summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
"මට මගේ දරුවන්ගේ මුහුණු බලන්න ආසයි. නමුත් මොනවා කරන්න ද? "
හේරත් බණ්ඩා, පත්මිණි සහ දියණියන් දෙදෙනා ආර් ඩී ලතා පත්මිණි කියූ දෑ අනුව ඇගේ සිතට දැනෙන එකම කනස්සල්ල එය පමණක් වැනිය. දෙමාපියන් දරුවන් රැක බලාගන්නේ 'සිය දෑස' මෙනැයි යන්න සමාජයේ මුල් බැසගත් අදහසකි. එසේ 'දෑස මෙන්' රැක ගත් දරුවන් දෙදෙනා ජීවිතයේ කඩඉම් කෙමෙන් ජය ගනිද්දී වෙනත් ඕනෑ ම මවකට දැනෙන සතුට සිය හිතපුරා විඳ ගැනීමට පත්මිණිහට ද ඕනෑය. එහෙත් ඊට ඇති බාධකය, මෙහි ආරම්භයේදී සටහන් කෙරුණු, ඇයගේ ප්‍රකාශයේ ම ගැබ්වී ඇත. 1968 දී උපන් ලතා පත්මිණිට, වයස අවුරුදු හතර වන විට පෙනීම අහිමි විය. "අම්මා කිව්වේ මට මාන්දම හැදුනා කියලා. මට පොඩි කාලේ හීනයක් වගේ මතකයි." ක්‍රමයෙන් තරුණවියට එළඹෙන විට ඇය තමාට වූ දේ පිළිබඳව පසු තැවෙමින් ජීවත් වෙනවා වෙනුවට දෛවයට මුහුණ දීමට තීරණය කළාය. "ඇස් අන්ධ වුනත් ගෙදර දොර වැඩ කිරීමට මම පුරුදු වුණා. මම මගේ වැඩ කරගත්තා. ගෙදර අයට වදයක් වුණේ නෑ." "සමාජයෙන් අපට අවශ්‍යවන්නේ අනුකම්පාව නොවෙයි. ඉදිරියට යෑමට අවශ්‍ය පරිසරය සැකසීමයි අවශ්‍ය වන්නේ," පත්මිණි පවසන්නීය. 1990 දශකය ආරම්භයේදී, තම දෙමව්පියන්ගේ ද සහය ඇතිව ඇය සීදුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ඇතුළත් වුවාය. එම මධ්‍යස්ථානයේ දී පත්මිණි රෙදි විවීම පිළිබඳ පාඨමාලාවක් හැදෑරීය. වරකාපොල සිට දිනපතා සතියේ දිනවල සීදුව බලා යෑම පහසු නොවීය. නමුත් තම උත්සහය ඇය අත් නොහැරියාය. පත්මිණි පහන් තිර සාදමින් "සීදුවට ගිය ගමන මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙයි කියලා මම හිතුවේ නැහැ." එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීම ඇය ට තමා මෙන්ම දෙඇස් නොපෙනෙන තරුණයෙකු හමු විය. ඔහු නමින්, ඩබ් එම් හේරත් බණ්ඩා. අනුරාධපුර රාජාංගනය ඔහුගේ උපන් ගම විය. "අපි දෙන්නා නිතර කතාබහ කළා. අපේ අදහස් ගැලපුනා. ඊට පස්සේ අපි තීරණය කළා විවාහ වෙන්න. ඒ සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අය හුඟක් උදව් කළා." 1994 දී යුග දිවියට එළඹුනු ඔවුන් ඉන්පසු පත්මිණි ගේ නිවසේ පදිංචි විය. විවිධ බාධක පැමිණිය ද ඊට ශක්තිමත් ව මුහුණ දුන් බව ඇය පැවසීය. හේරත් බණ්ඩා නිවසේ අවශ්‍යතා පිරිමැසීමට අවශ්‍ය මුදල් ඉපයීමට ලොතරැයි පත් විකිණිය. ඔවුන්ගේ කැදැල්ලට 2000 වසරේදී අමුත්තියක් එක් විණි. ශවිනි සඳුනිකා ලක්මාලි යනුවෙන් ඇය නම් ලද්දීය. එම අවදිය මතකයට නැගූ හේරත් බණ්ඩා, "ලොකු දුව ඉපදෙන කොට කිරි අම්මා අපිත් එක්ක හිටියා. ඒක නිසා ලොකු පහසුවක් වුණා අපේ වැඩ කරගන්න," යනුවෙන් පැවසීය. දෙවන දියණිය වන රසනි දිලනිකා මධුභාෂණී උපත ලැබුවේ 2002 වසරේදීය. නමුත් ඇයට වයස අවුරුදු එකහමාරක් පමණ වන විට දියණියන්ගේ කිරි අම්මා මිය ගියාය. "මුල් කාලේ අපි දුක් වින්දා. පොඩි ගෙදරක හිටියේ. විදුලිය නෑ. වතුර නෑ. නමුත් අපි දෙන්නා ළමයි දෙන්නට කිසි දෙයක් අඩුපාඩු කළේ නෑ. දැන් ඒ කාලේ මතක් වෙන කොටත් පුදුමයි." "මම කෑම උයනකම් මහත්තයා ළමයි දෙන්නා බලාගත්තා. මට ගෙදර වැඩ කරන කොට මගේ ඇස් නොපෙනීම මට ගැටලුවක් වුණේ නැහැ," පත්මිණි පැවසීය. හේරත් මේ වනවිට තම පවුල රැක බලා ගන්නේ පහන් තිර සහ හඳුන්කූරු වෙළෙඳාමේ යෙදීමෙනි. හඳුන්කූරු වෙනත් නිෂ්පාදකයෙකුගෙන් මිලදී ගන්නා බවත් පහන් තිර සිය නිවසේදීම සාදා ගන්නා බවත් හේරත් පැවසීය. ඔවුන්ගේ වැඩිමහල් දියණිය ශවිනි මෙවර අපොස උසස් පෙළ විභාගයට සුදානම් වන්නීය. "මගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. අපි මේ තත්ත්වයට ආවේ ඒ දෙන්නාගේ මහන්සිය සහ කැපවීම නිසා," ශවිනි සඳහන් කළාය. "එයාලා පුංචි කාලේ ඉඳලා මමයි මගේ නංගියි හොඳින් බලාගෙන තියෙනවා. පුංචි සීරිමක්වත් වෙන්න දීලා නෑ. ගොඩක් අයගේ ළමයි පොඩි කාලේ වැටිලා අත පය කඩාගෙන ඉන්නවා දැකලා තියෙනවා. මට නම් එහෙම කිසි දෙයක් ගැන මතකයක් නෑ. අපිට එහෙම වෙලත් නෑ. එයාලා දෙන්නා නංගිවයි මාවයි ගොඩක් හොඳින් බලා ගත්තා කියලා මට තේරෙනවා." ශවිනි සඳුනිකා ලක්මාලි "අපි ඉස්කෝලේ යන දවස් වලට අම්මා උදේන්ම නැගිටලා උයලා දෙනවා. අපේ රෙදි හේදුවා. කිසි දෙයක් බැරිය කියලා කියන්නේ නැහැ. දැන්නම් මමයි නංගියි හුගක් වැඩ කරනවා. අපිට පුළුවන්නේ." කෑගල්ල ශාන්ත ජෝසෆ් බාලිකා මහ විද්‍යාලයේ අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබන දෙටු දියණිය වන රසනි දිලනිකා මධුභාෂණී පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට සම්මාන නවයක් සහිතව සමත් වුවාය. "මගේ පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරු භවතුන්ට මම ස්තුති කරන්න ඕනේ. ඒගොල්ලෝ මට ගොඩක් උදව් කරනවා." තම ගමේ පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ ඇය ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 185ක් ලබා ගැනීමට සමත් වුවාය. "නංගි ශිෂ්‍යත්වේ හොඳට පාස් වුණාට පස්සේ හොඳ මහත්තයෙක් මේ ගේ අපිට හදලා දුන්නා. ඒක අපේ ජීවිතවලට ලොකු වෙනසක් කළා". හොඳින් ඉගෙන ගෙන තම දෙමව්පියන්ටත් සලකමින් සමාජයට යහපතක් කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව මෙම දියණියෝ පැවසුහ. "අපිට පොඩි කාලේ ඉඳන්ම කිව්වේ හොඳට ඉගෙන ගන්න කියලා. මට හිතෙන්නේ අපේ අම්මයි තාත්තයි අනෙක් දෙමව්පියන්ටත් වැඩිය හොඳට අපි ගැන බලල තියෙනවා කියලයි. අපේ යුතුකම තමයි ඒ ගොල්ලෝ හොඳින් බලා ගන්න එක," දිලනිකා මධුභාෂණී පැවසීය. තම දරුවන් දෙදෙනා හොඳින් අධ්‍යාපනය ලබනු දැකීම සතුටට කරුණක් බව පත්මිණි කීවාය. කියවන්න:
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරයි.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර ඇති අධි චෝදනා සංඛ්‍යාව 17 කි. මිනී මැරීම , මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා මිට ඇතුළත් වෙයි. 2010 වසරේ ඔක්තෝබර් මස 08 දා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පසුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය ගොස් තිබිණ. ඊට අදාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දීර්ඝ ලඝු නොවන නඩු විභාගයක් පැවතී අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කලේ චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි. ඒ අනුව නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් මේ වන විට කොළඹ මහාධිකරණයේ නියෝග මත ඇප මත මුදා හැර ඇත.
නැමීබියාවේ වෙසෙන, වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින කළු රයිනෝසිරස් වර්ගයක් දඩයම් කිරීමේ බලපත්‍රයක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ පැවති වෙන්දේසියකදී ඩොලර් තුන් ලක්ෂ පනස් දහසකට විකිණී තිබේ.
ලොව පුරාම කළු රයිනෝසිරස් ඉතිරි වී සිටින්නේ 5000 ක් පමණයි මෙම වෙන්දෙසියෙන් ලැබෙන සියලු අරමුදල් රයිනෝ සංරක්ෂණ වැඩසටහන් වලට යෙද වෙන බවයි, වෙන්දේසිය මෙහෙය වූ ඩලස් සෆාරි සමාජය පවසන්නේ. නැමීබියානු ආණ්ඩුවේ අනුමැතිය ලත් වැඩ පිළිවෙලකට අනුව මහලු, දරදඬු රයිනෝ සතුන් වෙඩි තමා මරා දැමීමට අවසර තිබෙන බවත් ඩලස් සෆාරි සමාජය පවසයි. වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සතුන් දඩයම් කිරීම විනෝදාංශයක් බවට පත් කරන බව පවසමින් සත්ව හිමිකම් සංවිධාන එම වෙන්දේසිය දැඩිව හෙලා දුටුවේය. සෙනසුරාදා පැවැත්වුණු වෙන්දේසියට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටි සත්ව හිමිකම් ක්‍රියාධරයකු වන ජිම් රීස් පවසන්නේ, බවයි. "අපි මෙතෙන්ට එන්න ප්‍රධානම හේතුව දඩයමට විරුද්ධ වෙන්න නෙවෙයි. මෙතන තියන ප්‍රශ්නය තමයි, ඔවුන් මේ වෙන්දේසි කරන්නේ වඳ වෙන්න ඉන්න සත්තු වර්ගයක් දඩයම් කරන බලපත්‍රයක්," යනුවෙන්ද ඔහු පැවසීය.
කාදිනල්වරුන් ඇතුළු කතෝලික පල්ලියේ සියලු පූජකවරුන් ගෙන් සියයට දෙකක් ළමා ලිංගික අපයෝජකයන් යයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇස්තමේන්තු කරන බව ඉතාලියේ පුවත්පතක් පවසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පූජකවරුන්ගේ ළමා අපචාර, ලාදුරු රෝගය වැනි බරපතළ රෝගයක් බව පාප් වහන්සේ සඳහන් කළ බවයි රිපබ්ලිකා පුවත්පත පවසන්නේ. රෝමානු කතෝලික පූජකවරුන්ට විවාහ වීම තහනම් කෙරෙන වත්මන් නීති රීති ද ඉතා ඉක්මනින් වෙනස් වනු ඇතැයි ෆ්‍රැන්සිස් පාප් තුමා එහිදී සඳහන් කළ බවත් එම පුවත්පතේ සඳහන්. එහෙත් පුවත්පත පාප් වහන්සේගේ වචන එලෙසින්ම වාර්තා කොට නැති බවයි, උන් වහන්සේගේ ප්‍රකාශකයෙක් පවසන්නේ.
පොත් සාප්පු කරුවන් පස් දෙනෙකු අතුරුදහන් වීම පිළිබඳව කෝපයට පත් හොංකොං වැසියන් දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණය කළහ.
අතුරුදහන් වූ පොත් සාප්පු හිමියන් එකම පොත් ප්‍රකාශන සමාගමකට සබඳතා ඇති අය වන අතර එය චීන රජය විවේචනයට ලක් කරන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන සමාගමකි. චීන රජය මෙම පිරිස රඳවා ගෙන ඇති බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති. මෙම උද්ඝෝෂණයේ සම සංවිධායකයෙකු වන ලී චෙඋක් යැන් කියා සිටියේ හොංකොං වැසියන් භුක්ති විඳිමින් සිටි නිදහස මර්දනය කිරීමේ හැරවුම් ලක්ෂ්‍යය මෙය බවයි. බ්‍රිතාන්‍යය හොංකොං දේශය ආපසු චීනයට භාර දෙන විට ඊට අනන්‍යව පැවති නිදහස මර්දනය කිරීමට චීන පරිපාලනය උත්සාහ කරන බවට හොංකොං ජනතාව බිය පළ කරති
පානීය ජලය විස වීමට එරෙහිව උද්ඝෝෂණය කළ දකුණේ වැසියන් මරා දමන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා උතුරේ යුද්ධයේදී කෙතරම් දරුණු අන්දමින් හැසිරෙන්නට ඇත්දැයි දැන් තමන්ට වැටහෙන බව වැලිවේරිය රතුපස්වල ගම්වාසීහු පවසති.
දාහත් හැවිරිදි තරුණයකු මරා දමමින් සහ තවත් විස්සකට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් ආරක්ෂක හමුදා ගම්වාසීන්ට බ්‍රහස්පතින්දා කළ ප්‍රහාරය ඔවුන් හැඳින්වූයේ, "ම්ලේච්ඡ සහ දුෂ්ට" ක්‍රියාවක් ලෙසින්. "ම්ලේච්ඡ විදියට, දුෂ්ට විදියට අපේ කොල්ලෝ ටික මැරුව," යනුවෙන් එක් ගම්වැසියෙක් පැවසීය. සමස්ත ලෝකයම ගරු කරන ජාත්‍යන්තර යුද නීති ප්‍රකාර පාසල්, රෝහල් සහ ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල නොකරන නමුත් ආරක්ෂක හමුදාව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානය තුලටම පැමිණ වෙඩි තැබූ බවට ද ඔවුහු චෝදනා කරති. තවත් විස්තර ඉක්මනින්ම.
ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය අතර සිටින හය ලක්ෂයක පමණ පිරිසකට දෙවන මාත්‍රාව ලබා දීම මේ වනවිට ගැටලුවක්ව පවතී.
එම එන්නත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. මේ අතර ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට වෙනත් එන්නත් වර්ගයකින් දෙවන මාත්‍රාව ලබා දීම හෝ එක් මාත්‍රාවක් පමණක් ගතයුතු වෙනත් එන්නතක් ලබා දීම වැනි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි ද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. මේ ගැනත් කියවන්න:
දිල්ලි අගනුවර බස් රථයක දී සමූහ දූෂණයකින් ශිෂ්‍යාවක් මරා දමනු ලැබීමේ සිද්ධියට අද සඳුදාට අවුරුද්දක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඉන්දියාව පුරා සමරු වැඩ සටහන්වල නිරත වෙමින් සිටිති.
මෙයින් වසරකට පෙර සිදු කෙරුණ එම අපරාධය ජාතික මට්ටමින් ඉන්දියානු මහජන කෝපය පැතිර යාමට සහ විශාල උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරනු ලැබීමට හේතු විය. ඉන්දීය සමාජය තුළ කාන්තාවන්ට සලකනු ලබන ආකාරය සම්බන්ධයෙන් රට තුළ විවාදයක් ආරම්භ වීමට හේතු වූ දිල්ලි දූෂණ අපරාධය, ලිංගික හිංසාවන්ට එරෙහි නව නීති දැඩි කිරීමට ද හේතු විය. දූෂණයට ලක් ව මරණයට පත් ශිෂ්‍යාව බස් රියට ගොඩ නැගුණ ස්ථානයේයි, එක් සමරු වැඩ සටහනක් පෙරට යමින් තිබුණේ. ජනතා කෝපය දූෂණ අපචාරයට එරෙහි මහජන හඬ සංගීත කණ්ඩායමක් ට්‍රේලරයක නැගී ශිෂ්‍යාව අතවරයට ලක් වූ දින ගමන් ගනිමින් සිටි මාවත ඔස්සේ සංචාරය කරමින් සිටි බවත් දිල්ලි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි. මේ අතර, එම ශිෂ්‍යාවගේ පවුලේ සාමාජිකයෝ ඇය සිහි කිරීම සඳහා කුඩා සමරු උත්සවයක නිරත ව සිටියහ. එම පවුලේ සාමාජිකයන් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, හැකි තාක් කල් ඇය පිළිබඳ මතකය ජීවමාන මට්ටමින් තබා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවය බවයි. ශිෂ්‍යාව දූෂණය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හතර දෙනකුට පසුගිය සැප්තැම්බර් මාසයේ මරණීය දණ්ඩණය නියම කෙරුණ අතර, එක් චූදිතයෙක් සිර මැදිරිය තුළ මරණයට පත් විය. පස්වැනි චූදිතයා බාල වයස්කාරයන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක රඳවනු ලැබ සිටියි.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ගිනි නිවන හමුදා භට කණ්ඩායමක් කාණුවක සිර වී සිටි තාරා පැටවුන් රංචුවක් මුදා ගෙන තිබේ.
එසේ මුදා ගනු ලැබූ තාරා පැටවුන් සුරක්ෂිතව ඔවුන්ගේ මව වෙත භාර දීමට ගිනි නිවන භට කණ්ඩායම කටයුතු කළහ. තාරා පැටවුන් රංචුවක් කාණුවක සිර වී සිටින බව දන්වා ඉහත කී භට කණ්ඩායම වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබේ. පැටවුන් බේරා ගන්නා අවස්ථාවේ තාරා මව දැඩි කැලඹිල්ලට පත් වී සිටි බව පෙනෙන්නට තිබූ බවයි ගිනි නිවන හමුදා භට කණ්ඩායමේ ප්‍රධාන නිලධාරි රැඩොල්ෆ් කොවිච් බීබීසීයට කියා සිටියේ.
ගවේශනාත්මක තොරතුරු පළ කරන ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සඟරාවක කතුවරයාට ලිංගික හිරිහැර කිරීම පිළිබඳ ව චෝදනා එල්ලවීමෙන් අනතුරුව,ඔහු තාවකාලිකව සේවයෙන් ඉවත් වී ඇත.
‘තෙහේල්කා’ සඟරාවේ කතුවර තරුන් තේජ්පාල් කියා සිටියේ, තමන් වැරදී තීරණයක් ගත් බවත්, ඉදිරියේ දී එවැනි දේ කිරීමෙන් වැලකි සිටීම සඳහා ඒ ගැන සිතා බලා වරද සමා කර ගැනීමට මාස හයක කාලයක් තාවකාලිකව රැකියාවෙන් ඉවත් වන බවයි. තරුන් තේජ්පාල් , ගෝවේ නගරයේදී පැවැත්වූ සාදයක දී තරුණ මාධ්‍යවේදිනියකට ලිංගික අතවරයක් කර ඇති බවයි, වාර්තා වන්නේ. කාන්නතාවන්ට සිදු කෙරෙන ලිංගික අතවර ඉන්දියාවේ බලවත් සංවාදයකට හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව බලාපොරොත්තු පළකරයි.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, අමාත්‍ය මංගල සමරවීර, ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ සහ සංහිඳියා ලේකම් කාර්යාලයේ මනෝ තිත්තවැල්ල මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු එම නිර්දේශ ඇතුළත් 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරුණි. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස තවත් වසර දෙකක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව සමග එක්ව මානව හිමිකම් මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බව සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය. විදේශ අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල දූත පිරිසේ සාමාජිකයකු ලෙස ඔහු මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන 34 වෙනි මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගිවෙමින් සිටී. "අපේ අලුත් ව්‍යවස්ථාවක් ළඟදීම පාර්ලිමේන්තුවේ විවාද කරන හින්දා, තව සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධයෙන් කාලවේලාව දීමට ඒ රජයන් දෙකම යෝජනා කරලා තියෙනවා," සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ කාර්යාලයේ මහ ලේකම්වරයා බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ සැරේ මානව හිමිකම් කවුන්සිලයේදී අපි හිතන විදියට ඒකට අනුමැතිය ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා." අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ඉදිරි මාස තුන ඇතුළත පිහිටුවනු ඇතැයි බලාපොරොත්තුවන බවත් මනෝ තිත්තවැල්ල පැවසීය.
රුසියාවට එරෙහිව යුරෝපා හවුල සම්බාධක තර කිරීම තුළින් නැගෙනහිර යුක්‍රේනයේ සාම ප්‍රයත්නයට බාධා පමුණුවන බව රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලව්රොෆ් ප්‍රකාශ කරයි.
රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලව්රොෆ් යුරෝපා හවුලේ අලුත්ම සම්බාධක ඉලක්ක වී ඇත්තේ රුසියාවේ තෙල් වෙළඳාම, ආර්ථිකය සහ ආරක්ෂක අංශ වෙතටයි. මීට අමතරව තවත් රුසියානු බලධාරීන් සහ යුක්‍රේන කැරලි නායකයන් විසි හතර දෙනෙකුගේ විදෙස් ගත දේපළ අත් හිටුවීමටත් ඔවුනට වීසා බලපත් තහනම් කිරීමටත් පියවර ගෙන තිබේ. මෙම තහංචිවලට එක්සත් ජනපදයේ සහාය ලැබෙන බව ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරයි. මේ අතරතුර යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාවට ඈඳා ගත් ක්‍රිමියානු කලාපය යළි යුක්‍රේනයට ලබා ගන්නා බවයි. මෙය හමුදා මාර්ගයෙන් සිදු වීම අත්‍යවශ්‍ය නොවුවත් ස්ථිර වශයෙන්ම ක්‍රිමියාව යළි භාර දීම සිදු විය යුතු බවයි ඔහු කියා සිටියේ. යුරෝපා හවුල සමඟ සහයෝගිතා ගිවිසුමක් ඇති කර ගැනීම අනුමත කර ගැනීමට අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් කරන බවද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක් අත් අඩංගුවට ගත් බව ඇෆ්ඝනිස්තානයේ පොලිසිය පවසයි.
දැරිය කම්පිතව සහ වික්ෂිප්තව සිටි බවයි, පොලිසිය පවසන්නේ කම්පිතව සහ වික්ෂිප්තව සිටි දැරිය හෙල්මන්ඩ් පළාතේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේය. මරාගෙන මැරෙන කබාය පුපුරුවා හැරීම පිණිස බොත්තම එබීමට ඇයට නොහැකි වූ බවයි, ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ. තාලිබාන් ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු බව සැලකෙන ඇයගේ සොහොයුරා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දැරිය පොළඹවා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ.
කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි අද පස්වරුවේ අපවත් වූ බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ. හෙළ උරුමයේ සාමාජිකයෙකුව සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක්ද හොබවා ඇති උන් වහන්සේ වෙසක් පුන් පොහෝදා සිරුරට ගිනි තබාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ කෙරෙන ගව ඝාතනයට විරෝධය පළ කරමින්.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් සටන් වැදෙමින් ජීවිත පූජාකරන ලද කළු හා ආසියානු හමුදා භටයන් දස දහස් ගණනක් අනුස්මරණය කිරීම සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් දෝෂාරෝපණ එල්ලවෙමින් පවතී. එම හමුදා භටයන් අමතක කෙරෙන්නේ 'පැතිර පවතින ජාතිවාදය' නිසා බවත් එම කරුණු අනාවරණය කරනු ලබන වාර්තාව මගින් පෙන්වා දෙයි.
ජර්මන් අධිරාජ්‍යයට අයත්ව තිබුණ නැගෙනහිර අප්‍රිකාවේ (දැන් ටැන්සානියාවේ) 'අස්කරිස්' (Askaris) දේශීය හමුදා භටයන් වෙඩිතැබීමට පුහුණු කෙරුණ අවස්ථාවක් සුදු ජාතික හමුදා භටයන්ට සම මට්ටමින් කළු සහ ආසියානු යුද හමුදා භටයන් විධිමත්ව සමරනු නොලැබීම අනාවරණය වීමෙන් අනතුරුව යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම (The Commonwealth War Graves Commission) ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය. ''මෙයින් ශතවර්ෂයකට පෙර සිදුවූ එම වරද එදාත් වැරදියි,අදත් වැරදියි'' එම කොමිෂන් සභාව පවසයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් සටන් වැදුණු කළු සහ ආසියානු සොල්දාදුවන් නිසි පරිදි අනුස්මරණය කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය බ්‍රහස්පතින්දා (අප්‍රියෙල් 22) සමාව අයැද සිටියේය. පාර්ලිමේන්තුව අමතා අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අරක්ෂක ලේකම් බෙන් වොලස් (Ben Wallace) ''පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පසු අගතියක් සිදුව ඇති බවට සැකයක් නැතැයි'' කියා සිටියේය. එම අගතිය හෙළිදරව් කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටුකළ බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමි (David Lammy) විසින් එපරිද්දෙන් ඉතිහාසය නිවැරැදි කරනු ලැබීම විග්‍රහකරන ලද්දේ "ඉතාම වැදගත් ඓතිහාසික මොහොතක්" ලෙස ය. බ්‍රිතාන්‍ය ආරක්ෂකලේකම් බෙන් වොලස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් මෙසේ සඳහන් කළේය. ''යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම සහ එදා බලයේ සිටි මෙන්ම වර්තමානයේ බලයේ සිටින බ්‍රිතාන්‍ය ආණ්ඩු වෙනුවෙන් සිදුව ඇති වරද සහ තත්ත්වය නිවැරැදි කරනු ලැබීමට මෙතරම් කාලයක් ගතවීම සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකරනවා'' ''අපට අතීතය වෙනස් කරන්න බැහැ. නමුත් තත්ත්වය සංශෝධනය කරමින් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අපට හැකියාවක් තියෙනවා'' බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලැමි වැඩිදුරටත් සඳහන් කළේ '' යුද්ධයේදී අමතක කර දමන ලද සොල්දාදුවන්ගේ නම් ලේඛනාගාරවලින් සොයාගැනීමට හැකියාවක් තිබේ නම් ඒ සඳහා පියවර ගත යුතු අතර ඒ රටවල ජනතාව එම භටයන් සැමරීමට මනාප ක්‍රමවේදයක් තහවුරු කළ යුතුව ඇති'' බවය. පළමු ලෝක මහා සංග්‍රාමයේ පටන් යුද්ධයට ගොදුරු වූ වැඩි වශයෙන් අප්‍රිකානු සහ මැද පෙරදිග භටයන් අඩු තරමින් 116,000ක් පිළිබඳ වාර්තා වන බව අදාළ පරීක්ෂණය මගින් සොයාගනු ලැබ තිබුණි. ''එම භටයන් ඔවුන්ගේ නම්වලින් අනුස්මරණය නොකෙරුණු අතර ඇතැම්විට කෙසේවත් සමරනු ලැබ නැතැයි'' එම වාර්තාවේ සඳහන් වෙයි. එහෙත් බ්‍රිතානයේ පළකෙරෙන 'ද ගාර්ඩියන්' (The Guardian) පුවත්පත මගින් පළකරනු ලැබ ඇති වාර්තාවක් අනුව අමතක කරනු ලැබ ඇති කළු සහ ආසියානු යුද භටයන්ගේ සංඛ්‍යාව 350,000ක් තරම් ඉතා ඉහළ මට්ටමේ ගණනකි. 1923 තරම් ඈත අවධියක බ්‍රිතාන්‍ය යටත්විජිතයක් භාරව සිටි ආණ්ඩුකාරයකු විසින් කරන ලද ප්‍රකාශයක් 'ද ගාර්ඩියන්' පුවත්පතෙහි උපුටා දක්වා ඇත. ''සාමාන්‍ය ස්වදේශිකයකු සොහොන් කොතක ඔහුගේ නාමය සටහන් කෙරෙන මට්ටමින් පිළිගැනීමකට හෝ අගය කරනු ලැබීමකට භාජනය වන්නේ නැහැ'' ගැටුම්වලදී මරණයට පත් ආසියානු සහ අප්‍රිකානු භටයන් 45,000-54,000ත් අතර පිරිසක් ''අසමාන මට්ටමකින් අනුස්මරණය'' කරනු ලැබ ඇති බවත් යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම පෙන්වා දෙයි ඇතැම් හමුදා භටයන් අනුස්මරණය කර තිබුණේ සාමූහික වශයෙනි. එහෙත් එම කළු සහ ආසියානු භටයන්ගේ සගයන්ව සිටි සුදු ජාතික සෙබළුන්ගේ සොහොන්වල ඔවුන්ගේ හිසට ඉහළින් නම් කැටයම් කරන ලද සොහොන්කොත් ඉදිකර තිබෙන අතර එම සුදු ජාතික භටයන් අනුස්මරණය කර තිබෙන්නේ ඔවුන්ගේ නම් සඳහන් කරමිනි. අහිමි වූ සෙසු සොල්දාදුවන් ගේ නම් ලියාපදිංචි කිරීමක් හැර ඉන් ඔබ්බට ගොස් ඔවුන්ගේ නම් සඳහන් සොහොන්කොත් ඉදිකිරීමක් සිදුකර නැත. එක් හමුදා භටයා නමින් සඳහන් කරමින් විධිමත්ව අනුස්මරණය කරනු නොලැබීමට හේතුව ''අදාළ තොරතුරු හිඟය,වෙනත් සංවිධානවලින් උරුම වූ වැරදි සහ යටත්විජිත පරිපාලන නිලධාරීන්ගේ මතවාදයන් වන'' බව ඉහත සඳහන් කරන ලද වාර්තාවේ නිගමනය වී ඇත. තවදුරටත් අදහස් දක්වන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිෂන් සභා වාර්තාව මෙසේ සඳහන් කරයි. ''කෙසේවුවද, මේ සියල්ලට යටින් දිවයන වෙනත් දෙයක් ඇත.එනම්, මුල්බැසගත් අගතිගාමී ආකල්ප, පූර්ව නිගමන සහ සමකාලීන අධිරාජ්‍යවාදී ආකල්ප සමඟ බැඳුන පැතිර පැවතුන ජාතිවාදය ඊට හේතු වී ඇත'' එවක පාකිස්ථානය සහ බංග්ලාදේශයත් ඇතුළත් එදා ඉන්දියාවෙන් යුද්ධයට යොදාගන්නා ලද සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ දාහතරක්(දශලක්‍ෂ 1.4) තරම් විශාල පිරිසකි. පළමු ලෝක මහා යුද්ධයට යෙදවූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සොල්දාදුවන් පළමු ලෝක මහා යුද්ධය සැබැවින්ම පළමු ජගත් සංග්‍රාමයයි. ප්‍රංශයේ අගල්වල පමණක් නොව එම යුද්ධය මැදපෙරදිගටත්, ආසියාවට සහ අප්‍රිකාවටත් පැතිර ගියේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලකයෝ සිය යටත්විජිතවල දශ ලක්ෂ ගණනක් මිනිසුන් යුද්ධය සඳහා යොදාගත්හ. එවක පාකිස්ථානය සහ බංග්ලාදේශයත් ඇතුළත් එදා ඉන්දියාවෙන් යුද්ධයට යොදාගන්නා ලද සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ දාහතරක්(දශලක්‍ෂ 1.4) තරම් විශාල පිරිසකි. 'ඉම්පීරියල් යුද කෞතුකාරය' සතු වාර්තාවලට අනුව 1918 නොවැම්බර් මාසය වනවිට නැගෙනහිර අප්‍රිකානු සමස්ත බ්‍රිතාන්‍ය හමුදාව ප්‍රධාන වශයෙන් සමන්විත වූයේ අප්‍රිකානු ජාතිකයන්ගෙනි. අඩුතරමින් 180,000ක් අප්‍රිකානුවන් නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රවාහන අංශයේ රෙජිමේන්තුවල යොදවා ඇති අතර ඔවුහු යුද පෙරමුණට අවශ්‍ය සැපයුම් සම්පාදනය කළහ. 'ජාතික යුද කෞතුකාගාරය' පවසන ආකාරයට ජැමෙයිකාවෙන් බඳවා ගන්නා ලද 10,000ක් ද ඇතුළුව පළමු ලෝක මහා යුද්ධයේ දී බටහිර ඉන්දීය කොදෙව්වාසීන් 15,000ක් පමණ පළමු ලෝක යුද්ධයට බඳවා ගෙන ඇත. එපමණක් නොව මහා බ්‍රිතාන්‍ය යටත් විජිත වූ කැනඩාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ රොඩේෂියාව (දැන් සිම්බාබ්වේ) යන රටවලින් ද යුද්ධය සඳහා මිනිසුන් යවා ඇත. මේ අනුව බ්‍රිතාන්‍ය හමුදාවට මහාද්වීප හයකින් සොල්දාදුවන් අයත්විය. එනම් යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ඔස්ට්‍රලේසියාව,ආසියාව සහ අප්‍රිකාව යන මහාද්වීප හයයි. යටත්විජිතයක ''ස්වදේශිකයකු සොහොන් කොතක ඔහුගේ නාමය සටහන් කෙරෙන මට්ටමින් පිළිගැනීමකට හෝ අගය කරනු ලැබීමකට භාජනය වන්නේ නැහැ''යයි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙක් පවසා ඇත. කියවන්න;
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ක්‍රියාත්මක වන අද (අගෝස්තු 05) දිනයේ ද නීති විරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ වාර්තා වී ඇත.
මනාප අංක සටහන් කළ දැන්වීම්, ඡන්ද මධ්‍යස්ථාන අවට මාර්ගයේ විසුරුවා තිබීමේ සිද්ධීන් අම්පාර, වවුනියාව සහ කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකම දක්නට ලැබුණි. ඒවා ඉවත් කිරීමේ කටයුතු පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදු කරන ලදී. කෙසේ නමුත් ඡන්ද විමසීමට බාධාවක් වන බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
රැප් ගායක ටුපැක් ශකුර් ඝාතනයට ලක් වූ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථය ඇමරිකානු වෙබ් අඩවියක් මගින් වෙන්දේසි කිරීමට නියමිතව ඇත.
BMW 7 series මෝටර් රථයේ ආරම්භක ගැනුම් මිල ඇමරිකානු ඩොලර් පහළොස් ලක්ෂයකි. පසුගිය වසර විස්සක කාලය මුළුල්ලේ රථයේ හිමිකාරිත්වය දැරූ පුද්ගලයාගේ අනන්‍යතාව පැහැදිලි නොමැති අතර වෙඩි වැදුණු මෝටර් රථය සම්පුර්ණයෙන් අලුත්වැඩියා කොට තිබේ. 1996 වසරේ ලාස්වේගාස් නුවරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සංගීත ශිල්පි ටුපැක් ඝාතනයට ලක්විය. වයස විසිපහයි රැප් ගායක ටුපැක් ශකුර් වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඔහු ගමන් ගත් මෝටර් රථයේ බඳ කොටස වෙඩි උණ්ඩ සිදුරුවලින් පිරී පැවතිණි. වෙඩි ප්‍රහාරයට ලක් වූ ටුපැක් රෝහල්ගත කර දින හයකට පසු මිය ගිය අතර ඒ වනවිට ඔහු විසිපස්වන වියේ පසුවිය. ටුපැක් ශකුර් ගේ ඝාතකයා මෙතෙක් හමු වී නොමැත.
බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙනකොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබාගන්නා අතර ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති.
අප්‍රිකාවේ 'ටුර්කානා' ගෝත්‍රික මවක් සිය බිළිඳා සිරුරේ පිටුපස රඳවා ගනිමින් 'ටුර්කානා විල' උළෙලට සහභාගීවීම සඳහා ගමන්ගනිමින් සිටි අවස්ථාවක් අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන එකම වෙනස එය නොවේ. නිදි ගැන්වීමේ පටන් නියමිත වේලාවකට යහනට යැවීමේ පටන් දරුවන් දෙපයින් නැගීසිටින්නන් අතරට එක්කිරීම තෙක් දරුවන් ඇතිදැඩි කරනු ලැබීම සඳහා අනුගමනය කළ යුතුයයි අප විසින් ප්‍රමිතිගත කරන ලදුව පවතින පුරුදු බොහෝවිට සිදුවෙයි. කුඩා දරුවන් අඩුතරමින් මාස හයක කාලයක්වත් තම නිදන කාමරයේ ම නිදිගන්වන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ දෙමව්පියන්ට උපදෙස් සපයනු ලැබේ. නමුත් බොහෝදෙනෙක් එය දකින්නේ දරුවන් බලාගනු ලබන විධිමත් ආයතනයකට යවනු ලබන තෙක් ඇති අතරමැදි කාලයක් ලෙසිනි. එහෙත් ලෝකය පුරා වෙනත් සමාජයන්හි බිළිඳු දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් තුරුළේ ගතකරන කාලය දීර්ඝවූවකි. බොහෝ ආසියානු රටවල එක දරුවෙක් පමණක් නොව ඊට වැඩි ගණනක් වුවද ඔවුන්ගේ දෙමාපියන්ගේ කාමරය බෙදාහදා ගන්නවා පමණක් නොව, එකම සයනයේ නිදන බව 2016 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ 70%ක් ළමුන් එපරිද්දෙන් ජීවත්වෙන අතර, ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ එම ප්‍රවනතාව 80%කි. දෙමව්පියන් සහ බිළිඳු දරුවන් එකම සයනයේ නිදාගැනීම සම්බන්ධයෙන් අප්‍රිකානු රටවලින් ලැබෙන චිත්‍රය අපැහැදිලි එකක් නමුත් එම සමාජයේත් එකී පුරුද්ද පැවතීම මගින් පෙන්නුම් කෙරෙන්නේ එය විශ්ව මට්ටමකට ආසන්න තත්ත්වයකින් පවතින පුරුද්දක් වන බවය. බටහිර සංස්කෘතික බලපෑම් ඇතත් ඉන්දියාවේ ද දරුවන්ට වෙනම කාමර ඇති නිවාසවල දරුවන් අතර පවා සයනය බෙදාහදා ගනිමින් නිදාගැනීමේ මුල්බැසගත් සම්ප්‍රදායක් ඇති බව බැංගලෝරයේ වෛද්‍යවරියක මෙන්ම මාපිය උපදේශකවරියක වන ඩෙබ්මිටා දත්තා (Debmita Dutta) පවසයි. ''හතර දෙනකුගෙන් යුක්ත පවුලකට කාමර තුනක් තියෙනව. කාමර දෙකක් දරුවන් දෙදෙනාට. අනිත් කාමරය දෙමව්පියන්ට. නමුත් දරුවන් දෙදෙනාම නිදාගන්නේ දෙමව්පියන්ගේ ඇඳේ'' එකම සයනයක නිදාගැනීම රාත්‍රී කාලයේ ළමුන් පිබිදුන විට ඇතිවෙන කරදරය අවම කරගැනීමට එක මාර්ගයක් වන බව වෛද්‍ය දත්තා පවසන්නීය. දත්තාගේ දියණිය ගත්විට ඇයට ඇයගේ දෙමව්පියන්ට යාබදව අකුලන ඇඳක් තිබුණි. වයස අවුරුදු හත වනතෙක් දියණියට එම ඇඳෙහි නිදාගත හැකිවිය. ''මව්කිරි දීම නතරකරනු ලැබීමෙන් පසුව පවා අපේ දුව අපිත් එක්ක එකම කාමරයේ නිදාගන්න කැමති වුණා.'' දරුවා ඔවුන්ගේම ඇඳෙහි තබාගනු ලැබීම දරුවන්ට යම්දෙයක් දීමක් වැනි හැඟීමක් ඇතැම් දෙමව්පියන් තුළ පවතී කල්තබාම ස්වාධීනත්වය සඳහා දිරිගන්වනු ලැබීම පුද්ගලවාදය ඉලක්ක කරගත් සම්ප්‍රදායික බටහිර සංස්කෘතිය සමග බැඳුනකි. එම දැක්ම අනුව දෙමව්පියන් සහ දරුවන් එකට නිදාගැනීම එම දරුවන් මව්පියන් මත රඳා පැවැත්ම සඳහා කෙරෙන දිරිගැන්වීමක් ලෙස පෙනීයාමට ඉඩකඩ ඇත. එහෙත් දත්තා වැනි වඩාත් සාමූහිකවාදී මතධාරී දෙමව්පියන් එම කරුණ එයාකාරයෙන් දකින්නේ නැත. ''දෙමව්පියන් දරුවන්ට එක්තරා ස්වයං-විශ්වාසයක්,එක්තරා ස්වාධීනත්වයක් ලබා දෙන්නේනම් ඔවුන් දෙමව්පියන්ගේ වෙන්ව ඔවුන්ගේම ජීවිතයක් ගොඩනගා ගනීවි. ඔවුන් දෙමව්පියන් මත සදහටම රැඳී සිටින්නේ නැහැ'' දත්තා පෙන්වා දෙයි. මේ අතර බටහිර රටවල බොහෝ දෙමව්පියන් නින්දට යාම පුරුදු පුහුණු කිරීමේ ක්‍රමෝපායයන් වෙත යොමුවීම වෙනුවට තෝරාගනු ලබන ආන්තික ක්‍රියාවක් වන්නේ ළමුන්ට ''හඬන්නට ඉඩ හැරීමය''. එහි අරමුණ දරුවා දීර්ඝ නින්දකට යොමුකොට දෙමව්පියන්ට අවශ්‍ය විවේකයක් ලබා ගැනීමය. බටහිර සම්ප්‍රදාය බල පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන්ට දරුවන් නිදිගැන්වීම පුරුදු පුහුණු කෙරෙන රාජ්‍ය අරමුදලින් පවත්වා ගෙන යනු ලබන නේවාසික පාසල් පහසුකම් පවා පවතී. ඉහත සඳහන් කරන ලද සංස්කෘතිකමය පරතරය පවතින්නේ බිළිඳුන් නිදාගනු ලබන ස්ථානය සම්බන්ධයෙන් පමණක් නොවේ. එම දරුවන් නිදිගන්වන වෙලාව සහ ඔවුන් කොපමණ කාලයක් නිදාගනු ලබන්නේද යන කරුණු අතින්ද වෙනස්කම් ඇත. ජපානයේ තෝකියෝ බේ උරයසු ඉචිකවා වෛද්‍ය මධ්‍යස්ථානයේ (Tokyo Bay Urayasu Ichikawa Medical Center) ප්‍රධාන විධායක නිලධාරී ජුන් කොහ්යමා(Jun Kohyama) සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව,මාස තුනක් පිරුන ජපන් දරුවන් සෙසු ආසියාතික රටවල වෙනත් බිළිඳුන් නිදන කාලයට වඩා අඩුකාලයක් නිදාගන්නා බව පෙන්නුම් කරයි. ''ඇතැම්විට ඊට හේතුව, නිදාගැනීම කම්මැලිකමක් ලෙස සැලකීමේ ජපන් පුරුද්ද වියහැකි බව ජුන් කොහ්යමා පවසයි. කොහ්යාමා තවත් දෙයක් සොයා ගත්තේය. එනම්, ආසියානු කලාපයේ දරුවන් සෙසු කොකේසියානු රටවල දරුවන්ට වඩා පසුව නින්දට යන බවය. දරුවන් සමඟ වැඩි වේලාවක් ගතකරනු ලැබීමේ දෙමාපිය උවමනාව ඊට එක්තරා හේතුවක් බවත් ඔහු පවසයි. එසේම දෙමව්පියන් සහ බිළිඳුන් එකම සයනයේ නිදාගැනීමේ සංස්කෘතිකමය චාරිත්‍රයත් ඊට හේතුවකි. ''දරුවා තම සිරුරේම කොටසක් ලෙස දෙමව්පියන් හඟිනවා'' ජුන් කොහ්යාමා පවසයි. එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ ඇමෙරිකානු ළමා සෞඛ්‍ය ඇකඩමියත් හදිසි ළමා මරණ (SIDS) අඩුකරගැනීමේ පියවරක් වශයෙන් ළමුන් තමන්ගේ නිදන කාමරයේ නිදිකරවන ලෙස උපදෙස් දෙන නමුත් ළමා මරණ අනතුරු වැඩිවෙමින් ඇතිහෙයින් ඔවුන් තමන් නිදන ඇඳේම තබා නොගන්නා ලෙසත් කියා සිටියි. එකම සයනය දරුවන් සමඟ පොදුවේ බෙදාහදා ගනු ලබන ඇතැම් රටවල හදිසි ළමා මරණ (SIDS) සින්ඩ්‍රෝම් අනුපාතය ඉතා පහළ මට්ටමක පවතී මේ සම්බන්ධයෙන් බුවනේෂ්වර් හි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරයකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයකු ද වන රෂ්මි දාස් (Rashmi Das) පවසන්නේ කුමක්ද? දුම්පානය සහ මත්බීම වැනි වෙනත් අනතුරුදායක හැසිරීම් නොමැතිවිට බිළිඳු මරණ(SIDS ) අනතුර වැඩිවීම කෙරෙහි සයනය බෙදාහදා ගනු ලැබීම හේතුවන්නේද යන්න මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඉතා ඉහළ මට්ටමේ සමීක්‍ෂණයක් සිදුනොකොට තක්සේරු කරනු ලැබීම දුෂ්කර බව මහාචාර්ය රෂ්මි දාස් පවසයි. මෙම කරුණ සම්බන්ධයෙන් බොහෝ හැදෑරීම් සිදුකෙරෙන්නේ බිළිඳුන් සමඟ සයනය කිරීම අවම මට්ටමක පවතින ඉහළ ආදායම් සහිත රටවලය. එහෙත් දෙමව්පියන් සහ බිළිඳුන් එකට සයනය කිරීම සම්ප්‍රදායක්ව පවතිනන අඩු ආදායම් සහිත රටවලින් ලෝකයේ අඩුම ළමා මරණ අනුපාත වාර්තා වෙයි. මෙය භූගෝලීය මට්ටමින් සරල තැනක් ගනු ලබන කාරණයක් නොවන බවත් පෙනීයයි. ලෝකයේ වෙනත් කලාපයකින් සංස්කෘතික චර්යාවන් රැගෙන පැමිණ බටහිර රටක ජීවත්වෙන ඇතැමෙක් බිළිඳු මරණ අනතුරේ අඩුවක් ද රැගෙන එයි. උදාහරණයක් ලෙස පාකිස්තාන සම්භවයක් සහිත එක්සත් රාජධානියේ ජීවත්වෙන පවුල් ගත්විට එම පවුල්වල මව්වරුන් බිළිඳුන් සමග තමන්ගේ සයනයක නින්දට යන නමුත් එම ප්‍රජාව අතර ළමා මරණ අනුපාතය පහළ මට්ටමක පවතී. ''එය ළමා මරණ අඩුවීම සමඟ බැඳුන සංස්කෘතිකමය චර්යාවක්'' ඩරම් සරසවියේ (University of Durham) සමාජ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක සහ එම සරසවියේ දෙමව්පියන්-බිළිඳුන් සයනය කිරීම පිළිබඳ අංශයේ අධ්‍යක්‍ෂවරිය වන හෙලන් බෝල්(Helen Ball) පවසයි.'බ්‍රැඩ්ෆර්ඩ්' නගරයේ වෙසෙන පාකිස්තාන සම්භවයක් සහිත මව්වරු මව්කිරි දීම අතින් ඉහළ අනුපාතයක් වාර්තා කරයි. එසේම එම කාන්තාවන් අතර දුම්පානය සහ මත්බීම නොකරන සුලුය. ඔවුන් සිය බිළිඳුන් වෙනම කාමරයක නිදි කරවති. එම සියලුම කරුණු බිළිඳු මරණ අනතුර අවමවීම කෙරෙහි හේතුවෙන බවක් පෙන්නුම් කෙරෙයි. දෙමව්පියන් බිළිඳුන් සමඟ නින්දට යාම දිරිගන්වනු ලැබීමට තමා මනාප බව රෂ්මි දාස් පවසයි. එහෙත් මෙහිදී ප්‍රවේශම් විය යුතුව ඇති කරුණු කීපයක්ද පෙන්නුම් කෙරෙයි. එනම්,එවැනි දෙමව්පියන් දුම්පානය කිරීමෙන් වැළකිය යුතුය. ඇල්කොහොල් භාවිතය නතරකළ යුතුය. බොහෝ තරබාරු නොවිය යුතුය යන්න තවත් නිර්දේශයකි. ''The Lullaby Trust'' යනු එක්සත් රාජධානියේ බිළිඳු මරණ වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මකවන පුණ්‍යායතනයකි. සිය දරුවන්ට සුරක්‍ෂිත නින්දක් සඳහා පසුබිම සකස්කරන ලෙස එම ආයතනය දෙමව්පියන්ට උපදෙස් දෙයි. රාත්‍රි කාලයේ එක්ව නින්දට යාම සහ දිවාකාලයේ ළමුන් ඇඟට රඳවා තබාගැනීම ඔවුන් සමඟ සමීපව සිටීමට මග සලසයි රාත්‍රි කාලයේ එක්ව නින්දට යාමේ දී මෙන්ම දිවාකාලයේ දෙමව්පියන් එහා මෙහා යාමේදී සහ ගෙදොරදොරේ වැඩ කටයුතු කිරීමේ දී ළමුන් ඇඟට තබා රඳවාගනු ලැබීම ඔවුන් සමීපව තබාගැනීමේ මාර්ගයකි. මෙය අලුත් සම්ප්‍රදායක් නොව මිනිසා විසින් දීර්ඝ කාලයක පටන් අනුගමනය කරන ලද පුරුද්දකි. ළමුන් ගෙනයාමට දැන් පාවිච්චි කෙරෙන 'ප්‍රෑම්' වික්ටෝරියානු යුගයේ ජනප්‍රියවීමත් සමඟ ළමුන් රැගෙන යන සාම්ප්‍රදායික විධික්‍රම බටහිර සමාජයේ ඇතැම් කොටස් අතර සාමාන්‍ය නොවන තත්ත්වයකට පත්විය. ලෝකයේ සෙසු කලාපයන් ගත්විට ඒවායේ ළමුන් ගෙනයාම සඳහා විවිධ වූ ක්‍රම ඇති බවක් දක්නට ලැබෙයි. ළමුන් ඇඟට තබා එල්ලාගෙන නොයන දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් වඩාගෙන එහාමෙහා ගෙනයාමේ දී ඔවුන් ඉක්මණින් සන්සුන් වෙන බවක් තේරුම් ගැනීමට ඉඩකඩ ඇත. ''එවැනි රිද්මයානුකූල චලනයන් බිළිඳකු සන්සුන් කර ගැනීමේ බලයක් සහිත බව දෙමව්පියන් අවබෝධයෙන් දන්නා'' බව ජපානයේ මස්තිෂ්ක විද්‍යාව පිළිබඳ 'රිකේන්' මධ්‍යස්ථානයේ කුමී කුරෝඩා (Kumi Kuroda) පවසයි. සැබෑ මානසික මිණුම් නොව දෙමව්පියන්ගේ දිනපොත් උපයෝගීකර ගනිමින් කලින් සිදුකරන ලද සමීක්ෂණයකදී දක්නට වූ ළමුන් ගෙනයාම මගින් ඇතිවෙන මානසික බලපෑම ගැන කුරෝඩා අවධානය යොමුකිරීමට පටන්ගත් අතර ළමුන් ගෙනයාමට යොදන කාලය සහ ඔවුන් අඬන ප්‍රමාණය අතර එකිනෙකට සම්බන්ධයක් ඇති බවක් එහිදී අනාවරණය නොවුණි. ''මට මුලින් අදහස සමඟ එකඟවෙන්න අමාරුයි'' කුරෝඩා පවසන්නීය. දරුවකු රැගෙන යාම ඔවුන්ගේ හෘදගැස්ම සහ චලනය මෙන්ම ඔවුන් අඬන ප්‍රමාණයේත් අඩුවක් සිදුවෙන බව කුරෝඩාගේ පර්යේෂණය මගින් හෙළිවිය. ළමයකු අතින් නොගෙන ''ප්‍රෑමයක'' තබා හෝ මෝටර් රථයක රැඳවු අසුනක තබා රැගෙනයාම හෝ චලනය නොවී රුවාගෙන සිටීම මගින් එම දරුවන් සන්සුන් වන අතර එවැනි ක්‍රියාමාර්ග සංයුක්තවීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලද හැකි බව කුරෝඩා පවසන්නීය. දිවා රෑ දෙකේ ළඟින් සිටීම මගින් බිළිඳුන් ජෛවීය කතාබහක් අපේක්ෂා කරති. උපතින් පළමු මාස කීපය තුළ දරුවන් පැය විසිහතරේම පෝෂණය කළ යුතුව ඇත. ළමුන් නිදාගැනීමේ රටාව වර්ධනයවීම සහ රාත්‍රියේ ඔවුන් නින්දට වැටීම දියුණුවීම ආරම්භවීමෙන් අනතුරුවත් පළමු අවුරුද්ද ඇතුළ තවත් ඔවුන් රාත්‍රිකාලයේ පිබිදීම ස්වභාවිකය. නින්ද සඳහා හුරුකිරීමේ එහාම අන්තය බිළිඳකු අඩන්නට අත්හැර දමනු ලැබීමය එහෙත් ''දරුවන් රැයෙහි පිබිදීම ස්වභාවික" යන්න බටහිර ලෝකයේ පළමුවරට මව්පිය පදවි ලද්දන් ඔවුන්ගේ පවුල්වලින් ,හිතමිතුරන්ගෙන් සහ ඔවුන්ගේ සංස්කෘතිය කෙරෙන් ලබන පණිවුඩය නොවේ. ''අපි ළමුන් රැයෙහි නින්දෙන් නොනැගිටිය යුතුය යන සංස්කෘතිකමය මිථ්‍යාව දියුණු කරනු ලැබ තිබෙනවා'' බෝල් පවසයි. මේ මිථ්‍යාවට ඒ සමඟ බැඳුනු ප්‍රතිවිපාක ඇත. කල්තබා මව්පියන් වීමේදී නින්දට බාධාවීම මගින් යොවුන් වියේදී සිදුවූ දරු ප්‍රසූතිය සමඟ බැඳුන මානසික ආතතියක් වෙයි. එහෙත් දරුවකුගේ නින්ද සැලැස්මකට අනුව තහවුරු කිරීමට යත්න දැරීම ප්‍රශ්නය නිවැරැදිව ග්‍රහණය කිරීමක් නොවන්නේයයි බෝල් පවසයි. ඒ වෙනුවට දෙමව්පියන්ට සෘජුව උදව්වීම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කරන සුලුය. ''සෙසු දෙමව්පියන්ට වඩා මානසික ආතතියෙන් පෙළෙන දෙමව්පියන් දරුවන්ගේ නින්ද අඩාලවීම මගින් පීඩා විඳිනව'' බෝල් සඳහන් කරයි. සැබැවින්ම අප ඉදිරිපත් කරන තර්කය වන්නේ දෙමව්පියන්ගේ මනසේ වැඩකරන්නේ කුමක්ද යන්න අපි තේරුම්ගත යුතුය කියන එකයි. හැමදෙයක් ගැනම වෙනස් විධියකට හිතන්න අපි ඔවුන්ට උදව්කළ යුතුව තියෙනව'' ඇය අලුතින් මව්පියන් වූ පුද්ගලයන් ළදරු නින්ද පිළිබඳ නිවැරදි තොරතුරු සැපයීම සඳහා ළදරු නින්දට අදාළ තොරතුරු මූලාශ්‍රයක් එක්කරනු ලැබ ඇත. කෙමෙන් වැඩෙන ළදරුවන් රාත්‍රිය පුරා නිදාගැනීමට සමත්විය යුතුබව 1950 දශකයේ සිදුකරනු ලැබ ඇති සමීක්‍ෂණයකින් හෙළිවී ඇත. ලන්ඩන් නගරයේ ජීවත්වූ ළදරුවන් 160 දෙනකු යොදාගනිමින් සිදුකර ඇති එම සමීක්ෂණය අනුව මාස තුනක් පිරුණු දරුවන්ගෙන් 70%ක් රැය පුරා නිදන්නට පටන්ගෙන ඇත. එම සමීක්‍ෂණය සිදුකළ පුද්ගලයන් රාත්‍රිය පුරා නිදාගැනීම අර්ථගන්වා තිබෙන්නේ අඬන්නට පටන්ගැනීම මගින් දෙමව්පියන් ඇහැරවීමක් සිදු නොකිරීම සහ මධ්‍යම රාත්‍රියේ පටන් උදෑසන පහ වනතෙක් බාධා කිරීමක් සිදු නොකිරීමය. එසේ නැතිව, බොහෝ අලුත් දෙමව්පියන් බලාපොරොත්තුවන පැය අටක අඛණ්ඩ නින්ද නොවේ. කිසිදු අවස්ථාවක දී ළදරුවන්ගෙන් 30%ක් එම වයසේ දී දීර්ඝ නින්දක නොසිටියහ. සමීක්ෂණයට භාජනය කෙරුණු ළමුන්ගෙන් අඩක්ම ඔවුන්ගේ පළමු වසර ඇතුළත රාත්‍රියේ අන්තිම භාගයෙහි කීපවරක් පිබිදුණහ. ''අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් ඇතුළත ළමුන්ගේ ජෛවීය හදගැස්මේ මහා විපර්යාසයක් සිද්ධවෙලා නැහැ'' බෝල් පෙන්වා දෙයි. ''නමුත් අපගේ සංස්කෘතිය විශාල වශයෙන් වෙනස් වුණා. දශක කීපයක් ඇතුළත ළමුන්ගේ සහ ඔවුන් හදාවඩා ගැනීමේ අපේ බලාපොරොත්තුවල මහා වෙනසක් සිදුවුණා'' ''ළදරුවෝ මෙලොවට පැමිණි අසරණයෝ වෙති. අප විසින් එම දරුවන් සානුකම්පාවෙන් රැක බලාගත යුතුව ඇත''ඩෙබ්මිතා දත්තා පවසයි. අද පවා ළදරුවන්ගේ නින්ද සම්බන්ධයෙන් සිදුකෙරෙන සමීක්ෂණවලින් වැඩිකොටසක් සිදුවන්නේ ලෝක ජනගහනයේ උප මාතෘකාවක් වශයෙනි. ''පසුගිය දශක කීපය තුළ සමීක්ෂණ වලින් වැඩිහරියක් බටහිර රටවල දරුවන් සම්බන්ධයෙනුයි සිදුකරනු ලැබ තිබෙන්නේ'' බෝල් පෙන්වා දෙයි. ''අපි ළදරුවන් බලාගනු ලබන ආකාරයන් සම්බන්ධයෙන් සංස්කෘතීන් අතර නිසැක වෙනස්කම් ඇති අතරවාරයේ ඔවුන් අතරත් බොහෝ වෙනස්කම් තියෙනව. බටහිර රටවල හැම කෙනෙක්ම ළදරුවන් ඔවුන්ගේම වෙනත් කාමරයක නිදිගැන්වීම නිවරැදිම ක්‍රමයයි කියල හිතන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත්, ඉතාලියේ සිදුකරන ලද එක සමීක්ෂණයකදී දෙමව්පියන් කියල තිබුණා - ඒක ''අකාරුණික ක්‍රියාවක්'' කියල'' ළදරුවන් බලාගැනීම කෙරෙහි දෙමව්පියන්ගේ පෞද්ගලික චර්යාවන් සහ හැඩගැසීම් බෙහෙවින් බලපායි. දේවල් ඉටුකිරීමේදී හැම මාපියකුම ඔවුන්ට ආවේණික පිළිවෙතක් සොයාගනියි. ''හැම පවුලක්ම එකිනෙකින් වෙනස්. අතිවිශාල විවිධත්වයක්'' කුරෝඩා පවසයි. මෙහිදී කුරෝඩා අනුගමනය කළ පිළිවෙත කුමක්ද? දිවාකාලයේ දරුවන්ගෙන් ඈත්ව සිටීමට සිදුවෙන හෙයින් ඊට සරිලන විසඳුමක් ලෙස ඇය ඇයගේ දරුවන් හතරදෙනා සමඟ රාත්‍රියේ එක්ව නින්දට ගියාය. මම දිවාකාලයේ පූර්ණ කාලීන රැකියාවක නිරතවෙනවා. ඉතින් මම රැය පුරා දරුවන්ගෙන් වෙන්ව නිදාගත්තොත් දරුවන්ට වෙන්කෙරෙන කාලය අවම වෙනවා. රාත්‍රියේ පවා අපට දැඩිව සංජානනය වෙන්න පුළුවන්. ඒක සැබෑ සන්නිවේදනයක් සහ එක්ව කල්ගෙවීමක් '' දෙමාපියන්ගේ සියලු තෝරාගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුරෝඩා කියාසිටින්නේ, වෙනත් දෙමව්පියන් කරන දේවල් සම්බන්ධයෙන් සෙවීමට කරදර නොවී තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් ගැලපෙන ක්‍රමයක් සොයාගත යුතුව ඇති බවය. ''මම හිතනවා - දෙමව්පියන්ට සහ බිළිඳාට එකිනෙකාට ආශක්තවෙන්න පුළුවන් කියල''ඇය පවසයි. ''එය ටැංගෝ නැටුමක් වගෙයි'' කියවන්න;
පසු ගිය දා සමූහ දූෂණයට ලක් කොට එල්ලා මරා දමන ලද බව සැලකෙන දැරියන් දෙදෙනා ජීවත් වූ ප්‍රදේශයේ සෑම නිවසකට ම වැසිකිළියක් සාදා දීමට ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ස්වේච්ඡා සංවිධානයක් වන සුලාබ් ජාත්‍යන්තරය ඉදිරිපත් වී සිටී.
ඉන්දියාවේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයකට 'වැසිකිලි නැහැ' වැසිකිළි පහසුකම් නොමැති වීම මෙම අපරාධය සිදුවීමට බලපෑ ප්‍රධාන කරුණක් වූ බැවින් මෙවැනි තීරණයක් ගත් බවයි, සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ. දූෂණයට ලක් කොට මරා දැමුණු දැරියන් දෙදෙනා නිවසින් පිටතට ගොස් ඇත්තේ ඔවුන්ගේ නිවසේ වැසිකිළි පහසුකම් නොමැති වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වන කෝටි හැටකට වැඩි පිරිසක් ශරීර කෘත්‍යය සඳහා විවෘත පෙදෙස් භාවිතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක්වේ.
කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට පත් නියෝජ්‍ය අමාත්‍යවරයා මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉහත කී චෝදනා යටතේ අඟහරුවාදා උදය වරුවේ අත්අඩංගුවට ගැනුණු මව්වරුන් නව දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. මතුගම පොලිස් ස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත් පොලිසිය ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් පසුගියදා උපවාසයක් ආරම්භ කොට තිබුණේ ද සිසුන් පිරිසක් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධනය සහ සංස්කෘතික කටයුතු භාර නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම සිය දිවි නසා ගැනීමේ උත්සාහයක නිරත වූයේ ඉන් අනතුරුවයි.
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද (25) විභාග වෙමින් පවතිද්දී උසාවි භූමියේ දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදී තර්ජනය කිරීම හේතුවෙනි. මෙය අධිකරණයට කළ අපහාසයක් බැවින් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව නීතීඥවරු මෙම සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට සැල කළහ. මේ පිළිබඳව බීබීසීය කළ විමසීමකදී සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ ඥානසාර හිමි තමන්ට උසාවි භුමියේ දී බැණ වැදී තර්ජනය කළ බවයි.
ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට දායක වූ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත් බව අමාත්‍ය අර්ජුන රණතුංග බීබීසී සංදේශයට පැවසීය.
"දූෂිතයන් සමග එක්ව තරඟ කරන්න බෑ" රාජිත සේනාරත්න, චම්පික රණවක ඇතුළු ජනපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දුන් මැති ඇමතිවරුන් පිරිසක් එම පෙරමුණට එක් වනු ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ. දූෂණ, වංචා චෝදනා ලැබූවන් සමඟ එක්ව තරඟ කිරීම සිය කණ්ඩායම තරයේ ප්‍රතික්ෂේප කරන බැවින් ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය රැක ගැනීම උදෙසා මෙම පෙරමුණ පිහිටුවා ගත් බව පැවසූ අමාත්‍යවරයා, නව පෙරමුණට නාම යෝජනා ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත් සඳහන් කළේය. ජනපතිගෙන් 'විශේෂ ප්‍රකාශයක්' එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව සෙනසුරාදා හෝ ඉරිදා වනවිට පෙරමුණ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නව වාතාවරණය හේතුවෙන් නාමයෝජනා පත්‍ර බාරදීම සඳුදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර තිබේ. මේ අතර හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීම සහ මහ මැතිවරණය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව සංදේශයට වාර්තා වේ.
ප්‍රංශ ජනාධිපති ෆ්රන්ශුවා ඔලෝන්ද් තුන් දින නිළ සංචාරයක් සඳහා ඊශ්‍රායලයට පැමිණියේය.
ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන, න්‍යාය පත්‍රයේ ඉහළින් ම ඇති මාතෘකාව බවයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටින්නේ. ඉරාන න්‍යෂ්ඨික වැඩ පිළිවෙළ පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද ලබන සිකුරාදා ඊශ්‍රායලයට පැමිණීමට නියමිතයි. ඉරානයට දැඩි කොන්දේසි පැමිණ වීම සඳහා ඊශ්‍රායලය කටයුතු කරමින් සිටින අතර ඔවුන් කියා සිටින්නේ ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් නො කළ යුතු බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දියක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඒකමතිකව තීරණය කර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.
තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට පනවා තිබූ තාවකාලික තරග තහනම පසුගියදා ඉවත් කෙරිණ. කෙසේ වෙතත් ඒ හේතුවෙන් ඔහුට සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අසාධාරණයක් වී ඇති බැවින් වන්දි මුදලක් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉල්ලා සිටි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 'කුසලට අහිමි වූ කීර්තිනාමය සහ සිදු වූ අසාධාරණය වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා' 'අයිසීසී එක අපේ ඉල්ලීමට එකඟ වුනා. කුසල් වෙනුවෙන් නීතිඥ, වෛද්‍ය, පරීක්ෂණාගාර වාර්තා සඳහා වැය කරන ලද මුදල් ලබා දෙන්නත් ඊට අමතරව මුදලක් කුසල්ට ලබා දෙන්නත් අයිසීසී එකේ සියලු සාමාජිකයන් ඒකමතිකව තීරණය කළා' ඔහු සඳහන් කළේය. වන්දි මුදල පිළිබඳ අවසාන නිගමනයකට පැමිණි වහාම ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල වැඩිදුරත් කියා සිටියේය.
ප්‍රචාරණ සහ අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට සහාය ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවලින් ඉල්ලා සිටියි.
ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ විදුලිබල අර්බුදයක් මතු වීමේ අවදානමක් පවතින බව පවසන ජනාධිපතිවරයා දැන් සිටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද පෙන්වා දෙයි. ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
ගාල්ල ඇතුළු ඒ අවට ප්‍රදේශ කීපයක සුළු භූකම්පන තත්වයක් හට ගෙන ඇති බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය තහවුරු කරයි.
අඟහරුවාදා අලුයම 5.45 ට පමණ ගාල්ල නගරයේ ඇති වූ භූ කම්පනය තත්පර කීපයක් පැවතුණු බවත් ඒ සමග ශබ්දයක් හට ගත් බවත් මාධ්‍යවේදී ෆර්හාන් නිසාම්දීන් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. භූ චලනයේ අගය පිළිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පතල් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය. එම තත්ත්වය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන පිහිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවලද සටන් වී ඇති බවත් ඔහු පැවසීය. භූ චලනය හේතුවෙන් කිසිඳු හානියක් සිදු වේ ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
දූෂණ වංචා සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති වීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි සිය විශ්වාසය බිඳ වැටෙමින් තිබෙන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සංදේශයට පැවසීය.
ඇවන්ට්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩා සම්බන්ධ ප්‍රශ්නය පමණක් නොව තවත් බොහෝ පරීක්ෂණ කෙරෙහි තම විශ්වාසය බිඳ වැටී ඇති බවයි ඔහු කියා සිටියේ. 'මන්ත්‍රීගේ දේපල' ‘අපි දන්නවා කලින් අල්ලස් දූෂණ කොමිසම අකාර්යක්ෂම කිරීමට හේතු වුනා කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයෙකුගේ, එවකට ඇමතිවරයෙකු ගේ දේපල පිලිබඳ කාරණය. ඒ පරීක්ෂණ කටයුතු ඊට පස්සේ ආරම්භ වුනේ නැහැ. තව කාරණා බොහොමයක් තියෙනවා. ඔබට මතක ඇති හිටපු ජනාධිපතිවරයා ගේ නිල බෙන්ස් රථයේ අංකය භාවිතා කළ රේසිං කාර් එකක් අත්අඩංගුවට ගත්ත. අද වෙනකම් චෝදනා ගොනු වෙලා නැහැ. මේ වන විට ඒ රථය අධිකරණ භූමියේත් නැහැ. මට ආරංචි වුනා ඒ රථය ආපසු භාර දීල කියල. මට තේරෙන්නේ නැහැ ජනාධිපතිවරයෙකු ගේ නිල රථයක අංකයක් භාවිතා කරපු රථයක් කොහොමද ආපසු භාර දෙන්නේ කියල.’ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය. යුක්තිය මෙවැනි කාරණා නිසා නව රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය ද බිඳ වැටී ඇති බව තමා පිළිගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය. යුක්තිය ඉටු වනවා මෙන්ම යුක්තිය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතු බවයි අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා බීබීසීයට කියා සිටියේ.
ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමේ බලාපොරොත්තුවෙන් උද්ඝෝෂකයන් අතරට අපරාධකරුවන් පැමිණෙන බව මිසූරි ප්‍රාන්තයේ ෆර්ගියුසන්හි මෙහෙයුම් භාර ප්‍රධාන පොලිස් නිලධාරියා පවසයි.
ගත වූ රාත්‍රියේ අත්අඩංගුවට පත් වූ පිරිස් අතර නිව් යෝර්ක් සහ කැලිෆෝනියාව වැනි දුර බැහැර නගර වල සිට පැමිණි පුද්ගලයන්ද සිටින බවයි මෙහෙයුම් ප්‍රධානී රොන් ජොන්සන් පවසන්නේ. උද්ඝෝෂකයන් වෙතින් වෙඩි ප්‍රහාර හා ගල් මුල් ප්‍රහාර එල්ල වූ නමුත් ඊට එරෙහිව තම නිලධාරීන් ගිනි අවි භාවිතා නොකළ බව මෙහෙයුම් ප්‍රධානී රොන් ජොන්සන් කියා සිටියි. කළු ජාතිකයා පොලිස් භටයෝ කඳුළු ගෑස් සහ දුම් බෝම්බ යොදා ගනිමින් උද්ඝෝෂණ කරුවන් විසුරුවා හැරියහ. පොලිස් වෙඩි පහරින් ආයුධ රහිතව සිටි මයිකල් බ්‍රව්න් නමැති කළු ජාතික යොවුන් තරුණයා ඝාතනය වීමත් සමග ඊට විරෝධය පාමින් මිසූරි ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති විය.
ඕස්ට්‍රේලියාව තුළ ඇති අනවසර සංක්‍රමණිකයන් සඳහා වූ තාවකාලික රැඳවුම් කඳවුරු වල රඳවාගෙන සිටි අවසාන සරණාගත ළමයා ද නිදහස් කළ බව එරට රජය පවසයි.
තවත් ළමුන් පිරිසක් තවමත් නාවුරු රැඳවුම් කඳවුරු තුළ රඳවාගෙන සිටින බවයි වාර්තාවන්නේ මේ අනුව මෙසේ නිදහස් කළ ළමුන්ට ඔවුන්ගේ සරණාගතභාවය ලබාගැනීම පිලිබඳ අයැදුම් පත් සලකා බලන තුරු නිදහසේ ඔබ මොබ ඇවිද යාමට අවසර ලැබෙන ප්‍රජා රැඳවුම් ඒකක වල ගත කළ හැකි වේ. පැසිෆික් හි ඇති පාළු නාවුරු දූපත මෙම ළමුන්ගේ දෙමව්පියන් ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවී ඇති අතර ඔවුන් පාළු පැසිෆික් දුපතක් වන නාවුරු වෙත යැවීම නවතාලීම සඳහා මානව හිමිකම් සංවිධාන ක්‍රියාකරමින් සිටිති. කෙසේවුවද තවත් ළමුන් පිරිසක් තවමත් නාවුරු රැඳවුම් කඳවුරු තුළ රඳවාගෙන සිටින බවයි වාර්තාවන්නේ.
වෙනත් සතුන් මෙන් නොව ඇඟිල්ල දිගු කොට සිදු කරන විධානයක් තේරුම් ගැනීමේ අපූරු ශක්තියක් අලියා සතු බව අලුත් පර්යේෂණයකින් පෙන්නුම් කෙරෙයි.
හීලෑ අලි ඇතුන් හැසිරවීමේ දී අලි භාෂාවෙන් වචනයෙන් අණ දීමයි,සිදු කෙරෙන්නේ. එහෙත් සිම්බාබ්වේහි හීලෑ අලින් සමඟ සිදු කර ඇති පර්යේෂණයක දී හෙළි වී තිබෙන්නේ, ඇඟිල්ල දිගු කර පෙන්වීමේ දී හිස් සහ පිරුණු ආහාර බාල්දි වෙන් කොට හඳුනා ගැනීමට පවා අලි ඇතුන් සමත් බවයි. අලියා හැරුන විට මිනිසාගේ ලඟම ඥාතීන් වන චිම්පන්සින් සහ ගොරිල්ලන් වැනි දියුණු වානර වර්ගයේ සතුන් ද ඇඟිල්ල දිගු කර සිදු කරන පණිවුඩ හුවමාරු තේරුම් ගැනීම අතින් දුර්වල නමුත් අලියා ඒ අතින් ඉදිරියෙන් සිටින බවයි, පර්යේෂණයේ ප්‍රධානී මහාචාර්ය රිචඩ් බයිරන් පවසන්නේ. සංඥා පළ කිරීමේදී අලියා සිය හොඬ වැල පවා පාවිච්චි කරන බවයි,මහාචාර්ය රිචඩ් බයිරන් පවසන්නේ.
තමිල්නාඩුවේ පැවැත්වෙන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟවලට සහභාගි වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අවසර නොදෙන්නැයි තමිල්නාඩුවෙන් මතුවන විරෝධය මධ්‍යයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ එකොලොස් දෙනෙක් ළඟදීම ඉන්දියාවට ළඟාවීමට නියමිතව සිටිති.
ඉන්දියාවේ එක් ප්‍රදේශයක ක්‍රීඩා කිරීමට තමන්ට අවසර නොලැබීම මඟින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවනු නැති බවයි, කුමාර් සංගක්කාර පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායකයා සහ හිටපු නායකයන් තිදෙනකු ඒ අතර සිටිති. චෙන්නායි අගනුවර පැවැත්වෙන තරඟවලට ලාංකීය ක්‍රීඩකයන් සහභාගි කර නොගන්නැයි මහ ඇමතිනී ජයලිතා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය අවධානය පළ වී තිබෙන බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඉන්දියාවේ එක් ප්‍රදේශයක ක්‍රීඩා කිරීමට තමන්ට අවසර නොලැබීම මඟින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවනු නැති බවයි, කුමාර් සංගක්කාර පවසා තිබුණේ. කෙසේ නමුත්, ලාංකීය ක්‍රීඩකයන් සහභාගි වන තරඟ චෙන්නායි නුවර පැවැත්වෙන විට එම තරඟවලට සහභාගි නොවීමට ඔවුන්ට සිදුවනු ඇති බව නොරහසක්. මහා ඇමතිනී ජයලලිතාගේ ඉල්ලීමට එකඟවීම පිළිබඳව ඉන්දීය ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම අයි පී එල් තරඟාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ටද දැඩි විවේචන එල්ල වී තිබේ. ඔවුන් යලි සියරට පැමිණෙන විට කුණු බිත්තර ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි දැඩි මතධාරී බෞද්ධ සවිධානයක් අනතුරු අඟවා තිබුණි.
යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව සඳහා ගත යුතු පියවර කවරේදැයි ජනතා අදහස් විමසා බලා සකස් කළ පූර්ණ වාර්තාව ලබන ජනවාරි මස තුන් වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙන බව සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව පිළිබඳව කාර්ය සාධක බලකාය මාස කිහිපයක් මුළුල්ලේ ජනතා අදහස් විමසීය ඉන් අනතුරුව එදිනම එය සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන බවත් කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසී සංදේශයට පැවසීය. "අනිවාර්යයෙන්ම අපි ප්‍රකාශයට පත්කරනවා. ආණ්ඩුව කරන්නේ නැත්නම් අපි කරනවා," ඔහු පැවසීය. ශ්‍රී ලංකාව පුරා විවිධ දිස්ත්‍රික්කවල සහ පලාත්වල සංචාරය කරමින් සහ ලාංකීය සමාජයේ විවිධ ජනකොටස් සහ ආගමික නායකයන් මුණගැසී කරන ලද අදහස් විමසීම්වලදී තමන්ට යෝජනා 7500 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කළේය. කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසමින් "ඉතින් ඒ යෝජනාවල මූලික කාරණා තමයි අපේ වාර්තාවේ අඩංගු වෙලා තියෙන්නේ." යුද අපරාධ චෝදනාවලට අදාළ ජිනීවා යෝජනාව ප්‍රකාර යාන්ත්‍රණ හතරක් පිහිටුවීමේදී ජනතාව ඉදිරිපත් කළ යෝජනා උපයෝගී කරගන්නා බවට ආණ්ඩුව ප්‍රතිඥා දී ඇති බව පෙන්වාදෙන ආචාර්ය සරවණමුත්තු, කාර්ය සාධක බලකාය හමුවේ ජනතාව දැක්වූ අදහස් ඒ සඳහා උපයෝගී කරගන්නේ දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බවත් පැවසීය. කෙසේ නමුත් අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිළිබඳ පනත දැනටමත් සම්මත වී තිබෙන්නේ නොවේදැයි සංදේශය විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ අවස්ථාවේ එම පනත ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බව තමන් ආණ්ඩුවට දැනුම් දුන් බවයි. "අනිත් එක ඒ පනතට සංශෝධන අවශ්‍ය නම් තවමත් සංශෝධන ගේන්න පුළුවන්. කාර්යාලය තවමත් පිහිටුවල නෑනේ," ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ පවතින ප්‍රදේශවලින් පිටතට සාමාන්‍ය වැසියන් ජාවාරම් කළ බවට චෝදනා කරමින් කුලී රථ රියදුරන් පස් දෙනකුට මරණ දණ්ඩනය ලබා දීමට අයිඑස් කැරලිකරුවන් කටයුතු කොට ඇති බව ඉරාකයෙන් වාර්තා වේ.
ඉරාකයේ බටහිර දිග පිහිටි 'කයිම්' නගරයේ දී රියදුරන්ගේ හිසට වෙඩි තබා මරා දමන ආකාරය දැක ගැනීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට සහ නගර වැසියන්ට බල කොට තිබේ. සිය පාලනයෙන් පැන යාමට උත්සහ කරන පුද්ගලයන්ට ඒ හා සමාන ඉරණමකට මුහුණ දීමට සිදු වනු ඇති බවටත් කැරලිකරුවන් අනතුරු හඟවා ඇත. උතුරු දිග ඉරාකයේ අයිඑස් පාලනයේ පවතින ගම්මානවල සිට කුර්දි පාලන ප්‍රදේශ වෙත පළා ගිය වැසියන්ට ඉස්ලාමීය රාජ්‍ය තුවක්කු කරුවන් වෙඩි තබා ඇති බව කුර්දි හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එහිදී ගම්වැසියන් දෙදෙනකු මරුමුවට පත් වී ඇති අතර තවත් සිය දෙනකු පමණ අයිඑස් භාරයට පත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක අභ්‍යන්තර කටයුතු වලට රුසියාව අනවශ්‍ය ලෙස මැදිහත් වන්නේ යැයි ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් චෝදනා කරයි.
මෙසේ රුසියාව අතපොවන්නේ යුරෝපා සංගමය සමග කිට්ටු සම්බන්ධතා ගොඩනැගීමට බලාපොරොත්තු වන රටවල් වලට බවයි ඇය පවසන්නේ. රුසියාව සමග සංහිඳියාවකින් කටයුතු කළ යුතු බව කියා සිටින හිටපු චාන්සලර්වරු තිදෙනෙක් ඇන්ජලා මර්කල් ට එරෙහිව එල්ල කළ විවේචන පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඇය විසින් ප්‍රතික්ෂේප කෙරුණි. රුසියාව ජෝජ්ජියාවේ, මොල්ඩෝවාවේ සහ යුක්‍රේනයේ අර්බුද නිර්මාණය කර ඇති බවයි ජර්මනියේ චාන්සලර්වරිය පවසන්නේ. බටහිර බෝල්කන් රටවලට ආර්ථිකව සහ දේශපාලනික ව රුසියාව මත යැපීමට සිදුවන වන ආකාරයෙන්, මොස්කව් පාලනය ක්‍රියා කරමින් සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.
පසුගිය සති කීපයේ සිට ඉන්දියාවෙන් වාර්තාවන දෛනික රෝගීන් සංඛ්‍යාවේ තීව්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.
එරටින් දිනකදී වාර්තා වන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 150,000 ඉක්මවා ඇත. ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ එරට දෛනික රෝගීන් සංඛ්‍යාව 20,000 අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටී තිබිණි. සාපේක්ෂ වශයෙන් රෝගීන් අඩුවෙන් වාර්තා වූ ඉන්දියාව සෞඛ්‍ය අර්බුදයක් දෙසට තල්ලු වූයේ කෙසේද? වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න මේ ගැනත් කියවන්න:
කේට් මැක්විලියම්ස්ගේ වයස අවුරුදු විසි හයක්.
ලොව මගී ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙතෙක් බිහි වූ ළාබාලතම ගුවන් කපිතාන්වරිය කේට් මැක්විලියම්ස් බව ඇය සේවයේ නියුතු 'ඊසි ජෙට්' ගුවන් සමාගමේ විශ්වාසයයි. ලොව පුරා ගමනාන්ත සිය ගණනක් වෙත පියාසර කරන ඇය පවසන්නේ තම වයස සඳහන් කරන සෑම අවස්ථාවකදීම බොහෝ දෙනා පුදුමයට පත් වන බවයි. ඉතා අඩු වයසකින් තමා ළඟා කර ගෙන ඇති ජයග්‍රහණය දෙස බලා බොහෝ දෙනකු ප්‍රසාදයට පත් වන බවත් ඇය කියා සිටින්නීය. ආධුනිකයකු ලෙස පියාසර කිරීම ආරම්භ කරන විට කේට්ගේ වයස අවුරුදු දහතුනකි. අනාගතයේදී ගුවන් යානා කපිතාන්වරියක් විය හැකි වනු ඇතැයි තමා විශ්වාස නොකළ බව ඇය පීඒ පුවත් සේවයට පවසා තිබේ. 2011 වසරේදී දෙවන නියමුවරියක් වශයෙන් 'ඊසි ජෙට්' ගුවන් සේවයට එක් වූ ඇය සාර්ථක ලෙස ගුවන් නියමු පාඨමාලාවක් නිම කිරීමෙන් පසු කපිතාන් නිලයට උසස් කෙරිණ. ලොව 'ළාබාලතම' ගුවන් නියමුවරිය අයිස්ලන්තය, ඊශ්‍රායලය සහ මොරොක්කෝව ඇතුළු ලොව පුරා පිහිටි ගමනාන්ත වෙත ඇය A319 සහ A320 වර්ගයේ මගී ගුවන් යානා මෙහෙයවන්නීය. මගී ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ ගුවන් නියමුවන් ලෙස සේවය කරනු ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට පහක් පමණ වේ. සිය සමාගම තුළ කාන්තා ගුවන් නියමුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමේ සැලැස්මක් ඇති බව 'ඊසි ජෙට්' ගුවන් සමාගම පසුගිය වසරේදී නිවේදනය කළේය. කේට් මැක්විලියම්ස් ආදර්ශයට ගෙන තරුණියන් ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත යොමු වීමට දිරිමත් වනු ඇති බවට බ්‍රිතාන්‍ය කාන්තා ගුවන් නියමුවන්ගේ සංගමයේ සභාපතිනි ජූලි වෙස්තොප් විශ්වාසය පළ කරන්නීය. ''ගැහැණු ළමුන් කැපී පෙනෙන චරිත ලෙස පෙරට ඒමේ වැදගත්කම අප සංගමය සහ ඊසි ජෙට් ගුවන් සමාගම තේරුම් ගෙන සිටිනවා.'' "තරුණ කතුන් වෘත්තීන් තෝරා ගනිමින් ඒවායේ නිරත වීම මගින් ගුවන් නියමු පදවි වැනි රැකියා සඳහා යොමු වීමට දිරි ගැන්වෙනවා," ජූලි වෙස්තොප් වැඩිදුරටත් කියා සිටින්නීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරග සඳහා නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා ඇතුළු පහළොස් දෙනකුගේ කණ්ඩායමක ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කරනු ලැබ තිබේ.
ප්‍රහාරාත්මක පිතිකරුවකු සහ දකුණතින් වේග පන්දු යවන 23 හැවිරිදි තික්ෂිල ද සිල්වා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ටෙස්ට් තරගවලදී දස්කම් දැක් වූ නමුත් මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට එක් නොවූ යොවුන් ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද කණ්ඩායමට ඇතුලත් වේ. ශ්‍රී ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි කණ්ඩායම තෝරාගෙන ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ. නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, සහ ධනංජය ද සිල්වා දැනට දකුණු අප්‍රිකාවේ සිටින අතර, ධනුෂ්ක ගුණතිලක, සීක්කුගේ ප්‍රසන්න, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් සහ නුවන් කුලසේකර බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් නිවේදනයේ සඳහන් වේ.
පාපන්දු සුපර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.
ඉන්දියාව තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණ සචින් තෙන්දුල්කාර්, සව්රව් ගංගුලි වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධ බොලිවුඩ් නළු නිලියන් පාපන්දු කණ්ඩායම් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සුපර් ලීග් කණ්ඩායම් අටක් තරග වදින මෙම පාපන්දු තරගාවලිය ලබන සැප්තැම්බරයේ දී ආරම්භ වන බවයි සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය කියා සිටියේ. ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ජනප්‍රියත්වයට පත් වී තිබෙන ඉන්දියාව තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණ වී තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ලෝක ශ්‍රේණිගත ලැයිස්තුව තුළ ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායමට හිමි වී ඇත්තේ එකසිය හතළිස් පස් වැනි ස්ථානයයි.
මීටර 18 ක් දිග දීප්තිමත් රෝස පැහැයෙන් යුතු කොන්ඩෝමයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඓතිහාසික ඔබෙලිස්ක් (obelisk) කුළුණට පළඳවා තිබේ.
2005 වසරේ දී බුවෙනොර්ස් අයර්ස් හි ඔබෙලිස්ක් කුළුන ටද කොන්ඩෝමයක් පළඳවා තිබුණි දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත ලෝක ඒඩ්ස් දිනය ට සමගාමීව HIV වෛරසය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඕස්ට්‍රේලියානු වැඩසටහනක කොටසක් ලෙසයි මෙම ප්‍රදර්ශනය සිදුවන්නේ. සිඩ්නි නුවර ඇති කොන්ඩෝමය වසර විස්සක් තුළ වාර්තාවන ඉහළම HIV රෝගීන් සංඛ්‍යාව ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවූයේ 2013 වසරේදීයි. නිව්සවුත් වේල්සයේ AIDS කවුන්සිලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ HIV වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කොන්ඩෝමයක් පැළඳීමේ වැදගත්කම හුවා දැක්වීම ඔවුන්ගේ අරමුණ බවයි. එහෙත් කුඩා ළමුන්ගේ ඇසට ලක් වන බැවින් මෙම කොන්ඩෝමය එහි නො තිබිය යුතු බවයි ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමක් පවසා ඇත්තේ.
අභියෝග මධ්‍යයේ වුව ද රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිවේදිනියක හා ක්‍රියාකාරිනියක වන රනිතා ඥාණරාජා, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර 'දිරිය කාන්තා සම්මානයෙන්' (International Women of Courage - IWOC) පසුගියදා පිදුම් ලැබීය.
රනිතා ඥාණරාජා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා ලබාදුන් 'විශිෂ්ට දායකත්වය වෙනුවෙන්' එම සම්මානය සඳහා සුදුසුකම් ලැබුවාය. ශ්‍රී ලංකාවේ යුක්තිය, වගවීම සහ කාන්තා අයිතිවාසිකම් සඳහා වූ කැපවීම වෙනුවෙන් රනිතා ඥාණරාජා, එසේ ඇගයීමට ලක් කරනු ලැබුවේ එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව ආචාර්ය ජිල් බයිඩන් සහ රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් විසිනි. නීතිඥවරියක වන ඥාණරාජා, බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් පීඩාවට පත් වූ පවුල්, ස්ත්‍රීපුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වයට මුහුණ දී දිවිගලවාගත් පුද්ගලයින් සහ ආගමික හා ජනවාර්ගික සුළුතර කණ්ඩායම් ඇතුළු ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානම්පාත්‍ර ජනකොටස් වෙනුවෙන් පෙනී සිටින්නියක් බව එහිදී හඳුන්වා දී ඇත. "වර්තමාන සන්දර්භය තුළ අරගල හා අභියෝග නොතකා නව උපාය මාර්ග හා ජාලයන් සමඟ මගේ වැඩ කටයුතු කරගෙන යාමට පමණක් නොව පුළුල් කිරීමට ද මෙය මට විශ්වාසය හා අධිෂ්ඨානය ලබා දෙනවා," යනුවෙන් රනිතා ඥාණරාජා බීබීසී සිංහල සමග පැවසීය. පිළිගැනීමක් හා පහසුකම් නොමැතිව බිම් මට්ටමේ නිර්දය ලෙස වැඩ කරන කාන්තාවන්ට මෙය ශක්තිමත් ලෙස සහාය වනු ඇති බව කී ඇය එවැනි කාන්තාවන් සෑම මට්ටමකින්ම පිළිගැනීමටත්, සහයෝගය ලබා දීමටත් සහතික වන බව ඇය සඳහන් කළාය. "වින්දිත ප්‍රජාවන් යුක්තිය සහ වගවීම සඳහා වන අරගලය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය නැවත ලබා ගන්නා බවට සැකයක් නැහැ." එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව ආචාර්ය ජිල් බයිඩන් සහ රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් ඇමරිකානු රාජ්‍ය ලේකම් පිරිනමන 'ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය' 2007 දී ඇතිකරනු ලැබුවේ ලොව වටා සාමය, මානව හිමිකම්, සහ කාන්තාවන් සවිබලගැන්විම වෙනුවෙන් උද්දේශනය කිරීමේ දී සුවිශේෂී ධෛර්යයක් සහ නායකත්වයක් පෙන්නුම් කරන කාන්තාවන් අගය කිරීම සඳහා ය. ගතවූ වසර 15 තුළ රටවල් 75කට අධික සංඛ්‍යාවක දිරිය කතුන් 155කට අධික සංඛ්‍යාවක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙසේ පිළිගැනීමට ලක් කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිනියන් තුන්දෙනෙක් එසේ ඇගයීමට ලක්ව ඇත. ජෙන්සිලා මජීඩ් 2010 වසරේ දීත්, සන්ධ්‍යා එක්නැළිගොඩ 2017 වසරේදීත්, මාරිනි ඩි ලිවෙරා 2019 වසරේ දීත් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර රනීතා ඥාණරාජා මෙම සම්මානයෙන් පිදුම් ලැබූ සිව්වෙනි ශ්‍රී ලාංකික කාන්තාව ය. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා රහිතව රඳවාගෙන සිටින සිරකරුවන්ට සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ වින්දිතයින් වුයේ යැයි විශ්වාස කරන අයට අත්වූ ඉරණම පිළිබඳ දැනගැනීමට වෑයම් දරන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඇය නොමිලයේ නීති ආධාර සපයන්නීය. වින්දිතයින් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් සඳහා ඇය විසින් ලබාදුන් නායකත්වය සහ උද්දේශනය රට පුරා වින්තයින්ගේ පවුල් බොහෝ සංඛ්‍යාවකට උපකාරී වී තිබේ. එසේ ම, ඇය ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කරන සහ ඉඩම් සහ දේපළ සම්බන්ධයෙන් කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලැබීම වෙනුවෙන් උද්දේශනය කරන බිම් මට්ටමේ සංවිධානවල ශක්‍යතාව වර්ධනය සඳහා වෙහෙස නොබලා උපකාර කර ඇත. "අපයෝජන හා හිංසනවලින් ආරක්ෂාව පතා පොලිසිය වෙත යාමේ දී කාන්තාවන්ට බාධා ඇති කරවන, පොලිස් ස්ථානවල ඇති අඩුපාඩු හදුනාගැනීමට ඥාණරාජා මහත්මිය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කළ පර්යේෂණය ඔස්සේ හැකි වී තිබේ," යනුවෙන් ඇමරිකානු තානාපති කාර්යාලය පැවසීය. කාන්තා රැකවරණ ස්ථාන, උපදේශන සේවා, සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දී දිවිගලවාගත් අය සඳහා වෛද්‍ය සේවා වෙත කාන්තාවන්ගේ ප්‍රවේශය වැඩිකිරීමට හේතු වූ දැනුවත් කරීමේ වැඩසටහන් ද ඇය විසින් මෙහෙයවනු ලැබ තිබේ. "මෙම පිළිගැනීම මට සැබවින්ම නිහතමානී ගෞරවයක්. මගේ සෙසු ක්‍රියාකාරීන්ගෙන් මට ලැබුණු ප්‍රතිචාර වගේම ආදරයෙන්, මම කෙරෙහි තැබූ විශ්වාසය සහ බලාපොරොත්තුව පිරී තිබෙනවා. මට මේ පිරිනමපු ගෞරවනීය සම්මානය වින්දිත ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය සඳහා සාමකාමී මාර්ගයෙන් දිනපතා සටනක යෙදෙන සෙසු කාන්තා ක්‍රියාකාරීන්ට පවතින ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීමට ධෛර්යයක් ලැබෙයි කියලා මට හිතෙනවා." යනුවෙන් රනිතා ඥාණරාජා පැවසුවාය.
රජයේ හමුදාව ඉඩම් පවරා ගැනීම අභියෝගයට ලක් කරමින් උතුරේ දහසකට අධික ජනතාවක් පවරා ඇති පෙත්සම් සලකා බැලීම අධිකරණය විසින් දෙවැනි වතාවටත් කල් දමන ලදී.
උතුරේ ඉඩම් අත්පත් කර ගැනීම අභියෝගයට ලක්වූ අවස්ථාවක් පුද්ගලයන් එක්දහස් හාරසිය හැත්තෑ හතර දෙනකු ගොනු කර තිබූ පෙත්සම් විමසීම අභියාචනාධිකරණය විසින් කල් දමන ලද්දේ විනිසුරු තුන්කට්ටුවෙන් දෙපළක්ම නොමැති කමින්. විනිසුරු අනිල් ගුණරත්න පෙත්සම් විභාගයට ගැනීමට අකමැති බව කී අතර ඔහු එය සඳුදා නිවාඩු ගොස් සිටි ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුවරයා වෙත නැවතත් යොමු කළ බව කේ එස් උදයකුමාර් බීබීසී සංදේශයට වාර්තා කළේය. පලාලි හා කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාප පුළුල් කොට යාපනය ආරක්ෂක බලකා මුලස්ථානයක් පිහිටුවීමට වලිකාමම් උතුරේ අක්කර හයදහසකට වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ සැලසුම් වලට එරෙහිවයි පෙත්සම් ගොනු කොට තිබුනේ.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශන වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවීමට නියමිතව තිබෙන අද දිනය කළු සිකුරාදාවක් ලෙසින් හඳුන්වමින් නීතිඥවරු විශාල පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපස විරෝධතාවයක නිරතව සිටියහ.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග යෝජනාවට අත්සන් නොතබන මෙන් නීතිවේදීහු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අවසාන මොහොතේත් ඉල්ලා සිටිති කළු මුඛවාඩම් හා කළු පටි පැළඳ නිහඬ විරෝධතාවයක යෙදී සිටි ඔවුහු, දෝෂාභියෝගය ඉවත් කරගන්නා මෙන් අවසාන මොහොතේත් ආණ්ඩුවට බළකොට සිටියහ. උද්ඝෝෂණය අතරවාරයේ අදහස් දැක්වූ නීතිවේදී රන්ජන් ද සිල්වා, මෙම උද්ඝෝෂණය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ආණ්ඩුව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. පාර්ලිමේන්තුව විසින් අද සම්මත කරනු ලැබීමට යෝජිත දෝෂාභියෝග විමර්ශන වාර්තාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් තැබුවහොත් එයින් රටට මහා විනාශයක් සිදුවනු ඇති බවට නීතිඥ නිමල් වීරක්කොඩි අනතුරු ඇඟවූයේය. "ඒක අත්සන් කළොත්, මේ රටේ මේ ව්‍යවස්ථාවෙන්, අද තියෙන එකෙන් වැඩක් නෑ. අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා, අත්සන් කරන්න එපා, රට ඉවරයි," ඔහු පැවසීය. පාර්ලිමේන්තුව දෝෂාභියෝගය අනුමත කළහොත් එය ශ්‍රී ලංකාවේ අධිකරණයේ මළගම බවයි, නීතිවේදී සුනිල් වටගල කියා සිටියේ. නීතිඥවරුන් විසින් දීපව්‍යාප්තව දියත්කොට තිබෙන දෙදින වැඩවර්ජනය හේතුවෙන් රටපුරාම අධිකරණ කටයුතු අදාලව තිබූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ගමගේ බීබීසී සංදේශයට පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
තුන් ඉරියව්වෙන් සපන් කම් පෑ ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනා අතර සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජැක් කලීස් ටෙස්ට් සහ පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ප්‍රකාශයට පත් කෙරිණ.
හෙට බ්‍රහස්පතින්දා ඉන්දියාවත් සමඟ ආරම්භ කෙරෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි ජැක් කලීස් පවසන්නේ. කේප් ටවුන්හි උපත ලද තිස් අට හැවිරිදි, ජැක්ස් හෙන්රි කලීස් ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකි. මංගල ටෙස්ට් තරඟය කලීස් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ආරම්භ වන්නේ,1995 දී එංගලන්තය සමඟ සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වෙමින්. ටෙස්ට් තරඟ වලදී මේ වන විට ලකුණු 13174 ක් ලබා සිටින කලීස්, කඩුළු 292 ක් බිඳ හෙළා තිබෙනවා. 1996 දී සිය පළමු ජාත්‍යන්තර එක්දින තරඟයට සහභාගී වෙන ජැක් කලීස් එක දින තරඟ 325 කදී ළකුණු 11574 ක් වාර්තා කොට ඇත. අයි.පී.එල් ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ද කැපී පෙනෙන ක්‍රීඩකයකු වන ජැක කලීස්, ‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’ සහ ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ ක්‍රීඩා සමාජ නියෝජනය කර ඇත.
සෙනසුරාදා පැවති දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තේය.
බස්නාහිර පළාත් සභාවේ ආසන පනස් හයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂයට ආසන 28 ක් හිමි වී තිබේ. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන නමයක් දිනාගනිමින් බස්නාහිර පළාත් සභාවේ තුන්වන ප්‍රධාන පක්ෂය බවට පත්වන අතරවාරයේ, ජනතා විමුක්ති පෙරමුණට හිමි වී තිබෙන්නේ ආසන හයක් පමණයි. මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයට එක් ආසනයක්ද මුස්ලිම් කොන්ග්‍රසයට ආසන දෙකක්ද හිමි වී තිබේ. දකුණු පළාත් සභාවේ ආසන තිස් තුනක් දිනා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය ලබද්දී එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙන්නේ ආසන දාහතරක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ ආසන පහක් ලබාගනිමින් තෙවන ස්ථානයද, ආසන තුනක් හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සිව්වැනි ස්ථානයද ලබාගත්හ.
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ මැද භාගයේ පටන් ලෝකය ලොක්ඩවුන් වන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ටීනා රෝද්රිගස් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ආරම්භ කර තිබුනේ ශාරීරික ව්‍යායාම පුහුණුකරුවකු වන තම සහකරුගේ ද සහාය ඇතිවය. ජනවාරි මාසයේ පටන් ඇය මත්පැන් පානය කර නොතිබුණි.
"මම මගේ ආහාර වෙලා පවා සෞඛ්‍ය සම්පන්න කර ගත්තා. ඒ තත්වයෙන් දිගටම ජීවන රටාව පවත්වාගෙන යාම හොඳයි කියල මම හිතුවා." ඇය පැවසුවාය. "ඒ කියන්නේ මම කවදාවත් මත්පැන් පානය නොකිරීමට තීරණය කළා කියන එක නෙමෙයි. ලොක්ඩවුන් වුනාට පස්සේ මත්පැන් පානය කිරීම තේරුමක් නැති දෙයක් කියල මට හිතුන." තම දෙහැවිරිදි පුත්‍රයා සමඟ නිවසට කොටු වී ජීවත් වීම, අමද්‍යප ජීවිතයක් වැළඳ ගැනීම සඳහා උදව් වූ බව ටීනා පවසන්නීය. "අපිට නිවසින් බැහැරව යන්න බැරි උනා. හිත මිතුරන් හමුවන්න බැරි උනා. ගෙදර ඇතුලේ ඉඳන් බොන එක මට එතරම් ප්‍රිය දෙයක් නොවෙයි." වසංගත කාලය තුළ මත්පැන් භාවිතය එකවරම ඉහළ ගිය බවට පුවත් ශීර්ෂ පාඨ පළවී තිබුන නමුත් අමද්‍යප බවට පත් වූ හෝ සැළකිලිමත් ලෙස මද්‍යසාර පරිභෝජනය කරන්නන්ගේ ප්‍රමාණය ද ඉහළ ගියේය. එම ගෝලීය නැඹුරුව අනුගමනය කිරීමට ටීනා වැනි බොහෝ දෙනා තීරණය කළහ. වසංගතය සමඟ ම මධ්‍යසාර පරිභෝජනය සහ අලෙවිය ඉහළ යාම පිළිබඳව ඉන්දියාවේ පටන් බ්‍රසීලය දක්වා මෙන්ම එක්සත් ජනපදය සහ යුරෝප්පයේ රටවල් කීපයක් ම රතු එළි දල්වා තිබුණි ලොක්ඩවුන් නීති ලිහිල් වී ජුලි මාසයේ මුල් භාගය වන විට බ්‍රිතාන්‍යයේ අවන්හල් යළි විවෘත වීමෙන් අනතුරුව පවා මධ්‍යසාර පරිභෝජනයකින් තොරව ජීවත් වීමට 26 හැවිරිදි ටීනා තීරණය කළාය. "මට මද්‍යසාරවල අවශ්‍යතාවයක් දැනුනේ නැහැ." ඇය හෙළිදරව් කළාය. ඇය හුදෙකලා නොවුනේ නම් එවැනි හැඟීමක් දැනේවි ද? මිනිස් ජීවිතය හා මද්‍යසාර අතර පවතින සබඳතාවට කොරෝනා වසංගතය සෘණාත්මකව බලපෑ ආකාරය පිළිබඳව වාර්තා කීපයක් පළවී තිබුණි. වසංගතය සමඟ ම මධ්‍යසාර පරිභෝජනය සහ අලෙවිය ඉහළ යාම පිළිබඳව ඉන්දියාවේ පටන් බ්‍රසීලය දක්වා මෙන්ම එක්සත් ජනපදය සහ යුරෝප්පයේ රටවල් කීපයක් ම රතු එළි දල්වා තිබුණි. එක්සත් ජනපදය උදාහරණයක් ලෙස ගතහොත්, අප්‍රේල් මාසයේ අග භාගය වන විට ලොක්ඩවුන් නීති දැඩි කිරීමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවිය 400%කින් ඉහළ ගොස් තිබුණි. දකුණු අප්‍රිකාව වැනි ඇතැම් රටවල් මත්පැන් පරිභෝජනය පාලනය කර ගැනීම සඳහා ඒවා අලෙවි කිරීම තහනම් කළහ. ටීනා ජීවත් වන එක්සත් රාජධානිය තුළ සිදු කෙරෙනු සමීක්ෂණයකින් (Alcohol Change) හෙළි වූයේ, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වසංගත කාලය තුළ තමන් මධ්‍යසාර භාවිත කරන්නේ යයි බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් 30කට ආසන්න ප්‍රමාණයක් විශ්වාස කරන බවය. එය එසේ වී නමුදු, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන සහ අමද්‍යප පිරිසේ ප්‍රමාණය ද එම කාලය ඇතුළත වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම නැඹුරුතාව ද සනාථ කර ඇත්තේ ඉහත කී සමීක්ෂණය තුළින්ම ය. එහි දත්ත වාර්තා අනුව පෙනී යන්නේ 37%ක් වූ පිරිසක්, "මත්පැන් පානය පාලනය කර ගැනීම සඳහා පියවර ගෙන" ඇති බව හෝ සම්පුර්ණයෙන්ම එය අත්හැර ඇති බවය. "මත්පැන් පානය අතහැර දැමීම සඳහා උත්සාහ කරමින් සිටි ඇතැම් අයට පැවතුනු බාධක මේ වසංගතය නිසා ඉවත් වෙලා තියෙනවා." මත්පැනට ඇබ්බැහි වූවන් වෙනුවෙන් උපදේශන කටයුතු සිදු කරන ජෙම් ටිමොන්ස් පැවසීය. "ඇතැම් අය දුෂ්කරතාවලට මුහුණ දුන්නේ නැහැ කියල මම කියන්නේ නැහැ. නමුත් මත්පැන් පානය අතහැර ගැනීමට උත්සාහ කරමින් සිටි සමහර උදවියට මේ ලොක්ඩවුන් තත්වයෙන් යහපතක් වුනා." ඔහු තවදුරටත් පැවසීය. එමෙන්ම, මෙම තත්වය හේතුවෙන් තරුණ පරම්පරාව අමද්‍යප තත්වයකට තල්ලු කර තිබේ. Z පරම්පරාව පොදුවේ ගත් කල, 1981 සහ 1996 අතර කාලය තුළ උපන් පරම්පරාව මත්පැනට දක්වන රුචිය ඊට ඉහත පරම්පරාවට වඩා අඩු බව සැළකේ. Zoomers පරම්පරාවේ භද්‍ර යෞවනයන් මත්පැන් පානයට නැඹුරු වී ඇත්තේ ඊට ඉහත පරම්පරාවන්ට වඩා ඉතා අඩු මට්ටමකිනි 1996න් පසුව උපන් පරම්පරාව ඊටත් වඩා මධ්‍යසාරයෙන් ඈත් වූ බවක් පෙනෙන්නට ඇත. ඇමරිකානු ලේඛකයෙකු වන රුබි වොරින්ටන් 2018 දී පළ කළ පොතක මෙම පරම්පරාව හඳුන්වා ඇත්තේ Z පරම්පරාව නොහොත් Zoomers යනුවෙනි. එක්සත් ජනපදයේ යෞවනයන් මිලියන අටක් යොදා ගනිමින් කැලිෆෝනියා සරසවිය විසින් වසර 30ක් තිස්සේ (1976-2016) සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල අනුව Zoomers පරම්පරාවේ භද්‍ර යෞවනයන් මත්පැන් පානයට නැඹුරු වී ඇත්තේ ඊට ඉහත පරම්පරාවන්ට වඩා ඉතා අඩු මට්ටමකිනි. "මීට වසර 20කට ඉහත දී නිරෝගී ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා කියල කිව්වොත් ඒක අමුතු දෙයක් විදියට දැනුනේ. නමුත් දැන් කාලේ එහෙම දෙයක් කිව්වොත් ඒක ලස්සන දෙයක්. දැන් සමාජය බොහොම සවිඥානිකයි. ඔවුන් ඉදිරියේ මත්පැන් පානය යුක්තිසහගත කිරීම එන්න එන්නම දුෂ්කර වී තිබෙනවා." Mintel පර්යේෂණ ආයතනයේ සේවය කරන, මධ්‍යසාර කර්මාන්තය පිළිබඳව විශේෂඥයෙකු වන ජොනි ෆෝසයිත් පැහැදිලි කළේය. "Z පරම්පරාව තමයි අපි බොහෝ කාලයකට පසුව දුටු සෞඛ්‍යසම්පන්න ම පරම්පරාව. ඔවුන් මධ්‍යසාර කර්මාන්තය වෙනස් කරාවි." ඔහු තවදුරටත් පැවසීය. සමාජ මාධ්‍ය තුළ අමද්‍යපවාදය ලොව පුරා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අමද්‍යපවාදය ප්‍රචලිත කරන්නන් රාශියක් බිහි වී සිටිති. වොරින්ටන් ගේ ඉහත කී පොත පළවූයේ ද ඒ පිලිබඳවය. කෙලි ෆිට්ස්ජෙරල්ඩ් කෙලි ෆිට්ස්ජෙරල්ඩ්, සමාජ මාධ්‍ය ඔස්සේ අමද්‍යප ජීවිතයකට අනුබල දෙන යුවතියකි. ඇය එක්සත් ජනපදයේ ජනප්‍රිය චරිතයකි. "මේ වසංගත කාලය තුළ අමද්‍යප බව කියන එක අභියෝගයක් වුනාද කියල නම් මම දන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒක වැඩි පිරිසකට පෙරට වඩා සැබෑවක් සහ අවශ්‍යතාවක් බවට පත් වුණා." ඇය පැවසුවාය. "අමද්‍යප ජීවිතයක් ගත නොකළ අයට කෝවිඩ් 19 ආවට පස්සේ වැඩි කාලයක් තනිවම හෝ සිය පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන්න සිද්ධ වුනා. ඊට පෙර ඔවුන් 'සාමාන්‍ය' යැයි හිතාගෙන හිටපු සමාජගත වීම හෝ මත්පැන් භාවිතය යුක්ති සහගත කරන්නට ඔවුනට හැකියාවක් ලැබුනේ නැහැ." "මම හිතන්නේ මේ කාලය තුළ මිනිස්සුන්ට හිතන්න අවස්ථාවක් ලැබුනා 'මගේ මේ මත්පැන් භාවිතය සාමාන්‍ය දෙයක්ද?' කියල." කෙලි ෆිට්ස්ජෙරල්ඩ් තවදුරටත් පැවසුවාය. ලී මෙන්ගෝ, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ අමද්‍යපවාදයට අනුබල දෙන තවත් ප්‍රසිද්ධ චරිතයකි. අමද්‍යප වීම හෝ මද පමණින් මත්පැන් භාවිතය පිළිබඳව තිබූ පූර්ව සංකල්පනාවන් පිළිබඳව නැවත වරක් සිතා බලන්නට, මෙම වසංගත සමය නිසා මිනිසුන්ට අවසථාවක් ලැබුණු බව ඔහුගේ ද අදහසය. "බොන්නේ නැති මිනිස්සු හරිම නීරසයි කියල සමහර මිනිස්සු කියනවා මම අහල තිබුනත් දැන් මිනිස්සු අමද්‍යප බවට හුරු වෙමින් සිටිනවා." ඔහු පැවසීය. "මිනිස්සු එහෙම කියනකොට ඉස්සර නම් මට ටිකක් කේන්ති ගියා. ඒත් දැන් මම ඒ අයට උත්තර දෙනවා 'රාත්‍රී සාදයකට පස්සේ අමද්‍යප මිනිස්සුන්ට වාහනය පදවාගෙන ගෙදර යන්න පුළුවන්; බීමත් මිනිස්සුත් එක්ක ටැක්සි පෝලිමේ පොරකනවට වැඩිය ඒක හොඳයි' කියල." මිලී ගූච් 27 හැවිරිදි මාධ්‍යවේදිනියකි. ඇය 'The Sober Girl Society' නමැති සමාජ කණ්ඩායමට සහය දක්වමින් ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නියකි. පසුගිය ලොක්ඩවුන් කාලය ඇතැමුන්ට ධනාත්මක වූ බව ඇය ද අනුමත කළාය. මධ්‍යසාරය: කෙතරම් ප්‍රමාණයක් ද? මධ්‍යසාර රහිත බීම ආකල්පමය වෙනස හේතුවෙන් දැනටමත් බටහිර රටවල අලුත් ව්‍යාපාරික අවස්ථා බිහිවී ඇති බවත් ඒවා නොපමාව ලොව පුරා ව්‍යාප්ත වනු ඇති බවත් විශේෂඥයෝ පවසති. One Year No Beer නමැති වෙබ් අඩවියට මේවන විට රටවල් 90ක සාමාජිකයන් 70,000ක් සිටිති. දිනකට භාවිතා කරන මත්පැන් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා මෙම සාමාජිකයන්ට සහාය ලබා දීම මෙම වෙබ් අඩවියේ එක් අරමුණකි. ඒ සඳහා ඔවුන් නොයෙක් ආකාරයේ අභියෝග ලබා දෙන අතර මත්පැන් ඇසුරකින් තොරව දිනය ගත කරීමට ඔවුනට අවස්ථා ලබා දෙයි. පසුගිය මාර්තු මාසයේ පටන් ඔවුන්ගේ සාමාජික සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගොස් තිබේ. වඩා යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධය කිරීම සඳහා ඔවුනට රජයේ සහයෝගය ද ලැබී තිබේ. මධ්‍යසාර ප්‍රතිශතය අඩු සහ මධ්‍යසාර රහිත බීම වර්ගවල අලෙවිය ද වසංගත කාල සීමාව තුළ වැඩි වී ඇති බව එවැනි බීම වර්ග නිෂ්පාදනය කරන්නන්ගේ අත්දැකීමයි. පාරිභෝගිකයන් මධ්‍යසාර රහිත බීම වර්ග දෙසට නැඹුරුවෙමින් පෝල් මැතිව් පසුගිය වසරේ මධ්‍යසාර රහිත බීම වර්ග නිෂ්පාදනය ඇරඹීය. ඒවා අලෙවි කෙරුණේ අවන්හල් තුළ පමණි. වසංගතය පැමිණීමත් සමඟ තම ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳව ඔහු බියට පත්විය. එබැවින් තම නිෂ්පාදන සෘජුවම මහජනතාවට අලෙවි කිරීම ආරම්භ කිරීමට ඔහු පියවර ගත්තේය. දින කීපයකින් පාරිභෝගික ඇනවුම් ගලා එන්නට පටන් ගත් අතර සිය නිෂ්පාදන අලෙවිය 4,000%කින් ඉහළ ගියේය. "මාසෙකට බෝතල් සීයක් දෙසීයක් විකුණපු අපි මාසෙකට බෝතල් දහස් ගණනක් විකුණන තත්වයට පත් වුණා." පෝල් පැවසීය. Aeresearch/Market Study නමැති විශ්ලේෂකයන් පසුගිය අගෝස්තු මාසයේ, මධ්‍යසාර රහිත බීර වර්ග පිළිබඳව වාර්තාවක් නිකුත් කළේය. පාරිභෝගිකයන් මධ්‍යසාර රහිත බීම වර්ග දෙසට නැඹුරුවෙමින් සිටින බව එම වාර්තාවේ සඳහන් කර තිබේ. මධ්‍යසාර රහිත බීම කර්මාන්තය වසර 2024 වන විට යුරෝපයේ පමණක්, ඇමරිකානු ඩොලර් බිලියන 6ක අලෙවියක් ඉක්මවා යනු ඇති බවට ද ඔවුන් ඇස්තමේන්තු කර තිබේ. මෙය අප්‍රිකානු රටවල මෙන්ම මැදපෙරදිග රටවල ද ව්‍යාප්ත වන ව්‍යාපාරයක් බවට පත්වන බවට අනාවැකි පළකර ඇත. පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම මගින් ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය ඉහල යාම හේතුවෙන් විකල්ප බීම වර්ග කෙරෙහි ඇදී යමින් සිටින බව එම වාර්තාව සඳහන් කරයි. ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් තරම් වූ ගෝලීය මත්පැන් අලෙවිය සමඟ ගත් කල මධ්‍යසාර රහිත බීම වර්ගවල අලෙවිය ඉතා කුඩා පංගුවක් බව සත්‍යයකි. නමුත් එවැනි ශක්තිමත් යෝධ කර්මාන්තකරුවන් පවා මධ්‍යසාර රහිත බීම වර්ග නිෂ්පාදනය තීව්‍ර කර ඇත. ආසන්නතම උදාහරණයක් ලෙස Heineken Zero නමින් නිෂ්පාදනය වූ මධ්‍යසාර රහිත බීර වර්ගය දැක්විය හැකිය. ලෝකයේ දැවැන්තම පාපන්දු තරඟාවලියක් වන UEFA Europa ලීගයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා එම බීර වර්ගය පත් වීමට නියමිතය. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර තරගාවලි සඳහා අනුග්‍රාහකත්වයට පත්වන්නේ ප්‍රධාන පෙලේ මත්පැන් වර්ගයන් ය. විශේෂයෙන් ම බීර වර්ග ය. එමෙන්ම, බකාඩි නමැති රම් වර්ගය නිෂ්පාදනය කරන්නන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ 2019 වසරේදී අන්තර්ජාලයේ ගූගල් සෙවුම් සඳහා "mocktail" යන වචනය යොදා ගත් අවස්ථා ගණන 42%කින් ඉහළ ගොස් ඇති බවය. "mocktail" යනු මධ්‍යසාර රහිත මිශ්‍ර පාන (cocktails) හැඳින්වීම සඳහා යොදා ගන්නා වචනයයි. ගූගල් සෙවුම් සඳහා "mocktail" යන වචනය යොදා ගත් අවස්ථා ගණන 42%කින් ඉහළ ගොස් ඇත නමුත් හොඳ පුරුදු දිගටම පවතීද? ටීනා රුද්රිගස් ගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු ලොක්ඩවුන් කාලය තුළ මත්පැන් පානය අඩු කර හෝ නවතා දමා ඇති නමුත් මීළඟ සාදයට සහභාගි වීමේ දී කුමන තත්වයක් ඇතිවේදැයි ඇයට ද සැකයක් පවතී. "මම හිතන්නේ අපි හැමෝම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරුවෙමින් ජීවත් විය යුතුයි." ටීනා පැවසීය. නමුත් ඇයගේ සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භ වූ විට මෙම යහපත් දින චර්යාවන් දිගටම පවත්වා ගත හැකි වේද? විශේෂඥයන් පවසන්නේ ජනතාවගේ අධිෂ්ඨාන ශක්තිය පමණක් මෙම ප්‍රශ්නයට එකම පිළිතුර නොවනු ඇති බවය. ආගන්තුක සත්කාරයන් හා සබැඳි කර්මාන්ත (hospitality industry) මත ද එම වගකීම පැවරෙන බව ලේඛකයෙකු හා අමද්‍යප ජීවන රටාව පිළිබඳ උපදේශකයෙකු වන මැන්ඩි මැනස් ගේ අදහසයි. "මත්පැන් පානය කිරීමට අකමැති පාරිභෝගිකයන්ට පවා ගැලපෙන සත්කාර ක්‍රම හෝටල් සහ අවන්හල්වල තිබිය යුතුයි." "ඔවුන්ට විකල්ප තෝරා ගැනීම් සපයා තියෙන්න ඕනා; එතකොට අපි හැමෝටම එකම මේසය වටා ඉඳගන්න පුළුවන්." සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භ වූ විට මෙම යහපත් දින චර්යාවන් දිගටම පවත්වා ගත හැකි වේද? මීට අමතරව, මත්පැනට හුරු වී සිටින ඇතැම් ජන කොට්ඨාශ මේ වන විට මත්පැන් පිළිබඳව සවිඥානික වීමේ නැඹුරුවක් පවතී. One Year No Beer ව්‍යාපෘතියේ බහුතර සාමාජිකයන් වයස අවුරුදු 35ත් 55ත් අතර වන පිරිසකි. අලුතින් බැඳෙන සාමාජිකයන්ගෙන් බහුතරය වයස අවුරුදු 40 ඉක්මවූ පිරිසය. නවසීලන්තයේ වෙසෙන ක්ලෙයාර් බූත් 56 හැවිරිදි කාන්තාවකි. ඇය ද One Year No Beer වැඩසටහනට එක් වුවාය. පසුගිය ජනවාරියේ පටන් ඇය මත්පැන් භාවිතය අඩු කරන්නට පියවර ගත්තේ චීනයේ කොරෝනාවෛරසය පැතිර යන බව සැල වීමෙන් අනතුරුවය. "මගේ ප්‍රධානම අරමුණ වුණේ මේ රෝගයෙන් මිදී සිටීම සඳහා නිරෝගී සෞඛ්‍යයක් ඇතිකර ගැනීම." ඇය පැවසුවාය. මුලින්ම ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කළ රටක් බවට නවසීලන්තය පත් වන විටත් ඇය අර්ධ-අමද්‍යප මට්ටමකට පත් වී සිටියාය. "මම පසුගිය මාස හයටම මත්පැන් පානය කරලා තියෙන්නේ තුන් වතාවයි." ක්ලෙයාර් පැවසුවාය. වැඩිහිටි පරම්පරාව පවා මත්පැන් පානය පිළිබඳව නැවත සිතා බලන්නට පෙළඹීම ගැන මිලී ගූච් විශ්මයට පත් නොවන්නීය. "අමද්‍යප වීම අලුත්ම නැඹුරුවක් බවට පත්වෙලා හමාරයි. එය සහශ්‍ර පරම්පරාවට හෝ Z පරම්පරාවට පමණක් සීමා වූ දෙයක් නොවෙයි." මිලී පවසන්නීය. "සමහර විට අපි සමාජ මාධ්‍ය පරම්පරාව නිසා වෙන්න ඇති; අපි මේ ගැන වැඩියෙන් කතා කරනවා." "ඒ වගේම වැඩිහිටි පරම්පරාව පවා අමද්‍යප කරවීම සඳහා දීප්තිමත් එලි දල්වන මිනිසුන් අද බිහිවෙලා ඉන්නවා" ඇය තවදුරටත් පැවසුවාය.
මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙසින් බ්‍රහස්පතින්දා පැවැත්වුණු ජනපතිවරණයේ දී තේරී පත් වී සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කළේය.
කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ කොමසාරිස්වරයා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට තමන්ට සහාය දීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්තුති කළේය. එමෙන්ම ජයග්‍රහණයෙන් අනතුරුව සාමකාමීව හැසිරෙන මෙන් සිය ආධාරකරුවන් ගෙන් ඉල්ලා සිටීම පිළිබඳව කොමසාරිස්වරයා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහටද ස්තුති කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ හැරුණු විට ජනපති පදවියට තේරී පත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ඇතුළු සියලු අපේක්ෂකයෝ මාධ්‍ය හමුවට එක් වී සිටියහ. අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපතිවරයා වෙනුවෙන් එයට සහභාගී වී සිටියේය.
ගංවතුර සහ නාය යෑම් හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදු වී ඇති දුෂ්කර තත්වයෙන් ගොඩ ඒම සඳහා මේ මොහොතේ ජාත්‍යන්තර මෙහෙයුමක් අවශ්‍ය නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
මේ වන විට පවතින තත්වය කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකියාව ඇති බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ වැල්ලම්පිටිය සහ ඒ අවට විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට එහි ගිය අවස්ථාවේදී. කෙසේ වෙතත් මේ මොහොතේ ජාත්‍යන්තරයෙන් ලැබෙන මූල්‍යාධාර පවතින තත්වයෙන් ගොඩ ඒම සඳහා ආධාර වනු ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේය. ගංවතුරට කොටු වී සිටි පිරිස් අතුරින් බහුතරයක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති නමුත් සුළු පිරිසක් එම ප්‍රදේශ තුළමරැඳී සිටින බවයි මුදල් අමාත්‍යවරයා සමග එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් කියා සිටියේ. එසේ පිටතට නොපැමිණ එහි රැඳී සිටින පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ඔහු සඳහන් කළේය. 'වතුර බැහැල ගියාට පස්සේ මේ ජනතාවගේ ජීවිතය ගොඩ නගන්න විශාල වැඩපිළිවලක් දියත් කරන්න තිබෙනවා. මෙම හිතනවා ඒ වගකීම රජය භාර ගත යුතුයි කියලා' පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් වැඩිදුරටත් පැවසීය.
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේ පැවති ටෙස්ට් තරඟයේ වීරයා වූ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා නිහඬ වීරයකු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
දිල්රුවන් ගාලු තරඟයේ දී ඕස්ට්‍රේලියානු පිලේ කඩුලු දහයක් බිඳ හෙලූ අතර දෙවන ඉනිමේදී අර්ධ ශතයක්ද වාර්තා කළේය. නායක ඇන්ජලෝ මැතිව්ස් ඒ බව කියා සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඉතාමත් යහපත් මානසික මට්ටමකින් යුතුව තමා ගාල්ලේ පැවති තරඟයට මුහුණ දුන් බවයි දිල්රුවන් පෙරේරා එහිදී කියා සිටියේ. ඇන්ජලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
අනූ තුන් හැවිරිදි මේ කාන්තාව ලෝක පිහිනුම් වාර්තා දෙකක හිමිකාරියකි.
සිය ජීවිතයේ නම වෙනි දශකය පසුකරමින් සිටියත් නෝරා රොනායි (Nora Ronai) තවමත් ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම යාමට සූදානම් නැත. අනෙක් අතට ඇය සිය පිහිනුම් ක්‍රීඩාවට පිවිසුණේත් තරුණ වියේ දී නොවේ. ක්‍රීඩාවට පිවිසෙන විට ඇය 69 හැවිරිදි වියේ පසු වූවාය. 2014 පැවති මාස්ටර්ස් ලෝක ශූරතාවලියේදී (Masters World Championship) රන් පදක්කම් හතක් දිනාගන්නා විට ඇය අනූ වියේ පසු වූ වයෝවෘද්ධ කාන්තාවකි. පිහිනීමෙන් ලෝක වාර්තා තබන 93 හැවිරිදි නෝරා "පිහිනුම් තටාකය මට සැනසිල්ලක් දෙනවා," ඇය පවසන්නීය. "ශාරීරිකව නෙවෙයි මානසිකව," බීබීසී යේ සියයක් කාන්තාවෝ වැඩසටහන වෙනුවෙන් නෝරා රොනායි එසේ අදහස් පළ කළාය. "මට පීනනව කියන්නෙ ටිකක් රිලැක්ස් කරන්න ලස්සන වෙරළකට ආව වගේ හැඟීමක් දැනෙන දෙයක්." අධිෂ්ඨානය සහ අවශ්‍යතාව තිබේ නම් ඒ සඳහා කාල වෙලාව සොයා ගැනීම අපහසු කාර්යයක් නොවන බව බ්‍රසීල ජාතික හිටපු ගෘහ නිර්මාණ ශිල්පිනිය අවධාරණය කරන්නීය. "යමක් කරන්න සැබෑ වුවමනාවක් තියෙනව නම් ඒකට වෙලාවක් නෑ කියන්න බෑ." 'සියයක් කාන්තාවෝ' විශේෂාංගය මේ සතියේ විමසා බලන්නේ ලිංගිකත්වය මත පදනම්ව ක්‍රීඩා ක්ෂේත්‍රයේ දී කාන්තාවන්ට වෙනස්කම් කිරීම (sexism in sport) පිළිබඳවය. "ඇත්තටම එහෙම වෙනස්කම් කෙරෙනවා. ඒත් ඒවා මට බලපෑවෙත් නෑ, ඒවා නිසා මම කිසිම දෙයක් නැවැත්තුවෙත් නෑ." සිය දියණියන් දෙදෙනාගේ සහාය නොවූයේ නම් තමන්ට මේ කිසිවක් කළ නොහැකි වනු ඇති බවත් 93 හැවිරිදි ජාත්‍යන්තර පිහිනුම් ශූරිය පවසයි. සබැඳි යොමු:
ලොව බොහෝ රටවල් මේ වන විට කාන්තා අයිතීන් රැකීමට නීති සම්පාදනය කර ඇති නමුත්, තවමත් කාන්තාවන් සහ පුරුෂයන් අතර සැලකිය යුතු වැටුප් පරතරයක් පවතී.
ලිංගභේදය මත අඩු වැටුප් ගෙවීම අනුමත කළ හැකිද? මෙම වැටුප් පරතරය අවම කිරීමේ අරමුණින් ලෝකයේ දියුණු රටවල් සම වැටුප් නීති ගෙන ආ අතර, ඇමරිකාවේ සමාන වැටුප් පනත සම්මත කෙරුණේ 1963 දීය. එංගලන්තය මෙම නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ 1970 සිටය. එම නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව මෙම රටවල ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය මේ වන විට අවම අගයක් ගෙන ඇති බව වාර්තා වේ. සමාන වැටුප් ගෙවීම සහ ස්ත්‍රී - පුරුෂ ලිංගභේදය මත පදනම්ව වෙනස් වැටුප් ගෙවීම අතර පැහැදිළි වෙනසක් පවතී. සමාන වැටුප් ලැබීම හෝ නොලැබීම සිය හැකියාව සහ රැකියාවේ ජ්‍යෙෂ්ඨත්වය මත තීරණය වන කාරණයකි. නමුත් ලිංගභේදය මත අඩු වැටුප් ගෙවීම අනුමත කළ හැකිද? පුද්ගලයෙකු නිරත වන රැකියාව අනුව ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් ඇතිවීම සාමාන්‍ය වුවද එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ නීතිඥවරියකට වැටුප් ගෙවන්නේ අඩුවෙන්ද? ජ්‍යෙෂ්ඨ නීතිඥවරයන් යටතේ රැකියාව කරන කාන්තාවන්ට හිමි වන්නේ පුරුෂයන්ට වඩා බෙහෙවින් අඩු වැටුපකි නීතිය අකුරට රැකීමට සහ පිළිපැදීමට දිව්රුම් දී නීතිඥ වෘත්තියට ඇතුළු වන බොහෝ කාන්තාවන්ට, පුරුෂයන් හා සමාන වැටුපක් නොලැබෙන බවට බීබීසී සිංහල සේවය කළ විමසුමකදී හෙළි විය. රජයේ හෝ පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධිය ලබාගෙන, ඉන්පසු නීති විද්‍යාලයේ විභාගවලට මුහුණ දී, නැතහොත් ඍජුවම නීති විද්‍යාලයෙන් සුදුසුකම් ලබා, නැවතත් දේශන මාලාවකට සහභාගි වන අතරතුර තවත් සය මසක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ ආධුනික නීතිඥවරයෙකු ලෙස රැකියාව නිමවා, අවසානයේ දී නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිව්රුම් දිය යුතුය. ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු වීමේ මෙම දීර්ඝ ක්‍රියාවලිය අවසන් වන විට වසර පහකට වඩා වැඩි කාලයක් වැය වේ. මේ කාලය ඇතුළත සියලු වියහියදම් පෞද්ගලිකව දැරිය යුතු අතර, එසේ නොමැති නම් තම තරුණ දරුවන්ගේ වියදම් දෙමව්පියන් විසින් දරනු ලැබේ. ආධුනික නීතිඥවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ රැකියාව කරන කාලපරිච්ඡේදයෙහි බොහෝ විට වැටුප් ගෙවීමක් සිදු නොවේ. කාන්තාවන් අධිකරණයට අනිවාර්යයෙන් සුදු, කළු, දම් හෝ අළු පැහැති (ස්වාධීන වර්ණ) සාරිවලින් සැරසී යා යුතුය විශේෂයෙන්ම කාන්තාවන් අධිකරණයට අනිවාර්යයෙන්ම සුදු, කළු, දම් හෝ අළු පැහැති (ස්වාධීන වර්ණ) සාරිවලින් සැරසී යා යුතු අතර ඒ සියල්ල මිලදී ගැනීම සදහා විශාල මුදල් ප්‍රමාණයක් වැයවේ. තත්වය එසේ වුවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් යටතේ රැකියාව කරන කාන්තාවන්ට හිමි වන්නේ පුරුෂයන්ට වඩා බෙහෙවින් අඩු වැටුපකි. "නීති විද්‍යාලයේ එකට සිටි මගේ පිරිමි යහළුවන් නීතිඥවරුන් විදියට වැඩ කරද්දී මට වඩා වැඩි පඩියක් ලැබෙනවා. ගැහැනියක් නිසා මගේ හැකියාව අවතක්සේරු කරල, දිව්රුම් දීමෙන් පසු පළමු මාසයේ මට පඩි ලැබුනේ රු.10,000 යි. මාත් එක්ක දිව්රුම් දුන් මගේ පිරිමි යහළුවන්ට පඩිය පටන් ගත්තේ රු.20,000 කින්" යැයි ක්ෂේත්‍රයේ වසර හතක පළපුරුද්දක් සහිත නීතිවේදිනී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර සිටියාය. "ගැහැණු අපිත් පිරිමි හා සමානව වැඩ කරනවා. සමහරදාට අපි රෑ 11.00 විතර වෙන කම් වැඩ කරනවා. ගැහැණු අපි තමයි ඉඩම් ලියා පදිංචි කාර්යාලයට, නඩු පොත් පරීක්ෂා කිරීම සඳහා ලේඛනාගාරවලට සහ නඩුවලට අදාළ නොයෙකුත් වැඩවලට යන්නේ. අපි 'අස්සයෝ' වගේ වැඩ කරනවා හැබැයි සොච්චම් පඩියකට," ඇය තව දුරටත් පවසා සිටියාය. මේ අතර පෞද්ගලික ආයතනයක සහ බැංකුවක සේවයෙහි නිරත නීතිවේදිනියන් දෙදෙනෙකු පවසා සිටියේ එම ආයතනවල ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් නොමැති බවය. සමහර ආයතන නීතිවේදීන් පමණක් බඳවා ගන්නා අතර, තවත් ආයතන නීතිවේදිනියන් සදහා පමණක් රැකියා විවෘත කර සිටී. මෙයට ප්‍රධාන හේතුව ලෙස රැකියාවේ ස්වභාවය බලපාන අතර සමහර අවස්ථාවල රාත්‍රියේදී පවා සේවා ස්ථානයෙන් පිටතට යාමට සිදු වන බැවින් පුරුෂයින් පමණක් බඳවා ගැනීමට සිදුවේ. එමෙන්ම ලිපි ලේඛන සම්බන්ධ රැකියා සඳහා කාන්තාවන් පමණක් බඳවා ගැනීමට සමහර ආයතන උත්සුක වන බව හෙළි විය. "මම පෞද්ගලික ආයතනයක නීතිවේදිනියක් විදියට වැඩ කරනවා. මම වැඩ කරන තැන වැඩිපුර ඉන්නේ කාන්තාවන්. අපේ ආයතනයේ ගැහැණු - පිරිමි වැටුප් පරතරයක් නැහැ. නමුත් මම දන්නා සමහර පෞද්ගලික ආයතන පිරිමි විතරයි නීතිවේදී රැකියාවට බඳවා ගන්නේ. හැබැයි ඒ වගේම කාන්තා නීතිවේදීන් විතරක් බඳවා ගන්නා ආයතනත් තිබෙනවා," නීතිවේදිනියක් ලෙස වසර හයක කාලයක් ආයතන දෙකක සේවයේ නිරත නීතිඥ නිලුපුල් ගුණතිලක සඳහන් කළාය. ඇතැම් පෞද්ගලික ආයතන සහ බැංකුවල රැකියා කරන කාන්තාවෝ සහ පුරුෂයෝ සම වැටුප් ලබති පෞද්ගලික බැංකුවක වසර ගණනාවක් සේවය කර, වර්තමානයේ කථිකාචාර්යවරියක් ලෙස සේවයේ නිරත වින්ධ්‍යා පෙරේරා පවසා සිටියේ: "පෞද්ගලික බැංකුවල ගැහැණු සහ පිරිමි නීතිවේදීන්ගේ පඩි අතර වෙනසක් නැහැ. ඒ වගේම කථිකාචාර්ය වෘත්තියේ පඩි අතර වෙනස ඇති වෙන්නේ අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද මත මිස ලිංගිකත්වය මත පදනම්ව නොවේ," යනුවෙනි. ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු පෙනී සිටින නඩුවකට සහාය දෙන කනිෂ්ඨ නීතීඥවරයාට එම නඩුව සඳහා අය කරන ගාස්තුවෙන් 1/3 ක් ලබා දීම වෘත්තීය රීතියකි. නමුත් සමහර ජ්‍යෙෂ්ඨයින් මෙම මුදල පුරුෂයින්ට එලෙසම ලබා දුන්නත්, කාන්තාවන්ට ලබා නොදෙන බව තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති කනිෂ්ඨ නීතීඥවරියක් බීබීසී සිංහල සේවය සමග පවසා සිටියාය. "කනිෂ්ඨ නීතීඥවරියන්ගේ ශ්‍රමය සූරා කෑමට ලක් වෙනවා. අපිට නඩුවකට ගෙවිය යුතු 1/3 ක මුදල තියා, ගමන් වියදමවත් නොදෙන අවස්ථා තිබෙනවා." යතුරු ලියන්නන් සහ ලිපිකරුවන් අතරත් වැටුප් පරතරයක් නීතීඥවරියන් පමණක් නොව, නීතීඥ කාර්යාල වල සේවයේ නිරත යතුරු ලියන්නන් සහ ලිපිකරුවන් අතර ද ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් පවතින බව බීබීසී සිංහල සේවය කළ විමසුමේදී හෙළි විය. කනිෂ්ඨ නීතීඥවරුන්ට මෙන්ම බොහෝ ජ්‍යෙෂ්ඨ නීතීඥ කාර්යාල සේවකයන්ට සේවක අර්ථසාධක මුදල් (EPF) හෝ සේවා නියුක්ති භාරකාර අරමුදලක් (ETF) නොමැත. නීතීඥවරියන් පමණක් නොව, නීතීඥ කාර්යාල වල සේවයේ නිරත යතුරු ලියන්නන් සහ ලිපිකරුවන් අතර ද ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් ඇති බව හෙළි විය "මම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ කාර්යාලයක යතුරු ලියන්නියක්. අපේ කාර්යාලයේ මේ රස්සාව කරන්න දෙන්නෙක් ඉන්නවා. අනිත් කෙනා මට සමාන පළපුරුද්දක් ඇති පිරිමි කෙනෙක්. මට මාසෙට පඩිය රු. 28,000 යි. එයාට පඩිය රු.35,000 යි. මට අද රස්සාවෙන් එළියට යන්න වුණොත්, මට කිසි දෙයක් නැහැ. අපිට EPF, ETF කියල දෙයක් නැහැ," යැයි සඳහන් කළ සිය රැකියාවේ වසර දහතුනක පළපුරුද්දක් ඇති ඇය තම අනන්‍යතාවය හෙළි කිරීමට මැළි වූයේ රැකියාව අහිමි වේ යැයි බියෙනි. කෙසේ වුවද බහුතරයක් නීතිඥ සමාගම් කාන්තාවන්ට සහ පුරුෂයින්ට අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද අනුව සමාන වැටුපක් ගෙවන අතර, වැටුප් පරතරය බහුලව දැකිය හැකි වන්නේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කාර්යාල (Chambers) තුළය. ගෘහ නිර්මාණ ශිල්පයෙහි යෙදෙන කාන්තාවන්ට පුරුෂයින්ට හා සමාන වැටුපක් නොලැබේද? ගෘහ නිර්මාණ ශිල්පයෙහි ද ස්ත්‍රී-පුරුෂ වැටුප් අසමානතා ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නීතිඥ වෘත්තියට පමණක් සීමා වූවක් නොවේ. ගෘහ නිර්මාණ ශිල්පයෙහි ස්ත්‍රී පුරුෂ වැටුප් අසමානතා ඇති බව ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පිනී චතුරංගි සේනානායක පවසන්නීය. "සාමාන්‍යයෙන් උපාධියෙන් පසු මුල් පඩිය විදියට කාන්තාවකට හෝ පිරිමියෙකුට රුපියල් 30,000 - 35,000 ක් අතර ප්‍රමාණයක් ගෙවනවා. නමුත් උසස් අධ්‍යාපනය (M.Arch විභාගය) ලැබුවාට පසු කාන්තාවකට ගෙවන්නේ රුපියල් 55,000ක් විතර. පිරිමියෙකුට රුපියල් 60,000 - 65,000 ක් අතර ගණනක් ගෙවනවා," ඇය සඳහන් කළාය. "වැඩබිමට ගිහින් තම වෘත්තියේ යෙදෙන ගෘහ නිර්මාණ ශිල්පීන්ට (field architects) රුපියල් 80,000 කට ආසන්න පඩියක් ලැබෙනවා. නමුත් කාන්තාවන්ට එහෙම වැඩ ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ඒකට හේතුව රෑ වෙනකම් වැඩ කරල සති අන්තයේත් වැඩ කරන්න තිබෙන නිසා. තවදුරටත් ඉගෙන ගත්ත (Chartered සුදුසුකම් ලත්) පිරිමි ගෘහ නිර්මාණ ශිල්පියකුට රුපියල් 135,000 - 150,000 අතර පඩියක් ලැබෙනවා. සමාන සුදුසුකම් ඇති කාන්තාවකට ලැබෙන්නේ රුපියල් 100,000 ක විතර පඩියක්." මේ තොරතුරුද දැනගන්න: කාන්තා කම්කරුවන්ටත් පුරුෂයින්ට වඩා අඩු වැටුපක් "....උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළත්, ගෑනුන්ට ලැබෙන්නේ රුපියල් 700 - 800 ක් විතර...." ඇල්පිටිය ප්‍රදේශයේ කුරුඳු සහ තේ වතුවල කම්කරු රැකියාවේ නිරත එස්ටී කුමාරි පවසා සිටියේ: "ගෑනු අපි පිරිමි හා සමානව වැඩ කරනවා. දවසේ පඩියට උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළත්, ගෑනුන්ට ලැබෙන්නේ රුපියල් 700 - 800 ක් විතර. පිරිමින්ට රුපියල් 1,200 - 1500 ක් අතර පඩියක් ලැබෙනවා," යනුවෙනි. මෙම වෙනස සෑම වෘත්තියකටම අදාලද? වෛද්‍ය, ඉංජිනේරු, බැංකු, ගණකාධිකාරී සහ සංචාරක ක්ෂේත්‍රවල ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා වාර්තා වී නොමැති බව එම රැකියාවල නිරත කාන්තාවන් කිහිප දෙනෙක් බීබීසී සිංහල සේවය කළ විමසීමේ දී සඳහන් කළහ. මෝස්තර නිර්මාණ ශිල්පයෙහි නිරතවන කාන්තාවන් සම වැටුප් ලබන අතර ඇතැම් අවස්ථාවලදී පුරුෂයින්ට වඩා වැඩි වැටුපක් කාන්තාවන්ට හිමිවන බව ද දැන ගැනීමට ලැබිණ. මෝස්තර නිර්මාණ ශිල්පයෙහි ඇතැම් අවස්ථාවලදී පුරුෂයින්ට වඩා වැඩි වැටුපක් කාන්තාවන්ට හිමි වේ "මෝස්තර නිර්මාණ ශිල්පයේ ඔය කියන වැටුප් පරතරයක් නැහැ. සමහර ආයතන පිරිමින්ට වඩා කාන්තාවන්ට ගෙවනවා. කාන්තාවන්ට වැඩක් බාර දුන්නොත් ඒක පිළිවෙලට වෙලාවට ඉවර කරන බවට හැඟීමක් අපේ ක්ෂේත්‍රයේ තිබෙනවා. ඒක නිසා තමයි ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩිපුර කාන්තාවන් වැඩ කරන්නේ," මෝස්තර නිර්මාණ ශිල්පිනී තරුක්ෂි රොද්‍රිගෝ බීබීසී සිංහල සේවය සමග පවසා සිටියාය. ඇය ඇඟලුම් කර්මාන්තශාලා හතරක, වසර දහයකට අධික කාලයක් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස සේවය කර, වර්තමානයේ මෝස්තර නිර්මාණ ව්‍යාපාරයක හිමිකාරිණියකි. "නමුත් සමහර අමාරු රැකියා සඳහා කාන්තාවන් බඳවා ගන්නේ නැහැ. මිනිස්සු කැමතියි මොනව හරි දෙයක් ගැන අනවශ්‍ය විදියට කතා කරලා සමාජයේ ප්‍රශ්න ඇති කරන්න. ඒකයි ඔය වැටුප් අසමානතා ගැන කියවන්නේ. ව්‍යාපාරික කාන්තාවක් හැටියට මම කියන්නේ, අවසානයේදී ඕනෑම ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ ලාභ විතරයි. ඒ සඳහා අපි බලන්නේ ගැහැණු ද පිරිමිද කියලා නෙමේ, කාටද වැඩිපුර වැඩ කරන්න පුළුවන් කියලා විතරයි," තරුක්ෂි රොද්‍රිගෝ වැඩිදුරටත් සඳහන් කළාය. සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ, වසර 10 ක පළපුරුද්දක් ඇති තවත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් එය තහවුරු කළාය. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ පුරුෂයින්ට සම වැටුප් ගෙවිය යුතු බවට නීතියක් ඇත්ද? ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' (1978), 12 (1) වගන්තිය: සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 1978 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට' අනුව සියලුම පුද්ගලයෝ නීතිය ඉදිරියේදී සමාන වන අතර නීතිය මගින් සමාන ආරක්ෂාව ලැබිමට හිමිකම් ලබති. ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය සමානාත්මතාවට ඇති අයිතිය තහවුරු කරයි. 1993 මාර්තු මස 3 වන දින සම්මත කරන ලද ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියෙන් කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලු වෙනස්කම් දුරු කොට ඔවුන්ට අදාළ තීරණාත්මක ගැට‍ලු නිරාකරණය කිරීම සඳහා රජයේ කැපවීම ප්‍රකාශයට පත් කර ඇත. ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ වෙනස්කම් මුලිනුපුටා දමා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම මෙම ප්‍රඥප්තියේ අරමුණ විය. කාන්තා ප්‍රඥප්තියේ සදහන් වන වගන්තිවලට අනුව ජාතික කාන්තා කමිටුවක් පිහිටවුවද, වැටුප් විෂමතා සම්බන්ධයෙන් තවමත් රට තුළ සැළකිය යුතු සංවාදයක් නිර්මාණය වී නැත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ වෙනත් කිසියම් කම්කරු නීතියක් තුළ සමාන වටිනාකමක් සහිත සේවා සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින් සමාන වැටුප් ගෙවිය යුතු බවට වන ප්‍රතිපාදන නොමැත ශ්‍රී ලංකාවේ කම්කරු නීති පනත්: •1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත •1941 අංක 27 දරණ පඩි පාලක සභා ආඥාපනත •2016 කම්කරු අයවැය සහන දීමනා පනත •2016 කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් පනත •1934 අංක 39 දරණ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත •1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත •1942 කර්මාන්තශාලා ආඥාපනත •1956 අංක 47 දරණ ස්ත්‍රීන් ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේ පනත •1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත •1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත •1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත •1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත •1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත •1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත •1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනත •1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා පනත •1971 අංක 49 දරණ ජාතික ආධුනිකත්ව මණ්ඩල පනත •1978 අංක 08 දරණ පෞද්ගලික අංශයේ පුහුණු වන්නන් සේවයේ යෙදවීමේ පනත කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ වෙනත් කිසියම් කම්කරු නීතියක් තුළ සමාන වටිනාකමක් සහිත සේවා සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින්ට සමාන වැටුප් ගෙවිය යුතු බවට වන ප්‍රතිපාදන නොමැත. තවත් තොරතුරු:
ලබන වසරේ අය වැය යෝජනාවල අඩංගු රාජ්‍ය සේවයට සහ සෞඛ්‍ය සේවයට හානිකර යෝජනා ඉවත් නොකරන්නේ නම් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට පවා නොපැකිලෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් ඒ බව කියා සිටියේ ඌව පළාතේ සේවය කරන සංගමයේ සාමාජිකයන් සඳුදා (නොවැ.28) සිය පෞද්ගලික වෛද්‍ය සේවාවන් වර්ජනය කිරීම පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දක්වමිනි. අය වැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, දෙවැනි රැකියාව සඳහා පනවන බද්ද විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සේවයේ සුවිශේෂ දීමනා වෙනුවෙන් බද්දක් අය කිරීම ඇතුළු කරුණුවලට සිය සංගමය දැඩි විරෝධය පළ කරන බව වෛද්‍ය හේරත් සඳහන් කළේය. විශේෂයෙන්ම ඌව පළාතේ පෞද්ගලික සායන වර්ජනය කරනු ලැබුවේ, රජයේ රෝහල් පමණක් වර්ජනය කරන බවට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන විවේචනවලට ප්‍රතිචාරයක් වශයෙන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ හැරුණු කොට රට පුරා රෝහල් 18 ක් ඉදිරිපස විරෝධතා ව්‍යාපාර දියත් කළ බව සඳහන් කළ සංගමයේ සංස්කාරකවරයා, එම විරෝධතාවලින් ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් රට පුරාම වෛද්‍ය වර්ජනයක් දියත් කිරීම සංගමයේ මීළඟ පියවර බවත් සඳහන් කළේය.
පාසල් පන්ති කාමර තුළ ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී, අන්තර්ජාලයේ පළවෙන අසභ්‍ය කාම වෙබ් අඩවිවලට පිවිසීම ගැන සාකච්ඡාවන් ද ඊට එක්කළ යුතුව ඇතැයි, බ්‍රිතාන්‍යයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ළමා ආයතනයක ප්‍රධානියෙක් පවසයි.
යොවුන් පරපුරෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය කාම වෙබ් අඩවිවලට පිවිසෙන බව බලධාරීහු පවසති එම අදහස පළ කරනු ලැබ තිබෙන්නේ,එංගලන්තයේ ළමා කටයුතු භාර කොමසාරිස් මැගී ඇට්කින්සන් (Maggie Atkinson) විසින්. මැගී ඇට්කින්සන් කොමසාරිස්වරිය පෙන්වා දෙන්නේ, යොවුන් පරපුරෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය කාම වෙබ් අඩවිවලට පිවිසෙන බවයි. එවැනි තත්වයක් යටතේ,ළමුන් අන්තර්ජාලයට පිවිසීමේදී එය ආරක්ෂාකාරීව ප්‍රවේශමෙන් පාවිච්චි කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කළ යුතුව ඇති බවයි, එංගලන්තයේ ළමා කටයුතු භාර කොමසාරිස් මැගී ඇට්කින්සන් පවසන්නේ. අදාළ කාරණය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන එංගලන්තයේ ළමා කොමසාරිස්වරිය, ළමුන් විසින් අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ අසභ්‍ය කාම දර්ශන නරඹනු ලැබීම, එම දරුවන් යොවුන් වියේදීම ලිංගික සම්බන්ධතා කෙරෙහි යොමු වීම ,නිදැල්ලේ සිදුකෙරෙන ලිංගික ක්‍රියා වැඩි වීම සහ කාන්තාවන් යනු කාම භාණ්ඩ විශේෂයකැයි අදහසක් ඇතිකර ගැනීම වැනි සමාජ දුර්විපාක වලට හේතු විය හැකි බවයි පෙන්වා දෙන්නේ.
අසර්බයිජානයේ ‘බකු’ අගනුවර සිය කාර්යාල වලට කඩා වැදුන බව ඇමෙරිකානු මූල්‍ය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක වෙන ගුවන් විදුලි ආයතනයක් පවසයි.
‘රේඩියෝ ෆ්‍රී යුරෝප් - රේඩියෝ ලිබර්ටි’ (Radio Free Europe - Radio Liberty) නම් එම ගුවන් විදුලි මධ්‍යස්ථානය පවසන්නේ, ‘රේඩියෝ අශාඩ්ලික්’(Radio Azadliq) නම් සිය අසර්බයිජාන් අංශයට කඩා වැදී කාර්ය මණ්ඩලයට ඉන් බැහැර වෙන මෙන් නියෝග කර ඇති බවයි. මේ මාසය මුලදී එම අසර්බයිජාන් ගුවන් විදුලියේ මාධ්‍යවේදිනී කදිජා ඉස්මයිලෝවා (Khadija Ismayilova) අත් අඩංගුවට ගත් බවක් ද වාර්තා විය. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ, මිනිසකු සිය දිවි හානිකර ගැනීම සඳහා පොලඹවන ලදැයි චෝදනා කරමින්. අසර්බයිජාන් ජනාධිපති ප්‍රකාශක රමිෂ් මජ්දියෙෆ් (Ramiz Majdiyev) ප්‍රකාශයක් කරමින්, විදේශීය ආරක්ෂක අංශයක් සඳහා ක්‍රියාත්මක වෙන බවට ‘රේඩියෝ අශාඩ්ලික්’ (Radio Azadliq) ගුවන් විදුලියට චෝදනා කළේය.
ඇපල් සමාගම සිය ප්‍රාන්තය තුළ අයි ෆෝන් (iPhone) ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගනිමින් ඇතිබව දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව පවසයි.
ඇපල් සමාගම ලබන අප්‍රේල් මාසයේ පටන් සිය මූලික නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරන බව කර්ණාටක ප්‍රාන්ත ඇමතිවරු පවසති. ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුමේ 2% කි. දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන සැම්සුන් ජංගම දුරකතන සඳහා ඉන්දීය වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම හා සැසඳීමේදී එය ඉතාමත් අඩු අගයකි. කර්ණාටක ප්‍රාන්තයේ සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බවක් ඇපල් සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කරනු ලැබ නැති නමුත් ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව එම සමාගම ප්‍රකාශ කොට ඇත.
ඇමෙරිකානු අධිකරණ ඉතිහාසයේ වසර 68කට පසු පළමුවරට කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබුණි.
ලීසා මොන්ට්ගොමෙරි (Lisa Montgomery) නම් එම කාන්තාවට එරෙහිව පූර්ව අධිකරණයක් විසින් නියමකරන ලදුව පැවැති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලැබ තිබෙන්නේ,ඇමෙරිකානු ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද නියෝගයක් මගින් එය තාවකාලිකව අත්හිටවනු ලැබ තිබියදීය. එම මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට පෙර එය ක්‍රියාත්මක කරනු ලැබීම සුදුසුද යන්න සම්බන්ධයෙන් විභාගයක් පැවැත්විය යුතු බව විනිසුරු ජේම්ස් හැන්ලන් (James Hanlon) ප්‍රකාශකර තිබුණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පැය කීපයකට පසු එම කාන්තාවට විෂ එන්නතක් ශරීරගත කරනු ලැබීම මගින් මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබුණි. ලීසා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් පෙන්වාදුන්නේ තම සේවාදායිකව යහපත් මානසික තත්ත්වයක නොසිටින අතර ඇය උපතින්ම ඌන මානසික සංවර්ධනයක් සහිත තැනැත්තියක් වන බවය. ලීසාට එරෙහි මරණ දඬුවම ප්‍රකාශයට පත්කරන ලද්දේ 2007 වසරේදීය. ලීසාට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනාව වූයේ මිසූරි (Missouri) ප්‍රාන්තයේ ගර්භනී මවකගේ ගෙල සිරකොට මරාදමා ඇයගේ උදරය කපා නූපන් බිළිඳකු පැහැරගෙන යාමය. 2004 වසරේ වාර්තා වූ එම අපරාධය සම්බන්ධයෙන් වරදකාරිය කරනු ලැබ මරණීය දණ්ඩනයට යටත්කරනු ලැබ සිටි ලීසා අඟහරුවාදා (ජනවාරි12) වනවිට පනස් දෙහැවිරිදි වියේ පසුවූවාය. 'ඉන්දියානා' ප්‍රාන්තයේ 'ටෙරේ හෝටි' (Terre Haute) බන්ධනාගාරයේ දී ලීසා මරණයට පත්කර ඇති අතර ඇය වසර හැත්තෑවකට ආසන්න කාලයක් තුළ එම ඉරණමට ලක්වූ පළමු කාන්තාව බවට පත්වූවාය. ලීසා මොන්ට්ගොමෙරි සිය අර්ධ සහෝදරිය, ඩයනා මැටින්ග්ලි සමඟ ළමාවියේ දී විනිසුරුගේ තීන්දුව කුමක්වීද? 'ඉන්දියානා' ප්‍රාන්තයේ දකුණු දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ජේම්ස් හැන්ලන් (James Hanlon) ඉහතකී මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබීමට පෙර සඳුදා (ජනවාරි 11) මෙසේ සඳහන්කර තිබුණි. ''ලීසා මොන්ට්ගොමෙරිට එරෙහි මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීමට තරම් සුදුසු මානසික තත්ත්වයක ඇය සිටින්නේද යන්න තීන්දුකිරීමේ විභාගයක් සිදුකිරීම සඳහා අධිකරණයට අවස්ථාව සැලසීම්වස් ඇයට එරෙහි තීන්දුව තාවකාලිකව නතර කරන මෙන් ඇය කරන ලද ඉල්ලීමට අවසර ලැබෙයි'' ''ලීසා මොන්ට්ගොමෙරි මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය කොතරම්දුරට යථාර්ථයෙන් ඈත්ව තිබෙන්නේදැයි සඳහන් කළොත්, ඇයට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලැබීමේ ආණ්ඩුවේ අභිලාශය කුමක්ද යන්න තේරුම්ගැනීමේ ශක්‍යතාවක් ඇයට නොමැත'' විනිසුරුවරයාගේ ප්‍රකාශයේ දැක්වෙයි. ''අධිකරණය ඊට අදාළ විභාගයක් සඳහා දිනය සහ කාලවේලාව වෙනත් නියෝගයක් මගින් යථා කාලයෙහි නියමකරනු ඇත'' විනිසුරු හැන්සන් වැඩිදුරටත් සඳහන්කර තිබුණි. ''ලීසාට එරෙහි මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටවීමට තීන්දුකරනු ලැබීම මගින් අධිකරණය නිවැරැදි තීන්දුවක් ගෙන තිබෙනවා'' නීතිවේදී කෙලී හෙන්රි විසින් නිකුත්කරන ලද ප්‍රකාශනයක සඳහන් විය. ''අධිකරණය නිවැරැදිව තේරුම්ගත් පරිදි, ලීසා මොන්ට්ගොමෙරි මරාදැමීමට සුදුසු මානසික මට්ටමක දැන් ඇය නොමැති බව හොඳින් පෙන්නුම් කර තිබෙනවා'' ''මොන්ට්ගොමෙරි මහත්මියගේ මොළයට හානි සිදුවෙලා. ඇය බරපතල මානසික ව්‍යාධියකින් පෙළෙනවා. භාරකරුවන් ග්‍රහණයේ සිටියදී ලිංගික පීඩාවන්ට ගොදුරුවීමෙන් ඇය ලද පීඩාව ඇයගේ මුළු ජීවිතකාලය පුරාම දිගටම බල පැවැත්වෙන්නක්'' නීතිවේදියා පෙන්වාදෙයි. එහෙත් හැන්සන් විනිසුරු විසින් දෙනලද තීන්දුවට එරෙහිව අධිකරණ නිලධාරීන් අභියාචනයක් ඉල්ලා ඇතැයි CNN පුවත්සේවය වාර්තා කළේය ගැලවීමක් තිබුණේද? ලීසාට එරෙහි මරණීය දණ්ඩනය පළමුව ක්‍රියාවට නැංවීමට නියමිතව තිබුණේ 2020 දෙසැම්බර් මාසයේ දිනකය. එහෙත් ඇයගේ නීතිවේදීන් කොවිඩ්-19 වෛරසයට හසුවීම හේතුවෙන් එය කල්තැබීමට සිදුවිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණීය දණ්ඩන තොරතුරු මධ්‍යස්ථානය පවසන පරිදි ආණ්ඩුව විසින් ලීසා මොන්ට්ගොමෙරිට පෙර කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවා තිබෙන්නේ 1953 වසරේදීය. ඇය බොනී හෙඩී (Bonnie Heady) නම් වූවාය.. මරණීය දණ්ඩණය යළි ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති ට්‍රම්ප් නියෝගකරනු ලැබීමට පෙර වසර දාහතක කාලයක් එක්සත් ජනපදයේ ෆෙඩරල් මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීම අත්හිටවනු ලැබ තිබුණි. ඇමෙරිකානු ජනාධිපති පදවියට තේරී පත්ව සිටින ජෝ බයිඩන් පදවියේ කටයුතු භාරගනු ලැබුනේනම් ලීසාට මරණීය දණ්ඩනයෙන් ගැලවීමට ඉඩකඩ තිබිණැයි අදහස් පළවෙමින් ඇත. ෆෙඩරල් ආණ්ඩුවේ මරණ දඬුවම නතර කිරීමට අවධානය යොමුකරන බව ජෝ බයිඩන් ප්‍රකාශකර ඇත. බොබී ජෝ ස්ටිනෙට් ඛේදාන්තයක සුළමුල; ඛේදාන්තයකින් අවසන් වූ ලීසා ගේ ජීවිතකතාව ආරම්භවන්නේ කුඩා වියේ පටන් ඇය මුහුණදුන් අඩන්තේට්ටම්, හිරිහැර, ලිංගික අතවර සහ ඒ නිසාම ඇතිවූ මානසික ව්‍යාධීන් ඇතුළත් කාල පරිච්ඡේදයකිනි. එවැනි අතීතයක් සහිත ලීසා මිනීමැරීමේ සහ ළදරුවකු පැහැරගනු ලැබීමේ චෝදනාවට ගොදුරුවූයේ 2004 වසරේදී සිදුකරන ලද සාපරාධී වරදක් සමඟය. ඇය ඒවනවිට 36 වෙනි වියේ පසුවූවාය. ලීසාට එරෙහි චෝදනාව වූයේ 23 හැවිරිදි බොබී ජෝ ස්ටිනෙට් (Bobbie Jo Stinnett) නම් මාස අටක ගර්භනී තරුණියකගේ උදරය කපා ඇයගේ කුසෙහි වූ බිළිඳු දැරියක් පැහැරගෙන යාමය. බොබී එම අනපේක්ෂිත ප්‍රහාරයේ දී රුධිරය වහනයවීමෙන් මරණයට පත්වූවාය. සුරතල් බලුපැටවුන්ට ආශා කළ ලීසා මොන්ට්ගොමෙරි සහ බොබී ජෝ ස්ටිනෙට්(Bobbie Jo Stinnett) එකිනෙකා දැන හඳුනාගෙන තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේය. සති කීපයක් අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කරගත් ලීසා එවක ගර්භනීව සිටි බෝබීට පවසා තිබෙන්නේ තමාත් ගැබ්ගෙන සිටින බවකි. අනතුරුව ඔවුන් දෙදෙනා ගැබ්ගැනීමට අදාළ තොරතුරු හුවමාරු කරගෙන ඇත. 2004 වසරේ දෙසැම්බර් මාසයේ දිනක ලීසා කැන්සාස් හි පිහිටි සිය නිවසේ සිට කිලෝමීටර් 281.5ක දුරක් මෝටර්රථයක් පදවාගෙන බොබී වාසයකරන 'ස්කිඩ්මෝර්' (Skidmore) කරා ගොස් තිබෙන්නේ බොබී සතු සුරතල් බලු පැටවුන් බැලීම සඳහා අවස්ථාවක් යොදාගනිමිනි. එහෙත් එසේ පැමිණි කාන්තාව බොබී බලාපොරොත්තු වූ ලීසා මොන්ට්ගොමෙරි නොවූවාය. එහි පැමිණ තිබුණේ ඩාර්ලින් ෆිෂර් Darlene Fischer) නමින් පෙනීසිටි කාන්තාවකි. එය 'ලීසා' බොබී සමඟ ගනුදෙනු කිරීමේ දී යොදාගන්නා ලද ව්‍යාජ නාමයකි. ඇය එම නමින් ද බොබී සමඟ තවත් කාන්තාවක වේශයෙන් බලුපැටවුන් මිලට ගැනීම ගැන අදහස් හුවමාරු කරගෙන තිබුණි. ආරාධිත කාන්තාව තම දොරට සන්කළ මොහොතේ බොබී එය විවෘත කරත්ම අටමසක් ගර්භනී කතක වූ බොබී යටත් කරගත් ලීසා ඇයගේ ගෙල සිරකොට මරාදමා උදරය සිඳ එහිවූ බිළිඳිය පැහැරගෙන ගොස් තිබුණි. බොබී ගේ මරණය සිදුවුණේ මෙම නිවසේදීය. අද එම නිවස පවතින තත්ත්වය මෙයින් අවුරුදු 16කට පෙර සිදුවූ එම මරණය බොබී ජීවත්වූ ප්‍රදේශයේ වැසියන්ගේ මතකයෙන් තවමත් ගිලිහී නැත. ශෝකාන්තයේ ආරම්භය උපතත් සමඟ ලීසා මොන්ට්ගොමෙරි වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් කණ්ඩායම ඇයගේ පවුලේ සාමාජිකයන්, මිතුරන්, සමාජසේවා අංශයේ මහජන නියෝජිතයන් සහ සිදුවීම් අධ්‍යයනය කරන්නන් සහ වෛද්‍යවරුන් ආදී පිරිස් සමඟ සම්මුඛ සාකච්ඡා 450 ක් පමණ පවත්වා ඇත. එම සාකච්ඡා මගින් ඔවුන්ට හෙළිදරව් වී තිබෙන්නේ පවුලේ කටයුතු ක්‍රමවත්ව සිදුනොවීම, අපයෝජනය, දිගින් දිගටම පුරුද්දක් හැටියට නොතකා හැරීම, මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රතිකාර නොකළ මානසික රෝග වැනි කරුණු රාශියක් මොන්ට්ගොමෙරි පවුල වටා එකට ගෙතී ඇති බවය. "මුළු කතාවම ඛේදජනකයි'' මොන්ට්ගොමෙරි වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී කෙලී හෙන්රි ප්‍රකාශ කළාය. ''ප්‍රශ්නය පටන්ගෙන තිබෙන්නේ ලීසා ඉපදීමටත් පෙර පටන්. ලීසාගේ පියා සමඟ සිදුකළ සාකච්ඡාවේ දී ඔහු සඳහන් කළා ලීසාගේ මව 'ජූඩි' (Judy Shaughnessy) ගර්භනී සමය පුරාම ඉතා අධික ලෙස මත්පැන් පානය කළ බව.එවැනි තත්ත්වයක් යටතේ ලීසා ඉපදිලා තියෙන්නේ කළලයේදීම මත්පැන් නිසා වැළඳෙන 'භ්රූණ ඇල්කොහොල් ආබාධයක්' ද (foetal alcohol syndrome) සහිතව.වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් එම රෝග විනිශ්චය සමඟ එකඟවුණා'' නීතිවේදිනිය පවසන්නීය. ජූඩි;ලීසාගේ මව ලීසා මොන්ට්ගොමෙරි සහ ඇයගේ සහෝදරිය වන 'ඩියෙන් මැටිංලි' ළමාවියේ පසුවෙද්දී ඔවුන්ගේ මව 'ජූඩි' දරුවන් දෙදෙනාට පහර දී ලීසාගේ කට වැසීම සඳහා ටේප් ඇලවීම හෝ ඩයනා නිරුවතින්ම හිම මතට තල්ලු කරදැමීම වැනි දඬුවම් දී ඇත. දරුවන්ගේ ජෛවීය පියා නිවසින් පිටව ගිය පසු ජූඩිගේ පෙම්වතුන් සමඟ ඔවුන් තනිකොට ඇති අතර අඩුතරමින් ඔවුන්ගෙන් එක් අයෙකුවත් තමා දූෂණය කිරීමට පටන් ගත් බව ඩයනා පවසයි. "ජූඩි (අම්මා) වංචනික කාන්තාවක්. මම මෙම වචනය භාවිතා කිරීමට අකමැතියි, නමුත් සියල්ල නපුරුයි. අවට සිටින මිනිසුන්ට වධහිංසා පැමිණවීමෙන් ඇය සතුටක් ලැබුවා" ඩියෙන් වැඩිදුරටත් සඳහන් කළාය. "ඇය එයින් ප්‍රීතියක් ලැබුවා." ලීසා ගේ සහෝදරිය ඩියෙන් මැටිංලි; ළමාවියේ පසුවෙද්දී ඔවුන්ගේ මව 'ජූඩි' දරුවන් දෙදෙනාට පහර දී ලීසාගේ කට වැසීම සඳහා ටේප් ඇලවීම හෝ ඩයනා නිරුවතින්ම හිම මතට තල්ලුකර දැමීම වැනි දඬුවම් දී ඇත. අවසානයේදී සමාජසේවා අංශය මගින් ඩියෙන් නිවසින් ඉවත්කරනු ලැබීමෙන් පසු ලීසා ජූඩිගේ අලුත් සැමියාගේ ගොදුර බවට පත්ව ඇත. එම පුරුෂයාගේම වෙනත් දරුවන් කියාසිටින පරිදි එම තැනැත්තා මත්පැන්වලට ඇබ්බැහිවූ ප්‍රචණ්ඩ චරිතයක් සහිත තැනැත්තෙකි. ලීසා ලිංගික අපචාරයන්ට ගොදුරුවීම පටන්ගෙන තිබෙන්නේ ඇය ලාබාල වියේ පටන්ය. එම පවුල නිවසින් නිවසට මාරුවෙද්දී එම අපචාර වධහිංසාමය තත්ත්වයකට පත්ව ඇති බව ලීසාගේ නීතිවේදීහු පවසති. ලීසාගේ අර්ධ සහෝදර සහෝදරියන් සහ එම පවුලේ අය සමඟ කාලය ගත කළ වෙනත් පුද්ගලයන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රකාශ වූයේ, ''ලීසාගේ සුළු පියා ට්‍රේලරයක් මත ඉදි කළ මඩුවකදී ඔහු විසින් මෙන්ම අවසානයේදී ඔහුගේ මිතුරන් විසින් ද ඇය දූෂණය කරන ලදුව පහරදුන්' 'බවය. අවසානයේදී දී ලීසාගේ මව ජූඩි සිය දියණිය පිටස්තරයන්ට විකුණා ඇත. නිවසේ වැඩට එන විදුලි කාර්මිකයන්ට සහ පයිප්ප අලුත්වැඩියා කරන්නන්ට ජූඩි මුදල්ගෙවීම වෙනුවට සිදුකර තිබෙන්නේ දියණිය පාවාදීමය. ලීසා සිය ඥාති සහෝදරයෙකුට රහස් හෙළිකරමින් පවසා ඇත්තේ ''මිනිසුන් ඇය බැඳ, පහර දී අවසානයේදී ඇඟට මුත්‍රා කරන ලද'' බවකි දැනට ෂෙරිෆ්වරයාගේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන එම ඥාති සහෝදරයා ලීසාගේ නීතිවේදීන් කණ්ඩායමට පාපොච්චාරණය කරමින් කියාසිටියේ, ''තමා සිය සහෝදරිය රැකගැනීමට පියවර නොගත් අතර, සැබැවින්ම සිදුකරන ලද්දේ ආපසු නිවසට ගෙනවිත් අපයෝජකයින් අතට පත්කිරීම'' බවය. 'ජූඩි' ඇගේ දෙවන සැමියාගෙන් වෙන්වීමේ දික්කසාද නඩු විභාගයේදී ඇය සහ ලීසා සාක්ෂි දෙමින් ඔහුගේ අපයෝජන ගැන සඳහන් කළ අතර ඒවා වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට බැන වැදුන නමුත් විනිසකරුද එම අපයෝජන ගැන වාර්තා කළේ නැත. ''එම අපචාර වැලක්වීම සඳහා මැදිහත්වීමට බොහෝ අවස්ථා තිබී ඇතත් කිසිවකු විසින් එම වගකීම ඉටුකර නැත'' නීතිවේදිනී කෙලී හෙන්රි පෙන්වා දෙයි. කියවන්න;
අද (අගෝස්තු 20) ආරම්භ කෙරෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ කරුණු දෙකක් හේතුවෙන් ඓතිහාසික මුහුණුවරක් ගනී. ඉන් පළමුවැන්න, වසර තුනකට පමණ පෙර ආරම්භ කරන ලද ළාබාල දේශපාලන පක්ෂයක් (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ) තුනෙන් දෙකක බලයක් ද සහිතව පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ අසුන් ගැනීමය. දෙවැන්න, 1947 පටන් වසර හැත්තෑ දෙකක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ මුහුණක් එහි නොවීමය.
රනිල් වික්‍රමසිංහ සමග සජිත් ප්‍රේමදාස 1947 පළමු පාර්ලිමේන්තුවේ පටන් අඛණ්ඩව ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය වූ, ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය, 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාර ආරම්භය වනවිටත් නම් කරගැනීමට අසමත්ව ඇත. දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වීමෙන් වසරක් තරම් කෙටි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය 1947 මහමැතිවරණයේ දී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය බවට පත්වෙමින් සෙසු පක්ෂවල ද සහයෝගය ඇතිව අගමැති ඩී.එස්.සේනානායකගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් ඉතිහාසයට එක්වුණේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු ආණ්ඩුපක්ෂය වශයෙනි. ඉන් අනතුරුව 2020 මහමැතිවරණය තෙක් පවත්වා ඇති සියලු මැතිවරණවල දී ආණ්ඩුබලය දිනාගැනීමට හෝ නොඑසේනම් අඩුතරමින් විපක්ෂය ලෙස හෝ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට එම පක්ෂය සමත් විය. ආණ්ඩුබලය අහිමි වූ මහමැතිවරණවලින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට විපක්ෂ නායක පදවිය අහිමිව ඇත්තේ එක් වතාවක් පමණි. 1956 මැතිවරණ පරාජයේ දී ආසන අටක් ලද එක්සත් ජාතික පක්ෂයට වඩා ලංකා සම සමාජ පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත හැකිවීම හේතුවෙන් විපක්ෂ නායක පදවිය ආචාර්ය එන්.එම්.පෙරේරාට පැවරුණි. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ 2020 මහා පරාජයට පෙර ඔවුන් ලද පළමු සහ දැවැන්ත දේශපාලන පරාජය වර්තා වූයේ 1956 මහමැතිවරණයේ දීය. එම මැතිවරණයේ දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විසින් නායකත්වය දෙන ලද මහජන එක්සත් පෙරමුණ ලද ජයග්‍රහණය හමුවේ එක්සත් ජාතික පක්ෂය ලද ආසන සංඛ්‍යාව අටකට සීමා විය. එවැනි දරුණු පරාජයක් හමුවේ වුවද, පක්ෂ නායක අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල සිය පාර්ලිමේන්තු අසුන ආරක්ෂාකර ගැනීමට සමත් විය. එහෙත් 2020 මැතිවරණය දේශපාලන ඉතිහාසයට එක්වන්නේ 1994 පටන් වසර විසිහයක කාලයක් විපක්ෂ නායකයා ලෙස හෝ අගමැතිවරයා ලෙස දිගින් දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ඔහුගේ පාර්ලිමේන්තු ආසනය පවා අහිමි කරන ලද අමිහිරි දේශපාලන අත්දැකීමක් අත්කරමිනි. 1956 පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ලද ඊළඟ මහා පරාජය වාර්තා වන්නේ 1970 මහමැතිවරණයේ දීය. එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දිනාගත් සමස්ත ආසන සංඛ්‍යාව දහහතකට සීමා විය. එහෙත් 1977 මහමැතිවරණයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආසන අටකට සීමා කරමින් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් දිනාගැනීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමත්විණි. එජාප මූලස්ථානය වූ සිරිකොත මන්දිරයට වෙඩි තැබීමකින් අලියා ලකුණට හානි සිදුවූ අවස්ථාවක් 1956 සහ 1970 දී ලද දැවැන්ත පරාජය හමුවේ වුවද, එක්සත් ජාතික පක්ෂය සමස්ත රට වශයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම විශේෂත්වයකි. 1970 දී ආසන දහහතකට සීමාවුවද,රට මට්ටමින් ගත්විට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා තිබිණි. එවැනි තත්ත්වයක් යටතේ දේශපාලන විචාරකයන් විසින් එක්සත් ජාතික පක්ෂය විග්‍රහ කරන ලද්දේ රටේ ජාතික මට්ටමින් මුල්බැසගත් වැඩිම ඡන්ද පදනමක් සහිත දේශපාලන පක්ෂය වශයෙනි. 1970 මැයි 27 දින පැවති මහමැතිවරණයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික මට්ටමින් ඡන්ද 1,817,349ක් ලබාගෙන තිබියදී ආසන දහහතකට සීමාවූ එක්සත් ජාතික පක්ෂය ජාතික මට්ටමින් ඡන්ද 1,879,996 ක් ලබා ගැනීමට සමත්විය. එහෙත් 2020 මැතිවරණ ප්‍රතිපල අනුව, එක්සත් ජාතික සම්බන්ධයෙන් කලින් පැවති ඉහත කී සම්ප්‍රදායික නිර්වචනය තවදුරටත් වලංගු නොවන අතර එම පක්ෂය මුළු රටේම ලද ඡන්ද ප්‍රමාණය 249,435කට සීමා විය. එය ජාතික මට්ටමින් මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්දවලින් 2.15% ක් පමණි. සිරිකොත ඉදිරිපිට ගැටුමක් සිදුවූ අවස්ථාවක් එජාප ඉරණම ලද වමේ පක්ෂ අතීතයේ මහා කීර්තියක් පැවති දේශපාලන පක්ෂ අතර එක්සත් ජාතික පක්ෂය මුහුණ දුන් ආකාරයේ ඉරණමකට ගොදුරු වූ තවත් දේශපාලන පක්ෂ කිහිපයකි. පිලිප් ගුණවර්ධන විසින් විප්ලවකාරී සම සමාජ පක්ෂය යන නමින් ආරම්භ කරනු ලැබ, පසුව මහජන එක්සත් පෙරමුණ යන නමින් ක්‍රියාත්මක වෙමින් පැවති දේශපාලන පක්ෂය 1970 මහ මැතිවරණයේ දී එකම පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනාගැනීමට අසමත් විය. මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන ඇතුළු එම පක්ෂයේ අපේක්ෂකයන් ලෙස 1970 මැතිවරණයට තරඟ වැදුන සියලුම අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ පරාජයට පත්වූහ. එක්සත් ජාතික පක්ෂය මහා ජයග්‍රහණයක් වාර්තා කරන ලද 1977 මහමැතිවරණයේ දී ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද ඊට සමාන දේශපාලන ඉරණමකට ගොදුරු විය. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේ පටන් වාමාංශික දේශපාලන පක්ෂ සඳහා පැවති පාර්ලිමේන්තු නියෝජනය 1977 මැතිවරණයෙන් අවසන් වූයේ ආචාර්ය එන්.එම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ සහ පීටර් කේනමන් වැනි සියලුම වාමාංශික දේශපාලන නායකයන් පවා පරාජයට පත්වීමෙනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අධිනීතිඥ සරත් මුත්තෙට්ටුවේගම එකම වාමාංශික මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළද, ඔහුගෙන් අනතුරුව තේරී පත්වූ සියලුම වාමාංශික මන්ත්‍රීවරු ඔවුන් අයත් දේශපාලන පක්‍ෂයෙන් නොව යම්කිසි දේශපාලන සන්ධානයකින් හෝ ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට පිවිසි පුද්ගලයෝ වූහ. සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස සහ ජේ.ආර්.ජයවර්ධන අතරත් දේශපාලන විරසකභාවයන් පැවතුණි සමගි ජන බලවේගය 2020 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක් පමණක් වුවද එම පක්ෂයෙන් වෙන්ව ගොස් 'සමගි ජන බලවේගය' යන නව පක්ෂයෙන් තරඟ වැදුණු, තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ලෙස පෙනී සිටින පිරිසක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙති. සමගි ජන බලවේගය දේශපාලන පක්ෂ කිහිපයක එකතුවක් වන අතර, ඊට නායකත්වය දෙන, කලින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වූ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විණි. 2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයට ජාතික ලයිස්තු මන්ත්‍රී පදවි හතක් ද සමඟ ආසන 54 ක් දිනාගැනීමට හැකි විය. සමගි ජන බලවේගයට එක්ව සිටින සිය ඇතැම් සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇති නමුත් සජිත් ප්‍රේමදාස ඇතුළු ඉදිරිපෙළ නායකයන්ගේ සාමාජිකත්වය හෝ පක්ෂය තුළ දරන තනතුරු සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එවැනි පරිසරයක් තුළ එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් වෙන්ව ගිය කණ්ඩායම යළිත් පක්ෂය තුළට ගැනීමට සමත්වුවොත් පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සමඟ තවත් කණ්ඩායමක් එකතුවනු ඇත. කියවන්න ;
අන්තර්ජාලය මගින් සිදු වන ළමා අපචාර පැතිර යන වසංගතයක තත්වයට පැමිණ ඇති බව ජගත් කාර්ය සාධක මණ්ඩලයේ සභාපති පවසයි.
ජගත් කාර්ය සාධක මණ්ඩලයේ සභාපති ඉයන් කුවීන් බීබීසී යට ප්‍රකාශ කළේ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් විමර්ශණය කරන ළමා අපචාර සිද්ධි වල විශාල වැඩි වීමක් දක්නට ඇති බවයි. ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියත් කර ඇති මෙම විමර්ශන සේවාවට ලොව පුරා ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවත් වාර්තා වේ. ජගත් කාර්ය සාධක මණ්ඩලයේ සභාපති ඉයන් කුවීන් තව දුරටත් කියා සිටියේ අන්තර්ජාලය තුල ප්‍රචාරය වන ළමා අපචාර දිස් වන ඡායාරූප ජාත්‍යන්තරය පුරා පැතිර යමින් පවතින අතර මෙම ප්‍රශ්නයෙන් පළා යාමට කිසිදු රටකට නොහැකි බවයි.
"දරුවෙක් හම්බවෙන්න ඉන්නකොට පිරිමි දොස්තර හොඳයි. දරුප්‍රසූතිය කරන්නෙත් පිරිමි දොස්තර. දූෂණය වුනාම පරීක්ෂා කරගන්න ගැහැනියක්ම මොකටද?" "මොකද? දොස්තරවරු යනවද එයාව ආපහු දූෂණය කරන්න?" "ඒ උසාවියේ ගැහැණු නැත්නම් මොනවා කරන්නද? ඉන්න දොස්තරගෙන් වැඩේ කර ගන්න වෙනවනේ."
පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණු සංවාද අතර මෙවැනි තර්ක ද ඉදිරිපත් වී තිබුණි. රටේ ආන්දෝලනයට ලක් වූ එක්තරා සිද්ධියක් මුල් කරගෙන මෙම සංවාද ගොඩ නැගී තිබුණි. එම සිද්ධියට දේශපාලනය ද ගෑවී තිබුණි. නමුත් ශ්‍රී ලංකාවේ සිදු වන බොහොමයක් ස්ත්‍රී දූෂණවලට කිසිදු දේශපාලනයක් ගෑවී නොමැත. ඊට ගොදුරු වූයේ සිඟිති දැරියක, නව යොවුන් ශිෂ්‍යාවක, තරුණියක, මවක, හෝ වැඩිහිටි කාන්තාවක විය හැක. මේ කතාව 'ඇය' ගැනය. නීතිය ඉදිරියට යන්නේ නම් මේ කවුරුත් පසු කර යා යුත්තේ එකම ක්‍රියා දාමයකි. ඇය නිවෙස තුළ නිරාවරණය වන්නීය. පොලිසිය ඉදිරියේ නිරාවරණය වන්නීය. නීතිවේදියා ඉදිරියේ නිරාවරණය වන්නීය. වෛද්‍යවරුන් ඉදිරියේ ඇතැම් විට කිහිප වතාවක් නිරාවරණය වන්නීය. ඒ දෙතුන් වතාවක් වෛද්‍ය වාර්තා ගැනීමට සිදුවන අවස්ථා පවතින බැවිනි. නඩු මගට පිවිසි විට උසාවිය තුළ සිටින සියලු දෙනා හමුවේ ඇය නිරාවරණය වන්නීය. ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන් ඉදිරියේ නිරාවරණය වන්නීය. අනතුරුව මාධ්‍ය ඔස්සේ තවත් දෙනෝ දාහක් ඉදිරියේ මේ ස්ත්‍රිය හෝ දැරිය නිරාවරණය වන්නීය. බොහෝ ක්‍රියාධරයන් මෙය අර්ථ දක්වන්නේ "දූෂණයට ලක් වූ ස්ත්‍රිය හෝ දැරිය නැවත නැවතත් දූෂණය කිරීමක්" ලෙසිනි. අසරණ වූ ස්ත්‍රිය හෝ දැරිය ඒ භයානක සිද්ධිය කිහිප වතාවක දී කිහිප දෙනෙකුට ම සවිස්තරාත්මකව පැහැදිලි කළ යුතුය. ඔවුන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය. උසාවියේ දී විත්තිකරු බේරා ගැනීම සඳහා සිටින නීතිඥයා අසන්නේ ඉතා සංවේදී හරස් ප්‍රශ්න ය. ඇතැම් විට ඇයට පිළිතුරු සපයන්නට වන්නේ තම මව, පියා, ස්වාමි පුරුෂයා, දියණිය හෝ පුත්‍රයා ඉදිරියේ විය හැකිය. වෙනත් නඩු සඳහා පැමිණ සිටින නන්නාඳුනන පිරිසක් ද එහි සිටිය හැක. මේ සියල්ලටම මුහුණ දෙන 'ඇය' සිටින්නේ කුමන මානසික මට්ටමකින් ද යන්න බොහෝ දෙනෙකුට අමතක විය හැක. ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව තව තවත් දැඩි නීති සම්පාදනය විය යුතු බවට සමාජය හඬ නගයි. නමුත් දූෂණයට ලක් වූ 'ඇයට' රැකවරණය සැලසීම සඳහා සිදු විය යුත්තේ කුමක් ද යන්න සොයා බැලෙන්නේ ඉඳ හිටය. මෙය කෙතරම් සංවේදී දැයි මොනවට පැහැදිලි කෙරෙන එක්තරා සිද්ධියක් මා හා පැවසුවේ කලාකාරියකි. ඇය රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ලෙස නමක් දිනා ගත් රසාදරී මුණසිංහ ය. "මම රෝහලකදි දැක්කා පොඩි දැරියක් දූෂණයට ලක් වෙලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටිනවා." "එතන වෛද්‍යවරු සහ සේවක මණ්ඩලය විසින් ම ඇයගේ අනන්‍යතාවය රෝහලේ සිටි හැම දෙනාටම අනාවරණය කරලා තිබුණා." රසාදරී තමන් දුටු දේ විස්තර කළාය. "ලෙඩ්ඩු බලන්න ආපු හැම දෙනාම ඒ ළමයා එක්ක කතා කරන්න යනවා. ඒ ළමයාගේ අම්ම එක්කත් කතා කරනවා. ඒ අම්ම කී දෙනෙකුට මේ කතා කියන්නද? පිරිමිත් වට වෙලා ඒ දැරිය දිහා බලාගෙන ඉන්නවා." "බලන්න ඉතින් එතන ඉඳලම වැරද්දක්නේ කරලා තියෙන්නේ. මේක අතිශය පෞද්ගලික කාරණයක් වෙන්න ඕනනේ." ඇය ප්‍රකාශ කළාය. මේ එක් කතාවක් පමණි. නමුත් ඒ හරහා දිග හැරෙන සමාජ ප්‍රශ්නය පුළුල් ය. එම නිසා ම දේශපාලනයකින් තොරව ඒ පිළිබඳව සොයා බලන්නට උත්සාහ කළෙමි. ඉහත කී සංවේදී දසුන සියැසින් දුටු රසාදරීගෙන් ම ඊට ආරම්භය ගැනීම සුදුසු යැයි හැඟුණ හෙයින් ඇය ඇමතුවෙමි. "හැම ස්ත්‍රී දූෂණයක් ම වාර්තා වෙන්නේ නැහැ. ඇතැම් ඒවා පොලිසියක පැමිණිල්ලක් බවට පත් නොවෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඇයව නීතිය ඉදිරියේ නැවත නැවතත් දූෂණයට ලක් වීම." "තරුණියක් දූෂණයට ලක් වුනාම උසාවියේ දී, රෝහලේ දී පවා ඇයව ආපහු ඇස්වලින් දූෂණය වෙනවා. ඇයව දූෂණය වුනේ මොන හේතුවක් නිසාද කියල ඇස්වලින් බලල විනිශ්චය කරන්න උත්සාහ කරනවා. මෙයා කැමැත්තෙන් දූෂණය වෙච්ච කෙනෙක්ද කියල නිගමනයකට එන්න හදනවා. බොහෝ කාන්තාවන් නීතිය ඉදිරියට එන්න අකමැති ආරක්‍ෂිත ක්‍රම වේදයක් නැති නිසා." රසාදරී මුණසිංහ තම මතය ප්‍රකාශ කළාය. දරු ප්‍රසූතියක් සඳහා වෛද්‍යවරයෙකු ගේ සහය පැතිය හැකිනම් ස්ත්‍රී දූෂණයක දී වෙනස් ක්‍රියා මාර්ගයක් අවැසි වේදැයි ඇතැමුන් නගන ප්‍රශ්නය ඇය වෙත යොමු කළ විට "දරු ප්‍රසූතියක් සඳහා පිරිමි වෛද්‍යවරයෙක් ළඟට යන්න පුළුවන්. එතන තියෙන්නේ වෙනම මානසික තත්වයක්," යනුවෙන් ඇය පැවසුවාය. "දූෂණයට ලක් වුනාම පිරිමි ස්පර්ශයකට පවා බිය වෙනවා. ඇතැම් කාන්තාවන්ට ඒ තැතිගැන්ම ජීවිත කාලය පුරාවටම පවතිනවා. කිසිම පිරිමියෙක් එක්ක ජීවත් වෙන්න පවා බැරි වෙන්න පුළුවන්." "මේකට කිසිම දේශපාලනයක් තිබිය යුතු නැහැ. මම කතා කරන්නේ දේශපාලන පැත්තක් ගැන නොවෙයි. පොදුවේ ස්ත්‍රීන් මුහුණ දෙන ඛේදවාචකයක් ගැන." රසාදරී අවධාරණය කළාය. මෙවැනි මානුෂික වටපිටාවක් පවතින බව දැන දැනත්, දූෂණයට ලක්වූ ස්ත්‍රියකට හෝ දැරියකට අනිවාර්යයෙන් ම වෛද්‍යවරියක් ලබා දීම සඳහා රට පුරා සෑම උසාවියකම පහසුකම් සැලසිය නොහැක්කේ මන්දැයි ඇය ප්‍රශ්න කළාය. මෙය අධිකරණ පද්ධතියේ පවතින අඩුපාඩුවක් බව ඇතැම් වෘත්තියවේදීන් ගේ මතය වේ. මේ පිළිබඳව අදහස් විමසීම සඳහා වෘත්තීයවේදිනියන් කිහිප දෙනෙකුම සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය. දූෂණයට ලක් වූ ස්ත්‍රියක හෝ දැරියක තුළ පවතින මානසික තත්වය පිළිබඳව මුලින් ම සොයා බැලීම වටිනු ඇත. "මානසික විද්‍යාව තුළින් බැලුවොත් දූෂණයකට ලක් වූ තැනැත්තිය ලැජ්ජාව, ආතතිය, තැති ගැන්ම, පසුතැවිල්ල, පරාජිත හැඟීම, කම්පනය, ආත්ම අභිමානය කඩා වැටීම, අවමානය, ශාරීරික වේදනාව ආදී බොහෝ දේ එකවර දරා ගන්නවා." මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය. "මේ වගේ තත්වයක් යටතේ ඇයට සිද්ධිය විස්තර කිරීම හෝ තවත් පිරිමියෙකුට ශරීර අවයව පෙන්වීම අතිශය පීඩාකාරී දෙයක්." "මේ වගේ වෙලාවට බොහෝ අයට විෂාදය කියන රෝගය එහෙම නැත්නම් ජීවත් වෙලා පලක් නැහැ කියල හිතෙන තත්වයක් ඇති වෙනවා. ඇතැමුන්ට සිය දිවි නසා ගැනීමට හිතෙනවා. පොස්ට් ට්‍රෝමටික් ස්ට්‍රෙස් ඩිසෝර්ඩර් කියන තත්වය." ඇය තවදුරටත් පැහැදිලි කළාය. මනෝ විද්‍යාත්මකව සළකා බැලීමේදී මෙවැනි තැනැත්තියක දෙස ඉතා සානුකම්පිකව බැලිය යුතු බව ඇය අවධාරණය කළාය. "නඩුව ගැනම හිතල වැඩ කරන්න හොඳ නැහැ. පිරිමින් මග හැරලා ඉන්නයි මේ වෙලාවට ඒ දැරිය හෝ ස්ත්‍රිය උත්සාහ කරන්නේ. ඇයට තිබෙන්නේ ව්‍යාකුල මනසක්. සුනාමියට හසු වී ජීවිතය බේරා ගත් අය ඊට පස්සේ මුහුද දකින්න පවා බයයි." මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් කියා සිටියේ දූෂණයට ලක් වූ ස්ත්‍රියකට හෝ දැරියකට මුහුණ දීමට සිදු වී ඇත්තේ "අතිශය අමානුෂික ක්‍රියාදාමයකට" බවය. "බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ අධිකරණවල ඉන්නේ පිරිමි වෛද්‍යවරු. කාන්තා වෛද්‍යවරු ඉතා අඩුයි. ඇය ඒ මොහොතේ තවත් පිරිමි ස්පර්ශයක දී තැති ගන්නා සුළුයි." "දූෂණයකට ලක් වූ පසු කාන්තාව මුහුණ දෙන සමස්ත ක්‍රියාදාමය තුළ ම ඇය නැවත නැවතත් අපහසුතාවයට ලක් වෙනවා. පොලිසියේ පැමිණිල්ල දමන මොහොතේ සිට උසාවියේ නඩු ඇසීම දක්වා ම බොහෝ විට ඇයට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ පිරිමින්ට." ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් පැවසුවාය. "ඇයගෙන් හරස් ප්‍රශ්න අහන්නේ උසාවියේ දෙනෝදාහක් ඉදිරියේ. හරිනම් මේ ඇයට වෙනම උසාවියක් හෝ වෙනම උසාවි දිනයක් ලබා දිය යුතුයි. මේ ජීවිතයක් එක්ක ගනුදෙනු කරන්නේ." "ඇයගෙන් ප්‍රශ්න කරන්නෙත් පිරිමි නීතිඥයන්. සිද්ධ වුනු විදිය හාර අහනවා. මේ වගේ නඩු වලට කාන්තා නීතිඥයන් ඉදිරිපත් වීම අඩුයි. අසරණ වුනු ගැහැනියගෙන් පිරිමි වට වෙලා ප්‍රශ්න අහනවා. පිරිමි විනිසුරුවරයෙක් ඉදිරියේ. උසාවිය ඇතුළෙ තව නඩු වලට ආපු මිනිස්සුත් අහගෙන ඉන්නවා." ඇය තවදුරටත් කියා සිටියාය. "පොලිසියට ගියත් පිරිමි ටික වට වෙනවා. ඒ මදිවට මාධ්‍යවේදියෝ ටික කැමරා අරන් වට වෙනවා. ශරීර අවයව පෙන්නන්න වෙන්නෙත් පිරිමි වෛද්‍යවරයෙකුට. මේක අතිශය අමානුෂික ක්‍රියාදාමයක්," කථිකාචාරිනි මාධවී හේරත් ප්‍රකාශ කළාය. ස්ත්‍රියක දූෂණයට ලක් වීමේදී ඇති වන විශාල තැති ගැනීම හේතුවෙන් සෑම පිරිමියෙකුටම බිය වීමේ මානසික මට්ටමක් ඇති විය හැකි බව මනෝ චිකිත්සක සහ සමාජ විද්‍යාඥ අමා දිසානායක පවසන්නීය. "ඒකට අපි කියන්නේ මායජනක බිය වීම කියල. ඒ නිසා තමන්ව පරීක්ෂා කරන්න වෛද්‍යවරියක් ලබා දීම තමයි සාධාරණ." "තමන්ව දූෂණය වුණු ආකාරය තවත් පිරිමියෙක් ඉදිරියේ විස්තර කරලා කියන්න අපහසුයි. මෙහෙම කළා... මේ විදියට කළේ කියල කොහොමද කියන්නේ? බොහෝ දේවල් විකෘති ආශාවන් සංසිඳුවා ගැනීමට කළ දුෂණ." ඇය විස්තර කළාය. ඇය තවදුරටත් කියා සිටියේ "හොඳම දේ තමයි වෛද්‍යවරියක් ලබා දීම. නැත්නම් ඒ ස්ත්‍රිය හෝ දැරිය නැවත නැවතත් පිරිමි ඉදිරියේ දූෂණයට ලක් වෙනවා වගේ වැඩක් වෙන්නේ," යනුවෙනි. ස්ත්‍රී දූෂණ නඩු විභාග විවෘත අධිකරණයක සිදු කිරීම පවා නොකළ යුත්තක් බව මනෝ උපදේශිකා අමා දිසානායකගේ මතයයි. "ඝාතනය වීමට වඩා දූෂණය වීම භයානකයි." ඇය අවධාරණය කළාය. යම් ස්ත්‍රියක් හෝ දැරියක් දූෂණය වුනා නම් අපි හැමෝම ඒකට වගකිය යුතුයි. මුළු සමාජයේම වරදක් ඒක. ඒ නිසා අපි හැමෝම ඇයට පහසුම දේ දෙන්න ඕන. අපි දයාවේ දෑත ඇය වෙත දිගු කරන්න ඕන. මොකද අපිට බැරි උනා ඇයව රැක ගන්න. ඔබ, මම, රජය, සහ රටටම ඒ වගකීමෙන් ගැලවෙන්න බැහැ." මනෝ චිකිත්සක අමා දිසානායක ප්‍රකාශ කළාය. මෙය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සහ අපරාධ යුක්ති පටිපාටිය තුළ පවතින විශාල අඩුපාඩුවක් බව නීතීඥ සජීවනී අබේකෝන් පවසන්නීය. "පිරිමියෙක් එක්ක තමන්ට වෙච්ච දේ කියන එක අපහසුයි. ඊටත් වඩා එහාට ගිය කාරණයක් තමයි තමන්ගේ සිරුර සහ ලිංගික අවයව පිරිමියෙකු පරීක්ෂා කිරීම." "සමහරු අහනවා අපි ලෙඩක් හැදුනම හෝ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට පිරිමි දොස්තර කෙනෙක් ගාවට යන්න පුලුවන්නම් ඇයි මේකට විතරක් යන්න බැරි කියල. මේ දෙක සංසන්දනය කරන්න බැහැ. ඇය ඉන්නේ වෙනම මානසික මට්ටමක." එම නිසා දුෂණයට ලක් වූ තැනැත්තියකට "තෝරා ගැනීමක් සඳහා නිදහස ලබා දිය යුතු" බවත් ඒ සඳහා පහසුකම් ලංකාවේ ඇති විය යුතු බවත් ඇයගේ මතයයි. "ඇය තුළ පවතින බිය සහ ලැජ්ජාව නිසා ඒ තැනැත්තිය නැවත වතාවක් වින්දිතයෙක් බවට පත් විය යුතු නැහැ. වින්දිතයන් සුරක්ෂිත විය යුතුයි." "සමහර පිරිමිත් කැමති නැහැ ගැහැනියක් සිරුර පරීක්ෂා කරනවට. පිරිමි දොස්තර කෙනෙක් ගාවට යන්නේ," යනුවෙන් පැවසූ නීතීඥ සජීවනී අබේකෝන් තවදුරටත් කියා සිටියේ "වෛද්‍යවරයා ඇයව දූෂණය කරන්නේ නැති එක ඇත්ත. ඒ වුනාට මේක මානසික අවශ්‍යතාවක් හැටියට සලකන්න ඕන," යනුවෙනි. "වෛද්‍යවරයා ඉදිරියේ තමන්ගේ ශරීරය නිරාවරණය කරන්න වෙනවා. රහස්‍ය ප්‍රදේශය පෙන්වන්න වෙනවා. බලහත්කාරයෙන් පිරිමියෙක් ගාවට දැමීම අමානුෂිකයි" නීතීඥ සජීවනී අබේකෝන් අවධාරණය කළාය. "තව දෙයක් කට්ටිය කියනවා, කාන්තා අධිකරණ වෛද්‍ය නිලධාරීන් අඩුයි; ඒක නිසා එහෙම ඉල්ලීම් ඉටු කිරීම ප්‍රායෝගික නෑ කියලා. නමුත් ඒක අපේ සිස්ටම් එකේ ප්‍රශ්නයක්. ඒ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නය වින්දිතයාගේ පිටින් දාන එක පිළිගන්න බෑ." ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු අතර, "එහෙම නැතිව ඕවා කරන්න බෑ.. ප්‍රායෝගික නෑ" යන කියමන් තුළ සැඟවී ඇත්තේ "වින්දිතයාගේ අවශ්‍යතා කෙරෙහි අසංවේදී වීම" පමණක් බව නීතීඥ සජීවනී අබේකෝන් පවසන්නීය. කියවන්න:
හැමිල්ටන්හිදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී නොදැවී ලකුණු 122 ක් රැස් කිරීමත් සමඟම බටහිර ඉන්දීය කොදෙවු පිලේ ශිව්නරීන් චන්ද්‍රපෝල් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ හය වෙනි පිතිකරු බවට පත් විය.
ටෙස්ට් තරඟ 153 කට මුහුණ දී, ලකුණු 11,199 ක් රැස් කළ චන්ද්‍රපෝල්, හය වැනි ස්ථානයට පත් වෙන්නේ ලකුණු 11,174ක් රැස් කොට සිටින ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝඩර් අභිබවා යමින්. පස් වෙනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ හිටපු නායක බ්‍රයන් ලාරා අභිබවා යාමට ඔහු ලබා ගත යුත්තේ තවත් ලකුණු 754 ක් පමණයි. ලකුණු 15,921 ක් රැස් කොට ටෙස්ට් ලකුණු ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්. දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටිංට හිමි වන අතර, ඉන්දියාවේ හිටපු නායක රහුල් ද්‍රාවිඩ්ට තෙවැනි ස්ථානය හිමිවේ.
කොටි සංවිධානයට සහාය දීමේ චෝදනාවට වැරදිකරු වී කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකුගේ මල සිරුර අද උදෑසන හමු වූ බව බන්ධනාගාර බලධාරීහු පවසති.
සිරකරුගේ මරණය ගැන 'සැකයි' බ්‍රිතාන්‍ය ජාතික විශ්වලිංගම් ගෝපිදාස් ගේ මරණයට හේතුව සොයා ගැනීම පිණිස අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමු කොට ඇති බවද බන්ධනාගාර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී කුලතුංග බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී සඳහන් කළේය. කෙසේ නමුත් මරණය පිළිබඳව තමන්ට සැකයක් තිබෙන බවයි, දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. මරණ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එම චෝදනාව සම්බන්ධයෙන් දැනට ප්‍රතිචාරයක් පළ කළ නොහැකි බව පවසන ගාමිණී කුලතුංග, පශ්චාත් මරණ පරීක්ෂණයේදී සත්‍යය අනාවරණය වනු ඇති බවද සංදේශයට පැවසීය.
රුසියාව නැගෙනහිර යුක්රේනය අස්ථාවර කිරීමේ බෙදුම්වාදීන් ගේ උත්සාහයන්ට සහය දෙනු ලබන බවට චෝදනා කරමින් රුසියාවට සම්බාධක පැනවීම සඳහා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු යැයි G7 කණ්ඩායමේ රටවල් වල නායකයන් විසින් එකඟතාවකට පැමිණ තිබේ.
මෙම සම්බාධක ආර්ථික, වෙළඳ සහ මුල්‍ය අංශ වලට පමණක් සීමා නොවේ මෙම සම්බාධක ආර්ථික, වෙළඳ සහ මුල්‍ය අංශ වලට පමණක් සීමා නොවන්නේ යැයි ද ඔවුන් විසින් අවධාරණය කර තිබේ. ජනාධිපති පුතින් ට සමීප පුද්ගලයන් සහ ව්‍යාපාර ඉලක්ක කෙරෙන මෙම සම්බාධක සඳුදා වන විට හඳුන්වාදීමට අදහස් කරන බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ. බටහිර ජාතීන් උත්සාහ කරන්නේ යුක්රේනයේ පාලනය අල්ලාගැනීමට බවයි රුසියාව චෝදනා කරන්නේ. මේ අතර මොස්කව් පාලනය විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන්නේ යැයි යුක්රේන රජය බියෙන් පසුවෙයි.
අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන් කළ බව පැවසෙන මෝටර් රථයක් රාජගිරියේදී අනතුරට පත් වීමේ සිද්ධියට අදාළ 'CCTV' දර්ශන පරික්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත බාර දෙන මෙන් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියම කළේය.
අදාළ අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කළ යුතු බව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ පිළිබඳ වාර්තාවක් ලැබීමෙන් අනතුරුව අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කරනවාද නැද්ද යන්න තීන්දු කරන බවයි කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ. අදාළ අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කළ යුතු බව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. අනතුරට සම්බන්ධ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු රණවක මන්ත්‍රීවරයාගේ රියදුරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ මෙම සිද්ධිය හරහා කිසියම් පිරිසක් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන බවයි. "මෙම සිද්ධියේ සාක්කිකරුවන් මුලින්ම පොලිසියට ලබා දුන් කට උත්තරයේ චම්පික ඇමතිවරයා පිලිබදව කිසිවක් සඳහන් කර නැහැ. එහෙත් එම පුද්ගලයින්ට ඉහල පෙලේ ප්‍රභූ පුද්ගලයෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුවයි ඔවුන් රණවක ඇමතිවරයා මෙම සිද්ධියට පටලවා තිබෙන්නේ" නීතිවේදී ගුණරත්න කියා සිටියේය. කෙසේ වෙතත් පැමිණිල්ල නැවත ජුනි මස 15 වනදා කැඳවීමට නියම කළ අධිකරණ එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට සහ ඔහුගේ සොහොයුරු යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රජයට අයත් හෙලිකොප්ටර් යානා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද එම කොමිසම හමුවට සඳුදා කැඳවා තිබිණි. මේ අතර හිටපු ජනපතිවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවනු ලැබ තිබුණේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි නිවසක නීත්‍යානුකූල හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.
දර්ශනී විසි තුන් හැවිරිදි ය. ඇප මුදල ගෙවා ගැනීමට වත්කමක් නොවූයෙන් සිය ස්වාමි පුරුෂයා දස මසක් තිස්සේ බන්ධනාගාරයේ ය. ඇයගේ කතාව ඇයගේ වචනයෙන් ම මෙසේය.
"මගේ එකම ඉල්ලීම තමයි මහත්තයව එලියට දාන්න කියන එක" "මගේ මහත්තය දැන් මාස 10ක් තිස්සේ ඉන්නේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ. නඩුවෙන් ඇප ලැබුණට ඒක ගෙවන්න මට සල්ලි නැහැ. එදා වේල කන්නෙත් අමාරුවෙන්. දරුවෝ දෙන්නට කිරිපිටි අරන් දෙන්නෙත් අපේ අම්ම. ඉතින් කොහොමද මං ඇප ගෙවන්නේ?" කතරගමට නුදුරු ගම්මානයක දිවි ගෙවන දර්ශනී දෙදරු මවකි. ස්වාමි පුරුෂයා සිරගත වූයේ දෙවැනි දරුවා බිරියගේ කුසේ සිටියදී ය. "මට වයස අවුරුදු හතරක ළමයෙක් ඉන්නවා. මහත්තය හිරේට යනකොට මගේ බඩේ හිටිය දරුවා හම්බවෙලා දැන් මාස හතරයි." "දැන් මාස 4ක් තිස්සේ මහත්තයව බලන්න දුන්නේ නැහැ. ගොඩක් අයට කොරෝනා හැදිලා කියල බලන්න එන්න එපා කිව්වා. මගේ මහත්තයටත් කැස්ස තියෙනවා කියල එක දවසක් පොලිසියෙන් කිව්වා. ඊට පස්සේ මොනවා උනාද කියල දන්නේ නැහැ. මහත්තයගෙන් කෝල් එකක්වත් නැහැ. කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැහැ. මට හරි බයයි. එයැයි අක්මාවේ සැරව පිරෙන ලෙඩෙක්." දර්ශනී ගේ හඬ බිඳෙන්නට විය. "මගේ එකම ඉල්ලීම තමයි මහත්තයව එලියට දාන්න කියන එක. මට ඇප ගෙවන්න සල්ලි නැහැ. මේ දරුවෝ දෙන්න වෙනුවෙන් ඒ මුදල අඩුකරලා මහත්තයව එලියට දාන්න කියල තමයි මම ඉල්ලන්නේ. හන්දියේ පලතුරු කඩයක් ගෙන හිටියේ. අනුන්ගේ ආරවුලකට මැදිවෙලා තමයි එයාවත් හිරේට ගියේ. මගේ තාත්ත දැන් කුලී වැඩ කරනවා, මේ දරුවට කිරිපිටි ටික අරන් දෙන්න." සැමියා සිරගත වූ පවුල් දහස් ගණනක් අතරින් දර්ශනීගේ කතාව එක් අහඹු කතාවක් පමණක් බව අපි දනිමු. නමුත් කොරෝනා වසංගතය හමුවේ බොහෝ සිරකරුවන්ගේ ජීවිත අවදානමට ලක්වී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. "ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක් පමණ තිබෙනවා. ඒ බන්ධනාගාර තුළ 30,000ක් පමණ පිරිසක් රඳවා තිබෙනවා. මේ රැඳවියන්ට තිබෙන සනීපාරක්ෂක පහසුකම් සහ තදබදය ගැන සලකා බලනකොට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තියෙන්නේ. බොහෝවිට සිරකරුවන් දෙසීයකට යන්න එක වැසිකිලියයි තියෙන්නේ." සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය. මෙවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාරයක් තුළට වෛරසය පැමිණියහොත් ඉතා ඉක්මනින් දහස් ගණනක් එකවර රෝගීවීමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය. සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය අනුව, කොවිඩ් වසංගතයෙන් බේරී සිටීමට නම් මුව හා නාසය ආවරණය කර ගැනීම මෙන්ම එකිනෙකා අතර නිසි පරතරය තබා ගැනීම ද ඉතා වැදගත් වේ. නමුත් බන්ධනාගාරයක් තුළ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යා හැකිද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය පිළිබඳව බොහෝ වාර්තා පළවී තිබේ. "බන්ධනාගාරය තුළ මීටරයක් දුරින් ඉන්න බැහැ. ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම බන්ධනාගාර තුළ සිටිය හැකි සිරකරුවන් ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකට වැඩි පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් එක රැඳවියෙක් දාන්න හදල තියෙන අඩි 10 x 6 පමණ සිර මැදිරියක හත් අට දෙනෙක්වත් ඉන්නවා." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය. මෙම තදබදය අඩුකර ගැනීම සඳහා තම සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ යෝජනා කීපයක් ඔහු සිහිපත් කළේය. "සුළු වැරදි සඳහා දඩ ගෙවාගන්න බැරිව සිටින අයට සහනයක් දීම, ඇප ගෙවාගන්න බැරි අයට ඇප ලබා දීම සඳහා යම් විශේෂ ක්‍රමයක් දියත් කිරීම, යහපත් කල්ක්‍රියාවක් තිබෙන අයට නිවාස නිවාඩු ලබා දීම, වයෝවෘද්ධ සිරකරුවන්ට නිදහස ලබා දීමට විශේෂිත ක්‍රමවේදයක් දියත් කිරීම, ඒ වගේම සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා ඒ අතර තිබෙනවා." වසංගතය ආරම්භවීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බන්ධනාගාර වෙත චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇති බව ද නීතිඥවරයා පැවසීය. "මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා අලුතින් සිරකරුවන් ඇතුළට ගන්න පෙර දින 14ක් නිරෝධායනය කරලා PCR පරීක්ෂණයක් කරලා ගත යුතුයි කියල. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. එහෙම දෙයක්වත් සිදු නොවීම නිසා තමයි මහර බන්ධනාගාරයේ අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණේ." මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පසුගිය නොවැම්බර් 29 දා නොසන්සුන්කාරී තත්ත්වය හට ගෙන තිබුණි. මෙය ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙන බවත් පොලිසිය පැවසීය. මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු "ඒ අය ඉල්ලා සිටියේ මේ කොවිඩ් වසංගතයෙන් අපේ ජීවිත ආරක්ෂා කරල දෙන්න කියලා. එතැනදී වෙඩිතැබීමක් සිදු වුණා. සිරකරුවන් 11 දෙනෙක් පමණ ඝාතනය වුණා. ඒ තරම් දෙයක් සිද්ධ වුණත් කොවිඩ් වෙනුවෙන් සතුටුදායක යමක් බන්ධනාගාර තුළ සිදු වුණේ නැහැ." සිරකරුවන් සුරැකීමේ සංවිධානය පැවසීය. මේ පිළිබඳව විමසා බැලීම සඳහා බන්ධනාගාර බලධරයෙකු ඇමතුවෙමි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට හැකිවිය. ඇතැම් ආයතනවල පවතින මතභේදාත්මක කරුණු පිළිබඳව විමසීමට උත්සාහ කිරීමේදී ඇතැම් බලධාරීන් ඊට මුහුණ නොදී මගහැර සිටීම හෝ දුරකථනය විසන්ධි කරන අවස්ථා මාධ්‍යවේදීන්ට සුලබ අත්දැකීමකි. නමුත් මෙම කොමසාරිස්වරයාගෙන් මතු වූ ඉතා මිත්‍රශීලි ප්‍රවේශය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයැයි මම සිතමි. "රිමාන්ඩ් භාරයට පත්කරන හැම දෙනාගේම PCR පරීක්ෂණයක් කරනවා. උදාහරණයක් හැටියට කියනවනම්, කොළඹින් රිමාන්ඩ් වෙන හැම දෙනාම රඳවන්නේ පල්ලන්සේන කඳවුරේ. එතැනදී PCR කරලා ආසාදිතයන් හිටියොත් වෙනම කඳවුරකට දානවා." එවැනි කඳවුරු තුනක් පවතින බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක පවසයි. "කොලිනොච්චියේ අයියකච්චි වල එක කඳවුරක් තියෙනවා. තවත් එකක් වටරැක තියෙනවා. අනිත් එක තියෙන්නේ පල්ලෙකැලේ. මේ කෑම්ප් තුනේ තමයි ආසාදිතයන් රඳවන්නේ. ඒ අයට අවශ්‍ය සියලුම පහසුකම් සපයල තියෙනවා. වෛද්‍යවරු ඉන්නවා. හදිසි අවශ්‍යතාවක් වුණොත් ක්‍රියාත්මක වීම සඳහා වෛද්‍ය සේවක මණ්ඩලයක් ඉන්නවා." නමුත් බන්ධනාගාර තුළ කාලයක් තිස්සේ සිටින රැඳවියන් ආරක්ෂා කර ගැනීම සඳහා සෑහීමට පත්විය හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. පීසීආර් පරීක්ෂණ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ "දැනට බන්ධනාගාර තුළ සිදු කෙරෙන්නේ අහඹු ලෙස තෝරාගත් නියැදිවලට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමක්. ඒක ප්‍රමාණවත් නැහැ. ක්‍රමානුකූලව දියත් කෙරෙන වැඩසටහනක් මේකට අවශ්‍යයි," යනුවෙනි. "බාහිර පරිසරයේ වගේ නොවෙයි, මේ කොවිඩ් වසංගතය ඉතා ඉක්මණින් ව්‍යාප්තවීමට ඉතාම හිතකර තත්ත්වයන් තමයි මේ බන්ධනාගාරවල තියෙන්නේ. මේ සිරකරුවන්ගෙන් වැඩි දෙනාගේ ශරීර සෞඛ්‍යය හරිම දුර්වලයි. කොරෝනා ළඟින් ගියත් ඔවුන් ඔත්පළ වෙන තත්ත්වයක් තියෙන්නේ. ප්‍රභූවරුන්ට බන්ධනාගාර රෝහලේ නවතින්න පුළුවන් වුණාට මේ අසරණ සිරකරුවන්ට ඒ පහසුකම් නැහැනේ. මේ සිරකරුවන් හැම දෙනාම මහා අපරාධකාරයෝ නෙවෙයි. ඇපයක් ගෙවාගන්න බැරිව ලතවෙන සිරකරුවන් විශාල පිරිසක් ඉන්නවා." "සිරකරුවෝත් මනුෂ්‍යයෝය කියලනේ කියන්නේ. එතකොට ඒ අයට කොවිඩ් හැදුනට කමක් නැද්ද? අපේ එකම ඉල්ලීම තමයි සෑම සිරකරුවෙකුටම PCR පරීක්ෂණ කරන්න කියන එක." සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා පැවසීය. කෙසේ නමුත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ, පිටතින් කිසිවෙකු බන්ධනාගාර තුළට නොයවන බැවින් දැනට සිටින රැඳවියන්ට ආරක්ෂාව සැලසෙන බවය. "සිරකරුවන් බැලීම සඳහා අමුත්තන්ගේ පැමිණීම නතර කර තිබෙනවා; අලුතෙන් එන අයව කෙලින්ම බන්ධනාගාරවලට සම්බන්ධ කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට කොවිඩ් යන්න විදියක් නැහැනේ. මේක ලොකු ක්‍රියාදාමයක්. ඒ තරම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒවා භාරව ඉන්න බලධාරීන් සහ වෛද්‍යවරු සමඟ දවස ගානේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පවත්වමින් තමයි මෙය පවත්වාගෙන යන්නේ." කොමසාරිස්වරයා පැවසීය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවුලේ ඥාතීන්ට හෝ වෙනත් අමුත්තන්ට සිරකරුවන් බැලීම සඳහා මේ දිනවල අවස්ථාවක් නොලැබෙන බැවින් බන්ධනාගාරය තුළ සිදුවන කිසිවක් පිළිබඳව හෝ සිරකරුවන් ඇත්ත වශයෙන්ම මුහුණදෙන තත්ත්වය පිළිබඳව හෝ බාහිර ලෝකයට අනාවරණය නොවන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. ඇත්තම තත්ත්වය මොකක්ද? "සියලුම අමුත්තන් පැමිණීම දැන් නවත්තල තියෙනවා. ඒ නිසා ගෙදරින් කෑම එකක්වත් ලැබෙන්නේ නැහැ. කාන්තා රැඳවියන්ට සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ කියලත් අපට තොරතුරු ලැබිල තියෙනවා. දැන් කිසිම කෙනෙකුට ඇතුළට යන්න දෙන්නේ නැති නිසා කවුරුවත් දන්නේ නැහැ බන්ධනාගාරවල තියෙන ඇත්තම තත්ත්වය මොකක්ද කියල." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. තමන් මේ දිනවල සිරකරුවන්ගේ සුබසාධනය පිළිබඳව පෞද්ගලිකව සොයා බලමින් සිටින බව ද ඔහු පැවසීය. "කෑමබීම වල කිසිම අඩුවක් නැහැ. ඒ අයට අවශ්‍ය කරන මුහුණු ආවරණ සහ විෂබීජ නාශක දියර සපයල තියෙනවා. කාන්තා රැඳවියන්ට සනීපාරක්‍ෂක තුවා පවා අපි ලබා දෙනවා. අපි අධිකාරීවරුන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීල තියෙනවා මේවා ලබා දෙන්න කියල. ඒවා හොඳින් ක්‍රියාත්මක වෙනවා." "සෞඛ්‍ය සේවා නිසියාකාරව සිදු වෙනවා. අවශ්‍යතාවයක් වුනොත් රජයේ රෝහලට පවා ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙනවා." බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය. කෙසේ වෙතත් මේ දිනවල බන්ධනාගාර තුළ පවතින සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා මැදිහත්වන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ. මීට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ සිරකරුවන් දැක බලා ගැනීම සඳහා පවුලේ ඥාතීන් වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය සහිත ඇමතුම් පවා සුදානම් කර ඇති බවය. "ඕනෑම සිරකරුවෙකුට තමන්ගේ පවුලේ අයට කතා කරන්න පුළුවන්. සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට අපි දැනුම් දීල තියෙනවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුත්තන් පෙන්වන්න කියල. මේ දවස්වල බන්ධනාගාර තුළට අමුත්තන් ගන්නේ නැහැ. පවුලේ අයට පුළුවන් අපේ වෙබ් අඩවියට ගිහින් වීඩියෝ ඇමතුමක් සඳහා ඉල්ලීමක් කරන්න. රතු කුරුස සංගමයත් එක්ක අපි නිතරම ළඟින් වැඩ කරනවා. ඒ ගොල්ලෝ අපිට ගොඩක් උදව් කරනවා." ඔහු ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ක්‍රියාධරයන් පවසන්නේ සිරකරුවන් අමුත්තන් සමඟ කතාබස් කරන අවස්ථාවේදී ඒ අසල බන්ධනාගාර නිලධාරියෙකු සිටින බැවින් ඔවුනට රිසි සේ අදහස් ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් උදා වන බවය. හිර ගෙදර තදබදය "බන්ධනාගාර රැඳවියන්ට කොවිඩ් වසංගතයේ අනතුර ළඟා වුණේ 2020 වසරේ මුල් කාලයේ දී. මේ කාලයේ දී තමයි අපි සිර මැදිරි තුළ තදබදය අඩු කර ගැනීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළේ. ඉන් පසුව යම්කිසි සිරකරුවන් පිරිසක් නිදහස් කළා තමයි. නමුත් ඒ පිරිසට වඩා වැඩි පිරිසක් නැවතත් බන්ධනාගාර ගත වුණා; විශේෂයෙන් ම පසුගිය කාලයේ සිදු කෙරුණු මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්. ඒ නිසා කලින් පැවති තදබදය ඊටත් වඩා වැඩිවුණා කිව්වොත් ඒක නිවැරදියි." නීතිඥ සේනක පෙරේරා පැවසීය. කෙසේ නමුත් බන්ධනාගාර කොමසාරිස්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ බන්ධනාගාර තුළ සිටින රැඳවියන් ප්‍රමාණය මේ වනවිට විශාල ප්‍රමාණයකින් අඩුකර ඇති අතර ඉදිරියේදී තදබදය තවදුරටත් අඩු කර ගැනීමට ක්‍රියාදාමයක් දියත්වෙමින් පවතින බවය. "2020 ඔක්තෝම්බර් මාසයේ පටන් මේ දක්වා අපි රැඳවියන් ප්‍රමාණය අඩුකරමින් පවතිනවා. සමස්ත රැඳවියන් ප්‍රමාණය 32,000 සිට 19,000 දක්වා මේවන විට අඩු කරලා තියෙනවා. ගොඩක් රැඳවියන්ට ඇප දීල තියෙනවා. උසාවි වලින් රිමාන්ඩ් කිරීම අඩුකරලා ඇප දීල තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ඊට අදාළ අනෙකුත් අංශ එකතුවෙලා තමයි මේ කටයුතු සිදු කරන්නේ." වැලිකඩ බන්ධනාගාරයේ පැවති විරෝධතාවක් මෙම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර තුළ පවතින තදබදය ඉදිරියේදී තවදුරටත් අඩුවනු ඇති බවත් ඔහු අවධාරණය කළේය. "මත්ද්‍රව්‍ය වැරදිවලට දියහැකි සමාවන් නැවත සලකා බැලුවා, 54 වගන්තිය අනුව මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ලබා දිය හැකි ඇප පිළිබඳව නැවත සලකා බැලුවා. ඒ වගේ දේවල් නිසා තමයි වැඩි දෙනෙකුට ඇප ලැබෙන්නේ." බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හෝ පාවිච්චි කරන්නන් සිරගත කොට තැබීමෙන් රටේ මත්ද්‍රව්‍ය ජාවාරම නොනවතින බව ඇතැම් ක්‍රියාධරයන්ගේ මතයයි. "මේවන විට බන්ධනාගාර පිරිලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවුණු අයගෙන්. මේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අහුවෙන්නේ පහළ මට්ටමේ ඉන්න අය විතරනේ. ඒකෙනුත් වෙන්නේ සිර මැදිරි පිරෙන එක මිසක් ජාවාරම නවතින එක නෙවෙයි. මොකද ඒවා රටට ගෙන්වන අය දිගටම ඒක කරගෙන යනවනේ. ඉහළින්ම ඉන්න දෙතුන්දෙනා අල්ල ගන්නේ නැතුව ඒවා පාවිච්චි කරන සිය ගණනක් අල්ලලා හිරේ දානවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් වැරදි තමයි. නමුත් මේවා ගෙන්වීම නතර කළා නම් පාවිච්චිය ඉබේම නවතිනවනේ. එහෙමනම් හිර ගෙවල් පිරෙන්නේ නැහැ." නීතිඥ සේනක පෙරේරා පැවසීය. කතරගම දර්ශනි කතරගම දර්ශනි මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කළෙමි. එය එක් සිදුවීමක් පමණක් වන නමුත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන කෙනෙකු ගතයුතු පියවර පිළිබඳව මම බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළෙමි. "කොවිඩ් හැදුනු සිරකරුවෙක් ගැන දැනගන්න අවශ්‍යනම්, අපේ තියෙනවා කොවිඩ් මධ්‍යස්ථානයක්. ඒකට කතා කළොත් සියලුම විස්තර දෙනවා. එයාගේ රෝගී තත්ත්වය ගැන සියලු විස්තර ලබා දෙනවා. ඉන්නේ කොතනද කියල කියනවා. අදාළ බන්ධනාගාරයට කතා කළත් ඒ විස්තර කියනවා. ලංකාවේ ඕනෑම බන්ධනාගාරයක ඉන්න කෙනෙක් ගැන දැනගන්න පුළුවන්. දුරකතනයෙන් කතා කරන්න පුළුවන්. හැබැයි සමහරු ඉන්නවා ගෙදර අයට කතා කරන්න කැමති නැහැ. එහෙම අයත් ඉන්නවා." බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක ප්‍රතිචාර දැක්වීය. අධිකරණ යාන්ත්‍රණයේ ඇති ප්‍රමාදයන් හේතුවෙන් ද ඇතැම් පුද්ගලයන්ට විශාල කාලයක් සිරගතවී සිටින්නට සිදුවී ඇති බව ක්‍රියාධරයෝ පවසති. අවුරුදු 13ක් තිස්සේ සැකකාරයෙක් "මේ රැඳවියන්ගෙන් බොහෝ දෙනෙකුට විශාල කාලයක් තිස්සේ බන්ධනාගාරයේ ඉන්න සිද්ධවෙලා තියෙන්නේ අනෙකුත් රාජ්‍ය අංශවල වැඩකටයුතු කලට වෙලාවට සිදු නොවීම හේතුවෙන්. උදාහරණයක් හැටියට ගත්තොත් රස පරීක්ෂක වාර්තාවක් ගන්න ඇතැම්විට අවුරුද්දක් හමාරක් ගතවෙන වෙලාවල් තියෙනවා. ඉතින් එතකල් ම ඇතැම් සිරකරුවන්ට බන්ධනාගාරයේ ඉන්න වෙනවා." නීතිඥ සේනක පෙරේරා පැවසීය. ඔහු එය සනාථ කිරීම සඳහා සිය අත්දැකීමක් විස්තර කළේ මෙසේය. "දැන් මම දන්නා රැඳවියෙක් ඉන්නවා අවුරුදු 13ක් තිස්සේ සැකකාරයෙක් විදියට. එයින් අවුරුදු පහක්ම ගතවෙලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු රාජකාරිවලට." "විශේෂයෙන්ම මේ කොරෝනා කළේවත් මේවා ඉක්මන් කරන්න ඕන. එතකොට ඉක්මනට නඩුව අහන්න පුළුවන්. වැරදිකාරයෙක් නොවෙයිනම් ඉක්මනට ගෙදර යනවා."
ඉන්දු-පකිස්තාන පොදු දේශ සීමාව අසළ දෙරටෙහිම හමුදාවන් විසින් සිදු කරනු ලබන බෝම්බ හෙළීම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් හතර දෙනෙකු මරු මුවට පත් වී ඇත.
ගම්වැසියන් නිවෙස් අතහැර පලාගොස් ඇති බවයි පැවසෙන්නේ මියගිය සතර දෙනා අතරින් තුන් දෙනෙකු පකිස්තාන ජාතිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියානු ජාතිකයෙකු බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු අග නගරය අසල ගම්වැසියන් සිය ගණනක් නිවෙස් වලින් පලාගොස් පාසැල් සහ අනෙකුත් ගොඩනැගිලි වල ලැගුම් ගෙන සිටිති. සඳුදා හට ගත් ගැටුම් වලින් පසු මේ වන විට පුද්ගලයන් දාහතර දෙනෙකු මියගොස් තිබේ. මෙවර ඇතිවූ ගැටුම් පිළිබඳ ව රටවල් දෙකම එකිනෙකා වෙත දොස් පවරන අතර කිසිදු පාර්ශවයක් පසු බැසීමට සුදානම් නැති බවයි පෙනී යන්නේ.
බ්‍රසීලයේ වන සම්පත වන ඇමසන් වැසි වනාන්තරය ෆේස්බුක් ජාලය ඔස්සේ විකිණීමේ ජාවාරමක් BBC ය විසින් අනාවරණය කරගනු ලැබ ඇත.
මෙම ආදිවාසීහු ඉඩම් කොල්ලකරුවන්ගෙන් සිය භූමිය රැකගැනීම සඳහා නිරන්තරයෙන් විපරමින් සිටිති එම වනයේ සංරක්‍ෂිත කලාපයන්ට ජාතික වනෝද්‍යාන සහ ආදිවාසීන් වෙනුවෙන් වෙනකරණ ලද භූමියත් ඇතුළත් වෙයි. ෆේස්බුක් ජාලයේ පළකරනු ලැබ ඇති දැන්වීම්වල දැක්වෙන ඇතැම් බිම්කොටස් පාපන්දු ක්‍රීඩාංගන දහසක් තරම් විශාල ඒවා වෙති. මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රසීල බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් එම වෙළෙඳාම නතර කිරීම සඳහා තමන්ගේම ස්වාධීන වූ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ෆේස්බුක් ආයතනය පවසයි. ''අලෙවිකරන්නන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයම නීතිය සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව ක්‍රියා කළයුතුය'' යන්න සිය වෙළෙඳ ප්‍රතිපත්තිය බව කැලිෆෝනියා මූලස්ථානය කරගත් ෆේස්බුක් තාක්ෂණික ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත. මහපොළොවේ පෙනහැල්ල ලෙස හඳුන්වනු ලබන ඇමසන් වනගැබ විනාශ කෙරෙමින් පවතී ඉහත කී ඉඩම් ජාවාරම බලපා ඇති එක් ආසිවාසී ජන කණ්ඩායමක නායකයා අදහස් දක්වමින්, එම ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලා සිටියේය. මේ අතර එම ජාවාරමට එරෙහි ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ බ්‍රසීල ආණ්ඩුවට එකී ඉඩම් ජාවාරම නතර කිරීමේ උවමනාවක් නැති බවය. ''ඉඩම් කොල්ලකරුවන් නීතියට පටහැනි ඉඩම් ගනුදෙනු සඳහා ෆේස්බුක් ජාලයට නිර්ලජ්ජිතව පිවිසීමට තරම් අධික බලයක් ආරෝපණය කරගනු ලැබ ඇතැයි'' 'Kanindé' නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ඉවනෙයිඩ් බන්දෙයිරා (Ivaneide Bandeira) ප්‍රකාශ කළාය.. සහතිකපත් නැහැ ඕනෑම පුද්ගලයකුට ''වනාන්තරය''හෝ ''ස්වදේශීය වනාන්තරය'' එසේත් නැත්නම් ''දැව'' යන තේරුම දෙන පෘතුගීසි වචන යතුරු ලියනය මගින් සටහන් කරමින් ෆේස්බුක් ජාලයේ වෙළෙඳපොල පිවිසුම් මෙවලමට පිවිසීමේ දී එක් ඇමසන් ප්‍රාන්තයක පිහිටා ඇති, ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධීව අලෙවිකරනු ලබන ඉඩම් කැබැල්ලක් සොයාගත හැකිය. ඇතැම් ලැයිස්තුගත කිරීම්වල චන්ද්‍රිකා දර්ශන සහ ඒවා පිහිටි ස්ථාන සටහන් GPS තොරතුරුත් ඇතුළත් වෙයි. ගවයන්ට තණ කෑමට මෙවැනි බිම්කඩවල් යොදාගනී. එහි තේරුම ඒවා රැකගත යුතු බවය මෙම ඇමසන් ඉඩම් විකුණන්නන් තමන්ට එම ඉඩම්වල අයිතියක් නැති බව විවෘත ලෙසම පිළිගනිති. බ්‍රසීලයේ නීතිය අනුව ඉඩම් අයිතිය ඔප්පු කිරීම සඳහා වලංගු එකම ලේඛනය ඉඩම් අයිතිය තහවුරු කෙරෙන ඔප්පුවයි. ඉහත කී නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ ගව ගොවිපොළ කර්මාන්තය කෙරෙන් ද විරෝධය එල්ලවෙමින් පවතී. ''අනතුරක් නැහැ'' මෙය වසර දහයක කාලයක් ඇතුළත බ්‍රසීලියානු ඇමසන් වනාන්තර විනාශයේ දරුණුම අවධියයි. එසේම ෆේස්බුක් ජාලයේ 'වෙළෙඳපොළ' දැන්වීම් අඩවිය ෆැබ්රීසියෝ ගුයිමරීස් (Fabricio Guimarães) වැනි වෙළෙන්දන්ට පිවිසිය හැකි ස්ථානයක් වී ඇත. වෙළෙන්දෙකු වන ෆැබ්රීසියෝ ඇතුළත් දර්ශන රහසිගත කැමරාවක් මගින් වීඩියෝගත කරනු ලැබ ඇත. ''ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පරීක්ෂාකරනු ලැබීමේ අනතුරක් මෙතැන නැහැ'' තමා විසින් සහමුලින්ම පුළුස්සා අළුකර දමන ලද වැහි වනාන්තර බිම්කඩක ඇවිද යමින් සිටින අතරවාරයේ ෆැබ්රීසියෝ පැවසීය. ''ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පරීක්ෂාකරනු ලැබීමේ අනතුරක් මෙතැන නැහැ''ෆැබ්රීසියෝ පැවසීය. නීතියට පටහැනිව වනය වනසා වගාවට සුදුසු පරිදි සකස්කර ඇති බිම් කැබැල්ලක් සඳහා ඔහු දැන් ආරම්භක මිලට වඩා තුන් ගුණයක මුදලක් ඉල්ලා සිටියි. එය ඇමෙරිකානු ඩොලර් 35,000කි. ෆැබ්රීසියෝ ගොවියකු නොවේ. ඔහු එක්තරා නගරයක මැද ශ්‍රේණියේ රැකියාවක නිරතවෙයි. ඔහු ගේ දර්ශනය වැහි වනාන්තරය හොඳ ආයෝජන අවස්ථාවක් වන බවය.. BBC ය අදාළ ගවේෂණයේ දී ෆැබ්රීසියෝ ගේ ප්‍රතිචාරය ලබාගනු සඳහා ඔහු විමසන ලද නමුත් අදහසක් දැක්වීම බැහැරකරනු ලැබුණි. රහසිගත විපරම් කිරීමක් ඉඩම් විකිණීමට අදාළ දැන්වීම්වලින් වැඩි හරියක් පළකරනු ලැබ තිබෙන්නේ බ්‍රසීලයේ වැඩිම වනාන්තර විනාශයක් වාර්තාවෙන 'රොන්ඩෝ'නියා' (Rondônia) ප්‍රාන්තයෙනි. BBC ගවේෂණයේ දී එම ප්‍රාන්තයේ ඉඩම් ජාවාරම්කරුවන් හතරදෙනකු සහ පොහොසත් ආයෝජකයන් නියෝජනය කරනු ලබන නීතිවේදියකු ලෙස පෙනීසිටි තැනැත්තකු අතර ව්‍යාජ හමුවක් පිළියෙළ කරනු ලැබුණි. ඉඩම් විකිණීමට අදාළ දැන්වීම්වලින් වැඩිහරියක් පළකරනු ලැබ තිබෙන්නේ බ්‍රසීලයේ වැඩිම වනාන්තර විනාශයක් වාර්තාවෙන 'රොන්ඩෝ'නියා' (Rondônia) ප්‍රාන්තයෙනි. අල්විම් සෞසා අල්වෙස් (Alvim Souza Alves) නම් තැනැත්තෙක් ආදිවාසීන් නිවැසි 'Uru Eu Wau Wau' නම් සංරක්ෂිත වන කලාපය අභ්‍යන්තරයේ පිහිටි බිම්කඩක් ස්ටර්ලින් පවුම් 16,400කට සමාන මට්ටමේ බ්‍රසීලයේ ව්‍යවහාර මුදලට විකිණීමට උත්සාහ කරමින් සිටියේය. එම වන කලාපය දෙසීයකට අධික 'Uru Eu Wau Wau' ආදිවාසී ජනයාගේ නිවහනයි. එපමණක් නොව, බ්‍රසීල ආණ්ඩුව පවසන පරිදි බාහිර ලෝකය සමඟ සම්බන්ධකම් නොපවත්වන තවත් ආදිවාසී ජනකොටස් අඩුතරමින් පහක්වත් එම වනගැබ ජීවත්වෙති. ''ඉන්දියන් මිනිස්සු ඒ පැත්තේ නැහැ. මගේ ඉඩම තියෙන්නේ ඔවුන්ගෙන් කිලෝමීටර් පනහක් ඈතින්. මම කියන්නේ නැහැ-ඔවුන් ඒ පැත්තේ එකවරක් හෝ තවත් වරක් එහි ඇවිදලා නැහැයි කියල'' අල්වෙස් සාකච්ඡාවක දී සඳහන් කළේය. BBC මාධ්‍යවේදීහු 'Uru Eu Wau Wau' වනගැබෙහි ගෝත්‍රික ප්‍රජානායක 'Bitaté' ඉදිරියේ ෆේස්බුක් වෙළෙඳ දැන්වීම පෙන්වූහ. 'Uru Eu Wau Wau' ආදිවාසී ප්‍රජාව තම වනගැබ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂාකර ගැනීමේ උත්සාහයක නිරතව සිටිති ''එම බිම්කඩ සිය ජනතාව දඩයමට,මසුන් අල්ලා ගැනීමට සහ පලවැල නෙලා ගැනීමට උපයෝගී කරගන්නා කලාපයක් බව ගෝත්‍රික නායකයා කියා සිටියේය. ''මේක අපට සිදුකරන අගෞරවයක්'' ඔහු සඳහන් කළේය. ''මම මේ මිනිස්සු ගැන දන්නේ නැහැ. මට පෙනෙන හැටියට ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ ආදිවාසීන්ගේ වනගැබ වනසා දැමීම. අපේ ජීවිත විනාශ කිරීම'' මේ කාරණයේ දී බලධාරීන් ප්‍රශ්නයට මැදිහත්විය යුතුව ඇති බවත් ආදිවාසී නායකයා පවසයි. එසේම ඔහු ෆේස්බුක් සමාගමෙන් ද ඉල්ලීමක් කළේය. ''වැඩිම ජනකායක් පිවිසෙන සමාජ මාධ්‍ය ජාලය ඔවුන්ගේ පැත්තෙන් පියවරක් ගත යුතුයි'' අයිතියේ වෙනසක් නීතියට පටහැනිව යමින් සිදුකරනු ලබන ඉඩම් ජාවාරමට බලපාන තවත් කාරණයක් වන්නේ සමාවක් පිළිබඳව ඇති අපේක්ෂාවයි සොරකම් කරගන්නා ලද අන්සතු ඉඩකඩම් නෛතික මට්ටමින් තමන් සතුකර ගැනීම සඳහා තමා දේශපාලනඥයන්ට බලපෑම් කළ බව ඇලවීම් සෞසා අල්වේස් (Alvim Souza Alves) අනාවරණය කළේය. ''මම ඔබට ඇත්ත කියන්නම්. මේ ප්‍රශ්නය ජනාධිපති බෝල්සොනාරෝත් එක්ක විසඳාගත්තේ නැත්නම්, කවදාවත් එය නිරාකරණය වෙන්නේ නැහැ'' අල්වේස් සඳහන් කළේ වත්මන් බ්‍රසීල ආණ්ඩුව ගැන සඳහන් කරමිනි. මෙහිදී ඉඩම් කොල්ලකරුවන් විසින් වනාන්තර විනාශය සඳහා භාවිත කරනු ලබන පොදු උපායමාර්ගයක් වන්නේ දැනට බලපැවැත්වෙන සංරක්ෂණ නීති වෙනස්කර ගැනීමට දේශපාලකයන්ගේ පිහිටා පැතීමය. ඉන් අනතුරුව ඉඩම් කොල්ලකරුවන්ට නෛතික මට්ටමින් අයිතිය කියාපාමින් ආණ්ඩුවෙන් නීතියට අනුකූල ලෙස ඉඩම් කැබැලි මිලට ගැනීමට හැකියාව ලැබෙයි. අල්වේස්, වෙස්වලාගත් BBC වාර්තාකරු 'කුරුපිරා සංවිධානය' (Curupira Association) නම් කණ්ඩායමක නායකයා ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලද තැනැත්තකු කරා රැගෙන ගියේය. බ්‍රසීල පොලිසිය විසින් එකී කණ්ඩායම හඳුන්වාදෙන ලද්දේ ආදීවාසීන් වෙසෙන වනගැබ ආක්‍රමණය කරමින් නීතියට පටහැනිව ඉඩම් කොල්ලකෑම ඉලක්ක කරගත් සංවිධානයක් ලෙසිනි. තමා ආදීවාසීන් සතු ඉඩම් විකුණන බව අල්විම් සෞසා අල්වේස් BBCය විසින් යොදවන ලද නියෝජිතයාට ප්‍රකාශකළ නමුත් එම ඉඩම්වල අයිතිය දැක්වෙන ලිපි ලේඛන ඉදිරිපත් නොකළේය එම පුද්ගලයන් දෙදෙනාම BBC වාර්තාකරුට කියාසිටියේ 'බ්‍රසීලියා' අගනුවර ආණ්ඩුවේ ආයතන සමඟ හමුවීම් යොදාගැනීම සඳහා ඉහළ මට්ටමේ දේශපාලනඥයන්ගෙන් තමන්ට උපකාර ලැබෙන බවය. කොංග්‍රස් සභිකයකු වන කර්නල් ක්‍රිසෝස්ටෝමෝ (Colonel Chrisóstomo) සිය ප්‍රධාන සගයා බව ඔවුහු සඳහන් කළහ. කර්නල් ක්‍රිසෝස්ටෝමෝ සමාජ ලිබරල් පක්ෂයේ සාමාජිකයෙකි. ජනාධිපති බොල්සොනාරෝ 2019 වසරේ දී අලුත් දේශපාලන පක්ෂයකට මුලපුරන තෙක් එම පක්‍ෂයේ සාමාජිකයකු විය. BBCය විසින් කර්නල් ක්‍රිසෝස්ටෝමෝ සම්බන්ධකර ගනු ලැබුණි. තමා ඉහත කී පුද්ගලයන් සඳහා සාකච්ඡා සඳහා උදව් කළත් එම කණ්ඩායම ඉඩම් ආක්‍රමණයක යෙදෙන බවක් තමා දැන නොසිටි බව ඔහු සඳහන් කළේය. ''ඔවුන් මට කිව්වේ නැහැ'' කර්නල් ක්‍රිසෝස්ටෝමෝ පවසයි. ''ඔවුන් ඉඩම් ආක්‍රමණය කරනවානම්, ඔවුන්ට මගෙන් තවත් කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ' මුලින් ඔවුන් සඳහා සාකච්ඡා සංවිධානය කරදීමට උදව්කරනු ලැබීම සම්බන්ධයෙන් කණගාටුවන්නේදැයි BBC වාර්තාකරු විමසන විට කර්නල් ක්‍රිසෝස්ටෝමෝගෙන් ලැබුණේ ''නැහැ'' යන පිළිතුරයි. අනතුරුව BBCය අල්වේස්ගේ ප්‍රතිචාරය විමසීමට ඔහු සම්බන්ධ කරගත් නමුත් ඔහු අදහස් දැක්වීම ප්‍රතික්‍ෂේප කළේය. ඇමසන් වැසි වනාන්තරය මිහිතලයේ දැනට හමුවී ඇති ජීවීන්වර්ග සෑම දහයකින්ම එක ජීවීන් වර්ගයක නිවහනයි BBC ය බ්‍රසීලයේ පරිසර ඇමති රිකාඩෝ සාලෙස් (Ricardo Salles) කරාත් ළඟා විය. ''ජනාධිපති බොල්සොනාරෝගේ ආණ්ඩුව පරිසර ප්‍රශ්නයත් ඇතුළුව කිසිදු ආකාරයක අපරාධයක් සම්බන්ධයෙන් කිසිම සමාවක් නොදෙන බව පැහැදිලිව කියල තියෙනව'' ඇමතිවරයා පැවසීය. බ්‍රසීල ආණ්ඩුව වන්නන්තර විනාශය සම්බන්ධයෙන් කටයුතු කරන ෆෙඩරල් ප්‍රධාන රාජ්‍ය ආයතනය වන 'ඉබාමා' (Ibama) ආයතනයේ අධීක්ෂණ කටයුතු සඳහා සපයන අරමුදලෙන් 40%ක් කප්පාදු කර ඇත. එහෙත් පරිසර ඇමති සාලේස් පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇමසන් වනගැබ කලාපයේ නීතිය ක්‍රියාවට නැංවීම අඩාල වූ බවය. තවද, එම කලාපය භාර ප්‍රාන්ත පාලනයට වන විනාශය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරෙන බව ඇමතිවරයා පවසයි. බ්‍රසීල ආණ්ඩුව විසින් මේවසරේ ''වර්ඩි බ්‍රසීල්-2' (Verde Brasil 2) යන නමින් මෙහෙයුමක් නිර්මාණය කරන ලදී. එහි අරමුණ නීති විරෝධීව වනය කපාදැමීම සහ වනය ගිනිතබා විනාශකිරීම අධීක්ෂණය සඳහා ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත අතර ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීමය. ඒ කෙසේවෙතත්,වර්තමාන බ්‍රසීල පාලනය යටතේ තත්ත්වය ඉතාම නරක අතට හැරී ඇතැයි රෝන්ඩෝනියා (Rondônia) ප්‍රාන්තයේ කටයුතු කරන ෆෙඩරල් ආණ්ඩුවේ නීති නිලධාරී රෆායෙල් බෙවිලක්වියා (Raphael Bevilaquia) පෙන්වාදෙයි. ''පවතින තත් ත්වය ඇත්තෙන්ම,කොහෙත්ම දරාගන්න බැරි තරම්!'' නීති නිලධාරියා පෙන්වා දෙයි. ''විධායක බලය අපට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තියෙනව. එමගින් අප අධෛර්යට පත්කෙරෙමින් පවතිනවා'' මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලය පවසන්නේ කුමක්ද? කුමන විකුණුම් නීතියට පටහැනිද යන්න තක්සේරු කිරීම තමන්ට අසීරු සංකීර්ණ කාරණයක් වන බව ෆේස්බුක් සමාගම පවසයි. එබැවින් එය ප්‍රශ්නයට අදාළ රටේ බලධාරීන්ගේ සහ එහි අධිකරණ සංවිධානයට පැවරෙන බවත් ඔවුහු පවසති. ඇමසන් කලාපය ඔස්සේ සිදුකෙරෙන සියලු වෙළෙඳපොළ ඉඩම් විකුණුම් අත්හිටවනු ලැබීමට තරම් මෙම ප්‍රශ්නය බරපතල බවක් පෙනීනොයන බවත් ෆේස්බුක් ජාලය සඳහන් කරයි. වසර තිහක පමණ කාලයක් තිස්සේ 'රොන්ඩෝනියා' ප්‍රාන්තයේ වනාන්තර විනාශයට එරෙහිව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින ඉවනෙයිඩ් බන්දෙයිරා (Ivaneide Bandeira) ප්‍රකාශයක් කරමින් සිය බලාපොරොත්තු දියවී යමින් ඇතැයි සඳහන් කළාය. ''මට දැනෙන විධියට මෙය ඉතා දුෂ්කර සටනක්. වනය විනාශ කරමින් පවතින ආකාරය දකින්නට ලැබීම ඇත්තෙන්ම වේදනාකාරී දුකක්. වනාන්තරය වේගයෙන් හැකිලීයමින් තියෙනව'' ඇය පවසන්නීය. ''වනගැබ ආරක්ෂා කරගැනීම අතින් ඉතිහාසයේ කවර කාලයකවත් මෙතරම් දුෂ්කර අවස්ථාවක් තිබිල නැහැ'' (BBC බ්‍රසීලියානු අංශයේ ජෝආඕ ෆෙලට්(Joao Fellet ) සහ චාලට් පැමෙන්ට්(Charlotte Pamment) විසින් ඉදිරිපත් කරන මාධ්‍ය ගවේෂණාත්මක ලිපියක් ඇසුරෙනි.) තවත් තොරතුරු;
ජනමාධ්‍යවල ක්‍රියාකාරිත්වය පිළිබඳව අඛණ්ඩ අධීක්ෂණය, උපදෙස් සැපයීම, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සාමූහිකව ක්‍රියා කිරීම සහ අන්තර්ජාතික සහයෝගිතාව සම්බන්ධීකරණය ආදී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පාර්ලිමේන්තු ස්ථාපිත ස්වාධීන ආයතනයක් පිහිටුවන මෙන් ජනමාධ්‍ය නිදහස උදෙසා වූ සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
සිය 25 වෙනි සංවත්සරය සමරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ඉල්ලීම කරන්නේ ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම පිළිබඳව සිදු කළ අධ්‍යයනයක වාර්තාවක් ප්‍රකාශයට පත්කරමිනි. ජනමාධ්‍යවලට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ පවත්වන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ මීට ඉහතදී ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද කිහිප වරක්ම ඉල්ලා සිටි පරිදි පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීම ද IFEX සංවිධානයේ ද දායකත්වය සහිතව ප්‍රකාශයට පත්කරන ලද "නිහඬ බව බිඳීම" (No Impunity) නම් එම අධ්‍යයන වාර්තාවේ නිර්දේශවලට ඇතුළත් වේ. මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම ද කොමිසමේ කාර්යය නියමයන්ට ඇතුළත් විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ තවත් ඉල්ලීමකි. මාධ්‍යවේදී ඝාතන: "පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්නේ නැහැ" සිය 25 වෙනි සංවත්සරය උත්සවය අතරවාරයේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත ජනමාධ්‍යවේදින් ඝාතනය සහ අතුරුදහන් කිරිම්, ඔවුන්ට ප්‍රහාර දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතනවලට එරෙහි ප්‍රහාර, ගිනි තැබීම්, තර්ජන මෙන්ම බලහත්කාරි බලපෑම් යනාදි සකලවිධ අපරාධ පරික්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස වත්මන් ආණ්ඩුවට දිගින් දිගටම ඉල්ලීම් කෙරුණත් එය ඉටු නොවූ බව කියා සිටියේය. එබැවින් ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසි පහකට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨය අදත් එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. "නිහඬ බව බිඳීම" වාර්තාව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු එල්ල කරන එම චෝදනාව අනුමත කරයි. ශ්‍රී ලංකා ඉතිහාසය තුළ "වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් අපරාධවලට ගොදුරු වූ" 2000 සිට 2015 වසරේ ආරම්භය දක්වා මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරුණ අපරාධ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙන නමුත් එම පරීක්ෂණවල ප්‍රගතිය ද ඉතා මන්දගාමී බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. 2010 ජනපතිවරණය සමයේ සිට අතුරුදහන්ව සිටින සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා වසර හතක මුළුල්ලේ අරගලයක නිරතව සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ කරන ප්‍රකාශයක් අධ්‍යයන වාර්තාවේ මුල් පිටුවේම සඳහන් වෙයි. "මේක අපරාධයක් සම්බන්ධ ප්‍රශ්නයක්. අපරාධයක් සිදුකරලා එය වසන්කරන්න හැකිවෙන්න බැහැ ...! එහෙමනම් නීතියක් මොකටද? ආණ්ඩුවක් මොකටද?," සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රශ්න කරයි. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාවෙමින් පවතින නමුත් ඔහු සිටින තැනකින් සොයා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමින් ඇය ගොණු කළ හබයාස් කෝපුස් පෙත්සම "දැනට විභාගයට නොගෙන බහා තබා තිබේ." මේ අතර පිළිගත හැකි සාක්ෂි තිබියදීම ඇතැම් මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව සිහිපත් කරන පර්යේෂකයෝ, රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වූ ටීඑම්ජී චන්ද්‍රසේකර සංස්ථාව තුළදීම ප්‍රහාරයට ලක්වීම පිළිබඳව වීඩියෝ සාක්ෂි පවා තිබියදී ඔහුට මෙතෙක් සාධාරණය ඉටු නොවීම එයට හොඳම උදාහරණයක් බව පෙන්වා දෙති. සබැඳි යොමු: සිය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ සිදු වූ අවස්ථාවල ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීම පිණිස අදාළ මාධ්‍ය ආයතන හෝ හිමිකරුවන් ප්‍රබල දායකත්වයක් දක්වා නොමැති බවත් වාර්තාව සිහිපත් කරයි. යුක්තිය පතා ගෙනයන අරගලය වෙනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ පසුගියදා ජාත්‍යන්තර සම්මානයකින් ද පිදුම් ලැබුවාය අනෙක් අතට යුද සමයේදී ශ්‍රී ලංකාව තුළ යුද මානසිකත්වයක් ගොඩනගමින් ඇතැම් මාධ්‍යවේදීන්ම සිය වෘත්තීය සගයන්ට එරෙහි අපරාධවලට වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ බව අධ්‍යයනයේ තවත් නිරීක්ෂණයකි. "හිතට එකඟව කතාකරනවා නම් යුද්ධ කාලයේදී ජනමාධ්‍යවේදීන් ජනමාධ්‍යවේදය පැත්තකින් තියලා යුද්ධ කරන්න ගියා. සමහර මාධ්‍යවේදීන්ට තමන්ගේම දේශපාලන න්‍යාය පත්‍ර තිබුණා," යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පර්යේෂකයන්ට පවසා තිබේ. මේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම (දණ්ඩ මුක්තිය) පිළිබඳව සලකා බැලීමේ දී බොහෝ අපරාධ සම්බන්ධ නඩු වර්තමානයේ සිවිල් නඩු බවට පත්ව තිබීම පැහැදිළිව දකින්නට ලැබෙන්නක් බව යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වාදෙන කරුණකි. ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත දැන් ක්‍රියාත්මකව තිබියදී පවා සිය අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාවේ පොලිසියෙන් තොරතුරු ලබාගැනීම ඉතා දුෂ්කර කරුණක් වූ බව ද පර්යේෂකයෝ පවසති.
සේයා සදෙව්මි දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීම වාර්තා කිරීමේදී මාධ්‍යයේ හැසිරීම ප්‍රශංසනීය නොවන බවත්, පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරමින්, අවම සදාචාරයක් හෝ පවත්වා නොගනිමින් ශ්‍රී ලංකාවේ බොහෝ ජනමාධ්‍ය ආයතන සිය සමාජ වගකීම පැහැර හැර ඇති බවත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ සමාජයේ විද්වතුන්ගේ බහුතර අදහස බවට පත් වී තිබේ.
'මේ අහිංසක සේය දැරියගෙ සිදුවීමෙ සැකකරු දැන් හෙළි වෙමින් පවතිනවනෙ. ඔහු මළ මිනී සමග පවා ලිංගික ක්‍රියා සිදු කළ අයෙක්. මෙය සමාජයෙ හරිම සංකීර්ණ තත්ත්වයක්. මේ සමාජය තුළමයි මේ සිදුවීම් වෙන්නෙ. මේ සිදුවීම් එක්ක සමාජයෙ හැඩ ගැසීම මොකක්ද කියා අප වටහා ගත යුතුයි' පසුගියදා කොළඹ නගරෝදය ශාලාවේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ විද්වත් සංවාදයේදී මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවට ලක් කෙරිණ. ලිංගික වද හිංසාවලට එරෙහිව මරණ දඬුවම නියම කිරීමට පෙර ලිංගික අපරාධවලට එරෙහිව පවතින අවම දඬුවම් විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේද සකස් විය යුතු බව සංවාදයට සහභාගි වූ විද්වතුන් හා ජනමාධ්‍යවේදීන් බහුතරයක ස්ථාවරය වී තිබිණ. ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ උප සභාපති සජීව සමරනායක පැවසූයේ මිනිසා වශයෙන් එකිනෙකා ඇසුරු කිරීම නැවතී මිනිසුන් පාරිභෝජනය කරන භාණ්ඩ වශයෙන් එකිනෙකා හඳුනා ගැනීම සමාජයේ යථාර්ථය වන බවයි. 'අපරාධ, දඬුවම්, වෙළඳපොළ යනාදී සියල්ල පිටුපස මනුෂ්‍යයින් තමයි සිටින්නෙ. මාධ්‍ය පීඩාකාරී, විනාශකාරී මෙවලමක් බවට අප පත් කර තිබෙනවා' ළමා හිංසනයේදී සහ ලිංගික හිංසනයේදී මාධ්‍යයේ සහ සමාජයේ පවතින තත්ත්වය මෙසේ පැහැදිලි කළේය. "මා සාමාන්‍යයෙන් බොහෝ රූපවාහිනී, රේඩියෝ වැඩසටහන්වලට සහභාගි වුවත් තිබෙන ගැටලුව වන්නේ මාධ්‍යවේදීන් මනුෂ්‍යයින් වශයෙන් අප එකිනෙකා මුණ නොගැසීම. මෙය තමයි නිර්මානුෂීකරණය. අපුද්ගලීකරණය. එනම් මනුෂ්‍යයා යන්නෙන් ඉවත් කොට පාරිභෝජන භාණ්ඩයක් කිරීම. මනුෂ්‍යයින් එකිනෙකා මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන්න කැමති වුවත් එය සිදු වන්නේ නැහැ," සජීව සමරනායක පැවසීය. "අපරාධ, දඬුවම්, වෙළඳපොළ යනාදී සියල්ල පිටුපස මනුෂ්‍යයින් තමයි සිටින්නෙ. මාධ්‍ය පීඩාකාරී, විනාශකාරී මෙවලමක් බවට අප පත් කර තිබෙනවා. මේක ව්‍යාජ සමාජයක්. ඒ සමාජය තුළ ළමාරක්ෂණය කරන්නේ කොහොමද යන්න අප සොයා බැලිය යුතුයි." 'ලේ කඳුළු' මහජනතාවට පළමුව ඔවුන් මෙහෙයවීමේ ප්‍රධාන භූමිකාව උසුලන ජනමාධ්‍ය ලේඛක නාලක ගුණවර්ධන ගේ දැඩි විවේචනයට ලක්විය. එකම පුවත්පත් සමාගමේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් සේයාගේ සිදුවීම වාර්තාකරණයේදී ක්‍රියාත්මක වූ ආකාරයේ පරතරයද නාලක ගුණවර්ධන එහිදී පෙන්වා දුන් අතර සේයාගේ ඡායාරූප භාවිතයේදී සිංහල පුවත්පත් ආවේගශීලී වූ බවද පෙන්වා දුණි සමාජයේ මානසික සෞඛ්‍යයට පළමුව ජනමාධ්‍යයේ මානසික සෞඛ්‍ය පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බව ඔහුගේ අදහස විය. ''වෙළඳපොළ ඉහළ අලෙවියත් පහළ අලෙවියත් ඇති පත්තර ජුගුප්සාජනක විදිහට සේයාගේ සිද්ධිය උලුප්පා තිබීමෙන් පෙනෙන්නේ වෙළඳපොළ උවමනාව ඉක්මවා ලේ, කඳුළු හඹා යෑමේ තත්ත්වයක්. යුද සමයේ ඇබ්බැහිකම් පවත්වාගෙන යෑමක් රිය අනතුරු, අපරාධ වාර්තා කිරීම් මගින් පෙනෙන්නට තිබෙනවා." සේයාගේ ඡායාරූප භාවිතයේදී සිංහල පුවත්පත් ආවේගශීලී වූ බව නාලක ගුණවර්ධන ගේ අදහස විය. ''මාධ්‍යයේ කුහකත්වය හා ආවේග ප්‍රකාශ කිරීම අවාසනාවන්ත තත්ත්වයකි. ආචාර ධර්ම යනු නීතිය අභිබවා අප තුළින් මතු විය යුතු සංවරතාවකි," ඔහු පැවසීය. 'සිංහල සහ ඉංග්‍රීසි' 'ඇසට ඇස, ලෙයට ලෙය නීති තිබුණා, අරාබියෙ අදටත් අමු අමුවෙ බෙල්ල ගහලා දානවා. නමුත් එහෙම වුණත් ඒ පිළිබඳ පිළිගත් පරීක්ෂණවල අඩුවීමක් වෙලා නැහැ' ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ලිංගික වද හිංසාවලට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බරපතල තත්වය මෙසේ පෙන්වා දුන්නේය. ''මරණ දඬුවම යෝජනා කරගෙන ක්‍රියාත්මක කිරීමට ගේනවා නම් අනිවාර්යෙන්ම අන්තර්ජාතික සම්මුතීන් අපි උල්ලංඝණය කරනවා. 966 සිවිල් හා දේශපාලන නීති අපි අත්සන් කර පිළි අරගෙන තියෙනවා," ඔහු පැවසීය. "නවසිය හතලිස් අටේ විශ්ව මානව හිමිකම් නීතිය අපි පිළිගන්නවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මේවා අපි පිළි අරගෙන තිබෙනවා. අපි මේවා පිළි අරගෙන තියෙනවා නම් අපිට පුළුවන්ද මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. ඇසට ඇස, ලෙයට ලෙය නීති තිබුණා, අරාබියෙ අදටත් අමු අමුවෙ බෙල්ල ගහලා දානවා," ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසීය. "මේ සමාජය තුළමයි මේ සිදුවීම් වෙන්නෙ. මේ සිදුවීම් එක්ක සමාජයෙ හැඩ ගැසීම මොකක්ද කියා අප වටහා ගත යුතුයි. අප සිදුවීමක් වුණහම ඒ ගැන කතා කරනවා, එය ආයෙත් ලියලලා එනවා. නීති පද්ධතිය, සාක්ෂි එකතු කිරීම, සාක්ෂිවල ගති ලක්ෂණ ගැනීම් මීට වඩා වෙනස් වෙන්න ඕන. සිස්ටම් එකේ වෙනසක් නැතිව අපිට ඉස්සරහට යන්න බෑ.'' 'ප්‍රතිවිරුද්ධ මත' සංවාදයේදී අදහස් දැක්වූ හිරු රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපේන්ද්‍ර හේරත් කියා සිටියේ, දැරිය දූෂණය කර ඝාතනය කිරීම පියකු වශයෙන් තමා මහත් කම්පනයට පත් කළ සිදුවීමක් වූ බවයි. "මම මාධ්‍ය උපමාන සහ ආචාර ධර්ම පිළිබඳව තදින් හිතන කෙනෙක්. නමුත් සේයාගෙ සිදුවීමෙදි මම ඒ සීමා අතික්‍රමණය කළා," උපේන්ද්‍ර හේරත් පැවසීය. "මේ සිදුවීම හරහා ජනමතයක් හදා, පවතින ක්‍රමයට බලපෑම් කළ හැකි නම් අපි එය කළ යුතුයි. ඒ නිසා විවේචන මැද්දේ සමාජය තුළ කම්පනයක් ඇති කරන්නට අපි කටයුතු කළා. එහිදී අපි සාර්ථකයි." එනමුත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයසිරි ජයසේකර පළ කළේ උපේන්ද්‍ර හෙරත්ගේ මතයට ප්‍රතිවිරුද්ධ මතයක්. 'ඉන්පසු මේ රටේ හිටපු මිනිස්සු, ගැහැනු, උපාසක අම්මලා කොයිතරම් මිලේච්ඡයිද කොයිතරම් අශිෂ්ඨයිද කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා' ''දරුවෙකු අපරාධයකට ගොදුරු වූ බව දැනගත් වහාම කලින් පළ කළාද, දැකලා තියෙනවද නැද්ද, කිසිම කතාවක් නැහැ. ඉන්පසු මේ පින්තූර ශිෂ්ඨ සමාජයක පළ කළ නොහැකියි," ජයසිරි ජයසේකර සඳහන් කළේය. "ඒ දරුවා ලිංගික අපයෝජනයකට ගොදුරු කර ඇති බව දැනගත් තැන් සිට කිසිදු ශිෂ්ඨ මිනිහෙකුට ඒ දරුවාගේ පින්තූර පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒ සිද්ධිය දැනගත් වහාම කොයිතරම් අශිෂ්ඨ මිනිහෙක් මේ රටේ සිටියද කියලා මුලින් දැනගත්තා වගේම අපේ රට කොච්චර අශිෂ්ඨයිද මිලේච්ඡයිද කියන කාරණය දැනගත හැකි වුණා. ඉන්පසු මේ රටේ හිටපු මිනිස්සු, ගැහැනු, උපාසක අම්මලා කොයිතරම් මිලේච්ඡයිද කොයිතරම් අශිෂ්ඨයිද කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා.'' ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය රට අගාධයට හෙලන තවත් බරපතල ප්‍රශ්නයක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර ගේ විග්‍රහයයි. 'ආචාර ධර්ම හඳුන්වා දුන් කර්තෘ සංසදයම ආචාර ධර්ම කඩ කොට පල වූ ප්‍රවෘත්ති වලට සම්මාන දෙනකොට අපිට ඒවත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙන්නෙ' "මාත් එක්ක වැඩ කරන වෘත්තිකයන් එක්ක මා බැනගෙන තියෙනවා ඇයි පින්තූර දාන්නෙ, අයි දරුවගෙ නම දාන්නෙ, ඇයි ඔබට හෘද සාක්ෂියක් නැද්ද අසමින්. ඉස්සර දෙයියෝ සාක්කි, පිස්සු හැදෙන සඳ වැනි ශීර්ෂ යටතේ රටේ ඛේදවාචක පල වෙද්දි අපට කොයි තරම් ලැජ්ජාවක් ඇති වුණාද? ඒ නිසා තමයි ජනමාධ්‍යයට දෙයියන්ගෙ පිහිටයි කියා මැද පිටුවක් ලීවෙ," තිඹිරියාගම බණ්ඩාර පැවසීය. "තවමත් අපට එය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ආචාර ධර්ම හඳුන්වා දුන් කර්තෘ සංසදයම ආචාර ධර්ම කඩ කොට පල වූ ප්‍රවෘත්ති වලට සම්මාන දෙනකොට අපිට ඒවත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙන්නෙ. සමාජයෙන් බැහැර කළ මරණ දඬුවම එම සමාජයෙන් නැවත ඉල්ලනවා නම් එම සිදුවීම සමාජය මනින උණ කටුවක් විදිහට තමයි මම හිතන්නෙ." 'මේ මිය ගිය දැරියගේ ඡායාරූප මේ වෙද්දි 15කට වඩා මාධ්‍ය භාවිතා කර තිබෙනවා. නිළියෙක්ගෙ ඡායාරූප දමනවා වගේ තමයි ඒවා දාන්නෙ' ''මම දැක්කා මේ සිද්ධියට සැක කළ එක් ගැටවරයෙකුගෙ ලැප්ටොප් එකේ අසභ්‍ය දේ තිබුණය කියලා රූපවාහිනී නිවේදිකාවක් ලෝකේ තිබෙන බරපතලම විපත වගේ නිවේදනය කරනවා. මුළු රටම සභ්‍ය වෙලා මේ වයස 17 දරුවගේ පර්ගණකයේ අසභ්‍ය දර්ශන තිබුණා මෙන් නිවේදනය කරනවා. මේ පරීක්ෂණ අතරෙදි මේ ශිෂ්‍යයා නිදහස් වුණොත් මේ කොල්ලා පාරෙ බැහැලා යන්නෙ අසභ්‍ය මිනිහෙකු හැටියට. වයස 17, 18 කොල්ලන්ගේ ලැප්ටොප්වල මේ වගේ දේවල් තිබෙනවා. ඒ නිසයි මාධ්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්නයක් කියන්නෙ." ආචාර ධර්ම ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ තිබෙන්නේ මාධ්‍ය ආයතන වශයෙන් නම් කළ ධනපතීන්ගේ ව්‍යාපාර ආයතන වීම හේතුවෙන් ඒවා තුළ මාධ්‍යවේදීන් සිටිය නොහැකි බව සාහිත්‍යවේදී විදර්ශන කන්නන්ගර ප්‍රකාශ කළේය. ඔහුගේ අදහස වූයේ අසභ්‍ය දේ යටපත් කර පැවතිය යුතු ශිෂ්ඨාචාරගත සමාජයේ අසභ්‍යත්වයෙන් මිනිසුන් සංවිධානය වීම ආරම්භ කර ඇති බවයි. "ෆ්‍රොයිඩ්ට අනුව අසහනය පවතින්නෙ ව්‍යභිචාරය වශයෙන්. ව්‍යභිචාරය මානව ඉතිහාසය පුරාම මිනිස් මනස තුළ පවතින්නක්. ගැටලුව වී තිබෙන්නෙ නූතනවාදී සමාජයේ ශිෂ්ඨාචාරය යටපත් වී ව්‍යභිචාරය සමග මිනිසා පිටත සමාජයේ කටයුතු කිරීමයි. මාධ්‍ය යන්න පසෙක තැබුවම සමාජය මෙහෙයවන ආචාර ධර්ම මොනවාද යන්නයි මා අසන්නේ," විදර්ශන කන්නන්ගර පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝම්බර් 02 වෙනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ අතර එය අද (සැප්තැම්බර් 30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු කරුණු දක්වමින් වග උත්තරකාර ගෝඨාභය රාජපක්ෂ ,ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින් , ලබන 07 වැනිදා ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පෙර හදිසි කටයුත්තක් සේ සලකා මෙම නඩුව විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සළකා බලන ලෙසය. එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මෙම නඩුව ද්වේශ සහගත අරමුණකින් ගොනු කර ඇති බවත් එහි සඳහන් චෝදනා පදනම් විරහිත බවත් සඳහන් කළ අතර එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාග කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ මෙම නඩුවට භාජනය වන කරුණ දේශපාලනමය වශයෙන් සංවේදී කරුණක් හෙයින් මෙම පෙත්සම සළකා බැලීම ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිදු කිරීම සුදුසු බවය. ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 02 වෙනිදා සලකා බැලීමට දින නියම කෙරිණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ. එම වගඋත්තරකරුවන් අතරින් ආගමන සහ විගමන පාලක ආර්. එම්. එස්. කේ. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ එම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන අයට ද ඔක්තෝබර් 2 වෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කිරීමට ද තීරණය විය. නඩුවට පාදක වන ලේඛන තිබේනම් ඒවා අද (සැප්තැම්බර් 29) පස්වරු 2.30 ට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද එම නියෝගයේ සඳහන් විය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් අවිධිමත්ව මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරුවන් ගේ චෝදනාව වී තිබේ. විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවෝ එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ද කියා සිටිති. ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ. මේ අතර තමා ජනාධිපති ධුරයට තරග කිරීම හේතුවෙන් ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත්කිරීමට අදාළව ඉකුත් අප්‍රේල් 17 වෙනිදා ඉල්ලීමක් කළ බවත් , ඊට අදාළව පසුගිය මැයි මස 03 වෙනිදා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු බවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය අවිධිමත්ව ලබාගත්බවට සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බව පසුගිය 20 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අධිකරණයට කරුණු වාර්තා කළේය. ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ ‍කොට්ඨාසය යටතේ 2005 වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම ගැනද විමර්ශනයක් සිදුවන බව එහිදී ප්‍රකාශ විය. මේ අතර සැප්තැම්බර් 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත්කරමින් අධිකරණයට දැන්වුයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වාර්තා, ආගමන විගමන දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අමාත්‍යංශය සතුව නැතැයි තමන්ට දැනුම්දී ඇති බවය. කියවන්න
පරිගණක මෘදුකාංග සහ දෘඩකාංග යල් පැන යාම නිසා දැනට අන්තර්ජාලයේ පවතින ලිපි ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට අති විශාල ප්‍රමාණයක් සදහටම අහිමි වී යා හැකි බව අන්තර්ජාල නිර්මාතෘවරයෙක් අනතුරු අඟවයි. පවසනවා.
‘ඩිජිටල් අඳුරු යුගය’ ලෙසින් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදයකට ලෝකය ඇතුල් වෙමින් සිටින හෙයින් ඉදිරි පරම්පරාවට විසි එක් වන සියවසට අයත් වාර්තා කොහෙත්ම දකින්නට නොලැබෙන තත්වයක් උදා විය හැකි බවයි, ගූගල් අන්තර්ජාල සමාගමේ උප සභාපති වින්ට් ස'ර්ෆ් පවසන්නේ. ‘සැබවින්ම මම මේ පිළිබඳව විශාල කනස්සල්ලකින් ඉන්නේ.මේ තත්වය අපි දැනටමත් අත් විඳිනවා. නවීනතම මෘදුකාංග ඔස්සේ පැරැණි වාර්තා විවෘත කර ගන්න බැහැ. ඒවා නවීකරණය කර ගත හැකි බවට සීයට සීයක වගකීමක් නැහැ. කාලයක් තිස්සේ සංස්කරණය කර ඇති දේවල් අතුරුදහන් වෙන්න පුළුවන්’ වින්ට් ස'ර්ෆ් පවසයි. සියලු මෘදුකාංග සහ දෘඩකාංග ඩිජිටල් ක්‍රමයකට සංරක්‍ෂණය කිරීම තුලින් පසු කාලීනව ඒවා පරිහරණය කිරීමේ හැකියාව ලබා ගත හැකි බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ.
කොවිඩ් එන්නත ලබා ගැනීමට යන අවස්ථාවේ, එන්නතෙන් ඔබට ඇතිවිය හැකි අතුරු බලපෑම් ගැන අනතුරු අඟවනු ඇත. එම අතුරු බලපෑම් ලැයිස්තුවට උණ, හිසරදය, දිනක් හෝ දෙකක් අත රිදුම් දීම ඇතුළු වුව ද ඔසප් චක්‍රයේ වෙනස්කමක් ගැන සඳහන් නොවේ.
නමුත් ඔසප් වීම නියමිත දිනට පෙර සිදුවීම, රුධිරය වැඩියෙන් වහනය වීම මෙන්ම වේදනාකාරී බව ලැයිස්තුගත නොකළ අතුරු බලපෑමක් විය හැකිදැයි ලොව පුරා කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ විමසීමට පටන් ගෙන ඇත. මොඩර්නා එන්නත ලබා ගැනීමෙන් පසු ඔසප් වීමේ දී අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීමක් අත්විඳි බව සඳහන් කරමින් මිනිස් සෞඛ්‍ය සහ රෝග, සෞඛ්‍ය සත්කාර ක්‍රමවේද සහ ජෛව සංස්කෘතික අනුවර්තනය පිළිබඳ මානව විද්‍යාඥ ආචාර්ය කේට් ක්ලැන්සි ට්විටර් පණිවිඩයක් පළ කර තිබූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් තවත් සමාන අත්දැකීම් රාශියක් පළ වී තිබිණි. සිය හිටපු සගයෙකු වන ආචාර්ය කැතරින් ලී සමඟ ඇය පුද්ගලයන්ගේ අත්දැකීම් ලේඛනගත කරමින් සමීක්ෂණයක් දියත් කර ඇත. මෙම වෙනස්කම්වලට එන්නත හේතු වී ඇත්දැයි අප තවමත් නොදන්නා අතර, එය තවමත් අධ්‍යයනය කර නොමැත. එන්නත ලබා ගැනීමෙන් පසු සහ විශේෂයෙන් අන් අයගේ අත්දැකීම් ගැන ඇසීමෙන් පසුව කාන්තාවන් වෙනස්කම් ගැන සැලකිල්ලක් දැක්වීම හෝ ඒවා ආරෝපණය කරගැනීම ද සිදු විය හැකිය. නමුත් ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි ප්‍රජනක ප්‍රතිශක්ති විද්‍යාඥ ආචාර්ය වික්ටෝරියා මාලේ පැවසුවේ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන ඇතැම් කාන්තාවන් සහ හෝමෝන ගැනීමෙන් ඔසප් වීම නැවතුණු පුද්ගලයින් අතර ද රුධිරය වහනය වීමක් වාර්තා වී ඇති බවය. එබැවින් හානිකර නොවන කායික ප්‍රතික්‍රියාවක් සිදු වෙමින් පවතින බවට සැකයක් ගැන ඇයගේ අවධානය යොමුව තිබේ. ඔසප් වීම සාමාන්‍යයෙන් සිදු නොවන සංක්‍රාන්ති ලිංගික පුරුෂයන් සහ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන් ගණනාවක් කේට් ක්ලැන්සි සහ කැතරින් ලී යන ආචාර්යවරුන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එන්නත ලබා ගැනීමෙන් පසු තමන් රුධිර වහනයක් අත්විඳි බවය. මෙම සිද්ධීන් අතර සම්බන්ධය සනාථ කර නොමැති වුවද, එන්නත නිසා ඔසප් වීමේ වෙනස් කම් ඇති විය හැකි බවට තාර්කික කරුණු ඉදිරිපත් වී තිබේ. නමුත් මෙම වෙනස්කම් ගැන බිය විය යුතු නැතැයි ප්‍රජනන විශේෂඥයෝ පවසති. පිළිගත හැකි සම්බන්ධය ගර්භාෂ ආස්තරය (womb lining) ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසකි. පොදුවේ ගත් කළ ශරීරයේ සෑම කොටසකම ප්‍රතිශක්තිකරණ සෛල ඇත. ගර්භාෂයේ ආස්තරය ගොඩනැගීම, නඩත්තු කිරීම හා බිඳ දැමීම සඳහා ද ප්‍රතිශක්තිකරණ සෛල කාර්යභාරයක් ඉටු කරයි. ගැබ් ගැනීමක් සඳහා සූදානම් වන විට එය ඝන වන අතර, ඩිම්බය සංසේචනය නොවුණ හොත් රුධිරය ලෙස පිට වේ. එන්නත ලබා දීමෙන් පසු, ප්‍රතිශක්තිකරණ සෛලවලට බලපෑම් කිරීමේ හැකියාවක් සහිත රසායනික සංඥා විශාල ප්‍රමාණයක් ශරීරය පුරා සංසරණය වේ. මෙය ගර්භාෂ ආස්තරය ක්ෂය වීමට හේතු විය හැකි අතර, රුධිර බිංදු පිටවීම හෝ නියමිත කලට පෙර ඔසප් වීම ඇති විය හැකි බව ආචාර්ය වික්ටෝරියා මාලේ පැහැදිලි කළාය. ගබ්සා වීම හා සම්බන්ධයක් නැත මෙය හා ගබ්සාවන් අතර සම්බන්ධයක් ඇතැයි මින් අදහස් නොවේ. ගර්භණී සමයේදී විවිධ ක්‍රියාදාමයන් මගින් වැදෑමහ ඇතුළු ගර්භාෂ ආස්තරය නඩත්තු කරයි. වැදෑමහ යනු කලලය සහ මවගේ රුධිර සැපයුම සම්බන්ධ කරන ඉන්ද්‍රියයි. මේ වන විට, එන්නත සහ දරු ගැබ අහිමිවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව යෝජනා කිරීමට හැකි පුළුල් සාක්ෂි තිබේ. මේ අතර, උදාහරණයක් ලෙස, යමෙකුට උණ වැළඳීමෙන් ඇතිවන ප්‍රදාහයෙන් ගර්භාෂ ආස්තරයට මෙන්ම ඩිම්බකෝෂ මුදා හැරීමට ද බලපෑම් එල්ල විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඇලෙක්සැන්ඩ්‍රා ඇල්වර්ග්න් පැහැදිලි කළාය. මේ හේතුවෙන් නියමිත කාලයට පෙර හෝ ප්‍රමාද වී ඔසප් වීම සිදු වීමට ඉඩ ඇත. ප්‍රදාහයේ ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ට ඔසප් වීමේ දී වඩාත් වැඩි වේදනාවක් දැනී ඇති බව මීට පෙර සිදු කළ අධ්‍යයනයක ඇතැම් සාක්ෂි මගින් පිළිඹිබු වේ. එන්නත් මගින් ද ශරීරයේ ප්‍රදාහක ප්‍රතිචාරයක් ඇති කරයි. ඒ සියල්ලම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණ ගැන්වීමේ සහ රෝගවලට එරෙහිව සටන් කරන ප්‍රතිදේහ සහ අනෙකුත් සෛල නිෂ්පාදනය ආරම්භ වීමේ කොටසක් වේ. මේ තොරතුරු ද කියවන්න: බලපෑම් සියල්ල තාවකාලිකයි උණ රෝග සහ පිළිකා වළක්වා ගැනීමේ එන්නත්වලින් ඔසප් චක්‍රයට තාවකාලික බලපෑම් එල්ල විය හැකි බවට සාක්ෂි තිබේ. නමුත් දිගු කාලීන අතුරු ආබාධ නොමැත. සරුභාවයට ඒවා බලනොපාන බවට "සාක්ෂි රාශියක්" ඇති බව වෛද්‍ය වික්ටෝරියා මාලේ පැවසීය. මෙම වෙනස්කම් ගැන බිය නොවිය යුතු නමුත්, මෙම ලිපිය සඳහා අදහස් දැක්‌වූ වෛද්‍ය වික්ටෝරියා මාලේ සහ සෙසු පුද්ගලයෝ, එන්නතෙන් ඔසප් චක්‍රයට විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරති. එවිට මෙයින් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ ජනතාවට දැනුවත් විය හැකිය. "බොහෝ විට, කාන්තාවන්ගේ සෞඛ්‍යය නොසලකා හැරීම සම්බන්ධයෙන් මෙහි ගැටලුවක් තිබෙනවා," ඇය පැවසුවාය. "නිකමට සිතා බලන්න උණ ගැනීම එන්නතේ අතුරු බලපෑමක් විය හැකි බව ඔබ නොදැන සිටියා නම්?" නාරිවේද විශේෂඥ වෛද්‍ය ජෙන් ගන්ටර්, 'වජෙන්ඩා' (Vajenda) නමින් පවත්වා ගෙන යනු ලබන ඇයගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි. "ඔබ බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් එන්නතක් ලබා ගැනීමෙන් පසු ඇති වෙන උණ තත්ත්වයක් වුවත්, ඒ වෙනුවට බලාපොරොත්තු නොවූ දෙයක් ඔබේ ශරීරයට සිදුව ඇත්නම් ඒ ගැන බියක් ඇති විය හැකියි, ඔසප් චක්‍රය අක්‍රමවත් වීමේදීත් එය එසේමයි." ඒ හා සමානව, සංක්‍රාන්ති ලිංගික පුරුෂයින් සහ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන්ට රුධිරය පිටවීම, පිළිකා ලක්ෂණයක් විය හැකි බැවින් එය එන්නත නිසා හටගත් අහිතකර නොවන අතුරු බලපෑමක් ද යන්න වටහා ගැනීම වැදගත් බව ආචාර්ය කැතරින් ලී පැහැදිලි කළේය. ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ රාජකීය විද්‍යාලයේ උප සභාපති වෛද්‍ය සූ වෝඩ් පැවසුවේ, අසාමාන්‍ය රුධිරය ගැලීමක් ඇස ගැටෙන ඕනෑම අයෙකු තම වෛද්‍යවරයා හමුවීම ගැන සිතා බැලිය යුතු බවය. එන්නත ගැන වැරදි තොරතුරු මේ අතර එන්නත්, ඔසප් චක්‍රයට බලපෑම් ගෙන දෙන බවට වූ අදහස, සමාජ මාධ්‍ය තුළ දුස්තොරතුරු පතුරුවා හරින පුද්ගලයන් විසින් අහුලා ගනු ලැබ ඇත. එන්නත් හානි ගෙන දෙන බව හෝ එය මිනිසුන් වඳභාවයට පත් කිරීමට ලොව ප්‍රභූ පැලැන්ති විසින් දියත් කරනු ලැබ ඇති කුමන්ත්‍රණයේ කොටසක් බව එන්නත් විරෝධී සහ කුමන්ත්‍රණ න්‍යායන් ඉදිරිපත් කරන කණ්ඩායම්වල අදහස වී තිබේ. ආචාර්ය කේට් ක්ලැන්සි වැන්නවුන්ගේ අව්‍යාජ පුද්ගලික අත්දැකීම් ඔවුහු ඒ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරති. එන්නත් ලබා ගත් පුද්ගලයින් අසල ගැවසුන ද, කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට හෝ ගැබ් ගැනීමට පවා බලපා හැකි බවට වූ අසත්‍යය ප්‍රකාශ මෑත සතිවල දී සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු ලෙස සංසරණය වී තිබේ. අප්‍රේල් මැද භාගයේ සිට 300,000 අධික වාරයක් නරඹා ඇති එවැනි එක් වීඩියෝවක එකතරා "සාකල්‍ය ප්‍රජනන සෞඛ්‍ය වෘත්තිකයෙකු" අනතුරු අඟවන්නේ, "තමන් එන්නත ලබා නොගත්ත ද කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බවය." සෙසු එන්නත් විරෝධී උපදේශකයින් සහ රෝග ලක්ෂණවලට පමණක් සීමා නොවී, රෝගියෙකුගේ මානසික සහ සමාජීය කරුණු ද සැලකිල්ලට ගෙන සමස්ත වශයෙන් ප්‍රතිකාර ලබා දෙන (සාකල්‍ය) සෞඛ්‍ය වෘත්තිකයන්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය දහස් සංඛ්‍යාත නරඹන්නන් වෙත ලඟා වෙමින් පවසන්නේ, එන්නත් ලද පුද්ගලයින්ට වෛරසය සතු උල් හැඩති ප්‍රෝටීන අන් අය මත "හෙලිය" හැකි බවය. මෙය භෞතිකව කළ නොහැකිය. බොහෝ කොවිඩ් -19 එන්නත් ක්‍රියා කරන්නේ වෛරසයේ සුවිශේෂී උල් අතර ඉතා කුඩා කොටසක් සෑදීමට ශරීරයට උපදෙස් ලබා දීමෙනි. වෛරසයට එරෙහිව කටයුතු කරන්නේ කෙසේදැයි යන්න එමගින් දැන ගත හැක. ප්‍රති-නිෂ්පාදනය කළ නොහැකි උල් ප්‍රෝටීන, පසුව බිඳ විසුරුවා හරිනු හෝ විනාශ කරනු ලැබේ. ඉහත කී ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශරීරයට උපදෙස් ලබා දීම ද අතිශය සියුම් ලෙස හසුරුවා ගත යුතුය. මෙම එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනය මෙතරම් දුෂ්කර කාර්යයක් වී ඇත්තේ ඒවායේ අන්තර්ගත ජානමය තොරතුරු පහසුවෙන් බිඳ වැටිය හැකි බැවිනි. එසේ වුවහොත් එන්නතෙන් ප්‍රයෝජනයක් නොමැති වනු ඇත. මේ ඕනෑම එන්නතක් වෛරසයේ කිසිඳු කොටසක අනුපිටපත් සැකසීමට සහ වැගිරීමට ඉඩ නොදෙයි. අනුපිටපත් සෑදෙන එකම දෙය වන්නේ වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවනු ලබන ප්‍රතිශක්තිකරණ සෛල පමණි. (BBC රියැලිටි චෙක් හි ඔල්ගා රොබින්සන් සහ රේචල් ශ්‍රෙයර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි) තවත් තොරතුරු:
රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා ඇතුළු මානව හිමිකම් ක්‍රියාධරයන් කිහිප දෙනකුම පසුගිය සතියේ අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම මගින් ජිනීවා මානව හිමිකම් කොමිසම මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව නිත්‍ය නිරීක්ෂණයක අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කෙරෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
'ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩලයේ නිත්‍ය නිරීක්ෂණයක් අවශ්‍යයි' එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදු වූයේ වර්තමානයේ සහ අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් හේතුවෙන් බවයි, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. ඉරිදා රාත්‍රියේ කිලිනොච්චියේදී අත් අඩංගුවට ගනු ලැබූ ඉන්ෆොර්ම් සංවිධානයේ රුකී ප්‍රනාන්දු සහ යාපනයේ සාමය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානයේ ප්‍රවීන් පියතුමා ඉන් අනතුරුව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කොළඹටරැගෙන ආ බව පොලිසිය පවසයි. යාපනයේ කතෝලික සභාව අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට පසුගිය සතියේ කිලිනොච්චියේදී අත් අඩංගුවට ගනු ලැබූ ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ ඇයගේ දියණියගේ තතු විමසීම පිණිස ඔවුන් දෙදෙනා කිලිනොච්චිය බලා ගිය බව ක්‍රියාධරයෝ පවසති. රඳවා ගනු ලැබූ සියලුම දෙනා සම්බන්ධයෙන් නීතියේ විධිවිධාන ප්‍රකාර කටයුතු කරන මෙන් සහ ඔවුන්ට සිය නීති උපදේශකයන් හමුවීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසද එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා කතෝලික සභාවේ යාපන දියෝකීසියේ ගිහි සභාව, ඔවුන් දෙදෙනා සහ ජෙයකුමාරි බාලේන්ද්‍රන් වහාම නිදහස් කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි. සිය පුත්‍රයා අතුරුදහන් වී ඇති බව පවසන ජෙයකුමාරි බාලේන්ද්‍රන්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ඉදිරියෙන්ම සිටියාය. ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.
පා ගමනකට සම්බන්ධ වීම ස්වාධීන අයිතියක් විය හැකි නමුත් පක්ෂයේ අභිවෘද්ධිය දෙස අවධානය යොමු කොට ඊට සහභාගි වූවන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට පක්ෂයකට අයිතියක් තිබෙන බව ශ්‍රීලනිපයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවට එක් වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිළිබඳ ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කරන බව අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර ගලහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට පක්ෂය තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදෙන බවයි, එහිදී අදහස් දැක්වූ පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්බී දිසානායක සඳහන් කළේය. පාද යාත්‍රාවට සහභාගි වූ දේශපාලනඥයන්ගේ පෞද්ගලික ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් අඩු කිරීමට පියවර ගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේ අමාත්‍ය එස්බී දිසානායක කියා සිටියේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආරක්ෂකයන් දෙදෙනකු පමණක් ලබා දෙන බවයි.
සිය ජීවිත කාලය තුළ අලුතින් එක් සත්ත්ව විශේෂයක් හෝ සොයා ගන්නට හැකි නම් එය සත්ත්ව විද්‍යාඥයෙකු ලබන මහත් භාග්‍යයකි.
දැනටමත් නව ජීවින් විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂී විද්‍යාඥ පවුලක් ශ්‍රී ලංකාවේ ජීවත් වේ. ඔවුහු තවත් නව ජීව විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිති. 'චාර්ල්ස් ඩාවින්' පරපුරේ ශ්‍රී ලාංකීය සලකුණ බවට පත්ව සිටින උරග හා උභයජීවී විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය බිරිඳ වන නෙතූ වික්‍රමසිංහ සහ සිය දරුවන් සමග වනගතව මෙම පර්යේෂණ සිදු කරයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද ඔවුන්ගේ පර්යේෂණ කණ්ඩායමට ඇතුළත්ය. මෙන්ඩිස් වික්‍රමසිංහ හඳුන්වා දුන් සත්ත්ව විශේෂ මේ වන විට නව උරග විශේෂ 15ක් සහ උභය ජීවී විශේෂ 11ක් ලොවට හඳුන්වා දී ඇති මෙන්ඩිස් වික්‍රමසිංහ, වසර 135 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් වඳවී ගොස් තිබූ බවට විශ්වාස කෙරුණු ජීවින් තිදෙනෙකු සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නැවත ලොවට හඳුන්වා දීමට ද සමත් විය. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යා විෂය නිර්දේශයේ 'පරිසර අධ්‍යාපනය පිළිබඳ නව විෂය නිර්දේශයට අනුකූලව රජයේ පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය 2017-2021' යටතේ විද්‍යා ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ ජාතික වගකීම ද ඔහුට පැවරී ඇත. ඔහු යුනෙස්කෝ සංවිධානයේ මධ්‍යම කඳුකරයේ ස්වාභාවික ලෝක උරුම ව්‍යාපෘතියේ සහ ජාතික සත්වෝද්‍යානයේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කරයි. කියවන්න: දක්ෂ වනජීවී ඡායාරූප ශිල්පියෙකු ද වන මෙන්ඩිස් වික්‍රමසිංහ 2016 වසරේදී ප්‍රකාශයට පත් කළ 'Repertoire' නම් කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා පිරිනැමෙන ජනාධිපති සම්මානය 2017 වසරේ ද, වනජීවි පර්යේෂණ සඳහා පිරිනැමෙන ජනාධිපති සම්මානය 2013 වසරේදී ද ඔහුට පිරිනැමිණි. යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බලකාය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සහ විශේෂ බලකාය [SF] ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ට වනයේ නොනැසී ජීවත් වීම සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක පුහුණුව දශකයකට අධික කාලයක් තිස්සේ ලබා දීමට ද මෙන්ඩිස් වික්‍රමසිංහ දායක වී ඇත. දශක දෙක හමාරක් තිස්සේ වනජීවී පර්යේෂණ කටයුතුවල නිරත ඔහු දුෂ්කර ප්‍රදේශවල පාසල් වෙත ගොස් කිසිදු මුදල් අය කිරීමකින් තොරව සිය දැනුම බෙදා දෙයි. දඩබ්බර සිසුවා මෙල්ල කළ මන්තරය කළුතර, වස්කඩුවේ උපත ලබා තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙන්ඩිස් වික්‍රමසිංහ, කුඩා කාලයේදී පාසල් අධ්‍යාපන කටයුතුවලට වඩා ප්‍රිය කළේ සර්පයන්ටය. එබැවින් පාසල් කාලය තුළ ඔහු බොහෝ විට පන්ති කාමරයේ නොවීය. වෙනස් ගති ලක්ෂණ සහිත මේ සිසුවා හට අවශ්‍ය මග පෙන්වීම ලබාදීම නොකඩවා වසර පහක් ඔහුගේ පන්ති භාර ගුරුතුමිය වන කේ ජයන්ති ද සිල්වා ගුරු මාතාව නොපිරිහෙලා ඉටු කළාය. සමහර අවස්ථාවන්හි පාසලෙන් හෝ අවට පරිසරයෙන් හමුවන සර්පයෙකු ආරක්ෂිත ස්ථානයකට මුදා හරින තෙක් ආරක්ෂාකාරීව පන්ති කාමරය තුළ රඳවා ගැනීමට ඔහුට අවස්ථාව දුන් සිද්ධි විරල නොවීය. උසස් පෙළ සඳහා වාණිජ්‍යය විෂය තෝරා ගත් මේ "දඩබ්බර සිසුවා" අද ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සිටින විද්‍යා ගුරුවරුන්ට මග පෙන්වන ගුරුවරයෙකි. ''මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂය වුණේ 1990දී විතර මම තරුණ සත්වවේදීන්ගේ සංගමයට සම්බන්ධ වීම. දෙහිවල ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණ තරුණ සත්වවේදීන්ගේ සංගමය තුළින් මම සතුන් පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබුවා. එහිදී තමයි මට මගේ බිරිඳ ''නෙතූ'' මුණ ගැහෙන්නේ. පසුව මම ලෝක සංරක්ෂණ සංගමයට [IUCN] සම්බන්ධ වුණාට පසුව ජාතික මට්ටමේ පර්යේෂණවලට දායක වෙන්න අවස්ථාව ලැබීම තමයි ජීවිතයේ දෙවැනි හැරවුම් ලක්ෂය. මට විද්‍යාත්මක ලෙස සතුන් අධ්‍යනයට ආචාර්ය චන්න බඹරදෙණිය මහතා විශාල මග පෙන්වීමක් කළා,'' යනුවෙන් මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමඟ සිය මතකය අවදි කළේය. 'රන්වැල්ලගේ ගස් ගෙම්බා' රන්වැල්ලගේ ගස් ගෙම්බා මෙන්ඩිස්ගේ සොයාගැනීම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ 2012 වසරේදී ලොවට හඳුන්වා දුන්, දැනට දන්නා තොරතුරු අනුව රත්නපුර, ගිලීමලේ රක්ෂිතයෙන් පමණක් හමුවන 'රන්වැල්ලගේ ගස් ගෙම්බා' හඳුන්වාදීමය. ශ්‍රී ලංකාවේ ජීවත් වූ පරිසරහිතකාමී වෛද්‍යවරයෙකු වූ සංජීව රන්වැල්ල සිහිවීම පිණිස එම ජීවියා නම් කිරීමට හේතුවූ කරුණ මෙන්ඩිස් මෙලෙස විස්තර කළේය. ''සංජීව අයියගේ පළමු පත්වීම රත්නපුර, ගිලිමලේ රෝහල. ඒ නිසා දවසක් අපි ගිලිමලේ රක්ෂිතයේ ඇවිද යනකොට තමයි මේ අලුත් උභය ජීවියා මුලින් ම දැක්කේ. මෙම සොයා ගැනීම ලෝකයට හඳුන්වා දෙන දවස වෙනකොට සංජීව අයියා ජීවතුන් අතර නෑ. ඒ වගේ ම එදා ඒ ගමනට එකතු වුණු ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාසත් ජීවත් වෙලා හිටියේ නෑ,'' යනුවෙන් ඔහු වේදනාබරව පැවසුවේය. බිරිඳ කැළයේ අතරමං කළ රාත්‍රිය රන්වැල්ලගේ ගස් ගෙම්බාගේ චර්යාව පිළිබඳ අධ්‍යයනයේදී නෙතූ වික්‍රමසිංහට ද ජීවිතයේ කිසි දා අමතක නොවන අත්දැකීමක් ලැබී තිබේ. ඒ, ඇය මහ කැළයේ තනි කර මෙන්ඩිස් ගෙම්බන් පසුපස ගිය කතාවකි. මෙන්ඩිස්ට බිරිඳ සමග කැළයට ඇතුළු වූ බව මතක් වී තිබුණේ, පසු දා උදෑසනය. පර්යේෂණ කටයුතු සඳහා මහ වනයේ දින ගණන් දුෂ්කර ජීවිතයක් ගෙවූ නෙතූ සිය හඬ මෙලෙස අවදි කළාය. ''ගිලිමලේ කැළේදී රෑ 10ට විතර ගෙම්බන් කෑ ගහන සද්දය ඇහුණා. මට හෙල්ලෙන්නේ නැතුව ඔහොම ඉන්න කියල මෙන්ඩිස් කැළය ඇතුළට ගියා. තනිකර ම කළුවරයි. දැන් රෑ 12යි, පාන්දර එකයි, බැරි ම තැන මම එහෙම්ම ම ඉඳගත්තා. බිම තෙතමනයකුත් දැනුණා. ඈතින් වතුර පාරක් ගලාගෙන යන සද්දයකුත් ඇහුණා. මට එතන නින්ද ගිහින් තිබ්බා. උදේ හයට විතර තමයි මෙන්ඩිස් ඇවිත් නෙතූ අපි යං කිව්වේ. ඒ වෙලාවේ තමයි එයාට මතක් වෙලා තියෙන්නේ බිරිඳත් එක්ක ආපු බව,'' යනුවෙන් නෙතූ පැවසුවාය. දරුවන් පාසල් නොයවයි මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතූ විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ලෝකය ජය ගත්ත ද සිය දරුවන් පාසල් යවන්නේ නැත. සිය දරුවන්ට සොබාදහම තුළින් ජීවිතාවබෝධය සහ නව ලෝකයේ දැනුම ලබා දෙන මේ සුවිශේෂී විද්‍යාඥ යුවළ වත්තල ප්‍රදේශයේ වාසය කරයි. විද්‍යාව සහ විද්‍යාත්මක ලෝකය සමග ගනුදෙනු කළ ද ඉතා සරල දිවිපෙවතක් ගත කරන මේ විද්‍යාඥ පවුල විශේෂයෙන් සර්පයන් හා උභය ජීවින් පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරයි. අමත සහ ගගන දරු දෙදෙනා අමත සහ ගගන දරු දෙදෙනාගේ හපන්කම් මෙන්ඩිස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගනු ලබන සතුන් නව විශේෂ බවට තහවුරු කිරීමට අදාළ ජාන විද්‍යාත්මක පර්යේෂණ නෙතූ සිදු කරන්නීය. ඔවුන්ට අමත සහ ගගන නමින් පුතුන් දෙදෙනෙක් හා අරංගා නමින් දියණියක් සිටිති. අවුරුදු දෙකක් වයසැති කුඩා දියණියට ද සර්පයන් හුරුය. එම දැරිය සර්පයන් ස්පර්ෂ අයුරු ඉතා විස්මයජනකය. එමෙන් ම දවසේ වැඩි කාලයක් සර්පයන් හා උභය ජීවින් සමග ගත කරන පුතුන් දෙදෙනා ද මෙන්ඩිස් සමග දුෂ්කර ප්‍රදේශවලට ගොස් සර්පයන් පිළිබඳ දේශන සඳහා සහභාගි වෙති. බොහෝ දෙනා සර්පයින් ගැන කරුණු හරියාකාරව නොදන්නා නිසා ගැරඬියෙකු දුටු විට ද අප්‍රසන්න බවක් හා බියක් ඇති කර ගන්නා නමුත් සර්පයන් කිසිදු චකිතයකින් තොරව ඇල්ලීමට අමත සහ ගගන සමත් වෙති. අමත සහ ගගන දරු දෙදෙනා බොහෝ විට නිවසේ නැත. ඒ, වටපිටාවේ හූනන්, හිකනලයන්, ගෙම්බන්, පණුවන් හෝ වෙනත් සතුන් හොයාගෙන යන නිසාය. මේ පුංචි විද්‍යාඥයින් වටපිටාවෙන් ගෙදරට රැගෙන ආ සත්ත්ව විශේෂ තුනක් ලෝකයට අලුත් සතුන්ය. උන් විද්‍යාත්මක ලෝකයට හඳුන්වා දීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. "මගේ දරුවෝ තරඟකාරී පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව තමයි අධ්‍යාපනය ලබන්නේ. දෙන්න ම නිදහසේ ඉගෙන ගන්නවා. ගෙදරට පොල් කඩන්න කවුරු හරි ආවොත් මේගොල්ලෝ ඒ අයගෙන් වුණත් ජීවිතයේ අරුත ඉගෙන ගන්නවා. ඔය වගේ විදියට තමා ඉගෙන ගන්නේ," යනුවෙන් මෙන්ඩිස් පවසද්දී නෙතූ ඒ කතාව විස්තර මෙසේ කළාය. ''අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන්නේ දැඩි තරඟකාරී තත්ත්වයක්. ඒ තුළ ළමයි ආත්මාර්ථකාමී පැත්තටයි යන්නේ. අපේ ළමයින්වත් ඒ පැත්තට ඇදල දාල ඔවුන්ගේ නිදහස නැති කරන්න, ළමා කාලය උදුරගන්න අපිට ඕන නෑ. දරුවෙකු දැනුමින් සන්නද්ධ කරන්න ඕන වෙලාවක පුළුවන්. ඒත් හැකියාවන් හා ආකල්ප එහෙම දෙන්න බෑ,'' යන්න නෙතූගේ අදහසයි. ඇය වැඩිදුරටත් පැවසුවේ, තමන්ගේ දරුවා ''ලොකු මිනිසෙකු'' කිරීමට බොහෝ දෙමව්පියන් උත්සහ කළ ද ''හොඳ මිනිසෙකු'' කිරීමට එතරම් උත්සහයක් නොගන්නා බවය. මෙන්ඩිස් සහ නෙතූ දරුවන්ට මග පෙන්වන්නේ රැකියාවක් නොකර තමා කැමති ක්ෂේත්‍රය විනෝදාංශයක් කරගෙන, ඉන් සමාජ මෙහෙවරක් ද සිදුකරමින් අදායම් මාර්ගයක් සලසා ගන්නා ආකාරය පිළිබඳවය. තවත් ලිපි: නව සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාර්වින් පවුල' මේ ප්‍රකාශය ඇසෙත් ම මා හට පෙරළා ප්‍රශ්නයක් පැන නැගිණි. ඒ, දරුවන්ට මේ ක්‍රමය තුළ හොඳ අධ්‍යාපනයක් ලැබෙන බවට ඔවුන්ට ඇති සහතිකය කුමක් ද යන්නය. ඊට පිළිතුරු ලැබුණේ ද දරුවන්ගේ අම්මාගෙන්ය. ''ඒ ගැන මට පොඩ්ඩක්වත් බයක් නෑ. හොඳ ම උදාහරණය තමයි මෙන්ඩිස් අයියා. බලන්න අද එයා ඉන්න තැන,'' යනුවෙන් ඇය පැවසුවේ දැඩි විශ්වාසයකිනි. "සහතික තියාගෙන ප්‍රායෝගිකව වැඩක් කරන්න බැරි කී දෙනෙක් දවසකට ඔබට හමුවෙනවා ද? උදාහරණයක් විදියට කිසි කලෙක වර්ෂා වනාන්තරයකට නොගිය ගුරුවරයෙක් ඔහු මවා ගත් චිත්ත රූප ඔස්සේ, සිංහරාජ වනාන්තරය ගැන එහි කවදාවත් නොගිය ළමයෙකුට විස්තර කරද්දී ඒ දරුවා වටහා ගන්නේ මොන වගේ දෙයක් ද? අපි ළමයින්ට දිය යුත්තේ ප්‍රායෝගික අධ්‍යාපනයක්,'' යනුවෙන් නෙතූ පැවසුවාය. ශ්‍රී ලංකාවේ වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පර්යේෂණ කළ යුතු සත්ත්ව කාණ්ඩ සිටිය ද ඒ ගැන උනන්දුව හා කැපවීම ඇති පිරිස හිඟ බවය. ''උදාහරණයක් විදියට පත්තෑයෝ, කූඹි, හැකරැල්ලෝ, කඩි, දිමි, සළබයෝ ගැන කවුරුවත් වැඩ කරන්නේ නෑ. අලුතෙන් පිරිස් එනවා. ඉක්මන් ගමනක් යන්න ගිහින් ඒ අය ගමන කෙටි කර ගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවක් නෙවේ. නමුත් දැනට වැඩ කරන ටික හරියට ඒ වැඩ ටික කරගෙන යනවා.'' දුලාන් රංග විදානපතිරණ, ගිහාන් රජිව් යන අය ද මෙන්ඩිස් හා නෙතූගේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන්ය. එමෙන් ම ආචාර්ය චන්න බඹරදෙණිය, ආචාර්ය ඩේවිඩ් ගවර්, ආචාර්ය සමීර සමරකෝන් සහ මහාචාර්ය කමනි තෙන්නකෝන් යන පිරිස ද ඇතැම් පර්යේෂණ කටයුතු සඳහා දායකත්වය සපයති. පර්යේෂණවලින් අත්වී ඇති ප්‍රතිඵල තවදුරටත් කියවන්න:
බලපත්‍රයක් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම මාර්තු දාහත් වෙනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ‘නීතිය ඉදිරියේ සැම පුද්ගලයකුම සමාන බවත්, බුද්ධ දේශනාවේ ද එය සඳහන් වන බවත්’ පෙන්වා දුන්නේය.
භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට බුද්ධ ධර්මය තරම් වෙනත් නීතියක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප නියම කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන නිසා උඩුවේ ධම්මාලෝක හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවයි සඳහන් කළේ. මහේස්ත්‍රාත් නියෝගයෙන් පසු බන්ධනාගාර රථයට ඇතුල් කරනු ලැබීමෙන් අනතුරුව උඩුවේ ධම්මාලෝක හිමියන් එම රථයේ සිට කියා සිටියේ තමා අත්අඩංගුවට ගනු ලැබීම ‘බෞද්ධ විරෝධී ක්‍රියාවක්’ වන බවයි. ජනතාවට ඉවසීමෙන් සිටින ලෙස දැනුම් දෙන්නැයි සඳහන් කළ උන්වහන්සේ ‘මෙය බෞද්ධ කමට එල්ල කෙරුණ පහරක්’වන බවයි ප්‍රකාශ කළේ. කිරුලපන ඇලන් මැතිනියාරාමයේ බලපත් රහිත අලි පැටියා සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් පවසන්නේ ‘බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට’ එම අලි පැටියාත් කවුරුන් විසින් හෝ සිය විහාරස්ථානයේ දමා ගොස් තිබුණ බවයි.
හමුදා වෙඩි පහරින් මරණයට පත් වූ ගෝපිගේ සමීප හිතවතෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු යාපනයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ගෝපි ඇතුළු තිදෙනා ලබා ගෙන තිබූ දුරකථන ඇමතුම් පිළිබඳව පොලිස් විමර්ශන ගෝපි මරණයට පත් වීමට පෙර මොහු සමඟ සබඳතා පවත්වා ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර මෙම පුද්ගලයා එල්ටීටීඊ සාමාජිකයෙකු ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කර ඇත්තේ. පසුගිය දා වවුනියාවේ දී ඇති වූ ගැටුමකින් මරණයට පත් වූ ගෝපි ඇතුළු තිදෙනා ලබා ගෙන තිබූ දුරකථන ඇමතුම් පිළිබඳව පොලිස් විමර්ශන සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
සෙනසුරාදා පැවැත්වුණු පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී ආසන තිහක් හිමිකරගත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හෙවත් දෙමළ ජාතික සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගෙන තිබේ.
පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන හතක් හිමි වී තිබෙන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එක් ආසනයක් දිනා ගෙන තිබේ. බොහෝ දිස්ත්‍රික්කවලදී දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශිත ඡන්දවලින් සියයට අසූවකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීම විශේෂත්වයක්. යාපනය දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද ප්‍රමාණයෙන් සියයට අසු හතරක් ලබා ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගත හැකිවී ඇත්තේ සියයට දහ හතරක ඡන්ද ප්‍රමාණයකි. ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය උතුරු පළාත් සභාවේ එක් ආසනයක් හෝ දිනා ගැනීමට අපොහොසත් වී ඇති අතර, එම පක්ෂයට සියලු දිස්ත්‍රික්ක වලින් ලැබී ඇත්තේද ඉතා සුළු ජන්ද සංඛ්‍යාවකි.
ඉන්දියානු මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන දිනය අදයි.
ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අන්තිම මොහොතේත් දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටි බවයි වාර්තා වන්නේ. මෙවර ඉන්දීය මහා මැතිවරණයේ නව වැනි සහ අවසන් අදියරේ ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ලබන සඳුදා. ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි මෙම මහමැතිවරණයට තරඟ වදින්නේ බරණැස් නුවර ඡන්ද කොට්ඨාශයකිනි. බරණැස හින්දු ජනයාගේ ශුද්ධ නගරයක් ලෙසයි සැලකෙන්නේ. අරවින්ද් කෙජ්රිවාල් අරවින්ද් කෙජ්රිවාල් ඉන්දියාව තුළ දූෂණ වලට එරෙහිව විශාල ව්‍යාපාරයක් ගෙන යමින් සිටින අරවින්ද් කෙජ්රිවාල්, ඉහත කී ඡන්ද කොට්ඨාශයෙන් නරේන්ද්‍ර මෝඩිට එරෙහිව තරඟ වදින අතර ඔහුගෙන් මෝඩිට දැඩි අභියෝගයක් එල්ල වී ඇති බවත් වාර්තා වෙයි. නරේන්ද්‍ර මෝඩි බරණැසට අමතරව ගුජරාටයේ ඡන්ද කොට්ඨාශයකට ද තරඟ කරයි. ජාතික මට්ටමේ මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ පාලක කොංග්‍රස් පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජයට පත් විය හැකි බවයි. ඉන්දියානු මහමැතිවරණයේ ඡන්ද ගණන් කරනු ලැබීම ආරම්භ වන්නේ මැයි දහසය වෙනිදායි.
මුම්බායි නගරයට එල්ල කෙරුන ප්‍රහාරය සැලසුම් කොට ක්‍රියාත්මක කළ බවට සැක කරන පකිස්තානුවන් හත් දෙනාට එරෙහිව පණවා තිබෙන නඩුවේ විභාග කටයුතු දිගින් දිගටම කල් දමන බවට ඉන්දියාව පකිස්තානයට චෝදනා කරනු ලබයි.
2008 දී එල්ල වූ එම ප්‍රහාරයේදී එකසිය හැට හය දෙනෙකු මරුමුවට පත් විය. ඉස්ලාමාබාද් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණයක පැවති නඩු විභාගය හත් වැනි වරටත් කල් දමීමෙන් අනතුරුව එයට විරෝධය පල කිරීම පිණිස පකිස්තානයේ ජේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට දිල්ලි නුවර ඉන්දීය විදේශ අමාත්‍යංශයට වාර්තා කරන මෙන් නියෝග කර තිබේ. ප්‍රහාරය පිලිබඳ නඩු විභාගය ආරම්භ වුනේ මීට වසර දෙකකට ඉහතදී. පකිස්තාන් බලධාරීන් චෝදනා කරන්නේ නඩු විභාගය ප්‍රමාද වන්නේ අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් බවයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ නීතියේ ආධිපත්‍යය "බිඳ වැටීම" ගිය සතිය තුළ, දෙස්, විදෙස් අවධානයට ලක්විය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වෙද්දී, මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල අවධානයට ලක් වී තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම 'පිල්ලෙයාන්' මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය. 2005 නත්තල් දින නත්තල් දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදී පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඇතුළු චුදිතයන් පස් දෙනාම නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන විනිසුරුවන් සහ නීතිවේදීන්ගෙන් සමන්විත ICJ නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම, යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත්වීම දැඩිව හෙලා දැක තිබිණ. එම වෙඩි ප්‍රහාරයේදී ජෝසප් පරරාජසිංහම් ගේ බිරිඳ ඇතුළු අට දෙනෙකු තුවාල ලැබූහ. චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගන්නේ මන්දැයි නීතිපතිවරයා හෙළි කර නොමැති බව පෙන්වාදෙන ICJ (International Commission of Jurists) සංවිධානය, වසර පහකට පසුව චෝදනා ඉල්ලා අස්කර ගැනීම හඳුන්වන්නේ ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ලකරන ලද බරපතල පහරක් ලෙසිනි. 'පිල්ලෙයාන්' නිදොස්කොට නිදහස්කරන ලද්දේ, මේ ආකාරයටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබඳ චෝදනා ලබා සිටි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු චුදිතයන් පස් දෙනා සිංහල පමණක් කතාකරන ජූරි සභාවක් විසින් නිදහස් කරනු ලැබීමෙන් වසර කිහිපයකට පසුව බවත් නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සිහිපත් කරයි. ඇම්නස්ටි ජාත්‍යන්තරය ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, "ඓතිහාසික අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට දිගින් දිගටම දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු," බවය. "වගවීමෙන් තොරව, ශ්‍රී ලංකාවට කිසි දිනෙක මේ අඳුරු පරිච්ඡේදයේ පිටුව පෙරලීමට නොහැකිවනු ඇති," බවද ඇම්නස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම්වරයාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් පැවසීය. ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ද නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සහ ඇම්නස්ටි ජාත්‍යන්තරය (Amnesty International) නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි. සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවන ඡායාරූපයක් අතීත අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා දේශීය යාන්ත්‍රණ දිගින් දිගටම අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ "දණ්ඩ මුක්ති චක්‍රය නිමා කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගෙනයාම පිණිස ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු" බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි. යුද අපරාධ චෝදනා මේ අතර සිය වාර්ෂික වාර්තාව නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය බරපතල ලෙසින් බිඳ වැටුණු බවය. ආණ්ඩුව විවේචනය කරන බව සැලකෙන නීතිවේදීන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිතයන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් කරනු ලබන බිය වැද්දීම් සහ ඔත්තු බැලීම් උත්සන්න වූ බව පවසන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ වාර්තාව, මුස්ලිම් සහ දෙමළ සුළු ජාතීන්ට ද නොසලකා හැරීම් සහ තර්ජනවලට මුහුණ දීමට සිදු වූ බව පෙන්වා දෙයි. රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මතකර ගනු ලැබූ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින්, අධිකරණයේ ස්වාධීනත්වය යටපත් කෙරුණ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ආයතන දුර්වල කෙරුණ බව එම සංවිධානයේ (Human Rights Watch) ස්ථාවරය වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මෙන්ම ඔහු විසින් ජ්‍යෙෂ්ට තනතුරුවලට පත්කරන ලද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ආරක්ෂක හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී ශවේන්ද්‍ර ද සිල්වාට එරෙහිවත් යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන බවත් 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය සිහිපත් කරයි. වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ, කෝවිඩ්19 වසංගතය සමයේ මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වූ සමාජ මාධ්‍ය ජාල ප්‍රචාර වැළැක්වීමට පියවර නොගත් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන් නොනැවතී, "මහජන සෞඛ්‍ය සඳහා අවශ්‍ය නොවුවද" කොරෝනාවෛරසය වැළඳී මියයන මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවය. මේ වසරේ පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වෙන සැසියේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. "ශ්‍රී ලංකාව යළිත් වරක් 'පැරණි අඳුරු යුගයට' පා තැබීම වැළැක්වීම පිණිස ඒ ගැන අවධානය දක්වන රටවල් තමන්ට හැකි සියල්ල කළ යුතුය," යනුවෙන් පවසන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ දකුණු ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි අවධාරණය කරන්නේ, ''වගවීම සහතික කරන මෙන් ශ්‍රී ලංකාවට බලකෙරෙන එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කිරීම පිණිස අදාළ රටවල් කටයුතු කළ යුතු'' බවය. හිජාස් හිස්බුල්ලාටත් කොරෝනා නීතිවේදී හිජාස් හිස්බුල්ලා (වාඩි වී) පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වීමේ චෝදනා මත පසුගිය වසරේ අප්‍රේල් 14 වෙනි දින සිට පොලිස් අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා ජනවාරි 08 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් නීතිවේදී හිජාස් හිස්බුල්ලාට කෝවිඩ්19 රෝගය වැළඳී ඇති බැවින් අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි බව එදින පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඔහු තවත් දින 90 ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනවාරි 11 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. ත්‍රස්ත විරෝධී නීතිය යටතේ වසර ගණනාවක් සැකකරුවන් රඳවා තබා ගැනීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ද කරුණු දක්වා තිබිණ. හිජාස් හිස්බුල්ලාගේ පවුලේ සාමාජිකයින් පවසන පරිදි, ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා පොලිසිය හැසිරුණු ආකාරය මගින් බරපතල සැක සංකා ගණනාවක් මතු කෙරේ. පවුලේ සාමාජිකයින් විසින් අධිකරණයේ ගොනු කරන ලද හේබියස් කෝපුස් පෙත්සම් සහ ඉන් අනතුරුව නිකුත් කරන ලද ඉහත දැක්වෙන නිවේදනයට අනුව, පොලිසිය මෙන්ම බොහෝ ජනමාධ්‍ය ද හැසිරෙන ආකාරය පිළිබඳ පහත දැක්වෙන කරුණු අවධානයට ලක් කර තිබේ. ලේඛක අහ්නෆ් ජසීම් මේ අතර, දෙමළ භාෂාවෙන් පළ කළ සිය කවි පොතකින් "අන්තවාදී අදහස් ප්‍රචාරය කළ" බවට චෝදනා කරමින් පසුගිය වසරේ මැයි මාසයේ සිට අහ්නෆ් ජසීම් (Ahnaf Jazeem) නම් කවියා ත්‍රස්ත විරෝධී නීතිය යටතේ රඳවාගෙන සිටින බව මෑතදී අනාවරණය විය. මන්නාරම ප්‍රදේශයේ වාසය කළ විසි පස් හැවිරිදි අහ්නෆ් ජසීම් කවියා මාස ගණනාවක් එසේ අත්අඩංගුවේ රඳවා ගැනීම පසුගියදා කවියන්ගේ, විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සහ මානව හිමිකම ක්‍රියාධරයන්ගේ දැඩි හෙලා දැකීමට ලක් වූ බව මාධ්‍ය වාර්තා කළේය. තරුණ කවියෙකු එසේ රඳවා ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද අදහස් පළ වී තිබිණ. ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසන්නේ, ප්‍රබල ගෞරවයට පාත්‍ර වූ දෙමළ භාෂාව සම්බන්ධ බුද්ධිමතෙකු වන මහාචාර්ය එම් ඒ නුහුමාන්, අහ්නාෆ් ජසීම් කවියාගේ කවි කියවා ඒ සම්බන්ධයෙන් සිය මතය පළ කොට තිබෙන බවය. මානව දයාව, ආගමික සදාචාරය, ප්‍රේමය සහ සාමකාමී දිවි පෙවෙත සම්බන්ධ ඔහුගේ කවි නිර්මාණ, "අන්තවාදය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද," යනුවෙන් මහාචාර්ය නුහුමාන් ප්‍රශ්න කරන බවද ලේඛක නාලක ගුණවර්ධන පවසයි. හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්විය. ජනාධිපතිවරයා එහිදී තමන්ට "මරණ තර්ජන එල්ල කළ" බව පවසමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ද යොමු කොට තිබිණ. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙලා දුටු අතර, එයට එරෙහිව විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු කොළඹ දී උද්ඝෝෂණයක ද නිරත වූහ. යාපන විශ්වවිද්‍යාලය යුද්ධයේ අවසන් අදියරේ දී මියගිය පුද්ගලයන් අනුස්මරණය වෙනුවෙන් 2018 වසරේදී යාපනය විශ්වවිද්‍යාල භුමියේ ඉදිකරන ලද මුල්ලිවෛක්කාල් අනුස්මරණ ස්මාරකය පසුගිය සිකුරාදා රාත්‍රියේ දී කඩා දමනු ලැබීම ද දෙස්, විදෙස් අවධානයට ලක්විය. ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ දූත මණ්ඩලය ඒ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට කෙරෙන සැලකීම සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ඉහළ පෙළේ රැස්වීමක් පැවැත්වීමට යුරෝපා සංගමය සූදානම් බවය. උපකුලපතිවරයා දුන් නියෝගයකට අනුව එම ස්මාරකය කඩා දැමූ බව මාධ්‍ය වාර්තාකර තිබිණ. උප කුලපති එස් ශ්‍රීසද්ගුණරාජා විශ්වවිද්‍යාල භූමියේ, එම ස්ථානයේම නැවත මුල්ලිවයික්කාල් අනුස්මරණය ඉදිකර දීමට පොරොන්දු දී ඒ සඳහා මුල්ගල තැබීමත් සමඟ දින දෙක තුළ පැවති ව්‍යාකූලතාව අවසන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ පැවති ශිෂ්‍ය උපවාසය සඳුදා (ජනවාරි 11) අත්හරින ලදි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරන බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ඊයේ සඳුදා ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
ඔවුන් විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් ද භාර දෙන ලදී. රටින් බැහැරව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් ඩයස්පෝරාවේ හමීඩ් ජබීර් පැවසුවේ බොදු බල සේනා සංවිධානයට හා සිංහල රාවය වැනි සංවිධානවලට එරෙහිව එම උද්ඝෝෂණය පැවැත්වූ බවයි. ආරක්ෂාව සහ සමගිය තම තමන්ට අයිති පූජනීය ස්ථානවල ආරක්ෂාව, සහ සමගියෙන් ජීවත්වීමට ඇති අයිතිය ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ. “අපේ ජනතාව හා , අපේ ශ්‍රී ලංකාවේ ජනතාව හා සුළු ජනතාව තම තමන්ගේ පූජනීය ස්ථානවල ආරක්ෂාව හා තමන්ගේ සමගිය උරුමය ලබා දීමට කටයුතු කරන මෙන් රජයට අපි ආරාධනාවක් කරනවා” ශ්‍රී ලංකාවේ සුළු ජන කොටස් වලට අයත් පූජනීය ස්ථානවලට බලපෑම් කිරීම සහ හානි සිදු කිරීමට එරෙහිව තමන් විරෝධය පල කරන බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජනතාවට එසේ විරෝධය පළ කිරීමට හැකියාවක් නොමැති නිසා රටින් බැහැරව සිටින මුස්ලිම් ජනතාව මෙම විරෝධතාවට එක් රැස් වූ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් ඩයස්පෝරාවේ හමීඩ් ජබීර් තවදුරටත් ප්‍රකාශ කළේ.
පකිස්තානයේ කුවේටා නගරයේ පෝලියෝ සායන මධ්‍යස්ථානයක් අසළ එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් අඩු තරමින් පහළොස් දෙනෙකුවත් මරුමුවට පත් වූ බව කුවේටා නගරයේ ජ්‍යෙෂ්ඨ බලධාරියෙක් පවසයි.
පෝලියෝ එන්නත් ලබා දී පාකිස්තාන දරුවන් වඳ භාවයට පත් කිරීමට බටහිර රටවල් කුමන්ත්‍රණය කරන බවට ඉස්ලාමීය කැරලිකරුවෝ චෝදනා කරති මරුමුවට පත් පිරිසෙන් බහුතරය, පෝලියෝ සායන මධ්‍යස්ථානයේ සේවකයන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් භටයෝ වෙති. මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි පැවසෙන්නේ. ප්‍රතිකාර කණ්ඩායම්, උදෑසන සිය රාජකාරි සඳහා සුදානම් වෙමින් සිටින අවස්ථාවේයි ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ. පකිස්තානයේ පෝලියෝ මර්දන වැඩසටහන් හා සම්බන්ධ සේවකයෝ ඉස්ලාමීය කැරලිකරුවන්ගේ මාරක ප්‍රහාරවලට නිතර ගොදුරු වෙති. බටහිර රටවල් පෝලියෝ එන්නත් ලබා දීම මගින් පකිස්තාන් දරුවන් වඳ භාවයට පත් කිරීමට කටයුතු කරන බවට ඉස්ලාමීය කැරලිකරුවෝ චෝදනා කරති. පෝලියෝ රෝගය තුරන් කිරීමට නොහැකිව සිටින ලෝකයේ එකම රටවල් දෙක පාකිස්තානය සහ අසල්වැසි ඇෆ්ගනිස්තානයයි.
ශ්‍රී ලංකාව, පෘතුගාලය - නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය යන යුරෝපීය රටවල් තුනක යටත් විජිතයක් වී තිබිණි. මෙම රටවල් තුනේම සලකුණු අදටත් ශ්‍රී ලංකාව තුළ බහුලව දැකිය හැකිය. නමුත් මේ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ 1948 දී නිදහස ලැබීමට පෙර අවසන් වරට යටත් කරගෙන සිටි මහා බ්‍රිතාන්‍යයේ බලපෑමය.
'කන්ද උඩරට ගිවිසුම' අත්සන් කළ මහනුවර භාෂාව, සංස්කෘතිය, ආහාර, ක්‍රීඩා සහ බ්‍රිතාන්‍ය විලාසිතා මෙන්ම චාරිත්‍ර වාරිත්‍රද ශ්‍රී ලාංකිකයන් තවමත් යම්තාක් දුරකට අනුගමනය කරති. 1815 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අවධියේදී ශ්‍රී ලංකාව හැඳින්වූයේ 'සිලෝන්' ලෙසය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ලොව පුරා ජනප්‍රියව ඇත්තේ 'සිලෝන් ටී' ලෙසය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියාසර කරන විට අදටත් ගුවන් සේවිකාවන් මගීන්ට තේ පැන් සංග්‍රහ කරන්නේ "ඔබට සිලෝන් ටී අවශ්‍යද?" යැයි හඬ නඟා අසමිනි. කෙසේනමුත්, සිලෝන් නම් 'යටත් විජිත නාමය' රාජ්‍ය ආයතනවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය 2011 දී තීරණය කළේය. මේ ගැන විවිධ මත පළ වුණු නමුත් එය රජයේ අමාත්‍යවරු හැඳින්වූයේ 'යටත් විජිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමක්' ලෙසය. 1972 දී රට ජනරජයක් බවට පත් වී දෙවෙනි එලිසබෙත් රැජින දිවයිනේ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ තැන සිට, පෘතුගීසි සමයෙන් උපුටා ගත් බ්‍රිතාන්‍ය යටත් විජිත නාමය වන සිලෝන් යන්න ද භාවිතයෙන් ඉවත් කෙරිණි. පසුව 'ලංකා' යන නාමයට ගෞරවනීය පැරණි පදයක් වන 'ශ්‍රී' එකතු කරන ලද අතර, මෙය දිවයිනේ සිංහල හා දෙමළ නම් වලට වඩාත් සමීප බවට තීරණය කෙරිණි. නමුත් ලංකා බැංකුව (Bank of Ceylon) සහ ලංකා ධීවර සංස්ථාව (Ceylon Fisheries Corporation) ඇතුළු බොහෝ ආයතනවල සිලෝන් යන නම නොවෙනස්ව පැවතුණි. කෙසේනමුත්, 'සිලෝන් ටී' යන නාමය තවත් බොහෝ කාලයක් නොවෙනස්ව පවතිනු ඇත. එය රටේ ජනප්‍රියම අපනයන භාණ්ඩයෙහි ගුණාත්මක බවේ සන්නාමයක් ලෙස තේ කර්මාන්තය විශ්වාස කරයි. සිලෝන් යන වචනයට ඓතිහාසික වටිනාකමක් ඇති බවට සමහරු විශ්වාස කරන අතර, අන් අය පවසන්නේ ස්වාධීන රටක් ලෙස ඉදිරියට යෑමට මෙම නම් වෙනස් කිරීම අවශ්‍යය බවය. බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණේ මොනවා ද? තේ සංස්කෘතිය බ්‍රිතාන්‍යයන් උඩරට රාජධානිය ඇතුළු කඳුකරයේ ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව, විවිධ බෝග වගා කර අත්හදාබැලීම් සිදු කර තිබිණි. දෑතින් තේ දළු නෙළීමට සමත් පිරිසකි 19 වන සියවස ආරම්භය වන විට ද වසර 20 කට වැඩි කාලයක් පුරා කෝපි ශ්‍රී ලංකාවේ අංක එකේ බෝගය විය. කොළ රෝගයකින් කෝපි පැළෑටි විනාශ වීමත් සමග, වෙනත් බෝග හඳුන්වා දීමට ක්‍රියා කර තිබුණු අතර තේ ගස් ඒ අතර ප්‍රමුඛ විය. වතුකරයේ රැකියා කිරීම සඳහා සිය පවුල් සමග ඉන්දියානු ද්‍රවිඩයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර ඔවුන් දෑතින් තේ දළු නෙළීමට සමත් පිරිසක් ලෙස හැඳින්විණි. අදටත් මෙම කාර්යයේ නිරත වන්නේ මේ පුද්ගලයන්ය. තේ දළු නෙලන්නන්ගේ ජීවන තත්ත්වය ඉතා පහත් මට්ටමක පැවති අතර පසුකාලීනව රජයන් සහ විශාල තේ සමාගම්වල අනුග්‍රහයෙන් ඔවුන්ට යම් පහසුකම් ලබා දී තිබේ. මහනුවර අවට කඳුකරය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ තේ යටත් විජිත සමය මෙන්ම ඉන් පසුව ද දිවයිනේ ආර්ථිකය හා සංස්කෘතියේ අතිශය වැදගත් අංගයක් බවට පත්විය. තේ නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ තේ පානය කිරීමේ සිරිත ද ජනතාව අතර ප්‍රචලිත විය. වර්තමානයේ දී බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අතර තේ දෛනික බීමක් බවට පත්ව ඇති අතර, එම කර්මාන්තය විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබේ. භාෂාව කුඩා දූපතට බ්‍රිතාන්‍යයන්ගෙන් ඇතිවුණ බලපෑම් අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ඔවුන්ගේ භාෂාව හඳුන්වා දීමය. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ සිලෝන්හි පවුලක ඡායාරූපයක් අද වන විට ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් තිබේ. එනම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසිය. සිංහලයන් ලන්දේසි හා පෘතුගීසි භාෂාවන්ට සමාන වචන කීපයක් භාවිත කළද, අධ්‍යාපන පද්ධතියට පවා පූර්ණ ලෙස ඇතුළත් වූයේ ඉංග්‍රීසි බස පමණකි. සියලු පාසල්වල දේශීය භාෂා සමඟ ඉංග්‍රීසි ද අනිවාර්ය විෂයක් ලෙස උගන්වන අතර යම් පුද්ගලයෙකු ඉංග්‍රීසි හොඳින් ප්‍රගුණ කර තිබීම කාර්යාල රැකියාවක් ලැබීමට පවා අත්‍යවශ්‍ය සුදුසුකමකි. දිවයින පුරා සියලුම වීදි සංඥා භාෂා තුනෙන්ම ප්‍රර්ශනය කිරීම නීතියක් බවට ද පත්ව ඇත. උසස් අධ්‍යාපනය, ව්‍යාපාර, අධිකරණ, බැංකු කටයුතු පමණක් නොව පෞද්ගලික කාර්යාල බොහොමයක ද වර්තමානයේ පුළුල් ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිත කෙරෙයි. ශ්‍රී ලාංකිකයන් ඉංග්‍රීසි කතා කරන විට යම් දුරකට බ්‍රිතාන්‍ය උච්චාරණයට සමාන වන්නේ ද මේ හේතු නිසාය. ක්‍රීඩා යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය නිලධාරීන් දිවයින තුළ පදිංචි වූ අතර, ඔවුහු සිය විනෝදාත්මක ක්‍රීඩා, සංස්කෘතික අංග ඇතුළු බොහෝ දේ දිවයිනට රැගෙන ආහ. බ්‍රිතාන්‍යයයෙන් ගෙන එන ලද කැපී පෙනෙන ක්‍රීඩා තුනක් නම් ක්‍රිකට්, ගොල්ෆ් සහ රග්බි ය. වීදි සහ උද්‍යානවල ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ සුලභ දසුනකි වර්තමානයේ දී ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ වැඩිම මුදලක් සංසරණය වන ක්‍රීඩාව බවට පත්ව තිබේ. එංගලන්තය තුළ එයට හිමිව ඇත්තේ අවම ජනප්‍රියත්වයකි. වර්තමානයේ දී අවුරුද්ද පුරා ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් තරඟ සංවිධානය කෙරෙන අතර, පාසල්වල ද ක්‍රිකට් පුහුණුව ලබා දෙමින් කණ්ඩායම් නිර්මාණය කර ඇත. වීදි සහ උද්‍යානවල ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ සුලභ දසුනකි. මේ උනන්දුව නිසා දෙවරක් ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රණය කිරීමට ද ශ්‍රී ලංකාවට හැකි විය. බ්‍රිතාන්‍ය නිලධාරීන් කොළඹ, නුවරඑලිය සහ මහනුවර නගරවල ගොල්ෆ් ක්‍රීඩාංගන තුනක් ඉදිකළ අතර ඒවා සියල්ලම අදටත් ක්‍රියාත්මක වේ. කෙසේනමුත්, "සල්ලිකාරයන්ගේ ක්‍රීඩාවක්" ලෙස බොහෝ දෙනෙකු හැඳින්වීමත් සමග සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ගොල්ෆ් ක්‍රීඩාවෙන් දුරස්ථ වී තිබෙන බව දැකිය හැකිය. ශ්‍රී ලාංකිකයන් රග්බි දැඩි ලෙස වැළඳ නොගත් නමුත්, පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමින් නිතර තරග සංවිධානය කෙරේ. යටිතල පහසුකම් තේ කර්මාන්තය ව්‍යාප්ත වීමත්, රටවැසියන්ගේ දියුණුවත් සමඟ මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම යටත් විජිත සමයේ ආරම්භ වුණි. නුවරඑලිය තැපැල් කාර්යාලය රට පුරා පාසල් ගොඩනැගුණු අතර, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ඇතුළු බොහොමයක අදටත් එම පැරණි ගොඩනැගිලි දක්නට ලැබේ. එමෙන්ම, කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අධිකරණ ගොඩනැගිලි සහ කුරුඳුවත්තේ පිහිටි ජාතික කෞතුකාගාරය, නුවරඑලිය තැපැල් කාර්යාලය වැනි නිල ගොඩනැගිලි රාශියක් ද ඉදිකෙරිණි. මේ අතර, කඳුකරයේ ද බ්‍රිතාන්‍යයන් විසින් තේ වැවිලිකරුවන්ගේ බංගලා ඉදිකරන ලද අතර ඉන් බොහොමයක් වර්තමානයේ දී හෝටල් ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත. ඔවුන් විසින් ඉදිකරන ලද දේවස්ථාන, හපුතලේ 'එඩිසන්' බංගලාව වැනි ස්ථාන අද ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්ව තිබේ. බ්‍රිතාන්‍යයන් කොළඹ සහ නුවරඑලිය නගරවල විශාල උද්‍යාන ඉදිකිරීමට ක්‍රියා කළ අතර, ඒ අතරින් වඩාත් ජනප්‍රිය වන්නේ කොළඹ පිහිටි වික්ටෝරියා උද්‍යානයයි. වර්තමානයේ දී එය විහාරමහාදේවි උද්‍යානය ලෙස හැඳින්වේ. දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයන් නවාතැන් ගත් බංගලාවක් දුම්රිය සේවා බ්‍රිතාන්‍යයන් ඉතිරි කර ගිය සියලු යටිතල පහසුකම් අතුරින් වඩාත් වැදගත් වන්නේ මුළු රටම සම්බන්ධ වන සේ ඉදිකරන ලද දුම්රිය මාර්ගයි. රට තුළ පළමුවෙන් දුම්රිය පීලි සවිකිරීම බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිදු වූ අතර, සියලු ප්‍රදේශ යා වන සේ දුම්රිය පද්ධතියක් සැකසීමට ඔවුහු ක්‍රියා කළහ. මේ අතරින් දෙමෝදර, ඔහිය, පට්ටිපොළ වැනි උස් ස්ථානවල දුම්රිය මාර්ග විශ්මිත නිර්මාණ ලෙස අදටත් ලොව පුරා ප්‍රසිද්ධ වී තිබේ. දෙමෝදර ආරුක්කු පාලම නිදහස් සටන සහ 'වික්ටෝරියානු සංස්කෘතිය' බ්‍රිතාන්‍ය නීතිය, පරිපාලන ක්‍රම, බදු ගෙවීමේ ක්‍රම, අධ්‍යාපනය ඇතුළු බොහෝ දේ අදටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෙකු ලෙස, දේශපාලනික සහ වෙළෙඳ ගනුදෙනු රාශියක් ද දෙරට අතර වර්තමානයේ දී ක්‍රියාත්මක වේ. කෙසේනමුත්, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ද ඝාතන, කැරළි, සම්පත් මංකොල්ලකෑම්, වහල් සේවය ඇතුළු අපරාධ රාශියක් සිදු වූ බව ද ඉතිහාස පොත්පත්වල සඳහන් වේ. නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා රදලයින් අතර තිබූ අමනාපකම් සිය වාසියට හරවා ගනිමින් ඉංග්‍රීසින් සිය බෙදා වෙන් කිරීමේ පාලන ක්‍රමය සාර්ථක කරගත් බව ඉතිහාසයේ සඳහන් වේ. 1882 දී මහනුවර ඡායාරූපයක් සබරගමුව මහ දිසාවේ සහ මහ අධිකාරම් ධුරය දැරූ ඇහැලේපොළ මහ නිලමේගේ සහය උපක්‍රමිකව ලබාගෙන ඉංග්‍රීසින් කන්ද උඩරට ආක්‍රමණය කරමින් 1815 මාර්තු මස ගිවිසුමකින් දිවයිනේ අයිතිය පවරා ගත් අතර, එය "කන්ද උඩරට ගිවිසුම" නමින් ප්‍රසිද්ධ වී තිබේ. නමුත් ඉංග්‍රීසින්ගේ 'තාඩන පීඩන' දරාගත නොහැකිව 1818 කැරැල්ලක් දියත් කර ඇති නමුත්, නැවතත් රදල අසමගිකම් ප්‍රයෝජනයට ගෙන කැප්පෙටිපොල මහ නිලමේ ඇතුළු 1818 නිදහස් සටනේ නායකත්වය ඝාතනය කරමින් ඉංග්‍රීසිහු සිය බලය තහවුරු කරගත්හ. ඉන් පසුව නැවත කැරැල්ලක් ඇති වූයේ 1848 දීය. ගොන්ගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු ඇතුළු පිරිසකගේ නායකත්වයෙන් මෙම අරගලය ආරම්භ කරන ලද්දේ එවක ආණ්ඩුකාරවරයා වූ ටොරින්ටන් සාමිවරයා පනවන ලද බදු හතකට විරෝධය පළ කිරීමක් ලෙසය. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පිණිස ඇඟ බද්ද, කරත්ත බද්ද, තුවක්කු බද්ද ආදී වශයෙන් මෙම බදු නම් කර තිබිණි. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ සිලෝන්හි ඡායාරූපයක් බදු විරෝධී අරගලයක් වශයෙන් දියත් වූ මෙම සටන් ව්‍යාපාරය කුරුණෑගල සිට මාතලේ දක්වා ව්‍යාප්ත විය. එය මැඩලිමට ඉංග්‍රීසි හමුදා යොදන ලද අතර ක්‍රමයෙන් එය ජනතා විමුක්ති අරගලයක් බවට පත්විය. නමුත් උපක්‍රමශීලීව දෙවෙනි කැරැල්ලද පරාජය කිරීමට ඉංග්‍රීසිහු සමත් වූහ. කෙසේනමුත් නිදහස් සටන 1915න් පසු දේශපාලන සටනක් බවට පෙරළිණි. රාජ නීතීඥ ඊ ඩබ්ලිව් පෙරේරා, එෆ් ආර් සේනානායක, සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, සර් ඩී බී ජයතිලක, ඩී ඇස් සේනානායක වැනි දේශපාලනඥයෝ මෙම දේශපාලන සටනට නායකත්වය දුන් බවට ඉතිහාසයේ සඳහන් වේ. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ සිලෝන්හි ඡායාරූපයක් බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව විවිධාකාරයෙන් දියුණු කළ ද ඔවුන් සංස්කෘතියට, ආගමට සහ දේශීයත්වයට අනිසි බලපෑම් එල්ල කළ බවට සමාජයේ අදටත් නිතර පවතින මතයකි. එමෙන්ම සමහරු තවමත් 'වික්ටෝරියානු සංස්කෘතිය' අනුගමනය කරන බවට එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම අදටත් එක ලෙස සිදුවේ. නමුත් ඉන් පෙර දිවයින යටත් කරගත් ලන්දේසී සහ පෘතුගීසීන්ගේ බලපෑම් ගැන දැඩි සාකච්ඡාවක් සමාජය තුළ නොමැත. කෙසේනමුත්, නිදහස ලැබී වසර 73ක් ගත වුව ද යටත් විජිත සමයේ බලපෑම් මෙන්ම ප්‍රතිලාභ ද එක ලෙස භුක්ති විඳීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි වී තිබේ. මේ තොරතුරු ද කියවන්න:
සුන්නි ජිහාඩ්වාදීන් විසින් දියත් කොට ඇති කැරැල්ල මැඩ පැවැත්වීමේ පියවරක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදය, ඉරාකයේ දේශපාලන වෙනසක් ඇතිකිරීමට ගන්නා ක්‍රියා මාර්ග වැඩි කරමින් සිටියි.
නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උනන්දු කරවීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ජෝ බිඩන් (Joe Biden) සිය ප්‍රධාන සුන්නි ප්‍රතිවාදියකු වන , ඉරාක අගමැති , නූරි අල් මලිකි (Nuri al-Maliki) සහ කුර්දි නායකයකු හට දුරකථනයෙන් කථා කොට තිබේ. ඇමරිකා එක්සත් ජනපදය අවධාරණය කරන්නේ ඉරාක අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය වන්නේ යුදමය බලපෑමක් නොව දේශපාලන විසඳුමක් බවයි. ඉරාක අගමැති මලිකි ඉල්ලා අස්විය යුතු බව රිපබ්ලිකන් පක්ෂයේ සෙනේට් සභික ජෝන් මැකෑන් (John McCain) කියා සිටියි. ඩිමොක්‍රටික් පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨ සාමාජිකන් දක්වන්නේද එවන් අදහසක්.
යුක්‍රේනයේ සිට තවත් සංචාරකයන් 97 දෙනෙකු සඳුදා (ජනවාරි 04) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව 2020 දෙසැම්බර් 28 සිට මේ දක්වා අවස්ථා හතරකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති යුක්‍රේන සංචාරකයන් ගණන 660කි.
ඔවුන් අතුරින් කිහිපදෙනෙකු කෝවිඩ්-19 රෝගීන් බවට හඳුනාගෙන ඇති අතර යාල සංචාරයට එක්වූ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. එමෙන්ම යුක්‍රේන සංචාරකයන් සීගිරිය නැරඹීමට තිබූ ගමන ද අවලංගු කෙරුණි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයන් අතරින් බොහෝ දෙනෙකු මුහුණු ආවරණ පැළඳ නොසිටීම ගැන සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. නිෂ්පාදනය/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර මේ ගැනත් දැනගන්න:
පසුගිය සති දෙකක කාලය ඇතුළත දිල්ලි අගනුවර සහ උතුරු ඉන්දීය වෙනත් නගරවල වායු දූෂණය වේගයෙන් නරක අතට හැරීමත් සමඟ ඉන්දියාවේ ඉතාම දරුණු පරිසර සෘතුව යළි උදාවී ඇත.
පසුගිය සති කීපයෙහි දිල්ලි අගනුවර වායුදූෂණය ඉතාම නරක අතට හැරී තිබුණි මෙම තත්ත්වය කොරෝනාවෛරසයට එරෙහිව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින ඉන්දියාවට අමිහිරි පුවතකි. ඊට හේතුව Covid-19 ආසදනයවීම් සහ මරණ ඉහළයාම සහ පරිසර දූෂණය අතර සම්බන්ධයක් පවතින බව ලොවපුරා සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළිදරව් වෙමින් පැවතීමය. PM 2.5 මිනුම් ක්‍රමයට අනුව වාතයේ ඝන මීටරයක් තුළ වායු දූෂක අංශු එක් මයික්‍රෝග්‍රෑමයක වැඩිවීම කෝවිඩ්-19 රෝගය හේතුවෙන් මියයන පිරිස 8% කින් වැඩිවිය හැකි බව හාවඩ් විශ්වවිද්‍යාලය පැවැත්වූ පර්යේෂණයකින් හෙළි වී තිබේ. (Fine particulate matter - PM2.5 - යනු මිනිස් සිරුරට හානිකර වායු අංශු මණින මිනුම් ක්‍රමයකි) ඒ අතරම පොසිල ඉන්ධන දහනය සමඟ රථවාහනවලින් පිටකෙරෙන දුමාරය පොළෝ මට්ටමේ ඕසෝන් ස්ථරයට එකතුවීම සහ නයිට්‍රජන් ඔක්සිඩස් (nitrogen oxides) ඇතුළු වායු දූෂණයවීම්වලට දිගුකලක් ගොදුරුවීම සහ Covid-19 වෛරසය ආසාදනයවීම් බරපතල අතට හැරීම අතර සම්බන්ධයක් ඇති බව කේම්බ්‍රිජ් සරසවි අධ්‍යයනයක් මගින් හෙළිවී ඇත. ''එවැනි වායු දූෂණයවීම් සිරුරෙහි දිගින් දිගටම බලපැවැත්වෙන පීඩාදායක දැවිල්ලට සහ හුස්ම ගැනීම කෙරෙහි බලපාන වෛරස් ආසාදනය වීමට ඇති අනතුර වැඩිකරන'' බව ඉහත කී අධ්‍යයන වාර්තාවේ සම කතුවරයකු වන මාර්කෝ ට්‍රවග්ලියෝ(Marco Travaglio) බීබීසී සමග පැවසීය. දිල්ලි අගනුවර ගත්විට පසුගිය සතිවල PM2.5 මට්ටම ඝන මීටරයකට මයික්‍රෝග්‍රෑම් 180-300ත් අතර තත්ත්වයක විය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මට්ටමට වඩා දොළොස් ගුණයකින් වැඩිවීමකි. එය වායුවේ ගුණයෙහි පීඩාකාරී පිරිහීමකි. කෙසේවුවද, කොරෝනාවෛරසයත් සමඟ නගරය දැඩිව 'ලොක්ඩවුන්' කරනු ලැබීම නිසා රථවාහන ගමනාගමනය සහ කර්මාන්තශාලා වසා දැමීමත් සමඟ මේ වසරේ සැලකිය යුතු කාලයක් පිරිසිදු වාතය ආශ්වාස කිරීමට දිල්ලි වැසියන්ට අවස්ථාවක් ද උදාවිය. Covid-19 ආසදනයවීම සහ සුවපත්වීමේ අනුපාතය කෙරෙහි පවතින වායු දූෂණය බලපාන්නේද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව තුළ අධ්‍යයනයක් තවමත් සිදුකෙරී නැත. එහෙත් වෛරසය මැඩලීමට ගෙනයන සටනේ දී එකම බාධකය දූෂිත වායු පරිසරය බවට වෛද්‍යවරුන් සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් විසින් අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබ ඇත. දිල්ලි අගනුවර වායු දූෂණය ඉදිරි මාසවල තවත් නරක අතට හැරෙන තත්වයක් පවතී කොරෝනාවෛරසය ආසාදනය වීමේ සංඛ්‍යාව අතින් ඉන්දියාව අද වනවිට ලෝකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර මරණ සංඛ්‍යාව අතින් තුන්වෙනි රට බවට පත්ව ඇත, සංඛ්‍යාත්මක මට්ටමින් පවසන්නේනම්, කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව හැත්තෑ පන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර,මරණ සංඛ්‍යාව එක්ලක්ෂ දාහතර දහස ඉක්මවා ඇත. පවතින නරක වායුදූෂණය යටතේ එකී සංඛ්‍යා තවත් වැඩිවිය හැකිබව විශේෂඥයෝ පෙන්වා දෙති. දිල්ලි අගනුවර දැනටමත් වසංගතයට බරපතල මට්ටමින් ගොදුරුව ඇති නගරයකි. ඇතැම්විට වසර ගණනාවක් මෙම අන්තරායකාරී වායු දූෂණයට ගොදුරුවෙමින් පීඩාකාරී තත්ත්වයක ජීවත්වීමට දිල්ලි වැසියන්ට සිදුවනු ඇත. ''මෙම ශීතකාලයෙහි දිල්ලියේ තත්ත්වය ඇත්තවශයෙන් ම බරපතල අතට හැරෙනු ඇත''හාවර්ඩ් සරසවිය විසින් සිදුකරන ලද අධ්‍යයනයට නායකත්වය දුන් එම සරසවියේ ජෛව සංඛ්‍යාන (biostatistics) අංශයේ මහාචාර්ය වෛද්‍ය ෆ්‍රැන්සිස්කා ඩොමිනොචි (Dr Francesca Dominici) බීබීසී සමග ප්‍රකාශ කළාය. ගොවීන් විසින් සිය ධාන්‍ය අස්වනු නෙළාගනු ලැබීමෙන් පසු යළි භූමිය සූදානම්කර ගැනීම පිණිස ඉපනැලි පුළුස්සා දැමීමෙන් ,රථවාහන සහ කර්මාන්ත මගින් නිකුත් කෙරෙන සහ උත්සව වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීම ආදී ක්‍රියාවන් නිසා වායුගෝලයට එක්වෙන දුමාරය හේතුවෙන් නොවැම්බර් පටන් පෙබරවාරි තෙක් පවතින ශීතකාලයන්හි විශේෂයෙන් වායුගෝලය දූෂිත තත්ත්වයකට පත්වෙයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට මාරක ගෑස් වර්ගත් ඊට එකතු වෙයි. ඒ අතරම තත්ත්වය නරක අතට හැරීමට තවත් හේතුවක් වන්නේ සුළං හමන වේගය පහළ මට්ටමක පැවතීමය. හාවර්ඩ් සරසවි අධ්‍යයනය මගින් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා තුන් දහසකට අධික ප්‍රාදේශික කලාපද (counties) අධීක්ෂණය කර ඇත. එහෙත් ඔවුන්ට ඉතාම අනතුරුදායක තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබ තිබෙන්නේ දිල්ලියෙහිය. දිල්ලිය ලෝකයේ බෙහෙවින් ම වායුදූෂණය සහිත නගර අතරට නිරන්තරයෙන් ම ලැයිස්තුගත කරනු ලැබ ඇත. Covid-19 බරපතල මට්ටමින් පැතිරගොස් ඇති කලාපයන්හි වායු දූෂණය පාලනය කරගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ උවමනාවක් ඇතැයි හාවර්ඩ් පර්යේෂකයෝ නිගමනය කරති. ''මෙම ශීත සෘතුවෙහි දිල්ලි නගරය ආරක්ෂිත තත්ත්වයක පවත්වා ගැනීම අවශ්‍ය'' බව කේම්බ්‍රිජ් අධ්‍යයනයට හවුල්වූ යිෂෝ යූ (Yizhou Yu)පවසයි. ''බරපතල මට්ටමේ රෝගාබාධවල හදිසි වැඩිවීමක් මගින් සෞඛ්‍ය සංරක්ෂණ වැඩ පිළිවෙල යටපත් වී යන්න ඉඩකඩ තියෙනව. එම තත්ත්වය මරණ අනුපාතයේ තවත් වැඩිවීමක් කෙරෙහිත් බලපාන්න පුළුවන්'' ඔහු පෙන්වා දෙයි. උත්සව සමය එළඹීමත් සමඟ ඉන්දියානු ජනතාව වෙළෙඳපොළවල රැස්කන ආකාරය. මෙම තත්ත්වය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවීමට හේතුවිය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති ඇමෙරිකා එක්සත් ජනපදයේ දුප්පත් ප්‍රජා සමූහයන්ට සෙසු කලාපයන්ට වඩා දරුණු පරිසර සහ සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවෙන හැඩක් දක්නට ඇතැයි ස්ටැන්ෆර්ඩ් සරසවියේ (Stanford University) වායු දූෂණ සහ සෞඛ්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා මේරි පෘනික් (Mary Prunick) පවසයි. එම තත්ත්වය ඉන්දියාව ගත්විට ද සත්‍යයකි. දිල්ලි අගනුවර පරිසර දූෂණයෙහි මට්ටම කෙරෙහි අවධානය යොමුකිරීමේ හදිසි අවශ්‍යතාවක් උද්ගතව පවතින බව මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් (Arvind Kejriwal) විසින් ද පිළිගනු ලැබ ඇත. එසේ නැත්නම්, දිල්ලියට එකම මොහොතක හදිසි සෞඛ්‍ය ප්‍රශ්න දෙකක් සමඟ පොරබදන්නට සිදුවිය හැකි බව ද මහ ඇමතිවරයා තේරුම්ගෙන සිටියි. ''මෙය බිය උපදවන තත්ත්වයක්'' තමිල්නාඩුවේ කීර්තිමත් සරසවියක් වන ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යායතනයේ (Christian Medical College) වෛද්‍ය DJ ක්‍රිස්ටෝෆර් පවසයි. PM2.5 අංශු පෙනහළුවලට ඇතුළුවිය හැකිය.එමගින් පෙනහැල්ලේ දැවිල්ලක් ඇතිකොට දෙවනුව ඒවාට හානිකිරීමට ඉඩකඩ ඇත. අනතුරුව එම අංශු රුධිර පද්ධතියට එක්ව බරපතල සෞඛ්‍ය ප්‍රශ්න ඇති කිරීමට ද හේතු වෙයි. දිල්ලි නගරයට ඉහලින් නිල අහස්තලය- මාර්තු සහ අප්‍රියෙල් කාලයේ දී අහස පැහැදිලි බවක් ගනී දරුණු මට්ටමින් සිදුවෙන පරිසර දූෂණය දියවැඩියාව, අධිරුධිර පීඩනය,හෘදරෝග සහ ඇදුම වැනි ආබාධවලින් පෙලෙන්නන්ට අහිතකර අතර එය රෝගවලට ඔරොත්තුදීමේ ශාරීරික ශක්තිය දුර්වලකරන බව අධ්‍යයන මගින් තහවුරු වී ඇත. ''පෙනහැල්ල කියන්නේ අපේ ශරීරයේ දොරටුව. ඊට සිදුවෙන හානියක් මගින් බරපතල ප්‍රතිවිපාක අත්කරන්න පුළුවන්.එවැනි තත්වයක් යටතේ මිනිසුන් කොරෝනා වසංගතයට ගොදුරුවීමේ වැඩි ඉඩක් තියෙනව'' වෛද්‍ය DJ ක්‍රිස්ටෝෆර් පවසයි. වායු දූෂණය ඇතුළු පරිසර දූෂණය කොරෝනාවෛරසය පැතිරයාමට ආධාරකය යන්න විශේෂඥයන්ගේ අදහස වෙයි. පරිසර දූෂණය මැඩලීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් හඬනගන ඉන්දීය තරුණියක් ශීත සෘතුවෙහි එක දවසකට කොරෝනා ආසාදිතයන් 15,000ක් පමණ වාර්තාවීමේ තත්ත්වයක් පවතින බවට ඉන්දීය ආණ්ඩුවේ වාර්තාවක් මගින් අනාවැකි පළ කරනු ලැබ ඇත. එසේම එම ආසාදිතයන්ගෙන් වැඩිදෙනාගේ තත්ත්වය බරපතල වියහැකි බවත් එමගින් පැවසෙයි. 'හදිසි ක්‍රියාමාර්ගයක් ගතයුතු තැනට දැන් තත්ත්වය පත්වෙලා. කොවිඩ් විනාශයෙන් බේරීමට දිල්ලියේ පරිසර දූෂණය අවම කළ යුතුව තිබෙනවා. මේ ශීත සෘතුවේ අපේ සෞඛ්‍ය වැඩ පිළිවෙල අඩාලවෙන තත්ත්වයකුයි පවතින්නේ'' වෛද්‍ය ක්‍රිස්ටෝෆර් පෙන්වා දෙයි. ''ඉන්දීය ආණ්ඩුව,විශේෂයෙන්ම දිල්ලි පාලනය පරිසර දූෂණය අවම කරගැනීමට කඩිනම් පියවර ගතයුතුව තියෙනව.එහෙම නොවුණොත්, අපි ගමන් ගනිමින් සිටින්නේ- ඉතාම අඳුරු ශීත සෘතුවකට'' තවත් තොරතුරු;
පසුගිය වසර පහක කාලය ඇතුළත ජපානයේ ජනගහනය දශ ලක්ෂයකට ආසන්න මට්ටමකින් පහත වැටී ඇති බව අලුත්ම ජන සංගණන වාර්තාවකින් පෙන්වා දෙයි.
1920 න් පසුව ජපන් ජනගහනයේ මෙවැනි පහත වැටීමක් පෙන්නුම් කෙරුණ පළමු වතාව මෙයයි. උපත් අනුපාතයේ පහත වැටීම සහ සංක්‍රමණිකයන්ගේ අඩුව හේතුවෙන් රට තුළ ජනගහන අවනතියක් ඇති විය හැකි බවට ජපානයේ ජනගහන විද්‍යාඥයන් දිගු කාලයක පටන්ම අනාවැකි පළ කර තිබුණි. ඉදිරි කාලය තුළ එම ජන සංඛ්‍යාත්මක අවනතිය තවත් දරුණු විය හැකි බවත් පැවසෙයි. 2050 වන විට ජපානයේ ජනගහනයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු හැටපහක් හෝ ඊටත් වැඩි වයස් කරුවන් විය හැකි බව ජනගහනය සම්බන්ධයෙන් ජපන් ආණ්ඩුව විසින් සිදු කරන ලද සමීක්ෂණ මගින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත. එවැනි ජනගහන රටාවක් ප්‍රතිවිපාකය වන්නේ මහලු වැඩිහිටි පරපුර නඩත්තු කිරීම සඳහා සිදු කරන වියදම් ඉතා අධික වීමයි.
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර උතුරු ප්‍රදේශයේ පිහිටි ගෑස් කර්මාන්ත ශාලාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට බලධාරීහු පවසති.
ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 'එකොළහක් මරුට' ප්‍රහාරයට ලක් වී පුද්ගලයන් එකොළොස් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බවත් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. කර්මාන්ත ශාලාවේ පිවිසුම් දොරටුව අසලදී මෝටර් රථ බෝම්බයක් පුපුරවා හැර ඇති බවයි එරට හමුදා ප්‍රකාශකයෙක් කියා සිටියේ. ඒ සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනකු කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වී ඇති අතර එහි සිටි ආරක්ෂකයන් සහ ප්‍රහාරකයන් අතර ගැටුමක් ඇති වී ඇති බවත් හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රහාරකයන් විසින් ගෑස් ටැංකි තුනකට හානි සිදු කරනු ලැබ තිබේ.
2015 පෙබරවාරි මස සිට 2016 මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වාර්තාව කථානායකවරයා වෙත භාර දුන් බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කොප් කමිටුව) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කොප් කමිටුවේ උපදෙස් මත විගණකාධිපති විසින් ඉහත කී වාර්තාව සකස් කරනු ලැබූ බවත් එහි වූ නිගමන සහ නිර්දේශ කවරක්දැයි යන්න ප්‍රකාශ කිරීමට තමාට බලයක් නොමැති බවත් කොප් කමිටු සභාපතිවරයා කියා සිටියේය. 'බැඳුම්කර ගනුදෙනුවට අදාළව තිබෙන ලේඛන සියල්ලම වගේ වාර්තාවට ඇතුල් කොට තිබෙනවා. සාක්ෂි සටහන් එහි අඩංගු කොට තිබෙනවා. ඒ තුළ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ රහසිගත, සංවේදී ලේඛන තිබෙන නිසා එය කථානායකවරයාට භාර දී තිබෙනවා' ඔහු සංදේශයට වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දීය කාශ්මීරයේ කැරලිකරුවන් බවට සැක කෙරෙන පිරිසක් විසින් සැඟවී සිදු කළ වෙඩි තැබීමකින් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනකු මරුමුවට පත් වී තිබේ.
මරුමුවට පත් ආරක්ෂක සාමාජිකයකුගේ දේහය රැගත් පොලිස් සහ හමුදා නිලධාරීන් ශ්‍රීනගර්හි බටහිර ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටි ආරක්ෂක සාමාජිකයන් රැගත් රථ පෙළකට තුවක්කුකරුවන් වෙඩි තබා ඇති බවයි බලධාරීන් පවසන්නේ. ප්‍රහාරයට ලක් වී තවත් තිදෙනකු තුවාල ලබා තිබේ. ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඊට එරෙහිව ඉන්දීය කාශ්මීරයේ උද්ඝෝෂණ ආරම්භ විය. පසුගිය සති කීපය තුළ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හැටකට අධික පිරිසක් මරුමුවට පත් වී තිබේ. ඉන්දීය කාශ්මීරයේ පවතින වත්මන් තත්වය සොයා බැලීම සඳහා ඉන්දියාවේ හමුදාපති ජෙනරාල් දල්බිර් සුහග් බදාදා එහි සංචාරය කිරීමට නියමිතයි.
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර උතුරු ප්‍රදේශයේ පිහිටි ගෑස් කර්මාන්ත ශාලාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට බලධාරීහු පවසති.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි ඉරාක බලධාරීන් කියා සිටියේ ප්‍රහාරයට ලක් වී පුද්ගලයන් එකොළොස් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බවත් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් බලධාරීහු සඳහන් කරති. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි ඉරාක බලධාරීන් කියා සිටියේ. රජයට අයත් කර්මාන්ත ශාලාවේ පිවිසුම් දොරටුව අසලදී මෝටර් රථ බෝම්බයක් පුපුරවා හැර ඇති බවයි එරට හමුදා ප්‍රකාශකයෙක් පැවසුවේ. ඒ සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනකු කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වී ඇති අතර එහි සිටි ආරක්ෂකයන් සහ ප්‍රහාරකයන් අතර ගැටුමක් ඇති වී ඇති බවත් හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රහාරකයන් විසින් ගෑස් ටැංකි තුනකට හානි සිදු කරනු ලැබ තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට අදාළ චෝදනා කියවා දුන් අධිකරණය ඔවුන් මුදාහැරිම ප්‍රතික්ෂේප කළේය.
දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ප්‍රකාශ කළේ තමන් නිවැරදි කරුවන් බවයි අදාළ සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔවුන් නිදහස් කරන මෙන් ඔවුන්ගේ නීතිවේදීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි. එහෙත් රජයේ නීතිවේදියා ප්‍රකාශ කර තිබුණේ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි. ඒ අනුව නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ඉවත දැමු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන්ට මිනි මැරීම සහ ඊට ආධාර අනුබල දීම, නීතිවිරෝධී රැස්වීම යන චෝදනා ඉදිරිපත් කරමින් ඒවා කියවා දීමටද නියම කළේය. චෝදනා කියවා දුන් පසු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ප්‍රකාශ කලේ තමන් නිවැරදි කරුවන් බවයි. ඒ අනුව නඩු විභාගය මැයි මස 02 වනදාට කල් දැමු අධිකරණය එදිනට සැකරුවන්ට අදාළ ව පවතින සාක්ෂි පිලිබඳ තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
පුරාණ ඊජිප්තුවට අයත් ඖෂධ ගල්වන ලද මළ සතුන්ගේ ‘මමී’ බොහොමයක් තුළ ඇත්තේ රෙදි කැබලි පණක් බව විද්‍යාඥයින් පිරිසක් සොයා ගෙන තිබේ.
X-කිරණ සහ ස්කෑන් යන්ත්‍ර භාවිතා කොට අටසීයකට අධික සංරක්ෂිත සත්ව ‘මමී’ පිරික්සනු ලැබ ඇති අතර ඒවායෙන් තුනෙන් එකක මළසිරුරු නොමැති බව පරීක්ෂණවල නිරත බ්‍රිතාන්‍ය විද්‍යාඥ කණ්ඩායම පවසති. ඇතැම් විට මළසිරුරු සංරක්ෂණය කරන ‘මමී’ පිළියෙළ කරන්නන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවට විද්‍යාඥ කණ්ඩායම විශ්වාසය පළ කරති. ආගමික වතාවත් සිදු කිරීමේදී පුරාණ ඊජිප්තු වැසියෝ මළ බළලුන්, කිඹුලන් ඇතුළු විවිධ සතුන්ට අයත් ‘මමී’ යොදා ගත්හ.
දැනට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ආකාරයට ලබන පෙබරවාරි මාසයේ මහ මැතිවරණය කැඳවනු ලැබුනොත් රට සිවිල් යුද්ධයකට ඇද වැටිය හැකි බවට තායිලන්ත යුද හමුදාපති ජනරාල්,ප්‍රයුත් චනොචා(General Prayuth Chan-ocha) අනතුරු ඇඟවීමක් කරයි.
දේශපාලනයට මැදිහත් වීමේ ඉතිහාසයක් සහිත තායිලන්ත යුද හමුදාව දැනට රට තුළ උද්ගත ව පවතින අලුත් ම පාලන අර්බුදයේ දී තවමත් පසු වන්නේ ඊට ඇඟිලි ගැසීමකින් තොරවයි. නව මහ මැතිවරණය තායිලන්ත අගමැතිනි යින්ග්ලුක් සිනවත් සහ ඇයට පදවියෙන් ඉවත් වෙන මෙන් බලපෑම් කරන විරෝධතාවාදීන් අතරයි, දැනට දේශපාලන ගැටුම පවතින්නේ. තමාට එරෙහිව පැතිර යමින් තිබුණ සති කීපයක විරෝධතා ව්‍යාපාරයකින් පසුවයි, අගමැතිවරිය නව මහ මැතිවරණයක් කැඳවීමට පියවර ගත්තේ. පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කෙරෙන තෙක්,ඡන්දයෙන් පත් නොවූ මහජන මණ්ඩලයක් විසින් රට ආණ්ඩු කිරීම තායිලන්ත විපක්ෂයේ උවමනාවයි. මේ අතර ප්‍රකාශයක් කරන තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදීන් කියා සිටින්නේ ලබන පෙබරවාරි මහ මැතිවරණය වර්ජනය කරන බවයි.
අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඩෙංගු රෝගය වැළඳුන දොළොස් දෙනකුට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් එම රෝහලේ ස්ථාපනය කර තිබේ.
ඩෙංගු රෝගීන් 47,900 ක් මේ වසර තුළ වාර්තා වී ඇති අතර, එයින් 77 දෙනකු මියගොස් තිබේ (සංරක්ෂිත ඡායාරූපයක්) එම විභාග අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වෛද්‍යවරුන් අඛණ්ඩ නිරීක්ෂණයක නිරත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය සෙනසුරාදා අවසන් වේ. මේ වසර තුළ ඩෙංගු රෝගීන් 47,900 ක් වාර්තා වී ඇති අතර, එයින් 77 දෙනකු මියගොස් තිබේ. මේ තත්වය දිවයිනේ දිස්ත්‍රික්ක දහයක හදිසි ආපදා තත්වයක් නිවේදනය කළ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කළේය. ඉන් අනතුරුව පසුගිය සඳුදා ආරම්භ කළ විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකවන අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේද සහාය ලබා ගෙන තිබේ.
කොරෝනාවෛරසයට එරෙහි එන්නත බෙදාහැරීම ක්‍රියාත්මක වෙද්දී බොහෝදෙනා මතුකරන ප්‍රශ්නයකි - මට එන්නත ලැබෙන්නේ කවදාද? අතළොස්සක් රටවල් ඉතා සුවිශේෂී ඉලක්ක සකසා තිබුණද ලොව අනෙකුත් රටවල තත්ත්වය එතරම් පැහැදිලි නැත. ඒ සම්බන්ධයෙන් අප මෙතෙක් දැනසිටින්නේ කුමක්ද?
සිය එන්නත් වැඩපිළිවෙලට තවත් අරමුදල් පරිත්‍යාගකරන්නැයි කෝවැක්ස් සැලසුම රටවලින් ඉල්ලා සිටී කෝවිඩ්-19 රෝගයට එරෙහිව ලෝකය එන්නත් කරවීම ජීවිතය හා මරණය අතර වැදගත් කරුණකි. මේ සඳහා සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාදාම, බහුජාතික සමාගම්, ආණ්ඩුවල එකිනෙකට පරස්පර වූ බොහෝ පොරොන්දු මෙන්ම අධික නිලධාරීවාදය හා රෙගුලාසි බලපෑ ඇති අතර ඒ නිසාම, ලොව පුරා එන්නත් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම එතරම් සරල කරුණක් වී නැත. ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (Economist Intelligence Unit - EIU) හි ගෝලීය පුරෝකථන අංශයේ අධ්‍යක්ෂ අගතේ ඩෙමරයිස්, මේ සම්බන්ධයෙන් වඩා පරිපූර්ණ පර්යේෂණයක් කළ අයෙකි. එන්නත නිෂ්පාදන ලෝක ධාරිතාව මෙන්ම එම එන්නත් ජනතාව අතට පත්කිරීමට අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම්, ඊට තරග කරද්දී රටකට ඇති ජනගහනයේ ප්‍රමාණය මෙන්ම ඒ සඳහා කෙතරම් වියදමක් දැරිය හැකිද යන කරුණු සම්බන්ධයෙන් EIU ආයතනය විමසා බැලීය. මෙයින් සොයාගත් බොහෝ කරුණු පුරෝකථනය කළ අයුරින් අදාළවන්නේ ධවත් හා දුගී යන්න මතය. මේ වනවිට එක්සත් රාජධානිය හා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සැපයුම් හොඳින් ලැබී තිබෙන්නේ එන්නත් සොයාගැනීම හා නිෂ්පාදනය සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට තිබූ හැකියාව නිසා ම එන්නත් පොරොත්තු ලේඛනයේ ඉහළින් ම හිඳීම හේතුවෙනි. කැනඩාව මෙන්ම යුරෝපා සංගමයේ ඇතැම් ධනවත් රටවල් ද හිඳින්නේ තරමක් පසුපසිනි. අඩු ආදායම්ලාභී රටවල් බොහොමයක් තවමත් එන්නත්කරණ වැඩසටහන් අරඹා නැත. නමුත් පුදුමය දනවන ඇතැම් කරුණු ද මේ අතර වේ. ලොව පුරා එන්නත් දියත්කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා බලමු. සිය ජනගහනය ආවරණය කිරීමට අවශ්‍ය සැපයුම් ප්‍රමාණයට වඩා පස්ගුණයක් වූ ප්‍රමාණය මිලදී ගැනීමට ක්‍රියා කළ හේතුවෙන්, පසුගිය වසරේ අගදී කැනඩාවට චෝදනා එල්ල විණි. එසේ වුවද, සැපයුම්වල ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහළට ඒමට එරටට නොහැකි වී ඇත. එසේ කිරීමට හේතුව නම් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ අපනයන තහනමක් පැනවෙනු ඇතැයි පළවූ අවධානය මත කැනඩාව යුරෝපා නිෂ්පාදනාගාරවල නිපැයෙන එන්නත් සඳහා ආයෝජනය කිරීමට තෝරාගැනීමය. එහෙත් එය එරට තැබූ වැරදි සහගත ඔට්ටුවක් විය. සැපයුම් සම්බන්ධයෙන් යුරෝපා නිෂ්පාදනාගාර අරගලයක යෙදුනු අතර අවසානයේ ඇමෙරිකාව නොව, අපනයන සඳහා මෑතදී තහනම් පනවන බවට තර්ජනය කළේ යුරෝපා සංගමය ය. "යුරෝපා වෙළෙඳපොළට සෑහෙන තරම් එන්නත් නොලැබුණොත්, කැනඩාව වෙත විශාල අපනයනයක් කරන්නට නොහැකි වේවි යැයි මා හිතනවා," අගතේ ඩෙමරයිස් පැවසුවාය. නමුත් සිතුවාට වඩා හොඳින් මේ කාර්යය ඉෂ්ඨ කිරීමේ නිරත රටවල් ද වෙති. මේ ලිපිය ලියන අවස්ථාව වනවිට යුරෝපයේ අනෙකුත් රටල් ද අභිබවමින් ප්‍රතිශතාත්මකව සිය ජනගහනය එන්නත් කළ ලොව අටවෙනි රට බවට සර්බියාව පත්ව සිටී. එක් අතකින් කාර්යක්ෂමව එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සර්බියාවේ මෙම සාර්ථකත්වයට හේතුවුව ද එන්නත් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික භාවයේ වාසිය ද ඊට එක්ව තිබේ. එනම් නැගෙනහිර යුරෝපය තුළ බලපෑමක් ඇතිකිරීම සඳහා රුසියාව හා චීනය අතර ඇති සටන මෙයට හේතුවී ඇත. රුසියාවේ ස්පුත්නික් වී (Sputnik V) සහ චීනයේ සිනොෆාම් (SinoPharm) යන එන්නත් වර්ග දෙක ම ඇති රටවල් ස්වල්පය අතරින් සර්බියාව ද එකකි. නිල වශයෙන් කියවෙන ආකාරයට ෆයිසර්, ස්පුත්නික් හෝ සිනොෆාම් යන එන්නත්වලින් තමන්ට රිසි වුවක් ලබාගැනීමේ අවස්ථාව සර්බියානුවන්ට දී ඇතැයි පැවසේ. සත්‍යවශයෙන් ම බොහෝ පිරිසකට ලබාදෙන්නේ සිනොෆාම් එන්නත ය. චීනය මුදාහරින බලපෑම දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි පෙනෙන්නට තිබේ. සිනොෆාම් හි පළමු හා දෙවැනි මාත්‍රා ලබාගන්නා රටවල්, අන්නගතයෙදී තමන්ට බලගැන්වීම් මාත්‍රා අවශ්‍යනම් ඒ සඳහා ද චීනය වෙත යොමු වීමට ඉඩ ඇත. සිනොෆාම් එන්නත මත බලවත් සේ යැපෙන තවත් රටකි එක්සත් අරාබි එමීර් රාජ්‍යය. මේ වනවිට එහි එන්නත් කර ඇති මාත්රාවලින් 80% ක් ම සිනොෆාම් වන අතර එම නිෂ්පාදනාගාරයක් සිය රටෙහි ඉදිකිරීමට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබේ. "චීනය පැමිණෙන්නේ නිෂ්පාදනාගාර, පුහුණු සේවකයින් සමග වන බැවින් චීනයට දිගු කාලීන බලපෑමක් හිමිවෙනවා," යැයි අගතේ පවසන්නීය. "ඒ වගේම මේ එන්නත් ලබාගන්නා ආණ්ඩුවලට අනාගතයේදී ඕනෑම දෙයකට බැහැ කියන්න බැරි වන ආකාරයේ ඉතා දුෂ්කර අවස්ථාවකට පත්වේවි." යැයි ද ඇය පෙන්වා දෙන්නීය. කෙසේවෙතත් ලෝක මට්ටමේ එන්නත් පිළිබඳ සුපිරි බලයක් තිබීමේ අර්ථය පළමුවෙන් සිය ජනගහනය එන්නත් කිරීම ම නොවේ. EIU හි පර්යේෂණවල පුරෝකථනයට අනුව ලෝකයේ සුපිරි එන්නත් නිෂ්පාදකයින් වන චීනය හා ඉන්දියාවට 2022 වසර අග වන තෙක් සිය ජනතාව ප්‍රමාණවත් තරම් එන්නත් කිරීමට නොහැකි වනු ඇත. දෙරටේම ඇති විශාල ජනතාවක් හිඳීම හා සෞඛ්‍ය සේවකයින්ගේ හිඟය මීට හේතුවේ. කොවිඩ් එන්නත: "රටේ ජනතාව බේරා ගැනීමට තියෙන හොඳම ආයුදය එන්නත්කරණයයි'' කෝවිඩ් එන්නත නිෂ්පාදනයේ දී ඉන්දියාවේ සාර්ථකත්වය විශාල වශයෙන් ම රඳන්නේ එක් පුද්ගලයෙකු මතය. ඒ, අදර් පූනවල්ලා. ඔහුට අයත්, ඉන්දියාවේ පිහිටි සීරම් ආයතනය (Serum Institute) ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වේ. නමුත් පසුගිය වසරේ මැදදී අදර් ගේ පවුලේ සාමාජිකයින් සිතන්නට වූයේ ඔහුගේ සිහි කල්පනාව අඩුවී ඇති දැයි කියාය. ඔහු ඩොලර් මිලියන සියගණනක් වූ තම මුදල් එන්නත් වෙනුවෙන් ඔට්ටු තැබුවේ ඒවා සාර්ථක වේ දැයි නොදැන ය. එම එන්නත් අතරින් පළමු වන්න ලෙස, ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා විසින් නිර්මාණය කරන ලද එන්නත ජනවාරියේදී ඉන්දියානු ආණ්ඩුවට සැපයිණි. දැන් ඔහු දිනකට මාත්‍රා මිලියන 2.4ක ප්‍රමාණයක් නිපදවයි. ඔහුගේ සමාගම ඉන්දියාවේ ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනාගෙන් එකක් වන අතර බ්‍රසීලය, මොරොක්කෝ, බංග්ලාදේශ් හා දකුණු අප්‍රිකාව වෙත ද එන්නත් සපයයි. "පීඩනය වගේම මේ හැම පිස්සුවක් ම දැන් ඉවර වේවි, අපි ඒ නිෂ්පාදනය හැදුවා" යැයි කී ඔහු "නමුත් සැබෑ ම අභියෝගය හැම දෙනාම සතුටින් තබන එකයි" යැයි ද සඳහන් කළේය. "තවත් නිෂ්පාදකයින්ට සැපයුම් කළ හැකි වේ යැයි මං හිතවා. නමුත් කණගාටුව නම්, මේ වනවිට, අඩුම තරමේ 2021 පළමු කාර්තුවෙදී නැතිනම් දෙවෙනි කාර්තුවේදීවත් සැපයුමේ සැලකිය යුතු ඉහළ යාමක් දකින්න ලැබෙන්නේ නැහැ." එක රැයකින් නිෂ්පාදනය වැඩි කළ නොහැකි බව ඔහු කියා සිටී. "ඒකට කල් ගතවෙනවා," යැයි පෙන්වා දෙන පූනවල්ලා, "මිනිස්සු හිතන්නේ සීරම් ආයතනයට මැජික් ද්‍රාවණයක් තියෙනවා කියලයි. ඔව්, අපි කරන දේ හොඳින් කරනවා නමුත් ඒක මැජික් යෂ්ටියකින් නෙවෙයි." යැයි සඳහන් කරයි. ඔහු දැන් සිටින්නේ ප්‍රමුක තත්ත්වයක ය. ඊට හේතුව නම්, පසුගිය වසරේ මාර්තුවේදී ඉඩ පහසුකම් ඉදිකිරීම ඇරඹු ඔහු රසායන ද්‍රව්‍ය මෙන්ම වීදුරු කුප්පි වැනි දේ තොග රැස්කිරීම අගෝස්තුවේදී ආරම්භ කිරීම ය. නිෂ්පාදනය අතරතුරදී නිපැයූ එන්නත් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස්විය හැකි අතර ම යම් දේ වැරදීමට ද ඕනෑ තරම් අවස්ථා ඇත. "එය විද්‍යාව වගේම කලාවක්" අගතේ පවසන්නීය. දැන් නිෂ්පාදනය අරඹන නිෂ්පාදකයින්ට එන්නත නිපදවිය හැකිවන්නේ තවත් මාස ගණනකිනි. වෛරසයේ අලුත් මාදිලිවලට මුහුණදීම සඳහා කිසියම් බලගැන්වීම් මාත්‍රා නිපදවීමට ද මෙම තත්ත්වය ම අදාළ වේ. කෝවැක්ස් පහසුකම (Covax facility) නම් වැඩපිළිවෙල යටතේ පළමුව ඉන්දියාවටත් දෙවනුව අප්‍රිකාවටත් එන්නත් සැපයීමට කැපවන බව පූනවල්ලා කියා සිටී. කෝවැක්ස් යනු, ලෝක සෞඛ්‍ය සංවිධානය, එන්නත් පිළිබඳ සන්ධානයක් වන ගැවි (Gavi) සහ පූර්ව වසංගත සූදානම් මධ්‍යස්‌ථානය (CEPI - Centre for Epidemic Preparedness) යන පාර්ශවවල මුලිකත්වයෙන් සැකසුනු වැඩපිළිවෙලකි. දැරිය හැකි මිල කට ලොව සෑම රටකටම එන්නත් ලබාදීම එහි ඉලක්කය වේ. එන්නත් සඳහා වියදම් දැරිය නොහැකි රටවලට විශේෂ අරමුදලක් හරහා ඒවා සැපයේ. අනෙකුත් රටවල් ඒ සඳහා මිලක් ගෙවිය යුතුය. නමුත් මෙහි අරුත තමන් ම මේ සඳහා පියවර ගනු වෙනුවට මෙම කණ්ඩායම හරහා වඩා වාසිදායක මිලක් සාකච්ඡා කළ හැකි වීමය. පෙබරවාරි මස අගදී එන්නත් සැපයීම ආරම්භ කිරීමට කෝවැක්ස් වැඩපිළිවෙල සැලසුම් කරයි. මේ අතරේදී ම කෝවැක්ස් සැලසුමට සම්බන්ධ රටවල් බොහොමයක් වෙනත් පසෙකින් තමන්ගේම ගනුදෙනු සාකච්ඡා කිරීමේ යෙදීම හේතුවෙන් කෝවැක්ස් වැඩපිළිවෙල පසුබෑමකට ලක්වෙමින් තිබේ. ස්වාධීනව එන්නත් ලබාගැනීම සඳහා අප්‍රිකාවේ නායකයින් සෑම කෙනෙකුම පාහේ තමන් සමග සම්බන්ධතා පවත්වන බව අදර් පූනවල්ලා පවසයි. එක් මාත්‍රාවක් ඩොලර් 7 ක් වූ මිලකට මාත්‍රා මිලියන 18 ක් සීරම් ආයතනයෙන් ලබාගැනීමට හැකිවූ බව උගන්ඩාව පසුගිය සතියේදී නිවේදනය කළේය. එය කෝවැක්ස් සැලසුමෙන් ගෙවන ඩොලර් 4 ට වඩා ඉහළ මිලකි. තමන් උගන්ඩාව සමග සාකච්ඡාවල යෙදී සිටියද ගනුදෙනුවකට මෙතෙක් එළැඹ නැති බව සීරම් ආයතනය පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව අනුමැතිය ලද වහා පූනවල්ලා විසින් කෝවැක්ස් වෙත ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන 200ක් සපයනු ලබනු ඇත. තවත් මාත්‍රා මිලියන 900ක් කෝවැක්ස් වෙත සපයන බවට පූනවල්ලා පොරොන්දු වී ඇතත් ඒ කවදාද යන්න ඔහු තහවුරු කර නැත. මෙම වැඩපිළිවෙල සඳහා තමන් කැපවී සිටින බව පවසන පූනවැල්ලා එහි ගැටලු ඇති බව ද පිළිගනී. එන්නත් නිෂ්පාදකයින් රැසක් සමග කෝවැක්ස් වැඩපිළිවෙල ගනුදෙනු කරන අතර ඒ සෑම නිෂ්පාදකයෙකුගේ මිල මෙන්ම සැපයෙන කාලවකවානු ද වෙනස් බව ඔහු කියා සිටී. කෝවැක්ස් හට සාර්ථකත්වයක් උදාකර ගත හැකි ද යන්න සම්බන්ධයෙන් අගතේ මෙන්ම EIU ආයතනය ද සර්ව සුභවාදී නොවෙති. සැම දේ සැලසුමට අනුව ක්‍රියාත්මක වුව ද මෙම වසර තුළදී එම වැඩපිළිවෙලට ආවරණය කළ හැකිවන්නේ රටක ජනගහනයෙන් 20 - 27% ක් තරම් වූ ප්‍රමාණයකි. "එයින් කෙරෙන්නේ සුළු වෙනසක් වුණත් සම්පූර්ණයෙන් ම තත්ත්වය වෙනස් කිරීමක් නොවෙයි," අගතේ පවසන්නීය. Economist Intelligence Unit වෙනුවෙන් ඇය කළ පුරෝකථනයට අනුව ඇතැම් රටවල් 2023 වනවිට හෝ කෙදිනකවත් සම්පූර්ණයෙන් එන්නත් කළ නොහැකිවනු ඇත. සෑම රටකටම එන්නත්කරණය ප්‍රමුඛතාවක් නොවනු ඇත. එය විශේෂයෙන් ම තරුණ ජනගහනයක් ඇති රටක් මෙන්ම ජනතාව විශාල වශයෙන් රෝගී වන බවක් නොපෙන්වන රටවල් එසේ එන්නත්කරණය ප්‍රමුඛතාවක් නොදක්වනු ඇත. මෙම තත්ත්වය තුළ මතුවන ප්‍රශ්නය නම්, කිසියම් හෝ තැනක වෛරසයට වැඩීමට ඉඩකඩ ලැබෙන තාක් ඊට විකෘති වෙමින් සංක්‍රමණය වීමට හැකියාව ලැබේ. එනම්, එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන වෛරස මාදිලි ජනනයවීම දිගටම සිදුවිය හැක. එය කොහෙත්ම අසුභ ආරංචියක් ද නොවේ. අන් කවරදාටත් වඩා එන්නත් නිපදවීම වෙගවත්වෙමින් පවතී. නමුත් බිලියන 7.7 ක් වූ ලෝක ජනගහනය එන්නත් කිරීමේ කාර්යය ඉතා විශාල වූවකි. එසේම එය මීට පෙර නොදැරූ ප්‍රයත්නයකි. කළ හැක්කේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු සිය ජනතාවට අවංක විය යුතු බව අගතේ විශ්වාස කරන්නීය. "නැහැ, වසර කිහිපයක් යන තෙක් ව්‍යප්තවූ ප්‍රතිශක්තිකරණ ආවරණයකට ළඟාවෙන්න අපට පුළුවන් කමක් නැහැ. යැයි කියන්න ඕනෑම ආණ්ඩුවකට අසීරුයි. කිසිම කෙනෙකුට එහෙම කියන්න ඕන කමක් නැහැ," යැයි ඇය පවසන්නීය. දත්ත ජනමාධ්‍ය: බෙකී ඩේල් සහ නැසොස් ස්ටයිලියානු විසිනි
ටිබෙටයේ බෞද්ධාගමික නායක දලයි ලාමා තුමන් සමග ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සාකච්ඡා පැවැත්වීම පිළිබඳව විරෝධය දැක්වීමක් වශයෙන් චීනය විසින් බෙයිජින් හි ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කැඳවා තිබේ.
ටිබෙටයේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් තම පුර්ණ සහයෝගය දෙන බව ජනාධිපති ඔබාමා පවසා තිබේ චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ශන්ග් යෙසුයි (Zhang Yesui) එම නිලධාරි වරයාට පවසා ඇත්තේ චීනයේ විශ්වාසය දිනා ගැනීම සඳහා ඇමරිකාව විසින් පියවර ගත යුතු බවයි. දලයි ලාමා තුමන් සමග පැවති හමුවේදී ටිබෙටයේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් තම පුර්ණ සහයෝගය දෙන බව ජනාධිපති ඔබාමා පවසා තිබේ. දලයි ලාමා තුමන් සමග සාකච්ඡා පැවැත්වීම දෙරටේ සබඳතා දැඩිලෙස පළුදු කිරීමට හේතුවක් වියහැකි බවට චීනය විසින් ඇමරිකාවට අනතුරුඅඟවා තිබියදීය වොෂින්ටනය මෙම හමුවීම සැලසුම් කොට ඇත. කෙසේ වුවද, ධවල මන්දිරය පවසන්නේ දලයි ලාමා තුමන් පැමිණියේ ජාත්‍යන්තර කීර්තියට පත් ආගමික හා සංස්කෘතික නායකයෙකු ලෙස මිස රාජ්‍ය නායකයෙකු ලෙස නොවන බවයි.
එංගලන්තයේ දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ශූරතාවලියේ සමාරම්භක තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 9 ක පරාජයක් අත් වූ නමුත් සත්කාරක එංගලන්තය පරාජය කරමින් ජයග්‍රහණය අත්කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්විය.
නවසීලන්තයට එරෙහිව බ්‍රිස්ටල් නුවර පැවති තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 188 ක් රැස් කර ගත්තේය. එහිදී නවසීලන්ත කණ්ඩායමේ හෝලි හඩ්ල්ස්ටන් (Holly Huddleston) ලකුණු 35 කට කඩුලු 5ක් දවාගැනීමට සමත්වීම කැපී පෙනිණ. ලකුණු 189 ක් හඹා යමින් පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම දක්ෂ පිති හරඹයක යෙදෙමින් පන්දු ඕවර 37 ක් සහ පන්දු හතරකදී එක් කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් ජයග්‍රහණය අත්කරගත්තේය. ඉන්දීය පිලේ නායිකා මිතාලි රාජ් ප්‍රහාරාත්මක පිතිහරඹයක යෙදෙමින් කණ්ඩායමේ නායිකා සහ ආරම්භක පිතිකාරියවන සුසී බේට්ස් (Suzie Bates) ශතකයක් රැස් කළ අතර, Amy Satterthwaite නොදැවී ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනිණ. මේ අතර එංගලන්තය විශ්මය පත්කරමින් ලකුණු 35 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වූයේ විශේෂයෙන්ම ස්ම්රිති මන්දනා (Smriti Mandhana - ලකුණු 90) සහ පූනම් රවුත් (Punam Raut - ලකුණු 86) ආරම්භක පිතිකාරියන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙනි. ඉන්දීය පිලේ නායිකා මිතාලි රාජ් (Mithali Raj) ද දක්ෂ පිතිහරඹයක යෙදෙමින් ලකුණු 71 ක් රැස් කළාය. කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද ?
දන්ත සායනයකට නොගොස් ගෙදරදීම සුදෝසුදු දත් දෙපෙලක් සකස්කර ගැනීමට උපයෝගී කරගත හැකි උපාංග කට්ටල විකිණීමේ ජාවාරමකට අදාළ වෙළෙඳ දැන්වීමක් අන්තර්ජාලයේ පළකරනු ලැබ ඇත. එහෙත් එම උපාංග කට්ටලයට ඇතුළත් දත් සුදුකෙරෙන රසායනය නිසා විදුරුමස පිළිස්සී දත් අහිමිවීමේ අවදානමක් ඇති බව පරීක්‍ෂණයක් මගින් හෙළිදරව් කරනු ලැබ තිබේ.
දත් සුදු කිරීම සඳහා පිළියෙළ කරනු ලැබ ඇති එම රසායනයෙහි අන්තර්ගත හයිඩ්‍රජන් පැරොක්සයිඩ් ප්‍රමාණය නියමිත මට්ටමට වඩා තුන්සිය ගුණයකටත් වඩා වැඩිබව ' පාරිභෝගික සංවිධානයක් පවසයි. 'විච්' (Which) පාරිභෝගික සංවිධානය විසින් පරීක්‍ෂණයට ලක්කරනු ලැබ ඇති නිෂ්පාදන තිස් හයකින් තවත් විස්සක නීතියට පටහැනි පිරිසිදු කිරීම් සඳහා යොදාගනු ලබන 'බ්ලීච්' රසායනය ඇතුළත් බව අනාවරණය විය. ඒ අනුව එම නිෂ්පාදන සියල්ල 'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) 'ඇමසන්'(Amazon) සහ 'ඊබේ'(eBay) ඇතුළු අන්තර්ජාල අලෙවිකරණ අඩවි මගින් ඉවත් කරනු ලැබ ඇත. 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' අන්තර්ගතය 30.7%ක් වැනි අධි මට්ටමක් සහිත ඉහත කී භාණ්ඩ නිෂ්පාදනය කරන ලද 'ඕරල් ඔර්තොඩොන්ටික් (Oral Orthodontic Materials Store) සමාගමේ ප්‍රතිචාරය කුමක්ද? ''තමන් අතින් සිදුවූ වැරැද්ද හෙළිවූ වහාම එය නිවැරැදි කරන ලද බව එම සමාගම පවසයි. ''එකී සියලු නිෂ්පාදන අලෙවියෙන් ඉවත්කර ගත්'' බව සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවියේ නිරත 'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ව්‍යාපාරය මෙසේ පවසයි. ''නිෂ්පාදන භාණ්ඩවල සුරක්‍ෂිතභාවය අපි බලවත් ලෙස සැලකිල්ලට ගන්නවා. අපගේ ලැයිස්තුගත කිරීම්වලට අදාළ ප්‍රමිතීන් උල්ලංඝනය කරනු ලබන භාණ්ඩ වහාම අලෙවියෙන් ඉවත් කිරීමට පියවර ගත්තා'' ''අප අන්තර්ජාලයේ සිදුකෙරෙන භාණ්ඩ අලෙවියට වේදිකාවක් හදන එම ගනුදෙනුවේ දී ඊට පහසුකම් සලසනු ලබන වෙළෙඳපොළ කාර්යය ඉටුකරන පාර්ශවයක්..'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ඔස්සේ භාණ්ඩ විකුණන වෙළෙන්දන් අපේ ප්‍රතිපත්ති සහ නීති රෙගුලාසි ආදියට අනුගතව ඔවුන්ගේ වෙළෙඳාම සිදුකළ යුතුයි. අපේ කොන්දේසි කඩකරන වෙළෙන්දන් හසුවුනොත් ඔවුන්ට එරෙහිව අපි පියවර ගන්නවා'' 'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ව්‍යාපාරය කියා සිටියි. රසායනික පිළිස්සීම් එක්සත් රාජධානියේ භාණ්ඩ අලෙවියේ දී භාණ්ඩයක අන්තර්ගත 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' ප්‍රමාණය 0.1% කට වැඩි නොවිය යුතුය. වෘත්තීය දන්ත වෛද්‍යවරුන්ට අයැදුම් කළහැකි නෛතික මට්ටම 6%කි. 'විච්'(Which) පාරිභෝගික සංවිධානය විසින් පරීක්ෂණයට ලක්කරන ලද නිෂ්පාදන හයක අන්තර්ගත 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' ප්‍රමාණය 10% කටත් වඩා වැඩි මට්ටමක විය. 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' අධි ප්‍රමාණයක් සහිත එක් නිෂ්පාදනයක් මස් කැබැල්ලක ආලේපනය කරනු ලැබීමෙන් මිනිත්තු තිහකට පසු දක්නට ලැබෙන ආකාරය පාරිභෝගිකයන්ට සුදෝසුදු දත් දෙපෙලක් අවශ්‍ය කරන්නේ නම්, ඒ සඳහා වෘත්තීය දන්ත වෛද්‍යවරයකුගේ පිහිට ලබාගන්නා ලෙස 'විච්' පාරිභෝගික සංවිධානය උපදෙස් දෙයි. එවැනි පියවරක් නොගෙන වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් තිබෙන දත්වලටත් හානි සිදුවීමේ අනතුරක් පවතී. බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍යවරුන්ගේ සම්මේලනයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය පෝල් වුඩ්හවුස් (Dr Paul Woodhouse) මෙවැනි අනතුරු ඇඟවීමක් කරයි. ''හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' ඉතාම ප්‍රබල රසායනයක්. එය වැරදි ආකාරයට පාවිච්චි නොකළ යුතුයි. එම රසායනය පාවිච්චියට ගතයුතු ආකාරය සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ට පුහුණුවක් ලබා දෙනවා. ඒ අනුව දන්ත වෛද්‍යවරු දන්නවා- දත් සුදුකෙරෙන නිෂ්පාදන ගැන. දත්වලට සහ විදුරුමසට හානියක් නොවී ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔවුන් දන්නවා'' දන්ත වෛද්‍ය පෝල් වුඩ්හවුස් (Dr Paul Woodhouse) වැඩිදුරටත් මෙසේ දැනුවත් කිරීමක් සිදුකරයි. ''ඔබගේ විදුරුමස විනාශ කර ගත්තොත් ඔබට එය කවදාවත් නැවත ලබාගන්න බැහැ.ඒ සමඟ ඔබට ඔබේ දත්ටිකත් අහිමි වෙනවා. රසායන වැරදි ආකාරයට පාවිච්චි කළොත් ඒවා දත් විනිවිද ගිහින් දතේ මරණය උදා කරනවා'' දත් සුදුකර ගැනීම-කරුණු සහ උපදෙස් 'විච්'(Which) පාරිභෝගික අධීක්ෂණ ආයතනය මෙවැනි උපදේශයක් සපයයි. '' ඔබට ඔබගේ දත් ඔබ විසින්ම ඔපකර ගැනීමට අවශ්‍යනම්,භාණ්ඩ වෙළෙඳාම සම්බන්ධයෙන් කීර්තියක් සහිත සාප්පුවකින් අවශ්‍ය දේවල් මිලට ගන්න. හේතුව එම නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් නෛතික සහතික කිරීමක් අවශ්‍යකරන හෙයිනි. අන්තර්ජාල වෙළෙඳුන්ගෙන් මිලට ගැනීමට වඩා එමගින් ආරක්ෂාව සහතික කෙරෙයි'' 'විච්'(Which) ආයතනයේ පාරිභෝගික සුරක්ෂිතතාව පිළිබඳ අංශයේ ප්‍රධානී සූ ඩේවිස් (Sue Davies) මෙසේ සඳහන් කළාය. ''මහජනයා අනාරක්‍ෂිත අන්තර්ජාල වෙළෙඳ ප්‍රවාහයකට ගොදුරුවීමට ඉඩ හරිමින් ඔවුන්ගේ ආරක්‍ෂාවට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නැතිබව පැහැදිලියි'' ''ඔවුන්ගේ වෙබ් අඩවිවල විකුණන නිෂ්පාදනවල ගුණාත්මකභාවය සඳහා අන්තර්ජාලයේ වෙළෙඳපොළවල් පවත්වාගෙන යනු ලබන සමාගම්වලට ඉහළ මට්ටමේ නෛතික වගකීමක් පවරනු ලැබීම ඇත්තවශයෙන්ම ඉතාම වැදගත්. අන්තරායකාරී සහ නීතියට පටහැනි නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් වැලකීමට අවශ්‍ය වඩාත් යහපත් රැකවරණයක් එමගින් පාරිභෝගිකයන්ට සැලසෙනවා'' සූ ඩේවිස් (Sue Davies) වැඩිදුරටත් පෙන්වා දෙන්නීය. දත් කිරිසුදු කර ගැනීමට ගොස් සංකූලතාවලට ගොදුරුවූවන් ප්‍රතිකාර සඳහා තම සායනයට පැමිණෙන බව දන්ත වෛද්‍ය ජස්පාල් පූර්බා පවසයි (සෞඛ්‍ය තොරතුරු පිළිබඳ BBC අංශයේ කතෘ මිෂෙල් රොබට්ස්ගේ ලිපියක් ඇසුරිනි) කියවන්න;
වසර තුනක් ඇතුළත ලක්ෂ හාරසීය තිහක් (මිලියන 43) අන්ත දුගීභාවයෙන් ගලවා ගන්නා බවට ජනාධිපති ෂී ජින්පින් දී ඇති ප්‍රතිඥාව සාර්ථක කර ගැනීම සඳහා චීනය විසින් ඉදිරිගාමී සැලසුම් ක්‍රියාවට නංවනු ලැබ ඇත.
පිටිසර පළාත් තුළ වෙසෙන ජන ප්‍රජා ඉලක්ක කර ගනිමින් පාසල් ගොඩනැගිලි ද ඇතුළුව යළි පදිංචි කිරීමේ ගම්මාන ඉදිවෙමින් පවතී. අඩු පහසුකම් සහිත ගම්මාන වෙත ළඟා වීමට ඇති පහසුකම් ඉහළ නංවා ඇතත් ඒවායේ ජන ජීවිතය තවමත් පවතින්නේ දුෂ්කර මට්ටමකය. පිටිසර ගම්මාන තුළ ජීවත් වූ පනස් ලක්ෂයක් පසුගිය වසර පහ තුළ යළි පදිංචි කර තිබේ. කෙසේ නමුත් චීනය තුළ අන්ත දුගීභාවය තුරන් කිරීම සඳහා කළ යුතු කාර්ය භාරය අති විශාලය. දූෂණ සහ වංචා වැනි බරපතළ අභියෝග තවමත් චීනය ඉදිරියේ පවතී. දුගීභාවය තුරන් කිරීමේ ප්‍රචාරණ කටයුතු රට පුරා ක්‍රියාත්මක අතර එම විෂය සඳහා පුවත් තුළ වැඩි ඉඩක් වෙන්වේ. සබැඳි යොමු: