summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි විය.
ජය සමරන ටීඑම්සී පාක්ෂිකයෝ මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබිණි. එහෙත් මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය. භාරතීය ජනතා පක්ෂය (බීජේපී) අසාමයේ බලය රැක ගත්ත ද සෙසු ප්‍රාන්ත තුළ කැපී පෙනෙන ජයක් ලබා ගැනීමට අපොහොසත් විය. ඉන්දියාවේ පවතින කොරෝනා අර්බුදය මැද අගමැති මෝදිගේ පසුබෑමක් ප්‍රදර්ශනය කෙරෙන සංඥා ලබා දෙන්නේදැයි සොයා මෙම ප්‍රාන්ත මැතිවරණය සමීපව නිරීක්ෂයට ලක්ව තිබිණි. නොවනවත්වා 10 වෙනි දිනටත් ඉන්දියාවේ දෛනික රෝගීන් සංඛ්‍යාව 300,000 ඉක්මවනු ලැබීය. ඉන්දියාවෙන්, ඉරිදා (මැයි 02) වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,689 කි. එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. රෝහල් දරුණු ලෙස ඇඳන් සහ ඔක්සිජන් හිඟයකට මුහුණ දී සිටින අතර ඉන්දියානුවෝ බොහෝ දෙනෙකු සමාජ ජාල ඔස්සේ උපකාර අයදින අයුරු දැකිය හැක. ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය: මරණ ඉහළ යාමත් සමහ ආදාහනාගාර දරාගත නොහැකි මට්ටමකට ලඟා වේ මැතිවරණ රැළි සහ ඡන්දය, කොරෝනා වෛරස් රෝගීන්ගේ ඉහළ යාමට බලපා ඇති බව විශ්ලේෂකයෝ පවසති. මේ ගැනත් කියවන්න: බෙංගාලයේ සිදු වූයේ කුමක්ද? බොහෝ දුරට ඡන්ද ගණන් කිරීම අවසන් වී තිබියදී, ප්‍රාන්ත සභාවේ ආසන 294 න් 200 කට අධික සංඛ්‍යාවක් තහවුරු කර ගැනීමට මමතා බෙනර්ජිගේ ට්‍රිනමූල් කොන්ග්‍රස් (ටීඑම්සී) පක්ෂයට හැකිව ඇත. ප්‍රතිඵල අනුව බෙනර්ජි තෙවන වරටත් බටහිර බෙංගාලයේ නායිකාව වීමට නියමිතය. ඇය ඉන්දියාවේ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයක් දරන එකම කාන්තාව ද වෙයි. ලක්ෂ නවසීයක් වෙසෙන බටහිර බෙංගාලය වෙත මැතිවරණ නිරීක්ෂකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබිණි. එම ප්‍රාන්තය, අගමැති මෝදි බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවකට හිමිකම් නොකියන ප්‍රාන්ත කීපයෙන් එකකි. එමෙන්ම බටහිර බෙංගාලය, මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විසින් කිසිදා පාලනය කරනු ලැබ නොමැත. පරාජයට පත් වුව ද මැතිවරණයෙන් ආසන 80 ක් පමණ දිනා ගනිමින් බටහිර බෙංගාලයේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට බීජේපිය සමත්ව තිබේ. 2016 වසරේ මැතිවරණයෙන් එම පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 03 ක් පමණි.
ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කිරීමට නම් තමන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දිය යුතුව ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකික මල්ලව පොර ශූරයෝ කියා සිටිති.
ඉන්දියාව සහ පකිස්තානය වැනි රටවල මල්ලව පොර ක්‍රීඩකයන්ට අභියෝග කළ හැකි මට්ටමක තමන් සිටියත් වෙනත් රටවල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බවයි, පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය නියෝජනය කරන මල්ලව පොර ක්‍රීඩකයකු වන කැලුම් ක්‍රිශාන්ත පවසන්නේ. නවසීලන්තයට එරෙහිව පැවැත්වුන තරඟයේ දී තමා ලද පරාජය ගැන සඳහන් කළ කැලුම් ක්‍රිශාන්ත තමා අවසානය තෙක් පොර බැදුවත් ජයග්‍රහණය නවසීලන්තය සතු වූ බවයි කියා සිටියේ. කැලුම් ක්‍රිශාන්ත ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී සිය ක්‍රීඩා කුශලතා වැඩි දියුණු කර ගත් මල්ලව පොර ශූරයෙකි. ක්‍රීඩා කුශලතා තවත් වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම සිය ඉලක්කය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. ‘ග්ලාස්ගෝ’ තරඟාවලිය නියෝජනය කරන කුෂාන් ප්‍රනාන්දු අදහස් දක්වමින්, මෝල්ටා මල්ලව පොර ශූරයකු සමඟ පැවති තරඟයෙන් තමා ජය ගත්තත් ඊ ළඟ තරඟ දෙකකින් පරාජය වූ බවයි කියා සිටියේ. ජාත්‍යන්තර පුහුණුකරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩකයන් පස් දෙනෙක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන බවයි, කුෂාන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ. එම තරඟාවලියට සහභාගී වෙන ගයාන් චතුරංග පවසන්නේ, රන් පදක්කම්ලාභී පකිස්තාන් ක්‍රීඩකයකු සමඟ පැවති ඉතා තියුණු තරඟයක් අවසානයේ තමා පරාජය වූ බවයි කියා සිටියේ. ‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණීමට පෙර තමා ඉරානයේ සුමාන දෙකක පමණ පුහුණුවක් ලද බව කියා සිටි කුෂාන් ප්‍රනාන්දු ඊට වැඩි කාලයක ප්‍රමාණවත් පුහුණුවක් ලැබුණේ නම් වඩාත් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකිව තිබුණ බවයි කියා සිටියේ. “ඉහල මට්ටමේ ජාත්‍යන්තර පුහුණු කරුවකු ලබා දී අපේ තත්වය දියුණු කළොත් අපටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජවයක් ලබා ගන්න පුළුවන්. ඉන්දියාවේ සහ පකිස්තානයේ මල්ලව පොර ක්‍රීඩකයන්ට එම පහසුකම් ලැබෙනවා ” කුෂාන් ප්‍රනාන්දු, මල්ලව පොර ශූරයා පෙන්වා දෙයි. බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී කුෂාන් ප්‍රනාන්දු කියා සිටියේ, ඉදිරියේ ආරම්භ කෙරෙන ආසියානු තරඟාවලිය නියෝජනය කරමින් පදක්කමක් දිනා ගැනීම සිය ඉලක්කය බවයි.
ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව රටේ සියලු දෙනා විසින් පිළිගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ජර්මන් රජයේ ආධාර මත ඉදි කෙරුණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා කිලිනොච්චියේ සිදු කළ සංචාරයක දී මහජන හමුවක් අමතමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජාතීන් අතර සමගිය ඇති කිරීමේ ව්‍යායාමයේ දී සියලු දෙනා විසින් දැනට පවතින ප්‍රශ්න ගණනාවක් තේරුම් ගනිමින් ඒවා නිරාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙමින් පවතිද්දී ඇතැමුන් ඒ සම්බන්ධයෙන් අසත්‍ය මත පතුරුවා හරිමින් ඇතැයි සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 'නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කරන්නේ රට බෙදීමට නොව රට එක්සත්ව තබා ගැනීමට' බවයි කියා සිටියේ. යාපනයේ සිසු ගැටුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් සිය ප්‍රතිඥාව ඉටු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අතරවාරයේ 'ඇතැමුන් අලුත් බලවේග හැදීමේ උත්සාහයක නිරත වෙමින් සිටින්නේ කුමන පරමාර්ථයකින් දැයි' ප්‍රශ්න කළේය. ජාතික සංහිඳියාව ගොඩ නැගීම පිළිබඳ පාඩම ඉගෙන ගන්නා මෙන් තමා එම අලුත් බලවේගය සැදීමට උත්සාහ ගන්නා පුද්ගලයන්ට කියා සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. යාපනය විශ්ව විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා 'විශ්ව විද්‍යාල රටේ සංහිඳියාව ගොඩ නගන මධ්‍යස්ථාන බවට පත් කළ යුතු' බවයි පෙන්වා දුන්නේ. රටේ තරුණයන්ට රැකියා ඉල්ලා උද්ඝෝෂණය කිරීමට සිදු වී ඇත්තේ අධ්‍යාපන ක්‍රමයේ වරදින් යයි පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් කියා සිටියේ එම තත්වය වෙනස් කිරීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවලදී සිය ආධාරකරුවන්ට තර්ජන එල්ල වෙමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
එහෙත් සිය ආධාරකරුවන්ට එරෙහිව එල්ල වන එම තර්ජන කිසිවක් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දැන් වාර්තා නොකරන බවද හිටපු ජනාධිපතිවරයා බීබීසී සංදේශයට පැවසීය. "දැන් ජනමාධ්‍ය ඉන්නේ ඒවා දන්නේ නෑ වගේ," යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තංගල්ලේ කාල්ටන් නිවසේ සිට සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්. තමන්ගේ එක් ආධාරකරුවකුගේ බස් රථ නවත්වා, එහි සේවකයන්ට පහර දී මුදල් පැහැර ගැනීම එයින් එක් සිදුවීමක් පමණක් බවත් ඔහු කියා සිටියේය. වැඩිදුර විස්තර විමසීම පිණිස සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන මෙන් සංදේශය කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පවරාදීමට තමන් තීරණය කළේ පක්ෂය දෙකඩ වීම වලක්වා ගැනීමේ අරමුණින් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුව පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත සම්මත කරගත් ආකාරය නීතිවේදීන්ගේ සහ සිවිල් සමාජ සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.
පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම ඇතුළු සංශෝධන ඇතුළත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් මාර්ගයෙන් ද ජනතා අනුමැතිය ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමණය වී තිබිණ. එම තීන්දුවෙන් අනතුරුව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ උත්සාහය අත්හළ ආණ්ඩුව, ඒ වෙනුවට පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත කඩිනමින් සම්මත කරගැනීමට ක්‍රියා කළේය. පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීම අදාළ සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව බව ආණ්ඩුවේ තර්කය විය. එහෙත් කඩිමුඩියේ එම පනත සම්මත කරගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට විවේචකයෝ තර්ක කරති. "අප විරෝධය පළ කරන්නේ ක්‍රමවේදයට විතරයි," ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උදය රොහාන් ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. "අප විරෝධය පළ කරන්නේ ක්‍රමවේදයට විතරයි" - නීතිඥ උදය රොහාන් ද සිල්වා "ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය තමයි, එවැනි අවස්ථාවක එලෙස කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන්න බැරි කමක් නෑ. නමුත් සංශෝධනයක් කියන එකයි, විශාල කොටස් ඇතුළත් කරන එකයි අතරේ වෙනසක් තියෙනව." කමිටු අවස්ථාවේ පනතකට එසේ විශාල කොටසක් එක් කිරීම නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමක් බව ද ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වෙත අදහස් දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදහස් කළ නමුත්, සිය විරෝධය සැල වී තමන් ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, පක්ෂ නායකයන් සමග හමුවක් සූදානම් කරන බවට දැනුම් දුන් බවත් සංගමයේ සභාපතිවරයා පැවසීය. සබැඳි යොමු: එළඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් දෙසැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණ නොපවත්වා, ලබන ජනවාරි මාසයේ පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවේ විරෝධයක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ සඳහන් කළ බවත් නීතිඥ උදය රොහාන් ද සිල්වා කියා සිටියේය. මේ අතර ආණ්ඩුව සංශෝධිත පනත සම්මත කරගත් ආකාරය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ද දැඩි විවේචනයට ලක් කොට තිබේ. විශ්ෂයෙන් කමිටු අවස්ථාවේ පනතට බරපතල සංශෝධන ගණනාවක් එක් කිරීම මගින්, එම සංශෝධන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමිව ගිය බව පෙන්වා දෙන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, කිසියම් පනතකට කමිටු අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් එයට අවසර තිබෙන්නේ නම් පමණක් බව ද සඳහන් කරයි. "කමිටු අවස්ථාවේදී පනතක මූලධර්ම සාකච්ඡා නොකළ යුතුය," යන්න ස්ථාවර නියෝග 57 හේ සඳහන් වේ. පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමේ "ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ" අගය කළ යුතු වුවත් නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදෙන අවස්ථාවක එහි මූලධර්ම පිළිබඳව පුළුල් සංවාදයක් දියත් කිරීම අත්‍යවශ්‍ය බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් නව සංශෝධනයට දැඩි විරෝධය පළ කළ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. සංශෝධනයට ආණ්ඩුව තුලින්ම මතු වූ දැඩි විරෝධය හේතුවෙන් ඒ වන විට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වෙමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද නිව්යෝක් නුවර සිට මැති, ඇමතිවරුන් අමතා පනතට පක්ෂව ඡන්දය දෙන මෙන් ඉල්ලා සිටීමට සිදු වූ බවත් සන්ඩේ ටයිම්ස් පත්‍රය වාර්තා කළේය. පළාත් පාලන පනත හදිසියේ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වීම පිළිබඳව විරෝධය පාමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයන් පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් වූ බවට ද වාර්තා පළ වින.
ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින නියං කාලගුණ තත්වය හේතුවෙන් විදුලි බල අර්බුදයක් මතු වී ඇති බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
'විදුලි බල උත්පාදනය සඳහා භාවිත කරන ජලාශවල ජල මට්ටම 35% කට වඩා පහත වැටිලා' විදුලි බල උත්පාදනය සඳහා භාවිත කරන ජලාශවල ජල මට්ටම 35% කට වඩා පහත වැටී ඇති බව සඳහන් කළ අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා, සාමාන්‍යයෙන් මේ කාලය වන විට ජලාශ 90% - 95% ක් පමණ පිරී තිබෙන බව බීබීසී සංදේශයට පැවසීය. කෙසේ වෙතත් විදුලිය කප්පාදු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, තාප බලාගාර යොදාගෙන මෙම තත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය. තාප බලාගාර යොදාගෙන විදුලි බල අර්බුදය කළමනාකරණය කිරීමට බලාපොරොත්තුවන බව ආණ්ඩුව පවසයි මෙය ඉතාම දුෂ්කර අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ඔහු, මෙම දුෂ්කර අවස්ථාවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කර සහය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. "තාමත් අපිට විදුලිය කපන්න බලාපොරොත්තුවක් නැහැ. අපි උත්සාහ කරන්නේ නොකපා කළමනාකරණය කරගන්න, දුෂ්කර තත්වයක් තිබුනොත් අපි ඒ ගැන කියන්නම්, නොකියා විදුලිය කපන්නේ නැහැ," නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය.
යම් පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු හෝ ඇයගේ ගතිගුණ ගැන නිගමනවලට එළඹීම සාමාන්‍ය ජන ජීවිතය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයකි.
දේහ ලක්ෂණ අනුව ගතිගුණ ගැන නිගමනවලට එළඹීමෙන් ඇතැමුන් වෙනස් කොට සැලකීමද සමාජය තුළ දක්නට ලැබේ. "මගේ කකුලේ දෙවෙනි ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා කුඩාවට පිහිටලා තිබෙන්නේ. මම පුංචි කාලේ ඉඳන් මේ දේට මිනිස්සු මට එක දේවල් කිව්වා. මට මෙය දැඩි මානසික වදයක් වුණා. හැබැයි මම කොහොම හරි ඒවා විඳ දරා ගත්තා. නමුත් කසාද බැන්දට පස්සේ සියල්ල වෙනස් වුණා," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළාය. "දෙවෙනි ඇඟිල්ල පුංචි වුණා ම ස්වාමි පුරුෂයා මැරෙනවා කියලා හැමෝම මට කියනවා. මගේ සැමියාගේ පවුලේ අය මට සෑහෙන්න දොස් කියනවා මේ දේට. එයාලගේ හිතේ ඒ අයගේ පුතා මැරෙයි කියලා මම නිසා. මගේ සැමියා මේවා මුලින් විශ්වාස නොකළට, හැමෝම කියන කොට එයත් ටිකක් වෙනස් වුණා." "මම මොන වැඩේ කරන්න ගියත් සැමියාගේ ගෙදර අය මගේ කකුලේ ඇඟිලි දිහා බලාගෙන ඉන්නවා. දැක්ක තැන අපහාස කරනවා. අපි ජීවත් වෙන්නේ සැමියාගේ මහගෙදර. මේ කරදර නිසා මම දරුණු විදිහට මානසික පීඩනයක ඉන්නේ," ඇය හැඬූ කඳුළින් පැවසුවාය. දේහ ලක්ෂණ ගැන සමාජයේ පවතින මත මොනවා ද? කාන්තා දේහ ලක්ෂණ පුරුෂ දේහ ලක්ෂණ පුද්ගලයන් අතර විවිධ දේහ ලක්ෂණ පිහිටීම සාමාන්‍ය දෙයක් ද? පුද්ගලයන් එකිනෙකා අතර බොහෝ වෙනස්කම් පවතින අතර, එය ස්වභාවික පිහිටීම විනා රෝගයක් නොවන බව පවුල් සෞඛ්‍ය උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක වන විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "එකම පවුලක දරුවන් දෙදෙනෙකු අතර පවා වෙනස්කම් පවතින්න පුළුවන්. නමුත් මේ දේවල් පැවැත එන්නේ ඒ අයගේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. ඒ කියන්නේ ජානවලින්. මේ දේවල් මත යම් කෙනෙකුගේ ගති ලක්ෂණ ගැන තීරණය කිරීම අපහසුයි." "නමුත් මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. මේ විශ්වාස පැවැත එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අපේ මුතුන් මිත්තෝ යම් දේවල් නිරීක්ෂණය කර විවිධ විශ්වාස නිර්මාණය කර තිබෙනවා," වෛද්‍යවරිය පැවසුවාය. "උදාහරණයක් ලෙස, කාන්තාවක් වැඩිවියට පත් වූ පසු නිවසින් පිටතට යන්න එපා කළු කුමාර දිෂ්ටිය වැහෙයි කියලා තවමත් කියනවා. මෙයට සැබෑ හේතුව වන්නේ, දැරියක් වැඩි වියට පත් වූ පසු අතවරයකට ලක් වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම එහි ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගන්න පුළුවන්." "මේ නිසා කළු කුමාර දිෂ්ටියක් ගැන කියලා දරුවන් ආරක්ෂා කර ගන්න බලනවා. මේ දේවලුත් ඒ වගේම වෙන්න පුළුවන්. යම් නිරීක්ෂණවලින් මේ වගේ නිගමනවලට ඇවිත් තියෙන්න පුළුවන්. නමුත් විද්‍යාවට අනුව මේ දේහ ලක්ෂණ යම් කෙනෙකුට ලැබෙන්නේ ජානවලින්. ඒ මත වාසනාව, අවාසනාව තීරණය කරන්න අපහසුයි," වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය. 'කට කළුවා ගෙට නපුරා' "පොඩි කාලේ ඉඳන් මගේ තොල් අවපැහැයයි. ඒ හා සමාන පැහැයේ තොල් තමයි අපේ තාත්තාගේත් තිබෙන්නේ. නමුත්, මගේ තොල්වල පැහැය නිසා ගෙදරට අවාසනාවන්තයි කියල ඔවුන් කියනවා. 'කට කළුවා ගෙට නපුරා' කියලා මට බොහෝ දෙනෙක් විහිළු කරනවා," යැයි නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි තවත් කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය. "පොඩි කාලේ මගේ හිත බොහොම රිදිලා, මානසිකව වැටුණත්, වැඩිවියට පත් වෙන කොට මම ඒ කිසි දෙයක් නෑහෙන ගානට ඉන්න පටන් ගත්තා. ඒ වගේම රූපලාවණ්‍ය ක්‍රියාකාරකම්වලින් මගේ දෙතොල් අන් අය දැකීමට කැමති විදිහට හදාගත්ත," යැයි ඇය තවදුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: "ලක්ෂණ සඟවන්න ඕනෑ තරම් ක්‍රම තිබෙනවා" නවීන ලෝකයේ දියුණු රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කරමින් බොහෝ දේහ ලක්ෂණ වෙනස් කළ හැකි බව රූපලාවණ්‍ය ශිල්පිනී නිලෝමා පීරිස් පැවසුවාය. "මුහුණේ තිබෙන විවිධ ලක්ෂණ, උපන් ලප වගේම රෝම ඉවත් කරන්න හෝ සඟවන්න රූපලාවණ්‍ය ක්‍රමවලින් පුළුවන්. කාන්තා, පුරුෂ දෙපාර්ශවයම දැන් මේ දේවල්වලට යොමු වෙලා ඉන්නවා. ලේසර් තාක්ෂණය වගේම සාම්ප්‍රදායික ක්‍රම අනුවත් මුහුණේ, ඇඟේ ස්වභාවික දේ වෙනස් කරන්න පුළුවන්." "උදාහරණයකට, ඇහි බැමි දෙක එකට යා වුණ අය අවාසනාවන්තයි කිව්වාට, එහෙම අය ඇහි බැමි රූපලාවණ්‍ය ක්‍රම ඔස්සේ හදාගත්තට පස්සේ, ඒ අය සාමාන්‍ය පුද්ගලයන් විදිහට සමාජය දකිනවා," ඇය පැවසුවාය. ඉපැරණි විද්‍යාවක් ද? දේහ ලක්ෂණ බලා ගතිගුණ කීමේ 'ඉපැරණි විද්‍යාවක්' පැවති බව බෞද්ධ පොත් පත්වල සඳහන් කර ඇත. දිනක්‌ බුදුන් වහන්සේ පා ගමනින් වැඩම කරන අතර, ඒ ගමන් මගෙහි ගමන් කළ බමුණෙකු වැල්ලේ තිබූ බුදුන් වහන්සේගේ පා සටහන් විමසා බලා එය සුවිශේෂි පුද්ගලයකුගේ බව හඳුනාගෙන, බුදුන් වහන්සේ සොයා පැමිණ ඔබ දෙවියෙක්‌ද යනුවෙන් අසා සිටියේය. බුදුන් වහන්සේගේ පා සටහන්වල තිබූ සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් මෙසේ අසා සිටි බව බෞද්ධ පොත්පත්වල සඳහන් වේ. එමෙන්ම, එකල පැවති දේශ ලක්‍ෂණ විද්‍යාව උපයෝගි කරගනිමින් සිදුහත් කුමරුගේ නළලේ තිබූ ඌර්ණ රෝම ධාතුව දැක ඒකාන්තයෙන්ම බුදුවන්නේ යයි කොණ්‌ඩඤ්ඤ බමුණා පැවසූ බව ද බෞද්ධ පාසල් පෙළ පොත් ඇතුළු බොහෝ පොත්පත්වල සඳහන් කර තිබේ. වීනා වාදනය ඉගෙනීමට පැමිණෙන මූසිලගේ දේහ ලක්‍ෂණ දුටු ගුත්තිල ඇදුරු ඔහු ගුණමකුවකු බව දැන ශිල්ප ඉගැන්වීමට අකමැත්ත පළ කළ බව වෑත්තෑවේ හිමියන් රචනා කළ ගුත්තිල කාව්‍යයේ මෙසේ සඳහන් වේ: බලමින් ලකුණු ගත දුදන ගුණ දැන ඔහු සිත නොවසව තෙපි මවෙත ශිල්ප නොදෙමැයි කිවෙත් මහසත දේහ ලක්ෂණ අනුව යම් නිගමනවලට එළඹීම ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් ආගම්වල ද දක්නට ලැබෙන්නකි. නවීන විද්‍යාව 2018 වර්ෂයේ සිදු කළ ගවේෂණයක් මත විද්‍යාත්මක ලිපියක් පළ කළ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් ඇතුළු විද්‍යාඥයන් පිරිස පවසන්නේ කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඔවුන්ගේ ලිංගිකත්වය හෙළි වන බවය. කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සමලිංගික සේවනය ප්‍රිය කරන්නියක් බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව ඔවුන්ගෙන් එක් අයෙකු සමරිසි වන අතර අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන්නියකි. පොදුවේ ගත් කළ, සමරිසි කාන්තාවන්ගේ වම් අත්ලේ පමණක් වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ පුරුෂයන් තුළය. පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් ගර්භාෂයේ වැඩිපුර තැන්පත්ව තිබීම මෙයට එක් හේතුවක් බව එසෙක්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයෝ පවසති. එක් අයෙකු සමරිසි සහ අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන, බොහෝ දුරට එක සමාන ශරීර ලක්ෂණ ඇති නිවුන් පුරුෂයන් යුගල 14ක් ද මෙම පරීක්ෂණයට සහභාගි කර ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. නමුත්, ඔවුන්ගේ ඇඟිලි මැන බැලීමේ දී ඒවායේ දිග සහ ලිංගිකත්වය අතර සම්බන්ධතාවක් නිරීක්ෂණය වී නොමැත. "බොහෝ සමානකම් තිබෙන නිවුන් සහෝදර සහෝදරියන්ගේ 100%ක්ම එකම ජාන දක්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනස්විය හැකි වීම, ජානවලට අමතරව සැලකිල්ලට ගත යුතු කරුණක්," ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් පැවසීය. Archives of Sexual Behaviour නම් සඟරාවේ මෙම ගවේෂණය පිළිබඳ තොරතුරු පළ කර තිබුණි. තවත් තොරතුරු:
නාය යාමට ලක් වූ කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද යට තවමත් බොහෝ දෙනෙකු සිර වී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳව මෙතෙක් සනාථ වූ තොරතුරැ ලැබී නැති බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අඛණ්ඩව බේරාගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටින බව කියා සිටියි. එම ස්ථානයට සෙනග රැස්වීම සහන මෙහෙයුම්වලට බාධාවක් බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, එබැවින් එහි රැස්වීමෙන් වලකින මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අනතුරට ලක්වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලීම සහ සහන සේවා ඇතුළු ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව විමසීම පිණිස 117 දුරකථන අංකය දිගටම ක්‍රියාත්මක වේ. කුණු කන්දේ හටගත් ගින්න නිවා දැමීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබේ. මේ අතර කුණු කන්ද ඉවත්කරගන්නා මෙන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව පවසන ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර්, ඒ සඳහා සැබෑ වුවමනාවකින් කටයුතු නොකළ බවට ආණ්ඩුවට චෝදනා කරයි.
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියට දේශපාලනික රැස්වීමක් පැවැත්වීම සඳහා කළු ගල් ඇතිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් බලවත් ලෙස සිය විරෝධය පළ කර තිබේ.
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණය මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ වැදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මංගල රැලිය ලබන එකොලොස් වෙනිදා අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි. එබැවින් වර්ෂාවකදී රැස්වීම් භූමිය මඩ වීම වැළක්වීමට මෙලෙස කළු ගල් අතුරා ගල් රෝල් මගින් ක්‍රීඩා භූමිය සැකසීම සිදු කරන බවයි ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඉන්දික අරුණ කුමාර පවසන්නේ මේ අන්දමට කළු ගල් ඇතිරූ පසු නැවත මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බවයි. විශාල අපරාධයක් උතුරු මැද පළාත් ඇමතිවරයාගේ උපදෙස් මත මෙය සිදු කෙරෙන අතර ඒ සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බවයි ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසන්නේ. උතුරු මැද පළාත් මහා ඇමති එස් එම් රංජිත් සමරකෝන් වර්තමානයේ ක්‍රීඩකයින්ට පමණක් නොව අනාගත පරම්පරාවේ ක්‍රීඩකයන්ටත් ක්‍රීඩා කළ හැකිව තිබූ මෙම ක්‍රීඩාංගණය දේශපාලන රැස්වීමක් වෙනුවෙන් අහිමි කිරීම විශාල අපරාධයක් බවයි අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ ලේකම් සාගර පියතිලක පවසන්නේ. අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් වල නිලධාරීන් අද(04) දහවල් උතුරු මැද පළාත් මහා ඇමති එස් එම් රංජිත් සමරකෝන් හමු වී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයට සිදු කරනු ලබන හානිය නවත්තන මෙන් ඉල්ලා සිටියහ. ක්‍රීඩා සංගම් වල නිලධාරීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහා ඇමතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ මංගල රැස්වීම වෙනත් ස්ථානයක පැවැත්වීමට නොහැකි බවයි.
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින තීරණාත්මක ගැට‍ළු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙමින් සිටියි.
යුද්ධයේ අවසාන භාගයේ දී මානව හිමිකම් උල්ලංඝනය වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පැවැත්වීමට නියමිත පරීක්ෂණ පිළිබඳ ආණ්ඩුවේ ක්‍රියාකාරී සැලැස්ම ඇතුළු කරුණු ගණනාවක් බේරුවල, මොරගල්ලේ සිනමන් බේ හෝටලයේ දී පැවැත්වෙන මෙම හමුවේ දී සාකච්ඡා කෙරෙනු ඇති බවයි, ජනමාධ්‍ය වාර්තා කරන්නේ. අලුත්ගම ප්‍රදේශයේ ගැටුම්, වත්මන් ආර්ථික තත්වය සහ ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳුදා රාත්‍රියේ හෝටලයේ ලැගුම් ගැනීමට නියමිතයි. මෙම හමුවේ අරමුණ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම නොවන බවද බලධාරීන් උපුටා දක්වන වාර්තාවල සඳහන් වේ. ලබන වසරේ ජනවාරි මාසයට යෝජිත ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන්, ජනවාරි මාසයේ පැවැත්වෙන බව පැවසෙන ජනාධිපතිවරණය කල් තබන ලෙස කතෝලික භක්තිකයන් නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
බුදුන් වහන්සේට අපහාස කලේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන බලහත්කාරයෙන් පිටුවහල් කිරීම හේතුවෙන් සිදු වූ සිය මූලික අයිතීන් කඩ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අදාළ පෙත්සම භාර ගෙන ලියාපදිංචි කොට වැඩිදුර කටයුතු කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි. නයෝමි මිෂෙල් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව විසින් පෙත්සම ගොනු කළ අතර එහි විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා සහ කටුනායක පොලිසියේ නිලධාරීන් නම් කර තිබේ. දැඩි භක්තිය පෙත්සම්කාරිය පවසන්නේ තම අතක බුදුරජාණන් වහන්සේගේ රුව පච්චයක් ලෙස කොටා ඇති බවත් පසුගිය අප්‍රේල් මස නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේ දී බුදුන් වහන්සේට අපහාස කලේ යැයි චෝදනා කරමින් බලධාරීන් තමා අත් අඩංගුවට ගත් බවයි. තමා බුදුන් වහන්සේ කෙරෙහි දැඩි භක්තියකින් පසු වන බවත් බුදුන් වහන්සේට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුල නැති බවත් කී ඇය ඒ නිසාම අදාළ පච්චය කොටා ගත් බව තව දුරටත් පැවසීය. පොලිසිය මගින් තමා බන්ධනාගාර ගත කල බව පැවසූ පෙත්සම් කාරිය එහි දී බන්ධනාගාර නිලධාරීන් තමන්ට අයුතු ලිංගික යෝජනා ඉදිරිපත් කිරීම නිසා තමන් දැඩි මානසික පීඩනයකට ලක් වූ බව පැවසුවාය. පොලිස් ක්‍රියා මාර්ග මේ පිළිබඳ අදහස් දක්වන මානව හිමිකම් නීතිවේදි ගුණරත්න වන්නිනායක පවසන්නේ පොලිසිය විසින් ගත් ක්‍රියා මාර්ගය අනුමත කල නොහැකි බවයි. යම් පුද්ගලයෙකුට තමන් කැමති ආගමික නායකයෙකුගේ රුවක් තමන්ගේ ශරීරයේ කොටා ගත හැකි බවත් එහි කිසිම වරදක් තමන් නොදකින බවත් පැවසූ ගුණරත්න වන්නි නායක වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ භක්තිය නිසා මිනිසුන් එවැනි දේ කරන බවයි.
වාස් ගුණවර්ධන පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටිය දී කැරුණු අපරාධයක් සම්බන්ධයෙන් වරද කරු වේ නම් ඔහුගේ ජ්‍යෙෂ්ටයන් ද ඒ පිළිබඳ වගකීමෙන් බැඳෙන බව නීතිවේදීහු පෙන්වා දෙති.
නියෝජ්‍ය පොලිස්පති බිරිඳ සාක්ෂි නොදෙන මෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කොට තිබෙන බව පොලීසිය පවසයි මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම, ජාතීන් අතර සුහදතාවය බිඳ දැමීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා නගා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ අජිත් පතිරණ ප්‍රකාශ කරන්නේ, වාස් ගුණවර්ධන මෙවැනි දේවල් කළේ නම් ‘ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ව’ තිබුණු බවයි. “පොලිස් දෙපාර්තමේන්තුවේ අයිති කාරයා නෙවෙයි වාස් ගුණවර්ධන,” යයි නීතිඥ පතිරණ බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් හට කියා සිටියේය. සාක්ෂි කරුවන්ට බලපෑම් හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා හට ‘නඩුව පටලැවීමට’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරන බවට චෝදනාවක් නැඟූ නීතිඥවරයා කියා සිටින්නේ වාස් ගුණවර්ධනට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවයි. කෙසේ වෙතත්, රහස් පොලිසිය අධිකරණය හමුවේ චෝදනා කළේ පරිදි හිටපු නියෝජ්‍ය පොලිස්පති බිරිඳ සාක්ෂි නොදෙන මෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කොට තිබෙන බවටයි. ඒ පිළිබඳව කරුණු දැක්වීමට ලබන මස නව වැනිදා පෙනී සිටින මෙන් ශ්‍යාමලී ගුණවර්ධන හට නියෝග කොට තිබෙන අධිකරණය වාස් ගුණවර්ධන තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීම පිළිබඳ හෙට බදාදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු ඡන්ද විමසීම කල් තැබීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සියලු ජන කොට්ඨාශ සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ආණ්ඩුවේ යෝජනාව වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව 23 සහ 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. ''මේ පිළිබඳ විශේෂයෙන්ම වැදගත් කරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ යෝජනාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම තවත් පක්ෂත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ බලතල, ආකෘතිය, වපසරිය ගැන විවාදයක් තිබුණු බව ඔබ දන්නවා.'' ඒ සම්බන්ධයෙන් පැවති පක්ෂ විපක්ෂ අදහස් පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කොට එකී අදහස්වලට ගරු කොට සංශෝධිත යෝජනාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා සියල්ලම අපි පිළි අරගෙන තිබෙනවා.'' 'මේ පිළිබඳ විශේෂයෙන්ම වැදගත් කරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ යෝජනාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම තවත් පක්ෂත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ බලතල, ආකෘතිය, වපසරිය ගැන විවාදයක් තිබුණු බව ඔබ දන්නවා.' ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරි පත් කෙරුණේ පසුගිය ජනවාරි 09 වනදායි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සියලු ජන කොට්ඨාශ සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ආණ්ඩුවේ යෝජනාව වී ඇත්තේ. ව්‍යවස්ථා සම්පාදනය සඳහා සියලු පක්ෂවල අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණ වී ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ. අභිනවයෙන් පත් කර ගනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතු අතර එලෙස සම්මත කර ගනු ලබන පනත් කෙටුම්පත ජනමත විචාරණයක දී මහජන අනුමැතියෙන් ද සම්මත වුනොත් පමණක් එය රටේ මූලික නීතිය ලෙස පිළිගත යුතු බවයි එම අවස්ථාවේ අගමැතිවරයා සඳහන් කළේ.
ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටි වලස් පැටවුන් සිව් දෙනකු පුනරුත්ථාපනය කොට වනයට මුදා හැරීම සඳහා යළි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ වලස් ගහණය හයසීයක් පමණ වන බවයි සමස්ත ලංකා වනජීවී නියාමක නිළධාරින්ගේ සංගමය පවසන්නේ මිනිසුන් හා ගැටීම අවම කොට නැවත කැලයට අනුගත කිරීම සඳහා ඉහත කී වලස් පැටවුන් සිව් දෙනා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පුනරුත්ථාපනය ලබමින් සිටින අතරතුර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට පවරා ගනු ලැබිණ. ඉන් වලස් පැටවුන් තිදෙනකු උඩවලව අතුරු සෙවණ භාරයේ සිටි අතර තවත් වලස් පැටවකු ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය භාරයේ පසු විය. එලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වලස් පැටවුන් සිව් දෙනා ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබීමට එරෙහිව පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට තිබිණ. ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අදාළ නඩුව විභාගයට ගත් අතර වලස් පැටවුන් සිව් දෙනා පුනරුත්තාපනය සඳහා නැවතත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන මෙන් අභියාචනාධිකරණය එහිදී නියෝග කළේය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විරෝධය නොතකා වලසුන් සිව් දෙනා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට ගැනීම සම්බන්ධයෙන් සමස්ත ලංකා වනජීවී නියාමක නිළධාරින්ගේ සංගමයේද විරෝධය එල්ල විය.
ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා වන Huawei 'හුවාවි' දුරකතනවල ඇන්ඩ්‍රොයිඩ් (Android) තාක්ෂණයට අදාළ යම් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ගූගල් සමාගම පසුගිය දා පියවර ගනු ලැබීය.
ගූගල් සමාගම පැනවූයේ දීර්ඝ කාලීන බාධක ද යන්න තවමත් නොපැහැදිලිය මේ හේතුවෙන්, 'හුවාවි'Huawei සමාගමේ නවතම ජංගම දුරකතන නිෂ්පාදනවල සමහර ගූගල් ඇප් වර්ග ඇතුළත් නොවෙනු ඇත. 'හුවාවි'Huawei සමාගම එක්සත් ජනපදය සමග වෙළෙඳ ගනුදෙනුවල නියැලීමට අවශ්‍ය බලපත්‍ර නොමැති සමාගම් අතරින් එකක් ලෙස හැඳින්වීමට ජනාධිපති ට්‍රම්ප් පාලනය ක්‍රියා කිරීමෙන් පසු මෙම තත්වය උදා විණි. "අපි අණ පිළිපදිමින් ඇඟවීම් නිරීක්ෂණය කරනවා විතරයි" යැයි ගූගල් සමාගම පවසයි. නමුත්, දැනට විකිණී අවසන් සහ වෙළෙඳපොළෙහි පවතින 'හුවාවි' Huawei සහ Honor ජංගම දුරකතන, ටැබ්ලට් උපකරණවල ආරක්ෂණ ඇප් යාවත්කාලීන කිරීම් සහ විකිණීමෙන් පසු ලබා දෙන සේවාවන් දිගින් දිගටම සිදු කරන බව Huawei සමාගම පවසයි. "ලෝකය පුරා සිටින පාරිභෝගිකයන්ට ඉහළ මට්ටමේ සේවාවක් ලබා දීම සඳහා අපි ශක්තිමත් ආරක්ෂණ මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කරනවා," යැයි 'හුවාවි'Huawei සමාගම පවසයි. "අපි Huawei සමාගමේ නීතිමය අයිතීන් රැකගන්න උදව් කරනවා" යයි මාධ්‍ය හමුවකට පැමිණි චීන රජයේ නියෝජිතයන් පිරිසක් කියා සිටියහ. ගූගල් සමාගමේ තීරණය දැඩි ලෙස විවේචනය කරන 'හුවාවි' Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි (Ren Zhengfei) පැවසුවේ ඇමරිකාව තම සමාගමේ බලය "අවතක්සේරු" කර ඇති බවය. 'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදනවල ඇති 5G තාක්ෂණය වෙනත් කිසිදු සමාගමකට නුදුරු අනාගතයේ දී නිර්මාණය කළ නොහැකි බවත් චීන මාධ්‍ය අමතමින් රෙන් ෂෙන්ග්ෆෙයි පවසයි. චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ද විශාල වශයෙන් භාවිත කෙරේ. මේ අතර, 'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිහරණය කරන බොහෝ පිරිසක් ද සිටිති. 'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ගූගල් සමාගම පැනවූ වාරණ ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී. මෙම තත්වය'හුවාවි' Huawei පාරිභෝගිකයන්ට බලපාන්නේ කෙසේද? මෑතකදී හඳුන්වා දුන් Huawei P30 ජංගම දුරකතනය දැනට 'හුවාවි' Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව තිබේ. නමුත් මෙම වසර අවසානයේ ගූගල් සමාගම එළිදක්වන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ නවතම මාදිලිය 'හුවාවි' Huawei උපාංගවලට නොලැබෙනු ඇත. යූටියුබ් සහ 'ගූගල් මැප්ස්' වැනි ඇප් ඉදිරි කාලයෙහි 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාත්මක නොවෙනු ඇත. මේ අතර, 'හුවාවි' Huawei උපාංග සහ ඒවා ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බලන බව ජපානයේ පැනසොනික් (Panasonic ) සමාගම මැයි 23 දා ප්‍රකාශ කර ඇත. මේ අතර ප්‍රකාශයක් කරන පැනසොනික් සමාගම චීනයේ 'හුවාවි' Huawei සමාගම ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර නොමැති නම් ඔවුන් සමග නොකඩවා ගනුදෙනුවල නියැලෙන බවත් පැනසොනික් සමාගම වැඩිදුරටත් පවසයි. "අදාළ රටවල් සහ කලාපවල බලපැවැත්වෙන නීති රෙගුලාසි දැඩිව අනුගමනය කරමිනුයි අප සමාගම ව්‍යාපාරවල යෙදෙන්නේ" යැයි පැනසොනික් සමාගම කියා සිටියි. ගූගල් සිදු කළේ කුමක්ද? 'හුවාවි' Huawei සමාගම සමග "ප්‍රකට නොවන" දෘඩාංග, මෘදුකාංග සහ තාක්ෂණ සේවා ලබා දීම් සම්බන්ධයෙන් පැවති සියලු ව්‍යාපාර ගනුදෙනු නතර කිරීමට ඇමරිකානු සමාගමක් වන ගූගල් තීරණය කර තිබේ. දැනට Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව තිබේ නමුත්, ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ විවෘත මෘකාංග ව්‍යාපෘතියක් ඔස්සේ වීම හේතුවෙන් 'හුවාවි' Huawei සමාගමට එය ලබා ගැනීමේ සියලු දොරටු අවහිර නොවේ. ඕනෑම නිෂ්පාදකයෙකුට බලපත්‍රයක් නොමැතිව වුව ද ඔවුන්ගේ උපාංගවලට මෙම තාක්ෂණය ඇතුළු කරමින් අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකර ගැනීමේ හැකියාව ඇත. නමුත් තාක්ෂණ ලෝකයේ බොහෝ ව්‍යාපාරිකයන් ගූගල් සමාගම මත යැපීමේ ප්‍රවණතාවක් පවතී. ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය තුළ ගූගල් සමාගම පාලනය කරන මෘදුකාංග කීපයකි: මේ තොරතුරුද කියවන්න: 'හුවාවි' Huawei සමාගමට කළ හැකි වන්නේ කුමක් ද? ඇමරිකානු රජයේ අවසරයකින් තොරව එරට ව්‍යාපාරවලින් අදාළ තාක්ෂණය ලබා ගැනීම නිසා 'හුවාවි' Huawei සමාගමට ඉහත කී වාරණ පනවනු ලැබීය. ඒ ගැන දැනුම් දීමෙන් පසු ජපාන මාධ්‍ය අමතමින් 'හුවාවි' Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි පැවසුවේ "අපි මෙවැනි දෙයකට මුහුණ දෙන්න සූදානම් වෙමින් සිටියා"යි සඳහන් කළේය. Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි (Ren Zhengfei) Huawei සමාගම වසරකට ඩොලර් බිලියන 67කට ආසන්න වටිනාකමකින් යුත් තාක්ෂණික උපාංග මිලට ගන්නා අතර, මින් පසු ඒ සියල්ල සිය සමාගම තුළම වැඩිදියුණු කර ගැනීමට ක්‍රියා කරන බව රෙන් ෂෙන්ග්ෆෙයි පැවසූ බව 'නිකී' ව්‍යාපාර පුවත්පතේ (Nikkei) සඳහන් වේ. 5G තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන සම්බන්ධතා ඇතුළත් 'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදන භාවිතය ආරක්ෂාවට තර්ජනයක් බවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා එල්ල කරති. Huawei උපාංග හරහා චීනය දත්ත ලබා ගැනීමට ක්‍රියා කරන බවට රටවල් කිහිපයක් චෝදනා එල්ල කර සිටියත්, එම සමාගම එම සියලු චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරයි. සිය සමාගමේ නිෂ්පාදනවලින් කිසිදු තර්ජනයක් එල්ල නොවන අතර, චීන රජයත් සමග තමන්ට සම්බන්ධතාවක් නොමැති බව 'හුවාවි' Huawei සමාගම පවසයි. කෙසේනමුත්, මේ වන විටත් සමහර රටවල් 5G සම්බන්ධතාව ඇතුළත් 'හුවාවි' Huawei උපාංග භාවිත කිරීම තහනම් කර ඇත. මේ අතර, 'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදිත 'Honor 20' නවතම ජංගම දුරකතනය එළිදැක්වීමේ උත්සවයට ලෝකය පුරා ක්‍රියාත්මක ව්‍යාපාරවලට ආරාධනා කර තිබේ. මෙම දුරකතනයේ ගූගල් ඇප් සියල්ලම මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය ද සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව බීබීසී සිදු කළ විමසුමක දී හෙළි විය. Huawei සමාගමේ නිෂ්පාදිත Honor 20 නවතම ජංගම දුරකතනය එළිදැක්වීමේ උත්සවයට ලෝකය පුරා ඇති ව්‍යාපාරවලට යැවූ ආරාධනා පත්‍රය ඇමරිකානු රජය සමග පවතින ඝට්ටන සමථයකට පත් නොවුනහොත් ඉදිරියේ දී එළිදක්වන 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාකාරකම් අඩු වීමට ඉඩ ඇත. එසේ නොමැතිනම් 'හුවාවි' Huawei ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඔවුන් විසින්ම නිර්මාණය කරන නව තාක්ෂණයක් හඳුන්වා දීමට ද ඉඩ තිබේ. ගූගල් සමාගම පැනවූයේ දීර්ඝ කාලීන බාධක ද යන්න තවමත් පැහැදිලි නැත. 'සැම්සුන්' නිෂ්පාදනවලට පසු ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකතන නිෂ්පාදන සමාගම සමග ඇති ගිවිසුම් එකවර අත්හැරීමට ගූගල් සමාගම ක්‍රියා නොකරනු ඇති බවටත් මත පළ වෙයි. Huawei සහ ගූගල් සමාගම අතර ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යෑමට අදාළ බලපත්‍රය නිකුත් කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ සහ ආරක්ෂණ කාර්යාංශයට හැකියාව ඇත. එසේ නොමැතිනම්, සියලු වාරණ ඉවත් කර පෙර තිබූ තත්වයට නැවත යෑමේ හැකියාව ද පවතී. කෙසේවෙතත්, බටහිර වෙළෙඳපොළෙ තුළ 'හුවාවි' Huawei සමාගමට කෙටි කාලීන දැඩි අලාභවලට මුහුණ පෑමට සිදු වෙනු ඇත. ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධයට කුමක් සිදුවේ ද? ඉහත කී වාරණ පැනවීමත් සමග 'හුවාවි' Huawei සහ ගූගල් සමාගම් අතර තිබූ වෙළෙඳ ගැටුම් උත්සන්න විය. ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම් උත්සන්න වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ ඇමරිකාව මේ වන විටත් 'හුවාවි' Huawei සමාගමට එරෙහිව නඩු විශාල ප්‍රමාණයක් ගොනු කර තිබේ. Huawei සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය මෙන්ම එහි උප ප්‍රධාන විධායක නිලධාරිනිය වන මෙන්ග් වැන්ග්ෂූ (Meng Wangzou) පසුගිය දෙසැම්බර් මස කැනඩාවේ දී ඇමරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. ඇය කැනඩාවෙන් පිටුවහල් කිරීමට මේ වන විට ඇමරිකානු බලධාරීහු ක්‍රියා කරමින් සිටිති. මෙම සිද්ධි මාලාවත් සමග ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම් උත්සන්න වෙමින් පවතින බවක් පෙන්නුම් කෙරෙයි. තවත් තොරතුරු:
ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්ටීටීඊ සංවිධානය අතර සාම සාකච්ඡා පැවති සමයේ එල්ටීටීඊයට මුදල් ලබා දුන් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන චෝදනා අසත්‍ය බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් පවසයි.
2006 වසරේ සාම සාකච්ඡා පැවති සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සාම නියෝජිත එරික් සෝල්හයිම් අතර හමුවක් ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට මේ ආකාරයේ බොරු චෝදනා එල්ල කරන බවයි එරික් සොල්හයිම් කියා සිටියේ. ‘ මැතිවරණය එළඹෙමින් තිබියදී ජනාධිපති රාජපක්ෂ මා පිළිබඳ බොරු කියනවා. මම හෙට සත්‍ය හෙළි කරනවා’ යනුවෙන් හිටපු සාම නියෝජිතවරයා ට්වීටර් පණිවුඩයක සඳහන් කරයි. “එයාලා සල්ලි දුන්නා ගිහිල්ලා. නොර්වේ ආණ්ඩුව මේ ගැන පරීක්ෂණ කරන්න ඕනි හරියට නම්. කොටි ත්‍රස්තවාදීන්ට සල්ලි ගෙනහින් දුන්නා. ඒවාට සාක්කි අපි ගාවත් තියනවා” යනුවෙන් කුරුණෑගල පැවති උත්සවයකදී පැමිණ සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා කළ චෝදනාවටයි එරික් සොල්හයිම් මෙසේ ප්‍රතිචාර දැක්වූයේ. යුද අපරාධ එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කළ නොහැකි බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා තමාට පැවසූ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එම උත්සවයේදී වැඩි දුරටත් කියා සිටියේය. එරික් සොල්හයිම් එක්දහස් නවසීය අනූ නවයේ සිට දෙදහස් හය වසර දක්වා නෝර්වේජියානු සාම නියෝජිතවරයා වශයෙන් කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඕනෑම ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි ලබා දීමට තමා ඉදිරිපත් වන බව එරික් සොල්හයිම් හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා මීට ඉහතදී පැවසුවේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදු කළ චෝදනා සම්බන්ධයෙන් සඳුදා අදහස් දක්වන බවයි හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් බීබීසී සංදේශයට කියා සිටියේ. ජනාධිපතිවරයා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් විමසා බලා හැකි ඉක්මනින් නෝර්වේජියානු ආණ්ඩුවේ මතය දැනුම් දෙන බව එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සංදේශයට ප්‍රකාශ කළේය.
‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත ශ්‍රී ලංකාවේ විකාශය කිරීම අවහිර නොකරන මෙන් එහි නිෂ්පාදක කැලම් මැක්රේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටියි.
‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ දර්ශන රූප රාමුවක් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ බරපතළ යුද අපරාධ සිදු වූ බවට චෝදනා කෙරෙන 'නෝ ෆයර් සෝන්' වාර්තා චිත්‍රපටය සිංහල උප සිරැසි සහ හඬ කැවීම් සහිතව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී පළමු වරට අඟහරුවාදා ප්‍රදර්ශනය කෙරුණි. ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත විකාශනය කරන මෙන් එහි නිෂ්පාදක කැලම් මැක්රේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනවලින් ඉල්ලීමක් කළේය. සිය වාර්තා චිත්‍රපටය හරහා දර්ශනය කළ සාක්ෂි හෝ සත්‍ය කරුණු කිසිවක් ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට දැනගැනීමට ලැබී නැති බවයි ඔහු කියා සිටියේ. ‘ශ්‍රී ලංකාව තුළ ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙලා තියන එක කාරණයක් තමයි බහුතරයක් ජනතාවට, විශේෂයෙන්ම සිංහල ප්‍රජාවට සත්‍ය දැන ගන්න ලැබී නැහැ’ කැලම් මැක්රේ සඳහන් කළේය. ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදක කැලම් මැක්රේ බහුතර සිංහල ජනතාවට සාමය සහ සත්‍ය සොයා ගැනීමට අවශ්‍ය බව තම විශ්වාසය යැයි පවසන ඔහු වැරදිකරුවන් හැර වෙන කිසිවෙක් සත්‍යයට බිය විය යුතු නැති බවත් සඳහන් කළේය. වරදකරුවන් විසින් ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටය දැක බලා ගැනීම් වළක්වා ඇති නමුත් අලුතින් පත් වූ ආණ්ඩුව රටේ පැවති තත්වය වෙනස් කරන බවට ප්‍රතිඥා දී ඇති හෙයින් සෑම අයකුටම වාර්තා චිත්‍රපටය දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය. ‘ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ අපරාධ යුක්ති සහගත කිරීම සඳහා දෙමළ කොටි සංවිධානය සිදු කළ අපරාධ වලට මුවා වෙලා ඔවුන් සැඟ වෙන්න උත්සාහ කරනවා’ යනුවෙන් ඔහු පැවසුවේය. දෙමළ කොටි සංවිධානය විසින් සිදු කරනු ලැබූ අපරාධ කිසි ලෙසකින් හෝ යුක්ති සහගත කිරීමට තමන් උත්සාහ නොකරන බවත් ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදක කැලම් මැක්රේ පැවසුවේය. ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ දර්ශන රූප රාමුවක් ‘ඔවුන් ත්‍රස්ත උපක්‍රම භාවිතා කළා. සාමාන්‍ය වැසියන් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා’ ඔහු සඳහන් කළේය. බහුතරයක් වූ සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නිදහසේ ජීවත් වීමට අවශ්‍යව ඇති බව කියා සිටි ඔහු පසුගිය තිස් වසරේ පැවති භයානක තත්වයෙන් ගැලවී සිටින්නට නම් ප්‍රථමයෙන් සත්‍ය සොයා ගත යුතු බව පැවසුවේය. ‘පළමු පියවර, අවංකව ඉදිරියට ආ යුතුයි. මම විශ්වාස කරනවා මේ වාර්තා චිත්‍රපටිය ඊට ආධාර වෙයි කියලා. සිංහල ප්‍රජාව වින්ද මානසික කම්පනය මට සම්පුර්නයෙන්ම වටහා ගන්න පුළුවන්. ඒ වගේම දෙමළ ජනතාව වින්ද දරුණු මානසික කම්පනයත් මට වටහා ගන්න පුළුවන්. වරදකරුවන්ට හැර වෙන කිසිවෙකුටත් අපේ වාර්තා චිත්‍රපටයෙන් පහර ගැසීමක් කෙරෙන්නේ නැහැ’ යනුවෙන් කැලම් මැක්රේ වැඩිදුරටත් කියා සිටියේය.
කොළඹ නගරයේ පැවති මාධ්‍යය වැඩමුළුවකට සහභාගි වීමට යමින් සිටියදී ගංජා රැගෙන ගිය බවට චෝදනා එල්ල වූ යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනාගෙන් තිදෙනෙකු අද අඟහරුවාදා දහවල් ප්‍රශ්න කිරීම පිණිස වවුනියාවේ ඕමන්ත පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.
සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ මාධ්‍යවේදීන් තිදෙනා ප්‍රශ්න කරණු ලැබීය. ඕමන්ත මුරපොල අසල සිටි හමුදා සෙබළෙකු වශයෙන් සැක කරන පුද්ගලයකු ගංජා සහිත සිගරට් පැකැට්ටුව මාධ්‍යවේදීන් ගමන් ගත් රථයට දමන ලද සිදුවීම, දුටු මාධ්‍යවේදියාගෙන් ඒ පිලිබඳ දිගින් දිගටම ප්‍රශ්න කළ බව නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ එක් මාධ්‍යවේදියෙකු සංදේශයට පැවසුවේය. ඕමන්ත පොලිස් ස්ථානයේදී මාධ්‍යවේදීන්ගේ ගෞරවයට හානි වන අන්දමින් කටයුතු කල හා ඔවුන්ට තර්ජනය කර හිරිහැර කිරීමට උත්සහ කළ පොලිස් නිලධාරීන් පිළිබඳ වූ පැමිණිල්ල බාර ගැනීමට නොහැකි බව පවසමින් ඕමන්ත පොලිසිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සියලු දෙනාගෙන් සහකාර පොලිස් අධිකාරීවරයා පැය කිහිපයක් ප්‍රශ්න කළ බවයි යාපනයේ මාධ්‍යවේදීන් පවසා සිටියේ. අධිකරණයට ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අගෝස්තු පළමු වනදා වාහනයේ රියැදුරුවරයා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට මැදිහත් වන මෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි පොලිස් අධිකාරීවරයා, අවශ්‍ය වූවොත් ඉදිරි කාලයේදී මාධ්‍යවේදීන්ට පොලිසිය ඉදිරියේ පෙනී සිටීමට දැනුම් දෙන බව පැවසුවේ යැයි මාධ්‍යවේදියෝ තිදෙනා කියා සිටියහ. මේ පිළිබඳ පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයාගෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ වෙනත් පුද්ගලයෙකු විසින් මාධ්‍යවේදීන් ගමන් ගත් රථයට ගංජා දැමූ බවට කෙරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මාධ්‍යවේදීන්ව මෙම පරීක්ෂණය සඳහා කැඳවන ලද්දේ වැරදි කරුවන් වශයෙන් නොව සාක්කි කරුවන් ලෙසින් බවයි. ඕමන්ත පොලිස් ස්ථානයේදී මාධ්‍යවේදීන්ගේ කට උත්තරය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් පිළිබඳ වෙනම පරීක්ෂණයක් පැවැත්වෙන අතර ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත මාධ්‍යවේදීන් ගමන් ගත් රථයේ රියැදුරුවරයා අගෝස්තු පළමු වනදා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත රෝහණ වැඩිදුරටත් පවසා සිටියේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවට සටහනක් තබා සිය දිවි නසා ගනු ලැබූ කෑගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසයි.
පොලිස්පතිවරයා වුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවවලට සහභාගි වෙමින් සිය දිවි නසා ගැනීමට පෙර විශ්‍රාමික බුද්ධි අංශ හමුදා නිලධාරියා විසින් තබා ඇති බව පැවසෙන සටහනේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිශ්චිත නිගමනයකට ඒමට අපහසු බව පොලිස්පතිවරයා කියා සිටියේ වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවවලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "එතනදී විශේෂ වූ කරුණු කාරණා ගණනාවක් පිළිබඳ සලකා බැලීමට අවශ්‍යයි. ඒ පුද්ගලයා ඒ ආකාරයේ සටහනක් තැබුවේ ඇයි?, මොකක්ද ඊට හේතුව, ඒ හේතුව පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි," "මේ පුද්ගලයා එවැනි ප්‍රකාශයක් සිදු කළා පමණක් නොවෙයි, ඔහු සිය දිවි නසා ගත්තා. සිය දිවි හානි කර ගැනීමට හේතුව කුමක්ද?, එය රාජකාරි හේතුවක්ද?, විශ්‍රාමිකයකුට තිබෙන රාජකාරි හේතුව කුමක්ද?, නැතිනම් පෞද්ගලික කාරණාවක්ද?, ඔහුට කිසියම් මානසික පීඩනයක් එල්ල වුනාද?, තර්ජනයක් එල්ල වුනාද?," 'අපිට මෙවැනි ප්‍රකාශයක් කළ පමණින් නිගමනයකට ඒමට හැකියාවක් නැහැ,' පොලිස්පතිවරයා සඳහන් කළේය. ජනාධිපතිගේ ප්‍රකාශය යාපනයේ කොඩිකාමම් පොලිස් ස්ථානය තුළදී මීට වසර කීපයකට පෙර දෙමළ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එකොළොස් දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 14) වනදා අත්අඩංගුවට ගනු ලැබීම පිළිබදව අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ යමි කිසි වැරැද්දක් සම්බන්ධයෙන් වැදගත් වන්නේ වරදේ ස්වභාවය මිස අත්අඩංගුවට ගන්නා පුද්ගලයා නොවන බවය. "රටේ නීතියට අනුව වැරදි කළේ කවුද කියන දේ නොවෙයි වැදගත්, කුමක්ද වැරැද්ද කියන දේයි වැදගත්. පොලිස් හෝ හමුදා නිලධාරියෙක්ද, බාහිර පුද්ගලයෙක්ද,පරිපාලකයෙක්ද කියන දේ නොවෙයි අදාළ වෙන්නේ. වරද කුමක්ද කියන කාරණයයි වැදගත් වන්නේ," අපරාධයකට සම්බන්ධ බවට සාක්ෂි ඇත්නම් එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලිසියේ වගකීම බවත් පොලිස්පති පූජිත ජයසුන්දර සඳහන් කළේය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සහ ආරක්ෂක නිලධාරීන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගිය දිනක ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ පොලිස්පතිවරයා පැවසීය.
අපයෝජනයට ලක් වූ දරු දැරියන් පරිවාස භාරයට පත් කිරීම පිණිස බන්ධනාගාර වාහනවලින් රැගෙන යාමේ ක්‍රියාදාමය වහාම වෙනස් කළ යුතුව තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
'අපි ඒ සඳහා වාහන විසිපහක් ඉල්ලල තියෙනව. අඩුම ගානේ පළාත් නාමයට වාහන නමයක්' අධිකරණය මාර්ගයෙන් පරිවාස භාරයට පත් කෙරෙන දරුවන් බන්ධනාගාර වාහනවලින් ප්‍රවාහනය කිරීම "සම්පූර්ණයෙන්ම වැරදි" බවයි, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ. මේ තත්ත්වය වෙනස් කිරීම පිණිස තමන් මේ දිනවල බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇය පවසන්නීය. "අපි ඒ සඳහා වාහන විසිපහක් ඉල්ලල තියෙනව. අඩුම ගානේ පළාත් නමයට වාහන නමයක්. හරි විදියට නම් දිස්ත්‍රික්කෙකට එක ගානේ ලැබෙන්න ඕනේ. ඉදිරි අවුරුද්ද ඇතුලත මේ තත්ත්වය වෙනස් කරන්න අපි පියවර ගන්නවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය. ගතව ගිය මාර්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකාවෙන් ළමා අපයෝජන සිදුවීම් 127 ක් වාර්තා වී තිබෙන බවයි, ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කරන්නේ. එයින් අඩක්ම ලිංගික අපයෝජනයන්. කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන ඉහල යාමේ ප්‍රවණතාවයක් නොවන බව පවසන සභාපතිනි අනෝමා දිසානායක, සිදු වී තිබෙන්නේ ළමා අපයෝජන පිළිබඳව වෙනදාට වැඩි අවධානයක් යොමුවීම බව ද ප්‍රකාශ කරන්නීය.
අතුරුදහන් වූ සිය ඥාතීන් රඳවාගෙන සිටින ස්ථානයක් නොදන්නා නමුත් ඔවුන් පැහැරගෙන ගිය පුද්ගලයින්ගේ නම් ගම් ඇතුළු අනෙකුත් විස්තර තමන් සතුව තිබෙන බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති.
ත්‍රිකුණාමල මවුවරුන්ගේ සංවිධානයේ සභාපතිනි සෙබස්තියන් දේවී ඒ බව සඳහන් කළේ අතුරුදන් වූ සිය ඥාතීන් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා (මැයි 20) කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාරය පළ කරමිනි. යුද සමයේ අතුරුදහන් වූවන් රඳවාගෙන සිටින ස්ථානයක් සම්බන්ධව තොරතුරුක් හෙළි කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා සාම්පූර් හිදී ජනහමුවක් අමතමින් සඳහන් කළේය. 'අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක්' සාම්පූර් නව දිසා රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනපතිවරයා, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙතෙක් රැස්කර ඇති වාර්තා සැළකිල්ලට ගෙන කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ද සඳහන් කළේය. "අපේ ඥාතීන් පැහැරගෙන ගිය බොහෝ දෙනෙකුගේ නම් අපි හෙලි කළා. රුපියල් කෝටියකට වඩා උන් අපෙන් කප්පම් ගත්තා" - සෙබස්තියන් දේවී "2015 දී මම යාපනේ හින්දු විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් සමග ඡායාරූපයකට පෙනී සිටියා. එම ඡායාරූපය අන්තර් ජාලයට මුදාහැර තිබුනේ සිසුන් අතුරුදන්ව ඇති බව සඳහන් කරමින්," ජනාධිපතිවරයා පැවසීය. "මේක දේශපාළන අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක්. අතුරුදහන් වූවන් සොයා ගැනීමට මම හැම විටම සහයෝගය දෙනවා." එසේ සිය ඥාතීන් අතුරුදහන් කළ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු තමන් සතුව තිබෙන බව ඔවුන් සොයමින් වසර නමයක් මුළුල්ලේ අරගලයක නිරතව සිටින සෙබස්තියන් දේවී ඇතුළු ඥාතීහු පවසති. "මගේ පුතාගේ නම සෙබස්තියන් රේගන්. 2008 මාර්තු 19 වෙනිදා පිල්ලෙයාන්ගේ කල්ලියේ නාදන් හා නගුලේස් කියන දෙන්නා එයා පැහැරගෙන ගියා," සෙබස්තියන් දේවී බීබීසී සිංහල සේවයට පැවසීය. "ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ඉඳන් නාදන් මට කෝල් එකක් දුන්නා රුපියල් ලක්ෂයක් දුන්නොත් පුතා නිදහස් කරනවා කියලා. පස්සේ මම රුපියල් ලක්ෂයක් නාදන්ගේ අතටම දුන්නා. නමුත් පුතා නිදහස් කළේ නෑ," ඇය කියා සිටියාය. "2015 දී මම යාපනේ හින්දු විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් සමග ඡායාරූපයකට පෙනී සිටියා. එම ඡායාරූපය අන්තර් ජාලයට මුදාහැර තිබුනේ සිසුන් අතුරුදන්ව ඇති බව සඳහන් කරමින්. මේක දේශපාළන අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක්" "නාදන් දැනටත් මට මුණ ගැහෙනවා. මම මේ තොරතුරු සංහිඳියා යාන්ත්‍රණයේ නිළධාරීන්ටත් ලබා දුන්නා," මවුවරුන්ගේ සංගමයේ සභාපතිනි සෙබස්තියන් දේවී පවසන්නීය. බැගෑපත් ඉල්ලීමක් අතුරුදහන් වූවන් සම්බන්ධ කාර්යාලය (OMP) ඉතා ඉක්මනින් පිහිටුවීම ඇතුළු නිර්දේශ ගණනාවක් සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරන කාර්ය සාධක බලකාය ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් එම නිර්දේශ පිළිපැදීමට තමන් බැඳී නොසිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය. පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනත ප්‍රකාර OMP කාර්යාලය පිහිටුවන මෙන් යුරෝපා සංගමය, ගැටුම් නිරාකරණය පිළිබඳ ජාත්‍යන්තර කණ්ඩායම (ICG) ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ද ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කළේ ඒ අතරවාරයේය. "අපේ සමිතියේ අම්මලා හැත්තෑ අට දෙනෙක් සිටියා. පහළොස් දෙනෙක් මේ වන විට මිය ගිහින්" OMP කාර්යාලය සම්බන්ධ පනත සම්මත වී තිබියදී, එම කාර්යාලය නොපිහිටුවා අලුත් කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාවය කවරක් දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් ප්‍රශ්න කර තිබුණි. බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දැක්වූ සෙබස්තියන් දේවී: "අපේ සමිතියේ අම්මලා හැත්තෑ අට දෙනෙක් සිටියා. පහළොස් දෙනෙක් මේ වන විට මිය ගිහින්," යනුවෙන් සිය අරගලයේ ඉතිහාසය සිහිපත් කළාය. "අතුරුදන් වූවන් වෙනුවෙන් ලංකාවේ තිබුණු සෑම උද්ඝෝෂණයකටම මම සහභාගි වුනා. අපේ ඥාතීන් පැහැරගෙන ගිය බොහෝ දෙනෙකුගේ නම් අපි ඒ තැන්වලදී හෙලි කළා. රුපියල් කෝටියකට වඩා උන් අපෙන් කප්පම් ගත්තා. අපි ජනාධිපතිතුමාට කියන්නේ තවමත් යහතින් ජීවත්වෙන මේ මිනීමරු කප්පම් කාරයෝ අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන්න කියලයි," ඇය බැගෑපත් ඉල්ලීමක් කරන්නීය.
බංගලාදේශයේ හැත්තෑ හැවිරිදි හින්දු පූජකයකු ඝාතනයට ලක් වී ඇති බව එරට පොලිසිය පවසයි.
ඩකා අගනුවර විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගේ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන පිරිසක් සිරුරෙන් වෙන් වීමට ආසන්න වන තරමට ඔහුගේ ගෙල කපා දමා ඇති අතර එම මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි කුඹුරක තිබී සොයා ගෙන ඇත. හින්දු, ක්‍රිස්තියානි, අනාගමික ක්‍රියාධරයන් සහ සුළුතර ප්‍රජාවන් ඉලක්ක කොට ගනිමින් සිදු කරන ලද ප්‍රහාර මාලාවක් මෑත කාලය තුළ බංගලාදේශයෙන් වාර්තා විය. ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් එම ප්‍රහාර සිදු කරන ලද බවට සැක කෙරේ. මේ අතර ඉස්ලාමීය කැරලිකරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු ස්ථාන දෙකකදී වෙඩි තබා ඝාතනය කෙරුණු බව බංගලාදේශ පොලිසිය පවසයි. වෙඩි තැබීම් ඩකා අගනුවර සිදු කළ පොලිස් වැටලීමක් අතරතුර සැකකරුවන් දෙදෙනකු ඝාතනය කොට තිබේ. ඉහත කී සැකකරුවන් දෙදෙනා බංගලාදේශය තුළ තහනම් සංවිධානයක් වන 'ජමාතුල් මුජහිදීන්' සන්නද්ධ කණ්ඩායමේ ඉහළ පෙළ සාමාජිකයන් බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයේ තිබී ගිනි අවියක්, පතොරම් සහ බෝම්බයක් හමු වූ බවත් පොලිසිය කියා සිටියේය. බංගලාදේශයේ වයඹ දිග පිහිටි රාජ්ශාහි ප්‍රදේශයේදී අනෙක් සැකකරු ඝාතනයට ලක් වී තිබෙන අතර ඔහු 'ජමාතුල් මුජහිදීන්' සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයකු බවට සැක කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ. මාස කීපයකට ඉහතදී පල්ලියකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකට ඔහු සම්බන්ධ බවටත් සැක කෙරේ.
පන්දුවට පහර දීමේදී සහ පන්දු රැකීමේදී සිය කණ්ඩායම අතින් සිදු වූ වැරදි පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ අද (මාර්තු 19) බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලද පරාජය පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. ඉදිරියේදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කණ්ඩායමක් වශයෙන් මහන්සි වී පුහුණුවීම්වල යෙදිය යුතු බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් වැඩිදුරටත් සඳහන් කළේය. පන්දු රැකීමේ දුබලතා මේ අතර ටෙස්ට් තරගයක කාසියේ වාසිය දිනා ගැනීම ජයග්‍රහණය සඳහා බලපාන ප්‍රධාන සාධකයක් බව කී ක්‍රිකට් ක්‍රීඩා වාර්තාකරු දමින්ද විජේසූරිය කාසියේ වාසිය දිනා ගනු ලැබුවත් පළමු ඉනිම තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 338 ක් පමණක් බවය. "ඒත් බංග්ලාදේශ කණ්ඩායම පසු පස හඹා ඇවිත් අපේ ලකුණු සංඛ්‍යාව පසු කර ගෙන ගිහින් ලකුණු 129 ක මුල් ඉනිමේ වාසියක් ලබා ගත්තා. ඒ වාසිය තමයි බංග්ලාදේශ කණ්ඩායමේ තරග දිනීමට පසුබිම වුනේ" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. පසුගිය කාලය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල තත්වයක පවතින බව පෙනී යන බව පෙන්වා දුන් ඔහු " ඒ පිළිබඳ කාටවත් දොස් කියන්න බැහැ. ඒකෙ වගකීම ක්‍රීඩකයන් අර ගන්න ඕන. මොකද තමන්ට පුද්ගලිකව උනන්දුවක් තිබෙනවා නම් ඕනෑම ක්‍රීඩකයෙකුට හොඳ පන්දු රකින්නෙක් වෙන්න පුළුවන්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.
කාන්තාවන් රැකියාවේ යෙදීම සහ ආර්තවය හෙවත් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඉතා සෝචනීය පුවත් කිහිපයක් ගැන ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.
කාන්තාවන්ගේ ආර්තවය වර්තමානයේදී පවා ඉන්දියාව තුළ ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකාවකි. මාසික ශුද්ධිය පවතින කාලය ඇතුළත කාන්තාවන් අපිරිසිදු යැයි සැලකෙන අතර, ආගමික සහ සමාජීය ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට අවසර නොදෙයි. මෑතකදී හෙළිවූ වාර්තා දෙකකින් කියවුණේ, ආර්තවය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඇති වැරදි ආකල්ප තවදුරටත් පවතින බවය. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත්, අධ්‍යාපනයක් නොලද කාන්තාවන් බොහෝ දෙනෙකුට සිය සෞඛ්‍ය තත්ත්වයට දීර්ඝ කාලීනව බලාපාන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වීමට බලපෑම් කෙරෙන බවය. ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තරුණියන් දහස් ගණනක් පසුගිය වසර තුන ඇතුළත සිය ගර්භාෂය ඉවත් කර ගැනීමේ සැත්කම්වලට ලක්වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සැත්කමට ලක්වූවන්ගෙන් බොහෝ දෙනා උක් කැපීමේ රැකියාවේ නිරත වූ කාන්තාවෝ වූහ. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් දහස් ගණනක පිරිසක් සෑම වසරකදී ම බීඩ්, ඔස්මානාබාද්, සංග්ලි සහ සොලාපූර් යන ප්‍රදේශවල සිට ප්‍රාන්තය තුළ වැඩි රැකියා අවස්ථා ඇති බටහිර ප්‍රදේශවලට පැමිණෙනු දැකිය හැකිය. එම ප්‍රදේශ හඳුන්වන්නේ "සීනි තීරය" නමින් වන අතර එහි පිහිටි උක් යායවල මාස හයක කාලයක් "උක් කපන්නන්" ලෙස රැකියාවේ යෙදෙති. රැකියාවට ගිය පසු අතිශය කෑදර සේවා කොන්ත්‍රාත්කරුවන්ගේ පාලනයට යටත් වන අතර, සෑම ආකාරයකින් ම ඔවුහු සූරා කෑමට ලක් වෙති. උක් කැපීම ඉතා බරපතළ කාර්යයක් බැවින් ඊට කාන්තාවන් බඳවා ගැනීමට කොන්ත්‍රාත්කරුවෝ මුලදී මැලි වූහ. මාසික ශුද්ධිය අතරේදී කාන්තාවන්ට දිනක් හෝ දෙකක් රැකියාවට ඒමට නොහැකි වේ. එසේ වූ විට ඔවුහු දඩ මුදලකට ද යටත් කෙරෙති. එම වගාබිම් පුද්ගලයන්ට දිවි ගෙවීමට සුදුසු මට්ටමක නොපවතී. සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ අය වගාබිම්වලට ආසන්නයේ පිහිටා ඇති කූඩාරම්වල දිවි ගෙවන අතර, වැසිකිළි පහසුකම් ද නොමැත. එමෙන් ම, සමහර අවස්ථාවලදී රාත්‍රී කාලයේදී පවා අස්වැන්න නෙළන අතර, නිදා ගැනීමට හෝ අවදි වීමට නියමිත කාලයක් නොමැත. ඒ අතර, මාසික ශුද්ධිය කාලය අතරතුර කාන්තාවන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ. අපිරිසිදු බව නිසා කාන්තාවන්ට බොහෝ ලෙඩ රෝගවලට ද මුහුණ දීමට සිදු වේ. රෝගවලට ප්‍රතිකාර කරන, ආචාරධර්මවලට පටහැනි වෛද්‍යවරුන්, ඖෂධවලින් පාලනය කළ හැකි මට්ටමේ නාරි සහ ප්‍රසව රෝගවලට පවා අනවශ්‍ය සැත්කම් කිරීමට අදාළ කාන්තාවන් පොළඹවන බව ක්‍රියාකාරීහු පවසති. සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ අය වගාබිම්වලට ආසන්නයේ පිහිටා ඇති කූඩාරම්වල දිවි ගෙවන අතර, වැසිකිළි පහසුකම් නොමැත රැකියාවේ නිරත කාන්තාවන් අතරින් බොහෝ දෙනා ඉතා තරුණ අවධියේ විවාහ වූ අය වන අතර ඉනුත් බොහොමයක් වයස විසිගණන්වල මැද භාගය වන විට දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු ලබා සිටියහ. ගර්භාෂ ඉවත් කිරීමෙන් ඇති විය හැකි විපාක ගැන වෛද්‍යවරුන් ඔවුන් දැනුවත් කර නොමැති නිසා, එය සුදුසු ක්‍රියාවක් ලෙස ඔවුහු සලකති. මේ හේතුව නිසා ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් "ගර්භාෂ නොමැති කාන්තාවන්ගේ ගම්" බවට පත් වී තිබේ. ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරියක වන නීලම් ගොර්හේ මෙම ගැටලුව පසුගිය මස ප්‍රාන්ත සභා රැස්වීමට ඉදිරිපත් කළ විට, මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති එක්නාත් ෂින්දේ පැවසුවේ වසර තුනක් ඇතුළත 'බීඩ්' දිස්ත්‍රික්කයේ පමණක් ගර්භාෂ ඉවත් කිරීමේ සැත්කම් 4,605ක් සිදු කර ඇති බවය. නමුත්, සැත්කම්වලට භාජනය වූ සියලු කාන්තාවන් උක් වගාබිම්වල රැකියාවේ යෙදෙන අය නොවන බව ද ඔහු පැවසීය. මේ අතරින් සිදුවීම් කිහිපයක් ගැන පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. බීඩ් දිස්ත්‍රික්කයේ ගම්මානයක් වන 'වන්ජාවාඩි' ගම්මානයේ සංචාරය කළ බීබීසී මරාති සේවයේ ප්‍රජාක්තා ධුලාප් පැවසුවේ, සෑම වසරක ම ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලයේ ගම්මානයේ පදිංචිකරුවන්ගෙන් 80%ක් පමණ උක් වගාබිම්වල රැකියාව සඳහා සංක්‍රමණය වන බවය. එම ගම්මානයේ කාන්තාවන්ගෙන් අඩක් ගර්භාෂය ඉවත් කර ඇති බව ඇය වාර්තා කළාය. ඔවුන්ගෙන් වැඩි දෙනා වයස හතළිහට අඩු අතර, අනෙක් අය තවමත් විසි වන විය පසු කරමින් සිටිති. ඇයට හමු වූ කාන්තාවන් බොහෝ දෙනෙකු සැත්කම සිදු කිරීමෙන් පසු තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ බව පවසා තිබිණි. "මගේ බෙල්ල, කොන්ද සහ දණහිස් නිතර රිදෙනවා" එක් කාන්තාවක් පැවසූ අතර, ඇය උදෑසන නින්දෙන් අවදි වන විට "දෑත්, මුහුණ සහ යටි පතුල් ඉදිමී" තිබෙනු දකින බව ද පවසුවාය. තවත් කාන්තාවක් පැවසුවේ ඇයට නිතර "ක්ලාන්ත ගතියක්" දැනෙන අතර, කෙටි දුරක් පවා ඇවිද යාමට අපහසු බවය. ඒ අනුව, ඔවුන් දෙදෙනාට ම වගාබිම්වල රැකියාවේ නිරත වීමට නොහැකි වී තිබේ. තමිල්නාඩුවෙන් ද මේ හා සමාන පුවතක් අසන්නට ලැබිණි. එහි ඩොලර් බිලියන ගණනක් වටිනා ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත කාන්තාවන් චෝදනා කරන්නේ මාසික ශුද්ධිය නිසා ඇති වන වේදනාවට නිවාඩුවක් ලබා දීම වෙනුවට තමන්ට ලේබලයක් නොමැති ඖෂධ ලබා දී තිබෙන බවය. ඇඟළුම් කර්මාන්තශාලාවල රැකියාවේ නිරත කාන්තාවන්ට ලේබලයක් නොමැති ඖෂධ ලබා දී තිබෙන බව වාර්තා වේ එවැනි කාන්තාවන් 100 දෙනෙකු පමණ සමග කළ සාකච්ඡා පදනම්ව, තොම්සන් රොයිටර්ස් පදනම මේ බව හෙළි කර තිබේ. දුගී පවුල්වල කාන්තාවන් වූ ඔවුන් සියලු දෙනා ම පවසා ඇත්තේ මාසික ශුද්ධියේ වේදනාව මත තමන්ට දෛනික වැටුප අහිමි කර ගත නොහැකි බවය. තමන්ට යම් ඖෂධයක් ලැබුණු බව කී ඔවුන්ගෙන් අඩක් ම පවසා ඇත්තේ මේ ඖෂධ හේතුවෙන් තමන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑ බවකි. ඔවුන් බොහෝ දෙනෙකුට ඖෂධවල නම් හෝ ඒවායේ අතුරු ප්‍රතිඵල ගැන අනතුරු ඇඟවීම් කර නොමැත. මානසික ආතතිය, කාංසාව, මුත්‍රා මාර්ගයේ ආසාදන, ගර්භාෂයේ ගෙඩි මෙන් ම ගබ්සා වීම ඇතුළු සෞඛ්‍ය ගැටලු බොහොමයකට මෙම පෙති වර්ග හේතු වන බවට ඔවුහු චෝදනා කරති. මේ තොරතුරුද කියවන්න: මෙම වාර්තාව නිකුත් වීමත් සමග වගකිව යුතු නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කාන්තාවන්ගේ තත්ත්වය "ඉතා අභාග්‍යසම්පන්න සහ දුක්ඛිත" බව ජාතික කාන්තා කොමිසම දන්වා තිබෙන අතර, ඉදිරියේදී මෙවැනි දේ සිදු වීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රාන්ත රජයෙන් ඉල්ලා තිබේ. තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ද ඇඟළුම් සේවකයන්ගේ සෞඛ්‍ය ගැන සොයා බලන බව පවසා ඇත. ලෝකය පුරා රැකියා සඳහා කාන්තා දායකත්වය වැඩි කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අවදියක මෙම වාර්තාව නිකුත් වී තිබේ. ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් "ගර්භාෂ නොමැති කාන්තාවන්ගේ ගම්" බවට පත් වී තිබේ 2005-06 වසරවල 36%ක් ලෙස තිබූ රැකියාවේ නිරත ඉන්දියානු කාන්තාවන්ගේ ප්‍රතිශතය 2015-16 වසරවල 25.8% දක්වා පහත වැටී තිබේ. කාන්තාවන් මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය මෙයට හේතුව බව වටහා ගැනීමට අපහසු නොවේ. ඉන්දුනීසියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු තවත් රටවල් කිහිපයක කාන්තාවන්ගේ මාසික ශුද්ධිය කාලය තුළ නිවාඩුවක් ලබා දීමට ක්‍රියා කරති. බොහෝ පෞද්ගලික ආයතන ද කාන්තාවන්ට මේ හා සමාන සහනයක් ලබා දෙන්නේය. "ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව සේවිකාවන්ට සෑම මාසයක ම මාසික ශුද්ධිය කාලයේදී අමතර දවස් දෙකක් නිවාඩු දෙනවා. මේ ක්‍රමය 1992 ඉදන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා," යැයි ඉන්දියානු ආණ්ඩුවේ සමාජ ප්‍රතිපත්ති විශේෂඥවරියක වන ඌර්වශී ප්‍රසාද් පැවසීය. මේ අතර, සෑම කාන්තාවකට ම මාසික ශුද්ධිය කාලය අතරතුර දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බව සඳහන් කරමින් පසුගිය වසරේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරියක කටයුතු කළාය. තවත් තොරතුරු:
ජපානයේ වාර්ෂිකව කෙරෙන තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට දරන උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ජපාන අගමැති ශින්සෝ අබේ පවසයි.
තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව ජපාන අගමැති පවසයි එක්දහස් නවසිය අසූ හය වසරේ තල්මසුන් දඩයමට එරෙහිව අන්තර්ජාතික තහනමක් පැනවූ නමුත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් තල්මසුන් මැරීමට අවසර දී තිබුණි. එම අවසරය අන්තර්ජාතික නීතියෙන් ගැලවීමේ උපාය මාර්ගයක් ලෙසට යොදා ගනිමින් ජපානය නොනවත්වා තල්මසුන් දඩයමේ යෙදී සිටියි. ජපානය තුළ සිදු කරන තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා නොවන බව හා එය සැඟවී කරන නීති විරෝධී තල්මසුන් වෙළදාමක් බව අන්තර්ජාතික අධිකරණය පැවසීමත් සමග මේ වසරේ දී තල්මසුන් දඩයම නැවැත්වීමට ජපානයට සිදු විය. ජපාන අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ තල්මසුන් දඩයම පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීමට ඔහු උත්සහ කරන බවයි. තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව ජපාන අගමැති ශින්සෝ අබේ වැඩි දුරටත් කියා සිටියි.
ජාතික බල සේනා සංවිධානයේ නායක, මහියංගනය ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බදාදා දහවල් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
විජිත හිමියන් වැටී සිටියදී සොයාගත් ස්ථානය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වටරැක විජිත හිමියන් සුවය ලබා පිටව යන අවස්ථාවේදීයි, එහිමියන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ. තමන්ට ‍පිරිසක් පහරදී තුවාල සිදු කළ බවට පොලීසිය නොමඟ යැවීමේ චෝදනාව මත විජිත හිමියන්ට ‍එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පසුගිය ඉරිදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය. පානදුර හිරණ පාලම ආසන්නයේ ඉකුත්දා තුවාල සහිතව බිම වැටී සිටියදී හමුවූ විජිත හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණ. එහිමියන් බදාදා සවස පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ නීතිඥ ලක්ෂාන් ඩයස් බීබීසී සංදේශයට පැවසීය. 'පිළිගන්න බෑ' වටරැක විජිත හිමියන්ට එල්ල කරන චෝදනා අසත්‍ය බවද එහිමියන්ගේ නීතිවේදියා පවසයි. නිසි ආරක්ෂාවක් නොමැති වීම, ලබා දුන් ආරක්ෂාව ඉවත් කිරීම, තර්ජන හේතුවෙන් ප්‍රාදේශීය සභා රැස්වීම් දෙකකටම සහභාගි වීමට නොහැකි වීම සහ බොදු බල සේනා සංවිධානයෙන් දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන් එහිමියන් දැඩි මානසික පීඩනයකට මුහුණ දෙමින් සිටින බව නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි එහිමියන්ගේ සමීප දායකයෙක් සංදේශයට කියා සිටියේය. එමෙන්ම තමන් වෙනුවෙන් පෙනී සිටීම පිණිස නීතිවේදීන්ට ගෙවීම පිණිස පවා එහිමියන් අත කිසිදු මුදලක් නැති බවත් එම දායකයා පැවසීය. විශේෂයෙන්ම අත් අඩංගුවේ දී මියයන සැකකරුවන් සහ 'ආයුධ පෙන්වා දීමට ගොස් වෙඩි ප්‍රහාරවලට ලක්වන' සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වරින් වර කරන ප්‍රකාශ හමුවේ එහිමියන් තමන් විසින්ම තුවාල සිදු කර ගත් බවට කරන ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ස්වභාව ධර්මයේ පැවැත්මට බරපතල හානියක්ව ඇති ප්ලාස්ටික් ආහාරයට ගනු ලබන බැක්ටීරියාවක අන්තර්ගත 'එන්සයිමයක්' තව දුරටත් වර්ධනය කරමින් ප්ලාස්ටික් දිරාපත් කරවීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.
බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ 'PET' ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයක් වන අතර, එය දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වේ. විද්‍යාඥයන් විසින් තව දුරටත් වර්ධනය කරමින් සිටින ඉහත කී එන්සයිමය 'PETase' යනුවෙන් නම්කර ඇති අතර, එය ක්‍රියාත්මක වී දින කීපයක් ඇතුළත ප්ලාස්ටික් දිරාපත් වීම ආරම්භ වනු ඇත. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම එන්සයිමය උපකාරී වන අතර, එමගින් ඒවා නැවත භාවිතා කිරීම වඩාත් එලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. කුණු ගොඩක සැඟවී තිබුණ 'එන්සයිමය' PET වර්ගයේ ප්ලාස්ටික් දිරාපත්වීම සදහා උපකාරී වන මෙම එන්සයිමය සෑදෙන්නේ ප්ලාස්ටික් "ආහාරයට ගන්නා" බැක්ටීරියාවකින් වන අතර, එය පළමු වරට හඳුනා ගනු ලැබ තිබෙන්නේ ජපානයෙහිය. 'Ideonella sakaiensis' ජපන් ආයතනය තම ප්‍රධාන බලශක්තිය ලෙස ප්ලාස්ටික් භාවිතා කරයි. ඔවුන්ට අයත් ස්ථානයක, ප්‍රතිචක්‍රීකරණය සදහා ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් බෝතල්වල තැවරුණ රොන් මඩවල තිබී 'PETase' එන්සයිමය අන්තර්ගත බැක්ටීරියාව සොයාගත් බව 2016 වසරේ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක දැක්වෙයි. බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ PET ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයකි පසුගිය අවුරුදු පනහ තුළ "PET ප්ලාස්ටික් භාවිතය විශාල වශයෙන් වැඩි විය. මිනිසුන් විසින් නිෂ්පාදනය කළ ද්‍රව්‍යයක් ආහාරයට ගන්නා බැක්ටීරියාවක් වර්ධනය වීමට මෙම කාලය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ" වර්තමාන පරීක්ෂණවලට සම්බන්ධ මහාචාර්ය ජෝන් මැක්ගීහන් පවසයි. මේ තොරතුරුද දැනගන්න: PET අයත් වන ප්ලාස්ටික් කුලය පොලියෙස්ටර්, නැතහොත් 'පොලිතිලීන් ටෙරෙෆ්තාලේට්' ලෙස හඳුන්වන අතර, එයත් ස්වභාවික පරිසරයේ නිපදවෙන ද්‍රව්‍යයකි. 'පොලියෙස්ටර්' මගින් ගස්වල කොළ ආරක්ෂා කෙරෙනවා. අවුරුදු දශ ලක්ෂ ගණනක් එම බැක්ටීරියාව වර්ධනය වෙමින් පවතින්නේ ඒවා ආහාරයට ගන්න" යැයි පෝට්ස්මත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයෙක් පැවසීය. නමුත් PETase එන්සයිමය PET ප්ලාස්ටික් ආහාරයට ගැනීම ආරම්භ කර ඇත්තේ "නොසිතූ වෙලාවක" වන අතර, එම ආහාර ජීර්ණය වීමට හේතුවන එන්සයිමයේ පරිණාමය පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සූදානමින් සිටිති. ප්ලාස්ටික් ආහාරයට ගැනීම ඉතා බලගතු 'එක්ස් රේ' කිරණ යොදා ගෙන එන්සයිමයේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය කිරීමට පරීක්ෂකයන් කණ්ඩායම සමත් විය. PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර විය PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර වෙයි. එහි පිටත පිහිටි සමහර කොටස් නැවත සකස් කිරීම තුළින් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය වැඩි කළ හැකි බව විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. බීබීසී විද්‍යා අංශයේ සංස්කාරක ඩේවිඩ් ෂුක්මන්ගේ විශ්ලේෂණය "පෝට්ස්මත් විශ්ව විද්‍යාලයට සම්බන්ධ එම පරීක්ෂණ කණ්ඩායමට ආචාර්ය උපාධිය සඳහා හදාරන සිසුන් මෙන්ම සාමාන්‍ය උපාධි අපේක්ෂකයන්ද ඇතුළත් වෙයි. අදාළ පරීක්ෂණ පිළිබඳව කණ්ඩායම තුළ තිබූ අති මහත් උනන්දුව ඔවුන් හමු වීමට විද්‍යාගාරයට ගිය අවස්ථාවේ මම දුටුවෙමි" ඩේවිඩ් ෂුක්මන් පහත දැක්වෙන සටහනද ලියා තබයි. "දශ ලක්ෂ ගණනක් ප්ලාස්ටික් බෝතල් දිරාපත් කිරීමේ ක්‍රියාවලියට සහය දෙන එන්සයිමයක් නිර්මාණය කිරීම අති විශිෂ්ට කර්තව්‍යයක් බව ඔවුහු දැන සිටියහ. තමන් හැදී වැඩෙන්නේ ප්ලාස්ටික් භාවිතය ලෝකයටම තර්ජනයක් වී ඇති කාලයක වන හෙයින් මෙම සොයා ගැනීම පිළිබඳව ඔවුන් දැඩි ලෙස උනන්දු වන බව පෙනී යයි. කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය ලෝකයට හඳුන්වා දීම විශාල අභියෝගයකි. අවම මුදලක් වැය කර PETase එන්සයිමය වර්ධනය කර ගැනීම පළමුවෙනි අභියෝගය වන අතර, දෙවනුව එය කර්මාන්තයක් ලෙස වර්ධනය කර ගැනීමට වෙහෙසිය යුතුය. මෙය ඉතා වේගවත් විද්‍යාත්මක ක්‍රියාවලියකි. ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාව දශක ගණනාවක සිට පරිණාමය වෙමින් පවතින අතර ඔවුන්ගේ ආහාර ජීර්ණය වීම සදහා අවශ්‍ය එන්සයිම හඳුනාගැනීමට හැකි වූයේ මෑතකදී වීම විශේෂත්වයකි. නැවත සකසන ලද එන්සයිමවලින් වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. දිරාපත් නොවන ප්ලාස්ටික්වලින් ස්වභාව ධර්මයට වන හානිය නැවැත්වීමට මෙතෙක් සොයමින් සිටි විද්‍යාත්මක පිළිතුර මෙය වනු ඇත" තවත් තොරතුරු: 'එන්සයිම නිපදවීමේ කර්මාන්තයක්' කර්මාන්තශාලාවල 'පොලියෙස්ටර්' නිපදවන්නේ පෙට්‍රෝලියම් භාවිතා කරමින් වන අතර, ප්ලාස්ටික් බෝතල් සහ රෙදි නිෂ්පාදනය කිරීමට ද එම අමුද්‍රව්‍ය භාවිතා කෙරෙයි. PETase එන්සයිමය භාවිතා කිරීම තුළින් 'පොලියෙස්ටර්' නිෂ්පාදනයේ ආපසු හැරවීමක් සිදු වනු ඇත. එන්සයිමයේ ක්‍රියාකාරීත්වයෙන් දිරාපත් කෙරෙන ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් පසු ඒවා නැවත නැවතත් භාවිතා කළ හැකි වීම ඊට හේතුවයි. කෙසේවුවද, වර්ධනය කරන ලද එන්සයිමය කර්මාන්තයක් ලෙස එළි දැක්වීමට තවත් වසර කීපයක් ගත වනු ඇත.
තුන් දින නිල සංචාරයක් ආරම්භ කරමින් චීනයේ නව අගමැති ලී ඛ චි අන්ග් ඉන්දියාවට සම්ප්‍රාප්ත විය.
පසුගිය මාර්තු මාසයේ අගමැති ධුරයට පත් ලී ඛ චී අන්ග් ගේ පළමු නිල සංචාරය මෙයයි. චීන අගමැති වරයා, දිල්ලි අගනුවරදී ඉන්දීය අගමැති මන් මෝහන් සින්ග් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි. මේ මස මුල් භාගයේදී, මතභේදයට තුඩු දී තිබෙන ඉන්දු චීන දේශසීමාවේ හටගත් අර්බුදය නිරාකරණය කරගැනීමට දෙරට සමත් වීමෙන් අනතුරුවයි චීන අගමැති වරයා ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන්නේ. ඉන්දියාවේ නිල සංචාරය නිම කිරීමෙන් පසු චීන අගමැති වරයා පකිස්ථානය, ජර්මනිය සහ ස්විස්ටලන්තය යන රටවලද චාරිකා කිරීමට නියමිතයි.
ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය රග්බි ඇතුළු වෙනත් ක්‍රීඩාවන් වෙනුවෙන් ද යොදා ගැනීමේ කිසිදු වරදක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
'ශ්‍රී ලංකාව වැනි රටක් විවිධ ක්‍රීඩා වෙනුවෙන් සියලුම ක්‍රීඩාංගන යොදා ගත යුතුයි' මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කරන්නේ කාල්ටන් සුපර් සෙවන් රග්බි ශූරතාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීම හේතුවෙන් එහි තණතිල්ල විනාශ වන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් ට්විටර් සමාජ ජාලය මාර්ගයෙන් ඔහුගෙන් විමසීමක් කළ අවස්ථාවේ දී. "ශ්‍රී ලංකාව වැනි රටක් විවිධ ක්‍රීඩා වෙනුවෙන් සියලුම ක්‍රීඩාංගණ යොදා ගත යුතු," බවයි, මන්ත්‍රීවරයා සිය ට්විටර් ප්‍රතිචාරයේ සඳහන් කරන්නේ. 'පුතාලගේ මනදොල සැපිරීම' කාල්ටන් සුපර් සෙවන් රග්බි ශූරතාවලිය සංවිධානය කරනු ලැබුවේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින්. පුතාලගේ මන දොල සැපිරීම සඳහා පවත්වන මෙවැනි තරඟාවලිවලින් විශාල අසාධාරණයක් වෙනවා එහෙත් අනෙක් ක්‍රීඩාවන් සඳහා විවෘත නොවන ගාල්ලේ ක්‍රීඩාංගණය ජනාධිපති පුත්‍රයා විසින් සංවිධානය කරන රග්බි තරඟාවලිය සඳහා පමණක් ලබා දීම 'බලවත් අසාධාරණයක්' බවයි, ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලිය හේතුවෙන් ක්‍රීඩාංගණයට සිදුවන හානිය යථා තත්වයට පත් කිරීමට වැය වන්නේ මහජන මුදල් බව ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සංදේශයට පැවසීය. "තමන්ගේ පුතාලගේ මන දොල සැපිරීම සඳහා පවත්වන මෙවැනි තරඟාවලි වලින් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල අසාධාරණයක් වෙනවා විතරක් නෙවෙයි, රටේ විශාල ධනයක් මේ සඳහා වැය කරන්න වෙනවා," යනුවෙන් ද ඔහු පැවසීය. ඕස්ට්‍රේලියාව වැනි රටවල එකම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් සහ රග්බි තරඟ පැවැත්වෙන නමුත් ඒ සඳහා විශේෂ විධි විධාන සකස් කොට තිබේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් ක්‍රීඩාංගණවල ක්‍රිකට් තරඟ පැවැත්වෙන විට ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද තණතිලි ගෙනැවිත් අතුරන අතර, වෙනත් ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩාංගණය විවෘත කිරීම පිණිස ක්‍රිකට් තරඟය අවසන් වූ විට එම තණතිලි ඉවත් කෙරේ. ඕස්ට්‍රේලියාවේ උදාහරණය එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි තාක්ෂණයක් ක්‍රියාත්මක නොවේ. සුනාමියෙන් විනාශවූ ගාල්ලේ ක්‍රීඩාංගණය යලි ප්‍රතිසංස්කරණය සඳහා අති විශාල මුදලක් වැය වූ අතර, එයට අරමුදල් රැස් කිරීම පිණිස ඉයන් බොතම් සහ ෂේන් වෝන් වැනි ලොව සුපතල ක්‍රීඩකයෝ ද දායක වූහ. ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක්‌ වෙන් කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් සිය ක්‍රීඩා පුහුණුවීම් වලදී දැඩි දුෂ්කර වාතාවරණයකට මුහුණ දීමට පළාතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු විය. සියලු ක්‍රීඩාංගණ, සියලු ක්‍රීඩා සඳහා විවෘත විය යුතු නම්, වෙනත් ක්‍රීඩා සඳහා ද ගාල්ල ක්‍රීඩාංගණය විචෘත වන්නේ දැයි අසාම් අමීන් මතු කළ ප්‍රශ්නයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතිචාරයක් පළ කොට නොතිබිණ.
පසුගිය ඉරිදා චීනයේ යුන්නාන් පළාතේ ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් මියගිය ගණන තුන්සිය අසුවක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් භූමි කම්පාව සිදු වූ ස්ථානයට ලඟා වීමට උත්සාහ දරමින් සිටියි. හදිසි ආපදා කණ්ඩායම් විනාශයට පත් වූ මාර්ග පිළිසකර කිරීමේ යෙදී සිටින අතර දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් අනතුරට ලක් වූ ප්‍රදේශයට ලඟා වීමට නොහැකිව තිබේ. බලධාරීන් පැමිණ ගලවා ගන්නා තුරු දහස් ගණනක ජනතාව සුන්බුන් අතර සිරවී සිටියි. චීන බලධාරීන් විසින් අනතුරින් විපතට පත් වූවන් ගලවා ගැනීමට සහ ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට වැසියන්ගේ සහය ඉල්ලා ඇත. බීබීසී වාර්තා කරු පවසන්නේ ඇති වූ ව්‍යසනයෙන් චීන රජය මහත් කම්පාවට පත්වී ඇති බවයි. දහස් ගණනක් තාවකාලික කූඩාරම් සහ ඇඳන් අනතුර සිදු වූ ප්‍රදේශයට යවා ඇති බවයි පැවසෙන්නේ.
අප්‍රේල් මස 21 වන දින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළ තොරතුරු ඊට පෙර දින හෝ තමන්ට දැනුම් දීමක් කළා නම් එම ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිව තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ප්‍රකාශය කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ බ්‍රහස්පතින්දා (ජූලි 25) සාක්ෂි දෙමිනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයේ කිසිදු රැස්වීමකට තමා නොකැඳවූ බවත් ඔහු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ අනාවරණය කළේය. "රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ප්‍රබල ආයතනයක් කියලා සැලකුවා නම් අපිව කවුන්සිල් එකට කැඳවන්න තිබුණා. අපව ආරක්ෂක කවුන්සිලයට ඇතුළත් කළ යුතුව තිබුණා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා "ඔබ තුමාට ප්‍රහාරය සම්බන්ධයෙන් යම් නියෝගයක් ලැබුණා නම් මොකද කරන්නේ?" යනුවෙන් විමසීමක් කළේය. "අනිවාර්යයෙන් ම අපට හුඟක් දේවල් කරන්න තිබුණා. (බෝම්බකරුවන්) හය දෙනා ගැන විස්තර අපට දුන්නා නම් ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වළක්වන්න තිබුණා. ඔවුන් පසුපස හඹා යන බව ඔවුන් දැනගත්තා නම් ඒ ගොල්ලෝ ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරන්නේ නැහැ." එම අදාළ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් නොකළේ කුමක් නිසාදැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ "මට හිතාගන්න බෑ" යනුවෙනි. "මේ ප්‍රහාරය ගැන ප්‍රබල පුද්ගලයන් දැනගෙන හිටියා. හැබැයි මට කිසි ම දැනුම් දීමක් කළේ නැහැ. එහෙම කළේ නැත්තේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. එහෙම දැනුවත් කළා නම් හෝටල්, පල්ලි වෙනුවෙන් ආරක්ෂක සැලසුමක් වහා ම ක්‍රියාත්මක කරන්න තිබුණා. සෝදිසි කිරීම් කරන්න තිබුණා. සිද්ධිය වුණාට පස්සේ තොරතුරු ගලාගෙන ආවා. විසි වෙනිදා (20) ලැබුණ තොරතුරුවත් මට කිව්වේ නැහැ. මට තියෙන ප්‍රශ්නය තමයි, ඇයි ඒවා මට කළින් නොකිව්වේ කියන එක," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පිළිතුර විය. අප්‍රේල් නව වනදා තමන්ට ලැබුණු ලිපියක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්කයක් බවට නිශ්චිතව සඳහන්ව තිබූ බැවින් අප්‍රේල් 10 වනදා ම එයට ආරක්ෂාව යෙදවූ බව ඔහු පැවසීය. "ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට මම ආරක්ෂාව දැම්මා. හේතුව තමයි ලියුමේ ඒ ගැන විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. පල්ලි ගැන සඳහන් කරල තිබුණේ 'ඉම්පෝටන්ට් චර්චස්' කියලා. නිශ්චිතව ලියලා තිබුණේ නැහැ." විශේෂ කාර්ය බළකායේ වැඩිදෙනෙක් ප්‍රභූන්ගේ ආරක්ෂාවට මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද විශේෂ කරුණු අනාවරණය විය. කොළඹ සිටින විශේෂ කාර්ය බළකා සාමාජිකයින් 3137 දෙනාගෙන් 2245 දෙනෙකු ම යොදවා ඇත්තේ, ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ හෙළිවිණි. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පොරොත්තු රාජකාරිවල යෙදී සිටින හෙයින් අවශ්‍යතාවකදී ඔවුන් සේවයේ යෙදවිය හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පැවසීය. එම අවස්ථාවේ අමාත්‍ය සරත් ෆොන්සේකා විමසා සිටියේ, ප්‍රභූ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරන විශේෂ කාර්ය බළකා සාමාජිකයන් 2245 දෙනාගෙන් 99%ක් පුද්ගලයින් තුන් දෙනෙකුගේ ආරක්ෂාවට යොදවා තිබෙනවා නේද? යනුවෙනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා එය පිළිගත්තේය. "දියුණු රටවල නම් නායකයන් ආරක්ෂා කරන්න රටේ තියෙන සියලු සම්පත් යොදවන්නේ නෑ. ඇමෙරිකාවේ පවා මෙතරම් ආරක්ෂාවක් දෙන්නේ නෑ. පිරිහිච්ච රටවල තමයි නායකයෝ ආරක්ෂා කරන්න රටේ තියෙන සියලු සම්පත් යොදවන්නේ," අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසීය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විමසීමක් කරමින් "මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාස්කු ප්‍රහාරය අතර යම් සම්බන්ධයක් පවතින බවක් පෙනී ගොස් තිබේදැයි" ප්‍රශ්න කළේය. "එහෙම සම්බන්ධයක් ගැන නම් තොරතුරු ලැබිලා නැහැ. ඒත් අප්‍රේල් 23 වෙනි දා ඊබ්‍රාහිම්ලාගේ 'මහවිල ගාඩ්න්ස්' වටලෑමේ දී ඔහුගේ සොහොයුරෙක් අත්අඩංගුවට ගත්තා. ඒ, හෙරොයින් සහ ඩිජිටල් තරාදියක් එක්ක. ඩිජිටල් තරාදි තියෙන්නේ ජාවාරම්කාරයන් ළඟ. ඒ ඇරෙන්න ඊබ්‍රාහිම්ගේ ඥාති සොහොයුරෙක් අත්අඩංගුවට ගත්තා - ටෙමඩෝල් පෙති තොගයක් එක්ක. මත්ද්‍රව්‍ය වැටලීම් නිසා ප්‍රහාරයක් ආව බවට වාර්තා වෙලා නෑ."
ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවකට බල පෑ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් ලක්ෂ හතරකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අවතැන් වූ 319, 507 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 602 ක තාවකාලිකව රඳවා සිටින බව බලධාරීහු පවසති අයහපත් කාලගුණය නිසා 64 දෙනකුවත් මරුමුවට පත්ව ඇති අතර 29 දෙනකු තුවාල ලබා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ. තවත් 131 දෙනකු අතුරුදහන්ව සිටින අතර නිවාස 354 ක් විනාශ වී තිබේ. 'ඉවත් වෙන්න' අරණායක නාය යාමෙන් අනතුරුව අතුරුදහන්ව සිටින පිරිස අතරින් කිසිවෙකුත් පණපිටින් බේරා ගැනීමේ අපේක්ෂා පහවෙමින් පවතින බවයි බේරාගැනීමේ කටයුතු භාරව සිටින මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට කියා සිටියේ. අවතැන් වූ 319,507 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 602 ක තාවකාලිකව රඳවා සිටින බව පවසන ප්‍රදීප් කොඩිප්පිලි, හදිසි මෙහෙයුම් කටයුතු දිගටම ක්‍රියාත්මක වන බවත් පවසයි. විශේෂයෙන්ම කඳුකරයේ ජනතාව සහ කැළණි ගඟේ පහත් ප්‍රදේශවල සිටින ජනතාව නාය යාමේ ලක්ෂණ සහ ගඟේ ජල මට්ටම පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් විය යුතු බවත් ඔහු අවධාරණය කරයි. "කඳුකරයේ ජනතාව නාය යෑම් ලක්ෂණ දුටු වහාම ඉවත්වීම ඉතාමත්ම සුදුසුයි," ඔහු පැවසීය. බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් තත්වය තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වී නැති අතර, කොළඹ ප්‍රදේශයේ දිගටම කඩින් කඩ වැසි පවතින නමුත් කැළණි ගඟේ ජල මට්ටමේ දැනට විශේෂ වෙනසක් දක්නට නැති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීමක් පිළිබඳව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමාව අයැද සිටියේය.
'ඔබ ප්‍රසිද්ධ තරුවක් නම් ඔබට කාන්තාවන්ට, ඔබ කැමති ඕනෑම දෙයක් කළ හැකියි' යනුවෙන් ට්‍රම්ප් කියා සිටින ආකාරය වීඩියෝ පටයේ දැක්වේ 2005 වසරේ දී ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශයක් කරනු දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමගයි එම පියවර ගත්තේ. 'ඔබ ප්‍රසිද්ධ තරුවක් නම් ඔබට කාන්තාවන්ට, ඔබ කැමති ඕනෑම දෙයක් කළ හැකියි' යනුවෙන් ට්‍රම්ප් කියා සිටින ආකාරය වීඩියෝ පටයේ දැක්වේ. කාන්තා සබඳතා සහ ඔවුන් සිප ගැනීම පිළිබඳව ට්‍රම්ප් පුරසාරම් දොඩන ආකාරයත් වීඩියෝ පටයට ඇතුළත් වෙයි. ඉහත කී ප්‍රකාශය තුළින් තමන් පිළිබඳ නිගමනයකට නොඑන ලෙස රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා ඉල්ලා සිටියි. කාන්තාවන් සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ මුල්පෙළේ නායකයන් විසින් ද හෙළා දකිනු ලැබ ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශන 'ඉතා බියකරු' ඒවා හැටියට විග්‍රහ කරමින් 'මේ පුද්ගලයාට ජනාධිපති පදවියට පත් වීමට ඉඩ දීමට පුළුවන් කමක් නැතැයි' ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පැවසුවාය.
පුරා දශක ගණනාවක් සිනමා ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් ජනප්‍රිය නළු ජැකී චෑන් ඔස්කාර් ගරු සම්මානයකින් පිදුම් ලැබීය.
සිල්වෙස්ටර් ස්ටැලෝන් අතින් සම්මානය ලබාගත් ජැකී චෑන් අට වැනි වියේදී පළමුවරට චිත්‍රපටයක පෙනී සිටි චෑන් සිනමා නිර්මාණ දෙසීයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ. 1995 වසරේදී තිරගත වූ 'Rumble in the Bronx' චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධිය දිනාගත් චෑන් 'Rush Hour' චිත්‍රපට ත්‍රිත්වය 'The Karate Kid' වැනි හොලිවුඩ් නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක විය. "චිත්‍රපට දෙසීයකට වැඩිය නිර්මාණය කරලා අවුරුදු පනස් හයක් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉඳලා අවසානයේ මේ සම්මානය ලැබුණා." හැට දෙහැවිරිදි වියේ පසු වන චෑන් සිය ඔස්කාර් සම්මානය අතැතිව පැවසීය. ජැකී චෑන් සෙසු සම්මාන ලාභීන් සමග හොලිවුඩ් පුරවරයේ පැවති විශේෂ සම්මාන උළෙල ඔස්කාර් පාලක මඩුල්ල විසින් සංවිධානය කරන ලද අතර එහිදී චිත්‍රපට සංස්කාරකවරියක් වන ඈන් වී කෝට්ස්, චරිත අධ්‍යක්ෂක ලින් ස්ටැල්මාස්ටර් සහ වාර්තා චිත්‍රපට නිෂ්පාදකයකු වනෆ්‍රෙඩ්රික් වයිස්මන් යන අය ද සම්මාන ලබා ගත්හ. සිල්වෙස්ටර් ස්ටැලෝන්, ඩෙන්සෙල් වොෂිංටන්, නිකෝල් කිඩ්මන්, රිචර්ඩ් ගියර් ඇතුළු සිනමා තරු රැසක් සම්මාන උළෙලට සහභාගී වී සිටියහ.
හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හීලෑ අලි ඇතුන්ගේ සංගමය විරෝධතා පාගමනක නිරත විය.
පැලවත්තේ සිට වන ජීවී අමාත්‍යාංශය වෙත පැමිණි පා ගමනට අලි ඇතුන් විසි දෙනෙකු පමණ සහභාගී වූ බවයි වාර්තා වන්නේ. වනජීවී අමාත්‍ය විජිතමුණි සොයිසා වෙත සන්දේශයක් භාර දුන් හීලෑ අලි ඇතුන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහා අවශ්‍ය තරම් හීලෑ අලි ඇතුන් හිඟ බැවින් වල් අලි අල්ලා හීලෑ කිරීමට ඉඩ ප්‍රස්තා ලබා දිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය විරිතමුණි සොයිසා කියා සිටියේ පාරම්පරික සම්ප්‍රදායික අලි කරුවන් අතින් මේ වන විට හීලෑ අලි ඇතුන් ගිලිහී යෑම රට තුල හීලෑ අලි ඇතුන් හිඟ වීමට එක් හේතුවක් වී ඇති බවයි. එමෙන්ම ලියාපදිංචි නොකළ හීලෑ අලි ඇතුන් ලේඛණගත කිරීම සඳහා සමා කාලයක් දිය යුතු බවත් ඉන් අනතුරුව එම ලැයිස්තුව ප්‍රසිද්ධ කළ යුතු බවත් තමන්ගේ අදහස බව ප්‍රකාශ කළ ඇමතිවරයා , තම අදහස මෙතෙක් කල් ක්‍රියාත්මක නොවීම නිසා කළු කඩයක් ගොඩ නැගී ඇතැයි කියා සිටියේය. ඒ සම්බන්ධ වගකීම අමාත්‍යංශයේ නිළධාරීන් භාර ගත යුතු බවයි ඇමතිවරයා පවසන්නේ. ලංකාවේ හීලෑ අලි හිඟ වීමට පරිසර සංගම්වල ක්‍රියාකාරීත්වය හේතූ වී ඇතැයි විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි චෝදනා කළහ. මෙම සංවිධාන ශ්‍රී ලංකාවේ උරුමය සමග ගැටීමට ප්‍රයත්න දරන බව පැවසූ සුදත්ත හිමි එවැනි උත්සාහ වැලක්වීමට ඕනෑම පියවරක් ගන්නා බවයි කියා සිටියේ. මේ පිළිබඳව සංදේශයට අදහස් දැක්වූ පරිසර සංරක්ෂණ භාරය කියා සිටියේ පරිසර සංවිධාන වලට චෝදනා කරමින් නීති විරෝධී ලෙස අල්ලා ගෙන ඇති අලි ඇතුන් ලියා පදිංචි කිරීමේ උත්සාහයක හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය නිරත වී සිටින බවයි. එවැනි නීතියට පටහැණි ක්‍රියාමාර්ග වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවද පරිසර සංරක්ෂණ භාරය සඳහන් කළේය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීම ගැන තම පක්ෂය කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.
එජාපය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කළ යුතු බව තමන් රජයට පෙන්වා දුන් නමුත් ඒ පිළිබඳ තැකීමක් නොකළ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කෙරුණ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. අද කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ, ජිනීවා යෝජනාව පරාජය කිරීමට වඩා ආණ්ඩුවට අවශ්‍ය වූයේ එමගින් දේශපාලන වාසි ලබා ගනිමින් මැතිවරණ ජයග්‍රහණ ලබා ගැනීම බවයි. එහෙත් ආණ්ඩුව ලබන මැතිවරණ ජයග්‍රහණ මගින් ජිනීවා යෝජනාවෙන් රටට එල්ල වෙන අහිතකර බලපෑම් වැළැක්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. "මේ වගේ යෝජනාවක් සම්මත වීම නිසා රටට එල්ල වෙන බලපෑම ගැන මේ ආණ්ඩුව තුට්ටුවක් තරම් වත් ගණන් ගන්නේ නැහැ, මැතිවරණ දිනීමෙන් මේ ප්‍රශ්නය අවසන් වෙන්නේ නැහැ, අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා, අපි ආණ්ඩුවට උදව් කරන්න සුදානම්. හැබැයි ආණ්ඩුවේ ගමන් මාර්ගය වෙනස් කරන්න අවශ්‍යයි. මැතිවරණ ජයග්‍රහණය කිරීම විතරද රටක එකම අරමුණ?" ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි. ගමන් මගේ වෙනසක් ජිනීවා යෝජනාවට ඇතුළත් බොහෝ කරුණු ඉටු කරන බවට රජය විසින් විවිධ අවස්ථාවල ජාත්‍යන්තරයට පොරොන්දු දී ඇති බව පවසන මන්ත්‍රීවරයා, 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවට 18 වෙනි සංශෝධනය තුළින් රාජ්‍ය තන්ත්‍රයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල කිරීමේ රජයේ අත්තනෝමතික ක්‍රියා මාර්ගය ශ්‍රී ලංකාවට භයානක තත්වයකට මුහුණ දීමට හේතු වී ඇති බවයි කියා සිටියේ. මේ වන විට අසල්වැසි බොහෝ රටවල් හා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ශ්‍රී ලංකාවෙන් ඈත් වී ඇති බව පෙන්වා දෙන කිරිඇල්ල මන්ත්‍රීවරයා, මෙවර යෝජනාවේ දී ශ්‍රී ලංකාවට ඡන්දය දුන් බොහෝ රටවල ද ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු බවත් සඳහන් කළේය. "අපට ඡන්දය දීපු රටවල් දොළහ ගත්තම, ඉන් කීපයක් හැර අනිත් ආණ්ඩු අපේ ආණ්ඩුව වගේමයි. ඒවායේ සහයෝගය ලැබිල තියෙනවා - වැඩි වැඩියෙන් මේවා කරපල්ල කියල. නමුත් පිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ඇති එක රටක සහයෝගය අපට ලැබිල නැහැ" එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා පැවසීය. ජවිපෙ විග්‍රහය ජිනීවා යෝජනාව පිළිබඳ ව අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ එම පරාජයේ සම්පුර්ණ වගකීම ශ්‍රී ලංකා ආණ්ඩුව බාර ගත යුතු බවයි. යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව දැන් එවැනි යෝජනා වලින් පරදින්නේ ආණ්ඩුව යුද්ධයෙන් පසුව අනුගමනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත නිසා යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. අග විනිසුරුවරිය ඉවත් කර තමන්ගේ හිතවතෙක් එම පදවියට පත් කර ගැනීම, හලාවතදී ධීවරයෙකු ඝාතනය කිරීම, කටුනායකදී කම්කරුවෙකු ඝාතනය කිරීම , රතුපස්වලදී තිදෙනෙකු වෙඩි තබා මර දැමුණ ආකාරය වැනි අපරාධ ගැන මුළු ලෝකයම දන්නා බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා, එවන් ආණ්ඩුවකට ලෝකයේ සහයෝගය හිමි නොවන බවයි කියා සිටියේ. 'යටි අරමුණු' ඇමෙරිකා එක්සත් ජනපදය ඡන්දය හිමි රටවල් වලට බලපෑම් කරමින් ඡන්ද ලබා ගෙන මෙම යෝජනාව සම්මත කර ගත බවයි, මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව සඳහන් කළේ. හම්බන්තොටදී මාධ්‍ය හමුවක් අමතමින් විදේශ අමාත්‍ය ජී.එල්.පිරිස් පැවසුවේ, ජිනීවා යෝජනාවේ යටි අරමුණ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් සිදු කිරීම වන බවයි. "ඒ අය හොඳට දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය හරහා මැතිවරණ හරහා ඒ ප්‍රතිඵලය ලබා ගන්න බැරි බව. ඒ නිසා තමයි, විරුද්ධ පක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක් වී විකල්ප ක්‍රියාමාර්ග හොයන්නේ" ජී.එල්.පිරිස් ඇමතිවරයා පැවසීය. ජිනීවා යෝජනා සම්මතය මගින් ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයක සම්බාධක පැනවීමට නොහැකි බවයි විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඔස්කාර් සම්මානයෙන් ප්‍රථමවරට පිදුම් ලබන්නේ රිදී තිරයට පා තබා දශක දෙකකට වැඩි කාලයකට පසුවයි. ඔස්කාර් සම්මාන සඳහා ඔහුගේ නම මීට ඉහතදී පස් වරක් නිර්දේශ වී ඇත.
88 වන ඇකඩමි සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය සඳහා නම් කෙරුණු ලියනාඩෝ ඩිකැප්‍රියෝ පුංචි තිරයෙන් රිදී තිරයට ඩිකැප්‍රියෝ සිය රංගන දිවිය ආරම්භ කෙරුවේ පුංචි තිරයේ Roseanne සහ The New Lassie ඇතුළු රූපවාහිනී නාට්‍ය මාලා ඔස්සේයි. ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගන දිවියට පා තබන්නේ නව යෞවන වියේදී 1991 වසරේ තිර ගත වූ ත්‍රාසය මුසු විද්‍යාත්මක ප්‍රබන්ධයක් වන Critters 3 චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් සිනමා රංගනයයි. වාර්තා බිඳ දමමින් Titanic චිත්‍රපටයේ කේට් වින්ස්ලට් සමග රඟපෑ ලියනාඩෝ ඩිකැප්‍රියෝ 1997 වසරේදී කේට් වින්ස්ලට් සමග ඔහු රඟපෑ Titanic චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය. ඩොලර් බිලියන 2.19 ක ආදායමක් ඉපයූ Titanic චිත්‍රපටය ලොව වැඩිම ආදායමක් ඉපයූ සිනමා දර්ශකයේ දෙවන ස්ථානයේ පසු වේ. ආදායම් වාර්තා අතින් Titanic චිත්‍රපටය දෙවන වන්නේ ඩොලර් බිලියන 2.78ක ආදායමක් ඉපයූ Avatar චිත්‍රපටයටයි. හය වන වර ඩිකැප්‍රියෝගේ රංගන දිවිය තුළ ඔස්කාර් සම්මාන සඳහා ඔහුගේ නම නිර්දේශ වී තිබූ වාර ගණන පහක්. පළමුවරට ඩිකැප්‍රියෝගේ නම හොදම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වූයේ What’s Eating Gilbert’s Grape චිත්‍රපටය වෙනුවෙන් ඔහු ලබා දුන් රංගන දායකත්වයටයි. The Aviator, Blood Diamond සහ The Wolf of Wall Street යන සිනමා නිර්මාණ වෙනුවෙන් ඔහුගේ නම හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ විය. ඩිකැප්‍රියෝ විසින් නිෂ්පාදනය කරන ලද 'The Wolf of Wall Street' චිත්‍රපටය මීට වසර දෙකකට ඉහතදී පැවති ඔස්කාර් උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ සිනමා නිර්මාණ අතුරින් එකක්. 'The Revenant' චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ වලසෙකුගේ ප්‍රහාරයට ලක් වීමෙන් අනතුරුව දිවි බේරා ගැනීමට සටන් කරන අතුරු හමුදා සොල්දාදුවෙක් 'The Revenant' සිනමා නිර්මාණයේ හියුගෝ ග්ලාස්ගේ චරිතය වෙනුවෙන් අවසානයේ ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය. පරිසරවේදියෙක් 'දේශගුණික විපර්යාස කියන්නේ සැබෑවක්. එය මේ වන විටත් සිදු වෙමින් පවතිනවා' හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පිළිගනිමින් ඔහු කියා සිටියේය. දේශගුණික විපර්යාස නැවත්වීම සඳහා සියලු දෙනා එක් වී කටයුතු කළ යුතු බවත් ඩිකැප්‍රියෝ එහිදී කියා සිටියේය. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයෙක් ලෙස ඩිකැප්‍රියෝ නම් කරනු ලැබුවේ 2014 වසරේදී. ඔහු දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් නිරන්තරයෙන් සිය හඬ අවදි කළේය. ලොව වටා ක්‍රියාත්මක පාරිසරික සංවිධාන වෙත ඔහු විසින් පරිත්‍යාග කොට ඇති අරමුදල්වල වටිනාකම පවුම් මිලියන 9.5ක්. අම්මා සිනමා නිර්මාණ පිළිබඳ දත්ත අඩංගු 'IMDB' වාර්තාවලට අනුව ඩිකැප්‍රියෝ විසින් මේ දක්වා හිමි කර ගෙන ඇති සම්මාන ප්‍රමාණය 70 කට අධිකයි. 2016 වසරේ ඇකඩමි සම්මාන උළෙල සඳහා ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහභාගී වූයේ සිය මව සමගයි මේ වසරේ බැෆ්ටා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පිළිගනිමින් ඩිකැප්‍රියෝ ඔහුගේ මවට සිය ගෞරවය පුද කළේය. 'මම හැදී වැඩුනේ ලොස් ඇන්ජලිස් නුවර දරදඬු මිනිස්සු වාසය කරපු ගම් පළාතකයි. මට වෙනත් ලෝකයක් පෙන්වීමේ අරමුණින් මගේ මව වන මේ කාන්තාව ඒ පළාතේ සිට වෙනස් පාසලක් වෙත පැය තුනක් කාරය පැදෙව්වා' ඔහු එහිදී කියා සිටියේය. ''අද ඇයගේ උපන් දිනේ. අම්මේ මම ඔබට ගොඩක් ආදරෙයි.''
සෑම ප්‍රධාන මැතිවරණයක් ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ජනතාව වෙත පොරොන්දු මල්ලක් සමග මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදායයකි.
"මහින්ද චින්තනය", "මහින්ද චින්තන ඉදිරි දැක්ම", "මෛත්‍රී පාලනයක්" සහ "මාස හැටෙන් අලුත් රටක්" ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ජනවරම හිමිවූ මැතිවරණ ප්‍රකාශන කිහිපයකි. බලය ලබාගැනීමෙන් පසුව එම මැතිවරණ ප්‍රකාශයේ තිබෙන බොහෝ කරුණු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ද බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. ජනතාව ද ඒ පිළිබඳව දේශපාලන නායකයන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයක් දක්නට නොලැබෙන අතර මැතිවරණ ප්‍රතිඥා පිළිබඳව තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව බොහෝ දෙනා පවසති. ශ්‍රී ලංකාවේ පැවති අවසාන ප්‍රධාන මැතිවරණය වන්නේ 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයය. මැතිවරණ පොරොන්දු ඉටු කළාද? පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විශාලතම දේශපාලන සංධානයන් වන එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධව හවුල් ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය හොබවන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ මහ මැතිවරණය වෙනුවෙන් "මාස හැටෙන් අලුත් රටක්" නමින් මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂය වේ. "අනාගතයට සහතිකයක්" නමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණි. ඒ ආකාරයෙන් විවිධ ප්‍රතිඥා දී රටේ බලයට පත් වූ පක්ෂ දෙක එම පොරොන්දු ඉටු කළේ දැයි සොයාබැලීම පිණිස වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ manthri.lk වෙබ් අඩවිය පර්යේෂණයක් සිදු කළේය. යහපාලන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන සන්ධාන දෙකම මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවලින් 75%ක්ම තවමත් ඉටු කොට නොමැති බව හෝ එම ප්‍රතිඥා ඉටුකිරීම සම්බන්ධයෙන් ලබා තිබෙන්නේ ඉතා අඩු ප්‍රගතියක් බව එම පර්යේෂණයේ දී හෙළි වී තිබේ. එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු පොරොන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 25% ක ප්‍රගතියක් දක්නට තිබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රතිඥා ඉටුකිරීම සම්බන්ධ ප්‍රගතිය 20%ක් පමණය. "එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයෙන් කිව්වේ මාස 60න් අලුත් රටක් කියලා. අපි තාම මාස 60ට ඇවිල්ලා නැහැ. ඒ නිසා 100%ක ප්‍රගතිය බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් අපිත් දැනට දකින්නේ මැතිවරණ ප්‍රකාශ දෙකේම 20%ක් හා 25% දක්වා ප්‍රගතියක්," පර්යේෂණයට සම්බන්ධ වූ ජනීන් ප්‍රනාන්දු පවසයි. බලයට පැමිණීමෙන් මාස දෙකක් ඇතුළත විගණන පනත සම්මත කිරීම, නිදහස් අධ්‍යාපන පුනර්ජීව අරමුදල ස්ථාපිත කිරීම, මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා නිර්ණායක ඇතුලත් නව මැතිවරණ පනත සම්මත කිරීම, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම, කර්මාන්ත හා තාක්ෂණ අධිකලාප 11ක් පිහිටුවීම සහ කෘෂිකාර්මික අධි සංවර්ධන කලාප 23ක් ස්ථාපිත කිරීම වැනි පොරොන්දු රැසක් තවමත් ඉටු කර නොමැති බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. ක්‍රියාත්මක වූ පොරොන්දු අතරින් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, GSP+ තීරු බදු සහනය යළි ලබා ගැනීම වැනි පොරොන්දු ඉදිරියෙන් තිබේ. පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලකයන්ට බල කිරීමට ජනතාව තුළ ඇති උනන්දුව අඩු බව පෙන්වාදෙන ජනීන් ප්‍රනාන්දු, එවැනි උනන්දුවක් ඇතිකර පොරොන්දු ඉටුකර ගැනීම සිය පර්යේෂණයේ අරමුණ බවත් පැවසීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත් වූ විගස ක්‍රියාත්මක කළ දින 100 වැඩපිළිවෙලේ සමස්ත ප්‍රගතිය 71% ක් බව පර්යේෂණයේ නිගමනය වී තිබේ. සබැඳි යොමු:
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවත් සාමාන්‍ය ජනතාවට, වින්දිතයන්ට, මාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාධරයන්ට එරෙහිව උතුරේ දියත්වන මර්දනය නිමා වී නැති බව පවසන මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාධරයෝ, වහාම එය නැවැත්වීමට පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
සිවිල් සමාජ සංවිධාන 14 ක් සහ ක්‍රියාධරයන් පිරිසක් ඒ බව පවසන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවට ප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කරමින්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට කටයුතු කිරීම, ද්වේශ සහගත ප්‍රකාශ සහ අතුරුදහන්කරවීම දණ්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කිරීම ඇතුළු විදේශ අමාත්‍ය මංගල සමරවීර මානව හිමිකම් මණ්ඩලය අමතා කළ දේශනයේ 'බොහෝ සාධනීය කරුණු' පිළිබඳවද එම නිවේදනය ප්‍රසාදය පළ කරයි. කෙසේ වෙතත්, විශේෂයෙන්ම උතුරේ තවමත් පවතින්නේ බියජනක වාතාවරණයක් බවයි නිවේදනය සඳහන් කරන්නේ. "කලින් තත්වෙට සාපේක්ෂව ඉතා පැහැදිලි වෙනසක් දකින්න තියෙනව අලුත් ආණ්ඩුව ආවට පස්සේ," ඒ රයිට්ස් නව් සංවිධානයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන. ඔහු ඇතුළු ක්‍රියාධරයන් 39 දෙනකුයි නිවේදනයට අත්සන් තබා තිබෙන්නේ. "නමුත් තවමත් සමහර තැන්වල ඒ සාක්ෂිකරුවන් ඉදිරියට ඇවිල්ල මේ ගැන පැහැදිලි කරන්න තවමත් මැලිකමක් දක්වනවා, මක්නිසාද යත් මේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමය තවමත් විධිමත්ව ක්‍රියාත්මක නොවන නිසා," ඔහු සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. පැහැදිලිවම යහපාලන ආණ්ඩුව මේ තත්වයට වගකිව යුතු බව සැබෑවක් මුත්, නව ආණ්ඩුවක් බලයට පත් වූ පමණින්ම වසර ගණනාවක් මුළුල්ලේ පැවති ක්‍රියාදාමයක් එක්වර වෙනස් නොවන බවයි නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසන්නේ. "ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වයේ ප්‍රමාණවත් වෙනස්වීමක් තවමත් සිදු වෙලා නැහැ." හරවත් බලය බෙදාහැරීමක් මගින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට ඉක්මන් දේශපාලන විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන මෙන්ද එම සංවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරති. ජනපතිවරණය සහ මහ මැතිවරණය අතර 'සංක්‍රාන්ති සමයේදී' ආරක්ෂක අංශවල ප්‍රතිසංවිධානයක් හෝ බලය බෙදීම පිළිබඳව සාකච්ඡාවට නොගැනුනු බව පෙන්වා දෙන නීතිඥ සුදර්ශන ගුණවර්ධන, "නමුත් දැන් ජාතික සමගි ආණ්ඩුවක් හදල තියෙනවා. එතැනදී මේ ප්‍රශ්නය පෙරමුණට ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපේ විශ්වාසය දැන් ලැබී තියෙන ජනවරමත් සමග මෙය කළ හැකි දෙයක් බව සහ කළ යුතු දෙයක් බවයි," වැඩිදුරටත් පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම පමණක් නොව ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සංශෝධනය කළ යුතුය යන්න ක්රියාධාරයන්ගේ ස්ථාවරය බවත් ඔහු සඳහන් කළේය.
නීති විරෝධී ලෙස පෞද්ගලිකව රඳවා තබා ගෙන සිටින අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්නය පරිසර සංවිධාන විසින් ඉකුත් වසර කිහිපය පුරාම දිගින් දිගටම මාධ්‍ය මගින් සාක්ච්ජාකල අතර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බව.
එම පරිසර සංවිධාන වලින් එකක් වන පරිසර සංරක්ෂණ බාරය විසින් අදාළ තොරතුරු රැසක් අනාවරණය කෙරිණ. එහි විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර පැවසුවේ විධිමත් වැඩපිළිවෙළක් දියත් කිරීමට වත්මන් රජය සමඟ සාකච්ඡා කරන බවයි. නීති විරෝධී ආකාරයෙන් අලි ඇතුන් රඳවා තබා ගෙන ඇති ආකාරය ගැන පරිසර සංරක්ෂණ බාරය විසින් අධ්‍යයන ගණනාවක් සිදු කොට ඇති බවයි ඔහු පැවසුවේ. නීති විරෝධී ලෙස වනාන්තරයෙන් අල්ලා ගෙන ළඟ තබා ගෙන සිටින අලි පැටවුන් 24 දෙනකු පිළිබඳව 2013 වසරේදී පරිසර සංරක්ෂණ බාරය විසින් මුලින්ම තොරතුරු ඉදිරිපත් කල බවයි පරිසර සංරක්ෂණ බාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර ප්‍රකාශ කළේ. නීති විරෝධී ලෙස අලි පැටවුන් ඇල්ලීම මුලින්ම ආරම්භ වුයේ 2007 වසරේදී බවත්, මේ වන තුරු කාල පරාසය තුළ අලි පැටවුන් 40 කට වැඩි සංඛ්‍යාවක් මේ ආකාරයෙන් රඳවා ගෙන සිටින බව තම සංගණනවලින් අනාවරණය වන බවත් ඔහු පැවසුවේය. මේ අතරින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉතාමත්ම නිවැරදි ලෙස සකස් කළ, නීති විරෝධී ආකාරයෙන් නිකුත් කළ බලපත් යටතේ අලි පැටවුන් 14 දෙනෙකු රඳවා ගෙන සිටින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් තහවුරු කොට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. නීති විරෝධී ලෙස රඳවා ගෙන අලි ඇතුන් නිදහස් කර ගැනීම සඳහා නව රජයට බලපෑම් කරන බවයි ඔහු කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ ඇති සිංහය රූපයේ ඇති යම් අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පසුගියදා පැවසීමත් සමඟ ආණ්ඩුව විසින් ජාතික කොඩිය වෙනස් කිරීමට සැරසෙන්නේද යන්න පිළිබඳ සමාජය තුළ කතාබහක් මතුවිය.
මාධ්‍ය හමුවකදී එසේ ඔහු පැවසූ අතර එහිදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ "ඇත්තටම ජාතික කොඩියේ වෙනසක් නෑ. අර සිංහයාගේ පිළිරුවේ තමයි යම් අඩුපාඩු තියෙනවා කියන්නේ. ඉතින් ඒවා නිවැරදි කරගන්න අපි නිර්මාණ ශිල්පීන්, ඒවගේම රජයේ නිලධාරීන් සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තමයි අපි ඒ සදහා අවශ්‍ය කටයුතු කරන්න වෙන්නේ. ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා." සිංහ රූපයේ කුමන අංග වෙනස් කිරීමට සැලසුම් කරන්නේදැයි මෙතෙක් පැහැදිලි නොමැති නමුත් සමාජයේ පවතින මත අතුරින් එකක් වන්නේ දැනට කොඩියේ නිරූපිත සිංහයාගේ ලිංගය පිළබිඹු නොවන බවකි. කෙසේ වෙතත්, මෙවර සමරන 73 වන ජාතික නිදහස් උළෙලට 'නව සිංහ කොඩියක්' භාවිත නොකෙරෙන බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබිණි. "ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඒ යෝජනා සියල්ලම අරන් තියෙනවා. නමුත් මේ සඳහා විශාල වැඩ පිළිවෙලක් අවශ්‍යයි. කෙසේ නමුත් අවසානයේදී මෙය පර්ලිම්න්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවෙත් සම්මත කරගත යුතුයි. එනිසා මෙවර ජාතික උළෙල පැවැත්වීමෙදී මෙයිට වඩා යමක් කරන්න පුළුවන් කමක් නෑ. අපි කලින් පාවිච්චි කළ විදිහට ඒ ජාතික කොඩියම තමයි පාවිච්චි කරන්නේ." 'සිංහලේ' නම් සංවිධානය ඇතුළු විවිධ සංවිධාන වරින් වර පැවසුවේ ලංකාවේ ජාතික කොඩිය වෙනස් විය යුතු බවය. දැනට පවතින සිංහ කොඩිය වෙනුවට 'සිංහලේ කොඩිය' ආදේශ කළ යුතු බව ඔවුන් කී අතර තවත් සමහරුන්ගේ මතය වූයේ විජය රජුගේ පැමිණීමට පෙර පැවති මොණර කොඩිය භාවිත කළ යුතු බවකි. නැවතත් 'රාවණාගේ කොඩිය' භාවිත කළ යුතු බව තවත් සමහරුන්ගේ අදහස වී තිබේ. බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ විවිධ පුද්ගලයන් 'සිංහලේ කොඩිය' නැවත ආදේශ කරන ලෙස ඉල්ලීම් කර තිබෙන බවය. එහෙත් සිංහයාගේ රුවෙහි ඇති ගැටලුව පිළිබඳ තමන් නොදන්නා බව උන්වහන්සේ කීහ. "ඔය කිව්වට ජාතික කොඩිය වෙනස් කරන එක එච්චර ලේසි කාර්යක් නෙමෙයි. අනිත් එක ඒක එහෙම ආරක්ෂක ලේකම්ට ඕන විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක එක්කෙනා ඉල්ලුවයි කියල එහෙම වෙනස් කරන්න බෑ. ඒකට විද්වත් කමිටුවක් පත්කරලා සියලුම දෙනාගේ අදහස් අරගෙන කරන්න ඕන දෙයක් මිසක් මේ ආරක්ෂක ලේකම් කිව්ව පලියට එහෙම කරන්න බෑ ," යනුවෙන් නන්ද හිමියන් පැවසීය. විශ්ලේෂක සුජිත් අක්කරවත්ත පවසන්නේ වසර දෙදහසකට වැඩි කාලයක් එකම සංකේතය ජාතික කොඩියේ භාවිත කරන එකම රට ශ්‍රී ලංකාව බවය. "සිංහයා යොදාගන්නේ පොදු විශ්වීය ලක්ෂණයක් නිසා නැතිව ජාතිකත්වය පිළිබිඹු කරන්න නෙමෙයි. එත් ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසෙන් පස්සේ චෝල රාජ්‍යයන් කොටියා භාවිතයට ගැනීමත් සමඟ මෙය වර්ගය නිරුපණයට යොදාගන්නවා. ප්‍රභාකරන් ගෙන් පසු එය තවත් තහවුරු වෙනවා නමුත් සිංහයා ඇත්තටම යොදාගන්නේ ජාතීන් නියෝජනයට නෙමෙයි සිංහයා සියලුම ජාතීන් නියෝජනය කරනවා," යනුවෙන් සුජිත් අක්කරවත්ත පැවසීය. කෙසේවෙතත්, සුජිත් අක්කරවත්ත වැඩිදුරටත් කියාසිටියේ, රටේ පවතින ගැටලු අමතක කිරීම සඳහා "ධම්මික පැණිය" මෙන් යොදාගන්නා තවත් මාතෘකාවක් විය හැකි බවය. ජාතික කොඩිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හය වන ව්‍යවස්ථාව මගින් ම සහතික කර ඇති බැවින් ජාතික කොඩියට යම්කිසි වෙනස්කමක් සිදුකරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති. ජාතික කොඩියේ ඉතිහාසය ශ්‍රී ලංකාවේ පළමු රජු වූ විජය, ඉන්දියාවේ සිට බු.ව.486 දී මෙරටට පැමිණෙන විට ඔහු සිංහ සංකේත සහිත කොඩියක් රැගෙන ආ බවට කියැවේ. එතැන් පටන් රජවරු තමන්ගේ රාජකීය කොඩිවලට සිංහ රුව ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ගැන විවිධ අවස්ථාවලදී කතා කළත් 1815 මාර්තු මස 2 වැනි දින සිට එය වැඩියෙන් කතාකිරීමට පටන් ගත්තේ උඩරට ගිවිසුම අත්සන් කිරීමටත් පෙර මඟුල් මඩුව ඉදිරියේ ඉංග්‍රීසින් ඔවුන්ගේ රාජකීය ධජය (කතිර කොඩිය) නැතහොත් ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබීමට විරෝධය පාමින් වාරියපොළ සුමංගල හිමියන් එය පහත හෙළා තම පයින් පාගා සිංහ කොඩිය එසවීමේ සිටය. ඒ ලෙසින් එදා ගලවා දැමූ සිංහ කොඩිය ඉංග්‍රීසි ජාතිකයින් විසින් රැගෙන යන ලදුව එංගලන්තයේ අනෙකුත් යටත් විජිත රාජ්‍යවල ජාතික කොඩි සමඟ අරෝග්‍ය ශාලාවක තැන්පත් කර තැබු බවට වාර්තාවන් හි සඳහන වේ. නැවතත් සිංහ කොඩිය ගැන කතාවට මතුවූයේ 1908 වර්ෂයේ දී එංගලන්තයේ ඉගෙනුම ලබමින් සිටි ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. ආර්. විඡේවර්ධන හා විසින්, අතීතයේ ඉංග්‍රීසින් විසින් ගලවන ලද ජාතික කොඩිය පිළිබඳ සෙවීමට පටන් ගැනීමත් සමඟ බව ඉතිහාසඥයන් විසින් සඳහන් කරනු ලැබ ඇත. වසර එකසිය තිහක පමණ කාලයක්‌ භාවිතයෙන් ඉවත්ව තිබූ සිංහ කොඩිය පිළිබඳව නැවත හඬක්‌ එසේ යළි මතුවූයේ ඊ. ඩබ්ලිව්. පෙරේරා ට සහ විඡේවර්ධන ට "චෙල්සි" ආරෝග්‍ය ශාලාවෙන් ජාතික කොඩියේ අනු පිටපතක්‌ සොයා ගැනීමට හැකිවීමෙන් අනතුරුවය. ඡේ. ආර්. ජයවර්ධන 1945 දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් "අපට ජාතික කොඩියක්‌ වහා අවශ්‍ය" බව කී අතර රටේ අනන්‍යතාව සඳහා ජාතික කොඩිය බෙහෙවින් ඉවහල් වන බව ඔහු එහිදී පෙන්වා දෙන ලද බවට හැන්සාඩ් වාර්තාවල දැකිය හැකිය. ඒ අනුව 1948 ජනවාරි 16 වන දින විවාදයට ගැනුණේ, කහ පැහැති සිංහයකු දකුණතින් කඩුවක්‌ ගෙන සිටින රූපයක්‌ දැක්වෙන එංගලන්තයට රැගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රාජකීය කොඩිය යළිත් අපේ රටට සුදුසු යැයි මඩකලපුවේ මන්ත්‍රී සින්නලෙබ්බේ විසින් කරන ලද යෝජනාව ය. එම විවාදය අවසානයේ එවක අගමැති ඩී. එස්‌. සේනානායක පවසා සිටියේ "මේ කොඩිය කන්ද උඩරට අන්තිම රජතුමාගේ කොඩිය බව ප්‍රකට කරුණක්‌. ඒ කන්ද උඩරට රජතුමා ද්‍රවිඩයකු බව අපි සියලු දෙනාම ඉතා හොඳ හැටි දන්නා කරුණක්‌. නමුත් තවමත් මම ආඩම්බර වෙනවා මෙය සිංහල කොඩිය යෑයි කීමට. මක්‌නිසාද යත් එවකට සිංහලයන් ද්‍රවිඩයන් වැළඳගත් ආකාරයෙන්ම මම ද්‍රවිඩයන් වැළඳගත් නිසා අපි ද්‍රවිඩ රජ කෙනකු වෙතින් දායාද වූ කොඩියක්‌ සිංහල කොඩිය යෑයි කියා සිටිනවා," යනුවෙනි. එම සිංහ කොඩිය පළමු නිදහස් දින උළෙලේ දී එසවුණු අතර රටට අවශ්‍ය ජාතික කොඩියක් නිර්මාණය කිරීමට 1948 ජනවාරි 27 වැනි දින එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණු අතර ජී. පොන්නම්බලම්, කර්නල් ඡේ. එල්. කොතලාවල, ආචාර්ය එල්. ඒ. රාජපක්‌ෂ, එස්‌. නඩේසන් සහ ඡේ. ආර්. ජයවර්ධන එහි අනෙකුත් සාමාජිකයෝ වූහ. ජාතික කොඩිය පිළිබඳව කරුණු විභාග කර එයට පොදු ජනතාවගේ ද අදහස්ද ලබාගෙන 1950 පෙබරවාරි මාසයේදී අවසන් වාර්තාව එම කමිටුව විසින් එවක අගමැතිවරයාට භාරදෙන ලදී. 1948 - 1951 දක්වා භාවිත කළ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ඒ අනුව තද රතු පසුබිමක කහ පැහැති කඩුවක් අතින් ගත් ඉපැරැණි තේජවන්ත භාවය සහිත සිංහ රුවක්‌ හා කොළ සහ තැඹිලි පැහැති තීරු දෙකක්‌ සමාන තීරු වශයෙන් කොඩියේ තුනෙන් එකක ප්‍රමාණයට ඇතුළත් කෙරිණ. 1951 සිට 1972 දක්වා භාවිත කළ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1972 දී සිංහ කොඩියේ සතර කොණේ වූ බීරුක්කු වෙනුවට බෝපත් හතරක් ආදේශ කෙරිණි. යළිත් 1977 දී ඡේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ පසු 1979 වසරේ දී එවක රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්‌ස ද අල්විස්‌ අමාත්‍යවරයා විසින් ජාතික කොඩිය එසවීම පිළිබඳ නිර්නායක ප්‍රකාශයට පත්කරන ලදී. එහිදී ජාතික කොඩියේ නියම භාවිතය, අවභාවිතය එසවීම පිළිබඳ උපදෙස්‌ ආදී කරුණු ප්‍රකාශයට පත් කෙරිණ. ජාතික කොඩියට ජාතික ප්‍රමිති ආයතනයේ පිරිවිතරයන් හිමිව ඇත්තේ එස් එල් එස් 693: 1985 අංක දරන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයන් අනුවය. එහි ජාතික කොඩියේ නිවැරදි සැලස්ම, ප්‍රමාණය හා වර්ණ ඇතුළත් කර ඇත. නැවතත් 1986 අගෝස්‌තු මාසයේදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන පිළිවෙළ නීතිගත කෙරිණ.
මාධ්‍යවේදීන්, සිය දීමනා වැඩි කරගැනීමට එකඟවන අතරේ මන්ත්‍රී දීමනා වැඩි කිරීමට විරුද්ධවන්නේ මන්දැයි අගමැති රනිල් වික්‍රමසිංහ අද (නොවැ.28) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ඔහු එසේ ප්‍රශ්න කළේ පුවත්පතක පළවූ වාර්තාවක් පිළිබඳ අවධානය යොමුකරමිනි. මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක දීමනාවක් ගෙවීමට සූදානම් වන්නේ ආසනයේ වැඩකටයුතු සඳහා විනා නිවසේ වියදම් සඳහා නොවන බව පෙන්වා දුන් අගමැතිවරයා ඡන්දදායකයන් වෙනුවෙන් වැඩ කිරීම සඳහා වෙනත් අයෙකුගෙන් මුදල් ලබාගැනීමට වඩා මෙම ක්‍රමය සුදුසු නොවේදැයි ප්‍රශ්න කළේය. මන්ත්‍රීවරුන්ට සිය ආසනය තුළ කාර්යාල පවත්වාගෙන යාමට අවශ්‍යවන අතරම ග්‍රාමීය ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට ප්‍රදේශයේ අවමංගල සහ මංගල උත්සව වැනි දේ වෙනුවෙන් විශාල මුදලක් වැයවන බව ද පෙන්වා දුන්නේය. අවශ්‍ය පමණට වඩා දීමනා ගෙවා ඇත්නම් එය ප්‍රශ්න කරන්නැයි ඉල්ලූ අගමැතිවරයා, නිසි තොරතුරු රහිතව දීමනා දෙගුණ කර ඇති බවට වාර්තා ලිවීම සුදුසු නොවන බව සඳහන් කළේය. එවැනි වාර්තා සම්පාදනය කරන කතුවරුන්ගේ වැටුප මන්ත්‍රීවරුන්ට වඩා ඉහළ බව තමා දන්නා බව ද ඔහු කියා සිටියේය. එසේම අගමැතිවරයා පෙන්වා දුන්නේ මන්ත්‍රී වැටුප අඩු බව තමන් පිළිගන්නේ වී නමුදු එය ඉහළ නැංවීමේ කිසිදු සූදානමක් නැති බවය.
හැරී කුමරුගේ හා මේගන් මර්කල් කුමරියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත වින්ඩ්සර් මාලිගය පිහිටි ප්‍රදේශයේ "ආවේගශීලී සිඟමන් යැදීම තහනම් කිරීමේ" යෝජනාවක් පිළිබඳව බ්‍රිතාන්‍යය තුළ සංවාදයක් මතුව පවතී.
විවාහ මංගල්‍යය හේතුවෙන් වින්ඩ්සර් ප්‍රදේශයේ සිඟමන් තහනම් කිරීමේ යෝජනාවක් රාජකීය විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත මැයි 19 දිනට ප්‍රථම "ආවේගශීලී සිඟමන් යැදීම" සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස නගර සභාවේ ප්‍රධානී සයිමන් ඩඩ්ලි (Simon Dudley) පොලීසියෙන් කළ ඉල්ලීමත් සමග හටගත් විවාදය හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරිය ද දැඩි අපහසුතාවයකට පත්ව සිටියි. වින්ඩ්සර් නගර සභාවේ ප්‍රධානියා කළ ඉල්ලීමට තමන එකඟ නොවන බව අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසයි. නගර සභාව "පොලීසිය සමග එක් වී" නිවාස අහිමි පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වග බලා ගතයුතු බව අග්‍රාමාත්‍යවරියගේ ස්ථාවරය වී තිබේ. ජනවාරි පළමුවෙනිදා සිට කොළඹ නගරයේද සිඟමන් යැදීම තහනම් කරන ලදී නගරාධිපතිවරයා නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ යාචකයන් සිටීම තුළ රාජකීය විවාහ මංගල්‍යය පැවැත්වෙන සමයේ නගරය "දුක්මුසු අඳුරු පෙනුමක්" ගනු ඇති බවය. එහෙත් ප්‍රාදේශීය පුවත්පතක හිමිකරුවෙක් පවසන්නේ යාචකයන්ට අපරාධ චෝදනා එල්ල කිරීම හෝ තාවකාලික ඉවත් කිරීම "ප්‍රශ්නයට විසඳුමක් නොවන බවය". 2015 වසරේ පවත්වන ලද ගණනයට අනුව 35ක් වූ නිවාස අහිමි පුද්ගලයන් 2016 වසරේදී 8 දෙනෙකු දක්වා අඩුවී ඇත. ඔවුන් ඉතා දුෂ්කර තත්වයන් යටතේ රිය ගතකරන්නේ මහා මාර්ග අසලය. මේගන් මාකල් ශ්‍රී ලංකාවේ ද ජනවාරි පළමුවෙනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම් කළ ආණ්ඩුව, කිසිදු පිළිසරණක් නොමැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද ප්‍රකාශයට පත්කළේය. කොළඹ නගරයෙන් ඉවත් කරන යාචකයන්ට දිනකට රුපියල් 1,500ක් උපයාගත හැකි පරිදි පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. එහෙත් කොළඹ නගරයේ සහ ඒ අවට සිඟමනේ යෙදෙන යාචකයෝ මේ තහනම් පිළිබඳව දැඩි කැළඹීමකට පත්ව සිටිති. තමන්ගේ එකම ආදායම අහිමිවීම ගැන ඇතැමුන් කණගාටුවෙන් පසුවන අතර යළිත් තමන්ට රිදීගම යාචක පුහුණු මධ්‍යස්ථානයට යාමට සිදුවනු ඇතැයි තවත් සමහරු බියෙන් පසුවෙති. තවත් පුවත්:
සාමාන්‍යයෙන් පියයුරු පිළිකා වැළඳෙන්නේ කාන්තාවන්ට වුවත් බ්‍රිතාන්‍යයේ සිය ගණනක් පුරුෂයන්ට වසරකට පියයුරු පිළිකාව වැළඳෙන බව දැන් හෙළි වී තිබේ.
මීට කලින් සිය පියාටත්, බාප්පාටත් පියයුරු පිළිකාව වැළඳී තිබුණු නිසා තමාටත් රෝගය වැළඳීම ගැන ජයිල්ස් කූපර් පුදුම නොවීය එකම පවුලේ පුරුෂයන් තිදෙනකුට පියයුරු පිළිකාව වැළඳුන ජයිල්ස් කූපර්ගේ කතාවයි, මේ. පියයුරු පිළිකාව වැළඳී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව ජයිල්ස් කූපර් දැන් සුවය ලබා සිටී. මීට කළින් සිය පියාටත්, බාප්පාටත් පියයුරු පිළිකාව වැළඳී තිබුණු නිසා තමාටත් රෝගය වැළඳීම ගැන ඔහු පුදුම නොවීය. "මේ මගේ තාත්ත ස්ටීවන්. තාත්තට 2004 දි පියයුරු පිළිකාව හැදුණා," ඔහු සිය පියාගේ ඡායාරූපයක් පෙන්වමින් පවසයි. ඒ අසලම තවත් පුරුෂයකුගේ ඡායාරූපයකි. "මේ මගේ බාප්පා. ඊට අවුරුදු තුනකට පස්සේ 2007 දි එයා මැරුණ." කාන්තාවන්ට වැළඳෙන පියයුරු පිළිකාව පිළිබඳව මුළු ලෝකයම දැන සිටියත් පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන ලොව බොහෝ දෙනා නොදන්නා බැවින් රෝගය වැළදීමෙන් පසුව හුදෙකලා වූ සෙයක් දැනුන බව ජයිල්ස් කූපර් පවසයි. තමන්ටත් රෝගය වැළඳී ඇතැයි හෙළි වූ අවස්ථාවේ ඇති වූ හැඟීමත් ඔහු විස්තර කළේය. "ඒක පිළිකාවක් වෙන්න ඇති කියල මට හිතුණා. ඒත් දොස්තරවරු ඒක කියපු වෙලාවේ මට එකපාරටම හිතුණේ දැන් මාව මැරේවි නේද කියල," ඔහු පැවසීය. "දැන් ආපහු බලන කොට සැත්කමකින් ඒක ඉවත්කරපු එක හොඳම දේ කියල මට හිතෙනවා. මොකද මගේ බාප්පාගේ එක පියයුරක මතුවුණ පිළිකාව අනෙක් පියයුරටත් පැතිරිලා තිබුණ. තාත්තගෙත් එහෙම වුනා. ඒ නිසා මට කිසිම අවදානමක් ගන්න ඕන වුනේ නැහැ." බ්‍රිතාන්‍යයේ සාමාන්‍යයෙන් වසරකට 50,000 කට ආසන්න කාන්තාවන්ට පියයුරු පිළිකාව වැළඳෙන නමුත්, වසරකට සාමාන්‍යයෙන් එය වැළඳෙන්නේ පුරුෂයන් 350 කට පමණයි. එබැවින් පිළිකා මර්දන වැඩසටහන් සාමාන්‍යයෙන් පුරුෂයන් ගැන වැඩි අවධානයක් පළනොකරන බව ජයිල්ස් පෙන්වාදෙයි. එබැවින් රෝගය පිළිබඳව ජනතා අවධානය වැඩිකිරීමේ අවශ්‍යතාව ඔහු 'Brest Cancer Now' පුණ්‍යායතනයට පෙන්වා දුන්නේය. "මේ වෙබ් සයිට් එකේ තියන දේ බලන්න. කාන්තාවෝ පියයුරු පිළිකාව වැළඳිලා මියයන එක වළක්වන්න ඕන කියල මෙතන තියෙන්නේ. ඇයි මේක කාන්තාවන් සහ පුරුෂයන් කියල වෙනස් නොකරන්නේ?," ඔහු පවසයි. "මම කියන්නේ මේකයි. හුඟාක් පුණ්‍යායතන පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන කිසිම සඳහනක් කිරීමෙන් වළකිනවා. පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන පර්යේෂණවලටත් අරමුදල් සපයන Brest Cancer Now වගේ පුණ්‍යායතන පවා ඒ ගැන එයාලගේ වෙබ් අඩවියේ පළකරන්නේ නෑ." රෝයි පියයුරු පිළිකාවෙන් පෙළුන තවත් පුරුෂයෙක්. සැත්කමෙන් අනතුරුව සමාජයට මුහුණදීමට තමන්ටත් කලක් ගත වූ බව රෝයි පවසයි. "මම කියන්න ඕනේ ප්‍රසිද්ධියේ ෂර්ට් එක ගලවන්න මට අවුරුදු ගාණක් ගියා," රෝයි පැවසීය. "අපි එකපාරක් බෝට්ටුවේ ට්‍රිප් එකක් ගිය වෙලාවේ බෝට්ටුවේ හිටපු කෙනෙක් නැගිට්ටම මම දැක්ක එයාගේ එක කකුලයි තියෙන්නේ කියල. දෙයියනේ මට මොනවාද නැත්තේ කියල මට ඒ වෙලාවේ හිතුන. මට කිසිම දෙයක් නැතිවෙලා නෑනේ? එදා තමයි මට තේරුණේ ෂර්ට් එක ගැලෙවුව කියල මට ලජ්ජාවෙන්න දෙයක් නැති බව." පුරුෂයන්ගේ පියයුරු පිළිකාව පිළිබඳව පර්යේෂණ පැවැත්වීම පිණිස පවුම් ලක්ෂ 18 ක් වෙන් කර තිබෙන 'Brest Cancer Now' ආයතනය, පියයුරු පිළිකාවෙන් පෙළෙන පුරුෂයන් 2000 ක් යොදාගෙන දැනටමත් දිගුකාලීන පර්යේෂණයක නිරතව සිටී. ජයිල්ස් කූපර් ද දැන් එම පර්යේෂණයට සහභාගි වෙමින් සිටී.
ඉන්දියාවේ චෙන්නායි නුවර වයස අවුරුදු 11ක ශ්‍රව්‍යාබාධිත දැරියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දාහත් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
සැකකරුවන්ගේ මුහුණු වසා දැඩි රැකවල් මධ්‍යයේ අධිකරණයට රැගෙන එන ලදී මේ වසර මුල සිට මාස ගණනාවක් තිස්සේ මෙම දැරිය දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි. දැරිය ජීවත් වූ තට්ටු නිවාස සංකීර්ණයේ විදුලි සෝපාන ක්‍රියාකරු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු බව ඔවුහු තවදුරටත් පවසති. ප්‍රධාන සැකකරු දැරියට මත්ද්‍රව්‍යයක් දීමෙන් පසු ඇයට හිංසා කිරීමට අනෙක් පුද්ගලයන්ට ආරාධනා කර තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පොලිසිය පැවසීය. මෙම සිද්ධිය හේතුවෙන්, රට පුරා සිදුවන දරුණු ලිංගික හිංසනවලට එරෙහිව ඉන්දියාවේ මහජන විරෝධතා නැවතත් සක්‍රීය වී ඇති ආකාරයක් දක්නට ලැබේ. අඟහරුවාදා (ජූලි 17) චෙන්නායිහි අධිකරණයක් විසින් පුද්ගලයන් දාහත් දෙනෙකුට එරෙහිව බාලවයස්කාර දැරියක් සමූහ දුෂණයට ලක් කිරීමේ වරදට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. එම පුද්ගලයන් අතර, මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්, විදුලි කාර්මිකයන් සහ ජලනල කාර්මිකයන්ද සිටින අතර, ඔවුන් සියලුදෙනා ජූලි 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සැකකරුවන් අධිකරණයෙන් රැගෙන යන බස් රථයට සමහර නීතීඥවරුන් පහර දෙනු දක්නට ලැබිණි. මෙම අපරාධය පිළිබඳ සමාජය ඉමහත් පිළිකුලින් යුතුව කතා කරන අතර, සමහර චූදිතයන් අධිකරණයේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවක එහි සිටි නීතිඥවරුන් කණ්ඩායමක් ඔවුන්ට පහර දී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. එක් සැකකරුවෙකු තට්ටු නිවාසයක පඩිපෙළ දිගේ පහළට ඇදගෙන විත් පිරිසක් ඔහුට පහර දෙන අතර පොලිසිය එය නැවැත්වීමට උත්සහ දරන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ බෙදා හැරෙමින් පවතී. සැකකරුවන් වෙනුවන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙක් කැමැත්ත පළ කර නැතැයි නීතීඥ සංගමයේ සභාපති මෝහන ක්‍රිෂ්ණන්, මදුරාසිමහාධිකරණට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය. දැරියගේ දෙමව්පියන් වේපරි නගරයේ පිහිටි කාන්තාවන් පමණක් සිටින පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ වන විට දැරිය සියලු සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඉන් හතර දෙනෙකු පමණ පාපොච්චාරණ කර ඇතැයි නිලධාරියෙකු පැවසීය. මේ අතර, වෛද්‍ය පරීක්ෂණ සඳහා දැරිය රජයේ රෝහලකට යොමු කර තිබේ. මේ තොරතුරුද කියවන්න:
තංගල්ලේ නිවාඩු නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් හය දෙනාම ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
රතු කුරුස සංවිධානයේ සේවකයකු වූ කුරාම් ෂයික් 2011 නත්තල් දිනයේ තංගල්ලේදී ඝාතනය කෙරිණ 2011 නත්තල් දිනයේ දී කුරාම් ෂයික් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනකු චෝදනා ලබා සිටිති. ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චුදිතයන්ට එරෙහිව චෝදනා දාහතක් ගොනු කිරීමෙන් අනතුරුව චුදිතයන්ට ඇප ලබා දෙන මෙන් ඔවුන්ගේ නීතිවේදීන් අධිකරණය ඉල්ලීමක් කළේය. නීතිපතිවරයා නියෝජනය කරන රජයේ විශේෂ නීතිවේදියා එම ඉල්ලීමට විරුද්ධත්වයක් පළ නොකිරීම හේතුවෙන් ඔවුන් සියලු දෙනාම රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කරන මෙන් අධිකරණය නියෝග කළේය. චුදිතයන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට අවසර නැති අතර, නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමෙන් වලකින ලෙසද අධිකරණය චුදිතයන්ට නියෝග කළේය. නඩු විභාගය දෙසැම්බර් දෙවැනි දින දක්වා කල් තැබුණි.
විදේශවලින් දරුවන් හදාවඩා ගැනීමට ලබාගැනීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට නෙදර්ලන්තය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධ අපයෝජන රැසක්, නිල පරීක්ෂණයකදී හඳුනාගැනීම මෙම පියවර ගැනීමට හේතුවී ඇත.
ශ්‍රීලංකාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් 1967 සිට 1988 යන කාලය තුළ හදාවඩා ගැනීමට දරුවන් ලබාගැනීම කෙරෙහි එම විමර්ශනයෙදී අවධානය යොමු කර තිබිණි. එම කාර්යය සම්බන්ධයෙන් මැදිහත්වීමට නෙදර්ලන්ත ආණ්ඩුව වසර ගණනක් අපොහොසත් වී ඇති බව දේශීය ආරක්ෂාව පිළිබඳ ඇමති සැන්ඩර් ඩෙකර් පැවසීය. සිය දරුවන් අත්හැරීමට එම දරුවන්ට උපත දුන් මව්වරුන්ට බලකිරීම හෝ මුදල් ගෙවීම ද එම අපයෝජනවලට ඇතුළත්ය. අල්ලස් ලබා ගත් බවට සාක්ෂි හමු නොවුවත්, නෙදර්ලන්ත රජයේ නිලධාරීන් මෙම වැරදි ගැන දැන සිටි බවත් සමහරුන් අපයෝජනයන්ට සම්බන්ධ බවත් විමර්ශන කමිටුව සොයා ගැනින. "වසර ගණනක් පුරා ඉවත බලා සිටීමෙන්" නිලධාරීන් මේ සම්බන්ධයෙන් අසමත්ව ඇතැයි ඩෙකර් සඳහන් කළේය. "ආණ්ඩුවෙන් බලාපොරොත්තුවන දේ ඉෂ්ට කරන්න ආණ්ඩුව අසමත්වෙලා, අපයෝජන වැළක්වීම සම්බන්ධයෙන් වඩා සක්‍රීය භූමිකාවක් ඉටු කළ යුතුව තිබුණා. එය වේදනාකාරී නිරීක්ෂණයක්. මේ සඳහා සමාව ඉල්ලීමක් කෙරෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය වෙනුවෙන්, එසේ හදාවඩා ගැනීමට පත්වූවන්ගෙන් අද මම සමාව ඉල්ලනවා." ඔහු කියා සිටියේය. තමන්ට උපත දුන්, ඉන්දුනීසියාවේ හිඳින දෙමාපියන් සොයන නෙදර්ලන්ත කාන්තාවක් බීබීසී සමග පැවසුවේ ආණ්ඩුවේ මෙම තීරණය අගය කරන අතර පවතින ක්‍රමය දරුවන් ජාවාරමට දිරි දෙන්නක් බවය. "නෙදර්ලන්තයේ පවතින රටවල් අතර දරුවන් හදාවඩා ගැනීම මුල්‍ය දිරිගැන්වීම් ක්‍රමයක් පදනම් කරගෙන තිබෙන අතර එයින් ජාවාරම්වලට රුකුල් දෙනවා," යැයි 45 හැවිරිදි විද්‍යා අස්තුති බොඑර්මා කීවාය. "අද වන විටත් රටවල් අතර දරුකමට හදාවඩා ගැනීමට දරුවෙකු සෙවීම දරුකමට හදාවඩා ගැනීමට තවමත් සොයන දෙමාපියන් ගේ අවධානය යොමු කර ඇත. මෙය ඇත්ත වශයෙන්ම අනෙක් පැත්ත විය යුතුය." යනුවෙන් ඇය පැවසීය. ඉන්දුනීසියාව විසින් මෙම වැඩපිළිවෙල සම්පූර්ණයෙන් තහනම් කෙරුණත් 1984 වන තෙක් දශකයක් පුරා ඉන්දුනීසියානු දරුවන් 3,000 ට වැඩි පිරිසක් නෙදර්ලන්ත ජාතිකයින් විසින් හදාවඩා ගැනීමට ගෙන ඇති බව බීබීසී ඉන්දුනීසියානු සේවයේ ජෙරොම් වීරවන් වාර්තා කරයි. ඕලන්ද පෙරදිග ඉන්දීය දුපත් ලෙස අතීතයේ හැඳින්වුණු ඉන්දුනීසියාව 1945 දී නෙදර්ලන්තයෙන් නිදහස ලැබීම ප්‍රකාශයට පත් කළේය. නෙදර්ලන්තයේ ඉහළම සිවිල් නිලධාරියෙකු වන ට්ජිබ්බේ ජුස්ට්‍රා ගේ නායකත්වයෙන් යුතු විමර්ශන කමිටුවේ අවධානයට ලක්වූ 1967-1988 කාලයට පෙර හා පසු වැරදීම් රැසක් සිදුව ඇති බව කමිටුව විසින් නිගමනය කරනු ලැබිණි. පවතින ක්‍රමය තවදුරටත් වංචාවලට ඉඩකඩ සලසන්නක් වන අතර "වර්තමානය දක්වා ම" අපයෝජන සිදුවන බව කමිටු වාර්තාව පෙන්වා දෙයි. විදේශවලින් දරුවන් හදාවඩා ගැනීමට ලබාගැනීම කෙසේ ක්‍රියාත්මක කළ යුතුදැයි අනාගත කැබිනට් මණ්ඩලයක් විසින් තීරණය කරනු ලැබිය යුතු බව අමාත්‍ය ඩෙකර් පැවසීය. දරුකමට හදාවඩාගත් පුද්ගලයින් හට තමන් බිහිකළ මාපියන් සොයාගැනීමට උපකාරී වන මිජ්න් රූට්ස් පදනමේ (Mijn Roots Foundation) සමාරම්භක අනා ෆන් වලෙන් පවසන පරිදි හදාවඩා ගැනීම් සඳහා සකසන ලද ලේඛනවල එක ම මවගේ නම ලේඛන එකකට වැඩි ප්‍රමාණයක් සඳහා ඇතුළත්ව ඇති අයුරු හඳුනාගෙන ඇති බවකි. "දරුවන් මාරු කර ඇති බවක් හෝ සපයා ඇති තොරතුරු වැරදියැයි අප සැක කරනවා," යැයි ඇය සඳහන් කළාය. මිජ්න් රූට්ස් පදනමේ දත්ත අනුව, 1981 - 1992 අතර කාලය තුළදී නෙදර්ලන්ත යුවළ විසින් හදාවඩා ගැනීම සඳහා දරුවන් ලබාගන්නා ලද ප්‍රධාන රටවල් පහත සඳහන් පරිදි වේ: 1971-1980 කාලය තුළදී ප්‍රධාන රටවල් වූයේ දකුණු කොරියාව (2,317), ඉන්දුනීසියාව (1,788) සහ ඉන්දියාව (865) ය. 'වැරදි නිවැරදි කිරීමේ පළමු පියවර' ඉන්දුනීසියාවේ සිටින සිය දෙමාපියන් සොයන දරුවන් (මැද සිටින්නේ විද්‍යා) බීබීසී ඉන්දුනීසියා සේවෙයේ අයෝමි අමින්දෝනි ජාකර්තා සිට ලියයි: ඉන්දුනීසියාවෙන් දරුකමට හදාවඩා ගැනීමට ගන්නා ලද පුද්ගලයින්, අතීත අසමත්කම් සම්බන්ධයෙන් නෙදර්ලන්ත ආණ්ඩුව සමාව ඉල්ලීම අගය කළ ද, ඔවුන් පවසන්නේ එය අතීතයේ සිදුවූ වැරදි නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පළමු පියවර බවය. වයස අවුරුදු 5 දී එසේ නෙදර්ලන්ත යුවළක් අතට පත් විද්‍යා අස්තුති බොඑර්මා දශක ගණනක් පුරා සිය දෙමාපියන් සෙවුවාය. අසත්‍ය ලේඛන මෙන්ම සිය මව යැයි තැබූ බලාපොරොත්තුව මත කාන්තාවන් සම්බන්ධයෙන් කළ ඩීඑන්ඒ පරීක්ෂණ දෙකක ප්‍රතිඵල අසතුටුදායක වීම හේතුවෙන් ඇයට මෙය ඉතා වේදනාකාරී හා අසීරු වැඩපිළිවෙලක් විය. මාව හදාවඩාගත් දෙමාපියන්ට, සිදුවූයේ කුමක්ද යන්න නොකීම සම්බන්ධයෙන් මම නෙදර්ලන්ත ආණ්ඩුවට දොස් පවරනවා. මම දරුවන් ජාවාරමක ගොදුරක් වන්නට ඇති බව හෝ මා පිළිබඳ ලේඛන ව්‍යාජ ඒවා හෝ විය හැකි බව ඔවුන්ට කියා නැහැ." යැයි ඇය කීවාය. "මාව හදාවඩාගත් දෙමාපියන්ට තිබෙන්නේ වරදකාරී හැගීමක්, ඒ ඉන්දුනීසියාවේ මවකගෙන් ඇගේ අකමැත්තෙන් දරුවෙක් රැගෙන ගොස් තිබෙන්නට ඇතැයි යන්න ගැන. එය ඔවුන්ගේ උවමනාව වී තිබුණේ නැහැ." දරුකමට හදාවඩාගත් තවත් ඉන්දුනීසියානුවකු මෙන්ම නීතිඥවරියක ද වන දේවි ඩෙයිජ්ලේ විශ්වාස කරන්නේ මේ සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් කළ යුතු බවය. "මම හිතන විදිහට නීතිවිරෝධී ආකාරයෙන් ඉන්දුනීසියාවෙන් දරුවන් හදාවඩාගැනීමට ගැනීම නැවැත්වීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත ආණ්ඩුව සැලකිල්ලක් දක්වා නැහැ," ඇය පවසන්නීය. සිය ජීව විද්‍යාත්මක දෙමාපියන් සෙවීම වට රවුමක ඇවිදින්නාක් මෙනැයි දේවි පැහැදිලි කරන්නීය. "ඒක කණස්සලු සහගතයි, මොකද කීවොත් කොහේ හෝ තැනක මට උපත දුන් කාන්තාවක් සිටිනවා." මෙම කාන්තාවන් දෙදෙනාම යම් දිනෙක සිය දෙමාපියන් හමුවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් පසුවන්නාහ. "අපට අතහැරුණු වසර ගණන හෝ නැවත එකට ගත කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒක තමයි මගේ අවසාන කැමැත්ත," යැයි විද්‍යා පැවසුවාය.
තම අනුගාමික කාන්තාවන්ට කුම්භ මේලා හින්දු උත්සවයේ ශුද්ධ වූ ජලය නෑමට අවසර නොදීමේ හේතුවෙන් හින්දු ආගමික කාන්තා නායිකාවක් පොලවේ වැළලී තම විරෝධය පළ කළාය.
තම නායිකාව පස් වලින් වසා දැමීමට පෙර කාන්තාවන් විසින් අති විශාල වලක් කපා සුදානම් කර තිබුණි පාරි අඛාරා නම් සංවිධානයේ ආරම්භක නායිකා ත්‍රිකාල් භවන්තා ඉල්ලා සිටියේ ලෝකයේ විශාලතම ආගමික උත්සවයේ ශුද්ධ වූ ජලය ලබා දෙන ලෙසයි. ඉන්දියාවේ ප්‍රචලිතව පවතින 'අඛාරා' කණ්ඩායම් 13 ක් හඳුනාගෙන තිබෙන අතර ඒ සියල්ලක් පිරිමින් විසින් නායකත්වය දෙන ඒවායි. භවන්තා ගේ කණ්ඩායමේ නීත්‍යනුකුල භාවය ගැන ඇතැමුන් චෝදනා කරන්නෙ එහෙයිනි. හින්දු ආගමික ස්ථාන වල දී කාන්තාවන්ට සම අයිතීන් නොලැබීම නිරතුරුවම මතු වී එන කරුණක් ව තිබේ. අඟහරුවාදා විරෝධතාවයේ දී කාන්තා 'සාධු වරියන්' (එසේ නැතහොත් ශුද්ධ වූ කාන්තාවන්) විසින් හාරන ලද ගැඹුරු වලක් තුළ වාඩිවී සිටි භවන්තා ගේ සිරුර පස්වලින් වසා දැමීම ආරම්භ කළ අතර පොලීසිය මැදිහත් වීමෙන් පසු විරෝධය අවසන් විය. භවන්තා විසින් කාන්තාවන්ගෙන් පමණක් සැදුම් ලත් අඛාරා කණ්ඩායම 2000 වසරේ දී ආරම්භ කළ අතර කාන්තාවන් පමණක් සිටින එකම අඛාරා කණ්ඩායම එය බවටයි සැලකෙන්නේ. ශාහි ශාන් රාජකීය ස්නානය නම් පිරිසිදුවීමේ ආගමික මෙහෙයේ දී භවන්තා ඇතුළු කාන්තාවන්ට ගාන්ජීස් නදියේ නෑමට අවසර නොලැබුණි
මූලික අදියරේ සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා ඓතිහාසික දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීන්දු කළේය.
පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය සහ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දියත් කරනු ලැබ ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (ජුලි 10) පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස් විය. දැඩි ලෙස විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති ලෝක උරුමයක් වන රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය වේගවත්ව සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට එහිදී තීන්දු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ අනුව විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහෙන් ප්‍රමුඛතාව අනුව එක් ලෙන බැගින් ක්‍රමානුකූලව සංරක්ෂණය කිරීමට තීන්දු කර තිබේ. රංගිරි දඹුලු ලෙන් විහාරය සම්බන්ධයෙන් ICOMOS (පුරාවිද්‍යා ස්මාරක සහ ස්ථාන සම්බන්ධ අන්තර්ජාතික කවුන්සිලය) සහ යුනෙස්කෝ සංවිධානය ලබා දී ඇති නිර්දේශ, පුරා විද්‍යා චිත්‍ර පිළිබඳව ප්‍රකට ජාත්‍යන්තර සංරක්ෂණ විශේෂඥයෙකු වන මහාචාර්ය වර්නර් ස්මිත්ගේ වාර්තා ද, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා වියතුන්ගේ වාර්තා සහ අදහස් ද එහි දී අවධානයට ලක් වූ බව ඉහත කී නිවේදනයේ දැක්වේ. එම නිවේදනයේ සඳහන් පරිදි සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා වසා තැබෙන කාලය තුළ ගනු ලබන පියවර: සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වැයවන සමස්ත පිරිවැය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දැරීමට ද අදාළ සාකච්ඡාවේ දී එකඟතාව පළ වූ බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
සුනාමියෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් දීඝවාපියේ නොරොච්චෝලේ ගම්මානයේ ඉදි කළ නිවාස ව්‍යාපෘතියක් මෙතෙක් ජනතා අයිතියට පත් කොට නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.
සෞදි අරාබි රජයේ ආධාර ඇතිව ඉදි කරන ලද නිවාස පන්සීයයේ ව්‍යාපෘතිය වල් බිහිවෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති. එම නිවාස හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කරන ලෙස දීඝවාපි පුරාණ රජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේදී මහඔය සෝභිත හිමි රජයෙන් ඉල්ලා සිටිති. "මේ නිවාස 2006 වසරේ ඉදි කළේ. අද 2016 වසර වෙන කොට අවුරුදු දහයක් ගත වෙලා. සුනාමිය ඇවිත් වසර දොළහක් ගත වෙලා. අද වෙන තුරු මේ නිවාස බෙදා දීලා නැහැ," එහිමියෝ පැවසූහ. වල බිහි වීම හේතුවෙන් ඇතැම් නිවාස විනාශ වී ඇති බව ප්‍රදේශවාසියෙකුවන ගාමිණී වීරසිංහ කියා සිටියේය. නිවාස පන්සියයට අමතරව රෝහලක්, පාසල් දෙකක්, ක්‍රීඩාංගණයක් සහ ශ්‍රවණාගාරයක් එම ව්‍යාපෘතියට අයත්වන බව දීඝවාපිය සුරැකීමේ සංවිධානයේ සභාපති ගාමිණී සිල්වා සඳහන් කළේය. අම්පාර දිස්ත්‍රික්කයේ ජන අනුපාතයට අනුව අදාළ නිවාස බෙදා දෙන ලෙස අධිකරණ තීන්දුවක් ලබා දී ඇතත් මෙතෙක් එම තීන්දුව ක්‍රියාත්මක වී නොමැති බව ඔහු පවසයි. පැවති රජය මෙන්ම වත්මන් රජය ද මෙතෙක් නිවාස බෙදා දීමට අසමත් වී ඇති බව කී පාසල් ගුරුවරයකුවන ලලිත් දෙහිගොල්ල "දේශපාලන අධිකාරිය නිසා තමයි මේ නිවාස ඇතුළු දැවැන්ත නගරය ජනතා අයිතියට පවරා දීමට නොහැකි වී තිබෙන්නේ" යනුවෙන් සඳහන් කළේය. නිවාස බෙදා දීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු වහාම එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත් කරන බව අම්පාර දිස්ත්‍රික් දිසාපති තුසිත පී වනිගසිංහ පැවසීය.
ජාතිය,ආගම කුමක් වුවත් රටේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
"නීතිය කැඩුවොත් ජාතිය ආගම නොබලා කටයුතු කරන්න" "නීතිය කැඩුවොත් පොලිසියේ යුතුකමක් තිබෙනවා වහාම ක්‍රියා කරන්න ඒ පුද්ගලයන්ට එරෙහිව. කොයි ආගමක, කොයි ජාතියකට අයත් වුනත් කමක් නැහැ" යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු ඒ බව කියා සිටියේ ජාතික තරුණ සේවා සභාවේ සාර්ථකව ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ අඟහරුවාදා (මැයි 23) පැවති උත්සවයක් අමතමිනි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නැවතත් යුද්ධයක් ඇති වීමට ඉඩ දිය නොහැකි බව කී අගමැතිවරයා රට තුළ සමගිය නොමැති විට සංවර්ධන ඉලක්ක කරා ළඟා විය නොහැකි බවත් සඳහන් කළේය. ජන කොටස් අතර ආගම්වාදය සහ ජාතිවාදය ඇති කිරීමට යම් අයෙකු උත්සාහ කරන්නේ නම් එය වහා නවතා දැමිය යුතු බව අගමැතිවරයා පැවසීය. ආගම මුල් කර ගනිමින් වෛරය පතුරවන ලෙස කිසිදු ආගමක සඳහන් නොවන බව කී අගමැතිවරයා "බුදු හාමුදුරුවෝ අපට කියා තිබෙනවා වසලයා කවුද බ්‍රාහ්මණයා කවුද කියලා" යනුවෙන් පැවසීය. බෞද්ධ දර්ශනය මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව පවසති හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි වැනි වෙනත් ආගම් තුළත් එම ඉගැන්වීම එළෙසම තිබෙන බව පැවැසූ අගමැතිවරයා 1983 ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රටවල් අද වන විට ඉදිරියට ගොස් සිටින බව කියා සිටියේය. "ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය ආදී රටවල් සියල්ලම අප පසු කර ඉදිරියට ගිහින්. බංග්ලාදේශය අප ආසන්නයටම පැමිණ සිටිනවා. අපේ පිටුපසින් සිටින්නේ මියන්මාරය, ඇෆ්ගනිස්තානය, ලාඕසය, කාම්බෝජය යන රටවල් පමණයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව පවසති. එම ක්‍රියා වත්මන් පාලනයට එරෙහිව මුස්ලිම් ජනතාව උසිගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් බව ආණ්ඩුව පවසයි.
මී ලඟ ජනාධිපතිවරණයේ දී විපක්ෂ සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කෙරෙන මෛත්‍රීපාල සිරිසේන සිය තරුණ වියේ පටන් ම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පෙරළිකාරී චරිතයකි.
1951 සැප්තැම්බර් 03දා උපත ලද මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වසර හතළිහකට ආසන්න දේශපාලන ඉතිහාසයක් සහිත මෛත්‍රීපාල සිරිසේන මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ 1989 මහා මැතිවරණයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඔහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කලක් ග්‍රාම සේවක නිලධාරියකු හැටියටයි වෘත්තීය ජීවිතය ආරම්භ කළේ. සිය තරුණ වියේදීම 1979 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් මෛත්‍රීපාල සිරිසේන පසු කාලයේ එම සංවිධානයේ සභාපති පදවිය තෙක් ගමන් ගත්තේය. 1971සිරකරුවා වසර හතළිහකට ආසන්න ඔහුගේ දේශපාලන ජීවිතයේ තවත් කඩයිමක් වන්නේ 1971 අප්‍රියෙල් කැරැල්ල සමයේ කෙටි කාලයකට සිරගත කරනු ලැබීමයි. 1994 ජනාධිපතිවරණයෙන් බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ අලුතින් පිහිටුවන ලද ගංගා නිම්න සංවර්ධන සහ රජ රට සංවර්ධන ඇමති පදවිය දැරූ මෛත්‍රීපාල සිරිසේන එම පාලන කාලය ඇතුළතයි, ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පදවියට පත් කෙරුණේ. 2005 වසරේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රජය ආරම්භයේ දී ඔහු උසුලන ලද්දේ කෘෂිකර්ම සංවර්ධන සහ කෘෂි සේවා ඇමති පදවියයි. එහෙත් පසු කාලයේ සිදු කෙරුණ කැබිනට් සංශෝධනයේ දී ඔහුට එම ඇමති පදවිය අහිමි කෙරුණ අතර ඒ වෙනුවට සෞඛ්‍යය ඇමති පදවියයි පවරන ලද්දේ. පොදු අපේක්ෂක යුද සමයේ LTTE මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් ඔහුගේ ජීවිතය බේරුණි. 2008 දී වසරේ එල්ල කෙරුණ දෙවැනි මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ දී එක් ජීවිත විනාශයක් සිදුව කීප දෙනෙක් තුවාළ ලද නමුත් ඔහුගේ ජීවිතය බේරුණි. පසුගිය දා 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන අද සිකුරාදා (21) ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව තරඟ වදින බව ප්‍රකාශයට පත් කළේය. මී ළඟ ජනාධිපතිවරණය ලබන ජනවාරි 08 වෙනි දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තහනම ඉක්මනින් ඉවත් කරන මෙන් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද බීබීසී යට වාර්තා වේ. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන "අවිධිමත්" සහ "වෙනස් වෙමින් පවතින" මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා "වෛරයෙන් පිරුණු පුද්ගලයන්" විනා සමාජ මාධ්‍ය ජාල නොවන බව සඳහන් කර තිබුණි. ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පසුගිය මාර්තු 07 වෙනි දින ආණ්ඩුව තීරණය කළේය. නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය. දින කිහිපයක් ඇතුළත (පැය 72ක්) අදාළ අවහිර කිරීම ඉවත් කරනු ඇතැයි ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූ නමුත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුම (සෙනසුරාදා රාත්‍රිය) තීරණයකට එළඹී නැත. තවත් කියවන්න: මහනුවර එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය. ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති. ශ්‍රී ලංකා ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බොහෝ විශ්ලේෂකයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්විය. BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකාව තුළ මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයවේ. සාමාන්‍ය ජනතාවට සමාජ ජාල භාවිතය අවහිර කරනු ලැබුවත්, රටේ ප්‍රධාන නායකයන් තවදුරටත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල දිගටම භාවිත කරන බව පර්යේෂිකාවක සහ ක්‍රියාකාරිනියක වන ඉරෝමි පෙරේරා මේ අතර පෙන්වා දී තිබුණි. සමාජ මාධ්‍ය ජාල තහනම සිය ව්‍යාපාරික කටයුතුවලට ද දැඩිව බලපා තිබෙන බව සංචාරක කරමාන්තයේ නියුතු කිහිප දෙනකුම බීබීසී සිංහල සේවයට පැවසූහ. මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම කෙසේ වුවත් සිකුරාදා මහනුවරදී බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මුස්ලිම් විරෝධී කෝලාහල මැඩ පැවැත්වීම පිණිස සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම පිටිවහලක් වූ බවය. සමාජ මාධ්‍ය ජාලවල කාර්යභාරය විය යුත්තේ සමාජයට නිසි තොරතුරු ලබාදීම විනා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නොවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මාර්තු 06 වෙනි දින සිට රට පුරා පනවන ලද හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන නමුත් එවක් පටන් රාත්‍රී කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ පණවන ලද පොලිස් ඇඳිරි නීතිය සෙනසුරාදා (මාර්තු 10) රාත්‍රියේ පළමු වරට ක්‍රියාත්මක නොවේ. හැකියාවක් තිබේ නම් තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකරන මෙන් තමන් නිර්දේශ කළ බව ද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක බීබීසී යට පැවසීය. සමාජ මාධ්‍ය ජාල තහනම සංචාරක කර්මානතයට ද බලපා තිබේ ඇඳිරි නීතිය ඉවත් කරගන්නා ලද නමුත් තත්වය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වී නොමැති බැවින් සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉක්මන් නොවිය යුතු බව ආරක්ෂක බලධාරීන්ගේ මතය වී තිබෙන බව ද බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. මහනුවර ප්‍රදේශයේ පැතිර ගිය ආගමික පදනමකින් යුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ අතර නිවේදනය කළේය. ප්‍රචණ්ඩ ක්‍රියාවලට තුඩු දුන්නේ කවර හේතූන් ද, දේපළවලට සිදු වූ හානිය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි යන්න මෙන්ම යළිත් වරක් මෙවැනි ගැටුමක් ඇතිවීම වළක්වන්නේ කෙසේ දැයි යන්න ද කොමිෂන් සභාව විසින් විමසා බලනු ඇති බවත් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. සබැඳි යොමු:
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් පදවියෙන් ඉවත් කරනු ලැබූ ක්‍රියාදාමය ඉතා ගැටළු සහගත බව මහින්ද රාජපක්ෂ පරිපාලනයේ හිටපු ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය ස්වාධීන බවට හෝ මොහාන් පීරිස් ඉවත් කිරීම වැරදි බවට විරුද්ධ පක්ෂය මේ මොහොතේ තර්ක නොකරන බවයි, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් අගවිනිසුරුවරයකු ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ඔහු අවධාරණය කරයි. ග්‍රේ ඒරියා ‘ගරු අග්‍රාමාත්‍යවරයා ගෙන ආවේ වෙනත් තර්කයක්. ඉවත් කිරීම නීත්‍යනුකූල නැහැ ඒ නිසාම පත් වීම නීත්‍යනුකූල නැහැ කියල. එහෙමනම් මුළු පාර්ලිමේන්තුවම ඒකට වග කියන්න ඕන. කතානායක තුමා ඒකට අත්සන් කරලා බාර දීල තියෙනවා. මෙතෙක් කල් ඒ සම්බන්ධව ඉඟියක්වත් කරලා නැහැ. ඒ නිසා එතන තියෙනවා ග්‍රේ ඒරියා එකක්.’ කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. එවකට විරුද්ධ පක්ෂය එරෙහි වූයේ අගවිනිසුරුවරිය ඉවත් කිරීම පිළිබඳව මිස එහි ක්‍රියාදාමය පිළිබඳව නොවන බවයි ඔහු සරෝජ් පතිරණ සමඟ පැවති සාකච්ඡාවකදී වැඩිදුරටත් කියා සිටියේ. නීතීඥ සංගමය ‘ඒකට ගෙන ආපු තාක්‍ෂණ ක්‍රමවේදයන් තුළ ගැටළුවක් තිබුනා නම් ඒවා කතානායකට පෙන්නුම් කරන්න තිබුනා ඊට පසු දවසේ. අනිත් එක, අපි දැකපු තව දෙයක් තමයි නීතීඥ සංගමය තමයි මේ ක්‍රියාදාමය කරන්නේ.’ රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා කියයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අධිකරණය ‘හෑල්ලුවට ලක් වුණු උච්චතම අවස්තාව මෙය’ බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාද ප්‍රකාශ කර ඇති බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට එක්වීම පිණිස තමන් කළ ඉලීමක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරන ලද බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු බීබීසීයට කියා සිටියේය.
දිගින් දිගටම ප්‍රමිතියෙන් බාල ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කරන බවට චෝදනා කරන සමස්ත ලංකා හෙද සංගමය, මේ වන විට ප්‍රමිතියෙන් තොර ඖෂධ 24 කට ආසන්න ප්‍රමාණයක් රෝහල් වල භාවිත කෙරෙන බවට චෝදනා කරයි.
මේ වසරේ පළමු මාස 10 තුළ ප්‍රමිතියෙන් බාල එම ඖෂධ වර්ග 24 රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීම මගින් පැහැදිලි වන්නේ ප්‍රතිපත්තියකට අනුව රටේ ඖෂධ ගෙන් වීම සහ බෙදා හැරීම සිදු නොවන බව යැයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ ප්‍රකාශ කළේය. දුර්වල ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන් වීමේ ක්‍රියාවලිය සහ නියමිත ප්‍රමිතියෙන් අඩු ඖෂධ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පවතින බවයි බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ. ප්‍රතිජීවක ඖෂධ, දියවැඩියා රෝගය සඳහා ලබා දෙන ඖෂධ, කුඩා ළමුන් සඳහා වූ ඖෂධ, මෙන්ම ඇදුම හා හතිය වැනි රෝග වලට ප්‍රතිකාර කෙරෙන ඖෂධ ප්‍රමිතියෙන් බාල ඖෂධ අතර ඇති බව ඔහු පෙන්වා දෙන්නේය. ප්‍රමිතියෙන් බාල ඖෂධ භාවිතා කිරීම මගින් ඇතිවූ ගැටළු සහගත තත්වයන් පිළිබඳව රෝහල්වලට පැමිණිලි ලැබෙමින් තිබෙන බව පැවසූ ඔහු ඉන් අනතුරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ඖෂධ තත්ත්ව පාලන අධිකාරිය මගින් කළ පරීක්ෂණ මගින් ඒවා හඳුනාගෙන ඇති බවයි කියා සිටියේ. රටට ගෙන් වන සියලු ඖෂධ අහඹු ලෙස තෝරා ගෙන ඒවා පරීක්ෂාවට ලක් කළ යුතු නමුත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවන බවත් ඔහු පැවසුවේය. අසාධු ලේඛනය වසර ගණනාවක් තුළ රටට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ සමාගම් තවදුරටත් ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ සිටින බව පැවසූ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ එම සමාගම් අසාධු ලේඛනයට ඇතුළත් කරන බව රටට ප්‍රකාශ කළත් එසේ සිදු කොට නැති බවත් ප්‍රකාශ කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහීපාල හේරත් කියා සිටින්නේ එම තොරතුරුවල සත්‍යතාවක් නැති බවයි. අසත්‍ය තොරතුරු රෝහල වලට ලබා දෙන තත්වයෙන් උසස් ඖෂධ ලබා දීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන හතලිහක් වැය කරන බවයි ඔහු පැවසුවේ. ඖෂධ සඳහා කෙරෙන ආයෝජන වැඩි කොට ඇති බව පවසන ඔහු හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාම පිණිස ගුණාත්මක භාවයෙන් සහ තත්වයෙන් උසස් ඖෂධ ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තමන් බලයට පත්වුවහොත් සියලුම ආකාරයේ නීත්‍යානුකූල සංක්‍රමණිකයන්ගේ ආගමනය නවතා දමන බව ජනපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂිකාවකවන මරීන් ල පෙන් (Marine Le Pen) පැවසීය.
ප්‍රංශයේ පවතින "පාලනයකින් තොර, විකාරසහගත තත්වයට" නැවතීමේ තිත තබන බවත් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකාවවන ඇය මැතිවරණ රැළියක් අමතමින් සඳහන් කළාය. ජනපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අනෙක් අපේක්ෂකයාවන මධ්‍යස්ත මතධාරී එමානුවෙල් මක්රෝන් (Emmanuel Macron) සමග ඇය කරට කර සිටින බව ජනමත සමීක්ෂණවලින් අනාවරණය වේ. අන්ත වාමාංශික අපේක්ෂක ෂෝන් ලුක් මෙලෝෂෝ (Jean-Luc Mélenchon) ජනපතිවරයා ලෙසින් තෝරාගැනීම "සූර්යයා නොමැති කියුබාව" වැනි තත්වයක් වියහැකි බවට එමානුවෙල් මක්රෝන් අනතුරු අඟවා තිබේ. ඉරිදා මැතිවරණයේදී එමානුවෙල් මක්රෝන් සහ මරීන් ල පෙන් දෙදෙනා, මැයි මස 07 වෙනි දින පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබනු ඇති බව ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කෙරේ. එහෙත් දෙදෙනා අතර කරට කර තරගයක් පවතිනු ඇති බවත් විශ්වාස කෙරේ. දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී එමානුවෙල් මක්රෝන් ඉදිරියෙන් සිටින බවද ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කෙරේ. පැරිස් නුවර පැවති මැතිවරණ රැළියක් අමතා කථා කළ මරීන් ල පෙන්, සියලු නීත්‍යානුකූල සංක්‍රමණිකයන් නවතා දමා ඒ වෙනුවට සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි නීති හඳුන්වා දෙන බව අවධාරණය කළාය. එය සිය ආධාරකරුවන් සැනසීම සඳහා මරීන් ල පේන් විසින් කරන ලද ප්‍රංශ ජනපතිවරණ ව්‍යාපාරයේ "ඉතාම දැඩි මතධාරී දේශනයක්" බව වාමාංශික Liberation පුවත්පත පවසයි. ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය සඳහා අපේක්ෂකයන් 11 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, ඡන්දදායකයන්ගෙන් තුනෙන් එකක් පමණම තවමත් කවරෙකු වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරන්නේද යන්න පිළිබඳව තීරණයකට එළඹී නැති බවත් විශ්වාස කෙරේ. එබැවින් මෙය ප්‍රංශ ජනපතිවරණ ඉතිහාසයේ ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකිම මැතිවරණයක් බව විශ්ලේෂකයන්ගේ විග්‍රහයයි.
කටාරය සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමට සහ මුහුදු, ගොඩබිම් සහ ගුවන් සියළු දේශසීමා වසා දැමීමට අරාබි රටවල් හයක් ගෙන තිබෙන තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටිති ශ්‍රී ලාංකිකයන් 125,000 ක් පමණ කටාරයේ සේවයේ නිරත වී සිටින බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල, අරාබි රටවල තීරණය ඔවුන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට අදාළ නොවන බවත් කියා සිටියේය. "ස්වාධීන රටක් හැටියට අපි අපේ ස්ථාවරයේ ඉන්නව," ඇමතිනිය සඳහන් කළාය. ඉස්ලාමීය රාජ්‍ය (IS) කැරලිකරුවන්, අල් කයිඩා සංවිධානය ඇතුළු සන්නද්ධ සංවිධානවලට ආධාර කරන බවට චෝදනා කරමින් කටාරය සමග සියලු සම්බන්ධතා අත්හිටුවන බව සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව නිවේදනය කළේය. සවුදි ආහාර එහෙත් කටාරය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. අරාබි රටවල තීරණයෙන් අනතුරුව කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තමා කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකික තානාපති නිලධාරීන්ගෙන් විමසා බැලූ බව ද තලතා අතුකෝරල ඇමතිවරිය බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළාය. කටාරයේ පරිභෝජනය කෙරෙන ආහාරවලින් 40% ක් පමණම සවුදි අරාබියේ සිට ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන බව විශ්වාස කෙරෙන අතර, එබැවින් සවුදිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීම කටාරයේ ආහාර ස්ථාවරභාවයට ක්ෂණික බලපෑමක් ඇතිකිරීමට ඉඩ තිබේ. ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටි බව The Doha News පුවත්පත වාර්තා කරයි. අරාබි රටවල් හයක් මේ ආකාරයට කටාරය සමග එක්වරම සම්බන්ධතා අත්හිටවූයේ ඇයි? 'හුදෙකලා වෙලා' මැද පෙරදිග කටයුතු පිළිබඳ බීබීසී විශ්ලේෂක ඇලන් ජොන්ස්ටන් පෙන්වාදෙන අන්දමට බාහිර ලෝකයට විවෘත නොවූවත් කටාරය සහ එහි අසල්වැසියන් අතර කලක් මුළුල්ලේ උණුසුමක් පැවතින. "කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට බලපෑමක් නෑ" උදාහරණයක් ලෙස කටාරය මුස්ලිම් සහෝදරත්වය වැනි සංවිධාන කෙරෙහි නැඹුරුවක් දැක්වූ අතර එය සවුදි අරාබියේ සහ ඊජිප්තුවේ ප්‍රසාදයට හේතු නොවීය. කටාරය සිය මතය සමග එකඟ කරගැනීමට අසල්වැසි රටවල් උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බව පෙන්වාදෙන ඇලන් ජොන්ස්ටන්, මැද පෙරදිග කලාපය සම්බන්ධ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ස්ථාවරයත් සමග කටාරයට එරෙහිව පියවර ගැනීමට අසල්වැසි රටවලට නව ජවයක් ලැබී තිබෙන හැඩක් දකින්නට ලැබෙන බවත් පවසයි. මේ තත්වය යටතේ මේ කුඩා රාජ්‍යයේ පාලකයන් මේ මොහොතේ හුදෙකලා වී සිටින බව බීබීසී වාර්තාකරු ගේ විග්‍රහයයි. මේ අතර තමන්ට එරෙහි චෝදනා තරයේ බැහැර කරන කටාරයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ "කලෙක පටන් කටාර් රාජ්‍යයට හානි කිරීමේ යටි අදහසින් යුතුව සිතා මතා කරනු ලබන පෙළඹවීමේ වෑයමක ඉලක්කයක් බවට කටාර් රජය පත්ව තිබෙන," බවය. ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊගිප්තු ජනපතිවරයා සහ සවුදි අරාබියේ රජතුමා සමග අරාබි රටවල් හයේ තීරණය හේතුවෙන් කටාර වැසියන්ගේ සහ එහි වෙසෙන විදේශිකයන්ගේ සාමාන්‍ය දිවි පෙවෙතට කිසිදු බලපෑමක් ඇතිනොවීම තහවුරු කිරීම පිණිස සියලු පියවර ගන්නා බවත් කටාර් රාජ්‍යය අවධාරණය කරයි.
"වෛරයෙන්, ක්‍රෝධයෙන් සහ හිංසාවෙන් තොර" ඉතා සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවන බව ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පවසයි.
"ඉතාම හික්මීමකින්, ඉතාම ගෞරවනීය ලෙස, ඉතාම වැදගත් ලෙස චරිත ඝාතන, නින්දා අපහාස කිසිම කෙනකුට පෞද්ගලිකව නොකර ඉතාමත්ම ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයකට කැපවෙනවා" හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය සභාපති කරු ජයසූරීය මන්ත්‍රීවරයාද සමඟ කෝට්ටේ නාග විහාරය පැමිණි මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා, එහිදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවිය. සෝභිත හිමියන් හමුවීමට ප්‍රථම නාග විහාරයේදී අදහස් දැක්වූ විපක්ෂයේ පොදු අපේක්ෂකයා: "ඉතාම හික්මීමකින්, ඉතාම ගෞරවනීය ලෙස, ඉතාම වැදගත් ලෙස විශේෂයෙන්ම චරිත ඝාතන, නින්දා අපහාස කිසිම කෙනකුට පෞද්ගලිකව නොකර ඉතාමත්ම ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක්," වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥා දුන්නේය. එහිදී දෙපාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් නොපැවැත්වුණු අතර, එය සුහද හමුවක් පමණක් වූ බවයි ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. තමන් පොදු අපේක්ෂකයා ලෙසින් ප්‍රකාශයට පත් වී ගතව ගිය පැය 48 ක කාලය ඇතුලත රට තුළ 'විශාල පරිවර්තනයක්' සිදු වී තිබෙන බවත් මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
කෝටිපති ව්‍යාපාරික පෙත්‍රෝ පරෂේන්කෝ යුක්රේනයේ නව ජනාධිපතිවරයා හැටියට පත්ව සිටියි.
රට තුළ සාමය සහ එක්සත් භාවය සහතික කරන බවට නව ජනාධිපති පරෂේන්කෝ ප්‍රතිඥාවක් දී ඇත. සිය අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස ඉදිරි සති කීපය ඇතුළත රුසියාවේ නායකයන් මුණ ගැසීමට තමා බලාපොරොත්තු වෙන බවත් යුක්රේනයේ නව නායකයා පවසයි. මේ අතර ප්‍රකාශයක් කරන රුසියාවේ විදේශ ඇමති සෙර්ගේයි ලව්රොෆ් , කියා සිටියේ , යුක්රේනයේ නව ජනාධිපති පෙත්‍රෝ පරෂේන්කෝ සමඟ සාකච්ඡා කිරීමට තමරට සූදානම් බවයි. නැගෙනහිර බෙදුම්වාදීන් නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදියෙක් එහෙත් නව ජනාධිපතිවරයා නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවත් බෙදුම්වාදීන්ට එරෙහිව බලය පාවිච්චි නොකළ යුතු බවට සෙර්ගේයි ලව්රොෆ් අනතුරු ඇඟවීමක් ද කරයි. සියයට පනස් හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජනාධිපතිවරණය ජය ගත් පෙත්‍රෝ පරෂේන්කෝ පවසන්නේ, හමුදා මෙහෙයුම් වලට තම සහයෝගය දෙන ලද නමුත් එය වඩාත් සාර්ථකව මෙහෙයවීම සිය උවමනාව වූ බවයි. නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවත් සන්නද්ධ කොටස් මේ අතර දිගටම ඔවුන්ගේ ක්‍රියාවන්හි නිරත වෙමින් සිටින බවත් වාර්තා වෙයි. ඊයේ සඳුදා ‘දනියේෂ් ‘ප්‍රධාන ගුවන් තොටුපලට කඩා වැදුණ සන්නද්ධ කණ්ඩායම් ගුවන් තොටුපල බලහත්කාරයෙන් වසා දැමූහ.
පසුගිය මැයි - ජුලි කාර්තුවේ පැවති පාර්ලිමේන්තු සැසිවාර 21 ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙකු සහභාගි වී තිබෙන්නේ සැසිවාර පහකට අඩු සංඛ්‍යාවකට බව අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ය ඒ බව අනාවරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණ ඉදිරිපත්කරන manthri. lk වෙබ් අඩවිය විසිනි. ජනතාවගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තු සැසිවාරවලට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කෙරේ. ඒ අනුව සිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද සහ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවලට සහභාගි වන්නේද යන්න පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් දැන ගත හැකිය. මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර 21ටම සහභාගි වී තිබේ. අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා අදාළ කාලවකවානුවේ පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ය. ඔහු සහභාගි වී තිබෙන්නේ පාර්ලිමේන්තු සැසිවාර 21න් එකකට පමණි. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු සහභාගි වී තිබෙන්නේ සැසිවාර දෙකකට පමණය. රත්නපුර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහභාගි වී තිබෙන්නේ ද සැසිවාර දෙකකට පමණි. වතුකරයේ නායකයකු සහ කැබිනට් ඇමතිවරයෙකු වන කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් සහභාගි වී තිබෙන්නේ සැසිවාර 4කට පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සැසිවාර හතරකට සහභාගි වී ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වී තිබෙන්නේ සැසිවාර 21න් හතරකට පමණි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පැමිණීම දිරිමත් කිරීම සඳහා මේ වසර මුල එතෙක් රුපියල් 500ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දිමනාව රුපියල් 2500ක් දක්වා ඉහළ දැමිණි. 'පළමු පැය ඇතුළත පමණයි' මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාරවලින් 25%-50%ත් අතර සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 43ක් වන අතර, 51%-75%ක් අතර පැමිණීම සටහන් කරගත් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 74කි. පැමිණීම 76%-90%ත් අතර සටහන් වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 90කි. සියලු සැසිවාර වලට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ ගණන 21ක් වන අතර ඊට කතානායක කරු ජයසූරිය ද ඇතුළත්වේ. මෙලෙස පාර්ලිමේන්තුවට සහභාගිවන මන්ත්‍රීවරුන් පවා බොහෝදුරට පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ පළමු පැය ඇතුළත පමණක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. "මළගෙවල් සහ මගුල් ගෙවල්වලට යාමට" ප්‍රමුඛත්වය ලබා දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවිය යුතු බව වරක් පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. කෝප් ඇතුළු පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්‌වීම් රැසක්‌ මේ වන විට පවත්වා ඇතත් ඒ එකදු රැස්‌වීමකට හෝ සහභාගි නොවූ සාමාජික මන්ත්‍රීවරුන් සිටින බව කනගාටුවෙන් හෝ කිව යුතුව ඇතැයි කථානායක කරු ජයසූරිය පසුගියදා උත්සවයකට එක්වෙමින් කියා සිටියේය.
ගුරුවරු නොමැති වීමෙන් වසා දමා තිබුණු බත්තලන්ගුණ්ඩුව දූපතේ පාසල හලාවත පදවි සෙඩෙක් ආයතනයේ මැදිහත්වීම මත යළි ආරම්භ කොට තිබේ.
වෙනත් පාසල්වලට රජයෙන් ලැබෙන කිසිදු ආධාරයක් දූපතේ පාසලට නොලැබේ ස්වේච්ඡාවෙන් බත්තලන්ගුණ්ඩුව දරුවන්ට ඉගැන්වීමට චන්ද්‍රිකා මිහිරාණි ගුරුතුමිය ඉදිරිපත් වී සිටින අතර විවිධ වයස් කාණ්ඩ වල ළමුන් විසි හත් දෙනකු වෙනුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ එකම පන්ති කාමරයක් තුලයි. වෙනත් පාසල් වෙනුවෙන් රජයෙන් සැපයෙන මූලාධාර ඇතුළු කිසිදු ආධාරයක් මෙම පාසලට නොලැබේ. රජයේ ආයතන කීපයක්ම බත්තලන්ගුණ්ඩුව දූපතේ තිබෙන නමුත් එහි පවතින අවම පහසුකම් හේතුවෙන් පාසල් ගුරුවරයකු දූපතට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවයි, බත්තලන්ගුණ්ඩුව වික්ෂෝප මාතා ධිවර සමිතියේ ලේකම් ප්‍රිමල් චාර්ල්ස් ප්‍රනාන්දු ප්‍රකාශ කලේ. සතියක් තුල සිංහල අකුරු, ඉංග්‍රීසි අකුරු, සතියේ දින වැනි දේ ළමයින්ට ඉගැන්වීමට හැකි වූ බව චන්ද්‍රිකා මිහිරාණි ගුරුවරිය කියා සිටියාය. ඒ අතර ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරන කල්පිටිය මීසම් පාලක පියතුමා, බත්තලන්ගුණ්ඩුව දූපතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටියි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ඔක්තෝබර් 01) අත්අඩංගුවට ගන්නා ලදුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබිණි.
ඔහු අත්අඩංගුවට ගැනුණේ මින් වසර දෙකකට ඉහතදී පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක‍්‍රියාකරුවකුට පහර දිමට තැත් කර තර්ජනය කළ බවට එල්ලවූ චෝදනාවට අදාළවය, 2017 අප්‍රේල් මාසයේ දිනක පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානය ක්‍රියාකළ තමන්ට පරුෂ වචනයෙන් බැණ වැද පහරදීමට උත්සාහ කළේ යැයි සමරකෝන් බණ්ඩා නමැති විදුලි සෝපාන ක්‍රියාකරු පැමිණිලි කර තිබිණි. මේ සම්බන්ධයෙන් සමරකෝන් බණ්ඩා විසින් පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබුනද පොලිසිය ඒ සම්බන්ධයෙන් කළේ 'පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්' පසු පොලිස්පති පුජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් අනතුරුවය. පහරදීමට තැත්කිරීමට අදාළ සීසීටීවී වීඩියෝ දර්ශන 2017 වසරේ අගෝස්තු මාසයේදී මාධ්‍යට නිකුත්වූ අතර ඒ සම්බන්ධයෙන් ඇති වූයේ මහත් ආන්දෝලනයකි. පොලිසියේ දිනපතා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කෙරෙන භාවනා වැඩසටහනට සම්බන්ධ නොවීම ගැන පොලිස්පතිවරයා විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට බැනවැදුණු නමුත් කිසිම අවස්ථාවක ඔහුට පහර නොදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර එම අවස්ථාවේදී එවක ප්‍රකාශ කළේය. සෑම දිනකම උදෑසන විනාඩි කිහිපයක් මානසික ඒකාග්‍රතාව ඇතිකරගැනීමට භාවනාව වැනි යම් කිසි මානසික ව්‍යායාමයක සියලු පොලිස් නිලධාරීන් යෙදිය යුතු බවට පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එම ව්‍යායාමය පොලිස් මුලස්ථානයේ නිසිලෙස සිදුවෙනවාදැයි පරික්ෂා කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම අවස්ථාවේදී පැවසීය. "මෙතන පැහැදිලිව පහරදීමක් වෙලා නැහැ, බැන වැදීමක් කරනවා ඒක හරි, හැබැයි පහර දෙන්නේ නැහැ" යැයි 2017 වසරේ අගෝස්තු 16 කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය. විදුලි සෝපාන ක්‍රියාකරු විදුලි සෝපානය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කරන්නට ඇත්තේ යම් කෙනෙක්ට ගමන් කිරීමට නේදැයි විමසුවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම ව්‍යායාමය ක්‍රියාත්මක කරන අවස්ථාවේ විදුලි සෝපාන පවා ක්‍රියාත්මක නොකළ යුතු බවකි. ඒ අවස්ථාවේ විදුලි සෝපාන ක්‍රියාකරුත් විදුලි සෝපානය නවත්වා භාවනා කළ යුතු දැයි විමසු විට ඔහු පැවසුවේ "අනිවාර්යෙන්ම එය කළ යුතු" බවය. මෙම සිදුවීම ගැන පරීක්ෂණයක් පවත්වන බව පසුගිය ජුනි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කල අතර එහිදී මේ සම්බන්ධයන් පොලිසියේ 6 දෙනෙකුගෙන් ප්‍රශ්න කර කරුණු සටහන් කරගත් බව සඳහන් කර තිබිණි. පැමිණිල්ල ඉදිරිපත් කළ සමරකෝන් බණ්ඩාට අමතරව පුජිත් ජයසුන්දර බැනවැදුණු බව පවසන පොලිස් නිලධාරිනියකගෙන්ද කරුණු සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබුණි. මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 2016 වසරේ අප්‍රේල් 20 වැනිදා පොලිස්පතිධුරයට පත්වූ පුජිත් ජයසුන්දර මේවන විට සිටින්නේ අනිවාර්ය නිවාඩු යැවීමකට යටත්වය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන් පුජිත් ජයසුන්දර පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් වගකීම බාරගෙන ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස්පති පුජිත් ජයසුන්දරගෙන් ඉල්ලා සිටියේය. ඔහු එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව 2019 වසරේ අප්‍රේල් 29 වැනිදා ඔහුව අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ජුලි මස දෙවෙනි දින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සමග පුජිත් ජයසුන්දර පොලිස් අත්අඩංගුවට ගැනුණේ පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී නොසැලකිල්ල හා මිනීමැරුම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි. සැකකරුවන්ට එරෙහිව මිනීමැරීම සහ නොසැලකිල්ලෙන් බරපතළ දේපළ හානි සිදු කිරීම යන චෝදනාව පවත්වාගෙන යාමට සාධාරණ කරුණු නොමැති බව තීන්දු කරමින් ජුලි 9 වෙනි දින ඔවුන් දෙපල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබෙන අතර එම පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමින් ද ජනාධිපතිවරයාගේ තීන්දුව නීත්‍යනුකූල නොවන බව පවසමින් ද පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නොවැම්බර් මස 13 වැනි දින එම පෙත්සම සළකා බැලීමට අධිකරණය තීරණය කර ඇත. පොලිස්පති තනතුරට අයත් සියලු වැටුප් හා වරප්‍රසාද පුජිත් ජයසුන්දරට තවමත් හිමිවන අතර ඔහු තවදුරටත් පොලිස්පති නිල නිවසේද රැඳී සිටී. කොපමණ කලක් මෙලෙස වැඩතහනමකට ලක්ව ඔහුට මෙම තනතුරේ සිටිය හැකිදැයි තවමත් නිශ්චිත නොවන අතර ඒ ගැන කළ විමසුමකට පිළිතුරු දුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු පැවසුවේ ඔහු සම්බධයෙන් පවත්වන විනය පරීක්ෂණ තවමත් අවසන්වී නොමැති බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව දැනට අධිකරණයේ නඩුවක්ද පැවතීම හේතුවෙන් බොහෝදුරට ඔහුගේ විශ්‍රාම යන දිනය වන 2020 වසරේ මාර්තු 15තෙක් මේ ආකාරයෙන්ම අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පතිවරයා ලෙස ඔහු සිටිනු ඇති බවකි. පොලිස්පතිවරයා ඉවත්කිරීමට නම් නිසි විමර්ශනයක් පවත්වා බහුතර මන්ත්‍රී සහය ඇතුව යෝජනාවක් සම්මත කළ යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
හීලෑ අලිඇතුන් අතර ක්‍ෂය රෝගය පැතිර යමින් තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල පවසයි.
වෛද්‍ය අශෝක දංගොල්ල මහනුවර ඇසළ මහා පෙරහරට සහභාගී වූ අලියකුගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරමින් අලින්ගෙන් ඇත් ගොව්වන්ටත් ක්‍ෂය රෝගය බෝවීමේ අවදානමක් පවතින බව කියා සිටි වෛද්‍ය අශෝක දංගොල්ල පසුගිය වසර කීපය පුරා සිදු කළ පරීක්ෂණ මගින් ඒ බව තහවුරු වී තිබෙන බවයි පෙන්වා දෙන්නේ. වෛද්‍යවරයා එම ප්‍රකාශය කළේ මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වූ අලිඇතුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඇත් අතුරු සෙවණේ සහ පින්නවල අනාථාගාරයේ අලි ඇතුන්ටද ක්‍ෂය රෝගය වැළඳුණු අවස්ථා තිබෙන බවත් වන අලින ද ඊට ගොදුරුවන්නේද යන්න පිළිබඳ මෙතෙක් නිසි පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල පවසයි. බළලුන්ගෙන් මිනිසාට බෝ වන 'ටොක්ෂි ප්ලාස්මා' නැමැති රෝගය අලින්ට වැළඳුණු අවස්ථා පසුගිය කාලයේ වාර්තා වී තිබෙන බවත් හීලෑ අලින්ගෙන් සියයට හැටකට පමණ පණු අමාරුව සහ ඇස්ලෙඩ තිබෙන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි. මහනුවර ඇසළ පෙරහරට සහභාගී වන අලිඇතුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ වසර දොළහක පමණ කාලයක සිට අඛණ්ඩව සිදු කරන බවයි වෛද්‍ය අශෝක දංගොල්ල පවසන්නේ. නිසි ප්‍රතිකාර ලබා දීමෙන් ක්‍ෂය රෝගය නිට්ටාවට සුව කළ හැකි බවත් ඓදයවරයා පෙන්වා දෙයි.
කැටලෝනියාවේ ස්වයං පාලනය අත්හිටුවීමේ ක්‍රියාදාමය ලබන සෙනසුරාදා සිට ආරම්භ කරන බව ස්පාඤ්ඤය නිවේදනය කළේය.
ස්පාඤ්ඤය එම පියවර ගනු ලැබ තිබෙන්නේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන බවට එහි නායකයා තර්ජනය කිරීමෙන් අනතුරුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වෙනි වගන්තිය ක්‍රියාවට නැගීම පිණිස ස්පාඤ්ඤ කැබිනට් මණ්ඩලය ලබන සෙනසුරාදා රැස් වෙන බව අගමැති මරියානෝ රහොයි (Mariano Rajoy) නිකුත් කළ නිවේදනයක දැක්වේ. කැටලෝනියාව සෘජු පාලනයට පවරා ගැනීමට 1978 දී සම්මත කරන ලද ව්‍යවස්ථාවේ 155 වගන්තිය මගින් ස්පාඤ්ඤයට අවස්ථාව සැලසේ. ජනරාල් ෆ්‍රන්කෝ ගේ ඒකාධිපති පාලනය පෙරලා දැමීමෙන් වසර තුනකට පසුව සම්මත කෙරුණු 1978 ව්‍යවස්ථාව මගින් රටේ යළිත් වරක් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරුණු අතර, එහි 155 වෙනි වගන්තිය එවක් පටන් මේ වන තුරු ක්‍රියාවට නගා නැත. ස්පාඤ්ඤය දිගින් දිගටම තමන්ට එරෙහිව "මර්දනය දියත් කළහොත්" ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව කැටලෝනියාවේ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන බවට කැටලෝනියාවේ නායක කාලෙස් පුෂ්දිමොන් (Carles Puigdemont) මීට ඉහතදී පැවසීය. එසේ වුවහොත් කළාපයේ යළිත් වරක් ප්‍රචණ්ඩත්වය පැතිර යනු ඇතැයි බිය පළවෙමින් පවතී. මැඩ්රිඩ් පාලනයේ දැඩි විරෝධය මැද පසුගියදා පැවති ජනමත විචාරණයෙන් අනතුරුව කැටලෝනියාව සහ මැඩ්රිඩ් පාලනය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය. ජනමත විචාරණයේ දී බහුතර ජනතාව නිදහස රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට පක්ෂව ඡන්දය භාවිත කළ බව කැටලෝනියාවේ නායකයන් පවසන නමුත්, එය නීති විරෝධී ජනමත විචාරණයක් යන්න ස්පාඤ්ඤයේ ස්ථාවරය වී තිබේ. සබැදි යොමු :
රුසියාව සහ ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඇති කර ගන්නා ලද සිරියාවේ සටන් විරාමය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.
එහෙත් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන කැරලිකරුවන්ට එරෙහිව දිගටම ප්‍රහාරඑල්ල කිරීමට සිරියානු ආණ්ඩුවට අවසරය හිමි වේ. සටන් විරාමය ක්‍රියාවට නැගීමට පැය කිහිපයකට පෙරාතුව දරායා නගරයේ සංචාරයක් අතරවාරයේ ප්‍රකාශයක් කළ ජනාධිපති අසාද් අල් බශාර් සිරියාව සම්පූර්ණයෙන් කැරලිකරුවන්ගේ පාලනයෙන් නිදහස් කරගන්නා බව අවධාරණය කළේය. දින හතක් සටන් විරාමය ක්‍රියාත්මක වුවහොත්, ජිහාඩ් කැරලිකරුවන්ට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කරන බවට රුසියාව සහ ඇමෙරිකාව ප්‍රතිඥා දී තිබේ. සටන් විරාමය ක්‍රියාවට නැගීමට නම් සහතික කිහිපයක් ලබා දිය යුතු බව කැරලිකාර කණ්ඩායම් කිහිපයක් ඊට පෙරාතුව ඉල්ලා සිටියහ. ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙසින් හඳුන්වන්නේ කුමන කණ්ඩායම්ද යන්න පිළිබඳව පැහැදිලි කළ යුතු බවයි, සිරියාවේ ප්‍රධාන විපක්ෂය කියා සිටියේ. සටන් විරාමයක් එකඟ වී තිබුනත් ගැටුම්වල අඩුවක් දක්නට නොලැබුන අතර, විශේෂයෙන්ම අලෙප්පෝ නගරයේ දිගටම සටන් පැවතිණි.
අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර ගියේය.
ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16 කින් ඔහු ගැයූ ගී ගොන්නට ඇතුළත් ය. ඔහු මිය යන විට 74 වෙනි වියේ පසුවිණි. එස්පී බාලසුබ්‍රමනියම් මියගියේ කෝවිඩ්19 රෝගය වැළඳී දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමෙන් අනතුරුවය. ගීත ලෝලීන්, ඉන්දීය තාරුකාවන් ඇතුළු බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුට ප්‍රණාමය පළකරමින් සිටිති. කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් එස් පී බාලසුබ්‍රමනියම් මුලින්ම තමිල්නාඩුවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසය මුලදීය. පසුව සැප්තැම්බර් මුල සතියේ ඔහුට රෝගය සුව වී ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ නමුත් දිගටම දැඩි සත්කාර ඒකකයේ රඳවනු ලැබ සිටියේය. ඔහුගේ රසිකයන් ඔහු දැන සිටියේ එස්පීබී (SPB) නමිනි. දකුණු ඉන්දීය දෙමළ සහ තෙළුගු සිනමාවෙන් සිය ගීත චාරිකාව ආරම්භ කළ එස්පීබී, බොලිවුඩ් සිනමාවේ සාර්ථක වූ පළමු දකුණු ඉන්දීය ගායකයා බවට පත්විය. ඔහු මියගිය බව අනාවරණය වීමත් සමඟම සිය මතකයේ රැඳුණු ඔහුගේ ගීත සිහිපත් කරමින් රසික රසිකාවියෝ සිය ජනප්‍රිය ගායකයාට ප්‍රණාමය පුදකරමින් සිටිති. ගීත ගායනා කරන බව හඟවමින් නලුවන් නර්තනයේ යෙදෙන අතර ඔහුගේ ගීත මිමිනූහ. යුගයේ ඉහළම සංගීතවේදීන් වන ඒආර් රහ්මාන් සහ ඉලෙයිරාජා ගේ සංගීතයට ඔහුගේ මියුරු හඬ මුසුවිය. 1981 දී ජනප්‍රියම සිනමා සිත්තමක් වූ 'ඒක් දුජේ කේ ලියේ' (Ek Duuje Ke Liye) ප්‍රේම කතාවට සිය මියුරු හඬ මුසු කරමින් ඔහු බොලිවුඩයේ ජනප්‍රියම ගායකයන් අතරට එක්විය. දකුණු ඉන්දීය උච්චාරණයක් ඇති ශිල්පියෙකු වුවද බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම තාරුකාවක් බවට පත් වූ එස් පී බාලසුබ්‍රමනියම් සල්මාන් ඛාන් ඇතුළු බොහෝ තාරුකාවන්ගේ 'ගායන හඬ' බවට පත්විය. කියවන්න: 1946 දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නෙල්ලෝර් හි මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ බාලසුබ්‍රමනියම් ගේ පියා ද ගායකයෙකු වූ නමුත් ඔහු ශාස්ත්‍රීය සංගීතය ඉගෙනීමට යොමු නොවීය. ඒ වෙනුවට මදුරාසි (වර්තමානයේ චෙන්නායි) නගරය වෙත ගිය තරුණ බාලසුබ්‍රමනියම්, සිය මිතුරන් සමඟ එක්ව සංගීත කණ්ඩායමක් නිර්මාණය කළේය. පසු කලෙක ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සංගීත ශිල්පියෙකු බවට පත් වූ ඉලෙයිරාජා ඒ කණ්ඩායමේ ගිටාර් වාදකයා විය. එවක ප්‍රදේශයේ සිනමා සන්ගාත ශිල්පීන් විසින් ඔහුගේ දක්ෂතාව හඳුනාගන්නා විට ඔහු උසස් අධ්‍යාපන ආයතනයක ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියේය. එහිදී ඉංජිනේරුවෙකු වීම අත්හැර දැමූ ඔහු ගායනය තෝරා ගත්තේය. 1969 දී දෙමළ සිනමාවේ සුපිරි නලු එම්ජී රාමචන්ද්‍රන් වෙනුවෙන් ගීත ගායනය කිරීමත් සමඟ දකුණු ඉන්දීය සිනමාවේ ඔහුගේ පළමු සන්ධිස්ථානය සනිටුහන් කෙරිණ. කියවන්න:
ඉන්දියාවේ තවදුරටත් පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර කොවැක්ස් එන්නත් වැඩසටහන සඳහා එන්නත් මාත්‍රා මිලියන 140 ක හිඟයක් ඇතිව තිබේ.
කොවැක්ස් යනු කොවිඩ් එන්නත් ලබා ගැනීමට සමාන අවස්ථා හිමි කර ගැනීම සහතික කරනුවස් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර එන්නත් වැඩසටහනයි. කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 264,000 ක් ලැබී තිබිණි. කොවැක්ස් වැඩසටහනේ විශාලතම තනි එන්නත් සැපයුම්කරු ඉන්දියාවේ සීරම් ආයතනයයි (SII ලෙස ද හැඳින්වේ). මාර්තු මස එරට අපනයන අත්හිටුවීමත් සමග සීරම් ආයතනය පෙර සැලසුම් කර තිබූ එකඳු නැව්ගත කිරීමක් හෝ සිදු කර නොමැත. කොවැක්ස් වැඩසටහන වෙනුවෙන් එන්නත් මිලදී ගෙන බෙදා හරිනු ලබන්නේ එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානය විසිනි. G7 සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් සතු එන්නත් මාත්‍රා, සෙසු රටවල් සමග බෙදා ගන්නා ලෙස යුනිසෙෆ් සංවිධානය එම රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියි. ඔවුන් ලබන මස එක්සත් රාජධානියේ දී හමුවීමට නියමිතය. තමන්ගේම වැසියන්ට එන්නත් ලබා දීමේ වගකීම සපුරාලන අතරේ ඉහත කී රටවල් එක්ව සෙසු රටවලට එන්නත් මාත්‍රා මිලියන153 ක් ප්‍රදානය කිරීමේ හැකියාවක් ඇති බව තමා විසින් ලබා ගන්නා ලද දත්ත මගින් පෙනෙන්නට ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි. 'විශාල කනස්සල්ලක්' කොවිඩ් 19 ; ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ඇති විකල්ප මොනවාද ? සීරම් ආයතනය, කොවැක්ස් වෙත සැපයීමට තිබූ එන්නත් බිලියන දෙකෙන් අඩක් පමණ මේ වසර තුළදී ලබා දීමට නියමිතව තිබිණි. එහෙත් මාර්තු, අප්‍රේල් හෝ මැයි යන මාස සඳහා සැපයුම් ලැබී නොමැත. ජුනි අග වන විට මාත්‍රා හිඟය මිලියන 190 දක්වා වර්ධනය වෙතැයි බලාපොරොත්තු පළ වේ. "අවාසනාවකට, මීළඟ මාත්‍රා තොගය ලැබෙන්නේ කවදාද යන්න කිව නොහැකි තැනක අප ඉන්නේ," යනුවෙන් යුනිසෙෆ් හි කොවැක්ස් සැපයුම පිළිබඳ සම්බන්ධීකාරක ගියාන් ගාන්ධි පැවසීය. "දේවල් යථා තත්ත්වයට පත් වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහෙත් ඉන්දියාවේ තත්ත්වය අවිනිශ්චිතයි.... ඒ වගේම විශාල කනස්සල්ලක් තිබෙන්නේ," තමා සතු අතිරේක එන්නත් සැපයුම් හැකි ඉක්මනින් පරිත්‍යාග කරන ලෙස යුනිසෙෆ් සංවිධානය G7 සාමාජික රටවල් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙන්ම යුරෝපා සංගමයේ සාමාජික රටවලින් ද ඉල්ලා සිටියි. ඇතැම් රටවල් සිය ජනගහනය මෙන් කිහිප ගුණයක් එන්නත් ඇනවුම් කර තිබේ. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ කැනඩාව ද ඒ අතර වෙති. එක්සත් රාජධානිය සතු අතිරේක සැපයුම්වලින් වැඩි කොටසක් වඩාත් දුප්පත් රටවලට ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පෙබරවාරි මසදී පොරොන්දු විය. එහෙත් ඔහු එය ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත කාලයක් පිළිබඳ සඳහන් කර නොමැත. එක්සත් ජනපදය සම්බන්ධයෙන් ද ඇත්තේ ඒ හා සමාන කතාවකි. ඉන්දියාවේ අර්බුදය දැක මේ දක්වා මාත්‍රා ප්‍රදානය කර ඇති එකම G7 සාමාජික රට ප්‍රංශයයි. නේපාලයේ කොවැක්ස් බෙදා හැරීම ජුනි, ජුලි සහ අගෝස්තු යන මාසයන්හි සිය මාත්‍රා සැපයුමෙන් 20% ක් ප්‍රදානය කිරීමෙන් වඩාත් දුප්පත් රටවල එන්නත් හිඟය අවම කිරීමට ධනවත් සහ ප්‍රබල G7 රටවලට හැකි බව යුනිසෙෆ් පවසයි. ජුනි මැද වන විට මාත්‍රා ලක්ෂ පහක් ලබා දීමට ප්‍රංශය පොරොන්දු වී ඇති අතර ඉදිරි සතිවලදී සිය දේශීය සැපයුම්වලින් මාත්‍රා ලක්ෂයක් ලබා දීමට බෙල්ජියම පොරොන්දු වී තිබේ. සිය සැපයුම් සෙසු රටවල් හා බෙදා ගැනීමට පොරොන්දු වී ඇති අතලොස්සක් රටවල් අතර ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද වෙති. ඉන්දියාවේ සිදුවෙමින් පවතින දේ ඒ අසල සහ කලාපයෙන් බැහැර සෙසු රටවල ද සිදුවීමට ඇති හැකියාව පිළිබඳ විශාල සැලකිල්ලක් යොමු වේ. "නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින... ඒ වගේම ආජන්ටිනාව සහ බ්‍රසීලය වැනි රටවල විශාල වශයෙන් රෝගීන් හමු වෙන අතරේ ඒවායේ සෞඛ්‍ය පද්ධතිය දුෂ්කර සටනක යෙදී සිටිනවා," යනුවෙන් යුනිසෙෆ් හි අධ්‍යක්ෂිකා හෙන්රියෙටා ෆෝ පැවසීය. "ළමුන් සහ පවුල්වලට සිදුවන හානිය ගණනය කරන්න බැරි වේවි," එන්නත් ගැටලුව තවත් ඉහළ යාම කොවැක්ස් වැඩසටහන හරහා ලැබෙන එන්නත් මත වැඩි විශ්වාසයක් තබා ඇති ඇතැම් රාජ්‍යයන් අතර අප්‍රිකානු රටවල් ද වෙති. එහෙත් ලොව බොහෝ කොටස්වල මෙන් එහිද ඇතැම් ප්‍රජාවන් අතර එන්නත ලබා ගැනීමට පැකිලෙන ස්වභාවයක් දක්නට ඇත. එන්නත ජනතාවගේ අතටම පත් කර දීම තවත් ප්‍රධානතම අභියෝගයකි: ඒ සඳහා සෞඛ්‍ය සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබා දිය යුතු අතර එන්නත් අඩංගු කුප්පි යටිතල පහසුකම් අඩු, දුරබැහැර හෝ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වෙත ප්‍රවාහනය කළ යුතුවේ. මේ වන විටත් පළමු එන්නත ලබා දී ඇති, වඩාත් අනතුරුදායක කාණ්ඩයේ සිටින පුද්ගලයන්ට දෙවෙනි එන්නත ලබා දෙනවාද නැතිනම් මීළඟ එන්නත් තොගය නුදුරේම ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන්, සැලසුම් කළ පරිදි තවත් පුද්ගලයන්ට දිගටම එන්නත් ලබා දෙනවාද යන්න තීන්දු කිරීමට ඇතැම් රටවලට සිදුව ඇත. "බොහෝ අප්‍රිකානු රටවල සෞඛ්‍ය සේවකයන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන පුද්ගලයන්ට තවමත් එන්නත් ලබා දිය යුතු තත්ත්වයක අපි ඉන්නේ," යනුවෙන් ගියාන් ගාන්ධි පැවසීය. "එසේ වුවත් ඉහළ ආදායම් සහිත රටවල් යෞවන වියේ පසුවෙන්නන් වැනි කොවිඩ් අවදානම අඩු ජනයාට එන්නත ලබා දෙමින් සිටිනවා," ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි රුවන්ඩාව, සෙනගාලය සහ ඝානාව ඇතුළු ඇතැම් රටවල් තමන් සතුව තිබූ අවසන් මාත්‍රා ලබා දෙමින් සිටිති. අප්‍රිකාවේ කොවැක්ස් ලබා දීම මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය "ඉන්දියාවේ තත්ත්වය ගැන අපි ඇත්තෙම දුකට පත් වෙනවා," ලෝක සෞඛ්‍ය සංවිධානයේ, අප්‍රිකාවේ ප්‍රතිශක්තීකරණ සහ එන්නත් වැඩිදියුණු කිරීමේ වැඩසටහනේ වෛද්‍ය රිචර්ඩ් මිහිගෝ පවසයි. "අපේ කොවැක්ස් මාත්‍රාවලින් (මිලියන 18) වැඩි ප්‍රමාණයක් මෙතෙක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්," "ප්‍රමාණවත් තරම් එන්නත් තිබෙන රටවල් ඒවා බෙදා හදා ගැනීමට සහාය දීමේ ගෝලීය ප්‍රතිඥාව රැකීම අතිශය වැදගත් කියා මා සිතනවා. මක්නිසාද යත් සෑම තැනකම වෛරසය පැතිරීම අප නවතා නොදැමුවොත්, ජනතාවට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී ඇති ස්ථානවල පවා මේ වසංගතය අවසන් කිරීම අතිශය දුෂ්කර විය හැකියි." මොකක්ද මේ කොවැක්ස්? කොවැක්ස් වැඩසටහන යළි නියමිත ඉලක්කය වෙත යොමු කර ගැනීමේ උත්සාහයක් වශයෙන් වෙනත් එන්නත් සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයන් අතර අලුතින් එකඟතාවන්ට පැමිණීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. එහෙත් ඉන්දියාවෙන් ලැබීමට නියමිතව තිබූ හිඟ එන්නත් ප්‍රමාණය එළඹෙන සතිවලදී සපුරා ගැනීමට එම කිසිඳු ගිවිසුමකට හැකියාවක් නොමැත. වඩාත් දුගී රටවල් සඳහා එම හිඟ එන්නත් ප්‍රමාණය පියවා ගැනීමට මේ මොහොතේ ඇති එකම මග වන්නේ වඩා ධනවත් රටවල් විසින් සිය අතිරික්ත ඇනවුම්වලින් කොටසක් පරිත්‍යාග කරනු ලැබීම පමණි. (ගෝලීය සෞඛ්‍ය වාර්තාකාරිනී ටියුලිප් මසුම්දර්ගේ වාර්තාවක් ඇසුරෙනි)
යාපනයේ පළමු වරට ජාත්‍යන්තර සිනමා උළෙලක් සංවිධානය කළේ, උතුරත් දකුණත් අතර කිසියම් ගනුදෙනුවක් ඇති කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් බව සංවිධායකයෝ පවසති.
'ඇත්තටම අපි මේ කියවන ඉතිහාසය ඉතිහාසයද?' "අවුරුද්දේ විවිධ මාසවල වරින්වර සිදු වුනු සියලු ක්‍රියාකාරකම් එක වේදිකාවකට ගෙනල්ලා එකවර උළෙලක් විදිහට ඉදිරිපත් කිරීමක් තමයි මෙහිදී සිදු වුනේ," සිනමා උළෙලේ අධ්‍යක්ෂකවරිය අනෝමා රාජකරුණා කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. යුද්ධය නිසා බිඳුණු හදවත් සුවපත් කිරීමට සිනමාව ප්‍රවේශයක් කර ගත හැක්කේ කෙසේදැයි යන්න පැහැදිලි කරමින් ඇය සඳහන් කළේ පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ බිහි වූයේ ''රජ කතා සහ ඉතිහාස කතා පමණක්'' බවයි. "ඇත්තටම අපි මේ කියවන ඉතිහාසය ඉතිහාසයද?" රජ කතා සහ වීර කතාවලට පමණක් කැප වූ ලාංකීය සිනමාවක් තුළ උතුරේ තරුණ පිරිස් සිය නිර්මාණ හරහා තම ජීවන වෘතාන්ත තිරයට නැගීමට උත්සාහ කරන බවයි ඇය කියා සිටියේ. 'තරුණ පරපුරෙන් ඉහළ ප්‍රතිචාර' "ඒ ඔවුන්ගේම කතා මේ කලාපයෙන් බැහැර පිරිසකට දැන ගැනීමේ අවස්ථාවක් ලැබිලා තියනවා. මේ උළෙලට ඇතුළත් නිර්මාණ අතුරින් වැඩි හරියක් දෙමළ භාෂාවෙන් මේ කලාපයේ නිර්මාණය වෙච්ච නිර්මාණ." ජාත්‍යන්තර සිනමා උළෙල හරහා සිනමාව නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නැගෙන බවත් එමගින් දෙපාර්ශවය අතර සන්නිවේදනයක් ගොඩ නැගෙන බවත් සිනමා නිර්මාණ ශිල්පිනී අනෝමා රාජකරුණා පෙන්වා දෙන්නීය. "කෙටි චිත්‍රපටකරුවෝ විසි තුන් දෙනෙක් චිත්‍රපටි ඉදිරිපත් කරලා තියනවා. ඔවුන්ගෙන් සමහරක් සිංහල කතා කරන අය. ඔවුන්ගෙන් සමහරක් දෙමළ කතා කරන අය. අපි දැක්කා ඔවුන් අතර ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙනවා." සිනමාව වැනි ප්‍රකාශන මාධ්‍යයක් උපයෝගී කොට ගෙන මෙතෙක් පළ නොකළ අදහස් පළ කිරීමට මෙම නිර්මාණකරුවන්ට උළෙල හරහා අවස්ථාව ලැබී ඇති බවයි ඇය පවසන්නේ. බිඳුණු හදවත් සුවපත් කිරීමට 'සිනමාව ප්‍රවේශයක්' කෙටි චිත්‍රපට නිර්මාණ ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් බිහි වන්නේ යාපනයේ බවත් ඇය සඳහන් කළාය. සිනමා උළෙල සඳහා උතුරේ මෙන්ම කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි තරුණ සිනමා ලෝලීන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බවත් සිනමා උළෙලේ අධ්‍යක්ෂකවරිය අනෝමා රාජකරුණා වැඩිදුරටත් කියා සිටියාය. සැප්තැම්බර් 15 වැනි දින ආරම්භ වූ සිනමා උළෙල 21 වනදා දක්වා පැවැත්වේ.
පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී රථ පෙළපාලියකට සැඟවී සිට කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇත.
ඡන්දය දැමීමේ කටයුතු ඇරඹීමට පැය ගණනක් තිබියදීයි පුද්ගලයන් හත් දෙනෙකු මෙසේ වෙඩිතබා මරා දමා ඇත්තේ. පිලිපීන ජනාධිපතිවරණයේ ඡන්දය දැමීමේ කටයුතු ඇරඹීමට පැය ගණනක් තිබියදී මේ ඝාතන සිදුවී ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් මැතිවරණ නිලධාරීන් ගේ අවධානයට ලක්ව තිබූ ප්‍රදේශයකයි. කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේද යන්න පැහැදිලි නැත. සෙනසුරාදා නගරාධිපති පදවිය වෙනුවෙන් තරඟ වැදුණු අපේක්ෂකයෙකුද දකුණු පිලිපීනයේ දී ඝාතනය කෙරිණි . ජනාධිපති ධූර අපේක්ෂකයන්-උප ජනාධිපති ජෙජෝමර් බිනායි, සෙනෙට් සභික මිරියම් සන්තියාගෝ, දවාවෝ නගරාධිපති රොඩ්රිගෝ දුටර්ටේ, සෙනෙට් සභික ග්‍රේස් පෝ සහ ස්වදේශ ලේකම් මාර් රොක්සාස් මේ අතර මිලියන ගණනක් වූ පිලිපීන ජනතාව ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කරමින් සිටින බවයි වාර්තා වන්නේ. පිලිපීන දේශපාලනයේ ප්‍රභලයන් අසතුටට පත්කරමින් අධිකාරීවාදී ප්‍රාදේශීය සභා නායකයෙකු ජනාධිපති පදවිය ලබාගැනීමේ සටනට එක්වී සිටියි. කෙසේවුවද ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයන් පස් දෙනෙකු තරඟ කරන නමුත් රොඩ්රිගෝ ඉදරියෙන් සිටින බවයි වාර්තා වන්නේ . තම දේශපාලන ප්‍රචාරක ක්‍රියාවලියේ දී ජනාධිපති අපේක්ෂක රොඩ්රිගෝ දුටාර්ටේ අදහස් පළකර තිබුණේ තමාගේ ජයග්‍රහණයෙන් පසු දහස් ගණනක් අපරාධකරුවන් මරා දමන බවටත් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉවත්කරන බවටත් තර්ජනය කරමින්. මේ ප්‍රකාශය පිළිබඳව දේශපාලන විචාරකයන් අනතුරු අඟවා ඇත්තේ වසර තිහකට අධික කාලයක් පිලිපීනයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් වීමේ පෙර ලකුණු පෙන්වන බව සඳහන් කරමින්. ව්‍යවස්ථාව අනුව වර්තමාන ජනාධිපති අකිනෝට පදවිය හෙබවිය හැක්කේ එක වතාවක් පමණි මෙම ජනාධිපතිවරණයේ දී ජනතාවගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ආර්ථිකය, සහ අසමානතාවය සහ දුෂණ පිළිබඳවයි . පිලිපීන ව්‍යවස්ථාව අනුව ජනාධිපති පදවිය හෙබවිය හැක්කේ වසර හයක කාලයක් සඳහා එක වරක් පමණක් බැවින් ජනාධිපති බෙනිනෝ අකිනෝ ජනාධිපති පදවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ . මෙම මැතිවරණයේ දී ජනාධිපති, උප ජනාධිපති සහ ප්‍රාදේශීය සභා නායකයන් තෝරාගැනීම සඳහා පිලිපීන ජනතාවට අවස්තාව ලැබී තිබේ .
එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ කළ ඕස්ට්‍රේලියානු ජාතික කඳු නගින ක්‍රීඩිකාවක් මරුමුවට පත් වී තිබේ.
තවත් ඉන්දීය ජාතික කඳු නගින්නන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් වාර්තා වේ ලොව උසම කන්ද වන එවරස්ට් තරණය කිරීමට ගොස් දින කීපයක් තුළ වාර්තා වූ දෙවන මරණය මෙයයි. රෝගාතුර වූ මරියා ස්ට්‍රයිඩොම් කඳු මුදුනේ සිට ආපසු බසිමින් සිටියදී සෙනසුරාදා මරණයට පත් වී තිබේ. එවරස්ට් අභියෝගය ජය ගැනීමට උත්සාහ ගත් නෙදර්ලන්ත ජාතික කඳු නගින්නෙකු වන එරික් ඇරී ආනොල්ඩ් මීට දින කීපයකට ඉහතදී මරුමුවට පත් විය. තවත් ඉන්දීය ජාතික කඳු නගින්නන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් වාර්තා වේ. මේ දක්වා එවරස්ට් කන්ද සාර්ථක ලෙස තරණය කොට ඇති පිරිස තුන්දහසකට ආසන්නයි පසුගිය වසරේ නේපාලයේ හට ගත් දරුණු භූමිකම්පාවෙන් එවරස්ට් තරණයේ යෙදී සිටි දහඅට දෙනකු මරුමුවට පත් විය. ඉන් අනතුරුව ආරම්භ වූ පළමු කඳු නැගීමේ වාරය මෙයයි. මේ දක්වා එවරස්ට් කන්ද සාර්ථක ලෙස තරණය කොට ඇති පිරිස තුන්දහසකට ආසන්නයි.
චීන පොලිසිය අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා 'මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය' අන්තර්ගත අව් කණ්ණාඩි විශේෂයක් භාවිතා කිරීම ආරම්භ කර ඇත.
'දත්ත ගබඩාවකට' සම්බන්ධ කර ඇති අව් කණ්ණාඩි අපරාධවලට සම්බන්ධවූවන්ගේ සහ නීතියේ රැහැනින් පලා යන පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් 'දත්ත ගබඩාවකට' සම්බන්ධ කර ඇති එම අව් කණ්ණාඩි පැළදගත් පොලිස් නිලධාරීන්ට විශාල පිරිසක් පරිලෝකනය කරමින්, ඔවුන් අතර සැඟවී සිටින සැකකරුවන් හඳුනාගැනීමට හැකි වෙයි. එවැනි තාක්ෂණයක් භාවිතා කිරීම තුලින් රාජ්‍යයේ බල අධිකාරිය තවත් ශක්තිමත් විය හැකි බවට විවේචන එල්ල වී ඇත. ඉහත කී ආකාරයේ අව් කණ්නාඩි පාවිච්චි කරමින් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දැනටමත් හැකි වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. කාර්ය බහුල දුම්රිය ස්ථානවල එම අව් කණ්ණාඩි භාවිතා කරමින් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකි වී ඇත. එමගින් මෝටර් රථ අනතුරු සිදු කර පලා ගිය පුද්ගලයන්, මිනිස් ජාවාරමේ යෙදෙන්නන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මේ තොරතුරුද දැනගන්න: චීනය නව මාදිලියේ යුද නැවක් දියත් කරයි චීනය ‘සයිබර්’ යුද්ධයට සැරසෙයි විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරන විසි හය දෙනෙකු හඳුනාගැනීමට ද එම අව් කණ්ණාඩි උපකාර වී ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 'People's Daily (පීපල්ස් ඩේලි) පුවත්පත වාර්තා කරයි. මෙම අව් කණ්ණාඩියට භාවිතා කර ඇති තාක්ෂණය මගින් පොලිසියට සැක කටයුතු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ගෙන එය දත්ත ගබඩාවේ ඇති ඡායාරූපය සමඟ සංසන්දනය කළ හැකිවෙයි. එම ඡායාරූප දෙක එකට ගැළපුනහොත් අදාළ පුද්ගලයාගේ නම සහ ලිපිනය ඒ මොහොතේම පොලිස් නිලධාරියාට ලැබෙයි. එහෙත් චීන පාලකයන්ට මෙම තාක්ෂණය දේශපාලන විරුද්ධවාදීන් සහ සුළු ජාතිකයන් මර්දනය කිරීමටත් යොදා ගත හැකි බවට මත පළ වෙමින් පවතී. ලෝකයේ සෙසු රටවල් සමඟ සංසන්දනය කිරීමේදී මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතය අතින් ඉදිරියෙන්ම සිටින රට චීනයයි. එම තාක්ෂණය හේතුවෙන් කිසිම පුද්ගලයෙකුට නීතිය මග හරිමින් කටයුතු කළ නොහැකි බවට චීන බලධාරීහු අනතුරු අඟවති. චීනයේ දැනට සවි කර ඇති CCTV කැමරා ගණන කෝටි දාහතක් පමණ වන අතර තවත් එබඳු කැමරා කෝටි හතළිහක් සවි කිරීමේ සැලැස්මක් පවතී. එම කැමරාවලින් බහුතරයක් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත ඒවා වන අතර, එය අද ලෝකයේ පුළුල්ම CCTV කැමරා පද්ධතියයි.
විල්පත්තුව අභය භුමියේ දැනට සිදු කරන අනවසර ඉදිකිරීම් වහාම නැවැත්වීමට ක්‍රියා කරන ලෙස පරිසර සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
මේ වන විට විල්පත්තුව අභය භුමියේ උතුරු කොටසේ අනවසරයෙන් කුඩාරම් හා ස්ථිර ඉදිකිරීම් සිදු කරන බවයි ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් ප්‍රකාශ කළේ. ලංකාවේ සුවිශේෂිම පරිසර පද්ධතියක මෙවැනි අනවසර ක්‍රියා සිදු විමට ඉඩදී බලධාරීන් නිහඬව සිටීම පිළිබඳව ද පරිසරවේදීන් විමතියට පත්ව සිටින බවත් ඔහු පැවසීය. පුත්තලම, අනුරාධපුරය, මන්නාරම යන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 03 කට මායිම්ව විල්පත්තුව වන උද්‍යානය පිහිටා තිබෙන අතර මෙය වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 දී. හෙක්ටයාර 131693 ක ප්‍රදේශයක පැතිර පවතින විල්පත්තුව වන උද්‍යානය 1947 නොවැම්බර් මාසයේදී අභය භුමියක් ලෙස ප්‍රකාශ කෙරුණි. විල්පත්තුව උතුරු අභය භුමියේ ප්‍රමාණය අක්කර 4640 ක් වන අතර මෙහි මේ වන විට සිදුකරන අනවසර ඉදිකිරීම් විල්පත්තුව වන උද්‍යානයටද තදින්ම බලපා තිබේ. විල්පත්තුව ශ්‍රී ලංකාවේදී දිවියා, වළහා සහ අලියා පහසුවෙන් බලා ගත හැකි වනෝද්‍යානයක්. උතුරු විල්පත්තුවේ සිදු වන අනවසර ක්‍රියා නැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විල්පත්තුව දකුණ ප්‍රදේශයේ තබ්බෝව අභය භුමියේ ජිවත් වන ජනතාව කනස්සල්ලට පත් ව සිටිති. වසර 15 ක සිට ප්‍රදේශයේ දිවි ගෙවන තමන්ට මේ වන විට නීතිමය ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව පවසන මේ ජනතාව, තමන්ට එක නීතියකුත් උතුරු අභය භුමියේ අනවසර ඉදිකිරීම් සිදුකරන පුද්ගලයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා කියා සිටියේ විල්පත්තුව පිළිබද සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි. විල්පත්තුව උතුරු අභය භුමියේ මේ වන විට තාවකාලික කුඩාරම් ගණනාවක් ඉදිකර තිබෙන බව පිළිගත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩි. රත්නායක අනවසර ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ද කියා සිටියේය. එසේ ඉවත් නොවුනහොත් ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වනජිවී අධ්‍යක්ෂ ජනරාල් වරයා සංදේශයට පැවසීය.
තරග ජයග්‍රහණයේදී වැඩිපුර මුදල් පිරිනැමෙන නව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග දැඩි විවේචනයට ලක්කරයි.
අද (ඔක්.24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ගිවිසුම පිළිබඳව මාධ්‍ය වේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු නව ක්‍රමය හඳුන්වා දුන්නේ සූදුවක් ලෙසිනි. "ක්‍රිකට් ගිවිසුම් හදනකොට ක්‍රීඩකයින් ආරක්ෂා වන විදියේ ගිවිසුම් හදන්න ඕන. ක්‍රීඩකයකුට කියනවා නම් තමන්ගේ රට නියෝජනය කරලා ටෙස්ට් තරගයක් දින්නම වැඩියෙන් මුදල් දෙනවා කියලා ඒක අනුමත කරන්න බැහැ. එතකොට ක්‍රීඩකයින් බලන්නේ රට නියෝජනය කරනවට වඩා තරග දිනලා සල්ලි හම්බ කරන්න" යැයි ඔහු පැවසීය. මෙය පාසල් ක්‍රීඩකයින්ට වැරදි පූර්වාදර්ශයක් සපයන පියවරක් ලෙස ද හඳුන්වා දුන් ඔහු පැවසුවේ, "මේකේ බරපතල කාරණය තරගයක් දින්නොත් වැඩිපුර සල්ලි ලැබෙනවා කියන ආකල්පය පාසල් දරුවන් අතරටත් යන්න පුළුවන්. එහෙම වුණොත් අපිට රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සොයා ගන්න අපහසු වෙයි. අද මේ කරන්නේ ක්‍රීඩාව නෙවෙයි සූදුව"යනුවෙනි. මුදල් සහ තරග ජයග්‍රහණ නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රීඩාවේ යහපතට හේතු නොවන බව පෙන්වාදෙන හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, අද බලධාරීන් ක්‍රිකට් පරිපාලනය ගෙනයන්නේ ක්‍රීඩකයන් එක් ලකුණකට ලබාගන්නා මුදල් ප්‍රමාණය සළකා බලමින් මුදල පෙරදැරිව බවට ද චෝදනා නැගීය. "ඒ විතරක් නෙමෙයි ක්‍රීඩකයෝ ගැන කථා කරන හැටි බලන්න. අපි දැක්කා පසුගියකාලේ එක ලකුණකට රුපියල් කීයද කියලා කියනවා. අමතක කරන්න එපා මේ ක්‍රීඩකයෝ තමන්ගේ ජීවිතයම කැප කරන්නේ ක්‍රීඩාවට. පාසල් කාලයේ ඉඳලම එහෙමයි. මම දන්නවා ක්‍රීඩකයෙක් කොච්චර කැපවීම් කරනවද කියලා. උදේ ගියාම ගෙදර යන්නේ රෑට. එවැනි ක්‍රීඩකයෙක්ට ලකුණකට රුපියල් කීයද? කඩුල්ලකට රුපියල් කීයද? කියලා කියමින් ඒ වගේ පහත් තත්ත්වයට දාන්න හොඳ නැහැ. මං කණගාටු වුණා ඒක දැක්කම" ලෝක කුසලානය හෝ වෙනත් විශේෂ තරගාවලියක් ජයග්‍රහණයකරන අවස්ථාවේ ක්‍රීඩකයන්ට වැඩි මුදලක් ගෙවීම පිළිබඳව තමන් විරුද්ධ නොවුව ද, එය සෑම තරගයකටම වලංගු කිරීම යෝග්‍ය නොවන බව අර්ජුන රණතුංග පවසයි. එවිට ක්‍රීඩකයන් රට වෙනුවෙන් තරග ජයග්‍රහණය කිරීම පසෙක ලා මුදලට තරග ජයග්‍රහණය කරන හැඟීමක් නව කොන්ත්‍රාත් ක්‍රමයෙන් ඇතිවන බව ද ඔහු කියා සිටී.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී ඝාතනයට ලක් වීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සමාව ඉල්ලා සිටි බව ඔහුගේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා පවසයි.
ඝාතනය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් කණගාටුව පළ කළ පළමු වතාව මෙය බව මන්ත්‍රීවරයා පවසයි 2011 නත්තල් දින තංගල්ලේ දී කුරාම් ෂයික් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු අට දෙනකු අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබ සිටී. ඔවුන් සියලු දෙනාම තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරති. 'පළමු වතාව' බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු දූත පිරසක් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකින් අනතුරුව බීබීසී ය සමඟ අදහස් දැක්වූ රොක්ඩෙල් ප්‍රදේශය භාර ලේබර් පාක්ෂික මන්ත්‍රී සයිමන් ඩන්චුක් කියා සිටියේ, තමන්ට මුණ ගැසුණු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනකුම සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බවයි. 'කුරාම් ෂයික් ඝාතන පරීක්ෂණය පැවැත්වෙන ආකාරය සහ එහි ප්‍රමාදය අපිට පිළි ගන්න බැහැ' "මම හිතන්නේ, මේ ඝාතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහල මට්ටමේ කෙනෙක් කණගාටුව පළ කළ පළමු වතාව ඒකයි. ඒ නිසා ඒ ගැන අපේ ප්‍රසාදය පළ වෙනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. කුරාම් ෂයික් ඝාතන පරීක්ෂණය පැවැත්වෙන මන්දගාමී ස්වභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කිසිදු ප්‍රසාදයක් නොමැති බව විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සම්බන්ධ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් මීට ඉහත දී බීබීසී සංදේශයට පැවසීය. මේ අතර කුරාම් ෂයික් ගේ මිතුරිය, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා, දූෂණයට ලක් වී නැති බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, එවකට විපක්ෂය නියෝජනය කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා තිබුනේ. කෙසේ නමුත් ඇය දූෂණය කළ බවට වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා දුන් සාක්ෂියේ සටහන් පොලිස්පතිවරයා විසින් සිය කාර්යාලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී සයිමන් ඩන්චුක් ට පෙන්වූ බව මන්ත්‍රීවරයාගේ කාර්යාලය සනාථ කළේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කිරීම නියෝජ්‍ය අමාත්‍ය බර්ට් ප්‍රතික්ෂේප කළේ විදේශීය දේශපාලනඥයෙක් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයකට මැදිහත්වීම සුදුසු නැති බව පවසමින්.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදු විනැයි චෝදනා එල්ල කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස හයකින් ප්‍රමාද කරන බව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් නිවේදනය කළේය.
'වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි' එම තීන්දුව ගැනීම දුෂ්කර කරුණක් වූ බවයි මහ කොමසාරිස් වරයා පවසන්නේ. පළමු කාල සටහන අනුව කටයුතු කිරීම සහ වාර්තාවේ නිගමන ප්‍රකාශයට පත් කරනු ලැබීම තරමක් කල් තැබීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් පැවති බවත් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් සිය නිවේදනයේ සඳහන් කරයි. මෙය එක් වතාවක් පමණක් සිදු කෙරෙන කල් තැබීමක් වන බවත් ඔහු අවධාරණය කරයි. යටපත් කිරීමක්? තව දුරටත් අදහස් දක්වමින් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කියා තිබෙන්නේ, මානව හිමිකම් ක්‍රියාදාමයේ සමස්ත වැදගත් භාවය සම්බන්ධයෙන් සිය කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පවත්නා සූදානම සම්බන්ධයෙන් තමා වෙත පැහැදිලි පණිවුඩයක් ලැබී ඇති බවයි. තමාට පෙර පදවියේ කටයුතු කළ නවී පිල්ලේ විසින් පත් කරන ලද කීර්තිමත් විශේෂඥයන් තුන් දෙනා ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට දක්වන මනාපය සඳහා කාල පරාශයක් ලබා දීම සඳහා එක් තාවකාලික කල් තැබීමකට එකඟතාවය දැනුම් දී ඇති බවත් සයිඩ් අල් හුසේන් තව දුරටත් සඳහන් කරයි. "මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි," යනුවෙන්ද මහ කොමසාරිස්වරයා සිය නිවේදනයේ සඳහන් කරයි. මෙය පරීක්ෂණ වාර්තාව යටපත් කිරීමේ හෝ දිය කර හැරීමේ පළමු පියවර ලෙසින් ශ්‍රී ලංකාවේ දී සිය මානව හිමිකම් උල්ලංඝණයට ලක් වූ බොහෝ ජනතාව දකින්නට ඉඩ ඇතැයි තමාට හොඳින්ම වැටහෙන බවත් මහ කොමසාරිස්වරයා පවසයි. එහෙත් වාර්තාව නිකුත් කිරීම පමා කිරීම යනු එය යටපත් කිරීමේ උත්සාහයක් නොවන බව අවධාරණය කරන ඔහු, එය ලබන සැප්තැම්බර් මාසයේ නිකුත් කරන බවට තමන් පුද්ගලිකවම සහතික වන බවත් පවසයි.
ලන්ඩනයේ පිහිටි 'Guess' විලාසිතා සාප්පුවේ නියෝජිතවරියක ලෙස මෑතදී පත් කරනු ලැබූ බොලිවුඩ් තිරයේ ජනප්‍රිය තාරුකාවක වන ප්‍රියංකා චොප්රා ලන්ඩනයට පැමිණ සිටියේ ‘I can’t make you love me’ නම් ඇගේ පළමු ගීත තැටියේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්.
'මම සිනමාවට එනකොට, මම හිතන්නේ මම මොනවත් දැන ගෙන හිටියේ නැහැ' "මේක මගේ මුල්ම ගීත තැටිය. ඒක ගැන මම බොහොම ප්‍රහර්ෂයට පත් වෙලා ඉන්නේ," යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී ආසියානු සේවයේ ශබ්නම් මහමුඩ් සමඟ සංවාදයකට එක් වෙමින්. බොලිවුඩ් තාරුකාව රීජන්ට් වීදියට පැමිණි අවස්ථාවේ ඇය දැක ගැනීම පිණිස සිය ගණනක් සිනමා ලෝලීන් පොලිම් ගැසී සිටියේ, ලන්ඩනයේ මේ දිනවල පවතින දැඩි සීතලද නොතකමින්. "ඒ වගේම පොඩි චකිතයක් තියෙනව. මොකද මේක මට බොහොම විශේෂ ගීතයක්. මේ සින්දුව මුලින්ම පටන් ගත්තේ මීට අවුරුදු ගණනාවකට කලින්. ඒක හරිම ලස්සන සින්දුවක්. මට ගායිකාවක් වෙන්න හිතුනේ මේ සින්දුව නිසා. ඉතින් මට ඒක මුළු ලෝකෙම එක්ක බෙදා ගන්න හිතුනා." කාන්තා හිමිකම් මුලින්ම ගීත ගායනයට පිවිසෙද්දී තිබූ අභියෝග කවරේදැයි යන්න ශබ්නම් මහමුඩ් ඇයට යොමු කළ ප්‍රශ්නයක්. මුලින්ම රංගනයට පිවිසුන අවස්ථාවට වඩා මේ අභියෝග වෙනස්ද? 'සංගීතය කියන්නේ ළමා කාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණු දෙයක්' "මම සිනමාවට එනකොට, මම හිතන්නේ මම මොනවත් දැන ගෙන හිටියෙ නැහැ," ප්‍රියංකා චොප්රා පිළිතුරු දෙන්නේ සිනහ සෙමින්. "මේක කරන්නේ කොහොමද? වගේ මට හැමදෙයක් ගැනම මුල ඉඳලම ඉගෙන ගන්න වුනා. ඒත් සංගීතය කියන්නේ ළමා කාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණු දෙයක්. මගේ තාත්ත සින්දු කිවුව. ඒ දවස්වල මම තාත්ත එක්ක ස්ටේජ් ඒකටත් ගියා." මෝස්‌තර නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ප්‍රියංකා දැන් ගායන ක්ෂේත්‍රයටත් එක් වී සිටින්නීය. එමෙන්ම ඇය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ හඬ නඟන්නියක්. විශේෂයෙන්ම ඉන්දියාවේ බහුලව සිදු වන කනාතා කළල ගබ්සාව ප්‍රියංකා චොප්රාගේ දැඩි විවේචනයට ලක් වේ. "ඒක හරිම සංවේදී මාතෘකාවක් ඒත් ඒක ඇත්තක්. මිනිස්සු තමන්ගේ හදවතට කතා කරලා කියන්න ඕනේ, 'මේත් දරුවෙක්' කියල. එච්චරයි," යනුවෙන්ද ප්‍රියංකා ශබ්නම් මහමුඩ් සමඟ කියා සිටියාය. "ඒ දරුවටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම දැරිවියන්ට අධ්‍යාපනය ලබා දීමත්, ඔවුන් හොඳින් හදා වඩා ගැනීමත් ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න මම විශේෂ පදනමක් පිහිටුවල තියෙනව." ප්‍රියංකාගේ ගීත තැටිය සහ ඇයගේ අලුත්ම සිනමා පටය, ගුන්ඩේ, ලබන මාසයේ එලි දැක්වීමට නියමිතයි.
උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අතර එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් නොමැති බව පාලක සන්ධානය පවසයි.
නාම යෝජනා අත්සන් තැබූවන් අතර දයා මාස්ටර් ගේ නම නොමැති බව ඇමතිවරයා පවසයි පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. "මම දන්න තරමින් කිසිම එල්ටීටීඊ සාමාජිකයෙක් දැනට අත්සන් කරලා නෑ," ඔහු පැවසීය. එල්ටීටීඊයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නමින් ප්‍රකට වේලායුදම් දයානිධි ට නාම යෝජනා ලැබී නැති බව අමාත්‍යවරයා බීබීසී යට තහවුරු කළේය. ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් දයා මාස්ටර් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ, සිය නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳව තමන්ට තවමත් දැනුම් දීමක් කෙරී නැති බවයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ආණ්ඩුව යුද හමුදාව යොදා ගැනීමට ඉඩ තිබෙන බවට මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් කරන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන අමාත්‍යවරයා කියා සිටියේ, මැතිවරණය සඳහා ආණ්ඩුවට හමුදාවේ සහෝයෝගය අනවශ්‍ය බවයි. ඉදිරි සතිය පමණ ඇතුලත අන්තර ජාතික නිරීක්ෂකයන්ද දිවයිනට ලඟා වීමට නියමිත බැවින්, එම චෝදනාවල සත්‍ය අසත්‍ය භාවය ඉතා ඉක්මනින්ම දැන ගැනීමට හැකි වනු ඇතැයිද ඔහු බලාපොරොත්තු පළ කළේය. උතුර වයඹ සහ මධ්‍යම පළාත් සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන බදාදා නිමාවට පත්වේ.
දරුවන් ඝාතනය කිරීමේ "අපරාධ රැල්ලක්" මුල්කර ගනිමින් පාකිස්තානයේ කසුර් නගරයේ හටගත් කැරලි කෝලාහලවලදී උද්ඝෝෂණකයන් දෙදෙනෙකු මරුමුවට පත්විය.
දූෂණය කොට ගෙල මිරිකා මරා දමා තිබූ අට හැවිරිදි සෙනබ් දැරියගේ මළසිරුර අඟහරුවාදා (ජනවාරි 09) දින කසළ බැහැර කරන ස්ථානයක තිබී හමුවිය. ඒ වන විට ඇය අතුරුදහන් වී දින කිහිපයක් ගතවී තිබුණි. පැහැර ගැනීම්, ලිංගික අතවර සහ ඝාතන සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොමැති බව කුපිතවූ පිරිස් පවසති. කසුර් (Kasur) පොලීසිය පවසන පරිදි පසුගිය දෙවසර ඇතුළත මේ හා සමාන ඝාතන 12ක් සිදු වී තිබේ. කැරලි කෝලහල හේතුවෙන් දෙදෙනෙක් මියගොස් ඇත ඉන් පස්දෙනෙකුගේම ඝාතනවලට එක් සැකකරුවෙකු සම්බන්ධ බව ද පොලීසිය පවසයි. සැකකටයුතු 90 දෙනෙක්ගෙන් පමණ ඩීඑන්ඒ (DNA) සාම්පල ලබාගැනීමෙන් අනතුරුව, අදාළ සැකකරු අල්ලා ගැනීම පිණිස සියයකින් පමණ සමන්විත පොලිස් බලඇණියක් යොදවනු ලැබ තිබේ. ලාහොර් නගරයට කිලෝමීටර 20ක් පමණ දකුණු දෙසින් පිහිටි කසුර් පොලිස් මූලස්ථානය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු කුපිත වූ පිරිස්වලට පොලීසිය වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුමුවට පත්විය. පාකිස්තානය කළඹන ළමා ඝාතන සෙනබ්ගේ ඝාතනයත් සමග පාකිස්තානය පුරා සිදුවන කෘර ඝාතනයන්ට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් මතු වී තිබේ. ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ජනප්‍රිය සිනමා සහ ක්‍රිකට් තාරකාවන් ඉල්ලා සිටින අතර, යුද හමුදාව ද පොලීසියට සහාය දීමට ඉදිරිපත්ව සිටී. සෙනබ් දැරිය අතුරුදහන්ව තිබුනේ ඇය කුරාණය කියවීමට යමින් සිටියදීය. ඉන් පසුව අඟහරුවාදා ඇගේ සිරුර හමුවුනේ නිවසට කිලෝමීටර දෙකක් පමණ දුරකිනි. දැරිය අතුරුදහන් බව පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බව සෙනබ්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති. එසේම, දැරිය ගමන්ගත් මාර්ගයේ ඇති සීසීටීවී (CCTV) දර්ශන පවා රැස්කර තිබුනේ පොලීසිය නොව ඇගේ ඥාතීන් විසිනි. දැරිය පුද්ගලයෙක් අතින් අල්ලාගෙන රැගෙන යන ආකාරය සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය විය. "පොලීසිය ක්ෂණික පියවර ගත්තේ නම් වරදකරු අත් අඩංගුවට ගැනීමට තිබුනා," සෞදි අරාබියේ වන්දනාවක නිරතව සිටි සෙනබ්ගේ පියා ඉස්ලාමාබාද්වෙත නැවත පැමිණීමෙන් අනතුරුව Geo TV වෙත පැවසීය. මාස කිහිපයකට වරක් මීට සමාන සිදුවීම් කසුර් ප්‍රදේශයේ සිදුවන බව පොලීසිය පවසයි. නගර මධ්‍යයේ පිහිටි නිවසට ආසන්න කඩයකට ගිය අවුරුදු නවයක දැරියක් පසුගිය මාසයේ අතුරුදහන් විය. පසුව එම ග්‍රහණයෙන් පළා ඒමට ඇය සමත්වූ නමුත්, එමගින් ඇතිවූ දැඩි කම්පනයෙන් දැරිය තවමත් පීඩා විඳින බව වාර්තාවේ. සෙනබ්ගේ ඝාතනය සාමාජ මාධ්‍ය ඔස්සේ කෝපය පුළුල් ලෙස පැතිරීමට හේතුවූ අතර, #JusticeforZainab ව්‍යාපාරය ලොවපුරා වැඩි අවධානයක් දිනාගෙන ඇත. වෙනත් පුවත්:
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බාරව කටයුතු කරන ජයනන්ද වර්ණවීරගේ සේවය දූෂණ චෝදනා මත වසර තුනකට තහනම් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලැබූ එම තීන්දුවත් බලපාන්න ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් මේ වසරේ තුනේ තහනමට' අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකය විසින් පවත්වන විමර්ශන කටයුතු සඳහා සහාය වීමට අසමත් වීම හේතුවෙන් ඔහුගේ සේවය තහනම් කරන බවයි, ජගත් පාලක මණ්ඩලය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ. තරඟ පවතින අතරවාරයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ විකට්ටුව පිළිබඳ තොරතුරු පිටතට ලබාදීම ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති චෝදනාව බවයි, ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. එම චෝදනාවට අදාලව අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකය විසින් සිදු කරමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවස්ථා දෙකකදී පෙනී නොසිටීම සහ එසේ පෙනී නොසිටීමට හේතු දැක්වීමට අපොහොසත්වීම ඔහුට තහනමක් පැනවීමට හේතුව බවද චම්පික ප්‍රනාන්දු සඳහන් කළේය. 'මුදල් කන්දරාවක්' තරඟ පාවාදීම යටතට ගැනෙන පිටිය පිළිබඳ තොරතුරු පිටතට ලබාදීම කලක් මුළුල්ලේ කර ගෙන ගිය බවට ඇති වූ සැකය මත ජයනන්ද වර්ණවීරට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළ බවත් ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු කියා සිටියේය. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජයනන්ද වර්ණවීරට එරෙහිව වසර දෙකක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී. "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලැබූ එම තීන්දුවත් බලපාන්න ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් මේ වසරේ තුනේ තහනමට," ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු සඳහන් කළේය. තරඟ පාවාදීමක් සිදු වී ඇත්නම් එයට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වී ඇත්දැයි සංදේශය විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වීමට ඇති අවස්ථාව ඉතා අල්ප බවයි. "මොකද, තරඟ පාවා දීමේදී විශාල මුදල් කන්දරාවක් ඒ හා සම්බන්ධ වෙනවා. මෙය ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් පැමිණි දෙයක් ලෙස තමයි බොහෝ විට විශ්වාස කරන්නේ," ඔහු වැඩිදුරටත් පැවසීය.
කුරාම් ෂයික් ඝාතන නඩුවේ ප්‍රධාන සාක්කිකාරියගෙන් දෙවරක් කට උත්තර සටහන් කර ගැනීම තුළින් රහස් පොලිසිය තමන්ට අවශ්‍ය ආකාරයට නඩුවක් ගොතා ඇතැයි විත්තියේ නීතිවේදීහු කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා කරති.
ප්‍රධාන විත්තිකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ පතිරණ රිමාන්ඩ් භාරයේ විත්තියේ නීතිවේදීන් කියා සිටියේ රහස් පොලිසියට පරීක්ෂණ පැවරීමට පෙර තංගල්ල පොලිසිය මරණය සිදු වූ හෝටලයේ කලමණාකාරියගෙන් කට උත්තරයක් සටහන් කර ගෙන තිබූ බවයි. රහස් පොලිසිය එම සාක්කිකාරියගෙන් නැවතත් කට උත්තරයක් සටහන් කර ගෙන ඇත්තේ පළමු කට උත්තරයේ තිබූ අඩුපාඩු ඉවත් කොට විත්තිකරුවන්ට එරෙහිව ප්‍රබල නඩුවක් ගොඩ නැගීමේ අරමුණින් බවයි එම නීතිවේදීන් තර්ක කර සිටියේ. එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ අධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය. 'නඩුවක් ගෙතීම' ‘අපි සටහන් කර ගත්තේ සාක්කිකරුවන් ප්‍රකාශ කල දේ පමණයි. අලුතින් කරුණු කට උත්තරවලට ඇතුළත් කලේ නැහැ.’යි පැවසූ සහකාර පොලිස් අධිකාරිවරයා, නඩුවක් ගෙතීමේ අවශ්‍යතාවක් තමන්ට නොතිබූ බව ප්‍රකාශ කළේය. විත්තියේ නීතිවේදීන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ තමන් කුරාම් ෂයික් මිනීමැරුම සිදුවූ හෝටලය වෙත ගිය අවස්ථාවේ එහි ඉදිරිපස පොලිස් ආරක්ෂාවක් යොදා තිබුනද අපරාධය සිදුවූ ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් නොතිබූ බවයි. හතර වන විත්තිකරු වූ ප්‍රගීත් චතුරංග අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශ මත, වළ දමා තිබූ ගිනි අවියක් සොයා ගත් බවද සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේය. ගිනි අවිය සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයා ගත් පාවිච්චි කරන ලද වෙඩි උන්ඩ විත්තිකරුවන් භාරයේ තිබී සොයා ගන්නා ලද ගිනි අවියෙන් පිට වූ ඒවා බවට සනාථ වී ඇති බව රස පරීක්ෂක මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි. සාක්කිකරුවන්ගේ කට උත්තර සටහන් කිරීමේ දී ඇතැම් අවස්ථාවල පොලිස් රෙගුලාසි උල්ලංඝනය වීමක් සිදුවී ඇති බව පිළිගත් සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරීන් ද මිනිසුන් නිසා එවැනි අතපසුවීම් සිදු විය හැකි බවයි කියා සිටියේ. වෙඩි තැබීමක් හෝ ස්ත්‍රී දුෂණයක් පිළිබඳව තොරතුරු තම පරීක්ෂණ වලදී අනාවරණය නොවූ බවද සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ පැවසීය. මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ පතිරණ රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇති අධිකරණය සෙසු විත්තිකරුවන් පස් දෙනා ඇප මත මුදා හැර තිබේ.
යුනෙස්කෝ සංවිධානය සිංහරාජය සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය අගෝස්තු මස ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාව "ලෝක උරුම දේපලක්" වන සිංහරාජ රක්ෂිතය හරහා ඉදිවෙන "කොන්ක්‍රීට් මාර්ගයේ" ඉදිකිරීම්වලට අදාළව යුනෙස්කෝ සංවිධානය ඉල්ලා ඇති තොරතුරු ලබා නොදුනහොත් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවට පරිසර සංවිධාන ඒ අතරේ අනතුරු අඟවති. සිංහරාජ රක්ෂිතයේ "විශිෂ්ට විශ්වීය වටිනාකමට" අහිතකර ලෙස බලපෑ හැකි, ඒ ඔස්සේ වැටී ඇති මාර්ගයක ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය වෙත තෙවෙනි පාර්ශවීය තොරතුරු ලැබී ඇති බව යුනෙස්කෝ සංවිධානය පසුගිය ඔක්තෝම්බර් 09 වෙනිදා නිකුත් කළ විවෘත ලිපියක දැක්විණි. "මාර්ගයේ සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබ ඇතැයි වාර්තා වී තිබුණ ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එම කටයුතු නැවත ආරම්භ කර ඇතැයි පෙනෙන්නට තිබෙන" බව එහි වැඩිදුරටත් සඳහන් විය. ලෝක උරුම සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා වන මෙහයුම්වලට අදාළ මාර්ගෝපදේශ (Operational Guidelines) අනුව, ඉහත කී කරුණ සම්බන්ධයෙන් තමා වෙත ලැබී ඇති තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගනුවස් ඒවා ශ්‍රී ලංකාවේ සිටින සිය ස්ථීර නියෝජිත කණ්ඩායම වෙත යවා ඇති බවත් ලෝක උරුම මධ්‍යස්ථානය ඒ පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ලිපියේ දැක්විණි. පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබ ඇති බව එහි ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව තහවුරු කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් පරිසර අමාත්‍යංශයෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත පැවසීය. කෙසේ නමුත් එම තොරතුරු පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත යවා ඇත්දැයි යන්න සඳුදා (නොවැම්බර් 02) තහවුරු කළ හැකි බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ කළ විමසීකදීය. පාරිසරික වාර්තා තිබේද? යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය ආසන්නයේ පිහිටි ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීමත් සමග එය උණුසුම් මාතෘකාවක් බවට පත් විය. රක්ෂිතයේ ඇතැම් කොටස් මැදින් වැටී ඇති මාර්ගය සංවර්ධනය කිරීමෙන් සිංහරාජයට දීර්ඝකාලීන බලපෑම් එල්ල වනු ඇති බවට පරිසරවේදීහු එවක අනතුරු ඇඟවූහ. ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA) ලබා ගෙන නොමැති බවට ද ඔවුහු චෝදනා කළහ. එසේ වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ බලධාරීන් දිගින් දිගටම කියා සිටියේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසා පරිසරයට හානියක් සිදු නොවන බවය. මේ අතර "ලෝක උරුම දේපලක්" තුළ හෝ ඉන් පිටත සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට පෙර පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA), උරුම බලපෑම් තක්සේරු වාර්තාවක් සහ / හෝ උපායමාර්ගික පාරිසරික තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බව මාර්ගෝපදේශ තුළ විශේෂයෙන් සඳහන් කර ඇති බව යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ ලිපියේ දැක්වේ. එවැනි අධ්‍යයනයක් හෝ තක්සේරුවක් කර ඇත්නම්, මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට මත්තෙන් එම තොරතුරු වහා ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ඉහත කී විවෘත ලිපියේ දැක්වේ. එම පාරිසරික වාර්තා සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමයේ (IUCN) පරීක්ෂාවට ලක් කරෙන බව වැඩිදුරටත් දැක්වේ. 'IUCN' යනු ලෝක උරුම කමිටුව සම්බන්ධයෙන් කටයුතු කරන උපදේශන මණ්ඩලයකි. ශ්‍රී ලංකා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය වෙත කරුණු වාර්තා කළ පරිසර සංවිධානයකි. පරිසර වාර්තා ඇතුළු ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළ තොරතුරු යුනෙස්කෝ සංවිධානය වෙත ලබා දීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවයට පැවසීය. "මොකද අපි මේ උරුමයන් ආරක්ෂා කරන බවට යුනෙස්කෝව සමග නෛතිකව බැඳී සිටිනවා. ඒ වගේම ඒ සඳහා අපි ඒ ආයතනවලින් අරමුදල් ලබා ගන්නවා. මේ කියන කරුණු දෙක නිසා අනිවාර්යයෙන් පිළිතුරු දිය යුතු වෙනවා. එසේ නොවුණොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලොකු අවදානමක් තිබෙනවා," කොළඹ, ගාල්ල, නෙළුව, පොලොන්නරුව, කුරුණෑගල, රත්නපුර යන ප්‍රදේශවලට අයත් සියයකට අධික පිරිසක් ද මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ යුනෙස්කෝ මූලස්ථානයට කරුණු වාර්තා කර තිබූ බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කළේය. එමෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන 'අවාස්' සංවිධානය ද ඊට අදාළ පෙත්සමක් යුනෙස්කෝ මූලස්ථානයට භාර දී තිබුණු බව ඔහු පැවසීය. "සිංහරාජයේ මේ වන තෙක් සීමා මායිම් ලකුණු කර නැහැ. ඒ නිසාම සංවර්ධන කටයුතු වශයෙන් දියත් වන මෙවැනි ඕනෑම ව්‍යාපෘතියක් සිංහරාජය විනාශ වෙන්න හේතු වෙනවා." "ඒ වගේම 2004 වසරේදී එවක ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ දී සිංහරාජ රක්ෂිතය වටා මීටර 500 ක ප්‍රදේශය ඊට පවරා ගැනීමට අනුමැතිය හිමිව වසර දාසයක් ගතව ඇතත් ව්‍යාපාරිකයන්ගේ බලපෑම් මත එයත් මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ." "මේ වන විටත් එනසාල් වගාවට, අල වගාවට, තේ වගාවට, හෝටල් සඳහා ලෝක උරුමය විනාශ කෙරෙමින් පවතිනවා." ඉහත කී ගැටලුවලට පිළියම් යෙදීමට පාලකයින් අපොහොසත් වීම නිසා පරිසර සංවිධානවලට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය පැතීමට සිදුව ඇති බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් පැවසීය. සිංහරාජ උරුමය සිංහරාජ පිවිසුම් මග ඇති දැන්වීම් පුවරුවක් ශ්‍රී ලංකාවේ පවතින විශාලතම ප්‍රාථමික වර්ෂා වනාන්තරය සිංහරාජ ලෝක උරුම වන වැස්මයි. එහි උතුරු ප්‍රදේශයේ කළු ගඟේ පෝෂක ශාඛා ද දකුණු ප්‍රදේශයේ ගිං ගඟේ පෝෂක ප්‍රදේශ ද පිහිටා තිබේ. සිංහරාජ වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සහ දකුණු, සබරගමු පළාත් පාලන ප්‍රදේශයන් ආශ්‍රිතව පිහිටා ඇත. පසුගිය වසර 60 ක කාලය තුළ සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3614 - 5006 අතර අගයක් ගෙන තිබේ. සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේනික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192 ක්ම ශ්‍රී ලංකාවට අවේනික බව නිල වාර්තාවල සඳහන් වේ. සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ත්ව ගහනයක ද නිජභූමිය වෙයි. ශ්‍රී ලංකාවේ පවතින විශාලතම පහතරට තෙත් කලාපීය වනාන්තරය සිංහරාජය වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.2% ක් වේ. පර්යේෂණ, අධ්‍යාපනික සහ සංචාරක කටයුතු සඳහා සිංහරාජ වනාන්තරයේ පවතින මාර්ග කිහිපයක් යොදා ගනු ලැබෙයි. සිංහරාජය අවට ප්‍රදේශ අධික මානව බලපෑමකට ලක්ව ඇති බව ඒ සම්බන්ධයෙන් පළ වී ඇති අධ්‍යයන වාර්තා ගණනාවක් මගින් පෙන්වා දී ඇත. අනවසර වගාබිම්, අනවසර වාසස්ථාන, අනවසර දැව කැපීම සහ අනවසර මැණික් ගැරීම් ඒ අතර ප්‍රධාන වේ. අධ්‍යයන වාර්තා අනුව සිංහරාජය අවට ගම්මාන 40 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබේ. ඉන් 30 ක් පමණ පිහිටා ඇත්තේ සංවේදී කලාප ආශ්‍රිතවය. මේ ගැනත් කියවන්න:
ධනවත් හා ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන සැකකරුවන් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී පිළිවෙතක් රජය විසින් අනුගමනය කරන වගට මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කරයි.
"සල්ලිකාරයන් නිදහස් කොට දෙමළ ජාතිය එක්ක සංහිඳියාව ඇති කර ගන්න බැහැ" එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ යයි චෝදනා නගා අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් නිදහස් කර යැවීමේදී නීතිපතිවරයා 'සල්ලිකාර' සැකකරුවන් හට 'ලිහිල් බවක්' දක්වන බවයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ චෝදනාව. එම ව්‍යාපාරයේ කැඳවුම්කරු නාමල් රාජපක්ෂ නීතිඥවරයා ඊට උදාහරණ ලෙස ගෙන හැර දැක්වුයේ එල්ටීටීඊ නායකයාගේ සමීප සගයෙකු බවට රජය ලෙසින් හැඳින්වෙන අයකුට එක් මසක සිර දඬුවමකින් අනතුරුව පුනරුත්ථාපනය සඳහා භාරදීමට නීතිපති වරයා එකඟ වීමයි. 'පොඩි' සැකකරුවන් අධිකරණය විසින් එම දඬුවම පනවනු ලැබුයේ පස් වසරකට වැඩි කලක් රඳවාගෙන සිටි ගුණසුන්දරම් ජෙයසුන්දරම් කොටි සංවිධානයට අවි ආයුධ සැපයූ බවට නගනු ලැබූ චෝදනා සම්බන්ධයෙන් වරද පිළි ගැනීමෙන් අනතුරුවයි. ඔහු ධනවතකු නොවී නම් 'තවමත් රක්ෂිත භාරයේ' සිටිනු ඇති බවයි නීතිඥ නාමල් රාජපක්ෂ පවසන්නේ. "සල්ලිකාරයන් නිදහස් කොට දෙමළ ජාතිය එක්ක සංහිඳියාව ඇති කර ගන්න බැහැ," යි ඔහු පවසයි. මෙහිදී බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම් කරු හට සිහිපත් කර දුන්නේ වරද පිළි ගන්නා අයටත්, ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන අයටත් ලිහිල් අයුරින් සැලකීමේ පිළිවෙතක් රජය අනුගමනය කරන බව නීතිපති පාලිත ප්‍රනාන්දු විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කොට සිටීම ගැනයි. වරද පිළිගැනීමට සූදානම් බොහෝ 'පොඩි' සැකකරුවන් සිටියත් ඒ සඳහා ඔවුනට අවස්ථාවක් සලසා දී නැති බවයි නීතිඥ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් දැනගැනීමට සංදේශය ගත් උත්සාහය සාර්ථක වුයේ නැහැ.
අසල්වැසි මෙක්සිකෝව සමග ඇති දේශ සීමාව ඔස්සේ කිලෝමීටර 3,000 ක් දිග තාප්පයක් ඉදිකිරීම සඳහාවන සැලසුම ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කරයි.
මීටර 9 - 16 අතර උසින් යුත් යෝජිත තාප්පය කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදිකිරීමට නියමිතය. එමගින් මෙක්සිකෝවේ සිට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන්ට සිය රටට ඇතුළු වීමට නොහැකි වනු ඇති බව ඇමරිකාවේ රිපබ්ලිකන් දේශපාලනඥයන් සහ එම පක්ෂයේ ආධාරකරුවෝ පවසති. මේවන විටත් ඇමරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශ සීමාව තුළ වැටක් ඉදි කරනු ලැබ ඇත. රටවල් අතර දේශ සීමා වෙන් කරමින් ඉදි කෙරුණු තාප්ප බොහොමයක් ඉතිහාසය පුරා දැකගත හැක. 1950 වසරේදී බටහිර සහ නැගෙනහිර වශයෙන් ජර්මනිය කලාප දෙකකට බෙදුණි. ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පැවති කලාපය සහ සෝවියට් රුසියාවේ පාලනය යටතේ පැවති කලාපය එකිනෙක වෙන් කරමින් 1961 වසරේදී බර්ලින් තාප්පය ඉදිවිය. බර්ලින් තාප්පය බර්ලින් තාප්පය ආරම්භයේ වැටක් වශයෙන් ඉදි කෙරුණ ද පසුව එය ඇතැම් ස්ථානවලින් මීටර 3.6 දක්වා උස කොන්ක්‍රීට් තාප්පයක් බවට පත්විණි. කිලෝමීටර 100 ක දිගින් යුතු වූ බර්ලින් තාප්පයට කිලෝමීටර 66 ක් දිගින් යුතු වැටක් සම්බන්ධ වී තිබිණි. චීන දේශ සීමාව වටා ඉදි කෙරුණු චීන මහා ප්‍රකාරයේ දිග නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් එය කිලෝමීටර 20,000 ක දිගින් යුක්ත වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. චීන මහා ප්‍රකාරය චීන මහා ප්‍රකාරය අභ්‍යවකාශයේ සිට චීන මහා ප්‍රකාරය දැකගත නොහැකිමුත් පෘථිවි කක්ෂයේ පහළ මට්ටමේ සිට එය දැකගත හැක. එහි ඇතැම් ස්ථාන මීටර 7 ක් දක්වා උසින් යුක්ත වේ. හැඩ්රියන් තාප්පය හැඩ්රියන් තාප්පය ක්‍රිස්තුවර්ෂ 122 දී හැඩ්රියන් අධිරාජ්‍යයාගේ නියෝගයෙන් ඉදි වූ හැඩ්රියන් තාප්පය තට්ටු දෙකේ බස් රථයක උසට සමානය. එංගලන්තය සහ ස්කොට්ලන්තය වෙන් කරමින් ඉදි වූ හැඩ්රියන් තාප්පයේ දිග කිලෝමීටර 117 කි.
යුද්ධය අවසන් වී සාමය එළඹීමෙන් පසු යාපනය අර්ධද්වීපය තුළ සිය දිවි හානි කර ගන්නා පිරිසේ වැඩි වීමක් දක්නට ඇති බව ඒ පිළිබඳ සමීක්ෂණයක් කළ මහාචාර්ය දයා සෝමසුන්දරම් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කටයුතු කර ඇති මහාචාර්ය දයා සෝමසුන්දරම් මහාචාර්යවරයාගේ සමීක්ෂණයට අනුව දෙදහස් පහ වසරේ සිට දෙදහස් නවය වසර දක්වා යුද්ධය පැවති කාල වකවානුවේ යාපනය අර්ධද්වීපය තුළ සිය දිවි හානි කර ගැනීමේ ප්‍රතිශතය ලක්ෂයකට විසි තුනක්. මේ වන විට යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගතව ඇති අතර දෙදහස් දහතුන වසරේදී එම සංඛ්‍යාව ලක්ෂයකට විසිපහ දක්වා ඉහළ ගොස් ඇති බවයි මහාචාර්ය දයා සෝමසුන්දරම් ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහය වූ පර්යේෂණ ගණනාවකට සහභාගී වී ඇති සෝමසුන්දරම් මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේ යුද සමයේ සිදු වූ සිය දිවි හානි කර ගැනීම්වලට විශාල වශයෙන් බලපා ඇත්තේ එම වකවානුවේ සිදු වූ ඉවසා ගත නොහැකි මට්ටමේ හමුදා ක්‍රියාකාරකම් බවයි. ව්‍යාකූලභාවය මේ මොහොත වන විට යුද්ධය අවසන් වී ඇතත් යාපනයේ සිය දිවි හානිකර ගැනීම් වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඔවුන්ගේ ආර්ථික ස්ථාවරභාවය කඩා වැටීම සහ සමාජීය තත්ත්වය ව්‍යාකූලභාවයට පත් වී තිබීම යැයි මහාචාර්යවරයා පවසයි. යුද්ධයේදී තම දරුවන් ඇතුළු ඥාතීන් මිය යාම හා අතුරුදහන් වීම, දේපළ විනාශ වීම යන කරුණු නිසා යාපනයේ වැසියන් තුළ ඇති වූ ඉච්ඡාභංගත්වයද සියදි වි හානි කර ගැනීමට බලපා ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. ඈත අතීතයේ පටන් දෙමළ සංස්කෘතිය තුල පවුල් වශයෙන් එකට විසීමට තිබූ රුචිකත්වය බිඳ වැටීමද මීට හේතු වී ඇති බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. යුද්ධයට මැදිව යුද්ධයට මැදි වීමෙන් සිය පවුලේ සාමාජිකයන් විශාල වශයෙන් මරණයට පත් වීමත් තවත් බොහෝ දෙනා පවුලෙන් වෙන් වී විසිර යාමත් යාපනයේ වැසියන් තනි වීමට හේතු වී ඇති බව සමීක්ෂණ මගින් නිගමනය කළේ යැයි දයා සෝමසුන්දරම් මහාචාර්යවරයා කියා සිටියි. යාපනය හා ඒ අවට ප්‍රදේශයේ මේ වන විට ඉතා සීඝ්‍ර සංවර්ධනයක් දක්නට ලැබෙන නමුත් එම සංවර්ධනය භෞතික සංවර්ධනයක් මිස මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය දියුණු වී සිත් තුලට සන්තෝෂය රැගෙන එන අන්දමේ සංවර්ධනයක් නොවෙන බැවින් යාපනයේ වැසියන් දිනෙන් දිනම මානසික ආතතියට පත් වන බව මහාචාර්යවරයා සඳහන් කරයි. මෙම අසහනකාරී තත්ත්වය හේතුවෙන් යාපනයේ වැසියන් තවදුරටත් සිය දිවි හානි කර ගැනීම කෙරෙහි වැඩි වශයෙන් යොමු විය හැකි බව මහාචාර්ය දයා සෝමසුන්දරම් අවධාරණයෙන් කියා සිටියි.
ප්‍රචණ්ඩ ප්‍රහාරයකට ලක් වූ බද්දේගම පිහිටි තම දේවස්ථාන වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි ක්‍රිස්තියානි දේවගැති වරු පිරිසක් බිය පළ කරති.
ප්‍රහාරයෙන් දේපළ වලට බරපතල ලෙස අලාභ හානි සිදු වී ඇතැයි පවසන හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා බීබීසී සංදේශයට කියා සිටියේ ප්‍රහාරකයන් සමග සිටි භික්ෂුන් වහන්සේ නමක් තමනට මරණීය තර්ජන පවා කළ බවයි. ලංකා දේව සභා සංගමයේ හික්කඩුවේ පිහිටි යාඥා මධ්‍යස්ථාන දෙකකට ඉරිදා පෙරවරුවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කොට ගත් පිරිසක් පහර දෙනු වාර්තා කරුවන් හට දැක ගන්නට ලැබුනි. බෞද්ධ භික්ෂුන් වහන්සේ ප්‍රහාර දියත් කරන අවස්ථාවේ සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හඳුනා ගෙන ඔවුන්ගේ නම් ද පොලිසියට ලබා දුන් බවත් ඔහු කියා සිටියේය. යාඥා මධ්‍යස්ථාන වසා දමන්නට එක් වන ලෙස සෙනසුරාදා අන්තර් ජාලය ඔස්සේ කර තිබූ කැඳවීමක් සම්බන්ධයෙන් කලින් පැමිණිලි කළ ද, ප්‍රමාණවත් පොලිස් භට පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා නො තිබුනු බවයි චින්තක ප්‍රසන්ත දේවගැති තුමා පවසන්නේ. ප්‍රහාරකයන් වලක්වා ලන්නට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනා දැරූ වෙහෙස පලවත් නොවූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. පොලිසියේ ‘අක්‍රිය භාවයක්’ තම මධ්‍යස්ථානයට පහර දීමෙන් නො නැවතුණු ප්‍රචණ්ඩ පිරිස බද්දේගම නගරයේ පිහිටි කල්වාරි නිදහස් සභාව වෙත ගොස් ඊටත් පහර දී පෙරලා පැමිණ මහ මග වාඩි ලා ගෙන උද්ඝෝෂණයක නිරත වූ බව ද හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා ප්‍රකාශ කළේය. බීබීසීය කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පොලිසියේ ‘අක්‍රිය භාවයක්’ පැවැති බව පිලි ගත්තේ ය. ඊට හේතුව ලෙස ඔහු දැක්වුයේ ප්‍රමාණවත් පොලිස් බලයක් නොතිබීමයි. කෙසේ වෙතත්, වීඩියෝ පට වල දැක්වෙන සාක්ෂි විමසා බලා නීති විරෝධී කටයුතු කළ කිසිවකු වේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බවයි, අජිත් රෝහණ පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ දැනට පවතින බැංකු නොවන මූල්‍ය ආයතන සංඛ්‍යාව අඩු කිරීමටත් කුඩා බැංකු අනිකුත් බැංකු සමග ඒකාබද්ධ කිරීමටත් පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශක්තිමත් සහ ක්‍රියාශීලී මූල්‍ය ආයතනවලින් සමන්විත ස්ථාවර මූල්‍ය අංශයක් නිර්මාණය කර ගැනීමට මෙම පියවර ගන්නා බවයි මහ බැංකුව පවසන්නේ. මෙම සැලැස්ම යටතේ බැංකු නො වන මූල්‍ය ආයතන සංඛ්‍යාව පනස් අටක සිට විස්සක් දක්වා අඩු කෙරෙයි. 2016 වසර වන විට ඩොලර් බිලියන සීයක ආර්ථිකයක් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභිමතාර්ථ සපුරා ගැනීමට ශක්තිමත් මූල්‍ය ආයතනවලින් සමන්විත ස්ථාවර මූල්‍ය අංශයක් නිර්මාණය කර ගැනීම සඳහා එවැනි තීරණයක් ගත් බවයි, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ. "ඉතා කුඩා සමාගම් වලට තියෙන ප්‍රශ්නයක් තමයි, ඒ සමාගම් වලට යම් කම්පනයක් විඳ ගැනීමට තියෙන ශක්තිය අඩු කම. අපේ මතය ඒ තත්වය වෙනස් කර ඒ වෙනුවට ශක්තිමත් සමාගම් මේ රටේ ගොඩනැගීම" යයි මහ බැංකු අධිපතිවරයා පවසයි. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ සැලැස්ම පිළිබඳව ඊට අදාළ පාර්ශව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පසුගිය සතියේ සාකච්ඡා පවත්වා ඇත. සිදු කිරීමට යන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය යටතේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ඒවායේ සේවක මණ්ඩල කප්පාදු කිරීමක් සිදු නො කරන ලෙස මහ බැංකුව එම ආයතනවලින් ඉල්ලීමක් ද සිදු කර ඇත. විපක්ෂයේ ප්‍රතිචාරය ආචාර්ය හර්ෂ ද සිල්වා ඉහත කී සැලැස්ම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, දැනටමත් කඩා වැටී ඇති මූල්‍ය ක්‍ෂේත්‍රය ගොඩ ගැනීම මහ බැංකුවේ අරමුණ නොවන බවයි. ජනතාවට මුදල් වංචා කල මූල්‍ය ආයතන ප්‍රධානීන් බේරා ගැනීමට මහ බැංකුව උත්සාහ කරන බවටයි එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරන්නේ. "මහ බැංකුව කියන්නේ, මේ මූල්‍ය ආයතන කඩා වැටෙන්නේ නැහැ. ඒවා එකතු කරනවා කියලයි. ඇයි මේ වගේ එකතුවක් කරන්න හදන්නේ? ඒවායේ අධ්‍යක්ෂවරුන්ට, ඒවායේ අයිතිකාරයන්ට අවශ්‍ය විදිහට මේකෙන් පැනලා යන්නයි මේ පාර කපන්නේ” එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ වන විටත් බිඳ වැටී ඇති CIFL වැනි ආයතනවල සිදු වූ වංචා දැන දැනත් මහ බැංකුව නිහඬව සිටි බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා, දැන් සිදු කිරීමට යන ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙළින් සිදු වන්නේ තැන්පත්කරුවන් ආරක්‍ෂා කිරීම නොව ඒම වංචාවලට වගකිව යුත්තන් ආරක්ෂා කිරීම බවත් පෙන්වා දෙයි. මහ බැංකු ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූල්‍ය සංගම් වලින් දහයක් පමණ මේ වන විට දැඩි මූල්‍ය ගැටලුවක ට මුහුණ පා සිටියි.
රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
Cx.sp near infula මදුරුවා කියුලෙක්ස් (Culex) ගණයට අයත් 'near inful' ලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති. ජැපනීස් එන්සෙපලයීටීස් හෙවත් මොළයේ උණ බෝ කරන Culex infula නැමැති මදුරු විශේෂයට බොහෝ සමානකම් දක්වන Cx.sp near infula ලෙස හඳුන්වන නව මදුරු විශේෂය ද වෙනත් ජීවීන්ගේ රුධිරය බොති. ''1998 දී ඉන්දියාවේ කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා Culex infula මදුරුවා ජැපනීස් එන්සෙපලයීටීස් වාහකයෙක් බව. ඒක නිසා Cx.sp near infula කියන මදුරුවා ශ්‍රී ලංකාවේ ඉන්න බවට කළ සොයා ගැනීමේ වැදගත්කමක් තියෙනවා. මෙයත් බොහෝ දුරට ඉදිරියේ දී රෝග වාහකයෙක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා," යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. මෙම සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මදුරු විශේෂ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ. 'උගුලට හසුවූ හැටි' රෝග වාහකයන් විය හැකි මදුරු විශේෂ හඳුනා ගැනීමේ වැඩසටහනක් 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් ආරම්භ විය. 'ගවයෙකු උගුලක් ලෙස යොදා ගැනීම' එහි දී මදුරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා උගුල් වර්ග හතරක් යොදා ගැනීමට කටයුතු කර තිබිණි. දිවා සහ රාත්‍රි කාලයේ දී අඹේපුස්සේ කරන ලද පරීක්ෂණයේ දී විශේෂ 35කට අයත් මදුරුවන් 2815ක් උගුලට හසු වී තිබේ. ඒ අතර, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ Cx.sp near infula විශේෂයට අයත් මදුරුවන් හය දෙනෙකු ද සොයා ගැනීමට හැකි වී තිබේ. මෙම නව මදුරු විශේෂය ගැන වේවැල්දෙනිය ප්‍රදේශයෙන් ද මේ වන විට වාර්තා ලැබී ඇත. වේවැල්දෙනියේ සිදුකරන ලද පර්යේෂණවල දී විශේෂ 29කට අයත් මදුරුවන් 1883 දෙනෙකු අල්ලා ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකු Cx.sp near infula විශේෂයට අයත්ය. අඹේපුස්ස සහ වේවැල්දෙනිය යන ප්‍රදේශවලින් මේ දක්වා සොයාගත් Cx.sp near infula විශේෂයට අයත් මදුරුවන් 19 දෙනාගෙන් 12 දෙනෙකුම අසු වී තිබුණේ කුකුළෙකු උගුල ලෙස යොදා ගත් අවස්ථාවේ දීය. එබැවින් නව මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති. මේ තොරතුරුද කියවන්න: නව මදුරුවාගේ ලක්ෂණ නව මදුරු විශේෂය වෙන්කර හඳුනාගැනීමට උපයෝගී වන ප්‍රධාන බාහිර ලක්ෂණ දෙකක් ඇත. ඉන් එක් ලක්ෂණයක් නම් මදුරුවාගේ පියාපත්වල 'Pepper salt structure' ලෙස හඳුන්වන "ගම්මිරිස් සහ ලුණු කුඩු ඉසින විට දක්නට ලැබෙන ස්වභාවයකි." Cx.sp near infula මදුරුවා ප්‍රමාණයෙන් මිලිමීටර 2-3ක් පමණ වේ. අනෙක් ලක්ෂණය වන්නේ එම මදුරුවාගේ පෘෂ්ඨයේ සුදු පැහැති ඊ හිස් වැනි සළකුණු දක්නට ලැබීමය. මීට අමතරව අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට පාදවල සහ ශුන්ඩාවේ ද විශේෂ ලක්ෂණ දැකිය හැකිය. Cx.sp near infula මදුරුවා ප්‍රමාණයෙන් මිලිමීටර 2-3ක් පමණ වන අතර, රාත්‍රි කාලයේදී වැඩි වශයෙන් දෂ්ට කරන බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් හඳුනාගෙන තිබේ. මෙම මදුරු විශේෂය පළමු වරට වාර්තාවී ඇත්තේ 1966 වසරේ මධ්‍යම අප්‍රිකාවට අයත් ඇන්ගෝලා රාජ්‍යයෙනි. පසුව තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද වාර්තා වී ඇත. මදුරුවන් මගින් ශ්‍රී ලංකාවේ පැතිරෙන රෝග මදුරුවන් මගින් ශ්‍රී ලංකාවේ වසංගත තත්වයට පත්ව ඇති ප්‍රධාන රෝගය ඩෙංගු රෝගයයි. 2019 වසරේ දී ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 103,362ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ, වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ දැක්වේ. (2018 වසරේ වාර්තා වුයේ ඩෙංගු රෝගීන් 51,659ක් පමණි). ඊට අමතරව මැලේරියාව, බරවා, ජැපනීස් එන්සෙපලයීටීස් සහ චිකන් ගුන්යා යන රෝග බෝ කරන වාහකයන් වන්නේද මදුරුවන්ය. කියුලෙක්ස් (Culex) ඝනයට අයත් මදුරු විශේෂ පහක් ජැපනීස් එන්සෙපලයීටීස් රෝග වාහකයෙකු ලෙසද තවත් විශේෂයක් නාගරික බරවා රෝගය ඇති කිරීමට ද හේතු වේ. එබැවින් එම ගණයටම අයත් නව විශේෂය ගැන ද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ කීට විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ යන අයගේ උපදෙස් මත වැඩිදුර පර්යේෂණ සිදු කෙරේ. පී රණසිංහ, ගයාන් කුමාරසිංහ, නලීන් ජයසිංහ, ප්‍රමිත රංගන එච් එම් සෝමසිරි, වෛද්‍ය පුෂ්පිකා සමරකෝන් සහ වෛද්‍ය හරේන්ද්‍ර මල්ලවාරච්චි යන සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු මෙම පර්යේෂණ කණ්ඩායමට ඇතුළත් වෙති. ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව මදුරු විශේෂය ගැන විදේශ රටවල ද සහය ඇතිව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. තවත් තොරතුරු:
දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජයට පත්වීම හේතුවෙන් කණ්ඩායම සහ ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.
නායක මැතිව්ස් නිසි පරිදි සිය වගකීම ඉටුනොකළේය යන්න ඇතැම් ක්‍රීඩාලෝලීන්ගේ මතය වී තිබේ විශේෂයෙන්ම කණ්ඩායම අසීරු තත්වයකට මුහුණ දුන් අවස්ථාවක නිසි නායකත්වයක් ලබාදීමට අපොහොසත් වූ බවට නායක ඇන්ජලෝ මැතිව්ස්ටද සමාජ ජාල ඔස්සේ විවේචන එල්ලවෙමින් පවතී. කෙසේ නමුත් නවක ක්‍රීඩකයන් බහුතරයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාවේදී මුහුණදීමට සිදු වූයේ හාත්පසින්ම වෙනස් තණතිලිවල බැවින් කණ්ඩායමේ පරාජය පිළිබඳව 'කම්පා විය යුතු නැති' බව දකුණු අප්‍රිකාවේ සිට සංචාරය වාර්තා කරන ඩේලි මිරර් මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට පැවසීය. තුන්වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 118 කින් පරාජයක් අත්විය තණකොළ ගහන තණතිලිවල තරග ජයග්‍රහණය කිරීම ඉතාම දුෂ්කර වුවත්, කණ්ඩායම මෙහෙයවීමේදී සහ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකිරීමට අපොහොසත්වීම හමුවේ නායක මැතිව්ස් නිසි පරිදි සිය වගකීම ඉටුනොකළේය යන්න ක්‍රීඩාලෝලීන්ගේ මතය වී තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් සියලු දෙනා නායකයාට සහාය දෙමින් එකමුතුව ක්‍රීඩා කළ බවත් චම්පික ප්‍රනාන්දු සඳහන් කළේ කණ්ඩායමේ කිසියම් බෙදීමක් තිබුණේ දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. තුන්වැනි ටෙස්ට් තරගයේදී ඉනිමකින් සහ ලකුණු 118 කින් පරාජය වීම සිය නායකත්වය යටතේ ලැබූ දරුණුම පරාජය බව නායක ඇන්ජලෝ මැතිව්ස්ද තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. එක් දින සහ විස්සයි විස්ස කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා තෝරා නොගත්තේ ඇයි? මේ අතර ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාව සමග විස්සයි විස්ස තරගාවලියට නම් නොකිරීමද ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට ලක් වී තිබේ. බොහෝ දෙනාට එය 'ප්‍රහේලිකාවක්' බව පවසන ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා එක් දින සහ විස්සයි විස්ස කණ්ඩායමට ඇතුලත් විය යුතුව තිබුණේය යන්න සිය විශ්වාසය බව වැඩිදුරටත් පැවසීය.
සිරියාවේ IS කැරලි කරුවන් සිටින ඉලක්ක වලට දෙවන දිනයේදීත් රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදු වන බව වාර්තා වෙයි.
විජයග්‍රහණයේ හමුදාව නමින් හඳුන්වන සන්නද්ධ කණ්ඩායමක් විසින් පාලනය ගෙන යන සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ කැරලිකරුවන් ඉලක්ක කර ගෙන රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වන බවයි ලෙබනනයේ ‘අල් මයදීන්’ රූපවාහිනිය වාර්තා කළේ. රුසියාවේ ආරක්ෂක අංශ රුපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ රුසියානු හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ කියා සිටියේ හමා නගරය ආසන්නයේ පිහිටි ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ තට්ටු තුනකින් සමන්විත ප්‍රධාන මධ්‍යස්ථානය විනාශ කිරීමට රුසියානු ගුවන් ප්‍රහාර සමත් වී ඇති බවයි. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය කියා සිටියේ රුසියාව විසින් සිදු කළ එම මෙහෙයුම් වල ඉලක්කය IS නොවන නමුත් රුසියාවට එදිරිවාදී සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ගේ හමුදා කණ්ඩායම් විය හැකි බවයි. සිරියානු රජයට හිතවාදී හමුදා පරදවමින් පසුගිය මාස කිහිපය ඇතුළත ඉස්ලාම් සංවිධානයේ විජයග්‍රහණයේ හමුදාව විසින් සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට සමත් විය. ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධයට විශාල වෙනසක් ඇති කිරීමට රුසියාව සමත් ව ඇති බවයි සිරියාව පවසන්නේ.
තායිලන්ත මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතුවලට අගනුවර සහ රටේ දකුණු ප්‍රදේශවලදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බාධා කළහ.
ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා සිටින බව අගමැතිනිය පවසයි තායිලන්තයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය මහ මැතිවරණය වර්ජනය කරන අතර, විරුද්ධ පක්ෂයේ බල කඳවුරු වන දකුණේ ප්‍රාන්ත නමයේම කිසිදු ඡන්දදායකයකුට සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබී නැහැ. එහෙත් අනෙක් පලාත්වල ඡන්ද මධ්‍යස්තානවලින් සියයට අසූ නමයක්ම නිසි පරිදි ක්‍රියාත්මක් වූ බවයි, බලධාරීන් පවසන්නේ. 'ජනතාවට විශ්වාසයි' කෙසේ නමුත් රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා සිටින බව මේ මැතිවරණයෙන්ද පැහැදිලි වූ බව, අගමැතිනි යින්ලක් ශිනවත් බීබීසීයට කියා සිටියාය. "ජනතාව ඇවිල්ල, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යොදා ගෙන තමන්ගේ ඡන්දය භාවිතා කරන එක ඉතාම වැදගත්. මොකද මැතිවරණය කියන්නේ සාමකාමීව ගැටුම් විසඳා ගැනීමේ එකම ක්‍රියාදාමය," යනුවෙන්ද ඇය සඳහන් කළාය. ආණ්ඩුව පෙරලා දමා, ඒ වෙනුවට භාරකාර පාලනයක් පත් කර ගැනීමේ අරමුණින් විරුද්ධ පක්ෂ මාස ගණනක් මුළුල්ලේ දියත් කළ උද්ඝෝෂණවලින් අනතුරුවයි මහ මැතිවරණය පැවැත්වෙන්නේ.
ආයෝජන ලෙස හුවා දක්වමින් රජය චීනයෙන් ලබා ගන්නේ අධික පොලියක් සහිත ණය කන්දරාවක් බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව බීබීසීයට කියා සිටියේ චීනයත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන අවබෝධතා ගිවිසුම් 20 කට වැඩි ප්‍රමාණයක් අත්සන් තැබීමට නියමිතව තිබියදී. චීනයෙන් ලබා ගෙන ඇති ආධාර ප්‍රමාණය සියයට එකක් වැනි සුළු ගණනකට සීමා වී ඇති අතර ඉතිරි සියයට අනූනවය ම වාණිජ ණය වන බවයි බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ. (සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න) මහ බැංකුවේ ප්‍රතිචාරය නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නගන චෝදනා පිළිබඳ ව බීබීසීය කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ පසුගිය කාලය තුළ ආර්ථිකය වර්ධනය වී ඇති නිසා මුල්‍ය ආධාර ලබා ගැනීම සඳහා දොරටු කිහිපයක්ම විවෘත වී ඇති බවයි. විදේශ ආයෝජන රටට ගලා ගෙන ඒම අනාගතය පිළිබඳ යහපත් පෙර නිමිත්තක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. (සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න) චීනය වැනි ආර්ථිකය දියුණු වන රටවල් තම මුදල් ආයෝජනය කිරීම සඳහා පෙලඹෙද්දී හොඳ ආයෝජන අවස්ථා සහිත ස්ථාවර ආර්ථිකයක් පවතින රටවල් පමණක් තෝරා ගන්නා බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.
විල්පත්තුවේ ගීතය නිර්මාණය වූයේ සම්ප්‍රදායයෙන් ඔබ්බට ගොස් සමාජ ගැටලුවක් පිළිබඳ දියුණු කතිකාවක් ගොඩනැගීම සඳහා කරන ලද අත්හදා බැලීමක් වශයෙන් බව එහි පද රචක චින්තන ධර්මදාස පවසයි.
'ගස් කපන එක, සත්තු මැරෙන එක විල්පත්තුවට පමණක් අදාළ ප්‍රශ්නයක්ද? විල්පත්තුවේ වන විනාශයක් සිදු වන බවට මෑත කාලයේ මාධ්‍ය වාර්තා පළ වූ අතර විල්පත්තුව පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් අදහස් හුවමාරු වේ. චින්තන ධර්මදාස විසින් පද රචනය කොට චිත්‍රාල් සෝමපාල සංගීතවත් කොට ගායනා කරන ලද විල්පත්තුව ගීතය ජනතාව අතරට පැමිණෙන්නේ මෙවැනි වටපිටාවකදී. මතභේදයට තුඩු දුන් සමාජීය ගැට‍ළුවකට එරෙහිව සාම්ප්‍රදායිකව සිදු කෙරෙන උද්ඝෝෂණ, සත්‍යග්‍රහ වැනි විරෝධතා ව්‍යාපාර හරහා ඊට සාධනීය විසඳුම් ලැබෙනවාද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි විචාරක චින්තන ධර්මදාස පවසන්නේ. 'මිනිසුන්ට මීට වඩා නිර්මාණාත්මක ආකාරයකින් ආමන්ත්‍රණය කරන්න පුලුවන්ද කියලා සොයා බැලීම අවශ්‍යයි. මෙය ගීතයක්, යම් කිසි නිර්මාණයක් හෝ ප්‍රසංගයක් හරහා මිනිසුන් සමග සන්නිවේදනයක් ගොඩ නගා ගැනීම සඳහා අපි කළ අත්හදා බැලීමක්, උත්සාහයක්,' ඔහු පැවසීය. හඬ පටයට සවන් දෙන්න 'අත්හදා බැලීමක්' විල්පත්තුව ගීතය තුළින් 'අපි අපිවම ප්‍රශ්න කරන බවත්' චින්තන ධර්මදාස පවසයි. 'ඇත්තටම අපිට විල්පත්තුව ගැන කැක්කුමක් තියනවද? මම සමාජය පිට වරද පටවනවා නෙවෙයි. මම මේ ගීතය ලියද්දි මම මගෙනුත් ප්‍රශ්න කරපු දෙයක් ඒක.' ඔහු ඒ බව කියා සිටියේ බීබීසී සිංහල සේවයේ සුනෙත් පෙරේරා හා සාකච්ඡාවකට එක් වෙමිනි. යම් කිසි පුද්ගලයකු හෝ බලධාරියකු පමණක් කේන්ද්‍ර කර ගනිමින් ඇතැම් පිරිස් විල්පත්තුව පිළිබඳ ප්‍රශ්නය ජාතිවාදය සඳහා යොදා ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ. 'ගස් කපන එක, සත්තු මැරෙන එක විල්පත්තුවට පමණක් අදාළ ප්‍රශ්නයක්ද? මේ කියන ආකාරයට එක්තරා සුළු ජන කොටසකින් සිදු වන විනාශයක් විතරද?, මේ ගැන සිතන විට ඇත්තටම අපට පිළිගන්න වෙන දේ තමයි ලංකාවේ වෙනත් වනාන්තරවලත් මේ ආකාරයටම විනාශ වීම් ආරම්භ වී තිබෙනවා.' විල්පත්තුව හා සමානව අනෙකුත් වන විනාශයන් පිළිබඳ සමාජයේ අවධානයක් යොමු නොවන්නේද යන්න මෑතකදී වාර්තා වූ ඇතැම් සිදුවීම් හරහා පෙනෙන්නට ඇති බවත් චින්තන ධර්මදාස පැවසීය. 'උකුස්සා සහ අලි පැටව්' 'අපි දැක්කා එක තැනක උකුස්සෙක් පණ පිටින් හම ගහලා. ඒ මනුස්සයාගෙන් ඇහුවම කියනවා ඇයි උකුස්සෙක් මරාගෙන කෑවම මොකද කියලා. අපි දකිනවා අලි පැටව් ගෙනත් ආරාමවලට දෙන තත්වයක් තියෙනවා. අලි පැටියා පන්සල තුළ සුරතලයට තමයි ඉන්නේ, නමුත් කැලයෙදී අලි පැටවා අල්ල ගන්නේ කොහොමද කියන කාරණය කාටවත් මතක් වෙන්නේ නැහැ.' "මේ කාරණා පසෙකින් තබා අපි විල්පත්තුව හරහා එක් ජන කොටසකට පමණක් ඇඟිල්ල දිගු කරමින් ඉන්නවා." වෙනස් භාවිතාවක් තුළින් සමාජ ගැට‍ළුවක් ආමන්ත්‍රණය කිරීමට ගත් උත්සාහය සඳහා ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් විල්පත්තුව ගීතයේ රචකයා සඳහන් කළේය. 'විල්පත්තුව ගීතය පිටවීමත් සමග ගොඩක් ව්‍යාපාර නැවත පණ ගැන්වුනා. ඒ අය නැවත ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා විල්පත්තුව සහ ගස් සිටුවීමේ ව්‍යාපාර හරහා. ඒක හොඳ තත්වයක්. ඒ කියන්නේ අපට පුළුවන් කමක් තිබෙනවා යම් ශක්තියක් මුදා හරින්න වෙනස් ක්‍රමවේදයන් තුළින්' විල්පත්තුව ගීතය සඳහා සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් වේදිකා තුළ සිදු කරනු ලබන විවේචන හරහා එම පිරිස් කතිකාවකට එක් වන බවත් ඔහු පැවසීය. 'වනාන්තරයක් දේශපාලනීකරණය වෙලා' 'මේ ගීතයේ විල්පත්තුව ගැන මතු කරන කාරණාවලට විරුද්ධ අයට යෝජනාවක් තියෙයි, මේක කතිකාවක් වශයෙන් විවෘත වෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ චින්තන ධර්මදාස හෝ චිත්‍රාල් සෝමපාල නෙවෙයි. මෙතැනදී වැදගත් වෙන්නේ විල්පත්තුව සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාමාර්ගයකදී මිනිසුන්ගේ විශාල බලයක් යොදවන තත්වයක් ඇති කිරීම.' දේශපාලනිකරණය වී තිබෙන විල්පත්තුව නිර්දේශපාලනිකරණය කිරීමට සිදු වී තිබෙන බවයි ඔහු පවසන්නේ. "වනාන්තරයක් දේශපාලනීකරණය වෙලා තිබුණේ. දේශපාලනය නැතුව කැළේ දිහා කැළේ විදිහට බලන්න. අපි යෝජනා කරන්නේ කාටවත් චෝදනා කරන්නේ නැතුව අපි අපිව පරීක්ෂා කර බලමු," ඔහු පැවසීය. "ස්වයං විවේචනයක් හැටියට අපට පුලුවන්ද මේ වගේ සමාජ ගැටළුවක් දිහා බලන්න ගීතයක් හරහා. ඒක ගීතයකින් දේශපාලනය කියනවට වඩා සංකීර්ණ තැනක් වේවි මෙය සාර්ථක වුවොත්," විල්පත්තුවේ ගීතයේ පද රචක චින්තන ධර්මදාස වැඩිදුරටත් කියා සිටියේය.
ලබන මාර්තු මාසයට පෙර යුද අපරාධ පරීක්ෂණයක් තහවුරු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය වරයා විශ්වාසය පළ කරයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධ කරුණ කොළඹ පැවති රාජ්‍ය නායක සමුළුව අභිභවනය කළේය විලියම් හේග් මේ බව කියා ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස හෝ එක්සත් ජාතීන්ගේ විමර්ශනයකට මුහුණ දීමට සිදුවන බව අගමැති ඩේවිඩ් කැමරන් ජනාධිපති මහින්ද රාජපක්ෂට කියා සිටීමෙන් අනතුරුවයි. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ගේ ම පරීක්ෂණයක් පැවැත්වීම මගින් යුද හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන බව ලෝකය හමුවේ විදහා දැක්වුව හොත් එය 'මහත් වෙනසක්' සිදු කරනු ඇති බවයි. 2015 සමුළුව මෝල්ටාවේ මෙම කරුණ කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අභිභවනය කළේය. මෝල්ටාව 2015 නායක සමුළුවේ සත්කාරක රට බව පොදු රාජ්‍ය මණ්ඩල නායකයෝ ප්‍රකාශයට පත් කළහ. ලබන සමුළුව පැවැත්වීමට නියමිත ව සිටි මුරිසි අගමැති නවීන් චන්ද්‍ර රාම්ගුලාම් මෙන්ම කැනඩා අගමැති ස්ටීවන් හාපර් මෙවර කොළඹ ඒමෙන් වැළකී සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ට විරෝධය දක්වමින්. ඉන්දීය අගමැති මන් මෝහන් සිං ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීය. එල්ටීටීඊ ය පරදවා ලූ යුද්ධයේ අවසාන වකවානුවේ යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සිදුවූ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකාවේ රජය ප්‍රතික්ෂේප කරයි.
මරුමුවට පත් යාපනය සරසවි සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කරයි.
එසේම සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් නියෝග කළ බව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වේ. සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් තමා කණගාටුවට පත් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. අදාළ මරණ සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකපිට පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් පස්දෙනාගේ සේවය අත්හිටුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිකුරාදා පැවසීය. යාපන පොලිසිය මීට ඉහතදී කියා සිටියේ කන්කසන්තුරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිසුන් දෙදෙනා හදිසි අනතුරකින් මරුමුවට පත් වූ බවය. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී එක් සිසුවකුගේ සිරුර තුල තිබී වෙඩි උණ්ඩයක් හමු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසීය කළ විමසීමකදී සනාථ කළේය.
ආණ්ඩුවට අවශ්‍ය පරිදි අලුත් අවුරුදු නැකත් වේලාවන් සකසා ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඡ්‍යෝතීර්වේදීන් පිරිසක් නගන චෝදනා රජයේ නැකත් කමිටුව ප්‍රතික්ෂේප කරයි.
අවුරුදු නැකත් ආණ්ඩුවේ අවශ්‍යතාවට සරිලන පරිදි වෙනස් කොට ඇති බවට මතයක් පවතින බව පසුගියදා ප්‍රකාශ කළ හිටපු ජනපතිවරයා සිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය සඳහා වෙනස් වෙලාවක්ද යොදා ගෙන තිබිණි. මෙවර අලුත් අවුරුදු නැකත් වේලාවන්හි වරදක් පවතින්නේ යැයි ඡ්‍යෝතීර්වේදීන් පිරිසක් තමන් සමග කියා සිටි බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය එස්බි නාවින්න කියා සිටියේ සාවද්‍ය මත පතුරවා හැර සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳ පවතින ජනතා විශ්වාසය බිඳ දැමීමේ මෙහෙයුමක ඇතැම් පිරිස් යෙදී සිටින බවයි. 'එකම කමිටුව' ජ්‍යෙෂ්ඨ ඡ්‍යෝතීර්වේදීන් සහ ලිත් කතුවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් අලුත් අවුරුදු නැකත් වේලාවන් සකස් කරන බව පවසන අමාත්‍යවරයා වසර තිස් තුනක් පුරා එම කමිටුව අලුත් අවුරුදු නැකත් වේලාවන් නිර්දේශ කරන බවයි පෙන්වා දෙන්නේ. 'සමහරක් අය හිතනවා ඇති මේ ආණ්ඩුව වෙනස් වුනාම නැකත් කමිටුවත් වෙනස් වෙනවා කියලා, එහෙම එකක් වෙලා නැහැ' නැකත් කමිටුව විසින් මෙවර අවුරුදු නැකත් සක්ස්කර නිකුත් කරනු ලැබුවේ මිට මාස හයකට පෙර බව ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ ඡ්‍යෝතීර්වේදී ආනන්ද සෙනවිරත්න අවසන් මොහොතේ එය විවේචනය කිරීම පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බවයි සඳහන් කළේ. 'වරදක් හෝ දෝෂයක් තිබුනා නම් ඒ අයට අවශ්‍ය තරම් කල් තිබ්බා ඒක පෙන්වලා දෙන්න. කිරි කළයට ගොම දැමීම වගේ වැඩක් ඒ අය කළේ. ජනතාවගේ මනස විස කරන්න කරපු වැඩක්' ඔහු පැවසීය. මීට පෙර අවස්ථා විසි හතරකදී හිස තෙල් ගෑම සඳහා බටහිර දිශාව යොදා ගෙන ඇති බව පෙන්වා දුන් ඡ්‍යෝතීර්වේදී ආනන්ද සෙනවිරත්න බටහිර දිශාව අසුභ යැයි පළ කර ඇති මතය නිවැරදි නොවන බවයි සඳහන් කළේ. පස්වරු කාලයේ නැකත් යොදාගැනීමේ හේතුව පිළිබඳ අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ 'හවස් වරුව හොඳ නැහැ කියපු හිටපු ජනාධිපතිතුමාම හවස් වරුවේ හිස තෙල් ගානවා, මොකක්ද ඒ කරපු දේ' යනුවෙනි.
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) කෝටි දහය ඉක්ම වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත් විය.
ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව මේ සතිය තුළ දී කෝටි දහයක් බවට පත් වූයේ ඔහු සිය හතළිස් හත් වෙනි ගෝල ත්‍රිත්වය (hat-trick) වාර්තා කොට දින කිහිපයකට පසුවය. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම රසිකයන් හිමි පිරිමියා වන පෘතුගීසි ජාතික පාපන්දු තරුව අනුගාමිකයන් වැඩිම සංඛ්‍යාවක් හිමි ගිණුම් අතරින් හය වෙනි ස්ථානයේ පසු වේ. බියෝන්සේ, ටේලර් ස්විෆ්ට්, අරියානා ග්‍රෑන්ඩේ, සෙලීනා ගෝමස් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ජාලයේ නිල ගිණුම රොනල්ඩෝට වඩා ඉදිරියෙන් වෙති. නෙයිමාර් සහ මෙසී ඔහුට පසු ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින පාපන්දු තරුව නෙයිමාර් වන අතර එම සංඛ්‍යාව හත් කෝටි හතළිස් ලක්ෂයකි. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය තුළ පාපන්දු ක්‍රීඩක ලියෝනෙල් මෙසී සතු අනුගාමිකයන් පිරිස හත් කෝටි දස ලක්ෂයකට අඩු සංඛ්‍යාවකි. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ පළ කරන ලද ඔහු සිය පුතු සමග සිටින ඡායාරූපය අතිශයින් ජනප්‍රිය විය.
කිසිවෙකු ජීවිතය ගැන කළකිරී ඇතැයි ඇඟවීමක් කළහොත් ඔහුට/ඇයට සවන් දීමෙන් එම පුද්ගලයා සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ලෙන් ඉවත්කර ගත හැකි බව සුමිත්‍රයෝ සංවිධානය පවසයි.
දිවි නසා ගැනීම් වළක්වන්නේ කෙසේද? 'සුමිත්‍රයෝ' ජීවිතය ගැන කලකිරුණු පුද්ගලයන්ට සවන් දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කර දෙන සංවිධානයකි. තරුණ බොක්සිං ක්‍රීඩකයෙකු, පොලිස් නිලධාරියෙකු සහ තරුණ නළුවෙකු සියදිවි නසා ගැනීමේ පුවත් ගත වූ සතිය ඇතුළත වාර්තා වීමත් සමග සිය දිවි නසා ගැනීම් පිළිබඳව සමාජයේ යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ. පසුගිය වසර තුන ඇතුළත ශ්‍රී ලංකාව තුළ වසරකට සිය දිවි නසා ගැනීම් 3,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව, ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ලෝකයේ වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තාවන රටවල් අතරින් එකකි. ශ්‍රී ලංකාව තුළ සිය දිවි නසා ගැනීම් පොලිස් සංඛ්‍යාලේඛන අනුව මෙම මරණවලට වැඩි වශයෙන් හේතු වී තිබෙන්නේ ආර්ථික ගැටළු, ප්‍රේම සම්බන්ධතා, පවුල් ප්‍රශ්න සහ මානසික ගැටළුය. සිය දිවි නසා ගැනීම් අඩුකර ගැනීමට එයට තැත්කරන පුද්ගලයන් සමග සිටින නෑදෑ හිතමිතුරන්ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව සුමිත්‍රයෝ සංවිධානයේ ක්‍රියාකාරිනියක වන සමන්තා ගොවිපල්ගොඩ පවසයි. "ප්‍රශ්න දරා ගැනීමට හැකියාව අඩුවීම මේකට එක හේතුවක්. බලාපොරොත්තුවක් නැතිවුනාම, අහන්න කෙනෙක් නැතිවුනාම මේක ඒගොල්ලන්ගේ හිතට එන්නේ. ඒ වෙලාවට කවුරුහරි ඉඳල ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට ඇහුම්කන් දෙනවනම් ඒ සිතුවිල්ල අයින් කරගන්න පුළුවන්." සාමාන්‍යයෙන් සිය දිවි නසාගැනීමේ සිතුවිල්ලක් පැය 48ක කාලයක් පමණ සක්‍රියව පවතින බව ද ඇය සඳහන් කළාය. "සියදිවි නසා ගැනීමේ අදහසක් තියෙන කෙනෙක් ඒකට ඉඟියක් දෙනවමයි. ගොඩක් වෙලාවට අපේ සමාජය පුරුදු වෙලා තියෙනවා මේක විහිළුවට අරගෙන මග හරින්න." "නමුත් අපි ඒ වෙලාවේ කළ යුත්තේ එයත් සමග කතා කිරීම. ඇයි ඔයා එහෙම කියන්නේ, ඇයි ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ කියල ඇහුවොත් ඒ කතා කිරීමම ඇති එයාව ජීවත් කරන්න," සුමිත්‍රයෝ සංවිධානයේ සමන්තා ගොවිපල්ගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය. සියදිවි නසා ගැනීමේ උත්සාහයක නියැලුණු පුද්ගලයකු සමග ඒ ගැන කතා නොකළ යුතු බව ඇතැමුන්ගේ මතය වුවත් සිදු කළ යුත්තේ ඒ ගැන කතා කිරීම බව අවධාරණය කළාය. "සමහර විට එයාගේ ප්‍රශ්නේ පොඩි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එයාට ලෝක දෙයක්. ඒ නිසා කතා කරන්න." මේ අතර මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳව පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස්, අවශ්‍ය කාර්ය මණ්ඩල නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට ප්‍රතිකාර කිරීම බරපතල ගැටළුවක්ව පවතින බව කියා සිටියේය. විශේෂඥයන් සිටින නමුත් මානසික වෛද්‍යවරුන්, මානසික උපදේශකයන් සහ සමාජ සේවකයන් ඇතුළු සහාය කාර්ය මණ්ඩලවල බරපතල හිඟයක් පවතින බවද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. "මෙම හිඟය ලංකාවේ හැම තැනම තියෙනවා. ඒකත් එක හේතුවක් තමයි රෝගී සත්කාර ක්‍රමය 100% ක් ලබාදීමට නොහැකිවීමට," විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පැවසීය. එය පියවීමට පියවර නොගන්නේ ඇයි? විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පෙන්වාදෙන පරිදි එයට හේතු කිහිපයක්ම තිබේ: මෙම ගැටළුව පිළිබඳව දිගින් දිගටම බලධාරීන්ට පෙන්වා දුන් නමුත් එයට විසඳුමක් නොලැබුන බව පවසන විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, නිසි සැලසුමක් නොමැතිවීම මෙන්ම ඇතැම් පරිපාලන ගැටළුද මේ තත්වයට බලපා තිබෙන බවය. "මගේ අවුරුදු 35 දි, එකම දේ අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියනව. ඒවා කවදාවත් ඉටුවෙලා නෑ."
ළමා විවාහවලට මග පාදන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් මුස්ලිම් ක්‍රියාධාරිනියෝ ආණ්ඩුවට බල කර සිටිති.
එහෙත් තව්හීඩ් ජමාආත් (ජමාත්) සහ සමස්ත ලංකා ජමියතුල් උලමා වැනි සංවිධාන සහ ගතානුගතික මුස්ලිම් නායකයෝ එම ඉල්ලීමට දැඩි විරෝධය පළකරති. (වීඩියෝ පටය නරඹන්න) එහි ප්‍රතිඵලයක් ලෙසින් එම නීතිය සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව වසර නවයක් මුළුල්ලේම එම නිර්දේශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වී සිටී. ළමා විවාහයකට ගොදුරු කෙරුණු 15 හැවිරිදි මුස්ලිම් දැරියකගේ වේදනාබර අත්දැකීම සහ ක්‍රියාකාරිනියන්ගේ සහ තව්හීඩ් ජමාආත් සංවිධානයේ ප්‍රතිචාරය ඇසුරින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න. සම්පූර්ණ විස්තරය මේ යොමුවෙන්: ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක්, අහිමි වූ දරු ගැබක් සහ 'ගණිකාවක්'
ශ්‍රී ලංකාවේ හතලිස් හතරවැනි අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් දිව්රුම් දුන්නේය.
මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස දිව්රුම් දෙමින් නව අගවිනිසුරු පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පියවර ගත්තේ මතභේද වලට තුඩු දී ඇති දෝෂාභියෝග ක්‍රියාවලියකින් පසු අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමෙන් පසුවයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී අලුතින් අගවිනිසුරුවරයෙක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේ රටවල් රැසක අවධානයට ලක්ව තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නුර්ලන්ඩ් කියා සිටියේ ශිරණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීම සම්බන්ධයෙන් තම රටේ දැඩි අවධානයක් යොමුව ඇති බවයි. 'ආයෝජකයන් අඩුවිය හැකියි' ජාත්‍යන්තර ආයෝජන අඩුවිය හැකියි - වික්ටෝරිය නුර්ලන්ඩ් "අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොසලකා. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය බලය අධිකරණය ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බෙදා ඇති අන්දම සම්බන්ධය පිලිබඳ ගැටළු රැසක් මේ දෝෂාභියෝගය නිසා මතු වන බවයි ඇමෙරිකාවේ අදහස. සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මේ බල තල බෙදා ඇති අන්දම ඉතා වැදගත්. අධිකරණයේ ස්වාධීනත්වය නොසලකා හැරියහොත් ශ්‍රී ලංකාවට විදේශ ආයෝජකයන් පැමිණීම අඩුවිය හැකි බවටද අපි පැහැදිලිව අනතුරු අඟවා තිබෙනවා" යයි ඇය කියා සිටියාය. "ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රජයක්ද, නීතිය මත පාලනයක් ලංකාවේ පවතී ද සහ අධිකරණයේ ස්වාධීනත්වයක් තිබේද යන කරුණු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශාල සැකයක්" ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ දෝෂාභියෝගය ක්‍රියාත්මක කළ අවස්ථාවේ සිට එක්සත් ජනපදය දෝෂාභියෝගය නිසි ක්‍රියා දාමයකට අනුව සිදු නොවන බව වරින් වර ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවද ඇය සඳහන් කළාය. රජය කටයුතු කරන අන්දමින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් තිබෙන බව දැයි විමසු අවස්ථාවේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරිය නුලන්ඩ් කියා සිටියේ ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න රාශියක් මතුව ඇති බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව මහන්සි වී කටයුතු කල යුතු බවයි ඇය පවසන්නේ. අන්තර්ජාතික වශයෙන් 'හුදෙකලා වීම' මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ද ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත. නීතියේ ආධිපත්‍යයට පිටු පා ක්‍රියා කිරීම මගින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාව තුල හුදෙකලා විය හැකි බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ. "ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රජයක්ද, නීතිය මත පාලනයක් ලංකාවේ පවතී ද සහ අධිකරණයේ ස්වාධීනත්වයක් තිබේද යන කරුණු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශාල සැකයක් මතුව ඇතැ"යි ද ඔහු පැවසුවේය. නීතියේ ආධිපත්‍යයට ගරු නොකිරීම නිසා මතුවිය හැකි ගැටළු අතර ජාත්‍යන්තර යෝජනා අහිමිවීම පෙරමුණ ගනු ඇති බවට ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යයට ගරුකරන බව අන්තර් ජාතික ප්‍රජාවට ඔප්පුකර පෙන්වීමේ වගකීම දැන් ශ්‍රී ලංකා රජය සතු ප්‍රධාන කටයුත්තක් වී ඇතැයිද බැසිල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි. සබැඳි තේමා
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැරදිකාරිය බවට ඇයට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ නිගමනය පරීක්ෂා කිරීමට තවත් කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා පවසයි.
'මම බලාපොරොත්තු වෙනවා ස්වාධීන කමිටුවකින් තවදුරටත් මේ වාර්තාව ගැන සොයා බලල කටයුතු කරන්න' ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී අදහස් පළ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, දෝෂාභියෝගයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහාය දුන් නමුත් ඒ පිළිබඳව තමාගේ එතරම් මනාපයක් නැති බවත් ඒ පිළිබඳව කණගාටුවන වන බවත් පැවසීය. තේරීම් කාරක සභාවේ නිගමණයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ අනුමැතිය පළ වුවහොත් අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. "මම බලාපොරොත්තු වෙනවා ස්වාධීන කමිටුවකින් තවදුරටත් මේ වාර්තාව ගැන, මම ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ල, සොයා බලල කටයුතු කරන්න," ජනාධිපතිවරයා පැවසීය. මෙය රටේ ව්‍යවස්ථාවට හෝ නීතියට අදාළ කාරණයක් නොවූවත් අදාළ ක්‍රියාදාමය පිළිබඳව "මගේ හදවතට එකඟව ක්‍රියා කිරීම සඳහා" එම පියවර ගන්නා බවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ. වාර්තාව 'නීත්‍යානුකූල නෑ' 'ජනාධිපතිම පිලි අරගෙන' "මේක සාධාරණ නැහැයි කියලා ජනාධිපති වරයා තමන්ම තවත් කමිටුවක් පත් කළොත් ඒ ගැන විශ්වාසයක් නැහැයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ" එජාප මන්ත්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස කතානායකවරයාට ඉදිරිපත් කළ රහසිගත වාර්තාව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කොට තිබෙන වාර්තාවට කිසිදු නීත්‍යානුකූල වලංගුභාවයක් නොමැති බව මේ අතර නීතිවේදීන්ගේ සංවිධාන පවසති. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥ සංගමයේ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ විශේෂයෙන්ම විපක්ෂයේ නියෝජිතයන් ඉවත් වූ පසුව තේරීම් කාරක සභාවට නීතිමය වලංගු භාවයක් නොමැති බවයි. වරලත් ගණකාධිපති වරුන් හමුවේ කරන ලද ප්‍රකාශයෙන් ජනාධිපති වරයා අගවිනිසුරු වරිය ට එරෙහි චෝදනා විභාග කිරීමට පත් කරන ලද කමිටුව ස්වාධීන නොවන වග පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. 'පොදු රාජ්‍ය මණ්ඩලීය කමිටුවක්' අග විනිසුරු වරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමයට විරුද්ධව "ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගෙමින් පවතින දැවැන්ත විරෝධය හමුවේ ජනාධිපතිවරයා තමන් පත් කළ කමිටුව ස්වාධීන නොවන බව ප්‍රසිද්ධියේ පිළිගෙන," ඇතැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. පොදු රාජ්‍ය මණ්ඩලයේත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේත් සහාය ලබාගෙන ජාත්‍යන්තර පිළි ගැනීමෙන් යුත් කමිටුවක් පිහිටුවීමේ අවංක චේතනාවෙන් රජය කටයුතු කරන්නේ නම් ඊට විපක්ෂයේද සහාය ලැබෙනු ඇතැයි හිටපු විදේශ අමාත්‍යවරයා විශ්වාසය පල කළේය. "මේක සාධාරණ නැහැයි කියලා ජනාධිපති වරයා තමන්ම තවත් කමිටුවක් පත් කළොත් ඒ ගැන විශ්වාසයක් නැහැයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ," යි ද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා