id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
sequence
184,052
කුවේට් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නැවත එවයි
[ "ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 42ක් ඊයේ (10) දිවයිනට පැමිණ තිබේ. ", "ඔවුන් වලංගු වීසා කාලය ඉක්මවා කුවේටයේ රැඳී සිටීම, සේවා ස්ථානයෙන් පැනගොස් වෙනත් ස්ථානවල සේවය කිරීම වැනි හේතු මත දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පිරිසකි.", "ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගොස් දිවයිනට පැමිණීමට නොහැකිව සුරක්ෂා නිවාසවල රැදී සිටින ශ්‍රමිකයින් හැකි ඉක්මණින් යළි මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලිය යටතේ ඔවුන්ව නැවත ඒවා ඇති බව සඳහන් ය." ]
184,053
තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි
[ "දේශීය රැකියා නියෝජිතායතනයක් වශයෙන් පවත්වාගෙන යමින් නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවාගැනීම් සිදුකළ කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා තිබේ. ", "ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 08 වනදා එම වැටලීම කර එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.", "කුරුණෑගල, බෞද්ධාලෝක මාවතේ සිරිපති ගොඩනැගිල්ලේ මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් කුවේට්, ඩුබායි, මාලදිවයින, රුමේනියා, කටාර්, සර්බියාව, රුසියාව ආදී රටවල රැකියා සඳහා යවන බව පවසා අයදුම්පත්‍ර ලබාගෙන තිබුණි.", "මේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර තිබූ අතර, එහිදී මෙම ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයාව විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ", "එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 05ක්, විදේශ ගමන් බලපත්‍ර පිටපත් සහිත ලිපි ගොනුවක්, රබර් මුද්‍රා, හඳුනාගැනීමේ කාඩ්පත් හා රැකියා අයදුම්පත් විශාල ප්‍රමාණයක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.", "අත්අඩංගුවට ගත් සැකකරු, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත ඉරිදා (09) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.", "එහිදී ඔහුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමටත්, මෙම මස 28 වනදා නඩු විභාගය පැවැත්වීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.", "විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි." ]
184,054
කොළඹට හදිසියේම ආ ප්‍රංශ දැවැන්තයා
[ "නිල සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව අද (11) උදෑසන කොළඹ වරාය වෙත පැමිණ තිබේ.", "‘LORRAINE’ නෞකාව Air – defence Multipurpose frigate වර්ගයට අයත් නෞකාවකි.", "දිග මීටර් 142.20 ‘LORRAINE’ නෞකාවේ නාවික කාර්ය මණ්ඩලය 154කගෙන් සමන්විත වෙයි.", " ‘LORRAINE’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain Xavier BAGOT කටයුතු කරනු ලබයි.", "ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ", "ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණි. ", "‘LORRAINE’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නාවිකයින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.", "මේ අතර ‘LORRAINE’ නෞකාව ජුලි 15 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරතවීමටද නියමිතව ඇත. ", " " ]
184,055
කණ්ණාඩියක් බදු ග්‍රහලෝකයක්
[ "අභ්‍යාවකාශයේ කැඩපතක් ලෙස හැඳින්විය හැකි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්වී තිබේ.", "පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර පථයේ පිහිටි, නෙප්චුන් ග්‍රහලෝකය තරම් විශාල පැය 19කට වරක් තම සුර්යයා වටා පරිභ්‍රමණය වන මෙම ග්‍රහලෝකයේ විශේෂත්වය වන්නේ, ඒ මත පතිතවන හිරු රැස්වලින් 80%ක්ම පරාවර්ථනය කිරීම.", "දැනට අප දන්නා රාත්‍රී අහසේ දීප්තිමත්ම ග්‍රහලෝකය වන සිකුරු එලෙස සුර්යාලෝකයෙන් 75%ක් පරාවර්ථනය කරන අතර අපේ පෘථිවිය එලෙස පරාවර්ථනය කරන්නේ ඒ මත පතිතවන හිරු එළියෙන් 30%ක් පමණය. ", "මෙම නව ග්‍රහලෝකය විශාල වශයෙන් ආලෝකය පරාවර්ථනය කිරීමට හේතු වී ඇත්තේ එයවටා ඇති ටයිටේනියම් සහ සිලිකේටවලින් තැනුනු ලෝහමය වලාවන් නිසා බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත." ]
184,056
ආනයනික බිත්තර හොර පාරෙන් වෙළෙඳපොළට ?
[ "ආනයනික බිත්තර මුද්‍රා ඉවත් කර වෙළෙඳපොලේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සිය සංස්ථාවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.", "එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ තම සංස්ථාව මගින් කිසිදු අවස්ථාවක ආනයනික බිත්තර වෙළෙඳපොළට නිකුත් කර නොමැති අතර කිසියම් පාර්ශ්වයක් විසින් මෙය සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් දැනුවත්වී නොමැති බවය.", "අනායනික බිත්තර හෝටල් සහ බේකරි සඳහා පමණක් ලබාදී ඇති බවද ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.", "කෙසේ වෙතත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී ආනයනික බිත්තර වෙළෙඳපොලේ අලෙවි වන බවට අනාවරණය කළේය." ]
184,057
මෙටා ත්‍රෙඩ්ස් වෙතින් ඇදහිය නොහැකි වාර්තාවක්
[ "ලෝකයම ආක්‍රමණය කරමින් පැතිර යන මෙටා ත්‍රෙඩ්ස් පිළිබඳව නවතම වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ.", "එහි සඳහන් වන්නේ ත්‍රෙඩ්ස් සමාජ මාධ්‍ය යෙදවුම මේ වනවිට මිලියන 100ක පරිශීලකයින් ප්‍රමාණය ඉක්මවා ඇති බවය.", "හඳුන්වා දී අඩුම කාලයකින් මිලියන 100ක පරිශීලකයින් ප්‍රමාණය හිමිකරගැනීමේ වාර්තාව මීට පෙර සතුව තිබුණේ ChatGPT වෙතටය.", "කෙසේ වෙතත් ChatGPT පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස දෙකක කාලයක් ගතවිය.", "සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් සඳහා පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස 9ක කාලයක් ගතවිය.", "එසේම ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට වසර දෙකහමාරක කාලයක් ගතවිය.", "ඒ අනුව එම සියලු වාර්තා අභිබවා යමින් ත්‍රෙඩ්ස් පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට ගතකර ඇත්තේ දින 5ක් වැනි කෙටි කාලයකි.", "මේ සඳහා බරපතළ ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක නොවී මෙලෙස ලොවපුරා ජනප්‍රිය වීම පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.", "නවතම වාර්තා පෙන්වාදෙන්නේ සෑම පැය 4කට වරක්ම පරිශීලකයින් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ත්‍රෙඩ්ස් සමග එක්ව ඇති බවය.", "මෙට සමාගමේ නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරියේදී ත්‍රෙඩ්ස් වෙත නව වෙනස්කම් රැසක් එක්කිරීමට සූදානමින් පසුවන බවය." ]
184,058
කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කරයි
[ "ආන්දෝලනයට තුඩුදුන් “කෲඩියා සිලනිකා“ හෙවත් පඬු කරඳ ගස ඉවත් කළේ කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.", "කැබිනට් තීරණ දැනුම්දීමේ අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.", "මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී ඊට බාධාවන අයුරින් මෙම ගස රෝපණය වී තිබීම හේතුවෙන් එය ඉවත් කිරීමට යෑමේදී පසුගිය සමයේදී සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණි.", "රතු දත්ත පොතට පවා ඇතුළත්වී පවතින මෙරටට ආවේණික ශාකයක් වන පඬු කරඳ ගස මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ මෙම තත්ත්වය මතුවී තිබුණි.", "අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,", "\"පඬු කරඳ ගහ ගැන මම පූර්ණ වශයෙන් දැනුවත්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා විශාල ව්‍යාපෘතියක්. 2019දී රුපියල් කෝටියකින් කරන්න තිබුණු ව්‍යාපෘතිය අද කරන්න කෝටි 03ක් වත් අඩුම ගාණේ ඕනේ.\" ", "\"අවාසනාවකට පඬු කරඳ ගහක් අරගෙන.. මේක මෙතනින් ඉවත් කරන්න දෙන්නේ නැහැ. අවුරුදු එකසිය ගාණක් පරණයි කියාගෙන උද්ඝෝෂණ කරලා.. වෙනස් විදියේ සිතියකම් ඇන්ඳා.", "මේ ගහ ඉතිරි කරලා ව්‍යාපෘතිය වෙනස් කළොත් රුපියල් බිලියන 15ක් පාඩු වෙනවා.\"", "\"මේ ගැන මම අධ්‍යනයක් කළා. ඒ වාර්තා මට ලැබුණා. මේ ව්‍යාපාතිය අවට අවුරුදු 40ට වඩා වැඩි පඬු කරඳ ගස් 15ක් තිබෙනවා. උස අඩි 12යි 15යි අතර පඬු කරඳ ගස් 25ක් තිබෙනවා. ඕනේ නම් පෙන්වන්නම්.\"", "\"මේ එක ගහ වෙනුවට පඬු කරඳ ගස් 200ක් වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. මේ කරුණු ටික මම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ගස කැපීම සඳහා අනුමැතියක් ලබාදෙන්න කියලා. ගහ කපන්න අනුමැතිය දුන්නා. ඒ අනුව කැබිනට් අනුමැතියෙන් තමයි ගහ ඉවත් කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්.\"" ]
184,059
වනිඳුට සම්මානයක්
[ "ජූනි මාසය සඳහා අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ව තෝරාගෙන තිබේ.", "විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි.", "ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී ඇති බව අයි සී සී ය නිවේදනය කළේය." ]
184,060
පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට එරෙහි නඩුව ගැන දුන් නියෝගය
[ "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ චෝදනා පත්‍ර වැඩිදුර කියවා නඩුව කල්තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) නියෝග කළේය.", "මෙම නඩුව අද (11) කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.", "බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකරුවන් තුන්දෙනා වෙනත් නඩු විභාගයක් සඳහා මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.", "ඒ අනුව වැඩිදුර චෝදනා පත්‍ර කියවා දීම අගෝස්තු 7, 9, 10 සහ 11 යන දිනවලට කල් දමන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.", "එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් නම්කර තිබෙන T-56 ගිනි අවි දෙකක් මඩකලපුව මහාධිකරණයේ නඩු විභාගයක් සඳහා අවශ්‍යව තිබෙන බවත් පැමිණිල්ල විසින් දැනුම්දීමෙන් අනතුරුව එම ගිනිඅවි දෙක අවශ්‍ය අවස්ථාවල අදාළ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබුණි. ", "දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙයි.", "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුෆර් මාමා, මොහොමඩ් සනස්ඩීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබේ." ]
184,061
All Blacks හිටපු සුපිරි තරුව බිහිසුණු අනතුරක
[ "All Blacks කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක Carl Hayman අනතුරකට ලක්ව රෝහල්ගතකර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.", "විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අනතුරින් ඔහු බරපතළ තුවාල ලබා ඇති බවය.", "පාපැදියෙන් ඇදවැටී සිදුවූ මෙම අනතුරින් ඔහුගේ ඉදිරිපස ගෙළ ආශ්‍රිත අස්ථියක් (collarbone) බිඳී ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.", "ඩිමෙන්ශියා රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබමින් සිටින ඔහු මේ වනවිට 41 හැවිරිදි වියේ පසුවෙයි.", "අනතුරට ලක්වීමත් සමඟ ඔහුව ප්‍රතිකාර සඳහා හෙළිකොප්ටර් යානයකින් නවසීලන්තයේ ප්‍රධානපෙළේ රෝහලක් වෙත ගෙනවිත් ඇත." ]
184,062
පාකිස්තානයට එරෙහිව ඕෂධගෙන් සුපිරි ඉනිමක්
[ "සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර දෙදින පුහුණු තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය.", "පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 196ක් රැස්කළේය.", "මෙහිදී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු ශතකයක් වාර්තා කිරීමට සමත්විය.", "පන්දු 128කදී ලකුණු 109ක් රැස්කරමින් ගොඩනැගූ ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් ඇතුළත් විය.", "පන්දු යැවිමේදි ෂහීන් ෂා අෆ්රිඩි සහ හසන් අලි කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්විය." ]
184,063
මිලියන ගණනක් වටිනා රත්‍රන් ජෙල් සහ රත්‍රන් කුඩු හසුවෙයි
[ "රත්‍රන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට සූදානම්වූ ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.", "රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (11) දහවල් මෙම වැටලීම සිදුකර ඇත.", "රේගුව ඇස්තමේන්තු කර ඇති පරිදි එහි වටිනාකම රුපියල් 16 කෝටි 40 ලක්ෂයක් පමණ බව බවද සඳහන් ය.", "කටුනායක ගුවන්තොටුපොළ අශ්‍රිතව සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදුකරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයින් 04 දෙනෙකු සහ 55 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙම රත්‍රන් ජෙල් තොගය ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.", "සැකකරුවන් විසින් රැගෙනආ ගමන් මලු තුළ කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 650ක් බරැති මෙම රත්‍රන් ජෙල් කරල් 23ක් සහ රත්‍රන් කුඩු අඩංගු පැකට් 10ක් සඟවා තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන ඇත.", "නිලධාරීන් භාරයට ගත් සැකසහිත භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්මික පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත." ]
184,064
අයහපත් කාලගුණයෙන් පාකිස්තානය යළිත් අසරණ වෙයි
[ "ජුනි මාසයේ සිට අඛණ්ඩව ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කිහිපයක ජනජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.", "දැඩි වර්ෂාව හා ඒ හේතුවෙන් පවතින ආපදා තත්ත්වය හමුවේ ඉකුත් පැය 24 දී පමණක් පාකිස්තානයේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.", "තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09 ක් ලෙස වාර්තා වෙයි.", "ඒ අනුව ජුනි මාසයේ සිට ඇදහැලෙන දැඩි වර්ෂාව හා ඒ හමුවේ පවතින ආපදා හේතුවෙන් මේ වනවිට පාකිස්තානයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 81ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. තුවාල ලැබූ සංඛ්‍යාව 151 කි.", "තුවාල ලැබූවන් අතර ළමුන් 37 දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු වෙයි.", "වර්ෂාව හා ජල ගැලීම් හමුවේ නිවාස 97 කට පමණ හානි සිදුවී ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.", " " ]
184,065
උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය මෙන්න
[ "අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබේ.", "අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ නොවැම්බර් මස 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ වන බවය.", "අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම විභාගය දෙසැම්බර් මස 21 වනදා අවසන්වීමට නියමිත බවය.", " " ]
184,066
මෛත්‍රී ඇතුළු පිරිසට දී තිබූ කාලය හෙටින් අවසන්
[ "හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය හෙටින් (12) අවසන්වීමට නියමිතය.", "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව මෙම වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුණි. ", "ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඔහුට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 න් අද උදෑසන වන විටත් ගෙවා තිබුණේ රුපියල් මිලියන 15 ක් පමණි.", "හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ගෙවීමට නියම වූ සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 311 ක් වන අතර ඉන් මේ වනවිට හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 28 ක් පමණි. ", "වගඋත්තරකරුවන්ට වන්දි ගෙවීමට ලබාදී ඇති කාලය හෙටින් අවසන් වන පසුබිමක ඉදිරි නෛතික ක්‍රියාමාර්ග කෙසේ සිදුවේවිද යන්න නීති විශාරදයෙකුගෙන් 'අද දෙරණ' විමසීමක් කළේය.", "මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා,", "\"කොටසක් ගෙවලා තියෙනවා. ඉතිරි මුදල ගෙවන්න කාලය ඉල්ලා තිබෙනවා. වින්දිතයින්ට නැවත වරක් අධිකරණයට යන්න පුළුවන්. තීන්දුව තාම ඉටුවෙලා නැහැ කියලා.\"" ]
184,067
පඬු කරඳ ගස ඉවත් කිරීම ගැන පරිසර සංවිධානවල විරෝධය
[ "දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස ඊයේ (10) එම ස්ථානයෙන් ඉවත් කර තිබුණි.", "කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළව රුපියල් බිලියන 15ක පාඩුවක් සිදුවීම වළක්වාගැනීම සඳහා කැබිනට් අනුමැතියට යටත්ව ගස ඉවත් කළ බවය.", "ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ පස්වරුවේ පැමිණි කණ්ඩායමක් මිනිත්තු විස්සක වැනි කාලයක් ඇතුළත එම ගස ඉවත් කරගෙන ගිය බවය.", "කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ තම ආයතනය නොදැනුවත්ව මෙම ගස ඉවත් කර ඇති බවය.", "මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස්.වීරකෝන් මහතා ඒ බව පැවසීය.", "ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස 2021 පෙබරවාරි මාසයේදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කෙරුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමිනි.", "එම අවස්ථාවේ ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියගෙන් සහ පරිසර සංවිධානවලින් ඊට ප්‍රබල විරෝධයක් එල්ල වුණි.", "ඒ අනුව පරිසර සංවිධාන අද ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් මෙම සිද්ධියට විරෝධය පළ කළේය. එහිදී ඔවුන් පැවසුවේ,", "\"මේක අපරාධයක්. ගස අතුරුදන් කරලා. විමර්ශනයක් අවශයයි. මේක නීතිවිරෝධී ක්‍රියාවලියක්.\"" ]
184,068
එළුවන් ආනයනයේදී සිදුවූ ගැටලුවක් ගැන ප්‍රශ්න කෙරේ
[ "ඉන්දියාවෙන් බිත්තර ආනයනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළ දැඩි ක්‍රියාපිළිවෙත එම ආයතනය ඔස්ට්‍රේලියාවෙන් මෙරටට එළුවන් ආනයනය කිරීමේදී එලෙසම අනුගමනය නොකිරීම රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී දැඩි විවේචනයට ලක්වුණි.", "එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාවට කැඳවු අවස්ථාවේදී අනාවරණය වූයේ රුපියල් මිලියන 33ක වියදමින් ඔස්ට්‍රේලියාවන් මෙරටට ආනයනය කරනු ලැබු එළුවන් නිරෝධායනයේදී සහ අවස්ථා කිහිපයකදී මිය ගොස් ඇති බවය. ", "එබැවින් එළුවන් ආනයනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව යම් පියවරක් ගන්නා ලෙසත් එම කමිටුවේ සභාපති රාජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න මහතා බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය." ]
184,069
හිස් CD තැටිය ගැන විමර්ශනයක්
[ "ඉදිරි මාස 05 සඳහා ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 67ක් ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.", "සෞඛ්‍ය සේවාවේ උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මේ වනවිට රට තුළ ඖෂධ 270 ක හිඟයක් පවතින බවය.", "මේ අතර හෘද රෝගියකුට කළුතර නාගොඩ රෝහලෙන් සිදුකළ පරීක්ෂණයක වාර්තා ලබාදීමේදී දත්ත නොමැති සංයුක්ත තැටියක් ලබාදුන් බවට එල්ල කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.", "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,", "\"රෝගියෙකුගේ CD තැටියක් පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. ඒ දුවට කියලා තිබ්බේ.. සාමාන්‍ය පරිගණකයක මෙම CD එක බලන්න එපා කියලා. ඒ CD එක රයිට් කරන්නේ විශේෂිත මෘදුකාංගයක් යොදාගෙන. එතකොට ඒ මෘදුකාංගය තිබෙන වෙනත් පරිගණකයක තමයි ඒක බලන්න පුළුවන්. හෘද රෝග ඒකකවල තමයි ඒ පරිගණක තිබෙන්නේ. කොහොම වුණත් මේ ගැන විමර්ශනයක් කෙරෙනවා.\"" ]
184,070
ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
[ "ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේදී පැවැත්වූ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.", "ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවය හරහා රාත්‍රී 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි." ]
184,071
තායිලන්ත අගමැති දේශපාලනයෙන් සමුගනී
[ "තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත්කර තිබේ.", "ස්ථාවර රජයක් පත්වන තුරු පමණක් තමන් තාවකාලිකව බලයේ සිටින බව ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත.", "2014වසරේ දී තායිලන්තය දේශපාලන වශයෙන් අස්ථාවර විය.", "එහිදී එරට හමුදාව විසින් බලය අල්ලාගත් අතර හමුදාපතිධුරය හෙබවූ Prayuth Chan-ocha අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.", "අනතුරුව 2019 වසරේදී මහ මැතිවරණයක් පැවැත්වූ Prayuth Chan-ocha ඉන් විශිෂ්ට ජන වරමක් හිමිකරගනිමින් යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.", "Prayuth Chan-ocha මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවෙයි." ]