summary
stringlengths 5
1.45k
| text
stringlengths 173
24.8k
|
---|---|
මහමගදී, පොදු ප්‍රවාහන සේවාවලදී සහ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික හිංසනවලට ගොදුරු වෙති. | ශ්‍රී ලංකාවේ කාන්තාවෝ දිනපතාම පාහෙ පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ගොදුරු වෙති දිනපතාම පාහේ එසේ තමන් මුහුණදෙන අමිහිරි අත්දැකීම් යුවතියන් පිරිසක් පසුගියදා බීබීසී සංදේශයට ද හෙළිකළහ. (වීඩියෝව නරඹන්න) මේ තත්වයට වැට බැඳීම පිණිස, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙහෙයවීමෙන් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. විශේෂයෙන්ම රජයේ සහ පෞද්ගලික බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර වැළැක්වීම, මාර්තු අට වැනි දිනට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව දියත් කෙරෙන මේ වැඩපිළිවෙලේ මූලික අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සංදේශයට පැවසීය. "එවැනි සිද්ධීන් සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම්, කාන්තාවන්ට පැළඳීම සඳහා 'සුරබි' නමින් පළඳනාවක්, ඒ වගේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරලා තියෙනවා," ඔහු පැවසීය. "රියදුරන්, කොන්දොස්තරවරුන්, ඒ වගේම සමාජ ක්‍රියාකාරීන්, තමන් වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙන් නැගී සිටීමේ කැමැත්ත ඇති අය මේකට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙනවා" එම වැඩසටහන්වලට පොලිසිය සම්පූර්ණ සහාය ලබාදෙන අතරම අතවරයට ලක්වන කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා නීති ප්‍රකාර ක්‍රියාකිරීමට පොලිසිය බැඳී සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේය. විශේෂයෙන්ම දඬුවම් පැමිණවීමට වඩා කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳව සමාජය දැනුවත් කොට, අතවරයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත්වීමට සමාජය දිරිමත් කිරීම එහි මූලික අරමුණ බවත් පොලිසිය පවසයි. "බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන්, ඒ වගේම සමාජ ක්‍රියාකාරීන්, තමන් වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙන් නැගී සිටීමේ කැමැත්ත ඇති අය මේකට සම්බන්ධ කරගැනීමටත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරීමට සුදුසු ප්‍රවිෂ්ඨ මාර්ග සකස් කරදීමටත් පොලිසිය බලාපොරොත්තු වෙනවා." කාන්තාවක ලිංගික හිරිහැරයකට ලක්වන අවස්තාවක් සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම්දීමට සමාජය දක්වන "පසුගාමී ආකල්පය" වෙනස්කොට සමාජය, පොලිස් නිලධාරීන් මෙන්ම පොදු ප්‍රවාහන සේවාවල සේවකයන් දැනුවත් කිරීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. (බීබීසී සංදේශයට සවන්දෙන්න) |
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අශ්වයෙකු පිට නැගී එරට උස ම කන්ද තරණය කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ. | කිම් ජොන්ග් අන් සුදු අශ්වයෙකු පිට නැගී හිමෙන් වැසුණු 'පෙක්තු' කන්ද තරණය කරන ඡායාරූපයක්. කිම් ජොන්ග් අන් සුදු අශ්වයෙකු පිට නැගී හිමෙන් වැසුණු 'පෙක්තු' කන්ද තරණය කරන ඡායාරූප පෙළක් උතුරු කොරියානු KCNA පුවත් සේවය වාර්තා කර තිබිණි. උතුරු කොරියානු නායකයා මීටර 2750ක් උසැති මෙම කන්ද තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. බරපතළ නිවේදනයක් සිදු කිරීමට සූදානම් වන විට ඔහු මෙවැනි ක්‍රියාවල නිරත වන බව විශ්ලේෂකයෝ පවසති. කිම් ජොන්ග් අන්ගේ පියාගේ උපන් ස්ථානය ලෙස ද සැලකෙන මෙම කඳු ප්‍රදේශය එරට සුවිශේෂී ස්ථානයක් ලෙස හැඳින්වේ. "ඔහු අශ්වයෙකු පිට නැගී පෙක්තු කන්ද නැගීමේ ක්‍රියාව කොරියානු විප්ලවයේ ඉතිහාසයට දැඩි වැදගත්කමක් ලබා දෙනවා" යැයි KCNA පුවත් සේවය බදාදා (ඔක්තෝබර් 16) වාර්තා කර තිබුණි. "කන්ද සේ නොසැලී ඉතා භක්තියෙන් මේ වඩාත් බලවත් රට ගොඩනැගීම සඳහා ඔහු කළ දැඩි අරගලය ගැන මෙනෙහි කරමින් අශ්වයෙකු පිට හිඳ පෙක්තු කන්ද තරණය කර තිබෙනවා." දකුණු කොරියාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳ ඇඟවීමට සති කීපයකට පෙර 2017 වර්ෂයේ ද ඔහු මෙම කන්ද තරණය කළේය. මේ තොරතුරුද කියවන්න: අවධානය දිනා ගැනීමේ රංගනයක් ද? සෝල් නගරයේ බීබීසී වාර්තාකාරිනී ලෝරා බිකර්ගේ විශ්ලේෂණයකි. ප්‍රථමයෙන් අපි මෙම ඡායාරූප ගැන අවධානය යොමු කරමු. කොරියානු අර්ධද්වීපයේ තිබෙන වඩාත් ගෞරවනීය ස්ථානයක හිම අතරින් අශ්වයෙකු පිට නැගී යෑම සැබවින්ම නායකත්වයේ බල මහිම පෙන්වන දර්ශනයකි. පෙක්තු කන්ද හා සම්බන්ධ කිම් ජොන්ග් අන්ගේ පවුලේ බලය සහ ශක්තිය පෙන්වීමේ උත්සහයක් ලෙස ද මෙය දැකිය හැකිය. නමුත් උතුරු කොරියානු වැසියන්ට සිය නායකයාගේ බලය මෙන්ම අශ්වයන් පිට යෑමට ඇති හැකියාව ගැන තේරුම් ගැනීමට අපහසු නොවේ. කෙසේනමුත්, එරට මාධ්‍යවල සඳහන් වන කරුණුවලින් අපට යම් දෙයක් අවබෝධ කරගත හැකිය. මේ අතරින් විශේෂ අවධානයක් යොමු වන්නේ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපියක අවසාන වාක්‍යයටය. "ලෝකය පුදුම කරවන ආකාරයේ බලවත් ක්‍රියාන්විතයක නියැලෙන්න නියමිත" බව කිම් ජොන්ග් අන් සමග සිටින නිලධාරීන්ට ඒත්තු ගොස් ඇතැයි එහි සඳහන් වී තිබිණි. මින් පෙර කිම් ජොන්ග් අන් පෙක්තු කන්ද ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු අතිශය වැදගත් තීරණවලට එළඹ තිබේ. දිගු දුර මිසයිල සහ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලින් ඉවත් වීමට දුන් පොරොන්දුව ගැන කිම් ජොන් අන් නැවත සිතා බැලීමට මෙවර ඔහු සැරසෙන්නේ යැයි අනුමාන කෙරේ. එක්සත් ජනපදය සමග පැවති සාකච්ඡා මේ වන විට අඩාල වී ඇති අතර, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩි අවධානය සිය රටෙහි පවතින ගැටලුවලට යොමු වී ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය දිනා ගැනීමට කිම් ජොන්ග් අන් මෙම කන්දේ සිසිල් වාතය යොදා ගන්නවා ද විය හැකිය. න්‍යෂ්ටිකහරණය පිළිබඳ එකඟතාවකට එළඹීමට උතුරු කොරියාව ඇමරිකාවට මෙම වසර අවසානය තෙක් කාලය ලබා දී තිබේ. කිම්ගේ න්‍යෂ්ටික අත්හදාබැලීම් වැඩසටහන් නැවත්වීමට නම් උතුරු කොරියාවට එරෙහිව පවතින සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලීම් ගණනාවක් සිදු කර තිබේ. නමුත් මේ වනතෙක් ඔහුට ඇමරිකාව ඒ සඳහා පොළඹවාගැනීමට නොහැකි වී තිබේ. තවත් අවි අත්හදාබැලීම් කිහිපයක් සිදු කර බලපෑම් එල්ල කරන්න ඔහු සිතා සිටිනවා විය හැකිද? නැතහොත් උතුරු කොරියානු නායකයා ශීත සෘතුවේ පළමු හිම පතනය විඳිනවා වන්නට පුළුවන් ද? ඉදිරි මාස කීපයේ දී නිවැරදි තොරතුරක් දැනගන්නට ලැබෙන බව මම විශ්වාස කරමි. 2017 වසරේ දී පෙක්තු කන්ද තරණය කළ කිම් ජෝන්ග් අන් තවත් තොරතුරු: |
කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළහොත් ක්‍රීඩිකාවන්ට ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට හැකි බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු පවසයි. | එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානයේ දී අසාර්ථක වුවත් ලෝක කාන්තා ක්‍රිකට් වාර්තා කිහිපයක් බිඳ දමමින් චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 178 ප්‍රබල අවධානයට පත්විය. පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් වූ අතර, ඒ සමග කාන්තා එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පත්විය. එයට අමතරව සිය කණ්ඩායම රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයට හිමිකම් කියන ක්‍රීඩිකාව වීමේ ලෝක වාර්තාව ද ඇයට හිමි විය. "ඇත්තටම පෙර පුහුණුවීම් හින්දා තමා මට මේවගේ ඉනිමකට යන්න ලැබුණේ. ගොඩක් සතුටුයි ඒ ගැන. හොඳ ප්‍රතිචාර ලැබුණා ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් හා විචාරකයන්ගෙන්," යනුවෙන් කොළඹ දී බීබීසී සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඇය කියා සිටියාය. 'හොඳම එක් දින ඉනිම' 'සංගාගෙන් ආරම්භ වී ජයසූරියගෙන් අවසන් කළ ඉනිම' ගැන චමරි තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දැන් සිය රට පැමිණ සිටී. චමරි අතපත්තු නොදැවී රැස් කළ ලකුණු 178, ලෝකයේ අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙන ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. "ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවොත් ලොකු ප්‍රසාදයක් දැක්වුවා. ඔවුන් බලාපොරොත්තු වුනේ නැහැ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මෙහෙම ඉනිමක් ක්‍රීඩා කරාවි කියලා." චමරිගෙන් පසුව වැඩිම ලකුණු ලබා ගත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා තරග වැදී තිබෙන්නේ එතරම් දක්ෂ කණ්ඩායම් නොවන ඩෙන්මාර්කයට සහ අයර්ලන්තයට එරෙහිවය. එබැවින් චමරි අතපත්තුගේ ඉනිම ලෝකයේ හොඳම කාන්තා එක් දින ඉනිම ලෙස හැදින්විය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති. සංගක්කාර සහ ජයසූරිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ඉනිම අවසන් කළ පසු එම ඉනිම ගැන අදහස් දක්වමින් චමරි අතපත්තු පවසා තිබුණේ කුමාර් සංගක්කාර මෙන් ආරම්භ කර සනත් ජයසූරිය මෙන් සිය ඉනිම අවසන් කළ බවය. "මුල් කඩුලු බිඳ වැටුණු නිසා මුලින් සංයමයකින් ක්‍රීඩා කළා. පන්දුවාර 35 න් පස්සේ තමයි හයියෙන් පහරවලට ගියේ. ඒ ඉනිම ගොඩනගපු ආකරය ගැනයි මම එහෙම කිව්වේ," ඇය බීබීසී යට විස්තර කළාය. චමරි අතපත්තු එසේ විශිෂ්ට දස්කම් දැක්වුවත් ජගත් කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 7න් ජයගැනීමට හැකිවූයේ පාකිස්ථානය සමග පැවති තරගය පමණය. "අපේ අඩුපාඩු ගොඩක් තිබුණා. අවසන් තරග කිහිපයේදී මටත් ලකුණු අතරට එන්න බැරිවුණා. ඒ අඩුපාඩු මගහැරගෙන ඉදිරි තරගාවලි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා." පාසල් ශිෂ්‍යාවන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළ චමරි අතපත්තු, කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළහොත් ක්‍රීඩිකාවන්ට ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට හැකි බව අවධාරණය කළාය. |
හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් හමුදාව හෝ හමුදාවේ බුද්ධි අංශ කඩා නොවැටෙන බව හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි. | අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එසේ අදහස් දැක්වූයේ හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනි. ජනාධිපතිවරයා මෙන්ම හමුදාවේ සියළු සාමාජිකයන්ද රටේ නීතියට යටත් බව පැවසූ අමාත්‍ය සරත් ෆොන්සේකා, එයට පිටුපෑමට කිසිවෙකුටත් නොහැකි බව ද පෙන්වා දුන්නේය. හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ යම් වරදක් ඇත්නම් ඔවුන් මුලින්ම ත්‍රිවිධ හමුදා පරීක්ෂණ මණ්ඩලයකට යොමුකළ යුතු බවට අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශයට පිළිතුරු දුන් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නොමැති බවයි. "රටේ නීතියට මුහුණ දෙන්න ඉස්සෙල්ලා මෙයා අතනින් සුද්ද වෙන්න ඕනේ කියලා ක්‍රමයක් නැහැ." මෙම අත්අඩංගුවට ගැනීම් හමුවේ හමුදා බුද්ධි අංශ විනාශවන බවට රතන හිමියන් ප්‍රකාශ කර ඇත්නම් එය "වෙනත් යම් කිසි න්‍යාය පත්‍රයක් ඔලුවේ තියාගෙන" කළ ප්‍රකාශයක් බව අමාත්‍යවරයාගේ අදහසය. මාධ්‍යවේදීන්ට පහරදුන් බවට චෝදනා එල්ල වන්නේ ඔහු හමුදාපති ධුරය හෙබැවූ සමයේ සේවයේ යෙදී සිටි බුද්ධි අංශ සාමාජිකයන්ට බැවින් එහි යම් වගකීමක් භාරගත යුතු නේදැයි විමසූ විට අමාත්‍ය ෆොන්සේකා සඳහන් කළේ, හමුදා සාමාජිකයන් ලක්ෂ දෙකක් කරන සියළු දේට හමුදාපතිවරයාට වගකිව නොහැකි බවයි. තමා හමුදාපති ධුරය දැරූ අවස්ථාවේ කොළඹ බුද්ධි මෙහෙයුම් සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. |
මෙවර අයවැයෙන් වැටුප් වැඩි වීමක් සිදු වෙනු ඇතැ’ යි ජනතාව බලාපොරොත්තු නො වූ බව ආර්ථික සංවර්ධන කටයුතු භාර අමාත්‍යවරයා පවසයි. | කොළඹ පැවති වැටුප් උද්ඝෝෂණයක් ඉදිරි වසර සඳහා අයවැය පාර්ලිමේන්තුව හමුවට ගෙන එමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ සේවකයන් සඳහා රුපියල් 1200 ක ජීවන වියදම් දීමනාවක් යෝජනා කළේය. රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඉල්ලා සිටියේ අඩු ම වශයෙන් මසකට රුපියල් 5000 ක පඩි වැඩි වීමක් සහ වැඩි වන ජීවන අංකයක් පාසා දීමනාවක්. වැඩ කරන ජනතාව ඉල්ලා සිටි ආකාරයෙන් ලබන වසරේ වැටුප් ඉහළ යාමක් සිදු නො වන්නේ ඇයි දැයි විමසු බීබීසී යේ අසාම් අමීන්ට බැසිල් රාජපක්ෂ අමාත්‍ය වරයා පැවසුවේ තමන් පවා මෙවර වැඩි වීම බලාපොරොත්තු නොවූ බවයි. වැඩිම මුදල් ප්‍රතිපාදනය රුපියල් කෝටි 1700 ක් වන ප්‍රතිපාදනය අයවැයෙන් ලබන අවුරුද්ද සඳහා වෙන් කර ඇති වැඩිම මුදල බවයි ආර්ථික සංවර්ධන කටයුතු භාර අමාත්‍යවරයා පවසන්නේ. එහෙත්, එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ජනතා අපේක්ෂා කඩ කොට ඇති රජය මෙවර අයවැයෙන් ජීවන බර තවත් වැඩි කොට තිබෙන බවයි. ‘ජනතාව බලාපොරොත්තු වූ දේ ජනතාවට ලබා දීමට ආණ්ඩුව අපොහොසත් ව ඇති බව’ එජාප මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. රුපියල් 1200 ක ජීවන වියදම් දීමනාව වැටුප් වැඩි වීමක් නොවන බව පවසන එජාප මන්ත්‍රීවරයා ජනමාධ්‍යවේදීන් අමතා කියා සිටියේ ආහාර සඳහා බදු වැඩි කිරීම මගින් රජය ජීවන බර වැඩි කොට ඇති බවයි. |
චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ. | සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය ආසන්නයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති 'ලෙෂන්' බුදු පිළිමයේ උස මීටර 71 කි. ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී පමණ නිමවන ලද්දකි. පිළිමය දිය පහරට ඉහළින් පිහිටා ඇතත් එම ප්‍රදේශය1940 ගණන්වලින් පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දී තිබේ. ඒ හේතුවෙන් 100,000 ට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබිණි. බුද්ධ ප්‍රතිමාව විශාල ආකර්ෂණයක් දිනා ගෙන ඇති අතර අසල පිහිටි 'යැන්ග්ට්සේ' නදිය සහ 'ත්‍රී ගෝර්ජස්' වේල්ල අවට බෝට්ටු සවාරි ද සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබේ. ජල මට්ටම ඉහළ යාමත් සමග ප්‍රතිමාව පිහිටි භූමියේ සිටි සංචාරකයන් 180 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගිය බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. පසුගිය පෙබරවාරි මස ගනු ලැබූ මෙම ඡායාරූපයේ දක්නට ඇති පරිදී බුදු පිළිමය ජල මට්ටමට ඉහළින් පිහිටා තිබේ බුදු රුව අභියස හිඳ ආශීර්වාද ලබා ගැනීම සඳහා සංචාරකයෝ සහ වන්දනාකරුවෝ බෝට්ටු ඔස්සේ එහි පැමිණෙති ප්‍රමාණයෙන් මිනිසෙකුට වඩා විශාල බුදු රුවේ පා ඇඟිලි අවසන් වරට ජලයෙන් යට වී ඇත්තේ 1949 වසරේදීය නමුත් පසුගිය සතියේදී බුදු පිළිමයේ පදනම දක්වා ජල මට්ටම ඉහළ ගිය අතර එය තවදුරටත් වර්ධනය විය බුදු පිළිමයේ පා ඇඟිලි ගං දියෙන් තෙමෙන්නේ නම් මිලියන 16 කට නිවහන වූ චෙන්ග්ඩු ප්‍රදේශයත් ජලයෙන් යටවන බවට එහි ජනයා අතර විශ්වාසයක් පවතින්නේ යයි 'ෂීන්හුවා' රජයේ පුවත් ඒජන්සිය වාර්තා කර තිබිණි. සති ගණනාවක් පැවති ධාරානිපාත වැසි හමුවේ ජල මට්ටම වාර්තා ගත ලෙස ඉහළ යාමත් සමග සිචුආන් පළාත හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති ඉහළම මට්ටම ක්‍රියාත්මක කර ඇත. වැසි නවතින බවක් ද දක්නට නොමැත. අනතුරුදායක ප්‍රදේශවලින් ජනයා ඉවත් කරවා ගැනීම සඳහා බේරා ගැනීමේ කණ්ඩායම් යොදවනු ලැබ තිබේ චොන්ග්කුයින්ග් නගරය වෙත මෙවර ග්‍රීෂ්ම සෘතුවේ අවස්ථා කිහිපයකදීම ගංවතුරෙන් බලපෑම් එල්ල විය 'යැන්ග්ට්සේ', 'යෙලෝ' (කහ නදිය - හොවන්ග් හෝ නදිය),'හායි', 'සොන්ගුවා' සහ 'ලයාඕ' යන ගංගා අවට පිහිටි පළාත් වෙත නාය යාම් ඇතුළු අනතුරු පිළිබඳ දැනුවත් කර තිබේ. 'යැන්ග්ට්සේ' නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියක් වන 'ත්‍රී ගෝර්ජස්' වේල්ල ඉහළ කොටසට ජලය විශාල වශයෙන් එක්රැස් වෙමින් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇත. ඒ හේතුවෙන් ප්‍රධාන නගරයක් වන චොන්ග්කුයින්ග් ඇතුළු වේල්ලට ඉහළින් ඇති ප්‍රදේශ ජලයෙන් යටවීමට ඉඩ ඇති බවට ජල සම්පත් අමාත්‍යංශය අනතුරු අඟවා තිබේ. මේ ගැනත් කියවන්න: |
පියාසර කරමින් තිබුණ ගුවන් යානයක් මීයකු නිසා ආපසු හැරවීමට සිදු වීමක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. | එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානය මුම්බායි නගරයේ සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබෙන අතරවාරයේ එහි සිටි මගියෙක් තමා ගුවන් යානය තුළ මීයකු සිටින බවට පැමිණිලි කිරීමෙන් පසුවයි එම පියවර ගෙන තිබෙන්නේ. ආපසු ගොඩ බෑ ගුවන් යානයේ සැඟවී සිටින මීයා මූෂික නාෂක වායුවක් යොදා ගනිමින් විනාශ කරන බවයි එයාර් ඉන්දියා ගුවන් සමාගම ප්‍රකාශ කළේ. කෙසේ වුවද,සිය යානය තුළ මීයකු සිටි බව ස්ථිරවම තහවුරු වී නොමැති බවයි ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් කියා සිටියේ. ගුවන් යානා වලට ආහාර සපයන මාර්ග සහ වෙනත් සැපයුම් මාර්ග ඔස්සේ මීයන් ඇතැම් විට යානා තුලට ඇතුල් වෙන බව වාර්තා වී ඇත. එසේ ඇතුල් වෙන මීයෙක් ගුවන් යානයක විදුලි රැහැන්(Wire) සපා කෑමක් සිදු කළොත් එය ඉතාම බරපතළ අනතුරුදායක විය හැකි බවත් පැවසෙයි. |
කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්වී ඇති ප්‍රාන්ත අතර වේ. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයයි. | සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය සියල්ල නිසි පාලනයේ පවතින බව ඉන්දීය බලධාරීන් අවධාරණය කරන නමුත් ජනතාව කොවිඩ් 19 දෙවැනි රැල්ලට හසුවී අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වී සිටින බව බීබීසී වර්තාකාරිනි ගීතා පාන්ඩේ පවසන්නීය. කන්වාල් ජීත් ගේ පියාට කොවිඩ් 19 වැළඳුනි. ඔහු 58 හැවිරිදි නිරන්ජන් පාල් සිං ය. ඔහු රෝහලකට ගෙනයාම සඳහා ගිලන් රථයක ආධාරය ලැබිණ. ළඟම ඇති රෝහලට ගෙන ගිය විට එහි ඇඳන් නොමැති බව පැවසීය. එබැවින් තවත් රෝහලක් බලා ගිලන් රථය ධාවනය විය. මෙසේ රෝහල් හතරකට ගිය නමුත් ඒ එකම රෝහලකවත් ඔහුට ඉඩක් නොමැති විය. අවාසනාවක මහත; කන්වාල් ජීත් ගේ පියා ගිලන් රථය තුළම මිය ගියේය. ඔහු ගේ නිවස පිහිටියේ කාන්පූර් නගරයේ ය. නිවසේ සිට දුරකතනයෙන් කතා කරමින් ඔහු කියා සිටියේ එය තම "හදවත කඩා හැලුණු දිනයක්" වූ බවය. "වෙලාවට ප්‍රතිකාර ලැබුණානම් තාත්තා අදත් ජීවත් වෙනවා. ඒත් අපට පිහිට වන්න කවුරුවත් හිටියේ නැහැ. සෞඛ්‍ය බලධාරීන්, පොලිසිය, ආණ්ඩුව... මේ කිසි කෙනෙකුගෙන් පිහිට ලැබුණේ නැහැ." ඔහු පැවසීය. ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති. කොරෝනා පළමු රැල්ලේදී බොහෝ ප්‍රාන්ත දැඩි පීඩාවකට ලක්වෙමින් තිබියදී උත්තර් ප්‍රදේශ් හි තත්ත්වය එතරම් ම අයහපත් නොවීය. එවක ආසාදිතයන් 851,620ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වුව ද මරණයට පත්වූයේ 9830 දෙනෙකු පමණි. නමුත් දෙවැනි රැල්ල මෙම ප්‍රාන්තය යටකරගෙන ගලා ගියේය. බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනයේ පවතින බවකි. නමුත් බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ හද සසල කරවන දසුන් ය. කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ජනයාගෙන් උතුරා ගොස් ය. රෝහල් කරා පැමිණෙන රෝගීන් අතෝරක් නොමැතිව ආපසු හරවා යවති. ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති. ජාතික පුවත්වලට ශීර්ෂ පාඨ සැපයෙන්නේ මෙම ප්‍රාන්තයේ ප්‍රධාන නගර වන ලක්නව්, වරනාසි (පුරාණ බරණැස), කාන්පූර් සහ අලහබාද් යන නගරවල පවතින මෙම තත්ත්වය යි. උත්තර් ප්‍රදේශ්, ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රාන්තය යි. එහි මිනිසුන් මිලියන 240ක් වසති. එය ඉන්දීය සමස්ත ජනගහනයෙන් හයෙන් පංගුවකි. මෙම ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් වූවානම්, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත පස්වැනි රට බවට ලැයිස්තුගත වනු ඇත. මෙය දෙවැනි වන්නේ චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවට පමණි. කෙසේ නමුත් මෙය පකිස්තානයට සහ බ්‍රසීලයට වඩා විශාල ය. ඉන්දීය දේශපාලනය පැත්තෙන් ගත්තත් මෙම ප්‍රාන්තය ඉතා වැදගත් ය. ඉන්දීය පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් යැවෙන්නේ මෙම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 80කි. අගමැති නරේන්ද්‍ර මෝදි ද තරග වැදුනේ මෙම ප්‍රාන්තයෙනි. මෙම දේශපාලන ශක්තියෙන් ප්‍රාන්තයට ලැබී ඇත්තේ අල්ප සංවර්ධනයකි. මේ වන විට මෙම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයන් 191,000ක් සිටිති. ඊට අමතරව දහස් ගණනක් අලුත් ආසාදිතයන් දිනපතා වාර්තා වෙමින් පවතී. නමුත් සත්‍ය ගණන් මිනුම් මීට වඩා ඉතා ඉහළ බව විශ්වාස කෙරේ. මෙවැනි තත්ත්වයක් යටතේ කඩා වැටීමට ආසන්න වෙමින් පවතින ප්‍රාන්තය සතු සෞඛ්‍ය සේවය කාගේත් අවධානයට ලක්වී තිබේ. රෝගාතුර වූවන් අතර ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ද සිටී. එපමණක් නොව, ඔහුගේ කැබිනට් ඇමතිවරුන් කීපදෙනෙකු, රජයේ නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම සිය ගණනක් වෛද්‍යවරුන් සහ හෙද සේවක සේවිකාවන් මේ වන විට රෝගාතුර ය. පසුගිය දින කීපය තුළ ජනතාවගෙන් අසන්නට ලැබුනේ ඉතා සංවේදී කතාන්තර ය. උත්තර් ප්‍රදේශ් හි මාධ්‍යවේදියෙකු හුවමාරුකරගෙන තිබූ වීඩියෝවක දැක්වෙන්නේ රජයේ රෝහලක රථගාල මත වැතිරී සිටින මිනිසෙකි. ඊට අඩි කීපයක් ඔබ්බෙන් මහළු මිනිසෙකු බැංකුවක වාඩි ලා සිටින ආකාරය දැක්වේ. මේ දෙදෙනාටම කොවිඩ් වැළඳී තිබේ. නමුත් රෝහල තුළ ඔවුනට ඉඩක් නොමැත. තවත් රජයේ රෝහලක් ඉදිරිපිට කාන්තාවක් වැලපෙමින් සිටින්නීය. ඇයගේ මව රෝගාතුර ය. රෝහල් දෙකකින් ඇය ප්‍රතික්ෂේප වී තිබේ. "ඒගොල්ලෝ කියන්නේ ඉස්පිරිතාලේ ඇඳන් නැහැ කියල. ඇඳක් නැත්නම් බිම හරි තියාගන්න බැරිද? මොකක් හරි බෙහෙතක් දෙන්න බැරිද? මගේ අම්මව විතරක් නෙවෙයි, තව ගොඩාක් අයව මේ විදියට හරවල යවනව මම දැක්ක." ඇය හැඬු කඳුලින් පැවසුවාය. "මහ ඇමති කියනවා ඇති වෙන්න ඇඳන් තියෙනව කියල. කරුණාකරලා මට පෙන්වන්න ඒ ඇඳන් කොහෙද තියෙන්නේ කියල. කරුණාකරලා මගේ අම්මට ප්‍රතිකාරයක් දෙන්න." ඇය ඉකි ගසමින් තෙපලන්නීය. 'කවුරුවත් ආවෙ නැහැ' ලක්නව්, ප්‍රාන්තයේ අග නුවරයි. එහි තත්ත්වය ද ඉතා දරුණුය. සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය. ඔහුගේ පවුලේ ඥාතින් රෝහලෙන් රෝහලට මෝටර් රථය ධාවනය කරමින් සිටියේ ප්‍රතිකාරයක් බලාපොරොත්තුවෙනි. රෝහලක ඉඩක් ලැබෙන විට ප්‍රමාද වී වැඩිය. සුෂිල් ගේ පුත්‍රයා වන අශිෂ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවිය. ඔහු පැවසුවේ තමන් දැඩි හිතේ වේදනාවකින් පසුවන බවය. "ඔබ දන්නවනේ මොනවද වෙලා තියෙන්නේ කියල. මට මේ වෙලාවේ කතා කරගන්නවත් බැහැ." ඔහුගේ හඬ බිඳෙන්නට විය. මේ තවත් සිද්ධියකි. රමේෂ් චන්ද්‍රා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙකි. ඔහුගේ අත්අකුරින් ලියැවුණු කුඩා සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම සටහනෙන් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මිය ගිය තම බිරිඳගේ දේහය නිවසින් පිටතට රැගෙන යාමට තමන්ට උදව් කරන ලෙසය. "මටයි මගේ බිරිඳටයි කොරෝනා වැළඳුනා. ඊයේ උදේ ඉඳල මම රජයේ සහන අංකයට පනස් වතාවක් විතර කතා කරලා කිව්වත් බෙහෙත් ටිකක් දෙන්න කවුරුවත් ආවේ නැහැ. රෝහලකට ගෙනියන්න ආවෙත් නැහැ." "පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් මගේ බිරිඳ අද උදේ මිය ගියාය." ඔහුගේ අත් අකුරින් ලියවුණු කෙටි සටහනේ කුරුටු ගා තිබුණි. වරනාසි නුවර වෙසෙන විමල් කපූර් ගේ මව නිර්මලා රෝගාතුර වුවාය. ඇයට රෝහලක ඉඩ ලැබුණු නමුත් 70 හැවිරිදි නිර්මලා පසුගියදා රෝහලේ දී මිය ගියාය. රෝහලේ තත්ත්වය ගැන නිර්මලාගේ පුත් විමල් විස්තර කළේ මෙසේය. "මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ ." තමන්ගේ මවගේ දේහය ආදාහනාගාරයට රැගෙන ගිය විට එහි "මළ සිරුරු කන්දක්" තිබෙන අයුරු දුටු බව විමල් පැවසීය. සෑයට අවැසි දර මිටියක මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ආදාහනය සඳහා පැය පහක් හයක් පමණ පෝලිමේ බලා සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. "මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නැහැ. බලන අත පේන්නේ මල සිරුරු සහ ගිලන් රථ." |
පසුගියදා ඇති වූ ගංවතුරත් සමග මීතොටමුල්ල කුණු කන්ද අවට වෙසෙන ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබියදීත් තවදුරටත් කුණු කන්දට අපද්‍රව්‍ය එක් කෙරෙමින් පවතින බව වාර්තා වේ. | කොළඹ සහ කැළණි ගඟ ආශ්‍රිත ගංවතුරට හසු වූ ප්‍රදේශවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සියල්ල මේ වන විටත් මීතොටමුල්ලට රැගෙන එන බව මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසයි. අධික වර්ෂාව හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර එම ප්‍රදේශවල ජලය බැස යෑම සඳහා සතියකට ආසන්න කාලයක් ගත විය. එසේ ගංවතුරට මුහුණ දුන් මීතොටමුල්ල කුණු කන්ද අවට වෙසෙන ජනතාව විපතට පත් වූ වෙනත් ප්‍රදේශවල දක්නට නොමැති ව්‍යසනයකට මුහුණ පා සිටිති. කුණු කන්දේ තිබූ අපද්‍රව්‍ය වැස්ස සමඟ සේදී ගොස් අවට ප්‍රදේශයේ රැඳී තිබීම ඊට හේතුවයි. 'කුණු කන්ද සේදිලා ආපු වතුර තමයි පහළ ගෙවල්වල තියෙන්නේ. කලුම කලු තාරවලට හුරු වතුරක් තිබෙන්නේ.' මීතොටමුල්ල කුණු කන්ද අවට පමණක් නිවාස දහසක් පමණ පිහිටා ඇති බවයි මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල බීබීසී සංදේශයට කියා සිටියේ. 'මිනිස්සු කටකතාවට කියනවා, කුණු කන්ද මේ දවස් වල සුදු වෙලා කියලා. කුණු කන්ද සේදිලා ආපු වතුර තමයි පහළ ගෙවල්වල තියෙන්නේ. කලුම කලු තාරවලට හුරු වතුරක් තිබෙන්නේ.' ඔහු සඳහන් කළේය. මීතොටමුල්ලේ කුණු දැමීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව විසින් දෙදහස් අට වසරේ සිට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කොට ඇති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසයි. 'සියයට හැටකට රෝග' කුණු කන්දට එරෙහිව ජාතික ව්‍යාපාරය සහ ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ එය පුත්තලම ප්‍රදේශයට ගෙන යන බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවුණි. තම අදහස අනුව කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙන යන බවට පළ කෙරෙන ප්‍රකාශන 'හුදෙක් මැතිවරණ පොරොන්දුවකට සමාන වූවක්' බවයි කසුන් පුස්සෙවෙල කියා සිටියේ. සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයක් විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව මීතොටමුල්ල අවට ප්‍රදේශයේ ජනතාවගෙන් සියයට හැටක් පමණ චර්ම රෝගයකින් හෝ ශ්වසන රෝගයකින් පෙළෙන බව හෙළි වී ඇති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පැවසීය. 'ඒ මිනිස්සු පාරට බැහැලා ජල ප්‍රහාර මැද පොලිස්සිය, හමුදාවෙන් ගුටි කමින් දැනට අවුරුදු දෙකකට කලින් බරපතළ උද්ඝෝෂණයක යෙදුනා.' එවැනි තත්වයක් යටතේ සිය දරුවන් සහ දිවි ගෙවන මීතොටමුල්ලේ ජනතාව එහි කුණු දැමීමට එරෙහිව අවස්ථා කීපයකදී වීදි බවට බවත් ඔහු සිහිපත් කළේය. 'ඒ මිනිස්සු පාරට බැහැලා ජල ප්‍රහාර මැද පොලිස්සිය, හමුදාවෙන් ගුටි කමින් දැනට අවුරුදු දෙකකට කලින් බරපතළ උද්ඝෝෂණයක යෙදුනා.' ගන්වතුරත් සමග කුණු කන්ද දියවීමෙන් ඇති වී තිබෙන දුෂ්කරතා අවම කිරීමට නිසි වැඩපිළිවලක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වැඩිදුරටත් පැවසීය. |
මොනරාගල, බිබිල ඡන්ද බල ප්‍රදේශයේ එක් රැයක් තුළ විපක්ෂයේ පක්ෂ කාර්යාල 18 කට ප්‍රහාර එල්ල වීමත් සමගම ප්‍රදේශයේ ඡන්දදායකයන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් දැඩි ලෙස බියට පත් වී සිටින බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් උදෙසා වූ කැෆේ සංවිධානය පවසයි. | ඉරිදා රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාර මාලාවට එජාපයේ කාර්යාල 13 ක්, ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල 4 ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලයක් ගොදුරු වී ඇති බවයි කැෆේ සංවිධානය වාර්තා කරන්නේ. මේ අතරතුර බිබිල මොනරාගල පාරේ පිහිටි කණුල්වල එජාප කාර්යාලය පවත්වා ගෙන ගිය මොහොමඩ් නසීර්ගේ නිවසට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් ‘නැවත පක්ෂ කාර්යාල පිහිටුවන්නේ නම්’ මරා දමන බවට තර්ජනය කළ බව ද වාර්තා විය. 'පැය හයක් තුළ' අලුයම ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව පැය හයකට වැඩි කාලයක් තුළ සිදු වී ඇති අතර ප්‍රහාරය එල්ල කළ පිරිස බිබිල පොලිස් බල ප්‍රදේශයේ නිදහසේ සැරි සරමින් මෙම ප්‍රහාර මාලාව දියත් කොට ඇති බව ද කැෆේ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය. මේ පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් අනවසරයෙන් තැන් තැන්වල සැරසිලි කර කාර්යාල පවත්වා ගෙන යාම අනුමත කළ නොහැකි බවයි. ඉරිදා දිනය මෙවර මැතිවරණයේ මෙතෙක් වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ දිනය වූ අතර මොනරාගල, බිබිල ඡන්ද බල ප්‍රදේශයෙන් පමණක් පැමිණිලි 18 ක් වාර්තා වී තිබේ. උද්ඝෝෂණ මේ අතරතුර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොටුව දුම්රිය පළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි. පක්ෂ නායක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේ අරමුණු පැහැදිලි කරමින් බීබීසීයට කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ පවතින රාජ්‍ය බලපෑම් ඉදිරියේ පොලිසිය සහ මැතිවරණ කොමසාරිස්වරයා අසරණ වී ඇති බවයි. පවතින චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. |
පියාගේ අභාවයෙන් පසු මව සහ සහෝදරයන් දෙදෙනාගෙන් යුතු මුළු පවුලේම බර කරට ගෙන ක්‍රියා කරන්නේ සමන්තියි. | සමන්ති රත්නායක තම පවුලේ උදවිය ජීවත් කරවීමට ඇය දෝතට ගත්තේ ස්ත්‍රී දෑතට හුරු පුරුදු ආම්පන්න නම් නොවෙයි. බෙලිඅත්ත අගුල්මඩුව විදුහලෙන් සාමාන්‍ය පෙළ විභාගය තෙක් අධ්‍යාපනය හැදෑරු සමන්ති රත්නායක නම් වූ මේ තරුණිය තමන්ගේම ගරාජයක් පවත්වාගෙන යයි. උසස් අධ්‍යාපනය ලැබීමට වරම් නොලැබුවත් ලොව ජය ගැනීමට සිය සහජ දක්ෂතාවය සහ කැපවීම ඔස්සේ ජීවිතයට මුහුණ දුන් මේ දිරිය කාන්තාව අපේ වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට හමු වුනේ හම්බන්තොට දී. සිය පියාගෙන් ලද ආභාෂයත් සමග මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තය ඉගෙනීමට පෙළඹුණු සමන්ති පසුව සිය ඥාතිකුට අයත් වැඩපොළකින් වැඩි දුර පුහුණුව ලැබුවාය. සාමාන්‍යයෙන් කාන්තාවක් තෝරා නොගන්නා බර වැඩ සහිත මෙම රළු රස්සාවෙන් තමන්ට කිසිදු අපහසුතාවයක් දැනී නැතිදැයි වාර්තාකරු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සමන්ති කියා සිටියේ ගැහැණු පිරිමි භේදයක් නොසලකා තමන් කැපවීමෙන් ව්‍යාපාරය ගෙන යාමට මහන්සි වී වැඩ කරන අතර සිය සේවය ලබා ගැනීමට පැමිණෙන්නන් පවා සිය කාර්යක්ෂම සේවය අගයන බවයි. සමන්තිගේ මව එච් එම් ගුණවතී සමන්තිගේ මව එච් එම් ගුණවතී කියා සිටියේ සමාජයේ පිළිගැනීමට අනුව පුරුෂ පක්ෂයට වෙන් වූ රැකියාවක් වන මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තයේ නියැලෙන සිය දුවට ඇයගෙන් නිබඳ සහයක් ලැබෙන අතර තමන් ඇය පිලිබඳ ආඩම්බරයෙන් පසුවන බවයි. මේ වන විට තිස් අට වියේ පසුවන සමන්ති මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තයට යොමුව ඇත්තේ දහ අට වන වියේ සිටයි. මේ වන විට විදුලි බලයෙන් හෝ ඔක්සිජන් මගින් කෙරෙන ඕනෑම පෑස්සුම් කටයුත්තක් කරන්නත්, යකඩ, වානේ, අලුමීනියම්, පිත්තල වැනි ඕනෑම ලෝහයක් පාස්සන්නත් ඇයට හැකියාව තිබේ. ඉදිරියේදී තවත් තමා වැනි තරුණියන්ට මේ කර්මාන්තය ඉගැන්වෙමටත් සිය ව්‍යාපාරය වැඩි දියුණු කරගෙන සහයට තරුණියන් කිහිප දෙනෙකු රැකියාවට බඳවා ගැනීමටත් සමන්ති බලාපොරොත්තු වෙයි. අධිෂ්ඨානය, උත්සාහය ඇතිව කැපවීමෙන් වැඩ කිරීමට තමන් සුදානම් නම් ගැහැණියෙකුට පරාජය කළ නොහැකි අභියෝගයක් නැති බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ. |
ශ්‍රී ලංකාව පුරා ඇද හැලුණු ධාරානිපාත මෝසම් වර්ෂාවෙන් අනතුරුව හටගත් ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව එකසිය විසිපහ ඉක්මවා ඇත. | පන් ලක්ෂයකට ආසන්න පිරිසක් උන් හිටි තැන් අහිමිව සිටින බව ආණ්ඩුව පවසයි. තවත් සියයකට ආසන්න පිරිසක් අතුරුදහන්ව සිටිති. මීට ඉහත වසරවලදී ද මෝසම් වැස්සෙන් අනතුරුව විශාල පිරිසක් මරුමුවට පත් වූ අතර, ඒ සෑම අවස්ථාවකම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමිවිය. ස්වභාවික සංසිද්ධියක්වන මෝසම් වැස්ස නැවැත්වීමේ හැකියාවක් නැතත්, මෝසම් වැස්සෙන් අනතුරුව මේ ආකාරයෙන් නිරන්තරයෙන් සිදුවන ජීවිත සහ දේපොළ විනාශය වලක්වා ගත නොහැකිද? රත්නපුර ප්‍රදේශයේ නාය ගිය අවස්ථාවක් "අපි හැමදාමත් දියුණු වෙන රටක්," බීබීසී සිංහල සේවය ඒ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ පරිසරවේදිනී ආචාර්ය සුජාතා ගමගේ ගේ ප්‍රතිචාරය වූයේ එයයි. 'ලර්න් ඒෂියා' ආයතනයේ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව වසරක් පාසා මුහුණදෙන මේ ව්‍යසනයට ප්‍රධානම හේතුව අවිධිමත් සංවර්ධනයයි. "ඇත්තටම අපේ රටේ ඉදිරි දැක්මක් ඇතිව ප්‍රත්පතිමය තීන්දු ගැනෙන්නේ නෑ. හරිම කණගාටුයි ඒ ගැන." ගංවතුරට යට වූ ගම්මාන සහන බෙදාදීමට සන්නාහ සන්නද්ධ රථ පරිසරවේදී හේමන්ත විතානගේ සහ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ද ඒ මතය අනුමත කරති. විශේෂයෙන්ම මිහිතලය රත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෝසම් වැසි එන්න එන්නම ආන්තික වෙමින් පවතින බව පවසන ඔවුහු, ඒ සඳහා පෙර සූදානමක් නොමැතිවීම මෙතරම් ජීවිත සහ දේපොළ විනාශයකට ප්‍රධානම හේතුව බවත් පෙන්වා දෙති. "විශේෂයෙන්ම රටේ දැඩි වියලි කාලගුණයක් තිබිල දවස් දෙකක් ඇතුලත මේ වගේ ධාරානිපාත වැස්සක් වැටෙන්නේ මිහිතලය රත්වීම නිසා," පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය. "ඒ නිසා මේ වගේ දෙකට අපි සූදානම් වෙලා ඉන්න ඕන ඒත් අපි සූදානම් නෑ." මිහිතලය රත්වීමේ බලපෑම අඩුකරගැනීම පිණිස ක්‍රියාකරනු වෙනුවට ශ්‍රී ලංකාවේ ජනතාව සහ බලධාරීන් කරනු ලබන්නේත් එය තවත් උග්‍රවන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම බවත් ඔහු සඳහන් කරයි. වැනි කරුණු සියල්ල මෝසම් වැස්සේ බලපෑම උග්‍රවීමට හේතු වී තිබෙන බව පවසන පරිසරවේදියා, එහෙත් පරිසරයට කෙලින්ම බලපාන එවැනි කරුණු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ තීරණ ගැනීමේ බලාධිකාරියක් නොමැති බවත් සඳහන් කළේය. "උදාහරණයක් විදියට අපි ගනිමු දක්ෂිණ අධිවේගී මාර්ගය. දැන් ඒකෙ දොඩන්ගොඩ පිවිසුමත් යටවෙලා. ඒකට හේතුව අධිවේගී මාර්ගය නිර්මාණය කරද්දී ජලය බැස යන්න නිසි ආකාරයට බෝක්කු දැම්මේ නෑ," හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය. "අධිවේගී මාර්ගය කියන්නේ වේල්ලක් නේ? ඉතින් ඒ වේල්ල නිසා කොටු වෙන ජලය ගලා බසින ක්‍රමයක් තියෙන්න ඕන." විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ද එය අනුමත කරයි. "වතුර කියන දේට කොහෙන් හරි ගලන්න ක්‍රමයක් තියෙන්න ඕන," නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය. අගලවත්ත: මෘතදේහ භාරදීම සන්නාහ සන්නද්ධ රථ මගින් එහිදී ගංගාවක් පිටාර ගැලීම යනු සාමාන්‍ය සංසිද්ධියක්වන නමුත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වැසි වතුර ගලා යාමේ නිසි ජලාපවහන පද්ධතියක් නොමැතිවීම මෙහිදී මතුවන බරපතලම ප්‍රශ්නය බවත් ඔහු පෙන්වා දෙයි. "මේ දෙකේ සංකලනයේ ප්‍රතිඵලයක් විදියට තමයි නිවාස සහ මාර්ග යටවෙන්නේ." එබැවින් ශ්‍රී ලංකාවේ මේ සිදුවෙමින් පවතින්නේ ස්වභාවික ව්‍යසන නොව මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ව්‍යසන (Man-made disasters) බව නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය. මිහිතලය රත්වීමට දායකවීම පිළිබඳව රටක පුරවැසියන්ද වගකීම භාරගත යුතු වුවත්, ජීවත්වීමේ අරගලයක නිරතව සිටින සාමාන්‍ය වැසියන්ට මේ සම්බන්ධයෙන් දොස් පැවරීම නිවැරදි නොවන බව ආචාර්ය සුජාතා ගමගේ ගේ අදහසය. නිසි සැලසුමකින් තොර ඉදිකිරීම් පරිසයට හානිකර බව පරිසරවේදීහු පෙන්වාදෙති "වෙන රටක නම් මේ වගේ තැන්වල ගෙවල් හදන්න දෙන්නේ නෑ. එහෙම නැත්නම් හොඳ රක්ෂණ ක්‍රමයක් තියෙනවා," ඇය පවසන්නීය. දේශගුණික විපර්යාස සහ මිහිතලය රත්වීමේ ප්‍රතිවිපාක පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව, විධිමත් සැලැස්මක් ප්‍රකාර රටක දෛනික කටයුතු මෙන්ම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාවට නැගෙන්නේ නම් මෙවැනි ස්වභාවික ආපදාවලින් සිදුවන ජීවිත සහ දේපොළ හානි අවම කරගත හැකි බව ඔවුන් තිදෙනාගේම අදහසය. |
පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ තරඟ ඉසව්වේ රිදී පදක්කම දිනාගන්නට ඉන්දික දිසානායක සමත් විය. | පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවෙනි දිනය වන අද (අප්‍රේල් 6) පැවැති බර ඉසිලීමේ තරඟයේ රන් පදක්කම වේල්සයේ ගැරිත් එවන්ස් හා ලෝකඩ පදක්කම ඉන්දියාවේ දීපක් ලතීර් දිනාගත්හ. ඉන්දික ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 කි ඉන්දික විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 ක් වන අතර ඔහුට රන් පදක්කම අහිමි වූයේ කිලෝ ග්‍රෑම් 2 ක අඩුවකිනි. මේ වන විට ශ්‍රී ලංකාව දිනා ඇති මුළු පදක්කම් ගණන තුනකි. ඊයේ (අප්‍රේල් 5) දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය විසි එක්වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්' නගරයේය. විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්' නගරයේය. එහි සමාරම්භක උළෙල බදාදා ( අප්‍රියෙල් 04) මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි. රටවල් හැත්තෑ එකක් මෙම විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන අතර ඊට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 6500 ඉක්මවයි. ක්‍රීඩා උළෙල දින එකොළහක කාලයක් පැවැත්වෙනු ඇත. තවත් තොරතුරු: |
"ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතු මයි. එහෙම නේද ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ?," බීබීසී සිංහල සේවය අදහස් විමසූ 30 දෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු හැර අනෙක් පුද්ගලයන් සියලු දෙනාගේ අදහස වූයේ එයයි. | ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සපුරාලිය යුතු සුදුසුකම් අතර රටේ නායකයා බෞද්ධ විය යුතුය යන කරුණ ද ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති එම පුද්ගලයන් විවිධ ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයන්ය. ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සපුරාලිය යුතු සුදුසුකම් අතර රටේ නායකයා බෞද්ධ විය යුතුය යන කරුණ ද ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. මේ ගැන කරුණු විමසූ විට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන කුමුදුනී සැමුවෙල් පැවසුවේ, "ශ්‍රී ලංකාව බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘතික රටක්. ශ්‍රී ලංකාවේ ජනාධිපති විය යුත්තේ සුදුස්සෙක් මිසක් ආගම මත පදනම් වූ පුද්ගලයෙකු නෙමෙයි," යනුවෙනි. නමුත්, කොළඹ පාසලක ගුරුවරියක මේ ගැන දැරුවේ වෙනස් මතයකි. "අපේ රටේ 70%කට වඩා ඉන්නේ බෞද්ධයන්. එහෙම රටක් වෙන ආගමක කෙනෙක් පාලනය කරන එක හරි යන්නේ නැහැ. රටේ නායකයා බහුතර මතය, බහුතරයක් අදහන ආගම අදහන කෙනෙක් විය යුතුයි. නැත්නම් අපිට කියලා රටක් නැති වෙනවා," ඇය පැවසුවාය. කෙසේ නමුත්, ව්‍යවස්ථාව විශ්ලේෂණය කර බැලූ විට ජනාධිපති බෞද්ධ විය යුතු යැයි හෝ බහුතරයක් බෞද්ධ ආගමිකයන් සිටින රටක් වීම නිසා බෞද්ධ ආගම වැළඳගත යුතු යැයි සඳහන් වී නොමැත. "ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්" ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද? ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට බලපාන නුසුදුසුකම් මොනවාද? කෙසේ නමුත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතුයි යන්න සඳහන් වී නොමැත. "බෞද්ධ රජෙක්" "අදාළ පුද්ගලයා හොඳ කෙනෙක්නම්, ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඇයි තවත් ඔහුගේ ජාතිය සහ ආගම ගැන සොය සොයා ඉන්නේ.." ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් වන කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසුවේ, "ශ්‍රී ලංකාව 70% බෞද්ධයන් ඉන්න රටක් හැටියටත්, බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩිය රටක් හැටියටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධයෙක් ම විය යුතුයි. දස රාජ ධර්මයෙන් මේ රට පාලනය කරන්න ඕනේ," යනුවෙනි. "ඉස්සර අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ සහ කුරුණෑගල ආදී යුග කාලවල සිට බෝසත් රජවරු ඉඳලා, දස රාජ ධර්මය අනුව රාජ්‍ය හසුරවා, රට ස්වයංපෝෂිත කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. නමුත් අද දස රාජ ධර්මයට අනුව රට කරන්නේ නැති නිසා නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා." "මේ රටේ අද නොයෙක් ව්‍යසන ඇති වෙලා. එදා ධර්මද්වීපයක් වුණ රට අද කාකද්වීයක් බවට පත්වෙලා. රටේ ප්‍රශ්න ඇති වෙලා, විනාශ වෙලා. මේ නිසා අපිට අවශ්‍ය ධර්මයට අනුව ක්‍රියා කරන රජ කෙනෙක්," භික්ෂුණී වහන්සේ පැවසූහ. "නීතියක් ද? රීතියක් ද?" නීති අධ්‍යාපනය හදාරා කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත හේමන්ත ජයසූරිය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතු යැයි කිසිදු නීතියක් හෝ රීතියක් නොමැති බවය. ශ්‍රී ලංකාවේ බහුතරය බෞද්ධ ආගමික නිසා අන්‍යාගමික පුද්ගලයෙකු නායකත්වයට පත් වූ විට සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමේ අටියෙන් "ආගම වෙනස් කර ගන්නා බවට මවා පාන" බව ඔහු පැවසීය. මේ තොරතුරු ද කියවන්න: ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු සහ වර්තමාන ජනාධිපති "ආගම මාරු කරන්න ඕනේ" ඒ අතර, බැංකු නිලධාරිනියක වන අකිලා විදානපතිරණ පැවසුවේ, "රටේ ජනාධිපති වීමට ආගම බලපාන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් ජනාධිපති වුණාට පස්සේ බහුතරයක් අදහන ආගමට මාරු වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. මම ව්‍යවස්ථාව ගැන නම් දන්නේ නැහැ," යනුවෙනි. "ආගම නෙමෙයි සුදුසුකමයි ඕනේ" "ශ්‍රී ලංකාවේ ජනාධිපති විය යුත්තේ ව්‍යවස්ථාවට ගරු කරන පුද්ගලයෙක් මිස ආගම මත පදනම්ව තෝරා ගන්නා පුද්ගලයෙක් නෙමෙයි," යැයි කුමුදුනී සැමුවෙල් පැවසීය. "ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. අපේ ඇදහීම් සහ විශ්වාසයන් ගොනු කරන දෙයක්. එවැනි දෙයක් දේශපාලනයට හෝ සමාජ ක්‍රියාකාරකම්වලට බලපෑ යුතු යැයි මම විශ්වාස කරන්නේ නැහැ. අනාගමික ව්‍යුහයක් හරහා ව්‍යවස්ථාව ගොඩ නැගෙන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ." "අපිට කැමති ආගමක් අදහන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් පද්ධතිය තුළ එක් ආගමක් ප්‍රමුඛ වන්නේ නැහැ. ජනාධිපති වන පුද්ගලයා බෞද්ධ කෙනෙකු විය යුතු මයි කියලා මම හිතන්නේ නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. ආගම සහ ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 9 වන වගන්තියේ, 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය... එමෙන් ම, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම,' යනුවෙන් සඳහන් වේ. "දස රාජ ධර්මයෙන් මේ රට පාලනය කරන්න ඕනේ" රටේ බහුතරයක් අදහන ආගම ගැන එසේ වෙන ම වගන්තියක සඳහන් කර තිබෙන අතර, ඕනෑ ම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිවාසිකම ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබේ. "9 වෙනි ව්‍යවස්ථාවෙන් බුද්ධාගම පෝෂණය කර සංරක්ෂණය කර තිබෙනවා. මෙය සිංහල බෞද්ධ රටක්. ඒ නිසා ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්න බැහැ. ඒ අතරම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතුයි යන මතයට කිසි ම නීතිමය පසුබිමක් නැහැ." ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි බීබීසී සිංහල සේවයට පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වගන්ති ගැන ද නීතිඥවරයා විස්තර කළේය. 10 වන ව්‍යවස්ථාවට අනුව, සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇඳහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. "ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර තිබෙනවා" එමෙන් ම, 12 (2) වගන්තියට අනුව, කිසි ම පුරවැසියෙකුගේ වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත වෙනස්කමට හෝ විශේෂයකට භාජනය නොවිය යුතුයි. "ගල් යුගයේ අදහසක්" "ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපති අපේක්ෂකයෙක් වන පුද්ගලයෙක්ගේ ආගම ගැන නෙමෙයි බලන්න ඕනේ. ඔහු හෝ ඇය දෑහිතකාමී පුද්ගලයෙක් ද කියන දේ වගේ ම අදාළ පුද්ගලයාගේ පෙර ක්‍රියාකලාපය මෙන් ම වර්තමාන ක්‍රියාකලාපය මොකක් ද කියායි සොයා බලන්න ඕනේ. ඔහුගේ සුදුසුකම් වගේ ම, අවංක කෙනෙක් ද කියා සොයා බලන්න ඕනේ." "අදාළ පුද්ගලයා මේ කාරණා සම්පූර්ණ කළ හොඳ කෙනෙක් නම්, ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඇයි තවත් ඔහුගේ ජාතිය සහ ආගම ගැන සොය සොයා ඉන්නේ.. එසේ සොයනවා නම් එය ඉතා ප්‍රාථමික සහ ගල් යුගයේ අදහසක්," යැයි නීතිඥවරයා පැවසුවේය. උදාහරණයක් ලෙස, ඉන්දියාව වැනි වර්ග, ජාති සහ ආගම් බොහොමයකින් බෙදුණු රටක මින් වසර දොළහකට පෙර ජනාධිපති තනතුර දැරුවේ සුළු ජාතික මුස්ලිම් පුද්ගලයෙකු වන අබ්දුල් කලාම් බව නීතිඥවරයා පැහැදිලි කළේය. ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් සහ හිටපු අගමැති මන්මෝහන් සිං එමෙන් ම, අබ්දුල් කලාම් ජනාධිපති පදවිය දරන කාලයේ ඉන්දියාවේ අගමැති ධූරය හෙබවූයේ එරට ජනගහනයෙන් 1%ක් පමණ සිටින සික් ජාතික මන්මෝහන් සිං බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. "හැම ජාතියක ම සිටිනවා රට පාවා දුන් අය, හොර මැරකම්, ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ අය. ඒක නිසා රටේ නායකයා ජාතියක් මත පදනම්ව තෝරන්න බැහැ. එය තීරණය කරන්න ඕනේ පුද්ගලයා මත. මෙයට තවත් හොඳ ම උදාහරණයක් තමයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. එතුමාගේ දක්ෂතාව, ව්‍යක්ත කථිකත්වය, රටට තිබුණ ආදරය, පිළිගැනීම සහ අධ්‍යාපනය උපයෝගී කරගෙන එල්ටීටීඊ සංවිධානයට එරෙහිව විශාල වැඩ කොටසක් කළා. විමුක්තිකාමීන් විදියට හැඳින්වූ එල්ටීටීඊය ත්‍රස්තවාදීන් යැයි ලෙස හඳුනාගෙන ඔවුන් මර්දනය කිරීමට එතුමා වෙහෙසුණා." "ජනතාවට පුළුවන් තමන් කැමති කෙනෙකුට ඡන්දය ලබා දෙන්න. හැබැයි ඒ අවස්ථාවේ දී බලන්න ඕනේ ජාතිය ආගම නෙමෙයි, මේ රැකියාවට ඔහු හෝ ඇය සුදුසුද යන්න කියන කරුණයි," නීතිඥවරයා වැඩි දුරටත් පැවසුවේය. තවත් තොරතුරු: |
වසර 55කට පසු භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමි වී තිබේ. | කැනඩාවේ ජීවත් වන ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් (Donna Strickland) මෙම සම්මානය දිනාගත් තෙවෙනි කාන්තාව බවට ඉතිහාසගත වේ කැනඩාවේ ජීවත් වන ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් (Donna Strickland) මෙම සම්මානය දිනාගත් තෙවෙනි කාන්තාව බවට ඉතිහාසගත වන අතර, 1903 වර්ෂයේදී මාරි කියුරි සහ 1963 දී මරියා ගෝපර්ට්-මේයර් (Maria Goeppert-Mayer) මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ්ට මෙම වසරේ ලැබුණ ත්‍යාගය එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් සහ ප්‍රංශයේ Gerard Mourou අතර සමසේ බෙදිණි. භෞතික විද්‍යාවේ ඇති ලේසර් ක්‍රම පිළිබඳ සිදු කළ නව සොයාගැනීම් වෙනුවෙන් ඔවුන්ට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත. ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි 'දෘශ්‍ය අඩුවක් (optical tweezers)' ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමයක් වැඩිදියුණු කිරීමට ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් කටයුතු කර තිබේ. මෙකී ලේසර් ක්‍රමය මගින් මෙතෙක් සොයාගත් කෙටිම සහ වේගවත්ම ලේසර් කිරණ නිර්මාණය කිරීමට මඟ පාදනු ලැබේ. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් සහ Gerard Mourou විසින් Chirped Pulse Amplification (CPA) ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමවේදයක් වැඩිදියුණු කර කරනු ලැබීය. මෙය පිළිකා සඳහා මෙන්ම, වසරකට සිදු කෙරෙන මිලියන ගණනක් ලේසර් අක්ෂි ශල්‍යකර්ම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. ආතර් ඇෂ්කින් සහ Gerard Mourou මෙතෙක් කාලයක් කාන්තාවකට මෙම ත්‍යාගය හිමි නොවීම ගැන තමන් "පුදුමයට පත් වෙන" බව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් බීබීසී වෙත පැවසීය. "මට සෑම අවස්ථාවකදීම පුරුෂයින්ට හා සමාන සැලකුම් ලැබුණා. මා සමග පුරුෂයන් දෙදෙනෙක්ද මෙම ත්‍යාගය දිනාගෙන තිබෙනවා. ඒ දෙදෙනාටත් මේ ත්‍යාගය එක සමානව අයිති වෙනවා," යැයි ඇය තවදුරටත් පැවසුවාය. ජිනීවාහි විද්‍යාගාරයක පැවති සම්මන්ත්‍රණයකදී එක්තරා භෞතික විද්‍යාඥයෙකු සිදු කළ "ඉතා අප්‍රසන්න" දේශනයකින් දින කීපයකට පසු මෙම ත්‍යාග ප්‍රදානය සිදු විය. භෞතික විද්‍යාව "ගොඩනගා ඇත්තේ පුරුෂයින්" යනුවෙන් සඳහන් කළ ඔහු, පිරිමි විද්‍යාඥයන්ට වෙනස් කොට සැලකීමක් සිදුවන බව ද පැවසීය. එම දේශනයෙන් පසු ඔහු පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. එම භෞතික විද්‍යාඥයා "මෝඩ" අදහස් පළ කර ඇති අතර, තමන් ඒ කිසිවක් "පෞද්ගලිකව" අදාළ කර නොගත් බව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් පැවසීය. මේ තොරතුරුද කියවන්න: භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයට අවසන් වරට හිමිකම් කී කාන්තාවන් වන්නේ, ජර්මනියේ ඉපදුණු ඇමෙරිකානුභෞතික විද්‍යාඥවරියක වන මරියා ගෝපර්ට්-මේයර්ය. පරමාණුවල ඇති න්‍යෂ්ටික ශක්තිය පිළිබඳ සිදුකළ සොයාගැනීම් වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි විය. 1903 වර්ෂයේදී මාරි කියුරි නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය රේඩියම් සොයාගැනීම වෙනුවෙන් පෝලන්ත ජාතික භෞතික විද්‍යාඥරියක් වන මාරි කියුරි 1903 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. රේඩියම් සොයාගැනීමේ පරීක්ෂණවලට එක් වූ සිය සැමියා වන පියරි කියුරි සහ Antoine Henri Becquerel අතර එම ත්‍යාගය සමසේ බෙදිණි. මෙම ත්‍යාගය ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුක්තය. "මුලින්ම ඔබට සිතෙයි එය ඇත්තටම පිස්සුවක් කියලා. මගේ මනසට ආපු පළමුවෙනි සිතුවිල්ලත් එයයි. ඒ වගේ, මෙය සැබෑවක්ද කියලත් සිතෙනවා," යැයි කැනඩාවේ 'වෝටර්ලූ' විශ්වවිද්‍යාලයට අනුයුක්තව සේවයේ නියුතු ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් සිය ජයග්‍රණය ගැන එසේ පැවසීය. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් සහ Gerard Mourou විසින් Chirped Pulse Amplification (CPA) නම් ක්‍රමවේදයක් වැඩිදියුණු කර කරනු ලැබීය. මෙය පිළිකා සඳහා මෙන්ම, වසරකට සිදු කෙරෙන මිලියන ගණනක් ලේසර් අක්ෂි ශල්‍යකර්ම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත "මේ තෑග්ග Gerard සමග බෙදා ගැනීම ගැන කියනවානම්, ඔහු තමයි මගේ වැඩ නිරීක්ෂණය කළේ. ඒ වගේම ඔහු මගේ උපදේශකවරයා. CPA ලේසර් ක්‍රමවේදය ඔහු ඉතා ඉහළ තැනකට රැගෙන ගියා. ඔහුට මෙම ත්‍යාගය ලැබිය යුතුමයි. ඒ වගේම ආතර් ඇෂ්කින්ට ලැබුණ ජයග්‍රහණය ගැන මම ඉතාමත් සතුටු වෙනවා." "මම සිතන්නේ ඔහු මින් පෙරත් ඉතා විශාල සොයාගැනීම් ගණනාවක් සිදු කර තිබෙනවා. ඒ දේවල් භාවිත කරමින් අනිකුත් පුද්ගලයන් විශිෂ්ට දේවල් සිදු කරනවා. අවසානයේ දී ඔහුගේ සේවය ඇගයීම ගැන ඉතාමත් සතුටුයි," ඇය පැවසුවාය. තවත් තොරතුරු: |
අධිකරණ වරෙන්තුවක් ප්‍රකාර තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බැවින් එයින් බේරීම පිණිස සිංගප්පූරුවට පැමිණි බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි. | විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වීම පිණිස පසුගියදා වඳුරඹ පැවැත්වුණු ප්‍රචාරක රැලියේ වේදිකාව ගිනි තබා විනාශ කිරීමේ චෝදනා ලබා සිටින සැකකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්නා මෙන් පසුගිය බදාදා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළේය. තමන් අධිකරණයට ගරු කරන නමුත් පොලිසිය “කුලප්පුවක් හැදී” තමා සොයමින් සිටි බැවින් සිය “ආරක්ෂාව සඳහා” හිතවතුන් කිහිප දෙනෙකු සමඟ තාවකාලිකව සිංගප්පූරුවට පැමිණි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සිංගප්පූරු ගුවන් තොටුපොලේ සිට මාධ්‍යවේදී සනත් පතිරණ සමඟ දුරකථනය ඔස්සේ අදහස් දක්වමින්. “ප්‍රශ්නය බේරෙන තුරු” දින කිහිපයක් ගතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වීම පිණිස යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. “මට විරුද්ධව විවිධ, චෝදනා වරෙන්තු ඉදිරිපත් කරලා තිබුන ඒවා දරාගන්න බෑ. පහුගිය ටිකේ ටිකක් මහන්සිවෙලා වැඩකළා. අන්තිමට ප්‍රශ්නෙයක් වුනාම ඉතිරි වෙන්නේ අපි විතරයි,” යනුවෙන්ද ඔහු පැවසීය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 306 යානයෙන් සිකුරාදා අලුයම එකට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිටත්ව පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපොළේ නිලධාරීන් තමන්ට “ඉතා හොඳින් සලකූ” බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. සැකකරුවන් පිරිස පැහැරගෙන යාමට විරෝධය පළකරමින් වඳුරඹ පොලිස් ස්ථානාධිපති පනංගල ලියනගේ කීර්ති සිංහ පසුගිය සඳුදා සිය නිල ඇඳුම් භාර දී පොලිස් සේවයෙන් ඉල්ලා අස්විය. |
ලබන ජනවාරි මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට සහභාගි වන මෙන් ආරාධනාවක් ලැබී ඇතත්, සිය ක්‍රීඩකයන්ට පුහුණුවීමට පවා නිසි ක්‍රීඩාංගනයක් නොමැති බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනය පවසයි. | 'ග්‍රවුන්ඩ්ස්වලට සාමාන්‍යයෙන් දවසකට රුපියල් 50,000 ක් විතර ඉල්ලනවා' සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ලබාදෙන අනුග්‍රහය පිළිබඳව පවා තවමත් ස්ථිර වචනයක් ලැබී නැති බවත් සම්මේලනයේ ජාත්‍යන්තර සහ දේශීය සම්බන්ධීකාරිකා ටානියා ශුකූ බීබීසී සංදේශයට කියා සිටියාය. "ග්‍රවුන්ඩ්ස්වලට සාමාන්‍යයෙන් දවසකට රුපියල් 50,000 ක් විතර ඉල්ලනවා," ඇය සඳහන් කළාය. ක්‍රීඩාංගන පහසුකම් ලබාදෙන මෙන් කණ්ඩායම දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කරමින් සිටින නමුත් මෙතෙක් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව කණ්ඩායමේ හිටපු නායක චන්දන සූරියආරච්චි සංදේශයට පැවසීය. 'නිල ඇඳුමක්වත් නෑ' "ක්‍රීඩා අමාත්‍යාංශය ලිපියක් යවල තියෙනව මේගොල්ලන්ට ක්‍රීඩාංගන පහසුකම් ලබාදෙන්න කියලා. නමුත් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපිත් එක්ක සාකච්ඡාවක්වත් කරලා නැහැ." 'තවමත් අපිට ක්‍රීඩා අමාත්‍යංශයේ ගුවන් ටිකට්පත් හැර වෙනත් කිසිදු ආයතනයකින් යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ මූල්‍යමය පැත්තෙන්' ලබන ජනවාරි 16 වැනි දින සිට 25 වැනි දින දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ ප්‍රථම විස්සයි විස්ස ලෝක ශූරතාවලියට සහභාගිවීම පිණිස රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වැයවනු ඇති බව සඳහන් කළ චන්දන සූරියආරච්චි, ඒ සඳහා ගුවන් ටිකට්පත් ලබාදෙන බවට ක්‍රීඩා අමාත්‍යාංශය පොරොන්දු වී ඇති බවත් පැවසීය. ක්‍රීඩක නිල ඇඳුම සකසා ගැනීම සහ පුහුණුවීම ඇතුළු අනෙක් කටයුතු වෙනුවෙන් ආධාර කරන මෙන්ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනය අනුග්‍රාහකයන් ගෙන් ඉල්ලීමක් කරයි. "තවමත් අපිට ක්‍රීඩා අමාත්‍යංශයේ ගුවන් ටිකට්පත් හැර වෙනත් කිසිදු ආයතනයකින් යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ මූල්‍යමය පැත්තෙන්," කණ්ඩායමේ හිටපු නායකයා වැඩිදුරටත් පැවසීය. දැන් මූල්‍ය වර්ෂය අවසානවෙමින් පවතින බැවින් අනුග්‍රහය ලබාදීම දුෂ්කර බව ආයතන කිහිපයක් දැනටමත් තමන්ට දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය. දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ මංගල විස්සයි විස්ස ජගත් ශූරතාවලිය දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ කෝචි නගරයේදී පැවැත්වීමට නියමිතයි. |
බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින්ට එරෙහි විශ්වාස භංග යෝජනාවකට පක්ෂව 170 කට වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය භාවිත කළහ. | කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් එයට එරෙහිව ඡන්දය දී තිබෙන්නේ මන්ත්‍රීවරු හතලිහක් පමණයි. විශ්වාස භංග යෝජනාව පරාජය වුවත් ලේබර් පක්ෂ නායකයාට තවදුරටත් පදවියේ රැඳී සිටීමට අවස්තාව තිබෙන අතර, මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමි වුවත් පක්ෂ සාමාජිකයන් බහුතරය ඔහුට සහාය දෙන බවයි ජෙරමි කෝබින් ගේ ආධාරකරුවන් පවසන්නේ. ජනමත විචාරණ ප්‍රතිඵලයෙන් අනතුරුව දින දෙකක් ඇතුළත කම්කරු පක්ෂ 'ඡායා කැබිනට් මණ්ඩලයේ' සාමාජිකයන් හතළිස් දෙනෙක් සිය ධුරවලින් ඉවත් වූහ. දිගටම යුරෝපා සංගමයේ රැඳී සිටීමේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් සිය යුතුකම නිසියාකාරව ඉටු නොකළ බවට ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙක් සිය නායකයාට චෝදනා කරති. කම්කරු පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් ජෙරමි කෝබින්ගේ නායකත්වය කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිටින බවක් දක්නට ලැබෙන බවයි ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ. |
හමුදා ප්‍රහාරයට ලක්වූ වැලිවේරියේ රතුපස්වල ජනතාවට සහන සලසන මෙන් ඉල්ලා සිටිමින් ප්‍රදේශවාසී භික්ෂුන් වහන්සේ නමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ. | 'පරීක්ෂණ හරියට කෙරෙන්න ඕන. මනුස්සයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕන' දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් නවී පිල්ලේට එම පෙත්සම භාරදී තිබෙන්නේ රතුපස්වල ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ අධිපති තෙල්පැහැ සිරිධම්ම හිමියන් විසින්. තිදෙනකු මරා දමමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් උද්ඝෝෂකයන්ට එල්ල කළ හමුදා ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ "හරියට කෙරෙන්න ඕනෑ," බවයි, එහිමියන් සංදේශය කළ විමසීකම දී කියා සිටියේ. 'ජනාධිපතිටත් ඉහල කෙනෙක්' "මනුස්සයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕන," යනුවෙන්ද එහිමියෝ පැවසූහ. එමෙන්ම ජනතා උද්ඝෝෂණයට හේතුවුණු කම්හල ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබුනත්, එය යලි විවෘත කිරීමේ උත්සාහයක් පවතින බව ද තෙල්පැහැ සිරිධම්ම හිමියෝ සංදේශයට කියා සිටියහ. "ජනාධිපතිතුමාටත් වඩා ඉහල කෙනෙක් ඉන්නවා දැයි සැක සිතෙන," බවයි, එහිමියන් පවසන්නේ. මේ අතර, යුද හමුදා ප්‍රහාරය සම්බන්ධ මූලික යුද හමුදා පරීක්ෂණය පදනම් කරගෙන එදින සේවයේ යෙදී සිටි බ්‍රිගේඩියර්වරයා සහ ලුතිනන් කර්නල්වරුන් තිදෙනකු තාවකාලිකව සේවයෙන් මුදා හැරීමට හමුදාපතිවරයා තීරණය කොට තිබේ. කෙසේ නමුත් එම නිලධාරීන් තවමත් වරදකරුවන් ලෙසින් නම් කොට නොමැති බව සංදේශයට කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, මෙය හුදෙක් සාක්ෂි සම්පිණ්ඩනය සිදුවන තුරු ඔවුන් අදාළ නිලතලවල කටයුතු කිරීම සුදුසු නොවීම හේතුවෙන් ගන්නා ලද පියවරක් බව අවධාරනය කරයි. |
දහස් ගණන් සිරුරු වල දමා තිබූ බවට සැක කැරෙන සමුහ මිනී වල කිහිපයක් විනාශ කොට ඇතැයි ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ දී ජාත්‍යන්තර නීති කඩවීම් පිළිබඳ විමසමින් නිකුත් කරන ලද වාර්තාවකින් රජයේ සන්නද්ධ සේනා වලට දොස් පවරා තිබේ. | ශෙල් ප්‍රහාරයකට ලක් වූ ස්ථානයක් ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිළිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය පිටු දෙසිය තිස් පහක ලියවිල්ලක දැක්වෙන පරිදි රජයේ ආරක්ෂක සේනාවේ මෙන්ම එල්ටීටීඊ යේත් සාමාජිකයන් ජාත්‍යන්තර මානවීය නීති සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කළ බවට සාක්ෂි ලැබී තිබේ. වාර්තාවේ කතුවරයකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකාවේ ප්‍රකාශක ගෝඩන් වයිස් බීබීසී යට කියා සිටියේ මේ සාක්ෂි යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක දී යොදා ගැනීමට ගැළපෙන සේ සකස් කොට අති බවයි දඬුවම් ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ දෙමළ කොටි සංවිධානය අතර පැවති යුද්ධයේදී සිදු කර ඇති බවට එල්ල වී ඇති ඇතැම් යුද අපරාධ චෝදනා නඩු විභාගයක දී ඔප්පු වුවහොත් ආණ්ඩුවේ බලධාරීන්ට, රජයේ හමුදාවේ අණදෙන නිලධාරීන්ට මෙන්ම ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ සාමාජිකයන්ටද දඬුවම් හිමි වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි. මිනිස් ඝාතන, වද හිංසා සහ ස්ත්‍රී දූෂණ වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් රජයේ හමුදා මෙන්ම දෙමළ කොටි කැරලිකරුවන් ද සිදු කර ඇති බවයි ඔස්ට්‍රේලියානු පරීක්ෂණ වාර්තාව සඳහන් කරන්නේ. නමුත් යුද්ධයේ අවසාන මාස හය තුළ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ වලින් අති බහුතරය රජයේ හමුදා විසින් සිදු කරනු ලැබ ඇති බවයි ඉහත කී පරීක්ෂණයේ නිගමනය වී ඇත්තේ. ශ්‍රී ලංකා රජය සැලසුම් සහගතව සමූහ මිනී වලවල් විනාශ කර දැමූ බවට ඇසින් දුටු අලුත් සාක්ෂියක් ද ලැබී ඇති බව මෙම වාර්තාව සඳහන් කරයි. |
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ සිය හදවතේ තෙරපෙන දැඩි වේදනාවක් ද සහිතව බව පදවියෙන් ඉවත්ව යන සනත් ජයසූරිය පවසයි. | "කඳුළු අතරින් වුවත් අපේ හිස කෙලින් තබාගෙන සමුගන්නවා" සියලුම අංශවලින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකු, කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ වර්තමානයේ තේරීම් කමිටු සභාපතිවරයා ද වන තමාට සහෝදර කමිටු සාමාජිකයන් ද සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹීමට ආසන්නතම හේතුව වූයේ පසුගිය ඉරිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම බව ද සනත් ජයසූරිය සඳහන් කරයි. ඒ අනුව ලබන සැප්තැම්බර් 07 වෙනි දින සිට තමන් ඇතුළු කමිටුව ඉල්ලා අස්වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත ලිපියක් යවමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා සඳහන් කරයි. "ක්‍රිකට් යනු සෑම කල්හිම මගේ ජීවිතය වන බැවින්, අපේ ක්‍රීඩාලෝලීන් අපේ ක්‍රීඩකයන්ට පහර දෙනු දකින්නට ලැබීම අතිශය වේදනාකාරීය," යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ. පසුගිය වසර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේක්ෂා බිඳ වැටුණු කාලයක් බව පිළිගන්නා සනත් ජයසූරිය,කෙසේ නමුත් එයට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-0 ක් වශයෙන් පරාජය කළ බවත් සිහිපත් කරයි. මේ මොහොතේ බිඳවැටීමක් තිබෙන නමුත් ඉතා දක්ෂ ක්‍රීඩකයන් සිටින ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදීම යළිත් වරක් සුපුරුදු දක්ෂතා අතරට එනු ඇතැයි බලාපොරොත්තු පළ කරන තේරීම් කමිටු සභාපතිවරයා, අවශ්‍ය වුවහොත් ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් අනාගතයේදී ද සිය සේවය සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කරයි. "කඳුළු අතරින් වුවත් අපේ හිස කෙලින් තබාගෙන සමුගන්නා," බව පවසන සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කෙරෙහි දිගටම විශ්වාසය තබන මෙන් ක්‍රීඩාලෝලීන්ගර්න් විශේෂ ඉල්ලීමක් ද කරයි. |
දැනට පුරා අවුරුදු විස්සක කාලයක් තිස්සේ වකුගඩු රෝගයට ගොදුරු වන ගොවීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. | මේ විසි වසර තුල වකුගඩු රෝගයෙන් විසි දහසක් පමණ දෙනා මිය ගොස් ඇති අතර තවත් හාර ලක්ෂ පනස් දෙනෙක් වකුගඩු රෝගයට ගොදුරු වී සිටිති. දේශීය විද්‍යාඥයින් පිරිසක් මෑතක දී තම පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත්තේ පමණ ඉක්මවා රසායනික පොහොර මෙන්ම කෘෂි රසායනික භාවිතා කිරීමේ හේතුවෙන් කැඩ්මියම් සහ ආර්සනික් පසට එක්වී ඇති බවයි. රාජ්‍ය නොවන සංවිධානයක් වන ස්වර්ණ හංස පදනම මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් කියා සිටින්නේ එක්සත් ජාතීන් ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මීට වගකිවයුතු බවත් බහු ජාතික සමාගම් වලට ප්‍රචාරය ලබා දීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් පීඩාවට පත්වුවන්හට වන්දි ගෙවිය යුතු බවයි. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ චෝදනා අසත්‍ය බවත් තමන් කිසිවකුගේත් ව්‍යාපාරික අවශ්‍යතා වෙනු වෙන් පෙනී නොසිටින බවයි. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ අහිතකර රසායනික පොහොර සහ පළිබෝධ භාවිතා කිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව හැකි සෑම දෙයක්ම කරන බවයි. මීට මාස කීපයකට පෙර අහිතකර සේ සැලකෙන කෘෂි රසායනික තුන් වර්ගයක් ආනයනය කිරීම තහනම් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා පැවසීය. වකුගඩු රෝගයට බලපාන හේතුව තාමත් දැන ගන්නට නැති බවත් කඨින ජලය මීට හේතුවක් විය හැකි බව සැක කෙරෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. පැතිරීම වකුගඩු රෝගය මුලින් උතුරු මැද පළාතේ පැතිරෙමින් තිබූ අතර දැන් දකුණු පලාතටත් වකුගඩු රෝගය පැතිරී යන බව වාර්තා වී තිබේ. ස්වර්ණ හංස පදනමේ ප්‍රධානියා කියා සිටින්නේ දකුණු පළාතේ එක් ගම්මානයක වෙසෙන මුළු පවුල් ගණනින් අඩක්ම, වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි. |
ඉඩම් අක්කර දහස් ගණනින් පවරා ගන්නා ආරක්ෂක හමුදා දැන් එහි නිවාස ඉදි කරමින් සිටින බව පවසන යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් අහිමි වූවන්ගේ සංගමය, පස් දින උපවාසයක් ආරම්භ කළේය. | 'ඉඩම් අත් පත් කරන එක නතර කරලා, මේ ගෙවල් හදන එක නතර කරන්න කියල තමයි උපවාසය ආරම්භ කළේ' යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් අහිමි වූවන්ගේ සංගමය එම උපවාසය ආරම්භ කළේ තෙලිප්පලෙයි මාවිට්ටපුරම් කන්දසාමි කෝවිලේ පැවති විශේෂ දේව පූජාවකින් අනතුරුවයි. 6300 කට වැඩි ඉඩම් අක්කර ප්‍රමාණයක් පවරා ගත් හමුදාව දැන් එහි නිවාස ඉදි කරමින් සිටීම උපවාසය ආරම්භ කිරීමට හේතුව බවයි, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් බීබීසී සංදේශයට කියා සිටියේ. "ඉඩම් අත් පත් කරන එක වහාම නතර කරලා, මේ ගෙවල් හදන එක නතර කරන්න කියල තමයි මේ සතියක උපවාසය ආරම්භ කළේ," ඔහු පැවසීය. හමුදාවේ මේ ක්‍රියාමාර්ගය හේතුවෙන් යාපනයේ ග්‍රාම සේවා වසම් විසි හතරක පහළොස් දහසකට අධික ජනකායක් නිවාස අහිමිව සිටින බවයි, එක් උද්ඝෝෂකයෙක් සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් පලාලි සහ කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාප වෙනුවෙන් උතුරේ ඉඩම් පවරා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවයි, රජයේ බලධාරීන් ප්‍රකාශ කරන්නේ. මේ අතර උපවාසය සංවිධානය කිරීමට මූලික වූ වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මලිංගම් සුහීර්දන්ට මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ. වලිකාමම් උතුර ඇතුළු පළාත් ගණනාවක ඉඩම් පවරා ගැනීම අභියෝගයට ලක් කරමින් උතුරේ දහසකට අධික ජනතාවක් පවරා ඇති පෙත්සම් මේ වන විට අධිකරණය හමුවේ විභාග කැරෙමින් පවතී. |
සඳුදා සවස් යාමයේ සිංගප්පූරු අහසේ පෑයූ දුර්ලභ දේදුන්නක් පිළිබඳව එරට වැසියෝ ප්‍රමෝදයට පත් වී සිටිති. | විවිධ වර්ණ සහිත දේදුන්න මිනිත්තු 15 ක පමණ කාලයක් මුළු රටපුරාම දර්ශනය විය. එය ඝන වලාකුළු මත හිරු එලිය පතිතවීමේ ප්‍රතිඵලයක් විය හැකි බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. හිරු එලිය ජල බින්දු මත පතිතවීමෙන් එම දේදුන්න නිර්මාණය වී ඇති බව තවත් වාර්තාවල දැක්වේ. ළදරු පාසලක සේවය කරන ෆසිදා මොක්තාර් බීබීසී ය සමග අදහස් දක්වමින්: "ඉස්සෙල්ලම ඒක පටන් ගත්තේ තැඹිලිපාට පුංචි රවුමක් වගේ," යනුවෙන් සඳහන් කළාය. "ඊට පස්සේ එක ටිකෙන් ටික ලොකුවෙලා සේරම පාටවල් දර්ශනය වෙන්න පටන් ගත්තා." "ළදරු පාසලේ සේරම දරුවෝ, දෙමාපියෝ, වැඩකරන ඇය සේරම කුතුහලයෙන් එලියට ඇවිල්ලා ඒ වගේ ලස්සන දේදුන්නක් දකින එක කොයිතරම් දුර්ලභද කියල කතාකරන්න පටන් ගත්ත." |
ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවේ සියලු මිතුරන්ටත් මේ මොහොතේ ගතවෙමින් තිබෙන්නේ 'දීප්තිමත් මොහොතක්' බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. | ශ්‍රී ලංකාවට 'දීප්තිමත් මොහොතක්': ජෝන් කෙරී. එක්සත් ජනපදය තවදුරටත් 'තර්ජනයක් නොවේ': මංගල සමරවීර. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ සාකච්ඡා පැවැත්වීමට ප්‍රථම වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්. ජනවාරි 08 වැනි දින පැවැත්වුණ ජනපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් වෙනසක් උදෙසා සිය ඡන්දය භාවිත කොට තිබෙන බව සඳහන් කළ රාජ්‍ය ලේකම්වරයා, එය විග්‍රහ කළේ ශ්‍රී ලංකාව නව දිශානතියකට යොමු කිරීම උදෙසා ලබා දී තිබෙන වරමක් ලෙසින්. 'නව දිශානතියකට' නව ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන පිළිබඳව තමන් ඉතා උනන්දුවෙන් බලා සිටින බව පැවසූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එම වැඩසටහන ඇතුළු නව ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක වනු ඇතැයි තමන් සුභ පතන බවද පැවසීය. තරමක් දුරට බිඳ වැටී තිබුණු ද්විපාර්ශවික සම්බන්ධතා තරකිරීම උදෙසා කටයුතු කිරීම සිය වගකීමය යන්න සිය විශ්වාසය බවයි, විදේශ අමාත්‍ය මංගල සමරවීර එහිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවට ඇමෙරිකා එක්සත් ජනපදය අවස්ථා විවර කරන මිතුරකු විනා 'තර්ජනයක් නොවන' බව ද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. නව ආණ්ඩුව බලයට පත්වී පළමු සති කිහිපය ඇතුලත ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට ආරාධනා කරනු ඇතැයි අපේක්ෂිතයි. |
ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ඉරිදා අත් අඩංගුවට ගත් මානව හිමිකම් පිලිබඳ ක්‍රියාධරයන් දෙදෙනා නිදහස් කර තිබේ. | මෙම අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව තුළ හා විදේශයන් හි තද බල විවේචනයට ලක්වී තිබිණි කතෝලික පියතුමෙකු වන ප්‍රවීන් මහේසන් සහ රුකී ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව තුළ හා විදේශයන් හි තද බල විවේචනයට ලක්වී තිබිණි. බලධාරීන් පවසා තිබුණේ වාර්ගික සමගියට හානිකර කටයුතු වල යෙදීම පිළිබඳව සැකපිට ඔවුන් අත් අඩංගුවට ගෙන සිටි බවයි. ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම අතුරුදහන් වුවන්ගේ පවුල් සමග කටයුතු කරමින් සිටි අය බවයි පැවසෙන්නේ. 2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් බෙදුම් වාදී දෙමළ කොටි සංවිධානය පරාජය කෙරිණි. එම යුද්ධයේ අවසන් අදියරේ දී සාමාන්‍ය ජනතාව විශාල සංඛ්‍යාවක් මියගිය බවට චෝදනා මතුවුයේ ඉන් පසුවයි. අධිකරණයේ නියමයක් ප්‍රදේශයේ ජනතා ව නියෝජනය කරමින් බී සී යට කතා කළ පිරිස් සහ පොලීසිය විසින් සනාථ කළේ අඟහරුවාදා රාත්‍රියේ ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම නිදහස් කර ඇත්තේ අධිකරණය මගින් එලෙස නිදහස් කිරීමට නියම කිරීමෙන් පසු බවයි. වාර්ගික සමගියට හානිකර කටයුතු වල යෙදීම පිළිබඳව සැකපිට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා පැය හතලිස් අටක කාලයක් රඳවාගෙන සිටි බවයි බලධාරීන් පවසන්නේ. එහෙත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් සහය දක්වන පිරිස් පවසන්නේ මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම මානව හිමිකම් ක්‍රියාධරයින් බවයි. පසුගිය සතිය තුලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ ක්‍රියාධරයන් කිහිප දෙනෙකුම රඳවා තබා ගෙන සිටීම පිළිබඳව ඇමරිකාව දැඩි අවධානයක් යොමුකොට තිබුණි. මේ අතර බ්‍රහස්පතින්දා අත් අඩංගුවට පත් දේශපාලන අතුරුදහන්වීම වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලචන්ද්‍රන් තවමත් අත් අඩංගුවේ පසුවන්නීය. උතුරේ යුද්ධය නිමාවීමෙන් පසු ඇගේ පුත්‍රයා අතුරුදහන් වූ අතර ජයකුමාරි සහ ඇගේ දියණිය අතුරුදහන්වීම් පිලිබඳ ක්‍රියාධාරිනියන් ලෙස කටයුතු කරමින් සිටියහ. එහෙත් ශ්‍රී ලංකා රජය චෝදනා කරන්නේ දෙමළ කොටි සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන පුද්ගලයෙකුට ඇය නවාතැන් දී ඇති බවයි. |
දුක ප්‍රකාශ කිරීමට කෙනෙකු නැති වීම සිය දිවි නසා ගැනීමට එක් හේතුවක් බව කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වසන්තා සුභසිංහ පවසයි. | ගත වූ වසර තුන ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය දිවි හානි කර ගැනීම් 9657 ක් වාර්තා වී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ආර්ථික අපහසුතාවලට අමතරව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතුළු සමාජ ගැටළු ගණනාවක් සිය දිවි නසා ගැනීම් ඉහළ යෑම කෙරෙහි බලාපා ඇති බව ආචාර්ය වසන්තා සුභසිංහ කියා සිටියේ සිය දිවි නසා ගැනීම් කෙරෙහි බලපාන සමාජීය කරුණු පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී. අනූව දශකයේ ලොව වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තා වූ රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබූ බව කියා සිටි ඇය වර්තමානය වන විට එම තත්වය සුළු වශයෙන් පමණක් අඩු වී ඇති බවයි පෙන්වා දෙන්නේ. මානසික පීඩාවට පත් පුද්ගලයන්ට උපදේශන ලබා දීම සඳහා වෘත්තීය උපදේශකයන් බිහි වන පිළිගත් ආයතනයක් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වීනොමැති බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වසන්තා සුභසිංහ වැඩිදුරටත් කියා සිටියාය. (ආචාර්ය වසන්තා සුභසිංහ සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාවට ඉහත හඬ පටන් සවන් දිය හැක.) |
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ. | ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වන චමරි අතපත්තු පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කණ්ඩායම මෙහෙයවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඉනෝකා රණවීර මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අතර ඇය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2017 ලෝක කුසලානයට සහභාගි වී පරාජයට පත්විය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයගැනීමට සමත් වූයේ සහභාගි වූ තරග හතෙන් එක් තරගයක් පමණි. ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති එක්දින තරගාවලියෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 'සංගාගෙන් ආරම්භ වී ජයසූරියගෙන් අවසන් කළ ඉනිම' ගැන චමරි ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ වාර්තාගත ලකුණු 178 ලබාගෙන චමරි අතපත්තු ජාත්‍යන්තර අවධානය දිනාගත් අතර ඉන් අනතුරුව එංගලන්ත හා ඕස්ට්‍රේලියානු කාන්තා විස්සයි විස්ස තරග සඳහා නියෝජනයක් ලබාගැනීමට ඇය සමත්විය. චමරි අතපත්තු මීට වසර කිහිපයකට පෙර ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා ඇති අතර පසුව ඇයට නායකත්වය අහිමි විය. එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මෙවර පකිස්ථාන පිලේ ශ්‍රී ලංකා සංචාරය අඟහරුවාදා (මාර්තු 20) රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ආරම්භ විමට නියමිතය. තවත් කියවන්න: |
චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000ක් ලබාදෙන බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු දිගින් දිගටම කරන ප්‍රකාශ වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. | අක්කර 15,000 කථාව ඇමතිවරු වරද්දගත්තා - ජනපති මහනුවර පැවති උත්සව සභාවක් අමතමින් අදහස් දැක් වූ ජනාධිපතිවරයා, චීන ව්‍යාපෘති සඳහා අක්කර 15,000ක් ලබා දෙන බවට රජය මෙතෙක් කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව අවධාරණය කළේය. "මම කණගාටුවෙන් වුවත් කියන්නට ඕනේ. අපෙත් සමහර මැති ඇමතිවරු මේක වරද්ද ගත්තා. මේ අක්කර 15,000 ක කතාවක් එකදිගට කියන්න ගිහිල්ලා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "මම ඊයේ නිලධාරීන් කැඳවලා ඇහුවා අක්කර 15,000 කතාවක් කොහෙද තියෙන්නේ කියලා. අක්කර 15,000 කතාව කිසිදු ලියවිල්ලකත් නැහැ, එකඟ වෙච්ච තැනකුත් නැහැ." ගම්මානවලින් ජනතාව ඉවත්කරමින් හෝ 'විහාරස්ථාන බුල්ඩෝසර් කරමින්' ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි විදේශ ආයෝජන සහ කර්මාන්ත රටට අවශ්‍ය බව පවසන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ භුමියේ අයිතිය වෙනත් කිසිදු රටකට අයත්වීමට ඉඩ ලැබෙන ආකාරයට ඒ සඳහා ඉඩම් ලබා නොදෙන බව අවධාරණය කළේය. කර්මාන්ත සඳහා සුදුසු ස්ථාන සොයා රජය ඉඩම් ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා, ගම්මානවලින් ජනතාව ඉවත්කරමින් හෝ ඇතැමුන් පවසන ආකාරයට 'විහාරස්ථාන බුල්ඩෝසර් කරමින්' එම ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් රජයේ නොමැති බවත් අවධාරණය කළේය. "ලෝකේ කිසිම රටකට මේ රටේ බිම් අඟලක් දෙන්න මම කටයුතු කරන්නේ නැහැ කියලා බොහොම පැහැදිලිව කියන්නට ඕන." "මම ඊයේ නිලධාරීන් කැඳවලා ඇහුවා අක්කර 15,000 කතාවක් කොහෙද තියෙන්නේ කියලා. අක්කර 15,000 කතාව කිසිදු ලියවිල්ලකත් නැහැ, එකඟ වෙච්ච තැනකුත් නැහැ" හම්බන්තොට ජනතාව පදිංචිව සිටින ඉඩම් පවරාගෙන චීන සමාගම්වලට බදුදීමට සැරසෙන බවට චෝදනා කරමින් පසුගිය සති කිහිපය මුළුල්ලේ හම්බන්තොට උද්ඝෝෂණ දියත්වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ පසුගිය කාලයේ උදම් අනන සංවර්ධනය සිදු වූයේ රුපියල් කෝටි නවලක්ෂයක් ණය බරක මත බවයි. ජනප්‍රිය වීමට අවශ්‍ය නම් සිය රජයටද ඕනෑ තරම් ණය ලබාගෙන එවන් සංවර්ධනයක් පෙන්නුම් කළ හැකි නමුත් රටේ ණය බර තවත් වැඩිකරන එවන් වැඩපිළිවෙලකට යාමට තම රජය සූදානම් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් අක්කර 15,000 ක් පවරාගැනීමට නියමිත බව බොහෝ අමාත්‍යවරු පවසා තිබුණි |
පරිමාව ලීටරයට අඩු ප්ලාස්ටික් සිසිල්බීම බෝතල් අලෙවිය තහනම් කිරීම සඳහා අවධානය යොමුවී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. | ප්ලාස්ටික් බෝතල් භාවිතය අඩුකිරීමේ මූලික පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගනු ලබන බව පෙන්වාදෙන මධ්‍යම පරිසර අධිකාරියේ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළේ අධ්‍යක්ෂ ජේ.එම්.යු ඉන්ද්‍රරත්න, අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියාසිටියේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි. කෙසේවුවද,ජලය ගබඩාකිරීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සඳහා එම තහනම බලනොපාන බවත් ඔහු සඳහන් කළේය. ප්ලාස්ටික් බෝතල් වෙනුවට නැවත භාවිතයට ගතහැකි වීදුරු බෝතල් භාවිතා කරන ලෙස අදාළ සිසිල් බීම සමාගම්වලට යෝජනා කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 'ශ්‍රී පාදය' මධ්‍යම පරිසර අධිකාරිය පවසන පරිදි 2016 වසරේ ශ්‍රී පාද වන්දනා සමය අවසානවන විට පමණක් ප්ලාස්ටික් බෝතල් ටොන් 5.5 ක් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 830 ක් එම ප්‍රදේශයෙන් හමු වී තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂක ජේ.එම්.යු ඉන්ද්‍රරත්න පෙන්වා දෙන පරිදි ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු වන්නේ 15% ක ප්‍රමාණයක් පමණි. "මේකෙන් 85% ක් පරිසරයට මුදා හැරෙනවා. කුණු දමන තැනක බැලුවත් ඒකේ ප්ලාස්ටික් බෝතල් විශාල ප්‍රමාණයක් අපට දකින්න ලැබෙනවා" යනුවෙන් ඔහු පැවසීය. සෞඛ්‍ය ගැටලු එලෙස එක්රැස්වන ප්ලාස්ටික් බෝතල් පුළුස්සා දැමීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කිරීම හේතුවෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු ද ඇතිවන බව ඔහු පෙන්වාදෙයි. ප්ලාස්ටික් බෝතල්වලට අමතරව අනෙකුත් ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බලපාන යෝජනා ගණනාවක් ඒ සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව මගින් නිර්දේශ කර ඇති බව ඔහු පවසයි. මේ අතර ලීටරයට අඩු ප්ලාස්ටික් බීම බෝතල් අලෙවිය තහනම් කිරීමේ යෝජනාවට සිසිල් බීම නිෂ්පාදක සමාගම්වලින් විරෝධය පළවෙමින් ඇතිබව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. |
ජීවන කුසලතා නමින් නව විෂයයක් හඳුන්වා දෙමින් ළමුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ඊට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර පවසයි. | 'ශරීරය පිළිබඳ, එහි ස්වභාවය, ශරීරයේ ආරක්ෂාව මෙන්ම නිසි වයසට එළඹී ළමුන්ට ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධතා ගැනත් අධ්‍යාපනයක් දෙන්න මේ විෂය ඇතුළත් කොට තිබෙනවා' ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ඉහත කී වැඩපිළිවල දියත් කරන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්. 'ශරීරය පිළිබඳ, එහි ස්වභාවය, ශරීරයේ ආරක්ෂාව මෙන්ම නිසි වයසට එළඹී ළමුන්ට ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධතා ගැනත් අධ්‍යාපනයක් දෙන්න මේ විෂය ඇතුළත් කොට තිබෙනවා' ඇය සඳහන් කළාය. ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් දරුවන්ට ඔවුන්ගේ ශරීරය, ලිංගිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ දැනුම ලබා දීම අත්‍යවශ්‍ය බවයි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර පෙන්වා දෙන්නේ. අපරාධ නීතියෙන් පමණක් ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත් ඇය කියා සිටින්නීය. ලිංගිකත්වය සහ ආරක්ෂාව 'මේ දැනුම පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්න පුළුවන් වුනොත් ඒ හරහා ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න හැකි වෙයි කියලා අපි හිතනවා' ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය කියා සිටියාය. දැනට ක්‍රියාත්මක වන පාසල් විෂය ධාරාව තුළ දරුවන්ට සිය ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලැබේද යන්න සංදේශය ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වෙත යොමු කළ ප්‍රශ්නයක්. පළමු ශ්‍රේණියේ සිට ටිකෙන් ටික තමුන්ගේ ශරීරය ගැන, ඒ වගේම ජීවන කුසලතා ගැන. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ ඇති වන ප්‍රශ්න, ගැටළු කොහොමද විසඳන්නේ, අනෙක් අයගේ ගැටළු ගැන කුමන ආකාරයකටද බලන්නේ වැනි ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන ආකාරය අපට වර්ධනය කළ යුතුව තිබෙනවා’ ඇය කියා සිටියාය. 'බොහෝ විට දරුවන් නොදැනුවත්කම හේතුවෙන් ස්පර්ශයන් ඔස්සේ අපයෝජනයට ලක් වන අවස්ථා එමටයි' ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර තව දුරටත් සඳහන් කළාය. දෙමව්පියන් සහ දරුවන් එවැනි පරිසරයක ශරීරය සහ අතවර අතර පවතින සම්බන්ධතාව දරුවන්ට වටහා දීම වැදගත් බවයි ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පෙන්වා දෙන්නේ. 'නොදැනුවත්කම වගේම වැඩිහිටියන් හා දරුවන් අතර විවෘත සාකච්ඡාවක් ඇති නොවීම මේ තත්වයට බලපා තිබෙනවා. අපි සෑම විටම දෙමව්පියන් සහ වැඩිහිටියන්ට උපදෙස් දෙන්නේ ළමයා සමග ශරීරය හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරන ලෙසයි' ඇය සඳහන් කළාය. එවිට දරුවන්ට චකිතයකින් තොරව විශ්වාසයෙන් යුතුව සිය අත්දැකීම් දෙමව්පියන් සමඟ පැවසීමට හැකි වන බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර වැඩිදුරටත් පවසන්නේ. |
පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිර පළාත් සභාවේ බහුතර බලය අත්පත් කර ගැනීමට අපොහොසත් වී ඇති හෙයින් මුස්ලිම් පාර්ශවයකට මහ ඇමති පදවිය පිරිනැමීම පිළිබඳව තමාගේ විරෝධයක් නැති බව හිටපු මහ ඇමතිවරයා පවසයි. | නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් ගේ සොහොයුරිය රුදමලර් ඥානබාස්කරන්ද මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමට සමත් වී නැත සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඒ බව පැවසුවේ සෙනසුරාදා පැවැත්වුණු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සංදේශය ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවේ දී. කෙසේ වෙතත් දෙමළ ජනතාව අතරමං කොට දමන ලද බවට හිටපු මහ ඇමතිවරයා දෙමළ ජාතික සන්ධානයට (ටීඑන්ඒ) චෝදනාවක්ද එල්ල කළේය. මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා පාලක සන්ධානය වෙනුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂයන් දස දෙනාගෙන් අට දෙනෙකුම පරාජයට පත් වී තිබෙන අතර සිය මන්ත්‍රී ධූර ආරක්ෂා කර ගැනීමට සමත් වී තිබෙන්නේ පිල්ලෙයාන් සහ හිටපු පළාත් සභා අමාත්‍ය එම් එස් සුබයිර් පමණයි. නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගේ සොහොයුරිය රුදමලර් ඥානබාස්කරන්ද මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමට සමත් වී නැත. කිසියම් ලෙසකින් පාලක සන්ධානයට නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය අහිමිවන්නේ නම්, දෙමළ ජනතා ප්‍රශ්න විසඳීම සඳහා තමන් ටීඑන්ඒ සන්ධානයට වසර තුනක කාලයක් ලබා දෙන බවයි, සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් සඳහන් කළේ. එසේ එම ගැටළු විසඳිය නොහැකි නම් තම පළාතේ දෙමළ ජනතාවට තම මතයට අවනත වීමට ඉඩ දෙන මෙන් ඔහු දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක්ද කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
හමුදාවට එල්ල වන යුධ අපරාධ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ඇතුළු උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා හමුදාව වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ඇමෙරිකානු දූත මණ්ඩලය විමතිය පළ කොට තිබේ. | සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව එ ජා මානව හිමිකම් මණ්ඩලයේ අවධානයට යොමු කෙරෙනු ඇති බවට දෙජාස විශ්වාසය පළකරයි දෙමළ ජාතික සන්ධානයේ (දෙජාස) දූත පිරිසක් කොළඹදී හමුවුණු අවස්ථාවේ ඇමෙරිකානු දූත පිරිස එසේ පුදුමය පළ කළ බව දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් බීබීසී සංදේශයට පැවසීය. පසුගිය වසරේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර කටයුතු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වී ඇති බව දෙජාස නියෝජිත පිරිස, එම සාකච්ඡාවේදී ඇමෙරිකානු දූත මණ්ඩලයට පෙන්වා දුන් බව මන්ත්‍රීවරයා කියා සිටියේය. "රජයම පත් කරපු උගත් පාඩම් කොමිසම එකක් කියනවා. ඒගොල්ලන්ගේ ඇක්ෂන් ප්ලෑන් එක කීප දෙයක් පිළි අරගෙන මේවා කරන්න ඕනේ කියල තියෙනව. එහෙම තියෙද්දී මේ ඔක්කොටම පටහැනිව ඇයි රජය මේ වගේ ක්‍රියා කරන්නේ කියල එගොල්ලන්ටත් පුදුම වෙලා තියෙනවා" දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටින බව ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළත්, ඒ කිසිවක් ක්‍රියාත්මක කොට නොමැති බවට යුද්ධය සම්බන්ධ හමුදාවේ වාර්තාව හොඳම සාක්ෂිය බව ද ඔහු පැවසීය. විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් විසින්ම යුධ අපරාධ චෝදනා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරද්දී හමුදාව එම චෝදනා හදිසියේම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවඇමෙරිකානු දූත මණ්ඩලයේ විමතියට හේතු වූ බවයි ඔහු පවසන්නේ. "රජයම පත් කරපු උගත් පාඩම් කොමිසම එකක් කියනවා. ඒගොල්ලන්ගේ ඇක්ෂන් ප්ලෑන් එක කීප දෙයක් පිළි අරගෙන මේවා කරන්න ඕනේ කියල තියෙනව. එහෙම තියෙද්දී මේ ඔක්කොටම පටහැනිව ඇයි රජය මේ වගේ ක්‍රියා කරන්නේ කියල එගොල්ලන්ටත් පුදුම වෙලා තියෙනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අවධානයට යොමු කෙරෙනු ඇති බව තම විශ්වාසය බව ද මන්ත්‍රීවරයා පැවසීය. නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස් මුවර්, නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජේන් සිමර්මන් සහ නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් වික්‍රම් සිං ගෙන් සමන්විත ත්‍රි- පුද්ගල ඇමෙරිකානු දූත මණ්ඩලය සිය සංචාරයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය ජී එල් පීරිස් ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන් ද මුණ ගැසීමට නියමිතයි. එම දූත පිරිස සඳුදා යාපනයේ සංචාරයක යෙදීමට ද නියමිතයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ටත් රටේ සමාන පුරවැසියන් ලෙසින් සලකන මෙන් දශකයකට ආසන්න කාලයක් මුළුල්ලේ කෙරෙන ඉල්ලීම ඉටුකිරීමට කිසිදු උනන්දුවක් නොදක්වන බවට මුස්ලිම් ක්‍රියාධාරිනියෝ බලධාරීන්ට චෝදනා කරති. | විශේෂයෙන්ම දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් මුස්ලිම් කාන්තාව දැඩි නොසලකා හැරීමකට ලක්කෙරෙන අතර දැරියන් අපයෝජනයට ලක්වීමට පවා එය හේතු වී ඇති බවත් මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාධාරිනියෝ බීබීසී සංදේශයට පැවසූහ. එබැවින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කළ යුතු අතරම, රටේ එතෙක් පැවති සියලුම ලිඛිත සහ අලිඛිත නීති තවදුරටත් බලපැවැත්වෙන බව සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16.1 වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවත් මානව හිමිකම් ක්‍රියාධාරිනී එර්මීසා ටෙගල් පෙන්වා දෙන්නීය. "මේ ගැන සාකච්ඡා කරනවා විතරයි. කිසිම පියවරක් අරන් නැහැ. සාකච්ඡා කරන්නෙත් කිහිප දෙනෙක් විතරයි," ඇය සඳහන් කළාය. "ඒ සාකච්ඡාවලදීත් මුස්ලිම් කාන්තාවට වෙන නොලකා හැරීම් හෝ අතවර ගැන කතාකරලා, මේක මේ මොහොතේම වෙනස් කළයුතුයි කියල බලපෑමක් තිබිල නැහැ. අපිට හිතෙන විදියට මේ ගැන කිසිම දෙයක් කරන්න උනන්දුවක් නෑ." විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16.1 වගන්තිය යටතේ රටේ අනෙක් පුරවැසියන් හා සමානයන් ලෙසින් සැලකුම් ලැබීමේ අයිතිය මුස්ලිම් කාන්තාවට අහිමි කරනු ලැබ ඇති බව එර්මීසා ටෙගල් අවධාරණය කරන්නීය. "කොයි ආගමක් ඇදහුවත්, කුමන ජනකොටසකට අයත් වුනත් ඒගොල්ලන්ට අයිතියක් තියෙන්න ඕනේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවකදී ඒකට විරුද්ධව අධිකරණයකට යන්න," ඇය සඳහන් කළාය. එහෙත් 16.1 වගන්තිය මගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිය පවා අහිමි කරනු ලැබ ඇති බව ඇය සංදේශයට කියා සිටියාය. |
ඖෂධ නාමයෙන් තොර බෙහෙත් වර්ගයක් තහනම් කරන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය නියෝග කළේය. | පිළිකා රෝගයට නව ප්‍රතිකාරයක් වශයෙන් නිපදවුණ අලුත් ඖෂධයක් සඳහා පේටන්ට් බලපත් ලබා ගැනීමට සමාගම ගත් උත්සාහයක් අධිකරණය බැහැර කළේය පිළිකා රෝගයට නව ප්‍රතිකාරයක් වශයෙන් නිපදවුණ අලුත් ඖෂධයක් සඳහා පේටන්ට් බලපත් ලබා ගැනීමට Novartis ස්විට්සර්ලන්ත සමාගම විසින් ගනු ලැබූ උත්සාහයක් බැහැර ලමිනුයි, ඉන්දීය අධිකරණය එම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ. "Glivec" යන නමින් ස්විස් සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නව ඖෂධය, කලින් භාවිතා කෙරුන ඖෂධයට වඩා ප්‍රමාණාත්මක වෙනස් නිමැවුමක් නොවන හෙයින් ඉන්දියානු නීතිය අනුව ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් දිය නොහැකි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළේය. 'වැදගත් පූර්වාදර්ශයක්' නඩු තීන්දුව හෙළා දකිමින් Novartis ස්විට්සර්ලන්ත සමාගම කියා සිටින්නේ, වෛද්‍ය අංශයේ නව නිෂ්පාදන එවැනි තීන්දු මගින් අධෛර්යට පත් කෙරෙන බවයි. ඖෂධ නාමයෙන් තොර බෙහෙත් මගින් කෙරෙන ප්‍රතිකාර අතින් බලන විට ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව නිසා දුප්පත් රටවලට ලාභ මිලට බෙභෙත් ලබා ගැනීමට අවස්ථාවක් උදාවන බව උද්ඝෝෂකයෝ පෙන්වා දෙති. ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව මහජන සෞඛ්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සංවිධානවල අගය කිරීමට ලක් වෙමින් පවතී. දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය (Medecins Sans Frontieres) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එම තීන්දුව වැදගත් පූර්වාදර්ශයක් සපයන ලද බවයි. එසේම එම තීන්දුව නිසා දුප්පත් රටවල බොහෝ ජනජීවිතවලට ආරක්ෂාවක් සහතික කෙරෙන බව ද එම සංවිධානය ප්‍රකාශ කරයි. |
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් ක්‍රීඩා ලෝලීන්ගේ ඡන්දයෙන් තේරී පත් වී සිටී. | වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබන දෙවැනි ඉන්දීය ක්‍රීඩකයා දෝනි ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන් 188,000 කට ආසන්න පිරිසක් ජනප්‍රියම ක්‍රීඩකයා ත්රීමේ තරඟයට සහභාගි වූ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. 2010 දී එම සම්මානය මුලින්ම නිවේදනය කළ අවස්ථාවේ, වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් තේරී පත් වූයේ සචින් තෙන්ඩුල්කාර්. ඉන් අනතුරුව 2011 දී සහ 2012 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මේ අතර, අයිසීසීය විසින් ප්‍රකාශයට පත් කළ වසරේ දක්ෂතම එක් දින කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනකු තෝරා ගෙන තිබේ. තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග, මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් එක් දින කණ්ඩායමේ සාමාජිකයන් වන නමුත් වසරේ දක්ෂතම ටෙස්ට් කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු තෝරා ගෙන නැත. |
මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයක් විසින් පවත්වන ලද පරීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම මෝටර් රථ අසමත් වී ඇත. | යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ මෝටර් රථවල ආරක්ෂාවට අදාළ විධිවිධාන සමඟ සලකා බැලීමේදී, ඉන්දියාවේ නිපදවන කුඩා වර්ගයේ මෝටර් රථ වර්ග පහකම තිබෙන්නේ වසර විස්සකටත් පෙර පැවති ආරක්ෂක විධිවිධාන බව Global NCAP ආයතනය කළ සමීක්ෂණයෙන්පෙන්නුම් කෙරෙයි. “ඉන්දියාවේ තියන අවාසනාවන්ත තත්වය තමයි, මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැති වීම. ඒ නිසා එවැනි පරීක්ෂණයකදී ඉන්දියාවේ මෝටර් රථ අසමත් වීම පුදුමයක් නෙවෙයි. Global NCAP ආයතනයේ ප්‍රධානී ”ඩේවිඩ් වෝඩ් පවසයි. ලෝකයේ ලාබම මෝටර් රථය වන 'ටාටා නැනෝ' සහ 'ෆෝර්ඩ්', 'ෆොක්ස්වාගන්' සහ 'හයිඋන්ඩායි' වර්ගවල ඇතැම් මෝටර් රථ ද අසමත් වාහන අතර වෙති. වායු මල්ලක් නැහැ එම සියලුම වාහන නිපදවනු ලැබ තිබෙන්නේ ඉන්දියාවේ. වේගයෙන් ඉහල යමින් පවතින ඉල්ලුම හමුවේ එම වාහන ලාභයට නිපදවීමේ අරමුණින්, රිය අනතුරකදී මගී ආරක්ෂාව සඳහා සවි කෙරෙන වායු මල්ල(Air Bag)ආදිය ඉහත කී වර්ගවල වාහනවලට සවිකොට නැති බවයි පැවසෙන්නේ. 'ටාටා නැනෝ' ශ්‍රී ලංකාවේද ජනප්‍රියම මෝටර් රථයකි. මෝටර් රථ අනතුරුවලින් ලොව වැඩිපුරම පිරිසක් මරුමුවට පත් වන රට ඉන්දියාවයි. |
කොවිඩ් 19 රෝගය මිනිසාගෙන් බළලුන්ට බෝවී ඇති බවට සැලකිය හැකි ආසාදනයන් දෙකක් ස්කොට් ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුනාගනු ලැබ ඇත. | කොරෝනාවෛරසය ආසාදනය වූ බළලුන් දෙදෙනෙකු පිළිබඳව පර්යේෂණ සිදු කළ ග්ලාස්ගොව් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කියා සිටියේ එම බළලුන් දෙදෙනාටම රෝගය වැළඳී ඇත්තේ එකී සුරතුලුන්ගේ අයිතිකරුවන්ට කොවිඩ් 19 වැළඳීමෙන් අනතුරුව බවය. එම බළලුන් දෙදෙනා වර්ග දෙකකට අයත් වන අතර නිවාස දෙකක ජීවත් වෙති. ඉන් එක් බළලෙකුට මතුවී ඇත්තේ සුළු රෝග ලක්ෂණ පමණි. නමුත් අනෙක් බළලා අසාධ්‍ය තත්ත්වයකට පත් වීමෙන් අනතුරුව ජීවිතය නිමා කර ඇත. මේ අනුව දැන් විද්‍යාඥයන්ට අවශ්‍ය වී ඇත්තේ සුරතල් සතුන් හරහා මිනිසුන්ට කොවිඩ් 19 වැළඳීමට ඇති හැකියාව පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමට ය. ආසාදිත බළලුන් දෙදෙනා සොයා ගෙන ඇත්තේ එක්සත් රාජධානිය පුරා ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව සිදු කෙරුණු පර්යේෂණ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම බළලුන් දෙදෙනා රෝගී වීමට පෙර අයිතිකරුවන්ට කොවිඩ් වැළඳී තිබුණි. එබැවින් අයිතිකරුවන්ගෙන් මෙම බළලුන්ට එම රෝගය බෝවන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම අධ්‍යයනය පිළිබඳ විස්තර පශුවෛද්‍ය වාර්තාවල පළ කර තිබේ. එහි සඳහන් වන්නේ බලලුන්ගෙන් මිනිසාට කොවිඩ් 19 ව්‍යාප්ත වන බවට සහතිකවම කිව හැකි සාධක තවමත් සොයාගෙන නොමැති බවය. එමෙන්ම මිනිසුන් අතර මෙම වසංගතය පැතිර යාම සඳහා බල්ලන්, බළලුන් හෝ වෙනත් සුරතල් සතුන් ප්‍රධාන සාධකයක් වී ඇති බවට තවමත් සනාථ වී නොමැති බවද එම වාර්තාවේ සඳහන් වේ. නමුත් මෙම රෝගය දිගටම ව්‍යාප්ත වීම සඳහා ඉඩකඩ සැලසිය හැකි, වෛරස දරා සිටින්නන් බවට මෙම සුරතල් සතුන් පත්වීමේ ඉඩකඩක් පැවතිය හැකි බව විද්‍යාඥයෝ පවසති. එබැවින් මෙම රෝගය ව්‍යාප්තවීමේ දී මිනිස් ඇසුරේ සිටින සතුන් ප්‍රධාන සාධකයක් වේද යන්න පිළිබඳව පර්යේෂණ පැවැත්වීම ඉතා වැදගත් බව ඔවුන්ගේ අදහසයි. 'සාපේක්ෂව අඩු අවදානමක්' "මිනිසාගෙන් සතුන්ට රෝගය බෝවී ඇති බවට සැලකිය හැකි මෙම ආසාදන අවස්ථා දෙක හමුවුණේ, එක්සත් රාජධානියේ ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව කළ පර්යේෂණයකින්. එයින් පෙනී යනවා සතුන් අතර පවතින කොවිඩ් ආසාදනය පිළිබඳවත් දැනුම වර්ධනය කර ගැනීම කෙතරම් වැදගත් ද කියල." ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේ වෛරස පිළිබඳ පර්යේෂණ අංශයේ මහාචාර්ය මාගරට් හොසී පැවසුවාය. "දැනට පවතින සාධක අනුව නම් පෙනී යන්නේ සතුන්ගෙන් මිනිසුන්ට මෙම රෝගය බෝවන්නට පවතින්නේ සාපේක්ෂව අඩු අවදානමක් බවයි. නමුත් මහජන සෞඛ්‍යය සැලකිල්ලට ගත්තම මිනිසාගෙන් - මිනිසාට කොවිඩ් 19 වැළඳීමේ අවදානම ඉතා ඉහළයි." "කෙසේ නමුත්, මිනිසුන් අතර මෙම රෝගය අඩු වීමක් සිදුවුවත් සතුන් අතර එය ව්‍යාප්ත වීම පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වන්නේ නැවතත් එය මිනිසුන් අතරට රැගෙන ඒමට එය හේතුවක් විය හැකි නිසයි. ඒ නිසයි මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කොට අපගේ දැනුම වර්ධනය කර ගැනීම වැදගත් වෙන්නේ." ඇය තවදුරටත් පැවසුවාය මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ පවත්වාගෙන යන පශු රෝග විනිශ්චය සේවාවේ පර්යේෂකයන්ගේ ද සහභාගිත්වය ඇතිවය. ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පීඨය ඉහත කී එක් බළලෙකු ශ්වසන අපහසුතා පෙන්නුම් කර ඇත්තේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දීය. එම නිවසේ පදිංචිකරුට කොවිඩ් රෝග ලක්ෂණ මතු වී තිබුණේ 2020 මාර්තු මාසයේ අග භාගයේදී ය. මාස හතරක් වයසැති එම බළල් සුරතලිය අසාධ්‍ය තත්ත්වයකට පත් වූ හෙයින් ජීවිතය නිමා කරන්නට සිදු විය. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් පෙනහළු නියැදි වලින් පෙනී ගියේ වෛරස නියුමෝනියාව හේතුවෙන් පෙනහළුවලට හානි සිදු වී ඇති බවය. එමෙන්ම, Sars-CoV-2 වෛරසය ආසාදනය වී තිබුණු බවට ද ඔප්පු විය. සුළු රෝග ලක්ෂණ දෙවනුව හමු වූ ආසාදිත බළලා ගේ වයස අවුරුදු හයකි. එම නිවසේ සාමාජිකයෙකුට ද කොවිඩ් 19 වැළඳී තිබුණි. මෙම බළලාගේ නාසයෙන් සොටු දියර ගලන්නට විය. සෙම්ප්‍රතිශ්‍යාව සහිත සුළු රෝග ලක්ෂණ පමණක් මතු විය. පශුවෛද්‍යවරයෙකු වෙත ගෙන යාමෙන් අනතුරුව බළලා සුවය ලැබීය. නමුත් එම බළලාගේ ශ්ලේෂ්මල පරීක්ෂා කිරීමෙන් අනතුරුව තහවුරු වූයේ ඇයට ද කොවිඩ් 19 වැළඳී තිබුණු බවය. කෙසේ නමුත්, ගෘහාශ්‍රිත සතුන් පරීක්ෂාවට ලක් කිරීම ඉතා සීමිතව සිදුවන හෙයින් මෙය අවස්ථා දෙකක් පමණක් ලෙස අවතක්සේරු කළ නොහැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම වසංගතය ආරම්භ වූ සමයේ ද ගෘහාශ්‍රිත බළලුන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබුණු අවස්ථා කීපයක් මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණි. හොංකොං, බෙල්ජියම, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය ආදී රටවලින් ලැබුණු මෙම වාර්තා අනුමාන කර තිබුණේ මිනිස් ඇසුරින් මෙම බළලුන්ට කොවිඩ් 19 අසාදනය වන්නට ඇති බවය. |
පසුගිය ආණ්ඩුවේ දූෂණ සහ වංචා විභාග කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් ප්‍රධානීන්ට අවශ්‍යව තිබෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ චෝදනා කරයි. | සන්ධානයේ බොහෝ දෙනාට දූෂණ හා වංචා චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔවුන් සිය ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ දරමින් සිටින බවයි අගමැතිවරයා පවසන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ එම චෝදනාව එල්ල කළේ නුවරඑලියේ දී ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින්. එබැවින් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් දූෂිතයන් පාර්ලිමේන්තුවෙන් පලවා හරිමින් දූෂණයට සහ වංචාවලට එරෙහිව නිසි පියවර ගැනීම පිණිස දින සියයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්‍යවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කළේය. පුද්ගලිකව දොස් පසුගිය පරිපාලනය සමයේ ප්‍රබල දූෂණ වංචා සිදු කළ බවට චෝදනා ලැබූවන්ට එරෙහිව පියවර නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරන බව අගමැතිවරයා පිළිගත්තේය. ඒ පිළිබඳව ඇතැමුන් තමන්ට පුද්ගලිකව දොස් නගන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ‘සමහරු මට බනිනවා. තමුන්නාන්සේත් ඩීල් එකක් දාල ද කියල මගෙන් අහනවා. අපි වේදිකාවේ චෝදනා කළා කියල මේ අයව කූඩුවට දානවනම් අපිත් රාජපක්‍ෂ රෙජීමය ගිය පාරේ යන්නේ.’ අගමැතිවරයා පැවසීය. රටින් පිට කළ වත්කම් ශ්‍රී ලංකාව තුළ පවතින වත්කම් පමණක් නොව රටින් පිට කරන ලද වත්කම් සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම පිණිස දැනටමත් ජාත්‍යන්තර සහාය පතා තිබෙන බවත් අගමැතිවරයා කියා සිටියේය. කෙසේ නමුත් දින සියයට පෙරාතුව ඒ මූලික ක්‍රියාදාමය අවසන් කරන බවට ප්‍රතිඥා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, දූෂණ වංචා පිළිබඳව තවමත් තොරතුරු ලබා නොදුන් ඇතැම් අමාත්‍යංශ පිළිබඳව ද සොයා බලන බවත් සඳහන් කළේය. |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු, හිටපු නායක කුමාර් සංගක්කාර තවත් ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා අතර තවත් කඩයිමක් සනිටුහන් කළේය. | පාකිස්තානයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ හතරවැනි දිනයේ කුමාර් සංගක්කාර රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 221 කි. ඒ සමඟ ටෙස්ට් ක්‍රිකට් පිටියේ සංගක්කාර වාර්තා කර ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව දහයකි. ටෙස්ට් ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක ලාභීන් හැටියට කුමාර් සංගක්කාරට ඉදිරියෙන් දැන් සිටින්නේ ක්‍රිකට් ලෝකයේ අනභිභවනීය ක්‍රීඩකයා ලෙස පුද ලබන දොන් බ්‍රැඩ්මන් පමණි. දොන් බ්‍රැඩ්මන් ලබා ඇති ටෙස්ට් ක්‍රිකට් ද්විත්ව ශතක සංඛ්‍යාව දොළහකි. මෙතෙක් එම වාර්තාවට සමීපව සිටි බටහිර ඉන්දීය සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා ද්විත්ව ශතක නවයක් ලබා ඇති අතර ඔහුත් පසු කරමින් දොන් බ්‍රැඩ්මන් කරා ලංවීමට කුමාර් සංගක්කාර සමත්ව සිටියි. කුමාර් සංගක්කාර විසින් තබන ලද නව වාර්තාව සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේ, ද්විත්ව ශතකයක් වාර්තා කිරීම ක්‍රිකට් ක්‍රීඩකයකුට දුෂ්කර ක්‍රියාවක් වන නමුත් සංගක්කාර ඉතා අලංකාර පිති හරඹයක නිරත වූ බවයි. |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමිත පරිදි මේ මාසය අග භාගයේ පාකිස්තානයේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. | ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ගඩාෆි ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය කිසියම් ලෙසකින් එම සංචාරය වෙනස්විය හැක්කේ පාක්සිතානයේ ආරක්ෂක වාතාවරණයේ ප්‍රබල වෙනසක් වුවහොත් පමණක් බව ද ශ්‍රී ක්‍රිකට් ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තානයට එරෙහිව තරග වැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, මේ මස 29 වෙනි දින ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතය. 2009 මාර්තු 03 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම ලහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වීමෙන් අනතුරුව, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම නවතා දැමුවේය. එවක් පටන් පාකිස්තානයේ සංචාරයක නිරත වූයේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි. ක්‍රීඩකයන් විරෝධය දක්වා නෑ - තිලංග සුමතිපාල මේ අතර පසුගිය මාසයේ ප්‍රථම වරට පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සිය රටේදීම තරග වැදුන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ද එම ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයෙකු විය. කෙසේ වුවත්, තවමත් පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් නොමැති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්, ඔක්තෝබර් 29 වෙනි දින තරගය ලාහෝර් නගරයේ පැවැත්වීම පිළිබඳව සිය විරෝධය පළ කර ඇතැයි බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ, ක්‍රීඩකයන් එවැනි විරෝධයක් පළ කර නොමැති බවය. කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් නොව ඇතැම් පැරණි ක්‍රීඩකයන් එවැනි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද ඔහු පැවසීය. පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක විශේෂඥයන් ලබන 12 වෙනි දින විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කළ තිලංග සුමතිපාල, එම වාර්තාව මත පදනම්ව සංචාරය සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමට නියමිත බවත් කියා සිටියේය. තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව ලාහෝර් නුවර ප්‍රහාරයේදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, නායක මහේල ජයවර්ධන, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස් සහ සුරංග ලක්මාල් තුවාල ලැබූහ. එහිදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීර පසුගියදා බීබීසී ක්‍රීඩා අංශය සමග අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයෙන් ඇති වූ මානසික කම්පනයෙන් ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැති බවය. "මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද. ළඟදි පාකිස්තානේ සංචාරය කරන්න මගේ බලාපොරොත්තුවකුත් නෑ," තිලාන් සමරවීර පැවසීය. ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවකට උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ. |
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් අගමැතිවරයා වෙත බාර දෙනු ලැබීමෙන් පසු එම වාර්තා වේ අන්තර්ගත කරුණු පිලිබඳ සංක්ෂිප්ත වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත් කොට තිබේ. | ශ්‍රී ලන්කන් ගුවන් සේවය තුළ සිදුවීයැයි කියන දුෂණ රැසක් හෙළි වී ඇති බවයි පැවසෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබා ගැනීමේදී සිදු වී යැයි කියන අක්‍රමිකතා මෙන් ම පසුගිය රජයේ පාලන කාලය තුළ සිටි ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානින් එම ගුවන් සේවය අයථා ලෙස පරිහරණය කළ ආකාරය පිලිබඳ කරුණු ද වැලිඅමුණ වාර්තාව මගින් හෙළි කර තිබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ ප්‍රකාශනයේ සඳහන් වන්නේ. අධිකරණයට පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහයි. අග්‍රාමාත්‍ය කාර්යාලය මගීන් නිකුත්කර ඇති සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වන ආකාරයට සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ. වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානී වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූට ලේඛන සකසා අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගනු ලැබ ඇත්තේ වික්‍රමසිංහ ගේ ප්‍රයෝජනය සඳහායි. එය ඔහු වෙත ලබා දී තිබුණු සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරව ලබාගත් එකක් බවයි සඳහන් වන්නේ. නාමල් ගේ සහයට වාර්තාව මගින් එලි දැක්වී ඇති තවත් සුවිශේෂී තොරතුරක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ ගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීමයි. සඳහන් වන ආකාරයට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ඉල්ලීමක් මත මෙම ගුවන් සේවිකාව නිදහස් කර ඇති අතර ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා දෙන දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ඇයට ගෙවා තිබේ. මෙම මුදල ආපසු ලබාගත යුතු බවයි වාර්තාව යෝජනා කර ඇත්තේ. ශ්‍රී ලන්කන් ආයතනයට සේවකයන් බඳවා ගැනීමේ දී සිදුවී යැයි කියන අක්‍රමිකතා පිලිබඳ වාර්තාවේ සඳහන් වෙන ආකාරයට බඳවා ගැනීමේ විභාගය නොකඩවා කිහිප වතාවක් ම අසමත් වූ කිහිප දෙනෙකු ම කළමනාකරුවන්ගෙන් ලැබුණු වාචික ඉල්ලීම් මත බඳවා ගෙන තිබේ. “ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහ ගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි. සුදුසුකම් ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේන ඔහු දරු නිලය සඳහා සුදුසුකම් තිබූ අයෙක් නොවන බවයි වැලි අමුණ කමිටුව විසින් හඳුනා ගෙන ඇත්තේ. එසේවුවද , ඔහු රුපියල් මිලියන එක හමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රී ලන්කන් සමාගමෙන් ලබාගෙන ඇත්තේ මිහින් ලංකා සහ මොබිටෙල් ආයතන වල ද ප්‍රධානියා ලෙස වැටුප් ලබමින්. වාර්තාව මගින් හෙළි කර ඇති දුෂණ සහ අක්‍රමිකතා ලැයිස්තුවේ සඳහන් තවත් කරුණක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ සඳහා ලන්ඩනයේ සිට මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ යැවීම සිදුවෙමින් පැවතී ඇති අතර එයට විරුද්ධ වූ ලන්ඩනයේ කළමනාකාරවරයා හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත හදිසියේ මාරු කර යැවීමයි. මී ට අමතරව නීති විරෝධී ලෙස පුද්ගලයන් විදේශ වලට රැගෙන යාමට ශ්‍රී ලන්කන් කාර්යමණ්ඩලයේ මැදිහත්වීමක් සහ ගුවන් ආරක්ෂාව පිලිබඳ කිසිදු පළපුරුද්දක් නැති විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් රුපියල් හාර ලක්ෂ පනස් දහසක වැටුපකට බඳවාගෙන තිබීම පිළිබඳවත් වැලිඅමුණ වාර්තාව මගින් එලි දක්වා ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ වාර්තාවේ සඳහන් වන්නේ. මේ අතර සති 6ක් වැනි කාලයකින් මෙම වාර්තාව පිළියෙළ කර ලබා දීම පිළිබඳ ව ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ කමිටුවට සිය ප්‍රසාදය පළ කර තිබේ. |
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකාගේ නම නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ඡන්දදායක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මෙන් මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. | ජනරාල් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා එම පියවර ගන්නා බවයි, මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් සංදේශයට ප්‍රකාශයක් කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ, ජනරාල් සරත් ෆොන්සේකා ඡන්දදායක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීම ඔහු ඉදිරි ජනාධිපතිවරණයක දී තරඟ වැදීම වළක්වා ලීමේ උපායක් වන බවයි. එදා ඡන්දය දුන්නා තවදුරටත් කරුණු පැහැදිලි කරන මන්ත්‍රීවරයා පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ජනරාල් ෆොන්සේකාට ඔහුගේ ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොවූ බවයි පෙන්වා දුන්නේ. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා 2013 ඡන්දදායක ලැයිස්තු අනුව\ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානයක දී ඔහුගේ ඡන්දය පාවිච්චි කර තිබුණි. කෙසේ වුවද, නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය පරිදි ජනරාල් සරත් ෆොන්සේකා ගේ නම 2014 ඡන්දදායක ලැයිස්තුවෙන් මකා දැමීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනු ඇතැයි මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි. එම තීන්දුව අද සිකුරාදා මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවේ ප්‍රකාශයට පත් කරනු ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි. |
විශේෂ බදු සහන ලබාදෙමින් මහා පරිමාන කැසිනෝ ව්‍යාපෘති දෙකක් හඳුන්වා දීමට මීට මාස කිහිපයකට ඉහතදී ගත් උත්සාහය මහ නායක හිමිවරුන් සහ විපක්ෂයේ විරෝධය මත හකුලාගත් ආණ්ඩුව, කැසිනෝ ව්‍යාපෘතිය යලිත් හඳුන්වා දීමට සැරසෙන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. | 'කැසිනෝ සූදුව යනු කළු සල්ලි සුදු කරන, පාදඩ ආර්ථිකය, අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, දේශපාලන බලය මෙහෙයවන එකක්' ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි තුන්සීයක පමණ බදු ආදායමක් අහිමි කෙරෙන කැසිනෝ ව්‍යාපෘතිය සම්බන්ධ ගැසට් තුනක් ඉදිරි සතියේ විවාදයට ගැනීමට නියමිත බවයි, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ. "කැසිනෝ සූදුව යනු ගණිකාව, සුරාව, සූදුව යන සියල්ල ව්‍යාප්ත කරන ව්‍යාපාරයක්. ඒ වගේම කළු සල්ලි සුදු කරන, පාදඩ ආර්ථිකය, අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, දේශපාලන බලය මෙහෙයවන එකක්. සමාජ අපරාධ වර්ධනය කරන ව්‍යාපාරයක්. එය ගමේ බූරුපොළකට එහා ගිය භයානක ප‍්‍රතිඵල අත්කරදෙන ව්‍යාපාරයක්," යනුවෙන් ඔහු කියා සිටියේය. මහින්ද චින්තන ප්‍රතිපත්තියේ මතට තිත සංකල්පය යටතේ සදාචාරවත් සමාජයක් ගොඩ නැගීමට ප්‍රතිඥා දුන් ආණ්ඩුව 2010 මැතිවරණ ජයග්‍රහණයත් සමඟම ඒ පොරොන්දු බිඳ දැමූ බවටත් විජිත හේරත් මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කරයි. 'ඔළුවෙන් සිටුවීම' ඔහු එය හැඳින්වූයේ මහින්ද චින්තනය ඔළුවෙන් සිටුවීමක් ලෙසින්. "2010 දෙසැම්බර් මාසයේ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් පසුව සියලූම කැසිනෝ ශාලා එක් බිම් කොටසකට සීමා කරන්න කියලා ගැසට් එකක් ගෙනාවා. එහි අඩංගු වුණේ කැසිනෝ සූදුව ඩීආර් විජේවර්ධන මාවතට ගේනවා කියලා. ඉන් පසුව ආණ්ඩුව ඩීආර් විජේවර්ධන මාවතින් එහාට ගොස් කැසිනෝ ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට ගැසට් දෙකක් ගෙනාවා," යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. සූදු සහ ඔට්ටු ඇල්ලීමට අවසර ලබාදෙන බව එම ගැසට් නිවේදනවල සඳහන් වූ බව පවසන විජිත හේරත් මන්ත්‍රීවරයා, විපක්ෂයේ සහ ආගමික නායකයන් ඇතුළු සමාජයෙන් මතු වූ විරෝධය මැද ආණ්ඩුව එම ගැසට් ඉවත් කර ගත් බව පෙන්වා දෙනවා. එහෙත් ඉන් මාස කිහිපයකට පසුව ආණ්ඩුව අලුත් ගැසට් තුනක් මගින් කැසිනෝ ශාලා තුනකට අවසර ලබා දී ඇති බව මන්ත්‍රීවරයාගේ චෝදනාවයි. "ක‍්‍රමෝපාය සංවර්ධන පනතට අනුව ගෙන එන්නේ රටේ ප‍්‍රධාන ආර්ථික ව්‍යාපෘති පමණයි. ඒවා රටේ ආර්ථික මර්මස්ථාන බවට පත්වෙනවා. සියලූ බදු නිදහස හිමිවෙනවා. ආණ්ඩුව දැන් සිදුකර තිබෙන්නේ කැසිනෝ ව්‍යාපෘති ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ වර්ග කිරීමයි. ඒ අනුව කැසිනෝ ව්‍යාපාරය සියලුම බදුවලින් නිදහස් වෙනවා." ප්‍රතිචාරයක් නෑ දැවැන්ත කැසිනෝ ශාලා අවුරුදු පහළොවක් තරම් කාලයක් බදුවලින් නිදහස් කරන ආණ්ඩුව ජනතාවගේ සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් විශාල බදු අය කරමින් සිටින බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. "කැසිනෝ පේ‍්‍රමීන් කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තමයි මේ ගැසට් තුන ගෙනත් තිබෙන්නේ. බොරු දේශපේ‍්‍රමීන් රට ඉදිරියේ ජනතාවට එකක් කියමින් කැබිනට් එකේදී කැසිනෝවලට අත උස්සනවා. මෙයින් රට අගාධයට යනවා පමණක් නෙවෙයි, ඩොලර් බිලියන 03ක පමණ බදු ආදායමක් රටට අහිමි වෙනවා. “ රහසිගතව කැසිනෝ ඉදිකිරීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පළ කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා. මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස විෂය භාර අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
බුලත්සිංහල ආසනයේ කුඩලිගම, ඉහල කුඩලිගම, ඉද්දගොඩ වැනි ගම්වල දෙදහසකට ආසන්න පවුල් තවමත් සම්පූර්ණයෙන්ම ගංවතුරට කොටු වී සිටින බව ප්‍රදේශවාසීහු පවසති. | අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මුළු පිරිස 110,743 ක් දහස් ගණනක පිරිසක් දින ගණනාවක් මුළුල්ලේ මෙසේ කොටු වී සිටියත් ප්‍රදේශයේ දේශපාලන නායකයන් ඇතුළු බලධාරීන් ගෙන් මෙතෙක් පිහිටක් නොලැබුන බවත් කුඩලිගම වැසියකු වන කෝලන්කාගේ ලක්ෂ්මන් සුසන්ත කුඩලිගම සංදේශයට කියා සිටියේය. "රජයෙන් කියල කිසිම මැදිහත්වීමක් වුනේ නැහැ. කෑම පැකට් දවස් තුනක් බෙදුව කැප්ටන් කුඩලිගම කියල කෙනෙක්. ග්‍රාමසේවක හරහාත් එක දවසක්ද කොහෙද කෑම පැකට් හම්බ වෙලා තිබුණ. ඇමතිවරු පස් දෙනෙක්ද කොහෙද කාර්යාල දාල තිබුන ඡන්ද කාලේ මේ ගමේ," යනුවෙන්ද ඔහු පැවසීය. ගමේ වතුර බැස යාමට තවත් දින හතරක් පමණ ගත වනු ඇති බවද ඔහු සඳහන් කළේය. මුස්ලිම් ආධාර 'සිංහල වැසියන්ට' "දේශපාලනඥයෝ කියල කිසිම දෙයක් කළේ නෑ. එකම දේ කළේ ජනතා විමුක්ති පෙරමුණේ දොස්තර නලින්ද ජයතිස්ස මහත්තය. ඒ මහත්තය ඊයේ දොස්තරවරු එක්ක ඇවිල්ල වෛද්‍ය සායනයක් කළා," බවද සුසන්ත කුඩලිගම වැඩිදුරටත් පැවසීය. මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමතූ අවස්ථාවේ ඒ මොහොතේත් තමන් ආධාර බෙදා දෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා පසුව අමතන මෙන් සංදේශයෙන් ඉල්ලා සිටියේය. මේ අතර ගංවතුරෙන් බරපතල හානිවලට ලක් වූ බුලත්සිංහල වෙයන්ගල්ල මුස්ලිම් මහා විද්‍යාලය ලබන සතියේ යලි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි පාසලේ විදුහල්පතිවරයා බලාපොරොත්තු පළ කරයි. කුඩලිගම, ඉහල කුඩලිගම, ඉද්දගොඩ වැනි ගම් 'තවමත් කොටු වෙලා' කෙසේ නමුත් ගංවතුරෙන් දැඩි පීඩාවට පත් ගම්වැසියන්ට තවමත් ලැබෙන්නේ පුද්ගලික ආධාර පමණක් බවත් විදුහල්පති මොහමඩ් සාලි අහමඩ් වාරිස් බීබීසී සංදේශයට පැවසීය. පරිත්‍යාගශීලීන් ගෙන් මුස්ලිම් වැසියන්ට ලැබෙන ආධාර ඔවුන් ගමේ වෙසෙන සිංහල පවුල් 139 ක් වෙත බෙදා දුන් බවද විදුහල්පති මොහමඩ් වාරිස් සඳහන් කළේය. මීට දින හතරකට ඉහතදී ආරම්භ වූ ධාරානිපාත වැසි සහ නායයාම් හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක 26 දෙනකු මරුමුවට පත් වී ඇති අතර, එක් අයකු අතුරුදහන්ව තවත් දස දෙනකු තුවාල ලබා තිබේ. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මුළු පිරිස 110,743 ක්. වැඩිදුර විස්තර විමසීම පිණිස ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව අද ඉවතලන කුණු නිසා බරපතළ පීඩාවකට පත් ව සිටිති. | කාත්තන්කුඩි කලපුවේ ගොඩ ගැසූ කුණුකසළ මේවනවිට කලපුවේ අක්කර ගණනක් වසා පැතිර ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට ඉදිරිපත් කරන වාර්තාවක් මගින් පෙන්වා දෙයි. යුද්ධය නිමවීමෙන් පසු ගම්මාන අතහැර ගිය ජනතාව ඔවුන්ගේ ගම්බිම් කරා යළි පදිංචියට පැමිණියත් දැන් ඔවුන්ට පරිසර ගැටළුවකට මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ඉවත ලන කුණු ගොඩ ගසමින් ඇති කලපුව අසළ කාත්තන්කුඩි 'අල්හිරා' කනිෂ්ට විද්‍යාලය ඇති අතර කුණුකසළ ප්‍රශ්නය ළමුන්ගේ ශරීර සෞඛ්‍යයට හානිකර වී ඇති බව විදුහල්පති ඒ.එල්.එම් ෆාරුක් කියා සිටියි. විනාශ කෙරෙන කලපුව කුණු ගොඩ ගසමින් ඇති කලපුව අසළ ඉදි කොට ඇති 'අල්හිරා' කනිෂ්ට විද්‍යාලයේ ක්‍රීඩා පිටිය කලපුවේ ගොඩ ගසන ලද ඉවත ලන කුණු කලාපය මත ළමුන් සඳහා ක්‍රීඩා පිටියක් ඉදිකර ඇතත් එය ඒ සඳහා නුසුදුසු බව විදුහල්පතිවරයාගේ අදහසයි. කාත්තන්කුඩි නගර සභාව පවසන්නේ කුණුකසල දැමීම සඳහා ප්‍රමාණවත් භූමියක් නොමැති හෙයින් කලපුව ආශ්‍රිතව අපද්‍රව්‍ය මුදා හරින බවය. 'යුද සමයේ ප්‍රදේශය අතහැර ගිය පවුල් 542ක් දැන් නැවත කාත්තන්කුඩි නගරය සහ ඒ අවට පදිංචියට පැමිණ සිටිනවා. ජන ගහනය වැඩිවීමත් සමග බැහැර කෙරෙන කුණු ප්‍රමාණය වැඩි වී තිබෙනවා. දවසකට කුණු කිලෝ ග්‍රෑම් තිස්දහසක් පමණ එකතු වෙනවා. ඉන් 25%ක් පමණ කොම්පෝස්ට් ව්‍යාපෘතියට යොදා ගන්නව' නගර සභා ලේකම්වරයා පවසයි. 'කුණු දමන්න ඉඩමක් නැති එකයි අපට තිබෙන ප්‍රධාන ගැටළුව. 2018 වසරේ දී මේ ගැටළුවට ස්ථිර විසඳුමක් ගේන්න දැන් වැඩපිළිවෙළක් සකස් කෙරෙමින් පවතිනවා' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දුර්වල ප්‍රතිචක්‍රීයකරණය ඉවතලන කුණු ප්‍රතිචක්‍රීයකරණය කරමින් කොම්පෝස් පොහොර සෑදීම සඳහා යොදාගනු ලබන්නේ 26% ක් පමණ වන අතරවාරයේ, අනෙක් 74% ක් තරම් අපද්‍රව්‍ය කාත්තන්කුඩි කලපුවට දැමීම නිසා දිනෙන් දින කලපුව ගොඩවීම තවත් ප්‍රශ්නයක් වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පෙන්වා දෙයි. ඒ සමඟ ජලය අපවිත්‍ර වීමෙන් ගැටළුව උග්‍ර අතට හැරෙමින් පවතින බව ප්‍රදේශයේ පරිසර සංවිධාන පෙන්වා දෙති . මේ අතර කුණු දැමීමෙන් මුහුද අපවිත්‍ර කරන ප්‍රධාන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි. මුහුදත් අපවිත්‍ර කිරීමක් ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි, මුතුරාජවෙල, හබරණ, හම්බන්තොට, මීතොටමුල්ල සහ බදුල්ල වැනි ප්‍රදේශ රැසක කුණු කසළ එළිමහනේ ගොඩගැසීම නිසා බරපතළ ගැටළු මත්වී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා මගින් වාර්තා කෙරිණ. |
පුනරුත්ථාපනයෙන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් නිදහස් කරන ලද එල්ටීටීඊ සාමාජිකයන් විශාල පිරිසක් වෙසෙන ස්ථාන පිලිබඳ තොරතුරු සොයා ගත නොහැකි බව බලධාරීහු පවසති. | 10,000 කට ආසන්න එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනයෙන් අනතුරුව නිදහස් කරනු ලැබ තිබේ නිදහස ලබා නිවෙස්වලට ගොස් සිටින එල්ටීටීඊ සාමාජිකයන් සොයමින් ආරක්ෂක හමුදා තම නිවෙස්වලට පැමිණීම හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනකු අතුරුදහන්ව සිටින බවයි, තත්ත්වය පිළිබඳව සොයා බැලූ දිනසේන රතුගමගේ පවසන්නේ. ඔවුන් අතරින් බොහෝ පිරිස් ඔවුන් බලධාරීන්ට ලබා දී ඇති ලිපිනවල පදිංචිව නොසිටින අතර, ආරක්ෂක හමුදාවේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැන් යලිත් බියෙන් පසුවන බව එසේ නිදහස ලැබූ ඇතැමෙක් බීබීසී සංදේශයට පැවසූහ. පුනරුත්ථාපනය කෙරුණු එල්ටීටීඊ සාමාජිකයන් නැවත පරීක්ෂා කිරීමේ ක්‍රියාදාමය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දැඩි විවේචනයට ලක් කරන නමුත් තමන් එවැනි පසු විපරමක් සිදු නොකරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් දර්ශණ හෙට්ටිආරච්චි සංදේශයට කියා සිටියේය. කෙසේ නමුත් ආණ්ඩුව එවැනි පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පිළිගත්තේය. "මේ අය නිදහස් වෙන අයත්, නැවත පසු විපරම් කමිටුව මගින් අධීක්ෂණය කරලා, ඒ අයගේ ආර්ථික ශක්තිය දියුණු කරන්න අවශ්‍ය සියලු ක්‍රියාකාරකම් ගොඩ නැඟල තියෙනවා," බවයි, අමාත්‍යවරයා පවසන්නේ. 10,000 කට ආසන්න එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනයෙන් අනතුරුව නිදහස් කරනු ලැබ තිබේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
අලි ගම් වැදීම නවතාලමින් අලිවැට ආරක්ෂා කිරිමට සිවිල් ආරක්ෂක බලකායේ ආයුධ සන්නද්ධ නිලධාරියන් යොදවන බව වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පසුගියදා පැවසීය. | අලි ගම් වැදීම නවතාලීමට තුවක්කු ලබා දීමට එරෙහිව සත්ත්ව සංවිධාන සහ පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මතු වී තිබේ. මේ අනුව, පසුගිය සෙනසුරාදා (ජනවාරි 11) තඹුත්තේගම පැවති වැඩසටහනක දී සිවිල් ආරක්ෂක භටයින්ට තුවක්කු බෙදා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේය. එහි රැස්ව සිටි ආරක්ෂක අංශ නිලධාරීන් සහ ගොවීන් අමතා වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පැවසුවේ, මාස ගණනක් කළ සාකච්ඡා සහ අදාළ ක්‍රියාවලිය අනුගමනය කරමින් මෙම තීරණයට එළඹුණු බවය. "අලි මිනිස් ගැටුම අවම කිරිමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නවා. දැනට එක් පියවරක් ලෙස අලි වැට ආරක්ෂා කිරිමට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් යොදවනවා. අලිවැට ආශ්‍රීතව මුරකුටි සකස් කරනවා" යැයි මේ පිළිබඳ රැස්වීමක දී අදහස් දැක්වූ වනජීවී අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පැවසීය. ගම්මාන සහ වගාබිම් ව්‍යාප්ත වීමත් සමඟ සතුන්ට ආහාර සහ ජලය හිඟ වී තිබේ. "එක මුරකුටියක සිවිල් ආරක්ෂක බලකායේ මෙන්ම ගමේ ඉදිරිපත්වෙන ස්වේච්ඡා පිරිස්ද සිටිනවා. ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් එක් මුරකුටියකට එක් තුවක්කුවක් දෙනවා ඒ තුවක්කුව දෙන්නේ හාවුන් දඩයම් කරන්නවත් වෙන වන සතුන් දඩයම් කරන්නවත් නෙවෙයි හදිසි අවශ්‍යතාවකදි බේරෙන්න බැරි තැනක් ආවොත් උඩට වෙඩි තබා වන අලි පලවා හැරිමටයි," අමාත්‍යවරයා පැවසීය. "මේ කථාවට වැරදි අර්ථ කථනයක් සමාජ ගතවෙමින් පවතිනවා. නමුත් මම වගකීමෙන් කියනවා මේ තුවක්කු වලින් කිසිම සතෙකුට වෙඩි තැබීම තහනම් ඒ පිළිබඳ විධි විධාන නිකුත් කරල තමයි ගිනි අවිය ලබා දී තිබෙන්නේ." "මේ ඉන්න අලි විතරක් නෙවෙයි කූඹියෙක් මරන්නවත් අපි අනුබල දෙන්නේ නැහැ" යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය. කෙසේනමුත්, අලි ගම් වැදීම නවතාලීමට තුවක්කු ලබා දීමට එරෙහිව සත්ත්ව සංවිධාන සහ පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මතු වී තිබේ. අද දින (ජනවාරි 14) බත්තරමුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් ද පැවැත්වුණ අතර, වනජීවී ඇමතිගේ තීරණයට එරෙහිව "මහජන විරෝධය පළකරමින්" සංදේශයක් ද භාර දුණි. වාර්තාගත අලි මරණ සංඛ්‍යාවක් 2019 වසර තුළ දී ශ්‍රී ලංකාවේ වාර්තාගත ලෙස අලි ඇතුන් 361 ක් මියගොස් ඇති බව පරිසරවේදීන් පිරිසක් පවසති. මින් වැඩි ප්‍රමාණයක් මරා දමනු ලැබ ඇත්තේ මිනිසුන් විසිනි. 1948 නිදහස ලැබීමෙන් පසු වසරකදී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දීය. පසුගිය සැප්තැම්බර් මස හබරණ දී මියගිය අලි මවකගේ සිරුරේ දැවටෙන අවුරුදු 05 ක් පමණ වයසැති පිරිමි වන අලි පැටවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට අලි ඇතුන් 7,500ක් පමණ දිවි ගෙවන බව ඇස්තමේන්තු කර ඇත. ඔවුන් මරාදැමීම නීති විරෝධීය. කෙසේනමුත්, ඔවුන් වනාන්තරවලින් පිටතට පැමිණ ගම් වැදීම හේතුවෙන් අලි-මිනිස් ගැටුම් නිරන්තරයෙන් අසන්නට ලැබේ. ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන්ට දැඩි ගෞරවයක් පළකෙරුණද, ඇතැම් ගොවීන් එම සත්ත්වයින් දකින්නේ සිය වගා පාළු කරන කෘමීන් ලෙසය. අලි ඇතුන්ගේ මරණවලින් 85% සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් යැයි භූමි සහ වගා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදියෙකු වන සජීව චාමිකර බීබීසී සේවය වෙත පැවසීය. විදුලි වැට මෙන්ම ආහාරවල සඟවා විවිධ විෂ වර්ග සහ පුපුරණ ද්‍රව්‍ය මෙම අලි ඇතුන්ට ලබා දීමට ඇතැම් ග්‍රාමීය පුද්ගලයෝ ක්‍රියා කරති. මේ තොරතුරු ද කියවන්න: වගා බිම් පාළු කිරීම නිසා විෂ ලබා දීමෙන් ඝාතනය කළ බවට සැක කළ හැකි අලි හත්දෙනෙකුගේ මෘතශරීර රක්ෂිතයක තිබී පසුගිය සැප්තැම්බර් මස දී සොයාගත් බව නිලධාරීහු පැවසූහ. ගම්මාන සහ වගාබිම් ව්‍යාප්තවීමත් සමඟ සතුන්ට ආහාර සහ ජලය හිඟ වීම ඔවුන් ගම් වැදීමට ප්‍රධාන හේතුව වී තිබේ. සංචාරක ව්‍යාපාරයේ යෙදවීමට සහ උත්සවවලට ඉදිරිපත් කිරීම සඳහා හීලෑ කළ අලි ඇතුන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල රඳවාගෙන සිටිති. වනාන්තර සහ ගම් මායිම් අතර විදුලි වැට ඉදිකර මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බව බලධාරීහු බොහෝ අවස්ථාවල දී පවසා ඇත. නමුත්, සංරක්ෂිත ප්‍රදේශවල තත්ත්වය ඉහළ නැංවීමට රජය මැදිහත් වී ක්‍රියා කළ යුතු බව සජීව චාමිකර පැවසීය. අලි ඇතුන් දිවි ගෙවන ප්‍රදේශවල ඔවුන් ආහාරයට ගන්නා තෘණ වර්ග වසාගෙන පැතිරෙන වල් පැළෑටි ඉවත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මින් එක් ක්‍රමයක් යැයි ඔහු පැවසීය. "අපි සිදු කරන සංවර්ධනය කිරීම් පරිසර හිතකාමී නැහැ. සංවර්ධනය සඳහා අපිට ස්ථීර සැලැස්මක් අවශ්‍යයි," සජීව පැවසුවේය. වන අලි ගමන් කිරීමේ දී දුම්රියවල ගැටීමෙන් මරණ සිදුවන අතර, අන් අය ස්වාභාවික හේතු මත මිය යන බව ඔහු තවදුරටත් පැවසීය. සංචාරක ව්‍යාපාරයේ යෙදවීමට සහ උත්සවවලට ඉදිරිපත් කිරීම සඳහා හීලෑ කළ අලි ඇතුන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල රඳවාගෙන සිටිති. හදිසි අවස්ථාවක අමතන්න අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් දැනුම් දීමට 1992 නමින් නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. 1992 ඇමතීමෙන් අදාළ පුද්ගලයාට වනජීවී ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකි වේ. දුරකතන අංකය දවසේ පැය 24 පුරාම විවෘත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී. වන අලින් ගම්වැදීම , වගාබිම් විනාශ කිරීම, පහරදීම ඇතුළු අලින්ගෙන් වන ඕනෑම උවදුරක් මෙම දුරකථන අංකයට දැනුම් දීමේ හැකියාව ඇත. එම ඇමතුම්වලට ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය. තවත් තොරතුරු: |
ඉන්දියාවේ සෑම විනාඩි 15 කටම වරක් දරුවෙකු ලිංගික අතවරවලට ලක් වෙන බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිදරවු වී තිබේ. | ළමුන් ලිංගික අපයෝජනයට ලක්වීම ගතව ගිය වසර කිහිපය ඇතුළත විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ද බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කෙරුණ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාවේ දැක්වේ. දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියකට දරුවෙකු බිහි කිරීමට සිදුවීමෙන් අනතුරුව ළමා ලිංගික අපචාර පිළිබඳව යළිත් වරක් ඉන්දියාව පුරා ප්‍රබල අවධානය පළවෙමින් පවතී. එම දැරිය දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඇයගේ මාමාවරුන් දෙදෙනෙකුට පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ. සබැඳි යොමු: ස්වදේශ කටයුතු අමාත්‍ය රජ්නාත් සිං (Rajnath Singh) විසින් දිල්ලි අගනුවරදී ප්‍රකාශයට පත්කරන ලද 2016 වසරේදී ඉන්දියාව පුරා සිදු වූ අපරාධ පිළිබඳ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාව ප්‍රකාර, එම වසර ඇතුළත දරුවන්ට එරෙහි අපරාධ 106,958 ක් වාර්තා වී තිබේ. ඒ අතරින් 36,022 ක් දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ගණයට වැටෙන අපරාධ වේ. ලෝකයේ ලිංගික අතවරවලට ලක් වූ දරුවන් වැඩිම පිරිස සිටින රට ඉන්දියාව බව පෙන්වා දෙන දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ (Geeta Pandey), එහෙත් ඒ සම්බන්ධයෙන් විවෘතව කතාකිරීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන බව ද පවසන්නීය. එබැවින් සැබවින්ම ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් පිරිස වාර්තාවේ ඇතුළත් සංඛ්‍යාවට වඩා ඉතා වැඩි පිරිසක් විය හැකි බව ද බීබීසී වාර්තාකාරිය පවසයි. ඉන්දියාවේ ළමා වර්ධනය සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් 2007 දී පවත්වන ලද සමීක්ෂණයකට අනුව, තමන් කිසියම ආකාරයක ලිංගික අපයෝජනයකට ලක් වූ බව සමීක්ෂණයට සහභාගි වූ දරුවන්ගෙන් 53% ක් පවසා තිබිණ. බහුල වශයෙන්ම ඒ දරුවන් අපයෝජනයට ලක්වන්නේ දෙමාපියන්, ඥාතීන් හෝ පාසල් ගුරුවරුන් වැනි ඔවුන්ට ඉතා සමීප පුද්ගලයන් අතින් බව ළමා අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂකයෝ පවසති. |
වසර දොළහට අඩු සේවා කාලයක් සහිත විශ්‍රාමික ආබාධිත සෙබළුන් පිරිසක් දියත්කර තිබෙන උද්ඝෝෂණය පිටුපස දේශපාලන උවමනාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා පවසයි. | ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වැටුප්, දීමනා සහ දුබලතා දීමනාවට අමතරව අදාළ ආබාධිත සෙබළුන් විසින් ඉල්ලා සිටින සේවා විශ්‍රාම වැටුප ලබා දෙනුවස් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි 2017 වසරේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කොට තිබියදීත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමේ අරමුණ කුමක්දැයි යන්න පැහැදිලි නොමැති බව ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි. "නොවැම්බර් මාසයේ දහ වෙනිදා අයවැය ඉදිරිපත් කරනවා. මේ සඳහා වැය වන මුදල ඊට ඇතුළත් කරලා තිබෙනවා. අවුරුදු අටකට පස්සේ, 2016 වසරේ පාරට බැහැලා මේ සිදු කරන උත්සාහය පිටුපස දේශපාලන කාරණයක් තියනවද කියලා අපට හිතෙනවා," ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය. "පසුගිය ආණ්ඩු සමයේ මේ අය පාරට බැස්සේ නැහැනේ. ඔය කියන රණවිරුවන්ට ඔවුන්ගේ වැටුප, ආබාධිත දීමනාව ඇතුළු අවම වශයෙන් රුපියල් හැට පන්දහසක මුදලක් දැනට ගෙවමින් පවතිනවා. මේ කෙටි කාලය තුළ අදාළ කාරණය විසඳීමට ජනාධිපතිතුමා කටයුතු කරලා තිබෙනවා," ඔහු කියා සිටියේය. තමා ආරක්ෂක ලේකම් ධුරය භාර ගන්නා විට අදාළ ආබාධිත සෙබළුන් සම්බන්ධයෙන් පැවති ගැටලු විසි අටෙන් විසි පහකට මේ වන විට විසඳුම් ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය. "තව ප්‍රශ්න තුනයි ඉතිරි වෙලා තිබුණේ. ඒකෙනුත් දෙකකට විසඳුම් ලබා දීලා තියනවා. දැන් ඉතිරි වෙලා තිබෙන්නේ මේ අද කතා කරන සේවා විශ්‍රාම වැටුප සම්බන්ධ ප්‍රශ්නය විතරයි." සේවා විශ්‍රාම වැටුප ලබන වසරේ සිට ලබා දෙන බව අදාළ ආබාධිත සෙබළුන්ට "දහදොළොස් වතාවක්" දැනුම් දී ඇති බවත් ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය. |
යුධ හමුදාව විසින් උතුරු පළාතේ පවත්වා ගෙන යන හෝටල් ව්‍යාපාර හේතුවෙන් අවතැන් වූවන්ට ඔවුන්ගේ මුල් ඉඩම් අහිමි වී ඇතැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සභාපතිවරයා පවසයි. | 'තල්සෙවන හෝටලය ආරක්ෂක විධිවිධානයක් නෙවෙයි, මේක ආර්ථික කටයුත්තක්' 1990 වසරේදී අවතැන්වූ යාපනය දිස්ත්‍රික්කයේ 30,000ක් පමණ වැසියන් තවමත් නැවත පදිංචි කර නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බවයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සභාපති හර්මන් කුමාර බීබීසීයට කියා සිටියේ. යුද්ධය නිසා යාපනය දිස්ත්‍රික්කය තුළ තවමත් අවතැන්ව සිටින පවුල් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක් වී සකස් කළ වාර්තාවක් එළිදක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. යාපනය දිස්ත්‍රික්කයේ අවතැන් වූවන් පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව එළිදක්වනු ලැබුවේ ‘අවතැන්වූ ජනතාවගේ සහ කාන්තා ගෘහ මූලික පවුල්වල ඉඩම් අයිතිය තහවුරු කරනු’ මැයිනි. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන එකතුවේ ප්‍රධානත්වයෙන් වාර්තාව එළි දැක්විණි. යාපනය දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 43ක් මූලික කර ගනිමින් පැවැත්වූ මෙම අධ්‍යනය මගින් එම කඳවුරු වල ජිවත් වන ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය, ආර්ථික හා සමාජ ගැටළු පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කොට තිබේ. 'පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්ති' අවතැන් වූවන් උතුරේ නොමැති බව හැඟවෙන ප්‍රතිපත්තියක සිට පැවති ආණ්ඩුව කටයුතු කළ බව පෙන්වා දෙන හර්මන් කුමාර, වත්මන් පාලනය අවතැන් වූවන්ගේ ප්‍රශ්නය කඩිනමින් විසඳීමට කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය. ජාතික ආරක්ෂාව සඳහා එකී ඉඩම් අවශ්‍ය කරන හෙයින් එම ජනතාව ඒවායේ පදිංචි කළ නොහැකි බවට අගමැතිවරයා සහ බලධාරීන් තර්ක කරන බව පෙන්වා දෙන හර්මන් කුමාර කෙසේවෙතත් යුද හමුදාව සංචාරක ව්‍යාපාරයේ නියැලීම නිසා බොහෝ දෙනකු අවතැන්ව ඇති බවත් පවසයි. ‘අපි ගත්තොත් උතුරේ කන්කසන්තුරේ තියෙන තල්සෙවන හෝටලය, ඒ හෝටලය නිසා අවතැන්වූ පිරිස් කඳවුරු වල තබා ගනිමින් මේ ස්ථානය සංචාරක ව්‍යාපාරයක් ලෙස ගෙන යනවා, ඉතින් මේක ආරක්ෂක විධිවිධානයක් නෙවෙයි මේක ආර්ථික කටයුත්තක්’ 'බලාපොරොත්තුවක්' කෙසේවතත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් බීබීසීයට කියා සිටියේ හෝටල් කර්මාන්තය සඳහා යොදා ගෙන ඇත්තේ ජනතාවගේ ඉඩම් නොව රජයට අයත් ඉඩම් බවයි. ‘වසර 26ක්’ තම මුල් ඉඩම අහිමිව අවතැන් කඳවුරක දිවි ගෙවනමුතය්යා සිවනන්දවේල් මෙම වැඩසටහනට එක් වී සිටියේය. ඔහු එහිදී සඳහන් කළේ වසර 26ක් මුළුල්ලේ පවතින ඉඩම් ප්‍රශ්නය නව ආණ්ඩුව යටතේ විසඳෙනු ඇතැයි යන්න තම එකම බලාපොරොත්තුව බවයි. මුල් ඉඩම් නැවත ලබාගැනීම සඳහා තමා ඇතුළු විපතට පත් කණ්ඩායම් විසින් උපවාස, උද්ඝෝෂණ ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති නමුත් කිසිදු රජයක් තම ප්‍රශ්නය විසඳීමට උනන්දු නොවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. |
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ කිසිදු වැඩසටහනකට සහභාගි වී නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. | 'මේ පැහැදිලි කිරීම කරන්නේ ආරක්ෂක ලේකම්වරයා අලුත්ගම සිද්දියට සම්බන්ධ බවට චෝදනා කරන නිසා' පසුගිය වසරේ මාර්තු මාසයේ ගාල්ලේ පැවති මෙත්සෙවණ නම් ආයතනයක් විවෘත කිරීමේ උත්සවයට ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ වීම, ඔහු සහ බොදු බල සේනාව අතර බැඳීමක් තිබෙන බවට චෝදනා එල්ල වීමට හේතු වූ බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. බොදු බල සේනාවේ භික්ෂූන් වහන්සේ එම වැඩසටහනට සහභාගි වී සිටියත් ආරක්ෂක ලේකම්වරයා එයට සහභාගි වූයේ පිළිගත් ස්වාමීන් වහන්සේ නමක් වන කිරම විමලජෝති හිමියන්ගේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලද ආරාධනාව අනුව පමණක් බව ද බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය. "එදා ඒ උත්සවයේ ගත්ත ඡායාරූප තමයි උපයෝගී කරගන්නේ මේ ආරක්ෂක ලේකම්වරයා සහ බොදු බල සේනා සංවිධානය අතර සම්බන්ධතාවයක් තියෙන බවට මතයක් ඇති කරන්න. ඒක පදනම් විරහිත මතයක්," යනුවෙන්ද ඔහු පැවසීය. අලුත්ගම ගැටුමෙන් පසු මෙත්සෙවණ බොදු බල සේනා සංවිධානයට අයත් ආයතනයක් බවට ජනමාධ්‍ය වාර්තා සඳහන් කළ බව පෙන්වා දුන් අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළ හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ බොදු බල සේනාවේ හිමිවරුනුත් එම ස්ථානයට පැමිණ සිටියේ ආරාධනාවක් අනුව බවයි. එහෙත් මෙත්සෙවණ මධ්‍යස්ථානයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් හටගත් මතභේදයක් හේතුවෙන්, වහාම එයින් ඉවත්වන ලෙස පසුගිය වසරේ මාර්තු 29 වන දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනාවට නියෝග කළේය. බොදු බල සේනාවට සහාය දෙන බවට සහ ආරක්ෂා කරන බවට ආරක්ෂක ලේකම්වරයාට චෝදනා ආරක්ෂක ලේකම් වැනි රටේ ඉහල පුරවැසියෙක් ආරාධනාවක් භාර ගැනීමට ප්‍රථම ඒ පිළිබඳව සොයා නොබලන්නේ මන්ද යන්න සංදේශය බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට යොමු කළ ප්‍රශ්නයක්. "දැන් ඔබට මගුල් ගෙදරකට එන්න කිව්වම ඔබ බලනවද ඒ මගුල් ගෙදර තියන්නේ කොහොමද, ණයක් අරන්ද මේක කරන්නේ, නැත්නම් ඒගොල්ලන්ගෙම මුදලින්ද කියලා?. එහෙම වුනොත් අපිට හම්බවෙන ආරාධනා ගොඩකට අපිට යන්න වෙන්නේ නැහැ," යන්න ඒ ප්‍රශ්නයට හමුදා ප්‍රකාශකවරයා පළ කළ ප්‍රතිචාරයයි. මේ පිළිබඳව පසුගිය වසර පුරාවටම පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප නොකළ ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා පසුගිය වසරේ බොදු බල සේනා සංවිධානයේ වැඩසටහනකට සහභාගී නොවූ බවට අලුත්ගම ගැටුමෙන් අනතුරුව ප්‍රකාශ කිරීමට පෙළඹුනේ ඇයිද යන්න සංදේශය මතු කළ තවත් ප්‍රශ්නයක්. "අපි ඒවා අලුයම ඉවතලූ කෙල පිඬක් සේ ඉවත දැම්මා. නමුත් දැන් මේ පැහැදිලි කිරීම කරන්නේ ආරක්ෂක ලේකම්වරයා අලුත්ගම සිද්දියට සම්බන්ධ බවට ඉඳුරාම චෝදනා කරන නිසා." 'ආණ්ඩුවේ අනුග්‍රහය' තමාගේ උත්සාහය බොදු බල සේනාව හෙළා දැකීම නොව ආරක්ෂක ලේකම්වරයා සහ ඔවුන් අතර සම්බන්ධයක් පවතින බවට පැතිර යන මතය නිවැරදි කිරීම පමණක් බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය අවධාරණය කළේය. එහෙත් බොදු බල සේනා සංවිධානය කි‍්‍රයාත්මක වන්නේ ආණ්ඩුවේ අනුග‍්‍රහය යටතේ බවට ජනතා විමුක්ති පෙරමුණ යලිත් වරක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. ආරක්‍ෂක ලේකම්වරයාගේ හා ආරක්‍ෂක අංශවල අනුග‍්‍රහය ඔවුන්ට ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේ, තමන් වරදක් කර ඇත්නම් අත් අඩංගුවට ගන්නා මෙන් බොදු බල සේනාව කරන ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින්. "ආණ්ඩුව විසින් රකින ආයතනය ආණ්ඩුවට කියනවා පුළුවන් නම් අපිව ගන්න කියලා. හාමුදුරුවෝ අලුත්ගම කළ ප්‍රකෝපකාරී ප්‍රකාශයම ඇති ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න," යනුවෙන්ද ටිල්වින් සිල්වා පැවසීය. රටේ ප‍්‍රශ්න යටපත් කිරීම උදෙසා ආණ්ඩුව මෙවන් සංවිධාන යොදා ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. |
යුක්රේන ආණ්ඩුවේ ඉහල තනතුරු ලබා දෙන බවට දුන් පොරොන්දුව නොතකා, අලුත් මැතිවරණයක් වෙනුවෙන් කරන උද්ඝෝෂණය දිගටම ගෙන යන බව විරුද්ධ පක්ෂ පවසති. | විරුද්ධ පක්ෂ නායකයන්ට ආණ්ඩුවේ ඉහල තනතුරු දෙන බවට පොරොන්දුවක් ආණ්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කළ, යුක්රේනයේ පීතෘභූමි පක්ෂයේ නායක අර්සෙනි යත්සේනුක්, රටේ නායකයන් තෝරා ගැනීමේ අයිතිය තිබෙන්නේ රටේ ජනතාවට විනා ජනාධිපතිවරයාට නොවන බව සඳහන් කළේය. සෙනසුරාදා රාත්‍රියේ කීව් අගනුවර කැරලි මර්ධක පොලිසිය රඳවා සිටි ගොඩනැගිල්ලක් අත්පත් කරගත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ, එහි ජනේල කඩා දමමින්, රතිඥ්ඥා පත්තු කරමින් ගොඩනැගිල්ල ඇතුලට කඩා වැදුනහ. වෙනත් විපක්ෂනායකයකු වන හිටපු බොක්සිං ශූර විතාලි ක්ලිච්කෝ එහි පැමිණ ආරක්ෂාකාරීව පොලිස් නිලධාරීන් පිටතට ගැනීමෙන් අනතුරුව එම උද්ඝෝෂණය නිමාවට පත් විය. රට පුරා නගරවල විරෝධතා ව්‍යාපාර ඇවිල යමින් තිබියදී සෙනසුරාදා ප්‍රකාශයක් කළ අභ්‍යන්තර කටයුතු භාර ඇමති විතලි ශක්‍රවෙන්කා, අර්බුදය සාමකාමීව නිරාකරණය කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව සඳහන් කළේය. විරෝධතාවාදීන් අවි ආයුධ එක්රැස් කරමින් සිටින බවට ඇමතිවරයා චෝදනා කළේය. රෝහල් ආරංචි මාර්ග වලට අනුව කීව් නුවරදී තුවාල ලද උද්ඝෝෂකයකු මරණයට පත් ව ඇති අතර, ඒ අනුව මෙවර විරෝධතා ව්‍යාපාර වලදී මරණයට පත් සංඛ්‍යාව තුන්දෙනෙක්. |
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී නමුත් එයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) විපක්ෂය තීරණය කොට තිබේ. | නව ජනපතිවරයාගේ පළමු නිල කාර්යයම නීතිවිරෝධී නම් යහපාලනයක් ඇතිකරන්නේ කෙසේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති මේ මාසය අගභාගයේ පාර්ලිමේන්තුව කැඳවූ විට එම පත්කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශයක් කිරීම හැරුණු විට අන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට සන්ධානය තීරණය කොට තිබෙන බව බීබීසී සංදේශයට අනාවරණය වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු නව ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙලට පූර්ණ සහාය පළ කරන බව සන්ධානයේ නායකයෝ සෙනසුරාදා නිවේදනය කළහ. යහපාලනයක් ඇතිකරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පළමු නිල කාර්යයම නීතිවිරෝධී නම් යහපාලනයක් බලාපොරොත්තු වන්නේ කෙලෙස දැයි මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා ප්‍රශ්න කොට තිබුණි. බැසිල් ඇමෙරිකාවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම පිණිස සාකච්ඡා පැවැත්වෙන බව නව ජනපතිවරයාගේ සමීපම හිතවතෙකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳව සැලවුණු හිටපු අමාත්‍යවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව සංදේශයට අනාවරණය වේ මේ අතර එජනිස සන්ධානයේ නායකයන් කිහිප දෙනකුද නව කැබිනට් මණ්ඩලයට ඇතුලත් කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. කෙසේ නමුත් මේ අවස්ථාවේ ආණ්ඩුවට එකතු නොවන මෙන් ආණ්ඩුවේ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබෙන බවද සංදේශයට සැලවේ. විශේෂයෙන්ම එවන් විශාල පිරිසකට නාම යෝජනා ලබාදීමේදී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බැවින් ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයෙන් අනතුරුව තමන් සමඟ එක්වන මෙන් ආණ්ඩුව ඔවුන්ගෙන් ඉල්ලා තිබේ. 'පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වෙනවා' මේ අතර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය බිරිඳද සමඟ ඉරිදා උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ. ඔහු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳව සැලවීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මෙසේ රටින් පිටව ගිය බවයි, ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සංදේශයට අනාවරණය වෙන්නේ. ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කිසිදු බාධාවකින් තොරව පිටව ගොස් තිබේ. හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ද තමිල්නාඩුවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ. ජනපතිවරණයේදී සිය ආසනය පරාජය වුවහොත් ශ්‍රී ලංකාව අතහැර තමිල්නාඩුවේ පදිංචියට යන බව ඔහු සඳහන් කොට තිබුණි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට පළ වන වාර්තා පිළිබඳව සෙනසුරාදා මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ සෙනසුරාදා සවස් යාමය දක්වා ඔහු මාලදිවයිනට ලඟා නොවූ බව මාලදිවයිනේ බලධාරීන් අගමැතිවරයා කළ විමසීමකදී තහවුරු කළ බවයි. |
වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි. | 'කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නෑ' එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් එම ප්‍රකාශය කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට, බෝධිය අසලදී බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම පිළිබඳව සිංගප්පූරුවේ සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ඉන්දරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයකු බවත්, මෑතක් වන තුරුම එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් දරා තිබෙන බවත් වාර්තාවල දැක්වේ. "කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නෑ නමුත් යම් උදාර අරමුණු පෙරදැරි කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන අවස්ථා තියෙනව," සෝභිත හිමියෝ පැවසූහ. 'ජීවිත හානිය පාප ක්‍රියාවක්' භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවේදී වාර්තා වන්නේ ඉතා කලාතුරකින් ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගැනීම සියලු දෙනාගේම සංවේගයට හේතුවක් බවද එහිමියෝ සඳහන් කළහ. ජීවිත හානිය පාප ක්‍රියාවක් වන නමුත් "චේතනාව කුමක්ද කියන එක පැහැදිලි කරගෙනයි ඒකෙ හොඳ නරක තීරණය කරන්න වෙන්නේ," යනුවෙන්ද ඕමල්පේ සෝභිත හිමියෝ සංදේශයට පැවසූහ. ඉන්දරතන හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුලත් කළ බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි. උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බව, මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් ජී ඒ දිසානායක පැවසීය. විරෝධය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් තිබ්බතයේ බොහෝ භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගන්නා නමුත්, ශ්‍රී ලංකාවේ එවැන්නක් වාර්තා වන්නේ ඉතා කලාතුරකින්. ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේ ද මස් අනුභව කරති. |
සෞදි කාන්තාවන්ගේ රියදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීම පිළිබඳ රූපවාහිනියේ වාර්තා කරන අවස්ථාවේදී "නුසුදුසු" ඇඳුමකින් සැරසී සිටියා යැයි චෝදනා එල්ලවී සිටින වාර්තාකාරිනියකට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සෞදි බලධාරීන් කටයුතු කරමින් සිටී. | ෂිරීන් අල්-රිෆායි (Shireen al-Rifaie) ෂිරීන් අල්-රිෆායි (Shireen al-Rifaie) එළිමහනේ වාර්තා කිරීමේ යෙදී සිටියදී ඇය ඇඟලා සිටි අබායා ලිහිල් ඇදුම සුළඟට හසුවී ඉදිරියෙන් විවෘත වීම නිසා යටින් ඇඳ සිටි වස්ත්‍ර නිරාවරණය විය. මෙම වීඩියෝ දර්ශනය අන්තර්ජාලයේ විශාල වශයෙන් සංසරණය වූ අතර, ෂිරීන් අල්-රිෆායි බොහෝ පුද්ගලයන්ගේ විවේචනයට ලක් වී තිබේ. ඇයට එරෙහිව අරාබි භාෂාවෙන් "රියාද්හි_නිර්වස්ත්‍ර_කාන්තා_රියදුරු" යන තේරුම ඇති හැෂ්ටැගයක් ද නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. ඩුබායි කේන්ද්‍රකොටගත් අල් ආන් රූපවාහිනී මාධ්‍ය ආයතනයේ වාර්තාකාරිනියක් වන අරාබි ජාතික ෂිරීන් අල්-රිෆායි මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය. සෞදි අරාබියේ රාජකීය පවුල සහ එහි ආගමික සංස්ථාව සුන්නි ඉස්ලාම් දහමේ දැඩි ස්වරූපයක් ඇති වාහබ්වාදයට අනුගතව තිබේ. දශක ගණනාවක් පුරා සෞදි කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වෙමින් පවතින අතර, නිවසින් බැහැරට යන විට අබායා ඇඳුමෙන් සැරසීමට සහ මුස්ලිම් ආගම අදහන්නන් නම් හිස ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බව බලධාරීහු දන්වා සිටිති. එහෙත් මාර්තු මාසයේ දී තරුණ සෞදි කුමරු මොහමඩ් බින් සල්මාන් ප්‍රකාශ කර සිටියේ කාන්තාවන් නිතරම අබායා ඇඳුමෙන් සැරසී සිටීම අවශ්‍ය නොවන අතර, විනීත ඇඳුමක් ඇඟලා සිටීම ප්‍රමාණවත් බවය. "ෂරියා (ඉස්ලාමීය නීතිය) නීතියේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා කාන්තාවන්, පිරිමින් වගේම ගෞරවනීය, විනීත ඇඳුම්වලින් සැරසිය යුතු බව," ඔහු CBS රූපවාහිනී සේවය වෙත පැවසීය. "කෙසේ වෙතත් මෙහි දී විශේෂයෙන්ම කළු අබායා හෝ කළු හිස ආවරණයකින් සැරසිය යුතුයි කියන්නේ නැහැ. ගෞරවනීය, විනීත ඇඳුමකින් සැරසීම සම්පූර්ණයෙන්ම කාන්තාව සතු තීරණයක්" යැයි ඔහු තවදුරටත් පැවසුවේය. පසුගියදා සෞදි කාන්තාවන්ගේ රියදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීමත් සමග බොහෝ කාන්තාවන් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට උනන්දු වෙමින් සිටී. ෂිරීන් අල්-රිෆායි රූපවාහිනී වැඩසටහන තුළ "අවිනීත ඇඳුම් ඇඟලා සිටි අතර, ඇඳුමට අදාළ නීති රෙගුලාසි මෙන්ම උපදෙස් පිළිපැද නැහැ" යැයි සඳහන් කරමින් සෞදි මාධ්‍ය බලධාරීහු අඟහරුවාදා (ජූනි 26) ට්විටර් පණිවිඩයක් නිකුත් කළහ. "මම විනීත ඇඳුම් ඇඳගෙන ඉන්නේ. මට කියපු දේවල් ගැන සත්‍යය දෙවියන් හෙළි කරයි," තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ෂිරීන් අල්-රිෆායි පැවසූ බව Ajel නම් සෞදි පුවත් වෙබ්අඩවියක සඳහන් වේ. ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටව ගොස් ඇති බව ද එම වෙබ් අඩවිය කියා සිටියේය. මේ තොරතුරුද කියවන්න: |
ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා බලපත් අපේක්ෂාකරන සෑම අයෙකුගේම පාහේ සමාජ මාධ්‍ය පිළිබද ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනය පවසා තිබේ. | රාජ්‍ය දෙපාර්තමේන්තු යෝජනාව අනුමත වුවහොත් වාර්ෂිකව මිලියන 14.7 ක පිරිසකට බලපානු ඇත රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ එම යෝජනාවට අනුව බොහෝ වීසා ඉල්ලුම්කරුවන් ෆේස්බුක් හා ට්විටර් ගිණුම් පිළිබඳ සිය ඉතිහාසය සම්බන්ධ තොරතුරු සැපයිය යුතු වනු ඇත. ඒ අනුව ගෙවුණු පස් වසරක සිය සමාජ මාධ්‍ය අනන්‍යතාව හෙළිකිරීමට ඔවුනට සිදුවේ. මේ යෝජනාවට අනුව වසරකට මිලියන 14.7 ක පමණ පිරිසකට මෙය බලපානු ඇතැයි කියැවේ. එසේ සැපයෙන තොරතුරු, සංක්‍රමණ හා සංක්‍රමණික නොවන වීසා අපේක්ෂා කරන පුද්ගලයින් හඳුනාගැනීමට මෙන්ම දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට යොදා ගැනේ. මීට අමතරව අදාළ ඉල්ලුම්කරුවන්, ගෙවුණු වසර පහ තුළ තමන් පරිහරණය කරන ලද දුරකථන අංක, ඊමේල් ලිපින මෙන්ම සංචරණ පිළිබඳ තොරතුරු ද සැපයිය යුතු වනු ඇත. කිසියම් රටකින් කෙදිනක හෝ පිටුවහල් කර ඇතිදැයි යන්න ද සඳහන් කළ යුතු අතර, එසේ නැතිනම් සිය කවර හෝ ඥාතියකු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධවී ඇති දැයි යන්න ද සඳහන් කළ යුතු වනු ඇත. මේ තොරතුරු දැනගන්න : වීසා බලපත් තොරව සිය රටේ සංචාරය කිරීම සඳහා ඇමෙරිකාව විසින් ප්‍රතිපාදන සලසනු ලැබ ඇති රටවල් අතරට ගැනෙන එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය හා ජර්මනිය වැනි රටවල පුරවැසියන්ට මෙම යෝජනාවෙන් බලපෑමක් එල්ල නොවනු ඇත. කෙසේවෙතත්, ඉන්දියාව, චීනය හා මෙක්සිකෝ වැනි රටවල පුරවැසියන් රැකියා හෝ නිවාඩු සඳහා පැමිණෙන්නේ වුවද ඔවුන් මීට ඇතුළත් විය හැක. සමාජ මාධ්‍ය පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් දැනට ඇති තත්ත්වය පසුගිය මැයි මාසයේදී මේ සම්බන්ධයෙන් යම් නීති ගෙන එද්දී එවක රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල නිවේදනයක කියවුණු පරිදි, පුද්ගලයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ තොරතුරු ලබාගන්නා ලෙස නිලධාරීන් දැනුවත් කෙරුණේ, "අනන්‍යතාව තහවුරු කරගැනීමට හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් තදබල ලෙස සුපරීක්ෂණයක් කිරීම සඳහා එම තොරතුරු අවශ්‍ය වන්නේ යැයි" හැඟෙන්නේ නම් පමණි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා යැයි පවසමින්, එක්සත් ජනපදයට ඇතුළුවන විදේශිකයින් සඳහා "අතිශය දැඩි සුපරීක්ෂණයක්" ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ට්‍රම්ප් දුන් පොරොන්දුවෙන් පසු මේ වඩාත් දැඩි යෝජනාව ඉදිරිපත් විණි. යෝජනාව ක්‍රියාවට නැගීම තීරණය වන්නේ කෙසේද? මෙම යෝජනාවට කළමනාකරණ හා අයවැය පිළිබඳ කාර්යාලයේ අනුමැතිය ලැබිය යුතුව වේ. ඒ පිළිබඳ තීරණයක් ගැනීමට පෙර යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළකිරීම සඳහා මහජනයාට මාස දෙකක කාලයක් ඉඩ දෙනු ඇත. භාෂණයේ නිදහසට ඇතිවන බලපෑම කුමක්ද? මෙම ප්‍රතිපත්තිය හෙලාදකින සිවිල් නිදහස පිළිබඳ කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙය භාෂණයේ නිදහසට හානි කළ හැකි ආකාරයේ පුද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් ලෙසිනි. "තමන් අන්තර්ජාලයේ පළකරන දේවල් ආණ්ඩුවේ නිලධාරීන් වරදවා වටහා ගනීවිදැයි යන්න ගැන මිනිසුන්ට දැන් හිතන්නට වේවි" යැයි ඇමෙරිකානු සිවිල් නිදහස් සංගමයේ හිනා ශම්සි පැවසුවාය. "ට්‍රම්ප් පරිපාලනය 'ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්' යන අපැහැදිලි හා වැඩිපුර භාවිත කරන යෙදුමෙන් අර්ථගන්වන්නේ කුමක්ද යන්න ගැනත් අප අවධානය යොමු කර තිබෙනවා. මොකද කීවොත්,මූලික වශයෙන් එය දේශපාලනකිකයි. ඒ නිසා කිසිම වරදක් නොකළ ආගමනිකයින්ට වෙනස්කොට සැලකීම සඳහා එය යොදා ගන්නට ඉඩ තිබෙනවා " යැයි ද ඇය සඳහන් කළාය. යෝජනාවලින් ආවරණය කෙරෙන සමාජ මාධ්‍ය ජාල අතරට ඇමෙරිකාව මූලික කරගත් ඉන්ස්ටග්‍රෑම්, ලින්ක්ඩ්ඉන්, රෙඩිට් හා යූටියුබ් ද අයත්වේ. කෙසේවෙතත්, චීනයේ සීනා වෙයිබෝ (Sina Weibo) සහ රුසියාවේ වීකේ (VK) වැනි සමාජ මාධ්‍ය ජාල ද ඊට ඇතුළත් කෙරෙනු ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවක දැක්විණි. |
ගතව ගිය දශක කිහිපය ඇතුලත උතුරේත්, දකුණේත් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදු කෙරුණු අපරාධ පිළිබඳව සත්‍ය කොමිසමක් යටතේ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන මෙන් මාධ්‍ය සංවිධාන ඉල්ලා සිටිති. | ජනමාධ්‍ය නිදහස සඳහා වූ සංවිධාන දහ තුනක නියෝජිතයන් 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' හමුවී සිය අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේ එම ඉල්ලීම කළ බවයි සාකච්ඡාවට එක් වූ මාධ්‍යවේදී ජයසිරි ජයසේකර බීබීසී සංදේශයට කියා සිටියේ. ඝාතනය කෙරුණු සහ පැහැර ගැනීම් හා පහරදීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට වන්දි ගෙවීමේ හැකියාව සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කිරීම එහිදී මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ගේ දැඩි විවේචනයට ලක් වූ බවත් ඔහු පැවසීය. සත්‍යය සහ යුක්තිය ස්ථාපනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වගවීම සහතික කිරීම සහ හානි පූරණය යන කරුණු සම්බන්ධයෙන් ගත යුතු පියවරත්, ඒ සඳහා ඇති කළ යුතු යාන්ත‍්‍රණ පිළිබඳවත් මහජනතාවගේ අදහස් විමසා රජයට වාර්තා කිරීම සඳහායි, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' පත්කරනු ලැබුවේ. යෝජනා එම අරමුණු ඉටුකර ගැනීම පිණිස: යන යාන්ත්‍රණ හතර පිහිටුවීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ. එයට අදාළ සත්‍ය කොමිසම් යාන්ත්‍රණය යටතේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් දීමේ බලතල හිමි විශේෂ කොමිසමක් පත් කළ යුතු බව මාධ්‍ය සංවිධානවල ඉල්ලීම වූ බවත් මාධ්‍යවේදී ජයසිරි ජයසේකර වැඩිදුරටත් පැවසීය. එවැනි අපරාධ යළි සිදුවීම වැළැක්වීම සඳහා අපරාධවලට වගකිවයුත්තන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය ඔවුන් එහිදී අවධාරණය කර තිබේ. 'වරදකරුවන්ට දඬුවම්' 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' මීට ඉහතදී ආගමික නායකයන් ඇතුළු සමාජයේ විවිධ අංශවල නියෝජිතයන් මුණගැසුන අතර ඉදිරියේදී තවත් එවැනි හමුවීම් පැවැත්වීමටද සැලසුම් කර තිබේ. යෝජිත ව්‍යුහය සහ විෂය පථය ඇතුළු වෙනත් කරුණු පිළිබඳව සිය අදහස් දැක්වීම සඳහා මහජනතාව වෙත ලබා දී තිබූ කාලය ලබන ජුලි 15 වැනි දින දක්වා දීර්ඝ කරන බවද කාර්ය සාධක බලකාය නිවේදනය කර තිබේ. එම අදහස්, ctf.srilanka@gmail.com නැමැති විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ, ''ලේකම්, සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය, සංහිඳියා යාන්ත්රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01'' යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද ලියා දැන්විය හැකි බවත් කාර්ය සාධක බලකාය නිකුත් කළ නිවේදනයක සඳහන්. නීතිවේදිනී මනෝරි මුත්තෙට්ටුවේගම එහි සභාපතිනිය ලෙස කටයුතු කරන අතර ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු එහි ලේකම්වරයාය. ගාමිණී වියන්ගොඩ, විසාකා ධර්මදාස, ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු, මහාචාර්ය දයා සෝමසුන්දරම්, ආචාර්ය ෆර්සානා හනීෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ, මිරාක් රහීම්, නීතිඥ කේඩබ් ජනරංජන එහි සෙසු සාමාජිකයෝ වෙති. |
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කරන ලද වැටලීම්වලදී පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. | ලන්ඩන් ප්‍රහාරය: සිව් දෙනෙක් මරුට එම ත්‍රස්ත ප්‍රහාරයේදී, ප්‍රහාරකයා යැයි සැළෙකන පුද්ගලයා ඇතුළුව සිවු දෙනෙක් මිය ගියහ. ඒ අතරින් එක් අයෙකු 40 හැවිරිදි කාන්තාවකි. තුවාල ලබා සිටින 29 දෙනා අතරින් හත් දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තාවේ. ඊයේ ප්‍රහාරයේදී, වෙස්ට්මින්ස්ටර් පාලම මත පදික වේදිකාවේ ගමන් ගනිමින් සිටි පුද්ගලයින් වෙත සිය රථය ධාවනය කර ඔවුන්ට තුවාල සිදු කළ ප්‍රහාරකයා පසුව පොලිස් නිලධාරියෙකුට පිහි පහර එල්ල කිරීමෙන් අනතුරව පොලිස් වෙඩි පහරට ලක්විය. ප්‍රහාරයත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අගුලු දැමිණි ප්‍රහාරකයාට වෙඩි තැබීමෙන් පසු ප්‍රතිකාර කරමින් පොලිසියට අගමැතිනියගේ ප්‍රණාමය මේ සිදුවීමෙන් අනතුරුව, ආණ්ඩුවේ 'කෝබ්‍රා' නම් වූ හදිසි අවස්ථා කමිටු රැස්වීම නිමවා ඩවුනිං විදියේ සිය නිල නිවස අසළදී ප්‍රකාශයක් කළ අගමැතිනි තෙරේසා මේ, ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ පොලිසියේ 'විශිෂ්ට නිලධාරීන් සහ නිලධාරිනියන්ට' ප්‍රණාමය පුද කළාය. ලන්ඩන් නාගරික පොලිසියේ වැඩබලන නියෝජ්‍ය කොමසාරිස් පැවසුවේ වෙස්ට්මින්ස්ටර් පාලම මතදී මෝටර් රථයක් පදිකයින් වෙත ධාවනය කරන අවස්ථාවේදී උත්සවයක් අවසානයේ නැවත පැමිණෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ද ඊට හසුවූ බවය. ප්‍රහාරකයාගේ ගමන් මාර්ගය පාර්ලිමේන්තු වැටක මෝටර් රථය ගැටුනු පසුව, පිහියක් අතින් ගත් ප්‍රහාරකයා 'දිගටම පහර දෙමින්' ගොඩනැගිල්ල තුළට යාමට උත්සාහ දරා තිබේ. ඇමතිගේ උත්සාහය විදේශ අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යවරයකුවන ටොබායස් එල්වුඩ්, තුවාල ලත් පොලිස් නිලධාරියාගේ මුවට මුව තබා කෘත්‍රීම ශ්වසනය දීමට උත්සාහ දැරීය. හිටපු හමුදා නිලධාරියකුවන ඔහුගේ සොයුරා 2002 වසරේ ඉන්දුනීසියාවේ බාලි දූපතට එල්ලවූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයේදී මිය ගියේය. ටෝබායස් එල්වුඩ් තුවාල ලත් පොලිස් නිලධාරියාට ප්‍රථමාධාර දෙමින් |
දුර්ලභ කාලගුණික තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස ෆින්ලන්තයේ වෙරළ තීරයක් බිත්තර හැඩැති අයිස් බෝල දහස් ගණනකින් ආවරණය වී තිබේ. | රිස්ටෝ මැටිලා ඉරිදා ඡායාරූපයට නැගූ හයිලුඕටෝ දූපතට වැටී තිබූ "අයිස් බිත්තර" ෆින්ලන්තය සහ ස්වීඩනය අතර පිහිටි බොත්නියා මුහුදු බොක්ක ආශ්‍රිතව පිහිටි හයිලුඕටෝ දූපතට වැටී තිබූ "අයිස් බිත්තර" දුටු අය අතර ආධුනික ඡායාරූප ශිල්පී රිස්ටෝ මැටිලා ද විය. විශේෂඥයින් පවසන්නේ, කුඩා අයිස් කැබලි සුළගේ සහ ජලයේ පෙරළීමෙන් සිදුවන දුර්ලභ ක්‍රියාවලියක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවය. හයිලුඕටෝ දූපත ආසන්නයේ පිහිටි ඔවුලු නගරයේ වෙසෙන මැටිලා බීබීසී පුවත් සේවයට පැවසුවේ, මෙවැන්නක් තමන් මීට පෙර කිසි දිනෙක දැක නැති බවය. "මම මගේ බිරිදත් එක්ක මර්ජානියෙමි වෙරළේ හිටියේ. ඒ වෙලාවේ ටිකක් අව්ව තිබුණා. ඒ වගේ ම එදා සුළං තිබුණ දවසක්," ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය. "අපි එතනදි තමයි මේ පුදුමාකාර සිද්ධිය දැක්කේ. මුහුදු වතුර ආසන්නයේ වෙරළ දිගට හිම සහ අයිස් බිත්තර වැටිලා තිබුණා." මැටිලා පැවසුවේ, මීටර් 30ක පමණ භූමි ප්‍රමාණයක් අයිස් බෝලවලින් වැසී තිබුණු බවය. කුඩා ම අයිස් බෝල බිත්තරයක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර විශාලතම ඒවා පාපන්දුවක් තරම් විශාල විය. "ඒක පුදුම හිතෙන දර්ශනයක්. මම ජීවත් වුණ අවුරුදු 25ට ම මේ වගේ දෙයක් කවදාවත් දැකල තිබුණේ නැහැ," මැටිලා පැවසීය. "ඒ වෙලාවෙ මගේ ළග කැමරාවක් තිබුණ නිසා, මම හිතුවා මේ අසාමාන්‍ය දර්ශනය අනාගත පරම්පරාවට දැක ගන්න සංරක්ෂණය කරන්න." බීබීසී කාලගුණ විද්‍යා විශේෂඥ ජෝර්ජ් ගුඩ්ෆෙලෝ පැවසුවේ, අයිස් බෝල පතනය වීම සදහා ශීත සහ තරමක සුළං පැවතිය යුතු බවය. "සාමාන්‍යයෙන් පෙනී යන දේ වෙන්නේ ඒවා විශාල අයිස් තට්ටු කැබලිවලට වෙන් වෙලා මුහුදට වැටීමෙන් පසුව රළ පහරින් වටකුරු බවට පත් වීමයි," ඔහු පැවසීය. "මුහුදු ජලය මතුපිට කැටි ගැසුණු විට ඒවා වර්ධනය විය හැකි අතර ඒ මගින් අයිස් කැබලි වඩාත් සුමට වෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ සිනිඳු අයිස් බෝලයක් නිර්මාණය වෙලා මුහුදු වෙරළට ගසාගෙන එන එක." මීට පෙර රුසියාව සහ චිකාගෝහි මිචිගන් විල ඇතුළු ස්ථාන කිහිපයකින් මීට සමාන සිද්ධි වාර්තා වී තිබේ. 2016 වසරේදී සයිබීරියාවේ නයිඩා ප්‍රදේශයේ වැසියන් පිරිසක් කිලෝමීටර් 18ක පමණ භූමි ප්‍රමාණයක් වැසී තිබුණු විශාල ප්‍රමාණයේ අයිස් බෝල දැක තිබිණි. 2016 දී සයිබීරියාවට පතනය වූ විශාල අයිස් බෝල එහිදී ටෙනිස් බෝලයක ප්‍රමාණයේ සිට මීටර් 1ක විෂ්කම්භයක ප්‍රමාණයේ අයිස් බෝල ඔවුන් දැක තිබිණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ අතර මේ දිනවල ශ්‍රී ලංකාවේ ද කාලගුණ තත්ත්වයේ වෙනසක් දක්නට ලැබුණු අතර මීදුම වැනි තත්ත්වයක් පැවතිණි. බ්‍රහස්පතින් දා (නොවැ: 07) පැවති මාධ්‍ය හමුවකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ, වායුගෝලයේ රසායනික අංශු මට්ටම ඉහළ යාම හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බවය. කෙසේ වෙතත්, එම තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව ඔහු පැවසීය. සිකුරාදා (නොවැ: 08) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, "උතුර, උතුරු මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව යන පළාත්වල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි," බවය. මේ අතර, ඉන්දියාවේ දිල්ලි ආශ්‍රිතව ද පසුගිය දින කිහිපයේ දැඩි වායු දූෂණයක් වාර්තා වූ අතර මේ වන විට එම තත්ත්වය මදක් පහළ යමින් පවතී. . |
දකුණු කොරියානු ජනතාව විසින් සිය මීළඟ ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මූන් ජේ-ඉන් ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් තෝරා පත් කර ගෙන ඇති බව අවසන් මත විමසුමකින් පෙනී යයි. | එම මත විමසුමට අනුව ප්‍රකාශිත ඡන්දවලින් 41.4 % ක් මූන් ජේ-ඉන් වෙත හිමි වී ඇති අතර ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් අපේක්ෂක හොන්ග් ජුන්-පිව් හිමි කර ගෙන ඇත්තේ 23.3% ක ප්‍රතිශතයකි. දකුණු කොරියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන මූන් ජේ-ඉන් අසල්වැසි උතුරු කොරියාව සමග සමීප සංවාදයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටී. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයිට එල්ල වූ මහා පරිමාණ දූෂණ චෝදනා හමුවේ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්විණි. ඒ හමුවේ හිටපු ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ අතර නිසි කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ ඒ සමගය. අක්‍රමිකතාවලින් 'ගොඩ ඒමට' දේශපාලනික වශයෙන් උපකාර ලබාගැනීම පිණිස ඇතැම් දකුණු කොරියානු සමාගම්වලට මූල්‍යාධාර ලබාදෙන ලෙස බලකිරීමට තම හිතවතිය හරහා කටයුතු කිරීම පිළිබඳව හිටපු ජනපතිනියට චෝදනා එල්ලවී ඇත. දකුණු කොරියාවේ විශේෂ හමුදා බලකායක හිටපු සාමාජිකයෙකු වූ මූන් ජේ-ඉන් පසුව මානව හිමිකම් නීතිවේදියෙකු වශයෙන් කටයුතු කළේය. ඔහු විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ පැවති පාලන සමයේ සිදු වූ අක්‍රමිකතාවලට තිත තබා රට ඉදිරියට රැගෙන යා හැකි පුද්ගලයෙකු වශයෙනි. 2012 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී හිටපු නායිකා පාක් ගුන් හෙයිට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කළ ඔහු ඉන් පරාජයට පත් විය. |
ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීමේ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. | තිසර පෙරේරාට එරෙහි කිසිදු චෝදනාවක් පිළිබඳව තමන්ට වාර්තා වී නැති බව පාලක මණ්ඩලය පවසයි අයිසීසීයේ සන්නිවේදන කළමනාකරු සමි උල් හසන් ඒ බව සඳහන් කළේ, ඉන්දීය ප්‍රීමියර් ලීගයේ (අයිපීඑල්) තරඟ පාවාදුන් බවට තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇතැයි ඉන්දියාවේ ඩෙකාන් ක්‍රෝනිකල් පුවත්පත විසින් පළ කොට තිබෙන වාර්තාව පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී. සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට ක්‍රීඩා කළ තිසර පෙරේරා, හනුමා විහාරි, කරන් ශර්මා සහ අශීෂ් රෙඩ්ඩි සමඟ එක්ව අයිපීඑල් තරඟයක් ඉන්දීය රුපියල් කොටි හයකට පාවා දුන් බවට ඉන්දීය ඔට්ටු අල්ලන්නෙකු මුම්බායි පොලිසියට දුන් කට උත්තරයක සඳහන් වන බවයි, පුවත්පත වාර්තා කොට තිබුනේ. එක් ක්‍රීඩකයෙකුගේ සහෝදරයා මේ ගනුදෙනුවේදී අතරමැදියෙකු ලෙසින් ක්‍රියා කොට ඇති බවද එහි සඳහන්. තිසර පෙරේරා තරඟ පාවාදීමට සම්බන්ධ බවට තමන්ට නිල වශයෙන් කිසිදු වාර්තාවක් ලැබී නැති බවයි, මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාරය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. දූෂණ, වංචා සහ තහනම් උත්තේජක සම්බන්ධයෙන් තමන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අවධාරණය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබඳව තමන්ට ප්‍රබල විශ්වාසයක් තිබෙන බව ද සඳහන් කරයි. අදාළ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය පාලක මණ්ඩලය පරීක්ෂණයක් පවත්වන්නේද යන්න තවමත් අනාවරණය වී නැත. |
අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවකදී ප්‍රතිඥා දුන් 'නිලමේ' නම් පුද්ගලයාට එරෙහිව බරපතල දූෂණ චෝදනා යටතේ පොලිස් විමර්ශන පැවැත්වෙන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි. | පොලිස් විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරට බලපෑම් කරන බවට අමාත්‍ය සාගල රත්නායකට චෝදනා එදින පොලිස්පතිවරයා 'සර්' නමින් ආමන්ත්‍රණය කරමින් දුරකථනයෙන් ඇමතුවේ නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකට යයි විශ්වාස කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කළේය. පොලිස්පතිවරයා 'නිලමේගේ කේස් එක' නමින් හැඳින්වුයේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර පිළිබඳව බව සඳහන් කරන දූෂණ විරෝධී පෙරමුණ, ඔහු අත්අඩංගුවට නොගන්නා මෙන් බලපෑම් එල්ලවීම මගින් 'යහපාලන රජය එළිපිටම හොරු රකින බව' හෙළිවී ඇතැයි අවධාරණය කරයි. රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සඳහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් 'නිලමේට' එරෙහිව විමර්ශන සිදුවෙමින් පවතින බවත් දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය. රාජපක්ෂ පාලනයේ 'ඉහලම පවුලක' සමීපම ඥාතියකු වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ලංකා ඛනිජ වැලි (ලංකා මිනරල් සෑන්ඩ්) සමාගමේ සභාපති සහ ක්‍රියාකාරී අධුක්ෂ ධුර හෙබැවූ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය. ඔහුට එරෙහි විමර්ශන පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ රජිත් කීර්ති තෙන්නකෝන්, "මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ මහතායි. හදපු බීච් පාක් එකක් නෑ. මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ," යනුවෙන්ද පැවසීය. දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරන පරිදි, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට, ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ලබාගැනීම 'නිලමේට' එරෙහි තවත් චෝදනාවකි. "මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සඳහා යොදවා ඇති බවට චෝදනාවක් තිබෙනවා," කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය. දූෂණ විමර්ශන ක්‍රියාදාමය 'දේශපාලන න්‍යායපත්‍රයක්' මත ක්‍රියාත්මක වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පසුගියදා චෝදනා කළේය "සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුයි. නීතිඥ එස්කේ ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ." 'මහා පරිමාණ හොරු' රැකීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවටද උලපනේ සුමංගල හිමියන්, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සහ චමීර පෙරේරාද සහභාගි වූ මාධ්‍ය හමුවේදී දූෂණ විරෝධී පෙරමුණ චෝදනා කළේය. කෙසේ නමුත් අදාළ 'නිලමේ' අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා නොපැකිලෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය. මෙම චෝදනා පිළිබඳව කරුණු විමසීම පිණිස බීබීසී සංදේශය කිහිපවතාවක්ම ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර ඇමතූ නමුත්, ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැත. |
තමිල්නාඩුවේ පැවැත්වෙන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟවලට ලාංකීය ක්‍රීඩකයන් සහභාගි කර නොගැනීමට තීරණය කරන ලද බව සංවිධායකයෝ පවසති. | ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, විනිශ්චයකරුවන්, නිලධාරීන් හෝ සහායක කාර්ය මණ්ඩලය සහභාගි වන කිසිදු තරඟයක් තමිල්නාඩුවේ නොපවත්වන මෙන් මහ ඇමතිනිය ඉල්ලා තිබුණි සංවිධායකයන් එම තීරණය ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගි වන අයිපීඑල් තරඟ තමිල්නාඩුවේ නොපවත්වන මෙන් මහ ඇමතිනී ජයලලිතා විසින් කරන ලද ඉල්ලීමට වහාම ප්‍රතිචාරය දක්වමින්. ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත ලිපියක් යොමු කරන මහ ඇමතිනිය, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ "වර්ග සංහාරය" සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ජනතාව දැඩිව කිපී සිටින බැවින්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, විනිශ්චයකරුවන්, නිලධාරීන් හෝ සහායක කාර්ය මණ්ඩලය සහභාගි වන කිසිදු තරඟයක් තමිල්නාඩුවේ නොපවත්වන මෙන් සංවිධායකයන්ට උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටියාය. 'ආරක්ෂාව සහතික කරනවා' මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහතික කළ බව ප්‍රකාශ කරයි. ඉන්දියාවේ පවතින වත්මන් වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිලිබඳ ගැටලුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට යොමු කළ බව අවස්ථාවේ තමන්ට එම සහතිකය ලැබුන බවයි, නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස් පතා තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිවුස්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, අකිල ධනංජය, මුත්තයියා මුරලිදරන්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක සහ කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරඟ වදින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්. මතුව තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ගේ ප්‍රතිචාරය විමසා බැලීම පිණිස ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමිතියේ ලේකම් කෙන් ද අල්විස් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
ලෝකයේ සෑම පුද්ගල මරණ පහක් අතරින් එකක් සිදුවන්නේ රුධිරයේ ඇතිවන ආසාදිත තත්වයක් (Sepsis) හේතුවෙන් බව ඒ සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විශ්ලේෂණයකින් පෙනී යයි. | විනිශ්චය කිරීමට ඉතා අපහසු මෙම රෝගී තත්වය "සැඟවුණු මරුවා" ලෙස ද හැඳින්වේ. මෙම තත්වය රුධිරය විෂවීමක් ලෙස ද හැඳින්වේ. රුධිරය විෂවීම හේතුවෙන් දළ වශයෙන් වසරකට පුද්ගලයන් එක් කෝටි දස ලක්ෂයක් මියයන බව අදාළ වාර්තාවේ දැක්වෙන අතර, එය පිළිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ ගණනට වඩා අධිකය. මෙය මින් පෙර ඇස්තමේන්තු කළ මරණ ගණන මෙන් දෙගුණයක් බව මෙම "බිය උපදවන" තත්වය ගැන හෙළි කළ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයෝ පවසති. රුධිරයේ ආසාදිත තත්වයක් හේතුවෙන් සිදු වූ මරණ බොහෝ ප්‍රමාණයක් වාර්තා වන්නේ අවම හෝ මධ්‍යම ආදායම්ලාභී රටවලිනි. කෙසේ නමුත්, දියුණු රටවල් පවා මෙම තත්වය පාලනය කර ගැනීමට උත්සහ කරමින් සිටිති. රුධිරයේ ආසාදිත තත්වයක් යනු කුමක් ද? විනිශ්චය කිරීමට ඉතා අපහසු මෙම රෝගී තත්වය "සැඟවුණු මරුවා" ලෙස ද හැඳින්වේ. ප්‍රතිශක්ත පද්ධතිය දැඩි වේගයකින් ක්‍රියාකිරීම මෙයට හේතුවකි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ ඇති වූ ආසාදන තත්වයකට එරෙහිව සටන් කරනු වෙනුවට, එම පද්ධතිය සිරුරේ අනෙක් කොටස්වලට ද හානි කිරීම මෙහිදී සිදු වෙයි. අවසානයේ දී මෙමගින් ශරීර කොටස් අක්‍රීය වීම සිදු වනු ඇත. රෝගය සුව වුව ද ශරීර කොටස්වලට දිගු කාලීන හානි හෝ විවිධ ආබාධ ඇති විය හැකිය. අතීසාරය හෝ පෙනහළු රෝග ඇති කරන බැක්ටීරියා සහ වෛරස් රුධිරයේ ආසාදන තත්වයන් හට ගැනීමට ප්‍රධාන හේතුවය. මරණ ගණන වැඩි වීමට හේතු මොනවා ද? පෙර සිදු කළ විශ්ලේෂණයට අනුව, එක් කෝටි අනූ ලක්ෂයක පිරිසක් මෙම රෝගී තත්වයෙන් පීඩා විඳින අතර, වසරකට සිදුවන මරණ ගණන මිලියන පහකි. නමුත්, මෙම පරීක්ෂණයට පදනම් කරගෙන ඇත්තේ බටහිර රටවල් කීපයක් පමණි. නව වාර්තාව සකස් කර ඇත්තේ රටවල් 195ක දත්ත විශ්ලේෂණය කිරීමෙන් වන අතර, එය Lancet වෛද්‍ය සඟරාවේ පළ කර තිබේ. මෙයට අනුව, වසරකට ලොව පුරා පුද්ගලයන් මිලියන 49ක් රුධිරය විෂ වීමේ රෝගී තත්වයන්ට ගොදුරු වේ. ලොව පුරා මියයන සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් මෙම රෝගී තත්වයෙන් මිය යන අතර, සම්පූර්ණ ගණන එක් කෝටි දස ලක්ෂයකි. "මම උගන්ඩාවේ දුෂ්කර පළාත්වල රැකියාව සිදු කර තිබෙනවා. රුධිරය ආසාදනය වූ රෝගීන් අපි හැමදාම දැක තිබෙනවා," යැයි පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන සහය මහාචාර්ය ක්‍රිස්ටිනා රඩ් පැවසීය. "අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල රැකියාව කරන මගේ සගයන් හැමදාම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරනවා. රුධිරයේ ආසාදන තත්වයන් ඇති වීමෙන් රෝගී වීම විශාල අර්බුදයක් බවට පත් වී තිබෙන බව ඔවුන් වසර ගණනාවක සිට පවසනවා," "මේ හේතුවෙන් අදාළ දත්ත ගැන මම පුදුම වෙන්නේ නැහැ, හැබැයි මින් පෙර සිදු කළ තක්සේරුව දෙගුණයක් වේ යැයි මම බලාපොරොත්තු වුණේ නැහැ," ඇය පැවසුවාය. මෙම තත්වයට අදාළ සුභවාදී ආරංචිය නම්, 1990 සිට මේ දක්වා රුධිරය විෂ වීම හේතුවෙන් රෝගී වූ පුද්ගලයන් සහ මරණ සංඛ්‍යාවේ අඩු වීමක් දක්නට ලැබීමය. මෙම ප්‍රශ්නයේ බරපතල බව වටහා ගෙන අදාළ තත්වය ගැන දැනුවත් වීම තුළින් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙහි බලපෑම එල්ල වී ඇත්තේ කාහට ද? රුධිරයේ ආසාදන තත්වයක් හේතුවෙන් රෝගී වූ පුද්ගලයන්ගෙන් 85%ක් වාර්තා වන්නේ අවම සහ මධ්‍යම ආදායම්ලාභී රටවලිනි. දරුවන් මෙම තත්වයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති අතර, සෑම රෝගී දරුවන් දස දෙනෙකු අතරින් හතර දෙනෙකු වයස අවුරුදු පහට අඩුය. කැනඩාව, ප්‍රංශය සහ ස්පාඤ්ඤය වැනි රටවලට වඩා රුධිරය විෂවීම හේතුවන් එක්සත් රාජධානිය තුළ සිදුවන මරණ ප්‍රමාණය වැඩි අතර, එය වසරකට 48,000ක් බව වාර්තාවක සඳහන් වේ. සිදු කළ යුත්තේ කුමක් ද? ආසාදන ඇතිවීම අවම කර ගැනීමෙන් රුධිරය විෂ වීමේ තත්වය ද අඩු කර ගත හැකිය. රෝග වැළැක්වීමේ එන්නත් ලබා දීමෙන්, පිරිසිදු ජලය සහ පවිත්‍රතාව දියුණු කිරීමෙන් බොහෝ රටවලට මෙම තත්වය මඟහරවා ගත හැකිය. අනෙක් අභියෝගය නම්, රුධිර ආසාදන සහිත රෝගීන් හඳුනාගෙන කල් ගත වීමට පෙර ප්‍රතිකාර කිරීමය. රෝගයේ මුල් අවදියේ දී ප්‍රතිජීවක සහ ප්‍රති වෛරස ඖෂධ ලබා දීමෙන් විශාල වෙනසක් සිදු කළ හැකිය. "මීට පෙර ඇස්තමේන්තු කළ ගණනට වඩා රුධිර ආසාදන හේතුවෙන් මියයන ගණන විශාල ලෙස වැඩි වී ඇතැයි සොයා ගැනීම අපි තැතිගැන් වූවා. විශේෂයෙන්ම මෙම තත්වය වළකා ගත හැකි දෙයක් වගේම ප්‍රතිකාර කළ හැකි දෙයක් නිසා" යැයි මහාචාර්ය මෝසෙන් නගාවි පැවසීය. රුධිර ආසාදන වීමේ ලක්ෂණ මොනවා ද? වැඩිහිටියන්: දරුවන්: මේ තොරතුරු ද කියවන්න: |
ඉතියෝපියානු පාලනයට අයත්, ගැටුම්කාරී තත්ත්වයක් පවතින 'ටිග්‍රේ' (Tigray) පළාතේ දී BBC මාධ්‍යවේදියෙක් එහි සිටින හමුදා විසින් රඳවාගනු ලැබ ඇත. | BBC 'මාධ්‍යවේදී ගිර්මේ ගෙබ්රු අත්අඩංගුවට ගනු ලැබීමට හේතු තවමත් පැහැදිලි නැත BBC 'ටිග්‍රින්යා' අංශය වෙනුවෙන් මාධ්‍යකරණයේ නිරතවෙමින් සිටි ගිර්මේ ගෙබ්රු (Girmay Gebru) සහ තවත් හතරදෙනෙක් ටිග්‍රේ' (Tigray) පළාතේ ප්‍රාදේශීය අගනුවර වන 'මෙකෙලේ'(Mekelle) නගරයේ ආපනශාලාවක සිටියදී හමුදා භටයන් විසින් රැගෙන යන ලද බව එම අත්අඩංගුවට ගනු ලැබීම සිදු වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෝ පවසති. මාධ්‍යවේදී ගිර්මේ, 'මෙකෙලේ' ප්‍රාදේශීය අගනුවර යුදහමුදා කඳවුරකට රැගෙනගොස් ඇති බවත් වාර්තා වෙයි. සිය මාධ්‍යවේදියා අත්අඩංගුවට ගනු ලැබීමට තුඩු දුන් හේතු තහවුරුකර ගැනීමට BBC කටයුතු කරමින් ඇති අතර අදාළ කාරණය සම්බන්ධයෙන් ඉතියෝපියානු බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළකිරීමට ද බලාපොරොත්තු වෙයි. BBC මාධ්‍යවේදියා පමණක් නොව, තවත් ඉතියෝපියානු මාධ්‍යවේදියෙක් සහ 'Financial Times' පුවත්පතට සහ AFP මාධ්‍යජාලයට අයත් පරිවර්තකයන් දෙදෙනෙක් ද පසුගියදා රඳවාගනු ලැබ ඇත. ඉතියෝපියානු ආණ්ඩුවේ හමුදා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පටන් 'ටිග්‍රේ' පළාතේ කැරලිකාර හමුදාවන්ට එරෙහි සටනක නිරතව සිටිති. එම ගැටුම් සමඟ එම පළාතේ මාස කීපයක් තිස්සේ මාධ්‍ය වාරණයක් බල පැවැත්වුණු අතර, ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතන කීපයකට එම පළාතට පිවිසීම සඳහා බලධාරීන්ගෙන් පසුගිය සතියේ අවසර ලැබුණි. ඒ අනුව 'Financial Times' පුවත්පතට සහ AFP මාධ්‍යජාලයට 'ටිග්‍රේ' පළාතේ මාධ්‍යකරණය සඳහා අවසර ලැබී ඇත. ඉතියෝපියානු ආණ්ඩුවේ හමුදා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පටන් 'ටිග්‍රේ' පළාතේ කැරලිකාර හමුදාවන්ට එරෙහි සටනක නිරතව සිටිති. BBC මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම දුටු පුද්ගලයන් පවසන්නේ යුදහමුදා නිල ඇඳුමින් සැරසුන සොල්දාදුවන් විසින් ඔහු රැගෙන යන ලද බවය. ''අපි අපේ අප්‍රසාදය ඉතියෝපියානු බලධාරීන්ට දැනුම් දුන්නා. අපි ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් 'සිටිනවා'' ප්‍රකාශකයෙක් BBC සමග පැවසීය. 'ටිග්‍රේ' විමුක්ති පෙරමුණට' එරෙහි සටනින් තමන් ජයග්‍රහණය කළ බවක් ඉතියෝපියානු ආණ්ඩුව කියා සිටියත් 'ටිග්‍රේ'පළාතේ සටන් දිගටම පවතින බව වාර්තා වෙයි. එම ගැටුම් හේතුවෙන් ජීවිත සියගණනක් විනාශ වී ඇති අතර,දස දහස් ගණනක් ජනතාවට උන්හිටිතැන් අහිමි වී ගොසිනි. ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය විසින්ම සිදුකරනු ලබන දරුණු ක්‍රියා සහ එහි මතු වී ඇති මානවීය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් විරෝධය පළවී ඇතැයි වාර්තාකරුවෝ පවසති. ඉතියෝපියානු පාලක පක්ෂයේ නිලධාරියෙක් මෑතදී අනතුරු ඇඟවීමක් කරමින් ''ජාත්‍යන්තර මාධ්‍ය නොමග යවනු ලබන වැරදි තොරතුරු පතුරුවා හරින්නන්ට එරෙහිව පියවර ගන්නා'' බව කියා සිටියේය. ලොවපුරා මාධ්‍ය දඩයමක් පසුගිය 2020 වසරේ අවසානය වනවිට ලෝකය පුරා හාරසීයකට අසන්න මාධ්‍යවේදීන් පිරිසක් ඒ රටවල බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි 'දේශසීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානය' (RSF) පවසයි. එම සංවිධානයේ වාර්ෂික වාර්තාව අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසය වනවිට අඩුතරමින් මාධ්‍යවේදී 387 දෙනෙක් සිරගත කරනු ලැබ සිටියහ. එම වාර්තාව අනුව මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ලැබීම අතින් පළමුතැන චීනයට හිමිව ඇත. චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නාලද මාධ්‍යවේදීන් සංඛ්‍යාව 117කි. එම කාරණය අතින් චීනයට පසු පිළිවෙලින් සිටින රටවල් වන්නේ සෞදි අරාබිය, ඊජිප්තුව, වියට්නාමය සහ සිරියාවයි. 'දේශසීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානය' (RSF) පවසන ආකාරයට 2020 වසර ඇතුළත අත්අඩංගුවට ගෙන ඇති මාධ්‍යවේදිනියන්ගේ සංඛ්‍යාව 42කි. ලෝකයේ රටවල් 180ක දර්ශකයෙහි ඉතියෝපියාවට හිමිවන්නේ 99 වැනි ස්ථානයයි. තවත් තොරතුරු; |
බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඔහුට පහර දීමක් සිදු වූ බවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල පැමිණිල්ලක් කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී විභාගයක් ආරම්භ කළ යුතුව ඇතැයි තාක්ෂණ සහ පර්යේෂණ ඇමති චම්පික රණවක පවසයි. | ආණ්ඩුව තුල ජාතික හෙළ උරුමය නියෝජනය කරන චම්පික රණවක ඇමතිවරයා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් පසුගිය අවධියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවයි. පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කළ සංචාරයක් අතරවාරයේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පහර දීමකට ගොදුරු වූ බව බොහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුණ අතර පහර දීම සිදු කරන ලද්දේ විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන වන බවයි එම ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණේ. මේ සම්බන්ධයෙන් ඉහත කී මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් පළ කළ චම්පික රණවක ඇමතිවරයා ක්‍රිස් නෝනිස් මහකොමසාරිස්වරයා ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමක් සහිත ඉහළ මට්ටමේ නිලධාරියකු වන බවත් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අතරවාරයේ මහකොමසාරිස්වරයා රට වෙනුවෙන් ලෝකයට ඉතා සාර්ථක මට්ටමින් කරුණු පැහැදිලි කළ බවත් සිහිපත් කළේය. තරාතිරම නොබලා දඬුවම් ‘ක්‍රිස් නෝනිස් මහ කොමසාරිස්වරයා ඔහුට පහර දීමක් සිදු වූ බවට යම්කිසි නිල පැමිණිල්ලක් කරනු ලැබ ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය පියවර ගත යුතුයි. එවැනි පැමිණිල්ලක් නැත්නම් කටකතා හෝ වෙබ් අඩවි ආදියේ පළවෙන දේවල් මත විදේශ අමාත්‍යංශයට ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ’ ඇමතිවරයා පවසයි. එවැනි නිල පැමිණිල්ලක් තිබේ නම් අදාළ වැරදි කරුවන්ට තරාතිරම නො බලා දඬුවම් කළ යුතු බවත් චම්පික රණවක ඇමතිවරයා කියා සිටියි. මේ අතර ඉහත කී පහර දීම සම්බන්ධයෙන් නම් කරනු ලැබ ඇති සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද, බ්‍රහස්පතින්දා(02) උදේ 9.30 ට මාධ්‍ය හමුවක් කැඳවා තිබුනත් එය අවලංගු කරන ලද බව පසුව නිවේදනය කෙරිණ. එම අවලංගු කිරීමට බල පෑ හේතූන් නිල මට්ටමින් ප්‍රකාශයට පත් කොට නොමැත. |
2040 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල්වලින් ධාවනය වන සියලුම මෝටර් රථ අලෙවි කිරීම තහනම් කරමින් හරිත 'විප්ලවයක්' දියත් කිරීමට ප්‍රංශය සූදානම් වෙයි. | නව වැඩපිළිවෙල නිවේදනය කරමින් පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ (Nicolas Hulot) කියා සිටියේ, එය පැරිස් පරිසර සම්මුතියට ප්‍රංශයේ කැපවීම ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙලක කොටසක් බවය. 2050 වනවිට කාබන් මුදාහැරීමෙන් වියුක්ත රාජ්‍යයක් බවට පත්කිරීම ප්‍රංශයේ බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රංශයේ මෝටර් රථ කර්මාන්තයෙන් 3.5% ක් දෙමුහුන් මෝටර් රථ (Hybrid) වන අතර, ඒ අතරින් විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ තිබෙන්නේ 1.2% ක් පමණි. 2040 වන විට රටේ තිබෙන පෙට්‍රල් හෝ ඩීසල්වලින් ක්‍රියාත්මක වන මෝටර් රථවලට සිදුවන්නේ කුමක් දැයි යන්න මෙතෙක් පැහැදිලි නැත. පරිසර කටයුතු පිළිබඳව හඬ නගන්නෙකු වශයෙන් ප්‍රසිද්ධ නිකොලා උලෝ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් පරිසර කටයුතු භාර අමාත්‍යවරයා ලෙසින් පත්කරනු ලැබිණ. "අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු" අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු - මැක්‍රෝන් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීන්දුව මීට ඉහතදී දැඩි විවේචනයට ලක් කළ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් " මම හිතනවා එය ඒකාන්තයෙන්ම අත්වැරැද්දක් කියා, එක්සත් ජනපදයටත් ලෝකයටත් යන දෙකටම," යනුවෙන් පැවසීය. "අප කොතැනක හිටියත්, අප කවුරු වුනත් අපට එක හා සමාන වගකීමක් පැවරෙනවා. අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු," ජනාධිපති මැක්‍රෝන් පැවසීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශගුණ විපර්යාස මැඩලීම සඳහා වන සටන අත නොහරින බවට ප්‍රංශය සහතික වන බවය. මේ අනුව පැරණි මෝටර් රථ ඉවත් කිරීම සඳහා දිළිඳු පවුල්වලට විශේෂ මූල්‍ය සහනයක් ලබා දෙන බවට නව පරිසර ඇමතිවරයා ප්‍රතිඥා දී තිබේ. මේ අතර මේ සතිය මුලදී නිවේදනයක් නිකුත් කළ වොල්වෝ මෝටර් රථ සමාගම, 2019 සිට නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථ අඩුම වශයෙන් විදුලි බලය සහ ඉන්ධනවලින් ක්‍රියාකරන දෙමුහුන් රථ බව සඳහන් කළේය. සිය ප්‍රකාශය අතරතුර ප්‍රංශයේ පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ වොල්වෝ සමාගමේ පියවර පිළිබඳවත් සඳහන් කළේය. |
තමන් මෙහෙයවනු ලබන්නේ කුමන බලවේගයක් විසින් දැයි යන්න 'අසරණ රණවිරුවන්' නොදන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. | ආබාධිත සෙබළ උද්ඝෝෂණ පිටුපස දේශපාලන හස්තයක් - ජනපති විශ්‍රාමික සේවා වැටුප ලබා දෙන බව දන්වා තිබියදීත් ආබාධිත සෙබළුන් උද්ඝෝෂණයේ යෙදීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා කියා සිටියේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල අමතමිනි. "මේ ව්‍යාපාර පිටුපස වෙනම මෙහෙයවීම් තිබෙනවා. ඒවා දේශපාලන මෙහෙයවීම්. මේ අසරණ රණවිරුවෝ දන්නේ නැහැ ඒ අය මෙහෙයවුවේ කවුද කියලා. ඇතැම්විට ඒ අයගෙන් එක් අයෙක් පමණක් දන්නවා ඇති මෙහෙයවුවේ කවුද කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊයේ (නොවැම්බර් 07) ආබාධිත සෙබළුන් පිරිස ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඔවුන් හමු වී කරුණු අවබෝධ කර දුන් බව පැවැසූ ජනාධිපතිවරයා "දැන් ඒ සියල්ල හරි කීවට පස්සෙත්, ඒ ගිය අයෙක් දුරකතනයෙන් කණ්ඩායමකට කතා කරලා පණිවුඩය දුන්නා" යනුවෙන් කියා සිටියේය. "ඒ දුරකතන පණිවුඩය එක්ක තමයි පාරට බැහැලා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න ඒ පිරිස පැමිණියේ. මේ පිටුපස ඉන්න පිරිස මේ වැඩපිළිවෙළට එනකොටත් තීන්දු කරලා ඉවරයි මෙවැනි දෙයක් කරන්න ඕනි කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය. 'දේශපාලන හස්තයක්' ආබාධිත සෙබළුන් විසින් වසර අටක් පුරා කරන ලද ඉල්ලීම් මීට මාස හතරකට පෙර තමා වෙත යොමු වූ බව කියා සිටි ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය හා සාකච්ඡා කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව තීන්දුවකට පැමිණි බව පැවසීය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල "අපි මේ ඉල්ලීම් ලබා දෙන්න කටයුතු කළේ මීට මාස හතරකට කලින්. ඒ ආයතනවලට සහ සංවිධානවලට ඒ බව දැන්වුවා,. පෙළපාලි ගිහින් කොටුවේ වාඩි වුනාමත් අපි ඒ බව ඔවුන්ට දැන්වූවා," උද්ඝෝෂණයේ යෙදුණු ආබාධිත සෙබළුන් පිරිසක් සහ භික්ෂු සංවිධාන කිහිපයක් ඊයේ උදෑසන ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීමේදි උණුසුම් තත්ත්වයක් හට ගත් අතර එය පාලනය කරගැනීම සඳහා පොලිසිය කඳුළු වායු හා ජල ප්‍රහාර ද එල්ල කළ කළේය. මේ අතර ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක නියෝග කොට ඇති බව එම අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. |
සෞදි අරාබිය ගෘහස්ථ වධ හිංසා තහනම් කෙරෙන නීති පැනවීමට පියවර ගෙන ඇත. | නව නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ ප්‍රශ්න කරති සෞදි අරාබිය එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙයයි. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සැක පළ කොට තිබේ. සෞදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද නව නීතිය අනුව වැරදි කරනු ලබන පුද්ගලයන් වසරක සිර දඬුවමකට හා ඩොලර් දහ තුන් දහසක දඩයකට යටත් කළ හැකි බවයි පැවසෙන්නේ. සෞදි අරාබියේ මෙතෙක් බල පැවැත්වුන පිළිගැනීම වුනේ, ගෘහස්ථ හිංසනය පෞද්ගලික කාරණයක් වන බවයි. |
ශ්‍රී ලංකාවේ තීරණාත්මක මැතිවරණවල දී දේශපාලන පිල් මාරු වීම් සහ ඒ සම්බන්ධයෙන් කටකතා පැතිර යාම සාමාන්‍ය දෙයක් බව ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. | කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයට එක් වෙන බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් පළ කරමිනුයි ඔහු එම අදහස් පළ කළේ. ‘මැතිවරණ කාලවල බොහෝ ප්‍රචාර පළ වෙනව. කටකතා පැතිර යනවා, පෙළක් වෙලාවට ඒවා යථාර්ථයක් බවට පත් වෙනවා, ඉතින් ඒ ඔක්කොම මේ ඉදිරි දින දෙක තුළ බලා ගන්න පුළුවන්’ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියි. මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා විපක්ෂයට නොයන බවට තමා තුළ විශ්වාසයක් ඇති බව පැවසූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බදාදා (19) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඔහු සක්‍රිය සහභාගි වූ බවයි ප්‍රකාශ කළේ. මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන ඉහත කී කට කතා හා වාර්තා නිවැරදි නොවන්නේ නම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන්නේ කුමක් නිසාදැයි සංදේශය ප්‍රශ්න කළ විට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේ, මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා ඔහු ආණ්ඩුවෙන් ඉවත් නොවන බව අවශ්‍ය තැන්වල දී ප්‍රකාශ කර ඇති බවයි. ‘එය ප්‍රසිද්ධියේ කියන්න එතුමා එතුමාගේ කාලය නාස්ති කරන්නේ නැහැ, සමාජයට ඒ ගැන කියන්න ගියාම එහෙම එකක් තියෙනවා කියල එතුමා භාර ගැනීමක් සිදු වෙනවා’ මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාගේ නිහඬතාවයට හේතු පැහැදිලි කරමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසයි. ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් විපක්ෂයට නො යන බවට සහතිකයක් දිය හැකි දැයි විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන් 162 ක් හා දේශපාලන පක්ෂ දාහතරක් නියෝජනය වෙන ආණ්ඩුවකට එවැනි සහතිකයක් දීමට නො හැකි බවයි. |
තිස් වසරක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ත්‍රිකුණාමලයේ ජනතාව දැන් තවත් ව්‍යසනයකට මුහුණ දී සිටිති. ඒ වකුගඩු රෝගයයි. | නැගෙනහිර පළාත් සෞඛ්‍යය ඇමති එම් .එල්. මොහොමඩ් පෙන්වා දෙන්නේ, රෝගය බහුලව පැතිර පවතින ගම්මානවල තරුණ තරුණියන්ට විවාහ යෝජනාවක් ගෙන ඒමේ දී, ඔහු හෝ ඇය වකුගඩු රෝගියෙක් දැයි විමසීමේ සංස්කෘතියක් දැන් එම ගම්මාන වල නිර්මාණය වී තිබෙන බවයි. වකුගඩු රෝගීන් බහුලව සිටින ප්‍රදේශයක් ලෙස වාර්තා වෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ශෝබා කුඹුරේගම වකුගඩු රෝගීන් ගැන විමර්ශනයක යෙදී සිටින අතර, එම රෝගය වැළඳීමට ජානමය බලපෑමක් ද ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. වෛද්‍යවරිය තවදුරටත් කියා සිටියේ, අදාළ විමර්ශන සඳහා කාලය හා පහසුකම් ප්‍රශ්නයක් වී ඇතත් තමා එම කාර්යයෙහි දිගටම නිරත වී සිටින බවයි. වකුගඩු රෝගියෙක්. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පළාතේ සෞඛ්‍යය ඇමතිවරයා රෝගය ව්‍යාප්ත වීමට නියත හේතුව කුමක් දැයි තවමත් පරීක්ෂා කෙරෙමින් ඇතැයි කියා සිටියේය. ගම් වැසියන් කියා සිටින්නේ, ගොවිතැනට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් ඇති බවයි. රෝගීන් ගේ බෙහෙත් සඳහා රජයෙන් යම්කිසි මුදලක් ලබා දුන්නත් ,එම මුදල් ප්‍රමාණය රෝගීන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ගම්වැසියෝ පවසති. |
ඉන්දීය පාලිත කාශ්මීර බලධාරීහු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළහ. | තමන්ට එරෙහි චෝදනා මොහමඩ් අෆ්සාල් ප්‍රතික්ෂේප කළේය ප්‍රාදේශීය බෙදුම්වාදී නායකයකු එල්ලා මරා දැමීමේ පළමු සංවත්සරය සැමරීම් වස් පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ වැළැක්වීම ඇඳිරි නීතිය පැනවීමේ අරමුණයි. ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ශ්‍රීනගර්හි සියලු කඩ සාප්පු වසා දමා තිබිණ. සංවත්සරය සැමරීම් වස් ප්‍රාන්තය පුරා වැඩ වර්ජනයක යෙදෙන මෙන්ද විවිධ බෙදුම්වාදී කණ්ඩායම් සේවකයන්ගෙන් ඉල්ලීම් කොට තිබේ. 2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ වීමේ චෝදනාවට වැරදිකරු වූ මොහමඩ් අෆ්සාල් ගුරු, පසුගිය වසරේ ජනවාරි 9 වැනි දින එල්ලා මරා දැමිණ. මොහමඩ් අෆ්සාල් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, ඔහුට එරෙහිව සාධාරණ නඩු විභාගයක් නොපැවුත්වුන බව ඇතැම් මානව හිමිකම් සංවිධාන පැවසූහ. |
උතුරු කොරියාව හා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයේ වෙනසක්වූ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson) කළ සඳහනට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් ධවල මන්දිරය සහ ඔහුගේම පාලනය යටතේ ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කර තිබේ. | "අප උතුරු කොරියාව සමග ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම්" - රෙක්ස් ටිලර්සන් කොන්දේසි විරහිතව උතුරු කොරියානු රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඔහු අඟහරුවාදා (දෙසැ 12) වොෂිංටනයේ පැවති ප්‍රතිපත්ති පිළිබද සමුළුවකදී ප්‍රකාශ කළේය. "අප උතුරු කොරියාව සමග ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බවටත්, පළමු සාකච්ඡාව පූර්ව කොන්දේසි නොමැතිව පැවැත්වීමට කැමති බවටත් රාජ්‍යතාන්ත්‍රික අංශ අපව දැනුවත්කලා"යැයි සමුළුව අමතමින් රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය. නමුත් දිනක් ඇතුලත ධවල මන්දිරය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කළේ උතුරු කොරියාව පළමුවෙන්ම න්‍යෂ්ටික අවිහරණයට කැපවියයුතු බවය. මෑත මාස කිහිපය තුළ ධවල මන්දිරය හා රාජ්‍ය ලේකම්වරයා ප්‍රසිද්ධියේ වෙනස් මත දැරූ තෙවන අවස්ථාව මෙම ප්‍රවෘත්තියත් සමග සටහන් විය. උතුරු කොරියාව පසුගිය අප්‍රේල් මාසයේදී සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කළ අයුරු මෙම සිදුවීමට අදාලව නම හෙළි නොකළ ධවල මන්දිර නිලධාරියෙක් "කවර හෝ එකඟත්වයකට පැමිණීමට, උතුරු කොරියාව තමන් විසින්ම තමන්ගේ චර්යාවේ වර්ධනයක් සකස්කර ගන්නා තෙක් බලාසිටිය යුතු බව පාලනාධිකාරියේ තීරණයේ වෙනසක් නොමැති බව" රොයිටර් සේවය වෙත බදාදා ප්‍රකාශ කළේය. "රාජ්‍ය ලේකම්වරයා පැවසූ ආකාරයටම, එය සිදුවියයුතු නමුත්, තවදුරටත් මිසයිල අත්හදා බැලීම් හෝ න්‍යෂ්ටික අවි අත්හැර දැමිය යුතුයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා ද, ඉහත ප්‍රකාශය නැවතත් තහවුරු කර ඇත. "උතුරු කොරියාව කැමැත්තෙන්ම බරපතල හා විශ්වසනීය ලෙස න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ සාකච්ඡාවට පැමිණෙන්නේ නම් ඔවුන් හා සාකච්ඡා මාර්ගයට පිවිසීමට අප විවෘතයි. නමුත් මේ ඊට අවස්තාව නොවේ" ඔහු ප්‍රකාශ කළේය. වැඩිදුර තොරතුරු: |
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලෝඩ්ස් පිටියේ පැවැත්වුන කාන්තා ක්‍රිකට් ජගත් කුසලානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට මින් මොහොතකට පෙර එංගලන්ත කණ්ඩායම සමත්විය. | ජයග්‍රහණයේ සතුට මෙවර තරගාවලියේ සත්කාරක එංගලන්තය කාන්තා ලෝක කුසලානය හිමිකරගත් සිව් වෙනි වතාව මෙයයි. කෙසේ නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගැනීමේ අවස්ථාව දෙවැනි වරටත් ඉන්දියාවට අහිමි විය. සබැඳි යොමු: තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 228 ක් රැස් කරගත්තේය. එයට ප්‍රතිචාර වශයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම මුලින් ඉතා දක්ෂ පිතිහරඹයක යෙදෙමින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 191 ක් රැස් කරගත්තේය. ඉන්දියාව ශීඝ්‍රයෙන් ජයග්‍රහණය හඹා යමින් සිටින අආකාරයක් ඒ අවස්ථාවේ දක්නට ලැබුණි. ජයග්‍රහණයේ සතුට එහෙත් ඉන් අනතුරුව ඕවර කිහිපයක් ඇතුළත ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලු හතම දවාගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 9 කින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. 1973 දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව මෙවර අවසාන මහා තරයකට මුහුණ දුන්නේ දෙවෙනි වතාවටය. 2005 දී අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඒ අවස්ථාවේදීත් ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට ඉන්දීය කාන්තා පිල අපොහොසත් විය. මීට ඉහතදී තරගාවලියට අනුග්‍රහය දැක්වූ අවස්ථා දෙකේදීම - 1973 දී සහ 1993 දී - සහ 2009 දී ජගත් කුසලානය දිනාගැනීමට එංගලන්ත කාන්තාවෝ සමත්වූහ. මේ අතර මෙවර ලෝක කුසලානයේදී තරග හයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වූයේ පකිස්තානයට එරෙහිව ලෙස්ටර් පිටියේ පැවති තරගය පමණි. එහෙත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 178 ක් රැස් කරමින් චමරි අතපත්තු ලෝක ශූරතාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව බවට පත්වූවාය. |
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට විරුද්ධව හඬ නැගූ නීතිවේදීන්ට එල්ල වෙමින් තිබෙන මරණ තර්ජන පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි නීතිවේදී එකමුතුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිනපතාම උදෑසන විවිධ පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙසින් නම් කරමින් කෙරෙන මඩ ගැසීම් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා කෙරෙන උසිගැන්වීම් බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි රොමේෂ් ද සිල්වා සහ ජයම්පති වික්‍රමරත්න ජනාධිපති නීතිඥයන්ට හා ක්‍රිශාන්ත වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවා තිබෙන බව පවසන නීතිවේදී එකමුතුව මෙය සම්පූර්ණයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම උදෙසා තමන් ගෙන යන සටන අඩාල කිරීමේ ප්‍රයත්නයක් බව ද පවසයි. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ට නීතිවේදියා වූ අතර, අනෙක් නීතිවේදීන් තිදෙනා දෝෂාභියෝගයට එරෙහිව පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් ප්‍රසිද්ධියේ හඬ නැඟූහ. 'ඝාතනය කිරීමේ සැලසුමක්' "දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය මගින් මේ කියන නම් සඳහන් වුනා. විවිධ මඩ ප්‍රචාර අරං ගියා. අපි විශ්වාස කරන්නේ අන්න ඒ මඩ ප්‍රචාර අරන් ගිය පාර්ශ්වයන්ගේ වැඩක් කියල," බවයි, නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල බීබීසී සංදේශයට කියා සිටියේ. "දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය මගින් මේ කියන නම් සඳහන් වුනා. විවිධ මඩ ප්‍රචාර අරං ගියා. අපි විශ්වාස කරන්නේ අන්න ඒ මඩ ප්‍රචාර අරන් ගිය පාර්ශ්වයන්ගේ වැඩක් කියල" නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල "දේශප්‍රේමී පෙරමුණ" නමින් හඳුන්වා ගන්නා ලද කණ්ඩායමක් විසින් මෙම මරණ තර්ජන ඒවා ඇති බවයි, ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිනපතාම උදෑසන ජනමාධ්‍ය කලාවේ සියලු රීතින් උල්ලංඝණය කරමින් විවිධ පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙසින් නම් කරමින් කෙරෙන මඩ ගැසීම් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා කෙරෙන උසිගැන්වීම් බව ද ආසියානු මානව හිමිකම් කොමිසම සඳහන් කරයි. මුලින්ම මෙවැනි බිය ගැන්වීම් සහ තර්ජන එල්ල වූයේ මාධ්‍යවේදීන්ට බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, ඉන් අනතුරුව දැන් එම තර්ජන නීතිවේදීන් සහ විනිසුරුවන් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කෙරෙහි එල්ල වෙමින් තිබෙන බවද පෙන්වා දෙයි. මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මන්ත්‍රීවරයා, ක්‍රිශාන්ත වැලිඅමුණ නීතිවේදියා ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවත්, ඒ සඳහා නම් දැරූ අපරාධකරුවෙකු බලධාරීන් විසින් බන්ධනාගාරයෙන් නිදහස් කොට ඇති බවත් පැවසීය. වහාම පරීක්ෂණ ආරම්භ කරන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින නමුත්, විශේෂයෙන්ම මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහර දීම පිළිබඳව හෝ විජේදාස රාජපක්ෂ සහ ගුණරත්න වන්නිනායක නීතිවේදීන්ට පහර දීමේ ප්‍රයත්නයන් පිළිබඳව තවමත් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති බැවින් මේ පිළිබඳවත් කිසිදු පරීක්ෂණයක් පැවැත්වෙනු නැති බව ද නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල සංදේශයට පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
මාර්තු මස 27 හා 28 යන දිනයන් ට යෙදී ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ චීන සංචාරයේදී කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එරට නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා ආමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. | පසුගිය රජයේ වාර්තා සම්බන්ධයෙන් තමන්ට වැඩි විශ්වාසයක් නැති බවයි ඔහු පවසන්නේ මේ වන විට ඉදිකිරීම් අත්හිටුවා තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තාව හැකි ඉක්මනින් ලබා දෙන ලෙස එම පරීක්ෂණය සිදු කරන කණ්ඩායමෙන් ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට නම් එමගින් රටට අනතුරක් නොවන බවට තහවුරු විය යුතු බව පවසන වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පරිසරයට කෙරෙන බලපෑම මෙන් ම ඒ සඳහා යොදා ගන්නා ඉඩම්වල හිමිකම පිලිබඳ ඇතිවී තිබෙන ගැටළු ගැන ද අවධානය යොමුකළ යුතු බවයි අවධාරණය කළේ. 'විශ්වාස නැහැ' " මේක වැල්ලවත්ත ගල්කිස්ස පැත්තෙන් එහෙම නැත්නම් වත්තලින් ඇතුළට කඩා ගෙන ගියොත් අපිට ප්‍රශ්නයක්, ඒ නිසා පරිසර වාර්තා වගේ ම හැම වාර්තාවක්ම පරික්ෂා කරලා තමයි අපි මේ ගැන තීරණයක් ගන්නේ" යනුවෙනුයි ඔහු පැවසුවේ. පසුගිය රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පරිසර වාර්තාව කෙසේ පිළියෙළ කළා දැයි සොයා බැලිය යුතු බව පැවසුවේ පසුගිය රජයේ වාර්තා සම්බන්ධයෙන් තමන්ට වැඩි විශ්වාසයක් නැති බව පවසමින්. "අපේ රටට අවදානමක් නැත්නම් මේ සංවර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කිසිම හේතුවක් මේ රජයට නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. අදාළ ඉදිකිරීම් ආරක්ෂා කිරීම සදහා ආරක්‍ෂිත ගල් පරයක් දැමීමට අදාළ සමගම රජයෙන් ඉල්ලා ඇති බව පැවසූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒ සදහා අවසර ලබා දීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කළේ. |
සියෙරා ලියෝනයේ ෆ්‍රීටවුන් (Freetown) අගනුවර කඳුකර ප්‍රදේශයක නාය යාමෙන් විශාල පිරිසක් මඩ තට්ටු අතර සිරවී සිටින බව විශ්වාස කෙරේ. | ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව රීජන්ට් (Regent) ප්‍රදේශයේ කන්දක් සඳුදා (අගෝස්තු 14) නාය යාම හේතුවෙන් එම ප්‍රදේශයේ බොහෝ නිවාස මඩ තට්ටුවලට යට වූ බව එම ස්ථානයට ගොස් සිටින බීබීසී වාර්තාකරු උමාරු ෆොෆානා (Umaru Fofana) පවසයි. මඩ කන්ද කඩා වැටුණු අවස්ථාවේ බොහෝ දෙනා තද නින්දේ සිටින්නට ඉඩ තිබෙන බව ද ඔහු පවසයි. නාය යාමට කොටු වී සිටින, මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් කිසිදු තක්සේරුවක් කළ නොහැකි බව බලධාරීහු පවසති. සබැඳි යොමු: ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව අගනුවර ජනතාව දණක් උසට මඩ වතුරේ ගිලී සිටි ආකාරය දැක්වෙන ඡායාරූප ට්විටර් සමාජ ජාලය ඔස්සේ පළ කර තිබුණි. නාය යාමෙන් අනතුරුව සිය නිවාසවල කොටු වූ පුද්ගලයන් බේරාගැනීම පිණිස බේරාගැනීමේ සේවකයන් එම ස්ථානවලට පිටත් කර තිබෙන බව Sierra Leone Telegraph පුවත්පත වාර්තා කරයි. සියෙරා ලියෝනය නිරන්තරයෙන් ගංවතුර උවදුරට මුහුණ දෙන අතර, ඒ අවස්ථාවල අනාරක්ෂිත බොහෝ නිවාස ධාරානිපාත වර්ෂාවත් සමග ගසා ගෙන යාම ද සුලබ සිදුවීමකි. 2015 දී ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව අගනුවර හටගත් ගංවතුරට කොටු වී 10 දෙනෙකු මියගිය අතර, දහස් ගණනකට උන්හිටි තැන් අහිමිවිය. |
ලියනාඩෝ ඩා වින්සිගේ සුප්‍රසිද්ධ මොනාලීසා සිතුවමට පණ පෙවීමට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායමක් සමත් වී තිබේ. | මොනාලීසාට පණ දුන් ආකාරය දැක්වෙන යූටියුබ් වීඩියෝවක් ඡායාරූපයක් උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝවේ සිටින මොනාලීසා සිය හිස, දෑස් සහ මුව සොලවනු දැකිය හැකිය. මොස්කව් නගරයේ පිහිටි සැම්සුන් ආයතනයට අයත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණාගාරයේ දී 'ව්‍යාජත්වයේ ගැඹුරට' ගිය මෙම වීඩියෝ තාක්ෂණය නිර්මාණය කර තිබේ. කෙසේවෙතත්, අදාළ තාක්ෂණය අවභාවිත කිරීම් සඳහාත් යොදා ගැනීමට ඉඩකඩ ඇති බවට මත පළ වෙමින් තිබේ. මොනාලීසාට පණ දුන් ආකාරය දැක්වෙන 'යූටියුබ්' වීඩියෝවක් සැම්සුන් සමාගම නිර්මාණය කළ 'ඇල්ගොරිදම' ඔස්සේ ලොව පුරා සිටින ප්‍රසිද්ධ පුද්ගලයන් 7,000කගේ ඡායාරූප යූටියුබ් ඔස්සේ ලබා ගෙන දත්ත ගබඩාවක් සකස් කර තිබේ. යම් පුද්ගලයෙකු ගේ ඡායාරූපයකට ඔහු හෝ ඇයගේ මුහුණේ ඉරියව් සහ සෙලවීම් ඇතුළු කිරීමට මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතියෙන් හැකියාව ලැබේ. ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්ම මැරිලින් මොන්රෝ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් කීපදෙනෙකුට පණ පෙවීමට මෙම තාක්ෂණයට හැකි වී තිබේ. අදාළ තාක්ෂණය ගැන තොරතුරු දක්වමින් සැම්සුන් සමාගම පවසන්නේ මෙම නිර්මාණ "ඇත්තටම නාඩි වැටෙන, කතා කරන හිසක්" ලෙස පෙනෙන බවය. මැරිලින් මොන්රෝ කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියා කරන මෙම තාක්ෂණය එළිදැක්වීමේ දී එහි ඇති වැදගත්කම මෙන්ම භයානකකම ගැන ද සමාජ මාධ්‍ය ජාලවල විවිධ අදහස් පළ වී තිබිණි. 'ව්‍යාජ ඔබාමා' 2017 වසරේ දී ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ (Tel Aviv University) පරීක්ෂකයන් පිරිසක් මීට සමාන පද්ධතියක් නිර්මාණය කළහ. එම තාක්ෂණය උපයෝගී කරගෙන ආචාර්ය සුපසෝන් සුවජනකෝන් (Supasorn Suwajanakorn) 2017 වසරේ දී ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමාගේ ව්‍යාජ වීඩියෝවක් නිර්මාණය කර තිබිණි. අදාළ තාක්ෂණය අවභාවිත කිරීමට ඉඩ ඇති බව පිළිගත් ඔහු, එහි ධනාත්මක බව ගැන තොරතුරු සඳහන් කරමින් පැවසුවේ යම් පවුලක මියගිය ඥාතීන්ට වීඩියෝ ඔස්සේ පණ පෙවීමට මෙයින් අවස්ථාව සැලසෙන බවය. නමුත් දේශපාලඥයන් මෙවැනි වීඩියෝ මගින් මුළු මහත් ජාතියක්ම රැවටීමට ක්‍රියා කරනු ඇති බවත්, එය දේශපාලන වාසි ලබා ගැනීමට පමණක් සීමා නොවෙනු ඇති බවත් විශේෂඥයෝ පවසති. 'ව්‍යාජත්වයේ ගැඹුරට' ගිය තාක්ෂණය අවභාවිත කරමින් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන ලිංගික චිත්‍රපට නිර්මාණය කිරීමට ද සමහරු ක්‍රියා කර තිබිණි. මේ තොරතුරුද කියවන්න: |
නව දිල්ලියේමහජන මගී ප්‍රවාහන සේවාවන්හි කාන්තාවන්ට වෙන් වූ ආසන භාවිතා වෙන ආකාරය මේ දිනවල විවාදයට ලක් වී ඇති මාතෘකාවක්. | ඉන්දියානු ජන මාධ්‍ය මගින් සිදු කෙරෙන එම සාකච්ඡාවට අදාලව පළ කොට ඇති ඡායාරූපවල දිල්ලි උමං දුම්රියේ මැදිරිවල කාන්තාවන්ට වෙන් කළ ආසනවල පුරුෂයන් හිඳ ගෙන සිටින අකාරය දැක්වෙයි. ඉන්දියාවේ බොහෝ බස් සහ දුම්රිය මැදිරි වල කාන්තාවන්ට ආසන වෙන් කර ඇති අතර එවැනි පියවරක් ගෙන තිබෙන්නේ ඔවුන් ලිංගික අතවර වලින් මුදා ගැනීමේ සැලැස්මක් වශයෙනි. 2012 වසරෙහි දිල්ලි අගනුවර දී වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දමනු ලැබීමේ අපරාධය , ලිංගික අතවරවලට එරෙහි නීතිය දැඩි කරන මෙන් ඉල්ලා සිටීමේ මහජන හඬක් පැතිර යාමට හේතු විය. ලිංගික අතවර ඉහත කී මාධ්‍ය සාකච්ඡාවට එක් වූ රින්චු දුප්කා කියා සිටියේ, ඉන්දියානු කාන්තාවන් බස් රථ වලදී දිනපතාම මෙන් අතවරයට ලක් වෙන බවයි. ඇය ඊට එරෙහිව නැගී හිටි අවස්ථාවල දී තමා බස් රථයෙන් ඉවතට අද දැමූ බවත් රින්චු දුප්කා පවසන්නීය. ක්නාල් මජුම්දාර් කියා සිටියේ, ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට ලිංගික අතවර කිරීම ඉන්දියානු පිරිමින් ගැහැණුන් ගැන හිතන ආකාරය හෙළිදරව් කෙරෙන්නක් වන බවයි. කාන්තාවන්ට පමණක් ආසන වෙන් කිරීම මගින් ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට සමාන අයිතිවාසිකම් ඇත යන මූලධර්මය උල්ලංඝණය වන බවයි, මධුකාර් පාන්ඩේ පවසන්නේ. ජස්මින් පතීජා විවාදයට එක් වෙමින් කියා සිටියේ, ස්ත්‍රීන් සහ පුරුෂයින් ආසන වලින් වෙන් කිරීම මගින් ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට ලිංගික අතවර සිදු කිරීමේ ගැටළුවට දිගු කාලීන විසඳුමක් නොලැබෙන බවයි. |
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක් දින සහ විස්සයි විස්ස තරගවලදී නව ජවයකින් තරග කර ජයග්‍රහණය ලබාගැනීමට හැකිවෙතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. | නායක මැතිව්ස් ඒ බව පවසා තිබෙන්නේ ටෙස්ට් තරගාවලියේදී අන්ත පරාජයකට මුහුණ දීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කැඳවනු ලැබ තිබුණු හදිසි රැස්වීමකදී අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවති සාකච්ඡාවට දකුණු අප්‍රිකාවේ සිට ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වූයේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජයවීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්ව පවතී. එහෙත් ඉදිරි තරගාවලි ජයග්‍රහණය කිරීමට හැකිවෙතැයි නායකයා විශ්වාසය පළ කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසන්නේ. "පරාජය ගැන බියවන්නේ නම් කිසිදිනෙක ජයග්‍රහණය කළ නොහැකි බව අපි විශ්වාස කරනවා," යනුවෙන්ද රැස්වීමෙන් අනතුරුව තිලංග සුමතිපාල සඳහන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. රැස්වීම පිළිබඳව කරුණු විමසීම පිණිස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහතදී දකුණු අප්‍රිකාවේදී ජයග්‍රහණය කර තිබෙන්නේ එක් ටෙස්ට් තරගයක් පමණි. |
ලොව පුරා දහස් ගණනකට ආසාදනය වූ නව කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින්ම ඇතුළු වන්නට ඇත්තේ චීනයේ වූහාන් පළාතේ ඇති මත්ස්‍ය හා මාංශ වෙළඳපොළකින් බවට විද්‍යාඥයෝ සැක කරති. | චීන වෙදකම සඳහා වියලන ලද සර්පයන් ද යොදා ගනී මෙම වෙළඳපොළ නීතිවිරෝධී සත්ව වෙළඳාම සිදුවෙමින් පැවතුණු ස්ථානයක් ලෙස සැලකේ. එම සතුන් අතර දුර්ලභ සර්පයන්, ඉත්තෑවන් සහ රැකූන් ආදී සත්ව වර්ග බොහොමයක් කූඩුකර තිබුණි. මෙම සතුන් ආහාරය සඳහා හෝ පාරම්පරික ඖෂධ ක්‍රමවේද සඳහා හෝ සත්ව ජාවාරම් සඳහා අලෙවි වෙමින් පැවතුනි. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමඟ මෙම වෙළඳපොළ වසා දැමීමට චීන බලධාරීහු පියවර ගත්හ. වන සතුන් හෝ එම මාංශ යොදා ගනිමින් නිෂ්පාදනය වූ ආහාර වර්ග වැඩිපුරම පරිභෝජනයට ගන්නා රට චීනයයි. එය නීතිගතව හෝ නීතිවිරෝධී ආකාරයෙන් සිදුවිය හැක. තාවකාලික තහනම ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් පවසන්නේ වෛරසය මුලින්ම පැමිණෙන්නට ඇත්තේ වවුලන්ගේ සිරුරෙන් බවය. නමුත් එය සෘජුව ම මිනිස් සිරුරට ආසාදනය වන්නට පෙර තවත් අතරමැදි සතෙකු සිටින්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. එම අතරමැදි සත්වයා කවරෙක්දැයි තවමත් තහවුරු වී නොමැත. චීන ජාතිකයෝ සාම්ප්‍රදායිකව වන සත්ව මාංශ කෙරෙහි රුචියක් දක්වති. ඇතැම් මාංශ අනුභවය රස නහර පිනවීම සඳහා ම වන අතර පාරම්පරිකව පැවත එන වෙදකම වෙනුවෙන් ද ඇතැම් මාංශ අනුභව කරති. චීනයේ ඇතැම් ආපන ශාලා 'වවුල් මාංශ සුප්' වැනි ආහාර ද අලෙවි කරයි. එම සුප් බඳුන මත, පිසින ලද සම්පුර්ණ වවුලා තබා ඇත. කොටියාගේ වෘෂණ කෝෂ සහිත සුප්, එමෙන්ම කලවැද්දාගේ දේහ කොටස් සහිත ආහාර ද ඇතැම් ආපනා ශාලා තුළ අලෙවි කෙරේ. තෙලින් බදින ලද නාගයන්, තම්බන ලද වලස් පාද, කොටි අස්ථි යොදා ගනිමින් තනන ලද වයින් වර්ග ද ඉහළ පෙළේ ආපන ශාලාවල කෑම ලයිස්තුවේ පවතී. පැල්පත් සහිත ප්‍රදේශවල පවතින මාංශ වෙළඳපොළ තුළ මීයන්, පූසන්, සර්පයන්, මෙන්ම පක්ෂීන් වර්ගද අලෙවි කෙරේ. ඇතැම් විට මෙම සත්වයන් වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින සත්ව ගණයට අයත් වේ. ඇතැම් පක්ෂීන් ද ලොවින් තුරන්වීමේ අනතුරට මුහුණ දී තිබේ මෙවැනි ආහාර ගැනීම සාම්ප්‍රදායිකව සහ සංස්කෘතික වශයෙන් සැලකෙන්නේ තමන් ලද මහඟු අවස්ථාවක් ලෙසිනි. ඇතැම් වන සත්ව මාංශ චීන වෛද්‍ය ක්‍රමය අනුව වර්ගීකරණය කර ඇත්තේ වඳ භාවයට, ආතරයිටීස්, රක්තවාතය වැනි රෝගවලට ප්‍රතිකර්ම ලෙසිනි. චීන වෙදකමට රයිනෝසිරස් ගේ අඟ බහුල ලෙස යොදා ගැනීම නිසා හොඳ වෙළඳ පොලක් ඇතිවීම, එම සත්වයා වඳවී යාමේ තර්ජනයට ලක්වීමට ප්‍රධාන හේතුවක් විය. මේ සියල්ල සිදුවන්නේ මිනිසාට ඇතිවන ආසාදනයන්ගෙන් 70%ක් ම සතුන්ගෙන් සංක්‍රමණය වූ ඒවා බවට ඇස්තමේන්තු කර තිබියදී ය. නව කොරෝනා වෛරසය මිනිසාට වැළඳීමෙන් පසුව චීනයේ පවතින වන සත්ව වෙළඳාම දෙසට නැවතත් අවධානය යොමු වන්නට පටන් ගත්තේය. චීන බලධාරීන් වන සතුන් වෙළඳාමට තාවකාලික තහනමක් පැනවීමට හේතු වූයේ ද මෙම නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියයි. නමුත් මෙම තාවකාලික තහනම සදාකාලික තහනමක් බවට පත් කර ගැනීම සඳහා සත්ව ආරක්ෂණ සංවිධාන වෑයම් කරයි. "මින් පෙර මිනිස් ඇසුරේ නොසිටි වන සතුන් කරා මිනිසා ලංවෙලා තිබෙනවා" මෙම කොරෝනා වෛරසය නිසා වනසතුන් වෙළඳාමට තිත තැබීමට හැකියාවක් ලැබේවිද? වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන් ආරක්ෂාකර ගැනීමට එමගින් අවකාශයක් ලැබේවිද? විශේෂඥයන් පවසන්නේ එය අතිශය බැරෑරුම් අභියෝගයක් වන නමුත් ජය ගත නොහැකි ඉලක්කයක් නොවනු ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෑත කාලයේ වසංගතයක් බවට පත්වූ සාර්ස් සහ මර්ස් වෛරස ද මිනිසා කරා පැමිණ ඇත්තේ පිලිවෙලින් වවුලන්ගෙන් සහ ඔටුවන්ගෙනි. "මින් පෙර මිනිස් ඇසුරේ නොසිටි වන සතුන් කරා මිනිසා ලංවෙලා තිබෙනවා. ඒ නිනා මින් පෙර හඳුනා නොගත් වෛරස සහ බැක්ටීරියාවන් එම සතුන් හරහා මිනිසා වෙත පැමිණ තිබෙනවා." ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝෂණ හා ආහාර සුරක්ශාව පිලිබඳ විශේෂඥ වෛද්‍ය බෙන් එම්බාරෙක් බීබීසීයට පැවසීය. ලොව පුරා නීතිවිරෝධී වන සත්ව ජාවාරම ඩොලර් බිලියන 20ක් පමණ වටිනාකමකින් යුත් බවට ඇස්තමේන්තු කර තිබේ. දුර්ලභ වන සතුන් ආහාරයට හෝ ඖෂධ සඳහා යොදා ගැනීම දුර්ලභ වන සතුන් ආහාරයට හෝ ඖෂධ සඳහා යොදා ගැනීමේ පවතින අනතුරුදායක බවත් එම සතුන් ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් නැවත සිතන්නට අවස්තාවක් නව වසංගත තත්වය නිසා පෑදී ඇති බව සොබාදහම වෙනුවෙන් කටයුතු කරන WWF ආයතනය නිවේදනය කර තිබේ. කෙසේ නමුත් චීන ආණ්ඩුව පැහැදිලිවම පවසා ඇත්තේ වන සත්ව වෙළඳාමට පනවා ඇත්තේ තාවකාලික තහනමක් පමණක් බවය. සාර්ස් වෛරසය පැතිර යන කාල වකවානුව තුල ද චීනය මෙවැනිම තාවකාලික තහනමක් පැනවීය. නමුත් ටික කලක් ගත වී යත්ම එම තහනම යටපත් වී වන සතුන් වෙළඳාම යළි හිස එසැවූ බව පරිසරවේදීහු පෙන්වා දෙති. පාලනයකින් තොරව සිදු කෙරෙන වන සත්ව වෙළඳාමක් තම රට තුල පවතින බවට නැගෙන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. කියවන්න: ලොව විශාලතම වන සත්ව වෙළඳාම පවතින්නේ චීනයේය "ආහාරය සඳහා හෝ ඖෂධ සඳහා යොදා ගැනීමට වන සතුන් ළඟ තබා ගැනීම හෝ බෝ කිරීම හෝ දඩයම් කිරීම නිත්‍ය වශයෙන් ම තහනම් කරවා ගැනීම සඳහා මේක හොඳ අවස්තාවක් කර ගැනීමට අප උත්සාහ කරනවා." ලන්ඩනයේ පවතින පරිසර පර්යේෂණ ඒජන්සියේ ඩෙබී බෑන්ක්ස් පවසන්නීය. මෙම ආයතනය විසින් චීනයේ වන සත්ව වෙළඳපොළ පිළිබඳව පර්යේෂණ කිහිපයක් ම සිදු කරනු ලැබ තිබේ. කුරුළු උණ වැනි වසංගත නිසා සතුන් වර්ග කිහිපයක් ම ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබුණු බව විශේෂඥයෝ පවසති. වසර ගණනාවක් තිස්සේ කරන ලද වෑයම නිසා ඇත්දළ ආනයනය තහනම් කිරීමට චීනය එකඟ වීම හේතුවෙන් අලින් වඳවී යාමේ අනතුරින් ගලවා ගැනීමට හැකි වූ බව ද ඔවුහු පවතී. කෙසේ නමුත් මෙවැනි තහනම් නියෝග චීනයේ පමණක් පැනවීමෙන් පලක් නොවන බවත් එය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විශේෂඥයෝ පෙන්වා දෙති. එය එසේ වී නමුදු, ලොව විශාලතම වන සත්ව වෙළඳාම පවතින චීනය මෙම ගමනට නායකත්වය දිය යුතු බව පරිසරවේදීන්ගේ අදහසයි. |
ශ්‍රී ලංකා යුද හමුදාව දෙදහස් නවයේ දී ෂෙල් ගසා පවුල් සිය ගණනක් ඝාතනය කළ බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි. | යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් සහ ඇමරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් ගේ, පුදුමාතලන් හිදී බ්‍රහස්පතින්දා ගන්නා ලද බව සඳහන්, ඡායාරූපයක් ද රැගත් ට්විටර් පණිවුඩයකින්, එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා ඇත්තේ ‘ශාන්ත අන්තෝනි පිටිය - යුද හමුදා ෂෙල් ප්‍රහාරයෙන් 2009 ජනවාරියේ පවුල් සිය ගණනක් ඝාතනය කැරුණු ස්ථානය’ යනුවෙන්. බීබීසී සංදේශය විසින් කරන ලද විමසීමේ දී එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශ කළේ ට්විටර් පණිවිඩයේ ඇත්තේ ඔවුන්ගේ නිල ස්ථාවරය බවයි. ශාන්ත අන්තෝනි ක්‍රීඩා පිටිය පිහිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුමාතලන් අසල ඉරනෙයිපලෙයි හි. යුද මුක්ත කලාපය පුදුකුඩියිරුප්පුවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කලින් පිහිටි ස්ථානයේ දී ශ්‍රී ලංකා රජය විසින් ‘දෙවැනි යුද මුක්ත කලාපය’ ලෙස නම් කර තිබුණ පුදුමාතලන් පාසල හා රෝහල පිහිටි ස්ථානය සහ පුදුකුඩියිරුප්පුවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කලින් පිහිටි ස්ථානය කරා එක්සත් ජනපද තානාපති දෙ පල ගිය බවත් ඡායාරූප සහිතව ට්විටර් පණිවුඩයේ සඳහන්. දෙදහස් නවයේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ සංවිධානය පරදවා ලූ යුද්ධයේ අවසාන අදියරේ දී යුද අපරාධ බෙහෙවින් සිදු වූ බවට චෝදනා කැරෙන කලාපයටයි, තමන් ගිය බව ඇමරිකානු දුත මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. එක්සත් ජනපදය ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව මෙම චෝදනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව පිලිබඳව මාර්තුවේ අලුතින් යෝජනාවක් ගෙන එන බව ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු. යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා රජය පවසන්නේ උතුරේ තමන් ‘මානුෂික මෙහෙයුමක්’ දියත් කළ බවයි. |
මියන්මාරයේ සුළුතර රෝහින්ග්‍යා ප්‍රජාවට ආරක්ෂාව සැපයීමට අපොහොසත්වීම පිළිබඳව මියන්මාරයේ මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය එරට නිල නොවන නායිකා ඕන් සාන් සුචී දෝෂදර්ශනයට ලක් කළාය. | රෝහින්ග්‍යා ප්‍රජාව සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් පවතින රඛයින් ප්‍රාන්තයේ ඉතාමත් බරපතල බව පවසන විශේෂ නියෝජිතවරිය යැන්ගි ලී (Yanghee Lee), තත්වය පාලනය කිරීම පිණිස ඕන් සාන් සුචීට මැදිහත්වීමට කාලය එළඹ තිබෙන බව සඳහන් කළාය. ගතව ගිය දින කිහිපය ඇතුළත මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ආ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පිරිස 87,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කර තිබේ. එය 2016 ඔක්තෝබර් මාසයේ හටගත් ගැටුම්වලින් මිදීම පිණිස බංග්ලාදේශයට පලා ගිය රෝහින්ග්‍යා අනාථයන්ට වඩා ඉතා වැඩි පිරිසකි. මේ වසරේ මෙන්ම පසුගිය වසරේදීත් දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වූයේ රෝහින්ග්‍යා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් රඛයින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමගය. එම අවස්ථා දෙකේදීම ප්‍රහාරවලින් අනතුරුව බුරුම හමුදාව කැරලිකරුවන්ට එරෙහිව හමුදා මෙහෙයුම් දියත් කිරීමත් සමග රෝහින්ග්‍යා ජනතාව සිය ගම් බිම් අත්හැර පලා ගියහ. එහිදී දරුණු මට්ටමින් මානව හිමිකම් උල්ලංඝන කිරීම් සිදු වූ බව වාර්තා විය. සාමාන්‍ය ජනයා දේශ සීමා වෙත විශාල වශයෙන් ගලා ඒමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය, මියන්මාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ "වාර්ගිකත්වය මත පදනම්ව වෙනස් ලෙස නොසලකා" සියලුම සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය. මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වසර ගණනාවක සිට වධහිංසාවලට ලක් වෙති. රඛයින් ප්‍රාන්තයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව සහ එරට බහුතරය වන බෞද්ධ ප්‍රජාව අතර පවතින මුල් බැසගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ මීට පෙර ද දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී තිබේ. මේ අතර ප්‍රකාශය කරන එක්සත් ජාතීන්ගේ සරණාගත්ගයන් පිළිබඳ ආයතනය, ප්‍රධාන සරණාගත කඳවුරක් සම්පූර්ණයෙන්ම පිරී ගොස් ඇති බව පැවසීය. එම ආයතනයේ ප්‍රකාශිකා විවියන් ටෑන් කියා සිටියේ මියන්මාරයේ සිට පළා එන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග සරණාගතයන්ට ආධාර සැපයීම දුෂ්කර වී ඇති බවය. "අගෝස්තු අග භාගයේ මිනිසුන් ගලා ඒම ආරම්භ වීමත් සමග අලුතින් දස දහස් ගණනක් පැමිණ තිබෙනවා. උදාහරණයක් වශයෙන් කටුපොලන් කඳවුරේ රැඳවිය හැකි පිරිස දහතුන් දහසක්, නමුත් අලුතින් අය පැමිණීමත් සමග එම සංඛ්‍යාව විසි පන්දහසක් වී තිබෙනවා," ඇය සඳහන් කළාය. ප්‍රචණ්ඩ ක්‍රියා හට ගත්තේ කවදාද? පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් පොලිස් මුරපොලවල් වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු මරණයට පත් විය. පිහි සහ තමන් විසින් සකසන ලද බෝම්බ යොදා ගනිමින් රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් රඛයින් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොළවල් 30 ට පහර දෙනු ලැබ ඇතැයි මියන්මාර ආණ්ඩුව පවසයි. එම ප්‍රහාර සහ ඉන් අනතුරුව හටගත් ගැටුම්වලින් කැරලිකරුවන් ගණනාවක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ. ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජා දෙකටම අයත් සාමාන්‍ය වැසියන් අවතැන් වී ඇති බව වාර්තා වන අතර සාමාන්‍ය වැසියන් මරණයට පත් වී ඇති බවටත් වාර්තා ලැබෙමින් පවතී. අවම වශයෙන් ප්‍රදේශ දහයක්වත් නිවාස ගිනි ගෙන ඇතැයි චන්ද්‍රිකා දත්ත හරහා පෙනෙන්නට ඇති බව 'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානය පවසයි. එමෙන්ම අසල්වැසි බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ ගිනි දැල් දැකිය හැකි බවත් මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි. මියන්මාර ආණ්ඩුව පවසන්නේ කැරලිකරුවන් ඊට වගකිවයුතු බවය. පොලිස් මුරපොළවල් වෙත එල්ල වූ ප්‍රහාරයත් සමග ආණ්ඩුවේ හමුදා සහ බෞද්ධ කණ්ඩායම් වැටලීම් සිදු කරමින් ගිනි තැබීම ආරම්භ කළ බව පළා යමින් සිටින රෝහින්ග්‍යා මුස්ලිම් වැසියෝ පවසති. |
ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ අපේක්ෂකයන් විසින් වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවක් නොමැතිකම මහජන ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වීමට හේතු වී ඇති බව පැෆරල් සංවිධානය පවසයි. | එම තත්වය අවසන් කොට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමේ උත්සාහයක් වශයෙන් අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීති සම්පාදනය කිරීම සඳහා පියවර ගනිමින් ඇති අතර ඊට අදාළ මූලික කෙටුම්පතක පළමු අදියර නීතිවේදීන්ගේ උපදෙස් ලබා ගනිමින් දැනටමත් සකස් කොට අවසන් බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී කියා සිටියේය. සියලු මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂවල ද උපදෙස් මෙම කාර්ය සඳහා ලබා ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය. මැතිවරණ ප්‍රචාරණය සඳහා අපේක්ෂකයකුට හෝ පක්ෂයකට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවක් නොමැති බැවින් මූල්‍ය ශක්තිය වැඩි අපේක්ෂකයන්ට වාසිදායක තත්වයක් හිමිවන බව ඔහු පේනවා දෙයි. "සියලු අපේක්ෂකයන්ට සාධාරණ පදනමක් මත තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යා හැකි නම් පමණයි මැතිවරණයෙන් සාධාරණ ලෙස මහජන නියෝජිතයන් තේරීපත් වෙන්නේ," ඔහු පැවසීය. "පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ සමහර අපේක්ෂකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා තමන් ලක්ෂ අටසීය, දාහ මැතිවරණය සඳහා වියදම් කළ බව. ඒ වගේම අඩුවෙන්ම වියදම් කළ පළාත් සභා අපේක්ෂකයෙක් ප්‍රකාශ කළා ලක්ෂ අනූ අටක් ඔහු වියදම් කළ බව," පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය. අසල්වැසි ඉන්දියාව සහ බංගලාදේශය වැනි රටවල ද මැතිවරණය ප්‍රචාරණය සඳහා වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමා පවතින බවත් ඔහු පෙන්වා දුණි. "උදාහරණයක් වශයෙන් බංගලාදේශයේ ඒ ඡන්ද කොට්ඨාශය තුළ සිටින ඡන්ද දායකයන් ප්‍රමාණයට අනුපාතිකව අපේක්ෂකයන්ට කළ හැකි වියදම්වලට සීමා පනවා තිබෙනවා," එසේම ඇතැම් අපේක්ෂකයන් මැතිවරණ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කළත් එම මුදල් තමන් වෙත ලැබුණු ආකාරය සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව්වක් නොකරන බවත් ඔහු පැවසීය. "මේ පනත් කෙටුම්පත සම්මත කොට නීතියක් බවට පත් කිරීමට ව්‍යවස්ථාදායකය ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔවුන් එසේ ක්‍රියා නොකරන්නේ නම් ඒ සඳහා ගත හැකි සිවිල් සමාජ පෙලඹීම සහ බලපෑම කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා," පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය. |
දින කීපයක සිට පවතින අධික වර්ෂාව සහ නාය යෑම් හේතුවෙන් පස් දෙනකු අතුරුදහන් වී එකොළොස් දෙනක් මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති. | ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි අඟහරුවාදා උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නාය යාමකට හසු වූ පුද්ගලයන් හය දෙනෙකුගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු ඒ අතර සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය. කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජල ගැලීම් වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට පත් වී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේය. ඉන් බහුතරයක් දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ජනතාව බවත් බලධාරීහු පවසති. ගංගා ගණනාවක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ජලාශ කීපයක වාන් දොරටු විවෘත කොට තිබේ. එම ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙත පූර්ව අනතුරු දැන්වීම් සිදු කොට ඇත. ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ එක් ලක්ෂ තිස් හතරදහසකට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇති බවයි. අවපීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් පිටතට ගමන් කරමින් තිබෙන බවයි මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පවතින වැසි සහිත කාලගුණය තරමක් අඩු වනු ඇති නමුත් තද සුළං තත්ත්වය දින කිහිපයක් පවතිනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. |
මාරාන්තික පිළිකා රෝගයකින් පෙළෙන කතුවරියක් සිය සැමියාට "ආදරණීය සහකාරියක් සොයා දීම" සඳහා ගනු ලබන උත්සාහයක් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. | එමී ක්‍රවුස් රොසෙන්තල් එමී ක්‍රවුස් රෝසන්තල් නම් එම කාන්තාව අලුත් හිතවතුන් හිතවතියන් දැනහැඳින ගැනීම සඳහා පහසුකම් සපයන වෙබ් අඩවියකට (Dating site) සිය ස්වාමිපුරුෂයාගේ තොරතුරු ඇතුළත් කරන්නේ ඔහුට ආදරණීය සහකාරියක් සොයා දීමේ බලාපොරොත්තුවෙනි. එම පිටුව තුළ සිය ස්වාමිපුරුෂයා සතු ඉහළ ගුණාංග ලැයිස්තුවක් සටහන් කළ ඇය "ගැළපෙන සහකාරියක් මෙය කියවා ජේසන්ව සොයා ඒවි" යනුවෙන් සටහන් කළාය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ මෙවැනි වෙබ් අඩවි තමන් විසින් මීට පෙර භාවිත කර නොමැති බවය. "මම දවස් 9,490 ක් ඔහු සමග එක නිවහනක එකට ජීවත් වී ලබා ගත් අත්දැකීම් මත, ජේසන් ගේ තොරතුරු ඇතුළත් ගිණුමක් (Profile) සකස් කරනවා" යනුවෙන් ඇය කියා සිටින්නීය. දශක තුනක් නව ඇරඹුමක් එමී ක්‍රවුස් රෝසන්තල් ළමුන් වෙනුවෙන් මෙන්ම සිය ජීවිතයේ සහ පවුලේ අත්දැකීම් පිළිබඳවත් පොත් ලියන ලේඛිකාවක් ලෙස නමක් දිනා සිටින්නීය. දශක තුනකට ආසන්න කාලයක් එකට දිවි ගෙවන එමී සහ ජේසන්ට වැඩුණු දරුවෝ සිටිති. 'ඔබට මගේ සැමියා සමග විවාහ වීමට අවශ්‍ය කරනවා විය හැකියි'යනුවෙන් එමී විසින් තබන සටහන අවසන් කරන්නේ "මම, මේ තිළිණය පිරි නමන්නේ පෙම්වතුන්ගේ දිනයේ. මෙය කියවන්නේ මගේ සැමියාට ගැලපෙන තැනැත්තිය යැයි මට බලාපොරොත්තු තැබිය හැකියි. ජේසන් මුණ ගැහෙන්න, තවත් ආදර කතාවක් පටන් ගන්න" ලෙසය. "මම මේ සුදු පැහැති කඩදාසියේ අග හිස්ව තබනවා. ඒ ඔබ දෙදෙනාගේ අලුත් කතාව ලියන්නයි" "මීට ආදරණීය එමී" |
ඇමරිකාවේ බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ පවතින ගංවතුර හේතුවෙන් වසර 8 ක පිරිමි ළමයෙකු සහ අත දරුවකු ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වූ බව නිලධාරීහු පවසති. | බටහිර වර්ජීනියාවේ නිවාස සියයක්වත් විනාශ වීතිබේ. ආණ්ඩුකාර අර්ල් රේ තොම්බ්ලින් පවසන්නේ දැඩි සුළං සහිත කුණාටු තත්වය සහ ගංවතුර හේතුවෙන් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වලට විශාල හානියක් සිදුවී ඇති බවයි. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 55 න් 44 කම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ. ප්‍රදේශය පුරාම නිවාස වලට හානි සිදුවී ඇති බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ වෙළඳ සංඛීර්නයක කොටුවී සිටින 500 ක් පමණ පිරිසක් බේරා ගැනීම පිණිස මෙහෙයුම් ආරම්භ වී ඇති අතර විපතට පත් අනෙකුත් ප්‍රදේශ වල සිරවී සිටින පිරිස් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී. ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලට අඟල් 9 කට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඇතිවූ ගංවතුරින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති අතර තවත් නිවාස දහස් ගණනකට විදුලි බල සැපයුම අඩාළ වී තිබේ. අවම වශයෙන් 20 දෙනෙකුවත් මේ වනවිට මියගොස් ඇත මෙහෙයුම් කටයුතු සඳහා හමුදා බටයන් 200 කට වැඩි පිරිසක් යොදවා ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි. දිස්ත්‍රික්ක 55 න් 44 කම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ වයස අවුරුදු 8 ක පිරිමි දරුවෙකු ලිස්සා යාමෙන් සැඩ පහරට වැටුණු පසු ගසාගෙන ගිය බවයි දේවස්ථානයක සිටි දේවගැතිවරයෙකු පැවසුවේ. ළමයාගේ මව ඔහු බේරාගැනීමට උත්සාහ කළද ඇගේ අත ලිස්සා ගිය බවයි වීලින්ග් හි නාසරෙන් දේවස්ථානයේ දේවගැති හැරී ක්රෝෆ්ට් වැඩි දුරටත් පැවසුවේ. එම දරුවාගේ මළ සිරුර පසුව සැතපුම් භාගයක් පමණ ඈතින් පිහිටි ප්‍රදේශයක දී හමුවී තිබුණු බවයි වාර්තා වන්නේ. මේ ආකාරයටම සැඩ පහරට වැටුණු වසර හතරක පිරිමි ළමයෙකුගේ ද මළ සිරුර හමුවී තිබේ. |
හම්බන්තොට වරායේ දෙවන අදියරට අයත් මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි සිටි මාස තුනක් පමණ වයසැති අලි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරිහු සහ වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයෝ කටයුතු කළහ. | කොන්ක්‍රීට් කාණුවකට වැටී සිටි අලි පැටවා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි එම අවස්ථාවේ එහි සිටි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට කියා සිටියේ. අලි රංචුව සමග සැරිසරමින් සිටි පැටවා ඉරිදා අලුයම කාණුවට වැටි ඇති බව වනජීවී නිලධාරීහු පවසති. කාණුවේ වැටි සිටි තම පැටවා හැර නොයා මව් ඇතින්නිය ඒ අවට රැඳී සිටි බවයි රාහුල සමන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ. පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන්ට කටයුතු කළ නමුත් විටින් විට සිය පැටවා සොයා මව් ඇතින්නිය එම ස්ථානය වෙත පැමිණීමට උත්සාහ කොට තිබේ. මව් සෙනෙහස පැය හතරකට පසුව අලි පැටවා ගොඩට ගැනීමට හැකි වුවත් පැටවාගේ පසුපස පාදයේ ඇතිව තිබූ ආබාධිත තත්වය හේතුවෙන් පැටවා වනයට මුදා හැරීමට නොහැකි බවත් උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් ප්‍රතිකාර කළයුතු බවත් පශු වෛද්‍ය ඩබ්ලිව් .ඒ , ධර්මකීර්ති සංදේශයට පැවසීය. හම්බන්තොට වරාය භූමිය තුළ මේ වන විටත් වන අලි ජිවත් වන බවත් එසේ ජිවත් වන අලි විටින් විට වරාය අධිකාරියට අයත් ආරක්‍ෂිත වැටද බිඳ දමා ප්‍රධාන මාර්ගයට පැමිණෙන බවත් ප්‍රදේශවාසීහු පවසති. හම්බන්තොට වරාය අධිකාරියට අයත් භූමි ප්‍රදේශය වටා වැටක් ඉදි කර ඇතත් එම භූමිය තුතුළ තවමත් වන අලි ජිවත් වන බවයි රාහුල සමන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ. මිට සති දෙකකට පමණ ඉහතදීද දඩයක්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වී මියගොස් සිටි අලි පැටවකුගේ සිරුරක් හම්බන්තොට ස්වර්ණමාලි වැව්රක්ෂිතයේ තිබී හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගන්නා ලදී . පසුගිය කාලයේ සිට මේ දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ඇතුළු වන සතුන් වෙසෙන ප්‍රදේශ එළි කරමින් විවිධ සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා වන සතුන්ට සිය වාස භූමි අහිමි වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. වන අලි සහ වෙනත් වන සතුන් බහුලව වෙසෙන ඉතිරිව තිබෙන කැලෑ ප්‍රදේශ දඩයක් කරුවන්ගේ නිජබිම් බවට පත් වී ඇති බවත් පරිසරවේදීහු පවසති. 'අවිධිමත් සංවර්ධනය' වන සතුන් බහුලව ජීවත් වූ ප්‍රදේශ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවර්ධන කලාප බවට පත් වී ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති. පැවති ආණ්ඩු සමයේ සිදු වූ වන සංහාරය වර්තමානයේත් එලෙසම පැවතීම කනගාටුවට කරුණක් බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පවසයි. සංවර්ධන කටයුතු සමග අවතැන් වන අලි - ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බව හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ප්‍රථම සකස් කරන ලද පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එම නිර්දේශ වාර්තාවකට පමණක් සීමා වී ඇති බවත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් ලෙස සිදු කෙරෙන හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් වී ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර කියා සිටියේය. ඒ හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශ තුළ අලි - මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබෙන බවයි පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර වැඩිදුරටත් සඳහන් කළේ. |
දූෂණයට සහ වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට තමාට චෝදනා එල්ල කරන්නේ නම් "සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම්" බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. | ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආණ්ඩුව කළ වැරදි හේතුවෙන් 2015 ජනපතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂකයා පරාජයට පත් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බවත් සඳහන් කළේය. ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ සිකුරාදා (නොවැම්බර් 24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතා කතාකරමිනි. පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බැවින් එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලුදෙනා සූදානම් විය යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදයට හේතු නොවූ අතර, ඒ සම්බන්ධයෙන් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. අපි යහපාලනය ඉදිරියට ගෙනයනවා - බැඳුම්කර කොමිසම වෙත පැමිණි අගමැති මේ අතර සිරිකොත එජාප මූලස්ථානයේදී පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කර තිබුණි. "ඇතැම් පිරිස්වල උවමනාවට" එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා "පංගු කාරයෙක් නොවිය යුතු" යයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා තිබුණි. නිකවැරටිය දේශනයේ දී එජාපයේ මන්ත්‍රීවරුන්ගේ හෝ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විවේචන පිළිබඳව කෙලින්ම සඳහන් නොකළ ජනාධිපතිවරයා "වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව" සඳහන් කළේය. එබැවින් "දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින්" ලෙසින් නොබෙදී ඉදිරියට යාමේ අවශ්‍යතාව ද අවධාරණය කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ "කවුරුන් කෙසේ කීවද" සිය වසර 50 ක දේශපාලන ජීවිතය තුළ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා කැප වූ බවය. සබැඳි යොමු: පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව එල්ල වන චෝදනාවලට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සිය ප්‍රතිචාරය පළ කළේය. බැඳුම්කරය: දුරකථන සංවාද “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න” පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය සඳහා ලබන දෙසැම්බර් 04 වෙනිදා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය බදාදා (නොවැ 22) පියවර ගත්තේය. ඒ සමග පළාත් පාලන මැතිවරණ පැවැත්වීම තවත් කල් යාමට ඉඩ ඇති බවට සැක පළ වෙමින් තිබේ. මේ තත්වය යටතේ පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා වගකිව යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාර දෙනු ලැබ තිබේ. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයය. එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ එජාපයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පැවති අවස්ථාවක දී බව පෙන්වා දුන්නේය. |
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසෙලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමග ගාසා තීරයේ උණුසුම ඉහළ යමින් පවතී. | ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 41 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර තවත් 1800 දෙනෙකුටවත් තුවාල සිදු වී ඇත ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 41 දෙනෙකුවත් මරුමුවට පත් වූ බව පලස්තීන බලධාරීහු පවසති. එහිදී තවත් පලස්තීන වැසියන් 1800 දෙනෙකුටවත් තුවාල සිදු වූ බව ද ඔවුහු පවසති. මේ අතර ජෙරුසලමේ සිය තානාපති කාර්යාලය විවෘත කිරීමේ තීරණය ගැන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කරන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, ගාසා තීරයේ ප්‍රචණ්ඩ ගැටුම් පිළිබඳ කිසිවක් පැවසීමෙන් වැලකී තිබුණි. තානාපති කාර්යාලය විවෘත කිරීම සැමරීම් වස් ට්විටර් පණිවුඩ දෙකක්ම නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් ද ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කිසිවක් සඳහන් කොට නැත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුලු එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීහු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජෙරුසලමට පැමිණ සිටියහ. උත්සවයට සහභාගි වූ ඔහුගේ බෑණා වන ජෙයාර්ඩ් කුෂ්නර් උද්ඝෝෂණ ගැන කෙටි සඳහනක් කරමින් කියා සිටියේ උද්ඝෝෂකයන් "ප්‍රශ්නයේ කොටසක් විනා විසඳුම නොවන" බවය. ජෙරුසලමේ විවෘත කිරීමට නියමිත නව ඇමරිකානු තානාපති කාර්යාලය ගැන ඊශ්‍රායලය සිය සතුට පළ කළ ද එය පලස්තීන ජාතිකයන්ගේ දැඩි විවේචනයට හේතු වී ඇත ජෙරුසලමේ විවෘත කිරීමට නියමිත නව ඇමරිකානු තානාපති කාර්යාලය ගැන ඊශ්‍රායලය සිය සතුට පළ කළ ද එය පලස්තීන ජාතිකයන්ගේ දැඩි විවේචනයට හේතු වී ඇත. ඇමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම ගැන දැඩි විරෝධය පළ කරන පලස්තීන වැසියන් එය දකින්නේ ජෙරුසෙලමේ පාලනය අරභයා ඊශ්‍රායලයට සහය දැක්වීමක් හැටියටය. නැගෙනහිර ජෙරුසෙලම තමන්ට අයත් භූමිභාගයක් බව පලස්තීන වැසියෝ විශ්වාස කරති. සඳුදා ඝාතනයට ලක් වූ පිරිස අතර දරුවන් ද සිටින බව හමාස් සංවිධානයේ පාලනයට යටත් ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පලස්තීන උද්ඝෝෂකයන් ගල්මුල්වලින් සහ ගිනි බෝම්බවලින් දමා ගැසූ අතර, ගිනිගෙන දැවෙන ටයර්වලින් කළු දුමාරයක් නැගෙද්දී ඊශ්‍රායල හමුදාව උද්ඝෝෂකයන්ට එරෙහිව තුවක්කුරුවන් යොදවා තිබිණ. පලස්තීන උද්ඝෝෂකයන් ගල්මුල්වලින් සහ ගිනි බෝම්බවලින් දමා ගැසූ අතර, ගිනිගෙන දැවෙන ටයර්වලින් කළු දුමාරයක් නැගෙද්දී ඊශ්‍රායල හමුදාව උද්ඝෝෂකයන්ට එරෙහිව තුවක්කුරුවන් යොදවා තිබිණ. මේ තොරතුරුද කියවන්න: පලස්තීන ජාතිකයන් 35,000 ක් පමණ ආරක්ෂක වැට ඔස්සේ "ප්‍රචණ්ඩ කැරලිවල" නිරතව සිටින බව පවසන ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් කියා සිටියේ, සිය හමුදාව "සම්මත පටිපාටියට අනුකූලව" ක්‍රියා කරමින් සිටින බවය. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව පිළිගැනීම පිළිබඳ පලස්තීනයෙන් දැඩි විරෝධතා එල්ල වෙමින් පවතී. පලස්තීනය ජෙරුසලමේ නැගෙනහිර කොටසට අයිතිය ප්‍රකාශ කර සිටියත් ඊශ්‍රායලය පවසන්නේ කිසි දිනෙක එම නගරය දෙකඩ නොකරන බවය. පලස්තීන ජාතිකයන් 35,000 ක් පමණ ආරක්ෂක වැට ඔස්සේ "ප්‍රචණ්ඩ කැරලිවල" නිරතව සිටින බව ඊශ්‍රායල හමුදාව පවසයි. ගාසා තීරයේ මායිම් පසු කිරීමේ අරමුණ සහිතව එහි ඉස්ලාම් ආගමික පාලකයන් වන 'හමාස්' සංවිධානය මූලික වී සංවිධානය කරන ලද මහා පා ගමන සති හයක කාලයක් පුරා පැවැත්වේ. ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම මෙතරම් මතභේදකාරී ඇයි? ජෙරුසලම පිළිබඳ මතභේදය ඊශ්‍රායල පලස්තීන ගැටුමේ ආරම්භය දක්වා දිවයන්නකි. ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුනකි. 1993 දී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වූ සාම සාකච්ඡාවල අවසාන අදියරේ දී ජෙරුසලම පිළිබඳ තීරණය කිරීමට නියමිතව තිබිණි. ජෝර්දානය අත්පත් කර ගෙන සිටි නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබුවේ 1967 වසරේ මැදපෙරදිග යුද්ධයෙන් පසුවය. කෙසේවුවද, 2017 වර්ෂයේ දෙසැම්බර් මස ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා තෙක් ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආධිපත්‍යය ජාත්‍යන්තරය පිළිගනු ලැබුවේ නැත. තවත් තොරතුරු: විශේෂයෙන් නැගෙනහිර ජෙරුසලම තුළ යුදෙව්, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ප්‍රජාවන් විසින් පූජනීයත්වයේ ලා සලකනු ලබන ප්‍රධාන ආගමික සිද්ධස්තාන කිහිපයක් පිහිටා තිබේ. 1967 වර්ෂයේ සිට මේ දක්වා ඊශ්‍රායලය ජෙරුසලම නගරය තුළ තවත් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් සාදා තිබෙන අතර, මෙහි ලක්ෂ දෙකකට ආසන්න යුදෙව්වන් පිරිසක් වාසය කරති. අන්තර්ජාතික නීතියට අනුව එය නීති විරෝධී ලෙස සැලකුව ද, ඊශ්‍රායලය එයට එකඟ නොවෙයි. ජෙරුසලම ඊශ්‍රායලයේ අග නුවර ලෙස ඇමරිකාව පිළිගැනීම පිළිබඳ පලස්තීනයෙන් දැඩි විරෝධතා එල්ල වෙමින් පවතී. මින් පෙර රටවල් කීපයක තානාපති කාර්යාල ජෙරුසලමේ පිහිටා තිබිණි. නමුත් ඊශ්‍රායලය 1980 දී ජෙරුසලම සිය අගනුවර ලෙස නීතියක් සම්මත කිරීමත් සමග, බොහෝ රටවල් එම තනාපති කාර්යාල ඉවත් කර ගත්තේය. ජනාධිපති ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමත් සමග මෙතෙක් කල් මෙම තත්වය සම්බන්ධයෙන් ඇමරිකාව දැරූ මධ්‍යම ප්‍රතිපත්තිය බිඳ වැටුණු අතර, ජාත්‍යන්තර වශයෙන් මහත් අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇත. ජෙරුසලමේ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ දැනට පිහිටා තිබෙන ඇමරිකාවට අයත් ගොඩනැගිල්ලක් තුළ කුඩා තානාපති කාර්යාලයක් සඳුදා (මැයි 14) දින විවෘත කරන ලදි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුලු එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීහු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජෙරුසෙලමට පැමිණ සිටිති කෙසේ වෙතත්, 'ටෙල් අවීව්' නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කීපයකින් ජෙරුසලම වෙත ගෙන යමින් තානාපති කාර්යාලය පුළුල් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ වේ. මේ වනතෙක් සියලු රටවල් සිය තානාපති කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ ටෙල්අවීව් නුවර තුළය. ඊශ්‍රායලයේ හැත්තෑ වෙනි සංවත්සරය දින මෙම තානාපති කාර්යාලය විවෘත කිරීම යොදාගෙන තිබීම ද විශේෂත්වයකි. ජෙරුසලම සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රතිපත්තිය යුරෝපා රටවල දැඩි දෝෂාරෝපණයට ලක් වී තිබේ. |
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා මත විමල් විරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නොමැති බවට ඔහුගේ නීතිවේදියා චෝදනා කරයි. | සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස කතානායකවරයා පොලිසියට දන්වා තිබෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිවේදී ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ සඳහන් කළේය. "විමල්ට ඇප දෙන්න තරම් හේතුවක් නැහැ" වීරවංශ හිතවතුන්ට සහ ඥාතීන්ට රජයේ වාහන දීලා -අජිත් වීරවංශ අත්අඩංගුවට එබැවින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය නීතිපති උපදෙස් ලබා නොගත්තේ දේශපාලන පළිගැනීමක් සිදුකිරීමේ අටියෙන් බවට ද නීතිවේදී චෝදනා කළේය. එම චෝදනාවට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෑම අවස්ථාවකදීම නීතිපති උපදෙස් ලබාගැනීම අනවශ්‍ය බව සඳහන් කළාය. ලසන්ත අලගියවන්න මේ අතර අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, පසුගිය පාලන සමයේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වාහන භාවිත කළ ආකාරය පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්වූ බව ප්‍රකාශ කළේය. හිටපු නියෝජ්‍ය ඇමති අලගියවන්න සිය ලිපි ශීර්ෂය යටතේ වාහන තුනක් ලබාගෙන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒවා යොදවා තිබුණු බවට සාක්ෂි ලැබී ඇති බවත් පොලිසිය පැවසීය. එය පොලිසියේ පක්ෂග්‍රාහී බව ප්‍රදර්ශනය කිරීමක් බවට චෝදනා කළ විත්තියේ නීතිවේදීහු, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති සහ වත්මන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ වාහන නිකුත්කළ අවස්ථා පිළිබඳව පරීක්ෂණ මගහැර ඇතැයි පොලිසියට චෝදනා කළහ. ඒ පිළිබඳවත් පරීක්ෂණ පවත්වා මීළඟ නඩු දිනයේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 20 වෙනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියම කළ අධිකරණය, පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට නියෝග කළාය. |
ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක් මුහුණ දුන් නාය යාම් සහ ගංවතුර ව්‍යසනය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල විය. | කිසි විටකත් හිරු එළියෙන් පොත් වියළීම සිදු නොකළ යුතුය - ජාතික ලේඛනාගාරය ගංවතුරට සහ නාය යාම්වලට හසු වූ බොහොමයක් සිසු සිසුවියන්ගේ පොත් පත් ඇතුළු පාසල් උපකරණ සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් දිස්ත්‍රික්ක අටක පාසල් වසා දැමීමට ද බලධාරීහු කටයුතු කළහ. මේ අතර ගංවතුරට හසුව හානියට පත් පොත්පත් සහ වෙනත් ලියකියවිලි නැවත ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ පවසන පරිදි ගංවතුරට හසු වූ පොත්පත් ආරක්ෂා කර සංරක්ෂණය කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පහත දැක්වේ. ලේඛන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට නිරතුරු සූදානම් බවත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ අතර ගංවතුර සහ නාය යාම්වලට හසුව පොත් පත් අහිමි වූ දරුවන් වෙත උපකාර කිරීම සඳහා ස්වේච්ඡා කණ්ඩායම් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල යොදා ගනිමින් කටයුතු කරමින් සිටිති. සබැඳි යොමු: |
ලෝකයේ රටවල් ගණනාවක් විසින් සංචාරක තහංචි ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ දැනට එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොරෝනාවෛරස නව ප්‍රභේදය සම්බන්ධයෙන් කෙරෙන ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් බරපතල අතට හැරෙමින් පවතී. | ලෝකය පුරා වෙනත් රටවල් සමඟ යුරෝපා රටවල් රැසක් ද එක්සත් රාජධානියෙන් පැමිණෙන සංචාරකයන්ට තහංචි පනවනු ලැබ ඇත මේවනවිට ශ්‍රී ලංකාව, ඉතාලිය, ඉන්දියාව හා පාකිස්තානය ඇතුළු රටවල් 50 ට අධික සංඛ්‍යාවක් එක්සත් රාජධානියේ සිට සංචාරකයින් පැමිණීම අවහිර කර ඇති අතර උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු පොදු පිළිවෙතක් නිර්මාණය කිරීම සඳහා යුරෝපා හවුල සාකච්ඡා පවත්වා තිබේ. කෙසේවෙතත්, කෝවිඩ් පැතිරීම නිසා හටගත් බිය හේතුවෙන් පැනවූ සංචරණ තහනම් ලිහිල් කරමින් එක්සත් රාජධානිය හා ප්‍රංශය අතර අවලංගු කෙරුණු දුම්රිය, ගුවන් හා මුහුදු ගමන් සේවා අද (දෙසැම්බර් 23) යළි ඇරඹීමට ප්‍රංශය එකඟ විය. ඉරිදා (දෙසැ20 ) සිට දේශසීමා වැසීම හේතුවෙන් එංගලන්තයේ කෙන්ට් හි ලොරි 3000ට අසන්න ගණනක් සිරවිණි ප්‍රංශ පුරවැසියන්, එරට වෙසෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම බර බඩු අදින්නන් ආදියට එසේ සංචාරය කිරීමට ඉඩ කෝවිඩ් සම්බන්ධයෙන් පැය 72 ට අඩු කාලයකදී ලබාගත් වාර්තා සතුටුදායක නම් පමණි. කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය පැතිර යාමට ප්‍රතිචාර දක්වමින් දකුණු දිග හා නැගෙනහිර එංගලන්තයේ ප්‍රදේශ විශාල ප්‍රමාණයක ජනතාව නිවෙස්වල රඳවන දැඩි පියවර හඳුන්වාදීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව පියවර ගැනීමෙන් පසු විදෙස් ආණ්ඩු ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹුණහ. කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයට ගොදුරුවූවන් ඩෙන්මාර්ක් රාජ්‍යයෙන් ද සොයාගනු ලැබීමෙන් පසු ස්වීඩනය ඩෙන්මාර්කයෙන් පැමිණෙන විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් තහංචියක් පනවා ඇත. මෙම අලුත් කොරෝනාවෛරස ප්‍රභේදය වේගයෙන් පැතිරයන ආකාරයක් දක්නට ලැබෙන නමුත් එමගින් දරුණු මාරක අනතුරක් පෙනෙන්නට නැති බව ද පැවසෙයි. එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පනවනු ලබන රටවල ලැයිස්තුව දීර්ඝවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයත් (WHO) අන්තරායකාරී තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම කෙරෙහි අවධානය යොමුකර තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතුකිරීම භාර අංශයේ ප්‍රධානී මයික් රයන් අදහස් දක්වමින්, අලුතින් පැතිරයන කොරෝනාවෛරස් ප්‍රභේදය වසංගතයක් පරිණාමය වීමේදී උද්ගතවෙන සාමාන්‍ය ප්‍රවණතාවක් යයි සඳහන් කළේය. එහෙත් ''එය පාලනය කරගත නොහැකි'' ප්‍රවණතාවක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමුවකු වන මයික් රයන් පවසයි. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පසුගිය ඉරිදා කියාසිටියේ වෛරසයේ නව ප්‍රභේදය පාලනය නොවූ මට්ටමක ඇති බවය. මේ අතර එක්සත් රාජධානියේ පැතිරයමින් පවතින වෛරස් ප්‍රභේදයට වෙනස් කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හසුවී ඇත. එම තත්ත්වය යටතේ ඇතැම් රටවල් විසින් දකුණු අප්‍රිකානු සංචාරකයන් සම්බන්ධයෙන් තහංචි පනවනු ලැබීමේ ප්‍රශ්නයකට එරට මුහුණ දී ඇත. එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පනවනු ලබන රටවල ලැයිස්තුව දීර්ඝවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයත් (WHO) අන්තරායකාරී තත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම කෙරෙහි අවධානය යොමුකර තිබුණි. යුරෝපයේ සිදුවන්නේ කුමක්ද? කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය තම භූමීන්ට ව්‍යාප්තවීම වලක්වා ගැනීමේ පියවරක් වශයෙන් බොහෝ රටවල් එක්සත් රාජධානියේ සිට පැමිණෙන ගුවන්ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇත. ප්‍රංශය එක්සත් රාජධානියෙන් පැමිණෙන මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය තහනම් කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව දෙරට අතර ගනුදෙනු කෙරෙන දකුණු බ්‍රිතාන්‍යයේ ඩෝවර් (Dover) වරායේ කටයුතු ව්‍යාකූල විණි. වෙළෙඳාම යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එවර ප්‍රකාශ කළේය. උද්ගතව පවතින අර්බුදකාරී තත්ත්වය ''හැකිතාක් ඉක්මනින්'' නිරාකරණය කර ගැනීමට බලාපොරොත්තු තබන බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා තිබිණි. ප්‍රංශය ගත් තීන්දුව සමඟ 'ඩෝවර්' වරාය කරා ධාවනයවෙමින් තිබුණ ලොරි පෝලිම ගුවනට පෙනුන ආකාරය මේ අතර යුරෝපා හවුලේ සාමාජික රාජ්‍යයන් විසිහතේ නිලධාරීහු තම පාර්ශ්වයෙන් දැක්විය යුතු පොදු ප්‍රතිචාරය තීන්දුකිරීම සඳහා බ්‍රසල්ස් නගරයේ රැස්ව සාකච්ඡා කළහ. ඔවුන්ගේ තීන්දුව අඟහරුවාදා (දෙසැම්බර් 22) සවස්භාගයේ ප්‍රකාශ කෙරෙනු ඇතැයි අපේක්ෂා පළවෙමින් පැවති අතර සාකච්ඡාවට භාජනය වූ එක කරුණක් වුණේ, එක්සත් රාජධානියෙන් ගමන් ආරම්භ කරන්නන් එරටින් පිටවීමට පෙර කෝවිඩ් 19 -නොවන බව පරීක්ෂණයක් මගින් සහතික කර ගැනීමය. මේ අතර යුරෝපා මහාද්වීපයෙන් වාර්තා වූ යහපත් පණිවුඩයක් වුයේ , ෆයිසර් (Pfizer-BioNTech) එන්නතට යුරෝපා හවුලේ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලැබීමය. ඒ අනුව ලබන ඉරිදා තරම් කෙටිකාලයක් ඇතුළත එන්නත් කිරීම ආරම්භ කිරීමට මාර්ගය විවෘතව ඇත. එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පනවන ලද ප්‍රධාන රටවල් අතරට රුසියාව,බෙල්ජියම,ප්‍රංශය,කැනඩාව.සහ අයර්ලන්තයත් ඇතුළත් විය. එම පියවර ගත් ආසියානු කලාපයේ රටවල් අතරට ඉන්දියාව,හොංකොං මෙන්ම ශ්‍රී ලංකාවත් එක්ව ඇත. ශ්‍රී ලංකාව ගත් පියවර බදාදා (දෙසැම්බර් 23) අලුයම 2.00 න් පසුව එක්සත් රාජධානියෙන් පැමිණෙන කිසිදු ගුවන්යානයකට නැවත දැනුම්දෙන තෙක් ගොඩබෑමට අවසර නොලැබෙන බව ශ්‍රී ලංකාවේ බලධාරීහු අඟහරුවාදා ප්‍රකාශයට පත්කළහ.මේවනවිට එක්සත් රාජධානියට සංචාරක තහංචි පනවා ඇති සෙසු රටවලට සමාන්තරව ඉහත කී නිවේදනය නිකුත්කරන ලද්දේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්ගමන් අධිකාරිය විසිනි. එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සිදුව තිබෙන්නේ එක්සත් රාජධානියේ පැතිරයමින් පවතින කොරෝනාවෛරස් නව ප්‍රභේදය සැලකිල්ලට ගනු ලැබීමය. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස බීබීසී සිංහල සේවයට පැවසුවේ එංගලන්තයෙන් පිටත්වන හෝ ඒ හරහා එන සියලු ගුවන් මගීන්ගේ පැමිණීම දෙසැම්බර් 23 සිට තාවකාලිකව අත්හිටුවන බවය. පසුගිය මාර්තු 18 දින පටන් සංචාරකයන් භාරගැනීම නතරකරන ලද නමුත් විදේශගත සිය රටවැසියන්ට ආපසු රටට ඇතුල්වීමට අවසරදීමේ පිළිවෙතක් ශ්‍රී ලංකාව විසින් දිගටම අනුගමය කරනු ලැබුණි. එහෙත් දෙසැම්බර් 26 දින පටන් සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් කටයතු කරමින් ඇත. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා ඒමේ ප්‍රධාන මාර්ගයක් වූ අතර කොරෝනා වසංගතය එම ඉපැයීම් විශාල අවපාතයකට ලක් කිරීමට හේතු වී ඇත. යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් මේ අතර ප්‍රකාශයක් කරන යුරෝපා කොමිසම එක්සත් රාජධානියට පනවා ඇති සංචාරක තහංචිය ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි කියාසිටියි. එහෙත් ඉංග්‍රීසි ඕඩය හරහා සංචාරකයන් ගමන්ගනු ලැබීමේ ''උනන්දුව අඩුකිරීමට'' පියවර ගතයුතු බවත් යුරෝපා කොමිසම පවසයි. එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ යුරෝපා හවුලේ සාමාජික රටවල නියෝජිතයන් පොදු එකඟතාවකට පැමිණෙමිනි. එම තීන්දුව ගනු ලැබීමට පෙර යුරෝපා හවුලට අයත් රටවල් වෙන් වශයෙන් එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පැණවීමට පියවර ගත්හ. ''අත්‍යවශ්‍ය සංචාර සහ සැපයුම් ජාලය අඩාලවීම වලක්වා ගැනීම සඳහා දැනට බල පැවැත්වෙන ගුවන්ගමන් සහ දුම්රිය ගමන් තහනම දීර්ඝ නොකළ යුතුව ඇතැයි'' යුරෝපා කොමිසම පවසයි. ''එක්සත් රාජධානිය සහ යුරෝපා හවුල අතර අත්‍යවශ්‍ය නොවන සංචාර සහ ගනුදෙනුවලට අදාළ කටයුතු සඳහා මහජනයා උනන්දු නොකිරීමට සාමාජික රාජ්‍යයන් එකමුතු ක්‍රියාමාර්ගයක් ගතයුතුව ඇතැයි'' යුරෝපා හවුලේ අධිකරණ කොමසාරිස්වරයා පැවසීය. කියවන්න; |
ඉන්දියාවේ දිල්ලි නුවර පවතින අධික දුමාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විඳින්නට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. | එබැවින් මින් ඉදිරියට කොට්ලා ක්‍රීඩාංගණයේ තරග නොපැවැත්වීමේ කිසිදු සැලසුමක් නොමැති බවත් බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ. කෙසේ වුවත් වායු දූෂණය ඉහළ මට්ටමක පවතින මෙවැනි කාලවල දිල්ලි නුවර තරග සංවිධානය කිරීම පිළිබඳව මින් ඉදිරියට ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමේදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ද විශ්වාස කෙරේ. දිල්ලි නුවර මේ දිනවල පවතින අධික දුමාරය අති විශේෂ තත්ත්වයක් නොවන බව ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන්ගේ මතය වී තිබෙන බව ද බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. අධික දුමාරය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවති තුන්වෙනි ටෙස්ට් තරගය වරින්වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබිණ. සත්කාරක නගරයේ වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වරින්වර නැවැත්වීමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය වූ අතර හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉරිදා (දෙසැම්බර් 03) මුඛවාඩම් පැළඳ තරගයට අවතීර්ණ වීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයටලක් වී තිබිණ. එදින ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩාගාරයේ දී වමනය කළ බව මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය වෙත පවසා තිබිණ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අඟහරුවාදා (දෙසැම්බර් 05) ක්‍රීඩාංගනයේදීම වමනය කිරීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක් වී තිබිණ. ඒ පිළිබඳව සඳුදා (දෙසැම්බර් 04) බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ කියා සිටියේ, ඉරිදා එවැනි ගැටලුවක් පැවතුනු නමුත් සඳුදා තත්ත්වය යහපත් අතට හැරී තිබුණු බවය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණ දුන් තත්වය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ජගත් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කළේ දැයි විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. කොට්ලා ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තුන් වෙනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 10කට පසු ලබන මාසයේදී (දෙසැම්බර්) පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. | ලෝක ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන එම තරග රාවල්පින්ඩි සහ කරච්චි ක්‍රීඩාපිටිවල දෙසැම්බර් 11 සහ 18 වෙනිදා ඇරඹෙනු ඇත. ඊට පෙර සැලසුම් කර තිබුණේ, ඔක්තෝබර් මාසයේදී දෙරට අතර ටෙස්ට් තරගාවලිය පැවැත්වීමටත් ඉන්පසු දෙසැම්බර් මාසයේදී සීමිත පන්දුවාර තරග පැවැත්වීමටත් ය. මෙම තරගාවලි, ආරක්ෂක හේතුමත පාකිස්තානයේ පැවැත්වීමට ශ්‍රී ලංකාව ආරම්භයේදී අකමැත්ත පළ කළ ද පසුව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එකඟ වී තිබේ. එහෙත් ආරක්ෂක තත්ත්වය පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණීම සඳහා තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මුලින් පැවති අතර එම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණි. එම තරගාවලියේදී සපයා තිබූ ඉහළ ආරක්ෂක පියවර සළකා බලා මෙම සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එකඟ වී ඇත. තිලාන් සමරවීර යෝජිත සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසුවේ, "අප කණ්ඩායමේ පකිස්තාන සංචාරය ගැන ස්ථීර කරන්න කැමතියි. මීට පෙර සිදු කළ සංචාරය අනුව අපිට පෙනී යනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක් ඇති බව," යනුවෙනි. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පකිස්තානයට යෑම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයින් 10 දෙනෙකු ප්‍රතික්ෂේප කළ අතර ඉන්පසු දසුන් ශානක ගේ නායකත්වයෙන් නවක ක්‍රීඩකයන් රැසක් සහිත කණ්ඩායමක් සංචාරයට එක්විණි. ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන් අතර වූහ. එම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට සපයා තිබූ ආරක්ෂාව ගැන ඉහළ ප්‍රසාදයක් පළ කළේය. තවත් ක්‍රිකට් කණ්ඩායම් නුදුරේදීම පාකිස්තානයේ සංචාරය කරනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශකිර් ඛාන් පැවසුවේ, "මෙය පාකිස්තානයට සුවිශේෂ පුවතක්. එයින් පෙනෙනවා පාකිස්තානයත් අනෙක් රටවල් සේම ආරක්ෂාකාරී කියන එක." 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන ගිය අකාරය 2009 ප්‍රහාරය පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගී වූ අවසාන කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. ලහෝර් නගරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් රථ පෙළට ත්‍රස්තවාදීන් කණ්ඩායමක් වෙඩි තැබුහ. ඉන්පසු කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් ටෙස්ට් තරග සඳහා එරට සංචාරය කළේ නැත. කණ්ඩායම රැගත් බස් රථය පැද වූ රියැදුරා එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනෙක් තුවාළ ලැබූ අතර ඉන් මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර බරපතල තුවාල ලැබීය. පෙරමුණේ ගමන් කළ පොලිස් නිලධාරීන් 6 දෙනෙක් සහ රියැදුරෙක් එම වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත් වූහ. සිය මංගල ටෙස්ට් තරගාවලිය සඳහා 2009 වසරේදී පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ තරංග පරණවිතානට අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවුයේ වෙඩි වැදුණු ක්‍රීඩකයෙක් ලෙසය. "බුලට් එකක් වැදුණා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා" යනුවෙන් තරංග පරණවිතාන තමන්ට එදා එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන වසර 8කට පසු ආවර්ජනය කරමින් මීට වසර දෙකකට පෙර බීබීසි සිංහල සේවයට සිය අත්දැකීම විස්තර කළේය. "හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ," ඔහු පැවසීය. "එතකොටම වාස් අයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go (යන්න, යන්න ) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ." "ඒක චිත්‍රපටයක් වගේ, අපි දැක්කේ වටෙන් වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ල උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා," තරංග පරණවිතාන තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් ත්‍රස්යජනක අත්දැකීම හෙළි කළේ එලෙසය. මෙම ප්‍රහාරය සහ එහි කම්පනය තම ජිවිත කාලයට ම අමතක නොවනු ඇති බව තරංග පරණවිතාන පැවසීය. මේ තොරතුරුත් කියවන්න: |
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 600 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව කඩුලු පහක් දැවී ලකුණු 154 ක් රැස් කරගෙන අසීරු අඩියකට මුහුණ දෙමින් සිටියේය. | සිය ඉනිමේදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකුම ශතක රැස්කිරීම කැපී පෙනුනි. මේ අතර පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගය පිළිබඳව පමණක් නොව ක්‍රීඩා බලධාරීන් ගෙන තිබෙන විශේෂ පියවරක් පිළිබඳව ද ක්‍රීඩාලෝලීන්ගේ විශේෂ අවධානය පළ වී තිබේ. සබැඳි යොමු: ඒ යකඩ තහඩු සහ වෙළඳ නාම සහිත ආවරණවලින් ක්‍රිඩාංගණය සම්පුර්ණයෙන්ම ආවරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීමය. 2012 න් අනතුරුව ගාල්ල ක්‍රීඩාංගණය ආවරණය කරන ලද පළමු වතාව මෙයයි. එම පියවර හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් පිටත සිට මෙතෙක් ක්‍රිකට් තරග නැරඹුවන්ට එම අවස්ථාව අහිමි වී තිබෙන බව බොහෝ ක්‍රීඩාලෝලීහු පවසති. 'සැණකෙළියක් වගේ' ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ එක් පුද්ගලයෙක්: "මේක මහත්වරුන්ගේ ක්‍රිඩාවේ නොකළ යුතු තුන්වැනි පන්තියේ වැඩක්," යනුවෙන් එය විග්‍රහ කළේය. "සාම්ප්‍රදායිකව ගාල්ලේ ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනවා කියන්නේ ගාල්ලට සැණකෙළියක් වගේ. ඒත් කණගාටුයි අද ක්‍රිකට් තරඟයක් තියනවද කියලවත් දැනෙන්නේ නෑ." එහෙත් ක්‍රිඩාංගණය අසල දී හමු වූ තවත් පුද්ගලයෙක් ඒ පියවර අනුමත කළේය. "මේක ඉතාම කාලෝචිත වැඩක්. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ඉතා වැදගත්. විදේශීය වගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන. ක්‍රිකට් තරඟය බලන්න ඕනේ නම් ක්‍රිඩාංගණයට ගිහිල්ල නැත්නම් කොටු පවුරේ ඉඳල බලන්න පුළුවන්," ඔහු පැවසීය. ක්‍රීඩාංගණය වටා ආවරණය කිරිම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමණාකරු අරුණ ද සිල්වා සඳහන් කළේ: "ක්‍රීඩාංගණය ආවරණය කිරිමේ පළමුවන හේතුව ආරක්ෂාව. පසුගිය සිම්බාබ්වේ තරගවලදි විවිධ පුද්ගලයින් වැටවල් තුලින් පොස්ටර් ඇතුළු විවිධ භාණ්ඩ ඇතුළට ගේන්න උත්සාහ කළා," යනුවෙනි. "ක්‍රීඩකයන්ට හානි වන අයුරින් පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කිරිම මඟින් ක්‍රිඩකයින්ගේ මානසිකත්වයට බලපැමක් එල්ලවන නිසා එය වලක්වා කටයුතු කර ආරක්ෂාව තහවුරු කරනු ලැබුවා. ඊළඟට තරග පැවැත්වෙන අවස්ථාවලදි බස්, ලොරි ඇතුළු රථ වාහන ක්‍රිඩාංගණය වටා ගමන් කිරීම නිසා ක්‍රීඩකයන්ට යම් අවස්ථාවලදි බාධා සිදුවෙනවා. ඒ වගේම මෙම තරග ලෝකය පුරා විකාශනය කරනවා. එම නිසා ක්‍රීඩාංගණයේ අලංකාරය වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කරනවා," යනුවෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමණාකරු අරුණ ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. සාමාන්‍යයෙන් ක්‍රීඩාංගණය වටා නවතා තැබූ බස් රථ සියල්ලම දැන් ගාල්ල සමනල ක්‍රිඩාංගණයේ නවතා තිබේ. වැට ඉදිකිරීම හේතුවෙන් ක්‍රිඩාංගණය වටා පාළු ස්වභාවයක් ඉසිලීය. සියලු කරුණු සලකා බලා "ඉතා අලංකාර ලෙස ආවරණ කටයුතු කරනු ලැබූ" බව ද ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමණාකරු සඳහන් කළේය. "ගාලු කොටුව ලෝක උරුමයක් නිසා ස්ථිර ලෙස ක්‍රීඩා පිටිය ආවරණය කරන්න බැහැ. ඒ නිසා ඉදිරියේ තරග පැවත්වෙන දිනවල තාවකාලිකව මීටත් වඩා අලංකාර ලෙස සකස් කිරිමට පියවර ගන්නවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. |
මීට වසර දෙකකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දුන් ප්‍රතිඥා ඉටුකිරීම පිණිස ශ්‍රී ලංකාවට තවත් කාලය ලබාදීම පිළිබඳව විරෝධයක් නැතත්, යුද අපරාධ චෝදනා විභාග කිරීම සම්බන්ධ විමර්ශනයට අනිවාර්යයෙන්ම විදේශීය විනිසුරුවන් සම්බන්ධ කරගත යුතු බව දෙමළ ජාතික සන්ධානය යළිත් වරක් අවධාරණය කරයි. | එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාද පෙන්වාදුන් පරිදි සංහිඳියා යාන්ත්රණ පිළිබඳ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී සිංහල සේවයට පැවසීය. මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම යටතේ යුද හමුදාවට එරෙහිව 'නඩු ඇසීමට' සූදානම් නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සෙනසුරාදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. විදේශීය විනිසුරන් පත්කිරීම සඳහා නව නීතියක් අවශ්‍යවන බැවින් එවැන්නක් සම්මත කිරීම ඉතා දුෂ්කර කරුණක් වනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ නීතිඥ සුමන්දිරන් කියා සිටියේ, එවැන්නකට එරෙහිව කිසිවක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන බවය. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකට විරුද්ධව මොනවත් නෑ. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒක කරන්න ඕන," ඔහු පැවසීය. "එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම යටතේ යුද හමුදාවට එරෙහිව නඩු ඇසීමට සූදානම් නෑ" කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කරන ප්‍රසිද්ධ ප්‍රකාශ පිළිබඳව තමන් එතරම් අවධානයක් පළනොකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. යුද අපරාධ චෝදනා විභාග කිරීම සහ රටේ සංහිඳියාව ඇතිකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට තවත් වසර දෙකක කාලය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කෙරෙන බව සංහිඳියා සම්බන්ධීකරණ කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය. එසේ කාලය ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැතත්, ආණ්ඩුව එක්සත් ජාතීන්ට දුන් පොරොන්දු සියල්ල එලෙසින්ම ඉටුකළ යුතුය යන්න සිය සන්ධානයේ ස්ථාවරය බවත් මන්ත්‍රීවරයා පැවසීය. කෙසේ නමුත් විදේශීය විනිසුරන් සම්බන්ධයෙන් කිසිවක් ඉදිරිපත් කෙරෙන නව යෝජනාවේ ඇතුලත් නොවන්නේ නම් දෙමළ ජාතික සන්ධානය එයට දැඩි විරෝධය පළකරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. |
එච්අයිවී වෛරසය අසාදිත වී ඇති බවට සැක කෙරුණ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව සෙසු පාසල් දරුවන් සියලු දෙනා ඉන් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වෙයි. | 'මොන්ටිසෝරියෙන් පස්සෙ දරුවා ඉස්කෝලෙකට ඇතුළත් කරන්න ගියාම ඒ එක ඉස්කෝලෙකින්වත් බාර ගන්න බෑ කිවුවා. මේ විදියට ඉස්කෝල දහයකට විතර ගියා' කුලියාපිටියට ආසන්න ප්‍රදේශයක වෙසෙන ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ. පැතිර ගිය කටකතාව හේතුවෙන් තමාත් දරුවාත් සමාජයෙන් කොන් වූ බවත් දරුවාට පෙර පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උද්ගත වූ බවත් ඇය මීට ඉහතදී පැවසුවාය. පෙර පාසල් අධ්‍යාපනය නිම වූ නමුත් ඉහත කී කටකතාව හේතුවෙන් දරුවා පාසලකට ඇතුළත් කර ගැනීමට නොහැකි තත්වයක් උදා වූ බවයි ඇය සඳහන් කළේ. ඇය පවසන පරිදි සිය දරුවා ඇතුළත් කිරීමට පාසල් දහයකට පමණ ගොස් ඇතත් ඉන් ඵලක් වී නොමැත. සිය හය හැවිරිදි පිරිමි දරුවා සමඟ ඇය කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරියේ උපවාසයක් අරඹන්නේ ඉන් අනතුරුවයි. එකී පුවත ජනමාධ්‍ය මගින් පළ වීමත් සමග අධ්‍යාපන බලධාරීන්ගේ මැදිහත් වීමෙන් දරුවාට පාසලක් ලබා දීමට කටයුතු සැලසුණු බවයි මව කියා සිටියේ. සැබෑවක් වූ දරුවාගේ අකුරු උගනීමේ සිහිනය අඩ දිනක් තුළ බොඳව යන්නේ සෙසු දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට එම දරුවන්ගේ දෙමව්පියන් කටයුතු කිරීමත් සමගයි. බොඳ වූ අකුරු 'දෙමව්පියන් ඇවිත් එයාලගේ ළමයි පාසලෙන් පිටතට ගෙන ගියා. මේ ළමයා විතරක් ඉස්කෝලේ ඉවර වෙනකම් මාත් එක්ක පන්ති කාමරේ රැඳුනා' පන්ති භාර ගුරුවරිය කියා සිටියාය. විදුහල්පතිවරයා පවසන්නේ පාසලේ සෙසු දරුවන් එකසිය අසූහය දෙනා පාසලෙන් අස් කර ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන් කටයුතු කරමින් සිටින බවයි. තම දරුවා එච්අයිවී ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව මව කියා සිටියි. අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ. එච්අයිවී වෛරසය ශරීරගත වී නොමැති බවට නූතන වෛද්‍ය විද්‍යාව සාක්ෂි දරන නමුත් පිය සෙනෙහස සහ රැකවරණය අහිමි තම දරුවා පිළිබඳ පැතිර ගිය කටකතාව ඊට වඩා බලවත් වී ඇති බව මව කියා සිටින්නීය. |
සිය පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටී. | රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කර ඇති බව විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය පවසයි. අදාළ කාල සීමාව තුළ සෞදි අරාබියෙන් පිට නොවී තවදුරටත් එහි රැඳී සිටින්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන දඩ මුදලකට ද යටත් කර නැවත එහි පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කෙරෙනු ඇති බවටත් විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය අනතුරු අඟවයි. මාස තුනක් දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය ජුලි 23 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට සෞදි අරාබි රජය තීන්දු කර ඇති බව එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ නිකුත් කළ නිවේදනයක දැක්වේ. 2017 වසරේ මාර්තු 21 සිට ජුනි 25 දක්වා හඳුන්වා දෙනු ලැබූ පොදු සමා කාලය තුළ සෞදියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 4,500 ට ආසන්න සංඛ්‍යාවකට ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. අසාදු ලේඛන (Black list) පොදු සමා කාලය තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රමිකයන්ට නැවතත් නීත්‍යානුකූල ලෙස එහි පැමිණිය හැකි බව ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් පවසයි. මේ අතර 2017 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ජුලි 03 වෙනිදා දක්වා වූ කාලය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 67 ක් අසාදු ලේඛන ගත (Black list) කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. එම කාර්යාංශය පවසන පරිදි 2016 වසරේ අසාදු ලේඛන ගත කර තිබෙන විදේශ රැකියා නියෝජිත ආයතන සංඛ්‍යාව 61 කි. කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහායක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයතා ක්‍රම ඔස්සේ පුද්ගලයන් විදේශ ගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයන්ට මූල්‍ය වංචා සිදු කිරීම හා විදෙස් රැකියා නියෝජිතයා වෙතින් කොමිස් මුදල් ලබා ගෙන ශ්‍රමිකයන් එරටට ලබා නොදීම වැනි කරුණු හේතුවෙන් ඉහත කී විදේශ රැකියා නියෝජිත ආයතන අසාදු ලේඛන ගත කර ඇති බවත් විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය පවසයි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ගණන 702 කි. ඔබ සෞදි අරාබියේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? එම කලාපයේ සේවයේ නිරත ඔබේ අත්දැකීම් හා අදහස් අප වෙත දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : sinhala@bbc.co.uk |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.