summary
stringlengths 5
1.45k
| text
stringlengths 173
24.8k
|
---|---|
වයඹ දිග චීනයේ ඇති සමාගමක් වෙනුවෙන් ලේ දන්දෙන ලෙස පාසැල් සිසුන්ට බල කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව චීන රජයේ ජනමාධ්‍ය ප්‍රකාශ කරයි. | ලේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධානියා පොලීසියට පවසා ඇත්තේ ලේ දන් දෙන්නන් ගේ සංඛ්‍යාව වැඩි කරන ලෙස ඔහුට බලපෑම් එල්ල වී තිබුණු බවයි. සිසුන් අට දෙනෙකුට මසකට එක් වරක් බැගින් මාස හතක කාලයක් ලේ දීමට බල කිරීම තුලින් මීට සම්බන්ධ පිරිස ඩොලර් දහස් ගණනක් උපයා ඇති බවයි මහජන ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වන රාජ්‍ය ජනමාධ්‍ය පැවසුවේ. සැකකරුවන් ව්‍යාජ හැඳුනුම් පත් යොදා ගෙන මෙම සිසුන් වැඩිහිටියන් ලෙස හුවා දක්වා ඇති අතර ලේ දන් දීමට අපොහොසත් වුවහොත් එම සිසුන්ට පහරදී ඇති බවයි වාර්තා වන්නේ. |
2000 දශකයේ සිට ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනය පුරුෂයන් ගණන ඉක්මවා තිබේ. වර්තමානයේ දී රටේ ජනගහනයෙන් 52%ක් සිටින්නේ කාන්තාවන්ය. නමුත් මෙම වර්ධනය ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හේතු වී තිබෙනවා ද? | වර්තමාන ඩිජිටල් ලෝකය තුළ කාන්තා අයිතීන් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබුණ ද, පුරුෂාධිපත්‍ය සමග බැඳුණු දීර්ඝ ඉතිහාසයක් ඉක්මණින් වෙනස් කිරීම ඉතා අපහසු කාර්යක් වී ඇත. එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා දර්ශකයට අනුව රටවල් 187 ක් අතර ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ පසුවේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති නමුත්, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට තවමත් දේශපාලනය, රැකියා, විවාහය මෙන්ම පෞද්ගලික දිවිය තුළ බොහෝ බාධකවලට මුහුණ දීමට සිදුව තිබේ. කාන්තාවන්ගේ සමාජ භූමිකාව පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹීම හේතුවෙන් අදටත් ඔවුන්ට බොහෝ අවස්ථා මග හැරෙන අතර, විවිධ තහංචි මධ්‍යයේ දිවි ගෙවීමට සිදුව තිබේ. 'රැකියා දෙන්නේ නැහැ' "මම ඉහළට ඉගෙන ගත්ත කෙනෙක්. විවාහයෙන් පස්සේ රැකියාවලට අයැදුම් කළා. සම්මුඛ පරීක්ෂණවලට ගියාම කසාද බැන්දේ ළඟදී නම් ඔයා ඉක්මණට බබෙක් හදයි නේද කියලා අහනවා. ඒ ප්‍රශ්නේ අහනකොටම මම දන්නවා මාව රැකියාවට ගන්නේ නැහැ කියලා. රස්සා හොයලා බැරිම තැන මම සුළු ව්‍යාපාරයක් කරනවා," ගාල්ල පදිංචි ඉරන්ති හේවගේ පැවසීය. "පොත්වල අයිතීන් ලියලා තිබුණත් කාන්තාවන් සම්බන්ධයෙන් තවමත් අපේ රටේ පවතින්නේ පසුගාමී අදහස්. දරුවෙක් හැදුවොත් රස්සාවක් නැහැ, දරුවෙක් නොහැදුවොත් පවුලෙන් සමාජයෙන් ලැබෙන අපවාදවල ඉවරයක් නැහැ," ඇය පැවසුවාය. පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය 2020 දී නිකුත් කළ වාර්තාවකට අනුව, දැරිය හැකි මුදලකට ගුණාත්මක දිවාසුරැකුම් මධ්‍යස්ථාන සහ ළමාරක්ෂක සේවා නොමැතිකම, නිවසේ රාජකාරි බෙදා ගැනීමට සහාය නොලැබීම සහ සේවිකාවන්ට අවශ්‍ය සහාය නොදක්වන සමහර සේවා ස්ථාන සංස්කෘතීන් වැනි බොහෝ සාධක නිසා රට තුළ ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය අවම වී තිබේ. බොහෝ කාන්තාවන් ස්ථීර ආදායමක් නොලැබෙන රැකියාවල නිරත වන බැවින්, කොවිඩ්-19 වැනි අර්බුද ශ්‍රී ලංකාවේ පවුල් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක සිටින කාන්තාවන්ට දැඩි ලෙස බලපා ඇත. ගෘහමූලිකයා කාන්තාව වූ විට ඔවුන්ගේ පවුලට සහයෝගය දැක්වීමේදී තුන් ගුණයක බරක් දැරීමට මෙම කාලය තුළ සිදුව ඇතැයි එම වාර්තාවේ තවදුරටත් දැක්වේ. කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් තිබියදීත්, තවමත් ඔවුන්ගේ ශ්‍රමය බොහෝවිට වැයවන්නේ නිවසේ එදිනෙදා වැඩකටයුතුවලටය. "මම උපාධිධාරිණියක් වගේම අවුරුදු 28 වෙනකම් උසස් රැකියාවක් කළා. හැබැයි බැඳලා දරුවෙක් ලැබුණට පස්සේ මහත්තයාගෙන් පිඟානක් හෝදන්නවත් සහාය ලැබුණේ නැහැ. මට පැය හතරකට වඩා නින්දක් නැතුව ගියා, අසනීප වුණා. ඉතින් රස්සාව අත ඇරලා දැන් ගෙදර වැඩ විතරක් කරනවා. මට ඇත්තටම මේ ජීවිතය අපායක් වෙලා තියෙන්නේ," 'දිලී' යන කෙටි නමින් තමන් හඳුන්වන ලෙස ඉල්ලීමක් කළ කාන්තාවක සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට හෙළි කළාය. කාන්තාවන්ට වෙනස් කොට සැලකීමේ යම් 'සංස්කෘතියක්' හේතුවෙන් අදටත් බොහෝ රැකියා අවස්ථා පිරිමි අපේක්ෂකයින් සඳහා වෙන් කර ඇති බවට විවේචන එල්ලවේ. එසේ විවේචන එල්ල වූ සිදුවීම් අතරින් ආසන්නතම උදාහරණය ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති නිලයට පත් කළ ප්‍රථම කාන්තාව බිම්ශානි ජාසිං ආරච්චිගේ පත් වීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම දැක්විණි. කාන්තාවක් අදාළ නිලයට පත්කිරීමට විරුද්ධ නොවුණත් 'කාන්තා නියෝජ්‍ය පොලිස්පති' ලෙස නිලයක් තවමත් ශ්‍රී ලංකා පොලිසිය තුළ නොමැති වීම නිසා අදාළ පත්කිරීම නීතියට පටහැනි බව පෙත්සමේ සඳහන් වේ. "මේක පරිපාලනයට සම්බන්ධ ප්‍රශ්නයක්," යැයි නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට මීට පෙර ඒ සම්බන්ධයෙන් පැවසීය. වැටුප් පරතරය ලොව පුරා රැකියා තුළ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් බොහෝ විට දැකිය හැකිය. පුද්ගලයෙකු නිරත වන රැකියාව අනුව ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් ඇතිවීම සාමාන්‍ය වුවද එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබේ. නීති, ඉංජිනේරු වැනි වෘත්තීන් මෙන්ම තේ දළු, කුරුඳු, රබර් කිරි කැපීම වැනි රැකියාවල ද ශ්‍රී ලංකාවේ ස්ත්‍රී සහ පුරුෂයන් අතර සැළකිය යුතු වැටුප් පරතයක් දක්නට ලැබේ. ලිංගිකත්වය, ශරීරය සහ දරුවන් වැදීම සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ශරීරය ගැන ස්වාධීන තීරණ ගැනීමට හැකි විය යුතුය. එය සෑම පුද්ගලයෙකුටම ඇති හිමිකමකි. ඒ අනුව, සෑම කාන්තාවකටම ලිංගික හා ප්‍රජනන අයිතීන් ඇත. මෙයින් අදහස් වන්නේ ලිංගිකව එක්වීමට, ගැබ් ගැනීමෙන් ආරක්ෂා වීමට මෙන්ම ආරක්ෂිත ගබ්සා කිරීම් වැනි සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශ වීමට කාන්තාවන්ට ඇති අයිතියයි. කෙසේනමුත්, ගබ්සා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය ඉතා දැඩිය. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි. මෙම නීතිය ලිහිල් කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් හා කාන්තා සංවිධානවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් ලැබුණු නමුත් ඒ සැම අවස්ථාවකම ආගමික නායකයන්ගේ විරෝධය හේතුවෙන් එම ඉල්ලීම් කිසිදු රජයක් ක්‍රියාත්මක කළේ නැත. "මේ තත්ත්වයේ අවාසනාවන්තම සිදුවීම තමයි ගැහැණියක් දූෂණයට ලක් වීමෙන් දරුවෙක් ලැබෙන එක. එවැනි සිද්ධි බොහොමයක් උසාවිවල අපි දකිනවා. ඒ කාන්තාවන්ගේ මුළු ජීවිත කාලයම ගෙවෙන්නේ අඳුරු මතකයක් එක්ක, අපායක. කාන්තා අයිතීන් ගැන කතා කරන ලෝකයක අපිට වඩාත් ගැඹුරින් හිතලා, නීති සහ මානව හිමිකම් සමබර කරන්න වෙනවා," නීතීඥ ලහිරුණී වීරරත්න පැවසුවාය. කාන්තාවක් විවාහ වන්නේ කවදාද, කවුරුන්ද යන්න තෝරා ගැනීමටත්, දරුවන් බිහිකිරීමට අවශ්‍යද යන්න තීරණය කිරීමටත්, එසේ නම්, කොපමණ සංඛ්‍යාවක් ද, කිනම් වයසේදී ද සහ කවුරුන් සමඟද යන්න තීරණය කිරීමට ඔවුන්ට අයිතියක් ඇත. ස්ත්‍රී දූෂණ හා වෙනත් ලිංගික හිංසනයන්, ස්ත්‍රී ලිංගික අවයව විකෘති කිරීම (FGM), බලහත්කාරයෙන් විවාහ වීම, බලහත්කාරයෙන් ගැබ් ගැනීම, බලහත්කාරයෙන් ගබ්සා කිරීම හෝ බලහත්කාරයෙන් වන්ධ්‍යකරණය ඇතුළු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට බිය නොවී ජීවත් වීමට කාන්තාවන්ට හැකි විය යුතුය. නමුත් සියලුම කාන්තාවන්ට මෙම අයිතිවාසිකම් එකලෙස භුක්ති විඳීමට හැකිවන දින තව බොහෝ දුරය. නිදසුනක් වශයෙන්, ලොව පුරා බොහෝ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට තවමත් ආරක්ෂිත සහ නීතිමය ගබ්සා කිරීම්වලට ප්‍රවේශ විය නොහැකි අතරම සිය සැමියාගේ අවසරය නැතිව නිවසින් පිටතට යෑමට පවා නොහැකි සමාජ ඇත. "මම සෑහෙන කාලයක් යාළු වෙලා ඉදලා විවාහ වුණා. හැබැයි මහත්තයා සෑහෙන වෙනස් වුණා. දරුණුතම ප්රශ්නය තමයි එයා දරුවෝ හදන්න කැමතියි, ඒ වගේම හැමදාම ලිංගිකව එක්වෙන්න බල කරනවා. මට දැනට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා උපත් පාලන කොපු භාවිත කරන්නෙත් නැහැ. මට හොරෙන්වත් එළියට ගිහින් නිතරම පෙති ගන්නත් බැහැ. මම නිකම් වහලියක් වගෙයි. මට තව දරුවෝ ඕනේ නැහැ, මම දැඩි මානසික පීඩනයක ඉන්නේ," සිය නම හෙළි කිරීමට අකමැති වූ කාන්තාවක සිය අත්දැකීම් පැවසුවාය. හානිකර සමාජ සම්මතයන් මෙන්ම අයිතීන් ගැන නොදැනුවත්කම ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා බාධක ලෙස ක්‍රියා කරයි. "ශ්‍රී ලංකාවේ කාන්තාවන් බොහෝ දෙනෙක් ඉන්නා සමූහයක ඉන්නකොට පේන දෙයක් තමයි බොහෝ කාන්තාවන්ට තමන්ගේ අයිතීන් ගැන කිසිම දැනුමක් නැතිකම. තමන්ගේ ශරීරයේ අයිතිය තමා සතු බව නොදැන සිටීම. විවාහ ජීවිතය ඇතුළේ සිදුවන ශාරිරික හා ලිංගික හිරිහැරවලට විරුද්ධ වීමට තමාට අයිතියක් තියෙනවයි කියලා නොදැන සිටීමත්, නිතීයෙන් එසේ කතාකිරීමට තමාට ඉඩක් තිබෙන බව නොදැන සිටීමත් ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. පාසලෙන් හෝ පටන්ගෙන මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කතිකාවක් මුලු ලාංකීක සමාජයේම ඇති විය යුතු බව මා පෞද්ගලිකව විශ්වාස කරනවා," සමාජ සේවා ක්‍රියාකාරිනියක වන නදීෂා රණසිංහ ලින්ඩන් පැවසීය. හිරිහැර විඳගෙන ඉන්නවා ද? ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2019 වසරේ සිදුකළ කාන්තා සුභසාධන සමීක්ෂණ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 35.3% ක් තම බිරිඳට පහර දීමට පුරුෂයන්ට හොඳ හේතුවක් තිබිය හැකි බවට එකඟ වී ඇති අතර, කාන්තාවන්ගෙන් 47.5% ක් පුරුෂයන් කාන්තාවන්ට වඩා උසස් යැයි පවසා ඇත. මෙම සමීක්ෂණයට එක් වූ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිත කාලය තුළ ශාරීරික හා / හෝ ලිංගික හිංසනයන් අත්විඳ ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. කොවිඩ්-19 වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය 2020 දී නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස ඇඳිරි නීතිය පනවා තිබෙන කාලය තුළ ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබූ බව පොලිස් කාන්තා හා ළමා අපචාර කාර්යාංශය 2020 මැයි මස දී පැවසීය. 2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන්නන්ට නීතිමය රැකවරණය සලසයි. ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් කාන්තා අයිතීන්වලින් ඔබ්බට ගිය විශාල වපසරියක් එම පනත මගින් ආවරණය කර තිබේ. ළමා හිංසනය සම්බන්ධයෙන් ද නීතිමය ආවරණයක් මෙම පනතෙන් ලබා දී තිබේ. පීඩාවට පත් තැනැත්තා හා පීඩා කරන තැනැත්තා අතර ඇති පෞද්ගලික සම්බන්ධතාවෙන් පැන නගින නිවසේ පරිසරය තුළදී හෝ පිටදී සිදු කරන දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ ඇතුළත් මිනී මැරීම, සිය පණ හානිකර ගැනීමට අනුබල දීම, ගබ්සාව, පහරදීම්,තුවාල කිරීම්, ලිංගිකත්වය හා සම්බන්ධ වැරද්දක් සිදුකිරීම හා උද්වේගශිලි බැන වැදීම ඇතුළු තවත් වැරදි කීපයක් ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා ලෙස පනතේ අර්ථ දක්වා ඇත. කායික, ලිංගික මෙන් ම මානසික වශයෙන් සිදුවන හිංසනයන් ද මෙම පනතේ සඳහන් ප්රචණ්ඩ ක්‍රියාවලට අයත් වේ. දේශපාලන නියෝජනය 1931 දී 4%ක් වූ කාන්තා නියෝජනය තවමත් පාර්ලිමේන්තුව තුල 6%කට වඩා වැඩිකර ගැනීමට නොහැකි වී තිබේ. 2010 වසරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% දක්වා වැඩි වුව ද වර්තමානයේ දී එය 5% දක්වා පහත වැටී තිබේ. ලොව පළමු අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක තේරී පත්වූයේ මීට අවුරුදු 61කට පෙර එනම්, 1960දීය. එතැන් සිට අවුරුදු 34 ක් ගෙවී ගිය තැන ඇයගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දී අගමැතිනිය ලෙස පත්වීමෙන් නොනැවතී රටේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස තේරී පත් වූවාය. එතැන් සිට ඇය 2005 නොවැම්බර් මස දක්වා රට පාලනය කළාය. රටේ මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට හැම වරකම පාර්ලිමේන්තුවේ කාන්තාවන් කීපදෙනෙක් හෝ සිටියහ. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා "කාන්තාවගේ ප්‍රධාන භූමිකාව ඇයගේ ජීව විද්‍යාත්මක සහ ප්‍රජනන කාර්යය බව ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයේ බොහෝ දෙනා තවමත් සළකන බව ප්‍රසිද්ධ කාරණයක්. මේක සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. කාන්තාවන්ගේ දේශපාලනික හා සමාජයීය දැනුම සම්බන්ධයෙන් ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි යන ආකල්පය තවමත් බොහෝ පිරිසක් විශ්වාස කිරීම නිසා, ඔවුන්ට දේශපාලන අවකාශයට පිවිසෙන දොරගුළු සෘජුව මෙන්ම වක්රාකාරවත් වසා දමලා තිබෙනවා," මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී කෞශල්‍යා හේරත් පැවසුවාය. "කාන්තාවට ළමා කල සිට පුරුදු කරන දිවි පැවැත්මට දේශපාලන අවකාශය ඉතා දුරයි. කාන්තාවන් එකිනෙකා හමුවන ස්ථාන දේශපාලන අර්ථයකින් හඳුනා නොගැනෙන අතර, එම අවකාශ ඕපාදූප සංගම් ලෙස හා ඔවුන්ගේ කතා ගෑණු කතා හෝ ඕපාදූප ලෙස ගර්හාවට ලක්වන අවස්ථා අනන්තයි." යුරෝපීය රටවල් බොහොමයක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 30% වඩා වැඩි බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. තවමත් බොහෝ රටවල නායකත්වයට පුරුෂයන් පත්වී සිටිය ද 2021 වර්ෂය වන විට රටවල් 22ක කාන්තා නායකත්වයක් දැකිය හැකි විය. නීතිය ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 1978 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට' අනුව සියලුම පුද්ගලයෝ නීතිය ඉදිරියේදී සමාන වන අතර නීතිය මගින් සමාන ආරක්ෂාව ලැබිමට හිමිකම් ලබති. ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය සමානාත්මතාවට ඇති අයිතිය තහවුරු කරයි. 12 (1) වගන්තිය: සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි. 12 (2) වගන්තිය: කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි වෙනත් හේතුන් මත වෙනස් කොට නොසැලකිය යුතුය. 12 (3) වගන්තියේ ඇතුළත් වන කරුණු අතර, කාන්තාවන්ට විශේෂ වූ නීති සම්පාදනය කිරීමට සහ පනත් සම්මත කිරීමට රජය විසින් ගන්නා ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සපයයි. 1993 මාර්තු මස 3 වන දින සම්මත කරන ලද ශ්‍රී ලංකා කාන්තා ප්රඥප්තියෙන් කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලු වෙනස්කම් දුරු කොට ඔවුන්ට අදාළ තීරණාත්මක ගැටලු නිරාකරණය කිරීම සඳහා රජයේ කැපවීම ප්‍රකාශයට පත් කර ඇත. ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ වෙනස්කම් මුලිනුපුටා දමා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම මෙම ප්රඥප්තියේ අරමුණ විය. කාන්තා ප්රඥප්තියේ සඳහන් වන වගන්තිවලට අනුව ජාතික කාන්තා කමිටුවක් පිහිටවුවද, ස්ත්‍රී - පුරුෂ පරතරය සම්බන්ධයෙන් තවමත් රට තුළ සැළකිය යුතු සංවාදයක් නිර්මාණය වී නොමැත. දේශපාලන බලය, ආර්ථික හැකියාව සහ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සලකා බැලීමේ දී කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය ගතව ගිය වසරේ අඩුවී ඇතත්, ඒ පරතරය සම්පූර්ණයෙන්ම පහව යාමට තවත් ශතවර්ෂයක් වත් ගතවනු ඇති බව ලෝක ආර්ථික සංසදය (World Economic Forum - WEF) 2019 දී නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ස්විට්සර්ලන්තය මූලස්ථාන කොටගත් ලෝක ආර්ථික සංසදය ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ලෝක ප්රවණතා මැන බලන සංවිධානයකි. ලොව පුරා බොහෝ රටවල වැඩි වැඩියෙන් කාන්තාවන් පරිපාලනයට සම්බන්ධවෙමින් සිටිය ද, ආර්ථික හැකියාව සම්බන්ධයෙන් කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය ඉහළ ගොස් ඇති බව ද වාර්තාව පවසයි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැදගත් වන්නේ ඇයි? කාන්තා අයිතිවාසිකම් යනු මානව හිමිකම්මය ඔවුන් අන් පුද්ගලයන්ගෙන් වෙනස් නොවන නමුත්, සමාජ, ආර්ථික, අධ්‍යාපන සහ දේශපාලනික වශයෙන් ඔවුන්ට තවමත් බොහෝ විට ලැබෙන්නේ පසු පෙළ අසුනකි. මේ හේතුවෙන්, කාන්තාවන් වෙනුවෙන් වෙනම හඬක් නැගීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ. සෑම කෙනෙකුම නිදහස් හා සමාන වන තුරු අපට නිදහස් හා සමාන සමාජයක් තිබිය නොහැක. පුරුෂයන්ට සමාන අයිතිවාසිකම් කාන්තාවන් භුක්ති විඳින තුරු, මෙම අසමානතාව සෑම පුද්ගලයෙකුගේම ගැටලුවක් බවට පත් වේ. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කරයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, "ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සහ ගැහැණු දරුවන් සවිබල ගැන්වීම හුදෙක් ඉලක්කයක් නොව, එය තිරසර සංවර්ධනය, ආර්ථික වර්ධනය, සාමය සහ ආරක්ෂාව සඳහා යතුරක් වේ". කාන්තාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර, එයට වටිනාකමක් දෙමින් සලකන විට සමාජයේ සෑම කෙනෙකුටම යහපත් සිදු වන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කාන්තා අයිතීන් ගැන නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. එකට වැඩ කරන විට අපි ශක්තිමත් වෙනවා වෙනසක් ඇති කිරීම සඳහා මේ වන විට බිම් මට්ටමේ ව්‍යාපෘති බොහෝමයක් ක්‍රියාත්මක කර ඇතත්, සෑම කෙනෙකුම කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට සහයෝගය දක්වන්නේ නම් අපට සමාජයක් ලෙස වඩාත් ශක්තිමත් විය හැකිය. "වැඩි දුර යන්න ඕනේ නැහැ, පවුල නම් සමාජයේ කුඩාම ඒකකය තුළ පවා බිරිඳ සහ සැමියා එකට එක්ව, වැඩ බෙදාගෙන, එකිනෙකාට සහාය වෙමින් ක්‍රියා කරනවානම් පුළුල් සමාජයට මේ ප්‍රශ්න එන්නේ නැහැ. සෑම මනුස්සයෙකුටම සමානව සැළකීම, ගෞරව කිරීම වගේ දේ නිවසින් පුරුදු වුණාම, මුළු මහත් සමාජයක් තුළ ප්‍රශ්න පැන නඟින්නේ නැහැ," කාන්තා අයිතීන් ක්‍රියාකාරිනියක වන නීතිවේදී ධරීෂා පෙරෙයිරා පැවසුවාය. "නමුත් අවාසනාවට අපි ඉන්නේ අනියම් සම්බන්ධතා වැහිවැහුණු 'ඔයා මට අකමැතිනම් බෙල්ල කපනවා' කියන අමනුස්ස සමාජයක." මේ තොරතුරු ද කියවන්න: |
බලයේ නිරතව සිටිනන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වෙඩි උණ්ඩයෙන් ජීවිත විනාශ කිරීම නොව සාමකාමීව ප්‍රශ්න විසඳා ගෙන ජනතා සුබ සිද්ධිය සැලසීමට ඉදිරිපත්වීම යැයි කිතු දන පුබුදුවේ ප්‍රධානී රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියනම සෙනසුරාදා මීගමුවේ පැවති විරෝධතාවක් අමතමින් කියා සිටියහ. | ජලය ඉල්ලා වැලිවේරියේ උද්ඝෝෂණය කළ ජනතාවට සහ එය වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදීන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් පැය දෙකක් පමණ කාලයක් එම විරෝධතාව පැවැත්විණ. “සාධාරණත්වය වෙනුවෙන් ජාති, ආගම් හා කුල භේද වලින් තොරව පෙනී සිටිමු “ මේ විරෝධතාවේ තේමාව විය. වැලිවේරියේදී අකිල දිනේෂ්, කටුනායකදී රොෂේන් චානක සහ හලාවතදී ඇන්ටනි ප්‍රනාන්දු යන මේ සියලු දෙනාම ඝාතනය කලේ මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් බවයි විරෝධතාවට එක්ව සිටි සරත් ඉද්දමල්ගොඩ පියතුමා කියා සිටියේ. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු උද්ඝෝෂණයේ දී වෙඩි පහරට ලක්ව මිය ගිය රොෂේන් චානකගේ මවද ඊට එක්ව සිටියාය. |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ ආලේඛ්‍ය සිතුවම් දෙකක් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය තුළ හෙට (මැයි 18) විවෘත වීමට නියමිතය. | කුමාර් සංගක්කාර සහ සිතුවම් ශිල්පී ඇන්තනි විලියම්ස් මිඩ්ල්සෙක්ස් සහ සරේ ක්‍රිකට් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිත ප්‍රාන්ත ශූරතා තරගයේ ආරම්භක දිනයේදී එම සිතුවම් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙන බව ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැළකෙන එම්සීසී ක්‍රිකට් සමාජයට අයත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පරිපාලනය පවසයි. සිය රුව සහිත සිතුවම පසුකරමින් සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත කුමාර් සංගක්කාර ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ රුව සිතුවමට නගා ඇත්තේ එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ චිත්‍ර ශිල්පියෙකු වන ඇන්තනි විලියම්ස්ය. සංගක්කාරගේ ප්‍රතිචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දැවැන්තයන් දෙපළකගේ රුව සහිත සිතුවම් විවියන් රිචඩ්ස් සහ ග්ලෙන් මැක්ග්‍රා ගේ රුව සහිත සිතුවම් අතරට එක් වේ. "එම්සීසී ක්‍රිකට් සමාජය විසින් සිතුවමක් සඳහා ආරාධනා කරන ලද මොහොතේ මට නිහතමානී සතුටක් දැනුණා. ලෝඩ්ස් පිටියේ සිතුවම් අතරට මගේ රුව එක්වීම විශාල ගෞරවයක් ලෙස සළකනවා" යනුවෙන් කුමාර් සංගක්කාර පැවැසූ බව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි. |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි. | 2021 වසරේ පළමු දින 68 තුළ වාර්තාවී ඇති අලි මරණ සංඛ්‍යාව 61කි. එසේ වුවද, ගෙවුණු 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් සහ මිනිස් මරණ 113ක් වාර්තා විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත්ම උග්‍ර වූ වසර 2019 වේ. එම වසරේදී අලි 407ක් සහ මිනිසුන් 122ක් මරණයට පත්ව තිබේ. අවසාන වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු වූයේ 2011 වසරේදීය. එහි දත්ත වලට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. ඉන් 55 දෙනෙකු වැඩුණු දළ ඇතුන් වූහ. කලා වැව අවට සැරිසැරූ 'රේවත' ඇතා කැකිරාවේදී විදුලි සැර වැදීමෙන් මියගොස් සිටියදී මාර්තු 09 වැනිදා හමුවීම, අලි මිනිස් ගැටුම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ ආසන්නම සිදුවීම වේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වේ. 2021 වසරේ පළමු දින 68 තුළ වාර්තාවී ඇති අලි මරණ සංඛ්‍යාව 61කි. කොළඹ කොටුවට අලි පනී අතීතයේදී ශ්‍රී ලංකාව පුරා අලි ජීවත්වූ බවට සාධක තිබේ. 1751 දී කොළඹ කොටුවට පැමිණි අලි දෙදෙනෙකු කළ පහරදීමකදී මිනිසුන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා ඇතැයි ආසියානු අලි පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% ක අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ. සම්පුර්ණයෙන්ම නාගරීකරණය වූ ප්‍රදේශවල අද වනවිට අලි මිනිස් ගැටුම් වාර්තා නොවේ. මෙම ගැටලුව උග්‍ර වී තිබෙන්නේ අර්ධ නාගරික, තවදුරත් සංවර්ධනය කෙරෙමින් පවතින ප්රදේශවලය. 2010 සහ 2020 කාලය තුළ ශ්‍රී ලංකාවේ වාර්තාවූ අලි මරණ සංඛ්‍යාව 2958කි. ස්වභාවික මරණ 223ක් ද ඊට ඇතුළත් කර ඇත. වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුව වෙඩි තැබීම් වේ. අලි මරණ වලට ප්‍රධාන හේතු 'කුල්ලක දේ අල්ලට දැමීම' ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% ක අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ. ''අපි අවුරුදු 60ක් 70ක් තිස්සේ මේ ප්රශ්නය විසඳන්න හදලා තියෙන්නේ මිනිස්සු ඉන්න පැතිවල ඉන්න අලි ටික මිනිස්සු නැති රක්ෂිතවලට කොටු කරල විදුලි වැට ගහන එක. අවුරුදු 50කට පස්සේ මේක කරලත් ප්‍රතිඵලය අසාර්ථක නම් තවදුරටත් ඒකම කරලා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැනේ'' යනුවෙන් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු කියා සිටියේය. ''මේකට හරි විසඳුමක් දෙන්න අපේ දර්ශනයේ සහ ප්‍රතිපත්තියේ පැහැදිළි වෙනසක් වෙන්න ඕනා.'' - ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු අලි පමණක් ජීවත් වන ප්‍රදේශවල පරිසරයට දරා ගැනීමට ප්‍රමාණවත් අලි සංඛ්‍යාවක් ජීවත් වේ. එබැවින් මිනිසුන් ජීවත්වන ප්‍රදේශවල සිටින අලි එම ප්‍රදේශවලින් පන්නා, අලි පමණක් සිටින ප්‍රදේශවලට කොටු කිරීමට උත්සහ කිරීම 'කුල්ලක දේ අල්ලට දැමීම' වැනි කළ නොහැකි දෙයක් බව ආචාර්ය පෘථිවිරාජ් පැහැදිළි කළේය. ''විදුලි වැට ගහන්න ඕනා කැලෑ වටා නෙමෙයි'' ''අපේ පර්යේෂණ අනුව විදුලි වැට ගහන්න ඕනා කැලෑ වටා නෙමෙයි. ඒක ගහන්න ඕනා අපිට ආරක්ෂා කරගත යුතු ගම්මානය හෝ වගාබිම වටා. දැන් තියෙන විදියට විදුලි වැට දෙපැත්තේම අලි ඉන්නවා. අපි ජනාධිපතිතුමාට දුන්න වර්තාවෙනුත් මේ කාරණය පෙන්වා දුන්නා. මේකට හරි විසඳුමක් දෙන්න අපේ දර්ශනයේ සහ ප්‍රතිපත්තියේ පැහැදිළි වෙනසක් වෙන්න ඕනා.'' යැයි ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පැවසුවේය. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසඳීමට ජාතික සැලැස්මක් සෑදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. එහි වාර්තාව මේ වනවිට භාරදී අවසන්ය. එම කමිටු සාමාජිකයෙකු මෙන්ම ආසියානු අලි පිළිබඳ විශේෂඥයෙකු සහ හිටපු වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයෙකු ද වන ආචාර්ය සුමිත් පිලපිටිය බීබීසී සිංහල සේවයට කියා සිටියේ මිනිසුන්ගේ අවශ්‍යතා ගැන නොව අලින්ගේ අවශ්‍යතා ගැන සළකා ක්‍රියා කිරීමෙන් මීට වඩා සාර්ථකත්වයක් ලබාගත හැකි බවය. ''වනජීවී ඉඩම් 99%ක් මායිම් වෙලා තියෙන්නේ වන සංරක්ෂණ ඉඩම් වලට. අපි ගිහින් වැට ගහනවා වනජීවී - වන සංරක්ෂණ මායිම් අතර. අලියා ගමන් කරන්නේ මිනිස්සු දාපු පරිපාලන මායිම් දිගේ නෙමෙයි. අලියා වැට ළඟට ආවම දෙපැත්තේම පරිසර පද්ධතිය එකයි. ඉතිං වැට කඩලා අලියා එළියට යනවා.'' යනුවෙන් ආචාර්ය සුමිත් පිලපිටිය කියා සිටියේය. මේ වසරේදී අලුතින් කි.මී. 1500 දුරට අලිවැට ඉදිකිරිම සඳහා රජය සැළසුම් කර තිබේ. විදුලි වැටක් යනු භූමියක මායිම් සීමාකරන දෙයක් නොවේ. මායිම් ලකුණු කිරීමට නම් මායිම් ගල් දැමිය යුතුය. විදුලි වැටෙන් සිදු කෙරෙන්නේ පරිසර පද්ධති දෙකක් වෙන්කිරීම වේ. එබැවින් විදුලි වැට ඉදිකළ යුත්තේ කැලෑව සහ ගම හෝ සංවර්ධනය වන ප්‍රදේශය වෙන්වන ස්ථානයේ මිස මායිම් දෙකක් වෙන්වන ස්ථානයේ නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන්නේ මායිම් සීමා කිරීම සඳහා විදුලි වැට යොදා ගැනීම බව ආචාර්ය පිලපිටියගේ අදහස වී ඇත. ''අලියා වැට ළඟට ඇවිත් බලනකොට වැටෙන් එහා පැත්තෙත් තියෙන්නේ තමන්ට හොඳ පරිසරයක් නම් වැට කඩාගෙන යනවා. නමුත් වැටෙන් එහා තියෙන්නේ වෙනස් පරිසරයක් නම් අලියා වැට කඩාගෙන යන එක අඩුයි. සමහර කැලෑ කුට්ටි පොඩි වැඩියි අලින්ට. ඒවා වටා වැටවල් ගහලත් වැඩක් නෑ. ඒ වගේ තැන්වල වැට ගහන්න ඕනා අපිට රැකගන්න ඕනා ගෙවල් ටිකයි, ගම වටේ හෝ වගාබිම වටේ.'' යනුවෙන් ආචාර්ය සුමිත් පිලපිටිය පැවසුවේය. වනජීවී දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම අලි වැට සැදීම සඳහා 2021 වසරේදී රුපියල් මිලියන 3000ක මුදලක් වෙන්කර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරණ නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර බීබීසී සිංහල සේවයට පැවසුවාය. මේ වසරේදී අලුතින් කිලෝමීටර 1500 දුරට අලිවැට ඉදිකිරිම සඳහා රජය සැළසුම් කර තිබේ. ඊට අමතරව අලි වෙඩි ලබාදීම, වන්දි ගෙවීම, ජනතාව දැනුවත් කිරීම ඇතුළු අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් රුපියල් මිලියන ගණනක් වැය කරයි. ''අපි අලින්ට පහසුවෙන් කඩන්න බැරි විදියට විදුලි වැට ගහන්න කටයුතු කරනවා.'' - හසිනි සරත්චන්ද්‍ර 2019 කාර්ය සාධන වාර්තාවට අනුව වනජීවී දෙපාර්තමේන්තුව එම වසරේදී අලි වෙඩි සඳහා රුපියල් මිලියන 151.9ක් ද වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 138.8ක් ද වැය කර තිබේ. මේ වනවිට ඉදිකිරීම් අවසන් කර ඇති අලි වැටවල දිග කිලෝමීටර 4500 ක් පමණ වේ. ''අපි අලින්ට පහසුවෙන් කඩන්න බැරි විදියට විදුලි වැට ගහන්න කටයුතු කරනවා. එල්ලෙන විදුලි වැට, ආනතව හදන විදුලි වැට ඊට උදාහරණ. ඒ වගේම අලියට පයින් ගහලා කඩන්න බැරි විදියට විදුලි වැට හදනවා. අලි බොහෝ වෙලාවට පහර දෙන්නේ සැඟවිලා ඉඳලා. ඒ නිසා ඉදිරිය හොඳින් පෙන්න මග දෙපස එළි පෙහෙලි කරනවා.'' යනුවෙන් හසිනි සරත්චන්ද්‍ර විස්තර කළා ය. ඇය පැවසූ ආකාරයට අලි පහරදීම්වලින් ආරක්ෂා වීම සඳහා ගතයුතු ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමුකර තිබේ. අලින්ගේ ගමන අඩාල කිරීම සඳහා අගල් සැදීමද සිදු කරනු ලබන අතර පුත්තලම සහ කුරුණෑගල ගම්මාන වටා විදුලි වැට ඉදිකර ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ''කරන වැඩෙන් අලි මිනිස් ගැටුම තවත් වැඩි වෙන්න පුළුවන්'' අලි මිනිස් ගැටුම අවම කිරීමට එක් පසකින් ක්‍රියා කරන රජය තවත් අයුරකින් අලි මිනිස් ගැටුම වැඩි කිරීමට දායක වන බව සත්ත්ව සුබසාධන ක්‍රියාකාරිනියක වූ ඉරාකී කොඩිතුවක්කු බීබීසී සිංහල සේවයට කියා සිටියාය. ''ඡන්ද කාලේ පාරම්පරික ඉඩම්, හේන් ටික, කුඹුරු ටික දෙනවා කිවුවා. මේ ඉටු කරගෙන යන්නේ ඒ පොරොන්දු. අපි කියනවා අලි මංකඩ නිදහස් කරලා දෙන්න කියලා. අපි එහෙම යෝජනා කරනකොට අනික් පැත්තෙන් සත්තුන්ට අයිති ඉඩම් ටික කපාගෙන යනවා. ඒ අයට ඕනා ඡන්දටික ගන්න. '' යැයි සඳහන් කළ ඇය දහයියාගල ප්‍රදේශයේ සිදුවන බව කියන පරිසර විනාශයක් ගැන සඳහන් කළාය. ''අලි බෝගහපට්ටිය, කරමැටිය ලවණ නිධියට එන මාර්ගය දැන් විනාශ කෙරෙනවා. ඒ නිසා අලින්ට ඒ ලවණ බිමට දැන් තියෙන පාරෙන් යන්න බැරි වුණොත් ඒ අය අලුත් පාරක් හොයා ගන්නවා. එතකොට මේ කරන වැඩෙන් අලි මිනිස් ගැටුම තවත් වැඩි වෙන්න පුළුවන්'' යයි ඉරාකි වැඩිදුරටත් පැවසුවාය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලි මංකඩ 17ක් හඳුනාගෙන ඇත. එහෙත් මේ දක්වා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට හැකිවී තිබෙන්නේ කවුඩුල්ල - මින්නේරිය අලි මංකඩ පමණි. සිංහරාජයේ දක්නට ලැබෙන අලි දෙදෙනා ගමන් කරන මාර්ගය අවහිර වන සේ හෝටලයක් ඉදි කිරීමේ සිදුවීමක් ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව ඇත. බලධාරීන් පවසන්නේ එම ඉඩම් පුද්ගලික ඒවා බවයි. එහෙත් ඉඩම් පුද්ගලික වුව ද එමගින් තෙත් කලාපයට සීමාවූ අලි දෙදෙනාගේ ගමන්මග අවහිර වන බවට පරිසරවේදීහු පෙන්වා දෙති. වල්සපුගල සත්‍යග්‍රහය හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලා වල්සපුගල ප්‍රදේශයේ අඛණ්ඩ සත්‍යග්‍රහය මාර්තු 17 වැනිදා වනවිට 60 වන දිනටත් ක්‍රියාත්මක විණි. අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවට ලද ලිඛිත පොරොන්දුව මත එම ස්ථානයේ සිදු කළ මාරාන්තික උපවාසය පමණක් අත්හිටුවා ඇත. ලුණුගම්වෙහෙර, උඩවලව සහ බුන්දල අවට ජීවත් වෙන අලි නිසා වල්සපුගල, කොස්වගාව සහ කරුවලගස්වැව යන ගම්මානවල ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති. කලින් සැළසුම් වලට අනුව යෝජිත රක්ෂිතයට විශාල භූමියක් ඇතුළත් වීමට නියමිතව තිබුණ ද හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ආදී ඉදි කිරීම්, මහාපරිමාණ වගාවන් හා කර්මාන්ත සඳහා ඉඩම් භාවිත කිරීම හේතුවෙන් රක්ෂිතයට වෙන්කළ හැකි භූමිය අඩුවී තිබේ. ඒ හේතුවෙන් අලි ගම් වැදීම වැඩිවී ඇති බව ජනතාව පවසති. ලුණුගම්වෙහෙර, උඩවලව සහ බුන්දල අවට ජීවත් වෙන අලි නිසා වල්සපුගල, කොස්වගාව සහ කරුවලගස්වැව යන ගම්මානවල ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති. අලි මිනිස් ගැටුම විසඳන්න 'ගෝඨාභය' ගේ උත්සාහය වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 අගෝස්තු 27 වැනිදා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වේ. දීර්ඝ කාලයක සිට පවතින ගැටලුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්රවල නිලධාරීන්ට නොහැකිවීම ගැන ජනාධිපතිවරයා එම රැස්වීමේදී මවිතය පළ කළ බව ද එහි සඳහන් වේ. ''අවුරුදු ගාණක් තිස්සේ මේවා සාකච්ඡා වෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙලා නෑ තිරසාර ක්‍රමවේදයක්. මේ අවුරුදු දෙක තුන ඇතුළත අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්න ඕනා.'' යනුවෙන් ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට පවසා තිබේ. මේ අතර වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන නමින් නව රාජ්‍ය අමාත්‍යංශයක් ද ආරම්භ කර ඇත. ඒ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයට අතිරේකවයි. අලි මිනිස් ගැටුම කඩිනමින් විසදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී සිහිපත් කළේය. අලි මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින බව විෂය භාර අමාත්‍යවරු ද පවසති. අලි මිනිස් ගැටලුව විසඳීමට විශේෂඥයින්ගේ අදහස් මෙන්ම ගොවි ජනතාවගේ හා ගැටලුවට මුහුණදී ඇති ජනතාවගේ අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ. අලිවැට නඩත්තුව ගම්වල මරණාධාර සමිති, ස්වේච්ඡා සමිති සහ ගොවි සංවිධාන වෙත පැවරීමට ක්‍රියා කරනු ලැබේ. එමෙන්ම අලි මිනිස් ගැටලුව විසඳීමට විශේෂඥයින්ගේ අදහස් මෙන්ම ගොවි ජනතාවගේ හා ගැටලුවට මුහුණදී ඇති ජනතාවගේ අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ. ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව සක්‍රීය කිරීමට සහ අලි වැට සක්‍රීය කිරීමට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි වනජීවී සහ වන සම්පත් අමාත්‍ය සී.බී රත්නායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''රාජ්‍ය සේවයේ එක්තරා ඒකාධිකාරියක් තියාගෙන ඉන්නවා. දේශපාලන අධිකාරිය කිව්වත්, රටේ ප්‍රතිපත්ති කිව්වත් ඒ අයගේ කතන්දරයත් එක්ක අලි වැටවලට සහ අලි මංකඩවලට නිර්දේශ එදා දුන්නා. අද ඒක දෙන්නේ නැතුව කටයුතු කරනවා. ප්‍රයෝගිකව මිනිසෙක් හැටියට ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙනකොට ඒ දේවල් ක්‍රියාත්මක කිරීම තමයි අපේ වගකීම.'' යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය. ''විද්වත් කමිටුව ලබා දුන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් ක්‍රියා කළහොත් ඉදිරියේදී අලි මිනිස් ගැටුම කළමනාකරණයේ හොඳ ප්‍රගතියක් අත්කර ගන්න පුළුවන්.'' යන්න ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ අදහස වේ. දශක තුනකට අධික කාලයක සිට අනුගමනය කළ ක්රමවේදයන්ගේ ප්‍රතිපලයක් ලෙස අද අපි මෙම අලි මිනිස් ගැටුමට මුහුණදී සිටිමු. ඉන් මිදීමට නම් අලි මිනිස් ගැටුම කළමනාකරණයේ දුර්වලතා හඳුනාගෙන ඊට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතුව තිබේ. එවිට එය සම්පුර්ණයෙන්ම වළක්වා ගැනීමට නොහැකි වුව ද මෙම ගැටලුව නිසි පරිදි කළමනාකරණය කරගෙන සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එමගින් වටිනා මිනිස් ජීවිත සහ අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකිය. එමෙන්ම වසරකට රුපියල් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකිවනු ඇත. 'අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් වැඩියෙන්ම මිය යන රට' ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක ආසියානු අලි ජීවත්වෙන අතර උන්ගේ ගහනය 50,000-60,000 අතර බවට ඇස්තමේන්තු කර ඇත. ඉන්දීය පරිසර, වන හා දේශගුණික විපර්යාස අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව ආසියානු අලින්ගෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් ඉන්දියාවේ ජීවත් වේ. 2017 සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ අලි ගහනය 29,964කි. එහෙත් ඉන්දියාවේ අලි මිනිස් ගැටුමේදී මියයන අලින්ගේ සංඛ්‍යාවට වඩා මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වීම විශේෂ ලක්ෂණයකි. ඉන්දියාවේ වසරකට අලි 100ක් සහ මිනිසුන් 500ක් පමණ මිය යති. ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවේ භුමි ප්‍රදේශය විශාල බව සැබෑය. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ අලි සහ මිනිසුන් ගැටෙන වාර ගණන ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් සමාන වන අතර එහිදී දෙරටේ ප්‍රතිඵලය හාත්පසින්ම වෙනස් වීමයි. තවත් තොරතුරු: |
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ සජීවී වාර්තාව මින් නිම වෙයි. | මැතිවරණ නිල ප්‍රතිඵල බීබීසී සිංහල වෙබ් අඩවිය ඔස්සේ හෙට (අගෝස්තු 06) සජීවීව බලාපොරොත්තු වන්න. අප සමග රැඳී සිටි ඔබට ස්තූතියි. ඡන්ද පෙට්ටි ගෙන යාමේ කටයුතු ඇරඹේ (ප.ව. 05.22) දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වෙමින් පවතී. එසේ ගෙන යනු ලබන ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දැඩි රැකවල් මධ්‍යයේ තබා තැබීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, හෙට දිනයේ දී (අගෝස්තු 06) උදෑසන ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ. ගාලලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි ගෙන ආ ආකාරය ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු නිම වෙයි (ප.ව. 05.14) අද (අගෝස්තු 05) උදෑසන 07:00 න් ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 05:00 න් නිම විය. මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසුවේ සවස 4 වනවිට 60% ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් මුළු දිවයින පුරා ප්‍රකාශ වී තිබූ බවය. හෙට (අගෝ. 06) උදෑසන 7 සිට ඡන්ද ගණන් කිරීම ඇරඹෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර පවසා තිබිණි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසාන පැය (ප.ව 04.28) අද උදෑසන 07:00 ට ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 5:00 න් අවසන් වීමට නියමිතය. 'පරණ පාර්ලිමේන්තුව' සහ 'හිටපු 225' ගැන මතක් කිරීමක් 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා නීති සම්පාදකයන් තෝරා පත් කර ගනු ලබන අද, 08 වෙනි පාර්ලිමේන්තුවේ හිටපු 225 ගැන මතක් කර ගමුද? ව්‍යවස්ථා සංශෝධන සහ උල්ලංඝන, අගමැති පුටු මාරු, ගුටිබැට මැද නිම වුනු 08 වෙනි පාර්ලිමේන්තුව ගැන මෙතනින් කියවන්න. 2020 මහ මැතිවරණයේ මහජන නියෝජිතයන්, මුදල්, ඡන්ද සටන සහ නිර්ණායක දේශපාලනය 'ලාභ ලබන ව්‍යාපාරයක්' බවට පත්ව ඇති බව වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. "දේශපාලනය සම්පූර්ණයෙන්ම වාගේ මඩිය තර කරගන්න රස්සාවක් වෙලා. මිනිස්සුන්ගේ මුදල්, දේපොළ සූරා කන තක්කඩියන්ගේ තිප්පොළක් බවට පත් වෙලා. වැලි ඇටයේ ඉඳන් සොරකම් කරනවා. අලුතෙන් එන අයත් ඒ හොර චක්‍රයේ කොටසක් වෙනවා. මේ වගේ තිත්ත කළු රස්සාවකට සුදුසුකම් තිබෙන ප්‍රතිපත්තිගරුක මිනිස්සු එකතු වෙන්නේ නැහැ. හැබැයි ඒකේ පාඩුවත් රටටමයි," යනුවෙන් සාමාන්‍ය පුරවැසියෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. ඒ ගැන වැඩිදුර විස්තර මෙතනින් කියවන්න: 73 වසරකට පසුවත් 'රවටන', 'රැවටෙන' ශ්‍රී ලංකාවේ දේශපාලනය පහර දීමේ සිදුවීම් දෙකක් - CMEV (ප.ව 04.08) බදාදා පෙ.ව 07:00 සිට ප.ව 01:00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 161 ක් වාර්තා වන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. පහර දීමේ සිදුවීම් 2ක් ද ඊට ඇතුළත් බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. ඡන්දය දීමේ වරම අහිමි පුරවැසියන් 'ලක්ෂ ගණනක්' විදේශගත ශ්‍රී ලාංකිකයන් මිලියන දෙකක් ඇතුළු පුරවැසියන් ලක්ෂ ගණනකට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ලොව ඇතැම් රටවල භාවිත කෙරෙන ආකාරයේ මැතිවරණ දිනට පෙර ඡන්දය භාවිත කිරීමේ ක්‍රමවේදයක් (Advance voting) නොමැති වීම බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. කොරෝනාවෛරස් වසංගතය හමුවේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවනු ලැබ සිටින 1,500 ක පමණ පිරිසකට ද ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි ශ්‍රී ලාංකිකයන් ගැන වැඩිදුර කියවන්න: ඡන්ද වරම අහිමි ශ්‍රී ලාංකික "ලක්ෂ ගණනක්" මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 890 ක් (ප.ව 03.55) 2020 මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු තෝරා පත්කර ගැනීමට ඡන්ද දායකයින් 1,129,100 දෙනෙකු ලියාපදිංචිව සිටින බවත් ඔවුන්ට බාධාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 890 ක් ස්ථාපනය කර තිබෙන බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න පැවසීය. පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් හා ස්වාධීන කණ්ඩායම් 17 කින් අපේක්ෂකයින් 435 දෙනෙක් මෙවර මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් ඔහු සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය, පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය,පොල්ගොල්ල මහවැලි විද්‍යාපීඨ පරිශ්‍රය හා මහනුවර ආදර්ශ පාසල සූදානම් කොට ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ පාරේ දමා තිබූ මැතිවරණ ප්රචාරක කාඩ්පත් ඉවත් කරන ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගිනි අවි පසෙකට, ඉදල අතට (ප.ව 03.40) 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ක්‍රියාත්මක අද දින (අගෝ. 05) මේ වන තෙක් අපරාධමය චෝදනා ලබන හෝ කඩාකප්පල්කාරී ක්‍රියා කිසිවක් වාර්තා වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය. එසේ වුවද, ප්රචාරක පත්‍රිකා බෙදාහැරීම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ බව ඔහු කියා සිටියේය. එසේ නීති විරෝධී ලෙස ඡන්ද මධ්‍යස්ථාන අසළ බෙදා හැර හෝ විසුරුවා හැර තිබූ මැතිවරණ ප්රචාරක පත්‍රිකා ඉවත් කිරීමට ආරක්ෂක අංශ යොමු වූ ආකාරය ප්‍රදේශය කිහිපයක දක්නට ලැබිණි. ගිනිඅවි පසෙකට, ඉදල අතට සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාව: "ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?" ඡන්දය භාවිත කිරීමට අදාළ ලියාපදිංචි කටයුතු සහ අනන්‍යතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් තමන් අභියෝගවලට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකාවේ සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පවසයි. තම ඡන්ද ලියාපදිංචි කර ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද සහ තමන් තෝරා ගන්නා ලද ස්ත්‍රී පුරුෂ භාවය සනාථ කෙරෙන නිල ලේඛනය (GRC) ,නිර්දේශිත අනන්‍යතා සහතිකයක් ලෙස පිළිගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති. ඡන්දය භාවිතය සම්බන්ධයෙන් සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව මුහුණ දී ඇති අභියෝග ගැන වැඩිදුර කියවන්න: සංක්‍රාන්ති ප්‍රජාව: "ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?" ඡන්ද පෙට්ටියේ ඉතිහාසය ඡන්ද විමසීමකින් අනතුරුව ගණන් කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමි වූ මුල් අවධියේ භාවිත කෙරුනේ වර්ණ ඡන්ද පෙට්ටි ක්රමයකි. අද මෙන් ඡන්ද ලකුණක් හෝ මනාප අංකයක් නොව ඡන්ද දායකයාට ඡන්දය ලබා දීමට තිබුනේ ඒ අපේක්ෂකයා වෙනුවෙන් වෙන් කරන ලද වර්ණයකටය. ඡන්ද පෙට්ටියේ ඉතිහාසය දැන ගන්න පිවිසෙන්න: 'වර්ණ ඡන්ද පෙට්ටි' සහ 'සුදු මහත්තයාගේ' ඡන්ද සටන ඡන්දය සලකුණු කරන අවස්ථා සමාජ මධ්‍යයේ පළ කරන්න එපා! - මැ.කො.ස පණිවිඩයක් (ප.ව 02.01 ) ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡයාරූප ගත කර හෝ වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. එසේ කටයුතු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ. එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස සියලු සමාජ ජාල ගිණුම් හිමියන් සහ පරිපාලකයන් වෙත මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත. අයහපත් කාලගුණය මැද නුවරඑළියේ ජනයා ඡන්දපොළ වෙතට (ප.ව 01:23) මෙවර මහ මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා තිබු ඡන්ද දායකින් ප්‍රමාණය 577,717 කි. ඒ නුවරඑළිය - මස්කෙලිය 330,761ක්, වලපනේ 87503 ක් කොත්මලේ 84175 ක් හා හගුරන්කෙත 75278 ක් වශයෙනි. ඔවුන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා මධ්‍යස්ථාන 498 ස්ථාපනය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්.බි.ආර් පුෂ්පකුමාර පැවසීය. එම ස්ථානවල සේවය සඳහා නිලධාරීන් 4,100 ක් හා ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1,500 ක් පමණ ද සේවයට යොදවා තිබේ. දින කිහිපයක සිට ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය එලෙසම පවතින අතර විටෙන් විට තද සුලඟ සමග වර්ෂාව ඇද හැලෙමින් තිබූ නමුත් ජනතාව සෞඛ්‍ය අංශ විසින් කළ දැනුවත් කිරිම් පිළිපදිමින් මුව ආවරණ පැළඳ ඡන්ද මධ්‍යස්ථාන වෙත එන බව අප වාර්තාකරුවෝ පැවසූහ. (ඡායාරූප: නුවරඑළිය ඡන්දය ප්‍රකාශ කිරීම) 'ඡන්දපොළේදී' මතක තබා ගත යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ (ප.ව 01.09) ඡන්දය ප්‍රකාශ කිරීමට යන ඔබ මතක තබා ගත යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් හෑෂ්ටැග් පරපුර සිහිපත් කරයි. පැය 3ක් තුළ මැතිවරණ නීති උල්ලංඝන 70 ක් - CMEV (ප.ව 12.47) බදාදා පෙ.ව 07:00 - 10:00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 70 ක් වාර්තා වන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ඉන් බහුතරය නීතිවිරෝධී ප්රචාරක කටයුතුවලට අදාළ පැමිණිලි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක් (ප.ව 12.00) 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 80% - 85% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් කිසිඳු බියකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා මහ මැතිවරණය: මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය (පෙ.ව 11.53 ) පෙරවරු 10.00 පමණ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 20% ඉක්මවා ඇති බවත් මධ්‍යහ්න 12.00 පමණ වන විට එම ප්‍රතිශතය 40% ත් 50% අතර ප්‍රමාණයක් විය හැකි බවත් ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 712 කදි ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සෑම ඡන්ද ම්‍යස්ථානයක් ම සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ පවත්වා ගෙන යන බව ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිවරයා සඳහන් කළේය. ගාල්ල දිස්ත්‍රික්කයට තෝරා පත් කර ගනු ලබන මන්ති ධුර 9 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ13 කින් සහ ස්වාධීන කණ්ඩායම් 13 කින් අපේක්ෂකයෝ 312 ක් තරග වැද සිටිති. දකුණු පළාතේ මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක භටයින් 8,528 ක් පමණ යොදවා ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසීය. දිස්ත්‍රික්කය පුරා ජංගම මුර සංචාර 397 ක් සහ ප්‍රධාන මාර්ග බාධක 28 ක් යෙදවිමට පියවර ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය. (ඡායාරූප: ගාල්ලේ ඡන්දය ප්‍රකාශ කිරීම) උතුරු පළාත: ඡන්දය ප්‍රකාශ කිරීමට ජනයා පෙළගැසෙති (පෙ.ව 11.20 ) ඡන්ද මධ්‍යස්ථාන 966 ක දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලද උතුරු පළාතේ ජනතාව ද එම මධ්‍යස්ථාන කරා ඇදෙමින් සිටිති. මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළ පරිදි උතුරු පළාතේ ජන්ද දායකයින් 858,861 දෙනක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ, යාපනය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් 571,848 හා වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් 287,013 දෙනකු වශයෙනි. වන්නි මැතිවරණ කොට්ඨාසයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක හා ස්වාධීන කණ්ඩායම් හයක නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව වන්නි මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රී ධූර හයක් සඳහා පිළිගත් පක්ෂ 17 ක හා ස්වාධීන කණ්ඩායම් 28 ක අපේක්ෂකයින් 269 දෙනකු තරඟ කරන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය. යාපනය මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රී ධූර හතක් සඳහා පිළිගත් පක්ෂ 19 හා ස්වාධීන කණ්ඩායම් 14 ක අපේක්ෂකයින් 330 දෙනකු තරඟ කරන බව යාපනය තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය. (ඡායාරූප: ඡන්දය ප්‍රකාශ කිරීමට වවුනියාවේ ජනතාව පැමිණීම) 2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි (පෙ.ව. 10.28) ශ්‍රී ලංකාවේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කරගනුවස් පැවැත්වෙන මහ මැතිවරණය අද (අගෝස්තු 05) උදෑසන 7:00 ට ආරම්භවිය. මෙවර මහ මැතිවරණය කරුණු කිහිපයක් මත සුවිශේෂී වෙයි. ගෝලීය කොරෝනාවෛරස් වසංගතය මැද පැවැත්වෙන එය ශ්‍රී ලංකා ඡන්ද ඉතිහාසයට එක් වන්නේ දීර්ඝ කාලයක් පවත්වන ලද මහ මැතිවරණය ලෙස පමණක් නොව දීර්ඝ කාලයක් ප්රචාරක කටයුතු සඳහා කාලය වෙන් කළ මැතිවරණය ලෙසිනි. කොරෝනාවෛරස් වසංගත මර්දන රෙගුලාසි අනුගමනය කරමින් පැවැත්වෙන මෙවර මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා දිවයින පුරා ඡන්දදායකයෝ තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙමින් සිටිති. මැතිවරණය පවත්වනු ලබන්නේ විශේෂ සෞඛ්යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමිනි. කාබන් තැවරූ කඩදාසි කැබැල්ලකින් ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවෙයි. ඒ සඳහා ඡන්ද දායකයින් සිය වම් අතේ සුලැඟිල්ල මෙසය මත ඇති ටිෂු කඩදාසියක් මත තැබිය යුතු වෙයි. ඡන්දපොළ නිලධාරීන් සඳහා විශේෂ ආරක්ෂක කුටි සපයා ඇති අතර ඡන්ද දායකයින් ඇතුළු වනවිට හා පිටව යනවිට විෂබීජහරණය කිරීමකට ලක් කරනු ලැබෙයි. 2020 මහ මැතිවරණය දිස්ත්‍රික්ක 22 පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යාස්ථාන 12.985 ක දී පැවැත්වෙයි. ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 16,263,885 ක් සුදුසුකම් ලබා සිටිති. ඔවුන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය (ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු 29 ක් ඇතුළත් වේ.) මහ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,452 කි. |
විරෝධතාවාදීන් රජයේ ගොඩනැගිලි අවට ප්රචණ්ඩ උද්ඝෝෂණවල නිරත වී සිටියදී ප්‍රකාශයක් කළ තායිලන්ත අගමැතිනි යින්ලක් ශිනවත්, පදවියෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළාය. | උද්ඝෝෂකයන් පෙරට වඩා තරජ්නාත්මක අයුරින් හැසිරෙන බව වාර්තාකරුවෝ පවසති උද්ඝෝෂකයන්ගේ නායකයකු සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කළ අගමැතිනිය, සාකච්ඡාවලට තමන් සූදානම් නමුත් තමන්ගේ ආණ්ඩුව වෙනුවට භාරකාර මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියාය. උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ කැරලි මර්ධක පොලිසිය, ආරක්ෂක කපොලු කඩා දමමින් ආණ්ඩුවේ කාර්යාලවලට කඩා වැදීමට තැත් කළ පුරුෂයන් පලවා හැරීම පිණිස පළමු වරට රබර් උණ්ඩවලින්ද වෙඩි තැබුවේය. උද්ඝෝෂණවලට එක් වී සිටින්නේ පසුගිය දිනවලට සාපේක්ෂව අඩු පිරිසක් බව පවසන එහි සිටින බීබීසී වාර්තාකරුවෙක්, කෙසේ නමුත් ඔවුන් පෙරට වඩා තරජ්නාත්මක අයුරින් හැසිරෙන බවද සඳහන් කරයි. |
පවුලේ පිරිමි ඥාතියකු කැටුව මිස තනිවම වෙළෙඳ පොළට යාමෙන් වළකින මෙන් වයඹ පකිස්තානයේ මුස්ලිම් පූජකයන් විසින් කාන්තාවන්ට බල පැවැත්වෙන තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත. | පකිස්තානයේ ගෝත්‍රික ජනාවාශයන්හි වෙසෙන මුස්ලිම් කාන්තාවන් මුළු සිරුරම ආවරණය කර ගනිමින් නිවසට සීමා වූ ජීවිතයකුයි ගෙවන්නේ. වයඹ පකිස්තානයේ ‘කයිබර් පක්තුන්ඛ්වා’ ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය නායකයෙක් ප්‍රකාශයක් කරමින්, විශේෂයෙන්ම රාමදාන් ආගමික සමය තුළ කාන්තාවන් වෙළෙඳ පොළවල තනිවම හැසිරීම අසභ්‍ය දර්ශනයක් වන බවයි කියා සිටියේ. කාන්තාවන්ට බල පැවැත්වෙන ඉහත කී නියෝගය ක්‍රියාවට නංවන ලෙස ඉස්ලාමීය පූජකවරු පළාතේ පොලිසියෙන් ඉල්ලා සිටියත්, පොලිසිය ඊට එකඟ නොවූ බවත් පකිස්තානයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙයි. තනිවම සාප්පු සවාරියේ යන කාන්තාවන්ට බඩු භාණ්ඩ විකිණීමෙන් වළකින මෙන් ඉස්ලාමීය නායකයෝ වෙළෙන්දන්ගෙන් ද ඉල්ලීමක් කර ඇත. වයඹ පකිස්තානයේ ගෝත්‍රික ජනාවාශයන්හි වෙසෙන මුස්ලිම් කාන්තාවන් හිසෙහි පටන් මුළු සිරුරම ආවරණය කර ගනිමින් නිවසට සීමා වූ ජීවිතයකුයි ගෙවන්නේ. |
තෙදින නිල සංචාරයක් සඳහා අද(31) ශ්‍රී ලංකාවට සැපත් වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ශ්‍රී කොළඹ දී අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළේය. | මහ ලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක ආර් සම්බන්ධ සමඟත් සාකච්ඡා කිරීමට නියමිතයි. 'සංහිඳියාව සහ සහජීවනයේ දී තරුණ පරපුරේ භූමිකාව' යන මැයෙන් හෙට (01) ගාල්ලේ පැවැත්වෙන සමුළුවකට සහභාගි වන මහ ලේකම් බැන් කි මූන්, බ්‍රහස්පතින්දා යාපනයේ නැවත පදිංචි කළ ගම්මාන නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි. ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පවත්වනු ලබන දේශනයක් ද ඔහුගේ තුන් දින න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි. |
දශක ගණනක් තුළ දක්නට ලැබෙන අතිශය බෙදීමක් දැකිය හැකි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇමෙරිකානුවෝ අද (නොවැම්බර් 3) ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති. ප්රතිමල්ලවයන් වන්නේ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩන් ය. | ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තරුණවියේ දී ඡන්දය ප්‍රකාශ කිරීම මුලින් ඇරඹුණේ 'වර්මොන්ට්' ප්‍රාන්තයෙනි. කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට අනුව දැනටමත් මිලියන 100ට ආසන්න පිරිසක් ඡන්දය දී තිබේ. එය මේ සියවසේ මෙතෙක් වාර්තා වූ වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම දිසාවට ගෙන යමින් තිබේ. අපේක්ෂකයින් දෙදෙනාම මැතිවරණයට පෙර අවසන් පැය කිහිපය කරට කර තරගයක් දෝලනය වන ප්‍රාන්තවල ගත කළහ. ජාතික මත විමසුම්වලදී ජෝ බයිඩන් හට පැහැදිලි ඉදිරියක් පෙන්නුම් කළ ද, අවසන් ප්‍රතිඵලයට හේතුවන ප්‍රාන්තවල තරගය කරට කර ස්වභාවයක් උසුලයි. 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ වදින පිළිවෙලින් වයස අවුරුදු 74 ක් සහ 77 ක් සම්පූර්ණ කර සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්රටික් පාක්ෂික දේශපාලන ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් .ඔවුන් දෙදෙනාටම දශක හතකට එහා ගිය පෞද්ගලික සහ වෘත්තීයමය ඉතිහාසයක් ඇත. අපි ඔවුන් දෙදෙනාගේ එම ඉතිහාසයට ඔවුන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථා සටහන් පින්තූර පෙළක් ඇසුරින් ගමන් ගනිමු. ඩොනල්ඩ් ට්‍රම්ප් වයස අවුරුදු 18 දී. 1964 වසරේ නිව්යෝර්ක් යුද ඇකඩමියේ දී ගන්නා ලද ඡායාරූපයකි 1945 දී දෙවන ලෝක මහා සංග්‍රාමය නිමවී ලෝකය නව යුගයක් සඳහා පිබිදෙමින් සිටින මොහොතක 1946 ජූනි මාසයේ උපතලද ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් යෝර්ක් නගරයේ ඉඩම් දේපොළ හිමි මහාධනකුවේරයකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ හතරවෙනි දරුවා විය. මව මේරි ඈන් මැක්ලියොඩ් වූවාය. පවුලේ ධනස්කන්ධය කොතරම් සුවිසල් එකක් වූයේ නමුත් ළමාවියේ පටන්ම ඩොනල්ඩ්ගේ ආශාව වුනේ සිය පියාගේ ව්‍යාපාරයෙහි පහළ පෙළේ රැකියාවන්හි නිරතවීමය.ඒ අතරම පාසලේ දී හැසිරීම අයහපත් වූ හෙයින් ෆ්‍රෙඩ් ට්‍රම්ප් සිය ''අකීකරු පුත්‍රයා'' වයස අවුරුදු දහතුනේදීම යුදහමුදා ඇකඩමියට යොමුකිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ඩොනල්ඩ් පෙන්සිල්වේනියා සරසවියට ඇතුළත් විය. මේ අතර සිය වැඩිමහල් සහෝදරයා වූ ෆ්‍රෙඩ් ගුවන් නියමුවකු වීමට තීන්දු කරන ලද හෙයින් සිය පවුලේ දේපොළ පරිපාලනය ඩොනල්ඩ් මත පැවරුණි. ජෝ බයිඩන් -1967 දී ගන්නා ලද ඡායාරූපයකි ජෝසෆ් රොබිනෙට් බයිඩන් (කනිෂ්ඨ) පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙහි උපතලබා ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමය පෙරට යමින් පවතින අතරවාරයේ 1942 වසරේදීය. අයිරිෂ්-ඇමෙරිකානු සම්භවයක් සහිත කතෝලික පවුලක දරුවන් හතරදෙනාගෙන් ඔහු වැඩිමලා විය. ජෝ යන කෙටි නමින් ආමන්ත්‍රණය කිරීමට පුරුදුවූ එම දරුවා ළමාවියේ පටන්ම මුහුණදුන් ගැටලුව වුනේ ඔහු කතාබහේ දී ගොත ගැසීමකින් (stutter ) යුක්තවීමය. පාසලේදී පවා මුහුණදීමට සිදුවූ එම අභියෝගය ජයගැනීමට ජෝ යත්න දැරුවේ කන්නාඩියක් ඉදිරියට පවා ගොස් කතාබහ ප්රගුණකර ගැනීමෙනි. අනතුරුව යොවුන් ජෝ ඩෙලවෙයාර් සරසවියට (University of Delaware) ඇතුළු විය.ඉන් අනතුරුව ඔහුගේ අධ්‍යාපන ආයතනය වූයේ 'Syracuse' සරසවියේ නීති පීඨයයි. 1970 ඩොනල්ඩ් ට්‍රම්ප් -1976 දී නීති අධ්‍යාපනය නිමකළ ජෝ නීලියා (පළමු බිරිඳ) සමඟ විවාහවීමත් සමඟ 'විල්මින්ටන්' (Wilmington)නගරයෙන් සිය දේශපාලන ගමන සඳහා අත්පොත් තැබීය. ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන පරිදි ඔහු සිය දේපොළ ව්‍යාපාරය ආරම්භකරන ලද්දේ සිය පියාගෙන් ලබාගත් ඩොලර් දශ ලක්ෂයක ''කුඩා ණයක්'' උපයෝගීකර ගනිමිනි. නිව්යෝර්ක් නගරයේ නිවාස දේපොළ අළෙවිකිරීමේ ව්‍යාපාරයක ප්‍රධානපෙළේ කාර්යභාරයක් මුලදී ඉටුකළ ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව 1971 දී එම සමාගමේ සමස්ත පාලනය සිය අතට ගැනීමට සමත්විය.ඔහු එම ව්‍යාපාරය ''ට්‍රම්ප් සංවිධානය'' යනුවෙන් නම් කළේය. එයින් වසර හයකට පසු ඔහුගේ පළමු විවාහය සිදු විය. ඒ ඉවානා ෂෙල්නිකොවා (vana Zelnickova) සමඟය. චෙකොස්ලොවේකියානු කාන්තාවක් වූ ඇය ක්‍රීඩිකාවක් මෙන්ම මෝස්තර නිරූපිකාවක්ද වූවාය.එම පළමු විවාහයෙන් ඩොනල්ඩ්ට දරුවන් තිදෙනෙකි. ඩොනල්ඩ් (කණිෂ්ඨ),ඉවන්කා සහ එරික් යන එම දරුවන් තිදෙනා දැනට ''ට්‍රම්ප් සංවිධානය'' නම් වෙළෙඳ ව්‍යාපාරය මෙහෙයවීමේ නිරතවෙති. එහෙත් සමාගමේ විධායක පාලන බලය තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් අත තබාගෙන ඇත. පළමුවරට මහජන ඡන්දයෙන් සෙනෙට් සභිකයකු ලෙස ජයග්‍රහණය කළ ජෝ බයිඩන් එම පදවියේ දිව්රුම්දුන් මොහොත. ඔහුගේ මාමණ්ඩිය වූ රොබට් හන්ටර් සහ පුත් 'Beau' (රෝහල් සයනයක සිට)දෙස බලා සිටියි.ඔවුන් දෙදෙනාම රිය අනතුරකින් තුවාල ලැබ ජීවිත බේරී සිටියහ ජෝ බයිඩන් ඔහු ආශාකළ සෙනෙට් සභික පදවිය දිනාගැනීමට 1972 දී සමත්විය.එහෙත් එය ඔහුට ඛේදජනක කාලයකි.ඔහුගේ බිරිඳ සහ දියණිය 'නයෝමි' මෝටර්රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම ඊට හේතුවයි. මාමණ්ඩිය හන්ටර් සහ පුත් 'Beau' එම රිය අනතුරෙන් බරපතල තුවාල ලැබ බේරී තිබුණි. ජෝ බයිඩන් සෙනේට් සභිකයකු ලෙස එම දිව්රුම්දීම පවා සිදුකරනු ලැබ තිබුණේ සිය පුතු ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ කාමරයක සිටය. 1980 1987 දී සිය පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් ගමන්ගනිමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 1970 දශකයේ ආරම්භයත් සමඟ සිය අභිලාෂයන් තවත් තීව්ර කළ ඩොනල්ඩ් ට්‍රම්ප් බෘක්ලින්' සහ 'ක්වීන්ස් ' සිට ව්‍යාපාරික ලෝකයේ වඩාත් සරුබිමක් වූ 'මෑන්හැට්න්' කරා යොමුවිය. ඔහු එහි අතිශයින් ජනප්‍රියභාවයට පත් 'ට්‍රම්ප් දේපොළ ව්‍යාපාරයේ' කේන්ද්‍රස්ථානය වන ''ට්‍රම්ප් කුළුණ'' විවෘත කළේය. 1983 දී විවෘත කරන ලද එය මහල් හැට අටකින් යුක්ත උත්තුංග මන්දිරයකි. ''ට්‍රම්ප් ප්ලේස්''.''ට්‍රම්ප් වර්ල්ඩ් ටවර්'' සහ ''ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් ටවර්'' ඩොනල්ඩ් ගේ සෙසු ව්‍යාපාරික ආයතන වෙති. ඔහු සතු ප්‍රබල වෙළෙඳ සන්නාමය මාධ්‍ය පවා ආකර්ශනය කර ගැනිණි එහෙත් ඩොනල්ඩ් අත ගසන හැම දෙයක් ම රන් බවට පත් නොවීය. ඔහුගේ ගනුදෙනු ව්‍යාපාර හතරක් බංකොලොත් වීමට හේතුවිය. 1987 වසරේ දී සෙනේට් සභික ජෝ බයිඩන් මාධ්‍ය හමුවකදී සිය ජනාධිපති ධූර අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීම ප්‍රකාශයට පත්කළ අවස්ථාව.බිරිඳ ජිල් ඔහු පසෙකින්. ජෝ බයිඩන් සිය බිරිඳ සහ දියණිය අහිමිවීමෙන් කඩාවැටුන සිය ජීවිතය යළි ගොඩනගා ගැනීමට වසර දාහතරක කාලයක් සෙනෙට් සභිකයකු ලෙස වොෂිංටනයේ ගතකරද්දී යළි පියවර ගන්නට විය. අනතුරින් දිවි රැකුන සිය පුතුට සාමාන්‍ය ජීවිතයක් ලබාදීමට කැප වූ ජෝ දිනපතාම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ('Delaware') පිහිටි පවුලේ නිවසේ සිට වොෂිංටනය බලා ගමන් ගත්තේය.අන්තිමේ දී ඔහු යළි විවාහ විය. මෙවර ඔහුගේ මනමාලිය වුනේ ජිල් ජෙකොබ් නම් කාන්තාවකි. ඔවුන් දෙදෙනාට දාව ලද දරුවාට ''ඈෂ්ලි '' යනුවෙන් නම්තබනු ලැබුණි. ජෝ අනතුරුව සෙනේට් සභාවේ අධිකරණ කමිටුවට අනුයුක්ත කරනු ලැබුණි.1987 වසරේ ජෝ ජාතික මට්ටමේ චරිතයක් බවට පත්වීමේ පළමු පියවර තබන ලද්දේ එම වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වෙමිනි. එහෙත් පසුව, ඔහු විසින් සිය නම තරඟයෙන් ඉවත්කර ගනු ලැබුණි.එම පියවර ගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ එවක නායකයා වූ නීල් කීනොක් විසින් සිදුකරන ලද කතාවකින් අදහස් සොරකම් කරන ලද බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුවය. 1990 ඩොනල්ඩ් ට්‍රම්ප් සුරූපී ළඳුන් පිරිවරා ගනිමින් දේපොළ වෙළෙඳාමෙන් පමණක් තෘප්තිමත් නොවූ ඩොනල්ඩ් ඊළඟට අතගැසුවේ විනෝදය සැපයීමේ ව්‍යාපාරය(entertainment sector) කෙරෙහිය. 1996 දී සුරූපිනියන් තේරීමේ තරඟ කෙරෙහි යොමුවූ ඩොනල්ඩ් ලෝක රූ රැජින,විශ්ව රූ රැජින, ඇමෙරිකානු රූ රැජින, ඇමෙරිකානු යොවුන් සුරූපිනිය වැනි රූපරාජිනී තරගාවලීන් සංවිධානය කළේය. ඒ අතර සිය පෞද්ගලික ජීවිතයේ දී පළමු බිරිඳ,ඉවනාගෙන් වෙන්වූ ඩොනල්ඩ් මාරියා මේපල්ස් සමඟ 1993 දී විවාහ විය. ටිෆනි (Tiffany) ඔවුන්ට ලද දියණියයි. 1999 දී ඩොනල්ඩ් මාරියාගෙන් දික්කසාද වූ අතර, ඔහුගේ පියාගේ අභාවයත් එම වසරේම සිදුවිය. ''මගේ නැගී සිටීමේ උත්තේජනය වුනේ මගේ පියා'' ඩොනල්ඩ් සඳහන් කර ඇත. ජෝ බයිඩන් සෙනේට් අධිකරණ කමිටුවේ.ඔහු අසල එඩ්වඩ් කෙනඩි 1991 ඔක්තෝබර් 11 වෙනිදා ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ රූපවාහිනී තිරයන් දෙස ඇස් දල්වා බලාසිටියේ එක්තරා කාන්තාවක් සෙනේට් සභාවේ අධිකරණ කමිටුවක් ඉදිරියේ දෙමින් සිටි සාක්ෂියක් නැරඹීම සඳහාය. ඇනිටා හිල් (Anita Hill) නම් එම කාන්තාව 'ඔක්ලහෝමා'සරසවියේ නීතිය පිළිබඳ මහාචාර්යවරියකි. එම සෙනේට් සභා කමිටුව ඉදිරියේ විභාගයට ගැනෙමින් තිබුනේ ක්ලැරන්ස් තෝමස් (Clarence Thomas) නැමැත්තා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරනු ලැබීම සම්බන්ධයෙනි. ක්ලැරන්ස් සහ තමා රීගන් පාලනය යටතේ සේවයෙහි නිරතවෙමින් සිටියදී ඔහු කීපවතාවක් ම තමාට ලිංගික හිරිහැර සිදුකරන ලද බවට ඇනිටා චෝදනා කළාය. එම විභාගය සිසුකරන ලද්දේ එකී සෙනේට් සභා කමිටුවේ සභාපතිවරයා වූ ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙනි. ජෝ ඇනිටාගේ සාක්ෂිය මෙහෙයවන ලද ආකාරය දීර්ඝකාලයක් විවේචනයට ලක්වෙමින් පැවතුණි. එම විභාගය සිදුකරන ලද්දේ සහමුලින්ම සුදුජාතික මෙන්ම පුරුෂයන්ගෙන් පමණක් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලයක් යටතේය. ඇනිටා හිල් වෙනුවෙන් ඉදිරිපත් වූ කාන්තාවන් කීපදෙනකුට සාක්ෂිදීමට කැඳවනු නොලැබීය. 2019 වසරේ රූපවාහිනී සාකච්ඡාවක දී අදහස් දැක්වූ ජෝ බයිඩන් ඒ සම්බන්ධයෙන් ''අනිටාට සලකන ලද ආකාරය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළේය. 2000 ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා, 1998 දී 2003 දී ට්‍රම්ප් අලුත් ම රියැලිටි ටීවී වැඩසටහනක් ඉදිරිපත් කළ අතර එය ව්‍යාපාරිකයෙකු මෙන්ම මාධ්‍යකරුවකු ලෙස සිය කීර්තිය සඳහා ඉවහල් විණි. එම වැඩසටහන 'දි ඇප්රෙන්ටිස්' (The Apprentice) නම් විය. ට්‍රම්ප් හට හිමි ව්‍යාපාරික අධිරාජ්‍යයේ කළමනාකරණ තනතුරක් සඳහා, වැඩසටහනට සහභාගිවන්නන් තරග වදින ආකාරය ඉන් පෙන්නුම් කෙරිණි. මාලා 14 ක් පුරා ඔහු එම වැඩසටහන මෙහෙයවීය. ඒ සඳහා ඩොලර් මිලියන 213ක් අදාළ රූපවාහිනී ජාලය විසින් තමන්ට ගෙවන ලද බව මුල්‍ය ප්‍රකාශන හෙලිදරව්වකින් ට්‍රම්ප් පවසා තිබිණි. මේ අතර 2005 වසරේදී ට්‍රම්ප් ඔහුගේ වතමන් බිරිඳ මෙන්ම යුගොස්ලාවියානු මෝස්තර නිරූපිකාවක වන මෙලනියා ක්නවුස් විවාහ කරගත්තේය. ඔවුන් දෙදෙනාට බැරන් විලියම් ට්‍රම්ප් නමින් පුත්‍රයකු සිටී. බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමෙන් අනතුරුව, ඉලිනොයි හි ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි උත්සවයක් අමතන ජෝ බයිඩන් ජෝ බයිඩන් 2008 වසරේදීද ජනාධිපතිධුරය සඳහා උත්සාහයක් දරන ලද නමුත් ඉන් ඉවත ගියේය. සාර්ථකත්වයක් ලැබීමට තරම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් නොවුවද, එම වසර අගදී ඔහු යළි කරලියට පැමිණියේ ජාත්‍යන්තර වශයෙන් ප්රමුඛත්වයක් හිමි වූ තනතුරක් පැවරුණු හෙයිනි. 2008 අගෝස්තු 23 වෙනිදා බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දෙනු ලැබුවේ ජෝ බයිඩන් ය. එය ජයග්‍රහණය වෙත යන ගමනක් වූ අතර පසුව දෙදෙනා වාර දෙකක් ම සේවය කළේ ඔහුන් අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනගමිනි. එය කෙසේද යත්, බයිඩන් විසින් නිතර ම ඔබාමා අමතනු ලැබුවේ "සහෝදරයා" යනුවෙනි. 2010 ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 දී ජනාධිපති ධුරයේ වැඩ භාරගත් දින බිරිඳ මෙලනියා හා පුතු බැරන් සමග ධවල මන්දිරය වෙත දිවෙන තරගයට තමන් එක්වන බව ට්‍රම්ප් 2015 ජුනි මාසය වන තෙක් නිල වශයෙන් නිවේදනය කර නොතිබිණි. කාන්තාවන් පිළිබඳ ඔහු කරන ලද සල්ලාල ප්‍රකාශ ඇතුළත් 2005 වසරේ කරන ලද පටිගත කිරීමක් මතුවීම මෙන්ම ට්‍රම්ප් ජනාධිපති ධුරයට සුදුසු නැතැයි ඔහුගේ ම පක්ෂ සාමාජිකයකු ප්‍රකාශ කිරීමද ඇතුළු අර්බුදකාරී සිදුවීම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කැළඹීමක් ඇති කළේය. නමුත් ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට නිතර පැවසුවේ, සිය ඩිමොක්රටික් පාක්ෂික ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ට පසුපසින් තමන් හිඳින බව පෙන්වූ මත විමසුම්වලට තර්ජනයක් වන බවකි. දේශපාලනික ව්‍යුහයට එරෙහිව සිය ජනාධිපති ධුරය පහර එල්ල කරනු ඇති අතර වොෂිංටනයේ "ගොහොරුව බැස යවනවා" යනුවෙනි. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් කරගැනීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙල ට්‍රම්ප් හට පෙළඹීමක් ඇති කළේය. ඔහු කියා සිටියේ "10 ගුණයක බ්‍රෙක්සිට්" වැඩපිළිවෙලක් ඔහු අනුගමනය කරන බවකි. 2016 ට්‍රම්ප් මැතිවරණයේදී ජයග්‍රාහකයා වූ එක්සත් ජනපදයේ 45 වෙනි ජනාධිපතිවරයා ලෙස 2017 ජනවාරි 20 වෙනිදා වැඩ භාරගත්තේය. බරක් ඔබාමා හා ජෝ බයිඩන් 2010 දී සිය ධුර කාලය ඉකුත්ව යන්නට ආසන්නයේ හදිසි උත්සවයක් කැඳවූ ජනාධිපති ඔබාමා, රටේ පුරවැසියකුට පිරිනැමුණු ලබන ඉහළම සම්මානය වන නිදහස පිළිබඳ ජනාධිපති සම්මානය බයිඩන් හට පිරිනමනු ලැබීය. "ජෝ බයිඩන් හඳුනාගැනීම යනු රවටිල්ලකින් තොර දයාව හඳුනාගැනීමයි, පෞද්ගලික අභිමතාර්ථයෙන් තොර සේවය වගේම ජීවිතය පරිපූර්ණව ගෙවීමයි" යැයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. එය සාර්ථක හවුල්කාරීත්වයක් වුවද, එම කාලය බයිඩන් හට මානසික පීඩනයක් ගෙන නොදුන්නේ ද නොවේ. එවක 46 හැවිරිදි වූ සිය පුතු බියු 2015 දී මියගියේ මොලයේ පිළිකාවක් හේතුවෙනි. තරුණ බයිඩන් ඇමෙරිකානු දේශපාලනයේ නැග තරුවක් වූ අතර 2016 දී ඩෙලවෙයාර් ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයට තරග කිරීමේ අරමුණකින් සිටියේය. 2020 කොරෝනාවෛරසය ආසදිතවී රෝහල්ගතව සිට යළි පැමිණි ඔක්තෝබර් 5 වෙනිදා ජනාධිපති ට්‍රම්ප් සිය මුව ආවරණය ඉවත් කරමින් ට්‍රම්ප් යළි පත්වීම සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නේ කොරෝනාවෛරස වසංගතය මැදය. මේ වනවිට ඇමෙරිකානුවන් 230,000 කට ජීවිත අහිමි කළ වෛරසය ජනාධිපතිවරයාට ද ආසාදනය විණි. එපමණක් නොව, ජනාධිපති ආර්යා මෙලනියා, පුතු බැරන් මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගණනකට ද එය වැළඳිණි. කරට කර හිඳින ප්‍රාන්තවල සංවිධානය කෙරෙන සිය ප්රචාරක රැළි පවත්වන අතරේදී නොවැම්බර් 3 වෙනිදා මැතිවරණයට පෙර ට්‍රම්ප් ප්‍රාන්තවලින් දැඩිව ඉල්ලා සිටියේ 'ලොක්ඩවුන්' කිරීම් මගහරින ලෙසය. ඔක් 10 වෙනිදා පෙන්සිල්වේනියා හි ඊරි ගුවන් තොටුපොළේදී මාධ්‍ය අමතන ජෝ බයිඩන් කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ධුර අපේක්ෂක ප්‍රතිවාදීන් දෙදෙනාගේ ඇති බෙදීම ගැඹුරට විහිද යැයි. දරුණු වෙමින් පවතින කොරෝනාවෛරස අර්බුදය ජනාධිපතිවරයා හසුරුවන ආකාරය එහි වින්දිතයින්ට කෙරෙන "අපහාසයක්" බව බයිඩන් පවසයි. "මම ජයග්‍රහණය කළත්, මේ වසංගතය අවසන් කරන්න ඇති දුෂ්කර වැඩ රාශියක් තියේවි," ඔහු කියා සිටී. "මම මෙය පොරොන්දු වෙනවා - පළමු දිනයේ සිට ම නිවැරදි දේ අපි කරනවා." මිලියන 90 ට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් කල් තබා සිය ඡන්දය ප්‍රකාශ කර අවසන්. ඉන් බොහෝමය සිය කැමැත්ත පළ කළේ තැපැල් මාර්ගයෙනි. මෙය වසංගත තත්ත්වය විසින් පොළඹවනු ලැබූ, ඡන්දය පළ කිරීමේ වාර්තාගත තත්ත්වයකි. ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන තවත් තොරතුරු; |
හම්බන්තොට වාරයේ විරෝධතාවක යෙදී සිටි සේවකයන් විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණි. | හම්බන්තොට වරාය විරෝධය: උණුසුම් තත්වයක් තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවේ නියැලෙමින් සිටි සේවකයන් විසින් නෞකා දෙකක් අල්ලා ගනු ලැබීම ජාත්‍යන්තර නීතියට අනුව ''නෞකා මංකොල්ල කෑමක්'' ලෙස සැලකිය හැකි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒ අනුව අන්තර්ජාතික නෞකා ගමනාගමන සහ වරාය ආරක්ෂණ නීතිය සුරැකීමට බැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව විරෝධතාකරුවන් විසින් අවහිර කරමින් තිබුණ නෞකා දෙක ඉන් පිටත් කර හැරීමට පමණක් මැදිහත් වූ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය. හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු චීන සමාගමක් හා එක්ව සිදු කිරීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ද උද්ඝෝෂණයේ නිරත සේවකයෝ විරෝධය පළ කරති. එම සේවකයන් වරාය අධිකාරියට බඳවා ගැනීමට නොහැකි නමුත් කිසිදු සේවකයෙකු ඉවත් නොකිරීමට අදාළ චීන සමාගම එකඟ වූ බව වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. |
දරුවන් ඇතුළු හැත්තෑවකට අධික පිරිසකට මරු කැඳවමින් පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි උද්‍යානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බව තාලිබාන් සංවිධානයෙන් බෙදී වෙන් වී ගිය කැරලි කණ්ඩායමක් පවසයි. | දරුවන් සහ දෙමව්පියන්ගෙන් පිරී පැවති උද්‍යානයක් අසල ඉරිදා පුපුරා ගිය බෝම්බයෙන් තුවාල ලත් සංඛ්‍යාව සියයකට අධිකයි පාස්කු මංගල්‍ය සමරන කිතුනු බැතිමතුන් ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කළ බවයි ජමාත් උල් අහ්රාර් සංවිධානය කියා සිටින්නේ. ඉහත කී ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා තවමත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බව පාකිස්තාන පොලිසිය නිවේදනය කළේය. ප්‍රහාරකයන් හසු කර ගැනීම සඳහා උපරිම බලය යොදවන බවට පාකිස්තාන හමුදාව ප්‍රතිඥා දී ඇත. දරුවන් සහ දෙමව්පියන්ගෙන් පිරී පැවති උද්‍යානයක් අසල ඉරිදා පුපුරා ගිය බෝම්බයෙන් තුවාල ලත් සංඛ්‍යාව සියයකට අධිකයි. පාස්කු මංගල්‍ය සමරන කිතුනු බැතිමතුන් ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කළ බවයි ජමාත් උල් අහ්රාර් සංවිධානය කියා සිටින්නේ පාකිස්තාන අගමැති නවාස් ශරීෆ් රෝහල් වෙත ගොස් තුවාල ලත් පිරිස්වල සුව දුක් විමසා ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සැලසුම් පිළිබඳ සාකච්ඡා කරනු වස් අගමැතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණ. ලාහෝරය පිහිටි පන්ජාබ් ප්‍රාන්තයේ තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබේ. |
කොරෝනා වෛරස් වසංගතය හමුවේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ඒ පිළිබඳ වගකීම් සහගතව කටයුතු කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් කොතෙකුත් සෞඛ්‍ය උපදෙස් ලබා දී තිබුණ ද මිනිසුන් වන අප විසින් ඒවා කඩකරනු ලබන අවස්ථා දුලභ නොවේ. මේ එවැනි අවස්ථාවල මිනිසුන්ට සත්ත්ව ලෝකය කියා දෙන අපූරු පාඩමක් පිළිබඳ කෙටි විමසුමකි. | සමීප සමාජීය සබඳතා පවත්වන ලේ උරා බොන (වැම්පයර්) කැලෑ වවුලන් ආහාර බෙදාගෙන කන සත්ත්ව විශේෂයකි රෝගී වූ විටක වවුලන් සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සිය රැහේ සෙසු සාමාජිකයන් සමීපයේ ගත කරන කාලය අඩු කර, සීමිත සගයන් පිරිසක් සමග සබඳතා පවත්වන බව නවතම අධ්‍යයනයකින් පෙනෙන්නට තිබේ. ඉහත කී හැසිරීම පරීක්ෂණාගාර තුළ දී මීට පෙර නිරීක්ෂණය කර තිබුණ ද මධ්‍යම ඇමරිකාවේ බෙලීස් හි 'ලේ උරා බොන' (වැම්පයර්) කැලෑ වවුලන් තුළත් එම හැසිරීම දක්නට ඇති බව විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. එක්සත් ජනපදයේ 'ඔහායෝ ස්ටේට් යුනිවර්සිටි' හි විද්‍යාඥයන් සිය අධ්‍යයන වාර්තාව 'Behavioural Ecology' සඟරාවේ පළ කරනු ලැබ තිබේ. ගස් බෙනයක් තුළ වෙසෙන කැලෑ වවුලන් කණ්ඩායමක් තෝරා ගෙන ඇති විද්‍යාඥ කණ්ඩායම විසින් ඔවුන් එකිනෙකා සමාජ සබඳතා පවත්වන ආකාරය සොයා ගැනීම සඳහා ගස් බෙනය තුළ එකිනෙක සමීපයෙන් කුඩා සංවේදක (Sensors) සවි කරනු ලැබ ඇත. 'කොරෝනා වෛරසය නිසා වවුලන්ට දොස් පවරන්න එපා' අධ්‍යයනයේ කොටසක් වශයෙන් පර්යේෂකයෝ වවුලන් 16 දෙනෙකුට 'Lipopolysaccharide' ද්‍රාවනය එන්නත් කළහ. වවුලන්ගේ ප්‍රතිශක්ති පද්ධති ඔවුන් රෝගී වී ඇතැයි සිතා ඊට තාවකාලික ප්‍රතිචාරයක් දැක්වීම එමගින් සිදු වේ. එහිදී වවුලන්ගේ හැසිරීමේ වෙනසක් සිදු වේදැයි යන්න නිරීක්ෂණය කිරීම පර්යේෂකයන්ගේ අරමුණ විය. ගස් බෙනයේ සිටි මුළු වවුලන් සංඛ්‍යාව 31 කි. සෙසු වවුලන් 15 දෙනාට ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධති වෙත බලපෑමක් නොවන 'සේලයින්' එන්නත් කරනු ලැබිණි. සිය පර්යේෂණය අතරතුර කිසිඳු වවුලෙකුට හානියක් සිදු නොවුණු බවත් පර්යේෂකයෝ සිහිපත් කරති. සමාජ සබඳතා අඩු කිරීම කණ්ඩායමේ නිරෝගී වවුලන්ට වඩා, ප්‍රතිශක්ති පද්ධතිය ආසාදනයක් සමග සටන් කිරීමේ ප්රයෝගයට හසු කරන ලද 'රෝගී' වවුලන් ආශ්‍රය කරන පිරිස සිව් දෙනෙකු තරම් කුඩා සංඛ්‍යාවකට සීමා වන බව විද්‍යාඥයෝ නිරීක්ෂණය කළහ. සෙසු වවුලන් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටි 'රෝගී' වවුලන් අඩුවෙන් එහෙමෙහෙ ගොස් ඇති අතර සෙසු වවුලන්ට වඩා ඔවුන් නිදිබර ගතියක් පෙන්වා ඇත. එන්නත් ලබා දී පැය හයකට පසු, නිදන විට හෝ කෑම සොයා යන අවස්ථාව වන විට ඉහත කී හැසිරීම් රටාව ක්‍රමයෙන් හීන විය. පැය 48 කට පසු එන්නතේ බලපෑම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති අතර 'රෝගී' වවුලන් නැවතත් සමාජ ආශ්‍රයට පැමිණ තිබේ. ලේ උරා බීමෙන් පමණක් දිවි රැක ගන්නා එකම ක්ෂීරපායි සත්ත්ව විශේෂය 'වැම්පයර්' වවුලන්ය වවුලන්ට අසනීප බවක් දැනුණු විට ඔවුන් ඔස්සේ වනය තුළ සැබෑ වෛරසයක් පැතිර යාමට ඇති හැකියාව අඩුය. ඔවුන් අසනීපයක් නොමැති වවුලන් සමග අඩුවෙන් කාලය ගත කිරීම ඊට හේතුවයි. ඉහත කී තත්ත්වය'උදාසීන සමාජ දුරස්ථභාවයක්' ලෙස හඳුන්වන අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතෘ සයිමන් රිපර්ගර්, අප සිතනවාට වඩා මෙම තත්ත්වය සත්ත්ව ලෝකයේ පුළුල් වශයෙන් පැවතිය හැකි බවට විශ්වාසය පළ කරයි. ඇඳට වැටීම "රැය දවාල පුරා , ගස් බෙනයක අඳුරේ සැඟව සිටින විටදී පවා පැයෙන් පැය, ඇතැම් අවස්ථාවල මිනිත්තුවෙන් මිනිත්තුව මේ වවුලන්ගේ සමාජීය හැසිරීම වෙනස්වන ආකාරය ගැන අපූරු ආකරයේ අලුත් විවරයක් මේ සංවේදක (Sensors) අපට ලබා දුන්නා," යනුවෙන් ඔහු සඳහන් කළේය. 'උදාසීන සමාජ දුරස්ථභාවය', මිනිසුන් අතින් ගත් විට තමාට අසනීප බවක් දැනෙන විට සමාජයේ ගැවසෙනවාට වඩා ඇඳට වී සිටීමට අවශ්‍ය වීම හා සමානය. ඉහත කී හැසිරීම සත්ත්ව කණ්ඩායමක පොදු සෞඛ්‍යට ප්රයෝජනවත්ය. මක්නිසාද යත් එමගින් රෝගයක් පැතිර යාමට ඇති හැකියාව අවම කෙරෙන බැවිනි. මේ ගැනත් කියවන්න: |
යුද සමයේ ජීවිතක්ෂයට පත් වූ දෙමළ වැසියන්ගේ නම් 25,000ක් ප්‍රදර්ශනය කොට ගෞරවය දැක්වීමේ වැඩසටහනක් අද දින (නොවැම්බර් 27) යාපනය නල්ලූර් ප්‍රදේශයේදී පැවැත්වුණ බව ප්‍රදේශවාසීහු පවසති. | හිටපු එල්ටීටීඊ නායකයෙකු වු දිලීපන් ජිවිතක්ෂයට පත්වු ස්ථානය ඉදිරිපස මෙම නාම පුවරු ප්‍රදර්ශනය කරමින් එයට මල් පහන් පුදා ගෞරවය දැක්වීමේ උත්සවයක් පවත්වා තිබේ. යාපනය ආරක්ෂක අංශ පැවසුවේ යුද්ධයෙන් මියගිය එල්ටීටීඊ සාමාජිකයින්ගේ නම් ද ඇතුළු දෙමළ වැසියන්ගේ නම් මෙම පුවරුවේ සඳහන් කර ඇති බවය. යුද්ධයෙන් මියගිය තැනැත්තන්ගේ ඥාතීන්ගේ සංසදය සහ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන සිවිල් සංවිධානවල එකමුතුවෙන් මෙම නාම පුවරුව සකසා ඇත. එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති වකවානුවේ ද අදාළ ස්ථානයේ සිට මහවිරු දිනය සමරමින් යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ නම් ප්‍රදර්ශනය කර ගෞරවය දැක්වීමේ වැඩසටහන් පැවැත්වීය. උත්සවය අවසානයේ දී මෙම නාම පුවරු නැවත රැගෙන ගොස් සුරක්ෂිතව තබා වසරක් පාසා පැවැත්වෙන මහවිරු සැමරුම් උත්සවයේ ප්‍රදර්ශනය කිරීම සම්ප්රදායක් බව යාපනය ප්‍රදේශවාසීහු පැවසූහ. මේ තොරතුරුද කියවන්න: |
අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට මූලිකත්වය ලබා දෙමින් සහන මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බව අරණායක නාය යාමට ලක් වූ ප්‍රදේශයේ සංචාරය කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. | 'මූලික වශයෙන් තිබෙන්නේ අනතුරට පත් ජනතාව සෙවීම සහ සෙසු ජනතාවගේ ආහාර පාන සහ සෞඛ්‍ය තත්වය පිළිබඳ කටයුතු කිරීම' ඒ අතරම අවතැන් වූ සෙසු ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් හැකි උපරිමය සිදු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 'මූලික වශයෙන් තිබෙන්නේ අනතුරට පත් ජනතාව සෙවීම සහ සෙසු ජනතාවගේ ආහාර පාන සහ සෞඛ්‍ය තත්වය පිළිබඳ කටයුතු කිරීම' ජනපතිවරයා බීබීසී සංදේශයට කියා සිටියේය. අවතැන් වූ පිරිස්වලට සහන සැලසීම සඳහා අඟහරුවාදා රාත්‍රියේ සිට යුද හමුදාව, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් වෙහෙස මහන්සි වී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. නාය යෑමට හසු වූ පුද්ගලයන්ගේ මළ සිරුරු දහතුනක් මේ වන විට සොයා ගෙන ඇති බව හමුදාව පවසයි. |
ශ්‍රී ලංකාව ‘අධිකාරීවාදී පාලනයක් කරා ගමන් කරමින් පවතින බවට ළකුණු ඇතැ’යි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කරයි. | නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය එම අදහස පළ කළේ ශ්‍රී ලංකාවේ සංචාරය හමාර කිරීමෙන් අනතුරුව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ඒ පිළිබඳව සංදේශය කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ‘සැලසුම් සහගත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවක් පෙනෙන්නට ඇති බව’යි. ශ්‍රී ලංකාව තුළ ‘මේ වන තෙක් ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් සිදුවී නැති’ බවයි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ. එල්ටීටීඊය ‘කුරිරු මිනීමරු සංවිධානයක්’ වශයෙන් හැඳින්වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය එවැනි සංවිධානයක් උත්කර්ෂවත් කිරීමට උත්සාහ දරන ඩයස්පෝරා වලට කිසිදු තැනක් හිමි නොවන බවත් සඳහන් කර ඇත. |
එක්සත් ජනපද හමුදා ඉරාක භූමියෙන් ඉතා ඉක්මනින් ඉවත් වීම ඇමරිකාව අතින් සිදු වූ විශාල වැරැද්දක් බව ඇමරිකානු ආක්‍රමණයෙන් පසු එවකට ඉරාක පරිපාලනය භාරව කටයුතු කළ පොල් බ්‍රෙමර් අවධාරණය කර සිටියි. | ඉරාකයේ ටල් අෆාර් නගරය සුන්නි කැරලිකරුවන් අතට පසු ගිය සති කිහිපය ඇතුළත ඉරාකය තුළ ඇති වී තිබෙන තත්වය දෙස බැලූ විට එම කාරණය තහවුරු වන බවයි පොල් බ්‍රෙමර් වැඩි දුරටත් පැවසුවේ. දෙදහස් තුන වසරේ ජනපති බුෂ් ගේ නායකත්වයෙන් ඇමරිකාව විසින් ඉරාකය යටත් කර ගැනුණ අතර දෙදහස් එකොළහ වසරේ දී ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් වුහ. මේ අතර ඉරාකයේ ටල් අෆාර් නගරය සුන්නි කැරලිකරුවන් අතට පත් වී තිබේ. නගර වැසියෙක් පැවසුවේ අධික ගැටුම් වලින් අනතුරුව, ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණින් සටන් වදින 'අයි එස් අයි එස්' සංවිධානය විසින් මෙහෙය වූ අවි ගත් කණ්ඩායම් නගරය අත්පත් කර ගත් බවයි. කෙසේ වෙතත් ටල් අෆාර් හි පාලනය රඳවා ගැනීමට මේ මොහොත වන විටත් ඉරාක හමුදා සටන් කරමින් සිටින බවයි ඉරාක ආණ්ඩුව පවසන්නේ. ටල් අෆාර් නගරයේ ජීවත් වන සමහරක් ශියා මුස්ලිම්වරු කැරලිකරුවන්ගේ ඉලක්කයට පත් වෙතැයි බියෙන් නගරය අත හැර ගොස් තිබේ. |
තුර්කියේ පටන් බංග්ලාදේශය දක්වාත්,ජෝර්දානයේ පටන් මැලේසියාව දක්වාත් ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් දැවැන්ත මහජන රැළි පැතිරයමින් පවතී. | මිෂි ඛාන් -ලතීෆා ඔෂ්ඩීමෙර්- සහ හිබා මොහොමඩ් මෞසා යන තරුණියන් තිදෙනාම කියාසිටින්නේ ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කළ යුතු බවය. ''ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලදී'' යන දැන්වීම ඇතුළත් කිසිදු භාණ්ඩයක් එවැනි බොහෝ රටවල වෙළෙඳසල්වල රාක්කවලින් අතුරුදහන්ව ගියේය.''BoycottFrenchProducts'' වැනි හෑෂ්ටෑග් සහිත ප්‍රකාශන සමාජමාධ්‍ය ජාලයේ සතියක් ඇතුළත හුවමාරු වෙමින් තිබුණේ ලක්ෂ ගණනිනි. මෙවර කතන්දරය ආරම්භවන්නේ ප්‍රංශ පාසල් ගුරුවරයකු සිය ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් සමඟය. මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කරනු ලැබීම ''අදහස් ප්රකාශනයේ අයිතියක් ලෙස එම ගුරුවරයා විසින් හඳුන්වනු ලැබ ඇති අතර, මෙහි මුලින් කී මුස්ලිම් විරෝධයට මුල්වූ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ගේ ප්‍රකාශය සිදු කෙරුණේ ඉන් අනතුරුවය. ''ගුරුවරයා මරාදමනු ලැබ තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට අපේ අනාගතය පාලනයට අවශ්‍ය නිසා. ඒත් අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ'' ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. නබිනායකතුමාගේ කාටූන් ඇඳීම අනුමත කළ ගුරුවරයා මරාදමනු ලැබ තිබුනේ ගෙල සිඳ ලෑමෙනි. පාසල් ගුරුවරයා ඔහුගේ ප්‍රකාශය කර තිබුණේ 2006 වසරේ දී 'චාර්ලී හෙබ්ඩෝ' (Charlie Hebdo) නම් ප්‍රංශ සඟරාවේ පළකරනු ලැබ තිබුණ කාටූන් විශේෂයක් ගැන අදහස් දක්වමිනි. එදා එවැනි කාටූන් පළවීම සමස්ත මුස්ලිම් ලෝකයේ ම විරෝධයට මුල්විය. ඉස්ලාම් බැතිමතුන්ට අනුව නබිතුමාගේ රුව අලේඛ්‍ය කිරීම වරදකි. පාසල් ගුරුවරයා මරාදමනු ලැබීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපතිවරයා ''තම රට තුළ අගය කෙරෙන නිදහස් අදහස් ප්රකාශනයේ නිදහස අගය කරමින් රටේ බල පැවැත්වෙන අනාගමිකවාදී දර්ශනය යුක්ති සහගත කළේය. මේ අතර දකුණු ප්‍රංශයේ 'නීස්' නගරයේ දේවස්ථානයේ දී තිදෙනෙකු මරාදමන ලද අවස්ථාවේ ප්‍රකාශයක් කළ ජනාධිපති මැක්රෝන් එය විග්රහ කරන ලද්දේ ''ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක්'' ලෙසිනි. එම 'නීස්' ප්‍රහාරයට පෙර බීබීසී සේවය විසින් තිදෙනෙකුගේ අදහස් විමසන ලද අවස්ථාවේ ඔවුන් කියා සිටියේ ''තමන් ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීමට තීන්දුකර '' ඇති බවය. මේ අතර ජනාධිපති මැක්රෝන් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්රවෙමින් ඇති අතර පසුගිය සතියේ බදාදා බංග්ලාදේශයේ දියත්වෙමින් තිබූ ප්‍රංශ භාණ්ඩ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා මහජනයා වීදිබැස සිටියේ දසදහස් ගණන්වලිනි . මිෂි ඛාන් - පාකිස්තාන් සිනමා නිලියක් ''අපට අවශ්‍ය භාණ්ඩ නිපදවා ගැනීම සඳහා ඕනෑ තරම් මිනිස්සු අපට ඉන්නවා'' - පාකිස්තාන් සිනමා නිලි මිෂි ඛාන් ''මම ප්‍රංශ සුවඳ විලවුන් පාවිච්චි කළා. විශේෂයෙන් ම ' L'Oréal' නිෂ්පාදන. ඒවා ඉතාම පහසුවෙන් පාකිස්තානයෙන් මිලට ගන්න තියෙනව. ඒත් දැන් මම මිලට ගන්න හැම භාන්ඩයක් ම නිෂ්පාදනය කරලා තියෙන්නේ කොහෙද? කියල සැලකිලිමත් වෙනවා. මම ලේබල් පරීක්ෂා කරලා බලනවා. මම මිලදී ගන්න භාණ්ඩ ''ප්‍රංශයේ නිෂ්පාදනය කරලා නැති බව'' මට සහතික කරගන්න අවශ්‍යයි'' මම සමාජමාධ්‍ය ජාලය යොදාගෙන ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීමේ මතවාදය ගෙන යමින් ඉන්නේ. මගේ හෘදය සාක්ෂිය පැහැදිලියි. මම නිරතවෙලා ඉන්නේ ඉස්ලාම් ධර්මය රැකගැනීමේ ප්රයත්නයක. ''අපේ ආගමේ සහ නබිතුමාගේ සතුට සඳහා ප්‍රමාණවත් ජනතාවක් අපට ඉන්නවා. ඇති කියන්නේ ඇති! ඉස්ලාම් දහමට අවමන් කරපු අයට අපි සමාව දෙනවා. නමුත් දැන් අපි ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනව'' "මට හිතෙන හැටියට මැක්රෝන් සිතාමතාම අපට රිදවීමට උත්සාහ කරනවා. ඒක හරියට කවුරුන්හරි කොනිත්තල - ඒයි උඹට වේදනාවක් හෙම දැනෙනවද? කියල අහනවා වගෙයි." ''ඔහු ජනතාව කුපිත කරනව -බෙදනවා'' "ඔහු දුෂ්ටයි.ඔහුගේ ප්‍රකාශය මගින් ඉස්ලාම්භීතිකාවක් අවුස්සන්න පුළුවන්.රටක ජනාධිපතිකෙනෙක් කියන කතාවක් ඔහුගේ ජනතාව මත බලපෑමක් ඇතිකරනවා." "'Charlie Hebdo' කාටූන් දැක්ක පළමු දවසේ මට කතාකරගන්න බැරි වුණා. මම ඒවා දෙස බැලීමෙන් වැළකුණා. එම දර්ශනය මට කම්පාවක්. මම ඇඬුවා.මම දෙවියන්ගෙන් ඇහුවා - මට ඒ වගේ දර්ශනයක් දකින්න සැලැස්සුවේ කුමක් නිසාද? කියල'' ලතීෆා ඔෂ්ඩීමෙර්- ශිෂ්‍යාවක් (ඉස්තාන්බුල් -තුර්කිය) ලතීෆා ඔෂ්ඩීමෙර්- තුර්කි ශිෂ්‍යාවක්. ප්‍රංශයේ ඇතැයි කියන ''ඉස්ලාම්භීතිකාවට'' විරෝධය පළකිරීමක් වශයේ ලතීෆා ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීමට තීන්දුකර ඇත "Lancôme, Garnier සහ BIC මම දිනපතාම පාවිච්චියට ගන්නා විලවුන් වර්ගයි. ඒත් ප්‍රංශයේ සිදුවීම්වලින් පස්සේ මම ඒවා තවත් මිලදී ගන්නේ නැහැ. "මම ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරනවා.මොකද? අපි ඒවා පිළිනොගන්නා බවට ලෝකයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. ප්‍රංශයේ පවතින ''ඉස්ලාම්භීතිකාවට'' එරෙහිව හඬක් නගන්න මට අවශ්‍ය කරනවා'' අපි අපේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හඬක් නැගීම වැදගත්. මොකද ?අපි ගොඩාක් කාලයක් නිහඬවයි සිටියේ. දැනට අපට කරන්න පුළුවන් වෙන්නේ ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීම විතරයි." Charlie Hebdo සඟරාවේ මුල්පිටුවේ පළකරනු ලැබ තිබූ තවත් ප්රකෝපකාරී කාටූනයකට තුර්කි ජනාධිපති රිසෙප් ටයියිප් එර්ඩොගන් (Recep Tayyip Erdogan) ඉලක්ක කරගෙන තිබුණි. යටිකයෙහි කලිසමක් ද නැතිව, ටී ෂර්ටයක් පමණක් හැඳ බීර කෑනයක් පානය කරමින් සිටින අතරවාරයේ ජනාධිපති එර්ඩොගන් හිජාබයකින් සැරසී සිටි මුස්ලිම් කාන්තාවකගේ සාය (skirt ) ඔසවන ආකාරය එම කාටූනයට ඇතුළත් විය. මුස්ලිම් කාන්තාවක් ඇතුළත් කරගනිමින් කර තිබූ එම නිර්මාණය හිජාබය භාවිත කරන ඕනෑම කෙනෙකුට බලවත් වේදනාවක් ඇතිකරනු ඇත. "මම වගේ මුස්ලිම් කාන්තාවන් ඉස්ලාම් ධර්මයේ ශුභවාදී පැත්ත නියෝජනය කිරීමට හැමදාමත් සටන් කරනවා. නමුත් මේ කාටූන් මගින් පෙන්නුම් කෙරෙන්නේ මුස්ලිම් නොවන අපේ ගැහැණුන් යුරෝපය සමාන මට්ටමින් සලකන්නේ නැති බවයි. ඒක හරිම වේදනාවක්." "මේවගේ කාටූන් ඇඳීමෙන් හැමදාමත් සිද්ධවෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්. මට පුදුම මේකද - අපට අවශ්‍ය කරන්නේ කියන එකයි. නිදහස් අදහස් ප්රකාශනයේ අයිතියේ නාමයෙන් එකිනෙකාට වෛර කරගන්නවා.එක අනුන්ට හිංසාකරන වචනයක් බවට පත්වෙලා'' හිබා මොහොමඩ් මෞසා -ශිෂ්‍යාවක් (මොරිටානියා) "ප්‍රංශයේ සිදුවූ දේවල්වලට විරුද්ධව ගෙනගිය විරෝධතා ව්‍යාපාරවලට මමත් මගේ පවුලේ සාමාජිකයන් සමඟ හවුල් වුණා. "ප්‍රංශයේ ආර්ථකය අඩාල කිරීමේ උපායක් වශයෙන් අපි ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගැනීම වර්ජනය කරනවා. වෛරී ප්රකාශනයක් කරමින් සිදුකළ වරද සම්බන්ධයෙන් ජනාධිපති මැක්රෝන් කෝටි දෙසීයක් පමණ වූ මුස්ලිම් ජනයාගෙන් සමාව ඉල්ලන්න ඕන." "ප්‍රංශයේ නිෂ්පාදනයක් වන 'The Laughing Cow' වෙළෙඳ නාමය සහිත කේජු වෙනුවට අපි තුර්කි නිෂ්පාදන පරිභෝජනය කරනවා. මට තියෙනව ප්‍රංශයේ නිපදවන 'Lacoste' විලවුන් බෝතලයක්. ඒක ඉවරවුනාම මම ආයෙත් ප්‍රංශ නිෂ්පාදනයක් මිලට ගන්නේ නැහැ." "ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලන්න කියල මම ජනාධිපති මැක්රෝන්ට ලිපියක් යැව්වා. මම ඒ ලිපියෙන් අහල තියෙනව , එයාගේ රටේ ගුරුවරයා ගරු කළයුතු කෙනෙක් නම්, අනාගත වක්තෘවරුන් කවුරුන්ද? කියල. ඔවුනුත් ගුරුවරුන් නේද?" "අපි වැඩියෙන්ම කෝපයට පත්වීමට හේතුවුණේ මැක්රෝන්ගේ 'ඉස්ලාම්භීතිකා' කතාවේදී ඔහු ඉස්ලාම් ධර්මය ම්ලේච්ඡත්වය සමඟ සම්බන්ධ කිරීම. ඒක අසාධාරණයි. එය අපට දරාගන්න බැරි, ඒ නිසාම කුපිතකාරී තත්ත්වයක් ඇතිකරන කතාවක්. "ප්‍රංශය වගේ රටක ජනාධිපතිවරයෙක් ඒවගේ කතාවක් කිරීමෙන් ඔහු විශේෂ ජනකොටසකට නින්දා කරනවය කියන පිළිබිඹුවක් ඇතිවෙනවා.එය අනිසි ප්රචාරක කාර්යයක්.ඒවගේම එය අදහස් ප්රකාශනයේ නිදහස ආවරණය කිරීමකුත් නොවෙයි. ඒ වෙනුවට සිද්ධවෙන්නේ විශේෂ ජනකොටක් ඉලක්ක කරගෙන පහරදීමක්. එය දේශපාලන තරඟයේ වාසි ලබා ගැනීමට ගත්ත බාලවර්ගයේ ඉලක්කයක්." "'Charlie Hebdo' සඟරාවේ නබිතුමාගේ කාටූන් පලමුවරට පළවෙනකොට මම පොඩි කෙල්ලක්.ඒත් එම සඟරාව පළකරන කන්තෝරුවට පහර එල්ල කරනව මට මතකයි. ඒ වෙලාවේ කවුරුත් සමාජ මාධ්‍ය ජාලයේ තමන්ගේ මුහුණත පින්තූරය (profile picture) 'Je suis Charlie' විධියට වෙනස් කෙරුව." ඊට පස්සේ මම කාටූන් බැලීම සදහටම නතර කෙරුව. නමුත් මම 'ට්විටර්' ජාලයේ ඉන්නකොට ඒ කාටූන් ආයෙත් මගේ ඇහැ ගැටුණා.මට දැනුණේ මට අවමන් කළා වගේ හැඟීමක්. යුදෙව් ආගමට සහ කිතුනු දහමට වගේ ඉස්ලාම් දහමට ගරුකරන්න බැරි කුමක් නිසාද? (සොඩබා හෛඩේ සකස් කළ වාර්තාවක් ඇසුරිණි) කියවන්න ; |
චීන ජනාධිපති ෂී ජින්පින්ග් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි. | චීන ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පිළිගන්නා ලදී. ද්විපාර්ෂික සාකච්ඡා චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද අඟහරුවාදා සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද්විපාර්ෂික සාකච්ඡා පවත්වනු ඇත. මෙහිදී චීනයත් ශ්‍රී ලංකාවත් අතර ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන අවබෝධතා ගිවිසුම් 20 කට වැඩි ගණනකට අත්සන් තැබේ. ලක්විජය තාප විදුලි බලාගාරය චීන ජනාධිපතිවරයා විසින් නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ අවසන් අදියරේ මෙහෙයුම් ආරම්භ කිරීමටද නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් හෙට බදාදා කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තයේ සංචාරය කරන අතර එහිදී නායයකන් දෙදෙනා විසින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යෘතියේ ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කරනු ඇත. |
ශ්‍රී ලංකා ජන මාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනිය ගේ නිවසට කඩා වැදුනේ කොල්ලකරුවන් යයි ශ්‍රී ලංකාවේ පොලිසිය කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධාන මෙන් ම ශ්‍රී ලංකාවේ විපක්ෂය ද අවිශ්වාසය පල කොට තිබේ. | ‘දූෂිත ගනුදෙනුවේ ලිපි ගොනුව අරගන්න ආවද කියල තමයි අපි අහන්නේ. අපේ චෝදනාව ඒකයි.’ -රනිල් ප්‍රකාශයක් නිකුත් කරන RSF හෙවත් දේශ සීමා නොමැති මාධ්‍ය වේදියෝ සහ JDS හෙවත් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ පවසා ඇත්තේ පරීක්ෂණ හමාර කිරීමට පළමු පොලිසිය අපරාධය සම්බන්ධයෙන් මත පළ කිරීම රටේ මාධ්‍ය නිදහස මුහුණ පා සිටින අවදානම් සහගත තත්වය කියා පාන බවයි. මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන පරිදි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම ගේ නිවසට අවි රැගෙන සෙනසුරාදා පාන්දර පිරිසක් කඩා වැදුණේ දූෂිත ගනුදෙනුවකට අදාළ ලිපි ගොනු පැහැර ගෙන යාමටයි. විපක්ෂ නායකයා මෑතදී ගොඩ නැගුණු සමගි බලවේගයේ විරෝධතාවකට එක්වෙමින් වැලිවේරියේ දී කියා සිටියේ විදේශීය ඉදිකිරීම් සමාගමකට කොළඹ පිහිටි අගනා ඉඩමක් විකිණීමේදී සිදුවී ඇති දුෂිත ලෙස හැඳින්වුණු ගනුදෙනුවක ට අදාළ ලිපි ගොනුව මන්දනා ඉස්මයිල් මාධ්‍යවේදිනිය සතුව තිබූ බවයි. ‘ඒක අරගන්න ආවද කියල තමයි අපි අහන්නේ. අපේ චෝදනාව ඒකයි.’ රනිල් වික්‍රමසිංහ තවදුරටත් පැවසීය. |
පදවිය ප්‍රදේශයේ දී යුද හමුදා වෙඩි තැබීමෙන් මිය ගිය සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි, සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන එල්ටීටීඊ සැකකරුවන් තිදෙනා ගේ මළසිරුරු අද අනුරාධපුරයේ දී රජයේ වියදමින් සිදු කෙරිණ . | ඔවුන්ගේ ඥාතීන් මළ සිරුරු හඳුනා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කළේ. අවසන් කටයුතු සිදුකිරීම පිණිස ඥාතීන්ට පහසුකම් සැලසූ බවත් ඔහු පැවසුවේය. පශ්චාත් මරණ පරීක්ෂණ කැබිතිගොල්ලෑව මහේස්ත්රාත්වරයාගේ නියෝග මත අනුරාධපුර මහා රෝහලේ දී විශේෂඥ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කළ බවයි ඔහු සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වීම සඳහා ත්‍රිකුණාමලයේ සිට පැමිණි මිය ගිය ගෝපිගේ මාමා වන එස්. බාලගුරුධරන් කියා සිටියේ තම බෑනා ගේ මළ සිරුර ලබා දෙන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටියත් ත්‍රස්තවාදී ක්‍රියාවක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති නිසා මළ සිරුර තමා වෙත බාර දීමට නොහැකි බව පොලීසිය පැවසූ බවයි. ගෝපිගේ මරණයෙන් පසු තම පවුල අනාථ භාවයට පත්වූවා පමණක් නොව සමාජයෙන් එල්ල වන නින්දා හා අපහාස මෙන්ම ආරක්ෂක අංශ වල බලපෑම ද මේ වන විට වැඩි වී ඇති බවයි එස්. බාලගුරුධරන් තවදුරටත් කියා සිටියේ. |
බීබීසී සිංහල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද පුවත් අතරින් වඩාත් ජනප්‍රිය පුවත පිළිබඳ කරන ලද පසුවිපරම ක් ප්‍රකාර, 2018 වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා එසේ පළ කරන ලද පුවත් අතරින් ජනප්‍රියතම පුවත බවට පත්ව ඇත්තේ 'ලන්ච් ෂීට්' වෙනුවට යොදා ගත හැකි පරිසර හිතකාමී 'ලන්ච් බෑගයක්' නිර්මාණය කළ දාහත් හැවිරිදි පාසල් සිසුවිය පිළිබඳ වීඩියෝ දර්ශන ඇතුළත් පුවතය . | "පොලිතින් පරිසරයට විශාල ගැටලුවක් වෙලා. විශේෂයෙන් ලන්ච් ෂීට්. ඒ සඳහා විසඳුමක් වශයෙන් මම යළි ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී බෑගයක් නිර්මාණය කළා," ජුනි 06 වෙනිදා බීබීසී සිංහල සේවය, රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ දැනට උසස් පෙළ හදාරන සිසුවියක වන තරුෂි විදුෂිකා රාජපක්ෂ නිර්මාණය කළ පරිසර හිතකාමී 'ලන්ච් බෑගය' ඇතුළු නව නිර්මාණ දාහතක් පිළිබඳ පුවත පළ කළේ ජුනි 06 වෙනිදාය. "පොලිතින් පරිසරයට විශාල ගැටලුවක් වෙලා. විශේෂයෙන් ලන්ච් ෂීට්. ඒ සඳහා විසඳුමක් වශයෙන් මම යළි ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී බෑගයක් නිර්මාණය කළා. එය නිර්මාණය කර තිබෙන රෙදි වර්ගය හිරු එළියෙන් ස්වභාවිකවම විනාශ වෙනවා. ඒකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ," යනුවෙන් තරුෂි එවක බීබීසී වෙත පැවසීය. වීඩියෝ දර්ශන ඇතුළත් එකී පුවත 50,000 අධික වාර ගණනක් ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු (Share) වී ඇති අතර නරඹා ඇති පිරිස මිලියනයකට අධිකය. ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය කෙරනු තරුෂි පිළිබඳ පුවත බීබීසී නිව්ස් වෙබ් අඩවිය ඇතුළු බීබීසී ලෝක සේවයට අයත් වෙබ් අඩවි ගණනාවක පළ විය. අදාළ පුවත බීබීසීයේ පළ වීමත් සමග ශ්‍රී ලංකාවේ සමාජ ජාල ඇතුළු වෙබ් මාධ්‍ය තුළ තරුෂි පිළිබඳ විශාල වශයෙන් වාර්තා පළ විය. තරුෂිගේ අධ්‍යාපනය සහ නිර්මාණ කටයුතු සඳහා උපදෙස් සහ මුල්‍යාධාර ලබා දීමට කැමැත්තෙන් පසු වූ රජයේ ආයතන, මූල්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන, පරිසර සංවිධාන සහ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් ඇය පිළිබඳ විමසමින් බීබීසී වෙත පණිවුඩ එවා තිබිණි. තරුෂි සහ ඇයගේ දෙමව්පියන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් බීබීසී සිංහල වෙත දුරකතන ඇමතුම් ලබා දුන් පිරිස අතර දේශපාලනඥයෝ ද වූහ. කෙසේ නමුත් තරුෂි අවුරුදු 18 ඉක්මවා නොමැති බැවින් සහ එක්සත් රාජධානියේ පවතින දත්ත ආරක්ෂා කිරීමේ පනතට (Data Protection Act) බීබීසීය යටත් වන බැවින් දුරකතන අංක ඇතුළු ඇයගේ පෞද්ගලික තොරතුරු තුන්වන පාර්ශවයක් වෙත ලබා දීමේදී දෙමව්පියන්ගේ අවසරය ලබා ගැනීමට සිදුවේ. නව නිර්මාණ ක්ෂේත්රයේ තරුෂි දක්වන දක්ෂතා දෙස රටේ අවධානය යොමු වීමත් සමග ඇයගේ අද තත්ත්වය කෙබඳුද? අද තත්ත්වය තරුෂිගේ නිවස වටා ඇති යන්ත්‍ර කොටස් සහ විද්‍යුත් උපාංග (2018 ජුනි) තරුෂි සහ ඇයගේ දෙමව්පියන් පවසන ආකාරයට තම නිවසට පැමිණි බොහෝ දෙනෙකු සිය නිෂ්පාදන සහ නිවස පිළිබඳ ඡායාරූප ගෙන ගොස් ඇති නමුත් ඉන් ඉදිරියට සැලකිය යුතු පියවරක් ගෙන නොමැත. "ඒ දවස්වලට හොයා ගෙන ඇවිත් සම්මුඛ සාකච්ඡා ගන්නවා. නිවුස්වල යනවා. ඒක මට අවස්ථාවක් නමුත් කාලෙකට පස්සේ අපි කරන දේවල් අමතක වෙනවා. ඒවට මොනා වෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ," තරුෂි රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය. "මට ආර්ථික වාසියක් නැතත් රටට, පරිසරයට හොඳක් වෙන ලන්ච් බෑග් එක ජනතාව අතරට ගෙනියන්න නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවනම් හොඳයි." එසේම සමාජ ජාල ඔස්සේ තමන් ධෛර්යට පත් කළ ශ්‍රී ලාංකිකයන්ට ද ඇය සිය ස්තූතිය පළ කළාය. මේ අතර පසුගිය අගෝස්තු 06 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති 'ජාතික තිරසර කතිකාවට' සහභාගී වූ සිය දියණිය වසර 2030 දී සිය ඉදිරි බලාපොරොත්තු මැයෙන් මිනිත්තු හතක කතාවක් කළ බව තරුෂිගේ මව පැවසීය. ඒ සඳහා පුහුණුවීමට කොළඹ බලා යාම සඳහා අවස්ථා තුනකදී රත්නපුරට මෝටර් රථයක් එවූ බව කී ඇය උත්සවයෙන් අනතුරුව සිය දියණියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට අවස්ථාව ලැබුණු බව සඳහන් කළාය. ඉන් අනතුරුව මසක් ඇතුළත ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු සිය නිවස වෙත පැමිණ ඡායාරූප ගෙන ගිය නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොලැබුණු බවත් ඇය සඳහන් කළාය. පොරොන්දු ඉටු වෙලාද? තරුෂි පවසන පරිදි සිය 'ලන්ච් බෑගය' මිලදී ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ තමන් ඉගනුම ලබන රත්නපුර සුමන බාලිකා විදුහලමය. එහි සිසුවියන් 2,800 ක් පමණ ඉගෙනුම ලබන බව කී තරුෂිගේ මව 'ලන්ච් බෑග්' 300 ක් නිෂ්පාදනය කිරීම සඳහා පාසල් විදුහල්පතිනිය පාසල් සමිතිය මාර්ගයෙන් අත්තිකාරමක් ලබා දී ඇති බව සඳහන් කළාය. ඊට අමතරව නිෂ්පාදනය කළ 'ලන්ච් බෑග්' අලෙවි කර දීම සඳහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන සමාගමක් ඉදිරිපත් වී ඇත. නව නිර්මාණ කිරීමේදී තමා මුහුණ දෙන අභියෝග පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වීමෙන් අනතුරුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සිය දියණියගේ ඉගෙනීමේ කටයුතු සඳහා මාසික ශිෂ්‍යාධාරයක් ලබා දීමට කටයුතු කළ බවත් තරුෂි පැවසීය. ඒ සමග එවක නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස තමන්ට අවස්ථා කීපයකදී දුරකතනයෙන් කතා කළ බවත් සිය නිවස අලුත්වැඩියා කර දෙන බවට ඔහු පොරොන්දු වූ බවත් තරුෂිගේ මව කියා සිටියාය. නිවස අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ඇස්තමේන්තු භාර දී ඇති නමුත් මාස දෙකක පමණ කාලයක් පැවති දේශපාලන අර්බුදයෙන් පසු ඒ සම්බන්ධයෙන් කිසිවක් දැනගැනීමට නොහැකි වූ බවත් ඇය සඳහන් කළාය. "දහඅට වෙනි නිපැයුම" නව නිපයුමකට වෙළඳපොළට එන්න අපහසුයි බලධාරීන්ගේ නිසි සහයක් නොමැති මුත් තරුෂි සිය දහඅට වෙනි නව නිර්මාණය ද ආරම්භ කර තිබේ. එය වැඩිදියුණු කළ තේ දළු බෑගයකි. "දළු කඩන අය දැන් පාවිච්චි කරන්නේ පොහොර බෑග් වගේ දෙයක්. මම ඒකට අලුතින් උපාංග එකතු කරලා නවීකරණය කරනවා. ඒකෙන් දළු කඩන පුද්ගලයට පහසුවක් වගේම දළුවල ගුණාත්මකභාවයත් ආරක්ෂා වෙනවා," තරුෂි කියා සිටියාය. කලා අංශයෙන් ඉගනුම ලබන තරුෂි රාජපක්ෂ ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. |
ලොව බොහෝ දෙනාට තමන්ගේ ස්මාර්ට් දුරකතනය යනු ලොවට විවර වූ කවුළුවකි. එහෙත් එය ම ඔබගේ පෞද්ගලික ජීවිතයට එබී බැලිය හැකි කවුළුවක් වේ නම් තත්ත්වය කුමක් වේ ද? | නොහඳුනන කෙනෙකුගෙන් ලද කෙටි පණිවිඩයක් ද? එහි ඇති සම්බන්ධක (link) කෙසේවත් ක්ලික් කරන්න එපා (පෝල් කෙන්යන් හා ජෝ කෙන්ට් - ෆයිල් ඔන් 4) ඔබේ සාක්කුව තුළට ඔත්තු බලන්නෙකු රිංගා ඇතැයි ඔබ කෙදිනකවත් සිතා බැලුවා ද? ඔබේ ස්මාර්ට් දුරකතනයේ සෑම දෙයකට ම (කේතගත රහසිගත පණිවිඩ ද ඇතුළුව) ප්‍රවේශ වීමටත්, එහි මයික්‍රෝෆෝනය හා කැමරාව ක්‍රියා කරවීමටත් හැකි ඔත්තු බැලීමේ මෘදුකාංගයක් (spyware) ඈත සිට කිසියම් හැකරෙකු විසින් ස්ථාපනය කරනු ලැබුවහොත් ඇති වන තත්ත්වය සිතන්න. කෙසේ වුවත්, මෙය ඉන් කියවෙන තරම් දුරක සිදුවිය හැකි දෙයක් නොවේ. ලොව පුරා ජනමාධ්‍යවේදීන්, ක්රියාකාරිකයන් හා නීතිඥයන්ගේ ක්‍රියාකාරීත්වය හඹා යාම සඳහා මෘදුකාංග උපයෝගී කර ගන්නා බවට නීර්ණය කළ හැකි සාක්ෂි විමසා බැලීමට අපට හැකි විය. නමුත් මෙය කවුරු, කුමක් සඳහා කරන්නේ ද? අපේ සාක්කුවල තිබිය හැකි ඔත්තු බැලීමේ මෘදුකාංග (spyware) සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක් ද? අවියක් ලෙස හැඳින්වුණු අතිප්රබල මෘදුකාංගය දුරකතන කැමරාව ඇසක් වැනි ය - එය, ඊට ඉදිරියෙන් ඇති සෑම දෙයක් ම දකී මයික් මරේ, ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝහි පිහිටි ලුක්අවුට් නම් වූ සමාගමේ සයිබර් ආරක්ෂක විශේෂඥයෙකි. ආණ්ඩු, ව්‍යාපාර හා පාරිභෝගිකයින් හට සිය දුරකතන හා ඒවායේ දත්ත ආරක්ෂා සහිතව තබා ගැනීම සම්බන්ධයෙන් එම සමාගම සහය දක්වයි. මෙතෙක් නිපදවා ඇති අතිනවීනතම ඔත්තු බැලීමේ මෘදුකාංගය ක්‍රියා කරන්නේ කෙසේ දැයි මරේ පහදයි: අවියක් ලෙස නම් කර ඇති එම අතිබලවත් මෘදුකාංගය අලෙවි කළ යුත්තේ ද දැඩි කොන්දේසි යටතේය. "මෘදුකාංගය මෙහෙයවන්නාට ඔබේ ජීපීඑස් පහසුකම භාවිත කර ඔබ පසුපස හඹා යා හැකියි" මයික් පවසයි. "ඔවුන්ට ඔබේ දුරකතනයේ මයික්‍රෆෝනය සහ කැමරාව ඕනෑ ම අවස්ථාවක ක්‍රියා කරවිය හැකි අතර ම ඔබ වටා සිදුවන සෑම දේ ම පටිගත කළ හැකියි. ඔබේ දුරකතනයේ සියලු සමාජ මාධ්‍ය යෙදවුමකට ම (app) පිවිසීමේ පහසුව සොරාගත හැකියි. ඔබේ පින්තූර, දුරකතන අංක, දින දර්ශන තොරතුරු, ඊමේල් මේ ආදී සෑම ලේඛනයක් ම සොරා ගැනීමට ඊට හැකියි," ඔහු පැවසීය. "කොටින් ම කීවොත්, ඔබේ දුරකතනය සවන් දීමේ උපකරණයක් බවට පරිවර්තනය කරන එය එහි ඇති සෑම දේ ම සොරා ගන්නවා." ඔත්තු බැලීමේ මෘදුකාංග කාලයක සිට පැවතිය ද මේ නව මෙවලම සමග අප පිවිසෙන්නේ සම්පුර්ණයෙන් ම අලුත් ලොවකටය. මේ මෘදුකාංගය සාමාන්‍යයෙන් කේතගත වූ දත්ත හුවමාරුවේදී ඊට බාධා නොකරයි, නමුත් එය දුරකතනයේ රඳා පවතින්නේ එහි සියලු ක්‍රියාකාරීත්වය සියතට ගනිමිනි. තාක්ෂණිකමය වශයෙන් ඉතා දියුණු වූ එය හඳුනා ගැනීමට නොහැකි තරම්ය. මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අල්ලා ගැනීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු "එල් චාපෝ" හඹා ගොස් අත්අඩංගුවට ගැනීමෙන් ඔහු වළකා ගැනීමට, පණිවිඩ කේතගත කිරීම කෙතරම් කළ ද එය ප්‍රමාණවත් නොවිණි මෙක්සිකානුවකු වන එල් චාපෝ, ඩොලර් බිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අධිරාජ්‍යයක හිමිකරුවෙකි. සිරෙන් පළා යාමෙන් අනතුරුව මාස හයක් පුරා සැඟව සිටියේ විසල් ලෙස පැතිර ගිය ඔහුගේ ජාලයේ සහය හා ආරක්ෂාව ඇතිවය. ඔහු සන්නිවේදනයට භාවිත කළේ, කේතගත දුරකතන පමණි. ඒවා ආක්‍රමණය කිරීම අසීරු බව විශ්වාස කෙරිණි. නමුත් මෙක්සිකානු බලධාරීන් විසින් මෙම අතිදියුණු චරපුරුෂ මෘදුකාංගය මිලදී ගන්නා ලදුව එය එල් චාපෝගේ අතිශය සමීප පිරිසගේ දුරකතනවලට ඇතුළු කිරීම හරහා ඔහු සැඟවී සිටින තැන් කරා යොමු කරවීම සිදුවිය. එල් චාපෝ අල්ලා ගැනීම හරහා පෙන්නුම් කෙරෙන්නේ මෙවැනි ආකාරයේ මෘදුකාංගයක් ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටනේදී මිල කළ නොහැකි අවියක් බවකි. නමුත් මෙම අවිය මිල දී ගන්නන් එය තමන් තෝරා ගන්නා ඕනෑ ම අයෙකු වෙත එල්ල කිරීමෙන් ඔවුන්ව වැළක්විය හැක්කේ කුමකට ද? ආණ්ඩුවක් අපහසුවට පත් කරන ඕනෑ ම අයෙකු මෙසේ 'හැක්' කිරීමේ අනතුරට ලක්වේ ද? ඉලක්කයක් බවට පත් වූ බ්‍රිතාන්‍ය බ්ලොග්කරු ඊමේල් පණිවිඩයක පසුපස කවරෙකු හෝ සිටී දැයි ඔබ දනී ද? රෝරි ඩොනගී යනු මැද පෙරදිග පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමක් හා වෙබ් අඩවියක් ස්ථාපනය කළ බ්ලොග්කරුවෙකි. සංක්‍රමණික සේවකයින්ගේ සිට සංචාරකයන් දක්වා වූ පිරිස් වෙත නීතියට පටහැනි අයුරින් සලකන බව පෙන්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මානව හිමිකම් අපයෝජනයේ යෙදෙන බව ඔහු වාර්තා කළේය. ඔහුගේ ලියවිලි කියවූයේ සිය ගණනක පිරිසකි. එසේ ම ඔහු භාවිත කළ සිරස්තල දෛනික ප්රවෘත්තිවල දක්නට ලැබෙන අවුළුවනසුලු ඒවාට වඩා වැඩි වෙනසක් නොවිණි. මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) නම් වූ පුවත් වෙබ් අඩවියේ සේවයට එක්වීමත් සමග අමුතු දෙයක් සිදුවන්නට විය. නොහඳුනන පුද්ගලයින් වෙතින් සම්බන්ධක (links) ඇතුළත් වූ අමුතු ආකාරයේ ඊමේල් පණිවිඩ ලැබෙන්නට විය. එවැනි එක් සැකකටයුතු ඊමේල් පණිවිඩයක් රෝරි විසින් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පිහිටි සිටිසන් ලැබ් (Citizen Lab) නම් වූ පර්යේෂණ කණ්ඩායමට යොමු කරනු ලැබිණි. ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව ඩිජිටල් චරපුරුෂ මෙහෙය අවභාවිත කිරීම පිළිබඳව එම කණ්ඩායම විමර්ශනය කරයි. එහිදී ඔවුන් තහවුරු කර ගත්තේ අදාළ ඊමේල් පණිවිඩයේ අඩංගු සම්බන්ධක බාගත කර ගැනීම සඳහා ලබන්නා පොළඹවනු ලබන අතර ඔහු සතුව කවර ආකාරයේ ප්‍රතිවෛරස ආරක්ෂණ වේ දැයි යන්න පණිවිඩය එවන්නාට දන්වන අතර එම මෘදුකාංගය හඳුනා ගැනීමට නොහැකිය. එය අතිනවීනත්වය පිළිබඳ සැබෑ සලකුණකි. රෝරි පසුපස එසේ හඹාවිත් තිබෙන්නේ, අන්තවාදීන් හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ආණ්ඩුව විශ්වාස කරන නිරීක්ෂණ කණ්ඩායම් පසු පස හඹා යාම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් සේවය සලසන අබුඩාබිහි පිහිටි සයිබර් චරපුරුෂ සමාගමක් බව පෙනෙන්නට විය. කෙටි කලක් බ්ලොග්කරුවෙකු වූ මේ බ්‍රිතාන්‍ය ජාතිකයාට "ගිරෝ" යන සංකේත නාමයක් පවා ආරෝපණය කළ ඔවුන් ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන් ම ඔහුගේ සෑම චර්යාවක් ම නිරීක්ෂණය කරමින් තිබිණි. ඉලක්කයක් වූ සිවිල් හිමිකම් ක්‍රියාකාරිකයෙක් සම්මානලාභී සිවිල් ක්‍රියාකරුවෙකු වන අහ්මඩ් මන්සූර් වසර ගණනක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔත්තු බැලීමට ඉලක්ක වූ අයෙකි. 2016 වසරේදී ලද සැකකටයුතු ලේඛනයක් ඔහු ද සිටිසන් ලැබ් වෙත යොමු කළේය. කිසිදු දත්තයක් අඩංගු නොවූ iPhone දුරකතනයක් භාවිත කරමින් පණිවිඩයේ වූ සම්බන්ධකයට යොමු වූ පර්යේෂණ කණ්ඩායම දුටුවේ විමතිය දනවන්නකි. ස්මාට් දුරකතනය දූරස්ථව හිඳ ආක්‍රමණය කෙරෙන ආකාරය හා ඉන් දත්ත ඉවතට ගන්නා අයුරු ඔවුහු දුටුවහ. iPhone දුරකතනය යනු වෙළෙඳපොළේ ඇති වඩාත් ම ආරක්ෂාකාරී දුරකතනයක් ලෙස සැලකුණ ද මේ මෘදුකාංගය ද කිසිවෙකු විසින් මෙතෙක් දැක ඇති වඩාත් දියුණුතම මෘදුකාංගයකි. එය ඇපල් පද්ධතියේ වූ දුර්වලතාවක් සොයා ගනු ලැබ තිබිණි. මේ අනුව ලොව පුරා ඇති සිය දුරකතන සැමෙකකට ම යාවත්කාලීන මෘදුකාංග යොමු කිරීමට ඇපල් සමාගමට සිදුවිය. මන්සූර්ගේ දුරකතනයෙක් එක්රැස් කර ගත් තොරතුරු මොනවා දැයි අපැහැදිලි වුවත් පසුව අත්අඩංගුවට ගන්නා ලද ඔහු වසර දහයකට සිරගත කෙරිණි. මේ වන විට ඔහු හුදෙකලා ස්ථානයක රඳවා තබා ඇත. මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ලන්ඩනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය සඳහන් කළේ, සිය ආරක්ෂක ආයතන ජාත්‍යන්තර ප්‍රමිති මෙන් ම සිය රටේ නීතියට අනුකූලව ක්‍රියා කරන බවය. එහෙත් ලොව අනෙකුත් රටවල් මෙන් බුද්ධි තොරතුරු පිළිබඳ කරුණු සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළේය. ඉලක්කවූ ජනමාධ්‍යවේදියෙක් 2018 ඔක්තෝබර් මාසයේදී තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලය වෙත ගිය මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉන් යළි පැමිණියේ නැත. සෞදි පාලනයේ නියෝජිතයන් විසින් ඔහුව මරා දමනු ලැබීය. මාධ්‍යවේදියාගේ මිතුරෙකු වන ඔමාර් අබ්දුල්අසිස් කියා සිටියේ තමන්ගේ දුරකතනය සෞදි රජය විසින් හැක් කරන ලද බවය. එම හැක් කිරීම පසුව සිය මිතුරා මරා දැමීමේදී විශාල කාර්යයක් ඉටු කර ඇති බව ඔමාර් විශ්වාස කරයි. නිතර සම්බන්ධතාව පවත්වා ගත් ඔවුන් දෙදෙනා දේශපාලනය මෙන් ම එක්ව යෙදුණු ව්‍යාපෘති සම්බන්ධයෙන් සංවාද රැසක යෙදී ඇත. මේ සංවාද මෙන් ම දෙදෙනා අතර හුවමාරු වූ කවර හෝ ලේඛනවලට දිගු කාලයක සිට සෞදි රජය ඇතුළු වී තිබේ. ඒ සම්බන්ධයෙන් සෞදි ආණ්ඩුවේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ජංගම දුරකතන ඉලක්ක කර ගත් විෂමාචාරී මෘදුකාංග සංසරණය වුව ද ඒ පසුපස සෞදි අරාබිය සිටින බවට සාක්ෂි නැති බවය. නිවස සමීපයේ හැක්කිරීමක් ඔබේ ජංගම දුරකතනයේ මෘදුකාංගයට ඇතුළුවිය හැකි පහසු ම ක්‍රමය සීරෝ ක්ලික් තාක්ෂණය විය හැක දෛනිකව සිය මිතුරන් හා පවුලේ සාමාජිකයින් සමග සංවාදයේ යෙදීමට බොහෝ දෙනා භාවිත කරන වට්ස්ඇප් (WhatsApp) ජාලයේ ආරක්ෂාව උච්ඡ අවස්ථාවේ බිඳ දැමීමක් 2019 මැයි මාසයේ වාර්තා විය. එය යමෙකුට වට්ස්ඇප් සංවාදවලට සවන් දීමේ අරමුණින් වූවා යැයි ඔබ සිතුවා නම්, නැවතත් ඒ ගැන සිතන්න. එම යෙදවුම (app) හුදෙක් දුරකතනයේ මෘදුකාංගයට ඇතුළත් වීමේ ස්ථානය වූවා පමණි. එය විවෘත කළ සැණින් ආක්‍රමණිකයාට ඔත්තු බැලීමේ මෘදුකාංගය ඒ මතට මුදා හළ හැකිය. ලබන්නා කිසියම් හෝ සම්බන්ධකයක් (link) ක්ලික් කිරීමේ අවශ්‍යතාව පැන නොනගී. දුරකතනයට ප්‍රවේශ වන්නේ ඒ වෙත අමතුමක් වහා විසන්ධි කිරීමෙනි. මෙය සීරෝ ක්ලික් (zero click technology) තාක්ෂණය ලෙස හැඳින්වේ. වහා ම ක්‍රියාත්මක වූ වට්ස්ඇප් සිය බිලියන 1.5ක් වූ භාවිත කරන්නන් වෙත යළි සැකසුමක් යොමු කළ ද මේ හැක් කිරීම පසුපස සිටියේ කවුද යන්න කිසිවෙකු දැන ගත්තේ නැත. මෙවර ඉලක්ක වූයේ වට්ස්ඇප් (WhatsApp) ය. ඊළඟට කුමන යෙදවුමක් ඉලක්ක විය හැකි ද? ඒ වගේ ම කවරෙකු විය හැකි ද? නැවත පහරදීම වගකිව යුත්තේ කවුද? මේ ආකාරයේ ඔත්තු බැලීමේ මෘදුකාංග නිර්මාපකයින්ට, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ට ඇති ආකාරයේ විශේෂ බලපත්‍රයක් අවශ්‍ය කෙරේ. එය අලෙවි කෙරෙන්නේ බරපතළ අපරාධ නැවැත්වීමේ හුදු අවශ්‍යතාව මත පමණි. නමුත් සේවාදායක ආණ්ඩු විසින් මෙය අපහරණය කරන්නේ යැයි විශ්වාස කරන සිටිසන් ලැබ් කණ්ඩායම ඒ පිළිබඳ ලිපිගොනුවක් සකස් කර ඇත. මේ අපහරණ සම්බන්ධයෙන් මෘදුකාංග නිර්මාපකයින් වගකිව යුතු ද? තුවක්කු වැනි අවි මෙන් නොව, මේ ඔත්තු බැලීමේ මෘදුකාංග නිර්මාපකයින් ඒවා අලෙවියෙන් පසුව ද ක්‍රියාකාරීව හිඳිමින් ඒවා නඩත්තු කිරීමේ යෙදෙයි. මෙවැනි නීත්‍යනුකූල බාධා කිරීම්වලට අදාළ වෙළෙඳපොළේ ඉදිරියෙන් ම සිටින්නේ එන්එස්ඕ ගෘප් (NSO Group) නම් වූ ඊශ්‍රායල් සමාගමකි. දශකයක පමණ කාලයක සිට ක්‍රියාකාරීව සිටින එම සමාගම වසරකට ඩොලර් මිලියන සිය ගණනක ආදායමක් ලබයි. අබ්දුල්අසිස්ගේ නීතිඥයා, සිය සේවාදායකයාගේ දුරකතනය හැක් කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම අධිකරණය හමුවට ගෙන ගොස් තිබේ. මෙය සුවිශේෂී අවස්ථාවකි. තම මෘදුකාංග නිකුත් කළ පසු මෘදුකාංග සමාගම් යෙදෙන භූමිකාව කවරක් දැයි තීරණය කිරීමට ද එය ඉවහල් වේ. මේ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකට කළ ඉල්ලීම එන්එස්ඕ සමගම විසින් බැහැර කරනු ලැබිණි. නමුත් නිවේදනයක් මගින් එය කියා සිටියේ බරපතළ අපරාධ විමර්ශනයේ හා වැළක්වීමේ නියුතු බලපත්‍ර ලත් ආණ්ඩුවේ ආයතන වෙත සිය තාක්ෂණය සපයන අතර සිය තාක්ෂණය ජීවිත රැසක් රැකගෙන ඇති බවකි. මේ අතර එම නීතිඥයා හට ද සැකකටයුතු වට්ස්ඇප් ඇමතුම් ලැබෙන්නට විය. කෙතරම් කලක් යනතුරු මේ ඔත්තුබැලීමේ මෘදුකාංග හඳුනාගත නොහැකිද? ඔබේ දත්තවලට ඇතුළු වන්නේ කවුද? නීත්‍යනුකුල බාධා කිරීම් පිළිබඳ කර්මාන්තයේ අවසානාත්මක ඉලක්කය වන්නේ 100% ක් ම හඳුනාගත නොහැකි ආකාරයේ ඔත්තු බැලීමේ මෘදුකාංග නිපදවීමය. ඔවුන් ඊට ළඟා වුවහොත් අවභාවිතයක් පිළිබඳ පැමිණිලි කිරීමේ අවස්ථාව කිසිවෙකු වෙත හෝ උදා නොවනු ඇත. මන්ද ඒ පිළිබඳ කිසිවෙකු හෝ දැනුවත් නොවනු ඇත. අප සැමට රඳා සිටින්නට සිදුවනුයේ මෘදුකාංග නිර්මාපකයින් ඒවා නීත්‍යනුකුලව හෝ එසේ නොවන ලෙස මෙහෙයවන්නේ ද යන්න මතය. එය කිසියම් ලෙසක ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක දෙයක් වැනි වුවත් සැබෑ ප්‍රතිඵල අත්දකින්නට සිදුවන්නේ මේ අලුත් ලොව තුළය. තර්ජනය සැබෑවකි. අනාගතය සඳහා මෙය අප සැම දෙනා ම සිහි තබාගත යුත්තකි. මෙය, ෆයිල් ඔන් 4 නම් වූ බීබීසී ගුවන් විදුලි වැඩසටහන ඇසුරින් සැකසුණකි. |
සමලිංගිකයන් ‘සුවපත් කිරීමට’ සායන මධ්‍යස්ථාන පිහිටුවන බවට ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ඇමතිවරයෙකු කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් වෙයි. | ගෝවා ප්‍රාන්තයේ ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය රාමේෂ් ටවද්කාර් ප්‍රකාශ කර ඇත්තේ සමලිංගික ස්ත්‍රීන් සහ පුරුෂයන්ට මෙන්ම තම රිසි පරිදි ලිංගිකත්වය වෙනස් කර ගත් උදවිය ‘සාමාන්‍ය තත්වයට’ පත් කිරීම සඳහා මෙම සායන තුළ ප්‍රතිකාර ලබා දෙන බවයි. ‘පුහුණුව සහ ඖෂධ’ සමලිංගිකයන්ට ‘පුහුණුව සහ ඖෂධ’ ලබා දීමට තම ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද ඔහු පවසයි. ඉන්දියාවේ සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් මෙම ප්‍රකාශය හෙළා දැක තිබේ. |
කොස්ලන්ද මීරියබැද්දේ මළසිරුරු සෙවීමේ මෙහෙයුම කාලගුණයේ බාධා මැද දිගටම ක්‍රියාත්මක වන බවත් අද දිනයේදී (ඉරිදා) තවත් මළ සිරුරක් හමු වූ බවත් මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සංදේශයට කියා සිටියේය. | හමුදා භටයන් විසින් කර ගෙන යනු ලබන බේරා ගැනීමේ කටයුතු මේ අනුව මෙතෙක් හමු වී ඇති මළ සිරුරු සංඛ්‍යාව හයක් දක්වා ඉහල ගොස් ඇති අතර තවත් තිස් දෙදෙනෙකු පිළිබඳව කිසිඳු හෝඩුවාවක් තවමත් දැනගන්නට ලැබී නැති බව බලධාරීහු පවසති. නායයාමේ අවදානමට මුහුණ දී සිටින කොස්ලන්ද අවට ගම්වාසීන් 400 ක් පමණ මේ වන විට කඳවුරු 21 ක නවතා සිටින බවද වාර්තාකරුවෝ පවසති. අවට පෙදෙස් යළි නාය යාමේ අවදානමක් පවතිද්දී පවා හමුදා භටයන් විසින් කර ගෙන යනු ලබන බේරා ගැනීමේ කටයුතු සහ කැනීම් කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ පැසසුමට ලක් විය. ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර තවමත් පවතින වැසි සහිත අයහපත් කාලගුණය මෙම කැනීම් කටයුතු සඳහා ප්‍රධානතම බාධකය වී ඇති බවද සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමක දී ඇමතිවරයා සඳහන් කළේය. අවතැන් වුවන් වෙනුවෙන් අලුත් ඉඩම් ලබා දීම සඳහා කාර්ය භාර බලධාරීන් දැනටමත් කටයුතු කරමින් සිටින බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ. |
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිහඬ කාලසීමාව වන පෙබරවාරි 8 (අද) දින සිට පෙබරවාරි 10 වෙනිදා ඡන්ද විමසීම අවසන්වන තෙක් සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනයට හෝ අගතියට පත්කිරීමේ කරුණු පළනොකරන ලෙස, මැතිවරණ කොමිසම ඉල්ලා සිටී. | ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට කිසිදු ජන්ද ප්රචාරක කටයුත්තක නියැලීම නීති විරෝධීයි ඡන්ද විමසීම්වලට අදාළව දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති සහ පොරොන්දු පිළිබඳව, ඡන්දදායකයාට මධ්‍යස්ථව සලකා බැලීමට හැකිවන පරිදි, සෑම මැතිවරණයකට පෙර පැය 48කට නිහඬ කාලසීමාවක් නියම කර තිබේ. 2018 පළාත් පාළන මැතිවරණයේ ප්රචාරක කටයුතු ඊයේ (පෙබ.7) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වූ අතර, එතැන් සිට ඡන්ද ප්‍රකාශය අවසන් වනතෙක් කිසිදු ඡන්ද ප්රචාරක කටයුත්තක නියැලීම නීති විරෝධී වේ. මෙම කාලසීමාව තුළදී, මැතිවරණයට අදාළ සාකච්ඡා, වාද විවාද, ප්රචාරක දැන්වීම් ආදිය ප්‍රදර්ශනය කිරීමෙන් හෝ පළ කිරීමෙන් මාධ්‍ය ආයතන වැළකී සිටියයුතු අතර, ඊයේ දින පැවැත්වූ අවසන් රැළිවල තොරතුරු පමණක් අද (8) දිනයේ ප්රවෘත්ති ප්‍රකාශයේ විකාශය කිරීමට විද්‍යුත් මාධ්‍යයන්ට අවසර ලබාදී තිබේ. ඒ හැර, සියලු ආකාරයේ දේශපාලන කාරණා පළකිරීමෙන් මාධ්‍ය වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි. ඡන්ද නීති රකින්න සමාජ ජාල පරිහරණය කරන පුරවැසියන් ද, මෙම නිහඬ කාල සිමාවේ සමාජ මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනයට හෝ අගතියට පත්කිරීමේ කාරණා පළකිරීමෙන් වලකින ලෙස, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඉල්ලා සිටියේය. සමාජ ජාල මාධ්‍ය තුළ තවමත් මැතිවරණ ප්රචාරක දැන්වීම් පළවෙමින් තිබෙන අතර ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන්ද ඒ අතර සිටීම විශේෂත්වයකි. මෙම නිහඬ කාලය තුළ මැතිවරණ ප්රචාරක කටයුත්තක යම් පුද්ගලයෙක් නියැලී සිටියහොත්, එම පුද්ගලයන් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. අත්පත්‍රිකා, පෝස්ටර් ආදිය බෙදාහැරීම සහ ප්‍රදර්ශනය කිරීම ද තහනම් බව පොලීසිය පවසයි. පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65753ක් අද දින සිට රාජකාරි ආරම්භ කරන අතර ඡන්ද මධ්‍යස්ථාන 13420 කට එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 26840ක් අනුයුක්ත කර තිබේ. මේ අතර අද විශේෂ නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමිසම, ඡන්ද විමසීම් රාජකාරී සඳහා නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීය. ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන සියලුම නිලධාරීන්, සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍ය බව පවසන මැතිවරණ කොමිසම, ඡන්ද විමසීම් රාජකාරී සඳහා යොදා ගැනීමට නියමිත රජයේ ආයතන සතු වාහන නියමිත පරිදි ඒ දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරී වෙත වාර්තා කරන බවට වගබලා ගැනීමට අදාළ ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන වගකීම පැහැර හැරිය නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි. මෙම විධාන උල්ලංඝනය කිරීම, රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වීමට හේතුවන වරදක් බව මැතිවරණ කොමිසමේ නිවේදනයේ සඳහන්වේ. වෙනත් පුවත්: |
1959 සැප්තැම්බර් 15 වෙනිදා සෝවියට් සංගමයේ නායක නිකිතා කෘෂෙෆ් වොෂිංටන් නුවරට පාතැබුවේ එක්සත් ජනපදය තුළ ඓතිහාසික චාරිකාවක් අරඹමිනි. | සෝවියට් අජටාකාශගාමී අලෙක්සෙයි ලියොනොෆ් අභ්‍යවකාශයේ අවිදගිය පළමු මිනිසා විය. - 1965 වසර (බීබීසී ප්රවෘත්ති හි ෆර්නැන්ඩෝ දුවර්ටේ සැකසූ වාර්තාවක් ඇසුරිණි) මේ චාරිකාවේ දී ධවල මන්දිරයට පැමිණි කෘෂෙෆ්, සෝවියට් ලාංඡනය සළකුණු කරන ලද ගෝලාකාර වස්තුවක් ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපතිවරයාට පිළිගැන්වීය. 1959 දී ලූනා 2 යානයෙන් සඳට යැවූ ගෝලයේ පිටපතක් ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපතිවරයා (මැද) ඇති ආකාරය දෙස සෝවියට් නායක කෘෂෙෆ් (දකුණේ) සහ උප ජනාධිපති රිචර්ඩ් නික්සන් බලා සිටින අයුරු එය සංකේතාත්මක කෙලිබඩුවක් වන් තෑග්ගකි. මේ ගෝලය වූයේ, ඉන් හරියටම දිනකට කළින් චන්ද්‍ර පෘෂ්ඨයට ළඟාවූ පළමු අභ්‍යවකාශ යානය බවට පත් ලූනා 2 යානයේ යැවූ ගෝලයේ පිටපතකි. ඉන් අනතුරුව, ඇමෙරිකානු ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය (Nasa) ඇපලෝ 11 යානයෙන් මිනිසා සඳ මතට යැවීමට පෙර අවස්ථා දෙකකදී, රුසියාව සඳ ගමන් සම්බන්ධයෙන් දෙවතාවකදී ඇමෙරිකාව පැරදවීය. වර්ධනය වෙමින් ආ අභ්‍යවකාශ තරගය 1957 දී ස්පුට්නික් නම්වූ කෘත්‍රිම චන්ද්‍රිකාව දියත් කරමින් ඇරඹු අභ්‍යවකාශ තරගය තුළ සෝවියට් දේශය සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කළේ පළමුව සඳට ළඟා වීමෙනි. ලූනා 2 යානයේ ආකෘතියක් ඉන් අනතුරුව 1966 පබරවාරි මාසයේදී ලූනා 9 යානය පාලනයකින් යුතුව සඳ මත පළමුවරට ගොඩ බෑමෙන් මොස්කව් පාලනය ජයග්‍රහණයක් අත් කර ගත් අතර එහිදී පළමුවරට සඳ පෘෂ්ඨයේ ඡායාරූපයක් ද හසුකර ගැනිණි. මාස දෙකකින් පසු ලූනා 10 යානය තැබූ වැදගත් පියවර වූයේ තැබුවේ චන්ද්‍රයාගේ කක්ෂය වටා ගිය පළමු යානය බවට පත් වීමය. සඳේ භූ ලක්ෂණ අධ්‍යයනය කිරීමට එය උපකාරී වූ නමුත් එය අභ්‍යවකාශ තරගයේ මුල් වකවානුව වූ බැවින් දෙපසේම විද්‍යාඥයන්ගේ නිගමනය වූයේ, සෘජුව සඳට ඇතුළුවනවාට වඩා, ලූනා මොඩියුලයක් ද සමගින් "වක්‍ර ගුවන් ගමනක" යෙදීම වඩා පහසු විය හැකි බවය. නාසා ඉංජිනේරුවකු වූ ජෝන් හවුබෝල්ට් 1961 දී කළ යෝජනාවෙන් ඉදිරිපත් කෙරුණේ චන්ද්‍ර කක්ෂගත ගිවිසි හමුව (LOR - Lunar orbit Rendezvous) නම් ප්‍රවේශය ය. ඉන් පැහැදිලි කෙරුණේ මව් යානය චන්ද්‍රයා වටා භ්‍රමණය වෙද්දී ඉන් කුඩා යානයක් නික්මී සඳ මතුපිට ගොඩ බැස්වීම වේ. 1960 ගණන්වල නාසා සමුළුවකදී ජෝන් හවුබෝල්ට් LOR පිළිබඳ සිය අදහස ඉදිරිපත් කළ අවස්ථාව මේ මගින් කාලයත්, ඉන්ධනත් ඉතිරිවන බව හවුබෝල්ට් ගේ යෝජනාව විණි. එසේම සංවර්ධනය, පරීක්ෂාව, නිපැයීම, නැංවීම, අවරෝහණ ගණනය හා ගුවන් ගමන් මෙහෙයවීම් වැනි අභ්‍යවකාශ ගමනේ විවිධ අදියර වඩා සරල කෙරෙන බව ඔහු පෙන්වා දුන්නේය. ඇමෙරිකානුවන් සඳට ළං වූ ආකාරයයි ඒ. එහෙත් 1966 දී රුසියානුවන් සඳට වඩ වඩාත් සමීප වූවා මෙන්ම පෘථිවියේ ස්වභාවික උපග්‍රහයා ජයගන්නට ළං වූ බවක් පෙනෙන්නට විය. 1966 දී සෝවියට් ලූනා 9 යානයෙන් මුල්වරට ලබාගත් සඳේ ඡායාරූප පෘථිවියට එවිණි. ලූනා 2 ගෝලාකාර අභ්‍යවකාශ යානය 1959 සැප්තැම්බර් 12 දා දියත් කෙරිණි. සිය අභ්‍යවකාශ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය රහස්‍යබව අතරේ සෝවියට් බලධාරීහු අසාමාන්‍ය පියවරක් ගත්හ. එනම්, ප්‍රකට බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයකු වූ බර්නාඩ් ලොවෙල් අතට යානයේ ගමන් පථය ඇතුළුව සිය ගුවන් ගමනේ වැදගත් තොරතුරු පත් කිරීමය. මුලදී මේ ජයග්‍රහණ ගැන සැක පළකළ ඇමෙරිකානුවන් ඇතුළු බාහිර ලෝකයේ නිරීක්ෂකයින් වෙත ගුවන් මෙහෙයුමේ සාර්ථකත්වය තහවුරු කරන ලද්දේ ලොවෙල් විසිනි. 1959 සැප්තැම්බර් 14 වෙනිදා මධ්‍යම රාත්‍රී (මොස්කව් වේලාවෙන්) ලූනා 2 සඳ මතුපිට හා ගැටුණු වේගය පැයට කිලෝමීටර 12,000 ක් පමණ විය. ඒ අනුව යානය හෝ එහි වූ භාණ්ඩ කිසිවක් හෝ ඉතිරි වී යැයි සිතීම අපහසුය. අයිසන්හවර් වෙත කෘෂෙෆ් පිළිගැන්වූ, ලූනා 2 ගෝලයේ ආකෘතිය එහෙත් මේ මෙහෙයුම, නිරවි යුද සමයේ පුරසාරම් දෙඩීමේ ව්‍යායාමයකින් ඔබ්බට ගිය එකකි. ලූනා 2 ක්‍රියාත්මක කළේ විද්‍යාත්මක පර්යේෂණයකි. එහිදී සඳෙහි සැලකුය යුතු චුම්බක ක්ෂේත්රයක් නොවන බව මෙන්ම විකිරණ තීරවලින් යුතු බවට සාක්ෂියක් නැතැයි ඉන් තහවුරු කළේය. "උදාහරණයක් හැටියට සඳේ භූවිද්‍යාත්මක බව වැනි දේ සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට එය වැදගත් ඉඟි විද්‍යාඥයන්ට සැපයුවා" යැයි එක්සත් රාජධානි අභ්‍යවකාශ ඒජන්සියේ මානව ගවේෂණ වැඩසටහන් කළමනාකරු මෙන්ම භෞතික විද්‍යාඥයකු ද වන ලිබී ජැක්සන් බීබීසී සමග පැවසීය. ලූනා 9 වසර හතක ඇවෑමෙන් දියත් කෙරුණු ලූනා 9 සැබවින් ම ඇපලෝ වැඩසටහනට සහය විණි. එය සඳ මත ගොඩබෑමට පෙර සෝවියට් මෙන්ම ඇමෙරිකානු විද්‍යාඥයන් ද කල්පනා කරන්නට යෙදුණේ, චන්ද්‍රයාගේ පෘෂ්ඨය අභ්‍යවකාශ යානයක් ගොඩ බෑමට අසීරු තරමේ මෘදු වුවක් විය හැකි බවය. දුහුවිල්ලෙන් පිරුණු 'මරවැල්ල' වැනි යමකින් සඳේ මතුපිට වැසී ගොස් තිබිය හැකි බැවින් එහි ගොඩබාන ඕනෑම දෙයක් ගිලී යා හැකි බවට බිය පළවී තිබිණි. සඳේ මතුපිට දෘඩ යැයි සෝවියට් යානයෙන් පෙන්වූ කළ එය ඉතා සුවිශේෂී තොරතුරක් විය. "ඒක ඇත්තෙන්ම සැබෑ සුවිශේෂී සන්ධිස්ථානයක් වගේම අනාගත මෙහෙයුම්වලට උදව්වක් වුණා" ජැක්සන් සඳහන් කළේය. ලූනා 10 සෝවියට්වරුන්ට මෙය ඇමෙරිකානුවන් අභිබවන ප්‍රචාරණ ජයග්‍රහණයක් ද විණි. "අපි මතක තබාගන්නට ඕන, අභ්‍යවකාශ තරගය ඉදිරියට ගෙන ගියේ භූදේශපාලනය බව" භෞතික විද්‍යාඥයා තවත් යමක් එක් කළේය. සඳ වෙත මිනිසුන් ගෙන ගොස් පැමිණීමෙන් ඇපොලෝ 8 පෙන්වූ ප්‍රගතිය ඇමෙරිකානුවන් පළමුව සඳ මතට පිවිසෙනු ඇතැයි දුන් සවිමත් ඉඟියකි ලූනා 10 ගත්විට, සඳේ පාංශු සංයුතිය මෙන්ම ක්ෂුද්‍ර උල්කාෂ්ම (micrometeoroids) සම්බන්ධයෙන්ද වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමට ඊට හැකි විය. ක්ෂුද්‍ර උල්කාෂ්ම යනු ඉතා දැඩි වේගයකින් අභ්‍යවකාශය හරහා ඇදී යන කුඩා පාෂාණ කැබැලි වන අතර ඒවා අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම සඳ මතුපිටදී අජටාකාශගාමීන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් එල්ල කරනු ඇත. එනම් වාතාවරණයක් නොමැති තත්ත්වයක් තුළ ඉතා කුඩා පාෂාණ කැබැලි බාධාවකින් තොරව පතිතවන අතර එය පෘථිවියේදීට වඩා අනතුරුදායක ය. "1961 දී පළමුවරට මිනිසෙකු අභ්‍යවකාශයට යැවීම වගේම 1965 දී පළමු වරට අභ්‍යවකාශයේ අවිදීම ද ඇතුළු මේ අභ්‍යවකාශ ගමන් මාලාවට ස්තුතිවෙන්න තමන්ට අභ්‍යවකාශ තරගය දිනිය හැකි බව සෝවියට්වරු හිතුවා." යැයි පර්යේෂණ, මහජන සබඳතා හා අභ්‍යවකාශ ගවේෂණය සඳහාවූ දේශපාලනික උපදේශකත්ව යනාදියෙහි නියුතු ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන ග්‍රහ තාරකා සංගමය (Planetary Society) සමඟ පසුගිය ජුනි මස සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ප්රමුඛ පෙළේ අභ්‍යවකාශ ඉතිහාසඥයකු වන අසිෆ් සිද්දිකි පැවසීය. "සඳ මත ගොඩබෑම පසෙකට ඇදීමට ඇමෙරිකානුවන්ට හැකිවේ යැයි ඔවුන් කවදාවත් හිතුවේ නැහැ" ඔහු සඳහන් කළේය. සෝවියට් අජටාකාශගාමී අලෙක්සෙයි ලියොනොෆ් අභ්‍යවකාශයේ අවිදගිය පළමු මිනිසා විය. - 1965 වසර කෙසේනමුත්, 1968 දී ඇමෙරිකානුවන් තීරණාත්මක පියවරක් ගත්තේ, ඇපොලෝ 8 මෙහෙයුමත් සමගිනි. මිනිසුන් සහිත යානයක් සඳ වෙත යවා, එහි කක්ෂය වටා භ්‍රමණය කර සුරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට ඔවුහු සමත් වූහ. ඉනුත් වසරකට අඩු කාලයකදී, ඇපොලෝ 11 යානය සඳ මතුපිට ගොඩ බැසීය. කිහිප ආකාරයකින් "පළමුවැනියා" වීමේ ජය ඇමෙරිකානුවන් සතුවෙද්දී, ඇපොලෝ 8 වෙනුවෙන් සෝවියට්වරුන් සතුව පිළිතුරක් නොවිණි. ඒ ඇයි? "කොතනින්ද මං පටන්ගන්නට ඕනෑ? ප්‍රමාණවත් විද්‍යාත්මක හා තාක්ෂණික පදනමක්, ප්‍රමාණවත් ආර්ථික පදනමක් නොතිබුණා වගේම එහි තිබුණේ දුර්වල සංවිධානාත්මක ව්‍යුහයක්" හිටපු නාසා ඉතිහාසඥයකු වන රොජර් ලවුනියස් බීබීසී සමග පැවසීය. ඉතා සංක්ෂිප්තව පැවසුවහොත්, යානා සඳ වෙත යැවීමේදී සෝවියට් වැඩසටහන කැපී පෙනුනත්, මිනිසුන් සමග එය ඉදිරියට ගෙන යාමට තරම් කෙදිනකවත් සංවර්ධනය නොකෙරිණි. ඒ සියල්ලටම වඩා, මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා සඳ කරා ම ගෙන යාමට තරම් වූ බලසම්පන්න රොකට්ටු මොස්කව් පාලනය සතු නොවීය. මිනිසුන් සහිතව දියත් කළ තමන්ගේ සෑම සඳ ගමනක් සඳහාම සාර්ථකව උපයෝගී කරගත් බලවත් සැටර්න් 5 (Saturn V) ඇමෙරිකාව සතු විණි. ඒ සමාන එන් 1 (N1) සෝවියට් රුසියාව සතු වුවත් පරීක්ෂණ ගමන් හතරේදීම එය අසාර්ථක විය. ඒ හැමෙකකටම වඩා, සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන බිදවැටීමට හේතුව ලෙස විශේෂඥයන් පෙන්වා දුන්නේ අසංවිධිත කළමනාකරණ පද්ධතිය ය. ඇමෙරිකානුවන් ක්‍රියාවට නැගූ මධ්‍යගත ඉහළ සිට පහළට යන ව්‍යුහයකට වඩා එහි වුයේ නිලධාරීවාදය හා බල අරගලයකි. දේශපාලනික අරගල චන්ද්‍ර කක්ෂගත ගිවිසි හමුව (LOR - Lunar Orbit Rendezvous) සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සංකීර්ණ වූ, අභ්‍යවකාශය තුළ දී අතින් කෙරෙන තටාකගත කිරීමේ හැසිරවීමක් අවශ්‍ය බව අභ්‍යවකාශ ගමන් තරගයේ තරමක් මුල් අවස්ථාවේදී පමණ ඇමෙරිකානුවන් මෙන්ම සෝවියට්වරුන් යන දෙපාර්ශවයම දැන සිටියහ. තටාකගත කිරීමේ හැසිරවීම සාර්ථකව සම්පූර්ණ කිරීමට නාසා ආයතනය 1966 දී සමත්විය. 1966 වනවිට එම හැසිරවීම් සාර්ථකව සම්පූර්ණ කිරීමට ඇමෙරිකානුවන් සමත්වෙද්දී 1969 ජනවාරියට පෙර ඊට ළඟාවීමට රුසියානුවන්ට නොහැකි විය. එසේම, සෝවියට් වැඩසටහන එරට කොමියුනිස්ට් නායකත්වය සමග නිරන්තර අරගලයක යෙදුනු අතර රටේ න්‍යෂ්ටික වැඩසටහනේ කොටසක් වශයෙන් ප්‍රමුඛතාව හිමිව තිබූ අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිල සංවර්ධනය කිරීමේ යෙදුනු හමුදාව සමග සම්පත් අරභයා තරගකාරීත්වයක නියැලිණි. සෝවියට් අභ්‍යවකාශ අභිප්‍රායට, න්‍යෂ්ටික මිසයිල සංවර්ධනය කිරීමේ හමුදා බලපෑම සමග තරග කරන්නට සිදුවිය. අවිනිශ්චිත ඉදිරියක් "ඇපොලෝ වෙත අභියෝගයක්: සෝවියට් සංගමය සහ අභ්‍යවකාශ ගමන් තරගය, 1945-1974" නම් වූ සිය ග්‍රන්ථය තුළ අසිෆ් සිද්දිකි පැහැදිලි කරන්නේ, ඇමෙරිකානුවන් සඳ මත ගොඩ බැස වසර කිහිපයකින් අනතුරුව, එවැන්නක් සඳහා සෝවියට්වරුන් බරපතල සැලකිල්ලකින් යුතුව සිය සැලසුම් ආරම්භ කළ බවකි. "සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙල වටා රහස් රැසක් ම තිබුණා. ඒ නිසයි පළමු අභ්‍යවකාශ ඇවිදීම වගේ දේ විමතිය දන්වන සුළු වුණේ" ඔහු කීය. "යථාර්ථය තුළ අපි දැක්කේ එකකින් එකකට අවිනිශ්චිතතාවක් ඇති හදිසියේම මතුවන වැඩසටහනක්." සෝවියට් රුසියාව දියත් කළ මිනිසුන් සහිත සඳ ගමන් වැඩපිළිවෙල රඳා පැවතුනේ අසාර්ථක එන්1 (N1) රොකට්ටුව මතය. පෙරදී සෝවියට් නිලතල දැරූ ඇතැමුන් අතරද මේ අදහස පැවතිණි. "සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන ගැන කතා කරද්දී, එය මධ්‍යගත වුවක් යැයි බටහිර වැරදි ලෙස වටහාගෙන තිබුණා. යථාර්ථය වුනේ, අවධානය යමු වූ එක් ඇපොලෝ වැඩසටහනක් සහිත වූ එක්සත් ජනපදයට වඩා විමධ්‍යගත වූ දෙයක්" යැයි හිටපු සෝවියට් නායක කෘෂෙෆ් ගේ පුත්‍රයා මෙන්ම අභ්‍යවකාශ තරගය සමයේ ගගන ඉංජිනේරුවකු වූ සෙර්ගෙයි කෘෂෙෆ් සයන්ටිෆික් ඇමෙරිකන් (Scientific American) සඟරාවට පැවසීය. "සෝවියට් සංගමය තුළ, එකිනෙකා සමග තරග කළ විවිධ නිර්මාණකරුවන් සිටියා." මොස්කව් අභ්‍යවකාශ වැඩසටහන පසුපස සිටි ප්‍රධාන බලවේගය වූ ඉංජිනේරු සෙර්ගෙයි කොරොලෙෆ් 1966 ජනවාරි මාසයේදී හදිසියේ මියයාමෙන් වුයේ තත්ත්වය තවත් නරක අතට හැරීමය. 1966 ජනවාරි මාසයේදී සෙර්ගෙයි කොරොලෙෆ් අකාලයේ මිය යාම සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙල තවදුරටත් අවුලකට ඇද දැමීය උන්නත් දාහයි-මළත් දාහයි උත්සාහය මිනිසකු සඳ මතට යැවීමේ තරගයෙන් පැරදීම අවබෝධ කරගෙන තිබියදීත්, පෙරලියක් ඇතිකරමින් අවධානය දිනා ගැනීමේ අටියෙන් සෝවියට්වරු අවසන් උපක්‍රමයත් යත්න දැරූහ. ඒ, ඇපොලෝ 11ට පෙර සඳට යානයක් යවා එහි පස් රැගෙන යළි පැමිණීමය. ඇපොලෝ 11 දියත් කිරීමට දින තුනකට පෙර එනම්, 1969 ජූලි 13 වෙනිදා ලූනා 15 යානය අභ්‍යවකාශයට යැවිණි. ලූනා 15 යානය සැතපුම් 500ක් එපිටින් කඩා වැටෙන විට ආම්ස්ට්‍රෝං සහ ඔල්ඩ්රින් සඳ හැර එන්නට සුදානම් වෙමින් දින හතරකට පසු එය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු විය. ඇපලෝ 11 යානයට වඩා පැය 72 ට කළින් එහි ගමන අවසන් වුයේ සඳ මතුපිටට කඩා වැටීමෙනි. ආම්ස්ට්‍රෝං හා ඔල්ඩ්රින් යළි පෘථිවිය කරා එනු පිණිස සුදානම් වූ ස්ථානයට සැතපුම් සිය ගණනක් ඔබ්බෙන් එය කඩා වැටී තිබිණි. "අපි හිතුවේ අපි 'ග්‍රහලෝකයේ හැම දෙනාටම ඉදිරියෙන්' අපි සිටියා කියායි. ඒ වගේම මිනිසුන් සඳ මතුපිටට යැවීමේදීත් අපි එක්සත් ජනපදය පසු කරාවි යැයි හිතුවා. නමුත් අරමුණු කියන්නේ එක දෙයක්, අවස්ථා කියන්නේ තවත් දෙයක්." සෙර්ගෙයි කොරොලෙෆ් ට පසු සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනට පත් කළ තැනැත්තා වූ වසිලි මිෂින් එසේ පැවසුවේ 1999 දී පීබීඑස් නම්වූ ඇමෙරිකානු රූපවාහිනී ජාලය අමතමිනි. |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසානයට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දොළහෙන් 8 ක්ම පරාජය වී ඇති අතර, එක්දින තරග 24න් ජයගෙන ඇත්තේ 10ක් පමණක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමට වගකිව යුත්තේ ක්‍රීඩකයන්ද නැතිනම් බලධාරීන්ද යන්න පිළිබඳ සංවාදයක් මතුවී තිබේ. | එංගලන්තය සමග පවත්වන දෙවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි දිනයේ විවේකය අතරතුර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීමට අනුව ජනවාරි 19 වනදා වන විට ටෙස්ට් කණ්ඩායම් අතර 6 වන ස්ථානයත් එක්දින කණ්ඩායම් අතර 8 වන ස්ථානයත් විස්සයි විස්ස පිටියේ 7 වන ස්ථානයත් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් දූෂිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබේ. බොහෝ හිටපු ක්‍රීඩකයන්ගේ චෝදනාව වී තිබෙන්නේ 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් වී ඇති බවය. එතෙක් ක්‍රීඩකයන් ක්‍රීඩාවට ආදරය නිසා ක්‍රීඩාවේ නියැලුණත් අද වන විට ක්‍රිකට් ක්‍රීඩාව හුදු ව්‍යාපාරයක් බවට පත්වී ඇති බව ද එම චෝදනාවලින් කියැවේ. විශ්ලේෂකයන් හා හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පවසන්නේ වත්මන් ක්‍රීඩකයන් රැකියාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා විනා ක්‍රීඩාවට ඇල්මක් නැති බවය. අතීතයේදී සිටි ක්‍රීඩකයින් වෙනත් රැකියාවල නියැලෙන අතරතුර ක්‍රීඩාවේ යෙදුණ ද ඔවුන් ඉතාම මහන්සියෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ බව ද ඔවුහු පෙන්වා දෙති. මේ අතර ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ එල්ලවන චෝදනා ද බරපතල ය. මෑතකදී දකුණු අප්‍රිකානු සංචාරයේදී විනය කඩකිරීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල විය. ඇතැම් ක්‍රීඩකයින් තරග අතරතුරදී දුම්පානය සහ මත්පැන් පානය කිරීම සඳහා යොමු වී සිටි බවට ද චෝදනා එල්ල විණි. ජනවාරි 4 වනදා ජොහැන්නස්බර්ග්හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවේ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව දුර්වල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කර ඇති අතර මෑත ඉතිහාසයේ ඔවුන්ගේ තරඟ බොහොමයක්ම පරාජය වී ඇත්තේ සෑම අංශයකින්ම දැවැන්ත විවේචන එල්ල වන අවස්ථාවකය. පළමු තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 7 කින් පරාජයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය බව ක්‍රිකට් විචාරකයෝ පවසති. සංචිතයේ සාමාජිකයින් සිව්දෙනෙකු ක්‍රීඩක විවේකාගාරය ආසන්නයේ කාඩ් ක්‍රීඩාවේ යෙදීමද කතාබහකට ලක්විණි. මේ තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා දෙසට ද ඇඟිල්ල දිගුවන්නේ, අදාළ සිදුවීම් සිදුවන මායිමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙන්ම කළමනාකරු හා ජාතික තේරීම් කමිටු ප්‍රධානී අසන්තා ද මෙල් යන දෙදෙනාම සිටි බැවිනි. මාධ්‍ය හමුවේ චෝදනාවලට ප්‍රතිචාර දක්වූ අසන්තා ද මෙල්, යම් සිද්ධීන් කිහිපයක් පිළිබඳව වාර්තාවන නමුත් ක්‍රීඩකයන්ගේ විනය පිරිහී නොමැති බව කියා සිටියේය. "ඒගොල්ලෝ හිටීයේ වෙනමම තට්ටුවක අපිත් එක්ක නෙමෙයි හිටියේ. මැච් එක ඉවර වෙලා තමයි අපිත් දැක්කේ මේ ටීවී එකෙන් මේගොල්ලෝ කාඩ් ගහනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මම ඒගොල්ලන්ට අඬගහල කිව්වා මේක කරන්න එපා මේ මැච් එක ගහන වෙලාවේ කාඩ් ගහන්න එපා කියල. මම ඒ ගොල්ලන්ට තදින් අවවාද කළා. හැබැයි මාධ්‍යයේ ගිය විදිහට මිනිස්සු හිතනවා ඇති මේ dressing room එකේ කාඩ් ගැහුවා කියල. dressing room එකේ කාඩ් ගැහුවේ නෑ." ක්‍රීඩකයින්ගේ විනය පිරිහී නැති බව පවසන ඔහු තවදුරටත් කියා සිටියේ, "ලෝකේ හැම ප්ලේයර් කෙනෙක්ම සිගරට් බොනවා මේගොල්ලෝ ඇවිල්ල පොඩි ළමයි නෙමෙයිනේ. ඉතින් අපිට කියන්න බෑ නේ සිගරට් බොන්න එපා බියර් එකක් බොන්න එපා කියල. අපිට කියන්න පුළුවන් ඕගොල්ලෝ පිට්ටනියට බැස්සහම ට්‍රේනිං කරනකොට ෆිට්නස් කරනකොට ඕගොල්ලෝ අපිට අවශ්‍ය විදියට ඉන්න ඕන." ක්‍රීඩකයින්ගේ ක්රියාකාරීත්වයේ පසුබෑම පිළිබඳ අදහස් පළ කළ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම දීර්ඝ කාලයක සිට සිදුවන්නක් බවත් දෙවන පෙළ ක්‍රීඩකයන් නොමැති වීම ඊට හේතුවක් බවත් කීය. "මේ වැටීම කලෙක ඉඳන් එනවා. මේ රතු එලිය තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ක්ලබ් සිස්ටම් එකේ ඉඳලා මේක හදන්ඩ ඕන. මම හිතන්නේ මහේලලා සංගලා මේවා ගැන සෑහෙන්න කියල තියෙනවා." "දැන් ඇත්තටම බලද්දී අපේ දෙවෙනි කණ්ඩායමක් නෑ නේ දැනටමත්. දැන් බලන්න A ටීම් එකක් අවුරුදු දෙකකටවත් සෙල්ලම් කරලා නෑ. අපේ ඇත්තටම ලංකාවේ කණ්ඩායමට සෙල්ලං කරන්න පුළුවන් ක්‍රීඩකයන් 15 කට නේ. ඒ 15 දෙනා ඇරෙන්න අනිත් කට්ටියට තියෙන්නේ මොකද්ද? මොනවාද ගහන්නේ?" ක්‍රීඩකයන්ගේ මට්ටම ඉහළ දැමීමට නම් ඔවුන් හට ජාතික මෙන්ම ජාත්‍යන්තර තරගාවලි ලබාදිය යුතු බව ද ඔහු කියා සිටියේය. කියවන්න: කුසල් මෙන්ඩිස් කුසල් මෙන්ඩිස් ගේ දුර්වල පිතිහරඹය යටතේ ඔහු තවදුරටත් කණ්ඩායමේ තබාගැනීම පිළිබඳ අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා, "බින්දු හතරක් ගැහුවාට මගේ මතය අනුව එයා ලංකාවේ ඉන්න ඉතාමත් ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක් එක පාරට එලියට දාන එක සාධාරණ නෑ. එයාගේ ෆෝම් එක වැටිලා තියෙන්නේ එයා මානසිකව වැටිලා ඉන්න නිසා," යැයි පැවසීය. ක්‍රිකට් විචාරක රංජන් පරණවිතාරණ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඉහළ ආදායම් හා වරප්‍රසාද හේතුවෙන් කැපවීම ගිලිහී යාම, දුර්වල ශාරීරික පුහුණුව හා දරාගත නොහැකි මට්ටමේ අන්තර් සමාජ තරග හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය පිරිහී ඇති බවය. තවත් විචාරකයෙකු පැවසුවේ ක්‍රිකට් පරිපාලනයේ දූෂණ, දේශපාලන මැදිහත්වීම්, තරග පාවාදීමේ චෝදනා, ක්‍රීඩක කළමනාකරණ මාෆියාව, ක්‍රීඩකයින් අල්ලස් ලබා ගැනීම, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ, ක්‍රීඩකයන් තුළ එක්සත්කම හා කණ්ඩායම් හැඟීම නොමැති වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෑත කාලයේ බිඳ වැටීමට හේතුවී ඇති බවය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ 2014 වසරේ සිට ක්‍රීඩාව වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබිමත් පවතින ගෝලීය කොරෝනා වසංගතය හමුවේ අවුරුද්දකට ආසන්න කාලයක් ක්‍රීඩා නොකිරීමත් නිසා ක්‍රීඩාව කඩාවැටී ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ ලංකාවේ පවතින සියලුම ක්‍රීඩාවන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බවය. "ක්‍රීඩකයින්, වසරකට ආසන්න කාලයක් ටෙස්ට් ක්‍රිකට් හෝ එක් දින හෝ විස්සයි 20 ක්‍රීඩා කර නැත. එල්පීඑල් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය විය. එතැන් සිට ඔවුන් කෙලින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ගියා. ඒ නිසා ඔවුන් එයට හැඩගැසිය යුතුයි. නමුත් එය වෘත්තීය ක්‍රීඩකයින්ට නිදහසට කරුණක් නොවේ," ඇමතිවරයා පැවසීය. "කෙසේ වෙතත්, අපි එංගලන්ත සංචාරයෙන් පසුව තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. තරඟ සිදුවෙමින් පවතින හින්දා මේ මොහොතේ කිසිවක් ගැන අදහස් දැක්වීමට මට අවශ්‍ය නැහැ," යනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ තත්වයේ ක්‍රීඩා කිරීමට යහපත් මානසික තත්වයක් තිබිය යුතු බවයි. "එබැවින් ක්‍රීඩකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් අපට විනය අවශ්‍ය වන අතර පුහුණුව සඳහා වැඩි විනයක් හා කැපවීමක් තිබිය යුතුය." "වසංගතයෙන් පසුව කිසිවක් සිදු නොවූ හෙයින් මෙම ක්‍රීඩකයින්ට නැවත ක්‍රීඩාවට පිවිසීමට අපට සාධාරණ කාලයක් ලබා දිය යුතුය. මම හිතන්නේ එක් පැත්තකින් පොදුවේ ගත් කල ක්‍රීඩාව පිළිබඳ අවධානය 2015 සිට 2020 දක්වා අඩු කර ඇති නිසා වගකීම සියලුම පාර්ශවයන් බෙදා ගත යුතු බවයි," යනුවෙන් ද අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේය. හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීම් වලට ඔහුගෙන් ප්‍රතිචාර නොලැබුණු අතර ඔහු මෑතකදී ස්කයි රූපවාහිනිය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ "අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා. සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ. මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ නොමැති වීමයි. අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම බිහි කළා. ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්, මේ තියෙන ක්‍රමවේදයේ ගැටලුවක් දක්නට ලැබෙනවා. සෑහෙන කාලයක් අපි දක්ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා. ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත් කළේ නෑ." යනුවෙනි. මහේල ජයවර්ධනගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළ නමුත් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔහු කියා සිටියේය. ක්‍රීඩා විචාරක රෙක්ස් ක්ලේමන්ටයින් ශ්‍රී ලංකාව එංගලන්ත පිලට පරාජයවීමෙන් අනතුරුව ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ "පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ අවුල අප විසින් නිවැරදි නොකළහොත් ශ්‍රී ලංකාව මෙම ඉරණම නැවත නැවතත් අත් විඳිනු ඇත. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාකරන කණ්ඩායම් ඕනෑ තරම් තිබේ. සංගම් (club) තරහ කරගැනීමට ක්‍රිකට් ආයතනයට අවශ්‍ය නැත. නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටීමට පසුගිය ක්‍රීඩා අමාත්‍යවරුන් සිව්දෙනා ම අපොහොසත් වී ඇත," යනුවෙනි. මාධ්‍යවේදී රෙක්ස් ක්ලේමන්ටයින් තවදුරටත් පවසන්නේ "වේගයෙන් අවප්‍රමාණය වන්නේ කුමක්ද? ක්‍රිකට් ද නැතිනම් රුපියල ද? රුපියල පහත වැටීම ස්ථාවරයි. එය දැන් ඩොලරයට රුපියල් 200 කි. ක්‍රිකට් ක්‍රීඩාව ද එසේමය. පසුගිය ටෙස්ට් තරග හතරේදී අපේ පිතිකරණය හතර වතාවක් බිඳ වැටී ඇත. අපේ පිතිකරුවන් කඩුල්ලට වඩා වැඩි කාලයක් ගත කරන්නේ සමාජ මාධ්‍යවල. මෙම කරුණට ප්රවේශවීම සමඟ සම්පූර්ණ අවුල් සහගත තත්වයක පවතී. යෝග්‍යතාවය, විනය සහ සැලසුම් කිරීම ඉතාමත් ප්‍රශ්න සහගතයි." පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් අඩු කිරීමට විශේෂඥයන් විසින් කිහිප විටක්ම යෝජනා කළ නමුත් පසුගිය ක්‍රීඩා ඇමතිවරු සිව්දෙනා ම එම ආයාචනය දෙස ඇස් පියාගෙන සිටි බවත් ක්‍රීඩා සමාජ වලට විරුද්ධ වීමට ක්‍රිකට් ආයතනයට උනන්දුවක් නොමැති බවත් ඔහු තවදුරටත් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් අඩු නොකරන තාක් කල් කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. මේ වන විට ශ්‍රී ලංකාවට 'ඒ' කණ්ඩායමක් නැහැ." රෙක්ස් ක්ලේමන්ටයින් තවදුරටත් පවසන්නේ යෝග්‍යතාවය, විනය නැතිකම හෝ ක්‍රීඩකයින්ගේ වෘත්තීයමය නොවන ආකල්පය නොව ජනමාධ්‍ය ඔවුන්ගේ ප්රබලතම සතුරා ලෙසින් ක්‍රිකට් ආයතනය සලකන බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් එක් අයෙකු පසෙකට දැමුවා පමණක් නොව, සිය රසික රසිකාවියන් තහනම් කළේය යනුවෙන් ඔහු පැවසීය. "ගාලු කොටුවේ සිට වත් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ නොදුනි. එය කුරිරුය." "රසිකයින්ට පිටුපාන ඕනෑම සංවිධානයක් විනාශ වීමට ඉඩ ඇත. අපේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වීම පුදුමයක් නොවේ." |
මධ්‍යධරණී මුහුදේ බෝට්ටුවල කොටු වී සිටි සංක්‍රමණිකයන් දහසකට අධික පිරිසක් ගතව ගිය පැය විසි හතර ඇතුලත බේරා ගත් බව ඉතාලියේ නාවික හමුදාව පවසයි. | උතුරු අප්‍රිකාවේ සිට ලම්පෙදූසා දූපතට ළඟාවන සංක්රමණිකයෝ (පැරණි ඡායාරූපයක්) දරා ගැනීමට නොහැකි තරම් විශාල පිරිසක් පටවා ගත් බෝට්ටු හතරක් මුහුදේ අතරමංව සිටිනු ඉතාලියේ නාවික හමුදා හෙලිකොප්ටර් යානාවලට දැක ගැනීමට ලැබී තිබේ. එම බෝට්ටුවල සිර වී සිටි අට සියයකට අධික පිරිසක් බේරා ගත් බව බලධාරීහු පවසති. එම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය ඊජිප්තුව, ටියුනීසියාව, ඉරාකය සහ පාකිස්තාන වැසියන්. සංක්‍රමණිකයන් දෙසීයකට අධික පිරිසක් රැගත් තවත් බෝට්ටුවක් සිසිලි දූපත කරා රැගෙන විත් තිබේ. සංක්‍රමණිකයන් රැගත් නෞකාවක් පසුගිය ඔක්තෝබරයේදී ලම්පෙදූසා දූපත අසල මුහුදේදී අනතුරට ලක්වීමෙන් සිය ගණනක් දෙනා මිය යාමෙන් අනතුරුව ඉතාලි නාවික හමුදාව ඉතාලිය සහ උතුරු අප්‍රිකාව අතර මුර සංචාර දැඩි කොට තිබේ. |
දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි ගබඩා සංකීර්ණයක අලුතින් ඉදි කළ තාප්පයක් කඩා වැටීමෙන් එකොළොස් දෙනකු මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති. | සතියකට ඉහතදී චෙන්නායි නුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අධික වර්ෂාවෙන් පසු අලුතින් ඉදි කළ තාප්පය අසල කම්කරුවන් වැඩ කරමින් සිටියදීයි අනතුර සිදු වී තිබෙන්නේ. කඩා වැටුණු තාප්පයේ කළු ගල් අතර සිරව සිටි එක් කම්කරුවෙකු අනතුරින් බේරා ගෙන තිබේ. චෙන්නායි නුවර ඉදි වෙමින් පැවති එකොලොස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හැට දෙනකු පමණ මරණයට පත් වූ අනතුරින් සතියකට පසුවයි, මේ අනතුර හට ගත්තේ. ඉන්දියාවේ මෙසේ ගොඩනැගිලි කඩා වැටීම සුලබ සිදුවීමක් වී තිබෙන අතර නිසි පරිදි නීති ක්‍රියාත්මක නොවන බවට සහ නිසි ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි ද්‍රව්‍ය ඉදිකිරීම් සඳහා යොදා ගැනීම එයට ප්‍රධාන හේතුව බව විශ්වාස කෙරේ. |
නොගැඹුරු මුහුදූ තීරයේ වැලි ඉවුරක සිර වී සිටි සිය මව ඉන් මුදා ගැනීමට තල්මස් පැටියකු ගත් උත්සාහයක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. | ඕස්ට්‍රේලියාවේ ස්ට්රැඩ්බ්රොක් දූපතට නුදුරින් පිහිටි වැලි ඉවුරක සිර වී සිටි තල්මස් මව දියඹට ගැනීමට කුඩා තල්මස් පැටියා උත්සාහ ගන්නා ආකාරය එහි ළඟා වූ වනජීවී නිලධාරීන්ට දැක ගත හැකි විය. මිනිත්තු හතළිහක පමණ උත්සාහයකින් පසු තල්මස් මව දියඹට පීනා ගිය බවයි වාර්තා වන්නේ. නැගෙන මුහුදු රළ සහ සිය පැටියාගේ උපකාරයෙන් තල්මස් මව දියඹට පීනා ගිය බවයි වන ජීවී නිලධාරීන් පවසන්නේ. |
වාර්ෂික ඉස්ලාම් වන්දනා සමය හජ් නමින් හඳුන්වන අතර වන්දනාකරුවෝ නබිනායකතුමන්ගේ ජීවිතය හා බැඳුණු සෞදි අරාබි පුද බිම් වන්දනා මාන කරති. | ඉස්ලාම් ආගමේ අනිවාර්ය පිළිවෙතක් වන හජ් වන්දනාව ඉස්ලාම් දහමේ ප්‍රධාන ධර්ම කුලුණු පහෙන් එකකි. ලක්ෂ විස්සක් ඉස්ලාම් භක්තිකයන් වාර්ෂික හජ් වන්දනාවේ යෙදෙති. හජ් වන්දනා සමයේ දැඩි අවධානයක් ආරක්ෂක විධිවිධාන කෙරෙහි යොමු වේ. 2015 වසරේදී දොඹකරයක් කඩා වැටීමෙන් වන්දනාකරුවන් එකසිය නව දෙනකු මරුමුවට පත් විය. ආරක්ෂාව අතින් අනතුරු මතු වුවත් ජීවිතයේ එක් වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීම ඉස්ලාම් බැතිමතුන්ගේ අධිෂ්ඨානයයි. |
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටාන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුවේ දේවස්ථානයක් මෙන්ම කොළඹ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 500ක් පමණ තුවාල ලැබූහ. | මැණික් සූරියආරච්චි සහ ඇයගේ දස හැවිදිරි දියණිය ඇලෙක්සැන්ඩ්‍රියා මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් මියගියහ මියගිය අය අතරින් 80% ශ්‍රී ලාංකිකයන් වන අතර විදේශිකයන් 38 දෙනෙක් ද ඒ අතර සිටිති. ඒ අතර එක්සත් රාජධානිය, ඉන්දියාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ තුර්කි ජාතිකයන් සිටින බව වාර්තා වේ. ප්‍රහාරවලින් මරණයට පත් වූ සහ තුවාල ලැබූ කීපදෙනෙකුගේ තොරතුරු පහත දැක්වේ: මීගමුවේ දී මියගිය එකම පවුලේ පස්දෙනා මීගමුව, කටාන කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් රංගන ප්‍රනාන්දු, ඔහුගේ බිරිඳ වන දනාදිරී සහ දරුවන් තිදෙනා මිය ගියහ. "ඇය ඉතා කැපවීමෙන් වැඩ කළ කෙනෙක්. ඇය කරුණාවන්ත වගේම අන් අය ගැන සොයාබලන කෙනෙක්. ඇයගේ අඩුව අපට දැනේවි." ඔවුන්ගේ වැඩිමහල් දියණිය බියෝලා සය හැවිරිදි වියේ පසුවිය. බාල දියණිය ලියෝනා සිව් හැවිරිදි වියේ පසුවූ අතර කුඩා පුතුගේ වයස මාස 11කි. ප්‍රහාරවලින් ළමුන් 45 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව යුනිසෙෆ් ආයතනය පැවසීය. ශාන්තා මායාදුන්නේ සහ ඇයගේ දියණිය ශාන්තා මායාදුන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට සූපවේදිනියකි. ඇය සහ ඇයගේ දියණිය නිසංගා මියගියේ ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල වූ ප්රහාරයෙනි. ඔවුන් පවුලේ අය සමග උදෑසන ආහාර ගනිමින් සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්වී තිබේ. නිසංගා එම සිද්ධියට මොහොතකට පෙර පවුලේ අයගේ සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි. "අපේ දුක කියන්න වචන මදි," යැයි ඔවුන්ගේ ඥාතියෙකු ෆේස්බුක් සටහනක් තබා තිබිණි. එකම පවුලේ පස් දෙනෙක් කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙයන්ට සහභාගී වූ 33 හැවිදිරි බෙනින්ටන් ජෝසෆ්, ඔහුගේ බිරිඳ සුබ්‍රමනියම් අරුමුගම් චන්ද්‍රිකා සහ නම හැවිදිරි ක්ලේවෝන්, හය හැවිදිරි එවෝන් සහ මාස 11ක් වයසැති පුතුන් තිදෙනා ද බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. 33 හැවිදිරි බෙනින්ටන් ජෝසෆ්, ඔහුගේ බිරිඳ සුබ්‍රමනියම් අරුමුගම් චන්ද්‍රිකා සහ නම හැවිදිරි ක්ලේවෝන්, හය හැවිදිරි එවෝන් සහ මාස 11ක් වයසැති පුතුන් තිදෙනා ද බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත මාස 11ක් වයසැති පුතුගේ පළමු උපන්දිනය මැයි 5 වෙනි දිනට යෙදී තිබූ අතර, ඔවුන් ඒ වෙනුවෙන් සාදයක් පැවැත්වීමට සැලසුම් කරමින් සිට ඇත. හෝටල් සේවකයින් සිනමන් ග්‍රෑන්ඩ්හි තැප්‍රෝබේන් හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් එහි සේවකයින් සිව් දෙනෙක් මියගියහ. "එය ඉතා කාර්යබහුල උදෑසනක්. සාමාන්‍යයෙන් ඉරිදා උදෑසන ආහාරය අපි වැඩිම කාර්යබහුල කාලයක්," හෝටලයේ ප්‍රකාශකයෙක් පැවසීය. "ඒ අය පාරිභෝගිකයන්ගේ ආහාර ඇණවුම් බෙදා දෙමින් සිටියේ. එයින් එක්කෙන් ආප්ප හදන ස්ථානයේ සිටියේ." ඔවුන් ශාන්ත, සංජීවනී, ඉබ්‍රහිම් සහ නිස්තාර් ලෙස හඳුනාගෙන ඇත. ෂැන්ග්‍රිලා හෝටලයේ හතර දෙනෙකුට බරපතළ තුවාල ෂැන්ග්‍රිලා හෝටලයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් එම හෝටලයේ හතරදෙනෙකු දරුණු තුවාල ලැබූ බව එම හෝටල් නිලධාරීහු බීබීසී වෙත පැවසූහ. නමුත් වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නොමැත. විශාල ජීවිත ගණනක් බේරාගත් රමේෂ් සිද්ධිය වන අවස්ථාවේ රමේෂ් රාජු සිටියේ මඩකලපුවේ පිහිටි සියෝන් පල්ලියක පැවති යාඥාවලට සහභාගි වෙමිනි. විශාල බෑගයක් රැගත් සැකකටයුතු පුද්ගලයෙකු පල්ලියේ සිදුවන දේව මෙහෙය වීඩියෝගත කිරීමට අවශ්‍ය බව කියමින් එයට ඇතුළු වනු රමේෂ් දැක තිබිණි. ඒ වන විට පල්ලිය තුළ 450කට ආසන්න පිරිසක් දේව මෙහෙයන්ට සහභාගී වී සිටියහ. විශාල බෑගයක් රැගත් සැකකටයුතු පුද්ගලයෙකු පල්ලියේ සිදුවන දේව මෙහෙය වීඩියෝගත කිරීමට අවශ්‍ය බව කියමින් එයට ඇතුළු වෙනු රමේෂ් දැක තිබිණි වහාම ඉදිරියට පැමිණි රොමේෂ් මෙම පුද්ගලයාට ඇතුළු වීමට නොදී ඔහු පල්ලියෙන් ඉවතට තල්ලු කර තිබෙන අතර, එම අවස්ථාවේ දී බෝම්බය පුපුරවාගෙන ඇත. ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද එම අවස්ථාවේ පල්ලිය තුළ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔවුන් කිසිවකුටත් හානි සිදු වී නොමැත. වැඩිදුර තොරතුරු: අලුතෙන් විවාහ වී කොච්චිකඩේ ආසන්නයේ දිවි ගෙවූ රියදුරු 28 හැවිදිරි සුබ්‍රමනි ක්‍රිස්ටෝෆර් කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල රියදුරු රැකියාවේ නිරත වී සිටියේය. මාතර අකුරැස්ස ගම්මානයෙන් කොළඹට පැමිණි ක්‍රිස්ටෝෆර් කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ කුඩා කුලී නිවසක දිවි ගෙවීය. මින් මාස 11කර පෙර යුග දිවියට එළඹි ඔහු සිය බිරිඳ සහ අලුත උපන් බිලිඳා සමග පාස්කු ඉරිදා දේවමෙහෙයන්ට සහභාගී වී තිබිණි. ඔහු මියගිය බව මේ වනතෙක් බිරිඳට දන්වා නොමැත එහි සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් ඔහු මියගිය අතර, බිරිඳ සහ බිලිඳා තුවාල ලැබුහ. ඔහු මියගිය බව මේ වනතෙක් බිරිඳට දන්වා නොමැත. ශ්‍රී ලාංකීය මවක් මේරි ඔට්රීෂියා ජොන්සන් සහ ඇයගේ පවුලේ අය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාස්කු ඉරිදා වෙනුවෙන් පැවති දේව මෙහෙයන් සඳහා සහභාගි වූහ. ඇයගේ වැඩිමහල් දියණිය වන ෂැරෝන් සිල්වියා සිය පුතා කැටුව පල්ලිය ඉදිරියේ තබා ඇති මාළු ටැංකිය පෙන්වීම සඳහා ගොස් තිබෙන අතර, මිනිත්තු කීපයකට පසු බෝම්බය පුපුරා ගොස් ඇත. සිද්ධියෙන් මේරි ඔට්රීෂියා ජොන්සන් මිය ගිය අතර, වැඩිමහල් දියණිය සහ ඇයගේ පුතාගේ දිවි ගැලවිණි. සහෝදරයෙක් සහ සහෝදරියක් වයස අවුරුදු දොළහක් වයසැති ෂැරෝන් සාන්තකුමාර් සහ ඔහුගේ නැගණිය වන එකොලොස් හැවිදිරි සාරා සාන්තකුමාර් ද මඩකලපුවේ සියොන් දේවස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියහ. ෂැරෝන් සාන්තකුමාර් සහ ඔහුගේ නැගණිය වන එකොලොස් හැවිදිරි සාරා සාන්තකුමාර් ප්‍රහාරයට පසු දින ඔවුන් දෙදෙනා එකිනෙකාට ආසන්නයේ මිහිදන් කරන ලදී. ත්‍රීරෝද රථ රියදුරෙකු, ඔහුගේ බිරිඳ සහ මව 56 හැවිදිරි ටිරෝන් ගුල්ඩින් ඔහුගේ බිරිඳ ගයනි ප්‍රනාන්දු සහ නැන්දනිය වන මේරි ඇනස්ලින් සිල්වා සමග පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී විය. මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් ඔවුන් තිදෙනාම ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් තිදෙනා බෝම්බය පුපුරවාගත් බවට සැක කරන පුද්ගලයා ආසන්නයේ සිටි බව පල්ලිය තුළ සිටි ඔවුන්ගේ අසල්වැසියෙකු පැවසීය. මිතුරන් ටිරෝන්ව හඳුන්වා ඇත්තේ 'සනා' නමිනි. කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු වන ඔහු මීගමුව රෝහල පිටත සිට සිය ව්‍යාපාරයේ නියැලී ඇත. නිවසේ සිට සිය මව සහ දහඅට හැවිදිරි පුතා රැක බලාගෙන සිටි බිරිඳ ගයනි ප්‍රනාන්දු රැකියාවක නිරත වී නොමැත. රාත්‍රියේ පැවති දේව මෙහෙයට සහභාගී වූ නිසා සිය පවුලේ අනෙක් අය සමග උදෑසන දේව මෙහෙයට සහභාගී නොවීමට පුතා තීරණය කර තිබිණි. Asos නම් අන්තර්ජාල ව්‍යාපාරයේ හිමිකරුගේ දරුවන් තිදෙනා ඩෙන්මාර්කයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඇන්ඩර්ස් හෝල්ක් පොව්ල්සන්ගේ දරුවන් තිදෙනෙකු මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව ප්‍රකාශයෙකු බීබීසී වෙත තහවුරු කර සිටියේය. පවුලේ අයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් මේ අවස්ථාවේ වැඩිදුර තොරතුරු පැවසිය නොහැකි බව ඇන්ඩර්ස්ගේ ආයතන නිලධාරීන් පැවසීය. දින හතරකට පෙර ඔවුන්ගේ එක් දරුවෙකු ඉන්ස්ටග්‍රෑම්හි ඡායාරූපයක් පළ කරමින් ශ්‍රී ලංකාවේ සිටින බව ලකුණු කර තිබිණි. ඇන්ඩර්ස් හෝල්ක් පොව්ල්සන් අන්තර්ජාලය ඔස්සේ වැඩිම ඇඳුම් වෙළඳාමක් සිදු වන ව්‍යාපාර මාලාවේ හිමිකරු සහ Asos ආයතනයේ විශාලතම කොටස් හිමිකරුය. බ්‍රිතාන්‍ය ජාතිකයන් අට දෙනෙකු මෙම ප්‍රහාරවලින් බ්‍රිතාන්‍ය ජාතිකයා අට දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කර ඇත. "මගේ ආදරණීය බිරිඳට සහ ආදරණීය, දක්ෂ දරුවන්ට ඔවුන් සිටින ඕනෑම ස්ථානයක් එලිය කිරීමේ විශේෂ හැකියාවක් තිබුණා" මේ අතර එකම පවුලේ තිදෙනෙකු ද සිටී. ඇනිටා නිකොල්සන් සහ ඇයගේ දාහතර හැවිදිරි පුතු ඇලෙක්ස් සහ එකොලොස් හැවිදිරි දියණිය අනබෙල් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූහ. "මගේ ආදරණීය බිරිඳට සහ ආදරණීය, දක්ෂ දරුවන්ට ඔවුන් සිටින ඕනෑම ස්ථානයක් එලිය කිරීමේ විශේෂ හැකියාවක් තිබුණා" යැයි ප්‍රහාරයෙන් දිවි ගැලවුණ ඇනිටාගේ සැමියා බෙන් නිකොල්සන් පැවසීය. 19 හැවිදිරි ඩැනියෙල් සහ ඔහුගේ නැගණිය 15 හැවිදිරි ඇමේලි ලින්සේ යන පාසල් සිසුන් දෙදෙනා ද නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතරවාරයේ සිදු වූ මෙම ප්‍රහාරවලින් මිය ගියහ. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දැරූ උත්සහයන් ගැන පියා විස්තර කර තිබිණි. ගිනි නිවන භටයෙකු ලෙස සේවය කර තිබූ බ්‍රිතාන්‍ය ජාතික බිල් හැරොප් සහ ඔහුගේ බිරිඳ වෛද්‍ය සැලී බ්රැඩ්ලි ද නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටි අවස්ථාවේ දී මෙම බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන්දියානු ජාතිකයන් දස දෙනෙක් මියගිය ඉන්දියානු ජාතිකයා දස දෙනා අතරින් හත් දෙනෙකු බැංගලෝරයේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ ජනතා දාල් සෙකියුලා පක්ෂයේ සාමාජිකයන් වන ඔවුන් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ පිපිරීමෙන් මියගොස් තිබේ. ඉන්දීය ජනාධිපතිවරණයට සමගාමීව අප්‍රේල් 18 වෙනිදා ඔවුන්ගේ ප්‍රාන්තයේ සිදු වී ඡන්ද විමසීම් අවසන් වූ පසු පක්ෂ සාමාජිකයන් නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මේ අතර, වෙමුරායි තුල්සිරාම්, එස්ආර් නාගරාජ් සහ රසීනා කාදර් කුක්කඩි නම් කාන්තාවක් ද මිය ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහාකොමසාරිස් කාර්යාලය තහවුරු කළේය. කේරළයේ උපත ලබා ඇති 58 හැවිදිරි රසීනා සිය සැමියා සමග ඩුබායි නගරයේ දිවි ගෙවූ අතර, කොළඹ සිටින ඥාතීන් හමුවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. සැමියා ඉරිදා උදෑසන නැවත ඩුබායි බලා ගොස් තිබූ අතර, ඇය සවස තිබෙන ගුවන් යානයකින් ආපසු යෑමට නියමිතව තිබිණි. තුර්කි ජාතික ඉන්ජිනේරුවන් තුර්කි ජාතික ඉංජිනේරුවන් දෙදෙනෙකු වන Serhan Selcuk Narici සහ Yigit Ali Cavus ද බෝම්බ ප්‍රහාරවලින් මියගොස් ඇත. කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද කාර්යාල ගොඩනැගිල්ලේ යම් කාර්යයක් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකික මවක් සහ දියණියක් මැණික් සූරියආරච්චි සහ ඇයගේ දස හැවිදිරි දියණිය ඇලෙක්සැන්ඩ්‍රියා මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් මියගියහ. මැණික්ගේ සැමියා සුදේශ් කොලොන්න බෝම්බය පිපිරීමට මොහොතකට පෙර දේවස්ථානයෙන් ඉවතට ගොස් තිබේ. "මට විශාල ශබ්දයක් ඇසුණා... මම දැක්කා මගේ දුව බිම වැටිලා ඉන්නවා. මම ඇයව උස්සන්න උත්සහ කළා, නමුත් එයා ඒ වෙනකොටත් මිය ගිහින්. එතනම එහා පැත්තේ මගේ බිරිඳ මියගොස් සිටියා," සුදේශ් ABC පුවත් සේවයට පැවසීය. 2014 දී ඔවුන් සියලුදෙනා මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණ ඇත්තේ මැණික්ගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමටය. බංගලාදේශ දේශපාලනඥයෙකුගේ මුණුපුරෙක් බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂයික් ෆස්ලුල් කරීම් සෙලීම්ගේ මුණුපුරෙකු ද කොළඹ සුපිරි හෝටල්වලට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් තිබේ. ඔහුගේ පියාට ද බරපතළ තුවාල සිදු වී ඇති බව වාර්තා වේ. පෘතුගීසි ජාතික ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයා රුයි ලූකස් නැමැති පෘතුගීසි ජාතික ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයා සහ ඔහුගේ බිරිඳ සතියකට පෙර විවාහ වී සිය මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. කොළඹ කිංග්ස්බරි හෝටලයේ සිදු වූ ප්‍රහාරයෙන් ඔහු මියගිය අතර, බිරිඳගේ දිවි ගැලවී තිබිණි. නෙදර්ලන්ත ජාතික මොනික් ඇලන් නිවාඩුවක් ගත කිරීම සඳහා සිය පුතුන් තිදෙනා සහ සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටි මොනික් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදු වූ ප්‍රහාරයෙන් මිය ගියාය. මොනික් සහ එක් පුතෙකු උදෑසන ආහාරය ගනිමින් සිටින අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත. එම අවස්ථාවේ සැමියා සහ අනෙක් පුතුන් දෙදෙනා ඔවුන්ගේ කාමරයේ සිට ඇත. "අවසානයේ ඔවුන් එක රෙදිකඩක් ඉවත් කළා, එතන හිටියේ මගේ බිරිඳ... එයා තමයි හොඳම බිරිඳ සහ හොඳම අම්මා." "මගේ පුතා සහ බිරිඳ එක ළඟ වාඩි වෙලා ඉඳලා තියෙන්නේ මේ බෝම්බය පුපුරන කොට," සැමියා ලුවිස් ඇලන් බීබීසී සේවයට පැවසීය. "පුතා ටික වෙලාවක් සිහි නැති වෙලා ඉඳලා නැගිටලා බලද්දී ඔලුවේ ලොකු තුවාලයක් එක්ක ලේ ගොඩක් මැද්දේ අම්මා වැටිලා ඉන්නවා දැක්කා." තුවාල ලැබූ පුතා රෝහලේ සිට හමු වූ අතර, සිය බිරිඳගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයේ තිබී සොයාගන්නා ලදී. "මෘත ශරීරාගාරයේ තිබූ දේහයන් වසා තිබූ රෙදි එකින් එක ඉවත් කරගෙන ගියා. මම යාඥා කළා ඒ මොනික් වෙන්න එපා කියලා," ඔහු පැවසීය. "අවසානයේ ඔවුන් එක රෙදිකඩක් ඉවත් කළා, එතන හිටියේ මගේ බිරිඳ... එයා තමයි හොඳම බිරිඳ සහ හොඳම අම්මා." තවත් නෙදර්ලන්ත ජාතිකයන් දෙදෙනෙකු ද මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ජපාන ජාතික දෙදරු මවක් තිස්නම හැවිදිරි තකාෂි සිය සැමියා සහ දරුවන් දෙදෙනා සමග ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටියාය. සැමියා සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී සිටින අතර, ඔවුන් සියලුදෙනා ප්‍රහාරයට ලක් වූ එක් හෝටලයක උදෑසන ආහාරය ලබා ගනිමින් සිට ඇත. තකාෂි මියගිය අතර, සැමියා ඇතුළු තවත් ජපාන ජාතිකයන් හතර දෙනෙකු තුවාල ලැබූහ. ඇමරිකානු ජාතික ඩිටර් කොව්ස්කි රාජකාරී සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි හතළිස් හැවිදිරි ඩිටර් කොව්ස්කි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ සුළු මොහොතකින් සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් තිබේ. "සතුටු වීම ආරම්භ වුණා. මේ වගේ රාජකාරී සංචාරවලට මම ආදරෙයි. ගුවන් ගමන පැය 24ක්. ඉක්මනින් හමුවෙමු ශ්‍රී ලංකා!" ලෙස ඔහු සිකුරාදා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. වොෂින්ටන්හි පාසලක පස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක් ද ප්‍රහාරවලට හසුව මියගොස් ඇත. සෞදි අරාබි ගුවන් ගමන් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් සිය සේවකයන් දෙදෙනකු වන පරිපාලන අංශයේ නිලධාරියෙකු වන අහමඩ් සයින් අ ජාෆාරි සහ ගුවන් සේවක හනී මජෙඩ් ඔත්මාන් කොළඹ දී සිදු වූ ප්‍රහාරවලින් මියගිය බව සෞදි අරාබි ගුවන් ගමන් ආයතනය තහවුරු කළේය. ස්පාඤ්ඤ යුවළක් 32 හැවිදිරි මරියා ගොන්සාලේස් සහ ඇයගේ පෙම්වතා වන 31 හැවිදිරි ඇල්බතෝ චාව්ස් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර කොළඹ කිංග්ස්බරි හෝටලයේ සිදු වූ පිපිරීමෙන් මිය ගියහ. ස්විස්ටර්ලන්ත ජාතිකයන් දෙදෙනෙක් සහ චීන ජාතිකයෙක් ද ප්‍රහාරවලින් මියගොස් ඇති බව එම රටවල තානාපති කාර්යාල තහවුරු කර තිබේ. තවත් තොරතුරු: |
බටහිර අප්‍රිකාවේ සිංහයන් ඉතිරිව සිටින්නේ 500 ක් පමණ බව පවසන අලුත් සමීක්ෂණ වාර්තාවක්, ඉතා ඉක්මනින්ම ඔවුන් කලාපයෙන් වඳ වී යාමේ තර්ජනයක් තිබෙන බව පෙන්වා දෙයි. | බටහිර අප්‍රිකානු සිංහයා 'තදබල ලෙසින් වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සතෙක්' සෙනෙගාලයේ සිට නයිජීරියාව දක්වා වූ කලාපයේ රටවල් හතක සමීක්ෂණය පැවැත්වීම සඳහා පැන්තේරා සංවිධානයට වසර හයකට අධික කාලයක් ගත විය. බටහිර අප්‍රිකාවේ සිංහ ගහනය බරපතල අන්දමින් අඩු වී තිබෙන බව සඳහන් කරන පැන්තේරා සංවිධානය, ඓතිහාසිකව සිංහයන් වාසය කළ ප්‍රදේශ සලකා බැලූ විට මේ වන විට සිංහයන් වෙසෙන්නේ එයින් සියයට එකක භූමි ප්‍රමාණයක බව ප්‍රකාශ කරයි. අප්‍රිකානු කලාපයේ වෙසෙන අනෙක් සිංහයන්ට වඩා වෙනස් සිංහ වර්ගයක් වන බටහිර අප්‍රිකානු සිංහයා ඉතා තදබල ලෙසින් වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සත්වයකු වශයෙන් නම් කළ යුතු බව එම සංවිධානයේ නිර්දේශයයි. |
"ජ්‍යෙෂ්ඨ උත්තමයෝ කියා ගන්නා අය අපිට නවක වදය දෙන පළවෙනි දවසෙ ම නොසෑහෙන්න කුණුහරුපෙන් බැන්නා. ඒ වචන ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවා නෙමෙයි. ගෑණු ළමයින්ට බිමට නැමිලා, කකුල් නවාගෙන තාරාවෝ වගේ ඇවිදින්න කිව්වා සෑහෙන වෙලාවක්," මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) ශිෂ්‍යාවක් බීබීසී සිංහල සේවයට පැවසීය. | "මම අන්තිමට කැම්පස් යන්න බැහැ කියලා ගෙදර නතර වුණා" රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙක් නවක වධය ගැන සිය අත්දැකීම් මාධ්‍යයට හෙළි කිරීමත් සමග, සමාජය තුළ නැවතත් ඒ ගැන කතාබහක් ඇති වී තිබේ. එම සිසුවා තමාට මුහුණ පෑමට සිදු වූ අමානුෂික අත්දැකීම් හෙළි කිරීමෙන් පසු අදාළ සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයන් 19 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සියලු දෙනා අගෝස්තු 19 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී රුහුණ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ විසි දෙහැවිදිරි දර්ශ උදයංග සිසුවාට නවක වධය ලෙස ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩන්තේට්ටම් සහ පහර දීම් සිදු කර තිබෙන බව ඔහු මාධ්‍ය හමුවේ නිරාවරණය කළේය. විසි දෙහැවිදිරි දර්ශ උදයංග "මම වින්ද දුක කිව්වේ අම්මාට. ඒ දේවල් අම්මාට දරාගන්න බැරුව හදිසියේ අම්මා මැරුණා. මගේ ජීවිතය ම විනාශ වෙලා තියෙන්නේ මේ දේවල් නිසා. ලිංගික අඩන්තේට්ටම් නිසා මම මානසිකව සහ ශාරීරිකව දුර්වල වෙලා ඉන්නේ. මම ලේ පරීක්ෂාවක් පවා කළා HIV වෛරසය ආසාදනය වෙලා ද බලන්න," දර්ශ උදයංග පැවසීය. "ගෙදර නතර වුණා" උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනුව 2016/17 අධ්‍යයන වසරවලදී සිසුන් 637 ක් සහ 2015/16 අධ්‍යයන වසරවලදී සිසුන් 1,352 ක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාල අතහැර ගොස් තිබේ. පසුගිය වසරේ අගෝස්තු මස හෙළි වූ අමානුෂික ලෙස නවක වධය දීමේ සිද්ධියත් සමග එවක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවකදී පැවසුවේ, "ශ්‍රී ලංකාවේ දරුණු ම පාතාලය පවතින්නේ විශ්වවිද්‍යාල තුළයි" යනුවෙනි. "නවක වධය හේතුවෙන් මේ වන විට 14 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. ඒ වගේ ම මාතර විශ්වවිද්‍යාලයේදී අතිරේක ලැයිස්තුවකින් යවපු භික්ෂූන් හය දෙනෙක් තවත් භික්ෂූන් 40 දෙනෙක් විතර එකතු වෙලා නිරුවත් කරළා පසුව දා එළිවෙනකම් වද දීලා තිබුණා," හිටපු අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පස් නමක් අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය. මේ අතර, බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) අධ්‍යාපනය ලැබූ සිසුවිය පැවසුවේ සිය දෙමාපියන් සමග විශ්වවිද්‍යාලයට යන පළමු දවසේ එහි සිටින ජ්‍යෙෂ්ඨයන් ඔවුන් ඉතා "ආදරයෙන්" අමතමින් දෙමාපියන් ඉදිරියේ "වෙනස් චිත්‍රයක් මවා පානවා" යනුවෙනි. "හැබැයි ඊට පස්සේ අපිට කිසි ම හොඳ වචනයක් ඇහෙන්නේ නැහැ. කුණුහරුපෙන් විතරයි කතා කරන්නේ. ගෑණු ළමයි චීත්ත ගවුම් ඇඳගෙන යන්න ඕනේ පිරිමි ළමයි කළු කලිසම් සහ සුදු කමිස ඇඳගෙන යන්න ඕනේ. එතන ගිහින් ලැජ්ජාවෙන්, පසුගාමී විදියට හිටියොත් ඒක ඒ ගෑණු ළමයාගේ ජීවිතේ අවසානය තමයි." "අමු තිත්ත කුණුහරුපෙන් බැන බැන, බකට් කරනවා කියලා කුණු වතුරෙන් නාවනවා. ඊටේ පස්සේ අපිව මුළු විශ්වවිද්‍යාලය වටේ මහා කළුවරේ දුවවනවා. මම කොළඹ ජනප්‍රිය පාසලකින් උසස් පෙළ හැදෑරුවේ. එහෙම පාසලකින් ආවා ම අපිව තවත් රැග් කරන්න උත්සහ කරනවා. මම අන්තිමට කැම්පස් යන්න බැහැ කියලා ගෙදර නතර වුණා. හැබැයි අම්මලාගේ බලකිරීම නිසා ආයේ ඒ අප්‍රසන්න තැනට යන්න වුණා," ඇය පැවසුවාය. සමාජ මාධ්‍යවල පළ වී තිබූ සටහනක් මේ තොරතුරුද කියවන්න: "සුන්දර මතකයක්" බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක පැවසුවේ, නවක වධය "මාධ්‍ය සංදර්ශනවල පෙන්වන තරමට නරක නොවන" බවය. "රැග් සීසන් එක පවතින්නේ පොඩි කාලයක්. ඒක විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ කොටසක්. පස්සේ කාලයකදී ඒක සුන්දර දෙයක් විදියට අපිට මතක් වෙනවා. සමහර ශිෂ්‍යයෝ එක එක්කෙනාගේ වුවමනාවලට මාධ්‍යයට ඇවිත් නොයෙක් කතා කියනවා. නමුත් කැම්පස් ඇතුළේ ඔය වගේ භයානක තත්ත්වයක් නැහැ." "මේ වගේ බොරු රඟපෑම් නිසා පාසල් යන ළමයින්ට කැම්පස් එක එපා වෙනවා. ඒක රටේ අනාගතයට හොඳ තත්ත්වයක් නෙමෙයි. හැම දේට ම දේශපාලනය රිංගාගෙන රටේ අනාගතය විනාශ කර දමනවා," ඇය තවදුරටත් පැවසීය. පෙරටුගාමී පක්ෂය මේ අතර, නවක වධය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගකිව යුතු බව දේශපාලනඥයන් මෙන් ම සමාජ මාධ්‍ය ජාලවල බොහෝ දෙනෙකු චෝදනා එල්ල කර තිබෙනු දක්නට හැකිය. නමුත්, මෙම සිද්ධි පිටුපස තම පක්ෂයේ සාමාජිකයන් සිටින බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම පක්ෂය පවසයි. "අත්අඩංගුවට ගත්ත කිසි ම කෙනෙක් අපේ පක්ෂයට සම්බන්ධ නැහැ. අපි දේශපාලනය විශ්වවිද්‍යාල ඇතුළට ගෙනියන්නේ නැහැ. පිටත ඉඳන් අපි මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා. නවක වධය 1940 වසරවල ඉඳන් විශ්වවිද්‍යාලවල පවතින දෙයක්. කාලයත් සමග රැග් එකේ ස්වභාවය වෙනස් වෙලා තිබෙනවා. මෙතන තියෙන්නේ දේශපාලනය නෙමෙයි, සමහර පුද්ගලයන්ගේ මානසික ප්‍රශ්න," පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ "1950 සහ 1970 අතර රැග් එක බොහොම නිර්මාණාත්මක දෙයක් විදියට සිදු වෙලා තිබෙන බව අපි අහලා තිබෙනවා. නමුත් 1978 දී ශ්‍රී ලංකාවට නව ලිබරල්වාදය ඇතුළු වීමත් සමග හැම පැත්තකින් ම සංස්කෘතියේ වෙනස්කම් සිදු වුණා. විශ්වවිද්‍යාලය උප සංස්කෘතියෙත් යම් වෙනස් කම් වෙලා ප්රචණ්ඩ ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා." පාලකයන්ට බලපෑම් කළ හැකි මහජන ව්‍යාපාර අතරින් වඩාත් ඉදිරියෙන් සිටින ශිෂ්‍ය ව්‍යාපාර ප්රචණ්ඩත්වය, හිංසනය මුල් කර ගත් නවක වධය වැනි ක්‍රියාකාරකම් නිසා "ශිෂ්‍ය ව්‍යාපාරවලට සමාජය ඇතුළේ සුජාතභාවයක් හදා ගන්න බාධා වෙනවා," පුබුදු ජයගොඩ පැවසීය. මේ අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කරමින් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර සරසවිවල සිදුවන හිංසාකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස කිසි ලෙසක එකඟ නොවන බව ද අවධාරණය කළේය. 'මරණයෙන් කෙළවර වූ නවක වදය' 1975 - එවක විසි දෙහැවිදිරි වියේ පසු වූ රූපා රත්නසීලී සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටියාය. අමානුෂික නවක වධය නිසා සරසවි ගොඩනැගිල්ලේ 'රාමනාදන්' ශාලාවේ දෙවන මහලෙන් බිමට පැන්න ඇය සදාකාලිකව ම ආබාධිත වූ අතර 2002 වසරේදී සිය දිවි හානි කර ගත්තාය. 1975 සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී නවක වධය හේතුවෙන් හෝ එහි බලපෑම නිසා සිසුන් මියගිය හෝ සියදිවි හානි කර ගත් අවස්ථා වාර්තා විය 1997 - දරුණු ලෙස නවක වධයට ලක් වීමෙන් පසු ව ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වීමෙන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හැදෑරූ විසි එක් හැවිරිදි එස්. වරප්‍රගාෂ් මිය ගියේය. එම වසරේ ම අම්පාරේ හාර්ඩි තාක්ෂණික ආයතනයේ කැළුම් තුෂාර විජේතුංග සිසුවා ද නවක වධයට ලක් ව ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදුවීමෙන් මිය ගියේය. අධික ලෙස මත්පැන් පානය කර ශාරීරික අභ්‍යාසවල යෙදීමෙන් මෙම මරණය සිදුව තිබෙන බව නඩු වාර්තාවල දැක්වේ. 1975 සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී නවක වධය හේතුවෙන් හෝ එහි බලපෑම නිසා සිසුන් මිය ගිය හෝ සියදිවි හානි කර ගත් අවස්ථා වාර්තා විය. "උපසංස්කෘතික අංගවලට විකල්පයක් සොයනවා" නවක වධය නැවත් වීමට පෙරටුගාමී සමාජවාදී යම් පියවර අනුගමන කර ඇත්දැයි ඇසූ ප්‍රශ්නයට පුබුදු ජයගොඩ මෙසේ පිළිතුරු ලබා දුන්නේය. "දළ වශයෙන් අවුරුදු 80ක් විතර රැග් එක විශ්වවිද්‍යාල තුළ පැවතිලා තිබෙනවා. එතරම් විශාල කාලයක් පැවති සංස්කෘතික අංගයක් එක පාරට අපි කිව්වා කියලා වෙනස් වෙන්නේ නැහැ කියන අවබෝධය අපිට තියෙනවා. ඕනෑ ම සමාජයක අවමඟුලකදී, මංගල උත්සව වගේ ම කොටහළු මඟුල්වලදී අනුගමනය කරන චාරිත්‍ර තියෙනවා.. ඒ වගේ ම තමයි විශ්වවිද්‍යාලය ඇතුළෙත්." "මෙහි තිබෙන ප්රශ්නය අපි රැග් එක වෙනුවට මේ සිසුන්ට යෝජනා කරන විකල්පය මොකක් ද කියලා. ශිෂ්‍ය ව්‍යාපාර සමග සම්බන්ධ ශ්‍රී ලංකාවේ වමේ පක්ෂ අසමත් වුණ එක් තැනක් තමයි මේ රැග් එකට විකල්පයක් සෙවීම කියන කාරණය. රැග් එක එපා කියලා කිව්වට ඒකට විකල්පයක් තවමත් අපිට සොයාගන්න බැරි වෙලා තිබෙන එක අපේ නිර්මාණශීලිත්වයේ අඩුවක්," ඔහු තවදුරටත් පැවසීය. නීතිය සහ දඬුවම් 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වධය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත, නවකවධයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූලික ම ප්රතිපාදනය ලෙස හැඳින්විය හැකිය. මෙම පනතේ දෙවන වගන්තිය අනුව, අධ්‍යාපන ආයතනයක් තුළදී හෝ ඉන් පිටතදී නවක වධය සිදු කරන හෝ නවක වධය සිදු කිරීම සඳහා සහභාගි වන අයෙකුට මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් දඬුවම් ලබා දිය හැකිය. එවැනි අයෙකුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරුව අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කළ හැකි අතර, නවක වධයට ලක් වූ තැනැත්තාට සිදු වූ හානියේ ස්වභාවය සලකා බැලීමෙන් පසු වන්දි ගෙවීමට නියම කළ හැකිය. එහි තෙවන වගන්තියට අනුව, නවක වධය සිදු කරන අතරතුරදී අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ලිංගික අඩන්තේට්ටම් හෝ බරපතළ තුවාල සිදු කළහොත්, එය සිදු කරන පුද්ගලයා වරදකරු වීමෙන් පසු ව අවුරුදු දහය නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවම් ලබා දිය හැකිය. එසේ නොමැති නම්, අගතියට පත් පාර්ශවය සඳහා වන්දි ගෙවන ලෙස නියම කරනු ඇත. "වධ හිංසා" යන්න අර්ථකථනය කිරීමේදී ශාරීරික හිංසා පමණක් නොව මානසික හිංසා ද ඇතුළත්ය ලිංගික අතවර, බරපතල තුවාල සිදුකිරීම සහ මරණයට පත් කිරීම යන බරපතළ අපරාධවලට ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දැඩි දඬුවම් නියම වනු ඇත. මීට අමතරව, මානව හිමිකම් කඩවීම යටතේ ද නඩු පැවරීමේ හැකියාව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වන තුන් වන පරිච්ඡේදයේ 11 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, "කිසි ම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය," යනුවෙනි. "වධ හිංසා" යන්න අර්ථකථනය කිරීමේදී ශාරීරික හිංසා පමණක් නොව මානසික හිංසා ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු කිහිපයක සඳහන් වී ඇත. පැමිණිලි කරන්නේ කොහොමද? පැය 24 පුරා පැමිණිලි කිරීමේ පහසුව: 1) දුරකතන - 0112-123700 2) අන්තර්ජාල පැමිණිලි පිටුව - www.ugc.ac.lk/rag 3) ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වා දීම : නවක වධය සිදුවීමකට මුහුණ දුනහොත් හෝ නවක වධය සිදුවීමක් දුටුවහොත් UGC EMERGENCY SAFETY APP නම් වූ ජංගම දුරකතන මෘදුකාංගයේ බොත්තමක් එබීම හරහා ඒ පිළිබඳව සිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට, විනය භාර ආචාර්යවරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දීමේ හැකියාව ලැබේ. නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම මෘදුකාංගය ඌව වෙල්ලස්ස විශ්විවද්‍යාලයේ දැනට ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නීතිය සහ ආරක්ෂණ ක්‍රමවේදයන් අනුව ඕනෑ ම අපරාධයක් හෝ නීතිය කඩකිරීමක් ගැන පොලිසියට පැමිණිලි කළ හැකිය. තවත් තොරතුරු: |
පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දී ඇති ප්‍රශ්න සහ ප්‍රවාහන ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ මණ්ඩලයක් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. | දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවී සිටි සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු තවත් බස් සංගම් කීපයක නියෝජිතයින් සමග අද (දෙසැ.03) ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ. රජය විසින් සෑම තීන්දුවක්ම ගනු ලබන්නේ මහජනතාවගේ යහපත උදෙසා බව එහිදී ජනාධිපතිවරයා කියා සිටි බවත් එම නිවේදනයේ දැක්වේ. රටේ සෑම අංශයක් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් කිසිවකුටත් අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන අතරේම සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිපතිවරයා විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, මෝටර් රථ කොමසාරිස් විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත මණ්ඩලය ලබන සඳුදා සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ තෝරා ගත් නියෝජිතයින් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. |
ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සිය ක්‍රීඩා ජීවිතය ආරම්භ කළේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදී මලල ක්‍රීඩාවෙන් බව ඔහුට ක්‍රීඩාව හඳුන්වා දුන් ක්‍රීඩා ගුරුවරයා පවසයි. | 'ලසිත් මාලිංග මුලින්ම ලෙදර් බෝල් ක්‍රීඩා කළේ විද්‍යාලෝක විද්‍යාලයෙන්' ඉන් අනතුරුව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසී තිබෙන්නේ පාසලේ වයස අවුරුදු දාහතෙන් පහල කණ්ඩායමට සම්බන්ධ වෙමින්. තමන් විද්‍යාලෝක විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමෙන් අනතුරුව මලල ක්‍රීඩාවේ යෙදී සිටි ලසිත් මාලිංගට ක්‍රිකට් ක්‍රීඩාවට ආරාධනා කළ බවයි, ක්‍රීඩා ආචාර්ය ජගත් සේමසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ. "ලසිත් මාලිංග සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන්න ඇති නමුත් මුලින්ම ලෙදර් බෝල් ක්‍රීඩා කළේ විද්‍යාලෝක විද්‍යාලයෙන් තමයි වයස අවුරුදු දාහතෙන් පහල කණ්ඩායමට," යනුවෙන් ඔහු කියා සිටියේය. ක්‍රීඩාවට සම්බන්ධ වීමට පෙර ලසිත් මාලිංග ගණිතය විෂයයෙන් දක්ෂ ලෙස හැදෑරූ දක්ෂ ශිෂ්‍යයකු වූ බවද ජගත් සේමසිංහ මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම සමඟ කියා සිටියේය. ලෝකයටම දස්කම් දක්වන ක්‍රීඩකයකු හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අහිංසක ආදාම්බරයක් තිබෙන බව ක්‍රීඩා ආචාර්ය ජගත් සේමසිංහ පැවසීය. |
වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය. | පුරුෂ ලිංගික බෙලහීනතාව ශ්‍රී ලාංකික සමාජය තුළ අදත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් වන අතර, බොහෝ පුද්ගලයන් එය 'රහසක්' වශයෙන් තබා ගෙන දැඩි මානසික පීඩනයකින් පසු වන බව පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පවසන්නීය වෛද්‍යවරිය එම අදහස් පළකළේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි. මානසික ආතතිය හේතුවෙන් ලිංගික ආශාව මෙන්ම ලිංගික ක්‍රියාකාරිත්වයේ ද අඩුවීමක් සිදුවේ. ඊට අමතරව දීර්ඝ කාලීනව පවතින මානසික ආතතිය නිසා අධිරුධිර පීඩනය, හෘද රෝග, රුධිරයේ අධික කොලෙස්ටෙරෝල් සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් ද ලිංගික බෙලහීනතාවට හේතු වෙයි. "බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ පුරුෂයන් මෙවැනි දෙයක් පිළිබඳ කෙළින්ම කතා කරන්න අකමැතියි. අදාළ පුද්ගලයාගේ පවුලේ කෙනෙක් තමයි ඔහු වෙනුවෙන් කතා කරන්න පැමිණෙන්නේ. එසේ පැමිණියත් සම්පූර්ණ විස්තරය අපට හෙළි කරන්න මැළි කමක් දක්වනවා" පවුල් සෞඛ්‍ය උපදේශකවරියක් සහ කථිකාචාර්යවරියක් වන විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පවසයි. පුරුෂ ලිංගික බෙලහීනතාවට හේතු මොනවාද? විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පෙන්වා දෙන පරිදි ,ලිංගික බෙලහීනතාව ශාරීරික, සමාජීය හෝ මානසික තත්වයක් නිසා ඇති විය හැකිය. එවැනි ගැටලුවකට මුහුණ දෙන යුවළක් සාකච්ඡා කොට එක්ව පිළියම් සෙවීම වැදගත් වේ. මේ සඳහා දෙදෙනා අතර එකඟතාව වැදගත් වන අතර උපදෙස් සහ ප්‍රතිකාර පතා වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතා වැදගත්ය. "යම් පුද්ගලයෙකුට තිබෙන ශාරීරික රෝගී තත්වයක් සහ එම රෝගයට ඔහු ලබා ගන්නා ඖෂධ නිසා ශිශ්නය අප්‍රාණික වෙන්න පුළුවන්. අධික ලෙස මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම සහ තරබාරු බව ද මෙයට හේතුවක් විය හැකියි. ඒ වගේම යම් පුද්ගලයකු ජීවත් වන පරිසරය සහ ඔහුගේ මානසික තත්වය මෙයට ඍජුව බලපානවා" විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව වැඩිදුරටත් පෙන්වා දෙන්නීය. "ලිඟුව අප්‍රාණික වීම මානසික රෝගයක ප්රතිවිපාකයක් නොව පුද්ගලයකු තුළ වර්ධනය වන එක්තරා මානසික තත්වයක්. නමුත් සමහර පුද්ගලයන් මානසික රෝගීන් වශයෙන් හඳුනා ගැනෙන අතර, ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ වෙනස් ආකාරයකට" විශේෂඥ වෛද්‍ය විලත්ගමුව පවසන්නීය. "උපතින් හෝ පසුව ඇති වූ ශරීරයේ වෙනස්කම් නිසා මෙවැනි රෝගී තත්වයක් ඇති වෙන්න පුළුවන්. වැදගත්ම කාරණයක් වන්නේ යම් පුද්ගලයෙක් ඔහුගේ පවුල සමග සතුටින් සිටිනවාද? කියන එකයි. පවුල් ආරවුල් නිසා ඇති වන මානසික ආතතිය මෙයට බලපාන්න පුළුවන්. ඒ වගේම ලිංගිකව එක් වන විට අනෙක් පුද්ගලයාට රිදීමක් හෝ අපහසුවක් ඇති වීම වගේම 'කිසිම හැඟීමක් නැහැ' කියා නිතර පැවසීමෙන් ඇති වන මානසික පීඩනයත් මෙයට හේතුවක්," ඇය තවදුරටත් පැවසුවාය. පුද්ගලයෙක් ජීවත් වන පරිසරය මෙම තත්වයට බලපාන්නේ කෙසේද? බාහිර බාධකවලින් තොරව යුවලක් සාර්ථකව ලිංගික එකතු වීම මානසික ආතතිය සමනය කිරීමටත් මානසික සහ කායික සම්බන්ධතාවය වැඩි කිරීමටත් උපකාරී වේ. මෙමගින් එකිනෙකා අතර බැඳීම ශක්තිමත් වන අතර බොහෝ ගැටළු දෙදෙනා සාකච්ඡා කර විසඳා ගැනීමට යොමු වෙති. "දෙදෙනෙක් ලිංගිකව එකතු වීමට තෝරා ගන්නා කාමරය හෝ ස්ථානය මෙයට බලපානවා. බාහිර ශබ්ද සහ වෙනත් කාරණා දෙස මනස යොමු වීම නිසා පුරුෂ ලිංගික ක්‍රියාකාරකම් අඩපණව ලිඟුව අප්‍රාණික විය හැකියි. ඒ වගේම තවත් පුද්ගලයන් තමන් අවට සිටීම සහ දරුවන් සමග එක කාමරයේ නිදා ගැනීම මෙවැනි තත්වයකට ගොදුරු වීමට හේතුවක්. ලිංගිකව එක් වන විට සයනයෙහි ශබ්දයක් ඇසීම, කාමරයේ දොර හරි හැටි වසා දමන්න බැරි වීමත් මෙයට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම සිය දෙමාපියන් සමග එක නිවසක ජීවත්වීම නිදහසේ ලිංගික සංසර්ගයේ යෙදීමට බාධාවක් විය හැකියි" වෛද්‍යවරිය පැහැදිළි කරයි. "තවත් සමහර පුද්ගලයන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්වනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා. එසේ නැත්නම් යහළුවන්ගේ ලිංගික අත්දැකීම් සමග සංසන්දනය කරමින් ඒවා අනුකරණය කිරීමට උත්සහ ගැනීමත් මෙයට හේතුවක්" විශේෂඥ වෛද්‍ය විලත්ගමුව තවදුරටත් සඳහන් කරයි. ලිංගික බෙලහීනතාව හේතුවෙන් දැඩි මානසික සහ කායික පීඩනයකට ලක් වූ බ්‍රිතාන්‍යයේ ජීවත් වන තරුණයෙකුගේ පෞද්ගලික අත්දැකීම් බීබීසියට මෙසේ හෙළි කර සිටියේය: ස්වයං වින්දනයේ යෙදෙන විට මගේ පුරුෂ ලිංගය පෙර මෙන් ප්‍රාණවත් නැති බව මට නිරීක්ෂණය වුණි. එවිට මගේ වයස අවුරුදු දහසයකි. උදෑසන අවදි වන විට මගේ ශිශ්නය ප්‍රාණවත් නොවීම අයහපත් ලක්ෂණයක් බව මට තේරුම් ගත හැකි විය. ඉන් පසු ගෙවීගිය මාස දොළහ ඇතුළත මෙම තත්වය ටිකෙන් ටික දරුණු අතට හැරුණි. ස්වයං වින්දනයේ යෙදීම සහ ලිංගික සංසර්ගයේ යෙදීම කළ නොහැකි තත්වයකට පත් විය. ලිංගික උත්තේජනය නැවැත්වූ සැණින් මගේ ලිඟුව දුර්වල වීමට පටන් ගත්තේය. මම යම් අපහසුතාවකින් පෙළෙන බව ඒ දිනවල සිටි මගේ පෙම්වතියට හැඟී ගියත් මේ ගැන ඇය සමග කතා කිරීම ඉතා අපහසු කාර්යයක් වන්නෙමි. මේ පිළිබද කතා කිරීමට හෝ උපදෙස් ලබා ගැනීමට හැකි කිසිවෙක් ගැන මා දැන සිටියේ නැත. පියා නොමැතිව හැදී වැඩුණු මට මේ ගැන පාසල් මිතුරන්ට පැවසීමට ද නොහැකිය. ඔවුන් මෙය දැනගතහොත් මට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදු වනු ඇත. අන් අය මෙන් මමත් පාසලේදී ලිංගික ජීවිතය ගැන විහිළු කතා ගෙතීමට පටන් ගත්තේ වෙන කළ කිසිවක් නොමැති නිසාවෙනි. නමුත් යම් දෙයක් සිදුවන බව දැන ගෙන එය සැඟවීමට උත්සාහ කිරීම මට මහත් මානසික පීඩාවක් විය. මෙතෙක් කල් මා සිතා සිටියේ ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන්නේ මහළු පුද්ගලයන් පමණක් ලෙසය. නමුත් මෙය තරුණයන් අතර සීඝ්රයෙන් ඉහළ යන ප්‍රශ්නයක් බවට මෑතකදී සිදු කළ පරීක්ෂණයකින් හෙළි විය. එක්සත් රාජධානිය තුළ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු හතළිහට අඩු අය වෙති. සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙක් ජීවිතයේ කිසියම් අවස්ථාවක දී මෙවන් තත්වයකට මුහුණ දී ඇති බව මගේ වර්තමාන වෛද්‍යවරයා පැවසුවේය. නමුත් මෙය අදටත් චාරිත්‍ර හා බැඳුන මාතෘකාවකි. ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට නැරඹීම මෙයට හේතුවක් විය හැකිය. ගැටවර වියේදී දිනකට කීප වතාවක් ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට නැරඹීමට මම පෙළඹී සිටියෙමි. මෙම ඇබ්බැහිවීම හේතුවෙන් සාමාන්‍ය ජීවිතයේ දී කාන්තාවක් සමග ලිංගිකව එක් වීම මට ඉතා අපහසු කාර්යයක් විය. බොහෝ පුරුෂයන් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇත. දැන් මට වයස අවුරුදු විසිපහකි. එක් අවස්ථාවක දී මම වෛද්‍යවරයෙක් හමු වුණෙමි. නමුත් එයින් මගේ තත්වය තවත් නරක අතට හැරුණි. මගේ තත්වය සුළු කොට තැකූ වෛද්‍යවරයා, ලිඟුව අප්‍රාණික වීමට හේතුව ඕනෑවට වඩා ස්වයං වින්දනයේ යෙදීම බව පැවසුවේය. මම තවදුරටත් මනසින් කඩා වැටුනෙමි. මම රහසිගතව අන්තර්ජාලය ඔස්සේ ඉන්දියාවෙන් 'ව්‍යඝ්‍රා'පෙති ගෙන්වා ගැනීමට පටන් ගත්තෙමි. ලිංගිකව එක්වීමට පෙර රහසේ නාන කාමරයට යන මම එයින් එක පෙත්තක් ගිල දමා පිටතට පැමිණෙන්නෙමි. ඉන් පසු මගේ ලිඟුව ප්‍රාණවත් වනතෙක් පෙම්වතියගේ ඇඟේ දැවටෙමින් විනාඩි විස්සක පමණ කාලයක් ගෙවීමට සිදු වේ. මා තුළ තිබූ අනියත බිය නිසා ව්‍යඝ්‍රා පෙති සදහා වසර ගණනාවක් ඇතුළත මම විශාල මුදලක් වැය කළෙමි. බොහෝ තරුණයන්ගේ පසුම්බිය තුළ උපත් පාලන කොපු තිබුණත්, මා ළඟ තිබුණේ ව්‍යඝ්‍රා පෙතිය. තරුණ වයසේ පසු වුණ මම මේ ප්රශ්නය හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක් වුණෙමි. ව්‍යඝ්‍රා පෙති අවසන් වූ සැණින් මහත් කලබලයට පත් වන මම ලිංගික සංසර්ගයේ යෙදීම මඟ හැරීමට පෙළඹුණෙමි. පෙති භාවිතය තුළින් මගේ ලිඟුව ප්‍රාණවත් වුවත්, ලිංගික සංසර්ගයෙන් සතුටට පත් වූයේ නැත. කිසියම් මොහොතක ලිඟුව අප්‍රාණික වනු ඇතැයි බියෙන් පසු වුනෙමි. දිනක් මගේ පෙම්වතිය ව්‍යඝ්‍රා පෙති දැක ඒ පිළිබද අසා සිටි අතර මම මහත් අපහසුතාවට පත්වුනෙමි. මම ඇය පැවසූ දෙය නෑසුනාක් මෙන් සිටීමේ අසාර්ථක උත්සාහයක යෙදුණෙමි. පසුව මගේ මේ 'රහස' නිසා අප දෙදෙනාට වෙන් වන්නට සිදු විය. මගේ ප්රශ්නය ඇයට හෙළි කළ යුතුව තිබුණේ යැයි සිතුනත් ලැජ්ජාව නිසා අපහසුවෙන් වුවද එම සිතුවිල්ල යටපත් කර ගැනීමට සිදු විය. මෙම ප්‍රශ්නයත් සමග වසර ගණනාවක් ජීවත් වුණ මට අවසානයේදී සිය දිවි නසා ගැනීමට සිත් විය. මට ගැහැණු ළමයකු සමග කිසිදු කායික සම්බන්ධතාවක් පැවැත්වීමට නොහැකි විය. ලිඟුව අප්‍රාණික නම් මම කෙසේ කායික සම්බන්ධතා පවත්වන්නද? මෙම ප්රශ්නය නිසා කිසිදු දවසක ආදරය සොයා ගෙන පවුලක් ආරම්භ කළ නොහැකි යැයි මට හැඟුනි. තවත් මම උත්සාහ කර බැලීමේ තේරුමක් තිබේද? මෙම ප්රශ්නය ගැන සිතමින් මා හඬා වැළපුණු අවස්ථා එමටය. මම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පටන් ගත්තෙමි. මගේ ශරීරය විනාශ වී අවසානය. මම තව දුරටත් ශරීරයට වධ දීම ගැන පසුතැවිය යුතුද? දැඩි මානසික පීඩනයකින් සිටි මම, දිනක් මගේ මව වැඩ කරමින් සිටි මුළුතැන්ගෙය තුළට ගොස් ඇය අසල හිඳ ගෙන සියලු දේ ඇයට පැවසුවෙමි. වයස අවුරුදු තිහ පසු වූ විටත් මගේ ප්රශ්නය නිරාකරණය වූයේ නැත්නම් සිය දිවි නසා ගන්නා බව ද පැවසුවෙමි. ඇය ඉතා කම්පනයට පත් වූවත්, මට මහත් ලෙස උපකාර කිරීමට සූදානම් වූවාය. ඇය වහාම වෙනත් වෛද්‍යවරයකු හමුවීමට දිනයක් වෙන් කළාය. පසුව මා විශේෂඥ වෛද්‍යවරකුට යොමු කරන ලද අතර, ඔහු නව ප්‍රතිකාර රැසක් නිර්දේශ කළේය. මෙම ප්‍රශ්නයෙන් මිදීමට මම උපරිම උත්සාහ කළෙමි. විටෙක ඖෂධ පෙති භාවිතා කළ අතර, නොයෙකුත් 'ජෙලි' වර්ග ද ආලේප කළෙමි. එතැනින් නොනැවතී ශිශ්නයට එන්නත් විදීමට ද මට සිදු විය. එය ඇඟ කිලිපොළා යන ක්‍රියාවලියකි. රූ ගත කිරීම් අවසාන වන තෙක් ලිඟුව ප්‍රාණවත්ව තබා ගැනීමට නිල් චිත්‍රපට නළුවන් එන්නත් විද ගන්නා බව දැනගන්නට ලැබිණි. එන්නත ශිශ්නය ආසන්නයට ගෙන එන සෑම වාරයකදීම මගේ අත් ගැහෙන්නට විය. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාරයෙන් පසු යම් ප්‍රගතියක් දැකිය හැකි විය. නමුත් එහි ඇති භයංකර ස්වභාවය නිසා සති හයකින් පසු එන්නත් ලබා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට කටයුතු කළෙමි. පුද්ගලයෙක් සිය කැමැත්තෙන් ශිශ්නයට එන්නත් විද ගන්නේ කුමන හේතුවකටද? යන්න මට සිතා ගැනීම අපහසුය. මම උපදේශන සේවාවලට සහභාගී වූ අතර, ලිඟුව අප්‍රාණික වීමට මානසික ආතතියේ ඇති බලපෑම පිළිබද ස්වයං අධ්‍යනයක යෙදීමට පටන් ගත්තෙමි. මගේ ප්රශ්නය තවත් කෙනෙකු සමග සාකච්ඡා නොකර මෙතෙක් කල් සඟවාගෙන සිටීමෙන් එය උග්‍ර අතට හැරුණ බව මට වැටහුණි. තව දුරටත් මෙය නොරහසක් බව හැඟෙන විට මට මහත් සහනයක් දැනෙන්නට විය. මගේ හිසෙන් විශාල බරක් නිදහස් වූවා වැනි හැඟීමක් ඇති විය. නොයෙක් ආකාරයේ පරීක්ෂණවලින් පසු මගේ ශිශ්නයට වටා ඇති රුධිර නාලිකාවල යම් සංකූලතාවයක් හඳුනාගැනීමට හැකි වුණි. එහි සරල තේරුම නම් ශිශ්නය වටා හරියාකාරව රුධිරය සංසරණය නොවීමයි. නමුත් මෙය ඇති වීමට හේතුව හෝ කෙතරම් දුරට පැතිරී ඇත්දැයි යන්න පිළිබද වෛද්‍යවරුන්ට එකඟතාවකට පැමිණීම නොහැකි විය. සනාල රෝග (රුධිරයේ නිදහස් සංසරණයට බාධා එල්ල වීමෙන් හෝ බිඳ වැටීමෙන් ඇති වන රෝගී තත්වයන්), ලිංගාශ්‍රිත තුවාල හෝ අනවශ්‍ය ලෙස ස්වයං වින්දනයේ යෙදීමෙන් ශිශ්නයේ පටක හානි වීම පෙර කී සංකූලතාවයන්ට හේතු විය හැකිය. මෙම තත්වය හේතුවෙන් විශාදිය සහ මානසික ආතතිය ඇති වීමේ ප්‍රවණතාවක් ඇත. කෙසේ වෙතත්, ලිඟුව අප්‍රාණික බව සුව කිරීමට දීර්ඝකාලීන විසඳුමක් නොමැති බව මට වැටහුණි. නව ඖෂධ වර්ග භාවිතා කළත්, එය මාස කීපයක සහනයක් පමණි. නැවතත් මම ඉතා කනස්සල්ලට පත් වුණෙමි. අවසානයේ දී ශිශ්නයක් බද්ධ කිරීමට මගේ වෛද්‍යවරයා යෝජනා කළේය. මෙයින් සිදු වන්නේ ප්ලාස්ටික් කූරු දෙකක් ශිශ්නය තුළින් ඇතුළු කර එය මගේ උදරය තුළ තැන්පත් කළ ලවණ අඩංගු බෑගයකට සම්බන්ධ කිරීමයි. මගේ වෘෂණ කෝෂ තුළ සැඟවූ පොම්පයක අධාරයෙන් එකී පද්ධතිය ක්‍රියාත්මක වෙනු ඇත. මම සැත්කමට මුහුණ දුන්නෙමි. ලිංගිකව එක්වන සෑම අවස්ථාවකටම පෙර දස වතාවක් පමණ පොම්පය මිරිකීමෙන් මගේ ශිශ්නය වටා ඇති ධමනි ප්‍රසාරණය වන අතර, එයින් ලිඟුවේ ප්‍රාණවත් බව රඳා පැවතුණි. එය නැවතත් අප්‍රාණික වන්නේ මුදාහැරීමේ බොත්තම එබූ විටය. නමුත් මට සාමාන්‍ය පරිදි ශුක්‍ර මෝචනය සිදු කළ හැකිය. සැත්කමින් මාස තුනකට පසු හමු වූ මගේ වර්තමාන පෙම්වතියට මම සියල්ල හෙළි කළෙමි. මම ස්වයංක්‍රීය තත්වයෙන් මිදී දෑතින් පණ ගැන්විය යුතු තත්වයක සිටින බවට විහිළු කරමින් පැහැදිලි කළෙමි. ඇය ඉතා විවෘත මනසකින් සියල්ල තේරුම් ගත්තාය. මින් කලකට පෙර ඇය මට මුණගැසුනේ නම් ප්‍රශ්න මෙතරම් දුර දිග නොයන අතර මානසික පීඩනයට ලක් වන්නේ ද නැතැයි මට සිතුණි. යහළුවන්ට පවා මගේ තත්වය පැහැදිලි කර දුන්නෙමි. ඔවුන්ට මා හඳුන්වා දුන්නේ 'රොබෝ මිනිසෙකු' ලෙසය. ඒ වන විට මම රැකියාවේ නිරත වූයේ ගොඩනැගිලි ඉදිකිරීම් පොළකය. මෙම කතාව ඇසීමෙන් පසු කුතුහලයට පත් එහි සිටි සියලු දෙනා මගේ ශරීරයට සවිකළ පද්ධතිය ක්‍රියා කරන ආකාරය දැකීමට මහත් උනන්දුවක් දැක්විය. එය නව උපකරණයක් එළිදක්වන අවස්ථාවක් මෙන් විය. මගේ සමීප මිතුරෝ බොහෝ උපකාරශීලී වූහ. වසර ගණනාවකට පෙර ඔවුන් මෙම තත්වය දැන ගෙන විහිළු තහළු කරනු ඇතැයි සිතා සිටි මට මෙය පුදුමයට කාරණයකි. මගේ තත්වය මින් පෙර හෙළි නොකිරීම පිළිබද ඇත්තෙන්ම ඔවුහු දුකට පත් වූහ. ලිඟුව අප්‍රාණික නොවී ලිංගික සංසර්ගයේ යෙදෙන්න ලැබීම මට මහත් මානසික සතුටක් ගෙන දුන්නේය. නමුත් ශිශ්නය බද්ධ කිරීමට ගත් තීරණය නිවැරදිදැයි මට සමහර අවස්ථාවල දී සිතුනත් එම තීරණය ආපසු හැරවිය නොහැකිය. තව වසර විස්සක් පමණ ගත වන විට ලිඟුව අප්‍රාණික වීමට ප්‍රතිකාර සොයා ගැනීමට හැකි වනු ඇත. නමුත් මට තවත් කළ හැකි කිසිවක් ඉතිරි වී නොමැත. කිසියම් ප්‍රතිකාරයක් ලබා ගැනීමට පෙර ඔබේ තත්වය තවත් කෙනෙකු සමග සාකච්ඡා කරන මෙන් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින ඕනෑම පුද්ගලයෙකුට මගේ අවවාදයයි. හැකිනම් ඔබට උපකාර කළ හැකි පෙම්වතියක් සොයා ගැනීම ද වැදගත්ය. මා මෙන් සියල්ල සඟවා ගෙන ව්‍යඝ්‍රා පෙති භාවිතා කිරීම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේය. පුරුෂ ලිංගික බෙලහීනතාවට ඇති ප්‍රතිකාර මොනවාද? "සමහරු සිතනවා ඔවුන්ගේ ශිශ්නය අනිත් අයට වඩා කුඩා ඇති කියලා. මේ වගේ අවස්ථාවක අපි එය මැන බැලීමක් සිදු කරනවා. මෙය බොහෝ විට මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම කුඩා ශිශ්නයක් හිමි පුද්ගලයෙකුට දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කරනවා. මෙයට හේතුව යම් කිසි මානසික තත්වයක් හෝ ජීවත් වන පරිසරය නම්, ඒ දේවල් වෙනස් කර ගන්න අදාළ පුද්ගලයා උපදේශන සේවා වෙත යොමු කිරීමට අප කටයුතු කරනවා. නමුත් උග්‍ර මානසික රෝගයකින් පෙළෙන්නේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි" "විශේෂයෙන් සඳහන් කළ යුතු දේ වන්නේ, මේ වගේ ප්‍රශ්නයකින් යම් කෙනෙක් පීඩා විඳී නම් අනිවාර්යයෙන්ම එය තම සහකරු හෝ සහකාරියට, පවුලේ කෙනෙකුට හෝ හිතවත් යහළුවකු සමග සාකච්ඡා කරන්න. වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. එසේ නැත්නම් පවුල් උපදේශන සේවා වෙත යොමු වෙන්න. නමුත් කරුණු සඟවා ගෙන සිටීමට උත්සහ දැරීමෙන් සිදු වන්නේ ජීවිතය ප්‍රශ්න ගොඩක් බවට පත් වී දරුණු මානසික පීඩනයකට ලක් වීමය. රෝගයක් තිබේනම් එයට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි. නැත්නම් රෝගය උත්සන්න වෙලා අවසානයේදී ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන්" යැයි විශේෂඥ වෛද්‍ය විලත්ගමුව සඳහන් කර සිටියාය. තවත් තොරතුරු: |
චැම්පියන්ස් ලීග් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතහැර කඳුරට කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන් තීරණය කළේ යයි ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි. | සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉවත් වීම වෙනුවෙන් පැනවෙන දඩ මුදල ගෙවන බව පැවසූ කුමාර් සංගක්කාර මේ අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මැදිහත් වූ ආකාරය පිළිබඳව කණස්සල්ල පළ කොට ඇත. සැප්තැම්බර් මස 17 වැනිදා ආරම්භ වීමට නියමිත චැම්පියන්ස් ලීග් තරගාවලියේදී රටවල් තරඟ නො වදින හෙයින් ඊට සහභාගී වීම තුලින් රට පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා, එස්.එල්.පී.එල් තරඟ අයිතියත් විදේශිකයකු සතු වන බවක් ද පෙන්වා දී තිබුණි. තමා මුදල ගැන පමණක් සිතා ක්‍රීඩා කර නැති බව කියා සිටින කුමාර් සංගක්කාර, අතීතයේ ඔහු ගත් ක්‍රියාමාර්ග උදාහරණ සහිතව ඉදිරිපත් කරමින් තමා පිළිබඳව රට තුළ වැරදි අදහසක් මතු කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබුණි. |
ශ්‍රී ලංකාවට පැමිණ සිටින මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය උතුරේ සංචාරයේ පළමු දිනයේදී රජයේ නිලධාරීන් මෙන්ම ජනතා නියෝජිතයන්ද මුණ ගැසුණාය. | නවී පිල්ලේ පැමිණ සිටියදී අතුරුදහන් වුවන්ගේ මෙන්ම යුද්ධයෙන් විපතට පත් වුවන්ගේ ද ඥාතීන් යාපනයේදී උද්ඝෝෂණ දෙකක් පැවැත්වුහ. අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ඇය හමුවීමට කළ උත්සාහය අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ඇය හමුවීමට කළ උත්සාහය පොලිසිය විසින් වලකන ලදී. යාපනයේදී දිසාපති සහ උතුරේ ආණ්ඩු කාරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මහ කොමසාරිස් වරිය හා සාකච්ඡා කළහ. එලිලන් ගේ බිරිඳ යාපනයේ බහුජන සංවිධාන වල නියෝජිතයන් ද නවී පිල්ලේ සමග සාකච්ඡා කළ අතර එල්ටීටීඊ යේ ත්‍රිකුණාමල දේශපාලන අංශයේ හිටපු නායක එලිලන් ගේ බිරිඳ ට ද මහ කොමසාරිස් වරිය හමුවීමේ අවස්ථාවක් ලැබී තිබේ. කිලිනොච්චියේ ද මුලතිව් හිද අඟහරුවාදා දිනයේ සංචාරය කරන නවී පිල්ලේ බදාදා ත්‍රිකුණාමලය බලා යාමට නියමිතයි. |
1960 සිට 80 දශකය දක්වා කාලය තුළ දහස් ගණන් ශ්‍රී ලාංකික දරුවන් හදා වඩා ගැනීම පිණිස විදේශීය දෙමාපියන්ට භාර දෙනු ලැබිණ. "බේබි ෆාම්" මධ්‍යස්ථාන මගින් ඇතැම් දරුවන් යුරෝපීය දෙමාපියන්ට විකුණනු ලැබිණ. එහිදී දරුවන් ලබාගැනීම පිණිස දෙමාපියන්ට බලපෑම් කෙරුණු බවට සහ අල්ලස් දී ඇති බවට එල්ල වූ චෝදනා හමුවේ, එසේ දරුවන් දහස් ගණනක් භාරගත් නෙදර්ලන්තය, විදේශීය දරුවන් දරු කමට හදාවඩා ගැනීම මෑතදී තහනම් කළේය. ඒ පරීක්ෂණය තවදුරටත් පැවැත්වෙන අතරවාරයේ, සිය දරුවා කෙදිනක හෝ යළි පැමිණෙනු ඇතැයි බලා සිටි අම්මාවරු තවමත් ඒ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටිති. | සිය පුතා, ජගත්, හදාවඩා ගැනීම පිණිස දීමෙන් පසු යසවතී මාතාවට ලැබුණ එකම ඡායාරූපය මෙයයි අම්මා සහ බාල නංගී රැගෙන රතු පැහැති මෝටර් රථයක් දිනක් හැන්දෑ යාමයේ නිවසින් පිටත්ව ගිය අයුරු ඉන්දික වඩුගේට තවමත් මතකය. ඊට පසු දින අම්මා යළි නිවසට එන තුරු ඉන්දික සහ වැඩිමහල් නැගණිය, දමයන්ති, නිවසට වී සිටියහ. නිලන්ති නංගීත් සමඟ පිටත්ව ගිය අම්මා යළි පැමිණියේ තනිවය. "යන්නම් කියල අත වනල ගියපු නංගි පිටරට යාවි කියල හරි අපි එයාව දකින්නේ අන්තිම වතාවට කියල මට නිකමටවත් හිතුණේ නෑ," ඉන්දික පවසයි. ඒ 1985 හෝ 1986 වසරේ දිනයකි. ඒ වනවිට ඔවුන්ගේ පියා පවුලෙන් ඈත්ව ගොසිනි. අම්මා, පනික්කාර්ගේ සෝමවතීට සිදුවූයේ තනිවම දරු තිදෙනා ඇති දැඩි කිරීමටය. දෛනික ජීවිතය ගෙවාගැනීමට ඔවුන් අරගලයක නිරතව සිටියදී, නිලන්ති නංගී දරු කමට හදාවඩා ගැනීමට භාර දෙන මෙන් අම්මා දැන සිටි පුද්ගලයෙක් ඇය එකඟ කරගත් අයුරු ඉන්දිකට මතකය. දෙමාපියන් සමඟ දිනක් 'බේබි ෆාම්' මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ අම්මාවරු පැදුරු මත නිදා සිටිනු දුටු බව ඉන්දික පවසයි ඉන්දික පවසන්නේ ඒ පුරුෂයා එවක කොටහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "බේබි ෆාම්" මධ්‍යස්ථානයක බ්‍රෝකර්වරයෙකු බවය. අධිකරණ ලිපිකාරිනියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා විසින් එය පවත්වාගෙන යන ලද බව පවසන ඔහු, එම බිළිඳුන් විකිණීම පිණිස විදේශික දෙමාපියන් සොයා දීම භාරව සිටියේ සිය නැගෙණිය කැඳවා ගිය පුරුෂයා බවත් පැවසීය. එසේ දරුවන් භාරගත් විදේශිකයන් අතරින් විශාල පිරිසක් ඕලන්ද ජාතිකයන්ය. ඉන්දික පවසන්නේ, එය දරුවන් විකුණන මධ්‍යස්ථානයක් යයි සිය මව සෝමවතී දැන සිටි බවය. එහෙත් ඒ අවස්ථාවේ ඇයට විකල්පයක් නොවූ බවත් පුතා පිළිගනියි. දියණිය භාරදුන් අවස්ථාවේ ඔවුන් සෝමාවතීට රුපියල් 1500 ක් (එවක ඩොලර් 55ක් පමණ) දී තිබේ. "අම්ම ඒක දැනගෙන හිටිය, ඒත් අම්මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මම හිතන්නේ අම්ම ඒ තීරණය ගත්තේ එයාට අපි සේරටම කන්න දෙන්න බැරි නිසා. මම එයාට වැරැද්දක් කියන්නේ නෑ." නිලන්ති නංගී භාරදීමට ප්‍රථම තාත්තාත්, අම්මා සමඟ "බේබි ෆාම්" මධ්‍යස්ථානයට ගිය බව ඉන්දිකට මතකය. ඒත් ඒ කවර කරුණක් සඳහා දැයි ඔහුගේ මතකයේ නැත. එය දෙමහල් ගොඩනැගිල්ලක් බවත් අලුත දරුවන් ප්‍රසූත කළ මාතාවන් කිහිප දෙනෙකු එහි පහළ මාලයේ පැදුරුවල වැතිරී සිටි බවත් ඔහුට මතකය. "ඒක හරිම අපිරිසිදු තැනක්, හරියට හොස්පිටල් වාට්ටුවක් වගේ," ඔහු පැවසීය. "දැන් මම දන්නවා ඒක බේබි ෆාම් එකක් කියල. එයාල දරුවෝ ලැබෙන කල් අම්මල බලාගෙන ඊට පස්සේ ඒ දරුවෝ විකුනනවා. එතන බොහොම හොඳ බිස්නස් එකක් කළේ." වරක් අම්මාගේ මිතුරියක සිය බිළිඳා එම ස්ථානයට භාර දී අම්මා හමුවීමට පැමිණි බවත් ඔහුට මතකය. "අම්මට කතා කරන ගමන් එයා අඬ, අඬ හිටිය මට මතකයි." නිලන්ති හදාවඩා ගැනීම පිණිස භාරදීම හැර තමන්ට විකල්පයක් නොතිබුණ බව සෝමවතීට හැඟිණ ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි කැරැල්ල සමයේ සිය නැගෙණිය රැගෙන ගිය පුරුෂයා ද මෝටර් රථය තුළම පුළුස්සා මරා දමා තිබුණු බව ඉන්දික පවසයි. "ඒ දවස්වල ඒක හැම මාධ්‍යයකම ගියා." ඔහු පවසන්නේ, ගිනි ගෙන දැවී ගිය මෝටර් රථයේ ඡායාරූප දුටු විට එය එදා රාත්‍රියේ අම්මාත්, නැගෙණියත් රැගෙන ගිය මෝටර් රථය යයි තමන්ට වැටහුණ බවය. නෙදර්ලන්තයේ හෝ ඔස්ට්‍රියාවේ දෙමාපියන් සිය නංගී දරුකමට හදාගත් බව විශ්වාස කරන ඉන්දික පවසන්නේ, අසනීපයෙන් පසුවන අම්මා නිලන්ති ගැන ආරංචියක් ලැබෙන තුරු දින ගණන් කරමින් සිටින බවය. එහෙත් නැගෙණිය ගේ එක් ඡායාරූපයක් හෝ ඔවුන් සතුව නැත. "අම්මට දැන් අවුරුදු 63ක්. එයාගේ එකම බලාපොරොත්තුව මැරෙන්න කලින් නංගි දැකගන්න එක. ඒ නිසා මේක මම කරන්නේ අම්ම වෙනුවෙන්," යනුවෙන් ද 42 හැවිරිදි ඉන්දික වඩුගේ පැවසීය. සිය දරුවන් විදේශික දෙමාපියන්ට භාර දීමට සිදු වූ බොහෝ අම්මලාගේ ප්‍රාර්ථනාව ද එයයි. රණවීර ආරච්චිගේ යසවතී පවසන්නේ, සිය බිළිඳු දරුවා "විකිණීමට" තමන්ගේ කිසිදු අභිලාශයක් නොවූ බවය. අවිවාහක, තරුණ මවක ගැන සමාජයේ පවතින ආකල්ප හේතුවෙන් දරුවා හදාවඩා ගැනීම පිණිස දීමට තීරණය කළ බව ඇය පවසන්නීය. "මට ඒ වේලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය මම ගත්තේ. ඒත් ඒක හරිම වේදනාකාරී දෙයක්," යසවතී පවසයි. "මම මගේ දරුවා ගැන හිතුවා. මම ඒ වේලාවේ දරුවා බලාගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නැහැ. ඒ වගේම සමාජයෙන් එල්ල වෙන්න පුළුවන් අභියෝග ගැනත් මම බයෙන් හිටියේ." පළාතේ පුරුෂයෙකු සමඟ පෙම් සබඳතාවක් අරඹන විට යසවතී පාසල් දැරියකි ගතානුගතිකවාදී ශ්‍රී ලංකා සමාජය තුළ විවාහයෙන් තොර ලිංගික පහස පිළිබඳව පවතින්නේ පහත් ආකල්පයකි. එමෙන්ම ගබ්සාව නීතියෙන් තහනම්ය. 1983 දී පාසල් අධ්‍යාපනය හමාර කළ විටම පාහේ පාසලට යන අතරතුර හඳුනාගත් වැඩිමහල් පුරුෂයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් අරඹන විට යසවතී 17 වෙනි වියේ පසු වූවාය. සිය වැඩිමහල් සොයුරන් දෙදෙනා පෑ විරෝධය ද නොතකා ඇය ටික දිනෙකින් පෙම්වතාගේ නිවසේ පදිංචියට ගියේ "බලහත්කාරයෙන් වගේ," බවත් ඇය පවසන්නීය. මුලදී ඔහු ඇයට හොඳින් සැලකූ නමුත් පසුව ඔහුගේ හැසිරීම වෙනස් වූ බව යසවතී පවසයි. පෙම්වතා සහ ඔහුගේ නැගෙණිය යසවතී විවේචනය කරන්නට සහ ඇයට දෝෂාරෝපණය කරන්නට වූහ. පසුව ඔහුට වෙනත් පෙම් සබඳතා පවතින බවත් යසවතීට දැනගැනීමට ලැබිණ. "පස්සේ එයා මාව මගේ ගෙදර එක්කන් ආවා. ඇවිත් රෙදි වෙළෙඳාම් කරන්න යනවා කියලා මාව ගෙදර දාලා ගියා. ඊට පස්සේ ආවේම නැහැ. මම එයාව හෙව්වා, හෙව්වා හම්බවුනේම නැහැ. මම හරිම කලකිරීමකින්, වේදනාවකින් ජීවත්වුණා." ඇය දෙමස් ගැබිණියක බව දැනගත් යසවතීගේ අක්කා සහ සොහොයුරෝ ඇය නිවසින් එලවා දැමූහ. 1984 දෙසැම්බර් 24 වෙනි දින ජගත් උපත ලැබුවේය "ඒ අතරේ ඒ පැත්තේ රෙජිස්ට්‍රාර් නෝනා කෙනෙක් හිටියා. මම එයාට ලියුමක් ලිව්වා මට විඳින්න වෙලා තියෙන දුක් කන්දරාව නිසා මම ජීවිතේ හානි කරගන්නවා කියලා. පස්සේ එයාගෙන් මට ලියුමක් ආවා, ඔයා තියන ඇඳුම් ටික අරගෙන මෙහෙ එන්න කියලා. මම එයාගේ කාර්යාලයේ මාස අටක් වගේ වැඩ කළා. මට දරුවෙක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා කිව්වා අපි කාට හරි බබා හදාගන්න දෙමු කියල. එයා අඳුරන ඇටෙන්ඩන්ට් නෝනා කෙනෙක් ඉන්නවා රත්නපුර මහ රෝහලේ, එයා එක්ක කතා කරලා දරුවා කාට හරි දෙමු කිව්වා." ඇයගේ පුතා, ජගත් රත්නායක, 1984 දෙසැම්බර් 24 වෙනි දින රත්නපුර මහ රෝහලේ දී උපත ලැබුවේය. "සති දෙකක් විතර ඉඳලා මාව කොළඹ එක්කන් ආවා. එතන ළමා නිවාසයක් වගේ තැනක්. මට තැන හරියට මතක නැහැ. හැබැයි මම වගේ තව දෙතුන්, දෙනෙක් හිටියා," යසවතී පවසයි. "එහේදි සුදු ජාතිකයෝ දෙන්නෙක් මගේ ළමය භාරගත්තා. හැබැයි මම දැනගෙන හිටියේ නැහැ එයාලා මොන රටේ අයද කියලා. මට රුපියල් 2000 (එවක ඩොලර් 85 ක් පමණ) එක්ක රෙදි පාර්සලයක් දුන්නා ගමේ යනකොට අරගෙන යන්න කියලා, එච්චරයි." "මගේ එකම ප්‍රාර්ථනය මැරෙන්න කලින් මගේ පුතා දැකගන්න එක" මාස කිහිපයකට පසුව, ඇම්ස්ටර්ඩෑම් නුවර සිටින යුවලකගෙන් ඇයට ලිපියක් ලැබිණ. ජගත් පුතාගේ ඡායාරූපයක් ද එහි විය. "මම ඉංග්‍රීසි දන්නේ නෑ. දරුවා දුන්නු එකට මට ගොඩාක් ස්තුති කරලා, දරුවා හොඳින් ඉන්නවා කියල ඒ ලියුමේ කියල තිබුණ බව ඉංග්‍රීසි දන්න කෙනෙක් මට කිවුව. ඊට පස්සෙම මගේ ලමයා ගැන කිසිම ආරංචියක් නැහැ." පසුව විවාහ වී ගොඩකවෙල වාසය කරන 56 හැවිරිදි යසවතී දැන් තවත් පුතෙකුගේ සහ දියණියන් දෙදෙනකුගේ මවකි. "අදටත් මගේ ළමයා ගැන මතක් වෙලා දුක් වෙනවා. සුදු අම්මලා යනකොට එයාලා දැක්කම එයාලගෙන් මගේ පුතා කෝ කියලා අහන්න හිතුනු වාර අනන්තයි. මම හරි අසරණයි...," ඇගේ හඬ හැඬුම්බරය. සිය පුතු සොයා ගැනීමට ලැබුණ ද සමාජයෙන් ගැරහුම් ලබන්නට සිදුවනු ඇති දැයි යසවතී ගේ සිතේ බියක් ද පවතී. "මම කියන්නේ කාටවත් මේ වගේ දෙයක් සිද්ධවෙන්න එපා කියලා. මගේ එකම ප්‍රාර්ථනය මැරෙන්න කලින් මගේ පුතා දැකගන්න එක." සිය දෙමව්පියන් සමඟ කොටහේනේ "බේබි ෆාම්' මධ්‍යස්ථානයකට ගිය බව ඉන්දික වඩුගේට මතකය 80 දශකයේදී ශ්‍රී ලංකාවේ දරුවන් දහස් ගණනක් ව්‍යාජ ලෙසින් විකුණා ඇති බව, 2017 දී නෙදර්ලන්තයේ සෙම්බ්ලා වැඩසටහනට සහභාගි වෙමින් එවක සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්නපැවසීය. 1980-90 කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ දරුවන් 11,000ක් පමණ යුරෝපයට අලෙවි කර ඇති බව විශ්වාස කෙරේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය. විශේෂයෙන්ම 1980 දශකයේදී සංවිධානාත්මක පිරිසක් ව්‍යාජ ලියකියවිලි නිර්මාණය කර දරුවන් අලෙවි කර තිබෙන බවත් ඕලන්ද මාධ්‍ය කණ්ඩායමක් කළ විමර්ශනයේ දී හෙළිවිය. ඒ අතරින් ඇතැම් දරුවන් බටහිර රටවලට අලෙවි කර තිබෙන්නේ 'බේබි ෆාම්' නමින් හැඳින්වුණ ස්ථානවලිනි. බලවත් සහ සමාජය තුළ බලපෑමක් කළ හැකි ඇතැම් පුද්ගලයන් අසරණ කාන්තාවන්ගේ ඉරණමෙන් ආර්ථික වාසි ලබාගත්තා විය හැකි බවට සිය පර්යේෂණවලදී ඉඟි පළ වූ බව වසර 15 ක් මුළුල්ලේ ඒ පිළිබඳව පර්යේෂණ පවත්වන මාධ්‍යවේදිනී තරිඳි ෆොන්සේකා පවසයි. විදේශික දෙමාපියන් විසින් හදා ගනු ලැබූ දරුවන් 165 දෙනෙකුට පමණ යළි සිය මවුවරුන් මුණ ගැස්වීමට උපකාර කළ ඇන්ඩෲ සිල්වා පවසන්නේ, රෝහල් සේවකයන්, නීතිවේදීන් සහ පරිවාස හා ළමාරක්ෂක සේවකයින් ඇතුළු බොහෝ දෙනා එයින් ආර්ථික වාසි ලබාගෙන ඇති බවය. සංචාරක කර්මාන්තයේ නිරතව සිටියදී මුණ ගැසුණු ඕලන්ද ජාතිකයෙකුගේ ඉල්ලීමක් පරිදි මුලින්ම නෙදර්ලන්තයේ වෙසෙන දරුවන්ට මවුවරුන් සොයා දීමට උපකාර කළ ඇන්ඩෲ සිල්වා වෙත දැන් නිරන්තරයෙන් මවුවරුන්ගෙන් ද ඉල්ලීම් ගලා එමින් පවතී. "සමහර හොස්පිටල් ඇටෙන්ඩන්ට්ල දරුවෝ විකුණන්න සම්බන්ධයි කියල මට සමහර අම්මල කියල තියෙනව," ඔහු පැවසීය. "අහිංසක, තරුණ අම්මල හොයල 'උදවු කරන' විදියට තමා එයාල මේ වැඩේ කරල තියෙන්නේ." "වැඩ බලන මහේස්ත්‍රාත් කෙනෙක් විදියට තමන්ගෙන් කෙනෙකුට ඇඩප්ෂන් ඕඩර් එක්ක දෙන්න පුළුවන් වෙන කල් සමහර නීතිඥයෝ වගේම අධිකරණ නිලධාරීන් දරුවෝ සමහර තැන්වල රඳවගෙන හිටිය කියලත් අම්මල කිවුව." ඇන්ඩෲ සිල්වා, සිය දියණිය සොයන මවක වන සුමිත්‍රා සමග දරුවන් විකිණීමේ ජාවාරමකට ඇතැම් බලවත් පුද්ගලයන් සම්බන්ධ බවට නැගෙන චෝදනාව ඇතැම් මවුවරුන්ගේ කතා පුවත්වලින් ද හෙළිවිණ. 1981 දී සිය තුන් වෙනි දරුවා පිළිසිඳ ගත් අවස්ථාවේ, ඇය තමන්ට ඇති දැඩි කළ නොහැකි බව වටහාගත් කාරියප්පෙරුම අතුකෝරාළ දොන් සුමිත්‍රා සහ ඇයගේ ස්වාමි පුරුෂයා අගනුවර පාස්ටර්වරයෙකුගේ පිහිට පැතූහ. නොවැම්බර් මාසයේ උපත ලැබූ දියණිය හදාවඩා ගැනීම පිණිස භාරදීම සංවිධානය කළ ඔහු තමන්ට රුපියල් 50,000 ක (එවක ඩොලර් 2600 ක් පමණ) මුදලක් දුන් බව ඇය පවසන්නීය. එහෙත් ඔවුන්ට කිසිදු ලියවිල්ලක් නොලැබිණ. "මගේ ළමයා දරුකමට දෙන්න හේතු වුණේ ඒ දවස්වල අපිට තිබ්බ දුප්පත්කමයි ඉන්න හරි හැටි තැනක් නැති එක නිසයි. මමයි මගේ මහත්තයයි කතාවෙලා තමයි දරුවා දෙන්න තීරණය කළේ," ඇය පවසන්නීය. "ඊට පස්සෙ මම ළමයා ගැන එයාලගෙන් ඇහුවාම කිව්වා බය වෙන්න එපා ඔයාලගේ ළමයා හොදින් ඉන්නවා කියලා. ඒත් මම දරුවා ගැන කිසි දෙයක් දන්නේ නෑ." ඉන් අනතුරුව ද පුතෙකු ප්‍රසූත කළ නමුත් 65 හැවිරිදි සුමිත්‍රාට සිය දියණිය ගැන මතකය මකා දැමිය නොහැකිය. එහෙත් දැන් කඩුවෙල වෙසෙන ඇය පවසන්නේ, තමන් දැන් පාස්ටර්වරයා ඉන්නා තැනක් හෝ නොදන්නා බවය. දියණියගේ ඡායාරූප ද ගංවතුරකින් බොඳ වී ගොසිනි. "මගේ දෙවැනි දුව කියනවා අම්මේ අපි ඒ පාස්ටර් හොයාගෙන යමු ගිහින් අපේ නංගි හොයාගමු කියලා. මගේ එකම බලාපොරොත්තුව මගේ ඒ දුව හොයාගන්න එක." සුමිත්‍රා ඇතුළු මවුවරුන් බොහෝ දෙනකුට දරුවන් සොයා දීමට ඇන්ඩෲ සිල්වා උත්සහ දරමින් සිටී. මේ මවුවරුන්ට ව්‍යාජ ලේඛන ලබා දී තිබීම හේතුවෙන් බොහෝවිට සිය උත්සාහය අසාර්ථක වන බව ඔහු පවසයි. සිය අම්මාවරුන් සොයා ගැනීම හදාවඩා ගනු ලැබූ දරුවන්ට ද ඉතා දුෂ්කර කාර්යයකි. ඇතැම්විට එසේ සොයා ගනු ලැබුව ද, ප්‍රතිඵලය ඉතා වේදනාකාරී ද විය හැකිය. නිමල් සමන්ත (දකුණේ) සිය නිවුන් සොහොයුරු ජූරි සංජීව සහ ඔහු හදාගත් මව සමඟ 1984 දී සති හයක ළදරුවෙකු සමයේ නිවුන් සොයුරු ජූරි සංජීව ද සමඟ හදා වඩා ගැනීම පිණිස නෙදර්ලන්ත යුවලකට භාර කෙරුණු නිමල් සමන්ත ෆොන් ඕත් මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ 2001 දීය. ඒ අවස්ථාවේ මුණ ගැසුණ පුද්ගලයෙකුගෙන් කරන ලද ඉල්ලීමකින් අනතුරුව 2003 දී එම පුද්ගලයා නිමල් සමන්තට දුරකතන ඇමතුමක් දුන්නේ, ඔහුගේ පවුල සොයාගත් බව දැනුම් දීම පිණිසය. එහෙත් එය සතුටුදායක ආරංචියක් නොවීය. ඔවුන්ගේ මව 1986 දී මෙලොව හැරගොස් තිබුණේ 21 හැවිරිදි වියේදීය. ඒ, තවත් දියණියක ප්‍රසූත කිරීමෙන් මාස තුනකට පසුවය. "එදා තමයි මගේ ජීවිතේ අඳුරුම දවස," නිමල් සමන්ත මා සමඟ පැවසීය. "මට හැමදාම ඕන වෙලා තිබුණ මගේ අම්ම හොඳින් ඉන්නවද කියල දැනගන්න, ඒ වගේම ඇයි මාව හදාගන්න දුන්නේ කියල දැනගන්න. මොකද එයා තමයි මට මගේ ජීවිතේ දුන්න කෙනා." "වැදගත්ම දේ වුනේ අම්ම හොඳින් ඉන්නවද කියල දැනගන්න එක." සිය මව මෙලොව හැරගොස් ඇති බව හෙළි වූ දිනය "මගේ ජීවිතයේ අඳුරුම දිනය" බව නිමල් සමන්ත පවසයි නෙදර්ලන්තවාසීන් විසින් හදා වඩා ගන්නා ලද ශ්‍රී ලාංකික පිරිසක් සමඟ එක්ව නිමල් සමන්ත පසුව නෝනා පදනම (Nona Foundation) නමින් පුණ්‍යායතනයක් ආරම්භ කළේ අම්මාගේ මතකය වෙනුවෙනි. සිය පුණ්‍යායතනය මේ වනවිට, ලිංගික අතවරවලට සහ විවිධ හිරිහැරවලට ලක්වූ දැරියන් 1600 කට පමණ ස්වෝත්සාහයෙන් නැගී සිටීම පිණිස උපකාර කර තිබෙන බව ඔහු පවසයි. වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ දැරියන් උදෙසා කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ නෙදර්ලන්ත රජතුමා විසින් ඔහු නයිට් නම්බු නාමයකින් පුදනු ලැබීය. නිමල් සමන්ත එසේ නෙදර්ලන්තයේ දී නයිට් පදවියකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් පළමු පුද්ගලයා ද විය හැකිය. "ඇත්තටම මම පුදුම වුණා. ඒත් ලොකු ගෞරවයක්. ඒ වගේම මගේ මෙහෙයට ලැබුණ කදිම පිළිගැනීමක්," ඔහු පැවසීය. විදේශික දරුවන් හදා වඩා ගැනීම තහනම් කිරීමේ නෙදර්ලන්ත ආණ්ඩුවේ තීරණය "හොඳම විසඳුම නොවන," බව ඔහුගේ අදහසය. එහෙත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් 1967 සිට 1997 යන කාලය තුළ හදාවඩා ගැනීමට දරුවන් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කළ නිල පරීක්ෂණයෙන් අනතුරුව, සිය රටේ දරුවන් හදාවඩා ගැනීමේ ක්‍රමවේදය තවමත් වංචා වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නොමැති බවට බලධාරීන් අනතුරු අඟවා තිබිණ. නිමල් සමන්ත නයිට් පදවියෙන් පුදනු ලැබුවේ නෝනා පදනමේ 15 වෙනි සංවත්සර උත්සවයේදී ය ව්‍යාජ ලිපිලේඛන සහ රහසිගතභාවය හේතුවෙන් හදාවඩා ගනු ලැබූ දරුවන් සහ මවුවරුන් එකතු කිරීම බොහෝවිට ඉතා අපහසු වුවත්, ඇතැම් දරුවෝ සිය දෙමාපියන් සොයා ගැනීමට වාසනාවන්ත වූහ. සනුල් විල්මර් 1984 පෙබරවාරි 27 වෙනි දින කොළඹ දී උපත ලැබුවේය. ඔහුට යාන්තමින් සති දහයක් සපිරෙන විට ඔහු නීත්‍යානුකූලව හදාවඩා ගැනීමට භාර දී තිබුණි. එතෙක් ඔහු සිය මව ද සමඟ දෙහිවල අනාථ නිවසක රැඳී සිටියේය. "මම හදාවඩා ගත්ත දරුවෙක් කියල පොඩි කාලේ ඉඳලම මම දැනගෙන හිටිය. ඉතින් මගේ ඇත්ත අම්ම, තාත්ත දකින්න මට හැමදාම ඕනකම තිබුණා," ඔහු පවසයි. නෙදර්ලන්ත සහ ඉංග්‍රීසි භාෂා හොඳින් හසුරුවන සනුල් මා සමඟ සිංහලෙන් ද අදහස් දක්වයි. "මට හැමදාම මගේ අනන්‍යතාව ගැන මේ අර්බුදය තිබුණ. මම කවුද? මම පෙනුමෙන් ශ්‍රී ලාංකිකයෙක් නමුත් මම හැදුණේ නෙදර්ලන්තේ. ඒ නිසා මගේ මුල ගැන මට හැමදාම කුතුහලයක් තිබුණා." සිය අම්මා සොයා දෙන මෙන් ඉල්ලා නෙදර්ලන්තයේ දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන ඒජන්සියකට සනුල් මුලින්ම ලිපියක් ලිවුවේ අට හැවිරිදි වියේදීය. ඔහුගේ මව සොයාගත් බව දන්වමින් ඒජන්සියෙන් ඔහුට ලිපියක් ලැබුණේ 15 හැවිදිරි වියේදීය. ඉන් වසරකට පසුව ඔවුහු එකිනෙකා මුණගැසුණහ. "මට නංගි කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා කියලත් මගේ තාත්ත තවමත් අම්ම එක්ක කියලත් මට දැනගන්න ලැබුණ. ඉතින් අපි සේරම හොරණ අපේ ගෙදර ගියා. ඒක හරිම සතුටු,ඒ වගේම දුක හිතුන දවසක්." "අම්ම දැක්ක එක හරිම සතුටුයි. ඒත් මට සිංහල බැරි නිසා එයාල එක්ක කතා කරගන්න බැරිවුන එක ගැන ගොඩක් දුක හිතුණා," සනුල් පවසයි. "ඒ වගේම එයාලගේ ජීවිතෙයි මගේ ජීවිතෙයි කොයිතරම් වෙනස් ද කියල දැකල මට දුක හිතුණ." ඇම්ස්ටර්ඩෑම් අගනුවර රෝහලක වෛද්‍යවරයෙකු වන සනූල් විල්මර් දැන් තමන් වැනි හදාවඩා ගත් ශ්‍රී ලාංකිකයන්ට සිංහල ගුරුවරයෙකි. තමන් හදාවඩා ගැනීම පිණිස භාර දුන්නේ මන්දැයි අම්මා තමන්ට විස්තර කළ බව කියා සිටි ඔහු පවසන්නේ, එය හෙළිකර අම්මාගේ සිත රිදීමට අකමැති බවය. ඔහුගේ සිතේ අම්මා ගැන කිසිදු අමනාපයක් නැත. 2019 නෙදර්ලන්තයේ දී පැවති ඔහුගේ විවාහයට සනුල් ගේ අම්මා සහ මල්ලී සහභාගි වූ අතර, ඔහු නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. "මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්න බව දැනගන්න ලැබුණ නිසා ඇත්තටම මම සතුටෙන්." අම්මා හමුවීම ප්‍රබල සතුටක් බව සනුල් පවසයි. සිය පුතුගේ විවාහයට සහභාගිවීම පිණිස ඔහුගේ අම්මා නෙදර්ලන්තයට පැමිණියාය දරුවන් හදාවඩා ගැනීමේ දී සිදු වූ වංචා ගැන බලධාරීන් කලක් මුළුල්ලේ දැන සිටි නමුත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව නෙදර්ලන්ත ආණ්ඩුව පසුගිය පෙබරවාරි මාසයේ හෙළි කළේය. අනාගත ආණ්ඩුවක් විසින් ඒ සම්බන්ධ අනාගත පියවර තීරණය කරනු ඇති බවත් ආණ්ඩුව පැවසීය. 80 දශකයේදී ශ්‍රී ලංකාවේ නීති විරෝධී දරුවන් හදා වඩා ගැනීමට පැවරීමේ ජාවාරමක් "සංචාරක ක්ෂේත්‍රයත් එක්ක මිශ්‍ර වෙලා සිදු වී තිබෙන," බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී යට පැවසීය. "දැන් තත්ත්වය ඒතරම් නරක නෑ නමුත් සිදු නොවෙනවා මයි කියල මම කියන්නෙත් නෑ," යනුවෙන් ද සඳහන් කළ ඔහු, ළමා කටයුතු සම්බන්ධයෙන් කැබිනට් ඇමතිවරයෙකු නොමැති බැවින් නෙදර්ලන්ත ආණ්ඩුවේ තීරණය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකරන බව ද කියා සිටියේය. සංස්කරණය: ලෝරන් පොට්ස් |
මාර්ග නීති කඩකිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් රුපියල් 25,000 ස්ථානීය දඩ මුදලක් අය කිරීමට ප්‍රවාහන ක්ෂේත්රයේ වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවලදී එකඟ වූ බව ආණ්ඩුව පවසයි. | යන මාර්ග නීති උල්ලංඝනය කිරීම් සඳහා එම දඩ මුදල අය කිරීමට එකඟ වූ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය. ගතව ගිය වසර තුල රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමේ අවස්ථා 50,000 අධික ප්‍රමාණයක් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධ වැරදි 49,000 ක් පිළිබඳව නීතිමය පියවර ගෙන ඇති බවත් සාකච්ඡාවේදී හෙළි වී තිබේ. මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති එම සාකච්ඡාවට නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ සහ පොලිසියේ නියෝජිතයන් ද සහභාගි වූහ. |
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 106 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. | සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 176ක් රැස් කළ කුසල් මෙන්ඩිස් ලකුණු 268 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 161ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 203 ක් රැස් කිරීමට සමත් විය. නැවත පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 353 ක් රැස් කළ අතර සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 176ක් රැස් කළ කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය. රංගන හේරත් ලකුණු 54 ට කඩුලු 05 ක් දවා ගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය අගෝස්තු 04 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. |
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගය සැප්තැම්බර් 29 වෙනි දින ආරම්භ කෙරිණ. | පෙත්සම් කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන්නේ සමගි ජන බලවේගය විසිනි. දෙමළ ජාතික සන්ධානය, ට්රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, මානව හිමිකම් ක්‍රියාධරයන්, නීතිවේදීන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද සමස්ත පෙත්සම් ප්‍රමාණය 39 කි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව මෙතරම් පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. පෙත්සම් විභාගකරනු ලබන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් විසිනි. විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්රය සම්බන්ධයෙන් 20 වෙනි සංශෝධනයේ ඇතුළත් කරුණු පෙත්සම්කරුවන්ගේ මෙන්ම දෙස්, විදෙස් ප්‍රබල අවධානයට ලක් වී තිබේ. අධිකරණයට විශේෂ ආරක්ෂාව යොදවා තිබුණු අවස්ථාවක් (සංරක්ෂිත ඡායාරූපයකි) අධිකරණයට අදාළ සංශෝධන මොනවාද? 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත්, එවක් පටන්: යන සියලු දෙනා පත්කරනු ලබන්නේ විධායක ජනාධිපතිවරයා විසිනි. එහිදී ජනාධිපතිවරයා ඒ සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ ඉල්ලා සිටිය යුතු වුව ද එම නිර්දේශ මත අදාළ පත්කිරීම් සිදුකිරීමට ඔහු බැඳී නැත. 17 වෙනි සංශෝධනය මගින් පිහිටුවන ලදුව 19 වෙනි සංශෝධනයෙන් අනතුරුව ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීමට ද 20 වෙනි සංශෝධයෙන් යෝජනා කෙරේ. නීතිඥ සංගමයේ මතය නව ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළකරනු ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව විමසා වාර්තාවක් සකස් කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කරන ලදි. ජනාධිපති නීතිඥ එල් එම් කේ අරුලානන්දන් එම කමිටුවේ සභාපතිවරයාය. පසුගිය සැප්තැම්බර් 21 වෙනි දින එම කමිටුව සිය නිගමන ඇතුළත් වාර්තාව නීතිඥ සංගමයට භාරදුන් අතර, විනිසුරුවන් සහ නීතිපතිවරයා පත්කිරීම ඇතුළු අධිකරණ ක්ෂේත්රයට සම්බන්ධ කරුණු පිළිබඳව එම කමිටුවේ නිගමනය වී තිබෙන්නේ එමගින් තුලන හා සංවරණ ක්‍රමවේදය යටපත් වන බවය. විශේෂයෙන්ම රජයේ එක් අංශයකට තවත් අංශයක සංයුතිය සම්බන්ධයෙන් අධිකාරී බලයක් තිබිය නොහැකි බව පෙන්වාදෙන කමිටු වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාර විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සහ නීතිපතිවරයා පත්කිරීමේ බලය විධායකයට හිමිවිය යුතු නැති බව අවධාරණය කරයි. "කිසියම් ලෙසකින් ආණ්ඩුවේ එක් අංශයකට එවැනි බලයක් තිබෙන්නේ නම් එම බලය හිමිවිය යුත්තේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවටය." කමිටුව යෝජනා කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් පත්කිරීමේ දී ජනාධිපතිවරයා සිය නාම යෝජනා පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කළ යුතු අතර, පාර්ලිමේන්තු සභාව අනුමත කරන පුද්ගලයන් ජනාධිපතිවරයා විසින් අදාළ තනතුරුවලට පත්කරනු ලැබිය යුතු බවය. කමිටු වාර්තාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර නීති විශාරදයින්ගේ කොමිසම (ICJ) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ඒ පිළිබඳ බරපතල අවධානය යොමුකොට තිබුණේ ශ්‍රී ලංකාවේ මෙතෙක් දියත් වූ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය විනාශ කරන, "ඒකාධිපති ස්වරූපයේ ව්‍යවස්ථාවක්" ලෙසින් විග්රහ කරමිනි. මේ අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත්රාත්වරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංසදය (CMJA), පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංසදය (CLEA), පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංසදය (CLA), පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍යවේදීන්ගේ සංසදය (CJA) සහ විනිසුරුවන් වෙනුවෙන් විනිසුරුවෝ (Judges for Judges) සංවිධානය, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවිය හැකි බලපෑම පිළිබඳව බරපතල අවධානය පළ කර තිබිණ. අධිකරණය සහ අධිකරණ සේවය සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමු වී ඇති බව පවසන එම නිවේදනය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල තුලනය සම්බන්ධ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තීන්ට අනුගත වන පරිදි අදාළ සංශෝධන සම්මත කිරීමට උත්සුක වන මෙන් ශ්‍රී ලංකාවේ විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලීමක් කරයි. Himal SouthAsian වෙබ් අඩවිය වෙත ලිපියක් සපයමින්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති අංශයේ කථිකාචාරිනී දිනේෂා සමරරත්න පවසන්නේ 20 වෙනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තු සභාව සහ ජනාධිපතිවරයා අතර බලතුලනයේ බරපතල අසමතුලිතතාවක් පවතින බවය. ධුරය දරන කාලය තුළ ජනාධිපතිවරයාගේ කිසිදු කටයුත්තකට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි යළිත් වරක් මුක්තිය හඳුන්වාදීම මගින් තත්ත්වය තවත් උග්රවන බව ඇයගේ විග්‍රහය වී තිබේ. 'ලොකු මචන්ට' ආයාචනයක් ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ හිටපු අධ්‍යක්ෂිකා, දිනුෂා පණ්ඩිතරත්න, බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, රජය නිවැරදිව ආර්ථික වර්ධනය සහ විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කර සිටින හෙයින්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ගැන ද අවධානයෙන් සිටිය යුතු බවයි. ඇය පවසන පරිදි බෙහෙවින් සාකච්ඡා නොවුණු අවදානමක් වන්නේ, 20A ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහි කුමන බලපෑමක් ඇති කරාවිද යන්නය. "රටක ණය ගැනීමේ හැකියාව සම්බන්ධ ශ්‍රේණිගත කිරීම්වලදී කොමිෂන් සභා සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු නීතියේ ආධිපත්‍යයට අදාළ වෙනත් කරුණු එම ශ්‍රේණිගත කිරීම් ආයතන සලකා බලන," බවත් ඇය සඳහන් කළාය. මේ අතර සිය සොහොයුරු විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා වෙත විවෘත ලිපියක් යොමුකරමින්, හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දියණිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවන මෙන් ඔහුට ආයාචනා කර තිබිණ. "දරුවන් අනාතයි. පරිසරය විනාශයි. නීතිය විකුර්තියි. අයිතීන් කම්මුතුයි. Bullet proof vest එකක් ඇඳලා වත් මේ වින්නැහියෙන් බේරෙන්න බෑ. වරප්‍රසාද කිසිවක් බලපොරොත්තු නොවන, අවංකවම මිනිසුන් ගැන කැක්කුමක් ඇති ඔයාට පුලුවන් 20වන සංශෝදනයට විරුද්ද වෙන්න. මුතු ඇටයේ People Power නියමුවා වෙන්න," යනුවෙන් වෛද්‍ය තුෂ් වික්‍රමනායක සිය සොහොයුරාට ආයාචනා කර තිබිණ. ආණ්ඩුව ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ අදහස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ වී තිබිණ. 'ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි' නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයට අමතරව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවය. 20 වන සංශෝධනය මගින් ජනතා පරමාධිපත්‍යය හීන කරන බව ඔහුගේ තර්කය වී තිබේ. එබැවින් "ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කරන" 19 සංශෝධනය සම්මත කිරීම පිණිස ජනමත විචාරණයක් අවශ්‍ය නොවුවත්, "ජනතා පරමාධිපත්‍යය හීන කෙරෙන" 20 වෙනි සංශෝධනය සඳහා ජනමතය විමසා බැලීම අත්‍යවශ්‍ය බව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්පාදකයෙකු ලෙස සැලකෙන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න පවසයි. 20 වන සංශෝධනය මගින් අධිකරණය කෙරෙහි දැඩි නිශේධනීය බලපෑමක් එල්ල කරන බව පේරාදෙණිය විශ්විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ සේනාරත්න ගේ ස්ථාවරයය. "එමගින් අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේත්, අභියාචනාධිකරණයේත් විනිසුරුවන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට (නැතහොත් තනි පුද්ගලයෙකුට) පැවරේ. කෙසේ වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හැරුණු විට එය ශ්‍රී ලංකාවේ අන් සෑම ජනාධිපතිවරයෙකු සතුව තිබූ බලයකි," යනුවෙන් ආචාර්ය කලණ සේනාරත්න බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පැවසීය. "අවාසනාවකට, මේ තත්වය මගින් සිදු වූයේ සමස්තයක් වශයෙන් බහුතර මානසිකත්වයක් සහිතව ගතානුගතිකවාදී ආකල්පයක් සහ ක්‍රමවේදයක් පැවති ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන (අධිකරණය ඇතුළු) සම්බන්ධ ගැටලු උග්‍ර කිරීමකි. එවැනි සමාජ-දේශපාලන සහ ආයතනික සන්දර්භයක් තුළ අධිකරණ සහ වෙනත් ආයතනවලට කෙරෙන පත්වීම් බහුපාක්ෂික සහ සියලු පාර්ශව ඇතුළත් මණ්ඩලයක් (ව්‍යවස්ථා සභාව වැනි) මගින් සිදුකිරීම එම ආයතනවල ස්වාධීනත්වය කිසියම් දුරකට හෝ රඳවා ගැනීම පිණිස තිබුණු එකම ක්‍රමවේදය විය." ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අධිකරණය වෙත ගොනු කරන ලද පෙත්සමේ දැක්වෙන පරිදි, 20 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථා ගණනාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වේ. මේ අතර අධිකරණය වෙත පෙත්සමක් ගොනුකරමින් හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ ද ඉහළ අධිකරණවල විනිසුරුවන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පවරාදීම බලතුලනය පිළිබඳ සංකල්පය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කෙරෙන්නක් බවය. මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා ගොනු කළ පෙත්සමෙන් කොටසක් නීතිවේදිනී සොරායා ඩීන් සිය අදහස් දැක්වීම ආරම්භ කළේ "ව්‍යවස්ථාව කියන්නේ රටේ ජනතාව ගේ උත්තරීතර නීතිය. නීතිඥවරියක් විදියට ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න මම දිවුරුම් දීල තියෙනව," යනුවෙනි. "20 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා කාටවත් යටපත් කළ නොහැකි ඉතා බලගතු කෙනෙක් බවට පත්කරලා තියෙනවා. නීතියට ඉහළින්. මහා බලයකුත් එක්ක." ලොව කිසිදු පුද්ගලයෙකු නීතියට ඉහළින් සිටිය යුතු නැති බව පවසන නීතිවේදිනී සොරායා ඩීන්, විනිසුරුවන් පත්කිරීමේ අභිමතානුසාරී බලය සහ ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ලෙසකින් නඩු පැවරිය නොහැකිවීම වැනි කරුණු මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අවභාවිත කර ඇති බවත් පවසයි. අගමැති සහ ජනපති දෙසොහොයුරෝ මේ පෙත්සම් විභාගවන අවස්ථාවේ එයට එරෙහිව ප්රතිශෝධන පෙත්සම් ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසයි. විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය විධායක ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සඳහා බාධා කරන්නක් බැවින් එය අහෝසි කළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ. සංශෝධනයේ පසුබිම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කෙරිණ. එවක් පටන් 20 වෙනි සංශෝධනයේ විවිධ වගන්ති කෙරෙහි විරුද්ධ පක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශවයන් වෙතින් ද බරපතල විවේචන එල්ලවෙමින් තිබේ. එහෙත් ආණ්ඩුව පවසන්නේ, 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී තමන්ට ජනවරමක් ලැබී තිබෙන බවය. 20 වෙනි සංශෝධනය තාවකාලිකව සම්මත කරගනු ලැබුව ද ඉක්මනින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සිය අභිප්‍රාය බව ආණ්ඩුවේ නායකයෝ පවසති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඒ සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කරනු ලැබ තිබේ. කියවන්න: |
පිරිසුදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරියේ, රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හමුදා නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති. | පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබූ මාණ්ඩලික සැරයන්වරයකු සහ කෝප්‍රල්වරුන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. පිරිසිදු පානීය ජල අයිතිය ඉල්ලා දියත්කෙරුණු මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර තිදෙනෙකු මරණයට පත්විය. එය 'සාපරාධී ක්‍රියාවක්' බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. අත් වැසුම් නිපැයුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එක්වන බව පවසමින් 2013 අගෝස්තු පළමු වෙනි දින උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව විසුරුවාහැරීමට යුද හමුදාව මැදිහත්වීමේදී වෙඩි ප්‍රහාර ද එල්ල කෙරිණ. |
ලොව පුරා වයස අවුරුදු පහළොවට අඩු බාල වයස්කාර දැරියන් අතුරින් එක් අයෙක් සෑම තත්පර හතකට වරක් විවාහ වන බව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි. | 'Save the Children' පුණ්‍යායතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව අවුරුදු දහය තරම් බාල වයසේ පසු වන දැරියන් වයසින් ඉතා වැඩි පුද්ගලයන් හා බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලැබේ. ඒ හේතුවෙන් බාල වයස්කාර දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වන බවත්, ඔවුන් ගෘහස්ථ අපයෝජනයට සහ දූෂණයට ගොදුරුවීමේ බරපතල අවදානමක් පවතින බවත් පර්යේෂකයෝ පවසති. ඉහත කී වාර්තාව පෙන්වා දෙන පරිදි බාල වයස්කාර විවාහ සිදු වීමට ප්‍රධානම වශයෙන් බලපා ඇත්තේ ගැටුම් සහ දුගී භාවයයි. එම තත්වය ඇෆ්ගනිස්තානය, යේමනය, සෝමාලියාව සහ ඉන්දියාව වැනි රටවල බහුල වශයෙන් දැකිය හැකි බවත් 'Save the Children' සංවිධානයේ වාර්තාව පෙන්වා දෙයි. |
කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා යෙදූ සීමාවන් සහ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා වෙසක් සැමරුම් දක්නට ඇත්තේ සීමිත ප්රමාණයකි. | බොහෝ පුද්ගලයන් සිය නිවස තුළ හෝ ඒ ආසන්නයේ පමණක් වෙසක් පහන් ඇතුළු සැරසිලි සිදු කර තිබිණි. මේ අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වෙසක් කූඩු තරග, ශීල සමාදාන වැඩසටහන් සහ ධර්ම සාකච්ඡා පැවැත්වීමට විවිධ සංවිධාන ක්‍රියා කර ඇත. ගාල්ල පොලිසිය වෙසක් කූඩු වෙළෙඳාමේ යෙදෙන අයෙක් තල්වත්ත නිවසක වෙසක් සැරසිලි කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා යෙදූ සීමාවන් හේතුවෙන් සිල් සමාදම් වීම් සහ ධර්ම දේශනා රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරිණි පිළියන්දල නිවසක වෙසක් සැරසිලි අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් බොහෝ දෙනෙකු සිය නිවස තුළ පමණක් වෙසක් පහන් ඇතුළු සැරසිලි සිදු කර තිබිණි |
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ජනතා සම්මානය කුමාර් සංගක්කාර හිම කරගන්නා ගනී. | මීට අමතරව හොඳම ටෙස්ට් පිතිකරු සම්මානයද කුමාර් සංගක්කාරට හිමි වූ අතර රංගන හේරත් හොඳම ටෙස්ට් පන්දු යවන්නා විය. තිලකරත්න දිල්ශාන් හොඳම එක්දින පිතිකරු ලෙස සම්මාන ලැබූ අතර ලසිත් මාලිංග හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මාන ලැබුවේය. එක දින තරඟ වල තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්. හොඳම පිතිකාරිනිය ලෙස දීපිකා රසංගිකා සහ හොඳම පන්දු යවන්නිය වශයෙන් චමනි සෙනවිරත්න ලැබුවාය. |
විනෝදාංශයක් ලෙස පියාසැරි යානා තනන පරම්පරා තුනක සාමාජිකයන්ගෙන් යුතු පවුලක් ගැන මීගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. | එහෙත් ඔවුන් තැනූ එක් අයෙකුට පමණක් පියාසර කළ හැකි සැහැල්ලු ගුවන් යානය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නිවසේ කාමරයක දමා දොරගුළු ලා තිබේ. තවත් ආරක්ෂිත කාමරයක හා ඔවුන්ගේ පර්යේෂණ කාමරය තුළ දුරස්ථ පාලක මගින් ක්‍රියා කරන, ඔවුන් විසින් ම නිර්මාණය කරන ලද කුඩා ගුවන් යානා ආකෘති [Model aircraft] ගබඩා කර ඇත. දරු මුණුබුරන්ට පෙනෙන්නට පමණක් ඔවුන්ගේ නිවස පිහිටි සීමාවේ ඉතා පහතින් එම කුඩා යානා ඉඳහිට පියාසර කරවීමට දැන් ඔවුන්ට සිදුව තිබේ. මේ පවුලේ සාමාජිකයන් සතුව ගුවන් යානා තාක්ෂණය හා අනෙකුත් නව නිපැයුම් අත්හදා බලන්නට වෙන් කළ පර්යේෂණ කාමරයක් ඇත. බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුණු එය අංකුර නිර්මාණකරුවන්ට උත්තේජනය සපයන ස්ථානයකි. ගුවන් යානා තනන 'එඩ්වඩ් පවුල' ශ්‍රී ලංකාවේ වැඩි ම ගුවන් යානා ආකෘති සංඛ්‍යාව තමන් සතු බව කියන මේ පවුලේ ප්‍රධානියා එඩ්වඩ් පෙරේරාය. ඔහු මෙන් ම වැඩිමහල් පුත්‍රයා වන කොලින් පෙරේරා පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබෙන්නේ, එක ම දිනකය. ඔහුගේ අනෙක් පුත්‍රයා වන අමිත් පෙරේරා සහ මුණුපුරෝ ද විනෝදාංශයක් ලෙස ගුවන් යානා තාක්ෂණය අත්හදා බලමින් සිටිති. මේ පවුලේ එක ම දියණිය මෘදුකාංග ඉන්ජිනේරිවරියක වන මිහිකා පෙරේරාය. ඇය පියාට සහ සොහොයුරන්ට ගුවන් යානා සැලසුම් කිරීමේදී මතු වන තාක්ෂණික ගැටලු නිරාකරණය කර දෙන්නීය. පොලිස් අත්අඩංගුවට සිය විනෝදාංශය නිසා මොවුන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථා ද තිබේ. ''නීති නොදන්නා නිසා ඇතැම් නිලධාරීන්ගෙන් අපට අනන්තවත් හිරිහැර වෙලා තිබෙනවා. හත් අට වතාවක් මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. අන්තිමට නීතිපති දෙපාර්තමේන්තුව කියල තිබුණ මෙයා නීතියට අනුව වරදක් කරල නෑ කියල,'' යනුවෙන් එඩ්වඩ් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේය. මීගමුව නගරය ආසන්නයේ ම කර්මාන්ත ශාලාවක ඇතුළු කාමරයක එඩ්වඩ්ගේ පරීක්ෂණාගාරය පිහිටා තිබේ. යන්ත්‍ර සූත්‍ර පසුකර ගොස් එම කාමරයට ඇතුළු වන විට ඇති වූයේ කුතුහලය පිරි හැඟීමකි. එඩ්වඩ් පවුලේ සාමාජිකයන් අතින් නිර්මාණය කෙරුණු ආකෘති ගුවන් යානා බොහොමයක් පරීක්ෂණ කාමරය තුළ දක්නට ලැබේ. එමෙන් ම ගුවන් යානා ආකෘති නිර්මාණය පිළිබද නවීන තාක්ෂණික දැනුම සහිත ලොව ප්‍රකට සඟරා, නව නිර්මාණවලට අදාළ ඉංජිනේරු සැලසුම් මෙන් ම විවිධ ක්ෂේත්රවලට අයත් නව නිපැයුම් එහි දක්නට ලැබේ. ඒ අතරින් ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානීන් සමග එඩ්වඩ් ගත් ඡායාරූප පෙළක් දෙස අපගේ නෙත් යොමු විය. ඒ ගැන විමසීමේදී එඩ්වඩ් පෙරේරා පැවසුවේ එම ඡායාරූප තමන්ගේ මෙම පරීක්ෂණ කාමරයේ පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර ඒ ගැන මෙතෙක් කිසිදු මාධ්‍යයකට හෙළි නොකළ රහසක් පළමු වරට බීබීසී සිංහල සේවය ඔස්සේ හෙළි කරන බවය. ''යුද්දේ කාලේ මට අවස්ථාවක් ලැබුණා මිනිසුන් රහිත ගුවන් යානාවක් හදල දෙන්න ගුවන් හමුදාවට. ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප තමයි ඔය තියෙන්නේ. මම මේ වෙනුවෙන් කිසිදු මුදලක් ගත්තේ නෑ. ඒක ඉතා රහසිගතව සිද්ධ වුණු දෙයක්. මේක දැන් කියන්න තහංචියක් නෑ කියල මම විශ්වාස කරනවා,'' යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. එඩ්වඩ් පවසන ආකාරයට 2000 වසරේදී එම යානය ගුවන් හමුදාවට භාර දී තිබේ. රතිඤ්ඤා එතීමට ගෙනා කොළවලින් ඇරඹූ ගමන මේ වන විට 73 වන වියේ පසුවන එඩ්වඩ් පෙරේරා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි සිසුවෙකි. එකල ඔවුන්ගේ නිවාස පිහිටියේ කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේය. එවක එය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නොවුව ද රාජකීය ගුවන් හමුදාවේ සංදර්ශන නැරඹීමට 1958දී පමණ කාලයක සිට තමන් එහි ගිය බව එඩ්වඩ් පවසයි. ඒ හරහා ගුවන් යානා පිළිබඳ ආශාවක් ඇති වන්නට පසුබිම සැකසී ඇත. පියා ගෘහ කර්මාන්තයක් ලෙස රතිඤ්ඤා නිෂ්පාදනය කළ අතර රතිඤ්ඤා එතීමට අවශ්‍ය කොළ රැගෙන ඒමට දිනක් එඩ්වඩ් නිවසින් පිටත්ව ගිය අතරේ ඔහුට ගුවන් යානාවල ඡායාරූප ඇතුළත් සඟරා කිහිපයක් හමුවී තිබේ. ඒ සඟරාවලට ඇති වූ ආශාව නිසා ඒවා තමන් ළඟ සුරැකිව තබා ගත් බව එඩ්වඩ් පැවසුවේය. ''මම තාත්තට කිව්වා රතිඤ්ඤා ඔතන්න මේ සඟරා ටික නම් දෙන්න බෑ කියල. මම ඒවායින් තමයි දැන ගත්තේ ආකෘති ගුවන් යානා කියල වර්ගයක් තියෙනවා. ඒවා බලාගෙන තමයි ලොකු ගුවන් යානා හදන්නේ කියලා. ඒ කාලේ ඔක්කොම මට හිනා වුණා.'' එඩ්වඩ් සිය මතකය අවදි කළේය. 50 දශකයේ මීගමුව ආශ්‍රිතව කොහු මෝල් සහ මිරිස් මෝල් වැඩි වශයන් පිහිටා තිබුණු බව එඩ්වඩ් පවසයි. එම මෝල්වල පිහිටි විශාල යන්ත්‍ර සූත්‍ර දැක බලා ගැනීමට ඔහු වැඩිහිටියන්ගේ අතේ එල්ලී නිතර ගිය බව සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි. ''මම ඒ කාලේ ඉදන් හරි ආසයි මේ කැරකෙන පුදුම හිතෙන දේවල් බලන්න. 1952 මාරිස්ටෙලා ඉස්කෝලේ හිටපු සුදු බ්‍රදර් කෙනෙක් අපිට එන්ජිමක කුඩා ආකෘතියක් ගෙනත් පෙන්නුවා. ඒක වැඩ කළේ වාෂ්ප බලයෙන්. හරියට අපේ ගමේ ලොකු මෝල්වල තිබුණ එන්ජිමක් වගේමයි. 65දී අපේ ඉස්කෝලේ තිබුණු ප්‍රදර්ශනයකට මම ඒ වගේ ම වාෂ්ප එන්ජිමක් හදලා පළවෙනියා වුණා,'' යැයි එඩ්වඩ් පැවසුවේ අදටත් සිය පරීක්ෂණ කාමරය තුළ ඇති, තවමත් ක්‍රියාත්මක කළ හැකි එම 'ජයග්‍රාහී එන්ජිම' පෙන්වමිනි. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර සූත්‍ර නිපදවන්නට කුඩා කල ඇති වූ ආශාව අදටත් ඔහු තුළ පවතී. එබැවින් මේ දිනවලත් වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන තවත් නිර්මාණ කිහිපයක් එඩ්වඩ් අත්හදා බලමින් සිටී. ඒ අතර ඔහු අප කැඳවාගෙන ගියේ පරීක්ෂණ කාමරයෙන් පිටත ස්ථානයක තබා ඇති එඩ්වඩ් සිය මුණුපුරා වෙනුවෙන් සාදන ලද වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පෙන්වීමටය. ඉතා හොඳ නිමාවක් සහිත එම දුම්රිය එන්ජිම තුළ විශාල දුම්රිය එන්ජින් තුළ ඇති සියලු යාන්ත්‍රික කොටස් අන්තර්ගත බව එඩ්වඩ් විස්තර කළේය. පසුව ඔහු විසින් නිර්මාණය කළ රියැදුරෙකු නොමැතිව එක ම දුම්රිය මාර්ගයක ප්‍රතිවිරුද්ධ දිශාවලට ධාවනය වන දුම්රිය දෙකක් පණ ගන්වා පෙන්වීය. ''මේ වගේ ආදර්ශ හරි නම් තියෙන්න ඕන අපේ කාර්මික විද්‍යාලවල. මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් ම පරිගණකගත පරිපථ ආධාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. කොයි ම වෙලාවකවත් එක පීල්ලේ ආවට මේ කෝච්චි හැපෙන්නේ නෑ. ඒවා නියමිත තැන්වල නවත්තගෙන ඉදලා තත්පර කිහිපයක ගැප් එකකින් පීලි මාරු වෙනවා. ඒ අනුව නියම විදියට මේ සිග්නල් ලයිට් වැඩ කරනවා,'' යනුවෙන් එඩ්වඩ් පැවසුවේ කාර්මික අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය මේ දැනුම බෙදා දෙන්නට ඕනෑ ම අවස්ථාවක සූදානම් බව සිහිපත් කරමිනි. ''තණකොළ පෙත්තා '' නිසා උඩ ගිය හැටි රෝද දෙකේ අත් ට්රැක්ටරය නිපදවීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයට කළ මෙහෙවර වෙනුවන් ලොව පුරා ප්‍රසිධියට පත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු මෙන් ම නව නිපැයුම්කරුවෙකු සහ ගගන විද්‍යාඥයෙකු වූ රේ විජේවර්ධන හමුවීම එඩ්වඩ් පෙරේරාගේ ජීවිතයේ සන්ධිස්ථානයකි. ''මම නිවාඩු තියෙන හැම වෙලාවක ම ගිහිං ඩොක්ටර් රේ ට උදව් කළා. එයා ඒ වෙනකොට ගුවන් යානා දාහතරකට වැඩිය හදලා තියෙනවා. මිනිසුන්ට යන්න පුළුවන් ඒවා හදනකොට මමයි ලොකු පුතයි උදවු කළා. ඩොක්ටර් රේ අන්තිමට හදපු මිනිස්සුන්ට යන්න පුළුවන් යානය බලපත්‍රයකින් අපිට තෑගි කළා. ඒත් නඩත්තු කරන්න බැරි නිසා අපි ඒක භාරගත්තේ නෑ.'' යනුවෙන් එඩ්වඩ් පවසද්දී ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ද ඒ අතීතය සිහිපත් කළේය. ''රේ විජේවර්ධන හම්බ වෙනකොට මම හය වෙනි පන්තියේ. එතනින් තමයි මට රේඩියෝ කොන්ට්‍රෝල් ප්ලේන්වලට, අල්ට්රා ලයිට් ප්ලේන්වලට යන්න පුළුවන් වුණේ. බොහොම සන්තෝෂයි කියන්න ලංකාවේ පළමුවෙන් ම හදපු අල්ට්රා ලයිට් සැහැල්ලු ගුවන් යානය හදන්න පුංචි කාලේ මට පුළුවන් විදියට දායක වෙන්න ලැබුණා. ඒක තමයි ඩොක්ටර් රේ විජේවර්ධන හදපු තණකොළ පෙත්තා කියන ගුවන් යානය,'' යනුවන් කොලින් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේය. එඩ්වඩ් පෙරේරාගේ අනෙක් පුත්‍රයා වන අමිත් පෙරේරා ද මේ දිනවල දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන විශාල ප්‍රමාණයේ යානාවක් නිර්මාණය කරමින් සිටී. ඔහු ඒ සඳහා යොදා ගන්නේ 150CC ධාරිතාවක් සහිත එන්ජිමකි. ''මම හිතනවා මේක එකලස් කරලා ඉවර වුණහම මේක තමයි ලංකාවේ තියෙන දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන ලොකු ම යානාව වෙන්නේ. මේකේ තටු වල දිග අඩි 14ක් වෙනවා. කඳ අඩි 7ක්. මම දන්න තරමට දැනට ලංකාවේ දුරස්ථ පාලයකින් ක්‍රියා කරන ලොකු ම 3-D එයාර් ක්‍රාෆ්ට් එක තියෙන්නෙත් මගේ ළඟ. සමහර බඩු අපි පිටරටින් ගේනවා. මේවයේ සැකිල්ල හදන්නේ, යකඩ ලේත් වැඩ සේරම කරන්නේ අපිමයි,'' යනුවෙන් අමිත් පෙරේරා ප්‍රකාශ කළේය. අමිත්ගේ ගුවන් යානා නිර්මාණ සහිත කාමරයේ කොටසක් ඔහුගේ පුතු රෙහාන් පෙරේරා වෙනුවෙන් ද වෙන්කර තිබේ. අවුරුදු 9ක් වයසැති රෙහාන් ද පියා, සීයා සහ මහප්පා සමග එක්ව නව අත්හදා බැලීම් කරමින් සිටී. එඩ්වඩ්ගේ දියණිය වන මිහිකා පෙරේරා මේ වන විට විදෙස්ගතව ජීවත් වන අතර ඇය සිය පවුලේ අත්දැකීම් මෙලෙස විස්තර කළාය. මිහිකා පෙරේරා ''පුංචි කාලේ ඉදන් පවුලේ අපි පස් දෙනාම ගුවන් යානා පදින්න වගේ ම රිමෝට් කොන්ට්‍රෝල් යානා යවන්න කල්පිටිය වගේ පැතිවලට යනවා. බොහෝ දවස්වලට අපි යන්නේ ඉරිදා දවස්වලට. තාත්තත් එක්ක ප්ලේන්වල ගිය අත්දැකීම් හරිම සුන්දරයි.'' ගුවන් යානා තාක්ෂණය කෙරෙහි දැනුමක් නොමැති වුව ද සැමියාගේ සහ දරුවන්ගේ විනෝදාංශවලට තමන් ද ඉතා ප්‍රිය කරන බව එඩ්වඩ්ගේ බිරිඳ විල්මා ප්‍රනාන්දු පැවසුවාය. ''මම තමයි මේ සේරට ම මුදල් කළමනාකරණය කරන්නේ. ඇතැම් ගමන්වලට මට යන්න ලැබෙන්නේ නෑ. ෆැක්ටරියේ වැඩ බලාගෙන ඉන්නවා. සතිය පුරා ම අපි මහන්සි වෙලා හම්බ කරන දේ මේවට තමයි වියදම් කරන්නේ. අපේ පවුලේ වෙන වියදම් නෑ. අපේ පවුල්වල හැමෝ ම මේකෙන් ලොකු සතුටක් ලබනවා. මේක විනෝදාංශයක් වගේ ම අධ්‍යාපනයක් ලැබෙන වැඩක්,'' විල්මා ප්‍රනාන්දු පැවසීය. කියවන්න : |
සියදිවි නසාගත්තේ යැයි අනුමාන කළ හැකි මළසිරුරක වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව මිලියන 15කට අධික නිත්‍ය රසික පදනමක් හිමි ලෝගන් පෝල් දැඩි විවේචනයට ලක් විය. | ලෝගන් පෝල් ඇමරිකානු ජාතික ලෝගන් හා ජේක් සහෝදරයන් ඔවුන්ගේ යූටියුබ් නාලිකා, බ්ලොග් සහ රැප් ගීත ඔස්සේ ලොවපුරා මිලියන ගණනකගේ සීහින තාරකා බවට පත් වී සිටිති. ඔවුන්ගෙන් බහුතරය තරුණ තරුණියන්ය. ජපානයේ ෆුජි කදුපාමුල 'අකිගිහරා' වනාන්තරයේ මළසිරුරක් සොයාගන්නා අකාරයේ වීඩියෝවක් ලෝගන් සහ ඔහුගේ මිතුරෝ පසුගියදා අන්තර්ජාලයට මුදා හැරියහ. ඔවුන්ගේ එම ක්‍රියාව සමාජ ජාල තුළ මහත් කැලඹීමක් ඇති කළ අතර, පසුව ඔහු වීඩියෝව ඉවත්කර ගත්තේය. ඔවුන්ගේ රසිකයන් අතරෙන් ඇතැමෙකු "අගෞරවයක්" සහ "අශික්ෂිත" ක්‍රියාවක් ලෙස එම වීඩියෝව හෙළා දැක තිබිණ. ඇතිවූ බලපෑම හමුවේ, මෙය තමන් "නොමග යැවීමක්" ලෙස සඳහන් කරමින් ලෝගන් පෝල් ට්විටර් ජාලය ඔස්සේ සමාව අයැද සිටියේය. මට බොහෝදේ වෙනස් විදියකට කරන්න තිබුනා "මම එම වීඩියෝව කිසි ලෙසකින්වත් නිකුත් නොකරන්න තිබුනා. අප හමුවේ තිබූදේ පටිගත කිරීම් නවතා දමන්න තිබුණා. මට බොහෝ දේ වෙනස් විදියකට කරන්න තිබුණා... ඒත් මට නොහැකිවුනා," ඔහු පැවසීය. වෙනත් පුවත්: |
ඉන්දියාවේ පීතෘ මූලික සමාජයේ සම්මතයන්ට සහ චාරිත්රයන්ට එරෙහිව ගිය කාන්තාවන් දොළොස් දෙනෙකුගේ සත්‍ය ජීවිත ඇසුරින් බීබීසී ඉන්දීය භාෂා සේවයේ දිව්‍යා ආර්යා සහ ගෝපාල් ෂුන්යා විසින් #HerChoice (ඇයගේ කැමැත්ත) හෑෂ්ටැගය යටතේ පසුගියදා වාර්තා මාලාවක් එළිදක්වන ලදි. ඒ අතරින් එක් කාන්තාවක් පිළිබඳ තොරතුරු මෙම ලිපියට ඇතුළත් වේ. | මගේ බාල සහෝදරයාට සුදුසු මනමාලියක් සෙවීමට පුවත්පතක පළ කළ මංගල දැන්වීම දෙස මම නෙත් යොමා සිටියෙමි. එම දැන්වීමේ සඳහන් කර ඇති "ඔහුට විවාහ නොවූ වැඩිමහල් සහෝදරියක් සිටියි" යන වචන පෙළ මගේ ඥාතියකු විසින් රතු පැහැයෙන් රවුම් කර ඇත. "අපේ පුතාට හරියන ගැහැණු ළමයෙක් සොයන කොට වැඩිමහල් සහෝදරිය කසාද බැඳලා නැති එක ලොකු ප්‍රශ්නයක් වෙනවා" මගේ ඥාතියා පැවසුවේය. එම වචන මගේ හදවත පසාරු කරගෙන යන බවක් දැනුණි. වේදනාවෙන් ඇලළී ගිය සිතින් මම කදුළු නතර කර ගැනීමට මහත් වෑයමක් දැරුවෙමි. මම විවාහ නොවී සිටීමට ගත් තීරණය හේතුවෙන් මගේ සහෝදරයාගේ විවාහය නවතින්නේ කෙසේදැයි හඬ නඟා ඇසීමට මාතුළ සිතක් පහළ විය. සහෝදරයා සහ පියා මා වෙනුවෙන් නැඟී සිටිනු ඇතැයි බලාපොරොත්තු වූවද මගේ දුක හමුවේ ඔවුහු ද නිහඬ වූහ. මගේ හැඟීම් හොඳින් හඳුනන මව විවාහය පිළිබදව කතාවට බාධා කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදුනාය. නමුත්, පුතා විවාහ වීමට සූදානම් වන නිසා ඇය සිටියේ සතුටිනි. සියලු දෙනාම සිටියේ වැඩිමහල් දියණිය බාල සොහොයුරාට පෙර විවාහ විය යුතුය යන දැඩි මතයක වුවත්, මම එම මතය ඉඳුරා බැහැර කළෙමි. මගේ දෙමාපියන්ගේ සතුට නැති කිරීම හේතුවෙන් අප අතර නිතර හිත් අමනාපකම් ඇති විය. මගේ ඥාතීන් සහ යහළුවන් පවා මෙම ප්‍රශ්නයට මැදිහත් වූහ. "මම දන්නවා ඔයා කසාද බඳින්න කැමති නැහැයි කියල. හැබැයි ඔයාට සමහර 'අවශ්‍යතා' තිබෙනවා, මට ඒ දේවල් වලට ඔයාට උදව් කරන්න පුළුවන්" යැයි පැරණි පාසැල් මිතුරෙක් මා අමතමින් පැවසුවේය. මෙම 'උදව්' ගැන ඔහුගේ බිරිඳට සහ දරුවන්ට දැන ගැනීමට ඉඩ නොතැබීම ඔහුගේ එකම කොන්දේසිය වූයේය. මම තිගැස්මට පත් වුණෙමි. මගේ "අවශ්‍යතා" හඳුනාගෙන සිටියත්, එවැනි දේවල් සදහා මා "පාවිච්චියට ගැනීමට පුළුවන්" වේයැයි ඔහු සිතීම කිසිසේත් අනුමත කළ නොහැකිය. ඔහු කළ අයුතු යෝජනාව නිසා මම කෝපයට පත් නොවුනත්, එය ගැන සිතීමෙන් මම බොහෝ කලකිරීමට පත් වීමි. එම අනිසි ක්‍රියාව උදව්වක් හෝ සේවයක් ලෙස හැඳින්වීම ඉතා අප්රසන්නය. මෙම සිද්ධියෙන් පසු ඔහු මුණ ගැසීමට හෝ කතා කිරීමට මම බිය වීමි. මට දැන් වයස අවුරුදු තිස් හතක් වුවත් අවිවාහකව සිටීමට ගත් තීරණය ගැන පසුතැවෙන්නේ නැත. වයස විසි පහ සම්පූර්ණ වන විට විවාහ නොවී සිටීමේ තීරණය මම මවට දන්වා සිටියෙමි. නිදහස් කාන්තාවක් ලෙස මගේ සිහින සැබෑ කර ගැනීම සදහා රැකියාවක නිරත වී මුදල් ඉපැයීම ආරම්භ කළෙමි.. මගේ හැඟීම් තේරුම් ගැනීමට මවට හැකි වූවා යැයි මම සිතමි. නමුත් මිනිසුන් අසන ප්‍රශ්න හමුවේ මම බොහෝ විට අසරණ වුණෙමි. රැකියාවෙන් ඉහළට යන විට මට සුදුසු මනමාලයකු සෙවීම දිනෙන් දින වැඩි විය. සැමියෙකුගෙන් ලැබීමට නියමිත ආරක්ෂාව ගැන පමණක් සිතා විවාහ වීම මට කළ නොහැකිය. තම දියණිය විවාහ වීමට සුදුසු වයස පසු කරමින් තවමත් ඔවුන් සමග ජීවත් වීම නිසා මගේ දෙමව්පියන් මහත් සීත් තැවුලට පත් වී ඇති බව මට වැටහුණි. "දැන්වත් එකලසක් වෙන්න " එලෙස නිතර පවසමින් සිටි මගේ පියා මා විවාහකර දීමට සුදුසු යැයි හිතුවක්කාරී ලෙස ඔවුන් සිතන පුද්ගලයන් මට මුණ ගැස්වීමට සැලැස්විය. පුද්ගලයන් දෙදෙනෙකු, තිදෙනෙකු නොවෙයි, එවැනි පුද්ගලයන් පහළොස් දෙනෙකු මුණ ගැසීමට සිදු වුවත්, ඒ කිසිවකුට මගේ කැමැත්ත හිමි වූයේ නැත. දිගින් දිගටම අකමැත්ත පළ කිරීම හේතුවෙන් විවාහ නොවී සිටීමට හේතු දැක්වීමට මට අවස්ථාවක් උදා විය. කාලයාගේ ඇවෑමෙන් දෙමව්පියන් මගේ තීරණයට ඉඩ දීමට සිතුවත්, අන් පුද්ගලයන්ට මෙය ප්‍රශ්නයක් විය. මම ඉතා "නපුරු", ආඩම්බර, දෙමව්පියන්ට සවන් නොදෙන, තරමට වඩා ස්වාධීන වීමට උත්සහ කරන කාන්තාවක් ලෙස ඔවුහු මා හැඳින්වූහ. ඒ සියල්ල මුසාවක් බවට පත් වන විට, ඔවුන් මගේ "චරිතය" ගැන කතා කිරීමට පෙලඹුණි. කිසියම් සම්බන්ධයක් ඇති කර ගැනීම හෝ සම්බන්ධය ඇතිකර ගත් පුද්ගලයා සමග එකට ජීවත් වීමේ වරදක් මම නොදකිමි. නමුත් මගේ සිතුවිලි ඉතා පැහැදිලිය. මට අවශ්‍යය නිදහස පමණකි. විවාහය එක්තරා ආකාරයක බන්ධනයක් ලෙස මම දකිමි. මට සිතුනොත් දවස පුරා නිවසේ රැඳී සිටිය හැකිය. නැතහොත් රාත්‍රිය පුරා නිවසින් බැහැරව සිටීමේ නිදහස ඇත. රාත්‍රී සමාජ ශාලාවට, ඩිස්කෝ නර්තනයකට, ආගමික ස්ථානයකට හෝ උද්‍යානයකට මට කැමති අවස්ථාවක යාමට හැකිය. අවශ්‍ය නම් නිවසේ දෛනික කටයුතු පවා මඟ හැර සිටීමේ නිදහස මට ඇත. දිනපතා උදෑසන මගේ නැන්දම්මාට තේ සාදා දී, සැමියාට උදෑසන ආහාරය පිළියෙළ කර, දරුවන් පාසැලට රැගෙන යාම මගේ කැමැත්ත නොවේ. දරුවන් සිටින විශාල පවුලක ජීවත් වුවත් බොහෝ විවාපත් කාන්තාවන් තනි වී සිටින ආකාරය මට දැකගන්න ලැබී ඇත. පවුලේ සාමාජිකයන් සහ යහළුවන් සිටින නිසා මට තනිකමක් නොදැනෙයි. විවාහ නොවූ ගැහැණු ළමයෙක් 'පවුලට බරක්' ලෙස සැලකීමට අප සමාජය යොමු වී ඇත. නමුත් මම කිසි දිනෙක මගේ පවුලට අනවශ්‍යය කරදරයක් වූයේ නැත. මම තනිව මුදල් උපයන අතර එම මුදල් පාලනය සහ වියදම් කරන ආකාරය තීරණය කිරීම ද මා සතුය. එම මුදල්වලින් මම ලෝකය පුරා සංචාරය කරමි. අවිවාහකව කාන්තාවක් ලෙස මා පිළිබදව අවඥාසහගත ලිපි පළ කළ පුවත්පත් අද මා ධෛර්යමත් තනි ගැහැනියක් ලෙස වර්ණනා කර ඇත. දෙමව්පියන් අද මම ගැන ආඩම්බර වන අතර, යහළුවන් ඔවුන්ගේ දියණියන්ට මගේ චරිතය ආදර්ශයට ගන්නා ලෙස පවසති. තමන් ගන්නා තීරණ පිළිබද පිටස්තර පුද්ගලයන් සිතන දේ වැදගත් නැත. මම ගත් තීරණයට අනුව ක්‍රියා කිරීම මා සතු වගකීමකි. බීබීසී වාර්තාකාරිනී අර්චනා සිං සහ දිව්‍යා ආර්යා වාර්තා කරන පරිදි, මෙය වයඹ දිග ඉන්දියාවේ ජීවත් වන කාන්තාවකගේ සත්‍යය ජීවිත කතාව වේ. එම කාන්තාව කළ ඉල්ලීමකට අනුව ඇයගේ අනන්‍යතාව හෙළි කර නොමැත. මේ තොරතුරුද කියවන්න: ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ට සම අයිතීන් තිබේද? කන්‍යාභාවය පිරික්සීමේ "නින්දිත" චාරිත්‍රය අවසන් කිරීමේ සටනක් සාරිය අඳින්න බැරිකම ලජ්ජාවක්ද? ආර්තවය : කාන්තාව සහ තහංචි මව්කිරි දීමට තැනක් වෙලාවක් තියෙනවද ? |
දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම මගින් ‘දේශපාලන ව්‍යාපාරයක බල අධිකාරියක් ගොඩනැගීම’ මිස මෙමගින් ජනතාවට කිසිදු සෙතක් නොසැලසෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි. | දිවි නැගුම 'බලය ඒකරාශී කිරීමක් පමණයි' එජාප මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේ සිට රජයේ අවශ්‍යතාව වී තිබුනේ බලය ඒකරාශී කිරීම පමණක් බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටින්නේ. දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම නිසා පලාත් සභා වලට අයිති විෂයන් ගණනාවක්ම ඒවාට අහිමි වී ඇති බවද තිස්ස අත්තනායක මන්ත්‍රී වරයා තවදුරටත් කියා සිටියේය. ආන්දෝලනයකට තුඩු දුන් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නීත්‍යනුකූල බවට පත් කෙරෙන ගැසට් නිවේදනයට අත්සන් තැබූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, මෙමගින් පවුල් ලක්ෂ දහඅටකට අයත් ලක්ෂ පනහක් වූ ජනතාවකට සෙත සැලසෙන බවයි. දිවි නැගුම පනත සම්මත කිරීම අරඹයා හට ගත් නීතිමය මතභේදය අවසන් වූයේ අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව විසින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ඇය පදවියෙන් පහ කරනු ලැබීමෙන්. |
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ වාහනය පසුපසින් ගමන් ගත් තවත් සැක කටයුතු වාහනයක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. | ඝාතනය සම්බන්ධ විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ කරුණු දැක් වූ රහස් පොලීසිය, එම වාහනය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන් කළේය. ඝාතනය සිදු වූ දිනයේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වූ දුරකථන ඇමතුම් කිහිපයක් ගැන පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, සැකකරුවන් ලෙස ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා ලබන 26 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කළේය. |
අත් අඩංගුවේ පසුවෙන ඉන්දීය ධීවරයින් ඉක්මනින් නිදහස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ඉන්දියානු විදේශ අමාත්‍යංශයට කැඳවා තිබේ. | මේ සම්බන්ධයෙන් තමන් ඉන්දියානු විදේශ අමාත්‍යංශය බලධාරීන් හමුවූ බවත් දැනට අඩංගුවේ සිටින ඉන්දියානු ධීවරයින් මුහුණ දෙන තත්වය පිළිබඳව තමන්ට ද වැටහීමක් ඇතැයි තමන් එම බලධාරීන්ට දැන්වූ බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් බීබීසී සංදේශයට පැවසීය. දැනට ඉන්දියානු ධීවරයින් සිය දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. ඉන්දියානු ධීවරයින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුලට පිවිසෙන හෙයින් තත්වය පාලනය කිරීම සඳහා ඔවුන් අත් අඩංගුවට ගැනීමට සිදු වන බවත් නීතිමය ක්‍රියාවලිය හමාර කිරීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. |
හමුදා නිලධාරීන් විසින් වැඩි අසන සංඛ්‍යාවක් හොබවනු ලබන නව ජාතික සභාවක් සහ අන්තර් වාර රජයක් ඉදිරි මාස දෙක ඇතුළත පිහිටුවන බව තායිලන්ත හමුදා පාලකයා පැවසුවේය. | ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය දැඩි ලෙස හමුදා පාලනය යටතේ පවත්වා ගෙන යන බවයි ජෙනරාල් ප්‍රයුත් පවසන්නේ රූපවාහිනිය ඔස්සේ තායිලන්ත ජනතාව අමතමින් ජෙනරාල් ප්‍රයුත් චන් ඔචා වැඩිදුරටත් පැවසුවේ වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සකස් කෙරෙන අතර ඉන් මාස තුනකට පමණ පසු ප්රජාතන්ත්රවාදී මැතිවරණ පැවැත්වෙන බවයි. එසේ ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය දැඩි ලෙස හමුදා පාලනය යටතේ පවත්වා ගෙන යන බව ජෙනරාල් ප්‍රයුත් පැහැදිලිවම ප්‍රකාශ කළ බවයි බැංකොක් හේ බීබීසී වාර්තාකරු පවසන්නේ. |
පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව පැවසෙන මහජන බැංකුවේ සේවකයන් සඳහා උසස්වීම් පනස් අටක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. | උසස්වීම් ලැබීමට නියමිත පුද්ගලයින් සත්‍ය වශයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් නොවන බවත් පෙත්සම්කරුවෝ පවසති ලංකා බැංකු සේවක සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය ඉහත කී නියෝගය නිකුත් කළ බවයි, එම සංගමයේ ලේකම් ඒකේ බණ්ඩාර කියා සිටියේ. පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව පවසමින් රජය සිය හිතවතුන්ට උසස්වීම් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති. උසස්වීම් ලැබීමට නියමිත පුද්ගලයින් සත්‍ය වශයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් නොවන බව පවසන පෙත්සම්කරුවෝ, එසේ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවහොත් රාජ්‍ය බැංකු ක්ෂේත්රයේ දැඩි පරිපාලනමය අර්බුදයක් මතු විය හැකි බවට අනතුරු හඟවති. ලබන අගෝස්තු 01 වැනි දින ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙත නොතීසි නිකුත් කෙරුණු බව කේඑස් උදයකුමාර් බීබීසී සංදේශයට වාර්තා කරයි. |
කොළඹ රැකියා කරන ඌව පළාතේ වතුකර දෙමළ තරුණ තරුණියන් පනස් දාහකට පමණ සැප්තැම්බර් විසි වන දා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් මතු වී ඇති බව වතුකරයේ සංවිධානයක් කියා සිටියේය. | ඒ සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දැක්වූ සෞම්‍ය සරණ සංසදයේ සභාපති එච් පී අන්තොනිමුත්තු පැවසුවේ අදාළ ඡන්දදායකයින්ට මැතිවරණය පැවැත්වෙන දිනයේ නීත්‍යනුකූලව නිවාඩු ලබා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි. නමුත් කොළඹ රැකියා කරන පිරිස්වලට බදුල්ලට ළඟා වීම සඳහා පැය අටක් පමණ ගත වන හෙයින් ඇතැම් ආයතන හිමිකරුවෝ නිවාඩු ලබා දීමට අකමැත්තක් දක්වන බවයි ඔහු පවසන්නේ. හෝටල්, වෙළඳසැල් හා ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු බොහොමයක් වතුකරයේ දෙමළ තරුණ තරුණියන්ට නැවත කොළඹ බලා ඒමට දින කිහිපයක් ගත වන නිසා සේවකයන් අඩු කමින් එම ආයතන වසා දැමීමට සිදු වන තත්වයක් පවතින බවද එච් පී අන්තොනිමුත්තු කියා සිටියේය. සෞම්‍ය සරණ සංසදයේ සභාපතිවරයා, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හමු වී මතු වී තිබෙන තත්වය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව වැඩි දුරටත් ප්‍රකාශ කළේය. |
උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය (දෙජාස) සනාථ කොට තිබෙනවා නොවේදැ'යි අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රශ්ණ කරයි. | 'පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම යනු වුවස්තාව පිළිගැනීමක් නේද?' අගවිනිසුරුවරයා විවෘත අධිකරණයේ එම ප්‍රශ්ණය මතු කලේ පළාත් සභා මැතිවරණයට දෙජාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් විභාගයට ගැනුන අවස්ථාවේදී. එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් රටේ ඒකීයභාවයට හානි සිදු වන බව අධිකරණය හමුවේ කියා සිටි පෙත්සම්කාර අරුණ ජයතිලක නීතිවේදියා, ප්‍රතිපත්ති ප්‍රකාශය තහනම් කරන මෙන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බවට මතුපිටින් පෙන්නුම් කළද, එම පක්ෂය රටේ ඒකීයභාවය කඩ වන අයුරින් කටයුතු කරන බව අගවිනිසුරුවරයාගේ ප්‍රශ්ණයට ප්‍රතිචාර වශයෙන් පෙත්සම්කරු කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානයේ අදහස් විමසීමකින් තොරව පෙත්සම විභාග කළ නොහැකි බව පැවසූ අගවිනිසුරුවරයා, විභාගය ඔක්තෝබර් දෙවැනි දින දක්වා කල් තැබූ අතර එදින කරුණු දක්වන මෙන් දෙජාසට නොතීසි නිකුත් කළේය. |
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඔන්ටාරියෝ විල හරහා සීත සුළං හමා යෑමත් සමග අයිස්වල ආක්‍රමණයට ලක් වූ විලට නුදුරින් පිහිටි නිවසක් සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමට ප්‍රාදේශීය ඡායාරූප ශිල්පියෙකු සමත් විය. | එහි පවතින දැඩි සීත කාලගුණය හමුවේ නිවස ඝන අයිස් තට්ටුවකින් ආවරණය වී තිබිණි. එය සැබෑ ඡායාරූපයක් බව පිළිගැනීම සමාජ ජාල සාමාජිකයන් බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කළ බව ඡායාරූප ශිල්පියා සඳහන් කළේය. ඔන්ටාරියෝ විලට නුදුරින් පිහිටි නිවස මේ අතර කුණාටු සහිත දැඩි සීත කාලගුණය හමුවේ නිව්යෝර්ක් සහ නිව්ජර්සි යන ඊසාන දිග ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එමෙන්ම අයහපත් කාලගුණය හමුවේ එක්සත් ජනපද ජාතික කාලගුණ සේවාව විසින් පෙන්සිල්වේනියා සහ කනෙටිකට් යන ප්‍රාන්තවලට අයත් ඇතැම් ප්‍රදේශ තුළ අනතුරුදායක තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කරනු ලැබ ඇත. |
ඉන්දියාවේ දේශපාලනඥයන් අතර වඩාත් මතභේදයට ලක්වී සිටින ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමති නරේන්ද්‍ර මෝඩි, මීළඟ මැතිවරණය වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් පත්වී සිටියි. | ගුජරාට් ප්‍රාන්තයේ ඇතිවූ හින්දු - මුස්ලිම් කෝලාහල වලකාලීමට කිසිවක් නොකළ බවට මෝඩිට චෝදනා එල්ලවී තිබේ මීට දස වසරකට පෙර ගුජරාට් ප්‍රාන්තයේ ඇතිවූ හින්දු - මුස්ලිම් කෝලාහල වලකාලීමට කිසිවක් නොකළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණ. එම ආගමික කෝලාහලවලදී දහසකට අධික මුස්ලිම්වරුන් පිරිසක් මරා දමන ලද බව විශ්වාස කෙරේ. එය සිදුවන්නට ඉඩ හැර බලා සිටි බවට, බොහෝ දෙනා මහ ඇමති නරේන්ද්‍ර මෝඩි ට ඇඟිල්ල දිගුකරන අතර ඔහුගේ ආධාරකරුවන් කියා සිටින්නේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය පිණිස නරේන්ද්‍ර මෝඩි ශක්තිමත් නායකයෙකු වන බවයි. ඉන්දියාවේ අගමැති පදවිය සඳහා භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් නරේන්ද්‍ර මෝඩි නම් කිරීමටද ඉඩ කඩ ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති. |
කාන්තා කටයුතු පිළිබඳ ඇමරිකානු තානාපතිනි කැතරින් රසල් හට වීසා ලබා දීම ශ්‍රී ලංකා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පළ කරයි. | ඇයට වීසා ලබා නොදෙන බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය තමන්ට දන්වා ඇතැයි කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය. ලොව පුරා කාන්තාවන් සමාජීයව සහ දේශපාලනිකව බල ගන්වමින් සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ඇති කිරීමට කටයුතු කිරීම තානාපතිනි කැතරින් රසල් ගේ කාර්යභාරය බව ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටියි. කැතරින් රසල් මේ මස දහ වෙනි දින සහ එකලොස් වෙනි දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව සිටියාය. ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් කාන්තා මූලික පවුල් වලට සිදුවී ඇති බලපෑම සහ කාන්තාවන්ට බලපාන වෙනත් කරුණු පිළිබඳව දිගටම අවධානය යොමු කරන බව ඇමරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. |
ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා නිරවද්‍යව සහ කඩිනමින් දිවි නසා ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ ජපානයයි. | සෑම මසකම අවසානයේ දී ඔවුහු ඒ පිළිබඳ දත්ත යාවත්කාලීන කරති. වෙනත් බොහෝ රටවල එවැන්නක් දැකිය නොහැකිය. කොවිඩ් වසංගත සමය ඇතුළත ලැබී ඇති දත්තවලින් කියැවෙන කතාන්තරය සිත කලබල කරවන සුළුය. 2020 දී ජපානයේ දිවිනසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ජපානයෙන් එවැනි තත්ත්වයක් වාර්තා වූයේ වසර 11කට පසුව ප්‍රථම වතාවටය. ජපානයේ නවතම දත්ත විශ්ලේෂණය කර බලද්දී වඩාත් පුදුමය දනවන කාරණයක් වන්නේ දිවි නසාගත් පුරුෂයන්ගේ ගණන තරමක් පහළ බැස තිබිය දී, දිවිනසාගත් කාන්තාවන්ගේ ගණන 15%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමය. මේවසරේ ඔක්තෝම්බර් මාසය ඇතුළත පමණක් සිදුවී ඇති කාන්තා දිවිනසා ගැනීම් ප්‍රමාණය, පසුගිය වසරේ ඔක්තෝම්බරයේ සිදුවූ කාන්තා දිවිනසා ගැනීම් සමඟ සංසන්දනය කළහොත් එය 70%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි. සිදු වන්නේ කුමක්ද? කොවිඩ් වසංගතය පිරිමින්ට වඩා ගැහැණුන්ට පීඩා ගෙනදෙන බවක් පෙනෙන්නට ඇත්තේ ඇයි? අවවාදයයි: මෙම ලිපියේ අන්තර්ගතය ඇතැමුන්ට සංවේදී විය හැක. තම ජීවිතය නසා ගැනීමට කීප වතාවක් ම උත්සාහ කළ තරුණ කාන්තාවක මුහුණට මුහුණ හමුවී කතාබහ කරන්නට ලැබීම හිතට වදදෙන අත්දැකීමක් විය. දිවිනසා ගැනීම් වලක්වාලීම තම රාජකාරිය කරගත් පුද්ගලයන් කෙරෙහි අලුත් ගරුත්වයක් මා තුළ ඇති වූයේ ඉන් අනතුරුවය. Bond Project යනු දිවිනසා ගැනීම් වලක්වාලීම සඳහා පවත්වාගෙන යන ආධාර ආයතනයකි. එහි කාර්යාලයක් යොකොහාමා නගරයේ 'රෙඩ් ලයිට්' දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලැබේ. බොහෝ රටවල 'රෙඩ් ලයිට්' දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන්නේ ලිංගික සේවා ලබාදීම සඳහා පවත්වාගෙන යනු ලබන ආයතන වැඩි වශයෙන් පවතින හෝ ලිංගික ශ්‍රමිකයන් වැඩි වශයෙන් ගැවසෙන කලාපයයි. මම Bond Project කාර්යාලය තුළ වාඩි ලා සිටිමි. මේසය ඉදිරිපස ඇති අසුනේ සිටින්නේ 19 වියැති යුවතියකි. කොණ්ඩය කොටට කපා සිටින ඇය නිසොල්මන් ය. ඇයගේ කතාව මා ඉදිරියේ දිග හරින්නට ඇය පටන් ගත්තාය. ඉතා හෙමින් කතා කරන නමුත් ඒ හඬේ කිසිදු හැඟීම්බර බවක් නොවීය. සියල්ල ආරම්භ වන විට ඇය පහළොස් වියැති ය. ඇයගේ වැඩිමල් සොහොයුරා අතින් සැහැසි ලෙස අපයෝජනයට ලක් වන්නට පටන් ගත්තේ ඒ අවධියේදී ය. අවසානයේ ඇය නිවසින් පලා ගියාය. නමුත් ඒ වේදනාව සහ තනිකම ඉන් නිමා වූයේ නැත. ඉන් ගැලවීමට ඇති එකම මග දිවි තොර කර ගැනීම යැයි ඇය සිතුවාය. "පසුගිය කාලය ඇතුළත කීපවතාවක් ම මාව රෝහල්ගත කළා." ඇය පැවසුවාය. "මම වාර ගණනාවක් ම දිවිනසා ගන්න උත්සාහ කළා. ඒ එක වතාවක්වත් සාර්ථක කර ගන්න බැරි වුණා. ඒ නිසා මම හිතනවා මැරෙන්න උත්සාහ කරන එක මම දැන් අතෑරලා දාල කියල." ඇය එසේ සිතන්නට පටන් ගෙන ඇත්තේ Bond Project ඇයගේ ජීවිතයට මැදිහත් වීමෙන් අනතුරුවය. ඔවුහු, ඇයට ජීවත්වීමට ආරක්ෂිත ස්ථානයක් සොයා දුන්හ. කඩිනම් උපදේශන සේවා ලබා දුන්හ. Bond Project ආයතනය ආරම්භ කරන ලද්දේ ජුන් ටචිබානා විසිනි. සර්ව ශුභවාදී, ශක්තිමත් අදහස් ඇති ඇය 40 වියැති ය. පසුගිය මාස කීපය ඇතුළත සිය කාර්ය මණ්ඩලයට ලැබුණු අතිශය ඛේදජනක දුරකථන ඇමතුම් පිළිබඳව ජුන් ටචිබානා සිහිපත් කළාය "ගැහැණු ළමයිට ප්‍රශ්නයක් ඇතිවුනාම, වේදනාවක් දැනුනම ඔවුන්ට හිතාගන්න බැහැ මොනවද කරන්නේ කියල. අපි ඉන්නවා ඔවුන්ට ඇහුම්කන් දෙන්න සුදානමින්. අපි ඉන්නවා, 'අපි ඔබ සමඟ ඉන්නවා' කියල ඔවුන්ට කියන්න." ජුන් ටචිබානා පැවසුවාය. මේ වන විටත් ප්‍රශ්නවලට මුහුණ දී සිටින අය කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතා අනතුරුදායක තත්ත්වයකට තල්ලු වී ඇති බව ඇය පවසන්නීය. පසුගිය මාස කීපය ඇතුළත සිය කාර්ය මණ්ඩලයට ලැබුණු අතිශය ඛේදජනක දුරකථන ඇමතුම් පිළිබඳව ජුන් සිහිපත් කළාය. "අපිට නිතරම අහන්න ලැබෙන්නේ 'මට මැරෙන්න ඕන', 'මට යන්න තැනක් නැහැ' වගේ දේවල් තමයි. ඔවුන් කියනවා 'මම ඉන්නේ හරිම වේදනාවකින්, මට ලොකු තනිකමක් දැනෙනවා, මට අතුරුදහන් වෙන්න ඕන' කියල." ශාරීරික පීඩා හෝ ලිංගික පීඩාවන්ට ලක්වන කාන්තාවන්ගේ තත්ත්වය, කොවිඩ් වසංගතය හේතුවෙන් තවත් දරුණු අතට හැරී තිබේ. "මට දවසක් කතා කරපු ගැහැණු ළමයෙක් කිව්වේ එයාගේ තාත්තගෙන් ලිංගික හිරිහැර සිදු වෙනවා කියල. කොවිඩ් නිසා තාත්ත වැඩට යන්නේ නැහැ, ඒ නිසා එයාට ගැලවීමක් නැහැ." ජුන් විස්තර කළාය. 'අසාමාන්‍ය රටාවක්' ජපානයේ මීට පෙර පැවති අර්බුද පිළිබඳව සලකා බලද්දී අද පවතින අර්බුදයේ බලපෑම හාත්පසින් ම වෙනස්ය. 2008 දී මුහුණ දුන් බැංකු අර්බුදය සහ 90 දශකයේ මුල් භාගයේ දී ඇති වූ දේපල වෙළෙඳාම සහ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම මගින් වැඩි වශයෙන් පීඩාවට පත් වූයේ මැදිවියේ පිරිමින් ය. එවකට පුරුෂයන් දිවිනසා ගැනීම් විශාල වශයෙන් ඉහළ ගියේය. නමුත් කොවිඩ් වසංගත සමයේ තත්ත්වය ඊට වෙනස් ය. එහි වැඩි බලපෑම ඇතිවී ඇත්තේ තරුණ ජනතාවට වන අතර එයින් ද වැඩි පීඩාව තරුණ කාන්තාවන්ට ය. ඊට පාදක වී ඇති හේතු තරමක් සංකීර්ණ බව පෙනී යයි. සංවර්ධිත රටවලින් වැඩිම දිවිනසා ගැනීම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබුණේ ජපානයෙනි. නමුත් පසුගිය දශකය ඇතුළත එම ප්‍රමාණය තුනෙන් එකකින් පමණ අඩුකර ගනිමින් ඉතා හොඳ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට ජපානයට හැකියාව ලැබුණි. මහාචාර්ය මිචිකෝ උවේඩා, ජපානයේ සිදුවන දිවිනසා ගැනීම් පිළිබඳව අධ්‍යයනයක යෙදුණු විද්වත් කාන්තාවකි. ජපානය දශකයක් පුරා ලබා ගෙන තිබූ ජයග්‍රහණය මාස කීපයක් ඇතුළත ආපස්සට හැරී ඇති අකාරය කෙතරම් විමතිය දනවන්නේ දැයි ඇය මට විස්තර කළාය. "කාන්තාවන් දිවි නසා ගැනීමේ මේ රටාව ඉතාම අසාමාන්‍ය දෙයක්." "වෘත්තියක් හැටියට මේ විෂය ගැන පර්යේෂණ කරන්න පටන් ගත් දා පටන් මම කිසිම දවසක දැකල නැහැ මේ වගේ ඉහළ යාමක්. කොරෝනා වසංගතයෙන් පහර වැදුණු කර්මාන්ත බොහොමයක සේවය කරන්නේ කාන්තාවන්. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය, ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්රය සහ සාප්පු සංකීර්ණ වගේ දේවල්." ඇය පැහැදිලි කළාය. ජපානයේ තනිකඩව ජීවත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. විවාහයෙන් පසුව කාන්තාවගේ සාම්ප්‍රදායික කාර්යභාරය නිවසේ වැඩකටයුතුවලට පමණක් සීමා වීම නිසා නව පරම්පරාවේ බොහෝ දෙනා විවාහ නොවී තනිව ජීවත්වීමට පෙළඹී ඇත. පසුගිය අට මාසය ඇතුළත රැකියා අහිමිවූ කාන්තාවන්ගේ ගණන ඉතා විශාලයි." මහාචාර්ය මිචිකෝ උවේඩා "ගොඩාක් කාන්තාවන් අද අවිවාහකයි. ඔවුන්ට ජීවන අරගලය කරන්න වෙලා තියෙන්නේ තනියෙම. ස්ථිර රැකියාවන් නැහැ. ඉතින් මොනවා හරි සිද්ධ වුණොත් වැඩියෙන් ම පහර වදින්නේ මේ කාන්තාවන්ට. පසුගිය අට මාසය ඇතුළත රැකියා අහිමිවූ කාන්තාවන්ගේ ගණන ඉතා විශාලයි." මහාචාර්ය මිචිකෝ උවේඩා පැවසුවාය. "මේ කාලය අතරින් එක මාසයක් විශේෂයෙන් කැපී පෙනෙනවා. ඒ පසුගිය ඔක්තෝම්බරය. ඒ මාසය ඇතුළත පමණක් කාන්තාවන් 879ක් දිවිනසාගෙන තියෙනවා. ඒක 2019 ඔක්තෝම්බරයේ දිවිනසා ගැනීම්වලට වඩා 70%කින් ඉහළ අගයක්. පුවත් පත්වල පළවූ ශීර්ෂ පාඨවලින් ද අනතුරු අඟවා තිබුණි. පසුගිය ඔක්තෝම්බරයේ ජපානයේ සිදුවූ සම්පුර්ණ දිවිනසා ගැනීම් සංඛ්‍යාව (2,199) සහ ඒ වනවිට කොරෝනාවෛරසයෙන් එරට මරණයට පත් වී තිබුණු ප්‍රමාණය (2,087) සංසන්දනය කොට ඇතැම් පුවත් පත්වල ශීර්ෂ පාඨ පළවී තිබුණි. අමුතු විදියේ යමක් සිදුවෙමින් පැවතුණි. පසුගිය වසරේ සැප්තැම්බර් 27වැනිදා, ජපානයේ සුප්‍රසිද්ධ නිළියක වන යුකෝ ටකේඋචි සිය කාමරය තුළ මියගොස් සිටියාය. එය සිය දිවි නසා ගැනීමක් බව පසුව වාර්තා කෙරිණි. ජපානයේ සුප්‍රසිද්ධ නිළියක වන යුකෝ ටකේඋචි සිය කාමරය තුළ මියගොස් සිටියාය යසුයුකි ශිමිසු හිටපු මාධ්‍යවේදියෙකි. දැන් ඔහු, දිවිනසා ගැනීම් වලක්වා ගැනීම සඳහා කැපවූ, ලාභ නොලබන ආයතනයක් පවත්වාගෙන යයි "ප්‍රසිද්ධ කෙනෙකු දිවි නසා ගත්තොත්, රටේ සිදුවන සිය දිවි හානි කරගැනීම් එකවරම ඉහළ යනවා. ඒ තත්ත්වය දින දහයක් පමණ පවතිනවා." ඔහු පැවසීය. "දත්ත පරීක්ෂා කරලා බැලුවම අපට පෙනී යනවා සැප්තැම්බර් 27වැනිදා නිලියක් සිය දිවි නසා ගැනීමෙන් පසුව ගෙවුණු දින 10 ඇතුළත ජපානයේ කාන්තාවන් 207 දෙනෙකු දිවි නසාගෙන තියෙන බව." එම නිළිය දිවි නසා ගැනීමෙන් අනතුරුව දිවි තොර කරගත් අනෙකුත් කාන්තාවන් ද එම නිළියගේ වයස් කාණ්ඩයට අයත් බව දත්ත විශ්ලේෂණය කිරීමෙන් තහවුරු වේ. "අනෙකුත් සෑම වයස් කාණ්ඩයකට ම වඩා දිවි නසා ගැනීමට පෙළඹිලා තියෙන්නේ, වයස අවුරුදු හතළිස් ගණන්වල සිටින කාන්තාවන්. එම වයස් කාණ්ඩයේ දිවිනසා ගැනීම් ප්‍රතිශතය, දෙගුණයකට වඩා වැඩියි." ශිමිසු පැවසුවේය. ප්‍රසිද්ධ චරිතයක් දිවි නසා ගැනීම සහ ඊට පසු දින කීපයක් ඇතුළත රටේ සිදුවන දිවි නසා ගැනීම් ඉහළ යාම අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවතින බවට විශේෂඥයෝ ද එකඟ වෙති. කීර්තිමත් චරිතයක් හා බැඳුණු අද්භූත සංසිද්ධිය මෙම අද්භූත සංසිද්ධිය ජපානයට පමණක් ආවේණික වුවක් නොවේ. දිවි නසා ගැනීමක් පිළිබඳව වාර්තා කිරීම ඉතා දුෂ්කර වන්නේ එබැවිනි. කීර්තිමත් පුද්ගලයෙකුගේ දිවි නසා ගැනීමකින් අනතුරුව ප්‍රධාන මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව කෙරෙන කතාබහ වැඩි වන තරමට, ඉතා පහසුවෙන් අනතුරට ලක්විය හැකි පුද්ගලයන්ට ඉන් ඇතිවන බලපෑම ද වැඩි වනු ඇත. මායි සුගනුමා, ලාභ නොලබන සංවිධානයක පර්යේෂණ නිලධාරිනියකි. ඇයගේ පියා දිවි නසාගෙන ඇත්තේ ඇය භද්‍ර යෞවනයේ සිටියදීය. දිවි හානි කරගත් පුද්ගලයන් නිසා අසරණ වූ පවුල්වලට දැන් ඇය පිහිට වන්නීය. මෙම වසංගත සමය තුළ යමෙකු දිවි නසා ගත්විට ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් දුෂ්කර තත්ත්වයකට ඇද වැටෙති. "එවැනි පවුල්වල ඥාතීන්ට මම කතා කරන කොට තේරෙන දෙයක් තමයි, තමන් ආදරය කළ ඒ පුද්ගලයාගේ ජීවිතය බේරාගන්න ඔවුන්ට නොහැකිවීම පිළිබඳ හැඟීම තදින්ම හිත්වලට කාවැදී තිබෙන බව. මේ නිසා ඔවුන් ඔවුන්ටම දොස් පවරාගන්නා තත්ත්වයකට පත්වෙනවා. මගේ තාත්තගේ ජීවිතය බේරාගන්න බැරිවීම ගැන මමත් මටම දොස් පවර ගත්ත." මායි සුගනුමා පැවසුවාය. "වසංගතය නිසා දැන් ඔවුන්ට ගෙදරින් එලියට යන්න එපා කියල නීති දාල. ඒ නිසා මේ වේදනාව තවත් වැඩි වෙනවා. ඒ ගැන මම ඉන්නේ කනස්සල්ලෙන්. ජපන් මිනිස්සු මරණය ගැන වැඩිය කතා කරන්නේ නැහැ. දිවි නසා ගැනීම් ගැන කතා කරන සම්ප්රදායක් ඔවුන්ට නැහැ." බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී ජපානය මේ වන විට පසුකරමින් සිටින්නේ තුන්වැනි කොරෝනාවෛරස් රැල්ලයි. එරට ආණ්ඩුව දෙවන වතාවටත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත. එය තවදුරටත් දිගු කිරීමට ඉඩ ඇත. බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී. තවත් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙමින් පවතී. මහාචාර්ය උවේඩා ගේ හිත තුළ වදදෙන තවත් ප්‍රශ්නයක් වෙයි. "ඇතැම් රටවල වගේ දැඩි ලොක්ඩවුන් නීති නැති, සාපේක්ෂව අඩු කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවන ජපානයේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවනම්, වසංගතය ඉතා දරුණු රටවල මොනවා සිද්ධ වෙනවා ඇති ද?" **මෙම ලිපියේ අන්තර්ගතය මගින් ඔබේ මනසට යම් බලපෑමක් වූයේ නම් පහත සඳහන් දුරකථන ඔස්සේ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ අමතන්න. Hotline : +94 11 2 682535 Mobile/WhatsApp: 0767 520 620, 0777 723 696 ලිපිනය: 60/7, හෝටන් පෙදෙස, කොළඹ විද්‍යුත් තැපෑල: info@srilankasumithrayo.lk වෙබ් අඩවිය: slssumithrayo@gmail.com |
ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය උපදේශකවරයෙක් අනතුරු අඟවයි. | "ආපස්සට හැරවිය නොහැකි" සංකූලතා ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන දෙදහසකට ආසන්න බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන බීබීසීයට පැවසීය. ඉන් වැඩිම රෝගීන් පිරිසක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. "හැමෝම වගේ හිතාගෙන ඉන්නේ ලාදුරු ලංකාවේ නැහැ කියල. ඇතැම් වෛද්‍යවරුන් පවා හිතාගෙන ඉන්නේ ලංකාවේ දැන් ලාදුරු නැහැ කියල. 2019 වසර ඇතුළත රෝගීන් 1661ක් හිටියා. මේ වෙනකොට අවුරුද්දකට 2000ක් විතර රෝගීන් අපිට හමුවෙනවා. මගේ අත්දැකීම අනුව මමනම් හිතන්නේ මේ ගණන මීටවඩා වැඩි වෙන්න ඕනා. ජනතාවගේ සහ වෛද්‍යවරුන්ගේ දැනුවත්භාවය අඩු නිසා බොහෝ රෝගීන් වාර්තා වෙන්නේ නැහැ." "ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි" 2019 වසර තුළ වාර්තා වුණු සමස්ත ලාදුරු රෝගීන්ගෙන් 181 දෙනෙකුම ළමුන් වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව වෛද්‍යවරයා පැවසීය. "මේක භයානක තත්ත්වයක්. මේ ළමයින්ගෙන් වැඩි ප්‍රතිශතය වයස අවුරුදු 10ත් 14ත් අතර සිටින ළමුන්. ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි. බොහෝ විට ළමයින්ට බෝවෙන්නේ නිවසින් ඈතක සිටින කෙනෙකුගෙන් නොවෙයි. අනෙක් අනතුර තමයි මේ ළමයින්ගෙන් තවත් ළමුන්ට බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩිවීම." මේ වන විට බොහෝ රෝගීන් පමා වී වාර්තා වීම ද බරපතල ප්‍රශ්නයක් වී ඇති බව වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය. පමා වී ප්‍රතිකාර සඳහා යොමු වන රෝගීන් රෝහලට පැමිණෙන්නේ "ආපස්සට හැරවිය නොහැකි" සංකූලතා ද සමඟයි. ලාදුරු රෝගය සුව කළ හැකි නමුත්, ප්‍රතිකාර ගැනීමට පමා වුවහොත් ඒ වනවිට ස්නායු පද්ධතියට සිදු වී ඇති හානි සමඟ එම රෝගියාට ජීවිත කාලයම ගත කරන්නට සිදුවනු ඇත. ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන "රෝගීන් හමුවෙන්නෙත් පමා වෙලා. 2019දී රෝගීන් 93 දෙනෙක් ම හමුවෙන්නේ බරපතල සංකුලතා එක්කමයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව මිනිසුන් දසලක්ෂයකට සිටිය හැක්කේ එවැනි එක් ලාදුරු රෝගියක් පමණයි. අපේ රටේ ජනගහනය මිලියන 22ක් නම් අපිට සංකුලතා සහිතව හමුවෙන්න ඕන ලාදුරු රෝගීන් 22ක් පමණයි. ඒත් 2019දී 93 දෙනෙක් හමු වුනා. ඒ කියන්නේ පමා වෙලා වැඩියි." "මේ රෝගය ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගත්තොත් ඉක්මනින් ම සනීප වෙනවා. කිසිම සංකුලතාවයක් නැතිව." විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. "මේකේ තියෙන භයානක කම" මෙම රෝගයේ ඇති "භයානක කම" සහ කාලය "තීරණාත්මක සාධකයක්" වන්නේ ඇයිදැයි විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පැහැදිලි කළේ මෙසේය. "රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා" "මුලින්ම රෝගියෙක් කරන්නේ සමේ රෝග විශේෂඥයෙකු හමුවීම. එයා අවම වශයෙන් තුන් වතාවක් වත් රෝගියා පරීක්ෂා කලාට පස්සේ තමයි ලාදුරු සඳහා පරීක්ෂාවකට යොමු කරන්නේ. මේ සඳහා ගතවන කාලය ඉතාම තීරණාත්මකයි. සාමාන්‍ය ක්‍රීම් එකක් මාසයක් දෙකක් ආලේප කරමින් සිටින අතරතුර මේ රෝගය සම ඇතුළෙන් පැතිරෙනවා. ඒ අතරතුර මේ බැක්ටීරියාව ස්නායු වලටත් හානි කරන්න පුළුවන්. ස්නායුවලට ගියාට පස්සේ තමයි මේකෙන් ඇතිවන අතුරු ආබාධ සියල්ල ම ඇතිවෙන්න පටන් ගන්නේ. අතපය කොරවීම, ඇඟිලි, ඇස්, කන්, නාසා වෙනස් වීම් වගේ දේවල්. රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා. ඒ නිසා කාලය ඉතාම තීරණාත්මක සාධකයක්." "ලාදුරු පවුලකින් කසාදයක්...?" ලාදුරු යනු සුව කළ නොහැකි රෝගයක් යැයි සමාජගත වී ඇති දුර්මතය හේතුවෙන් බොහෝ දෙනා අනියත බියක් ඇතිකරගෙන ඇති බව වෛද්‍යවරයා පැවසීය. "සමහරු හිතනවා ලාදුරු හැදුණු කෙනෙක් හිටිය පවුලකින් කසාදයක්වත් කරගන්න හොඳ නැහැ කියල." ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේ ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යනම් රජයේ රෝහලකට ම යායුතු බවය. ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකෙරේ. "මේ රෝගයට බෙහෙත් තියෙන්නේ රජයේ රෝහල්වල පමණයි. පෞද්ගලික රෝහල්වල බෙහෙත නැහැ. ප්‍රයිවෙට් චැනල් කරලා බැලුවත් එයාව ලාදුරු ප්‍රතිකාර සඳහා යොමු කරන්න වෙන්නේ රජයේ රෝහලට." ලාදුරු රෝගීන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකි බව ඔහු පැහැදිලි කළේය. "ලාදුරු රෝගීන් වර්ග දෙකක් ඉන්නවා. බැක්ටීරියා වැඩි වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් සහ බැක්ටීරියා අඩු වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් ලෙස මේ කාණ්ඩ දෙක හඳුන්වන්න පුළුවන්. බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් ඇඟේ ඉන්න අයගෙන් තමයි රෝගය පැතිරෙන්නේ. අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සිටින රෝගීන්ගෙන් ලාදුරු පැතිරෙන්නේ නැහැ. අපේ රටේ ලාදුරු රෝගීන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ බැක්ටීරියා වැඩි කාණ්ඩය. ඒ නිසා මේ රෝගය රටේ ව්‍යප්තවෙන්න තියෙන ඉඩකඩ වැඩියි." ලාදුරු තුරන් කළ හැකි මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කීපයකට පෙර නිවේදනය කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිදැයි ප්‍රශ්න කළ විට වෛද්‍යවරයා කියා සිටියේ ජනතාව එම නිවේදනය වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවය. "මිනිසුන් ලක්ෂයකට රෝගීන් 10කට වඩා අඩුනම් අපි කියනවා ලාදුරු රටින් තුරන් කිරීමේ මට්ටමට ඇවිත් කියල. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය. 1995 දී ශ්‍රී ලංකාව ඒ මට්ටමට ඇවිත් හිටියා. එතකොට මිනිස්සු අතර මතයක් ඇතිවුණා දැන් ලංකාවේ ලාදුරු නැහැ කියල. ඒක වැරදි මතයක්. රටක් ලාදුරු තුරන් කළ හැකි මට්ටමට එනවා කියන්නේ ඒ රටේ ලාදුරු ඇත්තෙම නැහැ කියන එක නෙමෙයි." රෝගියා සමඟ වාසේ...? ලාදුරු රෝගියෙකු සමඟ එකම නිවසක වාසය කළ හැකිද? නිවසේ සිට ප්‍රතිකාර ගත හැකිද? බැක්ටීරියාව ශරීරගත වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පහළවීමට කෙතරම් කාලයක් ගත වේද? විශේෂඥ වෛද්‍ය කපිල පියසේන ඒ සියලු ප්‍රශ්නවලට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. "මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි, අද මම ඔයා ළඟින් වාඩිවෙලා හිටිය කියල හෙට ඔයාට ලාදුරු හැදෙන්නේ නැහැ. අද බැක්ටීරියාව ශරීරගත වුනත් අඩු තරමින් අවුරුදු දෙකක්වත් යනවා රෝග ලක්ෂණ මතුවෙන්න. රෝග ලක්ෂණය කියන්නෙත් ඇඟේ එන ලපයක් විතරයි. ඒ ලපය හඳුනා ගත්තේ නැත්නම් තවත් වසර තුනක්වත් ගිහින් තමයි ස්නායු ආබාධ ඇති වෙන්නේ. ඒකත් මුලින්ම ඇඟිලි හිරි වැටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්." "ඒ වෙනකොට මේ පුද්ගලයා වයසට ගිහින් හිටියොත් එයා හිතනවා මේක වයසට එන ලෙඩක් වෙන්න ඇති කියල. එහෙම නැත්නම්, මේ පුද්ගලයාට දියවැඩියාව තිබුනොත් එයා හිතනවා මේක දියවැඩියාව නිසා හිරි වැටීමක් වෙන්න ඇති කියල. මේ වගේ දේවල් නිසා ලාදුරු කලින් හඳුනා ගැනීම තවදුරටත් අපහසු වෙනවා. ඒ වෙනකොට රෝගය සනීප කළත් අර හානිය ආපස්සට හැරෙන්නේ නැහැ." සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ ලපයක් මතුවීමට පෙර රෝගය හඳුනා ගැනීම සඳහා මේ දක්වා සාර්ථක වෛද්‍ය පරීක්ෂණයක් සොයාගෙන නොමැති බව ඔහු පැවසීය. ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කළ මොහොතේ පටන් මෙම රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම නවතින හෙයින් නිවසේ සිටින අන් කිසිවෙකුට බිය වීමට කාරණයක් නොමැති බව වෛද්‍යවරයා අවධාරණය කරයි. එබැවින් රෝගියාට ද නිවසේ සිටම ප්‍රතිකාර කරගෙන යාමට හැකියාව පවතී. ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය. වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි. ලපය: සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ. නමුත් ලපයක් ඇතිවූ විට ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුබව වෛද්‍ය උපදේශයයි. ලාදුරු ලපයක් හඳුනා ගන්නේ කෙසේදැයි විමසු විට වෛද්‍යවරයා එය පැහැදිලි කළේ මේ ආකාරයටය. "හමේ පාටට වඩා අඩු පාටක් හෝ තද පාටක් විය හැකියි. පැතලි ලපයක් හෝ නෙරා පැමිණි බිබිලක් වැනි ලපයක් විය හැකියි. මුහුණේ එක පැත්තක හෝ දෙපැත්තේම වෙන්නත් පුළුවන්. ශරීරයේ ඕනෑම තැනක විය හැකියි." "මේ බැක්ටීරියාවෙන් එම ලපය මැද ඇති ස්නායු මරා දමන නිසා ලපය මත දැනීමක් නැහැ. ඒ ලපය ඇති ස්ථානවල රෝම කූප නැහැ, දාඩිය දමන්නේත් නැහැ." මේවා පොදු ලක්ෂණ වන නමුත් මීට වඩා වෙනස් වූ ලක්ෂණ සහිත ලපයක් ද ඇතිවීමට ඉඩ ඇති බව වෛද්‍යවරයා අවධාරණය කළේය. එම හේතුව නිසාම වෛද්‍යවරුන්ට පවා මෙය විනිශ්චය කර ගැනීම අපහසු විය හැකි බව ඔහු පැවසීය. "ඒකයි අපි කියන්නේ, යන්තමින් හෝ සැකයක් පවතිනවානම් ලාදුරු රෝහල වෙත යොමු කරන්න කියල. එතැනදී අපට විශේෂ පරීක්ෂාවක් කරන්න පුළුවන්." දීර්ඝ ඉතිහාසයක් ලාදුරු රෝගය ඇතිකරවන බැක්ටීරියාව මුලින්ම මිනිස් සිරුරට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැත. මෙම රෝගයට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. එය වසර 5000ක් තරම් ඈතට දිව යන්නකි. වෛද්‍ය කපිල පියසේන එම ඉතිහාසය සංක්ෂිප්ත කළේ මෙලෙසිනි. "බුදු දහමේත් මේක කියවිලා තියෙනවනේ. එක ජාතක කතාවක මට මතකයි මේ ගැන කියවෙනවා. එක්තරා රහතන් වහන්සේ නමකට දානේ බෙදනකොට ඒ මනුස්සයාගේ ඇඟිල්ලක් ගැලවිලා පාත්තරේට වැටුන කියනවනේ. මේ රෝගය එහෙම තමයි. ඇඟිලි පුරුක් ගැලවෙන්නේ කිසිම වේදනාවක් නැතිව." "අද කාලේ කොරෝනා නිසා සති දෙකක් නිරෝධායනය වෙන්න බැහැ කියල සමහරු මැසිවිලි නගනවා. ඒ කාලේ ලාදුරු හැදුනනම් මුළු ජීවිත කාලෙම හුදෙකලා කරනවා." "හැඳල රෝහල පටන් ගත්ත කාලේ රෝගීන් දහස් ගණනක් ඒ රෝහලේ ඉඳල තියනවා. ඇතුළට ආපු කෙනෙක් ආයේ එළියට ගිහින් නැහැ. මැරුණම පෙට්ටියෙන් තමයි එලියට ගෙනිච්චේ. ඒ දවස්වල තිබුණා ලාදුරු කොලනි කියල ස්ථාන වෙන්කරලා." හැඳල නගරයේ පිහිටා ඇති ලාදුරු රෝහලේ ඉතිහාසය ද ලන්දේසි යුගය දක්වා දිව යන බව වෛද්‍යවරයා පැවසීය. "ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වලදී ලන්දේසි කුමාරයෙක් ලංකාවට ඇවිත් තියෙනවා. එයාට ලාදුරු රෝගය හැදිලා. එයාව හුදෙකලා කරලා තියන්න තමයි මේ ගොඩනැගිල්ල හදල තියෙන්නේ. 1708 දී තමයි මුල්ගල තියල තියෙන්නේ. කුමාරයෙක් තියන්න ඕන නිසා මේක ඉතා සුඛෝපභෝගී ලෙස තමයි හදල තියෙන්නේ. මෑතකදී අලුත්යාවැඩියාවක් කරද්දී වහලේ උළුකැට හම්බවුණා. ඒවා හදල තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1860දී. අද තියෙන උළුකැටවලට වඩා තවමත් ඒවා ශක්තිමත්." රෝගීන් මිය ගිය විට ඔවුන්ගේ සිරුරු ගෙන යාම සඳහා වෙන්වූ කරත්ත තිබුණු බවත් ඉන් කරත්ත දෙකක් දැනටත් රෝහල තුළ දක්නට හැකි බව වෛද්‍ය කපිල පියසේන පැවසීය. ඈත අතීතයේ රෝගීන්ගේ රෙදි සේදීම සඳහා හැඳල ලාදුරු රෝහල තුළ යන්ත්‍රයක් සවිකර තිබුණු බවත් එය ලෝකයේ පැරණිතම රෙදි සෝදන යන්ත්‍රයක් බවත් ඔහු ප්‍රකාශ කළේය. "මේක දැන් කාලේ වගේ පොඩි යන්ත්‍රයක් නොවෙයි. විශාල කාමරයක් වගේ යන්ත්‍රයක්. ඒක තමයි ලංකාවේ භාවිතා කළ පළමුවැනි රෙදි සෝදන යන්ත්‍රය." ලාදුරු ගැන ඔබ දත යුතු දේ: (මූලාශ්‍ර: ලාදුරු මර්දන ව්‍යාපාරය) |
ඉන්දියාව කොරෝනා වෛරස් දෙවෙනි රැල්ල හමුවේ මහා ව්‍යසනයක් කරා යමින් සිටියි. | ලොව සෙසු රටවල් අභිබවමින් අසල්වැසි ඉන්දියාවේ කෝවිඩ් රෝගීන් වාර්තා වීමේ වේගය ඉහළ ගොස් ඇත. බ්‍රහස්පතින්දා (අප්‍රේල් 22) පැය 24 ක කාලයක් තුළ 2,000 ට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර අලුතින් රෝගීන් 300,000 වාර්තා වී තිබේ. මේ ගැනත් කියවන්න: |
ඉන්දියාවේ ටාටා සමාගමට ලබා දීමට නියමිත කොළඹ කොම්පඤඤ වීදියේ ඉඩමෙන් දෙසැම්බර් පළමු වැනිදාට පෙර ඉවත් වන ලෙස එහි පදිංචි කරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. | සති කිහිපයක් ඇතුළත ඉවත් වීමට නියෝග ලැබීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත් වී ඇති අතර ඒ සඳහා මාස තුනක කාලයක් වත් ලබා දිය යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කළ සැලැස්මක් පිළි ගනිමින්. වන්දි වසරකින් අදාළ ඉඩමෙන් ඉවත් වන අයට කැමති නම් වන්දි ලබා ගැනීමට හෝ එම ප්‍රදේශයෙන් වෙනත් නිවසක් ලබා ගැනීමට හැකි බවයි නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කර ඇති සැලැස්මේ සඳහන් වන්නේ. නමුත් ඒ සඳහා වසරක කාලයක් ගත වන හෙයින් එතෙක් කුලියක් ගෙවීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වී තිබේ. කෙසේ නමුත් වන්දි ලබා ගැනීම සඳහා පවුල් 150 කුත් නව නිවාස ලබා ගැනීම සඳහා පවුල් 250 කුත් එකඟ වී ඇති බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ. |
මී ළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි 08 වෙනි දින පැවැත්වෙන බව ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් මෙයින් ස්වල්ප වේලාවකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුණි. | මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන්ට කියා සිටියේ ලබන දෙසැම්බර් මස 08 වෙනි දින ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවනු ලබන අතර 2015 ජනවාරි 08 වෙනි දින ඡන්ද විමසීම් සිදු කෙරෙන බවයි. මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් පොදු අපේක්ෂකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාත් තරඟ වදින අතර සෙසු අපේක්ෂකයන් කවුරුන් විය හැකිද යන්න තවමත් ප්‍රකාශයට පත් වී නැත. |
ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී තමන්ට රුසියාවේ සහාය ලැබුණු බව සඳහන් කරමින් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) නිකුත් කළ නිරීක්ෂණ වාර්තාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. | ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බව CIA ආයතනය සිකුරාදා නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් පැවසීය. එහෙත් ජනාධිපතිවරණයෙන් ලද දැවැන්ත පරාජය දරාගත නොහැකිව ඩිමොක්රටික් පක්ෂය මෙවැනි වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව, රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් පුවත් සේවය වෙත අදහස් දක්වමින් චෝදනා කළේය. රුසියානු බලධාරීහු එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති. |
2009 පකිස්තාන් සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කෙරුණ ප්‍රහාරයේ මහ මොළකරු හැටියට චෝදනා ලැබ සිටි ෂුබේර් නොහොත් මුහම්මද්, ලාහෝර් මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් මුදා හරිනු ලැබුනත් ඉහල අධිකරණයක් නියෝගයක් අනුව ඔහු තවදුරටත් රඳවා තබා ඇති බව වාර්තා වෙයි. | ලාහෝර් ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැක කරුවෙක්. විනිශ්චය මණ්ඩලය චූදිත ෂුබේර් මුදා හරින මෙන් නියෝග කර තිබුණේ, ඔහුට එරෙහි චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින්. පන්ජාබ් පොලිස් ප්‍රධානී කාන් බෙග්, මහාධිකරණයට කරුණු දක්වමින්, චූදිත ෂුබේර් නොහොත් මුහම්මද්,සමාජ සාමයට අන්තරායකාරී පුද්ගලයකු වන හෙයින් ඔහු මුදා හරිනු ලැබීමට තීන්දු කරනු ලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කළත්, ප්‍රධාන මහාධිකරණ විනිසුරු නසීර් සයිඩ්ගේ ප්‍රධානත්වයෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයේ තීන්දුව වී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කෙරුණු ප්‍රහාරයට ෂුබේර් හවුල් වී ඇති බව සනාථ කිරීම සඳහා ශක්තිමත් සාක්ෂි පදනමක් නොමැති බවයි. එහෙත් එම මහාධිකරණ තීන්දුවට එරෙහිව රජයේ නීතිවේදීන් උසස් අධිකරණයට අභියාචනය කළ අවස්ථාවේ, චූදිත ෂුබේර් තවත් මාසයක් රඳවා තබන මෙන් නියෝග කරන ලද බවයි වාර්තා වන්නේ. එම නව තීන්දුව අනුව ෂුබේර් නොහොත් මුහම්මද් ඔක්තෝබර් දහවෙනිදා යළි උසාවියට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි. |
යුද සමයෙදී තමන්ට කුඹුරු වගා කිරීමට නොහැකිවූ අවස්ථාවේදී බල පත්‍ර සහිත තම ඉඩම් ආරක්ෂක අංශවල අනු දැනුම ඇතිව සිංහල ධීවරයන්ට ලබා දුන් නමුත් ඒවා යුද්ධය අවසන් වීමෙන් පසුව ආපසු ලබා දීමට පියවර ගෙන නැතැයි මුලතිව් දිස්ත්‍රීක්කයේ දෙමළ ධීවර ජනතාව පවසනවා. | මෙසේ ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 800 පමණ වෙයි. එම වකවානුවේදී කුඹුරු භාර ගත් යුද හමුදා නිලධාරීන් දැන් මුලතිවු පළාතේ නොමැති නිසා තම කුඹුරු ආපසු ලබා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු පවසති. බල පත්‍ර සහිත තම ඉඩම් ආපසු ලබා දෙන ලෙස වැලි ඔය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන්ද මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන්ද, මුලතිවු දිසාපතිවරයාගෙන්ද මේ වනවිට අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇතත් මේ දක්වා තමන්ට සාධාරණය ඉටු වී නැති බව ඔවුහු කියා සිටිති. මුලතිවු දිසාපති නාගලිංගම් වේදනායගම් පැවසුවේ, විශේෂ ගිවිසුමක් මත ලබා දී ඇති එම ඉඩම් ආපසු ලබා දිය හැක්කේ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයාට හෝ ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයාට හෝ පමණක් බවයි. ගොවීන්ගේ ඉල්ලීම් මත එම නිලධාරීන්ට මේ පිළිබඳව දන්වා ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ. |
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් පදවිය සඳහා දිව්රුම්දෙමින් වැඩ භාරගනු ලැබීම(inauguration) ජනවාරි 20 දින ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යාහ්නයෙහි සිදුවෙයි. | ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කරනු ලැබ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කෙරෙන නෛතික විධිවිධාන සහ සම්ප්‍රදායන් අනුව එම කර්තව්‍යය සිදුකෙරෙන නමුත් කොරෝනා වසංගතය සහ පසුගියදා වාර්තා වූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෙවර එම අවස්ථාවේ එක්තරා වෙනසක් දක්නට ලැබෙයි. ජනාධිපති බයිඩන් සමඟ උප ජනාධිපතිනි කමලා හැරිස් ද සිය පදවිය සඳහා දිව්රුම්දෙමින් නිල කාර්යයන් ආරම්භ කිරීමට නියමිතය. මහජන ඡන්දයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයකු පදවියේ දිව්රුම්දෙනු ලැබීම ඇමෙරිකානු දේශපාලනයේ අතිශයින් වැදගත් දිනයකි. 'සමාරම්භය'(inauguration)යනු කුමක්ද? ඇමෙරිකානු ජනාධිපති පදවියේ 'සමාරම්භය'(inauguration) යනු අභිනවයෙන් පත්වූ ජනාධිපතිවරයකු නිලමට්ටමින් දිව්රුම් දී පදවියට අයත් රාජකාරි ආරම්භ කිරීමයි. එම සමාරම්භක උත්සවය සම්ප්රදායක මට්ටමින් පැවැත්වෙන්නේ 'වොෂිංටන් DC' නගරයේය. එම දිනයෙහි අවශ්‍ය වැදගත්ම කාරණය තේරී පත්ව සිටින අභිනව ජනාධිපතිවරයා සිය ධූරය සඳහා දිව්රුම්දීමය. ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර අභිනව ජනාධිපතිවරයකු හෝ ජනාධිපතිවරියක දිව්රුම්දෙනු ලබන්නේ මෙම ප්‍රකාශය අනුව ප්‍රතිඥා දෙමිනි. ''එක්සත් ජනපදයේ විධායක ජනාධිපති පදවියට පැවරෙන කාර්යභාරය අවංක ලෙස ඉටුකරන බවට එමෙන්ම,මාගේ උපරිම ශක්තිය අනුව එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කොට රැකබලා ගනිමින් ආරක්ෂා කරන බවට ගරු ගාම්භීරව ප්‍රතිඥා දෙමි'' එම වචන උච්චාරණය කරමින් අදාළ ප්‍රතිඥාව දීමත් සමඟ ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා බවට පත්වෙයි. උප ජනාධිපති පදවිය සඳහා පත්කරනු ලැබ සිටින කමලා හැරිස් ද සිය ප්‍රතිඥාව දෙමින් සිය පදවියේ කාර්යයන් ආරම්භ කරන අතර, සම්ප්රදායක් ලෙස ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා හෝ උප ජනාධිපතිවරියගේ දිව්රුම්දීම නව ජනාධිපතිවරයා දිව්රුම්දීමට පෙර සිදුකෙරෙයි. සම්ප්රදායක් ලෙස ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා හෝ උප ජනාධිපතිවරියගේ දිව්රුම්දීම නව ජනාධිපතිවරයා දිව්රුම්දීමට පෙර සිදුකෙරෙයි. ජෝ බයිඩන් දිව්රුම්දෙන හෝරාව ඇමෙරිකානු ජනාධිපති පදවිය සඳහා තේරී පත්ව සිටින තැනැත්තා හෝ තැනැත්තිය ජනවාරි මස විසිවෙනි දින දිව්රුම්දෙනු ලැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කර තිබෙන නිර්දේශයකි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රාන්ත වේලාව අනුව (EST Time) පෙරවරු 11.30ට දිව්රුම්දීමේ උත්සවය ආරම්භ කෙරෙන අතර,අනතුරුව දවසේ මධ්‍යාහ්නයෙහි නව ජනාධිපතිවරයාගේ සහ උප ජනාධිපතිවරියගේ දිව්රුම්දීම සිදුකෙරෙයි. පදවියේ දිව්රුම්දෙනු ලැබීමෙන් අනතුරුව සවස් භාගයේ නව ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයට පිවිසෙයි. ඉදිරි වසර හතරක කාලය බයිඩන් පවුලේ නිල නිවහන වන්නේ ධවල මන්දිරයයි. උත්සවය සඳහා යොදා ඇති රැකවරණ ඇමෙරිකානු ජනාධිපතිවරයකු දිව්රුම්දීමේ උත්සවය වෙනුවෙන් මනාව සැලසුම්කරන ලද ආරක්ෂක වැඩ පිළිවෙලක් සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක කෙරෙයි. එහෙත් මෙවර ඊට වඩා වැඩි ආරක්ෂක රැකවරණ සැලසුම් කරනු ලැබ තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වන මැර කල්ලියක් ජනවාරි මස හයවෙනිදා ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලය පිහිටි 'කැපිටල්' මන්දිරයට කඩා වැදී එල්ලකරන ලද ප්‍රහාරය හේතුවෙනි. නිලධාරීන් විසින් අදාළ ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගනුලැබ ඇත. ඒ අනුව වොෂිංටන් නගරයේ විශාල කොටසක් වසාදමනු ලැබ ඇත. පහළොස් දහසක පමණ ජාතික ආරක්ෂක බලකායේ සහයෝගය ලබන ඇමෙරිකානු රහස්‍ය අංශය (Secret Service) ආරක්ෂක සැලසුම භාරව කටයුතු කරයි. ඊට අතිරේකව, දහස් ගණනක් පොලිස් බලකායක් ද නිරත කොට සිටිති. පහළොස් දහසක පමණ ජාතික ආරක්ෂක බලකායේ සහයෝගය ලබන ඇමෙරිකානු රහස්‍ය අංශය ආරක්ෂක සැලසුම භාරව කටයුතු කරයි. දිව්රුම්දීම සිදුකෙරෙන වොෂිංටන් DC නගරයේ දැනටමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය දිව්රුම්දීමේ උත්සවය නිමවෙනතෙක් එම හදිසි තත්ත්වය බල පැවැත්වෙයි. රහස්‍ය අංශය වෙනුවෙන් එකී ආරක්ෂක කටයුතු මෙහෙයවමින් සිටින මැට් මිලර්(Matt Miller) පසුගිය සිකුරාදා මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින්,එම ආරක්ෂක සැලසුම් වසරකට අධික කාලයක් ක්‍රියාවට නැංවෙනු ඇතැයි සඳහන් කළේය. ජෝ බයිඩන් අවධාරණයෙන් කියාසිටින්නේ මෙතෙක් අනුගමනය කෙරුණු සම්ප්රදාය අනුව යමින් එළිමහනේ දිව්රුම්දීම සිදුවිය යුතු බවය, එය එසේ මෙවරත් සිදුකෙරෙන නමුත් එම උත්සවයට සහභාගීවෙන ජන සංඛ්‍යාව සීමා කිරීමට පියවර ගනු ලැබ ඇත. ට්‍රම්ප් උත්සවයට සහභාගී වේද? අභිනව ජනාධිපතිවරයා දිව්රුම්දෙන අවස්ථාවට සහභාගීවෙමින් එම අවස්ථාව බලාසිටීම මෙතෙක් බලයේ සිටි සෑම ජනාධිපතිවරයකු විසින්ම සම්ප්රදායක මට්ටමින් අනුගමනය කරන ලද චාරිත්රයකි. එහෙත් මෙවර දක්නට ලැබෙනු ඇත්තේ එහි අවලක්ෂණ පින්තූරයකි. පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා උත්සවයේ දක්නට නොලැබෙනු ඇත. අමිහිරි ජනාධිපතිවරණ සටනකින් අනතුරුව ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා බවට පත්වෙයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 08 වෙනිදා මෙවැනි ප්‍රකාශයක් ඇතුළත් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කළේය. ''මගෙන් විමසා ඇති සියලු දෙනාට මෙම දැනුම්දීම කරමි. ජනවාරි 20 දින දිව්රුම්දීමේ අවස්ථාවට මම සහභාගී නොවෙමි'' උත්සවය මගහරින ජනාධිපතිවරයා 'ෆ්ලොරිඩා'හි පිහිටි 'Mar-a-Lago' නම් සිය නිවස කරා යනු ඇතැයි බලාපොරොත්තු වෙයි. ට්‍රම්ප්ගේ ඇතැම් ආධාරකරුවන් පවසන පරිදි, ඔවුන් ජෝ බයිඩන් පදවියේ දිව්රුම් දෙන දිනයෙහි එම වේලාවටම ට්‍රම්ප් වෙනුවෙන් ''දෙවැනි දිව්රුම්දීමක්'' සැලසුම් කෙරෙමින් පවතී. ජනාධිපති ට්‍රම්ප්ට සහයෝගය පළකිරීම සඳහා තමන් එම අවස්ථාවට සහභාගී වෙන බව 68,000කට අධික පිරිසක් 'ෆේස්බුක්' මගින් ප්‍රකාශකර තිබුණි. ජනාධිපති ට්‍රම්ප් පදවිය සඳහා තරඟ වැදුන අවස්ථාවේ ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප්ට එරෙහිව දැඩි ප්රචාරක ව්‍යාපාරයක නිරත වූ නමුත් තමා එම තරඟයෙන් පරාජයට පත්වීමෙන් යාන්තම් මාස දෙකකට පසුව පැවැත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ දිව්රුම් දෙන අවස්ථාවට හිලරි ක්ලින්ටන් සිය සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද කැටුව සහභාගී වූවාය. පසුගිය ශතවර්ෂයක කාලය ඇතුළත සිය අනුප්‍රපාප්තිකයා ධුරයෙහි වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී නොවීම තෝරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරුන් තිදෙනෙකු පමණි. ජෝන් ඇඩම්ස්, ජෝන් ක්වින්සි සහ ඇන්ඩෲ ජොන්සන් ඔවුන් තිදෙනාය. සෙසු සියලු ජනාධිපතිවරුන් සිය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා දිව්රුම්දෙන උත්සවයට සහභාගී වී ඇත. ජනාධිපති ට්‍රම්ප් දිව්රුම්දුන් උත්සවයට සහභාගී වූ එවක බලයේ සිටි ජනාධිපති බරක් ඔබාමා තම අනුප්‍රාප්තිකයාට සුබ පතන ආකාරය ට්‍රම්ප් එම අවස්ථාව පැහැර හරින නමුත් තමා එම අවස්ථාවට සහභාගී වෙන බව උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශකර ඇත. ජනාධිපති ට්‍රම්ප් දිව්රුම්දුන් උත්සවයට සහභාගී වූ එවක බලයේ සිටි ජනාධිපති බරක් ඔබාමා ඔහුට සුබ පැතීමට පියවර ගත්තේය . මෙවර දිව්රුම්දීමට කොරෝනා බලපාන ආකාරය නව ජනාධිපතිවරයකු දිව්රුම්දෙන උත්සවයකට ලක්ෂ ගණනින් මහජනයා වොෂිංටනයට ගලාඑම සාමාන්‍ය තත්ත්වයයි. 2009 වසරේ ජනාධිපති බරක් ඔබාමා පදවියේ දිව්රුම්දුන් අවස්ථාවට ලක්ෂ දෙකක් ජනතාව සහභාගී වූ බව ඇස්තමේන්තු කෙරෙයි. එහෙත් මෙවර කරුණු කීපයක් නිසා එහි වෙනසක් සිදුවෙයි. ඉන් එකක් කොරෝනා වසංගතයයි. දෙවැන්න ජනවාරි 06 දින 'කැපිටල් ' මන්දිරයට එල්ල වූ මැර ප්‍රහාරයයි. නව ජනාධිපති බයිඩන් දිව්රුම් දීමේ උත්සවයේ පෙරහුරුව සඳුදා (ජනවාරි 18) පැවැත්වුණි මේ වසරේ උත්සවය අතිශයින්ම සීමාසහිත පිරිසකට සීමා කෙරෙන බව බයිඩන් කණ්ඩායම පවසා ඇත. අගනුවරට පැමිණීමෙන් වලකින ලෙස ඔවුහු මහජනයාගෙන් ඉල්ලා සිටිති. රථ පෙළ ගමන්ගනු ලබන මාර්ගය ඔස්සේ නැරඹුම් ස්ථාන ඉවත්කරනු ලැබ තිබේ. මෙවරත් අනුගමනය කෙරෙන එක් සම්ප්රදායක් වන්නේ නව ජනාධිපතිවරයා සහ නව උප ජනාධිපතිවරිය 'කැපිටල්' මන්දිරය ඉදිරිපිට දිව්රුම් දෙනු ලැබීමය. එය 1981 පටන් ක්‍රියාත්මක වෙන, ජනාධිපති රොනල්ඩ් රීගන් විසින් ආරම්භකරන ලද සම්ප්රදායක් වෙයි. මෙවර උත්සවයට දෙසීයක් පමණ සහභාගී වෙන අතර සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් අසුන් පනවා ඇත. වේදිකාවට සැපත්වෙන අමුත්තන්ට මුඛ ආවරණ සපයන බවත් ඔවුන් දින කීපයකට පෙර කොරෝනා වෛරස් පරීක්ෂණයක් සිදුකරගත යුතුව ඇති බවත් ජෝ බයිඩන්ගේ සංවිධායකයන් විසින් දැනුම් දෙනු ලැබ තිබුණි. බලයට පත්වීමෙන් පසු පදවියේ දිව්රුම්දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ජෝ බයිඩන් පසුගිය ජුනි මාසයේ කියා තිබුණේ 'එම අවස්ථාවට තමා මුඛ ආවරණයක් නොපළඳින' බවකි. සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් අසුන් පනවා ඇත. දිව්රුම්දීමෙන් අනතුරුව යුද හමුදාව විසින් ජෝ බයිඩන් යුවල සහ කමලා හැරිස් යුවල ධවල මන්දිරය කරා රැගෙන යනු ඇත. තූර්ය වාදකයන් සහ බෙර වයන්නන් කණ්ඩායමක් ද ඊට එක්වෙති. ප්‍රවේශපත් කාටද? වේදිකාව මත අසුන්ගැනීම සහ එය ඉදිරිපස කලාපයන්හි සිටගෙන සිටින්නන් සඳහා ප්‍රවේශපත් අවශ්‍ය කරයි. සාමාන්‍ය වසරවල නව බලවතුන් ගමන්ගන්නා මාර්ගය දෙපස අසුන් සඳහා ද ප්‍රවේශපත් අවශ්‍ය කෙරෙයි. 'නැෂනල් මෝල් (National Mall )යනුවෙන් හඳුන්වනු ලබන උයන් කලාපය මහජනයා සඳහා විවෘතව තැබීම සාමාන්‍ය සම්ප්රදායයි. මෙවර දිව්රුම්දීමේ උළෙල ආසන්නයේ සිට නැරඹීමට අවශ්‍ය පුද්ගලයන් ඒ සඳහා තමන් ජීවත්වෙන ප්‍රදේශයේ නියෝජිතයන් අමතන ලෙස දැනුම්දීමක් කර තිබුණි. ඒ අතරම, නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය දිව්රුම්දීමේ උත්සවය අරභයා සංවිධානය කෙරෙන සාද නැටුම් සහ වෙනත් උත්සව ආදියට සහභාගීවීම සඳහා වෙනම බලපත් ලබා තිබිය යුතුය. මෙවැනි වෙනත් අවස්ථා සඳහා අතීතයේ ප්‍රවේශපත් ලක්ෂ දෙකක් පමණ නිකුත්කරන නමුත් වසංගතය සැලකිල්ලට ගනිමින් මෙවර නිකුත්කරනු ලැබ තිබෙන්නේ ප්‍රවේශපත් දහසක් පමණි. එහෙත් සාමකාමීව බලය පැවරීම සංකේතවත් කරමින් නව ජනාධිපතිවරයා සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා ලෙස හමුදා ආචාර පෙළපාලියක් අධීක්ෂණය කරන නමුත් වෙනදා මෙන් පෙන්සිල්වේනියා මාවත ඔස්සේ ධවල මන්දිරය කරා ගමන් කෙරෙන සුපුරුදු උත්සවාන්විත 'පෙළපාලිය' වෙනුවට එක්සත් ජනපදය පුරා ජනයාට අන්තර්ජාලය ඔස්සේ උත්සවය නැරඹිය හැකි බව සංවිධායකයෝ පවසති. ජනාධිපති ඔබාමා දිව්රුම්දුන් අවස්ථාවට දෙලක්ෂයක පමණ ජනකායක් එක්විය. සෙනෙට් සභිකයන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්ට ප්‍රවේශපත් නිකුත්කිරීම භාරකෙරෙන අතර, එම එක් මහජන නියෝජිතයා සඳහා නොමිලේ සපයනු ලබන ප්‍රවේශපත් නිශ්චිත සංඛ්‍යාව බැගින් නිකුත්කර ඇත. වසංගතය හේතුවෙන් මේ වසරේ එක මහජන නියෝජිතයකුට ලැබෙන්නේ ඔහුට සහ තවත් එක් ආරාධිතයකු සඳහා ප්‍රවේශපතක් පමණි. උත්සවය හැඩ කරන කලාකරුවන් මෙම උත්සවය වෙනුවෙන් පැවැත්වෙන සංගීත සංදර්ශනයේදී ගී ගයන, පසුගිය ජනාධිපතිවරණයේ දී ජෝ බයිඩන් ගේ ක්‍රියාකාරී ආධාරකාරියක වූ 'ලේඩි ගාගා'(Lady Gaga)සහ ජෙනිෆර් ලෝපෙස් (Jennifer Lopez) මෙන්ම සෙසු කලාකරුවන් සමඟ නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය එක්වනු ඇත. ඇමෙරිකානු ජාතික ගීය ගයනු ලබන්නේ 'ලේඩි ගගා'(Lady Gaga)විසිනි. ජෝ බයිඩන් දිව්රුම්දීමෙන් පසු සිනමා නළු ටොම් හැන්ක්ස් (Tom Hanks) විසින් මෙහෙයවනු ලබන විනාඩි අනූවක රූපවාහිනී විශේෂාංගයකි. ගැරත් බෘක්ස් (Garth Brooks), ජොන් බොන් ජෝවි (Jon Bon Jovi) ඩේමි ලොවටෝ (Demi Lovato) සහ ජස්ටින් ටිම්බර්ලේක්(Justin Timberlake) වැනි සුප්‍රකට කලාකරුවන් ද එම සංගීත සංදර්ශනය අලංකාර කිරීමට ඇරයුම් ලබා සිටිති. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිව්රුම්දීමේ උත්සවය සඳහා කලාකරුවන්ට ආරාධනා කිරීමේ දී ඔහු අර්බුදයකට මුහුණ දුන්නේය. එම උත්සවයේ ගැයුමකට ආරාධනා ලද එල්ටන් ජෝන්ස් එම ඇරයුම ප්‍රතික්ෂේප කළේය. සෙලීන් ඩියෝන් (Celine Dion); කිස්' (Kiss) සහ ගැරත් බෘක්ස් (Garth Brooks) වැනි ගයක ගායිකාවන් ද ට්‍රම්ප්ගේ ආරාධනයේ දී එල්ටන් ජෝන්ස් අනුගමනය කරන ලදැයි වාර්තා වෙයි. ජනාධිපති බරක් ඔබාමා පදවිප්‍රාප්තිය නිමිත්තෙන් 2009 වසරේ පැවැත්වුණු සංගීත සංදර්ශනයේ දී සුප්‍රකට ගායිකා 'බියෝන්සේ '(Beyonce) ගී ගයන ලද ආකාරය කියවන්න ; |
"අපේ රට සම්පූර්ණයෙන්ම වාගේ පාලනය වන්නේ වයස අවුරුදු හැට පැන්න දේශපාලනඥයින්ගෙන්." | "කාන්තා නියෝජනය ඒ හැම දේටම වඩා පහළ තත්වයක තිබෙන්නේ. රටේ බහුතරය වන කාන්තාවන් ගැන තීරණ ගන්න අවශ්‍ය තරම් කාන්තා නායිකාවන් නැති එක ගැන ඇති වන්නේ විශාල කනගාටුවක්," යැයි නීතිඥ දේශානි රාමසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් 2017 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පවතින රටවල් 190 ක දේශපාලනය තුළ කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය. 2018 වසරේදී ද එහි වෙනසක් වී නොමැති බව අන්තර් පාර්ලිමේන්තු සංගමය එම වසරේ මාර්තු මස නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ඉන්දියාවට එම වාර්තාවේ 145 වැනි ස්ථානය හිමිව තිබෙන අතර පාකිස්තානය 91 වැනි ස්ථානයේ සහ බංග්ලාදේශය 93 වැනි ස්ථානයේද පසුවෙයි. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 30 කට පමණ පසුව 2012 දී ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ජන සංගණන වාර්තාව, 2015 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී. එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 15 - 34 වයස් සිමාවේ පසුවන පුද්ගලයෝ 31.4% සිටින අතර, මැදි විය ලෙස සැලකෙන 35 - 49 වයස් සිමාවේ 20% ක් පමණ සිටිති. එහෙත්, පාර්ලිමේන්තුව තුළ මෙම වයස් ඛාණ්ඩ නිසියාකාරව නියෝජනය වීමක් දක්නට නොලැබේ. එසේම, සංගණන වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% ක් කාන්තාවන් වුව ද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මුළු ගණනින් 4% ක් පමණක් වීම දැඩි අවධානයට යොමු විය යුතු කරුණකි. මේ තොරතුරුද කියවන්න: "රටේ බහුතරය වන කාන්තාවන් ගැන තීරණ ගන්න අවශ්‍ය තරම් කාන්තා නායිකාවන් නැති එක ගැන ඇති වන්නේ විශාල කනගාටුවක්" මන්ත්‍රීවරුන් 225කින් හෙබි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, රටේ ව්‍යවස්ථාදායකය වේ, ඒ අනුව රටේ සියලු නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුය. සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දයෙන් වසර හයක කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබයි. මෙම මන්ත්‍රීවරු 225 දෙනා අතර කාන්තාවන් සහ තරුණ නියෝජනය දක්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. විශේෂයෙන්ම, වර්තමානයේ දී රටේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ සිදු කරන්නේ වැඩිහිටි පුරුෂයන්ය. එයට තවත් උදාහරණයක් ලෙස පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ නව ආණ්ඩුකාරවරුන් දැක්විය හැකිය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලතල අනුව ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. පළාත් සියල්ල සඳහා නව ආණ්ඩුකාරවරුන් දිව්රුම් දුන්න ද, ඒ අතර කිසිදු කාන්තාවක් නොමැත. කෙසේ වෙතත්, 2018 සැප්තැම්බර් 17 වෙනි දින කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ඇගැයීම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව වන EvalColombo2018 හි සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි වීමටත්, එය ඇගයීමට ලක් වීමට සහ ඒ තුළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණ වීමට, කාන්තාවන් වැඩි පුර පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවය. "අවම වශයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 60% ක් වන්නේ නම් එහි කාර්යක්ෂමතාව වැඩිවන බව මගේ විශ්වාසයයි," ජනාධිපතිවරයා රැස්වීම අමතමින් පැවසීය. නමුත් තවමත් කාන්තාවන්ට බලපාන කරුණු සම්බන්ධව වුවද නීති සම්මත කෙරෙන්නේ පුරුෂයන් විසින් වීම කනගාටුවට කාරණයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වුව ද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මුළු ගණනින් 4%ක් පමණි රට පාලනය කරන වැඩිහිටි පුරුෂයන් ශ්‍රී ලංකා පාලන තන්ත්රයේ වගකිව යුතු නිලයන් දරණ බොහෝ දෙනෙකු වයස හැට ඉක්මවා තිබේ. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 67 වන වියේ පසු වේ. යෞවන කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 69 වන වියේ පසුවෙයි. වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ 73 වන වියේ පසුවන අතර, හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් 84 වෙනි වියේ පසුවේ. දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද ම මන්ත්‍රීවරයා ද වේ. 84 වන වියේ පසුවන හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද ම මන්ත්‍රීවරයායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය 78 වන වියේ පසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් 2019 වසරේ දී වයස 70 ඉක්මවන අතර, තවත් තිදෙනෙකු වයස හැත්තෑව සම්පූර්ණ කරයි. එමෙන්ම, මන්ත්‍රීවරුන් හතර දෙනෙකු 2019 වසර තුළ වයස 65 සීමාව පසු කරනු ඇත. දැනට පාර්ලිමේන්තුවේ සිටින කාන්තා නියෝජිතවරින්ගෙන් බොහෝ දෙනෙකු ද වයස අවුරුදු පනහ ඉක්මවූවෝය. තවත් තොරතුරු: ලෝකයේ පාර්ලිමේන්තු අතරින් වැඩිම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන රට රුවන්ඩාව වන අතර, එය 61.3% ක් වේ මෙයින් හැඟී යන්නේ, 2020 දී වර්තමාන පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන විට මන්ත්‍රීවරුන් බොහෝ ප්‍රමාණයක් වයස අවුරුදු 60 පසු කර හෝ එම වයසට ආසන්න වී ඇති බවය. ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ දේශපාලනය "දේශපාලනය තුළ කාන්තා නියෝජනය සහ පොදු කටයුතුවල නියැලීම අතින් දකුණු ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව තිබෙන්නේ පහළම ස්ථානයක," යැයි මාධ්‍යවේදිනී ධරීෂා බැස්ටියන්ස් බීබීසී සිංහල සේවයට පැවසීය. "මෑතක දී පත් කළ ආණ්ඩුකාරවරු අතර එක කාන්තාවක් හෝ නොසිටීමෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන ප්රශ්නය තවදුරටත් ඉදිරියට යනවා." "පොදු රාජකාරිවල දී කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීම ගැන අපේ රටේ නායකයන් තවමත් හිතලා නැහැ" 1931 දී ශ්‍රී ලංකාවට ප්රදානය කළ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයත් සමඟ සර්වජන ඡන්ද බලය ලැබුණු අතර පළමු මැතිවරණය එම වසරේ දී පැවැත්විණි. ඒ සමගම කාන්තාවන්ට ද නීත්‍යානුකූලව ක්‍රියාකාරී දේශපාලනයට ඇතුළු වීමට හැකි විය. එම මැතිවරණය සඳහා කාන්තාවන් තිදෙනෙක් තරඟ කළ අතර, ඉන් දෙදෙනෙකු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූහ. ද්‍රවිඩ වෛද්‍යවරියක් වූ තේසුම් සරවනමුත්තු ඉන් එක් කාන්තාවක් වූ අතර, ප්‍රභූ පවුලකින් පැවත ආ ඇඩ්ලින් මොලමුරේ අනෙක් කාන්තාව විය. "අධ්‍යාපනය මෙන්ම වෙනත් බොහෝ අංශවලින් අපේ රටේ කාන්තාවන් ඉතා ඉදිරියෙන් සිටිනවා. නමුත් අවාසනාවට පොදු රාජකාරිවල දී කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීම ගැන අපේ රටේ නායකයන් තවමත් හිතලා නැහැ. නව ආණ්ඩුකාරවරුන්ගේ පත්වීම් රටාව මෙයට හොඳම උදාහරණයක්," ධරීෂා බැස්ටියන්ස් තවදුරටත් පැවසුවාය. 1960 දී සිරිමාවෝ බණ්ඩානායක අගමැති පදවියට පත්කරගනිමින් ලොව පළමු අගමැතිනිය බිහිකළ ශ්‍රී ලංකාව, පසුව ඇයගේ දියණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විධායක ජනපතිනිය ලෙසින් තෝරා පත්කර ගත්තේය. සිරිමාවෝ බණ්ඩානායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නමුත්, මෑත කාලයේ දී රටේ ප්‍රධාන පාලන තන්ත්රයට කාන්තාවක් තේරී පත් වූයේ නැත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 1947 සිට 2014 දක්වා වන අවුරුදු 67 ක කාලය තුළ කාන්තා නියෝජනයේ ප්‍රතිශතය එදා සහ අද සංසන්දනය කර බැලුවහොත් එය අත්කරගෙන තිබෙන්නේ 2.8% වර්ධනයක් පමණි. පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂක ලැයිස්තු තුළ 25% ඉඩක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීම අනිවාර්ය විය. මෙය කාන්තා නියෝජනය වැඩි කිරීමේ අද්විතීය පියවරක් වුව ද, එහි ප්‍රායෝගික දුර්වලතා බොහොමයක් තිබිණි. එමෙන්ම, මැතිවරණයට තරග වැදුණු අපේක්ෂිකාවන්ට පහරදීම, දේපොළවලට හානි කිරීම සහ අපහාස කිරීම් ගණනාවක් වාර්තා වූ බව කාන්තා ක්‍රියාකාරී ජාලය (Women Action Network - WAN) බීබීසී සිංහල සේවයට පැවසුවේය. "අධ්‍යාපනය මෙන්ම වෙනත් බොහෝ අංශවලින් අපේ රටේ කාන්තාවන් ඉතා ඉදිරියෙන් සිටිනවා" විශේෂයෙන්ම මැතිවරණ සමයකදී පුරුෂයන්ට වඩා කාන්තාව ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පවසන එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ මැතිවරණ සමයක කාන්තාවට එරෙහි ප්රචණ්ඩත්වය ඔවුන්ගේ දේශපාලන සහභාගිත්වය වැළැක්වීමේ අරමුණින් සිදු කෙරෙන්නක් බවය. තරුණ නායකයන් බිහි නොවන්නේ මන්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය ආර්ථික සහ සමාජීය කොමිසම විසින් කලාපීය රාජ්‍යවල තරුණ ප්‍රජාව සමාජයට සංක්‍රමණය වීමේ දී බලපාන ගැටලු පිළිබඳ 2015 දී වාර්තාවක් ඉදිරිපත් කර ඇත. තරුණ අයිතිවාසිකම්, පුරවැසි ක්‍රියාකාරීත්වය සහ දේශපාලන සහභාගීත්වය ගැන ද කරුණු මෙම වාර්තාවට ඇතුළත් වී තිබේ. තරුණ පිරිස දේශපාලනයට අවතීර්ණ වීමේ පසුබෑමක් ඇතිවීමට හේතු කිහිපයක් දක්වා තිබිණි: "කාන්තාවන් දේශපාලනයට තල්ලු කිරීමට ප්‍රථම ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු, ආරක්ෂාකාරී රටක් හදන්න ඕනේ" "සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන්ගේ චරිත ඝාතනය කරනවා. බොහෝ අය කාන්තාවන් ආමන්ත්‍රණය කරන්නේ අසභ්‍ය වචනවලින්. ඒ වගේම තර්ජන කිරීම්වලින් අඩුවක් නැහැ," නීතිඥ දේශානි රාමසිංහ පැවසුවාය. "තරුණ පිරිමින්ට වඩා කාන්තාවන් ඡන්ද සටනට මහත් බියක් දක්වනවා. විශේෂයෙන්ම ඔවුන්ට එල්ලවන අපහාස නිසා." "කාන්තාවන් දේශපාලනයට තල්ලු කිරීමට ප්‍රථම ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු, ආරක්ෂාකාරී රටක් හදන්න ඕනේ කියන එකයි මගේ මතය," ඇය තවදුරටත් පැවසීය. සාමාන්‍ය පුද්ගලයෙකු විශ්‍රාම යා යුතු වයසක් දක්වා තිබීමට හේතුව කුමක් ද? දේශපාලනඥයින් ඇතුළු ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකු සිය ජීවිතයේ සැදෑ සමයේ දී මුහුණ දෙන ගැටලු රාශියක් ඇත. එයින්, ප්‍රධානතම ගැටලුව වන්නේ යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය පවත්වාගෙන යෑමය. වසර 2021 දී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවන වැඩිහිටි ජනගහනය මිලියන 3.6ක් පමණ වෙතැයි අනුමාන කරන අතර, එය රටේ සමස්ත ජනගහනයෙන් 16.7% ක් වේ. එවැනි ගැටලුවලින් කිහිපයක් සහ මෙම තත්වයන් මගහැර ගැනීම ගැන කරුණු කොළඹ පෞද්ගලික රෝහලක සේවයේ නියුතු වෛද්‍ය සුභාෂිණී පෙරේරා බීබීසී සිංහල සේවයට මෙසේ තොරතුරු ඉදිරිපත් කළේය: "මෙවැනි තත්වයන්ගෙන් මිදීමට ඇති හොඳම මග නම් වයස අවුරුදු 60 පසුවන විට හැකිතාක් මනසට සහ ශරීරයට විවේක ලබා දීමයි. බරපතළ තීරණ ගන්න අවශ්‍ය රැකියාවලින් පුළුවන් තරම් ඉවත් වී සිටිය යුතුයි." "නිසි වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබාගෙන, නිතිපතා ව්‍යායාම්වල නිරත වෙලා විවේකී සුවයෙන් සිටීමෙන් අදාළ වැඩිහිටි පුද්ගලයාට මෙන්ම, ඔහු හෝ ඇය අවට සිටින අයට ද සහනයක් සැලසෙනවා. පුද්ගලයෙකුට විශ්‍රාම යන වයසක් තියෙන්නේ ඒ නිසා," යැයි වෛද්‍යවරිය පැවසුවාය. ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනයක් සහිත රටක් වන ශ්‍රී ලංකාවේ 2012 වන විට වැඩිහිටි ජනගහනය (වයස අවුරුදු 60 සිට ඉහළට) මිලියන 2.5 ක් වන අතර, එය රටේ සමස්ත ජනගහනයෙන් 12.5% කි. වසර 2021 දී වයස අවුරුදු 60 ඉක්මවන වැඩිහිටි ජනගහනය මිලියන 3.6 ක් පමණ වෙතැයි අනුමාන කරන අතර, එය රටේ සමස්ත ජනගහනයෙන් 16.7% ක් පමණ වේ. වසර 2041 දී වැඩිහිටි ජනගහනය රටේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජන සංගණන හා ප්‍රජාවිද්‍යා අංශය 2015 නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. |
තමන් ප්‍රකාශ කළ දෑ පොලිසිය විසින් නිසි පරිදි සටහන් කර ගෙන නොමැති බවත් ප්‍රකාශ නොකළ දෑ පොලිසිය තම කට උත්තරයට ඇතුළත් කර ගෙන ඇති බවත් කුරම් ෂයික් ඝාතන නඩුවේ සාක්ෂිකාරිය අධිකරණයට පැවසුවාය. | ඝාතනය සිදුවූ තංගල්ල නිවාඩු නිකේතනයේ කළමනාකාරිනිය වන තරංගා පිරිස් මහාධිකරණය හමුවේ මේ බව කියා සිටියේ තමා පොලිසියට ලබා දුන් කට උත්තරයේ දෝෂ සහ ඌනතා රැසක් පවතින බව විත්තියේ නීතිවේදීන් පෙන්වා දුන් අවස්ථාවේදී. නිවාඩු නිකේතනයේ පිහිනුම් තටාකය අසල දී විත්තිකරුවන් කුරම් ෂයික්ට පහර දෙනු තමන් දුටු බව සාක්ෂිකාරිය ඉකුත්දා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඒ පිළිබඳව කිසිවක් ඇය පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර නොමැති බවයි විත්තියේ නීතිවේදියා පෙන්වා දුන්නේ. එම ඌනතා බරපතළ ඌනතා ලෙස සලකා ඒවා සටහන් කර ගන්නා ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා විනිසුරු රෝහිනී වල්ගම අවසර ලබා දුන්නාය. වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම හෙට (බදාදා) දිනට කල් තැබුණි. 2011 නත්තල් දිනට පෙර දින තංගල්ල නගරය අසල හෝටලයක දී කුරාම් ෂේක් ඝාතනය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණට සහ සෙසු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත. |
හිම පතනය සහ අධික සීතල කාලගුණයද නොතකා දහස් ගණන් ජනතාව යුක්රේනයේ කියෙෆ් අගනුවර ජනාධිපති වික්තර් යනුකොවිච්ගේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයට එක් වී සිටියහ. | යුරෝපා සංගමයට සහාය පළ කරන විසි දහසකට ආසන්න ජනකායක් අගනුවර නිදහස් චතුරශ්‍රයේ බාධක ඉදි කර ගෙන උද්ඝෝෂණයේ යෙදී සිටින බවයි එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ. තවත් විරෝධතාවාදීන් ජාතික බැංකුව සහ ආණ්ඩුවේ කාර්යාල වට කර ගෙන සිටිනවා. යුරෝපා සංගමය සමඟ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට විරුද්ධ පක්ෂ ඉල්ලා සිටිති. සිය ඉල්ලීම් ඉටු වන තුරු ඉවත්ව නොයන බවයි බොහෝ උද්ඝෝෂකයන් පවසන්නේ. "පේනවා නේද අපේ මේ කූඩාරම්? පාර්ලිමේන්තුව විසුරුවලා කැබිනට් මණ්ඩලේ ඉල්ලා අස් වෙන කම්ම අපි මෙතන ඉන්නවා. අපි ගෙදර යන්නේ නෑ. අපි දන්නවා එයාල හැම දේම කරාවි එත් අපි ආපහු යන්නේ නෑ," යනුවෙන් එක් උද්ඝෝෂකයෙක් කියා සිටියේය. සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගන්නා මෙන් යුරෝපා කොමිසමේ සභාපති හොසේ මැනුවෙල් බරෝසෝ මේ අතර දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය. |
ඉන්දියාවේ මුම්බායි නගරයේ අනවසරයෙන් ඉදිකරනු ලැබ තිබුන මහල් කීපයකින් යුත් මන්දිරයක් කඩා වැටීමෙන් හතළිහකට අධික මහජන ජීවිත විනාශයක් සිදු වුන බව වාර්තා වේ. | මරණයට පත්වූවන් අතර ළමුන් එකොලොස් දෙනකුද වූ බව පොලීසිය පවසයි මරණයට පත්වූවන් අතර ළමුන් එකොලොස් දෙනකුද වූ බව පොලීසිය පවසයි. ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයන් වේනම් ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරී ඇති බවත් නිවේදනය කෙරිණ. කඩා වැටෙන අවස්ථාව වන විට ඉදිකිරීම් අවසන් නොවූ මට්ටමක තිබු ගොඩනැගිල්ලේ එක කොටසක ජනතාව පදිංචිව සිටි බවයි, මුම්බායි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. මිය ගිය පුද්ගලයන් අතර ගොඩනැගිල්ලේ පදිංචිව සිට ජනයා මෙන්ම ඉදිකිරීම්වල නිරතව සිටි කම්කරුවන් ද වූ බව ද වාර්තාවල දැක්වේ. ආරක්ෂිත ප්රමිතීන් මනාව ක්‍රියාවට නැංවෙන්නේ නොමැති හෙයින් ඉන්දියාවේ මෙවැනි ගොඩනැගිලි කඩා වැටීම් අසාමාන්‍ය සිදුවීමක් නොවන බවයි, මුම්බායි නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ. |
භාරතීය ජනතා පක්ෂයේ රැළියකට එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් හතර දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. | භාරතීය ජනතා පක්ෂයේ රැළියක් බිහාර් ප්‍රාන්තයේ පට්නා නගරයේ පැවති විපක්ෂ රැළියේ පුපුරා ගිය බෝම්බ වලට හසුව විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර පුපුරා නොගිය බෝම්බ කිහිපයක් ද නිෂ්ක්‍රීය කළ බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි රැළිය ඇමතීමට නියමිතව සිටි අතර ඔහු දැකීම පිණිස දස දහස් ගණන් ජනතාව පට්නා නගර මධ්‍යයට රැස් වූ අවස්ථාවේ දීයි බෝම්බ පුපුරා ගොස් තිබෙන්නේ. |
හම්බන්තොට දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කොට තිබේ. | සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ ආධාරකරුවකු ලෙස සැලකෙන රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පදවියට පත්කොට තිබෙන අතර, රවී කරුණානායක මන්ත්‍රීවරයා පක්ෂයේ උප නායක පදවියට පත්කොට තිබේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් නියෝජ්‍ය මහලේකම් පදවියකට පත්කොට ඇති අතර, මැතිවරණ සම්බන්ධ නියෝජ්‍ය මහලේකම් පදවිය තලතා අතුකෝරල මන්ත්‍රීවරියට හිමි වී තිබේ. පුරප්පාඩු වී පැවති එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික පදවියට එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පත්කොට තිබේ. |
මේ කතාවේ කතා නායිකාව කුකී වෑන් ඩෙර් වෙල්ඩේ. ඇය මේ කතාව කියන විට ලෑස්ති වෙමින් සිටියේ ඊ ළඟ පැය තුන ඇතුළත පිටත් වන ගුවන් යානයකින් යළිත් අප්‍රිකාව බලා පියාසර කිරීමට. එම දීර්ඝ වූත් අන්තරායකාරී වූත් ගමන සඳහා පිටත්ව යාමට පෙර ඇය තමන්ගේ දරු මුණුබුරන්ට කියමින් සිටියේ ‘තමා ඉතා අලංකාර වෙරළක් සහිත හිරු එළියෙන් නැහැවෙන රටක නිවාඩුවක් ගත කිරීමට ’යන බවක්. ඒත් කුඩා දරුවකුට නොව වැඩිහිටියකුට වත් පහදා දීම දුෂ්කර භයානක ගමනක් සඳහායි ඇය පිටත්ව යන්නේ. | කුකී වෑන් ඩෙර් වෙල්ඩේ කුකී සිය ගමන ගැන ලෝකයට කියන කතාවයි මේ. ‘පහු ගිය සැරේ මම එංගලන්තයට එන්න පෙර දිනයේ ලයිබීරියාවේ ගත කරපු දවස මට අද වගේ මතකයි. ඒ රාත්‍රිය ගෙවී යමින් තිබිය දී මිනිස්සු හතර දෙනෙක් අවසන් හුස්ම හෙලුවා. ඒක හරියට භයානක චිත්‍රපටියකින් උපුටා ගත්ත දර්ශනයක් වගෙයි. එක මනුස්සයෙක් දොර ලඟට බඩ ගාගෙන එන්න උත්සාහ කරමින් හිටයා. මම හිතන්නේ ඔහු උදව් ඉල්ලන්නයි උත්සාහ කෙරුවේ. ඒත් එතැනම ඔහු මියගියේ නිරුවතින්’ කුකී එවැනි වචන මාලාවකින් විස්තර කරන්නේ ඉබෝලා වසංගතයට ගොදුරු වෙන මිනිසුන්ගේ ඉරණම. ඇය සේවය කරන්නේ ලයිබීරියාවේ ‘ඉබෝලා’ වසංගතය මුලින්ම පැතිරෙන්න පටන් ගත්ත ප්‍රදේශයේ. බටහිර අප්‍රිකාවේ දෙදාස් පන්සීයකට අධික පිරිසක් ඉබෝලා වසංගතයෙන් මියගියා. එංගලන්ත සෞඛ්‍යය බලධාරීන් කියා සිටියේ සෑම සතියකම අලුතෙන් වසංගතයට ගොදුරු වන්නන් දහසක් පමණ වාර්තා වන බවක්. සතියකට රෝගීන් දාහක් එංගලන්තයේ කෙටි නිවාඩුවකින් පසු කුකී නැවතත් ලයිබීරියාව බලා යාමට සැරසෙමින් සිටියේ සිය ජීවිතයට එල්ල විය හැකි ඉබෝලා තර්ජනය ද නොතකා හරිමින්. ඇය සේවය කරන්නේ ජාත්‍යන්තර දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානයත් සමඟ. ඉබෝලා වයිරසය පරාජය කිරීමේ අරගලයේ නිරත වෛද්‍යවරුන් සහ සාත්තු සේවිකාවන්ට එකතු වීමටයි ඇය මේ ගමන යන්නේ. කුකීගේ රාජකාරිය ඉබෝලා වසංගතය පැතිරීම වලක්වා ලීමට හවුල් වීම සහ රෝගය ආසාදනය වූවන්ට පිහිට වීම. ඉබෝලා වයිරසයට ගොදුරු වන්නන් නිසි ප්‍රතිකාර නොලදොත් ඔවුන්ගෙන් සීයට අනූවක්ම මරණයට පත් වෙන බවයි වෛද්‍යවරු පවසන්නේ. ‘නන්නාඳුන රටක නොදන්නා පුද්ගලයන් වෙනුවෙන්’ සිය ජීවිතය අනතුරට ලක් කර ගනු ලැබීමට කවුරුන් හෝ කැමති වෙන්නේ කුමක් නිසාද? එය කුකීගේ කතාව අසන කෙනෙකු තුළ මතු විය හැකි පළමු ප්රශ්නය විය හැකියි. කුකී ගේ කතාව තුලින් අපි පිළිතුර සොයා ගනිමු. ‘ලයිබීරියාව කියන්නේ ඉතා උණුසුම් දේශගුණයක් සහිත රටක්. වාතය රත් වෙලා ජල ආර්ද්‍රතාව අධිකයි. රෝගීන්ට උදව් වීමේ දී සාමාන්‍ය ඇඳුමට උඩින් ඇඳුම් දෙකක් අඳින්න වෙනවා, ඊට අමතරව අඩුම වශයෙන් අත්වැසුම් තුනක් පමණ දාගන්න වෙනවා. මුහුණු ආවරණය ,වීදුරු ඇස් ආවරණ දාලා වතුර කාන්දු නොවන රබර් ඇඳුමක් ඊට උඩින් ඇඳලා තමයි ඉබෝලා රෝගීන් ඉන්න අධි අනතුරුදායක කලාපයේ තියෙන වාට්ටු වල වැඩ කරන්නේ’ කුකී සිය අත්දැකීම් නොපැකිලව දිගටම විස්තර කරන්නීය. ‘රස්නේ නිසා හුස්ම ගන්න අමාරුයි. ඩහදිය වැක්කෙරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආරක්ෂිත ඇඳුම ඇඳලා අපට වැඩ කරන්න පුළුවන් ඉතා කෙටි වෙලාවක් පමණයි. මොකද? ක්ලාන්ත වෙලා වැටුනොත් අනිත් සෞඛ්‍යය සේවකයන්ගේ ආරක්ෂාවත් අනතුරේ වැටෙනවා. උදව්වට එන ඕනෑම කෙනෙකුට වයිරසය වැළඳීමේ අවදානම තියෙනවා’ ‘වැඩ ඉවර වෙලා ආරක්ෂිත ඇඳුම ගැලෙව්වාම දැනෙන්නේ කවුරු හරි ඔලුවට වතුර බාල්දියක් හැලුව වගෙයි. දාඩියෙන් නෑවිලා. ගොඩක් වෙලාවට ඒ විශේෂ ඇඳුම ඇඳලා අනතුරු කලාපයට ඇතුල් වෙන්න ඉස්සෙල්ල එළියේ ඉන්න අය අප වෙනුවෙන් යාඥා කරනවා, ආගම කියනවා, ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ලඟට යන්න හෝ ඔවුන් අල්ලලා උදව් කරන්න ලැබෙන්නේ ආරක්ෂක ඇඳුම දා ගත්තයින් පස්සේ විතරයි’ කුකී ගේ වයස අවුරුදු පනස් හතරයි. ලයිබීරියාවේ සෞඛ්‍යය සේවිකාවක් ලෙස කටයුතු කිරීමට එංගලන්තයෙන් පිටත්ව කිලෝ මීටර 8000ක් පමණ දුරක් ගෙවා ඉබෝලා වසංගතය පැතිරුණු බටහිර අප්‍රිකාවට සිය කැමැත්තෙන්ම සේවය කිරීමට පැමිණි ඇයගේ අත්දැකීම් භීතිය දනවන සුළුයි. රෝගීන් අතර ‘මම උත්සාහ කරනවා ඉබෝලා රෝගීන් රඳවා සිටින කලාපයේ වාට්ටු වලට ගියාම රෝගීන්ට වතුර ටිකක් දෙන්න, අඩුම තරමේ ඔවුන් එක්ක වචනයක් කතා කරලා අත්වැසුම් දාපු අත් වලින් හරි ඔවුන්ගේ අත් අල්ල ගන්න. මොකද? සෙසු ලෝකයෙන් හුදෙකලාව සිටින මේ රෝගීන් මරණාසන්න තත්වයේ හිටියත් ඔවුන් බලන්න කවුරුවත් නැහැ. ඔවුන් ඉන්නේ වේදනාවෙන් තනි වෙලා’ තනිය මැකීම නොවෙයි, කුකී ගේ දෑතින් සිදු කෙරෙන්නේ ඊටත් එහා ගිය උවැටනක්. ‘මට සිදු වෙනවා රෝගීන්ගෙන් වැගිරෙන ලේ, වමනේ විතරක් නෙවෙයි අසුචි පවා ඉවත් කරලා සුද්ද කරන්න. ඔවුන් සෝදන්න. පිරිසිදු කරන්න. සමහර වෙලාවට මම රෝගී දරුවන්ට සෙල්ලම් බඩුවක් හෝ දෙකක් වාට්ටුවට ගෙනත් දෙන්න උත්සාහ කරනවා. ඉතාමත් අසීරු, ඒ වගේම අනතුරු දායක සහ කණගාටුදායක කටයුත්ත තමයි මියගිය රෝගීන්ගේ සිරුරු ඉවත් කරන එක’ එහෙත් කුකී එම කිසිම කාර්යයක් පැහැරනොහරින අපූරු සෞඛ්‍යය සේවිකාවක්. මළවුන් වෙනුවෙන් ‘අපි වයිරසයෙන් මියගිය රෝගීන්ගේ සිරුරු බෑග් ඇතුළට දාලා සීල් කරනවා. මළ සිරුරුවලින් වැගිරුණ ඕජස්වලින් තෙමුණ පොළොව පිරිසිදු කරනවා. මළසිරුරු දමපු කවර වල පිට පැත්තේ ඔවුන්ගේ රෝගියාගේ නම ලියලා ඒවා මෘත ශරීරාගාරයේ තැන්පත් කරනවා. නෑදෑයන්ට අවශ්‍ය නම් සිරුර හඳුනා ගන්න අපි ඔවුන් ඈතක තියල ආරක්ෂිත කාමරයක තියෙන මළසිරුර බලන්න ඉඩ දෙනවා. ඒක හරිම දුක්ඛදායී අත්දැකීමක්. මොකද ඔවුන්ට තමන්ගේ ඥාතීන්ගේ සිරුරු ලඟට එන්නවත් අල්ලන්නවත් අවසර නැහැ’ වසංගතය පැතිරීමේ වේගය අනුව මිය යන රෝගීන්ගේ සිරුරු තැබීමට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වෙන බවත් කුකී පවසන්නීය. ‘රෝහලේ ඉඩ මදි වුන අවස්ථාවේ අපිට සිදු වුනා කොරිඩෝවල බිම, එළියේ හැම තැනම රෝගීන්ව තියා ගන්න. පාරවල් වල ගෙවල් ඇතුලේ මියගිය සිරුරුත් එකතු වුනාම සමහර වෙලාවට මෘත ශරීරාගාරයේ සිරුරු ගොඩ ගැහෙනවා. ඉතා උණුසුම් කාලගුණයක් යටතේ ඒ විධියට මළ සිරුරු ගොඩ ගැහිලා ඒවා නරක වෙන්න ගත්තම ඇති වෙන තත්වය මම විස්තර කළ යුතු නැහැ. ඉතින් හැම තිස්සෙම ඇඟට අසනීප ගතියකුයි දැනෙන්නේ. දුගඳ ඉවසන්න බෑ.ඊටත් වැඩිය වේදනා සහගත දේ තමයි, දිනපතා අපෙන් සාත්තු ලබපු කුඩා දරුවන් සහ වෙනත් රෝගීන් මිය යන අන්දම බලා ගෙන ඉන්න සිද්ධ වීම’ ජීවිත අවදානම දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංගමය නිරන්තරයෙන් ලෝකයේ ඉතා ප්‍රචණ්ඩකාරී යුද පෙරමුණු සහ අර්බුදකාරී පරිසරයක් සහිත කලාපයන්හි ක්‍රියාත්මක වෙන සංවිධානයකි. එම සංවිධානයේ වෛද්‍යවරුන් සහ සාත්තු සේවක සේවිකාවන් සන්නද්ධ කණ්ඩායම් අතර හෝ සන්නද්ධ කණ්ඩායම් සහ යුද හමුදා අතර හුවමාරු වන ප්‍රහාර වලින් මිය යාම, පැහැර ගැනීම් වලට ලක් වීම සහ අනෙකුත් අනතුරු වලට ගොදුරු වීමේ අවදානම ‘දාහකට එකක්’ විය හැකි නමුත් ‘ඉබෝලා’ අනතුරු කලාපයක කටයුතු කිරීමේ දී මිය යාමට ඇති ඉඩකඩ ‘දහයට එකක්’ තරම් බැරෑරුම් ජීවිත අවදානමක් වන බවයි කුකී පෙන්වා දෙන්නේ අවදානම එතරම් බරපතළ නමුත් ‘ඉබෝලා’වැනි දරුණු මාරාන්තික වයිරසයක් ලොව පුරා පැතිර යාම වළක්වා ලීම සඳහා ක්‍රියාත්මක වෙන කණ්ඩායමක සාමාජිකාවක් වීමට ලැබීම සහ තමන්ට හැකි මට්ටමින් එම සත් කාර්යයට දායක වෙමින් දිවි පරදුවට තබා සිදු කළ මානව මෙහෙය ගැන සතුටු වන බවයි කුකී වෑන් ඩෙර් වෙල්ඩේ අප්‍රිකාවේ ඉබෝලා රෝගීන්ට පිළිසරණ වීම සඳහා ඇයයන ඊ ලඟ ගමනට සැරසෙමින් බීබීසියට කියා සිටියේ. |
මල්වතු අස්ගිරි මහා විහාරවල අදහස් විමසා බලමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. | යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවය සහ බුද්ධාගමට හිමි ප්රමුඛ ස්ථානය එලෙසම පවත්වා ගැනීම ඇතුළු කරුණු අඩංගු ලියවිලි දෙකක් මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් දෙනම විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ. ඒ පිළිබඳ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් කියා සිටියේ අස්ගිරි මහනාහිමියන් අගමැතිවරයා සමග නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය. "ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කර නොමැති අවස්ථාවක දැනට ඉදිරිපත් වී තිබෙන කමිටු වාර්තා හයේ උද්ගත වී තිබෙන කරුණු සමාලෝචනය කරලා ඒ සම්බන්ධයෙන් අපේ මහා සංඝ සභාවේ අදහස් ඉදිරිපත් කළා," එහිමියෝ කියා සිටියහ. රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, බුද්ධාගමට හිමි ප්රමුඛ ස්ථානය, පළාත් සභා බලතල සම්බන්ධයෙන් සංඝ සභාව වශයෙන් තමන් අගමැතිතුමාට යෝජනා ඉදිරිපත් කළ බවත් මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කළහ. |
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට සිට | අදින් වසර 11 කට පෙර එනම් 2004 වසරේ දෙසැම්බර් 26 වනදා සුනාමියට හසු ව මියගිය සහ අතුරුදහන් වූ පිරිස් අනුස්මරණය කොට හම්බන්තොට නගරයේදී ජාතික සුරක්ෂිත දින සැමරුම් උළෙල පැවැත්විණ. පෙරවරු 9.22 ට හම්බන්තොට නගරවාසීහු තම මියගිය ඥාතීන් සිහි කොට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක නිරත වූහ. හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙළඳ ප්‍රජාව, පොලිසිය සහ නගර සභාව එක්ව අනුස්මරණ උත්සවය සංවිධානය කොට තිබුණේ නගරයේ බස් නැවතුම් පොල ඉදිරිපිටදීයි. ප්‍රදේශයේ පාසල් ළමුන්ට පාසල් උපකරණ බෙදා දීමත් අනුස්මරණ උත්සවයට සමගාමීව සිදු කෙරිණ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 4200 කට අධික පිරිසක් සුනාමියෙන් ජීවිත අහිමි වූවන්ගේ ලේඛනයට ඇතුළත් වෙති. එම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ ලේඛනයට ඇතුළත් පිරිස දහසකටඅධිකයි. සුනාමිය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 1800 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ විය. තවත් නිවාස 2100 කට පමණ අර්ධ හානි සිදු වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ. විවිධ ව්‍යාපෘති හරහා නිවාස 3000 පමණ ඉදි කොට සුනාමියෙන් අවතැන් වූ පවුල් අතරේ බෙදා දී තිබේ. ශ්‍රී ලංකාව පුරා සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 40,000කට ආසන්නයි. |
අගෝස්තු පළමු වෙනිදා, අද පටන් බී.බී.සී. ලෝක සේවයේ සිංහල අංශය, සිරස ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හරින ප්රවෘත්ති සංග්‍රහයට සවන් දීමට ඔබට අවස්ථාව උදා වෙයි. | සිරස් එෆ්.එම් ඔස්සේ විකාශනය කෙරෙන බී.බී.සී ප්රවෘත්ති සංග්‍රහයට ශ්‍රී ලංකාවේ මෙන් ම කලාපීය සහ සෙසු ජාත්‍යන්තර ප්‍රධාන පුවත් ඇතුළත් කෙරෙනු ඇත. බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා පටන් සිකුරාදා තෙක් සතියේ දිනවල රාත්‍රි දහයයි දහයටයි විකාශනය කෙරෙන්නේ. බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්රවෘත්ති ප්‍රකාශය සිරස එෆ්. එම් සේවාවේ විකාශනය වෙන්නේ, 106.5 තරංග මාලා ඔස්සේ. |
කිලිනොච්චියේ, පුනරින්හිදී පුරුෂයන් දෙදෙනකු විසින් දූෂණය කොට රෝහල්ගත කොට සිටින කාන්තාවක් හමුවීමට රෝහල් බලධාරීන් තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පවසයි. | හමුදා සෙබළුන් විසින් කාන්තාව දූෂණය කරන ලදැයි සැක කෙරෙන බව මන්ත්‍රීවරයා පවසයි ඇය දූෂණය කොට තිබෙන්නේ හමුදා සෙබළුන් විසින් බවට සැක කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් බීබීසී සංදේශයට කියා සිටියේය. කාන්තාව දූෂණය කිරීමට පෙර ඇයගේ ඇස සහ කට බැඳීමට යොදා ගන්නා ලද ටී ෂර්ටය ආරක්ෂක අංශ සාමාජිකයන් නිතර භාවිත කරන්නක් බව එම කාන්තාව පොලිසියට දී තිබෙන කට උත්තරයේ සඳහන් බව ද ඔහු පැවසීය. අදාළ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැති බවයි, පොලිසිය පවසන්නේ. මේ පිළිබඳව විමසීම පිණිස හමුදා ප්‍රකාශකවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
ඉතාලියේ සිසිලි දූපතට නුදුරු මුහුදේ දී හත් සීයකට අධික සරණාගතයන් පිරිසක් බේරා ගත් බව ඉතාලි බලධාරීන් පවසයි. | ඉන් වැඩි පිරිසක් සිරියානු යුද අනාථයන් බවයි වාර්තා වන්නේ. පසුගිය මාසයේ මෙම මුහුදු තීරයේ දී බෝට්ටු ගිලී යාම නිසා සරණාගතයන් තුන් සියයක් පමණ මිය යාමෙන් අනතුරුව මුර සංචාර තර කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගත්තේ ය. බේරා ගනු ලබන අනාථයන් ලම්පෙදූසා දූපතේ රඳවා තබන අතර එම කඳවුරු තුළ රැඳවිය හැකි ප්‍රමාණය මෙන් දෙගුණයක් මේ වන විටත් සිටින බවයි වාර්තා වන්නේ. |
බියගම පදිංචි එම් විජේබණ්ඩාර 1983 'කළු ජූලිය' කෝලාහලවල දී තමන් දුටු සිද්ධියක් ගැන බීබීසී සිංහල සේවයට මෙසේ විස්තර කළාය. | "කොටුවේ චැතම් වීදියේ තිබුණා සාරධා කියලා තට්ටු ගණනක් ලොකු සාප්පුවක්. මේ කලබල නිසා ඒක වහලා තිබුණේ. මම එදා ඒ සාප්පුව ඉස්සරහ හිටගෙන ඉන්නකොට, මිනිස්සු විශාල පිරිසක් කලබලයෙන් එතනට ආවා." "සාප්පුවේ දොරට ගහලා කඩන්න උත්සහ කළා. හැබැයි බැරි වුණා. ඒත් එක්කම බැකෝ එකක් පාරේ යමින් තිබුණා. අර මිනිස්සු ඔක්කොම එකතු වෙලා බැකෝ එක නතර කරලා එකේ රියදුරාට කිව්වා පාර හරස් වෙන්න හරවලා 'සාරධා' එක පැත්තට රිවර්ස් කරන්න කියලා." "බැකෝ එක මහා හයියෙන් තුන්පාරක් සාරධා එකේ දොරේ වැද්දුවා. තුන් වෙනි පාර මහා සද්දයක් එක්ක දොර කඩාගෙන වැටුණා. ඒ එක්කම අර මිනිස්සු ඇතුළට ගියා. හැබැයි එතන හිටිය නායකයා වගේ පුද්ගලයෙක් හයියෙන් කෑ ගහල කිව්වා, සාප්පුවේ කිසිම බඩුවකට අත තියන්න එපා කියලා." "ඊට පස්සේ විනාඩි කිහිපයකින් සාප්පුවෙන් දුම් පිටවෙන්න ගත්තා," එම් විජේබණ්ඩාර තවදුරටත් පැවසුවාය. 1983 ජූලි 23 වෙනිදා එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සෙබළු දහතුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියට වසර 36ක් ගත වුව ද එහි මතකයන් තවමත් බොහෝ දෙනෙකුගේ සිත් තුළ රැඳී ඇත. 1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්රහාරයක දී වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. බෝට්ටු මගින් ඉන්දියාවට පිටත් වීමට උත්සහ කරන LTTE සාමාජිකයන්ගේ දර්ශනයක් මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා ජීප් රියක් සහ ට්‍රක් රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ. මෙම සිද්ධියෙන් පසු, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය. කළු ජුලියට මුහුණ දුන් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි රත්නම් ධර්මු සිය අත්දැකීම් මෙසේ හෙළි කළේය. "1983 ජුලි මාසයේ 23 වැනිදා එල්ටීටීඊ සංවිධානය යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේ යුද හමුදා ට්‍රක් රථයකට බරපතල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් ට්‍රක් රථයේ පැමිණි යුද හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා." "ඒ සිද්ධිය මුල් කරගෙන තමයි කළු ජුලියේ ප්‍රහාර ඇතිවුණේ. සෙල්වකිලි කියන නමින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කෙනෙක් තමයි බෝම්බය තියලා තියෙන්නේ." "තිරුනෙල්වේලි ප්‍රදේශයේ දී හමුදාවේ 13 ක් මියගිය එකට පලිගන්න වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ හිටපු එල්ටීටීඊ සැකකරුවන් පනස් දෙනෙක් විතර පිරිසක් බන්ධනාගාරය ඇතුළේ ම මරලා තිබුණා." "ඒත් එක්කම කොළඹ ඇතුළු දකුණු පළාත්වල හිටපු දෙමළ ජනතාවට පහර දුන්නා. එකට එක කරන්න උතුරේ තරුණයෝ උතුරේ හිටපු සිංහල පිරිසට පහර දුන්නා. ඒ පහරදීම් එක්ක ගෙවල් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා මහා විනාශයක් සිද්ධ වුණා," යැයි රත්නම් ධර්මු පැවසීය. කළු ජූලිය සමයේ විශාල දේපළ හානියක් ද සිදු විය 1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. එවක පැවති රජය මෙම කෝලාහල මුල් අවධියේ දී නතර කිරීමට අවශ්‍ය පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බව වරක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස ක්‍රියා කළ තිස්ස අත්තනායක බීබීසී සංදේශයට වරෙක ප්‍රකාශ කර තිබුණි. කළු ජූලිය "ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත" සිද්ධියක් ලෙසින් හැඳින්වූ තිස්ස අත්තනායක, එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් "ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්" මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද පැවසුවේය. මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මෝහන් මින් පෙර බීබීසී සිංහල සේවයේ පළ වූ ලිපියකට කළු ජූලිය පිළිබඳ සිය අත්දැකීම් හෙළි කර සිටියාය. මෙයින් තිස් හය වසරකට පෙර කළු ජූලිය අවස්ථාවේ අට හැවිරිදි පාසල් දැරියකව සිටි සුලෝචනාගේ ජීවිතය බේරා දී ඇත්තේ මහනුවර ලක්පහන විදුහලේ ගුරු භවතුන් සහ ගම්වාසීන් බව ඇය පැවසීය. ඉන් පසු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දින කිහිපයක් ගත කර කොළඹට පැමිණි අවස්ථාවේ, සිය නිවසත් ගිනි තබා ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ. "මම හිතුවේ නෑ අපේ ගමේ හිටපු මිනිස්සුම අපේ ගේ ගිනි තියාවි කියල," සුලෝචනා රාමයියා මෝහන් පැවසුවාය. යාපනය විශ්ව විද්‍යාලයේ කළු ජූලිය සැමරුම් මේ අතර, යාපනය විශ්ව විද්‍යාල සිසුන් කළු ජූලිය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු ද්‍රවිඩ ජනතාව සිහි කරමින් සැමරුම් වැඩසටහනක් ඊයේ (ජූලි 23) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. කළු කොඩි ඔසවා, යාපනය විශ්ව විද්‍යාල පිවිසුම් මාර්ගය ඉදිරිපස ඇති සැමරුම් ස්මාරකය අබිසය පහන් දල්වා, මල් පුදා කළු ජූලියෙන් මියගිය ද්‍රවිඩ ජනතාව සිහි කරනු දක්නට ලැබිණි. සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයෝ හා විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ ද එක්ව සිටියහ. මේ තොරතුරුද කියවන්න: නම හෙළි කිරීමට අකමැති ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක කළු ජූලිය පිළිබඳ සිය මතකයන් මෙසේ අවදි කළාය. "මම සිංහල ජාතිකයෙක්. 1983 මම කොළඹ රැකියාව කළ තැන හිටියා දෙමළ ජාතික ගණකාධිකාරීවරයෙක්. ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. එදා රැකියා ස්ථානයෙන් එළියට බහින්න බැරි තරමට කලබල ඇවිලිලා තිබුණා. මගේ මිත්‍රයා එළියට ගියොත් අනිවාර්යයෙන් මැරෙන්න වෙන තත්වයක් තිබුණේ." "එයා ජීවිතය ගැන හොඳටම බය වෙලා හිටියේ. වැඩ ඇරිලා මමයි මගේ මහත්තයයි මෝටර් රථයෙන් ගෙදර යන්නේ. අපි මේ මිත්‍රයට උදව් කරන්න තීරණය කළා. අපි ඔහු වාහනයට නග්ගගෙන ගම්පහ අපේ ගෙවල් පැත්තට යන්න ගත්තා." "ඒ වෙලාවේ සෑහෙන පිරිසක් පාරේ. ගෙවල්, සාප්පු, ආගමික ස්ථාන ගිනි ගන්නවා, එළිපිට මිනිස්සුන්ට ගහනවා, මරනවා. මහ භයානක තත්වයක්. " කළු ජූලිය අතර කොළඹ කොටුවේ දර්ශනයක් "අපි කැළණි පාලම පහු කරනකොට මිනිස්සු කට්ටියක් පාරේ යන සේරම වාහන නතර කරලා ඒවගෙන් තෙල් ඇදලා ඉල්ලනවා ගෙවල් ගිනි තියන්න." "අපි හොඳටම බය වුණා. අපේ වාහනේ දෙමළ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත නම් අපි ඔක්කොම එතනම මරලා දාන තත්වයක් තිබුණේ." "හැබැයි අපි බය නොපෙන්නා, ඒ මිනිස්සුන්ට කිව්වා අනේ අපි මේ වෙන කට්ටියකට පෙට්‍රල් දුන්නා විතරයි, දැන් ගෙදරට යා ගන්න විතරයි තෙල් තියෙන්නේ කියලා. මිත්‍රයා ආරක්ෂා කරගන්න ඕනේ නිසා අපිත් මේ දේට උදව් කරනවා වගේ පෙන්නුවා." "ඒ මිනිස්සු ඒක විශ්වාස කරළා අපිට යන්න ඉඩ දුන්නා. ජීවිතයත් මරණයක් අතර තිබුණ ඒ මොහොත මතක් වෙද්දී තවමත් හිත ගැස්සෙනවා. අපි දෙමළ මිත්‍රයට අපේ ගෙදර සති තුනක් රැකවරණය දුන්නා. ඔහුගේ ජීවිතේ බේරුවා," ඇය තවදුරටත් පැවසීය. රට පුරා පැතිරී ගිය මෙම කෝලාහල හේතුවෙන් අති විශාල දේපළ හානි සිදු වූ අතර, ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ද ලක් විය. මේ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ. 2006 දී මුහමලේ ප්‍රදේශයේ සිදු වූ දරුණු සටනෙන් පසු මෙම සිද්ධි මාලාවෙන් ඇරඹුණ නොසන්සුන් තත්වය දරුණු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය. වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි. "කළු ජූලියක් වාගේ ජාතිවාදි අරගල නැවත ඇතිවෙන්න නරකයි. පාස්කු ප්‍රහාරයෙ වෙලාවේ නැවත කළු ජූලියක් වාගේ විපතක් ඇතිවෙයි කියලා තමයි අපිට දැනුණේ." "කළු ජුලිය නිසා එක සහෝදරයෝ වගේ හිටපු සිංහල දෙමළ මිනිස්සු වෛරක්කාරයෝ කළා. ඒකෙන් ඇති වුණ යුද්ධය හින්දා අපි අවුරුදු 30 ක් හරියට ඉන්න හිටින්න තැනත් නැතුව ජිවත් වුණා." "යුද්ධයේ අවසන් දවස්වල අපිට කන්න දෙයක් නැතුව ජීවිත බලාපොරොත්තු අතහැරගෙන තමයි මමයි දරුවනුයි ජිවත්වුණේ. එහෙම අතීතයක් තමයි කළු ජූලිය අපිට උරුම කළේ. "නැවතත් කළු ජූලියක් වැනි විනාශයක් ඇතිවෙන්න එපා කියලා තමයි අදටත් මම ප්‍රාර්ථනා කරන්නේ," යැයි රත්නම් ධර්මු පැවසුවේය. තවත් තොරතුරු: |
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග් නාම් ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනාට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව මැලේසියාවේ නීතිපති පවසයි. | ඉන්දුනීසියානු සහ වියට්නාම ගමන් බලපත්‍ර හිමි චුදිත කාන්තාවන් දෙදෙනා අදාළ චෝදනාවට වරදකරුවන් වුවහොත් ඔවුන්ට මරණ දණ්ඩනය හිමිවනු ඇති බව මැලේසියාවේ නීතිපති මොහොමඩ් අපාන්ඩි අලි කියා සිටියේය. ක්වාලාම්පූර් අගනුවර ගුවන් තොටුපලේ රැඳී සිටි කිම් ජොන්ග් නාම් ඝාතනය කිරීම සඳහා "වී එක්ස්" (VX) නමැති විෂ රසායනය භාවිත කොට ඇති බව මැලේසියානු පොලිසිය පවසයි. ඝාතනය පිටුපස උතුරු කොරියාව සිටින බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග් නාම් මේ අතර කිම් ජොන්ග් නාම් ගේ මෘත ශරීරය තමන් වෙත භාර දෙන ලෙස ඉල්ලා උතුරු කොරියාවේ ඉහළ පෙළ නියෝජිතයෙක් මැලේසියාවට පැමිණ සිටියි. ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවේ පසුවන සෙසු කොරියානු ජාතිකයා නිදහස් කරන ලෙසත් උතුරු කොරියාවේ තානාපති නියෝජිතවරු ඉල්ලා සිටිති. කිම් ජොන්ග් නාම් ඝාතනය කිරීම සඳහා විෂ රසායනයක් භාවිත කොට ඇති බවට වූ නිගමනය උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි. |
ඩීඑස්අයි සමාගමට අනුබද්ධ රබර් කර්මාන්ත ශාලාවෙන් පිට වන විෂ වායුව පාලනය කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයට එක්ව සිටි පුද්ගලයකු සිකුරාදා උදෑසන පොලිස් ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව පළාතේ බොහෝ දෙනා භීතියෙන් තැති ගැනී සිටින බව ප්‍රදේශවාසීහු පවසති. | වසර දෙකක් ඇතුලත වැලිකොන්ද වැසියන් 26 දෙනකු පිලිකාවෙන් මියගොස් තිබේ කනත්ත ගමගේ නෝබට් සිල්වා ගේ නිවසට අලුයම දෙකට පමණ කඩා වැදුණු ත්‍රස්ත විරෝධී පොලිසිය අත් බෝම්බ සහ පතරොම් සමඟ ඔහු අත් අඩංගුවට ගත් බවයි, ප්‍රදේශවාසී මාධ්‍යවේදියකු වන රත්නසිරි නල්ලපෙරුම බීබීසී සංදේශයට කියා සිටියේ. දොරපේවාසී ජනතාව බෝම්බ හෝ වෙනත් ආයුද භාවිත කරන බවක් මීට පෙරාතුව තමන්ට දැන ගන්නට ලැබී නැතැයි පවසන ඔහු, එස්ආර්ආර්අයි කම්හලේ පරිසර දූෂණයට එරෙහිව උද්ඝෝෂණවලට සම්බන්ධ වීමෙන් අනතුරුව සති කිහිපයක් තිස්සේ ගම්වාසීන්ට නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙමින් තිබෙන බවද සඳහන් කළේය. 'සම්බන්ධයක් නෑ' "මිනිස්සු ඉල්ලන්නේ ජීවත්වීමේ අයිතිය. හුස්ම ගැනීමේ සහ පිරිසිදු ජලය පානය කිරීමේ අයිතිය. අනික මේකට පලවෙනි උත්තේජනය දුන්නේ අක්මීමන සහ ඉමදුව ප්‍රදේශය සභා සභාපතිවරු," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. නිවසේ ආයුධ තිබුනේ කෙසේ දැයි පවුලේ සාමාජිකයන් විමතිය පළ කරන බව පවසන රත්නසිරි නල්ලපෙරුම කර්මාන්ත ශාලා බලධාරීන් විසින් කිසිවකු හෝ යොදා ගෙන නෝබට් සිල්වාගේ නිවසේ ආයුධ තැන්පත් කළේදැයි ගම්වාසීන් සැක කරන බවද සංදේශයට පැවසීය. අත් අඩංගුවට ගන්නා ලද සිය සේවාදායකයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන තිස් වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද බව නෝබට් සිල්වාගේ නීතිවේදී බුද්ධි ජයවර්ධන සංදේශයට පැවසීය. සැකකරුගේ නිවස තුල නොව නිවස පිහිටි ඉඩමේ සීමාව තුල දී පුපුරන ද්‍රව්‍ය හමුවූ බව සංදේශයට පැවසූ පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, එම පුපුරණ ද්‍රව්‍ය වෙනත් කිසිවෙකු විසින් එහි තැන්පත් කළේද යන්නත් සොයා බලන බවද සඳහන් කළේය. "මේ බොරු තොරතුරක් නම් දීල තියෙන්නේ ඒ ගැන විභාග කරනවා. යම්කිසි ආකාරයකට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් වරදකට පටලන්න උත්සාහ කරලා තියෙනව නම් ඒ ගැන අපි කටයුතු කරනවා," යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය. කෙසේ නමුත්, කම්හලට එරෙහි උද්ඝෝෂණය සහ ඔහු අත් අඩංගුවට ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි, පොලිස් ප්‍රකාශකවරයා පවසන්නේ. |
2019 නොවැම්බර් 16 වෙනි සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය, රැගෙන යා යුතු ලේඛන මෙන්ම පිළිපැදිය යුතු නීති රීති පිළිබඳ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිකුත් කරන ලද නිවේදන අනුව මෙම ලිපිය සකස් කර ඇත. | ඡන්ද මධ්‍යස්ථාන විවෘතව ඇති කාල සීමාව අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව දිගින් අඟල් 26 කි. එය 2015 ජනාධිපතිවරණය හා සැසඳීමේ දී දෙගුණයක දිගින් යුක්ත වේ. මේ හේතුවෙන්, දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන පැයක වැඩි පුර කාලයක් විවෘතව තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිත කළ හැකිය මෙවර ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය (15992096) දෙනෙක් සිටින අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් ස්ථාපිත කර ඇත. එමෙන්ම, නොවැම්බර් මස 16 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යා යුතු ලේඛන මොනවාද? ඡන්දය භාවිත කිරීමේ දී සිය අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර, ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛනයක් රැගෙන යෑම අනිවාර්යය වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛන: හැඳුනුම්පතක් නොමැති නම් කළ යුත්තේ කුමක් ද? ඉහත කී ආකාරයේ හැඳුනුම්පතක් නොමැති නම් එම පුද්ගලයන් තාවකාලික නැතිනම් විශේෂ හැඳුනුම්පතක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ හැඳුනුම්පත් ලබා ගැනීමේ කාල සීමාව 2019 නොවැම්බර් 09 දින අවසන් වීමට නියමිතව තිබූ නමුත් පුරවැසියන්ගේ, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂවල ඉල්ලීම පරිදි එකී කාල සීමාව 2019 නොවැම්බර් 13 දින මධ්‍යහ්න 12:00 දක්වා දීර්ඝ කළ අතර මේ වන විට එම කාල සීමාව ද අවසන් වී තිබේ. නිල ඡන්ද දැන්වීම් පත රැගෙන යා යුතුද? තැපෑලෙන් නිවසට ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත (Poll Card) ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යෑම අනිවාර්ය නොවන නමුත්, එය රැගෙන යාමෙන් ඡන්ද දායකයාට මෙන්ම ඡන්ද පොළේ නිලධාරීන්ට ද සිය රාජකාරිය ඉටු කිරීම පහසු වේ. ඡන්දය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවරමොනවාද? ඡන්ද පොළට ඇතුළු වන පුද්ගලයෙකුට එහි එක් පසෙක සිටින නිලධාරීන් හතර දෙනෙකු දක්නට ලැබේ. ඉන් පළමුව සිටින නිලධාරියා ඡන්ද දායකයා රැගෙන එන අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛනය පරීක්ෂා කර බලා එහි ඇති ඡායාරූපය සහ පුද්ගලයාගේ මුහුණ හා ස්වරූපය ගැලපේ නම් දෙවෙනි නිලධාරියා වෙත යොමු කරනු ලබයි. තෙවෙනි නිලධාරියා ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල පරීක්ෂා කර එම ඇඟිල්ල වටා තීන්ත ආලේපනය කරනු ඇත. එසේ තීන්ත ආලේපනය කිරීමට එකඟ නොවන පුද්ගලයෙකුට ඡන්දය භාවිත කිරීමට ඉඩ නොදෙනු ඇත. ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීමෙන් පසු හතරවෙනි නිලධාරියා වෙත යොමු විය යුතු අතර, ඔහු හෝ ඇය ඡන්ද පත්‍රිකාවක් (Ballot paper) ලබා දෙනු ඇත. එය රැගෙන ආවරණය කළ කුටිය තුළට ගොස් සිය ඡන්දය ලකුණු කළ හැකිය. නිවැරදි ලෙස ඡන්දය ලකුණු කරන්නේ කෙසේ ද? ඡන්දයක් වලංගු වීම සඳහා එහි නිවැරදි සලකුණු යෙදිය යුතුය. තමන් ඡන්දය ලබා දෙන්නේ එක් අපේක්ෂකයෙකුට පමණක් නම් අදාළ අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියේ 1 ඉලක්කම හෝ X සලකුණ ලකුණු කිරීම ප්රමාණවත්ය. තම ඡන්දය අපේක්ෂකයන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට ලබා දීමේ හැකියාව ද ඇත. නමුත් මෙහි දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබේ. දෙදෙනෙකුට පමණක් ඡන්දය ලබා දෙන්නේ නම් අදාළ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් 1, 2 යනුවෙන් සටහන් කළ යුතුය. තිදෙනෙකුට ඡන්දය ලබා දෙන්නේ නම් අදාළ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් 1, 2, 3 ලෙස සටහන් කිරීමෙන් මේවා වලංගු ඡන්ද බවට පත් වේ. රජයේ නිල ප්රවෘත්ති අඩවියේ රූප රාමු සහිතව පැහැදිලි කර තිබූ ආකාරය ඔබේ ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත් වන්නේ කෙසේ ද? ඡන්දය ලකුණු කළ පසු කුමක් කළ යුතු ද? ඡන්දය ලකුණු කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව හොඳින් දෙකට නමා අවැසි නම් හතරටද නමා ශාලාවේ ඇති ඡන්ද පෙට්ටියට දැමිය යුතුය. "වැරද්දක් වුණා" අමතර ඡන්ද පත්‍රිකාවක් ලබා ගත හැකි ද? තමන් කැමැත්තෙන් සිටි අපේක්ෂකයා වෙනුවට අත්වැරදීමකින් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරියේ ඡන්දය ලකුණු කළ බව යම් අයෙකු පැවසීමෙන්, ඔහු හෝ ඇයට අමතර ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට මධ්‍යස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට කිසිඳු බලයක් හිමි නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. "අනවධානය නිසා සිදුවන අත්වැරදීම්" සඳහා පමණක් තවත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට බලය ඇති බව සභාපතිවරයා පැවසුවේය. උදාහරණ වශයෙන්: යම් හෙයකින් වම් අතේ සුලැඟිල්ලේ සලකුණු කෙරෙන තීන්ත ඡන්ද පත්‍රිකාවේ ගැවුණු අවස්ථාවක. ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමේදී ඉරී ගිය විට. විශේෂ ඡන්ද දායකයන් (ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත) දෑස් පෙනෙන, ඡන්ද පත්‍රිකාව ලකුණු කිරීමට හැකියාවක් ඇති නමුත්, ඡන්දය ලකුණු කිරීමේ ආකාරය නොදන්නා කෙනෙකුට ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හෝ ඔහු වෙනුවට වෙනත් නිලධාරියෙකු විසින් ඡන්ද පත්‍රිකාවක් ලකුණු කරන ආකාරය පමණක් විස්තර කර දෙනු ඇත. නමුත් දෘෂ්ඨි ආබාධයකින් හෝ ශාරීරික ආබාධයක් නිසා ඡන්ද පත්‍රිකා සියතින් ලකුණු කිරීමට නොහැකි අයට, තමාගේ සහාය සඳහා වෙනත් අයෙකු කැටුව ආ හැකිය. මෙවැනි ඡන්ද දායකයන් ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගත්, රජයේ වෛද්‍ය නිලධාරියෙකු සහතික කළ සහතිකයක් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ආ යුතුය. නියමිත පරිදි අනන්‍යතාව සනාථ කිරීමෙන් අනතුරුව ඡන්ද හිමියාගේ සහායකයාට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ මැතිවරණ කාර්ය මණ්ඩලයේ තවත් සමාජිකයෙකු ඉදිරිපිට ඡන්ද කුටිය තුළදී ඡන්දය සළකුණු කළ හැකිය. නමුත් දෘෂ්‍ය ආබාධිත ඡන්ද දායකයෙකු වෙනත් පුද්ගලයෙකු කැටුව නොආ විට, පනතේ සඳහන්ව නොමැති නමුත් මීට පෙර මැතිවරණවල දී සිදු කළ පරිදි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ තවත් නිලධාරියෙකු සමඟ ඡන්ද දායකයා කුටිය වෙත කැටුව ගොස් ඔහුගෙන් කරුණු විමසා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා, ඡන්ද දායකයා ඉල්ලා සිටින ආකාරයට අනෙක් නිලධාරියා ඉදිරියේදී ඡන්දය ලකුණු කළ හැකිය. ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව කෙසේ ද? ඡන්ද මධ්‍යස්ථානවල සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති හෙයින් ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට බලපෑම් කිරීමට හෝ යම් කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සහ දරණ පුද්ගලයන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. මේ තොරතුරුද කියවන්න: |
සිංහල, දෙමළ රහසිගත ආදර අන්දරයක් පසුබිම කර ගත් ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණය ‘ඔබ නැතුව ඔබ එක්ක’ නැරඹීම සඳහා ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ලන්ඩනයේ සිනමාහලකට රැස්ව සිටියහ. | ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කෙරණද සිංහල, දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව ලාංකිකයෝ චිත්‍රපටය නැරඹීම සඳහා ලන්ඩනයේ රැස්ව සිටි බව එහි ගිය සිතුම් ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියාය. 'ඔබ නැතුව ඔබ එක්ක' ලන්ඩනයේ ප්‍රදර්ශනය සංවිධානය කොට තිබුණේ අගෝරා කලා කවය විසින්. ඉන්දීය රංගන ශිල්පිනියක් වන අංජලී පාටීල් සහ ශ්‍රී ලාංකික රංගන ශිල්පියකු වන ශාම් ප්‍රනාන්දු 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පොවති. ඒ සඳහා අංජලී පාටීල් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම රංගන ශිල්පිනියට හිමි සම්මානය වූ රාජිත මයුර සම්මානයෙන් පිදුම් ලැබුවාය. |
පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්. | අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්. මම මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක් ගැන නොවෙයි. උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වන නිවස ගැන. ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා. රටේ ජනතාව ආදරේට මොහු අමතන්නේ පෙපේ කියල. හඬ පටයට සවන් දෙන්න. කාර් කට්ට ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට කැඩිලැක්, රෝල්ස් රොයිස්, ජගුවාර්, ලැම්බෝගිනි වැනි සුඛෝපභෝගී වාහන නවතා තිබියදී උරුගුවේ ජනාධිපතිවරයා තනිවම පදවා ගෙන යන්නේ පරණ වොල්ස්වගන් මෝටර් රථයක්. ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන හොසේ මුහිකාට ටිකක් පොහොසත් වන්නට අවස්ථාවක් උදා වෙලා. මේ පරණ කාර් කට්ටට අරාබියේ තෙල් මුදලාලි කෙනෙකුගෙන් හොඳ මිලක් ලැබිලා. ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න හදන්නේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි. ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළේ තමන්ට පොහොසත් වෙන්න හිතිලා නොවෙයි. ඒ මුදලත් ජනතාවට ම ලබා දීම හොසේගේ අරමුණ. තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක් ම ආපසු දෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර. තමන්ට ජීවත් වීමට අතට ගන්නේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත්. කකුල් තුනේ මැනුවෙල් තම බිරිඳට අයිති ගොවිපළේ ජීවත් වන මේ ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආරක්ෂාවට ඉන්නේ පොලිස් භටයන් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනාත් ඉන්නේ ගොවිපළට ඇතුළු වන පාර අද්දර. නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලන මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි. ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි. ගොවිපළේ වැඩට යොදා ගන්න ට්රැක්ටරය කැඩුනම ඒක හදා ගන්න බාස්ල ඕන නැහැ. ඒකත් මේ ජනාධිපතිවරයාටම කර ගන්න පුළුවන්. ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි. “මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” හොසේ මුහිකා, එහෙමත් නැත්නම් ‘පෙපේ’ කියන්නේ තමන් දුප්පත් නැති බව. වෙඩි උණ්ඩ හයක් හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි. හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි. තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපා ගෙන. නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක් ම පලා ගියා. 1985 දී රටට ප්රජාතන්ත්රවාදය උදා වීමත් සමඟ නිදහස ලැබූ හොසේ මුහිකා ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට එක් වුනා. 2010 වන විට හොසේ මුහිකා උරුගුවේ ජනාධිපතිවරයා. අද වන තුරු රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ සිට. ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ. ව්‍යවස්ථාවට ගරු කොට බිරිඳ සමඟ සුපුරුදු ගොවිතැන කර ගෙන යාමට ඔහු තීරණය කළා. |
මතභේදයට තුඩු දී තිබෙන මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. | රාජ්‍ය ඇමතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේ අදාළ ගනුදෙනුව හා සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් කිරීම සහ මුදල් රජයට නැවත අයකර ගැනීම සිදුවිය යුතු යැයි තමන් අදහස් කරන බවය. කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැකසූ වාර්තාවට, විද්වතුන් සහ ආර්ථික විශේෂඥයන් සමග කළ සාකච්ඡාවලින් හා නිසි අධ්‍යනයකින් අනතුරුව සකස් කරන ලද නිර්දේශ ඇතුළත් වන බවත් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට එල්ලවන පීඩනය පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා විගණන වාර්තාව හෝ කොප් වාර්තාව තුළ අගමැතිවරයාගේ නම සඳහන් නොවන බව පෙන්වා දුණි. |
චෝදනා ඇතිනම් නඩු පවරන ලෙසත් එසේ නොමැති නම් රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙලට දායක කරගන්නා ලෙසත් එල්ටීටීඊ සැකකරුවන් ලෙසින් සිරගත කොට සිටින පිරිසක් ඉල්ලා සිටිති. | දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් මානව හිමිකම් ක්‍රියාධරයෝ ඉල්ලා සිටිති වසර දෙකක් මුළුලේ මීගමුවේ බන්ධනාගාර ගත කොට සිටින ඔවුන් එම ඉල්ලීම කළේ මන්නාරමේ රදගුරු රායප්පු ජෝසෆ් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් ඔවුන් හමුවූ අවස්ථාවේ. ප්‍රථම වතාවට තමන් හමුවීමට පිටස්තර පිරිසක් පැමිණීම පිළිබඳව තමන්ට හමුවූ සිරකරුවන් 14 දෙනා සතුට පළ කළ බව මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය. ඥාතීන් කිසිවෙකුට හෝ ඔවුන් හමුවීමට අවසර නොලැබීමත්, එල් ටී ඊ සැකකරුවන් ලෙසින් හංවඩු ගැසීමත් සිරකරුවන් පිරිස දැඩි මානසික කම්පනයකින් කල් ගෙවන බව ද මන්ත්‍රීවරයා පැවසීය. |
දඩ ගෙවා ගත නොහැකි සහ සුළු වැරදි මත බන්ධනාගාර ගතව සිටි සිරකරුවෝ හයසිය දොළොස් දෙනෙක් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලබති. | කුරුවිට බන්ධනාගාරය ශ්‍රී ලංකාව පුරා පිහිටි බන්ධනාගාර විසි අටක සිරදඬුවම් විඳි පිරිමි සිරකරුවෝ පන්සීය හැත්තෑ පහක් සහ කාන්තා සිරකරුවෝ තිස්හත් දෙනෙක් සමාව ලබා නිදහස් වූ පිරිස අතර වෙති. මීට අමතරව බරපතළ ගනයේ නොවන වැරදි වෙනුවෙන් සිරදඬුවම් විඳි වයස අවුරුදු හැත්තෑපහ ඉක්ම වූ කාන්තා සහ පිරිමි සිරකරුවන්ටද ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ටීඑන් උපුල්දෙනිය පැවසුවේය. මෙසේ ජනාධිපති සමාව හිමිව නිදහස ලැබූ සිරකරැවන්ට සිය නිවෙස් බලා යෑම සඳහා බස්ගාස්තුද ගෙවනු ලැබීය. තමාට ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලැබෙන බව අවසන් මොහොත දක්වා දැන නොසිටි බව නිදහස ලැබූ බොහෝ සිරකරුවෝ පැවසූහ. කුරුවිට බන්ධනාගාරයේ පිරිමි සිරකරුවෝ තිස්හය දෙනෙක් සහ කාන්තා සිරකරුවෝ හය දෙනෙක් බදාදා උදෑසන නිදහස ලබා පිටව ගියහ. |
සිතියමෙහි දැක්වෙන්නේ මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල අනුව දැනට එක් දිස්ත්‍රික්කයන්හි පෙරමුණ ගෙන සිටින පක්ෂයයි. මෙය අවසාන ප්‍රතිඵලය නොවේ. අවසාන ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ පසු සිතියම ජයග්‍රාහී පක්ෂයේ වර්ණයෙන් පිළිබිඹු කෙරෙනු ඇත. | මහ මැතිවරණයේ ප්‍රතිඵල සජීව ලෙසින් යාවත්කාලීන කෙරෙන පිටුව. අගෝස්තු 05 මහ මැතිවරණයේ අලුත්ම ප්‍රතිඵල විමසීම පිණිස මේ පිටුවට පිවිසෙන්න ප්‍රතිඵල නැඹුරුතාව අවසන්වරට යාවත්කාලීන කළේ 2020 අගෝස්තු 6 03.06 ග්‍රිමවේ+5.30 මූලාශ්‍රය: මැතිවරණ කොමිෂන් සභාව ඔබගේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඑලය සෙවීමට කොළඹ බස්නාහිර පළාත ගම්පහ බස්නාහිර පළාත කළුතර බස්නාහිර පළාත මහනුවර මධ්‍යම පළාත මාතලේ මධ්‍යම පළාත නුවරඑළිය මධ්‍යම පළාත ගාල්ල දකුණු පළාත මාතර දකුණු පළාත හම්බන්තොට දකුණු පළාත යාපනය උතුරු පළාත වන්නි උතුරු පළාත මඩකලපුව නැගෙනහිර පළාත දිගාමඩුල්ල නැගෙනහිර පළාත ත්‍රිකුණාමලය නැගෙනහිර පළාත කුරුණෑගල වයඹ පළාත පුත්තලම වයඹ පළාත අනුරාධපුරය උතුරු මැද පළාත පොළොන්නරුව උතුරු මැද පළාත බදුල්ල ඌව පළාත මොණරාගල ඌව පළාත රත්නපුර සබරගමුව පළාත කෑගල්ල සබරගමුව පළාත 2020 මහ මැතිවරණයේ පක්ෂවලට හිමි වූ සමස්ත ඡන්ද සහ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව (රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිල ඡන්ද ප්‍රතිඵල) |
කල්කටා නුවර ගුවන් තොටුපොළේ නවත්වා තිබූ ජෙට් එයාර්වේස් සමාගමට අයත් ගුවන් යානයක තිබී කිලෝග්‍රෑමයක් තරම් බරැති රන්පොලු විසි හතරක් හමු වූ බව ඉන්දියාවේ රේගු නිලධාරීහු පවසති. | රත්රන් තොගය ඩුබායි වලින් ගෙන එන්නට ඇතැයි සැලකෙයි. ඩොලර් දස ලක්ෂයකට වැඩි වටිනාකමක් සහිත රන් පොලු විසි හතර,ආහාර සැපයීමට යොදා ගනු ලබන පෙට්ටිවල අසුරා වැසිකිළි දෙකක සඟවා තිබියදී යි හමු වී තිබෙන්නේ. එම ජෙට් එයාර්වේස් ගුවන් නැව ඩුබායි නගරය බලා නිතරම පියාසර කරන යානයක් වන අතර, රත්රන් තොගය ඩුබායි වලින් ගෙන එන්නට ඇතැයි සැලකෙයි. මංගල උත්සව සහ වෙනත් උත්සවවලදී රනින් තෑගි ප්රදානය කරන ඉන්දියාව,ලෝකයේ රත්රන් භාවිතා කරන්නන් අතර ඉදිරියෙන්ම සිටින රටක්. ඉන්දියානු ආණ්ඩුව විසින් රත්රන් ආනයනය කිරීමේ බදු වැඩි කිරීමට මෑතදී පියවර ගත් අතර,ඉන් අනතුරුව රන් ජාවාරම වැඩි වී ඇති බවයි නිලධාරීන් පවසන්නේ. |
කෝවිඩ් 19 ට එරෙහිව තනා ඇති එන්නත් කිහිපයක් මේ වන විට ලොව පුරා භාවිත කෙරෙමින් පවතී. මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සහ උපදෙස් පළ වෙමින් පවතින අතර ඇතැම් විට ඒවා නිරවුල් නැත. එන්නතක් පිළිබඳව මූලික දැනුමක් ලබා ගැනීමෙන් එම ව්‍යාකූලතා අවම කර ගත හැකි වනු ඇත. | එන්නතක් යනු කුමක්ද? එන්නතකින් සිදු කෙරෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ ශරීරය සූදානම් කිරීමයි. එන්නතක අඩංගු වන්නේ රෝගය ඇතිකරවන ජීවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද කොටසකි. නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇතිකරවන බලපෑමට සමාන බලපෑමක් ඇතිකරවන ලෙස සැලසුම් කරන ලද, එකී ජීවියාගේ අනු පිටපතකි. එය ශරීරගත කළ විට ආක්රමණිකයෙකු ඇතුළු වී ඇති බව සිරුර හඳුනා ගෙන ඊට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වේ. එහිදී ඊට අදාළ ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවේ. එම ක්‍රියාවලිය සිදු වීමෙන් පසුව එකී ජීවියා නැවත ශරීරගත වුවහොත් එම ආක්රමණිකයා පහසුවෙන් හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර සූදානම් ය. ඊට අවශ්‍ය සෙබළුන් ලෙස ක්‍රියා කරන ප්‍රතිදේහ ද සිරුරේ පවතී. එහිදී ඔබට සම්පූර්ණයෙන් ම රෝගය වැළඳීම වලක්වන අතර එම ආගන්තුක ජීවියාගෙන් දරුණු බලපෑමක් සිදුවීමට පෙර එය විනාශ කර දැමීමට ඔබේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් ලැබෙනු ඇත. එවැනි එන්නතක් ගැනීම මගින් ඇතැම් උදවියට පමණක් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකිය. එය තාවකාලික උන ගතියක් හෝ එන්නත ලබා දුන් ස්ථානයේ සුළු තඩිස්සියක් වැනි දෙයකි. දැන් එම රෝගය සඳහා අවශ්‍ය කරන ප්‍රතිදේහ ඔබේ ශරීරයේ වර්ධනය වී පවතී. එන්නත් යනු ඉතා ශක්තිමත් දෙයක් බව එක්සත් ජනපදයේ රෝග වැළක්වීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය (CDC) පවසන්නේ එබැවිනි. රෝගයක් සුව කිරීමට පවතින ඔසුවක් මෙන් නොව; එන්නතකින් එම රෝගය වැළඳීම වලක්වයි. එන්නත් ආරක්ෂාකාරී ද? මුලින් ම එන්නත් භාවිතා කර ඇත්තේ චීනයේය. ඒ දසවන ශතවර්ෂයේදී ය. නමුත් මේ පිළිබඳව ලොව පුරා කාගේත් අවධානයට ලක් වූයේ, සුළු බලපෑමක් ඇතිකරවන 'ගව වසූරිය' රෝගය මගින්, වසූරිය රෝගයට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණයක් ඇතිකරවිය හැකි බව එඩ්වර්ඩ් ජෙනර් විසින් 1796 වසරේ දී සොයා ගනු ලැබීමෙන් අනතුරුවය. ඔහු එම සිද්ධාන්තය පරීක්ෂාවට ලක් කළේය. වසර දෙකකට පසුව එම පර්යේෂණයේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරුණි. ඉංග්‍රීසි භාෂාවෙන් එය වැක්සින් (vaccine) ලෙසින් නම් කෙරුණේ එතැන් පටන් ය. එය ලතින් භාෂාවෙන් ගවයා හැඳින්වීමට යෙදෙන "vacca" යන වදන අනුසාරයෙන් බිහි වූ නාමයකි. එන්නත සොයා ගැනීම නවීන වෛද්‍ය විද්‍යාවේ ඉහළම ජයග්‍රහණයක් ලෙස පිළිගැනීමට ලක්වේ. එමගින් රෝග 20කට ගොදුරු වී සෑම වසරකම මියයමින් පැවතුණු ජීවිත මිලියන දෙක තුනක් බේරා ගැනීමට හැකිවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම එන්නත් වෙළඳපොළට මුදා හැරීමට පෙර දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි. පළමුව ඒවා රසායනාගාරය තුළ පරීක්ෂාවට ලක් කෙරේ. දෙවනුව සත්ව දේහ මත පර්යේෂණයට භාජනය වේ. මිනිස් දේහ මත සායනික පරීක්ෂාවට ලක් වන්නේ ඉන් අනතුරුවය. ඖෂධ නියාමන අධිකාරීන් මගින් අනුමැතිය ලැබෙන්නේ සායනික පරීක්ෂාවෙන් ලැබෙන ප්‍රතිඵල මතය. සෑම ඖෂධයකම පවතින්නාක් සේ එන්නතක ද අවදානමක් පවතී. නමුත් ඉන් ලැබෙන වාසිය හා සලකා බලන විට එම අවදානම නොගිනිය හැකි තරම් අවමය. උදාහරණයක් ලෙස දක්වතොත්, මීට පෙර පරම්පරාවට ළමා කාලයේ දී වැළඳුණු බොහොමයක් රෝග වත්මන් ළමා පරපුරට වැළඳෙන්නේ ඉතා අඩු මට්ටමකිනි. ඒ එන්නත් ලබා දීම නිසාය. අතීතයේ මිනිස් ජීවිත මිලියන සිය ගණනක් බිලිගත් වසූරිය රෝගය ලෝකයෙන් තුරන් කිරීමට හැකි වූයේ ද එන්නත් ලබා දීම නිසාය. නමුත් සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා බොහෝ විට දශක ගණනක් ගතවනු ඇත. පෝලියෝ රෝගය අප්‍රිකාවෙන් සදහටම තුරන් වූ බව නිවේදනය වූයේ පසුගිය අගෝස්තු මාසයේදී ය. ඒ වන විට පෝලියෝ එන්නත ලොව පුරා භාවිත කිරීමට පටන් ගෙන වසර 30කට වැඩි කාලයක් ගතවී හමාරය. කෝවිඩ් 19 හමුවේ අපගේ ජීවිත නැවත සාමාන්‍ය තත්වයට පත්කර ගැනීම සඳහා සෑහෙන පරිදි ලෝක ජනගහනයට කොරෝනා එන්නත ලබාදීමට මාස ගණනක් හෝ වසර කීපයක් ගත විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති. එන්නතක් සාදන්නේ කෙසේද? බැක්ටීරියාවක්, වෛරසයක්, පරපෝෂිතයෙක් හෝ දිලීරයක් වැනි රෝග කාරක බීජයක් ශරීරගත වූ විට ඊට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ තැනීම ආරම්භ කරනු ලබන්නේ ඇන්ටිජන් හෙවත් ප්‍රතිදේහජනක නමැති අනුඛණ්ඩයක් මගිනි. රෝග කාරක බීජය ශරීරගත වීමට පෙර එන්නතක් ලබා දීම මගින් සිදු කෙරෙන්නේ දුර්වලකරන ලද හෝ අක්‍රිය කරන ලද එහි අනුඛණ්ඩයක් සිරුරට ඇතුළු කිරීමය. එවිට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන්නේ සැබෑ රෝගකාරක බීජයට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරයටම ය. කෙසේ නමුත් කොරෝනා එන්නත් කීපයක් තැනීමට භාවිත කර ඇත්තේ ඊට වෙනස් වූ නව ක්රමවේදයකි. කොරෝනා එන්නත් සංසන්දනය කරන්නේ කෙසේද? ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසිනි. ඒවා තනා ඇත්තේ දුර්වලකරන ලද හෝ අක්‍රිය කරන ලද වෛරසයේ අනුඛණ්ඩයක් යොදා ගෙන නොවේ. ඒ වෙනුවට වෛරසයේ ජාන කේතයේ (genetic code) කොටසක් භාවිතා කර තිබේ. එමගින් සිදු කෙරෙන්නේ, කෝවිඩ් 19 ඇතිකරවන වෛරසයේ මතුපිට පවතින 'ස්පයික් ප්‍රෝටීනය' තැනීමට ඔබේ සිරුරේ සෛල පෙළැඹවීමයි. එම ප්‍රෝටීනයට ප්‍රතිචාර දක්වමින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ තැනීමට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මකවේ. කෝවිඩ් 19ට එරෙහි ඔක්ස්ෆර්ඩ් එන්නත තනා ඇත්තේ තවත් වෙනස් ක්‍රමවේදයක් භාවිතා කරමිනි. මෙහිදී සිදු කෙරුණේ, චිම්පන්සියන්ට ලබා දෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකට, කෝවිඩ් 19 ඇතිකරවන වෛරසයේ ජාන කේතයෙන් කොටසක් එකතු කිරීමය. කෝවිඩ් 19ට එරෙහිව තනා ඇති ඉහත කී එන්නත් වර්ග තුන ම මහජනතාවට ලබා දීම සඳහා එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අනුමත කළහ. ෆයිසර් එන්නතට මෙක්සිකෝ, චිලි සහ කොස්ට රිකා යන රටවල් අනුමැතිය දුන්හ. බ්‍රසීල ආණ්ඩුවේ අනුමැතිය හිමි වුණේ ඔක්ස්ෆර්ඩ් සහ සිනොවැක් යන එන්නත් දෙකට ය. ඒ එන්නත් හැර තවත් එන්නත් තිබේ ද? චීනයේ නිෂ්පාදිත 'කොරෝනාවැක්' (CoronaVac) එන්නත චීනය, සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය භාවිතා කරති. එය තනා ඇත්තේ එන්නත් නිෂ්පාදනයේ වඩා සාම්ප්‍රදායික ක්‍රමයක් වූ මියගිය වෛරස් අණු භාවිතා කරමිනි. කෙසේ නමුත් එහි ඵලදායී බව පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ. ඊට හේතුව, එහි අවසන් අදියරේ සායනික අත්හදාබැලීම් වලින් ලද දත්ත එතරම් සතුටුදායක නොවීම ය. එය අත්හදා බැලුණේ තුර්කිය, ඉන්දුනීසියාව සහ බ්‍රසීලයේ ය. බ්‍රසීලයේ පර්යේෂකයන් පැවසුවේ එය 50.4%ක් ඵලදායී වූ බවය. ඉන්දියාව එන්නත් වර්ග දෙකකට අනුමැතිය ලබා දුන්නේය. ඉන් එකක් Covishield ය. එය සංවර්ධනය කරනු ලැබුවේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ AstraZeneca ඖෂධ සමාගම විසිනි. අනෙක Covaxin එන්නතයි. එය ඉන්දියානු ඖෂධ සමාගමක් වන භාරත් බයෝටෙක් විසින් නිෂ්පාදනය කරනු ලැබූවකි. රුසියාව භාවිතා කරන්නේ තමන්ගේම රටේ නිපදවූ එන්නතකි. එය 'ස්පුට්නික් වී' (Sputnik V) නමින් හැඳින්වේ. එය වෛරසයක් වෙනස්කොට තනන ලද එන්නතකි. ඉන් මාත්‍රා 300,000ක් ආජෙන්ටිනාව විසින් ඇනවුම් කරන ලදී. අප්‍රිකානු හවුල ද වර්ග කීපයකින් එන්නත් මාත්‍රා මිලියන 270ක් ඇනවුම් කර තිබේ. මීට අමතරව Covax ගෝලීය සංවිධානය ද එන්නත් මාත්‍රා මිලියන 600ක් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වී ඇත. Covax යනු අඩු ආදායම් සහිත රටවල් සඳහා කොරෝනා එන්නත සැපයීමට කැප වී සිටින සංවිධානයකි. ඊට නායකත්වය සපයන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ Gavi නමැති සංවිධානයයි. මම කෝවිඩ් එන්නත ලබා ගත යුතුද? එය අනිවාර්ය නොවේ. නමුත්, වෙනත් සෞඛ්‍ය හේතුන් මත හැරෙන්නට අන් සියලු දෙනා මෙම එන්නත ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. එක්සත් ජනපදයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය පවසන්නේ මෙම එන්නත ලබා ගැනීමෙන් කෝවිඩ් 19ට එරෙහිව තමන්ට ආරක්ෂාවක් සැපයෙන අතරම අනෙක් පුද්ගලයන් ආරක්ෂා කරගැනීමට ද හැකිවන බවය. එමෙන්ම, කොරෝනා වසංගතය තත්වය නිමා කරවීම සඳහා පවතින අතිශය වැදගත් මෙවලම මෙම එන්නත බව ද ඔවුහු පවසති. කෝවිඩ් ව්‍යාප්තවීම නතර කර ගැනීමට නම් ලෝක ජනගහනයෙන් 65%ත් 70%ත් අතර ප්‍රමාණයකට ප්‍රතිශක්තිය ඇතිවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොරෝනා වෛරසයට එරෙහිව මෙම එන්නත් ඉතා කෙටි කාලයකින් සංවර්ධනය කරනු ලැබීම නිසා ඇතැමෙක් ඒ පිළිබඳව ප්‍රශ්න නගති. ගතවූ කාලය කෙටි බව සත්‍යයකි. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීම සඳහා විද්‍යාඥයෝ දිගු කාලයක් වැය කරති. නමුත් කොරෝනා වසංගතය හමුවේ සියල්ල වේගවත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් සහ සෞඛ්‍ය සංවිධාන එක්ව කටයුතු කළහ. කෙටියෙන් කියතොත්, කොවිඩ් 19 ව්‍යාප්තිය නතර කර ගැනීමට නම් බිලියන ගණනක් මිනිසුන්ට එන්නත් ලබා දිය යුතුමය. එම ඉලක්කය සපුරා ගැනීම වේගවත් වන තරමට අප සාමාන්‍ය ජන ජීවිතයකට යළි ඇතුල්වීම ඉක්මන් වනු ඇත. |
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයට සුභ පතන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සමඟම රටින් පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන් යළි සියරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරයි. | ජනපතිවරණයේ අවසාන ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැති වුවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට සිය පරාජය පිළිගෙන තිබේ. මේ අතර ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් සිය දිවි නසාගන්නා බව චන්ද්‍රසිරි බණ්ඩාර සහ මාපලගම විමලරත්න ජ්‍යෝතිෂවේදීන් දෙදෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. |
වංචාකරුවන්ගේ ක්‍රියාකාරම් පිළිබඳ දැනුවත්ව සිටියදී ඔවුන්ගේ ඩොලර් මිලියන ගණන් ලොව පුරා හුවමාරු කිරීමට එම වංචාකරුවන්ට එච්එස්බීසී (HSBC) බැංකුව විසින් ඉඩ සලසන ලද බව මේ වනවිට අනාවරණය වී ඇති රහසිගත ලිපිගොනුවකින් පෙන්නුම් කරයි. | බීබීසී පැනොරාමා හි ෆින්සෙන් ලිපිගොනු වාර්තාකරණ කණ්ඩායම විසිනි. බ්‍රිතාන්‍යයේ විශාලතම බැංකුව විසින් එක්සත් ජනපදයේ පිහිටි සිය ව්‍යාපාරය හරහා හොංකොංහි HSBC ගිණුම්වලට මුදල් යවා ඇත. ඒ, 2013 සහ 2014 වසරවලදීය. ඩොලර් මිලියන 80ක (පවුම් මිලියන 62) එම වංචාවට අදාළ බැංකුවේ භූමිකාව, අනාවරණය වූ ලේඛනවල විස්තර කර තිබේ. බැංකුවේ "සැකසහිත වැඩකටයුතු පිළිබඳ වාර්තා" ලෙස දැක්වුණු එම ලේඛන ෆින්සෙන් ලිපි (FinCEN Files) නම් වේ. එවැනි ක්‍රියාකාරකම් වාර්තා කිරීම පිළිබඳ සිය නෛතික රාජකාරි සැමවිටම තමන් විසින් ඉටු කරන ලද බව HSBC බැංකුව පවසයි. අදාළ ලිපි ගොනුවල දැක්වෙන ආකාරයට ආයෝජන ජාවාරම ආරම්භ වී තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් බැංකුවට එරෙහිව එක්සත් ජනපදය තුළදී ඩොලර් බිලියන 1.9 (පවුම් බිලියන 1.4) ක දඩයක් පැනවීමෙන් අනතුරුව ය. මෙම ජාවාරම පොන්සි සැලසුමකි (Ponzi scheme). අලුත් සාමාජිකයින්ගෙන් එකතුකරගන්නා මුදලින්, දැනට සිටින කොටස්කරුවන් වෙත ගෙවීම් කරනු ලබන කුප්‍රකට මාදිලියේ ආයෝජන ජාවාරමක් මෙනමින් හැඳින්වේ. වංචාකරුවන්ගේ ගිණුම් වසා දැමීම සඳහා බැංකුව වහා ක්‍රියා කළ යුතුව තිබූ බව රැවටීමට ලක්වූ ආයෝජකයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පැවසූහ. අනාවරණය වී ඇති ලේඛනවල වෙනත් හෙළිකිරීම් මාලාවක් ද ඇතුළත් වේ. කුප්‍රකට අපරාධකරුවකුට ඩොලර් බිලියනයකට වැඩි මුදලක් හුවමාරු කිරීමට එක්සත් ජනපදයේ විශාලතම බැංකුවක් සහය වූයේ ද යන ඇඟවීම ද ඊට අයත් ය. ෆින්සෙන් ලිපිගොනු (FinCEN) යනු කුමක්ද? සින්ෆෙන් ලිපිගොනු යනු මේ වනවිට අනාවරණය වී ඇති 2,657ක් වූ ලේඛන ප්රමාණයකි. ඉන් 2,100ක් SAR නොඑසේනම් සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා ය. එම SAR ලිපි යනු කිසියම් වරදක් පිළිබඳ සාක්ෂි නොවේ. ගනුදෙනුකරුවන් කිසියම් යෝග්‍ය නොවන දෙයක යෙදී සිටීමට ඉඩ තිබෙන බවට මෙම ලේඛන මගින් බැංකු බලධාරීන් වෙත දන්වයි. නීතිය ප්‍රකාරව තමන්ගේ සේවාදායකයින් කවුරුන්ද යන වග බැංකු දැන සිටිය යුතු වේ. ගැටලු සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන පාර්ශව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන අතරේ දී සේවාදායකයින්ගේ අනීතික මුදල් තවදුරටත් භාරගැනීම සහ SAR ලේඛනගත කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. සාපරාධී කටයුත්තක් සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම්, මුදල් ගලායාම නතර කිරීමට ඔවුන් ක්‍රියා කළ යුතු ය. ලොව ඇතැම් විශාලතම බැංකු හරහා මුදල් විශුද්ධි වී ඇත්තේ කෙසේද යන්න මෙන්ම අපරාධකරුවන් විසින් සිය මුදල් සැඟවීමට නිනාමික බ්‍රිතාන්‍ය සමාගම් යොදාගෙන ඇත්තේ කෙසේද යන්න මෙම අනාවරණයෙන් පෙන්වා දෙයි. බස්ෆීඩ් (Buzzfeed) නම් වූ වෙබ්අඩවිය වෙත මුලින්ම අනාවරණය වූ 'සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා' (SAR) පසුව 'ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය' (ICIJ - International Consortium of Investigative Journalists) සමග බෙදාහදාගෙන ඇත. "ගෝලීය වශයෙන් විශාල ලෙස ගලායන අනීතික මුදල් සම්භාර ගැන බැංකු දන්නේ මොනවාද යන්න ගැන සූක්ෂ්ම විමසීමක්" ෆින්සෙන් ලිපිගොනු තුළින් සපයන බව ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදයේ ෆර්ගස් ෂීල් පවසයි. මෙසේ අනාවරණය වූ SAR ලිපි වසර 2000 හා 2017 අතර කාලය තුළදී ෆින්සෙන් (FinCEN) නොඑසේනම් එක්සත් ජනපදයේ පිහිටි මූල්‍ය අපරාධ නීති බලගැන්වීමේ ජාලය (Financial Crimes Enforment Network) වෙත යොමු කර තිබේ. එයින් ආවරණය කෙරෙන ගනුදෙනුවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වේ. මෙම අනාවරණය හේතුවෙන් එක්සත් ජනපදයේ ආරක්ෂාවට බලපෑමක් එල්ලවිය හැකි බවත්, විමර්ශනවලට අවදානමක් ගෙනෙන අතර අදාළ වාර්තා ගොනු කරන ලැබූවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවිය හැකි බවත් ෆින්සෙන් පැවසීය. එසේවුවත්, මුදල් විශුද්ධිකරණයට එරෙහි සිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් යළි විමසා බැලීම පිළිබඳ යෝජනා එම ජාලය විසින් පසුගිය සතියේ නිවේදනය කළේය. වංචා මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළක්වීම සඳහා එක්සත් රාජධානිය ද සමාගම් තොරතුරු ලියාපදිංචියට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය සැලසුම හෙළි කළේය. මේ පොන්සි ජාවාරම (Ponzi scam) කුමක් ද? තමා ගෝලීය බැංකුවක් පවත්වාගෙන යන බව මින්ග් සූ පවසා තිබිණි WCM777 යනුවෙන් හැඳින්වුණු ආයෝජන ජාවාරම සම්බන්ධයෙන් HSBC බැංකුව දැනුවත් කරනු ලැබ තිබිණි. මින්ග් සූ නම් වූ චීන ජාතිකයෙකු විසින් එය ආරම්භ කරන ලද්දකි. කැලිෆෝර්නියාවේ දී ශාස්ත්‍රපති උපාධියක් හදාරන ලද බව ඔහු පවසා ඇතත්, එක්සත් ජනපදයේ ජීවත් වීමට පැමිණියේ කෙසේද යන්න පිළිබඳ එතරම් තොරතුරු නොවීය. ලොස් ඇන්ජලීස් ප්‍රදේශය කේන්ද්‍ර කරගත්, සූ නොඑසේනම් "ආචාර්ය ෆිල්" යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා ලද ඔහු 'ශුභාරංචි පතුරන දේවස්ථානවල' දේවගැතිවරයෙකු ලෙස පෙනීසිට ඇත. වර්ල්ඩ් කැපිටල් මාකට් (World Capital Market) නම් වූ ගෝලීය ආයෝජන බැංකුවක් තමන් විසින් මෙහෙයවනු ලබන බව කියා සිටි ඔහු පැවසුවේ දින සියයක් තුළදී 100% ක ලාභයක් ඉන් ගෙවන බවය. යථාර්ථය නම්, WCM777 යනුවෙන් හඳුන්වා තිබූ පොන්සි සැලසුම ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබීම ය. සංචාරය කරමින් පවත්වන සම්මන්ත්රණ, ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ කෙරෙන අන්තර්ජාල සම්මන්ත්රණ (webinars) හරහා ආයෝජන අවස්ථා ලෙස හැඟවෙන ඩොලර් මිලියන 80 ක අලෙවියක් කර තිබිණි. WCM පොන්සි සැලසුම වෙනුවෙන් ෆේස්බුක් හි කරන ලද ඇතැම් පළකිරීම් ආසියානු හා ලතින් ඇමෙරිකානු ප්‍රජාව ඊට සම්බන්ධ කෙරිණි. ක්‍රිස්තියානි මුහුණුවර භාවිත කළ වංචාකරුවෝ එක්සත් ජනපදය, කොලොම්බියා හා පේරු යන යටවල දුගී ප්‍රජාව ඉලක්ක කළහ. එක්සත් රාජධානිය ඇතුළු වෙනත් රටවල ද මීට ගොදුරු වූ වින්දිතයෝ සිටිති. එහෙත්, මින් ඇතිවී තිබෙන බලපෑම මූල්‍යමය වූවක් පමණක් නොව, රෙනල්ඩෝ පචෙකෝ නම්වූ ආයෝජකයෙකු කැලිෆෝනියාවේ නාපා හි පිහිටි වයින් නිපදවන වතු යායක දියේ ගිලී සිටියදී හමුවීමේ සිද්ධියට ද මෙම ජාවාරම තුඩු දී ඇත. ගල් බැඳ ඔහු ගිල්වා තිබූ බව පොලිසිය පැවසීය. ඝාතනයට ලක්වූ රෙනාල්ඩෝ පොන්සි සැලසුමේ ආයෝජනය කර තිබිණි අදාළ ආයෝජන සැලසුමට ගිවිසුම්ගත වූ ඔහුට වෙනත් ආයෝජකයින් බඳවා ගැනීමට ද නියමව තිබිණි. සැමදෙනා ධනවතුන් වීම මෙම වැඩපිළිවෙලේ පොරොන්දුව විය. 44 හැවිරිදි පචෙකෝ විසින් හඳුන්වා දෙන ලද කාන්තාවකට ඩොලර් 3,000ක් අහිමි විණි. පචෙකෝ පැහැර ගැනීම සඳහා කුලියට ගත් පුද්ගලයින් අතින් ඔහු ඝාතනයට ලක්වීමට එය මුල් විය. "ඔහු උත්සාහ දරා තිබුණේ... මිනිසුන්ගේ ජීවිත වගේම තමන්ගේ ජීවිතයත් යහපත් කරන්න. ඔහු ජාවාරමට හසුවුණා වගේම රැවටුණා. අවාසනාවන්ත ලෙස තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවුවා," යැයි එම ඝාතනය පිළිබඳ විමර්ශනය කළ නිලධාරීන් අතරේ සිටි සැරයන් ක්‍රිස් පචෙකෝ (ඥාතියකු නොවේ) පැවසීය. "පොන්සි සැලසුමක වින්දිතයෙක් වීම නිසා ඔහුව ඝාතනය කර තිබෙනවා," යැයි ද ඔහු පැවසීය. ඒ වනවිටත්, තමන් WCM777 සම්බන්ධයෙන් තමන් විමර්ශනය කරන බව කැලිෆෝර්නියාවේ නියාමකයින් විසින් HSBC බැංකුව වෙත දන්වනු ලබා තිබිණි. එසේම එම ජාවාරම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වෙත අනතුරු අඟවා තිබිණි. මෙය සිදුවූයේ 2013 වසරේදීය. මේ අතර ලියාපදිංචි නොකළ ආයෝජන අලෙවි කිරීම සම්බන්ධයෙන් කොලරාඩෝ හා මැසචුසෙට්ස් ප්‍රාන්ත මෙන්ම කැලිෆෝනියාව ද පියවර ගනිමින් සිටියේය. සිය පද්ධතිය හරහා සැකකටයුතු ගනුදෙනු කෙරෙන බව HSBC බැංකුව ද හඳුනාගෙන තිබිණි. නමුත් 2014 අප්‍රේල් මාසයේදී එසේ හඳුනා ගැනුණේ, හොංකොංහි HSBC බැංකුවේ වූ WCM777 ගිණුම් වසා ඇති බවට එක්සත් ජනපද මූල්‍ය නියාමකයා වන විනිමය හා සුරැකුම්පත් කොමිසම විසින් චෝදනා ගොනු කිරීමෙන් පසුවය. ඒ වන විට එම ගිණුම් තුළ කිසිවක් නොවූ තරම් ය. සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවල ඇත්තේ කුමක් ද? HSBC බැංකුව, ජාවාරම පිළිබඳ සිය පළමු වාර්තාව යොමු කර තිබුණේ 2013 ඔක්තෝබර් 29 වෙනිදා ය. හොංකොංහි පිහිටි, වංචාකරුවන්ගේ ගිණුම්වලට ඩොලර් මිලියන 6කට අධික ප්‍රමාණයක් යැවීම ඊට අදාළ වී තිබිණි. "ගනුදෙනුවල ආර්ථික හෝ නෛතික අවශ්‍යතාවක් පෙනෙන්නට නොවිණි" යැයි බැංකු නිලධාරීහු පැවසූහ. එසේම "පොන්සි සැලසුමක ක්‍රියාකාරකම්" පිළිබඳ චෝදනා දැක්විණි. 2014 පෙබරවාරි මාසයේදී දෙවෙනි SAR (සැකකටයුතු ක්‍රියාකාරකම් වාර්තාව) ලේඛනයකින් ඩොලර් මිලියන 15.4 ක සැකකටයුතු ගනුදෙනු මෙන්ම "පොන්සි සැලසුමක් විය හැකි" බව හඳුනාගෙන තිබිණි. මාර්තුවේදී තුන්වෙනි වාර්තාවක් සැකසුණේ WCM777 ට බැඳුණු සමාගමකට අදාළව ය. එහි වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 9.2 කි. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රාන්තවල නියාමන දැනුවත් කෙරුණු අතර කොලොම්බියා හි ජනාධිපතිවරයා විසින් විමර්ශනයකට නියම කරනු ලැබිණි. HSBC බැංකුව කළේ කුමක් ද? WCM777 සැලසුම කරළියට පැමිණියේ, මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ මුදල් විශුද්ධිකරණයට එරෙහිව එක්සත් ජනපදයේ නැගුණු චෝදනා විභාගයක් HSBC බැංකුව විසින් මග හැර ගොස් මාස කිහිපයකට පසුවය. අදාළ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට බැංකුව එවර එකඟ විය. ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදයේ විශ්ලේෂණයකට අනුව පෙන්නුම් කෙරෙන්නේ, 2011 සහ 2017 අතර කාලයේදී හොංකොංහි පිහිටි ගිණුම් හරහා සැකකටයුතු ගනුදෙනු ක්‍රියාත්මක වෙමින් තිබූ බව HSBC බැංකුව විසින් හඳුනාගනු ලබා තිබූ බවකි. එහි වටිනාකම ඩොලර් බිලියන 1.5ක් වන අතර ඩොලර් මිලියන 900ක පමණ ප්‍රමාණයක් සමස්ත සාපරාධී ක්‍රියාවට සම්බන්ධ ය. නමුත් ගිණුම්වල අවසාන ප්රතිලාභ හිමිකරුවන් සහ එම මුදල් පැමිණියේ කොහි සිටද යනාදිය ද ඇතුළත් ගනුදෙනුකරුවන් පිළිබඳ ප්‍රධාන කරුණු ඇතුළත් කිරීමට එම වාර්තා අසමත් වී ඇත. සැකකටයුතු ක්‍රියාකාරකම් වාර්තා පිළිබඳ සාකච්ඡා කිරීමට බැංකුවලට අවසරයක් නැත. "2012 සිට ඇරඹුණු, බලප්‍රදේශ 60කට වැඩි ප්‍රමාණයක මුල්‍ය අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වූ සිය හැකියාව යළි විමසා බැලීමේ බහු වාර්ෂික වැඩපිළිවෙලක් HSBC යොමු වී තිබේ... 2012 පෙර පැවති තත්ත්වයට වඩා ආරක්ෂිත ආයතනයක් බවට HSBC පත්ව ඇත," යැයි HSBC පැවසීය. බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, "(එක්සත් ජනපද නීතිඥයින් සමග එළඹුණු එකඟතාව) යටතේ වූ සියලු පොරොන්දු ඉටුකිරීමට ඊට හැකිවූ බව" එක්සත් ජනපද බලධාරීන් නිගමනය කර ඇති බවකි. 2017 දී චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද සූ අදාළ ජාවාරම සම්බන්ධයෙන් වසර තුනක කාලයකට සිරගත කෙරිණි. චීනයේ සිට ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය ඇමතූ සූ කියා සිටියේ, සිය ව්‍යාපාරය සම්බන්ධයෙන් HSBC බැංකුව තමන්ගෙන් විමසීමක් නොකළ බවය. WCM777 යනු පොන්සි සැලසුමක් බවට වන අදහස ඔහු ප්‍රතික්ෂේප කළේය. විනිමය හා සුරැකුම්පත් කොමිසම විසින් වැරදි සහගත ලෙස තමන් ඉලක්ක කරන ලද බව පැවසු ඔහු කියා සිටියේ කැලිෆෝනියාවේ අක්කර 400ට වැඩි බිම් ප්‍රදේශයක් තුළ ආගමික ප්‍රජාවක් ගොඩනැගීම සිය අරමුණ වූ බවය. පොන්සි සැලසුමක් යනු කුමක් ද? පොන්සි සැලසුමක් - යන්නට එනම හිමිවුයේ 20 වෙනි සියවස ආරම්භයේ විසූ රැවටිලිකරුවකු වූ චාල්ස් පොන්සි හේතුවෙනි - මෙවැනි සැලසුමකදී එයින් රැස්කරන මුදල්වලින් ලාභ ඉපදීම නොකෙරේ. ඒ වෙනුවට ආයෝජකයින්ට ගෙවීම් කෙරෙනුයේ ඊට එක්වන වෙනත් අලුත් ආයෝජකයින් වෙතින් ලැබෙන මුදලිනි. මෙම ගෙවීම් පියවීම සඳහා තව තවත් ආයෝජකයින් අවශ්‍ය කෙරේ. මේ අතර සැලසුමේ හිමිකරුවෝ මුදල් තමන්ගේ ම ගිණුම් වෙත මාරු කරති. ප්‍රමාණවත් ආයෝජකයින් සොයාගත නොහැකි වූ විට පොන්සි සැලසුමක් බිඳ වැටේ. අනාවරණයෙන් හෙළි වූ වෙනත් දේ මොනවා ද? රුසියානු මාෆියා නායකයින්ගේත් නායකයකු ලෙස හැඳින්වෙන්නෙකුට මුල්‍ය පද්ධතිය හරහා ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් හුවමාරු කිරීමට බහුජාතික බැංකුවක් වන ජේපී මෝගන් (JP Morgan) බැංකුව සහය වුයේ කෙසේද යන්න ෆින්සෙන් ලිපි ගොනු මගින් පෙන්නුම් කෙරේ. ගිනි අවි, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා මිනීමැරුම් ද ඇතුළත් අපරාධ සම්බන්ධයෙන් සෙමියොන් මොගිලෙවිච් හට චෝදනා එල්ල වී ඇත. අපරාධවලින් උපයන ලාභ මුල්‍ය පද්ධතිය හරහා ගලා යාම නැවත්වීම සඳහා වූ පියවර බැංකු සතුව පවතී. නමුත් ජේපී මෝගන් විසින් 2015 දී SAR ලේඛනයක් ගොනු කරනු ලැබුවේ අදාළ ගිණුම වසා දැමුණු පසු ය. ලන්ඩනයේ පිහිටි සිය කාර්යාලය විසින් කිසියම් මුදල් ප්‍රමාණයක් යවනු ලබන්නට ඇත්තේ කෙසේද යන්න ඉන් හෙළි කරයි. 2002 සහ 2013 අතර කාලයේදී ඇබ්සි එන්ටප්‍රයිසස් (ABSI Enterprises) නම් වූ රහසිගත විදෙස් සමාගමකට ජේපී මෝගන් බැංකු සේවා සැපයුවේ කෙසේදැයි ඉන් විස්තර කෙරේ. වසර පහක කාලයක් තුළදී ජේපී මෝගන් විසින් දොළ බිලියන 1.02ක සමස්ත වටිනාකමින් යුතු ගනුදෙනු ප්‍රමාණයක් යැවූ බව හා ලද බව බැංකුව පවසයි. SAR ලේඛනයෙන් පැවසුණේ ඇබ්සි හි ප්‍රධාන සමාගම "සෙමියොන් මොගිලෙවිච් සමග සම්බන්ධතාවක් තිබිය හැකි බවකි - ඔහු FBI (ෆෙඩරල් විමර්ශන කාර්යාංශය) හට අවශ්‍ය කෙරෙන පළමු දස දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයෙකි" යනුවෙනි. "මුල්‍ය අපරාධවලට එරෙහිව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහයෝගයක් ලෙස අප සියලු නීති හා රෙගුලාසි අනුගමනය කරනවා. මේ වැදගත් කාර්යයේදී දහස් සංඛ්‍යාත පිරිසකට මෙන්ම සිය ඩොලර් මිලියන සිය ගණනකට අප බැදී සිටිනවා," යැයි ජේපී මෝගන් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ෆින්සෙන් ලිපිගොනු යනු, අනීතික මුදල් ලොව වටා හුවමාරු කිරීමට අපරාධකරුවන් හට ඉඩ සලසමින් ප්‍රධාන පෙළේ බැංකු කෙසේ සහය වී දැයි හෙළි කෙරෙන රහසිගත ලේඛන අනාවරණයකි. බස්ෆීඩ් නිව්ස් (BuzzFeed News) විසින් ලබාගන්නා ලද එම ලිපි ගොනු ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (ICIJ) සමග මෙන්ම ලොව වටා ජනමාධ්‍යවේදීන් 400ක් සමග බෙදාහදා ගන්න ලදී. බීබීසී වෙනුවෙන් කෙරුණු පර්යේෂණයට මූලිකත්වය ගනු ලැබුවේ 'පැනොරාමා' වැඩසටහනය. |
ශ්‍රී ලංකාවේ ආගමික නොසන්සුන්තාව පිළිබඳ සිද්ධීන් කිහිපයක් වාර්තාවී ඇති හෙයින් ක්‍රිස්තියානි ප්‍රජාව ගැන තමන් ගේ අවධානය යොමුව තිබෙන බව ශ්‍රී ලංකාවේ සිටින කතෝලික සභාවේ වතිකානයේ අපොස්තලික තානාපති ජෝසප් ස්පිටෙරි හිමියෝ ප්‍රකාශ කරති. | මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දේව මෙහෙය පැවැත්වූ අද බැතිමතුන් අමතමින් උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ලෝකයේ ප්රජාතන්ත්රවාදය පවතින රටවල කිතුනුවන්ට විවිධ පාර්ශව වලින් විවිධ තර්ජන එල්ලවෙමින් තිබෙන බවයි. ආගමික සහජීවනය එසේ වුවත් සමස්තයක් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් සෙසු ආගමික කොටස් සමග සහජීවනයෙන් කල් ගෙවන බව පෙනෙන්ට තිබෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. “එය ආශීර්වාදයක් බවයි, ” කතෝලික සභාවේ වතිකානයේ අපොස්තලික තානාපති ජෝසප් ස්පිටෙරි පියනම කියා සිටියේ. දිගු කාලයක් තුළ යුදමය වාතාවරණයක් පවතී ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ආරක්ෂාවී තිබීම අගය කල යුතු බව පැවසූ උන්වහන්සේ යුද්ධය පැවති කාලය තුළදී වුවත් සියලු ජාතීන් භේදයකින් තොරව මඩු මංගල්‍යය සැමරීමට රැස්වීම සුවිශේෂ කරුණක් බවත් ප්‍රකාශ කළහ. එසේවුවත් යුද්ධයෙන් පසු පවතින මේ කාල වකවානුව තුළ දී ජාති භේද ආගම් භේද මුල් කර ගනිමින් සිදුවන නොයෙකුත් ආකාරයේ නපුරුකම් වර්ධනය වී තිබීම කනගාටුවට කරුණක් බවත් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ. |
ඉන්දීය පාලිත කාශ්මීරයේ යුද හමුදා කඳවුරක් ඉදිරිපිට උද්ඝෝෂණයකට රජයේ ආරක්ෂක සේනා වෙඩි තැබීමෙන් හය දෙනකු මියගොස් තිබේ. | තුවාල ලද සංඛ්‍යාව අඩුම වශයෙන් විසි පහක්. වාර්තාවල දැක්වෙන්නේ ඉන්දීය දේශසීමාරක්ෂක බලකා සෙබළුන් පිරිසක් පාවහන් පැළඳ මුස්ලිම් දේවස්ථානයකට ගොඩ වැදීම ගම්වාසීන්ගේ විරෝධයට හේතු වුනු බවයි. ආගම හදාරන සිසුන් හට පහර දුන් වගටත්, කුරානය කෙලෙසූ බවටත් ගම්මුන් සොල්දාදුවන්ට චෝදනා කර තිබේ. |
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් පමණ කාන්තාවන් වුව ද ව්‍යවසායකයන් අතර කාන්තා නියෝජනය 10%ක් තරම් අඩු ප්රතිශතයක පවතින බව 'ගුඩ් මාර්කට්' සමාජ ව්‍යාපාරය සඳහා නායකත්වය දෙන අචලා සමරදිවාකර බීබීසී සිංහල සේවයට පැවසුවාය. | එබැවින් පරිසර හිතකාමී නිෂ්පාදන සහ කාබනික වගාවන්හි නියැලි ග්‍රාමීය කාන්තාවන්ගේ නිෂ්පාදනවල අගය වැඩි කරමින් ඒවා සුපිරි වෙළෙඳසල් වෙත යොමු කිරීමටත් අපනයන සඳහාත් මේ දිනවල වැඩි අවධානයක් යොමු කර ඇති බව ඇය පවසන්නීය. දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට 2012 වසරේ සිට ලබා දී ඇති නායකත්වය නිසා අචලා සමරදිවාකර ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යවසායිකාවට හිමි සම්මානය ඇතුළු ජාතික මට්ටමේ සම්මාන දිනාගෙන ඇති අතර ජාත්‍යන්තරව ද ඇගයීමට ලක්ව තිබේ. "ගුඩ් මාර්කට් එක ඇත්තටම තියෙන්නේ කොළඹ හතේ. ඒත් අපිට අවශ්‍ය නෑ එක පැලැන්තියකට විතරක් වසවිස නැති කෑම දෙන්න. අපිට ඕනා ගමේ ඉන්න අයත් හොඳ ආහාර ලබා ගන්න ක්‍රමවේදයක් හදලා දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය. නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර |
යුද්ධය නිසා විපතට පත්ව සිටින උතුරු පළාතේ ජනතාව නගා සිටුවීමට දෙන ආධාර වැඩි කරන මෙන් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් තමාගෙන් ඉල්ලා සිටියේ යයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි,මිෂෙල් සිසොන් ප්‍රකාශ කළාය. | මහ ඇමති විග්නේශ්වරන් සමඟ යාපනයේදී පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැවැත්වුන මාධ්‍ය හමුවකදීයි, තානාපතිවරිය එම කරුණ ප්‍රකාශයට පත් කළේ. උතුරු පළාතේ පවුල් පන්දහසකට පමණ දැනටමත් ඇමෙරිකානු ආධාර සැපයෙන නමුත් මහඇමතිවරයාගේ ඉල්ලීම පිළිබඳ ව අවධානය යොමු කරන බවයි තානාපතිවරිය කියා සිටියේ. තවදුරටත් කරුණු පැහැදිලි කළ ඇමෙරිකානු තානාපතිනි,මිෂෙල් සිසොන් යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නිවාස සැපයීමේ කඩිනම් වැඩ පිළිවෙලක් මෙන් ම , එම වැසියන්ගේ පෝෂණය,සනීපාරක්ෂක පහසුකම්,අධ්‍යාපන සහ සංස්කෘතික තත්වයන් නංවාලීමට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් උපකාර ලැබිය යුතු බව මහ ඇමතිවරයා අවධාරණයෙන් කියා සිටි බවයි සඳහන් කළේ. සමුළුවට ආරාධනා නැහැ මහ ඇමති විග්නේශ්වරන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්,උතුරු පළාත සංවර්ධනයට අවශ්‍ය ආධාර තමා එක්සත් ජනපද තානාපතිවරියගෙන් ඉල්ලා සිටි බවයි කියා සිටියේ. පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වන්නේදැයි මාධ්‍යවේදියෙක් මහ ඇමති සී.වී.විග්නේශ්වරන්ගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වුනේ,තමාට ඒ සඳහා තවම ආරාධනයක් ලැබී නැති හෙයින් ඒ පිළිබඳව දැනට කිසිදු පිළිතුරක් දිය නොහැකි බවයි. |