summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
වැට් බදු සංශෝධනය යොදා ගනිමින් මහජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් අය කර ගන්නා ව්‍යාපාරික අංශ වලට විරුද්ධව පියවර ගැනීමට නිසි වැඩපිළිවලක් නොමැති වීම ආණ්ඩුවේ දුර්වලතාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
'රජයක් වශයෙන් මහජනතාවට රිදෙන ආකාරයේ කටයුතු කරන්න අපි කිසි විට ඉඩ තබන්නේ නැහැ' ඒ යටතේ කරුණු තුනක් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාත්‍යන්තර සමුපකාර දින උත්සවයට සහභාගී වෙමිනි. 'එක් කාරණයක් තමයි වැට් බද්දට අයත් නොවන භාණ්ඩ වැට් බදු සංශෝධනය පිට දාලා වැඩි මිලට විකුණන එක වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම' 'අනෙක් කාරණය, වැට් බද්දට අයත් භාණ්ඩ සඳහා ඊට ඇතුළත් කළ යුතු බද්දට වඩා වැඩි මුදලක් ඇතුළත් කොට ඉහළ මිලකට විකිණීම වැළැක්වීමට පියවර ගැනීම' 'තෙවනුව, මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන පොදු ජනතාවට ඇති වී තිබෙන ආර්ථික අපහසුතා වැළැක්වීම සඳහා වැට් බදු ක්‍රමයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම' ලබන සතියෙන් පසු ඉහත කී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිසි වැඩපිළිවලක් ක්‍රියාත්මක වනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 'රජයක් වශයෙන් මහජනතාවට රිදෙන ආකාරයේ කටයුතු කරන්න අපි කිසි විට ඉඩ තබන්නේ නැහැ' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.
කොන්ගෝ ජනරජයේ කැරලිකරුවන් සිය සන්නද්ධ කැරැල්ල අතහැර දැමූ බව නිවේදනය කර තිබේ.
කැරලිකරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ කොන්ගෝ හමුදාව සිය බල කොටු අත් පත් කර ගැනීමෙන් අනතුරුවයි. එම් 23 නමින් හැඳින්වුණු මෙම කැරලි හමුදාව පරාජය කළේ එක්සත් ජාතීන් ගේ හමුදා සහාය ඇතිව යි. සටනේ අවසාන මොහොත දක්වා රැඳී සිටි කැරලි කරුවන්ගෙන් කොටසක් හමුදාවට යටත් වී ඇති අතර තවත් කොටසක් අසල්වාසී උගන්ඩාවට හෝ රුවන්ඩාවට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පියෝන්ග් යෑන් පාලනයත් සමඟ යළි කිසිදු ආකාරයක ව්‍යාජ සාකච්ඡා වටයකට යාමේ සූදානමක් එක්සත් ජනපදයට නැතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කරයි.
කිම් ඉල් සුන් ජන්ම දින සංවත්සරය සමඟ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදු කෙරෙනු ඇතැයි අනුමාන පළවෙමින් පවතී ඊට පළමුව උතුරු කොරියාව සැබෑ පියවරක් ගත යුතුව ඇති බවයි, රාජ්‍ය ලේකම්වරයා කියා සිටින්නේ. බීබීසීය සමඟ අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, උතුරු කොරියාවේ කිට්ටුම මිතුරු රට වන චීනය, පියෝන්ග් යෑන්ග් පාලනයේ වත්මන් හැසිරීම දැඩිව හෙළා දකිමින් ප්‍රකාශයක් කරන ලද බව කියා සිටියේය. ඇමරිකාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කෙරුනේ උතුරු කොරියාව එහි නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ ජන්ම දිනය සමරමින් සිටියදී. කිම් ඉල් සුන් ජන්ම දින සංවත්සරය සමඟ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදු කෙරෙනු ඇතැයි මේ අතර අනුමාන පළවෙමින් පවතී.
"මට අවශ්‍ය වුණේ මට අනිත් අය කැමති වීම පමණයි. මම එය කළේ වඩාත් ජනප්‍රිය වෙන්නයි.
"නමුත් එය සම්පූර්ණ අහිතකර බලපෑමක් ඇති කළා." එක්සත් රාජධානියේ 'රියැලිටි ටීවී' තරුවක් වන සාරා මැක්ඩර්මොට් සිය දිවියේ විශේෂයෙන් කම්පන සහගත කාල පරිච්ඡේදයක් ගැන විස්තර පැවසුවාය. තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප එවන ලෙස, වයස අවුරුදු 14 දී පාසලේ පිරිමි ළමයෙකු එල්ල කළ පීඩනය ගැන ඇය හෙළි කළාය. 'ලව් අයිලන්ඩ්' නම් රියැලිටි වැඩසටහනට සහභාගී වීම නිසා එක්සත් රාජධානියේ ප්‍රේක්ෂකයින් හඳුනාගත් සාරාට පාසල් දිවිය ප්‍රීතිමත් කාලයක් නොවීය. ඇය නොයෙක් හිරිහැර විඳි අතර තනිකමෙන් ද පීඩා වින්දාය. පිරිමි ළමයා ඇයට කැමති නම් එය ඇගේ පංතියේ ළමයින් අතර යම් ජනප්‍රියත්වයක් ලැබීමට උපකාරී වනු ඇති බව ඇය සිතුවාය. නමුත් ඔහු සිදු කළේ වෙනත් දෙයකි. ඔහු පාසල පුරා ඇයගේ පෞද්ගලික පින්තූර බෙදා හැරීමත් සමග තත්ත්වය තවත් නරක අතට හැරිණි. "මට මේ දේ තාර්කික ලෙස දකින්න බැරි වුණා," ඇය සූම් (Zoom) ඇමතුමකින් සම්බන්ධ වෙමින් පැවසුවාය. "එය සිදු වූයේ මගේ ජීවිතයේ ඉතා වැදගත් කාලයක. ඔබ කවුරුන් ද කියලා සොයා ගන්න සහ තරමක් වැඩිහිටියෙකු වීමට උත්සාහ කරන කාලයක." "එය සෑහෙන අඳුරු කාලයක් වුණා. මම බොහෝ දේ අවහිර කර ගත්තා. පින්තූරය සංසරණය වෙන්න පටන් ගෙන දින කීපයකට පසු මම සෑහෙන වෙහෙසට පත් වෙලා හිටියා. මම හිතන්නේ මම හරියට කෑම නොගත්ත බව මතකයි, හරියට නිදා නොගත්ත බව මට මතකයි. කිසිම විදිහකින් ඔසවා තබන්න බැරි තරම් බිඳ වැටුණු මනසකින් නිතරම හිටියා මතකයි." "මම සියදිවි නසාගන්න තැනටම තල්ලු වුණා. එය ඒ තරම් නරකයි. ඡායාරූප එළියට ආවාම, මම ඇත්තෙන්ම තවත් හිරිහැරයට ලක්වන බව දැන සිටීම මට දරාගන්න නොහැකි දෙයක් වුණා. එය මට අදටත් බලපානවා. " පාසලේ දී සාරාට බොහෝ හිංසන සිදු විය විශ්වාසය මත සාරා පෞද්ගලික ඡායාරූප යැවූ විට එම විශ්වාසය කඩ වූ එකම අවස්ථාව මෙය නොවේ. 2018 ලව් අයිලන්ඩ් වැඩසටහනේ ඇය පෙනී සිටිය දී එය නැවත සිදුවිය. එවිට ඇය 21 වෙනි වියේ පසු වූවාය. වට්ස්ඇප් කණ්ඩායම් කීපයක එම ඡායාරූප පළ කර තිබිණි. නමුත්, ලව් අයිලන්ඩ් වැඩසටහන අතර දුරකථනය භාවිත කළ නොහැකි නිසා මෙම පණිවිඩ සාරාට මඟහැරිණි. ඇය වැඩසටහනෙන් ඉවත්ව යන විට, ලව් අයිලන්ඩ් කාර්යමණ්ඩල සාමාජිකයෙක් ඇය සිටි හෝටලයට පැමිණියේ ඉතා වේගයෙන් සංසරණය වන ඡායාරූප ගැන පුවත පැවසීමටය. මේ කාලය වන විට අදාළ සිද්ධිය පුවත්පත්වල ද පළ වී තිබිණි. "මට ඒ හැඟීම ගැන කියන්න වචන නැහැ. දෙමව්පියන් පවා මම ගැන ලැජ්ජාවට පත්වන බවක් මට දැනුණා." සාරා කඳුළු සලමින් එම සිද්ධිය පවසන ආකාරය දැක්වුණේ වාර්තා වැඩසටහනක ය.. "ඔවුන් නැවත වරක් මා දිහා බලන්නේ කොහොම ද? එය සෑහෙන ලැජ්ජාවක්. මට මැරෙන්න අවශ්‍ය වුණා." ලව් අයිලන්ඩ් වැඩසටහනේ පෙනී සිටීමට පෙර තමන් ඇසුරු කළ පුද්ගලයෙකු මෙම ඡායාරූප බෙදා හැරීම ආරම්භ කළ බව සාරා චෝදනා කරන්නීය. ඇයගේ හොඳම මිතුරිය වට්ස්ඇප් ඔස්සේ බැන වැදුණු විට ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. විවෘත වීම සාරා මැක්ඩර්මොට්: පළිගැනීමේ චේතනාවෙන් අසභ්‍ය දේ බෙදාහැරීම ගැන 'බීබීසී ත්‍රී' ( BBC Three) කළ වාර්තාමය වැඩසටහන තුළ සාරා ඒ පිළිබඳ ගවේෂණයක යෙදෙන්නීය. යමෙකුගේ කැමැත්තකින් තොරව අතිශය පෞද්ගලික ඡායාරූප ද්වේෂ සහගත ලෙස බෙදා හැරිය විට එයින් වින්දිතයින්ට ඇති විය හැකි පීඩාව සහ එයින් මිදීමට ඔවුන්ට ලබා ගත හැකි සහයෝගය සොයා බැලීම මෙම වාර්තාමය වැඩසටහනේ පෙන්වයි. ඇයගේ අතිශය පෞද්ගලික අවස්ථා එක් වරක් නොව දෙවරක් ලෝකයට නිරාවරණය වීමෙන් පීඩා විඳි සාරා ඇත්තෙන්ම පසුවන්නේ කෝපයෙනි. ඇයගේ කෝපය පළකරන්නේ ඡායාරූප බෙදාගත් පුද්ගලයින් කෙරෙහි පමණක් නොව, එවැනි සිදුවීම්වලට දක්වන ප්‍රතිචාර කෙරෙහිය. අන්තර්ජාලය හරහා ද්වේශ සහගත ප්‍රතිචාර සහ වින්දිතයාට දොස් පැවරීම නිරන්තරයෙන් සිදුවිණි. ඇයගේ අවසරයකින් තොරව ඡායාරූප බෙදා ගැනීමට වඩා ඇය යමෙකු වෙත පින්තූර යැවූ කාරණය කෙරෙහි අවධානය යොමු කිරීමට පුද්ගලයන් ක්‍රියා කරන බව ඇය පැවසුවාය. තම ආදරවන්තයා සමග පින්තූර බෙදා ගැනීම සාමාන්‍ය දෙයක් බව දැනගත් විට සමහර මිනිසුන් කම්පනයට පත්වන බව ඇය පවසන්නීය. මන්ද එය "ඒ තරම්ම තහනම් විෂයයක්" වන බැවිනි. සාරා සහ ඇයගේ පෙම්වතා සෑම් "ගැටලුව වන්නේ ඇය එසේ කළේ ඇයි?" කියා පුද්ගලයන් අසන විටය. "මේ ගැටලුව ගැන සඳහන් ලිපියක යට පළ කර තිබූ සමහර අදහස් මම කියෙව්වා. ඔවුන් අසා සිටිනවා, නාන ඇඳුමකින් ඉන්ස්ටග්‍රෑම්හි පෙනී ඉන්නවා නම්, (පළිගැනීමේ චේතනාවෙන් බෙදාහරින කාමුක දර්ශන පිළිබඳව දැනුවත් කිරීමේ) වැඩසටහන් කරන්නේ ඇයි කියලා." "ඔවුන්ට මෙහි තිබෙන ගැටලුව සම්පූර්ණයෙන්ම මග හැරී තිබෙනවා. ඇත්තටම මගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමලා. මෙතන යම් පුද්ගලයෙක් නීතිය කඩ කරලා තියෙන්නේ. ඉන්ස්ටග්‍රෑම්හි බිකිනි පින්තූර දැමීම නීතියට පටහැනි දෙයක් නෙවෙයි." 'හිටපු පෙම්වතා මගේ නිරුවත් ඡායාරූප මගේම ඉන්ස්ටග්‍රෑම්හි පළ කළා' මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ සාරා පමණක් නොවේ. පළිගැනීමේ චේතනාවෙන් කාමුක දර්ශන බෙදා හැරීමේ සිද්ධීන් පිළිබඳ වඩාත් වාර්තා වන්නේ නව යෞවනයන් සහ වයස විසි ගණන්වල මැද සිටින පුද්ගලයන් අතරින් බව ලිංගික අපයෝජන සම්බන්ධ පුණ්‍යායතනයක් වන සේෆ්ලයින් (Safeline) පැවසීය. එවක නව යෞවනියක වූ ක්ලෝයි, රැකියාව නිමවී නිවසට යෑම සඳහා බස් රථයේ සිටිනා විට හඳුනා නොගත් ස්නැප්චැට් ගිණුමකින් පණිවිඩයක් ලැබී තිබිණි. එම පණිවිඩය විවෘත කළ විට එහි තමාගේ නිරුවත් ඡායාරූපයක් දුටු ඇය කම්පනයට පත් විය. රාත්‍රී 8 වන විට ඇය තවත් නිරුවත් ඡායාරූප අදාළ ගිණුම සමග බෙදා නොගන්නේ නම් ඇයගේ ඡායාරූප "සෑම තැනකම පළ කරනවා" යනුවෙන් එම පණිවිඩයෙන් තර්ජනය කර තිබිණි. සිය හිටපු පෙම්වතා සමඟ පමණක් බෙදාගත් ඡායාරූප එම ගිණුම හරහා දිගින් දිගටම ලැබෙන්නට විය. රැකියාව නිමවී නිවසට යෑම සඳහා බස් රථයේ සිටිනා විට හඳුනා නොගත් ස්නැප්චැට් ගිණුමකින් පණිවිඩයක් ලැබී තිබිණි පැය කීපයකට පසු ඇයට මිතුරියකගෙන් ඇමතුමක් ලැබුණි. "ක්ලෝයි, ඔයා ඔයාගේ ඉන්ස්ටග්‍රෑම් එකේ මොනවද මේ දාලා තියෙන්නේ?" ඇය ඇසුවාය. එක්ව සිටියදී මානසිකව හිංසා පීඩා කළ බව පවසන ක්ලෝයිගේ හිටපු පෙම්වතා ඇයගේ ගිණුමේ මුරපදය අනුමාන කර නිරුවත් ඡායාරූප එහි පළ කළ ඇති බව ඇය පැවසුවාය. "මගේ පළමු සිතුවිල්ල වුණේ, 'මගේ පවුලේ අය මෙය දැක්කොත් කුමක් වෙයි ද? මගේ මිතුරන් මෙය දැක්කොත් කුමක් වෙයිද? මේවා සෑහෙන අය අතරේ බෙදිලා යනවා ... එතකොට රැකියාව කරන තැන අයත් එය දකියි. මාව සේවයෙන් ඉවත් කරයි'. "සිතුවිලි මිලියනයක් පමණ මගේ මනස හරහා දිව ගියා." තම දෙමාපියන්ට මෙය පැහැදිලි කිරීමට බිය වූ හැටි ඇය සිහිපත් කළේ කඳුළු සලමිනි. "මට මතකයි එය සිදු වූ දින රාත්‍රියේ මම ගෙදර ආවා. මම තනියම හිටියේ. මම තැනක හිඳගෙන කල්පනා කළා, 'ජීවිතයේ තේරුම කුමක්ද?' කියලා. සිදුවෙමින් තිබුණ දේ පසුකර යන මාර්ගයක් දැකීමට මම ඇත්තටම වෙහෙසුණා. මම නැවත කිසිවෙකුත් විශ්වාස කරන්නේ කොහොමද?" ඇය පැවසුවාය. "එය මට ඇත්තෙන්ම දැඩි අඳුරු කාලයක්. මම කිසි වටිනාකමක් නැති බවක් දැනුණු නිසා මට රිද්දව ගන්න පවා හිතුවා." සති ගණනාවක් පුරා ක්ලෝයි ප්‍රසිද්ධියේ සිය මුහුණ පෙන්වීමට බිය වූ නමුත්, දිනක් මිතුරියක් ඇයව තැබෑරුමකට යාමට පොළඹවා ගත්තාය. ක්ලෝයිට වඩා අවුරුදු කීපයක් වැඩිමල් පිරිමි කණ්ඩායමක් එදින රාත්‍රියේ ඇය වෙත පැමිණියහ. ඇයගේ ඡායාරූප ඔවුන්ගේ වට්ස්ඇප් කණ්ඩායමට ඒවා ඇති බව පවසමින් ඔවුහු ඇයගේ "සෙලවෙන දෙතන" ගැන නොයෙක් අසභ්‍ය දේ පැවසීය. නිරුවත් ඡායාරූප මගින් සිදුකරන අපයෝජනය වින්දිතයෙකුගේ මානසික සෞඛ්‍යයට කෙතරම් බරපතල ලෙස බලපාන්නේ ද යන්න ගැන ජනතාවට දැනුවත් කිරීම ක්ලෝයිගේ අරමුණ වේ. "මේ අහම්බෙන් මුණ ගැහුණු පිරිමි ළමයින් ඒ ඡායාරූප දැක තිබීමත් එය කණ්ඩායම් චැට්වල යැවීමට සුදුසු යැයි ඔවුන් සිතීමත් එක්ක, මගේ ජීවිතයේ මෙතරම් පහත් සහ නින්දාවක් මට මීට පෙර කවදාවත් දැනිලා නැහැ." වෙනත් පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව පෞද්ගලික ලිංගික ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම එක්සත් රාජධානියේ නීතියට අනුව අපරාධයකි. නමුත් එය නීතිය ඉදිරියේ වරදක් වන්නේ ඡායාරූප බෙදූ පුද්ගලයා එම ක්‍රියාව සිදු කළේ ඡායාරූපයේ සිටින්නා අපහසුතාවට හෝ පීඩාවට පත් කිරීමේ අරමුණින් යැයි ඔප්පු කළ හැකි නම් පමණකි. අදාළ පනත 2015 දී බලාත්මක කරන ලද අතර, මෙවන් අපරාධයක් සඳහා වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ. "නමුත් එම නීතිය ක්‍රියාවට නැංවීම ඇත්තෙන්ම දුෂ්කරයි," වඩා හොඳ රෙගුලාසි ඉල්ලා සිටිමින් සටනක නිරත වන 'Not Your Porn' ව්‍යාපාරයේ කේට් අයිසැක්ස් පැහැදිලි කළාය. වර්තමාන නීතියට අනුව, "පින්තූර බෙදාගැනීම ද්වේෂ සහගත ක්‍රියාවක් බව ඔබ ඔප්පු කළ යුතුයි. එය උසාවියේදී ඔප්පු කිරීම ඉතා අපහසුයි." "සාරාට සිදු වූවාක් මෙන් පාසලේ පින්තූර බෙදා හැරීමේ සිද්ධියක දී, දරුවන් ඡායාරූප මත පදනම් වූ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වුවහොත්, ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරිය නොහැකි බව දරුවන් දැනගත යුතුය. කරදරයක් වේ යැයි බියකින් තොරව එය පාසලට හෝ පොලිසියට වාර්තා කිරීමට ඔවුන් ඉඩ තිබිය යුතුයි." ඡායාරූප මත පදනම් වූ ලිංගික අපයෝජනයන්ට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාත්මක වේ 'මම අපරාධකාරයෙක් වගේ දැනුණා' පළිගැනීමේ චේතනාවෙන් බෙදා හැරෙන කාමුක දර්ශන මගින් වින්දිතයෙකුගේ ජීවිතයේ සෑම අංශයක්ම විනාශ විය හැකි අතර, වරදක් නොකරම ඔවුන් ලැජ්ජාවට පත් වේ. මුණ ගැසෙන සෑම පුද්ගලයෙකුම ඔවුන්ගේ රූප දැක ඇතැයි සිතමින් මුළු ලෝකයම කනස්සල්ලෙන් හැකිලී යන බව ඡායාරූප මගින් සිදුවන අපයෝජනවලට මුහුණ දුන් අය පවසති. මෙමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට සදාකාලික බලපෑම් එල්ල වී තිබේ. පළිගැනීමේ චේතනාවෙන් බෙදා හැරෙන කාමුක දර්ශනවල වින්දිතයන්ට උපකාර කරන දුරකථන අංකයට කතා කළ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 2020 දී 87%කින් වැඩි වී තිබිණි. ඔවුන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් මානසික සෞඛ්‍ය සේවාවලට යොමු කර ඇති අතර, 45 දෙනෙකු, ඡායාරූප මගින් සිදුවන අපයෝජන හේතුවෙන් සියදිවි නසා ගැනීමට සිතෙන බව අනාවරණය කර තිබිණි. උපකාරක දුරකථන කළමණාකරු සොෆී මෝර්ටිමර් බීබීසී ත්‍රී වෙත පැවසුවේ ඡායාරූප මගින් සිදුවන අපයෝජන භයානක ලෙස ඉතා වේගයෙන් අඛණ්ඩව ඉහළ යන බවය. "උපකාර සඳහා අප හා සම්බන්ධ වන පුද්ගලයින් ප්‍රමාණය සතිය ගණනේ අඛණ්ඩව ඉහළ යනවා" ඇය පවසන්නීය. "වසංගතයට පෙර සිටම ඉහළ යන මේ සිද්ධි සංඛ්‍යාව සමඟ කටයුතු කිරීමට අපි මහත් පරිශ්‍රමයක් දරනවා." ක්ලෝයි ඇයගේ හිටපු පෙම්වතා ගැන පොලිසියට පැමිණිලි කළ නමුත්, ඇය ඔහුට එරෙහිව චෝදනා එල්ල කළහොත් ඇයගේ වයස නිසා ඇයටද කරදරයක් විය හැකි බවට නිලධාරීන් ඇයට අනතුරු ඇඟවූ බව පැවසීය. වයස අවුරුදු 18ට අඩු කෙනෙකුගේ ඡායාරූප ගැනීම සහ යැවීම (ඔබ විසින්ම කළ දෙයක් වුව ද) එක්සත් රාජධානියේ ළමා ලිංගික අපයෝජන යටතේ වරදක් විය හැකිය. "මම හිතුවා, හොඳයි, ඒක අනිවාර්යයෙන්ම මගේ වැරැද්දක්. මොකද මම ඒවා යැව්වා, ඒක අපරාධයක්," ඇය පැවසීය. ක්ලෝයි පවසන්නේ තමාටම දොස් පැවරීම නිසා ඇයගේ මානසික සෞඛ්‍යයට ඇති වුණු කල්පවතින බලපෑම්වලින් දැන් මිදීමට පටන් ගෙන ඇති බවය. වයස අවුරුදු 14 දී ක්ලෝයි මෙන් සාරා ද තමන්ට දොස් පවරා ගැනිණි. ඡායාරූප ගැනීම නිසා පාසලේ පන්ති තහනමට ලක්වූයේ ඇයයි. "මට අවශ්‍ය වන්නේ ඔවුන් තනිවම නොවන බව දැන්වීමටයි. තවත් බොහෝ අය මේ අත්දැකීම් විඳලා තියෙනවා" "මගේ සිතේ අන්තිමට ඇති වුණ දේ තමයි මගේ ජීවිතයට උපකාර සොයා ගන්න ඕනේ කියන එක. මොකද, මට වයස අවුරුදු 14 දී අපරාධකාරයා වුණේ මමයි. " "තමන්ට සිදු වූ දෙයක් සම්බන්ධයෙන් ඒ පුද්ගලයා මතම වගකීම වැටෙනවා, ඒ අය තමන්ටම දොස් පවරා ගන්න නිසා පසු විපාක සඳහා ඔවුන් උදව් පතන්නේ නැහැ." "සම්බන්ධතාවක ඉන්න සමාන වයස්වල දරුවන් දෙදෙනෙකු අතර එකඟතාවකින් යම් රූපයක් බෙදා ගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීම සාමාන්‍යයෙන් මහජන යහපතට හේතු වෙන්නේ නැහැ. නමුත් වෙනත් අවස්ථා වලදී නඩු පැවරීම සුදුසු විය හැකියි," අධිකරණ සේවයේ ප්‍රකාශකයෙකු පැවසීය. පළිගැනීමේ චේතනාවෙන් බෙදා හළ කාමුක දර්ශන නිසා සිය මානසික සෞඛ්‍යයට ඇති කළ බලපෑම ගැන කතා කිරීමට සාරාට කිසිදු උපකාරක මධ්‍යස්ථානයක් නොතිබූ නමුත්, යමෙකු සමඟ කතා කිරීම ප්‍රයෝජනවත් විය හැකි යැයි ඇය පවසයි. "පළිගැනීමේ චේතනාවෙ බෙදා හරින කාමුක දර්ශන ලිංගික අතවරයක් ලෙස බැරෑරුම්ව සලකන්නේ නැහැ," 'Not Your Porn' ව්‍යාපාරයේ කේට් අයිසැක්ස් පැවසීය. "එය නැවැත්විය යුතුයි. රූපය නිර්මාණය කළ පුද්ගලයින්ගේ වගකීම අප විසින් ඉවත් කර, වැරදිකරුට (රූපය බෙදාගත් පුද්ගලයා) එය නීති විරෝධී ක්‍රියාවක් බවත් එය මානසික හා චිත්තවේගීය හානි සිදු කළ හැකි දෙයක් බවත් දැන්විය යුතුයි." පළිගැනීමේ චේතනාවෙ බෙදා හරින කාමුක දර්ශන සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ වාර්තාමය වැඩසටහන හරහා වැඩි අවබෝධයක් ලබා දෙනු ඇති බව අදාළ සිද්ධියෙන් වසර දහයකට පසුව, සාරාගේ බලාපොරොත්තුව වේ. . "මට අවශ්‍ය වන්නේ ඔවුන් තනිවම නොවන බව දැන්වීමටයි. තවත් බොහෝ අය මේ අත්දැකීම් විඳලා තියෙනවා," ඡායාරූප හරහා අපයෝජනයට ගොදුරු වූ අනෙකුත් කාන්තාවන්ගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට ලැබෙන පණිවිඩ ගැන සඳහන් කරමින් ඇය පැවසීය. "මට අවශ්‍ය වන්නේ මිනිසුන් මේ මාතෘකාව ගැන විවෘතව කථා කිරීමට පටන් ගැනීම සහ එමගින් වින්දිතයාට වැඩි අවධානයක් යොමු වීම වැලැක්වීමයි." මේ තොරතුරුද කියවන්න:
වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින්නන් ලෝකයේ මුල් පෙලේ වෙළෙඳ නාමයක් රැගත් දාර්ජිලින් තේ අපනයනය වලක්වා ලමින් සිටින බව ඊසාන දිග ඉන්දියාවේ තේ වතු හිමියෝ පවසති.
කඳුකර බටහිර බෙංගාලයේ ස්වාධීන පාලනයක් ඉල්ලා සිටින සටන්කාමීන් විසින් තේ තොග ගුවන් තොටුපලට ළඟා වීමට සෙනසුරාදා පටන් බාධා පමුණුවා තිබේ. ඩාර්ජීලිං වතු හිමියන්ගේ ප්‍රකාශකයකු බීබීසී යට කියා සිටියේ අවහිරය දිගටම පැවතියහොත් පොරොන්දු පරිදි තේ තොග විදේශ ගත ඉල්ලුම් කරුවන්ට ලබා දීම හෝ හැත්තෑ දහසක ශ්‍රම බලකායට වැටුප් ගෙවීම හෝ කළ නොහැකි වන බවයි. වහාම තේ සැපයුම සිදු නොකරන්නේ නම් ඇනවුම් අත් හිටුවන බවට මේ වනවිටත් විදේශීය ගැනුම් කරුවන් කිහිප දෙනකුම තර්ජනය කොට අති බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ
සවුදි අරාබියේදී වස බී සිය දිවි නසාගත් බව පවසන මඩකලපුවේ, ඕමදියාමඩු ප්‍රදේශයේ වාසය කළ යෝගේෂ්වරන් ශාන්ති ගෘහ සේවිකාවගේ මරණය සැක සහිත බව ඇයගේ ඥාතීහු පවසති.
විසි හතර හැවිරිදි එම තරුණිය පසුගිය ජූලි විසි හය වැනි දින සිය දිවි නසාගත් බව ඥාතීන්ට දැනුම් දී ඇති අතර ඇයගේ මලසිරුර ඔවුන්ට ලැබී තිබෙන්නේ ඉන් සති පහකට පසුවයි. සිය දිවි නසා ගැනීමට සිය දියණියට කිසිදු හේතුවක් නොතිබුණු බව පවසන යෝගේෂ්වරන් ශාන්තිගේ පියා, සීනිතම්බි යෝගේෂ්වරන්, මරණය සක සහිත බව පවසමින් පොලිසියට පැමිණිලි කළ බව බීබීසී සංදේශයට කියා සිටියේය. මලසිරුරේ තුවාල තරුණියගේ සිරුරේ තුවාල තිබූ බව මෘත දේහය විවෘත කළ අවස්ථාවේ දක්නට ලැබුණු බවයි, ගමේ සමාජ සේවිකාවක වන ඉන්දුමතී කරුණානිධි පවසන්නේ. "හපා කාපු තුවාල තිබුණා. නියපොතුවලින් සීරුණු තුවාල තිබුණා. බෙල්ල හරියේ තද කළා වගේ සලකුණු තිබුණා," යනුවෙන් ඇය එම තුවාල සංදේශයට විස්තර කළේය. "ලිංගේන්ද්‍රියේත් විස්තර කරන්න බැරි විදියේ තුවාල තිබුණා." තරුණියගේ මරණය සැක සහිත බව ඥාතීන් පවසන්නේ නම්, අදාළ පරීක්ෂණ සඳහා පහසුකම් සැපයීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්තය වෙනුවෙන් එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය.
මේ අනුව ඔහු මේ වනවිට පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කර තිබේ. චෙම්ස්ෆර්ඩ් හි පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ සිකුරාදා (මැයි 26) තරගය අවසාන වනවිට නොදැවී ලකුණු 177 ක් රැස් කරගෙන සිටි සංගක්කාර, සෙනසුරාදා සිය ද්විත්ව ශතකය වාර්තා කළේය. සරේ ප්‍රාන්තයේ සෑම් කුරාන් (ලකුණු 90) හය වෙනි කඩුල්ල වෙනුවෙන් සංගක්කාර සමග ලකුණු 191 ක සම්බන්ධතාවක් පවත්වා ගත්තේය. ප්‍රාන්ත ශූරතාවලියේදී මීට ඉහතදී ලකුණු 136 ක්, 105 ක්, 114 ක් සහ 120 ක් රැස් කරමින් පිට පිටම ශතක පහක් රැස් කිරීම සරේ ප්‍රාන්ත ඉතිහාසයේ අලුත් වාර්තාවකි. 2003 දී නෝතැම්ප්ටන්ශයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් මයික් හසේ පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කිරීමෙන් අනතුරුව එම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා කුමාර් සංගක්කාරය. ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර පසුගියදා නිවේදනය කළේය.
කොරෝනා වෛරසය තුන්වන රැල්ල ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමග තමන් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින්නේ මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට බලධාරීන්ට නොහැකි වීම හේතුවෙන් බවට ජනතාව චෝදනා නගති.
හලාවත මත්ස්‍ය වෙළදපොළ රජය පවසන්නේ හොද මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබූ නමුත් මේ වතාවේදී ජංගම වෙළෙඳසල් හිමියන්ගේ ගේ උනන්දුව අඩු බවය. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමට ආරම්හ වූ 2020 මුලභාගයේ ඇති කළ නිරෝධායන ඇදිරිනීතිය සමයේ සමාජයේ ඇති වූ කතා බහනම් පාසල් සිසුනට නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට නිසි ක්‍රම වේදයක් නොමැති කම හා ජාලගත අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීමය. වසරකට වැඩි කාලයක් ගතවී 2021 වසරේ මැයි මස වන විටත් මෙම ගැටලුවට නිසි විසඳුමක් තවමත් ලැබී නොමැත. ඊට මෑත උදාහරණයක් වූයේ මාතලේ ලග්ගල නාවුල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අක්කරහාඩුව ග්‍රාමයේ හිමි නමක් විහාරස්ථානයේ වැසිකිලියේ වහල මත නැඟ සූම් තාක්ෂණය ඔස්සේ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු වල නියැලෙන බවට පළවූ මාධ්‍ය වාර්තාය. අනතුරුව එක්තරා පෞද්ගලික ජංගම දුරකථන ආයතනයක් විසින් එම ප්‍රදේශයේ ජනතාවට රුපියල් තුන්දහසක මුදලකට ඇන්ටනා විකිණීම පිළිබඳ සිද්ධියක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයකින් හෙළි කළේය. එහෙත් එම පෞද්ගලික ජංගම දුරකථන සේවා සමාගම බීබීසී සිංහල සේවය සමග පැවසුවේ සිය සමාගමේ නියෝජිතයන් එවැනි ඇන්ටනා අලෙවියක නොයෙදුණු බවය. එම ප්‍රදේශයේ දුරකථන සංඥා තීව්‍ර කර එම හිමි නමට තම සමාගමේ රවුටර හයක් නොමිලේ ලබාදී ප්‍රදේශයේ අනෙකුත් පුද්ගලයින්ට රුපියල් 3999ක් වන රවුටරය රුපියල් 3000ක මුදලකට අලෙවි කර ඇති බව ද සමාගම සඳහන් කළේය. මෙයින් පැහැදිලි වන්නේ වසංගතය රට තුළ ව්‍යාප්ත වී වසරක් ගතවී ඇතත් තවමත් අවශ්‍ය මූලික පහසුකම් පවා සැපිරී නැති බවය. 'ඔන්ලයින් අධ්‍යාපනය': පාරුවේ නැග 'ඉන්ටර්නෙට්' හොයාගෙන යන දරුවෝ මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ මේ දිනවල අන්තර්ජාල සේවාවන්හි වේගය මන්දගාමී වීමක් නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති බවකි. ඒ හේතුවෙන් මාර්ගගත ක්‍රමයට එනම් අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ක්‍රියාවලීන් සඳහා සහභාගී වන පිරිස් මෙන්ම නිවසේ සිට අන්තර්ජාලය හරහා රැකියාවේ නිරතව සිටින (work from home) පුද්ගලයින් මහත් අපහසුතාවට පත්ව ඇති බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේය. "ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් සියල්ල සඳහා සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මින් පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කණගාටුවට පත්වනවා," යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පැවසීය. ආර්ථිකය නගාසිටුවීමට ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදා ගැනීම රජයේ වගකීමක් වන අතර ඒ සදහා අත්‍යවශ්‍ය වන වේගවත් අන්තර්ජාල පහසුකම් ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම, අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වගකීමක් බවත් ඔහු පැවසීය. පෞද්ගලික ජංගම දුරකථන සේවා සපයන සමාගමක ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ පවතින තත්ත්වය හමුවේ එකවර දුරකථන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ප්‍රයෝගික ගැටලු මතුව ඇති බවය. පවතින කොරෝනා තත්ත්වය හමුවේ ජංගම දුරකථන සේවා සඳහා පවතින ඉල්ලුම ඉතාමත් සීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර ඒ සදහා අවශ්‍ය යටිතලපහසුකම් වර්ධනය ඉතා ඉක්මණින් කළ නොහැකි බව ඔහු සඳහන් කළේය. එළවළු වෙළෙඳාම එළවළු ගොඩගැසී ඇති නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානය මේ අතර දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථානයන්හි පැන නැගී තිබූ තත්ත්වයපසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. රටේ සංචරණ සීමා නැවත වරක් පැනවීම නිසා නැවතත් තමන්ගේ අස්වනු විකුණා ගැනීමට නොහැකිව ඒවා විනාශවී ගිය බවට ගොවීහු මැසිවිලි නැගූහ. මෙසේ තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවී ඇත්තේ ඒවා මිලදී ගැනීමට නිසි ක්‍රියාමාර්ගයක් තවමත් සකස් කිරීමට රජය අපොහොසත් වීම නිසා බව ගොවින්ගේ චෝදනාව ය. දඹුල්ලේ ගොවින් පමණක් නොව රටේ අනෙක් පළාත්වල ගෝවීන් මුහුණ දෙන තත්ත්වය මෙයට වෙනස් නොමැති බව පෙනේනේ එම ප්‍රදේශයන් හි ගොවීන් මුහුණදෙන තත්ත්වය ද විමසා බැලීමේදීය. ඩී.එම්. පුංචිබණ්ඩා "මම බඩ ඉරිඟු වගේම ගම්මිරිස් වගාවයි කරන්නේ. හැම අවුරුද්දෙම හොඳ සරු අස්වැන්නක් නෙලා ගන්නවා. අපි ගොඩාක් වියදම් කරලයි මේ ගොවිතැන් කරන්නේ. බඩ ඉරිඟු වලට සේනා දළඹුවෙක් ඇවිත් බොහෝම අමාරුවෙන් තමයි ගොවිතැන ආරක්ෂා කර ගත්තේ. එහෙම කරලා හදාගත්තු වගාවේ අස්වැන්න නෙලලා විකුණ ගන්න බැරි තත්ත්වෙකට අද පත්වෙලා. ඉරිඟු ටික මෝරන්න කලින් කඩා ගන්න ඕනි. ඒ වුණාට නගරෙ තියෙන පොළවල් වහලා නිසා මේ වෙනකොට ඵලදාව විකුණගන්න බැරිවෙලා තියෙනවා' වෙනදාට නම් පාර අයිනේ තියෙන අපේ කඩේ ඉස්සරහ ඉරිඟු තම්බලා විකුණනවා. නමුත් අද ඉරිඟු තැම්බුවට කන්න මිනිස්සු නැහැ. අපිට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා," යනුවෙන් ගොවිමහතෙකු වන ඩී.එම්. පුංචිබණ්ඩා පැවසීය. මේ වන විට පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් දැඩි අසීරුවකට ලක්ව ඇති බව නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පිරිස ද පැවසූහ. "බඩු වල මිල ඉතා දුර්වලතාවයේ තමා තියෙන්නේ. ගොඩක් අඩු වෙලා තියෙන්නේ මිල. ඔක්කොගෙම වගේ මිල අඩුයි. වෙළෙන්දොත් නැ විකුණගන්නත් බෑ. ගොවියෝ ඔක්කොම අසරණ වෙලා වෙළෙන්දොත් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ." එළවලු ව්‍යාපාරික ශාන්ත නිහාල් පැවසීය. ශාන්ත නිහාල් ශාන්ත නිහාල් කියා සිටියේ ගොවීන්ගේ එළවලු මිලදී ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙලක් තිබිය යුතු බවය. එසේ නොමැති නම් සිය අස්වනු විකුණාගත නොහැකි වීම නිසා ඉදිරි කන්නවලදී ගොවීන් ගොවිතැනින් ඉවත්වීමෙන් රට ආහාර හිඟයකයට මුහුණ දිය හැකි බවය. "දැන් බඩු විකුණන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. කෝවිඩ් 19 තත්ත්වය අනුව අපෙන් බඩු ගන්න වෙළෙන්දෝ එන්නේ නැති තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ගොඩක් ආර්ථික (මධ්‍යස්ථාන) වහලා දැනට. අනිත් එක අරන් යන එළවලු ටික වෙළෙන්දන්ට විකුණ ගන්න බැරි නිසා අද දවසේ එන වෙළෙන්දා පහුවදා එන්නේ නැහැ. අපි දැක්කා රටේ ප්‍රදේශ කීපයක එළවලු මිලදී ගන්න රජයෙන් වැඩපිළිවෙලක් කරලා තියනවා. අපේ රටේ අපිට තියෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල. අපි ගැන කිසි දවසක හොයලා බලලා නැහැ .මාධ්‍ය උනත් කතා කරන්නේ දඹුල්ල ගැන විතරයි . ඒ නිසා රජය වුණත් බලන්නේ දඹුල්ල ගැන විතරයි." යනුවෙන් මොහොමඩ් ඉර්ෂාඩ් පැවසීය. මාළු වෙළදාමට ඇති බලපෑම හලාවත මත්ස්‍ය වෙළෙඳපොළ රටේ ප්‍රධාන මත්ස්‍ය වෙළෙඳපොළ අතර හලාවත මත්ස්‍ය වෙළෙඳපොළට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විවිධ ප්‍රදේශවලින් මාළු මිලදී ගැනීම සඳහා බොහෝ පිරිසක් හලාවතට පැමිණෙන අතර රටේ ප්‍රදේශ රැසකින් හලාවත මාළු වෙළෙඳපොළට තොග ලැබෙයි. ප්‍රේමරත්න රාජපක්ෂ හලාවත මාළු වෙළෙඳපොළේ පැරණිම සාමාජිකයකු වන හැටහය හැවිරිදි ප්‍රේමරත්න රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසුවේ පවතින තත්ත්වය හමුවේ සිය රැකියාවට "ආයුබෝවන් කීමට" සුදනම්ව සිටින බවකි. "මේ ගමේ මිනිස්සු විතරයි එන්නේ. පිට මිනිස්සු එන්නේ නෑ. පිට අයට එන්නේ වෙළෙන්දො පමණයි. ඉතින් ඒක හින්දා වෙළෙඳාම හොදටම අඩපණ වෙලා තියෙන්නේ. ගමේ මිනිස්සු එන්නේ යන්නේ බොහොම අමාරුවෙන්. තව එකක්, පිටින් එන්නේ අයිඩින්ටි නොම්බරේ හැටියට." යනුවෙන් ඔහු පැවසිය. "කොරෝනා වලට පෙර දවසකට අපි සැලකියයුතු මුදලක් හොයා ගත්තා. දැන්නම් රුපියල් හාර පන්සියක් හොයා ගන්නේ අමාරුවෙන් . මිනිස්සු මාළු ගන්න එන්නේ නැහැ. ධීවරයෝ මුහුදු යාම අඩුකරලා. මිනිස්සු අයිඩින්ටි නම්බර් එක විදියට තමා එන්නේ. මාලු ගණන් හින්දා ගන්නෙත් නෑ. විකුණගන්නත් අමරුයි. එක දවසක් එන කෙනා අනෙක් දවසේ එන්නේ නැහැ." මාළු අලෙවියේ නිරත 43 හැවිරිදි ආර්. එම්. සුසන්ති පැවසුවාය. ආර්. එම්. සුසන්ති වසර පහළොවක පමණ කාලයක් හලාවත මත්ස්‍ය වෙළෙඳපොළේ රැකියාවේ නියුතු හතලිස් හත් හැවිරිදි සුභාෂිනී දම්මිකා ප්‍රනාන්දු පවසන තත්ත්වය ද ඊට වෙනස් නැත. සුභාෂිනී දම්මිකා ප්‍රනාන්දු "අයිඩෙන්ටි සාස්තරේ මෙහෙ මිනිස්සු දන්නේ නැහැ. ඉරට්ට ද මොකද්ද ඒක දන්නෙත් නැහැ. ටී වී එක බලද්දී පිස්සු හැදෙනවා. අපිට ඕවා තේරෙන්නේ නැති නිසා මිනිස්සු එලියට බහින්නේ නැතුව සම්බෝලයි බතුයි කාලා හරි ගේ ඇතුළට වෙලා ඉන්නවා. කොරෝනා තත්ත්වය හමුවේ වෙළෙඳුන් පමණක් නොව බහුතර සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්ව සිටිති. රංජිත් වීරසිංහ "මම දැන් අවුරුදු 30ක් විතර කරන්නේ ත්‍රීවීල් රස්සාවයි. බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවත් කරවන්නේ මේ රස්සාව කරලයි. පහුගිය කාලේ උදේ පාක් එකට ගිහින් හවස් වෙද්දී අපි ගෙදර ආවේ බොහෝම සතුටින්. මට හොඳට හයර් තියෙනවා. ඉතින් වාහනයේ ෆිනෑන්ස් ගෙවන්න. දරුවන්ගේ අධ්‍යාපනයට උදවු වෙන්න වගේම දරුවන්ගේ හා බිරිඳගේ වගේම මගේ අවශ්‍යතාවයන් හොඳින් කරගත්තේ මේ ත්‍රීවීල් රස්සාවෙනුයි," රංජිත් වීරසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය. "නමුත් දැන් අවුරුදු දෙකක විතර ඉඳලා අපි පුදුම කරදරේකයි වැටිලා ඉන්නේ. වාහනේ ෆිනෑන්ස් ගෙවන්න විදිහක් නැහැ. මේ කොරෝනා වසංගතය කවදා ඉවර වේදැයි හිතාගන්නවත් බැහැ. අපේ පාලකයින්ගේ ඉඳලා බොහෝ දෙනෙක්ගේ වැරදි හින්දා අද ගොඩාක් මිනිස්සු දුක් විඳිනවා. වෙනදා වගේ අද හයර් නැහැ. තුන් දෙනෙක්ව වාහනේ දාගෙන යන්න බැරි එකත් අපිට බලපානවා. මේ දවස්වල ඔත්තේ ඉරට්ටේ අංක වලටයි නගරෙට යන්න වෙලා තියෙන්නේ'. මේ කිසිම දෙයක් බඩ දන්නේ නැහැ. බඩගින්න හැම ගින්නකටම වඩා ලොකුයි." මේ අතර රජය පවසන්නේ වර්තමානයේ පවතින තත්ත්වය රටේ සාමන්‍ය තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වන ස්වභාවයට සම කළ නොහැකි බවය. රජය විසින් කොරෝනා පළමු රැල්ලේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කොට තිබුණු අතර මෙවරද එලෙසම නැවත වතාවක් ගොවීන් ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රම වේදයක් සකස් කොට තිබූ බව කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේය. එමෙන්ම කෘෂි කර්මාන්ත, වැවිලි කර්මාන්ත හා ආහාර වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහනය ඇතුළු කරුණුවලට නිදහස ලබා දෙමින් අදාළ ක්‍රමවේදය සකස් කොට තිබෙන බව ඔහු කියා සිටියේය. "හැබැයි මේ වතාවේදී අපි කියන්න අවශ්‍යයි පළමුවෙනි වතාවට වඩා ඒ ජංගම වෙළෙඳ මහතුන්ගේ සහ ඒ ව්‍යාපාර වල නිරත වෙච්ච අයගේ උනන්දුවෙ අඩු කමක් තිබුණා. අපි විශ්වාස කරනවා මේ වතාවේ නැවත වතාවක් ඒ තත්ත්වය ඇතිවෙයි කියලා. නමුත් අපි ඒ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. කෘෂි කර්මාන්ත අමාත්‍යංශය එකට මැදිහත් වෙනවා ඒ වගේම තමයි ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳසල් හරහා ආහාර ලබාදෙන්නටත් එක ගමකට අවම වශයෙන් වෙළෙඳසල් දෙකක් විවෘතව කොට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට අවශ්‍ය පහසුකම් සකස් කොට තියෙනවා." යනුවෙන් ඔහු පැවසීය. තවත් තොරතුරු;
ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද්ධයේදී ආරක්ෂක හමුදාව තම රාජකාරිය ඉක්මවා ගොස් ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලන මෙන් තමාට දන්වා ඇති බව අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ සභාපති හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම පවසයි.
කොමිසමේ සභාපති හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම යුද්ධයේදී මානව හිමිකම් නීතිය කඩ වී ඇත්දැයි සොයා බැලීම කොමිසමේ විෂය පථයට එක් කර ඇත්දැයි බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී කොමිසමේ සභාපති හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම එසේ පැවසුවේය. යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ සංවිධානය ජාත්‍යන්තර මානුෂීය නීතියට යටත්ව ක්‍රියා කර තිබේදැයි යන්න පිළිබඳවත් එම සංවිධානය විසින් දරුවන් යුද්ධයට බඳවා ගැනීම කෙතෙක් දුරට ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක්දැයි සොයා බැලීමත් තම විෂය පථයට එක කර ඇති බවයි කොමිසමේ සභාපති පරණගම පවසන්නේ. ජාත්‍යන්තර නීතිය යටතේ සාක්ෂි පිළිබඳ සොයා බැලිය යුතු හෙයින් කොමිසමට උපදෙස් ලබා දීම සඳහා ජාත්‍යන්තර නීති විශාරදයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ඉදිකර තිබෙන දැන්වීම් පුවරු ගණනාවක් පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කිරීමට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය කටයුතු කර තිබේ.
දියවන්නා ඔයේ කිඹුලන් ඇති බැවින් ප්‍රවේශම් වන ලෙස දක්වා ඇති පුවරුව පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ කිඹුලන් ඇති බැවින් කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන ලෙස දක්වා ඇති පුවරුව දෙමළ භාෂාවෙන්ද දැක්විය යුතු බවට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය කථානායක කරූ ජයසූරිය වෙත යොමු කරන ලද ඉල්ලීම එවැනි එක් පැමිණිල්ලකි. කිඹුලන් විසින් පදිකයින්ට හානි සිදු කළ හැකි බවට අදාළ දැන්වීම් පුවරුවේ අනතුරු ඇඟවීම කර තිබෙන්නේ සිංහල භාෂාවෙන් පමණි. කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම පළකර තිබෙන දැන්වීම් පිළිබඳව රථවාහන පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමේ සැලසුමක් එම දැන්වීම් පුවරුව සිංහල භාෂාව නොදන්නා ජනතාව නොසලකා හැරීමක් බව එම ව්‍යාපාරය කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි. එයට අමතරව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම පළකර තිබෙන දැන්වීම් පිළිබඳව රථවාහන පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමටත් එම ව්‍යාපාරය කටයුතු කර තිබේ.
පාඩු ලැබෙමින් පැවති ද ෆිනැන්ස් මුල්‍ය සමාගමේ කොටස් වල ආණ්ඩුවේ ආයතන රැසක් මුදල් ආයෝජනය කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ සේවක අර්ථ සාධක අරමුදල මුදල් ආයෝජනය කළ බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
සෘණ ශේෂ පත්‍රයක් ඇති, ද ෆිනැන්ස් මුල්‍ය සමාගමේ මහජන මුදල් ආයෝජනය කිරීමේ හේතුව ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. ගෙවී ගිය අවරුදු තුනක කාලයක් තිස්සේ ද ෆිනැන්ස් මුල්‍ය සමාගම දිගින් දිගටම පාඩු ලබා ඇති බවඅනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන් අතර අමාත්‍ය සරත් අමුණුගම කියා සිටියේ මෙම මුල්‍ය සමාගම මනා මුල්‍ය ස්ථාවරත්වයක් සහිතව ක්‍රියාත්මක වන බවයි. මෙම ගනුදෙනු සිදුවන කාලය තුල දී ඇතැම් පුද්ගලයන් කෝටි ගණනින් ලාබ ලබා ඇති බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කළේය. ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සැක කැරෙන විදේශ ගත දුමින්ද සිල්වා මන්ත්‍රී වරයාගේ සොයුරු රෙනො සිල්වා ද ෆිනෑන්ස් කොටස් විකිණීමෙන් ලාබ ලද අයකු බවයි ජ වී පෙ මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ. මෙම ගනුදෙනුවල දී අක්‍රමිකතා සිදුව ඇත්දයි දැනගැනීමට විමර්ශන කටයුතු පැවැත්වෙන බවත්,ජාතික ඉතිරි කිරීමේ බැංකුවට භාණ්ඩාගාරයදුන් උපදෙස් අනුව කොටස් මිලදී ගැනීම නතර කෙරුණු බවත් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
උතුරු ඉන්දියාවේ ජායිපූර් නගරයේ රිය අනතුරකට ලක්වූ පවුලකට උපකාර නොකර ඔවුන් පසුකර යන රියදුරන් දැක්වෙන දර්ශන රූපවාහිනියෙන් විකාශණය වීම රට පුරා කෝපාන්විත ආන්දෝලනයක් පැණ නැගීමට තුඩුදී තිබේ.
රථ වාහන තදබදය රූපගත කිරීම සඳහා සවිකර ඇති වීඩියෝ කැමරා මගින් පටිගතකෙරුනු දර්ශන වලයි රියදුරන්ගේ ප්‍රතික්‍රියාව දක්නට ලැබුනේ රථ වාහන තදබදය රූපගත කිරීම සඳහා සවිකර ඇති වීඩියෝ කැමරා මගින් පටිගතකෙරුනු දර්ශන වල දක්නට ලැබුණේ, අනතුරෙන් මියගිය සිය සිඟිති දියණිය සහ බිරිඳගේ මළ සිරුරු අසල, තුවාල ලත් පස් හැවිරිදි පුතණුවන් අතින් අල්ලාගත් පියකු ඔවුන් පසුකර යන රියැදුරන්ගෙන් උපකාර ඉල්ලා බැගෑපත්වන අයුරුයි. අනතුරට පත් පවුලේ සාමාජිකයින් ගමන් කළ යතුරු පැදිය ලොරියක හැපීමෙන් පසු විනාඩි දහයක පමණ කාලයක් මෙම පිරිස උපකාර ඉල්ලමින් කල් ගත කරන අන්දම රූපවාහිනියෙන් දුටු විශාල පිරිසක්, කිසිවකු ඔවුනට සහාය වීමට නොපැමිණෙන අයුරු දැක කම්පාවටත් තම රට වැසියන් පිලිබඳ ලජ්ජාවටත් පත්ව ඇති බව වාර්තාකරුවෝ පවසති.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ඇති වැඩි ඉඩකඩත් සමග ආසියානු කොටස් වෙළඳපොළේ ක්ෂණික පසුබෑමක් දක්නට ලැබේ.
ජපානයේ කොටස් වෙළඳපොළ 5% කට වැඩි අගයකින් පහළ ගොස් තිබේ ජපානයේ කොටස් වෙළඳපොළ 5% කට වැඩි අගයකින් පහළ ගොස් ඇති අතර හොංකොං කොටස් වෙළඳපොළ 4% ක අගයකින් පහළ ගොස් තිබේ. ජපාන යෙන් ඇතුළු ඇතැම් මුදල් ඒකක සහ රත්‍රන් වැනි ආරක්ෂාකාරී ආයෝජන මාධ්‍ය වෙත මුදල් ගලා යන ස්වභාවයක් දක්නට ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඊට ඉඳුරාම වෙනස් ප්‍රතිඵලයක් අත් කර දෙමින්, එක්සත් ජනපදයේ අසල්වැසි රාජ්‍ය වන මෙක්සිකෝවේ පේසෝ මුදල් ඒකකයේ අගය වාර්තාගත මට්ටමකින් පහළ යමින් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වීමේ වැඩි ඉඩකඩ සමග මෙක්සිකෝවට එල්ල වේ යැයි සැලකෙන බලපෑම හමුවේය.
දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරික ආයතනයවන සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොංට එරෙහිව අල්ලස් සහ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ නඩු පැවරීමට නියමිත බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොං දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාරය සහ ඉහත කී නඩු විභාගය අතර සම්බන්ධයක් පවතී. සැම්සුන් සමාගමේ මීළඟ අධිපතිවරයා වීමට නියමිත ලී ජායේ-යොං සහ තවත් සමාගම් විධායක නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද චෝදනා දකුණු කොරියාවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එම නිවේදනයත් සමග ඒ අතර සිටි විධායක නිලධාරීන් තිදෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වූහ. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට එරෙහිව පැවති උද්ඝෝෂණයක් ආණ්ඩුවේ ආධාර ලබා ගැනීමට හිලව්වක් වශයෙන් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන යනු ලැබූ පුණ්‍යායතනයකට මූල්‍යාධාර ලබා දුන් බවට සැම්සුන් සමාගමට චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොං පෙබරවාරි මස මුලදී අත්අඩංගුවට ගනු ලැබිණ.
සෙලින්කෝ ව්‍යාපාර සමුහයේ හිටපු සභාපති ලලිත් කොතලාවල වෙනුවෙන් පෙනී සිටි නිතීවේදීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ දී අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටීමට විරෝධය පළ කැරෙන උද්ඝෝෂණයක් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය අසලදී පැවැත්වින.
සෙලින්කෝ ව්‍යාපාර සමුහයට අයත් ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළ මුදල් ලබා ගැනීමට නොහැකිව උසාවි ගිය මෙම පිරිස කියා සිටියේ තමන් ගේ පැමිණිල්ල විභාග කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වෙතින් තමන්ට යුක්තිය ඉටු නොවූ බවයි. අගවිනිසුරුවරිය ගේ නීතිවේදීන් වෙනුවෙන් ලලිත් කොතලාවල ගාස්තු ගෙවන්නේද යන සැකය මතු වී ඇතැයිද උද්ඝෝෂකයෝ පැවසුහ. ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරන ලද මුදල් අහිමි වූ තැන්පත් කරුවන් ගේ සංගමයේ සභාපතිනි දුෂාන්ති හපුගොඩ කියා සිටියේ මෙම උද්ඝෝෂණය සංවිධා නය කිරීම පිටුපස ඇමති මර්වින් සිල්වා සිටින්නේය යැයි ඇතම් නීතිවේදීන් කරන ප්‍රකාශ 'තමන්ට අදාල නොවන' බවයි."තැන්පත් කරුවන්ගේ දේශපාලනය අපිට අදාල වෙන් නේ නැහැ.ඒ හැමෝම ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කොට අගතියට පත් වූ අය"යැයි දුෂාන්ති හපුගොඩ පැවසුවාය. අගවිනිසුරුවරිය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥය රොමේෂ් ද සිල්වා කීයා සිටියේ ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කොට මුදල් අහිමි වූ තැන්පත් කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. මුදල් අහිමි වූ තැන්පත් කරුවෝ තමන්ට යුක්තිය ඉටු කර දෙන්නැයි දෙවියන් ගෙන් ඉල්ලා සිටිමින් පොල් ගැසුහ. සබැඳි තේමා
සම්මානලාභී ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 11) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
වරක් ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය අසතුටින් විවේචනය කරමින් ජයලාල් රෝහණ පැවසුවේ ලංකාව ලෝකයේ තිබෙන සියලුම අධ්‍යාපන ප්‍රවනතා වැරදි අතට ගෙන ඇති බවය. ලෝකයේ විභාග පවත්වන්නේ විද්‍යාර්ථයින් සමත් කිරීමට වුව ද ශ්‍රී ලංකාවේ විභාග පවත්වන්නේ ඔවුන් අසමත් කිරීමට යැයි ඔහු පැවසීය. "පණ්ඩිතයෝ වගේ කට්ටියක් ඉන්නවා ඉතාමත් අවම සුදුසුකම් වලින්. උගන්වන්න බැරිනම් අධ්‍යාපන විශේෂඥයෙක් වන එක අපේ රටේ සාමාන්‍ය දෙයක්. මම කිහිපවතාවක්ම කියල තියෙනවා ශ්‍රී ලංකාවේ ශාක්ෂරතාවය කියන්නේ ඇමරිකාවෙන් අපිට දීපු අන්ඩරයක්. ලොකු අන්ඩරයක් ගිලල ඉන්නේ. මේ අකුරක් ලියාගන්න පුළුවන් කියන්නේ ශාක්ෂරතාවයට නෙමෙයි. ශාක්ෂරතාවය කියන්නේ දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය ඇති අයටයි," යැයි ජයලාල් රෝහණ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ "තවමත් හිතන් ඉන්නවනම් දුටුගැමුණු කියන්නේ පික්චර් වල හිටපු නළුවෝ කියලා හිතාගෙන ඉන්නවනම්. එළාර මැරුවේ උන් කියල හිතනවානම් මේ වගේ මෝඩයෝ ඉන්න රටක් කොහෙවත් නෑ. මේ වැඩිහිටියන්ගේ සිට පහලට ගලාගෙන එන දැනුමේ අව භාවිතය අඩු විය යුතුයි. නැති විය යුතුයි. රට තවමත් හදන්න පුළුවන් ඒක හදන්න පුළුවන් තත්ත්වයකට ගේන්න ඒකට බරපතල සාකච්ඡාවක් අවශ්‍යයි. වැඩේ තියෙන්නේ ගොඩාක් මිනිස්සු ඒකට කැමති නෑ." යනුවෙනි. කුසලතා පිරි රංගධරයකු වූ ජයලාල් රෝහණ වේදිකාවේ, රුපවාහිනියේ හා සිනමාවේ එක සේ ජනප්‍රියත්වයට පත්වූවෙකි. ටෙලි නාට්‍ය රංගනයෙන් ඔහු අතිශය ජනප්‍රියත්වයට පත්වුයේ 'ඉසුරු යෝගය' ටෙලි නාට්‍ය රංඟනයත් සමඟය. "ඉසුරුයෝගය" ටෙලි නාට්‍යයේ "මුතුමිණ " නම් චරිතය රඟපෑම වෙනුවෙන් 2006 වසරේ දී සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා, OCIC සම්මානය, සහ රූපවාහිනී රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූ ජයලාල් රෝහණ, තමන් ඉතා දුෂ්කර ජිවිතයක් ගතකල අයෙකු බව කියා තිබිණි. වයස අවුරුදු 13 දී සිය පියා ඥාතියෙකු අතින් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව සතියට දින දෙකක් පමණක් පාසල් යමින් මව, සහෝදරිය හා සහෝදරයාව රැකබලා ගැනීමේ බර කරට ගෙන කුලී වැඩ කළ බව ඔහු වරක් රුපවාහිනී වැඩසටහනකදී පැවසීය. කෙසේ වෙතත් සිය අධ්‍යාපනය අත් නොහළ ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දක්ෂ ආදි ශිෂ්‍යයෙකි. පේරාදෙණිය විද්‍යාලයෙන් විද්‍යා උපාධිය ලබා ගත ඔහු ඉන්පසු එහිම සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව පිළිබඳව පශ්චාත් උපාධි හිමිකර ගත්තේය. ඔහු ජයවර්ධනපුර, කැලණිය සහ කොළඹ යන විශ්වවිද්‍යාල වලින්ද උපාධි දිනා තිබේ. ගුරු වෘත්තිය තෝරා ගත් ජයලාල් රෝහණ පසුව ඔහු විශ්විද්‍යාල කථිකාචාර්යවරයෙකු ද විණි. දෙදරු පියෙකු වූ මෙම ප්‍රවීණ රංගවේදියා සිකුරු හතේ ඇතුළු චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී සම්මාන රැසක් දිනා ඇති අතර නාට්‍ය කලාව පිළිබඳව ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර ඇත. 'ලෝකා' ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකම අධ්‍යක්ෂවරයා ද විය. මිය යන විට 56 වැනි වියේ පසු වූ ජයලාල් රෝහණ රංගන ශිල්පියකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, ලේඛකයකු, වේශ නිරූපණ ශිල්පියකු, වේදිකා පිටපත් රචකයකු, ගායකයකු, වේදිකා අලංකරණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා ප්‍රකට කළ අයෙකි. ශ්‍රී ලංකාවේ අංගරචනා ශිල්පය ගැන ලියැවුණු "සැබෑ මුහුණේ වෙස් මුහුණ.", ආලෝකකරණය පිළිබඳ ලියැවුණු "සබේ විදුලි විලක්කුව" සහ පෞර්ෂ වර්ධනය හා කටහඬ පිළිබඳ ලියැවුණු "හඬ වැඩුම" ඔහුගේ අතින් ලියැවුණු කෘතීන් වේ. ජයලාල් රෝහණ කලාකරුවා රංඟන වේදියෙකුට එහා හිය 'මිනිසත් කමින් පිරුණු සොඳුරු මිනිසකු' බවට බොහෝ කලාකරුවන් සහ ඔහුව ඇසුරු කළෝ පවසති. "ජයලාල් ගේ තියෙන විශේෂත්වය තමයි ජයලාල් දිගින් දිගටම මේ රඟපෑම, නාට්‍ය අධ්‍යක්ෂණය සියල්ල කරන අතරේ ඔහු පුදුමාකාර විදිහට ඉගෙනීමට ඇලුම් කළා. මම හිතන්නේ ලංකාවේ වැඩිම උපාධි ප්‍රමාණයක් තියෙන පුද්ගලයෙක් තමයි ජයලාල්," යනුවෙන් රංඟවේදී වසන්ත විට්ටච්චි බීබීසී සිංහල සේවය සමඟපැවසීය. "ඕනම වෙලාවක ජයලාල් කියන්නේ මම ඔහුගේ ගුරුවරයෙක් කියන එක. නමුත් එයට වඩා මිත්‍රත්වයක් අපි තුළ තියෙන්නේ. ජයලාල් කියන්නේ හරිම හිත හොඳ, ජයලාල්ගේ තියෙන විශේෂත්වය තමයි සමහරුන්ට පෙන්නේ දැඩි මනුස්සයෙක් වගේ දැඩි කියන්නේ කිවයුතුදේ කෙලින්ම කියනවා ආයේ එහෙම කිව්වොත් මට අවාසියක් වෙයිද කියන එක හිතන්නේ නැතිව කෙලින්ම කියනවා." "ඉතින් ඒක ඔහුගේ තිබුණු අවංක කමක්. නමුත් ඒකම ඔහුට වැරැද්දක් උනා සමහර තැන් වලදී. මොකද ජයලාල් ගේ කට හොඳ නෑ ජයලාල් සැරයි, ඔහුත් එක්ක වැඩ කරන්න බෑ. වගේ කාරණා කියනවා. නමුත් ඒ ඔහු සත්‍ය කතා කරපු නිසා, සත්‍ය වෙනුවෙන් පෙනී හිටපු නිසා තමයි අර ගැලීලියෝ ට වගේ මුහුණ දෙන්න උනේ." මෙයට පෙර කිසිදු පුද්ගලයකු ස්පර්ශ නොකළ විෂයක් වන බෞද්ධ නාට්‍ය ඉතිහාසයේ මනෝවිද්‍යාත්මක විග්‍රහය යන මැයින් ග්‍රන්ථයක් රචනා කර ප්‍රකාශයට පත්කිරීමට ජයලාල් සැරසී සිටි බව විට්ටච්චි පැවසීය. ජයලාල් රෝහණ පිළිබඳ මුහුණුපොතේ සටහනක් තබමින් ජනමාධ්‍ය වේදිනී මයුරි ලියනගේ පවසන්නේ "දුයිෂෙන්ගේ මළගම!, ඔබ අවසාන ගුරුවරයාය!, අපි අවසාන ගෝල පරපුරය! මා දන්නා තරමින් මේ ඔබේ අවසාන ගුවන්විදුලි වැඩසටහන ය! ඔබ යුගයක් නිමා කොට යන්නේ ය! උපුල් ශාන්ත සන්නස්ගල ද මගේ ගුරුවරයෙකි! ඔහු විකල්ප legend එක නම් .. ඔබ මනුෂ්‍යත්වයේ ලෙජන්ඩ් එකය! අප මාධ්‍යයට එන්නේ ඔබ වැනි ගුරුවරුන් නිසාය! ඒත් මාධ්‍යයේදී අපේ මනුස්සකම රැකෙන්නේ ජයලාල් රෝහණ ඒක ඉගැන්වූ නිසාය! හැමෝටම ඒක බැරිය!.." "යන්නට පෙරත් ඔබ කිව්වේ හැමිලට් දන්න ෂේක්ස්පියර් දන්න කපුගේ දන්න අමරදේව දන්න, දොස්තරලා ඉංජිනේරුවෝ මේ රටේ බිහිවිය යුතු බවය!.. ඔබ මනුෂ්‍යත්වය බිහිකොට යන්නේ ය! පන්තියේ පාඩමේදි හැමදාම ඔබ අත උරුක් කොට කිව්වේ.. උඹලා නාට්‍ය නොකෙරුවට කමක් නෑ!.. රඟ නොපෑවට කමක් නෑ! මනුස්සයෝ විදියට ජීවත් වෙයල්ලා කියායි! මම මේ කරන්නේ ඒකය කියාය! දැන් ඔබ ඒක කර ගොසිනි! දැන් ඒක කරන්නට කෙනෙක් නැත! සැබෑ මළගම ඒකය! මේ අවසාන ඡායාරූපය අප එවන් වෙනස් ලොවක් හදන්නට පැතූ බවට සාක්ෂිය! මයුරි ලියනගේ ජයලාල් රෝහණ සමඟ "සර් ! ඔබේ ගෝලයෙක් වීම ගැන අද ඔබ මේ සමුගන්න මොහොතේ මට ඇත්තටම ආඩම්බරය! ඔව් මම ජයලාල් රෝහණ සර්ගෙ ගෝලයෙකි!! දුයිෂෙන්ගේ සැබෑ මළගම අදය!..."යනුවෙන් ඇය සටහන් තැබීය. "එදා "සිහිනයකි රෑ " එතුමා රස ගැන්වු අයුරු අදටත් අපේ ප්‍රෙක්ෂකයින්ට තාමත් මතකයේ ඇති. එතුමා රංගනයෙන් දායක වුනු ගොන්ඩෝලා, හන්කිත් 13, සුදු සහ කලු, පසුගිය කාළයේ වේදිකාව තුල රඟදැක්වු නාට්‍යයන්ය. විවිධ ක්ෂෙත්‍රයන් නියෝජනය කල අති දක්ෂ, නිහතමානි සරල ගැමි චරිතය අද නිසල වී ඇත. නාට්‍ය ක්ෂේත්‍රයට, අධ්‍යාපන ක්ෂේත්‍රයට එය දැවැන්ත පාඩුවකි. තවත් බොහෝ කාලයක් රටට වැඩක් ගතහැකි මෙවන් උතුම් මිනිසුන් අප අතරින් සමුගැනිම කෙතරම් ඛේදාන්තයක්ද?,' යනුවෙන් ඔහුගේ රසිකයකු මුහුණුපොතේ සටහනක් තබමින් පැවසීය. "රටක් හිනැස්සු ආදරණිය ඇදුරුතුමනි, රංගවේදියානෙනි ඔබතුමාට නිවන්සුව..... මා සමඟ සිහිනයකි රෑ රසිකයින්." ජනමාධ්‍යවේදිනී තිලක්ශනී මධුවන්ති පවසන්නේ, "අදයි තක්කෙට ඉසුරුයෝගය..... දැන් ඉතින් සුවෙන් නිදියන්න මුතුමිණ..." "සර්.., මේ අපේ අන්තිම හමුවීම 2020 ජූලි 02 වැනිදා.. ඔව්.. මේ අපේ අන්තිම කතාබහ මේ අපේ අන්තිම සෙල්ෆිය.." තිලක්ශනී මධුවන්ති ජයලාල් රෝහණ සමඟ කෙටි හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ හෙන්රි වර්ණකුලසූරිය තම මිතුරා ගැන මුහුණුපොතේ සටහනක් තබමින් පවසන්නේ "කාලෙකට කලිං දවසක හයිලෙවල් පාරේ බස් රථයක පොල්ලේ එල්ලී එද්දී මට ඉදිරියෙන් ඒ විලසම ගමන් කළ සගයෙක් කරේ එල්ලන් හිටි හචා බෑග් එකෙන් පොතක් එළියට අරං "මේක මගෙන් උඹට තිළිණයක්" කියමින් පරිත්‍යාග කළා. පොත "සැබෑ මුහුණේ වෙස් මුහුණ." පොත ලිව්වේ ජයලාල් රෝහණ." "මං ස්වර්ණවාහිනියේ අංගරචනා ශිල්පීන් භාරව ඉද්දි උඹේ පොත බොහෝ සෙයින් පරිශීලනය කළා. මං මේකප් දැනගත්තෙ උඹේ පොතෙන්." "ඊට ටික කලකට පස්සේ දවසක ජැකා එක්ක කිරුළපන රෙස්ටුරන්ට් එකක අර්ථවත් සැඳෑවක් ගත කරමින් ඉද්දී ජැකාට ආව දුරකථන ඇමතුමකින් ජයලාල් දුම්රියක හැපී මහ රෝහලට ගෙනාව බව දැනගත්තා. අපි සෝමපානය නවතා වෙන් වුණා. ජැකාව පොලිසියෙන් අල්ලන්නෙ නැති නිසා ඔහු රතු කැබ් එකෙන් එවෙලේම රෝහලට ගියා. මට හොඳ ගානට වැදිලා නිසා කෙටි පාරවල් වලින් ගෙදර ගියා." "පහුවදා දවල් දුකාත් එක්ක ජයලාල් බලන්න ගියාම විකාර කියවන්න ගත්තා. හිස වැදිලා. ඒ කම්පනය මිස ලොකු අනතුරක් වුණේ නෑ. අපි ආයෙ ඔහු බලන්න යද්දි පියවි සිහියට ඇවිත් සුපුරුදු හක..හක..හිනාවෙන් අප එක්ක කතා කළා." "ඊයේ රෑ ජයලාල් අපට සමු දී කල්තියාම යන්න ගියා කියා දැනගත් මොහොතේ ඇති වුණේ දැඩි කම්පනයක්. පවනි කෝල් කරලා කියමින් මතක් කළේ ඇගේ පාසලේ සාහිත්‍ය දිනයට ජයලාල් ගෙන්වන්න කතා කළ එක ගැන. ජයලාල් බොහොම උනන්දුවෙන් එකඟ වුණත් කොවිඩ් නිසා රට වැහීමත් එක්ක ඒ වැඩේ කල් ගියා. ඒකෙන් වුණේ ගම්පළාතෙදි මුණ ගැහිලා රසකතා අහන්න තිබුණු අවස්ථාව නැති වුණ එක. "මචං..මට ආරාධනා කළාට ස්තූතියි ඕං.." ඒ මං අවසන් වරට දුරකථනයෙන් අහපු ජයලාල්ගේ වචන. ඔය ලිව්වේ ජයලාල් ගැන මතක කිහිපයක් විතරයි." "ජයලාල් මට වඩා අවුරුදු 5 ක් බාලයි. මට හාට් ඇටෑක් එකක් ඇවිත් අවුරුදු එකහමාරකට වැඩියි. මං අහම්බෙන් ජීවත් වෙන්න වරම් ලැබුවා. දැන් ගත කරන්නෙ බෝනස් ජීවිතයක්. ජයලාල්.. මචං උඹට ඒ අහම්බ බෝනස් එක ලැබුණෙ නෑ." "තවත් ජීවත්වෙන්න ඕනෙ වටිනා මිනිස්සු අප හැර යද්දී අපි වගේ කබ්බෝ බෝනස් ජීවිත ගත කරනවා. අනියත ලෝකේ හැටි එහෙමයි." "මං හෙට උඹව දකින්න එද්දී "මචාං..කෝමද..? කියලා අහන්න වෙන්නෙ නෑ. උඹ සුවබර නින්දක..අපි තවත් කෙටි කලක් අවදියෙන් ඉඳීවි. ඒත් අපිට ඉන්න වෙන්නෙ මැරුණා වගේ තමයි." "ඒ අතිං උඹ වාසනාවන්තයි. ජයලාල් රෝහණ සහෝදරයා උඹට සුබ ගමන්...!" යනුවෙන් ඔහු පැවසීය.
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කළ බව වාර්තා වෙයි.
ඇමෙරිකාව ඇතුළු විදේශ රටවල තානාපති නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වෙමින් සිටි බවයි වාර්තා වන්නේ. අද සඳුදා සවස රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු භික්ෂූන් වහන්සේලා අටදෙනකුද ඇතුළත් යුතු කණ්ඩායම පැමිණ රැස්වීම නවත්වන මෙන් තර්ජනය කල බවයි එම රැස්වීමේ සංවිධායකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ. රාජ්‍යතාන්ත්‍රිකයන්ටත් තර්ජන සිය සාකච්ඡාවට බාධා කළ පුද්ගලයන් අතුරුදහන් පුද්ගලයන්ගේ ඥාතීන්ට සහ විදේශ තානාපති නිලධාරීන්ට බැණ වැදුණ බවත් ඉහත කී සංවිධායකයා සංදේශයට ප්‍රකාශ කළේය. " අපි ඇමරිකාවෙන් මුදල් ලබන දේශ ද්‍රෝහීන් යයි පවසමින් ඔවුන් අපට බැණ වැදුණා " එම සංවිධායකයා පවසයි. පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ලඟා වුවත් අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දීමට නොහැකි නිසා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසයි පොලිසිය පවසූ බවත් ඔහු කියා සිටියි. සාකච්ඡාවට සහභාගී වෙමින් සිටි කණ්ඩායමට මේ වන විට එම ස්ථානයෙන් පිටව යාමට හැකි වී ඇති බවත් වාර්තා වෙයි.
2018 වසරේ දී රටින් පලා යාමට උත්සාහ කළ ඩුබායි හි ලතීෆා කුමරිය, තමා ''ප්‍රාණ ඇපකාරියක'' මට්ටමින් රඳවාගෙන සිටින බවට සිය පියාට චෝදනා කරමින් ඇයගේ මිතුරු මිතුරියන්ට රහසිගත වීඩියෝ පණිවිඩ යවා ඇත. ලතීෆා, ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් ගේ දියණිය ය.
ලතීෆා කුමරිය රහසිගතව පටිගත කළ වීඩියෝ පණිවුඩයක රූප රාමුවක් ලතීෆා අල් මක්ටූම් කුමරිය විසින් නිකුත්කරන ලද වීඩියෝ පටයක් බීබීසී 'පැනරාමා' විශේෂාංගයට ලැබී ඇති අතර, බෝට්ටුවකින් පලායමින් සිටි කුමරිය අල්ලාගත් 'ඩුබායි' කොමාන්ඩෝ භටයන් ඇය ඖෂධ මගින් මත්කොට යළිත් රැඳවුම් භාරයට පත්කරන ලද බව එමගින් පැවසෙයි. රහස්‍ය පණිවුඩ අත්හිටුවා ඇති අතර මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස කුමරියගේ මිතුරු මිතුරියන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිති. ඩුබායි සහ එක්සත් අරාබි එමීරයේ බලධාරීන් මුලදී ප්‍රකාශ කළේ ලතීෆා කුමරිය පවුලේ භාරයේ සිටින බවකි. 2018 වසරේ ලතීෆා කුමරිය මුණගැසීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිත මේරි රොබින්සන්, ලතීෆා '' දඩබ්බර තරුණියක්'' ලෙස හඳුන්වා දුන් නමුත් ''එදා තමා බිහිසුණු රැවටීමකට ලක්කරනු ලැබ ඇතැයි'' දැන් පවසයි. මේරි රොබින්සන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතවරියක් මෙන්ම අයර්ලන්තයේ ජනාධිපතිවරියයි. ලතීෆා කුමරිය රඳවා ඇති ස්ථානයක් සොයාගැනීමට සහ ඇය මුහුණ දී සිටින තත්ත්වය යහපත් අතට ගෙන ඒමට පියවර ගන්නා මෙන් කෙරෙන ඉල්ලීම් සමඟ මේරි රොබින්සන් ද එක්ව සිටින්නීය. "මම ලතීෆා ගැන දිගින් දිගටම කනස්සල්ලට පත්වෙලා ඉන්නේ. බොහෝ දේ සිදුව තියෙනවා. පවතින තත්ත්වය විමර්ශනයකට ලක් කළ යුතු යයි මම සිතනවා " ඇය ප්‍රකාශ කරයි. ලෝකයේ ඉහළම ධනකුවේර රාජ්‍ය නායකයන් කීපදෙනාට අතරට ද ඇතුළත් කෙරෙන, ලතීෆා කුමරියගේ පියා වන ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් (Sheikh Mohammed bin Rashid Al Maktoum) එක්සත් අරාබි එමීරයේ උප ජනාධිපතිවරයා ලෙසද කටයුතු කරයි. ලතීෆා කුමරිය විසින් එවන ලද වීඩියෝ දර්ශන දුරකතනයකින් පටිගත කරන ලද ඒවා වෙති. පළායමින් සිටිය දී අල්ලාගෙන 'ඩුබායි' කරා රැගෙන එමින් සිටි අවස්ථාවේ ඇය ලද ජංගම දුරකථනය ඒ සඳහා යොදාගනු ලැබ ඇත. ඇය රඳවා සිටින ස්ථානයේ වෙනත් දොරක් නොමැති හෙයින් කුමරිය ඒවා පටිගත කරනු ලැබ තිබෙන්නේ නාන කාමරයේ සිටින අතරය. ලතීෆා විසින් එවන ලද පණිවුඩවල පහත සඳහන් තොරතුරු ඇතුළත් වෙයි. පලායමින් සිටින අතරවාරයේ කුමරිය නතරකොට බෝට්ටුවෙන් ඉවතට ගැනීමට උත්සාහ කෙරෙද්දී ඇය කොමාන්ඩෝ භටයන් සමග පොරබැදුවාය. භටයන් සමග සටන් කළ ඇය ඔවුන්ට පාපහර එල්ල කරමින් එක් කොමාන්ඩෝ භටයකුට කෑගැසෙනතෙක් ඔහුගේ අත සපා කෑවාය. සන්සුන්වීමෙන් අනතුරුව ඇයට සිහිය නැතිවී ඇති අතර පෞද්ගලික ජෙට් යානයකින් ඩුබායි කරා රැගෙන එනතෙක් නින්දෙන් පිබිදී නැත. ඉන් අනතුරුව කුමරිය රඳවා තබාගත් අතර ඇයට වෛද්‍ය හෝ නෛතික පහසුකම් නොලැබුණි. දොරවල් අගුලු දමා තිබූ විශාල මාලිගාවක ඇය සිරකර තැබුණ අතර එම මැදුර වටකොට පොලිස් මුරකාවල් යොදා තිබුණි. ලතීෆා කුමරියගේ 'කැපෝයිරා' නැටුම් සහ සංගීත උපදේශකවරිය වන ටීනා ජවුහයිනන් පලායාමේ සැලැස්මට උදව්කර ඇත ලතීෆා කුමරිය අල්ලා ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳ විස්තරය BBC 'පැනරාමා' වැඩසටහනට අනාවරණය කරන ලද්දේ ඇගේ සමීප මිතුරියක සහ උපදේශිකාවක වන ටීනා ජවුහයිනන්, මව් පාර්ශ්වයේ ඥාති සහෝදරයකු වන මාකස් එසබ්රි සහ 'නිදහස් ලතීෆා ව්‍යාපාරය' පිටුපස සමස්ත කටයුතු ඉටුකළ ක්‍රියාධරයකු වන ඩේවිඩ් හේග් විසිනි. එවැනි හෙළිදරව් කිරීමේ දුෂ්කර තීන්දුව ගන්නා ලද්දේ ලතීෆා ගේ ජීවිතය සුරක්ෂිත කරගැනීමේ අරමුණින් යයි ඔවුහු පවසති. පොලිස් රැකවල් මැද ජනෙල් අගුළු දමන ලද මන්දිරයක සිරකර තබා සිටින කුමරිය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට ඔවුන් සමත්ව ඇත. ලතීෆා සිරකරනු ලැබ ඇති ස්ථානය සහ එහි තත්ත්වය ස්වාධීන නිරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට 'BBC පැනරාමා' මාධ්‍යවේදීහු සමත්වූහ. ලතීෆාගේ පියාවන ෂෙයික් මොහොමඩ් ඩුබායි ඉතා සාර්ථක නගරයක් බවට සංවර්ධනය කළ නමුත් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන්ට අනුව ඔහු විසම්මුතික මතවාද නොඉවසයි. ඩුබායි අධිකරණ පද්ධතියට කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමට බලය පවතී.. ඩුබායි ෂෙයික්වරයා අතිවිශාල අශ්වාරෝහක ව්‍යාපාරයක හිමිකරුවෙකි. බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 'රාජකීය ඇස්කොට්' (Royal Ascot) වැනි ප්‍රධාන තුරඟ ධාවන ඉසව්වලට නිතර සහභාගී වෙයි. එම අවස්ථාවන්හි ඔහු දෙවන එලිසබෙත් රැජින සමඟ ඡායාරූපවලට පෙනීසිට ඇත. ෂෙයික් මොහොමඩ්(ඉදිරිපෙළ දකුණේ සිට පළමුවැන්නා) 2019 වසරේ රැජින සමඟ ඡායාරූපයකට පෙනීසිටි අවස්ථාවක් ඩුබායි පාලකයා ලතීෆා සම්බන්ධයෙන් පමණක් නොව ඇයගේ සුළුමව වන 'හයා බින්ත් අල් හුසෙයින්' කුමරිය සම්බන්ධයෙන් ද දෝෂ දර්ශනයට ලක්වෙයි. හයා කුමරිය සිය දරුවන් දෙදෙනාත් රැගෙන 2019 වසරේ ලන්ඩන් නගරයට පළා ආවාය රහස්‍ය බෝට්ටු ගමන දැනට 35 හැවිරිදි ලතීෆා පළමුවෙන් පලායාමට තැත්කර තිබෙන්නේ වයස අවුරුදු 16 දීය.එය අසාර්ථක වූ අතර 2018 දී ඇය යළි පලායාමට සැලසුම් කරන ලද්දේ සිය උපදේශකවරියක වන ටීනාගේ උදව්වෙනි. 2018 පෙබරවාරි මාසයේ 24 වෙනිදා ලතීෆා සහ ටීනා සුළං පුරවන බෝට්ටුවක් සහ ජලමත ලිස්සායාමේ ක්‍රීඩා සඳහා යොදාගන්නා 'ජෙට් ස්කී' උපකරණ රැගෙන ඩුබායි අසල ජාත්‍යන්තර මුහුදට පිවිසුණහ. එහි ඇමෙරිකානු කොඩිය සහිත යාත්‍රාවක් (yacht) නතර කර තිබුණි. කුමරිය රැගත් එම යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබෙන අතරවාරයේ දවස් අටකට පසු කොමාන්ඩෝ භටයෝ බෝට්ටුවට අතුල්වූහ. ඒ සමඟ එල්ල කෙරුණ දුම්බෝම්බයක් නිසා තමාට සහ කුමරියට යාත්‍රාවේ පහළ තට්ටුවේ නාන කාමරයේ සැඟවීමට සිදුවූ බවත් කොමාන්ඩෝ භටයින් තුවක්කු මානා ගනිමින් තමන් සිරකර තබාගත් බවත් ටීනා පවසයි. අනතුරුව ලතීෆා ඩුබායි කරා ගෙන ආ අතර එතැන් පටන් ඇයට සිදු වූ දෙයක් දැනගැනීමට නොහැකිව තිබුණි. ටීනා සහ යාත්‍රාවේ කාර්ය මණ්ඩලය සති දෙකක කාලයක් ඩුබායි හි රඳවා තබා තිබිණි. කුමරිය අල්ලාගනු ලැබීමට තම පාර්ශ්වයෙන් දුන් දායකත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කිසිවක් නොකියයි. ලතීෆා විසින් 2018 දී කලින් පටිගත කරන ලද වීඩියෝ පටයක් අසාර්ථක පලායාමෙන් පසු ප්‍රචාරය කරනු ලැබුණි. ලතීෆා විසින් 2018 දී කලින් පටිගත කරන ලද වීඩියෝ පටයක් අසාර්ථක පලායාමෙන් පසු ප්‍රචාරය කරනු ලැබිණි. ඇය අල්ලාගනු ලැබීමෙන් අනතුරුව එය 'යූටියුබ්' ජාලයේ පළකෙරිණි "ඔබ මෙම වීඩියෝ පටය නරඹන්නේ නම්, එය එතරම් හොඳ දසුනක් නොවේ. එක්කෝ මම මැරී ඇත. නැත්නම්,මා පසුවෙන තත්ත්වය ඉතාම, ඉතාම නරක එකක් වනු ඇත''කුමරිය එමගින් පවසයි. එම වීඩියෝ පටය නිකුත්වීමත් සමඟ ලතීෆා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර හඬක් නැගෙන්නට විය. එක්සත් අරාබි එමීරය විශාල ජාත්‍යන්තර බලපෑමකට ගොදුරුවන්නට විය. මේරි රොබින්සන් සමඟ හමුවක් පිළියෙළ කරනු ලැබුණි. ලතිෆා කුමරිය පලායමින් සිටි සුඛෝපභෝගී යාත්‍රාව එක්සත් ජාතීන්ගේ ප්‍රතිචාරය ඩුබායි පාලකයා සිය දියණිය ලතීෆා කුමරිය බලහත්කාරයෙන් රඳවා තබනු ලැබීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීරයේ බලධාරීන්ගෙන් විමසීමක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. තම පියා විසින් තමා ''ප්‍රාණ ඇපකාරියක'' මට්ටමින් සිරකර තබා ඇතැයි පවසන ලතීෆා කුමරිය තමාට ''ජීවිත අනතුරක්'' ඇති බවට ද බිය පළ කරන්නීය. ලතීෆා කුමරියගේ රහස්‍ය වීඩියෝ පටය එළියට පැමිණීමත් සමඟ ඇය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ජාත්‍යන්තර මට්ටමින් ඉල්ලීම් ඉදිරිපත්වෙමින් පවතින අතර,බීබීසී 'පැනරාමා' වැඩ සටහන මගින් ප්‍රචාරය කරන ලද එම වීඩියෝ පටය මගින් ''ඉතාම බරපතල '' තත්ත්වයක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානිය පවසයි. ''අපි එම තත්ත්වය ගැන අතිශයින් කණස්සල්ලට පත්ව සිටිනවා'' බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් ප්‍රකාශ කළේය. ''තරුණ කාන්තාවක් බලවත් චිත්ත පීඩාවෙන් පසුවෙන ආකාරය වීඩියෝ පටය මගින් පෙන්නුම් කෙරෙනවා'' විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි. ලතීෆා කුමරිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය දෙස දැඩි අවධානයෙන් පසුවෙන බවත් විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේය. බින්ත් අල් හුසේන් හයා කුමරියගේ පලායාම ඩුබායි පාලක ෂෙයික් මොහමඩ් අල් මක්ටුම්ගේ බිරිඳක වන හයා බින්ත් අල් හුසේන් කුමරිය ලන්ඩනයේ සැඟවී සිටින්නීය. ඒ සැමියාගෙන් වෙන්වී පැන ඒමෙන් අනතුරුව සිය ජීවිතය ගැන ඇතිවී තිබෙන බිය හේතුවෙන් බව විශ්වාස කෙරේ. ජෝර්දානයේ ඉපිද බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ 45 හැවිරිදි හයා කුමරිය 2004 වසරේ ෂෙයික් මොහමඩ් සමග විවාහ වූයේ ඔහුගේ හයවෙනි 'බිරිඳ ලෙසිනි. සිය විවාහ වලින් ඩුබායි ෂෙයික්වරයාට දරුවන් විසිතුන් දෙනෙක් සිටිතැයි වාර්තා වී ඇත. ලතීෆා කුමරිය සහ ඇයගේ පියා ඩුබායි ෂෙයික්වරයා කියවන්න;
ක්‍රිකට් ක්‍රීඩා තරඟයක දී පකිස්තානු පිල වෙනුවෙන් ඔල්වරසන් පෑ ඉන්දීය කාශ්මීරයේ සිසුන් පිරිසකට එරෙහිව රාජද්‍රෝහි චෝදනා මත පැවරූ නඩුව උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් විසින් ඉවත් කර ගනු ලැබ තිබේ.
පසුගිය සති අන්තයේ පැවති මෙම තරඟයෙන් ඉන්දියාව පරාජය විය කෙසේ වුවත් එම ශිෂ්‍යයන් පිරිස වාර්ගික සමගියට බාධා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බවයි, බලධාරීන් පවසන්නේ. බංග්ලාදේශයේ දැන් පැවැත්වෙන ආසියානු කුසලාන තරඟයේදී ඉන්දියාව පාකිස්තානයට පරාජය වීමෙන් අනතුරුව උත්තර් ප්‍රදේශ් හි විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන හැටකට අධික ශිෂ්‍යයන් පිරිසකගේ පන්ති තහනම් කෙරිණ. තමන් පාකිස්තානයට ඔල්වරසන් පෑවා නොව පාකිස්තානය තරඟය ජය ගත් අවස්ථාවේ අත්පොලසන් නැගුවා පමණක් බවයි, ශිෂ්‍යයන් පිරිස පවසන්නේ. ශිෂ්‍යයන්ට එරෙහි රාජද්‍රෝහී චෝදණා සනාථ කිරීමට තරම් සාක්ෂි හමු නොවූ බවයි, පැමිණිල්ල පරීක්ෂා කළ මීරුට් නගරයේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් පන්කජ් යාදව් බීබීසී හින්දි සේවයට කියා සිටියේ. චෝදනා සනාථ වූයේ නම් ශිෂ්‍යයන්ට වසර තුනක් දක්වා වූ සිර දඬුවම් පැනවිය හැකිව තිබිණ. මෙය 'පිළිගත නොහැකි මට්ටමේ රළු පියවරක්' බව ඊට කලින් කියා සිටි ජම්මු කාශ්මීරයේ මහ ඇමති ඕමාර් අබ්දුල්ලා, සිසු පිරිසට එරෙහි චෝදනා ඉවත් කර ගන්නා ලෙස උත්තර් ප්‍රදේශ් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
CCTV කැමරා වලට හසුවන පුද්ගලයන් කතා කරන දෑ ඔවුන්ගේ දෙතොල් චලනය වන ආකාරය අධ්‍යනය කිරීමෙන් කියවා තේරුම් ගැනීමට හැකි(lip reader) පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට හැකි වූ බව බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායමක් පවසයි.
ඊස්ට් ඇන්ග්ලියා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාඥයින් කණ්ඩායම පවසන්නේ සිය කණ්ඩායම විසින් නිර්මාණය කළ මෙම පරිගණක වැඩසටහන අපරාධ සහ ත්‍රස්තවාදය මැඩලීමට භාවිතා කළ හැකි බවයි. කෙසේ වෙතත් මෙම පරිගණක වැඩසටහන ජනමාධ්‍යවේදීන් විසින් ජනප්‍රිය තරුවල රහස් හෙළි කිරීමට යොදා ගැනීමේ ඉඩක් පවතින බවටත් ඔවුන් අනතුරු අඟවා සිටියි. මින් පෙරත් දෙතොල් චලනය වන ආකාරය අධ්‍යනය කිරීමෙන් පුද්ගලයන් අතර ඇතිවන සංවාද තේරුම් ගැනීමට හැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමට බොහෝ පරිගණක විද්‍යාඥයන් උත්සාහ කළත් ‘ප’ ශබ්ධය සහ ‘බ’ ශබ්ධය අතර වෙනස හඳුනා ගැනීමට එම වැඩසටහන් අසමත් විය. නමුත් ඊස්ට් ඇන්ග්ලියා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාඥයින් කණ්ඩායම කියා සිටියේ නිර්මාණය කරන ලද නව පරිගණක වැඩසටහන එම අභියෝගය ජයගෙන ඇති බවයි. මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වයට සමාන බුද්ධියක් සහිත රොබෝවරුන් (artificial intelligence) නිර්මාණය කිරීමේ දී ද මෙම නව පරිගණක වැඩසටහන ඉතා වැදගත් වනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.
මිහින් ලංකා ගුවන් සමාගමේ මූල්‍ය කටයුත්තක් මුල් කර ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව නඩු පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මිහින් ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළ සමයේ සිංගප්පූරු සමාගමකට රුපියල් මිලියන 883 ක ලාභයක් ලබා දීමේ අරමුණින් කටයුතු කොට ඇති බවට එල්ල වන චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කියා සිටියේ. සැප්තැම්බර් 20 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට නොතීසි යවා ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය. ජනපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුවක් විභාග වෙමින් පවතියි.
ලොව වයසින් වැඩිම ගොරිල්ලන් අතර සිටි එක් ගෝරිල්ලෙකු මිය ගොස් තිබේ.
නොමද ආදරය දිනූ 'විලා' නමැති ගෝරිල්ලා මිය යන විට හැට වෙනි වියේ පසු විය. 1957 වසරේ දී කොංගෝවේ උපත ලද 'විලා' ඇයගේ පවුලේ සාමාජිකයන් අතර සිටියදී මියගිය බව සැන් දියේගෝ සෆාරි උද්‍යානය සිකුරාදා (ජනවාරි 26) නිවේදනය කළේය. ඇය පරම්පරා පහකට "මාතෘ මූලිකයා" වූ බව සෆාරි උද්‍යාන බලධාරීහු පවසති. "මීට ආසන්න වයස්වල පසුවන ගෝරිල්ලන් ඉතා සුළු ප්‍රමාණයකුයි සිටින්නේ" යනුවෙන් කැලිෆෝනියාවේ පිහිටි සෆාරි උද්‍යානයේ ප්‍රධාන සත්ව පාලිකාවක වන පෙගි සෙක්ස්ටන් පැවසුවාය. සාමාන්‍යයෙන් ගෝරිල්ලෙකු අවුරුදු 35-40 අතර කාලයක් ජීවත් වේ. "උද්‍යානයේ සාමාජිකයන්ට, නරඹන්නට, ස්වේච්ඡා සහ කාර්ය මණ්ඩලයේ සේවකයන්ට ඇයගේ අඩුව දැනේවි" යනුවෙන් සෆාරි උද්‍යානයේ ක්ෂීරපායී සත්ව අංශය භාර රැන්ඩි රිචස් කියා සිටි. පරම්පරා පහක පවුලේ මූලිකයා දැනට මිනිස් ඇසුරේ ජීවත්වන වයස්ගතම ගෝරිල්ලා වන ටෘඩිගේ වයස අවුරුදු 61 යයි සැලකේ. ඇය ආකන්සෝහි 'ලිට්ල් රොක්' සත්වොද්‍යානයේ වාසය කරන්නීය. විලා මෙන්ම, ඇයද වනයෙන් අල්ලා ගන්නා ලද ගෝරිල්ලෙකි. ගෝරිල්ලන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ව කොට්ඨාසයකි. නීති විරෝධී ලෙස සිදු කරනු ලබන සත්ව වෙළඳාමට ද ඔවුහු ගොදුරුව සිටිති. ගෝරිල්ලන් වනයෙන් අල්ලාගෙන සත්වෝද්‍යාන තුළ රඳවා තැබීම සම්බන්ධයෙන් පරිසරවේදීන් සන සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල විරෝධය එල්ල වේ. 2016 වසරේදී ඇමරිකාවේ 'සින්සිනාති' සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩලය විසින් ගෝරිල්ලකුට වෙඩිතබා මරා දමනු ලැබුවේ ගෝරිල්ලා රඳවා තබන ලද කුටියට වැටුණු දරුවෙකුගේ දිවි බේරා ගැනීම සඳහාය. එම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකවරයා එවක පැවසුවේ වයස අවුරුදු හතරක් පමණ වූ දරුවා ගේට්ටුව අතරින් රිංගා 'හරම්බේ' නමැති ගෝරිල්ලා සිටි කුටිය සහිත පෙදෙසට ඇතුල්වී සිටි බවය. කෙසේ නමුත් ගෝරිල්ලා මරා දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ දැඩි විරෝධයක් එල්ල වූ අතර එම ක්‍රියාව සත්ව ලෝලීන්ගේ දැඩි විවේචනයට ලක් විය. ගෝරිල්ලා මරා ළමයෙකු රැකගනී තවත් තොරතුරු:
ගහමරා ගැනීම් හෝ සමාජයේ යහ පැවැත්මට අහිතකර වෙනත් ක්‍රියා අනාගත පරපුරට දායාද නොකර වැඩිහිටියන් විසින් වල දමනු ලැබිය යුතු බව ෂුක්රා මුනව්වර් පවසන්නීය.
එමෙන්ම ගැහැණු දරුවන් "ලැජ්ජාව හෝ බිය පසෙක තබා" තම ඉලක්ක හඹා යා යුතු බව ද බීබීසී සිංහල සේවය සමග පැවති සකච්ඡාවකදී ඇය පැවසුවාය. සිරස ලක්ෂපති වැඩසටහනට ඉදිරිපත්වී රුපියල් මිලියන දෙකක ත්‍යාග මුදල දිනාගත් ෂුක්රා මුනව්වර් සමාජයේ වැඩි අවධානයක් දිනාගත් තරුණියකි. නිෂ්පාදනය / පටිගත කිරීම /සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර මේ ගැනත් දැනගන්න:
ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක, අඩක් නිම කොට තිබුන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ඉදි කිරීමේ සේවකයන් දහ තුන් දෙනකුවත් මරුමුවට පත් විය.
කඩා වැටෙන අවස්ථාවේ අඩුම තරමින් 40 දෙනකුවත් එහි සිටි බව විශ්වාස කෙරේ බර උසුලන කරන යන්ත්‍ර සහ සිය දෑත්වලින් සුන් බුන් පීරමින් බේරා ගැනීමේ සේවකයෝ කැනකොනා නගරයේ පස් මහල් ගොඩනැගිල්ලේ අනතුරෙන්පණ බේරා ගත් අය සිටී දැයි සොයමින් සිටියහ. අනතුරින් පණ බේරා ගත් පිරිසක් දැනටමත් රෝහලට ඇතුලත් කොට තිබේ. අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවයි, ගෝව ප්‍රාන්තයේ බලධාරීන් පවසන්නේ.
19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා වූ යෝජනා අටකින් හයකට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය මේ මොහොත වන විට එකඟ වී තිබේ.
කෙටුම්පත සඳහා වූ යෝජනා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම පිණිස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව තවදුරටත් සාකච්ඡා කරමින් සිටියි. ව්‍යවස්ථා සභාවේ සංයුතිය සහ අගමැතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කිරීම යන වගන්ති දෙකයි මතභේදයට ලක් වී තිබෙන්නේ. ඉහත කී වගන්ති දෙක බොහෝ දුරට සංශෝධනය විය හැකි අතර එය ජනතා අභිලාෂය නොවන බවයි එක්සත් ජාතික පක්ෂයේ මතය වී ඇත්තේ. සංශෝධන යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කරමින් සිටිති.
චෙන්නායි සිට අන්දමන් දූපත් බලා ගමන් කරමින් සිටියදී අතුරුදහන් වූ ඉන්දීය හමුදා ගුවන් යානය පිළිබඳ මෙතෙක් කිසිඳු හෝඩුවාවක් නොමැති බව එරට බලධාරීහු පවසති.
චෙන්නායිහි පිහිටි ගුවන් හමුදා කඳවුරක් රුසියාවේ නිෂ්පාදිත 'AN 32' ගුවන් යානය අතුරුදහන් වී පැය විසිහතරක් ගත වී තිබේ. ගුවන් යානය තුළ සාමාන්‍ය වැසියන් නව දෙනකු ඇතුළු පුද්ගලයන් විසිනව දෙනකු ගමන් කොට ඇති බව බලධාරීහු සඳහන් කරති. ඉන්දීය ආරක්ෂක ඇමති මනොහර් පරික්කර්ගේ අධීක්ෂණය යටතේ, අතුරුදහන් වූ ගුවන් යානය සොයා මුහුදු සහ ගුවන් මාර්ගයෙන් මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ගුවන් යානය ගමන් ආරම්භ කොට මිනිත්තු පහළොවකට පසු රේඩාර් පද්ධතියෙන් නො පෙනි ගිය බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීමේ උත්සවවලට සහභාගි වන අතරවාරයේ, බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජා සංවිධාන කිහිපයක සාමාජිකයෝ ලන්ඩනයේ උද්ඝෝෂණවල නිරතව සිටියහ.
අතුරුදහන්වූවන් පිළිබඳ විස්තර හෙළි කරන්න - බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ජනපතිගෙන් ඉල්ලයි කෙසේ නමුත් විදේශගත දෙමළ ප්‍රජාව නියෝජනය කරන ප්‍රධානම සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදය විරෝධතාවයට සහභාගි නොවීම කැපී පෙනුණි. යුද සමයේ අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන මෙන් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණවල යෙදී සිටින ජනතාවට සහාය පළ කිරීම සිය විරෝධතාවයේ අරමුණ බවයි, බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. දින සියය සිය නම හෙළි නොකළ ඔහු තමා ශිවා නමින් හඳුන්වන මෙන් බීබීසී යෙන් ඉල්ලා සිටියේය. අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම පිණිස දැනටමත් ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක වන්නේ නොවේදැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ශිවා කියා සිටියේ, 2009 සිට අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳව සොයා බලන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දින සියයේ වැඩසටහනෙන් ප්‍රතිඥාවක් දී නොමැති බවයි. ශ්‍රී ලංකාවේ දෙමළ ඡන්දදායකයන්ගෙන් විශාල පිරිසක් වත්මන් ජනපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස සිය ඡන්දය භාවිත කළ බව බීබීසීය පෙන්වා දුන් අවස්ථාවේ බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ ප්‍රකාශකයා කියා සිටියේ සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන මෙන් දැන් ඒ ජනතාව නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි. යුද අපරාධ චෝදනා පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දියාවේ කුම්භ මේලා ආගමික උත්සවය පැවැත්වුණේ පසුගිය මාසයේදී ය. ඒ සඳහා හිමාලය පාමුල හරිද්වාර් නගරයට ජනකාය රැස්වුණේ කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවට දරුණු ප්‍රතිඵල ගෙන දෙමින් සිටියදීම ය.
මෙය වෛරසයේ සුපිරි ව්‍යාප්තියක් ගෙන දෙන උත්සවයක් බවට පෙරළිය හැකි යැයි බොහෝ දෙනා නොසිතුවාම නොවේ. එම බිය ජනක සිතුවිල්ල දැන් සත්‍යයක් බවට පත්වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. කුම්භ මේලා සමරා ආපසු පැමිණියවුන් අතර ආසාදිතයන් සොයා ගැනිණ. දසතින් පැමිණි පිරිස උත්සවයෙන් පසුව දසත විසිරී ගියහ. වෛරසය ද දසත විසිර ගියා විය හැකිය. මහාන්ත් ශංකර් දාස්, කුම්භ මේලා උත්සවයට සහභාගිවීම සඳහා හරිද්වාර් නගරයට සේන්දු වූයේ මාර්තු 15 වැනිදාය. ඒ වන විටත් ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල කොවිඩ් ව්‍යාප්තිය හිස ඔසවා තිබුණි. කුම්භ මේලා පූජෝත්සවය නිල වශයෙන් ආරම්භ විය. ගතවූයේ සිව් දිනකි. අසූ හැවිරිදි හින්දු පූජකවරයාට කොරෝනා වෛරසය අසාදනය වී ඇතිබව තහවුරු විය. කුඩාරමක් තුළට වී නිරෝධායනය වීමට ඔහුට උපදෙස් ලැබිණ. කුම්භ මේලා උත්සවයට අදාල සංරක්ෂිත ඡායාරූපයකි නමුත් මේ පූජකවරයා කළේ වෙනත් දෙයකි. නිරෝධායනය වනවා වෙනුවට ඔහු තම බෑගය සුදානම් කරගත්තේය. දුම්රියට ගොඩවිය. කිලෝමීටර 1000ක් දුර ගෙවා වරනාසි නගරයට පැමිණියේය. වරනාසි දුම්රිය පොළට මේ පූජකවරයාගේ පුත්‍රයා පැමිණ සිටියේය. ඔහු නාගේන්ද්‍ර පතක් ය. නාගේන්ද්‍රගේ නිවස පිහිටියේ දුම්රියපොලින් කිලෝමීටර 20ක් පමණ ඈතින් පිහිටි මිර්සාපුර් දිස්ත්‍රික්කයේ ගම්මානයකය. පිය පුතු දෙදෙනා ගමට ගියේ තවත් කීපදෙනෙකු සමඟ එකතුවී බෙදාහදා ගත් කුලී රථයකිනි. මහාන්ත් දාස් පූජකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවිය. "දැන් හොඳ සනීපපෙන් ඉන්නවා" යැයි ඔහු පැවසීය. නිවෙසට පැමිණි පසු ඔහු නිරෝධායනය වී තිබේ. ඔහුගෙන් කිසිවෙකුට වෛරසය බෝ නොවූ බව ඔහු අවධාරණය කළේය. නමුත් දින කීපයකින් සිය පුත්‍රයාට සහ ගමේ තවත් කීප දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවිය. පූජකවරයාගේ පුත්‍රයා ද සුවය ලැබීය. නමුත් ඔහු ගමේ තත්ත්වය විස්තර කළේය. "කැස්සයි, උනයි හැදිලා ගමේ 13 දෙනෙක් මැරුණා." නාගේන්ද්‍ර පතක් පැවසීය. ගමේ කොවිඩ් 19 පැතිරීමට මහාන්ත් දාස් ගේ සම්බන්ධයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට ඉඩ තිබේ. නමුත් සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ඔහුගේ ක්‍රියාකලාපය වගකීම් විරහිත බවය. මගීන්ගෙන් පිරුණු දුම්රියක පැය ගණනක් ගතකොට තවත් කීපදෙනෙකු සමඟ කුලී රථයක නැගී නිවෙස කරා පැමිණෙන අතරතුර ඔහුගෙන් බොහෝ දෙනෙකු අතර වෛරසය පැතිරෙන්නට ඉඩකඩ පවතින බව විශේෂඥයෝ පවසති. මිලියන 9කට අධික පිරිසක් හරිද්වාර් නගරයට සේන්දු වූහ "මුහුණු ආවරණ රහිතව අතිවිශාල කණ්ඩායම් වශයෙන් ගං ඉවුරේ වාඩිලා ගෙන ස්තෝත්‍ර ගායනයේ යෙදෙන විට" වෛරසය ඉතා වේගයෙන් පැතිරයාම සඳහා අතිශය හිතකර වාතාවරණයක් නිර්මාණය කෙරෙන බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පැවසීය. "අපි දැනගෙන හිටිය දේවස්ථාන හෝ පන්සල්වල ගීතිකා සහ යාතිකා කීම කියන්නේ වෛරසය සුපිරි මට්ටමින් ව්‍යාප්ත කරවන වැඩසටහන් කියල." නේපාලයේ හිටපු රජු සහ හිටපු රැජින කුම්භ මේලා පූජෝත්සවය පැවති හරිද්වාර් නගරයේ බලධාරීන් ප්‍රකාශ කළේ වන්දනාකරුවන් 2642 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බවය. ආසාදිතයන් අතර ජ්‍යෙෂ්ඨතම ආගමික නායකයෝ ද සිටියහ. කුම්භ මේලා පූජෝත්සවයට සහභාගී වී නිවෙස් කරා පැමිණි පසු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වූවන් අතර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අඛිලේෂ් යාදෙව් ද විය. නේපාලයේ හිටපු රජු ගයනේන්ද්‍ර ශා සහ හිටපු රැජින කෝමාල් ශා ද වුහ. බොලිවුඩ් සංගීතඥ ශ්‍රාවන් රතෝද්, මුම්බායි හි රෝහලක දී මිය ගියේ ද කුම්භ මේලා සැණකෙළියට සහභාගී වී පැමිණීමෙන් පසුවය. එකම නඩයකට අයත් හින්දු ශාස්තෘවරුන් 9 දෙනෙක් ද මිය ගියහ. කුම්භ මේලාවට සහභාගී වූවන් රට පුරා වෛරසය පතුරවා හරිනු ඇතැයි යන බිය වර්ධනය වන්නට පටන් ගත්තේය. බියට පත් ඇතැම් ප්‍රාන්ත දින 14ක නිරෝධනය නීතියක් ඔවුනට පැනවූහ. සංචරණ තොරතුරු සඟවන්නන් හට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවූහ. ඇතැම් ප්‍රාන්ත බලධාරීන් විසින් වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කරනු ලැබූ නමුත් වන්දනාවේ ගිය අය පිළිබඳ විස්තර ඔවුන්ගේ දත්ත ගබඩාවේ නොවීය. බොහෝ ප්‍රන්තවලට ඇතුළු වන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට හෝ ඔවුන්ගේ සංචරණ සොයා බැලීමට අවශ්‍ය පහසුකම් නොතිබිණ. කුම්භ මේලා නිමාවී ගත වූයේ දෙසතියකි. නිවෙස් කරා පැමිණි බැතිමතුන් අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම රට පුරාම සිදු විය. "මේක අතිශයින් අවාසනාවන්ත සිදු වීමක්. මේ වාර්තා වූ ගණන් හිලව් අල්ප මාත්‍රයක් පමණයි. ආසාදිත වන්දනාකරුවන් සෙනග පිරුණු දුම්රිය සහ බස්රථ තුළ ගමන් කිරීමේදී මේ සංඛ්‍යාව කී ගුණයකින් වැඩි වෙනවද? කිසිම පැකිලීමකින් තොරව මට කියන්න පුළුවන් ඉන්දියාවේ කොවිඩ් වසංගතය ඉහළ යාමට, මේ කුම්භ මේලා සැණකෙළිය ප්‍රධාන හේතුවක් වුණා කියල." විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පැවසීය. නරේන්ද්‍ර මෝදි ක්‍රියා නොකළේ ඇයි? ඉන්දියාව පුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙමින් පවතිද්දී, රෝහල්වල ඇඳන් සියල්ල ම පිරී ඇති හෙයින් රෝගීන් නැවත හරවා යවද්දී, ඔක්සිජන් සහ ඖෂධ හිඟවී තිබිය දී මෙම කුම්භ මේලා පූජෝත්සවය කල්දැමීමට කටයුතු කළේනම් මීට වඩා යහපත් නොවේදැයි ප්‍රශ්න කළවිට මහාන්ත් දාස් පූජකවරයා ඊට එදිරිව තර්ක ඉදිරිපත් කළේය. "එහෙම නම්, ආණ්ඩුව බටහිර බෙංගාලයේ මැතිවරණ රැළි පැවැත්වීම නිවැරදි වෙන්නේ කොහොමද? සැදැහැවතුන් වන අපි විතරක් එක්රැස්වීම වැරදියි කියල කියන්නේ ඇයි?" ඔහු ප්‍රශ්න කළේය. මෙම පූජෝත්සවය අවලංගු කිරීම සඳහා පියවර ගැනීමට රටේ අගමැති නරේන්ද්‍ර මෝදි ක්‍රියා නොකළේ ඇයි? විචාරකයන් පවසන්නේ මහාන්ත් දාස් වැනි හින්දු ආගමික නායකයන්ගෙන් එල්ලවිය හැකිව තිබූ විරෝධය හේතුවෙන් අගමැතිවරයා එවැනි පියවරක් ගැනීමට පසුබට වූ බවකි. හින්දු පූජකවරුන්, යෝගීවරුන්, තාපසවරුන් ඇතුළු ආගමික නායකයන් ඔහුගේ පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෝ වෙති. මැතිවරණයක දී හින්දු ඡන්ද පදනම ඕනෑම අතකට මෙහෙයවීමේ ශක්තිය ඔවුන් සතුය. කුම්භ මේලාවේ ප්‍රධානතම දිනය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණි. මිලියන 3කට අධික හින්දු භක්තිකයන් පිරිසක් එදින ගංගා නදියට බැස ස්නානයේ යෙදුනහ. ඉන්දියාවෙන් දිනකට වාර්තාවන නව ආසාදිතයන්ගේ ගණන බ්‍රසීලය පරයා ගියේය. පූජෝත්සවයේ විශාලත්වය හැකිතරම් අඩු කිරීමට පියවර ගත්තේ ඊට සහභාගී වූ ප්‍රධාන පෙළේ හින්දු පූජකවරයෙකු මරණයට පත්වී සතියකට පසුවය. මෙම ආගමික උත්සවය සංකේතාත්මක සැමරීමක් බවට සීමා කරන ලෙස අගමැති මෝදි ඉල්ලීමක් කළේය. නමුත් ඒ වන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය. කුම්භ මේලා පූජෝත්සවය සඳහා වන්දනාකරුවන් මිලියන 9.1ක් හරිද්වාර් නගරයට පැමිණි බව උත්සව සංවිධායකයෝ පැවසූහ. දරුණු වසංගතයකින් පෙළෙමින් සිටියදී මෙවැනි දෙයක් සංවිධානය කිරීම හේතුවෙන් තම ප්‍රාන්තය "අවමානයට පාත්‍ර වූ" බව උත්තරාඛාන්ද් මහ අධිකරණය පවසා තිබුණි. කුම්භ මේලා ආගමික උත්සවය සමඟ පවතින දරුණු අවදානම පිළිබඳව ආරම්භයේ පටන් ම බරපතළ ලෙස සැලකිල්ලට භාජනය වී තිබුණි. "වැඩි ව්‍යාප්තියක් පෙන්වන නව වෛරස් ප්‍රභේදයක් රට ආක්‍රමණය කරමින්" සිටින මොහොතක මුව ආවරණ පැළඳීමකින් තොරව මිලියන ගණනක් ජනතාව ඒකරාශී වන උත්සව හෝ සැණකෙළි පැවැත්වීමට ඉඩ දීම ප්‍රඥා ගෝචර නොවන බව රජයේ සෞඛ්‍ය විශේෂඥයෝ පවා මාර්තු මස මුලදී අනතුරු ඇඟවීමක් කළහ. මහ ඇමතිට වුණු දේ උත්තරාක්ඛාන්ද් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති ත්‍රිවේන්ද්‍ර සිං රාවත් කියා සිටියේ, "වසංගතය ඉක්මනින් නිමා නොවන බව" සෞඛ්‍ය විශේෂඥයන් තමන්ට පවසා තිබුණු හෙයින් කුම්භ මේලා පූජෝත්සවය "සංකේතාත්මකව පමණක් සැමරීමට" තමන් සැලසුම් කර තිබුණු බවය. "මේ සැණකෙළියට ඉන්දියානුවන් පමණක් නොවෙයි වෙනත් රටවලින් පවා වන්දනාකරුවන් පැමිණියා. හරිද්වාර් නගරයට පැමිණෙන නිරෝගී පුද්ගලයන් මේ වෛරසයට ගොදුරු වී එම ආසාදනය රැගෙන ආපසු ගොස් හැම තැනම පතුරයි කියල මම කනස්සල්ලෙන් හිටියේ." නමුත් පූජෝත්සවයට දින ගණනක් තිබියදී මහ ඇමති ධුරයට ටිරාත් සිං රාවත් පත්විය. "ගංගා නදියේ ගලා බසින ආශීර්වාදයත් සමඟ කොරෝනා පහව යනු ඇත," යනුවෙන් ඔහු කළ ප්‍රකාශය ජනප්‍රියත්වයට පත්විය. උත්සවයට සහභාගී වන "කිසිවෙකු නතර නොකරන" බවට අලුත් මහ ඇමතිවරයා ප්‍රතිඥා දුන්නේය. කොවිඩ් ආසාදනය වී නොමැති බව සනාථ කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවීය. සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම පමණක් ප්‍රමාණවත් විය. නමුත් මිලියන ගණනක ජන ගංගාවක් හරිද්වාර් වෙත ගලා එද්දී සාමාන්‍ය සෞඛ්‍ය නීති රීති පවා පිහිටුවාලීමට බලධාරීන්ට හැකියාවක් නොතිබිණ. හරිද්වාර් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ශාම්භු කුමාර් ජා කියා සිටියේ, ජන සමූහය කළමනාකරණය කිරීම ඉතා දුෂ්කර වූ බවය. ඊට හේතු ලෙස ඔහු දැක්වූයේ කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා නොමැතිව වන්දනාකරුවන් පැමිණීමත්, "ශ්‍රද්ධාව සහ විශ්වාසය මත මෙතරම් දුර ගෙවා පැමිණි" ඔවුන් ආපසු හරවා යැවීමට නොහැකිවීමත් ය. "ආගමික උත්සවයකට සහභාගි වීම සඳහා පෝලිමේ බලා ඉන්න මිනිස්සුන්ට දඬුවම් පමුණුවන්න පුලුවන්ද? කොහොමද එහෙම කරන්නේ?" "මහ ආණ්ඩුවෙන් සහ මහ අධිකරණයෙන් ලබා දුන් සම්මත මෙහෙයුම් ක්‍රියාදාමයක් තිබුණා. අපිට හැකි පමණින් ඒවා ක්‍රියාවට නැංවීමට අපි උත්සාහ කළා." වෛද්‍යවරයා පැවසීය. උත්තරාඛාන්ද් හි පවත්වාගෙන යන බුද්ධි මණ්ඩලයක නිර්මාතෘ අනුප් නෞතියාල් බීබීසීයට කියා සිටියේ "ඒ සා විශාල ජනකායක් සමඟ සම්මත මෙහෙයුම් ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංවීම කොහෙත්ම කළ නොහැක්කක්" බවය. "ඒවා කඩදාසියක ලියවිලා තියෙනකොට පේනවා ඉතාම හොඳ දේවල් බව. නමුත් ඒවා ක්‍රියාවට නගන්න බැහැ." උත්තරාඛාන්ද් ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන අනුප් නෞතියාල් සතුව පවතී. මාර්තු මාසයේ 14වැනිදා සිට 20 වැනිදා දක්වා සතිය තුළ උත්තරාඛාන්ද් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 557ක් පමණි. වන්දනාකරුවන් පැමිණීම ආරම්භ වූයේ එම සතිය තුළ ය. පූජෝත්සවයේ අවසන් සතිය වූ අප්‍රේල් 25 වැනිදා සිට මැයි 01 වැනිදා දක්වා ගතවූ සතිය තුළ වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 38,581 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. "මේ ආසාදිතයන් සියලුදෙනාම වාර්තා වුනේ සැණකෙළිය නිසා කියල කිව්වොත් වැරදියි. නමුත් මේ සංඛ්‍යාව ඉහළ ගියේ මේ උත්සවයට සමගාමීව." ඔහු පැවසීය. ජන ඒකරාශී වීම් සඳහා ඉඩකඩ ලබා දීම මගින් සිදු වූ හානිය මැඩපවත්වා ගැනීම සඳහා ඉන්දියාවට දැන් කළ හැකි යමක් තිබේද? විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් ඊට පිළිතුරු සැපයුවේ මෙසේය. "මේ සැදැහැවතුන් කොරෝනා වෛරසය යහපත් ආශීර්වාදයක් ලෙස රැගෙන ගොස් ව්‍යාප්ත කරනු ඇතැයි කවුදෝ කියල තිබුණා. වන්දනාකරුවන් විසින් ආසාදනයක් රැගෙන යාම ඛේදවාචකයක්." "මේ තත්ත්වය නිවැරදි කළ හැකි කිසිම දෙයක් ගැන මටනම් හිතා ගන්න බැහැ. දැන් අපේ නෞකාව සාගරයේ බොහෝ දුරක් ගිහින් ඉවරයි. අපිට ඒ නැව නැංගුරම් දාන්න ආරක්‍ෂිත වරායක් කරා ආපසු හරවන්නවත් බැහැ. ඒක ඉතාම ඛේදනීයයි. මේ ආසාදනයන් තුනීවෙලා මිනිස්සුන්ට ඉන් මිදෙන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරන එක විතරයි මට කරන්න පුළුවන්." (බීබීසී පුවත් වෙනුවෙන් දිල්ලි නුවර සිට ගීතා පාන්ඩේ විසින් සපයන ලද ලිපියක් ඇසුරෙනි.)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වන බව පැවසෙන නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටියදී පළාගිය ඉන්දීය ජාතිකයා රටින් පිටව ගොස් ඇති බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවසයි.
අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැක පිට ඉකුත්දා කොළඹදී ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණ නියෝග මත ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මිරිහානේ පිහිටි විශේෂ කඳවුරක රඳවා තිබිණි. එහි සිටි එක් සැකකරුවෙකු පළා ගිය බවයි පොලිසිය මීට ඉහතදී අධිකරණයට වාර්තා කළේ. එසේ පළා ගිය සැකකරු මේ වන විට රටින් පිටව ගොස් ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කළ බවයි විත්තියේ නීතිඥ ලක්ෂාන් ඩයස් කියා සිටියේ. එම සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස දන්වා අධිකරණය දැනටමත් වරෙන්තුවක්ද නිකුත් කොට තිබේ. අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි. පරීක්ෂණ කඩිනමින් නිම කරන මෙන් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර ඉන්දීය ජාතිකයින් හත් දෙනා ලබන 31 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි අධිකරණය පොලිසියට නියම කොට සිටියේ.
කොරෝනාවෛරසයේ ආගමනය ගෝලීය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබීමෙන් පසු ගතවී ඇත්තේ හය මසකුත් දින කීපයක් පමණි.
පසුගිය ජනවාරියේ අග භාගයේ දී එම නිවේදනය නිකුත් වූ දිනය වන විට කොරෝනාවෛරස් රෝගීන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී තිබුණි. ඒ සියලු රෝගීන් සහ මරණ වාර්තා වී තිබුනේ චීනයෙන් මිස වෙනත් කිසිදු රටකින් නොවේ. එවක් පටන් ලෝකය සහ අපගේ ජීවිත විශාල වෙනසකට භාජනය විය. එසේ නම් අප සියළු දෙනා එක්වී සිටින්නේ මානව වර්ගයා සහ කොරෝනාවෛරසය අතර ඇරඹි යුද්ධයකට ය. මුළු පෘථිවි තලය දෙස පුළුල්ව නිරීක්ෂණය කළහොත් දිස් වන්නේ රළු චිත්‍රයකි. ලොව පුරා දැනට තහවුරුකර ගෙන ඇති කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන මිලියන 19කට අධිකය. ඊට ගොදුරු වී හත් ලක්‍ෂයක් මිය ගොස් ඇත. වසංගතය ආරම්භයේ දී රෝගීන් ගණන ලක්ෂයකින් ඉහළ යාමට සති කීපයක් ගතවිය. දැන්, ලක්‍ෂයේ සන්ධිස්ථාන පැය කීපයකින් සලකුණු වෙයි. "තීව්‍ර සහ ඉතා බරපතළ වසංගතයක් වේගවත් වන අවස්ථාවක අතරමැද අපි තවමත් සිටින්නේ. මේක ලෝකයේ හැම ජන කොට්ඨාශයක් වෙත ම ගිහින් තියෙන්නේ," ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් මා සමඟ පැවසුවාය. මෙය එක් වසංගතයක් වුවත් එය තුළ ඇත්තේ එක් කතාවක් නොවේ. කොවිඩ් 19 යේ බලපෑම ලොව තැනින් තැනට වෙනස් ය. ඔබ වෙසෙන රටින් එපිට පවතින යතාර්ථය ඔබට නොපෙනී යාම ඉතා පහසුය. නමුත් සියලු ලෝක වාසීන්ටම පොදු වූ එක් කරුණක් තිබේ. ඔබේ නිවහන ඇමසන් වනාන්තරයේ තනා තිබුනත්, සිංගප්පුරුවේ අහස උසට තැනූ මහල් ගොඩනැගිල්ලක මුදුනේ හෝ එක්සත් රාජධානියේ ගිම්හාන සැණකෙළියක් පැවැත්වෙන වීදියක ඔබ ජීවත් වුවත් මෙම වෛරසය පැතිර යන්නේ සමීප මානව ඇසුර මතය. අප එකිනෙකා සමීප වන තරමට එහි ව්‍යාප්තිය පහසු වනු ඇත. මෙම වෛරසය චීනයේ ආරම්භ වූ දා පටන් අද දක්වාම මෙය සත්‍යයක් ලෙස පවතී. ඔබ ලෝකයේ කොතැනක සිටියත් එතැන පවතින තත්වය මෙම පොදු ධර්මතාවයෙන් පැහැදිලි කෙරෙනු ඇත. අනාගතය කෙබඳු වේදැයි තීරණය කෙරෙන්නේ ද එමගිනි. ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී මේ වන විට ලතින් ඇමරිකානු කලාපයේ තත්වය නරක ය. ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී. හොංකොං හි නිරෝධායන මධ්‍යස්ථාන තුළ මිනිසුන් රඳවා ඇත්තේ ඇයි දැයි මින් පැහැදිලි වනු ඇත. දකුණු කොරියාව තම වැසියන්ගේ ජංගම දුරකථන සහ බැංකු ගිණුම් දෙස පවා ගසාගෙන සිටින්නේ ඇයි දැයි මින් පැහැදිලි වෙයි. යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නීති ලිහිල් වෙද්දී වසංගතය පාලනය කර ගැනීමට දුෂ්කර වී ඇත්තේ මන්දැයි ඉන් කියාපායි. එක්සත් රාජධානිය සාමාන්‍ය ජන ජීවිතය "නව සාමාන්‍යයක්" කරා ගෙනයාමට උත්සාහ කිරීමට හේතුව ද එයින් මොනවට පැහැදිලි වෙයි. "මේක මේ ග්‍රහලෝකය පුරාම පැතිර යන වෛරසයක්. අපි සෑම කෙනෙකුටම ඉන් බලපෑමක් ඇති වෙනවා. මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙනවා. අපි හැමෝම එකිනෙකාට බැඳී ඇති බවයි ඉන් ඉස්මතු වෙන්නේ," ලන්ඩන් නුවර St George's විශ්වවිද්‍යාලයේ වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය. "මෙය සංචාරය කිරීම ගැන විතරක් නෙවෙයි. කතා කිරීම සහ එකට එක් වී කාලය ගතකිරීමත් මීට අදාලයි. මානවයින් හැටියට අපි කවුරුත් කරන්නේ මේවා තමයි." ඇය තවදුරටත් පැවසුවාය. එකට එක්වී ගීතයක් ගායනය කිරීම වැනි ඉතාම සරල ක්‍රියාකාරකමකින් පවා වෛරසය ව්‍යාප්ත වනු ඇත. "ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා" ඇතැමුන්ට ඉතා සුළු රෝග ලක්ෂණ මතු කරමින් හෝ කිසිදු රෝග ලක්ෂණයක් මතු නොකරමින්, එහි ව්‍යාප්තිය හොර රහසේ සිදු කිරීමට තරම් මෙම වෛරසය සමත් ය. එමෙන්ම ඇතැමුන්ට මාරාන්තික වී, අසාධ්‍ය රෝගීන්ගෙන් රෝහල් පුරවා දමන්නට තරම් සාහසික වීමටත් මෙම වෛරසය සමත් ය. "මේක තමයි අපේ කාලයේ පැමිණි පරිපුර්ණ ම වසංගත වෛරසය. අපි දැන් ජීවත් වෙන්නේ කොරෝනාවෛරස් යුගයේ." වෛද්‍ය හැරිස් පැවසුවාය. කෙනෙකුගෙන් තවත් අයෙකුට මෙම වෛරසය සංසරණය වීමට ඇති හැකියාව බිඳ දැමීම සාර්ථක වූ අවස්තාවක් ගැන කල්පනා කළහොත් වැඩි අවධානයක් යොමු වන්නේ නවසීලන්තය දෙසටය. ඔවුහු කල්තියා ක්‍රියා කළහ. එවකට රට තුළ සිටියේ ආසාදිතයන් කීප දෙනෙකු පමණි: රට වසා දැමූහ. දේශ සීමාවට මුද්‍රා තැබූහ. දැන් ආසාදිතයෙකු වාර්තා නොවන තරම් ය. ජන ජීවිතය බොහෝ සෙයින් නැවත යථා තත්වයට පැමිණ ඇත. මොන්ගෝලියාව "වැඩේ හොඳට කරල" මූලික කර්තව්‍යයන් නිවැරදිව ඉටු කිරීම මගින් සහනයක් ලැබූ දිළිඳු රටවල් ද නැත්තේ නොවේ. චීනයේ දේශ සීමාවෙන් දීර්ඝතම කොටස යාවී ඇත්තේ මොන්ගෝලියාවට ය. වෛරසයේ ආරම්භය චීනයෙන් සිදු වූ බව අපි දනිමු. එහෙයින් මොන්ලිගෝයාවට මෙම වෛරසය සාහසික වන්නට ඉඩ තිබුණි. නමුත් ජුලි මාසය වනතුරු කිසිදු ආසාදිතයෙකුට අධිසත්කාර ඒකකයේ පිහිට අවශ්‍ය වූ බව වාර්තා නොවිණි. අද වන විට එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 293 දෙනෙකු පමණි. එකදු මරණයක් හෝ සිදු නොවිණි. "ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා. ඔවුන් ආසාදිතයන් වෙන් කළා. සමීප සබඳතා හඳුනාගත්තා. එම සමීපතයන් හුදෙකලා කළා." London School of Hygiene and Tropical Medicine හි මහාචාර්ය ඩේවිඩ් හේමාන් පැවසීය. ඔවුහු වහාම පාසල් වසා දැමුහ. විදෙස් සංචාර සඳහා සීමා පැනවූහ. මුහුණු ආවරණ පැළඳීම සහ නිතර අත් සේදීම කල්තියා ප්‍රවර්ධනය කළෝ ඔවුහු ය. බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයන් විසි අට ලක්‍ෂයක් වාර්තා විය. ලක්‍ෂයක් පමණ මරණයට පත් විය තවත් පැත්තකින් සිතතොත්, "මහජන සෞඛ්‍ය නායකයන් සහ දේශපාලන නායකයන් එකට හිඳ කතිකා කිරීම" සඳහා අවශ්‍ය "දේශපාලන නායකත්වය හීන වීම" හේතුවෙන් බොහෝ රටවලට අවහිරයක් වූ බවට මහාචාර්ය හේමාන් තර්ක කරයි. එවැනි වාතාවරණයක් යටතේ වෛරසය වැජඹුණේ ය. එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වසංගත රෝග පිළිබඳව එරට සිටින ඉහළම වෛද්‍යවරයා වන ඇන්තනි ෆවුචි පැහැදිලිව ම සිටියේ පොතේ වෙනස් පිටු දෙකක ය. එසේ නැතහොත්, වසංගත සමය තුළ නම් වෙනස් ම පොත් දෙකකය. බ්‍රසීලයේ ජනපති ජායිර් බොල්සොනාරෝ, රට වසා දැමීමට එරෙහිව වීදි බට 'ලොක්ඩවුන් විරෝධීන්ගේ' පෙළපාලිවලට එක් විය. ඔහු මෙම වසංගතය "පුංචි හෙම්බිරිස්සා උණක්" ලෙස හැඳින් වූ අතර එය මාර්තු වන විට නිමාවන බව පැවසීය. ඒ වෙනුවට, බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයන් විසි අට ලක්‍ෂයක් වාර්තා විය. ලක්‍ෂයක් පමණ මරණයට පත් විය. වෛරසය සමඟ ජීවත් වෙන්නේ කොහොමද? නමුත් ජන ජීවිතය අවුල් කරවන, වේදනාකාරී ලොක්ඩවුන් ක්‍රමවේද තුළින් වෛරසය පාලනය කළ රටවල් බොහොමයක් වටහා ගෙන ඇත්තේ එසේ කිරීමෙන් වෛරසය සදහටම තුරන් වී නොමැති බවය. නීති ලිහිල් කළහොත් නැවත පැතිරෙන බවය. "ලොක්ඩවුන් කරනවට වඩා එයින් එලියට එන එක අපහසු කාර්යයක් බව ඔවුන්ට දැන් වැටහිලා තියෙනවා. වෛරසය සමඟ ජීවත් වෙන්නේ කොහොමද කියල ඔවුන් හිතල නැහැ." වෛද්‍ය ග්රොපෙලි ප්‍රකාශ කළේය. ඔස්ට්‍රේලියාව, ලොක්ඩවුන් තත්වයෙන් බැහැර වීම සඳහා මංපෙත් සකස් කරන රටකි. නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට මහත් ව්‍යසනයකි. ජූලියේ මුල් භාගය ගෙවී යන්නට පෙර මෙල්බර්න් නුවර නැවත වසා දැමුණි. පෙරට වඩා දැඩි වූ නීති රීති පැනවූ නමුත් වසංගතය නොනවත්වා ඉදිරියට ඇදුණි. දැන් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක ය. යුරෝපය ද විවෘත වෙමින් පවතී. නමුත් ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ග්‍රීසිය තවමත් ආසාදිතයන් ඉහළ ගණනක් වාර්තා කරති. පසුගිය තුන් මාසය ඇතුළත ප්‍රථම වතාවට ජර්මනියෙන් දිනකට ආසාදිතයන් 1000කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. මුහුණු ආවරණ පැළඳීම විකාරයක් ලෙස වරෙක සිතූ යුරෝපයට දැන් එය සාමාන්‍ය දෙයකි. ඇතැම් ස්ථානවලදී එය පැළඳීම අනිවාර්ය කර තිබේ. ඒක 'අලුත් සාමාන්‍යයක්' කොරෝනාවෛරසයේ පළමු රැල්ල සාර්ථකව පාලනය කළ හොංකොං, පැසසුමට ලක් විය. අනතුරුව විවෘත කළ ඩිස්නිලන්තය පවත්වාගෙන යා හැකි වූයේ මාසයකටත් අඩු කාලයකි. දැන්, නැවතත් අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දමා තිබේ. "ලොක්ඩවුන් තත්වයෙන් බැහැර වූ පමණින් සියල්ල පැරණි මට්ටමට එන්නේ නැහැ. ඒක 'අලුත් සාමාන්‍යයක්.' මිනිස්සුන්ට ඒ පණිවිඩය ගිහින් නැහැ." වෛද්‍ය හැරිස් පැවසුවාය. කොරෝනාවෛරසයට එරෙහිව අප්‍රිකාවේ තත්වය තවමත් ප්‍රශ්නාර්ථයකි. සාර්ථක ආරම්භයකින් පසුව මුළු මහද්වීපයෙන් ම ආසාදිතයන් දස ලක්ෂයක් වාර්තා විය. ඉන් බහුතරයක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ය. නමුත් ආසාදිතයන් සඳහා පරීක්ෂණ සිදු කෙරෙන්නේ සාපේක්ෂව අඩු මට්ටමකිනි. එබැවින් අප්‍රිකානු කලාපය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීම දුෂ්කරවේ. ලොව වෙනත් රටවල් හා සසඳන කල අප්‍රිකාවේ කොරෝනා මරණ අනුපාතිකය පහළ මට්ටමකින් පෙන්නුම් කිරීම ද ප්‍රහේලිකාවකි. ඊට හේතු වශයෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කළ හැකිය. ඇතැම් රටවල් අලුත් ක්‍රමවේද සොයා ගනිති. රුවන්ඩාව, රෝහල්වලට අවශ්‍ය දෑ ගෙනයාමටත් කොරෝනාවෛරස් නීති රීති ජනතාව අතර බෙදා හැරීමටත් ඩ්රෝන යානා භාවිතා කළහ. නීති කඩ කරන්නන් අල්ලා ගැනීමට ද ඩ්රෝන යොදා ගත්හ. නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ කතෝලික දේවස්ථානයක පුජකවරයෙකු ද එමගින් නීතියේ රැහැනට හසු කර ගැනුණි. මෙම වසංගතය පාලනය කිරීම සඳහා ලබා දී ඇති සරලම උපදේශය නිතර අත සේදීම යි. නමුත් පිරිසිදු ජලය ලබා ගැනීම දෛනික අභියෝගයක් වී ඇති ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙය එතරම් සරල නොවේ. "සමහර මිනිස්සුන්ට අත සෝදාගන්න වතුර තියෙනවා. එහෙම නැති අයත් ඉන්නවා. මේක ලොකු වෙනසක්. මේ අනුව ලෝකය කොටස් දෙකකට බෙදෙනවා. මෙතැනදී ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා, එන්නතක් නොමැතිව මෙම වසංගතය පාලනය කරන්නේ කොහොමද කියල." වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය. එසේනම් මෙම වසංගතය නිමා වන්නේ කවදාද? දැනටමත් ඖෂධීය ප්‍රතිකාර පවතී. ඩෙක්සමෙතසෝන් (Dexamethasone), ස්ටෙරොයිඩ ගණයට අයත් මිලෙන් අඩු ඖෂධයකි. ඇතැම් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත එමගින් ආරක්ෂා වූ බව පෙනී ගොස් තිබේ. නමුත් කෝවිඩ් රෝගීන් සියලු දෙනාම මරණයෙන් ගලවා ගැනීමට හෝ සියලු නීති රීති ඉවත් කිරීමට මෙම ඖෂධය පමණක් ප්‍රමාණවත් නොවේ. ස්වීඩනය ගත් ක්‍රියාමාර්ගය දීර්ඝකාලීනව සාර්ථක වේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් නිරීක්ෂණය කරති. ඔවුන් රට ලොක්ඩවුන් කළේ නැත. නමුත් වැඩිහිටි නිවාස තුළ සිටි පිරිස ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම තුළ අසල්වැසි රටවලට වඩා ඉතා ඉහළ මරණ අනුපාතිකයක් ස්වීඩනයෙන් වාර්තා විය. "බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි." සරලව ම කිවහොත්, සාමාන්‍ය ජීවන රටාවට ලෝකය යළි පැමිණීමේ අපේක්ෂාව අමුණා ඇත්තේ එන්නතක් මතය. මිනිසාට ප්‍රතිශක්තිය ලබා දීම මගින් වෛරසයේ පැතිරීමට ඇති හැකියාව බිඳ දැමිය හැකිය. මේ වන විට, සායනික අත්හදා බැලීමේ ක්‍රියාදාමයේ තුන්වැනි අදියරට පැමිණි එන්නත් හයක් තිබේ. ඉන් එක් එන්නතක් හෝ සත්‍යවශයෙන් ම වෛරසයට එරෙහිව ක්‍රියාශීලී වන බවට සනාථ කර ගැනීම සඳහා පවතින තීරණාත්මක අදියර මෙයයි. බොහෝ ඖෂධ ඇණහිට ඇත්තේ ද අවසාන කඩුල්ල අසල ය. එම නිසා "එන්නතක් සොයාගත් විට" යන යෙදුමට වඩා "එන්නතක් සොයා ගතහොත්" යන යෙදුම සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. "මිනිස්සු විශ්වාස කරන්නේ එන්නතක් කියන්නේ හොලිවුඩ් චිත්‍රපටයක් වගේ කියල. විද්‍යාඥයෝ එන්නතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. පැය දෙකක චිත්‍රපටයක නම් ඉතා ඉක්මනින් අවසානයට ළඟා වෙනවා. නමුත් විද්‍යාඥයෝ කියන අය, තමන්ටම එන්නත විදගෙන 'දැන් අපි ඔක්කොම ආරක්ෂිතයි' කියල ප්‍රකාශ කරන බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් ප්‍රකාශ කළාය.
ඊයේ ඉරිදා,දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අනතුරින් මේ වන විට මරණයට පත් සංඛ්‍යාව දාහත් දෙනකු බවයි ඉන්දියානු නිලධාරීන් පවසන්නේ.
චෙන්නායි නගරය අසළ ඉදි කෙරෙමින් තිබුණ තට්ටු දොළහක ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම තවමත් සිදු කෙරෙමින් පවතින බවත් වාර්තා වෙයි. එම ගොඩනැගිල්ල කඩා වැටුණ අවස්ථාවේ ඊට යට වී ඇති වැඩි දෙනා එහි කම්කරුවන් බවත් ප්‍රකාශ කොට ඇත. බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත කණ්ඩායම් පවසන්නේ යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කරමින් දිවි බේරුණ තවත් කිසිවකු ඇද්දැයි පිරික්සමින් ඇති බවයි. ගොඩනැගිල්ල කඩා වැටී තිබෙනේ දැඩි වර්ෂාවක් පවතිද්දී. එම අනතුර සම්බන්ධයෙන් ගොඩනැගිල්ල ඉදි කිරීම භාර කොන්ත්‍රාත් සමාගමේ හිමිකරු සහ තවත් හය දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
නීති විරෝධී ලෙසින් සිය රටට ඇතුළුවීමට තැත්කළ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් මැඩලීමේ ක්‍රියාදාමය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට ප්‍රතිචාරයක් වශයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට ඕස්ට්‍රේලියාව එකඟ වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
'මානව හිමිකම් උල්ලංඝනය වෙන කොට, ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක් වෙන කොට ඔය රටවල් නිශ්ශබ්දව හිටියා' අගමැතිවරයා ඒ බව සඳහන් කොට තිබුණේ The Australian පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. "මානව හිමිකම් උල්ලංඝනය වෙන කොට, ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක් වෙන කොට ඔය රටවල් නිශ්ශබ්දව හිටියා. (එතකොට) ඒක ලංකාවේ ප්‍රශ්නයක්." 'සම්බන්ධතා ශක්තිමත්' පසුගිය ආණ්ඩුවේ සාමාජිකයන් මුලින් මිනිස් ජාවාරමට කෙලින්ම සම්බන්ධව සිටි නමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය විවේචනය නොකරන බවට ඕස්ට්‍රේලියාවෙන් සහතිකයක් ලැබීමෙන් අනතුරුව එය අත්හැර දැමූ බවයි අගමැතිවරයා පුවත්පතට පවසා තිබුණේ. "ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර නිරන්තර සහයෝගය පවත්වා ගැනීමට අගමැතිවරයා බලාපොරොත්තු වෙනවා" තමන් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට විරුද්ධ නැති බව සඳහන් කරන අගමැති රනිල් වික්‍රමසිංහ, එහෙත් ඕස්ට්‍රේලියාව ඇතුළු මහින්ද රාජපක්ෂ පරිපාලනයට සහාය දුන් රටවල් සිය අත්දැකීමෙන් පාඩම් උගත යුතු බව සිය මතය යයිද සඳහන් කරයි. ශ්‍රී ලංකාව සමඟ සිය සම්බන්ධතා දිගටම ශක්තිමත්ව පවතින බව, ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කොට තිබුණි. "පොදුරාජ්‍ය මණ්ඩලය සහ මිනිස් ජාවාරම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර නිරන්තර සහයෝගය පවත්වා ගැනීමට අගමැතිවරයා බලාපොරොත්තු වෙනවා," යනුවෙන් ප්‍රකාශකයා සඳහන් කළ බවයි, ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ.
තරුණයන් පිරිසක් අතුරුදහන් කර වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක ලබන මස 02 වෙනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
පසුගිය පාලන සමයේ දී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන පසුව අතුරුදහන් කර වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවලට අදාළව පසුගිය 12 වෙනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පසුගිය 17 වෙනිදා කියා සිටියේ පැහැර ගැනීමට ලක් වූ තරුණයන් රඳවා ගෙන සිටි කාලය අතරතුර ඔවුන්ගේ ඥාතීන්ට දුරකතන ඇමතුම් ගෙන ඇති බවය. පැහැර ගැනීමේ ක්‍රියාව අනුමත නොකරන ලද නාවික හමුදාවේ සෙසු නිලධාරීන් විසින් ඔවුන්ට දුරකතන සපයනු ලැබ ඇතැයි හෙළි වී ඇති බවත් ඔහු එහිදී පැවසීය. පුද්ගලයින්ගේ සාක්ෂි, නාවික හමුදා නිලධාරීන්ගේ සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඔවුන් රඳවා තබා ගත් ස්ථාන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගනු ලැබ ඇති බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔවුන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කරවා ඇත්තේ 'බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීම සඳහා' බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බවත් ඔහු පවසයි.
අසල්වැසි මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශ සීමාව ඔස්සේ ඉදි කිරීමට සැලසුම් කර ඇති තාපයේ වැඩකටයුතු නියමිත දිනට පෙර ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේය.
මේරිලන්ඩ්හි පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ සෑම විටම ඇමරිකානු පුරවැසියන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවය. සැලසුම් කළ දිනට වඩා ඉක්මනින් තාප්පයේ වැඩ ආරම්භ කරන බව කී ජනාධිපති ට්‍රම්ප් එය "මහා දේශ සීමා ප්‍රාකාරයක්" වනු ඇති බව සඳහන් කළේය. "නරක මිනිසුන් රටෙන් පිට කිරීම" සඳහා අවධානය යොමු කරන බවටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුණි. ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමාව මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ දේශීය ආරක්ෂක ලේකම් ජෝන් කෙලි මෙක්සිකෝ නියෝජිතයන් හමු වී සාකච්ඡා පැවැත්වූහ. එම සාකච්ඡාවලින් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දේශ සීමාව ඔස්සේ ඉදිකිරීමට නියමිත තාප්පය පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොවුණි.
ඡ්‍යෝතීර්වේදියෙකු ලෙස පෙනී සිටිමින් විජිත් රෝහණ විජයමුණි නමැති පුද්ගලයා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයමින් තිබෙන ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක කොටසක් බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනවාරි මස 26 වැනිදාට පෙර මියයන බව පවසමින් එම පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති වාර්තා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශය අසත්‍යයක් බව ඡ්‍යෝතීර්වේදයට අනුවම තමන්ට ඔප්පු කළ හැකි බව නීතිඥ නිමල් බෝපගේ කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පසුගිය වසරේ පෙබරවාරි 04 වැනි දින නිදහස් උත්සවය අවස්ථාවේදීත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් පැවති බව මීට ඉහතදී ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
වතිකානය තුල එහි පාලන අධිකාරයට සම්බන්ධ සමලිංගික කල්ලියක් ක්‍රියාත්මක වන බවත්, දුෂණ හා වංචා සිදුවෙමින් පවතින බවත් ශුද්දෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිළිගෙන ඇති බව වාර්තාවී ඇත.
ලතින් ඇමරිකානු කතෝලික පුජක වරුන් සමග පැවති පොද්ගලික රැස්වීමකදී පාප් වහන්සේ විසින් පවසන ලද්දක් උපුටා දක්වන එම වාර්තාවට අනුව වතිකාන පාලන අධිකාරය ශුද්ධ වු පුද්ගලයින් බොහෝදෙනෙකුගෙන් සමන්විත වුවත් දුෂණ හා වංචා සිදුවෙන බවද උන්වහන්සේ පවසා ඇත. පාලන අධිකාරිය තුල සමලිංගික පිරිස් සිටින බව සත්‍යයැයි පවසන පාප්වහන්සේ ඒ පිළිබඳව කල හැක්කේ කුමක්දැයි සොයා බැලීමට තමන් වහන්සේට සිදුවන්නේ යැයිද පැවසූ බව සඳහන්. පෞද්ගලික අරමුණු කෙසේවුවද, සමලිංගික වතිකාන පුජක වරුන් ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එක්ව කටයුතු කරමින් සිටින බවට මීට පෙර අවස්ථාවකදී පලවූ මාධ්‍ය වාර්තා වතිකානය ප්‍රතික්ෂේප කර සිටියා. මේ අතර, පාප් වහන්සේ විසින් එම පෞද්ගලික රැස්වීමේදී කරන ලද සංවාදයේ සාරාංශයක් මාධ්‍ය වෙත නිකුත්වීම පිළිබඳව ලතින් ඇමෙරිකානු පුජක කණ්ඩායම නියෝජනය කරන සංවිධානයක් විසින් පාප් වහන්සේ වෙතින් සමාව අයැද සිටි බවද සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට නම් ශක්තිමත් පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහයක් අවශ්‍ය බවට ක්‍රිකට් ප්‍රවීණයෝ වසර ගණනාවක සිට හඬ නගමින් සිටිති.
දැනට පවතින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වීම හේතුවෙන් එහි තරගකාරිත්වය බෙහවින් අඩුවී ඇති බව ඔවුහු පෙන්වා දෙති. එබැවින් ශ්‍රී ලංකාවේ දක්ෂම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන තරගාවලියක් අවශ්‍ය බව ඔවුන්ගේ යෝජනාවය. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ප්‍රතිවුහගත කිරීමේ සැලැස්මක් සකස්කිරීම 2015 දී පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනට භාර දුන්නේය. තියුණු ක්‍රිකට් දැනුමක් ඇති ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන මහේල ජයවර්ධන දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් මුල්කරගනිමින් නව ක්‍රිකට් සැලැස්මක් සකස් කර 2015 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන්නේය. මහේල ජයවර්ධනගේ යෝජනා ගැන සිදත් වෙත්තමුණි කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් වැනි ශ්‍රී ලංකාව නියෝජනය කළ ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ අදහස් ද සහිතව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ක්‍රීඩා විචාරකයන්ගේ අනුදැනුම ද ලබාගනිමින් ඔහු මෙම සැලැස්ම සකස් කළ බව ඒ අවස්ථාවේ නිවේදනය කෙරිණ. එවකට ක්‍රීඩා සමාජ 14 ක් අතර හොඳම ක්‍රීඩකයන් බෙදීයාම නිසා තරගකාරි නොවන දේශීය ක්‍රිකට් ව්‍යුහය සංශෝධනය කිරීම "ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිවුහගත කිරීමේ සැළැස්ම" යනුවෙන් නම් කරමින් මහේල ජයවර්ධන සකස් කළ ක්‍රිකට් සැලසුමේ ප්‍රධාන අරමුණක් ලෙස දක්වා තිබුණි. එම සැලැස්ම සකස්කරන අවදියේ 14ක්ව පැවති පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම් සංඛ්‍යාව තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනය යටතේ 23 දක්වා වැඩි කෙරුණු අතර එමගින් එම තරගාවලියේ තරගකාරිත්වය තවත් දියාරු වූ බවට චෝදනා එල්ලවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුත්තේ "ගණනට නොව ගුණාත්මකභාවයට" බව මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සැලැස්මේ සඳහන් වෙයි. (Quality over Quantity). මහේල යෝජනා කළ ක්‍රිකට් සැලසුම 1. අවුරුදු 24න් පහළ පළාත් තරගාවලිය, (අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සහිතව) 2. අන්තර් සමාජ එක්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකරයේ ) 3. අන්තර් සමාජ තුන්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකාරයේ) 4. අන්තර් පළාත් සිව්දින, එක්දින හා විස්සයි විස්ස තරගාවලි අතීතයේ අවස්ථා කිහිපයකදී පළාත් තරගාවලි ක්‍රීඩා කළ නමුත් එහිදී සිදුවුයේ එම අවස්ථාවේ සිටි ක්‍රීඩකයන් කණ්ඩායම් හතරකට බෙදා ක්‍රීඩා කිරීමය. එහි කිසිදු ස්ථිර පදනමක් නොතිබූ අතර ක්‍රීඩකයන් පළාත් කිහිපයකට ක්‍රීඩා කිරිමත්, එම කණ්ඩායම් එම තරගාවලියට පමණක් සීමාවීමත් එහි තිබු ලක්ෂණ විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම ගැන මහේල කෙසේ වෙතත් මහේල ජයවර්ධනගේ මෙම යෝජනාවේ සඳහන් වන ආකරයට ශ්‍රී ලංකාව පළාත් 5කට වෙන්කර ස්ථිර පදනම මත එම පළාත්වලට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ වෙන්කිරීමක් සිදුවේ. එම සෑම තරගාවලියක්ම සෑම වසරකම නිශ්චිත කාලසීමාවක් වෙන් කිරීමට එහි යෝජනාවී තිබුණි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පහක් වටා මෙම කණ්ඩායම් ගොඩනැගිය යුතුය. 1. බස්නාහිර පළාත - SSC ක්‍රීඩාංගණය, කොළඹ 2. දකුණු පළාත - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 3. ඌව පළාත - හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 4. මධ්‍යම පළාත - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 5. උතුරු පළාත - දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙම සෑම පළාතකටම අන්තර් සමාජ කණ්ඩායම් දෙකක් හෝ තුනක් සමග එම පලාත්වල ඇති කණ්ඩායම හා එම පළාත්වල ඇති පාසල් කණ්ඩායම් අනුයුක්ත කළ යුතු බව ද යෝජනාවේ සඳහන් වේ. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත් මෙම යෝජනා කරන පළාත් පහටම එක්කර ප්‍රදේශ බෙදාගැනීමක් සිදුකළ යුතුය; ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් මෙන් එම පළාත් සඳහා තේරීම් කමිටු පත්කර එමගින් එම කණ්ඩායම් තෝරාගැනීම මෙන්ම එම පළාත් සඳහා ස්ථිර වෘත්තීය පුහුණුකරුවන් පත් කළ යුතු බවද එහි සඳහන් වේ. ක්‍රීඩකයන්ට ගෙවීම් ශ්‍රී ලංකාවේ ජාතික කොන්ත්‍රාත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කට සීමා කළ යුතු බවට යෝජනා කරන මහේල ජයවර්ධන, ඇතැම් අවස්ථාවල ක්‍රීඩකයන් 100කට පමණ කොන්ත්‍රාත් ලබාදීමෙන් මෙම කොන්ත්‍රාත්තුව ලබාගැනීමේ "වටිනාකම" හා "දිරිගැන්වීම" අහෝසිවන බව පෙන්වාදී තිබේ. පළාත් කණ්ඩායම්වලින් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රමයක් ද ඔහු යෝජනා කර තිබේ. CATEGORY A: වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක් CATEGORY B: වසර 5කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 3ක් CATEGORY C: වසර 3කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක් CATEGORY D: අනිකුත් ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂයක් මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සංවර්ධන සැලසුම වාර්ෂිකව ලබාදෙන මෙම මුදලට අමතරව මෙම ක්‍රීඩකයකු ක්‍රීඩා කරන සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක් ගෙවීමටද යෝජනා කෙරේ. ශ්‍රී ලංකාවේ දක්ෂ දේශීය ක්‍රීඩකයන් විදේශගතවීම වලක්වා ඔවුන් දේශීය තරගවලට යොදවා වෘත්තීය ගෙවීමක් සිදුකළ යුතු බවට දිගින් දිගටම යෝජනාවී තිබුනි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තරගාවලියේ ක්‍රීඩා කිරීමේ "පිළිගැනීමක්" ලෙස හා "දිරිගැන්වීමක්" මෙම ගෙවීම සිදුකළ යුතු බව මහේල ජයවර්ධනගේ යෝජනාවය. ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාවද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව යෝජනා කරන ඔහු හැකිනම් පාසල් ක්‍රිකට් අවුරුදු 20න් පහළ දක්වා ගෙන ආ යුතු බව පවසයි. එමගින් ක්‍රීඩා සමාජ වලට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන්ට තවත් වසරක් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට අවස්ථාවක් හිමිවන බව ඔහුගේ අදහසය. පාසල් ක්‍රිකට් පළාත් ක්‍රිකට් ව්‍යුහය යටතට පත්කිරීම මගින් පාසල් ක්‍රිකට් තවත් දියුණු කළ හැකි බව ද එම යෝජනාවේ සඳහන් වේ. පාසල් තරග කාල සිමාවේ උපරිම තරග 16ක් ක්‍රීඩා කිරීම, 20න් පහළ තෙදින හෝ සිව් දින පළාත් තරගාවලියක්, 20න් පහළ එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමටද එහි යෝජනා කර තිබේ. ක්‍රිකට් පරිපාලන ව්‍යුහය මෙම පළාත් පරිපාලනය සඳහා එම පළාත් වලට සම්බන්ධ ක්‍රීඩා සමාජ සහ පාසල් අතරින් තෝරාගත් නිලධාරීන් පත්කළ යුතු බව තවත් යෝජනාවකි. එයට අමතරව ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබඳව ද මහේල ජයවර්ධන සිය යෝජනාවේ කරුණු සඳහන් කර තිබේ. මහේලගේ යෝජනා විසි කළේ නෑ - තිලංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කළ යුතුය. එම කමිටුවට පත්කළ යුත්තේ දේශපාලනයට සහ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නොවූ ස්වාධින පුද්ගලයන් බව ද මහේල ජයවර්ධන යෝජනා කරයි. ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිමය තීරණ නිරික්ෂණය කිරීමට අමතරව ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ තීරණ සම්බන්ධයෙන් නිශේධ බලයත් එම කමිටුවට හිමිවිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සාමාජිකයන් 10 දෙනෙකුට සිමා කිරීම, සභාපති ධූරය සෑම වසර දෙකකට වරක් වෙනස් කිරීම, වසර අටකට වඩා විධායක කමිටුවේ කටයුතු කිරීමට නොහැකිවීම සහ පළාත් ක්‍රිකට් ව්‍යුහයේ සභාපතිවරුන් විධායක කමිටුව නියෝජනය කිරීම වැනි යෝජනා ද එයට ඇතුළත්ය. ජන්ද, දේශපාලනය, බලය සහ පුද්ගලික න්‍යාය පත්‍ර සඳහා වැඩ නොකර විනිවිද පෙනෙන, වෘත්තීයමය සහ ගුණාත්මක භාවය මූලික කරගනිමින් කටයුතු කළ යුතුය. සැලසුමට මොකද වුනේ ? 2015 වසරේ මහේල ජයවර්ධන සිය සැලැස්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන් අතර එය ක්‍රියාත්මක කරන බවට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි නිවේදනය කළේය. ප්‍රථම අන්තර් පළාත් තරගාවලිය 2016 වසර මුලදී පවත්වන බවටත් නිවේදනය විය. කෙසේ වෙතත් 2016 ජනවාරියේ තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් පත්වුණු නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව එම යෝජනාව ඉවත දමමින් ඒ වනවිටත් පැවැත්වීමට සැලසුම් කර තිබු අන්තර් පළාත් තරගාවලිය නවතා දැමීමට තීරණය කළේය. පළාත් තරගාවලියක අවශ්‍යතාව තිබෙන නමුත් මහේල ජයවර්ධන සකස් කර තිබූ ව්‍යුහයේ සංයුතිය ගැන සහ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගැටළු පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ අවස්ථාවේ සඳහන් කළේය. මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්වි සභාපති තිලංග සුමතිපාලගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය. ලබන වසරේ පළාත් හතරකින් සමන්විත සුපිරි පළාත් තරගාවලියක් පවත්වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඇමතිවරුන් විසිහත් දෙනෙකු වෙනුවෙන් මෝටර් රථ මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නව කෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් විය.
කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ විපක්ෂ නායකවරයා වෙනුවෙන් එම මෝටර් රථ මිලදී ගැනීමට නියමිතය. ඒ පිළිබඳ අද (නොවැ. 30) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බීබීසී සිංහල සේවය රජයෙන් කරුණු විමසූ අතර එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ වසර ගණනාවක සිට අමාත්‍යංශවලට මෝටර් රථ මිලදී නොගැනීම හේතුවෙන් නව මෝටර් රථ මිලදී ගැනීමට සිදු වී ඇති බවය. ඇමතිවරයා සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදය ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
දකුණු චීන මුහුද ලොව වඩාත් මතභේදයට තුඩු දී ඇති කලාප අතරින් එකකි.
චීනය, ඉන් වැඩි කොටසකට හිමිකම් කියනමුත් අවට සෙසු රටවල් සහ එක්සත් ජනපදය ඊට එකඟ නොවෙති. ඒ හමුවේ භූ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතින අතරේ ලොව වටා රටවල වෙළෙඳ සහ නාවික කටයුතුවලට බලපෑම් එල්ල කළ හැකි එම මුහුදු කලාපය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වෙමින් පවතී. දකුණු චීන මුහුද මෙතරම් වැදගත් වන්නේ ඇයි? වැඩි විස්තර ඉහත වීඩියෝවෙන් දැන ගමු. මේ ගැනත් කියවන්න:
කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ නමුත්, නායකත්ව මණ්ඩලයට නම් කෙරුණු දෙදෙනෙකුම එයින් ඉල්ලා අස්වන බව මේ වනවිටත් නිවේදනය කොට තිබේ.
පක්ෂ නායකයා සතුව තිබුණු බලතල 19 ක් නායකත්ව මණ්ඩලයට පවරා තිබේ රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකයා වශයෙන් දිගටම රැඳී සිටියදී කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන සහ තලතා අතුකෝරළ නායකත්ව මණ්ඩලයට පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එමෙන්ම නිල බලයෙන් පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා හා සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීරද නායකත්ව මණ්ඩලය පත් කරන ලද බව එජාපය නිවේදනය කරයි. මෙතෙක් පක්ෂ නායකයා සතුව තිබුණු බලතල 19 ක් නායකත්ව මණ්ඩලයට පැවරීමටද තීරණය කෙරිණ. එම තීරණයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් ඇමතූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එය හඳුන්වා දුන්නේ 'ඓතිහාසික තීරණයක්' ලෙසින්. එහෙත් නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බව තලතා අතුකෝරල සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවෙන් අනතුරුව නිවේදනය කොට තිබේ.
ඉන්දීය ආණ්ඩුවේ පාලනය සහිත කාශ්මීර් ප්‍රාන්තයේ ආරක්‍ෂක හමුදා සහ සන්නද්ධ කැරලිකරුවන් යයි සැක කෙරෙන කණ්ඩායමක් අතර බිහිසුණු වෙඩි හුවමාරුවක් සිදු වූ බව ශ්‍රී නගර් අගනුවරින් වාර්තා වෙයි.
ගැටුම සිදු වී තිබෙන්නේ ජම්මු කාශ්මීරයේ, ශ්‍රී නගර් අගනුවරින් නැගෙනහිර දෙසට වන්නට කිලෝමීටර් කීපයක් ඈතින්. නිලධාරීන් පවසන්නේ, නිවසක් අල්ලා ගෙන සිටි අධි සන්නද්ධ කැරලිකරුවන් කුඩා කණ්ඩායමක් සමඟ පොලිසිය සහ ආණ්ඩුවේ සන්නද්ධ ඒකක සටන් වැදුණ බවයි. ඊයේ ඉරිදා සවස ආරම්භ වී ඇති එම සටනේදී, පොලිස් භටයන් තුන් දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ඉරිදා ඉන්දීය කාශ්මීර් ප්‍රාන්තයේ ඇති වූ වෙනත් ගැටුමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ කැරලිකරුවන් යයි සැක කෙරෙන දෙදෙනකු මරණයට පත් වූ අතර, ඉන් අනතුරුවයි මුලින් කී ගැටුම ආරම්භ වී තිබෙන්නේ. මේ මාසය ආරම්භයෙහි ඉන්දීය මහ මැතිවරණය ආරම්භයේ පටන් කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තාකරුවෝ පවසති.
"මම ඕඩර් කළ ගවුමට සම්පූර්ණ වෙනස් බාල රෙදි වර්ගයකින් මහපු ඇඳුමක් තමයි ලැබුණේ. ඒක ආපහු යවලා සල්ලි නැවත දෙන්න ඉල්ලුවහම ප්‍රසිද්ධියේ අපට බැනලා කොමෙන්ට්ස් දානවා. අපේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ප්‍රචාරය කරනවා. ලොකු වංචාවක් සිද්ධ වෙන්නේ," තරින්ද්‍රි ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.
වම්පස: ඔන්ලයින් විකිණීමට තිබුණු ගවුමේ ඡායාරූපය, දකුණුපස: පාරිභෝගිකයාට නිවසට ලැබුණු ගවුම විටින් විට විවිධ නම්වලින් පෙනී සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇඳුම් අලෙවි කරන ආයතනයකින් තරින්ද්‍රි භාණ්ඩ ඇණවුම් කර ඇති අතර, ඇයට ලැබී ඇත්තේ හාත්පසින් වෙනස් භාණ්ඩය. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ආයතනය ඇතුළු තවත් විවිධ 'ඔන්ලියින්' වංචාවලට එරෙහිව බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හඬ නගා තිබුණ ද, තවමත් දිනපතා මෙවැනි වංචා සිදුවන බව බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. "මගේ මහත්තයා ලංකාවේ ඔන්ලයින් ෂොප් එකකින් ඇඳුමක් ඕඩර් කරලා මට තෑග්ගක් දෙන්න බලාගෙන. ඒ අය ඉන්ස්ටග්‍රෑම් එකේ දාලා තියෙන්නේ සෑහෙන ලස්සන ඇඳුම්වල පිංතූර. ඒවාට අහු නොවෙන කෙනෙක් නැහැ. ඒ වගේම ලස්සන වචන භාවිත කරලා තියෙනවා හැඳින්වීම්වල," සිය වාසගම හෙළි නොකරන්න යැයි ඉල්ලීමක් ද කරමින් අමාලි සිය අත්දැකීම් පැවසුවාය. "ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා. නිකම් බාල කපු රෙදිවලින් අපිළිවෙලට මහලා කුණු ගොඩක් වගේ ඇඳුමක් එතන තිබුණේ. ඒ ඇඳුම රුපියල් 2,000ක්." "මේ ගැන වහාම අදාළ ආයතනයට දැන්වූවා. ඒ අයගේ පිළිතුරු තමයි මගේ ඇඟ කැත නිසා ඇඳුම් හරියන්නේ නැහැ, ඒකට ඒ අයට කරන්න දෙයක් නැහැ කියලා. මට කඳුළු ආවා ඒක දැකලා," ඇය පැවසුවාය. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා වර්තමානයේ දී අප ජීවිතයේ අනිවාර්ය කොටස්කරුවන් බවට පත්ව තිබේ. නමුත් මීට දශක කීපයකට පෙර අන්තර්ජාලය භාවිත කිරීම නගරබදව විසූ අතළොස්සකට පමණක් සීමා විය. ලොව සිදුවන ඕනෑම සිද්ධියක් තත්පරයකට අඩු කාලයක දී ගූගල් ඔස්සේ දැනගත හැකිය. එමෙන්ම සමාජ මාධ්‍ය ජාලවලින් සිය අදහස් දැක්වීම, දේශපාලනය, ව්‍යාපාර ප්‍රවර්ධනය, ගණුදෙනු, විවිධ සමාජ කණ්ඩායම් ක්‍රියාත්මක කිරීම, මිතුරන් සමග සම්බන්ධතා පැවැත්වීම මෙන්ම එක බොත්තමක් එබීමෙන් එම සම්බන්ධතා නතර කිරීමට ද ඉඩ ලැබී ඇත. මිනිස් වර්ගයාගේ ප්‍රමුඛ මෙවලමක් බවට පත්ව ඇති අන්තර්ජාලයෙන් ප්‍රයෝජන බොහොමයක් ඇති නමුත්, එය අවභාවිත කරන විශාල පිරිසක් ද සිටීම හේතුවෙන් වෙනදාට වඩා වැඩි කොටසක් විවිධ වංචාවලට හසු වීමේ ඉඩකඩ විවර වී තිබේ. "අන්තර්ජාලය සම්බන්ධ ගැටලු වංචා නඩු සෑහෙන ප්‍රමාණයක් දැන් උසාවිවලට එනවා. ඇත්තටම ව්‍යාපාර ගණුදෙනුවලට විතරක් නෙමෙයි, දික්කසාද, ඉඩම් නඩු, අපරාධ නඩු යන සියල්ලටම සාක්ෂි ලෙස හෝ අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ වෙන බොහෝ අවස්ථා තියෙනවා," නීතිඥ ෆාතිමා නුස්රත් පැවසුවාය. "කොහොම වුණත් භාණ්ඩ හා සේවා වංචාවක් සිදුවුණොත් මුලින්ම ඉතා ඉක්මණින් පාරිභෝගික සේවා පැමිණිලි අංශයට දන්වන්න ඕනේ. දැන් එයත් අන්තර්ජාලය හරහාම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ වෙනත් වංචා සහ අපරාධයක් සිදු වුණා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුයි." "යම් වංචාවක්, අපරාධයක් සිදු වුණාම මූලික වශයෙන් සිදු කරන්න ඕනේ මේ දේවල්. නමුත් මිනිස්සු නොකරන්නෙත් ඒකමයි. රටේ ශක්තිමත් පැහැදිලි නීතියක් සහ ආයතන සැකසිලා තියෙද්දී, ඒවා ප්‍රයෝජනයට නොගැනීම කණගාටුවට කරුණක් සහ වංචාකාරයින් තවත් ශක්තිමත් කිරීමක්," ඇය තවදුරටත් පැවසීය. අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළෙඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් ගැන පසුගියදා විමර්ෂණයක් සිදු කෙරිණි. එම ආයතනය රුපියල් 100 කට මිල නියම කර තිබෙන සැමන් ටින් රුපියල් 550 කටත්, රුපියල් 150ක් වන බී ලූනූ කිලෝවක් රුපියල් 500කටත්, රුපියල් 65ක් වන පරිප්පු කිලෝව රුපියල් 180කටත්, රුපියල් 92ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350කටත් අලෙවි කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන් විය. මෙම අධික මිල ගණන් යටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමට එම වෙළෙඳ සමාගම පොරොන්දු වී තිබේ. අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සැලකිය යුතු කරුණු මොනවා ද? මේ වන විට නිවසට අවශ්‍ය විදුලි උපකරණ, ගෘහ භාණ්ඩවල සිට අල්පෙනිති පෙට්ටිය දක්වා සියල්ල අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීමේ පහසුකම තිබේ. කොරෝනාවෛරස වසංගතය මැද ලොව පුරා සීමා පැනවීමෙන් පසු භාණ්ඩ මිලදී ගැනීම් පවා නිවසට සීමා වූ අතර, එම කාලය තුළ 'ඇමසන්' වැනි භාණ්ඩ විකුණන වෙබ් අඩවිවල ලාභය 40%කින් වැඩි වී තිබේ. අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිල දී ගැනීමේ දී සැලකිය යුතු කරුණු ගැන පරිගණක ඉංජිනේරු රංගන කළුතන්ත්‍රි පැහැදිලි කළේය. විශ්වසනීය වෙබ් අඩවියක් තෝරාගැනීම භාණ්ඩ මිලදී ගැනීමේදී රට තුළ ජනප්‍රිය වෙබ් අඩවි කීපයක් ඇති අතර, eBay, Alibaba, Aliexpress වැනි විදේශීය සමාගම් හරහා ද තොග සහ සිල්ලර වශයෙන් භාණ්ඩ ඇණවුම් කළ හැකිය. විශ්වසනීය වෙබ් අඩවියකට පිවිස තමන්ට කැමති භාණ්ඩයේ නම සෙවුම් කොටුවට ඇතුළු කළ යුතුය. එසේ නොහැකි නම් අදාළ භාණ්ඩයේ නම සහ එය ශ්‍රී ලංකාවෙන් මිල දී ගැනීමට අවශ්‍ය යයි ගූගල්හි ටයිප් කිරීමෙන් එම භාණ්ඩය ඇතුළත් වෙබ් අඩවි සියල්ලම පාහේ විවෘත වෙනු ඇත. ඒ අතරින් වඩාත් විශ්වාසදායක වෙබ් අඩවිය තෝරා ගැනීම ඔබ සතු වගකීමකි. ඒ සඳහා අදාළ වෙබ්අඩවිය පිළිබඳ ගූගල් 'රිවීව්' කියවීම වඩාත් උපකාරී වේ. ගූගල් සෙවීම් උදාහරණ: Buy dinner plates in Sri Lanka Dinner plates to sell in Sri Lanka Dinner plates prices in Sri Lanka භාණ්ඩයේ මිල වෙනත් වෙබ්අඩවි සමග සංසන්දනය කිරීම අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිල දී ගැනීමේ දී යමෙකුට හිමිවන වැදගත්ම වාසිය නම් ඉතා කෙටි කාලයක් ඇතුළත එකම භාණ්ඩය විවිධ ආයතනවල විකුණන මිල ගණන් සංසන්දනය කිරීමට ඇති හැකියාවය. ඒ අතරින් මිල අඩුම හෝ වෙනත් වාසියක් ලබා දෙන විශ්වාසවන්ත ආයතනයකින් ඔබට අදාළ භාණ්ඩය ඇණවුම් කළ හැකිය. වම්පස: වෙබ්අඩවියේ පළවූ ඡායාරූපය, දකුණු පස: පාරිභෝගිකයාට ලැබුණු ගවුම ඇණවුමට පෙර විස්තර කියවන්න භාණ්ඩයේ විස්තර මෙන්ම, වගකීම් සහතික, තැපැල් හෝ ප්‍රවාහන ගාස්තු, එයට ගතවන කාලය, ඔබ භාණ්ඩයට අකමැතිනම් එය ආපසු යැවීමේ ක්‍රියාවලිය ගැන සියලු විස්තර කියවා දැනගැනීම අත්‍යවශය කරුණකි. මුහුණට මුහුණ හමු වී භාණ්ඩ මිලදී ගැනීමේ දී වෙළෙන්දා භාණ්ඩය සහ ඊට අදාළ සේවා විස්තර කළ ද, අන්තර්ජාලයෙන් මිල දී ගැනීමේ දී භාණ්ඩය ගැන දැනගැනීමේ සියලු වගකීම ඇත්තේ ඔබ සතුවය. ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක ඇතුළත් කිරීම අවධානයෙන්සිදු කරන්න ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක සහ පෞද්ගලික දත්ත ඇතුළත් කළ පසු බොහෝ විට ස්වයංක්‍රීයව ඔබව වෙනත් වෙබ් අඩවියකට ඇතුළු කරනු ඇත. අදාළ ආයතන ගෙවීම් ලබා ගන්නේ මේ වෙබ්අඩවිය හරහාය. නමුත්, එම වෙබ්අඩවිය ආරක්‍ෂිත දැයි සොයා බැලිය යුතුය. එම වෙබ්අඩවි සබැඳියේ මුල https:// හෝ 'ලොක්' එකක ලකුණක් ඇත්නම් එය ආරක්‍ෂිත වෙබ් අඩවියක් ලෙස සැලකේ. ගෙවීම් සම්පූර්ණ කර භාණ්ඩ ඇණවුම් කළ පසු ඔබට විද්‍යුත් පණිවිඩයක් ලැබෙන අතර, මිලදීගැනීමට අදාළ පරිග්‍රහණ අංකයක් (Reference number) එහි සඳහන් වේ. ප්‍රවාහනය ගැන තොරතුරු හෝ භාණ්ඩ නැවත යැවීමට අවශ්‍ය නම් මෙම පරිග්‍රහණ අංකය බොහෝ විට ඉදිරිපත් කළ යුතුය. බදු සහ වෙනත් ගාස්තු ගැන දැනුවත් වීම භාණ්ඩ මිලට ගැනීමේ දී යම් අතිරේක බදු මුදලක්, ගාස්තුවක් ගෙවීමට සිදුවේද යන්න පිළිබඳව ද සැළකිලිමත් විය යුතුය. භාණ්ඩ ඇණවුම් සඳහා ඉන්ටර්නෙට් කැෆේ හෝ නොමිලේ ලබා දෙන WiFi භාවිත කිරීමෙන් වළකින්න අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලට ගැනීමේ දී තම සංවේදී පෞද්ගලික දත්ත බොහොමයක් ඇතුළත් කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් හැකි සෑම විටම පෞද්ගලික උපකරණ ඔස්සේ පමණක් ගනුදෙනු සිදු කිරීමෙන් අනවශ්‍ය ලෙස ඔබේ තොරතුරු පිටතට යෑම වළක්වා ගත හැකිය. අවන්හල් වැනි ස්ථානවල මුරපදය (password) නොමැතිව ලබා දෙන WiFi හරහා මුදල් ගෙවීම් සිදු කිරීමෙන් වැළකිය සිටිය යුතුය. වෙබ්අඩවියේ නියමයන් සහ කොන්දේසි ගැන අවධානයයොමු කරන්න භාණ්ඩ මිල දී ගන්නා වෙබ් අඩවියේ නියමයන් සහ කොන්දේසි (Terms & Conditions) සහ දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තිය (Privacy Policy) කියවා අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබට භාණ්ඩ, සේවා සහ පෞද්ගලික දත්ත සම්බන්ධ බොහෝ ගැටලු මඟ හැර ගත හැකිය. වෙනත් වංචා ද බොහොමයි! භාණ්ඩ හා සේවා පමණක් නොව තව බොහෝ වංචා ගැන ෆේස්බුක් සමාගම අනතුරු අඟවා ඇති අතර, එවැනි වංචනික දේ හඳුනාගන්නා ආකාරය ගැන ද උපදෙස් ලබා දී තිබේ. ෆේස්බුක් සමාගමට අනුව: ෆේස්බුක්හි වංචාවන් සිදුවන්නේ පරිශීලකයන් ව්‍යාජ ගිණුම් නිර්මාණය කළ විට හෝ පවතින ෆේස්බුක් ගිණුම් හෝ ඔබ 'ලයික්' කර ඇති පිටුවලට අනවසරයෙන් යම් පුද්ගලයෙක් ඇතුළු වූ විටය. වංචාකරුවන් මෙම ව්‍යාජ හෝ හැක් කළ ගිණුම් භාවිත කර මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබා දීමට ඔබව පොළඹවයි. ෆේස්බුක් ආයතනය දක්වන පරිදි පොදුවේ දැකිය හැකිය හැකි වංචා: ආදරය සොයා පැමිණීම 'රොමෑන්ටික්' වංචාකරුවන් සාමාන්‍යයෙන් තමන් නොදන්නා අයට ආදරය හෝ ඒ හා සමාන දේ ඇතුළත් පණිවිඩ යවන්නේ බොහෝ විට දික්කසාද වූ, වැන්දඹුවක හෝ දුක්ඛිත විවාහයක සිටින බව මවාපාමිනි. ගුවන් ගමන්, වීසා බලපත්‍ර හෝ පෞද්ගලික දේ සඳහා මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් මෙම වංචාකාරයන් අදාළ සබඳතා ගොඩනගා ගනු ඇත. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ඔබේ විශ්වාසය දිනා ගැනීම වන අතර, එබැවින් ඔවුන් මුදල් ඉල්ලීමට පෙර සති ගණනක් දිගටම සංවාද පවත්වනු ඇත. "මට එක මනුස්සයෙක් දිගටම මැසේජ් එවන්න ගත්තා. මම මුලින් රිප්ලයි කළා. නමුත් පස්සේ එයාට මොලයේ ගෙඩියක් තියෙනවා ඒකට බෙහෙත් ගන්න සල්ලි නැහැ කියලා රුපියල් 5,000ක් ඉල්ලුවා. මම පළවෙනි පාර දුන්නා, නමුත් ආයෙත් ඉල්ලුවා. එතකොට මට තේරුණා මෙතන වංචාවක් තියෙන බව, මම ඉක්මණට එයාව බ්ලොක් කළා," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක සිය අත්දැකීම් පැවසුවාය. ඕනෑවට වඩා හොඳ යැයි හැඟෙන ඇබෑර්තු දැන්වීම් හෝ රැකියාව ලැබීමට පෙර මුදල් ගෙවීමක් සිදු කළ යුතු යැයි සඳහන් දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න දිනුම් ඇදීමේ වංචා දිනුම් ඇදීමේ වංචා බොහෝ විට සිදු කරනුයේ ඔබ දන්නා කෙනෙකු හෝ සංවිධානයක් (රජයේ ආයතනයක් හෝ ෆේස්බුක් වැනි) ලෙස පෙනී සිටින ගිණුම් හෝ පිටුවලින්ය. ඔබ දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති අතර කුඩා අත්තිකාරම් ගාස්තුවකට ඔබේ මුදල් ලබා ගත හැකි බව මෙම පණිවිඩවලින් කියැවේ. පෞද්ගලික ලිපිනය හෝ බැංකු තොරතුරු වැනි පුද්ගලික තොරතුරු ලබා දෙන ලෙස වංචාකරු ඔබෙන් ඉල්ලා සිටිය හැකිය. ණය වංචා කුඩා අත්තිකාරම් ගාස්තුවකට අඩු පොලී අනුපාතයකට ක්ෂණික ණය ලබා දෙන බව පවසමින් පණිවිඩ යැවීමට ණය වංචාකරුවෝ ක්‍රියා කරති. රහසේ ගිණුමට ඇතුළුවීම: ඔබගේ ෆේස්බුක් ගිණුමට හෝ පිටුවට ප්‍රවේශය ඉල්ලා සිටින සබැඳියක් (link) ඔබට ලැබීමට ඉඩ ඇත. මෙය නීත්‍යානුකූල යෙදුමකින් ආවා සේ පෙනෙන නමුත්, ඒ හරහා ඔබගේ ගිණුමට ප්‍රවේශය ලබා ගැනීමට සහ ගිණුම හරහා වංචනික දේ ව්‍යාප්ත කිරීමට හැකිය. රැකියා වංචා රැකියා වංචාකරුවන් ඔබේ පෞද්ගලික තොරතුරු හෝ මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සඳහා නොමඟ යවන හෝ ව්‍යාජ රැකියා පළ කිරීම් භාවිත කරයි. ඕනෑවට වඩා හොඳ යැයි හැඟෙන ඇබෑර්තු දැන්වීම් හෝ රැකියාව ලැබීමට පෙර මුදල් ගෙවීමක් සිදු කළ යුතු යැයි සඳහන් දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. රැකියා දැන්වීම් සබැඳියක් ක්ලික් කරන විට, ඉන් පෙර පළ කර ඇති දැන්වීම් හා සම්බන්ධ නැති, නැත්නම් සංවේදී පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවි ගැන විමසිල්ලෙන් සිටින්න. අවධානයෙන් සිටිය යුතු දේවල් පොලිසියට පැමිණිලි සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් මුදල් වංචා කිරීම් පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශය 2020 සැප්තැම්බර් මස නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට මෙම පැමිණිලි ලැබෙමින් පවතින බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය. තායිලන්තයේ රැකියා පුරප්පාඩු ගැන ප්‍රචාරය කර මුදල් වංචා කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ගැනත්, පුද්ගලයෙකු මෝටර් රථයක් දිනාගෙන ඇති බවට පවසමින් ව්‍යාජ පණිවිඩ යවා යම් බැංකු ගිණුමකට මුදල් මාරු කරන ලෙස ඉල්ලා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ. මීට අමතරව, වංචනික විවාහ යෝජනා, පිටරට සිට එවූ තෑගි රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා බැංකු ගිණුම්වලට මුදල් බැර කරන ලෙසටත් ඉල්ලමින් පණිවිඩ ලැබී ඇති බවට ද පැමිණිලි ලැබී තිබේ. සංවිධානාත්මක කණ්ඩායම් සිදු කරන මෙවැනි මුදල් වංචාවන්ට ගොදුරු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුළතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුළතදීය මහ බැංකු නිවේදනය සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන මූල්‍ය වංචා සහ වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී තිබේ. වර්තමානයේ දී, මෙවැනි ආකාරයේ වංචාවන්හි වැඩි වීමක් නිරීක්ෂණය වී තිබෙන බව 2019 නොවැම්බර් 21 වෙනිදා නිකුත් කළ මහ බැංකු නිවේදනයේ සඳහන් වේ. මෙම වංචාවන්ගෙන් බොහොමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව එහි සඳහන් වේ. එවැනි ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය අතරතුර, වංචාකරුවන් බැංකු ගිණුම් අංක සහ පෞද්ගලික හැඳුනුම්පත් අංක වැනි රහස්‍ය තොරතුරු බෙදා ගැනීමට මහජනයා පොළඹවයි. පුද්ගලයන්ගේ ගිණුම් වෙත පිවිස මුදල් සොරකම් කිරීමට වංචාකරුවෝ මෙම රහස්‍ය තොරතුරු යොදා ගනිති. මෙම වංචා පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු රහස්‍ය තොරතුරක්, විශේෂයෙන් ගිණුම් පරිශීලක නාම, මුරපද, PIN, OTP (One-Time-Passwords) හෝ ගිණුමට පිවිසීම සඳහා අවශ්‍ය වෙනත් තොරතුරු කිසිවෙකු සමඟ බෙදා නොගන්නා ලෙස මහ බැංකුව තරයේ අවවාද කරයි. ගිණුමේ ක්‍රියාකාරකම් කෙටි පණිවුඩ ඔස්සේ ලබා ගත හැකි සේවාවන් සිය බැංකුව හෝ මූල්‍ය ආයතනය ඔස්සේ ලබා ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් වේ. මෙමගින් ගිණුමේ යම් සැකසහිත ක්‍රියාකාරකමක් ගැන ක්ෂණිකව දැන ගැනීමට හැකිය. 2021 ජනවාරි 21 දින නැවතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූලම්‍ය වංචා ගැන වඩාත් සැළකිලිමත් වන ලෙසය. ඹබගේ පාරිභෝගික පැමිණිලි, පහත ලිපිනයට යොමු කරන්න: අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අංක 27, වොක්ෂෝල් වීදිය, කොළඹ 02. ක්ෂණික ඇමතුම් 1977 පැමිණිලි අංශය 011-7755481-2-3 ෆේස්බුක් පිටුව: https://www.facebook.com/CAASriLanka පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුළතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුළතදීය. පැමිණිල්ලෙහි දැක්විය යුත්තේ කවරකුගේ අත්සනද? පැමිණිලි ලිපියෙන් පීඩාවට ලක්වූ පාර්ශවයෙහි (පැමිණිලි කරන්නාගේ) අත්සන තැබිය යුතුය. පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කවර ස්ථානයටද? පැමිණිලි කරන්නා පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් හෝ සභාපති වෙත ඉදිරිපත් කල යුතුය. පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කා වෙතද? පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පැමිණිලි කරන්නා විසින් සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි සභාපති වෙත ඉදිරිපත් කළ යුතුය. මේ තොරතුරුද කියවන්න:
දකුණු ඉන්දියාවේ චෙන්නායි හි දුම්රිය ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් එක් කාන්තාවක් මියගොස් අවම වශයෙන් තවත් නව දෙනෙකුට තුවාල සිදු වූ බව චෙන්නායි හි බලධාරීහු පවසති.
මැතිවරණය පැවැත්වෙන බැවින් ඉන්දියාව පුරා ආරක්ෂාව තර කොට ඇති බවයි පැවසෙන්නේ දුම්රිය චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණීමෙන් මිනිත්තු කීපයකට පසුවයි නිදන මැදිරි දෙකක බෝම්බ පිපිරීම් දෙකක් සිදු වී ඇත්තේ. පිපිරී ගිය එක් බෝම්බයක් තිබී ඇත්තේ මිය ගිය කාන්තාව අසුන් ගෙන සිටි අසුන යට බවයි දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසුවේ. මෙම දුම්රිය බැංගලෝරයේ සිට ඊසාන දිග ඉන්දියාවේ ගුවහති දක්වා ගමන් කරමින් තිබූ බැවින් මෙය චෙන්නායි දුම්රිය ස්ථානය ඉලක්ක කළ ප්‍රහාරයක් නො විය හැකි බවයි පොලීසිය පවසන්නේ. මේ වන විට ඉන්දියාවේ මහා මැතිවරණය පැවැත්වෙමින් ඇති බැවින් රට පුරා ආරක්ෂාව තර කොට ඇති බවයි පැවසෙන්නේ.
කළු ඇඳුමින් සැරසුණු දහස් සංඛ්‍යාත ජනතාව දිවියෙන් සමුගත් භූමිපාල් අතුලතේජ් රජතුමාට අවසන් ගෞරව දැක්වීම පිණිස තායිලන්තයේ බැංකොක් නුවර රජමාලිගය ඉදිරිපිට පෙළ ගැසී සිටිති.
කළු පැහැති ඇඳුමින් සැරසුණු පිරිස්වලට කුඩා කණ්ඩායම් වශයෙන් මාලිගය වෙත ඇතුළු වීමට අවසර ලැබේ. රට පුරා කළු පැහැති ඇඳුම්වල හිඟයක් ඇති විය හැකි බවට බලධාරීහු අනතුරු හඟවති. කළු පැහැති කමිසවල මිල ඉහළ දැමීමට උත්සාහ කරන වෙළෙන්දන්ට එරෙහිව නව දඩ මුදල් හඳුන්වා දීමට බලධාරීන් විසින් කටයුතු කරනු ලැබ ඇත. මෑත ඉතිහාසයේ වැඩිම කාලයක් සිහසුන දැරූ පාලකයා වන භූමිපාල් අතුලතේජ් රජු සිහසුන හෙබවූ කාලය වසර 70 කි.
මීරියබැද්දේ සිදු වූ නාය යාමෙන් පණ පිටින් වැල ලී යන්නට ඇති බවට සැලකෙන පිරිස් සෙවීමේ යෙදී සිටින ආරක්ෂක හමුදා සහ සහන සේවා කණ්ඩායම් විසින් තවත් කාන්තා මළ සිරුරක් සොයා ගනු ලැබූ බව වාර්තාවෙයි.
මළසිරුරු සෙවීම අත් නොහරින බවයි ආරක්ෂක අංශ පවසන්නේ මේ අනුව මෙතෙක් සොයාගෙන ඇති මළසිරුරු සංඛ්‍යාව පහක් බවයි එම ප්‍රදේශයට ගොස් සිටින මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සංදේශයට පැවසුවේ. ඉතිරි මළ සිරුරු සොයා ගැනීම සඳහා මෙහෙයුම් දිගටම සිදු කෙරෙන බවයි ආරක්ෂක අංශ පවසන්නේ. මෙම නාය ගිය අක්කර දහයක පමණ භුමි භාගය දෙපස ඉවුරු වල පදිංචිව සිටින පවුල් සහ දැනට කොස්ලන්දේ රඳවා ඇති පවුල් 7 ද ඇතුළුව පවුල් 84කට අයත් පිරිස් පුනාගල විද්‍යාලයට රැගෙන විත් සහන සේවා කටයුතු විධිමත් කොට වෙනත් ස්ථානයක කඳවුර ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවයි ලසන්ත වැඩිදුරටත් පැවසුවේ.
'ආදරය' ලොව වැඩිම නිර්වචන ප්‍රමාණයක් ලබා දී ඇති වචනයක් වුවත් එයට අදටත් නිශ්චිත නිර්වචනයක් නොමැත. උපතේ සිට මරණය දක්වා පවතින මානුෂීය බැඳීම්, අධ්‍යාපනය, කලාව, රැකියාව ඇතුළු සෑම අංගයකටම ආදරය යන හැඟීම හෝ වචනය විවිධාකාරයෙන් සම්බන්ධ වේ.
ආදරය ගැන එකිනෙකාට ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් අදහස්ය තාක්ෂණය ඔස්සේ සිය හැඟීම් මුදාහරින ලෝකයක ගූගල් සෙවීම් තුළ 'ආදරය' යන වචනය මිලියන පහකට වැඩි වතාවක් දක්නට හැකි අතර, ඉංග්‍රීසියෙන් 'Love', බිලියන පහළොවකට ආසන්න වාර ගණනක් සොයා ඇත. ආදරය ගැන එකිනෙකාට ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් අදහස්ය. පෞද්ගලික අත්දැකීම්, පරිසරය, පසුබිම පමණක් නොව දේශය, කාලය වැනි නොයෙක් කාරණා ද මෙම අදහස්වලට බලපායි. ආදරයට කෙසේවෙතත්, ආදරවන්තයන්ට දිනයක් වෙන් වී තිබේ. මේ දිනයට ඇත්තේ වානිජමය වටිනාකමක් පමණක් යැයි සමහරු තර්ක කළත්, එයට සම්බන්ධ ඉතිහාස කතාවක් ද ඇත. ආදරය යනු කුමක්ද? එකම පැනය ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකුගෙන් ඇසූ විට, ඔවුන්ගෙන් ලැබුණේ එකිනෙකට වෙනස් පිළිතුරුය. 'වෛරය, දුක, මත්වීම වෙනුවට.......' කළමනාකාරියක (Country Manager) ලෙස සේවය කරන හිමානි නවින්දිකා ඉහත පැනයට පිළිතුරු දෙමින් බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම් බෙදා ගත්තාය. හිමානි නවින්දිකා "එයා මාව දාලා ගියාට පස්සෙ මට දැනුනෙ පුදුම හිස්කමක්. ඒක නැතිකරගන්න මොනවද කරන්න ඕනෙ කියන එක ගැන මට අදහසක් තිබුණේ නෑ. මම ඇඬුව, මුළු ලෝකයත් එක්කම තරහ වුණා, එයාට වෛර කලා, වෙනත් කෙනෙක් තුළ එයාව හොයාගන්න උත්සාහ කළා. ඒත් කාලය ගත වීමත් එක්ක මට දැනුණා එයා නිසා මම මේ ලෝකේ මාර ලස්සන දේවල් ටිකක් අත්විඳල තියනව කියලා. අපි වෙන් වුණත් ඒ දේවල් නොවෙනස්ව තියනවා කියලා තේරුණා. එයා වෙනුවට ජීවිතයට කවුරු ආවත් ඒ ලස්සන දේවල් ඒ විදියටම තියෙනවා. අපි බෙදාගත්ත ලස්සන සිංදු, අපි හුවමාරු කරගෙන බලපු ලස්සන චිත්‍රපට. එයා නිසා මම ඉගෙනගත්ත පුංචි වැඩ. එයාට කෑම ජාති හදල දෙන්න මම ඉගෙනගත්ත වට්ටෝරු සහ තව බොහෝ දේවල්. එයා ගියා වුණත් මම ඇතුළේ ඒ දේවල් තියනව, ආදරේ ඇතුළේ මම මා තුළ සොයාගත්ත දේවල්! එතනින් එහාට වෙන්වීම, වෛරය, දුක වගේ දේවල් වෙනුවට, ඒ ගෙවපු කාලයේ තිබුණු සුන්දර දේවල් මට යමක් පැහැදිලි කරමින් සිටියා. ඒ තමයි කෙනෙක් වෙන් වුණාම, අහිමි උනාම 'ප්‍රොටෝටයිප්' (බොහෝමයක් මියුසික් විඩීයෝස්, චිත්‍රපටිවල වගේ) විදියට දුක් වෙන එක, තරහ වෙන එක, තමන්වම විනාශකර ගන්න එකට වඩා, ඒ මානුෂික සම්බන්ධය තුළ දී අදාළ පුද්ගලයා ඉතිරි කර ගිය බලපෑම ආදරණීය විදිහට බාරගන්න එක. බොහෝ වෙලාවට අපි ආදරේ කරන කෙනා දාලා ගියාට පස්සෙ උත්සාහ කරනව අපි ඒ කෙනා වෙනුවෙන් තිබුණ ආදරය මිණුම් ලකුණක් කරගන්න. සමහර විටක අපි ඒ ගිය කෙනාට වෛර කරනව, නැත්නම් ඒ දුකට අඬනවා, මත්වෙනවා. සමහර විටෙක අපි ඒ ගිය කෙනා වෙනුවට තවත් කෙනෙක් ළං කරගන්නව. ඒත් මම හිතන්නෙ ඕනෑම ආදර කතාවක් අපි තුළ යම් බලපෑමක් ඇති කරනවා. එක්කො අලුත් සංගීත රසයක්, නැත්නම් අලුත් කලා රසයක්, අලුත් පුරුද්දක්, හැකියාවක් නැත්නම් ජීවිතයට වටිනා පාඩමක්. නමුත් අපි වෛරයෙන්, දුකෙන්, මත් බවෙන් අපි ඒ සියල්ල අහිමි කරගන්නවා. ඔව්, ආදරේ කියන්නෙ එක තැනකින් පටන් අරන් වෙන තැනකින් ඉවර වෙන දෙයක් නෙමෙයි. එය අහිමීවීම්, වෙන්වීම්, හැරයාම්වලට පසුවත් අපි තුළම පවතින දෙයක්," ඇය තවදුරටත් පැවසුවාය. නහි වේරේන වේරානි මාධ්‍යවේදී ෆර්හාන් නිසම්ඩීන්ට ආදරය ගැන ඇත්තේ මෙවන් අදහසකි; "ආදරය යනු ප්‍රධාන මානව හැඟීම්වලින් එකක්. ආදරය කියන්නේ උපත ලැබූ දා සිට මියෙන තෙක්ම අප කාගෙත් හදවතට දැනෙන හැඟීමක් වගේම අපි කවුරුත් නොදැනුවත්වම හදවතට තුරුලු කරගන්න අපූර්වතම හැඟීමක්, ඒ වගේම විශ්ව භාෂාවක්. ෆර්හාන් නිසම්ඩීන් ඒ වගේම ආදරය අවසන් වන තැන ක්ෂණයකින් වෛරය හටගන්නවා. ලොව පුරා ආදරයට වඩා වෛරය විසිරී ඇති බවට වර්තමානය හොඳම උදාහරණයක්. නහි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ (වෛරයෙන් වෛරය නොසන්සිදේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ - එය නොවෙනස්වන ලෝක ධර්මතාවයකි) ප්‍රධාන වශයෙන්ම සමාජ ජාලවල සැරිසැරීමේදී අපේ රටේ ප්‍රජාව අතර වාර්ගික බෙදීමක් ඇතිවන අකාරයේ අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ආදරය කියන හැඟීම ඇයි අපිට ජාතීන් අතර සුහදතාව වර්ධනය කරගන්න යොදාගන්න බැරි? ජාතීන් අතර එකමුතුව ඇති කරන්න පුළුවන් බලවත් යාන්ත්‍රණයක් තමයි 'ආදරය'! සහෝදරත්වයෙන් එකිනෙකා අතර ආදරය වර්ධනය වෙනකොට සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කතෝලික ද බර්ගර් ද අදාළ නැහැ. ශ්‍රි ලාංකික ජාතියක් ලෙස නව නිර්මාණශීලී අදහස්, ආකල්ප ඇතිවෙනවා. ජාතින් අතර අන්‍ය අවබෝධයක් ඇතිවෙනවා. අද රටේ පළමුව විය යුත්තේ හෞතික දියුණුව නෙවෙයි ආකල්ප දියුණුවයි. ආකල්ප දියුණු කරන්න පුළුවන් බලවත්ම දේවල් තමයි "ආදරය,කරුණාව,මෛත්‍රිය", ඔහු පැවසීය. වැලන්ටයින් දිනයේ ඉතිහාසය කුමක්ද? සෑම වසරකම පෙබරවාරි 14 වෙනි දින වැලන්ටයින් දිනය හෙවත් ශාන්ත වැලන්ටයින් දිනය ලොව පුරා සමරනු ලැබේ. ආදරණීය පණිවුඩ සහිත කාඩ්පත්, මල් හෝ චොකලට් යවා වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කෙරෙහි සෙනෙහස පෙන්වීමට බොහෝ දෙනෙක් මෙදින ක්‍රියා කරති. එදවසට නම ලැබුණේ ප්‍රසිද්ධ සාන්තුවරයෙකුගෙනි, නමුත් ඔහු කවුරුද යන්න පිළිබඳ කථා කීපයක් තිබේ. අයර්ලන්තයේ පල්ලියක තිබෙන වැලන්ටයින් සාන්තුවරයාගේ පිළිමය ශාන්ත වැලන්ටයින් පිළිබඳ ජනප්‍රිය විශ්වාසය නම් ඔහු ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයෙකු යන්නය. දෙවෙනි ක්ලෝඩියස් අධිරාජ්‍යයා විවාහ වීම තහනම් කර තිබුණේ විවාහක පුරුෂයන් නුසුදුසු සොල්දාදුවන් යැයි සිතූ බැවිනි. මෙම තීරණය අසාධාරණ යැයි වැලන්ටයින්ට හැඟුණු නිසා ඔහු නීති කඩ කර රහසිගතව විවාහයන් සංවිධානය කළේය. මෙය දැනගත් ක්ලෝඩියස් අධිරාජ්‍යයා, වැලන්ටයින් සිරගෙට දමා මරණ දඬුවම නියම කළේය. එහිදී ඔහු සිරගෙදර ජේලර්වරයාගේ දියණිය සමඟ ආදරයෙන් බැඳීණි. පෙබරවාරි 14 වෙනි දින ඔහු ඝාතනය කිරීමට රැගෙන යාමට පෙර "ඔබේ වැලන්ටයින් වෙතින්" යැයි අත්සන් කළ පෙම් හසුනක් ඇයට යවා තිබිණි. රාගයම නොව.... නාට්‍ය හා රංග කලා ගුරුවරියක වන සුභාශිණී හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය නැඟූ පැනයට මෙසේ පිළිතුරු ලබා දුන්නාය. සුභාශිණී හෙට්ටිආරච්චි "ආදරය යනු එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා අවංක ලෙන්ගතුකමයි. එය රාගයට වඩා ඉදිරියෙන් සිටින්නක්. වැලන්ටයින් දිනය සැමරිය යුත්තේ ආදරයේ අති පූජනීයත්වයට ගරු කිරීම සඳහා මිස භෞතික දේ හෝ රාගය මුල්කොට නොවේ. මනු සතා උපදින්නේම මව්පියන්ගේ ආදරය තුළින්. ජීවිතය ජීවත් කරන්නේද එතුළින්. එහෙම ආදරය වෙනුවෙන් දවසක් වෙන් කිරීම එය ලඝුකොට දැක්වීමක්දැයි හිතෙනව සමහර විටෙක. නමුත් තම තමන්ගේ හදවතට ඇතුළතින්ම අවංකව විවෘත විය හැකි හොඳම දවසත් එයයි," ඇය පැවසුවාය. 'විඳින්න, විඳවන්න එපා!' දෘශ්ඨි පරීක්ශකවරියක් වන නදීකා අමරසිංහ හෙට්ටිආරච්චි මෙසේ අදහස් දැක්වීය; "ආදරය මට දැනෙන විදිහට ලොව ඇති සංකීර්ණම හා ප්‍රබලම සංවේදනයයි. ආදරේ කියන්නේ එක වෙලාවකට පිස්සුවක්, වෙලාවකට භාවනාවක්, තවත් කෙනෙක්ට දුකක් නැත්නම් සතුටක්.ඒ වගේම තවත් කෙනෙක්ට මහමෙරක් වගේ බරක්, වගකීමක්, අතහරින්න බැරි බැඳීමක්, ඇබ්බැහිවීමක්, කායික සුවයක්, මානසික සුවයක් නැත්නම් පරිත්‍යාගයක්. අපි කොයිවිදිහට අර්ථකතනය කළත්, ආදරය කරන, විඳින සහ බලාපොරොත්තු වෙන විදිහ එකිනෙකාට වෙනස්. හැබැයි අපි ඒක මොනවිදිහට වින්ඳත් ඒක හරි ‍රහයි! නදීකා අමරසිංහ හෙට්ටිආරච්චි ඒ රස අපේ ඇට,මස්,ලේ,නහර විදගෙන හැම සෛලයකටම කිඳා බහිනවා.එදා ඉඳන් අපේ මොලයේ ක්‍රියාකාරීත්වය මදක් අඩපණ වෙලා, හදවතේ ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා. ඒ නිසා තමයි අපි සමහර වෙලාවට හැඟීම්වලට වහල් වෙලා, ආදරය කියලා අපිම නිර්වචනය කරගත්තු දෙයක් වෙනුවෙන් මෝඩ තීරණ ගන්නේ. අපි ආදරයෙදි මොලයට ඉඩක් නොදුන්නොත්, ආදරය කියන්නේ මොකද්ද කියලා හරියටම දැනෙනකොට සමහරවිට මකාගන්න බැරි පැල්ලම් ජීවිතයට එකතුවෙලා ඉවරයි. ආදරය විඳින්න. විඳවන්න එපා," නදීකා තවදුරටත් පැවසුවාය. වැලන්ටයින් දිනය සැමරීම සිදු වූයේ කෙසේද? පළමු වැලන්ටයින් දිනය සැමරුවේ වර්ෂ 496 දීය! විශේෂිත වැලන්ටයින් දිනයක් තිබීම ඉතා පැරණි සම්ප්‍රදායක් වන අතර එය රෝමානු උත්සවයකින් ආරම්භ වූවක් යැයි සැලකේ. පෙබරවාරි මැද භාගයේදී රෝමවරු ලුපර්කාලියා (Lupercalia) නමින් උත්සවයක් පවත්වති. එය නිල වශයෙන් ඔවුන්ගේ වසන්ත කාලය ආරම්භය සනිටුහන් කිරීමකි. ඉංග්‍රීසියෙන් ලියා ඇති පැරණිතම වැලන්ටයින් දින පණිවිඩයයි. එය ලියා ඇත්තේ 1477 දීය සැමරුමේ කොටසක් ලෙස තරුණියන්ගේ නම් ලියා දමා තිබූ පෙට්ටියකින් තරුණයන් අහඹු ලෙස නම් තෝරා ගැනීමක් සිදු කළ බව විශ්වාස කෙරේ. උත්සවය අතරතුර අදාළ යුවල පෙම්වතා සහ පෙම්වතිය වන අතර සමහර විට ඔවුන් විවාහ වනු ඇත. පසුකාලීනව පල්ලියට මෙම උත්සවය ක්‍රිස්තියානි සැමරුමක් බවට පත්කිරීමට අවශ්‍ය වූ අතර ශාන්ත වැලන්ටයින් සිහිපත් කිරීම සඳහා ද එය යොදා ගැනීමට තීරණය කළේය. ක්‍රමානුකූලව, ශාන්ත වැලන්ටයින්ගේ නම මිනිසුන් තමන් ආදරය කළ අයට ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිත කිරීමට පටන් ගත්තේය. 'ජීවිතයට අත්‍යවශ්‍යයි' කළමනාකරණ සේවා නිලධාරී සචී ඉඹුලානගේ අදහස; සචී ඉඹුලාන "සොබාදහම තුළ කුමන හෝ ආකාරයක ජීවයක් බිහිවූයේ ද ආදරය බිහි වන්නට ඇත්තේ ද ඒ මොහොතේමයි. යමක පැවැත්මට අදාළ මූලිකම අවශ්‍යතාවය ආදරයයි. ජීවයක පැවැත්මට අවශ්‍ය වන්නේ ආදරය නොව ආහාර ජලය වැනි භෞතික ද්‍රව්‍ය යැයි යමෙකුට තර්ක කළ හැකිය. නමුත් මේ අවශ්‍යතා පවා අප සපුරාගන්නේ තමා තමාට ඇති ආදරය සහ ඇලීම නිසා නොවේද? 'සැහැල්ලු වෙන්න' පරිඝනක ඉංජිනේරුවෙකු වන රංගන කරුණාරත්න ආදරය ගැන දැක්වූයේ මෙවන් අදහසකි; "ආදරය කියන දේට නිර්වචනයක් දෙන්න බැහැ. එය ක්‍රියාවෙන් සිදු කළ යුතු දෙයක්. එකිනෙකා විශ්වාස කිරීම, ගෞරව කිරීමෙයි ආදරය රැඳිලා තියෙන්නේ. කෙනෙක්ට ආදරය කරන්නේ ඒ පුද්ගලයාව වෙනස් කරන්න හිතාගෙන, නැත්නම් වෙනත් වාසි බලාගෙන නම් එතන ඇති ආදරයක් නැහැ. යම් පුද්ගලයෙක් ඉන්නා විඳිහටම ඔහු හෝ ඇයට ආදරය කරන්න පුළුවන් නම් ජීවිතයේ සෑහෙන ප්‍රශ්න අඩුවෙයි. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, ඒ ලැබෙන මානසික සුවයත් එක්ක නිකම්ම ආදරය දැනෙන්න ගනියි," ඔහු පැවසුවේය. 'කාලයක්,වයසක්, දවසක් නැහැ' නාට්‍ය අධ්‍යක්ෂකවරියක, පිටපත් රචකයෙකු සහ ගුරුවරියක වන ගීත්මා අතාවුද මෙසේ පැවසීය; ආදරය යනු ලෝකයේ කිසිම පුද්ගලයකුට මෙතෙක් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකි වූ අකුරු හතරක්. ආදරය හුදෙක් වචනයක්ම නොව එය හැඟීමක්, ක්‍රියාවක් නැත්නම් කැපකිරීමක්. ගීත්මා අතාවුද ආදරය ජීවිතයේ හැම පරිඡේදයකම විවිධ ස්වරූපයන්ගෙන් අපිව මුණ ගැහෙන්නට එනවා. ආදරයට නිශ්චිත කාලයක්,වයසක්, දවසක් නැහැ. සමහරවිට අපි ආදරය හඳුනා ගන්නවා. සමහරවිටක මඟ හැරෙනවා නැත්නම් මඟහරිනවා. කෙසේ හෝ වේවා, ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පුද්ගල චිත්ත සන්තානයේ තවත් අයෙකු වෙනුවෙන් උපදින්නට හැකි උත්තරීතරම හැඟීම ආදරයයි. "දිල්කා රිශ්තා බඩා හේ ප්යාර් ආහේ" ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනී විවේකා සමරසිංහ බීබීසී සිංහල සේවයට මෙසේ අදහස් දැක්වීය; "මේ අකුරු සතරෙන් මනුෂ්‍යාගේ ජීවිතයට බෙහෙවින් බලපාන්නේ මනසේ ඇතිවන එක්තරා සියුම් සිතුවිල්ලක්. මේ අතර, මවක් දරුවෙකුට කරන ආදරයත් යෞවන ආදරයත් අතර ලොකු වෙනසක් තිබෙනවා. අම්මාගේ ආදර බැඳීම සදාකාලිකවම පවතින එකකි. තරුණ පරපුරේ අයගේ ආදරය බොහෝවිට තාවකාලිකව පවතින්නක්. හැබැයි නියම වයසේදී සිතේ පදියම්වන ලෙන්ගතුකමේ බෝහෝ විට විශාල බැඳීමක් පවතිනවා. ඒ බැඳීම තමයි ආදරයකට පෙරලෙන්නේ. විවේකා සමරසිංහ මෙයට නිදසුනක් වශයෙන් හින්දි ගීතයක පද දෙකක් සදහන් කරන්නම්: "දිල්කා රිශ්තා බඩා හේ ප්යාර් ආහේ" (හදවතේ බැඳීම බොහෝ සේ ආදරයක් වන්නේය). අද සමාජය ආදරය ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා. බටහිර ක්‍රියාවන් අනුගමනය කරමින් අපේ රටේ ජනයාත් "වැලන්ටයින් ඩේ" වශයෙන් මෙය සමරනවා. බටහිරෙන් මොනවාද එන්නේ ඒ සියල්ල නොදියුණු රටවල අය බදා ගන්නවා. අපට ජීවත්වීමට සහ පවුල් පසුබිමකට ආදරය අවශ්‍යයි. නමුත් මෙහි අර්ථය ගැන එතරම් හැඟීමක් නැති අය හරියට ගින්දර දැක ගින්නට පනින පළඟැටියෝ වාගෙයි," ඇය පැවසුවාය. 'කොරෝනාව රැගෙන ගිය ආදරය' කථිකාචාර්යවරියක වන සුධර්මා වීරක්කොඩි ආදරය ගැන බීබීසී සිංහල සේවයට ලියා එව්වේ නිසදැසකිනි. සුධර්මා වීරක්කොඩි ඕං ආවා කෝල් එකක් ඉස්සර අනුන්ගෙ ලියුං මගේ වගෙ ලියුවට පරණ කොන්තරාත්තුවක්... ලියන්නකො ලස්සන පණිවිඩයක්.. ඒ කාටද.. මොන එහෙකටද... මුතු අකුරින්ද.. ඉංග්‍රීසිවලින්ද...? ඔව් අප්පා... අහවලාට... අහවල් එකටද...? වැලන්ටයිං ඩේ එකට.. මොකක්?... කාටද?.. දුවටද? අම්මට මදිවට දුවටත් ලියන්න ඕනැද? නෑ අනේ මට.. අප්පේ අපේ කාලෙ ඉවරයිනේ... ඔව් මට අරං ගිහින් තියල එන්න.. කොහේද...? සුදා එයා යන්න ගියා... මං දකින්නෙම නැතුව.. ගිහින් එන්න නෙවෙයි යන්නම යන්න... ගිය තැනක්වත් මං දන්නෙ නෑ... ඒත් ආයෙ එන්නෙ නෑ.. අර ඔයා ලියල දුන්න මුතුකැට ලියුමයි අද ඔයා ලියා දෙන ආදරෙයි.. එකතු කරලා එකට බැඳලා මල් ඉත්තක දවටා ගෙන අපි හමුවුන තැනට ගිහින් දියවෙනකල් ,පාවෙනකල් ඔහේ ගලාගෙන යනකල් මගෙ කදුලුත් අරං යන්න මහවැලියට ගිහින් එන්න අනේ සුදා ලියා දෙන්න... ඉතින් එයා කොහෙද ගියේ? කා එක්කද යන්න ගියේ? ඔයා ලියපු ලියුම එක්ක රාමු කරපු රූපෙ තියල එයා ගියා මගේ ළඟින් කොරෝනා නෝනා එක්කල...... මේ තොරතුරුද කියවන්න:
පසුගියදා මධ්‍යම ඉතාලියේ හට ගත් භූමිකම්පාවට හසු වී විනාශයට පත් වූ නිවසක සුන්බුන් අතර සිර වී සිටි සුනඛයකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වෙති.
සුනඛයාගේ හිමිකරු සමග විනාශයට පත් නිවස වෙත ගොස් ඇති ගිනි නිවන භට කණ්ඩායමට සුනඛයකු බුරන හඬ ඇසී තිබේ. සුන්බුන් අතර සිර වී සිටි ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයට අයත් 'රෝමියෝ' නමැති සුනඛයාට බීමට ජලය ලබා දීමෙන් අනතුරුව සහන කණ්ඩායම් විසින් සුනඛයා ඉන් ඉවතට ගනු ලැබ තිබේ. අගෝස්තු 24 වනදා මධ්‍යම ඉතාලියේ ඇති වූ භූමිකම්පාවට හසු වී පුද්ගලයන් 290 දෙනකුවත් මරුමුවට පත් විය.
සියවස් ගණනාවක් ඉපැරණි චාරිත්‍රයක් වන ආගමික උත්සව අතරතුර කෙරෙන සත්ව බිලි පූජා තහනම් කිරීමට ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්ත අධිකරණය නියෝග කරයි.
සතුන් එලෙස මරා දැමීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හැදින් වූ අධිකරණය එලෙස බිලි දීමේ දී සතුන්ට වේදනා විදීමට සිදු වන බවයි කියා සිටියේ. හින්දු කෝවිල් තුළ එළුවන් වැනි සතුන් මරා දැමීමේ සම්ප්‍රදාය පරම්පරා ගණනාවක් පසු පසට දිව යන්නක්. බිලි පූජා වලට හසු වී සතුන් දහස් ගණනක් මිය යන බව අධිකරණයට ඉදිරි පත් වූ සාක්ෂි මගින් අනාවරණය විය.
බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන්ගේ පුරෝගාමිත්වයෙන් සිදු කෙරුණ සායනික පර්යේෂණ මගින් පිළිකා නාශක නව ඖෂධ දෙකක් සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල අනාවරණය වී ඇති බව නිවේදනය කෙරුණි.
චර්ම පිළිකාවක් ‘මෙලනොමා’(melanoma) යනුවෙන් හැඳින්වෙන ඉතාම බරපතළ චර්ම පිළිකා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ගෙන් 60% කගේ පමණ පිළිකා සෛල විනාශ කිරීම සඳහා එම ඖෂධ වර්ග දෙක එකවර පාවිච්චි කළ හැකි බවයි පැවසෙන්නේ. මෙම නව ඖෂධ වර්ග සක්‍රීය වන්නේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර සමගයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘යේල්’ විශ්ව විද්‍යාලයේ පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රමුඛ විශේෂඥයකු වන මහාචාර්ය රෝයි හර්බ්ස්ට්(Roy Herbst) නව සොයා ගැනීම් විග්‍රහ කරන්නේ මහත් ප්‍රයෝජනවත් ආකර්ෂණීය පියවරක් හැටියටයි. තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය රෝයි හර්බ්ස්ට්, නව සොයා ගැනීම් සමඟ පිළිකා ප්‍රතිකාර රටාවේ වෙනසක් සිදු විය හැකි බවයි පවසන්නේ. පිළිකා පරාජය එහෙත් ඉහත කී පිළිකා නාශක නව ඖෂධ දෙක අතුරු ආබාධවලට හේතු විය හැකි බවට මැසිවිලි ද පළ වෙමින් පවතී.
අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩි බලතල ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට පැවරෙන යෝජනාවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට තිබේ.
ඉන්දියාවට, එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට අයිසීසීයේ වැඩි බලතල හිමි වන යෝජනාවක් හිටපු ක්‍රිකට් නායකයන්, හිටපු සභාපතිවරුන්, හිටපු ලේකම්වරුන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අද පැවැත්වුණු සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එය රැස්වීමට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීන්දුවක් බවද නිවේදනයේ සඳහන්. ජගත් පාලක මණ්ඩලයේ පූර්ණ සාමාජිකයකු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනට තිබෙන හිමිකම් වරප්‍රසාද ඉදිරියටත් ආරක්ෂා කර ගැනීම පිණිස හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ස්ථාවරය බව එම රැස්වීමට සහභාගි වූ පිරිසට දැනුම් දී තිබේ. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානයද මීට ඉහතදී ජගත් පාලක මණ්ඩලයේ යෝජනාවට දැඩි විරෝධය පළ කළහ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, ශ්‍රී ලංකාවේ 'වර්ග සංහාරය' ගැන පරීක්ෂණයක් අවශ්‍ය බව කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ සිදුවූ සාහසික අපරාධ ලෙසින් විග්‍රහ කළ දේ සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සෝනියා ගාන්ධි පවසන්නීය කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් ඒ බව කියා සිටි සෝනියා ගාන්ධි, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම පිලිබඳ සිය වේදනාව සහ සංවේගයද පළ කළ බව අගමැති කාර්යාලයේ නාරායනසාමි අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවයට පැවසීය. ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු දරන DMK සාමාජිකයන් පස් දෙනා ද අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වීමට නියමිත අතර, ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වන තුරු ඉවසා සිටීමට DMK පක්ෂයට අවස්ථාව තිබුණු බවයි, එම ඉල්ලා අස්වීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් අමාත්‍ය නාරායනසාමි සඳහන් කළේ. ප්‍රථම වතාව DMK මන්ත්‍රීවරුන් 18 දෙනාම කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් පාලක සභාගයට සහාය නොදීමට තීරණය කළ නමුත් සභාග ආණ්ඩුව කඩා නොවැටෙන බවයි, මුදල් අමාත්‍ය පී චිදම්බරම් කියා සිටියේ. ශ්‍රී ලංකාවේ යුද්ධයේදී වර්ග සංහාරයක් සිදුවූ බව පැවසෙන වගන්තියක් මානව හිමිකම් මණ්ඩල යෝජනාවට ඇතුලත් කළ යුතු බව කරුණානිධිගේ ප්‍රධානම ඉල්ලීමක් විදේශ ප්‍රතිපත්තිය මත පදනම් වූ කරුණක් මත මෑත ඉතිහාසයේදී ඉන්දීය ආණ්ඩුවක් කඩා වැටීමේ අනතුරට මුහුණ දුන් ප්‍රථම වතාව මෙය බව වාර්තාකරුවෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දකිමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු බව DMK නායක මුතුවේල් කරුණානිධි සභාග ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙන ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවේ ස්ථාවරයද ඔහුගේ දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මහා ජන සංහාරයක් සිදුවූ බව පැවසෙන වගන්තියක් මානව හිමිකම් මණ්ඩල යෝජනාවට ඇතුලත් කළ යුතු බව ඔහුගේ ප්‍රධානම ඉල්ලීමක්. දෙමළ ජනතා අභිලාෂයන් තම පක්ෂය කළ කිසිදු ඉල්ලීමකට පාලක කොන්ග්‍රස් පක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් පළ නොවූ හෙයින්, ඉන්දියාවේ පවතින්නේ දෙමළ ජනතා අභිලාෂයන් නියෝජනය කරන ආණ්ඩුවක් නොවන බවයි, DMK නායක කරුණානිධි චෙන්නායි නුවරදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ. දෙමළ ජනතාවගේ ගැටළු සම්පූර්ණයෙන්ම නොතකා හැරීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමය දැඩිව හෙලා දකින බව ද ඔහු පැවසීය. බලයේ රැඳී සිටීම පිණිස ඉන්දීය ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 271 ක ගේ සහාය අවශ්‍ය අතර, DMK පක්ෂය ඉවත්වීමෙන් අනතුරුවත් පාලක සභාගයට මන්ත්‍රීවරුන් 280 ක ගේ සහාය හිමිවේ. කෙසේ නමුත් පාලක සභාගය බලයේ රැඳී සිටින්නේ තවත් ප්‍රාදේශීය පක්ෂ ගණනාවක ආධාරය මත බැවින්, ඇතැම් පනත් සම්මත කර ගැනීම ආණ්ඩුවට දුෂ්කර විය හැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
2012 මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී වසීම් තාජුදීන්ගේ මෘත ශරීරය සොයා ගැනිණි වසීම් තාජුදින්ගේ මරණය ඝාතනයක් යැයි තීන්දු කළ අධිකරණය ඊට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පසුගිය මාසයේදී පොලිසියට නියම කොට තිබිණ. 2012 මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී වසීම් තාජුදීන්ගේ මෘත ශරීරය සොයා ගැනිණි. ඒ පිළිබඳ එවකට සිදු කරන ලද පරීක්ෂණ හා සම්බන්ධ තොරතුරු වසන් කොට ඇති බවට එල්ල වන චෝදනා මතයි ඉහත කී හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. තාජුදීන් ඝාතනය හා සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වදින වෙනත් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ආරම්භයේදී අපහසු කාර්යයක් වූ බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් පුහුණු කරවන තිලාන් සමරවීර පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකුවන තිලාන් සමරවීර ඒ බව කියා සිටියේ හෙට (මාර්තු 15) ආරම්භවීමට නියමිත බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට පෙර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. "අවංකව කතා කරනවානම්, ලංකාවට ආවට පස්සේ මුල් දින හත ඉතා අපහසු වුනා. ඉන් පසු තරගාවලිය ආරම්භාවුනාට පස්සේ එය ඉතා හොඳින් දරා ගත්තා" යනුවෙන් ඔහු පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තිලාන් සමරවීර ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 81 කි. 2013 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට ලකුණු48 ක සාමාන්‍යයක් සටහන් කර තිබූ ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ටෙස්ට් පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳ තිලාන් සමරවීර පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
යුද අපරාධ, මානව හිමිකම්, ජාත්‍යන්තර තහංචි, වෙළෙඳ සම්බාධක වැනි දෑ යළිත් කරළියට පැමිණ තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. යුද්ධය නිම වී දශකයක් ගතවී ඇතත් එහි අතුරු ඵල තවමත් අළු යට ගිනි පුපුරු මෙන් පවතින හැඩකි. මහකොමසාරිස්වරියගේ වාර්තාව ගැන විවිධ පාර්ශව විවිධ මත පළ කරති. ඒ අතරතුර තවත් යෝජනාවලියක් සභාගත කිරීමට නියමිතව පවතී. මේ යෝජනාවලි පිටුපස වෙනත් අරමුණක් වේ ද? ශ්‍රී ලංකාවට තහංචි දමාවි ද? හුදෙකලා වේවි ද? කොමසාරිස්වරියට එසේ කිරීමට බලයක් තිබේද ? බටහිර බලවතුන් අපට අරියාදු කරයිද ? සිංහල සහ දමිල ජනයාට අවශ්‍ය කුමක්ද? ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ලාංකිකයන් කීප දෙනෙකුගෙන් මේ පිළිබඳව විමසා බැලීමට උත්සාහ කළෙමි. රටින් බැහැරව සිටියත් ඔවුහු මෙම විෂය පථය හදාරති; නිතරම ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් ජනගත කරති. ඔවුන්ගෙන් ඇතැමෙක් වසර ගණනාවක් තිස්සේ 'ජිනීවා' ඇසුරු කරති. මානව හිමිකම් මණ්ඩලය සමඟ ගනුදෙනු කරති; අමතති. "මේකට එන ප්‍රධාන විවේචනය තමයි මානව හිමිකම් කවුන්සිලයට මේ වගේ දේවල් කරන්න බැහැ, ඒ ගොල්ලෝ කරන්න ඕනේ මානව හිමිකම් ආරක්ෂා කිරීම් විතරයි කියන එක." ජිනීවා නුවර සිටින මානව හිමිකම් ක්‍රියාධර, ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය අදහස් දැක්වීම ආරම්භ කළේ එලෙසිනි. ඔහු දශකයකට අධික කාලයක් තිස්සේ ජිනීවා හි මානව හිමිකම් මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරන්නෙකි. "ශ්‍රී ලංකාව දුර්වලයි" මම අවුරුදු 11ක් ජිනීවා කවුන්සිලය ආශ්‍රය කරලා තියෙනවා. මේ අවස්ථාවේ තමයි ශ්‍රී ලංකාව දුර්වල ම... -මානව හිමිකම් ක්‍රියාධර සුනන්ද දේශප්‍රිය "අපි දන්නවා ලෝකේ පුරාම - උතුරු කොරියාව සම්බන්ධයෙන්, සිරියාව සම්බන්ධයෙන්, යේමනය, මියන්මාරය, පලස්තීනය සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලය දිගටම මේවගේ පියවර අරගෙන තියෙනවා. ශ්‍රී ලංකාවත් පලස්තීනය සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල දී සහයෝගය දක්වල තියෙනවා. මානව හිමිකම් මණ්ඩලය කියන්නේ එක්තරා විදියකට මානව හිමිකම් පාර්ලිමේන්තුව වගේ දෙයක්. ඒ නිසා ඒකට අයිතිය තියෙනවා මේ වගේ දෙයක් කරන්න." ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් තවත් විවේචනයක් එල්ල වී තිබේ. එනම්, ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ස්වාධීන ආයතනයක් නොවන බවය. එය බටහිර රටවලින් ලැබෙන මුදල්වලින් පවත්වාගෙන යන මණ්ඩලයක් වීමත් එහි රැකියා කරන පිරිසෙන් 50%ක් පමණ බටහිර උදවිය වීමත් එම කරුණ සනාථ කිරීම සඳහා ඇතැමුන් ගෙන එන තර්කයකි. මෙම ආයතනයේ ස්වාධීනත්වයට අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මීට සති කීපයකට පෙර මා හා පැවසුවේ, ඇතැම් බටහිර රටවල් තවත් රටවල් ආක්‍රමණය කරද්දී කිසිවක් නොකර බලා සිටි මානව හිමිකම් මණ්ඩලයේ ඉතිහාසය තමන් දන්නා බවය. හදිසියේ බ්‍රිතාන්‍යයෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුම කුමක්ද? කොමසාරිස්වරියගේ 'අලුත් රතු එලිය' ගැන විදේශ අමාත්‍යවරයා පළමුවරට කතා කරයි! මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ මතය ඊට පටහැනිය. "ඒ තර්කයත් සාමාන්‍යයෙන් පිළිගන්න බැහැ. පලස්තීනය සම්බන්ධයෙන් බටහිර අදහස නොවෙයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. පලස්තීනය සම්බන්ධයෙන් ඇමරිකාවට ඕන දේ කවදාවත් ජය ගන්න බැහැ. ඇමරිකාව අයින් වුනෙත් ඒ නිසා. ඒ නිසා කවුන්සිලය බටහිර ආණ්ඩුවල රූකඩයක්ය කියන එක කරුණු අනුව සනාථ වෙලා නැහැ." "ශ්‍රී ලංකාවේ තර්කය මේ අවස්ථාවේ ඒ තරම්ම ශක්තිමත් නැහැ. මම 2009 ඉඳල අවුරුදු 11ක් ජිනීවා කවුන්සිලය ආශ්‍රය කරලා තියෙනවා. මේ අවස්ථාවේ තමයි ශ්‍රී ලංකාව ඉතාමත් ම දුර්වල ම ආරක්ෂණ ක්‍රියාවලියක් ගෙන එන්නේ." ජිනීවා හි සිට මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය තවදුරටත් පැවසීය. "අපි කළේ නිදා ගත්ත එක" ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව දඬුකඳේ ගසමින් යුද්ධයේ එක් පාර්ශ්වයකට පමණක් දඬුවම් කිරීමටයි -නීතිවේදී රිශ් උඩවත්ත රිශ් උඩවත්ත බ්‍රිතාන්‍යයේ නීතිඥවරයෙකි. ඊට අමතරව දේශපාලන ප්‍රතිපත්ති පර්යේෂකයෙකු (political policy researcher) ලෙස කටයුතු කරන ඔහු පවසන්නේ "ශ්‍රී ලංකා ආණ්ඩුව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම සාධනීය පියවරක්" ලෙස සැලකිය හැකි වුවත් ඉන් ඔබ්බට ශ්‍රි ලංකා රජය නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බවය. "අපේ උදාසීන රාජ්‍යතාන්ත්‍රිකයින් LTTE යට හිතවත් දෙමල ඩයස්පෝරාවෙන් මේ ගැන ආදර්ශයක් ගත යුතුයි. ඔවුන් ඉතා ක්‍රියාශීලීව ඔවුන්ගේ ප්‍රචාරාත්මක කටයුතු කරගෙන යනවා." "ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය පිළිබඳව මම මේවන විට දෙවතාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතල තියෙනවා. තානාපති කාර්යාල, විශේෂයෙන් මානව අයිතිවාසිකම් කවුන්සිලයේ සාමාජික රටවල් නිතර දැනුවත් නොකර, ඔවුන්ව දිනා නොගෙන මෙය ජයග්‍රහණය කල නොහැකියි. අද වෙනකන් අපි කලේ චීනෙයි රුසියාවයි ඉන්නකල් බයවෙන්න දෙයක් නෑ කියල අනිත් පැත්ත හැරිල නිදා ගත්ත එක." රිශ් ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් කියා සිටියේ රටක යුද්ධයක් නිමාවීමෙන් අනතුරුව අදාළ කර ගත යුත්තේ ජාත්‍යන්තර මානවාදී නීතිය (International Humanitarian Law) මිස අන්තර්ජාතික මානව අයිතිවාසිකම් නීතිය නොවන බවය. "නමුත් ශ්‍රී ලංකාවට මේ නිර්දේශ ගෙන එන්නෙ වැරදි නෛතික මූලධර්ම මත පිහිටල. එම කටයුත්තම වැරදියි. ශ්‍රී ලංකා රජය මෙවැනි කාරණා රාජය තාන්ත්‍රික මට්ටමෙන් ප්‍රශ්න කරන්නෙ නෑ." දේශපාලන රැකවරණ "මේ සඳහා සැබෑ උත්සාහයක් බටහිර රටවල්වලට ගන්නට අවශ්‍ය වෙලා තිබුණා නම් ඔවුන් කළ යුතු වන්නේ යුද්ධයේ LTTE පාර්ශවයට යම්කිසි ආකාරයක හෝ දායකත්වයක් දුන් උදවියට හෝ සංවිධානවලට දේශපාලන රැකවරණ ලබා නොදී ඔවුන් කළ අපරාධවලටත් දඬුවම් ලබා දීමයි." නීතිඥ උඩවත්ත තර්ක කළේය. මානව හිමිකම් මණ්ඩලය විසින් පිළිගෙන ඇති සංඛ්‍යා ලේඛන පිළිබඳව ප්‍රශ්න කරමින් ඔහු කියා සිටියේ එම දත්තවල විශ්වසනීයත්වය පිළිබඳව සැකයක් පවතින බවය. "බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදයේ එවකට සිටි තානාපති නිලධාරීන් තමන්ගේ වාර්තා මගින් දක්වා තිබෙනවා, යුද්ධයේදී මියගිය ගණන හත්දහස් හාරසීයක් පමණයි කියල. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් තිබෙන බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැක්වූ වාර්තා වල කියවෙන්නේ, ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව යුද්ධයෙන් මියගිය ගණන හතළිස්දාහක් කියල. නමුත් මේ හතලිස්දාහෙන් කීදෙනෙක් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ අයද සිවිල් පුරවැසියන් කී දෙනෙක් ඉන්නවද වගේ තොරතුරු දකවන්න මේ කියන විශ්වාසනීය තොරතුරු සපයන්නන් සමත් වෙලා නැහැ . ඒ අතරම collateral damage එක මගින් කී දෙනෙක් මිය ගියාද යන්න දැක්වීම්ට අපොහොසත් වෙලා තියෙනවා." බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කීපයක් එක්වී ශ්‍රී ලංකාව පිළිබඳව තවත් යෝජනාවලියක් ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය අදහස විමසු විට නීතිඥ උඩවත්ත දැක්වුයේ මෙවැනි අදහසකි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය "එක්සත් රාජධානිය කාලයක් යටත් විජිතයක් හැටියට ශ්‍රී ලංකාවේ මානව අයිතිවාකම් උල්ලංඝනය කළා. එම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීමට කාල වකවානුවක් නැහැ. එමනිසා මුලින්ම විමර්ශනය කළ යුත්තේ අප රට යටත් විජිතයක්ව පවතිද්දී ඔවුන් විසින් සිදු කරනු ලැබූ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳවයි. මෙවැනි කාරණා ප්‍රශ්ණ කළ යුතුයි" "අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පිරී පවතින්නේ අනෙක් රටවලින් කොල්ල කන ලද කෞතුක භාණ්ඩවලින්. ඒ විතරක් නෙමෙයි අපගේ ග්‍රාමීය ඉඩම්වලින් ගැමියන් ඉවත් කර එම ඉඩම් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පාවිච්චි කළා. ඒ ගැන ඔවුන් අදටත් සමාව අයැදීමක් සිදු නොකර අප රටේ සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් කියන දේවල් මත විමර්ශණ සිදුකිරීමට ඉල්ලීම ඉතාමත් කනගාටුවට කරුණක්." බ්‍රිතාන්‍යයේ පදිංචි, නීතිඥ රිශ් උඩවත්ත පැවසීය. ශ්‍රී ලංකාව මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ මුහුණ දී සිටින ප්‍රශ්නය පිළිබඳව ක්‍රියාශීලීව සිටින්නේ සිංහල ඩයස්පෝරාව පමණක් නොවේ. දමිල ඩයස්පෝරාව ද මේ පිළිබඳව නිරන්තරයෙන් හඬ නගති. යෝජනාවලිය සම්මත වුනත් නැතත්, වැරදි නිවැරදි නොකලොත් අරගල දිගටම ඇතිවෙනවා. ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වෙනවා -ගෝලීය දෙමල සංසදයේ සුරේන් සුරෙන්දිරන් මේ පිළිබඳව ගෝලීය දෙමල සංසදයේ (Global Tamil Forum) අදහස විමසු විට ඔවුන් කියා සිටියේ යුද්ධයෙන් පසුව මේ වනවිට යෝජනාවලි හතක් ඉදිරිපත් වී ඇති අතර ඉන් අවසාන යෝජනාවලි තුනම ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ එකඟත්වය ඇතිව බවය. "යුද අපරාධ" "මානව හිමිකම් අසමත්වීම්, වෙනස්කොට සැලකීම්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ භාවිතයන්ට නොගැලපෙන නීති, ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීම් සහ ඒ හැමදේටම වඩා යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යන කාරනා ඉහත කී සෑම යෝජනාවලියකම ඉස්මතු කොට තිබුණා." ගෝලීය දෙමල සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් ප්‍රකාශ කළේය. "යෝජනාවලි සම්මත වුනත් නැතත්, වැරදි නිවැරදි නොකලොත් හෝ එසේ කිරීමට සැබෑ උත්සාහයක් හා ප්‍රගතියක් පෙන්වන්නේ නැතිනම් වින්දිතයන් හා වින්දිත ප්‍රජාව පීඩා විඳිනවා. වින්දිතයන්ට යුක්තිය ඉටු කරන තුරු දේශපාලනික ස්ථාවරභාවය ළඟා කරගැනීමට නොහැකි වෙනවා; අරගල දිගටම ඇතිවෙනවා. ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වෙනවා. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් පසුබට වෙනවා. ආර්ථිකය ඇද වැටෙනවා. රටේ භාණ්ඩ හා සේවා හිඟ වන අතර විරැකියාව සහ මිලගණන් ඉහළ යාම ඇතිවෙනවා." ඔහු තවදුරටත් කියා සිටියේ "පරිනත හා ප්‍රගතිශීලි රටක් ලෙස මේ යෝජනා සමඟ ගනුදෙනු කරනවා වෙනුවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ව්‍යාජ කතාවක් (narrative) නිර්මාණය කරමින්" සිටින බවය. "මේ යෝජනාවලියෙන් රටේ ස්වෛරීභාවයට පීඩා පමුණුවනවා කියල, ජාත්‍යන්තර ප්‍රජාව, විශේෂයෙන්ම මේ බටහිර බලවතුන් ලංකාවට සහ රණවිරුවන්ට පීඩා කරනවා කියල." නව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසම හරහා සිදු කෙරෙන සමාලෝචන අනුව දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කිරීමට තමන් එකඟ නොවන්නේදැයි විමසු විට ගෝලීය දෙමල සංසදයේ ප්‍රකාශකයා මෙසේ පැවසීය. "තවත් කොමිසමක්" "යුද්ධය අවසන් වූ දා පටන් මේ දක්වා අඩු තරමින් කොමිසම් තුනක්වත් පත් කරලා තියෙනවා. මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව 46වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට සති හතරකට පමණ කලින් තවත් කොමිසමක් පත් කළා. මේ කියන කොමිසම පත් කරන්නේ, මීට පෙර පත්කෙරුණු කොමිසම් මගින් - මානව හිමිකම් කවුන්සිලය හඳුනාගෙන ඇති ප්‍රධාන කාරනා ආමන්ත්‍රණය කිරීමකින් තොරව - සිදු කර ඇති නිර්දේශ නැවත සමාලෝචනය කිරීමටයි. කොමිසමක් ලෙසින් හඳුන්වන මේ වගේ සිනහ උපදවන, කූට දෙයක් රටවල් එකතුවෙලා පිහිටුවාගත් යුක්තිගරුක ආයතනයක් පිළිගනීවිද? යුද අපරාධ යැයි චෝදනා එල්ල වී ඇති ඇතැම් ක්‍රියා සඳහා අණදීමේ වගකීම් වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මත එවකට පැවරී තිබියදී වින්දිතයන් කොහොමද ඔවුන්ගෙන්ම යුක්තිය බලාපොරොත්තු වෙන්නේ?" යුද්ධය නිමවී දශකයක් අවෑමෙන් රටේ සංහිඳියාව වෙනුවෙන් තමන් යෝජනා කර සිටින්නේ කුමක්දැයි යන පැනයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ "ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව යුක්තිගරුක බැවින් රටේ සෑම මිනිසෙකුටම සාක්ෂි සහිතව සත්‍යය පැවසිය යුතු" බවය. "අතීතය සමඟ ගනුදෙනු කළේ කොහොමද කියල ජනතාවට තේරුම්ගන්න පුළුවන් විදියට විනිවිදභාවයකින් යුක්ත ක්‍රියාදාමයක් ස්ථිර විසඳුම් සහිතව ඇති කළොත් තමයි එකිනෙකාට ගරු කරන සාමකාමී සමාජයක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම වුනොත් විතරයි සාමකාමී, සෞභාග්‍යමත් රටක් ඇතිවෙන්නේ. මම විශ්වාස කරන්නේ, සෑම මනුෂ්‍යයෙකුම සමාන ලෙස සැලකෙන පරිදි ජීවත් වෙන්න පුළුවන් වුනොත් හැම ප්‍රජාවක් අතරම ස්ථිර සංහිඳියාවක් ඇති කර ගන්න පුළුවන් කියල." ගෝලීය දෙමල සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් සාකච්ඡාව නිමා කරමින් පැවසීය. අපිට ඊලම් ඕනෙ නෑ. සිංහල මිනිහටත් යාපනේ ජීවත්වෙන්න පුලුවන් වෙන්න ඕනෙ . එතකොටයි මේ රටට ඉස්සරහට යන්න පුලුවන් -ඇනස්ලි රත්නසිංහම් ඇනස්ලි රත්නසිංහම් මේ වනවිට ජීවත් වන්නේ ජර්මනියේ ය. ඔහු සෞඛ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කළේය. උපන්නේ යාපනයේ ය. තිස් වසරක යුද්ධයේ අමිහිරි අත්දැකීම්වලින් සපිරි තම ජීවිතයේ අතීත මතකය ඔහු ආවර්ජනය කළේය. සිංහල, දෙමල, මුස්ලිම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සියලු දෙනාම යුද්ධයේ වින්දිතයන් වූ බව ඔහුගේ මතයයි. "මා ශ්‍රී ලාංකිකයෙක්. දැන් ජීවත් වෙන්නෙ ජර්මනියෙ. 2009 අවුරුද්ද ශ්‍රී ලාංකික අපිට අතිශය වැදගත් වෙන්නෙ අවුරුදු තිහක් අත්වින්ද කුරිරු යුද්ධය අවසන් වීම නිසා. මේ යුද්ධයේ කුරිරු පල විපාක මම තරුණයෙක් ලෙස යාපනයේ ජීවත් වෙද්දී අත්වින්ද." ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ගෙන එන යෝජනාවලි පිළිබඳව ඔහු දරන්නේ වෙනස් මතයකි. බටහිර රටවල ජීවත්වන දෙමල ජනතාවගේ ඡන්දය තමන්ට ලබා ගැනීම සඳහා එම රටවල දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය පිළිබඳව වැඩි උනන්දුවකින් කටයුතු කරන බව ඇනස්ලිගේ අදහසය. "දෙමල වීම නිසාම ප්‍රශ්න නෑ" "මේ ජිනීවා වල වන්නෙ පලි ගැනීමක්. තමන්ට දෙමල ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය නිසා බටහිර දේශපාලනඥයෝ සිරියාවෙ, යේමනයේ වගේ ප්‍රශ්ණ අමතක කරල ලංකාව කොනකට ඇදල දාන්න හදනව. ඒ අතරම මේ සඳහා උදව් කරන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයො පිරිසකුත් සිටිනව. මේ අයට විරුද්ධව අපි ජාති භේදයෙන් තොරව එක් විය යුතුයි." ඔහු ප්‍රකාශ කළේය. "ශ්‍රී ලංකාවෙ ජීවත්වෙන මිනිස්සුන්ට දෙමල වීම නිසාම ප්‍රශ්න නෑ. යම්කිසි දෙමල මිනිහෙක්ට තිබෙන ප්‍රශ්ණයක් සිංහල හෝ මුස්ලිම් මිනිහෙකුටත් ඒ ආකාරයෙන්ම තියෙනව. ලංකාවෙ දෙමල දේශපාලකයො මේ ප්‍රශ්න වලට වැරදි අර්ථකථන දෙනව. නමුත් ඔවුන් මේ ප්‍රශ්ණ නිරාකරණය කරන්න කිසිම උනන්දුවක් දක්වන්නෙ නෑ." "යුද්ධයෙන් ඕනෑම කෙනෙක් වින්දිතයෙක් වෙන්න පුලුවන්." ඇනස්ලි රත්නසිංහම් පැවසීය. "දෙමල මිනිස්සුන්ට සුලු ජාතියක් හැටියට ලංකාවෙ ඕනෑම තැනක ජීවත් වෙන්න හැකියාව තිබුණත් අපි කුඩා කාලයෙ යාපනයේ ජීවත් වුන සිංහල මිනිස්සුන්ට ඒ වරප්‍රසාදය අදටත් ලැබිලා නැහැ. ඔවුන්ගෙ මධ්‍ය මහා විද්‍යාලය විනාශ කරල දැම්මෙ, ඔවුන්ගේ සුසාන භූමිය ක්‍රිකට් ක්‍රීඩාංගනයක් කළේ අපි කුඩා කාලයේදි." ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව ගොඩනගා ගැනීම සඳහා සිදුවිය යුත්තේ කුමක්දැයි විමසු විට ඇනස්ලි තම මතය තවදුරටත් පැහැදිලි කළේය. "අපිට ඊලම් ඕනෙ නෑ" "මේ සියලු ප්‍රශ්න දේශීය යාන්ත්‍රණයකින් විසඳන්න අවශ්‍යයි. නමුත් මේ එල්ටීටීඊයට හිතවත් ඩයපෝරාව කරන්නෙ වැරදි තොරතුරු උපයෝගී කරගෙන මිනිසුන් අතර වෛරය ව්‍යාප්ත කිරීමයි. අද වෙනකන් රටේ මධ්‍යම ආණ්ඩුව කරපු දේවල් හැරෙන්න මේ දෙමල දේශපාලකයො වැසිකිලියක් වත් මිනිස්සුන්ට හදා දීල නෑ. අපි මේ රටේ එකට ඉන්න ඕනෙ. අපිට ඊලම් ඕනෙ නෑ. සිංහල මිනිහටත් යාපනේ ජීවත්වෙන්න පුලුවන් වෙන්න ඕනෙ. එතකොටයි මේ රටට ඉස්සරහට යන්න පුලුවන්." "තානාපති කාර්‍යාල හරහා මේ ගෙනයන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු බඳින්න ඕනෙ. නමුත් එහෙම දේවල් වෙනව අඩුයි. මේ සදහා රජයේ මැදිහත් වීම අඩුයි. අද මේ ලංකාවේ ප්‍රශ්ණ ගැන බටහිර සිට කතා කරන අය තමන්ගෙ ළමයින් යුද්ධයකට යවන්නෙ නෑ . ලංකාවේ මිනිස්සු වින්ද දුක ඔවුන්ට අදාළත් නෑ." ජර්මනියේ පදිංචි ඇනස්ලි රත්නසිංහම් ප්‍රකාශ කළේය. මේක හැමදාම ලංකාවට එරෙහි කවුන්සිලයක්ද? කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව කෙරෙහි ද්වේශසහගතව කටයුතු කරන බවට ඇතැමුන් තුළ පවතින ආකල්පය පිළිබඳව විමසූ විට ජිනීවා හි සිටින මානව හිමිකම් ක්‍රියාධර සුනන්ද දේශප්‍රිය එම මතය ප්‍රතික්ෂේප කළේය. "2009 දී ශ්‍රී ලංකාවට පක්ෂව යෝජනාවලියක් සම්මත වුණේ මේ කවුන්සිලයේ දී. දයාන් ජයතිලක තානාපති වශයෙන් හිටි අවස්ථාවේ දී යුද්ධය ජයග්‍රහණය කිරීම වර්ණනා කරලා යෝජනාවක් සම්මත වුණා. එතකොට කියන්න බැහැ මේක හැමදාම ලංකාවට එරෙහිව හිටිය කවුන්සිලයක් කියල. එදා හරි නම් පස්සේ වැරදියි කියන්න බැහැ." "ලංකාව සම්බන්ධයෙන් විතරක් නොවෙයි ඇමරිකාව ගැන පවා මේ කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවන් අතිශය විවේචනාත්මක වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් ම රොබෝ තාක්ෂණය යොදා ගනිමින් යුද්ධයට යාමට ගන්නා උත්සාහයේ දී. ග්වන්තනමෝ සිර කඳවුර ගැන විවේචන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව ඉතාම ශක්තිමත් යෝජනාවලියක් ඒකමතිකව සම්මත වුණා. චීනය රුසියාව, වෙනිසුවේලාව වගේ රටවල් පවා ඒකට විරුද්ධවුනේ නැහැ." ඔහු පැවසීය. "සියලු ජනතාවගේ නාමයෙන්" එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පිළිබඳව ගෝලීය දෙමල සංසදයේ (GTF) ආකල්පය එහි ප්‍රකාශකවරයා විස්තර කළේ මේ ආකාරයටය. "එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කියන්නේ, සෑම මනුෂ්‍යයෙකුගේම මානව හිමිකම් වලට ගරු කරන, උපද්‍රව රහිත සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් එක්වී පිහිටුවාගෙන ඇති ආයතනයක්." "ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ නාමයෙන්, දැනට හඳුනාගෙන ඇති ප්‍රශ්න විසඳන්නට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ වෙනවනම් ඉහත කී හැම දෙයක්ම විසඳා ගැනීමට එක්සත් ජාතීන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව උදව් කරාවි. එතකොට ඒ ප්‍රතිවිපාක තුරන් වේවි, එහි බලපෑම අවම වේවි." ගෝලීය දෙමල සංසදයේ (GTF) සුරේන් සුරෙන්දිරන් ප්‍රකාශ කළේය. "ශ්‍රී ලංකාව දඬුකඳේ ගසමින්.." නමුත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය පිළිබඳව තමන් දරන මතය ඊට වඩා වෙනස් බව බ්‍රිතාන්‍යයේ නීතිවේදී රිශ් උඩවත්ත පවසයි. "ශ්‍රී ලංකාවට වඩා මානව අයිතිවාසිකම් අතිශයින් උල්ලංඝනය වෙලා තිබෙන රටවල් දක්නට ලැබුණත් මේ කවුන්සිලය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය දෙස පමණක් දැඩි උනන්දුවකින් බලන බවක් පේනවා. උතුරට වෙලා සිටි ජනතාව දැන් දකුණට එන්නට පටන් අරගෙන තිබෙනවා. සිංහල මිනිසුන් අතර උතුරේ දෙමළ මිනිස්සු මුසු වෙන්න පටන් අරන්. නමුත් මේ කිසිවක් මානව හිමිකම් මණ්ඩලය විසින් ගණන් ගන්නා බවක් හෝ තේරුම් ගන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැහැ." "ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව දඬුකඳේ ගසමින් යුද්ධයේ එක් පාර්ශ්වයකට පමණක් දඬුවම් කිරීමටයි. මේ මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරන අය මේවා ඉදිරිපත් කරන්නෙ සමබර තොරතුරු පදනම් කරගෙන නොවෙයි; ඉතාමත් පක්ෂග්‍රාහී තොරතුරු පදනම් කරගෙනෙයි." ඔහු පැවසීය. කෙසේ වෙතත්, "මෙය රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක්" වන බවත් එය විසඳාගත යුත්තේ "රාජ්‍යතාන්ත්‍රිකව මිස ශ්‍රී ලාංකික දේශපාලන වේදිකාව මත නොවන" බවත් නීතිවේදී රිශ් උඩවත්ත අවධාරණය කළේය.
පසුගිය සඳුදා ජපානයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් අපූරු සාදයක් පැවැත්විය.
"මම කැමතියි ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න" - සතොරු අන්සාකි සතොරු අන්සාකි (Satoru Anzaki) නම් ඔහු මෙම සාදයට ඔහුගේ මිතුරන්, පාසල් සමයේ මිතුරන්, ව්‍යාපාර හවුල්කරුවන් සහ සේවකයින් ඇතුළු 1000 කට ආසන්න අමුත්තන් පිරිසකට ආරාධනා කර තිබුණි. මාරක පිළිකා රෝගයකින් පීඩා විඳින ඔහු සිය මරණයට පෙර විශාල පිරිසක් කැඳවා එවැනි සාදයක් පැවැත්වූයේ සිය ජීවිත ගමනේ දී හමුවූ සියලු දෙනාටම ස්තුති කිරීමට සහ සිය ආචාරය පුද කර සිටීමටය. යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන කොමට්සු (Komatsu) සමාගමේ හිටපු සභාපතිවරයා වන අන්සාකි මේ වන විට 80 වැනි වියේ පසුවෙයි. පසුගිය ඔක්තෝබර් මස ඔහුගේ පිත්තාශයේ පිළිකාවක් වර්ධනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. "මගේ ජීවිතයේ හමුවූ මිනිසුන්ට 'ස්තුතියි' කීමට ලැබීම ගැන මට සතුටුයි," විශේෂ සාදය අවසන් වූ පසු ඔහු වාර්තා කරුවන්ට පවසා සිටියේය. "මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබෙන පොඩි කාලය ඇතුළත, මම කැමතියි ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න. ඒ නිසා මම තීරණය කළා අතුරු ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර නවත්වන්න." අන්සාකි මෙම සුපිරි සාදය ගැන පළමුවෙන්ම ඉඟි පළ කළේ පසුගිය නොවැම්බර් 20 වෙනි දිනය. ඔහුගේ මෙම වෙනස් අදහස සහ නොබියව මරණයට මුහුණ දීමේ ශක්තිය ගැන බොහෝ දෙනා ප්‍රසාදය පළ කළහ. මෙම සාදයට ලැබෙන ආරාධනා පත්‍රය කෙසේ නිම විය යුතු ද යන්න පිළිබඳව නොයෙක් සරදම් සහ රස කතා පැතිර ගියේය. සාදය සඳහා විශේෂයෙන් බද්දට ගත් ටෝකියෝ නුවර පිහිටි හෝටලය අන්සාකිගේ ජීවිත ගමනේ මතක සටහන් වලින් සරසා තිබිණි. මෙහි පැමිණි අමුත්තන් විශ්මයට පත්කරමින් ඔහු තම නිවස පිහිටි ටොකුෂිමා (Tokushima) ප්‍රදේශයෙන් නර්තන කණ්ඩාමයක් ද සහභාගි කර ගත්තේය. පැමිණ සිටි බොහෝ දෙනාට අතට අත දී ඔහු සිය හද පිරි ආචාරය පුද කළ බවත් ජපාන මාධ්‍යය වාර්තා කර තිබේ. "ඒක බොහොම විනෝදජනක උත්සවයක්" එයට සහභාගී වූ අමුත්තෙක් පැවසීය. "මමත් අසනීපයකින් දුක් විඳිනවා. මේ සාදය නිසා මට ජීවිතයේ ඉතුරු ටික ගෙවන හැටි හිතාගන්න පුළුවන්," ඒ අමුත්තා වැඩිදුරටත් පැවසීය.
ගෝත්‍රික නායකයන්ගේ නියෝගය මත තමන් සමූහ දූෂණයට ලක් වූ බවට චෝදනා කරන කාන්තාවගේ පවුලේ සාමාජිකයන්ට පොලිස් ආරක්ෂාව සපයන ලද බව ඉන්දීය බලධාරීහු පවසති.
සිදුවීම සම්බන්ධයෙන් සැක පිට දහ තුන් දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ බලධාරීන් ඉහත කී තීන්දුවට එළැඹි තිබෙන්නේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ එම කාන්තාව වාසය කරන ගම්මානයේ බොහෝ දෙනා ඇය දූෂණයට ලක් වූ බවට නගන චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි. වෙනත් කුලයකට අයත් පුරුෂයකු සමඟ තමන් පැවැත් වූ ප්‍රේම සම්බන්ධතාවයට එරෙහි වූ ගම්මානයේ වැඩිහිටියන් ඇය දූෂණය කරන මෙන් නියෝග කිරීමෙන් අනතුරුව තමන් සමූහ දූෂණයට ලක් කෙරුණු බවයි, එම තරුණ කාන්තාව පවසන්නේ. අසල්වැසි ගමක වෙසෙන ඇගේ පෙම්වතාගේ පවුලටද ආරක්ෂාව සපයා තිබේ. සිදුවීම සම්බන්ධයෙන් සැක පිට දහ තුන් දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.
කැසිනෝ සඳහා බදු සහන ලබා දීමට ආණ්ඩුව ගෙන එන පනත පිළිබඳ පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වන්නේ නම් පරාජය කළ හැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා එසේ කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙම කැසිනෝ ශාලා වසා දමන බව ද ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ ය. නමුත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ රජය කිසිදු අයුරකින් සූදු මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් නො කරන අතර අගනුවර අවිධිමත් ව පවත්වා ගෙන යන සූදු මධ්‍යස්ථාන, හඳුනා ගත් එක් කලාපයකට ඒකරාශී කරන බවයි. කෙසේ නමුත් ආණ්ඩුවේ පාර්ශව කරුවකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කල බව එහි මහලේකම් හසන් අලි මන්ත්‍රී වරයා පැවසීය.
අනේකවිධ දුක් කම්කටොළුවලින් පිරී තිබුණ ඇයගේ දිවිමග තවමත් සිය "සිහිනයේ" නතර වී නොමැත. අසීමිත බාධක මධ්‍යයේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ තිස්දෙහැවිදිරි ඇය වර්තමානයේ දී යුරෝපා රටක රැකියාවක නිරත වෙමින් සිටින්නීය. දුෂ්කරතා මධ්‍යයේ දිවිමග "ජයග්‍රහණය" කරා යොමු කළ ඇය සඳමාලි දිසානායක නමින් හඳුන්වන ලෙස ඉල්ලා සිටියාය.
ඇය බීබීසී සිංහල සේවයට හෙළි කළ කතාවයි, මේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක ඉපිද හැදී වැඩුණු සඳමාලිට සිටියේ මව පමණි. පියාගේ සෙනෙහස කිසිදිනෙක නොලැබුණු ඇයට මවගේ ආදරය ද නොලැබුණු තරම්ය. "මට හිටියේ දරදඬු අම්මා කෙනෙක්. අසීමිත බැණුම්, ගුටි කෑම් මැද්දේ පොඩි කාලයේ ජීවිතේ ගෙවුණේ එක ගෙවල්වල. අම්මට කුලී වැඩ නැති දවස් ගණන් ගෙවෙද්දි කොහිල අල ටිකකින්, මඤ්ඤොක්කා අල ටිකකින්, තම්බපු බඩ ඉරිඟු කරල් දෙක තුනකින්, වරක මදුල් ටිකකින්, කොස් ඇට ටිකකින්, බැදපු ඉරිඟු ඇට සෝයා ඇට ටිකකින් ගෙවපු දවස් ඕනෑ තරම්," සඳමාලි සිය කතාව ආරම්භ කරමින් පැවසුවාය. "ඒ 1995 අවුරුද්ද. මට වයස අවුරුදු අටයි; මල්ලිට අවුරුදු තුනයි. අම්මට අපිට කන්න දෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ගමේ කුලී වැඩ හැමදාම නෑ. මාවයි මල්ලිවයි කාට හරි භාරදීලා අට වසරෙ හිටපු අක්කව ඉස්කෝලෙන් අස්කරගෙන අම්මා කොළඹ යන්න තීරණය කරල තිබුණා ගෘහ සේවිකාවක් විදියට. අපේ ගෙදරට කිලෝමීටර් දෙකක් විතර ඈතින් නෑදෑ කෙනෙකුගේ මැටි පැලක අපිව නැවැත්තුවා. ඒ කාලෙ ඒ පැත්ත මහ කැළේ. ගෙයක් තිබුණේ කළාතුරකින්. ඒකත් දුරින් දුරට. කරන්ට් අරන් තිබුණෙත් නැහැ. ඒ නෑදෑ ගෙදර එකම වධකාගාරයක් විදියට දැණුනත් ඒ වයසට එතනින් පිටමං වෙන්න මම දැනං හිටියේ නැහැ. මාමා කුලී වැඩට ගිහින් හැමදාම හවසට ගෙදර එන්නෙ වැනි වැනී. ඒ ඇවිත් නැන්දට වධ දෙනවා. ගෙදර වළන් මුට්ටි උයපු කෑමත් එක්කම අහසට ඉගිළෙනවා. නැන්දගෙ රෙදි දාපු පොහොර උරේ එළියට අරන් ගිහින් ගිණි තියනවා මිදුල මැදට රෙදි ටික හලලා. මාමා බීගෙන එනව ඈතින් දකිද්දිම නැන්දා කරන්නෙ ඉක්මනට මල්ලිවයි මාවයි කොහෙ හරි තැනක හංගනවා. එයත් හැංගෙනවා. පරක්කු වුණ දාට සෑහෙන්න ගුටි කන්න වෙනවා. මාමගෙ යුද්ධෙ පැයකින් දෙකකින් ඉවර වුණාම එයා ගේ මැද්දෙ වමනෙ ගොඩක් දාලා ගොරව නිදා ගන්නවා. සේරම නිහඬ වෙලා සන්සුන් උනාම මායි මල්ලියි හෙමින් එළියට ඇදෙනවා. එතන හැමදාම රණ්ඩු නිසා නැන්දා මට කියල ලියවපු ලිපියක් අම්මට යැව්වා. අම්ම ඇවිත් අපි දෙන්නව එතනින් අර ගත්තා. එහෙ ඉද්දි මං ඉස්කෝලෙ ගියෙත් අතරින් පතර. අපේ ගෙදර ඉඳන් ඉස්කෝලේ යන්න මම හරි කැමතියි. ඒ පාර දිගේ යනකොට උදේ පාන්දර පින්න වැටිල කුඹුරු වල ගොයම් පැළ යායට දිළිසෙනවා. ඒ මැද්දෙන් උඩහ කඳු පන්තියට උඩින් සෞම්‍ය ඉරක් පායගෙන එනවා. ඇළේ වතුර පිරිලා ඉවුරුවල තියෙන තණකොළ අස්සෙන් පොළොවෙ වැළි පෙනෙද්දි ඒ මැද්දට පැනල කකුල් තෙමාගන්න එන ආසාව දරාගන්නෙ හරි අමාරුවෙන්. සඳමාලි සහ ඇගේ බාල සොහොයුරා පාර දෙපැත්තෙ පාට හිඟුරු මල් පිපිලා. ඉඳහිට ඒ අතරින් ලස්සනම නියඟලා මලුත් පිපිලා. රෑන් එකතුවෙලා මොනවා හරි කියව යන ගමේ අනිත් ළමයින්ට ඉස්සරවෙලා යන්න ඇරල මං හෙමින් වට පිට බල පින්න අතේ තැවරෙන්න ගස් කොළන් අල්ල හෙමින් යනවා. අනිත් හැම ළමයගෙම කරේ පොත් ටිකයි කෑම පෙට්ටියයි වතුර බෝතලේකුයි එක්ක පොත් බෑග් එක එල්ලුනාට මගෙ කරේ එල්ලුනේ පොත් ටිකේ බර විතරයි." 4 ශ්‍රේණියේ දී සඳමාලිගේ මව ඇය පාසලෙන් ඉවත් කරගෙන මොරටුවේ නිවසක රැකියාවකට යොදා ඇත. "අම්මට අපිව ජීවත් කරවන්න විදියක් ගමේ තිබුණේ නෑ. මල්ලිව ලොකු අම්මගෙ ගෙදරට භාර දීලා මාව ඉස්කෝලෙන් අස්කරන් කොළඹ අරන් ගියා. අම්මා වැඩ කළේ වැල්ලවත්තෙ ගෙදරක. මාවත් අරන් ගියේ එහෙට. කොළඹ දැකලම තිබුණේ නැහැ ඒ වෙද්දි. බස් එකේ ජනේලයෙන් එළියට මුහුණ දාගෙන හරි පුදුමෙන් එක ළඟ හැදුණු විශාල ගොඩනැගිලි, තට්ටු ගෙවල් දිහා බලන් හිටියා. "දැක්කද ? කොළඹ කාක්කන්ගෙ බෙල්ල සුදුයි." "අම්මා මට කාක්කො රංචුවක් පෙන්නලා අළුත් දෙයක් කියල දුන්නා. ගමේදි දකින කළුම කළු කාක්කන්ට වඩා මෙයාලගෙ බෙල්ල වෙනස්. අළුපාටට හුරු රෝම තියෙන්නෙ. මං කොළඹ ගිය පළවෙනි වතාවෙ මුලින්ම ඉගෙන ගත්ත පාඩම ඒක. අම්මා වැඩ කරපු ගෙදරට මාව අරන් යද්දි මගෙ මානසිකත්වය කොයි වගේද කියල පැහැදිලි මතකයක් නෑ. එච්චර ලොකු ගෙදරක් මං ජීවිතේ පළවෙනි වතාවට ඒ දැක්කෙ. ඒත් හුඟක් දවස් ඒ ගෙදර මාව තියාගත්තෙ නෑ. ඒ මැඩම්ගෙ දුව බැඳල හිටියෙ මොරටුවෙන්. එහෙ ඉන්න පොඩි බබාගේ තනියට මාව මොරටුවට ගෙනිච්චා." කෙසේනමුත්, මෙම ස්ථානයෙන් සඳමාලිව පරිවාස භාරයට ගෙන තිබිණි. ඉන් පසු ඇය අනුරාධපුරේ අවන්තිදේවි ළමා නිවාසයට යොමු කෙරිණ. "ළමා නිවාසෙ ඉඳන් ආයෙමත් 4 වසරට කේ.බී රත්නායක විදුහලට ඇතුළත් කෙරුණා. විභාග අතපසු වෙලා තිබුණ නිසා 4 වසරේ තව අවුරුද්දක් මට ඉන්න වුණා. හැබැයි එදා ඉඳන් දැඩි අධිෂ්ඨානයකින් ඉගෙනීම් කටයුතු කළ මම හැම අවුරුද්දකම, හැම වාරෙකම පන්තියේ පළවෙනියා වුණා. අම්මා මාව බලන්න ඒවි කියලා හැම ඉස්කෝලෙ නිවාඩුවටම ළමා නිවාසේ ගේට්ටුවේ එල්ලිලා තහනම් වෙච්ච එළිමහන් පාර දිහා ඇස් රිදෙනකම් බලා හිටියා." වසර තුනකින් පසු ළමා නිවාසයේ ළමුන් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් භාරකාරයින් සිටින දරුවන් නිවාසයෙන් ඉවත් කෙරිණ. සඳමාලිගේ පවුලේ කටුමැටි නිවස "මම ඒ වෙලාවේ ගෙදර යන්න බෑ කියලා සෑහෙන්න අඬුවා. ආයේ මම දරුණු විදිහට දුක් විඳින ජීවිතයට වැටුණා. ඒ අතරෙ අම්මගේ වද දීම් ඉවසන්න බැරිම තැන කණේරු ඇට කාලා ඉස්පිරිතාලෙ සෑහෙන කාලයක් අසිහියෙන් හිටියා. අපි හිටියේ අඩි දහයක් දිග අඩි දහයක් පළල පුංචි කටුමැටි ගෙදරක. වැස්සට ගේ ඇතුළෙ මඩ වෙනවා. මේස පුටු කිසිදෙයක් තිබුණේ නැහැ ඉඳගන්න. නිදියන්න සේරටම තිබුණේ මැටි පිළ. කුප්පි ලාම්පුවෙන් පාඩම් කළේ." මව කොළඹ රැකියාවෙන් නිවාඩු ගෙන සෑම මසකම අනුරාධපුරයට පැමිණි දින දෙක තුන හැර අන් කාලය සිය කුඩා සොහොයුරා සමග කැලෑ බඳ ප්‍රදේශයක පිහිටි නිවසේ ගත කිරීමට සඳමාලිට සිදු විය. ඇයට වයස අවුරුදු දොළහේ සිට තනිව ආහාර පිසගෙන ආහාරයට ගෙන පාසල් යෑමට සිදුවිය. "කන්න දෙයක් ගෙදර නැතිම තැන හන්දියේ බේකරියෙන් කුණු ගොඩට විසිකරපු පුස් කාල කුණුවෙච්ච පාන් අහුලන් ඇවිත් කුණුවෙලා ඇලෙන මදේ විසිකරලා දංකුඩ හරිය නිකම්ම ගිලදාල වතුර එකකින් වේල් පිරිමහගන්නවා," ඇය පැවසුවාය. "මං හරිම ආසයි දෙසැම්බර් මාසයේ අන්තිම කාලයට. අළුත් පාසල් වාරය පටන් ගන්න දවස් දෙක තුනක් තියල අම්මා මාවයි මල්ලිවයි අරන් ගමේ ටවුමට යනවා. ඒ කාලෙ මුළු ටවුමටම තිබුණේ එක පොත් සාප්පුවයි. ඒකෙන් අළුතින් එක්සයිස් පොත් ටික තෝරන වැඩේට මම පුදුම ආසයි. හත අට වසරවලින් පස්සෙ අම්ම බොහෝ වෙලාවට මට අරන් දෙන්නෙ පිටු 400 පොත්. ඒත් සිංහලයි ගණිතෙටයි ඇරෙන්න අනිත් විෂයන් වලට පිටු 400 එපා කියල මං අම්මට කියනවා. "ගන්න එකක් එක සැරේ ගන්න. ඉවරවෙන සැරේට අරන් දෙන්න සල්ලි ගස් වලින් කඩන්නේ නෑනේ මං." අම්මාගේ සැර වදන් ළඟ මම සමහර වෙලාවට පිටු 400 පොත් තුනක් විතරක් ගන්නවා. ඊටපස්සෙ අඩුවෙන් සිලබස් තියෙන විෂයයන් දෙකකට පොත මැදින් දෙකට බෙදල පාවිච්චියට ගන්නවා. අම්මා මතක ඇතුව පොත්වලට කවර දාන්න බ්‍රවුන් පේපර් කොළයි ඉටි කොළයි ස්ටේප්ලර් කටු පෙට්ටියයි ගන්නවා. ඒ අරන් ගෙදර ඇවිත් මැටි පිළ අස් කරලා පැදුරක් එළාගෙන අළුත් පොත් සේරම ඒකෙන් අඩුක් කරගන්නවා. ඊටපස්සෙ රෑ වෙනකම් අම්මා මටයි මල්ලිටයි පිළිවෙලට ලස්සනට අළුත් පොත්වලට කවර දාලා දෙනවා. මට තියෙන්නෙ අම්මා බ්‍රවුන් පේපර් වලින් කවර දාලා පැත්තකින් තියන ඒවයෙ ඉටි කොළේ දාන්න කලින් නමයි විෂයයි පන්තියයි ලියන්න. පොඩි කාලේ ඉඳන් මගේ අත්අකුරු හරිම ලස්සනයි." කොතෙක් බාධක මධ්‍යයේ වුව ද ඇය වාර විභාගවලින් දිගින් දිගටම සිය පංතියේ පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබේ. "ඉස්කෝලෙන් නිළ ඇඳුම් මහන්න ලැබෙන සුදු රෙදි සමහර අවුරුදුවල අම්මා ගන්නවා එයාගෙ උවමනාවලට. අළුතින් පන්තියකට පාස්වෙන හැම අවුරුද්දෙම අළුතින් ගවුම් මැස්සුවෙ නෑ. මට අවුරුද්දක්ම අඳින්න ලැබෙන්නෙ ගවුම් දෙකයි. කලින් අවුරුද්දෙ ඇඳපු ගවුමයි අළුත් පන්තියට මහපු ගවුමයි. සඳමාලිගේ පාසල් කාලයේ ඡායාරූපයක් "පොඩි පන්තිවලදි නම් ඇන්දෙ ගමේ ගෙවල්වලින් අම්ම ඉල්ලගෙන ආපු ඇඳුම්. මගෙ ඇඟට වඩා ලොකුයි නම් අම්මා ඒව මගෙ ගානට අතේ මහල දෙනවා." බොහෝ හිරිහැරවලට ලක්වුව ද තවමත් සිය මවට ගෞරව කරන බව කතාව අතරතුර ඇය විටින් විට පැවසුවාය. "හැබැයි අම්මා මගේ ජීවිතයට කළ බලපෑම් ගැන හෙළි නොකර මේ කතාව කියන්න බැහැ," ඇය තවදුරටත් පැවසුවාය. "ඔය අතරේ මගේ අක්කගේ ඉස්කෝල ගමන වයස අවුරුදු 12 වෙනකොට නතර කරලා එයාව ගෙදරක වැඩට යැව්වා. මගේ අහිංසක මල්ලිව කන්න දෙයක් නැතිකමට සිවුරක් අන්දලා පන්සලට ගිහින් ඇරලුවා. ඒක තවත් එක් දුක්බර අවසානයක් වුණා." "විසිතුරු භාණ්ඩෙ" සිය බාල සොහොයුරා කීපවතාවක් නොයෙක් හේතු මත සිවුරු හැර නිවසට පැමිණි බව සඳමාලි පැවසීය. කෙසේනමුත්, අවසානයේ දී ඔහු ජීවිතයෙන් පලා යාමට තීරණය කර ඇත. එයට හේතුව අදටත් අපැහැදිළි බව ඇය පැවසුවාය. "මල්ලි කී වතාවක් සිවුරු ඇරල ගෙදර ආවද මට මතක නෑ. තුන් පාරක්, හතර පාරක්. මුලින්ම මහණ කළේ ගාල්ලෙ බද්දේගම ලොකු පන්සලක. මට නම මතක නෑ. පන්සලේ හිටියෙ අවුරුදු 40ක විතර ලොකු හාමුදුරුවොයි මල්ලියි, මල්ලිත් එක්කම මහණ කරපු අනිත් දරුවයි විතරයි. මට මතකයි ඒ දවස. මල්ලිට සුදු අන්දලා හිස මුඩු කරද්දී එයාගේ මුහුණේ තිබුණ කඩා වැටිච්ච බැල්ම මතක් වෙද්දි තාමත් පපුව පිච්චෙනවා. එයාට ඕනෙ වුණේ පවුලක් ඇතුලෙ දුවල පැනල සතුටින් ඉන්න. බඩට නොකා හරි මාත් එක්ක ආදරයෙන් ඉන්න. ඒත් එයාව පන්සලක තනි කළා. එතකොට යන්තම් අවුරුදු නවයයි. එදා දවසම මල්ලිගෙ තිබුණේ හොල්මනක් දැකපු ගානට සුදුමැලි වෙච්ච අමුතු මූණක්. අවුරුදු කාලෙට රතිඤ්ඤා දාන්න මල්ලි හරි ආසයි. ඉස්සර එයා මහණ වෙන්න කලින් අම්ම එයාට කියල වැඩක් මොනා හරි ගන්නෙ අවුරුදු කාලෙට රතිඤ්ඤා අරන් දෙන්නම් කියල රවට්ටගෙන. මල්ලිට ඉස්සර ලස්සනට සින්දු කියන්න පුළුවන්. කොහොමහරි, ගාල්ලෙ පන්සලේ මල්ලිව තනිකරල අපි එන්න ආවා. මාත් එතකොට පුංචි නිසා ඒ හැඟීම් ගැන ලොකුවට තේරුනේ නැහැ. ඒත් දුප්පත්කම එක්ක ජීවිතේ ඕනෙ දෙයක් ගැන හිස් හැඟීමෙන් බලන්න මම හුරුවෙලා හිටියා. ටික කාලයකින් මල්ලි ගාල්ලේ පන්සලෙන් පැනල ආවා. අම්ම ගිහින් ආයෙ භාර දෙනකොට මල්ලි යන්න බෑ කියල හුඟක් ඇඬුවා. ලොකු හාමුදුරුවෝ හරි වසයි. පොඩ්ඩ ඇත්නම් ගහනව බණිනවලු. ඒත් දෙවෙනි පාරත් මල්ලි ගාල්ලෙන් සිවුර ගලවලා වැලට දාලා කුස්සියේ උයන්න හිටපු මනුස්සයාගෙ සරමකුයි කමිසෙකුයි හොරෙන් අරන් ඇඳගෙන තනියෙන් ගෙදර හොයන් ආවා ගාල්ලෙ ඉඳලා. ඇයි කියල අහල බලද්දි මල්ලි බුදුගේ තියෙන ගල් ගුහාව ඇතුළෙ හඳුන් කූරක යටට රතිඤ්ඤයක් ගැට ගහලා, මොකුත් නොදන්නව වගේ ආවාසෙට වෙලා ඉද්දි කවුරුත් නැති බුදු ගේ ඇතුළෙන් එකපාර පිපුරුමක් ඇහිලා. ලොකු හාමුදුරුවෝ හොඳටම බයවෙලා අහල පහළ ගෙවල්වල අයත් එක්ක හෙමින් බයෙන් ගිහින් බලද්දි රතිඤ්ඤාවෙ කඩදාසි කෑලියි වෙඩි බෙහෙත් ගඳයි බුදු ගේ පුරාම. ඉතින් මල්ලිට අල්ලන් ගහලා හොඳටම. දෙපාරක් ආවට පස්සෙ ආයෙ ලොකු හාමුදුරුවෝ මල්ලිව භාරගන්න බෑ කියන්න ඇති. මල්ලි අකීකරුයි කියල අම්මට හුඟක් දොස් කිව්වා මතකයි මට. ඒත් එයා අකීකරු දරුවෙක් නෙවෙයි කියන්න මං දන්නවා. හැබැයි සෙල්ලම් වැඩවලට නොයෙකුත් අත්හදා බැලීම් කරන ඇබ්බැහියක් තිබුණා. මල්ලිව ඊලඟට ගිහින් භාරදුන්නෙ කුරුණෑගල සැඟෑලෙන පන්සලට. ඒක ලොකු පිරිවෙනක්. මල්ලි යන්න පොඩ්ඩක්වත් ආස වුණේ නැහැ. ඒත් අම්මගෙ හිත රිද්දන්න මල්ලි කවදාවත් කැමති නැහැ. අම්ම දෙයක් බලකරල කිව්වොත් මල්ලි එයාගෙ දුක අකමැත්ත හංගගෙන ඉඩ දෙනවා. මල්ලිට ඒ පන්සලේ තරුණ හාමුදුරුවෝ කෙනෙක් අතින් අඩම්තේට්ටම් සිද්ධ වෙලා තිබුණා. එයා ඒක දිනපොතේ ලියලා තිබුණා. ටික දවසකින් ආයේ මල්ලි ගෙදර ආවා. ඒ වතාවෙ ආවෙ සිවුර වැලේ දාල නෙවෙයි, කවරෙක දාල ඔතාගෙන ගෙදර අරන් ආවා. මල්ලි එහෙම සැරින් සැරේ සිවුර අතඇරලා ගෙදර ආවම මල්ලිව ගේ ඇතුලෙ හංගලා තියාගන්නෙ අපි. ගමේ ජීවිතේ අනුන්ගෙ දේවල් හොයන අය පිරිලා. එහෙම සැරින් සැරේ සිවුරු ඇරල ගෙදර එනව කියල ගමේ අයට දැනගන්න තියන්න බැහැ. මල්ලි යන්තම් හරි උළුවස්ස කිට්ටුවෙන් ඉඳගත්තම මං පාරෙ යන අයට මල්ලිව නොපෙනෙන්න එයාට ඉස්සරහින් ඉඳ ගන්නවා. "විසිතුරු භාණ්ඩෙ" මල්ලිට මම දාලා තිබුණ නම. තවත් කෙටි කාලයකින් මල්ලිව ගෙදර ළඟ පන්සලට ගිහින් ඇරලුවා. එයා ඔතන් ආපු සිවුරම අන්දලා ගමේ පන්සලට ගිහින් ඇරලලා අම්ම ගෙදර ආවා. රෑ වෙද්දි මල්ලි ආයෙත් ගෙදර. පන්සලේ නිදාගන්න ඉඩ නෑ. ලොකු හාමුදුරුවෝ කිව්වලු කැමති නම් රෑට ගෙදර ගිහින් නිදාගෙන උදේට එන්න කියල. ඉතින් මටයි අම්මටයි හරි සතුටුයි. එදා ඉඳන් මල්ලි රෑට කමිසෙයි කලිසමයි දාන් මටයි අම්මටයි මැද්දෙ සැපට මැටි පිළේ නිදියලා උදේට එළිය වැටුනම සිවුරත් ඇඳගෙන පන්සලට ගියා. නමුත් සඳමාලිගේ සොහොයුරාගේ කතාව එතනින් අවසන් වූයේ නැත. කඩඉම් විභාග රෙදි පටියකින් පමණක් ගැටගසා තිබුණ සිය කටුමැටි පැලේ සිටි දිනක ගමේ සිටි පුද්ගලයෙකු ඇය දූෂණය කිරීමට තැත් කළ සිද්ධියක් ද සඳමාලි පැවසුවාය. කෙසේනමුත්, මේ සියල්ල අතර ඉගෙනීමේ දක්ෂයෙකු වූ ඇයට සෑම පංතියකම නායකත්වය පවා ලබා දීමට ගුරුවරු ක්‍රියා කළහ. එමෙන්ම පාසලේ දී කිසිදිනක අන් දරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ හිරිහැරවලට ලක් නොවුණු බව ඇය පැවසුවාය. "මට හිටිය ගුරුවරු උදව් කළා මිස මාව කොන් කළේ නැහැ. ජීවිතයේ විවිධ හැලහැප්පීම් නිසා මට සමාජය ගැන යම් බයක් තිබුණා. ඒ නිසා මම බොහෝ දෙනෙක් ආශ්‍රය කළේ නැහැ. පාසලේ විනය අතින් ඉතාමත් ගෞරවණීය ශිෂ්‍යාවක් ලෙස මා ඔවුන් හඳුනාගත්තා. ගමේ ඉන්න දුප්පත්ම දරුවා මෙන්ම පන්තියේ පළවෙනියා ලෙස නොකඩවා ඉදිරියෙන් හිඳින දරුවෙක් ලෙස ගුරුවරුන්ගේ ආදරයට පාත්‍ර වුණා. "ගුරුමණ්ඩලයේ අය විසින් ශිෂ්‍ය නායිකාවක් විදියට වඩාත් සුදුසු යැයි කියා අයදුම්පත් නොදාම මාව තෝරා ගත්තා. මේ අතර මම ගමේ කුලී වැඩ කරලා යම් මුදලක් සොයා ගත්තා. මගේ අතට උදැල්ල හරි හුරුයි. ඉගෙනීමට දක්ෂ නිසාම ගමේ මිනිස්සු මට ගෞරව කළා. බඩ ඉරිඟු කැඩීම වගේ වැඩ තියෙද්දී ඒ අය මට කතා කළා. හැබැයි මට අමතර පංති වගේ විශාල දේවල්වලට ගෙවන්න මුදල් තිබුණේ නැහැ. ටීවි, රේඩියෝවක්, පත්තරයක් නැති ලෝකයෙන් හුදෙකලා ජීවියෙක් වගේ ජීවත් වුණ මම දහය වසරට එනතෙක් සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ මොකක්ද කියලවත් දැන හිටියේ නැහැ. අනික් ළමයි විභාගයට විශයපථය ඉවර කරන හැටි පංතියේ කතා වෙද්දී මම පුදුමයෙන් අහන් හිටියා. හෝටලයේ රැකියාව කරන අතරතුර ලබාගත් ඡායාරූපයක් ඕලෙවල් විභාගයට පාඩම් කරන්න අම්මා කුප්පි ලාම්පුව නොදී දැල්ල හරස් කරගෙන නවකතා කියවන්න ගත්තා. එයාට මේ ගැන කිසි තැකීමක් තිබුණේ නැහැ. මම අඬලා ඉල්ලුවත් එයා පාඩම් කරන්න ඉඩදුන්නේ නැහැ. මේ අතර විභාගයට සතියක් තියෙද්දී අම්මා මගේ අක්කා, එයාගේ බබා සහ මහත්තයාවත් අපේ ගෙදරට එක්කගෙන ආවා. අඩි දහයේ ගෙදර අපි සේරටම ඉන්න වුණා. අම්මගේ නපුරු කුප්පි ලාම්පුව අත ඇරලා අල්ලපු වත්තේ කුකුල් කූඩුවේ ලයිට් එළිය යටට ගිහින් පාඩම් කරන්න මම හුරු වුණා. මසට ඇතිකරන කුකුලන්ට උණුසුම ඕනෑ නිසා දිගටම ලයිට් දාලා තිබුණා. මධ්‍යම රාත්‍රිය වෙනකම් පාඩම් කරපු මගේ ඔළුව අතගාලා තේ එකක් දීලා ගියේ අපේ ලොකු අම්මා." A තුනක්, B එකක්, C හයක් ලෙස ඉහළින්ම සාමාන්‍ය පෙළ විෂයන් දහයම සමත් වුණු ඇයට කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබිණි. "විභාගේ ප්‍රතිඵල එනතුරු මහරගම පිළිකා රෝහළ පාරේ නිවසක ගෘහ සේවිකාවක් විදියට රැකියාව කළා. මාසේ අන්තිම දවසට අම්මා ඇවිදින් මාසෙ පඩිය රුපියල් 3000 ම මහත්තයාගෙන් ඉල්ලන් ගියා. ඒ ගෙදර මහත්තයා ඔෆිස් ගිහින් අරන් ආපු ඕලෙවල් ප්‍රථිඵල වාර්තාවත් අරගෙන මම උසස් පෙළ කරන්න ආයෙමත් ගමට ආවා. කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට වාණිජ අංශයෙන් උසස්පෙළට ඉල්ලුම්පතක් දාන්න වුණේ තනියම. පාසලට තෝරගන්න සම්මුඛ පරීක්ෂණයට එක්ක යන්න අම්මා හෝ තාත්තා කෙනෙක් මට හිටියේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුණු ළමුන් සිටි පංතියේ වාර විභාගවලින් පළමු ස්ථානය ලබා ගැනීමට නැවතත් සඳමාලිට හැකි විය. මෙම දක්ෂතා හඳුනාගත් ගුරුවරු ඇය දිරිමත් කිරීමට විවිධාකාරයෙන් උදව් ලබා දුන් බවද සඳමාලි සිහිපත් කරයි. "ඉගෙනීමේ උනන්දුව නිසාම මට අමතර පංතිවලට එන්න කියලා ෆ්‍රී කාඩ් දෙන්න මුල් වුණේ කැකිරාවේ සෙනරත් එකේ ගිණුම්කරණය උගන්නපු මධ්‍ය මහා විද්‍යාලයේ විනය පාලක දිසානායක සර්. අනෙක් අයට ද මම ගැන කියලා නොමිලේ පංතිවලට යන්න ඒ සර් ඉඩ සළසලා දුන්නා. මගේ භාරකාරයා විදියට ඉස්කෝලෙට ඇප වෙන්නත් සර් කටයුතු කළා. පියෙක් නැති මට ඔහු පියෙකු වුණා. හැබැයි ගෙදර තිබුණ කටුක පරිසරය වෙනස් වුණේ නැහැ. විභාගයට ඇඩ්මිෂන් ආවාට පසුව මට බෝඩිමක් සොයාගෙන පාරවල්වල ඇවිදින්න වුණා. ගෙදර ඉඳන් පාසලට කිලෝමීටර දහඅටක් තිබුණා. විභාගයට යන්න නම් පාසලට ළඟ තැනක නතර වෙන්න වුණා. මොකද ගම්වල පොදු ප්‍රවාහන සේවය ගැන විශ්වාසයක් තියන්න බැහැ. උසස් පෙළ ප්‍රථිඵල නිකුත් වුණ මොහොත ඇය සිහිපත් කළේ මහත් උද්‍යෝගයකිනි. වාණිජ අංශයෙන් A සාමාර්ථ තුනක් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අංශයට ඇතුළත් වීමට ඇයට හැකි විණ. "ඒ මොහොතේ මම ප්‍රථිඵල කියාගෙන කෑ ගහගෙන ගෙදරට දුවගෙන ආවා. මට තිබුණේ කියා ගන්න බැරි සතුටක්. හැබැයි අම්මාගේ මුහුණේ කිසිම විශේෂත්වයක් පෙනුණේ නැහැ. ඇය මෙය තවත් බරක් ලෙස සළකන බව මට වැඩිකල් යන්න කලින් තේරුණා." වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වීමත් සමග ඇයට ලංකා බැංකුවේ ආධුනික රැකියාවක් ලැබී ඇති අතර එයින් දෛනිකව රුපියල් 325.00ක වැටුපක් ලැබිණ. මේ අතර, ඇය සිය උසස් පෙළ ජයග්‍රහණය ගැන පුවත්පතකට ලිපියක් යොමු කර ඇති අතර, එය පළ වීමෙන් පසු බොහෝ දෙනෙකු මූලම්‍ය ආධාර ලබා දීමට කටයුතු කර තිබිණි. එයින් සිය නිවස සාදා මවට ද යම් මුදලක් ලබා දීමට ඇය ක්‍රියා කර ඇත. 'නරක ආරංචියක්' "අපි මිරිහාන පොලීසියෙන් කතා කරන්නෙ. ඔයාගෙ මල්ලි ඉන්නවා අපි ළඟ, පොලීසියට පොඩ්ඩක් ඇවිත් යන්න එන්න..." විශ්වවිද්‍යාලයේ දේශනාවක් මධ්‍යයේ ඇයට පණිවිඩයක් ලැබිණි. "ජීවිතේට පොලීසියක් ඇතුළ දැකලවත් නැති මම හිටියෙ බය බිරාන්ත වෙලා. පන්සලේ අපා දුක් විඳපු අහිංසකයා සාමාන්‍ය පෙළ ලියන්න පාසලට ඇතුළු කළේ නොවිඳිනා දුක් විඳලා. ඒ වෙද්දිත් මල්ලි අවුරුදු ගණනකින් පාසල දැකලවත් තිබුණේ නැහැ. කථිකාචාර්යවරයාට කාරණේ කියල මං ඉක්මනට විශ්වවිද්‍යාලයෙන් පිට වුණේ කැම්පස් හැඳුනුම්පතත් අරන්මයි. විජේරාමයේ ඉඳන් සොයාගෙන මිරිහානට ගියාම මගෙ මල්ලි ඉන්නවා බංකුවක් උඩ වැරහැලි ඇඳගෙන. අතේ පුංචි සිලි කවරෙකුත් තියාගෙන. බඩගින්න, නිදිමත, වෙහෙස, බය ඒ සේරම එක්ක ඒ පුංචි මුහුණේ තිබුණේ මහා අසරණ පෙනුමක්. මල්ලිට මාව දකිද්දිම නැගිට්ටුනේ අහිංසක හිනාවකින් මූණ එළිය කරගෙන. ඒත් මං හිටියෙ බයවෙලා. ඇයි මිස් මගෙ මල්ලිව ඇරෙස්ට් කළේ...? "නෑ නෑ මල්ලිව ඇරෙස්ට් කළේ නෑ... ඊයෙ රෑ මල්ලි කොටුවෙ අතරමං වෙලා ඉද්දි අපේ කට්ටියකට හම්බවෙලා එක්කන් ආවා. දවසම කාල හිටියෙත් නෑ. අපි බනිස් ජෝඩුවක් අරන් දුන්නා. දැන් එයාව එක්කන් යන්න පුළුවන්. අක්ක කැම්පස් එකේ ඉන්නව කියපු නිසා අපි ඔයාට කතා කළේ. අනුරාධපුරේට තනියෙන් යන්න දන්නවද මල්ලි?." "එයා කවදාවත් කොළඹ ඇවිත් නෑ මිස්. අපේ ගෙවල් ළඟටම යන බස් එකක් තියෙනවා කොටුවෙන්. මං මල්ලිව ඒකට ගොඩ කරන්නම්." "මං මල්ලිගෙ අතින් අල්ලන් පාරට ආවා. එයාගෙ මූණ මැළවිලා ගිහින්. එයාට කන්න දෙයක් අරන් දෙන්නත් කලින් මට ඕනෙ උනේ සිද්ධිය අහගන්න. ඇයි කොළඹට ආවෙ?, කාත් එක්කද ආවෙ?, ශොපින් බෑග් එකේ ඇඳුම් දෙක තුනක් තියෙන්නෙ ඇයි?, පොලීසියට අහු වුණේ කොහොමද? මගෙ හිතේ කැකෑරෙන ප්‍රශ්න එක්ක මං හිටියෙ කේන්තියෙන්. "බණින්න එපා චූටි අක්කෙ. ඔයාගේ උසස් පෙළ සමත් කතාව පත්තරෙන් කියවලා එක මාම කෙනෙක් අපේ ගෙදරට නිතර කතා කරන්න ගත්තා. ඔයා කැම්පස් එකේ නිසා අම්මත් එක්ක තමයි නිතරම කතා කරන්නෙ එයා. පෙරේදා අපේ ගෙදර හොයාගෙන ආවා. ඊටපස්සෙ එයාගෙ ගෙදර මට නවතින්න දෙන්නම් ජොබ් එකකුත් හොයල දෙන්නම් කීවම අම්මා ඒ මාමත් එක්ක මාව කොළඹ එන්න පිටත් කළා. මතුගමද කොහෙද ගම කිව්වෙ. ඒත් කොටුවෙන් එයා මට පොඩ්ඩක් ඉන්න කියල මාව සීටීබී බස් ස්ටෑන්ඩ් එකේ වාඩි කරවලා එයා ගියා. මං රෑ වෙනකන් බලාගෙන හිටියා එතනට වෙලා. ඒ මාමා ආවෙ නෑ. ගෙදර ආපහු යන්න සල්ලිත් නෑ අක්කෙ මං ළඟ. අම්ම කිව්වෙ ඒ මාමා මටත් එක්ක ටිකට් ගනියි කියලයි. රෑ අටට විතර මාව පොලීසියෙන් අල්ල ගත්තා. පැය 3-4ක් එකතැන හිටපු නිසා එයාලට සැක හිතිලා. පස්සෙ මාව පොලීසියට එක්ක ගෙන ගියා." "බිඳුණු හඬින් මයෙ අහිංසකයා කියාගෙන ගියා. උදේට හොඳට දෙන්නත් එක්ක කාලා කොටුවෙ ටිකක් වටයක් එක්කන් ගිහින් අතට සල්ලි දීලා ඇපල් මල්ලකුත් අරන් දීලා මල්ලිව ගමේ බස් එකේ ඉස්සරහම සීට් එකේ ඉන්දුවේ චමින්ද අයියට මල්ලිව පරිස්සමින් එක්කන් යන්න කියල ඉල්ලීමකුත් කරලා. අම්මටයි මල්ලිටයි ජීවත් වෙන්න මුදල් යවන එකේ ඇයි තවත් මෙහෙම කරන්නෙ කියල අම්මගෙන් අහන්න හිතුනත් කේන්තිය වැඩිකමට මම නිහඬ වුණා. මල්ලිව අමාරුවෙන් පාසලට දාගත්ත එකේ ගුණේවත් ලැබුණේ නැහැ. ඒත් තවත් මාසයකින් ගෙදර යනකොට ආයෙමත් මයෙ මල්ලි ගෙදරින් අතුරුදහන්. ආයෙමත් පාසලෙන් අස් කරවලා දඹුල්ලෙ ඌරු කොටුවක ඌරො බලාගන්න යවලා. මාසෙට රුපියල් හත්දාහෙ පඩියට. හැම මාසෙම පඩි දෙන දවසට අම්ම ගිහින් මල්ලිගෙ රුපියල් හත්දාහ අරගෙන එනවා. ඒත් ඒක මල්ලිගෙ පළවෙනි වගේම අන්තිම රැකියාව වුණා. ඌරු කොටුව තිබුණ කැලේ අලි ඇවිත් ඌරු කොටුව පෙරළන නිසා මල්ලි රෑට නිදාගත්තෙ ඒ කැලේම ඌරු කොටුව ළඟ ගහක් උඩ පැළක. එක දවසක් එයා ඒ ගහේම T අකුර වගේ පෑහැපු අත්තකට ලණුවක් දාලා බෙල්ල ඔතාගෙන ගහෙන් පැනලා තිබුණා. පැය 24ක් තිස්සෙ කෑම ගෙනියන්න නාවෙ මොකද බලන්න පහුවදා උදේ රොෂාන් කැලේට ගිහින් බලද්දි ඉරුණු කොට කලිසමයි පාට පිච්චුන ඉරුණු දම් පාට අත් දිග ටී ශර්ට් එකයි පිටින් මිනිය එල්ලෙනවලු කැටකේලියා ගහේ. කලින් දවසේ උදේට කන්න ගෙනාපු බත් එක ඇරලවත් නැතුව පැළේ එහෙමමලු." බාල සොහොයුරාගේ මරණ දැන්වීම මල්ලිගෙ මරණයට හේතුව මං අදටත් දන්නෙ නැහැ. එයා හුඟක් නිහඬ ළමයෙක් පොඩි කාලයේ ඉඳන්ම. හැමදේම නිහඬව දරාගත්තා. නමුත් මගේ අම්මා දරුවන්ව දැක්කෙ සල්ලි සොයන මැෂින් විදියට. අදටත් ඒ තත්වෙ එහෙමමයි. මල්ලි ඌරු කොටුවෙ වැඩට යන්න කලින් හුඟක් අහිංසකයි. මං එක්කම උස් මහත් වුණ නිසා මං එයාව හැදුවෙ සත්තුන්ට ආදරේ කරන්න. ඒ නිසා එයත් මං වගේම සත්තුන්ගෙ මස් කන එක පොඩි දා ඉඳන්ම ප්‍රතික්ෂේප කළා. ඒත් ඌරු කොටුවෙ වැඩට ගියාම එයාට හැමදාම දැකල අතගාල කන්න දෙන සත්තුන්ගෙන් එකා ඌරු කොටුවෙම තියල මරන්න වුණා. ලෙඩවෙලා මැරුණ ඌරන්වත් කෑලි කපල මස් ටික විකුණන්න වුණා. ටිකෙන් ටික මල්ලි වෙනස් වෙන්න ගත්තා. එයාගෙ අහිංසක ගතිගුණ අඩුවෙවී යන හැටි මං බලාගෙන හිටියෙ කම්පාවෙන්. පුංචි දේටත් අම්ම මට කොස්ස අරන් ගහන්න පන්නද්දි මල්ලි තමා මැදට පැනල මාව බේරගන්නෙ. මල්ලිව මං දැක්කෙ තාපසයෙක් වගේ. අනික එයා හතර වසරෙ ඉද්දි මං දහය වසරෙ ශිෂ්‍ය නායිකාවක් වුණා. පොඩි පංතිවල ගුරුවරු කවුරු හරි එන්නැති දවසට (කුඹුරු වැඩ කාලෙට බොහෝ පංතිවල ගුරුවරු පාසල් නොපැමිණේ) ඒ පන්ති බලාගන්න දාන්නෙ ශිෂ්‍ය නායිකාවො. සමහර දවසට අපේ මල්ලිගෙ පංතියටම මට ලැබෙනවා. මම ඉතින් ගුරුතුමිය එවල තියෙන පැවරුම් මගෙ බෝල අකුරින් බෝඩ් එකේ ලස්සනට ලියද්දි අපෙ මල්ලිට හරි ආඩම්බරයි. "ඒ බං ඔයාගේ අක්ක මරු ඈ... " අනෙක් අය මල්ලිට කියද්දි මල්ලි ඇවිත් මට කියනවා ඇස් දිලිසි දිලිසී. එයාගෙ පංතියේ අයගෙන් ඉහළ පංතිවල අයියලා අක්කලා ඉන්න ළමයි අතරෙ මල්ලිට විතරයි ශිෂ්‍ය නායක අක්කා කෙනෙක් හිටියෙ. ගමේ දුප්පත් ළමයින්ට ඒ තනතුර පෙනුනෙ ගුරුවරයෙක් තරම් උසස්ව. මල්ලිගෙ හිතේ මාව ගෞරවණීය තැනක පැළවෙන්න මූලික අඩිතාලම වැටෙන්න ඇත්තෙ එහෙම. මං කැම්පස් තේරුනාට පස්සෙ එයා මට බය පක්ෂපාත ගතිය වැඩි කලා. අපේ ගෙදරට ටීවි එකක් තිබුණේම නැහැ ඒ වෙනකන්. මල්ලි හරි ආසයි නයිට් රයිඩර් බලන්න. එයාට දේවාලෙ පෙරහැර පොළෙන් අම්ම අරන් දුන්න රුපියල් විස්සෙ දුරදක්නෙන් මල්ලි කරන්නෙ පාරට ගිහින් ඉස්සරහ ගෙදර ටීවි එකේ නයිට් රයිඩර් බලන එක. අපේ අම්මත් එක්ක ගමේ කවුරුත් කතාවට එන්නැති නිසා අපිත් ගමේ කිසි ගෙදරකට යන්න හුරුවෙලා තිබුණේ නැහැ. ඒත් මට මිනිස්සු ආධාර කළාම මුලින්ම කළේ අම්මවයි මල්ලිවයි කැකිරාවට එක්කන් ගිහින් අත් පිට මුදලට රුපියල් තිස් තුන් දාහක් දීලා අඟල් තිස් දෙකේ ටීවි එකක් ගෙනාපු එක. එදා අපෙ මල්ලිගෙ ජීවිතේ සතුටුම දවසක්. ඒ විදියටම මම එයාට බයිසිකලයක් අරගෙන දුන්නා. "මේ මට ද අක්කෙ...." එයා එදා ඇස් උඩ ඉන්දගෙන සෑහෙන වෙලාවක් බයිසිකලේ දිහයි මගෙ දිහයි බලන් හිටියා. කැම්පස් එකේ ඉඳන් ගෙදර එන හැම සැරේම පමුණුවට ගිහින් මල්ලිට ටීශර්ට්, කලිසම්, බොටම් අරන් එනවා. එච්චර කාලෙකට එයාටයි මටයි තිබුණේ කොළඹ ගෙවල්වල අම්ම වැඩට ගියාම ඒ මිනිස්සුන්ගෙ දරුවො ඇඳල අයින් කරන ඇඳුම්. අපි යටට පවා ඇන්දෙ එහෙම තව කවුරුත් ඇඳල අයින් කරපුවා. ඌරු කොටුවේ වැඩත් එක්ක මල්ලිට ජීවිතේ ඉදිරියක් ගැන සැලැස්මක් නැතිවෙන්න ඇති. ඒත් එයා ලයිසන් ගන්න කියල සල්ලි ටිකකුත් එකතු කරගෙන තිබුනා. මල්ලි මැරුන ගමන් අම්ම ඒ සල්ලිත් ගත්තා. මල්ලි මැරුන බව ඌරු කොටුව අයිති මිනිස්සු දන්නේ පැය 24කුත් ගියාමලු. "ඒ මිනිස්සු හරි දරුණුයි චූටි අක්කෙ," මල්ලි නිතර කිව්ව කතාවක්. ඒත් මල්ලිගෙ හදිසි මරණය, මැරුනට පස්සෙ මල්ලිගෙ ෆෝන් එක ගෙනත් නොදී කල් ගත්ත එක, එයාට ආපු කෙටි පණිවිඩ කවුරු හරි බලල තිබුණ එක මට හරි සැකයි. නමුත් මේ ගැන අම්මාට කියද්දී අම්මා ගත්තේ ඒ මිනිස්සුන්ගේ පැත්ත." බාල සොහොයුරාගේ මරණය සැක සහිත යැයි සඳමාලි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. "මල්ලිගෙ මිනිය කපපු වෛද්‍යවරයා එක්ක කතා කරද්දි කියපු කරුණුත් මං පැමිණිල්ලෙ ලිව්වා. මල්ලිගෙ මිනියේ තුවාල කැළැල් හුඟක් තිබුණ කියල වෛද්‍යවරයා කිව්වා. තවත් සැක කටයුතු දේවල් කීපයක් තිබුණා." පැමිණිල්ල පරීක්ෂාවට ගත්තා. ආයෙම පොලීසියෙන් ගිහින් ස්ථානීය පරීක්ෂාවක් කරල තිබුණා. මල්ලිගෙ වැඩි අයිතිය තියෙන්නෙ මට වඩා අම්මාට නිසා අම්මාවත් ගෙන්නුවා. "නෑ සර්, මට දරුවගෙ මරණය කිසි සැකයක් නෑ. මෙයාට ඕනෙ මේ අර ළමයින්ව අමාරුවේ දාන්න." අම්මා එහෙම කියද්දී මං කඳුළු පුරවගෙන ඈත බලන් හිටියා අම්මාට යාබද පුටුවට වෙලා. "සමාවෙන්න මිස්, අම්මා කියනව නම් මරණය කිසි සැකයක් නෑ කියල, අපිට ඊට වඩා මේ පරීක්ෂණ ඉස්සරහට කරගෙන යන එක තේරුමක් නෑ. ඒක ස්වභාවික සියදිවි හානිකරගැනීමක් හැටියට අපිත් හිතනවා. ඒත් මිස්ට ආයෙ සාක්ෂි මොනවා හරි ලැබුණොත් එන්න. මල්ලිගෙ මරණෙට උසාවියෙන් දීල තියෙන්නෙ විවෘත තීන්දුවක්." ඉතින් මං ඔළුව පාත් කරන් අම්ම දිහාවත් නොබල පිටවෙලා ආවා. ඒත් මල්ලි අදටත් බිත්තියට වෙලා මං දිහා අවිනිශ්චිත බැල්මකින් බලන් ඉන්නවා." හෝටල් රැකියාව මේ අතර, සඳමාලිට ආපන ශාලාවක රැකියාවක් හිමි විය. "හෝටලය අයිති අයගෙම ගෙදර නැවතිලා ඉන්න නිසා එයාල මගෙන් සල්ලි ගත්තේ නැහැ. හැමදාම උදේ 5.30ට නැගිටලා 6.10 විතර වෙද්දි හෝටලයට යනවා. කසුන් මල්ලියි, සර් ඇවිත් හෝටලය ඇරලා ඉක්මනට උදේට උයන්න ලෑස්ති කරනවා. රතු හාලුයි සුදු හාලුයි වෙන වෙනම සෝදලා ලිපේ තියලා පොල් ගාන මැශින් එකෙන් පොල් ගෙඩි 7ක් ගාලා කිරි මිරිකලා ඊලඟට උදේට උයන ව්‍යංජන ටික කපල සෝදලා ලෑස්ති කරනවා. ප්‍රධාන කෝකියා එන්නෙ උදේ හතට. ඒ වෙද්දි මං සේරම ලෑස්ති කරල තියන්න ඕනෙ. එයාට තියෙන්නෙ 7.30 වෙද්දි සේරම උයල ඉවර කරල කෑම ටික ඉස්සරහට යවන්න. ඊලඟට කෙටි ආහාරවලට අල තම්බන්න, එළවලු මිශ්‍රණයට ළූණු, කැරට්, ලීක්ස් කපන්න තියෙනවා. උදේ අට වෙද්දි තේ එකක් ලැබෙනවා. "සඳමාලි රොටියක් කනවද? " සර් මට විතරක් අඬගහල රොටියක් දෙනවා. එතන ඉන්න පොඩිම කෙනා මම නිසා කොයිවෙලෙත් මගෙ කෑම බීම ගැන හැමෝම ආදරෙන් සොයලා බැලුවා. උදේ 9.30- 10 වගේ වෙද්දි දවල්ට උයන්න ලෑස්ති වෙන්න ඕනෙ. පොල් ගෙඩි හතරක් ගාලා මිටි කිරි අතෙන් මිරිකලා ඊලඟට දියකිරි බ්ලෙන්ඩර් කරලා ගිහින් එළවළු කපන්න ගන්න ඕනෙ. පරිප්පු අනිවාර්යයි. ව්‍යංජන හයක් හතක දහවල් දොළහ වෙනකොට උයල ඉවර කරන්න ඕනෙ. ඊලඟට ෆ්‍රයිඩ් රයිස් වලට ලීක්ස් කැරට් කිලෝ 10කට කිට්ටුව සුද්ද කරලා සෝදලා තීරු කපන්න ඕනෙ. ඊලඟට ළූණු කිලෝ හතරක් විතර සුද්ද කරල හවස ආප්ප වලට ලෑස්ති කරන්න ඕනෙ. ආයෙ පොල් ගාන්න ඕනෙ රෑ කෑම හදන්න. නූඩ්ලස් වෙනම හදන්න ඕනෙ. කොත්තු බාස්ට පොල් රොටියි කෙටි කෑම හදන්න එළවළු කපල ළූණු කපල ලෑස්ති කරල දෙන්න ඕනෙ. එක පිම්මට වැඩ. වතුර ටිකක් බොන්නවත් ටොයිලට් එකට දුවන්නවත් වෙලාව හොයාගන්නෙ හරි අමාරුවෙන්. කකුල් දෙක හවසට ඉදිමෙනවා. බෝඩිමට එන්නෙ පාර දිගේ කොර ගගහා." එම රැකියා ස්ථානයෙන් ආහාර වේල් තුන නොමිලේ ලබා දී ඇති අතර, දිනකට රුපියල් 700.00ක වැටුපක් ලබා දී තිබිණි. "අම්මට හැම මාසෙම පළවෙනිදට රුපියල් 7000 දානවා කෑම වියදමට. මාසෙට එක දවසක් හෝටලය වහල සේරම නිවාඩුවක් ගන්නවා. ඒ යනකොට මම අම්මට හුඟක් කෑම ජාතියි අරන් යනවා. එයාට කවදාවත් රස දේවල් හිතේ හැටියට කන්න බැරි වුණ කෙනෙක්. එයාව කවදාවත් අම්මා කෙනෙක් විදියට දැනුණේ නැති වුණත් හැම මාසෙම සල්ලි යවන්නෙ එයා මහන්සි වෙනවට ආස නැති නිසා." මේ සියල්ල අතර විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ද පෙර සේම හොඳින් සිදු කිරීමට සඳමාලිට හැකි විය. නමුත් කොළඹ මිනිසුන්ගේ දිවිපෙවතට ඇයගේ කිසිදු කැමැත්තක් නොතිබිණු බව ද පැවසුවාය. දුෂ්කරතා මැදින් ජයග්‍රහණය කරා සිය මවගේ අඩන්තේට්ටම් සහ සමාජයෙන් එල්ල වූ විවිධ බාධක මැඩගෙන සඳමාලි වසර හතරකට පසුව විශේෂ කළමණාකරන උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී ඇත. "මම නොපෙනන දෙවියන්ගේ ආශිර්වාද සොයපු කෙනෙක් නෙමෙයි. කවදාවත් විභාගයක් සමත් කර දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවේ නැහැ. මගේ ජීවිතය ගොඩනැගුවේ මම විසින්මයි. පොඩි කාලයේ ඉඳන්ම මම හැමදේම දිනපොතක ලියනවා. ජීවිතයේ සැලැස්ම හැමවෙලාවෙම ලියලා තිබුණා. මගේ හයියට කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම මට හැම වෙලාවකම පසු සැලැස්මක් තිබුණා. A සැලසුම ක්‍රියාත්මක නොවුණොත් B සැලැස්මක් ගැන මම ලියා තැබුවා. ඒ වගේම කරදර ආවට ජීවිතයේ එක් අඩියක් හෝ පසුපසට ගත්තේ නැහැ. නමුත් කුඩා කළ සැර පරුෂ වචන හැර වෙනත් දෙයක් නෑසුණ නිසා, යම් කෙනෙක් එහෙම කතා කරනකොට අදටත් අකමැත්තක් දැනෙනවා. ඒ වගේ අවස්ථා නිසා උපාධියෙන් පසු කොළඹ රැකියා කීපයක්ම මම අත්හැරියා. ගෙදරින් නොලැබුණු ආදරය මම සමාජයෙන් සොයනවා වෙන්නත් පුළුවන්. මම ආසියානු රටක ගිණුම් අංශයේ රැකියාවක් ද කළා. ඒ අතර කොරියානු භාෂා විභාගය ද කළා. එයින් උසස් ලෙස සමත් වුණා. නමුත් ඒ අතර යුරෝපා රටකට යන්නට අවස්ථාවක් ලැබුණා. මේ සියල්ල සිදු වුණේ මට නිතර පසු සැලැස්මක් තිබුණ නිසයි. වර්තමානයේ දී සඳමාලි යුරෝපා රටක සේවය කරන අතර, රටේ නම හෙළි කිරීමට අකමැති වූවාය. "මට තව සැලැස්මක් තිබෙනවා. ඒ වෙනත් යුරෝපා රටකට ගිහින් ජීවත් වෙන්න. මගේ සැලසුම් සාර්ථක වෙන තෙක් මම හෙළි කරන්නේ නැහැ. ඒකයි මම ඉන්න රටේ නම දාන්න එපා කිව්වේ. අද මම අම්මාට සහ අක්කාට ඉතා හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න සල්ලි යවනවා. මගේ සාර්ථකත්වය සහ මේ ගමන ගැන ආපසු හැරී බලන කළ මටම පුදුමයි. ඥාතීන් සහ සමහර පුද්ගලයන් මට බනිනවා අම්මා ගැන මේ දේවල් හෙළි කරන්න එපා කියලා. නමුත් දරුවන් වැදූ පමණින් ඔවුන්ට හිංසා කරන්න අම්මාටවත් බැහැ. යුරෝපා රටක ජීවත් වෙන මම අද එය හොඳින්ම දන්නවා. කොහොම වුණත් අන් අයට වගේම මම අම්මාටත් සමාව දෙනවා. මරණය ඇරෙන්න සමාවක් දෙන්න බැරි වැරදි මගෙ ජීවිතයේ නැහැ," සිය දීර්ඝ කතාව අවසන් කරමින් සඳමාලි පැවසුවාය. මේ තොරතුරුද කියවන්න:
වසර පන්දහසකට පෙර මිහිතලය මත විසූ 'මැමත්' නම්වූ අවසන් සද්දන්ත හස්ති විශේෂය විනාශවී යාමට හේතුව සොයා ගැනීමට හැකිවූ බව උතුරු ඇමරිකාවේ විද්‍යාඥයෝ විශ්වාස කරති.
ප්‍රධාන භුමියේ සිටි මැමත් ගහනයට වඩා තවත් වසර දහස් ගණනක කාලයක් සාන්ත පෝල් දූපතේ සද්දන්තයන් ජීවත්වූ බවට සාධක හමුවී තිබේ හුදෙකලා දූපතක් වන ඇලස්කාවේ සාන්ත පෝල් දූපතේ දී හමුවී ඇති 'මැමත් කොලනියකින්' ලබාගත් තොරතුරු අනුව නිගමනය කළ හැකි වන්නේ මෙම සත්ව විශේෂය වඳවී ගොස් ඇත්තේ බීමට ජලය නොමැති කමින් බවයි විද්‍යාඥයින් පවසන්නේ. අයිස් යුගය අවසානවීමත් සමග පෘථිවිය උණුසුම් වී මුහුදේ ජල මට්ටම ඉහළ ගොස් බීමට ජලය ඇති බිම් ප්‍රමාණය කුඩා වූ බවයි විශ්වාස කෙරෙන්නේ. කෙසේවුවද මිනිස් දඩයම් කරුවන් අතින් සහමුලින් විනාශ වී ගිය ප්‍රධාන භුමියේ සිටි මැමත් ගහනයට වඩා තවත් වසර දහස් ගණනක කාලයක් සාන්ත පෝල් දූපතේ සද්දන්තයන් ජීවත්වූ බවට සාධක හමුවී තිබේ.
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනඥයින් මෙන්ම දෙමළ ජනතාව ද ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටින නමුත් වර්තමාන රජයෙන් ද එවැනි විසඳුමක් ලබා දෙන බවක් පෙනෙන්න නැතැයි ඊ.පී.ආර්.එල්.එෆ් නායක සහ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.
යාපනයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය උතුරු සහ නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වූ බවය. දෙමළ ජාතික සන්ධානයත් උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවත් වත්මන් රජයට පූර්ණ සහාය පළ කරන ලද්දේ එම පොරොන්දු ඉටුවනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේය. නමුත් ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගත වී ඇතත් සිය අපේක්ෂාවන් ඉටු නොවීම තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් හාස්‍යයට ලක්ව ඇති බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙවැනි පසුබිමක් තුළ දෙමළ ජාතික සන්ධානය රජයට සහය දීම තවදුරටත් සිදු කරන්නේද යන්නත්, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ දෙමළ ජාතික සන්ධානය ඉදිරියටත් කටයුතු කරන්නේද යන්නත් ආර් සම්බන්දන් විපක්ෂ නායකවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා වීසින් තීරණය කළ යුතු බවත් ඔහු පැවසීය. උතුරේ වැසියන්ට අයත් ඉඩම් ආපසු ලබාදීම, යුද අනාථයින් යළි පදිංචි කොට අවසන් කිරීම හා යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබදව සොයා බැලීම යන කරුණු ද මේ වන විට රජයට අමතක වී ඇති බව ඔහු කියා සිටියේය. එබැවින් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ජනාධිපතිවරයා සහ රජය සමග සාකච්ඡා කොට සුදුසු තීරණයකට එළඹිය යුතුව ඇති බවත් සුරේෂ් ප්‍රේමචන්දරන් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් 21 වෙනි දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
සහ්රාන් හෂීම් පසුගිය අප්‍රේල් 08 වෙනි දින පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින්ගේ රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකෙරුණ බව ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරයි. "ආරක්ෂක මණ්ඩලයේ කරුණු නොනිල ලෙස මාධ්‍ය තුළ පළ වූ බැවින් ව්‍යුහය වෙනස් කොට ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස් විය," යනුවෙන් ද ජනාධිපතිවරයාගේ පණිවුඩයේ දැක්වේ. End of Twitter post, 1 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් බදාදා (මැයි 29) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉදිරියේ ලබා දුන් ප්‍රකාශය සම්බන්ධ වාර්තා ගැන ප්‍රතිචාර දක්වමිනි. "මේ ප්‍රහාරය ගැන පිට කෙනෙක් ගෙන් මට කිසිම තොරතුරක් ලැබිලා නැහැ. එහෙම ආවනම් මට මේ සභාවේ දී එය කියන්න පුළුවන්. ආරක්ෂක ලේකම්වරයාට තොරතුරු ආවොත්, ඔහු මට කියනවා," යනුවෙන් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කියා සිටියේය. 250 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා (අප්‍රේල් 21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බදාදා පාර්ලිමේන්තුවේ දී රැස් විය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍ය වෙත විවෘත වූ පළමු අවස්ථාව මෙයය. කතානායක කරු ජයසූරිය විසින් 2019 මැයි 22 පත්කරන ලද විශේෂ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කථානායක, ජේ එම් ආනන්ද කුමාරසිරි විසිනි. අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ මහාචාර්ය ආශූ මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වය දරති. ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය පා‍ර්ලිමේන්තු මන්ත්‍රී කා‍වින්ද ජයවර්ධන ඉවත්වීම හේතුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පත් කළ බව කතානායක කරූ ජයසූරිය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් බදාදා කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්හ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී බුද්ධි අංශ දැනුවත් කළ බවට බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙන්ම මුස්ලිම් මවුලවිවරුන් ද සිදු කළ ප්‍රකාශ ගෙන හැර දක්වමින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් පැවසුවේ ඒ කිසිදු තොරතුරක් තමන්ට නොලැබුණු බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තවදුරටත් මේ ගැන ප්‍රශ්න කරමින් විමසුවේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂීම් පිළිබඳව සහ ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යංශය හෝ ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කර නොමැති බවය "මමත් පත්තරවලින් දැක්කා. නමුත් මට කිසි කෙනෙක් මේ ගැන කියලා නැහැ. ඔවුන් කියන්නේ බලධාරීන්ට දැනුම් දුන්නා කියලා. ඒ ගැන ඊට එහා විග්‍රහයක් කර නැහැ," යන්න ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගේ පිළිතුර විය. 'පෙබරවාරි මාසයෙන් පසු ආරක්ෂක කවුන්සිලය රැස් වී නෑ' පසුගිය පෙබරවාරි 19 වෙනි දිනට පසුව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් වී නොමැති බව ද ජාතික බුද්ධි ප්‍රධානියා කාරක සභාව හමුවේ කියා සිටියේය. එම ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ "ආරක්ෂක මණ්ඩලයේ කරුණු නොනිල ලෙස මාධ්‍ය තුළ පළ වූ බැවින් ව්‍යුහය වෙනස් කොට ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස් විය," බවය. ආරක්ෂක කවුන්සිලය 2019 පෙබරවාරි මාසයෙන් පසු රැස් නොවීම මගින් අදාළ නිලධාරීන් සහ රටේ නායකත්වය සිය වගකීම් පහර හැර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කොට තිබුණි. තවත් සාක්ෂිකරුවෝ ප්‍රහාර ගැන තොරතුරු ලබා දුන් බව පවසන කලීල් මවුලවිතුමා මෙන්ම ඥානසාර හිමියන් ද සාක්ෂිකරුවන් ලෙස කාරක සභාව ඉදිරියට කැඳවිය යුතු බව සභාවෙන් යෝජනාවක් ඉදිරිපත් විය. සිද්ධියට අදාළ යැයි සැලකෙන ඕනෑම පුද්ගලයෙකු කමිටුව ඉදිරියට කැඳවිය හැකි බව ඒ අවස්ථාවේ සභාපතිවරයා පැවසීය. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් මහජනතාවට ද කාරක සභාව වෙත තොරතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ. මේ සඳහා යොමු කෙරෙන ලිපි කාරක සභාවේ ලේකම්වරයා වෙත ජුනි මස 07 වෙනි දින හෝ ඊට පෙර යොමු කළ යුතුය. ප්‍රහාර ගැන අනතුරු අඟවමින් බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිපිය, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමට ඉදිරිපත් කළේ දැයි කාරක සභාවෙන් ප්‍රශ්න ඉදිරිපත් විය. "මට අප්‍රේල් 7 වෙනි ඉරිදා රාජ්‍ය බුද්ධි තොරතුරු අධ්‍යක්ෂකතුමාගෙන් ලියුමක් ලැබුණා. එය මම විවෘත කළේ අප්‍රේල් 8 වෙනිදා උදේ 11ට විතර. එයට අමුණා තවත් ලිපියක් තිබුණා ප්‍රහාර ගැන සඳහන් කරලා. ඒක අත්සන් කර නැහැ, මාතෘකාවක් නැහැ, එවලා තියෙන්නේ කව්ද කියලත් නැහැ. මේක කොහෙන්ද ආවේ, මේ විස්තර කොහෙන්ද කියලා මම දන්නේ නැහැ," යැයි ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් එයට පිළිතුරු දෙමින් පැවසීය. "මෙය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර බුද්ධි තොරතුරු යවන විදිය වෙන්න පුළුවන් නේද? පරිනත පුද්ගලයෙක් හැටියට ඔබතුමා මොනවද මේ ගැන කියන්නේ?," ඒ සභාවෙන් නැගුණ ප්‍රශ්නයකි. "අපි පිටරට කට්ටිය එක්ක වැඩ කරලා තිබෙනවා. එතකොට ඒගොල්ලෝ බුද්ධි තොරතුරු දෙනකොට අත්සන් කරන්නේ නැතුව එවනවා. එහෙම ලියුම් එවනවා," යැයි සිසිර මෙන්ඩිස් පැවසීය. අදාළ ලිපිය ගැන එවකට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දු වාචිකව දැනුවත් කළ බව ඔහු තවදුරටත් පැවසීය. ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මැයි රැස් වූ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් අප්‍රේල් 9 වෙනිදා පැවැත්වූ ආරක්ෂක සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මෙම ලිපිය ඉදිරිපත් කළ නමුත් එය එහි ප්‍රධාන කරුණ ලෙස සාකච්ඡා නොවුණ බව ජාතික බුද්ධි අංශ ප්‍රධානියා පැවසුවේය. "මම මේ ලිපිය රැස්වීම අතරතුර මගේ ළඟ තියාගෙන හිටියා... මම මේ කාරණය මතු කළාම ලේකම්තුමා කිව්වා මේ ගැන පොලිස්පතිතුමාට දැනුවත් කළා කියලා. ඊට එහා මේ ගැන කතා වුණේ නැහැ." නමුත් අදාළ තොරතුරු ගැන දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් පොලිස්පතිට ලිපියක් යොමු කිරීමට ඔහු පසුව ක්‍රියා කර තිබිණි. බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව සමාජ ජාල ඔස්සේ ද හුවමාරු විය. අදාළ ලිපිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රහාරය සිදු වූ දින පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ පැවසුවේ "ආරක්ෂක ක්‍රියාවලිය තුළ සිදුවූ යම් වැරදීමක්" හේතුවෙන් මෙම ප්‍රහාර සිදු වූ බවය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මේ අතර, අනිවාර්ය නිවාඩු යැවීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අදාළ ආරක්ෂක අංශ බලධාරීන් ද අප්‍රේල් 21 ප්‍රහාරවලට වගකිව යුතු බවට දේශපාලනඥයන් සහ මහජනතාවගෙන් චෝදනා එල්ල වෙද්දී, එම තනතුරුවල බොහෝ වෙනස්කම් සිදු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේය. ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 29 වෙනි දින පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න පත් කරන ලදි. එමෙන්ම, උද්ගතව පැවති තත්ත්වය හමුවේ ආරක්ෂක ලේකම් තනතුරේ ක්‍රියාකළ හේමසිරි ප්‍රනාන්දු පසුගිය 25 වෙනිදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු හමුදාපති විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරනු ලැබීය. මේ තොරතුරුද කියවන්න: අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු ජනාධිපතිවරයා දැනුවත් කර නොතිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (මැයි 30) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ මහින්ද රාජපක්ෂ ආරක්ෂක කවුන්සිලය 2019 පෙබරවාරි මාසයෙන් පසු රැස් නොවීම ගැන බ්‍රහස්පතින්දා (මැයි 30) මාධ්‍ය වෙත අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ, "ඒක මහ විහිළුවක්. මගේ කාලයේ නම් සතියකට සැරයක් ආරක්ෂක මණ්ඩලය රැස් වුණා. ඒක තමයි යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ," යනුවෙනි. "බුද්ධි අංශයේ තොරතුරු ගැන, යුද්ධයේ තත්වය ගැන ඒකෙදි කරුණු ඉදිරිපත් කළා. මාස දෙකක් මණ්ඩලය රැස් නොවීම ලොකු වරදක්," තංගල්ල කාල්ටන් නිවසේ පැවති වැඩසටහනකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් පැවසීය. "එයින් පැහැදිලි වෙන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු කර නැහැ කියන එකයි. අදාළ නායකත්වයත් එයට උනන්දුවක් දක්වා නැහැ." "මොකද ඉතා පහසුවෙන් ලැබුණු නිසා අවබෝධයක් නැතිකම තමයි මෙයට හේතුවක් වුණේ. ඉන්දියාවෙන් 4 වෙනිදා තොරතුරු ලැබුණා කියනවා. අවසානයේදී නව වෙනිදා ලැබුණා කියනවා." "නමුත් ඒ අය දන්නෙ නැහැ ලැබුනෙ කොහෙන්ද කියලා. කොහොමහරි එදා රැස්වීම රැස්වුණ දවසේවත් ඒ ගැන කතා කරලා නැහැ. ඒ ගැන සොයා බලා කටයුතු කරන්න උනන්දුවෙලා නැහැ." "මේ අයට නීති අදාල වෙන්නේ නැහැ. ඒ අය ඉන්නෙ නීතියට උඩින්. අපිට තමයි කෑ ගැහුවෙ. නමුත් මෙයයි දැන් රටේ තත්ත්වය," ඔහු තවදුරටත් පැවසීය. "ප්‍රහාර ගැන තොරතුරු ලබා දුන්නා" අන්තවාදී කණ්ඩායම් රහසේ සංවිධානය වෙමින් ප්‍රහාරයකට සූදානම් වන බව 2012 වසරේ සිට අදාළ බලධාරීන් දැනුවත් කළ බව මින් දින කීපයකට පෙර පැවති මාධ්‍ය හමුවක දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූහ. "බලධාරීන් දැනුවත් කළා" මේ අතර, සමස්ත ලංකා ඉස්ලාම් උපදේශකයෙක් වන කලීල් මවුලවිතුමා මාධ්‍ය අමතමින් පැවසුවේ "අපි බුද්ධි අංශවලට මේ ගැන දැන්වූවා නමුත් කිසිවක් වුණේ නැහැ" යනුවෙනි. "මේ ගැන ප්‍රාදේශීය මුස්ලිම් නායකයන්ගේ ඉඳන් ඉහළට යනකම් හැම කෙනෙක්ම දැනගෙන හිටියා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරීන්ට මේ තිබෙන භයානක තත්වය පැහැදිලි කරලා දුන්නා. සහරාන් ඇතුළු පිරිස මහා පරිමාණයෙන් බෝම්බ නිෂ්පාදනය කරන බව 2017 දී අපි දැනගත්තා." "දැනුවත් කරලා බැරිම තැන අපි 2017 කාත්තන්කුඩිවල පාරට බැහැල උද්ඝෝෂණ පැවැත්වූවා. සහරාන් අත්අඩංගුවට ගන්න කියලා පෝස්ටර් ගැහුවා. බැරිම තැන මම මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පවා මේ ගැන දැනුම් දුන්නා. නමුත් කිසිදෙයක් වුණේ නැහැ," කලීල් මවුලවිතුමන් පැවසූහ. හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අප්‍රේල් 24 පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ හිටපු හමුදාපතිවරයා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විදේශීය සහ ජාතික බුද්ධි සේවා කළ අනතුරු ඇඟවීම් පිළිබඳ නිසි අවධානය යොමු නොවීම ගැන දැඩි ලෙස විවේචනය කළේය. ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් ජාතික බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාට එවන ලද ලිපිය අනිවාර්යයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ද යොමු වන බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. "මේ ලියුම ගැන ක්‍රියාත්මක වුණේ නැහැ කියලා පොලිස්පති අල්ලන් කන්න කියන එක හරිද?, ජනාධිපතිට එහි පිටපතක් ගිහින් නැතිනම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නැහැ. ආරක්ෂක කවුන්සිලය සුමානෙට සැරයක් තිබුණා නම් මේ ගැන කතා කරන්න තිබුණා. මේ වගේ ලියුමක් ආවම ආරක්ෂක කවුන්සිලය වහා කැඳවිය යුතුයි." "පොලිස්පති ගෙදර ඇරියා කියලා මේ ප්‍රශ්නයට විසඳුමක් එන්නේ නැහැ. මේකට වගකිවයුත්තෝ මීට වඩා ඉහලින් ඉන්නවා," හිටපු හමුදාපතිවරයා තවදුරටත් සඳහන් කළේය. විශේෂ කාරක සභාව ජුනි මස 04 වෙනි දින නැවත රැස්වීමට නියමිතය. තවත් තොරතුරු:
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ පසුගියදා වාර්තා පළවෙමින් තිබිණ.
රාජපක්ෂ පරිපාලනයේ බලධාරීන්ට එරෙහි දූෂණ, වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණවලට සහාය දීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට පොලිසිය විමල් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා කරයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එම චෝදනාව එල්ල කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කරමිනි. රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන මෙන් දැනුම් දෙන දිනවල ජාතික නිදහස් පෙරමුණේ නායකයා නිසියාකාරව පෙනී නොසිටින බවයි, පොල්ලිසිය එහිදී සඳහන් කළේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි බැවින් නීතිපතිවරයා වෙත පරීක්ෂණ ගොනු යැවීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරිය ලබන 28 සහ 29 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන මෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා වෙත නියෝග කළාය. පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීම පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති නිලයට පත් කළ ප්‍රථම කාන්තාව බිම්ශානි ජාසිං ආරච්චිගේ පත් වීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති අතර, එය සලකා බැලීම සඳහා ලබන මැයි 18 වැනිදා නැවතත් කැඳවීමට නියම කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිං ආරච්චි මෙම නඩුව ගැන සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර, ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා මෙන්ම පාර්ලිමේන්තුවේ පවා මේ ගැන අදහස් මෙන්ම විරෝධය පළ කිරීම් ද දක්නට ඇත. බිම්ශානි ජාසිං ආරච්චි නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස් කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති. පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 46 දෙනා අතරට එක්වූ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ශානි, 1997 පොලිස් සේවයට එක් වී ඇති අතර, 2006 වර්ෂයේදී පොලිස් පරීක්ෂක තනතුරට උසස් විය. අදාළ විභාගවලින් සමත් වුව ද, කාන්තාවකට ශ්‍රී ලංකාවේ පොලිසිය තුළ උසස්වීම් ලැබීමට ඇති විවිධ බාධා හේතුවෙන්, 2007 වසරේ දී සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීමට බිම්ශානිට අධිකරණයේ පිහිට පතන්නට ද සිදු විය. එවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුවත්, ජාතික පොලිස් කොමිෂන් සභාව නිලධාරිනියන්ගේ උසස්වීම් වෙනුවෙන් යම් නීති වෙනස් කිරීමත් නිසා ඇය සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරිණි. සිය වෘත්තීය ගමනේ ඊළඟ පියවර ලෙස 2013 වසරේදී බිම්ශානි පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත් උසස් වීම් ලැබුවාය. ප්‍රමිලා දිවාකරගෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් වූ දෙවෙනි කාන්තාව වූයේ බිම්ශානිය. කෙසේනමුත්, පොලිස් පරිපාලන පද්ධතිය තුළ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදු කෙරුණු යම් අරගල, අධිකරණ සහ පරිපාලන ක්‍රියාමාර්ග හේතුවෙන් 2019 වසරේදී තවත් නිලධාරිනියන් අටදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබූහ. නඩුවේ පසුබිම කුමක් ද? බිම්ශානිගේ තනතුර නීති විරෝධී වන අතර ඉන් පුරුෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ උසස් වීම්වලට බාධා ඇති වී තිබෙන බව සඳහන් කරමින් නඩුවට පෙර නිලධාරීන් 14 දෙනෙකු පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබිණි. මෙම පත්වීම ආපසු හරවන ලෙසත්, කාන්තාවන් සඳහා වෙනම තනතුරු ඇති කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම ලිපියේ සඳහන් කර තිබේ. කාන්තා සහකාර පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙකු, පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකු සහ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක බඳවා ගැනීමේ ක්‍රමයක් සඳහා නිර්දේශ ඇතුළත් ලිපියක් පසුගිය දෙසැම්බර් මාසයේ දී මුදල් අමාත්‍යාංශ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යැවීමට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න ක්‍රියා කර තිබිණි. නමුත් මෙම යෝජනා ක්‍රියාත්මක කර නොමැත. පොලිසියේ සෑම තරාතිරමකම පුරප්පාඩු වලින් 15%ක් කාන්තාවන්ට ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2006 ජනාධිපති ධුරයේ සිටියදී කැබිනට් තීන්දුවක් ගත් නමුත්, එය ද ක්‍රියාත්මක නොවීය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් පසු කාන්තාවකට උසස් වීමක් ලැබිය හැකි තනතුරක් නීතියේ සඳහන් නොවේ. නමුත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයක් මත කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය යන තනතුරකට (WDIG) බිම්ෂානි ජාසිං ආරච්චිව පත් කර තිබේ. කෙසේනමුත්, පොලිස් අධිකාරිවරුන් 162 ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි169 ක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 46 ක් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 12ක් සඳහා පුරුෂයන්ට පුරප්පාඩු ඇත. "නඩුව ගොනු කළේ කාන්තාවක් තනතුරට පත් කිරීමට එරෙහිව නෙමෙයි. මේක පරිපාලනයට සම්බන්ධ ප්‍රශ්නයක්," නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. "කාන්තාවක් ඉහළ තනතුරකට යන එකට අපි විරුද්ධ නැහැ. නමුත් නීති රෙගුලාසිවලින් පිටත WDIG (කාන්තා නියෝජ්‍ය පොලිස්පති) කියන තනතුරක් නිර්මාණය කිරීම නිසා නීතියේ සඳහන් පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වෙන්න හිටිය අනෙක් ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. උසාවියට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නඩුව." ප්‍රමිලා දිවාකරගේ අදහස් ශ්‍රී ලංකා පොලිසියට නිලධාරිනියන් අවශ්‍ය දැයි යන්න පිළිබඳ අත්හදා බැලීමක් ලෙසින් කාන්තා පොලිස් සේවය ආරම්භ කර තිබෙන්නේ 1953 දීය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර ඒ අනුව කාන්තා පොලිස් සේවය සඳහා මුලින්ම බඳවා ගන්නා ලද්දේ නිලධාරිනියන් සිව් දෙනෙක් පමණකි. එලෙස බඳවා ගන්නා ලද පස් වැනි කණ්ඩායමේ සාමාජිකාවක ලෙසින් 1958 දී ප්‍රමිලා දිවාකර කොස්තාප්ලවරිය පොලිස් සේවයට සම්බන්ධ වන විට ඇය සමඟ තවත් කාන්තාවන් දහ තුන් දෙනකුද බඳවාගෙන තිබේ. බිම්ෂානිට පෙර කාන්තා පොලිස් ඉතිහාසයේ ඉහළම තනතුරක් හෙබවූයේ ප්‍රමිලා දිවාකරය. වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය සහ පොලිස් කාන්තාවක් තනතුරු ලබා ගැනීමේ දී ඇතිවන ගැටලු ගැන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකරගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය. "මම පොලිසියට බැඳිලා අවුරුදු 13ක් ගියාට පස්සේ 1971 තමයි සාජන්ට් ලෙස උසස් වීමක් ලැබුණේ. ඒක ලැබෙන්නත් එක්කෝ ඒ තනතුරේ කෙනෙක් මැරෙන්න ඕනේ නැත්නම් අස්වෙලා යන්න ඕනේ." "කාන්තා සහ පිරිමින්ට එක සමාන ලෙස සලකනවා කිව්වාට, ඒ දවස්වල උසස්වීම් ලබා දෙනකොට නම් අපි ගැන බොහොම අවතක්සේරුවක් තිබුණේ. නමුත් සෑහෙන බාධක මැද උසස්වීම් මම ලබා ගත්තා. හැබැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී තනතුර ගන්න 1999 දී නඩු කියන්න වුණා. මම අවුරුදු 44කට ආසන්න කාලයක් පොලිස් සේවයේ හිටියා." "කොහොම වුණත් සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන එකයි මගේ අදහස. බිම්ශානි කියන්නේ උගත් කාන්තාවක්. අධිකරණයට ගිහින්, ඊට පස්සේ පොලිස් කොමිෂමටත් ඉල්ලීමක් කළාට පස්සේ තමයි එයාට ජ්‍යෙෂ්ඨත්වය අනුව ලැබෙන්න තිබුණ තනතුරක් ලැබුණේ," ඇය තවදුරටත් පැවසුවාය. ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ මුළු නිලධාරි සංඛ්‍යාව 85,000 ක් පමණවන අතර, ඒ අතරින් කාන්තාවන් සිටින්නේ 9,000කට ආසන්න ප්‍රමාණයකි. ඒ අතර පරිණත, අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් බොහෝ දෙනෙක් වසර ගණනාවක් පොලිස් සේවයේ යෙදී සිටියත් ඔවුන්ට ඉහළම තනතුරුවලට උසස් වීමේ නීතියම පසුබිමක් නොමැත. "කොහොම වුණත් මම අවුරුදු 44ක් කරපු රැකියාවට බොහොම ආදරය කරනවා, ගරු කරනවා. කාන්තා පිරිමි භේදයක් නැතුව සුදුසුකම් මත තනතුරු ලැබෙන්න ඕනේ කියන එකයි මගේ අදහස," ප්‍රමිලා තවදුරටත් පැවසීය. 2025 වන විට තවත් පොලිස් කාන්තාවන් නව දෙනෙකු උසස් තනතුරු සඳහා සුදුසුකම් සපුරන අතර, ඉන් පෙර මෙම ගැටලුවට අදාළ නීතිමය කරුණු ගැන දැඩි අවධානයක් යොමු විය යුතුය. නඩුව සහ නීතීඥ අදහස් පවත්නා නීති නොසලකා හැර නීති විරෝධී සහ අත්තනෝමතික ලෙස පොලිස් කොමිසම සිදු කළ බිම්ශානිගේ පත්කිරීම නිසා පෙත්සම්කරුවන්ගේ වෘත්තීය දිවියට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමේ සඳහන් වේ. ඒ අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය සහතික කර ඇති පරිදි සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම (නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය) සහ 14 වන වගන්තිය යටතේ සිය රැකියා අයිතිය ද උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති. බිම්ෂානිට එරෙහි නඩුව ගැන ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්ගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය. "කාන්තාවකට පොලිසියේ ඉහළ තනතුරුවලට යන්න නීතිමය වශයෙන් යම් ගැටලු තිබෙනවා. නමුත් මෙතන තිබෙන ගැටලුව WDIG කියන තනතුරක් නීතියෙන් නැති එකයි. WPC (කාන්තා පොලිස් නිලධාරිනී) කියන තනතුරක් ගැන අපි දන්නවා, නමුත් ඉන් එහාට W (Woman) කියලා යොදලා තනතුරක් නිර්මාණය කිරීමෙන් මේ වගේ ගැටලු ඇතිවෙනවා," ප්‍රසන්ත ලාල් පැවසුවේය. ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් "උදාහරණ විදිහට බැලුවොත්, එහෙමනම් අපි අනෙක් කාන්තා වෘත්තිකයන් W ගුරුවරු, W නීතීඥවරු, W ජනාධිපති කියල හඳුන්වන්න ඕනේ. එතකොට සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු පොලිසියේ මේ තනතුරට පත් වුණොත් හඳුන්වන්නේ කොහොම ද? මේ ප්‍රශ්න නිසා WDIG කියලා වෙනම තනතුරක් තියෙන්න බැහැ." "දැනට විභාග කරන නඩුවක් ගැන අපිට වැඩිදුරටත් කතා කරන්න බැහැ (sub-judice ) නමුත් නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන්." යැයි ද ජනාධිපති නීතිඥවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ විරෝධය බිම්ශානිගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් ගේ සංසදය පෙබරවාරි 18 පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. බිම්ශානිගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින අතර, පොලිස් කාන්තාවන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබිය යුතු යැයි තමන්ගේ විශ්වාසය බව එම සංසදයේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසීය. බහුතර පුරුෂ නියෝජනයක් ඇති ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස් නිලයකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවට ගරු කිරීමක් ලෙස තමන් දකින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. කව්ද මේ බිම්ෂානි ජාසිං ආරච්චි? පොලිසියේ වසර 23ක් පමණ සේවයේ නිරත ඇය වීරකැටිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ උපත ලැබීය. රුහුණු විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වන ඇයගේ පොලිස් දිවියේ මුල්ම රාජකාරි ස්ථානය වන්නේ වවුනියාව පොලිස් ස්ථානයයි. ඉන්පසු වසර ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ළමා සහ කාන්තා අපයෝජන අංශය, පොලිස් පුහුණු කිරීම් අංශය, ප්‍රභූ ආරක්ෂක හා පරිපාලන රාජකාරිවල ද නිරත වීය. ලොව වෙනත් රටවල කාන්තාවන් පොලිසියේ උසස් තනතුරු දරන්නේ ද? එක්සත් රාජධානියේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ වර්තමාන ප්‍රධානියා 60 හැවිරිදි ක්‍රසිඩා ඩික් වන අතර, එරට පොලිස් බලකායෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන්ය. ඇමරිකාවේ පෝට්ලන්ඩ්, ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රධාන නගර ගණනාවක පොලිස් ප්‍රධානීන් කාන්තාවන්ය. ඩැනියෙල් අවුට්ලෝ ෆිලඩෙල්ෆියා නගරයේ ප්‍රථම ඇමරිකානු - අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තා පොලිස් ප්‍රධානී ලෙස 2020 දී පත් විණි. ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රධානී ක්‍රසිඩා ඩික් වර්තමානයේ දී ලොව පුරා රටවල් බොහොමයක් පොලිස් කාන්තාවන්ට පුරුෂයන් හා සමානව සැලකීම සහතික කිරීමට උත්සාහ දරමින් සිටිති. ස්වීඩනය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව වැනි රටවල් මේ අතරින් විශේෂයෙන් කැපී පෙනෙන අතර, කාන්තාවන් පොලිසියේ උසස් නිලයන් සඳහා පත් කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී තිබේ. මේ තොරතුරුද කියවන්න:
ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු කරමින් සිටිති.
ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නට සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තාගත වේ. රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරු මෙම දෝෂාභියෝගය ගෙන ඒම සඳහා සිය ඡන්දය භාවිත කර ඇත. ඒ සඳහා ඉදිරිපත් කළ ලියවිල්ලේ සඳහන් වන්නේ, පසුගියදා පැවති ජනාධිපතිවරණයේ දී වංචා හා දුෂණ සිදුවූ බවට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින්, කොංග්‍රස් සභාවට කඩාවැදීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් ජනවාරි 6වැනිදා තම ආධාරකරුවන් පොළඹවනු ලැබූ බවය. එම චෝදනාවට හිටපු ජනාධිපතිවරයා වැරදිකරු ද නැතහොත් එම චෝදනාවලින් ඔහු නිදහස් කරන්නේද යන්න තීරණය කිරීම සඳහා ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ දෙයකි; ජනාධිපතිවරයෙකු තම ධූර කාලය නිමා කිරීමෙන් පසුව ඔවුන් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය. ඉතින්, කුමක් සිදු වේවිද? පරීක්ෂණය සිදුවන්නේ කෙසේද? සෙනෙට් සභාව තුළ සිදුකෙරෙන පරීක්ෂණය දේශපාලනික ය. ඉදිරිපත් වී ඇති චෝදනාවට ට්‍රම්ප් වැරදිකරු ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයෙන් අනතුරුව සෙනෙට් සභිකයන් අතර ඡන්ද විමසීමක් පැවැත්වේ. ට්‍රම්ප් වැරදිකරු කිරීමට නම් සෙනෙට් සභාවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍යවේ. සෙනෙට් සභාව සභිකයන් 100 දෙනෙකුගෙන් සමන්විතය. ට්‍රම්ප් වැරදිකරු බවට පත්වුනහොත් ඔහුට ජීවිතාන්තය දක්වා දේශපාලනයේ යෙදීම තහනම් කිරීමට සෙනෙට් සභාවට බලය තිබේ. සිදුවන්නේ කුමක්ද? කවදා ද? ට්‍රම්ප් මේවනවිට පදවියේ නොමැති හෙයින් මෙම පරීක්ෂණය ව්‍යවස්ථාවට අනුකූලදැයි තීරණය කිරීම සඳහා අඟහරුවාදා විවාදයක් පැවැත්වුණි. එම විවාදයෙන් අනතුරුව පැවැත්වුණු ඡන්ද විමසීමෙන් තීරණය වූයේ එය ව්‍යවස්ථා විරෝධී නොවන අතර පරීක්ෂණය පැවැත්විය යුතු බවය. මෙම පරීක්ෂණය සඳහා සාක්ෂිකරුවන් කැඳවිය හැකිද යන්න තීරණය කිරීමට ද සෙනෙට් සභිකයන් අතර ඡන්දයක් විමසනු ඇත. කෙසේ වෙතත් මෙම පරීක්ෂණය සඳහා කෙතරම් කාලයක් ගතවේද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් නොමැත. හැකි ඉක්මණින් පරීක්ෂණය නිමා කිරීම සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවයයි. ඊට හේතුව, නව ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉදිරිපත් කරනු ලබන කොවිඩ් 19 සහන සැලැස්ම නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කෙරෙහි අවධානය කඩිනමින් යොමු කිරීමට අවශ්‍ය බැවිනි. පැමිණිල්ලේ තර්කය කුමක්ද? ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ සිදු වූ කෝලාහලවලට හිටපු ජනාධිපති ට්‍රම්ප් "පෞද්ගලිකව වගකිව යුතු" අතර ඔහු වරදකරු කළ යුතු බවය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිගින් දිගටම පිළිනොගැනීම මගින්, "තමන් විසින් ආරක්ෂා කරනු ලබන බවට කලින් දිවුරා පොරොන්දු වී ඇති ජනරජයට එරෙහිව, කෝලාහල ඇතිකිරීමට මග පාදා" ඇති බව ඔවුහු පවසති. ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයන් මගින් ජනවාරි 6වැනිදා පැවති "අනවසර රැළිය, කලහකාරී කැරැල්ලක්" බවට පත් කෙරුණු බවට ඔවුහු තර්ක කරති. මෙම රැලිය "ට්‍රම්ප් ගේ ගිනි පුපුරකින් ප්‍රචණ්ඩකාරී වීම සඳහා කල්තියා සංවිධානය කර තිබූ දෙයක්" බව තහවුරු කිරීමට, "රැලියේ වීඩියෝ පට සහ ට්‍රම්ප් ගේ මුවින් පිටවූ වදන් ඔවුහු යොදා ගනිති. "සාක්ෂි ඉතා පැහැදිලියි. ජනාධිපතිවරණයේ තීන්දුව වෙනස් කරන්නට දැරූ අනෙකුත් සියලු උත්සාහයන් අසාර්ථක වූ විට කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා උල්පන්දම් දී" ඇතැයි පැමිණිලිකරුවන් ලියා ඇත. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ තර්කය වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේවනවිට ජනාධිපති තනතුරේ නොසිටින නමුත් "ඔහු තනතුරට පත්වූ පළමු දිනයේ පටන් අවසාන දිනය දක්වා පැවති තම කල්ක්‍රියාව පිළිබඳව ඔහු විස්තරාත්මකව පිළිතුරු සැපයිය යුතු" බවය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වීදි බැස සිටියහ ට්‍රම්ප්, මින් ඉදිරියට දේශපාලනය කිරීම සඳහා නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස පැමිණිලිකරුවෝ ඉල්ලා සිටිති. ට්‍රම්ප්ගේ විත්තිවාචකය කුමක්ද? පරීක්ෂණය ආරම්භවීමට ප්‍රථම ට්‍රම්ප්ගේ නීතිවේදීන් ප්‍රකාශ කළේ දෝෂාභියෝගය සඳහා ගෙන ආ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය. තම ආධාරකරුවන් කොංග්‍රස් සභාවට කඩා වැදුණේ ඔවුන්ගේ ම අභිමතය පරිදි බව විත්තියේ නීතිවේදීහු පැවසුහ. කෝලාහලයට පෙර ට්‍රම්ප් කළ ප්‍රකාශයන් පෙළඹවීමක් බවට පත්නොවූ බව ඔවුන්ගේ තර්කයයි. "සටන් කරන්න" (fight) යන වචනය භාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අදහස් නොකළ බව ට්‍රම්ප්ගේ නීතිවේදීහු පැවසූහ. ඔවුන් තවදුරටත් පවසන්නේ "කොලාහලයකට පෙළඹවීමක්" ලෙස මෙම ප්‍රකාශය පමණක් මතුකර දක්වන්නේ සමස්තයක් වශයෙන් ට්‍රම්ප්ගේ කතාවේ ඇති අනෙකුත් ප්‍රකාශයන් නොසලකා හැරීමට බවය. ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින් සිදු කළ කතාවේ දී "සාමකාමීව ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න" යනුවෙන් ඉල්ලීම් කළ බව ද ඔවුහු පෙන්වා දුන්හ. මෙම නීතිවේදීහු තවදුරටත් කියා සිටියේ මෙම කෝලාහලය දින ගණනකට කලින් සැලසුම් කළ දෙයක් බව FBI වාර්තාවල සඳහන් වන බවය. ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන මෙම පරීක්ෂණය ව්‍යවස්ථාවට එකඟ නොවන බව ද, ඔවුහු තවත් නීතිමය කරුණක් ලෙස ගෙන හැර දක්වති. ඔවුන් තර්ක කරන්නේ, ට්‍රම්ප් මේවන විටත් සාමාන්‍ය පුරවැසියෙක් පමණක් වන හෙයින් තවදුරටත් ඔහු තනතුරින් පහකිරීමක් සිදු කළ නොහැකි බවය. මෙය "දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කරවීම සඳහා රඟ දැක්වෙන දේශපාලන නාටකයක් සහ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රියාවක්" ලෙසට ට්‍රම්ප්ගේ නීතිවේදීහු හඳුන්වති. ට්‍රම්ප් ගිය පසු මෙය කළ හැකිද? මීට පෙර කිසිදා මෙවැන්නක් සිදුවී නොමැත. එම නිසා මෙය මීට පෙර අත්හදා බැලූ දෙයක් නොවේ. ඇමරිකානු ව්‍යවස්ථාවේ ද එවැන්නක් සඳහන් වී නැත. රිචර්ඩ් නික්සන් 1974 දී ජනාධිපති තනතුර අතහැර දැමීමෙන් පසුව ඔහුට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝග ක්‍රියාදාමය නතර විය. එම නිසා මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ට්‍රම්ප්ට හැකියාවක් තිබේ. පහළ තනතුරු දැරූ ඇතැම් නිලධාරීන් කීපදෙනෙකු නම් ඔවුන් තනතුරින් ඉවත්වීමෙන් අනතුරුව දෝෂාභියෝග ගෙනැවිත් වරදකරුවන් කළ අවස්ථා තිබේ. සාක්ෂි දීමට ට්‍රම්ප් පැමිණේවි ද? ඇත්ත වශයෙන් ම පැමිණිලිකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ද එයයි. තමන් කැමති ස්ථානයක දී දෙපාර්ශවයම එකඟ වන දිනයක හා වේලාවක සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත්වන ලෙස ආරාධනා කරමින් පසුගිය සතියේ දී ලිපියක් යවා ඇත. ට්‍රම්ප් නිශ්ශබ්ද වන්නේ නම්, චෝදනා සත්‍ය බවට ඔප්පු කිරීමට එයද සාධකයක් වනු ඇති බවට අභිචෝදකයන් ඇඟවීමක් කර තිබේ. කෙසේ නමුත්, මෙම ඉල්ලීම සිදුකර පැය කිහිපයක් ඇතුළත ට්‍රම්ප්ගේ නීතිඥවරු එය ප්‍රතික්ෂේප කර තිබුණි. සාක්ෂි ලබා දීම සඳහා ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන බව ට්‍රම්ප්ගේ නීතිවේදීන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ට සිතාසි යැවීමට අභිචෝදකයන්ට බලය තිබේ. නමුත් එය බොහෝ විට සිදු නොවනු ඇති දෙයක් ලෙස සැලකේ. මෙම පරීක්ෂණයට හවුල්වන්නේ කවුරුන් ද? ඩොනල්ඩ් ට්‍රම්ප්: කැපිටල් ගොඩනැගිල්ලට ආධාරකරුවන් කඩා වැදීමෙන් අනතුරුව ජාතිය අමතමින් ට්‍රම්ප් ට එරෙහිව ගෙන ආ පළමු දෝෂාභියෝගයට අදාළ පරීක්ෂණය සිදුකෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබර්ට්ස් ගේ ප්‍රධානත්වයෙනි. නමුත් නැවතත් ඔහු එසේ නොකරනු ඇත. සෙනෙට් සභික පැට්‍රික් ලීහයි මෙවර මූලාසනය දරනු ඇත. තවත් සෙනෙට් සභිකයන් නව දෙනෙකු පරීක්ෂකවරු වශයෙන් කටයුතු කරනු ඇත. ට්‍රම්ප් වෙනුවෙන් බලයලත් නියෝජිතයන් දෙදෙනෙකු ඉදිරිපත් වනු ඇත. තම නීතිඥ කණ්ඩායමට තවත් කීපදෙනෙකු ට්‍රම්ප් විසින් පත් කරනු ලැබේවිදැයි තවමත් පැහැදිලි නැත. සෙනෙට් සභිකයන් සිය දෙනාම ජූරි සභිකයන් ලෙස කටයුතු කිරීම සඳහා දිවුරුම් දී තිබේ. සෙනෙට් සභාව තුළ ට්‍රම්ප් වැරදිකරු කළ හැකිද? සෙනෙට් සභාවේ ආසන සියය අතරින් ඩිමොක්‍රටික් සභිකයන් සිටින්නේ අඩක් පමණි. එම නිසා තමන්ගේම පක්ෂයේ කෙනෙකුට එරෙහිව ඡන්දය පාවිච්චි කරන රිපබ්ලිකන් පාක්ෂික සභිකයන් 17 දෙනෙකු ද සිටිය යුතුය. ප්‍රසිද්ධියේ ට්‍රම්ප් ට හිතවාදී ලෙස කටයුතු කරන පක්ෂයක එවැන්නක් සිදුවීම අසීරු දෙයකි. නමුත් මෙම දෝෂාභියෝගය පරීක්ෂාවට ලක් කළ යුතු බවට රිපබ්ලිකන් සභිකයන් 10 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම තමන් විවෘතව සිටින බවට රිපබ්ලිකන් සභිකයන් අතලොස්සක් ඉඟි කර තිබේ. කෙසේ නමුත්, මෙම පරීක්ෂණය අත්හිටවිය යුතු බවට රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් 50 දෙනාගෙන් 45 දෙනෙකු පසුගිය සතියේ ඡන්දය පාවිච්චි කර තිබුණි. වැරදිකරු වුවහොත් යළිත් ජනාධිපතිකමට තරග කළ හැකිද? ට්‍රම්ප් වැරදිකරු වුවහොත් ඔහු නැවත තරඟ කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නම් සෙනෙට් සභාව තුළ තවත් ඡන්ද විමසීමක් කළ යුතුය. 2024 දී තමන් නැවතත් ජනාධිපතිධුරයට තරඟ කරන බව ට්‍රම්ප් ඉඟිකර ඇත. මෙම දෝෂාභියෝගයේ විශාලතම ප්‍රතිවිපාකය මෙය විය හැකිය. එක්සත් ජනපදය තුළ කිසිදු ආකාරයක "ගරුකටයුතු කාර්යාලයක්, භාරකාර මණ්ඩලයක් හෝ ලාභ ලබන කාර්යාලයක්" පවත්වාගෙන යාම තහනම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ සෙනෙට් සභාවේ සරල බහුතරයක් පමණි. එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැවත දේශපාලන බලයක් ලබා ගැනීමේ සිහිනය කඩා බිඳ දැමීමට සෙනෙට් සභිකයන් 50 දෙනෙකුට අමතරව උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ ඡන්දය පමණක් ප්‍රමාණවත් වනු ඇත. ට්‍රම්ප් පක්ෂයෙන් ඉවත්කර ගැනීමට පවතින මෙම අවස්ථාවට, මීළඟට තරග කිරීමේ අපේක්ෂාව පවතින රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ද හිත ඇදී යා හැකිය. ට්‍රම්ප්ට හිමි දීමනාවලට සිදුවන්නේ කුමක්ද? හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන දීමනා ට්‍රම්ප් ට අහිමි වීම පිළිබඳව ද කතාබහක් ඇතිවී තිබේ. හිටපු ජනාධිපතිවරුන් පිළිබඳව 1958 දී සම්මත වූ පනත ප්‍රකාරව ඔවුනට විශ්‍රාම වැටුපක්, සෞඛ්‍ය රක්ෂණාවරණයක් සහ බදු ගෙවන්නන්ගේ මුදලින් ජීවිතාන්තය දක්වා ආරක්ෂකයන් සැපයීම වැනි සහන හිමිවේ. නමුත් ට්‍රම්ප් තනතුරින් ඉවත්වීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය පැවැත්වෙන බැවින් එම දීමනා එලෙසම පැවතීමට ඉඩ තිබේ. ඔහුට එරෙහි පළමු දෝෂාභියෝගය කුමක්ද? පළමු දෝෂාභියෝගය ඉදිරිපත් වූයේ යුක්රේනය සමඟ කෙරුණු බව කියන ගනුදෙනුවක් අරභයා ය. තමන් කිසිදු වරදක් නොකළ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ජෝ බයිඩන්ට (වත්මන් ජනපති) සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස යුක්රේනයේ නායකයාට බලපෑම් කළ බවට එවක ජනපති පදවියේ සිටි ට්‍රම්ප් ට චෝදනා එල්ල විය. පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් දෝෂාභියෝගය සම්මත වී ට්‍රම්ප් වැරදිකරු බවට සම්මත වුවත් එවක රිපබ්ලිකන් පක්ෂය සතුව බලය පැවති සෙනෙට් සභාවෙන් ට්‍රම්ප් නිදොස් කෙරුණි.
බංග්ලාදේශයේ පැවැත්වෙන වයස අවුරුදු දහ නවයට අඩු ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලියෙන් තම කණ්ඩායම ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, ඉවත් කර ගන්නා බව බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
බංග්ලාදේශ් මහ මැතිවරණ සමයේයි තරඟාවලිය ආරම්භ කෙරුණේ. බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම චිතගොං නගරයේ රැඳී සිටින හෝටලය අසල පසුගිය සෙනසුරාදා බෝම්බ පිපිරීමක් වාර්තා වුණි. බටහිර ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සිය ක්‍රීඩකයන් තරඟාවලියෙන් ඉවත් කර ගැනීමේ තීන්දුව ගෙන තිබෙන්නේ, එම බෝම්බ පිපිරීමෙන් අනතුරුවයි. මහ මැතිවරණය බංග්ලාදේශයේ මී ළඟ මහ මැතිවරණය ලබන ජනවාරි මස පස් වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලක් පැතිර යමින් පවතී. එම ප්‍රචණ්ඩ ගැටුම්වලින් මේ වන විට හැත්තෑවකට අධික මහජන ජීවිත විනාශයක් සිදුව ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර විසින් රචිත පොත් හතක් නැවත මුද්‍රණය කිරීම විකිණීම සහ බෙදා හැරීම තහනම් කිරීමේ නියෝගයක් ජනතා විමුක්ති පෙරමුණ වෙත නිකුත් කරන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර ඇත.
විජේවීර පවුලේ ඡායාරූපයක් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබුණේ රෝහණ විජේවීරගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු විසිනි. පෙත්සම්කාරිය කියා සිටින්නේ රෝහණ විජේවීර රචිත දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක් ද? ඇතුළු ග්‍රන්ථ හතක් ඇයගේ අවසරයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ විසින් නැවත මුද්‍රණය කරමින් විකිණීම සහ බෙදා හැරීම සිදු කරන බවයි. ජවිපෙ මහජන රැළියක් රෝහණ විජේවීර විසින් රචිත පොත්වල බුද්ධිමය දේපළ අයිතිය තමන් සතු බව පවසන පෙත්සම්කාරිය ජනතා විමුක්ති පෙරමුණට ඒවායේ හිමිකමක් නොමැති බවයි කියා සිටින්නේ. පෙත්සම්කාරිය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සැලකිල්ලට ගත් කොළඹ වාණිජ අධිකරණය එම කරුණ සම්බන්ධයෙන් නොවැම්බර් 27 වෙනි දින අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වන මෙන් වගඋත්තරකාර ජනතා විමුක්ති පෙරමුණට නියම කළේය.
දශ ලක්ෂ සංඛ්‍යාත විදේශීය ගෘහස්ත කම්කරුවන්ට වැඩි අයිතිවාසිකම් ලබාදීම අරමුණු කොටගෙන සෞදි අරාබිය නව නීති හඳුන්වා දී තිබේ.
දිනකට අඩුම වශයෙන් පැය නවයක්, වැඩ නොගෙන සිටිය යුතු බවද එහි දැක්වෙයි ඒ අනුව හාම්පුතුන් සේවකයන්ට සමස්ත වැටුප ගෙවිය යුතු අතර සෑම සතියක් පාසා, දිනක නිවාඩුවක් ලබා දිය යුතුයි. දිනකට අඩුම වශයෙන් පැය නවයක්, වැඩ නොගෙන සිටිය යුතු බවද එහි දැක්වෙයි. 'කීකරුව සිටිය යුතු' එසේ වෙතත්, සංක්‍රමණික කම්කරුවන් හාම්පුතුන්ට කීකරුව සිටිය යුතු අතර වලංගු හේතුවක් නොමැතිව වැඩ ප්‍රතික්ෂේප කිරීම හෝ සේවය හැර යාම නොකළ යුතු බවයි අවධාරණය කොට ඇත්තේ. ඉස්ලාම් ආගමට ගරු කිරීමද නීතියෙන් පැවරෙන නියමයක්. සේවකයා හෝ සේව්‍යයා මේ රෙගුලාසි උල්ලංඝනය කළහොත් දඩ පැනවිය හැකියි. හාම්පුතුන් අතින් ශාරීරික, ලිංගික හෝ මානසික පීඩාවට පත් වන විදේශීය ගෘහ සේවිකාවන් බොහෝ සිටින බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ දිල්ලි නුවර නිවසක සිටි මෙහෙකාර දැරියක කැපුම් තුවාල සහ බල්ලෙකු විසින් සපා කෑමෙන් ලද තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.
ඉහත සඳහන් දැරිය බේරා ගත් ආධාර සේවකයා කියා සිටියේ සිය සේවා කාලය තුළ දුටු ඛේදනීය ම සිද්ධිය මෙය බවයි. මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ. මෙහෙකාර සේවයේ තබා ගෙන සිටි මෙම දැරිය පහළොස් වියැති බවට විශ්වාස කෙරෙන අතර ඇය නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටියේ මධ්‍යම පාන්තික නිවෙසක යි.
සප්‍රාණික ජීවීන් සිකුරු ග්‍රහයාගේ වළා අතර පාවෙමින් සිටින්නේය යන අදහස ඉතා අසාමාන්‍ය තත්ත්වයකි.
සිකුරු ග්‍රහලොව: මධ්‍ය අක්ෂාංශ අතර ෆොස්ෆයින් නිරීක්ෂණය කෙරිණි එහෙත්, තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට දැන් ලක්ව තිබෙන්නේත් එයම ය. තමන්ට පැහැදිලි කළ නොහැකි ආකාරයේ වායුවක් සිකුරු ග්‍රහයාගේ වායුගෝලය තුළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුහු මේ තත්ත්වයට පත්ව සිටිති. එම වායුව හැඳින්වෙන්නේ ෆොස්ෆයින් (phosphine ) නමිනි. එහි අණුවක් සෑදෙන්නේ ෆොස්ෆරස් අණුවක හා හයිඩ්‍රජන් අණු තුනක සංයෝගයෙනි. පෘථිවිය මත්තේ නම් ෆොස්ෆයින් වායුව රඳාපවතින්නේ, පෙන්ගුයින් වැනි සතුන්ගේ අන්ත්‍ර තුළ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් ඇසුරේ හෝ ගොහොරු වැනි ඔක්සිජන් අඩු පරිසර තුළ ය. ඇත්තෙන්ම, කාර්මිකව මෙය නිෂ්පාදනය කළ හැකි වුවත් සිකුරු මත කර්මාන්තශාලා කොයින්ද? එහි පෙන්ගුයින් ද කිසිසේත් නැත්තේමය. එසේනම් මෙම වායුව එහි පවතින්නේ කෙසේද? සිකුරු ග්‍රහ ලොව පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 50ක් ඉහළින්? මේ, එක්සත් රාජධානියේ කාඩිෆ් සරසවියේ මහාචාර්ය ජේන් ග්‍රීව්ස් හා ඇගේ සගයින් අසන ප්‍රශ්නයයි. සිය නිරීක්ෂණයේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් ඔවුහු 'නේචර් ඇස්ට්‍රොනොමි' සඟරාවේ පළ කළහ. මෙම අණුකයේ ස්වභාවික මෙන්ම ජීව විද්‍යාත්මක නොවන ප්‍රභවයක් තිබිය හැකිය යන්න පෙන්වීම සඳහා කරන ලද විමර්ශනවල තොරතුරු එහි ඇතුළත්වේ. එසේවුවත් දැනට ඔවුන් සිටින්නේ වික්ෂිප්ත තත්ත්වයක ය. සිකුරු පිළිබඳ මෙතෙක් දන්නා සියලු දේ මෙන්ම එහි පවතින ස්වභාව අනුව ගත්විට නිරීක්ෂණයට ලක්වූ ප්‍රමාණය තුළ, ෆොස්ෆයින් සඳහා වූ ජීව විද්‍යාත්මක නොවන පියසටහනක් පැහැදිලි කිරීමට මෙතෙක් කිසිවකු සමත් වී නැත. "විශ්වයේ අන් තැනක ජීවය සෙවීම ගැන මගේ වෘත්තීය ජීවිතය පුරාම මා උනන්දු වුණා. ඉතින්, මෙය මා අතිශයින් ම සිත්ගන්නා සුලු දෙයක් වුණා." මහාචාර්ය ග්‍රීව්ස් කීවාය. "නමුත්, අපට අතපසු වුණේ කුමක්දැයි අපට පැහැදිලි කරන ලෙස අවංකවම වෙනත් අය දිරිගන්වනවා. අපේ පත්‍රිකාව හා දත්ත ප්‍රවේශයට විවෘතයි. විද්‍යාවේ හැටි එහෙමයි." සැබවින් ම නිරීක්ෂණය කෙරුණේ කුමක්ද? සිකුරු ග්‍රහලොවේ ෆොස්ෆයින් වායුව ඇති බව මහාචාර්ය ග්‍රීව්ස් ගේ කණ්ඩායම විසින් නිරීක්ෂණය කරනු ලැබුවේ හවායි හි ස්ථාපිත ජේම්ස් ක්ලාර්ක් දුරේක්ෂය ආධාරයෙනි. පසුව චිලී රාජ්‍යයේ පිහිටි 'අටකාමා විසල් දුරේක්ෂය' (Atacama Large Millimeter/submillimeter Array) භාවිතයෙන් කළ නිරීක්ෂණයේදී එහි පැවැත්ම තවදුරටත් තහවුරු කරගැනිණි. ෆොස්ෆයින් වායුවට ම ආවේණික වූ "අන්තර්ග්‍රහණ රේඛාවක්" ඇති අතර මිලිමීටර 1ක් තරම් වූ තරංග ආයාමයක දී එය වටහා ගැනීමට මෙම ගුවන් විදුලි දුරේක්ෂවලට හැකිය. සිකුරු ග්‍රහලෝකයේ මාධ්‍ය අක්ෂාංශවල දී මෙම වායුව නිරීක්ෂණය කර ඇති අතර එය පෘෂ්ඨයේ සිට දළ වශයෙන් කිලෝමීටර 50ත් 60ත් අතර වූ උන්නතාංශයක පවතී. ෆොස්ෆරස් අණුවකින් හා හයිඩ්‍රජන් අණු තුනකින් ෆොස්ෆයින් අණුවක් සෑදේ මෙය මෙතරම් අපූරු ඇයි? අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ අන් තැනක ජීවය සෙවීමේදී, සිකුරු ග්‍රහයා ලැයිස්තුවේ ඉහළ තැනක නොවීය. පෘථිවිය හා සසඳනවිට එය අතිශය අප්‍රසන්න තැනකි. වායුගෝලයේ 96% ක් කාබන් ඩයොක්සයිඩ්වලින් සමන්විත එහි හරිතාගාර ආචරණයේ බලපෑමට ලක්ව ඇත. පෘෂ්ඨයේ උෂ්ණත්වය පීට්සා උදුනක තරම් ය. එනම් අංශක 400ට අධිකය. සිකුරු වෙත යැවුණු අභ්‍යවකාශ යානා එහි ගොඩබෑමෙන් පසු විනාශ වීමට පෙර ගත කර තිබුණේ විනාඩි කිහිපයක් පමණි. සිකුරු තුළ ජීවයක් සැබවින්ම පවතින්නේ නම් එය සොයාගත හැකියැයි අපේක්ෂා කළ හැක්කේ කිලෝමීටර 50 ක් තරම් උසකදී ය. ජීවයක් රඳාපවත්වා ගැනීමට තරම් සමත් නොවන උෂ්ණත්වයකින් යුතු සිකුරු පිළිබඳ චිත්‍රණයක් අප සැක සංකා පළ කළ යුත්තේ ඇයි? සිකුරු ගේ වළාවන් ඝනය. ඒවා ප්‍රධාන වශයෙන් ම (75-95%) සල්ෆියුරික් අම්ලයෙන් සමන්විතය. එනම් එය, පෘථිවිය මත සප්‍රාණික ජීවීන් ගොඩනගන සෛලීය ව්‍යුහවලට හානිකරය. ඇමෙරිකාවේ තාක්ෂණය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනයේ (MIT- Massachusetts Institute of Technology) ආචාර්ය විලියම් බෙයින්ස්, මෙම පරීක්ෂණය කළ කණ්ඩායමට ඇතුළත් වූ ජෛවරසායනඥයෙකි. සිකුරු ග්‍රහයා මත අපේක්ෂා කළ හැකි වෙනස් සංයුක්තවල විවිධාකාර සංයෝජන පිළිබඳ ඔහු අධ්‍යයනය කර ඇත. පීඑච්3 (PH3) සෑදීම මෙන්ම ඔහු විමර්ශනය කළ සියලු රසායනික ප්‍රතික්‍රියා සඳහා යමහල්, අකුණු හා උල්කාශ්ම පවා කිසියම් කාර්ය භාරයක් ඉටුකර තිබේද යන්න ඔහු අධ්‍යයනය කර ඇත. ඔහු ප්‍රකාශ කරන්නේ නිරීක්ෂණය කර ඇති ෆොස්ෆෙයින් ප්‍රමාණය නිපදවීමට එය 10,000 වාරයක් තරම් දුර්වල බවකි. සල්ෆියුරික් අම්ලය තුළ නොනැසී පවතින්නට නම්, වාතයේ රඳන සිකුරු ක්ෂුද්‍ර ජීවීන් තුළ කිසියම් හඳුනා නොගත් අතිශයින් ම වෙනස් ජෛවරසායනයක් තිබිය යුතු වීම හෝ කිසියම් සන්නාහයක් බවට පරිණාමය විය යුතු බව ආචාර්ය බෙයින්ස් කියා සිටී. "මූලික වශයෙන්, ජලයට ප්‍රිය ජීවයකට සල්ෆියුරික් අම්ල බිඳිත්තක් තුළ කිසියම් ආරක්‍ෂිත කවචයක සැඟවෙන්න පුළුවන්." යැයි ඔහු Sky At Night වැඩසටහන සමග එක්වෙමින් පැවසීය. "අප කතා කරන්නේ ටෙෆ්ලොන් වලට වඩා දැඩි යමකින් වටවූ බැක්ටීරියා ගැනයි. ඒවා සම්පූර්ණයෙන් වැහිලා. නමුත් එයාල කොහොමද ආහාර ගන්නේ? වායු පිට කරන්නේ? ඒක තමයි ඇත්තෙන්ම තේරුම් ගන්න බැරි දේ." සිකුරු මත ගොඩබෑ සෝවියට් යානයට ඡායාරූප කිහිපයක් එවාගත හැකිවිණි ප්‍රතිචාර මොනවාද? මෙය ප්‍රවේසම් සහගත හා කුතුහලය ඇති කරන තත්ත්වයකි. තමන් සිකුරු ග්‍රහයා මත ජීවය සොයා ගත් බවක් එම කණ්ඩායම ඉඳුරාම ප්‍රකාශ නොකරයි. පවතින අදහස තවදුරටත් සොයා බැලිය යුතු අතර ෆොස්ෆයින් කෙරෙහි වූ කිසියම් මග හැරුණු භූවිද්‍යාත්මක හෝ අප්‍රාණික වූ රසායනික පියවරක් ඇත්නම් එය සොයා යාමට විද්‍යාඥයෝ කටයුතු කරති. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්ය කොලින් විල්සන්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ වීනස් එක්ස්ප්‍රස් (Venus Express) අභ්‍යවකාශ යානය (2006-2014) ගොඩනැගීමේ යෙදුනු අයෙකු වන අතර එන්විෂන් (EnVision) නමින් හැඳින්වෙන නව මෙහෙයුමක් සංවර්ධනයෙහි ලා ක්‍රියා කළ ප්‍රධාන පෙළේ අයෙකි. මහාචාර්ය ග්‍රීව්ස් ඇතුළු කණ්ඩායමේ නිරීක්ෂණ, සිකුරු ග්‍රහ ලොව සම්බන්ධ අලුත් පර්යේෂණ මාලාවකට පෙළඹවීමක් බව ඔහු කියා සිටී. "ෆොස්ෆයින් පිළිබඳ මුල් නිරීක්ෂණ වර්ණාවලීක්ෂය පිළිබඳ වැරදි අර්ථ නිරූපනයක් විය හැකි වුවත්, එය එසේ නොවේ යැයි මා සිතනවා. එය සැබවින්ම අපූරුයි. ඒ වගේම ඒක අලුත් සොයාගැනීම්වලට මග පාදනවා. වායුගෝලය තුළ ෆොස්ෆයින් නිර්මාණය කිරීමට හේතුවන වෙනත් රසායනික පියවර සොයා ගැනීමට පුළුවන් වුණත් සිකුරු වළා අතර ජීවයක් තිබීමට ඉඩක් නැති බවයි මා සිතන්නේ. නමුත් මේ සොයාගැනීමත් සමග සිකුරු ග්‍රහ ලොවේ බොහෝ අපූරු දෑ සොයා ගැනීමට හැකි වෙයි සිතනවා," යැයි බීබීසී ප්‍රවෘත්ති සමග ඔහු පැවසීය. ඒ හා සමාන අදහසක් දරන්නෙකි, වෙස්ට්මින්ස්ටර් සරසවියේ ආචාර්ය ලුවිස් ඩාර්ට්නෙල්. තාරකා ජෛව විද්‍යාඥයෙකු වන ඔහු පෘථිවියෙන් එපිට ජීවය පැවතීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කළ අයෙකි. ඔහු සිතන ආකාරයට අඟහරු හෝ බ්‍රහස්පතිගේ උප ග්‍රහයන් සහ සෙනසුරු ජීවය සොයා ගැනීම කෙරෙහි ඔට්ටු තැබිය හැකි ස්ථානය. "සිකුරු ග්‍රහයාගේ ඉහළ වළා අතර ජීවයකට රැකවරණයක් ඇතිනම්, එය ඇත්තෙන්ම චිත්තාකර්ෂණීයයි. මන්ද යත්, එයින් කියවෙන්නේ සමස්තයක් ලෙස අපේ මන්දාකිණිය තුළ ජීවය ඉතා සාමාන්‍ය දෙයක් විය හැකි බවක්. එයට පෘථිවිය වැනි ග්‍රහයන් අවශ්‍ය කෙරෙන්නේ නැහැ. ක්ෂීර පථය හරහා පැතිරුණු සිකුරු වැනි දැඩි උෂ්ණත්වයකින් යුතු ඕනෑම තැනක ජීවයට පැවතිය හැකියි. " ෆොස්ෆයින් පිළිබඳ සංඥා තහවුරු කෙරුණු චිලී හි පිහිටි ALMA දුරේක්ෂය ප්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ කෙසේද? විශේෂයෙන් ම සිකුරු වායුගෝලය විමර්ශනය සඳහා යානා යැවීමෙන් එය නිරාකරණය කරගත හැකිය. 2030 ගණන් සඳහා වූ ප්‍රධාන පෙළේ මෙහෙයුමක් දළ සැලසුමක් සකස් කරන ලෙස එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය (NASA) මෑතදී විද්‍යාඥයින්ගෙන් ඉල්ලීමක් කළේය. මෙම සංකල්පයට අනුව ගගන රොබෝවක් හෝ උපකරණවලින් හෙබි බැලුනයක් සිකුරු වළා අතරින් ගමන් කරවීමට යෝජනා කෙරිණි. සිකුරු වෙත බැලුනයක් යැවීම පිළිබඳ චිත්‍රණයක් "රුසියානුවන් තමන්ගේ වේගා බැලුනයෙන් (1985 දී) මේ දේ කළා" යැයි කණ්ඩායමේ සාමාජිකාවක වන තාක්ෂණය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනයේ (MIT) මහාචාර්ය සාරා සීගර් පැවසුවාය. "සල්ෆියුරික් අම්ලයෙන් ආරක්ෂා කිරීම සඳහා ටෙෆ්ලෝන් ගැල්වූ එය මැනුම් කරමින් දින කිහිපයක් පාවුණා." "අනිවාර්යයෙන් ම එහි ගොස් තත්කාලීන මැනීම් කරන්න පුළුවන්. බිඳිති කෙරෙහි අවධානය යොමු කරමින් ඒවායේ ගති ලක්ෂණ මනින්න පුළුවන්. ඒ වගේම ඒ සමග අන්වීක්ෂයක් යවා එහි ජීවය විමසා බැලීමට උත්සාහ දරන්න පුළුවන්," යැයි ඇය කීවාය. (විද්‍යා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු, ජොනතන් ඒමෝස් සකස් කළ ලිපියක් ඇසුරිණි) කියවන්න:
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් මරා දමනු ලැබීම පිළිබඳ නඩු විභාගය කඩිනම් කිරීමේ පියවරක් ලෙස එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම සඳහා විශේෂ නීති නිලධාරියෙක් පත් කිරීමට තීරණය කර ඇති බව නීතිපති පාලිත ප්‍රනාන්දු පවසයි.
කුරාම් ෂේක් නඩු විභාගය ප්‍රමාද බවට ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ල වෙයි. මෙයින් අවුරුදු දෙකකට පෙර නත්තල් දිනයේ කුරාම් ෂේක් මරා දැමුනේ තංගල්ල අසල මැඩිල්ලේ හෝටලයකදී. කුරාම් ෂේක් රුසියානු ජාතික සිය සහකාරියත් සමඟ එම හෝටලයේ සිටියදී ඔවුන් දෙදෙනාම ප්‍රහාරයකට ගොදුරු වූ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රාදේශීය දේශපාලකයකු ඇතුළු කණ්ඩායමටයි. නීතිවේදියාගේ කාර්යය සංදේශය කළ විමසුමකට පිළිතුරු දුන් නීතිපතිවරයා කියා සිටියේ, අදාළ සිද්ධිය සඳහා ලැබී ඇති ප්‍රසිද්ධිය හමුවේ එය විශේෂ නඩු විභාගයක් ලෙස සලකා ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කරන බවයි. එසේ පත් කරනු ලබන නීතිවේදියා කුරාම් ෂේක් නඩු විභාගයේ කටයුතු සඳහා පුර්ණ කාලීන සේවයේ යෙදෙනු ඇති බව ද නීතිපතිවරයා කියා සිටියි. මේ අතර ඊයේ බදාදා, විදේශ මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් ප්‍රකාශ කළේ, එම නඩු විභාගය කඩිනම් කිරීම සඳහා පියවර ගන්නා මෙන් බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
හදිසියේම යුද හමුදාව යොදවා වැලිවේරියේ ජනතා උද්ඝෝෂණය මර්ධනය කළේ කර්මාන්තශාලාවේ සිට පිටරට යැවීම සදහා වූ භාණ්ඩ රැගත් කන්ටේනර් තුනක් පිටත් කර හැරීම සඳහා බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කරයි.
අත් වැසුම් කර්මානත ආයතනය වසා දමා ජලය අපවිත්‍රවීමට අදාළව සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට සූදානම්ව තිබියදී මේ පහරදීම සිදු කොට ඇති බවයි ඔහු පැවසුවේ. ඊයේ යුද හමුදා ප්‍රහාරයෙන් පීඩාවට පත් වැලිවේරියේ ජනතාව මුණ ගැසුණු ඔහු පැවසුවේ ජනතාව මේ සිද්ධියෙන් පසුව බිය ගැන්වී සිටින බවයි. කන්ටේනර් තුනක් “හමුදාව ගෙන්නල, වෙඩි තියල මරල බිහිසුණු ලෙස මේක මර්ධනය කරමින් මිනිසුන්ව එළවා දාන්න කටයුතු කළා. ඒකට හේතුව එතනින් කන්ටෙනර් තුනක් එලියට අරන් ඒවා පිටරට අරින්න තියෙන නිසා,” ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේය. දෙදනකු මියගොස් තවත් කිහිප දෙනකු රෝහලේ මරණාසන්නව තබා ගෙන සිටින බවට තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ. පරිසරය හෝ ප්‍රමීතීන් ගැන හෝ සැලකිල්ලක් නොදක්වා එම අත් වැසුම් කම්හල ආරම්භ කොට ඇති බව පවසන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ජලයට ඇසිඩ් මුසුවී බීමට ගැනීමට නොහැකි ලෙස අපවිත්‍ර වී ඇති බව ජනතාව පවසන බව සඳහන් කළේය.
ගුවන් අනතුරින් මරණයට පත් වූ පාපන්දු ක්‍රීඩකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු බ්‍රසීලයේ ෂෙපෙකෝඑන්සි ක්‍රීඩාංගණයට රැස් වූහ.
ක්‍රීඩකයන්ගේ මෘත ශරීර රැගත් අවමංගල්‍ය පෙරහැර ෂෙපෙකෝ නගරය හරහා පැමිණ ක්‍රීඩාංගණය වෙත ළඟා විය. කොලොම්බියාවේ මැඩලීන් නගරය ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් එහි ගමන්ගත් හැත්තෑ එක් දෙනෙකු මරුමුවට පත් වූ අතර හය දෙනෙකු පමණක් දිවි බේරා ගෙන තිබේ. අනතුරට හේතුව පැහැදිලි නොමැති නමුත් අනතුර සිදු වීමට මොහොතකට පෙර යානයේ ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා පෙන්වා දෙයි. ක්‍රීඩාංගණයේ පැවති අනුස්මරණ උළෙලට බ්‍රසීල ජනාධිපතිවරයා ද සහභාගී විය.
මොරගහකන්ද ජලාශය පිරවීමේදී ජලයෙන් යට වූ කලාපයේ සතුන් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ තරුණ පරිසරවේදීහු එක්ව මෙහෙයුමක් දියත් කළහ.
පසුගිය ජනවාරි 11 වෙනිදා ජලාශයට ජලය පිරවීම ආරම්භ කළ අතර මේ වනවිට එහි සම්පූර්ණ වපසරියෙන් සියයට එකොළහක ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහ මහවැලි නිලධාරීන් පිරිසක් ද මෙහෙයුමට එක් වී සිටියහ. එළෙස මුදාගනු ලැබූ සතුන් ආරක්‍ෂිත ප්‍රදේශ වෙත මුදා හැරීමට ඔවුහු කටයුතු කළහ. මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ඝන ලීටර් මිලියන 570 කි.
අප්‍රිකානු මහද්වීපය තුළ වෙසෙන වන අලි ගහනය දශකයක් තුළ තුනෙන් එකකින් පහළ ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
වන අලියකුට GPS කර පටියක් පළඳවන වනජීවී නිලධාරීන් අවම වශයෙන් අලි ඇතුන් එක් ලක්ෂ හතළිස් හතර දහසක් මරා දමා ඇති බවයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. රටවල් දහඅටක කිලෝමීටර ලක්ෂ පහක සීමාවක් තුළ සිදු කරන ලද වන අලි සංගණනය සඳහා ගත වී ඇති කාලය වසර දෙකකි. අලි ඇතුන් දඩයම මෙලෙසම පැවතුනහොත් දැනට අප්‍රිකානු මහාද්වීපය තුළ වෙසෙන අලි ඇතුන් හාරලක්ෂ තිස් දහසෙන් අඩක්ම වසර දහයක් ඇතුළත මරුමුවට පත් වනු ඇති බවට පර්යේෂකයෝ අනතුරු හඟවති.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයේ 'සීතල යුද්ධයක්' නොමැති බව ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
ශ්‍රී ලංකාව තුළ කිසියම් 'ජනතාවාදී නොවන' ක්‍රියාදාමයක් සිදුවන්නේ නම් එය නැවැත්වීම විධායක ජනාධිපතිවරයකුගේ වගකීම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව සඳහන් කළ අමාත්‍යවරයා, කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාවේ 'ඒකාධිපති නායකයකු' සිටියේ නම් කිසිදු චෝදනාවක් පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු නොවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. "ජීඑස්පී ප්ලස් එක ගන්න, සමලිංගික ක්‍රියා, ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ දේවලට පවා කැබිනට් මණ්ඩලේ දි නවත්තන්න ඕන කියල, අතිගරු ජනාධිපතිතුමා ඒ යෝජනාවලට එකඟවෙන්න බෑ කියන මතය ඉදිරිපත් කළා," යනුවෙන්ද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසීය. ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන ප්‍රමිතියෙන් තොර බව පැවසෙන ඉන්ධන තොගයක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන් කළ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට නොගැලපෙන්නේ නම් එම නෞකාව ආපසු හරවා යවන බව වැඩිදුරටත් පැවසීය.
තල්මසුන් දඩයම් කිරීමේ නිරත ජපාන නැව් කණ්ඩායම ඇන්ටාක්ටික් සාගරය වෙත යාත්‍රා කිරීම ආරම්භ කර තිබේ.
ටොන් අටදහසක බරින් යුත් ‘නිෂින් මාරු’ නෞකාව සහ තවත් කුඩා ප්‍රමාණයේ යාත්‍රා තුනක් මෙම නැව් කණ්ඩායමට අයත් වෙයි. මෙම නැව් කණ්ඩායම මාස තුනක කාලයක් ඇන්ටාක්ටික් සාගරය මත යාත්‍රා කරන අතර තල්මසුන් තුන්සිය තිස් තුන් දෙනකු දඩයම් කිරීමට නියමිතයි. මීට ඉහතදී, ජපානය විසින් තල්මසුන් දඩයම හඳුන්වනු ලැබුවේ විද්‍යාත්මක වැඩසටහනක් ලෙසයි. තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහන් ලෙස හුවා දැක්වීම අනුමත නොකළ හේග් ජාත්‍යන්තර අධිකරණය එය නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේදීයි.
'දුප්පත්කම වැඩි වෙන්නත් දුප්පතාගේ සෞඛ්‍ය පිරිහෙන්නත්' මත්පැන් සහ දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
මද්‍යසාර සහ දුම්වැටි භාවිතාවට එරෙහිව දැනුවත් කිරීම් සිදු කළත් මත්පැන් සහ දුම්කොළ සමාගම් සිය ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගනු වස් සමාජය නොමඟ යවන සුළු ප්‍රචාර සිදු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ පැවති දුම්වැටි විරෝධී සමුළුව අමතමින්. දුම්වැටි දවටනවල ඇති අනතුරු හැඟවීමේ අවවාදයට අමතරව එම දවටනවල ඇති ලාංඡන සහ ආවේණික වර්ණ ඉවත් කිරීම සඳහා ද පියවර ගන්නා බව එම අවස්ථාවට එක් වී සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කල අකාරය විවේචනයට ලක් කොට ඇත.
විදේශ අමාත්‍යංශ කමිටුවේ සභාපති රිචර්ඩ් ඔටාවේ මන්ත්‍රීවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එකඟ වීමට පෙර බලයේ සිටි ලේබර් පක්ෂ ආණ්ඩුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ ව දැඩිව සොයා බැලිය යුතුව තිබුණු බව වාර්තාවෙන් පෙන්වා දී ඇත. බ්‍රිතාන්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව පැවැත්වීම පිළිබඳව 2009 වසරේ දී විරෝධය පල කොට සිටියත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දියාරු පිළිවෙතක් අනුගමනය කල බවයි වාර්තාවේ සඳහන් වෙන්නේ. පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තම මානව හිමිකම් වාර්තාව වැඩි දියුණු කිරීමට අදාළ කොන්දේසි පැනවිය යුතුව තිබුණු බව වාර්තාව සම්පාදනය කල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විදේශ අමාත්‍යංශ කමිටුවේ සභාපති රිචර්ඩ් ඔටාවේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාවේ ඉහලම සම්මානය වන භාරත් රත්නයෙන් පිදුම් ලැබුවේය.
සචින්, භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබූ එකම ඉන්දීය ක්‍රීඩකයායි දිල්ලි අගනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදීයි, ඔහුට සම්මානය පිරි නැමුණේ. භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබූ එකම ඉන්දීය ක්‍රීඩකයා ඔහුයි. සිය දෙසිය වැනි ටෙස්ට් තරඟයට මුහුණ දීමෙන් අනතුරුව පසුගිය නොවැම්බරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩියෙන්ම ලකුණු රැස් කොට සිටින ක්‍රීඩකයායි.
කොවිඩ්-19 වසංගතය නිසා පසුගිය වසර පුරා රට අගුලු දැමීම (ලොක්ඩවුන්) හේතුවෙන් ළමා කථනය සහ භාෂා කුසලතාවන්ට බලවත් බලපෑමක් ඇතිකර තිබෙන බව අලුත්ම පර්යේෂණ වාර්තාවක් මගින් පෙන්වා දෙයි. එංගලන්තය පුරා කුඩා පාසල් දරුවන් 50,000කින් ලබාගත් තොරතුරුවලට අනුව භාෂාව සම්බන්ධයෙන් ආධාරය අවශ්‍යකරන වයස අවුරුදු හතර සහ පහ කාණ්ඩයට අයත්වන දරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරයි.
ලැබී ඇති සාක්ෂි මගින් පෙන්නුම් කෙරෙන්නේ දුර්වල කථන වර්ධනය ඉගෙනුම අතින් දිගුකාලීන බලපෑමක් ඇතිකළ හැකි බවය. පාසල් අධ්‍යාපනයේ සමාරම්භක වර්ෂයේ සිටින දරුවන් ඇතුළුව පළමු වසරවල දී අවශ්‍ය අමතර උපකාර සඳහා ඩොලර් මිලියන දහඅටක් ආයෝජනය කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. කොවිඩ්-19 වසංගතය සමඟ පොරබැදීම සඳහා ක්‍රියාත්මක කරන ලද විධිවිධාන හේතුවෙන් දරුවන්ගේ සමාජමය මුසුවීම ඔවුන්ට අහිමි වූ අතර, එම දරුවන් විසින් එකතු කරගනු ලබන වචන ප්‍රමාණය වැඩිකර ගනු ලැබීමත් ඒ සමඟ ඔවුන්ට අහිමි වූ බව ඉහත කී පර්යේෂණය කළ එංගලන්ත අධ්‍යාපන පහසුකම් සැපයීම පිළිබඳ අරමුදල (EEF)සඳහන් කරයි. මුත්තනුවන් සහ මිත්තනියන් (grandparents) සමඟ සබඳතා අඩුවීම හෝ එම සබඳතා සහමුලින්ම ඇනහිටීම, සමාජ දුරස්ථභාවය, ක්‍රීඩා අවස්ථා අහිමිවීම සහ ප්‍රසිද්ධ ස්ථානවල මුඛආවරණ පැළඳ සිටීමට සිදුවීම ආදිය නිසා දරුවන් සංවාදයෙන් ඈත්වූ අතර එය ඔවුන් විසින් දිනපතා උකහාගනු ලබන අත්දැකීම් සම්භාරය අහිමිකරනු ලැබීමට හේතුවී ඇත. ඉහත සඳහන් කරන ලද සමීක්ෂණයේ දී එංගලන්තයේ පාසල් 58ක් සහභාගී කරගනු ලැබ ඇත. ඊට සහභාගී වූවන්ගෙන් 76%ක් කියාසිටියේ 2020 සැප්තැම්බර් මාසයේ ඇතුළත් කරගත් දරුවන්ට ඉන් පෙර වසරවල දරුවන්ට වඩා අදහස් හුවමාරු කරගැනීම සඳහා වැඩි ආධාරයක් අවශ්‍ය කළ බවය. සිසුන්ගේ කථන සහ භාෂා සංවර්ධනය සම්බන්ධයෙන් කණස්සල්ල පළකරන ලද ප්‍රමාණය 96%කි. ග්‍රීෂ්ම සහ වසන්ත කාලයෙහි 'ලොක්ඩවුන්' කරනු ලැබීමෙන් පසු සිය දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන් 56%ක් දොම්නස් වූහ. ලීසා සිය දියණියගේ පාසල් ආරම්භය ප්‍රමාදවීම සම්බන්ධයෙන් කණගාටු වන්නීය පාඩම් පටන්ගැනීම වොල්සෝල් හි (Walsall) 'රයිඩර් හේස්' පාසලේ ළමුන් ඇතුළත් කිරීමේ වසරට අයත් 'නියාම්' (Niamh) වචන භාවිතය සම්බන්ධයෙන් සිය විශ්වාසය සෙමෙන් ගොඩනගා ගනිමින් සිටින කුඩා දැරියකි. වෙනත් දරු දැරියන්ට මෙන් නියාම්ට ද පෙරටයාම අතින් වසංගතය නිසා සීමාවන්ට මුහුණදීමට සිදුවූවාය. ඇයගේ සමීපතම පවුලේ සබඳතා පවා හැකුළුනි. එම තත්ත්වය දැරියගේ පාසල් ගමන පමාවීම ඇයගේ මව වන ලීසාගේ බලවත් සංවේගයට හේතුවක් විය. ''මගේ දුව කණ්‌ඩායමේ බාලම දරුවන්ගෙන් කෙනෙක්.අනිත් ළමුන්ට ළදරු පාසල් හෝ පෙරපාසල් අත්දැකීම් තිබුණ නිසා මම මගේ දරුවා ගැන කණස්සලු වුනා'' ලීසා සඳහන් කළාය. ''අපි අපට පුළුවන් විධියට දරුවා සූදානම් කිරීමට උත්සාහ කළා. නමුත් දුව පන්තියේ කිසිම ළමයෙක් හඳුනන්නේ නැහැ. ඒ ගැන අපි ටිකක් දුක්වුණා'' ''ග්‍රීෂ්ම කාලය පුරා රට ''ලොක්ඩවුන්' කරල තිබුණ නිසා දුවට ඇයගේ මිතුරු මිතුරියන් සමඟ සෙල්ලම් කිරීමට යාමට නොහැකි වුණා. ඉතින් අලුත් ළමුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් යුක්ත පන්ති කාමරයකදී ඇය කොයි විධියට ප්‍රතිචාර දක්වාවිද කියන කාරණය අපට ප්‍රශ්නයක් වුණා.'' මිතුරු සමාජයක් හදාගැනීම 'රයිඩර් හේස්' පාසලේ කුඩා සිසුවකුගේ මව වන 'එමා'(Emma) ඉහත කී සමීක්ෂණයට සහභාගීවෙමින් සඳහන් කළේ ''පාසල ආරම්භයේ දී සියපුතු 'හැරී' කෙසේ ඔහුගේ උවමනාවන් වචනයෙන් ඉදිරිපත් කරනු ලැබීමට සමත්වේදැයි ඇය කණගාටුවෙන් පසු වූ'' බවය. ''පුතා මිතුරන් ඇතිකර ගැනීමට අසමත්වේදැයි මම දුක් වුණා. යම්කිසි හේතුවක් නිසා පුතා දොම්නස්වුනොත් ඔහු කරන්නේ කොනකට ගිහින් වාඩිවී සිටීම. උදව්වක් ඉල්ලා සිටීමට නොහැකිවීම සහ වරද කුමක්ද යන්න පැවසීමට ඔහු අසමත්වීම මට දුකක්'' එමාගේ කණස්සල්ල එසේ වුවද, හැරී පාසලේ දී 'නෆීල්ඩ් භාෂා ප්‍රගුණ කිරීමේ (Nuffield Early Language Intervention) වැඩසටහනට සහභාගී කරනු ලැබීම මගින් මාස තුනක් ඇතුළත ප්‍රගතියක් පෙන්නුම් කළේය. ''එමගින් විශාල වෙනසක් පෙන්නුම් කළා'' එමා පවසන්නීය. ''හැරී කතාකරන්න පටන්ගත්තා.පුංචි 'චැටර් බොක්ස්' එකක් වගේ. දිගින් දිගටම ප්‍රශ්න අහනවා.කොණ්ඩේ වැවෙන්නේ කොහොමද වගේ ප්‍රශ්න. අදහස් හුවමාරුව දියුණුවෙමින් තියෙනවා'' එමා සිය පුතු හැරී සමඟ නිවරැදි විසඳුම රයිඩර් හේස් පාසලේ විදුහල්පතිවරිය වන සැලී මයිනර් (Saly Miner) අදහස් දක්වමින් කියාසිටියේ කුඩා දරුවන් සමඟ අදහස් හුවමාරු ගැටලු බෙහෙවින් අවම කෙරෙමින් පවතින බවය. විශේෂයෙන්ම ළමුන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශනයට අසමත් වේනම්, ඔවුන් සමවයසේ ළමුන් සමඟ මුසුකරමින් ඔවුනොවුන් තේරුම්ගැනීමට අවස්ථාව සලසන බවත් විදුහල්පතිවරිය සඳහන් කළාය. ''එය තමයි-ප්‍රශ්නය විසඳන සැබෑ යතුර. එය දරුවකුගේ ස්වයං-අභිමානය සහ විශ්වසනීයත්වයයි'' විදුහල්පතිවරිය පවසයි. එංගලන්තයේ අධ්‍යාපන පහසුකම් සැපයීම පිළිබඳ අරමුදලේ (EEF) ප්‍රධාන විධායක නිලධාරිනී බෙකී ෆ්‍රාන්සිස් අදහස් දක්වමින් ''කොරෝනා වසංගතයේ බලපෑමෙන් අනතුරුව කුඩා දරුවන්ගේ කථන සහ භාෂා කුසලතා සම්බන්ධයෙන් පාසල්වලින් විශාල මැසිවිලි පළවූ බව සඳහන් කළාය. ''සමීක්ෂණ දත්ත තොරතුරු අනුව මෙන්ම අපගේ වෙනත් ජාල හරහාත් අපට නිවැරදිව දකින්න පුළුවන්'' ප්‍රාථමික පාසල්වල ප්‍රමිතීන් තක්සේරු කරනු ලබන 'ස්පීච් ලින්ක්' (Speech Link) සමාගමේ දත්ත තුළත් EEP සමීක්ෂණයේ සොයාගැනීම් පිළිබිඹු වෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේ අධ්‍යාපනය ආරම්භකළ වයස අවුරුදු පහේ ළමුන් පනස් දහසක් අතරින් 20%-25% අතර සංඛ්‍යාවක් ඊට පෙර වසරවල ළමුන්ට සාපේක්ෂව භාෂා උපකාරය අවශ්‍ය කළ බව 'ස්පීච් ලින්ක්' (Speech Link) සමාගම පවසයි. පෙර පාසල් දරුවන්ට ද වසංගතය බලපා ඇති ආකාරය සැලකිල්ලට ගැනෙමින් ඇත. ''ඉදිරිය තීරණාත්මකයි'' ''බොහෝ පවුල්වලට මුහුණට මුහුණ ලා සිදුකෙරෙන හමුවීම් සහ තක්සේරු කිරීමේ අවස්ථා මගහැරුණ'' බව එංගලන්ත සෞඛ්‍ය විද්‍යායතනයේ (Institute of Health) විධායක අධ්‍යක්ෂ ඇලිසන් මෝර්ටන් (Alison Morton) පවසයි. ''හඳුනා නොගත් දුෂ්කරතා සහිත දරුවන් සිටින බව අපි හඳුනාගෙන තියෙනව" ඇලිසන් මෝර්ටන් පැවසුවාය කියවන්න;
'ගැහුවොත් ගහනවා' යන යෙදුම ශ්‍රී ලාංකික ජන සමාජය තුළ පවතින ජනප්‍රිය කියමනකි. මෙතෙක් බොහෝ විට එය අසන්නට ලැබුණේ එදිනෙදා ජන ජීවිතය තුළ අහඹු සිදුවීම් අරභයා පමණි.
"පොලිස් නිලධාරියා කියල කියන්නේ සාම නිලධාරියා" එතකොට පොලිසියෙන් ගැහුවොත් මොකද කරන්නේ? මේ ගැන ගැඹුරින් හිතන්නට කාලය එළැඹ තිබේ. 'කාලෝ අයං තේ..!' ඒ මන්ද යත්, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සංවාදවලදී 'ගැහුවොත් ගහන' යෙදුම මෑතකදී විවිධාකාරයෙන් මතුවී තිබීමයි. ඒ සංවාද සියල්ලට වස්තු බීජය වී තිබුණේ පොලිස් පහර දීමකි. මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ දී රියදුරෙකු පොලිස් ප්‍රහාරයකට ලක්වන ආකාරය පසුගිය දා සමාජ මාධ්‍ය වසා ගනිමින් පැතිර ගියේය. එතැන් පටන් දින කීපයක් ම රටේ දැවෙන ප්‍රශ්න සියල්ල අභිබවා සාකච්ඡාවට ලක්වූ ප්‍රස්තුතය වූයේ එයයි. අතරින් පතර මෙහෙමත් ලියැවී, කියැවී තිබුණි. "පොලිසියෙන් ගහනකොට අපිටත් බැරිද පොලිසියට ගහන්න?" "මට ඔහොම ගැහුවොත් නම් මමත් ගහනවා." "ආත්මාරක්ෂාවට අපිටත් බැරිද අතපය උස්සන්න?" "බලාගෙන ඉන්න එවුන්ට බැරිද දෙක තුනක් නෙලන්න?" මෙවැනි දෙබස් අසන්නට ලැබුණේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොවේ. එදිනෙදා කතා බහේ දී පවා බොහෝ දෙනාගේ මුවින් මෙවැනි සරදම් පිට විය. ඇතැම් සරදම් දුරදිග ගිය අවස්ථා ද ඉතිහාසයේ නැත්තේ නොවේ. 'දැනගෙන ගියොත් කතරගම ය; නොදැන ගියොත් අතරමග ය.' එබැවින් එහි නීතිමය වටපිටාව ගැන කතා කිරීම කාලෝචිත යැයි සිතමි. "ආණ්ඩු වෙනස් වුනාට මේක වෙනස් වෙලා නැහැ" සරලව කියතොත් 'නීති පොතේ' හැටියට මෙතැනදී විත්ති වාචකය වන්නේ 'ආත්මාරක්ෂාවේ අයිතිය' යි. එය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සොයා බැලීමට පෙර පොලිස් පහර දීම් පිළිබඳව විමසා බැලීම සුදුසුය. පොලිස් පහරදීම්වලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. බරපතළ සිදුවීමක් වාර්තා වීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ගැඹුරින් කතා කරති. නමුත් එවැනි සිදුවීම් නැවත නැවතත් වාර්තා විය. "පොලිසිය කෘර වධ බන්ධන සිදු කළ බවට ලැබෙන පැමිණිලිවල අඩුවක් වෙලා නැහැ. ආණ්ඩු වෙනස් වුණාට මේක වෙනස් වෙලා නැහැ. අපි හැමදාම මාධ්‍යවලින් මේක කතා කරනවා. නමුත් හෙටත් මේක සිද්ධ වෙනවා. ඒ නිසා අපි කතා කරන්න ඕන මේක නවත්වන්නේ කොහොමද කියල." සාකච්ඡාව ආරම්භයේදී ම අචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා සිය ස්ථාවරය පැහැදිලි කළේය. පොලිසියෙන් සිදුවන වධ හිංසාවල අඩුවක් වී නොමැති බව පැවසේ නම් නැවත සිහි කැඳවා ගත යුතු කරුණු කීපයක් තිබේ. පොලිස් නිලධාරියා යනු කවරෙක්ද? ඔහුගේ රාජකාරිය හා පරම යුතුකම විය යුත්තේ කුමක්ද? ඔහුගේ නිල ඇඳුම සතු බලතල කවරේද? "පොලිස් නිලධාරියා කියල කියන්නේ සාම නිලධාරියා. පොලිසිය ඇත්තටම සිදු කරන්නේ ජනතාවට ආරක්ෂාව ලබා දීම. ඒ සඳහා පොලිසියට බලතල ලැබෙන පනත් තියෙනවා. ඒ අනුව කෙනෙකුව අත්අඩංගුවට ගන්න පුළුවන්. මොන බලතලය තිබුණත් අමානුෂික වධ බන්ධනයන්ට ලක් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ." කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැහැදිලි කළේය. "නිරායුධ මිනිහෙකුට පහර දෙනවනම් ඊට එරෙහිවීමේ අයිතියක් අවට බලාගෙන ඉන්න පිරිසටත් තියෙනවා." ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා "මේ හැම බලතලයකටම වඩා ඉහළයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ එකොලොස්වන වගන්තිය. එහි කියවෙනවා කෘර අමානුෂික වධ බන්ධනයන්ට කිසිවෙකු ලක් කළ නොහැකි බව. එය ශාරීරික හෝ මානසික දක්වා විහිදෙනවා. මෙය සීමා කළ නොහැකි අයිතිවාසිකමක්." නමුත් ඇතැමුන් පවසන්නේ පොලිස් නිලධාරියාට ද ඉවසීමේ සීමාවක් ඇති බවකි. ඔවුන්ද මනුෂ්‍යයන් බවය. එසේනම්, ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කල්හි හෝ පොලිස් නිලධාරියාට එරෙහිව යමක් පැවසු පමණින් හෝ ක්ෂණිකව දඬුවම් පැමිණවීමේ අභිමතයක් ඔහු සතු වේද? "පොලිස් නිලධාරියෙක් රාජකාරියේ යෙදී සිටින විට යම් කෙනෙකු පොලිසියට පරිභව කළත්, නින්දා අපහාස කළත් ඔවුන්ට කළ හැක්කේ රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම පමණයි. නමුත් පොලිස් නිලධාරියා කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්නේ. ඒ අයත් ආවේගශීලී වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට පුහුණුවක් ලබා දීල තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ ආවේගයත් එක්ක වැඩ කරන්න බැහැ." ආචාර්ය මහානාමහේවා පැවසීය. වැඩ අධික වී දැඩි වෙහෙසට පත් වූ විට ඕනෑම පුද්ගලයෙකු මානසික ආතතියකින් කටයුතු කළ හැකි බව පිළිගත් සත්‍යයකි. එය පොලිසියට ද වලංගුය. පොලිස් නිලධාරියාට වැඩ අධික බව සැබවි. වෙහෙස අධිකය. ආතතියට පත්විය හැකිය මේ වනවිට ශ්‍රී ලංකාවේ අවිනීත රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ අනතුරු වලක්වා ගැනීම සඳහා වාහන හැසිරවීම සිදු කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් පොලිසියේ මානව සම්පත යොදා ගනිමිනි. එම රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශ සඳහා අනුයුක්ත කර ඇති සමස්ත පොලිස් නිලධාරීන්ගේ ගණන 9389කි. "මුළු රටම ආවරණය වන පරිදි මහමග රාජකාරි සඳහා යෙදවීමට" රථවාහන අංශය සතු මිනිස් සම්පත "කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති" බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ ද පිළිගත්තේය. "පොලිසියට ශ්‍රම සම්පත ලබා දීමත් ඉතාම වැදගත්. සමහර පොලිසිවලට ගියොත් පේනවා පැමිණිලි දාන්න එකසිය පනහක් විතර ඇවිල්ල ඉන්නවා. ලියාගන්න ඉන්නේ දෙන්නයි. ඉතින් එතන රස්තියාදු වෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආපහු ගිහිල්ලා වැරැද්ද කරපු එකාට දෙකක් අනින එක මීට වැඩිය හොඳයි කියල." ආචාර්ය මහානාමහේවා පැවසීය. එසේනම්, පොලිස් නිලධාරියාට වැඩ අධික බව සැබවි. වෙහෙස අධිකය. ආතතියට පත්විය හැකිය. නමුත් සාමාන්‍ය සිවිල් වැසියාගෙන් පොලිස් නිලධාරියා වෙනස් වන්නේ කෙසේද? ශ්‍රී ලංකා පොලිසියේ පවතින පරිපාලනමය දුර්වලතාවලට ජනතාව වන්දි ගෙවිය යුතු නැති බව නීතීඥ සේනක පෙරේරා අවධාරණය කරයි. ඔහු, සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා ය. "කිසි ලෙසකත් වධ හිංසා සාධාරණීකරණය කරන්න බැහැ, ඒ වගේ හේතු මත. විශේෂයෙන් ම පොලිස් නිලධාරියෙක් කියල කියන්නේ පොලිස් ආඥා පනත යටතේත්, ආයතන සංග්‍රහය යටතේත් ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේත් කටයුතු කළ යුතු කෙනෙක්. පොලිස් නිලධාරියා සතුව විශාල අභිමතයක් තියෙනවා. කෙනෙක්ව හිරේට දානවාද, එළියට යවනවාද? නැත්නම් කෙනෙක්ව කරදරේක දානවාද? නිදහස් කරනවාද? මේවගේ දෙයක් තීරණය කිරීම සඳහා ඔහුට දැවැන්ත අභිමතයක් තියෙනවා. ඒ අභිමතය අවභාවිතා කළොත් ඉන් සමාජයට වෙන්නේ හානියක්. ඔහුට විශේෂ පුහුණුවක් දීල තියෙන්නේ ඒ නිසයි." ඔහු පැවසීය. "ඒගොල්ලන්ට වැඩ වැඩියි, මහන්සියි කියල ඒකෙ වන්දිය ජනතාව ගෙවන්න ඕන නැහැ. මේක එහෙමනම් ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තීය භාවය පිළිබඳව ප්‍රශ්න කළ යුතු තත්ත්වයක්. ලෝකය පිළිගත් වෘත්තීය මට්ටමින් පොලිසිය ක්‍රියා කළ යුතුයි." "දේශපාලනඥයාට තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන්න මේ 'නිල ප්‍රචණ්ඩත්වය' අවශ්‍යයි. ඒකෙන් තමයි මේ පොලිස් පහරදීම්වලට අනුග්‍රහය ලැබෙන්නේ." නීතීඥ සේනක පෙරේරා සමාජ ක්‍රියාධරයෙකු වන නීතීඥ සේනක පෙරේරා, තමන්ගේ ආසන්නතම අත්දැකීමක් ගෙනහැර පාමින් එය තවදුරටත් පැහැදිලි කළේ මෙසේය. "උදාහරණයක් හැටියට, අද මගේ සේවාදායිකාවක් පොලිසියට ගියාම එයාට එතන හිටපු නිලධාරියෙක් කුණුහරුපෙන් බැනල තියෙනවා. එයා හෙදියක්. මේ තැනැත්තිය ඒගැන ඕ අයි සී ට කිව්වම එයා කියනවා 'අද අවුරුදු හින්ද එයා බීලානේ ඉන්නේ.. ඒක ගණන් ගන්න එපා' කියල. උසස් මාර්ගෝපදේශයන් යටතේ ක්‍රියාත්මක විය යුතු පොලිසියකට ඔය ගමේ කතාව හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න, ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්න තමයි පොලිසියට යන්නේ. ඒවත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න දෙන්න බැහැනේ." කෙසේ නමුත් මෙම තත්ත්වය යහපත් අතට හරවා ගැනීම සඳහා පුරවැසියන් මත විශාල වගකීමක් පැවරෙන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි. "පොලිසිය වගේම ජනතාවත් විනය ගරුක වෙන්න ඕන. පොලිසිය විතරක් හදලත් හරියන්නේ නැහැ. දෙපැත්තම හැදුනොත් තමයි සමාජය යහපත් වෙන්නේ. අපි මේක අවස්ථාවක් කර ගන්න ඕන දෙපැත්තටම අධ්‍යාපනයක් දෙන්න. කොහොම නමුත් පොලිසියට බැහැ අවේගශිලීව හැසිරෙන්න. ඒ සඳහා වෙනත් ක්‍රමවේද තියෙනවා." "නිල ඇඳුමක් ඇඳගෙන හිටියත් එයා ක්‍රියා කරන්නේ සද්භාවයෙන් නොවෙයි නම් අසල සිටින අයට පවා ඒ නිලධාරියාට එරෙහිව පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ කටයුතු කිරීමට අයිතියක් තියෙනවා." නමුත් නීතිඥ සේනක පෙරේරා වරද පටවන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයා මතය. ඔහු මෙය දකින්නේ 'නිල ප්‍රචණ්ඩත්වයක්' ලෙසිනි. "මේ පොලිස් වධ හිංසා පිළිබඳව අවුරුදු ගණනාවක ඉතිහාසයක් තියෙනවා. සමහරු කිව්වා මේක යුද්ධය නිසා ඇතිවෙන දෙයක් කියල. නමුත් යුද්ධය ඉවරවෙලා දැන් දශකයකටත් වැඩි කාලයක් ගත වෙලානේ. ඒත් වධ හිංසාව තාමත් දියත් වෙනවා. මේකට හේතුව දේශපාලනය. දේශපාලනඥයන් තමයි පොලිසිය මෙහෙයවන්නේ. දේශපාලනඥයාට තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන්න මේ 'නිල ප්‍රචණ්ඩත්වය' අවශ්‍යයි. එකෙන් තමයි මේ පොලිස් පහරදීම්වලට අනුග්‍රහය ලැබෙන්නේ." ඔහුගේ තර්කය මත නම් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය නොවෙනස්ව පවතින තාක් මෙවැනි පොලිස් පහරදීම් ද පවතිනු ඇත. එසේ නම්, සාමාන්‍ය ජීවිතයේදී ඕනෑම පුරවැසියෙකුට පවතින 'ආත්මාරක්ෂාවේ අයිතිය', පොලිසියෙන් පහර දීමක් සිදුවන අවස්ථාවේ දී ජනතාවට රැකවරණයක් වේවිද? 'පොලිස් රෙස්ලින්' "යම්කිසි විදියක සුළු වැරදිවලට පොලිසිය පහරදීමක් සිදු කරනවානම් ආත්මාරක්ෂාව සලසා ගැනීමේ අයිතිය යටතේ ඊට එරෙහිව ක්‍රියා කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. පිහියක් හෝ වෙනත් දරුණු ආයුධයක් අතැතිව ඉන්න කෙනෙක් මෙල්ල කිරීමේදී පහර දීම වෙනම කාරණයක්. එතනදීත් කළ යුත්තේ අවම බලය භාවිතා කිරීම පමණයි. නිරායුධ මිනිහෙකුට පහර දෙනවනම් ඊට එරෙහිවීමේ අයිතියක් අවට බලාගෙන ඉන්න පිරිසටත් තියෙනවා." ආචාර්ය මහානාමහේවා පැවසීය. මෑතකදී මහරගම, පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ පොලිස් පහරදීම දෙසට නැවත යොමු වෙමු. මෙය ඇතැමුන් හැඳින්වූයේ 'පොලිස් රෙස්ලින්' යනුවෙනි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම සරදමට, උපහාසයට ලක්වෙද්දී විද්වත් කතිකාවන්ට ද පාදක විය. ජනතා කෝපය ද මතු විය. 'ගැහුවොත් ගහන ජනප්‍රිය සංකල්පය' තැන කියවෙන්නට, ලියැවෙන්නට පටන් ගත්තේ ඒ ජනතා කෝපය පිට කර ගැනීමට විය හැකිය. "මේ අවස්ථාවේ පොලිසිය පහර දෙන්නේ නිරායුධ පුද්ගලයෙකුට. කිසිවෙකුට හානියක් පීඩාවක් කළ හැකි කිසිම ආයුධයක් හෝ පුපුරන ද්‍රව්‍යයක් ඔහු අතේ නැහැ. ඒ පුද්ගලයාව මෙල්ල කිරීම සඳහා මේ විදියට පහර දිය යුතු නැහැ." නීතිඥ සේනක පෙරේරා පැහැදිලි කළේය. "දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියල දෙයක්. සරලව කියනවනම්, යම් කෙනෙකුව බරපතල ලෙස තුවාල කිරීමට හෝ මරණයට පත් කිරීමට උත්සාහ කරනවානම් ඉන් බේරීම සඳහා, ඊට එරෙහිව, ඒ පුද්ගයයා තුළින් එලියට එන ප්‍රතික්‍රියාව තමයි පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියල කියන්නේ." "නමුත් 92 වගන්තියේ තියෙනවා නිල ඇඳුමින් සැරසුණු කෙනෙක් යම් පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කරන්නේ සද්භාවයෙන් නම් අනෙක් පුද්ගලයාට එතනදී පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙන්නේ නැහැ කියල. එතකොට 52වැනි වගන්තියෙන් විස්තර කෙරෙනවා මොකක්ද මේ සද්භාවය කියන්නේ කියල. නිසි සැලකිල්ලක් හෝ නිසි අවධානයක් නොමැතිව කටයුතු කරනවානම් ඒක සද්භාවය නොවෙයි. මේ මහරගම සිද්ධියේදී ඇත්තටම අපට සද්භාවයක් දකින්න බැහැ. ඒ මනුස්සයව පාලනය කරගන්න මීට වඩා සරල විදියට කටයුතු කරන්න තිබුණා. මේ විදියට උස්සල පොලවේ ගහල, ඇඟ උඩට පැනල... ඇත්තටම කියනවනම් මේක මිනී මැරීමට තැත් කිරීමක් කියලයි නඩු දාන්න ඕන. මේ වගේ අවස්ථාවක පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා." ඔහු පැවසීය. ඇතැම් අවස්ථාවක දී පහර කෑමට ලක්වන පුද්ගලයාට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට තරම් ශාරීරික ශක්තියක් නොමැති විය හැකිය. එවැනි අවස්ථාවක අවට සිටින පිරිසට ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේ අයිතියක් පවතී ද යන්න ඇතැමුන් ප්‍රශ්න කර තිබුණි. "පහර කෑමට ලක්වන පුද්ගලයා විසින් පමණක් නොවෙයි, ඒක දකින වෙනත් පුද්ගලයෙකුට වුනත් හැකියාව තියෙනවා පීඩාවට පත්වන පුද්ගලයාව බේරා ගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන්න. නිල ඇඳුමක් ඇඳගෙන හිටියත් එයා ක්‍රියා කරන්නේ සද්භාවයෙන් නොවෙයිනම් අසල සිටින අයට පවා ඒ නිලධාරියාට එරෙහිව පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ කටයුතු කිරීමට අයිතියක් තියෙනවා." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය. "මේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන එක කෙනෙකුගේ මරණය දක්වා විහිදෙන දෙයක්. ඔය මහරගම සිද්ධියේදී පහර කෑමට ලක් වන්නේ නිරායුධ කෙනෙක්නෙ. එහෙමනම් ඕනෑම කෙනෙකුට තේරෙනවා මේක සද්භාවයෙන් කරන රාජකාරියක් නොවෙයි කියල. මෙතනදී ඕනෑම කෙනෙකුට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ ඊට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. එම නිලධාරියා මෙල්ල කර ගැනීමට නොහැකි නම් එය පෙරලා පහරදීමක් දක්වා දුරදිග යන්නත් පුළුවන්." ඔහු තවදුරටත් පැවසීය. 'කෝකටත් තෛලය' කෙසේ නමුත්, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය 'කෝකටත් තෛලය' නොවන බව මෙම නීතිවේදියා අවධාරණය කර සිටී. එබැවින් එය ක්‍රියාත්මක කිරීමට පෙර හොඳින් හදාරා සිටීම වැදගත්ය. "මට ගැහුවොත් මම ගහනවා කියල පොදුවේ ජනප්‍රිය කතාවක් තියෙනවා. නමුත් මම කියන්නේ, යම් පහර කෑමකට ලක්වීමේදී එයින් තමන්ගේ ජීවිතයට හානියක් හෝ බරපතළ තුවාලයක් ඇතිවෙයි කියල සාධාරණ සැකයක් ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක දී පමණයි, මේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය තමන්ට තියෙන්නේ. මේක අපරාධ නීතියේ මූලික විත්ති වාචකයක්. තමන්ගේ ජීවිතය හෝ තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි මම පෙරළා පහර දුන්නේ කියල ඔප්පු වුනොත් උසාවිය ඒක පිළිගන්නවා." නීතිවේදී සේනක පෙරේරා ප්‍රකාශ කළේය. නමුත් පොලිස් පහර දීමක් සිදුවන විට මහජනතාව ඊට එරෙහිව නැගී සිටින අවස්ථා ඉතා විරලය. අධිකරණ පද්ධතියේ පවතින දුර්වලතාව ද ඊට හේතු වී ඇති බව ඇතැමෙක් පෙන්වා දෙති. සමාජයේ පවතින සාම්ප්‍රදායික මත හා බිය ඊට ප්‍රධාන හේතුවක් බව තවෙකෙක් පවසති. "පැය 24ක් ගතවෙන්නත් කලින් සියලුම තොරතුරු සොයා ගත්තා. ඒ පොලිසියේ දක්ෂතාවය නිසා. අන්න ඒකට ඉන්නවා SOCO කියන ඒකකය" "පහර දෙන විට අහන්න පුළුවන් මොකක්ද කරලා තියෙන වරද කියල. ඒකට උත්තරයක් නැත්නම් 119 සහ 1996 ට කතා කරලා දැනුම් දිය හැකියි. නමුත් ඔවුන් පැමිණෙන තුරු පහරකෑමට ලක්වන පුද්ගලයා බේරා ගැනීමට මහ ජනතාවට ඉදිරිපත් විය හැකියි. එතනදී ආත්මාරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක වෙනවා." "ඒත් කීයෙන් කීදෙනා ද එහෙම ඉදිරිපත් වෙන්නේ. ඇයි ඉදිරිපත් නොවෙන්නේ? ජනතාව දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ උසාවි ගානේ රස්තියාදු වෙන්න සිදු වෙනවා කියල. අන්න ඒ යාන්ත්‍රණයත් හැදෙන්න ඕනා. ඉක්මණින් නඩු අහල ඉවර කරන යාන්ත්‍රණයක් හැදුණොත් ජනතාව ක්‍රියාශීලී වේවි. මේවා එකකට එකක් බද්ධ වෙලා තියෙන්නේ. එකක් විතරක් හදන්න බැහැ." ඒ ආචාර්ය මහානාමහේවා ගේ මතයයි. 'කළු ගලේ ඔලුව ගහ ගන්නවා' එහෙත් නීතිවේදී සේනක පෙරේරාගේ මතය වන්නේ පුරවැසියා තම අයිතිවාසිකම් පිළිබඳව මීට වඩා දැනුවත් වී ඒවා රැක ගැනීම සඳහා සාමුහිකව කටයුතු කළ යුතු බවය. "අපේ මුල්බැසගත් සාම්ප්‍රදායික මතයක් තියෙනවා නිල ඇඳුම් ඇඳගත් අය කරන දේවල් ඔක්කොම හරි, ඒවාට එරෙහි වෙන්න බැහැ කියල. ප්‍රතිපත්තියක් හැටියට එකෙන් මිදෙන්න ඕන. ඒ සඳහා ජනතාව දැනුවත් වෙන්න ඕන. මේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කියන්නේ බත් කන එකයි, බස් එකේ යන එකයි විතරක් නෙවෙයි. ඉන් එහාට ගොඩාක් අයිතිවාසිකම් පුරවැසියන්ට තියෙනවා. ඒවා ගැන දැනුවත් වෙලා කටයුතු කරන්න ඕන." අහිංසක ජෙරාඩ් සහ දරුණු ජෙරාඩ් "පොලිසියට එරෙහිව ගියොත් මාව තවටිකක් හිර කරයි, තද කරයි; කළු ගලේ ඔලුව ගහ ගන්නවා වගෙයි.. ඔය වගේ සාම්ප්‍රදායික මත ටිකක් තියෙනවා. ඒවායින් මිදිලා ප්‍රජාවක් විදියට දනුවත්වෙලා තමයි මේක ඉදිරියට යන්න වෙන්නේ. දේශපාලකයාත් දැන ගන්න ඕන මිනිස්සුන්ගේ අයිතිකාරයා තමන් කියල හිතාගෙන, පොලිසිය යොදාගෙන වැඩ කරගන්න එක නවත්වන්න." ඔහු පැවසීය. අයිතිවාසිකම් කෙසේ වෙතත්, සියලු පොලිස් පහරදීම් එළිමහනේ සිදු නොවේ. පොලිසිය තුළ සිදුවන පහර දීමක දී මෙකී අයිතීන් ප්‍රයෝගික වේද? තමන්ගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් පොලිසිය තුළදී පියවරක් ඉදිරියට තැබූ ඇතැම් උදවියට අත්වූ ඉරණම පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අතීත නඩු වාර්තා දෙකක් ගෙන හැර පෑවේය. "එකක් තමයි ජෙරාඩ් පෙරේරා එරෙහි නීතිපති කියන නඩුව. ජෙරාඩ් නමින් දෙන්නෙක් ඉන්නවා වත්තල ප්‍රදේශයේ. එක්කෙනෙක් අහිංසකයි. අනිත් එක්කෙනා ටිකක් දරුණු ජෙරාඩ් කෙනෙක්. වත්තල පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානියා අත්අඩංගුවට ගන්නවා එක ජෙරාඩ් කෙනෙක්. එයාට පොලිසිය ඇතුළේදී දිගටම පහර දුන්නා. එයත් උත්සාහ කළා පහර කෑමෙන් බේරෙන්න. එයා ප්‍රතිවිරෝධයක් දැක්වුවා. නමුත් මේක සිද්ධවෙන්නේ පොලිසිය ඇතුළේදී. පොලිසියෙන් ආ ප්‍රතිවිරෝධය ඊට වඩා වැඩි වුනා. ලේ වමනේ යනකල් ගැහුවා. අන්තිමට බැලුවම මේ ගහල තියෙන්නේ අහිංසක ජෙරාඩ්ට. එයාව රෝහල් ගත කළා. එයාට වන්දි ගෙවන්න නියෝග ලැබුනා උසාවියෙන්." "අනිත් උදාහරණය තමයි ශ්‍රියානි ද සිල්වා එදිරිව ජානක ඉද්දමල්ගොඩ නඩුව. පයාගල පොලිස් ස්ථානාධිපති සම්බන්ධ නඩුව. ඇත්තටම මෙතනදී අත්අඩංගුවට ගෙන තිබුණේ හොරෙක්. එයා මාල කඩන කෙනෙක්. එයාටත් ගහල නාගොඩ රෝහලට ගෙනාව. මේ පුද්ගලයත් පහර කෑමෙන් බේරෙන්න උත්සාහ කරපු කෙනෙක්. නමුත් පොලිසිය ඇතුළේදී ඒක කරන්න අමාරුයි." පොලිසිය තුළ සිටියදී පුද්ගලයෙකු පහරකෑමට ලක්වීම "ඉතා අවාසනාවන්ත තත්ත්වයක්" ලෙස නීතිවේදී සේනක පෙරේරා ද පිළිගන්නා අතර පහරකෑමට ලක්වන තැනැත්තා එහිදී වඩාත් අසරණ වන බව ඔහු පවසයි. ඊට එක හේතුවක් ලෙස ඔහු දක්වන්නේ පහර කෑමට ලක්වූ පුද්ගලයා වෙනුවෙන් සාක්ෂියක් ලබා දීමට පොලිසිය තුළ සේවයේ සිටි කිසිවෙකු ඉදිරිපත් නොවීමය. එබැවින්, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පොලිසිය තුළදී නොවේ. "මේකට තමයි පාලකයෝ මැදිහත් වෙන්න ඕන. පොලිසියට CCTV කැමරා සවි කිරීම, විමර්ශනයන් සහ ප්‍රශ්න කිරීම් මධ්‍යස්ථ නිරීක්ෂකයන් හමුවේ සිදු කිරීමට පහසුකම් සැලසීම වගේ දේවල් රජයෙන් කෙරෙන්න ඕන. එවැනි යාන්ත්‍රණයක් හැදෙන්න ඕන. දැනට තියෙන මට්ටමේ හැටියට පොලිසිය තුළ දී පහර දීමක් වුනොත් සමහර වෙලාවට ඒ පැමිණිල්ල ඒ පොලිස් ස්ථානය භාර ගන්නෙත් නැහැ." ඔහු පැවසීය. එවැනි අවස්ථාවක දී අදාළ පොලිසිය විසින් පැමිණිල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් පළාතේ පොලිස් අධිකාරිවරයා ඉදිරියේ පැමිණිල්ලක් කිරීමේ පහසුකම් සලසා තිබේ. එසේත් නොමැතිනම් පොලිස්පතිවරයාගේ කාර්යාලයට ද පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව ද මෙවැනි පැමිණිලි භාර ගනී. වධ හිංසාවන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරියේ ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව නීතිවේදියෝ පවසති. "ඒකට පහර දෙන්නම ඕන නැහැ" "මේ සියල්ල තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නැතිනම් වැඩක් නැහැ. නිකමට හිතල බලන්න, සාමාන්‍ය කෙනෙකුට පුලුවන්ද නීතිපතිවරයා හමුවෙන්න. හමුවෙන්න වෙලාවකවත් දේවි ද? ඒකයි කියන්නේ නීති ක්‍රියාත්මක වීම සඳහා නිසි යාන්ත්‍රණයක් පැවතිය යුතුයි. ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුවකින් ජනතාව වෙනුවෙන් ඒ වටපිටාව සකස් කර දිය යුතුයි. ඒක ආණ්ඩුවේ වගකීම. එහෙම දවසක් උදා වුණොත් පොලිසියට වධ හිංසාව පවත්වාගෙන යන්න ලැබෙන්නේ නැහැ. දේශපාලකයා එහෙම නොකරන්නේ ඇයි කියල ජනතාව තේරුම් ගත යුතුයි." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය. පොලිසිය තුළ දී සිදුවන පහර දීම් බොහෝ විට සාධාරණීකරණය කෙරෙන්නේ අපරාධ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා අවම බලය යෙදවීමක් සිදුකළ යුතු බව පැවසීමෙනි. නමුත් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා පවතින එකම මාර්ගය පහරදීම පමණක් දැයි ඇතැමුන් ප්‍රශ්න කරති. කෙතරම් පහරදීම් සිදු වුවත් රටේ අපරාධ අඩුවී ඇති බවක් නම් පෙනෙන්නට නැත. එසේනම්, මෙම පහරදීම්වලින් ප්‍රතිඵල ලැබී ඇත්දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. මින් කියවෙන්නේ පහරදීම් පසෙක තබා අපරාධයක් හෙළිදරව් කර ගැනීම සඳහා වෙනත් කිසිදු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා පොලිසිය සතුව නොමැති බව ද? "මම උදාහරණයක් හැටියට නඩු තීන්දුවක් පෙන්වන්නම්. ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර සරත් අඹේපිටිය මහතාව වෙඩි තබා ඝාතනය කළා. පොලිස් පරීක්ෂක රත්නායකටත් එතැනම වෙඩි තබා ඝාතනය කළා. පැය 24ක් ගතවෙන්නත් කලින් සියලුම තොරතුරු සොයා ගත්තා. ඒ පොලිසියේ දක්ෂතාවය නිසා. අන්න ඒකට ඉන්නවා SOCO කියන ඒකකය. ඒගොල්ලෝ තමයි අද පවතින නවීන තාක්ෂණය ඔස්සේ තොරතුරු සොයා ගන්නේ. ජංගම දුරකතනයක චිප් එකෙන් පුළුවන් ආගිය තැන්, ඇසුරු කළ පිරිස ආදී බොහෝ දේ අනාවරණය කර ගන්න. ඒකට පහර දෙන්නම ඕන නැහැ." ආචාර්ය මහානාමහේවා පැහැදිලි කළේය. "මේ හැම දේටම වඩා වැදගත් අපරාධ වැළක්වීමේ විද්‍යාව. එම හැදෑරීම් ඔස්සේ ලංකාවේ බොහෝ අපරාධ අඩුකර ගත හැකියි. නවීන තාක්ෂණය, මහජනතාවගේ සහාය සහ විද්වත් කමිටු සහාය පොලිසිය ලබා ගත යුතුයි." "යම් හෙයකින් පොලිස් නිලධාරියෙක් වරදක් කළොත් අපි නීතිය අතට ගන්නවට වඩා, යාහැකි තැන් ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තියෙනවා. ඔම්බුඩ්ස්මන්වරයා ඉන්නවා. පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව තියෙනවා. නීතිපතිවරයාට මහජන පෙත්සම් ඉදිරිපත් කරන්න පුළුවන්. උසාවියෙන් නම් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්න පුළුවන්. ජනතාව මේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් විය යුතුයි." ආචාර්ය මහානාමහේවා අවධාරණය කළේය.
ඉදිරි දින කිහිපය අඟහරු ගවේෂණයට අදාළව මානව වර්ගයා කාර්යබහුල වන කාල වකවානුවකි.
රතු ග්‍රහයා වෙත සමීප වන අභ්‍යවකාශ යානා තුනක් මගින් එහි භූ ස්වභාවය මෙන්ම වායුගෝලය අධ්‍යයනය කෙරෙන අතර පුරාණ ක්ෂුද්‍ර - බැක්ටීරියානු ජීවය පිළිබඳ තිබිය හැකි යැයි අනුමාන කෙරෙන ලකුණු ද විමසා බලනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දියත් කරන ලද අභ්‍යවකාශ යානය වන 'හෝප්' (Hope) අඟහරුවාදා (පෙබරවාරි 09) පළමුව එහි ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරිණි. දින දෙකකට පසු චීනයේ 'තියාන්වෙන්-1' (Tianwen-1) අඟහරු මත ගොඩබැසීමට නියමිත අතර ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද 'පර්සිවියරන්ස්' (Perseverance) යානය පෙබරවාරි 18 වෙනිදා අඟහරු මත ගොඩබසිනු ඇත. පෘථිවිය හා අඟහරු අතර ඇති සමීප දුර මෙම අභ්‍යවකාශ මෙහෙයුම්වල වාසියට යොදාගෙන තිබේ. සූර්යයා වටා පරිභ්‍රමණය වීමේදී පෘථිවිය හා අඟහරු සතු වෙනස් වේගය හේතුවෙන් ග්‍රහලෝක දෙක අතර දුර නිතර වෙනස්වේ. අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය කළ හැකි මෙහෙයුම් දියත් කළ හැකි වන්නේ සෑම මාස 26 ට වරක් ය. නමුත් වෙනත් ඕනෑම අඟහරු මෙහෙයුමක් සේ ම මෙම අභ්‍යවකාශ යානා තුනද මුහුණ දෙන අභියෝග ඇත. කුප්‍රකට "විනාඩි හතේ භීතිය" ද ඊට ඇතුළත් ය. මෙම කාලයෙන් හැඟවෙන්නේ අඟහරු වායුගෝලයේ ඉහළ සිට ග්‍රහ පෘෂ්ඨය මත ගොඩබෑමට අභ්‍යවකාශ යානයකට ගතවන කාලය වේ. රතු ග්‍රහයා වෙත දියත් කෙරුණු පෙර මෙහෙයුම්වලින් අඩක් ම අසාර්ථක විණි. එසේනම්, මෙවර එම මෙහෙයුම් සාර්ථක කරගැනීමට විද්‍යාඥයින් අපේක්ෂා කළේ කෙසේද? ඔවුන් සොයාගන්නට අපේක්ෂා කරන්නේ මොනවා ද? එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝප් මෙහෙයුම එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ග්‍රහයා වෙත සිදුකල සිය පළමු මෙහෙයුම අඟහරුවදා සමරුවේ තම හොපේ නමින් කක්ෂගත කළ යානය රතු ග්‍රහයා වෙතට ඉතාමත් සාර්ථකව කක්ෂගත වීමත් සමඟ ඔවුන් එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය, යුරෝපය සහ ඉන්දියාවට පසුව එසේ අභ්‍යවකාශ ගමන් සිදුකළ පස්වන රට බවට පත්වීම නිසාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුම් පසුගිය වසරේ ජූලි මාසයේ දියත් කෙරුණේ ජපානයේ දී ය. රතු ග්‍රහයා ගේ වායුගෝලය ගවේෂණය කිරීම එම යානයට පැවරුණු කාර්යය වන අතර එය මීට පෙර අඟහරු මෙහෙයුම්වල සිදු නොවූ කාර්යයකි. විශේෂයෙන් ම, අඟහරු වෙතින් එහි වායුව මෙන්ම විශාල වශයෙන් ජලය ගිලිහී ගියේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් අපගේ දැනුමට එක්කිරීමට එයින් හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ කල්පනා කරති. චීන සහ ඇමෙරිකානු මෙහෙයුම් මෙන් නොව, හෝප් යානය අඟහරු මත ගොඩ බසීමකින් තොරව ඒ වටා එක් අඟහරු වර්ෂයක් නොඑසේනම් දින 687 ක් පරිභ්‍රමණය වනු ඇත. එයින් එවනු ලබන දත්ත ලබන සැප්තැම්බරයේදී පෘථිවියට ළඟා වෙතැයි අපේක්ෂා කෙරේ. නමුත් ඊට ප්‍රථම, අඟහරු කක්ෂය නිසි ලෙස ග්‍රහණය කරගැනීම සඳහා වූ අවදානම් සහගත හැසිරවීමකට යොමු වීමට යානයට සිදුවනු ඇත. "අවදානම් සහ සංකීර්ණ" පියවරක් ලෙස එමීරයේ නිලධාරීන් විසින් හඳුන්වා දෙන ලද මෙම අදියර ලබන අප්‍රේල් මාසය තෙක් පවතිනු ඇත. හෝප් මෙහෙයුම විද්‍යාත්මක ක්‍රියාවලියකින් ඔබ්බට ගිය මෙහෙයුමක් ලෙස බීබීසී හි විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජොනතන් ඒමොස් හදුන්වා දෙයි. "මෙය සැලකෙන්නේ කිසියම් උත්තේජනයක් දෙන යානයක් හැටියටයි. පාසල් මෙන්ම උසස් අධ්‍යාපනයේදී විද්‍යා කටයුතු කෙරෙහි එමීර් රාජ්‍යයේ මෙන්ම අරාබි කලාපයේ තරුණ පිරිස් ආකර්ශණය කරන්නක් ලෙසයි." ඔහු සඳහන් කළේය. මීට පෙර අඟහරු වෙත සාර්ථකව සමීපව තිබෙන්නේ එක්සත් ජනපදය, ඉන්දියාව, කළින් පැවති සෝවියට් සංගමය සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පමණි. හෝප් යානයේ අඟහරු සම්ප්‍රාප්තිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිර්මාණය වීමේ 50 වෙනි සංවත්සරයට සමගාමීව යෙදී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා ඇති සුවිශේෂී ස්ථාන රාත්‍රියේදී රත් පහන් ආලෝකවත් කෙරෙන අතර එරට ආණ්ඩුවට අයත් අන්තර්ජාල ගිණුම් #ArabstoMars (ඇරබ්ස් ටු මාර්ස් - අඟහරු වෙත යන අරාබි ජාතීන්) යන හෑෂ්ටැගයෙන් සරසා ඇත. මෙම සුවිශේෂ දිනයේදී, ලොව උසම කුළුණ ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් ඛලීෆා (Burj Khalifa) ගොඩනැගිල්ල අඟහරු වෙත යාමේ සැමරුම්වල කේන්ද්‍රය බවට පත්විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඟහරු මෙහෙයුමට නායකත්වය දෙන කාන්තාව චීනයේ තියාන්වෙන්-1 මෙහෙයුම "සුරලොවට යොමු කෙරුණු ප්‍රශ්න" ("Questions to Heaven") යනුවෙන් අර්ථනැංවිය හැකි චීනයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුමට අනුව තවත් මාස තුනක් යන තෙක් එම යානය ගොඩ බැසීමක් නොකරනු ඇත. අනතුරුදායී අවගමනයට පෙර වායුගෝලයේ තත්ත්ව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉංජිනේරුවරුන්ට මෙයින් උදාවේ. යානය අඟහරු මත ගොඩබෑමට නම් එහි "රෝද පහත හෙළන" අවස්ථාව වනවිට, පැයට කිලෝමීටර 20,000ක් වූ ග්‍රහයාට ඇතුළුවීමේ වේගය ඇවිද යන වේගයක් තරම් දක්වා අඩුකරගැනීමේ අභියෝගයට විද්‍යාඥන් මුහුණ දෙනු ඇත. කිලෝග්‍රෑම් 250 ක් වන රෝවරය, අඟහරු මතුපිට ඇති යුතෝපියා (Utopia) ද්‍රෝණියේ තැනිතලාවක් මතට ලබන මැයි මාසයේ ගොඩබෑමට චීනය අපේක්ෂා කරයි. සූර්ය පැනල මගින් බල ගැන්වෙන රෝවරය, එම කලාපයේ භූ ස්වභාවය මෙන්ම පෘෂ්ඨයට මදක් යටින් ඇති තත්ත්වයද අධ්‍යයනය කරනු ඇත. ඡායාරූප ගැනීමට මෙන්ම රෝවරය ධාවනයේදී දිශාව දැනගැනීම සඳහා සහය වන්නේ එහි ඇති උස් කුඹය කි. එහි ඇති තවත් උපකරණ පහක ආධාරයෙන් ප්‍රදේශයේ ඛනිජ තත්ත්වය මෙන්ම පාෂාණ නිරීක්ෂණය කෙරෙන අතර අයිස් බවට පත් ජලය තිබේද යන්නත් අධ්‍යයනය කෙරේ. අවම තරමින් දින 90 ක කාලයක් මෙම රොබෝ යන්ත්‍රයේ සේවය ලබාගැනීමට චීන විද්‍යාඥයෝ අපේක්ෂා කරති. මෙතෙක් අඟහරු මත දිගු කාලයක මෙහෙයුමක් දියත්කිරීමට සමත්වී තිබෙන්නේ ඇමෙරිකානුවන් පමණි (සෝවියට් දේශයේ මාර්ස්-3 මෙන්ම යුරෝපයේ බීග්ල් - 2 මෙහෙයුම් අඟහරු මත ගොඩබෑවද ඉන් සුලු වෙලාවකින් අකර්මන්‍ය විණි). 'තියාන්වෙන්-1' යානයෙන් ලබාගත් අඟහරුගේ පළමු ඡායාරූපය දැනටමත් පෘථිවිය වෙත ඒවා ඇත. එම කළු - සුදු ඡායාරූපයෙන්, අඟහරු මත ඇති ෂියාපරෙලි (Schiaparelli ) ආවාටය මෙන්ම අඟහරු පෘෂ්ඨයේ දීර්ඝ බිම්කඩක් පුරා විහිද යන වැලිස් මැරිනේරිස් (Valles Marineris) ගැඹුරු දොරුව වැනි භූ ලක්ෂණ පෙන්නුම් කෙරේ. එම ඡායාරූපය ගෙන තිබුණේ අඟහරු සිට කිලෝමීටර මිලියන 2.2 ක දුරකිනි. කිලෝමීටර මිලියන 2.2 ක දුරකදී තියාන්වෙන්-1 යානයෙන් ගත් අඟහරුගේ ඡායාරූපය තියාන්වෙන්-1, අඟහරුට ළඟාවීමට චීනය දැරූ පළමු ප්‍රයත්නය නොවේ. රුසියාව සමග එක්ව 2011 වසරේ ගත් උත්සාහය අකාලයේ නතර උනේ අසාර්ථක විම නිසාවෙනි. නමුත් චන්ද්‍රයා මතුපිට ට රෝවර දෙකක් යැවීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශ්වාසය ගොඩනගා ගැනීමට චීනය සමත් විය. සිය දෙවෙනි රෝවරය චීනය විසින් ගොඩබානු ලැබුවේ, චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශය වෙත සාර්ථක මෘදු ගොඩබෑමක් කළ පළමු රට බවට පත්වෙමිනි. එක්සත් ජනපදයේ නොපසුබස්නා උත්සාහ මෙහෙයුම නාසා ආයතනය දියත් කළ පර්සිවියරන්ස් (Perseverance-නොපසුබස්නා උත්සාහය) මෙහෙයුමේ අරමුණ අඟහරු මත පැරණි ක්ෂුද්‍රජීවය පිළිබඳ සාක්ෂි විමසා බැලීම ය. රතු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳ මිල කළ නොහැකි ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක්රැස් කිරීම මෙමගින් සිදු වේ. වෙනත් ග්‍රහලෝකයක් මත ගොඩබෑම සඳහා මෙතෙක් යැවුණු විශාලතම මෙන්ම අධි තාක්ෂණික යානය ලබන බ්‍රහස්පතින්දා (පෙබරවාරි 18) ග්‍රිනිච් වේලාවෙන් රාත්‍රී 9 ට (2100 GMT) ඉතා ආසන්න වෙද්දී අඟහරු හි සමකයට ආසන්න ආවාටයක් වන ජෙසේරෝ (Jezero) මත ගොඩබෑමට අපේක්ෂා කෙරේ. "යානය ගොඩබාන ස්ථානය ලෙස විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක්වූ ජෙසේරෝ ආවාටය (Jezero Crater) ඔවුන් දකින්නේ සෑම දේ ගැනම විද්‍යාත්මක වශයෙන් වඩා ප්‍රතිඵලදායි තැනක් හැටියටයි. පැරණි ගංගාවක් ඒ හරහා ගලාගිය සලකුණු ඇති නිසා අතීත ජීවයක් සොයා යාමට නම් මෙතැනයි තැන කියා හිතනවා. නමුත් ජෙසේරෝ දෙස බලද්දී මට අනතුරක් පෙනෙනවා," යැයි පර්සිවියරන්ස් යානය ඇතුළුවීම, පහළට ගෙන ඒම සහ ගොඩබෑම (Entry, Descent and Landing) සම්බන්ධයෙන් ප්‍රධානත්වය දරන ඉංජිනේරු ඇලන් චෙන් පවසයි. "හැමතැනම අනතුරක් තිබෙනවා. ප ගොඩබාන ස්ථානය හරහා ඇදී යන මීටර 60-80 අතර උසක් ඇති තද බෑවුමක් තිබෙනවා. බස්නාහිර පැත්ත බලද්දී පෙනෙන්න තියෙන්නේ, ආවාට සමුහයක්. ඉන් එකකට සාර්ථකව ගොඩබෑම කළත් ඉන් ගොඩවෙන්න හැකියාවක් නැහැ. නැගෙනහිර පැත්තට තියෙන්නේ විශාල ගල් පරුවත. ඒ මතට ගොඩබානවාට රෝවරය කොහෙත්ම සතුටුවෙන එකක් නැහැ," යැයි ඔහු බීබීසී සමග පැවසීය. අත්හදා බලන ලද තාක්ෂණයකින් පර්සිවියරන්ස් සමන්විත වන බැවින් වාසනාවකට මෙන් අඟහරු පෘෂ්ඨයේ ආරක්‍ෂිත තැනකට ළඟාවීමට එයට හැකියාව ලැබෙනු ඇත. ප්‍රමාණයෙන් කුඩා එස්යූවී රථයකට සමාන රෝවරය බරින් මෙට්‍රික් ටොන් එකකි. දිනකට මීටර 200ක දුරක් ස්වයංක්‍රීයව ධාවනය කළ හැකි එම රථයෙහි කැමරා 19 ක් මෙන්ම මයික්‍රෝෆෝන දෙකක් සවි කර ඇත. එමගින් අඟහරු මත පළමු වරට ශබ්දය පටිගත කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති. පළමු වරට වෙනත් ලොවක දී ඩ්‍රෝන යානයක් පියාසර කරවීමේ ප්‍රයත්නයක් ද මෙම මෙහෙයුමට අයත් වේ. එම ඩ්‍රෝන යානයේ බර කිලෝග්‍රෑම් 1.8කි. පොරොන්දු කෙසේවෙතත්, පර්සිවියරන්ස් මෙහෙයුමේ සොයාගැනීම්වල සම්පුර්ණ තත්ත්වය දැනගැනීමට ලැබෙනුයේ රතු ග්‍රහයා මතින් එක් රැස් කරගත් සාම්පල (නියැදි) පෘථිවිය වෙත ලැබීමෙන් පසු ය. එය සිදුවනු ඇත්තේ මෙතැන් සිට වසර දෙකක් ගිය තැන සටහන් වන මෙහෙයුමේ අවසානය සමගිනි. මේ ගැනත් දැනගන්න:
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මහනුවරට ගොස් ශ්‍රී දළඳා සමිඳු වැඳ පුදා ගත්තේය.
ඉන් අනතුරුව මහ නාහිමිවරුන් හමු වීම සඳහා මල්වතු අස්ගිරි විහාරස්ථානවලට පැමිණියේය. මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න ද මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී දළඳා මාලිගාව වන්දනා කිරීමෙන් පසු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ආශීර්වාද ලබා ගැනීම සඳහා හින්දු සහ මුස්ලිම් දේවස්ථාන කරා ගොස් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අර්ජුන රණතුංග සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු විපක්ෂයට එක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම ගමනට සහභාගී සිටියහ.
වර්තමානයේ පරිසරය සුරැකීම පිළිබඳ ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රබල අවධානය පළ වී තිබේ. අප්‍රේල් 22 වෙනි දින ලෝක මිහිතල දිනය වන අතර, ලෝක නායකයන් 40කගේ සහභාගිත්වයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කැඳවනු ලැබ තිබෙන දෙදින දේශගුණ සමුළුව ද එදින ආරම්භ විය. මේ වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව, COP26, කෙරෙහි මේ සියල්ලට වඩා වැඩි අවධානයක් යොමු වී තිබේ. පරිසරය රැකගැනීම උදෙසා කැප වූ ලොව පුරා වෙසෙන තරුණ, තරුණියන් පිරිසක් ගැන බීබීසී ය ගෙන එන විමසුමකි, මේ.
ෂාමා සන්දූයා පසුගිය මාර්තු මාසයේ ලෝකයේ ප්‍රථම වරට සාගර පතුලේ දේශගුණ උද්ඝෝෂණයක් පැවැත්වූවාය සාගර පතුලේ උද්ඝෝෂණයක් ෂාමා සන්දූයා (Shaama Sandooyea) පසුගිය මාර්තු මාසයේ ලෝකයේ ප්‍රථම වරට සාගර පතුලේ දේශගුණ උද්ඝෝෂණයක් පැවැත්වූයේ ලෝකයේ විශාලතම සාගර තණබිම් (seagrass meadows) ආරක්ෂා කිරීමේ සිය සටනේ කොටසක් වශයෙනි. "දේශගුණය උදෙසා තරුණ උද්ඝෝෂණය" යනුවෙන් සඳහන් පුවරුවක් රැගෙන 24 හැවිරිදි සාගර විද්‍යාඥවරිය සයා ඩි මාලා (Saya de Malha) වෙරළ තීරය අසල ඉන්දීය සාගරයේ කිමිදුනාය. එය සීෂෙල්ස් දූපත්වල සිට කිලෝමීටර් 735ක් පමණ ඈතින් පිහිටි ප්‍රදේශයකි. "මේක ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශයක්. ඒත් දැන් මේ පළාත දේශගුණ අර්බුදයේ ගොදුරක් බවට පත්වෙලා," ෂාමා බීබීසී සමඟ කියා සිටියාය. "සාගර තණබිම්වලට ඉතා සමීපයේ වැඩෙන කොරල් පර ඉහළ යන උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ කියල අපි සොයා ගත්තා." ඇමසන් වනාන්තරයට වඩා වැඩි ගුණයකින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට සාගර තණබිම්වලට හැකියාව තිබේ. එබැවින් මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කට වඩා ඉහළ යාම වැළැක්වීම පිණිස මෙවැනි සාගර තණබිම් ආරක්ෂා කිරීමේ වැදගත්කම විද්‍යාඥයෝ අවධාරණය කරති. ෂාමා සන්දූයා, ග්‍රීන්පීස් පරිසර සංවිධානයේ පරිසරවේදීන් සහ විද්‍යාඥයන් පිරිසක් සමඟ ප්‍රදේශයේ සාගර පතුල නිරීක්ෂණය කළාය කොළ කැස්බෑවන් වැනි වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් ඇතුළු ඩොල්ෆින් සහ rabbitfish වැනි දහස් ගණන් සමුද්‍ර ජීවීන්ගේ ආහාර සහ වාසය පිණිස සමුද්‍ර තණබිම් අත්‍යවශ්‍ය සාධකයකි. මොරිෂස් (මුරුසි) දූපත් වැසියෙකු වන ෂාමා, ග්‍රීන්පීස් පරිසර සංවිධානයේ පරිසරවේදීන් සහ විද්‍යාඥයන් පිරිසක් සමඟ ප්‍රදේශයේ සාගර පතුල නිරීක්ෂණය කළාය. සාගර පතුලේ මනස්කාන්ත දර්ශනය දැක විස්මය පත් වූ වග ඇය පවසන්නීය. "ඒක හරියට වතුරේ තියන තණබිමක් වගේ." සයා ඩි මාලා වෙරළ තීරයේ සමුද්‍ර තණබිම්, සාගරයට කාබන් අවශෝෂණය කරගැනීමට උපකාර වෙයි "අපේ සාගරයෙන් 30%ක් වත් ආරක්ෂා කරගැනීම පිණිස සාගර අභය භූමි ජාලයක් නම් කිරීම" පිණිස ලෝක නායකයන්ට බල කිරීම ඇයගේ මේ උද්ඝෝෂණයේ අරමුණය. "මුහුදේ උෂ්ණත්වය ඉහළ යාම නිසා සයා ඩි මාලා මුහුදෙන් වෙනත් මුහුදකට මාළු සංක්‍රමණය වෙනවා නම් ඒක සයා ඩි මාලා වල ජෛව විවිධත්වයට බලපානවා," යනුවෙන් පවසන ඇය, සාගරය රැකගැනීම "අපේ දේශගුණය වෙනුවෙන් විතරක් නෙවෙයි, මේ සාගරයෙන් යැපෙන බිලියන ගණනක් ජනතාවගේ පැවැත්මටත් ඉතා වැදගත්," බව අවධාරණය කරන්නීය. මේ සමුද්‍ර තණබිම් සීෂෙල්ස් දූපත්වල සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටීම හේතුවෙන් මෙතෙක් කිසියම් ආරක්ෂාවක් සැලසුන ද, විශේෂයෙන්ම නීති විරෝධී මසුන් මැරීම් උත්සන්න වෙමින් පැවතීම සහ සාගර කලාපය වැඩි වැඩියෙන් භාවිත කිරීම හේතුවෙන් තත්ත්වය ඉක්මණින් වෙනස්වනු ඇති බවට ෂාමා සන්දූයා බිය පළකරන්නීය. Geophysical Research Letters සඟරාව 2014 දී වාර්තාකළ ආකාරයට 1992 සිට 2012 දක්වා කාලය තුළ ලෝකයේ නාවික ගමනාගමනය සිව් ගුණයකින් වැඩි වී තිබෙන අතර, ඒ අතරින් ඉන්දීය සාගරය බරපතලම වැඩිවීමක් දක්නට ලැබෙන කලාපයකි. සාගර තණබිම්වලට ඉතා සමීපයේ කොරල් පර වැඩෙනු දක්නට ලැබුණ බව ෂාමා පවසන්නීය "මගේ මේ උද්ඝෝෂණය නිසා සයා ඩි මාලා රැකගැනීම වෙනුවෙන් රැඩිකල් වෙනසක් වේවි කියල මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා," ෂාමා පවසන්නීය. "අපිට මේ දේශගුණ විපර්යාස හොඳටම දැනෙනවා. අපි මේ මොහොතේ මේක ගැන පියවර ගත යුතුයි." සිය පරිසරය රැකගැනීම පිණිස පෙරමුණ ගන්නා මෙන් ඇය කලාපීය ආණ්ඩුවලින් පමණක් නොව ප්‍රදේශයේ ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නීය. "සයා ඩි මාලා රැකගැනීම දැන් හැමදෙනාගේම වගකීම. හැමදෙනාම මේකට අත්වැල් බැඳගත යුතුයි." 'මම කතාකරන්නේ මම දැකපු පරිසර විනාශය ගැන' "අවසන් හුස්ම පොද තිබෙන තුරු" සටන අත් නොහරින බව භාග්‍යා පවසයි සිංහරාජ රක්ෂිතය ආසන්නයේ, රක්වාන ප්‍රදේශයේ වෙසෙන 19 හැවිරිදි භාග්‍යා අබේරත්න, වන සංහාරය සහ හෝටල් වැනි නව ඉදිකිරීම් හේතුවෙන් රක්ෂිතයේ පරිසර පද්ධතිය විනාශවෙමින් පවතින බව අනාවරණය කිරීමත් සමඟ රට පුරා අවධානයට ලක් වූවාය. බොහෝ දෙනා ඇය ප්‍රසංශා කළ අතර, ඇතැමුන්ගේ ගැරහුම්වලට ද ඇය මුහුණ දුන්නාය. රූපවාහිනී වැඩසටහනකදී තමන් කළ ප්‍රකාශයෙන් අනතුරුව මතු වූ තත්ත්වය ගැන ඇය කියා සිටියේ, සිංහරාජය ආශ්‍රිතව සිදුවන විනාශය ගැන හෙළිදරවු කිරීමෙන් අනතුරුව ඒ හඬ නිහඬ කිරීමට ඇතැමුන් උත්සහ කිරීම තරුණ පරපුර බියවැද්දීමට ගන්නා උත්සහයක් බවය. "වහලුන් ලෙස නිහඬව ජීවත් වුවහොත් රටක් ඉතිරි නොවන බැවින්" මේ අවස්ථාවේදී පෙරට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ආරාධනය කරන බව ද බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් භාග්‍යා කියා සිටියාය. ඇතැමුන් "ශ්‍රී ලංකාවේ ග්‍රේටා තුන්බර්ග්" ලෙසින් ද හඳුන්වන භාග්‍යා පවසන්නේ, කුමන අභියෝග පැමිණියද තමන්ට හුස්ම දෙන පරිසරය රැක ගැනීමට "අවසන් හුස්ම පොද තිබෙන තුරු" සටන අත් නොහරින බවය. ඇතැමුන් ශ්‍රී ලංකාවේ ග්‍රේටා තුන්බර්ග් ලෙසින් ද හඳුන්වන භාග්‍යා පවසන්නේ, කුමන අභියෝග පැමිණියද තමන්ට හුස්ම දෙන පරිසරය රැක ගැනීමට 'අවසන් හුස්ම පොද තිබෙන තුරු' සටන අත් නොහරින බවය තවත් කියවන්න: 'දේශගුණ අර්බුදය කියන්නේ හිම වලස්සුයි, අයිස් කුට්ටිවලටයි එහා ගිය දෙයක්' මිහිතලය රත්වීම යනු සිය ගම පළාතෙන් ඉතා දුර බැහැරව සිදුවන්නක් නොවන බව බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් ප්‍රදේශයේ වෙසෙන කේටී හොජට්ස්ට (Katie Hodjetts) වැටහෙන විට ඇය 18 හැවිරිදි වූවාය. "මම පොඩි කාලේ දියවෙන අයිස් තට්ටුවල හිර වෙලා ඉන්න හිම වලස්සු දැක්කම මට හිතුණේ ඒක මට අදාළ දෙයක් නෙවෙයි කියල," ඇය පැහැදිලි කළාය. බ්‍රිස්ටල් නගරයේ ගුවන් තොටුපොල ව්‍යාප්ත කිරීමට එරෙහිව සාර්ථක උද්ඝෝෂණයක් මෙහෙයවමින් කේටී හොජට්ස්, ග්‍රේටා තුන්බර්ග් ද සමඟ 30,000 කට ආසන්න පිරිසක් ඇමතුවාය. එය එසේ නොවන බව ඇයට වැටහුණේ පාසල හමාරයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී "දේශගුණ විපර්යාසවල දේශපාලනය" (Politics of Climate Change) නම් විෂයය හැදෑරීම ඇරඹු විටය. "එතකොට තමයි මට තේරුණේ දේශගුණ අර්බුදය කියන්නේ හිම වලසුන්ට එහා ගිය දෙයක් කියල; ඒක ධනවාදය, අසාධාරණය සහ දේශපාලනය සම්බන්ධ දෙයක් කියල." පසුව UK Youth Climate Coalition නම් පරිසර සංවිධානයට සම්බන්ධ වූ කේටී 2018 දී එහි ගිරි ශිඛර හාරා ගෑස් නිධි කැණීමේ ක්‍රියාදාමයට එරෙහි උද්ඝෝෂණයක් සම්බන්ධීකරණය කරමින් තෙදිනක් මුළුල්ලේ එවැනි ස්ථානයක් අවහිර කිරීමට සම්බන්ධ වූවාය. ඉන් වසරකට පසුව Bristol Youth Strike 4 Climate උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකවරියක වූ ඇය, බ්‍රිස්ටල් නගරයේ ගුවන් තොටුපොල ව්‍යාප්ත කිරීමට එරෙහිව සාර්ථක උද්ඝෝෂණයක් මෙහෙයවමින්, ග්‍රේටා තුන්බර්ග් ද සමඟ 30,000 කට ආසන්න පිරිසක් ඇමතුවාය. 2020 දී Resilience Project නම් ව්‍යාපෘතිය ආරම්භ කළ කේටී හොජට්ස්, දේශගුණ විපර්යාස හා සම්බන්ධ මානසික උපදේශන පාඨමාලා සංවිධානය කරන්නීය. එමෙන්ම COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව සමයේ එම වැඩපිළිවෙල පුළුල් කිරීම ඇයගේ අපේක්ෂාවය. Resilience Project නම් ව්‍යාපෘතිය මගින් කේටී හොජට්ස්, දේශගුණ විපර්යාස හා සම්බන්ධ මානසික උපදේශන පාඨමාලා සංවිධානය කරයි "පහුගිය අවුරුදු පහේ තරුණ, තරුණියන් එක්ක වැඩ කරද්දී මට වැටහුණා තරුණ පිරිස්වල මානසික සෞඛ්‍යය පිරිහෙමින් තියෙන නමුත් ඒකට පිළියම් යොදන්න තරුණයන් විසින් තරුණයන් වෙනුවෙන් කිසිම වැඩපිළිවෙලක් නැති බව," 25 හැවිරිදි කේටී පෙන්වා දුන්නාය. "ඒ නිසයි මම Resilience Project ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඒක තරුණ පරපුර බලගැන්වීමේ වැඩපිළිවෙලක්." "මගේ අරමුණ තමයි වහාම ක්‍රියාත්මක වෙන්න කියල තමන්ගේ ආණ්ඩුවලට බලකරන්න තරුණ, තරුණියන්ට ශක්තිය ලබාදීම," ඇය විස්තර කළාය. "කාබන් අඩුවෙන් මුදාහරිමින් ඉතා හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන් කියල ඔවුන්ට වටහාදීම තමා මගේ අරමුණ. සමහර විට ඔබ මාව විශ්වාස කරන එකක් නෑ නමුත් ස්කොට්ලන්තයේ නිවාඩුවක් ගතකිරීම බහමා දූපත්වල නිවාඩුවක් වගේම අතිශය සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්." 'පැලයක් සිටුවීමයි, කැලයක් වගා කිරීමයි කියන්නේ දෙකක්' ශ්‍රී ලංකාව තුළ ස්ථාන 130 ක පමණ පැල ලක්ෂයක් පමණ සිටුවීමට අචල මැද්දේගම දායක වී තිබේ වසර හයකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාව තුළ ස්ථාන 130 ක පමණ පැල ලක්ෂයක් පමණ සිටුවීමට දායක වූ "Reforest Sri Lanka" සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති අචල මැද්දේගම පවසන පරිදි, පැලයක් සිටුවීම සහ කැලයක් වගා කිරීම යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයන් දෙකකි. "අපි මේ වෙනකොට දක්ෂිණ අධි වේගයේ ඒ වගේම සිංහපුර, විල්පත්තුව, දික්වැල්ල වගේ ප්‍රදේශවල සහ වැවු ඉවුරු සහ ගං ඉවුරුවල පවා පැල හිටවල තියෙනව," ඔහු බීබීසී ය සමඟ විස්තර කළේය. 'තිසා වැවේ, බුලන්කුලම වැවේ ... ඒ වගේම කළු ගඟේ ඉවුරේ, ඉවුරු ඛාදනය නවත්තන්න අපි පැල 20,000 කට වඩා හිටවල තියෙනව. අපි නිතරම රජයේ ආයතනයක් එක්ක එකතුවෙලා තමා මේ වැඩේ කරන්නේ." ඔහු පවසන්නේ, මේ වසරේ මිහිතල දිනයේ සිටුවීම පිණිස කොළඹ නගර සභාවට පැල 500 ක් ලබා දුන්නේ ද සිය සංවිධානය බවය. "නමුත් දැන් නම් පැල සිටුවීම් ගොඩක් අසාර්ථකයි මොකද ඒ පැල මැරෙනවා. ඒවා බලා ගත්තේ නැත්නම් පැලවෙන්නේ බොහොම සුළුතරයක්. අනික දවසක් හිටවනවා ඊළඟ දවසේ ඒවා උගුල්ල දාල එතන මොකක් හරි ඉදි කිරීමක් කරනවා," අචල මැද්දේගම පවසයි. "මේ දවස්වල අපි දකිනවා තර්කයක් මතුවෙනවා, පැල හිටවන නිසා කැලේ කැපුවට කමක් නෑ කියල. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. "ගම්වල සමහර මිනිස්සු කියනව 'කැලේ ආයෙත් හිටවන්න පුළුවන්නේ' කියල. ඒකෙන් තේරෙන්නේ එයාල තේරුමක් නැතුව ගස් හිටවල තියෙනව නමුත් කැලේ වවල නෑ." Reforest Sri Lanka සංවිධානය විසින් වසර පහකට පෙර දක්ෂිණ අධි වේගී මාර්ගය අවට සිටුවන ලද ගස් 2015 දී මොරටුව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන සමයේ "විල්පත්තු වන සංහාරය" ගැන ආන්දෝලනයක් මතු වූ අවස්ථාවේ සමීප මිතුරන් පිරිසක් සමඟ සිය සංවිධානය ආරම්භ කළ ඔහු පවසන්නේ, මේ වනවිට 10,000 කට ආසන්න ස්වෙච්ඡා පිරිසක් සමඟ තමන් කටයුතු කොට තිබෙන බවය. ශ්‍රී ලංකාවට ආවේණික වූ විවිධ ශාක ප්‍රභේද 50 ක් පමණ ඔවුන් විසින් සිටුවනු ලැබ තිබේ. "ගොඩක් මිනිස්සුන්ට මේ ගැන දැනුමක් නෑ. හරියට කැලෑවක් හිටවනවා කියන්නේ අවුරුදු 30-50 ක් විතර දීර්ඝ කාලයක් යන වැඩක්. ඇත්තටම ඒ ගැන විද්‍යාත්මක දැනුමක් තියෙන ගොඩක් දෙනෙක් ලංකාවේ නෑ." ගස් සිටුවීමේ ව්‍යාපාරයේදී පස ගැන සහ පරිසරය ගැන පර්යේෂණ පවත්වා, කාලගුණය ද අධ්‍යයනය කොට එය ක්‍රියාවට නැගිය යුතු බව පෙන්වාදෙන අචල මැද්දේගම එය විද්‍යාත්මක මට්ටමින් ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. "අනික අපි නිතරම විවිධ පැල වර්ග හිටවනවා. එකම වර්ගයක් නෙමෙයි. හරියටම විද්‍යාත්මකව කළොත්, ඒ පැත්තෙන්ම ඇට වර්ග හොයාගෙන, තවාන් දාල හිටවන එක හරි ක්‍රමවේදය. නමුත් අපිට තාම ඒක කරන්න අමාරුයි." දූෂණයෙන් තොර, තිරසර සංවර්ධනයක් සඳහා වූ ශ්‍රී ලංකාවක් උදෙසා වූ සිය යෝජනා "Reforest Sri Lanka" සංවිධානය විසින් පසුගිය වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු විමසන කමිටුව වෙත ද භාරදෙනු ලැබිණි 'ඒ දුමාරය එයාලගේ සෞඛ්‍යයට හරිම නරකයි' දේශගුණ විපර්යාස ගැන ලොව පුරාම ජනතාව දැනුවත් කිරීම සොෆියා කියානි ගේ අපේක්ෂාවය සොෆියා කියානි (Sophia Kianni) දේශගුණ විපර්යාස ගැන මුලින්ම හැදෑරුවේ පාසලේ හය වෙනි වසරේදීය. එහෙත් දේශගුණ විපර්යාසවල බලපෑම කෙතරම් ද යන්න ඇයට සැබවින්ම අවබෝධ වූයේ 12 වෙනි හෝ 13 වෙනි වියේ දී සිය ඥාතීන් මුණගැසීමට ඉරානයේ ටෙහෙරාන් අගනුවර සංචාරය කළ අවස්ථාවේය. ඇය එක්සත් ජනපදයේ සහ ඉරානයේ ද්විත්ව පුරවැසියෙකි. ටෙහෙරාන් නුවරදී දිනක් රාත්‍රියේ අහස බැලූ ඇයට වායු දූෂණය හේතුවෙන් අහසේ කිසිදු තරුවක් දැකගැනීමට නොහැකි විය. "වායු දූෂණය හොඳට ඉහළ ගිහිල්ල තිබුණ. ඒත් මගේ ගොඩක් නෑයන්ට ඒ ගැන කිසිම අවබෝධයක් නෑ කියල මට තේරුණා," සොෆියා පවසන්නීය. "එයාල කියනවා ටෙහ්රාන් කියන්නේ ප්‍රධාන නගරයක් නිසා, කර්මාන්ත ගොඩක් තියෙන නිසා, ඒක සාමාන්‍ය දෙයක්ලු, ඒක තමන්ගේ සෞඛ්‍යයට කොයිතරම් හානිකර ද කියල එයාලට තේරුමක් නෑ." Carbon Brief වෙබ් අඩවිය පවසන පරිදි, 2015 දී ඉරානය ලෝකයේ අට වෙනි විශාලතම කාබන් විමෝචකයා විය. වායු දූෂණය හේතුවෙන් 2019 නොවැම්බර් මාසයේ අගනුවර සියලු පාසල් වසා දැමීමට පවා සිදු වුවත්, Acta Medica Iranica සඟරාව මගින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ ඉරානයේ විශ්විද්‍යාල සිසුන්ගෙන් 95%කටම හරිතාගාර වායු විමෝචනය යනු කවරක් දැයි නිසි පරිදි පහදා දිය නොහැකි බවය. මේ වසරේ ජනවාරි 13 වෙනි දින ඉරානයේ ටෙහෙරාන් අගනුවර වායු දූෂණය සොෆියා, දේශගුණ විපර්යාස පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීම් අරමුණින් Climate Cardinals සංවිධානය ආරම්භ කළාය. ඒ පිළිබඳ තොරතුරු පත්‍රිකා ඉංග්‍රීසි භාෂාවෙන් බෙදා හරිනු වෙනුවට හැකි තරම් වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ඇය වටහා ගත්තාය. "එක්සත් ජාතීන්ගේ සංවිධානය තොරතුරු බෙදා හරින්නේ භාෂා හයකින් විතරයි," සොෆියා පවසයි. "රටවල් 40 කට වැඩි ගාණක අපිත් එක්ක ස්වේච්ඡාවෙන් වැඩකරන 8000 ක් විතර කණ්ඩායමක් එක්ක එකතු වෙලා අපි දැන් භාෂා 100 කට වැඩි ගණනකින් ඒ පත්‍රිකා බෙදා හරිනවා." මුලින්ම හරිතාගාර වායු සහ දේශගුණ විපර්යාස ගැන තොරතුරු පරිවර්තනය කළ ඔවුහු දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛන සහ වාර්තා ද පරිවර්තනය කරති. එහි ප්‍රතිඵලයක් ලෙසින් සොෆියා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් ගේ දේශගුණ විපර්යාස පිළිබඳ තරුණ උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක ලෙසින් තෝරාගෙන තිබේ. එහි ලාබාලම සාමාජිකාවක වන ඇය, මැද පෙරදිග සහ එක්සත් ජනපදය නියෝජනය කරන්නීය. සොෆියා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් ගේ දේශගුණ විපර්යාස පිළිබඳ තරුණ උපදේශික මණ්ඩලයේ සාමාජිකාවකි "මගේ අරමුණ තමයි ලෝකේ පරිසරය ගැන දැනුම ඉහළ නැංවීම. කාලගුණ වෙනස්කම් කියන්නේ මොනවද කියල මිනිස්සු හොඳින් තේරුම් අරගෙන ඒ ගැන නීති සම්පාදනය කරන්න කියල පාලකයන්ට බලකරනව දකින්නයි මට ඕනේ," සොෆියා පවසන්නීය. "උද්ඝෝෂණවලට සහභාගි වීම, පරිසර නීති සම්පාදනයට සහය දෙන අපේක්ෂකයන්ගේ ප්‍රචාරක ව්‍යාපාරවලට මුදලින් ආධාර කිරීම විතරක් නෙමෙයි, කාලගුණ වෙනස්කම් ගැන යමක් කරනවා කියල පොරොන්දු දෙන අපේක්ෂකයන්ට ඡන්දය දීම ... මේ සේරම ඒකට ඇතුළත්." 'ලෝක නායකයෝ මීට වඩා දෙයක් ක‍රන්න ඕනේ' දේශගුණ විපර්යාස පිළිබඳ සංවාදයට එක්වන මෙන් සේරා, ලොව පුරා වෙසෙන තරුණ පරපුරට ආරාධනා කරයි සේරා ගූඩි (Sarah Goody), දේශගුණ විපර්යාස ගැන පාසලේ විද්‍යා පන්තියේ මුල්ම පාඩම උගත්තේ දොළොස් හැවිරිදි වියේදීය. ඉන් අනතුරුව දේශගුණ විපර්යාස සහ වනසතුන්, පරිසරය සහ මානව වර්ගයා කෙරෙහි එහි බලපෑම කවරක් දැයි ඔවුහු මසක් මුළුල්ලේ හැදෑරූහ. "එදා තමයි මට තේරුණේ දේශගුණ විපර්යාස කියන දේ මොනතරම් බරපතල ද කියලා. ඒ වගේම දේශගුණ ඛේදවාචක සහ මගේ ජීවිතය අතර සම්බන්ධයත් මට වැටහුණා." 14 හැවිරිදි වියේ දී Climate Now සංවිධානය පිහිට වූ සේරා ගූඩි, දේශගුණ විපර්යාසවලට එරෙහිව පියවර ගැනීම පිණිස ලොව පුරා වෙසෙන තරුණ පරපුර දිරිමත් කරමින් අධ්‍යාපන වැඩසටහන් දියත් කරන්නීය. මේ වනවිට ලොව පුරා ස්වේච්ඡා සේවක,සේවිකාවෝ 30 දෙනෙක් ඇය සමඟ අත්වැල් බැඳගෙන සිටිති. ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට 10,000 කට අධික දේශන ද පවත්වමින් ඇය කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරේ ඇය ඩයනා කුමරිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. කලක් දරුණු විෂාදයෙන් පීඩා විඳි සහ තවමත් ඇදුම රෝගයෙන් පෙලෙන 16 හැවිරිදි සේරා, තමන් වෙසෙන එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දේශගුණ විපර්යාස පිළිබඳ කමිටුවේ ද සභාපතිවරිය වේ. දේශගුණ විපර්යාස පිළිබඳ සංවාදයට එක්වන මෙන් සේරා, ලොව පුරා වෙසෙන තරුණ පරපුරට ආරාධනා කරයි. "මම හිතන්නේ ලෝක නායකයෝ මීට වඩා දෙයක් කරන්න ඕනේ. පළවෙනි දේ, එයාල පරිසර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න ඕනේ," සේරා පවසයි. "දෙවැන්න තමයි, ඒ හැමෝම එකමුතු වෙලා ලෝකේ කාබන් විමෝචනය විශාල වශයෙන් අඩුකිරීමේ සැලසුමක් ක්‍රියාවට නගන්න ඕනේ." සිය දෛනික ක්‍රියාකාරකම් කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීමට දායකවන්නේ කෙසේ දැයි නිසි පරිදි වටහාගතහොත් සෑම පුද්ගලයෙකුටම එය අවප්‍රමාණ කිරීම පිණිස දායකවිය හැකි බව ඇය පවසන්නීය. "අපිට අනාගතය ගැන පේන කියන්න අමාරුයි, නමුත් එකමුතු වුනොත් අපිට අපේ කාබන් විමෝචනය අඩුකරන්න පුළුවන් වේවි." අතිරේක වාර්තාකරණය - ෂර්ලි උපුල් කුමාර, බීබීසී සිංහල කියවන්න:
"ඒකාධිපති පාලනයකට මඟ පාදන" 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමාකරමින් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ යෝජනා කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරය සිය ඡන්දය භාවිත කළහ. ඒ 2001 අප්‍රේල් 2 වෙනි දිනය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඒ අවස්ථාවේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හැන්සාඩ් වාර්තා ඇසුරින් උපුටා ගනිමින් ආණ්ඩුව ඉදිරිපත් කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කෙරෙන විමසුමකි, මේ.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු ලැබුවේ 18 වෙනි සංශෝධනය මගින් නීතිගත කරන ලද "ඒකාධිපතිවාදී අංග" ඉවත්කරමින් විධායක ජනපති ක්‍රමයේ බලතල සීමාකිරීම පිණිසය හාත්පසින්ම වෙනස් සංශෝධන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් ඡන්දය ලබාදුන්නේ ඉතාම ඉක්මණින් 20 වෙනි සංශෝධනයක් ගෙන එන්නේ යයි එක්සත් ජාතික පක්ෂය දුන් පොරොන්දුව අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය. "19 ගෙනල්ලා පහුවදා උදේ 20 ගේනවා කිව්ව නිසා 19ට අපි ඡන්දෙ දුන්නා. හැබැයි 19 වැඩේ කරගෙන 20 වැඩේ කරන්නෙ නැතුව අවුරුදු පහක් ඒක ඇතුළෙ නිකං ඉඳීමේ ප්‍රතිඵලය තමා මේ තියෙන්නෙ." - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, 2020 සැප්තැම්බර් 23 දයාසිරි ජයසේකර (වමේ), රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ක්‍රීඩා අමාත්‍ය ධුරය හෙබැවීය (සංරක්ෂිත ඡායාරූපයකි) කෙසේ වුවත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කරන 20 වෙනි සංශෝධනය සහ මේ වනවිට පාර්ලිමේන්තුව ඉදිරියේ තිබෙන 20 වෙනි සංශෝධනය එකිනෙකට හාත්පසින්ම වෙනස් සංශෝධන දෙකකි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ අවස්ථාවේ ප්‍රතිඥා දී තිබුණේ මැතිවරණ ක්‍රමය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන ව්‍යවස්ථා සංශෝධනයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පසුගියදා ඉදිරිපත් කළ සංශෝධනය "ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතා පරමාධිත්‍යය හීන කරන්නක්" ලෙසින් දැඩි විවේචනයට ලක් වී තිබෙන්නෙකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උත්සාහය හමුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 212 දෙනෙකුගේ ඡන්දයෙනි. එයට එරෙහිව ඡන්දය භාවිත කළේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණය. අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය භාවිත නොකළ අතර, මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පැමිණ සිටියේ නැත. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු එදා කීවේ මොනවාද? 'වාසුදේව නානායක්කාරට පොලිසියෙන් ගැහුවා' 2015 අප්‍රේල් 27 වෙනි දින පාර්ලිමේන්තුවේ පැවති, 19 වෙනි සංශෝධනය පිළිබඳ විවාදයේ හැන්සාඩ් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව වෙනුවෙන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසිනි. අතාවුද සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මූලාසනය ගෙන සිටින අවස්ථාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේ මතු වූ විරෝධතා පිළිබඳව දීර්ඝ විස්තරයක් කළ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පදවිය හෙබැවූ රාජිත සේනාරත්න, ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ව්‍යවස්ථාව හැඳින්වූයේ "කුරිරු ව්‍යවස්ථාව" යනුවෙනි. එදා වාමාංශික එක්සත් පෙරමුණේ නායකයන් වූ ආචාර්ය එන් එම් පෙරේරා, දොස්තර එස් ඒ වික්‍රමසිංහ, පීටර් කේනමන්, ආචාර්ය කොල්වින් ද ආර් ද සිල්වා වැනි නායකයන් සමඟ හයිඩ්පාක් පිටියේ පාර අහුරා තමන්ද වාඩි ලා සිටි අවස්ථාව ඔහු සිහිපත් කළේය "එදා මමත් තරුණ වෛද්‍යවරයෙක් විදියට එතුමන්ලා සමඟ එතැන වාඩි වුණා. තමුන්නාන්සේත් (අතාවුද සෙනෙවිරත්න) එදා එතැන හිටියා," ඇමතිවරයා සිහිපත් කළේය. "එදා තමයි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කියන නීතිවේදියාව ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට අත් අඩංගුවට ගත්තේ. ඒ එක්කම අපට ආරංචි වුණා, ඒ පෙළපාළියට නායකත්වය දුන්නු වාසුදේව නානායක්කාරට පොලිසියෙන් ගැහුවා කියලා. පළමුවෙනි වරට මන්ත්‍රීවරෙයකුට පහරදීම ඒ වෙලාවේ අපට ආරංචි වුණා. හරි නම් අද වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මට වඩා ඉදිරියෙන් කර උර දීලා මේ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ලැහැස්ති වෙන්නට ඕනෑ. මේ අවසාන කාලෙය්දී ඒකට එහෙන් මෙහෙන් පොඩි ඇණ මුරිච්චි ගහන්න හදලා, ඒකට විරුද්ධව කථා කරලා ද්‍රෝහියෙක් වෙන්නේ නැතිව. ඒ වාගේම එදා තව ටිකක් දවල් වන විට අපට ආරංචි වුණා, පේරාදෙණිය හන්දියේ කළු කොඩි ඔසවපු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගත්තා කියලා. එතැන ආචාර්යවරුන් දෙදෙනෙක් හිටියා." - අමාත්‍ය රාජිත සේනාරත්න (2015 අප්‍රේල් 27, හැන්සාඩ්) වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු 17,18 සහ 19 යන සංශෝධන තුනටම පක්ෂව ඡන්දය භාවිත කර තිබේ තවදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, "අපි කී වාරයක් baton charge වලට ලක් වුණාද? මේ ගරු සභාවේ සිටින ගරු තිස්ස විතාරණ මන්තීතුමා දන්නවා, මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර ගන්නට ගිහිල්ලා අපි කී තැනක පෙළපාළි ගියාද, කී වාරයක් ගුටි කෑවාද, කී තැනකදී කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක් වුණාද කියලා. එදා ඒ අරගලවලට සභභාගි වුණු ගරු ඩිව් ගුණසේකර මන්ත්‍රීතුමන්ලා, ගරු තිස්ස විතාරණ මන්ත්‍රීතුමන්ලා අද මේ සභාවේ අපත් සමඟ ඉඳීම ගැන අපි සන්තෝෂ වෙනවා," යනුවෙන්ද සඳහන් කළේය. රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර යන අමාත්‍යවරු සිව් දෙනාම විධායක ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කළ සහ "ඒකාධිපති පාලනයකට මග පාදන්නක්" බවට චෝදනා එල්ල වූ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ. අගමැති මහින්ද රාජපක්ෂ තරුණ අවදියේ පටන්ම විධායක ජනපති ක්‍රමයට එරෙහි වූ අන්දම ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිහිපත් කළේය. "මහින්ද රාජපක්ෂ මහත්මයා මොකක්ද කළේ? එතුමාගේ කණ්ඩායම්වල ඉන්න මන්ත්‍රීවරුන් කථා කරන දේවල් ගැන මට පුදුමයි. එතුමා සමඟ උරෙන් උර ගැටිලා පාද යාත්‍රා ගිය මිනිහා මම. දවස් 18ම එතුමා සමඟ ඇවිද්දේ මමයි, ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමායි, මහින්ද අබේකෝන් මහතායි විතරයි. මුළු දවස් 18ම නොනවත්වා ඒ පාද යාත්‍රාවේ එතුමා සමඟ ගමන් කළේ අපි තුන් දෙනා විතරයි. ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් මම වියදම් කළා. එදා එහෙම කරපු අපගේ පළමුවන සටන් පාඨය වුණේ මොකක්ද? "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු" කියන එක. අපි මිනිස් දම්වැල් ගියා, රත්නපුරයේ සමන් දේවාලයට "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියලා. අපි ශබ්ද ඝෝෂා නැඟුවා." -- අමාත්‍ය රාජිත සේනාරත්න (2015 අප්‍රේල් 27, හැන්සාඩ්) කෙසේ වුවත් ස්වභාවික යුක්තිය පිළිබඳ මූලධර්මය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළ බවට දෙස්, විදෙස් විවේචනයට ලක් වූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමයේ දී ක්‍රියාශීලී කමිටු සාමාජිකයෙකු වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, දෝෂාභියෝග ක්‍රියාවලියට කොන්දේසි විරහිතව සහය පළ කළේය. 'ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි' විවාදය ආරම්භයේදීම අදහස් දැක්වූ, ඒ අවස්ථාවේ පොදුජන එක්සත් පෙරමුණේ මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ් ඩී ජේ සෙනෙවිරත්න අවධාරණය කළේ, ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයා සතු බලතල වෙනත් කිසිවෙකුට පවරා දිය නොහැකි බවය. "දහනව වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙනෙනකොට තමුන්නාන්සේලා දන්නවා, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 4වන ව්‍යවස්ථාව 3වන ව්‍යවස්ථාවත් සමඟ කියවනකොට කවදාවත් මේ විධායක බලතල ජනමත විචාරණයක් නැතුව කියාත්මක කරන්න බැහැ කියා. ඒක තමුන්නාන්සේලා දන්නවා." - ඩබ් ඩී ජේ සෙනෙවිරත්න, (2015 අප්‍රේල් 27 හැන්සාඩ්) "නමුත් තමුන්නාන්සේලා මොකද කළේ? මේ සංශෝධන ගැසට් කරලා ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පස්සේ සුපුරුදු පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල අනුව ඒක විශ්ලේෂණය කරලා අන්තිමේදී තීන්දුවක් ලැබුණා, ජනමත විචාරණයකට භාජනය කළ යුතු සංශෝධන ජනමත විචාරණයකට නොගොස් ක්‍රියාත්මක කරන්න බැහැ කියා. ඒකට හේතු වුණේ මොකක්ද? ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුනේ මේ කාරණයයි. විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් කර ප්‍රධාන වශයෙන්ම තමුන්නාන්සේලා බලාපොරොත්තු වන්නේ අගමැතිවරයාට ඒ බලතල දෙන්නයි. ජනාධිපතිතුමාට දීලා තිබෙන බලතල ජනමත විචාරණයක් නොමැතිව කිසිම විධියකින් තවත් කෙනකුට දෙන්න බැහැ," යනුවෙන් ද ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය විවාදයේදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, 1978 ව්‍යවස්ථාව හඳුන්වාදුන් අවස්ථාවේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයට එරෙහි වූ අන්දම සිහිපත් කළේය. "1978දී මේ විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වුණාට පසුව හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ඉදිරිපත් වුණු ජනාධිපතිවරණයේ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වුණු ජනාධිපතිවරණයේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ජනාධිපතිවරණයේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුණේ, "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා" කියන එකයි. ඇත්ත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පැරණි වම අවුරුදු ගණනාවක් තිස්සේ අරගෙන ගිය වැඩ පිළිවෙළේ උච්චතම අවස්ථාවට අද අප ඇවිත් තිබෙනවා. මම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්නේ, "අපි මේ මල් වට්ටියට අත ගහමු" කියලායි." - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල (2015 අප්‍රේල් 27, හැන්සාඩ්) 'සෝභිත හාමුදුරුවන්ව බිම පෙරළාගෙන ගැහුවා' විවාදයේදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පාලක එක්සත් ජාතික පක්ෂයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ විධායක ජනපති ක්‍රමය යටතේ 1977 න් පසුව එල්ල වූ දැඩි මර්දනය සිහිපත් කරමිනි. "ධර්මිෂ්ඨ සමාජය පෙන්වලා සෝභිත හාමුදුරුවන්ව බිම පෙරළා ගෙන ගැහුවා වාගේ, මහාචාර්ය සරත්චන්ද්‍රව බිම පෙරලා ගෙන ගැහුවා වාගේ යහ පාලනය පෙන්වලා මේ සංශෝධන අස්සට දමලා අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වන විවිධ පටු අරමුණු ඉෂ්ට කර ගන්නට යන්න එපා. මහරාජා සංවිධානයේ සිරස මාධ්‍ය ජාලය - අපි කැමැති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන් - අපි හැමෝටම ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඒ ආයතනයට අයිතියක් තිබෙනවා, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තිබෙන අයිතියක්. එතුමාව විවේචනය කළා. ඒක ඇත්ත. නමුත් එතුමා ඒ ස්වරය හිතේ තියාගෙන මේ මාධ්‍ය සියල්ල දඩයම් කිරීම සඳහා, මාධ්‍ය අයිතිකරුවන්, මාධ්‍යකරුවන් ගෙනියලා හිරේට දැමීම සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වගන්තියක් ඇතුළත් කළා." -බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා (2015 අප්‍රේල් 27, හැන්සාඩ්) කෙසේ වුවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ පෝද්දල ජයන්ත සහ කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙසින් පහරදීම මෙන්ම සිරස මාධ්‍ය ආයතනයට ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ද අමාත්‍ය පදවි හෙබැවූ මහින්ද රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල වී තිබේ. විවාදයේ දී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, "ජාතික ආණ්ඩුවක්" පිහිටුවා ඇමතිවරුන් සංඛ්‍යාව තිහට වඩා වැඩි කිරීම ගැන දැඩි විරෝධය පළ කළේය. "මේ විදියට ඇමතිවරු ප්‍රමාණය වැඩි කරනවාටත් අපි විරුද්ධයි." -දිනේෂ් ගුණවර්ධන (2015 අප්‍රේල් 28, හැන්සාඩ්) ජනපති ගැන 'ප්‍රාර්ථනයක්' මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් පසුගියදා විශේෂ ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක පවසන්නේ, 1999 දී විධායක ජනාධිපති ක්‍රමය නිමා කිරීම පිණිස තමන් අවංක උත්සාහයක් දැරූ බවය. දක්ෂ පාලකයෙකු බව පැවසෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සොහොයුරන්ට වඩා වෙනස් මාර්ගයක ගමන් කිරීමට උත්සාහ දරන හැඩක් පෙනෙන්නට තිබෙන බව පවසන හිටපු ජනපතිනිය, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති බලතල තහවුරු කරගැනීමෙන් තමන්ටත් රටටත් විය හැකි හානිය වටහා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළාය. එබැවින් 20 වෙනි සංශෝධනයේ භයානක ස්වරූපය වෙනස් කිරීමට ජනපතිවරයා පියවර ගනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක පැවසුවාය. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගෝඨාභය රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 39 ක් ගොනු කර තිබුණු අතර, එම පෙත්සම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවය විසින් ප්‍රතිශෝධන පෙත්සම් 7 ක් ගොනු කර තිබුණි. නීතිවේදිනී භවානි ෆොන්සේකා ට්විටර් පණිවුඩයකින් පෙන්වා දී තිබුණේ, සඳුදා (ඔක් 05) එම පෙත්සම් පිළිබඳ වාචික විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපතිවරයා ඉදිරිපත් කළ තර්කවලට ලිඛිත ප්‍රතිචාර අඟහරුවාදා ඉදිරිපත් කරන මෙන් දැනුම් දුන් බවය. කියවන්න:
"ණය මයත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා එළියට යනවා. ණය මහත්තයා වාරිකය එකතු කරන්න එන දිනය සහ වේලාව දුරකථනයෙන් මට දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයට කියනවා. ඉතින් එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. පැය දෙක තුනකට පස්සේ තමයි ආපහු එන්නේ. වාරික පහක්ම ගෙව්වේ එහෙම තමයි. මොකද වුණේ කියලා අපි දෙන්නටම හිතාගන්නවත් බෑ. ඒ තරමටම පීඩනයක් තිබුණේ."
විසි අට හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිදරු මවක් වන කාන්තාවක් එසේ කී පරිදි ණය මහත්තයා යනුවෙන් හැඳින්වූයේ එක්තරා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයනයක ණය වාරික එකතුකරන නියෝජිතයකුටය. ඇය බීබීසී සිංහල සේවය සමඟ කඳුළු බේරෙන දෑසින් යුතුව පැවසුවේ වසර දෙකකට පෙරදී සිය සැමියාගේ ද අත්සන යොදා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් රුපියල් පනස් දහසක ණය මුදලක් ලබා ගත් බවකි. පොරොන්දු පරිදි නියමිත දිනයට වාරිකය ගෙවීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවී ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය. "ගත්ත ණය ගෙවා ගන්න බැරුව අපි දන්නා කියන ගෑණු අය කීප දෙනෙක්ම සිය දිවි හානිකර ගත්තා. තවත් අය මැඳ පෙරදිග රුකියාවලට ගියා. කොරෝනා ප්‍රශ්ණය නිසා දැන් ඒ අයට ආපහු ලංකාවට එන්නත් බෑ. සමහර විට වසංගතයට ගොදුරු වෙලා ඇති. ඇත්තටම මටත් මුලදි හිතුනේ දිවි නසා ගන්න තමයි," ඇය තවදුරටත් පැවසීය. ගෙවී ගිය වසරක කාලයක් තුළදී ග්‍රාමීය කාන්තාවන් 100 ක් පමණ මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය හා පොලි වාරික ගෙවාගත නොහැකිවීම මත සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තාවන බව දුගී බව තුරන් කිරීම පදනම් කරගත් 'නෙළුම් යාය පදනමේ' රාධිකා ගුණරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. වාර්තා නොවන මරණ හා සියදිවි නසාගැනීමේ සංඛ්‍යාව බොහෝ වැඩි විය හැකි බව ද ඇය සඳහන් කළාය. ග්‍රාමීය ආර්ථික නඟා සිටුවීමේදී සිය ව්‍යාපාර කටයුතු ස්ථාවර කර ගැනීම සඳහා යම් ක්ෂුද්‍ර මූල්‍ය ආධාරයක සැබෑ අවශ්‍යතාවක් ඇති අයට සහ ඉතා අසීරුවට පත්වසිටින ව්‍යවසායකයින්ට උපකාර කිරීමේ අරමුණින් මයික්‍රෝ ෆිනෑන්ස් (Micro Finance) හෙවත් ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය මුලින් හඳුන්වා දෙනු ලැබිණි. එය අද වන විට කෙතරම් ඵලදායී දැයි නැවත සමාලෝචනය කිරීමට කාලය එළැඹ ඇතැයි සමාජයේ මහත් කතාබහක් පවතින්නේ මෙම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් අද වන විට අති මහත් ලාභ ඉපයීම සඳහා ම පමණක් පවත්වාගෙන යන ව්‍යාපාර බවට පත්වෙමින් තිබෙන බැවිනි. දැරිය නොහැකි පොලී අනුපාත, වෘත්තීයමය නොවන ණය දීමේ ක්‍රියාවලීන්, ණය එකතු කරන්නන්ගේ අමානුෂික හා අසංවේදී හැසිරීම්, ණය භාවිතය පිළිබඳ පසු විපරම් නොකිරීම, රජයේ අධීක්ෂණය නොවීම, ශ්‍රී ලංකාවේ 'ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට' අදාළ ගැටලු බව රාධිකා ගුණරත්න පැවසීය. නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලාභීන් මත අහිතකර බලපෑමක් ඇතිකර, අඩු ආදායම්ලාභීන් සහ දිළිඳු පුද්ගලයින් දරිද්‍රතා චක්‍රය තුළම රැඳී සිටීමට මගපාදමින් රටෙහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපාන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් තුළ නියාමනයකට ලක් වූ අංශ ද ඇතුළත්ව සම්පූර්ණ මූල්‍ය අංශය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටේ. මේ අනුව පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වාගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපාන බව ද එම නිසා ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාව මතුව ඇති බව මහා බැංකුව සඳහන් කරයි. රාධිකා ගුණරත්න "කොවිඩ් වලට සහන දෙනකොට මේ ක්ෂුද්‍ර මුල්‍ය ණය සදහා කිසිම සහනයක් ලැබුණේ නෑ. මේ පිළිබඳව මහ බැංකුවෙන් කිසිම සහනයක් මේ ජනතාවට නොලැබුන නමුත් කොවිඩ් අර්බුදය නිසා ණය අය කරන්නන්ට පැමිණීමට නොහැකිවුවත් ඔවුන් නැවතත් පැමිණි පසු එම නොගෙවූ කාලසිමාවටත් පොලිය හා වැල් පොලිය එකතු කිරීමෙන් ජනතාව තවත් අපහසුතාවට පත් වන බව රාධිකා ගුණරත්න පැවසීය. "ණය ගෙවන්න බැරිනම් ඇයි ගන්නේ කියන්න පුළුවන් එත් අපි කියන්නේ ණය දෙනකොට ඒ ණය ගෙවන්න පුලුවන්ද කියන ඇගයීමක් කරලා තමයි ණය දෙන්න ඕන. ණය දීමම තමයි පළමුවන වැරැද්ද නැතිව මේ ණය ගත්තේ ඇයි නෙමෙයි." "මේ ණය අයකරන අය ගෙවල්වලට ඇවිල්ල පැය ගන්නන් ඉන්නවා ණය අයකරගන්න. විවිධ වාචික හිංසන සිද්ධ වෙනවා, මේ ක්ෂුද්‍ර මුල්‍ය කාන්තාවන්ට සිද්ධවන හිංසන වාචික, කායික, ලිංගික අල්ලස් ඉල්ලීම සහ වෙනත් අල්ලස් ඉල්ලීම දක්වාම සිද්ධ වෙනවා. කොයි තරම් නීති විරෝධී දේවල්ද ඒගොල්ලෝ මේ මිනිස්සුන්ට කරන්නේ කියල මේ සමාගම් වලට තවම අදහසක් නෑ." මෙම ලිපිය ආරම්භයේදී අදහස් පළ කළ ත්‍රිකුණාමලයේ පදිංචි නම හෙළිකිරීමට අකමැති වූ විසි අට හැවිරිදිකාන්තාව තවදුරත් පැවසුවේ "මහත්තයයි මම නිතරම කථා කළේ මේ ණය ගැනම තමයි. ණය මහත්තයා ආවොත් පැය ගාණනකට ගෙදරින් යන්නේ නෑ. ගේ ඇතුළට රිංගලා ඇඳේ වාඩි වෙලා බනිනවා. තොපිට ගෙවාගන්න බැරිනම් ගත්තේ මොකටද යකෝ කියලා තමයි අහන්නේ. මේ කුණු බැනුම් අහගෙන ඉන්න බැරුව දවසක් අපේ මහත්තයා ගෙදරින් පිටවෙලා ගියා. එදා තමයි ‍මේ හැම දෙයක්ම සිද්ධ වුණේ." ඒ කථාවේ සුල මුල ඇය වැඩිදුරටත් විස්තර කළ පරිදි වසර දහයකට පමණ පෙර එක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයනයක් ගමට පැමිණ ණය දීමේ වැඩ පිළිවෙල ආරම්භ කරනු ලැබුවේ ගමේ කඩේ මුදලාලිගේ බිරිද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයට හවුල් කරගෙනය. "ඒ දෙන්නා එකතුවෙලා කාන්තාවන් විස්සක් කැඳවලා ඒ අය කණ්ඩායම් පහකට බෙදුවා. එක් කෙනෙක් ලබා ගන්නා ණය මුදලට කණ්ඩාමේ පස්දෙනාම වග කියන්න ඔනෑ. පොලිය අවුරුද්දට සීයට විසි හතරයි. හැමෝම පන්දාහ ගානෙ ගත්තා. ණය මුදල අතට දෙන ‍කොට ස්වාමි පුරුෂයන්ගෙනුත් අත්සනක් ගන්නවා. ඒ ණය මුදල අපි නියමිත දිනයට ගෙවලා අවසන් කළා. ඔය අතරේ තවත් සංවිධානයක් ඇවිත් රුපියල් දහ දාහ බැගින් ණය දුන්නා. කොන්දේසි අර වගේම තමයි. අපි ඒ ආයතනයෙනුත් ණයක් ගත්තා," ඇය පැවසීය. වසරක් ඇතුළත ණය දෙන සංවිධාන හයක් ගමට පැමිණි අතර ස්වං රැකියා, එළවළු වගාව, වී ගොවිතැන ආදී විවිධ මාතෘකා යටතේ ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති ඔවුන් විසින්ම සකස් කර දෙනු ලැබිණි. "ඒ අතරේ දෙන ණය මුදලත් වැඩි කළා. ඇත්තටම ගෑණු අය මේ ගැටවල අහුවුණා. කන්ට නැතුව හිටියත් අල්ලපු ගෙදරින් හාල් සේරුවක් ණයට ඉල්ලා ගන්න ලැජ්ජා වුණු අපි අන්තිමේදී නන්නාදුනන පිරිමින්ගෙන් දහස් ගණන් සල්ලි ණයට ගන්න පුරුදු වුණා. එක අයතනයකින් ගත්තු ණය මුදල තවත් ආයතනයකින් ණයක් අරගෙන ගෙවනවා. එහෙම තමයි හැමෝම වාගේ කළේ. මේ වැඩේ නිසා හතර අතේ ණයකාරයන් වුණා." ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන ගෙවාගත නොහැකිව අතරමං වූ කාන්තාවන් සිය ගණනක් තම ගමේ සිටින බව පැවසූ ඇය. ඇත්තටම යම් සුළු ස්වයං රැකියා කළ අයද ඒ අතර සිටි බව ද ඇය පැවසීය. "ක්ෂුද්‍ර මූල්‍ය කාරයෝ විතරක් නොවෙයි යහපාලන ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් දෙකම අපි රැවට්ටුවා. මොකද මැතිවරණවල දී කිව්වේ මේවා නවත්වනවා කියලානේ. කෝ ඉතින් තවමත් නතර කළාද? දැන් කිසිම බැංකුවකින් අපට ණයක් ලබා ගන්න බෑ. බෑ,, බෑ... ණය දෙන්න බෑ. ක්‍රිබ් එකේ ඔයාගේ නම තියෙනවා කියලායි බැංකුවල මහත්තුරු කියන්නේ." දිළිඳුකම තුරන් කිරීම, වත්කම් ගොඩනගා ගැනීම සඳහා දිළිඳු පුද්ගලයින්ට අවස්ථාව සැලසීම, ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීම සහ ආර්ථිකමය වශයෙන් ආතතියකට ලක්වීමේ අවදානම අවම කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අරමුණු කරගත් මූල්‍ය සේවා හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය, දිළිඳු පුද්ගලයින් හට ඉතා ප්‍රබල මෙවලමක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික කටයුතු වෙත ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙන අතරම දිළිඳු පුද්ගලයින් හට තම ජීවන තත්ත්වය ඉහළ නංවාගැනීමට එය යොදා ගැනේ. මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාව තුළ දශකයකට අධික කාලයකට පෙර සිටම නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය අංශයේ ආයතන නියාමනය සඳහා නීති පැනවීමට විවිධ උත්සාහයන් ගන්නා ලද බවය. අවසානයේදී, 2016 අංක 6 දරණ ක්ෂුද්‍රමූල්‍ය පනත (ක්ෂුද්‍රමූල්‍ය පනත) පාර්ලිමේන්තුව මගින් පනවන ලද අතර, 2016 ජූලි මස 15 දින සිට එය බලාත්මකය. මෙම පනත මගින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත සමාගම් (බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්) සඳහා බලපත්‍ර නිකුත් කිරිමට, ඒවා නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට අදාළ විධිවිධාන පනවා ඇත. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) හරහා සෘජුවම නියාමනය කෙරේ. එසේම, 1989 අංක 30 දරණ සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ‍රෙජිස්ට්‍රාර්වරයා යටතේ නියාමනය කිරීමට ක්ෂුද්‍රමූල්‍ය පනත මගින් විධිවිධාන සපයා ඇත. එහෙත් නෙලුම් යාය පදනමේ රාධිකා ගුණරත්න පවසන්නේ මේ වන විට සමාගම් හතරක් පමණක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදංචි වී ඇති බවය. "ලංකාවේ හරියටම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් කීයක් තියෙනවද කියල ම බැංකුවටවත් හොයාගන්න බෑ. තියෙනවා මුල්‍ය බලපත්‍රයක් තියෙන්න ඕන, ලියාපදිංචියක් තියෙන්න ඕන මහා බැංකුවේ කියල. 2016 සමාගම් පනතට අනුව සමාගම් තුනයි. ඒ පනතට අනුව මේක සමාජ ව්‍යවසායක් හැටියට කරනවා කියන්නේ. ඒ පනතට අනුව ගත්තහම ලංකාවේ තියෙන්නේ සමාගම් තුනයි. හැබැයි මහබැංකුවේ ලියාපදිංචි වෙලා කරගෙන යන්න පුළුවන් සල්ලි දෙන ව්‍යාපාරයක් විදිහට. එතකොට එහෙම සමාගම් තියෙන්නෙත් ඉතාමත් සුළු ප්‍රමාණයක්. එතකොට මේ සමාගම් එකතුවෙලා සංවිධානයක් හදාගෙන තියෙනවා මේ ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් නියෝජනය කරන ආයතනයක් විදිහට. එතන සාමාජිකයන් පනස් ගනනක් ඉන්නවා. නමුත් අපි දන්නවා ලංකාවේ 10,000 කට වඩා ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් තියෙනවා." මාවතගම ලිඳපිටිය ගම්මානයේ ඉදල් මඩුවක් පවත්වාගෙන යන ඩී එම් විජයන්ති දිසානායක බීබීසී සිංහල සේවය සමඟින් පැවසුවේ ''නත්තල් කාලය එනකොට සාමාන්‍යයෙන් ඉදල් 2000 ක් විතර එක සතියේ ට්‍රිප් එකකට විකිණෙනවා. හැබැයි මේ පාර ඉදල් 500 ක් වත් විකිණෙන්නේ නැහැ. මිනිස්සු අතේ සල්ලි නැහැ. අමතරව මුදලක් වියදම් කරන්න. කන්න බොන්න අවශ්‍ය දේට විතරයි ප්‍රමුඛත්වය දෙන්නේ. මමත් ණයක් අරගෙන තියෙනවා ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයකින්, ඒ අය මාසයේ දෙවැනි සතියේ එනවා වාරිකය එකතු කරන්න. කොහොම හරි මුදල දෙන්න ඕනේ නැතිනම් ඇපයට අත්සන් කරපු දෙන්නට දෙන්නම වෙනවා. අපි තුන්දෙනෙක් තුන් දෙනාට අත්සන් කරලා ණය ගත්තේ. අපිට මුලින් අවබෝධයක් තිබුණේ නැහැ මේ ණය මත අයකරන පොලිය ගැන. හැබැයි ගෙවාගෙන යද්දී තේරෙන්නේ මේක ලොකු පොලියක් කියලා''. යනුවෙනි. ඩී එම් විජයන්ති දිසානායක තමන් 2019 වසරේ මැයි මාසයේ රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ණයට ඉල්ලුම් කළ අතර රක්ෂණ වාරිකයට රුපියල් 5000 ක් හා ලියකියවිලි ගාස්තු වශයෙන් රුපියල් 4000 ක මුදලක් අඩුකොට තමන් අත‍ට රුපියල් 96 000 ක මුදලක් අදාළ ක්ෂුද්‍ර මුල්‍ය ආයතනය විසින් දෙන ලද බව ඇය කීවාය. වාරික 18 කින් ගෙවා අවසන් කිරීමට එකඟ වූ ණය මුදල වෙනුවෙන් රුපියල් 7630 ක වාරික මුදලක් ගෙවන බවද ඇය පැවසුවා. එම ප්‍රදේශයේම කොහු ආශ්‍රිත මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ජනක රත්නසිරි බීබී සී සිංහල සේවයට පැවසුවේ තමන් යටතේ කාන්තාවන් තිදෙනෙකු සේවය කරන අතර ඒ සියල්ල ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබාගෙන ඇති බවය. ''මේ තුන්දෙනාම මට වැඩ කරන්නේ මේ මුල්‍ය ආයතන වලින් ගත්ත ණය ගෙවන්න. ණය අයකරගන්නා උදවිය මං ළඟට ඇවිත් ණය කරුවන්ගේ වාරිකය එකතු කරගෙන යනවා. ඇත්තටම මං දන්නවා ඒ අය පිඩාවට පත්වෙලා ඉන්නේ. මගේ ව්‍යාපාරය මත ඒ අයට සියයට සියයක් යැපෙන්න සිදුවෙලා. බිස්නස් කියන එක හැමදාම එක වගේ නැහැ. මට අසීරුතාවක් ඇතිවුණොත් ඒ අයටත් තදින් එහි බලපෑම තියෙනවා'' යනුවෙන් ඔහු පැවසීය. ජනක රත්නසිරි සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන වැඩපොළක් පවත්වාගෙන යන නිරෝෂා ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවයට කියා සිටියේ මුල් කාලයට සාපේක්ෂව වර්තමානයේ දී ක්ෂුද්‍ර මුල්‍ය ආයතන අනුගමනය කල දැඩි අසාධාරණ පිළිවෙත තරමකින් වෙනස් වී ඇති බවය. පිඩාවට පත්වූ ණය කරුවන්ගෙන් එල්ලවූ විරෝධය මත මාසිකව ණය වාරික එකතු කිරීමට නියෝජිතයා පැමිණීමට මත්තෙන් ඒ බව කලින් දැනුම් දීමට කටයුතු කිරීම නව ප්‍රවනතාව බව ඇය පැවසුවාය. කෙසේ නමුත් අයකරන පොලිය තවමත් 20% කට ආසන්න බව ද ප්‍රියදර්ශනී සඳහන් කළාය. නිරෝෂා ප්‍රියදර්ශනී ''මට සහ මගේ සහෝදරයාට ණය මුදල අරං දුන්නේ අපේ අම්මා, කලක් ගනුදෙනු කළ ඇයට තමයි ණය මුදල නිකුත් කරන්න ආයතනය කැමැත්ත පළ කළේ. මාසයේ නියමිත වාරික මුදල මම සහ මල්ලි සමසේ බෙදාගෙන ගෙවනවා. දෙන්නගෙන් එක්කෙනකුට ගෙවන්න බැරි වුණොත් අනික් කෙනා හරි නියමිත දිනට වාරිකය ගෙවනවා නැත්තං දඩ කන්න වෙනවා, කොරෝනා නිසා සහනයක් දෙන්න කියල රජය ඉල්ලීමක් කළා. නමුත් එහෙම සහනයක් ලැබුණේ නැහැ. ණය මුදල ගෙවීම තව මාස තුනකට දික්කරල දුන්නා.'' යනුවෙන් ඇය පැවසීය. මේ පිළිබඳව උනන්දුවක් දක්වන වෘතිකයෙකු වන නීතිඥ සුදත් ජයසුන්දර පවසන්නේ ක්ෂුද්‍ර මුල්‍ය ණය මහජනතාව අතරට යාමේ වරදක් නොමැති බවය. සෑම පුරවැසියෙකුටම බැංකු හෝ පිළිගත් මුල්‍ය ආයතන හරහා ණය ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඔප්පු හෝ වෙනත් සුරැකුම් නොමැති බැවින් එවැනි පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා මෙවැනි ණය යෝජනා ක්‍රම යෝජිත බව ඔහු කියා සිටී. නමුත් නීතිඥ ජයසුන්දර පවසන්නේ එය ණය ලබාගන්නා පාර්ශවයට දරාගත හැකි පොලියක් හා පහසුවෙන් ගෙවීමට හැකි වාරිකයක් ලෙස පැවතිය යුතු බවය. ඇතැම් ආයතන තවමත් දින තුනෙන් තුනට ණය එකතු කරන බවද එය ණයකරු යම් පීඩාවකට පත්වන කාරණයක් බවද ඔහු පෙන්වා දෙයි. ''ක්ෂුද්‍ර මුල්‍ය ණය නිකුත් කරන ආයතන මහබැංකුවේ ලියාපදිංචි කරන්න කියල අනිවාර්යෙන් නියමයක් නැහැ. නමුත් යම් පාලනයකට ගෙන එන්න රජය පනතක් ගෙනාවා 2016 මැද භාගයේ. එහෙත් එකේත් අනිවාර්ය කරලා නැහැ ලියාපදිංචිය. මුලදී මෙම ආයතන නිකුත් කරන ණය සදහා 40% ට වැඩි පොලියක් අය කළා.නමුත් පසුව රජය මැදිහත්වී මෙම ණය අනුපාතය 26% කට පහත දැමුවා. එම අනුපාත වුවද වෙනස්විය යුතු මට්ටමක පවතින්නේ.'' නීතිඥ සුදත් ජයසුන්දර නීතිඥ ජයසුන්දර පවසන්නේ බැංකු හා මුල්‍ය ආයතන මෙන් මෙම ක්ෂුද්‍ර මුල්‍ය ආයතනද යම් නියාමනයකට ලක්කලයුතු බවය. එය පාරිභෝගිකයාට මෙන්ම ණය ලබාදෙන පාර්ශවයටද හිතකර බව ඔහු වැඩිදුරටත් පැවසීය. මේ ගැනත් දැනගන්න:
බ්‍රහස්පතින්දා දිවියෙන් සමුගත් පොප් ගායක ප්‍රින්ස්ට ලොව පුරා සංගීත ලෝලීහු දම්පාටින් ප්‍රණාමය පුදමින් සිටිති.
ඔහුට ගෞරව පිදීම පිණිස ලොව පුරා බොහෝ රටවල ගොඩනැගිලි, පුවත්පත් මුල් පිටු සහ වෙබ් අඩවිවල වර්ණය දම්පාටින් සරසා තිබේ. පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ ප්‍රින්ස් බ්‍රහස්පතින්දා මිනෙසෝටා හි පිහිටි සිය නිවසේදී මියගොස් තිබුණි. ඔහුගේ මරණයට හේතුව කවරක්දැයි තවමත් අනාවරණය වී නැත. Purple Rain සහ Sign O' the Times ප්‍රින්ස්ගේ ඔහුගේ ජනප්‍රියතම ගීත තැටි අතරට එක්වේ. ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා සිය සංවේගය පළ කරමින් කියා සිටියේ ලෝකයටම ඉතා නිර්මාණශීලී කලා දැවැන්තයකු අහිමි වූ බවයි. නාසා ආයතනය සිය ප්‍රණාමය පුද කරමින්
විශේෂ අවශ්‍යතා ඇති තත්ත්වයන් කොතරම් තිබුණ ද තමන්ට කළ හැකි එක් දෙයක් හෝ පවතින බැවින් ඒ දේ හඳුනාගෙන ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණදිය යුතු බව ජාඇල, කුඩහකපොළ ජීවත් වන අශාන් ජනිත් දිල්ෂාන් සේනාධීර දරුවා බිබීසී සිංහල සේවයට කියා සිටියේය.
උපතින්ම අස්ථි බිඳීමේ රෝගයෙන් පීඩා විඳින, ඇවිදීමට හෝ තමන්ගේ දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි ඔහු 2021 වසරේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මේ දිනවල සුදානම් වේ. පෙර පාසල් අධ්‍යාපනයේ සිට තුන්වෙනි ශ්‍රේණිය දක්වා පාසල් ගොස් නොමැති ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවසරය මත වාර විභාගවලට පමණක් පෙනී සිටියේය. එම දරුවා 2015 වසරේදී ලකුණු 162ක් ලබා ගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අතරින් දිවයිනේ දෙවෙනියා බවට පත් වෙමිනි. රෝගී තත්ත්වය හේතුවෙන් නිසි පරිදි පාසල් යාමට නොහැකි වුව ද අශාන් ජනිත් දිල්ෂාන් සේනාධීර දරුවා හයවෙනි ශ්‍රේණියේ සිට සෑම වාර විභාගයකදීම පංතියේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇති අතර විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වී ජයග්‍රහණ ලබා තිබීම ද විශේෂත්වයකි. නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර මේ ගැනත් දැනගන්න:
දූෂණයට ගොදුරු වූ දැරියක්, තමා දූෂණය කල පුද්ගලයා සරණ පාවා ගැනීමට අධිකරණය ඉදිරියේ කැමත්ත ප්‍රකාශ කරන්නේ නම්, ඊට ඉඩකඩ සැලසෙන අයුරින් පවතින නීති වෙනස් කිරීම සඳහා පියවර ගන්නා බවට ළමා සංවර්ධනසහ කාන්තා කටයුතු අමාත්‍යංශය කරන ප්‍රකාශනය සමාජ ක්‍රියාධාරයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.
වයස අවුරුදු දහසයට අඩු දැරිවියකගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පැමිණවිය හැකි මට්ටමින් ශ්‍රී ලංකා නීතිය 1991 දී සංශෝධනය කළ බව ආචාර්ය දීපිකා උඩගම බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී පෙන්වා දුන්නාය. 'අලුත් නීතිය' වෛද්‍ය විද්‍යාත්මක පදනම පවා සම්පූර්ණයෙන්ම නිශේධනය කිරීමක් වන අතර, අදාළ පුද්ගලයා දඬුවමෙන් මුක්ත වීමක් ද එමගින් සිදු කෙරෙන බවයි ආචාර්ය දීපිකා උඩගම තවදුරටත් කියා සිටියේ. ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සමාජයේ යම්කිසි ඉහල මට්ටමක සිටින බව පවසන ඇය, ඉහත කී ආකාරයේ නීති සංශෝධන මගින් නීතිය වසර ගණනාවක් ආ පස්සට යන බවයි පෙන්වා දෙන්නේ. ‘ප්‍රේම සම්බන්ධතා පවත්වන බාල වයස්කාර ගැහැණු සහ පිරිමි ළමුන් දැණුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික ඇසුරේ යෙදෙන බව’ ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමති තිස්ස කරල්ලියද්ද පවසයි. දැරියගේ මනාපය පරිදි දූෂණයට ලක් වූ දැරියක් ඇය නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු දූෂණයට වග කිව යුතු පුද්ගලයා සමඟ විවාහ වීමට මනාප වන්නේ නම්, ඊට මග සැලසෙන පරිදි නීති සංශෝධනය කිරීමට යාම සම්බන්ධයෙන් විෂය භාර ඇමති තිස්ස කරල්ලියද්ද පදවියෙන් ඉවත් විය යුතු යයි කියා සිටින සමාජ ක්‍රියාධරයන්ට ප්‍රතිචාරය පළ කරමින් ඇමතිවරයා කියා සිටියේ, තම අරමුණ වන්නේ එවැනි අතවරවලට ගොදුරු වූවන්ගේ අනාගත ජීවිතය සම්බන්ධයෙන් මෙහෙයක් කිරීම වූ බවයි. "සැබවින්ම ඒ අය සම්බන්ධකම් පවත්වා තිබුණේ විවාහ වීමේ බලාපොරොත්තුවෙන් නම් ඔවුන් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු ඔවුන්ගේ අනාගත ජීවිතයේ යහපතට පියවර ගනු ලැබීමක් ගැනයි මම අදහස් පළ කළේ," බවයි ඇමතිවරයා පවසන්නේ. කාන්තා දූෂකයන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතුය යන්න තම ස්ථාවරය වන බවත් ඇමතිවරයා අවධාරණය කරයි. "මම නො කියපු වචන කීපයක් අල්ලා ගෙන යම්කිසි පිරිසක් චෝදනා එල්ල කරමින් ඉන්නවා," යනුවෙන්ද තිස්ස කරල්ලියද්ද ඇමතිවරයා සංදේශයට කියා සිටියේය. කෙසේ වෙතත්, කරල්ලියද්ද ඇමතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට අචාර්ය දීපිකා උඩුගම ඇතළු සමාජ ක්‍රියාධරයන් එකසිය දාහත් දෙනෙක් ලිඛිතව බල කර සිටිති. "අපට අවශ්‍ය කාන්තාවගේ ඉදිරි ගමනට රුකුලක් වන නායකත්වයක්," යනුවෙන් ආචාර්ය දීපිකා උඩගම බීබීසියට කියා සිටියාය.
නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී දුම්රියක් පීලි පැනීමෙන් මගීන් හතර දෙනකු මරණයට පත්ව යටත් පිරිසෙයින් තවත් දහ දෙනකුවත් තුවාල ලැබ ඇතැයි ඉන්දියානු නිලධාරීහු පවසති.
දිල්ලි අගනුවර සිට ඊශාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය බලා ධාවනය වෙමින් තිබුණ අනතුරට ලක් වූ දුම්රියේ මගීන් පන්සීයක් පමණ ගමන් ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ. එම අනතුර පිටුපස මාඕවාදී කැරලිකරුවන් සිටින බව ඉන්දීය දුම්රිය නිලධාරීන්ගේ සැකයයි. අද බදාදා බිහාරයේ වැඩ වර්ජනයක් දියත් කරන බවට කැරලිකරුවන් විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබයි තිබුණේ. මේ අතර , ඉහත කී අනතුර සිදු වූ කලාපයේ පොලිස් නිලධාරීන් බීබීසියට කියා සිටියේ, කඩාකප්පල්කාරී ක්‍රියාවක් පිළිබඳ ව කිසිදු සාධකයක් දක්නට නොලැබෙන බවයි.
ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා නොසිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ විකල්ප ආණ්ඩුවක් බලාපොරොත්තු වන නිසා විය හැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
'දැන් මේ රටේ ආණ්ඩුවට ඔන්න එනවා විදුලි පුටුව කියලා ජනතාව රවට්ටලා ඡන්දය ගන්න අවස්ථාවක් දීල නැහැ' සන්ධානයේ ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. "ජාත්‍යන්තර විමර්ශන යෝජනාවක් ගෙන ආවොත් එයට එල්ල වන සිංහල ජනතාවගේ විරෝධය, ආණ්ඩුවට වාසි දායක විය හැකි නිසා ඔවුන් එය ඉදිරිපත් කර නොතිබෙනවා විය හැකියි," යනුවෙන්ද ඔහු කියා සිටියේය. දැනට ප්‍රකාශයට පත්ව තිබෙන යෝජනා කෙටුම්පතේ ඇතුලත් දකුණේ වැලිවේරිය ගැටුම, අගවිනුසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඇතුළු කරුණු සලකා බලන විට දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කොට එමගින් විකල්ප ආණ්ඩුවක් ඇති කිරීම මෙම යෝජනාවේ තවත් අරමුණක් විය හැකි බවද "බලය බෙදා රට එක්සේසත් කරමු" සංවිධානයේ මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේය. 'බලාපොරොත්තු කඩ කළා' මෙම යෝජිත කෙටුම්පතෙහි පිඩාවට පත් දෙමළ ජනතාව මුහුණදෙන කිසිදු ගැටලුවක් අඩංගු නොවන බව පවසන ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා, මෙම යෝජනාවෙන් තමන්ට සාධාරණයක් ඉටු වනු ඇතැයි අතුරුදහන් වූවන්ගේ සහ යුද්ධයෙන් මිය ගිය අයගේ ඥාතීන් බලාපොරොත්තුවෙන් සිටි බවද පැවසීය. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වසර පහක් කිසිදු පරීක්ෂණයක් නොකළ ආණ්ඩුවකට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම පිණිස තවත් වසරක් ලබා දීමෙන් අරමුණ කවරක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළේය. උතුරු නැගෙනහිර දෙමළ ජනතා ප්‍රශ්නවලට ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් පමණක් විසඳුම් බලාපොරොත්තු විය නොහැකි බව මාධ්‍ය හමුව අමතමින් කියා සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ඒ සඳහා සිංහල, දෙමළ සියලු දෙනා එක්ව පොදු අරගලයක් කළ යුතු බව කියා සිටියේය. විදුලි පුටුව "අපි බලාපොරොත්තුවූ විදිහට, ලංකා ආණ්ඩුව බලාපොරොත්තුවූ විදිහට සැර යෝජනාවක් ආපු නැති නිසා, උතුරේ හා දකුණේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට එක්සත් පොදු අරගලයකට අපි යොමු වෙන්න ඕනේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානයට එක් දෙයකුත් රජයට තවත් දෙයකුත් පවසා ඇමෙරිකාවට ගොස් වෙනමම දෙයක් සිදුකර ඇති බවද මනෝ ගනේෂන් පැවසීය. "දැන් මේ රටේ ආණ්ඩුවට ඔන්න එනවා විදුලි පුටුව කියලා ජනතාව රවට්ටලා ඡන්දය ගන්න අවස්ථාවක් ඇමරිකානු ආණ්ඩුව දීල නැහැ." ශ්‍රී ලංකාවේ බලය බෙදා රට එක් සේසත් කළ හැක්කේ දේශීය සටනකින් පමණක් බවයි, මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කර වර්තමානය ගැළපෙන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
එම අනුකමිටුව ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. මෙම කැබිනට් අනු කමිටුවට නව පාසල් අධ්‍යාපන පනතක් හඳුන්වා දීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ලබා දීම, වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සඳහා මග පෙන්වීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීම යන විෂයයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර හිමිව තිබේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට අමතරව සුසිල් ප්‍රේම ජයන්ත, මහින්ද සමරසිංහ හා හරීන් ප්‍රනාන්දු යන කැබිනට් අමාත්‍යවරු ඉහත කී අනුකමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
කැබිනට් මණ්ඩලය ඉරිදා සවස් යාමයේ එකඟත්වය පළ කළ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයකු ඉවත් කළ හැකි බව අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.
යෝජනාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාස භංගයකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකිය දෝෂාභියෝග ක්‍රියාදාමය අවලංගු කෙරෙන අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන විශ්වාස භංගයකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකි බවද යළි පදිංචි කිරීම පිළිබඳ අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී සඳහන් කළේය. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර, අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයාය නව සංශෝධනයට අනුකූලව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වන අතර, අගමැතිවරයා පත්කිරීම සහ ව්‍යවස්ථාවෙන් බලය ලබා දෙන අනෙක් කරුණුවලදී හැර ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් ප්‍රකාර බවත් එහි සඳහන්. අමාත්‍ය ස්වාමිනාදන් බීබීසී යට ප්‍රකාශ කළ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධන යෝජනා අතර:
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස සිකුරාදා තමන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබූ බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සනාථ කළේය.
එවකට හිටපු යුද හමුදාපතිවරයා වශයෙන් යුද හමුදාව කොළඹදී කළ මෙහෙයුම් සම්බන්ධයෙන් එහිදී තමන්ගෙන් දීර්ඝ වේලාවක් කරුණු විමසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඒ බව කියා සිටියේ, වත්තල පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි. "මම දීර්ඝ වෙලාවක් ඉඳගෙන, පැය පහක් පමණ මම ගත කළා එතන," ඔහු පැවසීය. හමුදා බුද්ධි අංශය රාජකාරි මට්ටමෙන් කළ කටයුතු සම්බන්ධයෙන් හැරෙන්නට ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ පිළිබඳව විමසා බැලීමට හමුදාපතිවරයාට වගකීමක් පැවරී නැති බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කළේය.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර අවධානයට එක්වූ යුරෝපා සංගමය ද, මේ පියවර නිසා "සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව" පැවසීය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුරෝපා සංගමය අද (අගෝ. 20) එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිවය. End of Twitter post, 1 ශවේන්ද්‍ර සිල්වා 23 වෙනි යුද හමුදාපති වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කෙරිණි. ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (අගෝස්තු19) පත් කෙරුණි. ඉන් අනතුරුව ඔහු ලුතිනන් ජෙනරාල් තනතුරට උසස් කරන ලදි. ඔහු එම තනතුරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කෙරුණේ යුද හමුදාපති වශයෙන් කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විශ්‍රාම යාම හේතුවෙනි අගෝස්තු 18 වෙනිදා විශ්‍රාම යෑම හේතුවෙනි. හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් තනතුරට උසස් කර තිබේ. මේ අතර මතුවෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින් අද නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, යුද හමුදාපතිවරයා පත්කිරීම "රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්" බවකි. එහි තවදුරටත් දැක්වෙන්නේ "විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමටඋත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්" බවය. "චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ" යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ අතර, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්ත තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නොර්වේ සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලේ යොමුකර ඇති අවධානය කෙරෙහි ඔවුන් ද පූර්ණ සහයෝගය ලබාදෙන බවය. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට උසස් කිරීම මගින් සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බවද එහි සඳහන් වේ. "එමගින් ජාතික සංහිදියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක්කරන අතර යුද්ධයේ ගොදුරු බවට පත් වූ සහ යුද්ධයෙන් දිවි බේරා ගත් ජනතාවට පීඩාකාරී පණිවුඩයක් ද යොමු කෙරේ" යැයි ද යුරෝපා සංගමය පැවසීය. පසුගිය මාර්තු මාසයේදී ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළ අවස්ථාවේ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලේ, සිය අප්‍රසාදය පළ කළාය. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ එම පත් කිරීම "කනගාටුදායක තත්ත්වයක්" බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් සටනේදී යුද හමුදාවේ 58වැනි සේනාංකයට ශවේන්ද්‍ර සිල්වා අණදුන් අතර ඔහු හමුදාපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ද ඔවුන්ගේ විරෝධය පළ කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ලුතිනන් ජෙනරාල් සිල්වාට එරෙහිව "යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කළේ යැයි පිළිගත හැකි චෝදනා" ඇති බැවින් ඔහු යුද හමුදාපති වශයෙන් පත්කිරීම ගැන තමන් "දැඩිලෙස සැලකිලිමත්" වන බවය. ඔහුගේ පත්කිරීම නිසා "සංහිදියාව සහ වගවීම" සම්බන්ධයන් කෙරෙමින් පවතින කටයුතු යටපත් වන බව ද කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පැවසීය. මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් සඳුදා (අගෝ. 19) ඇමෙරිකා එක්සත් ජනපදය පැවසුවේ සිය "දැඩි අවධානය" යොමු වී ඇති බවකි. "එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ," යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් විය. කියවන්න:
කෝවිඩ්-19 මූලාරම්භය සොයා ගැනීමට විද්‍යාඥයන් උත්සහ දරන අතරේ වවුලන් මගින් කොරෝනා වෛරසය පැතිර ගොස් ඇතැයි බිය පළ වෙයි.
ඇතැම් රටවල වවුලන් තෝරා මරා දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. වවුලන් පුනරුත්තාපනය කර වනයට මුදා හරින 'Bats Qld' නමැති ඔස්ට්‍රේලියානු සත්ව ශුබ සාධන ආයතනය (චැරිටි) පවසන්නේ මෙම ක්ෂරපායි සත්ව විශේෂය අපගේ පරිසර පද්ධතියේ පැවැත්මට අතිශය වැදගත් වන බවය. වර්තමානයේ පවතින වසංගතයට ඔවුන්ට දොස් පැවරීම වැරදි සහගත බවත් එම ආයතනය පෙන්වා දෙයි. සබැඳි යොමු:
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවෙනි අදියරේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩකටයුතු අද (පෙබ.01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඒ වෙනුවෙන් අලව්ව, ගිරිඋල්ල කුඩගම්මන පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රට කලාප වශයෙන් දියුණු කළ යුතු බවය. "අපේ මූලික සංවර්ධන කටයුතු සිදු කරන්න අපි තෝර ගත්තේ නිරිත දිග කවුළුව. මහනුවර, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ, මොනරාගල" යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වග උත්තරකරුවන්ගේ කරුණු විමසීමකින් තොරව දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තහනම් කරන්නැයි ඉල්ලා සිංහල සංවිධාන එකමුතුව ගොනු කළ පෙත්සමක් සලකා බැලිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.
පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස දෙවැනිදා දක්වා කල් දැමූ අග විනිසුරු ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ ලේකම්වරයා සහ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නොතීසි නිකුත් කිරීමට නියම කළේය. සංවේදී කරුණක් පෙත්සම ගොනු කළ සිංහල සංවිධාන එකමුතුව පවසන්නේ දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණය උදෙසා ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් බෙදුම්වාදය පෝෂණය කිරීමක් සිදුවන බවයි. මෙය සංවේදී කරුණක් බැවින් වග උත්තරකරුවන්ගේද අදහස් විමසීමක් කළ යුතු බවයි අගවිනිසුරුවරයා සඳහන් කළේ. මේ අතර උතුරු පළාත් සභා මැතිවරණය තහනම් කරන ලෙස ඉල්ලා සිංහල ජාතික පෙරමුණ ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ. මූලික විරෝධතාවක් මතු කළ රජයේ නීතිඥයා කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරයාගේ නියෝගයක් මත පැවැත්වෙන බැවින් එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවයි
පසුගිය ආණ්ඩුවේ බලධාරීන් විසින් නැගෙනහිර පළාතේ රජයේ සහ පෞද්ගලික ඉඩම් නීති විරෝධී ලෙස පරිහරණය කරනු ලැබ ඇති බව අනාවරණය වී ඇතැයි ඉඩම් අමාත්‍ය එම්කේඩීඑස් ගුණවර්ධන පවසයි.
‘ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ඇතුළු ආරක්ෂක සේවාවලුත් මේ ජරා විදිහට මුදල් ඉපයීමේ වෛශ්‍යා සේවයේ යොදමින් මේ රට පුරාම තිබුණේ අයහපත් පාලනයක්. පවුල ඇරියා වගේ මල්ලිලාගේ, බාප්පලා, පුතාලගේ හෝටල්’ ඉඩම් අමාත්‍යවරයා එසේ කියා සිටියේ සඳුදා පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින්. එම ප්‍රදේශවල ස්වාභාවික පරිසරය විනාශ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ මේ වන විට එම ප්‍රදේශවල කොන්ක්‍රීට් ගොඩනැගිලි සහ කටුකම්බි පමණක් දක්නට ඇති බවයි. එම අවස්ථාවට කරු ජයසූරිය අමාත්‍යවරයාද එක් වී සිටියේය.