්ම සාරෙට අවුලපු ගිනි මැලේ ගිනි පුළුංගු සමහර සමහරවිට වහලෙට වැටෙන්න ඇති බව. වතුර ගහලා නිවන්න පුළුවන් මට්ටම පහුවෙලා දැන් ගොඩක් වෙලා. තත්පරයක්වත් හිත හිත ඉන්න පරක්කු නොවී පරණ ගෝනි පඩංගුවකට කලේ තිබිච්ච වතුර ටික හලලා තෙත ගෝනියත් ඔලුවේ නමාගෙන අචිනි ආපහු ගේ ඇතුලට පැන්නා. රැක ගන්න තරම් මහා ලොකු වස්තුවක් නැතත් පොල් මුදලාලිගෙන් අරගත්තු සල්ලි ටිකයි ඉස්කෝලේ පොත් ටිකයි ඉතුරු වෙලා තිබුණු ඇඳුම් කඩමළු ටිකයි අචිනි එලියට ඇද ගත්තා. තමන්ට අමතක වුණු මොනවා හරි තියෙනවද කියලා බලන්න තව පාරක් ගේ ඇතුලට යන්න හිතුනත් දැන් ගිනි රස්නෙ වැඩියි. මෙතනින් එහාට මොනවද කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට ඇවිලුනු වහලෙන් කොටසක් ගේ ඇතුලට කඩාගෙන හැටි එයා
දැක්කා. ලේසියකට අඬන්නේ නැති වචනයට සට සට ගාලා කඳුළු කැට වැටෙන්න පටන් ගත්තා. මේ තමන් ඉපදුනු නිවස. හැදුනු වැඩුණු නිවස. අම්මා තාත්තා දෙන්නත් එක්කම කාලෙකට කලින් සතුටින් හිටපු නිවස. මේ ගෙදර අඟලක් අඟලක් ගානේ මතක සටහන් පිරුණු තමන්ගේ වාසස්ථානය. සමහර සමහර මතකයන් ආපස්සට හරවන්න බැරි තරමටම වෙනස් වෙලා ඉවරයි. ඒත් එහෙම කාලයක් තිබුණා කියලා හරි මතක් කරන්න ඉතුරු වෙලා තිබුණේ මේ ගෙදර විතරයි. දැන් ඒකත් ඉවරයි. අචිනි අඬනවා නෙමෙයි, නිකම්ම ඇඬෙනවා. මිදුලේ බිම වැටීගෙන තමන්ට තිබුණු තවත් එක වටිනාම වස්තුවක් ඇස් පනාපිටම අහිමිවීගෙන යන හැටි බලාගෙන ඇඩෙනවා. අචිනියට දැණුනා තමන්ගේ ඔලුව ඇතුලෙන් කවුරු හරි විලාප දෙන හැටි. ඒ තමන්ගේ විලාපයක්ද. අතුරුදහන් වුනු අම්මගේ විලාපයක්ද. එහෙමත් නැත්නම් ඉස්පිරිතාලේ ඇඳේ වැටීගෙන ඉන්න තාත්තගේ විලාපයක්ද. ඒ විලාපය ටික ටික වැඩි වැඩියෙන් ඇහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම අචිනිම තදින් හෙලවෙන්න පටන් ගත්තා. එතකොටයි තේරුනේ මේ විලාප දෙන්නේ සහ තමාව උරිස්සෙන් අල්ලලා තදින් හොලවන්නේ ඩිංගිරි අම්මා ඇතුළු ගමේ අහල පහල නැන්දලා කීපදෙනෙක් බව. එයාලා හැමෝම එක එක ප්‍රශ්න අහනවා. මොකද උනේ. කොහොමද උනේ. ඇයි. උඹ හොඳින්ද. උඹට කරදරයක් නෑ නේද. උඹවත් පිච්චුනාද. ලිප ඇවිලුනාද. ලාම්පුතෙල් පහනක් හැලුනද. කවුරු හරි ගිනි තිබ්බද. ඇවිත් ඉන්න අයට දහසකුත් එකක් ප්‍රශ්න අහන්න තිබුණත් අචින්ට දෙන්න මුකුත්ම උත්තරයක් තිබුණේ නෑ. හිස්බැල්මකින් දැන් නිවීගෙන යන ගින්දර සහ ඉතිරි වෙලා තියෙන වරිච්චි බිත්ති ටික දිහා බලන් ඉන්නවා මිසක්. ගේ පහළ නිමිගෙන යන කොළරොඩු ගින්න සහ ගේ ඇවිලුණු හැටි ගැන ඩිංගිරි අම්මට අවස්ථා සම්බන්ධයක් ගලපගන්න එච්චර අමාරු උනේ නෑ. එයා කළේ තමන්ගේ සායට උඩින් ඇඳගෙන හිටපු චීත්තේ ගලවලා බිම එලලා ඒකට අචිනි ගේ ඇතුලේ ඉඳන් එලියට ඇද ගත්තු ඇඳුම් කඩමළු ටිකයි පොත් ටිකයි දාලා මඩිස්සලයක් ඔතා ගත්තා. ඒකත් කරට ගත්තු ඩිංගිරි අම්මා අචිනි ලඟට ඇවිත් පාත්වෙලා අචිනෙගේ අතින් අල්ලගත්තා යමන් කෙල්ලේ. තවත් මෙතන හිටියා කියලා අමුතුවෙන සිද්ධවෙන්න දෙයක් නෑ. උඹ යමං අපේ ගෙදර. තාත්තා ගෙදර ඇවිත් මේ දේවල් පිළිවෙලක් වෙනකල් උඹ හිටපන් එහෙට වෙලා. අචිනිටත් මේ වෙලාවේ ඕනේ මෙතනින් පලා යන්න. තව පාරක් කියනකල් ඉන්නේ නැතුව යාන්ත්‍රිකව නැගිටලා ඩිංගිරි අම්මගේ පස්සෙන් අචිනි ඇවිදින්න උනා. අවට ලෝකයේ වෙන්නේ මොනවාද වෙලාව කීයද කරුවල වැටිලා ද අඳුරක් තියෙනවද මේ කිසිම දෙයක් අචිනිගේ ඔළුවේ නෑ. ඉස්සරහින් පෙනෙන ඩිංගිරි අම්මගේ ඡායාව පිටිපස්සේ ඔහේ අඩියකට පස්සේ අඩියක් මාරු කරා මිසක් අචිනි ඇවිද්දා නෙවෙයි. ඩිංගිරි අම්මගේ පවුල ලොකු පවුලක්. දරුවෝ හය හත් දෙනෙක් ඉන්නවා. ඒ හැමෝමත් කසාද බැඳලා. ඒ හැමෝටමත් ළමයි ඉන්නවා එයාලට වෙන වෙනම ගෙවල් තිබුනත් නිතරම කවුරු කවුරුහරි ඩිංගිරි අම්මගේ ගෙදර රැඳෙන එක සිරිතක්. ගෙදර එනකොට හැබැයි ගෙදර කවුරුත් හිටියේ නෑ. හැමෝම ගිහින් අචිනිගේ ගේ ගිනිගන්න හැටි නරඹන්න. ඒ කලබල අස්සේ අචිනි ඩිංගිරි අම්මා එක්ක පිටවුන හැටි මම හිතන්නේ කාටවත් එච්චර නිච්චි උනේ නෑ. හැමෝම හිටියේ රසබර ඕපාදූප වල ඇලී ගිලී වෙලී. එහෙම වෙන්න ඇති. මෙහෙම වෙන්න ඇති. හැමොම තම තමන්ගේ මතය ඉස්මතු කරන්නයි තරගය. අචිනි කෙලින්ම නැවතුනේ ඇතුලු කාමරේ. ඒ මේ වෙලාවේ කාවවත් මුලිච්චි වෙන්න අකමැති නිසා වෙන්න ඇති. බිත්තියට පිට දීලා එරමිනිය ගොතාගත්තු කෙල්ල දිගු හිස් බැලමකට යොමුවුනා. ඩිංගිරි අම්මා උනත් මේ වෙලාවේ කෙල්ලගේ හිත හදන්න මොනවා කියලා කියන්නද. ඩිංගිරි අම්මා කුස්සියට ගියා අඩුගානේ අචිනිට කහට කෝප්පයක්වත් වක් කරන්න. ගමක අමුතු දෙයක් සිද්ධ වෙන්නේ කාලෙකට සැරයක්. ගේ ගිනි අරගෙන ඉවරවෙලා ගිනිපුළිඟුත් නිමෙන්න පටන් ගත්තයින් පස්සේ එකා දෙන්නා ගෙවල් වලට ඇදෙන්න පටන් ගත්තා. මේ වෙනකොට ඩිංගිරියම් අම්මගේ පිලෙත් වැඩිහිටියෝ දරුවෝ ළමා ලපටි මුණුබුරෝ හත් අට දෙනෙක් රැස්වෙලා ඉන්නවා. ඒ හැමෝගෙම මාතෘකාව අචිනිගේ ගේ ගිනි ගත්ත හැටි සහ ඒ පවුල වටා මෑත ඉතිහාසයේ සිදුවුනු සිදුවීම්. හැබැයි ඒ කවුරුත් දැනගෙන හිටියේ නෑ අචිනි ඉන්නේ තමන්ගේ ගෙදර ඇතුලේ කාමරයක බව. ඒ නිසා හැමෝම විවෘතව තම තමන්ගේ මත ඉදිරිපත් කළා. ඩිංගිරි අම්මගේ දෙවෙනි පුතාගේ අදහස වුණේ හොඳට හිටපු පවුල සීසීකඩ විසිරිලා නැති බංගස්ථාන වෙලා ගියේ අචිනි ඉපදුණාට පස්සේ බවයි. එහෙම උනේ අචිනි ගේ කාලකන්නි කම නිසයි. ඒ අදහස හැමෝම ඒකමතිකව ස්ථීර කරා. කුස්සියේ හිටපු ඩිංගිරිඅම්මාට මේ කතාව කනවැටිලා පිලට ඇවිත් කට්ටියෝ නිශ්ශබ්ද කරන්න කලින් ඇහෙන්න ඕන ටික අචින්ට ඇහිලා ඉවරයි. අහිංසකීට ඒ චෝදනාව බර වැඩියි. ඒත් මේ හැමෝම කියන නිසා ඒ කතාවේ ඇත්තක් තියනවදෝ කියලා අචින්ටම සැක හිතුණා. මේ දේවල් අහගෙන තවත් කොහොමද මේ වහල යට ඉන්නේ. අචිනි හිමින් නැගිටලා පිලට ආවා. හැමෝගෙම කටවල් වැහුනේ ඒ වෙලාවේ. කාගේ දිහාවත් නොබලා විනාඩි දෙක තුනක් විතර අචිනි ඔහේ හිස් බැල්මකින් කඩුල්ල දිහා බලාගෙන ඉන්න ඇති. හැමෝම නිහඬයි. ඒක හරි පාළු නිහඬ බවක්. මූසල නිහඬ බවක්. වචනයක්වත් කතා නොකරම ගේ ඇතුලට ගියපු අචිනි තමන් සන්තකයට කියලා ඉතුරු වෙලා තියෙන චීත්තෙන් ඔතපු සබ්බ සකලමනාවත් ඉනේ තියාගෙන සීරුවට මිදුලට බැහැලා කඩුල්ල දිහාට යන්න පටන් ගත්තා. කවුරුත් කතා කළෙත් නෑ. වළක්වන්න උත්සාහ කරෙත් නෑ. හැමෝම දන්නවා අචිනි යන බව සහ නවත්තන්න බැරි බව. කාගෙන්වත් යෝජනාවක් හෝ ඉල්ලීමක් එනකල් ඉන්නේ නැතුව ඩිංගිරිගේ මුණුබුරෙක් වෙන සිරිපාලත් අචිනිගෙ පිටිපස්සෙන් ඇවිදගෙන ගියා. අචිනි නැවතුනේ හේනේ පැලේ. ඉඳලා හිටලා හොරෙන් වීඩියක් බොන්න හංගගෙන හිටපු ගිනිපෙට්ටියෙන් කූරක් දල්වා ගත්ත සිරිපාල පැලේ තිබුණු කුප්පි ලාම්පුවක් හොයාගෙන පත්තු කළා. අචින්ට කැමතිනම් කහට කෝප්පයක් හරි බොන්න අවස්ථාවක් දෙන්න ඇති ඒ පිටටම දර ලිපත් පත්තු කරා. තවමත් වචනයක්වත් කතා නොකරපු සිරිපාල පෙළේ දොරත් වහගෙන එළියට ආවා. සමහර විට සිරිපාල එදා රෑ එළිවෙනකල් පිලේ තිබුණු මැස්ස උඩ ඉන්න ඇති. එහෙමත් නැත්තං ගෙදර යන්න ඇති. ඒ ගැන දන්නේ සිරිපාලම තමයි. අචිනිට ඒ ගැන වැදගත්කමක් හෝ දැනගන්න උවමනාවක් තිබුණේ නෑ. කාලෙක ඉඳන්ම අචිනිත් එක්ක ගමේ කවුරුත් කතා කරන්න උත්සාහ කරන්නේ නෑ. හැමෝම දන්නවා අචිනිගෙන් මොන ප්‍රශ්නයක් ඇහුවත් මොනවා කතා කලත් එයාගෙන් ප්‍රතිචාර නොලැබෙන බව. ඒ නිසාම අචිනිත් එක්ක කතා කරලා වචන නාස්ති කරගන්න කවුරුත් පෙලඹුණේ නෑ. අචින්නට කවුරුත් යාලුවෝ හිටියෙත් නෑ. ඉස්කෝලේ ගියත් නිහඬවම උගන්වන දෙයක් අහගෙන හිටියා මිසක් කාගෙත් එක්කවත් එයාට මිත්‍රකම් පවත්වන්න උත්සාහ කරේ නෑ. ඉගැන්වීමක් සිද්ධ වෙන්නේ නැති කාල පරිච්ඡේදයක් තිබුණොත් එයා කළේ නිහඬවම පන්තියට වෙලා ඉන්න එක හෝ විදුහල්පතිතුමාගේ කාමරේ ඉස්සරහ තියෙන ලෑල්ලේ ගැට ගහලා තියෙන පත්තර මුල හිටන් අගට කියවන එක මේ දරුවා මුලදි මෙහෙම හැසිරුණු කෙනෙක් නෙමෙයි. මේ පොඩි වයසට උනත් අචිනිගේ ජීවිතේ එකකට එකක් වෙනස් විවිධ කාල පරිච්ඡේදයන් පහු කරලා තියෙනවා. මුලින්ම තිබුනේ කාන්තී සහ සේපාල ගෙදර හිටපු කාලේ ගමේ අනිත හැමෝගෙම වගේ ගෙවුනු අචිනිගේ සාමාන්‍ය ජීවිතය ඊට පස්සේ සේපාලට දඩයම් තුවක්කුවක් ලැබුණට පස්සේ ඒ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මුදල් හදල් යහමින් ගැවසෙනකොට අචිනි ගමේ හිටපු විශේෂ සැලකුම් ලබන දරුවෙක් බවට පත්වුණා. එහෙමත් නැත්නම් බේබි කෙනෙක්ගේ තත්වෙට පත්වුනා. සේපාල හිරේ ගියායින් පස්සේ ඒ දේවල් වෙනස් වුණා. එතනින් එහාට ගමේ මිනිස්සු අචිනි දිහා බැලුවේ අපරාධකාරයෙක් ගේ දුවෙක් හැටියට යම් කාලයක් ගතවෙනකොට, සේපාල මහලොකු වැරැද්දක් කරලා නැති බව වැටහෙනකොට, කාන්ති සීපාලව නිදහස් කරගන්න දරන උත්සාහය දකිනකොට මිනිස්සු අචිනි දිහා අනුකම්පාවෙන් බලන්න පටන් ගත්තා කාන්තිගේ අතුරුදහන්වීමත් එක්ක ආපහු මිනිස්සු වචනෙ දිහා අමුතු විදියට බලන්න පටන් ගත්තා. විශේෂයෙන්ම කාන්තිට සිද්ධ උනේ මොකක්ද කියලා අචිනි දන්නා බවත්, ඒ ගැන වචනයක්වත් නොකියන බවත් තමයි මිනිස්සු හිතුවේ ආපහු සේපාලට අනතුරක් සිද්ධ වුණාට පස්සේ, කතා කලත් නොකලත් අචිනිට උදව් කරන්න මිනිස්සු උත්සාහ කරා. කොච්චර ගැටලු ප්‍රශ්න තිබුණත් නොසැලී තමන්ගේ වැඩ ටික කරගන්න අචිනිව ආදර්ශයට අරන් තමයි ගමේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට යහමග කියාදෙන්න උත්සාහ කළේ. තොපිට මෙච්චර සැප දීලත් තමන්ගේ වැඩක්වත් කරගන්න උබලට බෑ. අර බලපන් අර කෙල්ල දිහා. කාත් කවුරුවත් නැතත්, උයාගෙන කාලා, තාත්තවත් පුළුවන් හැටියට බලාගෙන, ඉස්කෝලෙත් ගිහිල්ලා, හේනත් බලාගන්නවා. අඩුගානේ ඒ කෙල්ල දිහා බලලවත් හැදියව්. ඕක තමයි හැමෝගෙම උදාන වාක්‍ය වුණේ. එහෙම කියපු මිනිස්සුම අද වෙනස් වෙලා. අචිනි කාලකන්නි කෙල්ලෙක් බවට නම් කරලා. හොඳට තිබුණු පවුලට හෙන ගහන්න හේතුව අචිනි බව තීන්දු කරලා. අචිනි මිනිස්සුන්ව ආශ්‍රය නොකරන්න හෝ කතා නොකරන්න පෙලඹෙන හේතුවත් මේකම තමයි. ක්ෂණිකව සැරින් සැරේ මිනිසුන්ගේ වෙනස් වෙන මතිමතාන්තරවලට සහ අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර අචිනි ගාව තිබුණේ නෑ. ඒ නිසාම අචිනි විදිහක් හදාගත්තා නිහඬව ඉන්න. අචින්ට හිතෙන්න ඇති ඒක තමයි ලේසිම ක්‍රමය කියලා. සිරිපාල ඊලග දවසේ පැලට ඇවිත් වචනයක්වත් නොකියාම මොකක්දෝ මල්ලක් අචිනි ඉස්සර තියලා යන්න ගියා. සීනි තේකොල ටිකකුයි, පහේ ටිකකුයි. සිරිලාල ලිප පත්තු කරන වෙලාවේ දකින්න ඇති පැලේ අඩුම කුඩුම අඩුපාඩු බව. ඊටපස්සෙත් සැරින් සැරේ කාගේ හෝ බැල්මක් තියෙන බව අචිනි කාවවත් දැක්කේ නම් නෑ. ගේ ගිනි අරන් දවස් දෙකකට පස්සේ එයා ඉස්කෝලේ යන්න පිටත් උනා. හේනේ ඉදන් ටික දුරක් එන්න ඕනී ගමට. පුලුවන් තරම් අතුරු පාරවල් වලින් ගමන යන්න අචිනිගේ උත්සහය. ඒ යනකොට අතුරු පාරවල් දෙකක් මුණ ගැහෙන තැනකදි ඩිංගිරි අම්මගේ දෙවෙනි පුතා පොඩිම එකීව ඉස්කෝලෙට දාන්න යන ගමන්. අචනිට මුලච්චි වුණා. අචිනිවා දැක්කම කාරලා කෙළ පිඩක් බිමට ගහපු රංබන්ඩා මෙහෙමයි කිවුවේ. නෙදකින් විතරක් කාලකන්නි කෙල්ල. උදේ පාන්දරවම මේකනේ මූණට මුලච්චි උනේ. දැ
න් ඉතින් දවසම ඉවරයි. එහෙම කියලා දුවවත් අතින් ඇදගෙන වේගයෙන් අචිනිව පහු කරන් ගියා. හිතට ආපු දුකට සහ ආවේගයට අචිනිට එතනම දනිස් දෙකෙන් දැනගැසුණා. ඇයි. ඇයි යකෝ මට මෙහෙම කරදර කරන්නේ. ඇයි මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ. ඇයි. අචිනි පුළුවන් තරම් කෑ ගහලා රම්බණ්ඩගෙන් ඇහුවා. තත්පර කීපයක් ඉස්සරහ බලාගෙනම නැවතිලා හිටපු රංබන්ඩා පුළුවන් ඉක්මනට පොඩි එකීව ප්‍රධාන පාරට එක්කරගෙන ගිහින් ඉස්කෝලේ යන තව ළමයි ටිකක් එක්ක පිටත් කරලා ආපහු හැරුනා නිහඬවම කියන දෙයක් අචිනි අහගෙන ඉදීවි කියලා බලාපොරොත්තු උන රංබන්ඩා මේ ප්‍රතිචාරයෙන් වියරු වැටුණා. විශේෂයෙන්ම තමන්ගේ දුව ඉස්සරහ මේ සිද්ධ වෙච්ච නිංගිරාව රන්බණ්ඩට අවමානයක්. රන්බණ්ඩට ඕනේ මේකට වාඩුගන්න. අචිනි ප්‍රධාන පාරට එන්න කලින් මගදී අල්ලගන්න. අචිනි තවම පාරේ වාඩිවෙච්ච තැන වාඩිවෙලාම ඉන්නවා. හිටපං උඹට හොඳ පාඩමක් උගන්නන්න. එහෙම හිතාගත්තු රංබන්ඩා අඩියට දෙකට අචිනි කිට්ටු කළා. රංබන්ඩා ලගට කිට්ටු වෙනකොටම නැගිටපු අචිනි කොටිදෙනක් වගේ රංබන්ඩගේ ඇගට පැනලා කෑගහගෙනම හූරන්නයි පහරදෙන්නයි හපන්නයි පටන්ගත්තා. එයා කිය කියා කෑගැහුවේම ඇයි මට කරදර කරන්නේ, ඇයි මට කරදර කරන්නේ කියන වචන ටික විතරයි. හිතාගන්නවත් වෙලාවක් නොතියා සිද්ධවෙච්ච මේ කඩා පැනීමයි, පහරදීමයි එක්ක සරම ගැලවිලා කකුලේ පැටලුන රංබන්ඩා හෙනපතයෙක් වගේ බිමට කඩන් වැටුනා. ඒකත් වාසිය අරගත්ත අචිනි තවත් පැන පැන පහර දුන්නා. බිම වැටෙනකොට තදින් ඔලුව වැදිලා තෝන්තුවෙන් හිටපු රංබණ්ඩා හිටියේ වියරුවෙන් දගලන අචිනිව මෙල්ල කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි. අචිනිගේ කෑගැහිල්ල ඇහුනු කීපදෙනෙන් වැඩිවෙලාවක් නොයා එතනට එකතු වුණා. රංබණ්ඩා ඒක තැනක, රංබන්ඩගේ සරම තවතැනක, ඒ අතරේ මට කරදර කරන්න එපා කිය කිය අචිනි රංබන්ඩට පහර දෙනවා. අන්තිමට රංබන්ඩන්නට සිද්ධවුණේ එතනට රැස්වුණු පිරිමි දෙතුන් දෙනෙක්ගෙනුත් පහර කාලා ගෑනුන්ගෙනුත් හොඳටම බැනුම් අහන්න. දැන් රන්බණ්ඩා මොනවා කිව්වත් ඒක විශ්වාස කරන මට්ටමක නෙමෙයි ගම්මු හිටියේ. මුළු ගමේම රන්බණ්ඩා සේපාලගේ කෙල්ලට හදි කරන්න උත්සාහ කරපු බව සුළු වෙලාවකින්ම මුළු ගමේම පැතිරුණා. අම්මත් නැති තාත්තත් ලඟ නැති මේ අහිංසක කෙල්ලට කරන්න හදපු අකටයුත්ත නිසා මුළු ගමම රංබන්ඩව පිළිකුල් කරන වැඩි වෙලාවක් ගියේ නෑ. කොහොමත් සැරපරුශ කාන්තාවක් වෙන රංබන්ඩගේ ගෙදර උන්දා මේ වෙනකොටත් රංබන්ඩව පාරක් පාරක් ගානේ හොය හොය ඇවිදිනවා.ඉරිසියාව.... ඔබේ අත ඉවත් කරන්න වෙනවා.. වෛද්‍යවරයා සැම්සන් මහතාට කීවේය. ඒක කොහොමටවත් කරන්න බෑ. අතක් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද.. සැම්සන් මහතා විරෝධය දක්වයි. පසුගිය දිනෙක ගොවිපලේ දී සිදුවූ මැස්සෙකුගේ දෂ්ඨ කිරීමක් නිසා අතේ ඇතිවූ තුවාලයක් ඔඩුදුවා මහා විනාශයකට මග පාදා තිබේ. වෛද්‍යවරයා ගේ උපදේශය වන්නේ තුවාලය ඇති අත කපා ඉවත් කොට ඉතා අසාධ්‍ය ව සිටින සැම්සන් මහතාගේ ජීවිතය ගලවා ගත යුතු බවයි. නමුත් සැම්සන්මහතා ඊට එකඟ නොවේ. අතක් නැතුව ජීවත් වෙනවාට වඩා මියයාම සැපක් බව සැම්සන් මහතා කියයි. ඔහුට වඩා ලාබාල ඔහුගේ බිරිය හැඬූ කඳුළින් වෛද්‍යවරයාගේ කීමට එකඟ වන ලෙස කොයිතරම් ඇවිටිලි කළත් සැම්සන් මහතා ඊට ඇහුම්කන් දෙන බවක් නොපෙනේ. අතක් නොමැතිව ජීවත් වනවාට වඩාදැඩි ලෙසම තමන් මිය යායුතු බව සැම්සන් මහතා විශ්වාස කරයි. අන්තිමේදී සැම්සන් මහතා අන් අය සමග කතා කිරීම ද අත් හළේය. වෛද්‍යවරයා අවසන් තුරුම්පුව හෙළීය. නෝනා මහත්මිය පොඩ්ඩක් එලියට යන්න. මට මහත්තයාට සමු දෙන්න ඕන. වෛද්‍යවරයාගේ ඉල්ලීමට සැම්සන් මහත්මිය එකගව එලියට ගියාය. එහෙනම් සැම්සන් මහත්තයා මම යන්නම්. එක් අතකට ඔබතුමා ගත්ත තීරණය හරි. බලන්න ඔබේ බිරිඳ තවම ඉතාම තරුණයි.ඔබ වැනි මහල්ලෙකු නොව ඔබ මියගිය පසු ඇයට ඉතාම ගැළපෙන තරුණයකු සොයා ගන්නට හැකි වේවි. ඔබේ මේ ගොවිපළ අශ්වයින් කෙත්වතු සියල්ල ඒ තරුණයා හොඳින් පාලනය කරාවි. ඔබේ නිවස ඒ තරුණයා ගෘහ පාලකයකුලෙස හොඳින් රැක ගනීවි. ඔබ ඉතිරි කළ ධනය ඔහු හොඳින් ප්‍රවේශමින් වියදම් කරාවි. ඇත්තෙන්ම ඔබට වඩා දක්ෂ කඩවසම් තරුණයෙකු ගේ පහස ලැබීමට ලැබීමත් ඇයගේ වාසනාවක් . ඉතින් ඒ නිසා ඔබ කරන්නේ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයක්. සතුටු වන්න එහෙනම් මම යනවා ඔබට සුබ ගමන්. කී වෛද්‍යවරයා නිවසින් පිටව යාමට කඩුල්ල අසලට ගමන් කළේය. මෙතෙක් වෙලා කිසි දෙයක් නෑසුනා සේ නිසොල්මන්ව සිටි සැම්සන් මහතා ඇඳෙන් නැගී සිට ගෙන ජනේලයෙන් එබී වෛද්‍යවරයාට කතා කළේය. දොස්තර මහත්තයා එන්න මගේ අත කපන්න.===ප රයින්ගෙන් රට ජාතිය බේරගම්මු=== "උඹ කරපු ලොකුම ගොංකම් වලින් එකක් කියපං" ඔහු පැවසුවේය, ඔහු මා හට රස්තියාදුකාර බසින් අමතන්නට විය, වසර 2000න් පසු කෙනෙක්ගේ හැසිරීම එය වූවත් ඔහු මා හා ඉතා මිත්‍රශීලීව කතාබහ කරයි. "ම්ම්ම්ම්ම්ම්ම්" එකක් නොව රැසක් ඇති නිසා මම කල්පනා කෙරුවෙමි, ඒ මන්ද කල ගොංකම් එකක් පරයා තවෙකක් නැඟී එන බැවිනි, "මොකක් හරි කමක් නෑ" "2015දී ලක්ශ 5කට ෆිනෑන්ස් එකක් දාලා ලක්ශ 19.5කට කාර් එකක් ගත්ත එක" මම කල පොඩි ගොං වැඩක් කීවේමි, "ඉඳපං" පැවසූ ඔහු දුරකථනය විසන්ධි කලේය. ----- විනාඩි 10ක් ගතවිය ----- ඔහු මේ උත්සාහ කරන්නේ මාව ඔහුගේ කාල තරණ මැශිම හරහා අතීතයට ගෙන යාමටයි, ඒ සඳහා දිගින් දිගටම මාව උනන්දු කලත් මා ඉතා බියෙන් පසුවීමි, මේ දැන් ඔහු මා අමතා පවසන්නේ ඒ පිළිබඳවය, ඔහුව මා මින් පෙර නොහඳුනනවා වූවත් මින් පෙර එක වතාවක් මේ කාල තරණය ගැන පවසා ඇත, නමුත් මා එය වැඩිය ගනන් නොගත්තෙමි, නැවත මාගේ ජංගම දුරකථනය නාද වන්නට විය, ඔහුගෙන් ඇමතුමකි, "කියපං" මම පැවසුවෙමි, "දැන් කාමරේට ගිහින් බලපං අල්මාරියේ" ඔහු විශ්වාසවන්ත හඬකින් මා හට පැවසීය, "මොකක්" මම ඇහුවෙමි, "කාමරේට ගිහින් අල්මාරිය ඇරල බලපං ඒකේ ලාච්චුව, උබ දැන් කෝටිපතියෙක්" ඔහු පැවසුවේය, මා සැබැවින්ම පුදුමයට පත්වීමි, කාරයේ වාරිකය ගෙවීම සහ සර්විස් එක ඔටෝ මිරාජයෙන්ම කරගත හැකි නිසා සටුටට පත්වීමි, ඒත් එය කෙසේවත් විය නොහැකිය, මා වටපිට බලා මගේ කාමරයට ගොස් ලාච්චුව ඇරියෙමි, එහි තිබුණේ මා විසින් 2015සිට උකස් කල ලක්ශ ගානක රත්‍රන් භාණ්ඩවල රිසිට්පත්‍ ය, සමහර ඒවා සිහිකැඳවීම්‍ ය, සමහර ඒවා සින්නවූ බවට එවූ ලියුම් ය. "කෝ" "නැද්ද" ඔහු ඇසුවේය, "මොනවද?" "රත්තරන්" "තියනව පම්කක්" මම සිනහාසෙමින් පැවසුවෙමි. "වෙන්න බෑ" "සිරාවටම රත්තරන් නෑ" ඔහුට මම පැවසුවෙමි, "ඒ මොකෝ? උඹට තිබ්බා කියලාවත් මතක නැද්ද?" ඔහු ඇසුවේය, "තිබ්බා තමා, ඒත් උකස් කලානේ" මම පැවසීමි, "මොකක්" "ඔව්" "මම තමා කිව්වේ ඒවා ගන්න කියලා කල්පනා කරපං තාරු, උඹ ඒ කාලේ කාර් එකක් ගත්තානම් උඹට ඔය දැන් තියන ප්‍රියස් එකත් නෑ" ඔහු පැවසුවේය, මේ මොන විහිලුවක්ද යැයි මා සිතුවෙමි, නමුත් මා අතීතය කල්පනා කලෙමි, 2015දී මා විසින් ලක්ශ 19.5කට N 17 වර්ගයේ මෙරුන් පාට මෝටර් රථයක් මිලදීගැනීමට ගිය අවස්ථාවේදී නන්නාඳුනන පුද්ගලයෙක් මා හට මුණගැසිණි, ඔව්.... ඒ මොහු වැනිම කෙනෙකි, ඔහු දිගින් දිගටම මා හට පැවසුවේ එසේ මෝටර් රථයක් මිලදී නොගෙන ඒ ලක්ශ දහනමය හමාරෙන්ම රත්තරන් මාල සහ බ්‍රේස්ලට් මිලදී ගන්නා ලෙසයි, ඔහු පැවසුවේ එකල රත්‍රන් මිල 2023 වනවිට 2015ට කලින් මෙන් දස ගුණයකට ආසන්න මුදලක් වන බවයි, "අඩේ...." "ඇයි" "මට පැටලිලා" මම පැවසුවෙමි, "මම උඹ කිව්ව හින්දා ටයිම් මැශින් එකෙන් 2015ට ගිහිලා උඹට කාර් එක ගන්න නොදී ඒ සල්ලි ඔක්කෝගෙන්ම රත්තරන් ගන්න කිව්වා" ඔහු පැවසුවේය, "අඩේ.... ඒකනේ මම ගත්තේ" මම විශ්මයට පත්වීමි, "මාව දැන් ශුවර්ද" ඔහු ඇසුවේය, "නැතුව බං" මට අදහාගන්න බැරි සතුටක් ආවේය, මම දුවගොස් කලින් දවසේ ඉතුරු වූ ඕල්ඩ් කොටයට කූල් වතුර 5:1 අනුපාතයට ඒ බෝතලයටම දමා උගුරු දෙකක් බී ශීතකරණයේ තිබූ පේර කෑල්ල කෑවෙමි. "පොඩ්ඩක් ඉඳපන්" "ඇයි" මම ඇසුවෙමි, "ඇත්තටම කෝ බං උඹ ගත්ත රත්තරං?" ඔහු ඇසුවේය, "ඒවා උකස් තියලා අන්න රිසිට් ටිකනම් ලාච්චුවේ තිබ්බා" මම සිනහාසෙමින් පැවසීමි, "තෝනම්" ඔහුද සිනාසුණේය. ------- තාරුගේ සිද්දී පාඨක ඔබට මා දැන් කාල තරණය කිරීමට සූදානම්ව ඔහුගේ නවාතැනට පැමිණ සිටින බව පැවසිය යුතුය, ඔහු මා හට කාලතරණ මැශිම නිවරදියැයි පැවසූවත්, එය සනාථ වූයේ 2015 වසරේදී මා කාරය මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී "රත්තරන් ගන්න, 2023වනවිට මිල ඉතා සීග්‍රයෙන් ඉහළ යනවා" යැයි පැවසූ මිනිසාම වන නිසාය, ඇත්තෙන්ම මා එය විශ්වාස කෙරුවෙමි, යම් අපබ්‍රංශ ගතියක් තිබ්බද ඔහු කාලය තරණය කර මා හට එම උපදෙස දී ඇති බවට මා හට පසක්විය. නමුත් එම කාල තරණ මැශිම ඔහුට හරි ගියත් මා හට හරි හැටි ක්‍රියාත්මක වන්නේදැයි මා දන්නේ නැත, නමුත් මට හමුවූ එම අද්භූත මිනිසා පැවසූ පරිදි එය හොඳින් වැඩ කරයි, ඒ බව ඔහු ඔප්පු කිරීම සඳහා මාව රැගෙන ගියේ අම අඳුරු කුටිය වෙතයි, "තාරු උඹට තාම මාව ශුවර් නෑනේ නේද?' "මේකනේ මචං, දැන් කාලේ කාවද ශුවර් කරන්න පුලුවන්? චන්දේ ඉල්ලන හැම එකාම අපි ශුවර් කරලනේ මේ ටෞකාගෙන ඉන්නෙ" මම කියන දේ කෙලින්ම කීවෙමි. "හරි, ඔන්න බලපං" ඔහු කීවේය, "මේ කාමරේ ලයිට් දාමුද" මේකා මේ කලුවරේ මාගේ පස්සවත් මිරිකයිදෝයි බයක් මා වෙත ආවේය, "පොඩ්ඩක් ඉඳපන් යකෝ" ඔහු සිනා සුනේය, කෝකක්ටත් මම අත හොඳින් මිට මොළවාගෙන ගැම්මෙන් එහෙම කලොත් ගහනවා සීන් එකෙන් සිටියෙමි, ඔහු යම් ස්වීචයක් දැමූවේය, "බීප් බීප්" හඬක් නැඟෙන්නට විය, කෙමෙන් කෙමෙන් එම කාමරයේ මැද තිබූ වයර් හයි කරන ලද අමුතුම තාලයේ පුටුවක් මතට විශාල ආලෝක කදම්භයක් පතිත වන්නට විය, කලුවරේ සිටි මාගේ ඇස් විගසින් නිලංකාරවිය, "බලාගනින්" ඔහු ගාම්භීර ලීලාවෙන් පැවසීය, නවීන තාක්ශණ‍යෙන් නිමවූ පුටුවක් බව මට හැඟින, ඒ පුටුවේ හිඳගන්නා ස්ථානය උඩ හිසට ඊසීජී ගන්න විට දමන ආකාරයේ හෙල්මටයක්ද විය, හිඳගත් පසු අත් සහ කකුල් බැඳ තැබීමට හැකිවන ලෙදර් පටිද එහි විය, "ඉඳගනින්" ඔහු පැවසුවේ ඉතා මිත්‍රශීලී ලෙසය, මට ජීවිතේ ගැන බයක් දැනුනද අවුරුදු 10කට කලින් බිත්තර 13ට කා දැන
් රුපියල් 60ට පමණ බිත්තරයක් ගන්න අපිට තවත් ජීවිතාවධානමක් මොකද්ද කියා සිතී බිය නැතිවම හිඳගත්තෙමි. ඔහු මාගේ හිසට ඉහතකී හෙල්මටය පළඳා, අත්පය සියල්ල ලෙදර් ලොක් වලින් බැඳ දැමුවේය, මා හට සෙලවීමට පවා නොහැකිය, මා හට යම් චකිතයක්ද ජනිත වන්නට විය, ලියන බසින් මෙසේ ලිව්වද මා මේ සිදුවීම අඩියක් ගසන අතරතුර මාගේ මිතුරෙක්ට පැවසූවානම් පවසන්නේ මෙසේය, "ටෞත්තෝ, එවෙලේ මම රෙද්දේ රෙවිලා හිටියේ" නමුත් මා මෙවැලි වැදගත් ලියවිලි වල එසේ අශෝභන වදන් පවසන්නේ නැත, "මොකෝ කල්පනාව, දාඩියත් දාලා," "න්...නෑ...නෑ....." මම ලැජ්ජාවෙන් පැවසීමි, "හරි, උඹට කොහෙටද යන්න ඕනේ" "මට..මට....මේ රටට වින කරන්න ආව සහ මේ හෙළ සිංහල ද්වීපයට කෙලවන්න ආව පරංගී හැත්ත මේ රටට එන එක නවත්තන්න ඕනේ" ගැම්මෙන් කීවෙමි, "මොකක්? තාම ඔය සිංහල බෞද්ධකම ඕවර් ඩෝස් වුණ ගතිය තියද උඹට? හහ් හා... ඒක නෙවෙයි... ඤානසාර හිමි හිරෙන් නිදහස් කරගනිමු කියලා ගමේ හංදියේ අතේ සල්ලි වියදම් කරගෙන බැන‍ර් ගැහුවා නේද" ඔහු සිනාසෙමින් ඇසුවෙමි, "ඔව් කොහොමද දන්නේ" මම ලැජ්ජාවෙන් ඇසුවෙමි, "තාරු රාජපක්ශ කියන උඹේ ප්‍රොෆයිල් ඒකේ තිබ්බා" ඔහු සිනාසුණේය, "අඩේ... මේ අපි බලමුද ඇත්තටම අපේ රජවරුන්ටම මේක කරන්න දීලා, මට ඕනේ පරංගීන් ලංකාවට එන එක නවත්තන්න" මම පැවසීමි, "උඹෙත් සිඟිති ආතල් තියෙන්නේ" ඔහු පැවසුවේය, "මචන්, මේක මගේ පේජ් එක, උඹ මේකේ දබස් වලදී මාව චාටර් කරලා කතා කරන්න එපා, එහෙමනම් මේ කතාව පෝස්ට් කරන්නෙ නෑ මම" මම තදින් පැවසුවේමි, "හරි හරි බං, උඹ රටට හොඳක් කරන්නනේ යන්නෙ" ඔහු මාගේ පිටට තට්ටුවක් දැම්මේය. "හරි මම ලෑස්තී" මම පැවසීමි, "එහෙනම් ඔන්න මම දානවා, මාත් එක්ක උඹ එහේ ගියාම ඔය කනේ හයි කරලා තියන බ්ලූටූත් හෙඩ් සෙට් එකෙන් කතා කරපං අනික් අයට පේන්නේ නැතිවෙන්න, එහෙම නැත්නම් උබව පිස්සන් කොටුවට දායි තනියම කතා කරන එකෙක් කියලා, දැන් කාලේ මෙහේ උන් ඕක බිජ්ජක් වගේ ගහන් තනියම පාරේ කතා කර කර ගියාට ඒ කාලේ ඕවා නෑ" "මේකට සිග්නල්?" මම ඇසුවෙමි, "පණ්ඩිතයා නොවී ඉඳපන්කෝ, ඒවා ඔක්කෝම හරි, ඔන්න එහෙනම්" ඔහු ස්වීචයක් දැමුවේය, විශාල ආලෝක ධාරාවක් මාගේ මුහුණට පතිතවන්නට විය, මා හට දැඩි අපහසුවක් සමඟ සැහැල්ලුවක් දැනෙන්නට විය, ----- විගසින් මා දුටුවේ පෘතුගාලයේ මැරීනා වරායේ නැංගුරම් ලා තිබෙන කපිතාන් ලොරන්සෝද අල්මේදා විසින් අණදෙන "ඔරියස්" නමින් නම් කර ඇති නැවයි, දැන් මේ නැව මුහුදේදී මුහුදුබත්වීම සඳහා මා විසින් කටයුතු කල යුතුය, මා කල්පනා කලේ එවන් විශාල කර්තව්‍යයක් මා හට කල හැකිද යන්නයි, විශේශයෙන් කිවයුතු දෙයක් වන්නේ මා ඉහතකී නන්නාඳුනන මිනිසාගේ කාල තරණ යන්ත්‍රය නිසි ආකාරව වැඩ කර ඇති බවයි, "අඩේ.... පෘතුගාලේ තමා බං, මුන් විස්කිරිඤ්ඤා කන ගමන් අල්මාරි කරේ තියන් නැවට ගෙනියනවා" "ඒකනේ ඒකනේ... මම උඹට කියන්නම් කරන්න ඕනෙ දේ, ඔන්න උඹට කතා කරනවා නැවට එන්න, උඹට දැන් පෘතුගීසි කතා කරන්නයි තේරුම් ගන්නයි පුලුවන් ඈ" ඔහු පැවසුවේය, "වැල්ලේ බුදියගෙන රෙද්දක් කරනවද යකෝ, මෙහෙ වරෙන් වයින් බීලා පාං කන්න, අල්මේදා සර් ආවොත් උඹට හුප්පදේ අහගන්න වෙන්නේ" නැවේ සිටි පුද්ගලයෙක් මට කෑගසා හඬ ගැසුවේය. මතුසම්බන්දයි thaaarustoriesයුතුකම... අවසාන වතාවට බෝඩිං කාමරේ ඇතුල ඇස් කරකවල බලපු මං එළියට ඇවිත් දොර වැහුව. "දඩාස්".... වෙනදට වඩා ටිකක් හයියෙන් වහල යතුර සාක්කුවට දාගෙන හෙමින් යන්න පිටත් උනා.කෙසෙල් ගස් අස්සෙන් තිබ්බ අඩි පාර දිගේ හෙමින් පල්ලම් බැහැල රේල් පාරට පැනපු මං රේල් පාර දිගේ ඉස්සරහට යන්න පටන් ගත්ත. අඩිය තියනකොට ටිකක් ඈතින් ඈත තියල ඇවිදින එක මගේ පුරුද්ද...එතකොට රේල් පාර දිගේ ගමන ඉක්මන්..උදේට රේල් පාර කොහොමත් කලබලයි.වැඩට යන්න ස්ටේසමට යන මිනිස්සු....ඉස්කෝලෙ යන ලමයින් ගෙන් පාර පිරෙනව. ස්ටේසමට තරමක් මෙහායින් තියන ගුවන් පාලම ලඟ රේල් පාරෙ සෙනග පිරිල ඉන්නව..කලබලයක් වගේ...මං ඈත තියාම දැක්කා. මිනිස්සු රේල් පාර අයිනෙ වටවෙලා....පොලීසියෙ කීප දෙනෙකුත් ඒ අතරෙ ඉන්නව මට ලං වෙනකොට පෙනුන. සෙනඟ වට වෙලා ඉන්න අස්සෙන් මං යන්තමට එබිල බැලුව...සුදු පාට ඉටි කොලේකින් වහපු මිනියක්. අත්දෙක විතරක් යන්තමට එලියට ඇවිල්ල පේන්න තියෙනව. " ටවුමෙ ලොකු සල්ලි කාරයෙක්ලු...." " ඒ උනාට කාලෙක ඉදන් බිස්නස් වැටිල කියන්නේ........බැංකු ගානකට ණයයිලු ...මිනිහටම ජීවිතේ එපා වෙන්න ඇති" කට්ටිය එහෙන් මෙහෙන් කසු කුසු ගාන සද්දෙ මට ඇහෙනව. තව මොහොතක් ඒ වහල තිබුණ මිනිය දිහා බලන් හිටපු මං ආයෙත් මගේ ගමන එන්න පිටත් උනා. ස්ටේෂන් එක ලඟින් මහ පාරට ආපු මං කෙලින්ම ඇවිද ගෙන ආවේ හමීන්ගෙ සයිවර් කඩේ ලඟට. කඩේට ඇතුල් වෙනකොටම හමීන් මං දිහා බලල යන්තමට හිනා උනා.මොහොතක් හමීන් දිහා බලන් හිටපු මම සාක්කුව ඇතුලෙන් ගත්ත බෝඩිමේ යතුර හමීන්ගෙ අතේ තිබ්බ. " මහත්තයා රට යන එකට මට දුකයි...මෙච්චර කල් මගේ දරුවෙක් වගේ හිටියෙ....ආය කවදා දකින්න ද ඉතිං " හමීන් කිව්වෙ තරමක් දුකෙන් වගේ. "කියන්න බෑ මුදලාලි.ආය හිතුන දවසක තමයි ලංකාවට එන්නෙ.....මට මුදලාලි කරපු උදව් කවදාවත් අමතක වෙන්නෑ "....මං කිවෙ හමීන්ගෙ මූණ දිහා බලාගෙන. පුරුදු විදිහටම පරිප්පු , සම්බෝල එක්ක තෝසෙ දෙකක් පිඟානට දාපු හමීන් ඒක මගේ අතට දුන්නා.වෙනද වගේම අයිනෙ තිබුණ යකඩ පුටුවෙ වාඩි උන මං හෙමින් හෙමින් කන්න පටන් ගත්ත. ඊයෙ තිබුණ මගේ කලබල හිත දැන් ගොඩක් නිවිල .පුංචි කාලෙ ඉඳන් ඊයෙ වෙනකල් උන හැම සිද්දියක්ම චිත්‍ර පටියක් වගේ ආයෙත් මට මැවිල පේන්න ගත්ත. මගෙ උපන් ගම දඹුල්ලට කිට්ටුව තිබුණ පොඩි ගමක්.අපේ පවුලෙ හිටියෙ අම්මයි තාත්තයි , ආච්චි එක්ක පවුලෙ එකම දරුව උන මං විතරයි.තාත්ත කුලී වැඩ කරල ගෙනාපු සල්ලි වලින් අපි එදා වේල යන්තමට ගැට ගහගෙන ජීවත් උනාට අපි හිටියෙ ගොඩාක් සතුටින් කියල අම්ම කියල තිබ්බ.මේ අතරෙ දවසක තාත්ත ගමේ දාවිත් කියල කෙනෙක් එක්ක ඇළහැර පැත්තෙ කැලේ මැණික් ගරන්න ගිහින්..එහෙදි තමයි තාත්ත අපි හැමෝම දාල යන්නම ගිහින් තියෙන්නෙ.එතකොට මට යන්තම අවුරුදු පහයි. පොලිසිය කිව්ව විදිහට දාවිත් එක්ක උන රණ්ඩුවක් නිසා කැලේදි දාවිත් තාත්තට ඉල්ලම් කූරකින් ඇනල තියනව.තාත්ත එතනම මැරිල .අන්තිමට දාවිත්ට අවුරුදු විසිපහකට හිර දඩුවම් නියම වුණා.ඒත් තාත්ත නැති අඩුවෙන් අපේ පවුල කියන්න බැරි තරම් අසරණ තත්වෙට වැටුණ.අන්තිමට අම්මා පාන් බේකරියෙ වැඩට ගියා.තාත්ත නැති අඩුව නොදැනෙන්න මගේ හැම අඩුපාඩුවක්ම පුලුවන් විදිහට අම්ම හොයල බැලුව.ඒත් ඒ සැනසීමත් දෙවියො දුන්නෙ ටික කාලෙකට විතරයි .පාන්දර බේකරියෙ වැඩට යනකොට සර්පයෙක් කාල අම්ම වැටිල ඉදල තියෙනවා.ඉස්පිරිතාලෙට ගෙනියනකොටත් අම්ම මැරිල.එතකොට මං ඉස්කෝලෙ හත වසරෙ.අම්මගෙ මරණෙන් පස්සෙ ආච්චි මමයි නොසෑහෙන්න දුක් වින්ඳ. ආචිචි මාව ජීවත් කරන්න පාර අයිනෙ පලා විකුණුව..ඒකෙන් හම්බෙන සොච්ච්මෙන් අපි යන්තමට ජීවිතේ ගැට ගහගෙන ජීවත් වුණා.අපිට කියලා උදව් කරන්න කියල ගමේ කවුරුත් නෑයෙක් හිටියෙ නැහැ. ආච්චි මැරෙණෙකොට මං ඒ ලෙවල් පන්තියෙ..ආච්චිගෙ මරණෙන් පස්සෙ මට හැමදේම එපා වුණා.අන්තිමට මං හැමදේම අතෑරල කොළඹ ආවෙ ජීවිතේ කොහොම හරි ගොඩදාන්න හිතා ගෙන. කොළඹ ආපු මුල් කාලෙ මං තැන් තැන් වල වැඩ කරා..ඒ කාලෙ නොසෑහෙන්න දුක් වින්ඳ.කොහොම හරි ටික ටික කොළඹ ජීවිතේට මං හුරු වුණා.කොළඹ ආවට පස්සෙ මම ගම පැත්තෙ ගියෙ නැති තරම්.අන්තිමට මං කොළඹ ලොකු කඩේක වැඩ කලා.ඒකෙ අයිතිකාරයා ලොකු මැණික් මුදලාලි කෙනෙක්.මං ටික ටික හැමෝගෙම විශ්වාසේ දිනාගෙන හොදට වැඩ කරන්න පුරුදු වුණා..අන්තිමට මුදලාලිගෙ විශ්වාස වන්තම ගෝලයා උනෙත් මමයි. එතන තමයි මගේ ජීවිතේ හැම දේම වෙනස් කරපු තැන.මං තාමත් හිතන්නේ මාව එතනට ගෙනාවෙ මගේ දෛවය කියල. කොළඹ ඇවිත් ටික කාලෙකට පස්සේ මට හමීන්ව අඳුනගන්න ලැබුණෙ බෝඩිමක් හොයන් යනකොට.හමීන් එයාගෙ වහල තිබුණ පොඩි ගෙයක් මට දුන්න.ගෙයක් කිව්වට ඒක පොඩි කාමරයක්.ඇත්තටම හමීන් මට උදව් කලේ හිතේ කිසිම කහටක් නැතුව.මගේ ජීවිතේ වෙච්ච හැම දේම මං හමීන්ට කිව්ව. මට හිටපු එකම හිතවතා විශ්වාසවන්තයා උනෙත් එයා විතරයි. මේ වෙනකොට තාත්තව මරපු දාවිත් හිරෙන් නිදහස් වෙන කාලෙත් ලං වෙලා තිබ්බ.කොළඹ ආපු මුල් කාලෙ මං කීප සැරයක් දාවිත් බලන්න වැලිකඩ ගියා.එත් කවදාවත් මට දාවිත්ව දකින්නවත් ලැබුනෙ නෑ.මොකද හිරේට නියම උන දවසෙ ඉඳල දාවිත් කිසිම කෙනෙක්ව හම්බ වෙන්න කැමති වෙලා නෑ. දාවිත් හිරෙන් නිදහස් වෙනකල් මං ඇත්තටම ඇඟිලි ගැන ගැන හිටිය.ඒ වෙන දේකට නෙවෙයි. තාත්තව මරපු පළිය ගන්න..හැබැයි ඊට කළින් ඇත්තටම උන දේ මට දාවිත්ගෙන් දැන ගන්න ලොකු උවමනාවක් තිබුණ. මං මගේ හිතේ තිබුණ අදහස හමීන්ට කිව්ව.හමීන් මුලින් මේකට අකමැති වුනත් මගේ ජීවිතේට වෙච්ච අසාධාරණය ගැන කල්පනා කරල පස්සෙ කැමති වුණා.දාවිත් නිදහස් වෙන දවස හරියටම දැනගත්තට පස්සෙ දාවිත්ව එතනදීම අල්ල ගන්න සැලැස්ම හැදුවෙත් හමීන්මයි. හරියටම අපි බලන් හිටපු ඒ දවස ආව.අපි සැලසුම් කරපු විදිහටම දාවිත් නිදහස් වෙලා යනකොට අදාල තැනදි කොටුකරගන්න පුලුවන් වුණා.දාවිත්ව අරගෙන අපි ආවෙ මොරටුව පැත්තෙ තිබුණ පාලු ගෙදරකට.මේ හැමදේම හමීන් හරියම සැලසුම් කරල තිබුණ.ඇත්තටම දාවිත්ට මේ වෙන කිසිම දෙයක් ගැන පොඩි හරි තේරුමක් තිබුන්නෑ. දාවිත්ට දැන් සෑහෙන වයසයි.අවුරුදු හැට පහකට කිට්ටු කරල තිබුණ.දාවිත් ගැන වෙලාවකට පොඩි දුකකුත් ආව.හමීන් දාවිත්ව අරන් ඇවිත් කාමරේක පුටුවක ගැට ගහල දැම්ම. දැන් තමයි හොදම වෙලාව දාවිත්ව ඉවරයක් කරල දාන්න.ඒත් ඊට කලින් හැමදේම මට දැන ගන්න ඕන. "දාවිත් උඹට මාව අඳුනගන්න පුලුවන් ද...? "..මං ඇහුව. දාවිත් නෑ කියන්න වගේ දෙපැත්තට ඔලුව වැනුව. "මං උඹ මරපු අමරදාසගෙ පුතා....මං අද දවස වෙනකල් අවුරුදු විසිපහක් බලන් හිටිය..."මං කිව්වෙ දාවිත්ගෙ ඇස් දිහා බලාගෙන. මම දාවිත්ට මං ගැන හැමදේම කිව්ව...පරණ අතීතෙ හාර අවුස්සලා මතක් කරා..තාත්තා නැතුව අපි විඳපු දුක දාවිත්ට මතක් කරල දුන්න. දාවිත් කිසිම දෙයක් නොකියා හැමදේම අහන් හි
ටිය.සෑහෙන වෙලාවක් යනකල් කතා නොකරම.. අන්තිමට දාවිත් එදා වුණ හැමදේම අකුරක් නෑර කියන්න පටන් ගත්ත..මට දාවිත් කියපු දේවල් හරියට හීනයක් වගේ ඒ වෙලාවෙ මැවිල පෙනුන.මට ඕන කලේ තාත්තගෙ මරණෙට සාධාරණයක් කරන්න.ආයෙත් හැමදේම අලුතෙන් පටන් ගන්න හිතාගෙන එදා ආපහු ආවා. මං පහුවදා වැඩට ගියේ නෑ..වැඩට ගියේ ඊලඟ දවසෙ. උදේ වැඩ කරන අතරෙ කඩේ මුදලාලි මට කෝල් කරා. "පතලකින් හොරකම් කරපු මැණික් ගලක් තියෙනවාලු ...අඩුවට ගන්න පුලුවන් ...වටිනව වගේ..."හැබැයි ගිහින් තමයි බලන්න වෙන්නේ...හවස මං එක්ක යමුද සුනිමල්..? " " හොදයි සර් යමු " " හැබැයි කාටවත් කියන්න එපා....ගමන යන්නෙ අපි දෙන්න විතරයි ...හරිද..?" " හරි සර්" මං මුදලාලිට එහෙම කිව්වෙ කෝල් එක කට් කරන ගමන්. හවස අපි දෙන්න වාහනෙන් මැණික් ගල තියන තැනට යන්න පිටත් වුණා.කිව්ව තැනට කියපු වෙලාවටම හරියටම ආව. " කෝ..කවුරුත් නෑනේ සර් "....මං මුදලාලිගෙන් ඇහුව. අපි දෙන්න වාහනේ ඉන්න අතරෙ එක පාරටම වාහනෙ පිටිපස්සට නැග්ගෙ හමීන් එක්ක දාවිත් . මුදලාලිට කලින් ලොකර් එකේ තිබුණ පිස්තෝලෙ ගත්ත මං ඒක මුදලාලිගෙ ඔලුවට තිබ්බ. "තිරිසනා....උඹ නේද මැණික් ගලක් හින්ද මගෙ තාත්තව මැරුවෙ "....මං පිස්තෝලෙ ඔලුවට තද කරන ගමන් මුදලාලිගෙන් ඇහුව. "අඳුරනවද බලපන් මාව" පිටිපස්සෙ හිටපු දාවිත් ඇහුවෙ මුදලාලිගෙ කමිසෙ කොලර් එකෙන් අඳින ගමන්. "උඹ අමරදාසව මරල ....මාවත් මැරුණ කියල හිතාගෙන මැණික් ගල අරන් ගියා නේද.....උඹ ගහපු පාරට මං මැරුන්නෑ යකෝ.....සිහිය නැති වුණා විතරයි .....උඹ හින්ද අවුරුදු විසිපහක් මං නොකරපු වරදකට දුක් වින්ඳ."....දාවිත් කිව්වෙ මහ හයියෙන් කෑ ගහල අඬන ගමන්. " උ....උඹ දාවිත් නේද....? " මුදලාලි ඇහුවෙ ගොතගහන ගමන්. " ඔව්...දාවිත් තමයි..."....මාව නොකරපු වරදකට පටලවල...උඹ මැණික් ගල අරන් මාරු වුණා නේද..? උඹ අවුරුදු විසි පහක් සැප වින්දනේ...දැන් හොදටම ඇති"සිහිය නැති වෙන තරම් හයියෙන් මුදලාලිගෙ බෙල්ල මිරිකන ගමන් දාවිත් කිව්ව. වෙලාව රෑ එකොලහ පහුවෙලා.පැත්තම පාලුයි.දාවිත් හමීන් එක්ක සිහිය නැති උන මුදලාලිව අරන් ගියේ ලඟම තිබුන රේල් පාරට..හැමදේම සැලැසුමටම හරියටම සිද්ද වුනේ සොබාදහමත් මං වෙනුවෙන් සාධාරණයක් කරනව වෙන්න ඇති කියල මට හිතුන. මුදලාලිට ආපු කෝල් එකේ ඉඳල හැමදේම සැලසුම් කරේ හමීන්.... හැමදේම වෙන්න ඕන විදිහ හමීන් මට මුල ඉඳල කියල තිබ්බ. මුදලාලිව පහු කරන් රෑ එකොලහයි දහයෙ කෝච්චිය යනකල් පාලම උඩට වෙලා බලන් ඉදපු අපි තුන් දෙනා ආපහු යන්න ගියා. ------------------------------------------- " මහත්තයා ලොකු කල්පනාවක වගේ "......මං ලඟට ආපු දාවිත් ඇහුවෙ මගේ කරට අතක් තියන ගමන්.එතකොට තමයි මං පියවි ලෝකෙට ආවේ. " ආ...දාවිත් දැන්ද ඇහැරුනෙ "....මං හිනාවෙලා දාවිත් දිහා බලන ගමන් කිව්ව. " ඔව් මහත්තයා ...මහන්සියට ටිකක් වැඩිපුර නින්ද ගියා"...දාවිත් කිව්ව. තෝසෙ පිඟාන හමීන් අතට දීපු මම වතුර වීදුරුවක් අරන් එක හුස්මට බීගෙන ගියා. " හ්ම්ම්ම්ම්ම්ම්...." ලොකු හුස්මක් ගත්ත මං ගියේ බෑග් එක ලඟට. පැත්තක තිබුණ බෑග් එක ඇරපු මං ඒකෙ තිබුන මල්ලක් අරන් හමීන් අතට දුන්න. "මෙතන ලක්ෂ තිහක් ඇති....මුදලාලි මැණික් ගල ගන්න ගෙනාපුව..මේකෙන් ලක්ෂ පහලවක් හමීන් ගන්න .මං වෙනුවෙන් මෙච්චර කල් උදව් කරාට...අනිත් ලක්ෂ පහලව දාවිත් ගන්න.මෙච්චර කල් හිරේ නිකරුනේ දුක් වින්දට. කැමති දෙයක් කරන්න ඕවට"මං හිනාවෙන ගමන් කිව්ව. "එතකොට මහත්තයාට" "මට සල්ලි ඕන්නෑ දාවිත්.....මං තාත්ත වෙනුවෙන් සාධාරණයක් කලා.මට ඒ ඇති...මං එහෙම කිව්වෙ බෑග් එකේ තිබුණ ප්ලේන් ටිකට් එක අතට ගන්න ගමන්. සමාප්තයි . පසන් ලෝචන"එයා අරලිය මලක් කණේ ගහගෙන ලස්සනද අහයි තව ටිකකින් අරූගෙන්" වෙනදට වඩා කලින් යන්න වුණ හයර් එකකට මම ගෙදරින් පිටත් වෙනකොට පාන්දර තුනට විතර ඇති. "හෙලෝ,ගුඩ් මෝර්නින් මල්ලි.එනගමන් අපේ ෆොටෝ ගන්න මල්ලිලා දෙන්නත් ශොප් එක ල‍ඟින් දාගෙන එන්න පුළුවන් නේද?" වෙඩින් හයර් එකක් කිව්වම කොහොමත් සේරම දාගෙන යන්ඩ හදන්නෙ වෙඩින් කාර් එකේම තමයි.දැන් බඩු සේරමත් පටවෙගන පලයන්කො කියලා හිත හිත වාහනේ එළියට අරන් කියපු තැනට ලන් වුණා ෆොටෝ කාරයො දෙන්නව දාගන්න. "ගුඩ් මොර්නින් අයියෙ" "ගුඩ් මෝර්නින් මචන්,නැඟපන්.බඩු ටික ඩිකියෙන් දාමු" අපි පිටත් වුණා.මනමාලයයි යාළු මනමාලයයි දෙන්නම රජ ඇඳුම් ඇඳගෙන අමාරුවෙන් වාහනේට නැගගත්තා.පත්තර ඔතලා ඔතලා මෙවුන් කොහොම ඉන්නවද දන්නෙ නෑ.අනික හයර් එක කියපු විදියට මූ හවස් වෙනකල්ම මේක ඇඳගෙන ඉඳලා හොටෙල් එකට යද්දි කොහෙන්ද මන්දා ගලවනවා කිව්වෙ හවස.කොහොම හරි සේරම පටවගෙන බර කරත්තයක් කරපු වෙඩින් කාර් එකේ අපි පේරාදෙණියට යන්න පටන් ගද්දි පාන්දර පහට වගේ ඇති. "මොන මගුලක්ද තවත් කරන්නෙ සැලූන් එකේ.අපි පිටත් වෙලත් ඉවරයි,තව පැයෙන් අපි ඔතන.ඔය තියෙන එකක් පටලගෙන එනවා හයයි තිහ වෙද්දි පාක් එක ලඟට" මනමාලයා එහෙම කියලා ෆෝන් එක කට් කරේ අපි මාවතගම හරිය පහු කරනකොට.කොහොමත් කසාදෙ දවසෙ උදේට උන්දෙන්න කරන්නෙ රන්ඩු වෙන එක නැකත් වලට දුව දුව.හවසට වෙන්නෙ සල්ලි බේරන එකයි,එන්විලොප් දිග ඇර ඇර මදි පාඩු සල්ලි හොයන එකයි හනිමූන් එකට යන හොටෙල් එකට දානකල්.එහෙම නැත්තන් මනමාලි වමනේ දාන එක වංගුවක් ගන්න ගාණෙ.කතාව ඇහුණත් ඕක පුරුදු නැති එකක් නෙමෙයිනෙ කියලා මම පාඩුවෙ ඩ්‍රයිවර් වැඩේ කරගෙන ඉද්දි ඉස්සරහින් ඉඳගත්ත ෆොටෝ මලයා වෙනම කල්පනාවක.උට උගෙ මනෝ ලෝකෙ ඉන්න වැඩි වෙලාවක් හම්බුණේ නෑ. "මල්ලි උදේට කාලත් නෑනෙ,අපි මොනවහරි බීලා යන්.තැනක් බලල නවත්තපන්" මනමාලයා එහෙම කිව්වෙ කලින් කෝල් එකේ විදියට අපි ඉක්මණට ගියා කියලා ඌ බඳින්න යන ගෑණි දැන්ම ෆොටෝ ගහන තැනට එන්නෙ නැති හින්දා මයෙ හිතේ. අපි තේ එකක් බොන්න නැවැත්තුවා.අරුන් දෙන්න රජ ඇඳුම් ඇඳගෙන බස්සන්ඩ බැරි හින්දා කන්ඩ ගත්ත එව්වයි තේ දෙකයි වාහනේට ගෙනිහින් දීලා ෆොටෝ මලයො දෙන්න එක්ක මම තේ එකක් බිව්වා. "දුමක් ගහනවද බන්?" මගෙ අතේ තිබ්බ සිගරට් පැකට් එක උන් දෙන්නට දික් කරපුවම උන් දෙන්නගෙ මූණෙ මල් පිපුණා වගේ. "ගහමු අයියෙ" "උඹලා ගොඩක් කල් ඉඳන්ද මේ වැඩේ?" " ඔව් අයියෙ,දැන් අවුරුදු පහක් විතර" "මොකෝ තත්වෙ? ලාබද වැඩේ?" "අවුලක් නෑ ,ශේප් එකේ යනවා" "හොඳයි හොඳයි" අපි පේරාදෙණියට එද්දි හයයි හතලිස්පහට ඇති.මනමාලි එනකල් තව පැය බාගයක් විතර ඉන්ඩ වුණා.වාහනේට වෙලා ඉන්න කම්මැලි හින්ද අපි ඇතුලට ගියා.ගිහින් මනමාලයව එක එක පැත්තට හරවලා කට්ටිය ෆොටෝ ගහන්න පටන් ගත්තා.ටික වෙලාවකින් මනමාලි,යාළු මනමාලි එක්ක තව දෙතුන් දෙනෙක් එතන්ට ආවා. දාන්ඩ තියෙන මේකප් සේරම දාලා ගොඩ දාලා තිබ්බත් ඒ වැඩ නැතත් ඒකි ලස්සන ඇති කියලා මට හිතුණා.අහිංසක පාටට හිටිය වැඩිය දැඟලිල්ලක් නැතුව සාරියේ කෑල්ලකුත් උඩට උස්සගෙන. ෆොටෝ මල්ලි එයාට ලස්සන ඈන්ගල් එන විදියට දෙතුන් දෙනාව කරක කරක ෆොටෝ ගහනකොට තමයි මම දැක්කෙ මනමාලිගෙ පිටේ ලස්සන ටැටූ එකක් ගහලා තිබ්බා.ගහපු එකේ පෙන්නන්ඩත් ඕනෙ හින්දා වෙන්ඩ ඇති කොන්ද කවර් නොකරපු ජැකට් එකක් ඇඳලා හිටියෙ.මුලින් දකිද්දි තිබ්බ අහින්සක ,ලස්සන මනමාලි කියන සීන් එකෙන් මාව පොඩ්ඩක් විතැන් වෙලා ආතල් එකක් ගන්න චරිතයක්දත් මන්දා වගේ එකක් හිතට එනකොටම "ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා" කියලා මතක් වුණ හින්දා මන් අහින්සක මනමාලි එතනම තියලා අර අම්බලමක් වගේ හදලා තිබ්බ එකේ කපල් එකක් රණ්ඩු වෙන දිහාට ඇස් දෙක හැරෙව්වා. මනමාලී එතන්ට ආව වෙලාවට වඩා සෑහෙන වෙනසක් ටික වෙලාවක් ෆොටෝ ගහගෙන යනකොට මට පේන්න ගත්තා.ෆොටෝ මල්ලි එයාව අල්ලලා කරලා එහෙට මෙහෙට හරවලා ඇඳුම් හද හද ෆොටෝ ගද්දි ලැජ්ජාවටද කියලත් හිතුණා. කලබලෙන් දුවන් ආව මනමාලි දැන් හරිම සංවර විදියට ෆොටෝ වලට ඉන්නවා. ෆොටෝ ටික ගහනකල් ෆොටෝ මල්ලි දිහා ඇස් පිය නොගහා බලන් ඉන්නවා.මනමාලයා දිහා හොරෙන් බලලා අහක බලනකොටම කැමරාවට ඇහැ යොමනවා.ඇත්තටම ඒක මඟුල් සක්වලක් කරන්න ෆොටෝ මල්ලිට ගියෙ පොඩි වෙලාවයි. ගොඩක් දුරට ෆොටෝ ගහන මල්ලිලා මනමාලි එක්ක හිතවත් වෙන කසාද සෑහෙන්ඩ දැකලා තියෙන හින්ද මම හිතාගත්තා ෆොටෝ මලයා දෙකට ගණින්න බෑ වගේ හිටියට හොඳ වැඩකාරයෙක් කියලා. ආයෙ ඒකෙ හිතන්න දෙයක් නෑ.මේ විනාඩි දෙකතුනට කොල්ල මනමාලිව ගොඩ දැම්මා එහෙනම්.මනමාලයාට මේ වෙන සිද්දිය ගාණක්වත් නෑ.එන්ඩ කිව්වම එනවා.ෆොටෝ ටිකට ඉන්නවා.ආයෙම ඌ උගෙ වැඩ. ඔය අතරේ ලයිට් අල්ලන්ඩ ආව අනිත් ෆොටෝ මල්ලි මන් ඉඳගෙන හිටිය තැනට දුවගෙන ආවෙ තව කැමරාවක් අරන් යන්න. "මල්ලිගෙ බොසා හොඳ වැඩකාරයෙක් වගේ නෙහ්?" කියලා මන් කිව්වටත් වඩා කියවුණා වගේ. "ඔව් අයියෙ.පට්ට ඇහැක් තියෙන්නෙ" "ඒක තමා,මට හිතුණා බලන් ඉද්දි" කියලා හිනාවක් දැම්මෙ ඊට වඩා දෙයක් ඌ එක්ක කතාකරලා තේරුමක් නෑ කියලා හිතුණ හින්දා. මට හිතුණෙම මේක ප්‍රපෝසල් එකක් වෙන්ඩ ඇති.ඒත් මට සැකම මේ ටැටූ එක.මේකිට විසේ නැත්තෙමත් නෑ.හැබැයි හංගන් ඉන්නෙ.මටත් වෙන වැඩක් නෑනෙ ඉතින්.අනික මන් හිතන එක කාටවත් පේනවා ඇහෙනවා කියලද. ෆොටෝ වැඩ ටික ඉවර වෙලා අපිට ආයෙම යන්න තිබ්බෙ නුවර කිට්ටුව හොටෙල් එකකට.පැය දෙකක් විතර එක දිගට ෆොටෝ අරන් කට්ටිය තැන් තැන් වල ඉඳගත්තා. කපල් එක බංකුවකට බර දෙනකොට මම ටිකක් කිට්ටුව තිබුණ ලොකු ගහක මුලක් උඩ ඉඳගෙන මේ වෙන දේවල් දිහා බලන් හිටියා. ටික වෙලාවකින් ෆොටෝ මල්ලි මගෙ ලඟට ආවෙ උගෙ කැමරාවත් අරගෙන.ඇවිත් ඌ කැමරාවේ පොඩි ස්ක්‍රීන් එක දිහයි කපල් එක දිහයි බල බල බර කල්පනාවක.මන් නිකමට ඌ දිහා බලද්දි උගෙ ඇස් ටිකක් රතුවෙලා.හරියට අඬන්න ඕනෙ වුණත් අඬන්න විදියක් නෑ වගේ.දුවාගන්න ඕනෙ වුණත් කකුල් දෙක පණ නෑ වගෙ. "පට්ට කෑල්ල නේද බන්?" "හ්ම්ම්" "හැබැයි පාක් එකනම් සෑහෙන්න පුරුදුයි වගේ කෙල්ලට" ස්ක්‍රීන් එකට මූණ දාද්දි ඌ බල බල හිටිය මනමාලිගෙ ෆොටෝ එක දිහාබලලා මන් එහෙම කිව්වම ඌ මන් දිහ බැලුවෙ මේ ලෝකෙම නැති වෙච්ච එකෙක් වගේ.වෙන්නෙ මොකක්ද හිතාගන්න බැරුව මම උගෙ ඇස් දෙකෙන් ඇස් අහකට අරන් ඉස්සරහා බලාගත්තෙ ඌ අඬයි කියලා බයට වගේ. "මනමා
ලිට පාක් එක විතරක් නෙමෙයි අයියෙ,ඔය බංකුවත් පුරුදුයි" " ඒ මොකද බන් ඒ?" "එයා අරලිය මලක් කණේ ගහගෙන ලස්සනද අහයි තව ටිකකින් අරූගෙන්" ඌ එහෙම කියද්දි මට ආයෙම ඌ දිහා බැලවුණා.වෙන්නෙ මොකක් වුණත් ආයෙ මට කියන්න දෙයක් මෙතන ඉතුරු වෙලා නෑ කියලා මට හිතුණේ එතකොට.උගෙ ඇස් දෙකේ එල්ලිලා ඉඳලා ඉඳලා බැරිම තැනද කොහෙද කදුළු බින්දු දෙක තුනක් කැමරාව උඩට වැටුණා.මන් කපල් එක ඉඳන් හිටිය බන්කුව දිහා නිකමට බලද්දි ඒකි චූටි අරලිය මලක් අහුලන් කණේ ගහගෙන ඉස්සරහ පිට්ටනිය දිහා බලන් ඉන්නවා. "බංකුව විතරක් නෙමෙයි අයියෙ ඒකිට මාවත් පුරුදුයි.පුරුදු නෑ වගේ හිටියට" ~~ මයෝ ~~සුවපත් නත්තලක් උදේම එලාම් එකට ලක්ෂාන් අවදි වුණා.අද ඉරිදා ශිෆ්ට් එක පටන් ගන්නෙ උදේ එකොලහට.උත්සව සමය නිසා හෝටලේ ගෙස්ට්ල වැහි වැහැලා.කෑම කන්නවත් නිදහසක් ලැබෙන්නෙ නෑ.ශිෆ්ට් එක ඉවර වෙනකොට කකුල් දනවා.කෑමටවත් පිරියක් නැතිව බයික් එකේ බෝඩිමට ඇවිත් නිදාගන්න ඇදට වැටෙනවා විතරයි මතක. ලක්ෂාන් සුපිරි හෝටලයක වේටර්වරයෙක්.අගනුවර ඉහලම පෙලේ තරු හෝටලයක කොන්ත්‍රාත් පදනමේ සේවකයෙක්.කොහොමත් ඕන වෙලාවක එලවලා කප්පාදු කරලා නිදහස් වෙන්න පුලුවන් කොන්ත්‍රාත් සේවකයො තමයි එතන වැඩිපුර හිටියෙ.අද ටිකක් දවල් වෙනකම් නිදාගන්න පුලුවන් දවසක් වුණත් ලක්ෂාන් උදේම නැගිට්ටේ අදහසක් ඇතිව.අද නම් පල්ලියකට යන්න ඕනෑ.ගෙස්ට්ලගෙයි ඉහල මැනේජර්ස්ලගෙයි හී සැර වගේ අකාරුණික වචන,කෙලවරක් නැති වැඩ ආදිය නිසා ඔද්දල් වුණු සිතට පොඩි නිවීමක් ඕනෑ. ඉරිදා පෝය නිවාඩු මුකුත් ලක්ෂාන්ලට නෑ.නිවාඩු දවස් කියන්නෙ ගෙස්ට්ල වැඩිම දවස්.අදත් උදේ හතේ ශිෆ්ට් එකට වැටුන නම් පල්ලි යෑම හීනයක් තමයි. ලක්ෂාන් ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු තුන හතරක් තමයි වෙන්නෙ. නත්තල් සීතලත් එක්ක මතක් වෙන්නෙම පොඩි කාලෙ.ලස්සන නිදහස් කාලයක් ඒක.අලුත් ඇදුම් වල සුවද දැනෙන කාලෙ.ඉස්කෝලෙ අලුත් පොත් හම්බ වෙලා වරින් වර ඒවගේ සුවද බලන කාලෙ.තාත්තා බිත්ති වල ගාන හුණු සුවදෙන් ගෙදර පිරෙන කාලෙ.අම්මා හදන නත්තල් කෑම මේසෙ සුවදට ඉව අල්ලපු කාලෙ. ගීතිකා කණ්ඩායමේ පුහුණුව,යාලුවොත් එක්ක කරන සෙල්ලම්,අයියත් එක්ක රූපවාහිනියෙන් හැරී පොටර් ,මිස්ට බීන් ඇතුලු ලමා චිත්‍රපට බැලිල්ල ලක්ෂාන් ගෙ නත්තල් සමයේ අනිවාර්ය අංග.ඇයි නත්තල් දවසෙ රෑ දොලහට පවුලෙ හතර දෙනා අලුත් ඇදුම් ඇදන් පල්ලි යනකොට හිතට එන සන්තෝසෙ. දැන් ඉතින් අයියා විවාහ වෙලා වෙනම.පරණ ගෙදර අම්මයි තාත්තයි තනියම.තමන් බෝඩිමේ තනියම.ලක්ෂාන් ගෙ ලොකුම වුවමනාව තමයි පරණ ගේ ඉඩකඩ තියෙන විදිහට නවීකරණය කරගැනීම.දැනටත් අම්මා ලග සල්ලි එකතු කරගෙන යන්නෙ ඒකට.ලස්සන ගෙදරක පවුලෙ ඔක්කොම එක්ක නත්තල මම සමරන්නම්කො.කොරෝනා නැත්නම් අවුරුදු කීපයක් පිටරට ගිහින් ඉදලා කීයක් හරි හොයාගෙන එන්නත් තිබුනා. කල්පනාව මැද්දෙ ලක්ෂාන් නිවාඩු පාඩුවෙ ඇද පැලද ගත්තා.ලොකු ස්කූල් බෑග් එකට දවස් දෙක තුනකට කලමනා දාගත්තා.අද යන්නේ හොටෙල් එකේම නැවතිලා හරි ශිෆ්ට් කීපයක් ඇදලා, නත්තල් දවස නිවාඩු ඉල්ල ගන්න බලාපොරොත්තුවෙන්.මේ බෝඩිමට ආවට පස්සෙ පල්ලියකට යන්න බැරි වුණා.කිට්ටුව පල්ලිය තියෙන තැන බෝඩිමේ අංකල්ගෙන් අහගත්තා. බෑග් එකත් උරහිස් දෙකේ එල්ලගෙන බයික් එකේ පිටත් වුණා. ඒක අපූරු පල්ලියක්.තවම ලොකු සෙනගක් ඇවිල්ලත් නෑ.බයික් එක නවත්තලා ලක්ෂාන් පල්ලිය ඇතුලට ගියේ පොඩි කාලෙ මතක් කරගෙන.පල්ලි ඇතුලේ තියෙන කදිම සුවදායී සීතලට ඔහු හරිම කැමතියි.කීප දෙනෙක් අමුතු විදිහට බැලුවත් ඒක එච්චර ගානක් ගියෙ නෑ.තමුන් ඉතින් කොහොමත් මෙතනට අදමනෙ ආවෙ.ලක්ෂාන් ජේසු පිලිමය දිහා විනාඩි කිහිපයක් බලා ඉදලා බෑග් එක කරෙන් පැන්නුවෙ නිදහසේ යාඥා කරන්න හිතාගෙන. "අත ගන්නවා බෑග් එකෙන්!" කඨෝර සද්දයක් නිසා ලක්ෂාන් උඩ විසි වුණා.පොලිස් නිළධාරීන් දෙන්නෙක් ඇතුලු හැඩි දැඩි පිරිමි දෙතුන් දෙනෙක් තමන් දිහා බලාගෙන ඉන්න බව දැකපු තරුණයා ගල් ගැහුණා. "පටි දෙකෙන් විතරක් අල්ලලා බෑග් එක හිමීට බිම තියනවා!"එක පොලිස් නිලධාරියෙක් අණ කලා."අපිත් එක්ක එන්න දැන්" කට්ටිය ලක්ෂාන්ව ඇතුල් කාමරයකට එක්කරගෙන ගියා.එක පොලිස් නිලදාරියෙක් බෑග් එකත් ප්‍රවේශමෙන් අරගෙන පස්සෙන් ආවා. "අයි ඩී එක දෙන්න.අපි බෑග් එකත් චෙක් කරනවා."අනිත් පොලිස් නිලධාරියා දැනුම් දුන්නා. ලක්ෂාන්ගෙ හැදුනුම්පතයි,හෝටලෙන් දීල තිබුනු හැදුනුම්පතයි පෙන්නුවට පස්සෙ නම් තත්වය ගොඩක් සමහන් වුණා.ඒත් බෑග් එක නම් තද පරීක්ෂාවකට ලක්වුණා.නම,ගම,වයස නැවතිලා ඉන්න තැන ගැන ප්‍රශ්න කලාට පස්සෙ ලක්ෂාන්ට නිදහස ලැබුණා. "මේ වගේ ලොකු බෑග් එල්ලගෙන දැන් පල්ලි වලට එන්න හොද නැති බව තේරෙන්නෙ නැද්ද මනුස්සයො!ටිකක් කල්පනාවෙන් වැඩ කරනවා."ප්‍රශ්න අහපු නිලධාරියා දෝස් මුරයක් දැම්මා. "ඔව් බයික් එකෙන් බැහැලා ආපු වෙලාවෙ ඉදලා අපි සැකෙන් බලා හිටියෙ.මම බබාලවත් එලියට යැව්වා.ශික් හරි ආසාවෙන් ඇවිත් හිටියෙ!"එතන හිටපු තව පිරිමියෙක් නොරිස්සුමෙන් කියා හිටියා.එහි තිබුනෙ මොන එහෙකට අපේ පල්ලියට ආවද කාලකන්නියා දවසම කන්න කියන්නා වගේ ස්වරයක්. "සෙනග අඩු වෙලාව කියලා නෑ.එන්ට්‍රන්ස් එකේදිම චෙක් කරන්න ඕනෙ.පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ කඩාගෙන බිදගෙන එන හැටි බලන්න."තවත් හොදින් ඇද පැලද ගත් මහත්තයෙක් අදහස් පලකලා. කහල ගොඩක් වගේ ඇදලා දාලා තියෙන ඇදුම් බෑග් එක ගන්න පහත් වෙද්දි ලක්ෂාන් ගෙ හදවත රිදුම් දුන්නා.දෙවියන්ගෙ තැනේදිත් ඇයි මටම මෙහෙම වෙන්නෙ?මොන යාඥාද, ආයෙ පස් පාගන්නෙවත් නෑ මෙහේ! "ඉන්න මගේ දරුවා,මම උදව් කරන්නම්."කරුණාවෙන් පිරුණු කටහඬක් කණ ලගින්ම ඇහුණා.ලක්ෂාන්ට ඇස් අදහගන්න බැරි වුණා.සුදෝසුදු ඇදුමෙන් සැරසුණු පල්ලියේ වයසක පියතුමා නැවීගෙන රෙදි ටික බෑග් එකට දාගන්න උදව් කලා. "ෆාදර් ඉන්න අපි දාන්නම්."පොලිසියෙ අයයි අනෙක් මහත්වරුයි කලබල වුනේ එතකොට. "නෑ නෑ ඉන්න."පියතුමා කාටවත් ඉඩ නොදී සීරුවට නව නවා ඇදුම් ටික කඩිසරව බෑග් එකට දැම්මා.ඊට පස්සෙ දෝතින්ම ලක්ෂාන් අතට දුන්නා."මගෙ දරුවා උදේ කෑම කාලද?" "නෑ ෆාදර් මට හොටෙල් එකෙන් හම්බ වෙනවා."ලක්ෂාන් තැතනුවා. "යමු මාත් එක්ක කෝපි කෝප්පයක් බොමු"පියතුමා මහත් සෙනෙහසින් ලක්ෂාන්ගෙ උරහිස වටා අත දැම්මා.අපේ දේව මෙහෙය තියෙන්නෙ දහයමාරට, පුතාට ඉන්න පුලුවන්ද ?" "මට සමා වෙන්න ෆාදර් මම දහයයි හතලිස් පහට හොටෙල් යුනිෆෝම් එක ඇදගෙන ශිෆ්ට් එකට ඉන්න ඕනෑ."ලක්ෂාන් යටහත් පහත්ව කිව්වා. "අනිවාර්යයෙන් ‍යන්න එහෙනම්! රාජකාරිය දේව කාරියට වඩා උතුම්.ඒත් කෝපි කෝප්පයක් බොන්න වෙලා තියෙනවානෙ."පියතුමා හිනා වෙවී කිව්වා.ලක්ෂාන් ගෙ හිත බොහොම සැහැල්ලු වුණා.පාසැල් කාලෙ ගමේ පල්ලියේ ෆාදර් ව මතක් වුණා. "ෆාදර් සොරි.අපි අපේ රාජකාරිය කලේ.හැමෝගෙම ආරක්ෂාවට!" පොලිස් නිළධාරියෙක් කියා හිටියා. "ඒක හරි ඔෆිසර් ඒක හරි.බොහොම ස්තුතියි.දැන් මම කරන්නෙත් මගේ රාජකාරිය තමයි."පියතුමා බොහොම ප්‍රසන්නව කිව්වා.ඉන් පස්සෙ ලක්ෂාන් එක්ක ඇතුලෙ කෑම කාමරයට ගියා. ටෝස්ට් පාන් එක්ක බිත්තර ඔම්ලට් කාලා කෝපි බොන ගමන් පියතුමා ලක්ෂාන් එක්ක ගොඩක් ආගිය තොරතුරු කතා කලා.විහිලු කලා.තාම කෙල්ලෙක් නැද්ද කියලත් ඇහුවා!ඒක අමතක නොවන උදෑසනක්.ලක්ෂාන්ට දැනුනෙ කාලෙකට පස්සෙ ගෙදර ගියා වගේ සැනසීමක්.බෙල්ලේ එල්ලන්න කුඩා සුරුවමකුත් තෑගි කරලා, " මගෙ දරුවා,රැකියාවට මුල් තැන දෙන්න.ඒක තමයි දියුණුවට මාර්ගය.රැයේ දහවලේ ඉඩ ලැබෙන ඕනෑම වෙලාවක මෙහෙ එන්න.දෙවියන් වහන්සේගෙ තැන තමුන්ගෙ දරුවන්ට ඕනෑම මොහොතක විවෘතයි.මම පුතා වෙනුවෙන් යාඥා කරන්නම්."පියතුමා ලක්ෂාන්ගෙන් සමු ගත්තා. ඒ විතරක් නෙමෙයි ඔහුව ඇරලන්න පල්ලියෙ දොරකඩටම ආවා. පියතුමාගේ දයාවෙන් උණුසුම් වුණු හදවතින් ලක්ෂාන් මෝටර් සයිකලය ලගට ආවා.ඔහුගේ ජංගම දුරකථනය හැඬවුණා.එහා පැත්තෙන් ආවේගශීලීව කතා කලේ ඔහු වැඩකරන හෝටලේ සගයෙක්. "ලකී මචන්,උඹ අලුත් ෂෙඩූල් එක දැක්කද ?උඹටයි මටයි නත්තල් දවසෙ වැඩ දාලා.බලපන් අපි දෙන්න විතරයි නත්තල් කාරයො ඉන්නෙත්.මුන්ට හිතක් පපුවක් නැති හැටි!" ලක්ෂාන්ට හිනාවක් ගියා."මචන් ඒක අවුලක් නෑ.මේ වෙලාවෙ ජොබ් නැතිව කී දෙනෙක් ලතවෙනවා ඇද්ද?"ඔහු දුරකථනයට පිලිතුරු දුන්නා."මම එනගමන්.වොරි වෙන්න එපා.උඹට කියන්න මචං,නත්තල කියන්නේ එක දවසක්ම නෙමෙයි!" එහා පැත්තෙ යාලුවා නිරුත්තර වෙද්දි ලක්ෂාන් කෝල් එක කට් කරලා බොහොම සැහැල්ලුවෙන් පිටත් වුණා. සැමට සුබ නත්තලක් වේවා! ✍️නාලක කල්දේරා." එතකොට හාමුදුරුවනේ මට කසාද කොලේ ලියන්න පුළුවන් මල් හාමිගෙ නම විතරයි ??" පසුපස බිරාන්තව සිද්දිය නරඹමින් සිටි ගැහැණු දෙදෙනා ගැස්සී එකිනෙකා ගේ අත් අල්ලා ගත් හ. " ඔව් ලොකු උන්නැහේ ඒක තමයි නීතිය. දෙන්නෙක් කසාද බදින්න බෑ " " ඉතින් හාමුදුරුවනේ අපි තුන්දෙනාම එක පැලේ ආරෝවක් නැතුව ඉන්නවා නේ" " ලොකු උන්නැහේ ඒක නීතියට අනුව වරදක් .. ලොකු උන්නැහේ බහු විවාහ ඒ කියන්නෙ කසාද දෙකක් කරගන්න බෑ " මේ වන විට කදුලු හලමින් සිටි ගැහැණු දෙදෙනාගේ හැඩීම ඉකි ගැසීමක් දක්වා වර්ධනය වී තිබිනි. " මං තැන්නෙ කුබුර ගාව පැලක් අටෝල මල්හාමි ඇන්න එද්දි ඒකිගෙ නැන්දගෙ දෝනිඇන්ද ඉහදිය නාවල තිබ්බෙ වත් නෑ . දහ පහලොස් පෝයකින් ඒ පොඩි එකී ගෙට අරං නාවලා සුදු බංඩියා එක්ක ඒකිත් දෙනියේ පැල් කොටයක් අටෝගෙන ගාල් උනා.. සුදු බංඩියට පොලග ගහද්දි කෙලීගෙ බඩට පස් හය පෝයක් ඇති. ඒ වෙද්දිත් කුසේ හිස් නිසා අඩ අඩා හිටපු මල් හාමිම තමයි නගා අපේ පැලට ගෙනාවෙ. හීන් හාමි වැදුවා මල් හාමි හැදුවා මං උන් දෙන්නටම කුබුරු කෙටුවා. දරුවො හයක් වදලත් හීන් හාමි එක දරුවෙක් නාවලා නැතුව ඇති මහිතේ. කුස පුහු උනාට මල් හාමිට කිරි එරුනා හාමුදුරුවනේ .. මට උන් දෙන්න වෙන් කොරන්න්ඩ බෑ . මට කසාද ඕන්නෑ . මෙච්චර කල් කොලේ අස්සං කොරේ නැති උනාට අපි තුක් නොදකින් කියා ගත්තෙ නෑ . .වරෙව් බොල ගෙදර යන්ඩ . අපිට ඔය සුද්දගෙ නීති ප්‍රකාර ඕනෙන්නෑ."..... තොපි දෙන්න නාඩ හිටු මං කසාද බදින්නෑ.... රුවන්තිකා
මදුශානිපසුතැවීම විටෙක ඔබ කවුරුද යන්න ඔබම නොදනී. සැමවිටම ඔබේ බල්ලන් බැඳ තබා තැබිය යුත්තේ එබැවිනි. —------------------------------------------------------------ හවස හතරට ආසන්නව මා කරවනැල්ලට යන විට මිනිය උස්සා තිබිණ. නෑදෑ හිත මිතුරු සනහුරද ඒ පිටුපසින් කනත්තට ගොස් තිබුනෙන් මළගෙදර පාළු ස්වභාවයක් ඉසිලීය. දහවල් දොළහට හාෆ් ඩේ දමා කොළඹ කාර්යාලයෙන් පිටවුනද කැළණි වැලි මාර්‍ගයේ අවිස්සාවේල්ල දක්වා දුම්රියේ පැය කිහිපයක්ම ගත කර තිබුනෙන් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටි මා කිසිවක් නොකර රාහුල එනතුරු අසුනටම බර වී සිටින්නට තීරණය කලෙමි. මියගොස් තිබුණේ රාහුලගේ බිරිඳගේ පියාණන්ය. හද්සියේ රෝගාතුර වී රෝහල් ගත කල පසු තාත්තා මියගිය බව රාහුල මා අමතා කිවේ පෙරේදා හවසය. පාසලේ මා අතිජාත මිතුරා වූ රාහුලද මා මෙන් අගනුවරට ආසන්නව පදිංචි වී සිටි බැවින් ඔහුගේත් මගෙත් මිත්‍රත්යවය නොබිඳී පැවතිණ. එහෙත් ඔහුගේ බිරිඳගේ නිවසට මා පැමිණියේ ප්‍රථම වතාවට මේ මරණය හේතුවෙනි. "උඹ කොයි වෙලේද ආවේ.." පිටුපසින් පැමිණි රාහුල මා ඉදිරියේ අසුනට වැටිණ. ඔහුගේ රතු වී ගිය දෙනෙත් නිදි වැරීමේ කෙඩෙත්තුව කියා පෑවේය. "ඔව් බං.. කොහෙද දොළහට ඇවිල්ලත් වෙලාවට ඒ ගන්න බැරි උනානේ..." මා කිවේ සැබෑ කණගාටුවෙනි. "ඒකට මොකද .. පෙරේදා රෑ උඹ මෙතන එලි වෙනකල් ඔක්කොම කරලා හොඳ කට්ටක් කාල ගියේ.. අද වැඩ ටික ශේප් අවුලක් නෑ.." වැඩිහිටියෙකු පැමිණ ඔහු අඬ ගහගෙන ගිය අතර අසල තවත් දන්නා හඳුණන මුහුණ කිසිවක් නොතිබුණ බැවින් හා තවමත් අධික ගමන් මහන්සියෙන් පෙලෙන බැවින් මා එලෙසම සිට දුරකථනය ගෙන මුහණු පොතෙහි පහලට ගියෙමි. "යමං මොනවා හරි කන්න. මමත් තාම දවල්ට කාල නෑ..." රාහුල නැවත පැමිණ මගේ පිටට ගසා කිවේය. මමත් දිවා ආහාරය ගෙන නොතිබිණ. කුසගින්න ඇතිවී නැතිවී ගියේද බොහෝ වෙලාවකට පෙරය. "ආ... කියන්න අමතක උනා. අද කෑම දුන්නේ පරණ යාලුවෙක්ගේ ගෙදරින් .. වරෙන්කො පෙන්නන්න..." රාහුලගේ මුහුණේ ඇඳුනේ අමුතු හිනාවකි. "කවුද බං .." "ඒක කියල වැඩක් නෑ.. උඹ ගිහිල්ලම බලගනින්කෝ.." යාළුවා කවුරු වන්නට ඇත්ද? මේ හරියේ සිටින අපේ එකෙක් ගැන මට මතක් වෙන්නේ නැත. රාහුලලාගේ ගෙදර පිටුපසින් තිබූ අඩි පාරක් මතින් අපි එම නිවසේ පිළිකන්නට ගොඩවී ගතිමු. පැරණි පනන්යේ කුඩා නිවසක් වූ එහි පිටිපස බිත්තිය කළු ගැහී තිබූ අතර රබර් කිරි වේලෙන තැටි කිහිපයක් එයට හේත්තු කර තිබිණ. කුස්සිය යැයි සිතිය හැකි තැන දොර හැරදමා තිබුණත් එළියේ සිට බැලූ කල අඳුරක් මිස අන් කිසිවක් එහි නොපෙනුනේය. ආහාර ගන්නට එහි පැමිණ සිටි අනෙක් මිනිසුන් සමඟ රාහුල කතාවට එක්විණ. මම වට පිට බැලූවේ ඔහු කියන්නට ඇත්තේ කවුරුන් ගැන වන්නට ඇත්දැයි සිතමිනි. එම කුඩා නිවසේ ඇතුල් වූ තැනම කෑම මේසය තබා තිබිණ. ඉන් මදක් එහාට වන්නට බිම, ළමුන් කිහිප දෙනෙක් වාඩිවී කැඩුන සෙල්ලම් කාරයක් පදිමින් සිටියෝය. ඔවුන් දුටු මට මොහොතකට මගේ දියණියන් සිහි විය. පිඟානකට බත් බෙදාගත් මා ඉඩක් ඇති තැනක් බලා වාඩි වීමි. රාහුලට වාඩි වෙන්නට ලැබුනේ මා අසළින් නොවේ. "එන්න පුතා ඔතන සෙල්ලම් කරන්නෙපා කියල මම කී පාරක් කිව්වද..." ගවුමට උඩින් චීත්තයක් හැඳ සිටි තරුණ කාන්තාවකk පැමිණ එහි සිටි එක දරුවෙකු කැඳවාගෙන ගියාය. එවෙලේ මම ඇගේ මුහුණ දැක ගත්තෙමි. හරියටම වසර විසි එකකට පසුව.. මගේ උගුර සිරවෙනු දැනිණ. —------------------------------------------------------- “අන්න උඹේ ලව් එක එනවා.. “ රාහුල කියන්නේ වැරෙන් බයිසිකලය පාගාගෙන එමිනි. මම එබී ඔහු පැමිණි පාර දෙස බලමි. සුදෝ සුදු ළමා සාරිය හැඳ මල් වට්ටියක් ගෙන නොවරදවා හැම ඉරිදාම දහම් පාසලට එන ලේඛා තනිවම පියගැටපෙළ නැඟ බෝමළුවට ඇතුළු වේ. ඈ අපව දකින්නේ නැත. අපද පෙනෙන්නට යන්නේ නැත. ඒ මා දහම් පාසලේ ඉගෙන ගත් අන්තිම අවුරුද්ද විය. ලේඛා එකල අපට වඩා වසර දෙකක් පමණ පහළ පන්තියක උගෙනිමින් සිටියාය. "යමන්කෝ බං ක්‍රිකට් ගහන්න. උඹ මෙතන ලව් කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මටත් සෙල්ලම් කරන්න නෑ..." විවේකයේදීත් මා ඇය පෙනෙන මානයක ගැවසෙන්නට පටන් ගත් පසු රාහුල වද දෙන්නේය. "දැන් උඹ මෙතන ඕක දිහා බලන් හිටියා කියල මොනවත් වෙනවද..." ඌ බැරිම තැන කියන්නේය. දහම් පාසල හමාර වූ පසු රාහුල ඇදගෙන දිවයන මා පන්සලත් මහපාරත් හමුවන හංදියේ නිකරුණේ ගැවසෙමි. ලේඛා තම යහළුවන් සමග පැමිණ බසයක් පැමිණෙන තුරු බලා සිට එහි නැගී යනතුරු එහි රස්තියාදු වෙමි. ඇය කිසිදිනෙක ඒවා දැනගන්නට ඇතැයි මම නොසිතමි. රාහුල මෙන්ම මා නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලේ ඉගෙන ගත් අතර ලේඛා ගියේ ගමේ පාසලටය. දහම් පාසලේ විවධ අංග වලින් ත්‍යාග ලද ඈ ඉගෙනුමට දක්ෂ එකියක බව අපි දැන සිටියෙමු. ඒ වෙද්දී මා ඈ කෙරේ බැඳුන සිතින් යුතුව මාස කිහිපයක්ම ගෙවා දමා තිබුණි. එය මගේ මිතුරු කල්ලියට රහසක් නොවුන අතර ඔවුන් කොතරම් ඇවිටිලි කලද මගේ ප්‍රේමය, ඔව් එයට ප්‍රේමය යැයි කිව හැකි නම් තවමත් ඇයට අඟවා නොතිබිණි. ඔය කෙහෙල්මල කියා දමා දෙකෙන් එකක් බේරා ගන්නා ලෙස නිතර කියන රාහුල ඇතුළු මිතුරන්ට මා ඇඟවූයේ දැන්ම ඕවා පටන් ගන්නට අනවශ්‍ය බවය. ඒ වෙනුවට මම ඔවුන් ඉදිරියේ ඈත සිට පෙම් කරන පිරිසිදු පෙම්වතෙකුගේ චරිතය රඟපාමින් සිටියෙමි. එහෙත් සත්‍යය නම් ඇගෙන් අහන්නට තරම් මා එඩිතර නොවීමය. ඒ හදිසියෙවත් ලේඛා මා ප්‍රතික්ෂේප කළහොත් එය භාරගන්නට මා සූදානම් නොවීමය. අවුරුදු දාහතක යෞවනයෙකුගේ කුළුදුල් ප්‍රේමය ගැන දැන් කල්පනා කර බලන විට හැගෙන්නේ ශෝකයකි. යහපත් ප්‍රර්ථනා හා පිරිසිදු චේතනා වලින් නොඅඩු වූ එය සැබවින්ම පිවිතුරු හැඟුමක් වූ නමුදු එවැන්නක් කළමනා කරගන්නට හැකි වයසක් නොවීය එය... තුරුණු වියේ ශරීරයේ ඉබේ ඇතිවන හෝර්මෝන කෙතරම් අප රවටන්නේද යන්න තේරුම් ගන්නට නම් දැන් ගෙවෙන පැසුණු වයසටම පැමිණිය යුතුය. එතෙක් අප සුන්දර වදන් ගොතමින් විවිධ ආලවට්ටම් පාමින් ප්‍රේමය උත්කර්ෂයට නංවමින් සිටිමු. ආපසු හැරී බලන කල ස්වභාවධර්මය අප සියල්ලන් ලවාම කරවාගෙන ඇත්තේ එකම දෙයක් බව දැනගන්නවා ඇත. කෙසේ නමුදු එකළ මම ලේඛාට සැබවින්ම ප්‍රේම කලෙමි. දින සති මාස ගෙවී ගියේ විදුලි වේගයෙනි. ඒ අතර මා ඇය යනෙන තැන ගැවසෙමින් තනිවම සිහින් දකිමින් කවි නිසදැස් ලියමින් ඒකපාර්ශ්විකව ප්‍රේම කරමින් සිටියෙමි. අවසාන විභාගය ලියූ දා "ප්‍රේමය" ප්‍රකාශ කල යුතු බව මිතුරෝ ඒකමතිකව තිරණය කර සිටිය අතර එය තව දුරටත් ප්‍රමාද කල හැකි මගක් මටද පෙනෙන්න්නට නොතිබිණ. සැලහිහිණි කාර්යය සිදුවූයේ මා මිත්‍ර මාවන් අතිනි. ඒ ඔහු දන්නා ළමයෙකු ලේඛාගේ ලඟම යෙහෙළියක වූ බැවිනි. සුභ පණිවුඩයක් ගෙන මාවන් එනතුරු නොඉවසිල්ලෙන් සිටියේ මා පමණක් නොවේ. රාහුල ඇතුළු මගේ මිතුරෝ කිහිප දෙනාද ප්‍රීතිය සමරන්නට රැඳී උන්හ. මගේම හදවත ගැහෙන හඬ අසමින් ඒ මොහොත ගතකල හැටි දැන් සිහි කරන මගේ මුවඟට සිනා නැගේ. එහෙත් ගෙනාවේ සුභ පණිවුඩයක් නොවේ. ඇය වසර කිහිපයක සිට වෙනත් පෙම්වතෙකු හා බැඳී සිටින බව යෙහෙළිය කියා තිබිණ. මෙච්චරක් කල් පස්සෙන් පැන්නුවා නම් එය නොදැන සිටියේ කෙසේද යන්න ඇය අසා ඇත. "ඒකි පන්න පන්න ඇහුවා. මම උඹේ නම කිව්වේ නෑ බං.. නිකන් චාටර් වෙන්න ඕන නෑනේ.." මාවන් රාජකාරිය හරියටම ඉටුකොට තිබිණි. ඒ වෙනුවෙන් මමම නොගිය එක ගැන මට දැනුනේ අස්වැසිල්ලකි. ප්‍රේමය අහිමි වීම දුකකි. ඒ දුකට ලැජ්ජාව එකතු වූයේ නම් ඛේදයකි. මාවන් නුවණැති වීම නිසා මට අත්වුණේ ප්‍රේමය අහිමි වීමේ දුක පමණි. "අවුල් ගන්න එපා බං... අපි හොයාගමු ඌ කවුද කියල..." මාවන් තව දුරටත් කිවේය. "ඕන නෑ... පිස්සුද බං.. ඔච්චරද කෙල්ලෝ ඉන්නේ... " එතැන් සිට ඒ කතා කලේ මා නොවේ. රාහුල විස්මයෙන් බලනු මම ඇස් කොණින් දුටිමි. "මොනවද බං කියන්නේ.. මෙච්චර කල් මැරෙන්න හැදුවේ මේකටද..." "මැරෙන්න හැදුවේ ඉතිං දන්නැති හින්දනේ. දැන් ඕක ඇති... යමං..." මම දිගින් දිගටම කතා කලේ හිතට එකඟව නොවේ. ලේඛාගේ පෙම්වතාගේ අණ්ඩක් කඩා හෝ බය කර එම සම්භන්දය නවත්වා මට සෙට් කරන්නට බලා සිටි මිතුරෝ බලාපොරොත්තු නොවූ මගේ එම ප්‍රතිචාරයෙන් දුර්මුඛව ගියහ. මගේ හැඟීම් විරහිත බව ඔවුන් කේන්ති ගැස්සූ අතර පෙන්නූ තරම් මම ලේඛාට සිරා නැති බවට චෝදනා කළහ. එදා එලෙස හැසිරුණේ ඇයිද යන්න අදද මම නොදනිමි. එහෙත් සැබවින්ම මම පරාජයේ වේදනාවේ පතුලටම වැටී සිටියෙමි. ප්‍රේමය අහිමි වීම එකකි. ආත්මාභිමානයට වැදුණු පහර තවෙකකි. ප්‍රේමය අහිමි වීමේ දුකට වැඩියෙන් ආත්මාභිමානයට වැදුණු පහර රිදුනෙන් මිතුරෝ ඉදිරියේ දුක් නොවන්නට මම තීරණය කලෙමි. එදා මා පිටව එද්දීත් රාහුල තවදුරටත් මෙය විශ්වාශ කර ගත නොහැකිව බලා සිටිනු මට මතකය. එදායින් පසු අපි ලේඛා ගැන කතා නොකළෙමු. —---------------------------------------------------------------------- එහෙත් තවත් වසර දෙකකට පසු නැවත ඇය ගැන කතා කරන්නට සිදුවිය. ඒ මම උසස් පෙළ ලියා පාසලෙන් නික්ම යන්නට නියමිතව සිටි වසරේය. සාමාන්‍ය පෙළ ප්‍රථිපල වලින් අප පාසලට ඇතුළු වූ අලුත් ළමයින් අතර ලේඛාද සිටියාය. රාහුල ඈ දැක මට කියන්නට පෙර මම ඇයව පාසැල් වත්තේදී දැක ගතිමි. ආපසු විත් රාහුලට කියන්නට තරම් දෙයක් ලෙස මට එය නොපෙනිණ. ඒ කිමද යත් ඒ වෙද්දී තව දුරටත් මට ලේඛා විශේෂ නොවුණ බැවිනි. ඒ වනවිට මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටියෙමි. "මචං දන්නවද වැඩක්.. ලේඛා ස්කූල් බස් එකේ එන්නේ කොල්ලා එක්ක.. මම දැක්කා අද ශේප් එකේ කතා කර කර එනවා.. " රාහුල එක් උදෑසනක කීවේ පොත් බෑගයවත් තියන්නට පෙරය. අප පාසලට බොහෝ ලංගම බස් රථ පාසල් සේවය සපයන අතර නගරයේ ඕනෑම පාසලක ළමයින්ට එහි ගොඩවීමට තහනමක් නැත. "අපිට මොකද බං.." මම සුපුරුදු උදාසීන බව පෑවෙමි. එහෙත් මට එය හොඳින් මතක තිබිණ. එය හරියටම වසර ගණනාවක් තිස්සේ සුදුසු අවස්ථාවක් සොයමින් බලා සිටියාක් වැන්න. එහෙත් ඇත්තෙන්ම නම් මම එසේ බලාසිටියා නොවේ. මම ඇගේ පන්තියට ගියෙමි. පන්තිය පුරා දෑස් යවමින් ඇය සොයාගත් මම එළියට එන ලෙස අතින් සන් කර සිටියෙමි. ඇය ළඟ සිටි යෙහෙළිය සමගින් මා අසලට පැමිණියාය. "අද බස් එකේ ආ
වේ කොල්ලා එක්ක නේද..." මම එක එල්ලේ ප්‍රශ්න කර සිටියෙමි. බියපත් වූ ඇය බිම බලාගත්තා විනා උත්තර දුන්නේ නැත. එයින් ධෛරවන්ත වූ මම නුසුදුසු බව දැන දැනම තව දුරටත් පහර ගැසීමි. "කලින් ඉස්කෝල වල මොන මොනවා කරලා ආවත් මේ ඉස්කෝලේ විනයක් කියල දෙයක් තියනවා... ඔයගොල්ලන්ට අලුතෙන් ඇවිත් මේ ඉස්කෝලේ නම කැත කරන්න දෙන්න බෑ... මට මේක ප්‍රින්සිපල් ට කියන්න සිද්ධ වෙනවා..." මා ඒ කුමක් කරමින් සිටියාදැයි මමද නොදන්නෙමි. පැහැදිලිවම එය පාසලේ කීර්ති නාමය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. කෙල්ලක කොල්ලෙකු හා කතා කරමින් පැමිනීමෙන් පාසලක හොඳ නමට හානි වන බව මම එදාද විශ්වාශ නොකෙලෙමි. හැරත් එය එසේ වූවත් මා එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ පමණින් ඒ පිලිබඳ කණගාටු වන ජාතියේ එකෙකු නොවීමි. කෙසේ වෙතත් ඒ පිළිබඳ විදුහල්පතිට පැමිණිලි කිරීමට නම් මගේ කිසිඳු බලාපොරොත්තුවක් නොතිබිණි. එහෙත් මම එදා ඇයට එසේ කීවෙමි. පසුවදා ඇය පාසල් නොපැමිණියාය. ඊට පසුවදාත් නොපැමිණියාය. ඊට පසුවදාත්.. ඊටත් පසුවදාත්.. වෙන කවරදාකවත් නොපැමිණියාය. මට හීන් දාඩිය දැම්මේය. පැමිණි අවසාන දිනයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා කතා කල බව ඇගේ යෙහෙළිය පන්ති භාර ගුරුතුමියට පවසා තිබුණ බැවින් ඇය මා ගෙන්වා ඒ පිලිබඳ ඇසුවාය. "මොනවද ඔයා එයාට කිව්වේ.." යෙහෙළිය සිදුවූ සංවාදය ගුරුවරියට දන්වා ඇති බවක් පෙනෙන්නට නොතිබුණ නිසා මම මඳ අස්වැසිල්ලක් ලැබීමි. "අපේ දහම් පාසලේ නංගි කෙනෙක් ටීචර්.. ඒකයි කතා කලේ.." "ආ එහෙමද... බලන්න මේ ළමයා මුල ටිකේ විතරයි ඉස්කෝලේ ආවේ.. ඉස්කෝලෙට මොකුත් දන්වලත් නෑ .. ඔය ළමයට ආයේ හම්බ උනොත් කියන්න ඉස්කෝලේ එන්න කියල..." එසේ මා එදා එයින් බේරී ගියෙමි. එහෙත් පාසල් ගොස් අවසන් වනතුරු ලේඛාගේ යෙහෙළියට මුහුණ නොදෙන්නට මම පරිස්සම් වීමි. "මොකෝ බං අරකි දැන් ඉස්කෝලේ එන්නේ නැත්තේ.." රාහුල විටෙන් විට ඇසුවා මතකය. "මම කොහොමද දන්නේ..." මගේ පිළිතුර විය. ලේඛා හමුවී මා කල වික්‍රමය රාහුල අදද දන්නේ නැත. —---------------------------------------------------------------------- මේ සිටින්නේ ඈය. එදා යෞවනයේ හිණිපත්තේදී හා හා පුරා කියා මා හදේ පෙම් හැඟුම් දැල්වූ ඈය. වසර ගණනාවට පෙර පන්සලේදී දුටු අවිහිංසක ඇයට වඩා මේ දරුවාගේ මව කොතරම් වෙනස්ද... ගතවූ අවුරුදු ඇයට කාරුණික වූ බවක් පෙනෙන්නට නොතිබිණ. එහෙත් ඈ මා හදුනා ගත්තාය. දරුවා අතින් අල්ලා ගත් ඈ ඒ බව නොපෙන්වාම ගෙතුළට ඇවිද ගියාය. "දැක්කද උඹ... ඉස්සර ලස්සන නම් නෑ නේද... කොහොමද හිටියෙ ඒ කාලෙ.." මා දෙසට පුටුව ඇදගත් රාහුල කීය. මම බත් කමින් සිටියෙමි. "උඹට මතකද මේකි අපේ ඉස්කෝලට ආව ඒ ලෙවෙල් කරන්න .. ඇවිත් දවස් දෙක තුනයි නැවතුන.. උඹ දන්නවද ඒ ඇයි කියල..." මම බත් කමින් සිටියෙමි. "පැනල ගිහිල්ල.. මතකද මම උඹට දවසක් කිව්ව කොල්ල එක්ක බස් ආව කියල.. ඒ කොල්ල එක්ක වෙන්න ඕන.. හරි හමන් රස්සාවක් තිබිලත් නෑ ඒ කාලේ ඌට.. පස්සෙ ළමය හම්බවෙන්න ආවම මහ මිනිස්සු දෙන්නවම එක්කගෙන ඇවිල්ල.. ඔය ඉන්නෙ දැන් කොල්ලත් මෙහෙ බින්න බැහැල.. ඒ හැටි ලකයක් නෑ දැන් උනත්.. මේ ඉන්නෙත් කුළියට...උඹ මොකද ඔය බත් එක අල්ල අල්ල ඉන්නේ..." අපරාධකාරයා බත් කමින් සිටියේය. —---------------------------------------------------------------------- මරණ ගෙදර අහවර වී මම ආපසු පැමිණියේ තෝන්තුවෙනි. ලේඛා ඇගේ පෙම්වතා සමග රහසේ පැනගොස් විවාහ වූ දිනය මම හරියටම දනිමි. ඒ මා ඇය බියවැද්දූ දිනයට පසුවදා ය. පැහැදිලිවම මා ශිෂ්‍ය නායකයෙකු ලෙස මට තිබූ කුඩා බලතල වැරදි ලෙස පරිහරණය කර ගමකින් ආ අහිංසක ගැහැණු ළමයෙකු බිය වද්දා තිබිණි. කොල්ලෙකු හා හාද වීම කිසිවිටෙකත් වරදක් නොවේ. ලේඛා මොළේ නැති කෙල්ලකද නොවේ. ඇය බලාපොරොත්තු වන්නට ඇත්තේ ඉගෙන ගෙන තැනකට පැමිණි පසු විවාහ වන්නටය. ඒ හැරත් සමහරවිට මා මැද්දෙන් පැන සියල්ල අවුල් නොකලා නම් එකල තිබූ සම්භන්ධය දිගටම පවතින්නට ඉඩ නොතිබෙන්නටද ඇත. බොහෝ පාසල් ප්‍රේමයන් දළු ලා නොවැඩේ. නමුත් මම ඇගේ සීමාවේ ඇයව බය කල හැකි උපරිමය දක්වා ගොස් තිබිණ. සැබවින්ම මා එය විදුහල්පතිතුමාට දන්වනු ඇති බවත් ඇයට ලැජ්ජා වන්නට සිදුවන බවත් ඇය සිතන්නට ඇත. සමහරවිට පාසලෙන් අස් කරන්නට උවද ඉඩ තිබෙන බව ඇය අන්ධ ලෙස විශ්වාශ කරන්නට ඇත. ඉඳින් අවුරුදු දහඅටේ දැරිවිය ඇයගේ මට්ටමින් ගත හැකි එකම විසඳුම සොයා ගොස් තිබිණ. වයසින් වැඩී පරිණත වූ දාක හෝර්මෝන වල යථා ස්වාහාවය තේරුම් ගෙන ප්‍රේමය ලෙස ඇත්තෙන්ම තමා කුමක පැටලී ඉන්නේද යන්න වටහාගන්නට තරම් කල් මම ඇයට ඉන්නට ඉඩ දී නොතිබිණ. ඒ වෙනුවට මම ඇයට යෞවනයේ බොළඳ හැඟුම් සියොළඟ අරක් ගෙන සිටියදීම තම ජීවිතය පිළිබඳ බැරෑරුම් තීරණ ගන්නට සැලැස්සූවෙමි. ඒ අනුව ඇගේ ජීවිතයේ අපරාධයකාරයා මම වූවෙමි. "දෙවියනේ මම මොකක්ද ඒ කලේ... මට එදා ඕන උනේ මාව ප්‍රතික්ෂේප කරපු එකේ වාඩුව ගන්න වෙන්න ඇති... ඒත් ඒක කරනන් ගිහින් මම ඒ කෙල්ලගේ මුළු ජීවිතේම විනාශ කලා නෙමේද... " පරණ ප්ලාස්ටික් පුටුවක වාඩි වී පාර දෙස බලාසිටි ඇගේ අසරණ පියා මට මැවී පෙනේ. ඒ ඇස් බලාපොරොත්තු වලින් තොරව වියළී ඇත්තේ ඇයි දැයි මම දනිමි. ඒ හපන්කම කළ එකා ඔහු මහන්සියෙන් ඉපයූ මුදලෙන් බත් කා පැමිණ තිබේ. හෘදසාක්ෂිය මට දරුණු ලෙස වද දේ. එයින් ගැලවෙන මගක් මම නොදනිමි. සාමාන්‍යයෙන් මම පලි ගන්නා ජාතියේ එකෙකු නොවෙමි. දන්නා තරමින් මුළු ජීවිත කාලය පුරාවට කිසිවෙකුට මගෙන් අවැඩක් සිදුවී නැත. කුඩාම වැරද්දක් හෝ සිදු නොවන්නට වගබලා ගන්නා මා අතින් ඇයට වූ මේ මහත් විපත්තිය මට දරා ගත නොහැක. එම වරදකාරී හැගීම මට මහත් සේ රිදුම් දේ. මේ අපරාධයට ස්වභාව ධර්මයා හෝ දෙවියන් වහන්සේ හෝ කර්මය හෝ නොඑසේනම් වෙන කවුරුන් හෝ මට දඬුවම් දෙනු ඇත. අද මා කෙතරම් හොඳින් යහමින් දිවි ගෙවූවද දිනෙක මට එය පඩිසන් දෙන්නට ක්‍රමයක් ඔවුන් සොයා ගන්නවා ඇත. යටි සිත එසේ කියන කල මහා අසරණ කමක් මගේ සිතට දැනේ. එසේ හැඟෙන හැම මොහොතකම තවමත් කෙලි දෙළෙන් පසුවෙන මා සිඟිති දියණියන් තිදෙනා දෙස මම භීතියෙන් බලමි.කැළැල් කොළඹ නාගරික පරිසරය පසුකරමින් ආලෝක යහම්පත් පෙරේරා ටිකෙන් ටික ගැමි පරිසරය වෙත ළඟා වෙමින් සිටියේය. වසර විස්සකට පමණ පසු සිදුවන මෙම හමුවීම නිසා ආලෝකගේ හදවත වෙනස්ම රිද්මයකින් ස්පන්දනය වෙමින් තිබුණු බව ඔහුට හැඟී ගියේය. දින දහයකට පෙර, තවත් එක් සතියේ දවසක් වූ එදින, ආලෝක නැවත කිසිවිටකත් ඇසීමට බලාපොරොත්තු නොවූ එම හඩ දුරකථනය ඔස්සේ කන වැකෙද්දී, ආලෝක වැඩ නිම කර තම නිවස වෙත පැමිණියා පමණි. "ආලෝක යහම්පත් ද?" "ඔව්. කව්ද මේ?" මද වේලාවක් එහා ඉම නිහැඩියාවක් පැවතුනු අතර, කතා කළ කාන්තාව දිගු සුසුමකින් තම ලය සැහැල්ලු කර ගන්නා බව ඔහුට ඇසුනේය. "කව්ද මේ?" "පොඩ්ඩෝ, මම අක්කා" එම හඩින් පුදුම වූ ආලෝක දුරකතනය කනින් ඈත් කර තිරය දෙස හොදින් බැලුවේය. තත්පර කිහිපයකින් ඔහු නැවත දුරකථනය කනට ලං කර ගන්නා විට සතුටත් දුකත් අතර හැගීමකින් සිත අතරමං වී ගියේය. "ලොක්කී!" "ඔව්. මම තමයි." "මම ඔයා හොයාගෙන ගමටත් ගියා. ඒත් විස්තරයක් දැන ගන්න බැරි වුනා." "අපි දැන් ඉන්නේ අනුරාධපුරේ. කඩෙන් පාන් ඔතාගෙන ආපු පත්තර කොලේක ෆොටෝ එකත් එක්ක ඔයාගේ විස්තර දාලා තිබුණා. ඒකෙන් නොම්බරේ අරන් තමයි මම මේ කතා කළේ" "මට එඩ්රස් එක කියන්න. මම නිවාඩු වෙලාවක එන්නම්." අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ගමක ලිපිනය තම දිනපොතේ සටහන් වෙද්දි, ආලෝක දුරකථන ඇමතුම නිමා කළේය. එම ඇමතුමෙන් දවස් දහයකට පසු මෙදින ආලෝක එම නිවස ඉදිරිපිට විය. ආලෝක මිදුලට පැමිණියේ ද, එම හඬට ආලෝකා නිවෙසින් එළියට පැමිණියේ ද, කොහේදෝ සිට දිව ආ දොළොස් හැවිරිදි තරුෂ අඩාගෙන තම අම්මගේ අතේ එල්ලුණේ ද එකම විටය. "කපිල මාමා අදත් මගේ කනට ගහලා මාව එලෙව්වා අම්මේ." තරුෂ තම කන පෙන්වමින් පැවසූවද, 'උඹ මොකක් හරි කරන්න ඇති' යැයි පැවසූ ආලෝකා තරුෂව ඉවත් කරමින් ආලෝක වෙත පැමිණියේය. "මම මුකුත් කලේ නැහැ. එයා හැමදාම මට ගහනවා. ඔයාලා හින්දනේ අපි ගුටි කන්නේ" තරුෂ හඬමින් පවසද්දී, තම ඇගේ ලේ රත් වෙන බවක් ආලෝකට දැනුනේය. ඉතින් ඔහුගේ දෙපා නතර වූයේ වසර ගණනකට පසු හමුවූ තම සහෝදරිය ලඟ නොව දොළොස් හැවිරිදි තරුෂ අසලය. "හැමදාම ගහන්න ඔයා මොනවද කරන්නේ?" තරුෂව තමා වෙත ඇද ගනිමින් ආලෝක ඇසුවේය. "මම මොකුත් කරන්නේ නැහැ. අපිට ටීවී එකක් නැති නිසා, මම ටීවී බලන්න එහෙට යනවා. කපිල මාමා වැඩ ඇරිලා එන්න කලින් මම ගෙදර එනවා. ඒත් සමහර දවසට එයා කලින් එනවානේ. එදාට මාව දැක්කහම, එයා මට කනට ගහලා, දුවපිය ගෙදර කියනවා." "කවුද කපිල කියන්නේ?" ආලෝකා දෙසට හැරුණු ආලෝක ඇසුවේය. "අපේ ලොකු මාමා" පිළිතුරු ලැබුණේ තරුෂගෙනි. "මේ බෑග් එකේ කෑම තියෙනවා. පුතා ගෙට ගිහින් කන්න." ආලෝක අතින් පාර්සලට ගත් තරුෂ නිවස තුලට නොපෙනී යද්දී, ආලෝකා සිනහා වෙමින් ආලෝක දෙසට පැමිණුණායා. "ඔහොම ඉන්නවා. හිනා වෙවී ඉස්සරහාට එන්නේ, තමුසේ මාර දෙයක් කරලාද? ලැජ්ජ වෙනවා ඕයි. තමන්ගේ ළමයි නිකරුනේ එක එකාගෙන් ගුටි කනවා බලන් ඉන්න, තවත් එක කොන්ද පණ නැති අම්මා කෙනෙක් තමුසෙත්. යකෝ ළමයෙක්ට ඕන දේවල් දීලා, ඒ වගකීම ගන්න බැරිනම්, මොන අමාරුවටද එක එකාගෙන් ගුටි කන්න ළමයි හැදුවේ. තමුසෙත් තමුසෙගේ අම්මායි තාත්තයි වගේමයි. ෂික්." කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ ලෙස කේන්තියෙන් වෙව්ලමින් ආලෝක කෑ ගසද්දී, ආලෝකා බයෙන් බිරාන්ත වී ගියාය. "ම මල්ලී ! ඔයා තවමත් අම්මයි තාත්තයි එක්ක තරහද මල්ලී." ආලෝකා ගොත ගසමින් ඇසුවාය. "තරහද, තරහා විතරක් නෙමෙයි ඕයි. මට අප්පිරියයි. අපේ පොඩිකාලේ දේවල් මතක් වෙද්දී සමහර උන්ව මට මරාගෙන් මැරෙන්න පුළුවන්. ඒත් දැන් මොලේ තියෙන හින්දා ඉවසනවා. හැබැයි මට රිද්දපු හැම එකාටම වචනෙකින් හරි මාත් රිද්දනවා" "ඒවා පරණ කතානේ මල්ලී, දැන් ඔයා ඉන්න තැනත් එක්ක ඒවා මොනවාද?" "හාහ් .. ඉන්න තැනත් එක්ක ඒවා මොනවද! තමුසේ මැරිලා ඉපදිලා වෙන්න ඇති. ඒත් මම එහෙම නෑ. දැකලා තියෙනවා නේද මිනිස්සුට තුවාල වෙලා, ඒවා හොද වුනාට කැළැල් ඉතුරු වෙන
වා. මගේ හිතෙත් එහෙමයි. ඒ තුවාලවල කැළැල් තියෙනවා. ඒවා මැකෙන්නේ නෑ. ඒ කැළැල් මැකෙන්න නම්, ඒවා හදපු හැම එකාටම, එදා මට රිදුනට වඩා රිදෙන්න ම ඕනේ" ඔහු වෙව්ලමින් කීවේය. අතීතයට පෙදරේරුවකු වූ නාලක පෙරේරාටත්, ගෘහනියක වූ ඉන්දු සිල්වාටත් දරුවන් දෙදෙනෙකි. මත්පැන් ලෝලියෙකු වූ නාලක තමා උපයන සියල්ල කෑමට සහ බීමටම වියදම් කෙලේය. රැකියාව නිමවී සවස නිවසට පැමිණෙන ඔහු අත, දරුවන්ට බිස්කට්, මස්, මාලු සහ තවත් කෑම පාර්සල් කිහිපයක් නම් වරදින්නේ නැත. නිවසට පැමිණි මොහොතේ සිට ඉන්දුට කුණුහර්පයෙන් බැන වදිමින් පහර දෙන ඔහු නින්දට වැටෙන්නේ තවත් හෝරා ගනනකට පසුවය. තමා රැකියාවට යන කාලයේ උපයා ඉතිරිකර ගත් මුදල්ද, තම මවගෙන් සහ පියාගෙන් ලද මුදල්ද ඉන්දු සතු විය. එහෙයින් ඇයට නිවසේ වියදම් පිළිබඳව ලොකු ම ගැටලුවක් නොතිබුනේය. තම උපතේ සිටම, තමාගේ කිසිම වරදක් නොමැතිව ප්‍රතික්ෂේප වූ ආලෝක ඉපදෙන්නේ ආලෝකා ඉපදී වසර දෙකකට පසුවය. ඉපදෙද්දීම කට්ට කලු, කැත කොල්ලෙක් වූ ආලෝකව නෑදෑයින් අතර ප්‍රතික්ෂේප විය. නමුත් තමාගේ රුවට සහ පැහැයට සමාන රූපයක් ගත් ආලෝක, නාලකගේ කැමති ම දරුවා විය. ඔහු බීමත් වූ බොහෝ විට ආලෝකා නම් තමාගේ දරුවෙක් විය නොහැකි බව කීවේය. එයින් ආලෝකා වේදනාවට පත් විය. පසුව එම කතාව නෑදෑයන් අතරද ප්‍රචලිත වී, ඇය විටෙක එයින්ද ගැරහුම් ලැබුවාය. තම මවගේ නෑදෑයන් සමග එකම වත්තක ජීවත් වන ආලෝකා සහ ආලෝක නිරතුරුව නෑදෑයන් ඇසුරු කල අතර නිවසේ තිබූ අහිතකර පරිසරය මෙන්ම, නෑදෑයන් අතරද ඔවුන්ට වෙනස්කම් සිදුවිය. එසේම ආලෝකාට සාපේක්ෂව ආලෝක වැඩි වශයෙන් ඔවුන්ගෙන් ගුටි බැටවලින් පීඩා වින්දේය. එදවස නිවසේ රූපවාහිනිය ක්‍රියා විරහිත වී වසර ගණනක් ගත වුවද, ඉන්දූ එය නැවත සෑදීමට පියවර නොගත් නිසා කාටුන් බැලීම සදහා ආලෝකා සහ ආලෝක තම මාමාගේ නිවසට ගියෝය. වැඩ අවසන් වී තම නිවසට එන සිසිරගේ බයිට් එක වූයේ ආලෝක සහ ආලෝකාය. තමා පැමිණෙන විට තම රූපවාහිනිය නරඹමින් සිටින දරුවන් දෙදෙනාට 'කනට ගසා එළවීම' මහා වීර ක්‍රියාවක් ලෙස ඒ මෝඩ මිනිසා සිතුවේය. "අපිට හැමදාම ගුටි කන්න බෑ. අම්මාට සල්ලී තියෙනවානේ, ට්.වී එක හදලා දෙන්නකෝ" දරුවන් දෙදෙනා කොතෙක් ඉල්ලීම් කලද ඉන්දු නෑසූ කන්ව පසුවූවාය. සිසිර ඔහුගේ දරුවන්ගේ උපන්දින උත්සව සැමරුවේ ය. ආලෝකා සහ ආලෝක ඒවායේ ප්‍රේක්ෂකයන් පමණක් විය. තම නංගිලා කේක් කපා සතුටු වෙද්දී, ඔවුන් එම උපන්දින කේක් කෑල්ලක් ලැබෙන තුරු හිගන්නන් සේ බලා සිටියේය. වයස අවුරුදු හතක් පමණ වන විට, ආලෝක තමාට පෙර යෙදෙන තම අක්කාගේ උපන්දිනය සැමරීමට කටයුතු කෙලේය. තමා එකතුකරගත් මුදලින් එදවස තිබූ ටියාරා ඕ.කේ පුංචි කේක් කැබැල්ලක් මිලදී ගත් ඔහු, එය පීරිසියක තබාගෙන පැමිණ, එය කපන ලෙස ආලෝකාට පැවසුවාය. ඇය කේක් කෑල්ල කපද්දී, අත්පුඩි ගසමින් සතුටු වූ ඔහු, ඇය ලවා කේක් කෑල්ලක් කවා ගත්තේය. එය දුටු සිසිර සමච්චලයට සිනහා වෙද්දී, දරුවන්ට කේක් ගෙඩියක් ගෙනත් දීමට තරම් වත්කමක් තිබුණද, 'මල විකාර. ඕවා බොරු වියදම්' යැයි පැවසුවා මිස ඉන්දු තම දරුවන්ගේ ආශාවන් තේරුම් නොගත්තාය. දරුවන්ගේ හැගීම් නොතැකූ දෙමාපියන් සහ නෑදෑයන් හමුවේ දිනපතා නොයෙන් තාඩන පීඩනයන්ට ලක්වූ දෙදෙනා එදවස අධ්‍යාපනයට විශේෂ සමත්කමක් දැක්වූයේ ද නැත. සාමාන්‍ය පෙළ කිසිදු පන්තියකට සහභාගී නොවී ආලෝකා විෂයයන් තුනක් හැර ඉතුරු විශයන් සියල්ල සමත් වූවද, අවුරුදු දහසයක් වූ ආලෝක හරිහැටි සිංහල ලිවීමට හෝ කියවීමට පවා දැන සිටියේ නැත. "මාවත් නංගීලා යන ඉංග්‍රීසි පංතියට දාන්නකෝ." ආලෝක නිතර ඇවිටිලි කලේය. "පංති යන්න ඕනේ ඉස්කෝලේ උගන්නන දේ මදි නම්. උබ ඉස්කෝලේවත් යන්නේ නෑනේ" යැයි පවසා ආලෝකටම බැන වැදුණා මිසක ඔහු පාසල් නොයන හේතුව අසා දැනගැනීමට ඉන්දු උත්සාහ නො කළා ය. නාලකට ඒ පිළිබඳව වගක් නොවීය. "මට ඉස්කෝලේ උගන්නන ඒවා තේරෙන්නේ නැහැ. වැඩ කරගෙන ගියේ නැති උනහම ටීච බනිනවා. ළමයි බේබද්දාගේ පුතා කියලා හිනා වෙනවා. මටත් ඕවට හිත රිදෙනවා. තරහා යනවා. ඒකයි මම ඉස්කෝලේ යන්න ආස නැත්තේ." දිනක් ආලෝක පැවසූවද ඔහුට කිසිවෙක් ඇහුම්කන් දුන්නේ නැත. නෑදෑයන්, පාසල් නොයන ආලෝක මෝඩයෙකු ලෙස හංවඩු ගැසුවේය. තම කුඩා දරුවන්ට ආලෝකව පෙන්වා, 'ඉගෙන ගත්තෙ නැති උනොත්, මෙයාට වගේ පාරේ කුණු අදින්න වෙයි' යැයි ඔවුන් පවස්ද්දී, කිසිවෙක් තම හිසට පොල්ලකින් ගසනවාමෙන් ආලෝකට දැනුනේය. ඉතින් සෑම තැනකදීම කිසිදු වරදක් නොකල ආලෝකට සියල්ලන් පන්න පන්නා තුවාල කරද්දී, තම දරුවා වෙනුවෙන් ඉන්දු කතා කලේවත්, නාලක සිට ගත්තේවත් නැත. දෙමාපියන්ටත්, අන් සියල්ලන්ටත් අනුව ආලෝක, මෝඩයෙක්, නිකමෙක් සහ මෙලෝ වැඩකට නැති එකෙක් ම වෙද්දී, ආලෝකා කිසිදු හැඩයක්, ලස්සනක් හෝ ගෑණු ගතියක් නැති බතල කොටයක් ම විය. දරුවෙක් දෙමාපියන්ගෙන් බලාපොරොත්තුවන කොන්දේසි විරහිත ආදරය හෝ රැකවරණය ඔවුන්ට නොලැබුන අතර ඔවුන් නිවසන් පවා ප්‍රතික්ෂේප වෙන්නේ කුමන වරදකට දැයි ඔවුන් දැන සිටියේ නැත. ආලෝක දාහත් හැවිරිදි වෙද්දී දිනක සියල්ල සීමාව පැන ගියේය. නැන්දාගේ ඉල්ලීමට එම නිවසට ගිය ආලෝකව පෙන්වමින්, "මේ පේනවානේ කාලකන්නී, තමන්ට වැඩකුත් නෑ. ගෙදරට වැඩකුත් නෑ. මෙහෙම නම් හැදෙන්න එපා" යැයි සිසිර තම දරුවන්ට උපදෙස් දෙද්දී ඉවසීමේ සීමාව පැන ගිය ආලෝක අසල වූ මල් බදුනෙන් ඔහුට පහර දී නිවසෙන් පිටතට දිව ආවේය. ආලෝක සිසිරට පහර දුන් බව පැවසූ විට, ඉන්දූ ආලෝක ව තල්ලු කර දමා, ඔහුව බැලීමට දුව ගිය නමුත්, ආලෝකගෙන් සිදු වූ දෙය නොඇසුවාය. ඉතින් සියලු දේට තමා ම පමණක් වැරදි කරුවකු වන බව දැන සිටි ආලෝක ඉන්දූ නිවසට ඒමට පෙර නිවසින් පිටවී ගියේය. වර්තමානයට "පොඩ්ඩෝ!" "තමුසේ අපේ අතීතේ කොහොම අමතක කලාද මම දන්නේ නෑ. හැබැයි මම අමතක කරන්නේ නෑ. මම ගියා අරුන්ගේ ගෙදර. " "මාමලගේ?" "ඔව්. මාව දැක්කට මිනිහා ඇදිනුවේ නෑ. පස්සේ මංම අදුන්නලා දුන්නා. දැන් සල්ලි ප්‍රශ්න නිසා අමාරුලු. මම කිව්වා ණයක් ඕනේ නම් කියන්න කියලා. මගේ විස්තර අහලා කටත් ඇරගෙන පුදුම වෙලා හිටියේ. මුන්ට ගිය කල කියලා හිතන්න ඇති" "ඔයා ගියත් හරි අපිට එහේ ඉන්න බැරි වුනා. දකින දකින පාරට එයා අපිව මරාගෙන කන්න හැදුවා. ඊට අවුරුද්දකට පස්සේ අපි මෙහෙට ආවා. අම්මයි තාත්තයි.." "එයාලා ගැන මට දැන ගන්න ඕනේ නෑ. දෙමව්පියෝ කියන්න පුළුවන් අයද එයාලා? තමුසට ළමයි ඉන්නවා කිව්වාම මම හිතුවා තමුසේවත් හොද අම්මා කෙනෙක් වෙලා ඇති කියලා. ෂික්" "මල්ලී මම.." "සල්ලි ප්‍රශ්න නිසා, අම්මෙක්ට තාත්තෙක්ට ළමයෙක්ට කන්න බොන්න දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒ ළමයාට ආදරේ දෙන්න ඕනේ. ආරක්ෂාව දෙන්න ඕනේ. තමුසෙයි මමයි කියන්නේ, උපන් ගෙදරින්ම ප්‍රතික්ෂේප වෙච්ච උන්. අපි හැමෝගෙන්ම ගුටි කනකොට, අපේ අම්මලා ඔහේ බලාගෙන හිටියා. අපේ මොන වැරැද්දක් නිසාද ඕයි හැමොම අපිට එහෙම කලේ? අපි කාටද වැරදි කලේ?" ආලෝකගේ හඩ බිදී ගියේය. "අනේ මල්ලී" "දන්නවද අක්කේ, අම්මෙක්ට, තාත්තෙක්ට ලැබෙන ලොකුම ගෞරවය තමයි, 'මං කවදහරි දවසක මගේ ළමයින්ව හදන්නෙත්, මගේ අම්මයි තාත්තයි මාව හැදුවා වගේ' කියලා තමන්ගේ ළමයෙක්ගේ කටින් අහගන්න ලැබෙන එක. හැබැයි මම නම් මටම කියා ගන්නවා, අපේ අම්මලා අපිව හැදුවා වගේ, මම කවදාවත් මගේ ළමයෙක් හදන්නේ නෑ කියලා. ළමයෙක් වදනවා කියන එක, අතපය නොකඩා හදනවා කියන එක, මහ දෙයක් නෙමේ. සත්තුත් පැටව් ගහන්නේ. උනුත් පැටව් හදන්නේ. ළමයෙක්ට ආදරය, ආරක්ෂාව දීලා, ඒ ළමයාට ඇහුම්කන් දීලා, ඕනම වෙලාවක ඔයාට අපි ඉන්නවා පුතේ. ඔයාව අපිට වටිනවා කියන හැගීමයි ළමයෙක්ට දෙන්න ඕනේ." "කන්න නම් ලැබුණා, ඒත් අපිට නැති වුනෙත් ඒ ඕනම කරන, ආදරේයි, පිලිගැනීමයි, ආරක්ෂාවයි තමයි මල්ලී" "ඒක තේරෙනවද? කතා කරලා වැඩක් නෑ. මට හරිම දුකයි. ඒ අතීතේ ම ආයෙත් මෙහෙත් වෙනවා. තමුසෙත් ෆේල් ඕයි. ලැජ්ජයි. තමුසෙගේ කොල්ලා, අර කපිලද, මොකාද එකා ගැහුවා කියලා අඩාගෙන ආවහම, තමුසේ කලෙත් අපේ අම්මා අපිට කරපු දේමයි. තමුසෙටත් හිතක් පපුවක් නැද්ද ඕයි? පොඩි එකාගේ හිත කොච්චර රිදෙන්න ඇද්ද? අපේ අතීතේ අමතක කරන්න එපා. අතීතෙන් ඉගෙන ගන්නවා. දැන්වත් හැදෙන්න බලනවා. කොන්දක් තියෙන අම්මා කෙනෙක් වෙනවා. තමන්ගේ ළමයි වෙනුවෙන් හිට ගන්නවා. මම අද මෙහෙම තැනක හිටියට, මට වුන දේවල් වෙන කෙනෙක්ට වුනා නම්, කුඩු කාරයෙක්, හොරෙක්, මිනී මරුවෙක් වෙලා, මේ වෙද්දී හිරේ ඉන්න තිබුණා. මගේ වාසනාවට එදා මට දෙවියෙක් වගේ මනුස්සයෙක් මුණගැහිලා මගේ ජීවිතේ ගොඩ දාපු නිසා, මම අද මම ඉගෙන ගත්ත කැම්පස් එකේම සීනියර් ලෙක්චර් කෙනෙක්. හැමෝටම උදව් කරන්න දෙවියන්නට පොළවට එන්න බැරි නිසා තමයි, ළමයෙක්ව උපද්දවන්න අම්මා තාත්තා කියලා දෙන්නෙක්ට ඉඩ දෙන්නේ. ඒ දෙවියන්ගේ කොටස ඒ දෙන්නාට කරන්න පවරලා. එහෙම රැක ගන්න බැරි නම්, වගකීම් ගන්න බැරි නම්, ළමයි වදන්නත් එපා. ඒක ලොකු ම පවක්. මම යනවා. මම ආයේ එනකොට තමුසේ නියම අම්මා කෙනෙක් වෙලා ඉන්නවා" යැයි පැවසූ ආලෝක තමාගේ අලුත්ම බෙන්ස් රථයට නැගී පිටවී යියේය. -බාලිකා හේවගේ-මම අවදිවීමි. නිදන කාමරයේ වූ ප්‍රංශ මෝස්තරයේ උස් ජනේලවලට එපිටින් පෙනෙන හරිතවර්ණිත වනාන්තරයත් ඊට ඉහළින් නැඟී සිටින විසල් ආකාශයත් උදෑසන කාලයටත් , මේ ප්‍රදේශයටත් අනන්‍ය වූ ශ්වේතවර්ණිත වූ මිහිදුම් සළුවක දැවටී ඇත. බාහිර ලෝකයෙන් අපව ආවරණය කරන්නට , ආරක්ෂා කරන්නට මෙන් යෝධයින් මෙන් නැඟී සිටින්නා වූ මීදුම් සේළ දවටාගත් වනාන්තරයට ඉහළින් වූ නීලවර්ණිත උස් කඳු වළල්ලට එහායින් ඈත පෙරදින ආකාශය දෙසින් තවත් සොඳුරු දිනයක සමාරම්භය සනිටුහන් කරමින් සූර්‍යයාගේ ප්‍රථම රශ්මි කදම්භයන් කිහිපය මිහිදුම් සේළය විනිවිදින්නට තැතදරනු පෙනෙයි. ඒ තැත සාර්ථක වූ රශ්මි කදම්භයන් කිහිපයක් ජනේලය හරහා පැමිණ අපේ සයනය මතට පතිතවෙයි. "අපේ සයනය" ! ඔව් , "අපේ සයනය" ! මා හට අනෙක්පසින් එක් අතක් මාගේ බඳ වටා දවටාගෙන මගේ පපු පෙදෙස තදින් බදාගෙන සිටින්නේ 'මම', 'මගේ' යැයි ලියන්නට සිතාසිටි ජීවිතය 'අපි','අපේ' යැයි ලියන්නට හේතුකාරකය වූ 'ඇය'යි. මා බොහෝ කලෙක පටන් විශ්වාස කරන ආකාරයට මිනිසකුට තෙවැදෑරුම් වූ
උත්පත්තීන් ඇත. ඒ උත්පත්ති ආකාරයන් ත්‍රිත්වයෙහිදීම ඔහු උත්පත්තිය ලබනුයේ කාන්තාවක අතින් කාන්තාවකගෙන් වීම එහි පවත්නා විශේෂත්වයයි, අපූර්වත්වයයි, විශ්මයයි ! හේ ප්‍රථමවරට උත්පත්තිය ලබන්නේ කාන්තාවකගෙන් ය, මවකගෙන් ය , පුරා දසමසක්ම ගර්භාෂගත ජීවිතයක් ගෙවාලමින් පෙකණි වැළ හරහා සම්බන්ධිතව පෝෂණය ලබා වර්ධනය වන හෙතෙම මවකගේ යෝනි මාර්ගය හරහා අවසානයේදී පිටතට පැමිණෙයි. එසේ පිටතට පැමිණෙන හෙතෙම මවකගේ තනපුඩුවලින් පිටතට පැමිණෙන මව් ස්නේහයේ සාක්ෂ්‍යක් වූ ශ්වේතවර්ණ ක්ෂීරයෙන් පෝෂණය වෙයි , දින සති මාස වසර ගෙවාලමින් ජීවිතයෙහි ඉදිරියටම ගමනෙහි යෙදෙන අතරවාරයේදී ඔහුට තවත් ගැහැණු ආත්මයක් සම්මුඛ වෙයි, 'ඒ සුවිශේෂී වූ ගැහැණු ආත්මය' ඔහුට සම්මුඛ වන්නේ ඇතැම්විට ඊට පෙරාතුව වෙනත් ගැහැණු ආත්මයන් එකක් හෝ දෙකක් හෝ කීපයක් සම්මුඛ වීමෙන් ඉක්බිතිව විය හැකිය. ජීවිතයට පැමිණ , පැමිණි සැණින් නික්මෙන ඒ ගැහැණු ආත්මයන් ඔහුගේ හදවතෙහි තබායන පැල්ලම්, තුවාල , සීරුම් පහරවල් වුකලී ඔහු උගෙනගන්නා ප්‍රේමයේ පාඩම් ය , ඒ ඔස්සේ ඔහු තමන් ලැබිය යුත්තේ කිනම් ආකාරයන්හි ප්‍රේමයක්දැයි වටහාගනී, ප්‍රේමය යනු කිමෙක්දැයි වටහාගනී, ඒ ආකාරයෙහි ප්‍රේමයක් වෙනුවෙන් උපේක්ෂාසහගතව බලාපොරොත්තු අත්නොහැර බලාහිඳින්නට උගනී. අවසානයේ ඒ බලාහිඳීමට සමාප්තියක් තබමින් එක් අනපේක්ෂිත , අහම්බකාරක මොහොතක අනපේක්ෂිත , අහම්බකාරක ආකාරයට ඒ සුවිශේෂී ගැහැණු ආත්මය ඔහුගේ හදවතට ගොඩවදී. ඈ පැමිණෙන්නේ පෙර දැනුම්දීම් සිදුකර නොවේ. ඔහුට ඈ පැමිණෙනු නොපෙනෙන නමුදු ඈ පැමිණි ඉක්බිති ඈ නිසාවෙන් ජීවිතය තුළ සිදුවන්නා වූ ඒ ආශ්චර්යය, ඒ විශ්මය ස්වකීය දෑසින්ම දකින්නට , මුළු හදවතින්ම විඳින්නට ලැබේ. ඈ පැමිණි ඉක්බිත්තෙන් ප්‍රථමයෙන්ම සිදුකරන්නේ පෙර පැමිණ නික්මගියවුන් ඔහු හදෙහි ශේෂකරවා ගිය ඒ මඩපැල්ලම් පිරිසිදු කිරීමය , සුවනොවූ තුවාලවලට පිළියම් යෙදීමය, මැහුම් ගැළවුණු තැන්වලට නැවතත් මැහුම් ලා රිදුම් පිරි සෑම තැනක්ම පාහේ මහත් වූ ස්නේහයකින් පිරිමැදීමය. ඈ එසේය ! ඇගේ ඒ ප්‍රේමාන්විත පිරිමැදීම්, පිළියම් කිරීම් හමුවේ , ඒවායෙහි පවත්නා ඒ සුවකිරීමේ බලය , අත්ගුණය හමුවේ ඔහුගේ ගිලන් වූ තුවාල ලැබූ හදවත සුවපත් වෙයි, ඒ හදවත පෙරටත් වඩා ජීවයෙන් පිරී ගැහෙනු ඇරඹෙයි. නවමු නිවස්නයකට ගොඩවදිනා තැනැත්තියක් ඒ නිවස්නය ප්‍රථමයෙන්ම පිරිසිදු කර ඉනික්බිති එය නෙක වර්ණවලින් වර්ණ ගන්වා, එහි හිස් බිත්තිවල නෙක නෙක අලංකාර වූ සිතුවම්, සැරසිලි ආදිය එල්ලා ඒ හිස්බව පලවාහැර , තැනින් තැන නෙක නෙක වර්ණයන්ගෙන් සුගන්ධනයන්ගෙන් යුතු මල්බඳුන් තබා අලංකාර කරන්නේ, සුවඳවත් කරන්නේ කෙසේද ඇයද එය එලෙසින්ම ඔහුගේ හෘදය තුළ සිදුකරයි. එය සිදුවන්නේ ඔහුටවත් සිතාගත නොහී විශ්මයජනක වේගයකින් විශ්මයජනක ආකාරයකටය. ඇය ඔහුගේ ලෝකය, ඔහුගේ ජීවිතය විශ්මයජනක ලෙස , ඔබටවත් අදහාගැනීමටවත් නොහැකි ලෙස අංශක 180කින් සම්පූර්ණයෙන් වෙනස්කරයි , ඒ වෙනස ප්‍රේමණීය ය , අතිශයින්ම ආදරණීයය ! මෙලොව මත තවමත් ප්‍රාතිහාර්යන් සිදුවන බැව් ජීවමාන වූ නිදර්ශකයකි , සාක්ෂ්‍යකි ඈ ! ඉනික්බිති ඈ ඔහුගේ හදෙහි ලැගුම්ගනී, ඔහුගේ ජීවිතය ආදරයෙන් පුරවයි. ඒ ආකාරයට ස්වකීය ජීවිතය තුළ හේ දෙවැනි උත්පත්තිය ලබනුයේ ඈ අතින් ය , ඇගේ විශ්මයජනක වූ ප්‍රාතිහාර්‍යාත්මක වූ ආශ්චර්‍යමත් වූ ප්‍රේමයෙන් ය ! තෙවැනි වූ උත්පත්තිය සිදුවන්නේ ඈ හා සිදුවන අනුරාගී වූ එක්වීමක් , සංසර්ගයක් අවසන එක් මොහොතකට ඔහුට ස්වර්ගීය වූ අත්දැකීම් ලබාදෙමින් ඒ සුරතාන්තීය ක්ෂණයේදී විසර්ජනය වන්නා වූ ඔහුගේ ශුක්‍රාණුත්, ඒ ශුක්‍රාණු අතරින් එක් සුවිශේෂී ශුක්‍රාණුවක් සාදරයෙන් , ආදරයෙන් පිළිගන්නට , වැළඳගන්නට බලාහිඳින්නා වූ ඇගේ ඩිම්බයනුත් එකිනෙකා සම්මුඛ වී , සංසේචනය වී නිර්මාණය වන යුක්තාණුව ක්‍රමක්‍රමයෙන් ඈ ගැබ තුළ කළලයක් දක්වා වර්ධනය වී අවසානයේදී දසමසක ඇවෑමෙන් ඈ ඔහුගේ ජීවිතයෙහි තෙවැනි උත්පත්තිය සටහන් කරමින් ඇගේ යෝනි මාර්ගයෙන් පිටතට ඔහුගේත් ඇගේත් රුහිරයෙන් ජනිත වූ නවමු ජීවියකුට මෙලොව එළිය ලබාදීමත් සමඟය. ඒ තෙවැනි උත්පත්තිය තවමත් මා ලබා නැති නිසාවෙන් ඒ ගැන වැඩිදුර ලිවීමට මා හට නොහැකිවීම සම්බන්ධයෙන් සමාව අයැදිමි. මේ මොහොතෙහි මා සමීපයෙහි මාගේ නිරුවත් පපුතුරට මුව තබාගෙන හදගැහෙන රාවය ශ්‍රවණය කරමින් ඊට නැළවෙමින් නිදාසිටින්නේ මා හට ඒ දෙවැනි උත්පත්තිය ලබාදුන් ඒ විශ්මයජනක , ආශ්චර්‍යමත් 'ඒ සුවිශේෂී වූ ගැහැණු චරිතය'යි. මාගේ පපුවෙහි පහළ පෙදෙසට හා ස්පර්ශ වී ඇති ඇගේ නිරුවත් පපු පෙදෙසෙහි උල් වූ තනපුඩු සහිත පිරිපුන් ළැමට පිටුපසින් ඇති ඇගේ ඒ සොඳුරු හෘදයෙහි සියුම් ගැස්මන් මා හට යන්තමින් මෙන් සංවේදනය වෙයි. ඒ සංවේදනයන් මගේ සමෙහි ඇති සියුම් ස්නායු හරහා මගේ මනසට ගමන්කර මනසින් මගේ සන්තානය වෙතට ගමන් කරයි, සොඳුරුතම සංගීත සංධ්වනියකට සවන්දෙන්නා වූ මොහොතක එය මුළු හිතින්ම, හදවතින්ම සවන්දෙන්නකු මෙන් මා ඊට දැහැන්ගතව හිඳිනෙමි. මම මහත් වූ ස්නේහයකින් ඇගේ හිස සෙමෙන් පිරිමැදීමි. මගේ ළය මත විසිරුණු ඒ කාලවර්ණ දිගු කේශකලාපයෙන් මා හට දැනෙන්නේ ආත්මයම අවුළුවාලන ප්‍රේමනීය වූත් අනුරාගික වූත් සුගන්ධයකි. එය මා තුළ වූ අනුරාගී සිතුවිලි අවදිකරවන්නට තැත් කරනු දැනෙයි, මා තුළ නිදාසිටින ඒ අනුරාගී සත්වයා අවදිකරන්නට තැත දරනු දැනේ. නමුත් මේ ඒ සඳහා මොහොත නොවේ, මා එය පාලනය කරගතිමි. මා ඇගේ සඳක් වන් වූ උවනත දෙස බැලීමි. සිහින් තෘප්තිමත් සිනහවක් දෙතොලතර රඳවාගෙන ඈ සුවබර වූ නිද්‍රාවක ය. ජනේලයෙන් පැමිණෙන ඒ සූර්‍ය රශ්මි කදම්භයන් ඇගේ උවන මතට එබිකම් කරයි. මා ඇයව ඉන් ආරක්ෂා කරන්නට මගේ අතින් ඒවා මුවාකළෙමි. මගේ හදිසි චලනය නිසාවෙන් විය යුතුය, එක්වරම ඇගේ දෑස් විවර විය, මා නිවන මා දෙස අපමණ වූ ප්‍රේමයකින් බලන මා ආදරේම මට ආදරේම ඒ දෑස් විවර විය , ඒ සොඳුරුතම සිනහවක්ද සමඟ ය. මා ඈ සිපගතිමි ! මා සිටිනුයේ ස්වර්ගයේය ! මෝක්ෂයේය ! නිර්වාණයේය ! 🌸 . ~~~~~~~~~~~~~~✍️විකුම්... . . . . . ❤✍️🌎🌸මායම් (කෙටි කතාවකි) යසෝ අට හමාරට ගෙදරට කතා කරලා, බළලව එළියට දාලා ගෙට ගන්න, දොරවල් වහන්න, ඉතුරු කෑම ‌ තියේ නං ෆ්‍රිජ් එකට දාන්න කියල සේනාධීරට මතක් කරල තියලා ආයෙ ආව ලූණු ලියන්න. “අප්පේ යසෝ ඇන්ටි ලූණු කපනව බලා ඉද්දි මගේ ඇඟත් හිරිවැටෙනවා.” එහෙම කිව්වේ එහා මේසෙ පලා තෝර තෝර හිටපු චාමිනි. යසෝ කපද්දි පිහිය උඩ පහළ යනව පේන්නැති ගාණයි. “අනේ දැන් කී කාලයක් කපලද දුවේ. පුරුද්දම තමා” යසෝමා එහෙම ආවෙ චාමිනීලගෙ ආතාගේ දහ අවුරුද්දෙ දානෙ සල්ගල අසපුවට දෙන්න. භාවනා කරන හාමුදුරුවරුයි ගිහියොයි ඔක්කොම පනස් ගාණක්. ඒ හින්දා පවුලේ අයට අමතරව යසෝමා එහෙම වගේ ගමේ හිතවත් ගෑණු කීප දෙනෙකුත් එක්ක ආව. සඳුදා හීල් දානේ. ඉතිං කට්ටිය ඉරිදා හවස ඇවිත් නැවතුණා. උයන්න ඔක්කොම භාජන තියෙනවා. ලොකුවට කුස්සි හදලා තියෙනවා. බඩු ටික ගෙනත් උයන්න විතරයි තියෙන්නේ. සඳුදා දවසක් හින්දා එනවට යසෝමාගේ මහත්තයා සේනාධීර නං කැමති උනේ නෑ. දුවගේ ඉස්කෝල ගමන පාඩු වෙනවා කියල. දුව පැනපු ගමන් කිව්වා වාර විභාගෙන් පස්සෙ නිසා ඒ සතියේ ලකුණු දෙනවා ඇරෙන්න වෙන ලොකුවට වැඩක් කෙරෙන්නේ නෑ කියල. ඔය දුව සාමාන්‍ය පෙළ කරන කං, උසස් පෙළ කරනකං,රස්සාවක් කරනකං, බඳිනකං කියලා කල් දැම්මොත් කවදාවත් පිනක් කරගන්න හම්බවෙන්නේ නෑ. ඔය දුවට පාඩු වෙනවට නෙවෙයි. තමන් නැතුව ගෙදර වැඩ ටික කරගන්න තියෙන බැරිකම කියල යසෝමා දන්නවා. ඉරිදා රෑටයි සඳුද උදේටයි දවල්ටයි මාලු පිණි හදලා දහ ගමනක් විතර මේ වේලට මේක, මේ වේලට මේක කියල මන්තරේ වගේ ජප කරලා ආවට ගියාම ඉඳීයි නිකං හත් අවුරුද්දක් හාමතේ හිටියා වගේ. ආ‌යෙ ටෙලිෆෝන් එක වැදුණ විනාඩි පහ යද්දි. යසෝමා “චුක්” ගාලා හැරුණා. ලූණු අතින් අල්ලන්නයැ. එළියට ගිහින් ආයෙ අත හෝදන් එන්න වෙනවා. “අනේ මන්දා අපි නැති උනොත් මේ කට්ටියට කිසි දෙයක් කරගන්න බෑනෙ. මං කියන්නේ මං මැරිච්ච දාක ඉහ මුදුනේ පොල් තෙල් පාන පත්තු කරන්න පාන් තිර ඉල්ල ගන්නත් මාවම නැගිට්ටවල ගන්න වෙයි කියල. ඇයි තියන තැනක් දන්නවයැ කිසි දෙයක්. මොකක් හරි හොයාගන්න බැරිව ඔය ගන්නව ඇත්තේ ආයෙ.” ‘අනේ නං. මං නං අපේ ගෙදර තාත්තල පුතාලට කියල තියෙන්නේ මං මළාම මිනිය මල් ශාලාවේ තියන අතර උඹලා ගෙදර ඔක්කොම බඩු එළියට දාලා එක එක අරන් අහුරගනිල්ල කියල. නැත්තං කිසි එකෙක් දන්නේ නෑ බඩුවක් තියෙන තැන. අන්දයෝ වගේ. මොන බංගසාල දෙයක් උනත් හොයල දෙන්න මමම යන්න ඕන” පැත්තක ඉඳන් තව එක්කෙනෙක් කතාවට හවුල් උනා. “අපෙත් ඔහොම්මමයි. ගිය සතියේ පෙරහැර ගැන කතා කරන්න ලොකු හාමුදුරුවෝ වැඩම කරලා මං ගෙදර නැති වෙලේ. පීරිසි කෝප්ප හොයාගන්න බැරි උනා කියල වීදුරුවක ගිලන් පස පූජා කරලනේ.” ගෑණු ටික එක පොකුරට හිනා උනා. යසෝමා අත පිහිදාගෙන ගිහින් බලද්දි සේනාධීර නෙවෙයි, නංගිගෙ මහත්තයා පියසිරි අරන් තියෙන්නේ. පියසිරි ලේසියකට කතාකරන්නේ නෑ, නංගි විනීතා ගත්තොත් මිසක්. ඒ හින්දා යසෝමා “මල්ලි කියන්න” කිව්වේ හිතේ බයකුත් මෝදු වෙද්දි. “අක්කා ගෙදර නෙවෙයිද ඉන්නේ?” පියසිරිට ඇහෙන්න ඇති හිනාවයි කතාවයි. ඇයි ඉතින් යසෝත් සෙනඟ පැත්තටම ගිහින් කතා කළේ. කවුද අකමැති සබයක් මැද්දෙ ඉද්දි තමන්ට නිතර කවුරු කවුරු හරි කතා කරනව කියල පෙන්නන්න. “අනේ නෑ මල්ලියෙ, අපි සල්ගල ආවනේ දානයක් දෙන්න. ඇයි නංගිට මං කිව්වනෙ කතා කරල” “ආ එහෙමද අක්කේ. නෑ මේ විනීතාට උණ හැදිල. මට හෙට නොයාම බෑ වැඩට, අක්ක ගෙදර නං පොඩ්ඩක් ඇවිත් ඉන්න කියන්න බැලුවේ” “අප්පේ මොකද හදිසියේ නංගිට” “අනේ මන්දා. සිකුරාදා රෑ ඉඳලා උණ. තදට උණක් නෑ, ඒ උනාට ඔලුව උස්සන්න බෑ කියල ඇදේමයි.” ඒ කතාවට යසෝමාට බය හිතුණ. මොකද විනීතා උණ නෙවෙයි මොන සන්නිපාතෙ හැදුණත් ඇඳට වෙලා ඉන්න ගෑණියෙක් නෙවෙයි. කෙඳිරි ගගා හරි වැඩ ටික කරනවා. “අනේ මල්ලියෙ පෙසර් එහෙම බැලුවද?” “ඔව් ඒක නං වැඩි නෑ. ඔය උණේ හැටි කියල දොස්තරත් කිව්වේ ටිකක් විවේක ගත්තම අඩුවෙයි කියල. මෙයා නං එපාම කිව්ව අක්කට කරදර කරන්න, මං ම
ේ නින්ද යනකං ඉඳලා ගත්තේ. බලමුකො එහෙනං මං වරුවෙන් වත් එන්න බලන්නං” “අනේ ඔව් මල්ලියෙ. එහෙම වත් කරන්න. අපිත් හෙට එද්දි දවල් වෙයි” යසෝමාට දානෙ වැඩපළ සිහියෙන් කරන්නත් බැරි උනා ඊට පස්සේ. නංගිට මොකෝ කියල හිතේ ගින්දර. ඇයි ගෙදර ඉන්න කාලෙ ගෙදර කාණ්ඩෙටම උණ හැදුණත් බැරි බැරි ගාතෙ හරි නැගිටගෙන ගිහින් කොත්තමල්ලි වත් ලිපේ තියන්නේ විනීතා. ඇඟපතත් යසෝමා වගේ හීන්දෑරි නෑනෙ. හොඳ උස මහතයි. ඉස්සර අම්මා බනිද්දි කියන්නෙත් “මේක අලි දෙන වගේ ඉන්නවා” කියල. නංගිට ඉහෙන් බහින ලෙඩක් හැදුණ කාලයක් වත් යසෝමාට මතක නෑ. මැසිම වගේ ළමයි තුන්දෙනාගේ වැඩයි පියසිරිගෙ වැඩයි කරනවා. වත්ත කොටනවා, පාත්ති දානවා, බුලත් විට හදලා ළඟ කඩවල්වලට දානවා. කොණ්ඩ කැවුම්, මුං කැවුම් ඕඩර් ගන්නවා. මොහොතක් නිකං ඉන්නේ නෑ. යසෝ හිතෙන් බාරෙකුත් උනා නවගමුවට. ලොකු දේකට නෙවෙයි නෙළුම් මල් වට්ටියකට. අමාරු දෙයක් නෙවෙයි නෙ. ඔය යන එන ගමං බස් එකෙන් බැහැල පූජා කරලා යන එකනෙ. ----------------------- ඊළඟ දවසේ එකොළහ වෙද්දි යසෝ බැස්ස නංගිලගෙ ගෙදරට යන හන්දියෙන්. දුවව කෙළින්ම ගෙදර යැව්ව වෑන් එකේම. හදිස්සිය හින්දම ඔය අඩි දෙක උනත් පයින් නොයා වීල් එකකුත් කතා කරගෙන, ඒකෙනුත් බෙල්ල එළියට දාගෙන ගියේ පපුවත් ගැහෙද්දි. මෙන්න ලෙඩා නාල කොණ්ඩෙත් කඩාගෙන, කොට ගවුමකුත් ඇඳගෙන මිදුල අතුගානව. “යකෝ, මං ගිනි ගැනිල ආවෙ සල්ගල ඉඳන් ඉස්පිරිතාලෙවත් ඇරන් ගිහින්ද දන්නෑ කියල. මොකද උනේ” “මේ නිකං උණක්” “නිකං උණට නං දවස් දෙකක් තිස්සේ ඔලුව උස්සන්න බැරි වෙනවද බං. අර මල්ලි කතා කරා, මට අර බාර ගත්තු වැඩේ දාල එන්න බැරිකම මිසක් එවලෙ එන්න හිතිලා හිටියේ” “අනේ සිරී අක්කටත් කතා කරාද?” බලන්න එපැයි හිනාව. “කතා කරා නේන්නං. තනියට ඉන්න කියන්න’ “මං කිව්වත් ඒත් කරදර කරන්න එපා කියල. මට හොරෙං ගන්න ඇති එහෙනං” හිනාව මැකෙන්නේ නෑ මූණෙං. ඉස්සර අර පියසිරි දවසට දෙවේලක් ගෙදර ඉස්සරහින් යන කාලෙ වගේ. “උඹේ හිනාව නං අල්ලන්නෑ මට. මොකක් හරි පිම්මක් පැනල වගේ. මොකෝ?” ඒ පාර විනීතා දෙකට නැමි නැමී හිනාවෙන්න පටන් ගත්තා. “අක්කට නං දිවැස් තියෙනව. යං කො ගෙට. අලුව හදල තියෙනවා” “අප්පද බොල. අලුවත් හැදුව කියන්නේ ලේසි නෑ. ඇයි අද පියසිරිට නත්තල් බෝනස් ද කන්තෝරුවෙ?” “නෑ අප්ප. නිකං” ගෙදර ගෑණි දවස් දෙකක් ලෙඩින් වැටිල කියල පේන පාටක් වත් නෑනෙ ගෙදරත්. කණ්ණාඩිය වගේ. වෙනදටත් වඩා පිළිවෙළයි. බිම තියල තිබුණ මගුල් පින්තූරයි, ළමයින්ගේ පොඩි කාලෙ පින්තූරයි බිත්තියෙ එක උසට ගහලා. හෝටලයක් වගේ. ලටපට පුරවල තිබුණ කැබිනට් එකේ තට්ටු ටික හොඳට අස් කරලා. “අදද මේ අස් කරේ?” යසෝ ඇහුවේ කලින් සතියේ එද්දි මෙහෙම තිබුණේ නැති නිසා. “නෑ සිරී පුතාලත් අල්ලගෙන අස් කරා.” යසෝ ඒ පාර නගා දිහා බැලුව හොඳට. වෙනදට පියසිරි ගෙදර ඉන්න දවස් දෙකෙත් පත්තර බලනවයි, මැච් බලනවයි, වැඩක් කරගන්න නොවඳිනා වැඳුම් වඳින්න ඕන කියල නංගි ආඩපාලි කියන්නෙ. ඒ විනාඩියට විනීතා අලුවයි කෙසෙලුයි පීරිසියක තියල ළං කරලා වතුරත් ලිප තියල ඉවරයි. දවල්ටත් උයල ඉවරයි වගේ ලිප ළඟ වළං ටික වහල තියෙනවා. “කියපං ඉතිං මොකද උනේ කියල” විනීත ඇවිත් වාඩි උනා පිඟානකුත් අරගෙන. “දැන් උදේට කන්නේ” කියාගෙන. දවස් දෙකක් ගෙටම වෙලා හිටපු නිසාද මන්ද විනීතාගෙ මූණත් එළිය වෙලා. ලෙඩ පාටක් ගෑවිලා වත් නෑ. “නෑ දැන් මාස දෙහෙකට කලින් වගේ මට උණ ගත්තනේ පොඩි පුතාගෙන් බෝ වෙලා. එදා ඇඟපත කකියනවා ඉන්න හිටින්න බෑ. වදෙන් පොරෙන් නැගිටගෙන පාන් හදල දීලා කට්ටියව යවල ඇඳට වැටුණා. දැන් දවල් ආවම කන්න දෙයක් නෑනෙ කියල උණ අඩු වෙන සැරේට යන්තං කුස්සියට ඇවිත් බතක් උයල මාළු දෙකක් යන්තං හදාගත්ත. එදා සිරී හවස ආවම මං කිව්ව “අද මට හරි අමාරු උනා. ඇඟ පත කඩලා දාලා වගේ රිදෙනවා” කියල. ගත් කටටම කිව්වනෙ “එච්චර අමාරුවක් තියෙන්න නැතුව ඇති, එච්චර අමාරු උනානං මාලු දෙකකුත් බතුයි හදන්නේ කොහොමද” කියල” “ඕං කරලත් අහගෙන තියෙන ටික” “අක්කට කියන්නෙ මට ඇඬුණා. ඔච්චර කරල අහගත්තු ටික කියල. හැබැයි මං ඕක ඔලුවෙ තියාගෙන හිටියේ. මේ සිකුරාදා මට හරි ඇඟට කෙඩෙත්තුයි වගේ. ළමයිට සති අන්තෙ පන්තිත් නෑ. කලින් දවසෙ පොළොස් ඇඹුලකුයි මාලු හට්ටියකුයි හදල තිබුණ. ළඟ කඩෙන් පාන් රාත්තල් දෙකයි බනිසුයි ගෙනාව. දවස් දෙක ඕව හරි කාල ඉන්නැතෑ කියල මට උණ කියල මං බුදිය ගත්තා. ඇහැක් ඇරලා බැලුවේ නෑ” “උඹ තමා දවසකටවත් ගෑණි හැබෑට. ඉතිං මොකෝ උනේ?” “මොනව වෙන්නද? සිරී ඇවිත් ළමයින්ට බිත්තර කිරි හොද්දක් හදලා පාන් දුන්න. මට ඇඹුලට මොනව හරි කෑවොත් හොඳයි නේද අහල හන්දියේ කඩෙන් තක්කලි හොදියි රෝස් පානුයි ගෙනත් දුන්න” “පියසිරිට උයන්න පුලුවන්ද බං. බිත්තරයක් වත් තම්බගන්න බෑ කියල නේද උඹ කිය කිය හිටියේ” “ඒකනෙ අක්කේ. ෆෝන් එකෙන් බලලද මන්ද. මං කන්න ගිය ගමන් ටිකක් කට ගාල බැලුව, ටිකක් දිය රහ උනාට හොද ගාණට ලුණු මිරිස් එහෙම” “දවස් දෙකම ඔහොමද?” “ඊළඟ දවසේ දවල්ට කඩෙන් ගෙනාව. උදේට බනිස්. අම්මට කරදර කරන්න එපා, මහන්සිය වැඩි වෙලා මයි අම්මට ලෙඩ වෙන්න ඇත්තේ කියල සිරී ළමයිට එක එක වැඩ පවරලා ගේම අස් කරානෙ. ලොරියකට විතර බඩු ගෙනිහින් දැම්මා පාරට කුණු ලොරියට පටවන්න. ඉරිදා එයාලගෙ අම්මා ආව පාන්දරම උයාගෙන. එදා වත්ත ඉස්සරහ ටික ඔක්කොම සුද්ද කරා. ඩෙංගුද දන්නෙත් නෑ, මදුරුවොත් ඉන්නව කියල. රෑට ආයම මස් බතක්ද මොකද්ද හැදුවේ. ළමයි ආයෙ පෙරළගෙන කෑවෙ” “උඹ ඉතින් හිතෙන් හිනා වෙවී ඉන්න ඇති නේද?” “හිනත් ගියා. පව් කියල ඔන්නොහෙ නැගිටිනවද කියලත් හිතුණ. ඒ උනාට එහෙනං ආයෙත් පරණ සෙතේමයි. අනික අක්කේ මේ ටිකේ වැඩ ඉවරයක් නෑ, මටත් හරි මහන්සියෙන් හිටියේ. බලන්න එපැයි සිරී පැයෙන් පැය ඇවිත් මගේ උණ බලනව. කට අප්පිරියාවට සැරින් සැරේ කන්න කියල මිදියි මුද්දරස්පලනුයිත් ගෙනත් දුන්න.” ඒක කියද්දි නං ගෑණිගෙ ඇස් දෙකත් නිකම් ලාවට තෙත් වෙනව වගේ යසෝ දැක්ක. “කමක් නෑ දැන් ලෙඩක් නෑනෙ. මං එහෙනං යන්නං. එහෙ දැන් පිස්සං කොටුව වගේ වෙන්න ඇති. පත්තර ටික බැලුවොත් එතන, සරම ගැලෙව්වොත් එතන. මං යන්න එපැයි පස්සෙන්” “නෑ අක්කෙ. අපි කරද්දියි ඔය නොකරන්නේ. අනික අපි කරන කරන එකෙත් ඇදමනේ හොයන්නේ. ඔන්න මාත් බැරි අමාරුවෙන් හරි නැගිටල වැඩ කරා නං පහුණු දවස් දෙකේ, ඇගේ අමාරුවට එක්ක සිරී කරන ඒවත් ඇදට පේන්නෙ. මං නැගිටගෙන ඉන්න හින්ද එයත් මටම වැඩ ටික දීලා, කියන දෙයක් විතරක් කරලා ඉන්නව. අන්තිමට දෙන්නගෙම හිත නරක් වෙලා. දැන් එයාට කරන්න උනාම ඔය අපූරුවට කළේ. අනික මට බැරි වෙලේ සාත්තු කරා කියල සිරීටත් හරි සන්තෝසයි. කීප සැයක් කිව්ව මට මහන්සි වැඩි නිසාම වෙන්න ඇති ලෙඩ උනේ කියල. මං ඒ පාර කිව්ව සති අන්තෙ ඔය වගේ ගෙවල් මිදුල් ටිකවත් ළමයි එක්ක අස්කරල දුන්නොත් ලොකු දෙයක් කියල. ඔය බැරි කම නෙවෙයි අක්කේ. අපිම කරන්න ගිහින් ලේසියට එයාලත් අපිටම දීලා ඉන්නව. අනික මේ වගේ වැඩද අප්පා ඔය කන්තෝරුවල ගිහින් කරන්නේ. මිනිස්සු බර ගානක් පාලනය කරනවනෙ. ඒව බලද්දි මේ හුණ්ඩුවක් වගේ ගෙදරක තියෙන වැඩ මොනවද?..” “ඒකත් ඇත්ත. එහෙනං මං යනවා. ගෙදර ගිහින් මාත් දානෙ උයන්න ගිහින් අතවත් ඇදිලා කියන්නද කියල මේ කල්පනා කරේ” අක්ක නගෝ හිනා උනා උළු උඩ යන්න. “කියල බලන්ඩකො. පුදුම සැළකිල්ලක් තියෙන්නේ” “වැඩ ඉවර කරලා පේවෙලා හිටපං. අද වරුවෙන් එනවා කිව්වා නේද?” යසෝ නංගිගෙ පස්සටත් පාරක් ගහලා එළියට බැස්සා. ගේ වත්ත පිටිය වෙනදටත්ත්‍ වඩා කළ එළියට යයෝට එදා පෙනුණා. පවිත්‍රා අභයවර්ධනකුමාරිහාමි .. අවසන් කියැවිල්ල.. ======================================= මට මයේ දෑස් අදහන්න බැරි වුනා අප්පච්චි ඇස් පනාපිට ඉන්නවා දැක්කම. "පොඩි එකා" "අප්පච්චී" අපිට මේ සීමාව පනින්ට බැරි බව මතකේ තියාගන්ට ඕන. එහෙම පැන්නොත් සුදලියේ එකීට පේන්න පුළුවන් .. "එහෙමයි" "උඹ දන්නවද "කරියා" කියන්නේ කවුද කියලා?" "නෑ අප්පච්චි" "ජීවහත්ත, දිසාලාගෙන් පැවතගෙන එන අපේ ආදි පරම්පරාවේ උන්දැලා කරියා කිව්වේ වලහට.. උඹලගේ කිත්තා බෝම සෙල්ලක්කාරයි කියලා කියන්නේ. උන්දෑ ගජයෝ ටිකකුත් පිරිවරාන කැලේ යද්දී වලස් තඩියෙක් අහු වෙලා. මුන්දැගේ මුශ්ඨි පාර ගැන උන්දැට තියන විස්වාසෙට වලහා සම්මුඛේට ගිහිල්ලා. අවසානේ ඇඟ පතේ පතුරු නැතුව මුන්දෑ ගෙදර ඇවිල්ලා තියෙන්නේ. පෝය දෙකක් උන්දැගේ අප්පා අපේ වෙදකම කොරාලා මෙවුන්දෑ පන ගස්සලා තියෙන්නේ. ඒකින් වෙච්චි හොඳේ තමයි මුන්දෑ මරුවල්ලිය පරම්පරාවට අලුත් සටං සෛලියක් එක් කොරාපු එක. මේක දන්නේ මරුවල්ලියේ අපි විතරයි. ඒ සාත්තරේ තමයි මම උඹට දෙන්න යන්නේ" "එහෙමයි අප්පච්චී.." "නුග බෙනේ දිහාට හැරිලා , රාවණා දෙයියංගෙන් අවසර ගනිං, අපේ හටං පරම්පරාවේ මියගිය මුතුන් මිත්තන්ගෙන් අවසර ගනිං" මම එයිං පස්සේ අපේ අංගං භාර දෙයියෝ වෙච්චි රාවණා දෙයියෝ නැමදලා අවසර ගත්තා, හටං පරම්පරාවෙන් අවසර ගත්තා. "උඹලැයි කිත්තා අංගං කෙලියේ බොහොම කෙල පැමිනිලත් උන්දැට වලහා එක්ක හටං කොරන්න බැරි වුනේ ඇයි කියලා උන්දෑ කල්පනා කොරලා තියෙනවා.. උඹ දැකලා තියෙනවද වලහා බරු ගහන විදිය" "නෑ.. අප්පච්චි" "ඒකා එක තැන හිට ගන්නේ එක පාදයක් මදක් පස්සට කොරාලා භාගෙට නැමිලා. එහෙම කොරන්නේ ඒකගේ සමබරකම රැක ගන්ට. අනික ඌ ඉන්නේ හතුරට බොහොම ලඟින්. එතකොට තමාගේ හතුරට අත පය දිගාරින්ට වත් ඉඩක් නැතුව යනවා. ඊට පස්සේ ඒකා එක වර අත් දෙකෙන්ම පහර දෙනවා. අත් දෙක එන්නේ එකකට එකක් ඇහිපිය ගැහුම් තුනක විතර පමාවෙන්. එතකොට අපේ ඇහැ එක අතකට ගිහින් පහර වලක්වද්දී, හිතන්නත් කලියෙන් අනිත් අතින් පහර වදිනවා. ඕක උඹලයි කිත්තා අංගං වලට එක්කාසු කොරා. මේකට උන්දෑ කිව්වේ "කරියා පහර" කියලා.. ඒ කියන්නේ වලස් ප්‍රහාරය. සුදලියේ ඇත්ති නිල බලලා පහර ගහන්ට බලනවා ඒකාන්තයි. ඒකිගේ ඇගේ සත්තිය දිය වෙන්ට කලියෙන් පහර දීලා උඹ අඩපන කොරන්ටයි ඒකි තනන්නේ. මම උඹට කියලා දීලා තියනවනේ මරාන්තික නිල විස්ස ගැන. ඒවා ගැන මනස තියා ගන්ට ඕන. ඔය මාරාන්තික නිල විස්ස තමයි ඕකිගේ ඉලක්කේ වෙන්නේ. ඊට මත්තෙන් බොට ඒකි බිම දාත හැකි මේක
ෙන්. මේකෙන් අඩ පණ කොරාලා වටී පාරක් ගැහුවම උන්දෑ කම්මුතුයි. මම මගේ යුතුකම අපේ පරම්පරාව වෙනුවෙන් කොරලා අහවර කොරේ ඒකිගේ අප්පා වෙච්චි සුදලියේ මුහන්දිරම් එලෝ යවලා. මේක උඹේ වාරේ අපේ පරම්පරාව , පරම්පරාවේ ගෞරවය , අපේ මරුවල්ලියේ අංගං සාත්තරේ රැකගන්ට. හ්ම්ම්ම්.. මේ ආකාරෙන් කොරාපිය" අප්පච්චි කියාපු විදියට මම ඒක පුහුණු වෙන්ට පටන් ගත්තා. ඒකෙදී දෑත් එක වර ගියත් වැරැද්දක් , එකකට එකක් බොහොම සුනංගු වෙලා ගියත් වැරැද්දක්. එක අතක් ප්‍රහාරෙට පටන් අරගෙන ඇහි පිය තුනකින් අනිත් අත එන්ට ඕනා. ඒ කාලේ මැනිල්ලයි අමාරුම. සස්සෙං පහු දවසක සොහොන උඩ ඉන්දාපු රඹ කඳන් පහක් කැඩිලා වැටෙනකන් මම අභ්‍යාස කෙරැව්වා, ඒ අතරේ කුණ්ඩලිනිය වැඩුවා, පැනුම්, පිණුම්, ගුටි හරඹ කෙරැව්වා. පහු දවසක උදැහැනක්කේ වලව්වේ මුර දොර ලඟින් කෑ ගෑමක් ඇහුනා. බලද්දී වෙච්චි දෙයක් නොපෙනුනාට බවලතියක් වලව්ව දිහාට එනවා පෙනුනා. උන්දෑ ඇඳලා ඉඳපු විදියෙන් මම ඉන්තේරුවටම දැන ගත්තා ඒ සුදලියේ පොඩි කුමාරිහාමි කියලා. කුණ්ඩ්ලිනිය වඩලා ගොහින් බැලුවට බලාගන්න බැරි වුනේ මේකිගේ වටේ කොරාපු ආරස්සාව හින්දා වුනත් දැන් ඒකිව මම අඳුනා ගත්තා. "මං ආවේ ඌරා ලිඳේ හටනකට අභියෝග කොරන්ට" "ඌරා ලිඳේ පරසිද්දිය වැඩියි.. මම කැමතියි මේක අපි දෙන්නා විතරක් දන්න තැනක වෙනවට" "මරුවල්ලියේ උන් ගම්මු ඉස්සරහා පරදින්ට බයයි වගේ" ඒකි කියැව්වේ ආඩම්බර කාර මදහසක් එක්ක. මගේ කෝටියක් යක්ස සේනාව අවදි වුනා මේකිගේ ආඩම්බර කමට. "එක පාරක් සුදලියේ උන්ට ගූ , හුලිජ්ජ යන්ට ගහලා එලෝ යවපු මේ මරුවල්ලියේ පරම්පරාවේ නම ඇහුවත් වෙවුලුං කන්නේ තොපි බොලං.. මරුවල්ලියේ අපි නෙමෙයි. මම කිව්වේ තිගේ හොඳට" "මයේ හොඳක් ගැන උඹ කරදර වෙන්ට කාරි නැතුවා. තැන මම කියන්නේ.. ඌරා ලිඳ.. දිනේ ?" "මේ පසලොස්වක පෝය...වෙලාව?" "ඉර හැරිලා හෝරා තුනකින්... ආයුධ?" "අංගං විතරක් මනාපයි. තිට ඕන ඉලංගමක් තියේනම් කියන්ට අවසර" "ඕනෑම එකෙකුට ඕනෑම ඉලංගමක් ගන්ට පුළුවන්" "එකඟයි" කුණ්ඩලිනී වඩන්නේ නැතුව හටනට එකඟද?" "එකඟයි.. මායංගං නැතුව?" "එකඟයි" "අවසන ?" "අනෙකගේ මරණය.. මරණෙන් මෙපිට දිනුම් පැරදුම් නෑ" "එකඟයි" පරම්පරා සම්ප්‍රදායේ හැටියට ඉලත්තට්ටුව අරගෙන ඒකි දිහාට දික් කොරා. ඒකි තන මත්තේ ගහගෙන උන්නු නාගවල්ලි කොලයක් ඉලත්තටුව උඩ තියලා ඉලත්තට්ටුවෙන් නාග වල්ලි කොලයක් ගත්තා. ඒ තමයි අභියෝගය කොරාපු බවටත් ඒක භාර ගනිපු බවටත් සලකුණ. ඒ කීප දොහේම සියලු ඉලංගං හැසිරවිල්ල ආයේ පුහුණු වෙච්චි. අප්පච්චි ඇවිල්ලා මට සෝලි තියලා ගියේ මම මායංගං නැතුව හටං කොරන්න එකඟ වුනා කියලා. ඒකෙන් උන්දැලාට මට උදවු කොරන්න තියෙන අවස්ථාව මගෑරෙන එක ගැන උන්දැලා ඉන්නේ විස්සෝපෙං. පෝය හද හෙමිං හෙමින් පහුගිය දොහේ එළිය දීලා අද සොලොස් කලා පුරණ දවස. අද තමයි ඒ පසලොස්වක.. අද තමයි ඒ මහ හටන කොරන දවස.. අද තමයි මරුවල්ලිය පරම්පරාව හරි සුදලිය පරම්පරාව හරි මේ ලෝකෙන් තුරං වෙන දවස. මේ පරම්පරා දෙකේ අංගං කෙලියේ අවසාන පුරුක් දෙක අපි වෙච්චි. එකෙක්ගේ මලගම ඒ පරම්පරාවේ අංගං සාත්තරේ අහවර කොරනවා. අංගං නොකරන උන් අපේ පරම්පරා දෙකේම ඉතුරු වේවි. උදේම වෙනිවැල්ගැට තම්බාපු වතුරෙන් ඉහේ නාගෙන කන්දේ දේවාලෙට පඬුරක් ගැට ගහන්ට ගියා. එයිං පස්සේ එක් ගල් දොරුවේ විහාරෙට ගිහින් මහ නායක හාමුදුරුවෝ බැහැ දැකලා පිරිත් නුලක් ගැට ගස්සවා ගත්තා. වලව්වේ ඔප්පු කරදහි තියෙන කවරේ ලාකඩ වලින් මුද්දරා තියලා නායක ස්වාමීන් වහන්සේට දුන්නේ පරම්පරා චාරිත්තරේට. යං හෙයකින් මං මියෑදුනොත් ඒ දේපොල පන්සලට අයිති වෙනවා. මගේ මරණේ වෙනකන් උන්නාන්සෙලා ඒකේ ලාකඩ නොකඩන්න වග බලා ගන්නවා. යං හෙයකින් මං ආයෙත් ආවොත් ඒක මට දෙනවා මගේ භුක්තියට. එයින් පස්සේ මං ඇවිත් පැඟිරි පහනෙන් තවාපු නාගවල්ලි කොලෙන් මුලු ඇඟම තවා ගත්තේ ගිරාට කියලා. එයිං මතු හිඳපු තැබිලි තෙල් , නාග වල්ලි දලු, මල් පස් වරිගේ, පස් පංගුව , ගිණි කබල, හඳුං දර , සාම්බ්‍රානි, පහන් තිර , නැගෙනහිරින් කපපු ගොක් අත්තක්, ඒ ගහේම ඒ පැත්තෙන් කඩාපු පොල් ගෙඩියක් ආදී කළමණා අරගෙන අංගං පිටියට ගියා. බුදුන්ට පහන් පැලේ පහන් දල්වලා , අංගං වලට අධිපති රාවණා දෙයියන්ට භාර වෙන්න පටන් ගත්තා. ඒක අවසානේ කුන්ඩලිනිය වඩලා මේ සාත්තරේ රැකගෙන අරගෙන ආපු මරුවල්ලිය පරපුරේ මී මුතුන් මිත්තෝ මුණ ගැහිලා ආසිර්වාද ගත්තා. ඉර හෙමින් හැරිලා අන්දකාරේ එන්න පටන් ගත්තත් හඳ එළියෙන් ඒක තරමකට සමනය වුනා. අංගං පිටියේ විලක්කු නමයෙං පහක් හිටුවන්ට ඕන අභියෝගේ කොරාපු එකා. හතරක් හිටුවන්නේ අභියෝගේ භාර ගනිපු එකා. ඒ විලක්කු නමයෙන් රවි, චන්ද්‍ර , කුජ, බුධ, ගුරු , ශුක්‍ර, ශනි, රාහු , කේතු යන නවග්‍රහයින් නවදෙනා වහන්සේලා සක්කේතවත් කොරනවා. ඒ චාරිත්තර ඉස්ඨ කොරාට පස්සෙං ඌරා ලිඳට මුලින්ම බහින්නේ අභියෝගය කොරාපු එකා. දෙවනුව තමයි භාර ගනිපු එකා බහින්නේ. ඒ ව්දියට බැහැලා එකඟතාවෙට ආ කාරණා දෙන්නා නැවත කියලා එකඟ වුනා. එයිං පහු දෙන්නා ආචාර කොලා. මරණය වෙන්නේ ඌරා වලේදී නං ගෞරවයෙන් අවසං කටයුතු කොරන්ට එකඟතාවෙට ආවා. නිළ පහරකින් පස්සෙන් පහු මැරුණොත් මරණෙට ගොහින් ගෞරව දක්වන්න එකඟ වුනා. එයින් පහු නැවත ආචාර කොරාලා හටන පටන් ගන්න ලෑස්ති වුනා. හතර වටේ කලුවර නැති වුනේ විලක්කු එළියෙනුයි හඳ එලියෙනුයි. මුලින් පිම්ම ගත්තේ ඒකි. මම පහසුවෙන් ඒක නවත්තලා බිලාල පිම්මක් එක්ක පා පහරක් ගැහුවා. ඒකි ඒක වලක්කලා ගහපු පාර පෙර පිනකට මරු නිලය බේරලා උඩට වැදුනා. ඒත් ඇඟ ඇතුලෙන් පුපුරු ගහනවා වයේ දැනෙන්ට ගත්තා. ඒත් එක්කම ඒකි මොට මුව අඟෙන් මයේ හිසට පහරක් එල්ල කොරන්ට තැනුවත් චක්කර පා පහරකින් ඒකිගේ සමබරතාවය බින්දා. නොහිතපු වෙලාවක ගහපු වටී පාර වලක්කා නොගන්න අද මේක ලියන්ට වෙන්නේ නෑ. අඩ හෝරාවකට ලං වෙන්ට හටන කොරත් එකෙකුට එකෙන් දෙවනි නැති ආකාරයෙන් කොරාපු හින්දා ජය පරදුමක් ඒ වෙනකොටත් නැතුවා. ඒත් එක්කම මයේ අප්පොච්චි වලෙන් ඇවිදින් කියා දුන්නු කරියා පහර මතකෙට ආවා. ඒකිගේ පැනුම් පා පහරක් නවත්තපු මම ඒකි පොලොවට බෑ වෙද්දිම එතනට පැන්නා. ඒකි සමීපෙම ඉඳපු නිසා ඒකිට අංගමක් ගන්ට පහසු නැතිව ගියා. ඒත් එක්කම වලහා බරු ගහන්නැහේ එක පාදයක් පස්සට කොරාලා, සමබරතාවේ රැකලා , මදක් නැමිලා ඇහි පිය තුනක පමාවෙන් එතුනු කඩුව හසුරුවන වේගෙන් අත් පහර ගැහුවා. අප්පච්චි කිව්වා වගේම ඒකිට ඒ වේගට එකක් නවත්තන්න හැකියාව තිබුනට දෙවනි එක වලක්කන්ට බැරි වුනා. ඒ අවසරෙන් දෙපා වාරු නැති කොරන්ට පුළුවන් නිල පාර මම එල්ල කොරා. ඒක වදිනකොටම ඒකිගේ දෑහින් කඳුලු වැටෙනවා මම දැක්කා. ඒකි පිම්මක් ගන්න උස්සහ කොරත් නිලේට ගහපු පාරෙන් අඩපණ වෙන්න පටන් අරගෙන තිබුන දෙපා වාරු නැතුව වැටුනා. ඒකිගේ අවසානය දකින්ට එක වටී පාරයි ඕනෑ වුනේ. මම පිණුමක් එක්ක වටී පහරකට ඇවිත් පැත්ත වැටිලා ඉන්න උන්දැගේ මූණ ලගින් අත ගෙනිහින් පොළොවට ගැහුවා ඇඟිලි කරු තුනක ගැඹුරට පොළොව හාරගෙන අත බහින්න. ඒ පාර උන්දැට ගැහුවා නම් ඌරා ලිඳෙන් ගොඩ ගන්ට වෙන්නේ ඒකිගේ මල කඳ. "ඉතින් වටී පාර නොගැහුවේ .. තා මරන්ට බයද" "මරන්ට බයත් නෑ.. මැරෙන්ට බයත් නෑ.. බය නම් තොපේ සුදලියේ අභියෝග භාරගෙන ඌරා ලිඳට බහින්නෙත් නෑ" "එහෙනම් මරාපිය මාව.. උඹට මතක නෙවැ.. මරණින් මෙපිට මේකේ ජයක් නෑ" "මතකයි..මට දිනන්ට ඕනැන්නේ මේ හටන නෙමෙයි බොලං. මේ සිංහල දීපෙට වින කටින්න එන පරදේසක්කාරයින් එක්ක කොරන හටන. උඹ දන්නවා මම උඹට ඔය ගහපු පාරට පණ නැති වුන දෙපා සූරිය උදා තුනකින් හරි යන බව. එදාට වරෙං වලව්වට මේ කෝන්තර එක්ක නෙමෙයි. හෙන්රි රොබට්ලා එක්ක තියන කෝන්තරේ පිරිමහගන්ට. උන් අපේ උන්ට දඬුවං කොරද්දී අපි නිවටු වගේ බලාගෙන ඉන්නවා. අපේ දඬුකද තියෙන්නේ තියාලා ගෙරි මස් කපන්නද? තොපිත් එක්ක අපි ජම්මාන්තර වෛරයි. ඒකෙන් මොනවද තොපිට , අපිට ලැබුනේ. මේ රටට සේවයක් කොරන්ට ඉඳපු හටං කාරයෝ මැරුණ එක. ඒවා මිං මනතට ඕනැන්නේ නෑ. ඒත් තිට මා මරන්ට ඕන නම් ඉඳා මේ කලාකිරිඤ්ඤය. මේකෙන් මා ඉවර කොරාපිය. උඹ දන්නවා ඉලංගං නැතුව එක වටී පාරකින් තී එලොව යවන්ට මට පුළුවන් බව... හ්ම්ම්ම්... ගනිය මේක" එහෙම කියලා ඒකි අතට කලාකිරිඤ්ඤය දීලා මම ඒකි වැටිලා ඉඳපු තැන ඇන තියා ගත්තා. ඒකි ආවුදේ දිහා බලා ඉඳලා , මං දිහාත් බලලා "සුදලියේ මුහන්දිරම්ගේ දෝනි වෙච්චි, සුදලියේ පොඩි කුමාරිහාමි වෙච්චි මම මරුවල්ලියේ උන්ගෙන් ජීවිත දානේ අරගෙන ජීවත් වෙන්නේ නෑ බොල" කියලා එක පාරින් ඒකෙන් තමන්ගේ මර නිලේකට ඇන ගත්තා. මං මරන්න වෙසක් පෝය දහයක් බලාන ඉඳපු එකියක් වෙනුවෙන් මගේ ඇස් ගෙඩි දෙකත් තෙත් වෙන්ට පටන් ගත්තා. උඹ සුදලියේ වුනත් මම උඹට ගරු කොරනවා කුමාරිහාමි.. ඒකිත් කර තියාන ඌරා ලිඳෙන් ගොඩ වුනා.. නිමි.. ©️ සජිත රොෂාන් ..කුමාරිහාමි දෙවෙනි කියැවිල්ල ========================================== කාලෙකින් කෙලි කොරාපු හින්ද ඇඟ පතට තෙහෙට්ටුවක් දැනෙන එක මගෑරෙන්න ගත්තේ රත්කොරාපු වතුර කල්දේරමක් නෑවට පස්සේ. අපේ මුත්තගේ කාලේ, ඒ කිව්වේ අපි පුංචි සංදියෙත් හරඹ කොරලා එද්දී වෙනිවැල්ගැට දාලා රත්කොරාපු වතුර කල්දේරමකින් තමයි නාන්නේ. ඒකෙන් ඇඟපතේ රුදාව තොලොංචි වෙලා යනවා කියලා උන්දැලා කියැව්වේ. ඒ විදියටම ගිරා ඔක්කොම කොරලා තිබුනා. ගෙට ගොහින් හාංසි පුටුවේ වාඩි වුනාම ගිරා ආවේ වෙනිවැල්ගැට, කොත්තමල්ලි කෝප්පයයි , කිතුල් හකුරු කෑල්ලයි අරගෙන. ඒක බීලා අහවර වෙලා හාංසි පුටුවේ ඇන්දේ කකුල් තියා ගත්තහම ගිරා කොට බංකු කෑල්ල තියාගෙන වාඩි වෙලා මගේ කකුල් සම්බාහනය කොරන්න ගත්තා. ඒත් එක්කෝම මට කියැව්නේ අංගං කවියක්.. ඔදැතිය තෙද රාවන්නා කුඹුකන් වෙසමුනි වන්නා පුලතිසි අගතිසි උතුමා අනුහසයට අත් බැන්දා.. ඊට පස්සේ අත්, ඊට පස්සේ ඉහ. සම්බාහනය කොරද්දී මට නින්ද ගියා. "පොඩි එකා නැගිටපිය" "අප්පච්චී" "බලාපිය තොගේ අත් පා හොර වෙලා තියන තරම. තෝ මරුවල්ලියෙද ? තොට හරි හැටි පිම්මක් පැන ගන්න බෑ දැන්. තොට නේද ගුරුමුස්ටියක් නැතුව මම සාත්තරේ දුන්නේ. තෝ ඔහොමද බොල ඒ සාත්තරේ රකින්නේ.. තෝ දන්නවද
තොට හටනට අභියෝග කොරන්නේ කවුද කියලා.. ඒ සුදලියේ මුහන්දිරම්ගේ ලේ කකියන පොඩි ඇත්ති. තොට මං කියලා දීපු හැම එකක්ම ඒකිත් දන්නවා බොල. ඒකි වෙසක් පෝය නමයක් පුහුණු වෙලා ඉන්නේ අපේ පරම්පරාවෙන් පලිගන්න.. තෝ කබරා වගේ නිදාගිය. ඔය කෙලි කාරියෝ කියන්නේ සෙල්ලම් උන් නෙමෙයි බොලන්. උන්නේ ඇඟ පත හයි හත්තියට වඩා තියෙන්නේ මනසේ හයිය. උස්සාහය. තමන්ගේ උන් වෙනුවෙන් මරාගෙන මැරෙන ගතිය. උන්ගේ අතින් තමයි බුදුන් බුද්ධත්වයට පත් වෙද්දී කිරි පිඬු පිදුවේ. එහෙව් අත්වල තියෙන්නේ මහා අත්ගුණයක්. එහෙව් හස්තයකින් නිලයක් ඇල්ලුවොත් ආයේ නැගිටිනවා බොරු. එකදාස් පන්සිය හැට දෙකේදී සීතාවක අල්ලා ගන්න පරංගි එන වෙලාවේ ටිකිරි කුමාරයා ඒ හටන කරට ගත්තා. ඒ වෙලාවේ තොපේ මුත්තලා , නත්තලා ඔක්කොම ටික හටනට ගියා. ඒ වෙලාවේ ටිකිරි කුමාරයගේ ආරස්සාවත් බලන්න භාර වුනේ මේ මරුවල්ලියේ අපිට බොලං. අපි භාර ගනිපු රාජකාරියක් මග හිටෝලා නෑ. අන්තිමට මුල්ලේරියා වෙල් යායම පරංගි ලේ වලින් හෝදලා ආවේ. පරංගි ආවම තුන් පැත්තකින් වට කොරාලා පාරා වළලු, සක්කාරම් වළලු , ගිනි විදීම් එක්ක උන්ට කෙටුවේ. නිකං නෙමෙයි අපි ඒවා කොරේ. ඒ කොරෙත් බොට උගන්නපු කුණ්ඩලිනී යෝගයේ ආනුභාවෙන්. දොඩම්පේ ගණිතයා උන්නාන්සේ කුණ්ඩලිනී යෝගය ප්‍රෙගුන කරාලා අනාගතේට ගොහිං පරංගි එන විදිය බලාලයි හටන සැලසුං කොරේ. එහෙවු වටිනා කුණ්ඩලිනී හාත්තරේ තොට දුන්නේ හාංසි පුටුවට වෙලා නිදිකෙලින්නද යකෝ. එදයිං හටන ඉවර වෙලා එනකොට ගමේ පරංගි දහයක් පතබෑවිලා. ඒකෙන් තුන් දෙනෙක් කාලක්‍රියා කොරලා. ඉතුරු උන් අත පය හොලවන්න නොහැක්කෙන්, ඇවිදගන්න නොහැක්කෙන් වැටිලා. තෝ දන්නවද මොකදෑ වුනේ කියලා එතැන. අපි හටනට ගිය අතරේ පරංගි ගොල්ලක් ගමට පැනලා ගෑනු විතරක් ඉන්න නිසා. උන්ට ඔය ආකාරෙන් විඳවන්න උනේ තොපේ මී ආත්තා නිසා. උන්දෑ ගෑනියෙක් වෙලත් අර පිරිමි දහයක් බිම දාලා. අන්තිමට ටිකිරි කුමාරයා පළවෙනි රාජසිංහ නමිං රජ වෙනකොට මේ මරුවල්ලියේ පරම්පරාවට ගංවරයක් තෑගි ලැබුනා. ඒකේ තමයි තෝ මේ නිදි කෙලින්නේ.. ඒ පරංගි බිම දාපු උඹේ මී ආත්තා වගේම තමයි ඔය උඹට අභියෝග කොරාපු ලමාතැනීත්. උඹ පරිස්සම් වෙන්න ඕනැන්නේ පුතා ඔය සුදලියේ පොඩි කුමාරිහාමිගේ නිළ සාත්තරෙන්. මායංගං වලින් ඒකිට කොරන්ට පුළුවන් කාරියක් නෑ. උඹට මම මහ සොහොන් දැපිල්ලේ ඉඳලා පිල්ලි යැවිල්ල වෙනකං ගුරු හරු කං දීලා තියෙන්නේ. එහෙව් එකේ ඒකිට මායංගං වලින් කොරන්නට ඇහැක් කෙං ගෙඩියක් නෑ. අනික් එක උඹට කිනිස්ස, හෙල්ල, පලිහ, කඩු , මුගුරු, යශ්ඨි වල හිටං දෙතිස් ලෝහ පතුරු වලින් තනාපු එතුනු කඩුව වෙනකං එක් විසි ඉලංගමක්ම හසුරුවන්න සිල්ප දීලා තියෙන්නේ. ඒකෙනුත් උඹ පරද්දන්න ඔය සුදලියේ බැල්ලිට බෑ. හැබැයි උන්දැගේ නිල සාත්තරේ බොහොම භයානකයි. ඒකි රඹ කඳං විනිවිදින්න ඇඟිලි හතරෙං ගහනවා. මහ පත රඹ ගස් වල එහා පැත්තෙං අත මතුවෙන්නේ. වලවු වත්තේ මියෑදුන එකාට දෑඟිලි පහර ගහලා තිබුන විදිය දැක්කනේ. ඒකි ලේසි නෑ.. උඹ කුණ්ඩලිනී යෝගේ ගනිද්දී මමත් එක්ක උඹේ කුඩප්පච්චි, මුත්තා, කිත්තා , කිරිකිත්තා, නත්තා, පනත්තා එක්ක කෝටියක් මරුවල්ලියේ උන් ඉන්නවා උඹේ සහයට. හැබැයි සුදලියේ උන්ටත් එහෙමයි. මම රෑට එනවා බොට උගන්නන්න බැරි වුන හටං සාත්තරයක් කියලා දෙන්න. මට තොට ලං වෙන්න නං හරියටම රෑ මැද මගේ සොහොන ඉහත්තාවේ කුන්ඩලිනිය වඩන්න ඕන. මගේ සොහොන ඉසව්ව සුදලියේ ලමා තැනීට බලන්න බැරුවා. ඒකෙන් මම උඹට දෙන සාත්තරේ ඒකිට ගන්න ඇහැක්කෙයක් නෑ. නැගිටපිට පරයා.. තව දපලා ඉන්නේ.." "අප්පච්චී.." උන්දෑ අවේ හීනෙන්ද , හැබැහින්ද කියන්න මට තේරුං නැතුවා. දහදිය පෙරාපු සරීර කූඩුව කර ලේන්සුවෙන් පිහිද්දී කල්පනා කොරේ ඒ දෙසාපු හැමදේම උන්දෑ ලඟ ඉඳන් දෙසුවා වායෙ හැඟෙන්නේ කොහොමැයි කියලා. මජ්ජම රැයට කිට්ටු වෙද්දී දිය කච්චිය ඇඳලා අංගං පිටිය කෙලෝරේ තියන අප්පච්චිගේ සොහොනේ ඉහත්තාවට යන්න ගත්තා. එක වරේම පිණුං කණුව උඩ ඉඳලා කලු බිලාලයෙක් ඇඟට පැන්නා. ඒ අර ඇත්ති මගේ ගමන නවත්තන්න හදන විදිය. එක මුශ්ඨි පාරෙන් ඌ මැරිලා වැටුනා. ඒ වෙලාවට ආපස්ස හැරිලා බලන්නේ නෑ. බැලුවොත් උන්දැගේ හිස ආයේ හරවනවා බොරු. මම එහෙමම ගොහින් අප්පච්චිගේ සොහොනේ ඉහත්තාවේ ඉඳලා කුණ්ඩලිනිය වඩන්න ගත්තා. මහා සද්දයක් එක්ක ගොරකා අත්තක් කඩාගෙන වැටුනේ ධ්‍යානෙට සමවදින්න ඉච්චමක් තියාලා. නෙදකින් පරයා.. මේ මහසෝනා .. මම කලින් සූජානම් කොරාපු තටුවට මතුරන්න ගත්තේ අප්පච්චිගේ සොහොනේ දැපලා. අප්පච්චිගේ මිනිය වලලාපු විදියටම හාන්සි වෙලා තටුව පපුව උඩ තියාන මතුරන්න ගත්තා. දුරුතු පුර රිවිදින අදේ නැකතින් ඉපදුන ජය සොහොන් ලැබු තැන යමි අදත් මහසෝනාගේ බිලි බල.. දුරුතු පුරේ රිවි දිනයේ උපන්නේ අදේ නැකත ජය සොහොනයි ලබන්නේ ඌරා පිටේ නැග සමයං බලන්නේ සිද්ධ මහසෝනා සොහොනට වඩින්නේ තල්ල දිගයි ගිරි ගෙන හුය කටේ යකා හෙල්ල ඇදයි අසු රියනක් උසයි යකා බෙල්ල දිගයි තනි ගමනින් ගියොත් යකා මෙපුද බලා සොහොනට එන් සොහොන් යකා.. ලේ පෙරාන මොර දමාන හඬ දමාන එම්මා මූණ බලන සුසුම් ලාන කලු වෙලාන එම්මා බඩ පලාන කැවුතු කාන ලේ පෙරාන එම්මා ගුණය සේම බලය පාන සොහොන් කාලි අම්මා.. එයිං පටං ඇරගෙන මහසෝනා මට්ටු කොරලා ඉන්න ඕන නිසා ඌට මතුරලා මහසොහොන් පිල්ලිය දෙහෝරාවකින් රාස්සිගලට ලඟා වෙන්න යවලා කුණ්ඩලිනිය වැඩුවා. කුණ්ඩ්ලිනියේ අවසාන ඉමේදී සොහොන් ගල ඈත් වෙන්න ගත්තා.. මහා ගිණි කලුවරේ විලක්කු එළියෙන් මීට පෝය තුනකට මත්තේ මියෑදුන මයේ අප්පච්චී මං ඉදිරියේ ජීවමානව ඉන්නැහේ පෙන්නුං කොරා. "අප්පච්චී" ©️ සජිත රොෂාන් .. තුන් වෙනි කොටසටකුමාරිහාමි ========== "අන්න.. අන්න.. අන්නරහේ ගෑනියෙක් තඩිබාලා හතර දෙනෙක් දපලා ඉන්නවා දෙයියෝ.. ඒ ගෑනි... හ්... ඒහ්.. ඒහ්.. ඒ... ගෑ.. නි.." "හෙමින්.. හෙමින්.. ඉස්සර වෙලා හති ඇරලා හිටපිය." "ගිරෝ..." "අපේ දෙයියෝ...." "මේකට ඔය කුන්දිරාවක් කපලා දීපිය.." "එහෙමයි.." ගිරා යන දිහාව ටිකක් බලාගෙන උන්නු මම ආයෙත් වංගියක් සේතං දිහාට හැරුණා.. "හ්ම්ම්ම්.. දැං හෙමින් කියාපිය බලන්ට." එහෙම කියද්දී මූ වලව්වේ පඩියේ වාඩි වුනා. "අපේ හාංදුරුවනේ... ඒකි රාස්සිගල කන්දේ හිටියේ. ඒ කන්දේ මුදුනේ තියන ලෙනේ හිටියේ. ඒකි කොන්ඩේ කඩා දාගෙන ඇස් වහගෙන භාවනා කොරන ගමං වායේ උන්නේ". "තොපි මක්කටෙයි රාස්සිගල ගියේ".. "වෙද ඇත්තෝ කීවා ඖසධ ටිකක් ඇන්න එන්න කියලා. ඒකට ගියේ ඕං.." "ඉතිං.." අනික් කොටහා අහන්න කලියෙං ගිරා කුන්දිරාව කපාගෙන ආවා. ඌ ගෙනැල්ලා පුරුද්දට මට දුන්නේ. "මමද යකෝ හති හැලුවේ.. ඕක දීපිය සේතංට." "එහෙමයි.." මම බලාගෙන උන්නේ එක උගුරට මූ කුන්දිරා ගෙඩිය බොන හැටි. මුගේ කට දෙපැත්තෙන් පපුවටත් බේරෙනවා. "දැන් ඕක පැත්තක තියලා කියාපිය බලන්න." කුන්දිරා කෝම්බේ පැත්තකින් තියාපු සේතං අතේ ගුලි කොරාන උන්නු සාලුවෙං කටයි පපුවයි පිහිද ගත්තා. "ඉතින් අපේ දෙයියෝ.. මේකිට මම කතා කොරත් කිසිම හැල හොල්මනක් නැති නිසා ඒකිව බය කොරන්න හිතාගෙන ලඟට ගිහින් කතා කොරා. ඒත් හෙල්ලුමක් නැති තැන කොන්ඩෙන් ඇල්ලුවා විතරයි මේකි ගැහුවා පාරක් මම ගලෙන් පහලට රූලා වැටුනේ. මේං මේ පස්ස තාම රිදෙනවා දෙයියෝ.." එහෙම කියාලා මූට වැදුන තැන පෙන්නන්ට සරං කොටේ ඉස්සුවා.. "දාපිය තොගෙ සරං කොටේ පහලට.." "අනේ .. සමාවෙන්නෝන දෙයියෝ. මට ඕන වුනේ ඒකි ගහපු පාරට නිල් වෙලා තියන එක පෙන්නන්න.. " "පස්සෙන් පහු වුන දේ කියාපිය" "එයිං පස්සේ අපි ඔක්කොම අතේ තිබිච්චි ආවුද අරගෙන නැග්ගා මේකිව කුදලගෙන එන්න". "ඉතින් ..." "ඒකිට ලං වෙන්න වත් බැරි වුනා දෙයියෝ. ටිකිරට කතා කොරගන්නත් බෑ. දෙන්නෙකුට ඇවිද ගන්නත් බෑ. ඒකි මට කිව්වා අරගෙන පල මුං තොපේ පොඩි ගුරාගේ ගාවට කියලා. ඒකයි මම දුවගෙන ආවේ." මට පහුගිය දොහේ දැකපු හීන මතක් වුනා.. අප්පච්චි ඇවිල්ලා මට කතා කොරේ ඒකයි එහෙනම්. උන්දෑ අංගං මඩුවේ හිටියේ ඒක වෙන්ට ඕන. "හ්ම්ම්.. කියාපිය තව මක්කයි කිව්වේ." "ඌට කියාපිය මම එනවා කියලා".. උන්දෑ කිව්වා. "කෝ අනිත් උන් දැන්?" "අරගෙන එනවා ගුරුන්නාන්සේ." උන් ටික පරිස්සා කොලාමයි මට තේරුං ගියේ මේක නිකං ගහපු අඩි ටිකක් නෙමේය කියලා. මේවා හොඳට සාත්තරේ දන්න අංගං කාරයෙක් ගහන අඩි ටිකක්. නිළ වලට ටක්කෙටම ගහලා තිබුනේ මුශ්ටි පාර අඩු වැඩි නොවෙන්න. එහෙම අංගං කොටන්ට එකෙක් මේ ගං හතක නැති බව මට කියන්න ඕනැන්නේ නෑ. "ගිරෝ.. ඔය ඉලත්තට්ටුව අරගෙන වර.." එහෙම කියලා මම අනිත් එකා බලන්න යද්දී එකෙකුගේ ලඟ උන්නු උන් කෑ ගහන්න ගත්තා. බලනකොට මූ ගැහෙනවා හරියට වලිප්පුව හැදිලා වගේ. මම ඌ හරවලා දකුණු කනේ ඉඳලා පහලට විපරං කොරද්දී මම ඒක දැක්කා. ඒකි හරියටම ඒ අංගං කෙටිල්ල කොරලා තිබුනා. ඒ ගහලා තිබුනේ අත දිග ඇරලා මැදඟිල්ලයි , වෙදඟිල්ලයි වදින්න. මේක පරම්පරාවෙන් පිට කිසි එකෙකුට නොදෙන සිල්පයක්. ඒකත් පරම්පරාවෙන් දෙන්නේ එකෙකුට විතරයි. මූ මගේ ඉස්සරහා මැරෙන්නයි ඒක ගහලා තියෙන්නේ. ඒකත් විඳවලා. මම කිසි කෙනෙකුට නොදැනෙන්න උගේ වේදනාව අහවර කොරලා ඌට ඊලඟ ලෝකෙට යන්න දුන්නා. මේකි මොකියක් වුනත් මට දන්නන්නයි ඒ පාර ගහලා මූ එව්වේ. අපේ පරම්පරාවේ ගුරුමුස්ටියක් නැතුව අප්පච්චි සාත්තරේ දුන්නේ මට විතරයි. අප්පච්චි නැති වෙලා පෝය තුනක් ගෙවෙනත් මත්තෙන් මේ ආපු එකී මොකීද? ආපු උන් ටික වෙදකං කොරලා යවලා මම හාංසි පුටුවේ ඈඳි ගත්තා. "ගිරෝ.. " "දෙයියෝ..." "උඹ විතරක් ගොහිං අංගම් පිටිය සුද්ද කොරාපිය. කිසි කෙනෙක් දැන ගන්ට වුවමනෑන්නේ නෑ. ඉස්සරෝම නුග බෙනේ සුද්ද කොරාපිය. හිඳපු තැබිලි තෙල් , නාග වල්ලි දලු, මල් පස් වරිගේ, පස් පංගුව , ගිණි කබල, හඳුං දර , සාම්බ්‍රානි, පහන් තිර , නැගෙනහිරින් කපපු ගොක් අත්තක්, ඒ ගහේම ඒ පැත්තෙන් කඩාපු පොල් ගෙඩියක් ගෙනිහිල්ලා තියාපිය. මේ ටික ගෙනියද්දී වචනයක් කතා කොරනවා හෙම නෙමෙයි. ඒවා ඇන්න ගොහිං පැදුරක තියලා අංගම් පිටිය සුද්ද කොරාපිය. මතක ඇතුව බඹර කොටේට කොප්පරා ටිකක් කොටලා දාපිය. තව හෝරා දෙහෙකින් මං එනවා.." කියාලා ගිරා යැව්වට පස්සෙන් පහු මම ගොහින් ඉහේ නා ග
ත්තා. අපේ අප්පා උගන්නපු සාත්තරේ, අපේ පරම්පරාවෙන් ආපු සාත්තරේ, අපේ මුත්තලා රැක ගත්ත සාත්තරේ, පර හතුරංගෙන් මේ රට බේර ගත්ත සාත්තරේ කාලෙකට පස්සේ මට උර ගාන්න වාරෙයක් ඇවිදිල්ලා. මහා රාවණා රජ්ජුරු දෙයියන්නට අංගං පහං තියන්න බෑ නොනා. මේවා අපේ මී මුත්තලාගෙන් ආපු සිරිත්,විරිත්, චාරිත්තර. අපේ අප්පච්චිගේ කාලේ ඉඳලා අපි අංගං පිටියේ හරඹ ඉගෙන ගද්දී ගිරා තමයි ඒ පැත්තකටවත් එකෙකුට නොඑන්න බලා ගත්තේ. ඊට කලින් ඒ වැඩේ කොලේ උගේ අප්පා. උන් අපිට ලැදි එවුන්. ඒ අපේ පරම්පරාවේ සාත්තරේ එළියට නොයන්න. අදටත් ඒ වගේම තමයි. මම යද්දී උන්දෑ දෙවෙනි මායිමේ ඉඳලා දියකච්චියයි, මල්වාටියයි පිළිගැන්නුවේ පුරාණ සම්ප්‍රදායේ හැටියට. එතනින් එහා පළමු මායිම වෙනකන් උන්දැලා රකින්නේ ඇහැක් වගේ. මම ගොක් කොලේ අරගෙන පහන් පැළ වියලා ඉවර කොරලා කණු තුන ඇහැලා නැගෙනහිරට හිටින්න හිටෝලා රාවණා දෙයියංට පහන පත්තු කෙරුවා. ගිණි කබලට හදුං දර දලා දුං අල්ලලා සාම්බ්‍රානි ඉහලා දුං ඇල්ලුවා. ඉන්පහු බෙනේ ඇතුලේ තියාපු අංගං දේව රූපේ, නැත්තං රාවණා දේව රූපෙට දුං අල්ලලා, පහං පත්තු කොරලා , මල් පස් වරිගේ පුදලා, ඖසධ පූජා කොරලා උන්නාන්සේ නමස්කාර කොරලා ඒ පහනෙන් තවපු නාග වල්ලි කොලෙන් ඇඟ මැදගත්තා. ඔක්කොටම කලින් කොරන්නට ඕන ඔය ආපු එකී මොකීද බලන එක. ඒක එහෙම ආවට ගියාට කොරන්නට බෑ. ඒකට ප්‍රභාස්වර දැහැන, කාල මූල දැහැන , කුණ්ඩලිනී මූලාශ්‍ර දැහැනට සම වදින්ට ඕන. ඊට පස්සේ තමයි ඒ ඉසව්වට පවා හිතෙං ගමං කොරන්ට පුළුවන්නේ.. හිත එකඟ කොරාගෙන දැහැනට සමවදින එක ලෙහෙසි කාරනාවක් නෙමෙයි. ඒකට මලගිය ඇත්තෝ බාධා කරන්ට එනවා. අපිට පක්ස පරාණ කාරයන්ට අපි කතා කොරන්න කලියෙන් නවත්තන්නයි මුන්ට ඕන. විසේසෙං රිටිගල ජයසේනයා නැත්තං මහසෝනා එක්ක කොරන්ට අමාරුයි. ඒත් කොහොමිං හරි ඒ ටික පහු කොරාම අපේ හටං පරම්පරාවේ මිය ගිය ඇත්තන්ට කතා කොරන්ට හැකි වෙනවා. උන්දැලාගේ හත්තිය මට ගන්ට හැකි වෙනවා. ඕන එකෙකුට මට ඒක දෙන්ට හැකි වෙනවා. ඒ තැන තමයි මට කුන්ඩලිනී සක්තිය එන තැන. ඔව්.. මම ඒ තැනට ආවා. රාස්සිගලට මං මගේ මනසිං ගමං කොරා. ඉන්නවා ඒකි. කොන්ඩේ දිගයි නිතඹෙං පහලට. පිරිමියෙක් වායේ පලල් උර පතු. ඒකි එරමිණියා ගොතාගෙන උන්නත් කියත හැකි ඒකි රියං තුනකට අඩු නොවෙන්න උහයි කියලා. ඇඳලා උන්නේ සුදු හැටෙයි, සුදු දෝතියයි. මූණ බලන්න උස්සහ කොරාට බලාගන්ට බෑ. එක පාරට ඒකි ඇස් ඇරලා මා දිහා බැලුවා. ඒ ඇස් වලින් ගිණි පිඹිනවා වායේ. ඒකිගේ ධ්‍යාන මට වඩා බලගතුයි වගේ. ලං වෙන්ට අමාරුයි. මම ඒකිට කතා කොරන්න උස්සහා කොරා.. "තී කවුද?" "තගේ මාරයා.." "මගේ මාරයා තී නෙමෙයි කියන එක කුණ්ඩලිනී සත්තිය තියන මම වගේම තීත් දන්නවා. මම මැරෙන විදිය මම බලලා තියෙන්නේ. ඒ මැරෙන්නේ ගෑනියෙක් අතින් නෙමෙයි." "එහෙනම් බලාගෙන හිටපිය. මම සුදලියේ මුහන්දිරම්ගේ දෝනියැන්දා. තොපේ මරුවල්ලියේ මහ එකාගේ ඉලංගං පාරකින් මියෑදුනු මයේ අප්පගේ දෝනි.. සුදලියේ පොඩි කුමාරිහාමි මම. මේ කාලේ එනකන් මම වෙසක් පෝය නමයක් ගෙව්වා. මේ වෙසක් පෝය තමයි දවස. බොට පුළුවන් නම් බොගේ සාත්තරය පෝය ගෙවෙන්න මත්තෙන් වෙන එකෙකුට දීපිය. අංගං , ඉලංගං, මායාගං ඔක්කොම එක්ක.නැත්නං මරුවල්ලිය මේ වෙසක් පෝයෙන් අහවරයි." මම ඒකිට කියන්ට ඕන දේ කියන්ට තනද්දී ඒකි නොපෙනී ගියා. ඒකි කුණ්ඩලිනී යෝගය ප්‍රගුණ කොරාපු එකියක්. මායගං ප්‍රගුණ කොරාපු එකියක්. හොඳයි බලමු.. මගේ අප්පා මරුවල්ලියේ මුහංදිරම්.. උන්දැගේ සාත්තරේ එක එක මාත්තරයක් අඩු නැතුව ගනිපු එකා මම. සුදලියේ මුහංදිරම්ට බිලාල පැනිල්ලෙං පිමි තුන පැනලා නාග කෙටිල්ලෙන් මාරාන්තික නිලේට ගැහුවේ වරු හයක් එක තැන ගූ, හුලිජ්ජ ගහගෙන මැරෙන්ට. එහෙව් රණ සූරයගේ ලේ ධාතුව මම. මං දැහැනිං මිදිලා හරඹ පුහුණු වෙන්ට නැගිටිනකොටම බඹර කොටේ මහ සද්දයක් එක්ක කැරකෙන්ට පටන් ගත්තා. ඒකි එහෙනම් මායංගං වලින් කොරන්ට වගේ තනන්නේ. මම පොල් ගෙඩිය අතින් ඇස්සේ ඇල අත් පාරවල් හතරෙං. ඒ ගත්තු පොල් ගෙඩිය අපේ මිය ගිය හටං පරපුරේ මී මුතුන් මිත්තෝ සිහි කොරලා නළලේ ගහලා බිඳලා රාවණා දෙයියන්ට භාර කොරද්දිම ඒකිට භූමියේ රැදෙන්ට බැරි වුනා. මායංගං වලින් ආවොත් ඒකි පරදින එක විගහට වෙන එක විතරයි වෙන්නේ කියන එක ඒකි තේරුම් ගන්ට ඕන. අපිට සිල්පේ දුන්නේ වේලාපත්කඩ බලලා, නැකැත් හදලා, රාවණා දෙයියන්ට භාර වෙලා, මිය ගිය අපේ පරපුරේ ඇත්තන්ට භාර වෙලා. එහෙම දුන්නේ වෙදකම, නිල සාත්තරේ විතරක් නෙමෙයි, අංගං, ඉලංගං, මායාඅංගං, හේවා අංගං, ඉලංගක්කරකං වගේම මන්ත්‍ර සාත්තරේත් දීලා තියෙන්නේ. ඒවා මේ මරුවල්ලියේ පරම්පරාවට ඇරෙන්න එකෙකුට කොරන්න ඇහැක් හපංකං නෙමෙයි. මම වවුල් අමුඩෙයි මල්වාටියයි ඇඳලා අප්පච්චිගේ සොහොන දිහාවට වැඳලා අංගං පිටියට බැස්සා.. ©️ සජිත රොෂාන් .."මට ජීවත් වෙලා ඉන්න හිතෙන්නෑ ඩොක්ටර්.. මට.. මට හිනා යනව. වෙලාවකට අඩ අඩ මන් හිනා වෙනව. මන් පිස්සෙක්.." "පුතා..අපි කතා කරමු.." "පිහි තුඩකින් පපුව හාරනව ඩොක්ටර්.. මෙතන රිදෙනව. මේ දැනුත් මේ මෙතන අස්සෙ හාරනවා.. මන්.." "පුතා මිනිස්සු ජීවිතේට එනව මිනිස්සු ජීවිතෙන් යනව. ඒක අපිට නවත්තන්න බෑ.." යටි ගිරියෙන් කොන්ඩෙ ඇදන් කෑ ගහන එක කොල්ලෙක් වාට්ටුවෙ අය එකතු වෙලා යකඩ ඇදක ගැට ගහනව.. ඉකි ගහ ගහ අඩ අඩ කැරකෙන ෆෑන් එකක් දිහා බලන් එක පාරට ඌ හයියෙන් හිනා වෙනව. නෑ අයෙත් අඩනව "මොකද වෙලා තියෙන්නෙ ඩොක්ටර්.." ලස්සන නර්ස් කෙනෙක් ඩොක්ටර්ගෙන් අහනව. හුස්ම හයියෙන් හෙලද්දි රැළි වැටුන නළලෙන් ඩොක්ටර් පුටුවක් පෙන්නනව. "මේකෙ විස්‍තර තියෙනව.." ටිකකින් ඩයරියක් නර්ස් අතෙන් තියෙනව. රෝස පාටින් රබර් බෑන්ඩ් එකක් දාල ඒ බෑන්ඩ් එක ගලවද්දි පොතේ කොල එකින් එක පෙරෙලෙනව. "මන් දැකපු ලස්සනම හිනාව. ඇස් කොනින් බලද්දි මට මොකක්දෝ වෙනව. ඒත් අහන්න බයයි. " මුන්ට හිනවක් ගන්න නර්ස් ඊලග පිටුව පෙරලනව. "කොල්ලෙක් නෑලු.." එකින් එක පිටු පෙරලද්දි සමහර පිටුවල සින්දු හාර්ට් සමහර පිටු හිස් "ඔය තෙමිල තියෙන්නෙ කදුළු වලින් ඒ පිටුව. " ඩොක්ටර් හින් කියනව "යාළුවෙන්නත් කලින්ම.." "යාළුවෙලා නෑ අද වෙනකන්.." "එහෙනන් අර පිස්සුවෙන් කෑ ගහන්නෙ.." "පෙරලන්නකො.." නර්ස් ආයෙත් පෙරලනව. "කොල්ලෙක් ඉන්නවා. " "කොල්ලෙක් ඉන්නව. ඒ උනාට මන් ආදරෙයි. සමහර විට ලව් එක නවතීව්" "දෙන්න අත් අල්ලන් යනව දැක්ක. මට දුක හිතුන. එක අතකට මන් පව්. එයා මන් ආදරෙයි කියලවත් දන්නෑ.." හිනාවෙන නර්ස් ආයෙත් පිටු පෙරලනව "මන් ගිෆ්ට් එකක් ගත්ත එයාට.ඒත් බයයි දෙන්න.." හිස් පිටු දෙකකට පස්සෙ තව පිටුවක් තිබ්බ. "විසික්කරාට කමක්නෑ ළමයො. මන් ඔයාට ආදරෙයි. ඔයා ඒ රෝස මලට වඩා ලස්සනයි.." "බැන්නට කමක්නෑ.. මන් බලන් ඉන්නන් මට බලන් ඉන්න පුලුවන්.." ආයෙත් නර්ස් ඩොක්ටර් දිහා බලනව. මෙතනින් පස්සෙ මොකුත් ලියල නෑනෙ.. නර්ස් ඩොක්ටර්ගෙන් ඇහනව. "ඒ කෙල්ල පෙරේදා ඇක්සිඩන්ට් වෙලා නැති වෙලා.." "මොකක්.." "මේ කොල්ල ඒ ටෙන්සන් එක දරාගන්න බැරුව පිස්සු හැදිල.." "දෙයියනේ." "කෙල්ලගෙ කොල්ල මලගෙදර ඇවිත් මිනියට වැදල ගිහින්. ඒත් මූ පිස්සු හැදිල අද මෙහෙ.." "පුදුම කොල්ලෙක්නෙ.." "ඔව් පුදුම එකෙක්.. මන් හිතන්නෙ ඌ ඇත්තටම ආදරේ කරල.." "ඒ උනාට යාළු වෙලත් නැතුව.." "මිස් දන්නවද.. සමහරු අයිති උන්නැති උනාම අතාරිනව. සමහරු අඩල අඩල කාලයක් යද්දි හිත හදාගන්නව ඒත් සමහරු ඒ මතකයන් අස්සෙම මැරි මැරි ඉන්නව. උන්ට හිත හදාගන්න තේරෙන්නෑ. මොකද උන් අත් හැරල නෑ.. හරියට මූ වගේ.." ඩොක්ටර් කියද්දි නර්ස් ආයෙත් ඒ මූන දිහා බැලනව.. "ඩොක්ටර්.. අනේ ඩොක්ටර්.. එයා මට කතා කරා.. මේ දැන් එයා මට ආදරේ කිව්ව. මට යන්න දෙන්න ඩොක්ටර්. එයා ගවට යන්න දෙන්න.. ඩොක්ටර් අයියෝ අහන්න ඩොක්ටර්.. අයියෝ.. එයා ඇත්තටම ආදරෙයිලු.. මේක ලෙහන්න ඩොක්ටර්. ඩොක්ටර් එයා කතා කරනවා..." ඒ කෑගැහිල්ල විතරක් හයියෙන් ඇහෙනව.. ඉතින්. මගෙ මිත්‍රයා.. ජීවිතේ සමහර කාර්තුවල මිනිස්සු අපෙ ජීවිතේට එනව ලස්සන මතක ඉතුරු කරම ආයෙත් යන්න යනව.. ඒත් ඒ මතක අපි ලග තියන් අපි තවමත් ඒ මිනිස්සු හොය හොය වෙහෙසෙනව ඔව් අපි ඒකට ආදරය කියනවා.. ඒත් සමාජය එහෙම උන්ට පිස්සො කියනවා... ...Lahiru Milan... මොනව හරි ලියන් යන්..••••ඔබ වෙනුවෙන්••• කෙටි කතාව------- දෙහිවලින් දුම්රියට නැග හිස් අසුනක වාඩී වූ නෙතුලි සිටි මැදිරියේ දෙතුන් දෙනෙක් පමණක් සිටි අතර ඇය හිස ඔසවා නිකමට හෝ ඔවුන් කවුරුන් දැයි කියා බැලීමට උත්සුක නොවීය . දුම්රිය වේගයෙන් මුහුදු බඩ මාර්ගය දිගේ දිව යයි..ඈ නෙතට කදුලක් ඉනීමට හේතු කාරණා බොහෝමැයි... සතුටින් දවස ගෙවා රාත්‍රිය ගත කිරීමට අපායට යනවා වැනි හැගීමක් ඇයට දැනෙනවාට සැක නැත එක්වරම දෙනෙත් ඉදිරියේ කුඩා කඩදාසි බෑගයක් දිස් උනි.. "කන්න වඩේ එකක්..." කවුරුන් හෝ ඈ ඉදිරිපස අසුනේ සිට දිගු කලේය.. "තෑන්ක්ස් එපා..." යැයි කියමින් සිය නෙතු මුහුදු තීරය වෙත යොමු කලාය.. එක්වරම ඒ පුද්ගලයා ඈ අසල අසුනට පැමිණ හිදගෙන සිනාසෙමින්...කෑවේ නැත්නම් කවනවා යැයි මහ හඩින් පැවසුවේය.. කෝපයක් හට ගැනුනත් ආයාසයෙන් එය යටපත් කරගෙන.. " මම වඩේ කන්නේ නැහැ..." යනුවෙන් ඔහු දෙසවත් නොබලා නෙතූ පැවසුවාය .. "එතකොට දෙහිවල හoදියෙන් යාලුවා එක්ක අර බාර් එක ලග තියෙන කරත්තෙන් අරන් කෑවේ වෙරළු අච්චාරුද ? සිනහව නවතා ගත නොහැකි විය. "මම අද වඩේ කන්නේ නෑ...එදා කෑවා කියලා අදත් කන්න ඕනී කියලා නීතියක් නැහැනේ... " ඈ ඔහු දෙස බලා පැවසුවාය දෙවියනේ බොහෝ කඩවසම් පියකරු තරුණයෙක්..ඇගේ හිත පුරා අමුතුම මිහිරක් පැතිර ගියේය 'හෝ...හෝ වචන මාරු කරන්න එපා සුදූ ඔයා කිව්වේ මම වඩේ කන්නේ නැහැ කියලා..." සුදූ... ඒ වචනයෙන් තිගැස්සී ගියමුත් එය නොපෙන්වා වඩයක් අතට ගත් නෙතූ.ලැජ්ජාවෙන් මෙන් තැන්කියු යැයි පවසන්නට නිහතමානී විය. "සොරි... "ඔහු ඉතා සෙමින් පැවසීය.. ඇයි??? ඈ ඔහු දෙස බලා විමසුවාය. "එකපාරටම කිය උනා සුදූ කියලා.." නෙතූ විමතියට පත් වුයේ ඔහු තමාගේ සියුම
් ඉරියව් පවා මෙලෙස නිරීක්ෂණය කරන්නේ කෙසේදැයි යන සිතුවිල්ල නිසාවෙනි... "ඔය කට වහගන්න සුදු... මැස්සෝ යයි" කියමින් සිනාසෙන්නට විය..ඇයට ද සිනා පහල උනි... "ලස්සනයි.... "ඔහු ඈ දෙසම බලාගත් වනම පැවසීය... මේ සොදූරු යුවතිය කවුළුවෙන් ඉවත බලාගත්තේ හිතේ සතුට උතුරා ගලා යද්දීය.... "මාස හයක් ඉන්න උනා ඔය මූනේ මම නිසා හිනාවක් බලන්න.." ඒ වදනින් තිගැස්සී සැනෙන් ඔහු දෙස බැලූ ඈ ... නෙත් දුටු ඔහු වශී වී ගියේය "ඒකත් හරි කියමුකෝ..බොරුවට බoගේ නැගැලා රාගම වෙනකල් ගිහින් ආපහු ට්‍රයිශෝ එකක් දාගෙන දෙහිවලට එනවා...අප්පේ මට වෙච්චි දෙයක්.." ඈ ඔහු දෙස බලා කට අරින්නත් පෙර ' ඔයාට පිස්සු ද ඔයා කවුද මොකටද මගේ පස්සෙන් එන්නේ ඕකනේ අහන්න ඉන්නේ...' දෙදෙනාම මහ හඩින් සිනාසුනෝය. "මම අවිශ්ක සෙනරත් වයස අවුරුදු 33 පදිoචිය දෙහිවල නැදිමාලේ පවුලේ එකම දරුවා වෘත්තීයෙන් ව්‍යාපරිකයෙක්....ම්...ම්..තව... ආහ් අමතක උනා අවිවාහක කඩවසම් තරුණයෙක්..." නෙතූට සිනහව නතර කෙරුමට නොහැකි උනි... "ලස්සනයි නෙතු..ඔයා හිනාවෙද්දි ඩිම්පල් එක නිසා මාර ලස්සනයි.... " ඔහු ඈ දෙස බලාගත්වනම පැවසීය.. නෙතූ වහා බිම බලගත්තේ වමතේ වෙදගිල්ලේ වූ මුදුව දකුණතින් වසා ගෙනය...ඈ එසේ කලේ මන්දැයි ඈද නොදත්තාය... "සුදූ අහන්නේ නැද්ද කොහොමද ඔයා මගේ නම දන්නේ කියලා..ම්.." "මාස හයක් පස්සෙන් ආවා නම් ඕක හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි දිනුගේ කටේ තියෙන්නේ මගේ නම නේ කොයි වෙලෙත්..නෙතූ" ඈ. දොඩමළු විය. "හා...මගේ බස්සිට කතා කරන්නත් පුලුවන්..." කියමින් අවිශ්ක සිනාසුනේය ... අමනාපයක් මවාගෙන.. "බස්සි... ඔයිට වඩා ලස්සන කුරුල්ලෙක් හිටියෙම නැද්ද? නෙතූ හෙමිහිට මිමිණුවාය. ඔහු සිනාසෙයි නොනවත්වාම සිනාසෙයි ඈ සෙමින් ඔහු කෙනෙත්තුවාය.. "ඌයි...ආහ්...අම්මෝ කොටිදෙන..." ඔහුගේ හඩට අවට සිටි අයවලුන් අප දෙස බැලීය.. අවට පරිසරය පිලිබදව දෙදෙනාටම සිහි වුයේ එවිටය.. දෙවියනේ.... මිනිස්සු මොනවා හිතන්න ඇද්ද චී චී මම කසාද බැදපු ගෑනියෙක් මොකද්ද මේ මට උනේ. එක්වරම නෙතූගේ කන අසලටම ලo වී "සුදූ මේ ගොල්ලෝ හිතන්නේ ශා.. නියමෙට මැච් වෙන කපල් එක.. හැබැයි මෙතන ඉන්න ලස්සන කෙල්ලෝ හිතන්නේ අර කොල්ලට මීට වඩා ලස්සන කෙල්ලෙක් හොයාගන්න තිබ්බා අපරාදේ කියලා.." "ඉතින් හොයාගන්න එපැයි මොක..." එක්වරම හැරුනූ නිසා දෙදෙනාගේ මුහුණු එකිනෙක පරතරය නූලක තරම් දුරින් වන තරමට ලoවීම නිසා අපහසුතාවයක් දැනුනි... "කියන්න ඉතුරු ටිකත්..ම්..මොකෝ නැවත්තුවේ" ඔහු මා කෙහෙරැලි දෙකන් පසුපසට කරමින් විමසීය.. ඇගේ ගත කිලිපොවන්නට ඒ ස්පර්ශයන් සමත් විය.. "අවිශ්ක... මේ ට්‍රේන් එක.. මිනිස්සු ඉන්නවා එහාට වෙන්නකෝ" ඈ හෙමින් කෙදිරුවාය... "හිටපුදෙන් මට මොකෝ ම්... මම වැරදි දෙයක් මේ කරන්නේ කියලා ඔයයි මමයි විතරයි දැනට දන්නේ..." 'අවී ප්ලීස්... "ඇගේ හඩ හැඩුම්බර විය ප්ලීස් අඩන්නේ නැතුව ඉන්න කෝ ඉතින්.. මම ආවේ අඩවන්න නෙවෙයි හිනස්සන්න..කෝ දැන් බහින්නත් ලගයි...කෝ ඉතින්.. දමා යා නොහැකි යමක් රාගම දුම්රිය පලේ දමා යනවා වැනි හැගීමක් හදේ ගැඹුරුම තැනට දැනෙද්දී නෙතූ අවීගෙන් සමුගෙන පැමිණියාය.. "චිප්..චිප්..කොච්චර එලෙව්වත් මේ මූසල බැල්ලී මේ වත්තටම රිoගනවනේ... ෂිහ්...." කියමින් උදාරගේ අම්මා වතුර ගසමින් කලක් මෙහි ආදරයෙන් හදා වඩා ගත් බූලා නැමති බැල්ලිය එලෙව්වේ තමාට අපහාස කරමින් දෝ යැයි සිතුනේ පලමු වරට නම් නොවේ... කිසිවක් නොදැනුන ගානට කාමරයට යෑමට ආ මුත් දොර අසලම නැවත්තුනේ ඇතුලින් ඇසුනු උදාරගේ මත් වූවාක් වැනි ස්වරය නිසාය.. "දන්නවා රත්තරනේ ඔව් මැනිකේ මට මේ දුන්නා වගේ තව ටික කාලයක් දෙන්න....හරි හරී මටත් ඉන්න බෑ වස්තුව හා හරි මේ වීකෙන්ඩ් එකේ නුවර යමු ම්.... හරි දැන් නෙතුලි එන වෙලාව තියන්නම්..ම්...මාත් ආදරෙයි ගොඩාක් මගේ මැණිකට...උම්මා...හ්.." "දෙවියනේ.... ඈ කාමරයට නොයා අසල සෝපාවෙන් හිද ගත්තාය ... කදුලූ ගලාගියේ ඇයටත් නොදැනීමය... "යා දෙයිද ඉතින් මේ ගෙවල් වලට ගෙට ආපු ගමන් ගේ මැද්දේ ඉදන් මූසල කමට අඩනවා...හනේ අප්පේ මායි කොල්ලයි එකතුවෙලා ලොකු පවක් කරලා මෙහෙම විදවන්න..." "මොකද්ද ඕයි..මේ වදේ කනක් ඇහෙන්න නැහැනේ..උදාරගේ තාත්තා එසේ කියමින් පැමිණි අතර මා දැක මේ....ඔය ලමයත් ආවනම් කාමරේට ගිහින් වැඩක් කරගන්න ඇත්ත තමයි මේක මහ කරුමයක්... " කියමින් එලියට ගියේය.. වයස විසි හයක් වන නෙතුලි උදාර හා විවාහ වූයේ වසර දෙකක පෙම් සබදතාවයක් මත ඇගේ දෙමාපියන්ගේ දැඩි විරෝධය මැද්දේ තනි කැමැත්තටය.. විවාහ වී වසර දෙකක් ඉක්ම වුවද ඇයට දරුඵල නොමැති හෙයින් උදාරගේ මවගෙන් පැමිණි නින්දා අපහාස ගැරැහිලි මැද්දේ දිවි ගෙව්වේ උදාර ඇගේ තනියට සිටි නිසා මුත් දැන් දැන් ඔහු ද මව මෙන් ඇය නොසලකා හරින්නට පටන් ගෙන ඇත. "පුතේ....ඔය කුමාරිහාමිට කියන්න ඇවිත් මට මේ උයන්න උදව් කරන්න කියලා....." "මොකද්ද නෙතු මේ කරුමේ යනවකෝ කුස්සියට සැනසිල්ලක් නැහැනේ මට...මේක නම් කරුමයක් මගේ.." ඈ මුවින් නොබැන කුස්සියට ගියේ මිහිපිට අපායට යන්නාක් බදු හැගීමෙනි.. "මොනාද අම්මා කරන්න ඕනී... පොල් ගාන්නද? "අපෝ මේ පොල් බෑය දෙකට කඩලා දායි මම පොල් ගා ගත්තා..අන්න අර එලියේ ටැප් එක ලග තාත්තගෙයි මගෙයි ඇදුම් පෙගෙන්න දාලා ඇති හෝදලා දාන්න මගේ මේ කොන්දේ කැක්කුමක් ඇවිත් හරිම අමාරුයි හිතේ හයියට වැඩ කරන් ඉන්නවා..." කිසිවක් නොපවසා එලියට පැමිණි නෙතූ හට රෙදි බාල්දිය දැක හීල්ලුනි.. එහෙත් කරබාගෙන රෙදි සෝදන්නට පටන් ගත්තාය .. මදුරුවෝ තලමින් කදුලු වගුරවමින්‍ රෙදි සේදු...ඇයට ගෙදර සිහි උනි.. කිසිදා තමාගේ රෙද්දක් හෝ සෝදා ගෙන නොමැති තමා මෙසේ දුක් විදින්නේ ඇගේ වැරැද්දෙනි.. මේ සියල්ල පවසා මව පියා වෙත ගියත් ඔවුන් පැවසුවේ නoගීට හා අය්යාට ලැජ්ජ නොකර ඇගේ ප්‍රශ්න මට විසදා ගන්නා ලෙසත් කසාදය අතහැර ගෙදරට නම් නොඑන ලෙසත් ය. රාත්‍රී නින්දට යද්දී වේලාව එකොලහට ආසන්න වුයේ රෙදි සෝදා කෑම කා කුස්සිය අස්පස් කල හෙයිනි... පාන්දරින් අවදි වූ නෙතූ නිවසින් පිට වූයේ මිටින් මුදාහැරි කුරුල්ලෙක් විලසිනි.. 'නෙතූ... අම්මෝ කෙල්ල හරි සතුටින් මොකෝ ම්..." දිනූ අනේ..හ් කියන්න ලොකු විස්තරයක් තියෙනවා.... "අම්මෝ මොකද්ද අප්පේ කෙල්ලගේ මූනත් එලිය වැටුනා...මොකෝ උදාර වෙනස් උනා ද? ඒ.. සතුට හිරු දුටු පිනි සේ වියැකුනි. "සොරි කෙල්ලේ කෝ කෝ කියපන් මොකද්ද? එක හුස්මට පෙරදා සවස වූ සිද්ධිය විස්තර කලාය.. දිනූ කල්පනා මුහුණින් සියල්ල අසා සිටියේය... "නෙතූ...උබේ ඔය සතුට විනාශ කරන්න මම ආස නෑ හුග කාලෙකින් ඔය මූනේ සතුටක් දැක්කේ..ඒත්.බන් පරිස්සමට කවුද දන්නේ මොකෙක්ද කියලා අන්තිමට ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයි..මේ ඌ දන්නවද උබ බැදලා කියලා.? "ඇහුවේ නැහැ..එත් ඔච්චර මාව ෆලෝ කලා නම් දන්නවා ඇති නේද බන් අනික මුද්ද?දකින්න ඇති නේ බන්" "බිස්නස් කිව්වා නේද කරන්නේ?? උබ ඇහුවද මොන බිස්නස් ද කියලා" "එච්චර ලo උනේ නෑ බන් අද අහගන්නම්.." "හා එහෙමද.එච්චර ලoවෙලා නැහැ හැබැයි අදත් දකින්න කල්පනාව..." ඈ කිසිවක් නොකියා බිම බලාගත්තාය . "අනේ උබට දුක හිතුන ද සොරි කෙල්ලේ මොනා උනත් පරිස්සමින් මට උබට අවවාද දෙන්න පුලුවන් ඒත් ජීවිතේ අන්තෙටම වැටිලා මැරෙනවා නම් හොදයි කියලා හිතෙන උබට කොහොම කියන්න ද ඕක අතාරින්න කියලා මොනා උනත් පරිස්සමට..." හ්ම්ම්...දීර්ඝ සුසුමක් හෙලා නෙතූ ලය සැහැල්ලූ කර ගත්තාය .... දෙහිවල පිහිටි සුප්‍රසිද්ධ ඉදිකිරීම් ආයතනයක පෞද්ගලික ලේකම්වරියක් ලෙස කටයුතු කරන නෙතූ සේවයට බැදුනේ උසස් පෙල අවසාන වෙත්ම පියාගේ දැන හැදුනුම්කම මත ලිපිකාරිනියක් ලෙසිනි.. බොරලැස්ගමුවේ උපන් ඈ කොලඹ ප්‍රසිද්ධ පාසලකින් අධ්‍යාපනය ලැබුවාය.. විවාහ වුවද ඈ රැකියාව කලේ ඉහල වැටුපක් ලබන හෙයිනි..උදාරගේ පියා රාගම රෝහලේ සේවය කරන නිසා ඔවුන් රාගම නගරය ආසන්නව කුලී නිවසක ජීවත් වේ.. මධ්‍යම පාන්තික පවුලක එකම දරුවා උදාර වේ..ඔහුගේ මාපියන් නෙතූ හට කැමති වූයේ වත් පොහොසත් කමින් ඇය ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින නිසා මෙන්ම ඇගේ රැකියාව නිසාය.. සවස දුම්ටිය පල වෙත ගියා නොව ඉගිලුනාය..එහෙත් ඈ නෙතු අවිශ්කගේ රුව සොයා වෙහෙසුනා පමණි..ඇඩි ශෝකයෙන් නිවසට පැමිනියේ ජීවිතයම දෙහිවල දුම්රිය පොළෙහි දමා ආ ලෙසකිනි.. නෙතූ නිවසට ගොඩ නිවසට යත්ම උදාර බෑගයක් කරේ දමාගෙන පැමිණියේය.... "කොහෙද යන්නේ උදාර.." "ආහ්..මේ ඔෆිස් එකේ වැඩකට නුවර යනවා ඉරිදා රෑ එන්නේ" ඔහුගේ ගමන කුමක් දැයි දන්නා මුත් නිහඩ වූයේ තම අම්මා කියනා සේ වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා.. යන කතාව සිහි බැවිනි පුරුදු ලෙස වැඩ ඉවර කර කාමරයට පැමිණ දොර වසා ඇදට පැමිණ දුරකථනය අතට ගත් ඈ විශ්මයට පත් විය. දෙවියනේ... මිස් කෝල් තිහක්...ම්.... දන්නේ නැති නම්බර් එකක්...ඕනී නම් ආපහු ගනීනේ සිතා මුහුණු පොතට ගියාය..ටික වේලාවකින් නැවතත් දුරකථනය නාද දෙන්නට විය.... ඒ පෙර වූ නොදන්නා නොම්මරයයි... ඈ ඇමතුම හා සම්බන්ධ විය . "හෙලෝ...." "සූදූ කොහොමද අනේ සොරි රත්තරන් හවස ගොඩක් බිසී උනා ඒකයි එන්න බැරි උනේ...දැන් හිතන්නේ මගේ නොම්මරය කොහෙන්ද මූට කියලනේ.. මම එදා ඔයාට හොරා ඔයාගේ ෆෝන් එකෙන් මගේ එකට මිස් කෝල් ගැහුවා..." "කෝ මොකෝ සද්ද නැත්තේ... මම දන්නවා ඔයා අද තනියම කියලා කෝ ඉතින් කතා කරන්න කෝ..." "ඔයා කවුද කොහොමද මෙච්චර විස්තර දන්නේ???උදාර ද කිව්වේ මෙහෙම කරන්න කියලා.." "අනේ වස්තුවේ ඔයාට මම හිමින් හිමින් කියලා දෙන්නම් මම කවුද කියලා..කෝ කියන්න කෑවද?? මොනාද මැනිකේ කෑවේ...සුදූ whatsapp එන්නකෝ මට ඔයාව බලන්න ඕනී.." මෙසේ පටන් ගත් අපේ ආදර කතාව ඇ ඔහුට ඇබ්බැහි කලේය...ඔහු වෙනුවෙන් කල නොහැක්කක් නැති තරමට ඒ ආදරයට ඇබ්බැහි විය.. "සුදූ මොකද්ද බබා ඔයා අම්මලගේ ගෙදර යනවා කියලා සිකුරාදා එන්නකෝ ප්ලීස්...." ඉතින් මේ දගකාරයාට අවනත වීමට ඇය තීරණය කලාය. නිදහසේ ආදරණීය හැගුමන් මුදා හැරියාය.. එහෙත් මේ අසරණී රැවටී ඇති බව දැනෙනා
විට සියල්ල සිදු වී අවසානය... "නෙතූ මිස් ලොකු මහත්තයා කතා කරනවා.." නෙතූ මෙම ආයතනයේ හිමිකරු වන ජයසිංහ මහතාගේ කාමරයට යන විට ඔහුගේ බිරිද පුතා හා සාමාන්‍යාධිකාරී එහි විය. සැමට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කර අසුන් ගත්තාය . "කොහොමද නෙතුලි.." "හොදයි සර්..." චකිතය සමගින් ඈ පැවසුවාය.. "ම්... දුව ඔයා මේ ආයතනයේ කොච්චර කල් ද? "තාත්තී..වැල්වටාරම් ඕනී නෑ අපි කෙලින්ම කතාවට යමු..." "පුතා ඉන්න පොඩ්ඩක්... කියන්න නෙතුලි.." "අවුරුදු හයක් සර්..." බිම බලාගත්වනම පැවසූයේ දැනුනු අපහසුතාවය නිසාය "අපෙන් ඔයාට මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවද? "වහා හිස එසවූ ඈ අනේ..නැහැ සර් "හොදයි දුව මේ ෆොටෝ එකේ ඉන්න කෙනා අදුනනවද බලන්න..ං පින්තූරය අතට ගෙන ඒ දෙස බැලූ ඈ හට ට් වටේ භ්‍රමණය වන්නාක් මෙන් දැනුනි... දෙවියනේ......... අවිශ්ක කුඩා දරුවෙක් වඩාගෙන බොහෝ ලස්සන ඔහුගේ බිරිද යැයි කිව හැකි තරුණියක් තුරුලු කරන් සිටිනා චායාරූපයකි.. "ඔය ඉන්නේ R.S කන්ස්ට්‍රක්ෂන්ස් අධිපති රවිදු සෙනරත් ඔයා එයාව දන්නවද? කදුලු සලනවා හැර කල හැකි අන් කිසිවක් නැත. "ඇයි නෙතුලි ඔයා එහෙම කලේ??? මුලින් අපිට තේරුනේ නැහැ ඒත් අවුරුදු ගානක් කරපු අපේ අර ලොකුම ප්‍රොජෙක්ට් එක අපිට නැති උන නිසයි අපි සැක කලේ..." දෙවියනේ.....එතකොට....එතකොට.. අවී මට ලo උනේ මේ තොරතුරු ගන්නද???? අනේ දෙවියනේ.... ඇයි මට ඒක දැනුනේ නැත්තේ....නැහැ නැහැ අවී මට පන වගේ ආදරෙයි... ඔව් මම එයාගේ හැමදේම කිව්වා... නෑ මගේ අවී මගේ විතරමයි..... "මෙච්චරයි පුතේ ඔයා අස්වීම දීලා යන්න ඔයා හොදට වැඩ කල කෙනෙක් වගේම ඔයාගේ තත්තා මට අහක දාන්න බැරි නිසා මෙහෙම කරන්නේ...මම විශ්වාස කරනවා ඔයා රවිදු ගැන ඇත්ත නොදැනයි මේ හැමදෙයක්ම උනේ කියලා...දැන් යන්න පුතේ.." ඈ තම අසුන වෙත ආවේ කෙසේදැයි නොදනී..හිස මේසය මත ගසාගෙන හැකි තරම් හැඩුවවාය..දිනූ අසලට විත් කතා කල මුත් පිලිතුරු නොදුන්නාය ... බෑගය අතට ගෙන පිට වී දෙහිවල මුහුදු තීරයට පැමිණියාය .. මුහුද දෙස බලාගෙන හැකි තරම් හැඩුවාය..ගල්කිස්ස වන තෙක් වෙරළ දිගේ පිස්සියක මෙන් හඩමින් ඇවිද ගියාය ..සවස දුම්රියෙන් නිවසට පැමිණියෙමි... සුපුරුදු රාජකාරි නිමකොට නිදන කාමරයට පැමිණියාය "නෙතූ මට ටිකක් කතා කරන්න ඕනී" "කියන්න උදාර...."" "මේ ජිවිතේ අපි දෙන්නටම වැඩක් නැහැ අපි දික්කසාද වෙමු.." "හා ඔයා ලෑස්ති කරන්න..." කියමින් ඔහු පුදුමයෙන් ඈ දෙස බලාසිටිය දී වකුටු වී නිදාගත්තය . පසුදා අවදි වී දුම්රියෙන් දෙහිවලට පැමිණි ඈඅ2 අවිශ්ක ඇමතුවෙමි... "ඇයි රත්තරන් ඊයේ ෆෝන් ඕෆ් කරන් මම බය උනා මැණිකේ.." "ෆෝන් එක ඕෆ් උනා අවී...." "හවසට වේලාසනින් එන්නකෝ ම්.." "මම එක වෙද්දී ස්ටේෂන් එකට එන්නම් අවී" "ම්...කෙල්ලටත් මාව නැතුව බෑ වගේ හරි හරි එහෙනම් වෙලා තියෙන නිසා පුරුදු තැනට යමු" දහවල් අවීගේ රථයෙන් සුපුරුදු හෝටලය වෙතට ඔවුන් පිවිසුනහ..." කාමරයට ඇතුළු වූ විගස වෙනදා මෙන් මත් වූ බඹරෙකු මෙන් හැසිරුනු අවී සනීපයට නිදයි...මා සෙමින් ඔහු නලලත සිම්ඹෙමි..ආදරෙයි ගොඩාක් රත්තරනේ බැහැ ඔයාව එයාට දෙන්න බැහැ කියමින් කුඩා පිහිය ගෙන ඔහු ලය සිදුරු කලාය ..සිදුරු සෑදුවේ රටාවකට ... ඉන්පසු ඒ මිහිරි පානය එක හුස්මට කටේ හලාගෙන අවී බදාගෙන ඔහුගේ පපුවෙහි මුහුණ හොවා ගතිමි.. "අනියම් ඇසුර මාස කිහිපයක සිට පවත්වාගෙන පැමිණ ඇති අතර අදාල හෝටල් හිමිකරු පවසන පරිදි ඔවුන් නිතර නිතර මෙහි පැමිණ ඇත.තිස්තුන් හැවිරිදි සුප්‍රසිද්ධ ව්‍යාපාරිකවරයා එක් දරු පියෙකු වන අතර බිරිද පස්මස් ගැබිනියක ද වේ.. අදාල තොරතුරු අනුව මියගිය විසිහය හැවිරිදි තරුණිය ද දෙමස් ගැබිනියකි..මොවුන් මෙසේ...." රූපවාහිනීය අසලින් තම කාමරයට වැදුනු දිනූ දොර වසා තම දුරකථනයේ ඇති නෙතූගේ රුව දිගේ ඇගිලි ගෙන යමින්.... "හැමදෙයක්ම මට කිව්ව උබ මේ ටික මට කිව්වේ නැත්තේ ඇයි රත්තරනේ..." "ශා$ප වෙනවා..... උබව පාවිච්චි කරපු හැම එකෙකුටම ශා$ප වෙනවා....උබට රිද්දපු හැම එකෙකුටම ශා$ප වෙනවා.. උබව ම$රා ගත්තා මේ දහ$ජරා සමාජය උ$බව ම$රාගත්තා.." ඉතින් නෙතුලා තවමත් අප අතර සිටියි හැකිනම් ඔබේ බිරිද මැරෙන තුරාවට පන සේ රැකගන්න...ඇය මෙලොව වඩාත් විශ්වාස කරන්නේ ඔබවයි... ඔබේ සෙවණට පැමිණෙන ලේලිය ඔබේ දියනිය කරගන්න...ඇය රැකගන්න ආදරය කරන්න.. අවිශ්කලා අදටත් විවිධ වේශයන්ගෙන් අප අතර සිටී...වෙහෙස වු නෙතූලා ආදරණීය පුoචි වදනකින් මායාවන්ට හසු කරගනී...රැවටීම වලක්වා ගත හැක්කේ නෙතුලාටමය... දෙමාපියන් හටද වගකීමක් ඇත..හිතුවක්කාර වී තම මතයට දීග ගිය ද ඇයට ඔබ තරම් පිහිට විය හැකි කෙනෙක් මේ විශ්වය තුල නොමැත.. ඉතින් සතර බඹ විහරණ සහිත මව්නි පියාණනි ඔබේ දරුවාගේ ඉෂ්ඨ දේවතාවන් ඔබම වන්න..එවිට ඇයට අවිශ්කලා අවැසි නොවේ ... ✒️ මිහිදුම් ද්වාරදම්වැල්... දවස් දෙක තුනක් එක දිගට නිදිමරල යන්තම් ඇහැ පියාගන්න හැදුවා විතරයි. ඇදේ කෙලවරක තිබ්බ ෆෝන් එකේ සද්දෙට හැස්සිලා මම ඇහැරුනා. " සාජන් සමීර "...මං ෆෝන් එක අතට අරන් නිදිමතේම මං ඒකෙ තිබුණ නම බැලුව.මගේ ඇස් ඉබේම ගියේ යන්තමට පේන බිත්තියෙ තිබුණ ඔරලෝසුව දිහාට..වෙලාව පාන්දර හතරයි හතලිස් පහයි. "හ්ම්ම්ම්ම්ම්"...මං කෝල් එක ගත්තෙ ලොකු හුස්මක් ඉහලට අරගෙන." මොකෝ සමීර....හදිස්සියක් ද ? "...මං ඇහුවෙ එක ඇගිල්ලකින් ඇහැක් පොඩි කරන ගමන්. "ඔව්...සර්....කඩල වසන්තව හබරණ හෝටලේකදි අල්ලගෙන"....සමීර හයියෙන් කියාගෙන ගියේ ඉස්පාසුවක් නැතුව. " කෝ දැන් මිනිහ...කොහෙද ඉන්නෙ "..මං ඇහුව. " දැන් මිනිහව පොලීසියට ගේන ගමන් සර්...තව පැය බාගයක් යද්දි මිනිහ පොලීසියෙ......සර් දැන් එනව නේද..?"...සමන්ත ඇහුවෙ ඉවසිල්ලක් නැති ගානට. " හරි සමන්ත...මං දැන්ම එනව " " සර්... ජිප් එක එවන්න ද...? " එපා සමන්ත....මං බයික් එකෙන් එන්නම්" ...ෆෝන් එක කට් කරපු මං මොහොතක් ඇදේ වාඩිවෙලා හිටිය. " කඩල වසන්ත "....මං හෙමිහිට මටම මුමුණ ගත්ත.ෆෑන් එක දාල තිබුණට යන්තමට බෙල්ල දෙපැත්තට දාඩිය දාල.බෙල්ල දෙපැත්ත අතාගපු මං කෙලින්ම ඇදෙන් නැගිටලා ගියේ බාත් රූම් එකට.ඉක්මනට මූණකට හෝදගෙන යුනිෆෝම් එක දාගත්ත මං බයික් එකට නැගල ටිකක් වේගෙන් යන්න පිටත් වුණා. පොලීසියට ඇතුල් වෙනකොටම මං ඉස්සරහට දුවගෙන සමන්ත ආව. " ගුඩ්මෝනිං සර්....මිනිහව ගෙනල්ල ඇතුලට දැම්ම.." යන්තමට හිනා වෙන ගමන් සමන්ත කිව්ව. " ගුඩ් මෝනිං.....ගේනව මිනිහව මගේ රූම් එකට....මං කාමරේට ඇතුල් වෙන ගමන් කිව්ව. පුටුවෙ වාඩ්වෙලා...කැප් එක ගලවපු මම ඒක මේසෙ පැත්තකින් තිබ්බ.මේසෙ උඩ තිබුණ වතුර වීදුවෙන් උගුරක් බොන අතරෙ මගේ ඇස් ඉබේම ගියෙ ඉස්සරහ තිබුන කැලැන්ඩරේට. ෆෑන් එකේ හුළගට කැලැන්ඩරේ පිටු එහෙට මෙහෙට පැද්දෙනව.මං මොහොතක් ඒක දිහා බලන් හිටිය. මොහොතකින් දොර ඇරගෙන කාමරේට ආවේ සමන්ත..සමන්ත පිටිපස්සෙන් අත් දෙකට මාංචු දාපු වසන්ත එක්ක තවත් නිලධාරීන් දෙන්නෙක් ඇතුලට ආවා. වසන්තගෙ මූණ දිහා බලල ඉස්සරහ තිබ්බ පුටුවෙන් වාඩි වෙන්න කියල මම ඔලුවෙන් කිව්ව. " මූණ පුරා රැවුල වැවිච්ච....කෙට්ටු ශරීයක් තිබුණ වසන්ත දිහා මං මොහොතක් බලන් හිටිය. "තමුසෙ ද මහ ලොකු කඩල වසන්ත කියන්නෙ "....මං කට කොනකින් හිනාවෙන ගමන් ඇහුවෙ වසන්තගෙ උඩ ඉදන් පහලට බලන ගමන්.වචනෙන් උත්තර නොදීපු වසන්ත දෙපැත්තට හෙමින් ඔලුව වැනුව. " එතකොට ඇමතිතුමාව මැ රු....වෙ.තමුසෙ නේද..?"....ඒ පාර මං වසන්තගෙ මූණ දිහා කෙලින් බලාගෙන ඇහුව. මූණ බිමට හරවගෙ හිටපු වසන්ත නිහඬවම ආයෙත් ඔව් කියන්න වගේ ඔලුව වනනව. "කතා කරල උත්තර දෙනව ....තමුසෙව මෙතන නලවන්න බෑ......".....ටිකක් සැරට හයියෙන් කෑ ගහල මං වසන්තට කිව්ව. තමුසෙගෙ ඇත්ත නම මොකක්ද? " වසන්ත බණ්ඩාර " "මං අහන්නෙ සම්පූර්ණ නම".... " දිසානායක මුදියන්සේලාගේ වසන්ත බණ්ඩාර " "තමුන්ගෙ ගම කොහෙද..?" "නුවර.....නුවර උඩුවෙල ".....තාමත් බිම බලාගත්ත ගමන් හිටපු වසන්ත උත්තර දෙනව. " නුවර ....උඩුවෙල "......මං වීදුරුවෙන් වතුර උගුරක් බොන ගමන් සමන්ත දිහා බලන් කිව්ව. "කෝ....මූණ උස්සලබලනව.... මේ පැත්ත...මට ඇත්ත කියනව.....ඔක්කොම කරල දැන් මෙතන උපාසකය වෙන්න එනවද..?..කෝ..බලනව ඉතිං"....ටිකක් හයියෙන් කෑ ගහල මං කිව්ව.ඇත්තටම මං එහෙම කිව්වෙ මගේ උපන් ගමත් නුවර උඩුවෙල හින්ද. පලවෙනි පාරට වසන්ත මූණ උස්සලා මං දිහා බැලුව...බොරපාට ඇස් දෙක ටිකක් ඇතුලට ගිලිල...මොකක්දෝ අමුත්තක් ඒ ඇස්වල තියනව කියල මට දැනුන. " ඇත්ත කියනව...තමුසෙගෙ ගම කොහෙද...?" වසන්ත තාමත් මං දිහා බලන් ඉන්නව. " සර් ....රොෂාන් නේද...?.....රොෂාන් පුෂ්ප කුමාර".......වසන්ත මං දිහා බලාගෙන අහනව. වසන්තගෙ කතාටවට එක පාරටම මගේ ඇස් උඩ ගියා.සමන්ත වගේම අනික් නිලධාරීන් දෙන්නත් මං දිහා ගල් ගැහිල වගෙ බලන් ඉන්නව මගේ ඇස් කොනට යන්තමට පේනව. " තමුසෙ මගෙ නමත් පාඩම් කරගෙන වගේ" කට කොනකින් හිනාවෙන ගමන් මං සමන්ත දිහා බැලුව.සමන්තත් යන්තමට හිනා වෙලා මං දිහා බලනව. " සර්ගෙ තාත්ත..සිරිපාල......උඩවෙල ඉස්කෝලෙ ප්‍රින්සිපල් ".....වසන්ත මං දිහා බලාගෙන ආයෙත් කියනව. කාමරේ මොහොහත් නිහඬවම ගත උනා.මං හෙමින් පුටුවෙන් නැගිටල වසන්ත ඉන්න තැනට ආව. " ඇත්ත කියනව ...කොහොමද තමුසෙ මගෙ විස්තර දන්නෙ...කවුද කිව්වෙ මගෙ විස්තර හොයල දෙන්න කියල"....මං වසන්තගෙ මූණට ලං වෙලා ඇහුව. "සර්ට මාව මතක නැතුව ඇති".....වසන්ත බිම බලාගෙන කියනව. " මං ගල් වලේ සිරිදාසගෙ පුතා.....සර් එක්ක ඉස්කෝලෙ එකට හිටියෙ....මතක ද සර්ට "...වසන්ත යන්තමට හිනාවෙලා මගේ මූණ දිහා බලන ගමන් ඇහුව. " හ්ම්ම්ම්ම්ම්.....ලොකු හුස්මක් ගන්න ගමන් මං පුටුවෙන් ඇවිත් වාඩි උනා.වතුර වීදුරුව අතට ගත්ත මං ඒක එක හුස්මට බීගෙන ගියා. " සර් ඉස්කෝලෙ හයවසරෙන් පස්සේ කොළඹ ඉස්කෝලෙකට ගියානෙ...." සමහර විට මාව මතක නැතුව ඇති." " නෑ...මට වසන්තව මතකයි"....මං යන්තමට හිනාවෙලා වසන්ත දිහා බලගෙන කිව්ව. මං ගමේ ඉස්කෝලෙන් අස්වෙලා කොළඹ ගියාට පස්සෙ ගමට ආවේ අවුරුද්දකට සැරයක් දෙකක් විතරයි.රස්සාවට ආවට පස්සෙ ගම
ත් එක්ක මගේ තිබුණ සම්බන්දෙ සෑහෙන දුරට අයින් උනා.ඉදල හිටල ගමේ ගියාට ගමේ විස්තර හොයන්න තරම් නිදහසක් මගේ හිතේ තිබුනෙ නැති තරම්.වසන්තව පොඩි කාලේ අශ්‍රය කරල තිබුණට කොළඹ පදිංචියට ගියාට පස්සෙ ඒ තිබුණ යාලුකම් නැත්තටම නැතිවෙලා යන්න ගියා. "වසන්ත මේ දේවල් වලට පැටලුණේ කොහොමද ..?...මට මේ හැම විස්තරයක්ම දැන් ගන්න ඕන.".....මං වසන්තගෙන් ඇහුවෙ බොහොම කාරුණික විදිහට. " හ්ම්ම්ම්ම්...ඒක දිග කතාවක් සර් "....වසන්තගෙ ඇස් ඇතුලෙ කඳුලු පිරිල කියල ලයිට් එළියට මට පේනව. " කමක්නෑ...වසන්ත කියන්න ....ඒක මට රාජකාරික් විදිහට කොහොමත් දැන ගන්න ඕන." "මං සමන්ත දිහා බලල වසන්තට දාල තිබුණ මාංචු කුට්ටම ගලවන්න කියල ඔලුවෙන් කිව්ව...සමන්ත ගලෝපු මාංචු නැති අත්දෙක එකතු කරල වසන්ත ඒ දිහා බලන් කතාව කියන්න පටන් ගත්ත. " සර් දන්නව ඇති මං ඉස්කෝලෙ වැඩ වලට ඒ කාලෙ ඉදන් කොහොමත් දුර්වලයිනෙ...එත් මං ඕලෙවල් වෙනකල්ම ඉස්කෝලෙ ගියා...ඒකලෙ වෙනකොට අසනීප නිසා තාත්තට ගල් වලේ රස්සාවත් නැති වෙලා තිබුණෙ...අපි ඒ කාලෙ ජීවත් උනේ ගොඩක් අමාරුවෙන් සර්" "ගෙදර ප්‍රශ්න උහුලගන්න බැරිම තැන මං හවසට ඉස්කෝලෙ ඇරිල ඇව්ත් ටවුමෙ බාරෙක ඉස්සරහ කඩල වික්ක....ඒකෙන් යන්තමට අපේ පවුල නඩත්තු කරගෙන යන්න මට පුලුවන් උනා....ටිකක් කල් යනකොට මං ඉස්කෝලෙ ගමන නතර කරල ෆුල්ටයිම් වැඩේට බැස්ස...ඇත්තටම ඒකෙන් මට හොද ආදායමකුත් ලැබුණ ." වසන්ත කතාව කියාගෙන යනව.මගේ හිත නොදැනිම ඇඳිල ගියේ පුංචි කාලෙ ගමේ ඉස්කෝලෙට.මගේ හිතේ ඒ කාලෙ වෙච්ච සිදුවීම් චිත්‍ර පටියක රූප වගේ මැවෙන්න ගත්ත. "මං අවුරුදු දෙක තුනක්ම මේ විදිහට කඩල විකුණුව..තව බයිට් වර්ග එක එක ජාති වික්ක...බා ර් එක ඉස්සරහ නිසා මේවගෙන් මට හොද ආදායම්ක් හම්බ උනා..දෙයියනේ කියල ඒකෙන් මං පවුල සෑහෙන මට්ටමකට ගෙනාව සර්. සර්...දන්නවද දන්නෑ...අපේ තාත්තත් ඒකාලෙ නැති උනා....හැබැයි ඒ වෙනකොට මට සල්ලි ටිකක් තිබුණ..මං තාත්තගෙ මරණෙ වැඩ ටිකත් හරිම ලස්සනට කලා කිසිම අඩු පාඩුවක් නැතුව.." " එතකොට කඩල වසන්ත කියල නම හැදුනෙ ...කඩල විකුණපු හින්දද..?"...මං කට කොනකින් හිනා වෙලා වසන්තගෙන් ඇහුව. " ඔව්..සර්...ඒක හින්ද තමයි.කඩල වසන්ත කිව්වොත් ටවුමෙ මාව නොදන්න කෙනෙක් හිටියෙ නෑ " " හ්ම්ම්ම්.....ඊට පස්සෙ මොකද උනේ "...පොඩි හුස්මක් උඩට අරන් මං වසන්තගෙන් ඇහුව. "සර්ට....මතකද අපේ පන්තියේ හිටපු ශාන්තිව..නිකටේ උපන් ලපයක් තිබුණෙ"...වසන්ත මගෙ දිහා බලගෙන අහනව. " ඔව්...මට මතකයි ...ඉතිං " මේ කාලෙ ශාන්තිත් ටවුමෙ කඩේක වැඩට ආව...අහම්බෙන් දවසක් මට ටවුමෙදි ශාන්තිව හම්බ උනා...මගෙන් විස්තර ඇහුව...එදා ඉදන් ශාන්ති හැමදාම වැඩ ඇරිල යනකොට මං කඩල විකුණන තැනට ඇවිත් ගියා පුරුද්දට වගේ. " හ්ම්ම්ම්...ශාන්තිටත් හිටියෙ අම්ම විතරයි. ඔහොම කාලයක් යනකොට ශාන්තිගෙයි...මගෙයි අතරෙ සම්බන්ධයක් ඇති වුනා..." " ඒක තමයි...හැම ප්‍රශ්නෙටම මුල උනේ සර්"...වසන්ත ඔලුව උස්සල මගේ දිහා බලන ගමන් කිව්ව. අපි යාලුවෙලා අවුරුද්දක් විතර හරිම ආදරෙන් හිටිය...සමහර දවසට ශාන්තිත් ඇවිත් මගෙ බිස්නස් වලටත් උදව් වුනා..ඔහොම ඉන්නකොට තමයි එහා ගමේ අවුරුදු උත්සවයක් තිබ්බෙ..ඒකෙ අවුරුදු කුමාරි තරඟෙට යන්න ආසයි යන්නද? කියල ශාන්ති මගෙන් ඇවිත් ඇහුව..මං කොහොමත් ඒකට කැමති වුනේ නෑ සර්.....කොහොම හරි අන්තිමට ශාන්තිගෙන් බේරෙන්නම බැරි කමට මං හා කිව්වෙ හිතකින් නෙවෙයි." " ඇත්තටම ශාන්ති හරිම ලස්සන කෙල්ලෙක් සර්.....කොහොම හරි ශාන්ති අවුරුදු කුමාරි තරඟෙන් දිනල තෑගිත් ලැබුණ.උත්සවේට ඇමතිතුමයි නෝනයි දෙන්නම ඇවිත් හිටියා.ශාන්තිට තෑගි හම්බුණෙත් ඇමතිතුමාගෙ අතින්මයි.එදා ගමේ හැමෝම කතා කලේ ශාන්ති ගැන...කිව්වම මොකද සර් මගෙ හිතෙත් පස්සේ ඒ ගැන පුංචි ආඩම්බරේකුත් තිබ්බ." " අවුරුදු උත්සවේට පහුව දා උදේ මං ශාන්තිලගෙ ගෙදර ගියා....ඒ වෙනකොට අපි බදින්න කතා කරගෙන හිටපු කාලෙත් ලං වෙලා තිබුණෙ...මං යනකොට ගේ ඉස්සරහ ලස්සන කාරෙකක් තිබුණ....ඒකෙන් ඇවිත් තිබුණෙ ඇමතිතුමාගෙ ලේකම් කෙනෙක්.අවුරුදු උත්සවෙන් දිනපු හින්ද ඇමතිතුමා රස්සාවක් දෙන්න එන්න කිව්ව කියල තමයි ලේකම් එදා කිව්වෙ." " පහුවදා ශාන්තියි... අම්මයි ඇමතිතුමාව හම්බවෙන්න ගිහින් තිබුණ...ශාන්තිට ඇමතිතුමාගෙ ඔෆිස් එකේ රස්සාවකුත් දීල තිබ්බ...මගේ නම් ඒකට කිසිම කැමත්තක් තිබුණෙ නෑ සර්..මං කොච්චර කිව්වත් ශාන්ති ඒ රස්සාව අතාරින්න කැමති උනේම නෑ..අනික ඇමතිතුමාගෙ ඔෆිස් එකේ රස්සාවට ශාන්තිව යවන්න ඕන කම ගොඩක්ම තිබ්බෙ ශාන්තිගෙ අම්මට." " කොහොම හරි අන්තිමට මගේ අකමැත්ත පිට ශාන්ති රස්සාවට ගියා.ශාන්ති මුලින් ගොඩක් හොදට රස්සාව කරගෙන හිටිය..මටත් පස්සෙ හිතුන ඒ වෙලාවෙ නැවැත්තුව නම් අපරාදෙනෙ කියල...ඔහොම කාලයක් යනකොට තමයි ශාන්ති වෙනස් වෙන්න ගත්තෙ" "ශාන්ති මුලින් හැමදාම වැඩ ඇරිල යනකොට මගේ කඩේ ලඟට ඇවිත් ගියේ...පස්සෙ එයා ඒක ටික ටික නවත්තන්න පටන් ගත්ත.මුලින් මට ශාන්තිගෙ කිසි වෙනසක් දැනුන්නෑ..අන්තිමට ශාන්ති රෑ වෙලා වැඩ ඇරිල එන්න පටන් ගත්ත...සමහර දාට මහ රෑ වෙලා ගෙදර ආවෙ ඇමතිතුමාගෙ කාරෙකේ නැගල..ශාන්ති මගෙ එක්ක තිබ්බ කතා බහත් ටිකෙන් ටික අඩු කරන්න පටන් ගත්ත....අන්තිමට අපි අතරෙ සෑහෙන්න රන්ඩු සිද්ද වුණා..මං අන්තිමට ශාන්තිට කිව්ව රස්සාවට යන එක නතර කරන්න කියල..එයා කිව්ව ඒක එයාට කොහොමත් කරන්න බෑ කියල". " මේ අතරෙ සමහරු මට ශාන්ති ගැන එක එක කතා කිව්ව...ඇමතිතුමා එක්ක සම්බන්ධයක් තියනව කිව්ව මට හොරෙන්..ඒත් මං කවදාවත් ශාන්තිව සැක කලේ නෑ..මේ අතරෙ ශාන්ති දවස් දෙක තුන ගෙදර නෑවිත් හිටිය.එයා කිව්වෙ හදිස්සි වැඩ වලට කොළඹ ගියාම එහෙම තමයි කියල.අන්තිමට ශාන්තිගෙ හැසිරීම මට තිත්ත වුණා." " හ්ම්ම්ම්ම්ම්ම්...."වසන්ත ලොකු හුස්මක් අරන් ආයෙත් කතාව කියන්න පටන් ගත්ත. " ඉරිද දවසක උදේ මං ශාන්ති හම්බ වෙන්න ගෙදර ගියා...ඒ වෙලාවෙ ගෙදර හිටියෙ ශාන්ති විතරයි....එදා මං ටිකක් බීල හිටියෙ...මං ශාන්තිට කිව්ව ලබන සතියෙ අපි අනිවාර්යයෙන් බඳින්න ඕන කියල..ඒ වගේම රස්සාවට යන එකත් නතර කරන්න ඕන කියල..ශාන්ති කිව්ව රස්සාවට යන එක නතර කරන්න බෑ...අනික මං වගේ කෙනෙක් බඳින්න එයාට දැන් කිසිම උවමනාවක් නෑ කියල." " මට වතුර ටිකක් දෙන්න පුලුවන් ද සර්"....වසන්ත ඔලුව උස්සල මං දිහා බලල ඇහුව.මං සමන්ත ලඟ හිටපු අනික් නිලදාරිය දිහා බලල වතුර ගේන්න කියල ඔලුව වැනුව. වතුර වීදුරුව අතට ගත්ත වසන්ත එක හුස්මට ඒක බීගෙන ගියා...ලොකු හුස්මක් අරන් පාතට දාපු වසන්ත ආයෙත් කතාව කියන්න පටන් ගත්ත. " එදා මට ඒකට හොදටම කේන්ති ගියා සර්....මගෙ පණ වගේ ආදරේ කරපු ශාන්ති ද මේ ඉන්නෙ කියල මට හිතාගන්න බැරි වුනා."..වසන්තගෙ ඇස් වලින් කඳුලු බිංදු එකින් එක මේසෙ උඩට වැටෙන්න ගත්ත..ඇස් දෙක කමිසෙ කොනකින් පිහදාපු වසන්ත ආයෙත් කතාව පටන් ගත්ත. " මං ඉනේ තිබුණ උල් පිහිය ඇඳල අරන් හිතේ තිබුණ වේඳනාව යනකල්ම ඇ ...න්... න..ඒක කොහොම කරාද කියල මං දන්නෑ සර්....අන්තිමට ශාන්ති මගේ ඉස්සරහ බිම ඇදගෙන වැටුණ. " " මට කරන්න ඕන මොනවද කියල තේරුනේනෑ ....මං කෙලින්ම දුවල ගියේ බා ර් එක ලඟ කඩල කරත්තෙ තියන තැනට...මං ගොඩක් කලබල වෙලා හිටියෙ.එතන ඉන්නකොට මං අඳුරන මහත්තයෙක් බාර් එකට ආව.ඒ මහත්තයා හැමදාම වගෙ මගෙන් බයිට් අරන් යන කාලෙක ඉඳන් හොඳට අඳුරන කෙනෙක්.මං කලබල වෙලා ඉන්නව කියල එයාට තේරිලා තිබ්බා.මං ලඟට ඇවිත් මගෙන් ඇහුවා මොකද උනේ කියල..මට ඒ වෙලාවෙ කරන්න ඕන මොනවද කියල තේරුමක් තිබුන්නෑ..මං උන දේ හංගන්නැතුව ඒ මහත්තයට කිව්ව". " ඒ මහත්තයාගෙ නම සිරිල්.එයා මාව ඉක්මනට කාරෙකට දාගෙන එයාගෙ ගෙදර එක්කගෙන ආව...ඒක නුවර පැත්තෙ තියන මාලිගාවක් වගේ ගෙයක්...මගෙන් විස්තරේ ඔක්කොම මගෙන් අහගත්‍ත.බයවෙන්න එපා මොකුත් වෙන්නෑ කියලා මගේ හිතත් හැදුව..මං පහුවදා ආරංචි කරල බැලුව ශාන්තිට මොකද උනේ කියල..දැනගත්ත විදිහට ඉස්පිරිතාලෙ ගෙනියනකොටත් ශාන්ති මැ රි ල ලු"....වසන්තගෙ ඇස් වලින් ආයෙත් කඳුලු බිංදු එක දෙක වැටෙනව මට පේනව. " දවස් දෙකකට පස්සෙ සිරිල් මහත්තයා මාව කොළඹ එක්කගෙන ගියා..මං පස්සෙ දැන ගත්තෙ ඒ මහත්තයාට පාතලෙ එක්ක ලොකු සම්බන්ධකම් තියන කෙනෙක් කියල.කොළඹ ගිහින් මාව අසංක කියල කෙනෙකුට බාර දුන්න..අසංක ලඟ ඉන්නකල් පොලීසියට මාව අල්ලන්න බෑ කියල සිරිල් මහත්තය මට කිව්ව". " අසංක කියන්නෙ පාතාලෙ නම ගියපු කෙනෙක්... මාලු අසංක කියල තමයි හැමෝම කිව්වෙ...සර් දන්නව ඇතිනෙ"...වසන්ත මගේ දිහා බලගෙන ඇහුව. " ඔව්...මං අහල තියෙනවා " " පස්සෙ මට ආරංචි උනා ශාන්තිගෙ මරනෙට සැකපිට පොලීසියෙන් මාව හොයනව කියල.මං මාසයක් විතර එළියටවත් බහින්නැතුව හිටිය.ඔහොම කාලෙ ටික ටික ගෙවිල ගියා.අසංක මාව ටික ටික එයාගෙ වැඩ වලට සම්බන්ධ කර ගත්ත..අසංක ගොඩක් වැඩ කලේ රටේ නම ගියපු ඇමතිවරුන්ට...අංසක ලඟ ඉන්නකොට මට හොදට සල්ලිත් ලැබුණ ....මට ඕන කරපු එකම දේ පොලීසියෙන් බේරිලා ඉන්න එක විතරයි". " මං දිගටම අසංකගෙ වැඩ වලට උදව් කරගෙන හිටිය..කාලෙත් එක්ක මම අසංකගෙ විශ්වාස වන්තම ගෝලයෙක් උනා....ඔහොම ඉන්නකොට තමයි ඇමතිතුමාගෙ නෝනව ඉවරයක් කරන්න කොන්ත්‍රාත් එක අසංකට ආවෙ....ඒක දැන ගත්ත වෙලාවෙ මං අසංකට කිව්ව මට ඒ වැඩේ තනියම කරන්න ඕන කියල.අසංකත් ඒකට සෑහෙන සතුටු උනා. මගේ ජීවිතේ හැමදේම නැති කරල මාව මේ තැනට ඇදල දාපු ඇමතිතුමාවත් නැති කරල දාන්න මට මේක හොදම වෙලාව කියල හිතුන....කිව්ව විඳිහටම ඒ වැඩේ මං හරියටම කලා සර්."...වසන්ත කිව්වෙ දත්මිටි කන ගමන්. "එතකොට කවුද ඇමතිතුමාගේ නෝනගෙ වැඩේට කොන්ත්‍රාත් එක දුන්නෙ"....මං වසන්තගෙන් ඇහුව. " වෙන කවුරුත් නෙවෙයි...ඇමතිතුමාම තමයි සර්....එයාගෙ නෝනගෙ වෙන සම්බන්ධයක් තිබ්බ කොලඹ ලොකු බිස්නස් කාරයෙක් එක්ක..ඒකට ඇමතිතුමා ලොකු තරහකින් ඉඳල තියනව..අනික නෝන ඉඳල තියෙන්නෙ ඇමතිතුමව ඩිවෝස් කරන්න..එහෙම කරානම් නෝනගෙ දේපල බිස්නස් ඔක්කොම ඇමතිතුමාට නැති වෙනවනෙ.ඒ නිසා එයා තමයි නෝනව නැති කරන්න ඔක්කොම ප්ලෑන් කරේ..එයාට හැමදේම අයිතිකරගන්න. එයාව ම ර න් න එනකොට වැරදිලා
නෝනට වෙඩි වැදුන විදිහට නෝනව ඉවරකරන්න තමයි සැලසුම් කරල තිබුණෙ ....හැබැයි මට ඕන කලේ ඇමතිතුමාගෙන් පළිගන්න ...ඒ නිසා චාන්ස් එක ආපු වෙලාවෙ මං ඇමතිතුමාව ඉවරයක් කරල දැම්ම. මං ඇමතිතුමාව ඉවරකරපු එකෙන් අසංක ටිකක් කලබල වෙලා හිටියෙ...මං අසංකට කිව්වෙත් මට වැරදිලා ඇමතිතුමාට වෙඩි වැදුන කියල.අසංක කිව්ව මං අනවශ්‍ය කරදරයක් දාගත්ත නිසා ඉක්මනට ලංකාවෙන් යන්න කියල..යාපනේට ගිහින් එතනින් බෝට්ටුවෙන් ඉන්දියාවට පනින්න ඔක්කොම එයා සෙට්කරල දෙන්නම් කිව්ව.එතකන් මට දවස් දෙක තුනකට හබරණ පැත්තෙ පොඩි හෝටලේක නැවතිලා ඉන්න කියල ලෑස්තිකරල දුන්න.එහෙ ඉන්නකොට තමයි මාව සර්ල අල්ලගත්තෙ. මං නිකමට වගේ බිත්තියෙ තිබුණ ඔරලෝසුව දිහා බැලුව...වෙලාව උදේ අටයි.දන්නෙම නැතුව පැය තුනකට වඩා ගිහින් තියෙනව. " තව ටිකකින් අපි වසන්තව උසාවියට ගෙනියනව....උසාවිය තීරණේ කරයි වසන්ත ගැන."...මං එහෙම කිව්වෙ වසන්තගෙ ඇස් දිහා බලාගෙන.ඒ ඇස් වල වැටෙන්න ඔන්න මෙන්න තියන කඳුලු පිරිල තිබ්බ. මං සමන්ත දිහා බලල වසන්තගෙ අත්වලට මාංචු දාන්න කියල ඔලුවෙන් ඇගෙව්ව.. " මං කැමතී සර්ගෙ අත්වලින්ම මට මාං /චු දානව නම්"...වසන්ත මං දිහා බලල යන්තමට හිනා වෙන ගමන් කිව්ව.මං මාචු කුට්ටම අරන් වසන්තගෙ අත් දෙකට දැම්ම..මං මාංචු දානකල් වසන්ත අත් මිටිකරල අල්ලගෙන හිටියෙ කිසිම කලබලයක් නැතුව. " ඇත්තටම කොහොමද සර්ල මං හෝටලේ හැංගිල ඉන්නව කියල දැන ගත්තෙ "....මාංචු දාන අතරෙ වසන්ත මගෙන් අහනව. " අසංක තමයි වසන්ත ගැන පොලිසියට ඔත්තුව දුන්නෙ "...මං කට කොනකින් හිනාවෙලා වසන්තට කියනකොට වසන්තගෙ මූණ වෙනස් වුණා. සමාප්තයි . පසන් ලෝචනගින්දරේ සැගවුන රහසක් 1. ගෙට පහල කොස් ගහේ කොස්ඔ කොල වැටිලා වැටිලා සුමානෙකට වැඩි කාලයක් තිස්සේ එකතු වෙලා. වෙනදට නං පුංචි පුංචි කොළ ගොඩවල් ගහලා ඕක ගිනි තියන එක තමයි අචිනිගේ විනෝදාංශය. ඒත් තාත්තා නම් බනිනව එහෙම ගිනි තිබ්බම වටපිට ගස්වලට රස්නෙ වැදිලා ඵලදාව බාල වෙනවා කියලා. ඒත් ඉතිං අද තාත්තා නෑනේ. ඔක්කොම කොළ ටික එක තැනකට එකතු කරලා චුෂ්.. ගාලා කහ පාට එලියක් පතුරගෙන පත්වූ වෙච්ච ගිනිකූර ලන් කලා. ගිනි කුෂ්ඨක අවුවට කට්ට කරවලා තිබිච්ච කොස් කොල ටික සට පට ගාලා සද්දෙකුත් දාගෙන පත්තුවෙන්න පටන් ගත්තේ තරගෙට වගේ. විනාඩියක් ගත වෙනකොට එතන තිබුණේ ඒ මහා ගිනි සෑයක්. පොල් මුදලාලිගේ මිනිය පුච්චපු සෑයටත් වඩා ලොකු ගින්නක්ද කියලත් අචිනිට හිතුනා. රස්නෙට ගිනිසිලු උඩට ඇදෙන කොට වටපිට ගස් නටන්න පටන් ගත්තේ ඒ රස්නෙත් එක්ක ඇදෙන හුළං පාරට වෙන්න ඇති. පළාතම කහපාටයි. අචිනිට දැනෙනවා ගින්දර උණුසුම. කොච්චර රස්නෙ දැනෙනවද කියනවනං හම නිකං රබානක් වගේ පදං වෙලා කියලා දැනුනා. ඒක වේදනාවක්ද සැපක්ද කියන්න තේරෙන්නේ නැහැ. ගිනි දැල්ල උච්චතම විදිහට පත්තු වෙන වෙලාවේ අචිනි කලින් ලෑස්ති කරගෙන තිබුණු සිලි සිලි මල්ල අතට ගත්තා. ඒකේ තිබෙ තිබුණේ හංගගත්තු රහසක්. දවස් කීපයක් තිස්සේ මැරි මැරී මැරී ඉපදී ඉපදී හංගගත්ත රහසක්. ඉන්න තැන ඉඳන්ම ගිනිගොඩ මැද්දට ඒක විසින් කරපු අචිනිට හිතුනෙ ගිනි ගොඩට වැටෙන්නත් කලින්ම ඒ රහස පිච්චිලා විනාස උනා වගේ. දැන් හිත සැහැල්ලුයි. කොච්චර සැහැල්ලුද කියනවනං දිග සුසුමකුත් පිටවුනා. සුමානෙකට කලින් හිටපු අචිනියි, දවස් දෙක තුනකට කලින් හිටපු අචිනියි, මේ දැන් ඉන්න අචිනියි කියන්නේ එකම පුද්ගලයෙක් නෙවෙයි පුද්ගලයෝ තුන්දෙනෙක් තරම් වෙනස් චරිත තුනක් නේද කියලා ඈට හිතුණා. වෙනින් දවසක නම් ගිනි ගොඩක් ගහපුවාම ගිනිගොඩ පත්වෙලා ඉවර වෙනකම්ම ඒ දෙස බලාගෙන හිටියත් අද ගින්න සාරෙට පත්තුවෙන අතරතුරේදීම අචිනි ගේ පැත්තට හැරුනා, තවත් වරක් හැරිලා නොබලාම ඈ හිමි හිමින් කුස්සියෙ දොරෙන් ඇතුලට ගියා. අප්පච්චි හිටියනම් මේ වෙනකොට ලාම්පුවක් පත්තු කරල තිබුන් නැත්තං හොඳ බැනුමක් අහන්න වෙනවා. කමක් නෑ තව ටිකක් පහුවෙලාම පත්තු කරනවා තනියම එහෙම හිතාගත්තු අචිනි තාත්තගේ විට මඩිස්සලේ අවුස්සලා බැලුවා. වෙනදට බුලත් විටක් කන කෙනෙක් නොවුණත්, ගැමි ගෙදරක අනිවාර්යෙන්ම බුලත් විටකට අවශ්‍ය කලමනා හිඟ වෙන්නේ නෑ. බුලත් කොළ නං වේලිලා, ඉතුරු පහේ ටික තියෙනවා. වැලෙන් අලුත් බුලත් කොලේකුත් කඩාගෙන ඉතිං සැරටම බුලත් විටක් ඔතාගෙන සචිනි ඉස්තෝප්පුවේ පුටුවට වෙලා හිමි හිමින් විටේ හක්කේ තියාගෙන අඹරන්න උනා, දැනෙනා අමුතු මත් ගතියයි නිද්‍රාශීලී බවයි එක්කම ඈට ගොඩක් දේවල් මතක් උනා මේවා ඉතින් ගම් තුලාන නොවැයි. ගමේ වැල ගමේ කපුටන්ටමයි. එහෙමත් කෙනෙක් තමයි පිට ගමකට දීග තුළා ගියේ. අචිනියේ අම්මා තාත්තාත් එහෙමයි. මොකද ඉතිං ඉගෙනගෙන කැම්පොස් ගිහින් මහ ඒජන්ත තනතුරු දරන්නද. දැනුම් තේරුම් ඇති වයස එනකොට දෙන්නත් එක්ක පැලක් අටවගෙන. කීයේ කැලෑසිය වෙනකල් ඉගෙන ගෙනද කියලා මම දන්නේ නෑ හැබැයි යන්තම් ගැට ගහගෙන, පත්තරයක් කියවන්න පුළුවන් හැකියාවන් දෙන්නටම තිබුණා අචිනිගෙ මුල් කාලය මතක් කරලා බලනකොට දෙන්න දෙමහල්ලෝගේම කියන්න තරම් මහා ලොකු වැරැද්දක් තිබුණේ නෑ. සේපාල මුල් කාලයේ කරලා තියෙන්නේ වගා කටයුතු. ඒකත් හේන් ගොවිතැන. හේන් ගොවිතැන කියන්නේ සත පහකවත් විශ්වාසයක් ඇතුව කන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඉඩෝර වෙන්න පුලුවන්, වගා පාලු වෙන්න පුළුවන්, අස්වනු අඩු වෙන්න පුළුවන්, ලෙඩ රෝග හැදෙන්න පුළුවන්, ඔය ඔක්කොම කරල බේරා ගත්තත් එක වල් ඌරු රංචුවකට තනි රෑකට හේනක්ම විනාස කරන්න. වල් අලි වුණත් එච්චර තමයි හද්ද පිටිසර ගම්මාන වල ගම්මානවල මිනිස්සු කවදාවත් ජීවිතේ දුකයි කියලා හිතන්නෙ නෑ. එන එන විදිහට අනුවර්තනය වෙලා ජීවිතේට මුහුණ දෙනව මිසක්. සේපාලත් එහෙම තමයි. මොන දේ කරලා හරි දරුපවුල බඩගින්නේ තියන්නේ නැතුව වේල් දෙකක් හරි සරි කරල දුන්නා. ඔය අතරතුරේදි තමයි සේපාලට දඩයම් තුවක්කුවක් ලැබෙන්නේ. ඒක ලැබුණේ කොහොමද කියලා සේපාල කවදාවත් කාටවත්ම කිව්වේ නෑ. සමහරු කිව්වේ නගරයේ එළවළු විකුණන ගියපුවාම හම්බවෙච්ච මදාවියෙක් මිනීමැරුම් සාක්කියකින් ගැලවෙන්න සේපාලට දුන්නා කියලා. සමහර කිව්වේ කැලේ දී මැරිච්ච දඩයක්කාරයෙක්ගේ තුවක්කුවක් සේපාල අරං ඇවිල්ලා කියලා. තව සමහරු කීවා පොල් මුදලාලිගෙන් ලැබුන එකක් වෙන්න් ඇති කියලත්. කවුරු මොනා කිව්වත් ඇත්ත කතාව දන්නෙ සේපාලම තමයි සේපාලට තුවක්කුව ලැබුණත් එක්කම මෙච්චර කල් නිස්කලංක ගෙවී ගියපු ජීවිත වලට යම් යම් වෙනස්කම් සිද්ධ වුණා. හේනේ වගා පාළු කරන්න එන වල් සත්තු එකා දෙන්නා රෑට රෑට සේපාලගේ දඩයම් තුවක්කුවට දිවි දුන්නා. ඒකෙන් එක පැත්තකින් වගාව ආරක්ෂා වුණා වගේම දඩමස් ජාවාරමකුත් ඉබේම ඇති වුණා. දැන් සේපාල ගමේ නැතිව බැරි පුද්ගලයෙක්, හවසට රා කට්ටක් ගහන මනුස්සයාගේ ඉඳන්, මඟුල්-තුලා දාන-මාන වලට මස් ටිකක් හොයාගන්න එන මිනිස්සු දක්වා ගනුදෙනු කාරයින්ගෙන් සේපාලට අඩුවක් වුනේ නෑ. සමහරු කාසි දීලා මස් ගෙනිච්චා. සමහරු යම් යම් දේවල් වලට දඩමස් හුවමාරු කරා. කොහොමෙන් කොහොමෙන් හරි සේපාලට දැන් සරුයි ඉස්කෝලේ නැවතුන දවසේ ඉඳන් සේපාලත් එක්ක හේන්වල ඔට්ටු වෙලයි දරුවෙක් එක්ක ඔට්ටු වෙලායි කාන්තිගේ ඇඟේ තිබුණේ කටු ටික විතරයි. දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න ඕනෙ නැති නිසාත් කෑම බීම ටික යහමින් ඇඟට වැටෙන නිසා කාන්තිත් බලා ඉදිද්දී ආරලා ආවා. ඉස්සර හැමදේටම තනියම ඔට්ටු වෙච්ච කාන්ති කාන්තිට දැන් උදව්වට ඕනේ තරම් ගමේ ගෑනු ඉන්නවා. සල්ලි වලටම නෙමෙයි, පොඩි පොඩි වාසි වලට. කොහොම ධනය බලය එක්රැස් වෙන තැන් වලට මනුස්ස ආකර්ෂණය වැඩියි නොවැයි ආකර්ෂණය වැඩි වෙනවා වගේම තමයි දන්නෙම නැතුව හතුරොත් මැවෙනවා. ඒකට ඉතින් අහවල් කාරණාව කියලා නිශ්චිත හේතුවක් ම තියෙන්න ඕනෙ නෑ. සමහරවිට ඉතිං කසනවානේ තව එකෙක් කාලා බීලා ඉන්නකොට ඔය අල්ල-පනල්ලේ තමයි සේතුංගේ ලයිසන් නැති තුවක්කුවක් ගැන් පොලීසියට ඔත්තුවක් යන්නේ. කුදලගෙන යනකම්ම දැනගෙන හිටියේ නෑ වෙච්ච දේ බරපතලකම කොහොමෙන් කොහොමෙන් හරි අල්ලගෙන ගිය දවසේ ඉදන් රිමාන්ඩ් එකේත් ඉදලා, නඩු අහලා, අච්චුත් විදලා ගෙදර එන්න සේපාලට අවුරුදු තුනක විතර කාලයක් ගත වුණා පිරිමියෙක් නැති ගෙදරකට මොන හයියක්ද. අතේ තිබිච්ච කාසි ටික වාෂ්ප උනේ බලන් ඉන්නකොට. ඔය කාලේ අන්තිමට කාන්තිට සිද්ධ වුණේ ආපහු හේන් වගාවත් එක්ක තනියම ඔට්ටු වෙන්න. වේලක් ඇර වේලක් කාලා දරුවත් එක්ක පිරිමහ ගත්තත් කළු ලෝගු අඳින මහතුන්ට ගෙවන්න කාසි කොයින්ද. කොහොම-කොයින්දැයි කියලා ගම්මු දැනගෙන හිටියෙ නැතත් වෙලාවට ඒවා පිරිමහන්න කාන්තී වගබලාගත්තා හිරේට යන හැම මිනිහෙක්ම එතනින් වෙන්නේ වෙනස් පුද්ගලයෙක් වෙලා. සමහරු යහපත් පැත්තට යොමු වුණා සමහරු වෙනස්ම පුද්ගලයන් බවට පත් උනා. සේපාල ආපහු ගමට ආවේ හුලං ගිය බැලුමක් වගේ. කිසිම කෙනෙකුගේ මූනක් බලලා කතා කරන්න හයියක් තිබ්බේ නෑ, නිතරම බැලුවේ හේනට වෙලා වහං ඇස් වලින් වෙන්න. කොටින්ම කියනවනම් කාන්තිව පවා මගාරින්න උනා. කෙටිකාලෙකින් ගමේ පොල් මුදලලිට විතරක් දෙවෙනි වෙන්න පිලිගැනීමක් තිබිලා එක රෑකින් ඒවා විනාස වෙලා යෑම දරාගන්න ලේසි පාසු නෑ. අනික අතේ කාසි ගැවසිලා ඒක නැතිඋනාම දැනෙන හිස් බව හරි කටුකයි අවුරුදු 3ක් තිස්සේ කාන්ති නොවිදි දුක් විදගෙන බලන් හිටියේ මෙහෙම මිනිහෙක් ගෙදර එනකල් නෙවෙයි. මේ දේවල් ගැන කාන්තී කතා කරන එකෙන් වලකින්න සේපාල වෙනමම හුදකලා ජීවිතයකට යොමු උනා. දවසම හේනේ ගතකරලා රෑත් හේනෙම නිදාගත්තා. කෑමටත් හේනෙම තියෙන දෙයක් තම්බගත්තා, මසට මන්දකට හරි බොරුවලකට වැටෙන සතෙක් මස් කරගත්තා. ඵලදාවක් තිබුනම ඒක ගේ ඉස්සරහින් තිබ්බා කාන්තිට විකුනගන්න මොනතරම් උත්සහ කලත් කාන්තිට බැරිඋනා සේපාලගේ මේ ගතිගුණ වෙනස් කරන්න. කාලයත් එක්ක හුරුවෙනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ. ඉදලා හිටලා දවසක දවාලක අචිනිගේ මූන බලලා යන්න විරමයි සේපාල මනුස්සයෙකුට පේන වෙලාවක හේනෙන් එලියට බැස්සේ ඔය අතරේ පොල් මුදලාලි සැරින් සැරේ ඇවිත් ඇවිත් කාන්තිට ණය හිග මතක් කරන්න උනා, කලු කෝට් කාරයන්ට ගෙවන්න ගත්තු ණය ගෙවාගන්න සේපාල ආපුවාම පුලුවන් වෙයි කියලා හිතාගෙන හිටපු කාන්තිට උනේ කබලෙන් ලිපට වැටුනා වගේ දෙයක්. මෙච්චරකල් මුද
ලාලිගෙන් කල් ඉල්ලගත්තු කාන්තිට අන්තිමට උනේ මුදල් හිලවුවට වෙන වෙන ක්‍රම වලට ණය ගෙවන්න. අචිනි ඉස්කොලේ ගියාට පස්සේ මුදලාලී කැමති කැමති වෙලාවට ඇවිත් තමන්ගේ හිතේ හැටියට් ණය අයකරගත්තා. තාමත් තරුණ නිරෝගී කාන්තාවක් උන කාන්තිත් සේපාලගේ වෙනස් වීමත් එක්ක මේ දේවල් වලට හිතහදාගත්තා කැලේටයි හේනටයි වෙලා මනුස්ස වාසයෙන් ඈත් වෙලා හිටපු සේපාලට සතියේ දවස් ගැන අවබෝදයක් තිබුනේ නෑ. අචිනි ඉස්කෝලේ බව නොදැන ගෙදර ආපු සේපාලට කෙලිපොඩිත්තගේ මූණ වෙනුවට එදා දකින්න ලැබුනේ කාන්තිගේ මීටකලින් කවදාවත් නොදැකපු මූණක්. පෑල දොරගාව හිටගෙන හිටපු සේපාලව ඒ දෙන්නා දකිනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. තප්පරයෙන් දහයෙන් පංගුවක වේගෙන් දෙන්නාටම දැනුනේ මරණ බයක්. මොකද පොඩිකාලේ ඉදන් ගස් ගල් එක්ක ඔට්ටුවෙලාම පදම් වෙලා තිබුන සේපාල එක්ක හැරෙන්න මේ ගෑනියෙකුටයි මැදිවියේ පිරිමියෙකුටයි නෙවෙයි, ජවය තියෙන ඉළංදාරි 3-4 දෙනෙකුට ලේසී නැති බව කාන්තී දන්නවා. කුස්සිය පැත්තෙන් ඇතුලට එන සේපාල දැක්කම මුදලාලී බිත්ති මුල්ලකට ගුලිවෙනකොට කාන්තී කලේ ඉන්න විදිහටම ඇස් දෙක පියාගත්තු එක ගේ හරහා ඇවිදගෙන ගියපු සේපාල කලේ ඉස්සරහා දොර ඇරලා පිලේ වාඩිවෙලා නිහඩවම විට-මඩිස්සලේ ලිහාගෙන විටක් සප්පායම් වෙන එක. දොර ඇරෙන සද්දෙට ඇස් ඇරලා බලපු කාන්තිට මේ වෙන්නේ මොකක්ද කියන දේ හිතාගන්න බෑ, ලද ඇසිල්ලෙන් කලුපාට ගුලියක් පෙරලෙනවා වගේ පිටිපස්සේ දොරෙන් පැනගත්තු පොල් මුදලාලී ඇදුම් ටික හදාගත්තේ ඇලකන්ඩිය ලගටම දුවලයි තමාට බැන්නන්නම්, ගැහුවනම් එහෙම නැත්නම් හුස්ම හිරවෙනකල් හරි බෙල්ල හිර කලානම් කාන්තිට හිත හදාගන්න තිබුනා, ඒත් සේපාලගේ මේ නිහඩ ප්‍රතිපත්තිය ඈට දරාගන්න බෑ. ඒක මරු පහරකටත් වඩා දරුණුයි. කෑගහලා අඩන්න, මොනවා හරි පොලේගහන්න, නැත්නම් සේපලගේම ඇගට පැනලා පහුරුගාලා විකන්න තරම් ආවේගයන් ආවත් කාන්තිට ඉන්න තැනින් නැගිටගන්න තියා හතරහංදි හොල්ලනවත් පනක් තිබුනේ නෑ. ටිකවෙලාවකින් බලනකොට සේපාල ගිහින් අචිනි ගෙදර ආවම අම්මගේ වෙනසක් තේරුනත් ඒ ගැන වැඩිය හිතුවේ නෑ. අම්මගේ ලග ලග මාරුවෙන හැසිරීම් ස්භාවයට ඒකි දැන් අනුගත වෙලා. හොදම වැඩේ තමයි තමන්ගේ පාඩුවේ වැඩක් බලාගන්න එක. ගැමි මිනිස්සුන්ට උදේ නැගිටින්න එලාම් ඔරලෝසු ඕනී නෑ, කලින් නිදාගෙන උදේරැයින් නැගිටින එක හැටියක්. පුරුදු විදිහට නැගිටලා බලනකොට අම්මා පැදුරේ හිටියේ නෑ. දොට්ට පිලට යන්න ඇති හිතාගෙන ලිපට ගිණි දාලා වතුර රත් වෙන්න තිබ්බා. අම්මා එනකල් නොහිට බතක් ලිපේ තියලා සම්බෝලයක් හදාගෙන කෑවා. වෙලාව ආවම ඉස්කෝලේ ගියා දවල් එනකොට අම්මා ඇවිත් ඉදීවී කියලා හිතාගෙන. ඒත් හවස් වෙනකලුත් අම්මා නැති නිසා අචිනි රෑ කළුවර වැටෙන්න කලින් තාත්තගේ හේන පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා. මගදී මුණගැහුනු කිසිම කෙනෙකුට මේ ගැන කියන්න තරම් ඈට උවමනාවක් තිබුනේ නෑ කෙනෙක් අහන්න පුලුවන් ළමයෙක් එහෙම හැසිරෙන්නේ නෑ, අම්ම නැත්නම් හෙවුවේ නැත්තේ ඇයි කියලා. අචිනි කියන්නේ වයසට වඩා තැලිච්ච පොඩිවෙච්ච දරුවෙක්, අම්මා උසාවි ගානේ ගිහින් ගෙදර එන්න කීය උනත් තනියටවත් අසල්වැසි ගේකට ගියේ නෑ. කන්න බොන්න හිග උනාට නාහෙන් නාඩපු දරුදෙක්. අම්මා නැත්නම් තියෙන දෙයක් තම්බගෙන කන්න හුරු උන දරුවෙක් අනික මොකක්දෝ ලොකු අසුභ දෙයක් වෙන්න තියෙන බව පුංචි අචිනිටම දැනිලා තිබුන දෙයක්. ඒ නිසා කෙල්ල අමුතු කලබලයක් උනේ නෑ. එයා කලේ රැකවනය තියෙන එකම තැන වෙන තාත්තා ගාවට යන එක කාන්තී ගෙදර නැති බව ඇහුවම සේපාල දැක්කුවේ උදාසීන ප්‍රතිචාරයක්. එදා රෑ අචිනි නිදාගත්තේ හේන් පැලේ. දවල් වෙලා සේපලයි අචිනියි ගෙදර ආවා කාන්ති ඇවිල්ලද බලන්න. නෑ. කාන්තී ඇවිල්ලා නෑ. කාන්ති කවදා ඒවිද දන්නේ නෑ කොටුන්ම ආයේ එනවද නැද්දවත් මේ දෙන්නා දන්නෙ නෑ. දැන් සේපලටයි අචිනිටයි දෙන්නටම ගැලපෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා ජීවත් වෙන්න උදේ රැයින් නැගිටින සේපාල කෙල්ලටතෙක්ල මොනාහරි පැලේම තම්බනවා, ඊටපස්සේ දරුවව ඉස්කෝලේ යන්න පුලුවන් සෙනග ගැවසෙන පොදු පාරකට ඇරලවනවා, කෙල්ලත් ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් ඉස්කෝලේ වැඩ කරලා හවස් වෙනකොට බතක් උයනවා, සේපාල ඒ අතර හේන් වැඩ කරලා හවසට කෙල්ලව එක්ක යන්න ගෙදර එනවා. බොහෝ වෙලාවට දෙන්නා එක්ක රෑ එලි කරන්න හේනට යනවා. ඉදලා හිටලා දවසක ගෙදරම නවතිනවා. රෑට බඩගින්නක් හැදුනොත් ඒකට ඇති තරම් ආදේශක හේනේ අඩු නෑ. මේවා වචනෙන් කතා කරලා ඇති කරගත්තු සම්මුති නෙවෙයි. නිහඩ එකගතා. කාන්තී තවමත් ගෙදර ආවේ නෑ ගමේ අය කාන්තිගේ අතුරුදහන් වීම ගැන දැනගන්න යම් දවසක් ගත් උනා. සේපල එක්ක නම කතා කරන්න කෙනෙක් නෑ, අචිනිගෙන් ඇහුවත් පැහැදිලි දෙයක් කියවුනේ නෑ. ඒකත් හරියට සේපාලට තුවක්කුව හම්බවුනේ කොහෙන්ද වගේ තමයි. කැමති කැමති අය කැමති කැමති කථා කිවුවා. පැනලා ගිහිල්ලා, ගාමට් එකක වැඩට ගිහිල්ලා, වෙන මිනිහෙක් එක්ක ගිහින්, මරලා හංගලා.. කවුද ඉතිං වෙච්චි දෙයක් හරියට දන්නේ කාන්තිම මිසක්. තාත්තවත් දුවවත් කිසිම දේකට නොසැලී තමන්ට මූණ දෙන්න වෙලා තියෙන අලුත් තත්වයට අනුගත වුනා ඔහොම දවස දවස විශේෂ හැලහැප්පීම්ක් නැතුව ඉස්සරහට ගියත් නරක කාලය තවම ගෙවිලා ඉවර වෙලා තිබුනේ නෑ. දවසක් හවසක තාත්තා බත් කන්නයි, අචිනිව එක්ක යන්නයි නාපු නිසා අචිනි පිලට වෙලා බලන් හිටියා. අප්පච්චි එන්නනෝනී වෙලාව පහුවෙලා හෝරා දෙකතුනක් පහු උන නිසා අචිනි හුලුඅත්තක් පත්තුකරන් තනියමම එලියට බැස්සා හොයන්න යන්න. කාගෙන්වත් උදවු ඉල්ලල්ලා කෙල්ලට හුරු නෑ, ඒත් මගදී මුලිච්චි උන උක්කුබංඩා මාමා ව්ස්තර අහලා ස්වෙච්ඡාවෙන්ම අචිනි පස්සේ වැටුනේ සතා සීපාවා ගැවසෙන වෙලාවේ දැරිවියක්ව තනිපංගලමේ යවන්න බැරි නිසාම වෙන්න ඇති. ඇල කන්ඩියෙන් එගොඩ වෙලා වැඩි දුරක් යන්න කලින්ම එයාලට සේපාලව මුනගැහුනා. වෙනදට මුනගැහෙන සේපාල වෙනුවට එදා එතන වැටිලා හිටියේ අලියෙකුගෙන් මට්ටු වෙලා තැලිලා පොඩිවෙච්චි යන්තම් පනගනහන මනුස්ස පරානයක්. අවට ලෝකයම කැරකෙනවා වගේ දැනුනත් අචිනි ඇඩුවේ නෑ. මුලින්ම කලේ තාත්තා පනපිටින්ද කියලා බලපු එක. ඊටපස්සේ ඇලට දුවලා ගොට්ටකට වතුර ටිකක් ගෙනල්ලා සේපාලගේ තොල් තෙමපු එක. ඒ අතර උක්කුබංඩා මාමා ගල ගේනක් ලගට දුවලා හූවක් තියලා දැනුම් දුන්නා අනතුරක් බව. ඒ විදිහට ටික වෙලාවක් යනකොට ගමේ පිරිමි එකා දෙන්නා රැස් උනා. ලී දඩු දෙකකට වැල්පොටවල් ගැටගහලා තනාපු මැස්සක් උඩින් සේපලව එක්ක ගියා පොල් මුදලාලිගේ ගෙදරට. ඒ යනකොටත් කලින් ගියපු පනිවිඩකාරයෙක් ලවා මුදලාලිගේ අත්ටැර්ක්ටරේ ලෑස්ති කරවලා ඉවරයි ඉස්පිරිතාලෙට ගෙනියන්න. කීපදෙනෙක්ම අචිනිව නවත්තන්න හැදුවත් නෑහුනු කනින් ටැක්ටරේ පිටිපස්සේ තට්ටුවේ තාත්තගේ ඔලුව ලගින් එරමිනිය ගොතාගත්තා. අචිනිව නවත්තගන්න බැරි බව දැනුන ඩිංගිරි අම්මත් ගොඩවුනේ කෙල්ලගේ ආරක්සාවට කවුරුහරිම මේ වෙලාවේ තනියට ඉන්න ඕනී නිසා වෙන්න ඕනී සේපාලට ගොඩක් අමාරුයි. ජීවිතය පවා අවදානම්. හරියට මොකුත් දැනගන්න දවස් කීපයක් ගතවෙයි. එහෙමයි දොස්තර මහත්තයා කිව්වේ. අචිනිට තාත්තා ගාව නවතින්න උවමනාව තිබුනත් පිරිමි වාට්ටුවක ගෑනු ළමයෙකුට නවතින්න විදිහක් නෑනේ. තාත්තව ඉස්පිරිතාලේ නවත්තලා ටැක්ටරෙන්ම ආපහු ගමට එන්න උනා එනකොට හොඳටම රෑ වෙලා නිසා එදා රෑ බලෙන්ම වගේ ඩිංගිරි අම්මා අචිනිව එහෙ නවත්තගත්තා. ඒත් පහුවෙනිදා ඉඳන් අචිනි පුළුවන් තරම් තමන්ගේ සාමාන්‍ය ජීවන රටාවට අනුගත වෙන්න උත්සාහ කරා. අචිනිම ගෙදර නවත්තගන්න ගමේ වැඩිහිටි කාන්තාවෝ කීප දෙනෙක් උත්සාහ කරත් නිහඬවම අචිනි ඒවා ප්‍රතික්ෂේප කළා. උදේට නැගිටලා තනියම උයාගත්තා. ඉස්කෝලෙත් ගියා. ඒ ඇවිත් හේනටත් ගියා. අචිනි තනියම ඉන්න නිසා රෑට නම් ගමේ කවුරුහරි වැඩිහිටි කෙනෙක් අචිනිගේ තනියට ගෙදර නැවතුණා. දවස් දෙක තුනකට සැරයක්වත් ටවුමට යන කෙනෙක් එක්කලා තාත්තව බලන්නත් ගියා අනතුරෙන් තදින්ම තුවාලවුන සේපාලව ගොඩගන්න සැත්කම් කීපයක්ම කරන්න සිද්ධ වෙලා. කකුලකුත් කැඩිලා. ඉලඇට කීපයකුත් බිඳිලා. ජීවිත අවදානමනම් දැන් අඩුයි. ඒත් ටික කාලයක් ඉස්පිරිතාලේ ඉන්න නම් සිද්ධ වෙනවා. අචිනි ඉස්පිරිතාලෙට ආපු වෙලාවක සේපාල කිව්වේ නිතර නිතර තමන් බලන්න එන්න කරදර වෙන්න ඕනි නෑ කියලයි. ඒත් මේ පුංචි කෙල්ල තමන්ට පුලු පුලුවන් විදියට තාත්තව බලන්න යන එන එක එන එක නැවැත්තුවේ නෑ ගෙදර වියදමට නං ඉතින් මුදලක් කියලා දෙයක් ඕනි නෑ. ගෙදර හාලුත් තියෙනවා. උයන්න දෙයක් හේනෙන් හොයාගන්න පුළුවන්. ඒත් තාත්තව බලන්න යන්න මඟ වියදමට තමයි සල්ලි ඕනේ. අචිනිගාව තිබුණු සල්ලි සේරම දැන් වියදම් වෙලා ඉවරයි. ගමේ කෙනෙක්ගෙන් ඉල්ලන්නත් හිත දෙන්නේ නෑ. මොකද හැමෝටම මුදල් අමාරු බව අචිනි දන්නවා. තව සුමානෙකින් දෙකකින් විතර විතර විතර නම් හේනේ තියෙන දෙයක් විකුණලා මුදල් ටිකක් අතට ගන්න පුළුවන්. එතකන් තමයි ගැටළුව. අචිනෙට හිතුනේ හොඳම විසඳුම තමයි පොල් මුදලාලිගෙන් මුදල් ටිකක් ණයට ඉල්ලගන්න එක. එළවළු ටික විකුණුපුවාම ඒ මුදල පිය මහන්න පුළුවනිනේ අචිනි ගියා පොල් මුදලාලිව මුණ ගැහෙන්න. ආපු කාරණාව කිව්වට පස්සේ මුදලාලි තාත්තා ගෙනත් අචිනිගෙ විස්තරත් හැමදෙයක් හැමදෙයක්ම බොහොම කරුණාවෙන් අහලා බැලුවා කෙල්ලේ. මගේ අතේ තිබුණු සල්ලි සේරම පොඩි වැඩකට මම ටවුමට යැව්වා. ආපහු අතට සල්ලි එන්නේ හෙට. මම හෙට උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්කො අනේ කරදර වෙන්න ඕනේ නෑ මුදලාලි. මම හෙට ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් මේ පැත්තෙන් එන්නම් නෑ නෑ උඹ මෙහෙට එන්න ඕනි නෑ. මම කොහොමත් උඹලගේ ගෙවල් ගාවට එන්න උවමනාවක් තියෙනවා. ඒ ගමන් මම සල්ලි ගෙනත් දෙන්නම් කිව්වත් වගේම අචිනි ඉස්කෝලේ ඇරිලා ටික වෙලාවකට පස්සේ පොල් මුදලාලි ගෙදරට ආවා. හැබැයි පොල් මුදලාලි සල්ලි දෙන්න විතරක් නං නෙවෙයි ඇවිත් තිබුණේ. ගමේ ගෙවල් තියෙන්නේ ඈතින් ඈතින්. කෙල්ල විතරයි තනියම මේ වෙලාවේ ගෙදර ඉන්නේ. අනික ඉතින් කාන්ති ඉන්න කාලේ ඉදන් පොලී මුදලාලිට මේ ගෙදර නුහුරු තැනක් නෙවෙයිනේ. හැඩි දැඩි මිනිහෙක් එක්ක මේ අහිංසක කෙල්ල කොහොම ඔට්ටු වෙන්නද. කෑ ගැහුවට කාට ඇහෙන්නද. ගෙදර බිත්ති හතර විතරක් නිහඬවම මේ අවනඩුව බලගෙන හිටියා. කෑගහලා දඟලලා බෙරිහ
න් දීලා හති වැටුණු අචිනි අන්තිමට මළකඳක් වගේ ඔහේ පොල් අතු වහලා දිහා බලාගෙන හිටියා. වෙන මොනවා කරන්නද. ජයග්‍රාහී ගොරඇදිල්ලකින් අවසානය සටහන් කරපු වැඩිමහල්ලා ගොමමැටි පොළවේ වැතිරිලා ඉන්න අහිංසකීගේ ඇඟඋඩින් නැගිටලා හිට ගත්තා. කෙල්ල දන්නවා හැමදේම පේන බව. දෙපළු වෙලා ඉරිච්ච කඩමලු සුදුගවුම අත් දෙකෙන් අල්ලලා එකතු කරගන්නවත් අචිනිට වාරු නෑ. කඩමල්ලි තැවරිලා තියෙන තමන්ගේ සතුටේ ප්‍රතිඵල දිහා තත්පර කීපයක් වියරුවෙන් වගේ බලාගෙන හිටපු මුදලාලි සීයේ කොළ කීපයක් අචිනිගේ ඇඟ උඩට විසික් කරාගින්දරේ සැගවුන රහසක් 2. කඩමල්ලි තැවරිලා තියෙන තමන්ගේ සතුටේ ප්‍රතිඵල දිහා තත්පර කීපයක් වියරුවෙන් වගේ බලාගෙන හිටපු මුදලාලි සීයේ කොළ කීපයක් අචිනිගේ ඇඟ උඩට විසික් කරා දැනට උඹ ඕක තියාගනින්. තව දවස් දෙක තුනකින් මම ආපහු ඇවිත් උඹට සල්ලි ටිකක් දෙන්නම්. වැඩිමහල්ලා සරමට ගැටයක් ගහන ගමන් කිසිවක් නොවුනා සේ සතුටින් උරුහම්බාමින් එතනින් පිටවුණා. මේ සිද්ධ වුණේ අචිනි හීනෙකින්වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. ඒ වගේම පොඩි උනත් අචිනි තේරුම් ගත්තා මේක ඉවරයක් වෙන දේකුත් නෙවෙයි බව. මේ කඩමල්ල ආපහු අන්ඩ දාලවත් අඳින්න පුළුවන් කමක් නැ. උඩ ඉඳන් පහලටම ඉරිලා දෙපලු වෙලා. ආපහු ඉස්කෝලේ අදින්නවත් ඇඳුමක් නැහැ. කොහොමත් කෙල්ල හිතා ගත්තා මේ බව කාටවත් නොකියන බව. මහා-සමාජයෙන් වහං වෙච්චි ගං වල මේ වගේ දේවල් නොවෙනවා නෙවෙයි. ඉතින් ඉක්මනින් තීරනේකට ආවා මොනවද කරන්න ඕනී කියලා. කෙලින් වෙන්න පුළුවන් වෙච්ච ගමන් රිච්ච ඇඳුම සිලි කවරෙකට දාලා කටකට ගැහුවා. ඒකත් මුල්ලකින් හංගපු අචිනි අමාරුවෙන් වුණත් ඇඟ සෝදා ගත්තා. රෑට උයන්න නම් පුළුවන්කමක් නෑ. කෙල්ලට හවස් වෙනකොට හොඳටම උණ. ඩිංගිරි අම්මා තම්මල දුන්න බතල කෑල්ලක් එක්ක කහට කෝප්පයක් බීලා අචිනි නිදාගත්තා. පහුවෙනිදා තමන්ගේ ජීවිතයේ උකස් කරලා ලැබුණු සල්ලි වලින් අචිනි තාත්තාව බලලා ආවා. යනකොට තාත්තට පලතුරු ටිකක් ගෙනියන්නත් අමතක කරේ නැහැ මුදලාලි ඊළඟ කුරුමානමට වැඩි කල් ගත්තේ නෑ. අචිනි තාත්තා බලලා දවස් දෙකකට පස්සේ ඉස්කෝලේ ඉදන් ගෙදර එනකොටත් මුදලාලී පිලේ වාඩිවෙලා ඉන්නවා. හිතට දැනෙන බය පිළිකුල අප්‍රසාදය හංගගෙන අචිනි මුදලාලිව පහුකරන් ගිහින් දොර ඇරියා. ඒ ඇසිල්ලෙන් අහම්බෙන් වත් කාගෙවත් ඇස් නොගැටෙන්න මුදලාලේ පැල ඇතුලට පැනගත්තා. කොහොමත් කෙල්ල දැනගෙන හිටියා මෙහෙම වෙන බව. ඒ නිසා කලබල නොවී වෙනදේකට මූනදෙන්න අචිනි සූදානම්. ඉස්සෙල්ලාම කලේ ලිප මොලවලා වතුර එකක් රත්වෙන්න තියපු එක. එකම සුදුගවුමත් ඉරුන නිසා අද ඇදගෙන හිටියේ ඇගටම දියවෙච්චි චීත්ත ගවුමක්. ගම්වල ඉස්කෝල වලට ඒක අරුමයක් නෙවෙයි. චීත්ත ගවුමත් ඉරාගන්න බැරි නිසා අචිනිම ඒක ගැලෙවුවා. ගලවලා පිලිමයක්වගේ හිටගෙන හිටියා මුදලාලිට ඉස්සරවෙන්න දීලා. විවිද තැලීම් පොඩිවීම් තාඩන පීඩන මැද පැය බාගයක් විතර ගතවෙන්න ඇති. එකඅතකට මුදලාලිට දුකයි එදා වගෙ අචිනි කෑගහලා දගලලා විරුද්ද නොවුනට. ඒක මුදලාලිට වෙනමම විනෝදයක්. ඒත් සතුටකුත් තියෙනවා කෙල්ල ඉක්මනට තමන්ගේ උවමනාවට අනුගතවීම ගැන. දැන් බයක් නැතුව ඕනී වෙලාවක එන්න යන්න පුලුවන්. අම්මගේම දුවනේ. මුදලාලී එහෙම හිතුවා. එදා වගේම සීයේ කොල කීපයක් අග උඩට විසි කරපු මුදලාලී යන්න ලෑස්ති වුණා. අමාරුවෙන් උනත් නැගිට නැගිට ගත්තා අචිනි චීත්තයක් පටලව ගත්තා. ඉන්න මුදලාලි මම තේ ටිකක් හදන්නම් ඇතිවෙච්ච විශ්මයට මුදලාලිගේ හක්ක පැන්න නැති ටික විතරයි. පැහිලා උතුරන කේතලෙන් තේ මඩියට වතුර ටිකක් දාලා සීනි ඇබින්දෙකුත් කවලං කරලා අචිනි කහට කෝප්පයක් මුදලාලිට හදලා දුන්නා. මුදලාලි. මට මේ සල්ලි මදි. මොකක් මට මේ සල්ලි මදි අප්පට බොල. උඹලගේ නැති බැරිකන් වලට උදව්වක් කරපුවාම උඹ ඒක බිසිනොස් එකක් කරගන්න හදනවද පැගිරියේ මඟුල් බිසිනොස් එකක් නෙමෙයි. එදා සුදු ගවුම ඉරුවනේ. මට දැන් ඉස්කෝලේ අදින්න සුදු ගවුමක් නෑ. ගවුම් කෑලි දෙකක් මහගන්න මෙච්චරක් වෙනවා. අනික ඉතින් නැති බැරි කමට උදව් කරපු හැටි ගැන මම කට පියාගෙන හිටියනේ. නේද මුදලාලි. පුංචි කෙල්ල ඇස් දෙක දිහා බලාගෙන කෙලින් කතා කරනකොට මුදලාලිටත් පොඩි තිගැස්මක් ඇති වුණා. ප්‍රශ්න මොකටද දුරදිග යවා ගන්නේ. මුදලාලි ඒ ඉල්ලපු ගානටත් වඩා පොඩි ගානක් වැඩියෙන් දීලා හිමින් එතනින් ලිස්සෙල්ලා මාරු උනා. දවසක් දෙකක් ගත වෙනකොට මුදලාලි ආපහු නළිනවා. අනිත් එක කාට හරි කියනවනම් කෙල්ල මේ වෙනකොට කියලා. පහුවෙනිදා උදේ වෙළ පහළ පොල් කෑල්ලට යනකොට මුදලාලි දැක්කේ සුදට සුදේ අලුත්ම ගවුමක් ඇඳගෙන ඉස්කෝලේ යන අචිනිව. මුදලාලට හදිස්සියේම අවුරුදු පහලවකින් විස්සකින් තරුණ වුණා වගේ දැනුණා මුදලාලි අචිනි ළඟටම එනකල් ඉඳලා පණිවිඩයක් කිව්වා. උඹ අද හරි ලස්සනයි කෙල්ලේ. මම හවසට එන්නම්කෝ උඹේ ලස්සන තව ටිකක් බලලා යන්න අචිනිත් මුදලාලිට පණිවිඩයක් කිව්වා. තාත්තා කිව්වා මුදලාලිට හේනේ ඵලදාව ඔක්කොම කඩා ගන්න කියලා. ඒකට හරියන්න රුපියල් 20000ක් ඉල්ල ගන්න කිව්වා. මොකක්ද ඔපරේසොන් එකකට සල්ලි ඕනේ කියලයි කිව්වේ. හවසට එනවනම් ඒකත් අරගෙන එන්න කොහොමත් හේනේ ඵලදාව ඊට වඩා වැඩියි. කොහොම බැලුවත් මුදලාලිට වාසියි. කියපු මුදලක් අරගෙන මුදලාලි අචිනි ඉස්කෝලේ ඇරිලා එන වෙලාවටත් කලින් පැලට ඇදුනා. ඒත් ඊට කලින් කෙල්ල ගෙදර ඇවිල්ලත් ඉවරයි. කෙල්ල නාලා තවම තෙත චීත්තේ පිටින් ඉන්නේ. ගේ පුරාම හොඳ කෑම සුවඳකුත් දැනෙනවා. කෑම සුවඳට දැනුණු කුසගින්දරට වඩා අචිනිම දැක්කම දැනුණු හිතේ ගින්දර ඊට වඩා වැඩියි. හිතේ හැටියට අඩවුවක් අල්ලපු මුදලාලී මහන්සිය නිමාගන්න බිත්තයට හේත්තු උනා. මුකුත් අහන්නෙත් නැතුව නැගිටලා සාලුවක් දවටගත්තු අචිනි ගෙදර තිබුණු හොඳම බෙලෙක් පිඟානට මුදලාලිට උණු උණුවේම බත් එකක් බෙදුවා. හාල්මැස්සෝ තෙම්පරාදුවක්, සැර කොච්චි සම්බෝලයක්, මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් එක්ක බොරට හදපු තුන්මස් අල හොද්දක්. මුදලාලිට හිතුනේ තමන් අද එන බව කලින් කියපු නිසාම අචිනි ඉස්කෝලෙ නොයා ආපහු ඇවිත් තමන් වෙනුවෙන්ම කෑම වේලක් හදපු බව. ඇත්තටම උනෙත් ඒකම තමයි. මුදලාලිට ඒ වෙලාවේ කෙල්ල ගැන මොකක්දෝ හැගීමක් ඇති උනා. කොහොමත් සුමාන 2-3කින් සේපාලයා ගෙදර ඒවි. මුදලාලි තනියම හිතාගත්තේ කෙල්ලව වත්තේ ලියනකියන වැඩවලට ගත්තනම් හරි කියන හැගීම. එතකොට පැල්කොටේ ගානේ රින්ගන්න ඕනිත් නෑ, හැංගිමුත්තම් කරන්න ඕනිත් නෑ. අනික මාසේ අන්තිමට ඕනිනම් කීයක් හරි දෙන්නත් බැරියෑ. ඉල්ලපු මුදලත් දීලා, අචිනිගේ අතින් හැදුන රසට ඉගුරු දාපු කහට කෝප්පෙත් බීලා තමන්ට හදිස්සියේ පලදුන්නු මේ පින් ගැන හිතමින් මුදලාලී පොල්කෑල්ලට යන්න පිටත් උනා. මුදලාලී ගියගමන් අචිනි කලේ තුම්මස් අලහොද්ද හට්ටිය පිටින්ම වලක් කපලා වලලපු එක. එදා රෑ මුදලාලිගේ ගෙදර අය මුදලාලී ගෙදර එන්න පරක්කු නිසා පොල්කෑල්ලට හොයාගෙන ගියා. ඒත් උදේ වරුවෙන් පස්සේ මුදලාලි ආපහු පොල් කෑල්ලට ඇවිත් තිබුණේ නෑ. මුදලාලිව ආපහු දකින්න ලැබුණේ පහුවෙනිදා. උදෙන්ම මාළු අල්ලන්න ගඟ පැත්තට ගියපු ඒබරං ආතා තමයි මුදලාලිව දැකලා තිබුණේ. ඇඟම නිල් පාට වෙලා, නහයෙන් කටින් සෙම දාගෙන, ගඟ ළඟින් තිබුණු අඩි පාරේ මුදලාලි මැරිලා වැටිලා හිටියා. ලැව් ගින්නක් වගේ මේ ආරංචිය අචිනිගේ ගමේ මේ විතරක් නෙමෙයි අහල ගම්වලටත් පැතිරුණා. පොලිසියෙන් ඇවිත් මිනිය ගෙනියන්න කලින් ආරංචිය අහපු හැමෝම ගඟ පැත්තට දුවගෙන ගියා. ඒ තමන් අහපු කටකතාවේ ඇත්ත නැත්ත ඇස් දෙකෙන්ම බලාගන්න. ගියේ නැත්තේ අචිනි විතරයි. මහසෝනා ගහලද, හොල්මනකට බයවෙලාද, සර්පයෙක් ගහලද, පපුවේ අමාරුවක් හැදිලද.. ගම්මු එක එක කතා කීවා. එක කතාවක් යටපත් වෙනකොට තව අලුත් අදහසක් මතුවෙනවා. ගම්මුන්ගේ කටවල් වලට නිවනක් නෑ. අචිනි තෘප්තිමත් සිතින් ඉදලත් අරගෙන කාලෙකට පස්සේ මිදුල අතුගාන්න ගියා.## **දුම්රියේ ඛේදවාචකය (සිතන්න යමක්).......** ළමයින් කණ්ඩායමක් දුම්රිය මාර්ග දෙකක් ඇති තැනක සෙල්ලම් කරමින් ඉන්නවා. මේ මාර්ග දෙකෙන් එකක් දැනටත් දුම්රිය ගමනාගමනයට භාවිතා වන අතර, අනෙක භාවිතා නොකරන පැරණි මාර්ගයක්. මෙම ළමයින් කණ්ඩායමෙන් එක් ළමයෙක් පමණක් තනිව පැරණි මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින අතර අනෙකුත් සියලුම ළමයින් සිටින්නේ දැනට භාවිතාවන මාර්ගයේ. හදිසියේම දුම්රියක් එනවා..... මේ අවස්ථාවේ එම දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන ළමයින් ‍බේරාගැනීමට ඔබට කරන්න පුළුවන් එකම එක තෝරාගැනීමක් පමණයි. එනම්, එම දුම්රිය පැරණි මාර්ගයට යොමු කිරීම විතරයි. නමුත් එයින් ඒ මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින ළමයා දුම්රියට බිලිවෙනවා. ඔබ ගන්නා තීරණය කුමක්ද? ළමයින් බහුතරයකගේ ජීවිතය වෙනුවෙන් එක් ළමයෙකුගේ ජීවිතය කැප කරනවාද? නැතිනම් දුම්රිය යායුතු මාර්ගයේම යන්නට ඉඩහරිනවාද? මොහොතක් කල්පනා කරන්න.................... ? ? ? මෙම ප්‍රශ්ණයට පිළිතුරු දෙන බොහෝ දෙනෙක් කියන්නේ කීපදෙනෙකුගේ ජීවිතය වෙනුවෙන් එක් අයෙකුගේ ජීවිතය කැපකිරීම සාධාරණ බවයි. ඔබගේත් තීරණය එය නම්, මදක් පහත කරුණු සලකා බලන්න.... පැරණි දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන ළමයා ආරක්‍ෂාකාරී ස්ථානයක සෙල්ලම් කිරීම යන නිවැරදි තීරණය ගෙන ඇති බව ඔබ පිළිගන්නවාද? එසේනම් ඔහුගේ මිතුරන්ගේ වැරදි (මම නම් මෙයට කියන වචනය “මෝඩ”) තීරණය නිසා ඔහුට දුම්රියට බිලිවන්නට සිදුවීම කොතරම් සාධාරණද? එසේනම් බුද්ධිමත් තීරණ ගැනීම යනු වැරැද්දක්ද? මෙවැනි ඛේදවාචක ඕනෑතරම් අද අපේ සමාජයේ (විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක) දක්නට ලැබෙනවා. බහුතරයකගේ තීරණය කොතරම් අදූරදර්ශී / අනුවණ වුවත් ඒ සඳහා පිළිගැනීම ලැබෙනවා, එම තීරණ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වන්නේ බුද්ධිමත් තීරණ ගන්නා සුළුතරයයි. (මේ සඳහා හොඳම උදාහරණය “මැතිවරණය” යන වචනය තුල අන්තර්ගත වේදැයි මම නොදනිමි) දැන් අපි අපේ ගැටළුවට නැවත යොමුවෙමු... ඔබ දුම්රිය යායුතු මාර්ගයේම යන්නට හැරියොත් කුමක් සිදුවෙයිද? බොහෝවිට එම මාර්ගයේ සෙල්ලම් කරන ළමයින් එහි දුම්රිය ගමන් කරන බව දන්නා නිසා අවධානයෙන් සෙල්ලම් කරනවා වෙන්න පුළ
ුවන්. ඒ නිසා ඔවුන් දුම්රියක හඬ ඇසුනු විගසින් ආරක්‍ෂාකාරීව දුම්රිය මගෙන් ඉවත් වීමට ඉඩ තියනවා. එමෙන්ම, ඔබ දුම්රිය පැරණි මාර්ගයට යොමු කළහොත් එහි සිටිනා ළමයා කිසිසේත්ම එම මාර්ගයේ දුම්රියක් පැමිණේයයි නොසිතන නිසා එයට බිලිවීමට වැඩි ඉඩක් තියනවා. ඒ වගේම, පැරණි දුම්රිය මාර්ගය භාවිතා නොකරන නිසාවෙන් එහි දුම්රියක් ගමන් කිරීම සඳහා සුදුසු තත්වයක් පවතිනවාදැයි කිසිම සහතිකයක් නැති අතර දුම්රිය අනතුරකටද ලක්විය හැකියි. වෙනත් අයුරකින් කියනවා නම්, ඔබ එම දුම්රියේ ගමන් කරන සිය ගණනකගේ ජීවිත ළමයින් කිහිප දෙනෙකුගේ ජීවිත වෙනුවෙන් කැප කරනවා වෙන්න පුළුවන්. මෙම ගැටළුව පිළිබඳව විවිධ අයුරින් තර්ක කල හැකි නමුත් එක් පැහැදිලි පිළිතුරක් නැත. එසේ නම් අප වටහා ගතයුතු කරුණ වන්‍නේ.... ජීවිතය යනු අප විසින් ගන්නා විවිධ තීරණයන්හි එකතුවක් බවයි. එමෙන්ම මතක තබාගන්න... * හැඟීම් මත පදනම්ව ගන්නා ඉක්මන් තීරණ සැමවිටම නිවැරදි තීරණ නොවේ. * ජනප්‍රිය තීරණය සැමවිටම නිවැරදි නොවිය හැකි අතර, නිවැරදි තීරණය සැමවිටම ජනප්‍රිය නොවිය හැක. ප. ලි. මේ කතාවට පාදක වුනේ Train Track & Children / Train Tracks Dilemma වගේ නම්වලින් පැතිරුන කතාවක් ආශ්‍රයෙන්. එහි කතෘ ගැන සඳහනක් නොවුනත්, එහි මූලාශ්‍රය Philippa Foot විසින් මුලින්ම හඳුන්වාදෙනු ලැබූ **The Trolley Problem **නම් සිද්ධාන්තයයි.නිවාඩුවට පාසලට ඇවිත් ෴ ******************************* දඟකාර දරුවන්ගෙ දෑසින් මිදී හුඟ කල්ද සැඟවිලා ඔතනට වැදී හිඟ නැතිව මල්පැණිත් ඇති තැනකදී කඟවේනො පොදියක්ව සැඟවී හිදී මකරන්ද ගෙන ගියේ කොයි ලෙසකදෝ සැක නැතිව මී බැන්දෙ තැන් නැතිවදෝ දැක දැකත් පොඩි එවුන් මෙහි ආවදෝ ටික කලක් නැවතිලා පිට වෙනවදෝ දින ටිකයි නිවාඩුව නම් මේ වර ගැන ගැනම උන් හිඳී සෙල්ලම් කර වෙන තැනක් සොයාගෙන බාධක තොර යනවාද දරුවො ටික එන්නට පෙර සන්ධ්‍යා කුමාරි මැණික්ගම .එංගලන්තයේ තතු, අද මම ලියන්න හිතුවේ එංගලන්තයට බොහෝ පිරිසක් මේ දවස් වල ඇදෙන නිසා, මේ රටේ ගෙවල් සහ රැකියා හොයාගන්න ක්‍රම ගැන. මේ රටේ ගෙවල් හොයාගන්න එක සහ රැකියා හොයාගන්න එක පළමු අවස්ථාවෙදී ටිකක් අමාරුයි. ඔයාලට වීසා එක හරි ගියපු ගමන්ම, ලංකාවේ ඉඳන්ම online ඇප්ලයි කරන්න පටන්ගන්න. එක ගෙදරකට ඇප්ලයි කරන අය 10කට වැඩී. ඩිමාන්ඩ් එක ගොඩක් වැඩී මෙහෙ ගෙවල් වලට. මෙහෙ ගෙවල් රෙන්ට් කරන අය ඒජන්සි වලට ගෙවල් භාරදීලා තියෙන්නේ. ඒජන්සි වලින් online අපි ඇප්ලයි කරන්න ඕනේ. එතකොට එයාලා අපිට දෙනවා ගේ බලන්න වෙලාවක් ඒ වෙලාවට යන්න තියෙන්නේ. ඇත්තම කථාව ගොඩක් වෙලාවට මේ රටට මුලින්ම එන කෙනෙක්ට මාසටකට වඩා යනවා රැකියාවක් හොයාගන්න. ඕනම විදියේ රැකියාවක්. ඒකට හේතුව සිටිසන් නොවන, ස්ථිර පදින්චි තහවුරුවේද නැති සහ අපිට මේ රටේ ඉතිහාසයක් නැති වීම. අපි දන්න 90%කට වැඩි පිරිසකට මට ඇතුලුව ඒ වගේ කාලයක් ගියා. ඉතින් අපිට රැකියාවක් නැතුව නිවසක් හොයාගන්න පුලුවන්ද? ඒක හරිම අමාරුයි. ඒ නිසා මෙහෙ තව ක්‍රමයක් තියෙනවා shared accommodation කියන ගෙවල්. එකම ගෙදරක පවුල් දෙකක් හරි තුනක් හරි තැනක් හොයාගන්න කම් ජීවත් වෙන. මේක අපේ රට වලට නුපුරුදු උනාට ගොඩක් රට වල සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වගේ තැන් මුලින් ගන්න ටිකක් ලේසී සාපේක්ෂව. නැති නම් අපිට මාස 6ක් ස්ථිර තැන්පතුවක් නැත්නම්, රට ඇතුලේ සිටිසන් කෙනෙක් සාක්ෂිකරුවන්ට අත්සන් කරන්න වෙනවා රැකියාවක් නොමැතිව ගෙයක් ගැනීමේදී. සතියකට ගෙවල් 50කට ඇප්ලයි කරොත් ඒජන්සි 5ක් වගේ බලන්න කථා කරනවා. ඒ තරම් ලේසි නැති වැඩක් මුල්ම ගේ හොයාගන්න එක. පවුම් උපයන්න අරගෙන නැති නිසා Airbnb වල ඉන්න එක වියදම ගොඩක් වැඩී. අපි එහෙම රටකට යනව නම් අපිට පුලුවන් වෙන්න ඕනේ තමන්ගේ Comfirtable zone එකෙන් පිට තීරණ ගන්න. නැත්නම් මේ රට වල මුලින් පැවැත්මක් හදාගන්න එක හිතන්න වත් අමාරුයි. Rightmove, වගේ වෙබ් අඩවි වලින් ගෙවල් හොයාගන්න ඇප්ලයි කරන්න පුලුවන්. ඊලඟට රැකියා, ගොඩක් වෙලාවට මැනේජ්මන්ට් පෝස්ට් වල හරි ලංකාවේ ඔෆිස් එකක වැඩ කරලා පුරුදු අය තමයි මෙහෙ එන්නේ. අපි ආපු ගමන් තෝරනවා පුරුද්දට, මාසයක් විතර ඔෆිස් ජොබ්ස් දනවා, දෙවනි මාසේ ටිකක් අඩු ඒවට දානවා, තුන්වෙනි මාසේ වෙනකොට හෙම්බත් වෙලා ඕනම එකකට දානවා, ඔන්න එතකොට 4 වෙනි මාසේ වගේ වෙනකොට ජොබ් එකක් හොයාගන්න හම්බෙනවා. අපි එන අයට මොනතරම් කිව්වත් එකමදේ තමයි හැමදාමත් වෙන්නේ. මෙහෙ බඩු වල ගාන අනුව කොලිටි තීරණය වෙනවා කියලා දෙයක් නැහැ. ඕනම කෙනෙක් ප්‍රධාන කන බොන බඩු ගන්නේ, ALDI , Lidle ඔය දෙකෙන්. මේ සුපර් මාකට් වල තමයි ලාබම බඩු තියෙන්නේ. වෙන ඒවට යනවා නම් ටිකක් ස්ථාවර වෙනකම් ඉන්න කියන දේ තමා මගේ නම් අදහස. මොනව හරි ගැටලු තියෙනවා නම් මේ රටට ඇවිත් ඉන්න හරි එන්න ඉන්න හරි අයට කමෙන්ට් එකක් දාන්න. වෙලාව තියෙන විදියට මම රිප්ලයි කරනවා අනිවාර්‍යෙන්. ඒ වගේම තමයි මේක මගේ සහ අපි දන්න බොහෝ දෙනෙක්ගේ අත්දැකීම.මීට වෙනස් අත්දැකීම් තියෙන අය ඉන්නව නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. කාට හරි ප්‍රයෝජනයක් වේවි.# **කෝටු කකුල් පුංචා** "ඕං මයෙ පුතේ, බොහෝම ඉහත්තාවෙ උන්නලු කොලු පුංචෙක්. උන්දගෙ කකුල් කෙටි බොහෝම උහයිලු. උන්දත් බොහෝම හීන්දෑරියිලු. ඉතින් උන්දට කවුරුත් කීවෙ කෝටු කකුල් පුංචා කියලලු. කොලුවා බොහෝම විස්සෝප උනාලු ඌට යාලුවො කෝලිත්තං කොරද්දි. කොයියම්ම වෙලාවෙත් කාණ්ඩෙන් වහන් වෙලාමලු උන්නෙ." "මට ඇති අත්තම්මේ. බඩ මේ.." කොලුවා බඩ පුම්බන්නේ අත්තම්මා අවුස්සන්ටය. "අනේ මයෙ රත්තරනෙ තව දෙකටක් කන්ටකො. රාත්තිරි නිදි මරන්ටත් එපැයි මයෙ අම්මා" අත්තම්මා පින්සෙන්ඩු වන්නේ තවත් බත් ගුලියක් හදමිනි. "අපෝ ඇති අත්තම්මා. බඩ පිරිලා. මේං සයිස් එක" කොලුවා ඕනෑවටත් වඩා පිරුණු බඩ තවත් පුම්බයි. "ඔය ඇති අම්මා. රෑට එහෙන් බත් දේවි සරුවට. ඔය චෝරු හොද්ද වගේද, හප්පා බඩ පැලෙන්න කතෑකි කොලූට අද" ඇඳේ හිද කියන්නේ කොලුවාගේ අප්පාය. අත්තම්මා වෙතින් පැන දුවන්නට කොලුවාට ඒ ඇසිල්ල ඇතිය. "ඔය ඉතිං. බුදියගත්තා නම් එහෙම්ම හිටපන්කො කට නොදා. අගේට තව දෙකටක් කවාගන්න තිබ්බා. කොහෙද පුතාට හපන්නෙ අප්පා. කාපියවු ඉතින් ගිහින් බඩපැලෙන්න රෑට. හැමදාම ගිලින මගෙ චෝරු හොද්ද බොලාට මදිනෙ ඉතින්" අත්තම්මා එවර ගෝලු ගන්නේ කොලුවාගේ අප්පාටය. කොලුවා උපන්නේ දහ අටේ කොලණි කෑල්ලේ අවිත්තියාගේ ප්‍රියන්ත, එහෙම නැත්නම් කොළණියේ උන් කියන විදිහට ගිණි බෝල පියන්ත හෙවත් උගෙ අප්පාට දාවය. වැදූ ගෙයි සන්නියෙන් උපන්දාම මවු අහිමිවූ හින්දාත්, උගේ අප්පා තම අකාලේ මිය පරලෝ ගිය ඇඹේණියගේ ඉඩ ආයෙමත් පුරවන්නට නොහිතූ හින්දාත් කොලුවා හැදුනේ තම වයසක මිත්තණිය ඇසුරේය. "කොලුවෝ ලෑස්ති වෙයං. අනිත් උන් ටික මෙලාකටත් එලි බැහැලා ඇති. කලුවර එක්කම ගියා නම් හොඳයි කොහොමත්" පියන්ත කොලණියේ ගිණි බෝල කණ්ඩායමේ යාව ජීව සාමාජිකයෙක් වූයේ අවුරුදු හයේ ඉඳන්ය. ඒ, ඒකාලයේ ගිණි බෝල කණ්ඩායමේ වැඩිමහල්ලා වූ පියන්තගේ සීයා විලිසොන්ගේ පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙසය. එදා හිට අද වෙනතුරුත්, ඔපීසියක පියන් කමක් කලත් පියන්ත ගිණි බෝල රාජකාරිය අත හැරියේ නැත. .............................................. "කෝ කවුරුත් දෙය්යො බුදුන් සිහි කරලා කාගෙ කාගෙත් ආම්පන්න වලින් අවසර අරන් හිටිමු එහෙනම්" ඒ ගිණි බෝල කණ්ඩායමේ වැඩිමල්ලා සිරිල්ය. ඒ දළදා හාමුදුරුවන්ගේ මුල්ම කුඹල් පෙරහැර දවසය. ගිණි බෝල රාජකාරිය පටන්ගන්නට පළමුව කාගෙ කාගෙත් රාජකාරී ආම්පන්න බිම අතුරා ඒවායෙන් වැඳ අවසර ගැනීමත්, පස්සෙන් පහු වැඳ ඉස්තූති කීමත් ඒ කාලයේ සිට එන සිරිතකි. "පුංචො, මේක දේව කාරියක් වගේ පේවිලා කරන්ට ඕනෙ රාජකාරියක්. බොහෝම පුරාතනේ අපේ අප්පලට මේ රාජකාරිය පවරලා තියෙන්නෙ අපේ විමලධර්මසූරිය රජ්ජුරු උන්නාන්සෙ. එදා පටන් මේවා අපිටම වෙච්චි රාජකාරි. කෝ එහෙනම් වැඩිමාල්ලන්ගෙන් අවසර ගමු රාජකාරිය අරඹන්ට" කොලුවා දළදා පෙරහැරේ ශිල්ප දක්වන මුල්ම දවසේ සිරිල් මාමා කොලුවාට රාජකාරි පැවරුවේ එහෙමය. කොලුවා ගිණි බෝල රාජකාරියට අත්පොත තිබ්බේ එහෙමය. ............................... "කෝ එහෙනම් කස අරගෙන උඹලා හතර දෙනා පේලි දෙකට වෙයල්ලා. කෝ විමලෙ, පුංචො හතර දෙනා කකුල් බැඳගත්තද? ගුණේ උඹ ලොරිය පස්සෙ යමන් ආම්පන්න බලාගෙන. එහෙනම් දෙයියො බුදුන් සිහි කරලා රාජකාරි පටන්ගමු." කවදාත් ඇහෙන සිරිල් මාමාගේ හෑල්ල දැන් කොලුවාට හොඳටම කට පාඩම්ය. කොහොමත් ගිණිබෝල රාජකාරිය මහත් වගකීමක් ඇති එකකි. ඔක්කෝටම කලින් පුන්නක්කු පාංකඩ බැඳ ආම්පන්න සූදානම් කරගත යුතුය. ආම්පන්න දල්වන්ට වගේම නිමන්ටත් කවුරුන් හෝ සැදී පැහැදී සිටිය යුතුය. චටාස් පටාස් කස සද්දෙත් එක්ක කඨින පෙරහැර හෙමීට හෙමීට ඉදිරියට ඇදේ. ගිණි බෝල වලලු, ලණු, පොලු ගෙන කාටත් කැපී පෙනෙමින් හරඹ දක්වන්නට වැඩිමනත්ම මනාප ඉලන්දාරි නලා හඬට පාද තබමින් ගිණි බෝල කරකවන්නේ එකෙකුට එකෙක් දෙවෙනි නොවෙමිනි. එකෙක් ගිණි පන්දම් වේගෙන් කරකවා ඉදිරියෙන් ගිණි වලල්ලක් මවද්දී, තවෙකෙක් හිසට උඩින් ගිණි වලල්ලක් මවයි. උන් පරයමින් තවෙකෙක් බිම දිගාවෙමින්, පෙරලෙමින් ගිණි වලලු මවයි. ගිණිබෝල කරකවමින් පයින් එන්නන් අතරින් උසට උසේ එන්නෝ බොරු පා බැඳගත්තෝය. කොලුවාද උන්නේ ඒ අතරය. බොරු කකුල් බැඳගත් කල පෙරහැරේ බඩගාන වේගයට ගමන් කිරීම පුංචි උන්ට අසීරුය. එවිට උන් කරන්නේ අසල තාප්පයකට කණ්ඩියකට ගොඩවී හිඳ, පෙරහැර මංසන්ධියකට ළංවන විට නැගිට ගොස් තම කණ්ඩායමට එක්වීමයි. බොරු පා ඇත්තන්ට ගිණි ආම්පන්න සපයන්නේත්, ආපහු ගන්නේත් කණ්ඩායමේ අනිත් ඇත්තන්ය. ................................... "ඉතින් ඔය රටේ මහා දුක්බර කාලයක් ආවලු. රජ්ජුරුවන්ගෙ දූ කුමාරිව භයානක යකෙක් අල්ලගෙන යකාගෙ මාලිගාවෙ සඳලුතලේ කාටත් පේන්න ගැට ගහලා තිව්වලු. කුමාරිව නොමරන්න නම් හැමදාම මස් රාත්තල් සීයක් ඕනෙ කිව්වලු. අනේ අපොයි. කුමාරි බොහොම සිවුමැලි. අපි වගේ නෙමෙනෙ පුතේ. රජ සැප විඳපු කුමාරියක්නෙ. අනේ ඉතින් ක
ුමාරි අඬ අඬා ඉන්නවා. ඔහොම ඔහොම ගිහින් රටේ හරක් පට්ටි, එලු පට්ටි, කුකුලෝ ඔක්කොම ඉවර වේගන එනවලු. රටවැසියොත් ඉතින් අඬ අඬා රජ්ජුරුවන්ට දුක කියනවලු" "එතකොට සත්තු ඉවර වුනාම යකාට මොනවද ආච්චියෙ කන්න දෙන්නෙ" "ඒක තමා පුතේ යකා සත්තුන්ව කාලා ඉවර වෙලා මිනිස්සුන්වත් ඉල්ලන්න ගත්තලු. රජ්ජුරුවන්ට මිනිස්සු බිලි දෙන්න බෑනෙ පුතේ. ඉතින් රජ්ජුරුවො අඬබෙරයක් ගැහුවලු කොයියම්ම ආකාරෙකට හරි කුමාරි බේරලා ‍යකාව එලවලා දෙන කෙනෙකුට කුමාරිවත් කරකාරෙට දීලා රජකමත් දෙනවයි කියලා. ඔන්න ඉතින් එදා ඉඳන් එක එක රටවල කුමාරවලු, ශක්තිවන්ත තරුණයො එනවලු කුමාරි බේරගන්ට" "අත්තම්මගෙ හැම කතාවෙම රජ්ජුරුවොයි, කුමාරියි, යක්කුයි, කුමාරයොයි. මං කියන්නද ඉතිරි ටික. කුමාරයන්ටයි, අර ශක්තිවන්ත කොල්ලන්ටයි බැරි වුනාලු කුමාරි බේර ගන්ට. අර අත්තම්මගෙ කෝටු කකුල් පුංචා, කෝටු කකුල් වලින් යකාගෙ සඳලුතලේට පැනලා, යකාට ගහලා කුමාරි බේර ගත්තලු. ඩිශුම් ඩිශුම් ඩිශුම්" අත්තම්මා කෙරෙන් පැන යන කොල්ලා පවසන්නේ අහසට පහර එල්ල කරමිනි. "ඔහෙ හිටු හොර කොල්ලා. පැන්නා නේද අදත්?" අත්තම්මා බත් පිඟානත් ගෙන පස්සෙන් පන්නන්නේ හැමදාම වගේය. "කොලුවෝ කෝටු කකුල් හින්දා තමයි උන්දට රජ්ජුරුවෝ වෙන්ට පුලුවන් වුනේ." අත්තම්මා පවසන්නේ කොලුවාට වදෙන් පොරෙන් තවත් බත් කටක් කවමිනි. .................................... "මේ පසිඳුලගෙ ආත්තම්මද?" ඉස්කෝලෙ නෝනා පසිඳු හොයාගෙන ගෙදරටම ආවේ සති ගානක් කොලුවා පාසල් නොආ හින්දාය. පන්තියේ ළමයින්ගෙන් පසිඳු ගැන විමසූ විට නැගුනේ කිචි කිචියකි. "ටීචර් එයාලා පසිඳුට බොරු කකුලා කියලා විහිලු කලා. පසිඳු ඇඬුවා. ඩෙස් එකෙන් ඔලුව ඉස්සුවෙ නෑ ගෙදර යනකල්" අන්තිමේ වූ හදිය දැනගන්නට ළමුන් කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කරන්නට සිදු විය. "ඇයි පසිඳු ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ. හොඳට ඉගෙන ගන්න ළමයා. කවදා හරි හොඳ තැනකට ඒවි" "අනේ නෝනා කොලූ ඉස්කෝලෙ යන්ට බෑ කියනවා. ඌට කොල්ලො කෝලිත්තම් කරනවලු බොරු කකුලා කියලා" "අත්තම්මා පසිඳුව එක්ක එන්ටකො. මම බලාගන්නම්. පසිඳු හෙට එන්ට ඕනෙ ඉස්කෝලෙ" ඉස්කෝල නෝනා පිටවුනේ පසිඳුගේ ඔලුවත් අත ගාගෙනය. ............................ "පසිඳු.... යකෝ උඹ. උඹ බොරු කකුල් කාරයෙක්ද?" කඨින පෝලිමෙන් කොලුවාගේ නම ඇහෙන විට කොලුවා හිටියේ වාඩිවී උන් තාප්පයෙන් නැගිටින්නට හදමිනි. පහල වූයේ ලහිරුය. පන්තියේ තමන් හා පළමු තැනට තරඟ කරනා සගයාය. කලබලවූ කොලුවා පෙරහැර මැද ඇද වැටුනේ කවුරුත් මදකට කලබල කරමිනි. "ඌයි." කොලුවාගේ පාදයක් රිදුම් දෙයි. "රිදෙනවද මයෙ අම්මා. කොයි ඔය කකුල ගලවන්ට" කොලුවාගේ තාත්තා කොලුවා අසල ලතැවෙන්නේ කොලූගේ බොරු කකුල ගලවමිනි. එදා ගිලන්වූ කොලුවා නැවත පාසල් ගියේ සති දෙකකට පමණ පසුය. ඒද එක් පයක් කොර ගසමිනි. "අන්න බොරු කකුලා එනවා" පන්තියට එන විටම කොලුවාට ඇහුනේ ලහිරුගේ හඬයි. "බොරු කකුල හොඳඳ දැන්?" "බොරු කකුලා ආයෙ කවද්ද පෙරහැරේ නටන්ඩ යන්නෙ" "හූ හූ බොරු කකුලා" " බොරු කකුල් පසිඳුවා" "මුගෙ බොරු කකුල කඩමු" "ලැජ්ජා නැද්ද බොරු කකුල් බැඳන් නටන්ඩ. මූ ගවුමකුත් ඇඳන්ලු හිටියෙ. රැලි ගවුමක්. ඊයා" "බොරු කකුල් කාරයා" "බොරු කකුලා" "අනේ...." කොල්ලා ඇහැරුනේ සියොලඟම දාඩිය දමමිනි. "අනේ අත්තම්මෙ මට නම් බෑ ආයෙ ඉස්කෝලෙ යන්ට. පන්තියෙ ළමයි මට කතා කියනවා. බොරු කකුලා කියලා හිනාවෙනවා. මට නම් බෑ ආයෙ යන්ඩ" කොලුවා කියන්නේ අඬමිනි. "අනේ මයෙ අම්මා, ඉස්කෝලෙ නෝනා ගෙදරටම ඇවිත් කිව්වනෙ පුතේ. නොයා කොහොමද. යන්ට මයෙ අම්මා. ඉගෙනගත්තම කාටවත් බෑ මයෙ අම්මා ඔහොම කෝලිත්තම් කරන්ට" අත්තම්මා පින්සෙන්ඩු වෙන්නී කොලුවා වැලඳගනිමිනි. ............................................ "ළමයි. මට හිතුනා ඔයාලගෙ නුවර පෙරහැර පාඩම ඔයාලට හොඳට තේරෙන්නත් එක්ක පෙරහැරක් පවත්වන්ඩ. මම ප්‍රින්සිපල් සර්ටත් කිව්වා. පන්සලේ හාමුදුරුවොත් කැමතියි. ඔය ළමයි කැමතිද? කෝ බාරගන්ඩ එහෙනම් එක එක කොටස්" ඉස්කෝලෙ නෝනා කියන්නේ පෙරහැරේ එක එක රාජකාරි බෝඩ් එක මත ලියමිනි. ඒ පසිඳු ඉස්කෝලෙ නෝනා ආ ගිය පසු ඉස්කෝලෙ ආ තුන් වෙනි දවසය. "ටීචර් පසිඳුට පුලුවන් බොරු කකුල් කාරයා වෙන්ඩ. ගිණි බෝල කරකවන්ඩත් පුලුවන්" ඔක්කෝටම කලින් කටදැම්මේ ලහිරුය. "හරි. එහෙනම් බොරු කකුල් බැඳගෙන ගිණිබෝල කරකවන්ඩ පසිඳුට බාර දෙමු. ලහිරු මොනාද බාර ගන්නෙ?" ඉස්කෝලෙ නෝනා අහන්නේ පසිඳුගේ නම ගිණිබෝල ඉදිරියෙන් බෝඩ් එකේ ලියමිනි. "ටීච මම... මම..." ලහිරු ගොත ගසයි. "කල්පනා කරලා කියන්ඩකො එහෙනම්. කෝ අනිත් ළමයි." "ටීච අපි තුන් දෙනා කළගෙඩි නැටුම" "ටීච මගෙ ගාව තියෙනවා බෙරයක්. මම බෙරකාරයා වෙන්නම්" "ටීච මම කස ගහන්නම්" "ටීච මා ගාව තියෙනවා අලි සූට් එකක්. මම අලියා වෙන්නම්" ළමුන් එකිනෙකා එක එක කාරියන් බාර ගනී. "හරි එතකොට ඉතුරු කොඩි ගෙනියන එක තමා. ලහිරු එහෙනම් කොඩියක් හදාගෙන එන්ඩකො" .................... හීන් සීරුවේ පෙරහැර ඉස්සරහට ඇදේ. ඉස්සරහින්ම කසයක් වෙනුවට රෙදිපටියක් එහෙ මෙහෙ වනන අසේලය. ඊළඟට කොඩි පේලියකි. පාසලේ පෙරහැරට ගිණිබෝල භයානක කිවු හින්දා පසිඳු කරකවන්නේ මල් රවුමකි. ඒ බොරු කකුල් මත හිටගෙනය. ඊට පසුපසින් නැට්ටුවන්, බෙරකරුවන්, මල් ගස් කරුවන්, කොඩි කරුවන් පේලියකි. අලියාද ඒ අතර යන්නේ හොඬය වනමිනි. "ආව් අව් මයෙ අම්මා. රජ්ජුරුවෝ උඩයි උඩයි. මිටි කොල්ලෝ බිමයි බිමයි" මුලින්ම හින්නිකිතර බොරු කකුල් මත්තෙන් ඇවිදිනදා අත්තම්මාත්, තාත්තාත්, අහල පහල ගෙවල්වල අයත් අත්පොඩි තැලූ හැටි පසිඳුට සිහිවෙයි. "රජ්ජුරුවෝ උඩයි උඩයි. මිටි කොල්ලෝ බිමයි බිමයි" පසිඳුට සිතෙන්නේ හිත ආඩම්බරයෙන් පුරවමිනි.කුවේණි අඩවිය ගොම්මන් ඇදිරිය පරිසරය වෙලාගනිමින් පවතින මොහොතක මිනිස් පුලුටක් නොමැති පාලු මාර්ගයක් ඔස්සේ භික්ෂූන් වහන්සේ නමක් ඉතා ශාන්ත ලෙස වඩිමින් සිටියේය. සම්පූර්ණයෙන්ම මුඩු කළ හිසින් යුතු උන්වහන්සේගේ උරහිසේ ඔලොගුවක් හා දෑතේ පාත්‍රයක් තිබුණි.ලංකාව පුරා වූ සිද්ධස්ථාන වෙත පයින් වැඩම කරනා මුන්වහන්සේ මෙලෙස පාලු ප්‍රදේශයක් හරහා යමින් සිටියේ නවාතැන් ගැනීමට සුදුුසු ස්තානයක් සොයමිනි. කල්පිටියට නුදුරු බුත්පිටිය ග්‍රාමයට ආසන්න ප්‍රදේශයක් හරහා වඩිමින් සිටි අප කතානායක කස්සප හිමියන් මෙම ප්‍රදේශයට පැමිණ සිටියේ පළමු වරටය.ක්‍රම ක්‍රමයෙන් ආකාසය අන්ධකාරය විසින් වෙලාගනිමින් පවතිද්දී ඈතින් ආලෝකයක් දැල්වෙන ආකාරයක් කස්සප හිමිට දැකගත හැකි විය.උන්වහන්සේ එදෙසට ගමන් කළ විට දුටුවේ මිනිසුන් ගැවසෙමින් සිටිනා කඩමණ්ඩියකි. කස්සප හිමි සෙමින් සෙමින් කඩමණ්ඩිය මැදින් ගමන් කළේ රාත්‍රිය ගතකිරීම සදහා පන්සලක් මෙම ග්‍රාමයෙහි තිබේද යන්න දැනගැනීමටය. කෙතරම් දුර ගමන් කළත් කඩමණ්ඩිය අවසන් වන බවක් උන්වහන්සේට නොපෙනුණි. පාර අද්දරට වන්නට සෙනගින් තොරවූ කෝපි කඩයක් තිබෙන අන්දම කස්සප හිමි දුටුවේය. උන්වහන්සේ එදෙසට වැඩම කළේය. කෝපි කඩය ඉදිරිපස ලෑල්ලක් සවි කොට තිබුණි.එය මත වයසක යුවලක් වාඩි වී කතාකරමින් සිටි අතර තරුණ ගැහැනු ළමයෙකු කඩය තුළ පිට් කොටමින් සිටියාය. "හාමුදුරුවෝ මේ රෑ බැහැරක වඩිනවද?"කඩේ මුදලාලි යැයි අනුමාන කළ හැකි වයසක තැනැත්තා විමසුවේය. "ඔව් මුදලාලි.මං කල්පිටි දිහාවට වඩින ගමන්.ටිකක් විතර රෑ වුණා.මේ හරියේ පන්සලක් තියේද කියලා බල බල යනවා." "මේ හරියෙ නම් පන්සලක් නෑ අපේ හාමුදුරුවනේ."මුදලාලි පැවසීය. මේ අතරතුර වයසක කාන්තාව කෝපි කෝප්පයක් රැගෙන පැමිණියාය. "ගිලන්පස වලදන්න හාමුදුරුවනේ." කස්සප හිමි කෝපි කෝප්පය පානය කොට ඒ සදහා මුදලක් ගෙවීමට සැරසු⁣ණි. "අනේ හාමුදුරුවනේ.ගිලන්පසට සල්ලි ගන්නේ මොන හිතකින්ද.නිකං අපා ගතවෙන පව් පුරව ගන්න අපිට බැහැ."හාමුදුරුවන් ලබා දුන් මුදල ප්‍රති⁣ක්ෂේප කරමින් මුදලාලි පැවසීය. "ඒක නෙවෙයි මුදලාලි මහත්තයෝ.ළග පාත පන්සලකුත් නැහැ.දැන් රෑ වෙලත් වැඩියි. කරදරයක් නැත්නම් මං මේ ලෑල්ල උඩ රාත්‍රිය ගත කරලා උදේම යන්නම්." "අනේ හාමුදුරුවනේ.අපිට කිසි කරදරයක් නැහැ.ඔබ වහන්සේ කැමතිනම් සැතපෙන්න. ඔය ඔලොගුවයි පාත්තරෙයි දෙන්න මං ගේ ඇතුළෙන් අරන් තියන්න." කස්සප හිමි තම පාත්තරය හා ඔලොගුව මුදලාලි හට දුන් අතර ඔහු එය කඩය තුළට රැගෙන ගියේය.මද වේලාවක් ලෑල්ල මත හිදගෙන හුන් කස්සප හිමි අනතුරුව ඒ මත සැතපුනේ දෙනෙත් හැර සිටීමට නොහැකි තරම් දැඩි නිදිමතක් දැනුණු හෙයිනි. පසුදින කස්සප හිමියන් අවදිවූයේ කුරුල්ලන්ගේ කෑගැසීම් ශබ්දයන්ගෙනි.පළමුව තමන් සිටින ස්තානය පිළිබද උන්වහන්සේට කිසිවක් සිතාගැනීමට නොහැකි විය.අනතුරුව තමන් සිටින්නේ බඩවැටියක් අද්දර ඇති උස් ගසක් අසල බව කස්සප හිමිට අවබෝධ විය.පෙර දින රාත්‍රියේ තමන් සැතපුනේ කෝපි කඩයක් ඉදිරිපිට ඇති ලෑල්ලක් මත බව කස්සප හිමිට හොදින් මතකය.එසේනම් තමන් මෙම ස්තානයට පැමිණියේ කෙසේද.?තම ඔලොගුවේ ඇති භාණ්ඩ ගැනීම සදහා එම කඩයේ පිරිස තමන් මෙම ස්තානයට ගෙනවිත් දැමුවේද ? කස්සප හිමි තමන් ⁣රාත්‍රිය ගත කළ කඩමණ්ඩිය හා කෝපි කඩය සොයමින් ගමන් කළේය.නමුත් එම ස්තානය පිළිබද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය.මේ පිළිබද විපරම් කිරීමට බුත්පිටිය දෙසට යාමට අවසානයේ කස්සප හිමි තීරණය කළේය. බුත්පිටියට පැමිණි කස්සප හිමි පොල් අතු සෙවිලි කර තනා තිබූ කෝපි කඩයක් වෙත ගමන් කළේය.ඒ වන විට කඩය ඉදිරිපිට මිනිසුන් පස් හය දෙනෙකු පමණ කතාබහ කරමින් සිටියහ. "ඔබවහන්සේ මේ පලාතේ කෙනෙක් නෙවෙයි නේද?"පිරිස අතරින් එක් අයෙකු කස්සප හිමිගෙන් විමසීය. "නැහැ..මම ටිකක් දුර බැහැර ඉදලා එනගමන්. ඊයේ මට මහා පුදුම වැඩක් වුණානේ." "මොකද්ද හාමුදුරුවනේ?" "මගේ ඔලොගුවයි පාත්තරයයි හොරකම් කරලා." "ඒ කවුද ?කොහෙදිද?"කෝපි කඩයේ හිමිකරු හාමුදුරුවන් අසලට එමින් විමසුවේය. "ඊයේ රෑ මට කඩමණ්ඩියක් හම්බවුණා.ඒකේ කෙලවරක තිබුණු කෝපි කඩේක තමයි මම රෑ නැවතිලා හිටියේ.උදේ බලන කොට මම හිටියේ ගහක් යට.මං ගොඩක් වෙලා ඒ කඩමණ්ඩිය හොය හොය ගියත් හොයාගන්න බැරි වුණා." කස්සප හිමිගේ කතන්දරය ඇසූ පිරිස සිනාසෙන්න වූහ.
"ඇයි ඔය අය හිනාවෙන්නේ ?මං බොරුවක් කියනවා කියලා හිතුවද?" "අනේ නැහැ හාමුදුරුවනේ.අපට සමාවෙන්න. ඔබවහන්සේ දවල්වරුවේ කොච්චර හෙව්වත් ඔය කඩමණ්ඩිය හොයාගන්න ලැබෙන්නේ නැහැ." "ඒ මොකද ?" ""ඊයේ රෑ ඔබවහන්සේ කුවේණි දිෂ්ටියට අහුවෙලා.ඒ නිසා තමයි ඔය හැම දෙයක්ම වෙලා තියෙන්නේ." "කුවේණි දිෂ්ටිය ?" "ඔව්..අදත් රෑට ඒක තියෙනවා.අපි ඔබවහන්සේට ඒක පෙන්නන්නම්කෝ." "හොදමයි." කස්සප හිමිට දවල් දානය බුත්පිටියේ ගම්වාසීන් පිළිගැන්වූ අතර දානය වැලදීමෙන් පසු සවස්වනතුරු ස්වාමීන් වහන්සේ ගම පුරා සක්මන් කරමින් සිටියහ. බිම් ඇදිරිය වැටෙන මොහොතෙහි ගම්වැසියන් හතරපස් දෙනෙකු කස්සප හිමි හමුවට විත් තමන් සමග පැමිණෙන ලෙස පැවසීය.පිරිස එක්තරා විශාල ගසක් අසලට පැමිණ නතර වූහ. "මෙතනින් එහා තමයි කුවේණි දිෂ්ටිය තියෙන්නේ.අපි මෙතනින් නවතිනවා. ඔබවහන්සේ ඉස්සරහට වඩින්න." කස්සප හිමි සෙමින් ඉදිරියට වැඩම කළේය.මොහොතකට පසු ඈතින් ආලෝකයක් දිස්වන්න වූ අතර මද වේලාවකට පසු උන්වහන්සේ පෙර දින රාත්‍රියේ පැමිණි කඩමණ්ඩිය වෙත වැඩම කර සිටියේය.මද වේලාවක් කඩමණ්ඩිය හරහා ගමන් කළ කස්සප හිමිට තමන් පෙර දින රාත්‍රිය ගත කළ කෝපි කඩය දැක ගත හැකි විය. පෙර දින රාත්‍රියේ මෙන් වයසක යුවල කඩය ඉදිරිපස ලෑල්ල මත වාඩි වී සිටියහ.තරුණ ගැහැනු ළමයා කඩය තුළට වී පිටි ⁣කොටමින් සිටියාය.කස්සප හිමි එදෙසට යන විට මුදලාලි සහ බිරිද වාඩි වී සිටිතැනින් නැගිට කස්සප හිමිට වැද නමස්කාර කළහ. "මට ඊයේ පාත්තරයයි ඔලොගුවයි ගන්න අමතක වුණානේ."කිසිදු අමුත්තක් නොදක්වමින් කස්සප හිමි පැවසීය. වයසක කාන්තාව ගෙතුළට ගොස් පාත්තරය හා ඔලොගුව ගෙනවිත් හිමිට භාරදුන්නාය. අනතුරුව ගිලන්පස ලෙස කෝපි කෝප්පයක් පිලියෙල කස්සප හිමිට පිලිගැන්නුවාය. රාත්‍රිය කඩය අසල වූ ලෑල්ල මත ගතකිරීමට මුදලාලිගෙන් අවසර ලබා ගත් කස්සප හිමි කෙසේ හෝ නොනිදා සිට ගම්මානයේ අබිරහස සොයාගැනීමට ඉටාගත්තේය.කාලය සෙමින් ගතවිය.මධ්‍යම රාත්‍රියට ආසන්න වන විට කස්සප හිමිට දැඩි නිදිමතක් දැනෙන්න විය.දෑස් හැරගෙන සිටීමට කෙතරම් උත්සාහ කළත් එය අසාර්ථක ප්‍රයත්නයක් බවට පත් විය.තමන්ටත් නොදැනීම කස්සප හිම් ලෑල්ල මත තද නිද්‍රාවකට පත්වූවේය. උදෑසන අවදි වූ විගස කස්සප හිමි කඩිනමින් වටපිටාව දෙස බැලුවේය.පෙරදින උදෑසන සිටි ගස පාමුල මෙදිනද තමන් සිටින බව උන්වහන්සේට අවබෝධ විය.පාත්‍රය හා ඔලොගුව ගස පාමුල පදුරක් අසල තිබුණි. කුවේණි දිෂ්ටිය පිළිබද සෙවීමට තමන් ගත් උත්සහය ව්‍යර්ථ වූ බව තේරුම් ගත් කස්සප හිමි නැගිට පාත්‍රය හා ඔලොගුව ගෙන බුත්පිටිය දෙසට පියමං කරන්න වූවේය. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි..ඌව පලාතේ රදල පවුලකින් පැවිදි දිවියට ඇතුළත්ව සිටි සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් කල්පිටිය අර්ධද්වීපයේ බුත්පිටියට නුදුරු ප්‍රදේශයකදී මෙම අත්දැකීමට මුහුණ දී තිබුණි..බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි කළ විමසීමකදී මෙම ස්වාමීන් වහන්සේ තම අත්දැකීම පවසා තිබුණි.)සෙංකඩගල _ කෙටි කතාව දෙසැම්බර් මාසයේ කඩින් කඩ වැටෙන වරු වැස්ස නිසා සැලසුම් කළ සියලුම කාර්‍ය්යන් තැන් තැන් වල මේස උඩ ගොඩ ගැසෙන බව කීවත් එහි ප්‍රගතියක් දැකගත නොහැකි බව පොලිස් පරීක්ශක සෙංකඩගල මහතා සිය අසුනේ සිටම නිරීක්ෂණය කළේය. අවසන් කළ යුතු බොහෝ වැඩ තිබුනත් දැඩි අලස කමකින් පෙලුනු තමාත් නැගී සිටීම වෙනුවෙන් සිය සිරුරට විධාන නිකුත් කළේය. නිළ ඇඳුමට ඉහලින් තවත් කබායක් හෝ කිහිපයක් ඇඳ පැලඳ ගැනීම සාමාන්‍ය සිරිතක් වූ එම පොලිස් ස්ථානය , ඇතැම් වෙලාවට සාමාන්‍ය මිනිසුන් හරහා පොලිස් නිළධාරීන් හදුනාගැනීමද අපහසු කළේය, ඉඳහිට නිළඇඳුමට පොල්ගහ ලකුණ සෙරෙප්පු දෙක, රැවුල දෙපැත්ත රතු පැහැ කරන බුලත් විට, රාජකාරි මේසය යට පඩික්කම, පොලිස් ස්ථානය වටා ඇති වගා පාත්ති කිහිපය වගේම බංඩාර අයියා, ගීතා නංගී කියාගෙන පොලීසිය ඇතුලට එන ගම්වාසින් නාගරික ප්‍රදේශයක උසස් පාසලක හැඳී වැඩුනු සෙංකඩගල මහතාට බොහෝ අවස්තා වලදී නුහුරු නුපුරුදු උවත් බොහෝ ඉවසීමක් සහ කල්පනා ශක්තියක් තිබු ඔහු ඒ පිළිබඳව කල් මැරුවේය. "බංඩාර රාළහාමි, අර පන්සල් වත්තෙ වැටේ ප්‍රශ්නෙ මොකක්ද උනේ? ඒ මිනිස්සු ආවද කට උත්තර දෙන්න? " පැමිණිලි පොතට එබී කිසියක් කාර්‍යයක යෙදී සිටි බංඩාර රාළහාමිගෙන් සෙංකඩගල මහතා විමසීය. වයස අවුරුදු පනහ ඉක්මවා සිටි බංඩාර රාළහාමි තට්ටය පෑදී හිස දෙපැත්තේ සහ පිටුපස පමණක් කොණ්ඩය යාන්තමින් පිහිටා තිබුණි, හිස දෙපැත්තට නෙරා තිබූ මහත කන්පෙති වල ඊට වඩා කෙස් පිහිටා ගෙන ආවෙ පරිණත වානර පෙනුමකි, ගම්වාසියෙකු හෝ හවස කඩපිලට එකතු වෙන කෙනෙකුට තමන් යමක් ගැන හොඳින් දන්නා බව කීමට හිසකෙස් නැති තම හිස අතගා එයම උදාහරණයට ගැනීම බංඩාර රාළහාමිගෙ සිරිත විය. " මගේ මේ කෙස් ගස් ටික පොලිස් තොප්පියටම ගියේ, මගේ මේ තට්ටෙ පෑදුනේ, මගෙ මේ කෙස් ටික පැහුනේ" යනුවෙන් කතාවක් අවසන් කිරීම ඔහුගේ සිරිතක් විය, තමා සිදුකරමින් සිටි කාර්‍ය්ය ඈත සිටි ස්ථානාධිපති තුමා දැනගත්තේ කෙසේදැයි විමතියට පත් ඔහු පිළිතුරු දීමට කලින් මේසය යට තිබූ පඩික්කම ඇඳ සිය මුව තුල තිබූ බුලත් විට සාරය පඩික්කම් ගත කළේය. " ආ .... ඒක තමයි සර් මම මේ බල බල හිටියෙ, සරුත් ටක්කෙටම ඒක ගැනම ඇහුවනෙ" සිය අසුනෙන් බාගෙට නැගී සිටි බංඩාර රාළහාමි පිළිතුරු දුන්නේය. මුවගට ආ සමච්චල් හිනාව කන දෙසට හැකිලූ සෙංකඩගල මහතා " බංඩාර මම හැමදාම කියනවා ඉස්සෙල්ලා එන මිනිහ දිහා බලන්න එතනින් පුලුවන් අපිට ගේන ප්‍රශ්නෙට සීයට ගානක උත්තරයක් හොයා ගන්න" " මං දැක්කා දැන් බංඩාර අර බුරුලේත්තුව දිහා බලාගෙන කල්පනා කරනවා, මිනිහෙක් බුරුලේත්තුවක් දිහා බලන්නෙ මොකටද? වතුර තිබහකට කියලා අපි හිතමු, මේ වෙලාවෙ බංඩාර ඔය කටේ පුරවගෙන ඉන්න විට අයින් කරලා වතුර වීදුරුවක් බොයි කියලා මම විශ්වාශ කරන්නෙ නෑ තව පැය හතරකට වත්, එතකොට ඇයි ඒක දිහා බලාගෙන හිටියෙ? බංඩාරට මතක් උනා ඔය බුරුලේත්තුව කලින් දාක පොලීසියෙන් ලැබුනු උදව්වකට ජේමිස් මුදලාලිගෙන් ඔතනට ආපු එකක් බව, ඒක බංඩාරම තමා මට දවසක් කිව්වෙ, ඊට පස්සෙ බංඩාරට මතක් උනේ ඔය පන්සල් වත්තෙ පැමිණිල්ල, මොකද ඒකේ ඉන්නෙත් ඔය මුදලාලිමයි,කලබලෙන් බංඩාර බලන්නෙ ඒ පැමිණිල්ලමයි කියලා මං දැක්කෙ මට දැමුත් පේනවා ඊයෙ හවස මම අර කඩෙ කඩපු පැමිණිල්ල විභාග කරලා ඒක අද බලන්න හොයා ගන්න බැරි වෙයි කියලා මුල්ලෙන් නවපු නැවුම් පාරවල්, ඊළග පිටුවෙ තමා ඔය පැමිණිල්ල තිබුනෙ, අනික් කාරණාව තමා ඊයෙ දවාලෙ මම පොලීසියට එද්දි ඔතන අඹ ගහ යට තිබුන ටයර් පාරවල් ටික පොලීසිය මිදුලට වාහනයකින් ඇවිත් බහින්න දෙපාරක් නොහිතන එකම කෙනා තමා ඔය මුදලාලි, ඒ ඇරෙන්න අපේ පිට පළාතකින් එන ජිප් එකක් ඇරෙන්න ඔතනට එන වාහනයක් නෑ. මුදලාලි ආපු බව මම ඒ වෙලාවෙම ගීතාගෙන් තහවුරු කර ගත්තා, ඒ විතරක් නෙවෙයි මුදලාලි බංඩාර මුණ ගැහුනා කියලත් බංඩාරගෙ පොඩි පුතා අසනීප උන වෙලාවක තමන්ගෙ වාහනයකින් හොස්පිට්ල් අරන් ගිය කතාවත් මතක් කලා කියලා මං දැන ගත්තා, ඉතිං කලබලෙන් ඕක කියවපු එක අරුමයක් නෙවෙයිනෙ බංඩාර" අතිශය විමතියට පත්ව හිටපු බංඩාර රාළහාමි " අනේ මන්දා සර්ගෙ පේන බැලිල්ල නම්" කීය අත්ල මත ඒ මේ අත කරකවමින් සිටි වීදුරු බෝලය මේසය මතින් තැබූ සෙංකඩගල මහතා සිය මේසයට යාබදව තිබූ ජනේලයෙන් ඈත පෙනෙන මොනරගල දිහා බලා ගෙන නිහඩ වූයේ බංඩාරට සියුම් නිරීක්ෂණ ගැන ඉගැන්වීමට මෙය වෙලාව නොවන බව තේරුම් ගෙනය. ප්‍රධාන පාරෙ සිට පොලීසියට ඇතුළුවන වෙරලු ගහ ගාවින් පොලීසියට හැරෙන ත්‍රි වීලර් එකක් සෙංකඩගල මහතාගෙ නෙත ගැටුනේ මේ අවස්තාවේදීය. ඉතා කලබලයෙන් මිදුලෙන් බැස ගත් එහි ආ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය දෙසට පිය මැන්නේය. පෙරමුණේ පැමිනි පිරිමි පුද්ගලයා ඉදිරිපස දොරෙන් පොලීසියට එබී හිස ඒ මේ අත හරවමින් කිසිවෙකු සොයන්නට විය. " ඇයි මහත්තයා?" කලබලෙන් ඒ මේ අත හැරෙන ඔහු දුටු පොලිසීයෙ කාන්තාවක් ඇසීය. " බංඩාර මහත්තයා ඉන්නවද? " ආ ඔහොම වාඩිවෙලා ඉන්න, මං මහත්තයට කියන්නම්" වාඩි වීමට අසුන් පෙන්වූ පොලිස් කාන්තාව බංඩාර රාළහාමිට පණිවිඩිය ගෙන ගියාය. කළබලයෙන් ශබ්ද නගමින් කිසියම් දෙයක් ගැන බංඩාර රාළහාමි සමගින් කතා බහක යෙදුනු පැමිණි ආගන්තුකයින්ගෙ බාගෙට ඇහෙන කටහඩවලුත් ඈතින් පෙනෙන අපැහැදිලි රූපයන් දෙසත් සෙංකඩගල මහතා නිහඩව බලා සිටියේ අලස කමින් ගෙවූ දවසට ආ මේ අමුත්තන් නිසා හෝ තමන්ගෙ හවසට කුමක් හෝ උත්තේජනයක් ලැබේවී සිතමින්‍ ය. " සර් මේ මම දන්න මල්ලි කෙනෙක්," අමුත්තන් සිය කාමරයට කැඳවාගෙන ආ බංඩාර අමුත්තන්ගේ අසුන පෙන්වීය. " හරි බංඩාර" යනුවෙන් සිය දකුණු අත පෙන්වූ සෙංකඩගල මහතා එර්හනින් එහාට තමන් මේ කතාව බලාගන්නා බව බංඩාරට දැන්වූයේ හිතවත්කම මත මේ අහන්නට යන කතාවේ ඇතැම් තැන් වැසී යන බව හොදාකාරව දන්නා නිසාය, පැමිණ සිටි පිරිමි පුද්ගලයා දෙක තියුණු බැල්මක් හෙලූ ඔහු " මේ දවස්වල කොහොමද සමගිපුර පාර්ක් එකේ හයර් තත්වෙ? " යැයි විමසීය. ආ පුද්ගලයා විමතියට පත්ව තමන් සමඟ ආ කාන්තාවන් දෙස බැලුවේය. " කිත්සිරි මහත්තයා.යන ගමනුත් යන්නෙ ඔතන අක්කර දෙක හරහා නම් වෙලාවක් තිබුනොත් බංඩාර රාළහාමි ලියුම් කෑල්ලක් දෙයි, ඔතන ලී වැඩපොලට දීගෙන යන්න" විමතියෙන් හා සිදුවූයෙ කුමක්දැයි සිතා ගත නොහැකිව සිටි ආ අමුත්තන්ට සිය දෙවන වාක්‍යත් මුදා හැරි සෙංකඩගල මහතා ඔවුන්ගේ කතාව ඇසීම සඳහා සිය අසුනට බර විය. දෙතුන් වතාවක් දෙපැත්ත බැලූ පිරිමි පුද්ගලයා උගුර පෑදුවේ ආ කාරණාව ආයෙත් සිහිපත් කලයුතු ලීලාවෙනි, "සර් මම කිත්සිරි. පහල සමගිපුර පාර්ක් එකේ, මම සර්ව දැක්කෙත් අද, ඒ උනාට සර්" සෙංකඩගල මහතා තමන්ව හඳුනන්නෙ කෙසේදැයි කිසිලෙසකින්වත් සොයාගත නොහැකි වූ එම පුද්ගලයා විමසීය, " ඒක හරි සරල දෙයක්නෙ කිත්සිරි මහත්තයා, ඔබතුමා වාහනෙ අරගෙන ආවෙ හරිම කලබලේකින්, ඔබතුමාම දකින්න ඇති ඔබතුමා මේ පැත්තට සිග්නල් නොදා හරවද්දි පිටිපස්සෙන් ආපු මෝටර් බයිසිකල් එක අත දිඇරලා ඔබතුමාට බැනලා ගියපු හැටි, සිග්නල් නොදැමීම වැරද්දක්නෙ කොහොමත් ඉතිං ඒක වෙන්නෙ පොලීසිය ඉස්සරහම නම් ඔබ තු
මා ඉන්නෙ සිහියකින් නෙවෙයි, අනික් එක වාහනෙ නවත්තලා ආයෙම වතාවක් ඔබතුමා වාහනේ දිහාවට ගියේ අමතක වෙලා ආව යතුර ගේන්න, ඒ වෙලාවෙත් අර බයිසිකලේ බැනපු හන්දා දාපු සිග්නල් ලයිට් වැඩ කරන ගමන් තිබුනෙ, ඒ වෙලාවෙ මගෙ හිතට ආව දෙයක් තමයි ඔබතුමා මේ වාහනය ගෙදර පාවිච්චි කරන එකක්ද? පාර්ක් එකක දුවන කෙනෙක්ද කියන එක, මොකද මොන කලබලේ උනත් හුරුවට යතුර අතට ගන්න එක කාලයක් යද්දි පාර්ක් එකක කෙනෙක්ට හුරුවෙනවා,ගෙදර කෙනෙකුට වඩා,ඒත් යතුර අරගෙන ඔබ තුමා ඒක ඇගිල්ල වටේ කරකව කරකව ආපු විදියෙන් මම තේරුම් ගත්තා ඔබ තුමා අනිවාර්යයෙන්ම පාර්ක් එකක රස්සාවක් කරනවා ඇති කියලා, ඒක සමගිපුර පාර්ක් එකේමයි කියලා මම කිව්වෙ ඒ වාහනයේ තිබුන ගිය සතියෙ ඒ ගමේ තිබුන ක්‍රිකට් ටූනමන්ට් එකේ ස්ටිකර් එකෙන්, ඒකෙන් මටත් ආරාධනාවක් ලැබිලා තිබුනා, ඒ ස්ටිකර් ටික ප්‍රින්ට් කලේ ඒ ගමේ වාහන වලට විතරයි ඒ මුදල් වලින් විහාරෙ තීන්ත ගානවා කියලා මට ඒ අය කිව්වා, අනික් එක ඔය පාස්කු ප්‍රශ්නෙන් පස්සෙ අපි ගොඩක් අය දැනුවත් කලා තමන්ගෙ වාහනෙ තමන්ගෙ නම දුරකතන අංකය ඩිස්ප්ලේ කරන්න කියලා, ඒකෙන් තමා මම ඔබ තුමාගෙ නම දැන ගත්තෙ, අනික් කාරණාව අක්කර දෙකේ කතාව බලන්න ඔබතුමාලා අතන දොර ලග ඉදලා මෙතනට ආපු අඩි පාර, මිදුල තෙත හන්දා ඒ මඩ ටික එහෙමම, ඔය දෙන්නෙක්ගෙ සෙරෙප්පු පාරවල් හොඳට පේනවා, එක්කෙනෙක්ගෙ ඇරෙන්න,නෑ නෑ කලබල වෙන්න එපා මං ඒක අතු ගාන්න කියන්නම්. ඒ මඩ කලුපාටට හුරුයි, ඒ අතර උදුපියලිය කොළත් ඇලිලා, සමගිපුර ඉඳලා වාහනේකින් එන්න තියෙන්නෙ එකම එක පාරයි ඒ දෙවැට පාර, ඒකෙ කිසිම තැනක කලු පස් දකින්න නෑ, එහෙනම් කොහොමද මේ කලු පාට? අනික උදුපියලිය? ඔය රජයෙන් ගෙනාව කාබනික පොහොර ප්‍රොජෙක්ට් එක මෙහෙ ලොකුවටම කලේ ඔය අක්කර දෙකේ, ඒකෙන් වගාව කෙසේ වෙතත් කොහෙවත් තිබ්බෙ නැති උදුපියලිය ගොල්ලක් නම් හැදුනා, අනික ඔය පාරට පෙන තැන් වල වැඩිපුර ඔය කාබනික පොහොර හැලුවා ගොවිජන එකෙන් නිරීක්ෂණ කණ්ඩායම් වලට වැඩිපුර දාලා තියෙනවා කියලා පෙන්වන්න, දවසක් අපි ඔය පාරෙන් ගොඩ වෙලා රාජකාරියකට ජීප් එක ආපහු යැවුවා පාපිසි හෝදන්න, සරලයි" සුමුදු හිනාවකින් අමුත්තන්ට සංග්‍රහ කල සෙංකඩගල මහතා " ඉතිං?" යනුවෙන් කතාවාරය අමුත්තන්ට පිරිනැමුවේය, " සර්.. අපි ආවෙ මරණයක් ගැන දැනුම් දෙන්න, ග්‍රාමසේවක නෝන කිව්වා පොලීසියත් දනුවත් කරන්න කියලා, මේ ඉන්නෙ මගෙ නෝනා, මේ මගෙ පොඩි අක්කා, මැරිලා ඉන්නෙ මගෙ අම්මා එහෙමයි කියන්න ලොකු අසනීපයක් තිබ්බෙ නෑ, වයසයි නම් තමයි, උදෙත් උයලා තිබ්බ මාලු පිණි එක්ක බත් කාලා හිටියෙ මමයි නෝනයි වත්තෙ වැඩට මිනිස්සු ආව හන්දා ඒ වැඩ වල හිටියෙ, නෝනා අපිට තේ ගෙනත් තිබුනා, ඒ දීලා යද්දි අම්මා ගේ ඇතුලෙ වැටිලා හිටියා, " ඇසට නැඟුන කඳුලු අතෙන් දෙතුන් වතාව පිහදාන ගමන් ඔහු ඉතා ඉල්මනින් කියවගෙන කියවගෙන යන්නට උනා, "කීයට වගේද ඕක උනෙ?" "සාමාන්‍යෙන් තේ ගේද්දි අපිට දහය මාර එකොලහ වෙනවා, මොකද උදෙන්ම වැඩට එන මිනිස්සු ඔය වෙලාවෙ විතරයි කන්නෙ, ඊට පස්සෙ තුන වගේවෙද්දි වැඩ ඇරිලා යනවා, වැස්ස හන්දා" වෙන මොනවා හරි විශේෂ දේවල් තියෙනවද දැකපු? මං කියන්නෙ අසනීප එහෙම" එවර පිලිතුරු දුන්නෙ පැමිණි කාන්තාවක්‍ ය, " උදේ ඉදන් කලන්තෙ වගේ නම් කිය කිය හිටියා සර්" කාපු හන්දා ඒත් මං එච්චර ගනන් ගත්තෙ නෑ" " එහෙමද? හරි එහෙනම් ඔය මහත්තුරු දැන් යන්න, මල ගෙදර වැඩ වලට මහන්සි වෙන්නෙ වෙයිනෙ දැන්, ග්‍රාම සේවක නෝනගෙ වාර්තාවක් කොහොමත් ඕන වෙයි, ඒ එද්දි මෙහෙට ගොඩ වෙනවා අපි ඒ එක්ක එන්නම්" අමුත්තන් පිටවී ගොස් පැයකට ආසන්න කාලයකදී ග්‍රාමසේවක මහත්මිය පොලිසියට ගොඩ වූයේ තවත් අමුත්තෙකු සමගින් ය. සිය සුපුරුදු සියුම් නීරීක්ෂණ හැකියාගෙන් මිනිසුන් පළමු විනාඩියෙන්ම මවිත කරන සෙංකඩගල මහතාගෙ සිරිතක් වූ අතර එම හැකියාවෙන්ම එම තරුණයා හඳුනා ගැනීමට සිතින්ම එය උරගා බලමින් සිටියේය, කාලයක් තිස්සේ අවුවේ මෝටර බයිසිකළයක් පැද ඇති ලකුණු සියුම්ව නිරීක්ෂණය කල ඔහු ඒ පිළිබඳව තරුණයා දැනුවත් කලේය. එය සත්‍ය බව තහවුරු කල එම තරුණයා තමන් පෞද්ගලික මූළ්‍ය ආයතනයක ණය අයකැමිවරයෙකු ලෙස සේවය කරන බවත් ඒ පිළිබදව විමසීමකින් තොරව දැන ගැනීම පිළිබඳව මවිත වන බවත් දැන්වීය. තමන් තරුණයාගෙ ජැකැට්ටුවේ උරහිස්, කොළරය ආදී අවුවට නිරාවරණය වන තැන් ඉතා දැඩි ලෙස පිලිස්සී ඇති හැටිත් එලෙසම අවුවට නිරාවරණය වන අතේ පිට අල්ල, බෙල්ල, වගේම කලිසම් රෙද්දෙහි කලවා පිලිස්සි ඇති සැටිත් නිරීක්ෂණය කල් බවත් මූළ්‍ය ආයතනයක කතාව තමන් අනුමානයෙන් කී බවත් පැවසීය. කතාවෙ වැදගත්ම කොටස කීවේ පැමිණ සිටි ග්‍රාම සේවක මහත්මියයි, " ඕ අයි සී මහත්තයා මේ මම දන්න මල්ලි කෙනෙක්, මේ මල්ලි ඇවිත් හිටියා චරිත සහතිකයක් ගන්න මගේ කාර්‍යාලයට, ඒ වෙලාවෙ තමයි ඔය කිත්සිරි මහත්තයලා ආවෙ මරණෙ ගැන කියන්න, ණය එකතු කරන්න ගෙවල් වලට යන එක තමා මේ මල්ලිගෙ රස්සාව, ඔය කිත්සිරිගෙ වාහනෙ ඇරියස් එක ගැන අහන්න ගිය වෙලාවක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ, " කී එම මහත්මිය තරුණයා දෙස බැලුවේ ඉතිරිය ඔහුට බාර කරමිනි. " සර් ඔය කිත්සිරිගෙ ත්‍රීවීලර් එක හැමදාම තියෙන්නෙ. වාරික හතරේ පහේ, හැම මාසෙම ඔය වාහනෙ සල්ලි දාන්න කියන්න ගෙදර යන්නම ඕන, කිසිම වෙලාවක phone එක ආන්ස්වර් කරන්නෙ නෑ, ඒ යද්දිත් ගොඩක් වෙලාවට බීලා ඉන්නෙ එහෙම නැත්තම් ගෙදර නෑ, දෙතුන් පාර මාත් එක්ක පැටලෙන්න ආවා, ඔය යන දවසක කවුරුවත් ගෙදර හිටියෙ නෑ, දවස් ගානකින් මම ඒ වාහනෙ හරි දැකලා නෑ, ඒක නිසා මම ටිකක් ගේ වටේ විපරක් කලා, අනේ සර් මේකට මාව පටල ගන්න එපා, කස්ටමර්ස්ලගෙ පෞද්ගලික දේවල් හොයනවා කියලා දැනගත්තොත් මාව කොම්පැනියෙන් ගෙදර යවයි, මේ අක්කා යමු කිව්ව හන්දා මම ආවෙ" එය එසේ ජොවන බව හිස දෙපැත්තට වනා තහවුරු කල සෙංකඩගල මහතා ඉතිරි කතාව බලාපොරොත්තු විය. " ගේ පිටිපස්සට වෙන්න ඔය ගෙදර බාගෙට කඩලා දාපු තව ගෙයක් තියෙනවා, මන් හිතන්නෙ ඒක තමයි මෙයාලගෙ මහ ගෙදර, මං හිතුවෙ වාහනේ දාන්නේ ඒ පැත්තෙකියලා, මං ඒ පැත්තට එබිකම් කලා, එතකොට මං දැක්කා ඔය මැරුණය කියන ආච්චි අතපහ ගැටගහලා රෙදි කෑල්ලකින් කට බැඳලා ඉන්නවා, අමාරුවට දගලපු හන්දා හැට්ටෙ එහෙමත් බාගෙට ගැලවිලා තිබුනා, මං කරන්නෙත් හොර වැඩක් අනික මේකත් මහ ගස් යන වැඩක් හන්දත් මගෙ ඇග සීතල වෙලා ගියා සර්, ඒ උනාට මගේ අම්මත් ඔය වයසෙ, මට තාත්තා නෑ, ඕන නැති දෙයක් කියලා මග ඇරලා එන්න හිතුනට මං ඒ ගේ අස්සට ගියා, ගිහින් එයාව ලිහලා දැම්මා, පෙනුමෙන් මොකක් හරි මානසික රෝගයක් තියෙනවා කියලා පෙනුනට එයා හොඳට කතා කලා, ඒ කිත්සිරිගෙ අම්මා කිව්වා, ඇයි ගැටගහලා ඉන්නෙ කිව්වම ලොකු හුස්මක් අරගෙන " මේවා මගෙ කරුම පුතේ" කිව්වා මිසක් කිසි දෙයක් කිව්වෙ නෑ, " ආයෙ මම එහෙ යනකොට ඒ ආච්චි නාලා මිදුලෙ අව්වෙ හිටියා දවසක, මම පොඩි බ්ස්කට් එකක් දාගෙන ගියා ඒ ආච්චිට දෙන්න,කිත්සිරිට නොපෙනෙන්න මං ඒක දීලා බයික් එක එතන දාලා වාරික ගැන කිත්සිරි එක්ක කතා කලා, ඒ ඇවිත් බලද්දි ආච්චි එතන හිටියේ නෑ ඒත් මං දීපු බිස්කට් එක මගෙ බයිජ් එකේ ටැංකිය වහන කවරෙ ඇතුලෙ තිබුනා, ආයෙ මං මොකුත් අරන් ගියෙත් නෑ, මට පේන්න ඒ ගෙදර මුකුත් අවුලක් තිබුනෙත් නෑ" "වෙන මුකුත් විශේෂ සිද්දි මතකද? ඔය කිත්සිරි කියන මනුස්සයා ඔය කියන ණය ගෙවන්න කියපු ක්‍රම මොනවද? " ගොඩක් වෙලාවට බොරු තමා කියන්නෙ සර්, ආ මට කියද්දි මතක් උනේ, ඔය ඉඩම විකුණන්න දාලා තියෙනවා කිව්වා, ඒක දුන්නා නම් ඔය ඔක්කොම එක සැරේ ඉවර කරනවා කිව්වා කතා අහන්නෙ නැතුව" " නියමයි පුතා නියමයි ඒක හොඳ හොයා ගැනීමක්, ග්‍රාමසේවක නෝනා අපි ඉක්මනින් එතනට යමු, බංඩාර අපිට යන්න ජීප් එක ලෑස්ති කරන්න, විටට මෙහෙ ඉන්න කියලා තමුනුත් යන්න ලෑස්ති වෙන්න, සිසිරටයි අජිත්ටයි කියන්න සිවිල් එන්න කියලා, " විනාඩි ගනනකට පසු සියල්ලෝම එම නිවසේ වූහ. ග්‍රාම සේවක සමඟින් සෙංකඩගල මහතා මරණය සිදු උනා යැයි කියන ස්ථානයේ වූ අතර, සිවිල් ඇඳුමින් ආ නිළධාරින් දෙදෙනාට තරුණයා කී කඩාවැටුනු නිවස පරික්ශා කිරීම බාර විය, එය කිසිසේත් නිවැසියන්ට සැක නොසිතෙන ලෙස කිරීමට උපදෙස් ලැබී තිබින, කිත්සිරි සමඟ ආ අනෙක් තරුණිය පිළිබඳව සෙංකඩගල මහතාගෙ අවධානය යොමු වී තිබුණි, සිය මවගේ මරණයෙන් දැඩි කම්පනයට පත්ව සිටි ඇය නිහඬව හඩා වැටුනා ඇරෙන්න කිසිවිටෙක කිසිවෙකුත් සමඟ කතා කිරීමට මැලි වූවාය. " අතපය බැඳලා තිබුනා කියලා අපිට කිත්සිරිව අත් අඩංගුවට ගන්න බෑ බංඩාර, මොකද අර කොල්ලත් ඉන්නෙ මුන් එක්ක අමු තරහකින්, අපි හැම පැත්තෙන්ම හිතන්න ඕන, මොනවා කරන්නත් අපි මරණ පරීක්ෂණ වාර්ථාව එනකල් ඉන්න ඕන, ඇඟ හැමතැනම ලේ පැල්ලම් කිහිපයක් තියෙනවා මං දැක්කා, අතෙයි කකුලෙයි බොහෝ විට බිඳීම් වගේ මම දැක්කෙ, වයස හන්දා බොහෝ විට ඒවාගෙ හයි හත්තිය ගැන අපිට වග කියන්න බෑ, මට හිතෙනවා මරණ පරීක්ෂණ වාර්තාව එන්න කලින් පොඩි උප්පරවැටියක් කරලා බලන්න ඔය කිත්සිරි කියන හාදයා දැන හැදින ගන්න, ඔය මනුස්සයගෙ නොම්මරෙ ඇතිනෙ අපි ලග ගමුකො බලන්න, " සිද්දියෙන් පසු දින එය පිළිබඳව බංඩාර කල විමසීමකදී සෙංකඩගල මහතා පැවසීය. " ආ හෙලෝ හෙලෝ අයියෙ,මට මේ නොම්මරේ දුන්නෙ, අර ටවුන් එකේ ෆිනෑන්ස් එකේ මල්ලි, අයියගෙ ඉඩමක් තියෙනවද විකුණන්න, " රස්තියාදුකාර කටහඬක් මවා ගත් සෙංකඩගල මහතා මේ සඳහාම යොදා ගත් සිම් පතකින් කිත්සිරිට දුරකතන ඇමතුමක් ගත්තේය. " මං ඉන්නෙ මල ගෙදරක මේ අපේ නෑදෑකෙනෙක් නැති වෙලා, මට පොඩි වෙලාවක් දෙන්න මම ගන්නම්" දුරකතනය විසංධි විය. සිහින් හිනාවක් සමඟින් මුව සරසාගෙන නළල හැකිලූ සෙංකඩගල මහතා " ආහා එතකොට නැති වෙලා තියෙන්නෙ නෑදෑ කෙනෙක් මිසක් අම්මා නෙවෙයි, ඒක නම් මාව අවුල් කරනවා කිත්සිරි මහත්තයා" මිට මොලවා ගත් අතෙන් දෙතොල් වලට තට්ටු කළේය. "බංඩාර මෙන්න මේ phone එක චාර්ජ් එකට දාන්න, මට තියෙනවා ආනන්තරීය පාපකර්මයෙක් එක්ක හවස පොඩි චැට් එකක් දාන්න, " බලාපොරොත්තු වූ පරිදිම හවස පැයක කිත්සිරිගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. " ආ හලෝ මේ අර දවාලෙ ඉඩමක් ගැන කතා කරලා ආව නොම්මරේ නේද මේ, කවුද ද
ුන්නය කිව්වෙ නොම්මරේ?" "ආ අයියෙ අර ටොව්න් එකේ ෆිනෑන්ස් එකේ මල්ලි අයියෙ, " "ආ ඔව් ඔව් මට මතකයි, වෙන මොනවද කිව්වෙ එහෙන්?" " එහෙම දෙයක් නම් කිව්වෙ නෑ, ඉඩමක් තියෙනවා කිව්වා හදිස්සියට විකුණන්න, අහල බලන්න කියලා නොම්මරේ දුන්නා, ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?" " නෑ නෑ දන්නෙ නැද්ද ඔය ෆිනෑන්ස් කොම්පැණි කාරයෝ, අර පොලී මුදලාලිගෙ වැඩේ උන් ටයි එක දාගෙන කරනවා, මේ ඊයෙ පෙරේදා සල්ලි දාලත් කෝල් එනකොට මට ටිකක් තරජ ගියා මං ඒක ගැන කියවගත්තා මං හිතුවෙ ඒක ගැන මොනවා හරි කියයි කියලා" " ආ නෑ නෑ එහෙම එකක් කිව්වෙ නෑ, කොහොමද ඉඩමෙ විස්තර?" " ඉඩම අක්කර දෙකහමාරක් තියෙනවා මහත්තයෝ, මට අඩු නැතුව ලක්ශ පනහක් ඕන, පිරිසිදු ඔප්පු, අපේ පරම්පරාවම ගොඩ ගිය ඉඩම, අකමැත්තෙන් තමා දෙන්නෙ, මෙහෙන් කොළඹ යන්නම් කියලා පොඩි උන්ගෙ ඉස්කෝලෙ වැඩ හන්දා" " ගාන නම් අවුලක් නෑ අයියා, මේ මට ගන්න බැලුවෙ, ඔප්පුව බලාගන්නත් ඕන කොහොමද කර ගන්නෙ"? "ඔප්පුව ...ඔප්පුව.. අපි මෙහෙම කරමුද මල්ලි, මේ මල ගෙදර වැඩ ටික ඉවර උන් ගමන් මං ගන්නද? දන්නෙ නැද්ද මේ වෙලාවෙ හරි නෑනෙ, " කිසියම් හෝ අපරාධයක් සිදුවන්නට ඇති බව ඉවෙන් මෙන් සෙංකඩගල මහතාට දැනෙන්නට විය. එදින හවස් යාමෙ මරණ පරීක්ෂණ වාර්ථාවෙ පිටපතක් පොලීසිය වෙත ලැබී තිබුණි, හදීසී ඇදවැටීමක් නිසා හිස බිත්තියේ වැදී ඇතිවූ කම්පනයෙන් මෙම මරණය සිදු වී ඇති බව එහි සඳහන් කොට තිබුණි, " රජයේ මරණ පරීකශකටත් ඇතැම් කරුණු මග ඇරිලා වගේ බංඩාර.. " වාර්තාව උඩ පහලින් කියවූ සෙංකඩගල මහතා එය මේසය මතට විසි කළේය. " බංඩාර අර කිත්සිරිගෙ සහෝදරිය ගැන මොනවද දන්නෙ? තමුන්ලගෙ ගමේ කිව්වනෙ" සෙංකඩගල මහතා බංඩාර රාළහාමිව ඇමතීය. " ඔය දරුවා පොඩි කාලේ බොහොම දක්ශ ලස්සන ළමයෙක්, මට මතකයි ඔය දරුවා කතික තරඟ, පද්‍ය ගායනා එහෙම නොදිනපු තරඟයක් නෑ, ඒත් මෑතක නම් එහෙම මුකුත් ආරංචි උනේ නෑ, ගෙදරින් එලිය බැස්සෙ නෑ, දන්න කාලෙක, මොකක් හරි අසනීපයක් වෙන්න ඇති" " බංඩාර අපිට බැරිද ඔය ළමයව කතාවට අල්ල ගන්න?" " සර් ඕක කරන්න අපිට බැරි වෙයි, හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, ඔය ගෙදර ඔය මායියයි උන්දැගෙ ස්වාමියයි ඉන්න කාලෙ ඉඳලා ඔය ගෙදර බැලමෙහෙවර කරපු නිළමෙලාගෙ අම්මා කියලා කෙනෙක් ඔය ළග පාත ඉන්නවා, ඔය ළමයින්ගෙ කැතකුණු පවා අතගෑවෙ ඔය උන්දා, එහෙත් එක්ක නම් මේ ළමයා හිතවත්, ඒ හරහාවත් බැලුවොත් තමා" " ඒක හොඳ ආරංචියක් බංඩාර, බැරිද උත්සහයක් කරන්න?" සෙංකඩගල මහතාගෙ ඉල්ලීමට බංඩාර රාළහාමි නිළමෙලාගෙ අම්මගෙන් කළ දැඩි ඉල්ලීම් හමුවේ එදිනම අදාළ කාන්තාව සෙංකඩගල මහතාගෙ පෞද්ගලික් වාහනයෙන් පොලිස් ස්ථානයට කැදවා ගෙන ආවාය. සෙංකඩගල මහතා කතාව ආරම්භ කලේ සියලු නිළදරයින් එතැනින් ඉවත් කිරීමෙන් අනතුරුවය. " දුව... මන් දන්නවා එදා තමා දුව ඉස්සෙලාම පොලීසියකට කියලා ආවෙ, මොනයම් හරි සාදාරණයක් දුවටත් වෙන්න ඕන කියලා තමා මගෙ හිත කියන්නෙ, ඇයි ඉස්සර වගේ තරඟ වලට එහෙම නොයන්නෙ? අම්මගෙ අසනීප නිසාද? " කිසිවක් කතා නොකළ තරුණිය සිය වයසක මිතුරිය දිහාම බලාගෙන සිටියාය. ඉන්පසු එළබියේ දැඩි නිශ්ශබ්ද තාවයකි. කිසිම දාක පොලීසියට ගොඩ නොවූ වෙනස් වයස් මිතුරියන් දෙදෙනා මේ අති භයානක නිශ්ශබ්ද තාවය තව තවත් භීතියට පත් කළාය. අවසානයෙ තරුණිය ළගට කිට්ටු වී හිස අත ගෑ නිළමෙලාගෙ අම්මා " මගෙ අම්මා දැන් ඇති නේද උභ හීල්ලුවා, මේ මහත්තයට කියපන් අම්මා ඔක්කොම, කොහේ හරි ඉඳන් අම්මා බලාගෙන ඇති, මේ මහත්තයා උඹට වැරද්දක් කරන එකක් නෑ" කීය, වේගවත් ඉකිබිඳුම් කිහිපයක් අවසානයේ ඇය කතා කරන්නට පටන් ගත්තාය. " සර්.. කිත්සිරි කියන්නෙ මගෙ අයියා, එකම අයියා, අම්මගෙයි තාත්තගෙයි එකම බලාපොරොත්තුව, අපි හොඳටහිටියා, මේ හැමදේම වෙනස් උනේ එයා හිතුවක්කාරෙට කර ගත්ත විවාහයත් එක්ක, ඒ යක්ශණීට ඕන උනේ දේපල ඉඩකඩම් ටික ලියා ගන්න, මොකද අයියා බැන්දත් හරි බීමට ඇබ්බැහි උනා, ඒක නිසා තාත්තා අම්මට භුක්ති අයිතිය තියලා මගේ නමට හැමදේම ලිව්වා, තාත්තා නැති උනේ හදිස්සියේ පපුවෙ අමාරුවකින්, තාත්තගෙ මරණින් පස්සෙ අපිට කරදර වැඩි වෙන්න පටන් ගත්තා, අයියාගෙනුත් නෑනාගෙනුත් මට නිතර බලපෑම් උනා දේපල ලියාගන්න, අයියා හැමදාම බීලා ගෙදර ආවා, ඇවිත් නෑනට වගේම මටත් අම්මටත් ගැහුවා, කුණුහරපෙන් පවා බැන්නා, ඒක අන්තිමට උනේ අයිය බීලා ආපු දවසක අයියගෙ අතෙන් මාව ගෑනියෙක් උන එක, ඒක උනේ නෑනත් ළඟ ඉද්දි,මාව වෙන කාටවත් බඳින්න දෙන්නෙ නෑ කිව්වා, " තරුණිය ඉතා වේගෙන් අඩන්න පටන් ගත්තා. " මගේ ඇඟ වෙනස් වෙනකොට අම්මට තේරුනා මගෙ වෙනස, අම්මා ඒකට හරියට දෙස් තිබ්බා අයියට, අම්මා පොලීසි යන්න හදනකොට අම්මගෙ කෑම වලට නිදි පෙති දාලා අම්මව පිටිපස්සෙ මහ ගෙදර බැඳලා දැම්මා, දවස් ගනන් අම්මට කන්න දුන්නෙ නෑ,කාටහරි කිවොත් මාව මරනවා කියලා අම්මට කියලා තිබුනා, මං කාටහරි කිව්වොත් අම්මව මරණවා කියලා මට කිව්වා, අයියා සෑහෙන්න ණය වෙලා හිටියෙ, දරුවො ගියේ කොළඹ international ඉස්කෝල වලට, හැමදාම ණය කාරයෝ ආවා අයියව හොයාගෙන, එදා අම්මා නැති වෙන දවසෙ ගෙදර මහ රන්ඩුවක් උනා, අයියා අම්මට බල කලා ගේ ඉඩම විකුණන්න ඕන ඔප්පුව දෙන්න කියලා, මම හිටියෙ මගෙ කාමරේ, මම ඒක ඇතුලෙන් ලොක් කරලා ජනේලෙන් පැනලා නිළමෙ නැන්දලාගෙ ගෙදර දිව්වා, අනේ එද්දි අපෙ අම්මා......" ඇය යලි ඉකි බින්දාය, " ඔබතුමිය සැක කරනවද අම්මා මරලා කියලා?" සියල්ල සාවධානව අසා සිටි සෙංකඩගල මහතා තරුණියගෙන් විමසීය. " ඔව්" යනුවෙන් දෙවරක් හිස සොලවා තහවුරු කළ ඈ නිහඩ වූවාය. "ගීතා මේ මිස්ගෙ පැමිණිල්ල ලියන්න, හෙට භූමදානෙ, ඊට කලින් අපි ක්‍රියාත්මක වෙන්න ඕන" තම කාන්තා නිළධාරිනියට අණ කල සෙංකඩගල මහතා සිය ජංගම දුරකතනය සියතට ගත්තේය. " සර් අම් olc සෙංකඩගල ස්පීකින්ග් හියර්" පසුදා පහන් වීමට වෙනදාට වඩා වැඩි වෙලාවක් ගත විය. කලින් දා සකසා ගත් වරෙන්තුවක් සහ ආයුද සන්නද්ධ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සමඟ සෙංකඩගල මහතා මලගෙදරට අවසන් ගෞරව දැක්වීම සඳහා පිටත් විය. " මිස්ටර් කිත්සිරි සහ මිසිස් කිත්සිරි ගුණවතී මහත්මිය සාහසික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට සහ තරුණියක බලහත්කාරෙන් දූශණය කිරීමේ චෝදනාවට අපිට ඔබ දෙන්නාව අතඩංගුවට ගන්න සිද්ද වෙනවා" කිසිත් නොකිවූ ඔවුන් දෙදෙනා ආයාසයකින් තොරව තම භාරයට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය. එකිනෙකා වෙන් වෙන්ව මාංචු දැමූ ඔවුන් අමතා සෙංකඩගල මහතා මෙසේ පැවසීය, " සිද්දිය මං දන්න විදියට මම මුලින් කියන්නම්, ඒකෙ හරි වැරද්ද පස්සෙ කරන්න ඔහේලට නිදහස තියෙනවා, සිද්දිය උනේ මෙහෙමයි, මිසිස් කිත්සිරි මේ ගෙදරට එන්න කලින් බොහොම වැදගත් අතට පයට දැනෙන්න වියපැහැදම් කරපු අය, ඒක මම සොයා ගත්තෙ ඇගේ පවුලේ අයගෙන් විමසීමෙන්, නමුත් අවාසනාවට ඇයට මේ පවුලෙන් ඒ දේ ලැබුනෙ නෑ, ඒකට එකම හේතුව කිත්සිරිගෙ තාත්තාගෙන් කිසිම බුරුලක් නොමැති කම, කිහිප සැරයක් ඉල්ලුවත් කිසිම දේපලක් කිත්සිරිගෙ තාත්තගෙ නොලැබෙන කොට වංචනිකව ඒක ලියව ගන්න මේ දෙන්නා උත්සහ කලා, බේරෙන්න බැරිම තැන කරදරෙන් ටික කාලෙකට බේරෙන්න ඔහු කලේ සියුම්ව වෙනස් කරන ලද අත්සනක් යොදලා මේ දෙන්නට ලියුමක් දෙන එක, ලියුම ලැබුනු සන්තෝශෙට ඒක ගැන ගානක් නොවෙන්න ඇති, ඒක මට සොයා දුන්නෙ එදා ඉන්ස්පෙක්ශන් වලට එන වෙලාවෙ ඔහේලට නොදැනෙන්න සිවිල් නිළදාරීන් දෙදෙනෙක් යොදවපු වෙලාවෙ , ඒ දෙන්නා පිටිපස්සෙ කඩා වාටුනු ගෙදර පරික්ශා කරලා තිබුණා, එතන තිබිලා ලැබුනු ඉරලා දාලා තිබුන ඒ ලියුමට අදාල කැබලි කිහිපයකින් අපිට ඒ ගැන සනාථ කරන්න පුලුවන්, ගුණවතී අම්මට දඩුවම් කරන වෙලාවෙ ඒ ගැන කියලා සමහටවිට ඒ ලියුම ඉරා දාන්න ඇති, ඒ ලියුම දෙනකොටත් ඒ දේපල සියල්ල කිත්සිරිගෙ නන්ගිගෙ නමට ලියා අවසන් කරලයි තිබුනේ, ඒ ගැන අපි හොයලා බැලුවෙ කච්චේරියෙ ඉඩම් කවුලුවෙන් ගත්ත තොරතුරු එක්ක කලින් කියපු ලිවුමෙ දින සැසදීමෙන්, අවාසනාවකට මේ වෙලාවෙ කිත්සිරිගෙ තාත්තා හදිස්සියේ මිය ගියා, ඒක හදිස්සියක්ද නැත්තම් සැලසුමක්ද යන්න ගැන අපි ඉදිරි විමර්ශන වලදී හොයලා බලමු. එදා අපි ස්ථානීය පරික්ශාව සිදු කරද්දි අසාමාන්‍ය තැන් කිහිපයක් මම නිරීක්ෂණය කළා, එකක් තමයි කොන්ක්‍රීට් මතුපිටක සිමෙන්ති ඔප දැමීමක් නොමතිව ලිස්සා යාම, අනික් එක එහෙම ලිස්සගෙන ගියා නම් හිස බිත්‍තියේ වැදීම තරම් බිත්තිය පැත්තට ඒතරම් වේගයෙන් යාමට හේතුව? දොරක් පැත්තට නම් අපිට කිව හැකි මොකක් හරි හේතුවකට යන්න ඇති, අනෙක් කාරණාව හිස, උකුල් ඇටය, මැනික් කටුවට ඉහල, වලලු කරට ඉහල අදාලම නැති තැන් කිහිපයක ඇති බිඳීම්, රිය අනතුරක් නෙවෙයිනෙ මේක එහෙම වෙන්න, ආ තවත් දෙයක් කිත්සිරි මහත්මයා කීව අර මාලු පිණි එක්ක බත් කාපු කතාව, ඒ පිළිබඳව පරීක්ෂණ වාර්තාවෙ සඳහන් වෙන්නෙ ඇය පැය පහලොවකට කලින් පිටි සහිත කිසියම් ආහාරයක් පමණක් ගෙන ඇති බව පමණයි, හොඳම සාක්ශි දෙකක් කව් රුවත් දැක්කෙ නෑ ඒ තමයි මරණය සැලවීමත් එක්ක මෙතනට ආගිය අයගෙ අඩි සටහන් මැනවින් දකින්න ලැබුනා,ඊට අමතරව කලින් සටහන් උන කොස්සකින් මකා දැමූ ආමි බූට් අඩි සටහන් කිහිපයක්, අපි හැමෝම දන්නවා. මඩ සහිත දිනවල වගා කටයුතු කරන බොහෝ අයගෙ ගැටලුවක් තමයි දිය මැටියන් කෑම, ඒකෙන් ආරක්ශා වෙන්න කිත්සිරි මහත්මයා කරන්නෙ ඔය කියන ජාතියේ බූට් දෙකක් දාගෙන ක්ශේත්‍රයට යන එක, මං ඉක්මනින් ඒ අහළ පහල ඇති කොස්සක් ගැන සොයා බැලුවා, මගෙ නිගමනය හරිටම හරි, අතුගා දැමූ පස් රොඩු ගොඩක නටඹුන් ඒකෙ ඉතිරි වෙලා තිබුනා, මේ දිනවල තෙත බරිත මැටි වලට වඩා වේයන්ගෙ තුනස් වලට වඩා සියුම් දූවිල්ලක් සහිත ඒ පස් වල කුඩා ලී කුඩු ස්වල්පයක් අතරින් පතර තිබුනා, ඒ ටූනා නම් දැවය. ඔබට දැනුත් දකින්න පුලුවන් මේ අලුත් නිවසේ බොහෝමයක් උලුවහු එම දැවයෙන් සිදු කල ඒවා, එහෙනම් දැන් සැකයක් එනවා මෙය මෙතැන සිදුවූ මරණයක් නොවෙයි කියලා, එය සිදු වෙලා තියෙන්නෙ පරණ නිවසේ, මෙම නිවසේ උලුවහු සෑදීම කර තිබුනේ එම නිවසේ කාමරයක, ඒ ලී කුඩුත් මෑතක වතුර පොදක් නොදැකපු දූවිලිත් වැලලෙන්න ගිය අපරාදයක සුල මුල හරි අගේට සටහන් කරලා තිබුනා" කියමින් සිය දීර්ඝ කතාව අවසන් කලේය.
භිතියෙන් සහ විමතියෙන් සිටි සැකකාර යුවල ඉතා අසරණව කිහිපවරක් දිගු සුසුම හෙලීය. " ඔක්කොම මේ ගෑනි හන්දා මහත්තයෝ, ඔක්කොම මේ ගෑනි හන්දා" කිත්සිරි මහ හයියෙන් කෑ ගහන්නට විය. මීට අදාල නඩුව ඉන් කිහිප දිනකට පසුම උසාවියේදී කැඳවනු ලැබූ අතර සිය මව තමන් ඝාතනය කල බව පාපොච්චාරණය කල අතර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය, නැගනියගේ දූශණය පිළිබද කතිකාව කිසිදු ආකාරයකින් හෙලි නොවීමට අණ කල සෙංකඩගල මහතා එජ පැමිණිල්ලටද ඇතුලත් කර නොතිබීය. " ඒ ළමයා පොලීසියකට ආපු පැලවෙනි වතාව කියලා ඔබතුමා කොහොමද හරියටම කිව්වෙ" දිනක් එම තරුණිය පාරේදි මුණ ගැසුනු පසු බංඩාර රාළහාමි සෙංකඩ ගල මහතාගෙන් විමසීය, " ඇයි බන්ඩාර දැක්කෙ නැද්ද එදා ඒ ළමයා පොලීසිය ඇතුලට ආවෙ සෙරෙප්පු දෙක එලියෙන් ගලවලා, හරියට පන්සලට ආවා වගේ" කියමින් මහ හඩින් සිනාසෙන්න පටන් ගත්තේය. දමියා"ජයබිම" මිස් අයි ක්ලිනික් එකට කොතනින්ද යන්නෙ දන්නවද ? ප්‍රසිද්ධ රෝහලක අක්ෂි සායනය පැවැත්වෙන ස්ථානය සොයා ගත නොහැකිව විනාඩි තිහක් පමණ කරක් ගැසූ මම දෙවන මහල කෙල⁣වරේ වූ වාට්ටුවකට ගොඩවී එහි වාඩිවී සිටි සිව් දෙනා අතරින් මාගේ වයසේම වූ තරුණියගෙන් ඇසුවෙමි. "අයි ක්ලිනික් එක තියෙන්නෙ අනිත් බිල්ඩින් එකේ දෙවනි තට්ටුවේ වම් කෙලවරේ" " තැන්කිව් මිස් " එක්ස්කිවුස් මී , ඔයා දෙනෙත් නේද ? ඔව්. ඔයා මාව දන්නවද ? තාම අදුරන්න බැරිද මාව, රැයක් දවාලක් නැතුව උඹේ අදෝනාව අහන් හිටපු, මුළු ඉස්කෝලෙම ⁣ඔයාගෙ කෙල්ල කියලා හිතන් හිටපු මාව ? චතුමි මේ ඔයාද ??, දෙයියනේ කෙ⁣ාහොම අඳුන ගන්නද ?, ඔයා එහෙම් පිටින්ම වෙනස් වෙලානෙ. ඇස් වල පාට ඉදන්ම. දැන් මොකද කරන්නෙ ඉතිං. ? එහෙම්ම කියන්න තරම් දෙයක් නෑ දෙනෙත්. මට තප්පරයක් දෙන්න මගෙ බෙහෙත් ටික රෙඩී ඇති මං අරං එන්නම්. පොත් කියවීම නිසාම දුර පෙනීම අවම වීම නිසා ඇස් පරීක්ෂාව⁣ට පැමිණි මා හට ඈ තුලින් දිස් වූයේ කිසිදු විටක මා දුටු චතුමිව නොවේ. බෙහෙත් ටිකද රැගෙන පැමිණි චතුමි නැවත සිටි තැනින් වාඩි විය. ⁣මගෙ රිපෝට්ස් ටික එන්න තව පැය කාලක් විතර යනවලු දෙනෙත්, ඔයා යන්න ඔයා ආපු වැඩේටත් පරක්කු වේවි. කොහෙ යන්නද අනේ ඇස් නම් හෙටත් පෙන්නන්න බැරියෑ, අවුරුදු නවයකට පස්සෙ මුණගැහුණ ඔයාව එහෙම මඟ ඇරලා යන්න පුළුවන් ද ? මාද ඇය අසලින්ම අවසරයකින් තොරවම ඉද ගත්තෙමි. ඉතිං දෙනෙත් කියන්කො දැන් මොකද කරන්නෙ. මං දැන් ජයබිම පත්තරේ චීෆ් එඩිටර්. මං හොයපු ජාතියෙ ජොබක්ම මට හම්බුණා. පවුලෙ අය, බබාලා එහෙම. ? පවුලෙ අයනම් සනීපෙන්, දරුවො ඉන්න බඳින්න එපැයි බං, කොහෙස ඒ කාලෙ උඹවත් කැමති වුනේ නෑනෙ මාව බඳින්න. එක්වරම චතුමිගේ දෑසින් කැට පිටින් කඳුළු ගලන්නට විය. අනේ සොරි චතුමි, මං පරණ පුරුද්දට කියවන් ගියෙ, මං ඒක නිකං කිව්වෙ. නෑ දෙනෙත් ඔයා හරි. මට පින තිබ්බෙ නෑ ඔයාව මගෙ කර ගන්න. මාත් එක්ක යාළු වෙන වෙන කොල්ලන්ට තෑගි අරං දෙන්න ඔයාගෙන් අදහස් ගත්තට මං කවදාවත් ට්‍රයි කරේ නෑ ඔයාගෙ ආදරේ තේරුම් ගන්න. චතුමි මොනවද බං මේ කියන්නෙ. ම⁣ට සචිනි හැම දේම කිව්වා දෙනෙත්, ඔයා මට කොච්චර ආදරේ කරාද කියලා, හැබැයි එතකොට මට ආයෙ හැරෙන්න විදිහක් තිබ්බෙ නෑ. මෙතෙක් වේලා මා හුවාගෙන සිටි වෙස් මුහුණ ගලවා විසි කරන්නට මටද සිදු විය. ඇත්තෙන්ම චතුමි මා හදවතින් පෙම්බැදි ආදරණීය පෙම්බරියයි. මා හද තුලම සඟවාගෙන සිටි අප්‍රකාශිත ප්‍රේමයේ හිමිකාරිය ඇයයි. මං ජීවිතේ වරද්ද ගත්තා දෙනෙත් අපි ආශ්‍රය කරපු අන්තිම කාලෙ මං යාළු වෙලා හිටපු කසුන්, ඌ මහ කාලකණ්ණියෙක්. ඔයා රට ගියයින් පස්සෙ අපි දෙන්නාගෙ ආශ්‍රය නැති වෙද්දි මේ මිනිහා කරේ තවත් මාව රවට්ටපු එක. උගෙ ත්‍රී විල් එක ඇතුලෙම මං ගෑණියෙක් වෙද්දි පැයක් යන්නත් කලින් ඌ මාව තව එකෙක්ට දීලා බඩුවකුත් කලා. මේක ඌ රටට කියයි කියලා මට තිබ්බ බයට ඌ කියන කියන විදිහට මාසයක් විතර හපයක් වෙච්ච මම අන්තිමට ඕන මඟුලක් වෙච්චදෙන් කියලා උගෙන් නිදහස් වෙද්දි, මගෙ ගන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ. පසසෙ මමත් නොදැනම සල්ලි හොයන ඒ ලේසි ක්‍රමේ මං තෝර ගත්තා. මං වගේම අසරණ වුන කෙල්ලො සෑහෙන ගානක් මං ගාව ඉන්නවා වැඩ කරන්න. චතුමිගේ කතාව මගේ හිසට අකුණක් ගැසුවා සේ විය. මට උඹෙන් සමාව ඉල්ලන්න අයිතියක් නෑ බං. ඒත් උඹේ ලගින්ම හිටපු එනා විදිහට හරි හික යටින් හරි ආදරේ කරපු එකා විදිහට මටත් යුතුකමක් තිබ්බා මොන විදිහෙන් හරි උඹ ගැන හොයලා බලන්න. අනේ මට සමා වෙයන් චතුමි. ඔයා වැරදි නෑ දෙනෙත්. දැන් ඉතිං කොච්චර හිතුවත් වුණ දේවල් වෙනස් කරන්න අපිට බෑනෙ. ඒ අතරම ඇගේ අතට පරීක්ෂණ වාර්තා ටික ලැබුණි. අපි යමු නේද දෙනෙත් එහෙනම්, දැන් මේ දේවල් හිතන්න එපා. ඔයා අවුල් ගන්නත් එපා. චතුමි සමඟම වාට්ටුවෙන් පිටතට පැමිණෙන මා හට නිරායාසයෙන්ම එහි දොරෙහි වූ නම කියවිණි. එහි "සමාජ රෝග අංශය" ලෙස සටහන්ව තිබුණි. මගේ ඉහ මොල රත් විය. චතුමි, ඔයාට ලොකු අසනීපක්ද ? ඔව් දෙනෙත් මට ඒඩ්ස්, දැන් මාස හයක් විතර. මගේ ගමන එතනම නැවතුණි. සිතීම ඇවිදීම පමණක් නොව මගේ හදවතද මොහොතනට නතර විය. දෙයියනේ චතුමි ඔය ඇත්තමද ? ඔව් දෙනෙත්. දැන් මං ෆීල්ඩ් එකෙ නෑ. ඩීල් කරලා දෙනවා විතරයි. මගේ ඇගේ නැග්ග එකෙක්ටවත් බැරි වුණා මගේ හිත කියවන්න. මගෙ හිත කියෙව්ව අවංක එකම පිරිමියා ඔයා විතරයි. පුළුවන් නම් ලබන ආ⁣ත්මෙ මගෙ විතරක්ම වෙන්න. මේ මොහොත වන විටත් චතුමිගේ දෑත මා තදින් අල්ලා ගෙන සිටියෙමි. අනිවාර්යයෙන්ම චතුමි. ලබන ආත්මෙ අනිත් හැමෝටම කලින් මං ඔයාගෙන් අහන්නම් මට ආදරෙයිද කියලා. තව දෙයක් දෙනෙත්. තැන්කිවූ මට මේ ලෙ⁣ඩේ තියනවා කියලා හොයලා දුන්නට ? මොකක් ? මම ? කොහොමද හොයලා දුන්නෙ ? ඔයාගෙ ජයබිම පත්තරේ මීට මාස අටකට විතර කලින් ඔයා ආටිකල් එකක් ලිව්වෙ, "ලඳුන්ට නිඟා දෙන ලඳුන් කියලා" ඒකෙන් පස්සෙ පොලිසිය කරපු ඉන්වෙන්ටිගේෂන් වලදි මාවත් හවුවුණා. ඒ චෙක් කරද්දි තමයි මට මේ ලෙඩේ තියෙනවා කියලා දැන ගත්තෙ. දෙයියනේ චතුමි. ඇයි අපේ දෛවය මෙහෙම අපිව මුණ ගැස්සුවෙ. මාගේ ඉකිබිඳුම් හඩ ඇසුණු කාම⁣ර සඟයා වූ අමල් විසින් මා අවදි කල අතර සිහිනය එතෙකින් අවසන් විය. ඒ සිහිනය නොවෙන්නට මා එදිනම චතුමිගෙන් කැමත්ත අසන්නට ඉඩ නොතිබුණි. ඒ වීර්යය පැමිණියේ මේ සිහිනය නිසාය. අද දින මා හිමිකාරීත්වය දරණ ජයබිම පුවත්පත් කාර්යාලය මාගේ ආදරණීය බිරිඳ වන චතුමිගේ දෑතින් විවෘත්ත කරන්නට මඟ පෑදුනේද මෙකී සිහිනයයි. "කරුණාකර සිහින මඟ නොහරින්න. සිහින යනු හිතේ ගොඩගැගෙනා හිතළුවක් පමණක්ම නොවන බව මතක තබා ගන්න." යොහාන් විමුක්තිකෙටි කතා අංක 03 #පෙම්_හසුන 💌 අවසන් කොටස ❤️ විවාහය හැරදා පැමිණි දා සිටම ඇය වජිරා හෝ වසන්තව ගමේ දුටුවේ නැත. ඔවුන් දෙදෙනා කෙරෙහි ඇගේ සිතේ තිබූ තරහව, ඇය විවාහය නිසා විඳි අනේක පීඩා හේතුවෙන් යටපත් වී යම් තරමකට නිවී ගොස් තිබුණද සියුම් කලකිරීමක් හිත යට රිදුම් දුන්නේය. ඔවුන් දෙදෙනා කළ ද්‍රෝහිකම නිසා තමාට මෙසේ සිදුවූ බව ඇය විශ්වාස කළාය. ඔවුන් දෙදෙනා දැන් විවාපත් වී සිටිනවා ඇති. කිසිවෙක් ඇයට ඒ ගැන පැවසුවේවත් ඇය කිසිවෙකුගෙන් ඒ ගැන විමසුවේවත් නැත. සෙවීමට අවශ්‍යතාවයක් නොවූවත් ඔවුන් විවාහ වී සතුටින් සිටිනවාද යන්න හෝ දැන ගැනීමට ඇගේ ගැහැණු සිත මුරගෑවේය. "අක්ක පව් කමල්." නිතරම පාර බලාගෙන ඔහේ කල්පනා කරන නන්දනීව පෙන්වූ නිශා සිය සැමියාට කීවාය. "හ්ම්....ඒත් අපි මොනව කරන්නද? එයා කැමතිත් නෑනෙ ආයෙ බඳින්න." "වෙච්ච දේවල් නිසා ආයෙ බඳින්න එයා බය ඇති." "මේ සේරටම වගකියන්න ඕන අම්මයි තාත්තයි." කමල් කේන්තියෙන් පැවසීය. "ඇයි කමල්..?" "එයාලට ඕනවටනේ මේ හැමදේම සිද්ධ වුණේ. " "ඒ වුණත් අක්කා අකමැති නොවුන නිසානේ ඒ කසාදේ කරල දුන්නේ, අනිත් එක අක්කා ආදරේ කරපු කෙනයි අක්කගේ හොඳම යාළුවයිනෙ එයාට ද්‍රෝහිකම කරලා තිබුණේ." "තාත්තල ප්‍රශ්න ඇති කරපු විදිහට වසන්ත අයියා වුණත් බය නොවී ඉඳීද... තාත්ත වජිරා අක්කලාගෙයි වසන්ත අයියලාගෙයි ගෙවල්වල අයටත් තර්ජනය කරලා තිබුණා අක්කගෙ ජීවිතෙන් ඈත් වෙන්න කියලා.... ඉතින් එයාලට ඕන කෙනාටම අක්කව බන්දලා දුන්නා.. ඒ කොහොම වුණත් අන්තිමට ම එයාල ම කිව්වේ කොහොම හරි කසාදෙ රැක ගන්න කියලා මිසක්, අක්කගේ ජීවිතේ රැක ගන්න විදිහක් ගැන නෙවෙයි.. මට නම් පුදුම කේන්තියක් ඒ දෙන්න එක්කත් තියෙන්නේ...." "දැන් ඔය දේවල් කතා කරා කියලා වෙච්ච කිසිම දෙයක් ආපහු හරවන්න බෑ නේ කමල්. අපි ඉස්සරහට කරන්න තියෙන දෙයක් බලමු...." "හ්ම්...." "මේ අහන්නකො.., අක්ක කැමතිනම් අපේ ඔෆිස් එකේ ජොබ් එකක් හොයලා දෙන්න බලන්නද..? ජොබ් එකක් කරලා බිසී වෙන්න ගත්තොත් එයාගේ ඔය ගතිය ටිකක් ඇරිලා යයි." "ඒකනම් හොඳ අදහසක් තමයි නිශා. අනේ එහෙනම් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.." "ඉස්සරවෙලා අක්කගෙන් අහලා ඉමු. එයා කැමති වෙයිද දන්නෙ නෑනේ? ඔයා අහන්නකෝ." "අක්කා...." පාර දෙස බලාගෙන කල්පනා කරන නන්දනී මල්ලීගේ හඬින් තිගැස්සුණාය. "මල්ලි.." "අක්කට ඔහොම ඉඳලා කම්මැලි ඇතිනේ.. අක්ක කැමති නැද්ද නිශාලගේ ඔෆිස් එකේ ජොබ් එකක් කරන්න..? හැබැයි කැමතිනම් විතරක් අකමැති නම් කමක් නෑ.... ....අපි කතා වුනේ එහෙම වුණොත් අක්ක ඔය කල්පනා කරන එක ටිකක් අඩු වෙලා යයි කියලා." නන්දනී සිනාසුනාය. "ඒක හොඳ අදහසක් මල්ලි, නංගිට කියන්න බලන්න කියලා.. මම කැමතියි." "ඒක නෙවෙයි මල්ලි මම අහන්න හිටියේ." "මොකක්ද අක්කෙ....? අහන්න." "වසන්තයි වජිරයි බැන්ඳ ද?.." කමල් දිගු සුසුමක් හෙලුවේ ය. "ඇයි මල්ලි..?" "අනේ මන්ද අක්ක පරණ තුවාල පාර ගන්න හදනවා." "නෑ මල්ලි.. මට දුකක් නෑ.. මට දැනගන්න ඕන එයාලා බැඳලා සතුටින් ඉන්නවද කියලා විතරයි." "නෑ අක්කේ.... ඒ දෙන්න බැන්දේ නෑ..." "මොකක්.... බැන්ඳෙ නෑ...?" නන්දනී විශ්මයට පත් වූවාය. ඇයට අදහාගත නොහැකි විය. "ඇයි මල්ලි ඒ...?" "අක්කා බැඳලා ගමෙන් ගිහින් ටික දවසකට පස්සේ වසන්ත අයියත් ගමෙන් ගියා. කොහේ ගියාද කියලා අපි දන්නේ නෑ. එයාලගෙ ගෙදර අය වසන්ත අයියා ඉන්න දිහාවක් කාටවත් කිව්වෙත් නෑ.. එයා කැම්පස් පාස් වෙලානේ හිටි
යේ සමහරවිට යන්න ඇති...." "එතකොට වජිරා...?" "එයාට ටීචින් හම්බවෙලා තිබුණා ටිකක් දුර ඉස්කෝලෙක, ඒ ඉස්කෝලෙම සර් කෙනෙක්ව තමයි එයා කසාද බැන්ඳෙ." නන්දනී දෙවුර ගැස්සුවේ තමාට අදහාගත නොහැකි බව කියා පාමිනි. "එහෙම වෙන්න හේතුව මොකක්ද මල්ලි..?" " ඒක නම් මම දන්නෙ නෑ අක්කේ.." "හ්ම්..." "වසන්ත අයියා කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නෑ. වජිරක්කනම් දෙතුන් පාරක් ගෙදර ඇවිත් ඉන්නව මට හම්බවුණා. වසන්ත අයියා ඉන්න දිහාවක් එයා දන්නෙත් නෑ.." ඒ අනුව නන්දනීට නිශාගේ සේවාස්ථානයේ රැකියාවක් හිමිවිය. රැකියාවේ කාර්යබහුලත්වය නිසා ඇගේ ජීවිතයේ යම් වෙනසක් සිදු විය. මුහුණේ අඳුරු ගතිය ද දුරුවී යම් තාක් දුරට එළිය වැටී තිබුණි. නමුත් නන්දනීගේ මව වද වූයේ තම දියණිය නැවත විවාහයක් කර නොගැනීම ගැනය. ඇයට අනුව ගැහැණියකට විවාහයක් නොමැතිව ජීවත්වීමට බැරිය. "අම්මේ කසාදයක් කියලා කියන්නේ මනුස්සයෙකුට නැතුව ජීවත් වෙන්න බැරි දෙයක් නෙවෙයි.. කසාදයක් නැතිවුනා කියල මිනිහෙක් මැරෙන්නෙ නෑ.." "උඹල ඔය පණ්ඩිත කතා කිව්වට, අක්කට බැරි වෙනකොට කවුද ඉන්නේ..? මාත් හෙට අනිද්දට මැරිලා යයි.." "අම්මේ.. කසාදයක් බඳින්න ඕනෙ බැරි වෙනකොට ළඟ ඉන්න නෙවෙයි. පුළුවන් කාලෙ ජීවිතේ විඳින්න.. අක්ක ආදරේ කරලත් බැට කෑවා.. අම්මල හොයලා දීපු කසාදෙ නිසා එයාට මුළු ජීවිතේම එපා වුණා..එයාට දැන්වත් එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. එයා කැමතිනම් කාවහරි කසාද බඳියි. නැත්තං ඔය විදිහටම ඉඳී.." "උඹලත් එක්ක මේවා කතා කරලා වැඩක් නෑ.." හේමලතා ඔවුන් දෙදෙනාටම කොඳුරමින් බැණ බැණ නැගිට ගියාය. කමල්ගේත්, නිශාගේත්, අම්මාගේ සිතුවිලි වෙනස් කිරීමේ උත්සාහය ගඟට කැපූ ඉනි මෙන් වූයේ හේමලතා නැවත මඟුල් කපූවන් පසුපස යන්නට වීම නිසාය. වැඩ නිමවී ගුරු පාර දිගේ නිවසට පැමිණෙන නන්දනී වජිරාගේ නිවෙස් පසු කරමින් පැමිණියද කිසිවිටෙකත් හිස ඔසවා ඒ දෙස බැලුවේවත් නැත. එදිනත් සුපුරුදු පරිදි ඇය නිවසට එමින් සිටියාය. " නන්දනී..... නන්දනී...." කිසිවෙකු තමාගේ නම කියා ආමන්ත්‍රණය කරනු ඇයට ඇසුණි. ඇය හිස ඔසවා බැලුවේ කටහඬ හඳුනා ගත් නිසාය. "..අනේ නන්දනී.... ඔයාව ගොඩක් කාලෙකින් දැක්කේ.. අනේ පොඩ්ඩක් නවතින්න.." ඒ වජිරාය. වැට මායිමේ සිට නොඉවසිල්ලෙන් කතා කරන ඇය ගැබිණියක් බව නෙරා ආ කුස සාක්ෂි දැරීය. ඇගේ සැමියා යැයි සැලකිය හැකි පුද්ගලයෙක් මිදුලට වී බලා සිටියේය. මෙම අහඹු හමුවීමෙන් නන්දිනී මෙන්ම වජිරා ද තිගැස්සී සිටියාය. "ඔයාව දැක්ක කල් නන්දනී...." යි කියමින් වජිරා කඩුල්ල පැන පාර දෙසට ආවේ නන්දනී සමග කතා කිරීමටය. නන්දනීගේ සිතේ ක්ෂණික විදුලියක් කෙටුවේ ය. එදා පන්සලේ දී ඇය වසන්තගේ අතේ දැවටී සිටි ආකාරයත්, ඔවුන් තමාට කළ වංචාවත් ඇගේ සිතේ ක්ෂණිකව ඇඳී මැකී ගියේය. ක්ෂණිකව ආපසු හැරුණ නන්දනී පසු නොබලාම ඉක්මන් ගමනින් නිවස වෙතට ආවාය. "අනේ නන්දනී නවතින්න.... ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා.. අනේ පොඩ්ඩක් ඉන්න.." වජිරාගේ හඬ නෑසූ කන්ව වේගයෙන් ඉදිරියට ඇදෙන නන්දනී දෙස වජිරා ශෝකයෙන් බලා සිටියාය. ----+-------+---------+-------+------+-----+-----+------- පසළොස්වක පෝ දිනය උදා වී තිබුණි. නන්දනී මව සමඟ පන්සල් යෑමට සැරසුණාය. පසු දිනක වජිරා නෙත ගැටීමෙන් අළුත් වූ පැරැණි මතකයන් නිසා ඇගේ සිත කලබල වී තිබුණි. ඇයට සිත මදක් නිවා ගැනීමට අවශ්‍ය විය. නමුත් සැන්දෑවන විට ඇතිවූ තුනටියේ අමාරුවක් නිසා හේමලතාට පන්සල් යෑමට නොහැකි විය. කමල් සහ නිශා ද ගමනක් ගොස් තිබූ බැවින් නන්දනී තනිවම පන්සල් යෑමට පිටත් වූවාය. හැන්දෑවරුවේ තනියම යන්නට එපා යැයි කියූ මවගේ වදන් ගණනකට නොගෙන ඈ ගුරු පාර දිගේ පියමං කළාය. පන්සල් පඩිපෙළ නගිනවිට මළහිරු බැස යමින් තිබුණි. ගම්මුන් කිහිප දෙනෙක් බෝධි පූජාවකට සැරසෙමින් සිටිනු ඇය දුටුවාය. ගෙනා අඩුමුකුඩුම පසෙකින් තැබූ ඈ බෝ මළුවේ බිම වාඩි වූයේ දිගු සුසුමක් පිට කරමිනි. ඇය මෙපමණ කාලයක් දරාගත් වේදනා ඒ සුසුමේ ගැබ්වී තිබුණා විය හැකිය. බෝ මළුවේ සුදු වැල්ලේ ඇගේ පාදය වළලු කර දක්වා එරී ගියේය. යාන්තමට මෝදු වෙමින් තිබූ පුන්සඳ රන්වන් පැහැයෙන් බෝපත් මතට වැටී, ඒවා අතරින් පෙරී විත් වැලි මළුවේ සෙවණැලි රටා ඇඳ තිබුණි. සිහිල් මද පවනක් ඇගේ කෙහෙරැළි කිතිකවමින් හමා ගියේ ඇගේ කනස්සල්ලද රැගෙනය. ඇගේ සිත අතීතයට දිව ගියේය. "....ගෑණු ළමිස්සියෝ දෙන්න ඔච්චර හයියෙන් හිනා වෙන්න එපා, මේක පන්සල.." "ඇත්තද මහත්තයා... දැන්නෙ දන්නේ." "හා... දැන් දැනගත්තනේ..." "මේ... මම ගිහින් පැන් කල ටික හරිද බලලා එන්නම්." වජිරා වසන්තත් නන්දනීවත් තනිකරමින් බෝ මළුව දෙසට ගියාය. "ඔයා දන්නවද වසන්ත... අපි එක ළඟ පහන් පත්තු කරලා ප්‍රාර්ථනාවක් කරාම ඒක හරි යනවලු." " ඇත්තද කවුද කිව්වේ....?" "මට කිව්වේ ඔයාලගේ තාත්ත.." නන්දනී සිනාසෙමින් කීවාය. "ඇත්තද... අපේ තාත්තා වෙන මොනවද දන්නෑ කිව්වේ...." "අනේ මේ යන්න.. " "ඒක නෙවෙයි සුදු මැණිකේ... ඔයා කිව්ව වගේ අපි පහන් දෙකක් එක ලඟ පත්තු කරලා හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරමු.." "ඒයි මෝඩයා කරන ප්‍රාර්ථනාව කියන්නේ නෑ.." "ඇයි..?" "එතකොට හරියන්නෙ නෑලු." "පණ්ඩිතකම් කිව්වට පහනකට තෙල් ටිකක් දාගන්න බෑ." නන්දනී පහනට තෙල් වත්කරද්දී වැගිරුණු තෙල් වෙනත් පහනකට එකතු කරගනිමින් වසන්ත සිනාසුනේ ය. "මේ ඔයා පහන පත්තු කරලා මොනවද ප්‍රාර්ථනා කරේ..?" "ඇයි දැන් ඔයා කිව්වේ ප්‍රාර්ථනා කරපුව කියන්න හොඳ නෑ කියල.." "ආ... ඒකත් ඇත්තනේ." "මම ප්‍රාර්ථනා කරේ මේ උගුලෙන් මාව ගලවලා දෙන්න කියලා.." "අනේ මේ යනව යන්න....මෝඩයා.." ආපසු හැරෙන්නට ගිය නන්දනී සුදු වැලි මළුවේ එරීයාම හේතුවෙන් වැටෙන්නට ගියාය. වසන්ත ඇයව අල්ලා නොගන්නට ඇය වැටෙන්නට ඉඩ තිබුණි. වටකුරු පුන් පෝය තමා දෙස ආදරයෙන් බලා සිටින බව නන්දනී සිතුවාය. සිලි සිලියෙන් සැලෙන බෝපත් තමාට ආශිර්වාද කරනු ඇතැයි වසන්ත සිතුවේය. කල්පනා සයුරක ගිලී සිටි නන්දනී නොකල්පනාවෙන්ම පහන් වැටිය අසලට පැමිණ තිබුණි. ඔය නිවී තිබූ පහන් කිහිපයක් ගෙන පිසදා නැවත සකස් කළාය. "සුදු මැණිකේ...." තමා පිටුපසින් ඇසුණු හඬකින් කල්පනා ලොවින් බිම වැටී තිගැස්සී ගිය නන්දනී අතින් අත තිබූ පහන ගිලිහිණ. ඇය ක්ෂණිකව පිටුපස හැරී බැලුවාය. "ව්...වසන්ත...." වේදනා බර මුහුණකින් තමා දෙස බලා සිටින වසන්ත නන්දනී ඉදිරියේ දෘශ්‍යමාන විය. "සුදු මැණිකේ.. මේ මම.." වසන්තගේ අඳුරු වී තිබූ මුහුණේ දෑස අඳුර මැදින් තෙත්වී දිළිසෙන වග නන්දනී දුටුවාය. නන්දනීගේ දෑස ද තුනී කඳුළු පටලයකින් ඔපවැටී පහන් සිලේ ආලෝකයෙන් දිලිසෙනු වසන්ත දුටුවේය. වසන්තව බදාගෙන සියලු දුක් වේදනා නිම වී යන තෙක් හඬන්නට අවැසි වුවද ඔහු තමාට කළ වංචාව සිහි වී පිළිකුලක් හටගත් නන්දනී මදක් මෑත් වූවාය. 'සුදු මැණිකේ.. " නැවත වසන්තගේ හඬ අවදි වෙයි. " මට ආරංචි වුණා., සුදු මැණිකේ ගෙදර ඇවිත් ඉන්න බව." නන්දනීගේ දෙනෙත් කඳුළින් බර විය. "ව..සන්ත කවද්ද ගමේ ආවෙ..? " ඈ උගුර යටින් මිමිණුවාය. "මම ආවෙ ඊයෙ මැණිකෙ.." වසන්ත ද බිඳුණු හඬකින් මිමිණුවේය. "තනියමද පන්සල් ආවේ...කෝ නෝනා එහෙම ආවෙ නැද්ද...?" ඈ කඳුළු සඟවාගෙන ඇසුවාය. "මම කසාද බැන්දේ නෑ සුදු මැණිකේ...." " ඇයි...?" වසන්ත සුසුමක් හෙළුවේය. මඳ නිහඬතාවක් පැතිරිණ. "මට දැනගන්න ඕන වසන්ත වජිරව කසාද බැන්දේ නැත්තේ ඇයි කියලා.." " වජිරව කසාද බැන්දේ නැත්තේ......., මම කවදාවත් වජිරාට ආදරේ නොකරපු හින්දා...." 'මොනවා....?" නන්දනී පුදුමයෙන් වසන්තගේ මුහුණ දෙස බැලුවාය. "මම කවදාවත් වජිරාට ආදරේ කරේ නෑ සුදු මැණිකේ.. මම හැමදාමත් ආදරේ කරේ මේ ලෝකේ එකම ගෑනියෙකුට විතරයි.. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.. " "....මම දන්නවා සුදු මැණිකෙට කවදාවත් ඒ ලියුම හම්බ නොවුන බව, ඒ හින්දම අදටත් කිසිම දෙයක් නොදන්න බව.." "මොන ලියුමද...?" "මට අවස්ථාවක් දෙන්න පුළුවන්නම්.... මම හැම දෙයක්ම කියන්නම්. මෙතන කතා කරන්න බෑනෙ. අපි මුණගැහිලා නිදහසේ කතා කරමුද....?" "හොඳයි හෙට හවස දෙකට වැව ගාවට එන්න...." මඳක් කල්පනා කළ නන්දනී එසේ කියා එතැනින් නික්ම ගියාය. රාත්‍රිය පුරාවටම නන්දනීට නින්දක් නොවීය. --------+----------+-----------+---------+-------+------- වැව පිසගෙන එන සුළං රැලි කුඹුක් ගසේ දැවටී වැව් කන්ඩිය මත හුන් නන්දනීගේ ගත වෙලා ගත්තේය. ගෙදරට හොරෙන් ම වසන්තව හමුවීමට මෙතනට පැමිණි හැටි සිහිවී ඇයට සුපුරුදු කිතියක් දැනුණි. නමුත් සියල්ල සිදුවී හමාරය සිදුවූ කිසිවක් වෙනස් කළ නොහැක. වසන්ත තමාව රවටා හමාරය. " සුදු මැණිකේ...." වසන්තගේ හඬින් නන්දනී පිබිදුණාය. "ව්... වසන්ත.. ළඟට එනකම්ම දැක්කේ නෑ.." ඇය අපහසුවෙන් වචන ගළපා ගත්තාය. "මම දැක්ක සුදු මැණිකෙ කල්පනා කර කර ඉන්නවා.." "හොඳයි...., දැන් කියන්න මොකක්ද කියන්න තියෙන්නේ....? ඇයි වසන්ත කසාද නොබැන්දේ....?" "සුදු මැණිකට මතකද වජිරා අරගෙන ආපු ලියුමක් ඔයාලගේ අම්මට අහු උනා...? ඔයාලගේ තාත්තා වජිරලාගේ තාත්තටත් තර්ජනය කරලා තිබුණා...." "..ඔව්.." "...එදා රෑ කුලතුංග මුදලාලි මාව හොයාගෙන හේනට ආවා.. ආවේ නිකම්ම නෙවෙයි මුදලාලි ගෙ හෙංචයියෝ දෙන්නෙකුයි ලයිෂන් තුවක්කු.වයිත් අරගෙන.... එදා ඇවිත් තුවක්.කුව මගේ ඔළුවට තියලා තර්.ජනය කරා. ..." වසන්ත වැව දෙස බලාගෙන කියාගෙන යයි. නන්දනී දෑස් දල්වා ඔහුගේ මුහුණ දෙස බලා සිටියාය. --------+---------+---------+--------+-------+-------- "තෝ අපේ එකී එක්ක තියෙන සම්බන්ධෙ නතර කරනවද නැද්ද....?" "මුදලාලි මාව මැ..රුවත් කමක් නෑ. හැබැයි මම සුදු මැණිකෙට ආදරෙයි.." "වහ.පිය ප_රයා කට.. ආ...ද...රේ...." මුදලාලි වසන්තට සැර අතුල් ප-හරක් ගැ-සුවේය. "තෝ මේ සම්බන්ධෙ නතර කරන්නැත්තම්.. තොගේ මහ එකා.වයි මහ එකී.වයි.... මේ දැන් ම... හේනට කුද.ළගෙන ඇවිල්ලා හේනට දාලා හේන ගි-නි තියනවා. දැන.ගනිය...." "....තෝ දන්නවනේ මේ මුදලාලි කිව්වොත් දෙයක් කරන බව.. තෝ ඒකට කැමතිද? ඊට පස්සේ මං අපේ එකී.වත් බා.වල.දානවා. ක
ැමතිද කියා..පිය." මුදලාලි ගිගුරුවේය. මවුපියන් පිළිබඳ ඇසූ කාරණය නිසා වසන්තගේ හිත ගැස්සුණි. 'හොඳයි.... මම සම්බන්ධෙ නතර කරන්නම්, මගේ අම්මටයි අප්පච්චිටයි කරදර කරන්න එපා. සුදු මැණිකට කරදරයක් කරන්නත් එපා. මම මෙහෙන් යන්නම්...." "තෝ ඕක කිව්වට හිතුවද මම විස්වාස කරයි කියලා..?". "මම මොකද්ද කරන්න ඕන...?" "තෝ අර වජිරා කියන එකී එක්ක යාළුයි කියලා ගම පුරාම පතුරවන්න ඕනේ. ඒක අපේ එකීට දැනගන්න අරින්නත් ඕන.." වසන්තගේ දෙනෙත් කඳුළින් බර වී තිබුණි. "සුදු මැණිකේ ඒ වගේ දෙයක් කොහොම දරා ගනිද මුදලාලි....?" " තොට ඒවගෙන් කාරියක් නෑනේ... ඒ හරිය මම බලාගන්නම් මම කියපු දේ කරා.පිය. නැත්තං තොගේ අම්මයි අප්පයි මෙතනම ගෙනත් බා. වනවා...." මුදලාලි යන්නට ගියේය. එතනම බිම හින්ද වූ වසන්තට රාත්‍රිය එළිවෙනවා හෝ නොදැනුණි. පසු දින උදෑසන වජිරා වසන්ත සොයා හේනට ආවාය. ඒ වනවිටත් වසන්ත වාඩි වූ තැන එහෙමම සිටියේය. "මුදලාලි ඇවිත් අපේ තාත්තට හොඳටම තර්-ජනය කරා වසන්ත.. තාත්තා මට හොඳටම ගැ.හුවා..." වජිරා අඬා වැටෙමින් කීවාය. "මුදලාලි කිව්වා.. මට ඔයත් එක්ක යාළුයි කියලා නන්දනීට ආරංචි කරවන්න කියලා.. නැත්තං තාත්තවත් මර.ලා, මාවත් මර.ලා නන්දනීවත් මර.ණවා කිව්වා..." වජිරා හඬා වැටුණාය. වසන්ත තවමත් හිටි අයුරින්ම නිසොල්මන්ය. ඇය කී දේ ට හිස මඳක් සෙලෙව්වා පමණි. "වසන්ත....වසන්ත..... ඔයාට මොකද වෙලා තියෙන්නෙ, අනේ කතා කරන්නකෝ ....වසන්ත..... දෙයියනේ ඔයාට සහලෝලා උන නේද.....? යමු ගෙදර......" වජිරා වසන්ත වත්තන් කරගෙන ගෙදරට එක්කගෙන ගියාය. .....,.......,.........,.. "....ඊට පස්සේ ඔයාගේ අම්මයි තාත්තයි පෝය දවසේ පන්සලේදී ඔයාට මේ ගැන කියන්න කියලා මටයි වජිරාටයි බල කළා.... මට සමාවෙන්න සුදු මැණිකේ.... මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.. මම වජිරට ආදරේ කරනවා කියලා ඔයා ඉස්සරහා කියලා මට තවත් ඔයාගේ මූණ බලන්න පුළුවන්කමක් තිබුණෙ නෑ..... මම දවස් ගානක් බීලා බීලා පිස්සෙ.ක් වුණා.." වසන්ත එක හුස්මට කියාගෙන ගියේය. සුළං පහරට බිඳෙන දිය රැළි වල හඬ ඇරෙන්නට මුළු පරිසරයම නිහඬතාවයක ගිලී ගියේය. නන්දනී සිහින් හඬින් ඉකි බිඳිමින් සිටියාය. "දෙයියනේ....ඇයි අම්මයි තාත්තයි මට මෙහෙම දෙයක් කලේ..?" "එයාල බයවෙන්න ඇති සුදු මැණිකේ... ඔයා මගෙත් එක්ක ඇවිත් දුක් විඳියි කියලා.." "නෑ වසන්ත එයාලට ලොකු උනේ නම්බුව විතරයි. මගෙ සතුට නෙමෙයි.. අන්තිමට තාත්තා මාව පිස්.සෙක්ගේ කරේ ගහලා නිදහස් උනා. දැන් කසාදෙත් නෑ තාත්තත් නෑ...." නන්දනී ගැඹුරු සුසුමක් හෙළුවාය. "තාත්තට වෛ..ර කරන්න එපා සුදු මැණිකේ එයා දැන් මේ ලෝකෙත් නෑ නෙ... වෙච්ච හැම දෙයක්ම ලියුමක ලියලා මම වජිරාට දුන්නා ඔයාට කොහොමහරි ඒක දෙන්න කියලා...ඒත් ඔයා වජිරව හම්බවෙන්න ප්‍රතික්ෂේප කරල තිබුණා. ඒ නිසා වජිරාට කවදාවත් ඒ ලියුම ඔයාට දෙන්න බැරි උනා.... මම පුදුමාකාර විදිහට වි.ඳෙව්වා. ඊට පස්සේ ඔයා කසාද බැඳලා ගියා කියලා ආරංචි වුණාට පස්සේ තවත් මට හිත හදාගෙන ඉන්න බැරි වුණා. මම ගමෙන් ගියා. කැම්පස් ගියා. දුක අඩු කරගන්න මම සෑහෙන බිසී උනා. දැන් මම බෑන්ක් මැනේජර් කෙනෙක්...." "දෙවියනේ..... ඒ ලියුම මට හම්බවුණා නම්.. මේ හැම දෙයක්ම මීට වඩා වෙනස් වෙන්න තිබුණා....." "දැන් ඉතින් ඒ ගැන කතා කරල වැඩක් නෑ. හැම දෙයක්ම වෙන්නේ වෙන්න තියෙන විදිහටනේ සුදු මැණිකේ.. සිද්ධ වෙච්ච දේ ඇත්ත නැත්ත දැනගෙන හිටියේ මමයි වජිරායි ඔයාගෙ අම්මයි තාත්තයි විතරයි.... ........ ඔයා ඉස්පිරිතාලේ කියල දැනගත්තම මම පිස්.සෙක් උනා. සිද්ධ වෙච්ච දේ කියන්න කමල්ව මුණගැහෙන්න මම කීප සැරයක් ම උත්සාහ කරා. ඒත් එයාගේ අක්කට වෙච්ච දේ හින්දා එයා මගෙත් එක්ක තරහෙන් හිටියේ, එයා කැමැති වුණේ නෑ මගෙත් එක්ක කතා කරන්න. අඩුම ගානේ කමල්වත් දැනගෙන හිටියනම් මේ දේවල් වෙනස් වෙන්න තිබුනා. මම ගමෙන් ගියාට පස්සෙ කවදාවත් ආපහු ගමට ආවෙ නෑ. ගෙදර අය විතරයි දැනගෙන හිටියේ මම ඉන්නේ කොහෙද කියලා. ඒත් එයාලා ඒ ගැන කාටවත් කිව්වේ නෑ. වජිරා විද්‍යා පීඨ සිලෙක්ට් වෙලා තිබුණා. පත්වීම හම්බවුණාට පස්සේ වජිරාත් කසාද බැඳලා ගමෙන් ගිහින් තිබුණා...." "...ඒ ලියුම තවමත් මම ගාව තියෙනවා...." වසන්තත් නන්දනීත් වහා හැරී බැලුවෝය. කුසට අත තබාගෙන හෙමි හෙමින් එමින් සිටියේ වජිරාය. ඇගේ සැමියා වැව ඉවුරට මඳක් ඔබ්බෙන් මෝටර් සයිකලය නතර කරගෙන සිටියේය. "නන්දනී ඉස්පිරිතාලෙ ගෙනිච්චා කියල දැනගත්තම මට දරාගන්න බැරි වුණා.. මම ඉස්පිරිතාලෙට ගියේ කොහොමහරි නන්දනීට ලියුම දෙන්න හිතාගෙන.... ඒත් නන්දනී මාව හම්බවෙන්න ප්‍රතික්ෂේප කළා. මම කීප දවසක්ම ගෙදරට ආවත් නැන්දවත් මාමවත් මට නන්දනීව හම්බවෙන්න දුන්නේ නෑ... ..මට කරන්න දෙයක් තිබුණෙ නෑ. නන්දනී ඉස්පිරිතාලෙ ගෙනිච්චම වසන්ත දවස් ගානක් බීල බීල ලෙඩ වෙලා හිටියා.... අන්තිමට නන්දනී කසාද බැඳලා ගියාට පස්සේ වසන්ත ගමෙන් ගියා ඒත් ගියේ කොහෙද කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ.... ....මම හිතාගෙන හිටියේ මට කවදාවත් ලියුම දෙන්න බැරි උන එකේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බැරි වෙයි කියලා. ඒත් දැන් මම නිදහස්,.." වජිරා සිනාසෙමින් කීවාය. ඇය අතේ පරිස්සමට නවාගෙන සිටි කවරයක් නන්දිනීගේ අතේ තැබුවාය. එය දිගහැර බැලුවාය. පැරණි නමුත් ඉතා පරිස්සමට සුරැකිව නවා තිබූ කඩදාසියේ තිබූ වසන්තගේ අත් අකුරු බොඳ වූ නෙතින් හඳුනාගැනීමට නන්දනීට හැකි විය. ඇගේ නෙතින් ගිලිහුණු කඳුළු සට පට ගා වැටෙමින් ලියුමේ තැන් තැන් බොඳ කළේය. නන්දනී වහා වජිරා වැළඳ ගෙන හඬා වැළපුණාය. "දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි සුදු මැණිකේ...." වසන්ත ඇගේ පිට අතගාමින් කීවේය. "තාත්තලාගේ මහන්තත්තකම නිසා තමයි මේ සේරම.. මගේ ජීවිතේ නාස්ති වුණ එක විතරයි ඒකෙන් වුණේ..අන්තිමට මටයි වන්දි ගෙවන්න උනේ.." "සුදු මැණිකේ මට ඇත්ත කියන්න.. මොකක්ද ඔයාට වුණේ...." වසන්ත නන්දනීගේ දෙවුර මත දෑත තබා ඇගේ දෑස් වලට එබීගෙන ඇසුවේය. නන්දනී හඬමින් ම පසුගිය වසර ගණනාව තුළ තමාගේ ජීවිතයට සිදුවූ සියලු දේ වසන්තත් වජිරාත් හමුවේ දිග හැරියාය. . "..ඒ මිනිහා මානසික ලෙඩෙක් වග මම දැනගන්න කොට මගේ දරුවත් නැතිවෙලා.." වසන්ත වහා ඇය වැළඳ ගත්තේය. වජිරා ඔවුන් දෙදෙනාවම වැළඳ ගත්තාය. "සුදු මැණිකේ මේ අහන්න.." නිහඬතාවයෙන් ගත වූ විනාඩි කිහිපයකට පසු වසන්ත හඬ අවදි කළේය. "ම්..? " "වෙච්ච දේවල් වෙලා ඉවරයි. අපි ආපහු මුල ඉඳන් පටන් ගමුද..? " නන්දනීගේ මුහුණ පිරිමදිමින් වසන්ත ඇසුවේය. 'ඒත්.... ඒත්.... ඔයාගෙ අම්මලා කැමති වෙයිද මට....?" වසන්ත සිනාසුනේය. "සුදු මැණිකෙට අපේ අම්මා එදා වගේම අදත් ආදරෙයි.. සුදු මැණිකෙට උන දේ නිසා අපේ අම්මා මගෙත් එක්ක දවස් ගානක් කතා නොකරත් හිටියා, මට හොඳටම බැන්නා ඇයි ඔයාට එහෙම දෙයක් කරේ කියලා.... මට එදා උත්තර තිබුණේ නෑ. මම ඒ කැපවීම කරේ එයාලා වෙනුවෙන් කියලා කියන්න මගේ දිව නැමුණේ නෑ.... එදා මං ඒගොල්ලෝ වෙනුවෙන් කරපු ඒ කැපකිරීම අද අනිත් පැත්තට ඔයා වෙනුවෙන් කරන්නේ මම දෙපාරක් හිතන්නෙ නෑ සුදු මැණිකේ...." "ඉතින්...... ඉස්සර වගේම තාමත් මට ආදරේද..? වසන්ත නන්දනීගේ නිකටෙන් අල්ලාගෙන ඇසුවේය. "ඉස්සර තරම්ම ආදරෙයි.. " දිගු කාලයකට පසු මිතුරන් තිදෙනා එක්ව සතුටින් සිනාසුණෝය. නන්දනී ගෙදර ආවේ සැහැල්ලු සිතෙනි. වැව ළඟ වජිරා, වසන්ත සහ නන්දනී කතාබහ කරමින් සිටින බව කමල්ට ආරංචි වී තිබුණි. ඔහු ඒ පිළිබඳව නන්දනීගෙන් විමසුවේය. නන්දනී සිදුවී ඇති සියල්ල ම කමල්ට පැවසුවේ ලියුමද ඔහු අතට පත් කරමිනි. "දෙයියනේ..... ඒ කියන්නේ අම්මත් මේ ගැන දැනගෙන ඉඳලා.... මොනතරම් අපරාධයක්ද අම්මේ අක්කගෙ ජීවිතේට තාත්තා කරේ....? ....ඇයි අම්මා සද්ද නැතුව හිටියේ මේ දේවල් දැනගෙන.. තාත්තා කොයි තරම් කැත මිනිහෙක් ද..? තමන්ගෙ පරම්පරාවෙ නම්බුව ආරක්ෂා කරගන්න අක්කගෙ ජීවිතේ බිල්ලට තිබ්බා.... අන්තිමට ඒකෙන් විඳවන්න උනේ අක්කට.." " තාත්තට දොස් කියන්න එපා දරුවෝ .." පසුතැවීමෙන් බිම බලා සිටි හේමලතා සෙමෙන් කීවාය. "තාත්තා හැදුවේ අක්කට හොඳක් කරන්න...." "ඉතින් අක්කට ඒකෙන් හොඳක් උනාද..." හේමලතා කරබා ගත්තාය. "මට සමාවෙන්න පුතේ.. තාත්තගෙ වචනෙට පිටින් මට කරන්න දෙයක් තිබුණෙ නෑ..... අනික සේනක කියන්නේ මානසික ලෙඩෙක් කියලා අපි දැනගෙන හිටියේ නෑනේ.." "..තාත්තා කරපු දේට තාත්තට දඬුවම් හම්බවෙලා ඉවරයිනෙ මල්ලි.. දැන් තාත්තට දොස් කිව්වා කියල ඒක විසඳගන්න එයා නෑනේ.. වෙච්ච දේවල් වෙලා ඉවරයි. අපිට පුළුවන්නේ ආපහු මුල ඉඳන් පටන් ගන්න...." නන්දනී සැහැල්ලුවෙන් කීවාය. ------+---------+-------+--------+--------+---------- " සුදු මැණිකේ.... අර බලන්නකො හඳ එළිය වතුරට වැටිලා ලස්සන.." වසන්ත නන්දනීගේ මුහුණට සියුම් හාද්දක් දෙන ගමන් කීවේය. "හරියට ඔයා වගේමයි.... දැන් ඉතින් හැමදාමත් ඔයා මගේ විතරමයි.... " වසන්ත නන්දනීගේ කණට කෙඳිරුවේය. නන්දනී විලියෙන් ඇඹරී ගියාය. ඇය අතීතයේ සිහින මවා සිටි මදුසමය රාත්‍රිය සුන්දර කරමින් පුන්සඳ තටාකයේ වතුරට වැටී දිලිසුණේය. අවසානයි ❤️❤️ ස්තුතියි ආදරණීය අදහස් වලට 🥰🥰 ✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර කතෘ අයිතිය සුරකින්නකෙටි කතා අංක - 03 #පෙම්_හසුන 💌 01 කොටස 💖 "මැණිකේ..." හේතුවක් නැති වුවත් සුපුරුදු ලෙස ඉස්තෝපුවට වී පාර බලා සිටින නන්දනී මවගේ හඬට හැරී බැලුවාය. "ආ... මේ තේ එක බිව්වානම්.." පියාගේ හදිසි වියෝවෙන් සය මසක් පමණ ගතවී තිබුණත්, මවගේ මුහුණේ පෙනෙන්නට ඇති අඳුරු සෙවනැලි නන්දිනීගේ තියුණු දෙනෙතට නිරීක්ෂණය විය. මව කුමක් හෝ පවසන්නට අර අඳින බව ඇයට වැටහුණි. "මැණිකේ, දැන් ඉතින් මාත් හොඳටම වයසයි. අර මනුස්සයත් අකාලෙ මැරිලා ගියා. ඔයාට යන කල දසාවක් තියෙන්නත් ඕනෙනේ. නරකද හොඳ...." හේමලතාට කතා කිරීමට ඉඩක් නොලැබුණි. වේගයෙන් පුටුවෙන් නැගී සිටිමින් නන්දනී කාමරයට ගියේ තරහින් බව වේගයෙන් ගසා දැමුණු දොර රෙද්ද සාක්ෂි දැරීය. නන්දනීගේ දික්කසාද නඩුව නිමාවන්නටත් පෙරම කුලතුංග මුදලාලි මහතා එනම් නන්දනීගේ පියා හදිසි හෘද
යාබාධයකින් මෙලොවින් සමුගත්තේ දියණියට අත් වූ ඉරණම ගැන කම්පාවෙන්ද, නැතහොත් ගමට මුහුණ දීමට ඇති ලැජ්ජාව නිසාද යන්න ගම්මුන්ගේ කතාබහට ලක්වී තිබිණ. එක පිට සිදුවූ කරදර නිසා හේමලතා දැඩි කම්පාවට පත්ව සිටියත් ඇයට කළ හැකි කිසිවක් නොවීය. යෝජිත විවාහයෙන් සිව් වසරක් ගත වූ තැන තමාට විදිමට සිදු වූ දුක් පීඩාවල කෙළවරක් නොමැති හෙයින් නැවත නිවෙසට පැමිණි නන්දනී මහගෙදර නතර විය. කසාදය හැරදමා නිවසට පැමිණි දියණියට මුදලාලි සහ බිරිඳ අවලාද කී නමුත් නන්දනීගේ බාල සොහොයුරා කමල් හා ඔහුගේ බිරිඳ ඈ වෙනුවෙන් පෙනී සිටි හෙයින් දෙමහල්ලන්ට කළ හැක්කක් නොවීය. සිය අක්කණ්ඩිය විවාහ කරගත් මස්සිනා ඇයට දැඩි තාඩන පීඩන එල්ල කර ඇති බව සැලවූ කමල්, නන්දනී කැටුව ගොස් නීතිඥයෙක් හමුවී ඔහුට එරෙහිව දික්කසාද නඩුවක් ගොනු කළේය. හැඬූ කඳුළින් කාලය ගත කළ නන්දනී එතෙකින් සැනසුනාය. ගමටම මගුල් කියමින් මහා උජාරුවට විවාහ මංගල්‍යයක් ගෙන පිටත් කළ දියණිය කසාදය කඩාගෙන ගෙදර විත් මදිවාට, දික්කසාද නඩු දමා ඇති බව සැලවූ කුලතුංග මුදලාලි ට හදිසි හෘදයාබාධයක් වැළඳිණ. රෝහල්ගත කළ ඔහු ජීවත් වූයේ තවත් සති දෙකක් පමණ කාලයක් පමණි. හේමලතාට දියණිය මහා බරක් ලෙස දැනුනත් කමල් සහ ඔහුගේ බිරිඳ නන්දනීට ඇති තරම් කාලයක් මහ ගෙදර විසීමට අවසර ලබා දී තිබුණි. "අපේ අක්කට කරපු දේ තමයි තාත්තට ඔය පඩිසන් දුන්නේ... අක්කා ඔය මගුල කරගත්තෙත් අඬ අඬා." කමල් බිරිඳ සමග පැවසුවේ එක් වතාවක් නොවේ. "පව් අක්කා මොනා උනත් දැන් එයා තමයි දුක් විඳින්නේ" කමල්ගේ බිරිඳ සොවින් පැවසුවාය. "අපරාදෙ.... තමන්ගෙ ජීවිතේ ගැන තීරණ ගන්න අක්කට ඉඩ දුන්නනම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ.." කමල් සිය සොයුරිය වෙනුවෙන් දුක්විය. හේතුවක් නැතත් නිතරම පාර බලා සිටීම නන්දනීගේ දෛනික චර්යාවේ කොටසක් විය. වසන්ත යළි කෙදිනක හෝ පැමිණෙතැයි ඇගේ යටි හිතේ කොනක බලාපොරොත්තුවක් ද තිබුණා විය හැකිය. නන්දනීට සිය අතීතය සිහි විය. ඒ සමය කොතරම් සොඳුරුද. ඇයට දිගු හුස්මක් හීල්ලුනි. -------+---------+----------+----+--------+-------+-------- "සුදු මැණිකෙගේ අත් දෙක හරි සිනිදුයි...." "ඔව් ඉතින් අපි ඔයාල වගේ කුඹුරු කොටන එකක්යැ...." නන්දනී කිචි කිචි ගා හිනා වුණාය. වසන්තගේ මුහුණ නන්දනීගේ සිනාවෙන් එළිය වැටුනි. හැමෝම තමාට මැණිකේ කියා කතා කරද්දි වසන්ත පමණක් සුදු මැණිකේ කියා කතා කිරීම නන්දනීගේ ඉමහත් ආදරයට හේතු විය. පාසලේ ප්‍රධාන ශාලාව පිටුපස වූ කජුගසට මුවා වී සොඳුරු පෙම් කතාවක යෙදෙන නන්දනීටත් වසන්තටත් තනි රැක්කේ වජිරාය. ඇය ඔවුන් දෙදෙනාගේම හොඳම මිතුරිය විය. "කවද හරි මේ අත් දෙකෙන් තමයි ඔයාට රසට කන්න උයලා දෙන්නේ...." "ඇත්තට..? නෝනා උයන ඒවා කාලා මටයි මගෙ ළමයිටයි බඩේ අමාරුව හැදෙයිද දන්නෑ...." "අනේ යන්න... හරියට මගෙ කෑම කාලා නෑ වගේ නෙ.." නන්දනී මුහුණ පුළුටු කරගනිමින් කීවාය. "හරි හරි මං විහිළුවක් කරේ.. කෝ මේ බලන්නකො.... සුදු මැණිකෙ, මොන දේ හැමදාම මාත් එක්ක මේ වගේ ආදරෙන් ඉන්නවා නේද....?" "නැතුව ඉතින්.. මේ රිලා පැටියා එක්ක මොළයක් තියෙන වෙන කෙල්ලෙක් එනවයැ..." නන්දනී වසන්තගේ යන්තමට ඇදෙමින් තිබූ රැවුල් කොටයකින් අදිමින් කිව්වාය. "ඒ ඒ සුමනසේකර සර් එනවා.." හිටි හැටියේම කඩා වැදුණු වජිරා සිනාව සඟවාගෙන කීවාය. දුටුවන් දෙවරක් හැරී බලන රූ සපුවකින් යුත් නන්දනී, එතරම්ම වූ රූ සපුවකින් යුත් වසන්තගේ පමණක් නොව යි ගුරුවරුන්ගේද නොමද ආදරයට පාත්‍ර වූයේ ඇගේ ඉගෙනීමට ඇති දක්ෂතාවය නිසාය. එසේම ඔවුන්ගේ ප්‍රේම වෘතාන්තයද බොහෝ දෙනකුට රහසක් නොවීය. නමුත් මේ ප්‍රේම කතාව ආරංචි වූ කුලතුංග මුදලාලි දැඩි සේ කිපුණි. "හහ්... ඕකුන් කවුද අපිත් එක්ක පෑහෙන්න.... රදා හැත්ත..., කුඹුරු කොටන සිරිදාසයාගේ පුතාට මේ ගෙදරින් හිර දෙන්න.....? උන් හිතුවා මදි...." කුලතුංග අඩි පොළොවේ හප්පමින් කෑ ගැසුවේය. "ඌත් එක්ක ඇයි හොඳයියක් තියෙනවනම් උඹ ඒක අදම නවත්තන්න ඕන, නැත්නම් මං නරක මිනිහා කියන්න එපා.." නන්දනී කාමරයට වී රහසින් ඉකි බින්ඳාය. "පුතේ.... වසන්ත ළමයත් එක්ක ඇයි හොඳයියක් තියනවනම් ඒක නතර කරලා දාන්න.. ඒ මිනිස්සු අපිට ගැලපෙන මිනිස්සු නෙවෙයි... ඇරත් දන්නවනේ තාත්තගෙ හැටි... ඒ මිනිස්සුන්ට කරදරයක් වුණත් කරන්න බැරි නෑ.." නමුත් වසන්තගේ නන්දනීගේත් ප්‍රේමය බිඳ දැමීමට කුලතංග මුදලාලි අසමත් විය. පියාගෙන් කොතරම් ගුටි කෑවත් වසන්තව අත්හැරීමට හිත හදා ගැනීමට නන්දනීට නොහැකි විය. උසස් පෙළ විභාගය අවසන් වූ සැණින් ඇය ගෙදරට හිරකාරියක් වූයේ ඒ නිසාය. වජිරාට පමණක් ම ඇයව හමුවීමට අවසර තිබූ නමුත් දෙමහල්ලන් ඒ පිළිබඳව ද දැඩි ලෙස පරීක්ෂාකාරී විය. කුලතුංග මුදලාලිගේ තර්ජන ගර්ජන රාශියක් මැද වුවත් නොසැලී සිය ප්‍රේමය පවත්වාගෙන යාමට වසන්තද හැකි තරම් උත්සාහ දැරුවේය. හමුවීමට අවස්ථාවක් නොලද පෙම්වතුන්ගේ දූතයා බවට වජිරා නිතැතින්ම පත්විය. වජිරා මාර්ගයෙන් බොහෝ පෙම් පණිවිඩ හුවමාරු විය. කරුණු එසේ වුවත් කුලතුංග මුදලාලි පැතූ පරිදි ප්‍රේම සම්බන්ධය ගිලිහී ගියේ නැත. වසන්ත බෙහෙවින් නන්දනීට ආදරය කළේය. නමුත් දෙමව්පියන් හැරදමා තමා සමග රහසේ පලා එනමෙන් ඔහු ඇයට ඇරයුම් කළේ නැත. මේ අතර වජිරා විසින් රැගෙන ආ පෙම් හසුනක් හෙමලතාට හසුවීමෙන් පසු වජිරාටද එම නිවස තහනම් කලාපයක් බවට පත්විය. කුලතුංග මුදලාලි විසින් සිරිදාසට මෙන්ම වජිරාගේ පියාටද තර්ජනය කර තිබුණි. කුලතුංග මුදලාලි විසින් දියණියට මංගල යෝජනා සෙවීම ආරම්භ කර තිබූ අතර නන්දනී ඒ කිසිවකට කැමති නොවූවාය. නන්දනී කල්ගත කළේ හැඬූ කඳුළින්මය. මේ අතර අලුතින්ම ලැබුණු ආරංචිය නිසා ශෝකයෙන් ඔද්දල්ව සිටි නන්දනීගේ මනස පිස්සු වට්ටන්නට සමත් විය. තමා පණ මෙන් පෙම් කළ වසන්ත, වජිරා සමග සම්බන්ධයක් පටන් ගෙන ඇති බව මුලින්ම කිව්වේ අම්මාය. නමුත් නන්දනී එය විශ්වාස නොකළාය. එහෙත් වසන්ත හමු වීමට තමා අවසර නොලද හෙයින් වජිරා පණිවිඩ හුවමාරුව සඳහා නිතර වසන්තව මුණගැහෙන බව මෙනෙහි කළ නන්දනීගේ සිතට ද යම් සැකයක සේයාවක් මෝදු වී ආවේය. "මැණිකේ.. දන්නවද වැඩක්...?" දොර වෙද්ද මෑත් කරමින් පැමිණි අම්මා කියන්නේ කුමක්දැයි ඇසීමට නන්දනී හිස ඔසවා බැලුවාය. "කාමරේ අස්සෙ ඉන්න මම කොහොමද දන්නෙ..?" "අන්න.. ඔයාගේ ප්‍රේමවන්තයා එක්ක වජිරා පැටලිලාලු. අපි ඔයාට කිව්වනේ ඕක හරියන් නැති බව.." "අම්මා මොනවද මේ කියන්නේ.. ඒගොල්ලෝ එහෙම අය නෙවෙයි.." "හහ්... නැති හැටි ඔය පෙනිලා තියෙන්නේ, වැව ගාව දෙන්න මුකුළු කර කර ඉන්නවා ජිනේ දෑහින්ම දැකලා.... ඒ කියාපු හැටියට මගේ ඇඟත් හිරිවැටිලා ගියා... බුදු අප්පේ හාමිනේ උන් දෙන්නගෙ සිරික්කිය, මට නං ලැජ්ජාවෙ බෑ කියලා ජිනේ කියල ගියේ...." "අම්මට පිස්සු.. වජිරා මොකටද වසන්තත් එක්ක යාළු වෙන්නේ..?" "එහෙනම් ඔය වෙලා තියෙන්නේ.. ගම්මු කියන්නේ බොරුද..?" "මිනිසුන්ටනම් ඕන දෙයක් කියන්න බැරි ද අම්මෙ...?" "ඒ උඹ හිත හදාගන්න කියන ඒවනේ..." "ඒවායින් මේවායින් වැඩක් නෑ, අපි උඹට කවදත් කිව්වනේ ඔය මගුල කෙරෙන් නැති බව.." හදිසියේ එතනට කඩා පැන්න කුලතුංග මුදලාලි නෝන්ඩියට මෙන් කියා දැම්මේය. "වැඩිමල් සහෝදරියෙක් හැසිරෙන හැටි ද ඔය.. බලපන් උඹ මල්ලිට දෙන්නේ හොඳ ආදර්ශයක්ද කියලා..? දැන් ඉතින් ඔය මගුල් විකාර පැත්තකින් තියල අපි ගේන යෝජනාවකට කැමති වෙයන්.." "මට බෑ දැම්ම බඳින්න.." නන්දනී මුරණ්ඩු ලෙස කීවාය. "ආ ඒ මොකද..? උඹේ මහ ලොකු ප්‍රේමවන්තය උඹේ යාළුවත් එක්ක පැටලිලා, දැන් ඉතින් උඹ අපි කියන දෙයක් අහන්න ඕනේ. වෙන කරන්න දෙයක් නෑ.." කුලතුංග මුදලාලි නන්දනීට කඩා පැන්නේය. "තාත්තා කියන දෙයක් කරමු දරුවෝ.." හේමලතා නිවුණු ස්වරයකින් කිව්වේ ඇවිලෙන්නට ආසන්න ගින්නක් නිවා දැමීමටය. "කවුරු කිව්වත් මං ඔය කතාව විස්වාස කරන්නේ නෑ.." "ආ එහෙමද..? හොඳයි මං උඹට ඔප්පු කරලම පෙන්නන්නම්කො.." කුලතුංග දත් මිටි කමින් කාමරයෙන් එළියට ගියේය. දින ගෙවී ගියේ හීයක වේගයෙනි. එදා පසළොස්වක පොහෝ දිනයයි. තමා සමග පන්සල් යාමට සූදානම් වන මෙන් හේමලතා නන්දනීට දැන්වූවාය. සිත මඳක් නිදහස් කරගැනීමේ අටියෙන් නන්දනී වහා ඊට සූදානම් වූවාය. සුදෝසුදු ඇඳුමකින් සැරසුණු නන්දනී කැඩපතෙන් දකින තමාගේම ප්‍රතිබිම්බය දෙස බලා හීල්ලුවාය. මේ ටික කලට තමා ඇදී ගොසිනි. ඇස් යට කළු පැහැ ගැන්වී ඇත. මුහුණ ඉරිතලා ගොස් ඇත. නන්දනී සුසුමක් හෙළුවාය. කන්ද මුදුනින් ඇසෙන ගන්ඨානාදය නන්දනීගේ සිත මඳක් නිවා දැමීමට සමත් විය. කෙසේ හෝ වසන්තව දැක බලා ගැනීම ඇගේ මේ ගමනේ අරමුණයි. පන්සල සමග නිතර ගැවසුනු වසන්ත අනිවාර්යයෙන්ම අද පන්සල් පැමිණිය යුතුය. ඇය මදක් නොඉවසිලිමත් වූවාය. නමුත් ඊට පෙර සිය පියා ආවාස ගෙය පැත්තේ සිට පැමිණෙනු ඇය දුටුවාය. පූර්ණ චන්ද්‍රයාගේ රන්වන් ආලෝකයෙන් වැසුණු බෝ මළුව සිලි සිලියෙන් නැලවෙන බෝපත් වලින් හමන මද පවන නිසා සියුම් සිහිලසකින් වෙලාගෙන ඇත. හිටි හැටියේම එතැනට පැමිණි හේමලතා නන්දනීගේ අතින් ඇදගෙන බුදු මැදුර දෙසට කැඳවාගෙන ගියාය. "ඇයි අම්මේ..?" "කෑ නුගහ වරෙන්කො යන්න. ආං බලාපන්.." මව පෙන්වූ දිශාව බැලූ නන්දනීට සිය දෑස් අදහා ගත නොහැකි විය. ඈ දුටුවේ කුමක්ද? එකිනෙකාට ලං වී පහන් වැටියේ පහන් දල්වන වජිරා හා වසන්ත නොවේද? "වසන්ත ළමයෝ.. මේ අපේ මැණිකෙට ඔය ළමයම කිව්වනම් හොදයි." කොහේදෝ සිට පැමිණි කුලතුංග වසන්තට කතාකොට කිව්වේය. වසන්ත වජිරාගේ අතින් අල්ලාගෙන පැමිණෙනු දුටු නන්දනීට සිය පපුව කඩා වැටෙනු දැනිණ. "ම්....මට සමා...වෙන්න නන්දනී...." කවදාවත් නැතිව තමාට නම කියා ආමන්ත්‍රණය කරන වසන්ත දෙස ඇය පුදුමයෙන් හිස ඔසවා බැලුවාය. නන්දනීගේ දෑස කඳුළින් පිරී තිබිණි. "...පහුගිය කාලේ වෙච්ච ප්‍රශ්නත් එක්ක.... වජිරා මට ගොඩක් ළං වුණා. ඔයයි මමයි අහසට පොළව වගේ නන්දනී.... මට කවදාවත් ඒ අහසට නඟින්න බෑ. ඒක මං තේරුම් ගත්තා.... වජිරා පහුගිය කාලෙ මගෙ හිත හැදුවා සෑහෙන්න. ඒ හින්දම වෙන්න ඇති අපි දෙන්න ළං වෙන්න ඇත්තේ... ම්....මං වජිරට ආ...ද...රෙයි ඔයා මාව අමතක කරන
්න.." හිස නොඔසවාම ඉතා අපහසුවෙන් කියාගත් වසන්ත වේගයෙන් හැරී පන්සල් භූමියෙන් පිටවී ගියේය. වැලි මළුව අධික නිහඬතාවයක ගිලී ගියේය. වජිරා බිම බලාගෙන පාදයෙන් බිම කොනහමින් සිටියා පමණි. තත්පර කිහිපයක් එතනම ගල් ගැසී සිටි නන්දනී සිහි එළවා ගත හැකි වූ පළමු නිමේෂයේම මහ හඬින් හඬමින් නිවස දක්වාම දිව ගියාය. පසු දිනය පුරාවටම කිසිවෙකුගේ ආයාචනයකට හෝ තර්ජනයකට හෝ වෙනත් කියුම් බහකට නන්දනීගේ කාමරයේ දොර ඇරුනේ නැත. මුදලාලි හා කමල් දොර කඩාගෙන කාමරයට පැමිණෙන විට හැඬීමෙන් හෙම්බත් වූ නන්දනී ඇඳ පාමුල වැතිර සිටියාය. මහ රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ නන්දනී බැලීමට වජිරා පැමිණ සිටි නමුත් නන්දනී ඇය හමුවීම තරයේ ප්‍රතික්ෂේප කළාය. ප්‍රතිකාර වලින් පසු නැවත නිවසට පැමිණියේ වෙනස්ම නන්දනී කෙනෙකි. ඇය සිත ගල් කරගෙන සිටියාය. කමල් සිය සොයුරිය පිළිබඳව දැඩිසේ කම්පාවට ලක්වූ අතර, දෙමව්පියන්ට එරෙහිව ඔහුටද කළ හැකි යමක් නොවූයේ ඒ වනවිට ඔහු තවමත් ශිෂ්‍යයෙක් වූ බැවිනි. මේ අතර මුදලාලි නැවතත් මඟුල් යෝජනා සෙවීම ආරම්භ කර තිබුණි. "ඔන්න පුතේ.. හෙට එන මනමාලය හරි හැඩයිලු. රා අරක්කු ඩිංගක් කටේවත් තියන්නෑලු. හොඳ දක්ෂ ඉස්කෝල මහත්තයෙක්ලු. ඒ පවුලටත් සෑහෙන ජයයිලු.." නන්දනී නෑසූ කන්ව සිටියාය. ලා රෝස පැහැති ඔසරියකින් චාම්ව සැරසී සිටි නන්දනී ඉතා පියකරුය. රොබෝවරියක් මෙන් ඒ මනමාලයාටත් හෙප්පුව ඇල්ලීමට ඇයට සිදු විය. ඇය මනමාලයාගේ මුහුණවත් නොබැලූවාය. සාලයෙන් ඇසෙන සිනාහඬ යවුල් ඇනෙන්නාක් මෙන් දැනෙද්දී ඇය ඔවුන්ගේ කතාබහ කාමරයේ සිට අසා සිටියාය. "ඒ ළමයා හරි වැදගත්, අහිංසක පාටයි.... ළමයින්ටත් හරි කරුණාවයිලු.. හොඳ නිවිච්ච දරුවෙක්.. පවුලේ එකම දරුවා... සේරම දේපළ ඒ ළමයටලු.. ඒගොල්ලො නම් කැමතියිලු.. දුව මොකද කියන්නේ....?" දින කිහිපයකට පසු කාමරයට ආ හේමලතා නන්දනීගෙන් විමසුවාය. "අම්මලාගේ කැමැත්තක් කරන්න.." කී නන්දනී යහනේ අනෙක් පසට හැරුනා ය. ඒ අනුව නන්දනීගේත්, සේනකගේත් විවාහය තීන්දු විය. පන්සලේ සිදුවූ සිදුවීමෙන් පසු නන්දනී වජිරාව හෝ වසන්තව දැක තිබුණේ නැත. ඇයට ඔවුන් ගැන කිසිදු ආරංචියක් ද නොලැබුණි. ඇය ඒ ගැන සෙව්වේද නැත. විවාහය තීන්දු වීම ගැන සතුටු වූ කුලතුංග මුදලාලි මහා ඉහලින් විවාහ මංගල්‍යය ගැනීමට තීරණය කළේය. සිදුවන සියල්ල දෙස යන්ත්‍රයක් මෙන් බලා සිටින නන්දනී දෙමව්පියන්ගේ කැමැත්තටම ඉඩ හරිමින් ඔහේ බලා සිටියා පමණි. කුලතුංග මුදලාලිගේ මහන්තත්තකම කියාපාමින්, ගමටම මඟුල් කියමින් මහා ඉහළින් ගත් විවාහ මංගල උත්සවයට වසන්ත, වජිරා හෝ ඔවුන්ගේ පවුල්වල කිසිවෙක් පැමිණ සිටියේ නැත. නටා ගයා සියළු චාරිත්‍ර අවසානයේ පිටත් වීමේ නැකත ළංවී තිබිණ. හේමලතා මුදලාලි හාමිනේ දියණිය වැළඳගෙන මහ හඬින් හැඬුවාය. කුලතුංගද කඳුළු සැළුවේය. නමුත් නන්දනී එකදු කඳුළක් නොහෙළුවාය. ඇය සිය සොයුරාව පමණක් සෙනෙහසින් හා කඳුළින් වැළඳ ගත්තාය. "අක්කේ.. හිත ශක්තිමත් කරගන්න, දුක්වෙන්න එපා.. අක්කගෙ ඕනෙම දේකට ඕනම වෙලාවක මම ඉන්නවා.. සේනක අයියා ඔයාව ආදරෙන් බලා ගනියි...." කමල් රහසින් ඇයට කිව්වේය. එසේ පිටත් වූ මංගල ගමනෙන් නන්දනීගේ ජීවිතයට සිදුවූ යහපතක් නම් නැත. මත්පැන් පානය නොකලද සේනක යනු, විෂ සහිත මිනිසෙකි. පිටින් පෙන්වන නිවුණු ස්වරූපය ඔහුගේ ඇතුලාන්තයේ නැත. නන්දනීයට ඔහුගේ මෙම වෙස් මුහුණ ගැලවී සත්‍ය ස්වරූපය නිරාවරණය වන විට මාසයක් පමණ ගතවී තිබිණි. ඔවුන්ට ජීවත්වීමට සිදුවූයේ මහගෙදරමය. ආදරයෙන් සුදු මල් දැමූ වතුර වීදුරුව පොවා තමා නිවසට පිළිගත් නැන්දම්මා ද ටික ටික තමා නොරුස්සන බව නන්දනීට වැඩි දවස් නොයවාම වැටහින. ඈ දුටු තැන නන්දනීට අවලාද නැගීමටත් පුතා නිවසට පැමිණි පසු ලේලියට විරුද්ධව කේළම් කීමටත් නිරායාසයෙන්ම හුරු විය. මාමණ්ඩිය ද ඇයට දෙවැනි වූයේ නැත. ඇය කරනා සියලු වැඩවල ඇදයක් පමණක් ඔවුන්ට පෙනුණි. අම්මා සහ තාත්තාගේ කේළම් අසන සේනක කිසිදු වගක් විභාගයක් නොමැතිවම නන්දනීට පහර දෙන්නට පටන් ගත්තේය. "ගෙදර ආවම කනක් ඇහිලා ඉන්න නෑ මේ ගෑනී හින්දා.." කියමින් සේනක නන්දනීට පහර දුන්නේය. ඇයට මෙම නිවස හුදෙකලාවෙන් පිරි අපායක් බවට පත්වී තිබුණි. රෑ බෝවී නිවසට පැමිණෙන සේනක තියෙන දෙයක් ගිලදමා ඔහුගේ වැඩක නිරත වෙයි. නැත්නම් මව හෝ පියා සමඟ කොහේ හෝ යයි. නන්දනී හුදෙකලා වූවාය. නිවාඩු දිනෙක හෝ මහ ගෙදර යාමට ඇරයුම් කළද සේනක එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය තනිව මහ ගෙදර යෑමට පුරුදු වූවාය. නමුත් ඇය ජැන්ඩියට හැඳ පැළඳ පුතා නැති විට කවුරුන් හෝ හමුවීම පිණිස කොහේ හෝ යන බවත් රෑ බෝවී එන බවත් නැන්දම්මා සේනකට කේලම් ලෙස කියා තිබුණි. ඔහු නිතර නන්දනීව සැකකරමින් පහර දෙන්නට පටන් ගන්නා විට නන්දනීගේ කුසට දෙමසක් පිරී තිබිණ. තමා විඳින දුක් ගැහැට මවට සහ පියාට කීමුත් ඔවුන් කිව්වේ පවුල් ජීවිතයකදී ඉවසීම ප්‍රගුණ කළ යුතු බවය. නන්දනීගේ ඉවසීමේ සීමාව දෙගොඩතලා ගියේ සේනකගේ පා පහරක් ඇගේ නොමේරූ කුසට වැදුන දිනකය. දරුවා මෙලොව එළිය නොදැකම මෙලොව හැර ගොස් ඇත. දරුවා නිසා හෝ හිත හදාගැනීම ට සිතා සිටි නන්දනී ට එයද අහිමි වී ගොසිනි. ඇය කඳුළු ඉවර වන තුරු හැඬුවාය. නමුත් රෝහලෙන් නිවෙසට පැමිණි දිනට පසු දින ම රෙදි ටික අසුරාගත් ඇය විවාහය හැර දමා සිය මහගෙදරට ආවේ නැවත එහි නොයන්නට අදිටන් කරගෙනය. පවුල නැවත සමඟි කිරීමට දෙමහල්ලන් කොපමණ උත්සාහ කළත් නන්දනී අඳ ගොළු බිහිරි විලාසයකින් සිටියාය. මේ දෙස තවත් ඉවසා බලා සිටිය නොහැකි වූ කමල් ඇය කැටුව ගොස් සේනකට එරෙහිව නඩුවක් පැවරුවේය. ලෙහෙසියෙන් ම දික්කසාදය ලබාගත හැකි වූයේ සේනක මානසික රෝගයකින් පෙලෙන්නෙක් බව ඔප්පු වීමෙන් අනතුරුවය. දික්කසාද නඩු දැමූ බව ආරංචි වූ මුදලාලි පපුව අල්ලාගෙන බිම වැටුණේය. ඔහු නැවත ඇස් ඇරියේ නැත. ඉතිරිය පසුවට.....💌 ✍️✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර කතෘ අයිතිය සුරකින්න ස්තුතියි 🥰❤️" වීනස්.... නුඹ කොහිද???"..- එදාත් අද වගේම අඩ වැසි වැටුණු තද සීත දිනයකි. මම සිටියේ කොළඹ - නුවරඑළිය සීටීබී බසයක මැදට වන්නට පිහිටි ආසනයක ජනේල කෙළවරේය. කඳු පල්ලම් හා වංගු සමග ද්වන්ධ සටනකට වැද සිටි රියදුරු තෙමේ මීදුම් තිමිර හෙඩ් ලයිට් වලින් කීතු කීතු කරමින් රථය හසුරුවමින් සිටියේය. එකෙනෙහිම ඔහු ගැසූ බ්‍රේක් පහරකින් මා රැඳී සිටි අසුනට සමීපව හිටගෙන සිටි මහත දෙහෙත තළෙළු - පියකරු යුවතියක් වීසි වී ගොස් ගියර් පෙට්ටිය අසල රැඳුනි.. බියෙන්ද, කෝපයෙන්ද, විළියෙන්ද ඇගේ දෙකම්මුල් ලා දම් පැහැ ගන්නට පටන් ගත් අතර රියැදුරු තෙමේ සමාව මිශ්‍රිත සිනහවකින් , රිදුම් දුන් ඈ නිතඹ පිරිමදිනු පෙනෙන්නට විය. "මේ තරම් සියුමැලිද කළු ගල් හිතාගන්නට වත් බැරි නිසා.." යැයි මට සිතුණි. සීතල සහ බසයේ ගැස්සිලි පැද්දිලි ගමන විසින් මා ක්‍රම ක්‍රමයෙන් නිදි පාතාලයක් වෙත ඇද දමා තිබිණ..දුර්ග හා කපොළු පසු කරමින් 79 බස් රිය පේරාදෙණියට සැපත් වෙද්දී මා සිටියේ ස්වප්නයක දැවටී යුප්‍රටීස් - ටයිග්‍රීස් නිම්න පසු කර පුරාතන ග්‍රීසියට සමීපව ය. ග්‍රීසියේ ඉපැරණි ඇරීනාවක ග්‍රීක කුලීනයෝ සනසනු වස් පාංශුදේහධාරී කළු වහලෙකු සමග මල්ලව පොරයකට මැදිව ය. හදිසියෙම මගේ ත්‍රාසජනක සිහිනයට බාධා කරන යමක් සිදුවෙමින් පැවතිණි. ඔව්... වරදින්නට විදිහක් නැත. නාසාග්‍රයේ කොලොප්පම් කරන්නේ " ෆෙයාර් ඇන්ඩ් ලව්ලි" සුවඳකි... මම වම් ඇස පමණක් ඇරියෙමි. අනුමානයක් නැත. ස්ත්‍රී පරාණයකි. විලවුන් සුවඳ ඈගේය.. දැන් නම් ඉතින් මැගේ මූණත් "ෆෙයාර් ඇන්ඩ් ලව්ලි"දැයි බැලිය යුතුමය.මම ඇස් දෙකම ඇරියෙමි. ප්‍රිය පාඨකය..., ඔබ විස්වාශ නොකළාට කම් නැත..ඒත් මා කියන්නේ ඇත්තකි. මගේ අසුනේ අනෙක් අඩ අරක් ගෙන සිටියේ "වීනස් දෙව්දුව"ය... සුසුදු සුකුමාල මුව කමළ, දකුණට ඇඹරුණු රැළිති සහිත කෙස් කළඹ, දෙතොල, ඒ අතර සැඟවුනු පියකරු සිනහව...( වර්ණනාවට තවත් දේවල් ඇතත් ඔබ වල්මත් කිරීමට අදහස් නොකරමි).. ඈ දෙව්ලොවින් චුතව මගේ අසුන කෙළවරට ප්‍රාදූර්භූත වූයේ කවර මොහොතකද? සමහර විට පේරාදෙණිය හන්දියෙන් වියහැකිය. එකෙනෙහිම පින්වත් රථාචාර්‍යයාට පින් සිදුවන්නට ඔහුගේ කලබල බ්‍රේක් පහරකට නතු වූ ඇගේ උකුළ මත රැඳි හෑන්ඩ් බෑගය පියාඹා විත් අසුන පතුලේ මා දෙපා අස පතිත විය..මම දෙකට තුනට නැමී, අසුන පත්ලෙහි කිමිදී බෑගය අහුලාගෙන ඈට පිරිනැමීමි.. " thanks..".. වීනස් දෙව්ලිය ඇගේ සිරි දෙතොලගිස්සෙන් මංගල වදන් තෙපළාය. මම ආචාරශීලීත්වයේ ඉහලටම.... ඉහලටම... ඉහ...ලටම ගොස් " you are welcome.. " යැයි කීවෙමි. මේ විශේෂ අවස්ථාව තවත් අර්ථවත් කරනුවස් හින්දි ගීතයක් වැයීම මැනවයි ම'සිත කල්පනා කලද, රේඩියෝව එතෙක් සිදු කල ඩුඟු ඩුඟුව නවත්වා පැයේ ප්‍රවෘත්ති විකාශය කරමින් පසුවිය. ඊලඟට ගතව ගියේ නිහඬතාවයෙන් පිරුණු තප්පර කිහිපයකි.. එම තප්පර කීපය සෝචනීය ලෙස විනාඩි කීපයක් බවට පරිවර්තනය විය.. නිහඬ විනාඩි කීපය පැයක් තරමට මෝරන්නට තරම් දරුණු වෙද්දී මගේ හදෙහි ඉවසීමේ මාපංක සියල්ල උපරිම ලක්ශ්‍යයට විත් නැවතී තිබිණි.. වීනස් දෙව්දුව කතා කළේම නැත..ඈ සිටියේ සුපුරුදු ව්‍යාජ සිනහව දරාගෙන ඉදිරිය බලාගෙනය..හරියට දැහැනක සමවැදීගෙන වාගේය. ඈ කතා නොකළාට කම් නැත.ගැහැණු උපතින්ම ලජ්ජාශීලී වග මා අසා ඇත.ඒ නිසා කොල්ලෙකු ලෙස මා පෙරමුණ ගත යුතුය.. ඉතින්.., මා prison break පන්නයේ මාර ගේමක් ගැසූයෙමි..ඒ අනුව කතාව පටන් ගන්නෙ මෙහෙමය, ඇගෙන් අසන ප්‍රශ්න මේවාය, ඒක වචන උත්තර එන ප්‍රශ්න නෑසිය යුතුය.. කතාව ගලාගෙන යන්නෙ නැත්තේ එතකොටය.. උගුර එහෙම පාදාගත් මම මගේ කුළුඳුල් නව කතාව පටන් ගැනීමට සූදානම් වුනා පමණි. වීනස් දෙව්දුව අසුනින් නැගිට ඉදිරියට ගියාය.. " කෑගල්ල බහින අය එන්න.." කොන්දොස්තරද සීනුව නාද කළේය.. මා පූජාවට්ටිය රැගෙන පේවී, පේවී ලතවෙද්දී වීනස් දෙව්දුව කෑගල්ලෙන් බැස ගියා ය. මට මුලින්ම සිතුනේ කෑගල්ලෙන් බහින්නටය.. ඒත් එය හේතු ගණනාවක් නිසා ප්‍රායෝගික නොවන බව මටම වැටහුණි..ඉතින් ඊලඟට මට සිතුනේ අඬන්නටය..මම හදවතින් අඬ අඬා කොළඹ ගියෙමි. එස් බී දිසානායකගේ "පිස්සෙක් වග
ේ- පිස්සෙක් වගේ" කතාව සමාජ ජාල අවන්හල්වල ප්‍රකට කටගැස්මක් බවට පත්ව තිබුණේ ඔන්න ඔය දවස් වලමය. මම "පිස්සෙක් වගේ- පිස්සෙක් වගේ" facebook හා twitter පීරමින් මා දුටු "වීනස්" සොයන්නට වීමි. ම්හ්... හමුවුණේ නැත. වීනස් නමින් ව්‍යාජ මුහුණත් තහඩු බහුල වුවද ඈ මෙහි නැත. ඇතැම්විට ඈ දෙව්ලියක් නිසා facebook භාවිතා නොකරනවා වන්නටද පුළුවන. බොහෝ පුද්ගල චරිත අපට හමුවන්නේ අහම්බයකිනි. ඒ චරිත ඇතැම් විට අපේ සිත් තුල සදාතනික සේයාරූ ඇඳ, අහම්බෙන් අපෙන් සමු ගනිති.. මේ සටහන අහම්බෙන් හෝ නෙත ගැටෙන ඈ මට request එකක් නොඑවාවි යැයි ඔබටත් නොසිතේද? මම තවමත් ගමන් යන්නේ බස් එකේ ය. ග්‍රීක මිත්‍යා කතන්දර වල දෙව්ලියෝ ද ඉඳහිට ඒවාට ගොඩ වෙති...! මම අහම්බයන් විශ්වාස කරන්නේ එහෙයිනි..! - ප්‍රභාත් කුමාර දේශප්‍රිය -පුංචි දවස්වල ලොකු වෙන්න ආස උන අපි පුංචි දවස්වල වැලි බත් ඉව්වේ සෙල්ලම් ගෙයි අම්මා වූදා යාලුවෝ එක්කලා සෙල්ලම් කෙරුවේ තරහා වෙලා අපි යාලු වෙලා නෑ ලොකු කරදර හිතේ බරක් නෑ නිදහස් සමනල පැටව් උනා ටික ටික ලොකුවී අකුරු හරඹ මැද නොදැනිම කාලය ගතව ගියා පොත පිටු අතරේ කාලය ගතවී සෙල්ලම් ගේ අමතකව ගියා පාඩම් කරන්න විභාග ලියන්න දිවා රැයේ සිත වෙහෙස උනා මේ පොඩි කාලය මහන්සි නොබලා ජයගත් කල සැප ලැබෙයි කියා මහන්සි උනාට ඉවසන් පුත මා අම්මා නිතියෙන් මතක් කලා ඒ ගැන සිතමින් කාලය ගතවී පාසල් සමයත් නිමා උනා යහලු යෙහෙලියන් විසිරී යද්දී අනාගතය ජයගන්න කියා හොදින් උගත්දා ලැබෙනා සැපයට කැමති කැමති මග සැවොම ගියා පුංචිම කාලේ දැනුන සැහැල්ලුව ටික ටික ඈතට ඉගිල ගියා ලොකු වෙන්නට තිබු ඉස්සර හීනය දැන්නම් ටික ටික වෙනස් වෙලා සෙල්ලම් කාලෙට යන්නට ආසයි සමනලියක් සේ ඉගිල්ලිලා (ඩිලංකා දිසානායක)සොයා යන්නේදෝ ප්‍රේමයක් මම එකවර යුවතියන් දෙදෙනෙකුට ආදරය කළෙමි. එකියක මගේ සමාජ තත්වයට ගැළපුණේ නැත. කිසිදාක ගලපා ගන්නා තත්වයකට පත් වෙතැයි මට සිතුණේද නැත. අනෙක් අතට ඇය මා නොමැතිව ගියද තනිව වුවද ජීවත් වීමට හැකිව සිටියාය. දෙවැන්නිය මගේ සමාජ තත්වයට ගළපාගත හැකි මට්ටමක සිටියාය.අනෙක් අතට ඈ මා නොමැති වුවහොත් ජීවිතය අත හරින තත්වයක සිටියාය. මම විවාහයක් අවැසි තැනක වැඩිමහල්ලන්ගේ බලපෑම් මධ්‍යයේ සිටියෙම්.එකියක තෝරාගැනීමේ වේලාව පැමිණ තිබුණේය. වරෙක මම ඔවුන් දෙදෙනාගෙන්ම මා පිළිබඳව ඇති හැඟීම ඇසුවෙමි. මං නැතුව ජීවත් වෙන්න පුලුවන් ද? දෙවැන්නිය "ඔයා නැතුව නම් මට ජිවත් වෙන්න බෑ.එහෙම වුනොත් මම මැරෙනවා යැයි කීවාය. පලමුවැන්නිය "ඔයා එක්ක ජීවත් නොවී නම් මට මැරෙන්න නම් බෑ" යැයි කීවාය. ඉඳින් මම මට වැඩිපුර ආදරය ඇත්තිය සහ මගේ සමාජ තත්ත්වයට ගලපා ගත හැකි තැනැත්තිය විවාහ කර ගත්තෙමි. ඇය උදෙසා කළ හැකි සියල්ල කළෙමි.දිය හැකි සියල්ල දුනිමි. ආරම්භය සතුටුදායක විය. මට පළමුවැන්නිය අමතකව ගිය අතර මගේම වූ දෙවැන්නිය මගේ ප්‍රේමයෙන් සංතෘප්තව මගේ සමාජයට අවතීර්ණ වූවාය. මාස හයක ඇවෑමෙන් මගේ සමාජ තලය තුළ සිටි මට වඩා හොඳ මිනිසෙකු මගේ ආදරියගේ ප්‍රේමයට පාත්‍ර වූයෙන් හා මගේ බොහෝ වැරදි අඩුපාඩු ඇයට පෙනෙන්නට වූයෙන් ඈ මා හැර ගියාය. මගේ සමාජ තත්ත්වයද නම්බුවද නැති කර නොදමන ලෙස ඇයගෙන් ඉල්ලා සිටින නිවටයෙකු බවට පත්වන්නට මට සිදුවිය. කිසිවකින් ප්‍රයෝජනයක් නොවූ අතර අවසන ඈ මා හැර ගියාය. වසරක ඇවෑමෙන් මම හොඳ සමාජ තත්ත්වයක් සහ බිඳුනු හදවතක් ඇති දික්කසාද පිරිමියෙකු වීමි. දිනෙක අහම්බයකින් ගරු ගාම්භීර වූද ජනකාන්ත වූ රූමතියකගේ පැමිණීමක් උදෙසා සූදානම්ද තිබූ සුපිරි වෙළඳ සංකීර්ණයක ඇල්කොහොල් සහිත බීමක් මිලදී ගනිමින් සිටියෙමි. ඔහ් ඒ ජනකාන්ත හා ගාම්භීර ගැහැනිය පැමිණි විට ඈ මගේ දෑස කුඩා කර ලොකු කිරීමට සමත් වූවාය.ඒ මගේ පළමුවැන්නියමය. ඔව් ඒ ඇයමය. සියල්ලන් අතරින් මා දුටු ඈ මා වෙත පැමිණ මගේ නම කීවාය. "ඔයා එහෙනම් ඒක කළා" මම කීවෙමි. "මතක් වෙනවනම් කෝල් එකක් දෙන්න"ඈ කීවාය. "නම්බර් එකක් නෑ" "පරණ එකමයි." මම ඈ ඇමතූවෙමි.අපි බොහෝ දේ කතා කළෙමු .පුදුමයකට මෙන් ඈ කිසිදු විට පෙර දිනයක ඈ හැර ගියේ ඇයි දැයි ඇසුවේ නැත.මා වෙනකෙකු සරණ ගත්තේ ඇයිදැයි විමසුවේ නැත. අපි එක්ව චිත්‍රපට බැලීමට ගියෙමු.සංගීත සන්ධ්‍යාවන්වලට ගියෙමු. චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමු.සීත සන්ධ්‍යාවන්වල ඇයගේ නවාතැනේදී කෝපි බිව්වෙමු. මා සිටියේ ඇයට ආදරය කරමින් වුවත් ,ඔවු සැබැවින්ම ජීවිතයේ පළමු වරට මම ගැහැණියකට සැබැවින් ආදරය කරමින් සිටියා වුවත් ඇය හමුවේ එය ප්‍රකාශ කිරීමේ හැකියාවක් මට නොවීය. මම ඇයට සුදුස්සෙකු නොවන තැනට පත්ව සිටියෙමි. ජිවිතයේ පළමුවරට ගැහැණියකට ආදරය කරමින් යැයි මා පවසන්නේ මගේ පළමු තෝරාගැනීම මා ඇයට කළ ආදරයක් නොව සැබැවින්ම ඇය මා වෙත තිබූ ආදරයට කෑදරකමින් කරගත් විවාහයක් නිසාය.ඔව්,මා ඇයට ආදරය කළා නොවේ.ඇය අහිමි වුවහොත් ජීවත් වීම අසීරුවන තරමට මා ඇයට පෙම් කළා නොවේ.ඇය තරම් ආදරය ඇත්තියක් විවාහ කර ගතහොත් මගේ ජීවිතය සන්තෘෂ්ටිදායක වන බවක් මා සිතා සිටියා පමණි.ඔහු සැබැවින්ම එය ප්‍රේමයක් ම නොව ගනුදෙනුවක් විය.ඇය මා සංතෘප්ත කරන අතර මම ඒ වෙනුවෙන් ඇයට භෞතික සැප සම්පත් ලබාදෙමින් සිටියෙමි. පළමු වැන්නිය නැවත පැමිණි විට උද්ගතව තිබුණේ වෙනත් තත්ත්වයකි.ඇයට මගෙන් ලබා ගැනීමට අවැසි කිසිවක් නොවීය.මිල මුදල් ද සමාජ තත්ත්වය ද යනාදී සියලු දේ ඈ තනිව සොයාගෙන තිබිණි. එවිට ඇයට මගෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි මම සිතුවෙමි. ඇයගේ අත පතා සිටි පුරුෂයෝ මගේ හදවත පෑරූහ. වරෙක මම කෝප වූයෙමි. "ඔයාට ඕන ඒ කෙනෙක් බඳින්න නම් ඇයි මාත් එක්ක කාලය ගත කරන්නෙ?ඔයාට මාව විහිලුවක් වගේ පේනවද? නැත්තං මගෙන් මළි ගන්න හදනවද?" "ඔයා එදා මගෙන් ඇහුවාම ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා මම මොකද කිව්වේ කියලා ඔයාට මතකද?මම කිව්වේ මට ඔයත් එක්ක ජීවත් වෙන්නේ නැතුව නම් මැරෙන්න බෑ කියලයි. ඉතින් මට දැනුත් ඔයත් එක්ක ජීවත් වෙන්නේ නැතුව නම් මැරෙන්න බෑ.මං මේ හැමදේම කරගෙන මේ තත්ත්වයට ආවේ මට ඔයත් එක්ක ජීවත් වෙන්න ඕන හින්දයි" " ඒත් ඇයි? මම ඔයාට වංචා කරපු මිනිහෙක්.ඇත්තටම ඔයාට මට වඩා ඕන තරම් හොඳ ඔප්ෂන් තියෙනවා" "ඒ ඔයාට අනුව.මට අනුව මට තියන එකම ඔප්ෂන් එක ඔයා" "මිනිස්සු ඔයාට හිනාවෙයි" "ඉස්සර ඔයා හිතුවෙ ඔයා මාව බැන්දොත් ඔයාට මිනිස්සු හිනාවෙයි කියලා.මිනිස්සු ඔයාටද හිනා වෙන්නේ මටද හිනා වෙන්නේ කියන එක කාරණාවක් නෙමෙයි.මනුස්සයෙක් තමන්ගේ සැනසීම හොයාගන්න කොට කාට හරි ඒක විහිළුවක් වෙනවා නම් කාට හරි ඒකෙන් රිදෙනවා නම් ඒක ඒ අයගේ ප්‍රශ්නයක් මිසක් සැනසීම හොයාගන්න මනුස්සයාගේ ප්‍රශ්නයක් නෙමෙයි" "මගෙ සැනසීම තියෙන්නේ ඔයා ළඟ කියලා තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා" "මටත්..ඔයාව සම්පූර්ණයෙන්ම අහිමි වෙනකම්ම මටත් ඒක තේරුනේ නෑ" "ඒ කියන්නෙ ඔයා තාමත් මට ආදරෙයි" "ඔයා දන්නවා" " ඇත්තටම මට වඩා ඕන තරම් හොඳ මිනිස්සු ඉඳිද්දී ඇයි ඔයා තවමත් මට ආදරේ කරන්නේ?" "මම දන්නෙ නෑ.ආදරේ කියන්නෙ ඒකට නිසා" "මිනිස්සු කියයි ඔයා මෝඩයි කියලා" "කාටද මිනිස්සු කියන දේවල් වලින් වැඩක් තියෙන්නේ? මට වැදගත් මගේ හදවත කියන දේ විතරයි.මගේ හදවත කියනවා ඔයා මට ආදරෙයි කියලා.ඒක විතරයි මට වැදගත්" "ඒත් මං ඔයාට වංචාවක් කරපු මිනිහෙක්.ඔයාව දාලා ගිහින් වෙන කෙනෙක්ව තෝර ගත්ත මිනිහෙක්" "ඒක අතීතයේ සිද්ධ වුන සිදුවීමක්.ඔයාට ඒ ගැන කතා කරන්න ඕන්නම් ඔයා කතා කරන්න මම අහගෙන ඉන්නම්.හැබැයි ඇත්තටම මට ඒ ගැන කිසිම දෙයක් කතා කරන්න ඕන නෑ.මට ඕන මේ මොහොතේ තියෙන ආදරය සම්පූර්ණයෙන් විඳින්න විතරයි.මම ඒකට හුඟක් කල් බලන් හිටියා" අවසන මම ඇය හා එක්වීමි. පුදුමයකට මෙන් මගේ ලෝකයවත් ඇයගේ ලෝකය වත් අපට සිනාසුනේ නැත.සියල්ලෝ ආශිර්වාද කළා පමණි. මා කල් ඇතිවම තෝරාගත යුතුව තිබුණේ මා නැති විට මිය යන බවක් කී තැනැත්තිය නොව මා සමග ජීවත් නොවී නම් මිය යන්නට නොහැකි යැයි සිතූ තැනැත්තියව බව හඟිමි. මන්ද යත් ඈ මා සමග ජීවත්වීම උදෙසා ඕනෑම එල්ලයක් ඕනෑම සීමාවක් පසු කිරීමටද ජයග්‍රහණය කිරීමටද දරා ගැනීමටද සූදානම්ව සිටියාය.ඇයට මා උදෙසා කළ නොහැකි කිසිවක් තිබුණේ නැත. මා කළ යුතුව තිබුණේ ඇයගේ තනි උත්සාහයට සහායක්වී ඇයගේ ඉලක්කය තෙක් ගමන් කිරීමට ඇයගේ සහායකයා වීමය. දැන් මට ඇය උදෙසා කිරීමට කිසිවක් නැත..දැන් මා නිරන්තර දැවෙන්නේ ඇය උදෙසා යමක් කිරීමේ වුවමනාවෙනි.එහෙත් ඇයට අවශ්‍ය මා ඇය ඇසුරෙහි ගෙවන කාලයේ මා සැනසීමෙන් සිටීම පමණි. සැබැවින්ම ප්‍රේමයෙහි ගනුදෙනුවක් නැති බවත්,එය ඔප්පු කර පෙන්විය යුතු යමක් නොවන බවත් වටහා ගෙන සිටිමි. "ආදරේ කියන්නෙ මොකද්ද?" මම ඇයගෙන් අසමි. ඇයගේ පිළිතුර "ආදරය යනු සම්පූර්ණයෙන්ම අනෙකාට සැනසීම සොයා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියා කරන්නකි" යන්නය. එසේ නම් දැන් මා කළ යුත්තේද ඇයට සැනසීම උදාකර දීමය. ඇතැම් විට "මට ආදරේද?" යි අසමි. "ඔයා දන්නවා"ඇය කියයි. ජීවිතය එතැනය.ඔව් මම දනිමි.අවසන මම මගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන්නා වූ ද මා උදෙසාම පමණක් පවතින්නාවූ ද මගේ ම වූද සැනසීම සොයාගත්තෙමි. එය තිබුණේ මා අහිමි වුවහොත් ජීවිතය හැර යන බව කියූ තැනැත්තිය ලඟ නොව මා සමග ජීවත් නොවී නම් මියන්නට බැරි යැයි සිතූ ගැහැණිය ළඟය. ===== සුජාතා මැණිකේ ඉහළගෙදරසුපිපිගෙ_කතා ....03 සුපිපිගෙ ලොකු පුංචි ගෙ විවාහය කිට්ටුවටම ආවා. සුපිපිගෙ සීයාගෙ වගෙම ඒ පැත්තෙ බාප්පාගේ අම්මා ඒ කියන්නේ සුපිපිගෙ සීයාගෙ අක්කාගෙ කල්පනාව වුණෙත් මේ මංගල්ලේ ටිකක් ජයට කරන්න. ඒක නිසා හැමදේම ඒ ..ඒ ආකාරයට සිද්ධ කරන්න කටයුතු සම්පාදනය වුනා. ඔහොම ගිහින් නැකත් පත්තරය ගේන දවස කිට්ටුවට ආවා. ඒක මංගල්‍යයේ අවශේෂ කොටසක් වුණත් ඒකත් ටිකක් ජයට කරන්න තමයි සීයා කල්පනා කරේ. මහා පිරිසක් ඒ පැත්තෙන් නාවත් අඩුම ළඟ ළඟ ඥාති පිරිස වුණත් පණහක් හැටක් එකතුවෙයි කියලයි සීයා ගණන් බැලුවෙ. ඇවැස්ස මස්සිනා නෑනා වෙච්චි කොට නෑයෝ ඔක්කොම තම තමන්ගෙ උදවිය. ඉතින් ඒ එන හැමෝටම විශේෂයෙන් උදේ කෑම මේසෙ ජයට තියෙන්න ඕනේ කියන එක සීයා තරයේ කියා හිටියා. මොකද සමහර උදවිය
අහල පහළ නෑදෑයෝ එහෙම දවල් බතට ඉන්නෙ නැති නිසා . ඔහොම උත්සවයකට හදන නොයෙක් කෑම ජාති ඒ කාලේ ගෙදරම නෙ හදන්නේ. ඒකට ඉතින් වටපිට නැදෑයෝ සුපිපිගෙ ආච්චම්මාග ගෙදර සතියක හමාරක වෙලේ ඉඳන් උදේ හිට හිටියා.ඕකෙන් හොදම හරිය ලැබුනෙ සුපිපිටයි ඒ වයසෙ අනිත් දරුවන්ටයි තමා. ඇයි ඉතින් හිතේ හැටියට නටන්න පුලුවන්නෙ. ඉතින් ළමයි ටික එක උදේ හිට හැන්දෑ වෙනකම් නැටුවා. ඇති තරම් කෝම්පිට්ටු හැදුවා, ගස් මරු වුනා; සෙල්ලම් ගෙවල් දැම්මා; වෙනදාට වැඩිහිටියෙක් එකක් යන වත්ත පහළ හැම තැනම ළමයි කට්ටිය එක්ක ඇවිද්දා. ඉදුනු අන්නාසි හෙව්වා. කෝපි ගස් අස්සේ රිංගලා කෝපි මල් කඩලා පැණි බීවා, ඉදුනු කෝපි ගෙඩි ටික හප කරා. වෙලාවට ලොකු ගස් වල අවාරෙ රඹුටන් මැංගුස් එහෙමත් ගැට නැත්තම් මේ උන්දලා ඕවෑයෙ බඩ ගාලා අඬු කඩා ගෙන. කොහොමින් හරි දවස දවස ගත වුණා. නැකත් බාර දෙන්න එන්නෙ හෙටයි කියලා තියෙද්දි කලින් දවසෙ උදේ එක පාර සුපිපිට සහලෝලා උණ ගත්තා. ගෙදර අය චුට්ටක් කලබල වුණාට සීයා නම් කිව්වේ මේ ටිකෙම නටලාම මහන්සියට ඇඟ රත් වෙලා ඇති ඔය ඉඟුරු කොත්තමල්ලි ටිකක් හදලා විවේකයෙන් තිබ්බා නම් හරි යයි කියලා. ඒ පාර පුංචිලා ආච්චිඅම්මලා ඉඟුරු කොත්තමල්ලි හදලා දීලා අමතරව පැනඩෝල් පෙති භාගයකුත් දීලා ඕඩිකොලොනුයි විනාකිරියි දාපු රෙදි ප්ලාස්ටරයක් නළලට දාලා සුපිපිව නිදි කෙරෙව්වා. පැය දෙකකට විතර පස්සේ සුපිපි නැගිට්ටේ හොඳ හැටියට දාඩිය දාලා... නළලට දාලා තිබුන වේලුන රෙදි පාංකඩේ රෝලක් හදාගෙන වට පිට බලද්දි තමයි සුපිපි දැක්කෙ කාමරේ තියන කෑම ගොඩ. අද කාලෙ වගේ නෙමෙයි ඒ කාලෙ ඔය වගේ උත්සවයක් ගෙදර ගන්නවා කියන්නේ කෙසෙල් එහෙම ගේන්නේ කැන් පිටින්.ඒකත් ජාති තුන හතරකින්, ඇඳ ඉස්සරහා පේළියට කෙසෙල් කැන් එල්ලලා ආනමාලු කෝලිකුට්ටු ඇම්බුම් සිනි කොච්චි...ඇඹුල් කෙසෙල් සුවඳ එන්නෙ ඇඳ යටින්...සුපිපි නම් කොහොමත් ඇඹුල් වලට කැමති. ඔය අතර උඩ ගෙදර ආච්චම්මා මුං කැවුම් දාගෙන ආපු ලොකු වට්ටියක් පැත්තකින් තිබ්බා. දැන් මුලු කාමරයම බැඳපු මුං ඇට සුවඳයි. සුපිපි කොහොමත් කැමතිම කැවුම් ජාතිය මුං ඇට කැවුම්. ඔන්න ඔහේ එකක් කන්න ඕනේ කියලා එකක් කන්න ගත්තා.ඒක නිකන් කනවාට වඩා රස ඇඹුල් කෙසෙල් එක්ක. ඒ පාර ඇඳේ ඉන්න ගමන්ම ඇඳ යටට පාත් වෙලා කෙසෙල් ගෙඩියක් කඩා ගත්තා. ඒ මුං කැවුමක් කන්න කෙසෙල් ගෙඩි එකහමාරක් ඕනේ. ඒක නම් ඉතින් එච්චර දෙයක් නෙමෙයි. ඇඳේ ඉදන්ම පාත් වුනා කඩා ගත්තානෙ, ඔහොම ඔහොම කොහොම හරි කැවුම් පහක් හයක් කන්න ඇති. ඒක කාල ඉවර වෙලා ආයේ කල්පනා කරනකොට සුපිපිට අර කාඩ්බෝඩ් පෙට්ටි වලින් එකක් ඇතුලෙ තිබුන වැලි තලප මතක් වුනා. ඊයේ හවස ඕක මේසෙ උඩ තිබිලා බලද්දි පැණී බේරෙන වැලි තලපයක් කරන්නෝනේ කියලා හිතුවාට මොකද බැරි වුන එකේ දැන් වත් කන්න ඕනේ කියලා සුපිපි වැලි තලප පෙට්ටියට ළං වුණා . ඒවා ඉතින් ඒ වෙනකොට ප්‍රයෝජනයට අරගෙන තිබුනෙ ඔය විඩෙන් විඩේ ආපු අයට තේ දෙන්න එහෙම . වැලි තලප කන්න නම් හොද ආනමාලු. ඒ ගෙඩියක් කඩා ගන්න නම් පුටුවක් තියලා කෙහෙල් කැනකින් කඩා ගන්නෝනේ. හැබැයි ආනමාලුව ඉදිලා මදි.ඒ වෙනුවට සුපිපි ඇම්බුම් ගෙඩියක් කඩා ගත්තා. ඒක ඉතින් ආනමාලුවට වඩා ලොකුයි. රසේ ලොකු වෙනසක් නෑ. වැලිතලප කනවා නම් කෑලි හතරක් වත් කන්න ඕනේ. ඒක ඉවර කරන්න, ඕනේ එකක් කියලා කෑලි හතරකුත් අරගෙන සුපිපි ඇඳේ ඉඳගත්තා. ඒක කාලා ඇති වගෙ හිතුන නිසා බඩ උල් කරගෙන නිදාගෙන ඉන්න කොට කාමරයට ආපු පුංචි කෙනෙක් සුපිපිට උණ නෑ කියලා දැනගෙන බත් කන්න කතා කරා. මොන බත්ද ඉතින්.. ඒත් ඒක කියන්නයැ. සුපිපි ඔලුව වනලා කිව්වා මට එපා කියලා, අනේ ඉතින් අහිංසකයාට කන්න අප්පිරිය ඇති කියලා හිතලා ඒ පාර පුංචි කිරි තේ එකක් හදලා ගෙනත් දුන්නා. ඒක බීලා කම්මැලි කමට ඇඳේ ඇලවෙලා තව කෙසෙල් ගෙඩි දෙක තුනක් කෑවා. එහෙම නින්ද ගිය සුපිපි ඇහැරුනෙ බඩ කූරු කූරු ගාන්ඩ ගත්ත නිසා. ටිකක් වෙලා යනකොට නම් සුපිපිට ඉන්න බැරි වුණා. එළියට දුවපු පාර මිදුලට අඩිය තියන පරක්කුවෙන් ගොජ ගොජ ගාලා වමනෙ යන්න පටන් ගත්තා. ඒ විතරක් නම් මොකක්ද බඩත් සැරට රිදීගෙන ඇවිත් ඊළඟට සුපිපි කෙලින්ම ටොයිලට් එකේ,දැන් නම් බලන් ඉඳලා බෑ. දරුවාව වත්තෙ ඩිස්පැන්සරියටවත් එක්ක යන්න වෙයි ආච්චම්මා පුංචිලාට කිව්වා. ඒ පාර ලොකු පුංචියි ඇවිත් හිටපු මනමාලයා බාප්පායි සුපිපිව අරගෙන ඩිස්පැන්සරියට ගියා.අපරාදේ කියන්න බෑ ඉතින් එක බෙහෙත් වේලෙන්ම සුපිපිට හොඳයි. අජීර්ණයක් තියෙන්න ඇති කියලා තමයි විස්තරය අහපු අය කිව්වේ. පහුවදා නැකත් බාර දීම ජය පහට සිද්ධ වුනා. ඇදක් පලුද්දක් නෑ හැමෝටම හරි සතුටුයි. ඊට පස්සේ තියෙන්නේ ඉතින් අස්කිරිල්ලකුයි අරන් ආපු බඩු ආයේ බෙදිල්ලකුයිනෙ. ඒක ඉතින් පහුවදා හවස් අතේ ගෙදර කට්ටිය පටන් ගත්තා. මේ ටික උඩහා ගෙදර මේ ටික පහළ ගෙදර මේ ටික මැද ගෙදර මේ ටික ඉහළ ගෙදර කියලා බඩු වෙන් කරපු ආච්චම්මා කැවිලිත් ටික ටික ඒ ගොඩ ළඟින් තිබ්බා. ඒවාටම කෙහෙල් ගෙඩිත් යවන්න ඕනේ නිසා පුංචිට එවා ගන්න ඇඳ අස්සටම රිංගන්න වුණා. ඇයි ඉතින් ඉස්සරහා ඉස්සරහා තිබ්බ ඒවා ඉවරයිනෙ. එතකොට තමයි පුංචි දැක්කෙ ඇඳ යට තිබුණ කෙහෙල් ලෙලි... ගිය දවසක උගුඩුවෙක් ඇවිල්ලා ද මන්දා ආන් බලන්නකෝ ඇඳ යට තියන කෙහෙල් ලෙලි ගොඩ කියලා පුංචි ඇවිත් කොස්ස අරන් ගියෙ ඒ ටික එළියට ගන්න. මක් කිව්වාද අහාගෙන සීයත් පස්සෙන් කාමරයට ආවා. සුපිපිත් ආවා. ආච්චම්මායි අනිත් පුංචියිත් එතන. කෙහෙල් ලෙලි ගොඩ දැකපු ගමන් සීයා නම් හොක් හෝක් ගාලා හිනාවුණේ ඌ නම් ලෙලි ගහාලා කන කකුල් දෙකේ උගුඩු පැටියෙක්. ආච්චම්මා කම්මුලට අත තියාගත්ත. හත්තිකෙ ඒක නේන්නම් කියලා දෙන්නා තුන්දෙනා හොරාට හොරට හිනා වෙවි සුපිපි දිහා බලන්න ගත්තායින් සුපිපි හෙමිහිට එතනින් මාරු වුනා.. ඇත්ත වශයෙන්ම එදා වමනෙයි බඩේ අමාරුවයි හැදුන හේතුව කට්ටියට ඕන් සක්සුදක් සේ පැහැදිලි වුණා. ================================== පසුවට...... මම අහලා තියන විදිහට මගුල් නැකත් පත්‍රය අරන් එන එක ගොඩක් වෙලාවට ඔය උඩහා පළාත් වල ටිකක් සරුවට කරන කටයුත්තක්. නැකත් පත්‍රය හදන කටයුත්ත පැවරෙන්නේ මනමාල පාර්ශවයට. දෙන්නාගෙ කේන්දරය බලල මංගල්‍යයේ සියලු නැකත් කටයුතු සටහන් කරපු නැකත් පත මනමාලයා, මනමාලයාගේ අම්මා තාත්තා ඇතුළු ළඟම නෑ පිරිසක් පිරිවරාගෙන මනමාලිගෙ ගෙදරට අරන් එනවා. ඒක ඉතින් කැමති විදිහට සරසලා අරන් එන්න පුළුවන්. ඒ අරන් එන නැකත් පත්‍රය මනමාලයාගේ පියා මනමාලිගෙ පියාට පිළිගන්නනවා. එතන ඉදන් තමයි මංගල්‍ය‍යක කටයුතු නිල වශයෙන් ඇරඹෙන්නෙ. රසිකා නවරත්න.....✍️(එක් කොටසක කෙටිකතාව) #ඉස්සෙක්ගේ_ඔලුවක් ❤️⚡❤️⚡❤️⚡❤️⚡❤️⚡❤⚡❤️⚡❤️⚡❤️⚡ "මට හම්බුනා තමුසේ වගේ ඔලුව කන්නැති ගෑ/නියෙක්!" ඔහුගේ වදන් මා වුන් තැනින් අල්වා හිස් කබල මුණින් ඇනෙන සේ පොලෙවේ ගැසිය හැකි තරමේ දරුණු ඒවා ය. මා නොසෙල්වුණ මුත්, දෙනෙත් ළා අවර්ණ පටලයකින් බොඳව යනු දැනිණි. පා ඉදිරියට තැබිය නොහැකි ඇසිල්ලක, පිටුපසට ගන්නටත් හිත හදාගනු නොහැකිව මම නෙතට උරා එන තෙත එහිම වියකාගන්නට අනවරත වෑයමක නිරතවීමි. හද පුරා පුපුරු ගසන පැන දහසකුත් අභිබවා එකම එක වදනක් මුවඟින් පිට පැන්නේ ය. "ඇයි?" පළමු පැනය නිශ්ප්‍රභා වී වාතලයට මුසුවෙත්ම දෙවැන්න මුවින් ගිලිහුණේ ය. එය හුදෙක් ස්ත්‍රීත්වය කැටි කොට ගත්තක් වග මම දැන වුන්නෙමි. "ක...කවුද ඒ?" මට අවැසි වූයේ ඒ තරඟකාරිය ගැන දැනගන්නටය. මට වඩා ඈ හොඳ වූයේ ඇයි දැයි දැනගන්නටය. පුරා සොළොස් වසක් මුළුල්ලේ මා පිරූ, නෛතික නොවූ පතිවෘතාව වෙනුවෙන් හිලව් වන්නට ඈ ළඟ ඇත්තේ මොනවාදැයි දැනගන්නටය. " ත;මුන්ට ඒකෙන් වැඩක් නෑ සයත්නාරා! මේක ඉවරයි.... මං ඉල්ලන දෙයක් දෙන්නම්. දැන් මෙතනින් යන/වා!" මගේ මුවෙහි කොණක ඇදුණ උත්ප්‍රාසය පිරි හසරැල්ල ඔහු අදුරාගන්න ඇත. කවරෙකු හෝ වදන් වල සැරෙන් මා යටත් කරගන්නට තැත්කරන සෑම මොහොතකම මම එය මුවඟ සිත්තම් කරගතිමි. ඊට පුරුෂාධිපත්‍යයද මුසුව ඇත්නම් එය තවත් තීවෘ කරගතිමි. "කවුද ඒ?...." මගේ හඬ පෙරට වඩා සිහින්, ශීතල සේම භයංකාර වග ඔහු වටහාගත්තේ ය.ගැ/හැ;නියක වුව, අනවැසි තරමින් මෘදු නොවූ මා ගැන ඔහු තරම් තව දන්නා කෙනෙක් නොමැත්තේම ය. "අ.. අනඟි.... අනඟි උත්පලා." මම ඒ පුංචි හුරුබුහුටි කෙ;ල්ල මනසේ මවාගන්නට වැය කළ තත්පර කීපය, ජීවිතයේ මා වඩාත් තිගැස්සුණු මොහොත වග නොකියමනා ය. ඈ මීට වසරකට පමණ එපිටින් අප ආයතනයේ මල් සැකසුම් අංශයට මවිසින්ම අනුයුක්ත කරවූ ළාබාළ යුවතියකි. දින කීපයකට ඉහතදී, මා එහි ගිය විට පවා ඇය, ඈ විසින් ගොඩනඟන සුන්දරම මල් කළඹ මගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් සාදා දෙනන්නට පොරොන්දු වූවා මතකය. මගේ මදහස තව තවත් පුළුල් වූවද, දෙකොපුල් සේම කන් දෙපෙති පවා රත් පැහැයකට හැරුණේ ගිනියම් උණුසුමක් සංවේදනය කරවමිනි. සියල්ල ඉවසූවද, මට වංචාකරන්නන් පෙන්නන්නටම බැරිය. මගේ සුරතෙහි ඇඟිලිතුඬු වේගවත් ගමනක යෙදී, ඇයට ඇමතුමක් දී, කිසිවක් නොවූ ලෙසින් සිනාසී, මෙහි කැදවන අයුරු තීක්ෂණ සෙල් රුවක් සදිසිව බලා සිටියේ ය. මොහොතකට ඒ රුව, මා මුලින්ම ප්‍රේමයෙන් බැඳුණ ඒ දාහත් වියැති යෞවනයාව සිහිකැදවූයේ ය. ඔහුට පවුලක් තිබිණි. තිබුණ මුත් විසිරී ගොසිනි. එතෙර ගිය අම්මාට, බීමත් තාත්තාට, විවාපත් අක්කාට ඔහු ගැන බලන්නට වගක් නොවෙද්දී.... පාසලේ විනාශකාරීන්ගේ ලයිස්තුවේ ඉහළම තැනක ඔහුගේ නම වැජඹුණේ ය. නොලද ආදරය ඔහු සෙව්වේ රු;හිරු වැගිරෙන ගුටිබැටවලිනි. එය රග්බි කුසලානයක් දක්වා රැගෙන ආවේ මාය. පියාගේ අනුදැනුමද ඇතිව මත්වන්නට ඇබ්බැහිවී සිටි ඔහු, ඒ ගිනි වතුරෙන්ද, පෙනහළු පිළිස්සෙනා දුගදින්ද ඈත් කර දැමුවේ මාය. අධ්‍යාපනං භයංකාරං යැයි ඇදහූ අන්ධ භක්තික පෙම්වතා කැම්පස් යැවූ ආඩම්බරකාර පෙම්වතිය මමය. ඉනුත් නොනැවතී ඔහුගේම උත්සව සැලසුම් කිරීමේ ආයතනයක් පිහිටුවා, එය මේ තාක් දුර රැගෙන එන්නට දිවා රෑ නොතකා නිදිවරා වෙහෙස වූ පාදපරිචාරිකාව මමය. ඉතින් මට මෙසේ වී මදිය! ඈ එනතුරු නොසිට සියල්ල ඔහුට සිහිපත් කරදිය යුතුයැයි මට සිහිපත් වූයේ හදිසියෙනි. ඔහු අහිමි කරගත නොහැකි වග මගෙ දුර්වල ගැ/හැනු හිත වැලපෙමින්
ගුගුරනු මට ඇසිණි. කඳුළු වගුරමින්, ආදරය අයැදිය යුතු ය. අපි ලබන වසරේ විවාපත් වන්නට පවා සැලසුම්කර තිබියදීත්.... එ...එවිට? අසුරු සැණකින් ඒ යදම් සියල්ලක්ම බිදී විසිරී යාමට ඉඩදිය නොහැකිය. එනමුත්.... මගේ ආඩම්බර ගැ:හැනු හිත ඒ වචන පේළිය මත තාණ්ඩව නැටුවේ ය. ආපහු ඔහු දෙස නොබලන්නට තරම් "ඔලුව කන ගැ;හැනියක ලෙස" හණ්වඩු ගැසීම කුරුරුය. එතරම්ම කටුකය. මිනිත්තු කීපයක් ඇවෑමෙන් ඈ එහි ආවා ය. වසන්ත මදනළක් මෙන්, සිහින් ලාලිත්‍යවත් පියවරින් කෙළොලොල්ව ඇවිද ආවා ය. නො උස්, හීන්දෑරි ඇගේ කළු පැහැ ඩෙනිම් කලිසමට ආයතනික කමිසය මනාව ගැලපුණේ ය. දිගු සේදවත් කෙස්කළඹ පෝනිටේලයක් දමා ය. ළා වත්සුණු තැවරූ මුවඟ සිත්තමක් සදිසිව සුන්දරය. අයිති සියල්ල අහිමි කරන්නිය දෙසත් ඊර්ෂ්‍යාව නොදැවටුණු දෑසින් වර්ණනා මවන මසිත ගැන උපන් ආත්මානුකම්පාවකින් මා ළය පිරී යනු දැනිණි. මේ තරම් අවංක මනුසතෙකු වී ජීවය ලැබීම මා උපතින් ලද අවාසනාවකි. තීක්ෂණ දුටුවනම පිබිදෙන නෙතු පියද, මා දුටු ඇසිල්ලේ එය මකාලන්නට දරන නොසන්සුන් වෑයමද දුටු මා කෝපගත යුතුව තිබිණි. එනමුත් සත්‍යය ඊටත් වඩා ගැඹුරු සේම, වේදනාකාරීය.අසම්මතයේ, තව හිතක් රවටා බන්ධනයට නතුවන දෙපාර්ශවයම වැරදිකරුවන්ය. මා හට ප්‍රේම නොකරන පි/රිමියෙකු රැකගැනීම දෝතට ගත් දිය පොදක් ළයට තෙරපවා සුරකින්නට දරන වෑයමක් තරමටම ඵල රහිතය. ඒ අන්ධකාරයෙන් පිරි යතාර්ථය අභිමුව මම වඩ වඩාත් සන්සුන් වීමි. කිසිවෙකු මා පිළිනොගන්නා අවධියේ පටන් මා කෙරෙහි මා වෙත වු ගරුත්වය, අන් සියල්ල අභිබවා නැඟී ආවේ ය. සිව් මහල් ගොඩනැඟිල්ලේ කාර්‍යාල ප්‍රධානීට අයත් මනරම් කුටීරය ඔහුගේ මගේත් ආශාවන් සංකලනය කොට තැනූවකි. ළා නිලට සුදු පැහැය මුසුවූ වටපිටාව සොදුරු සේම පිරිසුදු පෙනුමකින් යුක්තය.උක්ත දවසක ඔහු හා මේ සියලු දේ අවැසි පරිදි තෝරමින් වැය කළ පැය ගණනාව සිහිපත්ව මට හීල්ලිණි. "එන්න උත්පලා. ඇවිත් වාඩිවෙන්න!" "එ....එපා මිස්! " "එපා කියන්නේ එපා ළමයෝ!අනික තව ටික දවසකින් මටනේ ඔයාට මැඩම් කියන්න වෙන්නේ. ඉතින් ඇයි මේ බයවෙලා?" මා මා/රාන්තික ගැ:හැනියක වග නුඹලා සිතනු ඇත. නමුත් ඔවුන් එක්ව කළ වංචාව මගේ ආත්මය දැදුරු කරන්නට තරම් බලවත්ව නැඟී එද්දී.... මම මා වෙනුවෙන් සිටගත යුතුව තිබිණි. බියෙන් ගල්ගැසුණු පුංචි යුවතියව උරහිසින් අල්වා ඔහු අසුන් ගෙන වුන් සෝපාවෙහිම ඉන්දවා, මම ඔවුනට මුහුණලා ප්‍රධාන මේසයට වාරුවී දෑත් ළය මතින් බැඳගතිමි. "මිනිස්සු ආදරේ කරන්න පුලුවන්. ඒ ආදරේ නැතිවෙන්නත් පුලුවන්. හැබැයි එක ම/නුස්සයෙක්ට ආදරේ කරනවා කියලා රඟපාන ගමන් තවත් ආදරයක් නඩත්තු කරන ගෑ/නු පි:රිමි මට පේන්න බෑ!" පිපාසාවෙන් කතරක අතරමං වූ දැරියක පරිද්දෙන් ඇගේ දෙකොපුල් දිගේ දා බිඳු ගලා යමින් තිබිණි. සියල්ලට ප්‍රථම ඉස්සර කරගන්නා ගැ;හැනු කඳුළු බිංදුද නොනවත්වා නෙතින් ඉවතට වැගිරිණි. පි/රිමි කැමති එවන් ළාමක ආත්මයන්ට වග මම දැනවුන්නෙමි. මෙතෙක් කල්.... මමද ඔහු අභියස ඒ තරම්ද අවිහිංසක හා ළදරු වීමි. තමන් ආදරය කරනා පිරිමියා අභියස ළදැරියක වීම කොයිතරම් නිදහස් හා සෙනෙහෙබරද යන්න මම දැනසිටියෙමි. නමුත් එක් නිමේෂයකින් මා ඒ අත්වළල්ලෙන් ඉවතට විසිවී අන් යුවතියක් එහි ලැඟුම් ගත් කම්පනය මවෙත ගෙන ආවේ එක් අඳුරු පණිවුඩයකි. තව දුරටත් මා ඔහුගේ නොවන වඟ පමණකි. ඉතින් මම උණුදියෙහි ලූ බිත්තරයක් පරිද්දෙන් වඩාත් තදින් මගේ හැඟුම් සියල්ල පාශාණභූත කරගතිමි. "නා.... නාරා මැඩම්! අ...අනේ මට සමාවෙන්න. මට කවදාවත් සර්ව අයිති කරගන්න ඕනේ වුණේ නෑ මැඩම්ගෙන් අයින් කරලා. ඒත්.... ඒත් සමහර වෙලාවට සර් හරි දුකින් හිටියේ. මැඩම් ගාව නිදහසක් නෑ කිව්වා. මං කොහොම මේ වැරැද්ද කරාද කියලා තේරෙන්නෑ මැඩම්. අපි ආදරේ කළා විතරයි." " ආදරේ හින්දා ම:නුස්සයෙක්ගේ හො/ර ගෑ;නි වෙන්න හිත හදාගන්න පුලුවන් වුණාද?" විස කටුවක් හා සමව ඇගෙන් ගිලිහුණ වචන කිහිපයක් මා වේදනාවෙන් ඔත්පල කරද්දී.... හැකි තරම් තියුණු ස්වරයෙන් මම විවසුවෙමි. එසේ නම් ඔහුට නිදහස අවැසිවී ඇත. එතරම් අවැසි නම්, ඒ සරුංගලයට පියාඹන්නට ඉඩ දිය යුතුය. නූල අත් හැරිය යුතුය. ඉනික්බිති බැල්මකුදු නොහෙලා ආපිට හැරී ආ යුතුය. " මම.... මම වෙන බ්‍රාන්ච් එකකට යන්නම් මිස්. ම... මගේ ජොබ් එක නැති කරන්න එපා!" " ජොබ් එක ගැන වදවෙන්න දෙයක් නැහැනේ උත්පලාට. ඕනේ හැටියට වියදම් කරන්න ක්‍රෙඩිට් කාඩ් හම්බෙලා තියෙන කොට!" තිගැස්සි මා දෙස බැලූ ඔහුටත් වදනින් කම්මුල් පහර එල්ල කරමින්, මම මගේ වේදනාව ඔවුන් මතින් පිටකර හැරියෙමි. කලෙක පටන් මා වෙනුවෙන් වෙන් නොවනා කාලය, අවධානය සේම ත්‍යාගවල හිමිකම, මා කිසිකළෙක භාවිතා නොකළ තරම් දිගු බිල්පත්වලින් අවභාවිතා කරන්නියගේ හා ඔහුගේ ප්‍රේමයේ හරසුන් වග මැනවින් වැටහෙද්දී.... ගැරඩි හැවක් පාමුල සිටින්නාක් බදු පිළිකුළක් මා ගත වෙලාගත්‍තේ ය.මගේ ආලය මෙලෙස බාල්දු වනු බලා සිටින්නට නොහැකි වූ තැන, හැකි තරම් ඉක්මනින් ඔවුන්ගෙන් නික්ම යනු විනා අන් යමක් මට අවැසි නොවූ විනාඩි කීපයක් ගෙවී ගියේ ය. " ආයේ හැංඟි හැංඟි ආදරේ කරන්න ඕනේ නෑ. මම තීක්ෂණ සර්ව සම්පූර්ණයෙන්ම උත්පලාට භාර දෙනවා.එහෙනම් දෙන්නාම සතුටින් ඉන්න!" වෙන ලස්සන වචන කිසිවක්ම එවෙලෙහි මගේ මතකයේ නොගැවසුණේ ය. ඔවුන් තනිකර දමා, දොරටුවද වසා හිස් ගැ/හැනියක සේ මම ඉන් ඉවතට ඇදී ආවෙමි. "එයා ඔයාට ඇත්තටම ආදරේ කරලා නෑ බබාහ්.නැත්තම් ඔහොම මං ගැන දැනගත්තු පලියට ඔයාව මට දීලා දාලා යනවාද? මට එහෙම වුණා නම් හූ;නියමක් හරි කරලා!" අනුන්ගේ කතාවලට සවන් දීම වැරදි බව දැන් දැනත් මම මොහොතකකට වුන් තැනම නැවතුණෙමි. අවැසි වූයේ ඔහුගේ පිළිතුර කුමක්දැයි දැනගන්නටය. මගේම හෘද ස්පන්දනය මට ඇහෙන්නට සලස්වා ඔහු මුණිවත රැක්කේ ය. ඉදින් ඒ ඔහු මා ගැන දන්නා වගට නොකියා කියන සාක්ෂිය. මා නොවටිනා වග කෙනෙකු මා හට දැනෙන්නට සැලැස්සුව හොත්, එවන් පුද්ගලයින්ට ප්‍රථමව ඔවුන් අත් හැර දැමීම මගේ ප්‍රතිපත්තිය බව තීක්ෂණ මේ දොළොස් වස පුරාම අත්දැකීමෙන් දැන වුන්නේ ය. එය මේ තාක් හෝ අසීරු වූයේ මා ආත්මීයව පෙමින් බැඳී සිටි ඔහු අසලදී පමණකි. ජීවිතයේ මට හිමිවූයේ තෝරාගැනීම් දෙකකි. දුවණියන් දෙදෙනෙකු හා පුතුන් දෙනෙකු ලෙසින් සෞභාග්‍යමත් සිව් නිවුන් දරු උපතකට හිමිකම් කියූ මධ්‍යම පාන්තික පවුලක පස්වෙනි දරුවා හෙවත් බඩ පිස්සිය ලෙසින් මම උපත ලැබීමි.බඩ පිස්සිය වූයේ අම්මා මගේ ඉපදීමෙන් අනතුරුව ඇගේ ගර්භාෂයම සීල් තබා වසාදැමූ නිසාය. මගේ සිව් සොහොයුරු සොහොයුරියන් මට වඩා අට වසකින් වැඩිමහලු වෙද්දී.... මා ඒ පවුලේ අනවශ්‍ය කොටස බවට පත්වුණේ නිරායාසයෙනි. යළිත් දරුවෙකු ගැන කිසිදු සුබ සිහිනයක් නොවූ මා පියන්ට මා අහඹු තිගැස්මකි. "ආයේ බබාලා ඕනිම නෑ කියලා හිටියේ. දරුවෝ හතරක්ම ඉන්නවානේ. කොහෙද ඉතින් මෙයා හොරා වගේ ඇවිදින්!" මා ඉදිරිපිට තබා පවසන මෙවන් වදන්වලින් කොතෙක් නම් මා විදවනු ඇත්දැයි ඔවුන් කිසිදාක නොදැනගනු ඇත. එනමුත් ළයෙහි විදාරිත ලෝදිය හැලියක් මෙන් ඒ වෙනස්කම් මසිත දවා හලුකළේ ය. යන්තමින් බහ තෝරන වියට විත් අක්කලා සමඟින් සෙල්ලමට යද්දී.... ඔවුන් ඔවුන්ගේ කාමරයෙන් මා පිටතට ඇඳ දමා දොරටුව වසා දැමුවෝ ය. අයියලා සැරවැර දමා මා පන්දුව හා පිත්ත අතරින් එලවා දැමුවෝ ය. මා ඉදිරිපිට වූයේ තෝරාගැනීම් ද්විත්වයකි. හැකි තරම් වැරවෑයමින් මා ඉවතට තල්ලු කරන්නන් අසලට ගොස් ඔවුන් හා එක්වන්නට ඉඩ දෙන මෙන් අයැදිය යුතුය. නැතිනම් මගේම ලොවක තනිවිය යුතුය. සහජයෙන් උරුම කරගෙන ආ අඩම්බරය සමඟින් මම දෙවැනි පිළිතුර තෝරාගතිමි. එබැවින් මා හැඩී වැඩුණේද, ඉගෙනගත්තේද හුදෙකලාවමය. කාලයක් ඇවෑමෙන් මගේ අධ්‍යාපනික දක්ෂතා දැක මාපියන් සතුටු වෙද්දී පවා, ඒ ගැන විශේෂ ප්‍රහර්ෂයක් නොදැනෙන තරමට මම ඔවුන්ගෙන් ඈත් වී සිටියෙමි. නවාතැන් පහසුකම් සපයන නිවාසවල නැවතෙමින් මගේ වැඩ තනිවම ඉටුකරගැනීමට හැඩගැසුණෙමි. මට උරුම ජීවිතය එසේ ය. බිඳුණු දැරියක වූ මා, මටත් වඩා බිඳී ගිය දෑවුරුදු වැඩිමහල් දරුවෙකුට කෝෂයෙන් පිටතට විත් සමනලයෙකු වනු පිණිස සවි ශක්තිය හිමිකර දෙන්නට වෙහෙස වූයෙමි. දොළොස් වසකට පසු, දැන් විසි හතවන වියෙහි අග භාගයෙහි පසුවන මට මං ගැන ආත්මානුකම්පාව මුසු සංවේගයක් දැනුණි. ගමන් වේගය අඩාලව.... මම ඔහුගේත් මගේත් ආයතනික භූමියේ විසල් ආරුක්කුවකට වාරු වූවෙමි.ඔහු කේන්ද්‍රීය කරගත් මගේ ලෝකය වෙනුවෙන් වෙහෙසුණ විනා මා, මම වෙනුවෙන් කරගත් යමක් නොවුණේ ය.දැන් ඒ ලෝකය සබන් පෙන බුබුළක් සදිසිව අස්ථාවරව බිඳී ගොසිනි. මම හීල්ලුවෙමි.... මට උරුම මහල් නිවාසය කරා ආවේ කෙසේදැයි මතකයක් නොවෙද්දී... එහි පිරී'තිරී ඇති ඔහුගේත් මගේත් සෙනෙහසේ මතක පොදි එකි'නෙක හගිස්සවමින් මම මහ හඬින් හඬා වැටුණෙමි. ගර්වය පෙරට දමා රැකවල් යෙදූ කඳුළු වැල් මා පමණක් තනිවූ මොහොතේ මේඝයක් සේ කඩා හැලෙන්නට පටන් ගත්තේ ය. මම ප්‍රේම කළෙමි. පේවී ප්‍රේම කළෙමි. එනමුදු එයින් ඉතුරු වූයේ අතින් අල්ලාගත් හැකි තරමට ඝනව මා වටා පැතිරගත් වේදනාවක් පමණකි. ඔහු එසේ කළේ ඇයි දැයි වටහාගන්නට නොහැකි වූ මගේ අහිංසක ගැහැනු හිත හම සුදුමැලිව රැළි වැටෙන තුරුම වතුර මල යට හඬා වැටෙන්නට කඳුළු ඉපැද්දුවේ ය. මම මුළුමනින්ම බිඳ වැටී සිටියෙමි. යාදිනියක බඳුව පසෙකට විසිවී ගිය මගේ කැබලිති වූ ආත්මයේ විලාපය අසා සිටිනු නොහැකිම තැන දෑතින් දෙසවන් වසා ගෙන මම ශීතල ටයිල් පොළොවෙහි නිරුවතින් ගුලිගැසුණෙමි. " මට හම්බුනා ත;මුසේ වගේ ඔලුව කන්නැති ගෑ/නියෙක්!" ඒ වචන මා නොමරා මැරුවේ ය. හැඬීමෙන් හෙම්බත් මම කුසගින්න නිසාම ගිනිගෙන දැවෙන උදර කුහර පුරවන්නට, තෙතැති නග්න ගත එලෙසින්ම දරා ශීතකරණය විවර කළෙමි. එහි ඉහළ තට්ටුවේ වූ ඉස්සන් ගබඩා කළ විනිවිධ පෙනෙන බඳුන දෝත දරා ගන්නට සිතුණේ ඇයි දැයි අදටත් පෙහෙලිකාවක් වූවද, මම ඒ සිතුවිල්ලට අදටත් ස්තුතිවන්ත වෙමි.හැඟීම් විරහිත වතින්, වෙව්ලමින්, මම යාන්ත්‍රිකව ඔවුන් ශුද්ධ කළෙමි. හිස කොටස උයන්නට තබා ගෙන, පුෂ්ටිමත් කවන්ධය කුණු බඳුනට විසි කළෙමි. ඔව්! එදා රෑ මම උමතු ලියක පරිද්දෙන් ඉස්සන්ගේ ඔලු ඒ අතුණුබහන්
ද සමඟ කෑමට පිළියෙළ කරගතිමි. එය පළඟානකට බෙදාගෙන විත් පොරෝනයකින් ගත වසා ගෑරුප්පුවක්ද සමඟින් ඒ අභියස අසුන් ගතිමි. මුවට ගත් පළමු කටද ඔක්කාරය දනවද්දී, මම නිර්භීතව දෙවන්නද දසන් අතරට සිරකර ගතිමි. ජුගුප්සාජනක පිළිකුළෙන් යුතු තිත්ත රස මගේ මුඛය අරා නැඟ එද්දී උදරය කලතා ඉහළ එන වමනය වළකාගන්නට නොහැකිව නාන බේසමට හිස යොමා මම ආමාශය සේම අන්ත්‍රයද කළඹා එහි වූ සියල්ලම වමනය කළෙමි. අවසන සැනසුමක් දැනුණි. සියල්ල තේරුම්ගන්නට හැකි වීමෙන් උපන් සැනසුමෙන් මම නිවී ගියෙමි. මම ඔහුගේ ඔලුව කෑ බව සැබෑවක් යැයි පිළිගනිමි. නමුත් සැඟවූ කටුක යථාර්තය වූයේ, එය කෙසේවත් රසැති නොවූ බවය. එහි වූ අමන කටුක රස පිළිකුළෙන් තොරව අනුභව කර, මම ඔහුව හිසෙහි මළපහ පුරවාගත්තෙකුගෙන්, මිළාධික ඉස්සෙකු බවට පත් කළෙමි. සමාජයේ විනාශයට හේතුවන්නෙකු බවට ගුරුවරුන් දිවුරූ අයෙකු තවත් මිනිසුන්ට රැකියා දී ඔවුන්ගේද ජීවිත සමෘද්ධිමත් කළ හැක්කෙකු කළෙමි.අක්මා පටක එකක් හෝ නොමැතිව මියැදෙන්නට ගිය තුරුණු කයක් මවිසින් දේහධාරී කඩවසම් රුවක් බවට පරිවර්තනය කළෙමි. ජීවිතයේ මෙතෙක් ආ දුර, ඔහුට වැරදෙන්නට ගිය සෑම නිමේෂයේම මම ඔහුගේ ඔලුව කමින්, ඔහුව යහමඟෙහි ගමන් කරවීමි. රණ්ඩු සරුවල් නොමැති, සිය පෙම්වතිය දියණියක මෙන් රැකබලාගන්නා පෙම්වතෙකුට මම පෙරුම් පිරූ බව කිසිදාක ඔහු දැන නොසිටින්නට ඇත. ඔහු හා වදන් හුවමාරුවන සෑම නිමේෂයකම මගේ ළයද සීරී රුහිරු වැගිරෙනු ඔහුට නොපෙන්නෙන්නට ඇත. ඔහු නිසාවෙන් වෙහෙසෙන හදවත ඒ පුංචි ජයග්‍රහණ අභියස පවා ඔපවත් වන අයුරුද ඔහුට අමතකව යන්නට ඇත. අවසන.... මම ඔලුව කන ගැ/හැනියක වී, ඔහු ළඟ සුරතල්ව,නොදැනෙන්නට සියල්ල සූරාකන යුවතිය සුරගනක් වී ඔහුට දැනෙන්නට ඇත. ඊට කම් නැත. මම වැරදි නැති බව මටම වැටහී යාම ප්‍රමාණවත් ය. ඉතින් පෙම්වත.... නුඹ වෙනුවෙන් දියකළ හල ජීවිතයේ මා වෙනුවෙන්ද හරයක් සොයන්නට මා දැන් නික්ම යා යුතුව ඇත. නුඹේ අනාගතය ගැන සෝබර වූ ළය දරා නිහඬ වතින් නික්ම යා යුතුව ඇත.... අවාසනාවන්ත පණිවුඩවලට අත්තටු ඇති වග සැබෑවකි. ඊළඟ දින වන විට ආයතනයේ සියල්ලෝම පාහේ මේ අසුභාරංචිය දැන සිටියෝ ය. ඔවුන් මා හඳුනයි. ඒ මුහුණු ඒ තරම් තදින් පියැවී සිහින් රේඛා පවා වේදනාවෙන් වර්ණ ගැන්වී ඇත්තේ එබැවිනි. මම නොසැලුණු වතින් මගේ අවසාන රාජකාරිමය හමුවට සහභාගී වුණෙමි. පහළ මට්ටමේ සුදුසුකම් සහිත මල් සකසන්නියක මිළාධික සාරියකින් සැරසී එහි මුළසුන හා සමව අසුන් ගෙන සිටියදී, මම සන්සුන්ව ඔවුන් අමතා ආයතනයේ ප්‍රගමනයට මින් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සවිස්තරාත්මකව පැහැදිලි කළෙමි. අතට අත දෙමින් ආයතනික ප්‍රධානීතුමාගේ නවමු දිවියට සුභාශිංසන එක්කර, මෙතෙක් මෙහි මා සතුව තිබූ අයතනයේ කොටස් සියල්ලම මංගල ත්‍යාගය ලෙස පිරිනමන බව පැවසූවෙමි. ඔහුගේ වේදනාවෙන්ද, සාංකාවෙන්ද, පසුතැවීමෙන් හා අහිමිවීමේ අවිනිශ්චිතතාවයෙන් පිරි මුහුණ දෙස වරක් තියුණුව බලා, මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී එතැනින් නික්ම ආවෙමි. නවමු මැතිණියගේ උද්දච්ච හැසිරීම සේම මට වූ අසාධාරණය දැන දැන එහි සේවයෙහි නිරත වීම නිරයට යාම හා සම වූවද, අන් කළ හැක්කක් නොවු නිසා මට සමුදී රැකියාව තෝරාගත් රිදුම් පිරි මුහුණු දෙස අවසන් වරට බලා, මම බිඳී ගිය මුත්, නොපසුබස්නා ආත්මශක්තියෙන් හෙබි ගැහැනියක මෙන් ඉන් පිටව ආවෙමි. එහි, තීක්ෂණ ඉවෙන්ට් මැනේජ්මන්ට්හි මගේ හොඳම යෙහෙළියක වූ කුමුදුණීව යළි මට මුණ ගැසුණේ ඉන් අට වසරක් ඇවෑමෙන් ජපානයේ මගේ සුප්‍රසිද්ධ 'නාරාා'සීෆුඩ් අවන්හලේ පස්වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැති රාත්‍රී සාදයේදීය. රත් පැහැයට රිදී පැහැයෙන් කැටයම් මැවූ, උරහිස් නිරාවරිත දිගු ගවුමකින් සැරසී, නොවියැකුණු තාරුණ්‍යයද කැටුව, මා විසින් මට උපයාගත් උරුමය දෙස නිහතමානී ආඩම්බරයකින් බලා හිදිනා මා අසල ඈ අසුන් ගත්තේ අහම්බයකිනි. "දෙයියනේ සයත්නාරා මැඩම්! හස්බන්ඩ් කොච්චර කිව්වාත් මම නම් හිතුවේ නෑ මේ තැන මැඩම්ගේ කියලා. අන්තිමේ මේ පාර එයා එක්ක මාත් ආවා ලංකාවේ ඉදන් මැඩම් බලලා යන්නම!!" ඈ සතුටින් පොපියමින් කෑගැසුවේ මා මේතරම් දුරක් තනිව ආ වග විශ්වාස කරන්නට නොහැකි ආසියානු යැපුම් ස්ත්‍රීත්වයේ ආභාසය වදන්වලද අමුණා තබමිනි. සෝයා සෝස් දමා තෙම්පරාදු කළ ප්‍රණීත ඉස්සන් බඳුනක් රසවිදිමින් වුන් මම ඇයද මා අසලින් අසුන්ගන්වා ගත්තේ සන්සුන් සිනාවක් දෙතොලතර මවාගනිමිනි. අපේ සංවාදය අතීතය සිට වර්තමානය තෙක් ඇඳී ගියේ කාල යන්ත්‍රය ගැන වගක්ද නොමැතිවමය. " මැඩම් මැරි කළේම නැද්ද?" මම හිස සොලවා ඇයට නැතැයි පවසද්දී, කුමුදුනී හුස්ම ඉහළට ඇද හීල්ලුවා ය. "අපරාදේ.... බලන්නකෝ අද මැඩම් ඉන්න ලස්සන! මෙහෙන්ම මැරි කරලා, දරු පැටියෙක් හදාගන්න මැඩම් තව පරක්කු කරන්නේ නැතුව!" " දැනටත් මං ගාව දරුවෝ කීපදෙනෙක් ඉන්නවා කුමුදුනී. එයාලාව රැකබලාගන්නේ මම. එයාලා මට කතාකරන්නේ අම්මා කියලා!" මම පිරුණු හැඟීමෙන් පිළිතුරු ඇමිණුවෙමි. " ඒත් ඉතින් තරුණ වයසනේ. අනික ලස්සන නෑ කියලාද?ඉස්සරට වඩා හැඩයි දැන්! ඇක්ට්‍රස් කෙනෙක් වගේමයි!" "එක ම;නුස්සෙක් ගාව ඇහැරුණ හැඟීම් තවත් කෙනෙක් ගාව ඒ විදිහටම ඇහැරවන්න මට තාම බැරි වුණා කුමූ. එහෙම පුලුවන් අය ඉන්න බව මම දන්නවා. ඒත් මට බැරිවුණා. අතීතයේ තුවාල එක්ක තව කෙනෙක්ට ළංවෙලා ඒ ජීවිතෙත් විනාස කරන්න තරම් මම දුර්වල ගෑ/නියක් නෙවෙයි!" මගේ පිළිතුර සමඟ මුණිවත රැකි ඈ යළි හඬ අවදි කළේ නිහඬව ආහාර රසවිදින්නට වැය කළ මිනිත්තු කීපයක් හමාරවය. " මැඩම් ගිහින් ටික කාලෙකින්ම තීක්ෂණ සර්ට තේරුණා කරගත්තු මෝඩකමේ තරම. අර ගෑ;නි සර්ගේ අන්තිම සතේට එනකම් හූරාගෙන විගඩම් නැටුවා මිසක්, මැඩම්ට වගේ ඉස්සරහ ගැන අයිඩියා එකක් තිබ්බ කෙනෙක් නෙවෙයිනේ. අන්තිමේ කම්පැනි එකත් නැතිවෙලා සර් හිඟන්නෙක් ගාණට වැටුණාම දරුවෝ දෙන්නවත් අතෑරලා උන්දෑ වෙන ලොකු අත්තක එල්ලුණා!" මා දෙතොල්පෙති සොලවා සිහි සිනාවක් පමණක් පා කර නිශ්ශබ්ද වූයේ ඒ ගැන මා දන්නා බව හඟවන්නටය. එසේම එවැන්නකින් අමුතු යමක් නොදැනෙන්නට මා ඔහුව හිතින් අතැර ඇති බව කියා දෙන්නටය. අත් හැර දමන්නට උගහට වන්නේ මගේ දොලොස් වසරක ප්‍රේමය මිස, එය කුණු මාලු කැබැල්ලක් මෙන් ඉවතට විසි කර දැමූ ගුණමකු තරුණයා නොවේ. කුමුදුණී එවර මා සවන් පෙති වෙත පහත් වූයේ රහසක් අසා දැනගන්නට මෙනි. " ඔය සිද්ධිය වෙලා දැන් අවුරුදු දෙකක් විතර. ඊට ටික කාලෙකට පස්සේ බබාලාත් එක්කම තීක්ෂණ සරුත් අතුරුහදන් වුණා. හැමෝම කිව්වේ සර් සයත්නාරා මැඩම් හොයාගෙන ජපන් ආවා කියලා!" "ඔව්....ඒක ඇත්ත. එයා මගෙන් වැද වැටිලා ඉල්ලුව එයාට තව අවස්ථාවක් දෙන්න කියලා. දැන් ඒ දුවලා දෙන්නා ඉන්නේත් මං ගාව!" "දෙවියනේ.... ඒ.... ඒ කියන්නේ මැඩම් සර්ව මැරි කරනවාද?" ඇගේ විස්මයෙන් විසල් වූ මුවට පුෂ්ඪිමත් ඉස්සෙකු ඇතුළු කර, තවකෙකු ලී කූරෙහි අමුණා මගේ මුවට දමාගන්නා අතර ම මම මගේ කටහඬ අවදි කළෙමි. " කුමූ දන්නවාද.... තීක්ෂණ මාව අත් හැරියේ මම එයාගේ ඔලුව කන ගෑ;නියක් කියලා. ඒත් එයාට අමතක වුණා එයා ඉස්සෙක් වගේ මනුස්සයෙක් කියනෙක. ඉස්සෝ කොච්චර වටිනවා වුණත්, ඒ වටිනාකම ලැබෙන්න නම් මුලින්ම ඒ ජරාව පිරිච්ච ඔලුව අයින් කරලා ඉන්න ඕනේ. මගේ ජීවිතෙන් අවුරුදු දොළහක් මම එයාගේ ඔලුව කනවා කියලා කරේ ඒ ජරාව අයින් කරපු එක.හැබැයි තීක්ෂණට ඒක තේරෙන කොට එයා හුඟක් පරක්කුයි. එයා මාව අතෑරිය දවසේ මම උන්ගේ ඔලු කාලා බැලුවා.පුදුම තරම් අප්පිරියා රහක්!එදා ඉදන් අද වෙනකම්.... කවදාවත් මේ රෙස්ටුවරන්ට් එකේ උයන්නවත් මම ඉස්සෝ ගේන්නේ නෑ ඔලු අයින් කරලා මිසක්!" "එ...එතකොට තීක්ෂණ සර්?" " මාව එපා කියපු මනුස්සයෙක්ව ආයේ ජීවිතේට වැද්ද නොගන්න තරම් මම කශේරුකාව හයිය ගෑ/නියක්. හැබැයි අර අහිංසක දරුවෝ දෙන්නා ඒ දේවල්වලට පළි නෑ. මම එයාලාවත් බලාගන්නව, උගන්නනවා. තීක්ෂණ ඒ වෙනුවෙන් මං ගාව රස්සාවක් කරනවා!" කෝන් පිටි තවතා ගැඹුරු තෙලෙහි බැදගත් ඉස්සෙකුද මුවට ගත් මම ඒ මිහිරි රස, මගේ රසාංගුලිකා තුළින් හදවතට ඇදගන්නා අයුරු නෙතු අඩවන් කර රසවින්දෙමි. මේ වසර අට පුරාවට.... ඔලු ඉවත් කර, විවිධ රසයෙන් පිසගත් ඉස්සන් මගේ ප්‍රියතම ආහාරය වී ඇතුවාක් සේම, එය මගේ අවන්හලේ ජනප්‍රියම භෝජනයද වී ඇත්තේ ය. "එයා හොක්කයිඩෝවල ඉදන් මෙහෙට එවන්න ඉස්සන්ගේ ඔලු කඩනවා!" ❤️⚡❤️⚡❤️⚡❤️⚡❤️⚡❤️⚡❤️⚡❤️⚡❤️⚡ මා වෙනුවෙන් තබා යන සෑම අකුරකටම බෙහෙවින් ස්තූතියි!🌼🌼ලිපිය (කෙටි කතාවක්) ලගකදි ඉදන් මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙන්න පටන් අරන්, ඒත් එක්කම අලුත් පුරුදු වගයකුත් ඒකට එකතු වෙලා. කන්ණාඩිය ලග සෑහෙන වෙලාවක් හැඩවෙන එක, තනියෙන් හිනාවෙන එක, වොශ් රෑම් එකේ නාන ගමන් සිංදු කියන එක වගේ ඒවා. ඊටත් වඩා උදේ නැගිට්ට ගමන්, ආපු වට්ස් අප් මැසේජස් මොනවාද කියලා බලන එක. දැන්නම් මේක ඇබ්බැහික්ම වෙලා ඉවරයී. එදත්, සුපුරුදු පරිදි මම ආසම කරන මැසේජ් එක බලලා තමයි අනිත්වා බලන්න පටන් ගත්තේ. ඉතිරි කිහිපය කස්ටමර් කෙනෙක්ගෙන් හා ස්ටාෆ් එකේ යාලුවෙක්ගෙන් ආපුවා. ඒත් ඒ මැසේජස් අතර අන් නෝන් නම්බර් එකකින් ආපු මැසේජ් එකකුත් තිබුනා. ඒක, බලපන් බලපන් කියලා හිත කලබල කරන්න පටන් ගත්තා. බැලු බැල්මට එක "වෙඩින් ඉන්විටෙශන්" එකක් වාගේ. විස්තරේ කියවන්න කලින් ආපහු, එවපු කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එකට ගිහින් බැලුවේ ඇත්තටම මේක මටම එවපු එකක්ද වැරදීමකින් ආපු එකක්ද කියලා සැකහැර දැනගන්න. නැහැ.... නැහැ.... වැරදිලා ආපු එකක් නෙවේ.... ඒක මටම තමයි. තප්පර කිහිපයක් ඇතුලත මගේ මතකය අවුරුදු පහලොවක පමණ අතීතයකට ගෙනයාමට ඒ මැසේජ් එකට පුලුවන් වුනා. ................................................................... ඒලවල් වලින් පස්සේ තමයී අපේ ස්කොලේ ප්‍රධාන ශිෂ්‍ය නායක මඬුල්ල පත්කරන්නේ. කංචුකයා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට පත්වෙද්දී, ඌ නිසා හැමදාව කට්ට කාපු මම උප ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරු කිහිපයෙන් එකකට ත
ේරීපත්වුනා. එක්සැම් එකත් ඉවර වෙලා තිබුන නිසා අපිට හිතේ බරක් නැතිව ස්කොලේ වැඩවලට සම්බන්ධ වෙලා වැඩකරන්න පුලුවන්.... එක්සැම් තුබුනා කියලත් ලොකු වෙනසක් නැ මොකද ඒ කාලෙත් අපි වැඩිහරියක් කලේ... ස්කොලේ, අමතර වැඩම තමයී. අපේ එලවල් පංතියේ ටීචර්ස්ලා කිව්වෙ ප්‍රිරින්සිපල්ටවත් නෑ මුන් දෙන්නට තරම් වැඩ කියලා. මොකද ප්‍රිරිෆෙක්ට් ඩේ එක, කලා උලෙළ, ස්පොර්ට්ස් මීට් එක, ගුරු උපහාර උලෙළ, ඩ්‍රාරාමා ප්‍රොජෙක්ට් එක, බලඩ් ඩෝනේෂන් කැම්පේන් එක පිරිත් පිංකම ආදී.... එකී මෙකී නොකී සෑම වැඩකම අපිත් කෙහෙන් හරි සෙට් වෙලා හිටියා. පංතියේ ඉගෙගත්ත දවස් ගානට වඩා සුවනීයර්ස් වලට ඇඩ් එකතු කරන්න කොළඹ වටේ ඇවිද්ද දවස් ගාන වැඩිද මන්දා. හැබැයි ස්කොලේ ඔය මොන වැඩේ කලත්, අසල්වාසි බාලිකාවන්ගේ ප්‍රිරිෆෙක්ට් ඩේ එකක්, කලා උලෙළක් සයන්ස්,කොමස් ඩේ එකක් අපි කවදාවත් ම්ස් කලේ නෑ. මොකද කොච්චර වැඩ තිබ්බත්, ඒවාටත් සහභාගී වීම ඉතාම උතුම් ගුණ ධර්මයක් විදිහටයි ඒ කාලේ අපේ සීනීයස්ලාගේ ක්‍රියාවෙන් අපි තේරුම් අරන් හිටියේ. ඔන්න ඔය විදිහට තමයි, ඒලවල් කරපු අවුරුදු දෙක, සියලු සත්වයාගේ සුබ සිද්ධිය උදෙසා අපි කැපකලේ. ................................................................... අලුත් පට්ටම ලැබිලා, ෆුල් ගැම්මෙන් ස්කොලේ වටේ සයිට් විස්ට් එකක් දාන වෙලාවක රේණුකා ම්ස් හමුවුනා. පුතේ ලැස්තිවෙලා ඉන්න ලොකු වැඩක් තියෙනවා ඉස්සරහට කරන්න, මට ඕන ඔයාලව ඒකට සම්බන්ධ කරගන්න..... ආහ්... හරි ම්ස් කියන්නකෝ අපි ඉන්නවනේ. කොහොමත් මෙහන් අපිව එලවනකල්ම ඉන්න තමයි හිතන් ඉන්නේ...... මිස් හිනාවෙලා යන්න ගියා. ඉස්කෝලේ වැඩත් එක්ක කාලේ හිමින් ඉස්සරහට ගියා. උදේ පාන්දර ඉස්කෝලෙට එන්නේ හරිම ආසාවෙන්. හිතේ කිසිම බරක් තිබුනේ නැහැ, රිසාල්ට්ස් එන්නත් තව මාස කිහිපයක් තියෙන නිසා හරිම සැහැල්ලුවකින් තමයි ජීවිතය ගෙවුනේ. හවසට තුම්මුල්ල හන්දියේ පොඩ් වලක් එහෙම බැහැලා බාලිකාවේ නංගිලාව පරිසමින් බස්වලට නග්ගලා එහෙම තමා කංචුකයි මායි ගෙදර ගියේ. අපි එහෙම කලේ අසල්වාසි බාලිකාවන්ට තිබුන අවංක සහෝදර ප්‍රේමයට මිස, වෙන ඉටි ගෙඩියකට නම් නෙවේ. මොකද වගකිවයුතු අයියලා විදිහට කාටත් ආදර්ශමත් චරිතයක් වෙන්න කියලා තමයි ප්‍රින්සිපල් සර්ත් අපිට කියලා තිබුනේ. ඔන්න ඔහොම ඉන්න අතරේ දවසක් ප්‍රින්සිපල් සර් අපිව ඔෆිස් එකට ගෙන්නුවා, රේනුකා මිසුත් එතන හිටියා. ලමයි... අපේ කොට්ඨාසයේ තියෙන පාසල් ටික එකතු කරලා කලාප ඔෆිස් එකෙන් හදලා තියෙනවා නෙළුම් පවුල කියලා සංගමයක්. කලාප අධ්‍යාක්ෂකතුමාට ඕන, කලාපේ තියෙන ස්කෝල අතර හොද සම්බන්ධතාවයක් මේ හරහා ගොඩනගන්න. කංචුක ඔයාගේ ටීම් එක රේනුකා ම්ස් එක්ක එකතුවෙලා ඕකේ වැඩටික කරගෙන යන්න ඕන. වැඩ් විස්තර මිස් කියයි. කලාප අධ්‍යාක්ෂකතුමාටත් හරිම සිතුවිලි තමා පහල වෙන්නේ. මෙයානම් නිකම්ම නිකම් අධ්‍යාක්ෂක නෙවේ "කලාපය අරක්ගත් ශ්‍රී අධ්‍යාක්ෂක දේවතාවුන් වහන්සේ". ආදරෙයි දෙයියෝ අහස තරම්.... අපි එලියට ආවේ හරියට වදින්න ගිය දේවාලය හිසමුදුනෙන් වඩම්මගෙන වාගේ. ............................................................... බදාදා තමයී ම්ට්න් එක වැටිලා තිබ්බේ. අපි දෙන්නා ම්ස් එක්ක බාලිකාවට ගියා. හම්මට සිරී කිව්වා. වටේම ස්කෝලවල කෙල්ලෝ කොල්ලෝ මෙතන කිව්වලු. අපිත් කැමරාව වටේටම කරකවලා හොදම තැනක වාඩිවුනා. සුදු නංගිලා දෙන්නෙක් මැද්දේ. රැස්වීම පටන් අරන්..... මොනවා කියනවාද කියලා කිසිදෙයක් ඔලුවට යන්නැ. එහා පැත්තේ ඉන්න කෙල්ල එක්ක කතාවක් දාගන්න, පොටක් පාදගන්න ෆුල් ට්‍රියි එකක් මම දෙන්නේ. කංචුකනම් දැනටමත් වැඩ පටන් අරන්. ඌ කොහෙමත් පැණී හිනාව දාලා කොහොම හරි වැඩේ ගොඩදාගන්නවා. මේච්චර කාලයක් මූව ආශ්‍රරය කරලත් තාම මට බැරිවුනානේ මුගෙන් මේ ආර්ට් එක ඉගෙනගන්න. එක අතකට, අවුරුදු ගානක් මූව ආශ්‍රරය කලාට මට ගානක් දෙන්න ඕන. යාලුවා තමයි, ඒත් හැමදාම, බෙල්ලටම තදවෙන ගැට මූ, අත අරින්නේ මගේ ඇගට. පනදාගෙන ඒවා ලිහිව්වාම, එකේ ක්‍රෙඩිට් එක මූට. ඕවට තමයි අපි ගොඩක් වෙලාවට මරාගත්තේ. සමහර වැඩ වලදී, කංචුක ඒ වැඩේට මාර ෆොර්කස්, වැඩේ ඉවර වෙනකල් කිසි දෙයක් කියන්නෑ. හරිම ගුප්තයි. හැබැයි වැඩේ හරි ගියාම පොර වෙනමම ආතල් එකක් ගන්නවා. මම ඊට හාත්පසින්ම වෙනස්. වැඩක් කරන්න කලින්, ඔක්කොම, වටේටම කියනවා. ආයේ ඒවා ගොඩදානවා බොරු. කංචුක හෙඩ් ප්‍රිරිෆෙක්ට් පෝස්ට් එකට ඉල්ලන්න හිතන් ඉන්නවා කියාලා උගේ හොදම යාලුවා වුන මටවත් කලින් කියාලා තිබුන් නෑ. හෙඩ් ප්‍රිරිෆෙක්ට් වෙයි කියලා, අපේ බැච් එකේ කලින් හිතන් හිටපු එකෙකුටවත් කංචුකට තරම් ඉන්ටර්විව් එකේ ස්කෝ කරන්න බැරිවුණා. මොකද මූ ඒ කට ඕන කරන හැමදේම කලින්ම දැකලා, අවශ්‍යම දේවල් එකතු කරන්, රෙඩි වෙලා හිටියේ. මට ඒක වැරැද්දක් විදිහට පෙනුනත් ඇත්තටම ඒකේ කිසිම වැරැද්දක් නෑ. ඒත් ඔය වගේ හංගන් ගහන ගේම්වලට මගේ කිසිම කැමැත්තක් තිබ්බේ නෑ. මම ඒවා කංචුකගේ මූණටම කියලත් තියෙනවා. හැබැයි අපි දෙන්නා කොච්චර මරාගත්තත් කවදාවත් තරහ වෙලානම් ඉදලා නෑ. ස්කොලේන් එලියට යන්නේ සුපුරුදු අඹ යාලුවෝ දෙන්නම තමයී. කොහෝමත් කංචුකට මගේ හෙල්ප් එක නැතුවම බෑ. මිනිහට මාව මාර ශුවර්. ඒක නිසාම තමයි හෙඩ් ප්‍රිරිෆෙක්ට් ඉන්ට්විවු එකට මාව බලෙන්ම වාගේ ඇදගෙන ආවේ. මොනවා වුනත්, මටත් කංචුක තරම් හිතට දැනුන වෙන යාලුවෙක් ඉදලම නෑ. ඒ තරම් බොක්කේ ෆිට් එකක් අපි අතරේ තිබුනේ. ............................................................... අපේ කොට්ඨාසයේ පාසල් අතර සුහදතාව ගොඩනගා ගන්න අද අපි ආරම්භකරන මේ සංගමය හොද තෝතැන්නක් වෙනවා දැකීම තමයී මෙහි මූලික අරමුණ. අපි පාසල් ගියේ මිශ්‍ර පාසල් වලට. ගැහැණු ලමයි, පිරිමි ලමයි කියලා අපි අතරේ බේදයක් තිබුනේ නෑ. පිරිමි ලමයි, තමන්ට පුලුවන් දේවල් උපරිමයෙන් කරද්දි ඊට අනගී සහයක් ගැහැණු ලමයි ලබාදුන්නා. ඒත්, ජාතික පාසල් ක්‍රමය හරහා ගොඩනැගුණු මේ අලුත් සංස්කෘතියෙන් කාන්තා පාසල් ,පිරිමි පාසල් කියලා වෙන්කිරීමක් සිදුවෙලා තියෙනවා. මේ හරහා එකිනෙකාගේ අන්නෝන්‍ය සම්බන්ධතාවයන් ඇහිරිලා, තව කෙනෙක්ගෙ සිතුම් පැතුම් තේරුම් ගන්න පුලුවන් කමක් අද මේ අයට නෑ. ප්‍රශ්නයක් ආවහම ඒක විසදගන්න උත්සහ කරන්නේ හැගීම් වලින්, බුද්ධිය යටගිහින්. මේ දරුවන්ට මතක ඇති පසුගිය කාලයේ සිදුවු සිදුවීම්. ආදරය සම්බන්ධතාවයන් බිද වැටුන තැනක අවසානයේ සිදුවන්නේ ඒ දියණියට පිහි ඇනුමකින් ජීවිතය අවසන් කරන්න. ඒ පිරිමි දරුවා, ජීවිතාන්තය දක්වා සිර බත් කනවා. ඇයි මේ තරුණ ජිවිත වලට මෙහෙම වෙන්නේ. එකිනෙකා තේරුම් නොගැනීම හා අනවබෝදය නිසා. අපිට බැරිද මේ වගේ අවස්තාවක කාට හෝ ඒ ඇතිවෙන දුක් තැවුල්, සංතාප කවියකින්, ගීතයකින් පිටකරලා හිත හදාගන්න, තවකෙනෙකුට සමාව දෙන්න. බැදීම් අතහැරලා, වයීරයකින් තොරව යන්න ඕන අයට යන්න දෙන්න. මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එක අපි ඉදිරියේදි නැති කරන්න ඕන. මේ හොද දේවල් ජිවිතයට එකතුකරගන්න, මේ පාසල් වල ගුරුවරුන්ගේ නිවරැදි මග පෙන්වීම මේ තරුණ දරුවන්ට අවශ්‍යමයි. ඒ අනුව නෙළුම් පවුල සංකල්පය යටතේ අද ආරම්භවන මේ සංගමය තුලින් අපි මේ දරැවන්ට නිවැරැදි මග පෙන්වමු. එකිනෙකා සමග අදහස් හුවමාරු කරගෙන, තර්ක විතර්ක කොට හොද වැඩසටහන් පෙලක් සංවිධානය කිරිම හරහා අනෙකා තේරුම් ගෙන වැඩ කටයුතු කිරීමට අපි ඔහුන්ට කියලා දෙන්න ඕන. ඒ වගේමයී මේ අවස්තාව ඉතා සුබවාදීව භාවිතා කරන මෙන් සියලුම සිසුන්ගේන් මම ඉල්ලා සිටින්නවා. ඔබ මෙය අවභාවිතා කලහොත් ඉදිරි සිසුන් හට මේ අවස්තාව අහිමිවන බවත් සිහි තබාගෙන ඉදිරි කටයුතු කරනමේන් ඉල්ලා සිටිමින්, ඔබගේ ඉදිරි වැඩකටයුතු වලට සුබපතමින් මම නිහඬ වෙනවා. ඒ වගේමයි මින් ඉදිරියට මෙහි වැඩකටයුතු මෙහෙම වීම සදහා මේ සිසුන් අතරින් පත්කරගන්නා නව නිලධාරි මන්ඬලකට භාරදෙනවා. කලාප අධ්‍යාක්ෂකතුමා සිය කතාව අවසන් කරන ලදි. ................................................................... අයියේ ඔයාද කංචුක කියන්නේ... නෑ ඒ මගේ යාලුවා... එයාව තමයි සභාපති හැටියට පත්වුනේ, එයාට කියන්න. මොන සිහියෙන්ද මන්දා ඉන්නේ. අර..අර..සර් කියනවා ඉස්සරහට එන්න කියලා. හප්පට සිරි...... කිව්වලු. යකෝ..... කට දෙපැත්ත පිහිදන් පලයන් ඉස්සරහට. තෝව සභාපති කරලා. කංචුකයට හික් ගැවිනි.... සභාපතිකම අපේ පාසලටත්, ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු පිලෙවෙලින් කොන්වන්ට් එකට සහ බාලිකාව අතරේ බේදිගිය අතර උප තනතුරු හා කාරක සභික තනතුරු සෙසු පාසල් වලට හිමිවිනි. කංචුකයා කෙල්ලෝ දෙන්නා මැද්දේ ඉදන් රැස්වීම මෙහෙයවීම් සිදුකරයී. මොනවා වුනත් අම්මලා මුගේ රංකිරි කටගාවලා තියෙනවා හරිම නැකතට. දාර්ශනික වචන භාවිතා කරමින් කතාකරන කංචුක දිහා කෙල්ලන් වශී වෙලා වගේ බලන් ඉන්නේ. කොහොමත් මූ හැන්ඩියා, තාම කෙල්ලෙක් සෙට් වෙලා නැතිවුනාට මම දැකලා තියෙනවානේ කෙල්ලෝ මූට ඇබරෙන ඇබරිල්ල. ඒ ගැනනම් මටත් මාර ජෙලක් තියෙන්නේ කංචුකයත් එක්ක. රැස්වීම ක්‍රමයෙන් ඉදිරියට යනවා, මූත් තෙල බෙදනවා බෙදිල්ලක් චන්ද කාලේට සිල් රෙදි බෙදනවා වගේ. ඌට ඕන දෙයක් කරගන්න ඇරලා, එහා පැත්‍තේ නංගි නවත්වපු තැනින් කතාව මම පටන් ගත්තා. තැන්ක්ස් ! ඔයා හොද වෙලාවට අහන් හිටියේ නංගී. නැත්නම් අපේ "එච් පී" ගේ රෙදි ලෙෆ්ට්. ඉට්ස් මයී ප්ලෙෂර් අයියා. එසේ කියා ඇය මා දෙස හැරි යාන්තමින් සිනාසුනාය. ඒ සිනහව හදවතේ කිසිදාක ස්පර්ශ නොවුනු තැනක තැම්පත් වුයේ සිහින් විදුලියක් සිරුර පුරා විහිදුවමිනි. ඇයට හිමිව තිබුනේ මේ තාක් මා දැක තිබූ ලස්සනම ඇස් දෙකයී. මම අපුර්ව
ඔයා...... මම ඇය දෙසට මගේ දකුණු අත දික්කලෙමි. කයිලී.... ඇය ඉතා සියුමව මගේ අත ස්පර්ශ කලාය. එය ඉතාමත් සීතලම සීතල මුදු ස්පර්ශයකි. කයිලී අදමයි එහෙම නමක් ඇහුවේ. මොකක්ද කිව්වේ. අහ් !!! නෑ නෑ හරිම අන්කොමන් නමක්, ලස්සනයි. 🎼නුඹේ සිනා මුව මඬලට මං හරි ආසයි වලා යටින් පෝදා හඳ පායන ගානයී🎼 එය, වචන ලෙස පිට නොවුනත් මගේ සිතුවිලි මට ඇය ගැන කිවේ එලසිනි. කංචුක මගේ නම කියනවා, යාන්තම්න් වාගේ ඇසිනි. මොකද බල්ලෝ ආතල් කඩන්නේ.... ලග සිටියානම් මම ඌව අමතන්නේ එලසිනි. හිතට ආ වචන ගිලගත් මා රැස්වීම සභාව ඉදිරියේ මාගේ වීනිත චරිතය ගොඩට ගනිමින් අසුනෙන් නැගි සිටියෙම්. ඔව්, අපුර්ව ඔයා මොකද හිතන්නේ අපේ සංගමයෙන් කරන පලමු ව්‍යාපෘතිය මොනවගේ එකක් වුනොත් හොදද? සුපුරුදු බෝලය මූ පාස් කර අවසන්ය. මට ඉතිරිව ඇත්තේ ක්ලීන් බෝල් යනවාද, ඉදිරියට පැන කංචුකගේ කන හරහා වැරෙන් පහරක් එල්ල කරනවාද යන්න තීරණය කිරිම පමනී. ඔව් සභාපතිතුමා, මට හිතෙන්නේ අපේ කලාප අධ්‍යාක්ෂකතුමාගේ කතාවෙන් පැහැදිලිකලා වගේ අපි සියලු දෙනාටම එක්ව කටයුතු කල හැකි යමක් කලයුතුමයි. ඒ සදහා මම හිතනවා අපිට සියලුම පාසල් එකතු කරගෙන ටැලන්ට් ශෝ එකක් වගේ ප්‍රොජෙක්ට් එකක් කලොත් හොදයි කියලා. මොකද ඒ හරහා අපි සියලුම දෙනා ඉතා හොදින් සම්ම්ශ්‍රවීමක් සිදුවෙයි, අපි අතරේ හොද අවබෝධයක් ගොඩනැගෙයි කියාලා මට හිතෙනවා. ඒ වගේමයි මේ වැඩසටහනේන් අපේ සංගමයේ ඉදිරි වැඩ වලට අවශ්‍ය කරන මුදල් සොයා ගන්නත් පුලුවන්. අපේ පාසලේ ඔඩිටෝරියම් එක මේකට යොදාගන්න බැරි වෙන එකකුත් නැහැ. කොහෙන්දෝ මන්දා ආපු අදහසක් කියලා දැම්මා, ජාමේ බේරගන්න. බොහෝ දෙනක් මේ යෝජනාවට එකගයි වගේ. කාටද පුලුවන් මේක ස්ථිර කරන්න. ඒ කංචුක. කයිලී එකවරම නැගිට එම යෝජනාව ස්ථිර කරන ලදී. මගේ උමතුව ඩබල් විනී. මගේ ඇස් ඇගේ ඇස් සොයමින් බෙල්ල හැරවීම ස්වන්ක්‍රියවම සිදුවිනි. ඇය එක අතින් මුව වසාගෙන ලැජ්ජා මුසු ඇගේ දෙනත මගේ දෙනෙත මත තැම්පත් කරන ලදී. තප්පර කිහිපයක් අප එසේ බලාගෙන සිටින්නට ඇත. ක්ෂනයෙන් පියවි සිහියට ආ ඇය දෙනෙත් ඉවත ගන්නා ලදී. මට නම් ඉන් ඉවත් වන්නට ලෝබ සිතුනී. ටැලන්ට් ශෝ එකට දිනයක් පලමුව තීරණය කරන ලදී. ඒ සදහා මාස තුනක පමණ කාලයක් යොදාගනිමින්. දින තීරණය කරන ලදී. එහි නම ලෙස "සියපතක උදාව" යැයි නම් තැබිනි. සෑම පාසලකින්ම එක් වීශේෂාංගයක් මේ සදහා ඇතුලත් වන අයුරින් වැඩ සටහන පෙල ගැස්සුවෙමු. ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කලාප අධ්‍යාක්ෂකතුමා හා එක් එක් පාසල් වල විදුහල්පතිවරුන් සම්බන්ධ කරගැනීමටත් තීරණයවු අතර එක් පාසලකට අවම ටිකකට් පොත් ප්‍රමාණයක් ලබාදීමට තීරණය විය. ඒ හරහා සංවිධාන කටයුතුවල වියදම් පියවා ගැනීම්ට එකග විනී. "සියපතක උදාව" අප පාසල් රගහලේදී පැවැත්විමට තීරණය විනි. ............................................................... මම කයිලී සමග කතා බස් කරමින් ගේට්ටුව දෙසට ගමන් කලෙමී. ඔයා මොන යීයර් එකේද ඒලවල් කරන්නේ කයිලී. ඊලග බැජ් එකේ. ඔයා. අපි ලාස්ට් යියර් එකේ එක්සැම් කලා රිසාල්ට්ස් එනකන් ඉන්නේ. ආ... ඔයාලගේ හෙඩ් බෝර්ඩ් එක අපොයින්ට් කරන්නේ එක්සැම් එකෙන් පස්සේ නේද ? ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ... කොහෙමත් අපිට තව ස්කොලේ එන්න පුලුවන් මාස තුන හතරක් වගේ තමයි. ඊට පස්සේ අලුත් බැච් එකේ පරිවාසේ පටන් ගන්නවා. තව ටික දවසක් මෙහෙම ආතල් එකේ ඉදලා මම නම් ජොබ් එකකට යනවා. ඔයා දැනටමත් ඇප්ලයි කරලද තියෙන්නේ, ජොබ්ස් වලට ඔව්.... සීවී එක තව යවන්න තියෙන්නේ බලඩ් බැන්ක් එකට විතරයී අනිත් ඔක්කොම බැන්ක්ස් කවර් කරලා තියෙන්නේ. එතකොට කංචුක අයීයා. ඌ නම් කැම්පස් යයී. ඔයාලගේ ගෙවල් කොහෙද කයිලී? අපි විජේරාමේ. මම කවදාවත් ඔයාව දැකලා නැනේ, හෝල්ට් එකට එනවා. හ්ම්.... උදේට තාත්ති ඩ්‍රොප් කරනවා. හවසට ස්කුල් බස් එකේන් යනවා. ඒයී හපතයා .... ඔහෝම හිටපන් කංචුකයාගේ ලතෝනියට කෙල්ලත් බයවුනා. මූ නම් ආතල් නාෂක. අහ්..... කයිලී කොහොමද? මූට වැඩිය ලංවෙන්න එපා, සමාජ රෝග. දන්නවනේ හැදුනොත්.... කෙල්ලට හිනා..... අයියා කොහොමද මගේ නම දන්නේ? මම හොයා ගත්තා. ඔයානේ අද මාව බේරගත්තේ. ඔයාලටත් ඉතිං කෙල්ලෙක් ලග වාඩිවුනොත් මෙලෝ සිහියක් නෑ නේද? කෙල්ල දැම්මා යෝකර් එකක් මං හිතුවේ කංචුකයාගේ පොලු ගැලවිලා යයි කියලා. කොහෙද? මූ කියාපි. නෑ නංගි මේ වගේ වැඩසටහන් පවත්වන්නේ අපි එකිනෙකා අදුනගන්න. ඒවායෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. නැත්නම් ඒක සහගහන අපරාධයක් වෙනවා. මුගේ කට තමයි කට. ගල් මුසලයා. හැමදාම වගේ අදත් ආවනේ මගේ පාත්තරේටම කෙලින්න. ඒ වචන මම හිතින් ගිලගතිමී. අයියා, තාත්ති ඇවිත් මම යන්නම් බායී. තාත්තිට කියන්න අපිත් ඒ පැත්තේ ඉන්නේ ඒක නිසා ගෙදරටම ට්‍රාන්ස්පෝට් දෙන්න අපිටත් පුලුවන් කියලා. කංචුක මහ හඩින් කැගැසීය. අප දෙස හැරී මද සිනහවක්පා ඇය දිව ගොස් මෝටර් රථයට නැගිනි. ඒය නොපෙනී යනතුරා අප ඒ දෙස බලා සිටියෙමු. යමං ඉතින් තව හිටියත් ඔච්චර තමයී. ඒ කංචුකගෙ හඩයී. මට නම් අද ගෙදර යන්න හිතක් ඇත්තේම නැත. කුමක්හෝ නුහුරු දෙයක් ඇතුලාන්තයෙන් සිදුවෙමින් පවතී. කියිලී...... ඔයා නම් උමතුවක් වන හැඩයී. ................................................................... සුපුරුදු පරිදි කාලය ගෙවෙමින් පවති. තව නොබෝ දිනකින් රිසාල්ට්ස් අවුට් වනු ඇතැයි සිත කියයී. කංචුකත් හිටි හැටියේම රිවිෂන් පංති වලට සහභාගී වෙන්න පටන් අරන් නිසා අප අතර හමුවීම් වෙනදා තරම් නොවුනෙමි. රිසාල්ට්ස් මොනවා වුනද, නැවතත් ඒලවල් කීරිමට මට නම් සිතක් ඇත්තේම නැත. කංචුකගේ පැමිණිම, පෙර තරම් නොවු බැවින් මට ඔහුගේ අඩුව පාසල් භුමිය තුල නොපෙනෙන්නට බොහෝ දේ සිදුකිරීමට සිදුව තිබේ. මීලට ඇති ලොකුම වැඩේ නම් ටැලන්ට් ශෝ එකයි. බෝහෝවිට මෙය අප අතින් සිදුවන අවසන් ප්‍රොජෙක්ට් එක වනු ඇත. හමුවන හැමවිටම ප්‍රින්සිපල් සර්ත් ටැලන්ට් ශෝ එකේ වැඩකටයුතු ගැන විමසයී. සංගමයේ සභාපතිකම අප පාසලට හිමිව ඇතිබැවින් එය කෝලිටියටම සිදුවනවා දැකීම ඔහුගේ එකම අරමුණයී. ටැලන්ට් ශෝ එක කෙසේ වෙතත් කයිලීව දැකීමට, කතා කිරීමට ඇති ආශාව දිනෙන් දින ඉහලයයී. ඉවෙන්ට් එකට කලින්, එක දවසක්වත් ඈ දැක බලා ගන්නට හැකිවුනොත්. ............................................................... දවස් ගනනාවක් බාලිකාව පැත්තේ කරක් ගැහුවත් කයිලීව දැක ගත නොහැකි විනී. ස්කූල් බස් එක යන දිහා බලන් ඉදලා හැමදාම බලාපොරොත්තු සුන්ව ඉන් ඉවතට ගියෙම්. ඒයී අපුර්........ මොකෝ තනියෙන්, උබව හලලා අරූ කැල්ලක් පස්සේ යනවා නේද? කොටා මහහයියෙන් කියවාගෙන ගියේය. මූ අපේ බැච් එකේ කොල්ලෙක්. කාලෙකින් හමුවුනේ. නෑ බන් ඌ ආයේ රිවිෂන් යන්න පටන් අරන්. ආහ්.. එහෙමද? අපි නම් දකිනවා, ඌ නුගේගොඩ පැත්තේ රිවිෂන් කරන හැටී. කොටා කියන විදිහට කංචුකට කෙල්ලෙක් සෙට් වෙලා වගේ. හොදම යාලුවා වෙච්ච මටවත් කිව්වේ නැ නේ. අඩුම තරම්න් කෙල්ලෙක්ට ට්‍රියි කරනවා කියලවත්. ඒක වෙන්න බෑ. කොටා හෙන කෙබරයක් ඇද බාන්න ඇති. මූ කියනවා වගේ දෙයක් කවදාවත් කංචුක මට නොකියා ඉන්නෑ. ඒ තරම් ෆිට් එකක් අපි අතර තියෙන්නේ. මම කංචුකව අවිශ්වාස නොකලෙමි. කොටාට සමුදී මම 138 මහරගම බස් එකක එල්ලී ගෙදර යන්න පිටත්වුනෙමි. ................................................................... 🎼ජීවිතේ කවියක් ආදරේ එහි සොදුරුතම වදනක් කඳුලැලි බිදක් හසරැලි පොදක් එකට එක්වූ විට දැනේ...... පෙර නොවිදි රසයක්🎼 නන්දා මලනියන්ගේ ගීතය අසමින්, කයිලීව, හිතින් සිත්තම
් කරමින්ම මා නින්දට වැටුනේ හෙට දිනයේ ඇය දැක ගැනිමේ ඉව වහා ගිය ආසාවෙනි. ............................................................... අද අපේ ටැලන්ට් ශෝ එක. බාලිකාවේ වැන් එකෙන්, කෙල්ලෝ ටික බහිනවා. කෝ කයිලී... අද ආවේ නැතුවාවද්ද? මටත් ඉස්පාසුවක් නෑ ඈ දකිනකල්. ආ ඔය එන්නේ...... පැද්දි පැද්දි..... ඒක වෙනමම ලතාවක්. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ..... මෙයා එච්චරම උස නෑ, එත් හරිම කියුට් චබි ගතියක් තියෙනවා. කොන්ඩේ කරල් දෙකට ගොතලා. කොල්ලෙක් දෙතුන් වතාවක් හැරිලා බලන තරම් ලස්සනක් තමයි කෙල්ලට තියෙන්නේ. කොහොම හරි අද නම් කෙල්ලත් එක්ක චැට් එකක් දාලා මීට් වෙන්න ක්‍රමයක් හදා ගන්නම ඕන. ටික කාලයක් ආශ්‍රරය කරලා, හොදටම ෆිට් වෙලා එයාගේ එක්සැම් එකත් ඉවර වුනාමම කැමැත්ත අහනවා. ආයේ බෑ කියන්න බැරිවෙන්නම. මගේ කුළුදුල් ප්‍රේමය. ඔයා මගේ වෙන්නම ඕන කයිලී. ඈ ඉදිරියට එන දෙසම බලමින් මම කයිලී සමග හිතින් බොහෝ දුරක් ඇවිද ගියෙමි. අත වනලා මගේ ලගට කෙල්ලව ගෙන්න ගත්තා. ආ අයියා... කොහොමද ඉතිං. අපි නම් සුපුරුදු පාලුවෙන්, තනිකමින් ඉන්නවා. මම ෆුල්ටොස් එකක් දාලා දුන්නා කෙල්ල මොකද කරන්නේ බලන්න. කොහෙද මෙයාගේ සෙන්ස් අන්තිමයී. කිසි දෙයක් දැනුන් නැති ගානට යාන්තම් හිනා වුනා විතරයී. ඔයාට කොහොමද කයිලී..... මම නිහැඩියාව බින්දෙමි. අපිට දැන් රිවිෂන් පටන් ගත්තනේ, ක්ලාස් යනවා, දැන් ටිකක් රෑ වෙනකල් පාඩනුත් කරනවා. කෝ කංචුක අයියා. ඔෆිස් එක පැත්තට ගියා. එන්නකො බලන්න. ආ අර ඉන්නේ. අහ්.... ඔයා දැන්ද ආවේ නංගී. මූ හරියට කතා කරන්නේ කයිලි මුගේ වගේනේ. ඇස් නලියනවා මේකගේ. අයියා මෙන්න ටිකට්ස් වල සල්ලී, අපේ ම්ස් කිව්වා මේක ඔයාගේ අතටම දෙන්න කියලා. කයිලී, ඇය අතවූ පාර්සලය කංචුක අත තැබීය. කංචුක, කයීලි දිහා දැස් දල්වා බලා සිටි අතර කෙල්ල පාර්සලය දී ලැජ්ජා මුසු මුහුණින් ආපසු හැරී ඔඩිටෝරියම් එක දෙසට දිව ගියාය. කංචුක, ප්‍රින්සිපල් සර් කතා කරනවා. ඒ අපේ ලලිත් සර්. මචන් මේක තියාගනින් මම සර්ව මීට් වෙලා එන්නම්. කයිලී දුන් පාර්සලය දැන් මා අතය. අපුර්ව... ප්‍රින්සිපල් සර් රෙකමන්ඩ් කරලා යවපු සීවී වලට මුකුත්ම රිප්ලයි ආවේ නැද්ද. නෑ සර්, තාම නෑ. මිස්ටර් විදානගමගේ ලබන සතියේ ස්කොලට එනවා මම මතක් කරන්නම් එයාලගේ බැංකුවට දාපු සීවී එක ගැන. අනේ තැන්ක්‍ යූ ලලිත් සර්. මම ප්‍රිරිෆෙක්ට් රෑම් එකට ආවේ, කුමක් හේ අවුලක් සිදුවුනා යැයි හැගීමකින් සිත පුරවාගෙනය. කයිලිගේ පැමිනිමේ සිට සිදුවු සියල්ල හරහා යම් අමුත්තක් සිදුවුවාක් මෙනී. මොහුන් දෙදෙනාගේ හැසිරීම මට දීරවූයේම නැත. කුමක් හෝ ගුප්ත රහසක් ඒ තුල ගැබ්වී තිබිණී. කංචුකගේ ඒ බැල්ම, කයිලීගේ ඒ සිනහව මගේ හිතට මහත් පීඩාවක් ගෙන එන ලදී. එකවරම, කයිලී දුන් පාර්සලය විවුර්ත කිරිමේ කෲර ආසාවක් හිතට නැගිනී. විකුණූ ටිකට් පොත් හා සල්ලී අතරේ සැගවුනු ලා රෝස පැහැති කොලය මගේ හර්දස්පන්දනය දහ ගුණයකින් පමන වැඩි කරනලදී. බැලු බැල්මට එය කුමක් දැයී හදුනාගැනීමට මට එතරම් අපහසු නොව්නෙමී. ................................................................... ලව් ලෙටර් එකක්. කංචු, ගැහැණු ලමයි දෙන්නා දෙපැත්තේ වාඩිවුනාට, වැඩිය කතා කරන්න ඔට්ටු නෑ හොදේ. ඔයා මගේ විතරමයී. පිලිගැනිමේ කතාව මගේ ඇස් දිහා බලන් කරන්න, ඇහි පිල්ලම් නොගහා මම බලන් ඉන්නවා ඔයා දිහාම. ඕල් ද බෙස්ට් ! මගේ බක පන්ඩිතයට. ආදරෙයි පණ කයිලී . ................................................................... මගේ හීන ලෝකය ක්ෂනයෙන් පුපුරා යන ලදී. ප්‍රිරිෆෙක්ට් රුම් එක හිස මතට කඩා වැටුනාක් මෙනී. කෑගහල අඩන්නට තරම් සිත්විනී. ඒත් ඒ කිසිවක් නොකොට පාර්සලය පෙර පරිදි අසුරා එය කංචුකගේ ලොකර් එකට දමා වැසුවෙමි. කංචුක..... , කයිලී ........ සිතින් මම ඒ නම් මිමුනුවෙමි. ............................................................... අලුත් රස්සාව ලැබීම මගේ හිතට ලොකුම ලොකු සැනසීමක් එක්කලෙමි. ඉන්ටර්විවු එකේදි අහපු එක ප්‍රශ්නයක් වුයේ, අවුට්ස් ස්ටේශන් වැඩකරන්න මගේ ඇති කැමැත්තය. එයට මා එක පයින් කැමතිවුයේ, කොලඹ, මේ පරිසරයේ දකින දකින තැන් මගේ හිත තව තවත් තුවාල කරනා බැවිනි. ඇරත් කංචුකගේත් කයිලීගේත් හමුවීම් මට දාරාගත නොහැකි වේදනාවක්, ඊර්ෂීයාවක් එක් කරන ලදි. කිසිවක් නොදන්නා අයකු ලෙස ඒ රගමඩලින් බැසයාමට ලැබුනු හොදම අවස්තාව මෙයයී. මට මහියංගන බැංකු ශාකාවට පත්වීම ලැබුනි. කොලඹින් නුවර යන බසයක නැගගත්තේ මහියංගනයට යන ගමන දළදා සමිදුන් වැදගෙනම හිතත් සැහැල්ලු කරගෙන යාමටය. ........................................................................ ඔබට අසා අතිවිලද මගේ දුක්ගිනී පිච්ච මලින් ඔබ පිදුවේ හදේ බැතියෙණී සමාවෙලා තවපාරක් අසනු හිමියණී හදිස්සියේ නුවර ආවේ හිතේ දුකකිනී....... නුවර වැවේ දිය බිදු ගෙන දෑත දෝවලා නාථ දෙවොල වැදගෙන මම සීනූ හඩවලා හන්තානෙන් එන සීතල සුලගක් හොයලා නිමා දෙනවා දුක ඈතට යන්න පාවෙලා....... ඈත් ඔහුත් එක්කොට මේ දිවිය ඇතිතුරා කල්ගෙවන්න පෙමින් වෙලී සතුටින් සැමදා මගේ හිතේ රිදුනු තැනුත් සුවපත් කරලා අලුත් හෙටක් අපට දෙන්න හිමියණී දළදා ................................................................... එදා කලාප අධ්‍යාක්ෂකතුමා නෙලුම් පවුල සංකල්පය හරහා අපට කියලා දෙන්න ගිය පාඩම මේය නොවේදැයි මට සිහිවුයේ, බසය දහ අට වංගුවත් පසු කරමින් ඉදිරියට ඇදෙනා විටදීය. ✍️ අමිල දිසානායක අන්තර්ජාලයෙන් උපුටගත් චායා රැපයකී.සැවැන්දරා සුවඳ (කෙටි කතාවකි) ============== පැය ගාණක් බස්සෙකේ ආපු මහන්සියටයි ගමේ හුළඟට වැඩිය කොළඹ හුළඟ රස්නෙ වෙච්චි වරදටයි මං හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. ඉන්ටර්වීව් එක තියෙන්නෙ එකොළහට කියලනෙ ඊයෙ කතා කරපු කෙනා කිව්වෙ. තව පැය දෙකක් විතර තියෙනවා. එපා කියලා පෙරැත්ත කරද්දිත් වාසනා බලෙන්ම බත් මුලකුත් බැඳලා දුන්නනෙ. එයා ගෙදර කරන සුමේ හැටියට ඒක නොකා විසි කරන්නත් ලෝබයි. මං පාර්ක් එකේ කෙළවරම තිබුණු බංකුවක් ළඟට ගිහින් වටපිට බැලුවෙ අවුරුදු දාහතකට එහා මතකයක් ආයෙ අලුත් වෙනකොට.ඉස්සරම දවසක ඉස්කෝලෙන් කොළඹ බලන්න චාරිකාවක් ආවා. දෙහිඅත්තකණ්ඩියෙ ඉඳන් කොළඹ එන්නම පැය කීයක් යනවද? අනික ඒ දවස්වල පාරවල් උනත් මෙච්චර හොඳට තිවුන්නෑනෙ. කොහොම හරි එදා මහ ගොඩක් දේවල් බලන්න හම්බුණේ නෑ. කෞතුකාගාරෙ උඩින් පල්ලෙන් බලලා ග්‍රහලෝකාගාරෙත් බලාගෙන විහාමහ දේවි උද්‍යානෙට ආවා. හරියටම කියනව නම් මේ ගහ යටදි තමයි මගෙ ජීවිතේ වෙනස් කරපු කතාව පටන් ගත්තෙ. ගහ තාම එහෙමමයි. ඒත් අපි වෙනස් වෙලා. නෑ .. අපි නෙමෙයි. මම! " රන්දුල කැමති නැද්ද කවද හරි දවසක කොළඹ පදිංචියට එන්න?" එයා ඇහැව්වෙ දෙකට බෙදා ගොතපු කැරළි කොණ්ඩෙ එක කරලක කෙළවරේ ගැට ගහලා තිවුණු කළුපාට රිබන් පටිය ලිහලා ආයෙත් සැරයක් ගැට ගහන ගමන්. හැබැයි එදා ඒ ප්‍රශ්ණෙට දෙන්න උත්තරයක් මං ළඟ තිවුන්නෑ. හරියටම කියනව නම් දේදුනු අහපු ප්‍රශ්ණෙ ගැන මම හිතලා තිවුන්නෑ. අවුරුදු දාහතක වයස කියන්නෙ ඉතින් ඔය මහ ලොකු බරපතල දේවල් හිතන කාලෙකුත් නෙමෙයිනෙ. "කොළඹ හරි රස්නෙයිනෙ ' මං දුන්නෙ හරිම සරල බාලාංශෙ උත්තරයක්. මට හිතෙනවා එදා ඒ කතාව පොඩි එකෙක්ගෙන් ඇහුව නම් ඌ මට වැඩිය සංකීර්ණ උත්තරයක් දෙයි කියලා. මගෙ උත්තරේට දේදුනු හොඳටම හිනා වුණා. අතින් කට වහගෙන. එයා ළඟින් මට ආවෙ සීතල සැවැන්දරා සුවඳක්.එදා විතරක් නෙමෙයි දේදුනු මගෙ ළඟ හිටපු හැම දවසකම මට ඒ සුවඳ
ඒ විදිහටම දැනුණා. "ඇයි හිනා වෙන්නෙ? " මං ඇහුවා. "ඔයාට දැනිලා තියෙන්නෙ කොළඹ රස්නෙ විතරයිනෙ රන්.. බලන්නකො ටිකක් ඇස් ඇරලා. ඊට වැඩි හොඳ වටින දේවල් කොච්චර නම් තියෙනවද මෙහෙ? " "මට නම් ගමේ හුළං පොදක් තරම් මේ කිසි දෙයක් වටින්නෑ" "ගමේ හිටියොත් හුළං විතරයි ඉතිං. " එයා එහෙම කියලා ගිහින් කෙල්ලො ටිකට එකතු වුණා. මං එයා කියපු කතාවෙ දිග පළල හිතන්න තරම් ගැඹුරු මානසිකත්වයක හිටපු කාලයක් නෙමෙයි ඒ. ඒත් අද මට හිතෙනවා එදා එයා කියපු කතාව ඇත්ත නේද කියලා. ගමේ හුළඟට කොච්චර ආස වුණත් අන්තිමට රස්සාවක් හොයාගෙන මටත් මේ ගෙන්දගම් පොළොවට පය ගහන්නම වුණානෙ. දේදුනු දැන් කොහෙ ඇතිද? දවසකට වතාවක්වත් අලුත් වෙන ප්‍රශ්ණාර්ථෙ මගෙ හිතින් උඩට මතු වුණා. කොහෙ හිටියත් එයාට දැන් රන්දුල කෙනෙක් මතක නැතුව ඇති. මං පුරුදු උත්තරේම අර ප්‍රශ්ණාර්ථෙ ඉස්සරහින් ලිව්වා. "අපේ අම්මලා මට මනමාලයෙක් බලලා. කොළඹ. ලොකු කොම්පැණියක වැඩ කරන කෙනෙක්" උසස් පෙළ ඉවර වෙලා ටවුමෙ තිබුණු ඉංග්‍රීස් කෝස් එක කරන්න යන අතරෙ දවසක සීටීබීයෙ පිටිපස්සෙම සීට් එකේ මගෙ ළඟින් ඉඳගෙන එයා මට කිව්වා. එදා තමයි මං මුල්ම වතාවට එයා ඉස්සරහා ගොළු වෙච්චි දවස. සිංහල භාෂාවෙ වචන දහස් ගාණක් දැනන් හිටියත් ඒ වෙලාවෙ දේදුනු කියපු කතාවට පෙරළා කියන්න වචනයක් මගෙ ළඟ තිබුන්නෑ. මට මතකයි මගෙ හිස්මුදුණෙ ඉඳන් යටි පතුල වෙනකල් එකම ගාණකට සීතල වෙලා ගියා. හැබැයි මට තිබුණ කම්පනය දේදුනුගෙ ඇස්වල තිබුන්නෑ. "එතකොට කැම්පස්?" මං හිතලා හිතලා ළඟට ගත්තු ප්‍රශ්ණෙ ඇහුවා. "ඒ තේරුණොත්නෙ. මට ඒ හැටි විශ්වාසයක් නෑ ඒ ගැන. " එයා කිව්වෙ දඩ දඩ ගාලා ගැස්සෙන වීදුරු ජනේලෙන් එහා පැත්ත බලාගෙන. ඒ ජනේලෙන් මෙහාට පැනපු ⁣හුළං රැල්ලක් දේදුණුගෙ කැරළි කොණ්ඩේ රොදක් අහකට ඇදලා ගත්තා. අර සැවැන්දරා සුවඳ හුළඟට ගහගෙනයයි කියලා මට බය හිතුනා. මට මතකයි මං ඒ කෙස් රොද ආපහු එයාගෙ කණ ළඟින් පටලවනකොට එයා මගෙ අත අහකට කෙරුවා. මොකක්දෝ හේතුවකට ඒකට මට දුක හිතුන්නෑ. දවස් ඔහේ ගෙවුණා. උසස් පෙළ ප්‍රතිථල ආවා. ඒත් දේදුනුටවත් මටවත් කැම්පස් යන්න පුළුවන් තරමට විභාගෙ පාස්වෙන්න බැරි වුණා. ඒත් මගෙ හීන ගමේ මුල්ලක තනි වෙනකොට දේදුනුගෙ හීන සිදාදියට දුවන්න තරම් වාසනාවන්ත වුණා. "අපේ අම්මලා මේකට කොහෙත්ම කැමති වෙන්නෑ රන්දුල. ඒ නිසා තවත් මං ගැන බලන් ඉන්න එපා" ගලේ පන්සලේ කඨිනෙට ගිය වෙලාවක එයා මට එහා පැත්තෙන් ඉඳගෙන කිව්වා මට අද වගේ මතකයි. වෙනදට මගෙ ඇඟේ ගෑවෙන්න ළඟින්ම වාඩි වෙලා මගෙ අතේ සුළැඟිල්ලක එයාගෙ සුළැඟිල්ල පටලවගෙන කතා කරපු දේදුනු එදා එහෙම කළේ නෑ. මට ඒකෙ වෙනස ලොකුවට නොදැනුණා නෙමෙයි. ඒත් ඉතිං ඒ ගැන උනත් මම වැඩිය හිතුවෙ නෑ. මං හිතුවෙම මොන ප්‍රශ්ණෙ ආවත් එයා එන කට්ටක් කාගෙන මං ළඟින් ඉඳියි කියලා. " එයා හසන්ත. මට කැමතියි කියලා පණිවිඩේ එවලා. අම්මලා ලබන මාසෙට අපේ කසාදෙට දිනත් දාගෙන. " දේදුනු මට ළං වෙලා ඒක කියනකොට මං හිටියෙ හන්දියෙ වෙසක් තොරණ ගහන තැන. තොරණෙ බල්බ් අමුණන ගමන්. මගෙ හිතේ පාටින් පාටට රටා මවලා තිබුණු බල්බ් සේරමටික එක සැරෙටම පිච්චිලා ගියා. "මං රස්සාවක් හොයා ගන්නම්. මට පොඩි කාලයක් දෙන්න." මට වචන ගොත ගැහුණා. "නංගිට මං නිසා ගෙදරට නාකි වෙන්න බැරිලු." එයා කිව්වා. මට මතක නෑ එතනින් එහාට මං දේදුනුට මොනව කිව්වද කියලා. ඒ මං දේදුනුව දැකපු අන්තිම වතාව. "හරිහමන් රස්සාවක් නැති මිනිහෙක්ට දෙන්ඩ අපි කෙල්ලො හදලා නෑ. කසාද බැඳලා ගෑණිට කන්ඩ දෙන්ඩ හිතන් ඉන්නෙ ⁣මහ පොළොවෙ පස් ද? " දේදුනුගෙ අප්පච්චි අපේ වැට කඩුල්ල ළඟටම ඇවිත් කෑ ගහලා කියලා ගියා. මට මතකයි පිළේ ඉඳගෙන ඒක අහගෙන හිටපු අපේ අප්පච්චි මට හොරෙන් ඇස්වල කඳුළ පිහදගත්තා. ඔය අතරෙ තමයි අපේ ලොකු බාප්පට බිම් බෝම්බයක් පෑගිලාය කියලා ගෙදරට ලියුම ආවෙ. ලොකු බාප්පලෑ ගෙදරත් කෙල්ලොම තුන් දෙනෙක්. කරදරයක වුණාම දුවන්න පනින්න කෙනෙක් නෑ කියලනෙ අප්පච්චි මාව එහාට යැව්වෙ. තොරණ් බැඳ බැඳ ලෑස්ති වෙන දේදුනුගෙ කසාදෙ ඇස් දෙකෙන් බලන් ඉන්න බැරිකමට මාත් ඒකට කැමති වුණා. එතනදි මං කාටවත් දොස් කියන්නෑ. "දේදුනු බැන්දා රන්.." දවසක් මං ලොකු බාප්ලගෙ ගෙදර ඉඳන් ගම එන අතරෙ හන්දියෙදි හම්බ වුණ වෙලාවෙ වාසනා කිව්වා. වාසනා මං දිහා බැලුවෙ මහා පරාජිතයෙක් දිහා බලනවා වගේ බැලමකින්. එහෙමත් නැත්නම් කාලකණ්නියෙක් දිහා බලන බැල්මකින්. ඒ මට එදා හිතුණු විදිහ. "හිත හදාගන්න කියලා විතරයි මට කියන්න තියෙන්නෙ.." ඉස්කෝලෙ යන දවස්වල ඉඳලම දේදුනුයි මායි මැද්දෙ යාළුවෙක් වෙලා හිටියෙ වාසනා. අපේ ලියුම් ගනුදෙනුවල තැපෑල වුණෙත් වාසනා. කොහොම හරි දේදුනු බැන්දයින් පස්සෙ ම⁣ගෙ දුක අහන්න අන්තිමට ඉතුරු වුණෙත් වාසනා. ඒ දුක ඇහිල්ලෙ කෙළවර කොහොමද කියනවනම් එයා මගෙ ලෙයින් ජාතක වුණ දරුවො දෙන්නගෙ දුකත් දැන් අහනවා. මං තාමත් අර දේදුනු ඉස්සරහා පරාජිත රන්දිකමයි කියලා මට අදටත් හිතෙනවා. මොකද හරිහමන් රස්සාවක් නැතුව මං අදටත් අතනයි මෙතනයි රස්තියාදු වෙනවා. "තමුසෙ ගිහින් කියනවා ඌට. මාත් පරාද වෙන්න ලෑස්ති නෑ කියලා" මං ගැස්සලා ගියේ මට ටිකක් එහායින් ඇහුණු සද්දෙකට. ඉස්කෝලෙ ඇඳුමෙන්ම පාර්ක් ආපු තුන් දෙනෙක්. ඉස්කෝලෙ ඇඳුමෙන් හිටියට මොකද කොල්ලා නසරාණි පාටයි. ළඟ හිටපු කෙල්ලො දෙන්නා බය වෙලා වගේ කොල්⁣ලා දිහා බලන් ඉන්නවා. "මේ අහන්න ධනූ. එයා මට ප්‍රපෝස් කළා විතරයි. මං එයාට කැමති වුණේ නෑනෙ" එතන හිටපු කෙල්ලො දෙන්නගෙන් ටිකක් හැඩට හිටපු කෙල්ල කියනවා. "ඒ වුණාට තමුසෙගෙ හිතේ තියෙනවනෙ . නැත්තං අරෙහෙම කතාවක් කියයිද? තමුසෙලා මහ එක හිතක් නැති එවුන්. ගෑණ සේරම එකයි.!" කොල්ලා කියවන්නෙ කේන්තියෙන්. "මේ මේ මේ... ඔය කතාව නම් කියන්න එපා. මට ඕවා අදාළ නෑ. ඔය දෙන්නගෙ ප්‍රශ්ණ ඔය දෙන්න විසඳ ගන්න." ඒ ළඟ හිටපු අනිත් කෙල්ල. "ඔයාට මාව විශ්වාස නැත්නම් ඕනෙ දෙයක් කරගන්න ධනූ. මං තවත් ඔයාට කියන්නෑ. හැබැයි එහෙම දෙයක් ඇති වුණත් වෙන්නෙ ඔයාගෙ ඔය මුරණ්ඩු ගති පැවතුම් හින්ද මිසක් වෙන දෙයක් හින්දා නෙමෙයි" කලින් කෙල්ල එහෙම කියලා ඉස්සරහට දාගෙන හිටපු කොණ්ඩා කරල ගස්සලා පිටිපස්සට දාගන්න ගම්න හැරිලා යන්න ගියා. ඒ හැසිරීම අවුරුදු දාහතකට එහා හිත යට ඇඳිලා මැකිලා ගිය පින්තූරයක් මට මතක් කෙරුවා. "ඔයා ඕවා ගණන් ගන්න එපා" ඒ කෙල්ලගෙ යාළුවා. ඒකිගෙ ඇස්වල තිවුණේ එදා හන්දියෙදි හම්බ වෙලා දේදුනු බැන්දයි කියපු දවසෙ වාසනාගෙ ඇස්වල තිබුණු බැල්මමයි. "ඇයි හලෝ එයා මට එහෙම කරන්නෙ?" "ඔයාටත් තදියමනෙ. කෙල්ලව ඕනෙම නම් ටිකක් ශේප් එකේ ඉන්න. අනික ඌ සල්ලිකාරයෙක්. ඌට සල්ලි හරි තියෙනවා. එහෙම බලද්දි ඔයාට මොනවද තියෙන්නෙ. ඒ නිසා තමන් ළඟ තියෙන වටිනා දෙයක් විදිහට ඉවසීමවත් තියෙනව කියලා එයාට පෙන්නන්න " අර කෙල්ල මහාචාර්ය තාලෙන් පැහැදිළි කරනවා. මං දැක්කා කොල්ලා අත් දෙක දණිස් දෙකට බර කරගෙන ඔලුව ඒ අත් දෙක මැද්දට හිර කරගන්නවා. "කේන්ති ගන්න එපා ධනූ. ඔයා හිත රිද්දගන්නැත්තම් ඔයාට මං ඇත්තක් කියන්නද?" "මොකක්ද?" කොල්ලා අලුත් උනන්දුවකින් ඔලුව ඉස්සුවා. "ඔයාට දැනටමත් එයා නැති වෙලා ඉවරයි . ඇත්තට මූණ දෙන්න. කවුරු නැතත් මං ඉන්නවා ඔයාට" කෙල්ල එහෙම කියලා ටික වෙලාවක් කොල්ලා දිහා බලන් ඉඳලා යන්න හැරුණා. කොල්ලා තවමත් එතනමයි. අවුරුදු දාහතකට කලින් හන්දියෙ තොරණ ළඟ නිරුත්තරව බලන් උන්නු රන්දුල මගෙ ඇස් ඉස්සරහා ඉන්නවා. මම ටික වෙලාවක් ඒ දිහා බලන් හිටියා. ඉන්ටර්වීව් එකට තව මහ වෙලාවක් නෑ නේද කියලා මටත් මතක් වුණේ එතකොට. මං ඉක්මනට වාසනා ඔතලා දීපු බත් මුල ලෙහා ගත්තා. මට ඒ බත් එකෙන් ආවෙ වාසනාගෙ සුවඳ. ඒක ඉස්සර පුරුදු සැවැන්දරා සුවඳට වැඩිය සුවඳයි කියලා ජීවිතේ පළවෙනි වතාවට මට හිතුණා. 🖋️කල්පනී කවිරාජ***හිමාල දිනපොත*** **එකොලොස්වන දින** අද අපි කුම්බු නිම්නයේ ගත කරන අවසන් දවසයි. අද ගමන නම්චේ සිට ලුක්ලා දක්වා. දුර කිලෝ මීටර් 13ක්. සුපුරුදු කෝපි කෝපයෙනුත්, මී පැණි සමග නේපාලි පාන් වලිනුත් සප්පායම් වී උදේ 7:30ට පමණ අපි ගමන ආරම්භ කලා. නම්චේ ස්ථූපයත්, පෙම්බා ෂර්පා ස්මරකයත් පසු කරමින් අපි නගර දොරටුවෙන් එලියට බැස්සේ ඓයිතිහසික නම්චේ නගරයට සමුදෙමින්. නම්චේ පසුවත්ම අපි හිලරි පාලම කරා පහල බැසීම ඇරඹුවා. සුන්දර පැහැදිලි උදෑසනක පයින් වනය මැදින් ගමන් කිරීම බොහෝම ප්‍රීතිදායක අත්දැකීමක්. ගමනේ අවසන් දවස නිසා අපි තුන්දෙනාම හිටියේ උද්‍යෝගයෙන්. කේෂාර්ගේත්, සොන්පාගේත් මලුවල, නම්චේ වලින් ගත් රසකැවිලි පාර්සල්. ඔවුන් ගෙදර යන්නේ දින ගණනාවකට පසුවයි. කේෂාර් නම් ගෙදර යන්නේ මාස දෙකකට පමණ පසුවලු. දිගටම සංචාරක කණ්ඩායම් සමග ගමන් කිරීමට සිදුවූ නිසා ඔහුට විවේකයක් තිබී නෑ. හෙට ගෙදර ගියත් දින දෙකකින් ආපසු ලුක්ලා කරා එන බවයි ඔහු පැවසුවේ. සංචාරක සමය ඇරඹීමත් සමග ඔවුන් ඉතා කාර්‍යබහුල වෙනවා. කේෂාර් වැනි ප්‍රවීණ මාර්ගෝපදේශකයෙකුට ඇති ඉල්ලුම ඉහලයි. ක්‍රමයෙන් පහලට බැස්ස අපි හිලරි පාලමට මදක් ඉහලින් ඇති, එවරස්ට් නැරඹුම් ස්ථානයේ මදකට නැවතුනා. ඒ පරිවාර කඳු පිරිවරා, තේජසින් විරාජමානව නැගී සිටිනා සාගර්මාත හෙවත් චොමොලුන්ග්මා ගෙවත් කඳු අතර රජුට සමු දීමටයි. අපිට මේ ගමනේදී එවරස්ට් කඳු ශිඛරය දැකගත හැකි අවසාන අවස්ථාවයි ඒ. එය මා හට තරමක් හැගීම්බර මොහොතක් උනා. කිසිදු උපද්‍රවයකින් තොරව, ප්‍රාර්ථනා කල ආකාරයටම විශිෂ්ඨ ගමනක් ලබාගැනීමට හැකිවීම ගැන මා සිතින් සාගර්මාතාවන්ට ස්තූති කලා. එතැන්සිට හිලරි පාලම දක්වා වූ තියුණු බැස්ම තරමක් අසීරු උනත් මා බලාපොරොත්තු වූ තරම දණහිස් වලට පීඩාකාරී වූයේ නෑ. කඳු බෑවුම් වල රොඩොඩෙන්ඩ්‍රොන් ගස් වල මල් පිපෙන්නට පටන් අරගෙන තිබුනා. ඇතරින් පතර ඇතැම් ගස් මලින් පිරී තිබුනා. එය විස්මයට කරුණක් වූයේ අප් ඉහල නගින විට එකදු රොඩොඩෙන්ඩ්‍රොන් මලක්වත් දැකීමට නොතිබූ නිසයි. සතියක් තුල පහල කුම්බු නිම්නයට වසන්තය උදාවෙලා. තව සති කිහිපයකින් සම්පූර්ණ නිම්නයම රොඩොඩොන්ඩ්‍රම් මලින් වැසී යන බවයි කේෂාර් පැවසුවේ. පහලට බසිත්ම හ
ිරු රශ්මිය සේම උණුසුමත් දැඩි උනා. වරින්වර හමා එන සුලඟින් ඇවිස්සෙන ගැල් සතුන්ගේ මළ මූත්‍රා සමග කලවම් වූ දුහුවිල්ල ඉතා පීඩාකාරී උනා. දැන් අපි ගමන් කරමින් සිට්නුයේ ඩුහ්ඩ් කෝෂි නදියට සමාන්තර තැනිතලා මාර්ගයේයි. තැනිතලා මාර්ගය කෙලවර තියුනු නැග්මක් සහිත කුඩා කඳු ගැටයක්. එතැනින් අප පිවිසුනේ සාගර්මාතා ජාතික වනෝද්‍යාන දොරටුවටයි. දින නවයකට පෙර මෙතැනින් වනෝද්‍යානයට ඇතුලු වූ අපි දැන් එයින් පිටවීමටයි සූදානම. කේෂාර් අවසරපත්‍ර කවුලුව කරා ගොස් අපගේ පිටවීම ලියාපදිංචි කරා. වනෝද්‍යානයට ඇතුලු වීමට බොහෝ පිරිසක් පෝලිමේ සිටියා. මිහිමත ඇති අපුර්වතම වනෝද්‍යානයක ගෙවූ මේ දවස් කිහිපය මගේ ජිවිතයේ නොමැකෙන සිහිවටනයක්. අවලංගු කරන ලද අවසර පත්‍රය කේෂාර් මගේ අතට දුන්නේ සිහිවටනයක් ලෙස තබා ගැනීමටයි. ගමනේ දුෂ්කර කොටසත් මේ සමගම අවසන් වෙනවා. මෙතැන් සිට ලුක්ලා දක්වා ගමන් මාර්ගය දිගටම වැටී තිබෙන්නේ ගම්මාන මැදින්. ටොක්ටොක් ආදී ගම්මානය පසුකරමින් අප ෆාක්ඩිං කරා එලඹෙන විට දහවල් 12.30 පමණ වුනා. පලමු දිනයේ අප නවාතැන් ගත් ෆාක්ඩිං හි අවන්හලම අපගේ දිවා ආහාරය සඳහා තෝරා ගත්තා. ඉහලට යන සංචාරකයින්ගෙන් අවන්හල මෙන්ම මාර්ගයත් පිරී තිබුනා. නූඩ්ල්ස් හා බිත්තර සහිත කොරියානු සුප් බඳුනක් මගේ දිවා ආහරය උනා. කෙටි විවේකයකින් පසු අප නැවතත් මාරගයට පිවිසියේ ගමනේ අවසාන කොටස වූ, ලුක්ලා දක්වා වූ කි.මි 6.4 කොටස නිම කිරීමටයි. දැඩි හිරු රශ්මියෙනුත්, දුහුවිල්ල නිසා හටගත් නොනවතින කැස්සෙනුත් පීඩා විඳිමින් ගමන් කල ඒ අවසන් කිලෝමීටර කිහිපය සිතූ තරම පහසු එකක් වූයේ නෑ. ගමන අවසන් බව දත් නිසා හිතේ ශක්තිය සිඳීයාමත් හේතුවක් වෙන්නට ඇති. අවසන් නොවන සේ පෙනෙන අන්තිම කිලෝමීටර් දෙක තුන මා ගමන් කලේ හතිලමින්, කොර ගසමින් හා සාප කරමිනුයි. අප ලුක්ලා වලට පැමිනෙන විට වේලාව සවස 4 පමණ වී තිබුනා. දවසේ ගුවන් ගමන් අහවර වී තිබූ බැවින් ගුවන් තොටුපල අසල තිබුනේ පාලු ස්වාභාවයක්. පළමු දිනයේ අප පාතරාසය ගත් අවන්හලම අද දිනයේ නැවතීම සඳහා වෙන්කර තිබුනා. සවස හයට ගමනේ අවසාන රාත්‍රී භෝජනය සඳහා එක්වීමට කතිකා කරගත් පසු කේෂාර් හා සොන්පා මගෙන් සමුගෙන ගියා. කාමරය හොඳින් ඉඩකඩ සහිත සුව පහසු එකක්. ඊටම ඈඳූ නාන කාමරයක් තිබුනද අවාසනාවකට මෙන් හිතේ හැටියට නා ගැනීමට තරම් උනුසුම් ජලය තිබුනේ නෑ. කෙටි විවේකයකින් පසු මම නැවතත් මගට බටුයේ, ටෙලර් යන්ත්‍රයක් සොයා යාමටයි. අද අවසන් රාත්‍රී භෝජනයේදී මා කේෂාර්ටත්, සොන්පාටත් සන්තෝෂම් මුදලක් හෙවත් ටිප් එකක් දිය යුතුව තිබුනා. එය නේපාල සංචාරකයින්ගේ සම්ප්‍රදායක්. සවස හයට ආපන ශාලාවේදී අප තිදෙන නැවත හමු උනා. හොඳින් නා කියාගෙන අලුත් ඇඳුමින් සැරසී කේෂාර් හා සොන්පා සිටියේ සැහැල්ලුවෙන් හා සතුටින්. සාර්ථක සංචාරයකින් පසු සිතට දැනෙන ගැඹුරු සතුට මා නැවතත් අත් විඳිමින් සිටියා. කේෂර් තවත් පුදුමයක් මා වෙනුවෙන් සූදානම් කොට තිබුනා. ඒ ටොංබා. ටොංබා මිලට් වලින් නිපදවන නේපාලයේ සාම්ප්‍රදායික මත් වතුරක්. මිලට් හෝ සහල් තම්බා ඊට මුහුන් එක කර සති 2-3 අතර කලයක් පැසීමට හැරීමෙන් ටොංබා සාදා ගන්නවා. ඇත්තෙන්ම ටොංබා යනු එසේ පැසීමට යොදා ගන්නා භාජනයේ නමයි. එය බීමට ගන්නේද එම භාජනයෙන්මයි. බාගෙට පැලවුනු මිලට් සහිත බඳුනට උනු වතුර එක්කොට කෙලවර සිහින් කරන ලද බටයකින් උරා බොනවා. උනුවතුර හා මිශිත පැසුනු මිලට් සාරය බටයෙන් පෙරී එන අතර මිලට් ඇට භාජනයේම ඉතුරු වෙනවා. වරින් වර උණු වතුර එක් කරමින් එය පානය කරන්නට පුලුවන්. එය ජපන් සකේ වලට සමාන රසකින් යුක්තයි. එහි කොතරම් ඇල්කොහොල් ප්‍රතිශතයක් ඇත්දැයි දැන ගැනීමට ක්‍රමයක් නෑ. මට තේරුනේ නම් වයින් වලට වඩා තරමක් වැඩි බවයි. බීම මෙන්ම අත්දැකීමත් ඉතා ප්‍රියජනකයි. ටොංබාත් කට දන මිරිස් හොද්දක් සමග මොමෝත් යහමින් ගිල දමමින් අපි සතුටු සාමීචියේ යෙදුනා. සොන්පා ඔහුට එතරම් ඉංග්‍රීසි බැරි එක ගැන කණගාටු උනා. අවුරුදු 43ක් වයසැති ඔහු තවමත් පෝටර්වරයෙකු ලෙස සිටින්නේ ඉංග්‍රීසි දැනුම මදකම නිසයි. කේෂාර් මට ඇරයුම් කර සිටියේ නැවත වරක් නේපාලයට එන ලෙසයි. එතරම් ප්‍රසිද්ද නැති එනමුත් ඉතා දර්ශනීය මාර්ග ඇති බවත් මා ඒවායේ කැඳවාගෙන යාමට ඔහු ඉතා සතුටු බවත් පවසා සිටියා. මට දිනක් හෝ දෙකක් ඔහුගේ නිවසේ නැවතීමටත් ඇරයුම් ලැබුනා. අපි දුරකතන අංකත්, චායාරූපත් හුවමාරු කරගත්තා. ටොංග්බා බඳුන් හිස් වන්නට වන්නට අපේ කතාවත්, සිනාවත් ඝෝෂාවක් උනා. වාසනාවක මෙන් අවන් හලේ වෙන අමුත්තන් සිටියේ නෑ. රාත්‍රී දහයට පමන කේෂාර් සාදය නවත්වමින් බල කර සිටියේ මා කාමරයට යායුතු බවත් නැතිනම් හෙට පාන්දර ගුවන් යානය මග හැරෙන්නට ඉඩ ඇති බවත් කියමින්. සමු ගැනීම තරමක් හැඟීම්බර උනා. සොන්පා නැවත මුණ ගැසෙන්නේ නෑ. කේෂාර්නම් උදෑසන මා ගුවන්තොටුපලට හැරලන්නට එන බව කීවා. අල්ලපු වැටේ ඇති ගුවන්තොටුපලට මට තනියම යා හැකි බව කීවත් ඔහු එකඟ උනේ නෑ. සිය රැකියාවෙ වගකීම අකුරටම ඉටු කරන මාර්ගෝපදේශකයෙක් තමයි කේෂාමනී කියන්නේ. **දොලොස්වන දින** පාන්දර 5:30 නැගිටලා, 6:00 වෙනකොට සූදානම් වෙලා අවසන් වෙනකොටම කේෂාර් දොර ලඟ. අප ගුවන්තොටුපළට පැමිනෙන විටත් බොහෝ පිරිසක් එහි රැස්ව සිටියා. මට කෙලවරකට් වී සිටින්නටැයි කියූ කේෂාර් මගේ ගමන් මල්ලත් රැගෙන සෙනග අස්සෙන් නොපෙනී ගියා. විනාඩි 10 පමණ පසු ඔහු නැවත පැමිනියේ ගුවන් අවසර පත්‍රයත් අතැතිවයි. නැවතත් සමු ගැනීමක්. දින දහයක් පුරා මාව ආරක්ෂාකාරීව මේ ගමන රැගෙන ගිය සෙවනැල්ලක් මෙන් මා පසුපසම සිටි මේ සොඳුරු මිනිසාගෙන් සමු ගැනීම මාව බොහෝ හැගීම්බර කලා. නේපාලී මාර්ගෝපදේශකයින් ගැන මෑත ඉතිහාසය පුරාවටම ලියැවී තිබෙනවා. ඔවුන්ගේ විශිෂ්ඨ සේවයත්, කැපවීමත් අද්විතීයයි. ෂර්පාවරුන් නොසිටින්නට හිමාල වාර්තාවන් බොහෝමයක් නොලියැවෙන්නට තිබූ ඒවයි. සෑම වසරකම කඳු නගින්නන් හෝ සංචාරකයින් බේරා ගැනීම වෙනුවෙන් නේපාලී මාර්ගෝපදේශකයින් කිහිපදෙනෙක් දිවි පුද කරනවා. 6:45 පමණ වන විට පළමු ගුවන් යානය ලුක්ලා තොටට ලඟා උනා. නමුත් ඒ මා යාමට නියමිතව තිබූ එක නොවෙයි. විනාඩි 10න් පමණ මගීන් පුරවාගෙන එය පිටත්ව යාමත් සමග දෙවන ගුවන් යානය පැමිණියා. ඒ මා යාමට නියමිත තිබූ යානයයි. නැවතත් ඇඟ කිලිපොලා යන ගුවන් ගමනක්. අප ගුවන් යානයට නැග ගත් වහාම හරවා ගත් යානය ධාවන පථයට එලඹුනා. බෑවුම් සහිත ධාවන පථයේ පහලට යානය වේගයෙන් ඇදී ගියා. කෙටි ධාවන පථය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදීයි යනය ගුවනට එසවෙන්නේ. එය ඇත්තෙන්ම ත්‍රාසජනක ඇත්දැකීමක්. යානය ඉහල නගිත්ම දකුණු පසින් පැහැදිලි නිල් අහස් පසුබිමේ, හිමාල කඳු වැටිය ඉතා අලංකාරව දර්ශණය වීමට පටන් ගත්තා. ඒ කඳු හා නිම්න අතරේ ගත කල දින කිහිපය චමත්කාර ජනක සිහිනයක් බඳුයි. විනාඩි විස්සකින් පමණ අපි කත්මන්ඩු ගුවන් තොටපලට එලඹුනා. ගමන් මලු බෑමේ කටයුතු කඩිනමින් කෙරුනා. මෙවර නම් මගේ ගමන් මල්ල වෙලාවට පැමින තිබුනා. මද වේලාවකින්ම මා සිටියේ කත්මණ්ඩු නගර මධ්‍යය කරා ඇදෙන ටැක්සි රථයකයි. ඒ උදෑසනම නැගිට කිරිබතකුත් සාදාගෙන මා එනතුරු බල සිටින හිත මිතුරු අචල ජයතිලකයන්ගේ නවාතැන වෙතට යාමටයි. පසු සටහන 1 පෙරදින සංචාර සටහනේදී, නේපාල ජනවර්ග ගැන කියද්දී මා සටහන් කොට තිබුනා ගුර්කාවරු නේපල ජන වර්ගයක් කියා. එය වැරදියි. ගුර්කා යන වදන භාවිතා වන්නේ පොදුවේ නේපාලී හමුදා කණ්ඩායම් සඳහයි. පසු සටහන. 2 කිහිප දෙනෙක් අසා තිබුනා මෙවැනි සංචාරයක් සැලසුම් කර ගන්නේ කෙසේද කියා. මේ ඒ ගැනයි. 1. මාර්ගයක් තෝරා ගන්න. නේපාලයේ සචාරය කල හැකි එකම මාර්ගය එවරස්ට් මූල කඳවුරු මාර්ගය පමනක් නොවෙයි. අන්නපූර්ණා, ලන්ඟ්තාන්ඟ්, මනාස්ලු, මස්ටැංග් ආදී ප්‍රදේශ ගනනාවක් තිබෙනවා. දින 2 සිට 24ක් දක්වා වූ විවිධ මාර්ගයන් ඔබට තෝරාගත හැකියි. 2. තනිවම යන්නේද, මාර්ගෝපදේශකයෙකුගේ සේවය ලබා ගන්නෙද ? - නේපාලය සංචරයට ආරක්ෂිත රටක්. බොහෝ දෙනා, තනිව සංචාරයේ යෙදෙනවා. නේපාල රජය මෑතකදී සම්මත කල නීතියකට අනුව ඇතැම් මාර්ග වල තනිව සංචාරය තනම් කොට තිබෙනවා. නමුත් මෙය තවම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නෑ. ඒ ගන හොඳින් සොයා බලා තහවුරු කර ගන්න. 2.1 මාර්ගෝපදේශකයෙකුක, සංචාරක නියොජිත ආයතනයක් හරහා ලබා ගත හැකියි. මෙවැනි ආයත බොහෝමයක් නේපාලයේ තිබෙනවා. අන්තර්ජාලය හරහා ඔබට ඇනවුම් කල හැකියි. එම ආයතනයේ වෙබ් පිටුවට ලැබී ඇති ගුණදොස් (review) හොඳින් කියවා බලන්න. නැතහොත් ඔබට කෙලින්ම (freelance) මාර්ගෝපදේශකයෙකු සම්බන්ධ කර ගැනීමටත් පුලුවන්. 2.2 නියෝජිතායතනයකින් ඔබට ලැබෙන්නේ පැකේජයක්. එයට ගුවන් තොටුපලේ සිට ඔබව කැඳවාගෙන යාම, පළමු දින රාත්‍රියේ කත්මණ්ඩු නුවර හෝටල් පහසුකම්, කත්මන්ඩු නුවර සවාරියක්, කත්මන්ඩු සිට සංචාරය අරඹන තැනට ප්‍රවාහන පහසුකම් (ලුක්ලා හා අණ්නාපූර්ණාවලටනම් ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර), ගමනේ යෙදෙන දිනවල ආහර හා නවාතැන් පහසුකම්, මාර්ග බලපත්‍ර, නැවත ගුවන් තොටුපලට හැරලෑම ආදිය ඇතුලත්. (ආයතනය හා පැකේජය අනුව මේවා වෙනස් වෙන්නට පිළිවන්) 3. ඔබ තනිව යන්නේ නම් ඒ ඒ මාර්ග වලට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීම, රාත්‍රී නවාතැන් වෙන්කර ගැනීම ආදිය ඔබම කල යුතු වෙනවා. 4. පෝටර්වරයෙක් - අවශ්‍යම නෑ. ඔබ ශක්තිමත් නම් ඔබ බෑගය ඔබටම ගෙන යා හැකියි. පෝටර්වරයෙකු සාමාන්‍යයෙන් කිලෝ 15-20 පමණ ගමන් මළු 2ක් ගෙනියනවා. දෙදෙනෙකුට එක් පෝටර්වරයෙකු ප්‍රමාණවත් 5. සෞඛ්‍ය රක්ෂාවරණයක් - අත්‍යාවශ්‍යයි. ඔබේ පැකේජයට මෙය ඇතුලත් නෑ. රක්ෂාවරණයට ඇතුලත් මොනවාදැයි පැහැදිලිව අසා දැන ගන්න. හදිසි අනතුරකදී හෙලිකොප්ටර් මගින් ගලවා ගැනීමේ පහසුකම් ඇතුලත් නම් එය වඩා හොඳයි. 6. මාර්ග බලපත්‍ර - එක් එක් මාර්ග වලට වෙනම බලපත්‍ර ලබාගත යුතුයි. සංචාරක (trekking) බලපත්‍ර කඳු තරණයට වලංගු නෑ. (ඇතැම් කඳු සඳහා වෙනම බලපත්‍ර අවශ්‍ය නෑ). 7. නේපාලයේ බොහෝ සංචාරක ස්ථානවලට, සාෆ් රටවල සංචාරකයින් සඳහා වට්ටම් ලබා දෙනවා. 8. ප්‍රතිශක්තිකරණ එන්නත් - කොලරාව, ටයිෆොයිඩ්, හෙපටයිටිස් ඇ, සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්න. සංචාරය අතර තුර
පිරිසිදු ජලය පමණක් පානයට ගන්න. ජලය පිරිසිදු කරන පෙති, නේපාලයේ බොහෝ ඖෂධහල් වලින් ලබා ගත හැකියි. 9. ගෙනයන දෑ. - ප්‍රවේශමෙන් තෝරා ගත යුතුයි. මුහුන දෙන ප්‍රධානම ගැටලුව සීතල. ඊට සුදුසු ඇඳුම් තෝරා ගන්න. ගමන අතර තුර රෙදි සෝදා වේලා ගැනීමට ඉඩක් නැති තරම්. ඒ නිසා නැවත භාවිතාකල හැකි ඇඳුම් තෝරා ගන්න. නියෝජිතායතනක් මාර්ගයෙන් යන්නෙ නම් ඔවුන් ඔබට නිදන බෑගයක් ලබා දෙනවා. (අවශ්‍ය නම් ජැකට්ටුවකුත් ලබා ගත හැකියි). ගෙන යා හැකි බර ප්‍රමාණය සීමිත නිසා, අත්‍යාවශ්‍ය දෑ පමණක් තෝරා ගන්න. අත්‍යාවශ්‍ය ලැයිස්තුව ගැන ඔබට අවශ්‍ය තරම් විස්තර අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි. 10. සිහිතබා ගතයුතු දේ - නේපාලය සංචාරකයින්ට බොහෝ හිතවත්, මිත්‍රශීලී මිනිසුන් සිටින රටක්. ඒ සැලකීම ගෞරවය ඔවුන්ටත්, ඔවුන්ගේ රටටත් එසේම ලබාදීම ඔබගේ වගකීමයි. 11. වැඩි විස්තර - අවශ්‍ය සෑම විතරයක්ම ලබා ගත හැකි යූ ටියුබ් වීඩියෝ, ෆෙස්බුක් කණ්ඩායම් හා බ්ලොග් සිය ගණනක් අන්තර්ජාලයේ තිබෙනවා මිළ ගණන් එවරස්ට් මූල කඳවුරු චාරිකාව - එක් පුද්ගලයෙකු සඳහා දවස් 12 - ඩොලර් 900 - 1100 දවස් 18 (ත්‍රී පාසස් මාර්ගය) - ඩොලර් 1500-1700 මේ මුදල සංචාරක මග පෙන්වන්නෙකු ඇතුලු සියලු ඉඳුම් හිටුම් සඳහා. රාත්‍රී නවාතැන් හා ආහරවේල් 3ක් ඇතුලුව. ( අමතර ආහාර, බීම වර්ග, දුරකථන චාර්ජ් කිරීම, ඩේටා කාඩ් ආදිය මිලදී ගත යුතුයි) පෝටර්වරයෙකු සඳහා දවසට ඩොලර් 15-20 පමන ගෙවිය යුතුයි. ඇතම් සංචරක ආයතන වල පැකේජ සඳහා පෝටර් ගාස්තුද ඇතුලත්. ආහාර පාන වල මිළ මාර්ගය ඉහලට යත්ම ආහරපාන වල මිල ක්‍රමයෙන් වැඩිවෙනවා සාමානය ආහාර වේලක් - ඩොලර් 6-8 නේපාලි රුපී (800-1000) තේ/කෝපි - ඩොලර් 1.50 පමණ නේපාලි රුපියල් 100 = ඩොලර් 0.75 = ලංකා රුපියල් 245 සැ.යු. මා නේපාල සංචාර සම්බන්ධ ප්‍රවීණයෙක් නොවෙයි. එබැවින් මේ කරුණු ඔබට දළ අදහසක් ගැනීම සඳහා පමණයි.***හිමාල දිනපොත*** **දසවන දින** අද ගමනේ දසවෙනි දවස. අද අපගේ ගමනාන්තය නම්චේ. උදෑසන නැගිටින විට කාලගුණය නැවතත් හොඳ අතට හැරී තිබුනා. වලාකුළු පහව ගොස් හිරු බැබලෙමින් තිබුනා. පෙරදා වැටුනු හිම වලින් හාත්පසම වැසී ඇස් නිලංකාර කරන ආලෝකයක් පතුරවමින් තිබුනා. උදෑසන ආහාරයෙන් පසු මගට බට අපිට ගමන් කරන්න උනේ තරමක් සෙමින්. ඒ පාර පුරා ගොඩ ගැසී තිබූ හිම නිසා. පැංබුචේ ගම්මානය පසු කරමින් අප ඉක්මනින්ම ටෙංබුචේ කරා එලඹ, ටෙංබුචේ ආරාමය අසල කෙටි විවේකයක් ගත්තා. අද එතරම් දුරක් ගමන් කරන්නට තිබුනේ නෑ. නමුත් ටෙංබුචේ සිට කන්ද පහලට බැස නැවතත්, අනෙක් කන්ද නැග නම්චේ කරා යන මාර්ගයට එලඹිය යුතුව තිබුනා. මේ බැස්මත්, නැග්මත් දෙකම තද බෑවුම් සහිත, අසීරු ඒවා. ටෙංබුචේ පසුවත්ම අවට පරිසරය බෙහෙවින්ම වෙනස් උනා. හිම පතනයක සේයාවක්වත් තිබ්බේ නෑ. දුහුවිල්ලෙන් පිරුනු මාර්ගය දිගේ අපි පහල බැසීම ආරම්භ කලා. ඉහලට එන සංචාරක කණ්ඩායම් කැපී පෙනෙන ලෙස වැඩි වී තිබුනේ සංචාරක සමයේ ආරම්භය සනිටුහන් කරමින්. මේ වසරේ පළමු සංචාරක සමයයි ඒ මාර්තු සිට මැයි දක්වා. ඉන් පසු එලඹෙන්නේ නේපාලයේ මෝසම් වැසි සමයයි. නිරන්තර වර්ෂාවත්, පාරවල් මඩවී ගමනාගමනයට නුසුදුසු වීමත්, නායා යෑමුත් නිසා එම කාලය සංචාරයට උචිත නෑ. ඉන්පසු එලඹෙන ඔක්තෝබර්-නොවැම්බර් කාලය සංචාරයටත්, කඳු නැගීමටත් සුදුසුම කාලයයි. නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය ශීත සෘතුවයි. තද ශීතලත්, හිම පතනයත් නිසා එම කාලයත් සංචාරක සමය ලෙස ගැනෙන්නෙ නෑ. නමුත් එම කාලයේත් සංචාරයේ යෙදෙන සෑහෙන පිරිසක් සිටිනවා. නේපාලයේ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට යමක් කමක් උපයා ගත හැකි කාලය, මේ සංචාරක සමයන් දෙකයි. මාර්ගයේ බොහෝ තැන්වල "ඕම් මනි පද්මේ හූම්!" ආදී මන්ත්‍ර සටහන් කරන ලද විවිධ ප්‍රමාණයේ ගල් පුවරු බහුලයි. එසේම පංච වර්ණ කොඩි වැල්ද සෑම තැනකම පාහෙ දකින්නට පුලුවන්. මෙම කොඩි වල යාඳා පාඨ ලියා ඇති අතර එක් එක් වර්ණ එක් එක් පදාර්ථයන් නියෝජනය කරනවා. නිල්; ආකාශයත්, සුදු; සුලඟත්, රතු; ගින්නත්, කොල; ජලයත්, කහ; පොලොවත් ආදී වශයෙන්. මේ සියල්ල, ෂර්පා විශ්වාසය අනුව මාර්ගයේ ගමන් ගන්නන්ගේ ආරක්ෂාවත්, ගිරි ශිඛරයන්ට අරක්ගෙන සිටින දෙවිදේවතාවන් සතුටු කිරීමත් වෙනුවෙනුයි. කුම්බු නිම්නයේ වැඩිපුරම සිටින්නේ ෂර්පාවරුයි. කඳු නැගීමේ දස්කම් දක්වන එකම ජන කොටස ෂර්පාවරු පමණක් නොවේ. තමාංග් හා ගුර්කා යනු තවත් එවන් විශිෂ්ඨ හැකියාවන්ගෙන් යුත් ජන කොටස් දෙකක්. නමුත් ලොව පුරාම නේපාලි කඳු නගින්නන් ලෙස පොදුවේ හැඳුන්වෙන්නේ ෂර්පාවරුයි. ඇතැම් අවස්ථාවල ෂර්පා යනු බඩු ගෙනියන පෝටර්වරුන්ට කියන තවත් නමක් ලෙසත් වරදවා වටහා ගන්නා තැන් බොහෝමයි. ෂර්පා යන නමේ තේරුම ටිබෙට් බසින් 'නැගෙනහිර මිනිසුන්' යනුයි, ෂර්පාවරු නේපාලයට පැමිනෙන්නේ ටිබෙටයේ සිටයි. ඒ ක්‍රි.ව 1300දී පමණ. ඇතම් වාර්තාවලට අනුව යම් ආගමික මතවාදී වෙනසක් නිසා ඔවුන් ටිබෙටයෙන් පිටුවහල් කෙරූවන්. හිමාල කඳු වැටිය තරණය කර දකුණට එන ඔවුන් කුම්බු මිටියාවතේ ජනාවාස අරඹනවා. මේ නිසා ෂර්පාවරුන්ගේ සංස්කෘතිය, ස්වරූපය, භාෂාව ආදිය නේපාලි ජාතියකයින්ට වටා කිට්ටු ටිබෙටියනුවන්ටයි. ගොවිතැන හ වෙලඳාම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයි. නේපාලයේ කත්මණ්ඩු හා ටිබටයේ ලාසා අතර වූ වෙලඳ මාර්ගයන් බොහෝ දුරට පාළනය වූයේ ෂර්පාවරු අතින්. ෂර්පාවරුන්ගේ ආගම ටිබෙටියානු බෞද්ධාගමයි. පද්මාසභාව හෙවත් ගුරු රිංපොචේ ගේ ඉගැන්වීම් ඔවුන් අතර බොහෝ ප්‍රචලිතයි. නේපාල බෞද්ධයන් අතර ගුරු රිම්පොචේ සැලකෙන්නේ දෙවැනි බුදුන් ලෙසයි. ඊට අමතරව අතීතයේ සිට පැවත එන, කඳුවලට අරක් ගත් විවිධ දෙවියන් හා භූතාත්ම ඇදහීම් ද දකින්නට පුලුවන්. කේෂර් මට කියා සිටියේ නේපාලයෙ විවිධ ආගම් 125 පමණ ඇති බවයි. ෂර්පාවරුන්ගේ භාෂාව, ට්බෙටියානු උප භාෂාවක් වන ෂර්පාලියි. ෂර්පාවරුන්ට අමතරව නේපලයේ අනෙක් ලොව ප්‍රසිද්ධ ජන කොට්‍ඨාශය ගුර්කාවරුයි ඒ බ්‍රිතාන්‍ය හා ඉන්දියානු හමුදාවල චිරප්‍රසිද්ධ ගුර්කා සේනාංක නිසායි. ගුර්කාවරු ඉතා නිර්භීත මෙන්ම කඳු හා ගිරිදුර්ග සටන් වලට විශිෂ්ඨ දස්කම් පෙන්වා ලොව පුරා හමුදාවන්හි ගරු බුහුමනට ලක්වූවන්. 1814-16 දක්වා කාලයේදී ඇන්ග්ලෝ-නේපාල් යුද්ධ‍යේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හමුදා සමග සටන් වදින ගුර්කා සෙබලු පළමු වරට සිය හැකියාවන් ලෝකයට විදහා පානවා. පසු කාලීනව ගුර්කා සෙබලුන්ගේ නිර්භීත භාවයත්, හැකියාවත්, පක්ෂපාතීබවත් ගැන පැහැදෙන බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් ගුර්කාවරු ඔවුන්ගේ හමුදාවන් හී සේවයට බඳවා ගන්නවා. මුලින්ම, ජෝර්ජ් රජුගේ පළවෙනි ගුර්කා රයිෆල් රෙජිමේන්තුව යටතේ සේවයට එක්වන ගුර්කාවරු පසු කාලීනව ඉංදියානු කලාපයේ බ්‍රිතාන්‍ය හමුදාවල කොඳුනාරටිය බවට පත් වෙනවා. පළමුවන ලෝක යුද්ධයේදී ලක්ෂ දෙකකට අධික ගුර්කාවරු බ්‍රිතාන්‍ය හමුදා හා එක්ව සටන් වදිනවා. දෙවන ලෝක යුද්ධයේදීත් ගුර්කා රෙජිමේන්තු 10ක් සෙබලුන් දෙලක්ෂ පන්ස්දහසක් සමග සේවයට එක් වෙනවා. ඉන්දියානු හමුදාවද විශේෂ ගුර්කා සේනංක පවත්වාගෙන යනවා. වර්තමානයේත් ලොව පුරා විවිධ කුළී (mercenary) සේනංක වලින් ගුර්කාවරුන්ට ඇත්තෙ ඉහල ඉල්ලුමක්. ෂර්පාවරුන් හා කරට කර කඳුකරයේ දස්කම් දක්වන තවත් ජන කොටසක් වන්නේ තමාන්ග්වරුයි. හිමාල මිටියාවත් පුරා විසිර සිරින තමාන්ග්වරු, කඳු නැගීමේත්, ඉහල කඳුකරයේ බඩු ඔසවාගෙනයාමේත් ඉහල හැකියාවකින් යුත් පිරිසක්. තමාන්ග්ලාද ටිබටයේ සිට පැමිණියවුන් වන් අතර තමාන්ග් යන නමේ තේරුම 'අසරු සොල්දාදුවා' යන්නයි. තමාන්ග්වරු නේපාලයේ මෙන්ම උතුරු ඉන්දියාවේ සික්කිම්, ඩාර්ජීලින්ග් ආදී ප්‍රදේශවලත් විසිරී සිටිනවා. බ්‍රහ්මීන් හා නෙවාර්වරු දකුණේ සිට පැමිණි ඉන්දු-ඉරාන ආර්‍යයන් වන අතර ඔවුන් බහුතරය හින්දු දහම අදහන්නන්. ඔවුන් කත්මණ්ඩු නිම්නයේත්, දකුණේත් විසිර සිටිනවා ගුරාංග් හා මාගර්වරු නැගෙණහිර සිට පැමිනි බුරුම සම්භවයක් සහිත කොට්ඨාශයක්. ඔවුන් අන්නපූර්ණා නිම්නය ආශ්‍රිතව විසිර සිටිනවා. ආසියාව මධ්‍යයේ පිහිටි නේපාලය මෙආකාර විවිධ ජන වර්ග 60 පමණ සම්මිශ්‍රනයකින් යුත් අපූර්ව රටක්. ටෙංබුචේ හි සිට පහලට බැස අපි ඩූඩ්-කෝෂි නදිය අසබඩට පැමිණුනා. එතරම් වෙහෙසක් නැති වුවත් දණහිස් ප්‍රවේසම් කරගත් යුතු වූ නිසා අප ගමන් කලේ අඩු වේගයෙන්. අප ඉහලට යද්දී සිව්වන දින දිවා ආහාරය සඳහා නැවතුනු ස්ථානයේම අපි අදත් දිවා ආහරය සදහා නැවතුනා. දිවා ආහරයෙන් පසු තිබුනේ ඉතා තද නැග්මක්. හිරු රශ්මිය ඉතා දැඩි වූ අතර නිරන්තරයෙන් ගමන් ගන්න ගැල් සාතු නිසා මාර්ගය දුහුවිල්ලෙන් වැසී තිබුනා. පෙර දිනයේ හිමෙන් හා ශීතලෙන් පීඩා විදි අප, අද දිනයේ සැඩ හිරු රැසින් හා දුහුවිල්ලෙන් පීඩා විදිමින් සිටියා. ඒ මේ ගමනේ විචිත්‍රවත්බවයි. කඳු නැගීමට සිරුර හැඩ ගැසී තිබූ නිසාදෝ වැඩි වෙහෙසක් නැතුවම කන්ද නැග නම්චේ කරා යන මාර්ගයට එලඹීමට අපිට පුලුවන් උනා. එතැන් සිට වූයේ තැනිතලා මාර්ගයයි. සවස 2 පමණ වන විට අපිට නම්චේහි පුරුදු නවාතැන්පලට ගොඩවීමට පිළිවන් උනා. නවාතනට ගොඩ වූ වහාම මාගේ බලාපොරොත්තුව වූයේ හොඳ උණුසුම් වතුර ටිකක් නා ගැනීමයි. කඩිමුඩියේ ඇඳුම් මාරු කරගෙන නාන කාමරයට වැදුනත් අවාසනාවකට මෙන් එහි තිබුනේ යන්තමින් උණුසුම් ජලය පමණයි. හිතේ හැටියට ස්නානය කිරීමට එය බාදාවක් උවත් දින ගනනකට පසු හිස සෝදා ගැනීමට හැකිවීම සතුටට කාරණයක් උනා. මා නැවත අවන්හලට එනවිට කේෂාර් මා බලාපොරොත්තුවෙන් හිටියා. "ඔබ කමතිනම් මා, ඔබව එක්කරගෙන යන්නම් නම්චේ හි හොඳම මොමෝ කන්න පුලුවන් තැනට". මොමෝ යනු ඩම්ප්ලින්ග් වලට සමාන නේපාලි ආහරයක් බව දැන්සිටියත්, මේ මෙතෙක් එය රසබලා තිබුනේ නෑ. "ඕනෙ තැනකට යමු, රක්ෂිත් තියෙනවද ?" "ඔව් රක්ෂිත් ගන්න පුලුවන්. හැබැයි එතන සාමාන්‍යයෙන් සංචාරකයෝ යනඑන තැනක් නෙවෙයි. ඒකට කමක් නැද්ද ?" "කිසි ගැටළුවක් නෑ. මේ ටී-හවුස් මට දැන් ඇතිවෙලා තියෙන්නෙ..." අවන්හලෙන් එලියට බට අප, කුඩා අතුරු මාවත් ඔස්සේ යමින් නම්චේ හී අනෙක් කෙලවරට ලඟ උනා. කේෂර් කිව්වා සේම ඒ පැත්තේ සංචාරකයින් දකින්නට සිටියේ නෑ. අවසානයේ අප ලඟ උනේ කඳු බෑවුමක පිහිට
ි කුඩා නිවෙසකටයි. එහි උඩුමහල කුඩා අවන්හලක් ලෙස සකසා තිබුනා. එහි බිත්ති අසල ගොඩ ගසා තිබූ කොට්ට, මෙට්ට කියා පෑවේ රාත්‍රියට එය නිදා ගැනීමේ ශාලාවක් ලෙස භාවිතා වෙන බවයි. මගේ කුතුහලය සංසිඳවමින් කේෂාර් කියා සිටියේ ඒ ගැල් කරුවන්ගේ නවාතැන්පොළක් බවයි. ඒ වන විට කිසිවෙකු නවාතැන් පොලට පැමිණ නොසිටි නිසා එය අපටම ඇරුනු තැනක් උනා. කේෂාර් මා හට ආපනශාලාවේ හිමිකාරිය හඳුන්වා දුන්නා. කෑම පිලියෙල කරන්නෙත් ඈ විසින්මයි. මොමෝ යනු මස් හෝ එලවලු පුරවන ලද පැටිස් වැනි කෑමක්. මා ඇනවුම් කලේ ‘බෆ් මොමෝ’ ලෙස හැඳුන් වුනු මී හරක් මස් මොමෝයි. නිවසේම හදන ලද රක්ෂි බෝතලයකුත් මේසයට වැඩියා. කොහේදෝ සිට පැමිණි සොන්පාත් අපිට එකතු උනා. ඉතා සැරට හදන ලද මිරිස් හොදි සමග අපි උණු උණු මොමෝ ආහාරයට ගත්තා. කේෂාර් කිව්වා වගේම එය ඉතා රසවත්. නේපාලයේ සිටින තාක් කල් නැවත මට එතරම් රැසැති මොමෝ කන්නට ලබුනේ නෑ රටතොට විස්තර, දේශපාලනය, ආගම්, පැරණි රසකතා සමග රක්ෂි වීදුරුත්, මොමෝ පිඟනුත් හිස් උනා. අපි නැවත අවන්හලට පැමිණියේ බොහෝ රෑබෝවී බමන මතින්.පොඩි එකාගේ රචනාව….වැට් වැට් යනු ඉතාම සැර දෙයක් බව දවසක් උදේ තැඹිලි ගෙඩියක් බොන අතරේ තාත්තා කීවාය… වැට් ඉතා බිහිසුනු දෙයක් බව දැනගත්තේ එදා දවල් අම්මාගෙන් තාත්තා හොඳහැටි බැනුම් අහපු නිසාවෙමි.. වැට් යනු ආයුධයක් බවත් ඒකෙන් ගැසිය හැකි බවත් මා දැනගත්තේ ටීවී එකෙනි.. ප්‍රවෘත්ති අතරතුර යන විලමැද සීයලාගේ විහිලු වැඩසටහනේදී සීයා කෙනෙක් කීවේ වැට් ගහල පොදුජනයා බිමටම වට්ටා ඇති බවකි.. එවිට තව සීයා කෙනෙක් කීවේ සහනය නැතිකරා මිස අළුතින් ගැසුවා නොවේ කියාය.. අ⁣පේ ආච්චී කීවේ පරන ගහපුවාගේ පාඩුව අපෙන් පිරිමහන්ට හදන මොකාගෙද පුතාලා කියාය.. බිත්තරවලට සොෆ්ට්වෙයාර්වලට එහෙමත් වැට් ගහනවා කියා අයියා කිවෝය.. තාත්තා එවිට කීවේ අන්ඩර්වෙයා එකක්වත් පුතෝ අළුතින් ගන්ට වෙන්නෑ.. බේරෙන් නාපු එව්වන්ගේ ඒවා ගානට හිල් වෙනකල් ඇඳපල්ලා කියාය…. වැට් යනු කුමක්දැයි මං හරියටම නොදන්නා නිසා මම අයියාගෙන් ඒ ගැන අසුවෙමු..අයියා කීවේ වැට් නමය නම් දහජරාවක් බවත් වැට් හැටනමය නම් සුපිරියක් බවත් හොම්බෙන් යාහැකි බවත් ය… ඇත්තටම හැටනමය නම් හොම්බෙන් යන අංකයක් මය…..සල්ලි ටික හැඹිලියට ගාල් කරලා හැට්ට කර අස්සෙ ඔබාගෙන, රුපියල් හතළිහ අත මිට මොලවගෙන බෑග් මලු ටික කිහිලි ගන්නගත්තු සීලා අම්මා අඩිය ඉක්මන් කරේ බස් හෝල්ට් එකට එන්න. බස් හෝල්ට් එකේ කවුරුත් නෑ, ඒ කියන්නේ මොහොතකට කලින් බස් එකක් ගිහින්..තව මොහොතක් පාර බලලා සීලා අම්මා පාරට පැන්නා. ඕන් ඔහේ ඔය ටික පයින් යනවා. බස් එකක් ආවොත් ගොඩ වෙනවා නැත්තම් ඒ හතළිහත් සරණසතිස්සගෙ දානේ සමාදමට දානවා.සීලා අම්මා එහෙම හිතා ගත්තා. මාකට් එකේ පළා විකුණන්න අරන් මේ ගත වෙන්නෙ පනස් හත් වෙනි අවුරුද්ද ,සීලා අම්මා පාරෙ ඇවිදන් යන ගමන් ගණන් හැදුවා. අම්මා එක්ක පළා විකුණන්න එනකොට යාන්තම් අවුරුදු 15ක් විතර වෙන්ඩැති. එතන ඉඳන් දිගටෝම ගෙවුන අවුරුදු හැත්තෑ දෙක පුරාවට ජීවිතේ මොන මොන ආකාරයෙ සිදුවීම් වුණා වුණත් පළා විකුණන එක සීලා අම්මා නතර කරේ නෑ. මාකට් එකේ කරවල මුදලාලිගෙ ගෝලයා වෙච්චි සරණතිස්සගෙ බැල්ම සීලා අම්මාට වැටෙන කොට යාන්තම් අවුරුදු 18 පැන්නා විතරයි. සම්පුර්ණයෙන් උඩු රැවුල මුඩු කරලා, පදාසයක් වෙන්න සයිඩ් බම්ප් එක තියලා, රැලි කොන්ඩේ බෙල්ල ලඟට වැටෙන්න පැත්තට බෙදලා පීරලා .....,ඉරි සරමට උඩ බොත්තම දෙක ඇරලා දාපු සිල්ක් ෂර්ට් එක ඇඳපු සරණතිස්ස හරියට නිකන් තිස්ස විමලසුරේන්ද්‍ර වගෙ කිව්වෙ සීලා අම්මාගෙ යාළුවා වුණු ජයවතී. ආණ්ඩුවෙ කන්තෝරුවක ලියන මහත්තයෙක් එක්ක දිග යන්ඩෑ, සරණතිස්ස හොඳ කොලුවා කියපු සීලා අම්මාගෙ අම්මාත් මේ ඇයි හොදැයියට හිත උඩින්ම කැමති වුනා. කසාදෙන් පස්සේ සරණේ සීලා අම්මාගෙ අහ බින්න බැස්සා. සීලා අම්මාට සහෝදර සහෝදරියෝ නොසිටිය නිසා ඒක එහෙම වෙන්න ඕනේ කියන එක විතරයි සීලා අම්මගෙ අම්මා කියපු එකම කාරණය වුනෙ. ගිය අවුරුද්දෙ සරණෙ නැති වෙනකම් ඒ කියන්නේ අවුරුදු 53ක් ගත වුනු කසාද ජීවිතෙ සීලා අම්මයි සරණතිස්සයි මොන අඩුපාඩු තිබුණත්, සමහර වෙලාවට පොඩි පොඩි නොහොද නෝක්කඩු කම් වුණත් සතුටින් හිටියා. දෙන්නා දෙමහල්ලන්ට දරුවෝ තුන්දෙනයි. එක කෙල්ලයි කොල්ලෝ දෙන්නයි. ලොකු එකී අනුරාධපුරයට බැන්දේ, ලොකු කොල්ලාත් ඔය දඹුල්ල පැත්තෙ බින්න බැස්සා. පොඩි එකා නම් සීලා අම්මා පේන මානේ, හැබැයි මේලෝ වැඩකට නෑ බී ගත් ගමන්. තුන් මාසෙ දානෙට ආපු වෙලෙ ලොකු කෙල්ල සීලා අම්මාට කිව්වේ එහෙ යන්න එන්න කියලා. ඔය බිස්නස් කරා ඇතිය කියලා. දරුවෝ බලාගෙන ගෙදර ඉන්ඩ බැරිය කියලා. ඒ වුනාට සීලා අම්මා ඒකට කැමති වුණේ නෑ .අනේ මට මේහෙ හොදයි බං නුහුරු තැන්වල ගියහම නින්ද යනවත් හොරයි මට, අත පය බැරි වුන කාලෙක පුළුවන් නම් බලහන්, සීලා අම්මා ලොකු දුවට කිව්වේ එහෙම. අනික ඉතින් නිතර සල්ලි අතගාල තියන පුරුද්ද නිසාද මන්දා දරුවන්ගෙන් වුණත් එහෙම සල්ලි ඉල්ලන්න සීලා අම්මාට හිතෙන්නෙ නෑ. කොහොමින් හරි ඒ කතාව නිසා ලොකු එකී යන්න ගියෙ හිත හොඳින් නෙමෙයි. ඒ ගිහින් ඉඳලා හිටලා උඩ ගෙදර තිළිණිගෙ ටෙලිෆෝන් එකට කතා කරලා දුක සැප ඇහුවා මිස නිකමට ඇවිත් යන්න ආවේ නෑ. තාත්තාගෙ දානෙ මතක් කරන්න හිතාගෙන කතා කරපු වෙලාවෙ ගත් කටටම කිව්වෙ ඕවා දෙන්න එන්න වෙලාවක් නෑය වැඩ වැඩිය අනික තුන් මාසේ දුන්නාය කියලා. ලොකු එකත් කතා කරේ කිසි සැලකිල්ලක් නැතුව. අනිත් එකා ගැන කතා කරලත් වැඩක් නෑ එවා මතක් වෙලා සීලා අම්මාට ඉබේට සුසුමක් පිට වුණේ අඩුපාඩු තිබුණා වුනාට සරණේ තාත්තෙක් විදිහට උන්ට යුතුකම් කරපු තාලෙ මතක් වෙලා . "මදෑ ඕන් ඒක එන වෙලාව" සීලා අම්මා කල්පනාවෙන් මිදුනෙ හෝන් එක ගහගෙන කන ලගින් සූරුස් ගාල ගිය බස් එක නිසා. දරුවො ඇවිත් යුතුකම් කරන කම් බලන් ඉන්න එක අමතක කරලා දාලා තමන්ගෙ මිනිහා වෙනුවෙන් දානේ දෙන්න සීලා අම්මා තිරණය කරේ ඉන් පස්සේ. පළා මිටි දහයක් පහළොවක් විකුණලා යන්තම් එදා වේල ගෙවනවා මිසක් වෙන වෙන ලොකු වැඩ කරන්න දැන් සීලා අම්මාට හයියක් නෑ. අනික එහෙමට කියලා ඉතුරු කරගත්තු මුදලකුත් නෑ. ඒ වුණත් සීලා අම්මා හිතට ගත්තා කොහොම හරි අවුරුද්දේ දානෙ අටපිරිකරකුත් එක්කම දෙනවාමයි කියලා. ගිය මාස තුනම ඇඟේ අමාරු තකන්නෙ නැතුව සීලා අම්මා වැඩි පුර පළා ටිකක් අරගෙන ආවා. ඊට අමතරව තව ඔය හම්බ වෙන එළවළු පළතුරු මොනවා හරි අරන් ආවේ වැඩිපුර කීයක් වත් හොයා ගන්න. වෙනදාට එක දෙක වෙනකොට පළා ටික විකුණන සීලා අම්මාට පහුගිය ටිකෙම හවස හතරවත් වෙනකම් ඉන්න වුනා. එහෙම ගොඩක් දවසට සීලා අම්මාට හවස බස් එක මග ඇරුනා. ඒ හැමදාම රෑට වෙනදාට වඩා ඇඟපත අමාරු හැදුණත් සීලා අම්මා ඒවා ඉවසුවා, කකුල් වල තනියම සිද්ධාර්ථ තෙල් ටිකක් ගාගෙන බුදුන් වැඳලා කරණීය මෙත්ත සුත්‍රය කියලා නින්දට ගියේ සංතෝසයෙන්. කොහොමින් කොහොම හරි දානේට ඕනේ කරන ජාති ඔක්කොම හිතේ හැටියට හදාගන්න පුළුවන් වුණා කියන සතුට විඳ විඳ දානෙ ටික භාජන වලට බෙදනකොටමයි කුමාරගේ පොඩි එකාගේ ත්‍රීවීල් එකේ හෝන් එක මිදුලෙ ඇහුනෙ. "එහෙම නම් මම ගිහින් එන්නම් දුවේ" එහෙම කියලා සීලා අම්මා ත්‍රී වීල් එකට ගොඩ වුණේ තමන් බඩෙන් නොවැදුවත් හැම දෙයකටම නෑ බෑ නොකියා කතා කර ගමන් දුවගෙන එන දිලිනි දිහා මහා සෙනෙවන්ත බැල්මක් හෙළන ගමන්. "ආ අද දානේ සීලා අක්කගෙන්ද...?" පන්සලේ වැඩ කරන සිරිදාස දාන ශාලාවට ආවේ ටිකක් පුදුම වුන මුහුණක් මවා ගෙන "අර මොකද මල්ලියේ එහෙම ඇහුවේ... අද සැප්තැම්බර් විසි දෙක අපේ මනුස්සයා නැති වෙලා අදට අවුරුද්දක්...මම දානෙ ඉල්ගත්තෙ මාස දෙකට විතර කලියෙන්නෙ" "නෑ නෑ අද දාස මුදලාලිලෑ ගෙදරිනුත් දානෙ ගේන කථාවක් තිබුනා ඒකයි" සිරිදාස එහෙම කියලා කට ගන්න හම්බ වුනෙ නෑ දාස මුදලාලිලාගෙ සුදු පාට කාර් එක පන්සල් මිදුලේ නතර වුනා. බුදු ගේ පැත්තට ගාටන ගමන් සීලා අම්මා කල්පනා කරේ ඇයි එහෙම වුණේ කියලා. ඇත්තටම ලොකු හාමුදුරුවෝ එහෙම කරයිද? එක අතකට තමන්ගෙ දානෙ වගේයැ දාස මුදලාලිල ගෙදර කෑම? අනික පිරිකර වුණත් හොඳ අහුපෑවතට ඇති ඉතින්. කවුද එහෙම එකක් එපාය කියන්නෙ? සීලා අම්මාගෙ හිත ආත්මානුකම්පාවෙන් පිරුණා... අපේ ලොකු හාමුදුරුවන්ට තිබුනා එහෙම එකේ මට පණිවිඩයක් එවන්න දානෙ එවන්න එපාය කියලා.. ඒ අය මං ගෙනාපු කෑම ජාති දැකලා හිනා වෙනවත් ඇති.. සීලා අම්මාගෙ ඇස් නොදැනීම තෙත් වුනා. බුද්ධ ප්‍රතිමා වහ්නසේ ළඟ මල් ටික තැම්පත් කරපු සීලා අම්මා හිත හදාගන්න හැදුවා .... "සීලා අම්මේ.....මොකෝ මෙතන? බුද්ධ පුජාව ලැස්ති කරන්නෙ නැතෙයි....?" සීලා අම්ම ඒ කට හඬට ගැස්සිලා හැරිලා බැලුවා.. "අපේ ලොකු හාමුදුරුවෝ...." ඇස් ලොකු කරගෙන බලන් හිටියා මිස සීලා අම්මාට වඳින්නත් අමතකයි... "යං සීලා අම්මේ අර අනිත් කට්ටිය බලන් ඉන්නවා...අද දවල් දානෙ ප්‍රධාන දායක තැන සීලා අම්මා එනකම්....එයලා හෙට රට යනවා මම කිව්වා අද සිලා අම්මයේ දානේ කියලා රට යන නිසා දානේ ටිකක් පිළිගන්නන්න තිබුණා නම් ඇතිය කිව්ව නිසා මම අරන් එන්නය කිව්වා හැබැයි ඉතින් එයලා දානෙ පිළිගන්නන්නෙ දෙවනියට.. " හාමුදුරුවෝ සීලා අම්මා ගෙ හිත තේරුම් ගත්තා වගෙ කියවගෙන ගියා... "යං යං ඉතින් ඉර හැරෙන්න කලින් අපිත් දානෙ ගන්න ඕනේනෙ පස්සේ නිවිහැනහිල්ලෙ බැරියෑ මල් පූජ කරන්න..." එහෙම කියලා හාමුදුරුවෝ දන් ගෙය පැත්තට වැඩියා. හැට්ට කරින් ඇස් පිහදාගත්තු සීලා අම්මා සැනසිලි සහගත සුසුමක් පිට කරලා හාමුදුරුවෝ පස්සේ වැටුනා. රසිකා නවරත්න ✍️___තුන් මාසේ දානේ… අප්පච්චිගෙ හත්දොහේ දානේ දවසෙ හවස විරසකව මහගෙදරින් ගිය දරු පිරිස තුන්මාසේ දානෙට සති දෙකක් තියා අාපහු එකතුවීම ගැන ඇති වූ සතුටින් කුසුමාවතී තේ හැදුවා ය… කලකට ඉස්සර පාන්දර තේ හැදූ හැටි ඇයට සිහි විය… ලොක්කී සෝදා පෝලිමට තියන බෙලෙක් කෝප්ප නම⁣යට තේ ⁣පෙරන හැටිත් මුල්ම කෝප්පය හා වතුර වීදුරුව ලොක්කී අතේ අප්පච්චි වෙත යවන අයුරුත් ඇයට සිහි වේ… මද්දු පැමිණ තේ කෝප්පවලට පෙරා ඇති ප්‍රමාණයන් සසඳා වැඩි ඒවා අඩු⁣
ඒවාට මාරු කර සමාන කිරීමත් ලොක්කීගේ තේ එකෙන් වැඩි කොටසක් බාල නංගීට සහ පොඩ්ඩාට දී ඈ සතුටු වන අයුරුත් කුසුමාවතී බලා සිටින්නේ තේ හැදූ ජොග්ගුවේම ඉතිරි වූ තේ ඩිංගිත්ත තොලගාමිනි… ලොක්කී⁣ගේ ලොකු දුව පැමිණ කුසුමාවතී අසල තේ කෝප්ප එක පෙලට ති⁣යන සද්දයට දැහැන බිඳී ඒ දෙස බැලූ අතර ඇයට පෙනුනේ ලොක්කී උදේම බෙලෙක් කෝප්ප ටික අහුරනවා මෙනි… "මං කරන්නං මයෙ අම්මා…" ඈ හද පිරි ආදරයෙන් කීවාය.. කෝප්ප විසි එකක් පේලි තුනකට තැබූ සුලෝචනා අත්තම්මා දෙස බලා සිනාසුනා ය.. ***** "ලොකුඅක්ක කීව නිසා මිසක මට නං මේ පැත්තේ පස් පාගන්න උවමනාවක් තිබ්බෙ නෑ.. අපේ එක්කෙනා ඒකයි ගේට්ටුව ළඟින්ම මාව දාලා ගියේ…" පවුලේ තුන්වැනියා වූ මද්දු මේ දොස් කියන්නේ පොඩ්ඩාට ය. පොඩ්ඩාට කීවාට පොඩ්ඩාගේ බිරිඳට ය… "අනේ… අපිටත් ඕනා වුනේ නෑ මෙතන කෙහෙවලු පටලගන්ට.." "මද්දු ඩිංගක් හිටපංකෝ ඉතිං.." පවුලේ දෙවැනියා වන සුදු අක්කා කීවේ මද්දුව සනසවමිනි.. කවදත් සිය බලය යොදවා සහෝදර සහෝදරියන්ගේ රණ්ඩුසරුවල් නිරාකරණය කිරීමට ඈ සමත් වූවා ය… "දැන් මේ වැඩේ කතාකරගෙන ඉමුකෝ මං යන්නත් ඕනා.." පවුලේ හයවෙනියා වූ ලොක්කා කීවේ නොසන්සුන් ලෙසනි.. "ඇයි නිල්මිණී ලොකුමල්ලිට ගෙදර එන්න වෙලාවක් දීලද තියෙන්නේ..?" හතරවැනියා වූ යසෝමා ඇසුවේ සිනාසෙමිනි.. "නිල්මිණී නංගිනම් එහෙම නෑ… ඒකට" යැයි කියමින් පොඩ්ඩා දෙස ඉඟිමැරූ පස්වැන්නිය හයියෙන් සිනාසෙන්නට වූවා ය.. "කිරිනංගි, නිකා හිටපං… චූටි නංගි ඔය කෙහෙල්මල් පෝන් බඩකඩිත්තුව ඔබන එක නවත්තපං.." ඒ සුදු අක්කාගේ නියෝගයකි… *********** "හරි, දැන් ලොක්කයියයි මායි ගිහින් හාමුදුරුවන්ට ආරාධනා කළා.. කරඬුවත් එක්ක හත් නමකට.. ගෙදරට වඩම්මලා දානේ දෙන්ට තමා යන්නේ.. " පොඩ්ඩා කීවේ සියල්ලන් දෙසම බලමිනි.. "තීරණය කරලනෙ ඉතිං තියෙන්නේ. ආයේ අපි මොකටද මෙතන ඇවිත් කතාකරන්නේ.. ?" මද්දු ඇහුවේ ජනේලයෙන් අහක බලාගෙන ය… "තනියම දානේ දෙන්ට මං අප්පච්චිගේ එකම දරුව ද? උඹලත් දායක වෙයල්ලා…" එවර පොඩ්ඩා කීවේ කේන්තියෙනි.. "ඒක තමයි කියන්නේ අප්පච්චිගේ දරුවෝ අට දෙනාම එකතුවෙලා හැමෝටම පුළු පුළුවන් හැටියට දානයක් දෙන්ට කතාකරගන්ටනේ එහෙනම් ඕනා.. නැතුව උඹල කතා කරගෙන හාමුදුරුවෝ වඩම්මන්ට ආරාධනා කරලා දැන් වියදම බෙදන්ට සාකච්ඡා මේස තියන එක නෙමෙයි.. අනික සමානව වියදම් දරන්ට සමානව දේපොල බෙදල දීලා නෑනේ අටදෙනාටම…." මද්දු කීවේ ආවේශයෙන් මෙනි… "මද්දු මේ…" පොඩ්ඩා නැගිට්ටේ කේන්තියෙනි.. "හා.. හා... නවත්තගනිල්ලා.." සුදු අක්කා නැවත මැදිහත් විය.. කඳුලින් බර වූ දෑසින් ලොක්කී කතා කරන්නට විය.. "මොකද බං මේ..? ඒ අපේ අප්පච්චි… උන්දැ මැරිල මාස තුනක් නෑ…අපි මෙතන මෙහෙම කාගන්න එක හරි ද? පරණ කෝන්තර හිතේ තියාගෙන වාද කරන එක නවත්තපල්ල… දැන් මේ වැඩේ පිළිවෙලකට කරගන්ට බලමු…" "අනේ මංනං කණවැන්දුම් ගෑනි වෙච්චි.. මට වෑංජනයක් දෙකක් හදා දෙත හැකි.. ඊට එහා නම් මුකුත් බෑ රජෝ.." යසෝමා කීවේ දෙවුර හකුළුවමිනි… "අපිටත් වැලේ වැල් නෑ අප්ප.. පන්සලට දානේ දෙන්ට සෙට් කර ගමු පොඩියට…" කිරී කීවේ යසෝමාගේ අනුව යමිනි… "ගමේ ⁣මිනිස්සු මොනව නොකියයි ද? අනික වැඩපොලවල්වල මිනිස්සු හිනාවෙයි…" ලොක්කා තම විරෝධය පාන්නට විය… "ඉතිං, ඒ ප්‍රශ්න තියන උඹල වියදම් කරල කරපල්ලා.. අනිත් එවුන් පුළුවන් හැටියට යුතුකම් කරයි ඉවරනේ කතාව.. " නැවත මද්දු පැන්නේ ආවේගශීලීව ය… "පොඩ්ඩි, උඹ පෝන් එක ඔබන එක නතර කරනව ද නැද්ද?" සුදු අක්කා කෑ ගෑවා ය.. ඒ ශබ්දයට මද්දු නිහඬ වූ අතර පොඩ්ඩී හිස ඔසොවා බැලුවා ය.. "වැඩක්යෑ සුදු අක්කේ.. තමුසෙල රණ්ඩු වෙලා ඉවරවෙලා කියනව මොකද කරන්නේ කියල. ඒ විදියට කරමු.. පොඩ්ඩී නැවත දුරකතනය ට නැඹුරු විය…. ****** එකවරම දරුවන් අටදෙනා ඉදිරිපිට හිටගත් කුසුමාවතී සුසුමක් හෙලා අට දෙනා දෙසම බැලුවා ය… "උඹලට දොස් කියල වැඩක් නෑ.. උඹලා කියල මක්කරන්ට ද? උඹල හැමෝටම තමන්ගේ පවුලක බර තියෙන මිනිස්සු…" "හිතපල්ලකො අර මැරිච්ච මනුස්සය දරුවො අටක් ලොකු කරන්ට ⁣තනි පඩියෙන් කොහොම දුකක් විඳින්ට ඇති ද කියල…" "අඩුම තරමේ ඒ මැරිච්ච පරාණ කාරයටවත් සැනසිල්ලේ ඉන්ට දීපල්ල.." "මං උඹලගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි.. මාවනං උඹලා අටදෙනා බෙදාගෙන වලලන්ට, බෙදාගෙන දානේ දෙන්ට තියාගන්ට එපල්ලා…" පොඩ්ඩී දුරකතනය පසෙකින් තබා අම්මා දෙස බැලුවා ය… ************* "උපාසකම්මා යස අගේට දානේ වැඩ ටික සිද්ධ වුණා.. පන්සලේම දානේ දුන්න කියල කිසිම අඩුවක් වුනේ නෑ…" කුසුමාවතීට ලොකුහාමුදුරුවෝ කී හැටි සිහි වේ.. එහෙත් කුසුමාවතීගේ සිතට නම් අඩුවක් දැනේ…. මහගෙදර පරණ කුස්සි කෑල්ලට ගොඩවැදුනු ඇය දුටුවේ දරුවන් අටදෙනාටම බත් කැවූ ලොකු මඩක්කුව බිම වැටී, බිදී සීසීකඩව ඇති අයුරු ය… කොට බංකුවේ ඉඳගෙන පැදුරු කඩමල්ලේ වටේට වාඩි වී බත් කන දරුවන් අටදෙනාගේ රුව ඇගේ මනසේ ඇදී බොඳවන්නට විය.. බිඳුන මඩක්කුව දෙස බැලූ ඈ, "ආයෙම එකතු කරන්ට විදියක් නෑ" යැයි මුමුණා සුසුමක් හෙළුවා ය…. ---නිමි---පිට අතුල්ලන්නද? අපි හුඟක් දෙනෙකුට නානකොට තියෙන ලොකුම කරදරේ, පිට අතුල්ලගන්නෙ කොහොමද කියලයි. මේකට ඉතින් ඒ ඒ අය, නානාප්‍රකාර විසඳුම් හොයාගෙන ඇති. අද මම කියන්නෙ ඉස්සර ගම්වල අය මේ වැඩේට වගේම, ඇඟ අතුල්ලන්න යොදාගත්ත, එයාලම හදාගත්ත උපකරණ ගැන. මේව ගැන ඇහුවම, මෙච්චර බරපතළ දේවල් කුණු අතුල්ලන්න ගත්තෙ ඇයි කියල හිතෙන්න පුලුවන්. ඇඟේ තියෙන කුණු දූවිලි ඉවත්කිරීම වගේම, දවස පුරාම වැඩ කිරීම නිසා වෙහෙසට පත්වුණු, ඇඟේ, විශේෂයෙන්ම පිටේ, මාංස පේශිවලට යම් ආකාරයක සම්බාහනයකුත් මෙයින් සිද්ධ වුණා. ඒ කාලෙ කරපු වැඩවලින් වැඩිහරියක්ම, එක්කො කොන්ද නවාගෙන කරන , එහෙම නැත්නම් කොන්දට වැඩි බරක් එන විදියෙ ඒව නිසා, ඒ මාංස පේශිවලට යම් ආකාරයක සම්බාහනයක් අවශ්‍යමයි. ' උදේ ඉඳන් වකුටු කොන්ද දිගෑරපල්ලා ' කියල , අපේ ආත්තම්මල කවියෙන් කිව්වෙත් ඔය ගැන හිතන නිසා තමයි! ඒ සම්බාහනය විතරක්ම නෙවෙයි මේවයින් කළේ. මේ අය වැඩකළේ ගොයම් , කැලෑ ගස්,පඳුරු ආශ්‍රිතව නිසා, ඒවයෙ බූව ඇඟේ ගෑවිල කොටසක් හමේ ඇලෙනව. ඉතින් මේ බූව තිබ්බම ඇඟ කසන්න අල්ලල, රෑ තිස්සෙම නින්දක් නැතුව යනව. ඒකට පිළියම තමයි, ඒ බූව ගැලවිලා යන විදියට ඇඟ ඇතිල්ලීම. ඒ මේවයින් ගත්තු තවත් ප්‍රයෝජනයක් . ඒ පරිසරයෙ තියෙන, මඩ වගේ දේවල් ඇඟේ මිදිල තිබ්බොත්, ඒවත් අයින්කරගන්න පහසුයි. ඊළඟ වැදගත් දේ තමයි, මේ කැලේ කොළේ වැඩකරන කොට, ඇඟේ එල්ලෙන කුඩා සතුන් ඉවත්කිරීම. උන් කුඩා නිසා, එකා එකා හොය හොය අයින්කරන්න බෑ. ඉතින් මොකකින් හරි ඇතිල්ලුවම, අත් පා, පිට වගේ, සතුන්ට පහසුවෙන් එල්ලෙන්න පුලුවන් තැන්වල, එල්ලිල ඉන්න එවුන් ගැලවිලා යනව. එහෙම නැතුව, මේ කියන දේවල් වලින් අතුල්ලන්න තරම් කුණු කන්දක්, තියෙන්න නැතුව ඇති. එදා වගේ රළු ගොරෝසු වැඩ නොකරන, දැන් ඉන්න අය නම්, මේ සමහර ක්‍රම පාවිච්චි කළොත්, ඒ අයගෙ සමට හානි වෙන්න පුලුවන්! 1 පොල් ගහේ කඳ- ඉස්සර ගමේ නාන ළිං ගාව, කඳේ කොටසක් හොඳට මැදිච්ච පොල්ගහක් තිබ්බ. මේ පොල් කඳ මැදිල තියෙන්නෙ කවුරුත් ඒක මැදල නෙවෙයි! එතෙන්ට නාන්න එන අය පිට අතුල්ලලම තමයි, කඳ මතුපිට ගෙවිල, මැදිල වගේ තියෙන්නෙ. නාන්න එන අය ටිකක් නාල ගිහින්, පොල්කඳේ පිට අතුල්ලනව. ඒක බලන් ඉන්න අපූරු දසුනක්. උස්පහත් වෙවී, පිටේ දෙපැත්ත හොඳට ඇතිල්ලෙන විදියට හැරි හැරි, අපේ ගමේ අය පිට ඇතිල්ලු හැටි තාම මතකයි. පිටට අමුතුවෙන් සම්බාහනයක් ඕන නෑ! සිමෙන්ති බැම්මකින් ළිඳත්, ඒ වටේට තියෙන නාන තැනත්, පිටතින් බලන කෙනෙකුට නොපෙනෙන්න ආවරණය කරල තිබ්බ නම්, මේ වැඩේට පාවිච්චි කරන්නෙ, ඒ ආවරණ බැම්මෙම කණුවක් වගේ තැනක්. 2 සිනිඳු ගල්- කුණු අතුල්ලන පොඩි ගලක් නොතිබුණු ගෙයක්, ඒ කාලෙ නම් සොයාගන්නත් අමාරුයි! හැම ගෙදරම සබන් කෑලි දාන පෙට්ටියත් එක්කම, මේ ගල තියාගන්න එක අනිවාර්ය දෙයක් වෙලා තිබ්බ. ඒක ගලක් කිව්වට, දොළපාරක හේදිලා ගිහින් හොඳටම ඔපමට්ටම් වෙච්ච එකක්. සාමාන්‍ය කළුගලක් තරම් තද නැති, සියුම් සිදුරු සහිත විශේෂ ගල් වර්ගයක් තමයි, හැම ගෙදරකම වගේ තිබ්බෙ. කාන්තාවන් තමයි, දොළ පාරවලින් ඒ ගල් හොයාගෙන එන්නෙ! 3 වැටකොළු කොස්ස- ගෙවත්තෙ වැවෙන වැටකොළු නැවත හිටවන්න ඕන නිසා, ගෙඩියක් දෙකක් මෝරන්න තියන එක සාමාන්‍ය දෙයක්. ඒ ගෙඩිවල ඇටයි, උඩ පොත්තයි අයින්කළාම, හොඳ සිනිඳු කෙඳිත් එක්ක තියෙන කොස්ස වගේ කොටස, කුණු අතුල්ලන්න හරිම ප්‍රයෝජනවත්. මෑතකදීත් මන් දැක්ක, වෙළඳපොළේ ඒව විකුණන්නත් තියෙනව. ලංකාවේ විතරක් නෙවෙයි විදේශ රටවල පවා මේවා පාවිච්චි කරනව. සමහර අය මේකට ගන්නෙ නියං වැටකොළු , ඒ කියන්නෙ දිය වැටකොළු කියන වර්ගය( ඡායාරූපය බලන්න). ඒවයෙ දාර නෑ. ඕනම නියං කාලෙකට ඔරොත්තු දෙනව. ළපටි කාලෙ කෑවොත් මිසක්, කෑමට ගන්නත් බෑ, තිත්ත රසක් එනව. ඒක නිසා මේවට තිත්තකොළු, තිත්ත වැටකොළු කිව්වට, මේ තිත්ත වැටකොළු නෙවෙයි! තිත්ත වැටකොළු කියල, වෙනත් වර්ගයක් තියෙන බවයි මන් අහල තියෙන්නෙ. ඒව ලංකාවේ නෑ. 4 කොහු ලනු පොදිය - තරමක කොහු ලනු කෑල්ලක් පොදියක් වගේ ගුලිකරල අරන්, ඒකෙ සබන් ගාල අතුල්ලන එකත් කුණු යවාගන්න සාර්ථක ක්‍රමයක්. දවසක් දෙකක් පාවිච්චි කරනකොට, මේ ලනු පොදියෙ ගොරෝසුගතිය ගිහින්, පාවිච්චියට පහසු වෙනව. සමහර අය නම්, පොල්කොහු කෑලිත් මේ වැඩේට ගත්ත. 5 කොහු ලනුව- මේක වැඩියමත් ප්‍රයෝජනවත් වුණේ පිට අතුල්ලන්න. දිග ලන්නක් අරන්, ඒක දෙපැත්තෙන් අත් දෙකෙන් අල්ලගත්තම, පිට දිගේ ඉහළට පහළට හොඳට අතුල්ලන්න පුලුවන්. සමහරු මේකට කොහුලණු වෙනුවට , රෙදි ලනුවකුත් පාවිච්චි කළා. ඒක ඇඟට ටිකක් හොඳ නිසා. මේ ලනුවට කියන නමකුත් තිබ්බ. දැන් මතක නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න! Channa Withana 2023.12.19 ( ඡායාරූප අන්තර්ජාලයෙන්, හිමිකරුවන්ට ස්තුතියි! )සිහිනයක්.... උස තැන් වලට සමහරු බයයි.සමහරු බය නෑ පොඩ්ඩක්වත්.අහසෙ ඉදන් බිමට පනින, උස තැන් වල ඉදන් වතුරට පනින බය කියන දේ ගෑවිලාවත් නැති අමුතු මින
ිස්සු ඕන තරම් මම දැකලා තියනවා. හැබැයි vedio වලින්. ඒවා බලද්දිනුත් ඇග පන නැති වෙලා යනව වගේ දැනෙන්නෙ පොඩි කාලෙ ඉදලා ඒ වගේ දේවල් වලට මම බය නිසා වෙන්න ඇති. ගොඩාක් දෙනෙක්ට නැති අමුතු ෆෝබියාවක් මට තියනවා. උස තැන් වල ඉදන් පහල බලන්න ගොඩක් අය බයයිනෙ. ඒ අය අතරෙ මමත් ඉන්නවා.ඒත් එක්කම වැවක්, පොකුනක්,ගගක්,ඔයක් හරි ස්වාභාවිකව වතුර එකතු වෙන කිසිම තැනකට බහින්න මම බයයි.කොටින්ම ඒවා අරහං.ඒ වගේ තැන් වලදි අම්ම මුත්තා කීවත් මම නෙවෙයි වතුරට බහින්නෙ. ට්‍රිප් ගිහිං යාලුවෝ ඒ වගේ තැන්වල බැහැලා විනෝද වෙද්දි මම මොකාද එකා වගේ උඩට වෙලා බලන් ඉන්නවා.ගොඩක් තැන්වල මම අසරන වෙන්නෙ "උඹ ඔච්චර වතුරට බයයි කියන්නෙ උඹ මාසෙකට සැරයක්වත් නාන්නෙවත් නැතුව ඇති නේද බන් " කියල කවුරු හරි පටන් ගන්න කෝචොක් එකකින්.මොකද ඊට පස්සෙ පැයක් විතර යනකම් මාතෘකාව ඒක බයිට් එක මම වෙනවා.අනෙක් යාලුවොන්ගෙ ගෙවල්වලින් ට්‍රිප් එකක් යන්න අවසර ගන්නෙ දහ අතේ වැදලා වැදලා වැව්වලින් නාන්නෙ නෑ කියලා පොරොන්දු වෙලා.මොකද මුං දකින දකින වැව් පොකුනු වල බැහැලා නානවා කියන්න ගෙදර උදවිය දන්න නිසා.කොටින්ම හරක් නාපු මඩ වලක් උනත් අපේ උන්ට ලස්සන පොකුණක්.හරකෙක්ට ඒ මඩ වල ලස්සනට පේනවා වගේ තමයි මගේ යාලුවොන්ටත්. ඒ දෙගොල්ලගෙ ලොකු වෙනසකුත් නෑ ඉතින්.😉 ඒකටත් එක්ක අපේ ගෙදරින්... නාන එක ගැන අපේ ගෙදර අයට කිසිම බයක් නෑ. මොකද මලත් මම නෙවෙයි වතුරට බහින්නෙ. ඒ කතාව එහෙමයි. හැබැයි එක්තරා කාල සීමාවකදී මගේ කතාව වෙනස් වෙනවා මගේ යාලුවෝ නිසා.අපි සෙට් එකේ ඉන්නවා 7ක් විතර .අපිට ට්‍රිප් කියන්නෙ නතින්. මාසෙට ට්‍රිප් තුනක් හතරක් සෙට් වෙනවා.කලින් අවුරුද්දෙ වර්ශ අවසාන මහා විනෝද චාරිකාව මම නැතුව අනිත් හැමෝම ඒකමතිකව තීරනය කරලා තිබුනා කිතුල්ගල water rafting යන්න.යාලුකමට තාවකාලිකව කොමාවක් දාලා ඉදිරි අනාගතයේදී නැවත ඒක ඉවත් කරන්න මම ඒකමතිකව තීරනය කලා.ඒත් මගේ තීරනයට කවුරුත් එකගත්වය පල කලේ නෑ.මගේ බලවත් විරෝධය නොතකා සියලුම දෙනාගේ බලවත් තර්ජනය හේතු කොටගෙන මටත් මේ ට්‍රිප් එකට අකමැත්තෙන් උනත් සම්බන්ධ වෙන්න සිදු වුනා.මාව දාලා යන්න මගේ යාලුවො කැමති උනේ නෑ.මගේ කොන්දේසිය උනේ වතුර කියන වචනය තහනම් වචනය කරන්න ඕනෙ කියන එක. ඒකට හැමෝම එකග උන නිසා මමත් සතුටින් ගමනට එකතු උනා.ඒත් මුන් ටික වෙනම ප්ලෑන් එකක් ගහනව කියන්න මම දැනන් හිටියෙ නෑ. මුලින්ම එක එක Activities කරලා අවසානෙටලු boat riding එක.මට ඒවා කොහොමත් වැදගත් නෑනෙ.ආපු කමට ඔහේ ඉන්නවා මිසක්. කොහොම හරි කෑම්ප් එකේ ගයිඩ් අයියලා දෙන්නෙක් එක්ක අපිත් උඩට යන්න පටන් ගත්තා. උඩට නැග්ගමලු ලස්සන පේන්නෙ. ඒකනම් ඇත්ත. මෙහා පැත්තෙන් ගග ගලනවා ලතාවකට.එහා පැත්තෙන් කැලේ . එහෙන් මෙහෙන් මී මැස්සො බඹරු එහෙමත් හම්බෙනවා. සුන්දරත්වය කෙසේ වෙතත් බඹර ප්‍රහාරයකට ලක් වෙලා පරලෝ සැපත් වෙන්න වෙයි කියලා දෙලෝ රත් වෙලා හිටියෙ මම. කවදාවත් නොදැනුනු අමුතු ෆීලින්ග් එකක් මට දැනෙනවා මෙහෙට ආපු වෙලේ ඉදන්. කවුරු හරි මගෙ පස්සෙන් එනවා වගේ.ඒත් මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. සමහර තැන් වලින් අපේ අය වතුරට බහිනවා. සමහර තැන් වලින් ලිස්සලා යනවා උඩ ඉදන් වතුරට පැනලා පීනගෙන යනවා එක විකාරයක්.ගල දිගේ ලිස්සගෙන ඇවිත් #%# ලෙලි පලයන් කියල හිතින් බැන බැන මම ටිකක් දුරට වෙලා හිටියා . අතේ දුරෙන් හිටියොත් මුන් මාවත් මේ වතුරට තල්ලු කරලා දානවා කියන්න මගෙ සහජ බුද්ධියට තේරිලා තිබ්බෙ.මොකද වෙනද වගේ නෙවෙයි සෙට් එකේ මූනු අමුතුයි.මගේ දිහා බලනවා එකාට එකා මූනු බලා ගන්නවා එක එක ඇක්ශන් දානවා මට නොතේරෙන.මම හෙනට කන්ෆුස් වෙලා හිටියෙ.මොකක් හරි අලුගුත්තෙරු වැඩකට ප්ලෑන් කරනවා කියලා මට ලාවට වගේ දැනිලා තිබ්බ නිසා පුලුවන් තරම් දුරින් ඉන්න මම වග බලා ගත්තා. කට්ටිය ඔහොම විනෝද වෙන අතරෙ මම ටිකක් එහායින් තිබුන ගල් තලාවකින් වාඩි වෙලා සිරි නරඹ නරඹ හිටියෙ.එක පාරටම මම හිටපු තැනට මිදි ගෙඩියක් වැටුනා.මේ කැලේ කොහෙන්ද යකෝ මිදි.ඒත් එක්කම ලස්සන කහ පාට රතු පාට ඉරි තියන කුරුල්ලෙක් එතනින් පියාඹලා ගියා.කවදාවත් මේ වගේ කුරුල්ලෙක් මම දැකලා තිබුනෙ නෑ.අඩුම ෆොටෝ එකක්වත් දැකලා නෑ මේ වගේ එකෙක්ගෙ.ඌ කකා හිටපු ගෙඩියක් තමයි මේ වැටෙන්න ඇත්තෙ කියලා මට තේරුනා.ඒත් මේක මිදි ගෙඩියක් නෙවෙයි.නහයට කරල සුවද බැලුවම නිකම් මත් වෙන සුවදක් එන්නෙ.එතකොටම සිං ගාලා තව කුරුල්ලෙක් මගේ ඔලුවට උඩින් ඉගිල්ලුනා.කැමරාවත් ඔන් කරන් මම හෙමිහිට ටිකක් ඇතුලට ගියේ තව ඉන්නවනම් ෆොටෝ එකක් ගහගන්න හිතන්. ජරස්... දිරපු කෝට්ටක් පෑගුන සද්දෙට කුරුල්ලො පස් දෙනෙක් විතර එක පාරටම ඉගිලුනා.ෂික්... ඒත් ෆොටෝ එකක් ගන්න බැරි උනානෙ... තව ටිකක් වෙලා හිටියත් එකෙක්වත් පේන්න හිටියෙ නෑ.එක පාරටම මට අමුතු සීතලක් දැනුනා.ඉරත් හොදට පායලා තියෙන්නෙ.සීතලක් කොහෙන්ද.. අඩේ හොල්මනක්වත්ද?ඇගේ හිරිගඩුත් පිපුනෙ මම ඉන්නෙ කොහෙද කියලා මතක් වෙද්දි.කුරුල්ලන්ගෙ සිහියෙන් ටිකෙන් ටික මම කැලේ ඇතුලටම ඇවිත්. ආපු පාර ආපහු යන්න පාරක් මට හොයා ගන්න බෑ.ඈතින් ඇහෙනවා කුරුල්ලෙක් ගෙ අමුතු සද්දයක්.ඒත් එක්ක මගේ බය තවත් වැඩි වෙනවා.ක්ෂණිකව ගත්ත කෝල් එකක් යාලුවෙක්ට. ම්හ්.. සිග්නල් නෑ.. කෝල් එක යන්නෙ නෑ.ටිකක් ඉස්සරහින් තියනව ලොකු ගලක්.හිමින් හිමින් ඒක උඩට නැග්ගම ඔන්න යන්තම් එක කට්ටක් තියනවා. කොහෙද බ%*&# ඉන්නෙ.%$#@&%** බ්ලා බ්ලා බ්ලා... හෙලෝ කියන්නත් කලින් හරිම ලස්සන වචන ටිකක් සවන් වැකුනා. කොහොම හරි ගයිඩ් අයියලා දෙන්න හිටපු නිසා වැඩි වෙලාවක් මෙතන ඉන්න උනේ නෑ.මම නැගලා හිටපු ගල උඩට වටේම පේන නිසා බය ටිකක් අඩු උනා.මොකද හොල්මනක් ආවත් පේනවනෙ.යාලුවෝ මාව හොයන් එනකම්ම්ම මම නෙවෙයි මෙතනින් හෙලවුනෙ. මෙතනට පහලින් තියනවා ලස්සන වතුර පිරුණු තැනක්. උඩ ඉදන් ගලාගෙන එන වතුර පොකුණක් වගේ එක තැනකට එකතු වෙලා.එතනින් ආපහු පහලට වතුර ගලනවා.මේ වතුර එකතු වෙලා තියන තැනේ මොකක් හරි අමුත්තක් මට දැනුනා. ඒක දිහා මම බලන් හිටියෙ හරිම ආසාවකින්.ඉර එළිය වැටිලා වතුර නිල් පාටින් දිලිසෙනවා.ඒත් හරිම ගුප්තයි ඒ තැන.මට වතුරට බැහැලා බලන්න ආසාවක් දැනුනා.ඒත් මම මේ වගේ තැන් වලට බයයිනෙ.කවුරු හරි නිකම් මට අඩගහනවා වගේ. මොකෝ බන් උබට මෙතන ඉදන් වතුරට පනින්න ආසාවක් ඇවිල්ලා වගේ අපිට ඕන්නම් හෙල්ප් එකක් දෙන්න පුලුවන් පොඩි තල්ලුවක් දාන්න විතරයි තියෙන්නෙ .නේද මචන්.. දිමුත් අමුතු හිනාවකුත් එක්ක හිටගෙන ඉන්නවා.කට්ටිය මෙතෙන්ට එනකම්ම මම දැක්කෙ නෑ. පිස්සුද යකෝ උබට.මට මොලේ අමාරුවක් නෑ මෙතනින් පනින්න.උඹට ඕනෙනම් පැනපන්. බොරු තරහක් පෙන්නුවාට මමත් හිටියෙ මෙතනින් පනින්න තියනවනම් කියන ආසාවෙන්.කට්ටියම වශී වෙලා වගේ.ඇත්තටම එතන හරි ලස්සන තැනක්.වතුර හරිම පිරිසිදුයි.ලොකූ තටාකයක් වගේ. අයියෙ මෙතන කොහොමද safeද? ගොඩක් ගැඹුරුද? අපෝ එච්චර ගැඹුරු නෑ මල්ලි.ඒත් අපි වැඩිය මෙතෙන්ට එන්නෙ නෑ.මෙතනට එන්න කැලේ ඇතුලෙන් එන්න ඕනෙ.මේ පැත්ත එච්චර safe නෑ.සත්තු සර්පයො වැඩියි.හැබැයි මරු ,place එක මෙතන. එහෙම කියපු ගයිඩ් අයියලා එතනින් පහලට පැන්නෙ අපිටත් පනින්න කියලා කියලා කියන ගමන්. වෙනසකටත් එක්ක උඹට හිතෙන්නෙ නැද්ද මෙතනින් ඇස් දෙක වහන් හරි පනින්න.අය මේ වගේ චාන්ස් එන්නෙ නෑ පුතෝ. මම හිනා උනා විතරයි.එච්චර ගට්ස් මට නෑ. දිමුත් සසා අකිලයා හැමෝම පැන්නා. අය පීනලා ගොඩට එනවා අය පනිනවා .කවදාවත් නැතුව මටත් මේක කරන්න ආසයි.ඒත් බයයි.මම වටෙන් කැරකිලා එහාපැත්තෙන් ආපහු පහල බැලුවා. හිත ඇතුලෙන් කවුරු හරි වතුරට පනින්න කියලා බල කරනව වගේ.ටිකෙන් ටික මමත් ඒකට අවනත වෙනවා කියලා මට තේරෙනවා. මගේ හිත සම්පූර්ණයෙන් මගේ පාලනයෙන් තොරයි.මම කාගෙ හරි අණසකට යටත් වෙලා .හිත උද්‍යෝගයෙන් පිරිලා.මට දැන් ඕනෙ මෙතනින් පනින්න.මම තව ටිකක් ලගට ගිහින් වතුර දිහා බලන් හිටියා.මට පේනවා යාලුවෝ මගේ දිහා කටත් ඇරන් බලන් ඉන්නවා. ජබොස්.... මාව වතුර යටටම ඇදිලා ගියා.දෙයියනේ මම මොකද්ද මේ දකින්නේ...මේ මොකෙද්ද ? ආදි කාලේ දැවැන්ත කිඹුලෙක්ද? නෑ වෙන්න බෑ කිඹුල්ලුන්ට කොහෙන්ද පියාපත් දෙකක්.මූ මකරෙක්ද? ඇස් දෙක රතුම රතු පාටයි ගින්දර වගේ.කොල පාට කොරපොතු වගේ ඇග .රිදී පටින් සිහින් ඉරි තුනක් ඔලුවෙ ඉදන් පිට මැද්දට වෙනකම්.උල් වෙච්ච දත් මම මේ දර්ශනය දකින්නෙ තත්පර ගානයි.මගේ අවසාන මොහොත මේක කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.මට මරණ බය ඒ මොහොතේ දැනුනා. මට මතක එච්චරයි.ඇස් අරිද්දි මම හිටියෙ කෑම්ප් එකේ ඇදක් උඩ. එදා දැනුන කම්පනයෙන් පස්සෙ මම අවුරුද්දක් පුරාවටම කිසිම ට්‍රිප් එකක් ගියෙ නෑ.යාලුවෝ මාව බලන්න සැරින් සැරේ ගෙදර ඇවිත් ගියා මිසක් මට එයාලව මුන ගැහෙන්නවත් උවමනාවක් තිබ්බෙ නෑ.මේ අවුරුද්ද පුරාවටම සැරින් සැරේ විකාර හීන පේන්න ගත්තා.වතුරෙ ඉන්න මකරු, පියාඹන මකරු, ගිනි පිඹින මකරු ... මම දැකපු හීන ගැන පොතක් ලියන්න තරම් පුලුවන්.එක එක විකාර හීන... මේ හීනත් එක්ක මගෙ හිතේ ඇති උනේ අමුතුම බයක් එක්ක තිගැස්මක්.ඒක මොකද්ද කියලා මටත් හරියටම කියාගන්න බෑ . හැබැයි මම දවසේ වැඩි හරියක්ම හිටියෙ කාමරේට වෙලා. ඔය අතරෙ තමයි මට අනුගි හම්බුනේ FB එකෙන්.මුලින්ම යාලුවෝ වගේ හිටියත් ටික කාලෙකින් අපි පෙම්වතුන් උනා.අසරණ මම ගැන දන්නෙ නැති එයා පළමු day out එක රාජාංගනේ ජලාශය බලන්න යමු කියලා යෝජනා කරා.මේ දවස් වල වැස්ස නිසා වාන් දොරටු ඔක්කොම ඇරලලු.කොයි තරම් විකාර අදහසක්ද. අපිට වෙන කොච්චර ලස්සන තැන් තියනවද...දෙයියනේ මම කොහොමද කටක් ඇරලා කියන්නෙ ඒ වගේ තැන් වලට මට යන්න බෑ කියලා.කොහොම හරි අම්මයි නංගියි මගෙ හිතට ශක්තිය දුන්නා මේ ගමන යන්න.ගේ අස්සටම වෙලා හිටපු මාව කොහෙ හරි යන එක එයාලට ලොකු සතුටක් උනා.අවසානෙ මගෙ පුරුෂ ශක්තිය හිතට අරන් ගමන පිටත් උනා. අනුගි ඇවිත් හිටියෙ තඹුත්තේගමට.මගෙ ජීවිතේ මම දැකපු ලස්සනම ගෑනු ලමයා එයා.කොන්ඩෙ ක්‍රේල්.දනිස්ස හරියට විතර දිගයි.එයාගෙ ඇස් නිල් පාටයි.ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන්.හිනා වෙද්දි කම්මුල් වල ගැහෙනවා.ඇත්තම කීවොත් සුරන්ගනාවියක් වගේ. එයත් එක්කම වැව බලන්න ආව
ා.පුදුමේ කියන්නෙ එයා එක්ක ඉද්දි මට බයක් දැනෙන්නෙ නෑ පොඩ්ඩක්වත්.පුන්චි එකෙක් වගෙ කෙල්ල මගෙ අතේ එල්ලිලා ඔහේ කියවනවා.අද නිවාඩු දවසක් හින්දද කොහෙද ගොඩක් අය ඇවිත් වැව බලන්න.කොල්ලො හැරි හැරි බලනවා අනුගි දිහා.මට පොඩි ඉරිසියාවකුත් නොදැනුනාම නෙවෙයි. දැන් අපි ඉන්නෙ හරියටම වාන් දොරටු තියන තැන.විශාල ජල කදක් පිට වෙනවා.මේකටනම් මිනිහෙක් වැටුනොත් කෑලිවත් ඉතිරි වෙන්නෙ නැති වෙයි.මගේ බය කොහෙන් ගියාද නෑ.මම පහල බලන් හිටියෙ වශී වෙලා වගේ.එක පාරටම මට පල්ලෙහා වෙනසක් තේරුනා.වතුර පාරෙ සැරට පල්ලෙහා වතුර සුදු පාටට පෙන ගොඩක්..මීදුම වගේ ජල බිදිති ..මේ අස්සෙන් මොකෙක්ගෙ හරි ඔලුවක් දැක්කා වගේ. ක්ෂණිකව නැතුව ගියා.මගෙ ඔලුවෙ විදුලියක් කෙටුව වගේ.මේ එදා දැක්කා වගේ එකෙක් නේද.මේක මගේ මනසෙ ඇදුනු දෙයක්.මේක මගේ මනස මාවම රවට්ටන්න කරන දෙයක්. දෙයියනේ මොනවද මට මේ හිතෙන්නෙ.මට මෙතනින් පහලට පනින්න හිතෙනවා.මගෙ හිත ඒකට බල කරනවා මට දැනෙනවා.එදා වගේ හිත හරිම උද්‍යෝගෙන්.බෑ බෑ එදා වගේනම් මට මේක කරන්න බෑ.මෙතනින් වැටුනොත් කෑලිවත් හොයා ගන්න බෑ.ඕක හිතලුවක් විතරයි.මෙතනින් යන්න ඉක්මනට... මගේ මොලේ එකදිගට අනතුරු අගවනවා.මම අනුගිගෙ අත තද කරලා අල්ල ගත්තෙ මෙතනින් යන්න හිතාගෙන.එක පාරටම මගෙ වටේට සීතලක් දැනුනා.එදා දැනුනා වගේමයි.මගේ හිත මගේ පාලනයෙන් තොරයි කියලා මට දැනෙනවා.මම හෙමිහිට අනුගිගේ අත අයින් කරා...පහල හරිම ලස්සනයි.මේ වතුරෙන් මට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.මෙහෙම තැන් මට හොදට පුරුදුයි.මම නිදහසේ පා වෙනවා වගේ දැනුනා.හෝ ගාන වතුර සද්දෙට වඩා මිනිස්සු කෑ ගහන සද්දෙ මට ඇහුනා.ඒත් මගේ හිත හරිම නිදහස් හැගීමකින් පිරිලා ගිහින්...***හිමාල දිනපොත*** **නමවන දින** අද දිග දවසක්. නැගිට්ටේ පාන්දර 4:00 ට. ආපසු යන ගමනේ පළවෙනි දවස අද. ආපසු ගමන් ඇරඹීමට පලමුව මුහුණ දියයුතු තවත් අභියෝගයක් තිබෙනවා. ඒ තමයි මීටර් 5545ක් (අඩි 18192 ) උසැති කලාපත්‍ර කන්ද නැග එවරස්ට් පිටුපසින් හිරු නැගෙන දර්ශනය නැරඹීමයි. පෙරදින රාත්‍රියේ සියලු දෑ සූදානම් කොට තිබූ නිසා අවදි වූ වහාම ඇඳුම් ඇඟලා ගෙන මා පිටතට පැමිණියා. අවන් හලේ කිසිවෙකු අවදි වී නොතිබුත් කේෂාර් කෙසේ හෝ තේ කෝප්පයක් හා වතුර බෝතලයක් මා වෙනුවෙන් සූදානම් කිරීමට සමත්ව තිබුනා. එලියේ තිබුනේ ගල් වෙන තරම් දැඩි ශීතලක්. මා සතුව තිබූ සියලු උනුසුම් ඇඳුම් හැඳ සිටියත් මාව ශීතලෙන් ගැහෙන්නට ගත්තා. සුපුරුදු හිස් වැසුම වෙනුවට මා සතුව තිබූ මොංගෝලියන් පන්නයේ ඝනකම් හිස් වැසුමකුයි මා පැලඳ සිටියේ. එය මගේ බිරිඳගෙන් ලැබුනු තෑග්ගක්. මා එයට එතරම් කැමති නොවූවත් ඇගේ සිත රිදවීමට අකමැත්තෙනුයි එය රැගෙන ආවේ. මා උදෑසන එය පැලඳ ගත්තෙ, ඇයට සිතින් තුති පලකරමින්. උෂ්ණත්වය අංශක සෘණ 18 පෙන්නුම් කලා. ශීතලෙන් ගැලවීම සඳහා අප වහ වහා ගමන් ආරම්භ කලා. හිසේ පැලඳි විදිලි පන්දම් ආලෝකයෙනුයි අප ගමන් කලේ. නවාතැනට මීටර් 200 පමණ ඈතිනුයි කඳුගැටය පිහිටා තිබුනේ. වැල්ලෙන් පිරුනු කාන්තාරයක් වැනි බිම් කඩපසු කරත්ම දැඩි බෑවුමක් සහිත නැග්මකටයි අපට මූණ දෙන්නට සිදු උනේ. ඉහල නැගීම කොහෙත්ම පහසු උනේ නෑ. දැඩි ශීතලත්, අඩු ඔක්සිජන් තත්තවයත් නිසා සිරුර පහසුවෙන්ම වෙහෙසට පත් උනා. එක දිගට අඩි කිහිපයක් පමණයි නගින්නට පුළුවන්කම ලැබුනේ. අප මෙන්ම තවත් සංචාරකයින් සෑහෙන පිරිසක් කලාපත්‍ර නගිමින් සිටියා. හිසෙහි පලඳි විදිලි පන්දම් ආලෝකය නිසා ඔවුන් පෙනුනේ කන්ද ඉහලට ඇදෙන පන්දම් පාලියක් වගෙයි. කේෂාර් වරින් වර මට මතක් කලේ නැවතී, කටපුරා හොඳින් හුස්ම ගන්නා ලෙසයි. ඇතැම් තැන වල අඩි පාර ඉතා පටු හා දුෂ්කර වූයෙන් විදුලි පන්දම් එලියෙන් පමනක් ගමන් කිරීම පහසු උනේ නෑ. තොල කට තෙමා ගැනීමට වතුර බෝතලය අතට ගත්විට පෙනුනේ සම්පූරණ වතුර බෝතලයම‍ අයිස් කැටයක් බවට පත්වී ඇති බවයි. උණුසුම රඳවා හැකි වතුර බෝතලය වෙනුවට මා මෝඩයකු සේ රැගෙන විත් තිබුනේ සාමාන්‍ය වතුර බෝතලයයි. මගේ අතපසු වීම ගැන මටම සාප කර ගනිමින් සිටියදී කේෂාර් අසල තිබූ පඳුරකින් කෝටුවක් කඩා දුන්නේ එයින් අයිස් කැට කීපයක් කඩා ගැනීමට පුළුවන් වේයයි කියමින්. කෝටුවේ පිහිටෙන් අයිස් කැබලි කිහිපයක් කඩා, ඒවා කටේ රුවාගෙන පිපාසය නිවාගැනීමටයි මට සිදු උනේ. බොහෝ අසීරුවෙන් කඳු ගැටයේ අඩක් නැග අවසන් කලා. කේෂර් කියා සිටියේ අවශ්‍යනම් අපට මෙතන නැවතී ඉර සේවය නැරඹිය හැකි බවයි. මගේ පැණය උනේ "කඳු මුදුනට ලඟා වීමට තව කොච්චරක් නගින්න තියෙනවද ?" "අපි ආවට වැඩිය ටිකක් තියෙනවා. හැබැයි නැග්ම අමරුයි. මම හිතනවා ඔබට නගින්න පුළුවන් කියලා. අපිට අවශ්‍ය තරම් වෙලාව තියෙනවා..." කේෂර් කීවේ මාව දිරි ගන්වමින්. "අපි උත්සාහ කරමු.." මම කීවේ ලොකු හුස්මක් අරගෙන ආයෙත් ඉහල නගින්න පටන් ගන්න ගමන්. නැගෙනහිර අහස ටිකෙන් ටික ආලෝකමත් වීගෙන ආවේ හිරු උදාව සනිටුහන් කරමින්. ඉහල නගිමින් සිටි ඇතමුන් ගමන නවතා සිටි තැන්වල සිටම හිරු උදාව නැරඹීමට සූදානම් වෙමින් සිටියා. බිම ඇති කුඩා පඳුරු වල රැදී තිබූ හිම පියලි කටේ රුවා ගනිමින් මා පිපාසය නිවා ගත්තා. ඒ වන විට ඇඟ උණුසුම් වී තිබූ නිසා ශීතල එතරම් කරදයක් උනේ නෑ. කෙසේ හෝ අවසානයේ මීටර් 5545ක් උසැති කඳු මුදුනට ලඟා වීමට අපි සමත් උනේ එතෙක් මේ ගමනේදී අප නැගි ඉහලම ස්ථානය සනිටුහන් කරමිනුයි. මුදුනේ තිබූ ගල් පර්වතයක් තමා නැරඹුම් පොළ. ඒ වන විටත් සංචාරකයින් දෙදෙනෙක් එහි ලඟා වී තිබුනා. තවත් බොහෝ පිටිසක් අපට පසු පසින් පැම්ණෙමින් සිටියා. හිරු උදාවට විනාඩි 10 පමණ කාලයක් තිබූ බැවින් අපි පහසු ස්ථානයක් සොයාගෙන විවේක ගත්තා. එතැනට පෙනුනේ අංශක 360 සම්පූර්ණ දර්ශණයක්. නැගෙනහිරින් එවරස්ට් ඉතා තේජාන්විත ලෙස නැගී සිටියා. එවරස්ට්, නුප්ත්සේ, ලොත්සේ, කුම්බුත්සේ ආදී කඳු වලල්ලකින් වටවී වට වී තිබූ එම ස්ථානය එතෙක් මෙතෙක් මා දැක් තිබූ සුවිශේෂම නැරඹුම් පොළයි. ගමන කෙතරම් දුෂ්කර වුවත් ඒ ඉතා වටිනා දර්ශණයක්. මාගේ ජීවිත කාලය පුරාවටම අමතක නොවෙන ඉතා චමත්කාර දසුනක්. එක තැන නැවතී සිටීම කොහෙත්ම පහසු උනේ නෑ. දැඩි ශීතල නැවතත් අපව වෙලා ගත්තා. එතැන සිටි එක් අයෙක් පැවසුවේ උෂ්නත්වය අංශක සෘණ 22 බවයි. මද වේලාවක් ගත වත්ම එවරස්ට් ශිඛරයට හා නුප්ත්සේට වම් පසින් අහස රන් පැහැයෙන් බබලන්නට ගත්තේ හිරු නැග ඒම සනිටුහන් කරමින්. ක්‍රමයෙන් නැග එන හිරුගේ කිරන අනෙත් පසින් ඇති හිමෙන් වැසි කඳු මුදුන් මත පතිත වන විට ඒවා රන්වන් පැහැයෙන් බබලන්නට ගන්නවා. එය ඉතා සුවිශේෂී දසුනක්. අවාසනාවකට මෙන් අපට ඒ සුන්දර දර්ශණය විද ගන්නට පිලිවන් උනේ මද වේලාවකට පමණයි. පාවී ආ වලා පටලයකින්, නැගෙන හිරු වරින් වර වැසී යාම නිසා ඉතා සුන්දර දසුනක් බලා ගැනීමේ අවස්ථාව අපෙන් ගිලිහී ගියා. මද වේලාවකට හෝ එවැනි දසුනක් සියැසින් දැක ගැනීමට හැකිවීම ගැන මා ඉමහත් සතුටට පත් උනා. දැඩි ශීතල නිසා කඳු මුදුනේ වැඩි වෙලා රැඳී සිටීමට පුලුවන් කමක් තිබ්බෙ නෑ. අපි නැවත්ත පහලට බසින්නට පටන් ගත්තා. පහලට බැසීම එතරම් වෙහසකර නොවූයෙන් අප වේගවත් ගමනින් පහලට ආවා. නැවත අවන්හලට පැමිණ ගමන් මළු අසුරාගෙන මා සූදානම් වූයේ ගමනේ ඊලඟ පියවරටයි. අද අපට පැංබුචේ දක්වා කිලෝමීටර් 16ක දුරක් ගමන් කිරීමට තිබෙනවා. ඒ වන විට අවන්හල විවෘතව තිබූයෙන් පාතරාසයද රැගෙන, කෙටි විවේකයකින් පසු ගොරාක්ෂේප් කඳවුරට සමුදුන්නා. අප පැමිණි මාර්ගයේමයි අපට ආපසු යාමට තිබුනේ. වැඩි කරදරයක් නැතුවම අපි ලොබුචේ කරා ලඟා උනා. ඒ වන විට වේලාව උදෑසන 11:00 පමණ වූ නිසා දිවා ආහාරය ලොබුචේ හීදී ගැනීමට අප තීරණය කලා. දිවා ආහාරයෙන් පසු අප නැවතත මගට බසින විට කාලගුණය වෙනස් වී තිබුනා. අහස වලාකුලින් බරව තිබූ අත‍ර වරින් වර දැඩි සුලං හමා ගියා. තව බොහෝ දුරක් යායුතු නිසා අප ගමන වේගවත් කලා. මළවුන්ගේ බිමට පැමිණෙන තෙක් ගමන අසීරු උනේ නෑ. නමුත් ඉන් පසුව තිබුනේ තද බෑවුමක පහලට බැසීමටයි. ඒ වන විටත් සෑහෙන වෙහෙසට පත්ව තිබූ මාගේ දණහිස්වල වේදනාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. අප ඩුග්ලා පසු කරත්ම හිම වැටෙන්නට පටන් ගත්තා. සුලඟත් සමග වේගයෙන් එන හිම කැටිති මුහුනේ වැදීම නිසා ගමන අසීරු උනා. ඩුග්ලා සිට අපගේ ගමන් මග වෙනස් උනා. ආපසු ඩිංබුචේ කරා ‍යනු වෙනුවට ග්ලැසියරය දිගේ පහලටම බැස පෙර දින අප දුටු නිම්නය දිගේ පෙරිචේ හරහා යාමයි. මෙමගින් අපිට කිලෝමීටර කිහිපයක දුරක් මග හැරයන්නට පිලිවන් කම ලැබෙනවා. ගලින් පිරි මාර්ගය දිගේ පහලට බැසීම මගේ දණහිස්වලට කොහෙත්ම හිතකර උනේ නෑ. හිම පතනය නිසා මාර්ගය සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් වැසී ගොස් තිබුනා. මේ සියළු හේතු නිසා අපේ ගමන් වේගය සෑහෙන පහල වැටුනා. පෙරීචේ ගම්මානයට ලඟාවන විට මා බෙහෙවින්ම වෙහෙසට පත්වී සිටියා. වේලාව සවස 4 පමණ වු නිසා මද විවේකයක් ගන්නට අප තීරණය කලා. දණහිස් වේදනාවෙන් ඇදුම්කමින් තිබූ නිසා වේදනානශක වල පිහිට පැතීමට මා තීරණය කලා. උණුසුම් ලෙමන්-ඉඟුරු තේ කෝප්පයකින් සප්පායම් වී අපි නැවත්ත් ගමන අරඹන විටත් හිම පතනය නැවතී තිබුනේ නෑ. පෙරීචේ සිට මාර්ගය සෑහෙන දුරට යහපත් උනා. එය බොහෝ දුරට සමතලා මාර්ගයක් වීම මගේ සතුටට හේතු උනා. ටික ටික ශීතල වැඩි වෙන්නට ගත්තා. බොහෝ වේලා හිම පතනයේ සිටි නිසා සපත්තු ඇතුලටත්, කබාය ඇතුලටත් වතුර කාන්දු වෙන්නට පටන් අරගෙන තිබ්බා. අප තව කිලෝ මීටර් 6 පමණ දුරක් යා යුතුව තිබුනා. දැඩි හිම පතනයත්, ශීතලත්, දණහිස් වේදනාවත් නිසා අප ගමන් කලේ බොහො සෙමෙන්. අප ෂොමාරේ ගමට පැමිණෙන විට අඳුර වැටෙන්නට පටන්ගෙන තිබ්බා. තවත් කෙටි විවේකයකට අපි ෂොමාරේ හි ආපන ශාලාවකට ඇතුල් උනා. "ඔබට ගොඩක්ම මහන්සි නම්, පැංබුචේ දක්වා නොගොස් අපට මෙහි නතර වෙන්නට පුලුවන්. " කේෂාර් කිව්වා. "අර පේන්නේ පැංබුචේ..." ඔහු ජනේලයෙන් පෙන්නුවේ අප ගමන් කරමින් සිටි කන්දේම ඈත කෙලවර. "බලමු..ඉස්සෙල්ලා අපි තේ එකක් බීල ඉමු" මම උත්තර දුන්නා. සුපුරුදු උණුසුම් ලෙමන්-ඉඟුරු තේ පානයන් පසු මා තීරණය කලේ පැංබුචේ දක්වාම යාමටයි. අපි නැවතක් පාරට බසිට විට වාසනාවකට මෙන් හිමපතනය අඩු වී තිබුනා. පාර යහප
ත් තත්ත්වයෙන් තිබූ නිසා වේගය මදක් වැඩි කර ගන්නටත් පුලුවන් උනා. අවසානයේ සවස 7.00ට පමණ අප පැංබුචේ කරා ලඟා වනවිට මා සිටියේ දැඩි ලෙසම වෙහෙසට පත් වෙලා. නානකාමරයක් සහිත නිදන කාමරයක් ලැබීම සතුටට කාරණයක් උනා. "ඇඳුම් මාරු කරගෙන, ඉක්මනට ආපන ශාලාවට එන්න, ඔබට එහිදී උණුසුම් වීමට පිළිවන්.." කේෂාර් කිව්වා. තෙත් ඇඳුම්, සපත්තු ගලවා වේලෙන්නට දමා, අයිස් සීතල වතුරෙන්ම මූණ කට යන්තම් සෝදාගෙන, මා ආපන ශාලාවට ගෑටුවේ සිරුර උණුසුම් කර ගැනීමට තරම් ගින්දර සහිත පෝරණුවක් ඇතැයි බලාපොරොත්තුවෙන්. වාසනාවකට මෙන් එය හොඳින් උණුසුම් වූ ආපන ශාලාවක්. ඒ වන විටත් දුම් දමන සුප් බඳුනක් සූදානමින්. "තව විශේෂ දෙයක් තියෙනවා. මම ඔබට පොරොන්දු උනා නේ..." කේෂාර් කීවේ, සුදු පැහැති ජොග්ගුවක් හා වීදුරු කීපයක් රැගෙන එමින්. "මේ රක්ෂි.." රක්ෂි යනු නේපාලයේ ගෘහස්තව නිපදවන මධ්‍යසාර වර්ගයක්. මිලට් හෝ සහල් යොදාගෙන නිපදවන රක්ෂි වොඩ්කා වගේ පැහැදිලි බීමක්. රස තරමක් ජපන් සකේ වලට සමානයි. උගුර පුළුස්සාගෙන යන රක්ෂි ඉක්මනින්ම අපේ වෙහෙස දුරු කලා. වෙහෙසිනුත්, ශීතලෙනුත් මැඩී සිටි මට නම් රක්ෂි දිවඔසුවක් උනා. ආපන ශාලාවේ සිටියේ අපි පමණක් නිසා හිතේ හැටියට කෑගසමින් විනෝද වීමටත් බාදාවක් තිබුනේ නෑ. කේෂාර් නේපාලි සිංදු ගායනා කලා. සොන්පයි මමයි නැටුවා. "කෝ දැන් ඔබේ දණහිස් අමාරුව ? ඒකට මොකද උනේ ?" ඔවුන් මට විහිලු කලා. ආපන ශාලාවේ සිට මා නැවත කාමරයට එන විට කාලගුණය තවත් නරක අතට හැරී තිබුනා. හිමපතනය දැඩි වී සුලඟ තරමක කුණාටු තත්ත්වයකට හැරෙමින් තිබුනා. හිමාල සංචාරකයින්ගේත්, කඳු නගින්නන්ගේත් දරුණුම සතුරා නිරන්තරයෙන් වෙනස්වන කාලගුණයයි. ඔබේ ගමනේ සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ කාලගුණය මතයි. එවරස්ට් හා බැඳුනු කතා බොහෝමයි. අවාසනාවකට මෙන් ඒ කතා බොහෝමයක් හද සසල කරවන ඛේදාන්ත. එයින් එක් කතාවක් වන්නෙ එවරස්ට් හි නිදන රූමතිය (sleeping beauty in the Everest) , හෙවත් ෆ්‍රාන්සිස් අර්සන්ටියෙව් ගැන කතාවයි. 1958දී හවායි හිදී උපත ලබන ඇමරිකානු ජාතික ෆ්‍රාන්සිස් කඳු නැගීම කුඩා කල සිටිම ප්‍රගුණ කල කාන්තාවක්. ඇයට සිය ජීවන සහකරු වන රුසියානු ජාතික සර්ගෙයි ආර්සන්ටියෙව් හමුවන්නේද කඳු තරණ චාරිකාවක දීයි. ඒ 1991 දී අන්නාපූර්ණා හීදී. සර්ගෙයි මීටර් 7000 ඉහල සියලු රුසියානු ශිඛර තරණය කර තිබූ හා කන්වෙන්ජුන්ගා හී හිස් 3ම තරණය කර තිබූ ඉතා පළපුරුදු කඳු නගින්නෙක්. 1998 දී ඔවුන් දෙදෙනා එවරස්ට් තරණයට නේපාලය බලා පිටත්ව යන්නේ දිගුකාලීන සිහිනයක් සැබෑකරගැනීමට මෙන්ම වාර්තාවක් පිහිටුවීමේද අරමුණින්. ඒ ඔක්සිජන් රහිතව එවරස්ට් තරණය කරන ප්‍රථම ඇමරිකානු කාන්තාව වීමේ සිහිනයෙන්. මැයි 17වන දින මූල කඳවුරේ සිට ගමන් අරඹන ඔවුන්, මැයි 19දින වන විට මීටර් 8200 උසින් පිහිටි හයවන කඳවුරට ලඟා වෙනවා. පසුදින ඔවුන් එවරස්ට් කඳුමුදුනට ලඟාවීමේ බලාපොරොත්තුවෙන් ගමන් ඇරඹවත් ආපසු හැරී ඒමට සිදුවන්නේ දැඩි හිම පතනය නිසායි. එදින රාත්‍රියේ සයවන කඳවුරේම රාත්‍රිය ගතකරන ඔවුන් පසුදින නැවත වෑයමක් දරනවා. එම වෑයමත් අසාර්ථක වන අතර එදින රාත්‍රියත් එම ස්ථානයේම ගතකිරීමට ඔවුන් තීරණය කරනවා. මීටර් 8000ට ඉහල මරණයේ අඩවියේදී ඔවුන් ඒ වන විටත් ගතකර තිබූ කාලය අනතුරුදායක ඉහල යමින් තිබුනා. මැයි 22දින ඔවුන් 3වන උත්සාහය දරණ අතර එය සාර්ථක වෙනවා. ෆ්‍රාන්සිස් අතිරේක ඔක්සිජන් රහිතව එවරස්ට් තරණය කල පළමු ඇමෙරිකානු ජාතික කාන්තාව බවට පත් වෙනවා. ජයග්‍රහනයේ උද්දාමයත් සමග ඔවුන් නැවත 6වන කඳවුර කරා පහල බසිනවා. ඉන්පසු සිදුවන දේ පැහැදිලි නෑ. මීටර් 8540දී ඉහල නගිමින් සිටි උස්බෙකිස්ථානු කණඩායමකට සර්ගෙයිව මුණ ගැසෙනවා. “ඔබගේ බිරිද කොහිදැයි ?“ විමසන උස්බෙකිස්ථානුවන්ගෙන් සර්ගෙයි පෙරලා ප්‍රශ්ණ කරන්නේ “ඇයි ඔබලාට පහලදී ඇයව හමු උනේ නැද්ද ?” යනුවෙන්. මාර්ගයේ යම් තැනකදී ෆ්‍රාන්සිස් මග හැරී ඇති බව සර්ගෙයි දැන ගන්නෙ එ මොහොතේදීයි. ඉහල නගින උස්බෙකිස්ථානු කණ්ඩායමට මීටර් 8600 සීමාවේදී ෆ්‍රාන්සිස්ව මුණ ගැහෙනවා. සිටගත් ඉරියව්වෙන්ම ගලකට හේත්තු වී සිටි ඇය ඒ වන විට අඩසිහියෙන් සිටි බව ඔවුන් වාර්තා කර තිබෙනවා. දැඩි ශීතලට හසු වී ගල් වී සුදු පැහැ ගැන්වී සිටි ඈ දිස් වුනේ sleeping beauty වගේ යැයි, උස්බෙකිස්ථානු කණ්ඩායම වාර්තා කොට තිබුනා ඔවුන් ඇයට වහාම ඔක්සිජන් ලබා දී, ආධාර රැහැන්වල අමුණා ඇගේ දිවි ගලවා ගැනීමට උත්සාහ කරන්වා. නමුත් පසුව ඇය සිටි තත්ත්වය සලකා එම උත්සාහය අත හැර දමා ඔවුන්ගේ ගමන නැවත ඇරඹීමට ඔවුන් තීරණය කරන්නෙ තමාව හැර නොයන ලෙස කෙරෙන ඇගේ ආයාචනා මධ්‍යයේයි. මේ අතර සර්ගෙයි ඔක්සිජන් හා ඖෂධ රැගෙන නැවත ඉහලට ගමන් කරන්නේ සිය බිරිඳගේ දිවි ගලවා ගැනීමේ අරමුණෙන්. මේ අතර ඉහල නගිමින් සිටි දකුණු අප්‍රිකානු ජාතික කඳු නැගීමේ යුවලක් වූන් ඉයන් වුඩෝල්ට හා කැතී ඕ'ඩූවුඩ්ට ෆ්‍රාන්සිස්ව මුණ ගැසෙනවා. ෆ්‍රාන්සිස්ව හඳුනා ගන්නා ඔවුන්, සිය ගමන අතහැර දමා ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. දැඩි ශීතලෙන් ගැහෙමින් සිටි ඇය අවසිහියෙන් සිය දරුවා හා නිවෙස ගැන නිර තුරුවම කියවමින් සිටි බව ඔවුන් වාර්තා කොට තිබෙනවා. පැය කිහිපයක දැඩි පරිශ්‍රමයකින් පසුව ෆ්‍රාන්සිස්ව මාර්ගයෙන් ඉවතට ගෙන දිගා කරවීමට සමත් වුවත් එතැනින් එහාට යමක් කිරීමට තරම් හැකියාවක් ඔවුනට ලැබෙන්නේ නෑ. ඔවුන්ටත් ෆ්‍රාන්සිස්ව හැර දමා එන්නට සිදු වන්නේ ඇගේ හද කම්පා කරවන ආයාචනා මැදයි. ශීතලෙන් ගල් වී අවසානයේ නිසල වන ෆ්‍රාන්සිස්ගේ ගේ සිරුර තවත් වසරක කාලයක් මග අසල වැටී තිබෙන්නේ, එවරස්ට් තරණයේ බිහිසුනු බව එතැන පසුකර යන්නන්ට සිහි කැඳවමින්. ෆ්‍රාන්සිස්ගේ දිවි ගලවා ගැනීමට නොහැකිවීම ගැන දැඩි කම්පාවකින් කල් ගෙවන ඉයන් වුඩෝල්, 2007 දී ගවේෂණ කණ්ඩායමක් සූදානම් කරගෙන නැවත එවරස්ට් කරා යන්නේ ඇගේ සිරුර නිසි ලෙස භූම්දානය කිරීමේ අරමුණින්. ඔවුන්ගේ වෑයම සාර්ථක වන අතර ෆ්‍රාන්සිස්ගේ සිරුර ප්‍රධාන මගෙන් ඉවත් කොට සුදුසු ස්ථානයක, ඇමෙරිකානු කොඩියෙන් වසා තැන්පත් කරනවා. අවසානයේ එවරස්ට් හි නිදන රූමතිය, කඳු අතර සදාකාලික නින්දට වැටෙනවා. සිය බිරිද සොයා ආපසු ඉහලට ගමන් ඇරඹූ සර්ගෙයිට කිසිදා නැවත ෆ්‍රාන්සිස්ව මුණ ගැසෙන්නේ නෑ..ඔහුගේ සිරුර ද ඊට පසු වසරේදී සොයා ගන්නවා. ලිස්සා යාමෙන් සිදුවූ ඇද වැටීමකින් ඔහු මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. කොල සපත්තුවාගේ (green boots) ගේ කතාවත් එවරස්ට් නගින්නන් අතර ප්‍රකට වෘතාන්තයක්. 1996 දී බ්‍රිතාන්‍ය ජාතික කඳු නගින්නෙකු වූ මැට් ඩිකින්සන් හට මීටර් 8500 සීමාවේදී කුඩා ගුහාවක් තුල වූ මළ සිරුරක් හමු වෙනවා. දීප්තිමත් කොල පැහැයකින් යුතු බූට්ස් යුවලක් පැලඳ සිටි මේ මළ සිරුර බොහෝ කාලයක් තිබුනේ හඳුනා නොගත් සිරුරක් ලෙසයි. පසු කලෙක එය ඉන්දියානු කඳු නැගීමේ කණ්ඩායමක සමාජිකයෙකු වූ ට්සෙවාන්ග් පාල්ජෝර් ගේ යයි විශ්වාස කලත් නිළ වශයෙන් තහවුරු කර තිබුනේ නෑ. වසර 18 තිස්සේ එවරස්ට් ප්‍රධාන මාර්ගයේ වැටී තුබූ කොල සපත්තුවාගේ මළ සිරුර, අනෙක් කඳු නගින්නන්ට මං සලකුණක් සේම අනතුරු ඇඟවීමේ සළකුණක් බවටත් පත් වුනා. 2014 දී චීන කන්ඩායමක් විසින් ගල් හා හිම යොදා ඔහුගේ සිරුර මිහිදන් කරන තෙක්ම නන්නාඳුනන කොළ සපත්තුවා ගේ මළ සිරුර, යන එන්නන්ට මග සොයා ගන්නට මං සලකුනක් වී තිබුනා. 2006 දී කොළ සපත්තුවා සිටින ගුහාවටම තවක් කෙනෙක් එකතු උනා. ඒ බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ෂාර්ප්. තනිවම එවරස්ට් තරණය කරමින් සිටි ෂාර්ප්. දැඩි ශීතලට ගොදුරු වී කොල සපත්තුවාගේ ගුහාවේම යා ගත නොහැකිව සිර වී මිය යනවා. එදින 40කට අධික කඳු නගින්නන් පිරිසක් ඔහු පසු කර ගියත් ඔහුට ඇවසි උපකාර ලැබෙන්නෙ නෑ. ඩේවිඩ් ෂාර්ප්ගේ මරණය, කඳු නගින්නන්ගේ ආචර ධර්ම ගැන කතිකාවතක් ලොව පුරා ඇති කරනවා. සර් එඩ්මන්ඩ් හිලරි ඇතුලු බොහෝ ජේෂ්ඨ කඳු නගින්නගේ විවේචන, වර්තමාන පරපුරේ කඳු නගින්නන් වෙත එල්ල වෙනවා. පිළිගත් ආචාරධර්ම වලට අනුව යම් කඳු නගින්නෙකුට සිය ගමන අතර තුරදී උදව් ඇවැසි අයෙක් මුණ ගැසුනහොත්, සිය ගමන නිම කිරීමට වඩා ප්‍රමුඛතාවයක් අනෙකාට උදව් කිරීමට ලබා දිය යුතුයි. නමුත් එවරස්ට් හීදී බොහෝ විට එය සිදු වන්නෙ නෑ. මීටර් 8000න් ඉහල මරණයේ අඩවියේදී, බොහෝ දෙනෙක් ගමන් කරන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තියලා, සීමිත සැපයුම් සහිතව. එම කලාපයේදී ගතවන සෑම විනාඩියක් පාසාම සිරුර ලඟා වන්නේ මරණය කරා. ඉදින් එවැනි තත්ත්වයක් යටතේදී තව කෙනෙකුට උදව් උපකාර කිරීම සිතන තරම් පහසු දෙයක් නෙවෙයි. එය දැන දැනම තමන්ගේ ජීවිතයත් අනතුරේ හෙලා ගැනීමක්. ෆ්‍රාන්සිස්, සර්ගෙයි, කොල සපත්තුවාහා ෂාර්ප් එවරස්ට් හි නිදන, 250කට අධික පිරිසකගෙන් කිහිප දෙනෙක් පමණයි. තවත් බොහෝ ඛේදාන්තයන් ලොවට හෙලි නොවී සදාකාලිකවම ඔවුන් සමගම මිහිදන්ව තිබෙනවා. කඳු නගින්නන්ගේ මුවග රැදෙන වදනක් වන්නේ "Mountain decides" ( අවසන් තීරණය ඇත්තේ කන්ද අතේයි). තාක්ෂණයෙන් හා උපකරණ වලින් කොතරම් පොහොසත් උනත් ඔබ විජයග්‍රහණය කරා යන්නෙද, පාරජිතව ආපසු යන්නෙද නැතහොත් කිසිදිනෙක ආපසු නිවෙස කරා නොයෙන්නෙද යන්න තවමත් තීරණය කරන්නේ මේ මහා ගිරිශිඛරයි." මැනිකේ කොල්ලා ඉස්කෝලේ ගියාද" " ඔව් මේ පිටත් කොරලයි ආවේ" "අපරාදෙනේ ආවේ , තව ඩිංගකින් මම ගෙදර එන්නයි හිටියේ" "ඊයේත් එනවා කියල තමයි ආවේ, එද්දි බත් එකත් හීල් වෙලා" "මේ පැල ටික ලොකු වෙනකල් රැකගන්න ඕනේ මැනිකේ, ඉස්සර වගේ නොවෙයි සතා සිව්පාවුන්ගෙන් කරදර එමටයි" " බත් ඩිංගක් ඇති අර මල්ලේ කාලා හිටියනං" අනුරාධපුර කැකිරාව පැත්තේ දුශ්කර ගමක උපන් මුතුබංඩා ජීවිකාව වශයෙන් කලේ ගොවිතැනයි. ගමේ වැවේ වතුරෙන් කුඹුරු කල ගම් වැසියන්,රක්ෂිතය හෙලිකොට හේන් ගොවිතැන කලේ වී වගාවෙන් පමනක් ජීවත් වීම අපහසු වූ නිසාවෙනි. පවුල් 40ක් පමන ජීවත් වූ මුතුබංඩලාගේ ගමේ පිහිටියේ කුඹුරු අක්කර 30කට පමන සෑහෙන වතුර තිබූ කුඩා වැවකි. ඒ කුඹුරුවලින් වැඩිම ප්‍රමානයක අයිතිය තිබුනේ ජින්දාස මුදලාලිටය. ගමේ සියල්ල සිදුවූයේ ගමේ එකම දනවතා වූ මුදලාලිට අව
ශ්‍ය විදියටය. දිලිදුකමින් බැට කෑ ගම්වැසියන්ගේ එකම ගැලවුම් කරුවා වූයේ මුදලාලි බැවින් ගම් වැසියන්ට ඔහුගේ සියලු අසාදාරන කම් දරාගෙන ජීවත් වීමට සිදුවීම ඔවුන්ගේ දයිවයේ සරදමකි. වර්ශාව නොමැතිකමින් පසුගිය අවුරුද්දේ කන්න දෙකම ගැස්සී ගිය නිසා ගම් වැසියන් ආහාර අර්බුදයකට මුහුන දී සිටියේය. මහ කන්නයේ වැසි වැටෙතයි අපේක්ෂාවෙන් ඔවුන් හේන් එලිකලේ වැස්සවලාහක දෙය්යන්ට භාරහාර වෙමිනි. සැප්තැම්බරය අවසානයේ වැහි වැටුනේ ඔවුන්ගේ අපේක්ෂාව මල්පලගන්වමිනි. පහුගිය කන්‍න දෙකම වී වගානොකල බැවින් මුතුබංඩට ඉතිරිව තිබුනේ තවත් එක වී ගෝනියක් පමනි. එසේ එය ඉතිරිවූයේ මැනිකාගේ කලමනාකරනය නිසාවෙනි. තම එකම දරුවාට ඔවුන් ආදරේ කලේ අන් සියලු දේ දෙවෙනි කොටය. බොහෝ දවස්වල මුතුබංඩලාගේ ගෙදර බත ඉදුනේ උදේ හා රෑ යන වේල් දෙක පමනි. දවල්ට මුතුබංඩාත් මැනිකාත් මොනවාහරි පොඩි දෙයක් ආහාරයට ගෙන කුසගිනි නිවාගැනීමට පුරුදු වූයේ මුහුන දී සිටි ආහාර අර්බුදය නිසාවෙනි. " කොයි කොල්ලා " " ඕං අද කලින්ම නින්දට ගිහින් " " ඒ මොකෑ දරුවට අසනීපයක් වත්ද" " නෑ නෑ ඉස්කෝලෙදි සෙල්ලං කරලා මහන්සිලු" "ම්ම්ම්" "කාලා හිටියනං" "මොනාද තියෙන්නේ" "කැකිරි ඇඹුලකුයි , මැල්ලුමකුයි ඇති" " කොල්ලා කෑවද" " ඔව් අපි දෙන්නම කාලා ඉන්නේ, ඔහේ විතරයි කන්න ඉන්නේ" "හෙට අනිද්දම පැලක් හදන්න ඕනේ" " ඒ මොකද මහ සතාවත් ඇවිදින්ද" " නෑ මීමින්නන්ගෙන් හාවුන්ගෙන් බේරෙන්න බෑ, ඊයෙත් ඉරිඟු ගස් හත අටක්ම කාලා" " දැන් කාලා හිටියනං" හේන්වගාවට සතුන්ගෙන් කරදර පටන්ගන්නේ බීජ පසට යට කල දවසේ සිටය. කුඩා සතුන් වලවල් හාරහාර ඇට කෑමට පටන්ගනී, යන්තම් ගොබේ පොලවෙන් මතු කරනවාත් සමග මීයන් හාවන් මීමින්නන් ඇතුලු සත්තු ඒ පැලය ගසක්වී පීදෙන තුරුම ආහාරයට ගැනීමට මාන බලයි. හේන් ගොවිතැන පටන්ගන්නා දවසේ සිට අස්වැන්න නෙලාගන්නා තුරුම ගොවියන්ට නානාප්‍රකාර දුශ්කරතා රාශියකට මුහුන දීමට සිදුවනු ඇත. හේන් ගොවියාගේ ප්‍රදාන සතුරා වනුයේ වල් අලින්ය ඔවුන් තනි තනිව හා රංචු පිටින් හේන් වලට කඩාවදී. රංචුවටත් වඩා භායානක වන්නේ තනියාය හූ කියා රතිඤ්ඤා දමා අලි රංචුව හේනෙන් එලෙව්වද තනියා එලවීම ලේසි නැත. මිනිස්සුන්ට පහර දෙන්නේද තනියාය, මුතු බංඩලාගේ ගම්වැසියන් කීපදෙනෙක්ම වල් අලි ප්‍රහාරයට හසුවී ජීවිතය අතහැර තිබිනි. බොහෝ විට යන්තම් ගොබ මතුවන කාලයේ සිට අස්වැන්න නෙලාගන්නා තුරුම රැය පහන්කිරීමට සිදුවනුයේ හේනේ ගසක් උඩ හදාගත් පැලකය. පහුවදාම මුතුබංඩා පැල සෑදීමට පටන්ගත්තේ හේන මැදවූ විශාල කෝන්ගහේය. වල් අලින්ට ලේසියෙන් පහරදීමට බැරි තරම් උසක පැල සැදීම මුතුබංඩාගේ සිරිතය. පැල සෙවිලි කිරීමට අවශ්‍ය පොල්අතු වියා දුන්නේ මැනිකා විසිනි. "දැම්ම පැල් යන්නම ඕනෙද" "ඔව් සද්දයක් නැතිවුනාට මහ එකා කොහෙද දන්නේ නෑ මැනිකේ" "හ්ම්ම්ම්" "ගෙදරට වෙලා බුදියගත්තා වගේ නෙමෙයි හේන පාගලා ගියොත්. අතේ සතයක් නෑ, මාස් තුනෙන් කුඹුරු කෑල්ල බේරගන්නවා කියල මුදලාලිගෙන් සල්ලි ටික ගත්තේ. ගෙවන්න බැරි වුනොත් වහකන්න තමයි වෙන්නේ. දන්නවනේ මනුස්සයා ගිනිපොලියක් හදයි මාස තුනට පස්සේ" " එහෙම වෙන එකක් නෑ බංඩයියේ , උඩ ඉන්න කෙනා අපි දිහා බලාගෙන ඇති" මැනිකාගේ බඩපපුව දාගෙන ගියේ මුතුබංඩාගේ දුක්ගැනවිල්ලටය. මේ අහිංසක ගම්මුන් දෙවියන් ඇදහූ අතර වතාවත් හරියට ඉටු කිරීමට පුරුදුව සිටියහ. හේන් සුද්ද කිරීමට පෙර පොල්ගෙඩියක් එල්ලා එම ප්‍රදේශය භාර කඩවර මුත්තාගෙන් ඉල්ලා සිටින්නේ කලට වැසි වස්සවා වනසතුන් ඇතුලු සියලු උවදුරු වලින් වගාව රැකදෙන ලෙසටය. අස්වැන්න නෙලා හේන් අස්කල විගසම ඔවුන් කිරි උතුරා වතාවත් ඉටු කරන්නේ භාර වූ ආකාරයටම එය ඉටු කරමිනි. දින සති ගෙවෙමින් වගාව දවසින් දවස සරුවට වැඩුනේ මුතුබංඩාගේ බලාපොරොත්තු මල පල් ගල්වමිනි. ඔහු සිටියේ වෙනදාට වඩා සතුටිනි මුලු හේනම වැසී තිබුනේ තැඹිලිපාට වට්ටක්කා මල් වලින් හා බඩ ඉරිඟු මල්වලිනි. කුඩා බඩ ඉරිගු කරල් ගස්වල කඳ මැදින් එලියට මතුවී තිබූ අතර වට්ටක්ක මල් මැලවී කුඩා ගෙඩි මතුවෙමින් තිබිනි. ප්‍රදාන වගාවලට අමතරව ආහාරයට ගැනීමට පමනක් මෑකරල්, කැකිරි , බංඩක්කා , ලබු, පුහුල්, කව්පි, මුං ඇතුලු දාන්‍්‍ය වර්ග හා එලවලු වර්ග හේනේ කුඩා කොටස්වල හිටුවීම හේන් ගොවියන්ගේ සිරිතය. මුතුබංඩා බිම සකස්කර දී තිබූ අතර ආහාරයට අවශ්‍ය අමතර බෝග හිටුවීම සිදුවුනේ මැනිකා හා සමන් අතිනි. එම වගාවන්ද සරුවට වැවී පීදී තිබිනි. මුතුබංඩා මැනිකා මෙන්ම ඔවුන්ගේ එකම දරුවා වූ සමන්ද සරුවට හැදී තිබූ වගාව බලා සතුටු වූයේ ඔවුන් ඒ වගාවන්ට ආදරේ කල බැවිනි. සමන් ඉස්කෝලේ ගිය පසු මැනිකා බලාගෙන සිටියේ මුතුබංඩා එනතුරුය. පෙරදා රාත්‍රියේ වැටුනු දාරානිපාත වර්ශාව නිසා තද නින්දකට වැටුනු මැනිකා අවදිව තිබුනේ වෙනදාට වඩා ප්‍රමාදවීය. මුතුබංඩා වෙනදාට ගෙදර එන වෙලාවට වඩා බොහෝ වෙලාවක් ගතව තිබු බැවින් මැනිකා හේනට ගියේ ඔහුගේ බත් එකත් අරගෙනය. හේනට ඇතුලු වු මැනිකාගේ ඇස් අදහාගත නොහැකි විය. මුලු හේනම පොලවට සමතලා කර තිබු අතර තැනින් තැන ඉරිගු ගස් කීපයක් ඉතිරිව තිබිනි. හේනට සිදුව ඇති විපත දුටු මැනිකාගේ ඇහෙන් වැටුනු කදුලු විනාඩි කීපයක් ගියත් නතර නොවී තිබූ අතර ඈට ඇඩුම පාලනය කරගැනීමට නොහැකි විය. අහස පොලව ගැටලන්නට මෙන් බර කල්පනාවක සිටි මුතුබංඩාට මැනිකා ආ බව වත් නිච්චි නොවූ අතර ඇගේ ඉකිබිදුම් හඩ නෑසෙන තරමට ඔහුගේ කල්පනාව බර විය. " මේ මොකද දෙය්යෝ උනේ....." "ඊයෙ රෑ තද වැස්ස හින්දා ටිකක් කලියෙන් ඇස්දෙක පියවුනා...., ටික වෙලාවකින් සද්දයක් ඇහිලා ඇහැරිලා බලද්දි අලි කංඩියක්ම ඇවිත්.... ,හූ කිව්වා.. කෑ ගැහුවා... රතිඤ්ඤා දැම්මා ඒත් උන් නෙමෙයි හෙල්ලුනේ. වැස්ස හින්ද කාටවත් ඇහිලත් නෑ. කට්ටිය එද්දි උං මුලු හේනම වනසලා මැනිකේ..." "අනේ කඩවර මුත්තේ ඔබවහන්සේවත් දැක්කේ නැද්ද මේ අවනඩුව...., අර බිසෝ ඊයේ හේන බලලා හූල්ලද්දි නම් හිතුනා කරදරයක් අතලඟ කියල. ඕකිගේ කට තමයි කට..." " ඔලුව විකාර වගේ මැනිකේ, යසට හැදිලා තිබ්බ වගාව" " හ්ම්ම් " " කවදාවත් මෙච්චර සරුවට හැදුනේ නැ, මුලු යායෙන්ම හොඳටම තිබ්බේ මේක" මැනිකා මුලු හේන පුරාම ඇවිදා නැවත පැමිනෙන විටත් මුතුබංඩා සිටියේ පෙර සිටි ඉරියව්වෙමිනි. මුතුබංඩාව ගෙදර එක්ක යෑමට ඈට පුළුවන් උනේ කීපවරක්ම පෙරැත්ත කිරීමෙනි. දිනයක් දෙකක් ගියත් මුතුබංඩා ගෙයින් එලියට නොගිය අතර හරි හැටි කෑමක් බීමක්වත් නොගත්තේය. මුතුබංඩාගේ තත්වය තේරුම් ගත් මැනිකා ගෙදර වූ දහසක් අඩුපාඩු මුතුබංඩාගෙන් සගවා ඈට පුළුවන් ආකාරයට කලමනාකරනය කරගත්තාය. හවස ගෙදරින් එලියට ගිය මුතුබංඩා ගෙට ගොඩ වූයේ රෑ බොවීය. මුතුබංඩාගේ මුහුන වෙනස්වී තිබු අතර ඔහුගෙන් ආ කසිප්පු ගඳ හදුනා ගැනීමට මැනිකාට හා සමන්ට ගතවූයේ ටික වේලාවකි. අරක්කුවලට වැඩි ප්‍රියතාවයක් නොදැක්කු මුතුබංඩා බිව්වා නම් ඒ මගුල් ගෙදරදී හෝ කොටහලු ගෙදරක දීය. පහුවදා මැනිකා අවදිව බැලූ විට මුතුබංඩා නොසිටි අතර. පරිසරයේ තිබුනේ මහා මූසල ගතියකි. මැනිකාගේ කන්දෙක ඇතුලේ පෙරදා රාත්‍රියේ ඇසුනු උලලේනාගේ හඬ දෝංකාර දෙන්නට විය. සිතට ආ සියලු අයහපත් සිතුවිලි මැඩපවත්වාගත් මැනිකා තාමත් නින්දේ වු සමන්ව ඇහැරවා මුතුබංඩාව සෙවීමට පටන්ගත්තාය. සමන්ව කඩපිලට යැවූ මැනිකා දිව්වේ හේනටය. කෑ ගසමින් මුතුබංඩාට අඩගැසූ මැනිකා සිහි සුන්ව වැටුනේ දුටු දසුනකිනි. නැවත පියවි සිහියට පැමිනි මැනිකා විලාප තියමින් අඩගැසු අතර ඇගේ හඬ ඇසුනු ගම් වැසියන් හේනට පැමිනෙන විටත් මුතුබංඩාගෙ නිසල සිරුර කෝන්ගහේ අත්තක එල්ලෙමිනි තිබිනි. මුතුබංඩාගේ බූමදාන කටයුතු හා හත්දොහේ දානය සිදුවූයේ ජින්දාස මුදලාලිගේ අනුග්‍රහයෙනි. අනේකවිද දුක්ගැහැට විඳිමින් සමන්ගේ එස් එස් සී විභාග ඉවරවනතෙක් මැනිකා හා සමන් එම ගමෙහි කල්ගෙවූ අතර ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බැලුවේ නුවර ගංපොල පදිංචි මැනිකාගේ ලොකු අය්යා විසිනි. විභාගයෙන් පසු මැනිකා සමන්ද කැටුව ඇගේ මුල්ගම වූ ගංපොලට ගියේ මුතුබංඩාගේ මතකයන් ඈත එපිට කැකිරාවට කිලෝමීටර 15 ක් පමන දුරින් පිහිටි කුඩා ගම්මානයේ තනිකර දමමිනි. කාලය දින සති මාස ගෙවීගියේය. කාලයත් සමග මංමාවත් දියුනු වී පරන ගම්බිම් අලුත් වූ අතර මුතුබංඩලාගේ මතකයන් වලදමමින් ඒ බූමිය මත නව නිවාස ඉදිවිය. මුතුබංඩාගේ අබාවයෙන් හරියටම අවුරුදු 22 ක් ගිය තැන වයෝවෘද්ධ ජිනදාස මුදලාලි කැකිරාව රෝහලට ඇතුලත් කලේ දීර්ගකාලයක් පැවති අංශබාග රෝගී තත්වය උස්සන්න වීමෙනි. 76 වන විය ගතකරමින් සිටි ජින්දාස මුදලාලි එසේ එකතැන් වූයේ මීට අවුරුදු හත අටකට පෙරය. ගම්මුන්නම් පැවසුවේ ඔහු ගම්මුන්ට කල කී දේවල් නිසා ඔහුට විඳවීමට සිදුව ඇති බවයි. ජින්දාස මුදලාලිට වෙනදා වෙදකම් කල වෛද්‍ය වරයා එම රෝහලෙන් මාරුවීමක් ලබා වෙනත් රෝහලකට ගොස් සිටි අතර ඒ වෙනුවට පැමින සිටියේ තරුන වෛද්‍ය වරයෙකි. මැදිවියේ මහා බලපුලුවන්කාරයකු වූ ජිනදාස මුදලාලිගේ අංශයක් සම්පූර්ණයෙන්ම පනනැතිව තිබූ අතර ඔහුට සෙලවීමට හැකිවූයේ අනෙක් අංශයේද අත පමනි. මුලදී මුහුනද ඇදවී ගොස් කතාකිරීමට පවා නොහැකිව තිබූ අතර දීර්ගකාලයක් තිස්සේ සිදුකල ප්‍රතිකාර නිසා ඔහුට කතාකිරීමට හැකිව තිබුනත් එයද වෙහෙසකර විය. " මේ ජින්දාස මුදලාලි නේද" ඔහු හිස වැනුවේ ඔව් කියන්නාක් මෙනි " මුදලාලිට මතකද මුදලාලිගේ ගමේ මුතුබංඩා" "මොන" "එල්ලිලා මැරුනු" "ඔව් " "මතකයි" " ඇයි මැරුනේ" " හේන වල් අලි විනාස කොලානේ මහත්තයෝ ඒ දුකට දිවිනහගත්තා" "ඒ අනිත් අය දන්න කතාවනේ, මට ඕනේ ඇත්ත දැනගන්න" " මහත්තයා කවුද " " මුතුබංඩා කියන්නේ මගේ අප්පච්චි" ඉතා අපහසුවෙන් කතාකරමි සිටි මුදලාලි දොස්තර මහත්තයාගේ මූන බැලුවේ ඇස් ලොකු කරමිනි. තමාගේ ප්‍රශ්නයෙන් මුදලාලි කලබල වූ බව දුටු වෛද්‍ය වරයා නැවතත් එම පැනයම යොමුකර සිටියත් මුදලාලිගේ පිලිතුර පෙර පැවසූ එකම විය. " මුදලාලිට කලින් විදපු බෙහෙත මතකද , ඒ විද්දේ විසක්. දැන් මුදලාලි බේරගන්න පුළුවන් මට විතරයි" " බුදු ම.හ..ත්.ත..යෝ පි.ං සිද්ද වෙයි මා..ව මරන්න එපා.. ඇත්ත තමයි කීවේ. " ඇත්ත කීවොත් බේරගන්නවා" වෛ
ද්‍ය වරයා එක හෙලාම ඇත්ත පවසන ලෙසට කියා සිටි නිසා මුදලාලිට ඇත්ත පවසනවා හැර වෙනත් විකල්පයක් නොවීය. මීට අවුරුදු විසිදෙක්කට පමන පෙර මුතුබංඩා මියයෑමට පෙරදා හවස සිදුවීම නැවත සිහි කලේ ගොත ගසමිනි. "මුදලාලි, මුදලාලි" " මොකද බන් කෑ ගන්නේ" " අනේ මුදලාලි ලොකු කරදරයක් උනානේ" " ඒ මොකද්ද " සිද්දිය ආරන්චි වී තිබුනත් මුදලාලි ඒ බව නොඅඟවාම මුතුබංඩාගෙන් විමසුවේ යටිහිතේ යමක් සඟවාගමිනි. " පෙරේදා අලි රංචුවක් ඇවිත් මුලු හේනම කම්බස් කලා මුදලාලි" "ඉතිං" "හේන ගන්න දෙයක් නෑ මුදලාලි" " දැන් උඹ ඔය කියන්න හදන්නේ ගත්ත සල්ලි දෙන්නේ නෑ කියලද" "හෙමීට ගෙවන්නම් මුදලාලි ටික කාලයක් දෙන්න" "මේ මේ මුතුබංඩේ වචනේ වචනේ විදියට තියෙන්න ඕනේ, කඩේට බඩුගේන්න තිබ්බ සල්ලියි ඒ දුන්නේ. පොරොන්දු වෙච්ච් විදියට මට මගෙ සල්ලි ඕනෙ " " ඉතිං මුදලාලි නොහිතාපු දෙයක්නේ උනේ" " උඹ හේන් කොරලා ගෙදරට වෙලා ගෑනිට තුරුල්වෙලා බුදියගන්න ඇති" " හෙන ගහන කතා කියන්න එපා මුදලාලි හේන කොරපු දවසේ ඉඳන් පැලේ තමයි හිටියේ" "පැලේ හිටියනම් හේන අලි කනවැයි, මට ඒවයින් වැඩක් නෑ. පොරොන්දු වෙච්චි විදියට මාස තුනෙන් සල්ලි ගෙවපන් නැත්නම් ඉතිං ඉඩම මගේ" "මොකද්ද මුදලාලි ඒ හරුපේ" "ඇයි බොල තෝ පොරොන්දු වුනේ එහෙමනේ" "එහෙම එකපාර සල්ලි නොගෙව්වා කියල ඉඩං අයිතිවෙන නීතියක් තියෙනවැයි. පොලියක් හදනවනම් හදන්න මම ඒකත් එක්ක ගෙවන්නම්" " උඹ ලියලා අත්සන් කොරලා දුන්න ලියුමේ තියෙන්නේ මාස තුනක් ඇතුලත සල්ලි නොදුන්නොත් ඉඩමේ අයිතිය මට හම්බෙනවා කියල" "තිරිසං වැඩ කරන්න එපා මුදලාලි" "උඹේ අත්සන නෙමෙයිද මේ එතකොට , උඹ කියන්නේ මම හොර අස්සන් ගැහුවා කියලද" " අකුරුත් නොදැන ඇඟිලි අත්සන තිබ්බේ මුදලාලි විස්වාස කරලා. එදා කිව්වේ නය ආපහු ගන්නවා ඒක ගෙවන්න පොරොන්දු වෙනවා කියලා. මේවා හෙනගහන වැඩ මුදලාලි ඔච්චරයි කවදාහරි කොල්ලා ලොකුවුන දවසක දෙන්න තිබ්බේ" " බේරගන්න තව විදියක් තියෙනවා " " ඒ මොකද්ද " " මැනිකව එවපන් ගෙදර වැඩට" මුදලාලි අවඥාවෙන් සිනාසී කීවේ කැත අදහසක් ඉටු කරගැනීමේ අදහසිනි. මුදලාලි කල නොහොබිනා යෝජනාවෙන් මෙතෙක් වෙලා ඉවසාගෙන සිටි මුතුබංඩාගේ රතුකට්ට පැන ගියේය. පැන්න විගස මුතුබංඩා එල්ලකල පහරින් මුදලාලි විසිවී ගියේ ඔහුගේ ගෝලයා බලාගෙන ඉද්දීය. නැවත මුතුබංඩා මුදලාලිට පහරදීමට සැරසෙනවාත් සමග පොල්ලක් ගත් ගුනේ සිය හාම්පුතාව බේරා ගත්තේ මුතුබංඩාට තර්ජනය කරමිනි. ගුනේ අතේ වු පොල්ලට මෙල්ල වූ මුතුබංඩා පසුබැස යන්නට ගියේය. "තෝ නයාට ගහල පොල්ල වරද්දගත්තේ, තොට මේ ගමේ ඉන්න දෙන්නේ නෑ. බලපිය මම තොට කරන දේ" "දවසක උඹේ වලටත් හෙනගහනවා මුදලාලි , උඹ මැරෙන්නේ විඳවලා" "පලයන්න මැරුම් නොකා , තෝව පාරට ඇදලා නොදැම්මොත් මම ජිනදාස මුදලාලි නෙමෙයි" ............................................. ඇතිව තිබූ මරන බිය නිසා මුදලාලි විසින් එදා හවස සිද්දිය පාපොච්චාරනය කලේ හඬමිනි. එදා රෑ මුතුබංඩා වෙරිමරගාතේ කී දේවල් සමන්ගේ හිතේ මෙතුවක් කල් තැන්පත්ව තිබූ අතර මැනිකාවත් එය නොදැන සිටියාය. මුතුබංඩාගේ මරනයට ප්‍රදාන හේතුව මුදලාලි විසින් ඉඩම උදුරා ගැනීමට තැත් කිරීම නිසා ඇතිවූ සිත්තැවුල බවට වූ සැකය වෛද්‍ය සමන් සැකහැර දැනගත්තේය. මුතුබංඩාගේ අබාවයෙන් පසු මැනිකාගේ අය්යා විසින් ඔවුන්ව ගංපොල එක්කනොයන්නට සමන්ටද දිවි ගෙවීමට වන්නේ මහපොලව සමග ඔට්ටු වීමෙනි. පංසලේ ලොකුහාමුදුරුවන්ගේ මග පෙන්වීම හා අනුග්‍රහය නොවන්නට සමන් වෛද්‍ය වරයකු තියා රෝහල් සේවකයෙක් වත් නොවනු ඇත. ඔවුන්ට එවැනි සිහනයක්වත් නොවීය. "අනේ මට සමාවෙයන් දරුවෝ , මාව මරන්න එපා. උඹට ඉල්ලන දෙයක් දෙන්නම්. අර ඉඩම ආපහු ලියල දෙන්නම්" "අප්පච්චි නැතුව ඉඩම් අපිට කන්නද, මුදලාලි යන දවසක ඔය ඉඩම් ඔක්කොම අරන් යන්න... මම බොරු කිවේ මුදලාලි....... අපිට උගන්නලා තියෙන්නේ ජීවිත බේරගන්න මිසක් කාවවත් මරන්න නෙමෙයි. අනික මුදලාලිට හම්බෙන්න පුළුවන් උපරිම දඬුවම හම්බෙලා තියෙන්නේ. වෙන කව්රුත් මුදලාලිව මරන්න ඕනේ නැ මුදලාලි හුස්මගත්තට මැරිලා ගොඩක් කල්..."චබී තමා තවත් ජීවත් විය යුතු නැතැයි සිතූ කාංචනා බැම්ම උඩට නැග දෑස් තදකර පියා ගත්තාය. තමාව මෙතරම් රිදවන සියල්ලෙන් ඈත් වීම, විදවමින් ජීවත් වෙනවාට වඩා හොද බව ඇය සිතුවාය. නමුත් එක් වරම කිසිවෙකු අතින් ඇද ගැසූ කම්මුල් පහරින් ඇය බිම ඇදගෙන වැටුණාය. මහ හඩින් වූ ඇගේ හඬා වටීම පෙන්වූයේ ටික වේලාවකට පෙර ද පහරක් වැදී තිබුණු කම්මුලට මෙම පහර ද කිසි සේත් දරාගත නොහැකි වූ බවය. "මම හිතුවා තමුන් ටිකක් හරි මොලයක් තියෙන ගෑනියෙක් කියලා. බැලුවහම තමුසෙ දන්නෙත් ගොන් වැඩ කරලා අඬන්න විතරනේ. මැරිලා පුළුවන් ද ප්‍රශ්න විසඳන්න?" පහර දුන් තැනැත්තා කන් දෙදරවමින් බැන වදිද්දී කාංචනා බොඳ වූ නෙතින් හිස ඔසවා බැලුවාය. කඳුලු අතරින් වුවද අනුත්තරව හදුනා ගැනීමට ඇයට අපහසු නොවීය. "මට තවත් ජීවත් වෙන්න ඕනේ නැහැ. මගේ දුක ඔයාට තේරෙන්නේ නෑ" කාංචනා නැගී සිටිමින් පවසා ගත්තාය. "තමුන්ගේ ජීවිතයේ තමන්ට වැඩක් නැහැ කියලා හිතෙනවා නම්, අඩු තරමේ ඒක තව කෙනෙක් වෙනුවෙන්වත් පාවිච්චි කරනවා. මේ පොළොවටත් බරක් වෙලා ජීවත් වෙලා නිකන්ම මැරිලා යන්නේ නැතුව, කිසිම අඩුපාඩුවක් නැතිව ඉපදිච්ච තමුන් වගේ අයට අනිත් මිනිස්සු වෙනුවන් කරන්න දේවල් කොච්චර තියෙනවද? " අනුත්තර පෙර කෝපයෙන් ම පවසද්දී, කාංචනා බිම බලා ගත්තාය. "හැබැයි දැන් තමුන්ට මැරෙන්න බැහැ. මාත් එක්ක මෙතන කතා කර කර ඉඳලා, තමුන් ආයේ ගගට පැන්නොත් එහෙම, මම හින්දා පැන්නා කියලා මටත් පොලිසි උසාවි යන්න වෙයි. ඒ නිසා එනවා යන්න." "කොහෙද? අනේ මට ආයෙ ගෙදර යන්න බැහැ. මාව ගෙදරින් එලෙව්වා" දෙපා තව තවත් පොළොවටම බර කර ගනිමින් කාංචනා පැවසුවාය. "ඒක මට තේරෙනවා. ගෙදර යන්න පුලුවන් වුනා නම් තමුන් ගඟට පනින්න නෑනේ. මම යමු කිව්වේ අපේ ගෙදර. අපේ අක්කා ගියාට පස්සේ ඒ කාමරේ හිස් නිසා, අම්මා ඒක කාට හරි කුලියට දෙන්න ඕනේ කිය කියා හිටියේ. මාසෙට ගානක් දීලා එකේ ඉන්නවා." අනුත්තර කාංචනාගේ අතින් ඇදගෙන ඉස්සර විය. "ඔයා මට විහිළු කරනවද අනුත්තර?" " මම මොකද්ද කරන විහිලුව? අතපය හතර හොඳට තියෙද්දි, කිසිම ලෙඩක්, ආබාදයක් නැති සම්පූර්ණ ඇඟක් තියෙද්දි, මැරෙන්න හදන තමුන් තමයි ලොකුම විහිලුව. යන ගමන් කියනවා මැරෙන්න තරම් වුන ප්‍රශ්නේ මොකක්ද කියලා" "ප්‍රශ්නේ මගේ ඇඟම තමයි." කාංචනා පවසද්දී අනුත්තර නතර වූයේය. "ඇයි ඇඟට මක් වෙලාද? ඔය ඉන්නේ කොහෙන් කැපුවත් රාත්තලක් වෙන්න" "නවත්ත ගන්නවා. තමුසෙලා හැමෝටම මාව විහිලුවක්. මම ආසාවට මහත් වෙලා ඉන්නවා කියලද හිතන්නේ? තේරෙන වයසේ ඉදන්ම හැමෝම මට හිනා වෙනවා. ගෙදර උනුත් එහෙමයි. ඉස්කෝලේ යන කාලේ ළමයි බතලී බතලී කිව්වා. සමහරු තාර පීප්පේ කිව්වා. මමත් මනුස්සයෙක්. මටත් රිදෙනවා." "කවුරු මොන බයිලා කිව්වත්, මනුස්සයෙක්ගේ රූපේ අංක එක. ගතිගුණවලට කලින් පේන්නේ රූපෙනේ. ඉතින්, ඒක විතරක් තියෙද්දී මිනිස්සු බලන්නේ ඒක තමයි" "ඉතින් මම මහත් වුන එක මගේ වැරැද්දක්ද? කලු වුන එක මගේ වැරැද්දක් ද? මම කී වේලක් නොකා නොබී හිටියා ද ? කෙට්ටු වෙන්න කොච්චර ජාති කෑවද, බිව්වාද? මගේ ඇඟ කැත නිසා, මට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ තමයි. ඒත් ජීවත් වෙන්න මොකෙක් හරි මිනිහෙක් ඕන කියලා, මට කිසිම වටිනාකමක් දෙන්නේ නැති කෙනෙක්ව මම බඳින්න ඕනෙද?" කාංචනා වෙව්ලමින් කියවාගෙන ගියා ය. "ටිකක් හරි මොලෙත් තියෙනවා නේ. දැන් එහෙම එකෙක්ව බඳින්න වෙන නිසා ද මැරෙන්න හැදුවේ?" "ඔව්. අයියාගේ යාලුවෙක්. ඒ මනුස්සයා මාව බදින්නේ අයියාගේ වචනෙ අහක දාන්න බැරි කමට ලු. මුනටම ඒක කියද්දී, කොහොමද මම ඒ මිනිහාව බඳින්නේ. ඒක කිව්වා කියලා අයියා මට ගැහුවා. මට මගුල් හොයලා එයාලට එපා වෙලාලු. දැනටමත් බඳින වයස පැනලා ලූ, ආයේ වෙන මිනිහෙක් හොයාගන්න වෙන්නේ නැහැලු. මෙයාව බඳින්න බැරි නම් ගෙදරින් ඉන්නත් එපා කියලා මාව එළෙව්වා." "දැන් තමුන් මැරිලා හරියනවද?" "ඔයා මගේ තැන හිටියානම් තේරෙයි. මම කොහේ යන්නද? කාට කියන්නද? මට කවුද ඉන්නේ. මට දැන් මෙහෙ යාලුවොත් නෑ" "හරි. කෙට්ටු වෙන්න කරන්න පුළුවන් හැම දේම කලාද?" "ඔව්. මන් දන්න හැම දේම කලා" "කරන්න තියෙන හැම දේම කරලත් අපිට දෙයක් වෙනස් කරන්න බැරි නම්, කරන්න තියෙන්නේ ඒ දේ, ඒ විදිහටම පිළි ගන්න එක. එහෙම කලහම ඒකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ලේසියි. " අනුත්තර පැවසුවේය. "හිත හැදෙන්න ඔහොම කියන්න ඕනේ කෙනෙක්ට පුළුවන්. ඕවා කරන්න තමයි බැරි. මම මේ හැම දේම කොච්චර කාලයක් දරා ගත්තද? මම හරිම සංවේදී කෙනෙක්. කෙනෙක්ගේ පුංචි වචනෙකටත් මගේ හිත රිදෙනවා. ඒත් මම දරාගත්තා. තවත් නම් බෑ." දෑසින් වැටෙන කඳුළු පිසිමින් කාංචනා අත්වැටට බර වූවාය. "මිනිස්සු කියන කියන හැම දේටම හිත රිද්ද ගන්න එකයි, හැම වෙලාවෙම තමන්ගේ දුකට අඩන එකයි නෙමේ සංවේදීකම කියන්නේ. ඒක දුර්වලකම. තව කෙනෙක්ගේ දුකකට කෙනෙක්ට කදුලක් එනවා නම්, කෙනෙක්ට තව කෙනෙක්ගේ හිතක් රිද්දන්න බැරි නම්, අන්න ඒකයි සංවේදීකම කියන්නේ. ප්‍රශ්නයක් වුනහම කරන්න තියෙන්නේ, දුර්වල වෙලා ඒ මත්තේම අඩ අඩා ඉන්න එක නෙමේ, ඒක විසදන්න විදිහක් බලන එක. කරන්න පුළුවන් හැම දේම කරලත් ඒ ප්‍රශ්නේ විසදන්න බැරි නම්, ඒ තත්වේ පිළි අරන් ඒ තත්වෙ එක්ක ජීවත් වෙන්න ඕනේ." අනුත්තර සන්සුන් නමුත් ස්තීර හඩින් පැවසුවේය. කුඩා කල සිටම තමන් මිනිසුන් ඉදිරියේ අසරණ වූ අනන්ත අවස්ථා ද, කුලුදුලේම තම සිතේ ඇති වූ ආදර හැඟීම ප්‍රකාශ කළ විට ඔහුගෙන් ලැබූ ප්‍රතිචාරයද, එදවස පටන් තමන් ඇඟ අඩු කර ගැනීමට කළහැකි සියලු දේ කල ආකාරයද, හමේ පාට වැඩි කර ගැනීමට මහන්සි වූ අයුරුද, දෙමව්පියන් නිවසට කැඳවූ සියලු මනමාලයන් තමාව ප්‍රතික්ෂේප කල විට සැමගෙන් ලද උපහාසයන්ද චිත්‍රපටයක් ලෙස දෑස් ඉදිරියේ මැවී පෙනෙද්දී, කාංචනා දෑස තද කර තවත් කදුලක් හෙලුවාය. "දැන් මම මොකක්ද කරන්නේ ඕනේ?" "අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකෙ නැහැ. හැබැයි අපි ලග තියෙන අඩුපාඩුවලට වඩා අපි ලග තියෙන වටිනාකම වැඩි වුනොත්, කවුරුවත්
අපේ අඩුපාඩු පෙන්න පෙන්න අපිව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපිට අපේ අඩුපාඩු නැති කරගන්න බැරි නම්, අපි අපේ වටිනාකම වැඩිකර ගන්න ඕනේ." "මම කිසිම වටිනාකමක් නැති කෙල්ලෙක්. අඩුපාඩු විතරයි." "වටිනකම් කියන්න ඕන මනුස්සයෙක් හිතුවොත් හදාගන්න පුළුවන් දෙයක්. ඕනම කෙනෙකුට කරන්න පුළුවන් මොනවා ම හරි දෙයක් තියෙනවා. ඒ දේ හරියට කලොත්, තමන්ට තමන්ගේ වටිනාකම හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට ඔහේ තොදොල් වෙවී, අඩ අඩා කාලේ කකා ජීවත් වෙලා හරියන්නේ නැහැ. හැම දුර්වලතාවය ම අඩුපාඩුවම පැත්තකින් තියලා, වටිනාකම හදා ගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. දැන් යමු. ගිහින් බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා" අනුත්තර ඉස්සර වෙද්දී කාංචනා ඔහු පසුපසින් ඇවිද ගියාය. තම පුතාගේ ත්‍රීවීල් රථයේ මිදුලේ නතර වනු ද, එයින් පුතා සමඟ තරුණියක්ට එළියට බසිනු දුටු සුජාතා කුතුහලයෙන් ඔවුන් වෙත ඇවිද ගියාය. "මේ දරුවනේ මේ, කාලෙකට පස්සේ, මේ හවස් වෙලා මොකද මේ පැත්තෙ?" "අක්කගෙ කාමරේට බෝඩිංකාරියක් ගෙනාවා" යැයි පවසමින් අනුත්තර නිවස තුලට යද්දි කාංචනා මිදුලේ ම නතර වූවා ය. සිදු වූ සියල්ල කංචනා කදුළු සලමින් පවසද්දී, සුජාතා කම්මුලෙහි අත ගසාගනිමින් විස්සෝප වූවාය. "රූපය ලැබෙන්නේ මිනිසුන්ගේ පින් පව් අනුව. එහෙමයි කියලා ඉතින් මැරිලා හරි යන්නේ නැහැනේ. මට පුදුම ඔය ළමයාගේ අම්මා ගැන. උණහපුළුවාටත් උගේ පැටියා මැණිකක්. මෙහෙම ගෑණු ළමයෙක් ව ගෙදරින් එළවන්න පුළුවන් ද අම්මා කෙනෙක්ට." "අම්මලාටත් මාව වදයක් වෙලා තියෙන්නෙ නැන්දේ. මේක මගේ කරුමේ. මගේ කරුම එයාලා ගෙවන්න ඕනේ නෑ. නංගී වගේම නැතත් මාත් ටිකක් හරි පෙනුමට හිටියා නම් එයාලා මාව වදයක් කරගන්නේ නැති වෙයි" "හ්ම්ම්. බලමුකෝ එන විදිහක්. ලැබුන රූපේ මකන්න යෑ. යමු දරුවෝ ගෙට. අර කිව්වත් වගේ අපේ දුවගේ කාමරේ තියෙනවානේ" කාංචනා සුජාතාගේ නිවසේ සාමාජිකාවක් වී දින තුනක් ගතව තිබූනද ඇය නැවත අනුත්තර ව දුටුවෙ නැත. නමුත් ඒ දින තුනේදීම ඔහු සුජාතාව අමතන අවස්ථාවේදී, තමා පිළිබඳව ද විමසන බව ඔවුන්ගේ කතාවෙන් ඇය තේරුම් ගත්තාය. ඉතින් ඔහු නැවත පැමිණෙන තෙක් ඇය තම කාලය ගත්තාය. තවත් දින දෙකක් ගතවෙද්දී, තමන්ගේ ජීවිතය වෙනුවෙන් කළ යුතු සැලසුම් කිහිපයක්ම කාංචනා සතු වුවද, ඒවා බෙදා හදා ගැනීමට අනුත්තර නිවසට එන බවක් නොපෙනුණේය. "අනුත්තර අද වත් එන්නේ නැද්ද නැන්දේ?" "කිව්වේ නෑ ළමයෝ. මම හිතන්නේ මේ දවස්වල ෂොප් එකේ වැඩ ඇති. ඔය ළමයට මොනවා හරි ගෙන්න ගන්නද?" "නෑ නැන්දේ මම මේ නිකන් බැලුවේ." "හ්ම්ම් ඒක මිසක්. මොනවාහරි දෙයක් ඕනේ නම් මට කියන්න. හැමදාම කතා කරද්දි ඔය ළමයා ගැන අහනවා. අදත් කතා කරයි තව ටිකකින්. මම නාගෙන එන්නම්කො. " සුජාතා පිටව ගොස් විනාඩි කිහිපයකට පසු ඇගේ දුරකථනය පුතා යන නමින් නාද වෙද්දී, කාංචනා දෙවරක් නොසිතාම එය කනට ළං කර ගත්තා ය. "අම්මේ මම අද.." "මම අම්මා නෙමේ. " "ආහ් කෝ අම්මා?" "නැද්දා නානවා ඔයා කවද්ද එන්නෙ?" "ඒ මොකෝ මාව හොයන්නේ? "මට ටිකක් කතා කරන්න ඕනේ. මම කරන්න පුළුවන් දෙයක් හිතුවා. ඒ ගැන කියන්න ඕනේ." "එහෙමද? හරි එහෙනම් මම රෑ වෙලා එන්නම්." රෑ මැදියමට ආසන්නව අනුත්තර ගේ ත්‍රීවිල් රථය මිදුලේ නතර වෙද්දී, කාංචනා ඒ වෙත දිව ගියාය. "මම හිතුවේ නිදි ඇති කියලා" "ම්හු නින්ද ගියේ නෑ. " "ඉතින් මොනවද කියන්න තියෙන්නේ?" "මම ඇදුම් මහන්න දන්නවා. මැශින් එකකුයි රෙදියි ගත්තානම් මට ඇදුම් මහලා විකුණන්න පුළුවන්." "හ්ම්ම්. මැහුම් කෝස් එකක් කරලා තියෙනවද?" "ඔව්. තව යූ ටියුබ් එකෙනුත් බලන්න පුළුවන්. මන් ආසයි ඩිසයින් කරන්න." "හ්ම්ම්. පටන් අරගෙන කරගෙන යන ගමන් ෆැශන් ඩිසයිනින්ග් කෝස් එකකුත් බලලා කරන්න පුළුවන්" "ඔව් එහෙම තමයි මාත් හිතුවේ. මේ චේන් එක උකස් කරලා කීයක් ගන්න පුළුවන් වෙයිද?" කාංචනා තම අතේ තිබුණු චේන් එක අනුත්තර වෙත දිගු කළාය. "දන්නේ නෑ බලමු. උදේ ලෑස්ති වෙන්න යන්න. මදි වෙන සල්ලී මම ණයක් විදිහට දෙන්නම්" එම සාකච්ඡාවෙන් මාස හතරක් පමණ ගත වන විට, කාංචනා ලවා ඇදුම් මස්සවා ගැනීමට විශාල පිරිසක් නිවසට ම පැමිණි අතර, අනුත්තර දන්නා හඳුනන කඩ කිහිපයකට ම කාංචනාගේ ඇඳුම් ලබාදුන්නේ ය. තවත් මාස තුනකට පසු ෆැශන් ඩිසයිනින්ග් පාඨමාලාවක් සදහාද කාංචනා ලියා පදිංචි වූවාය. වසර එකහමාරක පාඨමාලාවේ විශිෂ්ටම සිසුවිය ලෙස කාංචනා පාඨමාලාව අවසන් කරද්දී, ඇය එම පාඨමාලාවේ මීළඟ අදියර සඳහා සූදානම් වෙමින් සිටියාය. මේ වන විට නගරයේ බද්දට ගත් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලද "කාංචනා ෆැශන් හවුස්" දිනෙන් දින ආදායම් වැඩි වන ව්‍යාපාරයක් බවට පත් වෙමින් පැවති අතර කාංචනා සමඟ තවත් ගැහැණු ළමුන් පස් දෙනෙක් එහි සේවය කලෝය. කාංචනා සුජාතාගේ නිවසේ නතරවී අවුරුදු දෙක හමාරක් සම්පූර්ණ වූ එදින සවස, කාංචනා අලුත් ඇඳුමක් නිර්මාණය කරමින් කාමරේ පසුවූ අතර කෝපයෙන් රත් වූ වතින් යුතුව සුජාතා කාමරයට කඩා වැදුනාය. "යසයි ඔය ළමයා කන්න දීපු අත හපා කාපු විදිහ නම්!" "නැන්දේ! " සුජාතාගේ කතාවෙන් කිසිවක් සිතාගත නොහැකි වූ කාංචනා පුදුම වූවාය. "යන එන මං නැතුව මැරෙන්න ගිය වෙලාවේ, මගේ කෙල්ලගේ යාලුකමටයි ඔය ළමයාව මෙහෙ නතර කර ගත්තේ. මෙච්චර දවසක් ඔය ළමයට ඉන්න දුන්නේ, මොකක් හරි පිළිවෙලක් කරගෙන යන්නේ නැතැයි කියලා හිතලා මිසක් මේ ගෙදර සදහටම නවත්තගන්න නෙමෙයි." "ඒක මම දන්නවා නැන්දේ. මගෙන් වුන වැරැද්ද මොකක්ද? අම්මටත් වඩා තමාට සමීප ව සිටී සුජාතා නැන්දගේ කතාවෙන් පපුව සීරී යද්දී කාංචනා ඉකි බින්දාය. "ඔය ළමයා කොහොමද මගේ..? "අම්මේ !" කාමරේට එබුන අනුත්තරගේ හඩින් සුජාතාගේ කතාව නතර විය. "මම හිතන්නේ අම්මා ඔය කාංචනාගෙන් අහන්නේ මගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක්" අනුත්තර සංසුන්ව පවසද්දී, කංචනා විසල් කරගත් නෙතින් ඔහු දෙස බලා සිටියාය. "ප්‍රින්සිපල් මහත්තයාගේ දුවට අකමැති වෙන්න උබට මොකක්ද තියෙන හේතුව පුතේ? ඒ මිනිස්සු වැදගත්. ඒ දැරිවිත් පෙනුමට ඉන්නවා. අනික ඒ ළමයා, උබ එයාට අකැමති වෙන්නේ ගෙදරම කෙනෙක් ඉන්න නිසාද කියලා ඇහුවහම, මොකක්ද උඹ මේ, නොදන්න ගෑනුන්ට වඩා ඒ දන්න ගෑනි හොඳයි කිව්වා කියන්නේ?" "ගානට ගින්න දීලා නේද? අනුත්තර සිනහවෙමින් පවසද්දී, කංචනා තිගැස්සී ගියාය. "මොකක්ද පුතේ ඒ කතාව?" "මිනිහෙක්ට සල්ලියි රූපෙයි තියෙනවනම් ඕන ම ගෑනියෙක්ව බැදලා, නඩත්තු කරන්න පුළුවන් වෙයි. ඒත් මිනිහෙක්ට හැම ගෑණියෙක්ගේ ම අත් දෙක උඩ තමන්ගෙ ජීවිතේ ම තියලා සැනසිල්ලේ බලාගෙන ඉන්න බැහැ අම්මේ. තමන්ට මොනවා ම හරි දෙයක් වුණොත්, හැමදේම බලාගන්න මගේ ගෑනි ඉන්නවානේ කියන විශ්වාසේ, හැම ගෑනියෙක් ගැනම මිනිහෙක්ට ඇති වෙන්නේ නැහැ. මොකද රූපේ කොහොම වුනත්, හැම ගෑනියෙක්ට ම එහෙම කරන්න බෑ. මිනිහෙක්ට ජීවිතේ ඕනම දෙයක් බාර දීලා සැනසිල්ලේ ඉන්න පුළුවන් ගෑනියෙක් ලැබෙනවා කියන්නේ, මේ ලෝකෙ මිනිහෙක් ලබන ලොකුම වාසනාව. අම්මට මතකනේ, වෑන් එක ඇක්සිඩන්ට් වෙලා මම නැගිටලා ඇවිදින්න අරන් තාම මාසයයි. මට නැගිටින්න මාස තුනක් ගියා. ඒ මාස තුනේම මගේ හිතේ කිසිම බයක් තිබුනේ නැහැ. මට එහෙම සැනසිල්ලෙන් ඉන්න පුළුවන් වුණේ, මගේ ජීවිතේ, මගේ අම්මව, ඒ වගේම මගේ ජීවිතේ වගේ තියෙන බිස්නස් එකත් බලාගන්න පුළුවන් හයියක් තියෙන, විශ්වාසවන්ත ගෑනියෙක් මගේ ලගින් හිටපු නිසා. ඒ ඇදේ හිටපු මාස තුනට, මගේ බේත්හේත් කිසි ම දෙයක් අඩු පාඩු වුණේ නෑ. අම්මට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ. මගේ බිස්නස් එක රුපියලක් වත් පාඩු වුණේ නැහැ. ඒ වගේම කාංචනා එයාගේ බිස්නස් එකවත්, එයාගෙ ඉගෙනීමවත්, එයාගෙ ජීවිතේ කිසිම දෙයක්වත් මගේ ඇක්සිඩන්ට් එක නිසා කඩාකප්පල් කර ගත්තෙ නැහැ. ඇස් දෙකට පේන්නම මෙච්චර වටින ගෑනියෙක් ඉන්න කොට, මට වෙන ගෑනු ඕනෙ නැහැ. ඒ වගේම තමා, මම වෙනුවෙන් මෙච්චර දෙයක් කරන්න පුළුවන් වටින ගෑණියෙක්ගෙ, වයසවත්, පෙනුමවත් මට එච්චර වැදගත් නෑ. මේ චබී කෙල්ල තමයි මගේ ගෑණි වෙන්න ගැලපෙන්නෙම. මම හිතනවා අම්මා තේරුම් ගනී කියලා." යැයි පැවසූ අනුත්තර ඉකිගසමින් සිටින කාංචනා වෙත ගොස් ඇයව වැලද ගත්තේය. බාලිකා හේවගේජීවිතය විදින්න................... මිනිසෙක් විදිහට ජීවිතය විදින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.එකක් තමයි නැවුම් බව අත් විදීමේ සතුට අනෙක් එක තමයි හුරුපුරුදු බව අත් විදීමේ සතුට මෙතනදී නැවුම් බව අත්විදීමේ සතුට කියලා කියන්නෙ හැමදාම කරගෙන යන දේට වඩා විශේෂ දෙයක් කරලා අපිට ලබා ගන්න පුලුවන් සතුටට ඒක හරියට හැමදාම බත් කන කෙනෙක් මාසෙකට දවසක් pizza එකක් අරන් කාලා සතුටක් ලබනව වගේ,හරියට හිතල බැලුවොත් pizza එකක් කියන්නෙ විශේෂ කෑමක් නෙවෙයි ඒකත් පිටි අනල හදා ගන්න සාමාන්‍ය කෑමක් ඒක විශේෂ වෙන්නේ හැමදාම බත් කන කෙනෙකුට,හැමදාම pizza කන කෙනෙක්ට බත් කියන්නේ විශේෂ කෑමක් ඒ වගේම කොහේ හරි trip එකක් ගිහින් වෙනස් පරිසරයක නවාතැන් පළක ඉන්නකොට අපි අත් විදින්නෙත් මේ නැවුම් බවේ සතුට මොකද ඒ hotel එකේ room එකත් ගෙදර කාමරේත් වැලි ගඩොල් වලින්ම තමයි හදල තියෙන්නේ.ඒ දේවල් කොහොම වුනත් අපි හැමෝම මේ නැවුම් බව අත්විදීමේ සතුට ලබා ගන්න ගොඩක් කැමතී. එතකොට හුරුපුරුදු බව අත්විදීමේ සතුට කියලා කියන්නෙ මොකක්ද ඒක හරියටම මෙන්න මෙහෙමයි. සමහරු කියනවා අහල ඇති මට කොයි ලෝකේ ගිහින් ආවත් ගෙදර තරම් සැපක් කොහෙවත් නෑ මට නිදාගන්න මගේ ඇද නැතුව බෑ මට කොහෙන් කෑවත් අපේ අම්මගේ බත් එක වගේ නෑ වගේ දේවල් ඒ කියන්නේ අපේ මනස යම් කිසි දෙයකට හුරු උනාම ඒක සුවපහසු කලාපයක් විදිහට අපිට පේන්න ගන්නවා ඒ නිසයි අපි හැමදාම ඉන්න ගෙදර හෝ නවාතැන් පළ අපිට සුවපහසු බව ගේන්නෙ.අපි හැමෝම මේ හුරුපුරුදු බව අත්විදීමේ සතුට ලබන්නත් නැවුම් බව අත්විදීමේ සතුට ලබා ගන්න වගේම කැමතියි. “නොදන්න දෙයියන්ට වඩා දන්න යකා හොදයි කියලා”කථාවකුත් තියෙන්නේ මෙන්න මේ හේතුව නිසයි. හරියට හිතල බැලුවොත් ලෞකික මිනිසුන් විදිහට අපි සතුටු වෙන්න කියල මොන දේ කලත් අපිට මේ ආකාර දෙකෙන් පිට සතුටක් ලබන්න බෑ. මේ ආකාර දෙකෙන් පිට කෙනෙක් සතුටක් ලබනව නම් ඒ සියළු දේ අත් හැරීමෙන් ලබන සතුට පමණයි. ඒක වෙනම කථ
ාවක්. සාමාන්‍ය මිනිසුන් විදිහට ජීවිතය enjoy කරන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ අපිට නැවුම් බව අත්විදීම හා හුරුපුරුදු බව අත් විදීමම තමයි. අනෙක තව දෙයක් තමයි මේ කාරණා දෙක එකිනෙකට වෙනස් කාරණා දෙකක් විදිහට බැලූ බැල්මට පෙනුනට මේ දෙක එකිනෙකට බද්ධ වුණු කාරනා. මං ඒක මේ විදිහට පැහැදිලි කරන්නම් කෙනෙක් කියනව නම් මට කොයි ලෝකේ ගිහින් හිටියත් ගෙදර තරම් සැපක් නෑ කියල ඒ කියන කෙනා කොයි ලෝකේ හරි ගියපු කෙනෙක් ඒ කියන්නෙම නැවුම් බව අත් විදපු කෙනෙක්.එතකොට පැහැදිලියි නේ හුරුපුරුදු බවේ සතුට විදින්න නම් නැවුම් බවේ සතුට ලබන්න ඕනෙ කියන එක. අනෙක් පැත්තට ගත්තොත් ජීවිතයේ කිසිම දවසක ගෙදරින් එළියට නොගිය කෙනෙක් කියන්නෙ නෑ මට මගේ ගෙදර තරම් කොහෙවත් හොද නෑ කියල මොකද එහෙම කියන්න ගෙදරට වඩා තව තැනක් හොදද නරකද කියන්න එයා දන්නෙ නැති නිසා අනෙක් අතට එහෙම එක ගෙදරකට කොටුවෙලා ඉන්න කෙනෙක්ට පේන්නෙ ඒ ගෙදර සිර මැදුරක් විදිහට මිසක් සුව පහසු ස්ථානයක් විදිහට නෙවෙයි.කවුරු හරි කෙනෙක් එහෙම කියනවානම් කියන්නෙ එළියට යාමට තියෙන බය නිසා මිසක් ඇත්තටම යන්න අකමැති නිසා නෙවෙයි. කෑම උදාහරණ විදිහට ගත්තත් එහෙමයි.හැමදාම කන්න තියෙන්නේ ගෙදර කෑම විතරක්ම නම් ඒ පුද්ගලයාට ඒ කෑම අප්පිරිය වෙනව මිසක් මට කොහෙන් කෑවත් ගෙදර කෑම වගේ set නෑ කියන අදහස ඇති වෙන්නෙ නෑ. එතකොට පිටින් කන කෙනෙකුටම තමයි ගෙදර කෑමවල රස දැනෙන්නේ. ඉතින් මේ කාරණා දෙක එකිනෙකට සම්බන්ධ බව පැහැදිලියි නේ. කෑම බීම හා ගමන් බිමන් ගැන පමණක් උදාහරණ විදිහට ගත්තත් අපි ජීවිතයේ experience කරන සියළුම දේට මේක අදාළයි. අපේ ජීවිතයේ විශේෂ ස්ථානයක් ගන්න ආදරය ලිංගිකත්වය කියන කාරණාවෙදි කොහොමද අපි මේක විදදරා ගන්නේ. නැවුම් බව කියන දේ ආදරය හා ලිංගිකත්වය කියන කාරනාවෙදි සමාජ සංස්කෘතික කාරණා ඔස්සේ විවිධ පුද්ගලයනට විවිධ මත තියෙන්න පුලුවන්. එතකොට හුරුපුරුදු බව කියන කාරණාව ගත්තොත් කෙනෙක් තව කෙනෙකුට හුරු වෙලා ඉන්නේ ඉහත මං කිව්ව කාරණාව ඔස්සේ හිතල බැලුවොත්,කොයි කෙනා හිටියත් මට ඔයා නැතුව බෑ කියල කිය්න්නෙ ඒ කෙනා අපිට ආදරෙයි කියල කියන එකම නෙවෙයි.මොකද ඒක ඒ කෙනා ආශ්වාදය ලබන තවත් ආකාරයක් මිසක ඒක ආදරයක් නොවන නිසා මොකද ඉස්සර කාලේ රජ වරුන්ට අඃතප්පුර ස්ත්‍රීන් හිටියා,ඒ වගේම අග බිසවකුත් හිටියා ඒ කියන්නේම නැවුම් බවේ සහ හුරුපුරුදු බවේ සතුට විදින තවත් ආකාරයක්. ඉතින් ජීවිතේ සතුට විදින්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ක්‍රම දෙක ඔයාලගේ ජීවිතයේත් සතුට හොයා ගන්න. මොකද මිනිසුන් විදිහට අපි හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනි නිසා,හැබැයි ඒ අන් කිසිවකුගේ සතුටට බාදාවක් නොවන විදිහට.✨️වරදකිම මම කරපු අකුරු තහනම් වෙන්න✨️ ජීවිතය කියවන්න අකුරු හැඩ දැනගන්න ආසමුත් මටත් ඔය පන්තියේ ඉඳගන්න බලා ඉදි කියන තුරු පන්තියට පැමිණෙන්න ලැබේවිද හෙට දිනක් මටත් සිසුවෙකු වෙන්න අම්ම ලස්සන වෙලා රෑට යන රැකියාව නොදන්නෙමි ඇය එන්නෙ උදෑසන පසුදාට අප්ප කියලා කෙනෙක් නොදත්තෙමි කිසිදාක නිදමි බස් නැවතුමේ තනියෙන්ම හැම රෑම මගේ වයසේ එවුන් උදෑසන හැමදාම පොතුත් අර ගෙන එනව පාසලට උදයෙන්ම ගුරුතුමණි පොත් අරන් මමත් ආවොත් එහෙම ගන්නවද පාසලට එන්න මම උදයෙන්ම මට ඇකප ඇයිද මේ පන්තියේ ඉඳගන්න මමත් ළමයෙක් නොවේද මේ අතර ඉපදිච්ච කියනවද ගුරුතුමනි අනේ මට දැනගන්න වරදකිම මම කරපු අකුරු තහනම් වෙන්න00: 24 වෙලාව, එන්ගලන්තේ හරිම සීතලයි මේ දවස් වල, අපි ඉන්න පැත්තට වැඩිය හිම වැටෙන්නේ නෑ, අපි රටක ගිහාම දැනෙනවා හරි කාශ්ඨක ඉඩෝර තනිකමක්, අපේ ගේ ඉස්සරහ තියෙන්නේ ලොකු තණකොල පිට්ටනියක්. ඒක හරි ලස්සන වීම මේ ගෙදරට මම කැමති උන එක හේතුවක්, ඉතින් මේ ඉඩෝර තනිකම ඇතුලේ අපිට අපිව හොයාගන්න ලැබෙනවා හරි පුදුම අවස්ථාවක්, ඒකට දෙන්න නමක් තේරෙන්නේ නැහැ, අපි ලෝකයේ හැම තැනම ගියහම දැක්කම අපේ බොලඳ හිතන පතන විදිහ පවා වෙනස් වෙනවා, මම කැමතිම මේ රටේ මිනිස්සුන්ගේ සමහර හරි අපූරු ගතිගුණ වලට, Sorry, Thank you, Welcome , Are you alright?, If that's okay වගේ වචන මෙහෙ හරිම සාමාන්‍යයි. දවසක් මම බස් එක එනකම් ඉන්නකොට පාර පැන්නා වයසක ගැහැනු කෙනෙක්, අනේ එයා එක පාරට පාර මැද්දේ ඇදගෙන වැටුනා, දෙපාරක් හිතුවේ නෑ, කවුරුත් කරයිද බල බල හිටියෙත් නෑ , මාත් එක්ක හිටපු හැමෝම එයාව දුවල ගිහින් එක්කරගෙන ඇවිත් වාඩි කෙරෙව්වා, එක්කෙනෙක් අතේ තිබ්බ ලේන්සුව එහෙම්ම නලලට තිබ්බා, එයාගේ අතේ ලේ හැබැයි එයාට ගානක් වත් නෑ අනික් අතින් ෆෝන් එකෙන් ඇම්බියුලන්ස් එකකට කතා කලා. තව එක්කෙනෙක් එයාව ඇඟට හේත්තු කරගෙන, හැමෝම කතාවෙනවා මොකද කරන්නේ කියල, බස් එක ආවා කවුරුත් නැග්ගේ නැහැ. මේ රටට ආවට පස්සේ ඉගෙනගත්ත ලොකුම දේ, අපිට දෙයක් කෙනෙක්ට කියන්න පුලුවන් විදි 100ක් තියෙනවා කියන එක. ගොඩක් වෙලාවට මෙහෙ අය කියන දේ කෙලින් කියනවා, අනිත් කෙනාගේ හිත නොරිදෙන්න, ආය ජීවිතේට හමු නොවෙන කෙනෙක්ට වුනත්, ඔවු, දැන් 00.41 නිදිමතක් ගෑවිලාවත් නෑ. ඉතින් අහස දිහා බලාගෙන කල්පනා කරන ගමන් ඈතට විහිදුන තණකොල පිට්ටනිය මැද්දෙන් කැලෑවට දුවන්න හිතුනත්, ඕක් ගහකට පන ඇවිත් , ඔයා කොහෙද යන්නේ කියල අහයිද කියල හිතනකොටම හස්බන් ගොරවන්න ගත්තා, හීන ලෝකෙන් මේ ලෝකෙට ආවා නිදිමතකුත් එක්කම, තරහ ගියාද? ඔහේ ලියන්න හිතුනා, අද හිතේ කිසි හැඟීමක් නෑ ලස්සනට ලියන්න. ඒ උනත් ඔබ සැමට ගුඩ් නයිට්.නත්තල් සීයා ----------- නත්තලත් කට ලඟටම ඇවිල්ල. මට නං ජීවිතේ ලස්සනම, සතුටුම, සුන්දරම උත්සවය තමයි නත්තල. බහාමාස් නං නත්තලට ගොඩාක් සීතයි. අපි කකුල් වලට මේස් දාල, වින්ට ක්ලෝත්ස් ඇඳල, රෑට කම්ෆට'ස් පොරවං තමයි ඉන්නෙ. දොර ජනෙල් හිර වෙන්නම වහනව. ෆෑන් වලට නිවාඩු. හැබැයි මාව දැක්කම එංගලන්තෙ, ප්‍රංසෙ, නිව් යෝක්, මිනසෝටා, ස්විට්සර්ලන්තෙ, කැනඩාවෙ ඉන්න අයට නං බක බක ගාල හිනා යනව. මේ වගෙ ටෙම්පරේච එකකටත් මෙයා නටන ජෝගිය කියල. ඉතිං මං විතරක් නෙමෙයි බහාමාස් වල කවුරුත් නොවැම්බර් ඉඳං මාර්තු මුල දක්වා ඔහොම තමයි ඉන්නෙ. සමහරු මෆ්ලරුත් දානව. කං දෙක වැහෙන තොප්පිත් දානව. ට්‍රොපිකල් රටක් වශයෙන් මේ සීතල සෑහෙන සැලකිය යුතු තරමෙ සීතක් ඉතිං. ජැමෙයිකාවෙ නං ලංකාවෙ වගේ...මහ ලොකුවට දැනෙන සීතලක් නැහැ. මේ කැරිබියන් රටවල නත්තලට සරසන්න පටං ගන්නෙ නොවැම්බර් අග සතියෙ ඉඳං. හැම කඩයක්ම , හෝටලයක්ම , සුප මාකට් එකක්ම , ෂොපිං මෝල් එකක්ම පුදුමාකාර ලස්සනට සරසනව. ගෙවල් වල සැරසිලිත් එකකට එකක් දෙවෙනි නෑ... යන යන තැන ලස්සනට ක්‍රිස්මස් කැරොල්ස් වාදනය වෙනව. එහෙම බලද්දී ඇමරිකාවෙ නත්තල් සැරසිලි ඇත්තෙම නැති තරං. මං නත්තල් සමයෙදි , ස්ටේට් කිහිපයකම ඇවිදල තියෙනව...නමුත් මේ වගේ අලංකාරයක් නං එහෙමට දැකල නැහැ. ඒ අතිං ලංකාව බෞද්ධ රටක් වශයෙන් හරීම අලංකාරෙට සැරසිලි කරණව මේ කාලෙට. අපි පුංචි කාලෙ ඉතිං දෙසැම්බර් පළවෙනිද ඉඳංම ලිස්ට් ලියන්න පටං ගන්නව නත්තල් සීයගෙං ඉල්ලන්න ඕන දේවල්.. ලියල චූටි ස්ටූල් එකට නැගල බිත්තියෙ එල්ලල තියෙන රතුපාට මේස් කකුල අස්සට දානව ලියුම. ආදර නත්තල් සීයා වෙත ලියමි.. මම මේ වසර පුරාම හොඳ ළමයෙක් වී සිටියෙමි. ඒ නිසා පහත සඳහන් තෑගි ලයිස්තුව මා වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි! මේ වගට කීකරු දියණිය, ........ ටික දොහකිං ලියුම අතුරුදහන් වෙනව. නත්තල් දවසෙ උදේ නැගිටල දූවං ගිහිං නත්තල් ගහ යට බලද්දී ... සේරම ලස්සනට රැප් කරල තියෙනව, එකක් නෑර ඉල්ලපු දේවල්. කොච්චර හොඳ සැන්ට ක්ලෝස් කෙනෙක්ද...! ප්‍රයිමරි ස්කූල් එකේදි අවුරුදු හයේම ලොකූ ක්‍රිස්මස් පාටි තියෙනව. මුලු දවසෙම තියෙන මේ පාටිය ඉවර වෙන්නෙ හැම පංතියකම ළමයිංට ක්ලාස් ටීච අතිං එකම විදිහෙ තෑගි ලැබිල. බොහෝ විට ලැබුණෙ ලංච් බොක්ස් සහ වතුර බෝතල්. මුලු ප්‍රයිමරි එකම ලාස්සනට සරසල..අපි සේරම ඇහැල ගහ යට ලොකූ රවුමකට පුටු තියාගෙන වාඩි වෙලා ඉද්දි මිස් ජොයිස් පියානෝ ගහනව. මිස් ප්‍රියන්ති එකෝඩියන් ගහනව. නිතරම ඉස්කෝලෙට එන අංකල් කෙනෙක් ගිටාර් ගහනව. ඩ්‍රම්ස් ගහන්නෙ නං අප' ස්කූල් එකේ ලොකු අක්කල. අපි ක්‍රිස්මස් කැරොල්ස් ගායනා කරණව. සේරම ඉංගිරිස් සිංදු ටික ඉවර කරල.. "පුලුං වගේ සුදු රැවුල දිගයි.." කියද්දිම මෙන්න උදා වෙනව අපි පුල පුලා බලා සිටි මොහොත. ලොකූ තෑගි මල්ලක් කරේ තියං , බැලුං පිරිච්ච රිටකුත් අරං හොහ්..හොහ්..හෝ කිය කිය සැන්ට එනව. අපිට ඉවසං ඉන්න බැරුව පුටු උඩ හිට ගන්නව එයාව බලන්න. බැලුං පොල්ල උඩ වීසි කර කර එයා නටන්නෙ...අම්මෝ ඉතිං අපිත් නටනව. පස්සෙ කාලෙක ලොකු උනාම දැන ගත්ත ඒ විදිහට හැමදාම සැන්ට උනේ අපෙ කැෂ්මිය ස' කියල... එකම එක පාරක් විතරක් සැන්ට ඈත ඉඳං ආවෙත් උඩ පැන පැන... පුංචි අපි හිනා උන සද්දෙ මූදු රැළි වල සද්දෙත් පරයා ඇහුන බව, මීගමු පැරණි තානායමේ වැඩ කරණ අයත් කියල තිබ්බ. ඒ අවුරුද්දෙ කැෂ්මිය ස' රට ගිහිං හිටපු නිසා සැන්ට වෙලා ඇවිත් තිබුණෙ මිස් සල්ගාදු. මගෙ ලොකු දුව වයස දොලහ වෙනකල්ම සැන්ටට ලියුං ලිව්ව. ඒ ලියුම එයා නතර කළාට, පොඩි දුවත් වයස දහයක් වෙනකං ලිව්ව.. අපි වගෙ ආදර නත්තල් සීයේ වෙනුවට එයාල ලියන්නෙ ඩිය සැන්ටා...කියල ඉතිං. දෙසැම්බර් විසි හතර රෑට නත්තල් ගහ යට කිරි වීදුරුවකුයි, කුකී එකකුයි තියල රෑ 12 පූජාවට ගිහිං ඇවිත් නිදාගන්නෙ නැතුව ඉන්නව රෑට තෑගි අරං එන සැන්ටව හොරෙං හරි බලන්න. අපිට චිමිනි තිබ්බෙ නැති නිසා සැන්ටට එන්න බැල්කනියෙ ලොකු දොර ඇරලම තියන්න කියල තමයි දුව කියන්නෙ. කවුරු හරි ඇහැරිලා බලං ඉද්දි සැන්ට එන්නෙ නැති නිසා, බල කරල නිදා ගන්න යැව්වම උදේ පාංදරම දූවං ඇවිත් බලනකොට නත්තල් ගහ යට තෑගිත් තියල, කිරි බීල, කුකී කාල සැන්ට ගිහිං. අපි ජැමෙයිකාවෙ ඉද්දි ලොකු දුවට වයස හතක් කාලෙ උදේ පාංදරම නැගිටල බලද්දී කිරි වීදුරුවෙ ලිප්ස්ටික් තිබුණ නිසා එයා තීරණය කළා සැන්ට හැම ගෙදරිංම කාල බීල බඩේ ඉඩ නැති නිසා, එයා එක්ක උදව්වට ආපු ගර්ල් එල්ෆ් කෙනෙක්ට කිරිවීදුරුව බොන්න කියන්න ඇති කියල. මීගමුවට පුංචි රෝම
ය කියන්නෙ නිකංයැ. පල්ලි වලිං වගේම ක්‍රිස්මස් පාටි වලිනුත් අපිට අඩුවක් නෑ...අම්මගෙයි අප්පච්චිගෙයි යාලුවො තිහක් විතර සහ ඒගොල්ලන්ගෙ දරුවො සේරම එකතු වෙලා අපි කුඩා කාලෙ තියෙන පාටියත් මං ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච එව්ව තමයි. ඒවටත් නත්තල් සීය, හොහ් හොහ් හෝ...ගාගෙන එනව. අපිට නම් කිය කිය කථා කරල , මල්ලෙං අරං තෑගි දීල පැයකිං විතර යනව ඉතිං... ඊට පස්සෙ තමයි කෑම.. ඔය පාටියෙ දෙතුං අවුරුද්දක්ම සැන්ට ඇවිත් යනකංම අපෙ අප්පච්චි අතුරුදන් වෙච්ච නිසා මං හරී දුකිං හෙව්ව එයාව.. සැන්ට ගියාට පස්සෙ හිනා වෙවී ආවට වැඩක් තියෙනවයැ, හොඳම හරිය මග ඇරිල... " අප්පච්චී...සැන්ට ඇවිත් ගියා...අප්පච්චි කොහෙද ගියේ...". කියල ඇහුවම " අනෙ පුතා...සැන්ටගෙ කරත්තෙ අදින පිණි මුවංට වතුර දෙන්න උනානෙ...ඊට පස්සෙ ඒගොල්ලන්ව බලා ගන්න උනානෙ සැන්ට එනකං..." කියල එක අවුරුද්දක දීපු උත්තරේ, මට ඊයෙ වගෙ තාමත් මතකයි. -ලසන්ති කොඩිකාර-🌼🌼කෝපි සහ ගෝපි🌼🌼 නොවැම්බර්,දෙසැම්බර්, ජනවාරි මාස වලට මීදුමෙන් වැහෙන ලස්සන බණ්ඩාරවෙල, නායබැද්ද කන්ද පාමුල වෙන්න තමයි අපේ ගම තිබබේ. තේ වතු යායකට මායිම් වෙන්න තිබ්බ ගමේ තෙලුයි පොලුයි මාලුයි නැතිව කෑමට ඕන කරන අනෙක් හැමදේම තියෙනවා. වී වගේම අල, බෝන්චි, ගෝවා, වට්ටක්කා, කැරට් වගේ එලවලු ජාති ගොඩාක් තිබුනා. ගමේ සමහරක්ට කුඹුරු තිබුනා. සමහරක්ට තේ තිබුනා. අපේ අප්පච්චිට තිබුනේ කුඹුරු. ඒ කුඹුරුවල හැදුවේ අල, අර්තාපල් අල. බීජ අල, පෙට්ටි ගණන් ගෙනත් දෙකට තුනට කපලා, බෙහෙත් ගාලා හිටවන්න ලෑස්ති කරනව මට යන්තම් මතකයි. අප්පච්චිගේ කුඹුරු වල වැඩට උදව් වෙන්න වෙනම කට්ටියක් හිටියා. ගොඩාක් නෙවෙයි දෙතුන් දෙනෙක්. පාර්වතී අම්මාගේ මහත්තයා බාලුත් ඒ එක්කෙනෙක්. පාර්වතී අම්මා කියන්නේ පුoචි කාලේ මාව බලාගන්න හිටපු කෙනා. අපේ ආතම්මා, අප්පච්චිගේ අම්මා තමයි මාව බලාගත්තේ. ඒත් පාර්වතී අම්මත් උදව්වට හිටියා. පාර්වතී අම්මාගේ මුණුබුරා තමයි ගෝපි. හැමෝම එයාට ගෝපි ගෝපි කිවුවට ඇත්තටම එයාගේ නම කාර්තික් ගෝපිනාදන්. පොඩි කොල්ලෙක්. මට වඩා අවුරුදු හය හතක්ම වැඩිමල් ඇති. ඉස්කෝලේ නිවාඩු කාලෙට පාර්වතී අම්මා එක්ක ගෝපිත් එනවා අපේ ගෙදර. වැඩකට නෙවෙයි. එයාව දාලා එන්න කෙනෙක් ගෙදර නැති නිසා. ගෝපිගේ අම්මා අප්පා කවුද කියලා මම දන්නේ නෑ. පාර්වතී අම්මත් ඒ ගැන කතා කරනවා මට කවද්දවත් ඇහිලා නෑ. සමහරවිට අපේ අම්මයි අප්පච්චියි දන්නවා ඇති. ගෝපිගෙ හැමදේම බැලුවේ පාර්වතී අම්මයි බාලුයි. අපේ අම්මා නායබැද්ද දමිල විද්‍යාලෙට උගන්නන්න යනකොට ඒ පන්තියේම තමයි ගෝපිත් ඉගෙනගෙන තියෙන්නේ. ඉස්කෝලේ යන්න හරිම කම්මැලියලු. පාර්වතී අම්මා තේ ඉපල්ලක් අරන් එළවගෙනලු ඉස්කෝලෙට එන්නේ. ඒ ආවමත් ගහයි කියලා බයට අපේ අම්මගේ මේසේ යටට රින්ගනවලු. උස,කලු, මහත මේ කොල්ලා ඉගෙන ගන්න දක්ශ උනාට ඌට ඕන උනේ ඉගෙන ගන්න නෙවෙයි. වැඩ කරන්න. තේ වතු අස්සේ රිoගන්න, ගස් වල බඩාගන්න. කුකුලෝ හදන්න, බත් කූරෝ අල්ලන්න, කිතුල් ගස්වල එල්ලලා තියෙන රා මුට්ටියට ගල් ගහන්න. පාර්වතී අම්මාගේ කටේ බලේටයි කෝටු පාරටයි තමයි ඉස්කෝලේ ඇවිත් තියෙන්නේ. ඉතින් ඉස්කෝලේ නිවාඩු කාලේට අපේ ගෙදර එන ගෝපිගෙ වැඩේම ආතම්මගේ කෝපි ගස් වල එල්ලිලා ඔoචිලි පදින එක. අපි හිටියේ අප්පච්චිගේ මහ ගෙදර. ඒ ගෙදර වත්තේ කෝපි ගස් දහයක් පහලොවක් තිබ්බා. ඉතින් ගෝපි ඒ ගහෙන් මේ ගහටයි මේ ගහටයි එල්ලී එල්ලී යනවා. "ගෝපි වැටිලා අතක් පයක් කඩා ගත්තොත් මම නම් බලන්නේ නෑ" පාර්වතී අම්මා කෑගහනවා. "කොල්ලෝ ඔය ගස් වල අතු හයිය නෑ. වැටෙයි" අපේ ආතම්මත් කෑ ගහනවා. ඒ උනාට මම ආසයි ගෝපි ඒවගේ එල්ලිලා රිලවා වගේ යනවට. පුoච් මගේ මූනට හිනාවක් ගේන්න පුලුවන් හැමදේම ගෝපි කලා. ලපටි කෝපි කොලයක් කඩාගෙන දෙකට තුනට නවලා නලාවක් වගේ සද්දේ එන්න පිඹිනවා. මම අඩන හැම වෙලාවකම මාව නලවන්න ඒක පිඹින්න ගෝපි පුරුදු වෙලා. හරි අපූරු හඩක් එන්නේ ඒකෙන්. ලගදි ගෙදර ගිය දවසක මමත් මගේ පොඩි දෙන්නටත් හදලා දෙන්න බැලුවා. ඒත් ගෝපි වගේ කෝපි කොල නලාව හදාගන්න මට බැරි උනා. කෝපි මල් පිපෙන කාලේට පුදුම තරම් සුවදයි. දිගම දිග කෝපි අතු දිගේ ලස්සන සුදු පාට මල් හැදිලා. ඒක නිකම් මාලයක් ගොතලා කෝපි අත්ත උඩ තියලා වගේ. ගෝපි සමහට දවස් වලට ඔය මලක් ගෙනත් මගේ කන අයිනෙන් රදවනවා. " ඕවගේ කූඹි ඉන්නවා ගෝපි" " බබාගේ ඇහැට යයි" "බබාගේ කනට යයි" "බබාගේ නහයට යයි' "බබාව කයි" පාර්වතී අම්මයි අපේ ආතම්මයි මාරුවෙන් මාරුවට කියවනවා. ඒත් මම ආසයි ගෝපි එහෙම මල් ගේනවට. "චූටි බබා ලස්සන යේම තමයි" කියලා ගෝපි කියනවා එතකොට. කෝපි මල් වල සුවදට එක එක සත්තු එනවා ගස් වලට. වැඩියෙන්ම ඉන්නේ කoකුණ්ඩෝ. එකෙක් දෙන්නෙක් නෙවෙයි මහ ගොඩාක්. සමහර ගස් වල දහයක් පහලොවක් විතර. එතිලා, එල්ලිලා, එක එක විදියට ඉන්නවා සමහර ගස් යට කොම්බුව වගේ කැරකිලා ඉන්නවා. අම්මෝ මතක් වෙනකොටත් මාව වෙවුලනවා. දවසක් කෝපි ගහක හිටපු කoකුණ්ඩෙක් ගෝපි අපේ ගෙට ගෙනත් කෝටුවක එල්ලන්. "බබා යේ බලන්ඩ" කියලා මට පෙන්නපි. බය වෙච්චි තරම කොච්චර කියනවනම් මට කතා කරන්න බැරුව ගියාලු. කදුලු එනවලු බයට. ඇඩුවට සද්දේ නෑලු. ගෝපිවයි එයාගේ අතේ හිටපු කෙනයි පෙන්න පෙන්න අඩනවලු. බඩගාගෙන යන කoකුණ්ඩාට එදා පියාඹගෙන යන්නලු පාර්වතී අම්මා දුන්නේ. කoකුණ්ඩා ගෙනාපු කෙනාටත් කෝපි කෝටුවක් කඩාගෙන එදානම් ලේ පාර හිටින්නම ගහලා තිබ්බා. මට තෙලුත් මැතිරුවාලු බය යන්න. කෝපි මල් පිපිලා චූටි චූටි කෝපි ගෙඩි හැදෙනකොට ගෝපි කෝපි ගෙඩි දෙක තුනක් සාක්කුවේ දාගෙන එනවා සෙල්ලම් කරන්න. පාර්වතී අම්මා ඕක දැක්කම "බබා ඕව කයි, එයාට දෙන්න එපා" කියනවා. ඒත් කොල පාට ඒ කෝපි ගෙඩියක් දෙනකම් මම ගෝපි දිහා බලාගෙන අඩනවා. අන්තිමට හොරෙන් කටේ දාන්නේ නෑ කියලා පොරොන්දු කරගෙන එකම එක කෝපි ගෙඩියක් මට දීලා යනවා. අම්මෝ එදාට ඉතින් ඒක තමයි මගේ නිධානේ. ගොඩාක් දවස් වලට මම නිදගන්නේ ඒ කෝපි ගෙඩිය අතේ ගුලි කරගෙන. හැබැයි නැගිටිනකොට ඒක නෑ. පාර්වතී අම්මා හරි අපේ ආතම්මා හරි මාව නිදි කරලා ඒක හෙමින් ගන්නවා ඇති. කෝපි ගැට ටික ටික ලොකු වෙලා රතු පාට වෙනකොට ගෝපි වගේම කෝපි අතු වල එල්ලෙන්න තවත් කට්ටියක් එනවා අපේ වත්තට. අත් දෙකෙන් එල්ලිලා හරි, ගහේ අතු වල වාඩිවෙලා නැට්ට පහලට දාගෙන හරි ඉන්න මෙයාලව පෙන්නලා තමයි ගොඩාක් වෙලාවට මට බත් ටික කවාගන්නේ. ඉදුණ කෝපි ගෙඩි කන්න රිලව් හරිම ආසයි. ගෙඩි දෙක තුන කඩාගෙන කටේ දාගෙන හපලා හපලා කෝපි ඇට ටික බිමට දානවා. සමහර ඇට ගිලිනවා. කෝපි පොත්තේ තියන රසට තමයිලු රිලව් වැඩියෙන් කැමති. පාර්වතී අම්මටයි, අපේ ආතම්මටයි ගෝපිටයි රිලවු ආව දවසට මාව බලාගන්නවාට වඩා අමාරුයි රිලව් ටිකගෙන් කෝපි ටික බලාගන්න එක. පොඩි පොඩි ගල් කැට අරගෙන ගැහුවට උන් ටික දුරක් ගිහින් ආයේ එනවා. පස්සේ පස්සේ රිලවුගෙන් කෝපි බේරගත්තට වඩා අමාරු උනේ ගෝපිගෙන් කෝපි බේරගන්න එක. රතු පාට කෝපි ගෙඩි කටේ දාගන්න රිලවු වගේ ගෝපිත් කෝපි ගෙඩි කටේ දාගෙන ඒකේ පොත්තේ රස බලනවා. දවසක් මමත් ගෝපිගේ අතේ තිබ්බ කෝපි ගෙඩියක් කාලා බැලුවා. පැණි රස එක්ක එන අමුතුම රසක් ඒක. "ඇට්ට ගිල්ලින්ඩ යෙප්පා බබා" කියලා ගෝපි කියනකොට මම කෝපි ගෙඩිය ගිලලා ඉවරයි. හොද වෙලාවට එදා අප්පච්චි ගෙදර ඉදලා. ඇස් දෙකත් උඩ ගිහින් හිටපු මාව අත් දෙකට උස්සගෙන අප්පච්ච්චි ඉස්පිරිතාලේ ගිහින් තියෙන්නේ. එදත් ගෝපි කෝපි කෝටුවෙන් හොදටෝම ගුටි කාලා තිබුනා. ඉදුණ කෝපි ගෙඩි කඩලා, පොඩි කරලා, පොතු අයින් කරලා, ඇට ටික අවුවේ හොදට වේලනවා. හොදට වේලුන කෝපි ඇට තාච්චියේ බැදලා, වoගෙඩියේ කොටලා තමයි අපේ ආතම්මා කෝපි කුඩු හදාගන්නේ. ආතම්මා කෝපි බදින වෙලාවට, කෝපි කොටන වෙලාවට මුලු පළාතම කෝපි සුවදයි. මම ඒත් ලොකු වෙලා හිතුවා මෙච්චර මහන්සි වෙලා කෝපි හදාගන්නේ ඇයි කඩෙන් පැකට් එකක් ගෙනත් බොන්න පුලුවන්නේ කියලා. නෑ මට වැරදිලා. ආතම්මගේ කෝපි එක තමයි මම බීපු රසම කෝපි එක. ගමේ කවුරු උනත් බඩේ අමාරුවකට, සීතලකට හදිසියේ කෝපි කුඩු ටිකක් හොයාගෙන ආවේ අපේ ගෙදරට. "අලුත් ගෙදර නැන්දම්මා ගාව තියෙනවා කියලා දන්නවා. එක වේලක් බිවුවානම් ඇති.ඒකයි තකහනියෙම මෙහෙට දුවගෙන ආවේ" කියලා කෝපි කුඩු ටිකක් ඉල්ලන් යනවා. සමහරවිට ආතම්මගේ අත්ගුණේ වගේම ආදරෙත් ඒ කෝපි කුඩු වල තියෙන්න ඇති. ආතම්මා වගේම කෝපි ගස් ටිකක් අපිව දාලා ගියා. අපි අලුත් ගෙදරකට ගියා. කුඹුරු පුරන් උනා. මම ටික ටික ලොකු උනා. ඉස්කෝලේ ගියා. ඉස්සර පාර්වතී අම්මා තෝසේ,ඉඩ්ලි,ලඩ්ඩු, උලුදු වඩේ හැදුවම අපේ පoගුව අරගෙන දවගෙන ආපු ගෝපි කොල්ලා මට මග ඇරුණා. මම දහයේ පන්තියට එනකම්ම ආපහු ගෝපිව දැක්කෙම නෑ. ඒත් එක දවසක් හරි අහම්බෙන් ලොකු බෑග් මල්ලකුත් අරන් බස් එකට දුවන ගෝපිව මම දැක්කා. ඒ එයාමද කියලා හරියටම නොදැක්කට එයා වෙන්න ඇති කියලා මම විස්වාස කලා. ඒ දවස් වල රටේ තිබ්බ තත්වේ එක්ක ගොඩාක් අය යාපනේටත්, එතනින් ඉoදියාවටත් ගිහින් තිබුනා. ගෝපිත් එහෙම යන්න ඇති කියලා මම හිතාගත්තා. පාර්වතී අම්මා වගේම එයාගේ මහත්තයාත් දිවි ගමන නිමා කළා කියලා අපේ අම්මා කතා කරලා කියපු දෙපාරම එක පාරටම මට මතකෙට ආවේ ගෝපි. සමහරවිට ඒ දවස් වල මම ගියානම් එක පාරක් හරි එයාව බලන්න තිබුනා. මම විශ්ව විද්‍යාලෙට තේරුණා. බස් එකේ යනකොට, එනකොට හැමදාම මම පාර්වතී අම්මලාගේ ගේ දිහා බැලුවා. එකම එක දවසක් හරි ඒ කෝපි පාට කොල්ලව දකින්න හිතාගෙන.වසර දෙකක් ගියත් පාලුවට ගේ දොර පියන ඇරලා තියෙනවා කවදාවත් දැක්කේ නෑ. ඒත් එක දවසක්, හරි අහම්බෙන් මම පොඩි කාලේ දැකපු කලු, මහත, උස කොල්ලගේ ඇස් දෙක විතරක් දැක්කා. මම දන්න ගෝපිගේ ඇස් දෙක විතරයි. හරි අපූරු ඉදන්දාරියෙක්. උස, මහත, මූණ පුරාම රැවුල වවපු කෝපි පාට කොල්ලෙක් කලු පාට වේට්ටියකුයි ඒ පාටම කමිසෙකුයි ඇදගෙන පාර දිහා බලන් හිටියා. හරියට මම එනකම් බලාගෙන වගේ. මම එහෙමයි මගේ හිත රවට්ට ගත්තේ. එක මොහොතකට ඒ කෝපි පාට ඇස් දෙක මගේම උනානම් කියලා හිතුනා. ඒ ඇස් මාව අදුර ගන්න නැතුව ඇති. එක තප්පරේට පාර්වතී අම්මලාගේ ගේ ඇතුලට ගියා. අම
්මෙක් අප්පෙක් නැතුව හැදුන, දැන් කාත් කවුරුත් නැති ගෝපි එක්ක මට අපේ කතාවක් ගොතා ගන්න අමාරු උනා. ඔව් අදටත් පුරුද්දට වගේ මම පාර්වතී අම්මලා හිටපු ගේ දිහා බලනවා... ඒ කෝපි පාට ඇස් තියෙන, කෝපි පාට හම තියෙන කාර්තික් ගෝපිනාත්ව එක පාරක් හරි දකින්න හිතාගෙන මම ඒ ගේ දිහා බලනවා. දැනට අවුරුදු කීපයකට කලින් අපේ අම්මා කිවුවා ගෝපි අපේ ගෙදර ආවා කියලා. මගේ විස්තර මුකුත් ඇහුවේ නෑ කිවුවා. ඒ කියන්නේ එයාට මාව අමතක වෙලාම ඇති. මම වගේම එයත් දැන් විවාහ වෙලා ඇති. එයාලගේම කෙනෙක් එක්ක. මට වගේම දරුවෝ ඇති. ඒත් අදටත් මේ කෝපි මල කාර්තික් ගෝපිනාදන්ගේ වත්තේ පිපුණානම් කියන හීනෙ ගැන හිතන්නවත් මම බයයි. ඒ අහිමිවීම ඒ තරම් මගේ හිතට බරයි. මගේ පුoචි කාලේ සතුටම විතරක් ගෙනාව ඒ කෝපි පාට ඇස් තිබුන කොල්ලා ලෝකේ කොහේහරි සතුටින් ඇති. සතුටින්ම ඉන්න ඕන. ආදරණීය කාර්තික් ගෝපිනාදන්, ඔයා දන්නවාද අදටත් මම කෝපි බොන්නේ නෑ. කෝපි සුවදත් එක්ක මට හරි හරියට ඔයාවම මතක් වෙනවා. පපුව ඇතුලේ සියුම් වේදනාවක් දැනෙනවා. කෝපි සුවද වගේම හරි ඉක්මනටම ඔයත් මගේ මතකෙට ඇවිත් යනවා. සමහරවිට ආතම්මා හදන ‍රසම රස කෝපි එක වගේම ඔයත් මට හම්බ උන රසවත් චරිතයක් . මේ කතාව දමිල භාශාවෙන් ලිය වෙලා, අහම්බෙන් හරි ඔයා මේක කියෙව්වොත්, මේ ඔයාගේ පොඩි කාලේ කෝපි මලම තමයි කියලා ඔයාට මතක් වෙයි. එදාට එන්න. අපි දෙන්නා එක්කම රසම රස කෝපි කෝප්පයක් බොමු. කෝපි ගැන මතක අලුත් කරමු.🌸🌸🌸 E.M.C.K.එදිරිසූරිය 2019.02.02 (ටික කාලෙකට කලින් ලියපු එකක්)***හිමාල දිනපොත*** **අටවන දින** මා උදෑසන අවදි වූයේ තරමක් බරවූ හිසින්. රාත්‍රියේ තිබූ දැඩි ශීතල නිසා නිදා ගැනීම දුෂ්කර කාර්‍යයක් උනා. උදෑසන උෂ්ණත්වය අංශක සෘණ 17 පමණ. හිසෙහි වූ බර ගතිය තරමක් හිතට කරදරයක් උනා. මා බිය වූයේ ඉහල උන්නතාංශ රෝගී තත්ත්වය ගැනයි. අප සිටියේ මීටර් 5000ක් ආසන්නයේ. මා සතුව රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනිය හැකි කුඩා ඔක්සි මීටරක් තිබුනද එයින් එතරම් ප්‍රයෝජනයක් තිබුනේ නෑ. නම්චේ සිටම එහි පෙනෙන්නට තිබුනේ 75%-90% අතර ප්‍රතිශතයක්. එය සම්මත ප්‍රමාණයට වඩා අඩු අගයක් උනත් මට මේ දක්වා ගැටලුවක් ඇතිවුනේ නෑ. මෙවැනි උසකදී ඔක්සි මීටරයේ කියැවීම් නිවැරදිව පරිවර්තනය කරගැනීමට තරම් දැනුමක්ද මා සතුව නෑ. වෙදැදුරු මිතුරන් කීහිප දෙනෙකු සම්බන්ද කර ගැනීමෙන් පසු, ඔවුන්ගේද උපදෙස් රැගෙන, ඔක්සිමීරටයේ කියවීම් වලින් කළබල නොවීමට මා තීරණය කලා. පුරුදු පරිදි යන්තම් මුහුනේ අයිස් වතුර ටිකක් තවරාගෙන මා ආපන ශාලාවට පැමිණෙන විට සිනා මුසු මුහුණින් මාව පිලිගත් කේෂාර් මට සුබ පැතුවා. "අද ඔබ එවරස්ට් බේස් කෑම්ප් එකට යනවා... ඔබේ හීනය සෑබෑවන් දවස අදයි.." සුපුරුදු කෝපි කෝපයෙන් හා උණුසුම් සුප් බඳුනකින් සප්පායම් වී නවාතැනෙන් එලියට බැස්සේ ලොබුචේ සිට ගොරාක්ෂාප් කරා යාමටයි. ගෝරක්ෂාප් පිහිටා තියෙන්නෙ මීටර් 5140ක (අඩි 16863) උසකින්. අපට නගින්නට තිබුනේ මීටර් 200ක උසක් පමණයි. දැඩි ශීතලක් තිබුනත් හිරු එලිය බැබලෙමින් තිබුනා. මද දුරක් ගමන් කරත්ම හිසේ බර ගතිය අඩුවී සිරුර නැවත සුපුරුදු රිද්මයට වැටීම සැනසිල්ලට කාරණයක් උනා. ඔක්සිජන් මදකම දැනුනත්, ගමන එතරම් අසීරු නොවූ නිසා ලොකු අපහසුතාවයක් දැනුනේ නෑ. කුඩා කඳුගැට නගිමින් බසිමින් අප හැල්මේ ගමන් කලා. කේෂර් වරින් වර මතක් කර සිටියේ ගමන් වේගය පාළනය කර ගන්නා ලෙසයි. අප ඉක්මනින්ම මීටර් 5000 සීමාව පසු කලා. කුඩා කඳු ගැටයක් නගිමින් සිටියදී මට මුණු ගැසුනේ ඩිංබුචේ හීදී මුණගැසුනු ඇමෙරිකානුවායි. ඔහු සිටියේ පහල බසිමින්. දුර සිටදීම මා හඳුනාගත් ඔහු අත් ඔසවමින් පලකලේ ගමනේ සාර්ථකත්වයයි. "ඊයේ බේස් කැප්ම් එකට ගියා..අද උදේ කලාපත්‍ර නැග්ගා..." කලාපත්‍ර නැගීම ඔහු විස්තර කලේ එතරම් ශිෂ්ඨ නොවන වදන් වලින්. මද විවේකයකට නැවතී පිළිසඳරේ යෙදුනු ඔහු නැවත පහල බැසීම ආරම්භ කලේ අපට සුබ පතමින්. අප ගමන් කරමින් සිටියේ කුම්බු ග්ලැසියරයට සමාන්තරවයි. භූමිය කිසිදු ගහක් කොලක් නැති, ගලින් හා සුදු පැහැති දුහුවිල්ලෙන් වැසී ගිය කර්කශ එකක්. එය මිහිමත ස්ථානයකට වඩා සම වූයේ අප චායාරූප වල දැක ඇති සඳේ මතුපිටටයි. ගමනේ එක් විශේෂ ස්ථානයක් වූයේ පුළුල් ග්ලැසියරයක් හරහා යාමට තිබූ ස්ථානයයි. බටහිරින් පිහිටි චංගාරි කන්දේ සිට ඇරඹෙන ග්ලැසියර දෙකක් මෙහිදී කුම්බු ග්ලැසියරයට එකතු වෙනවා. ඒ හරහා යාමට නිෂ්චිත මාර්ගයක් තුබුනේ නෑ. ග්ලැසියරයේ ගමන්කිරීම නිසා මාර්ගය නිතරම වෙනස් වෙනවා. ඇතැම් තැන්වල දකින්නට ලැබුනේ අයිස් වලින් පිරුණු ගැඹුරු ආගාධ. කේෂාර් පලමුව ගමන් කොට මාර්ගය ආරක්ෂිත බව තහවුරු කරගත් පසුවයි මට ගමන් කරන්නට ලැබුනේ. වැඩි අපහසුවකින් තොරවම උදෑසන 10:30ට විතර අපි ගොරාක්ෂේප් වෙත ලඟා උනා. ගොරාක්ෂේප් ගොඩනැගිලි කිහිපයකින් සමන්ත්විත ඉතා කුඩා ජනාවසයක්. අද රාත්‍රියට අපට නවතින්නට නියමිතව තිබුනේතෙ මෙම ස්ථානයේමයි. ගමන් මළු නවාතැනේ තබා අප සූදානම් වූයේ, එතන් සිට කි.මි 3.5 ඈතින් පිහිටි එවරස්ට් මූල කඳවුර කරා යාමටයි. ලෙමන් තේ කෝප්පයකින් සප්පායම් වී කෙටි විවේකයක් රැගෙන, අපි නැවත්ත මගට බැස්සා. නැවතත් දුහුවිල්ලෙන් හා ගලින් පිරුණු මාර්ගය දිගේ උතුර බලා අපි ගමන් ඇරඹුවා. දැවැන්ත කඳු පාමුලින් අප ගමන් කරමින් සිටියේ කුඩා කුහුඹුවන් සේයි. අවට පෙනෙන කඳු වල දැවැන්ත බව, සියැසින් නොදැක සිතා ගැනීමට අසීරුයි. එය ඡායාරූපයකින් දකිනවාට වැඩිය බොහෝ වෙනස් අත් දැකීමක්. දැන් නුප්ත්සේ, අපට දකුණු පසින් අතින් අල්ලන්නට පුලුවන් තරම් ආසන්නයෙන්. වම් පැත්තෙන් පුමෝරි හා කුම්බුස්තේ. මීටර් 7161 උස පුමෝරි, කඳු නගින්නන් අතර ජනප්‍රිය ශිඛරයක් වුවත්, නිරන්තරයෙන් හිම ගිරි නිපාත හට ගන්නා කන්දක්. කුම්බුස්තේ හෙවත් කුම්බු හී හිස, සනිටුහන් කරන්නේ අප මෙතෙක් දවස් ගමන් කරමින් ආ කුම්බු නිම්නයේ කෙලවරයි. වම් පසින් පෙනෙන නුප්ත්සේ, සුවිශේෂ කන්දක්. මා ඊට කියන්නේ එවරස්ට් ගෙ අගසව් දෙදෙනාගෙන් කෙනෙක් කියායි. අනෙකා ලොත්සේ. එවරස්ට් කියන්නේ දැක ගනීමට පහසු ශිඛරයක් නොවෙයි. ලුක්ලා සිට මේ දක්වා දින 8ක් පැමිණි ගමනේදී එවරස්ට් මුදුන දැක ගැනීමට ලැබුනේ අවස්ථා කිහිපයකදී පමණයි. ඒ සෑම විටම එය දක්නට ලැබෙන්නේ නුප්ත්සේට හා ලොත්සේට මැදිවයි. එවරස්ට් කන්දට මෙතරම් ආසන්නව සිටියදී පවා අපට එය දිස් වන්නෙ නෑ. ඒ නුප්ත්සේ නිසා. මීටර් 7861 උසින් යුතු නුප්ත්සේ ඉතා දර්ශණීය ශිඛරයක්. නුප්ත්සේ මුල් වරට තරණය කරනු ලබන්නේ 1961දී, ඩෙනිස් ඩේවිස් හා ටාසි ෂර්පා විසින්. ගොරාක්ෂෙප් සිට කිලෝ මීටර් දෙකක පමණ ගමනකින් පසු අපි එලඹියේ සුවිශේෂී ස්ථානයකට. ඒ කඳු අතර රජු වූ, මහේෂාක්‍ය සාගර්මාතා හෙවත් චොමලුන්ග්මා හෙවත් එවරස්ට් දැක බලා ගැනීමට පුලුවත් තැනයි. කඳු මුදුන් අතරින්, සුදෝ සුදු හිමෙන් වැසුනු එවරස්ට් ශිඛරය ඇත්තෙන්ම මහේශාක්‍යයි. ඒ අපට එවරස්ට් ආසන්නයෙන්ම දැක බලා ගැනීමට ලබෙන අවස්ථාවයි. මද වේලාවක් එතැන රැඳී සිට අප නැවත ගමන් ඇරඹුවේ, අපගේ ගමනාන්තය වූ එවරස්ට් මූළ කඳවුර කරා. කුම්බු ග්ලැසියරය ආසන්නයෙන්ම ගමන් කල අප ගේ මග ඉන්පසු දකුණට හැරී ග්ලැසියරය හරගා ගමන් කරන්නට පටන් ගත්තා. ලිස්සන සුලු අයිස් තට්ටු හා පෙරලී යන ගල අතරින් ගමන් කල යුතු වූයේ පරිස්සමින්. ඇතැම් තැනක දක්නට ලැබුනේ ග්ලැසියරය මත වූ ගැඹුරු පැලුම්. තාවකාලික පාලම් හා ගල් මතින් පැන යමින් ඒවා තරණය කිරීම එතරම් පහසු කාර්‍යයක් නෙවෙයි. එවන් පැල්මක් ප්‍රවේශමින් පසු කර හිස ඔසවත්ම, බලාපොරොත්තු නොවූ මොහොතක මා දුටුවේ, එවරස්ට් මූල කඳවුරේ ආරම්භය සටහන් කරන සුප්‍රසිද්ධ ශෛලමය ආරුක්කුවයි. ජීවිතයේ අමතක නොවක දිනයක් සනිටුහන් කරමින්, දින අටක ගමනක් අවසානයේ අප එවරස්ට් මූළ කඳවුර කරා පැමිණ තිබුනා. මා කේෂාමණීත්, සොන්පාත් වැලඳගෙන සතුට සැමරුවා. ඊලඟට ආවේ ඡායාරූප ගැනීමේ වේලාවයි. කේෂාර් මාගෙ වීඩියෝවක් පටිගත කරමින් සිටියදී අපට ඉහලින් ඇසුනේ අහස ගුගුරන්නාක් වැනි හඬක්. "අවලාන්ච්....අවලාන්ච් " කියමින් කේෂර් මට පෙන්නුවේ අසල පිහිටි පුමෝරි කන්දේ මැද හරියේ සිට ගුගුරමින්, හිම වලාවන් විසිකරමින් පහලට ගලා හැලෙන දැවැන්ත හිම-ගිරි නිපාතයක්. අපට බොහෝ ඉහලින් සිදු වුවත් හිම-ගිරි නිපාතයක ඇති දැවැන්ත බලය, කුහුඹුවන් සේ කඳු පාමුල සිටි අපටත් නො අඩුවම දැනුනා. සැබෑ එවරස්ට් මූල කඳවුර පිහිටියේ තවත් මීටර් 500 පමණ ඈතින්. අපගේ බලපත්‍රයට අනුව අපට යා හැකි උපරිම දුර මෙපමණයි. එසේම අපට මෙම ස්ථානයේ රාත්‍රිය ගත කිරීමටත් අවසරයක් නෑ. අප නැවත ගොරාක්ෂේප් කරා යායුතුයි. කුම්බු අයිස් නදිය මැද පිහිටි එවරස්ට් මූල කඳවුර පිහිටි භූමිය කොහෙත්ම සුන්දර තැනක් නොවෙයි. දැවැන්ත අයිස් හා පාෂාණ කුට්ටි වලින් ගහන එය ඉතා රළු භූමියක්. කූඩාරමක් ඉදි කිරීමට සමතලා භූමියක් සොයා ගැනීමට අපහසු තරම් දුෂ්කර තැනක්. එය පොළව මත තැනකට වඩා සමාන වන්නේ වෙනත් ග්‍රහලොවක භූමියටයි. මේ වන විටත් කඳු නැගීමේ වාරය ඇරඹී නොතිබූ නිසා මූළ කඳවුර හිස් බිමක් පමණයි. ඈතින් පිහිටි හුදෙකාලා කූඩාරම් දෙක තුනක් පමනයි දකින්නට තිබුනේ. "තව සුමාන දෙක තුනක් යනකොට මේ ඔක්කොම කූඩාරම් වලින් වැහෙනවා" කේෂාර් කිව්වා. මුහුදු මට්ටමේ සිට මීටර් 5346 (අඩි 17,540) උසින් පිහිටි, එවරස්ට් මූල කඳවුර අපූරු තැනක්. එතැනට එවරස්ට් ශිඛරය දිස්වන්නෙ නෑ. අනෙක එය පිහිටා තිබෙන්නේ සක්‍රීය ග්ලැසියරයක් මතයි. එම නිසා ක්‍රමයෙන් එහි පිහිටීම වෙනස් වෙනවා. මෙම වසරේ (2023) වසන්ත සෘතුවන් පසු මූළ කඳවුර වෙනත් තැනකට ගෙනයාම ගැන අදහස් පලවී තිබුන මුත්, දැන් කියැවෙන්නේ එය මේ ස්ථානයේම තව වසර කිහිපයක් තිබීම ආරක්ෂාකාරී බවයි. කඳු නැගීමේ වාරය ඇරඹි විට මේ පාළු හිම නදිය සම්පූර්ණයෙන්ම වෙනස් වී ජනාකීර්ණ වෙනවා. ලෝකයේ සිව් දෙසින් පැමිණෙන කඳු නගින්නන් මෙහි කඳුවුර බැද ගන්නවා. දැවැන්ත ආපන ශාලාවක්, රෝහලක්, හෙලි පෑඩයක්, සන්නිවේදන මධ්‍යස්ථානයක්, කසල කළමනාකරණ මධ්‍යස්ථානයක් හා විදුලි ජනක ස්ථානයක් මෙහෙ පිහිටැවෙනවා. සිහින හඹායන්නන්ගේ හා වාර්තා ලුහ
ුඹඳින්නන්ගේ පාරාදීසයයි මේ. වාරාවසානයේ ඇතැමුන් සිය සිහින සැබෑ කරගෙන ජයග්‍රහණයේ කිරුළු දරාගෙන ආපසු සිය නිවෙස් වෙත පියඹනවා. ඇතමුන් කඩ වූ බලා පොරොත්තු සහිතව හෝ අහිමි වූ ඇඟලි සහිතව හෝ පසු බසින අතර තම සගයින් මිය යන්නට හැර, අතැර දමා ඒමේ තීරණ ගන්නට සිදුවන තවත් සමහරුන් ආපසු යන්නේ, ශාරීරික තුවාල වලට වඩා බෙහෙවින් වේදනාකාරී වන ගැඹුරු මානසික තුවාල සහිතව. අනෙකුන් සදාකාලිකවම කඳු අතරම නින්දට වැටෙනවා. පැයක පමණ කාලයක්, මූල කඳවුර අවට ගත කල අපි ඊට සමුදී ආපසු හැරුනේ ආ මාර්ගයේම ගෙරාක්ෂේප් කරා පැමිණීමටයි. දිවා කාලය පසුවත්ම අවට කඳු මුදුන් මිහිදුමෙන් වැසී යන අයුරු අපට දක්නට හැකි උනා. සවස දෙක විතර වෙන විට නැවත ගොරාක්ෂේප් කරා ආපු අපි, සවස් කාලය විවේකයෙන් ගත කලා. සවස් වත්ම උෂ්ණත්වය වේගයෙන් පහල බැස්සා. නවාතැනේ සියලු දෙනාම පාහේ ආපන ශාලාවේ උඳුන වටා රැස්වී ශීතලෙන් හිරි වැටී තිබූ අත්-පා උණුසුම් කර ගැනීමට වෑයම් කලා. ශීතලත්, වෙහෙසත්, අඩු ඔක්සිජන් තත්වය නිසා ඇතිවන තෙහෙට්ටු ගතියත් නිසා, සෑම දෙනාම වාගෙ හිටියේ අඩු කතා බහෙන් හා බිමට බර වූ හිසින්. ගොරාක්ෂේප් වසර පුරාම විවෘතව තිබෙන ස්ථානයක් නොවෙයි. එවරස්ට් සංචාරක සමය නිමවීමත් සමගම, මූල කඳවුර සේම ගෝරක්ෂේප් ජනාවාසයත් වැසී යනවා. ගොරාක්ෂේප් බිහි වන්නෙත් එවරස්ට් ගවේෂණයත් සමගයි. 1952දී එවරස්ට් තරණයට උත්සාහ දැරූ ස්විස් ගවේෂණ කණ්ඩායමේ මූල කඳවුර වූයේ අද ගොරාක්ෂේප් පිහිටා ඇති ස්ථානයයි. ඉන් පසු වසරේදී සර් එඩ්මන්ඩ් හිලරි ඇතුලු එවරස්ට් ගවේෂණ කණ්ඩායම ඔවුන්ගේ මූල කඳවුර පිහිටුවා ගන්නේ ගොරාක්ෂේප් පසු කර ගොස්, කුම්බු අයිස් නදිය මස්තකයේයි. එවරස්ට් ගැන කියැවෙන විට වෙන්කල නොහැකි ලෙස කියැවෙන අනෙක් නම් දෙක වන්නෙ එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සින්ග් නොර්ගේ යන නම් දෙකයි. ඒ එවරස්ට් තරණය කල පළමු මිනිසුන් දෙදෙනා වීම නිසාම නොවෙයි. ඉන් පසුව කුම්බු නිම්නයට හා එහි ජනයාට ඔවුන්ගෙ සිදු වූ සේවය නොමැකෙන පිය සටහන් සේ මේ නිම්නය පුරාම සටහන්ව තිබෙනවා. ඔවුන්ගේ ජයග්‍රහණයත් සමග ලොව පුරා එවරස්ට් උන්මදයක් හමා ගිය අතර එය අදටත් නොනැසී පවතිනවා. අද නේපාලයටත්, කුම්බු මිටියාවතටත්, එහි වැසියන්ටත් ඇති දැවැන්තම ආර්ථික ශක්තිය වන්නේ ලොව සිව් දෙසින් එවරස්ට් කරා ඇදී එන සංචාරකයිනුයි. ටෙන්සින්ග් 1914 දී ටෙංබුචේ හිදී උපත ලබනවා. ( ඇතැම් වාර්තා අනුව ඔහු ටිබටයේදී උපත ලබා කුඩා කලම මව් පියන් සමග නේපාලයට සංක්‍රමණය වූ බව පැවසෙනවා) ඔහු 13 දෙනෙකුගෙන් යුත් පවුලේ 11 වෙනියා. දඩබ්බරයෙකු වන ටෙන්සින්ග් යොවුන් වියේදීම නිවසින් පැන යන්නේ සිය ජීවිතය සොයාගෙනයි. වරෙක කත්මණඩුවටද, වරෙක ඉන්දියාවේ ඩාර්ජීලින්ග් නුවරටද යන ඔහු නොඑක් රැකියාවන් කරමින් දිවි සරි කරගන්නවා. භික්ෂුවක් වීමේ අරමුණින් නැවත ටෙංබුචේ ආරාමය වෙත පැමිනෙන ඔහු ට්ක කලකින්ම එම අදහස අතැර දමා නැවත්ත ඩාර්ජීලින්ග් කරා යනවා. මෙවර ඔහුට හිමාල ගවේෂණ කණඩායමකට එකතු වීමට අවස්ථාව සැලසෙනවා. ඒ 1935 දී එරික් ෂිප්ටන් විසින් සංවිධාන කරන ලද එවරස්ට් ගවේෂණ කණ්ඩායමේ උස්බිම් වල බඩු ගෙනයන පෝටර් වරයෙකු වශයෙන්. ඉන් පසු දිගින් දිගටම හිමාල ගවේෂණ කණ්ඩායම්වල සේවය කිරීමට ඔහුට අවස්ථාව ලැබෙනවා. ටෙන්සිංගේ ආකර්ෂණීය සිනහවත්, කැපවීමත්, ශක්තියත් ක්‍රමයෙන් ඔහුව ගවේෂණ කණ්ඩායම් වලට නැතුවම බැරි පුද්ගලයෙකු බවට පත් කරනවා. පෝටර් වරයෙකුගේ සිට ජේෂ්ඨ මග පෙන්වන්නෙක් කරා ඉක්මනින්ම උසස් වන ටෙන්සිග් එවරස්ට් තරණය ගැන ලොව වඩාත්ම පළපුරුදු පුද්ගලයා බවට පත් වෙනවා. 1952 ස්විස්-එවරස්ට් ගවේෂණය ඔහුගේ ජීවිතයේ සංධිස්ථානයක් සනිටුහන් කරනවා. රේමන්ඩ් ලැම්බර්ට් හා එක්ව එවරස්ට් දකුණු මුහුණතින් කඳු මුදුන කරා ලඟා වීමට උත්සාහ දරන ඔවුන්, මීටර් 8,598 (අඩි 28,199) දක්වා ඉහල නැග වාර්තාවක් පිහිටුවනවා. ස්විස් කණ්ඩාය්ම ටෙන්සිංග්ව පූර්ණ ගවේෂණ සාමාජිකයෙකු ලෙස පිළිගැනීමට ලක් කරනවා. ඊලඟ වසරේදී ටෙන්සිංග් ජෝන් හන්ට් ගේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායම සමග එක් වෙනවා. නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරිත් මම කණ්ඩායමේ සාමජිකයෙක්. වරක් හිලරි පය ලිස්සා යාමකින් අයිස් විවරයකට ඇදැ වැටෙන්නට ගිය මොහොතක, ටෙන්සිංග් ක්ෂණිකව ක්‍රියාත්මක වීමකින් ඔහුගේ දිවි ගලවා ගන්නවා. එතැන් පටන් ඔවුන් මිතුරන් වනවා සේම, විශ්වාසවන්ත කඳු නැගීමේ සගයන් ද වනවා. සිය වසර ගණනක කැපවීමත්, පළපුරුද්දත් උපයෝගී කොට ගෙන එවරස්ට් තරණය කල පළමුවැන්නන් වීමේ භාග්‍යයට අවසානයේ ටෙන්සිංග් උරුමකම් කියනවා. එය කිසිසේත්ම අහම්බයක් නෙවෙයි. ඒ වන විට එවරස්ට් තරණයට ලොව වැඩිම හැකියාවක් හා පළපුරුද්දක් තිබූ පුද්ගලයා ටෙන්සිංග් නොර්ගේ. එවරස්ට් තරණයෙන් පසු හිලරි හා ජෝන් හන්ට්, "නයිට්" නම්බු නාමයෙන් පිදුම් ලබනවා. නමුත් ටෙන්සිංග් ට ලැබෙන්නේ "ජෝර්ජ් පදක්කම" පමණයි. පසු කාලීනව ටෙන්සිංග් නේපාල තාරකා සම්මානය, ඉන්දීය පද්ම භූෂණ සම්මානය, සෝවියට් සංගමයේ ක්‍රීඩා විශාරද සම්මානය ඇතුලු විවිධ සම්මාන රාශියකින් පිදුම් ලබනවා. හිමාල කඳු වැටියේ, කඳු ශිඛර දෙකක් ද ටෙන්සිංගේ හා හිලරිගේ නමින් නම් කොට තිබෙනවා. ලුක්ලා ගුවන් තොට දැන් හැඳින් වෙන්නේත්, ටෙන්සිංග්-හිලරි ගුවන්තොටුපල ලෙසින්. තෙවරක් විවාහ වන ටෙන්සිංග් දරුවන් හත් දෙනෙකුගේ පියෙක් ඔහුගේ එක් පුතෙකු වන ජම්ලින්ග්, එඩ්මන්ඩ් හිලරිගේ පුත් පීටර් හිලරි සමග එක් වී 2003 දී එවරස්ට් තරණය කරන්නේ සිය පියවරුන්ගේ ජයග්‍රහණයේ 50වන සංවත්සරය සමරමින්. වසර 71ක් ආයු වලඳා 1986 මැයි මස 9වන දින ඩර්ජීලින්ග් හීදී මේ අද්විතීය මිනිසා සිය දිවි සැරිය නිම කරනවා. පසු සටහන. ග්ලැසියර- ග්ලැසියර සෑදෙන්නේ වසර සිය ගනනක් පුරා එකතු වූ අයිස්, හිම, ගල්, මඩ, ඒවායේ දැවන්ත බර නිසාම ක්‍රමයෙන් පහලට ගලා බැසීම නිසා. මෙය ඟගක් මෙන් පහලට ගලා බැස්සත්, එය ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියක් නිසා පියවි ඇසට පෙනෙන්නේ නෑ. ග්ලැසිරයරක ගමන වේගය වසරකට මීටර් කීපය බැගින්. පෘථිවියේ ඇති ග්ලැසියර වලින් 98% ම පිහිටා ඇත්තේ ධ්‍රැවාසන්නවයි. මෙම සෙමින් සිදුවන ගලායෑම නිසා ඇතැම් විට අයිස් තට්ටුව මත පැළුම් හට ගන්නවා (crevasses). මෙම පැළුම් අඩි කිහිපයක සිට, අඩි සිය ගනණක් දක්වා ගැඹුරු විය හැකියි."ඉරිදා දවස කියලාවත් පොලිසීයක වැඩ කටයුතු වලට විරාමයක් නැහැ නේ." ඕ.අයි.සී දේවේන්ද්‍ර එහෙම හිතුවෙ එකක් පස්සෙ එකක් ආපු දුරකථන ඇමතුම් අටටම උත්තර දීලා අවසානේ රිසීවරය ආපහු තියන ගමන්. " රටේ තියෙන තත්වෙත් එක්ක අපරාධ එන්න එන්න වැඩි වෙනවා. බඩගින්න දැනෙන කොට විශේෂයෙන්ම තමන්ගෙ ගෙදර මිනිස්සුන්ට බඩගින්න දැනෙනකොට දඬුවමට බය මිනිස්සුත් නොහිතන ක්‍රමවලින් සල්ලි හොයන්න පෙළඹෙනවා.අනේ මන්දා ."ඇස් දෙක පියාගෙන රැළි කරගත්ත නළළ ඇඟිලිතුඩුවලින් පිරිමදින ගමන් දේවේන්ද්‍ර කල්පනා කළා. පැමිණිළි අංශෙ පැත්තෙන් ටිකක් උස් කතා බහක් ඇහුනේ ඒ වෙලාවෙ.සෑහෙන වෙලා පුටුවෙම වාඩි වෙලා ඉඳලා කොන්දත් රිදෙන්න ගත්ත එකටත් පොඩි සහනයක් ලැබෙයි නෙ හිතාගෙන දේවේන්ද්‍ර පුටුවෙන් නැගිටලා දොර දිහාට ගියා. පී.සී.වීරසිංහ තමා කවුරුහරි ආපු හාදයෙක් එක්ක වචන හරඹ කරන්නෙ. "වීරසිංහ, මොකක්ද අයිසෙ ප්‍රශ්නෙ?". දේවේන්ද්‍රගෙ සද්දෙට වීරසිංහ එක්කම ඒ වෙනකන් තමන්ට පිටුපාලා උන්න හාදයත් තමන්ගෙ පැත්තට හැරුණා. "බාටයි ශෝටයි වෙනුවට තැනකට එද්දි පිළිවෙළකට ඇඳගෙන එන්න දන්න හාදයෙක්." පොඩි නොවිච්ච අත් දිග සුදු කමිසයක්, ගැලපෙන බඳපටියක් එක්ක ක්‍රීස් එක තියාපු කළු දිග කලිසමකට කළු සපත්තු දාපු,කොන්ඩෙ පැත්තකට පීරපු මැදි වයස පන්නන්න ඔන්න මෙන්න ඉන්න හාදයා ගැන දේවේන්ද්‍රගේ හිතේ පොඩි පහේ පැහැදීමක් ඇති වුනේ නැතුවාම නෙවෙයි . "සර්,මේ මනුස්සයා කියනවනෙ මිනීමැරුමක් ගැන පැමිණිල්ලක් කරන්න ඕනෙ කියලා."තමන්ට සැලියුට් එකක් ගහලා වීරසිංහ කියපු කතාවෙන් ඒ පැහැදීම එතනම පොඩිපට්ටම් වෙලා ගියා.මදැයි.ඉරිදා දවසක මෙහෙම බාල්දියක්. "එවනවා මගේ ගාවට." වීරසිංහගෙ ඊළඟ සැලියුට් එක තමන්ගෙ පස්ස පැත්තට වදිනකොට දේවේන්ද්‍ර ආයෙ හැරිලා ආසනාරූඪ වෙන්න ගිහින්. "වාඩි වෙන්න මහත්තයා." තමන්ගෙ මේසෙ ඉස්සරහ තියෙන පුටු දෙකෙන් එකක් අතින් පෙන්නන ගමන් දේවේන්ද්‍ර කිව්වම බාල්දිය පෙරළන්න ආව හාදයා වම් පැත්තෙ පුටුවෙන් ඉඳගත්තේ කිසිම කලබලයක් නැතුව බොහොම සීරුවට. "මේකාට නං ඉතින් මොකද ?අපිටනෙ දැන් මේවට ඉන්වෙස්ටිගේට් කරන්නයි නහින්නයි වෙන්නෙ." දේවේන්ද්‍රගෙ මූණ තවත් අඳුරු උනා. "මොකද්ද මේ මහත්තයාගෙ නම කිව්වෙ?". " මම ජයන්ත .ජයන්ත අත්තනායක" කොට කොණ්ඩෙ පැත්තට කපලා හිටපු හාදයා රැවුලත් නීට් එකට කපලා උන්නෙ.කතාවත් බොහොම නිවුන ස්වරයක් තිබුනෙ කියලයි දේවේන්ද්‍රට හිතුනෙ. "දැන් කොහෙද මහත්තයා ඔය මිනීමැරුම වෙලා තියෙන්නෙ?" "මෙතන ඉඳන් ගිහින් හන්දියෙන් ගොඩකවෙල පැත්තට හැරිලා කිලෝමීටර හයක් විතර යද්දි දකුණු අත පැත්තට පාරක් තියෙනවා වාලුකාරාම පාර කියලා.අන්න ඒ පාරෙ දකුණුපැත්තෙ හතරවෙනි ගෙදර මහත්තයා." "මරණයක් සිද්ධ වෙලා කියලා ඔය මහත්තයා දැක්කද?" දේවේන්ද්‍ර ඇහුවෙ මිනිස්සු ඕනෙ තරම් බොරුවටත් කලබල වෙන හන්දා. "දැක්කා මහත්තයා.මැරිලා කියලා කන්ෆර්ම් කරගෙනම තමයි මම මේ පැමිණිල්ල කරන්න ආවේ." මේ හාදයා කිව්වෙ අර මුල් නිවිච්ච ලීලාවෙන්ම. "මූ මහ පුදුම යකෙක් නේ.මරණයක් දැක්කම ගොඩක් මිනිස්සු මෙතනට එන්නෙ මේලෝකෙ සිහියකින් නෙවෙයි .ඒත් මේ හාදයා හැසිරෙන්නෙ හරියට නිකන් මේ වැටමායිමක ආරවුලක් පැමිණිලි කරන්න ආවා වගේ නේ." දේවේන්ද්‍ර තවමත් කළු කරගත්ත මූණෙන්ම මේසෙ දිහා ඔරවාගෙන හිටියා. "හරි දැන් කියමු බලන්න කවුද මැරිලා තියෙන්නෙ, කොහොමද ඔය මහත්තයා මේ මරණෙ දකින්නෙ කියලා?" දේවේන්ද්‍ර පුටුවෙ හරිබරි ගැහුනේ හොරැහින් බිත්තියෙ ඔරලෝසුව දිහා බලන ගමන්.දුවගෙ යාළුවෙක් ගේ උපන්දිනයක් තියෙනවා කියලා කලින් ගෙදර එන්න කියලා කී ගමනක්ද මතක් කලා.දැන් ඉතින් ගිහින් හමාරයි. "මේක ටිකක් දිග කතාවක් සර්.ඒත් ඉතින් සර්ලට හරියට පරීක්ෂණ කරගෙන යන්න මං අගමුල පටලවන්නෙ නැතුව හරියටම ඔක්කොම විස්තර කියන්න