summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ලොව විශාලතම සුඛෝපභෝගී මගී නෞකාව බ්‍රිතාන්‍යයේ 'සවුතැම්ප්ටන්' වරාය වෙත ළඟා විය.
'Harmony of the Seas' නෞකාව 'සවුතැම්ප්ටන්' වරාය වෙත ළඟා වූයේ සිය මංගල චාරිකාව ඇරඹීමට දින කීපයක් තිබියදී. අයිෆල් කුලුනට වඩා මීටර 50 ක් උසින් යුතු 'Harmony of the Seas' නෞකාව පිහිනුම් තටාක 23 කින් සමන්විත වේ. එහි මගීන් 6,000 කට ඉඩ පහසුකම් ඇත.
ක්‍රිමියාව අල්ලා ගැනීමේ සියලු ප්‍රයත්නයන් අත්හිටුවන ලෙසත් එසේ නැත්නම් ගනු ලබන ක්‍රියා මාර්ගයන්ට මුහුණ දීමට සූදානම් වන ලෙසත් දියුණු කාර්මික රටවල් හත රුසියාවට අනතුරු ඇඟවීමක් කරති.
රුසියානු හමුදාව අගනුවර සමීපයට පැමිණ ඇති බව යුක්රේනය පවසයි ක්‍රිමියාව රුසියාවට ඈඳා ගනු ලැබීම ජාත්‍යන්තර නීතියේ පැවැත්මට බලවත් අනතුරක් බවයි G7 කාර්මික බලවතුන්ගේ ප්‍රකාශනයක දැක්වෙන්නේ. රුසියාවේ අනුග්‍රහයෙන් ලබන ඉරිදා ක්‍රිමියාවේ පැවැත්වෙන ජනමත විමසුමට නෛතික බලයක් නැති බව කියා සිටින G7 ප්‍රකාශනය එම ජනමත විමසුමේ ප්‍රතිපලය පිළි නොගන්නා බවත් කියා සිටී. මේ අතර ප්‍රකාශයක් කරන යුක්රේනයේ ජාතික ආරක්ෂක ප්‍රධානියා සිය රටේ දේශසීමාව අවට හමුදාව තර කරමින් සිටින බවට අනතුරු ඇඟවීමක් කරයි. රුසියානු හමුදාව කීව් අගනුවරට 'පැය දෙකක්, තුනක් දක්වා සමීපයට' පැමිණ ඇති බව පවසන අන්ද්‍රේයි පරුබියි ඕනෑම ප්‍රදේශයකින් එල්ල වන ප්‍රහාරයකට මුහුණදීම පිණිස යුක්රේන හමුදා සීරුවෙන් තබා තිබෙන බවද පවසයි. යුක්රේනයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම පිණිස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී ලබන සිකුරාදා රුසියාවේ විදේශ අමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතයි.
ශ්‍රී ලංකා රජයට විරුද්ධව එල්ල වන මානව හිමිකම් කඩවීම් චෝදනා පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමට අපොහොසත් වීම මගින් ජාත්‍යන්තර ප්‍රජාව සිය වගකීම් පැහැර හැර ඇති බව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව බ්‍රිතාන්‍යවාසී දෙමළ ජනතාව බොහෝ උද්ඝෝෂණවල යෙදුනහ යුද සමයේ දී සිදු වූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වෙනු දැකීම දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව බවද සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රාජ් කුමාර් බීබීසී සංදේශයට පැවසීය. ශ්‍රී ලංකා රජයට විරුද්ධව එල්ල වන චෝදනා ගෙන විමර්ශනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජයට ම පැවරීම පිළිගත නොහැකි පිළිවෙතක් ලෙසිනුයි, ඔහු විග්‍රහ කරන්නේ. ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටින බව පැවසූ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය යුතුකම්වලින් බැහැර වී තිබෙන බවද ඔහු සඳහන් කළේය. යුද්ධය අවසන් වී වසර පහක් ගත වෙද්දීත් කඩවුණු මානව හිමිකම් පිළිබඳ විමර්ශනයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අපොහොසත් වී තිබෙන බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති. එබැවින් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම පිණිස ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ක්‍රියා කළ යුතු බවයි, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය අවධාරණය කරන්නේ.
ජනාධිපති බලතල අඩු කර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන 19 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය හා ඡන්ද විමසීම ලබන 27 හා 28 දක්වා කල් දැමීමට තීරණය කළ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීමට නියමිතව තිබුණේ අඟහරුවාදා(20) සහ බදාදා(21) යන දෙදින තුළයි. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය විරෝධතාව හේතුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ඇතිවූ උණුසුම්කාරී තත්වය මත පාර්ලිමේන්තුව අවස්ථා කිහිපයකදීම කල් තැබීමට කථානායකවරයාට සිදු විය. 19 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය 27 හා 28 යන දෙදින දක්වා කල් දැමීමට තීරණය වූයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමකදී. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.
හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි චීන - ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සහ ජනතාවගේ යහපත උදෙසා බව චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා රජය චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ ජාතික සංවර්ධනය මත පිහිටා කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාශ කරන බවත් දේශපාලන තත්වය වෙනස්වීම නිසා වැදගත් සහයෝගිතා ව්‍යාපෘති වලට බාධා සිදුවීමට ඉඩ නොහැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය . චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ මේ අදහස් දක්වා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ජාවකදීයි. කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට අවසරය ලැබෙන බව රජය ඊයේ, බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.
නව ආසාදිත පොකුරේ පළමු රෝගියා ලෙස හදුනාගත් කාන්තාවට නම් ඇයට වෛරසය අසාදනය වුයේ කෙසේද? නොඑසේනම් ඇය අදාළ ඇඟලුම් කම්හලේ වෛරසය අසාදනය වූ අනෙක් සේවකයින් අතරින් තවත් එක් අයෙකු පමණක් ද? එසේනම් ඔවුනට වෛරසය අසාදනය වුයේ කෙසේද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි.
මිනුවන්ගොඩ අදාළ කාන්තාව නව පොකුරේ මුල් රෝගියා ලෙස ඉරිදා (ඔක්. 04) හඳුනාගත් තැන් සිට අඟහරුවාදා සවස් වන විට හඳුනාගෙන තිබූ ආසාදිතයින් ගණන 832 ක් ලෙස සටහන් විය. දැනට හඳුනාගෙන ඇති පරිදි එම ආසාදිතයින් සියල්ල මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයෝ වෙති. එම කර්මාන්ත ශාලාවට වෛරසය ඇතුළු වූ ආකාරය මෙතෙක් පැහැදිලි නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මාධ්‍ය හමුවේ පැවසීය. ශ්‍රී ලංකාවේ පෙර හඳුනාගත් පොකුරු හා සසඳන විට සමාජය තුළ වෛරසය පැතිරීමේ වැඩි අවදානමක් නව පොකුරට ඇති බවත් මේ අවස්ථාවේදී වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් කටයුතු කළ යුතු විනා ආසාදිතයන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවීමට ක්‍රියාකළ යුතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. "අවදානම වැඩියි" "මේ හමුවන රෝගීන්ගෙන් හමුවන වෛරස් ප්‍රමාණය වැඩියි එනිසා මෙම රෝගියෙකුගෙන් වෙන කෙනෙකුට හැදෙන්න තියෙන අවදානම වැඩියි." යැයි කී වෛද්‍ය සමරවීර නව පොකුරේ මුල්ම ආසාදිතයා ලෙස හැඳින්වුණු කාන්තාව සම්බන්ධයෙන් බදාදා (ඔක්. 7) මෙසේ පැවසීය. "සැප්තැම්බර් 20 වනද සිටම ස්වසන රෝග, මෙවැනි සමාන රෝග ලක්ෂණ තිබුණු අය හිටියයි කියල වාර්තා වෙනවා. සමහර විට ඊටත් සතියකට දෙකකට කලින් වෙන්න පුළුවන්, මේ රෝග ව්‍යාප්තිය පටන් අරගෙන තියෙන්නේ. මේ කාන්තාව පළමුවන රෝගියා විදියට අපි හදුනාගත්තට රෝගය හැදුනු පළමු රෝගියා එයා නෙමෙයි. රෝගය හැදිච්ච පිරිසක් ඉන්නවා ඒ ආයතනයේ. මුළු පොකුරේම තොරතුරු හොයාගෙන තමයි මේකේ මුලාශ්‍රය හොයාගන්න පුළුවන් වෙන්නේ. එක පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්." මේ අවස්ථාවේදී ජනතාවට විශාල වගකීමක් ඇති බවත් පවසන වෛද්‍ය සමරවීර පෙන්වා දෙන්නේ බලධාරීන් අතින් ද මෙය ගිලිහි ගියහොත් ඉන්දියාව මෙන් මෙය ඉතාමත් බරපතල තත්ත්වයකට මුහුණ දීමට ඉඩ ඇති බවය. බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් ගැටලුවට මැදි ව සිටින 'බ්‍රැන්ඩික්ස්' ආයතනය නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ මිනුවන්ගොඩ පිහිටි කම්හල් පරිශ්‍රයේ සේවකයින් 1,394 දෙනෙකු පීසීආර් පරීක්ෂාවට ලක් කර ඇති බවය. දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පිරිසෙන් වැඩි කොටසකට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද එහි දැක්විණි. "ඉන්දියාවේ ෆැක්ටරියකින් ආපු ඕඩරයක් තමයි කර හිටියේ, මැහුවේ ටි ෂර්ට් එකක්, ලයින් අටක් විතර කර හිටියේ ඒක තමයි. අපිට කිව්වේ කොරෝන නිසා ඉන්දියාවේ වැහුණු ෆැක්ටරියක ඕඩර් එකක් කියලයි. ඒ රෙද්ද මහන්න ගත්තහම තමයි ළමයින්ට උණයි කැස්සයි හැදුණේ. ඒ රෙද්දේ ඩස්ට් එක ගොඩාක් තිබුණා," බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති වූ සේවිකාවක් බීබීසී සිංහල සේවයට පැවසුවාය. "අපි මාස්ක් මහල ඉවර උනගමන් තමයි ඕව මහන්න ගත්තේ ඉතින්. ටී ෂර්ට් එක මහන්න පටන් ගත්තහම ළමයි ලෙඩත් උනා, උණත් හැදිලා හිටිය ගොඩක් කට්ටියට. උණ හැදුන අයව යැව්වෙත් නෑ, වැඩ කෙරෙව්වා. ඒ රෙදි තවමත් ලොකර් රූම් වල තියෙනවා." යැයි කී ඇය වැඩිදුරටත් සඳහන් කළේ තමන් මෙන්ම දරුවන් දෙදෙනා හා ස්වාමිපුරුෂයා පීසීආර් පරීක්ෂණ වාර්තා බලාපොරොත්තුවෙන් නිවසේ නිරෝධායනය වන බවය. මේ අතර නම හෙළි කිරීමට අකමැති වූ තවත් සේවිකාවක් පැවසුවේ සේවිකාවන් හට උණ හා කැස්ස වැනි රෝග ලක්ෂණ තිබියදීත් ආයතනය තුළ ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කර දිගටම සේවයේ යෙදවූ බවය. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ඊමේල් මගින් ප්‍රතිචාර දක්වමින් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගමේ ආයතනික සන්නිවේදන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉමන්ති පෙරේරා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව කොවිඩ්-19 වැළැක්වීම සඳහා වන රෙගුලාසි බ්‍රැන්ඩික්ස් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති බවය. "වාහකයෙකුගේ ශරීරයෙන් පිටත කොරෝනා වයිරසයට පැවතිය හැක්කේ පැය කිහිපයක් පමණි. ආනයනික අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණීමට දින 10 - 20 ක් ගතවීමත් සමඟ වෛරසයට නොනැසී පැවතීමට හැකියාවක් නැත." එමෙන්ම "මිනුවන්ගොඩ ඇති අපගේ පරිශ්‍රයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද කිසිදු රෙදිපිළි භාවිතයක් නොකරන අතර ඉන්දියාවේ පිහිටි අපගේ පරිශ්‍රයෙන් කිසිදු ඇණවුමක් ලබාගෙන නොමැත." යනුවෙන්ද ඇය කියා සිටියාය. මේ අතර දැනට නිරෝධායනයට ලක්ව සිටින සේවකයින් කිහිප දෙනෙක්ද බීබීසී සිංහල සේවයට ප්‍රතිචාර සිය අත්දැකීම් හෙළි කළහ. "මම හොස්ටල් එකේ නිරෝධායනය වෙනවා මමයි තව පස්දෙනෙකුයි තමයි දැනට හොස්ටල් එකේ ඉන්නේ අනිත් අයව පොසිටිව් උනා කියල අරන් ගියා. මම වැඩ කරපු සේක්ශන් එකේ තමයි ඔය හැදුනු අනිත් අයත් වැඩ කළේ." යැයි නම හෙළි කිරීමට අකමැති වූ තවත් සේවිකාවක් පැවසීය. ඇය සඳහන් කළේ ආයතනය විසින් සපයන ලද වියලි ආහාර තවත් සතියකට පමණ සෑහෙන අතර තමන් පස්දෙනාට එක්ව එම ආහාර පිසගැනීමට සිදුව ඇති බවකි. ඒ අනුව නේවාසිකාගාරයේ වෙන වනම නිරෝධායනය වීම අපේක්ෂා කෙරුණද ආහාර පිසීමට එක්වීම හේතුවෙන් තමන් මෙන්ම නිරෝධායනය වන අනෙකුත් සේවකයන් මහත් අපහසුතාවයට පත්ව ඇති බව ද ඇය කියා සිටියාය. වෛරසය ඇතුළු වුයේ රට තුළින්ද, විදේශයකින් ද? මේ අතර නම හෙළි කිරීමට අකමැති වූ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයෙක් පැවසුවේ සිය ආයතනය ඉන්දියාවේ සිට තාක්ෂණ නිලධාරීන් ගෙන්වා සේවයේ යොදවන බැවින් එසේ පැමිණි අයෙකුගෙන් වෛරසය ව්‍යාප්ත වුවාදැයි යන්න පිළිබඳව ද ඇතැමුන් තුළ සැකයක් පවතින බවය. මේ චෝදනාවට ප්‍රතිචාර දැක්වූ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගමේ ආයතනික සන්නිවේදන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනිය, "අපගේ මිනුවන්ගොඩ මධ්‍යස්ථානයේ කිසිදු ඉන්දියානු හෝ විදේශීය පිරිස් සේවයේ යොදවා නොමැත. තවද, අපගේ වෙනත් ඕනෑම පරිශ්‍රයක් සඳහා මෙන්ම ඕනෑම විදේශීය අමුත්තකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිරෝධායන රෙගුලාසි අප සැමවිටම පිළිපදින්නෙමු." යැයි කියා සිටියාය. සදුදා (ඔක්. 05) කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දුන්නේ වෛරසය අදාළ ආයතනයට ඇතුළුවීමේ මූලාරම්භය සොයාගන්නා ලෙසය. එය විදේශයකින් පැමිණියේද නැතිනම් රට තුළින් ම අසාදනය වී දැයි සොයාගත යුතු බව ඔහු කියා සිටියේය. මේ පිළිබඳ විවිධ මත පවතින බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කොවිඩ්-19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පැවසීය. බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් අදාළ ඇඟලුම් කම්හලේ ස්ථිර සේවකයන් 1300 කට වැඩි ප්‍රමාණයක් සේවය කරන බව කී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ නිලධාරියෙකු පැවසුවේ ඔවුනට කොරෝනාවෛරසය කෙසේ ආසාදනය වීදැයි තවමත් තහවුරු කරගත නොහැකි වූ බවය. මෙම තොරතුරු ද දැනගන්න:
ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි හි රඳවා සිටින සරණාගතයින්, එහි පිහිටා ඇති රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වන බව වාර්තා වේ. රැඳවුම් මධ්‍යස්ථානය අවට එක්ව සිටින ප්‍රදේශවාසීන් "එළියට එන්න එපා" යැයි හඬ නගන බවට වාර්තා වූ අතර සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බියට පත් රැඳවියෝ, මධ්‍යස්ථානය වසා දැමීමෙන් සිය මානව හිමිකම් කඩවන බවට තර්ක කරති.
ප්‍රදේශයේ ජනතාවගෙන් තම ජීවිතයට තර්ජන එල්ල වනු ඇති බවට මැනුස් කඳවුරේ සරණාගතයෝ බිය පළකරති බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයින් නවතාලන ඔස්ට්‍රේලියාව ඔවුන් රඳවනු ලබන්නේ පැපුවා නිව්ගිනි හි මැනුස් දුපතේ සහ නාවුරු දුපතෙහිය. මැනුස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බව තීන්දුවීමත් සමග එය වසා දැමීමට නියමිතය. රැඳවුම් කඳවුර වසා දැමීම හේතුවෙන් තමන්ට ජලය, විදුලි බලය සහ ආරක්ෂාව නොමැතිවීම තුළින් සිය මානව හිමිකම් උල්ලංඝනයවන බවට රැඳවියෝ තර්ක කරති. මෙය හැර යාම බොහෝ රැඳවියෝ ප්‍රතික්ෂේප කරති. පැපුවා නිව්ගිනි වේලාවෙන් අඟහරුවාදා (ඔක් 31) සවස 5 ට (07:00 GMT) රැඳවුම් මධ්‍යස්ථානයට දී ඇති විදුලි, ජලය හා ආහාර සැපයුම් නතර කරන බවට ප්‍රාදේශීය බලධාරීන් අනතුරු අඟවා ඇති අතර හෙට අලුයම වන විට පැපුවා නිව්ගිනි ආරක්ෂක බලධාරීන්ට මධ්‍යස්ථානයට ඇතුළුවීමට ඉඩ සැලසෙනු ඇත. පැපුවා නිව්ගිනි රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට සූදානම් සාමකාමී උද්ඝෝෂණයක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි බීබීසී සමග පැවසු සරණාගතයින්, ජලය, බිස්කට් මෙන්ම වැසි ජලය රැස්කිරීමට පටන්ගෙන තිබේ. රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයින් පිටව ගිය පසු ප්‍රදේශයේ පුද්ගලයින් එම පරිශ්‍රය කොල්ලකෑමට පටන්ගත් බව ද රැඳවියෝ පවසති. ජලය හා විදුලිය කපා හරින බවට රැඳවියන්ට කළ දැනුම්දීමක් වගකීම කා අතේ ද ? සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බිය පළකරන 600 ක් පමණ වූ සරණාගතයින් මෙන්ම දේශපාලන රැකවරණ පතන්නෝ මැනස් දූපතේ තාවකාලික නවාතැන්පොළ වෙත යාම ප්‍රතික්ෂේප කළහ. මීට පෙරදී වූවාක් මෙන්, මෙම කණ්ඩායම ප්‍රදේශයේ පුද්ගලයින් එල්ලකරන "නිරීක්ෂණය නොවන ප්‍රචණ්ඩත්වයට" ලක්විය හැකි බවට පසුගිය සතියේදී හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු ඇඟවීය. අදාළ පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට මාරු කිරීම එරට ආණ්ඩුව විසින් නිරන්තරයෙන් බැහැර කරනු ලබන්නේ එය මිනිස් ජාවාරමට දිරිදීමක් මෙන්ම මුහුදේදී මිනිසුන් මියයාමට තුඩුදෙන්නක් බවට තර්ක කරමිනි. කෙසේවෙතත්, එම පුද්ගලයින්ට මේ දක්වා දෙනු ලබන සහන සැපයීම ඔස්ට්‍රේලියාව සතු වගකීමක් බව පැපුවා නිව්ගිනි පවසයි. එසේ වුවද, ඔස්ට්‍රේලියාව පවසන්නේ එය පැපුවා නිව්ගිනිහි වගකීමක් බවය. ආරක්ෂාව සංක්‍රමණිකයින්ට නීති සහය දෙන නීතිඥයකුවන ග්‍රෙග් බාර්න්ස් පවසන්නේ, රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීම තුළින් පැපුවා නිව්ගිනි ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මානව හිමිකම් උල්ලංඝනය වන බවය. "මේ මිනිස්සු ප්‍රහාරවලට වගේම ශාරීරික හිංසනයට ගොදුරුවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අපේ අරමුණ ඔවුන්ගේ ව්‍යවස්ථාපිත හිමිකම් රැකදීමයි" යනුවෙන් ඔහු බීබීසී සමග පැවසීය. "ඔවුන්ව දැන් නිකන්ම වීථියේ අතහැර ගියා වගේ. මේ සිදුවන දේ නීති විරෝධියි." දුපතේ ඇති විකල්ප මධ්‍යස්ථානයකට එම පුද්ගලයින් බලහත්කාරයෙන් යැවීම වළකාලීම සඳහාත් ඔවුන්ව ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් ආරක්ෂාකාරී තුන්වෙනි රටකට යවන ලෙසත් ඉල්ලුම් කර ඇත. පැපුවා නිව්ගිනි හි ස්ථිරව රැඳීම, කාම්බෝජයේ ජීවත්වීමට ඉල්ලීම හෝ නාවුරු වෙත මාරු කර යවන ලෙස ඉල්ලීමට සරණාගතයින්ට හැකි නමුත් නීතිඥයන් පවසන පරිදි එම විකල්ප වෙත ගොස් තිබෙන්නේ සුළු පිරිසක් පමණි. විකල්පයක් ලෙස, පැපුවා නිව්ගිනි සහ නාවුරු හි සිටින සරණාගතයින්ගෙන් 1,250ක් දක්වාවූ පිරිසක් පදිංචිය පිළිබද එකඟතාවකට අනුව භාර ගැනීමට අමෙරිකාවටද පුළුවන. කෙසේවුවත්, එම අයදුම් ක්‍රියාදාමයට කෙතරම් කලක් යාවිද යන්න පිළිබඳව ඇමෙරිකාව තක්සේරුවක් දී නැති අතරම ඔවුන් සියල්ලම භාර ගැනීමටද බැදී නැත. පසුගිය ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම පැවසුවේ මධ්‍යස්ථාන දෙකේම සිටින රැඳවියන් 1,700 දෙනාටම සරණාගත තත්ත්වය පිරිනමා ඇති හෝ ඒ සම්බන්ධ තීරණය අපේක්ෂාවෙන් සිටින බවය. තවත් 400 දෙනෙකුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇත. 2001 වසරේ වසාදැමීමට පෙර මුලින්ම මැනුස් දුපතේ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාව විසින් අරඹනු ලැබුවේ 2001 වසරේදීය. එය යළි 2012 දී විවෘත කෙරිණි. 2013 සිට දේශපාලන රැකවරණ පතන්නන් 6 දෙනෙකු එහිදී මියගොස් ඇති අතර එම පිරිස අතරට කෝලාහලයක දී මියගිය රෙසා බරාටි නම්වූ ඉරාන ජාතිකයාද අයත්විය.
වසර දෙදහස් විසි අට වනවිට ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයක් වාර්තා කරමින් චීනය අභිබවා යාමේ ලකුණු පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ අලුත් වාර්තාවක් පෙන්වා දෙයි.
ඉන්දියානුවන් වැඩි කලක් ජීවත් වීම ජනගහන වර්ධනයට එක් හේතුවක් ලෙස සැලකේ මෙම සියවසේ මැද භාගයේදී සමස්ත ලෝක ජනගහනය බිලියන 7.2 සිට 9.6 දක්වා වර්ධනය වීම අපේක්ෂා කරන බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ. පෙර ගණන් බලා තිබුනාට වඩා වැඩි වේගයකින් ලෝක ජනගහනය වර්ධනය වන බවත් එයට සංවර්ධනය වන රටවලින්, විශේෂයෙන්ම අප්‍රිකාවෙන් වැඩි පුර දායකත්වයක් ලැබෙතැයි ද බලාපොරොත්තු වන බවත් වාර්තාවේ සඳහන්. ඉන්දියාව චීනය වැනි රටවල මෙතෙක් දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්වා නැතත් ඉන්දියාව ජනගහන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඉන්දියානුවන් වැඩි කලක් ජීවත් වීම මෙයට එක් හේතුවක් ලෙස සැලකේ. එබැවින් 2028 දී ඉන්දියාවේ හා චීනයේ ජනගහනය බිලියන 1.45 බැගින් වනු ඇතැයි අපේක්ෂිතයි.
ශ්‍රී ලංකාව තුළ දිනකදී හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවා පසුගිය දිනවල හමුවීමත් සමඟ මේ වන විට රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම්වල ධාරිතාව උපරිම මට්ටමකට පැමිණෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පැවසූහ.
මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. පසුගිය දින 10ට ආසාදිතයින් 13,000ක් හමුවී ඇති බව පවසන ඔහු, කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්‍ෂණ සිදු කරනු ලැබුවද රසායනාගාර වාර්තා ප‍්‍රමාදවීම නිසා දෛනිකව ප‍්‍රකාශයට පත් කෙරෙනුයේ සැබෑ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නොවන බව කියා සිටී. හුදකලා කරන ලද ප්‍රදේශයක යොදවා සිටින ආරක්ෂක හමුදා සාමාජිකයන් රට තුළ පවතින කොවිඩ් -19 අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටී. බ්‍රිතාන්‍යයේ පැතිරෙන B.1.1.7 යන කොරෝනා වෛරස ප්‍රභේදය මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවත් ඉන්දියාවේ පැතිරෙන වෛරස් ප්‍රභේදය මේ වන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් හමුවී නොමැති බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජිවන්දර මාධ්‍ය හමුවේ පැවසීය. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මාධ්‍ය හමුවේ පැවසුවේ තරුණ පරපුර මෙම නව ප්‍රභේදයේ ගොදුරක් වී ඇති අතර මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකකක ධාරිතාව උපරිම මට්ටමකට ළඟාවී ඇති බවය. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, රජයේ රෝහල් 1105 ක් ඇත. ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 1000 කටම ඇඳන් 3.5 ක් ඇති අතර පුද්ගලයින් 1,117 කට එක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සහ පුද්ගලයන් 10,000 කට හෙදියන් 17.2 ක් සිටී. රජයේ රෝහල්වල ඇඳන් 74526 ක් ඇත. ඇඳන් 5120 ක් සහිත පෞද්ගලික රෝහල් 200 ක් ද ඇත. ශ්‍රී ලංකාවේ දැඩිසත්කාර එකක (ICU) ඇඳන් 700 ක් ඇති අතර, එම ඇඳන් වලින් 146 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇත බවට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශකරයි. ඔක්සිජන් පහසුකම් මේ වන විට රට තුළ ඇති ආයතන දෙකකින් නිපදවන ඔක්සිජන් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්ත වෛද්‍ය පරිභෝජනය මෙන් තුන්ගුණයක් බව එම ආයතන දෙකේ නිලධාරීහු බීබීසී සිංහල සේවය සමග පැවසූහ. දැනට ශ්‍රී ලංකාවේ දෛනික වෛද්‍ය ඔක්සිජන් අවශ්‍යතාව දිනකට ටොන් 35 කි. ශ්‍රී ලංකාවට ඔක්සිජන් නිපදවන සමාගම් දෙකෙහි දෛනික ඔක්සිජන් නිපැයුම් හැකියාව ටොන් 90 ක් වේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඔක්සිජන් නිෂ්පාදන ආයතන දෙකෙන් එක් ආයතයක් වන ඉන්ඩ්ස්ට්‍රියල් ගෑස් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ගුරුගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ සිය සමාගම මෑතකදී ධාරිතාව ඉහළ නංවා ඇති බැවින් දැනට සපයන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් සැපයීමේ හැකියාව ඇති බවකි. රටට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් නිෂ්පාදනය කරන නමුත් ඔක්සිජන් සැපයීමට අවශ්‍ය ටැංකි වැනි යටිතල පහසුකම් වල හිඟයක් ඇතැම් රෝහල්වල පැවතිය හැකි බව එම සමාගම් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. කොරෝනා වෛරසය ; ශ්‍රී ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ළඟා වෙයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මේ වන විට රෝහල්වලට අඛණ්ඩව ඔක්සිජන් සැපයීම සඳහා රජයේ රෝහල්වලට නව ටැංකි සැපයීමත් සමඟ රෝහල්වල යටිතල පහසුකම් වැඩි කිරීමට රජය ක්‍රියා කරන බවයි.කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය සැලකීමේදී දිවයිනේ ඕනෑම රෝහලකට දිනක් තුළදී ඔක්සිජන් සැපයිය හැකි බව ඔහු තවදුරටත් පැවසීය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ "දැනට හඳුනාගන්නා රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතය ඔක්සිජන් ලබාදිය යුතු මට්ටමේ අය. එය යම් ආකාරයකට අවදානම් තත්ත්වයක් වගේම වහාම ඔක්සිජන් තොග ගබඩා කර ගත යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළා මේ සදහා අවශ්‍ය තොග පවතිනවද නැතිනම් ඒ සඳහා සාමාන්‍ය රෝහල් සේවාවන් පවත්වාගෙන යන්නේ කෙසේද, ඔක්සිජන් අතිරික්ත සංචිත පවත්වාගැනීමේ වැදගත් කමත් සාකච්ඡා කරලා ඒ සදහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා." යනුවෙනි. වෛරසයේ වත්මන් තත්ත්වය පවතින තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළ කළ ශ්‍රී ජවර්ධනපුර විශ්විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානී මහාචාර්‍ය නීලීකා මලවිගේ පෙන්වා දුන්නේ සීඝ්‍රයෙන් ඉහළ යන ආසාදිත සංඛ්‍යාව හේතුවෙන් රට ඉතාමත් බැරෑරුම් තත්ත්වයකට පත්ව තිබෙන බවකි. "මෙහිදී වඩාත් වැදගත් වන්නේ සෞඛ්‍ය අංශය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමයි," ඇය පැවසීය. "අද අප මේ මුහුණ දෙමින් සිටින්නේ, අනෙකුත් සියලුම රටවල් B.1.1.7 ප්‍රභේදය හඳුන්වා දීමෙන් පසු අත්විදි අවස්ථාවටයි. මෙම ප්‍රභේදය ඉතා ඉහළ සම්ප්‍රේෂණ අගයක් සතුයි. එම නිසාම ආසාදිත සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීමත්, මෙම ආශ්‍රිත රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ ගණන වර්ධනය වීමත් හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අසීරුතාවයකට පත් විය හැකියි." "මෙම ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ අනෙක් රටවල්හි ආසාධිතයන් වර්ධනය වූ හැටි බලන්න. සංඛ්‍යා ඉහළ ගියේ නොසිතු අයුරින්. අපේ රටේ දැන් සිදුවෙමින් පවතින්නේද මෙම තත්ත්වයමයි." ඇය තවදුරත් පැවසුවේ එක්සත් රාජධානියේ ප්‍රභේදය, B.1.1.7, පළමු ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමට උපකාරී වන විකෘතිතා පවතින බවය. එබැවින් එය මුල් ප්‍රභේදයට වඩා වැඩි වේගයෙන් පැතිරේ. ඉදිරි සති කිහිපයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුවේදැයි යන පැනයට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ "එය තීරණය වන්නේ මෙය පාලනය කිරීම සදහා යොදා ගන්නා ක්‍රමවේදයන් මතයි. බලධාරින් දැනටමත් නොයෙක් සීමාවන් පනවා තිබෙනවා. ප්‍රිය සම්භාෂණ, උත්සව යනාදිය තහනම් කිරීම අවස්ථාවේ හැටියට ඉතා හොඳ පිළියමක්. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මෙම පිළියම්වල බලපෑම කෙසේද යන වග බලා ගැනිමට තව සති දෙකකින් පමණ හැකි වෙයි." "ඉන්දියාව හා නේපාලය අත්විදින කනගාටුදායක තත්ත්වය අපිට පෙනෙනවා. අනෙක් ප්‍රභේදයන් රට තුළට පැමිණීම වලක්වා ගැනීමේ වගකීම අප සතුයි." වෛරසය සම්ප්‍රේෂණය අඩු කිරීමට කළ යුත්තේ කුමක් ද? මිනිසුන් එකිනෙකා සමඟ කටයුතු කිරීම වැළැක්වීම හෝ අවම කිරීම, නිවසේ සිට වැඩ කළ හැකි සියලුම පුද්ගලයින් නිවසේ සිට වැඩ කළ යුතු අතර සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ සඳහා සැලැස්මක් සකස් කිරීමට උත්සාහ කිරීම තුළින් දැනට ශ්‍රී ලංකාවේ මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම අඩු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ලෙස මහාචාර්ය නීලීකා මලවිගේ පෙන්වා දුන්නාය. "අත්‍යවශ්‍ය වැඩ වලට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට හැර මිනිසුන් නිවසින් පිට නොවිය යුතුයි." "කෙසේ වෙතත්, මා දකින අයුරින්, ආසාදිතයන් ගණන හැකි පමණින් අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීමකදී අවම වශයෙන් දින 7ක් හෝ වැඩි ගණනක් රෝහලේ රැඳෙනවා. මෙය ඩෙංගු වැනි අනෙක් බෝවන රෝග වලට වඩා බොහෝ සෙයින් වෙනස් තත්ත්වයක්. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය අංශ දැඩි අසීරු තත්ත්වයකට පත්වන බව මම යළි යලිත් කියන්නේ එම නිසයි. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය අංශයට ක්‍රියාත්මක විය හැකි සීමාවන් තිබෙනවා. එම සීමාවට පැමිණි පසු සිදුවන්නේ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. එම තත්ත්වය වලක්වා ගැනීම හා අවම කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු වනවා." දිගු කාලීනව ගතහැකි හොඳම පිළියම එන්නත්කරණයයි. කෙසේ වෙතත්, එන්නත ලබා දීමෙන් පසු, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය මගින් ආරක්ෂාව සැපයීම සඳහා අවම වශයෙන් දින 21 වත් ගත වෙන හෙයින් දැනට උද්ගතව ඇති තත්ත්වය සඳහා පිළියමක් ලෙස එන්නත භාවිතා කල නොහැකි බවට ඇය පැවසීය. මෙම තත්ත්වය හැකි අයුරින් පාලනය කලයුතු අතර දිගු කාලීනව පිළියමක් ලෙස එන්නත ලබා දිය හැකි බවට ඇය පැවසීය. නව වෛරස ප්‍රභේදය වාතයෙන් පැතිරෙන්නේද? රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ පවසන පරිදි නව ප්‍රභේදයේ බිඳිති වාතයේ පැයක පමණ කාලයක් පවතින බවට නවතම පර්යේෂණ වාර්තාවන් පෙන්නුම් කරයි. ආචාර්ය චන්දිම ජිවන්දර පවසන්නේ ඉතා කුඩා බිඳිති වාතයේ වැඩි කාලයක් පාවීම නිසා මෙය වාතය මගින් බෝවන ප්‍රවනතාවක් පෙන්නුම් කරන බවය. බොහෝ විට සංවෘත ස්ථානයන් හිදී සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි අතර විවෘත හා එළිමහන් ස්ථානන්යන් හි දී වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු බව ද ඔහු කියා සිටියේය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසන්නේ වෛරසය වාතය මගින් ව්‍යාප්තවිමක් පිළිබඳ විවිධ වාර්තා පළවූවත් මෙතෙක් එය තහවුරුවී නොමැති බවකි. එය සම්ප්‍රේෂණය වීමේ ප්‍රධානම ක්‍රමය නම් මිනිසුන් සමීපව සිටීම හෝ සෘජු සබඳතා බව ද ඔවුහු පවසති. ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන්, සංවෘත ස්ථානවලට සීමා වී සිටිමෙන් සහ සමීප සම්බන්ධතා පවත්වාගැනීමෙන් වැළකීම මෙන්ම පුද්ගල දුරස්ථභාවය, සමූහයන් ලෙස රැස්නොවීම, කිවිසිමේ දි හා කැස්ස ඇතිවිටදී භාවිත කළ යුතු චර්යා රටා අනුගමනය කිරීම, විෂබීජහරණ පිළිවෙත්, දෑත් සේදීම, විෂබීජ නාශක දියර යෙදීම හා නිසි අන්දමට මුව ආවරණ පැළඳීම මගින් මෙම වෛරසය බෝවීම අවම කිරීමට හැකි බව බොහෝ සාක්ෂි සහිතව ඔප්පු කර ඇති ක්‍රම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පැවසීය. රජය ගෙන ඇති පියවර පවත්නා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවරයන් ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවාය. "අපි ICU එකට ගෙන්න කලින් නවත්තගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පැතිරීම වලක්වගන්න. නමුත් ICU capacity (ධාරිතාව) එකත් වැඩිකරගෙන යනවා. ඒවාවල පොඩි අඩුපාඩු තියෙනවා සමහර ඒවා වල staff අඩුයි. ඒවා හදාගෙන යනවා. අදාළ නර්ස්ලා ලබාදීලා ඒ වැඩකටයුතු කරගෙන යනවා. වැඩියෙන්ම ඕන hydro oxygen නේ එක නිකන් ward එකක bed එකක් උඩ හරි ඔක්සිජන් දෙන්න පුළුවන් නේ ඒ ටිකට සුදානම තියෙනවා." "වසංගත තත්ත්වය ප්‍රබලව පැවතුනොත් එය අපේ ධාරිතාවය ඉක්මවායාමේ ප්‍රබල ඉඩක් තියෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම ඉල්ලන්නේ තවමත් මේ කාරණය තේරුම් අරගෙන නැතිනම් සංචරණය සීමා කරන්න. ඒ වගේම මුවආවරණ පැළඳීම දුරස්ථභාවය වගේම විෂබීජහරණ ක්‍රියාවලියට අනුගත වෙන්න කියන කාරණය තමයි අපි ඉල්ලන්නේ." මේ අතර සෞඛ්‍ය පහසුකම් ධාරිතාව උපරිම මට්ටමට පැමිණීම හේතුවෙන් ආයුර්වේද රෝහල් වෙත ද කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවසර දී තිබේ.
කෑගල්ල, හෙට්ටිමුල්ලේ ධම්මික බණ්ඩාර විසින් සකසන ලද ඖෂධයක් යැයි පැවසෙන 'කොරෝනා ප්‍රතිශක්ති ජීව පානය' බෙදා දීමේ "දන්සල" වෙත දහස් ගණනක පිරිසක් අඟහරුවාදා (දෙසැම්බර් 08) පැමිණ සිටියහ.
එම පිරිස පාලනය සඳහා පොලිස් නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද යොදවා තිබිණි. එහෙත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියා කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ඒ තුළින් දැඩි සෞඛ්‍ය අවදානමක් මතුවන අතර එය ඉතා භයානක තත්ත්වයක් බව ද කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය. මේ ගැනත් දැනගන්න:
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 13 දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට නියමිත විශේෂ ඒකාබද්ධ දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමට සහබාගි නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරම් පවසයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන මහ ඇමති විග්නේශ්වරන් කියා සිටින්නේ තම පළාත් සභාවට එරෙහිව මධ්‍යම රජය ජනතාව නොමග යවන ප්‍රචාරයන් සිදු කරන බව. උතුරේ සංවර්ධනය පිණිස රුපියල් බිලියන හයක් වෙන්කර ඇති බවත් එයින් සුළු ප්‍රමාණයක් පමණක් වැය කිරීමට උතුරු පළාත් සභාව ක්‍රියා කර ඇති බවටත් රජය කරන ප්‍රකාශය ඔහු ප්‍රතිෂේප කරයි. ඉඩම් බල පත්‍ර ඔක්තෝබර් 12 දා කිලිනොච්චියේදී පුද්ගලයන් විසිදහසකට ඉඩම් බල පත්‍ර බෙදා දීමට රජය තීරණය කිරීම මැතිවරණ උප්පරවැට්ටියක් ලෙස තම ලිපියෙන් චෝදනා කරන ප්‍රධාන ඇමති විග්නේශ්වරන් මෙවැනි කපටිකම් වලට සහය දැක්වීමට මහජන නියෝජිතයන්ට උතුරේ ජනතාව බලය පවරා නොමැති බවයි කියා සිටින්නේ. මේ අතර රජය කියා සිටින්නේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශයන්ට අනුකූලව ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව.
ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍ර‍තිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිති.
ප්‍රතිකාර සඳහා ඔක්සිජන් සපයා ගැනීම බරපතල ගැටලුවක් වී තිබේ අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු තත්ත්වයට පත්කර තිබේ. උදාහරණයක් වශයෙන්, නිෂ්ඵල වූ ගෘහස්ථ ක්‍ර‍මවේද මගින් ඔක්සිජන් සංතෘප්ත මට්ටම ඉහළ නංවාගත හැකි බව එම තොරතුරුවලින් කියැවේ. නෙබියුලයිසර් මගින් ඔක්සිජන් සපයනු නොලබයි මුළු මහත් දේශය පුරා ඔක්සිජන් සැපයුම වෙනුවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් මේ වන විට පැන නැගී ඇති අතර, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලුවලදී වෛද්‍යවරුන් අදාළ ඖෂධ රෝගියාට ලබා දීමට යොදාගන්නා 'නෙබියුලයිසර්' ලෙසින් හඳුන්වන කුඩා උපකරණයක්, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවට වෛද්‍යවරයකු කරන ප්‍ර‍කාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ එම වීඩියෝවෙහි අන්තර්ගත වූ පරිදි අදාළ වෛද්‍යවරයා එම උපකරණය භාවිත කළ යුතු ආකාරය පෙන්වා දෙමින් හින්දි භාෂාවෙන් ප්‍ර‍කාශ කරන්නේ "මේ මගින් (නෙබියුලයිසර් උපකරණය) සැපයීමට තරම් ප්‍ර‍මාණවත් ඔක්සිජන් අපගේ වටපිටාවෙහි තිබෙනවා" යනුවෙනි. 'නිබියුලයිසර්' නිර්මාණය කර ඇත්තේ ශ්වසන ඖෂධ සැපයීම සඳහා වුව ද කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සැපයීමක් සිදු කළ නොහැක එම වීඩියෝ පටයේ ඔහු වැඩිදුරටත් පවසන්නේ "ඔබට අවශ්‍ය වන්නේ නෙබියුලයිසරයක් පමණයි. එමගින් ඔබට අවශ්‍ය ඔක්සිජන් ඇදගත හැකියි" යනුවෙනි. ඔහුගේ ප්‍ර‍කාශනය ඇතුළත් පළකිරීමේ දැක්වෙන නවදිල්ලි නගරය ආසන්නයේ පිහිටා ඇති රෝහල, අදාළ වීඩියෝ පටයේ වගකීම භාර නොගනිමින් පෙන්වා දුන්නේ මෙම නෙබියුලයිසර් උපකරණය භාවිත කිරීම "සාක්ෂි හෝ විද්‍යාත්මක අධ්‍යයන" මගින් සනාථ කර නොමැති බවය. එසේම අමතර ඔක්සිජන් සැපයීම කෙරෙහි මෙම ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම ප්‍ර‍තිඵල රහිත බව වෙනත් වෛද්‍ය වෘත්තිකයින් ද පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් පළ වූ විවේචනවලට පිළිතුරු ලබා දෙමින්, අදාළ වෛද්‍යවරයා යළිත් වීඩියෝවක් නිකුත් කරමින් පවසා සිටියේ සිය පණිවිඩය "වරදවා අවබෝධ කරගෙන" ඇති බවය. නෙබියුලයිසර් උපකරණය, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවක් තමන් අදහස් නොකළ බව ඔහු කියා සිටියේය. කෙසේවෙතත්, මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ තවදුරටත් සංසරණය වෙමින් පවතී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි ද පසුගියදා පැවති රැස්වීමකදී මෙම වීඩියෝවෙහි රූපරාමු ගෙනහැර දැක්වීය. "බොහෝ වෛද්‍යවරු සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාහරින අතර දුරකථන සහ වට්ස්ඇප් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා" යනුවෙන් අගමැතිවරයා ප්‍ර‍කාශ කළ අවස්ථාවේදී අදාළ වීඩියෝවෙන් ලබාගත් රූපරාමු පෙන්වූවත් එහි හඬ යොදා නොගැණුනි. ශාකසාර ඖෂධ මගින් ද ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමක් නොකරයි ඔක්සිජන් මට්ටම පහළ යාම වැනි කොවිඩ් 19 වසංගත රෝග ලක්ෂණවලට ප්‍ර‍තිකාර වශයෙන් නිවසේදී සාදාගත හැකි විවිධ ශාකසාර බෙහෙත් වට්ටෝරුවලින් මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගොසිනි. මේ අතරින් විශාල පිරිසක් අතර හුවමාරු වන එක් 'ප්‍රතිකර්මයක්' මගින් කියවෙන්නේ කපුරු, කරාබු නැටි, කැරම් බීජ සහ යුකැලිප්ටස් තෙල් ඇසුරින් සාදාගන්නා මිශ්‍රණයක් කොවිඩ් 19 වසංගත රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට ඔක්සිජන් මට්ටම පවත්වාගෙන යාමට උපකාරී වන බවය. ශාකසාර අත්බෙහෙත්වලට ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමට නොහැක කොරෝනා වෛරසයට ගොදුරුවූවන්ට මෙමගින් සහනයක් ලැබෙන බවට මෙතෙක් සාක්ෂි මගින් සනාථ කර නොමැත. ඉන්දියාවේ සාම්ප්‍ර‍දායික ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම මිශ්‍ර‍ණය ප්‍ර‍වර්ධනය කරන වීඩියෝව ෆේස්බුක් ඔස්සේ 23,000 ට වැඩි වාර ගණනක් මෙන්ම වට්ස්ඇප් ඔස්සේ ද හුවමාරු කර ඇත. සාමාන්‍යයෙන් කපුරු තෙල්, සමේ ගල්වන ආලේපන වර්ග සහ විලවුන් නිෂ්පාදනයේදී පුළුල් වශයෙන් යොදාගන්නා අතර ශරීර අභ්‍යන්තරට අදාළ පරිභෝජනය අහිතකර විය හැකිය. රෝග පාලනය පිළිබඳ එක්සත් ජනපද මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කපුරු වාෂ්ප ආශ්වාස කිරීම විෂවීමට ද ඉඩ ඇති බවය. 'ලෙමන්' ද ‍විසඳුමක් නොවේ. ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු පසුගියදා ප්‍ර‍කාශයක් කරමින් සඳහන් කළේ ලෙමන් බිංදු දෙකක් නාසයට දැමීමෙන් ඔක්සිජන් සන්තෘප්ත මට්ටම ඉහළ නැංවෙන බවකි. විජේ සන්කේශ්වර් නැමැති එම පුද්ගලයා පවසා සිටියේ ඔක්සිජන් මට්ටම ඉතා අවම තත්ත්වයේ සිටි තම සගයින්ට මෙම ප්‍ර‍තිකාරය තමන් යෝජනා කළ බවය. පැය භාගයක් ඇතුළත ඔවුන්ගේ ඔක්සිජන් මට්ටම 88% සිට 96% දක්වා ඉහළ නැංවුණු බව කී ඔහු ඉන්දියාවේ දැනට පවතින ඔක්සිජන් හිඟයෙන් 80%ක ප්‍ර‍තිශතයක් මෙම ක්‍ර‍මය ඔස්සේ විසඳාගත හැකි බව පැවසීය. ඔක්සිජන් සංතෘප්ත මට්ටමට ගෙන ඒම සඳහා ලෙමන් බින්දු ඉසීමට යෝජනා කරන විජේ සන්කෙශ්වර් කෙසේවෙතත්, ඔක්සිජන් සංතෘප්ත මට්ටම මෙම ක්‍ර‍මය තුළින් ඉහළ නැංවෙන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැත. මායා බලයක් ද නැත ඉන්දියාවේ ජනප්‍රියතම යෝගා ගුරු ලෙස සැලකෙන බාබා රාම්දේව් ප්‍ර‍වෘත්ති නාලිකා මෙන්ම ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ පෙනී සිටිමින්, නිවසේදීම ඔක්සිජන් මට්ටම ඉහළ නංවාගන්නා ආකාරය පෙන්වා දෙයි. "ඔක්සිජන් නොමැති බැවින් මුළු රටම එකම අඳෝනාවක් බවට පත්වෙලා තිබෙනවා. නමුත්, මම ඔබට මැජික් එකක් පෙන්වන්නම්" යනුවෙන් ඔහු පැවසුවේ තමන්ගේ එක් ඇඟිල්ලක ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන උපකරණයක් සවිකරමිනි. යෝගා ගුරු බාබා රාම්දෙව්ගේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනිය යූටියුබ් ජාලයේ ඇති මෙම වීඩියෝව 300,000ට වැඩි පිරිසක් නරඹා ඇති අතර වාඩි වී සිටින ඉරියව්වෙන් හුස්ම රඳවා තබාගන්නා ආකාරය පෙන්වන ආශ්වාස ප්‍ර‍ශ්වාස ව්‍යායාම ක්‍ර‍ම ඔහු එහි පෙන්වා දෙයි. නිර්දේශිත සීමාව ඉක්මවා ඔහුගේ රුධිරගත ඔක්සිජන් ප්‍ර‍මාණය පහළ බසිනු එහි පෙන්නුම් කරයි. පසුව ඔහු සඳහන් කළේ "මෙයට (ඔක්සිජන්) පහළ බැසීමට තත්පර 20ක් ගත වුණා. ගැඹුරින් දෙවරක් හුස්ම ගැනීමෙන් ඔබට ඔක්සිජන් ලබාගත හැකියි. එය ඕනෑ තරම් අපේ වටපිටාවේ තිබෙනවා." යනුවෙනි. සාමාන්‍යයෙන් යෝගා පුහුණු වීම ඔබේ සෞඛ්‍යයට හිතකර වුවත්, කොවිඩ් 19 වැනි සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයක ඔක්සිජන් සංතෘප්ත බව පහළ බැස ඇති අවස්ථාවකදී අතිරේක වෛද්‍ය ප්‍ර‍තිකාරමය ඔක්සිජන් ලබාගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. "ඔක්සිජන් මට්ටම පහළ බැස ඇත්නම්, මෙම තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුනහොත්, එයට අවශ්‍ය මොහොතේ ප්‍ර‍තිකාර නොකළහොත්, සෛල හොඳින් ක්‍රියාකිරීම නවතිනවා. එසේම, ජීවිතය බේරාගැනීමට ලබාගත හැකි ප්‍ර‍තිකාරය වන්නේ වෛද්‍යයමය ඔක්සිජන් සැපයුමයි," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ජැනට් ඩයස් ප්‍ර‍කාශ කරන්නීය.
'' මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා."
හලාවත ධීවර වාරයේ නවතා ඇති බෝට්ටු හලාවත වැල්ල ගම්මානයේ පදිංචි තිස්තුන් හැවිරිදි වර්ණකුලසුරිය ඉනෝකා දිෂානි කොවිඩ් 19 හමුවේ තමන් මුහුණ දී ඇති තත්ත්වය එසේ විස්තර කළාය. ඉනෝකාගේ කතාව අද වන විට රටේම ධීවරයාගේ කතාව බවට පත්ව ඇති අතර මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අශ්‍රිතව කෝවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමයි. මේ තත්ත්වය සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් නමුත් ඒ වන විටත් රටේ ප්‍රධාන ධීවර වරාය කිහිපයක් හා ධීවර වෙළෙඳසල් කිහිපයක් අතර කෝවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබිණි. ධීවරයන් නොසලකාහැරලා හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් හතරක් පමණ අතැතිව සිටි ඉනෝකා දිෂානි මෙසේද කීවාය. "ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද? ඉනෝකා දිෂානි ඇයගෙන් මාළු මිලදී ගැනීමට පැමිණි නිහාල් ප්‍රනාන්දු කතාවට එකතු විය. "මම මේ හාල්මැස්සෝ ටිකක් ගන්න ආවේ කුඩා මාළු කෑවම ප්‍රතිශක්තිකරණය වඩනවා කියන නිසයි. නැතුව මට මාළු නැතුව නෙමෙයි. පුළුවන් නම් එන්න හලාවත ජැටියට පෙන්නන්න. මගේ බෝට්ටුවේ විතරක් තියනවා ලක්ෂ ගාණක ලොකු මාළු. ඒ කියන්නේ තෝරු, පරව්, කෙලවල්ලෝ. මේ දවස් ටිකේ අපි කෑවෙත් ඒ මාළු තමයි." නිහාල් ප්‍රනාන්දු හලාවත ධීවර වරායේ පිහිටි ප්‍රධාන ජැටියේ "ළහිරු" පුතා බහුදින ධීවර යාත්‍රාව නැංගුරම් ලා තිබිණි. නිහාල් ප්‍රනාන්දු කියා සිටියේ දින පහක කාලයක සිට තම මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින බවය. ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ "ධීවර රාජ්‍ය ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා රටේම මාළු ගන්නවා කියලා. නමුත් ඒ පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ. මම දන්න විදිහට මේ වන විට දකුණේ හා නැගනහිර ඇතුළු ප්‍රදේශ කීපයක බහුදින ධීවර යාත්‍රාවල මාළු කිලෝ ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ මාළු තව ගොඩක් කල් තියාගන්න අමාරුයි. ආණ්ඩුව මේ තත්ත්වයට වග කියන්න ඕනෑ. මොකද මේ කොරෝනා රැල්ල ආවේ ධීවරයන්ගෙන් නෙමෙයි ව්‍යාපාරිකයන්ගෙන්. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපේ ධීවරයෝ අපේ කාටවත් කොරෝනා නැහැ." ඔහු දැඩි වේදනාවෙන් මෙසේද කීවේය. "අද මගේ එක බෝට්ටුවක් කල්පිටියේ වරායේ හිරවෙලා. මට තියෙන ගැටලුව ඒ බෝට්ටුව ඇයි මට මෙහෙට ගේන්න දෙන්නේ නැත්තේ කියලයි. මේ නිසා මට මේ බෝට්ටුව වෙනුවෙන් දවසකට රුපියල් පන්සියයක් දෙන්න වෙලා තියෙනවා. මම ඉල්ලන්නේ මගේ බෝට්ටුව මෙහෙට ගේන්න අවසර දෙන්න කියලයි." හලාවත ධිවර වෙළෙඳපොළ වසා දමා ඇති අයුරු වෙනත් දිනවල හලාවත මාළු වෙළදපොළේ දකින මුහුණු කීපයක් හලාවත විදි දිගේ දකින්නට ලැබිණි. මේරියන් දිලුකා එවැන්නියකි. ඇය කියා සිටියේ තමනට නිවෙසට වී කාලය ගත කළ හැකි නමුත් ඒ සඳහා රජයෙන් සහනාධාරයක් ලබා දිය යුතු බවය. "මාළු මාර්කට් එක වැහුවා. අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. අපි දන්නවා එතන මීටරේ දුර තියාගෙන වැඩ කරන්න බැහැ කියලා. නමුත් අපිට පාරේ හරි මාළු ටික විකුණගන්න ඕනෑ. නැත්නම් අපි කොහොමද කන්නේ? මාස හයක වාරකන් ඉවර වෙලා යන්තම් වලාල ලබලා මාළු ටිකක් අහුවෙන්න ගත්තා විතරයි, මේ නස්පැත්තිය!" ඇය වාරකන් යනුවෙන් ප්‍රකාශ කළේ මුහුද රළු වන මාස හයක කාලයයි. වලාල යනුවෙන් හැඳින්නුවේ මුහුදේ ධීවර කටයුතුවලට සුදුසු කාලයයි. ධීවර සංවිධාන ධීවර කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව රට පුරා ධීවර සංවිධාන මේ වන විට ප්‍රකාශ නිකුත් කරමින් සිටී. හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් පසුගිය 27 වැනි දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර එහිදී ඔහු කියා සිටියේ ධීවර සංස්ථාව ඇත්තේ නමට පමණක් බවය. හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් "මේ වන විට හලාවත බහුදින ධීවර යාත්‍රාවල හා අනෙක් ධීවර යාත්‍රාවල මාලු කිලෝ 10,000කට වැඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවා. දැන් ඒවාට කිසිම විකල්පයක් නෑ. දැන් සුළු පරිමාණ ධීවරයාටත් රැකියාව නෑ. රජය මේ වෙලාවේ ධීවරයාට සාධාරණයක් ඉටු කරන්න මැදිහත් වෙන්න ඕනෑ. දැන් මේ මාළු අලෙවි කරගන්න ක්‍රමයක් තමයි ඕනෑ." මේ වන විට රටේ පැතිර යන කට කතා පිළිබඳව ද ඇන්ටන් සුදේශ් මෙහිදී අවධානය යොමු කළේය. "මේ වන විට රටේ ජනතාව අතර මතයක් ඇතිවෙලා තියෙනවා මාළු කන්න හොඳ නෑ කියලා. ඒ මතයේ වගකීම ගන්න ඕනේත් රජය තමයි. මොකද රජය මේ වෙලාවේ නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්නේ නෑ. සෞඛ්‍ය අංශවල ඉහළ වෛද්‍යවරුන් එක ප්‍රකාශ කරනවා. නමුත් ජනතාවගේ බිය, සැකය තවම දුරු වෙලා නෑ. ජනතාවගේ සැකය දුරු වෙලා ජනතාව මාළු පරිභෝජනයට යොමු වන ආකාරයට රජය වගකීමක් අරගෙන නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනෑ.'' පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ගැටලුව පිළිබඳවද හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් අදහස් පළ කළේය. "ධීවරයො කොහොමද මේකට මුල් වෙන්නේ? පෑලියගොඩ කියන්නේ ධීවරයෝ ඉන්න තැනක් නෙවේනේ. පෑලියගොඩ කියන්නේ ව්‍යාපාරිකයෝ ඉන්න තැනක්. පෑලියගොඩට ලංකාවේ හැමතැනකින්ම මාළු ගන්න එනවා. තවම නිශ්චිතවම කියන්න පුළුවන්ද කාගෙන්ද විෂබීජ පෑලියගොඩට ආවේ කියලා. මේක ධීවරයින්ගෙන් හැදුණා කියලා කොහොමටවත් කියන්න බෑ. මාලුන්ට මේක හැදුණා කියලා ලෝකේ කොහේවත් නෑ. මාළු අරගෙන ඇවිල්ලා ගෙවල්වල කනවා. කාටවත් එහෙම කොරෝනා හැදිල තියනවද? ආණ්ඩුව මේ වැරදි මත දුරු කළේ නැත්නම් ධීවර කර්මාන්තය විනාසයි." සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර පවසන්නේ වහාම රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවයි. "මුලින්ම රජය මේ මාළු අරගෙන නරක් වෙන්න නොදී ගබඩා කරන්න ඕනෑ. මේ සදහා සුදුසු පියවර ඉක්මණින් ගත යුතුයි. නැත්නම් කරවල සදහා වියළීමට හෝ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. වෙළෙඳුන්ට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දිය යුතුයි. අනෙක් කාරණය තමයි ඉදිරියට ලැබෙන්න නියමිත මත්ස්‍ය සම්පතට කුමක් කළ යුතුද යන්න. දැනට මුහුදේ ඇති යාත්‍රා ප්‍රමාණය ගොඩබිමට ඒමේදී ඔවුන්ගේ මත්ස්‍ය සම්පත සඳහා වහාම වැඩපිළිවෙළක් අවශ්‍යයි. " ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මත්ස්‍යයින් මගින් කොරෝනා වෛරසය පැතිරෙනවා යන්න මතයක් ජනතාව අතර පැතිර තිබෙන නිසා මාළු මිලදී ගැනීමට ජනතාව දැඩි බියක් දක්වන බවද හර්මන් කුමාර කියා සිටී. "මේ වන විට මාළු කෑම මිනිසුන් අතහැරලා තියෙන්නේ. මාළු හරහා කොරෝනා බෝ වෙනවා කියලා දුර්මතයක් පැතිරෙනවා. සෞඛ්‍ය අංශ මෙහි ඇත්ත නැත්ත සනාථ කරන්න ඕනෑ. එහෙම බෝ වෙනවානම් ඒ බව විද්‍යාත්මකව සනාථ කළ යුතුයි. මේ අවිනිශ්චිත තත්ත්වය දේශීය වෙළෙඳපොළට පමණක් නොව අපනයන වෙළෙඳපොළටත් බලපානවා." ලක්ෂ විස්සකගේ ජීවනෝපාය පාලුවට ගිය තොටුපොළ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසාගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ 2018 වාර්ෂික කාර්යය සාධන වාර්තාවට අනුව 2018 වසර තුළ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 527,060ක් වන අතර මේ සදහා කරදිය හා මිරිදිය අංශ පිළිවෙළින් මෙට්‍රික් ටොන් 439,370 හා මෙට්‍රික් ටොන් 87,690ක මත්ස්‍ය අස්වැන්නක් ලබා දීමෙන් දායක වී ඇත. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි. 2018 වසරේ එම අගය 1.2% කි. ධීවරයන් රැකියාව නොමැතිව ලෝක ධීවර සම්මේලනයට අනුබද්ධ ජාතික ධීවර සහයෝගිතාවයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ධීවරයන් ගණන ලක්ෂ දෙකකට ආසන්නය. එම දත්ත අනුව ලංකාවේ බහුදින ධීවර යාත්‍රා හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර කුඩා යාත්‍රා, එනම් එක් දින යාත්‍රා හතළිස් දහසක් පමණ තිබේ. ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ධීවර ක්ෂේත්‍රයෙන් දක්වන දායකත්වය මෙවර තවත් අඩු විය හැකි බවය. "ලංකාවේ මුහුද වටේ යන කුඩා බහුදින යාත්‍රා 1,500ත් 2,000ත් අතර ප්‍රමාණයකුත් ධීවර රැකියාවේ නිරත වෙනවා. වැඩියෙන්ම තියෙන්නේ කුඩා යාත්‍රා. වැඩියෙන්ම ආදායමක් ලබා දෙන මත්ස්‍ය සම්පත තමයි හුරුල්ලා. අපනයනය සඳහා වන මත්ස්‍ය සම්පත් වන්නේ කෙලවල්ලා සහ ඉස්සා. ප්‍රධාන වශයෙන්ම බහුදින ධීවර යාත්‍රා යැපෙන්නේ කෙලවල්ලන්ගෙන්. බහුදින යාත්‍රාවලින් ගෙනෙන මාළු ප්‍රධාන වශයෙන් අලෙවි කරන්නේ පෑලියගොඩ, බේරුවල, මීගමුව යන මාළු වෙළෙපලවල්වල. මේ පෑලියගොඩ තත්ත්වයත් එක්ක වෙළෙඳපොළ බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. වැරදුණේ කොතැනද? රට පුරා ප්‍රචාරය වන මාළු හා කොරෝනා සම්බන්ධ පුවත් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසුවෙමු. "මේ කතාව ගොඩනැගෙන්නේ පෑලියගොඩ ධීවර වෙළෙඳපොළ ආශ්‍රිතව රෝගය පැතිර ගිය නිසා. නමුත් මාළු වලින් කොවිඩ් 19 පැතිරෙනවා කියලා මේ වන තුරු කවුරුත් අනාවරණය කරගෙනවත් පර්යේෂණ කරලා තහවුරු කරලාවත් නෑ. මිනිස්සු මෙහෙම සැකයක් හදා ගෙන තියෙන්නේ මාලු ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන මාලු අලෙවි කරන පුද්ගලයින් ආසාදිතයින් වීම නිසා. එයට හේතුව ඔවුන් ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඉතා අවම මට්ටමක පැවතීමයි. කෙසේ වෙතත් මාළු නිසා මෙය පැතිරෙනවා කියන්න බෑ. ඒ නිසා කිසි විටෙක මාළු සම්බන්ධ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ." "මම මීට කලින් අවස්ථා තුනකදී කාරණා කීපයක් ප්‍රකාශ කළා. පළමු කාරණය තමයි ධීවරයින් ආශ්‍රිතව මෙය ඕනෑම අවස්ථාවක පැතිරෙන්න පුළුවන් කියන එක ඒ වගේම මම කීවා ඉන්දියානු පන්නයේ වෛරසයක් සංක්‍රමණය වෙලා රට තුළ වර්ධනය වෙලා පුපුරා යෑමක් විදිහට වාර්තා වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ප්‍රමාද වැඩියි කියලත් මම කිව්වා. ඒ දෙවැනි අවස්ථාවේදී මම ප්‍රකාශ කළා ඉදිරි සති කීපයේදී වෛරසය පැතිරීම වේගවත් වෙලා රට තුළ ව්‍යසනයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පසුගිය සතියේ ප්‍රකාශ කළා මේ සතිය තුළ ධීවරයින් අතර පැතිර යෑමක් වාර්තා වෙනවා කියලා. ඒකත් සත්‍ය වෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න හා වැඩ කරන පුද්ගලයන් විදියට අත්දැකීම් සහ වසංගත පිළිබඳව දැනුමෙන් තමයි එසේ ප්‍රකාශ කළේ." මේරියන් දිලුකා දැනට පවතින තත්ත්වය අවම කර ගැනීම සදහා "ඇල් මැරුණ ස්වාභාවයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්" සක්‍රියව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග කටයුතු කර නියමිත සැලසුමකට අනුව රාජකාරි කළ යුතු බවද උපුල් රෝහණ පැවසීය. "දැනට ආරක්ෂක අංශ හා විශේෂයෙන්ම යුධ හමුදාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග සෘජුවම ගනුදෙනු කරමින් ඉන්නවා. ඒ නිසා මහජනතාවගේ සහයෝගය මේ සදහා ලැබිය යුතු වෙනවා. මේ අංශ තුනම ඒකාබද්ධව ඉදිරි මාසය තුළ සක්‍රියව වැඩ කළොත් විශේෂයෙන්ම සැලැස්මකට අනුව කටයුතු කළොත් මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ දෙවැනි රැල්ල අපි ජයග්‍රහණය කළත් මේ අවදානම අඩු වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉන්දියාවේ දැඩි ලෙස පැතිර යෑම හා ලෝකයේ තවමත් මේ අවදානම තියෙන නිසා අපිට ඉදිරියේදීත් නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතුයි. මේක පාලනය කරන්න නම් මේකත් එක්ක අපිට වසර 3 ක් 4ක් ජීවත් වෙන්න වෙයි. වරින් වර පීඩාවට පත් වෙමින් වරින් වර මරණ ඇති වෙමින් වරින් වර රට ලොක් ඩවුන් කරමින් මෙවැනි තත්ත්වවලට අපට ඉදිරියට මුහුණදීමට සිදුවෙයි." රජයේ ප්‍රතිචාරය පවතින තත්ත්වය පිළිබදව කාංචන විජේසේකර ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ දැනට ධීවර වරායන්වල ගොඩ ගැසී ඇති මාළු මිලදී ගැනීම සදහා රජයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය. "අපි දැක්කා පහුගිය කාලයේ නාවික හමුදා පොකුර , බ්‍රැන්ඩික්ස් පොකුර දැන් පෑලියගොඩ පොකුර. ඒ කාල වකවානුව තුළ අපි දැක්කා ජනතාව තුළ ඇති වුණ බිය. ඒක සාමාන්‍ය දෙයක්. මත්ස්‍ය පරිභෝජනයෙන් කිසිම අවදානමක් නෑ. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා පවත්වාගෙන යන අලෙවිසල්වලින් මේ මත්ස්‍ය සම්පත ලබා ගන්න කියලා. විශේෂයෙන්ම මේ රටේ ධීවර ජනතාව ඉතාමත්ම අසීරුතාවකට පත්ව ඇති මොහොතේ මේ රටේම දේශීය කර්මාන්ත කරන මේ පිරිස අත් හරින්න එපා කියන කාරණය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා." විදි දිගේ මාළු විකුණන හලාවත ධීවරයන් මාළුවලින් කොවිඩ් හැදෙන්නෙ නෑ! "කොරෝනා හැදෙනවා කියලා මාළු නොකා ඉන්න එක මෝඩකමක්. මාළු ආහාරයට ගැනීමෙන් කොවිඩ් වැළදෙන්නේ නැහැ." රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ, ධීවර සහ ජල ජීවී වගා අධ්‍යයන අංශයේ මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ හිටපු සම්මානිත මහාචාර්ය රුචිරා කුමාරණතුංග පවසයි. මහාචාර්ය රුචිරා කුමාරණතුංග "කොරෝනා වෛරසය මාළුවාගේ ශරීරය තුළට ඇතුළු විය නොහැකියි. යම් ආකාරයකින් වෛරසය ඇතුළු වුවහොත් හොඳින් සෝදා වැඩි උෂ්ණත්වයක පිසින නිසා වෛරසය රඳා පවතින්නේ නෑ. සෙල්සියස් 70 කට වැඩි උෂ්ණත්වයකදී වෛරසය විනාශ වන නිසා හොදින් පිසූ මාළු ආහාරයට ගැනීමෙන් වෛරසයේ බලපෑමක් නෑ. මාළු නොකා හිටියොත්, මිලදී ගන්නේ නැති වුණොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අපි දිගටම පිරිසිදුකම පවත්වාගෙන යනවානම් මේ තත්ත්වය දුරදිග යන්නේ නෑ. මාළු ඇල්ලුවත්, මාළු විකිණුවත් අත් ආවරණ, මුව ආවරණ පලන්දිනවානම් මේ තත්ත්වය උදා වන්නේ නෑ. මාළු වෙළෙඳසල්වල මාළු සෝදන්න, අත් සෝදන්න, පිහි සෝදන්න, ලෑලි පිරිසිදු කරන්න පහසුකම් තියෙනවානම් මේ තත්ත්වය ඇති වන්නේ නෑ." විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහනුවර මහා රෝහලේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, කෝවිඩ් 19 පැතිර යෑම හා මත්ස්‍ය පරිභෝජනය අතර සම්බන්ධය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි. "කොවිඩ් 19 වෛරසය සතුන් අතර පැතිරෙන බවක් මෙතෙක් සොයාගෙන නෑ. මාළු පරිභෝජනය කළා කියලා මේ රෝගය පැතිරෙන්නේ නෑ. ලුණු වතුරෙදි වෛරසය ඉක්මණින් විනාශ වෙන නිසා මාළු අල්ලන අවස්ථාවෙදිත් අවදානමක් නෑ. ඒත් මාළු විකුණන තැන්වලට වෛරසය වැටුණොත් සාමාන්‍ය පරිසරයට වඩා වෛරසය ජීවීව තියෙන්න පුළුවන්. මාළු ගේනකොට ගේන පාර්සලයේ, කවරයේ ගෑවිලා එන්න පුළුවන්. මාළු ගෙදරට ගෙනත් හොඳින් සෝදලා උයලා කෑවොත් බෝ වෙන්නේ නෑ. නමුත් මාළු සුද්ද කරද්දී නාසය, කට, ඇස අල්ලන්නේ නැතුව පරිස්සමින් කරන්න ඕන." ඔහු තවදුරටත් පැවසුවේ, මාළු සම්බන්ධයෙන් පමණක් නොව වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඕනෑම ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි. 'ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා' පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පවසන්නේ මාළු ගැන අනියත බියක් ඇති කර නොගත යුතු බව පමණක් නොව, වෛරසය සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය අවශ්‍ය බැවින් මාළු ආහාරයට ගැනීමේ වැදගත්කමද ඇය අවධාරණය කරන්නීය. පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු "මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති ආසාදිතයින් 54 දෙනාගෙන් ධීවර වෙළෙඳසල් ආශ්‍රිත අය ඉන්නේ 18 දෙනෙකු පමණයි. මේ අතර ධීවරයන් කිසිවකු නෑ. මාළු වෙළෙඳසල් ආශ්‍රිතව රෝගය පැතිරීමට හේතුව මූලික සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීමයි. මාළු ආශ්‍රයෙන් වෛරසය පැතිර යන බවට පවතින මතයේ කිසිම සත්‍යයක් නෑ. මේ වෛරසය සමග සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මාළු ආහාරයට ගැනීම ඉතා වැදගත්." මෙම තොරතුරු ද දැනගන්න:
දෙමළ කොටි සංවිධානය යළි පණ ගැන්වීමට උත්සාහ කරන්නේ යයි සැක කරමින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ ඥාතීන් වන කාන්තාවන් ද අත්අඩංගුවට ගනිමින් ඇති බවට සහ එසේ අත්අඩංගුවට ගනු ලබන කාන්තාවන්ට නරක ආකාරයට සලකන බවට කාන්තා අයිතිවාසිකම් සඳහා වූ සංවිධානයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් විසින් එම කාන්තාවන් ඉතා අමානුෂික කොන්දේසි යටතේ රඳවා තබනු ලැබ ඇති බවත් එම කාන්තා සංවිධානය පෙන්වා දෙයි. වෛද්‍ය ප්‍රතිකාර නෑ ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රියාකාරී ජාලය’ නම් සංවිධානය කියා සිටින්නේ, අත්අඩංගුවේ පසු වෙන කාන්තාවන්ට මානසික ප්‍රතිකාර ද ඇතුළුව වෙනත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කරන නමුත් ඔවුන්ට එම පහසුකම් නො ලැබෙන බවයි. ත්‍රස්තවාදී සැකකරුවන්ට නවාතැන් පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සැක පිට එම කාන්තාවන් රඳවා ඇති බවයි, ශ්‍රී ලංකා පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පවසන්නේ. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිමාවේ 2009 වසරේ පරාජයට පත් එල්.ටී.ටී ඊ සංවිධානය යළි සංවිධානය වීමට ප්‍රයත්න දරමින් ඇති බවට ශ්‍රී ලංකා ආණ්ඩුව කරන ප්‍රකාශන දෙමළ දේශපාලනඥයන් විසින් බැහැර කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ දෙමළ ජනයාට අයත් ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචිවී සිටීම නිසා යුද අනාථයන් යලි පදිංචි කිරීමට මෙන්ම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට බාධා පැමිණ ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
'අපේ ඉඩම්වලට, අපේ ගම්වලට අපේ මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න. ඉඩම් අත්පත් කරගන්න එක වහාම නතර කරන්න' බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත් කරගන්නා මෙන් ඉල්ලමින් කිලිනොච්චිය තිරිමුරුකන්ඩි කෝවිල අසල පැවති උද්ඝෝෂණයක් ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රදේශයේ දෙමළ ජනතාව කෘර අන්දමින් පාලනය කරන බවට හමුදාවට චෝදනාවක්ද එල්ල කළේය. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික මහජන පෙරමුණ, නව සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක නියෝජිතයෝ මෙම උද්ඝෝෂණයට එක්වී සිටියහ. "අපේ ඉඩම්වලට, අපේ ගම්වලට අපේ මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න. ඉඩම් අත්පත් කරගන්න එක වහාම නතර කරන්න කියන එක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම," බව එයට එක්වී සිටි එම්.කේ. සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය. මීට කලින් යාපනයේද මෙවැනිම උද්ඝෝෂණයක් දියත් කළ බවද ඔහු සඳහන් කළේය. දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත්කරගෙන සිටින පිරිසට ශාපවේවායි කියමින් තිරිමුරුකන්ඩි කෝවිල ඉදිරිපස පොල්ගසා ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් වූයේද එලෙසින්.
තම බිරිඳ පිරිමි දරුවකු ප්‍රසූත කිරීමට නියමිත බව තමා දන්නේ යැයි ඉන්දීය සුපිරි සිනමා තරු ශාරුක් ඛාන් කරන ලද ප්‍රකාශය පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය වෛද්‍ය සංගමයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.
උපදින්නට සිටින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීම ඉන්දියානු නීතිය මගින් තහනම් ශාරුක් ඛාන් ට සමීප ආරංචිමාර්ග උපුටා දක්වමිනුයි ඔහු එලෙස පැවසූ බව මෑතකදී පලවූ ඉන්දියානු මාධ්‍ය පවසන්නේ. ගැහැණු දරු කළලයන් විනාශකිරීම නැවතීමේ අරමුණින් උපදින්නට සිටින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීම ඉන්දියානු නීතිය මගින් තහනම්. කෙසේවුවද, ඛාන් යුවල දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව හෝ ඔවුන් දරුවෙක් අපේක්ෂාවෙන් සිටින බව හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශකර නැති බවයි වාර්තාවන්නේ.
පල්ලවා බග්ලා දිල්ලියේ මාධ්‍යවේදියෙකි. කොවිඩ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට උණ සහ උගුර කැසීම ඇතිවිය. ඇඟපතේ වේදනාවක් ඇති විය.
එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව පල්ලවා බග්ලා (දකුණේ) රෝගී විය අප්‍රේල් 22 වෙනිදා සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔහුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවය. දින හතරකට පසුව ස්කෑන් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද පරීක්ෂාවකින් ඔහුගේ පෙනහළුවල ද ආසාදිත තත්වයක් පෙන්නුම් කෙරුණි. රෝග ලක්ෂණ මතුවී දින අටක් යන තුරු දිගටම උණ ගතිය පැවතුණු හෙයින් 58 හැවිරිදි බග්ලා රෝහල් ගත කරන ලදී. වෛද්‍යවරු රුධිර පරීක්ෂණ කළහ. ස්ටෙරොයිඩ ලබා දුන්හ. බග්ලා දියවැඩියාවෙන් පෙළෙමින් සිටි අයෙකි. ඔහුගේ රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යමින් පැවතුණි. වාසනාවකට මෙන් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය බරපතල මට්ටමින් පහළ බැස නොතිබුණි. දින අටකට පසුව බග්ලා රෝහලෙන් පිටවී යාමට පෙර වෛද්‍යවරු ඔහුට ස්කෑන් ඡායාරූප දෙකක් පෙන්වූහ. එක් ස්කෑන් ඡායාරූපයක දැක්වෙන්නේ කොවිඩ් වැළඳුණු නමුත් ඒ වනවිට එන්නත් ලබා ගෙන නොසිටි පුද්ගලයෙකුගේ පෙනහළුවල තත්වයයි. එම රෝගියා ද දියවැඩියාවෙන් පෙළුණු අයෙකි. බග්ලාගේ වයසේ ම පසුවන පුරුෂයෙකි. අනෙක් ස්කෑන් ඡායාරූපයේ දැක්වෙන්නේ බග්ලාගේ පෙනහළුවල තත්වයයි. "වෙනස පැහැදිලියි. වෛද්‍යවරු කිව්වේ මම එන්නත ලබාගෙන නොතිබුනා නම් දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් යන්ත්‍රයකට මාව සම්බන්ධ කරන්න වෙනවා කියල. කල්තියා මම එන්නත ලබාගෙන තිබුන නිසා මගේ ජීවිතය බේරුනා." බග්ලා පැවසීය. එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ බිලියන 1.3ක් වූ ඉන්දීය ජනගහනයෙන් 3%ක් වැනි සුළු පිරිසකට පමණි. නමුත් එන්නත සම්පුර්ණ කිරීමෙන් දෙසතියකට පසුව කොරෝනාවෛරසය ආසාදනය වූ පිරිසගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ බිලියන 1.3ක් වූ ඉන්දීය ජනගහනයෙන් 3%ක් වැනි සුළු පිරිසකට පමණි එවැනි තත්වයක් යටතේ සෞඛ්‍ය සේවකයින්, වෛද්‍යවරුන්, රෝහල් සේවකයින් සහ හෙදියන්ට එහි පීඩාව දරන්නට සිදු වී තිබේ. පල්ලවා බග්ලා ට අසාදනය වී ඇත්තේ කුමන වෛරස් ප්‍රභේදය දැයි සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරනු ලැබිණ. මෙම පරීක්ෂණයේ අරමුණ වී ඇත්තේ ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව වෛරස් ප්‍රභේද සඳහා එන්නත සම්පුර්ණ කළ පුද්ගලයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසී ඇත්ද යන්න සොයා බැලීමය. කොරෝනාවෛරස් එන්නත් ඵලදායී බව මතභේදයකින් තොරව පිළිගත හැක. නමුත්, නැවත වතාවක් කොවිඩ් 19 වැළඳීම වළක්වාලීමට එම එන්නතට නොහැකිය. එන්නත ලබා ගැනීම මගින් බොහෝ පුද්ගලයන් අසාධ්‍ය වීම හෝ මරණයට පත්වීම වලක්වා ගත හැකිය. එම නිසා "එන්නත පරාජය කරමින් ඇතිවන ආසාදන" බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. අප්‍රේල් 26 වෙනිදා වන විට එක්සත් ජනපදයේ මිලියන 95ක් එන්නත සම්පුර්ණ කර තිබුණි. ඒ අතරින් 9,045 දෙනෙකුට නැවත වතාවක් කොවිඩ් අසාදනය වූ බව එරට රෝග මර්දන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ඉන් 835 දෙනෙකු (9%) රෝහල් ගත කරන ලදී. 132 දෙනෙකු (1%) මරණයට පත් විය. රෝහල් ගත කරන ලද පිරිසෙන් තුනෙන් එකකට සහ මරණයට පත්වූ පිරිසෙන් 15%කට කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවූ අතර මරණයට පත්වූ හේතුව කොවිඩ් 19ට සම්බන්ධයක් නැත. නිසි දත්ත වාර්තා නොමැතිකම හේතුවෙන් ඉන්දියාවෙන් ලැබෙන සාධක තරමක් අපැහැදිලිය. නමුත් නැවත වාරයක් කොවිඩ් 19 වැළඳුනු පිරිස ඉන්දියාවේ ඉහළ යමින් පවතී. ඒ අතර එන්නත සම්පුර්ණ කළ සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටිති. කීප දෙනෙකු මරණයට පත් වී තිබේ. නමුත් එම මරණ සිදු වූයේ සෘජුවම කොවිඩ් 19 නිසාදැයි යන්න එතරම් පැහැදිලි නැත. එන්නත් හිඟ වීම හේතුවෙන් ඉන්දියාවේ එන්නත් වැඩසටහන මන්දගාමී විය නිල වාර්තා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19 වැළඳී ඇති බවය. නමුත් මෙම දත්ත වාර්තා අසම්පුර්ණ බව පෙනෙන්නට තිබේ. මුල් මාස තුන ඇතුළත සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී, තමන් එන්නත සම්පුර්ණ කර තිබේදැයි යන ප්‍රශ්නය අසා නොමැත. රෝහල්වලින් ලැබෙන සාක්‍ෂි එක්සත් ජනපදයේ 'Mayo' සායනයේ මහාචාර්ය වින්සන්ට් රාජ්කුමාර් ප්‍රකාශ කළේ තමන් තමිල්නාඩුවේ ප්‍රධාන රෝහල් දෙකකට කතා කොට විස්තර ලබාගත් බවය. එහිදී දැනගන්නට ලැබී ඇත්තේ එම රෝහල්වල සිටින එන්නත් සම්පුර්ණ කළ සේවකයන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයකට පමණක් නැවත කොවිඩ් 19 වැළඳුණු බවකි. "එහෙම රෝගී වුණු සුළු දෙනා ඉක්මනින්ම සුවය ලබා තියෙනවා." ඔහු පැවසීය. දිල්ලි නුවර කොවිඩ් රෝගීන් සඳහා වෙන්වුණු විශාලතම රෝහල වන ලෝක් නායක් ජායි ප්‍රකාශ් නාරායන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන, එන්නත සම්පුර්ණ කරන ලද වෛද්‍යවරුන්ගෙන් 60%කට නැවත කොවිඩ් වැළඳී ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට රෝහල්ගත වීමට අවශ්‍ය නොවූ බව විශේෂඥ වෛද්‍ය ෆාරා හුසේන් පැවසුවාය. "ඔවුන්ගේ පවුල්වල, කොවිඩ් 19 වැළඳුණු ඇතැම් සාමාජිකයන්ට රෝහල්ගත වන්නට සිදු වුනා." වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. දිල්ලියේ තවත් රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ, එහි සේවකයන් 113 දෙනෙකුගෙන් 15 දෙනෙකුට එන්නත සම්පුර්ණ කර දෙසතියකට පසුව කොවිඩ් 19 වැළඳී ඇති බවය. ඉන් 14 දෙනෙකුට සුළු රෝග ලක්ෂණ මතු වූ අතර එක් අයෙකුට පමණක් රෝහල්ගත වීමට සිදු වී තිබේ. "එන්නත පරාජය කරන කොවිඩ් වැළඳුණු රෝහල් සේවකයන් ගොඩක් අපි දකිනවා. නමුත් ඉන් බොහෝ පිරිසකට මතුවී ඇත්තේ සුළු රෝගී තත්වයක්. බරපතල ලෙස රෝගී වීම එන්නතින් වළක්වනවා." මෙම අධ්‍යයන වාර්තාවේ සම කර්තෘ වෛද්‍ය අනුප් මිස්රා පැවසීය. ඉන්දියාවේ මාරාන්තික මට්ටමකින් පාලනයකින් තොරව ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් වෛරසය විකෘතිවීමට පහසුකරවන බව විද්‍යාඥයෝ පවසති එන්නත සම්පුර්ණ කළ පසුවත් කොවිඩ් 19 වැළඳුණු සෞඛ්‍ය සේවකයන් හය දෙනෙකුගේ ශ්ලේෂ්මල පරීක්ෂණයකට භාජනය කරන ලදී. මෙම අධ්‍යයනය සිදු කෙරුනේ කේරල ප්‍රාන්තයේ ය. එම අධ්‍යයන වාර්තාවේ කතුවරයෙකු වන වෛද්‍ය විනෝද් ස්කාරියා පවසන පරිදි එකී රෝගීන්ගෙන් දෙදෙනෙකුට ආසාදනය වී තිබුණේ කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයකි. නමුත් ඔවුනට බරපතල රෝග ලක්ෂණ මතුවී නොතිබිණි. මෙවැනි ආසාදනයන් ඉන්දියාව පුරා ව්‍යාප්තවීම සහ ඊට එරෙහිව එන්නත ක්‍රියා කරන ආකාරය පිළිබඳව පරීක්ෂා කිරීමට වැඩි දත්ත ප්‍රමාණයක් රැස්කළ යුතු බව විද්‍යාඥයෝ පවසති. "දැන් මිනිස්සු නිතරම අහන ප්‍රශ්නයක් තමයි එන්නත ලබාගැනීමෙන් පස්සේ නැවතත් කොවිඩ් වැළඳෙනවා කියන්නේ ඇත්තක්ද? කියල." වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂහිඩ් ජමීල් පැවසීය. "ඒ වගේ අනුමාන වාර්තා නිසා එන්නත ලබාගැනීමට සිටින මිනිස්සු අතරේ දෙගිඩියාවක් ඇතිවෙනවා." ඉන්දියාවේ එන්නත් වැඩසටහන දුර්වල මට්ටමකින් සිදුවීම හේතුවෙන් 'සමූහ ප්‍රතිශක්තිය' (Herd immunity) පෙනෙන මානයක නොතිබීම බරපතල ප්‍රශ්නයකි. එන්නත ලබාගැනීමට ජනතාව අදිමදි කිරීම මගින් ප්‍රශ්න තවත් නරක අතට පත්වනු ඇත. ඉන්දියාවේ මාරාන්තික මට්ටමකින් පාලනයකින් තොරව ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් වෛරසය විකෘතිවීමට පහසුකරවන බව විද්‍යාඥයෝ පවසති. බෝවීමේ වේගය වැඩි නව ප්‍රභේද ඇතිවීම මගින් එන්නත් මගින් ලබා දී තිබෙන ප්‍රතිශක්තිය පරාජය වීමට ඉඩකඩ ඇති බව ද ඔවුහු පවසති. අනාගතයේ දී ඇතිවිය හැකි කොවිඩ් රැලි සඳහා කල්තියා සුදානම් වීමට, වෛරසයේ නව ප්‍රභේද පිළිබඳව දිගින් දිගටම පරීක්ෂා කරමින් සිටීම ඉතා වැදගත් වනු ඇත. අවසාන වශයෙන් විද්‍යාඥයන් කියා සිටින්නේ එන්නතක ඵලදායීතාවය පිළිබඳව විවිධ මට්ටම්වලින් ප්‍රතිඵල දක්නට ලැබෙන නමුත් රෝගය බරපතළ වීම සහ රෝහල්ගතවීම වලක්වාගැනීම සඳහා එමගින් ආරක්ෂාවක් සැලසෙන බවය. නමුත් එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කිරීමෙන් පසුව ද කොවිඩ් ආසාදනය විය හැකිය. ඔවුන්ගෙන් අන් අයට බෝවීම ද සිදුවනු ඇත. එබැවින් සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත් නොහැරිය යුතුය. මුහුණු ආවරණ පැළඳීම, ජනාකීර්ණ ස්ථානවලින්, ජන ඒකරාශිවීම් වලින් සහ හොඳින් වාතාශ්‍රය හුවමාරු නොවන - වායුසමනය කරන ලද කාර්යාලයීය පරිශ්‍රයන් ගෙන් ඈත් වී සිටීම තවත් බොහෝ කාලයකට පිළිපැදිය යුතු වේ. ඇතැම් විට මුහුණු ආවරණ දෙකක් පැළඳීම අනිවාර්ය කිරීමට සිදුවිය හැකිය. කේරල ප්‍රාන්තය එවැනි පියවරක් ගෙන තිබේ. ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පණිවිඩ බොහෝවිට අපැහැදිලි ය. ඒවා නිශ්චිත විය යුතුය. උදාහරණයක් ලෙස දක්වතොත්, එන්නත සම්පුර්ණ කළ උදවියට නිවෙස් තුළ දී හෝ කාර්යාල තුළ දී නිදහසේ හමුවීම් සිදුකළ හැකිද? වැනි කාරනා නිශ්චිතව පැහැදිලි කළ යුතුව පවතී. "එන්නත වැඩ කරනවා. නමුත්, නොසැලකිලිමත් ලෙස හැසිරීමට හෝ ඔබේ ආරක්ෂාව අතහැර දැමීමට එමගින් ඔබට බලපත්‍රයක් ලැබෙන්නේ නැහැ. ඔබ දිගටම ඉතා පරීක්ෂාකාරීව සිටිය යුතුයි." පල්ලවා බග්ලා අවධාරණය කරයි. ඔහු ඒ බව අත්දැකීමෙන් දනී.
ඉන්දියාව එකවර චන්ද්‍රිකා විස්සක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත කිරීමට සමත් වෙයි.
චන්ද්‍රිකා රැගත් රොකට් යානය ඉන්දියාවේ 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත විය ඉන්දීය අජටාකාශ ව්‍යාපෘති ඉතිහාසය තුළ මෙතරම් චන්ද්‍රිකා සංඛ්‍යාවක් අභ්‍යවකාශ ගත කළ පළමු අවස්ථාව මෙයයි. එකසත් ජනපදය, කැනඩාව, ජර්මනිය සහ ඉන්දුනීසියාවට අයත් චන්ද්‍රිකා ද ඒ අතර වේ. චන්ද්‍රිකා රැගත් රොකට් යානය ඉන්දියාවේ 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත විය. ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්‍රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතු වෙමින් සිටින බවට ඉහත කී මෙහෙයුම සංඥාවක් ලබා දෙන බව නිරීක්ෂකයෝ පවසති. 2014 වසරේදී එක් මෙහෙයුමක් තුළින් චන්ද්‍රිකා 37 ක් අභ්‍යවකාශ ගත කිරීමත් සමග එකවර චන්ද්‍රිකා වැඩිම සංඛ්‍යාවක් අභ්‍යවකාශ ගත කිරීමේ වාර්තාව රුසියාවට හිමි විය. එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් ඒක වර අභ්‍යවකාශ ගත කොට ඇති වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව 29 කි. අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් චන්ද්‍රිකා විස්ස රැගත් මව් යානය ගුවන් ගත වන ආකාරය ඉන්දීය විද්‍යාඥයෝ සහ ආණ්ඩුවේ අමාත්‍යවරු අවධාරණයෙන් යුතුව නිරීක්ෂණය කළහ.
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා අසත්‍ය බව සනාථ කිරීම් වස් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවත්වන පරීක්ෂණයට ශ්‍රී ලංකා ආණ්ඩුව සහාය දිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රකාශ කරයි.
'අප පරීක්ෂණ වලට සහාය නොදුන්නොත් අප ප්‍රශ්නය මඟ හරින බව පෙනෙන්නත් පුළුවන්' ආණ්ඩුවේ පාර්ශවකාර මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම් හසන් අලි බීබීසී ඒ බව කියා සිටියේ දෙමළ සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ''අප ජිනීවා යෝජනා සම්බන්ධයෙන් සහය පළ කළොත් පමණයි අපට හැකියාව ලැබෙන්නේ මේ එල්ලවෙලා තිබෙන චෝදනා අසත්‍ය චෝදනා බව ඔප්පු කරන්න," යනුවෙන් ඔහු සඳහන් කළේය. "අප පරීක්ෂණ වලට සහාය නොදුන්නොත් ඒ චෝදනා සත්‍ය වනවා පමණක් නෙමයි අප ප්‍රශ්නය මඟ හරින බව පෙනෙන්නත් පුළුවන්." ජිනීවා පරීක්ෂණය ශ්‍රී ලංකාවට විරුද්ධව පැවැත්වෙන්නක් නොවන බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා අවධාරණය කළේය. "වැරදි කළ පුද්ගලයන්ටයි ඒවාට මුහුණ දෙන්න වෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදී රටක විවිධ අදහස් දරන පුද්ගලයන් ඉන්නවා. ජිනීවා පරීක්ෂණ හරහා ඒ සියලුම දෙනා වැරදිකරුවන් වෙන්නේ නැහැ," යනුවෙන්ද ඔහු කියා සිටියේය. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිය පක්ෂය ආණ්ඩුවට ඇඟිල්ල දිගු නොකරන බවත් ඔහු සඳහන් කළේය.
උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවකු සොරකම් කරගෙන යෑමට පැමිණි සන්නද්ධ කණ්ඩායම් දෙකක් වනජීවී නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ විරෝධය හමුවේ ට්‍රැක්ටරයක පටවාගෙන යමින් සිටි අලි පැටියා කැලේ දමා පලා යද්දී ඔවුන් අල්ලා පොලිසියට භාර දුන් පසුව මුදාහැර ඇති බවට ගල්පාය ගම්වාසීහු චෝදනා කරති.
රජයේ වගකිවයුත්තෙකුගේ සහාය අපරාධකරුවන්ට ලැබී ඇති බව ගම්වාසීහු සැක පහල කරති ට්‍රැක්ටරයේ ලියාපදිංචි අංකයක් දක්නට නොතිබූ බවද ගම්වාසීහු පවසති. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවා පැහැරගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ පල්ලෙබැද්ද ගල්පාය ප්‍රදේශයේ දික්යායේ දී ගම්වැසියන් මග හරස් කර ඇති බව ආරංචි වී අලි පැටියා ට්‍රැක්ටරයෙන් බිමට දමා අති සුඛෝපභෝගී වාහන දෙකක් සමග කැලෙන් පිටව යාමට පැමිණි බවයි ඔවුන් පවසන්නේ. ඒ අවස්ථාව රූ ගතකරමින් සිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාර තේරසිංහ වාහනයකට ඇද ගෙන පැහැරගෙන යාමට තැත් කළද ප්‍රදේශවාසීන් ඔහුව වාහනයෙන් එළියට ඇද බේරාගෙන තිබේ. එහෙත් ඔහුගේ වීඩියෝ කැමරාව වාහනයේ සිටි අය උදුරාගත් බව කෑගසා පැවසූ විට එහි සිටි පොලිස් නිලධාරියෙක් එම වාහනය පසුපස දිවගොස් වීඩියෝ කැමරාව ආපසු ගෙනවිත් දුන් නමුත් එහි කැසටය ඉවත් කර තිබූ බවද මහින්ද තේරසිංහ බීබීසී සංදේශයට පැවසීය. 'රාජකාරිය පැහැර හැරලා' මෙම සිදුවීමට පෙර උඩවලව වනෝද්‍යානය දෙසින් වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු බවද ගම්වාසීහු පවසති. අපරාධයට පැමිණි පිරිස ගෙනා ට්‍රැක්ටරයේ කඹ, යකඩ කේබල්, ලී දඬු ආදියද තිබී ඇත. දෙනියාය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් බව පැවසෙන අලි පටවාගෙන යන ලොරියක් ප්‍රධාන පාරේ නවතා තිබී ඇත. කැලේ සිට ට්‍රැක්ටරයෙන් ගෙනා අලි පැටියා ගෙන යන්නට එම ලොරිය ගෙන එන්නට ඇති බව ගම්වාසීන්ගේ මතයයි. හොරෙන් ගෙනයන්නට තැත් කළ අලි පැටියා මෙල්ල කර ගැනීම පිණිස කිසියම් බෙහෙතක් එන්නත් කර ඇති බවට සැකකරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙන බව සංදේශය කළ විමසීමකදී කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, නිසි පරිදි රාජකාරිය ඉටු නොකළ බවට ගම්වාසීන් සහ මාධ්‍යවේදියා කරන චෝදනාව පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය. "මෙම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් යම් ආකාරයකට රාජකාරිය පැහැර හැරීමක් සිදු කරල ඇති බව පෙනී යනවා. මේ නිලධාරීන්ට විරුද්ධව අපි විනයානුකූලව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා," යනුවෙන්ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය. කෙසේ නමුත් මේ වන තුරු කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බව ඔහු කියා සිටියේය. පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට නොගත්තේ රජයේ වගකිවයුත්තෙකුගේ සහාය මෙම අපරාධකරුවන්ට ලැබීම නිසා යැයි සැක කරන බවයි ගම්වාසීන් පවසන්නේ.
හොලිවුඩ් පුරවරයේ ඉරිදා රාත්‍රියේ පැවති ඔස්කාර් සමාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.
'බර්ඩ්මෑන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් සිය ඔස්කාර් සම්මාන සමඟ හොඳම නිළිය ජුලියන් මුවර් අධ්‍යක්ෂ අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් ගේ නිර්මාණයට හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන හිමි වීම උළෙලේ කැපී පෙනුණ සිදුවීමක්. සම්මාන පිළිගනිමින් දේශනය පැවැත්වූ මෙක්සිකානු ජාතික අධ්‍යක්ෂවරයා, සංක්‍රමණික ජනතාව ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාදුන් දායකත්වයට සිය ප්‍රණාමය පුද කළේය. හොඳම නළුවා එඩී රෙඩ්මේන් "The Theory of Everything" චිත්‍රපටයේ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්ගේ චරිතයට රිදී තිරයේ පණ පෙවූ බ්‍රිතාන්‍ය ජාතික එඩී රෙඩ්මේන් හොඳම නළුවා සම්මානයෙන් පුද ලැබූ අතර, "Still Alice" වයෝවෘද්ධ විශ්ව විද්‍යාල ආචාර්යවරියකගේ චරිතය නිරූපණය කළ ජුලියන් මුවර්ට හොඳම නිළිය සම්මානය හිමි විය.
මිනිසුන් මාර්ග දෙපස බැහැර කෙරෙන කැළි කසළ තුළින් පිළිබිඹු වන්නේ අදාළ පුද්ගලයාගේ වැදගත්කමේ තරම බව හබරණ ජීවත්වන ලක්ෂ්මන් සිල්වා පවසයි.
ඔහු මින්නේරියේ සිට හබරණ දක්වා, මින්නේරිය ජාතික වනෝද්‍යානය ඉදිරිපිට මාර්ගයේ කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වී සිටී. වාහන වලින් ගමන් කරන පුද්ගලයන් මාර්ගයේ දමා යන කැළි කසළ අඩංගු මලු පහක් පමණ දිනකට එක්රැස් කරන බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය. මේ ගැනත් දැනගන්න:
ඉන්දියාව ඇම්බසඩර් ( Ambassador ) මෝටර් රථ නිෂ්පාදනය නවතා දමා තිබේ.
කල්කටාවේ පමණක් ඇම්බසඩර් වර්ගයේ කුළී රථ තිස්තුන් දහසක් පමණ තිබෙන බව පැවසේ ඇම්බසඩර් රථය සැළකෙනු ලැබෙන්නේ ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රථම වරට නිෂ්පාදනය කෙරුණු පැරණිතම රථය ලෙසටයි. දශක ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පන්තියේ සංකේතයක් වශයෙන් ඇම්බැසඩර් මෝටර් රථය යොදා ගැනුණි. හින්දුස්ථානී මෝටර් සමාගම පවසන්නේ කල්කටාවට නුදුරින් පිහිටි ඇම්බැසඩර් කර්මාන්ත ශාලාවේ වැඩ දින නියමයක් නොමැතිව අත් හිටවූ බවයි . අඩු වශයෙන් කෙරෙන රථ නිෂ්පාදනය, ඉහල යන ණය ප්‍රමාණය හා රථ සඳහා ඇති ඉල්ලුම අඩු වීම එම්බැසඩර් රථ නිෂ්පාදනය නවතා දැමීමට හේතු වී තිබේ. එක්දහස් නවසීය පනහ දශකයේ අග භාගයේ මුල් වරට නිෂ්පාදනය කෙරුණු එම්බැසඩර් රථය සතුව තිබෙන සුවිශේෂී හැඩයෙහි සැළකිය යුතු ආකාරයේ විශේෂ වෙනසක් මේ දක්වා සිදු වී නොමැත. කල්කටාවේ පමණක් ඇම්බසඩර් වර්ගයේ කුළී රථ තිස්තුන් දහසක් පමණ තිබෙන අතර නුතන නව මාදිලියේ මොටර් රථවල පැමිණීම ඇම්බසඩර් රථ අභාවයට යාමට හේතු වී තිබේ.
මින් ඉදිරියට මිසයිල අත්හදා බැලීම්වලින් වැළකී සිටින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන් උතුරු කොරියාවට තරයේ කියා සිටියේය.
ඔහු මෙම ඉල්ලීම කළේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් 'කුපිත කරවන සුළු ක්‍රියාවක්' වශයෙනුයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා හඳුන්වනු ලැබුවේ. 'තම න්‍යෂ්ටික වැඩ පිළිවෙල පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව සමඟ යළි සාකච්ඡා ඇරඹීමට කාලය එළඹ ඇතැ'යි බන් කී මූන් කියා සිටියේය. තවත් මිසයිල තුනක් උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර වෙරළ තීරයේ සිට තවත් කෙටි දුර මිසයිල තුනක් ඊයේ අත්හදා බලන ලදී. මේ වසර මුලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කරනු ලැබුවේ උතුරු කොරියාව සිදු කළ තුන්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය කරන මෙන් කිසිවෙක් ඉල්ලා සිටින්නේ නම්, එය "සම්පූර්ණ ගෝත්‍රවාදී අදහසක්" බව පවසන බොදු බල සේනා සංවිධානය, තමන් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කරයි.
සමාජයේ ජන කොටස් අතර ප්‍රචන්ඩ ක්‍රියා මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බව බොදු බල සේනා සංවිධානය පවසයි එම සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ පැපිලියානේ ෆැෂන් බග් රෙදිපිළි වෙළඳසැලට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් පළ කරමින්. බෞද්ධ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ සිය ගණනක පිරිසක් විසින් වෙළඳසැලට ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කරද්දී, පොලිස් නිලධාරීන් බලා සිටිනු වීඩියෝ පටවල දැක්වේ. එම "අඥාන, පහත ගණයේ" ප්‍රහාරය තදින්ම හෙලා දකින බව සංදේශයට පැවසූ ඥානසාර හිමියන් එය විග්‍රහ කරන්නේ තම සංවිධානය අපකීර්තියට පත් කිරීම පිණිස දියත්ව ඇති ක්‍රියාදාමයක කොටසක් ලෙසින්. කෙසේ නමුත් සමාජයේ ජන කොටස් අතර ප්‍රචන්ඩ ක්‍රියා මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවද එහිමියෝ පවසති. ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත් අඩංගුවට ගෙන සිටින බව පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි ට පැවසීය.
තංගල්ල හෝටලයක් තුළ දී, බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව අපරාධය සිදු වූ ස්ථානයේ තිබූ රුධිර සාම්පල, සැකකරුවන් තිදෙනකුගේ රුධිරයේ ඩී.එන්.ඒ. සාම්පල සමග සැසඳෙන බව අධිකරණයට ලබා දුන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් මගින් තහවුරු කොට තිබේ.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ල හෝටලයක් තුළ දී ඝාතනය කරනු ලැබුවේ 2011 වසරේ නත්තල් දිනයේයි. රහස් පොලීසිය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ අපරාධය සිදු වූ ස්ථානයේ තිබී සොයා ගත් ලේ පැල්ලම් මෙම සිද්ධියට සම්බන්ධ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදාන පතිරණ ඇතුළු තිදෙනකුගේ ලේ සාම්පල සමග සැසඳෙන බවයි. බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ල හෝටලයක් තුළ දී ඝාතනය කරනු ලැබුවේ 2011 වසරේ නත්තල් දිනයේයි. රාගම අධිකරණ වෛද්‍ය පීඨයේ දී ලේ සාම්පල පරීක්ෂණය සිදු කොට තිබේ. ගාසා තීරයේ සේවය කරමින් සිටි ජාත්‍යන්තර රතු කුරුසයේ කුරාම් ෂයික් මරා දමනු ලැබුවේ සිය රුසියානු මිතුරිය වික්ටෝරියා අලෙක්සන්ද්‍රෝව්නා සමගින් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී. තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවන් අට දෙනෙක් ඇප මත නිදහස ලබා සිටිති.
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු හයකින් පරාජයට පත් කළ ඕස්ට්‍රේලියානු කාන්තා පිල ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.
2009 දීත් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 106 ඉලක්කය හඹා ගියේ තවත් පන්දු 26 ක් ඉතිරිව තිබියදී. මේ අනුව 2009 ඔක්තෝබර් අට වැනි දින ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශූරතාවය දිනා ගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම එම කුසලානය රැක ගැනීමට සමත් විය. මේ වන විට කාන්තා ලෝක ශූරතාවය උසුලන්නේද ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ලකුණු 16 කට කඩුලු තුනක් දවා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සේරා කොයිට් තරඟයේ හොඳම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණු අතර, ආන්යා ශ්රුබ්සොල් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් තෝරා ගන්නා ලදි. විස්සයි විස්ස පුරුෂ අවසාන මහා තරඟයේ සජීවී විස්තර විචාරයක් සංදේශය ඔස්සේ බලාපොරොත්තු වන්න.
මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඇෆ්ඝනිස්තාන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද දැරිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය.
පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය අත් අඩංගුවට පත් වී තිබේ පොලිස් මුර කපොල්ලකදී බෝම්බය පුපුරුවා ගන්නා මෙන් තාලිබාන් ව්‍යාපාරයේ නායකයකු වන සිය සොහොයුරා තමන්ට නියෝග කළ බවයි, ඇය පවසන්නේ. ඇය අවුරුදු අටත් දහයත් අතර දැරියක් බව විශ්වාස කෙරේ. "මරාගෙන මැරෙන ඇඳුම ඇඳ ගන්න කියල මගේ අයිය සහීර්, එයාගේ යාලුව ජබාර් එක්ක මට බල කළා," යනුවෙන් ඇය කියා සිටියාය. "ගඟෙන් එහාට ගියාට පස්සේ ඇඳ ගන්න කියල එයාල මට තවත් ඇඳුම් දුන්න. ඊට පස්සේ එයාල මාව ගඟෙන් එහා පැත්තට මහ රෑගෙනල්ල බැස්සුවා. එත් ගඟේ හීතල දැනුනම ගඟෙන් එහාට යන්න බෑ කියල මම කෑ ගැහුවා." ඉන් අනතුරුව සොහොයුරා සහ ඔහුගේ මිතුරා යලිත් තමන් නිවසට රැගෙන ආ අවස්ථාවේ සිය පියා තමන්ට පහර දුන් බවත්, ඔවුන්ගේ අතවරවලින් බේරීම සඳහා මහ රාත්‍රියේම නිවසින් පලා ගිය බවත් දැරිය පවසන්නීය.
එක් මහා දේශයක දේශපාලනඥයකු විසින් සිදුකරන ලදැයි එරටෙහිම තවත් දේශපාලනඥයකු විසින් උපුටා දක්වන ලද ප්‍රකාශයක් එම මහා දේශයට දෙපසින් පිහිටි අසල්වැසි කුඩා රාජ්‍යයන් දෙකක බලවත් අවධානයට යොමුවෙමින් පවතී.
භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති ඉන්දීය ස්වදේශ කටයුතු භාර ඇමති අමිත් ෂා අගමැති නරේන්ද්‍ර මෝදි ගේ කිට්ටු ආධාරකරුවෙකි එම මහා දේශය ඉන්දියාවයි. කුඩා රාජ්‍යයන් දෙක එහි උතුරු සහ දකුණු දෙසින් පිහිටි නේපාලය සහ ශ්‍රී ලංකාවයි. ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා වන අමිත් ෂා ලැගුම්හලක දී තමන් සමඟ කතාකරමින් සිටියදී කරන ලදැයි කියන ප්‍රකාශය මහජනයා ඉදිරියේ අනාවරණය කරන ලද්දේ 'ත්‍රිපුර' ප්‍රාන්තයේ මහ ඇමති බිප්ලාබ් ඩෙබ් විසිනි. ස්වදේශ කටයුතුභාර ඇමති අමිත් ෂා විසින් කරන ලදැයි පැවසෙන ප්‍රකාශය වචන කීපයකට සීමා වූ නමුත් එමගින් දෙන පණිවුඩය ඉහත කී කුඩා රාජ්‍යයන් දෙක විසින් ලඝුකොට නොසලකන බව ඒ සම්බන්ධයෙන් පළවෙමින් පවතින ප්‍රතිචාර මගින් පෙන්නුම් කෙරෙයි.. භාරතීය ජනතා පක්‍ෂයේ ජාතික මට්ටමේ සභාපතිවරයා මෙන්ම ඉන්දීය මධ්‍ය ආණ්ඩුවේ ස්වදේශ කටයුතු භාර ඇමති අමිත් ෂාගේ BJP නායකත්වය උත්කර්ෂයට නංවමින් අදහස් දැක්වූ ත්‍රිපුර මහ ඇමති ඩෙබ් එම නායකත්වය යටතේ තම පක්ෂය ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂය බවට පත්වූ බව සඳහන් කළේය. ''ඔහුගේ නායකත්වය අනුව BJP ය ලෝකයේ දැවැන්තම පක්ෂය බවට පත්වුණා. එමගින් ජගත් දේශපාලන පක්‍ෂයක අයිතිය කියමින් සිටි කොමියුනිස්ට්වාදීන් විසින් එතෙක් තබා තිබුණ වාර්තාවත් බිඳ හෙළනු ලැබුණා'' මහ ඇමතිවරයා කියා සිටියේය. 'ත්‍රිපුර' මහ ඇමති බිප්ලාබ් ඩෙබ් හින්දි භාෂාවෙන් පවත්වන ලද කතාවට ඉන්දියානු මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබුණ අතර මහ ඇමතිවරයාගේ ප්‍රකාශය 'ගුවාහති'(Guwahati) සිට පළකරනු ලබන ඊස්ට් මෝජෝ (East Mojo) වෙබ් අඩවිය මෙසේ වාර්තා කරනු ලැබ ඇත. ''අපි ප්‍රාන්ත ලැගුම්හලක කතාකරමින් ඉන්නකොට අජේ ජම්වාල් (ඊශාන දිග කලාපීය ලේකම්) කිව්වා- BJP එක ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක එම පක්ෂයේ ආණ්ඩු පිහිටුවන ලද'' බව. ඊට පිළිතුරු දෙමින් අමිත් ෂා කිව්වා - ශ්‍රී ලංකාව සහ නේපාලය ඉතිරිව ඇති බව. ඔහු සඳහන් කළා - පක්‍ෂය ශ්‍රී ලංකාවට සහ නේපාලයට ව්‍යාප්ත කරමින් ජයග්‍රහණය කොට ආණ්ඩුවක් පිහිටුවීමට තිබෙන බව'' අමිත් ෂා සැබැවින් ම අදහස් කරන ලද්දේ කුමක්ද? එය කුමක් වුවද, එම ප්‍රකාශය වාර්තා වූ වහාම නේපාලය ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ එය දෝෂ දර්ශනයට ලක්කරමිනි. අමිත් ෂා ශ්‍රී ලංකාව සහ නේපාලය ගැන සඳහන් කර තිබෙන්නේ මෙම සාකච්ඡාවේදීය කත්මණ්ඩු කැළඹෙයි නේපාලයේ විදේශ ඇමති ප්‍රදීප් කුමාර් ග්‍යාවාලි (Pradeep Kumar Gyawali) පෙබරවාරි බ 06 දා 'ට්විටර්' පණිවුඩයක් නිකුත්කරමින් තමා ඉන්දියානු ප්‍රකාශය දුටු අතර ''දැනටමත් ඒ සම්බන්ධයෙන් සියරටේ විරෝධය දැනුම් දී ඇති'' බව කියා සිටියේය. මේ අතර නව දිල්ලියේ නේපාල තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් මුල්පෙළේ මාධ්‍ය ප්‍රකාශනයක් වන 'කත්මන්ඩු පෝස්ට්' ඉංග්‍රීසි පුවත්පතට ප්‍රකාශයක් කරමින්, සිය තානාපති නිලම්බර් ආචාර්ය (Nilamber Acharya) ඉන්දියානු විදේශ අමාත්‍යංශයේ නේපාලය සහ භූතානය භාර ප්‍රධාන ඒකාබද්ධ ලේකම් අරින්දම් බග්ච් (Arindam Bagch) දුරකතනයෙන් අමතමින් මතභේදයට තුඩු දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකළ අතර එය නිවරැදි කිරීමට පියවර ගන්නා ලෙස දැනුම්දුන් බවත් සඳහන් කළේය. 'ඩෙකන් හෙරල්ඩ්' (Deccan Herald) ඉන්දියානු පුවත්පතවාර්තාවක් පළකරමින් ''මහ ඇමති ඩෙබ් විසින් සඳහන් කරන ලද කරුණු දේශසීමා ආරවුල් නිසා දැනටමත් පිරිහීමට ලක්වී පවතින ඉන්දු-නේපාල සබඳතාවන්හි ''අලුත් නොරිස්සුම් සහගත තත්ත්වයක්'' උද්ගතවීමට හේතුවනු ඇතැයි පෙන්වා දී තිබුණි. අමිත් ෂා විසින් කරන ලද ප්‍රකාශය හෙළිකළ ත්‍රිපුර මහ ඇමති ඩෙබ් කොළඹ ඉවසීමෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ඉන්දියානු ඇමතිවරයාගේ මතු සඳහන් කරන ලද අදහස් සම්බන්ධයෙන් නිල මට්ටමින් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද යන්න තවමත් පැහැදිළි නැත. එහෙත් 'Colombo Gazette' වාර්තාවක සඳහන් පරිදි '' භාරතීය ජනතා පක්ෂය (BJP) ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ යයි පැවසෙන ප්‍රකාශන ශ්‍රී ලංකාව විසින් අඩුවෙන් තක්සේරු කරනු ලැබ'' ඇත. ''අසල්වැසි රටවල ව්‍යාප්තියක් පිළිබඳව භාරතීය ජනතා පක්ෂය නිල මට්ටමින් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල සඳහන් කළ බවත්'' 'Colombo Gazette' වැඩිදුරටත් වාර්තා කරයි. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා විසින් අදාළ කාරණය සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් පළකරනු ලැබ ඇත. සභාපතිවරයා පවසා තිබෙන්නේ ''විදේශීය දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි'' බවය. "ඕනෑම දේශපාලන පක්‍ෂයකට හෝ දේශපාලන කණ්ඩායමකට විදේශ රටක දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් සමඟ සම්බන්ධතා ගොඩනනගා ගැනීමට නීතියෙන් අවසර තියෙනව. නමුත් විදේශීය දේශපාලන පක්‍ෂවලට රටතුළ ක්‍රියාත්මකවීමට මැතිවරණ නීතියෙන් අවසර ලැබෙන්නේ නැහැ'' මැතිවරණ කොමසාරිස්වරයා උපුටා දක්වන 'Colombo Page' වෙබ් අඩවිය වාර්තා කරයි. කොංග්‍රස් ප්‍රතිචාරය; සමාව ඉල්ලනු! මෙම කාරණය සම්බන්ධයෙන් කොළඹ පාලනයේ නිහඬභාවයක් දක්නට ලැබුණද ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයෙන් පළවුණේ දැඩි විවේචනාත්මක ප්‍රතිචාරයකි. කොංග්‍රස් පක්‍ෂ ප්‍රකාශිකාවකගේ අදහස් රැගත් වීඩියෝ පටයක් මාධ්‍ය මගින් පළකරනු ලැබ ඇත. එම ප්‍රකාශිකාව මෙසේ පවසයි. ''මේක විහිළුවට කාරණයක් නොවෙයි. මෙය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට බලපාන්න පුළුවන්. මූලික වශයෙන් ඔවුන් කියන්නේ නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ට කුමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය බව.'අබ් කි බාර් ට්‍රම්ප් සර්කාර්'('Ab ki baar, Trump sarkar') ප්‍රකාශය මගින් මෝදි කරගත් අලාභයේ වන්දිය අපි තවමත් ගෙවමිනුයි ඉන්නේ. නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවලින් සමාව ගන්නා ලෙස ආණ්ඩුව ඇමතිවරයා යොමුකළ යුතුයි'' ''අබ් කි බාර් ට්‍රම්ප් සර්කාර්'' යන ප්‍රකාශයේ තේරුම '' මෙය ට්‍රම්ප් පරිපාලන වාරයකට කාලයයි '' යන්නය. මේ අතර ත්‍රිපුර ප්‍රාන්ත කොංග්‍රස් පක්ෂයේ උප සභාපති තපස් ඩි (Tapas De) පෙබරවාරි 15 දින 'හින්දුස්තාන් ටයිම්ස්' පුවත්පතට ප්‍රකාශයක් කරමින් BJP ආකල්පය ප්‍රජාතන්ත්‍රීය නොවන බව පෙන්වා දී තිබුණි. ''අපි අපේ අසල්වැසි රටවලට ගරු කරනවා. එම අසල්වැසි රටවලට අතපෙවීම යුක්ති සහගත කරන්න බැහැ'' භාරතීය ජනතා පක්ෂයේ හැසිරීම වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ජාතිකවාදීන්ගේ දැඩි අවධානයට ලක්වූ අතර ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර එය විග්‍රහ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මිලට ගැනීමක් හැටියටය. භාරතීය ජනතා පක්ෂ ලාංඡනය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ලාංඡනය අතර සමීපභාවයක් පවතින අතර එයත් මාධ්‍ය නිර්මාණ සඳහා මාතෘකාවක් විය. ආණ්ඩු ඇල්ලීමක් ගැනද, ආණ්ඩු හැදීමක් ගැනද කියන්නේ? භාරතීය ජනතා පක්ෂ සභාපතිවරයා විසින් කරන ලදැයි දෙවන පුද්ගලයකු හරහා එන ප්‍රකාශය හුදෙක් එම දෙවන පුද්ගලයා විසින් සඳහන් කරනු ලබන වචන ඔස්සේම අර්ථකථනය කරගත යුතුද? මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න විසින් කරනු ලබන්නේ මෙවැනි විශ්ලේෂණයකි. ''මම දකින හැටියට අමිත් ෂාගේ ප්‍රකාශයේ හරය ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ආණ්ඩු පිහිටුවීමට මැදිහත් වී ඇති බවයි. තමන්ගේ පක්ෂය මේ රටවල පිහිටුවීම ගැන කතා කරන්නේ එම මැදිහත්වීම පිළිබඳ කතාව මග හරින්න'' විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර පවසයි. '''ප්‍රායෝගිකව ගත්විට භාරතීය ජනතා පක්ෂයට ශ්‍රී ලංකාවේ ස්ථානගත විය හැකිවන්නේ හින්දු ආගමිකයන් අතරේ පමණක්'' බව පෙන්වාදෙන මහාචාර්ය නවරත්න බණ්ඩාර ''ඒ සඳහා උතුරේ හෝ කඳුකර දෙමළ ජනතාව අතර පදනමක් නැති අතර පක්ෂය එසේ පිහිටවනු ලැබුණත් එමගින් මෙරට ආණ්ඩු බලය ගන්න බැරි බව'' යථාර්ථය බව පෙන්වා දෙයි ''එයට වඩා ලෙහෙසිවන්නේ කෙළින්ම ආණ්ඩුබලය දිනාගැනීම නොවෙයි. තමන්ට අවනත ආණ්ඩුවක් හදා ගැනීමයි. මෙහි ප්‍රධාන පක්ෂයකට බලයට එන්න මුදල් හා වෙනත් ආකාරයන්ගෙන් සහාය ලබා දී ඒ මගින් ආණ්ඩුව නමා ගැනීම. පොහොට්ටු පක්ෂය සහ එහි සංවිධානය න්‍යායික මතවාදය මගින් අනුගමනය කර තිබෙන්නෙ - භාරතීය ජනතා පක්ෂය බව අමතක කරන්න එපා. සිංහලත්වය සහ පිරිසුදු බෞද්ධ රාජ්‍යයක් ගැන ඔවුන්ගේ ප්‍රකාශන සහ නෙළුම් පොහොට්ටුව මගින් එම අනුගමනය කිරීම පෙනෙනවා'' පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. ''ඉන්දියාව ලංකාවේ ආණ්ඩු පිහිටුවන්න මැදිහත්වීම ලංකාවේ දේශපාලනය තුළ කාලයක් තිස්සෙ කතාවෙන කාරණයක්. 2015 දී පැරදුන අවස්ථාවේ තමන්ව පැරදවීමට ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවාව මැදිහත්වූ බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලා." මේ අතර එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 ලද පරාජයට රෝ සංවිධානයේ සම්බන්ධයක් ඇති බවට පළවූ මතය ඉන්දියාව බැහැර කරන ලද බවට එම කාලයේදී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය නවරත්න බණ්ඩාර, "ශ්‍රී ලංකාව වරාය නගරය සහ හම්බන්තොට වරාය චීනයට ලබා දීමෙන් ඉන්දියාව ඔවුන් සතුරෙක් ලෙස සලකන බලයකට ඉන්දියන් සාගරයේ තමන්ගේ ආරක්ෂක වළල්ලට ඇතුල්වීමට ඉඩ ලබා දීම නිසා ඉන්දියාව කලබල වී සිටිනවා. ඉන්දියන් සාගරය තූළ චීනය සහ ඉන්දියාව නැගී එන බලවතුන් දෙදෙනෙක් ලෙස බලශක්ති මාර්ග සදහා දැනටමත් තරගයකයි ඉන්නෙ. මේ තත්ත්වය ගැන ඇමරිකාව පවා ඉන්නෙ කැමැත්තකින් නොවෙයි. මේ නිසා ඉන්දියාව ලංකාවට බලපෑම් දමමින් ඉන්නවා. ඉන්දු පැසිෆික් ආරක්ෂක සැලැස්මට ඇතුල්වන ලෙස එම රටවල් දෙකම ඉල්ලනවා. ඉන්දියාව 1987 වගේ රට අස්ථාවර කරන ගැටුමක් සදහා මග පාදනු ඇතැයි ශ්‍රී ලංකාවේ නායකයන් සිතනවා. එම පසුබිම යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවෙන් නැගුනු අලුත්ම ''පණිවුඩය'' ගැන කතා නොකර මග හැරියා'' යැයි කියා සිටියේය. මෝදිගේ චෙන්නායි දෙසුම අමිත් ෂා ඇමතිවරයා විසින් කරන ලදැයි වාර්තාවෙන ප්‍රකාශය විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට ගැනීමට හේතුවක් වී තිබෙන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි තමිල්නාඩුවේ 'චෙන්නායි' නගරයේ දී කරන ලද ප්‍රකාශයක් ද හේතුවෙනි. පසුගිය සතියේ ඉරිදා (පෙබරවාරි 14) චෙන්නායි අගනුවරට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි එහි ජනතාව අමතමින් පවත්වන ලද දීර්ඝ දේශනයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරනු ලැබීමත් ඉන්දියානු මාධ්‍යන්හි පවා විශේෂ තැනක් ගෙන තිබුණි. ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් කීපයක සමාරම්භක උත්සවයකට සහභාගී වූ අගමැති මෝදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගනුලබන තමිල්නාඩු ධීවරයන් ගැනත් සඳහන් කළේය. ''මේ වනවිට එක ඉන්දියානු ධීවරයෙක්වත් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ නැහැ. අපි බෝට්ටු 330ක් නිදහස්කර ගත්තා. ඉතිරි බෝට්ටුත් නිදහස්කර ගැනීමට කටයුතු කරනවා'' ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වාසයකරන ප්‍රදේශවල නිවාස දහස් ගණනක් සහ රෝහලක් ද ඇතුළු යටිතල පහසුකම් නංවාලීමට තම රජය ගත් පියවර විස්තර කළ අගමැති මෝදි යාපනයේ සංචාරය කළ පළමු ඉන්දීය අගමැතිවරයා තමා බව අවධාරණයෙන් කියා සිටියේය. ''අපි දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් සමඟ අඛණ්ඩව කටයුතු කරනවා. දෙමළ ජන ජීවිත සඳහා සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ඔවුන්ගේ ගරුත්වය වෙනුවෙන් කටයුතු කරනවා'' අගමැති මෝදි වැඩිදුරටත් සඳහන් කළේය. ''අපේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දෙමළ සහෝදර සහෝදරියන්ගේ අභිලාෂයන් සහ ශුභසාධනය සැලකිල්ලට ගන්නවා.මෙතෙක් යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අගමැතිවරයා වීම මට ගෞරවයක්. සංවර්ධන ක්‍රියාමාර්ග ඔස්සේ දෙමළ ජනයාගේ ශුභසාධනය සඳහා අපි සහතික වෙනවා '' අගමැති මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් අදහස් දක්වන ලද්දේ මෙම කතාවේදීය ''අසල්වැසියාට පළමු තැන'' යන සිය පාලන පිළිවෙත අනුව අගමැති මෝදි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව 2019 ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔහු එම සංචාරයේ දී පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගොස් ශ්‍රී ලංකාවේ ජනතාවට සිය සහයෝගය පළකළේය. ඉන්පෙර 2017 වසරේ ශ්‍රීලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා චෙන්නායි කතාවේ දී ඔහු සඳහන් කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්ට සහභාගීවෙමින් ජනතාව අමතා කතාවක් ද කළ අතර එය එවක ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ දෝෂදර්ශනයට ලක්විය. වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වන උදය ගම්මන්පිල ඉන්දීය අගමැතිවරයාගේ සහභාගිත්වය දෝෂදර්ශනයට ලක්කරන ලද්දේ මෙපරිද්දෙනි. ''වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කිව්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහෙට ආවාට පස්සේ හැසිරුණේ සහ ජනතාව ඇමතුවේ ඉන්දියාවට එක්වූ 30වෙනි ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙනයි.......මෝදි අගමැතිවරයා දික්ඔයදී ජනතාව ඇමතුවේ ඉන්දියාවේ 30 ප්‍රාන්තයේ ජනතාව අමතන ආකාරයෙන්. දකුණුපසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ද,වම්පසින් එහි මහ ඇමතිවරයා ද සිටින බව සිතමින් තමයි,ඔහු ජනතාව ඇමතුවේ'' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු සිදුකළ පළමු නිල විදේශ සංචාරය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට යාමය වරාය ජැටියේ අර්බුදය ඇමති අමිත් ෂාගේ සහ අගමැති මෝදිගේ ප්‍රකාශන කරළියට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා- ඉන්දියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයන් ඇසගසා සිටින මොහොතක වීමත් සැලකිය යුතු කරුණකි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මුල්කරගත් ගනුදෙනුව අර්බුදයකින් තොරව විසඳුන ආකාරයක් ශ්‍රී ලංකා රජය ප්‍රදර්ශනය කරන නමුත් ඉන්දීය පාර්ශ්වයේ ඊළඟ ප්‍රතිචාරය තවමත් පැහැදිළි නැත. ත්‍රිකුණාමල තෙල් ටැංකි ශ්‍රී ලංකාවට පැවරීමේ එකඟතාවක් ඇති නොවූ බව ඉන්දියාව නිල මට්ටමින් ප්‍රකාශයට පත්කරනු ලැබුණි. මේ අතර උතුරේ දූපත් තුනක විදුලිය ක්‍ෂේත්‍රයේ ආයෝජන සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර එකඟත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. උතුරේ කණට සතුටු පණිවුඩයක් ද? ඉන්දීය ඇමති අමිත් ෂාගේ සහ අගමැති මෝදිගේ අදහස් ප්‍රකාශයට පත්කෙරුණේ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් ඔවුන් විසින් දිගුකලක පටන් ගෙනයන ඉල්ලීම් යළිත් පෙරට තබමින් නැගෙනහිර පළාතේ පොතුවිල් සිට පොලිගන්ඩි දක්වා පෙළපාලියකින් ගමන්ගැනීමෙන් දින කීපයකට පසුවය. පසුගිය පෙබරවාරි 3 වෙනිදාආරම්භ වූ ''පොතුවිල් සිට පොලිගන්ඩි'' (P2P) යනුවෙන් නම්කරන ලද එම පාගමනට දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සාමාන්‍ය ජනතාව එකතුව සිටියහ. එම විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාත් එක්ව සිටීම තවත් අලුත් ප්‍රවනතාවක් විය. P2P විරෝධතා පෙළපාලියේ අවස්ථාවක් ''P2P'' පෙබරවාරි 06 වෙනිදා උතුරු පලාතේ 'පොලිගන්ඩි' හිදී නිමාවට පත් වූ අතර, දින පහක අඛණ්ඩ සාමකාමි විරෝධතාවලියක් ද සංවිධායකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබුණි. ඉන් අනතුරුව දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාගැනීම උදෙසා දෙමළ දේශපාලන නායකයින් පිරිසක් සාකච්ඡාවක් ද පැවැත්වූ අතර දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා සන්ධානය නියෝජනය කරමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ එම්.කේ සිවාජිලිංගම්, ඊල තමිල් පක්ෂය නියෝජනය කරමින් ආනන්දි ශෂිධරන් ඇතුලු පක්ෂ නියෝජිතයින් රැසක් එම සාකච්ඡාවට සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කළේය. තමන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා රජයට බලකිරීමට කටයුතු කරන බව එම සාකච්ඡාවට සහභාගී වූ දෙමළ දේශපාලන නායකයන් ප්‍රකාශ කළ බවත් මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි. උතුරේ වැඩෙමින් පවතින එවැනි පසුබිමක් යටතේ භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයා සහ අගමැති මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සහතික කිරීම සම්බන්ධයෙන් පළකර ඇති අදහස්වල බලපෑම කෙබඳු වේද?යන්න අනාගතයෙහි තීන්දුවනු ඇත. කියවන්න;
ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමෙන් මරුමුවට පත් පුද්ගලයන් සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් තිබේ.
රෝහල් ගත කෙරුණු තවත් තිදෙනකු බරපතළ තත්වයේ පසු වන බවත් බලධාරීහු පවසති. ප්‍රහාරය එල්ල වීමත් සමග ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල්ගේ ප්‍රධානත්වයෙන් එරට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් සමග හදිසි හමුවක් කැඳවා ඇත. තුවක්කුකරු දහඅට හැවිරිදි ඉරාන - ජර්මානුවකු බවත් ප්‍රහාරයෙන් පසු ඔහු වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි විශ්වාස කරන බවත් එරට පොලිසිය පවසයි. ප්‍රහාරය අරමුණ කුමක්දැයි යන්න සනාථ කර ගැනීම සඳහා ජර්මන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි. තුවක්කුකරු වසර කීපයක් පුරා මියුනික් නගරයේ ජීවත් වූවකු බවත් පොලිසිය සඳහන් කළේය.
තහනම් පන්න යොදා ගනිමින් සිදු කරන මසුන් මැරීමේ කටයුතු හේතුවෙන් කල්පිටිය කොරල් පරය විනාශ වෙමින් පවතින බවට ප්‍රදේශයේ පාරම්පරික ධීවර ප්‍රජාව සහ සංචාරක කර්මාන්තයේ නිරත ජනතාව අනතුරු අඟවති.
කොරල්පරයට සිදුව ඇති හානිය සොයා බැලීම සඳහා වයඹ පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන්, සංචාරක ක්ෂේත්‍රයේ සහ පාරම්පරික ධීවර කර්මාන්තයේ නිරත ප්‍රදේශයේ ජනතාව කල්පිටිය වෙරළට අද (මාර්තු.02) එක්ව සිටියහ. ජාතික සම්පතක් වශයෙන් සැලකෙන කල්පිටිය කොරල් පරය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනේ පළමු අදියර වශයෙන්, ඊට සිදු වී ඇති හානිය නිරීක්ෂණය කළ බව එහි පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි කියා සිටියේය. වයඹ වෙරළ තීරයේ විශාල කලාපයක විහිදුන කල්පිටිය කොරල් පරයට සිදු වී ඇති හානියත් සමඟ එම මුහුදු කලාපය අවට මත්ස්‍ය සම්පතෙහි ද අඩුවක් සිදුව ඇති බව ධීවරයෝ පෙන්වා දෙති. කොරල් පරය සහ ඒ අවට පරිසර පද්ධතියට විනාශයක් සිදු නොවන පරිදි තම ධීවර කටයුතු කරන ලෙස එම අවස්ථාවට එක් වී සිටි පුත්තලම දිස්ත්‍රික් වනජීවී අධ්‍යක්ෂ ඩබ්ලිව් කේ එස් චන්ද්‍රරත්න ඉල්ලීමක් කළේය.
ආණ්ඩුව පෙරලා දැමීමේ උත්සාහයක් වශයෙන් දහස් ගණන් උද්ඝෝෂකයෝ තායිලන්තයේ බැංකොක් අගනුවර ආණ්ඩුවේ කාර්යාල, රූපවාහිනී මධ්‍යස්ථාන සහ පොලිස් මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කළහ.
කැරලි මර්ධක පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේය ආණ්ඩුවේ කාර්යාල සහ වෙනත් ස්ථානවලින් උද්ඝෝෂකයන් ඉවත් කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය සතියක් ඇතුලත් පළමු වරට කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ අතර, ඔවුන්ට සහාය දීම පිණිස නිරායුධ හමුදා භට ඛණ්ඩ යොදවා තිබිණ. දැනට පිටුවහල්ව සිටින හිටපු අගමැති තක්ෂින් ෂිනවත් ගෙන් නියෝග ලබා ගන්නා බවට අගමැතිනි යින්ලක් ෂිනවත්ට චෝදනා කරන උද්ඝෝෂනයේ නායකයෝ ආණ්ඩුවට එරෙහිව නැගිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ. එහෙත් අද දිනය නිමා වන විට ඔවුන් ඉල්ලා සිටියේ ඒ වෙනුවට හෙට සඳුදා සිට මහා වැඩ වර්ජනයක් දියත් කරන ලෙසයි. පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ගැටුම්වලින් මේ වන විට සිවු දෙනකු මරුමුවට පත් වී තිබේ.
මනෝ ව්‍යාධීන්ගෙන් පීඩාවිඳින බොහෝදෙනෙක් තමන් පෙළෙන මායාකාරී තත්ත්වයෙන් මිදී සහනයක් ලබාගනු සඳහා ප්‍රබල ඖෂධ වර්ගවල පිහිට පතති. එහෙත් එම ඖෂධ මගින් ඇතිකෙරෙන අතුරු ආබාධ රැසකි. එවැනි තත්ත්වයක් යටතේ අතුරු ආබාධකාරක ප්‍රබල ඖෂධවලින් තොරව ජීවත්වීමට මනාප රෝගීන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නෝර්වේ රාජ්‍යයේ දැන් ක්‍රියාත්මක කෙරෙන රැඩිකල් ජාතික සෞඛ්‍ය ක්‍රමය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
කලා නිර්මාණ මාලින්ගේ මානසික තත්ත්වය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට උපකාරයක් වී ඇත මාලින්ගේ ජීවිතයට බේරුමක් ලබන විට ඇයට වයස අවුරුදු 21ක් විය. නව යොවුන් වියේ පසු වූ මාලින් දැඩි මානසික පීඩනයකින් මෙන්ම ස්වයං-අභිමානයක් සමඟ පොරබදමින් සිටියාය. අනතුරුව ඇය තරබාරු මෙන්ම වැදගැම්මකට නැති තැනැත්තියකැයි ඇයගේම හිස තුළින් නැගෙන පණිවුඩයක් මාලින් අමතා කියන්නට විය.එමගින් කියැවුනේ ඇය සියදිවි හානිකර ගතයුතු බවය. ''ඔහු ඉතාම කෝපයට පත්වුණා. ඔහුට විශාල බලයක් පැවතුන නිසා මා හුදෙකලා කිරීමට බල කෙරුණා. අන්තිමේ දී මට බිත්ති අතරින් එලියට එන සතුන්ගේ අඬු වගේ දේවල් පේන්න පටන් ගත්තා''මාලින් පවසන්නීය. අනතුරුව මාලින් ඇය ජීවත්වූ උතුරු නෝර්වේ හි 'ෆ්යෝර්ඩ්ස්'(fjords)නගරය හැරදමා සරසවිය බලා පිටත්ව ගියාය. එහෙත් වැඩි දවසක් ගත නොවුණි. මාලින් තුළ විශාල කඩා වැටීමක් සිදු වූ අතර ඇයට සිය සයනයෙන් නැගිටගත නොහැකි තත්ත්වයක් උදා විය. මාලින්ගේ පවුලේ සාමාජිකයෝ වහා පැමිණ ඇය රැගෙන ගිය අතර ඇය මනෝචිකිත්සාගාරයකට ඇතුළත් කරන ලදුව වසරක පමණ කාලයක් එහි රැඳී සිටිමින් ප්‍රතිකාර ලැබුවාය. මෙය ඇය රෝහලකට ඇතුළත් කෙරුණ පළමු අවස්ථාවයි. එම චිකිත්සාගාරයේ දී මාලින් සඳහා කරන ලද එකම ප්‍රතිකාරය ඉතා ප්‍රබල ඖෂධ ලබාදීමය. ''මගේ ජීවිතය ඖෂධවලින් පිරීගියා. මනස බොඳ වෙන්නට පටන් ගත්තා. මගේ සංවේදීභාවයන් සහ හැඟීම් සමඟ කිසිදු සබඳතාවක් නොමැතිව මම මගේ ජීවිතය දෙස ඔහේ බලාගෙන හිටියා'' මාලින් පවසන්නීය. ''දිගින් දිගටම සිදුවෙමින් තිබුණේ එකම ක්‍රියාවලියක්.මම උදව්වක් පැතුවා. ඔවුන්ට පුළුවන් වුණේ මට ඖෂධ දීම පමණයි. ඒත් කිසිම ප්‍රගතියක් ලැබුවේ නැහැ'' ''ඒක හරිම විනාශකාරී තත්ත්වයක්. කෙනෙකුට අවශ්‍ය කරන්නේ සුවපත්වීම. මිනිස්සු කියාවි-මේක ඔබේ ජීවිතය,දැන් සෑහීමකට පත්වෙන්න කියල. නමුත්,මට දැන් ගෙවන මේ ජීවිතයෙන් සෑහීමට පත්වෙන්න බැහැ'' මනෝචිකිත්සක ප්‍රතිකාර සම්බන්ධයෙන් මාලින් ලද අත්දැකීම අසාමාන්‍ය වූවක් නොවේ. මනෝව්‍යාධීන්ගෙන් පෙළෙන බොහෝ දෙනෙක් ඔවුන්ට නියමකරනු ලබන ඖෂධ මගින් සාමාන්‍ය ජීවිතයක් අත්කර ගැනීමට සමත්වෙන නමුත් එවැනි ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන්ගෙන් 20%ක් පමණ එමගින් ලබන සහනයක් නොමැත. අධික විඩාව,බර වැඩිවීම,කොලේස්ට්‍රෝල් බහුලවීම සහ දියවැඩියාව වැනි අතුරු ආබාධවලට ඔවුහු ගොදුරු වෙති. බලය පාවිච්චිකරමින් සිදුකෙරෙන දිගුකාලීන ප්‍රශ්න මතුකෙරෙන ඉහත කී ඖෂධ මගින් ලබන සමස්ත ප්‍රතිලාභ සම්බන්ධයෙන් නෝර්වේ සමාජයෙහි මැසිවිලි පළවෙමින් පවතී. එම කාරණය අතින් දැනට ලැබී ඇති සීමිත ජාත්‍යන්තර සැසඳීම් සංඛ්‍යාව අනුව බොහෝ වෙනත් රටවලට වඩා නොර්වේ හි පවතින්නේ වඩාත් පොදු තත්ත්වයකි. මානසික ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර කෙරෙන ආයතනයන්හි බලහත්කාරයෙන් හුදෙකලා කරනු ලැබීමේ නෝර්වේ පිළිවෙත වෙනස්විය යුතුව ඇතැයි වධහිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව මගින් අඟවනු ලැබ ඇත. මාලින් මෙන්ම, උමතු අදහස් සහිත ඉතා බරපතල මානසික පීඩනයකින් පෙළුණු මෙටේ එලින්ග්ස්ඩේලන්(Mette Ellingsdalen) වසර දහතුනක කාලයක් මනෝව්‍යාධි සහනකාරක ඖෂධ දෙනලද තවත් කාන්තාවකි. එහෙත් එය ඇයට ප්‍රතිකාරයක් නොවුණි.වෙනත් රෝගීන් මෙන් නොව ශාරීරික මට්ටමින් පිරිහීමක් ප්‍රදර්ශනය නොකළ 'මෙටේ' සඳහා ඖෂධ එන්නත් මගින් ශරීරගත කරනු ලැබුණි. ඇය ඖෂධ ප්‍රතික්‍ෂේප කළේනම්, මෙටේ රෝහල්ගත නොකිරීමට ඉඩකඩ තිබුණි. ''මම මේ ක්‍රමය තුළට ඇද දමපු කුඩා අවධියේ පටන් පොර බදමින් සිටි විශාල අර්බුදයක් තිබුණා. මම ඉතා ශක්තිමත් ලෙස ඊට මුහුණ දෙමිනුයි සිටියේ. මේ ඖෂධ මගින් ඇතැම් රෝග ලක්‍ෂණ සීමා කරනවා. නමුත් ඒ සමඟ ඒවා මගින් අපගේ ක්‍රියාකාරකම් සමඟ ගනුදෙනු කිරීමට අප සතු ශක්තිය,අපේ හැකියාවන් හීන කරනවා. කොහොමහරි,මට මගේම කතාව අහිමි කෙරුණා'' ඇය සඳහන් කළාය. අන්තිමේදී,අවුරුදු පහක් තිස්සේ උත්සාහ කළත් ඖෂධ නැතිව ජීවත්වීමට අපොහොසත් වීමෙන් අනතුරුව තමා විසින් පාවිච්චියට ගනු ලබන ඖෂධ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුකර ගැනීමට 'මෙටේ' සමත් වූවාය.අනතුරුව 2005 වසරේ දී ඇය නෝර්වේ මානසික සෞඛ්‍ය ක්‍රමයේ වෙනසක් ඇතිකිරීමේ සංවිධානය සමඟ එක්වූවාය. දැන් ඇය මනෝ ව්‍යාධීන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා පිහිටුවන ලද "අපි ජයගනිමු'' නම් සංවිධානයේ සභාපතිවරියයි. ''බලපෑම අවම කිරීම සඳහා ඇති වඩාත් පහසුතම මාවත මහජනයාට තෝරාගැනීමක් සඳහා අවකාශ සැලසීමයි. ඔවුන්ට 'ඔව්' කියා එකඟවිය හැකි ප්‍රතිකාරයක් තෝරාගැනීම''ඇය පෙන්වා දෙන්නීය. ඖෂධ නොදී ප්‍රතිකාර කරනු ලබන සායනික වාට්ටු ලසපයන ලෙස නොර්වේ සෞඛ්‍ය අඇමැති බෙන්ට් හෝයි(Bent Hoie) විසින් 2016 වසරේ දී එරට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කළ අතර එය මෙටේ වැනි අය විසින් අවුරුදු ගණනාවක් ගෙනයමින් තිබුණ උපදේශන සේවා පල දැරීමක් බවට පත්විය.ඖෂධ නොමැතිව ප්‍රතිකාර කරනු ලබන රටවල් කීපයක් ඇති අතර,එම ක්‍රමය තෝරාගනිමින් එය විකල්ප ප්‍රතිකාරයක මට්ටමින් ආණ්ඩුවේ මනෝ චිකිත්සක වැඩපිළිවෙලට ඇතුළත් කරන ලද පළමු රට බවට ඒ සමඟ නෝර්වේ පත්විය. වෛද්‍ය මැග්නස් හෝල්ඩ් ආර්ක්ටික් සාගර මුවදොරෙහි පිහිටි 'ට්‍රොම්සෝ'(Tromso)නගරයේ උතුරු නෝර්වේ සරසවි රෝහලේ මානසික සෞඛ්‍ය සහ මත්ද්‍රව්‍ය අවභාවිතය රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන අංශයේ එවක අධ්‍යක්ෂවරයාව සිටියේය. වෛද්‍ය මැග්නස් වසර ගණනාවක් රෝගීන් සඳහා ඖෂධ වර්ග වැඩි වශයෙන් නියමකරනු ලබන අංශවල කටයුතු කළ අතර විකල්ප ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් ද උනන්දුවක් දැක්වීය. ඒ අනුව වෛද්‍යවරයා සිය රෝහලේ ඖෂධ යොදා නොගනිමින් ප්‍රතිකාර කෙරෙන අංශය පවත්වාගෙන යාමේ කාර්යය භාර ගත්තේය. "මගේ පැත්තෙන් බැලුවොත්, මට ඇති වඩාත් වැදගත් දෙය නම් මිනිසුන්ට විවිධ ක්‍රම අත්හදා බැලීමට ඉඩකඩ සැලසීම''වෛද්‍යවරයා සඳහන් කළේය. ''ඖෂධ වර්ග ශරීරයේ ක්‍රියාත්මක වෙන ආකාරය සහ ඒ ගැන ඔබ දන්නා තොරතුරු ගැන රෝගියා දැනුවත් කළ යුතුව තියෙනවා. ඖෂධ නිපදවන සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවිට ඔවුන් ඖෂධ ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මහජනයාට කියන කරුණු සහමුලින්ම නිවරැදි නොවන බවත්, ඒවායේ ඇති අන්තරාය ගැන දැනුවත් නොකරන බවත් පෙනීයනවා. නිදසුනක් වශයෙන්, බරපතල මානසික ගැටලු සහිත අයගේ මොළයේ එක්තරා ආකාරයක රසායනික අසමතුලිතතාවයක් ඇති බවට මිථ්‍යා මතයක් පවතිනවා. ඒත්ඇත්ත වශයෙන් ඒ මතය සනාථ කෙරෙන පර්යේෂණයක් සිදුකෙරී නැහැ'' 'ට්‍රොම්සෝ' රෝහලේ මනෝ චිකිත්සක අංශයේ ප්‍රතිකාර ලබන බොහෝ රෝගීන් ඖෂධවලින් ක්‍රමයෙන් ඈත් කරනු ලබන අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කලක් ගතවෙයි. "අපෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට එම ක්‍රමය වැඩකරන බවක් පෙනෙනවා'' වෛද්‍ය මැග්නස් පවසයි. "ඇතැම් රෝගීන් මේ ව්‍යාධිය සම්බන්ධයෙන් කවදාවත් කිසිදු ආකාරයක ඖෂධයක් නැවත පාවිච්චි නොකරන්න පුළුවන්. නමුත් ඇතැමෙක් කාලෙකට පස්සේ නැවතත් බෙහෙත් සොයන්න ඉඩකඩ තියෙනවා. ඒ අතරම තවත් සමහර රෝගීන් ඔවුන් පාවිච්චියට ගනුලබන ඖෂධ මාත්‍රාව අඩු කරන්න පුළුවන් " දැන් 34 වෙනි වියේ පසුවෙන මාලින් ඉහත කී රෝහලේ එම අංශයේ රෝගී කාන්තාවකි. සති කීපයක් රෝහලේ ගතකරන මාලින් නැවත මාස කීපයකට සිය නිවසට යන්නීය. එම කාලය තුල ඇය සිය බලු සුරතලා වන 'යාරෙක්' සමඟ කාලය ගතකරයි. තනිවම වාසය ඇයට පහසු නැත. මානසික සෞඛ්‍ය අතින් ඇය සුවය ලබන්නේ සෙමෙනි. අයට ඇසෙනවා යයි කියන ශබ්ද තවමත් අතුරුදහන්ව නැත. එහි තේරුම ඇයට තවමත් අද්භූත ශබ්ද ඇසෙන බවකි. මාලින් දැන් පාවිච්චි කරන්නේ සිත සංසුන් කරගැනීම සඳහා රාත්‍රි කාලයේ ගන්නා ඖෂධ පමණි. ඖෂධ පාවිච්චි කරමින් සිටි අවධියෙහි තමා නොලද විකල්පයක් වූ දැඩි ප්‍රතිකාර ක්‍රමයක් රෝහලේ මෙම අංශයේ තමා සඳහා ක්‍රියාත්මක වෙන බව මාලින් පවසන්නීය. සුවය ලැබීම අතින් දැන් ඇයගේ ප්‍රධාන අවධානය යොමුවෙමින් පවතින්නේ කලාව කෙරෙහිය. ''මගේ රෝග ලක්ෂණ අඩුකර ගැනීමට වඩා මම දැන් අවධානය යොමුකරන්නේ මගේ හැඟීම් සමඟ යළි සම්බන්ධ වෙන්නයි. මට ඇසෙන ශබ්දයට උවමනා කරන්නේ මොනවද? කියල දැනගැනීම සඳහා අපි විපරම් කරනවා. එය නතර කිරීමට මම කරන්න අවශ්‍ය කුමක්ද? කියල'' තමාට දැන් වැඩකිරීම ගැන සිතීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් ඇතැයි මාලින් අදහස් කරයි. ඇයගේ බලාපොරොත්තුව නෝර්වේහි විශාල බල්ලන් යොදාගනිමින් හිමමත ඇදගෙන යන රථ පාවිච්චිකරනු ලබන සංචාරක කර්මාන්තය දෙසට යොමුවීමය. "මම දැන් පළමු වතාවට මා සොයා ගැනීමට පටන්ගෙන ඇති බවක් මට හැඟෙනවා. මම දැන් මගේ ස්වයං-අභිමානය ගොඩනඟා ගැනීමට පටන්ගෙනයි ඉන්නේ. අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇතිකර ගැනීම අතින් දැන් මට ධෛර්යය උපදවා ගන්න පුළුවන්.ඇත්තෙන්ම, පුදුමයි!" මාලින් කියන ආකාරයේ කතන්දර දැන් ඇසෙන්නට පටන්ගෙන ඇත. එහෙත් ඖෂධ නොමැතිව කරනු ලබන ප්‍රතිකාර සම්බන්ධයෙන් නෝර්වේ සමාජයේ තවමත් විසංවාදයක් ද පවතී. බොහෝ රෝගීන් ගත්විට මානසික ප්‍රතිකාර අතිශයින් වැදගත් වෙයි. ක්ලෝඩියා විසිවෙනි වියේ පසුවන්නියකි.යොවුන් විය ගතකරමින් සිටියදී ඇය මායාකාරී හැඟීම් වලියකට ගොදුරු වූ අතර සියදිවි හානිකර ගැනීමේ හැඟීමකට ගොදුරු වූවාය. ක්ලෝඩියා පෙළන ලද එක මානසික පීඩාවක් වුණේ ඇයට දෙනලද ඖෂධ 'වස' හැටියට ඇය විසින් විශ්වාස කරනු ලැබීමය. එවැනි තත්ත්වයක් යටතේ එම ඖෂධ නතරකරන ලද අතර ඇය යහපත් අතට හැරුණාය. "එහෙත් එක්තරා කාල පරාශයක පෙළුන මානසික ආතතියකින් පස්සේ මම ආයෙත් රෝගී වුණා. මට ආයෙත් මුලසිට පටන් ගන්නයි සිද්ධ වුණේ. අඩුතරමින් මගේ හිස වතුරට ඉහළින් තබා ගැනීමට පවා මට දැන් බෙහෙත් අවශ්‍ය කරනවා කියල මම හිතනවා'' ''නෝර්මල්- සාමාන්‍යයි- කියන වචනයටවත් මම ඇත්තෙන්ම මනාප නැහැ. නමුත්,මම දැන් ඖෂධ ගන්නවා කිව්වාම ඒක මට හරිම සතුටක්. මගේ ඉගෙනීමේ කාලය තුළ මටත් අදහස් මගින් හවුල්වෙන්න පුළුවන්ය කියන හැඟීම මට තියෙනව. යාළුවන් සහ වෙනත් කාර්යයන් සමඟ මට දැන් කාලය ගතකරන්න පුළුවන්. ඖෂධ ගන්නේ නැතිකොට මගේ ක්‍රියාකාරිත්වය පහත වැටෙමින් තිබුණා. ආතතියක් දැනුණා.අවුල් සහගත තත්ත්වයක් තිබුණේ'' විවේචකයන්ට අනුව ඖෂධ නොමැති ප්‍රතිකාර ක්‍රමය ප්‍රතිඵලදායක උදාහරණයකට වඩා මතවාදයක් පමණි.'ඔස්ලෝ' නගරයේ මනෝචිකිත්සකයකු වන වෛද්‍ය ජෑන් අයිවර් රෝස්බර්ග්(Dr Jan Ivar Rossberg) එය හඳුන්වන ලද්දේ 1960 සහ 1970 දශකයන්හි සිදුකරන ලද අසාර්ථක අත්හදා බැලීමක් හැටියටය. ''මෙවැනි ක්‍රියාමාර්ගයක් ඵලදායී නොවන බව ඉතිහාසය මගින් අපට පෙන්වා දී තිබෙනවා.ඒ නිසා අපි එම ක්‍රමය භාවිත කරනු ලැබීම නතර කළා..බෙහෙත් නැතිව සුවයක් ලබාදිය හැකි බව පෙන්වන ප්‍රතිකාර රටාවක් අප සතුව නැහැ''වෛද්‍යවරයා සඳහන් කළේය. ආරම්භක අවස්ථාවේ පටන් මනෝව්‍යාධීන්ගෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම අතින් සාර්ථක වැඩ පිළිවෙල වන්නේ ඖෂධ උපයෝගීකර ගනිමින් කරනු ලබන ප්‍රතිකාර බව අත්දැකීම් මගින් පෙන්නුම් කෙරෙන බවත් වෛද්‍ය ජෑන් අයිවර් රෝස්බර්ග් පවසයි.මායාව සහ අද්භූත දර්ශන පෙනීම ඉතා දැඩි තත්ත්වයක පවතින විට ක්‍රමානුකූලව බෙහෙත් ප්‍රමාණය අඩුකරන තෙක් දෙවසරක පමණ කාලයක් ඖෂධ දීම අවශ්‍ය කරන බව ඔහුගේ අදහසයි. එහෙත් වෛද්‍ය මැග්නස් හෝල්ඩ් එම අදහස සමඟ එකඟ නැත.. ට්‍රොම්සෝ නගරයේ ඖෂධ නොදී ප්‍රතිකාර ලබාදෙන අංශයේ වසර කීපයක් ගත්කළ රෝගීන් උපයෝගීකර ගනිමින් පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහු සූදානම්වෙමින් සිටියි. එම අංශයේ රෝගීන් සියදිවි නසාගැනීමක් ගැන වාර්තා වී නැත. එහෙත් එය ඖෂධ නැතිව ප්‍රතිකාර කළ හැකිය යන අදහසට ප්‍රබල සාක්ෂියක් ද නොවේ. ''ඇත්ත වශයෙන්ම,අපගේ ඉලක්කයක් විය යුතුව ඇති නමුත් සමස්තයක් ලෙස ගත්විට මානසික සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ සාක්ෂි මත පදනම් වූ අදහස දුෂ්කර වූවක්'' ඔහු පවසයි. ''ඒ එක්කම අපි දන්නා දෙයක් තියෙනව. ඒ මනෝ චිකිත්සාවේ දී රෝග විනිශ්චය සිදුකරනු ලැබීම හුදෙක් වර්ගීකරණ ක්‍රියාදාමයක් වබ බව. අපි පුද්ගලයකු භින්නෝන්මාදයෙන් පීඩා විඳින බවට රෝග විනිශ්චය කළත්,එම තැනැත්තා සමඟ කරන සංවාදයේ දී ඔහුගේ මොළයේ කිසිදු වැරදි ක්‍රියාකාරිත්වයක් පෙනෙන්නේ නැහැ.CT හෝ MRI ස්කෑන් මගින් ද කිසිවක් පෙන්නුම් කරන්නේ නැහැ'' ඖෂධ නොදී සිදුකරනු ලබන ප්‍රතිකාර රටාව අනාගතයේදී සංවර්ධනය වනු ඇත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන්ද විසංවාදයක් පවතී. මනෝ ව්‍යාධීන්ගෙන් දරුණු ලෙස පීඩාවිඳින රෝගීන් ඖෂධ රහිතව ප්‍රතිකාර කරන අංශවලට යොමුකළ නොහැකි තත්ත්වයක් පවතී. පුද්ගලයන් දරුණු අඩියක සිටින මොහොතක ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ උපකාරය ලබාදෙන්නේ නම්,එම දුෂ්කර අදියර පසුකළ හැකි බවට ඒ ගැන අදහස් දක්වන කණ්ඩායම් කියා සිටිති. මේ අතර දරුණු මනෝව්‍යාධීන්ට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය ටෝර් ලාර්සන් එම අදහස ගැන කණස්සල්ල පළකරයි. ප්‍රතිකාර නොකළ මනෝ ව්‍යාධියකින් පෙළෙන බොහෝ රෝගීන් තමන් රෝගාතුරව සිටින බව නොදන්නා අතර ඖෂධ පාවිච්චිය ඇතිව හෝ නැතිව ප්‍රතිකාර කිරීමට ඔවුන් එකඟ නොවන බව ඔහු පෙන්වා දෙයි. එසේම බෙහෙත් නොදෙන සායන ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා පදනමෙන බවත් වෛද්‍යවරයා පවසයි.. ප්‍රතිකාර නොකළ මනෝ ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර නොලද බොහෝ දෙනා වීදිවල ජීවත්වන බව අධ්‍යයනවලින් පෙනී යන බවත් වෛද්‍ය ලාර්සන් පවසයි. ප්‍රතිකාර නොලද 30%ක් පමණ මානසික රෝගීහු අපරාධ සිදුකරති. නෑදෑයන්ට සහ වෙනත් අයට හිංසා කරති. ඔවුන් විසින් සිදුකරනු ලබන මිනීමැරුම් සංඛ්‍යාවත් වැඩිවෙමින් ඇත. 2019 වසරේ දී මානසික රෝගියකු විසින් 67 හැවිරිදි කාන්තාවක් සුසාන භූමියක දී පොරොවකින් කපාකොටා මරා දමන ලද සිද්ධියක් ඔහු මෙහිදී නිදසුනක් ලෙස දක්වයි. එම මනුෂ්‍ය ඝාතකයා මත්ද්‍රව්‍ය රහිත ප්‍රතිකාර වැඩසටහනකට අයත් නොවූ අතර ඔහු ඖෂධ ගැනීමෙන් වැලකී සිටියේය,එසේම ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චිකර ඇත. එම ඛේදජනක අපරාධය 2017 වසරේ දී නීතියේ වෙනසක් පිළිබඳ විවාදයකට ද හේතුවිය. සිය ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකි රෝගීන්ට හදිසි අවදානමක් ඇති වුවහොත් මිස, කැමැත්තෙන් තොරව ඖෂධ ගැනීම සඳහා බල කළ නොහැකි බව එමගින් කියැවුණි. එම පරිසරය තුළ අනතුරුදායක පුද්ගලයන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීම අතින් වෛද්‍යවරුන්ට වඩාත් අපහසු තත්ත්වයක් ඇතිකළ බව විවේචකයන් පවසා ඇත. මාලින් විසින් අඳින ලද සිතුවමක්. ඇය එය නම්කරනු ලැබ තිබෙන්නේ ''බලාපොරොත්තුවක් නොවීම'' යනුවෙනි නෝර්වේ සමාජයේ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන ජනයාට ඖෂධ නැතිව ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනට සහාය දුන් 54 හැවිරිදි හැකොන් රයන් උලන්ඩ්ගේ විශ්වාසය මෙවැන්නකි. අන්තරායන් පිළිබඳ මෙම සංවාදය මගින් මානසික රෝගවලින් පීඩාවිඳින මිනිසුන්ගේ අභියෝගාත්මක චර්යාන්වන්ගෙන් සමාජය ආරක්ෂා කිරීමේ න්‍යාය පත්‍රයක් සඟවන බව ඔහුගේ විශ්වාසයයි. ''ඔවුන් මහජනයාට සහනය සලසන න්‍යාය පත්‍රයක් පෙරට තබනවා'' ඔහු පවසයි.එසේම ඔහු වැඩිදුරටත් පවසන්නේ එම අනතුරු අඟවන ස්නායුමය රෝග ලක්ෂණ අත්විඳින පුද්ගලයන්ට වැදගත් වීමට ඉඩකඩ ඇති බවය. '' මනෝව්‍යාධියකින් පෙළෙන සමයක පුද්ගලයකු තුළ දකින්න ලැබෙන්නේ හදිසි ව්‍යාකූල භාවයක්'' ඖෂධ රහිත ප්‍රතිකාර ව්‍යාපෘතීන්ට ප්‍රවේශවීමට අදහස් කරන අයට නිලධාරීවාදී සහ වියදම් ප්‍රශ්නවලට තවමත් මුහුණ දීමට සිදුව ඇති බවත් රයන් උලන්ඩ් පවසයි. මේ සමස්ත ක්‍රියාදාමය අධීක්ෂණය කළ යුතුව තියෙනව'' රයන් උලන්ඩ් පෙන්වා දෙයි. ''මෙතෙක් වෙච්ච දේවල් පුනරීක්ෂණය කිරීමේ උවමනාවක් තියෙනව. පවතින ක්‍රමයෙන් ඔබ්බට ගිහින් වෙනසක් කිරීම සඳහා ඉල්ලා සිටින තැනැත්තෙක් දකින්න මම කැමතියි'' නෝර්වේ හි සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් ලොවපුරා මනෝචිකිත්සකයන් සහ රෝගීහු බලා සිටිති. බෙහෙත් යොදා නොගනිමින් මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කරනු ලැබීම තවත් රෝගනාශක පිළියමක් හෝ මනෝ ව්‍යාධි ප්‍රතිකාරයන්හි යහපත සඳහා වෙනසක් ඇති කෙරෙන බලයක් එහි පැවතිය හැකිය. මනෝව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාගේ ජීවිත යහපත් අතට ගෙනඒම සඳහා නෝර්වේ ආණ්ඩුව තීරණාත්මක පියවර ගෙන ඇත.ලෝක මට්ටමින් බලන විට,මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කිරීම සහ වධ හිංසා අවම කිරීමේ මාවත් යළි ඇස්තමේන්තු කෙරෙමින් පවතී. බෙහෙත් යොදා නොගනිමින් මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කරනු ලැබීම තවත් රෝගනාශක පිළියමක් හෝ මනෝ ව්‍යාධි ප්‍රතිකාරයන්හි යහපත සඳහා වෙනසක් ඇති කෙරෙන බලයක් එහි පැවතිය හැකිය. කියවන්න;
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම 2011 දී තාවකාලිකව නතර කරන ලද නමුත්, මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් දහසකට වැඩි පිරිසකට 'හොර පාරෙන්' ද්විත්ව පුරවැසිභාවය ලබා දී තිබෙන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
'එක්දාස් ගාණක් හොර පාරෙන් ද්විත්ව පුරවැසිභාවය අරගෙන තියෙනවා' පසුගිය ආණ්ඩුව අවසාන දින කිහිපයේදී නිවේදනය කළ ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය ලබාදීම තවමත් ආරම්භ කොට නැති නමුත් ඉතා ඉක්මනින්ම එය යළි ආරම්භ කරන බව ද නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට පැවසීය. ද්විත්ව පුරවැසිභාවය ලබාදීම යළි ආරම්භ කරන බවට පසුගිය අයවැය අවස්ථාවේ රාජපක්ෂ පරිපාලනය ඉදිරිපත් කළේ 'ඉතා අපැහැදිලි ස්ථාවරයක්' බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදිය යුතු බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, අයදුම්පත් භාර ගෙන ද්විත්ව පුරවැසිභාවය ලබාදීම ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කල් තැබීමට පියවර ගනිමින් ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග මගින් පැවසෙයි.
එම සංශෝධනය අප්‍රියෙල් විසිවෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි එම ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ. එවැනි පියවරක් ගනු ලබන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක විශේෂ පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීම සැක සහිත වී ඇති හෙයිනි. උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් අද (09) දේශපාලන පක්ෂ නායක සාකච්ඡාවක් සිදු වෙමින් පැවති බවත් වාර්තාවෙයි. මේ අතර කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ 19 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ එවැනි වගන්ති ඉවත් කිරීමට තමා සූදානම් බවයි කියා සිටියේ.
ශ්‍රී ලංකා ළමා නාට්‍ය කලා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් බවට පත්වූ අග්‍රගණ්‍ය නාට්‍ය වේදිනියක හා රංගන ශිල්පිණියක වූ සෝමලතා සුබසිංහ අභාවප්‍රාප්ත වුවාය.
ළමයින් සඳහා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඇය වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනූ නාට්‍යවෙදිනියකි මිය යන විට ඇය 79 වැනි වියේ පසුවූ ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය අභාවප්‍රාප්ත වුයේ. ළමයින් සඳහා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඇය වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණයෙන් දෙස් විදෙස් පතළ වූ නාට්‍ය ගුරුවරියකි. ළමයින් සඳහා ඇය නිර්මාණය කළ ‘හිම කුමාරි’, ‘වලස් පවුල’, ‘පුංචි අපට දැන් තේරෙයි’ වැනි නාට්‍ය ශ්‍රී ලාංකීය ළමා නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහන් බවට පත්වී තිබේ. ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ලයනල් ප්‍රනාන්දු ගේ දයාබර බිරිඳ වන සෝමලතා ජනප්‍රිය සිනමා හා වේදිකා නිළියක වන කෞශල්‍යා ප්‍රනාන්දු ගේ ආදරණීය මෑණියන් වේ.
ක්‍රිකට් ක්‍රීඩකයන් මුදලට කෑදර පිරිසක් යැයි හැඟවෙන පරිදි පළවූ මාධ්‍ය වාර්තා දැක තමන් අතිශය කණගාටුවට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ඔහු මෙසේ සිය අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර ඇතිකරගත් වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. "අපි සල්ලිවලට පෙරේත වෙලා කෑදර වෙලා අපි කොන්ත්‍රාත් අත්සන් කරන්නේ නැහැ කියලා මාධ්‍යවල තිබ්බා, අසාධාරණ ලෙස අපිව විවේචනයට ලක් කළා" යැයි කී ඇන්ජලෝ මැතිව්ස්, "අපි මේ වගේම 2013 වසරේත් මුල්‍ය අර්බුදයක් තියෙනකොට වැටුප අඩුකරගන්න එකඟ වුනා, මොකද අපි දන්නවා දේශීය ක්‍රීඩකයන්වත් බලාගන්න ඕන ක්‍රිකට් ඉදිරියට යන්න නම්" යනුවෙන් පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිටය් නිසි තොරතුරු නොමැතිව ක්‍රීඩකයන් විවේචනයට ලක් නොකරන ලෙසය. තම අබාධය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේ එල්ලකළ චෝදනාවට ද ඇන්ජලෝ මැතිව්ස් දුන් පිළිතුරු සඳහා ඉහත වීඩියෝව නරඹන්න.
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන 'සැලැස්මකට' අනුව ක්‍රියාත්මක නොවන්නේයැයි විවිධ පාර්ශව වෙතින් තවදුරටත් චෝදනා එල්ල වන ආකාරය බීබීසී සිංහල සේවය කළ විමසුමක දී පෙනෙන්නට විය.
එක්සත් රාජධානිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායිහි 'සීරම් ඉන්ස්ටිටියුට්' ආයතනය නිෂ්පාදනය කර තිබෙන අතර, එයින් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ද ලැබිණි. තවත් එන්නත් තොගයක් පෙබරවාරි මස ගෙන්වීය. නමුත් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ගැන රජයේ නිවේදන විටින් විට වෙනස් වී ඇති අතර, සමහර ස්ථානවල සිදුවූ අක්‍රමිකතාවලට එරෙහිව විරෝධතා ද පැවැත්විණි. නාරාහේන්පිට ප්‍රදේශයේ එන්නත් ලබා දීමේ අවස්ථාවක දී එය නිසි සැලැස්මකට අනුව සිදු නොවන බව එම මධ්‍යස්ථානයේ රැස්ව සිටි පිරිස චෝදනා කළ අතර, එහි නොසන්සුන්තාවක් ද ඇතිවිය. "මම එළවළු ගන්න පිටකොටුවට ගියා. ඒ හරියේ එන්නත් දෙන මධ්‍යස්ථානයක් තිබුණා. ඒ සෙනඟ පෝලිමට මමත් එකතුවෙලා ගිහින් එන්නත විදගත්තා. නැත්නම් පිළිවෙලකට ඕක හැමෝටම ලැබෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ," 75 හැවිදිරි පුද්ගලයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. සිය නම හෙළිනොකරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය. ජනවාරි මස එන්නත ශ්‍රී ලංකාවට ලැබුණු විට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත ලබා දීමට ක්‍රියා කරන බවය. කොළඹ: එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට පෝලිමේ සිටින පුද්ගලයන් එය එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ පළමු නිවේදනය විණි. ඒ අනුව, බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් හයක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ජනවාරි 29 වෙනි දින ආරම්භ විය. නමුත්, කෙටි කාලයක් ඇතුළත දේශපාලනඥයන්, ක්‍රීඩකයන් ඇතුළු විවිධ පුද්ගලයන් එන්නත ලබා ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යජාලවල සංසරණය විය. මින්පසු පෙබරවාරි මස සෞඛ්‍ය අමාත්‍යාංශය නැවතත් පැවසුවේ, වයස 30ත් 60ත් අතර සියලුම පුද්ගලයන්ට එන්නත ලබා දෙන බවය. නමුත් එය 60ට වැඩි පුද්ගලයන්ට ද එන්නත ලබා දෙන බව නැවතත් නිවේදනය කළේය. 'VIP සෙන්ටර්' මේ අතර, කොළඹ ස්ථාන කීපයක ප්‍රභූන් (VIP) සඳහා වෙන් වූ එන්නත් මධ්‍යස්ථාන ගැන තොරතුරු ද බීබීසී සිංහල සේවයට ලැබිණි. "මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා." "මේක ඇත්තටම ලොකු අසාධාරණයක්," යැයි 'ප්‍රභූ එන්නත් මධ්‍යස්ථානයක' සේවය කරන හෙදියක පැවසුවාය. ඇය ද සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය. දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිවීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක දී පැවසීය. ප්‍රමුඛතා කණ්ඩායමට අයත් වූයේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් වන නමුත් එම ක්‍රියාවලිය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුව තීරණය කළ බව එම සංගමය පැවසීය. එන්නත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කරන ස්ථානයක් එන්නත්කරණය ගැන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය. "හැටට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදෙනවා ආණ්ඩුව මුලින් කිව්වා. ඊට ටික කාලයකට පස්සේ 30-60ත් අතර අයටයි එන්නත දෙන්නේ කියලා පුවතක් ගියා. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ කීපදෙනෙකුට එන්නත දුන්නා. හැබැයි මේ අස්සේ වරායේ, මහජන පුස්තකාලයේ VIP මධ්‍යස්ථාන පිහිටුවලා දේශපාලඥයන් සහ හිතවතුන්ට එන්නත ලබා දෙනවා. මහජන පුස්තකාලයේ, වරායේ සේවකයන් අපිට කතා කරලා කියනවා ඔවුන්ට එන්නත ලැබෙන්නේ නැහැ, හැබැයි VIP අයට ලැබෙනවා කියලා. සමාජයෙන් එන විරෝධය වළක්වා ගන්න කොළඹ, මට්ටක්කුලිය, ගම්පහ, නාරාහෙන්පිට වගේ ප්‍රදේශවල එන්නත් දීගෙන යනවා. නමුත් පිළිවෙලකට ලිස්ට් එකකට නෙමෙයි. සෑහෙන දෙනෙක් හොර පාරෙන් එන්නත විදගන්නවා. කොරෝනා පාලනය කරන්න නම් එන්නත් ලක්ෂ 140ක් ලංකාවට අවශ්‍ය වෙනවා. ඒ වගේම, නිසි ක්‍රියාදාමයකට එන්නත්කරණය සිදු කළ යුතු වෙනවා," මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය. 'දරුවන්ට නැහැ, ඒත් ගත්තා' කිරිබත්ගොඩ පදිංචි 28 හැවිදිරි කාන්තාවක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, දරුවන්ට එන්නත ලබා දීමට රජයෙන් තවමත් වැඩපිළිවෙලක් නොමැති නමුත් තමන් මෙන්ම දෙහැවිදිරි දරුවා ද එන්නත ලබා ගත් බවය. "මම දන්නවා මේක වැරැද්දක් කියලා. නමුත් මම අසනීපවලින් පෙළෙන කෙනෙක්. මගේ එකම දරුවා ගැන තිබුණේ ලොකු බයක්. ඉතින් මම දන්න කෙනෙකු හරහා කොහොමහරි වැක්සීන් ගත්තා. වැක්සීන් දෙන පැහැදිලි ක්‍රමවේදයක් ගැන ආණ්ඩුවෙන් කියන්නේ නැහැ. එක දවසට හිතුන දේවල් කියනවා මාධ්‍ය හරහා. අපි කොහොම ද මේ රට ගැන විශ්වාසයක් තියෙන්නේ. දේශපාලඥයෝ සියල්ල ඩැහැගෙන ගියාම, අපි වගේ මිනිස්සුන්ට අවසානයේ ඉතිරි වෙන්නේ දුක විතරමයි. දියුණු රටවල වගේ වයසක සහ අසනීප අයට පිළිවෙලට වැක්සීන් එක දුන්නා නම් මේ කිසිදෙයක් වෙන්නේ නැහැ. නමුත් දේශපාලඥයන්ගේ ලැයිස්තු ටික කවර් කරන්න ඕන නිසා වැඩසටහන හිතේ හැටියට අවුල් කරලා," ඇය තවදුරටත් පැවසුවාය. මෙසේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙය ඇතැම් හුදෙකලා සිද්ධි මත පදනම් වූ ප්‍රකාශ විය හැකි බවය. "මට කියන්න පුළුවන් මම ගැන. මම එන්නත ගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන අවස්ථාවේදී. ඒත් මගේ පවුලේ කිසිකෙනෙකුට එය ලබාදීලා නෑ. ඒ වාරය එනකන් ඒ අය ඉන්නවා ඔය කියන දේ isolated incidents, තනිවේච්ච එක සිදුවීමක් හෝ දෙකක් අරගෙන generalise (සාමාන්‍යකරණය) කරන්න යනවද දන්නේ නෑ" යැයි අමාත්‍යවරයා කීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, "එන්නත් කරණය දේශපාලනිකරණය වෙලා කියලා නොයෙකුත් අය චෝදනා නගනවා අපි දක්කා. ක්‍රීඩකයෙකුත් එන්නත්කරණය කළා කියලා චෝදනා කළා. ලෝකයේ අපි දැක්ක විවිධ ප්‍රසිද්ධ චරිත මේ එන්නත භාවිතය කිරීමට සුදුසුයි කියන එක කියන්න නැතිනම් මිනිස්සු බය වෙන එක නැති කරන්න එන්නත් කරනගෙන පෙන්නලා තියෙනවා." යනුවෙනි. 'අවුරුදු තිහට වැඩි හැමෝටම' පෙබරවාරි 24 වෙනි දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ වයස අවුරුදු තිහට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවය. එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහායද ලබාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය. "අපි තීන්දුවක් ගත්තා වයස අවුරුදු 30 සිට සියලු දෙනාටම මේ එන්නත ලබාදෙන්න. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිසමත් සමඟ සම්බන්ධවෙලා සෑම ග්‍රාම නිලධාරි වසමකම ලියාපදිංචි ඡන්ද නාමලේඛනය අරගෙන එයින් තිහට වැඩි අය හඳුනාගැනීමක් කරලා ඔවුන් ලියාපදිංචි කරන්න අවශ්‍ය සියලු කටයුතු සිදු කර තිබෙනවා. සල්ලි තිබුණත් අද එන්නත මිලදී ගැනීමේ ලොකු තරගකාරීත්වයක් ඇතිවී තිබෙනවා," අමාත්‍යවරිය පැවසුවාය. විවිධ කණ්ඩායම් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්ව උද්ගත වූ නමුත්, මේ වන විට එය වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට ද ලබාදීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරිය සඳහන් කළාය. එන්නත්කරණය සිදු වන්නේ කෙසේද? එන්නත ලබා ගැනීමෙන් පසු කාඩ්පතක් ලැබෙන අතර, එය සුරැකිව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. දෙවෙනි එන්නත ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය අනුක්‍රමික අංකය මෙම කාඩ්පතේ සඳහන් වන අතර ඉදිරියේදී විදෙස් ගතවීමේදී එන්නත්කරණය සිදුකරගත් බවට සාක්ෂි වශයෙන් ද මෙම කාඩ්පත අවශ්‍ය වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් නිවේදනය කර ඇත. එන්නත ලබා ගැනීමෙන් පසු ලැබෙන කාඩ්පත මෙම එන්නතත ලබා ගැනීමෙන් පසු මද උණ ගතියක්, ශරීරයේ වේදනාව වැනි සුළු සංකූලතා ඇති විය හැකිය. මේ හේතුවෙන්, ආසාත්මිකතා ඇති පුද්ගලයින් එන්නත ලබාගැනීමෙන් පසු අදාළ මධ්‍යස්ථානය තුළ පැය භාගයක කාලයක් රඳවා තබාගෙන නිරීක්ෂණය කරන ලෙසට සෞඛ්‍ය අංශවලට උපදෙස් ලැබී තිබේ. එන්නත ලබා ගැනීමට පෙර තමන්ට ඇති ආසාත්මිකතා ගැන අනිවාර්යයෙන් හෙළි කළ යුතුය. "පුද්ගලයෙකුට මෙම එන්නතෙන් මාත්‍රා 02ක් ලබාදෙනවා. පළමු මාත්‍රාව දීලා සති හතරකට පසු දෙවෙනි මාත්‍රාව ලබාදෙනවා," වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය. එන්නත ලබා ගැනීමට පෙර තමන්ට ඇති ආසාත්මිකතා ගැන අනිවාර්යයෙන් හෙළි කළ යුතුය එන්නත වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට, ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ දැඩි ආසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්ට ලබාදෙන්නේ නැහැ. ඊට අමතරව සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්‍යතාව සලකා බැලීමෙන් පසුවයි සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එන්නත ලබා දෙන්නේ. එන්නත ලබාදීමට පෙර ආසාදිතයෙක්ද යන්න පරීක්ෂා කිරීමක් සිදුකරන්නේ නැහැ. රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත්කරණය සඳහා බාධාවක් නෙමෙයි. මෙම එන්නත්කරණය සෞඛ්‍ය අංශ විසින් ඉතාම සද්භාවයෙන් යුතුව විද්‍යානුකූලව සිදුකරන දෙයක්," වෛද්‍යවරයා පැවසීය. මේ තොරතුරුද කියවන්න:
ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් පරාජයට පත් කරමින් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ හතළිස් පස් වැනි ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපාන තීරණාත්මක ප්‍රාන්ත තහවුරුකර ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබෙන්නේ මාස ගණනක් පුරා පැවති මත විමසුම්වලදී ජනාධිපතිවරණයේ වාසිය ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් හිමි කරගනු ඇතැයි ප්‍රකාශ කර තිබියදීය. ෆ්ලොරිඩා, ඔහායෝ සහ උතුරු කැරොලයිනා ප්‍රාන්ත ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය මාවත හෙළි කර දීමට ඉවහල් විය. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හමුවේ ජාත්‍යන්තර කොටස් වෙළඳපොළ ශීඝ්‍ර පහත යාමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
ISIS සටන්කාමීන් ප්‍රමුඛ ජිහාඩ්වාදී සටන්කාමීන් සහ ෂියා සටන්කාමීන් ඇතුළු රජයේ හමුදා අතර දිගටම සටන් පවතිද්දී ඉරාකයේ ප්‍රධාන තෙල් පිරිපහදුවේ ඉරණම තවමත් අපැහැදිලිව පවතී.
එම බේජි තෙල් පිරිපහදුව තම පාලනය යටතේ පවතින බව රජය පැවසුවත් ලැබෙන වාර්තාවලට අනුව එය ISIS සටන්කාමීන් විසින් වට කරගෙන සිටිති. සටන්කාමීන් විසින් යුද හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් බිම හෙලා ඇති බවත් වාර්තාවල සදහන් වෙයි. මේ අතර උපක්‍රමික වශයෙන් වැදගත් ටල් අෆාර් නගරයේ ගුවන් තොටුපොල අවටද සටන් ඇවිලයමින් තිබේ. වාර්තාකරුවන් පවසන ආකාරයට නගරය ජිහාද්වාදී සටන්කාමීන්ගේ අතට පත්වුවහොත් එහි සිට මොසුල්( Mosul) නගරය යලි අත්පත් කරගැනීම අපහසු කාර්යයක් වනු ඇතැයි වාර්තාකරුවෝ පවසති. මොසුල්( Mosul) නගරය ඉකුත් සතියේදී සටන්කාමීන් අතට පත් විය.
දිවියෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්ඩී අමරදේවයන්ගේ දැක්ම ඉදිරියට ගෙන යනු වස් අමරදේව කේන්ද්‍රයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවය අමතමිනි. රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් එක් වී සිටිති. පණ්ඩිත් අමරදේවයන් කිසිදිනක ජාතිවාදය හෝ ආගම්වාදය වෙනුවෙන් පෙනී නොසිටි බව අවමංගල්‍ය සභාව අමතමින් මහාචාර්ය සුනිල් ආරියරත්න පැවසීය. ඒ හේතුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ග සහ ආගම්වලට අයත් රසික රසිකාවියන් ඔහු වටා රොද බැඳගත් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය. මේ අතර පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අද (නොවැම්බර් 05) කොළඹ නගර සීමා බල ප්‍රදේශයේ සියලු සුරා සැල්, සිනමා ශාලා සහ මස් අලෙවිසැල් වසා දැමිය යුතු බව රජය දැනුම්දී තිබේ.
කිලිනොච්චියේ මානව හිමිකම් ක්‍රියාධාරිනියක ඇයගේ දියණිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
'අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට' අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට ජෙයකුමාරි බාලේන්ද්‍රන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ. ඇයගේ පුත්‍රයා අතුරුදහන් වී ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඉදිරියෙන්ම සිටියාය. ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.
දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක් දින ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි විස්සයි විස්ස තරගයෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාව බලා පැමිණියේය. පුද්ගලික කරුණක් හේතුවෙන් ඔහු දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන නමුත් ආබාධ තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණෙන බව ඇන්ජලෝ මැතිව්ස් මීට ඉහතදී බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය. නුවන් ප්‍රදීප් සහ ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයන්ද ආබාධ හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් තිදෙනා වෙනුවට සඳුන් වීරක්කොඩි, ලහිරු මධුශංක සහ චතුරංග ද සිල්වා කණ්ඩායමට තෝරා ගන්නා ලද බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය සඳහන් වේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක් දින තරගාවලිය ජනවාරි 28 වැනි දින පෝට් එළිසබෙත් හිදී ආරම්භ වේ.
කොලොන්නාව මීතොටමුල්ල නායගිය කුණු කන්දට යට වීමෙන් මරණයට පත් පුද්ගල සංඛ්‍යාව දහසය තෙක් ඉහළ ගොස් ඇතත් අදත් (අප්‍රේල් 15) එතැනට කුණු දමමින් පැවති බව ප්‍රදේශවාසියෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින්, මේ වනවිට මරණ දහසයක් වාර්තා වී ඇති අතර, විනාශයට පත් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සොයා දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව කියා සිටියේය. කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙන යනමෙන් කොතෙක් ඉල්ලීම් කළත් ඒ සඳහා බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා කරන ප්‍රදේශවාසීහු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය පළ කරති. දේශපාලනඥයන් විසින් සිය ඉල්ලීම නොතකා හළ බව පවසන කුණු කන්ද අවට පදිංචිකරුවෝ අනතුර සිදු වූ ස්ථානයට පැමිණි දේශපාලනඥයන්ට විරෝධය පළකළ අතර එහි නොඑන ලෙස ඔවුන් හමුවේ කියා සිටියහ. රජයේ වියදමින් මේ අතර නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මරණයට පත් පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවය. අනතුර ලක් වූ ස්ථානය අවට අනතුරුදායක තත්වයේ සිටින පිරිස් ඉන් ඉවත් කිරීම වහා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කෙසේ නමුත් මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් එම කසල බැහැර කිරීම සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.
මහජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරමින් විවිධ පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වී බලයට පත්වන මන්ත්‍රීවරුන් රටේ පරිපාලනය සහ නීතිය සම්බන්ධ සියලු කටයුතු තීරණය කරන ආයතනය පාර්ලිමේන්තුව වේ.
මහ මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්ය වන්නේ කතානායකවරයෙකු පත් කර ගැනීමය පාර්ලිමේන්තුව රැස් වූ දින සිදුවන වාද විවාද ඇතුළු සියලු කටයුතු පිළිබඳ සටහන් ඇතුළත් කර සකසන නිල ලේඛනය හැන්සාඩ් වාර්තාව ලෙස හඳුන්වයි. මෙය ඕනෑම පුද්ගලයෙකුට ලබා ගත හැකි අතර, වර්තමානයේ දී එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ්අඩවිය ඔස්සේ පහසුවෙන් කියවිය හැකිය. හැන්සාඩ් වාර්තාවේ ඉතිහාසය 1771ට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කටයුතු කිසිවක් බාහිර පුද්ගලයන්ට දැන ගැනීමේ ක්‍රමවේදයක් නොපැවතුණි. නමුත් පසුව, පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් පිළිබඳ සටහන් ඇතුළත් ලේඛනයක් සකස් කළ ද එහි මන්ත්‍රීවරුන්ගේ වාද විවාද ඇතුළත් වූයේ නැත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය වාද විවාද ගැන තොරතුරු ප්‍රසිද්ධියේ පළ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන බව සඳහන් නීතියක් එකළ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක විය. මෙම නීතිය කඩ කරන පුද්ගලයන්ට විශාල දඩ මුදලකට යටත් වීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීම, විනය පරීක්ෂණ පැවැත්වීම මෙන්ම සිර දඬුවම් ලබා දීමට ද හැකිය. කෙසේනමුත්, පාර්ලිමේන්තු විවාද පිළිබඳ මහජනයා තුළ මහත් උනන්දුවක් ඇති වීමත් සමග ස්වාධීන පුවත්පත් කලාවේදීහු ඒ සම්බන්ධයෙන් නිල නොලත් වාර්තා යොදාගනිමින් ලිපි පළ කිරීමට කටයුතු කළහ. විලියම් කොබට්ගේ "පාර්ලිමේන්තු විවාද" සඟරාව මේ අතර, විලියම් කොබට් (William Cobbett) නම් පුවත්පත් කලාවේදියා "පාර්ලිමේන්තු විවාද (Parliamentary Debates)" නම් සඟරාවක් එළි දැක්වූයේය. විවිධ පුවත්පත් ඔස්සේ පක්ෂ භේදවලින් තොර ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු විවාද ගැන සටහන් එහි ඇතුළත් විය. මෙය මන්ත්‍රීවරුන්ගේ කථා අනුසාරයෙන් සැකසූ මධ්‍යස්ථ විචාර ග්‍රන්ථයක්‌ වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජනතාවගේ මහත් ප්‍රශංසාවට ලක්‌වී තිබේ. නමුත් බ්‍රිතාන්‍ය රජය දිගින් දිගටම විලියම් කොබට් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දුන් අතර, අධිකරණය නියම කරන ලද විශාල දඩ මුදල් ගෙවීමට සිදු වීමෙන් විලියම් කොබට්ට දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දීමට ද සිදු විය. විලියම් කොබට්ගේ "පාර්ලිමේන්තු විවාද" සඟරාව මේ හේතුවෙන් 1812 වර්ෂයේ දී, ඔහු සිය සඟරාව ඉදිරියට පවත්වාගෙන යෑම එය මුද්‍රණය කළ 'තෝමස්‌ කර්සන් හැන්සාඩ්ට (Thomas Curson Hansard)' පැවරුවේය. පුවත්පත් කලාවේදීන් දිගින් දිගටම පාර්ලිමේන්තු විවාදවල කොටස් අනවසරයෙන් පළකිරීමත්, ඔවුන්ට ඒ වෙනුවෙන් දඬුවම් නොකළ යුතු බවට ජනමතයක් ගොඩනැගීමත් සමග 18 වන සියවස අග වන විට ඒ සඳහා පැවති බාධා සහ අදාළ නීති ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළේය. එතෙක් කොබට්ගේ පාර්ලිමේන්තු විවාද නමින් හැඳින්වුන සඟරාව එවක් පටන් 'හැන්සාඩ්ගේ පාර්ලිමේන්තු විවාද' ලෙසින් වෙනස් විය. කොබට් හෝ හැන්සාඩ් පාර්ලිමේන්තු විවාද ඇතුළත් ලිපි සැකසීමට කිසිදිනක වෙනත් පුද්ගලයෙකු සේවයේ යොදවා නොමැත. ඒ වෙනුවට ඔවුහු පුවත්පත්වල පළ කරන පාර්ලිමේන්තු විවාද ගැන සටහන් එකතු කර සිය සඟරාව සකස් කළහ. තෝමස්‌ කර්සන් හැන්සාඩ් බාධා හමුවේ කොබට් එම කාර්යයෙන් ඉවත්වුවත්, තෝමස්‌ කර්සන් හැන්සාඩ් මෙම සඟරාව වසර ගණනාවක් එක දිගට පළ කළේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලිපි ලේඛන මුද්‍රණය කිරීම භාරව සිටි ලූක්‌ හැන්සාඩ් ඔහුගේ පියාය. තෝමස්‌ කර්සන් හැන්සාඩ් අනුස්මරණය කිරීම පිණිස පසු කාලීනව පළ වූ පාර්ලිමේන්තු වාර්තා හැන්සාඩ් නමින් හඳුන්වනු ලැබිණ. බ්‍රිතාන්‍යයේ පැරණි හැන්සාඩ් වාර්තාවක් බ්‍රිතාන්‍යය ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහෝමයක පාර්ලිමේන්තු විවාද සටහන් හඳුන්වනු ලබන්නේ ද හැන්සාඩ් වාර්තාව යන නමිනි. තවත් ලිපි: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා රජයේ මුද්‍රණ කාර්යාංශයෙන් සහ මහජන පුස්තකාලයෙන් මිලදී ගැනීමට අමතරව, පාර්ලිමේන්තුවේ නිල වෙබ්අඩවියෙන් බාගත හැකිය. එසේම ඇතැම් විශේෂ අවස්ථාවල දී අධිකරණය විසින් ව්‍යවස්ථාදායකයේ අරමුණු කුමක්‌ද යන්න සලකා බැලීමේදී අදාළ විෂය සඳහන් හැන්සාඩ් වාර්තාව වෙත යොමු වන අවස්ථා තිබේ. උදාහරණයක් ලෙස යම් පනතක්‌ සම්බන්ධව අධිකරණ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වූ අවස්ථාවක පනත සම්බන්ධව අදාළ අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම් ගැන වාර්තාවේ සටහන් වී ඇති ආකාරය කියවා බැලීමට පියවර ගනී. පාර්ලිමේන්තුවේ ඇති හැන්සාඩ් දෙපාර්තමේන්තුව එම වාර්තා සකස්කරන අතර, එම සටහන් සහකාර සංස්කාරකවරුන්, නියෝජ්‍ය සංස්කාරකවරුන් මෙන්ම සංස්කාරක පරීක්ෂා කිරීමෙන් අනතුරුව දින තුනක් ඇතුළත එළි දක්වන බව පාර්ලිමේන්තු පරිපාලන නිලධාරිනියක් බීබීසී සිංහල සේවයට තහවුරු කළාය. සමහර අවස්ථාවල දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය විවාදය අතරතුර ලේඛන පෙන්වා ඒවා හැන්සාඩ්ගත කරන බව සභාවට දන්වා සිටී. එවන් අවස්ථාවක අදාළ ලේඛන ගැන විස්තර හැන්සාඩ් වාර්තාවේ සටහන් කරන අතර, එම ලේඛන අන් අයට කියවිය හැකි පරිදි පාර්ලිමේන්තු පුස්තකාලයේ තැන්පත් කෙරේ. හැන්සාඩ් වාර්තාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම මුද්‍රණය කෙරේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පවත්වන සෑම කතාවක්‌ම එය පවත්වන ලද භාෂාවෙන්ම වාර්තා ක‍ළ යුතු බව ස්ථාවර නියෝගවල දැක්වේ. සංස්කාරකවරුන්ගේ අධීක්ෂණය යටතේ විශාල කණ්ඩායමක් විසින් සකස්කරන හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් කරුණු සංශෝධනය කළ නොහැකි බව පරිපාලන නිලධාරිනිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. කෙසේවෙතත්, වාර්තා සටහන්වල නිවැරදි කිරීමක් සිදු කළ යුතු නම්, එය කළ යුතු ආකාරය සෑම හැන්සාඩ් වාර්තාවකම අවසානයේ පහත සඳහන් ආකාරයෙන් සටහන් කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ කාර්යභාරය •මහ මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්ය වන්නේ කතානායකවරයෙකු පත් කර ගැනීමය. එමෙන්ම, මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස් කරනු ඇත. •පාර්ලිමේන්තුව තුළ දී මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානියා වන්නේ කතානායකවරයාය. •පාර්ලිමේන්තුව රැස් වූ දිනයන්හි පැවැත්වෙන සභාවාරය පාලනය කිරීම • මන්ත්‍රී වරප්‍රසාද සහ පහසුකම් සැලසීම •අදාළ පක්ෂ අනුව මන්ත්‍රීවරුන් සභාව ඇමතීමේ අනුපිළිවෙළ තීරණය කිරීම •ගණපූරණය නොමැති අවස්ථාවල පාර්ලිමේන්තුව කල්තැබීම •පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආචාරධර්ම පද්ධතියට අනුකූලව මන්ත්‍රීවරුන් හැසිරවීම •අසභ්‍ය වචන, පාර්ලිමේන්තුවේ සහ අනෙක් මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානි වන වැකි හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමේ බලය සහ •නියෝග සහ ආචාරධර්ම කඩ කරන මන්ත්‍රීවරුන් අදාළ ධූරයෙන් ඉවත් කිරීමේ බලය ද කතානායකවරයාට හිමිවේ. කතානායකවරයෙකු පාර්ලිමේන්තුවේ දී ලබා දෙන තීරණය අදාළ කාරණය සම්බන්ධයෙන් ගන්නා අවසාන තීරණය ලෙස සැලකෙන බව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ පරිපාලන නිලධාරිනිය පෙන්වා දුන්නාය. කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයාට ඇති බලය කුමක්ද? ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව 33 (2) "ඇ"වගන්තියේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසාන කිරීම සහ විසුරුවා හැරීමේ බලය පවතින්නේ ජනාධිපතිවරයාටය. එහෙත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලය හිමිවන්නේ කවර අවස්ථාවක දී ද යන්න සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර නීති තර්ක මතුවෙමින් පවතී. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ බොහෝ විශාරදයන්ගේ මතය වී තිබේ. ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සහ එඩින්බරා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය අසංග වැලිකල ඒ මතය දරති. ඔවුන් සියලු දෙනා පෙන්වා දෙන පරිදි එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) ඒ සඳහා අනුමැතිය පළ කළ යුතුය. කෙසේ වුවත් 33 වෙනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ස්ථාවරය වී තිබේ. කෙසේනමුත්, පාර්ලිමේන්තුව රැස් වූ විට එහි බලය සහ පාලනය හිමි වන්නේ කතානායකවරයාටය. කතානායක ධූරයට පත්වන මහජන නියෝජිතයා දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වුවද එම තනතුරට පත් වූ පසු පූර්ණ අපක්ෂපාතී ලෙස කටයුතු කළ යුතුය. පාර්ලිමේන්තු සභා ගැබේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය මේ තොරතුරු ද දැනගන්න: වර්තමාන දේශපාලන අර්බුදය සහ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා 2018 නොවැම්බර් 14 වෙනි දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ අගමැති ලෙස සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ වන අතර, ඔහු ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කැබිනට් මණ්ඩලය ලෙස සටහන් කර තිබේ. 2018 නොවැම්බර් 14 වෙනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහි ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සඳහන් කතානායක තීරණය එදින හැන්සාඩ් වාර්තාවේ සටහන් කර ඇත. පාර්ලිමේන්තු සභාගැබේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමග විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන්ගේ නම්වලින් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා උත්සාහ දරා ඇති ආකාරය ද හැන්සාඩ් වාර්තාවේ දැක්වේ. නමුත් සභාව තුලින් එයට දැඩි විරෝධයක් එල්ල වීමත් සමග, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව තීරණයක් ලබා දීමට නැවතත් උත්සහ කර ඇති ආකාරයත් නිල වාර්තාවේ සටහන් වී තිබේ. 2018 නොවැම්බර් 15 වෙනි දා හැන්සාඩ් වාර්තාව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වී ඇති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තියට අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර ඇති බව සහ මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති හෙයින් කිසිදු මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස හෝ ඇමැතිවරයකු ලෙස පිළිනොගන්නා බවට කතානායක කරු ජයසූරිය කළ නිවේදනය 2018 නොවැම්බර් 15 වෙනි දා හැන්සාඩ් වාර්තාවේ සඳහන් වේ. 2018 නොවැම්බර් මස 16 වෙනි දා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා නිවේදනය කළ බව 2018 නොවැම්බර් මස 16 වෙනි දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ද සඳහන් කර ඇත. තවත් තොරතුරු:
රෝහින්ග්‍යා මුස්ලිම් ගම්මාන ගිනිබත් කිරීමට මියන්මාර හමුදා සම්බන්ධ වී ඇතැයි සනාථ කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප තමන් සතු බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.
එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ ඡායාරූපවලට අනුව ගිනි තබන ලද නිවාසවලට නුදුරින් හමුදා රථ නවතා තිබෙනු දැකිය හැකි බවය. ඒ සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. එහෙත් ජාත්‍යන්තරයේ අනුකම්පාව ලබා ගැනීමේ අරමුණින් රෝහින්ග්‍යා ප්‍රජාව විසින්ම ඔවුන්ගේ නිවාසවලට ගිනි තබනු ලැබ ඇති බවට ආණ්ඩුව මීට ඉහතදී චෝදනා කළේය. ඔක්තෝබරයේ නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමත් සමග මියන්මාරයේ සුළුතරයක් වන රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් දස දහස් ගණනක් අසල්වැසි බංගලාදේශය වෙත පළා ගොස් තිබේ.
ගෝලීය මට්ටමින් දරු උපත් පහළ යාම සම්බන්ධයෙන් ලෝකයේ නිසි සූදානමක් නොවීම නිසා විශාල වශයෙන් සාමාජයීය බලපෑම් ඇති කිරීමට ඉඩ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත. 2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. රටවල උපත්වලට වඩා අවුරුදු 80 කරා ළඟා වන සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වනු ඇත. සිදු වෙමින් පවතින්නේ කුමක්ද? එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ සියවස අවසානයේ ලොව ජනගහනය බිලියන 8.8 (කෝටි 880) දක්වා පහළ යනු ඇති බවත් ඊට පෙර වසර 2064 පමණ වන විට එම අගය එහි උපරිමයට එනම් බිලියන 9.7 ට (කෝටි 970) ළඟා වනු ඇති බවත් පර්යේෂකයෝ අපේක්ෂා කරති. අඩු වයසේ සිට වැඩිහිටියන් අධික සමාජයක් කරා "මේක බැරෑරුම් දෙයක්. ලෝකයේ වැඩි කොටසක් ස්වභාවික ජනගහන පහළ යාමක් දෙසට ගමන් කරමින් සිටිනවා," පර්යේෂකයෙකු වන මහාචාර්ය ක්‍රිස්ටෝපර් මුරේ බීබීසී වෙත පැවසීය. "මම හිතන්නේ මේ ගැන සිතීම සහ මෙය කෙතරම් බැරෑරුම් ද යන්න හඳුනා ගැනීම අතිශය අමාරු දෙයක්. එය සුවිශේෂී තත්ත්වයක්. අප සමාජයන් ප්‍රතිසංවිධානය කළ යුතු වෙනවා." සාඵල්‍යතා වේගය එනම් එක් කාන්තාවක් බිහි කරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය, පහළ යමින් පවතී. එම අගය දල වශයෙන් 2.1 ට අඩු අගයක් ගන්නේ නම් ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන් පහළ යාම ආරම්භ වේ. 1950 දශකයේ කාන්තාවන් සිය ජීවිත කාලය තුළ බිහි කළ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 4.7 ක් විය. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ අගැයීම් පිළිබඳ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි 2017 වසරේදී ගෝලීය සාඵල්‍යතා වේගය 2.4 දක්වා, එනම් අඩකින් අඩු වී ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් කළ අධ්‍යයනය මගින් ප්‍රක්ෂේපනය කර ඇත්තේ වසර 2100 වන විට ගෝලීය සාඵල්‍යතා වේගය 1.7 ට පහළ අගයක් ගනු ඇති බවය. සාඵල්‍යතා වේග පහළ යමින් ඇත්තේ ඇයි? සරුබව හෝ දරුඵල පිළිබඳ කතා කිරීමේ දී සාමාන්‍යයෙන් මතු වෙන කාරණා සහ සාඵල්‍යතා වේග පහළ යාම අතර සම්බන්ධයක් නොමැත. ඒ වෙනුවට ඊට හේතු වී ඇත්තේ කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාවයි. එබැවින් දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවන් නැඹුරු වේ. සාඵල්‍යතා වේග පහළ යාම විධි ගණනාවකින් සාර්ථක කතාවකි. වැඩිම බලපෑමකට ලක් වන රටවල් මොනවාද? 2017 වසරේදී මිලියන 128 (කෝටි 12.8) ක උපරිමයකට ළඟා වූ ජපානයේ ජනගහනය මේ සියවස අගදී මිලියන 53 කටත් (කෝටි 5.3) අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. ඒ හා සමානව ඉතාලියේ ජනගහනය ද එම කාල රාමුව තුළදී මිලියන 61 (කෝටි 6.1) සිට මිලියන 28 (කෝටි 2.8) දක්වා විශාල වශයෙන් පහළ යනු ඇති බව ඇස්තමේන්තු කෙරේ. සාඵල්‍යතා වේගය යනු එක් කාන්තාවක් බිහි කරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යයයි ඉහත සඳහන් රටවල් 23 අතර සිටින ජපානය සහ ඉතාලියට අමතරව ඊට ඇතුළත් ස්පාඤ්ඤය, පෘතුගාලය, තායිලන්තය සහ දකුණු කොරියාව යන රටවල ද ජනගහන අඩකටත් අඩු ප්‍රමාණයකින් පහළ යතැයි අපේක්ෂා කෙරේ. දැනට ලොව වැඩිම සංඛ්‍යාවක් වෙසෙන චීනයේ ජනගහනය වසර හතරක් ඇතුළත එහි උපරිමයට එනම් බිලියන 1.4 ට (කෝටි 140) ළඟා වනු ඇති අතර වසර 2100 වන විට එම සංඛ්‍යාව අඩකින් පමණ, එනම් මිලියන 732 (කෝටි 73.2) දක්වා පහළ යනු ඇතැයි ගණනය කර තිබේ. චීනය වෙනුවට ඉන්දියාව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත් වනු ඇත. එක්සත් රාජධානිය වසර 2063 පමණ වන විට ජනගහනයේ උපරිමයට, එනම් මිලියන 75 ට (කෝටි 7.5) ළඟා වනු ඇති අතර වසර 2100 වන විට එම අගය මිලියන 71 (කෝටි 7.1) දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ නමුත් රටවල් 195 කින් 183 කම සාඵල්‍යතා වේග අඩකින් අඩු වීම සත්‍ය වශයෙන්ම ගෝලීය ගැටළුවක් වනු ඇත. මෙය ගැටලුවක් වන්නේ ඇයි? ඉහත කී තත්ත්වය නිසා පරිසරයට හොඳක් වනු ඇතැයි ඔබට සිතිය හැක. ජනගහනය අඩු වන විට කාබන් විමෝචනය මෙන්ම ගොවිබිම් සඳහා කැලෑ එළිපෙහෙළි කිරීම ද අවම වීමට ඉඩ ඇත. "උඩු යටිකුරු වූ වයස් ඛාණ්ඩවල ව්‍යුහය (තරුණ වයසේ අයට වඩා වයස්ගත පුද්ගලයන් වැඩි වීම) සහ උඩු යටිකුරු වූ වයස් ඛාණ්ඩවල ව්‍යුහය නිසා ඇතිවන නොදන්නා අයහපත් ප්‍රතිවිපාක හැර ඉහත කී කාරණය ඇත්තක් විය හැකියි," යනුවෙන් මහාචාර්ය මුරේ පවසයි. අධ්‍යයනයෙන් ප්‍රක්ෂේපිත කරුණු: "එය දැවැන්ත සමාජයීය වෙනසක් ඇති කරාවි. මෙය මා කනස්සල්ලට පත් කරන්නක්, මොකද මට අවුරුදු අටක දියණියක් ඉන්නවා. ලෝකය මොන වගේ වේවිදැයි මම කල්පනා කරනවා," මහාචාර්ය මුරේ වැඩිදුරටත් සඳහන් කරයි. විශාල වශයෙන් වැඩිහිටියන් වෙසෙන ලෝකයක බදු ගෙවනු ලබන්නේ කවුරුන් විසින්ද? වැඩිහිටියන් රැක බලා ගන්නේ කවුරුන්ද? ඒ වන විට මිනිසුන්ට විශ්‍රාම යා හැකි වෙයිද? "අපට මෘදු ප්‍රවේශයක් අවශ්‍ය කරනවා," මහාචාර්ය මුරේ පවසයි. මේ සඳහා විසඳුම් තිබේද? සිය ජනගහන ඉහළ දමා ගැනීමට සහ පහත යන සාඵල්‍යතා වේගයන්ට හිලව්වක් වශයෙන් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සංක්‍රමණිකයන් යොදා ගනිති. කෙසේ නමුත් ලොව සෑම රටකම පාහේ ජනගහනය පහළ යන විට සංක්‍රමණ තවදුරටත් ඒ සඳහා විසඳුමක් නොවනු ඇත. "ජනගහනය ප්‍රමාණවත් නොවීමත් සමග දේශ සීමා විවෘත කිරීම හෝ නොකිරීම කියන තේරීමේ සිට සංක්‍රමණිකයන් වෙනුවෙන් සෘජු තරගයක් ලබා දීම දක්වා අපිට යන්න වේවි," මහාචාර්ය මුරේ පෙන්වා දෙයි. දරුවෙකු ලැබීමෙන් පසු මව්වරුන්ට සහ පියවරුන්ට දෙනු ලබන නිවාඩු වැඩි කිරීම, ළමුන් සඳහා නොමිලේ සේවා සැපයීම, මූල්‍ය දිරිදීමනා සහ වැඩිපුර සේවක අයිතීන් ලබා දීම වැනි ප්‍රතිපත්ති ඇතැම් රටවල් විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. නමුත් මේ සඳහා පැහැදිලි පිළිතුරක් නොමැත. ස්වීඩනය සිය සාඵල්‍යතා වේගය 1.7 සිට 1.9 දක්වා ගෙන ගොස් ඇතත් ඒ සඳහා සැලකිය යුතු උත්සහයක් දැරූ සෙසු රටවලට එය අභියෝගයක් වී ඇත. සිංගප්පූරුවේ සාඵල්‍යතා වේගය තවමත් 1.3 ක පමණ අගයක් ගනී. "මම දැක තිබෙනවා මිනිස්සු හිනා වෙලා නිකන් ඉන්නවා. මෙය ඇත්තක්‌ විය හැකි බව ඔවුන් සිතන්නේ නැහැ. වැඩියෙන් දරුවන් හදනවා කියා කාන්තාවන් තීන්දුවකට ඒවි යයි ඔවුන් සිතනවා," මහාචාර්ය මුරේ කියා සිටී. "විසඳුමක් සොයා ගන්න බැරි වුනොත් ක්‍රමයෙන් මිනිස්සු නැතිව යාවි. නමුත් ඒක වෙන්න තව ශතවර්ෂ ගණනක් තිබෙනවා." කාන්තා අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ පහසුකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ආපස්සට හැරවීමට එරෙහිව පර්යේෂකයෝ අනතුරු අඟවති. බොහෝ රටවල ජනගහනය පහළ යාමට ප්‍රතිචාර දැක්වීම සඳහා වන ප්‍රතිපත්ති යටපත් වීමට ඉඩ ඇතත් කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය හෝ කාන්තා අයිතීන් ඉහළ දැමීමේ උත්සාහය ඊට කැප නොකළ යුතු බව මහාචාර්ය ස්ටෙයින් එමිල් වොල්සෙට් පෙන්වා දෙයි. අප්‍රිකාවේ තවත්ත්වය කුමක් වෙයිද? වසර 2100 වන විට බිලියන තුන (කෝටි 300) ඉක්මවා උප සහරා අප්‍රිකානු කලාපයේ ජනගහනය තුන් ගුණයකින් ඉහළ යතැයි අපේක්ෂා කෙරේ. ඉහත කී අධ්‍යයන වාර්තාවට අනුව නයිජීරියාව ලොව වැඩිම ජනගහනයක් සහිත රටවල් අතර දෙවන ස්ථානයට පත් වනු ඇත. එහිදී එරට ජනගහනය මිලියන 791 කට (කෝටි 79.1) ළඟා වනු ඇත. "මේ තත්ත්වය තුළ රටවල් බොහොමයක අප්‍රිකානු සම්භවයක් සහිත මිනිස්ස්සු විශාල වශයෙන් සිටීවි," මහාචාර්ය මුරේ පවසයි. විශාල වශයෙන් අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් රටවල් බොහෝ සංඛ්‍යාවක දැක ගත හැකි වුවහොත් ජාතිවාදය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් හඳුනා ගෙන ඇති අභියෝග තවදුරටත් බරපතල වනු ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. සාඵල්‍යතා වේගය 2.1 ට සීමා කර ඇත්තේ ඇයි? සෑම දෙමව්පියෙකුටම දරුවන් දෙදෙනා බැගින් ජනගහනය එකම අගයක පවතින සේ එම අගය 2.0 විය යුතු යයි ඔබ සිතිය හැක. නමුත් හොඳම සෞඛ්‍ය සේවාවක් තිබුන ද සියලුම දරුවන් වැඩිහිටි අවධිය වන තෙක් ජීවත් නොවේ. එමෙන්ම පෙරට වඩා බිලිඳුන් පිරිමි ළමුන් වීමට ඇති නැඹුරුව වැඩිය. ඒ අනුව සංවර්ධිත රටවල සාඵල්‍යතා වේගය 2.1 ට සීමා කර ඇත. ළමා මරණ වැඩි රටවලට ද ඉහළ සාඵල්‍යතා වේගයක් අවශ්‍ය කෙරේ. විශේෂඥ මතය කුමක්ද? "මේ පුරෝකථන අඩකින් නිවැරදි වුවත්, සෑම රටකටම සංක්‍රමණ කියන්නේ විකල්පයක් නොව, අත්‍යවශ්‍ය දෙයක් වේවි," යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හි මහාචාර්ය ඉබ්‍රහිම් අබුබකර් පෙන්වා දෙයි. "සාර්ථක වෙන්න නම් ගෝලීය දේශපාලනය පිළිබඳ අප යළි මූලික යළි සිතා බැලීමක් කළ යුතු වෙනවා." "මනුෂ්‍යත්වය දියුණු වෙනවද නැතිනම් නැතිව යනවද යන්න කෙරෙහි වැඩ කල හැකි වයසේ ජනගහන විකාශය අතිශය වැදගත් වනු ඇත."
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම සඳහා අලුතින් තේරී පත් වූ ආණ්ඩුවට සහාය ලබා දෙන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රතිඥා දෙයි.
දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමට ඇමරිකාව බලාපොරොත්තුවෙන් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉරිදා රාත්‍රියේ දුරකතනයෙන් අමතා පවසා ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය. ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසු ගියදා අවසන් වූ ජනාධිපතිවරණයත් සමග ශ්‍රී ලංකාවේ වෙනසක් සිදු වනු ඇති බවට ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බලාපොරොත්තු පළ කළේය. පැවති මැතිවරණය ශ්‍රී ලාංකිකයන් හට සිය ගමන් මගෙහි වෙනසක්, නව පරිච්ඡේදයක් සහ නව අවස්ථා ඇති කිරීමේ මං සලකුණක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ. නමුත් මේ වනතුරු ශ්‍රී ලංකාව හමුවේ සැබෑ අභියෝග ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ''ශක්තිමත් ලෙස ප්‍රතිසංවිධානය'' කිරීමේ අරමුණින් එම ඒකකය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.
'යම් වැඩපිළිවලක් යොදනවා කුමන ආකාරයටද? කුමන අවස්ථාවකදීද? කුමන දිනකටද? මොන සිද්ධීන් වලටද? අපි ජනමාධ්‍ය දැනුවත් කරන්නේ කියලා' පදනම් විරහිත ප්‍රකාශ ජන ගත වීම වළක්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව හොඳින් කරුණු විමසා බලා මාධ්‍ය වෙත නිසි තොරතුරු ලබා දීමේ වැඩපිළිවලක් සකස් කරන බව පොලිස්පතිවරයා කියා සිටියේ මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 'යම් වැඩපිළිවලක් යොදනවා කුමන ආකාරයටද? කුමන අවස්ථාවකදීද? කුමන දිනකටද? මොන සිද්ධීන් වලටද? අපි ජනමාධ්‍ය දැනුවත් කරන්නේ කියලා' ඔහු සඳහන් කළේය. අදාළ වැඩපිළිවල සකස් කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත නොවනු ඇති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර වැඩිදුරටත් කියා සිටියේය.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය.
මේ වන විට 1978 දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. මේ අතර, 2015 මැයි මස සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ‍ දෙනාගේ ප්‍රසාදයට හේතු වූ අතරම, මෙයින් විධායක බලය සීමා කිරීමක් හෝ කපා හැරීමක් සිදුවී නැති බව ඇතැම් නීති විශාරදයන් සහ දේශපාලනඥයන්ගේ මතයයි. එමෙන්ම, සංශෝධනය තුළ අපැහැදිලි තැන් ද බොහෝමයක් දක්නට ලැබෙන බවට මත පළ වී තිබේ. දැනට වසර කීපයකට පෙර සිට ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳ කතිකාවක් ගොඩ නැඟෙමින් පවතින අතර, පුළුල් බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය සීමා කිරීම හෝ අහෝසි කිරීමට දේශපාලනික වශයෙන් සහ සිවිල් සමාජය වෙතින් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී. 1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යනුවෙන් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය. "ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක බලතල 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ. කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය. 19 වෙනි සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ,පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වු ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ. ජනාධිපති බලතල යටතේ අමාත්‍යාංශ මෙහෙයවීම ව්‍යවස්ථානුකූල ද? 19 වෙනි සංශෝධනයේ 51 වෙනි වගන්තිය අනුව, "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැණිව කුමක් සඳහන් වුවද ජනාධිපති ධුරය දරණ තැනැත්තා, එම කාලය අවසන් වන තෙක් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවාට අදාළ කාර්යයන් තමන් යටතට පවරා ගත හැකිය. එකී කාර්යය ඉටු කිරීමට ඔහු හෝ ඇය වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කිරීම ද කළ හැකිය." "ජනාධිපතිවරයාට තමන් යටතේ තියා ගන්න පුළුවන් අමාත්‍යාංශ ගැන මේ වනතෙක් කිසි කෙනෙක් අභියෝගයට ලක් කරලා නැහැ," යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවය කළ විමසුමක දී පැවසීය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම පිළිබඳ අදහස් විමසූ විට ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ , "පොලිසිය විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යාංශය යටතට විශේෂ කාර්ය බලකාය, පාතාලය මර්දනය, හෙරොයින් ඇතුළු නීති විරෝධී මත් ද්‍රව්‍ය මර්දනය වගේ කාර්යත් අයත් වෙනවා. ඒ සියල්ල ජාතික ආරක්ෂාව අදාළ දේවල්." "ඒ නිසා පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමේ වැරද්දක් නැහැ. එයට අවශ්‍ය නීතිමය රාමුව 19 වෙනි සංශෝධනයෙන් ලැබී තිබෙනවා," ඔහු තවදුරටත් පැවසීය. "ජනාධිපතිවරයාට තමන් යටතේ තියා ගන්න පුළුවන් අමාත්‍යංශ ගැන මේ වනතෙක් කිසි කෙනෙක් අභියෝගයට ලක් කරලා නැහැ" කෙසේවෙතත්, 19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය. එමෙන්ම, 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය. "43 සහ 44 වගන්තිවලට අනුව ජනාධිපතිට පුළුවන් අමාත්‍යාංශ වෙනත් අයට භාර දෙන්න. නමුත් 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තියෙන් (51 වෙනි වගන්තිය) විෂයන් තුනක අමාත්‍යංශ ජනාධිපති යටතේ තබා ගන්න පුළුවන් බලතල දීලා තිබෙනවා" යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. "අවසාන වගන්තියේ සඳහන් විෂයන්වලට අදාළ නොවන අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගැනීම කළ නොහැකියි. නමුත්, මේ වගන්තිවල සඳහන් සියල්ල යම් කෙනෙකු අභියෝගයකට ලක් කළ අවස්ථාවක දී අර්ථ නිරූපණය කරන්න පුළුවන්," ඇය තවදුරටත් පැවසීය. "හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා. මාධ්‍ය වැනි විෂයයක් ජනාධිපති යටතට ගන්නව නම් එතන දී ප්‍රශ්නයක් මතු වෙනවා" යැයි ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසුවේය. මේ තොරතුරුද කියවන්න: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කරන්නේ කෙසේ ද? 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII පරිඡේදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු ආකාරය දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පූර්ණ බලතල හිමි වන්නේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට වන අතර, ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කළ හැකි ක්‍රමවේද දෙකක් පිළිබඳ එහි සඳහන් වී තිබේ. ඉන් පළමුවැන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය මත ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකි වීමය. දෙවැන්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතියට අමතරව ජනමතවිචාරණයක් ද සිදු කළ යුතුය. විශේෂයෙන්ම ජාතික වැදගත්කමින් යුත් කාරණා ජනමතවිචාරණයක් සඳහා යොමු කෙරේ. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහයට හා ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරයේ සංශෝධනයක් සිදුකිරීමේ දී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක දී දෙවෙනි ක්‍රමවේදය අනුගමනය කළ යුතුය. 19 වෙනි සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින්, විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තට අමතරව ජනමතවිචාරණයක් අවශ්‍ය බව තීන්දු කරන ලදී. මෙම තීන්දුවෙන් පසු විධායක බලය අගමැතිට ලබා දීම සම්බන්ධයෙන් වූ වගන්ති එකී කෙටුම්පතින් ඉවත් කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත පමණක් අවශ්‍ය වන වගන්ති සහිත සංශෝධයන සම්මත කර ගැනීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන ලදී. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය 19 වෙනි සංශෝධනයේ වැදගත් වන තවත් කරුණු තිබේද? 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් 'තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය' මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කළේය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෙවන පරිඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව එකතු කිරීමක් ලෙස හැඳින්විය හැකිය. 14 (අ) වගන්තිය අනුව, සෑම පුරවැසියෙකුටම, රජයට, රාජ්‍ය අමාත්‍යංශයකට හෝ දෙපාර්තමේන්තුවකට, පළාත් සභා ප්‍රඥප්තීන්ට අනුව පිහිටුවනු ලැබූ ආයතනයකට, පළාත් පාලන ආයතනයකට, පුරවැසියකුගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ආරක්ෂා කිරීම සඳහා යම් තොරතුරක් ඇත්නම්, නීතියේ සලසා ඇති පරිදි තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත. තොරතුරු දැනගැනීමේ පනත සම්මත වූයේ ඒ අනුවය. තවත් තොරතුරු:
පසුගිය සැප්තැම්බර් මාසයේ, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැතිර ගිය හින්දු-මුස්ලිම් කෝලාහල වලදී සිය නිවාසවලින් පළා යාමට සිදු වූ දහස් ගණනක් ජනතාව රැඳී සිටි අනාථ කඳවුරුවල දරුවන්ගෙන් අඩු තරමින් තිස් හතර දෙනකු වත් මරණයට පත් ව ඇති බව නිල වාර්තාවකින් හෙළි වෙයි.
හින්දු මුස්ලිම් ගැටුම් සමයේ ඉන්දීය හමුදාව සීරුවෙන්. දරුවන් වැඩි දෙනෙකුගේ මරණයට හේතුව අධික සීතල බවට පල වන උත්තර ප්‍රදේශ් බලධාරීහු ප්‍රතික්ෂේප කරති. නිවුමෝනියාව, අතීසාරය ඇතුළු රෝග වැළඳීමෙන් දරුවන් මිය ගිය බවයි, ඔවුන් පවසන්නේ. පසු ගිය සැප්තැම්බරයේ මුසාෆර්නගර්හි හට ගත් එම ගැටුම් දශකයක කාලයක් ඇතුළත ඉන්දියාවේ පැතිර ගිය දරුණුම ජාතිවාදී කෝලාහල ලෙසයි, සැලකෙන්නේ. එම ගැටුම් වලදී හැට පස් දෙනකු මරා දැමුණු බව වාර්තා විය. වර්ගවාදී ගැටුමේ අනාථයන් තරුණ කාන්තාවකට අතවර කළ කණ්ඩායමකට එරෙහි වූ පුරුෂයන් තිදෙනකු මරා දැමීමත් සමඟයි මුසාෆර්නගර් වර්ගවාදී ගැටුම් ආරම්භ වුනේ. ඒ සමග පැතිර ගිය කෝලාහලවලින් බේරීමට දහස් ගණනක් ජනතාවට ඔවුන්ගේ නිවාස වලින් පළා යාමට සිදුවුණි. එම ජනතාවට රැකවරණ සැපයූ කඳවුරු වලදී වයස අවුරුදු දොළහට අඩු දරුවන් තිස් හතර දෙනකු වත් මිය ගොස් ඇති බවයි, ආණ්ඩුව විසින් පත් කරන ලද කමිටු වාර්තාවක දැක්වෙන්නේ. මුසාෆර්නගර් සහ ෂම්ලි දිස්ත්‍රික්කවල පිහිටි අනාථ කඳවුරු පහක තවත් 4,783 දෙනකු රැකවරණ ලබා සිටින බවත් වාර්තාවන්හි දැක්වෙයි. මුසාෆර්නගර් ගැටුම්වලින් තවත් අසූ පස් දෙනකුට වත් තුවාල සිදු ව තිබුණ අතර, පනස් දහසකට ආසන්න උන්හිටිතැන් අහිමි වූවන්ගෙන් බහුතරය වූයේ මුස්ලිම් ජනතාවයි.
හිටපු රුසියානු රහස් ඔත්තුකරුවෙකු වන අලෙක්සන්දර් ලිත්විනෙන්කෝ ඝාතනය කරන ලද්දේ ඇතැම්විට රුසියානු ජනාධිපති ගේ ද අනුමැතිය ලැබූ රුසියානු රහස් ඔත්තු සේවාවේ ක්‍රියාන්විතයක් මගින් බව බ්‍රිතාන්‍යයේ දී සිදු කරන ලද ස්වාධීන පරීක්ෂණයකින් සොයා ගෙන තිබේ.
සක්‍රීය විකිරණ අඩංගු ප්ලූටෝනියම් විෂ ලිත්විනේන්කෝ ගේ ශරීරගතව තිබුණි 2006 දී සක්‍රීය විකිරණ අඩංගු පොලෝනියම් විෂ ශරීරගත වීමෙනු යි ලිත්විනෙන්කෝ ජීවිතක්ෂයට පත් වූයේ. බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාව මගින් ලිත්විනෙන්කෝ රුසියානු රජයේ ඉලක්කයක් බවට පත්වීමට තුඩු දුන් හේතු ගණනාවක් මතු කොට දක්වා ඇත. රුසියානු රහස් ඔත්තු සේවාවේ (FSB) ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හෙළි කිරීම, රුසියාවෙන් පළා යාමට පෙර පටන්ම බ්‍රිතාන්‍ය රහස් ඔත්තු අංශ සමග සබඳතා පැවැත්වීම සහ පු ජනාධිපති පුතින් සමග පෞද්ගලික අමනාපකම් පැවතීම වැනි කරුණුයි ස්වාධීන පරීක්ෂණයේ අවධානයට ලක්ව ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැටී ඇත්තේ අසීරු අඩියකට බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ. රටේ අදායම ණය වාරික ගෙවීමට පවා ප්‍රමාණවත් නොවන බවට අදහස් පළ වේ.
නවතම දත්ත අනූව, ශ්‍රී ලංකාවේ විදෙස් ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 55ක් පමණ වේ. ඉන් 10%ක් පමණ ගෙවිය යුතු වන්නේ චීනයට ය. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනූව 2019 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 1.6% කිනි. එම 'මන්දගාමී ආර්ථික වර්ධනයට' එක් හේතුවක් වූයේ 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව ලෙස ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනුමාන කරයි. එම ප්‍රහාර නිසා විශේෂයෙන් ම සංචාරක ක්ෂේත්‍රයේ විශාල පසුබැසීමක් ඇතිවිණි. 2018 සැප්තැම්බර් මාසය නිම වන විට මිලියන 1.73ක සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. නමුත් මේ වසරේ එම මාසය තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයන් මිලියන 1.37ක් පමණි. ශ්‍රී ලංකාවට ලැබෙන ඍජු විදෙස් ආයෝජන ද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. 2019 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව ට ලැබුණු ඍජු විදෙස් ආයෝජනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 230ක් විය. මෙය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින ආර්ථිකයක වර්ධනයට සුභවාදී නැත. එසේම ශ්‍රී ලංකා රුපියල ද ඇමෙරිකානු ඩොලරය ට සාපේක්ෂව 1.3%ක් මේ වසරේදී අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි. මෙවැනි වාතාවරණයක් ඇති පසු බිමක, 2019 නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කර තිබේ. මෙවර නාමයෝජනා බාරදුන් ජනාධිපතිධූර අපේක්ෂකයන් සංඛ්‍යාව 35 කි. ඒ අතුරින්, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මගට ගැනීමට සිය මැතිවරණ ප්‍රකාශනවල සඳහන් ඇති වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග ගැන කෙරෙන විපරමකි මේ. මෙම මැතිවරණ ප්‍රකාශනවල සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි නම් එය ශ්‍රී ලංකා ආර්ථිකයේ සාධනීය හැරවුම් ලක්ෂය විය හැකි බව ආර්ථික විශේෂඥයන් පවසයි. එම මැතිවරණ ප්‍රකාශන ගැන අදහස් දක්වූ ශ්‍රී ලංකා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන රවී අබේසූරිය පැවසුවේ, "ඉතාම හොඳ අදහස් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබෙනවා. නමුත් සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අපැහැදිලියි. දැන් එක අපේක්ෂකයෙක් කියලා තියෙනවා 'PAYE tax' එක අයින් කරනවා කියලා. තව කෙනෙක් කියලා තියෙනවා පරාසය වැඩි කරනවා කියලා. ජනතාවට මේවා අකර්ෂනීයයි. නමුත් එම ගිලිහෙන අදායම උපයා ගන්නේ කොහොම ද කියලා දැක්විය යුතුයි." ශ්‍රී ලංකා මහ බැංකුවට අනූව දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක ලෙස රාජ්‍ය අදායම 2017 පැවති 13.6% සිට 13,3% දක්වා 2018 වසරේදී අඩු විණි. 2019 වසරේදී එම තත්ත්වය තවත් දුර්වල වී ඇතැයි පැවසේ. "අපේ රටේ තවමත් බදු එකතු කර ගැනීමේ කටයුත්ත හරියට වෙන්නේ නෑ. සමහරු බදු ගෙවන්නේ ම නෑ. ඒවා නිවැරදි වුණොත් රටේ අදායම තවත් වර්ධනය කර ගන්න පුළුවන්," අබේසූරිය පැවසීය. "ඩිජිටල්කරණය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන ඔවුන් කතා කරනවා. ඒක සාධනීයයි. අපේ අධ්‍යාපනය රැකියා වෙළෙඳපොළ සමග බද්ධ වීම වැදගත්." අපේක්ෂකයන්ගේ පොරොන්දු: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. "ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත: එක්ව ඉදිරියට යමු," ලෙස ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හඳුන්වා ඇත. එහි ඔහු මෙසේ සටහන් කරයි, "ආර්ථික වශයෙන් ශක්තිමත් වර්ධනය දෙසට යොමු වූ තාක්ෂණික වශයෙන් උසස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මා පෙනී සිටිනවා. එය සමාජීය වශයෙන් සවිඥානක, දේශපාලනික වශයෙන් ස්ථාවර දේශයක්, සමාජ සාධාරණත්වය සහ සැමදෙනාටම අයත් සංවර්ධනයක් ඔස්සේ මා මගේ රට සෞභාග්‍යය වෙත මෙහෙයවනවා." 'ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙනි "පෞද්ගලික අංශය වර්ධනයේ එන්ජිම," ලෙස සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හඳුන්වා දෙයි. එහෙත් ආදිකල්පිත නීති, සංවිධානමය සිරවීම්, සහ රාජ්‍ය දූෂණ හේතුවෙන් රාජ්‍ය අංශයට විලංගු ලා තිබෙන බව ඔහු පෙන්වා දෙයි. "කම්පනයන් සහ අවිනිශ්චිතතාවයන් ඇති නොවන පරිදි අපි ප්‍රධාන ආර්ථික විචල්‍ය සහ උද්ධමනය, පොලී අනුපාතික සහ විනිමය අනුපාතික කළමනාකරණය කරන්නෙමු," යනුවෙන් ඔහු වැඩිදුරටත් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සටහන් කරයි. පර්යේෂණ හා සංවර්ධනය, ඩිජිටල්කරණය සහ තොරතුරු තාක්ෂණය, විද්‍යුත් රාජ්‍ය පාලනය, අපනයන වර්ධනය කිරීම සඳහා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම, සහ විශේෂ ආර්ථික කලාප බිහිකිරීම මගින් රට දියුණු කළ හැකි බව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වා දෙයි. එසේම සාධාරණ සහ යුක්ති සහගත බදුකරණයක් ඇති කිරීම ඔහුගේ එක් අරමුණකි. "ඒ වෙනුවෙන් අපි ආදායම් බදු, දේපල බදු, සහ වෙනත් ප්‍රගතිශීලී බදු ක්‍රම හරහා ඍජු බදුකරණය ශක්තිමත් කරන්නෙමු." නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් තවත් 'වැදගත්' කරුණු කිහිපයක් ලෙස කොළඹ අන්තර්ජාතික මූල්‍ය නගරයක් ලෙස දියුණු කිරීම, රාජ්‍ය ණය නිසි පරිදි කළමනාකරණය, බුද්ධිගලනය ආපසු හැරවීම, සහ ඉන්දියානු සාගර කේන්ද්‍රය නිර්මාණය කිරීම යන්න දැක්විය හැකිය. "දිනන රටක ගමන" ලෙස හඳුන්වා ඇති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති "ගුණාත්මක ජීවිතයක්: නොසැලෙන ආර්ථිකයක්" යනුවෙන් විස්තර කෙරේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහි ජනාධිපතිධූර අපේක්ෂකයා වේ. දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් උපුටාගත් සටහනක් ඩිජිටල්කරණය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හා දැනුම මත පදනම් වූ නොසැලෙන ආර්ථිකයක් යන්න ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ තේමාවයි. දුප්පත්කම සහමුලින්ම තුරන් කිරීම, ආදායම් බෙදීයාමේ අසමානතාවය අවම කිරීම, ප්‍රාදේශීය වශයෙන් ආර්ථික විෂමතා අවම කිරීම, කෘතීම බුද්ධිය, නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය උචිත සහ අදාළ පරිදි නිෂ්පාදන සහ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කිරීම ද ජාතික ජන බලවේගයේ අරමුණු අතර වේ. 'ක්ෂුද්‍ර ණය උගුලෙන්' ජනතාව මුදවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව ද අනුර කුමාර දිසානායක පවසයි. මෑත කාලයේදී 190 දෙනෙකු පමණ එම ණය ගෙවා ගත නොහැකිව සිය දිවි හානි කර ගෙන ඇතැයි ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික ආනයන අපනයන පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් පමණ වේ. ඊට ප්‍රධාන එක් හේතුවක් වන්නේ ලෝක වෙළෙඳපොළ වෙත නව නිෂ්පාදන යොමු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම සහ රට තුළ නිෂ්පාදන කළ හැකි දේ පවා ආනයනය කිරීමට මෙරට ව්‍යාපාරික ප්‍රජාව හුරුවී සිටීම බව පිළිගන්නා මතයකි. එබැවින් දැනට 0.14% වන ශ්‍රී ලංකාවේ ලෝක වෙළෙඳ පංගුව 2%ක් දක්වා ඉහළ දමා ගැනීමට පළමු අදියරේදී කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ දැක් වේ. ප්‍රතිපාත විරෝධී (Anti-dumping) නීති ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ අදායම 20% - 25% දක්වා ගෙන ඒමට සැලැස්මක් ඇති කිරීම, අය වැය හිඟය 5%ක මට්ටමේ රඳවා ගැනීම, ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා VAT ඉවත් කිරීම, ප්‍රජා කේන්ද්‍ර සංචාරක ගම්මාන 200ක් නිර්මාණය, පොදු ප්‍රවාහනය දිරිගැන්වීම යන කරුණු ද ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කෙරිණි. "රට හදන සෞභාග්‍යයේ දැක්ම" ලෙස සඳහන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහු මෙසේ සටහන් කරයි. "අප රමණීය දිවයිනේ ජීවත්වන සියලු තරුණ දූ පුතුන් හට ගෞරවණීය ලෙස ජීවත් විය හැකිවන පරිදි ශක්තිමත් තිරසර ආර්ථිකයක් බිහි කළ යුතුය." 'ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථික වැඩපිළිවෙලක්" මගින් ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ආර්ථික ප්‍රතිපත්තියක් හිමි කර දීම ඔවුන්ගේ අභිප්‍රාය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් උපුටා ගැනිණි ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීම, ඒක පුද්ගල අදායම ඇමෙරිකානු ඩොලර් 6500 ඉක්මවා යෑම, සහ රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යෑම ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධානතම ආර්ථිකය හා සම්බන්ධ ප්‍රතිපත්ති වේ. එසේම, එකතු කළ අගය මත බදු 15% සහ ජාතිය ගොඩනැගීමේ බදු 2% වෙනුවට 8%ක සරළ එකතු කළ අගය මත බද්ධක් අය කෙරෙන බව ද එහි සඳහන් ය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නියුතුවූවන්ගේ වැටුපෙන් අඩු කෙරෙන 'PAYE tax' අහෝසි කිරීම තවත් එක් ප්‍රතිපත්තිමය පොරොන්දුවකි. ගොවිතැන තාක්ෂණය සමග මුසු කිරීම, පොහොර නොමිලයේ ලබා දීම, ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම, සියලු පළාත් ආවරණය වන පරිදි කර්මාන්තපුර, නිදහස් වෙළෙඳ කලාප සහ නිදහස් වරාය 50ක් පිහිටුවීම, විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් දියත් කිරීම සහ සංචාරක ව්‍යපාරය වර්ධනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ද ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. එසේම ඇඟලුම් කර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ධනය කිරීමට ගැනීමට යෝජිත ක්‍රියාමාර්ග රැසක් ද එහි දැක් වේ. මේ තොරතුරුත් කියවන්න:
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ගෙවිය යුතු අවම වැටුපක් නීති ගත කෙරෙන්නේ පළමු වරට බවත් රුපියල් 2500ක දීමනාව සහ රුපියල් 10000ක අවම වැටුප නොගෙවන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න පවසයි.
'පසුගිය වසර දහය තුළ වැටුප් වැඩි වීමක් සිදු වුනේ නැහැ. 2015 මැයි පළමුදා සිට රුපියල් 1500 ලැබෙනවා. 2016 ජනවාරි පළමුදා සිට ඒ අයට තව රුපියල් 1000 ලැබෙනවා' එම දීමනා ලබා නොදෙන සමාගම් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිලි කළ හැකි බවත් වරදකරු බව තීන්දු වුවහොත් ඔවුන්ට රුපියල් 25000 ක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හිමි වනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියි. රුපියල් 40000 ට අඩු වැටුප් ලබන පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන රුපියල් 2500 දීමනාව සහ රුපියල් 10000 ක අවම වැටුප සඳහා වූ යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී ඇති අතර කථානායකවරයාගේ අනුමැතිය ලද වහාම එය නීති ගත කරන බවයි ඇමතිවරයා පවසන්නේ. අගමැති තීන්දුව පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා 2015 මැයි පළමු වෙනිදා සිට රුපියල් 2500 ක දීමනාවක් ලබා දිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම තමාට පැවරුනු බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් පසු ගිය කාලයේ සිදු නොවූ බව පැවැසූ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න අවසන් වරට එවැනි වැටුප් වැඩි කිරීමක් සිදු කෙරුණේ 2005 වසරේදී බවත් පෙන්වා දුන්නේය. 'පසුගිය වසර දහය තුළ වැටුප් වැඩි වීමක් සිදු වුනේ නැහැ. 2015 මැයි පළමුදා සිට රුපියල් 1500 ක්‌ලැබෙනවා. 2016 ජනවාරි පළමුදා සිට ඒ අයට තව රුපියල් 1000ක්‌ ලැබෙනවා.' අමාත්‍ය ඩබ්ලිව්ඩීජේ සෙනවිරත්න පවසයි.
උතුරු කොරියාව බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු හමුදා උපුටා දක්වන යොන්හැප් පුවත් සේවය පැවසීය.
උතුරු කොරියාව කෙතරම් දුරකට මිසයිලය ඇදී ගියේද යන්න පැහැදිලි නැතත් ඇමෙරිකානු රජයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ පරීක්ෂණය අසාර්ථකවූ බවය. සෙනසුරාද අලුයම උතුරු කොරියාවේ අගනුවරට උතුරින් වූ පියොන්ගැන් පලාතෙන් මිසයිලය නිකුත්වී ඇති බව දකුණු කොරියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී පවසා ඇත. මේ නවතම මිසයිල අත්හදා බැලීම සිදුවූයේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අපේක්ෂා අත්හැරීම සඳහා ඒ වෙත බලපෑම් කිරීමට සහායවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලොව අනෙකුත් රටවලින් ඉල්ලා පැය කිහිපයක් ඉකුත්වීමෙන් අනතුරුවය.
ඕනෑ ම කාන්තාවක සිය තරුණ විය ඉක්මවා යද්දී මුහුණ දීමට සිදුවන පොදු ශාරීරික තත්ත්වයක් වුවද, එකිනෙකාට දැනෙන සංකුලතා විවිධය.
ඔසප් වීම නතර වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 45ත් 55ත් අතර සිදු වේ "අවුරුදු 50 ලබන කාලයේ දී මට නිතර තද ඔලුවේ කැක්කුමක් එන්න ගත්තා. ඒ වගේම මගේ හිත එක දෙයකට යොමු කරළා තියාගන්න බැරි වුණා. හැමවෙලාවෙම මුත්‍රා පිට කිරීමට අවශ්‍ය ගතියකුත් තිබුණා," පිළියන්දල පදිංචි කාන්ති ජයවර්ධන සිය අත්දැකීම පැහැදිලි කරන අතරේ එසේ පැවසුවාය. "53 දී විතර මගේ ඔසප්වීම නතර වුණා. නමුත් මට කිසිම වෙනසක් දැනුනේ නැහැ. වෙනදා වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටියා. නමුත් මම දන්න බොහෝ දෙනෙකුට නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා" කිරිබත්ගොඩ පදිංචි රමණි නානායක්කාර සඳහන් කළාය. කාන්තාවකගේ ඔසප් වීම නතර වීම (ආර්තවහරණය) සහ තවදුරටත් ස්වභාවික ලෙස දරුවන් වැදීම කළ නොහැකි වීම 'ආර්තවහරණය' (Menopause) යනුවෙන් හැඳින්වේ. එය වයස්ගත වීමත් සමග කාන්තාවකගේ ශරීරයේ සිදුවන ස්වභාවික වෙනස්කම්වලින් එකකි. කාන්තාවකගේ ඔසප් වීම නතර වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 45ත් 55ත් අතර සිදු වේ. ශ්‍රී ලංකාව තුළ ආර්තවහරණය සිදුවන වයස දළ වශයෙන් 51ක් බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පැවසීය. ඇතැම් කාන්තාවන්ට ආර්තවහරණය එකවර සිදු විය හැකි නමුත්, බොහෝ විට සිදුවන්නේ ඔසප් වීම ක්‍රමයෙන් අවම වී අවසානයේ දී නතර වීමය. ආර්තවහරණයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන 'ඊස්ට්‍රජන්' නිෂ්පාදනයේ අඩු වීමය බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් දස දෙනෙකුගෙන් ආර්තවහරණය ගැන විමසූ විට ඉන් හත්දෙනෙකු ශාරීරික සහ මානසික වේදනාවන්ට මුහුණ දුන් බව පැවසූ අතර, තිදෙනෙක් කිසිදු ගැටලුවකට මුහුණ නොදුන් බව පැවසූහ. වෙනත් හේතු වයස්ගතවීමට අමතරව ආර්තවහරණයට වෙනත් හේතු ඇති අතර, එබැවින් ඇතැම් කාන්තාවන් අදාළ වයස් සීමාවට පෙර ආර්තවහරණයට මුහුණ දෙන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය. එයට පහත සඳහන් හේතු බලපෑ හැකිය: මේ වෙනස සිදුවන්නේ ඇයි? මෙයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන 'ඊස්ට්‍රජන්' නිෂ්පාදනයේ අඩු වීමය. වයස්ගතවීමත් සමග ප්‍රජනන පද්ධතිය තුළ ඩිම්බ නිපදවීම නතර වන බැවින් ඔසප් වීම සහ දරු පළ හටගැනීම නතර වේ. ඒ සමගම ප්‍රජනන ක්‍රියාවලිය පාලනය කරන ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම ද ක්‍රමයෙන් අඩු වෙයි. නමුත් මෙය එක රැයකින් සිදුවන දෙයක් නොවේ. මෙම වැදගත් හෝමෝනය ශරීරය තුළ නිපදවීම අඩු වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර, අවසානයේ දී එය සම්පූර්ණයෙන් නතර වේ. ඊස්ට්‍රජන් වැදගත් ඇයි? "ඊස්ට්‍රජන් කියන්නේ කාන්තාවන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණවලට බලපාන හෝමෝනයයි. දැරියක් කාන්තාවක් ලෙස විකසිත වෙන්නේ මෙම හෝමෝනයේ ක්‍රියාකාරීත්වයෙන්. ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රධාන වශයෙන් ශ්‍රාවය වන්නේ ඩිම්බ කෝෂවලින්." "ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා" දැරියක් වැඩි වියට පත් වීමෙන් පසු ඩිම්බ කෝෂ වර්ධනය වී ඊස්ට්‍රජන් ශරීරයට ඇතුළු වී ආර්තව චක්‍රයේ ආරම්භය සිදුවන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැහැදිලි කළේය. "ඉන් පසු මේ ඊස්ට්‍රජන්වල කාර්යය තමයි ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා." "කාන්තා ශරීරයේ අනෙක් පද්ධතිවල සුමට ක්‍රියාකාරිත්වයටත් ඊස්ට්‍රජන් හෝමෝනය වැදගත් වෙනවා. මොළය, රුධිර වාහිණී පද්ධතිය, සම, අස්ථි, බඩවැල්, අක්මාව, මුත්‍රා පද්ධතිය, ලිංගික අවයව මේ සියල්ලටම ඊස්ට්‍රජන්වලින් යම්කිසි බලපෑමක් තිබෙනවා," වෛද්‍යවරයා පැවසුවේය. ආර්තවහරණයේ ලක්ෂණ කිහිපයක් "මොළය, රුධිර වාහිණී පද්ධතිය, සම, අස්ථි, බඩවැල්, අක්මාව, මුත්‍රා පද්ධතිය, ලිංගික අවයව මේ සියල්ලටම ඊස්ට්‍රජන්වලින් යම්කිසි බලපෑමක් තිබෙනවා" "මට තරුණ කාලයේ දී ගර්භාෂයේ ගෙඩි හටගත්ත නිසා සැත්කමක් සිදු කරන්න වුණා. ඒක නිසා වයස 47 පහු වෙද්දීම ආර්තවහරණයට මුහුණ දෙන්න වුණා. මගේ මුළු ඇඟම රිදෙන්න ගත්තා. අත පය හිරිවැටෙන ගතියක් තිබුණා. උදේ නැගිටිනකොට දහදියෙන් තෙමිලා," යැයි නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළාය. මේ තොරතුරුද කියවන්න: පවුල් ජීවිතය ඕනෑම කාන්තාවක් සිය දිවිගමනේ වැඩිහිටි වියට පත් වීමේ දී ආර්තවහරණයට මුහුණ දේ. මෙය තවත් එක් ස්වාභාවික සිද්ධියක් වුවත්, සමහර අවස්ථාවල දී ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ. "මට අවුරුදු 51 වෙනකොට පීරියඩ්ස් හැදෙන එක නතර වුණා. හැබැයි මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා. කිසිම කෙනෙක් නොරුස්සන ස්වභාවයක් ආවා. හැබැයි මට මේ වෙන්නේ මොකක්ද කියලා මට හෝ මගේ පවුලේ අයට දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට පවුල් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා," වැලිවේරියේ පදිංචි ජයන්තා කුලසූරිය පැවසුවාය. බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කාන්තාවන් දස දෙනාගෙන් හය දෙනෙකුට ආර්තවහරණය ගැන නිවැරදි අවබෝධයක් නොතිබිණි. "මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා" එමෙන්ම, පුරුෂයන් බොහෝ දෙනෙකුට ද ආර්තවහරණය සිදු වන්නේ කෙසේ ද යැයි අදහසක් නොතිබිණි. ආර්තවහරණය යන්න තේරුම් ගෙන එම කාලය ඇතුළත වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින්, කල්පනාකාරීව සහ ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවට නොයෙකුත් ගැටලු ඇති වීමේ තත්වයක් මෙම නොදැනුවත්කම නිසා ඇති වී තිබේ. "55දී මට මේ තත්වයට මුහුණ දෙන්න වුණා. සමහර වෙලාවට ඇඟ පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා. ඒ වගේම දැඩි මානසික ආතතියක් දැනෙන්න ගත්තා. සමහර වෙලාවට ගෙදරින් එළියට දුවන්න වගේ හිතෙන හැගීමක් ආවා. අවසානයේ වෛද්‍යවරයෙක් හමුවෙලා මානසික ව්‍යාකූලතාවට බෙහෙත් ගත්තා," එංගලන්තයේ ලන්ඩන් නුවර දිවි ගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක් වන මාලිනි විතාරණ පැවසුවාය. මේ අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු පැවසුවේ සිය සැමියන්ට ආර්තවහරණය ගැන කිසිදු අවබෝධයක් නොතිබුණු නිසා තමන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවය. නමුත් සිය සැමියා ද කැටුව වෛද්‍යවරයෙකු හමුවීමට යාමෙන් තත්වය පැහැදිලි කරගත් බව ඔවුහු පැවසූහ. ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ "මට වයස 48යි. දැන් පීරියඩ්ස් හැදෙන්නේම නැති තරම්. ලිංගික සංසර්ගයේ දී වේදනාවක් දැනෙනවා වගේම ඉස්සර වගේ මනස එක දෙයකට යොමු කරගෙන ඉන්න අපහසු බවක් දැනෙනවා," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසුවාය. ආර්තවහරණයට ප්‍රතිකාර ගත යුතු ද? "ආර්තවහරණය කියන්නේ ලොකු ක්‍රියාවලියක එක් කොටසක් පමණයි. කාන්තාවකගේ හෝමෝන පද්ධතියේ වෙනස්කම් මෙයට බලපාන මූලිකම කාරණයයි. මේ නිසා ශරීරයේ වෙනත් පද්ධතිවලට ඇතිවන බලපෑමට තමයි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නේ," යැයි වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය. මින් වසර දහයකට පමණ පෙර ආර්තවහරණය හේතුවෙන් මතුවන සංකූලතාවලට 'හෝමෝන නැවත තැන්පත් කිරීමේ (HRT)' ක්‍රමයක් අනුගමනය කර තිබේ. සමහර කාන්තාවන් තරුණ බව රැකගැනීමේ ක්‍රමයක් ලෙස ද මෙම ප්‍රතිකාර ක්‍රමයට යොමුවී තිබිණි. නමුත්, වෛද්‍ය විද්‍යාවේ නවතම සොයාගැනීම් අනුව, HRT ක්‍රමය දීර්ඝ කාලයක් අනුගමනය කිරීම තුළින් හදවත් රෝග සහ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න මේ හේතුවෙන්, වර්තමානයේ දී ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට සිදු කරන පළමු ප්‍රතිකර්මය HRT නොවන අතර, සිය ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටීමට හැකි බව වෛද්‍යවරයා පැවසුවේය. ජීවන රටාවේ සිදුවිය යුතු වෙනස්කම් මොනවාද? ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ලබාගත හැකි විවිධ පෙතිවර්ග සහ හෝමෝන වඩවන ශාකවර්ග ද ආහාරයට ගත හැකි බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය. ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටිය හැකිය "නමුත් තමන්ට දැනෙන සියලු අපහසුතා ආර්තවහරණය නිසා සිදුවන බව නොසිතා ශරීරයේ වෙනත් පද්ධතිවල ඇති වෙනස්කම් ගැන අවධානය යොමු කර සිටීම වැදගත්. උදාහරණයක් ලෙස, තයිරොක්සීන් වැඩි කෙනෙක්ට වැඩිපුර දහදිය දමන ගතියක් එන්න පුළුවන්." "මේ ක්‍රමවලට අමතරව, මාස තුනකට හෝ හයකට තාවකාලිකව ශරීරයට අවශ්‍ය හෝමෝන ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන අත්‍යවශ්‍ය අවස්ථාවල දී තමන්ට තිබෙන අවදානම තේරුම් අරගෙන එය ලබා ගත්තාට කමක් නැහැ," වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය. තවත් තොරතුරු:
සිය නිදන කාමර තුළ සහ ඉන් පිටත දී අනුගමනය කළ යුතු නීති රෙගුලාසි යළි සටහන් කිරීමේ නිරත මැද පෙරදිග කාන්තාවන් සහ පුරුෂයන් පිරිසක් තේමා කර ගනිමින් නිර්මාණය කෙරෙන කෙටි චිත්‍රපට මාලාවක් නිපදවීම සඳහා පුරා වසරක කාලයක් අරාබි ලෝකයේ එහාමෙහා ගිය මාධ්‍යවේදිනී ෂෙරීන් එල් ෆෙකි (Shereen El Feki) ඉදිරිපත් කරන තොරතුරු මත මෙම ලේඛනය පදනම් වෙයි.
ලිංගිකත්වය සහ ලිංගික සම්බන්ධතා වැනි කරුණු සම්බන්ධයෙන් අරාබි ලෝකයේ එක්තරා සාකච්ඡාවක් ආරම්භ වී ඇත උතුරු අප්‍රිකාවේ සහ මැද පෙරදිග ලිංගික ජීවිතයේ සැකැස්ම සහ හැඩගැසීම් තේරුම් ගැනීම පහසුය. ඒ අතරවාරයේ දුෂ්කර තත්ත්වයක් මතු කරන්නේ, කන්‍යාභාවයත් ඇතුළත්ව පවුලේ බලපෑම, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික ආදී LGBTQ ජන කොටස් මැඩලීම සහ අන්තර්ජාලයේ කාම වෙබ් අඩවිවලට ප්‍රතිචාර වශයෙන් පවතින දෘශ්‍යමාන මාධ්‍ය වාරණය තෙක් කරුණු විමසීම පිළිබඳව පමණි. බීබීසියේ අරාබි අංශය (BBC News Arabic) විසින් මැද පෙරදිග රටවල් දහයක සහ පලස්තීන භූමියෙහි මෑතදී සිදු කරන ලද සමීක්ෂණයක දී මතු වූ මහජන අදහස් තුළින් එවැනි දැඩි මතධාරී ආකල්ප ප්‍රදර්ශනය විය. 'ඇරෑබ් බැරෝමීටර්' (Arab Barometer) නම් පර්යේෂණ ජාලය විසින් සිදු කරන ලද සමීක්ෂණයේ දී ඇතැම් පුදුම සහගත අදහස් පෙරට පැමිණ තිබුණි. උදාහරණයක් වශයෙන් එම සමීක්‍ෂණයට සහභාගී වූ බොහෝදෙනා 'කාන්තාවන්ට ඔවුන්ගේ රටවල් සඳහා නායකත්වය දීමට පවතින අයිතිය' පිළිගෙන තිබුණි. එහෙත් සමස්ත චිත්‍රය ගතානුගතිකවාදී මුහුණුවරක් ගනියි. ලිංගිකත්වය සහ ලිංගික සම්බන්ධතා වැනි කරුණු සම්බන්ධයෙන් අරාබි ලෝකයේ දක්නට ලැබෙන්නේ විවෘත මතවාදයක් නොවේ. වැඩි දෙනෙක් තවමත් සිතන හැටියට, පවුලට අදාළ කාරණා තීන්දු කිරීම පුරුෂයා සතු අයිතියකි. එපමණක් නොව, ප්‍රශ්න යොමු කරන ලද ස්ථාන හතකින් හයකදීම ලද ප්‍රතිචාරය වුයේ සමලිංගික සබඳතාවන්ට වඩා "පවුලේ ගෞරවය තකා සිදු කරන ඝාතන" අනුමත කළ හැකි බවය. එහෙත් මෙය සමස්ත චිත්‍රය නොවේ. අනන්‍යතාව රැක ගැනීම බටහිර ඉවුරේ පලස්තීන අනාථ කඳවුරක ලිංගික අධ්‍යාපන වැඩ මුළුවකට සහභාගී වෙන කාන්තාවන් සෙසු මති මතාන්තර ඉවසීම සහ සමාජමය විවෘතභාවය අතින් තත්ත්වය යහපත් අතට හැරීමේ ලකුණු පිළිබඳ විපරම් කරන විට, පවතින සමාජමය විවර අතරින් එම නව හැඩ ගැසීම්වල පෙරට යාමක් ආරම්භ වී ඇති ආකාරයක් දක්නට ලැබෙයි. ටකේ සාෆා ටමිෂ් (Take Safa Tamish) 'මුන්ටාඩා අල් -ජෙන්සනේයා' (Muntada Al-Jensaneya) නම් රාජ්‍ය නොවන සංවිධානයේ සම නිර්මාතෘවරයෙකි. එම සංවිධානය පලස්තීන සමාජයේ ලිංගික අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන අතර, ලිංගික අධ්‍යාපනය ගැන යළි සිතා බැලීම සඳහා ජනතාව දිරි ගන්වයි. සාම්ප්‍රදායිකව සිදු වෙන වර්ගයා බෝ කිරීම ගැන පමණක් නොව 'ආලයේ ගැටළු සහ සංවාසය' පිළිබඳ කරුණුත් එම දැනුමට ඇතුළත්ය. 'මුන්ටාඩා' සංවිධානය සිය කටයුතු දියත් කරන ලද්දේ, ඊශ්‍රායලයේ වාසය කරන අරාබි ප්‍රජාව අතරිනි. ඉන් අනතුරුව ඔවුන් බටහිර ඉවුරේ ඊශ්‍රායල් පාලනය සහිත භූමියේත් සිය ශාඛා සංවිධාන පිහිටුවා ඇත. විධිමත් ලිංගික අධ්‍යාපනයකින් තොර වූ අදාළ කලාපයේ බහුතරයක් ජනතාව 'ලිංගිකත්වය' සම්බන්ධයෙන් විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් පාවිච්චි කරනු ලබන අරාබි වචන නොදියුණු මට්ටමේ අවිධිමත් ඒවා වෙති. එසේම අදාළ මාතෘකාව සම්බන්ධයෙන් පාවිච්චි කරනු ලබන යෙදුම් 'දුෂ්කරභාවයක් සහ ලජ්ජාව' ඇති කෙරෙන සුළුය. එම තත්ත්වයන් යටතේ කලාපයේ බොහෝ සමාජයන්හි ලිංගිකත්වය පිළිබඳ මාතෘකා ගැන කතා කිරීමේ දී ඉංග්‍රීසි හෝ ප්‍රංශ භාෂාව යොදා ගැනීම වඩාත් පහසුවක් ලෙස සැලකෙයි. ජෝර්දානය 'LGBTQ+' අන්තර්ජාල සඟරාව අවහිර කරනු ලැබ ඇත. ඒ අතරම ජෝර්දානය 'කාන්තා ව්‍යාග්‍රා' පාවිච්චිය දෙසට නැඹුරු වෙමින් ඇති අරාබි රාජ්‍යය වෙයි. අරාබි ලෝකයේ අන්තර් ආගමික ආදර සම්බන්ධතාවන් යනු සමාජමය තහංචියකි. අරාබි භාෂාවෙන් ඔවුන්ගේ සිරුරු සහ ලිංගික ජීවිතය පිළිබඳව සාකච්ඡා කිරීමේ මානසිකත්වය ගොඩ නැගීම සඳහා අවශ්‍ය වාතාවරණයක් නිර්මාණය කිරීමෙහි ලා පලස්තීන ජාතිකයන්ට සහාය වීම 'මුන්ටාඩා' සංවිධානය විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයකි. ලිංගික කරුණු සාකච්ඡාවේ දී අරාබි වචන භාවිතය වෙනුවට විකල්පයක් ලෙස යොදා ගනු ලබන අවිධිමත් යෙදුම් 'හීබෘ' බසට අයත් වියහැකි අතර, එම භාෂාමය පෙළඹුම මගින් ඊශ්‍රායල් පාලනය ය‍ටතේ ජීවත්වෙන පලස්තීන ජාතිකයන්ගේ දේශපාලන අනන්‍යතාව ප්‍රකාශ කිරීමක් ද සිදු වෙයි. ස්වයං ප්‍රකාශනය ජෝර්දාන් දේශසීමාවෙන් ඔබ්බෙහි භාෂාව සහ අනන්‍යතාව පිළිබඳ මෙම ප්‍රශ්න කාලිඩ් අබ්දෙල් හාඩි (Khalid Abdel-Hadi) පිළිබඳ මතකය අවධි කරයි. කාලිඩ්, මැද පෙරදිග සමාජයේ සම ලිංගිකයන් වෙනුවෙන් මාධ්‍ය කලාව විවෘත මට්ටමින් භාවිතා කළ අතලොස්සක් දෙනාගෙන් එක් තැනැත්තෙකි. එසේම ඔහු ලිංගිකත්වය තීන්දු කෙරෙන ශල්‍යකර්මයන්හි පටන් "ගරුත්වය වෙනුවෙන් සිදු කෙරෙන ඝාතන" තෙක් සියල්ල සාකච්ඡා කෙරෙන "මයි කාලි" (My Kali) අන්තර්ජාල සංග්‍රහයේ නිර්මාතෘවරයා ද වෙයි. සාෆා සංවිධානය 'අනන්‍යතාව' පිළිබඳව කතා කරද්දී කාලිඩ් ද එම පිටුවේ දක්නට විය. "සාමූහික සංස්කෘතියක්" තුළ සිය පෞද්ගලිකත්වයේ වටිනාකම සමාජගත කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් කාලිඩ් මෙයින් දස වසරකට පමණ පෙර "මයි කාලි" (My Kali) අන්තර්ජාල සංග්‍රහය නිර්මාණය කරන ලද්දේ ඔහු යොවුන් තරුණයකුව සිටියදීය. "අරාබි ලෝකයේ අපි ඔක්කොම හඳුන්වා ගන්නේ ප්‍රජාවන් අභ්‍යන්තරයේ කොටස් හැටියට. සමාජමය වූ එම 'මහා හඬ' තුළ මගේ පෞද්ගලික වූ මතවාදය ප්‍රකාශයට පත් කරනු ලැබීම අසීරු දෙයක්" කාලිඩ් පවසයි. තරුණ ජනයා ගත්විට එය අරාබි ලෝකය පුරා සත්‍යය වූ ප්‍රකාශයකි: "ලිංගිකත්වයට අදාළ මාතෘකා පසෙකින් තබන්න!" රැකියාවක් සොයා ගැනීමට නොහැකි එසේම දෙමව්පිය සෙවණින් වෙන්වීමට නොහැකි එසේත් නැත්නම් පෞද්ගලික නිදහස සහතික කර ගැනීමට රාජ්‍යය මත එල්බ සිටින සමාජයක වැසියන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ඔවුන්ට අනුව තීන්දු කර ගැනීම දුෂ්කර කාරණයක් වී ඇත. "ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයා දෙවියන්ගෙන් ලද ත්‍යාගයකි. අප එමගින් විනෝදය ලබමු" ලෙබනනයේ සංද්රින් අටල්ලාහ් (Sandrine Atallah) ලිංගික චිකිත්සාවෙහි නිරතවීමෙන් නමක් දිනූ උපදේශිකාවකි. සිය දෛනික සායනයේ දී ඇය ලිංගිත්වය පිළිබඳව සෘජුව අදහස් දක්වන්නීය. 'බේරුත්' අගනුවර සායනයක් පවත්වා ගෙන යන ඇය ඊට අතිරේකව 'කයිරෝ' අගනුවර මූලස්ථානය කරගත් 'Al Hubb Thaqafa' (ආදර සංස්කෘතිය) නම් සමාජ මාධ්‍ය ජාලයේ පෙනී සිටින එක් තාරකාවක් ද වන්නීය. සංද්රින් සහ ඇය සමඟ කටයුතු කරන 'ලිංගික මාතෘකා ගැන කතාකරන කණ්ඩායම' අනුගමනය කරන්නේ පෞරාණික සම්ප්‍රදායකි. අරාබි ලෝකයේ ඉතිහාසය විමසන විට, එම ඉතිහාසයෙන් වැඩි කොටසක දක්නට ලැබෙන්නේ අද මෙන් ලිංගික කාරනා ගැන කතා කිරීමෙන් වැළකීම හෝ ඒවා නොරිස්සීම නොව සහමුලින්ම එම හැසිරීමේ ප්‍රතිවිරුද්ධ චර්යාවය. එමගින් කියැවෙන්නේ අරාබි ජනයා ඉතිහාසයේ ලිංගිකත්වය පිළිබඳව විවෘත මනසින් සාකච්ඡා කළ බව නොවේද? උදාහරණයක් ගනිමු. 10-11 සියවස් වලදී බැග්ඩෑඩ් නගරයේ දී 'සතුටු විශ්වකෝෂය' (Encyclopaedia of Pleasure) සංග්‍රහ කරනු ලැබුණි. එම විශ්වකෝෂයේ 43 වෙනි පරිච්ඡේදය සහමුලින්ම මෙන් සකලවිධ ලිංගික හැසිරීම් සහ ලිංගික අභිලාෂයන් ආවරණය කරයි. 'සතුටු විශ්වකෝෂය' දෙන පණිවුඩය ඉතා පැහැදිලිය. "ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයා දෙවියන්ගෙන් ලද ත්‍යාගයකි. අප එමගින් විනෝදය ලබමු" අන්තර්ජාල නිමැවුම් රාග මිශ්‍රිත අරාබි සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ නිර්මාණ එම කලාපයෙන් වැඩි හරියකට අද අහිමි වී ඇත. එහෙත් ඒ අතරවාරයේ විවෘතව නිදහසේ ලිංගික කරුණු සාකච්ඡාවට ගනු ලැබීම තව දුරටත් ප්‍රශ්නයක් නොවෙනවා පමණක් නොව, එය පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ට ද සතුටක් දනවයි. සාෆා, කාලිඩ් සහ සන්ද්රින් යනු ප්‍රතිසංස්කරණවාදීන් මිස සටන්කාමීන් නොවේ. ලිංගික සබඳතා පිළිබඳව සාකච්ඡා කරන අතරවාරයේ අනිත් අතින් සම්ප්‍රදාය සහ සංස්කෘතික බීජ සමඟ ක්‍රියා කිරීමටත් ඔවුහු උත්සාහ කරති. ඔවුන්ගේ අභියෝගය සමාජය තුළ නිර්මාණය කරන ලද සුරක්‍ෂිත කුඩා අවකාශයෙන් ඔබ්බට නිදහසේ ගමන් ගැනීමය. ඇත්තෙන්ම, ඔවුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් සැකසුන චිත්‍රපටවල අන්තර්ජාල නිමැවුම් BBC අරාබි සේවයේ 'YouTube' චැනලය ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එමගින් කාන්තාවන් සහ පුරුෂයන් මුහුණ දෙන පෞද්ගලික තර්ජන සහ තහංචි පාලනය කර ගැනීම කොතරම් දුෂ්කර ද යන්න බරපතල මට්ටමින් මතක් කර දෙයි. දූෂණ සහ අර්බුද බොහෝ ඈතක නොවන, දස දහස් ගණනින් ජනතාව අවතැන් හෝ රැකියා නොමැති තත්ත්වයක පසුවෙන සමාජයක, බොහෝ දුරට ලිංගික ජීවිතයේ සංතෘප්තභාවය මගින් එම සමාජයේ ප්‍රශ්නවල අඩුවක් පෙන්නුම් කරනවාත් විය හැකිය. එහෙත් ඉදිරි අනාගතයෙහි අප වඩාත් සතුටින් සහ යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතු සමාජ දැකීමට නම්, ලිංගිකත්වය පිළිබඳ අවකාශය විවෘත මට්ටමක පැවැත්ම ඉතා වැදගත් වෙයි.
ලොව වැඩිම පිරිසක් ඉගෙන ගන්නා භාෂාව ඉංග්‍රීසි බව ඔබ දැන සිටියාද?
ප්‍රවේසමෙන් ලියන්න මේ වන විට ලොව පුරා බිලියන 1.5ක් පමණ ජනතාව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරති. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සංඛ්‍යා ලේඛන අනුව වසර 2020 වන විට එම පිරිස බිලියන දෙකක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.(British Council figures) "ඉංග්‍රීසි භාෂාව යනු සාහසික ලෙස අවිධිමත් භාෂාවක්" යැයි ප්‍රමුඛ පෙළේ පිටපත් සංස්කාරකවරයකු වන බෙන්ජමින් ඩ්‍රයර් පවසා ඇති හෙයින් එය ඉගෙන ගන්නා සියලු දෙනාට වාසනාව උදා වේවා! කෙතරම් දුෂ්කර වුවත් එය අතහැර දැමූ පිරිස බහුල නොවේ. එය නව යුගයේ පොදු බස බවට පත්ව ඇත. විද්‍යාව, කලාව, මූල්‍ය ක්ෂේත්‍රය, ප්‍රකාශන ලෝකය, ක්‍රීඩා, දේශපාලන සහ සංචාරක ක්ෂේත්‍රය යනාදී සියල්ල ඉංග්‍රීසි බසට නතු වී හමාර ය. භාෂා විශේෂඥ ඩේවිඩ් ක්‍රිස්ටල් ගේ ඇස්තමේන්තුව අනුව මව් භාෂාව ලෙස ඉංග්‍රීසිය වහරන සමස්ත ජනකාය මිලියන 400කි. තවත් මිලියන 700ක් හෝ 800ක් පමණ දෙවැනි භාෂාව වශයෙන් ඉංග්‍රීසි බස වහරන්නේ ඔවුන් ජීවත් වන රටේ ඉංග්‍රීසි භාෂාවෙන් ද බොහෝ කටයුතු සිදුවන බැවිනි. උදාහරණයක් ලෙස නයිජීරියාව හෝ ඉන්දියාව දැක්විය හැක. ඉංග්‍රීසිය විදෙස් බසක් වශයෙන් හදාරා කතා කරන්නන් ද මිලියන ගණනක් ලොව පුරා සිටිති. රුසියානුවන් සහ චීන ජාතිකයන් ඊට කදිම නිදසුන් ය. තම රට තුළ එය භාවිතා නොවන නමුත් විදෙස් බසක් ලෙස ඉංග්‍රීසි හැදෑරීම ඔවුන් විසින් ම තෝරාගනු ලැබ තිබේ. දැන් තිබෙන එකම ප්‍රශ්නය වන්නේ 'ඉංග්‍රීසියෙන් ලිවීම' පිළිබඳව එකඟතාවයකට එළැඹීමයි. එනම්, නිවැරදිව ලියන්නේ කෙසේද? යන්නයි. බෙන්ජමින් ඩ්‍රයර් ට ස්තුතිවන්ත වන්නට දැන් පිහිටක් තිබේ. ඔබේ දෑස රතු වන තුරු සිනහ ගැන්විය හැකි, ලේඛන කලාව සහ ව්‍යාකරණ පිළිබඳව ලියවුණු එකම පොත ඔහුගේ 'ඩ්‍රයර්ස් ඉංග්ලිෂ්' (Dreyer's English) නමැති ග්‍රන්ථය විය හැකිය. පාලකයා කවුද? රටවල් 50කට අධික ප්‍රමාණයක නිල භාෂාව ඉංග්‍රීසි වන නමුත් එම භාෂාව නියාමනය කිරීම සඳහා "බලධරයකු" නොමැත පාලකයෙකු නොමැත. ඉංග්‍රීසිය පවතින්නේ භාෂාමය අරාජිකත්වයකය. එය කිසිදා නියාමනය වී නැත. එසේ කිරීමට 'ලොක්කෙක්' නොමැත. ප්‍රංශ හෝ ස්පාඤ්ඤ භාෂාවට මෙන් එහි විකාශනයේ හෝ අභිවර්ධනයේ භාරකාරත්වය පැවැරුණු ශාස්ත්‍රාල හෝ විද්වත් පර්ෂද ඉංග්‍රීසියට නොමැත. එහෙයින් මුළු විශ්වයටම බලපවත්නා පරිදි ඉංග්‍රීසි ව්‍යාකරණ නීති රීති ස්ථාපනය කිරීමට පාලකයකු නැත. ඉංග්‍රීසියේ අක්ෂර වින්‍යාසය නපුරු සිහිනයකි. ඉංග්‍රීසි වදන් බොහොමයක් වෙනත් භාෂාවන්ගෙන් ලැබුණු ඒවා වීම ඊට හේතුවකි. තේරුම් ගන්න පුළුවන්නම් කොහොම වුණාම මොකද? මොනවා කියනවද කියල මට නම් තේරෙන්නේ නැහැ! කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවනි. සන්නිවේදනය සඳහා මෙය සරලව ගත හැකි නමුත් වෘත්තීයමය වශයෙන් යමක් ලියන්නේ නම් එය නිවැරදි සහ පැහැදිලි විය යුතුය. නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිත නොකිරීමෙන් හාත්පසින් වෙනස් වූ අර්ථයක් ගම්‍ය විය හැකිය. පළමු අභ්‍යාසය: කසල වදන් රහිතව ලියමු ඉංග්‍රීසි බස පිළිබඳව ලොවට ම පොදු එක් නීති මාලාවක් නැතත් "අනවශ්‍ය වදන් ඉවත් කර ලියන්නට හැකි නම්" ඔබට වඩා හොඳ ලියන්නෙකු විය හැකි බව බෙන්ජමින් ඩ්‍රයර් ගේ අදහසයි. very, rather, really, quite, just සහ in fact යන වදන් නොමැතිව සතියක් ලියන්න. ඇත්තටම, actually කියන වචනෙත් මේ ලැයිස්තුවට එකතු වෙන්න ඕන. එහෙම ලියන්න ගත්තොත් ඔබේ ලිවීම 20%කින් වඩා හොඳ තත්වයකට පත් වෙනවා." ඩ්‍රයර් පවසයි. දෙවන අභ්‍යාසය: වැඩකට නැති නීති කාණුවට දමන්න -බෙන්ජමින් ඩ්‍රයර් ඇතැම් "නීති" ඔබේ ලිවීමට අදාළ නොවිය හැකි බව ඩ්‍රයර් පවසයි. මේවා පාසලේ දී අපගේ ඔලු ගෙඩි තුළට දැමූ නීති බව ඔහුගේ අදහස වෙයි. ඩ්‍රයර් ගේ උපදෙස පැහැදිලිය: "ඒවා මතකයේ තබා ගන්න. නොසලකා හරිමින් ඉදිරියට යන්න." "ඔබට කියල දීල ඇති and හෝ but යන වදනින් වාක්‍යයක් ආරම්භ කරන්න එපා කියල. එවැනි තහංචියක් දමන්න යුක්ති සහගත හේතුවක් නැහැ. මෙය විවාදයකට තුඩු දිය හැකියි." "නිර්භීත වන්න. ඉංග්‍රීසි භාෂාවේ ඇති අපූරු පැහැයන් වැළඳ ගන්න. එය වාක්‍යයක් පටන් ගන්න හොඳම ක්‍රමය නොවෙන්න පුළුවන්. ඒත් ඒක වැරද්දක් නොවෙයි." කිසි විටෙක නිපාතයකින් වාක්‍යයක් අවසාන නොකළ යුතුය යන දැඩි නීතියෙන් ද නිදහස් විය යුතු බව ඩ්‍රයර් පවසයි. "නැවතත් කියනවනම්, හොඳ ම ක්‍රමය නොවුනත් එය වරදක් නොවෙයි." තෙවන අභ්‍යාසය: ඔබ කැමති ලියැවිල්ලක් ගැඹුරින් හදාරන්න "හොඳ රචකයෙක් වෙන්න හිතන කෙනෙකුට මට දෙන්න පුළුවන් උපදේශයක් තියෙනවා. ලස්සන ලියැවිල්ලකින් කොටසක් ගන්න. ඒකම වෙනස් නොකර වචනයෙන් වචනයට නැවතත් ලියන්න." "මේක කොම්පියුටරයෙන් කරන්නත් පුළුවන්, අතින් ලියන්නත් පුළුවන්. වෙනත් කෙනෙකුගේ ලියවිල්ලක් ආයෙත් ලියනකොට ඔහුගේ රිද්මය හා වදන් තෝරා ගැනීම වැනි බොහෝ අපූරු දේවල් ඔබට ඉගෙන ගත හැකියි." "හොඳ ලියැවිල්ලක් දැනෙන්නේ කොහොමද කියල අත්හදා බැලිය හැකි හොඳම සහ සරලම ක්‍රමය ඒකයි." බෙන්ජමින් ඩ්‍රයර් ප්‍රකාශ කළේය. අක්‍ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ පරීක්‍ෂාවට පරිගණකය? ලේඛන කලාව පරිගණකට භාර දිය හැකි ද? "ව්‍යාකරණ සඳහා පවතින පරිගණක මෘදුකාංග ඔය කියන තරමට උසස් මට්ටමක තියෙනව නම් පිටපත් රචකයෙක් හැටියට මට මගේ රස්සාවත් නැති වෙනවා." ඩ්‍රයර් පවසයි. "ගැටලුව මේකයි. ඊට පවරා ඇති රාජකාරිය හරියට ඉටු කළ නොහැකියි. එය නම්‍යශීලී නැහැ. විධානයන් දෙන අධිපතියෙක් වගේ. මම ඒක පිළිගන්නේ නැහැ. 'ශුද්ධ වූ ව්‍යාකරණ නීති' උල්ලංඝනය කිරීම ඇතැම් විට ඔබේ රචනයේ දී අවශ්‍ය වන දෙයක්." "ඒ වගේම තමයි, අක්‍ෂර වින්‍යාසයටත් කොම්පියුටරය මතම යැපෙන්න බැහැ." එහෙත් පරිඝනකය මගින් අක්‍ෂර නැවත වතාවක් පරීක්‍ෂාවට ලක් කිරීම සුදුසු බව ඩ්‍රයර් පිළිගනී. "කොහොම නමුත් තමන්ගේ ඇස් දෙක අවතක්සේරු කරන්න එපා. සමාන ශබ්දය ඇති. එභෙත් තේරුම වෙනස් වචන තිබෙන බැවින් පරිඝනකය හැම විටම නිවැරදි නැහැ. reign සහ rain යන වචන දෙක වෙනස්ව හඳුනා ගත හැකි කිසිම මෘදුකාංගයක් ගැන මම තාම දන්නේ නැහැ." ඔහු පැවසීය. (බීබීසී ලෝක සේවයේ ඊවා ඔන්ටිවෙරෝස් ගේ ලිපියක් ඇසුරෙනි.)
උතුරේ ඓතිහාසික මැතිවරණය පිළිබඳව ලාංකීය ජනතාවට සුභපැතුම් පිරිනමන ඇමෙරිකා එක්සත් ජනපදය, මැතිවරණ පැවති පළාත් තුනේම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය ඉහල මට්ටමක පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ද සඳහන් කරයි.
'සිවිල් පරිපාලනයක් සහ සංහිඳියාව සඳහා ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ ක්‍රියාවලියක් උතුරු පලාතට අවශ්‍යවේ' කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව පවසන එක්සත් ජනපදය, විශේෂයෙන්ම මැතිවරණ සාමය තුල වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. සෙනසුරාදා පැවති මැතිවරණ පිළිබඳව සිය ප්‍රතිචාරය පළකරමින් නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, මැතිවරණ පැවැත්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමේත්, ආත්මගරුත්වයෙන් යුතුව ජීවත්වීමේත් අවකාශ සලසා දීමේ වැදගත්කම ද අවධාරණය කරයි.
මොන්ගෝලියාවෙන් ගොඩ ගනු ලැබ, ඇමෙරිකා එක්සත් ජනපදයේදී පසුගිය මාසයේ වෙන්දේසි කෙරුන, ඩයනසෝර් ඇටසැකිල්ලක් යළි බලධාරීන්ගේ භාරයට ගනු ලැබුණා.
එවැනි පියවරක් ගෙන තිබෙන්නේ , මොන්ගෝලියාව එය තමන්ට භාර දියයුතු යයි කියා සිටීමත් සමඟයි. Tyrannosaurus Bataar යනුවෙන් නම් කරනු ලැබ ඇති පාද දෙකක් සහිත, මීටර් හතක් පමණ දිග, මෙම ඩයනසෝරයන් මෙයින් අවුරුදු කෝටි හතකට පමණ පෙර ගෝබි කාන්තාරය පුරා සැරිසරන්නට ඇතැයි සැලකෙනවා. මොන්ගෝලියානු ඩයනසෝර් ඇටසැකිල්ල එක්සත් ජනපදයේදී ඩොලර් දශ ලක්ෂයකටත් අධික මිළකට වෙන්දේසි කරණ ලදී ඊට එරෙහිව නෛතික පියවර ගනිමින් මොන්ගෝලියානු ආණ්ඩුව කියා සිටියේ,එය තම රටේ සම්පතක් කොල්ල කෑමක් වූ බවයි. තම භූමියේ ඇති පොසීල, ජාතික සම්පත් ගණයට වැටෙන බව කියා සිටින මොන්ගෝලියාව විසින් ඒවා අපනයනය තහනම් කරනු ලැබිණ.
විරුද්ධ පක්ෂයේ අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි ගේ නායකත්වයෙන් යුත් සන්ධානයට ඉන්දීය මහ මැතිවරණයේ ජයග්‍රහණය අත්වනු ඇති බව ජනමත සමීක්ෂණවලින් ඉඟි කෙරේ.
භාරතීය ජනතා පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇති බව ජනමත සමීක්ෂණවල දැක්වේ සති හයක් මුළුල්ලේ පැවැත්වුණු මහ මැතිවරණයට සියයට හැට හයක වාර්තාගත ඡන්දදායක සහභාගිත්වයක් පැවති බවයි, මැතිවරණ නිලධාරීන් පවසන්නේ. භාරතීය ජනතා පක්ෂයට මෙවර ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇති බවයි, ජනමත සමීක්ෂණවල දැක්වෙන්නේ. පාලක කොන්ග්‍රස් පක්ෂයට ලැබෙන ජනතා සහාය විශාල වශයෙන් බිඳ වැටී ඇති බවද සමීක්ෂණවල නිගමනයයි. එහෙත් මහ මැතිවරණවල ජයග්‍රාහකයන් නම් කිරීම සම්බන්ධ ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල අතීතයේදී එතරම් සාර්ථක වී නැත. මේ අතර දූෂණ හා අක්‍රමිකතා වලට විරුද්ධව හඬ නගන පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී නරේන්ද්‍ර මෝඩිට දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටියේය.
දිල්ලි නුවර දී බස් රථයක් තුළ තරුණියක සමුහ දූෂණය කර මරා දැමූ බවට වරද කරුවන් වූ හතර දෙනාටම ඉන්දීය අධිකරණයක් විසින් මරණීය දඩුවම නියම කෙරිණ.
මරණ දඬුවම ප්‍රකාශයට පත් කරද්දී චුදිතයකු අධිකරණය තුළ හඬා වැලපෙනු දක්නට ලැබිණ. නගරය වටා බස් රථය ධාවනය වෙමින් තිබිය දී ඔවුන් විසින් වරින් වර විසි තුන් හැවිරිදි ශිෂ්‍යාව දූෂණය කළ අතර පසුව ඇය මහා මග දමා යන ලදී. පසුගිය දෙසැම්බර් මාසයේ දී විසි තුන් හැවිරිදි එම ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීමේ සිද්ධියෙන් පසු ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හට ගැනින. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වින්ශ්චයකාරවරයා පැවසුවේ මේ සිද්ධිය මගින් ඉන්දීය ඉන්දියාවේ පොදු ජන හෘදය සාක්ෂිය කම්පාවට පත් කොට ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකිය යුතු බවට දෙමළ ඩයස්පෝරා නායකයන් කරන යෝජනාවට හිටපු නෝර්වීජියානු සාම නියෝජිතයා විරෝධය පළ කොට තිබේ.
"ඇයි පාප් වහන්සේ ගිහිල්ල විවෘතව කතා නොකරන්නේ?" ඒ වෙනුවට පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කොට අවධානය පළ කළ යුතු කරුණු තිබේ නම් ශ්‍රී ලංකාවේදීම ඒවා පෙන්වා දිය යුතු බවයි, එරික් සොල්හයිම් පවසන්නේ. ලබන ජනවාරි මාසයේ 13 සහ 14 දිනවල පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව වතිකානය නිවේදනය කොට තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරෝධය පෑමක් ලෙසින් පාප් වහන්සේ එම සංචාරය අවලංගු කළ යුතු නොවන්නේ දැයි ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රශ්න කොට තිබුණි. පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වුන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ක්‍රියා කළ ආකාරයට, පාප් වහන්සේට ද ක්‍රියා කළ හැකි බවයි එරික් සොල්හයිම් ට්විටර් පණිවුඩයක් මගින් එයට ප්‍රතිචාරය පළ කරමින් සඳහන් කරන්නේ.
වවුනියාවේ ළමා නිවාසයක සිදු කෙරුණ ළමා අපචාර පිළිබඳව චෝදනා ලැබ සිටින උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් නොවැම්බර් 19 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් වව්නියාවේ දිසා විනිසුරු වී.රාමකමලන් නියෝග කර ඇත.
ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියෝ(මැද) උසාවි භූමියේදී චූදිත ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන්ගේ පාලනය යටතේ පවතින සෙත්සෙවන ළමා නිවාසයේ සිංහල සහ දෙමළ ළමුන් පනහක් පමණ නේවාසිකව සිටි අතර, එහි විසූ දස හැවිරිදි පිරිමි දරුවකු පසුගිය මාසයේ ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමට සිදු විය. ඔහු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කොට තිබුණේ,එම දරුවා ලිංගික අපයෝජනයට සහ ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බවයි. ඉන් අනතුරුව,අදාළ පරීක්ෂණ වව්නියාව පොලිසියෙන් ළමාරක්ෂණ අධිකාරියට පවරුන අතර එහි නිලධාරීන් විසින් සෙත් සෙවන ළමා නිවාසයේ ළමුන් විසිඑක් දෙනෙක් ඔවුන්ගේ භාරයට ගෙන කළුතර ළමා නිවාසයේ භාරයට පත් කරනු ලැබුණි.
චීනයේ ෂිචුආන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ගවේෂකයින් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මන්නාරම, මාතොට පැරණි වෙළෙඳ වරායේ ගවේෂණයක් ආරම්භ කොට ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල පවසයි.
මහාචාර්යවරයා කියා සිටියේ, මෙම විශ්වවිද්‍යාල දෙක සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර ඇති වූ ගිවිසුමකට අනුව මෙම ගවේෂණ කටයුතු ආරම්භ වූ බවය. පැරණි මාතොට වරාය හරහා ශ්‍රී ලංකාව විදේශීය රාජ්‍යයන් සමඟ සිදුකළ වෙළෙඳ ගනුදෙනු සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අධ්‍යයනය කිරීමට නියමිතය. ගවේෂණයට සම්බන්ධ සියලු නියෝජිතයින් 27 වන දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී තමන් හමු වී ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු පැවසීය. මින් පෙර මාතොට වරාය ගැන පරීක්ෂණයක් පවත්වා තිබූ පුරාවිද්‍යා නිලධාරී කාර්ස්වෙල්, එහිදි චීන මැටි බඳුන් කිහිපයක් හමුවුවත් මාතොට වරාය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ දක්වා සිදු වී නොමැති බව කැළණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මංගල කටුගම්පළ පැවසීය. මේ තොරතුරුද කියවන්න: චීනයේ ෂිචුආන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය හුවෝවෙයි සහ මහාචාර්ය හොන් ලියැන් යු ඇතුළු කණ්ඩායමක් ද මේ ගවේෂණය සඳහා එක් වීමට නියමිතය. චීන විශ්ව විද්‍යාල නියෝජිතයෝ මීට පෙර ද ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව යාපනය දඹකොළ පටුන වරාය ආශ්‍රිතව ගවේෂණයක් සිදු කළහ. ඉපැරණි චීන පිඟන් භාණ්ඩ කොටස් රැසක් සහ චීන ලංකා වෙළෙඳ සම්බන්ධතා ගැන සාක්ෂි රැසක් සොයාගැනීමට ඒ අවස්ථාවේ ඔවුහු සමත්වූහ. ඉපැරණි මාතොට වරාය අනුරාධපුර රාජධානි සමයේ දිවයිනේ ප්‍රධානම වරාය ලෙස පැවති අතර, කෝට්ටේ රාජධානි සමය දක්වා ක්‍රියාත්මක වී ඇති බව මන්නාරම මාතොට රජමහා විහාරාධිපති පූජ්‍ය අඹගහවැව සංඝරක්ඛිත හිමියන් සඳහන් කළහ. තිරුකේදීශ්වරන් කෝවිල අනුරාධපුරය සහ පොළොන්නරුව රාජධානි සමයේ සියලු ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සිදු වී ඇත්තේ මාතොට වරාය හරහා වන අතර, මල්වතුඔය ඔස්සේ අනුරාධපුර රාජධානිය වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමට ද මෙය භාවිත කර ඇති බව සංඝරක්ඛිත හිමියෝ පැවසූහ. එහිමියන් වැඩිදුරටත් කියා සිටියේ, රාජසිංහ රජ සමයේ පෘතුගීසීන් ඉන්දියාවට රැගෙනයාම වෙනුවෙන් මාතොට වරාය යොදාගෙන ඇති බවය. පැරණි මාතොට වරාය පැවති ස්ථානයේ වර්තමානයේ තිරුකේදීශ්වරන් කෝවිල පිහිටා ඇති අතර, එය මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් තිබේ. තවත් තොරතුරු:
ශ්‍රී ලංකා යුද හමුදාව ෂෙල් ගසා පවුල් සිය ගණනින් ඝාතනය කළ බවට ඇමරිකා එක්සත් ජනපදය කරන ප්‍රකාශය පුදුම උපදවන සුළු බව ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා ප්‍රකාශ කරයි.
ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ එක්සත් ජනපද තානාපති කාර්යාලය බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයකින් පවසා තිබුනේ පුදුමාතලන් හිදී ශ්‍රී ලංකා යුද හමුදාව දෙදහස් නවයේ ජනවාරියේ දී ෂෙල් ගසා පවුල් සිය ගණනක් ඝාතනය කළ බවයි. එම චෝදනාව සපුරා ප්‍රතික්ෂේප කරමින් යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ එක්සත් ජනපද ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැති බවයි. තානාපති කාර්යාල ප්‍රකාශය සමගින් නිකුත් කෙරුණු ඡායාරූපයේ දැක්වෙන ඉරනෙයිපලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගනය කිසි විටෙකත් ශ්‍රී ලංකා රජයේ යුද හමුදාවේ හෝ ගුවන් හමුදාවේ ඉලක්ක බවට පත් වී නැති බව කී යුද හමුදා ප්‍රකාශකයා 2009 ජනවාරියේ ඒ ප්‍රදේශයේ ‘සාමාන්‍ය ජනතාව සාමාන්‍ය පරිදි’ සිටි බවයි.
කාල පරාසය කුමක් වුවත්, 2015 වසරේ ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟත්වය පරිදි මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කර ගත් යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් එය සිදු විය යුත්තේ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ බව ද ඔහු අවධාරණය කළේය. යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වුවහොත්, එම කරුණු කිසිවක් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු නැතැයි යන අර්ථයක් මතුවීමට ඉඩ ඇති බව කී මන්ත්‍රීවරයා එසේ වුවහොත් ජාත්‍යන්තර අධීක්ෂණයක් අහිමි වීමට ඉඩ ඇති බව ද සඳහන් කළේය. ඒ අනුව, එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කාලපරාසයකට අදාළව, පසුගියදා (මාර්තු 18) යාපනයේ පැවති මාධ්‍ය හමුවේදී තමන් සඳහනක් නොකළ බව එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. "වැඩි කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ආණ්ඩුව කිව්වට ඒ කාලය තුළ අධීක්ෂණයක් සිදු විය යුතුයි" යනුවෙන් කී මන්ත්‍රීවරයා පසුගිය මාස දහඅටක කාලය තුළ කිසිවක් ඉටු නොවූ බව සඳහන් කළේය. කෙසේ නමුත්, කාල පරාසය කුමක් වුවත් ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වූ යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පියවරගත යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පැවසුවේ තමන් ජිනීවා සැසිවාරයට ඉදිරි දිනවල සහභාගිවීම නොවන බව ද වැඩිදුරටත් සඳහන් කරමිනි.
මීට අවුරුදු දෙකකට පෙර ඇතිවූ සුනාමියෙන් අනතුරුව අඩපන වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් වාෂ්ප පිට වෙන්නට පටන් ගෙන ඇතැයි එහි පරිපාලකයින් කියා සිටිති.
පසුගිය සතියේදීත් මෙවැනිම සිද්ධියක් වාර්තා වූ අතර වාෂ්ප පිටවීමට බලපාන හේතුව තාමත් අනාවරණය වී නැත. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිටවෙන විකිරණ මට්ටටම් වල වෙනසක් සිදුවී නැති නමුත් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ජලය මුහුදට කාන්දු වන්නට පටන් ගෙන ඇතයි න්‍යෂ්ටික බලාගාර ක්‍රියා කරුවන් විසින් පිළිගෙන ඇත. විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ජලය කාන්දු වීම ගැන මීට පෙර වාර්තා වූ නමුත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පාලනය කරන සමාගම එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.
එල්ටීටීඊ සංවිධානයට එරෙහිව සටන් කළ 'රණවිරුවන්ට' කිසියම් ගැටලුවක් මතුවන්නේ නම් ඔවුන් ආරක්ෂා කිරීම පිණිස කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ බදාදා කුරුණෑගල පැවති උත්සව සභාවක් අමතා අදහස් දක්වමිනි. "අපි සැමවිටම යුද්ධය කළ රණවිරුවන් ආරක්ෂා කරන එක අපේ වගකීමක් සහ යුතුකමක් ලෙස ඉතාමත්ම ඉහලම ලෙස අපි ඉෂ්ඨ කරනවා," ඔහු පැවසීය. එහෙත් යුද්ධයෙන් පරිබාහිරව, ජාතික ආරක්ෂාව හා කිසිදු සම්බන්ධයක් නැති අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් කවර අංශයක සේවය කළ ද ඔවුන් ආරක්ෂා කිරීමට තමන්ට හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. "මාධ්‍යවේදීන්, ක්‍රීඩකයන්, වෙනත් විවිධ ක්ෂේත්‍රවල අය සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙන ඝාතන, පහරදීම්, එවැනි කාරණාවලට කාගේ හෝ සම්බන්ධයක් තිබෙනවා නම් අපිට ඒ අය රකින්න පුළුවන් කමක් නැහැ," ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට දී තිබුණු අවසරය ශ්‍රී ලංකා ආණ්ඩුව අවසාන මොහොතේ ඉවත්කර ගැනීම හේතුවෙන් සිය දූත පිරිසක සංචාරය අවලංගු කිරීමට බල කෙරී තිබෙන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිළිබඳ ආයතනය (ඉබාරි) පවසයි.
ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සොයා බැලීම පිණිස ඉහල පෙළේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඇතුළු දූත පිරිසක් පෙබරවාරි පළමු වැනි දින සිට දස වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ. දූත පිරිසේ එක් සාමාජිකයෙකුට ජනවාරි වැනි දින වීසා බලපත් නිකුත් කළ ශ්‍රී ලංකා ආණ්ඩුව, පසුගිය ජනවාරි 29 වැනි දින එම බලපත්‍රය අවලංගු කළ බව ඉබාරි ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. දූත පිරිසේ අනෙක් සාමාජිකයන්ට ඒ සඳහා අවසර දීම ජනවාරි 29 සහ 30 දිනවල ප්‍රතික්ෂේප කෙරුණු බව ද එහි සඳහන් වේ. ඒ පිළිබඳව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය බරපතල විරෝධය පළ කළ බව පවසන ඉබාරි ආයතනය, තත්ත්වය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා අදාළ බලධාරීන් සමඟ ක්‍රියා කිරීමට සූදානම් බව ද සඳහන් කරයි. සබැඳි තේමා
පසුගිය සතියේ ඔබ, අප නොදැන සිටි කරුණු කිහිපයක්.
1. කාන්තාවකට නිදා සිටියදීම දරුවකු බිහි කළ හැකි බව ඔබ දැන සිටියාද? පසුගියදා refinery වෙබ් අඩවිය පළ කළ වාර්තාවකට අනුව ඇලිස් පේන් නම් කාන්තාව සිය දරුවා ප්‍රසූතකර තිබෙන්නේ අඩ නින්දේ සිටියදීය. ඇය ප්‍රසූතිය සඳහා සැරසුණු අවස්ථාවේ වෛද්‍ය උපකරණවල දෝෂයක් හේතුවෙන් වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදි බෙහෙත් ලබා දී තිබේ. ඒ මොහොතේ ඇය ප්‍රසූතියට සූදානම්ව සිටි බව වෛද්‍යවරු නොදැන සිටියහ. හදිසියේම ඇය ප්‍රසූතියට සූදානම් බව වටහාගත් ඇලිස්ගේ ස්වාමි පුරුෂයා අඩ නින්දේ සිටියදීම සිය බිරිඳට ප්‍රසූතියට උපදෙස් දී තිබේ. තමන් නින්දේ සිටියදීම සෞඛ්‍ය සම්පන්න දරුවකු ප්‍රසූත කරනු දැක වෛද්‍යවරු පුදුම වූ බව ඇලිස් පසුව සඳහන් කළාය. 2. බ්‍රිතාන්‍යයේ පිරිමි දරුවන්ට, ගැහැණු දරුවන්ට වඩා සතියකට පවුම් දෙකක්. බ්‍රිතාන්‍යය තුළ ලිංගිකත්වය මත පදනම්වූ නොසළකා හැරීම ආරම්භ වන්නේ ළමා වියේදී නිවසේදීම බව ඉඟිකෙරෙන සමීක්ෂණ වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත්විය. ඒ අනුව බ්‍රිතාන්‍යයේ දෙමාපියන් සාමාන්‍යයෙන් සතියකට ගැහැණු දරුවන්ට ලබාදෙන මුදලට වඩා පවුම් 2.20 ක් පිරිමි දරුවන්ට ලබාදෙන බව හෙළි වී තිබේ. වයස අවුරුදු පහේ සිට 16 දක්වා දරුවන් 2000 ක් යොදාගෙන Childwise සංවිධානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයට අනුව දෙමාපියන් පිරිමි දරුවකුට සතියකට පවුම් 10.70 ක මුදලක් සාමාන්‍යයෙන් ලබාදෙන නමුත් දැරියන්ට ලැබෙන්නේ සාමාන්‍යයෙන් පවුම් 8.50 ක මුදලකි. 3. අයිස්ලන්තයේ වාර්ෂික මනුෂ්‍ය ඝාතනවල සාමාන්‍ය අගය 1.8 කි. අයිස්ලන්තයේ මනුෂ්‍ය ඝාතන කෙතරම් දුර්ලභද යත් දින අටක් මුළුල්ලේ අතුරුදහන්ව සිටි දැරියකගේ මළසිරුර හමුවීමෙන් පසුව මුළු රටම කම්පාවට පත්විය. අයිස්ලන්තය, ලෝකයේ අපරාධ අඩුම රටවලින් එකකි. 4. මිනිස් දරුවකු ලෙසින් වැඩුණු ගොරිල්ලා. එංගලන්තයේ ගම්මානයක ජෝන් ඩැනියෙල් නම් ගොරිල්ලා මිනිස් දරුවකු ලෙසින් හදා වඩාගත් අතර, ඔහුට සිය නිදන කාමරයක් තිබුණු අතර ජෝන් සිය රෙදි තමන් විසින්ම සෝදාගත්තේය. ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය වාර්තාකරණ පරිදි ජෝන් ඩැනියෙල් ගොරිල්ලා සිය ප්‍රදේශයේ දරුවන් සමග එළිමහනේ ක්‍රීඩා කළ අතර, තේ සහ සයිඩර් මත්පැන් පානය කිරීමටද රුසියකු විය.
ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරඟ තහනමක් පැනවීමෙන් අනතුරුව එම තරඟය සඳහා ලසිත් මාලිංග නායකත්වයට පත් කොට තිබේ.
පන්දු වාර විස්ස යැවීම පිණිස නියමිත කාලයට වැඩි කාලයක් ගත කිරීම තරඟ තහනමට හේතුවයි තරඟ තහනම හේතුවෙන් ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟයේ නායකත්වය දැරීමට දිනේෂ් චන්දිමාල්ට අවස්තාව නොලැබේ. චන්දිමාල් ගෙන් හිස් වන ස්ථානයට ලහිරු තිරිමාන්න කැඳවා තිබේ. බ්‍රහස්පතින්දා එංගලන්තය එරෙහිව පැවති තරඟයේදී නියමිත පන්දු වාර විස්ස යැවීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයට වැඩි කාලයක් ගත කිරීම දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනම පැනවීමට හේතුවයි.
ඉකුත් සෙනසුරාදා පටන් ස්ලවියාන්ස්ක් නගරයේ පැවතී ගැටුම් පිළිබඳව තොරතුරු අනාවරණය කළ යුක්‍රේන අගමැති ආර්සන් අවකොෆ් (Arsen Avakov) රුසියාවට පක්ෂපාතී සටන්කාමීන් තිස් දෙනකුට වැඩි පිරිසක් මරා දැමූ බව ප්‍රකාශ කරයි.
කැරළි කරුවන්ගේ බලකොටුවක් වූ ස්ලවියාන්ස්ක් නගරයේ හටගත් මේ ගැටුම්වලට හොඳින් සන්නද්ධවූ අටසියයක් පමණ කැරලිකරුවන් එක්වූ අතර වෙඩි හුවමාරුවේදී යුක්‍රේන හමුදා භටයන් හතර දෙනකු ද මිය ගිය බවයි ඔහු පැවසුවේ. මාර්ග බාධක ස්ලවියාන්ස්ක් නගරයෙන් ලැබෙන තොරතුරු වලට අනුව නගරයේ සෑම මාර්ගයකම පාහේ මාර්ග බාධක ඉදි කොට තිබෙන අතර නගරවාසීහු ආහාර ද්‍රව්‍ය එක් රැස්කරමින් සිටිති. මේ අතර, රුසියාවට පක්ෂපාතී ක්‍රියා කාරීන් විසින් අල්ලා ගෙන සිටින යුක්‍රේනයේ නැගෙනහිර පළාතේ ප්‍රදේශ යළි අත්පත් කර ගැනීමට රජයේ හමුදා උත්සාහ දරමින් සිටිති. එම පලාතට නිදහස ලබා ගැනීම පිණිස ඉරිදා ජනමත විචාරණයක් පැවැත්වීමට රුසියාවට පක්ෂපාතී ක්‍රියා කාරීන් උත්සාහ දරන අතර ඊට පෙර එම ප්‍රදේශ තමන් යටතට පත්කර ගැනීමයි ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ
යාපන විශ්ව විද්‍යාලය වැසී මාසයක් ගතවී ඇතත් තවමත් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කල නොහැකි තත්වයක් ඇතැයි යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ ආචාර්ය එම්.සිවදාසන් ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනකු වැලිකන්ද රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන පුනරුත්ථාපනය කරන බව තමන්ට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන්වූ බව ආචාර්ය සිවදාසන් පැවසුවේය. මෙම සිසුන් කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන්ගේ නායකයා ලෙස පිළිගන්නා බව ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කල බව ආරක්ෂක ලේකම්වරයා තමන්ට දැන්වූ නමුත් ආචාර්ය ශිවදාසන් කියා සිටියේ සිසුන් එසේ තමන්ට ප්‍රකාශ නොකළ බවයි. සිසුන් හට පුනරුත්තාපන කදවුරේ සිට විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා දී ඇති නමුත් විභාගයකට පෙනී සිටීම සඳහා එම පරිසරය සුදුසු නැති හෙයින් සිසුන් එම අවස්තාව ප්‍රතික්ෂේප කල බව ආචාර්ය ශිවදාසන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේදී තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවලිය සුභවාදී අන්දමින් භාර ගත් බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ බීබීසීයට කියා සිටියේය.
යෝජනාවලියේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රමුඛත්වය ලැබෙන යෝජනා එහිදී හඳුනා ගත් බව හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා පැවසුවේය. සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා පක්ෂ දෙක නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගත් බවත් පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සඳහන් කළේය. ජාතික හෙළ උරුමය දෙවන වතාවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත වුණේ. අපැහැදිලියි අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාවට හෙළ උරුමය නියෝජනය කරමින් චම්පික රණවක, උදය ගමන්පිළ, එම පක්ෂයේ සභාපති පුජ්‍ය අතුරුලියේ රතන හිමි ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක් වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත, මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනවිරත්න සහ බැසිල් රාජපක්ෂ යන අමාත්‍යවරු සාකච්ඡාවට සහභාගී වී සිටියහ. මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය ගනු ලබන තීන්දුව තවමත් අපැහැදිලි තත්වයකයි පවතින්නේ.
උතුරු කොරියාවේ ඉතා බලගතුම දේශපාලන නායකයකු පදවියෙන් පහ කරන ලද බව ආණ්ඩුව නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී එයින් ඉවත් කරනු ලැබූ ආකාරය රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කෙරිණ.
ආර්ථිකය අඩාල කිරීම, ධනවාදී ජීවන රටාවක් ගත කිරීම සහ ස්ත්‍රීධූර්තයකු වීම චෝදනා අතර වේ පාලක කම්කරු පක්ෂයේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී නිල ඇඳුම් වලින් සැරසුන ආරක්ෂක භටයන් විසින් උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගේ මාමා වන ජැන්ග් සොං තායෙක් එයින් ඉවත් කරනු ලැබූ ආකාරය දැක්වෙන ඡායාරූප රාජ්‍ය රූපවාහිනිය ප්‍රදර්ශණය කළේය. පක්ෂයට අභියෝග කිරීම සහ තමන්ගේම පාර්ශවයක් ගොඩ නැගීම හේතුවෙන් ජැන්ග් සොං තායෙක් ඔහු දැරූ සියලුම පදවිවලින් පහ කරන ලදැයි පක්ෂයේ දේශපාලන මණ්ඩලය සනාථ කළ බව රාජ්‍ය පුවත් සේවය පවසයි. රටේ ආර්ථිකය අඩාල කිරීම, ධනවාදී ජීවන රටාවක් ගත කිරීම සහ ස්ත්‍රීධූර්තයකු වීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන තවත් චෝදනා.
ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව වොෂිංටනයේ පැවැත්වෙන කාන්තා පා ගමනට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක් රැස් වෙමින් සිටිති.
ජනාධිපති ට්‍රම්ප්ට විරෝධය පළ කොට ලොව පුරා එවැනි පා ගමන් හයසීයක් පමණ පැවැත්වීමට නියමිතය. ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පාලනය යටතේ කාන්තා අයිතිවාසිකම්වලට බලපෑම් එල්ල වනු ඇතැයි යන්න උද්ඝෝෂකයන්ගේ විශ්වාසය වී තිබේ. අද (ජන.21) බහු ආගමික වැඩසටහනකට එක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් පස්වරුවේ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවා (CIA) මූලස්ථානයේ සංචාරයක නිරත වීමට නියමිතය.
නැගෙනහිර යුක්රේනයේ ජනමත විමසුම් සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන යුක්රේන් වැඩ බලන ජනාධිපති, අලෙක්සන්දර් තුර්නිචොෆ්, ‘කීව්’ පාලනයෙන් නිදහස් වීම සඳහා පැවැත්වීමට යන ජනමත විචාරනවලදී ඡන්දය දීම සම්බන්ධයෙන් නැගෙනහිර යුක්රේනයේ ජනතාවට අනතුරු ඇඟවීමක් කර ඇත.
වැඩ බලන ජනාධිපතිවරයා නැගෙනහිර යුක්රේනයේ පැවැත්වීමට යන ජනමත විචාරන විග්‍රහ කරන ලද්දේ ස්වයං-විනාශකාරී ක්‍රියාමාර්ගයක් හැටියටයි. නැගෙනහිර යුක්රේනය බෙදී වෙන් වුනොත් එය නිමක් නොවන විනාශයකට මග හෙලි කිරීමක් වනු ඇතැයි කියා සිටි යුක්රේන් වැඩ බලන ජනාධිපති අලෙක්සන්දර් තුර්නිචොෆ්, එමගින් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය ද සමාජීය සියලු වැඩසටහන් ද අඩාල වනු ඇති බවයි කියා සිටියේ. ජනමත විමසුම් වැරදියි නියමිත පරිදි මේ මාසය අවසානයේ දී යුක්රේන් ජනාධිපතිවරණය පැවැත්වුනේ නැත්නම්, රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන මෙන් තමා යුරෝපා හවුලෙන් ඉල්ලා සිටින බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මේ අතර කියා සිටියාය. ජර්මනියේ සංචාරයක නිරත වෙමින් සිටින ප්‍රංශ ජනාධිපති ෆ්රාන්ශුවා ඔලොන්ද් සමඟ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් මගින් චාන්සලර්වරිය කියා සිටින්නේ, ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් යුක්රේන් ජනාධිපතිවරණය අසාර්ථක කෙරුනොත් එරට තත්වය තවත් අස්ථාවර විය හැකි බවයි. නැගෙනහිර යුක්රේනයේ සන්නද්ධ කණ්ඩායම් විසින් කැඳවනු ලැබ ඇති ජනමත විචාරන නීතියට පටහැණි බවත් ප්‍රංශ සහ ජර්මන් නායකයෝ කියා සිටිති.
ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා වැතිර සිටින ඇතෙකුට ආරක්ෂාව ලබා දීම සඳහා පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීහු එම ස්ථානයට පැමිණ සිටිති.
උසින් අඩි දහයක් පමණවන ඇතාගේ වයස අවුරුදු තිස්පහක් පමණවන බව කී වනජීවී නිලධාරීහු ඇතාගේ සෞඛ්‍ය තත්වය ඉතා බරපතළ මට්ටමේ පවතින බව පවසති. පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ ඇතෙකු එහි වැටී සිටින බව ප්‍රදේශවාසීන් විසින් පුත්තලම වනජීවී කලාප කාර්යාලයට දැනුම්දෙනු ලැබීමෙන් අනතුරුවය. ප්‍රතිකාර අද (මාර්තු 20) ඇතාට ප්‍රතිකාර ලබා දීම සඳහා වයඹ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම සටහනට පැමිණීමට නියමිතය. ප්‍රතිකාර ලබා දීමෙන් පසුවත් ඇතා සුවය ලබන තෙක් ආරක්ෂාව සැපයීම සඳහා එම ස්ථානයේ රැඳී සිටින බව පුත්තලම අලිපාලන ඒකකයේ නිලධාරීහු පවසති.
ඇයගේ කතාව අයර්ලන්තය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය; ඇයගේ මුහුණ එම උද්ඝෝෂණවල සංකේතය බවට පත් විය.
සිය පළමු දරුවා ගබ්සා වීමෙන් පසු යම් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් 2012 ඔක්තෝබර් මස දිනක 'සවීතා හලප්පනවාර්' අයර්ලන්ත රෝහලක දී මිය ගියාය. සිය පළමු දරුවා ගබ්සා වීමෙන් පසු බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් 2012 ඔක්තෝබර් මස දිනක 'සවීතා හලප්පනවාර්' (Savita Halappanavar) අයර්ලන්ත රෝහලක දී අවසන් සුසුම් හෙළුවාය. ගබ්සාව සිදු වූ පසු ඇය රෝහල් කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටියේ කලලය ඉවත් කරන ලෙසය. නමුත් ඒ වන විට ද කලලයෙන් හුස්ම වැටෙන බව පවසා එය ඉවත් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති. ජාත්‍යන්තර අවධානය යොමු වූ සවීතා හලප්පනවාර්ගේ මරණය අයර්ලන්තයේ ගබ්සාව සම්බන්ධයෙන් පැවතුන නීති වෙනස් කිරීමට ද හේතු විය. ගබ්සා නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනමත විචාරණයේ දී අයර්ලන්ත ජාතිකයන්, ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් සිය ඡන්දය භාවිත කිරීම නිසා "ඇයට සමාදානයේ සැතපීමට" හැකි බව සවීතාගේ දෙමාපියෝ පවසති. දන්ත වෛද්‍යවරියක් ලෙස සේවය කළ, තිස් එක් හැවිරිදි ඉන්දීය ජාතික සවීතාගේ මරණය අයර්ලන්තයේ විශාල සමාජීය වෙනසක් ඇති කිරීමට සමත් විය. අයර්ලන්තයේ 'ගැල්වේ' රෝහලට ඇතුළත් කරන විට සවීතා සති 17ක ගැබිණියක වී සිටියාය. ඇයගේ අනපේක්ෂිත මරණය සිදු වී සය වසරකට ආසන්න වුවත්, ඡන්දදායකයන්ගේ තීරණය වී ඇත්තේ අයර්ලන්ත ව්‍යවස්ථාවෙන් ගබ්සා තහනම ඉවත් කළ යුතු බවය. එමෙන්ම, නව නීතිය 'සවීතාගේ නීතිය' ලෙස නම් කරන මෙන් ඔවුහු ඉල්ලා සිටිති. අයර්ලන්ත ජාතිකයන් ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් සිය ඡන්දය භාවිතා කිරීම නිසා "ඇයට සාමදානයේ සැතපීමට" හැකි බව සවීතාගේ දෙමාපියෝ පවසති. ඉන්දියාවේ බෙල්ගොම්හි ජීවත් වන සවීතාගේ මව, අක්කා මහදේවි යේලාගි (Akkamahadevi Yelagi) පැවසුවේ ජනමත විචාරණයේ ප්‍රතිඵලය ඔවුන්ගේ දියණිය වෙනුවෙන් ලැබූ "ජයග්‍රහණයක්" බවය. "එය සය වසරක සටනකින් පසු ලැබූ ජයග්‍රහණයක්. ඇයගේ ආත්මය දැන් සමාදානයේ සැතපේවි," යනුවෙන් මව සඳහන් කළාය. "මගේ දියණිය වෙනුවෙන් සටන් වැදුණු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා," අක්කාමහදේවි යේලාගි බීබීසී මරාති සේවයේ වාර්තාකාරිනී ස්වාති පටිල්-රාජ්ගොල්කාර් (Swati Patil-Rajgolkar) සමග පැවසීය. අයර්ලන්ත නව නීතිය 'සවීතාගේ නීතිය' ලෙස නම් කිරීම වෙනුවෙන් සිය සහාය පළකරන බව සවීතාගේ පියා, අන්දනප්පා යාල්ගි වෙනත් මාධ්‍යවලට පවසා තිබුණි. සවීතාගේ පියා අන්දනප්පා යාල්ගි අයර්ලන්ත ව්‍යවස්ථාවේ අටවෙනි සංශෝධනය ඉවත් කිරීම උදෙසා පසුගිය සිකුරාදා ජනමත විචාරණයක් පැවැත්වුණි. එකී සංශෝධනයේ සඳහන් වන්නේ නූපන් දරුවාට ද ගර්භණී කාන්තාවට හා සමාන අයිතිවාසිකම් තිබෙන බවය. කෙසේ වෙතත් මෙම සංශෝධනය ඉවත් කර ගබ්සාව නීතිගත කරන ලෙස ඉල්ලා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබේ. අටවෙනි සංශෝධනය අනුව අයර්ලන්තයේ ගබ්සා සිදු කිරීම තහනම් ක්‍රියාවක් වී තිබිණි. නමුත් දරු ගැබෙන් මවගේ ජීවිතයට හානියක් සිදු වේ නම් ගබ්සාව සිදු කිරීමට අවසර ඇත. ගබ්සාව නීතිගත කිරීමට සහාය දැක්වූ පිරිස් මෙම ජනමත විචාරණයෙන් ලැබූ ජයග්‍රහණයත් සමග 'සවීතා' ලෙස මොර දෙමින් ප්‍රතිඵල නිවේදනය කළ ඩබ්ලින් මාලිගාව අසල රැස් වී සිටියහ. ඇයගේ රුව නගර මධ්‍යයේ බිත්තියක සිතුවම් කිරීම මෙම සටනේ අද්විතීය පියවරක් ලෙස දැක්විය හැකිය. ඇයගේ රුව නගර මධ්‍යයේ බිත්තියක සිතුවම් කිරීම මෙම සටනේ අද්විතීය පියවරක් ලෙස දැක්විය හැකිය. ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් ඡන්දය ලබා දීමට ඇයගේ මරණය හේතු වූවා යැයි සඳහන් කුඩා කොළ කැබලි සහ මල් කළඹ බිත්ති සිතුවම වටා තැබීමට බොහෝ පිරිස් කටයුතු කළහ. "සමාවෙන්න. අපි හුඟක් පරක්කු වැඩියි. නමුත් අපි දැන් මෙතන සිටිනවා. අපි ඔබ අමතක කළේ නැහැ," එක් කොළ කැබැල්ලක සටහන් වී තිබුණි. ගබ්සා වීමෙන් පසුත් කළලයෙන් හුස්ම පිට වෙනවා යැයි පැවසූ රෝහල් කාර්යමණ්ඩලය එය ඉවත් කිරීමට කටයුතු නොකළ බව සවීතාගේ සැමියා පැවසීය. අයර්ලන්ත කාර්යමණ්ඩලය මෙය "කතෝලික රටක්" ලෙස තමන්ට එම අවස්ථාවේ පැවසූ බව ඔහු තවදුරටත් පැවසුවේය. මේ තොරතුරුද කියවන්න: නමුත් 2013 දී සවීතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ දී ඇයගේ වින්නඹු මාතාව ඉහත ප්‍රකාශය කිරීම ගැන සමාව ඉල්ලා සිටියාය. අයර්ලන්තය ගැන නොදන්නා කෙනෙකුට එහි තත්වය පහදා දීමේ පරමාර්ථයෙන් ඇය එසේ පවසා තිබුණි. සවීතා රෝහල්ගතව සිටි මුල් දින තුන ඇතුළත දරු ගැබ ඉවත් කළේ නම් ඇය ජීවත් වීමට ඉඩ තිබුණ බව අයර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු පැවසීය. නමුත් ඒ වන විට "ඇයගේ ජීවිතය දැඩි අවදානමක නොතිබූ නිසා" අයර්ලන්ත ගබ්සා නීතිය අනුව එම අවස්ථාවේ කලලය ඉවත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් වන්නට ඉඩ තිබූ බව අයර්ලන්ත ජාතික මාතෘ රෝහලේ හිටපු ප්‍රධානී වෛද්‍ය පීටර් බොයිලන් පැවසුවේය. ඇයගේ ජීවිතය අවදානම් තත්වයකට හැරෙන විට දරු ගැබ ඉවත් කර ජීවිතය බේරා ගැනීමට ප්‍රමාද වැඩි වී තිබුණි. කම්පනය, ලේ ගමනාගමන පද්ධතියේ ඇති වූ සංකූලතා සහ සති දාහතක් වැඩුණු දරු ගැබ ගබ්සා වීම ඇයගේ මරණයට හේතු ලෙස මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වේ. 'ගබ්සාව' සහ ශ්‍රී ලංකාව ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කළ යුතු බවට සංවාදයක් ශ්‍රී ලංකාව තුළ ද ඇතිවී තිබේ. කෙසේ නමුත් ආගමික නායකයන්ගෙන් ඊට එල්ල වන්නේ දැඩි විරෝධයකි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි. මෙම නීතිය ලිහිල් කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් හා කාන්තා සංවිධානවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් ලැබුණු නමුත් ඒ සැම අවස්ථාවකම ආගමික නායකයන්ගේ විරෝධය හේතුවෙන් එම ඉල්ලීම් කිසිදු රජයක් ක්‍රියාත්මක කළේ නොමැත. මේ අතර විශේෂ අවස්ථාවල ගබ්සා නීති ලිහිල් කළ යුතු බවට යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පරාජනන සංගමය පසුගියදා රජයට යෝජනාවක් ඉදිරිපත් කළේය. ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ඔවුන්ගේ යෝජනාව විය. කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් සංවාදයක් ආරම්භවීමත් සමගම ඊට මුලින්ම විරෝධය එල්ල වූයේ ශ්‍රී ලංකා කතෝලික සභාවෙනි. "කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා," යනුවෙන් ඔවුන් රජයෙන් ඉල්ලීමක් කළේය. "දරුවෙක් උපදිනවා කියල කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ," අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අමතමින් සිය සංගමයේ තීරණය පැහැදිලි කළහ. "දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්, මහා අපරාධයක්" මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වැඩිදුරටත් පැවසූහ. අංගවිකල දරුවන් බිහිවීම මගින් එම දෙමාපියන් දැඩි ලෙස පීඩාවට පත්වන බවට නැගෙන හඬ ප්‍රතික්ෂේප කළ කාදිනල් රංජිත් හිමිපානන් බොහෝ පවුල්වල දෙමාපියන් එකට බැඳ තබා ගැනීමට එම "අවාසනාවන්ත වේදනාවට පත් දරුවා" සමත්වන බව පෙන්වා දුන්හ. තවත් තොරතුරු: ශ්‍රී ලංකාවේ දිනකට නීතිවිරෝධී ගබ්සා 600 සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල නොවන අනාරක්ෂිත ආකරයට ගබ්සා 600 ක් පමණ සිදුවේ. මේ අනාරක්ෂිත ගබ්සා ක්‍රම හේතුවෙන් වසරකට මාතෘ මරණ 10-15 අතර සංඛ්‍යාවක් සිදුවන බව විශ්වාස කෙරේ. මෙලෙස කාන්තාවන් අනාරක්ෂිත ක්‍රම සඳහා යොමුවීම හේතුවෙන් කාන්තාවන් විවිධ රෝගාබාධවලට ලක්වීම මෙන්ම නැවත ගැබ් ගැනීම වැළකීමේ සිදුවීම් ද වාර්තාවී ඇති බව ගබ්සා නීතිය ලිහිල් කළ යුතු බවට ප්‍රකාශ කරන වෛද්‍ය හිරන්ති විජේමාන මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය. හිරන්ති විජේමාන ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ මණ්ඩලයේ ආරම්භක සභාපතිනිය වන අතර ළමා හා කාන්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද කටයුතු කළ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරියකි. "දැන් තියෙන නීතිය 1883 නීතියක්. අපි දැන් ඉන්නේ 2017, මේක දැනට ඔබින ආකරයට සංශෝධනය විය යුතුයි" "මේ විශේෂ අවස්ථාවල පමණක් නිසි අවසර ලබාගෙන ගබ්සා කිරීමට ඉඩ ලබාදිය යුතුයි කියන එකයි අපේ ඉල්ලීම," යනුවෙන් ඇය ප්‍රකාශ කළාය. සීමා පැනවීම වයස අවුරුදු 13 සහ 14 දැරියන් සිය පවුලේ කෙනෙකු අතින් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පැවසූ වෛද්‍ය හිරන්ති විජේමාන එවැනි අවස්ථාවල ගබ්සාවක් සිදුකිරීමට අවස්ථාව දිය යුතු බව පෙන්වා දුණි. "ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කමක් නැති නිසා මේ දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුන දේ. අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුනාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව කියල නිම කරන්න බැහැ." දිගින් දිගටම පූජක පක්ෂයේ විරෝධයන් හමුවේ රජයන් මෙම නීතිය ලිහිල් කිරීමට මැලිකමක් දක්වන බව පැවසූ වෛද්‍ය හිරන්ති විජේමාන කෙසේ වෙතත් වත්මන් රජය ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළාය. "කණගාටුයි මට මේ දේ කියන්න. තමන් කාන්තාවක් වෙන්න ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල් වලට තමයි මේ කැක්කුම තේරෙන්නේ. මම පුජකවරුන් පහත කරනවා නෙවෙයි, නමුත් ඒ අය වෙන ජිවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ." ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ලිහිල් තැනක තිබෙන බව පෙන්වාදෙන වෛද්‍යවරිය දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය පමණක් තවමත් ශ්‍රී ලංකාව මෙන් දැඩිව එය පවත්වාගෙන යන බව වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
එංගලන්ත කණ්ඩායමේ ඇලෙක්ස් හෙල්ස් ලකුණු 171 ක් රැස් කිරීමට සමත් විය ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි. 2006 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක් දැවී ලකුණු 443 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් ටෙස්ට් සහ 20/20 තරඟවල වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි.
ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස රෝගීන් සංඛ්‍යාව 8400 ඉක්මවා ඇති අතර, 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෛරසය ආසාදනය වූවන් 4300 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. ආසාදිතයන් 4000 කට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. කුමක් ද මේ වෛරසය? කොරෝනාවෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'. නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි. කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ. මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැක. නව කොරෝනාවෛරස් රෝගයේ ලක්ෂණ මොනවා ද? කොවිඩ්-19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් දක්වා වර්ධනය වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය. මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය. වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක. කොරෝනාවෛරසයේ බලපෑම එල්ල වී ඇති රටවල් මොනවා ද? චීනයෙන් ආරම්භ වූ කොරෝනාවෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී යන අතර, මේ වන විට රටවල් 210කට වැඩි ගණනක පුද්ගලයන් මිලියන 34කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. මේ වන විට පුද්ගලයන් මිලියනයකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මින් බහුතරයක් වාර්තා වන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවලින්ය. අන් රටවල ද වෛරසය තවදුරත් ව්‍යාප්ත වෙමින් පවතී. කෙසේ නමුත්, සාමන්‍යය දෛනික කටයුතුවලට තහංචි පනවා බොහෝ රටවල් සිය ජනයා නිවාසවලට සීමා කරනු ලැබීමත් (ලෝක්ඩවුන්) සමග වෛරසය පැතිරෙන වේගයේ සුළු පසුබෑමක් දක්නට ලැබිණි. කොරෝනාවෛරසය බෝවන රෝගයක් වශයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල එකවර පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශ පත් කිරීමට හේතු වී තිබේ. කොවිඩ්-19 බෝ වන්නේ කෙසේද? පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේවෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම මගිනි. එමෙන් ම, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද? වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය. වෛරසය බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය කොරෝනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර වෙනස කුමක් ද? කොරොනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර බොහෝ සමාන රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව රෝග විනිශ්චය අපහසු වේ. කොරෝනාවෛරසයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ කැස්සය. සාමාන්‍ය උණ රෝගවලට බොහෝ විට සෙම්ගෙඩි වැනි වෙනත් රෝග ලක්ෂණ ඇති වන නමුත්, කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනේ. රෝග ලක්ෂණ පහළ වූ විට කළ යුත්තේ කුමක් ද? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය. මේ අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE) පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකේ. ස්වයං හුදකලා වීම යනු කුමක් ද? කොරෝනාවෛරස ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වූ රටවල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් සිය නිවස තුළ ස්වයං හුදෙකලා වීම සඳහා යොමු කරමින් සිටී. වැඩි අවදානමක් ඇත්තේ කාහට ද? රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය. චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය. අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත. ගර්භණී කාන්තාවන්ට වෛරසයෙන් බලපෑමක් තිබේද? ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේ ම ඔවුන් ද ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය. මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ වැඩි බව සංඛ්‍යාලේඛන පෙන්වා දේ දරුවන්ට ඇති අවදානම කුමක්ද? චීනයේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට කොරෝනාවෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ. මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කිරීමය. කෙසේවෙතත්, ඇදුම වැනි පෙනහලු ආබාධ ඇති දරුවන්ට මෙම වෛරසයෙන් බලපෑම් එල්ල වීමේ ඉඩකඩ ඇති නිසා වඩාත් සැලකිලිමත් විය යුතුය. බොහෝ දරුවන්ට එය තවත් ආකාරයක ශ්වසන ආසාදනයක් ලෙස පෙන්නුම් කර ඇති නමුත් අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැත. කෙසේවෙතත් ,මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් සියල්ල විවෘත කර ඇති අතර, දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) දත්ත අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ රටවල් 191ක පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීම් ප්‍රකාශයට පත්කර හෝ ක්‍රියාත්මක කර තිබේ. ලොව පුරා ළමුන් හා යෞවනයන් මිලියන 91%ක අධ්‍යාපනයට මෙමගින් බලපෑම් එල්ල වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි. ශ්‍රී ලංකාවේ පාසල් සියල්ල විවෘත කර ඇති අතර, දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට නියමිතය. දුම් පානය කරන්නන්ට වැඩි අවදානමක් තිබේද? බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ශුභසාධන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනී ඩෙබ්රා ආර්නොට් ඉදිරිපත් කර ඇති උපදෙස් අනුව අධික ලෙස දුම් පානය කරන අය එය අවම කර හෝ සම්පූර්ණයෙන් ම නවතා දමා අවදානම අවම කර ගැනීමට උත්සහ කළ යුතුය. "දුම් පානය කරන්නන්ට ශ්වසන ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩිය. දුම් පානය නොකරන අයට වඩා ඔවුන්ට නියුමෝනියාව වැළඳීමේ අවදානම දෙගුණයක් වෙනවා," ඇය පැවසුවාය. වෙනත් රෝගවලට වෛද්‍යවරුන් ලබා දුන් ඖෂධ දිගටම ලබා ගත යුතුද? වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තෙක් ඔබට ඇති වෙනත් රෝගවලට නියම කර තිබෙන ඖෂධ නියමිත පරිදි ලබා ගැනීම වැදගත්ය. කොරෝනාවෛරසය කෙතරම් දරුණු ද? ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට කොරෝනාවෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස නම් කර තිබේ. ඉතාලිය සම්පූර්ණයෙන් වසා දැමීමත් සමග නිවෙස්වල සිටින පිරිස් සඳලුතලවල සිට ගී ගයන අයුරු දක්නට ලැබිණි ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය. දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර තවත් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය. එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ. රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ කොවිඩ් -19 සහිත පුද්ගලයින්ගෙන් 78% ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය. ඉතාලියේ කොරෝනාවෛරසය විශාල වශයෙන් පැතිරී යාමට කේන්ද්‍රීය වූ ප්‍රදේශයේ ගම්මානයක් ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදු කර ඇති අතර, 50% - 75% අතර ප්‍රමාණයකට රෝග ලක්ෂණ නොමැති නමුත් ඔවුන් රෝගය ව්‍යාප්ත කරන "ප්‍රබල ප්‍රභවයක්" බව හඳුනාගෙන තිබේ. අයිස්ලන්තයේ මෑතකදී සිදු කරන ලද තවත් අධ්‍යයනයකින් කියැවුණේ මහා පරිමානයේ පරීක්ෂණ වැඩපිළිවෙලකදී, කොවිඩ් -19 ආසාදනය වූ පුද්ගලයන් 50% ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වූ බවය. ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති පියවර මොනවාද? ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය ද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය කුමක්ද? ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ස්ථානවලට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් රැස් වන බව නිරීක්ෂණයට ලක් වී තිබේ. ඒ හේතුවෙන්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ක්‍රම හතරක් යටතේ සිදු කිරීමට පොලිස් මුලස්ථානය කටයුතු කර තිබේ. 1. පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කිරීම. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් පනහක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම පොලිස් මූලස්ථානය මගින් සිදු කෙරෙනු ඇත. 2. පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලින් නිකුත් කිරීම. බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් පනහක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත්‍ර නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කෙරෙනු ඇත. 3. කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලවලින් නිකුත් කිරීම. පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් දහයක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව පනහට අඩු ආයතනවලට පොලිස් ඇඳිරී නීති බලපත් කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් සිදු කෙරේ. 4. පොලිස් ස්ථානවලින් නිකුත් කිරීම. පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව දහයකට අඩු ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමට පොලිස් ස්ථානවලට බලය ලබා දී තිබේ. කොරෝනාවෛරසයේ බලපෑම් එල්ල නොවූ රටවල් තිබේද? වෛරසය තවමත් සේන්දු නොවූ රටවල් පවතී. එයින් වැඩි කොටසක් 'ආගන්තුකයන්' වැඩි වශයෙන් පය නොගසන කුඩා දූපත් රාජ්‍යයෝ වෙති. මේ අතර, කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය මාස ගණනක් වසා දැමීමෙන් පසුව අප්‍රේල් 8 වෙනිදා සිට නැවත විවෘත කිරීමට පියවර ගත්තේය. පසුගිය ජනවාරියේ මැද භාගයේ පටන් වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා කරමින් වසාදමා පවතී. නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍ය නම් අප්‍රේල් 8 වෙනිදා පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවය. මේ අතර, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය මෙන්ම ඉතාලිය ද කොරෝනාවෛරසය පැතිරීම වැළක්වීමේ අරමුණෙන් පැනවූ සීමා පියවරෙන් පියවර ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ. එන්නතක් සොයා ගෙනද? මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් සොයාගෙන නැත. 'තවමත් එන්නතක් සොයාගෙන නැත' කෙසේනමුත්, ලොවපුරා තවත් රටවල් කිහිපයක කොරෝනවෛරසයට එරෙහිව එන්නත් තැනීමේ පරීක්ෂණ අධි වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. එන්නත් 240ක් පමණ මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින අතර, එයින් සායනික අත්හදා බැලීම් මට්ටමේ පවතින විවිධ කොරෝනාවෛරස එන්නත් 40 ක් පමණ ඇත. ඒ අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සිදු කරන පරීක්ෂණ වඩාත් ඉදිරියෙන් තිබේ. එන්නතක් වර්ධනය කිරීමට සාමාන්‍යයෙන් වසර ගණනාවක්, නැතහොත් දශකයක් හෝ ගත වේ. නමුත් පවතින තත්වය මත, පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ එම වැඩ ප්‍රමාණයම මාස කීපයක් තුළ සිදු කිරීමටය. කෙසේනමුත්, එන්නතක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වුවද, එය මහා පරිමාණයෙන් නිපදවීමේ හැකියාව තවමත් අභියෝගයකි. එයින් සෑම වයස් කාණ්ඩයකම මිනිසුන් ආරක්ෂා කළ හැකිද? එය බොහෝ දුරට වයස්ගත පුද්ගලයින්ට වැඩි දුර සාර්ථක නොවනු ඇත. වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිශක්තිකරණයට ප්‍රතිචාර නොදැක්වීම එයට ප්‍රධානතම හේතුව වේ. පැරසිටමෝල් ඇතුළු සියලු ඖෂධ අතුරු ආබාධ ඇති කරයි. නමුත් සායනික අත්හදා බැලීම්වලින් තොර පරීක්ෂණාත්මක මට්ටමේ තිබෙන එන්නතක අතුරු ආබාධ මොනවාදැයි තවමත් කිව නොහැකිය. එන්නතක් සූදානම් වන තුරු කොරෝනාවෛරස ආසාදනය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද? එන්නත් මගින් ආසාදන වැළැක්විය හැකි නමුත් මේ මොහොතේ අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සනීපාරක්ෂාවයි. කොරෝනාවෛරස ආසාදිතයන්ට විවිධ ප්‍රතිවෛරස ඖෂධ අත්හදා බලන නමුත් මේ කිසිවක් සාර්ථක වේදැයි නිශ්චිතව පැවසිය නොහැක.
ශ්‍රී ලංකාවේ වාර්තාවූ පළමු කෝවිඩ්-19 රෝගියා ලෙස චීනයේ හුබෙයි පළාතෙන් ආ 44 හැවිරිදි චීන කාන්තාවක් ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයට (අයි ඩි එච්) 2020 ජනවාරි 27 වන දින ඇතුළත් කිරීමේ සිට බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රයෙන් මතුවූ පොකුර හමුවන තුරු ශ්‍රී ලංකාව, වසංගත තත්ත්වය ඉතා කාර්යක්ෂමව කළමනාකරණය කළ රටවල් කිහිපයෙන් එකක් ලෙස හැදින්විණි.
මිනුවන්ගොඩ එහෙත්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රයෙන් රෝගය ව්‍යාප්තවීම ආරම්භ වීමෙන් පසු මේ වන විට දිස්ත්‍රික්ක 21 කට සම්බන්ධ ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළේය. ඔහු තවදුරත් ප්‍රකාශ කරන්නේ බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර දිවයිනෙන් වාර්තා වූ 33 වන කොවිඩ් 19 පොකුර බවත් එය විකාශනය වන ආකාරය හඳුනාගෙන ඇති නිසා රට තුළ දැනට පවතින තත්ත්වය පාලනය කළ හැකි නමුත් මේ ඊට නිශ්චිත කාල සීමාවක් ස්ථිර ලෙස ප්‍රකාශ කළ නොහැකි බවය. "දැනට මෙතෙක් කල් සියලු කටයුතු හරියට කළමනාකරණය කරලා තියෙනවා අපෙ පුරෝකථනයන් අනුව අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය පහසුකම් සපයාගෙන තියෙනවා. ටෙස්ටින් උනත් දැන් පෙරේදා (ඔක්. 12) 7000 කට අසන්න ගණනක් කරල තිබුණා. ඊයෙත් ඒ වගේ කරලා තිබුණා," "රජයේ රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සමහරෙක් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් කොරෝනා වෛරසය රජයේ රෝහල්වල පැතිරෙනවා කියා අදහස් වන්නේ නැහැ, වෛරසය රෝහල්වල පැතිර ගොස් නොමැති නිසා රෝගීන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ." වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසීය. නිරෝධායනයට රැගෙන යමින් නමුත් සෞඛ්‍ය අංශයේ විශ්ලේෂකයන් පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට මෙම ගෝලීය කොරෝනා වසංගතයට මුහුණදීමට කෙතරම් සුදානම්ද යන්න මත රටේ ඉදිරිය තීරණය වනු ඇති බවය. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 අවසන් වන විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 1000 කට ගිලන් ඇඳන් 3.5 ක් තිබූ අතර රජයේ රෝහල් 613 ක් තිබුණි. පුද්ගලයන් 1,035 කට එක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සහ රජයේ රෝහල්වල පුද්ගලයින් 599 කට එක් හෙදියක් විණි. රජයේ රෝහල්වල ගිලන් ඇඳන් 7644 ක් ඇත. ඇඳන් 5120 ක් පෞද්ගලික රෝහල් 200 ක තිබේ. ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව අඟහරුවාදා (ඔක්. 13) වන විට ලංකාවේ රෝහල් 13ක් කොරෝනා රෝගීන්ට වෙනුවෙන් වෙන්කර තිබිණි. එම රෝහල් හි ඇඳන් 1691ක් ඇති අතර එයින් හිස්ව තිබුණේ ඇඳන් 251ක් පමණි. එම දත්තවලට අනුව ජාතික බෝවන රෝග නිවාරණ ආයතනය (අයි ඩි එච්) හි ඇඳන් 120 ක පහසුකම් ඇති අතර ඔක්. 13 වැනි දා වන විට රෝගීන් 163 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් වැලිකන්ද මුලික රෝහලේ ඇඳන් 110ක් ඇති අතර එහි රෝගීන් 120ක් ප්‍රතිකාර ලබමින් සිටි බවත් කියවිණි. ඇඳන් 200 ක් ඇති කඹුරුගමුව රෝහලේ 213 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටියහ. තෙල්දෙණිය මුලික රෝහලේ ඇඳන් 120ක් ඇති අතර රෝගීන් 121 දෙනෙකු සිටින බවත් කාත්තන්කුඩි රෝහලේ ඇඳන් 120ක් ඇති අතර රෝගීන් 126 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම දත්ත පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසන්නේ දැනට රට තුළ හටගෙන ඇති තත්ත්වය නිවැරදි හා කාලීන තීරණ ගැනීම තුළින් කළමනාකරණය කර ගත හැකි නමුත් සමාජමය ව්‍යාප්තියක් දක්වා වසංගතය පැතිරයාමේ අවදානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීමට රට සුදානම්ව සිටිය යුතු බවය. "දැනට අපට හමුවන රෝගීන් සංකූලතා නොමැති වීම නිසා හා බොහෝ රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා අපට අවශ්‍ය වන්නේ රෝගීන් රෝහල් තුළ තබාගෙන නිරීක්ෂණය කිරීමට අවශ්‍ය පහසුකම්. මේවා රෝහල් තුළ හෝ තාවකාලිකව සැදු විශාල රෝහල් තුළ කළ හැකි බැවින් ඒසදහා අප සුදානම් විය යුතුයි," මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසීය. "බොහෝ දේවල් මේ වන විට කරලා තියෙනවා එත් තව ඉක්මණට කළ යුතු දේවල්, මම කිව්වා වගේ රෝගීන් නිරීක්ෂණයට හා වෙන්කර තැබීමට අවශ්‍ය විශාල පහසුකම් වැනි දේවල් තියෙනවා ඉක්මණින් කරන්න. මේකෙදි අපිට දැනට තියෙන ජාතික රෝහල් මේ කාර්ය සදහා යොදාගැනීම තුළින් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට හා රෝගීන්ට බලපෑමක් එල්ලවෙන්න පුළුවන් නිසා මේකට වෙනමම පහසුකම් සපයාගැනීම සුදුසුයි." ඔහු තවදුරටත් පැවසුවේ රටේ පරීක්ෂණ ක්‍රියාවලිය දැනටමත උපරිම මට්ටමකට පැමිණ ඇති බවත් පරීක්ෂණ පහසුකම් ඉතා ඉක්මණින් වැඩිකරගත නොහැකි බැවින් වෛරසය ව්‍යාප්ත වීම වලක්වාගැනීමට කටයුතු කළ යුතු බවය. දැනට පවතින පහසුකම් අනුව රට තුළ දිනකට පීසීආර් පරීක්ෂණ 4000ක් පමණ සිදු කිරීමට පසුකම් ඇති බව බලධාරීන් පවසන අතර ඇතැම් දිනවලදී ඊට වැඩි සාම්පල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුවන බව ඔවුහු පවසති. රට තුළ සිටින වෛද්‍ය කාර්යමණ්ඩලය හා සෞඛ්‍ය කාර්යමණ්ඩලය එක දිගටම පවතින වසංගත තත්ත්වය හමුවේ දිගින් දිගටම රාජකාරියේ යෙදීම තුළ ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ තත්ත්වයක තබාගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරින් පවසයි. නම හෙලි කිරිමට අකමැති වු සෞඛ්‍ය බලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් අගුලූ දමා තිබු කාලය තුළ ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසන තත්ත්වයකට මුහුණ දිමට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය පද්ධතිය ස්ථාපනය කළ මුත් ශ්‍රී ලංකාවේ ඇතැමුන් සියල්ල සැහැල්ලුවට ගැනීම හේතුවෙන් රටේ අනපේක්ෂිත ආකාරයෙන් රෝගීන් වැඩිවීමක් සිදු වුවහොත් එයට මුහුණ දීමේ හැකියාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බවය. මෙම තොරතුරු ද දැනගන්න:
ලෝකය පුරා පැතිර යමින් පවතින කොරෝනාවෛරස් (Covid 19) උවදුර මහජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි මෙන් ම ඔවුන්ගේ ආගමික ජීවිත කෙරෙහිත් දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
රටවල් 'ලොක්ඩවුන්' කරනු ලැබීම සහ මහජනයා දූරස්ථව තැබීමේ ක්‍රියාමාර්ග සමඟ සියලු ආගම්වලට අයත් ජනතාවට ඔවුන්ගේ පුදබිම් කරා සමීප විය නොහැකි තත්ත්වයක් පවතී. ලොවපුරා බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් සහ යුදෙව් වැනි ප්‍රධාන ආගම්වලට අයත් පූජනීය ස්ථානවලින් ලැබෙන තොරතුරු මගින් පැවසෙන්නේ බැතිමතුන් එම ස්ථාන කරා ළඟා වීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවය. පවතින කොරෝනා උවදුර නොතකා සිරිපා වන්දනාවේ නිරත වෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්වූ අතර මේ වන විට මහජනයා සිරිපා තරණය නතර කරනු ලැබ ඇති තත්ත්වයක් පවතී. පසුගිය දා ගෙවී ගිය බක් පුර පසළොස්වක දින වන්දනාමාන සඳහා පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට මලවතු-අස්ගිරි මහ නාහිමිවරුන් පියවර ගෙන තිබිණි. උපසම්පදාව කල් දමයි බෞද්ධ භික්ෂූන් වහන්සේගේ වැදගත් ම ශාසනික කාර්යයක් වන වාර්ෂික උපසම්පදා විනය කර්මය ද කල් දැමීමට කොරෝනාවෛරසය හේතු වී ඇත. මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති මල්වතු-අස්ගිරි සංඝ සභා කියා සිටින්නේ, එල්ල වී ඇති වෛරස් තර්ජනය මැද උපසම්පදාව වැනි ශාසනික විනය කර්ම සිදු කිරීම කාලෝචිත නොවන බවය. එසේ ම මල්වතු-අස්ගිරි විහාරයන්හි වෙසක් උත්සව කල් තබන බව ද ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මේ මොහොතේ සියලු දෙනා නිවෙස්වලට වී සිටීම වැදගත් බවත්, සියලු කරදරවලින් රට මිදුණු පසු උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකරන බවත් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියෝ පවසති. ලන්ඩන් බෞද්ධ විහාරය ලන්ඩන් නගරයේ පවත්වා ගෙන යනු ලබන ප්‍රධාන ශ්‍රී ලාංකික බෞද්ධ ආයතනය වන 'ලන්ඩන් බෞද්ධ විහාරය' බාහිර ජනයා සම්බන්ධ කර ගත් දෛනික ආගමික කටයුතු සීමා කරනු ලැබ ඇතැයි විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළහ. ''පිටස්තර පුද්ගලයන් දායකයන් ද ඇතුළුව අපේ විහාරස්ථානයට පැමිණෙන්නේ නැහැ. ඒවගේ ම විහාරවාසී භික්ෂූන් වහන්සේත් විහාරය තුළ පමණක් ආගමික කටයුතු කරන අතර පිටතට වැඩ ම කරන්නේ නැහැ,'' බෝගොඩ සීලවිමල නාහිමියෝ පවසති. ''දායකයන්ට අදාළ සියලු ආගමික කාර්යයන් ඉටු කරන්නේ දුරකතනය හෝ 'ස්කයිප්' මාර්ගයෙන්. අවමඟුලකදී පාංශ කූලය පවා දීම එමගින් සිදු කරනවා. ඒවා සියල්ල සිදු කෙරෙන්නේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ. දූරස්ථ සන්නිවේදනයෙන්.'' කෙසේවුව ද, විහාරය අභ්‍යන්තරයේ භික්ෂූන්ගේ දෛනික පුදපූජා සහ භාවනා කටයුතු අඛණ්ඩව දූරස්ථව කටයුතු කිරීමේ උපදෙස් පරිදි සිදුකරන බව ද උන්වහන්සේ සඳහන් කළහ. ''හැම දිනක ම සවස හයට අපි මහ ජනයාට සෙත් පතමින් 'රතන සූත්‍රය' දේශනා කරනවා. ෆේස්බුක් ඔස්සේ මහ ජනයාට ඊට හවුල් වෙන්න පුළුවන්,'' ලන්ඩන් බෞද්ධ විහාරාධිපති සීලවිමල නාහිමියෝ පැවසූහ. කිංග්ස්බරි බෞද්ධ මධ්‍යස්ථානය. බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකදී දැන ගන්නට ලැබුණේ ලන්ඩන්හි කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ ද එවැනි ම වැඩපිළිවෙළක් අනුගමනය කෙරෙන බවය. බාහිර ආගමික කටයුතු නතර කර තිබෙන අතර, පිටස්තර පුද්ගලයන් සහභාගී කර ගැනීම සහ භික්ෂූන් පිටතට ගමන් කිරීම නතර කරනු ලැබ ඇති බව විහාරවාසී පූජ්‍ය ගලයායේ ධම්මදස්සි හිමියෝ පවසති. ''විහාරයට දානය පවා ලැබෙන්නේ වියළි ආහාර මට්ටමින්. දායකයන් දොර අසල තබා යන ආහාර ඇතුළට ගෙන දින දෙකක කාලයක් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිනවා.'' විහාරය අභ්‍යන්තරයේ භික්ෂූන්ගේ ආගමික වතාවත්, පුදපූජා, භාවනා කිරීම් පෙර වූ මට්ටමින් පැවත්වෙන අතර, ධර්මදේශනා සහ පූජාවන්ට ඉන්ටර්නෙට් ඔස්සේ දායකයන්ට හවුල්විය හැකි බව ද ගලයායේ ධම්මදස්සි හිමියෝ සඳහන් කළහ. යුදෙව් පාස්කුවටත් බාධා අප්‍රියෙල් අට වන දා සන්ධ්‍යාව යුදෙව් දින දර්ශනයේ අතිශයින් වැදගත් මොහොතකි, ඊට හේතුව යුදෙව් ජාතිකයන්ගේ ආගමික ජීවිතයේ පූජනීය කාලයක් ලෙස සැලකෙන 'Passover' උදාවයි. 'පාස්ඕවර්' යුදෙව් ආගමිකයන්ගේ පාස්කුව නැත්නම් 'උපරිගමන් මංගල්‍යය' ලෙස හඳුන්වනු ලැබේ. එම ශුද්ධ කාලයේ සමාරම්භයත් සමග යුදෙව් බැතිමතුන් පවුල් වශයෙන් එක්ව ඔවුන් 'Seder' නමින් හඳුන්වනු ලබන විශේෂ භෝජනය අනුභව කරති. සිය දහමට අයත් මූලග්‍රන්ථ කියවති. කතන්දර කියන අතරවාරයේ ගීත ගායනා කරති. එහෙත් කොරෝනාවෛරසයෙන් බේරීමට අනුගමනය කරනු ලබන සමාජ දූරස්ථභාවයත් සමග එම සාමූහික ආගමික ජීවිතය යුදෙව් ජනයාගෙන් පැහැරගනු ලැබ ඇත. ලෝකය පුරා යුදෙව් ජනයාට 'Seder' භෝජනය භුක්ති විඳීමට කිසිවෙකුට ආරාධනා කළ නොහැකි පරිසරයක් උදා විය. කිතුනුවන්ගේ 'පාස්කු' කාලයත් ඉස්ලාම් බැතිමතුන්ගේ 'රාමදාන්' සමයත් ළඟ ම උදාවෙමින් පවතී. ලොවපුරා කිතුනු සහ ඉස්ලාම් බැතිමතුන් ද මුහුණ දෙනු ඇත්තේ පෙර කී යුදෙව් ජනයාට සමාන තත්ත්වයකටය. යුදෙව් පූජක රික් ජේකොබ්ස් රබ්බිවරයා නිව්යෝර්ක් නගරයේ ජීවත් වේ. නිව්යෝර්ක් ඇමෙරිකාවෙහි කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වඇත. රික් ජේකොබ්ස් රබ්බිවරයා යුදෙව් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන සංවිධානයේ සභාපතිවරයා ය. 'Seder' භෝජනය සඳහා ඇරයුම් කරන්නන්ට ඔහුගෙන් ලැබෙන උපදෙස් මාලාවක් ගැන සඳහන් වේ. ඔහුගේ උපදෙස් මාලාවේ ප්‍රමුඛ ප්‍රයත්නය වන්නේ, කොරෝනාවෛරසයත් සමග දැනට උද්ගත වී පවතින අනතුර හමුවේ අනුගමනය කළයුතු රෙගුලාසි අනුව 'Seder' වතාවත්වල ඇතැම් අංග අනුගත කිරීමය. '' Seder' උත්සවයේ දී අත් සේදීමේ ආගමික වතාවතක් තිබෙනවා,'' රබ්බිවරයා පවසයි. ''එය පිරිසිදුවීමකට වඩා ආගමික පවිත්‍රතාව අරමුණ කර ගත් සාම්ප්‍රදායික චාරිත්‍රයක් '' ''දැන් අපි උත්සාහ කරනවා අත් සේදීම අපේ ප්‍රජා සමූහයේ ආරක්ෂාව සහ ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීමට සැබැවින් ම හේතු වෙන ක්‍රියාවක්ය යන උපදේශය අපේ ළමයින්ට කියා දීමට,'' රබ්බි රික් ජේකොබ්ස් පවසයි. ලැබෙන අත්දැකීම් වඩාත් අන්‍යෝන්‍ය වශයෙන් බලපැවැත්වෙන ආකාරය පැහැදිලි කිරීමට උත්සහ කළ යුතුව ඇතැයි යුදෙව් රබ්බිවරයා යෝජනා කරයි. යුදෙව් බයිබලයේ එන චාරිත්‍රයක් වන 'එලිජාහ්' (හෝ එලියාහ්) (Elijah)සමරුවේ දී 'Seder' ආහාරය භුක්ති විඳීමට එන අමුත්තන් සඳහා අදාළ නිවසේ දොර විවෘත කරනු ලබන්නේ නිවසේ බාල ම සාමාජිකයකු විසිනි. ''එහෙත් දැන් 'Seder' පවුලේ බාලයා ගෙදර නොසිටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ රුවක් අරගෙන දොර ළඟට ගිහින් දොර අරින්න පුළුවන් '' රබ්බි රිස් ජෙකොබ්ස් යෝජනා කරයි. ළඟ එන කිතුනු පාස්කුව අප්‍රියෙල් දොළොස් වන දා පාස්කු ඉරිදා උදාවන්නේ ලොවපුරා කිතුනු ජනතාවට ඉතා වැදගත් පණිවුඩයක් ද සමගය. කුරුසයේ ඇණ ගසනු ලැබීමෙන් පසු ක්‍රිස්තුන් වහන්සේ උත්ථානය වූ දිනය වන පාස්කු ඉරිදාව කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන්නේ උත්සවාකාරයෙනි. මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා ලොවපුරා බොහෝ කිතුනු බැතිමත්හු යාඥා කිරීම සඳහා දේවස්ථාන කරා ගමන් ගනිති. එහෙත් දැන් දේවගතිවරුනට ආගමික චාරිත්‍ර සහ සත්ප්‍රසාදය සිදුකිරීමට සිදුව තිබෙන්නේ වෙනත් ආකාරයකටය. ''මෙවර මහ සිකුරාදා අපි ඉතා සරල ලෙස අපේ ආගමික වතාවත් ඉටු කරනවා. මොක ද? පවතින තත්ත්වය යටතේ අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පාන් පෙත්තක් සහ මිදි යුෂ පමණයි'' කෙන්යාවේ සිටින කිතුනුවකු වන කැරොල් කුට්සුෂි පවසයි. කැරෝල්ගේ දේවස්ථානය එක සතියකට එක නිවසක කුඩා පිරිසකට දේව මෙහෙය සිදුකරන තත්ත්වයකට පත්ව ඇත. ''ඒක අභියෝගයක්. ඒත් මම හිතනවා- එය තමයි දැන් දෙවියන්ට ළංවෙන්න තියෙන හොඳ මාවත කියල. අපේ ගෙවල් ඇතුළෙ ම යාඥා කිරීම. ළමයිනුත් හවුල් කරගෙන බයිබලය කියැවීම.'' අයර්ලන්ත කිතුනු ජනයාට අවමඟුල් චාරිත්‍ර සඳහා දේවස්ථානයට පිවිසීමට අවසර නැත. එවැනි තත්ත්වයක් යටතේ 'අයිරිෂ්' ප්‍රජාව මියයන පුද්ගලයන්ට ඔවුන්ගේ ගෞරවය දැක්වීමට නව මං සෙවීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටිති. උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමා කනගාටු වෙන නමුත්, මහජන ජීවිතාරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමට සිදුව ඇතැයි කතෝලික රදගුරු ලැරී ඩෆි පවසයි. පූජකවරු අවමඟුල් සඳහා සහභාගි නොවනු ඇත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මරණයට පත් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ පවුලේ නෑදෑයන් දුරකතනයෙන් කතා කරමින් අස්වසාලීමය. රෝගීව සිටින්නේ කුඩා ළමයෙකු නම්, දෙමව්පියෝ පල්ලියේ පූජකවරයාට ඒ බව දුරකතනයෙන් දැනුම් දෙති. කුරුසයක් ළමයාට දී, එසේත් නැතනම් එය දෙමව්පියන්ගේ අතෙහි හෝ තබා ගනිමින් දරුවාට ආශීර්වාද කරන ලෙස පූජකවරයා උපදෙස් දෙනු ඇත. ඒ සමග පූජකවරයාත් දුරකතනය ඔස්සේ ආශීර්වාද කරයි. හුදෙකලා රාමදාන් කාලයක් ඉෆ්තාර් භෝජනය මෙම අප්‍රියෙල් 23 වන දා ඉස්ලාම් බැතිමතුන්ගේ රාමදාන් උපවාස සමය ආරම්භ වීමට නියමිතය. අප්‍රියෙල් මාසය රාමදාන් උත්සව සමය වන්නේ එය මොහොම්මඩ් නබිනායකතුමා කුරාන් ශුද්ධ ග්‍රන්ථය පළමු වරට එළිදක්වන ලද මාසය වීම හේතුවෙනි. රාමදාන් සමයේදී ඉස්ලාම් පවුල් සහ ඔවුන්ගේ හිතමිතුරන් හැම දිනක ම හිරු බැසයත් ම එකට එක්ව 'ඉෆ්තාර්' භෝජනය අනුභව කරති. එසේ ම බොහෝ බැතිමත්හු යාච්ඤා සඳහා සිය පල්ලි කරා ගමන් ගනිති. ඉෆ්තාර් භෝජනය ලන්ඩන් නගරයේ ජීවත්වෙන ඉස්ලාම් බැතිමතුන් විසින් වෙනත් අවුරුදුවල ලන්ඩන් නගර මධ්‍යයේ පිහිටි 'ට්‍රෆල්ගා චතුරශ්‍රය' වැනි ස්ථානයක විවෘත ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් සූදානම් කරනු ලැබීම සිරිතක්ව පැවතිණි. එහෙත් එක්සත් රාජධානියේ තරුණ මුස්ලිම් කණ්ඩායමක් දැන් පවතින තත්ත්වය තේරුම් ගනිමින් මෙවර 'සැබෑ ඉෆ්තාර්' විකල්ප වැඩපිළිවෙළක් සංවිධානය කර ඇත. ඔවුහු ආහාර වට්ටෝරු, ක්‍රීඩා සහ තොරතරු ඇතුළත් පාර්සල් මුස්ලිම් ජනයා වෙත යවනු ඇත. විද්‍යුත් ක්‍රම භාවිතය මගින් යාඥා ඇතුළත් සජීවී පණිවුඩයක් මගින් ඔවුන් දිනපතා සම්බන්ධ කර ගන්නා අතර දූරස්ථ 'ඉෆ්තාර්' උළෙලක් පැවැත්වීම ඔවුන්ගේ සැලැස්ම වේ. දහස් ගණනින් ඊට හවුල් වෙනු ඇත යන්න එක්සත් රාජධානියේ තරුණ මුස්ලිම් කණ්ඩායමේ බලාපොරොත්තුවයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැපයීමට සූදානම් බව ඒ ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට රටවල් 45කින් දන්වා තිබෙන බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, අදාළ කාරක සභාව මේ වනවිට කෙටුම්පත් වාර්තාවක් සකසා ඇති බැවින් එය නුදුරේදී ම පාර්ලිමේන්තුවට සභාගත කෙරෙන බවය. එහෙත් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා "දේශපාලන පක්ෂ වලින් ලැබෙන සහය ඉතාම දුර්වල" බව ඔහුගේ අදහස වෙයි. "එළඹෙන ජනාධිපතිවරණයට මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙයි, කාටවත් වුවමනාවක් නැති නිසා. නමුත් මහ මැතිවරණයට අනිවාර්යෙන්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුව විසිරුවා හැරියත් මෙවැනි විශේෂ කාරක සභා විසිරයන්නේ නෑ. ඒක නිසා මේ කෙටුම්පත් කරලා තිබෙන වාර්තාවම ඉදිරිපත් කරන්න පුළුවන්. ආපසු පස්සට යන්න ඕනේ නෑ - මේ වාර්තාවම යොදා ගන්න පුළුවන්." "විදේශ කටයුතු අමාත්‍යාංශය, විදෙස් සේවයේ නියුතු නිලධාරීන් 486ක ලැයිස්තුවක් දීලා තිබෙනවා මේ කටයුතු සඳහා යොදා ගැනීමට," හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය. 2019 ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් 7 වෙනිදාට පෙර පැවැත්වීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව මැතිවරණ කොමිසම පවසයි. එසේම 2020 මාර්තු මාසය වනවිට මහ මැතිවරණය පැවැත්වීමට නෛතිකව ඉඩකඩ ලැබේ. ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ එක් තේමා පාඨයක් වන්නේ "කිසිදු ඡන්ද හිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක්‍රියාවලියක්" යන්නය. විශේෂයෙන්ම සිවිල් සංවිධාන, ඇතැම් දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල බල කීරීම් මත 2016 දෙසැම්බර් මාසයේදී කථානායක කරු ජයසුරිය විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්නේ කෙසේදැයි සොයා වාර්තා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිණි. එම විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පත් කෙරුණේ එවක "විදෙස් රැකියා කටයුතු" අමාත්‍යවරිය ලෙස කටයුතු කළ තලතා අතුකෝරළ ය. එම විශේෂ කාරක සභාව පස් වරක් රැස්වී ඉහත සඳහන් කෙටුම්පත් වාර්තාව සකසා ඇත. කාරක සභාව සොයාබලා ඇති කරුණු: 1. රටින් බාහිරව සිටිමින් ඡන්දය භාවිත කිරීම සඳහා වෙනත් රටවල් භාවිත කරන ක්‍රමවේද 2. දැනට විදෙස්ගත රටවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයන රටවල් 3. මැතිවරණ කොමිසමේ මතය ඇතැම් විදෙස්ගතවූවන් තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන විට නැවත මව්බිමට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන බවද කාරක සභාවට පෙනීගොස් තිබේ. වෙනත් රටවල් භාවිත කරන ක්‍රමවේද අතර සිය රටේ තානාපති කාර්යාලවලට පැමිණ ඡන්දය භාවිත කිරීම, තැපැල් ඡන්දය, සහ අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීම බහුලව සිදුවන බව කාරක සභාව හඳුනාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසීය. "අපි මේකෙන් හඳුනා ගත්තා වඩාත් ප්‍රායෝගික හැකියාව තියෙන්නේ සහ ගැටලු අඩු, තානාපති කාර්යාලයට ඇවිල්ල ඡන්දය පාවිච්චි කරන ක්‍රමවේදය සහ තැපැල් ඡන්දය කියන එක. වාසි අවාසි දෙකම තියෙනවා. මොකද තැපැල් ඡන්දය මගින් ඡන්දය ප්‍රකාශ කරන විට අදාළ පුද්ගලයා ම ඡන්දය දුන්න ද කියල තහවුරු කර ගැනීමේ ගැටලුව. " 'අවුරුදු පහක් ඇතුළත එක වාරයක්වත් ලංකාවට ඇවිල්ලා තියෙන්න ඕනේ' යන්න ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන සාධකය ලෙස කාරක සභාව තීරණය කර ඇත. "අපේ රටේ ජාතික ආදායමෙන් 35% එකතු කරලා දෙන්නේ මේ අය. ඒ වගේම රටේ ජනගහනයෙන් 10%ක්. ඉතිං මේක අත හරින්න බෑ කොහොමවත්," හඳුන්නෙත්ති පවසයි. මැතිවරණ කොමිසමේ මතය: මැතිවරණ කොමිසමේ මතය කුමක්දැයි එහි සාමාජික රත්නජීවන් හූල් ගෙන් බීබීසී සිංහල සේවය විමසීය. "මේ සඳහා උත්තරය එන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. තර්කානුකූලව වගේම මූල්‍යමය වශයෙනුත් විශාල දෙයක් කිරීමට තිබෙනවා," හේ පැවසීය. "අපි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට පහසුකම් ලබා දීමට සාකච්ඡා කළා. සමහර පක්ෂ යෝජනා කරන්නේ ක්‍රමානුකූලව පියවරින් පියවර එය කළ යුතුයි කියලා. ඔවුන් යෝජනා කරන්නේ දකුණු කොරියාවෙන් පටන්ගමු කියලා. නමුත් සමහර පක්ෂ ඊට විරුද්ධයි, පහළ ශ්‍රේණිවල සේවකයෝ වමේ පක්ෂවලට ඡන්දය දෙයි කියලා. නමුත් දෙමළ ජනගහනය සැලකිය යුතු පිරිසක් වෙසෙන බටහිර රටවල මෙම පහසුකම ස්ථාපනය කරනවාට කිසිකෙනෙක් කැමති නැති බවක් තමයි මගේ අදහස." "අපි ඒ වගේම තානාපති කාර්යාලවල නිලධාරීන් තේරීම්භාර නිලධාරීන් ලෙස පත්කිරීමට විරුද්ධයි. ඒ බොහොමයක් අය දේශපාලන පත්වීම ලබපු අය නිසා. නමුත් නිලධාරීන් විදෙස් රටවලට යවන එක වියදම් අධික වැඩක්. එසේම ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඉන්න රටවල සේවකයින්ට නිවාඩු හෝ ඡන්දය දාන්න තානාපති කාර්යාලයට යන්න ගමන් පහසුකම් නොතිබෙන්න පුළුවන්." එමනිසා "අන්තර්ජාලය ඔස්සේ ඡන්දය පාවිච්චියට පහසුකම් සැපයිය යුතුය" යන්න මැතිවරණ කොමිසමේ අදහස බව එහි සාමාජික රත්නජීවන් හූල් කීය. "එස්තෝනියාව ඉතා සාර්ථක ලෙස අන්තර්ජාලයෙන් ඡන්දය දීමට පහසුකම් සපයල තිබෙනවා. එසේම ඇමෙරිකානු හමුදා භටයින්ට පිට රට කොහේ හිටියත් අන්තර්ජාලයෙන් ඡන්දය දෙන්න පුළුවන්." "අපේ රටේ ප්‍රවනතාවක් තියෙනවා කුමන්ත්‍රණ න්‍යායන් පිළිගැනීමට. අන්තර්ජාලය හරහා ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව දීමට පැකිලීමක් තිබීමට එය එක් හේතුවක්." විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට යම් ස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට හෝ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීමට හෝ එම ක්‍රමවේද දෙකටම පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණහොත් එය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසමට පියවර ගත හැකි බව රත්නජීවන් හූල් කීවේය. "ඡන්ද ප්‍රතිඵල උඩු යටිකුරු වෙයි" මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ "සෑම මැතිවරණයකදීම අත්හැරෙන විදෙස්ගත ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න වීම කවර පසුබිමක් යටතේ සලකා බැලුවද සාධාරණීකරණය කළ නොහැක්කක්" බවය. ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් සහ 2008 වසරේදී මෙරට එළිදැක්වූ "සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" මගින් ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබේ. "විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කරන්න හැකි වුණොත් මැතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු වෙයි. එමනිසා සමහර දේශපාලන පාර්ශ්ව ඊට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ," මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක පෙන්වා දෙයි. "ඇමෙරිකානුවෙක් අභ්‍යවකාශයට ගියත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන්න බලධාරීන් කටයුතු කරනවා." "2011 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොලොන්න ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය දින්නේ එක ඡන්දයකින්. එමනිසා ඡන්ද ලක්ෂ 21ක වටිනාකම අපි හඳුනාගත යුතුයි", ගජනායක පැවසීය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු: "මම ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. පීඑච්ඩී එක කරන්න. එළඹෙන ජනාධිපතිවරණයට ඡන්දය දාන්න වෙන්නේ නෑ. නමුත් මගේ සමහර පිටරට යාළුවන්ට ඒ ගොල්ලන්ගේ රටේ මැතිවරණ වලදී ඡන්දය හැකියි. මමත් ඡන්දය දාන්න කැමතියි. ඒ තත්ත්වයට යන්න අපිට තව කල් යයි වගේ." බීබීසී සිංහල සේවයට එසේ පැවසුවේ දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි. සිය නම සඳහන් නොකරන ලෙස ඇය ඉල්ලා සිටියාය. එක්සත් රාජධානියේ වෙසෙන කාන්තාවන් දෙදෙනෙක් ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උනන්දුවකින් යුතුව සිය අදහස් පළ කළහ. "අපි වගේ පිට රටවල ඉන්න හැමෝටම ඡන්දයක් පැවැත්වෙන හැම වෙලාවේම ශ්‍රී ලංකාවට යන්න හැකියාවක් නැහැ. ඇත්තෙන්ම මම මගේ ඡන්දය ප්‍රකාශ කරන්න උනන්දුයි. ඒ නිසා පිට රටවල ඉන්න අයට ඡන්දය ප්‍රකාශ කරන්න වැඩපිළිවෙලක් ඇතිවෙනවානම් ගොඩක් හොඳයි." යනුවෙන් පැවසූ ලලනි දිසානායක සෞඛ්‍ය අංශයේ රැකියාව කරන තැනැත්තියකි. "ඉස්සරට වඩා දැන් රටේ ඡන්දය ලබාගන්න උත්සාහ කරන්නේ බලහත්කාරයකින් වගේ. ඒත් රටින් පිට ඉන්න අපිට ඒ වගේ බලපෑමක් නැහැ. හොඳට හිතලා මතලා තීරණයක් ගන්න අපට ඉඩ කඩක් තිබෙනවා කියල හිතෙනවා. ඉතින් අපටත් ඡන්දය ප්‍රකාශ කරන්න වැඩපිළිවෙලක් තිබුණොත් අනිවාර්යයෙන් ම ඡන්දය දෙනවා" යැයි නිසංසලා හේරත් පැවසුවාය. පෙරකී කථිකාචාර්යවරිය සිය අදහස් දැක්වීම අතරේ මෙසේ ප්‍රශ්න කළාය. "මම තව අවුරුදු තුන හතරකින් ශ්‍රී ලංකාවට යනවා. ඉතිං රටේ ජනාධිපති කෙනෙක් තෝරන විට, ශ්‍රී ලාංකිකයෙක් කොහේ හිටියත් ඔහුට හෝ ඇයට ඡන්දය දාන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද. විදෙස්ගත අපිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද?" එහෙත් ඇයගේ ප්‍රශ්නයට පිලිතුරක් සැපයීම අපහසු වී තිබෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට බලධාරීන් තවමත් අසමත් ව සිටින බැවිනි. ඉහළ යන ඡන්දදායක සංඛ්‍යාව ශ්‍රී ලංකාවාසීන් 1931 දී සර්වජන ඡන්ද බලය හිමි කරගත්තේය. ඒ සමගම වයස අවුරුදු 21න් ඉහළ ජනතාවට ඡන්ද බලය හිමි විණි. රට තුළ ජනගහනය ක්‍රමානුකූලව ඉහළ යාමත් ඡන්ද බලය හිමිවන වයස අවුරුදු 18 දක්වා අඩුකිරීමත් නිසා සර්වජන ඡන්ද බලය හිමි රටවැසියන්ගේ ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යයි. ඒ අනුව 2019 ජනාධිපතිවරණය සඳහා ආසන්න වශයෙන් මිලියන 16ක ප්‍රමාණයකට ඡන්ද බලය හිමිව තිබේ. ඊට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද ඇතුළත් ය. සංක්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී සම්මත විය. විදෙස්ගත තම ජනතාවට ඡන්ද බලය ලබා දීමට රාජ්‍යයන් ක්‍රියා කළ යුතු බව එම සම්මුතියේ 41ක් වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වේ. එය උපයෝගී කර ගනිමින් වර්ෂ 2000 දී පමණ සිට මෙරට සිවිල් සංවිධාන කිහිපයක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඡන්ද බලය දිනා දීම සඳහා දේශපාලන බලාධිකාරිය මෙන්ම මැතිවරණ කොමිසමට ද බල කරති. රටින් පිට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හට තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකමක් අහිමි ව ගොස් ඇති බවට ද අදහස් පළවේ. මැද පෙරදිග, ඉතාලිය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ කැනඩාව වැනි රටවල සැලකිය යුතු ශ්‍රී ලාංකිකයෝ ප්‍රමාණයක් වෙසෙති. ඔවුන් රැකියා, ඉගෙනීම හෝ ස්ථීර පදිංචිය සඳහා එම රටවලට ගොස් ඇත. සමහරුන්ට ද්විත්ව පුරවැසිභාවය ද හිමිය. කොළඹ පිහිටි මාලදිවයිනේ තානාපති කාර්යාලයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සැරසෙන එරට කාන්තාවක් මේ වනවිට ලොව පුරා රටවල් 115ක් පමණ සිය පුරවැසියන්ට වෙනත් රටක සිටින අතරතුරදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයාදීමට සමත්ව තිබේ. අසල්වැසි මාලදිවයින මෙන්ම ඉන්දියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි ආසියානු රටවල් ද විදෙස්ගත සිය පුරවැසියන්ට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙති. කියවන්න:
තම විශේෂ දිනයේ දී යමෙකුට කරන්නට නොසිතෙන ආකාරයෙන් වීදුරු පාලමක් යට ඉහල අවකාශයේ එල්ලෙමින් චීන යුවළක් විවාහ මංගල උත්සවයක් පැවැත්වූහ.
චීන 'වැලන්ටයින් දිනය' ලෙස සැලකෙන අගෝස්තු 9 වැනිදා චීනයේ හුනන් පළාතේ පිංජියෑන් හි ශිනිඋෂයි පාලම මත මෙම නව යුවල විවාහ උත්සවය පැවැත්වූ බවයි චීන පුවත් සේවා වාර්තා කළේ. පොලවේ සිට අඩි 590 ක් ඉහළින් එල්ලෙමින් තිබූ කුඩා පලසක් මත වුවද ඔවුහු සිනා මුසු මුහුණින් මංගල ඡායාරූප සඳහා පෙනී සිටියහ. වීදුරු පාලම් මෑතක සිට චීනයේ ඉතාමත් ජනප්‍රියත්වයකට පත්වෙමින් පවතී ඔවුන් පලස වෙත නාග ගත්තේ කෙසේ දැයි අපි නොදනිමු සති කිහිපයකට පෙර තවත් මනාල ජෝඩු පහක් මෙම පාලමේ වීදුරු තට්ටු මත විවාහ ගිවිස ගත්හ.
දේශපාලන රැකවරණ පතන්නන්ට ආණ්ඩුව සලකන ආකාරය පිළිබඳව විරෝධය පළ කරමින් ඊශ්‍රායලයේ සිටින දහස් ගණන් අප්‍රිකානු සංක්‍රමණිකයෝ දෙවැනි දිනයේත් විරෝධතා උද්ඝෝෂණවල නිරත වී සිටියහ.
නඩු විභාගයකින් තොරව වසරක් දක්වා රඳවා ගත හැකි අලුත් නීති ගැන සංක්‍රමණිකයන්ගේ කෝපය ඇතැම් උද්ඝෝෂකයන් අත එරිත්‍රියානු කොඩි තිබූ අතර, සිය අරගලයට ජාත්‍යන්තර සහාය පතමින් ඔවුහු ටෙල් අවීව් අගනුවර ජාත්‍යන්තර තානාපති කාර්යාල කරා පෙළපාලියෙන් ගමන් කළහ. දහස් ගණනක් උද්ඝෝෂකයෝ අගනුවර වෙරළට රැස්ව සටන් පාඨද හඬ නැගූහ. දේශපාලන රැකවරණ පතන්නන් රඳවා තැබීම පිණිස අලුතෙන් රැඳවුම් කඳවුරක් විවෘත කිරීම සහ නඩු විභාගයකින් තොරව ඔවුන් වසරක් දක්වා වූ කාලයක් රඳවා ගත හැකි වන පරිදි අලුත් නීතියක් සම්පාදනය කිරීම සංක්‍රමණිකයන්ගේ කෝපයට හේතු වී තිබේ. මෑත වසර කිහිපය තුල දස දහස් සංඛ්‍යාත අප්‍රිකානු සංක්‍රමණිකයෝ ඊශ්‍රායලයට ලඟා වූහ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු සහ ඔහුගේ ක්‍රීඩා සගයෙකු වශයෙන් ආඩම්බරයට පත් වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාවන් අතපත්තු පවසයි.
'මේක අපි ශ්‍රී ලංකාවාසී සැමටත් ක්‍රිකට් ලෝලීන් සැමටත් විශේෂ දවසක්' ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි. කෙසේ වෙතත් මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ තීන්දුවක් පසුව හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ තමා සතුටට පත් වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු සඳහන් කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තවත් සිටින බවයි ඔහු පවසන්නේ. මුරලි සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ අතර සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් මුත්තයියා මුරලිදරන් කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ විවේචනයට ලක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී මාවන් අතපත්තු කියා සිටියේ මුත්තයියා මුරලිදරන් වෘත්තීය මට්ටමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නේ නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පුහුණු කටයුතු කිරීමේ වරදක් තමන් නොදකින බවයි. 'ඔහු පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරනවා නම්, ඔහු මුළු ලෝකයටම සේවය සැපයීමට සූදානම්ව සිටිය යුතුයි. එක කණ්ඩායමකට පමණක් සීමා වී තමන්ගේ වෘත්තීය ඉදිරියට ගෙන යන්න ඔහුට බැහැ' මාවන් අතපත්තු පැවසීය. 'යමි කිසි කෙනෙක් මුරලිගෙන් ඕනෑම ආකාරයේ උදව්වක් ඉල්ලුවොත්, කරන්න පුළුවන් දෙයක් නම් ඔහු ඒක කරනවා. කරන්න බැරි දෙයක් වුනත් කරන්න උත්සාහ කරනවා. මටත් එවැනි අත්දැකීම් තියෙනවා. මුරලි කියන්නේ ඒවගේ චරිතයක්.' ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු වැඩිදුරටත් කියා සිටියේය.
ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන් ගත් බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි.
පොලිසිය පවසන්නේ සැකකරු සහ "ඉස්ලාමීය කණ්ඩායම්" අතර සබඳතා ඇතැයි සැක කෙරෙන බවය. සැකකරුවන් දෙදෙනෙකු කෙරෙහි මූලික වශයෙන් විමර්ශන යොමු වූ අතර ඔවුන්ගේ නවාතැන්පොළවල් ද පරීක්ෂා කෙරුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායමේ ප්‍රධානියා පැවසීය. ඒ අනුව සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 'බරුසියා ඩොර්ට්මුන්ඩ්' පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථය බෝම්බ ප්‍රහාර තුනකට ගොදුරු විය.
ලොව ප්‍රථම වරට නවසීලන්තයේ ගංගාවකට නෛතික පුද්ගලභාවය හිමි විය.
දීර්ඝ කාලයක් පුරා නවසීලන්ත මාඕරිවරුන්ගේ ගෞරවයට පත්‍ර වූ වඟනූයි නදිය උතුරු දූපතේ පිහිටි වඟනූයි නදිය ජීවී වස්තුවක් වශයෙන් පිළිගනිමින් නවසීලන්ත පාර්ලිමේන්තුව පනතක් සම්මත කළේය. දීර්ඝ කාලයක් පුරා නවසීලන්ත මාඕරිවරුන්ගේ ගෞරවයට පත්‍ර වූ ගංගාවේ අවශ්‍යතා නියෝජනය කරනු ලබන්නේ පුද්ගලයන් දෙදෙනෙකු විසිනි. සිය ගංගාවට නිසි පිළිගැනීමක් ලබා ගැනීම සඳහා මාඕරි ජනතාව වසර එකසිය හැටක් සටන් කළ බව ඇමතිවරයෙකු පැවසීය. කඳුළු පිරි දෙනෙතින් නවසීලන්තයේ දිගින් වැඩිම ගංගා අතරින් තෙවෙන ස්ථානයේ පසුවන වඟනූයි නදිය නියෝජනය කරනු ලබන්නේ මාඕරි නායක පරපුරේ ඉවි නමැති සාමාජිකයෙකි. නවසීලන්ත පාර්ලිමේන්තුවට පැමිණ සිටි මාඕරි සාමාජිකයන් ගංගාවකට නෛතික පුද්ගලභාවය හිමි වීමේ පුවත සමරුවේ කඳුළු පිරි දෙනෙතිනි. ගංගාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන අසූවක මුදලක් සහන සැලසීමට වෙන් කොට ඇති අතර එහි සුබ සාධනය ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන තිහක මූල්‍යාධාර සපයා තිබේ.
මූල්‍ය වංචා චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී යි. මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියා සිටියේ රජයට එය කළ හැකි බවයි. ‘ආණ්ඩුවට පුළුවන් ඒක කරන්න. ඒක ආණ්ඩුවේ වැඩක්’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැවසීය. මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා බීබීසීය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතූ නමුත් ඔහු ප්‍රතිචාරයක් පළ කළේ නැත. දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ මූල්‍ය අක්‍රමිකතා සිදු වී ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. බැසිල් රාජපක්ෂ ඉකුත් ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ඔහුට පාර්ලිමේන්තුවෙන් මාස 3ක නිවාඩුවක් ද පසුගිය දා අනුමත කර තිබුණි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට වියට්නාමය බලා ගොස් ඇති බව පසුගිය දා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
පළමු වෙඩිමුරය එල්ල කරන ලද්දේ නව දිල්ලියෙනි. අගමැති නරේන්ද්‍ර මෝදි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සමාන පදවියෙහි සිටින්නාට (Counterpart) සුබ පතන අතරවාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාවට නැංවිය යුතු බව දැනුම්දුන්නේ එය අනිවාර්ය කොන්දේසියක් බව හැඟෙන ස්වරයකිනි.
''අසල්වැසියාට ප්‍රමුඛස්ථානය'' යන ඉන්දියානු කොන්දේසිය කොළඹ විදේශ ප්‍රතිපත්තියට අදාළ න්‍යාය පත්‍රයේ පහළ ස්ථානයකට විතැන්ව බොහෝ කල්ය. එමගින් රෝපණය කෙරුණු අනිවාර්ය බලාපොරොත්තුව සහ ඊටම ඈඳුන ප්‍රතිවිපාකය පරිදි චීනයේ ඉහළ මට්ටමේ දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවේ පය තබද්දී, අගමැති මෝදිගේ ප්‍රකාශය කෙරී ගෙවී තිබුණේ දින කීපයක් පමණි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියෙෂි ප්‍රමුඛ දූත මණ්ඩලයක් වහාම කොළඹ නායකත්වය හමුවිය. එපමණක් නොව, කොරෝනා නිරෝධායන කොන්දේසි පවා නොතකා හරින ලද බවට නැගුණු විවේචන හමුවේ පැය දහඅටකට පමණක් සීමාවූ එම හදිසි සහ වෙහෙසකාරී සංචාරයේ දී රුපියල් බිලියන 16.5 ක (යුවාන් මිලියන 600) මූල්‍ය ආධාරයක් සැපයීමට ද චීනය පරිත්‍යාගශීලී විය. ඉන්දීය උප මහාද්වීපයේ කුඩා දිවයින සතු මූලෝපායික පිහිටීම ඉන්දියානු සහ ශාන්තිකර සාගර කලාපයන් ඉක්මවමින් තවත් ඈතට විහිදගොස් ඇත. පෙරකී ඉන්දීය සහ චීන මැදිහත්වීම් මැද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නුදුරේදීම කොළඹ සංචාරයක නිරතවෙන බව දැනටමත් ප්‍රකාශයට පත්කොට අවසන්ය. රාජ්‍යලේකම් මයික් පොම්පියෝ ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කරනු ඇතැයි වොෂිංටනය පසුගියදා නිවේදනය කළේය. එම සිදුවීම් පෙළ හුදෙක් සාකච්ඡා හෝ සුහද සංචාර පමණක් ද? එය ඊට වඩා ගැඹුරු ''ප්‍රදර්ශනාත්මක'' සැලසුම්වල අංගයක්ය යන්න දේශපාලන සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ විද්වතුන්ගේ තක්සේරුවය. ''මෙම 'shuttle diplomacy' ක්‍රියාවලිය තුළින් පෙනීයන්නේ ශ්‍රී ලංකාව කලාපීය සහ ලෝක බලවතුන්ගේ දැඩි අවධානයට ලක්වෙමින් පවතින ආකාරයයි'' මහාචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි. ''අගමැති මෝඩි 13 වෙනි සංශෝධනය මතක් කරදීම හුදෙක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය ගිවිසුමකට අදාළ කොන්දේසියක් සිහිපත් කිරීමක් හෝ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට අදාළ දේශපාලනමය විසඳුමක් කරා ආණ්ඩුව තල්ලුකිරීමක් නොව එය ඉන් ඔබ්බට ගිය ඉන්දියානු සාධකය ප්‍රදර්ශනය කිරීමක් ද වෙයි'' පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර බී.බී.සී සිංහල සේවයට පැවසීය. ''අගමැති මෝඩිට අවශ්‍ය කළේ 13 සංශෝධනය බලාත්මක කරවීම නොවෙයි, ඒ හරහා වෙනත් පණිවුඩයක් දීමටයි'' ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් වඩාත් ලාභදායක ජපන් මූල්‍ය සහයෝගිතා ව්‍යාපෘතියක් ද පසුගියදා ශ්‍රී ලංකාවේ රජය විසින් අවලංගු කරනු ලැබුණි. ''මෙය ශ්‍රී ලංකාව කාලයක් අනුගතව සිටි මධ්‍යම ප්‍රතිපදාව මත පදනම් වූ නොබැඳි විදෙස් පිළිවෙතේ පීලිපැනීමක්. ඊට හේතු වුණේ රට වෙනත් බලවත් රටක් මත යැපීමේ තත්ත්වයකට පත්වීම. එම තෝරාගැනීම තුළ ශ්‍රී ලංකාව වේගයෙන් චීනය දෙසට ආකර්ෂණයවීමත් සමඟ පරිත්‍යාග හැටියට හෝ එහෙමත් නැත්නම් අඩු පොලියට ණය දුන් ජපානය වැනි රටවලින් ඈත්වීම තවත් ප්‍රවනතාවක්. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය තීන්දුකරන්නේ කවුරුන් විසින්ද කියන කාරණය සිතා බැලිය යුතුව තිබෙනවා.අපේ සබඳතාවලට (ශ්‍රී ලංකාව සහ චීනය අතර) අත පොවන්න එපා යයි පසුගියදා චීන තානාපති කාර්යාලය කියා තිබුණා.'' ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශාඛා සූරියබණ්ඩාර පවසයි. ඉන්දියාවේ කලාපීය මූලෝපාය නිදහසින් පසු ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ මූලධර්මය මට්ටමින් මුල්බැසගත් ආකල්පයක් වන්නේ ''අසල්වැසියාට මුල්තැන'' (Neighborhood First) යන්නයි. අගමැති නේරුගේ ශක්තිමත් ආරම්භයේ පටන් බලයට පත් සෑම ඉන්දීය ආණ්ඩුවක් විසින්ම අනුගමනය කරනු ලබන එම ''මූලධර්මය'' නොකියන සත්‍යය නම්,දකුණු ආසියානු කලාපයේ මුල්තැන ඉන්දියාවට දියයුතු අතර ඔවුන්ගේ අභිලාෂය පරිදි ''කුඩා සහෝදරයන්'' ක්‍රියාකළ යුතු බවය. "'බැංඩුන්' සමුළුවෙන් අනතුරුව ප්‍රඥප්තිගත ''නොබැඳි පිළිවෙත'' සංකල්පය මගින් සහ පසුව ඒ හා බැඳුණු අන්තර්ජාතික ක්‍රියාවලිය තුළ අගමැති නේරු විසින් ස්ථාපනය කරගනු ලැබූ ආධිපත්‍යය බොහෝ ආසියානු රටවලට බලපෑ අතර එම ආරම්භක අවධියේ පටන්ම ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) දක්නට ලැබුණේ පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොවේ. පළමු අගමැති ඩී.එස්. සේනානායකට විදේශ ප්‍රත්පත්තිය සම්බන්ධයෙන් දැනුමක්, පළපුරුද්දක් හෝ උනන්දුවක් නොවූ අතර එය කුමක්ද යන්න තීන්දු කරන ලද්දේ ඉහළ පෙළේ සිවිල් සේවකයන් විසිනි. එනිසාම එහි අනිවාර්ය කොන්දේසිය වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍යය ප්‍රමුඛ පොදුරාජ්‍ය මණ්ඩලීය හැඩරුව අනුව තීන්දු වීමයි'' මහාචාර්ය එස්.යූ.කොඩිකාර සඳහන් කරයි. මේ අතර අගමැති නේරු විසින් කැඳවන ලද '1947 ආසියානු සබඳතා පිළිබඳ නවදිල්ලි සමුළුව' මෙන්ම '1948 දිල්ලි සමුළුව' සඳහා ලංකාව නියෝජනය කරමින් එවක ඇමැතිවරයකුව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහභාගී වූ අතර 1956 දී අගමැති පදවියට පත්වීමෙන් අනතුරුව බණ්ඩාරනායකද නේරුගේ නොබැඳි රාජ්‍ය පිළිවෙත කරා අවතීර්ණ වී සිටියේය. සෝවියට් සංගමය සහ චීනය සමඟ පූර්ණ තානාපති සබඳතා ආරම්භ කිරීමත්, සෝවියට් සංගමයේ විරෝධය අවසන්ව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිකර ගැනීමත් සමඟ, 1947 පටන් ශ්‍රී ලංකාවේ බල පැවැත්වුණු බටහිර කේන්ද්‍රගත විදේශ ප්‍රතිපත්තිය වෙනුවට 1956 - 76 අතර කාලය තුළ ලංකාව අනුගමනය කළ බල කඳවුරු නියෝජනය නොකිරීමේ එම (නොබැඳි) රාජ්‍ය තාන්ත්‍රික මූලෝපාය 1977න් අනතුරුව නොතකා හරිනු ලැබීමේ ප්‍රතිවිපාකය ලෙසින් ලද දේශපාලන දඬුවම ඊළඟ දශකය තුළ ශ්‍රී ලංකාවට විඳින්නට සිදුවිය. ඇමෙරිකානු මැදිහත්කර ගැනීම වෙනුවෙන් එදා ලද එම දඬුවම නැගෙනහිර ආසියාවේ ලෝක බලවතාගේ සෘජු මැදිහත්වීම මගින් අද වෙනත් මුහුණුවරකින් දිවයින මත එල්ල වෙමින් පවතින ආකාරයක් ඉන්දියානු සහ ඇමෙරිකානු සංඥාකිරීම් මගින් පෙන්නුම් කෙරෙයි. ''ආණ්ඩුව මහජන පරමාධිපත්‍යය ආරක්ෂා කරදීමට කොතරම් සූක්ෂ්මද යන්න ප්‍රශ්නයක්'' ද්විත්ව මැදිහත්වීමක් පාකිස්ථානය, බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ පමණක් නොව දකුණු අප්‍රිකාව වැනි රටවලටත් අවි ආයුධ වෙළෙඳාම මගින් එක්තරා අන්තර් රාජ්‍ය සම්බන්ධයක් පවත්වා ගෙන යන නමුත් නව ගෝලීයකරන රාමුව තුළ චීන විදේශ ආධිපත්‍යමය ව්‍යාප්තිය මහා පරිමාණයෙන් සැලසුම් කරනු ලැබ තිබෙන්නේ ආර්ථික ගනුදෙනු (ණය ආධාර) සැපයුම තුළය. ''මේ සංදර්භය තුළ චීනය මේවනවිටත් ශ්‍රී ලංකාව සිය ණය උගුලට හසුකරගෙන හමාරයි. වරාය නගරයට අවසරදීම සහ හවුල්වීම මගින් ශ්‍රී ලංකාව චීන 'සේද මාවතට' දැනටමත් දැන් ඇතුල්ව සිටිනවා'' විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර පවසයි. චීනය හම්බන්තොට වරායේ පාලනය ඔවුන් අතට ගැනීම එහි ඊළඟ දිගුව වූ අතර, ඊට සමාන්තරව ඉන්දියාව මත්තල ගුවන් තොටුපොළ ඔවුන්ට ඉල්ලා සිටින්නේ අනාගතයෙහි චීන යුද හමුදා පාසටහන් හම්බන්තොට වරාය භූමියෙන් දක්නට ලැබෙතැයි දිල්ලි පාලනය කල්තබාම අනුමාන කරන හෙයිනි. ඒ අතරම දේශපාලනමය අවියක් වන 13 වෙනි සංශෝධනය පමණක් නොව,ත්‍රිකුණාමලය තෙල්ටැංකි වැනි ද්විපාර්ශ්වීය ආර්ථික ගනුදෙනු යෝජනා ආර්ථික සහ වානිජමය අවි මට්ටමින් නව දිල්ලිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවෘත මට්ටමින් භාවිත කරයි. ''චීනය හම්බන්තොට වරායේ පය ගසා ගැනීම භූදේශපාලනමය වශයෙන් ඔවුන් තැබූ ඉදිරි පිම්මක්.ඉදිරි අනාගතයෙහි චීනය ලෝක මට්ටමින් බලය ව්‍යාප්ත කරන පරිසරයක් තුළ යුදහමුදා ස්ථානගත කිරීමක් සඳහාත් හම්බන්තොට වරාය යොදාගැනීමට අවසර ඉල්ලන්න ඉඩකඩ තිබෙනවා. හම්බන්තොට වරාය පරිශ්‍රය පැවරීමට අවට භූමියේ අක්කර 15,000 ක් ද ඇතුළත් වෙනවා'' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම සම්බන්ධයෙන් සව්දිය පුරන චීන ජාතිකයෙක් චීනය කිසියම් දිනක ආර්ථික සහ මූල්‍ය ගනුදෙනු ඉක්මවා යමින් සිය ණයකරුවන්ගෙන් මිලිටරි වශයෙන් ද පහසුකම් ඉල්ලා සිටීමට අවකාශයක් ඇතිබව ලෝකය සාකච්ඡා කරන්නට පටන්ගත්තේ 'ජිබුටි' (Djibouti) රාජ්‍යයේ පිහිටි හමුදා කඳවුරක් චීන මැදිහත්වීමෙන් නවීකරණය කරමින් ඇති බව දැක්වෙන චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගත් පින්තූර සමූහයක් මේ වසරේ මැයි මාසයේ දී ප්‍රසිද්ධවීමත් සමඟය. ''2017 දී පහසුකම් සැපයීමේ ආධාරක ඒකකයක් ලෙස පිහිටුවන ලද එම ස්ථානය අඩි 1,120ක් දිග ජැටියකින් යුත්, ගුවන් යානා ගෙන යා හැකි ලියාඕනිං (Liaoning ) යුද නෞකාව ඇතුළු චීන යුද නැව් රඳවා තැබිය හැකි පරිපූර්ණ නාවික කඳවුරක් බවට වැඩි දියුණු කරමින් ඇති බවක් පෙනෙනවා. මෙය සිදුවන්නේ උපාය මාර්ගික අභිමතාර්ථයන් සහිත සංවර්ධනයක් ලෙස පෙනී යන සහ සමහරෙක් චීනය ඉන්දියාවේ බලපෑම් කලාපය ආක්‍රමණය කිරීමක් ලෙස හඳුන්වන චීනය මාලදිවයිනේ කෘත්‍රිම දූපතක් ගොඩ නැගීමෙන් පසුවයි. කලාපය තුළ චීනයෙන් එල්ලවන ආරක්ෂක තර්ජනය වැඩිවෙමින් පවතින ආකාරය දකින විට, ඊට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වමින් එම තත්ත්වය මැඩ පැවැත්වීමට හා කලාපයේ ආරක්ෂාව සපයන්නා ලෙස ඉන්දියාවත් සිය කාර්යභාරය ශක්තිමත් කිරීමට පෙළඹෙනවා'' ආචාර්ය අසංක අබේගුණවර්ධන සඳහන් කරයි. එවැනි කලාපීය අනතුරක් ගැන සැක කරනු ලැබීමට අවශ්‍ය කරුණු දිනෙන් දින ඉන්දියානු බුද්ධි අංශ වාර්තාවන්ට එකතුවෙමින් ඇත. ඊට හොඳම උදාහරණයක් වන්නේ චීන සබ්මැරීන් කොළඹ වරායට සේන්දුවීම සිය ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස ඉන්දියාව සැලකීමය. චීනය ශ්‍රී ලංකාවේ ඉතා සරළ මට්ටමේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි පවා දක්වන බලවත් සැලකිල්ල කොතරම්ද යන්න පිළිබිඹු කෙරෙන මෑත උදාහරණයක් වූයේ අගමැති මහින්ද රාජපක්ෂ සිය කණිටු පුත්‍රයා යෝෂිත රාජපක්ෂ, අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී පදවියට පත්කරනු ලැබීම නිවේදනය කරනු ලැබීමත් සමඟ කොළඹ සිටින චීන තානාපතිවරයා වහාම ඔහුට සුබ පැතුම් යැවීමට පවා ඉදිරිපත් වීමය. කලාපීය අන්තර්රාජ්‍ය සබඳතාවන්හි දී නව දිල්ලි පාලනය විසින් ''ඉන්දියාවට පළමු තැන'' යන දේශපාලන උවමනාව වෙනුවට ''අසල්වැසියාට පළමු තැන'' යන තේමා පාඨය පෙරට තබනු ලබන්නේ එවැනි පරිසරයකය. එම මැදිහත්වීම ශ්‍රී ලංකාවට පමණක් නොව මාලදිවයින, මුරුසිය, මැඩගස්කර්, කොමරෝස් සහ සීෂෙල්ස් යන දූපත් රාජ්‍යයන් හයේම විදේශ ප්‍රතිපත්ති සාධනය කෙරෙහි බලපෑමක් ඇතිකරන බව ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු සහ වේදාන්ග්ෂි රෝයි චෞදරී පෙන්වා දෙති. ''එම දූපත් රාජ්‍යයන්හි අභ්‍යන්තර දේශපාලන චිත්‍රය ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියෙහි සැලකිය යුතු භූමිකාවක් වෙයි. එකී කුඩා ජාතීන් කෙරෙහි එල්ලවෙන අභියෝගය ඔවුන්ගේ අභ්‍යන්තර ස්ථාවරභාවය සහ පරමාධිපත්‍යය කෙරෙහි පිටස්තර බලවතුන්ගෙන් එල්ලවෙන අනතුරයි'' ඇමෙරිකානු ඇස ගැසීම තව නොබෝ දිනකින් ඇමෙරිකානු රාජ්‍යලේකම්වරයා කොළඹට ළඟාවීමට නියමිතය. මෙයින් ඉහත ඉන්දියාවේ සංචාරයක් අතරවාරයේ ඔහු කොළඹ සංචාරයක් ද සැලසුම් කළ ද එය හදිසියේ අවලංගු කෙරිණි. මෙවර සංචාරයට එවැනි ආපදාවක් එල්ල නොවුනොත් එය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂකයන්ගේ අවධානයට ලක්වනු ඇත්තේ ඇමෙරිකානු රාජ්‍යලේකම්වරයකුගේ කාර්ය බහුල දිනපොතෙහි පහසුවෙන් කාලයක් වෙන්කරනු ලැබීම දුර්ලභ කරුණක් හෙයිනි. දැනටමත් ඇතැම් විශ්ලේෂකයන් විසින් අනාවැකි පළකරනු ලැබ ඇති ආකාරයට රාජ්‍යලේකම්වරයා කොළඹ සංචාරයේ දී 'මිලේනියම් සහශ්‍ර අභියෝගතා ගිවිසුම' (MCC) සහ තවත් ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් පොළඹවනු ඇත. කලින් බලයේ සිටි 'යහපාලන ආණ්ඩුව 'සමයේ 'මිලේනියම් සහශ්‍ර අභියෝගතා ගිවිසුමට' දැඩිලෙස විරෝධය පළකරන ලද නමුත් වත්මන් ආණ්ඩුවේ බලධාරීන් දැන් එම ගිවිසුම 'පතුරු නොගසන' අතර දැඩි මූල්‍යමය අර්බුදයක ගිලී සිටින ආණ්ඩුවකට එමගින් ලැබෙන ඩොලර් මිලියන 480 මේ මොහොතේ ආශීර්වාදයක් වනු ඇත. අනිත් අතින් ඒ සමඟ එක්සත් ජනපදයට සිය ප්‍රතිවාදියා වන චීනයට එරෙහිව මූලෝපායික වශයෙන් වැදගත් ආසියානු මර්මස්ථානයක පිහිටි දිවයිනක සැරිසැරීමට ද එමගින් දොරටුවක් විවෘත වනු ඇත. ඉන්දියාව හෝ චීනය මෙන් නොව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රවනතා කෙරෙහි තමන් එළිපිටම මැදිහත් නොවන බව ප්‍රදර්ශනය කරන නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ට අවශ්‍ය මොහොතේදී කොළඹ බල තුලනය කෙරෙහි මැදිහත් නොවීමේ සහතිකයක් ද නැත. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ ජනාධිපති සිරිසේන විසින් 2018 වසරේ දී අගමැති පදවිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරගත් අවස්ථාවේ ට්‍රම්ප් පරිපාලනය රනිල් වික්‍රමසිංහ යළිත් එම පදවියේ පිහිටුවීම සඳහා මැදිහත් වූ ආකාරයය. එහෙත් එම බල පොරයේ දී නව දිල්ලිය ඊට මැදිහත් නොවීමට වගබලා ගත්තේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු සිදුකළ පළමු නිල විදේශ සංචාරය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට යාමය ඉන්දියානු දැල එලන ආකාරය පිටස්තරයන් විසින් සිය බාල සහෝදරයා ''නරක් කොට අනතුරක හෙළන්නේදැයි'' ඉන්දියාව දුකට පත්වන්නේද? මෙය ඇසිය යුතු ප්‍රශ්නයකි. කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය හැරුනු විට දිල්ලි පාලනයට දැනටමත් මහනුවර සහ උතුරේ කොන්සල් කාර්යාල ඇත. ''වීසා සැපයීම පහසුකිරීම සඳහා'' පිහිටුවන ලද එම කොන්සල් කාර්යාල හැරුනු විට ඉන්දියාව පසුගියදා දකුණු පළාත සඳහාද කොන්සල් ජනරාල්වරයකු පත්කිරීමට පියවර ගත්තේය. එම කොන්සල් ජනරාල්වරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු දකුණු පළාත සහ ඌව පළාතට අයත් මොනරාගල දිස්ත්‍රික්කය ආවරණය කරනු ඇත. එම තනතුර පසුගිය අගෝස්තු 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ තිබුණි. මේ අතර පසුගිය ජුනි 4 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් 'අන්‍යෝන්‍ය යුද මෙහෙයුම් කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධානය පිලිබඳ අන්‍යොන්‍ය සහාය ගිවිසුම' (Mutual Military Logistics Support Agreement) නමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එය ඉතා පැහැදිලිවම කලාපයේ ව්‍යාප්තවෙමින් පවතින චීන අභියෝගය ඉදිරියේ දෙන ලද විවෘත සංඥාවක් වැනිය. ''යුද මෙහෙයුම් කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධානය පිළිබඳ අන්‍යොන්‍ය සහාය ගිවිසුම මගින් ජපානය සහ එක්සත් ජනපදය ඇතුළත් වන සිව්පාර්ශ්වීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඉන්දියාව මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව, වියට්නාමය සහ ඉන්දුනීසියාව සමඟ දැනටමත් පවත්වාගෙන යන එවැනි ගිවිසුම්වලට අමතරවය. මෙම ගිවිසුම් කලාපයේ ආරක්ෂාව සැපයීමේ කාර්යභාරය ඉටුකිරීමට සහ ඉන්දියානු සමුද්‍ර ක්ෂේත්‍රය තුළ චීන බලපෑම පාලනය කිරීමට ඉන්දියාවට බෙහෙවින් උපකාරී වනු'' ඇතැයි ආචාර්ය අසංක අබේගුණවර්ධන පවසයි. අගමැති නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවක්(සංරක්ෂිත ඡායාරූපයකි) ''අලුත් ආයුධ'' කලක් නව යටත්විජිතවාදය ලෙස විග්‍රහ කරන ලද, දැන් ගෝලීයකරණය හෝ වෙනත් කවර වූ හෝ ව්‍යක්ත යෙදුම් මාර්ගයෙන් බොහෝ දෙනකු විසින් විශ්ලේෂණය කරනු ලැබෙමින් ඇති අලුත් අන්තර්ජාල දේශපාලන බලපෑම තුළ භාවිතයට ගැනෙන 'අවි' වෙනස් මුහුණුවරක් ගනී. කඩුව (තුවක්කුව) හෝ ශුද්ධ ග්‍රන්ථ නොව,ණය ආධාර ලෙස ප්‍රදානය කෙරෙන මුදල් පොදි නැත්නම් මානව හිමිකම් ප්‍රශ්න අද ජාත්‍යන්තර සබඳතා සහ බැඳීම් හසුරුවනු ලබන මෙවලම් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට ඉන්දියාවේ එකී මැදිහත්වීම ජෛවීය සහ සංස්කෘතිකමය අතින් අත්‍යන්ත බැඳීම පදනම්කර ගනිමින් ඔවුන්ගේ පිහිට යදින සුවිශේෂී ජනකොටසක සුරක්ෂිතභාවය සහතික කරදීමේ අත්හළ නොහැකි වගකීම යුක්ති සහගත කෙරෙන දේශපාලනමය මැදිහත්වීමක් මෙන්ම කලාපයේ සුරක්ෂිතභාවයට අදාළ අන්තර් රාජ්‍යමය ක්‍රියාවලියකි. 1977 න් පසුව ජනාධිපති ජයවර්ධන විසින් අනුගමනය කරන ලද ඇමෙරිකාවට ප්‍රමුඛස්ථානය දීමේ විදේශ ප්‍රතිපත්තියේ අනිවාර්ය ප්‍රතිවිපාක වූයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ගුවනින් ආහාර හෙලීම සහ පළාත් සභා හඳුන්වා දීමට මුල්වූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම සහ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ''ඉන්දියාව උතුරේ ප්‍රශ්නය යොදාගන්නේ ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය මාර්ගය පාදාගන්න. අගමැති මෝඩි ඉඟි කරන්නේ එයයි. 13 වෙනි සංශෝධනය නොවෙයි, ඔහුගේ උවමනාව. තමන්ට සතුරු යයි සැලකෙන බලයක් තමන්ගේ දොරකඩට ගෙනෙනවට ඉන්දියාව එදාත් විරුද්ධ වුණා. ඉන්දු-ලංකා ගිවිසුමේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගැන සහ 'වොයිස් ඔෆ් ඇමෙරිකා' ගැන තියෙනව. අද චීන ව්‍යාප්තිය ගැනත් ඉන්දියාව හිතන්නේ ඒ විදියටමයි'' විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි. අනිත් අතින් තම අභිලාෂයන්ට පටහැනි ශ්‍රී ලංකාවකට වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමටද ඉන්දියාවට නොහැකියාවක් නොමැත. ඒ සඳහා ඔවුන් සතු එක ආයුධයක් වන්නේ ලෝකය සඳහා ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කමට ප්‍රධාන හේතුවක් වන වරාය ව්‍යාපෘතීන්ට වෙනත් වක්‍ර ක්‍රියාමාර්ග මගින් අවහිර කිරීමය. බෙංගාල බොක්ක ආසන්නයේ ඇති අන්දමන් දූපත් හි වරායක් ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ලෙස දියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 1.3 ක ආයෝජනයක් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ වරායවල ඇති වටිනාකම අනාගතයේ දී පහත වැටෙනු ඇද්ද යන ප්‍රශ්නය පසුගියදා මතුවිය. මේ අතර චීනයේ මැදිහත්වීම් කෙළින්ම ''ආධාරවීම'' යන වචනය ඇතුළත සඟවමින් සපයනු ලබන මධ්‍යම හෝ දිගුකාලීන ණය ව්‍යාපෘතීන් ඇතුළත් න්‍යාය පත්‍රයක් අනුව සිදුකෙරෙමින් පවතී. මෙහිදී ඇමෙරිකාව සහ බටහිර රාජ්‍ය පද්ධතිය තෝරාගනු ලබන්නේ කුමක්ද? බටහිර බලවතුන්ගේ අවිය බවට පත්ව තිබෙන්නේ මානව හිමිකම් මාතෘකාවයි. එය රාජ්‍යයක් තම අක්ෂයට ගැනීමට හෝ ඉන් පිටමංකර දැමීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර භාවිත කරන ආයුධය වේ. 2005-2015 දක්වා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට එල්ල වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ චෝදනා ශ්‍රී ලංකාව වේගයෙන් බටහිර ලෝකයෙන් හුදෙකලා වීමට හේතු වූ අතර, ආර්ථික සම්බාධක පනවනු ලැබීම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සහ ඇඟළුම් වැනි නිෂ්පාදන අපනයන ආර්ථිකයට බරපතල අභියෝගයක් විය. එහෙත් ඒ සමඟ සිදුවුණේ ශ්‍රී ලංකාව වෙනත් අක්ෂයක් කරා විතැන්වීම ය. ආර්ථික සහයෝගය, හමුදා උපකරණ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්බාධක පැනවීම වළක්වා ගැනීමේ දේශපාලනික ආවරණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව චීනය දෙසට ගමන් ගැනීමය. මෙය ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සෑම ආණ්ඩුවකටම තමන් මුහුණ දෙන ගැඹුරු ආර්ථික ප්‍රශ්න හමුවේ පහසුවෙන් දිනා ගැනීමට ඉතිරිව තිබූ එකම තෝරාගැනීම බවට පත්ව ඇත.. ඉහත කී සියලු කරුණ සංක්ෂිප්තව ගෙන බැලීමේ දී පෙනීයන්නේ චීනය ''ණයදීම සහ ණයකරුවා අතර ඇතිකරගනු ලබන බැඳීම මගින් බල ව්‍යාප්තියක නිරතවෙන අතර, ඉන්දියාව මානුෂීය උවමනාවන්ට පිහිටවීම ,ආර්ථික ආධාර සහ කලාපීය සුරක්ෂිතභාවය යන න්‍යාය පත්‍රයක් තුළ කටයුතු කරමින් සිටින අතරවාරයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය මානව හිමිකම් ප්‍රශ්න ආයුධයක් කර ගනිමින් දකුණු ආසියාවේ තම පැවැත්ම සහතික කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව භාවිත කරන බවය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන්නේ MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා බලකරනු ලැබීමට යයි ඇතැම් වාර්තා මගින් පැවසෙයි නොපෙනෙන ඇත්ත මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්මතකර ගැනීමේ අද්දරටම පැමිණ සිටියි. විසිවෙනි සංශෝධනය වොෂිංටනයේ උවමනාවක් වන අතර එමගින් ජනාධිපතිවරයා අත සියලු බලතල සංකේන්ද්‍රගත කරමින් MCC ගිවිසුම අත්සන් කරගනු ලැබීම ඇමෙරිකානු අභිලාශය බව එක් විශ්ලේෂකයකු විසින් සඳහන් කරනු ලැබ ඇත. එහි සත්‍ය හෝ අසත්‍යතාව කුමක්වුවද, විසිවෙනි සංශෝධන ප්‍රයත්නය මගින් ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping)පන්නයේ පාලනයක් ශ්‍රී ලංකාවේද නිර්මාණය නොවන්නේදැයි අපට ප්‍රශ්න කළ හැකිය. රාජාණ්ඩු පවතින රටවල හැරුනුවිට සියලු බලතල ඒකරාශී වූ (යාවජීව) ජනාධිපතිවරයකු බලයේ සිටින අප ජීවත්වෙන ග්‍රහලෝකයේ ඇති එකම රාජ්‍යය චීනයයි. ''මගේ තක්සේරුව අනුවනම්, විසිවෙනි සංශෝධනය මගින් සිදු කෙරෙන්නේ රට චීන ක්‍රමයට යාමක්. එමගින් විධායකය කෙරෙහි පමණක් නොව ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන අංශ කෙරෙහිත් ජනාධිපතිවරයාගේ බලපෑම තහවුරුකර ගැනීමක් සිදු කෙරෙනවා'' ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශාඛා සූරියබණ්ඩාර පවසයි. ''අනූ අවුරුදු බදුකර සමඟ භූමිය පමණක් නොවෙයි, නීතිය අතිනුත් රට එක්තරා බැඳීමකට යටත් කෙරෙනවා. ඒ සමඟ එල්ලවෙන සංස්කෘතිකමය බලපෑමත් සීමා කිරීම අසීරුයි. එම කරුණු සියල්ල ඊළඟට කෙලින්ම බලපාන්නේ රටේ පරමාධිපත්‍යයට. මහජනතාව තමන් සතු පරමාධිපත්‍යය ආණ්ඩුවකට භාරදෙනවා.ඊට පස්සෙ ජනතාවට බලපෑමක් නැහැ. ඉතින් ආණ්ඩුව එම අයිතිය රැකගන්න කොයිතරම් සූක්ෂ්මද? කියන එක ප්‍රශ්නයක්. අද ජාතික අභිලාෂයට මුල්තැනක් නැහැ.විදේශීය රටක ආධිපත්‍යයට රටේ ස්වාධිපත්‍යය යට වෙනවා '' ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දෙයි. අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කෙරුණ 'කොළඹ යෝජනා' (Colombo Proposals) චීනයේ සහ ඉන්දියාවේ එක හා සමාන ගෞරවයට සහ සැලකිල්ලට පාත්‍රවිය බටහිර සමඟ බැඳුන පිළිවෙතක කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයේ සිටියදී 1950 දශකයේ මුල්භාගයේ ළදරු විප්ලවීය චීන ආණ්ඩුවත් සමඟ ශ්‍රී ලංකාව පළමු ආර්ථික ගිවිසුම (චීන-ලංකා සහල්-රබර් ගිවිසුම) අත්සන් කරන ලද්දේ කොරියානු යුද්ධයට පැටලී සිටි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණක් නොව ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ද දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතරයි. එසේම ඒ සමඟ කිට්ටු සබඳතා තරකර ගනිමින් ඉන්දු-ලංකා වතුකම්කරුවන් පිළිබඳ ගැටලුවට අදාළ සාකච්ඡා ද ඉන්දියාව සමඟ පෙරට ගෙනයමින් පැවතුණි. කිසිදු පාර්ශ්වයක බලපෑමකට යටත්වීමේ උවමනාවක් නොවුණි. ඉන් වසර කීපයකට පසු ඉන්දු- චීන යුද ගැටුම මොහොතේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කෙරුණ 'කොළඹ යෝජනා' (Colombo Proposals) චීනයේ සහ ඉන්දියාවේ සමාන ගෞරවයට සහ සැලකිල්ලට එක හා සමාන මට්ටමින් යොමුවීම අද එම දෙරට අතර දෝලනය වීමට සිදුව ඇති වර්තමානයට කදිම පාඩමක් නොසපයන්නේද? තවත් තොරතුරු;
කුමන්ත්‍රණයක් මගින් පසුගිය සතියේ රටේ පාලන බලය පැහැර ගත් තායිලන්ත යුද හමුදාවට එරෙහි සිය ගණනක් උද්ඝෝෂකයන් බැංකොක් අගනුවර වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් ගත් බව වාර්තා වෙයි.
පස් දෙනකුට වැඩි පිරිසක් එක්රැස් වීම තහනම් කරමින් යුද හමුදා පාලනය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇතත්, හමුදාව එම විරෝධතා ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු නොකළ බවයි බැංකොක් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ග්ලුක් සිනවත් ඇතුළු තවත් මුල් පෙලේ දේශපාලන නායකයන් කණ්ඩායමක් රඳවා තැබීමට යුද හමුදා පාලනය ඊයේ සිකුරාදා පියවර ගෙන තිබුණි. තවත් කැඳවීම් ඒ හැර යුද හමුදා පාලනයට එරෙහි තවත් තිස්පස් දෙනකු යුද හමුදා පාලකයන් විසින් කැඳවනු ලැබ ඇති බවත් වාර්තා වෙයි. බලයෙන් පහ කෙරුණ ආණ්ඩුවේ ආධාර කරුවන් වන තායිලන්ත ‘රතු කමිස’ සංවිධානයට මුදල් සහ වෙනත් ආකාරයෙන් දායක වෙන බලවේග කෙරෙහි අවධානය යොමු කරන යුද හමුදා පාලනය, ඉදිරි කාලයෙහි තමන්ට එරෙහිව නැගී සිටීමට ඉඩකඩ ඇති ඕනෑම අභියෝගයක් වළක්වා ලීම සඳහා සූදානමින් සිටින බවයි, බැංකොක් නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.
බ්‍රිතාන්‍ය තුල ජිවත් වීමේ නීත්‍යානුකූල ඉල්ලමින් යුධ අපරාධකරුවන් යයි සැක කෙරෙන සියයකට අධික සංක්‍රමිකයන් සංඛ්‍යාවකගෙන් පසුගිය වසරේ බ්‍රිතාන්‍ය ආගමන විගමන කාර්යාංශයට ඇයදුම්පත් ලැබී ඇත.
යුධ අපරාධකරුවන්ගේ යැයි සැක කෙරන පිරිස අතර බ්‍රිතාන්‍යයේ දිගු කලක් ජිවත් ව සිටි ඉරාන,ඉරාක රුවන්ඩා, ශ්‍රී ලංකීක සහ සර්බියානු ජාතිකයන් පුරවැසි භාවය හෝ බ්‍රිතාන්‍ය තුල රැඳීසිටීමේ අවසරය සඳහා අයැදුම් පත් ඉදිරිපත් කළ පිරිස් අතර සිටිති. මේ තත්වය වෙනස් විය යුතු බවත් බ්‍රිතාන්‍ය ලොව පුරා යුධ අපරාධකරුගේ වාස භුමියක් බවට පත්වීම වැළැක්විය යුතු බව බ්‍රිතාන්‍ය ආගමන විගමන කාර්යාංශය කියා සිටී. සැකකරුවන්ට එරෙහි නඩු විභාග බ්‍රිතාන්‍යය තුල දීම සිදු කලයුතු බවයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කියා සිටින්නේ. මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන මනුෂ්‍ය ඝාතන වලට එරෙහි සංවිධානයක යේ නීති උපදේශක කෙවින් ලෝවේ ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය තුලදීම නඩු විභාග සිදු කිරීමේදී සංකීර්ණ ප්‍රයෝගික ගැටළු රැසක් පන නගින බවත්,වෙනත් රටකදී සිදු කරනලද අපරාධයක සැකකරුවන්, බ්‍රිතාන්‍ය තුලදීම හඳුනා ගැනීම සඳහා විශාල මුදලක් සහ කාලයක් වැයවෙන බවයි.
ගන්නෝරුව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති නායකත්ව පුහුණුවකට සහභාගි වෙමින් සිටි අතරවාරයේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය තම පුතාට කිසිදු අසාධ්‍ය රෝගයක් තිබුණු බවක් තමන් දැන නොසිටියේ යයි ළහිරු සඳරුවන් සිසුවාගේ දෙමාපියෝ පවසති.
විශේෂයෙන්ම නායකත්ව පුහුණු කඳවුරේදී රෝගාතුර වූ සිය පුතා රෝහලට ඇතුලත් කළ බව පවා දැන ගැනීමට ලැබුනේ දින දෙකකට පසුව බව ලහිරු සඳරුවන්ගේ පියා ආර්එම් ජයරත්න බීබීසී සංදේශයට කියා සිටියේ. විල්පත්තු මායිමේ පිහිටි කුඩාවැව ග්‍රාමයේ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙසින් උපත ලැබූ ළහිරු ඇතුළු පවුල නඩත්තු කිරීමට ළහිරු ගේ පියා රැකියාවට අමතරව ගොවිතැනේද යෙදුණේය. කුඩා කල සිටම පියාට උදව් කළ ළහිරුට වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ කිසිදු අපහසුවක් නොතිබුණු බව දෙමාපියෝ පවසති. 'ඉහෙන් බහින රෝගයක් නොතිබුන' සිය පුතාගේ මරණය තමන්ට ප්‍රහේලිකාවක් බවයි, ආර්එම් ජයරත්න පියා පවසන්නේ. සිවිල් සමාජය හමුදාකරණය කිරීමට තම සංගමය මුල සිටම විරුද්ධ වූ බව පවසන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ශිෂ්‍යාගේ මරණයට වගකිව යුතු බවට ආණ්ඩුවට චෝදනා කරයි. දෙමාපියන් නොදැන සිටි නමුත් ශිෂ්‍යයාට බරපතල පෙනහළු රෝගයක් තිබුණු බව විශේෂඥ වෛද්‍ය මතය බවයි, විශ්‍රාමලත් යුද හමුදා භටයකු වන අසල්වැසියෙක් මේ අතර සංදේශයට කියා සිටියේ.
ඉන්දීය මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ අබේගාන් ප්‍රදේශයේ ගම්වැසියන් එක සිය පනහකට අධික සංඛ්‍යාවක් නාය යෑමකට හසු වී තිබේ.
එම අනතුරින් නිවාස හතළිහක් පමණ විනාශ වී තිබෙන බව එම ප්‍රදේශයේ බලධාරියෙක් පවසයි. පැවති ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුවයි නායයෑම සිදු වී තිබෙන්නේ. සහන සේවකයෝ අනතුර සිදු වූ ප්‍රදේශයට ලඟා වී ඇති බව ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ බලකායේ නිලධාරියෙක් බීබීසියට පැවසුවේය. නොනවත්වා පවතින දැඩි වර්ෂාව හා අබලන් වූ මාර්ග හේතුවෙන් සහන සේවකයන් හට අනතුර සිදු වූ ස්ථානයට ලඟා වීමට බාධා එල්ල වන බව එම නිලධාරියා වැඩි දුරටත් පවසයි. ‘ඒ ගමේ නිවාස නවසීයක් පමණ තිබිලා තියනවා. නාය යෑමට හසු වුණු අය සුන්බුන් අතර හිර වෙලා ඉන්න බවට සැක ඇති බව අපිට දැන ගන්න ලැබිලා තියනවා’ යනුවෙන් ආපදා බලකායේ නිලධාරියා බීබීසීයට පැවසුවේය. අනතුරින් දිවි ගලවා ගත් ගම්වැසියන් එක් වී සුන්බුන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටියෙකු පැහැරගෙන යාමට පැමිණි සන්නද්ධ කල්ලිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙද්දී අලි පැටියා බේරා ගැනීමට එක්වූ වනජීවී නිලධාරීන්ට රුපියල් විසිපන් දහස බැගින් දිරි දීමනාවක් ගෙවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කරයි.
වනජීවී නිලධාරීන්ගේ විරෝධතා මැද පොලිස් නිලධාරීන් මෙම අපරාධ කල්ලියට යෑමට ඉඩ දුන් බවට තොරතුරු ඇති බවත් රාජකාරි නිසි ලෙස ඉටු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කොට තිබේ. එහෙත් මේ වන තෙක් එවැනි පියවරක් ගෙන නැති බවත් අලි හොරකමේ ආ සන්නද්ධ කල්ලිය තවම නිදැල්ලේ සිටින බවත් වනජීවී නිලධාරීහු පවසති. පැහැර ගෙන යාමට තැත් කළ අවුරුදු හතරක් පමණ වයසැති ගැහැණු අලි පැටියා මේ වන විට උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටී. හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සහ වනජීවී නිලධාරීන් මේ අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් කතාබහ නොකිරීම පිළිබඳව ජනතාව සැක පල කරන බව අප වාර්තාකරු ප්‍රකාශ කරයි.
"කඩ්ඩ පුළුවන් සෙට් එක... අපිට ඉතින් කඩ්ඩ බෑනේ"
ඉංග්‍රීසි භාෂාව දන්නා - නොදන්නා අය ලෙස විවිධ බෙදීම් නිර්මාණය කිරීම මෙන්ම, එම භාෂා දැනුම අනුව පුද්ගලයන් විනිශ්චය කිරීම අප සමාජය තුළ අදටත් දැකිය හැකිය. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාව 'කඩ්ඩ' නැත්නම් 'කඩුව' ලෙස හැඳින්වූව ද, ඔවුන් වැඩිහිටියන් වීමත් සමග බොහෝ විට එය 'වීදි භාෂාවේ' වචනයක් ලෙස හඳුන්වමින් භාවිතයෙන් වැළකෙති. නමුත් ඉංග්‍රීසි භාෂාව කඩුව ලෙස හැඳින්වීම පිටුපස ඇති ඉතිහාස කතාවක් ගැන ද පොත්පත්වල සඳහන් වේ. මෙම පැරණි යටත් විජිත භාෂාව ශ්‍රී ලංකාවේ සමාජ පන්ති සලකුණු කරන්නක් ලෙස පවතින අතර, එය ඉංග්‍රීසීන් අත තිබුණු කඩුවට සමාන කර තිබේ. කඩුව පසු කලෙක මුවට හුරු වචනයක් ලෙස කඩ්ඩ ලෙස වෙනස් වී තිබෙන බවට මත ඉදිරිපත් වී තිබේ. කෙසේනමුත්, පාසලේ සිට රැකියාව දක්වා දිවියේ සෑම අවධියකම ඉංග්‍රීසි භාෂාව මත ඇතිවන බෙදීම්වල කොටස්කරුවෙකු වූ බව බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම්, අදහස් බෙදා ගත් පුද්ගලයෝ පැවසූහ. "මම ගියේ කොළඹින් පිට රජයේ පාසැලකට. ඉංග්‍රීසි අතවශ්‍ය දෙයක් හැටියට අපිට ඒ කාලේ දැනුණේ නැහැ. මම එන්නේ ඉංග්‍රීසි කතා කරන පවුල් පසුබිමකිනුත් නෙමෙයි, ඒ වගේම පාසලෙන් අපිට ඒ ගැන හරි දැනුමක් ලබා දුන්නෙත් නැහැ. ගුරුවරු ප්‍රමාණවත් ගණනක් හිටියෙත් නැහැ," පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරියක වන චතුරි දුලන්කා පැවසුවාය. "උසස් පෙළ ඉංග්‍රීසි පාඩම අපි සැලසුම් කරලාම මඟ හැරියා. නමුත් සමාජයට ගිය ගමන් ඉංග්‍රීසි භාෂාව නිසා වෙනස්කොට සැලකීම දැනෙන්න ගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් හැදෑරුවා. දැන් මම ටික දෙනෙකුට පෞද්ගලික ඉංග්‍රීසි පංති පවත්වනවා," ඇය පැවසීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල සහ දෙමළ නිල හා ජාතික භාෂාවන් වන අතර, ඉංග්‍රීසි සන්ධාන භාෂාව වේ. රටපුරා සියලු වීදි සංඥා, නාම පුවරුවල භාෂා තුනම දක්නට ඇති අතර, රජයේ දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන මෙන්ම අධිකරණ කටයුතු පවා බොහෝ විට ඉංග්‍රීසියෙන් සිදු කෙරේ. නමුත් එම ආයතනවල ද ඉහළ තනතුරු හොබවන්නන් බොහෝ විට අන් අයට වඩා පුළුල් ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන ආකාරය දක්නට ලැබේ. "දේශපාලනය හැර වෙන ඕනෑම ආයතනයක රැකියාවෙන් ඉහළට යන්න ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා" මෙයට හේතුවක් තිබේ ද? "ඉංග්‍රීසි බැරි සහ පුළුවන් කියන බෙදීමක් සමාජයේ කවදත් තියෙනවා. සාමාන්‍ය වචනයෙන් කියනවනම්, ඉංග්‍රීසි පුළුවන් අය 'පොෂ්' අනික් අය 'ගොඩේ' කියලා කොටස් දෙකකට බෙදිලා ඉන්නවා. මෙය වැඩිපුර දකින්න ලැබෙන්නේ නගරවල. ඒ වගේම ගමේ කෙනෙක් නගරයට ආවාට පස්සේ ඒ කොටස් දෙක අතර දෝලනය වෙමින් ජීවත් වෙනවා," ඉංග්‍රීසි ගුරුවරියක වන දයක්ෂි පෙරේරා පැවසීය. "ඒ වගේම ලංකාවේ දේශපාලනය හැර වෙන ඕනෑම ආයතනයක රැකියාවෙන් ඉහළට යන්න ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඉහළ තනතුරුවල අය ඉංග්‍රීසි කතා කරන්නේ මේ හේතුව නිසයි. ඒක ඔවුන්ට තනතුර ලැබෙන්න තිබුණ එක් සුදුසුකමක්. අපිට මේ තත්ත්වයට වැරැද්දක් කියන්නත් බැහැ. අපේ භාෂාවෙන් ලෝකය එක්ක ගනුදෙනු කරන තත්ත්වයක් නැහැ. එතකොට විශාල හීන තියෙන කෙනෙකුට ඉහළට යන්න ඕනේ නම් ඉංග්‍රීසි ඉගෙන ගන්නම වෙනවා. හැබැයි පොෂ්, ගොඩේ කියන බෙදීමට නම් මම සම්පූර්ණයෙන් විරුද්ධයි," ඇය පැවසුවාය. ඉංග්‍රීසි දැනුම මනින මිනුම් දණ්ඩක් තිබේ ද? පසුගිය දිනක තණමල්විල පැවැත්වූ 'ගම සමග පිළිසඳර' වැඩසටහන අතරතුර සිය ගුරු පත්වීම් ප්‍රමාදය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංහලෙන් කරුණු පැවසූ කාන්තාවකට, ඉංග්‍රීසියෙන් එම ගැටලුව ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය. තණමල්විල පැවැත්වූ 'ගම සම පිළිසදර' වැඩසටහනේ දී පත්වීම පිළිබඳ සිය ගැටළුව ඉදිරිපත් කළ කාන්තාව ඇය ජාතික ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා සහතිකයක් හිමි පුද්ගලයෙකු ලෙස හඳුන්වා දී ගැටලුව 'නොබියව' ඉදිරිපත් කළ නමුත්, ඉංග්‍රීසි වාක්‍යවල ව්‍යාකරණ දෝෂ ද විණි. මෙම සංවාදය සහිත වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවල විශාල ලෙස සංසරණය විය. විශාල පිරිසක් සහ මාධ්‍යය ඉදිරියේ යම් පුද්ගලයෙකු අපහසුතාවට පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් ලෙස ජනාධිපතිවරයාගේ ක්‍රියාවට විරුද්ධ වූවෝ පැවසූහ. නගරයේ අධ්‍යාපනය ලැබූ කෙනෙකු මෙන් තණමල්විල වන් ඈත ප්‍රදේශයක අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙකු චතුර ලෙස ඉංග්‍රීසි කතා කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි යයි ඔවුන්ගේ ප්‍රධාන තර්කය විය. තවත් අය පැවසූවේ, ඉංග්‍රීසි ගුරුවරියක ලෙස පත්වීමක් ඉල්ලා සිටින ඇය තමන් දරුවන්ට උගන්වන විෂය නිවැරදි ලෙස දැන සිටිය යුතු බවය. ශ්‍රී ලාංකිකයෙකුගේ ඉංග්‍රීසි දැනුම මැනිය හැකි මිනුම් දණ්ඩක් තිබේදැයි, මා කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කළ නමුත් ස්ථාවර පිළිතුරක් දීමට කිසිවෙකුටත් නොහැකි විය. "භාෂාව අනුව සමාජ ස්ථර තීරණය කරන එක තරම් තවත් මෝඩ කමක් නැහැ" කෙසේනමුත්, ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක ලෙස සේවයේ කරන චන්දිමා ජයවර්ධන මේ ගැන සිය අදහස් ඉදිරිපත් කළාය. "තණමල්විල දී ජනාධිපතිවරයා මහා පිරිසක් ඉදිරියේ කෙනෙක්ගේ ඉංග්‍රීසි පරීක්ෂා කරලා බලන්න හදපු එක වැරදියි. ඒ වගේම ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට ඇයට විෂය ගැන දැනුමකුත් නැහැ. හැබැයි මෙතන වැරැද්ද සෑහෙන දුරකට විහිදෙනවා. ඇයට ඉංග්‍රීසි උගන්වපු පිළිගත් ජාතික ආයතන, පාසල් විතරක් නෙමෙයි, A B C උගන්වන පෙර පාසල පවා මේ තත්ත්වයට වග කියන්න ඕනේ. ඉංග්‍රීසි දැනුම මනින්න කියලා කෙනෙක් ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කිරීම නෙමෙයි කරන්න ඕනේ, එය භාෂාවක් ලෙස ඈත ගම්වලට පවා ගෙනයන අධ්‍යාපන පද්ධතියක් හදන එක. අලුත් ඉගැන්වීමේ ක්‍රම හඳුන්වා දෙන එක, පුංචි දූපතක ජීවත් වෙද්දී ජාත්‍යන්තර භාෂාවක් කොයි තරම් වැදගත් ද කියන එක දරුවන්ට කියා දීම වගේ දේවල් සිදු කළ යුතුයි," ඇය පැවසුවාය. ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය සැකෙවින් ලොව පුරා බිලියන 1.30කට ආසන්න ප්‍රමාණයක් ඉංග්‍රීසි පළමු හෝ දෙවෙනි භාෂාව ලෙස භාවිත කරන අතර, සමාජ මාධ්‍ය ජාල ඇතුළු ලෝකය හා සම්බන්ධ විය හැකි බොහෝ අවස්ථා ඉංග්‍රීසි භාෂාව හා බද්ධ වී ඇත. ඉංග්‍රීසි භාෂාවේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ පස් වෙනි සියවසේ දී සිදු වූ බවට ඉතිහාස පොත්පත් සාක්ෂි දරයි. බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ ජර්මානු ගෝත්‍ර තුනක් වන ඇන්ග්ල්ස්, සැක්සන් සහ ජූට්ස් භාවිත කළ භාෂාවන් පැරණිතම ඉංග්‍රීසි බසෙහි ආරම්භය ලෙස සැලකේ. පැරණිතම ඉංග්‍රීසි භාෂාව එහි නූතන ස්වරූපයට වඩා බෙහෙවින් වෙනස්ය. නමුත් සමහර පැරණි වචන අදටත් භාවිත කරන අතර, යම් වචනවල තේරුම් ද පැරණි ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධ වේ. 1066 දී නෝර්මානුවන් එංගලන්තය යටත් කර ගැනීමත් සමඟ ඉංග්‍රීසි භාෂාවට ප්‍රංශ ස්වරූපයක් ද ලැබිණි. බොහෝ ප්‍රංශ වචන සහ සමහර ලතින් වචන ද පැරණි ඉංග්‍රීසි සමඟ මිශ්‍ර වී මධ්‍යතන ඉංග්‍රීසි භාෂාව බිහි විය. 16 වන සියවසේ දී මුද්‍රණ කටයුතු ආරම්භ වීමත් සමඟ ඉංග්‍රීසි ස්ථාවර භාෂාවක් බවට පත් වන්නට විය. තවත් වචන භාෂාවට එක් වීමට කාර්මික විප්ලවය ද එක් හේතුවක් විය. මේ අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයත් සමග බොහෝ විදේශීය වචන ඉංග්‍රීසි භාෂාවට එකතු විය. මෙම සාධක අද අප දන්නා 'නූතන ඉංග්‍රීසි භාෂාව' නිර්මාණය කිරීමට මුල් විය. ඉංග්‍රීසි දැනගැනීම අත්‍යවශ්‍යද? "කෙටි පිළිතුර නැහැ. මොකද අපිට සන්නිවේදනය කරන්න පුළුවන් ඉතා පොහොසත් සිංහල භාෂාව තියෙනවා. දෙමළ භාෂාවත් ඒ වගේමයි. නමුත්, යටත්විජිතකරණයේ බලපෑමෙන් බිහි වුණ සංස්කෘතිය නිසා රැකියාවක ඉහළට යන්නත්, ඒ වගේම දූපතෙන් එහාට පය තියන්නත්, තාක්ෂණය දැනගන්නත් ඉංග්‍රීසි දැනගැනීම අවශ්‍ය වෙනවා," චන්දිමා ජයවර්ධන පැවසුවාය. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ සිංහල මරා දමලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ වත්, ඉංග්‍රීසි බැරිවීම ලැජ්ජාවට කරුණක් වන තත්ත්වයක් නිර්මාණය කරන එකවත්. ඕනෑම මනුස්සයෙකු භාෂා දෙකක් හෝ තුනක් ඉගෙනගැනීම බොහොම වටිනවා. ඒක අපතේ යන්නේ නැහැ. හැබැයි භාෂාව අනුව සමාජ ස්ථර තීරණය කරන එක තරම් තවත් මෝඩ කමක් නැහැ. ඕනෑම අවස්ථාවක, තමන්ට හැකි භාෂාවකින් පැහැදිලිව සන්නිවේදනය කරන එකයි වැදගත්, එහෙම නැතුව එක භාෂාවක්වත් හරියට ඉගෙන ගන්නේ නැතුව ඔක්කොම මිශ්‍ර කෑලි භාෂාවක් කතා කිරීම හරිම විහිළුවක්. ඒ වගේම ඉංග්‍රීසි කතා කළා කියලා සමාජයේ පිළිගැනීමක්, සමාජ තලය උසස් වීමක් වෙන්නේ නැහැ. ඒ දේට බලපාන්නේ තමන්ගේ චරිතය, උනන්දුව, උත්සාහය සහ ආකල්ප. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසි උගන්වන, සමාජයට අප්‍රසන්න වුණ හොරු, මිනීමරුවෝ, තක්කඩි කොයි තරම් ප්‍රමාණයක් ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න," ඇය තවදුරටත් පැවසීය. රටපුරා සියලු වීදි සංඥා, නාම පුවරුවල භාෂා තුනම ප්‍රදර්ශනය කළ යුතුය ඇය එසේ සිය අදහස් දැක්වීම අවසන් කරන විට, මා හට එක්තරා අතීත සිද්ධියක් මතකයට නැගිණි. ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කෙරෙන කොළඹ ඉහළ අධිකරණයක පෙනී සිට නඩුවේ ඊළඟ පියවර සඳහා විනිසුරුගෙන් දිනයක් ලබා ගැනීමට පැමිණි එක්තරා නීතීඥවරියක් ඒ මොහොතේ අධිකරණයේ සිටි මා අසලින් අසුන් ගත්තාය. තමන්ගේ වාරය එනතෙක් බොහෝ කලබල ගතියක් පෙන්වූ ඇය යමක් 'මතුරමින්' සිටින බව මට ඇසිණි. එම වදන් වෙව්ලන දෑතින්, ඉතා කලබලයෙන් කොළ කැබැල්ලක සටහන් කළ ඇය, "මට හොඳටම බයයි ඉංග්‍රීසි වැරදෙයි කියලා", මා දෙසට හැරී පැවසීය. විනිසුරුට කිව යුතු වචන කීපය සහ ස්තූති කිරීම පවා ඇය කොළ කැබැල්ලේ සිංහලෙන් ලියාගෙන තිබිණි. පාසලේ වසර 13ක් සහ විශ්වවිද්‍යාලයේ දී පවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් ඇය වඩාත් බිය වී තිබුණේ සමාජයෙන් එල්ල වන පීඩනයටය, නැතහොත්, සමාජය විසින්ම නිර්මාණය කළ ඉංග්‍රීසි භාවිතයට අනුව පන්ති බෙදීමටය. ශ්‍රී ලංකාවේ ජාතික භාෂා හා සම්බන්ධ ඉතිහාසය කෙටියෙන් 1815 සිට ශත වර්ෂ එක හමාරක පමණ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ ඉංග්‍රීසි භාෂාව දිවයිනේ ප්‍රධාන පරිපාලන භාෂාව විය. 1833 කෝල්බෲක්‌ කැමරන් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය තුළින් ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයක්‌ ගොඩනැගිණි. ඒ සමගම දිවයිනේ ග්‍රාමීය වශයෙන් පැවති පිරිවෙන් අධ්‍යාපනය මෙන්ම සිංහල භාෂාව ද යම් දුරකට යටපත් විය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සිවිල් සේවයට ඇතුළත්වීමේ ප්‍රධාන සුදුසුකමක් බවට පත් වූ අතර, උසස්‌ පාසලක සිංහල වචනයක්‌ කතා කිරීම ද දඩයකට යටත් කරන ලද වරදක්‌ විය. ඒ වන විට ද ජනගහනයෙන් වැඩි කොටසක් දැනසිටියේ සිංහල හා දෙමළ පමණක් වන අතර, ඉංග්‍රීසි දැන සිටියේ අතලොස්‌සක්‌ වූ යම් 'වරප්‍රසාද ලත් පිරිස' පමණක් බව ඉතිහාසයේ සඳහන් වේ. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ 'සිලෝන්හි' පවුලක ඡායාරූපයක් කෙසේනමුත්, රාජ්‍ය අනුග්‍රය මත ස්වදේශී භාෂා අභාවයට යන තත්ත්වයක් මතුවෙමින් තිබුණු අතර, සිංහල සහ දෙමළ ජනතාව මෙයට විරෝධය පළ කළහ. සිය එදිනෙදා කටයුතු විදේශීය භාෂාවකින් සිදු කිරීම ඔවුන්ට හිරිහැරයක් බවට පත් වෙමින් තිබිණි. මේ විරෝධය හේතුකොට ගෙන 1934 දී එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් සිංහල මහා සභාව ආරම්භ විය. සිංහල බෞද්ධයා, ස්වදේශ මිත්‍රයා, සිංහල බලය වැනි පුවත්පත් මඟින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙන ගියේය. මේ අතර, ජේ ආර් ජයවර්ධන ද 1943 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව ගෙන එන ලදී. නමුත් එහි දෙමළ භාෂාව ජාතික භාෂාවක්‌ හැටියට පිළි නොගැනීම ගැන විරෝධතා මතුවිණි. නමුත් පසුව, සිංහල යන වචනය සඳහන් සෑම තැනකම එය සිංහල හා දෙමළ යනුවෙන් සංශෝධනය විය යුතු යැයි දෙමළ මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවක්‌ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත විය. එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක ද 1944 දී ගෙනා ස්‌වභාෂා රාජ්‍ය භාෂාව කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව එකඟ වුණු අතර, ඒ සඳහා ඡේ ආර් ජයවර්ධනගේ මූලිකත්වයෙන් කොමිසමක්‌ ද ආරම්භ විය. බලවත් දේශපාලන ගමනක යෙදුණු බණ්‌ඩාරනායකගේ 1956 මැතිවරණ ප්‍රකාශනය සමාජවාදී පිළිවෙතකට අනුව සකස්‌ වී තිබිණි. සඟ, වෙද,ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එකතු කරමින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සාමාන්‍ය ජනතාව අතරට රැගෙන යාමට ඔහුට හැකි විය. මෙහිදී ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවක් වූයේ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමය. ඒ අනුව බලයට පත් බණ්‌ඩාරනායක, 1956 අංක 33 දරන පනත මගින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත් කළේය. ඒ වනවිට ද රජයේ බොහෝ කටයුතු කෙරුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. හිටපු අගමැති එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක මෙම තීරණය දෙමළ ජනයාගේ අප්‍රසාදයට හේතු විය. එයට පිළියමක් ලෙස අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂයේ නායක එස් ජේ වී චෙල්වනායගම් සමග 1957 දී 'බණ්ඩාරනායක-චෙල්වනායගම්' ගිවිසුම අත්සන් කළේය. නමුත් 1959 දී චීවරධාරියෙකු විසින් බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනය කෙරිණි. වරින් වර සිදු වූ දේශපාලන සහ සිවිල් අරගල මධ්‍යයේ, 1972 වර්ෂයේ ජනරජ ව්‍යවස්ථාව මඟින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කෙරිණි. මේ අතර, 1956 සිට දිගින් දිගටම මතු වූ අසාධාරණකම් මත දෙමළ ජනතාව අතර නොසන්සුන්තාවක් ගොඩ නැගිණි. කෙසේනමුත්, විරෝධතා උද්ඝෝෂණ හමුවේ 1978 ව්‍යවස්ථාවෙන් දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් බවට පත් කළේය. නමුත් මෙම 'භාෂා සටන' මහා මිනිස් සංහාරයක් සහ දේපළ විනාශයක් දක්වා ගොස් 1983 කළු ජූලිය ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයට තවත් කැළලක් එක් කළේය. භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සඳහන් වේ: 12 (2) වගන්තියට අනුව 'කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී-පුරුෂ භේදය, දේශපාලන මතය, හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට භාජනය නොවිය යුතුය. මේ තොරතුරු ද කියවන්න:
ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් පළ කළ ග්‍රන්ථයකින් ආගමට අපහාස වී ඇති බවට චෝදනා ලත් බංගලාදේශ ප්‍රකාශන සමාගමක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ඩකා අගනුවර පොලිසිය පැවසුවේය.
ග්‍රන්ථ ප්‍රකාශක ෂාම්සුසෝහා මලික් විසින් ඩකා අගනුවර පොත් ප්‍රදර්ශන භූමිය තුළ පවත්වාගෙන යනු ලැබූ ප්‍රදර්ශන කුටිය වසා දමා ඇත. ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කොට සිටි ඇතැම් ඉස්ලාමීය දක්ෂිණාංශික කණ්ඩායම් උද්ඝෝෂණ දියත් කරන බවට තර්ජනය තිබේ. චෝදනාවලට වරදකරු වුවහොත් පොත් ප්‍රකාශක මනික් වෙත වසර දාහතර දක්වා වූ සිර දඬුවමක් නියම වනු ඇත. මෑත කාලය තුළ බංගලාදේශ අනාගමික බ්ලොග් ලේඛකයන් සහ ප්‍රකාශකයන් ගණනාවක් මරා දැමුණු අතර අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් විසින් එම ඝාතන සිදු කරනු ලැබූ බවක් පෙනෙන්නට තිබුණි. ඉහත කී අත්අඩංගුවට ගැනීම සිදු වූයේ බංගලාදේශය තුළ භාෂණයේ නිදහසට බාධා එල්ල වන තත්වයක් වර්ධනය වෙමින් පවතින බවට මත පළ වන අතරතුරයි.
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් තිස් හය දෙනෙකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.
අනතුරින් හැටකට අධික පිරිසක් තුවාල ලබා තිබේ. අසල්වැසි ඔරිස්සා ප්‍රාන්තය වෙත ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම සහ මැදිරි නවයක් පීලි පැන ඇති බව බලධාරීහු කියා සිටියහ. සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් වෙත ළඟා වීමට සහන කණ්ඩායම් උත්සාහ දරමින් සිටිති. අනතුරට පත් දුම්රියේ මැදිරිවලට දැඩි හානි සිදු වී තිබේ දුම්රිය පීලි ස්ථාන දෙකකින් කැඩී වෙන් වී තිබූ බව දුම්රිය බලධාරීන් කියා සිටි අතර එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක පළ කෙරේ. අනතුර සිදු වූ ප්‍රදේශය තුළ මාවෝවාදී කැරලිකරුවන් ක්‍රියාත්මක නමුත් ඉන්දීය ආරක්ෂක අංශ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඉලක්ක බවට පත් වෙති.